සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන බව මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත්, මේක ඇත්තටම සිදු වන විදිහ සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන, පෙර ලිපි ගණනාවක විස්තර කර තිබෙන නිසා නැවත ඒ දේවල්ම ලියන්නේ නැහැ.
රටක ගනුදෙනු කරන්න සල්ලි අවශ්‍යයි. ඒ නිසා, රටක ගනුදෙනු සඳහා අවශ්‍ය සල්ලි ප්‍රමාණය කවුරු හෝ අච්චු ගහලා එළියට දමන්නත් අවශ්‍යයි. ඒ වැඩේ සාමාන්‍යයෙන් කරන්නේ රටක මහ බැංකුව.
රටක ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය අනුව සල්ලි අච්චු ගැහුවා කියලා ප්‍රශ්නයක් වන තරමට උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. උද්ධමනය ප්‍රශ්නයක් වෙන්නේ රජයේ අයවැය හිඟය පියවීම සඳහා විශාල ලෙස සල්ලි අච්චු ගහද්දී. එහෙම සල්ලි අච්චු ගහන්න වෙන්නේ රජය බදු ආදායම ඉක්මවා වියදම් කරද්දී.
එහෙම අයවැය හිඟයක් නඩත්තු වෙද්දී වුනත්, පොලී අනුපාතික ප්‍රමාණවත් තරම් ඉහළ යන්න ඉඩ දුන්නොත් සල්ලි අච්චු නොගසා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. නමුත් අයවැය හිඟයක් තියාගෙන පොලී අනුපාතිකත් පහළින් තියාගන්නනම්, රජයට මහ බැංකුවෙන් ණය ගන්න වෙනවා. මහ බැංකුව රජයට ණයට දෙන්නේ අලුතෙන් අච්චු ගහන සල්ලිනම්, එයින් සංචිත මුදල් සැපයුම ඉහළ යනවා.
කතාවට සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යාමට. හැබැයි සංචිත මුදල් සැපයුම කියන්නේ එක පැත්තකට පමණක් වෙනස් වෙන දෙයක් නෙමෙයි. එය වැඩි වෙනවා වගේම අඩුත් වෙනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යද්දී අච්චු ගහපු අලුත් සල්ලි එළියට යනවා. ඒ වගේම, සංචිත මුදල් සැපයුම පහළ යද්දී ඒ විදිහට එළියට ගිය සල්ලි නැවත මහ බැංකුවට එනවා. ඒ නිසා, දවස ගණනේ සංචිත මුදල් අඩු වැඩි වීම දිහා බලලා සල්ලි අච්චු ගැසීමක් වෙලාද කියලා කියන්න බැහැ. යම් කාලයක් තුළ සිදු වූ වෙනසයි බලන්න වෙන්නේ.
මේ වෙද්දී මහ බැංකුව විසින් 2023 ජූනි මාසය අවසානයේ පැවති සංචිත මුදල් ප්‍රමාණය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. පහත තිබෙන්නේ පසුගිය වසර පහ තුළ ජූනි මාසය අවසානයේදී වූ සංචිත මුදල් සැපයුම වෙනස් වූ ආකාරය.
2023 ජූනි - රුපියල් බිලියන 1,435.8
2022 ජූනි - රුපියල් බිලියන 1,452.6
2021 ජූනි - රුපියල් බිලියන 1,065.1
2020 ජූනි - රුපියල් බිලියන 869.0
2019 ජූනි - රුපියල් බිලියන 874.5
මම හිතන්නේ සංචිත මුදල් සැපයුම වැඩි වූ අවුරුදු සහ අඩු වූ අවුරුදු හඳුනා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. පහත තිබෙන්නේ ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සංචිත මුදල් සැපයුම වෙනස් වූ ප්‍රතිශතය. වරහන් තුළ තිබෙන්නේ සෘණ ගණන්.
2022/23 - (-1.2%)
2021/22 - 36.4%
2020/21 - 22.6%
2019/20 - (-0.6%)
ඔය විදිහට සංචිත මුදල් සැපයුම වෙනස් වෙද්දී ජූනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ රටේ සාමාන්‍ය මිල මට්ටම වෙනස් වූ ප්‍රතිශතය හෙවත් උද්ධමනය මම දැන් පෙන්වන්නම්.
2022/23 - 12.0%
2021/22 - 54.6%
2020/21 - 5.2%
2019/20 - 3.9%
මේ මාසයේ සංචිත මුදල් වැඩි වුනා කියලා අනෙක් අතට උද්ධමනය ඉහළ යන්නේ නැහැ. එය සිදු වන යාන්ත්‍රණයක් තිබෙනවා. යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ යාන්ත්‍රනය ෆේස්බුක් එකේ පෝස්ට් එකකින් පහසුවෙන් පැහැදිලි කළ හැකි තරම් සරල යාන්ත්‍රණයක් නෙමෙයි.
මේ වගේ සටහන් ලියන්නේ ආර්ථිකය හා අදාළ ප්‍රතිපත්ති තීරණ ගන්නා මහ බැංකුව වැනි තැන් වල ඉන්න එම යාන්ත්‍රනය ගැන දන්නා අයට උපදෙස් දෙන්න නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුට වෙන දේ තේරුම් ගැනීම පහසු කරන්න. ගොඩක්ම සංකීර්ණ නැති ඉංජිනේරු සැලසුමක් වුනත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක තිබෙන ගණිත ගැටලුවකට වඩා ගොඩක් සංකීර්ණයි. උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක තිබෙන ගැටළු අදාළ සිද්ධාන්ත තේරුම් ගැනීම පහසු කරන්න ඉදිරිපත් කරන ගැටළු මිසක් ඇත්ත ලෝකයේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් හොයන්න උදවු වෙන මට්ටමේ ගැටළු නෙමෙයි. නමුත්, ඒ වගේ සරල ගැටලුවක්වත් විසඳාගන්න බැරුව ඊට වඩා සංකීර්ණ පද්ධතියක වෙන දේවල් ගැන තේරුම් ගන්න බැහැ.
සංචිත මුදල් වැඩිවීම උද්ධමනය කෙරෙහි බලපාන්නේ පුළුල් මුදල් සැපයුම ඉහළ යාම හරහා. මෙහිදී ආර්ථික වර්ධනය, විණිමය අනුපාතය වැනි තවත් දේවල්ද බලපානවා. නමුත්, ඉහත සංචිත මුදල් වර්ධනය හා මිල මට්ටම ඉහළ යාම දිහා බලලා සංචිත මුදල් වැඩි වෙද්දී උද්ධමනය වැඩි වෙනවා කියන එක තේරුම් ගන්න අමාරු වෙන්න විදිහක් නැහැ. 2022 ජූනි දක්වා වූ දෙවසරක කාලය තුළ සංචිත මුදල් සැපයුම 67.2%කින් ඉහළ ගියා. ඉන් පසු වසර තුළ සංචිත මුදල් සැපයුම 1.2%කින් පහළ ගොස් තිබෙනවා. මම හිතන්නේ උද්ධමනය විශාල ලෙස ඉහළ යාම හා ඉන් පසුව වේගයෙන් අඩු වීම මේ ඇසුරෙන් තේරුම් ගන්න එක අපහසු වෙන්න විදිහක් නැහැ.
සංචිත මුදල් වැඩිවීම හා උද්ධමනය අතර සම්බන්ධය මීට වඩා සංකීර්ණ බව හා තවත් විචල්‍ය ගණනාවක් එයට බලපාන බව කියද්දී එයින් අදහස් වෙන්නේ ඒ සම්බන්ධතාවන් ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ෆේස්බුක් සටහන් හරහා පැහැදිලි කරන්න අමාරුයි කියන එක මිසක් කාටවත් තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අදාළ පුහුණුව හා පළපුරුද්ද තිබෙන කෙනෙකුට මේ සම්බන්ධතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ හා අදාළ කාලයක් තිස්සේ දියුණු වූ විද්‍යාවක් තිබෙනවා. මහ බැංකුව විසින් මුදල් සැපයුම සීමා කර උද්ධමනය අඩු කළේ ඒ විද්‍යාව යොදාගෙන.
මේ සමග පළ කර තිබෙන ප්‍රස්ථාරයේ සංචිත මුදල් වර්ධනය ඉහළ යාම හා පහළ යාම නිරීක්ෂණය කරන්න. ඊට වසරකට පමණ පසුව උද්ධමනය වැඩි වීම හා අඩුවීම මතක් කරගන්න. අප විසින් වසරකට පමණ පෙර සිටම උද්ධමනය අඩු වීම නිවැරදිව පුරෝකථනය කළේ මේ දිහා බලාගෙන. වඩා නිවැරදිව කිවුවොත් මේ දිහා වගේම අදාළ යාන්ත්‍රනය කෙරෙහි බලපෑමක් කළ හැකි තවත් දේවල් දිහාත් බලාගෙන. මෙය අදාළ සිද්ධාන්ත ගැන අවබෝධයක් තිබුණු ඕනෑම කෙනෙකුට කළ හැකි වූ දෙයක්.
උද්ධමනය කියන්නේ බඩු මිල වැඩිවීමේ වේගය නම් උද්ධමනය වැඩිවීම කියන්නේ කුමක්ද
ReplyDelete