වෙබ් ලිපිනය:

Showing posts with label සංචිත මුදල්. Show all posts
Showing posts with label සංචිත මුදල්. Show all posts

Thursday, August 28, 2025

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්

ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු.

ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා කළ හැකි වුවත්, සාපේක්ෂව මෑත ඉතිහාසයෙන් පටන් ගනිමු. 

සියවස් ගණනාවක සිට ලංකාවේ ලෝහ කාසි භාවිතා වී ඇතත්, ලංකාවේ සාමාන්‍ය පුද්ගලයින් මුදල් ගනුදෙනු වලට පෙලැඹී විශාල කාලයක් නැහැ. ඉංග්‍රීසි කාලයේ මුල් යුගය වන විටත් ලංකාවේ බොහෝ දුරට තිබුණේ එකිනෙකින් ස්වායත්ත ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් ගණනාවක්. ඒ කුඩා ස්වයංපෝෂිත ආර්ථිකයන් ගනුදෙනු හරහා ලොකුවට එකිනෙක හා සම්බන්ධ වී තිබුණේ නැහැ. 

ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් ස්වාධීන ඒකක ලෙස පැවතුණා වගේම නිවාස ඒකක වල තිබුණේත් බොහෝ දුරට ස්වයංපෝෂිත ආර්ථික. ආයුධ, වළං වගේ දේවල් හදපු අය හිටියත්, ඒවා මුදලට විකිණීමක් සිදු වුණේ නැහැ. ඒ කියන්නේ ගනුදෙනු සිදු වුණත්, ඒවා අද ආර්ථික විද්‍යා අච්චුවේ ගනුදෙනු නෙමෙයි. 

ගොවිතැන් නොකරන පවුල් ඒකකයක් විසින් ආයුධ, වළං වගේ දේවල් සපයද්දී එහි හිලවුවට වී, හාල් වගේ දේවල් ලැබුණත්, ඒවා ලබා නොදී වුනත් වී හාල් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම, වී හාල් ලබා ගත නොහැකි වෙලාවක වුවත් තමන්ගේ සේවාවන් ලබා නොදී සිටීමට එය හේතුවක් කර ගැනුණේ නැහැ. ගම් ප්‍රධානීන්ට සහ පන්සල් දේවාල වලට මුදල් ආධාර හෝ ගෙවීම් ලැබුණේ නැහැ. ඒ වෙනුවට දුන්නේ ධාන්‍ය පංගු හෝ එවැනි වෙනත් දේ. කෙටියෙන්ම කිවුවොත්, ගනුදෙනු සිදු වුනත්, අද අර්ථයෙන් මුදල් භාවිතයක් සිදු වුනේ නැහැ.

යුරෝපීයයන්, විශේෂයෙන්ම ඉංග්‍රීසින්, විසින් වෙළඳ ආර්ථිකයට සම්බන්ධව නොසිටි සාමාන්‍ය ජනතාව මත විවිධ බදු පනවද්දී, ඒ බදු ගෙවන්න අවශ්‍ය මුදල් රටේ මිනිස්සු අතේ සංසරණය වෙමින් තිබුණේ නැහැ. ඒ නිසාම, ඉංග්‍රීසින්ටත් රාජකාරි ක්‍රමයේ ව්‍යුත්පන්න ක්‍රම දිගටම පවත්වා ගෙන යන්න වුනා. ඇඟ බද්ද වගේ දේවල් ආවේ ඒ නිසා. 

වෙනත් සමහර සමාජ වල වගේ ලංකාවේ වත්මන් මුදල් වලට, ඒ කියන්නේ රුපියල් වලට, පිළිගැනීමක් ලැබුණේ ඒවා ඊට පෙර මුදල් ලෙස භාවිතා වූ වටිනා ලෝහ වල ව්‍යුත්පන්නයක් වූ නිසා නෙමෙයි. රජයට බදු ගෙවීම සඳහා එම මුදල් අවශ්‍ය වූ නිසා. රජය වෙනුවෙන් සේවය කළ අයට මුදලින් වැටුප් ලැබුණා. එසේ නොකළ අය විසින්ද බදු ගෙවිය යුතු වූ නිසා ඔවුන් මුදල් ලබාගෙන ඒ වෙනුවට භාණ්ඩ හා සේවා ලබා දුන්නා. රටේ බහුතර ජනතාව අතර පොදුවේ ගනුදෙනු සඳහා මුදල් භාවිතා වීම දෙවනුව සිදු වූ දෙයක්. 

ඉහත හේතුව නිසා, මුල සිටම මෙන්, ලංකාවේ රුපියල් වලට වටිනා ලෝහ සමඟ සම්බන්ධයක් තියෙනවද නැද්ද වගේ ප්‍රශ්න රටේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. රජයට බදු ගෙවීම සඳහා මේ මුදල් යොදා ගත හැකි වීම නිසාම ඒවාට වටිනාකමක් ලැබුණා. නමුත් මේ විදිහට ලංකාවේ රුපියල් වලට වටිනාකමක් තිබුණේ රට ඇතුළේ පමණයි.

රටින් පිටතදී ලංකාවේ රුපියල් වලට කවදාවත්ම වටිනාකමක් හැදුනේ නැහැ. ලංකාවේ රුපියල් කවදාවත්ම සෘජුව රන් වැනි දෙයක් එක්ක ගැට ගහලා තිබුණෙත් නැහැ. නමුත් ලංකාවේ රුපියල ඉන්දියාවේ රුපියල එක්ක ගැට ගහලා තිබුණා. ඉන්දියාවේ රුපියල බ්‍රිතාන්‍ය පවුම එක්ක ගැට ගහලා තිබුණා. බ්‍රිතාන්‍ය පවුම රන් එක්ක ගැට ගහලා තිබුණා. ඒ නිසා වක්‍ර සම්බන්ධයක් තිබුණා.

මේ සම්බන්ධය සෘජු සම්බන්ධයක් නොවී වක්‍ර සම්බන්ධයක් වූ නිසා ලංකාවේ රුපියලේ බාහිර වටිනාකම පවත්වා ගැනීම සඳහා ලංකාවට රන් සංචිතම පවත්වා ගන්න අවශ්‍ය වුනේ නැහැ. නමුත් ඉන්දියන් රුපියල් හෝ වෙනත් විදේශ සංචිත පවත්වා ගන්න සිදු වුනා. අද වන තුරුත් මේ තත්ත්වයේ වෙනසක් සිදු වී නැහැ. 

රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉක්මවා රුපියල් සැපයුම ඉහළ යද්දී රට තුළ රුපියලේ වටිනාකම අඩු වෙනවා. උද්ධමනය ඇති වෙනවා. ඒ අතින් ලංකාවේ රුපියල සහ ඇමරිකන් ඩොලරය අතර වෙනසක් නැහැ. නමුත් ඇමරිකන් ඩොලරයට මෙන් ලංකාවේ රුපියලට රටෙන් පිටත පිළිගැනීමක් නැහැ. ප්‍රායෝගිකව ලංකාවේ රුපියලේ බාහිර අගය තීරණය වෙන්නේ රුපියල් සැපයුම කොපමණද කියන එක මතම නෙමෙයි. රුපියල් ප්‍රමාණය කොපමණ වුනත්, ඒ රුපියල් ප්‍රමාණය හා සැසඳෙන විදේශ සංචිත මහ බැංකුවේ තියෙනවාද කියන එක මතයි. ප්‍රමාණවත් සංචිත නැත්නම් රුපියල අවප්‍රමාණය වෙනවා.

රුපියල අවප්‍රමාණය වූ විට ආනයනික බඩු වල මිල ඉහළ යනවා. එයද උද්ධමනයට හේතු වෙනවා. මුදල් සැපයුමේ ලොකු වෙනසක් නැතිව වුනත්, රුපියල අවප්‍රමාණය වීමෙන් ලංකාවේ උද්ධමනය ඉහළ යන්න පුළුවන්. ඒ වගේම, මුදල් සැපයුම ඉහළ යද්දී වුවත් රුපියල ශක්තිමත් වීම නිසා උද්ධමනය පාලනය වී තියෙන්න පුළුවන්.

අපි හිතමු මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000ක් කියලා. ඩොලරයක මිල රුපියල් 200නම්, මේ රුපියල් ප්‍රමාණය ඩොලර් බිලියන 5කට සමානයි. මහ බැංකුව සතුව ඩොලර් බිලියන 5ක විදේශ සංචිත තිබෙනවා කියා හිතමු. ඒ කියන්නේ මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් සියල්ල ආපසු අරගෙන ඒ වෙනුවෙන් ඩොලර් ආපසු දීමේ හැකියාවක් මහ බැංකුවට තිබෙනවා. 

මෙහෙම දෙයක් ඇත්තටම වෙන්නේ නැහැ තමයි. නමුත් ඩොලර් බිලියන 5ක විදේශ සංචිත අතේ තියාගෙන රුපියල් බිලියන 1000ක සංචිත මුදල් එළියට දමා ඇත්නම් රුපියල් 200ක් ඩොලරයක් වටිනවා කියන එක එයින් ගම්‍ය වෙනවා. ඒ නිසා, ස්වාධීන මුදල් ඒකකයක් විදිහට රුපියල ගැන කිසිම විශ්වාසයක් නැති කෙනෙකුට වුනත් විදේශ සංචිත නිසා ඒ විශ්වාසය ඇති වෙනවා. 

ඔහොම තියෙද්දී මහ බැංකුව සල්ලි අච්චු ගැසීම නිසා සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළ ගියොත් සිදු වෙන්නේ කුමක්ද? රට ඇතුළේ රුපියල බාල්දු වෙන එක කොහොමටත් සිදු වෙනවා. එය සිදු වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීමට අනුරූපවයි. නමුත් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 දක්වා වැඩි කර ගන්න පුළුවන්නම්, රුපියල ගැන තිබෙන බාහිර විශ්වාසය පළුදු වෙන්නේ නැහැ. තව දුරටත් රුපියල් 200ක් ඩොලරයක් වටිනවා. ඒ අනුපාතයට රුපියල් බිලියන 1500ක සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් කරන්න පුළුවන්.

නමුත් ඔය විදිහට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 දක්වා වැඩි නොවී, ඩොලර් බිලියන 5 මට්ටමේම තියෙද්දී, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළ ගියොත් සිදු වෙන්නේ කුමක්ද? දැන් රුපියල් බිලියන 1500ක සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් කරන්න පුළුවන් තරම් විදේශ සංචිත මහ බැංකුවේ නැහැ. ඒ නිසා, රුපියල් 200ක් ඩොලරයක් හා සමානව වටිනා බවක් රුපියල ගැන විශ්වාසයක් නැති පාර්ශ්වයකට පෙනෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ බොහෝ දෙනෙක් රුපියල් ඩොලර් කරනවා. ඔය වැඩේ අනෙක් අයට වඩා කලින් නොකළොත් ප්‍රමාද වූ අයට රුපියල් ඩොලර් කර ගන්න ඉඩක් ලැබෙන්නේ නැති බව ඔවුන්ට පේන්න ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලරයක මිල ඉහළ යනවා. 

මහ බැංකුවට සංචිත මුදල් වැඩි කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් විදේශ විණිමය මිල දී ගෙන ඒ වෙනුවට රුපියල් නිකුත් කරන එක. අනෙක් ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවට රුපියල් නිකුත් කරන එක. ඔය ක්‍රම දෙකෙන් පළමු ක්‍රමයේදී සංචිත මුදල් වැඩි වුනත් ඊට අනුරූපව විදේශ සංචිතත් ඉහළ යනවා. නමුත් දෙවැනි ක්‍රමයේදී ඒ වැඩේ වෙන්නේ නැහැ. 

මේ විදිහට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 මට්ටමේම තියෙද්දී භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක දක්වා වැඩි කළත්, ඩොලරයක මිල රුපියල් 200 සිට රුපියල් 300 දක්වා වැඩි වෙන්න ඉඩ හැරියොත්, එසේ මිල ඉහළ යාමෙන් පසුව, නැවතත් රුපියල ගැන විශ්වාසය තහවුරු වෙනවා. ඊට හේතුව, එම අනුපාතයට සංචිත මුදල් සියල්ල ඩොලර් කිරීම සඳහා අවශ්‍ය විදේශ සංචිත මහ බැංකුව සතුව තිබීමයි. නමුත් ඩොලරයක මිල ඔය විදිහට ඉහළ යද්දී ඒ හේතුව නිසා ආනයනික බඩු වල මිල ඉහළ ගිහින් උද්ධමනයක් ඇති වෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ස්වාධීන මහ බැංකුවකට රුපියල් නිකුත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම මේ විදිහට විදේශ සංචිත තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකයේ හැම මහ බැංකුවක්ම එසේ කරන්නේ නැහැ. ස්ථාවර හා අඩු මට්ටමක උද්ධමනයක් දිගටම පවත්වා ගැනීම මගින් විදේශ සංචිත නැතුව මුදල් ඒකකයක් පිළිබඳව විශ්වාසය ගොඩ නගා ගන්න පුළුවන්. ඩොලර්, යුරෝ වගේ මුදල් ඒකක පිළිබඳව එවැනි විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා. ඇමරිකාව රන් සම්මතයෙන් ඉවත් වුනේ රන් එක්ක තරඟ කළ හැකි තරමේ විශ්වාසයක් ඇමරිකන් ඩොලරයටත් ඒ වෙද්දී තිබුණු නිසා.

නමුත් ඉතිහාසයේ කිසිම දවසක ලංකාවේ රුපියල පිළිබඳව එවැනි විශ්වාසයක් ගොඩ නැගී නැහැ. පසුගිය සංඛ්‍යාලේඛණ දෙස බලද්දී පෙනී යන්නේ මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණය සහ මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය අතර අනුපාතය සමඟ ඩොලරයක මිල ගැලපෙන්නේ නැත්නම්, ඩොලරයක මිල ඉහළ ගොස් මේ තුලනය සිදු වන බවයි. 

පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ සිදු වුනෙත් මෙයයි. සල්ලි අච්චු ගැසීම නිසා රට තුළ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටීම උද්ධමනයට හේතු වුනත්, එය උද්ධමනයට හේතු වූ එකම කරුණ නෙමෙයි. විදේශ සංචිත අවසන් වී ඩොලරයක මිල ඉහළ යාමේ බලපෑම එහි විශාල ලෙස තිබෙනවා. නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීමටනම් අවම වශයෙන් සංචිත මුදල් සැපයුම හා ගැලපෙන තරමේ විදේශ සංචිත ප්‍රමාණයක් මහ බැංකුවේ පවත්වා ගත යුතු වෙනවා.

පසු ගිය ජූනි මාසය අවසන් වන විට සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,660.1ක්. ඩොලරයක මිල 299.97ක්. ඒ කියන්නේ මේ රුපියල් ප්‍රමාණය ඩොලර් කරන්න ඩොලර් මිලියන 5,534ක් අවශ්‍යයි. ඒ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 6,081ක විදේශ සංචිත තිබුණු නිසා ඩොලරයක මිල ඔය මට්ටමේ පවත්වා ගැනීමේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

ඊයේ (අගෝස්තු 27) වෙද්දී සංචිත මුදල් ප්‍රමාණය රුපියල් 1,719.2 දක්වා ඉහළ ගොස් තිබුණා. ඩොලරයක මිල රුපියල් 302.30ක්. ඩොලර් මිලියන 5,687ක විදේශ සංචිත ඇත්නම්, ඔය සංචිත මුදල් ප්‍රමාණයත් එක්ක ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ පවත්වා ගෙන යන්න පුළුවන්. දැනට දැකිය හැකි පරිදි, මහ බැංකුව විසින් සංචිත මුදල් වැඩි කරද්දී ඩොලරයක මිල සහ විදේශ සංචිත ප්‍රමාණය අතර තුලනය අවශ්‍ය අවම මට්ටමේ තියාගෙන යනවා.

නමුත් ප්‍රශ්නය වන්නේ මේ කතා කරන්නේ දළ විදේශ සංචිත ගැන මිසක් ශුද්ධ විදේශ සංචිත ගැන නොවීමයි. මහ බැංකුව සතුව අවශ්‍ය පමණ දළ විදේශ සංචිත තිබුණත්, එයින් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයට, ඉන්දියාවට සහ මූල්‍ය අරමුදලට ආපසු ගෙවිය යුතුයි. මේ සඳහා අවුරුදු කීපයක කාලයක් තිබෙන නිසා ක්ෂණික ප්‍රශ්නයක් නැතත්, අවසාන වශයෙන් මහ බැංකුවට ඔය අවශ්‍ය ප්‍රමාණයට ශුද්ධ විදේශ සංචිත හදාගන්න වෙනවා. එසේ නොකළහොත්, ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත නැවතත් අර්බුදයක් මතු වෙන්න පුළුවන්. 

පසුගිය තෙවසරක පමණ කාලය පුරා දළ විදේශ සංචිත වගේම ශුද්ධ විදේශ සංචිතද ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. නමුත් පසුගිය ජූනි මාසයේදී මේ ප්‍රවණතාවයේ වෙනසක් සිදු වී තිබුණා. එය තාවකලික තත්ත්වයක්නම් ගැටලුවක් නැතත් එසේ නොවේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ සිදු වූ දෙය සහ දැන් තත්ත්වය අතර වෙනස කුමක්ද? සංචිත මුදල් වැඩි වූ රටාවන් පමණක් සංසන්දනය කළොත් විශාල වෙනසක් පේන්නේ නැහැ. නමුත් අර්බුදයට පෙර දෙවසර තුළ සංචිත මුදල් වැඩි වුණේ මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත වල දැවැන්ත කඩා වැටීමකුත් එක්කයි. ඒ ගැන සලකා බැලූ විට පෙනෙන තත්ත්වය, සංචිත මුදල් වැඩිවීම දෙස පමණක් බලද්දී පෙනෙන තත්ත්වයට වඩා ගොඩක් භයානක තත්වයක්. දැවැන්ත කඩා වැටීමකට හේතු වුනේ ඒ භයානක සමස්ත තත්ත්වයයි. 

පසුගිය (2025) ජූනි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,418 සිට 1,667 දක්වා 17%කින් වැඩි වී තිබෙනවා. මෙය පැහැදිලි ලෙසම සැලකිය යුතු වැඩි වීමක්. ඊට කලින්, 2022 ජූනි සිට 2024 ජූනි දක්වා අවුරුදු දෙක සැලකුවොත් දැකිය හැක්කේ රුපියල් බිලියන 1,453 සිට 2.4%ක අඩු වීමක්. ඔය අඩු වීම තමයි අවධමනයකට දායක වුනේ. ඊටත් කලින් අවුරුදු දෙක සැලකුවොත්, ඒ කියන්නේ 2020 ජූනි සිට 2022 ජූනි දක්වා කාලයේදී, රුපියල් බිලියන 869 සිට 67%ක් වැඩි වීමක් දකින්න පුළුවන්. මේ වැඩි වීම රුපියල් වලින් බිලියන 584ක්. 

පසුගිය අවුරුද්දේ සංචිත මුදල් වැඩි වීම අර්බුදයට පෙර සිදු වූ සංචිත මුදල් වැඩිවීම එක්ක බලද්දී අඩු මට්ටමක් වුනත්, කණස්සල්ලට කාරණයක් නෙමෙයි කියලා කියන්න බැහැ. නමුත් මේ දෙකේ වෙනසට එකම හේතුව වැඩි වූ සංචිත මුදල් ප්‍රමාණ සහ අනුපාත අතර වෙනස නෙමෙයි.

අර්බුදයට කලින් මෙහි සඳහන් වසර දෙකක කාලය තුළ සංචිත මුදල් වැඩි වුනේ රුපියල් බිලියන 584කින් වුනත්, ඊට අමතරව ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 2,437කින් අඩු වුනා. සල්ලි අච්චු ගහලා රජයට මහ බැංකුවෙන් දුන් ණය ප්‍රමාණය (ශුද්ධ වශයෙන්) රුපියල් බිලියන 2,537කින් ඉහළ ගියා. මෙය 356%ක වැඩි වීමක්!

වෙනත් විදිහකින් කිවුවොත්, සංචිත මුදල් සැපයුම ඔය මට්ටමෙන්, ඒ කියන්නේ 67% මට්ටමෙන්, වැඩි වෙලා නැවතුණේ අච්චු ගහලා රජයට දුන් සල්ලි වලින් විශාල කොටසක් විදේශ සංචිත විකුණලා නැවත ලබාගත් නිසා. එහි ප්‍රතිඵලයක් විදිහට විදේශ සංචිත ඉවර වුනා විතරක් නෙමෙයි මහ බැංකුවට ණය වෙන්නත් සිදු වුනා. රුපියල පිළිබඳ බාහිර විශ්වාසය බිඳ වැටුනා. මූල්‍ය අරමුදලට ගිහින් සහ තවත් නොයෙක් දේවල් කරලා විදේශ අංශය තුලනය කරගෙන ඒ නැති වූ විශ්වාසය ඉතා ඉක්මණින් නැවත ගොඩ නගා ගත්තේ නැත්නම් උද්ධමනය ඔය මට්ටමෙන් නවතින්නේ නැහැ. 

පසුගිය අවුරුද්දේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. සංචිත මුදල් ප්‍රමාණය වසරක් තුළ රුපියල් බිලියන 242කින් වැඩි වී තිබුණත්, එම කාලය තුළ ශුද්ධ විදේශ සංචිත රුපියල් බිලියන 661කින් වැඩි වෙලා තිබෙනවා. ඔය කාලයේදී රජයට ණය දීමක් සිදු වෙලාම නැහැ. රුපියල් බිලියන 4ක පමණ අඩු වීමකුයි දකින්න තියෙන්නේ. ඒ නිසා, ඔය කාලය තුළ සංචිත මුදල් වැඩිවීමක් සිදු වී තිබුණත්, ඒ හේතුව නිසා රුපියල පිළිබඳ බාහිර විශ්වාසය පළුදු වීමක් සිදු වෙලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ විශ්වාසය නැවත ඇති වීමක්. මුදල් ඒකකයක් පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙද්දී ඒ මුදලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඒ ඉල්ලුම හා ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි කළා කියලා අනිවාර්යයෙන්ම උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පමණ සිට ගත වූ කාලය තුළ රටේ දළ නිල විදේශ සංචිත වල පෙනෙන වර්ධනයක් සිදු වී නැහැ. නමුත් මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත දිහා බැලුවොත් පසුගිය ජූනි මාසය දක්වා දිගටම වර්ධනයක් සිදු වී ඇති ආකාරය දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත පසුගිය සැප්තැම්බර් මාසය වන තෙක්ම තිබුණේ සෘණ පැත්තේ. ඔක්තෝබර් මාසයේදී තමයි යාන්තම් ධන පැත්තට ගියේ. 

ආණ්ඩුවේ කවුරු හෝ ඇමති කෙනෙක් පසු ගිය දවසක සෘණ තිබුණු සංචිත ධන වුනු කතාවක් කියලා තිබුණේ, මම හිතන විදිහට, මේ ගැනයි. වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ගැඹුරු ශුද්ධ විදේශ සංචිත වලක් සම්පූර්ණයෙන්ම ගොඩ කිරීමෙන් පසුවයි ආණ්ඩුව වෙනස් වුනේ. ඒ නිසා, අලුතෙන් කරන්න තිබුණේ ඒ ගොඩ කරපු වල උඩ සංචිත කන්දක් නැවත හදා ගන්න එකයි. ඊට කලින් එකතු කරගත් සංචිත සියල්ලෙන්ම කළ හැකි වූයේ අර්බුදයට පෙර හදා තිබුණු ගැඹුරු වල වහන එක පමණයි (ප්‍රස්ථාරය බලන්න).

මහ බැංකුවේ ඉලක්කය ඩොලරයක මිල රුපියල් 300 ආසන්නව තියා ගන්න එකනම් සහ සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1,800 පමණ දක්වා වැඩි කරන්න සැලසුම් කර තිබෙනවානම්, රුපියල පිළිබඳ විශ්වාසය පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 6ක පමණ සංචිතයක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය ගොඩ නගා ගන්නා තුරු මහ බැංකුව වැඩි අවධානය යොමු කර තිබුණේ දළ නිල සංචිත වැඩි කර ගන්න එකටයි. නමුත් ඔය ඩොලර් බිලියන හයේ සීමාවට ආවට පස්සේ අවුරුදු තුනක පමණ කාලයක් පැවතුනු වැල් පාලම් අවදානම ඉවත් වුනා. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ණය අඩු කර ගනිමින් ශුද්ධ විදේශ සංචිත වැඩි කර ගන්නයි.

ශුද්ධ විදේශ සංචිත වැඩි වෙනවානම් දළ විදේශ සංචිත වැඩි නොවෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ශුද්ධ විදේශ සංචිත අඩු වෙනවානම් එහි ලොකු අවුලක් තිබෙනවා. ඒ නිසා, දැන් විමසිල්ලෙන් බලා සිටිය යුතුව ඇත්තේ ශුද්ධ විදේශ සංචිත වෙනස් වෙන්නේ කොහොමද කියන එක දෙසයි. 

Friday, August 22, 2025

විදේශ සංචිත හා උද්ධමනය


නලින් ද සිල්වා ජීවත්ව සිටියදී ජනගත කළ ප්‍රචලිත අදහසක් වන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් බටහිර විද්‍යාවට ප්‍රවාද කිසිවක් එකතු කර නොමැති බවයි. මේ කතාව ආර්ථික විද්‍යා ප්‍රවාද වලටද අදාළයි. ලංකාව තුළ බොහෝ විට සිදු වන්නේ වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ගෙඩි පිටින් එලෙසින්ම ප්‍රයෝජනයට ගනු ලැබීමයි. 

ඇත්ත වශයෙන්ම මා මේ අයුරින් වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ප්‍රයෝජනයට ගැනීම හෙළා දකින්නෙකු නෙමෙයි. රෝදය නැවත නැවත සොයා ගන්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ ප්‍රවාද ප්‍රවාද සේ හඳුනා නොගෙන, එම ප්‍රවාද ගොඩ නගා තිබෙන පසුබිම තේරුම් නොගෙන, නොගැලපෙන සන්දර්භ වල යොදා ගනු ලැබීමයි. මෙය අන්ධ අනුකරණය සේ හඳුන්වන්න පුළුවන්.

එංගලන්තයේ සිට ගලක් උඩ දැම්මත්, ලංකාවේ සිට එය කළත්, ගල පොළොවට වැටෙන විදිහේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා, එංගලන්තයේ නිරීක්ෂණ මත පදනම්ව හදන ප්‍රවාදයක් ඒ විදිහටම ලංකාවට යොදා ගත්තා කියා විශේෂ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ශුද්ධ විද්‍යා වල සිට ආර්ථික විද්‍යාව වැනි සමාජ විද්‍යාවකට එන විට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා.

ආර්ථික විද්‍යා ප්‍රවාද බොහොමයක් පරීක්ෂාවට ලක් වී තිබෙන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය හෝ වෙනත් එවැනි බටහිර රටකයි. එවැනි සමහර ප්‍රවාද ඒ විදිහටම ලංකාවට යොදාගන්න බැහැ. නමුත් බොහොමයක් පොදු මිනිස් හැසිරීම් රටින් රටට වෙනස් නොවන නිසා මේ කරුණ අදාළ වන්නේ ලංකාව එවැනි රටකින් වෙනස් වන තත්ත්වයන් යටතේදී පමණයි. 

බටහිර රටවල ගොඩ නැගී පරීක්ෂාවට ලක් වන ඇතැම් ආර්ථික විද්‍යා ප්‍රවාද කලක් යද්දී එම රටවලින්ම ප්‍රතික්ෂේප වෙනවා. මීට එකම හේතුව පැරණි ප්‍රවාදය වඩා දුර්වල එකක් වීම නෙමෙයි. සමාජය ගතික ලෙස වෙනස් වීමත් එයට හේතුවක්. වසර පණහකට පෙර හොඳ ප්‍රවාදයක් වූ ප්‍රවාදයක් අද වන විට කිසිම වැඩකට නැති ප්‍රවාදයක් වෙන්න පුළුවන්. අන්ධ අනුකරණයට අමතරව කාලයකට පෙර ඒවා ගොඩ නැගුණු සමාජ වලින් පවා ප්‍රතික්ෂේප වී තිබෙන ප්‍රවාද තවමත් කර තියාගෙන යාම ලංකාව තුළ දැකිය හැකි එතරම් දුලබ නැති දෙයක්. 

ඇමරිකන් ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම හා යුරෝව වැනි මුදල් ඒකකයකට ලෝකය පුරාම පිළිගැනීමක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා රුපියලට එවැනි පිළිගැනීමක් නැහැ. ඇමරිකාවේ මහ බැංකුව සංචිත මුදල් සැපයුම වැඩි කරද්දී සංසරණයට එකතු වෙන්නේ ඇමරිකන් ඩොලර්. ඒ ඩොලර් සමඟ වෙනත් බොහෝ රටවල් ඉතා කැමැත්තෙන් භාණ්ඩ හා සේවා හුවමාරු කර ගන්නවා. බ්‍රිතාන්‍ය පවුම හෝ යුරෝව හා අදාළව වුනත් තත්ත්වය එහෙමයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කරද්දී සංසරණයට එකතු වෙන්නේ ශ්‍රී ලංකා රුපියල්. ඒ ශ්‍රී ලංකා රුපියල් එක්ක හුවමාරුවට වෙනත් රටවලින් භාණ්ඩ හා සේවා ලබා ගන්න බැහැ. ඒ නිසා, වෙනත් රටවල් වලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා ලංකාවට විදේශ විණිමය උපයන්නම වෙනවා. එය සිදු නොවන්නේනම් වෙනත් රටවලට ණය වෙන්න සිදු වෙනවා.

රටේ දේශීය නිෂ්පාදිතය දුර්වල වූ අවස්ථාවක ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට හෝ එංගලන්ත බැංකුවට සංචිත මුදල් සැපයුම වැඩි කරලා, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා, ඒ අච්චු ගහපු සල්ලි වලින් ආනයන කරන්න පුළුවන්. දිගින් දිගටම මේ වැඩේ කරන්න බැහැ තමයි. නමුත් අඩු වශයෙන් කෙටිකාලීනව මේ වැඩේ කරන්න පුළුවන්. එහෙත් ලංකාවට අඩු වශයෙන් කෙටිකාලීනව හෝ මෙවැන්නක් කරන්න බැහැ.

සාමාන්‍ය කරුණක් ලෙස, යම් සීමාවක් ඉක්මවා රටක මුදල් සැපයුම වැඩි වන විට, අදාළ මුදල් ඒකකයේ වටිනාකම අඩු වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, අදාළ මුදල් ඒකකයට සාපේක්ෂව උද්ධමනයක් ඇති වෙනවා. ඊට හේතුව මුදල් සැපයුම වැඩි වීමට අනුරූපව භාණ්ඩ හා සේවා සැපයුම වැඩි නොවීමයි. නමුත් එම මුදල් යොදා ගෙන වෙනත් රටවලින් ආනයන සිදු කළ හැකිනම් මේ තත්ත්වයේ වෙනසක් සිදු වෙනවා. එක පැත්තකින් රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය සල්ලි අච්චු ගහපු තරමටම වැඩි වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ භාණ්ඩ හා සේවා සැපයුම රට තුළ සිදු වන නිෂ්පාදිතය ඉක්මවා ඉහළ යනවා.   

මම ප්‍රචලිත උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම්.

අපි හිතමු ඇමරිකාවේ සමස්ත නිෂ්පාදිතය ඇපල් ගෙඩි 100ක් කියලා. වෙනත් දේවල් කිසිවක් නැහැ. මුදල් සැපයුම ඩොලර් 100ක්. දැන් මේ ඇපල් ගෙඩි 100 ඩොලර් 100 එක්ක තරඟ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇපල් ගෙඩියක් ඩොලර් 1ක් ලෙස මිල තීරණය වෙනවා.  නිෂ්පාදිතය ඇපල් ගෙඩි 80ක් දක්වා පහත වැටුනොත් මිල ඩොලර් 1.25 දක්වා ඉහළ යනවා. ඒ වගේම, නිෂ්පාදිතය වෙනස් නොවී මුදල් සැපයුම ඩොලර් 125 දක්වා වැඩි වුනොත් ඒත් වෙන්නේ මිල ඩොලර් 1.25 දක්වා ඉහළ යන එකයි. 

ආර්ථික විද්‍යාවේදී ඇත්තටම ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්නේ මේ වගේ සරල ආකෘති නෙමෙයි. නමුත් සමහර වෙලාවට ඔය වගේ ආකෘතියක් යොදා ගෙන සංකල්ප පැහැදිලි කරනවා. ඉහත සරල උදාහරණයේ අදහස පැහැදිලියි කියලා මම හිතනවා.

දැන් අපි ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා පිළිගැනීමක් තිබීම කියන කරුණත් එක්ක මේ උදාහරණය දිහා බලමු. නිෂ්පාදනය ඇපල් ගෙඩි 80ක් දක්වා පහත වැටෙනවා. මුදල් සැපයුමත් ඩොලර් 120 දක්වා වැඩි වෙනවා. දැන් මිල ඉහළ යන්න හේතු දෙකක්ම තිබෙනවා. ඒ නිසා හරිනම් මිල ඩොලර් 1.50 (=120/80) දක්වා ඉහළ යා යුතුයි. නමුත් ඔය අලුතෙන් අච්චු ගහපු ඩොලර් 20 ගෙවලා වෙනත් රටකින් ඇපල් ගෙඩි 20ක් ආනයනය කළොත් ප්‍රතිඵලය කුමක්ද?

රටේ ඇපල් නිෂ්පාදිතය 100 සිට 80 දක්වා පහත වැටිලා වුනත්, ආනයනය කරපු ඇපල් ගෙඩි 20 නිසා දැන් නැවත ඇපල් සැපයුම 100ක් වෙලා. ඒ වගේම, මුදල් සැපයුම 100 සිට 120 දක්වා වැඩි කරලා වුනත්, එයින් ඩොලර් 20ක් රටින් පිටට ගිහින් නිසා රට ඇතුළේ මුදල් සැපයුම නැවතත් ඩොලර් 100ක් පමණයි. අවසාන වශයෙන් රට ඇතුළේ ඇපල් ගෙඩියක මිල ඩොලර් 1ම තමයි!

රටේ නිෂ්පාදිතයත් අඩු වෙලා, මුදල් සැපයුමත් වැඩි වෙලා තියෙද්දී මේ විදිහට මිල ඉහළ යාම පාලනය වුනේ කොහොමද? තනිකරම ඩොලරයට ඇමරිකාවෙන් පිටත තිබෙන පිළිගැනීම නිසා. ඔන්න ඔය හේතුව නිසා ඇමරිකාවට පුළුවන් උද්ධමනය පාලනය කරගෙන සැලකිය යුතු තරමකින් සල්ලි අච්චු ගහන්න.

නමුත් ඇමරිකාවට කරන්න පුළුවන් ඔය වැඩේ ලංකාවට කරන්න බැහැ. ඒක කලින්ම කිවුවනේ. ඒ නිසා, ඇමරිකාවේ මුදල් සැපයුම වැඩි වෙන හැටි පෙන්වලා ඒ මත පදනම්ව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් වුනත්, ඒ සමහර තර්ක ලංකාව හා අදාළව තේරුමක් නැති තර්ක. 

දැන් අපි ලංකාවට එමු. රටේ නිෂ්පාදිතය පොල් ගෙඩි 100ක්. මුදල් සැපයුම රුපියල් 10,000ක්. ඒ අනුව, පොල් ගෙඩියක මිල රුපියල් 100යි.

දැන් රටේ මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා වැඩි වෙනවා. නමුත් නිෂ්පාදිතය තවමත් පොල් ගෙඩි 100ම තමයි. දැන් පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ යා යුතුයිනේ. රුපියල් වැඩි වුනා කියලා ඒ රුපියල් වලින් පොල් ආනයනය කරන්න බැහැනේ. එහෙම කරන්න පුළුවන් ඇමරිකාව වගේ රටවල් වලට පමණයි.

හැබැයි ලංකාවේ රජයට පුළුවන් විදේශ ණය ගන්න. අපි හිතමු රජය ඩොලර් 10ක් ණයට ගත්තා කියලා. ඩොලරයක් රුපියල් 200යි. දැන් රජය ඔය ඩොලර් ටික වෙළදපොළේ විකුණනවා. එයින් රුපියල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. නමුත් රට ඇතුළේ ඩොලර් සැපයුම ඉහළ යනවා. කවුරු හෝ පිරිසක් ඔය ඩොලර් 10 මිල දී ගෙන පොල් ආනයනය කරනවා. පොල් මිල ඩොලර් ශත 50ක් සේ සැලකුවොත් පොල් ගෙඩි 20ක් රටට එනවා. දැන් රටේ පොල් ගෙඩි ප්‍රමාණය 120 දක්වා වැඩි වෙලා. ඒ නිසා රුපියල් සැපයුම 12,000 වී තිබුණත්, පොල් ගෙඩියක මිල වැඩි වෙන්නේ නැහැ. එය රුපියල් 100 මට්ටමේම තියෙනවා.

දැන් පැහැදිලියිනේ. ඇමරිකාවට ඩොලරයට රටින් පිටත තිබෙන පිළිගැනීම නිසා රටේ උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. (මේ වැඩේට සීමාවක් තිබෙනවා. දැන් ඇමරිකාව කරන දේවල් වලට එක හේතුවක් ඒ සීමාව හඳුනා ගැනීම. ඒ ගැන වෙනම කතා කරමු). ලංකාවට ඇමරිකාව විදිහටම උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න බැහැ. නමුත් විදේශ ණය ගැනීම මගින් ලංකාවටත් උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. 

හැබැයි මේ වැඩේ අවුලක් තියෙනවා කියන එක ඉතාම පැහැදිලියිනේ. ඩොලර් වලින් ගන්න ණය ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා. එහෙම ගෙවන්නනම් ගන්න ණය ප්‍රමාණයට හරියන්න විදේශ සංචිතයක් පවත්වා ගන්න වෙනවා. 

විදේශ සංචිත හදාගන්නනම් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් සැපයුම ඉහළ යනවා. ඩොලර් සැපයුම අඩු වෙනවා. ඩොලර් සැපයුම අඩු වෙද්දී ආනයන කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා භාණ්ඩ සැපයුම අඩු වෙනවා. ඔය ක්‍රම දෙකෙන්ම මිල ඉහළ යනවා.

කලින් උදාහරණයටම ආවොත්, ආනයන නැත්නම් පොල් ගෙඩි ගණන 100ම තමයි. වැඩි වුනාට පස්සේ මුදල් සැපයුම රුපියල් 12,000යි. ඩොලර් 10 මිල දී ගැනීම සඳහා මහ බැංකුවට තවත් රුපියල් 2000ක් අලුතෙන් අච්චු ගහන්න වෙන නිසා මුදල් සැපයුම රුපියල් 14,000 දක්වා ඉහළ යනවා. දැන් පොල් ගෙඩියක් රුපියල් 140ක් වෙලා. මහ බැංකුව මැදිහත් වී සංචිත වැඩි කර ගත්තේ නැත්නම් පොල් ගෙඩිය රුපියල් 100ක් පමණයි. ඒ කියන්නේ අනාගතය ගැන හිතලා මහ බැංකුව සංචිත ගොඩ නගා ගන්න යද්දී වුනත් ඒ හේතුවෙන් උද්ධමනය විශාල ලෙස ඉහළ යන්න පුළුවන්.

සංචිත විකුණද්දී වෙන්නේ ඕකෙම අනික් පැත්ත. අපි හිතමු රජය විසින් විදේශ ණය නොගෙන මහ බැංකුවෙන් රුපියල් 2000ක ණයක් ගත්තා කියලා. දැන් හරිනම් මුදල් සැපයුම රුපියල් 14,000ක් වී පොල් ගෙඩියක් රුපියල් 140ක් විය යුතුයි. නමුත් ඒ එක්කම මහ බැංකුව ඩොලර් 10ක සංචිත විකිණුනොත් රුපියල් 2000ක් මහ බැංකුවට ආපසු එන නිසා මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා අඩු වෙනවා. විකුණපු ඩොලර් 10 වැය කර ආනයන කිරීම නිසා පොල් ගෙඩි ප්‍රමාණය 20කින් ඉහළ ගිහින් 120ක් වෙනවා. අවසාන වශයෙන් පොල් මිල රුපියල් 100යි.

ඔය ක්‍රමයට, විදේශ සංචිත විකිණීම මගින්, එක පැත්තකින් සංචිත මුදල් වැඩි වීම සීමා කරගන්න පුළුවන්. නමුත් මේක වංගුවක් ගැහීමක් නිසා පෙනෙන කෘතීම තත්ත්වයක් මිසක් ඇත්තටම හොඳ තත්ත්වයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් සංචිත මුදල් වල පෙනෙන සීමිත වැඩි වීමේ බලපෑම වුනත් උද්ධමනය තුළ පේන්නේ නැහැ. ඔය ක්‍රමයෙන් සංඛ්‍යාලේඛණ වල සංචිත මුදල් අඩුවෙන් පෙන්විය හැකි වුවත්, කරපු වැඩේ විපාකය තේරෙන්නේ විදේශ සංචිත ඉවර වෙලා සංචිත නැවත හදාගන්න වූ විටයි. ඒ තත්ත්වය කලින් විස්තර කළා. 

කෙටියෙන් කිවුවොත් කතාව මේකයි. සල්ලි අච්චු ගැසීම නිසාත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් සැපයුම වැඩි වීම නිසාත්, උද්ධමනය හැදෙනවා තමයි. නමුත් ඊට බලපාන තවත් කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වෙනත් කරුණු අනුව, ලැබෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවක ඉන්නේ මේ දේවල් ගැන විශේෂඥතාවයක් හා පළපුරුද්දක් තිබෙන අයයි. ඔවුන් එකම නිර්ණායකයක් දිහා පමණක් බලන්නේ නැහැ. එවැනි විශේෂඥතාවයක් හා පළපුරුද්දක් නොමැති අය විසින් තීරණ ගැනීමද ලංකාව වැනි රටවල සිදු විය හැකි දෙයක් වුනත් එය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

විශේෂයෙන්ම ලංකාව වගේ රටක, විදේශ සංචිත වේගයෙන් අඩු වන කාලයක, සංචිත මුදල් සැපයුම වෙනස් වෙන එකට වඩා අවධානය යොමු විය යුත්තේ විදේශ සංචිත වලට සිදු වෙන්නේ කුමක්ද කියන එකටයි. ඒ වගේම, විදේශ සංචිත ගොඩ නැගෙනවානම්, සංචිත මුදල් වැඩි වෙන එකේ අවදානම අඩුයි. 

දැන් ඊළඟට මතු වෙන අනිවාර්ය ප්‍රශ්නය මේ දවස් වල ලංකාවේ විදේශ සංචිත වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද කියන එක කියලා මම දන්නවා. ලිපිය දැනටම ගොඩක් දිග නිසා ඒ ගැන කතා කරන එක වෙනත් ලිපියකට ඉතිරි කරමු. මේ පැහැදිලි කිරීම් ටික කලින් නොකර ලංකාවේ වර්තමාන තත්ත්වය විස්තර කරන්න අමාරුයි.

Thursday, August 21, 2025

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?

 


මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැන දැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින් කියාත් මහ බැංකුව කියනවා. මහ බැංකුවට මෙවැනි පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් පසුගිය මාස වලදී සිදුව ඇති බවට විවිධ අය විසින් සිදු කරන ප්‍රචාරයයි. 

මහ බැංකුව විසින් පැහැදිලි කර ඇති පරිදි මුදල් අච්චු ගැසීම යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මහ බැංකුව විසින්ම ආර්ථිකය වෙත අලුතෙන් මුදල් නිකුත් කිරීමයි. එනම් සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පුළුල් මුදල් සැපයුම (M2b) කියන්නේ ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාර වලින් එකක්. 

පසුගිය කාලයේදී රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් සිදු වී නැහැ. එහෙත් පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් ට්‍රිලියනය ඉක්මවන වැඩි වීමක් සිදු වී තිබෙනවා. මෙසේ පුළුල් මුදල් සැපයුම ඉහළ ගිය විට එය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ දැක්වීම මීට පෙරද සිදුව ඇති දෙයක්. 

ආර්ථික අර්බුදයට පෙර රටේ මුදල් සැපයුම හෝ සල්ලි අච්චු ගැසීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් නෙමෙයි. එහෙත් ආර්ථික අර්බුදයෙන් පසුව ගිණි පෙණෙල්ලෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කණාමැදිරින්ටද බය වීමේ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් විපක්ෂ දේශපාලනයින් විසින් මෙවැනි ප්‍රචාර සිදු කළා. එය දැනුත් සිදු වෙනවා. වෙනසකට තියෙන්නේ විපක්ෂය වෙනස් වී තිබීම පමණයි. 

මහ බැංකුව පැහැදිලි කරන පරිදිම, ඇත්ත වශයෙන්ම, මුදල් සැපයුමේ වැඩිවීම කියන්නේ අළුතෙන් මුදල් අච්චු ගැසූ ප්‍රමාණය නෙමෙයි. නමුත් මහ බැංකුව විසින් මෙහි කියා නොමැති දෙයක් වන්නේ අවසාන වශයෙන් උද්ධමනය කෙරෙහි බලපාන්නේ මුදල් සැපයුමේ වැඩිවීම බවයි. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම, එසේ නැත්නම් සංචිත මුදල් වැඩි කිරීම, උද්ධමනයට හේතු වන්නේ ඒ මගින් මුදල් සැපයුම වැඩි කෙරෙන නිසා. ඒ නිසා, මුදල් සැපයුම වැඩිවීම කියන්නේ සල්ලි අච්චු ගැසීමම නොවුනත්, මුදල් සැපයුම වැඩිවීම පිළිබඳව බියවීම අහේතුක නැහැ. 

දැන් මෙහිදී කතා කෙරෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ගත වූ කාලය තුළ සිදු වූ මුදල් සැපයුමේ වැඩි වීම පිළිබඳවයි. එම වැඩි වීම, 2024 සැප්තැම්බර් අවසානයේ සිට 2025 ජූනි අවසානය දක්වා මාස නවයක කාලය තුළ, රුපියල් බිලියන 1225.9ක්. එයින් සංචිත මුදල් වැඩිවීම රුපියල් බිලියන 136.5ක් පමණයි. පුළුල් මුදල් සැපයුමේ වැඩිවීමෙන් රුපියල් බිලියන 1,060කටම හේතු වී තිබෙන්නේ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමයි. 

පෞද්ගලික අංශයේ ණය මේ තරම්ම වැඩිවීමට මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියද හේතු වී තිබෙනවා. සරලව කිවුවොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු මට්ටමක පවත්වා ගැනීම. එසේ කිරීමේදී සංචිත මුදල් ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ නිසා, රුපියල් බිලියන 1225.9කින් පුළුල් මුදල් සැපයුම ඉහළ යාම සහ රුපියල් බිලියන 136.5කින් සංචිත මුදල් ඉහළ යාම අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. 

කෙසේ වුවද, සංචිත මුදල් සැපයුම හා පොලී අනුපාතික පාලනය කිරීම මගින් පුළුල් මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම මහ බැංකුවක සාමාන්‍ය කාර්යයක්. මහ බැංකුව විසින් ඒ කාර්යය කළ යුත්තේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි ආකාරයටයි. රජයේ අයවැය හිඟය පියැවීම සඳහා සල්ලි අච්චු ගසන්නට සිදු වේනම් මහ බැංකුවකට එය කළ නොහැකියි. පසුගිය ආර්ථික අර්බුදයට පෙර සිදු වූයේ එවැන්නක්. 

දැන් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනව කටයුතු කළ හැකියි. එමෙන්ම රජය විසින් අයවැය හිඟය පියවා ගැනීම සඳහා මහ බැංකුවෙන් ණය නොගන්නා ප්‍රතිපත්තියක සිටිනවා. ඒ නිසා, මහ බැංකුවට කරන්නට තිබෙන්නේ දී තිබෙන උද්ධමන ඉලක්කය හා ගැලපෙන පරිදි පුළුල් මුදල් සැපයුම පාලනය කිරීමයි. මෙය මහ බැංකුවට සෘජුව හෝ පහසුවෙන් කළ හැකි දෙයක් නොවුණත්, මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි සංචිත මුදල් සැපයුම පාලනය කිරීම සහ පොලී අනුපාතික මත බලපෑම් කිරීම මගින් වක්‍ර ලෙස මෙය කළ හැකියි.

මහ බැංකුවට දී තිබෙන ඉලක්කය වන්නේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගැනීමයි. පසුගිය කාලයේම ලංකාවේ උද්ධමනය පැවතුණේ ඊට වඩා බොහෝ පහළ අවධමන පරාසයකයි. එවැනි තත්ත්වයක් තුළ  මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය (2025) ජූනි මාසයේදී 0.7%ක උද්ධමනයක් වාර්තා කළත් නිල දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා කර තිබුණේ අවධමන තත්ත්වයක්. ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ උදවුවෙන් මේ තත්ත්වය ඉදිරි මාස වලදී වෙනස් වනු ඇතත්, මහ බැංකුවේ පුරෝකථන අනුව, උද්ධමනය ඉලක්ක මට්ටමට යාමට නියමිතව ඇත්තේ 2026 මැද වන විටයි.

මෙම වසරේ පළමු කාර්තුවේ දත්ත අනුව, එම කාර්තුව තුළ, රැකියා 69,714ක් අලුතෙන් නිර්මාණය වී විරැකියා අනුපාතය 3.8% දක්වා පහත වැටී තිබෙනවා. සේවා අංශයේ පමණක් අලුත් රැකියා 258,577ක් අලුතෙන් නිර්මාණය වී ඇති අතර, කාර්මික අංශයේ රැකියා ප්‍රමාණයද 63,800කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ කෘෂිකාර්මික අංශයේ රැකියා වල නියැලුණු ශ්‍රමිකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සේවා අංශය වෙත මාරු වී ඇති ආකාරයයි. 

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව, සේවා අංශයේ ශ්‍රමයේ ඵලදායිතාවය වැඩියි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයේ රැකියා සේවා අංශය වෙත විතැන් වෙද්දී අදාළ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ රටේ ඒක පුද්ගල ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා කියන එකයි. එමෙන්ම රටේ ආර්ථිකය, විශේෂයෙන්ම කාර්මික හා සේවා අංශ, හොඳින් වර්ධනය වෙමින් පවතින බවයි. කාර්මික හා සේවා අංශ වල ගැනුම්කරුවන්ගේ දර්ශක වලින් පෙන්නුම් කරන්නේ මේ දක්වාම මේ යහපත් ප්‍රවණතාව එලෙසම පවතින බවයි.

මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව මෙන්ම අප‍ට පෙනෙන්නට ඇති පරිදිද මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% වැනි මට්ටමකට යා හැකියි. එය මූල්‍ය අරමුදලේ පුරෝකථන සැලකිය යුතු ලෙස ඉක්මවා යන හොඳ තත්ත්වයක්. මේ වර්ධනය පෙනෙන්නට තිබෙන්නේ උද්ධමන තර්ජනයක් නොමැති පසුබිමකයි. 

ලංකාවේ සේවා අංශය කියන්නේ ප්‍රධාන වශයෙන්ම තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහන සේවා, බැංකු හා රක්ෂණ වැනි අංශයි. මෙවැනි අංශ වේගයෙන් වර්ධනය වෙද්දී මුදල් සංසරණයද ඉහළ යන බව සාමාන්‍ය දැනීමෙන් වුවත් තේරුම් ගත හැකි දෙයක්. එහි ප්‍රතිඵලය රටේ මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමයි. මෙය ඓන්ද්‍රීය ඉල්ලුමක් මිස කෘතීම ඉල්ලුමක් නෙමෙයි.

රටේ මුදල් ඉල්ලුම ඉහළ යද්දී, මහ බැංකුවට අවශ්‍යනම්, දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් එම ඉල්ලුම පාලනය කළ හැකියි. එයින් අදහස් වන්නේ රටේ ආර්ථික වර්ධනය මෙන්ම රැකියා ජනනයද විනාශ කරනවා යන්නයි. උද්ධමනය විශාල තර්ජනයක් වී ඇත්නම්, අකැමැත්තෙන් හෝ මෙය කරන්නට සිදු වෙනවා. එහෙත්, උද්ධමන තර්ජනයක් පේන තෙක් මානයක හෝ නැත්නම් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට හේතුවක් නැහැ. 

අනෙක් පැත්තෙන් පොලී අනුපාතික ඉහළ යාම යනු රාජ්‍ය අයවැය මත පීඩනය වැඩි වී අනාගත ණය බර ඉහළ යාමයි. ඒ නිසා, දැනට ක්‍රියාත්මක මුදල් ප්‍රතිපත්තිය ආර්ථික ස්ථායිකරණ ඉලක්ක සමඟද ගැලපෙනවා. මෙය මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් වේයැයි සිතීම තනිකරම වැරදි අදහසක්.

කෙසේ වුවත්, අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ආර්ථිකය ප්‍රසාරණය වන්නේ දේශීය ඉල්ලුම නිසා මිස බාහිර ඉල්ලුම වැඩි වීම නිසා නොවන බවයි. ඒ නිසා, රටේ රැකියා වැඩි වී ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යද්දී විදේශ විණිමය ඉපැයීමට තිබෙන උනන්දුව අඩු වීමටත්, ආනයන ඉල්ලුම ඉහළ යාමටත් ඉඩ තිබෙනවා. ඒ හරහා අනාගත අර්බුදයකට පාර කැපෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ කරුණටයි.

Tuesday, July 1, 2025

අවධමනය අවසන් වී උද්ධමනය නැවත එන්නේ ඇයි?


මාස දහයක කාලයක් එක දිගට පැවති අවධමනය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි. එමෙන්ම, ඉන් පසුව නැවතත් උද්ධමනය දැක ගත හැකි වීමටද නියමිතයි. මීට හේතුව දෙවසරක පමණ කාලයක් "අවධමනය නිෂ්පාදනය කළ" මහ බැංකුව විසින් මේ වන විට "උද්ධමනය නිෂ්පාදනය කරමින්" සිටීමයි. 

විදේශ අංශයේ බලපෑම්, කාලගුණ සාධක ආදිය භාණ්ඩ හා සේවා මිල ගණන් කෙරෙහි බලපෑමක් කළද, උද්ධමනය හෝ අවධමනය කෙරෙහි බලපාන මූලික සාධකය මුදල් සැපයුමෙහි සිදු වන වෙනස් වීමයි. මුදල් සැපයුම වෙනස් වීමට බලපාන එකම සාධකය මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම වෙනස් වීම නොවුනත්, එය ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය සේ සැලකිය හැකියි. "සල්ලි අච්චු ගැසීම" යනුවෙන් හඳුන්වන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කිරීමයි.

පහත තිබෙන්නේ පසුගිය වසර වල ජූනි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සංචිත මුදල් සැපයුමෙහි සිදු වූ වෙනස සහ එම වෙනස්වීම් වල ප්‍රතිශතයි.

2020-2021 - රුපියල් බිලියන 196.1 (22.6%)
2021-2022 - රුපියල් බිලියන 387.5 (36.4%)
2022-2023 - රුපියල් බිලියන (-16.8) (-1.2%)
2023-2024 - රුපියල් බිලියන (-18.1) (-1.3%)
2024-2025 - රුපියල් බිලියන (242.5) (17.1%)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, එම කාලය තුළ මිල මට්ටම වෙනස් වූයේ පහත පරිදියි.

2020-2021 - 5.2%
2021-2022 - 54.6%
2022-2023 - 12.0%
2023-2024 - 1.7%
2024-2025 - (-0.6%)

මේ අනුව, මිල මට්ටම වෙනස්වීම (උද්ධමනය හෝ අවධමනය) සහ සංචිත මුදල් වෙනස් වීම අතර සම්බන්ධතාවය පැහැදිලිව දැක ගැනීමට අපහසු නැහැ. සංචිත මුදල් වෙනස් වීම මිල මට්ටම කෙරෙහි බලපෑමක් කරන්නේ වසර 1-2ක කාලයකින් පසුවයි. 

රජයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා 2020-2022 කාලය තුළ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම වාර්තාගත උද්ධමනයකින් අවසන් වූ අතර, ඉන් පසුව 2022-2024 කාලය තුළ සංචිත මුදල් සැපයුමේ සිදු වූ සුළු අඩුවීම වාර්තාගත අවධමනයකට හේතු වුනා. මේ වන විට නැවතත් මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කරමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවධමනය ඉතා ඉක්මණින් අවසන් වී නැවතත් උද්ධමනය මුණ ගැසීමට නියමිතයි. 

මෙහි සඳහන් 2020-2022 කාලය තුළ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම සහ දැන් සිදු වන සල්ලි අච්චු ගැසීම සසඳා බැලීමේදී ප්‍රධාන වෙනස්කම් දෙකක් හඳුනා ගත හැකියි. පළමු වෙනස්කම වන්නේ මේ වන විට මහ බැංකුවට ස්වාධීනව මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාවක් තිබීමයි. ඒ නිසා, යම් හෙයකින් උද්ධමනය ඉලක්ක සීමාව ඉක්මවා ඉහළ ගියහොත් රජය මත වරද පැටවීමේ ඉඩක් ඉතිරි වී නැහැ. 

මෙයටම සම්බන්ධ දෙවන වෙනස වන්නේ මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසන්නේ රජයේ අයවැය හිඟය පියවීම සඳහා නොවීමයි. ඒ නිසා, මෙසේ අච්චු ගසන සල්ලි බැංකු පද්ධතියට එකතු වී පෞද්ගලික අංශයේ ණය බවට පරිවර්තනය වෙනවා. පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා කාර්යක්ෂමය යන උපකල්පනය මත එම ණය ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු කරමින් තිබෙනවා විය යුතුයි.

මුදල් සැපයුම වැඩි කිරීමෙන් උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳව විශ්වාසනීය තක්සේරුවක් මහ බැංකුවට තිබෙනවා විය යුතුයි. ඉන්ධන මිල ඉහළ යාම වැනි බාහිර කම්පන නිසා උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම ගැනද මහ බැංකුව විසින් සැලකිලිමත්ව සිටින්නේයැයි මා සිතනවා. 

Thursday, February 1, 2024

2023 සංචිත මුදල් සැපයුම


සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික කරුණු පැහැදිලි කර තිබෙනවා. 

සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර රජයට ණය ලෙස ලබා දීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් මෙන්ම සෘජුව රජයට ණය දීම වැනි වෙනත් ක්‍රම හරහාද මෙය සිදු වෙනවා. සංචිත මුදල් ඉහළ යා හැකි දෙවන ආකාරය මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර එම මුදල් වලින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමයි.

ඉහත ක්‍රම දෙක අතරින් වැඩි දෙනෙකුගේ කතාබහට හා විවේචන වලට බඳුන් වන්නේත්, වඩා හානිකර වන්නේත් පළමු ක්‍රමයයි. ඊට හේතුව මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීමේ හැකියාව රටේ විදේශ විණිමය සැපයුම හරහා නෛසර්ගික ලෙස පාලනය වන නමුත් රජය විසින් ලබා ගන්නා ණය හා අදාළව එවැනි පාලනයක් නොමැති වීමයි. අලුත් මහ බැංකු පණත මගින් ඉලක්ක කළේ මෙම පාලනය ඇති කිරීමටයි. 

ඉහත ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් විවිධ ආකාර වලින් සංචිත මුදල් සැපයුම වෙනස් වන නිසා සංචිත මුදල් වෙනස් වීමට හේතු වන එක් සාධකයක් දෙස පමණක් බලා එය සල්ලි අච්චු ගැසීමක් සේ අර්ථ දැක්විය නොහැකි වුවත්, ඇතැම් අය මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය වැඩි වන විට ඊට සමාන සල්ලි අච්චු ගැසීමක් සිදුව ඇති බව ප්‍රචාරය කරනු අපට දැක ගත හැකි වුනා. 

ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ කිසිදා නොපැවති ඉහළ මට්ටමක් දක්වා වැඩි වීමට මුදල් සැපයුමෙහි සිදු වූ විශාල ඉහළ යාම හේතු වූ බව ප්‍රචලිත කරුණක්. රටේ මුදල් සැපයුම ඉහළ යාමට හේතු වන ප්‍රධානම සාධකයක් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. 

විශේෂයෙන්ම 2021 වසර තුළ සංචිත මුදල් සැපයුමෙහි 35.4%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා වුනා. එම වසර තුළ මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයද ඉක්මවූ අතර මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ පැත්තට හැරුණා. ඒ කියන්නේ අලුතෙන් සල්ලි අච්චු ගසා රජයට ණය දෙනවාට අමතරව මහ බැංකුව ණය වී ලබා ගත් මුදල්ද රජයට ණය ලෙස ලබා දුන්නා. මෙය උද්ධමනය විශාල ලෙස ඉහළ යාමට මෙන්ම විණිමය අනුපාතය කෙරෙහි වූ මහ බැංකුවේ පාලනය ගිලිහීමටද හේතු වුනා.

කෙසේ වුවත්, 2022 වසර තුළ මහ බැංකුවේ ඉහළ පුටු මාරු වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වුනා. එම වසරේ මුල් මාස වලදීද සංචිත මුදල් ඉහළ ගිය නමුත් පසුව එම ප්‍රවණතාව ආපසු හැරවුණු නිසා වසර තුළ සංචිත මුදල් ඉහළ ගියේ 3.3%කීන් පමණයි.

ගෙවුණු 2023 වසර තුළ සංචිත මුදල් කොපමණ ඉහළ ගොස් ඇත්ද? වෙනත් විදිහකින් කිවුවොත් ගෙවුණු වසර තුළ මහ බැංකුව විසින් කොපමණ සල්ලි අච්චු ගසා ඇත්ද?

පසුගිය වසර තුළ ඇත්තටම සිදු වී තිබෙන්නේ සංචිත මුදල් සැපයුම 1.5%කින් පහළ යාමක්. ඒ කියන්නේ පෙර වසර වල අච්චු ගැසූ සල්ලි වලින් කොටසක් සංසරණයෙන් ඉවත් කිරීමක්. මීට පෙර 2019 වසර තුළද මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වුනා. පහත තිබෙන්නේ පසුගිය වසර කිහිපය තුළ සංචිත මුදල් වෙනස් වූ ආකාරය.

2017 අවසානයේදී - රුපියල් බිලියන 939.8

2018 අවසානයේදී - රුපියල් බිලියන 961.1

2019 අවසානයේදී - රුපියල් බිලියන 932.6

2020 අවසානයේදී - රුපියල් බිලියන 964.4

2021 අවසානයේදී - රුපියල් බිලියන 1,305.8

2022 අවසානයේදී - රුපියල් බිලියන 1,349.4

2023 අවසානයේදී - රුපියල් බිලියන 1,328.7

දිගින් දිගටම අලුතෙන් සල්ලි අච්චු ගැසීම නැවතී ඇතත්, 2021දී අලුතෙන් අච්චු ගසා සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණය බොහෝ දුරට තවමත් එලෙසම ඇති බවත්, 2017-2020 පැවති මට්ටමට සාපේක්ෂව 2021-2023 සංචිත මුදල් මට්ටම වෙනම, ඉහළ මට්ටමක් බවත් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. උද්ධමනය, එනම් මිල ඉහළ යන වේගය, අඩු වී ඇතත් මිල මට්ටම අඩු වී නැත්තේ ඇයි කියන එකත් මේ ඇසුරෙන් තේරුම් ගැනීමට හැකි විය යුතුයි.

පසුගිය වසර තුළ රුපියල් බිලියන 20.7කින් සංචිත මුදල් අඩු වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 සිට රුපියල් බිලියන 2,376.2 දක්වා රුපියල් බිලියන 1,056.3කින් පහළ යාමයි. 2019 අවසානය වන විට මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 363.0ක් පමණක් වුවත්, 2022 වසර අවසන් වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 දක්වා ඉහළ ගොස් තිබුණා.

මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය අඩු වී තිබෙන්නේ රජය විසින් එම ණය මහ බැංකුවට ආපසු ගෙවා ඇති නිසා. එසේ රජය විසින් මහ බැංකුවට ණය ආපසු ගෙවීමේදී කලින් මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් මහ බැංකුවට ආපසු ලැබෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම පිණිස වැය කර තිබෙන්නේ එසේ ආපසු ලැබුණු රුපියල් බැවින් වසර තුළ වෙළඳපොළෙන් විශාල ලෙස විදේශ විණිමය මිල දී ගෙන ඇතත් ඒ හේතුවෙන් සංචිත මුදල් වැඩි වී නැහැ. 

ආර්ථික අර්බුදයට පෙර, 2019 වසර අවසානයේදී, මහ බැංකුව සතුව රුපියල් බිලියන 896.0ක වටිනාකමැති ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණා. එහෙත්, 2022 වසර අවසන් වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 1,613.7ක සෘණ අගයක්, එනම් එපමණ ශුද්ධ විදේශ බැරකමක් ලෙස වෙනස් වී තිබුණා. මහ බැංකුව විසින් පසුගිය වසර තුළ විදේශ විණිමය එකතු කර ගැනීම නිසා වසර අවසාන වන විට ඉහත විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3 දක්වා අඩු වී තිබෙනවා. 

මේ සමඟ තිබෙන ප්‍රස්ථාරයේ ඔබට දැකිය හැක්කේ සංචිත මුදල් සැපයුම සහ රටේ නිවාස ඒකකයක සාමාන්‍ය මාසික වියදම (ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසේ වියදම) විචලනය වී ඇති ආකාරයයි.

Thursday, August 3, 2023

උද්ධමනය හා සල්ලි අච්චු ගැසීම


සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන බව මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත්, මේක ඇත්තටම සිදු වන විදිහ සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන, පෙර ලිපි ගණනාවක විස්තර කර තිබෙන නිසා නැවත ඒ දේවල්ම ලියන්නේ නැහැ. 

රටක ගනුදෙනු කරන්න සල්ලි අවශ්‍යයි. ඒ නිසා, රටක ගනුදෙනු සඳහා අවශ්‍ය සල්ලි ප්‍රමාණය කවුරු හෝ අච්චු ගහලා එළියට දමන්නත් අවශ්‍යයි. ඒ වැඩේ සාමාන්‍යයෙන් කරන්නේ රටක මහ බැංකුව.

රටක ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය අනුව සල්ලි අච්චු ගැහුවා කියලා ප්‍රශ්නයක් වන තරමට උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. උද්ධමනය ප්‍රශ්නයක් වෙන්නේ රජයේ අයවැය හිඟය පියවීම සඳහා විශාල ලෙස සල්ලි අච්චු ගහද්දී. එහෙම සල්ලි අච්චු ගහන්න වෙන්නේ රජය බදු ආදායම ඉක්මවා වියදම් කරද්දී. 

එහෙම අයවැය හිඟයක් නඩත්තු වෙද්දී වුනත්, පොලී අනුපාතික ප්‍රමාණවත් තරම් ඉහළ යන්න ඉඩ දුන්නොත් සල්ලි අච්චු නොගසා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. නමුත් අයවැය හිඟයක් තියාගෙන පොලී අනුපාතිකත් පහළින් තියාගන්නනම්, රජයට මහ බැංකුවෙන් ණය ගන්න වෙනවා. මහ බැංකුව රජයට ණයට දෙන්නේ අලුතෙන් අච්චු ගහන සල්ලිනම්, එයින් සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. 

කතාවට සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යාමට. හැබැයි සංචිත මුදල් සැපයුම කියන්නේ එක පැත්තකට පමණක් වෙනස් වෙන දෙයක් නෙමෙයි. එය වැඩි වෙනවා වගේම අඩුත් වෙනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යද්දී අච්චු ගහපු අලුත් සල්ලි එළියට යනවා. ඒ වගේම, සංචිත මුදල් සැපයුම පහළ යද්දී ඒ විදිහට එළියට ගිය සල්ලි නැවත මහ බැංකුවට එනවා. ඒ නිසා, දවස ගණනේ සංචිත මුදල් අඩු වැඩි වීම දිහා බලලා සල්ලි අච්චු ගැසීමක් වෙලාද කියලා කියන්න බැහැ. යම් කාලයක් තුළ සිදු වූ වෙනසයි බලන්න වෙන්නේ.

මේ වෙද්දී මහ බැංකුව විසින් 2023 ජූනි මාසය අවසානයේ පැවති සංචිත මුදල් ප්‍රමාණය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. පහත තිබෙන්නේ පසුගිය වසර පහ තුළ ජූනි මාසය අවසානයේදී වූ සංචිත මුදල් සැපයුම වෙනස් වූ ආකාරය.

2023 ජූනි - රුපියල් බිලියන 1,435.8 

2022 ජූනි - රුපියල් බිලියන 1,452.6

2021 ජූනි - රුපියල් බිලියන 1,065.1

2020 ජූනි - රුපියල් බිලියන 869.0

2019 ජූනි - රුපියල් බිලියන 874.5

මම හිතන්නේ සංචිත මුදල් සැපයුම වැඩි වූ අවුරුදු සහ අඩු වූ අවුරුදු හඳුනා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. පහත තිබෙන්නේ ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සංචිත මුදල් සැපයුම වෙනස් වූ ප්‍රතිශතය. වරහන් තුළ තිබෙන්නේ සෘණ ගණන්. 

2022/23 - (-1.2%)

2021/22 - 36.4%

2020/21 - 22.6%

2019/20 - (-0.6%)

ඔය විදිහට සංචිත මුදල් සැපයුම වෙනස් වෙද්දී ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ රටේ සාමාන්‍ය මිල මට්ටම වෙනස් වූ ප්‍රතිශතය හෙවත් උද්ධමනය මම දැන් පෙන්වන්නම්.

2022/23 - 12.0%

2021/22 - 54.6%

2020/21 - 5.2%

2019/20 - 3.9%

මේ මාසයේ සංචිත මුදල් වැඩි වුනා කියලා අනෙක් අතට උද්ධමනය ඉහළ යන්නේ නැහැ. එය සිදු වන යාන්ත්‍රණයක් තිබෙනවා. යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ යාන්ත්‍රනය ෆේස්බුක් එකේ පෝස්ට් එකකින් පහසුවෙන් පැහැදිලි කළ හැකි තරම් සරල යාන්ත්‍රණයක් නෙමෙයි. 

මේ වගේ සටහන් ලියන්නේ ආර්ථිකය හා අදාළ ප්‍රතිපත්ති තීරණ ගන්නා මහ බැංකුව වැනි තැන් වල ඉන්න එම යාන්ත්‍රනය ගැන දන්නා අයට උපදෙස් දෙන්න නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුට වෙන දේ තේරුම් ගැනීම පහසු කරන්න. ගොඩක්ම සංකීර්ණ නැති ඉංජිනේරු සැලසුමක් වුනත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක තිබෙන ගණිත ගැටලුවකට වඩා ගොඩක් සංකීර්ණයි. උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක තිබෙන ගැටළු අදාළ සිද්ධාන්ත තේරුම් ගැනීම පහසු කරන්න ඉදිරිපත් කරන ගැටළු මිසක් ඇත්ත ලෝකයේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් හොයන්න උදවු වෙන මට්ටමේ ගැටළු නෙමෙයි. නමුත්, ඒ වගේ සරල ගැටලුවක්වත් විසඳාගන්න බැරුව ඊට වඩා සංකීර්ණ පද්ධතියක වෙන දේවල් ගැන තේරුම් ගන්න බැහැ. 

සංචිත මුදල් වැඩිවීම උද්ධමනය කෙරෙහි බලපාන්නේ පුළුල් මුදල් සැපයුම ඉහළ යාම හරහා. මෙහිදී ආර්ථික වර්ධනය, විණිමය අනුපාතය වැනි තවත් දේවල්ද බලපානවා. නමුත්, ඉහත සංචිත මුදල් වර්ධනය හා මිල මට්ටම ඉහළ යාම දිහා බලලා සංචිත මුදල් වැඩි වෙද්දී උද්ධමනය වැඩි වෙනවා කියන එක තේරුම් ගන්න අමාරු වෙන්න විදිහක් නැහැ. 2022 ජූනි දක්වා වූ දෙවසරක කාලය තුළ සංචිත මුදල් සැපයුම 67.2%කින් ඉහළ ගියා. ඉන් පසු වසර තුළ සංචිත මුදල් සැපයුම 1.2%කින් පහළ ගොස් තිබෙනවා. මම හිතන්නේ උද්ධමනය විශාල ලෙස ඉහළ යාම හා ඉන් පසුව වේගයෙන් අඩු වීම මේ ඇසුරෙන් තේරුම් ගන්න එක අපහසු වෙන්න විදිහක් නැහැ. 

සංචිත මුදල් වැඩිවීම හා උද්ධමනය අතර සම්බන්ධය මීට වඩා සංකීර්ණ බව හා තවත් විචල්‍ය ගණනාවක් එයට බලපාන බව කියද්දී එයින් අදහස් වෙන්නේ ඒ සම්බන්ධතාවන් ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ෆේස්බුක් සටහන් හරහා පැහැදිලි කරන්න අමාරුයි කියන එක මිසක් කාටවත් තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අදාළ පුහුණුව හා පළපුරුද්ද තිබෙන කෙනෙකුට මේ සම්බන්ධතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ හා අදාළ කාලයක් තිස්සේ දියුණු වූ විද්‍යාවක් තිබෙනවා. මහ බැංකුව විසින් මුදල් සැපයුම සීමා කර උද්ධමනය අඩු කළේ ඒ විද්‍යාව යොදාගෙන. 

මේ සමග පළ කර තිබෙන ප්‍රස්ථාරයේ සංචිත මුදල් වර්ධනය ඉහළ යාම හා පහළ යාම නිරීක්ෂණය කරන්න. ඊට වසරකට පමණ පසුව උද්ධමනය වැඩි වීම හා අඩුවීම මතක් කරගන්න. අප විසින් වසරකට පමණ පෙර සිටම උද්ධමනය අඩු වීම නිවැරදිව පුරෝකථනය කළේ මේ දිහා බලාගෙන. වඩා නිවැරදිව කිවුවොත් මේ දිහා වගේම අදාළ යාන්ත්‍රනය කෙරෙහි බලපෑමක් කළ හැකි තවත් දේවල් දිහාත් බලාගෙන. මෙය අදාළ සිද්ධාන්ත ගැන අවබෝධයක් තිබුණු ඕනෑම කෙනෙකුට කළ හැකි වූ දෙයක්.

Wednesday, December 7, 2022

සල්ලි අච්චු ගහන හැටි...


සල්ලි අච්චු ගහනවා කියන කතාව දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. නමුත්, මේ ගැන සද්දෙන් කතා කරන ගොඩක් අය සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය පිළිබඳ මූලික අවබෝධයක් නැති අය. මේ ගැන විවිධ අය වරින් වර අපෙනුත් ප්‍රශ්න අහනවා. මේ වීඩියෝ එකේ අදාළ මූලික සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමක් තිබෙනවා.

Sunday, November 20, 2022

මුදල්, ගනුදෙනු හා මුදල් මැවීම

 

පෙර සටහනෙන් විස්තරාත්මක ලෙස පෙන්වා දුන්නේ ඇතැම් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කර ඇති පරිදි, "වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් සල්ලි අච්චු ගැසීමේ ආදීනව ගැන හැම තිස්සේම ලොකුවට කතා කළත්, කලින්ටත් වඩා වැඩියෙන් සල්ලි අච්චු ගසා ඇති බව" පට්ටපල් බොරුවක් බවයි. මේ පට්ටපල් බොරු කතාව නොදැනුවත්කමට කළ ප්‍රකාශයක් කියා මම හිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ මෙය "වඳ කොත්තු" මාදිලියේ හිතාමතා දුෂ්ඨ චේතනාවෙන් කළ ප්‍රකාශයක් බවයි. 

අදාළ පුද්ගලයා විසින් මහබැංකු අධිපතිවරයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යැවිය යුතු බවද කියා තිබෙනවා. ඇත්තටම පුනරුත්ථාපනය කළ යුත්තේ මෙසේ පට්ටපල් බොරු කියන අයවම බව මා නොකියන්නේ එසේ කිරීමෙන් වැඩක් නොවන බව ඉතාම පැහැදිලි නිසයි. පුනරුත්ථාපනය කරනවානම් කළ යුත්තේ මේ වගේ කතා වලට තවමත් රැවටෙන, කරුණු සොයා නොබලා ඔවුන් කියන දේ විශ්වාස කරන අයයි. 

නොදැනුවත්කම නිසා මෙවැනි කතා විශ්වාස කරන අයට මම මේ විදිහට චෝදනා කරන්නේ නැහැ. ගිණි පෙණෙල්ලෙන් බැට කෑමෙන් පසුව කණාමැදිරියන් ගැනද ඇහැ ගහගෙන සිටීම නරක දෙයක් නෙමෙයි. අප කරන්නේ කරුණු සොයා බලා හරි දේ දැනගන්නට කැමති අයට අපට හැකි තරමින් ඒ සඳහා උදවු කිරීමයි. අප මෙහි ලියන දේ ඇතුළු කිසිවක් කිසිවකු විසින් පරීක්ෂා නොකර, ප්‍රශ්න නොකර, කියන නිසාම විශ්වාස කළ යුතු නැහැ.

කලින් ලිපියේ පැහැදිලි කළ පරිදි රටක මහ බැංකුවක් විසින් සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පසුගිය 2021 වසර තුළ පමණක් සංචිත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 964,440 සිට රුපියල් මිලියන 1,305,809 දක්වා 35.4%කින් ඉහළ ගියා. 2022 අප්‍රේල් අවසන් වෙද්දී රුපියල් මිලියන 1,481,805 දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, අප්‍රේල් මාසයේ සිට ක්‍රමයෙන් සංචිත මුදල් ප්‍රමාණය අඩු වී 2022 නොවැම්බර් 17 වන විට රුපියල් මිලියන 1,336,146 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. (ප්‍රස්ථාරය බලන්න. එය කෙළින්ම මහ බැංකු වාර්තාවකින් ගත් එකක්.)

සංචිත මුදල් කියන්නේ නෝට්ටු හා කාසි පමණක්ද?

එය එසේ නොවන බව මම පෙර සටහනේ පැහැදිලිව කිවුවා. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි සංචිත වල එක් කොටසක් පමණයි. සංචිත මුදල් කියා කියන්නේ, අර්ථදැක්වීමක් ලෙස, ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි කියන්නේ ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. ඊට අමතරව මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමක ඇති වාණිජ බැංකු වලට අයිති මුදල්ද ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංචිත මුදල් කියා කියන්නේ මේ කොටස් දෙකේ එකතුව.

සංචිත මුදල් = සංසරණයේ ඇති නෝට්ටු හා කාසි + මහ බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්

මේ අර්ථදැක්වීම ලංකාවට පමණක් අදාළ කරුණක් නෙමෙයි. වෙනත් බොහෝ රටවල් සංචිත මුදල් අර්ථ දක්වන්නේත් මේ විදිහටමයි.

2022 සැප්තැම්බර් අවසානයේදී ඇමරිකාවේ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = ඩොලර් බිලියන 2,279.5

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු වාණිජ බැංකු වල මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 3,131.4

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු සංචිත මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 5,410.9

දැන් මේ ගණන් දිහා බැලුවොත් ඇමරිකාවේ සංචිත මුදල් වලින් 42%ක් පමණ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි. එයින් කියන්නේ ඇමරිකාවේ සිදුවන ගනුදෙනු වලින් 42%ක් සිදුවන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. ඇමරිකාවේ නෝට්ටු හා කාසි වලින් සිදුවන ගණුදෙනු ප්‍රමාණය ඉතාම අඩුයි. ගණුදෙනු හා මුදල් කියන්නේ වෙනම කරුණු දෙකක්.

ඇමරිකාවේ ගොඩක් සිල්ලර ගනුදෙනු සිදු වෙන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් වලින්. තව චෙක් ගනුදෙනු, වෙනත් විද්‍යුත් ගනුදෙනු එහෙමත් සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සඳහා යොදා ගන්න ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, චෙක්පත් ආදිය සල්ලි නෙමෙයි. ඒවා තමන්ගේ බැංකුවට ගෙවීමක් කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට යොදා ගන්නා ගෙවීම් උපකරණ පමණයි. 

අන්තර්ජාලය හරහා නැත්නම් දුරකථයෙන් මේ වගේ ඉල්ලීමක් කරන්නත් පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේ ගනුදෙනුවේ කොනක තියෙන්නේ කලින් විස්තර කළ සංචිත මුදල්. එක්කෝ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි වලින් බැංකුවක තිබෙන කොටස එහා මෙහා වෙනවා. නැත්නම් ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල සල්ලි එහා මෙහා වෙනවා. ලොකු ගණුදෙනුවක්නම් බොහෝ විට දෙවැන්න.

ලංකාවේ වෙන්නෙත් මේකම තමයි.

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඔය දවස වෙද්දී සංචිත මුදල් වලින් 59.0%ක් මිනිස්සුන්ගේ අතේ. තවත් 20.3%ක් බැංකු වල. එකතුව 79.3%ක්. මහ බැංකුවේ තිබුණු කොටස 20.7%ක් පමණයි. හැබැයි මේ ගණන නියතයක් නෙමෙයි.

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

2022 ජූනි 30 වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,452,596 යි.

මාස තුනකට පස්සේ ගණන් බැලුවොත් සංසරණයේ තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය සංචිත මුදල් වලින් 76.7%ක්. මෙයින් කියන්නේ රටේ ගනුදෙනු වලින් 76.7%ක් සිදු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. වසරක් වගේ කාලයක් ගත්තොත් රුපියල් සීයේ නෝට්ටුවක් වාර ගණනාවක් අතින් අත යනවා. ඒ අනුව එකම රුපියල් සීයෙන් රුපියල් සීයේ ගෙවීම් පහක් හෝ දහයක් කරන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුනත් පුළුවන්. මුදල් සංසරණය කියන්නේ මේ විදිහට එකම මුදල අතින් අත යන එකටයි. මුදල භෞතික මුදල් නෝට්ටුවක් හෝ කාසියක් විය යුතුම නැහැ. එය විද්‍යුත් ලෙස සිදුවන හුවමාරුවක් වෙන්න පුළුවන්. 

මහ බැංකුවේ පවත්වාගෙන යන වාණිජ බැංකු වල ගිණුම් වල තිබෙන සංචිත මුදල් කොටස ගනුදෙනු සඳහා වඩා විශාල වාර ගණනක් එහා මෙහා වෙනවා. ඇතැම් විට එකම රුපියල (මේ කියන්නේ භෞතික රුපියලේ කාසියක් ගැන නෙමෙයි) එකම දවසක් තුළ වුනත් හතර පස් වාරයක් එහා මෙහා වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු හා වෙනත් අන්තර් බැංකු ගනුදෙනු කරද්දී ගෙවීම් කරන්නේ මේ ගිණුම් වලින්. ඒ වගේම, චෙක්, ඩෙබිට් කාඩ් ආදියෙන් කරන සිල්ලර ගනුදෙනු අවසාන වශයෙන් පියවන්නෙත් මේ ගිණුම් වල තිබෙන සල්ලි වලින්. 

ඔය සියල්ලටම අමතරව වාණිජ බැංකුවකට ඔය ගිණුමක තිබෙන තමන්ගේ සල්ලි නෝට්ටු හෝ කාසි විදිහට ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. ආරක්ෂක නිලධාරීන් එක්ක වාහනයක් එවලා මහ බැංකුවෙන් විශාල නෝට්ටු ප්‍රමාණයක් අරන් යන එක වගේම, ඒ විදිහටම මහ බැංකුවේ මුදල් තැන්පත් කරන එකත් අමුතු දෙයක් නෙමෙයි.

මුදල් කියන්නේ ආප්ප තාච්චියක්නම් ගනුදෙනු කියන්නේ ඒ තාච්චියෙන් හදන ආප්ප වගේ. කිසියම් කාලයක් තුළ වැඩියෙන් ආප්ප හදන කෙනා වැඩියෙන්ම ආප්ප තාච්චි ප්‍රමාණයක් තියෙන කෙනාම වෙන්න ඕනෑ නැහැ. සංචිත මුදල් වලින් 75-80%ක් පමණ නෝට්ටු හා කාසි වුනත්, ඉතිරි කොටසින් කරන ගනුදෙනු ප්‍රමාණය වඩා වැඩි කොටසක් වෙන්න පුළුවන්. ගනුදෙනු වල වටිනාකම අනුව බැලුවොත්නම් අනිවාර්යයෙන්ම ලොකු කොටස. මොකද ලොකු ගනුදෙනු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් නෙමෙයි. 

එතකොට මුදල් මැවීම කියා කියන්නේ මේකටද?

නෑ. මුදල් මැවීම කියන්නේ මේකට නෙමෙයි. ඒක වෙනම දෙයක්. බැංකු වල සල්ලි දැම්මහම බැංකු ඒ සල්ලි බැංකුවේ තියාගෙන ඉන්නේ නැහැ. දැන් පේනවනේ බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් මිලියන 300කට අඩු බව. ඒ වගේම මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි ප්‍රමාණයත් රුපියල් මිලියන 300ට අඩුයි. (මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්). ඒ කියන්නේ ඔය කොටස් දෙකම එකතු කළත් රුපියල් බිලියන 600ක් නැහැ. නමුත් බැංකු වල දාලා තියෙන මිනිස්සුන්ගේ සල්ලි ප්‍රමාණය ඔය වගේ 20ගුණයක්වත් වෙනවා. එහෙමනම්, ඉතුරු සල්ලි ටික කෝ?

අපි ගණන් දිහා බැලුවොත්, 2022 සැප්තැම්බර් අවසාන වෙද්දී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු, එහෙමත් නැත්නම් අච්චු ගසා තිබුණු, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,378.6ක් පමණයි. නමුත්, කාසි හා නෝට්ටු ලෙස හෝ බැංකු ගිණුම් වල තැන්පතු ලෙස මිනිස්සු අතේ තිබුණු සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 12,051.5ක්. මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මහ බැංකුව අච්චු ගසා තියෙන්නේ රුපියල් බිලියන 1,378.6ක් පමණක්නම්, ඒ වගේ නව ගුණයක් විතර බැංකු වල දමන්න මිනිස්සුන්ට සල්ලි ලැබුණේ කොහොමද? 

මේක තමයි මුදල් මැවීම කියන්නේ. මහ බැංකුව විසින් සංචිත මුදල් ලෙස නිකුත් කරන හැම රුපියලක්ම වාණිජ බැංකු විසින් නැවත නැවත වාර ගණනාවක් මිනිස්සුන්ට ණයට දෙනවා. උඩ ගණන් දිහා බැලුවොත් එකම රුපියල නව පාරක් ණයට දීලා. මේක කරන්න පුළුවන් වෙන්නේ ණය ගන්න මිනිස්සු ඒ සල්ලි අතේ තියාගෙන ඉන්නේ නැති නිසා. සල්ලි වියදම් කරද්දී ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙලා නැවත බැංකු ඇතුළටම එනවා. එතකොට බැංකු ඒ සල්ලිම නැවතත් ණයට දෙනවා. 

ඔය ටික වෙලා තියෙන්නේ සංචිත මුදල් වලින් 60%ක් පමණ මිනිස්සු අතේ තියාගෙන ඉඳිද්දී. නැවත නැවත පැටවු ගහලා තියෙන්නේ ඉතිරි 40%. ඒ කියන්නේ බැංකු වල හා මහ බැංකුවේ තිබෙන කොටස. මිනිස්සු අතේ තියාගෙන ඉන්න නෝට්ටු හා කාසි ප්‍රමාණය 60%ට වඩා අඩුවුණානම් බැංකු වලට එන කොටස වැඩි වෙලා මුදල් මැවීමත් තවත් වැඩි වෙනවා. මේ විදිහට එකම රුපියල කීප දෙනෙකුගේම වත්කම් හා/හෝ බැරකම් බවට පත් වීම මුදල් ගුණනය ලෙස හඳුන්වනවා. අදාළ අනුපාතය මුදල් ගුණකය. මේ විදිහට ගුණනය වුනාට පස්සේ ප්‍රමාණයට පුළුල් මුදල් සැපයුම කියා කියනවා.

පුළුල් මුදල් සැපයුම = සංචිත මුදල් * මුදල් ගුණකය

මිනිස්සු බඩු ගන්න වියදම් ක‍රන්නේ සංචිත මුදල් පමණක් නොවන නිසා ඇත්තටම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය පුළුල් මුදල් සැපයුම. නමුත්, එය මහ බැංකුව විසින් තනිව තීරණය කරන දෙයක් නොවන නිසා මහ බැංකුවට සෘජුව පාලනය කරන්න බැහැ. මහ බැංකුවට කළ හැක්කේ "සල්ලි අච්චු ගැසීම" එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය සීමා කරන එකයි. එවිට වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුමද පාලනය වෙනවා. 

මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මුදල් ගුණකය පාලනය කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය කරන්නේ වාණිජ බැංකු හා මිනිස්සු විසින් වුවත් පොලී අනුපාතික වැඩි කිරීම මගින් ණය දීම හා ගැනීම අධෛර්ය කර මුදල් ගුණකය අඩු කිරීමට උත්සාහ කළ හැකියි. උද්ධමනය පාලනය කරන්නනම් ඔය මොන ක්‍රමයෙන් හෝ අන්තිමේදී පුළුල් මුදල් සැපයුම අඩු වන තුරු මහ බැංකුවට දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන අතරම පොලී අනුපාතිකද ඉහළින් තියාගන්න වෙනවා. 

Saturday, November 19, 2022

සල්ලි අච්චු ගැසීම


මෙහි සටහන් ලියා පළ කරද්දී පුද්ගලයින් විවේචනය කරමින් හෝ අගය කරමින් ලියන්නට අප වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අප විමසුමට ලක් කරන්නේ විවිධ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් සිදුවන හෝ සිදු විය හැකි දෙයයි. එහිදී අදාළ ප්‍රතිපත්ති තීරණ හෝ ක්‍රියාමාර්ග මිස එම තීරණ ගත් පුද්ගලයා කවුද යන්න අප අදාළ කර ගන්නේ නැහැ. අප නිවැරදි සේ දකින තීරණයක් කවුරු ගත්තත් අප ඒ බව කියන්නට පැකිලෙන්නේ නැහැ. වැරදි තීරණ සම්බන්ධවත් මේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ.

අප විමසුමට ලක් කරන බොහොමයක් ප්‍රතිපත්ති තීරණ තාක්ෂනික ලෙස ආයතනික තීරණ වුවත්, විශේෂයෙන්ම ලංකාවේ සන්දර්භය තුළ, අදාළ ආයතන පාලනය කරන පුද්ගලයින් එම තීරණ කෙරෙහි කරන බලපැම අපට මග හැර යා නොහැකියි. ඒ හේතුව නිසාම, ලියන කිසියම් කරුණකදී සෘජුව හෝ වක්‍ර ලෙස පුද්ගල සංසන්දනයන් සිදු වන්නේනම් අප එය ප්‍රශ්නයක් කර ගන්නේ හෝ වංගු ගසා මග හැර යන්නේද නැහැ.

මේ කතාව රජයේ හෝ මහ බැංකුවේ තීරණ බොහොමයකටද අදාළයි. මහ බැංකුවේ තීරණ යනු ආයතනික තීරණ මිසක් එහි අධිපතිවරයාගේ තීරණ නෙමෙයි. ඒ හේතුව නිසාම, මහ බැංකුව විසින් අධිපතිවරුන්ගේ ධුර කාල අනුව තොරතුරු හෝ සංඛ්‍යාලේඛණ වෙන් කර පෙන්වන්නේ නැහැ. එහෙත්, විවිධ පුද්ගලයින් විසින් එසේ කරනවා. 

මෑතකදී හිටපු අධිපතිවරුන් දෙදෙනෙකු වන ලක්ෂ්මන් හා කබ්රාල්ගේ කාල වල හා වත්මන් අධිපතිවරයාගේ කාලය තුළ මහ බැංකුව විසින් කළ "සල්ලි අච්චු ගැසීම්" ගැනද එවැනි සංසන්දනයක් සිදුව තිබෙනවා. මේ සටහන ඒ ගැන කිහිප දෙනෙකු විසින් සිදු කළ විමසුම් වලට පිළිතුරක් කියා කියන්න පුළුවන්.

මහ බැංකුව සල්ලි අච්චු ගහන්නේ කොහොමද? මහ බැංකුව අච්චු ගහන සල්ලි කියන්නේ මොනවාද?

මම හිතන්නේ කියවන බොහෝ දෙනෙකුට තේරෙන තැනකින් පටන් ගෙන මෙය පැහැදිලි කිරීම වඩා සුදුසු බවයි. කාගේ හෝ අතේ ඇති රුපියල් සීයේ, පන්සීයේ හෝ පන්දාහේ නෝට්ටුවක් සල්ලි කියා මම කිවුවොත් මෙය කියවන කිසිවෙකු එයට විරුද්ධ වෙන එකක් නැහැ. රුපියලේ හෝ රුපියල් දහයේ කාසියක් වුනත් සල්ලි බව කවුරුත් එකඟ වන දෙයක්.

ලංකාවේ සංසරණයේ ඇති සියලුම රුපියල් නෝට්ටු හා කාසි සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය මහ බැංකුව හරියටම, අන්තිම සතේටම, දන්නවා. මහ බැංකුව මේ තොරතුරු ප්‍රසිද්ධ කළොත් අපිත් දන්නවා. 

පහත තියෙන්නේ 2019 වසර අවසානයේ සංසරණයේ තිබුණු රුපියල් නෝට්ටු ප්‍රමාණය.

රුපියල් 5000 නෝට්ටු මිලියන 89.3ක පමණ වටිනාකම - රුපියල් මිලියන 446,313 යි.

රුපියල් 2000 නෝට්ටු මිලියන 2.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 4,044 යි.

රුපියල් 1000 නෝට්ටු මිලියන 134.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 134,368 යි.

රුපියල් 500 නෝට්ටු මිලියන 83.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 41,697 යි.

රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 128 යි.

රුපියල් 100 නෝට්ටු මිලියන 236.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 23,663 යි.

රුපියල් 50 නෝට්ටු මිලියන 114.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන  5,721 යි.

රුපියල් 20 නෝට්ටු මිලියන 293.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 5,877 යි.

රුපියල් 10 නෝට්ටු මිලියන 126.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,260 යි.


සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන  663,139 යි. 


මේ විදිහටම අපට සංසරණයේ තිබුණු කාසි ප්‍රමාණයේ වටිනාකමත් බලාගන්න පුළුවන්.

රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6,721 යි.

රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4,696 යි. 

රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,477 යි. 

රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 964 යි. 

සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි. 

සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි. 

සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි. 

සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි.

සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි. 

සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි. 

සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 14,828 යි. 

ඔය රුපියලෙන් පහළ කාසි ඇත්තටම දැන් සංසරණයේ නැහැ. නමුත්, ඒවාත් මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වල තිබෙනවා. මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම රුපියල් මිලියන 677,967ක්. ඔය 2019 අවසාන වෙද්දී තිබුණු තත්ත්වය. 

දැන් අපි 2021 අවසානයේදී තත්ත්වය දිහා බලමු. 

රුපියල් 5000 නෝට්ටු මිලියන 145.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 729,384 යි.

රුපියල් 2000 නෝට්ටු මිලියන 1.5ක පමණ වටිනාකම - රුපියල් මිලියන 2,951 යි.

රුපියල් 1000 නෝට්ටු මිලියන 160.8ක පමණ වටිනාකම - රුපියල් මිලියන 160,771 යි.

රුපියල් 500 නෝට්ටු මිලියන 104.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 52,284 යි.

රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 126 යි.

රුපියල් 100 නෝට්ටු මිලියන 274.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 27,472 යි.

රුපියල් 50 නෝට්ටු මිලියන 141.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන  7,087 යි.

රුපියල් 20 නෝට්ටු මිලියන 361.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 7,235 යි.

රුපියල් 10 නෝට්ටු මිලියන 124.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,249 යි.


සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන 988,628 යි.

රුපියල් 20 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 41 යි. 

රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 7,674 යි. 

රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 5,168 යි. 

රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,588 යි. 

රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,023 යි. 

සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි. 

සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි. 

සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි. 

සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි. 

සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි. 

සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි. 

සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 16,472 යි. 

2021 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 1,005,099 යි. 

2019 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 677,967 යි 

2019-2021 කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 327,132යි. 

2022 මාර්තු 31 වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 1,099,324 දක්වා ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 421,352ක්. මෙය 62.2%ක වැඩි වීමක්.

මේ වැඩි වීමෙන් රුපියල් මිලියන 318,413ක් වැඩි වුනේ 2019 අවසානයේ සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති ලක්ෂ්මන්ගේ කාලය තුළ. ඉතිරි රුපියල් මිලියන 102,944 වැඩි වුනේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ කාලය තුළ.

කොහොම වුනත්, මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහනවා කියන කතාව ඔය තරම්ම සරල නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසා සංසරණයට එකතු කරන ආකාරය මම කිහිප වරක්ම විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. පසුව නැවතත් පැහැදිලි කරන්නම්. එතෙක්, දැන් කියා තිබෙන ටික පැහැදිලියිනේ. රුපියල් නෝට්ටු හා කාසි කියන්නේ සල්ලි බව කවුරුත් දන්නවා. මෙය කිසිසේත්ම විවාදිත කරුණක් නෙමෙයි. තේරුම් ගන්න අමාරු කරුණකුත් නෙමෙයි. 

මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නෝට්ටු හා කාසි තියෙන්නේ කොහේද? මෙයින් කොටසක් මිනිස්සුන්ගේ අතේ තියෙනවා. ඉතිරි කොටස බැංකු වල. මිනිස්සු කිවුවහම ව්‍යාපාරත් ඇතුළත්. මේකත් පැහැදිලියිනේ. පහළ තියෙන්නේ 2022 ජූනි 30 වෙද්දී තත්ත්වය. 

2022 ජූනි 30 වෙද්දී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 317,305 යි. 

2022 ජූනි 30 වෙද්දී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 797,471 යි. 

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

ඒ කියන්නේ 2022 මාර්තු හා ජූනි අතර සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වී තියෙන්නේ රුපියල් මිලියන 15,452කින්. අවශ්‍යනම් කලින් වකවානු එක්ක සංසන්දනය කරගන්න. 

දැන් ඔය මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයෙන් බැංකු වලින් පිට තිබෙන කොටස කොහොමටත් සංසරණයේ තිබෙන කොටසක්නේ. ඒ මිනිස්සුන්ගේ අතේම තිබෙන මිනිස්සුන්ගේ සල්ලි. ඒ වගේම, බැංකු වල තියෙන්නෙත් මිනිස්සුන්ගේම සල්ලිනේ. මිනිස්සුන්ට ඕනෑ වෙලාවක ඒ සල්ලි ආපහු ගන්න පුළුවන්. 

මේ ප්‍රමාණය බැංකු වල තියෙන මිනිස්සුන්ගේ මුළු සල්ලි ප්‍රමාණය නෙමෙයි. ඕනෑ වෙලාවක ආපහු දෙන්න බලාගෙන බැංකු වල ලාච්චු වල, සේප්පු වල හෝ ATM වල තියෙන සල්ලි ප්‍රමාණය. එහෙම නැත්නම් අදාළ දවසේ මිනිස්සු බැංකුවේ තැන්පත් කරපු සල්ලි. ඒ කියන්නේ සංසරණයේ තියෙන, අතින් අත යන නෝට්ටු හා කාසි වලින්ම කොටසක්.

මහ බැංකුව විසින් එළියට දමලා සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි ඔය විදිහට මිනිස්සුන්ගේ අතේ තිබිලා බැංකු වලට එනවා. නැවත බැංකු වලින් මිනිස්සුන්ගේ අතට යනවා. හැබැයි මේ විදිහට කැරකෙන්නේ එකම නෝට්ටු හා කාසි ටික. 

උදාහරණයක් විදිහට මිනිස්සු අතේ තිබෙන රුපියල් සීයේ නෝට්ටු වලින් කොටසක් දේශපාලනඥයෙක් විසින් එකතු කරගෙන තමන්ගේ බැංකු ගිණුමේ දාගත්තා කියලා හරි, ඉන් පසුව ඒ සල්ලි පන්දාහේ කොළ වලින් බැංකුවෙන් අරගෙන මැතිවරණ ප්‍රචාරණ වැඩ වෙනුවෙන් වියදම් කළා හරි කියලා රටේ සංචිත මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. සංසරණය වෙන්නේ කොහොමටත් සංසරණයේ තිබුණු මුදල් නෝට්ටු. 

මීට අමතරව තවත් දෙයක් වෙනවා. බැංකු වලට ඔය විදිහට සල්ලි ආපුවහම බැංකු වලට ඒ තරම්ම සල්ලි අවශ්‍ය නැත්නම් බැංකු විසින් ඔය සල්ලි මහ බැංකුවේ ගිණුමක තැන්පත් කරනවා. එහෙම කරද්දී සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි නැවත මහ බැංකුවටම එනවා. මිනිස්සු බැංකු වලින් සල්ලි ආපසු ගන්නවා වගේම බැංකු වලට සල්ලි ඕනෑ වුනාම බැංකු ගිහින් මහ බැංකුවෙන් සල්ලි ගන්නවා. පැහැදිලියිනේ.

දැන් ඔය විදිහට මහ බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ බැංකු වලට අයිති සල්ලි. ඒ සල්ලි කලින් මහ බැංකුව විසින්ම සංසරණයට එකතු කරපුවා වීම වෙනම කතාවක්. හැබැයි දැන් මේ සල්ලි මහ බැංකුවට අයිති නැහැ. ඒ නිසා, අදාළ බැංකුව ඉල්ලපු ගමන් ඔය සල්ලි ආපසු දිය යුතුයි. හරියටම බැංකුවේ තිබෙන මිනිස්සුන්ගේ සල්ලි බැංකුවේ සල්ලි නොවෙනවා වගේ. 

දැන් නෝට්ටු හා කාසි සංසරණය වෙන ක්‍රමය තවත් පැහැදිලියිනේ. මිනිස්සු අතින් බැංකුවට. බැංකුවෙන් මහ බැංකුවට. මහ බැංකුවෙන් නැවත බැංකුවට. බැංකුවෙන් මිනිස්සු අතට. හැබැයි කැරකෙන්නේ එකම සල්ලි ටික. 

ඔය විදිහට සල්ලි සංසරණය වෙමින් මහ බැංකුවට එන වෙලාවට මහ බැංකුව විසින් පරණ වෙච්ච නෝට්ටු එකතු කරගෙන ඒවා විනාශ කරලා ඒ වෙනුවට අළුත් නෝට්ටු සංසරණයට එකතු කරනවා. සමහර විට දාහේ කොළ පහක් වෙනුවට පන්දාහේ කොළයක් එළියට දමනවා. හැබැයි ඔය වගේ දේවල් කළා කියලා මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ.

අපි කලින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය කියලා ගණන් හැදුවේ මිනිස්සු අතේ හා බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය විතරයිනේ. නමුත් මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති මුදල් ප්‍රමාණයත් සල්ලිම කියන එක දැන් පැහැදිලි ඇතිනේ. මොකද නැවත මහ බැංකුවට ඇවිත් තිබුණත් මේ සල්ලි මහ බැංකුවේ තියලා තියෙන්නේ තාවකාලිකව පරිස්සමට. මහ බැංකුවට ඒ සල්ලි වල අයිතියක් නැහැ. ඇත්තටම කිවුවොත් බැංකු විසින් හදිස්සියකට ගන්න ඒ විදිහට සල්ලි යම් ප්‍රමාණයක් මහ බැංකුවේ තියන්න ඕනෑ කියන එක නීතිමය අවශ්‍යතාවයක්. අපි කතා කරන කරුණට ඒක ඒ තරම් වැදගත් නැහැ. 

දැන් අපි මේ පදනම මත බැලුවොත් සංසරණයේ, ඒ කියන්නේ මිනිස්සු අතේ හා බැංකු වල, තිබෙන නෝට්ටු හා කාසි වලට අමතරව මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලිත් සල්ලිනේ. ඒ නිසා, අපිට සල්ලි ගැන කතා කරද්දී ඒ ප්‍රමාණයත් එකතු කරන්න වෙනවා. මහ බැංකුවේ ගිණුමක තියෙන සල්ලි කියන්නේත් නෝට්ටු හා කාසි වගේම තමයි. බඩේ බත් වගේ ෂුවර් සල්ලි. මොකද ඉල්ලන වෙලාවට අච්චු ගහලා හරි සල්ලි ආපහු දෙන්න මහ බැංකුවට පුළුවන්. බැංකුවක තියෙන සල්ලි වගේ බැංකුව බංකොලොත් වෙයි කියන අවදානම නැහැ. 

ඔය ගොඩවල් තුන එකතු කරලා තමයි සංචිත මුදල් කියා කියන්නේ.

සංචිත මුදල් = බැංකු වලින් පිට තිබෙන නෝට්ටු හා කාසි + බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි + මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති සල්ලි.

මම හිතන්නේ මේ විදිහට කිවුවහම ඕනෑම කෙනෙක්ට මේක තේරෙයි. සල්ලි කියලා වඩාත්ම පහසුවෙන් ඕනෑ කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් ඔය ගොඩවල් තුනෙන් එකක තිබෙන සල්ලි පමණයි. වෙන විදිහකට කිවුවොත් ෂුවර්ම සල්ලි. 

දැන් අපි 2019 අවසානයේ ඔය ගොඩවල් තුන වෙන වෙනම අරගෙන බලමු.

2019 අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 183,759 යි. 

2019 අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 494,208 යි.  

2019 අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 254,582 යි.  

2019 අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 932,549 යි. 

2019 අවසානයේදී මහ බැංකුව විසින් අච්චු ගසා එළියට දමා තිබුණු මුළු මුදල් ප්‍රමාණය තමයි ඔය. එම ගණනට නැවත මහ බැංකුවේම තැන්පත් කර තිබෙන සල්ලිත් ඇතුළත්. මොකද ඒ සල්ලි මහ බැංකුව විසින් නිකුත් කරපුවා වුනත්, දැන් තියෙන්නෙත් මහ බැංකුවේ සේප්පු වලම වුනත්, මහ බැංකුවට අයිති සල්ලි නෙමෙයිනේ. 

සංචිත මුදල් කියන්නේ ඔය සල්ලි ටික. මම හිතන්නේ මම විස්තර කර තිබෙන විදිහට ඕකේ පටලවගන්න කිසිම දෙයක් නැහැ. තේරුම් ගන්න අමාරු කිසිම දෙයක් නැහැ. එකඟ වෙන්න බැරි දේවල් නැහැ. ඒ වගේම, ඔය විස්තරය කියවලා තේරුම් ගන්න කිසිම ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍යත් නැහැ.

දැන් අපි 2022 මාර්තු අවසන් වෙද්දී තත්ත්වය බලමු. ඒ කියන්නේ අලුත් අධිපති නන්දලාල් වැඩ බාර ගන්න සතියකට වගේ කලින්. 

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංචිත මුළු මුදල් ප්‍රමාණයේ වැඩි වීම = රුපියල් මිලියන 454,151ක්. මෙය 48.7%ක වැඩි වීමක්.

මේ විදිහට සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද?

මම හිතන්නේ සංචිත මුදල් කියන්නේ මොනවද කියන එක මම හොඳින් පැහැදිලි කළා. මෙයින් අදහස් කරන්නේ මහ බැංකුවේම නැවත තැන්පත් කර තිබෙන නෝට්ටු හා කාසිද ඇතුළුව, මහ බැංකුව විසින් සංසරණයට එකතු කර තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය. ඔය විදිහට තේරුම් ගත්තහම හරිම සරලයි. 

ඕකට භාණ්ඩාගාර බිල්පත් වගේ නොතේරෙන දේවල් පටලවා ගන්න අවශ්‍ය නැහැ. තේරෙන කෙනෙක්නම් පටලවා ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සංචිත මුදල් හා භාණ්ඩාගාර බිල්පත් පටලවා ගෙන ප්‍රකාශ නිකුත් කරන ගොඩක් අය දැන් මේ සටහන සැලකිල්ලෙන් කියවා අවසන් කළ ඔබ හැමෝටම තිබෙනවායැයි මම හිතන ඒ මූලික අවබෝධයවත් නැති අයයි.

සංචිත මුදල් කියන්නේ මොනවාද කියා හොඳින් පැහැදිලි කළත් සංචිත මුදල් අඩු වැඩි වෙන්නේ කොහොමද කියලා මම මේ සටහනේ පැහැදිලි කළේ නැහැ. මීට කලින් වාර ගණනක්ම එය පැහැදිලි කර තිබෙනවා. එය පැත්තක තියා, සංචිත මුදල් වලට නැවත ආවොත්, මම ඔය මුලින් විස්තර කළ සල්ලි ප්‍රමාණය, ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය, මිනිස්සු, බැංකු හා මහ බැංකුව අතර නිරන්තරයෙන් කැරකෙනවා. සමහර විට මහ බැංකුව එක නෝට්ටුවක් විනාශ කරලා ඒ වෙනුවට වෙන නෝට්ටුවක් එළියට දමනවා. හැබැයි එහෙම කළා කියලා සංචිත මුදල් ප්‍රමාණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ මහ බැංකුව විසින් කිසියම් වියදමක් කරද්දී. උදාහරණයක් විදිහට මහ බැංකුව විසින් අධිපතිවරයාගේ වැටුප් ගෙවද්දී සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පරණ අධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප් ඇරියස් ගණන් හදලා මුදලක් ගෙවද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මොකද මේ දේවල් වෙනුවෙන් රජය අයවැයෙන් මුදල් වෙන් කරන්නේ නැහැ. මහ බැංකුවට මිනිස්සුන්ගෙන් බදු අය කරන්නත් බැහැ. මහ බැංකුව කරන්නේ සල්ලි අච්චු ගහලා වියදම් කරන එක.

මහ බැංකුව විසින් මහ බැංකුවේ පාවිච්චියට පරිගණකයක් මිල දී ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන විදේශ සංචිත තර කර ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් රජයෙන් හෝ වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දීත් සංචිත මුදල් වැඩි වෙනවා. 

මහ බැංකුව වියදම් කරද්දී සංචිත මුදල් වැඩි වෙනවා වගේම, මහ බැංකුවට ආදායම් ලැබෙද්දී සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. උදාහරණයක් විදිහට මහ බැංකුව මහ බැංකු ප්‍රකාශනයක් විකුණලා රුපියල් පන්සීයක් අය කරද්දී සංසරණයේ තිබෙන රුපියල් පන්සීයක් නැවත මහ බැංකුවට එනවා. ඒ එන්නේ තැන්පතුවක් විදිහට නෙමෙයි. මහ බැංකුව විසින් උපයපු ආදායමක් විදිහට. ඒ නිසා, මහ බැංකුවේ තිබෙන බැංකු වල තැන්පතු වගේ මේ රුපියල් පන්සීය පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඔය විදිහටම මහ බැංකුවේ එකතු කරගෙන තිබෙන විදේශ සංචිත විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා. මහ බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතක් විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණය තීරණය කරන එක් සාධකයක් පමණයි. ඒ නිසා, ඒ දිහා බලලා මහ බැංකුව සල්ලි අච්චු ගහලද නැද්ද කියා තීරණය කරන්න බැහැ. ඒක අලියාගේ කණ අතගාලා අලියා ගැන ලොකු ප්‍රකාශ කරනවා වගේ වැඩක්. එහෙම කරන්න අවශ්‍යත් නැහැ. මොකද මහ බැංකුව විසින් සතිපතාම සංචිත මුදල් ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ කරනවා.

මහ බැංකු අධිපති ධුරයට ලක්ෂ්මන් පත් වුනේ 2019 දෙසැම්බර් 24. කබ්රාල් එම ධුරයට ආවේ 2021 සැප්තැම්බර් 15. නන්දලාල් වැඩ භාරගත්තේ 2022 අප්‍රේල් 7. පහතින් තියෙන්නේ මේ දවස් වලට ආසන්නම දවස් වල සංචිත මුදල් ප්‍රමාණ.

2019 දෙසැම්බර් 26න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 941,498 යි.

2021 සැප්තැම්බර් 16න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,291,257 යි.

සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 349,759 යි.


2022 අප්‍රේල් 7න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,425,822 යි.

සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 134,565 යි.


2022 නොවැම්බර් 17න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,336,145 යි.

සංචිත මුදල් අඩු වීම - රුපියල් මිලියන 89,677 යි.

මේ විදිහට කාලයක් තිස්සේ විශාල ලෙස ඉහළ දමා තිබෙන සංචිත මුදල් ප්‍රමාණයෙන් කොටසක් හෝ අඩු කිරීම ඉතාම ආයාසකර කටයුත්තක්. මෙය තාක්ෂනික ලෙස බැලුවොත් මහ බැංකුවේ ආයතනික කටයුත්තක් වුවත්, එසේ කිරීම සඳහා මහ බැංකුවට නායකත්වය දීම පිළිබඳව වත්මන් මහබැංකු අධිපතිවරයාව අගය කරන එක අසාධාරණ කටයුත්තක් නෙමෙයි. 

තත්ත්වය එසේ තිබියදී, මහ බැංකුවට පිළිතුරු දිය නොහැකි වීමේ වාසිය ගනිමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින්, වැරදි තොරතුරු ඉදිරිපත් කර රටේ ජනතාව නොමග යවමින්, ඇතැම් පුද්ගලයින් විසින් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනඥයා මොන වගේ අයෙක්ද කියන එකයි. විමසිල්ලක් නොකර මේ වගේ පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි.

Sunday, July 24, 2022

භාණ්ඩාගාර බිල්පත් හා සංචිත මුදල්


මෙය පසුගිය ලිපියට අටුවාවක් සේ ලියන සටහනක්. බොහෝ දෙනෙකු විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ ගිය විට එය සල්ලි අච්චු ගැසීමක් සේ වැරදියට අර්ථකථනය කරනවා. ඉතා පැහැදිලිවම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම හා සල්ලි අච්චු ගැසීම එකක් නොව දෙකක්. එහෙත්, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ යම් අදහසක් ගත හැකි නිසා එය නිරීක්ෂණය කිරීම නරක දෙයක් නෙමෙයි. එය චිත්‍රයේ එක කොටසක් පමණක් බව දැනගෙන මෙය කළ යුතුයි.

මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ දෙකක් ප්‍රසිද්ධ කරනවා. එකක් එම බිල්පත් වල මුහුණත අගයන්හි (face value) එකතුවයි. අනෙක එම බිල්පත් වල ගිණුම් වල සටහන්ව ඇති වටිනාකමයි (book value). මේ ගිණුම් වල සටහන්ව ඇති වටිනාකම යනු අදාළ දිනයේදී එම බිල්පත් වල වෙළඳපොළ වටිනාකමයි (mark-to-market value). 

පසුගිය මාර්තු හා මැයි මාස අවසානයේදී මෙම අගයයන් පහත පරිදියි.

මුහුණත අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,727.8

2022 මැයි 31- රුපියල් බිලියන 1,971.5

වැඩි වීම - රුපියල් බිලියන 243.7


ගිණුම් අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,657.3

2022 මැයි 31- රුපියල් බිලියන 1,853.8

වැඩි වීම - රුපියල් බිලියන 196.5

බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය වෙනස් වීම සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය නොවන බව ඉතාම පැහැදිලියි. 

අපි හිතමු මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් කිසියම් දිනක රුපියල් මිලියන 100ක මුහුණත අගය ඇති භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගත්තා කියා. එහෙත් එයින් අදහස් වන්නේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක් මුදල් ගෙවූ බව නෙමෙයි. මිලියන 100 කියා කියන්නේ බිල්පත කල් පිරුණු විට ලැබෙන මුදලයි. අපි හිතමු එසේ ගෙවූ මුදල රුපියල් මිලියන 93ක් බවත් කල් පිරෙන කාලය දින 91 බවත්. බිල්පත සඳහා ලැබෙන පොලිය, එහෙමත් නැත්නම් ඵලදා අනුපාතය, තීරණය වන්නේ මෙසේ මිල දී ගත් මිල අනුවයි. එය අපට මෙලෙස ගණන් හැදිය හැකියි.

ඵලදා අනුපාතය = (100 - 93)*(365/91)/93 = 30.19%

ඒ කියන්නේ මහ බැංකුව මේ බිල්පත මිල දී ගනිද්දී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් මිලියන 100කින් ඉහළ යන නමුත් ඒ වෙනුවෙන් ගෙවන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ කියන්නේ, "සල්ලි අච්චු ගැසීමක්" වෙන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ දළ අදහසක් ගත හැකි වුවත් පූර්ණ අදහසක් ගන්න බැහැ.

ඒ වගේම මේ බිල්පත කල් පිරුණු විට සිදුවන දෙයත් බලමු. එවිට මහ බැංකුවට රුපියල් මිලියන 100ක් ලැබෙන නිසා සංචිත මුදල් සැපයුම එපමණකින් පහළ යනවා. ඒ වගේම, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගයද රුපියල් 100කින් පහළ යනවා. එසේ වුවත්, කල් පිරෙන්න කලින් මහ බැංකුව මේ බිල්පත විකිණුවොත් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් 100කින් පහළ යන නමුත් එපමණකින් සංචිත මුදල් ප්‍රමාණය පහළ යන්නේ නැහැ.

එහෙමනම් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීමෙන් සල්ලි අච්චු ගැසීම හරියටම නිරූපණය වෙනවද? 

දැන් මේ බිල්පත මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 93ක් ගෙවන්න වෙනවනේ. ඒ එක්කම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගයද එපමණකින් ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිරූපණය වෙනවා. නමුත් වැඩේ අවුල් වෙන්නේ ඊට පස්සේ. 

මිල දී ගත් දවසේ ඉඳන් මේ බිල්පතේ වෙළඳපොළ අගය දිනෙන් දින වෙනස් වෙනවා. ඒ කියන්නේ ගිණුම් අගයත් වෙනස් වෙනවා. කල් පිරෙන දිනය වන විට එම අගය රුපියල් මිලියන 100ක් වෙනවා. හැබැයි ඒ අතර කාලයේදී සංචිත මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීම දිහා බලලත් සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිගමනය කරන්න බැහැ.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම රජයට ණය දෙන එක ක්‍රමයක් පමණයි. මහ බැංකුව රජයට කෙළින්මත් ණය හා අත්තිකාරම් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මේ හේතු නිසා, සංචිත මුදල් කෙරෙහි බලපාන්නේ රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණයේ වෙනස් වීම. ඒක ඔය කලින් කී දෙකෙන් එකක්වත් නෙමෙයි. සාමාන්‍යයෙන් රජය මහ බැංකුවෙන් අරන් තිබෙන ණය ප්‍රමාණය ඔය දෙකටම වඩා වැඩියි. එම ණය ප්‍රමාණයේ වෙනස්වීම අඩු හෝ වැඩි විය හැකියි.

රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 2,682.5

2022 මැයි 31- රුපියල් බිලියන 2,904.8

වැඩි වීම - රුපියල් බිලියන 222.3

හැබැයි සල්ලි අච්චු ගැසීම හෙවත් සංචිත මුදල් වැඩි වීම කියා කියන්නේ ඔය විදිහට සල්ලි අච්චු ගහලා මොන ක්‍රමයෙන් හෝ රජයට දෙන මුළු රුපියල් ප්‍රමාණයත් නෙමෙයි. මහ බැංකුවෙන් එළියට රුපියල් යන හා ඒ රුපියල් ආපහු මහ බැංකුවට එන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. ප්‍රචලිතම ක්‍රමය ඩොලර් විකිණීම හා මිල දී ගැනීම. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් එළියට යනවා. විකුණද්දී නැවත ඒ රුපියල් මහ බැංකුවට එනවා.

2022 අප්‍රේල් 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 244.90

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 140.95

2022 මැයි 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 222.73

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 155.10

මාස දෙකේදීම මිල දී ගත් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඩොලර් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ රජයට ණය විදිහට දුන් රුපියල්  බිලියන 222.3න් යම් ප්‍රමාණයක් ඩොලර් විකිණීම හරහා නැවත මහ බැංකුවට ඇවිත් තිබෙනවා. මේ හේතුව සහ වෙනත් හේතු නිසා, ඔය මාස දෙක තුළ සංචිත මුදල් වැඩි වී තියෙන්නේ, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා තියෙන්නේ, රජයට ණය දුන් ප්‍රමාණයට වඩා අඩුවෙන්.

සංචිත මුදල් ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,386.7

2022 මැයි 31- රුපියල් බිලියන 1,414.9

වැඩි වීම - රුපියල් බිලියන 28.3

Saturday, July 23, 2022

අලුත් අධිපතිගේ සල්ලි අච්චු ගැහිල්ල


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේදී ලංකාවේ උද්ධමනය 58.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 75.8%ක්. නැවතත් පැහැදිලිව කිව යුත්තේ මෙය අධි-උද්ධමන (hyper-inflation) තත්ත්වයක් නොවන බවයි. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මාසයක් තුළ මිල දර්ශක අගය 50% ඉක්මවා ඉහළ යාමයි. මෙහි 58.9% ලෙස පෙන්වන්නේ 2021 ජූනි සිට 2022 ජූනි දක්වා වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමයි. 

ඒ වගේම, මේ වන තුරුත් මා අනාගත අධි-උද්ධමන අවදානමක් දකින්නේ නැහැ. නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාරගත් තැන් සිට අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පිණිස මහ බැංකුව පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. ඒ වගේම, මහින්ද සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම් වීමෙන් පසුව ඒ සඳහා භාණ්ඩාගාරය පැත්තෙන් ලැබිය යුතු සහයෝගයද ලැබී ඇති බව පෙනෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළින් සිදු විය යුතු දේ කර ගැනීම මේ වන විට රට හමුවේ තිබෙන දේශපාලන අභියෝගයයි. 

අධි-උද්ධමන තත්ත්වයක් නොවෙතත්, පෙර කිසි කලෙක නොපැවති, ඉතා ඉහළ මට්ටමක උද්ධමනයක් ලංකාවේ මේ වන විට පවතිනවා. පසුගිය මාස කිහිපය මුළුල්ලේම ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 10%කට ආසන්න මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

අප්‍රේල්- 10.2%

මැයි- 9.7%

ජුනි- 10.9%

මිල මට්ටම් වේගයෙන් වැඩි වුනත් එසේ වැඩි වන වේගය ස්ථාවරව තිබීම සාපේක්ෂව හොඳ ලකුණක්. එයින් පෙන්වන්නේ අධි-උද්ධමන තත්ත්වයක් කරා යාමක් දැනට නොපෙනෙන බවයි. එහෙත්, දර්ශක අගය මසකට 10% බැගින් ඉහළ යනවා කියන එකෙන් අදහස් වන්නේ තවත් මාස ගණනක් යන තුරු උද්ධමනය ඉහළ හා හැකි බවයි. 

උද්ධමනය 70% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා විසින්ම කියා තිබුණා. මහ බැංකුව එසේ කියනවානම් එයින් අදහස් වන්නේ 70%ක අනාගත උද්ධමනයක් දැනටමත් හැදී ඇති බවයි. මා හිතන පරිදි, ඉදිරි මාස තුන තුළ උද්ධමනය ඉලක්කම් තුනක අගයකට වුවද ආසන්න විය හැකියි. කෙසේ වුවද, දැනට සල්ලි අච්චු ගැසීම නැවතී ඇති නිසා උද්ධමනය යම් උපරිම මට්ටමක් කරා යාමෙන් පසුව පහළ යා යුතුයි. 

නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. මෙය අවධාරණය කර කිව යුත්තේ ඇතැම් වෙබ් අඩවි වල කරුණු විකෘති කළ වාර්තා පළ වී ඇති නිසයි.

පෙර නොයෙක් වර පැහැදිලි කර ඇති පරිදි සල්ලි අච්චු ගැසීම සේ සැලකෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. අලුත් අධිපති වැඩ භාර ගත් අප්‍රේල් 7 දින සිට මේ දක්වා මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.

2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8

2022 ජූලි 21 - රුපියල් බිලියන 1,439.4

වෙනස - රුපියල් බිලියන 13.6

මෙම වෙනස 1%කටත් අඩු වෙනසක්. එවැනි වෙනස්කම් දිනපතාම වුවද සිදු වන නිසා අලුත් අධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව සංචිත මුදල් සැපයුම ස්ථාවරව පවතින බව, එනම් සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැති බව, අපහසුවකින් තොරව කියන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඇතැම් සති වලදී සංචිත මුදල් ඉහළ ගොස් ඇතත් එසේ මහ බැංකුවෙන් එළියට ගිය රුපියල් ඉතා ඉක්මණින් නැවත අවශෝෂණය කරගෙන ඇති නිසා පසුගිය මාස තුනහමාර තුළ සමස්තයක් ලෙස සැලකිය යුතු සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැහැ. 

මේ තත්ත්වය අපට පෙර අධිපතිවරයාගේ කාලය සමඟ සංසන්දනය කළ හැකියි. 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 4 දක්වා කලය තුළ නිවාඩ් කබ්රාල් අධිපති සේ කටයුතු කළා. එම කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.

2021 සැප්තැම්බර් 16 - රුපියල් බිලියන 1,291.3

2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8

වෙනස - රුපියල් බිලියන 134.5

රජය ආදායම ඉක්මවා වියදම් කරන තුරු, රජයට විදේශ ණය ලබා ගැනීමේ හැකියාවද සීමා වී ඇත්නම්, අවශ්‍ය අරමුදල් ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් සොයා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එසේ නොකළහොත් රුපියල් අතේ ඇති අය රජයට අවශ්‍ය පමණ ණය දෙන්නේ නැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගැසීම මගින්.

කෙසේ වුවත්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරීමෙන් රටේ ව්‍යාපාර බිඳ වැටී ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතා පැහැදිලිවම එය හානිකර වුවත්, සල්ලි අච්චු ගැසීම ඊට වඩා හානිකරයි. විශේෂයෙන්ම අධි-උද්ධමනයක් බවට පත් විය හැකි ඉතා ඉහළ උද්ධමන මට්ටමක් රටේ පවතින විටෙක. මෙහිදී මහ බැංකුවට අඩු නරක තෝරා ගැනීමට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් සතු ප්‍රධානම අවිය පොලී අනුපාතිකයි. 

අධි-උද්ධමන අවදානමද මග හැර ගනිමින් පොලී අනුපාතික ඉහළ යාම පාලනය කර ගැනීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුව පැත්තෙන් අවශ්‍ය දේ සිදු විය යුතුයි. හරියම කියනවානම් බදු වැඩි කර ගැනීම හා වියදම් කැපීම මගින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු කර ගත යුතුයි. එය සිදු නොවන තාක්, අධි-උද්ධමන තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා මහ බැංකුවට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ හරින්න සිදු වෙනවා. එහිදී වක්‍ර ලෙස රටේ ආර්ථිකය සංකෝචනය කිරීම සඳහා දායක වීමට මහ බැංකුවට සිදු වෙනවා. 

2022 ජනවාරි 

රජයේ ආදායම - රුපියල් බිලියන 104.8

රජයේ වියදම - රුපියල් බිලියන 259.1

හිඟය - රුපියල් බිලියන 154.3


2022 පෙබරවාරි 

රජයේ ආදායම - රුපියල් බිලියන 206.7

රජයේ වියදම - රුපියල් බිලියන 292.6

හිඟය - රුපියල් බිලියන 85.9


2022 මාර්තු 

රජයේ ආදායම - රුපියල් බිලියන 135.4

රජයේ වියදම - රුපියල් බිලියන 379.5

හිඟය - රුපියල් බිලියන 244.1


2022 අප්‍රේල් 

රජයේ ආදායම - රුපියල් බිලියන 184.2

රජයේ වියදම - රුපියල් බිලියන 224.0

හිඟය - රුපියල් බිලියන 39.8

Tuesday, May 24, 2022

මහ බැංකුව කඩා කරන්සි බෝඩ් එකක් හැදීම


කරන්සි බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන ගොඩක් අයට කුතුහලයක් ඇති වුනේ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව ට්විටර් හරහා ප්‍රචාරය කළාට පස්සේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවේ 1950දී. ඊට කලින් ලංකාවේ තිබුණේ කරන්සි බෝඩ් එකක්. මහ බැංකුවක් හා කරන්සි බෝඩ් එකක් අතර වෙනස කුමක්ද?

කරන්සි බෝඩ් එකකින් කරන්නෙත් මහ බැංකුවකින් වගේම රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කරන එක. හැබැයි කරන්සි බෝඩ් එකකට හිතේ හැටියට සල්ලි අච්චු ගහන්න බැහැ. පැහැදිලි කිරීමේ පහසුවට මම සරල කරන්සි බෝඩ් ආකෘතියක් ගැන කතා කරන්නම්. වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. හැන්කි කතා කරන්නෙත් සරල ආකෘතියක් ගැන.

මහ බැංකුවක් වුනත්, කරන්සි බෝඩ් එකක් වුනත්, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකම් බෙදාගෙන යන්නේ නැහැ. සල්ලි ආර්ථිකයට මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. හැන්කි යෝජනා කරන ආකෘතිය ඇතුළේ ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුවොත් මේ විදිහට රුපියල් නිකුත් කරන්නේ ඩොලර් එක්ක හුවමාරුවට. ඒ වැඩේ කරන්න මුලින්ම විණිමය අනුපාතයක් නියම කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විණිමය අනුපාතය වෙනස් කරන්නේ නැහැ.

අපි හිතමු ඩොලර් එකක් රුපියල් 400යි කියලා නියම කළා කියලා. දැන් ඕනෑම කෙනෙකුට මහ බැංකුවට ඩොලර් එකක් දීලා රුපියල් 400ක් ලබා ගන්න පුළුවන්. මහ බැංකුවට දීලා කිවුවත් බැංකුවක් හරහා වක්‍ර ලෙස ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 400 දීලා ඩොලර් එකක් ආපහු ගන්නත් පුළුවන්. 

දැන් මේ ක්‍රමයට හැම වෙලාවේම මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් සංචිත විදිහට තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් සංචිත අඩු වුනොත් රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණයත් අඩු වෙනවා. වැඩි වුනොත් වැඩි වෙනවා.

මේ ක්‍රමය යටතේ රටේ බඩු මිල ඉහළ යන්නේ ජාත්‍යන්තර ලෙස බඩු මිල ඉහළ යන විදිහටයි. වඩා නිවැරදිව කිවුවොත් ඇමරිකාවේ බඩු මිල ඉහළ යන විදිහටයි. ඇමරිකාවේ තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ තෙල් මිලත් ඒ අනුපාතයෙන්ම ඉහළ යනවා. අඩු වෙද්දී අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනයත් ඇමරිකාවේ උද්ධමනයට සමානයි (විවිධ හේතු නිසා මේක වෙනස් වෙනවා. දැනට ඒ දේවල් නොසලකා හරිමු).

වෙනත් විදිහකින් කිවුවොත් රුපියල බාල්දු වෙන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වුනොත් විතරයි. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න ඕනෑනේ. බඩු මිල කීය වුනත් රුපියලට සත සීයයි වගේ ඩොලරයට රුපියල් හාර සීයයි.

මහ බැංකුවක් කරන්සි බෝඩ් එකකින් වෙනස් වෙන්නේ කොහොමද?

ඔය කලින් විස්තර කරපු කරන්සි බෝඩ් එකක් කරන හැම දෙයක්ම මහ බැංකුවත් කරනවා. ඒ කියන්නේ ඩොලර් දුන්නොත් රුපියල් දෙනවා. හැබැයි ඊට අමතරව මහ බැංකුවක් විසින් රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවෙනුත් රුපියල් දෙනවා. කරන්සි බෝඩ් එකක් ඔය වැඩේ කරන්නේ නැහැ.

කවුරුහරි ඩොලර් දීලා රුපියල් ගන්නම් ඒ ඩොලර් මොන විදිහකින් හෝ උපයන්න වෙනවා. ඒ නිසා, කරන්සි බෝඩ් ක්‍රමයේදී රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ යන්නේනම් පමණයි. නමුත් මහ බැංකු ක්‍රමයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. රජයට ආදායම ඉක්මවා වියදම් කරලා අඩුව පුරවා ගන්න මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න පුළුවන්. "සල්ලි අච්චු ගැසීම" කියා කියන්නේ ඔය වැඩේට. 

මේ ක්‍රමයේදී රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ රටේ හැමෝම තමන් අතේ තිබෙන රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලුවොත් දෙන්න ඩොලර් මහ බැංකුවේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රජය මහ බැංකුවට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී ඩොලරයක මිලත් තව තව ඉහළ යනවා. උද්ධමනයත් වැඩි වෙනවා.

හැන්කි මහ බැංකුව විසුරුවලා කරන්සි බෝඩ් එකක් හදන්න කියන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඒ කියන විදිහට කරන්සි බෝඩ් එකක් හැදුවොත් විසඳෙන ප්‍රශ්න මොනවාද?

- ඩොලරයක මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තිබෙනවා 

- උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ 

- "සල්ලි අච්චු ගැසීමක්" නැති නිසා රජයට ආදායම හා වියදම ගලපා ගන්නම වෙනවා


වැඩේ හොඳයි. හැබැයි ප්‍රශ්නය ඕක කරන්නේ කොහොමද කියන එකයි. මේ වගේ වැඩක් කළ හැකි ක්‍රම දෙයක් තිබෙනවා.

- දැන් තියෙන මහ බැංකුව කරන්සි බෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම 

- අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හැදීම 


ඔය විකල්ප දෙක ගැන අපි වෙන වෙනම කතා කරමු.

පළමු විකල්පයේදී දැන් සංසරණයේ තිබෙන රුපියල් වල වටිනාකම එලෙසම ඉතිරි වෙනවා. දැනට මහ බැංකුව විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්නනම් මේ රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට සංචිත තියා ගන්න වෙනවා. ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ නියම කරන විණිමය අනුපාතය මත.

මේ විණිමය අනුපාතය රුපියල් 375ක් කියා අපි හිතමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් තියෙනවානම් වැඩේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ වන විට මහ බැංකුව සතු සංචිත කිසිවක් නැති වීමයි. මහ බැංකුව තවත් ඩොලර් බිලියන 4ක් ණයයි (දැන් මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්). ඒ කියන්නේ, ඩොලරයක මිල රුපියල් 375 මට්ටමේ තියාගෙන ඔය වැඩේ කරන්නනම් මහ බැංකුවට ඩොලර් බිලියන 8ක් හොයා ගන්න වෙනවා. 

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 750 වෙන්න ඇරලා වැඩේ පටන් ගන්නවා කියලා. දැන් සංචිත අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණයි. හැබැයි ණය ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 6ක් ඕනෑ වෙනවා. ඩොලර් මිලියන 78ක කූපන් පොලී ගෙවාගන්න බැරුව, වරායට ඇවිත් තියෙන නැව් වල තියෙන තෙල් වලට ගෙවන්න ඩොලර් නැතුව ඔය වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් මටනම් තේරෙන්නේ නැහැ.

දෙවෙනි ක්‍රමය අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හදන එක. කැමති වුනත්, නැති වුනත්, වෙන්න තියෙන නරකම දේ වුනොත් ඊට පස්සේ කොහොමටත් කරන්න වෙන්නේ ඔය වැඩේ තමයි. 

වෙන්න තියෙන නරකම වැඩේ කියලා මම කිවුවේ සිම්බාබ්වේ වල වුනා වගේ රුපියල් වල කිසිම වටිනාකමක් නැති වීම. ඒ කියන්නේ මහ බැංකුව කොහොමත් කඩා වැටිලා. මිනිස්සු රුපියල් වෙනුවට ගනුදෙනු සඳහා වෙන වෙන දේවල් භාවිතා කරනවා. ඔය වගේ තැනකට වැටුනොත් ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙන්නේ කරන්සි බෝඩ් එකකින්. කාට හරි රුපියල් අවශ්‍යනම් මොනවා හෝ අපනයනය කරලා ඩොලර් හොයන්න වෙනවා. 

බය කරන්න හදනවා නෙමෙයි. ළඟ පාතක වෙන්න තියෙන දේකුත් නෙමෙයි. හැබැයි කොහෙත්ම වෙන්න බැරිම දේකුත් නෙමෙයි. අපි හිතමු රුපියල වැඩකටම නැති වුනා කියලා. ලංකාවේ මිනිස්සු ගනුදෙනු සඳහා මොනවා යොදා ගනියිද? 

ඔය වගේ දෙයක් වුනොත් ලංකාවේ රුපියල් වෙනුවට ඇමරිකන් ඩොලර් ආදේශ වෙන්නේ නැහැ. චීන යුවාන් ආදේශ වෙන්නෙත් නැහැ. ඔතැනට අනිවාර්යයෙන්ම ආදේශ වෙන්නේ ඉන්දියානු රුපියල්. රුපියල බිංදුවටම කඩා නොවැටුණත්, තව ටිකක් දුර්වල වුනොත් ලංකාවේ සංසරණයට ඉන්දියානු නෝට්ටු එන්නේ නැද්ද කියලා බලන්න. සමහර විට ඉන්දියාව දැනටමත් ඒ තරමටම දුර බලලා වෙන්න පුළුවන්. යම් විදිහකින් ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුනත් ප්‍රායෝගිකව ලංකාවේ රුපියල අමුණන්න වෙන්නේ ඉන්දියාවේ රුපියලට.

Thursday, March 24, 2022

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

 

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා. 

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා. 

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල්  සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්. 

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) - ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව - ඩොලර් බිලියන 20,560.8යි. 

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ. 

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා. 

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - රුපියල් බිලියන 7,842.9යි.

එකතුව - රුපියල් බිලියන 9,136.3යි. 

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්. 

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

වෙබ් ලිපිනය: