වෙබ් ලිපිනය:

Showing posts with label බදු ආදායම. Show all posts
Showing posts with label බදු ආදායම. Show all posts

Saturday, July 26, 2025

ඇමරිකාවේ අධ්‍යාපනය සුබසාධනය වන හැටි...


ටික දවසකට කලින් අපේ ප්‍රාන්තයේ ආදායම් දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි සඳහන්ව තිබුණේ එම දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් (message) එවා ඇති බව සහ එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගොස් අපගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළු කර අදාළ පණිවිඩය කියවිය යුතු බවයි.

ප්‍රාන්ත ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රාන්ත වැසියෙකුට පණිවිඩයක් එවන්නට තිබේනම් එය බදු ගෙවීම් හා අදාළ එකක් විය යුතුයි. බදු ගෙවීම් හා අදාළව සිදු කෙරෙන දැනුම් දීමක් හොඳ එකක් වෙන්න තිබෙන ඉඩකඩ අඩු නිසා මෙවැනි විද්‍යුත් ලිපියක් ලැබී අදාළ වෙබ් අඩවියේ ඇති ගිණුමට ඇතුළු වෙද්දී ඇති වන්නේ මේ කඩා පාත් වී තිබෙන්නේ මොන මරාලයක්ද වැනි හැඟීමක්. 

නමුත් වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කරද්දී ලැබී තිබුණු පණිවුඩය බිය විය යුතු එකක් නෙමෙයි. එය පසුගිය (2024) වසර සඳහා ප්‍රාන්තයට ගෙවූ ආදායම් බදු මුදල් වැය කළ ආකාරය පිළිබඳව විස්තරාත්මක දැනුම් දීමක්. බදු මුදල් එකතු කර ගැනීමෙන් පසුව සිදු වන ක්‍රියාවලිය පිළිබඳව මුලින්ම විස්තර කිරීමක් සිදු කර තිබුණා. ඒ අනුව, එකතු කර ගන්නා බදු මුදල් සියල්ලම මුලින්ම ප්‍රාන්ත රජයේ පොදු අරමුදලකට බැර කෙරෙන අතර ඉන් පසුව ව්‍යවස්ථාදායකය විසින් විවිධ කටයුතු සඳහා එම මුදල් වෙන් කරනවා. ගෙවූ බදු මුදල එක් එක් කාර්යය සඳහා යොදවා ඇති ආකාරය බදු ගෙවන්නෙකුට දැනගත හැකියි.

අපේ ප්‍රාන්තයේ වැසියන් සියළු දෙනෙකු විසින්ම එකම අනුපාතයකින් ප්‍රාන්ත ආදායම් බදු ගෙවිය යුතුයි. බදු නිදහස් සීමාව එක් බදු ගෙවන්නෙකුට වසරකට ඩොලර් 1000ක් පමණයි. එම සීමාවෙන් ඉහළ ආදායම් වෙනුවෙන් සියලුම ආදායම් උපයන්නන් විසින් 3.05%ක ආදායම් බද්දක් ගෙවිය යුතුයි. මීට අමතරව තමන් ජීවත් වන කවුන්ටියට වෙනම ආදායම් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් ලෙස ප්‍රාන්ත අගනුවර පිහිටි කවුන්ටියට ගෙවිය යුතු ආදායම් බද්ද 2.02%ක්. මේ ආදායම් බදු ගෙවිය යුත්තේ සියලුම ඇමරිකානුවන් විසින් ගෙවිය යුතු ෆෙඩරල් ආදායම් බදු ගෙවීමෙන් අනතුරුවයි. ෆෙඩරල් ආදායම් බදු අනුපාතය ආදායම් මට්ටම අනුව වැඩි වන්නක්. 

මෙහි අප අවධානය යොමු කරන්නේ ප්‍රාන්ත ආදායම් බදු වැය කර ඇති ආකාරය වෙතයි. වසරකට ඩොලර් 102,000ක් උපයන පවුලක දෙදෙනෙකු විසින් එකතුව බදු ගොනු කරන්නේයැයි සිතමු. මෙම අගය ප්‍රාන්තයේ පවුලක මධ්‍යන්‍ය ආදායමට වඩා අඩු, එහෙත් මධ්‍යස්ථ ආදායමට වඩා වැඩි අගයක්. ඒ අනුව, එක් අයෙකුට ඩොලර් 1000 බැගින් ඩොලර් 2000ක මුදලක් ප්‍රාන්ත ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඉතිරි ඩොලර් 100,000 වෙනුවෙන් ඩොලර් 3,050ක් බදු සේ ගෙවිය යුතුයි. එම මුදල වැය කෙරෙන්නේ පහත පරිදියි.

පොදු (පාසැල්) අධ්‍යාපනය - ඩොලර් $1441.74 (47.27%)

සමාජ සේවා - ඩොලර් $832.34 (27.29%)

උසස් අධ්‍යාපනය - ඩොලර් $306.22 (10.04%)

රාජ්‍ය පරිපාලන වියදම් - ඩොලර් $186.05 (6.10%)

අපරාධ යුක්තිය - ඩොලර් $175.99 (5.77%)

ආර්ථික සංවර්ධනය - ඩොලර් $64.36 (2.11%)

මහජන ඡන්දයෙන් පත් වන්නන්ගේ වියදම් - ඩොලර් $19.52 (0.64%)

පරිසරය හා ස්වභාවික සම්පත් - ඩොලර් $17.69 (0.58%)

යටිතල පහසුකම් - ඩොලර් $6.10 (0.20%)

මෙහි සඳහන්ව තිබෙන්නේ ප්‍රාන්තය විසින් අය කරන පුද්ගල ආදායම් බදු වැය කර ඇති ආකාරය මිස ප්‍රාන්ත රජයේ සමස්ත ආදායම වැය කර ඇති ආකාරය නෙමෙයි. පුද්ගල ආදායම් බදු ප්‍රාන්ත රජයේ සමස්ත ආදායමෙන් 37.4%ක් පමණයි. ප්‍රාන්ත රජයේ ආදායමෙන් 49.5%ක් පමණ ලැබෙන්නේ විකිණුම් හා භාවිත බදු (sales and use taxes) වලිනුයි. සමාගම් ආදායම් බදු වලින් ලැබෙන කොටස 6.1%ක්. ඉතිරිය ඉන්ධන, මත්පැන්, දුම්වැටි, සූදු, රක්ෂණ ආදිය මත පනවා ඇති විශේෂ බදු හා බලපත්‍ර ගාස්තු ආදියයි. එම ආදායම් වෙනත් විවිධ ආකාර වලින් වැය කෙරෙනවා. උදාහරණයක් ලෙස ඉන්ධන බදු වැය කෙරෙන්නේ මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිණිසයි. 

වැදගත්ම කාරණය මෙයයි. අපේ ප්‍රාන්තයේ පුද්ගල ආදායම් බදු වලින් 57.31%ක්ම වැය කෙරෙන්නේ අධ්‍යාපනය සඳහායි. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පසුගිය (2025 ජූනි) මාසයේදී ඇමරිකාවේ ෆෙඩරල් රජය විශාල කාලයකට පසු අයවැය අතිරික්තයක් වාර්තා කළා. මෙය එක් මාසයකදී පමණක් සිදුව ඇති දෙයක්ද නැත්නම් දිගටම පැවතිය හැකි දෙයක්ද කියා කියන්නට තවමත් කල් වැඩි වුවත්, මේ ප්‍රතිඵලය ලැබුණේ බදු ආදායම් ඉහළ යාමේ සහ වියදම් අඩු වීමේ සංයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි. වියදම් අඩුවීමක් කියා කිවුවත් ඇත්තටම අඩු වී තිබුණේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපනය සඳහා වැය කළ වියදමයි. අනෙකුත් බොහෝ වියදම් ඉහළ ගොස් තිබුණා. 

මේ අයුරින් ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමේ පදනම වූයේ ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය ප්‍රාන්ත රජයන්ට අයිති විෂයයක් වීමයි. අපේ ප්‍රාන්ත රජය වැනි ප්‍රාන්ත රජයයන් විසින්ද අධ්‍යාපන වියදම් කප්පාදු කරමින් සිටීමේ දේශපාලන නැඹුරුව වෙනම කරුණක්. 

ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපන විෂය කෙරෙහි ෆෙඩරල් රජයට මැදිහත්වීම් කිරීමට බාධාවක් නැහැ. එහෙත් එය ෆෙඩරල් රජය විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් නෙමෙයි. ෆෙඩරල් රජයේ කාර්යයක් සේ ව්‍යවස්ථාවේ සඳහන් නොවන කාර්යයයන් සැලකෙන්නේ ප්‍රාන්ත රජයන්හි කාර්යයන් ලෙසයි. ඒ නිසා, ඇමරිකාවේ අධ්‍යාපනය නියාමනය කිරීම හා සුබසාධනය කිරීම බොහෝ දුරට සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමෙන් හෝ ඊටත් වඩා පහළ මට්ටමකින්. 

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඕනෑම සිසුවෙකුට පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකියි. ඒ සඳහා තමන්ට ලඟම පාසැලට යන්නට සිදු වෙනවා. පාසැල වෙනස් කරන්නනම් පදිංචියද වෙනස් කරන්නට සිදු වෙනවා.

අපේ ප්‍රාන්තයේ පාසැල් අධ්‍යාපනය සඳහා වැය වන මුදල් වලින් වැඩි කොටසක් (55%-60% පමණ) ලබා දෙන්නේ ප්‍රාන්ත රජය විසින්. කවුන්ටි බදු වල දායකත්වයද ඉතා විශාල (35%-40%) වන අතර ෆෙඩරල් රජයෙන් සිදු කෙරෙන වෙන් කිරීම් සාමාන්‍යයෙන් 5% ඉක්මවන්නේ නැහැ.

ප්‍රාන්තය සහ කවුන්ටිය විසින් අය කරන ආදායම් බදු, ආදායමට අනුපාතිකව, අඩු හා ඉහළ ආදායම්ලාභීන්ගෙන් එක සේ අය කරනවා කියන්නේ පොදු අධ්‍යාපනයේ බරපැන අදාළ ප්‍රදේශයේම සේවාලාභී පවුල් විසින් පොදුවේ බෙදා ගැනීමට කිට්ටු තත්ත්වයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබෙනවා. අඩු ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට ලැබෙන්නේ අඩු සම්පත් ප්‍රමාණයක්. ෆෙඩරල් රජයේ වැඩසටහන් මගින් සිදු වූ එක් ප්‍රධාන කාර්යයක් වූයේ සම්පත් අඩු පාසැල් වලට විවිධ ක්‍රම වලින් සම්පත් ලබා දීම මගින් මෙම විෂමතාවය අඩු කිරීමයි. 

ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකි වුවත්, උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීමක් සිදු වන්නේ නැහැ. එහෙත්, ප්‍රාන්ත රජයයන් විසින් උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමක් කරනවා. ඒ නිසා, තමන්ගේ ප්‍රාන්තයේම පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන සිසුවෙකු විසින් ටියුෂන් ගාස්තු ලෙස ගෙවිය යුත්තේ සැලකිය යුතු අඩු මුදලක්. 

උදාහරණයක් ලෙස අපේ ප්‍රාන්තයේ විශාලම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයේ වාර්ෂික සාමාන්‍ය ටියුෂන් ගාස්තුව ඩොලර් 42,300ක් පමණ වන නමුත් ප්‍රාන්තයේ සිසුවෙකු විසින් ගෙවිය යුත්තේ ඩොලර් 12,150කට ආසන්න මුදලක් පමණයි. ඉතිරි කොටස ප්‍රාන්ත රජය විසින් සුබසාධනය කරනවා. 

මේ අයුරින් ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමෙහිද ආර්ථික අරමුණක් තිබෙනවා. ප්‍රාන්තයේ පවුලක දරුවෙකු ප්‍රාන්තයේම පිහිටි සරසවියකින් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව ප්‍රාන්තය තුළම රැඳී සිට රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. එහිදී උසස් අධ්‍යාපනයේ උදවුවෙන් උපයන වැඩි ආදායම් වලින් ප්‍රතිශතයක් පුද්ගල ආදායම් බදු බවට පත් වී ප්‍රාන්ත රජයේ අනාගත ආදායම් බවට පත් වෙනවා. මෙය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක්. 

Sunday, February 23, 2025

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය

සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩසටහන අනුව, ඉදිරි (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%කට නොඅඩු ආදායමක් ඉපැයිය යුතුයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය 10%කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර ඉහත අවම ඉලක්කය කරා යාම සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීම ඉලක්ක කර මෙවර අයවැය ඇස්තමේන්තු සකස් කර තිබෙනවා. එම මුදල රුපියල් බිලියන 5,126.0ක්.

මෙම (2024) වසරේ අපේක්ෂිත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,237.9ක් සේ ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ තවත් රුපියල් බිලියන 888.0කින් රාජ්‍ය ආදායම් වැඩි කරගන්නට සිදු වෙනවා. ඒ සඳහා ආණ්ඩුවේ සැලසුම කුමක්ද?

ඉහත මුදලින් රුපියල් බිලියන 885.4ක්ම එකතු කර ගැනීමට අපේක්ෂා කර තිබෙන්නේ බදු ආදායම් වැඩි කර ගැනීම මගිනුයි. බදු නොවන ආදායම්, ප්‍රදාන සහ පළාත් සභා ආදායම් වැඩිවීමට නියමිතව තිබෙන්නේ රුපියල් බිලියන 2.6කින් පමණයි. මේ අනුව, අපේක්ෂිත මුළු ආදායම් වැඩි වීමෙන් 99.7%ක්ම පැමිණිය යුත්තේ බදු ආදායම් ලෙසයි. (මෙහිදී අප‍ට බදු ආදායම් වලින් පමණක් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව දිගින් දිගටම විවේචන සිදු කළ වත්මන් ආණ්ඩුවේ එක්තරා නියෝජ්‍ය ඇමති වරයෙකු සිහි වී මද සිනහවක් පහළ වීම නොවැලැක්විය හැකියි.)

ඉහත සඳහන් රුපියල් බිලියන 885.4ක අමතර බදු ආදායම එකතු කර ගැනීමට අපේක්ෂා කරන්නේ කෙසේද?

අයවැය ඇස්තමේන්තු දෙස බැලූ විට පෙනී යන පළමු කරුණ වන්නේ සෘජු බදු අඩු කොට වක්‍ර බදු වැඩි කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවයි. මෙය මැතිවරණ වලට පෙර ආණ්ඩුවට සම්බන්ධ අය පුනරුච්ඡාරණය කළ දෙයට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයක්. 2024දී 27.7%ක් වූ සෘජු බදු අනුපාතය 2025දී 25.4% දක්වා අඩු වීමට නියමිතව ඇති අතර වක්‍ර බදු අනුපාතය 72.3% සිට 74.6% දක්වා ඉහළ යනවා. 

දෙවන කරුණ හා වඩා වැදගත් නිරීක්ෂණයක් සේ සටහන් කළ හැක්කේ වැඩි වන බදු ආදායමෙන් තුනෙන් දෙකක් පමණම ආනයන මත පදනම්ව ඇති බවයි. එයින් විශාල කොටසක් වාහන ආනයනය නිසා ලැබෙන බදු සේ සැලකිය හැකියි. එමෙන්ම, උපයන විට ගෙවීම් බද්ද ලිහිල් කිරීම නිසා අහිමි වන රුපියල් බිලියන 41.6 ඉක්මවන රුපියල් බිලියන 66.2ක මුදලක් රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම මගින් උපයා ගන්නට සැලසුම් කර ඇති ආකාරයද දැකිය හැකියි. 

දළ ගණනයක් ලෙස ඩොලර් බිලියනයක වාහන ආනයන වසර තුළ සිදු වී එමෙන් තුන් ගුණයකට සමාන බදු ආදායමක් රජයට ලැබුණහොත්, ඩොලරය රුපියල් 300 සේ සැලකූ විට, රජයට රුපියල් බිලියන 900ක බදු ආදායමක් හිමි විය යුතුයි. බදු ආදායමේ අපේක්ෂිත වර්ධනය රුපියල් බිලියන 885.4ක් පමණක් නිසා එම ඉලක්කයට යාම සඳහා ඩොලර් බිලියනයක වාහන ආනයන සිදු විය යුතු නැහැ. වෙනත් ක්‍රම වලින්ද බදු ආදායම් ඉහළ යන නිසා, ඩොලර් මිලියන 600-700ක පමණ වාහන ආනයන ඒ සඳහා ප්‍රමාණවත් විය හැකියි. ඒ නිසා, 2025 රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යාම අපහසු දෙයක් බැව් පෙනෙන්නේ නැහැ. 

Wednesday, December 18, 2024

රාජ්‍ය ආදායම සහ බදු සහන


අලුත් ආණ්ඩුව විසින් බදු සහන කිහිපයක් ලබා දී තිබෙනවා. මේ විදිහට බදු සහන ලබා දෙන්න පුළුවන් වුනේ කොහොමද? එයින් ආර්ථිකයට සිදු වන බලපෑම කුමක්ද?

අප පෙර ලිපි වල කතා කර තිබෙන පරිදි, ස්ථායීකරණ වැඩ පිළිවෙළේ දිගුකාලීන ඉලක්කය වනුයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.3% මට්ටම දක්වා වැඩි කර ගෙන, පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.0% මට්ටම නොඉක්මවීම මගින් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. 

රාජ්‍ය ආදායම් 15.3% මට්ටම දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබුණේ පහත ආකාරයෙනුයි.

2025 - 15.0%

2026 - 15.1%

2027 - 15.2%

2028 සිට ඉදිරියට - 15.3%


මේ වන විට අප 2024 පළමු කාර්තු තුනේ රාජ්‍යමූල්‍ය ප්‍රවණතා ගැන හරියටම දන්නවා.

2024 පළමු කාර්තුව:

බදු ආදායම - 10.52%

බදු නොවන ආදායම - 0.98%

රාජ්‍ය ආදායම - 11.50%

ප්‍රාථමික වියදම් - 7.53%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.97%


2024 දෙවන කාර්තුව:

බදු ආදායම - 12.93%

බදු නොවන ආදායම - 1.09%

රාජ්‍ය ආදායම - 14.02%

ප්‍රාථමික වියදම් - 10.65%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.37%


2024 තෙවන කාර්තුව: 

බදු ආදායම - 13.10%

බදු නොවන ආදායම - 1.05%

රාජ්‍ය ආදායම - 14.15%

ප්‍රාථමික වියදම් - 10.92%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.23%


මේ අනුව පෙනී යන්නේ 2024 තෙවන කාර්තුව වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.15% දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම අගය සිවු වන කාර්තුවේදී තවත් වැඩි වීමට මිස අඩු වීමට හේතුවක් නැහැ. තවත් ඉහළ නොගියද, 2025 ඉලක්කය වන 15.0% මට්ටමට යාමට තවත් අවශ්‍ය වන්නේ දදේනියෙන් 0.85%ක වැඩි වීමක් පමණයි.

දෙවන විමර්ශනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි, වාහන ආනයනය විවෘත වෙද්දී මෙම අගයට 0.80%ක් එකතු වන අතර, වැට් බදු පැහැර හරින අයගෙන් එම බදු අය කර ගැනීම සඳහා දැනට ගන්නා ක්‍රියාමාර්ග වලින් තවත් 0.30%ක් එකතු වීමට නියමිතයි. එමෙන්ම, "ආරෝපිත ගෙවල් කුලී" බද්ද හඳුන්වා දීමෙන් පසුව තවත් 0.15%ක් එකතු වෙනවා. මේ සියල්ල එකතු වීමෙන් පසුව, 2025 රාජ්‍ය ආදායම දිගුකාලීන රාජ්‍ය ආදායම් ඉලක්කය ඉලක්කය වන 15.3% මට්ටමද ඉක්මවා යනවා.

මෙම තත්ත්වය හමුවේ රජයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. පළමුවැන්න "සමාජ ප්‍රජාතන්ත්‍රවාදී" ප්‍රවේශය ලෙස හැඳින්විය හැකි, බදු ආදායම් වැඩි කරගෙන වියදම්ද වැඩි කිරීමේ ප්‍රවේශයයි. මැතිවරණ වලට පෙර ආණ්ඩු පක්ෂ කණ්ඩායම ප්‍රදර්ශනය කළේ මෙවැනි ප්‍රවේශයක් ඔවුන් විසින් අනුගමනය කරන්නට යන බවයි. දෙවන ප්‍රවේශය වනුයේ "නව ලිබරල් ප්‍රවේශය" ලෙස හැඳින්වෙන වියදම් වැඩි නොකර, බදු අඩු කිරීමේ ප්‍රවේශයයි. 

ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ පවත්වා ගන්නේනම්, මේ ප්‍රවේශ දෙකෙන් කුමක් අනුගමනය කළද එය ආර්ථික ස්ථායීතාවය අවදානමේ හෙළන්නේ නැහැ. මේ මොහොතේදී ආණ්ඩුව විසින් දෙවන ප්‍රවේශය තෝරා ගෙන ඇති බවක් පෙනී යනවා. 

පෞද්ගලික ආදායම් බදු හා අදාළ සහනයක් ලබා දීම සඳහා පැවති ආණ්ඩුව විසින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා ගෙන තිබුණා. එහෙත් දැන් ලබා දෙන්නට යන සහනය එම සහනය ඉක්මවා යන්නක්. එමෙන්ම, මගේ මතකය නිවැරදිනම්, මැතිවරණ වලට පෙර පොරොන්දු වූ සහනයට වඩා අඩු මට්ටමක සහනයක්. අරමුදල සමඟ සාකච්ඡා වලදී පෙනී ගිය පරිදි, ආර්ථික ස්ථායීතාවය අවදානමේ නොහෙළමින් ලබා දිය හැකි උපරිම සහනය මෙය විය හැකියි. 

ඩොලරයක මිල පහත වැටී තිබුණද, ආනයන වල විශාල වර්ධනයක් සිදු නොවීමට එක් හේතුවක් වනුයේ මධ්‍යම පන්තියේ මිල දී ගැනීමේ හැකියාව පහත වැටී තිබීමයි. ඊට හේතුව වැඩි කළ බදු නිසා ඔවුන්ගේ රුපියල් ආදායම් පහත වැටී තිබීමයි. බදු සහන නිසා ආනයන ඉල්ලුමෙහි යම් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි අතර එය ඩොලරයක මිල යම් තරමකින් ඉහළ දැමීමටද හේතුවක් විය හැකියි. ඒ වාහන ආනයනය විවෘත වීම සහ පොලී ගෙවීම් ආරම්භ වීම නිසා සිදු විය හැකි බලපෑමට අමතරවයි. කෙසේ වුවත්, මේ මොහොතේ ඩොලරයක මිල තරමක් ඉහළ යාම ප්‍රශ්නකාරී දෙයක් නෙමෙයි. 

Saturday, August 24, 2024

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප්


මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කරන්න සිදු වුනා. එය දරා ගත නොහැකි මට්ටමක්. 

දැන් එක පැත්තකින් රාජ්‍ය සේවය කුඩා වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් බදු ආදායම් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා, මේ වන විටත් රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන්නේ රජයේ බදු ආදායමෙන් 25%කටත් වඩා අඩු මුදලක්. 

ඉදිරි වර්ෂයේදී බදු ආදායම තවත් වැඩි වන නිසා, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කළ යුතු වන්නේ බදු ආදායමෙන් 19%ක පමණ මුදලක් පමණයි. ඒ නිසා, රාජ්‍ය සේවක වැටුප් වියදම 30%කින් වැඩි වුනත්, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන්නේ උපරිම වශයෙන් බදු ආදායමෙන් 25%ක පමණ කොටසක් පමණයි.

මෙය රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතු බවට කරන නිර්දේශයක් නෙමෙයි. එය දේශපාලනික තීරණයක්. 

කෙටි සාරංශය අවසන්. වැඩි විස්තර අවශ්‍ය අය සඳහා අදාළ සංඛ්‍යාලේඛණ පහත තිබෙනවා. 

2019

බදු ආදායම = රුපියල් බිලියන 1,734.9

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 686.5

ප්‍රතිශතය = 39.6%


2020

බදු ආදායම = රුපියල් බිලියන 1,216.5

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 794.2

ප්‍රතිශතය = 65.3%


2021

බදු ආදායම = රුපියල් බිලියන 1,298.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 845.7

ප්‍රතිශතය = 65.2%


2022

බදු ආදායම = රුපියල් බිලියන 1,751.1

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 956.2

ප්‍රතිශතය = 54.6%


2023

බදු ආදායම = රුපියල් බිලියන 2,720.6

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 939.5

ප්‍රතිශතය = 34.5%


2024 අප්‍රේල් දක්වා කාලය 

බදු ආදායම = රුපියල් බිලියන 1,117.8

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 301.8

ප්‍රතිශතය =  27.0%


2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුව 

බදු ආදායම = රුපියල් බිලියන 3,820.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 905.4

ප්‍රතිශතය = 23.7%


2025 වර්ෂය සඳහා ඇස්තමේන්තුව

බදු ආදායම = රුපියල් බිලියන 4,725.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 905.4

ප්‍රතිශතය = 19.2%


ප්‍රශ්න:

මේ වර්ෂය හා ඉදිරි වර්ෂය සඳහා බදු ආදායම් ඇස්තමේන්තු වරදින්න බැරිද?

පුළුවන්. නමුත් IMF ගිවිසුම අනුව එහෙම වෙන්න යනවානම් කවර හෝ ක්‍රියාමාර්ගයක් අරගෙන තත්ත්වය නිවැරදි කරන්න වෙනවා. උදාහරණයක් විදිහට මේ ඉලක්කයට යන්නනම් ඉදිරි වර්ෂයේදී නැවත වාහන ආනයනයට ඉඩ දෙන්න වෙනවා. එය සැලසුමේ කොටසක්. ඒ සඳහා, විදේශ අංශයේ තුලනය දිගටම පවත්වා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා, මේ ඉලක්කයට පහසුවෙන් යා හැක්කේ අනෙකුත් හැම දෙයක්ම දැනට සැලසුම් කර තිබෙන පරිදි සිදු වුනොත් පමණයි.

මේ වර්ෂය හා ඉදිරි වර්ෂය සඳහා රාජ්‍ය සේවක වැටුප් ඇස්තමේන්තු හදලා තිබෙන්නේ කොහොමද?

මෙහිදී උපකල්පනය කර තිබෙන්නේ දැන් වියදම ඒ මට්ටමේම තිබෙන ලෙස සලකලයි. නමුත් රජයේ ඉලක්කය මිලියන 1.3 සිට මිලියන 1.0 දක්වා රාජ්‍ය සේවය ක්‍රමයෙන් කුඩා කරන එක. ඒ නිසා, මෑත වසර වලදී මෙම වියදම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව පේනවා. මේ වසරේදී හා ඉදිරි වසරේදී තවත් අඩු වෙයි. ඒ නිසා, මේ තියෙන්නේ උපරිම වියදම. නමුත් යම් හෙයකින් රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් වී අලුත් බඳවාගැනීම් සිදු වුවහොත් වියදම වැඩි වෙන්න පුළුවන්.

මේ සටහන ලියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ දිනයි කියලා උපකල්පනය කරලද?

නැහැ. කවුරු දිනුවත් ඔය ආදායම් ඉලක්කයට යන්න වෙනවා වගේම ඒ ඉලක්කයට යන්න පුළුවන්. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවද නැද්ද කියන එක දිනන පුද්ගලයා මත තීරණය වෙන්න පුළුවන්. නමුත් එය අපට අදාළ කරුණක් නෙමෙයි. මෙහිදී සලකා බලා තිබෙන්නේ දිනන කාට හෝ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තිබෙන හැකියාව ගැන පමණයි. මේ ආදායම් ඉලක්කයට යද්දී රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර එම මුදල වෙනත් කටයුත්තකට වැය කරන්නත් පුළුවන්. ඒවා දේශපාලනික තීරණ. 

මීට පෙර 2015දී වැඩුප් වැඩි කිරීමේ බලපෑම කුමක්ද? 

එම වැටුප් වැඩි කිරීම සිදු වුනේද බදු ආදායම් හා රාජ්‍ය සේවක වැටුප් ගැලපෙන ආකාරයටයි. 

2014

බදු ආදායම = රුපියල් බිලියන 1,050.4

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 441.0

ප්‍රතිශතය = 42.0%


2015 

බදු ආදායම = රුපියල් බිලියන 1,355.8

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 561.7

ප්‍රතිශතය = 41.4%


2016

බදු ආදායම = රුපියල් බිලියන 1,463.7

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 576.5

ප්‍රතිශතය = 39.4%


2017

බදු ආදායම = රුපියල් බිලියන 1,670.2

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 588.5

ප්‍රතිශතය = 35.2%


2018

බදු ආදායම = රුපියල් බිලියන 1,712.3

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 626.0

ප්‍රතිශතය = 36.6%

වෙබ් ලිපිනය: