වෙබ් ලිපිනය:

Showing posts with label ශ්‍රම වෙළඳපොළ. Show all posts
Showing posts with label ශ්‍රම වෙළඳපොළ. Show all posts

Thursday, November 13, 2025

වතු කම්කරුවන්ට ගෙවන රුපියල් දෙසීය


තේ කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ දෛනික වැටුපට බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් රුපියල් දෙසීයක මුදලක් එකතු කර තිබෙනවා. මේ රාජ්‍ය මැදිහත්වීම ලංකාවට අලුත් දෙයක්. මීට කලින් බොහෝ විට සිදු වූයේ රජය මැදිහත් වී අවම වැටුප ඉහළ දැමීමයි. මෙය අලුත් ආකාරයක මැදිහත් වීමක් නිසාම, මේ ගැන පැහැදිලි කිරීමක් කිහිප දෙනෙකු විසින්ම ඉල්ලා තිබෙනවා.

අපි මූලික ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක පැහැදිලි කෙරෙන සාමාන්‍ය තරඟකාරී ශ්‍රම වෙළඳපොලකින් මේ විග්‍රහය පටන් ගනිමු. රාජ්‍ය මැදිහත්වීමක් නැති, තරඟකාරී වෙළඳපොළක ශ්‍රමය සඳහා වන ඉල්ලුම හා සැපයුම අනුව ශ්‍රමයේ මිල තීරණය වෙනවා. ඒ කියන්නේ වැටුප තීරණය වෙනවා. 

මේ විදිහේ තරඟකාරී ශ්‍රම වෙළඳපොලවල් තියෙන්නේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල පමණක් නෙමෙයි. සැබෑ ලෝකයේද මේ සරල ආකෘතිය හා ගැලපෙන ශ්‍රම වෙළඳපොළවල් ඕනෑ තරම් තිබෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ ආරක්ෂක සේවා රැකියාව. සාමාන්‍ය වචන වලින්නම් සිකියුරිටි රස්සාව. 

ඔය ආරක්ෂක සේවා රැකියාව කරන අවි පුහුණුව ලබපු අය එහෙමත් ඉන්නවා. නමුත් මෙහිදී කතා කරන්නේ සිකියුරිටි රස්සාව ලෙස හඳුන්වන දොරටුපාල රස්සාව ගැන. ඔය රස්සාව ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් රස්සාවක්. පුහුණුවක් කියලා දෙයක් අවශ්‍ය නැහැ. ගොඩක් අය ඔය වගේ රස්සාවකට යන්නේ ඊට වඩා හොඳ රස්සාවක් කිරීමේ අවස්ථාවක් නොලැබෙන නිසා. වැටුප ඒ තරම් ඉහළ එකක් නෙමෙයි. වෙන තැනක වැඩි වැටුපක් ලැබෙනවානම් අනිවාර්යයෙන්ම රස්සාව මාරු කරනවා. සාමාන්‍යයෙන් හෙට්ටු කරලා වැටුප වැඩි කරගන්න බැහැ. රස්සාවට එන්න තව ඕනෑ තරම් අය ඉන්නවා.

ඇඟලුම් කම්හල් වල රැකියාව ගත්තත් ඔය සිකියුරිටි රස්සාවට වඩා පොඩි වෙනසයි තියෙන්නේ. වැටුප බොහෝ දුරටම තීරණය වෙන්නේ වෙළඳපොළ තරඟය තුළ ඉල්ලුම හා සැපයුම අනුවයි. ඇඟලුම් කර්මාන්තය හා අදාළව අවම වැටුපක් තිබුණත්, ඒ අවම වැටුප වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම තුලනය වන වැටුපට වඩා අඩු නිසා එහි ප්‍රායෝගික බලපෑමක් නැහැ. 

යම් හෙයකින් ඇඟලුම් කර්මාන්තයේ අවම වැටුප ඔය සමතුලිත වැටුපට වඩා වැඩි කළොත් වෙන්නේ කුමක්ද? දැන් ඒ අවම වැටුප ගෙවන්නම වෙනවා. නමුත් ඒ අවම වැටුප ගෙවලා ලාබ ගන්න පුළුවන් ව්‍යාපාරයේ නිරත වන යම් පිරිසකට පමණයි. ඒ නිසා, අවසාන වශයෙන් වෙන්නේ රැකියා යම් ප්‍රමාණයක් නැති වෙන එක. නිෂ්පාදනය අඩු වෙන එක. වෙළඳපොළ සාමාන්‍ය තරඟකාරී ශ්‍රම වෙළඳපොලක්නම් ඕනෑවට වඩා වැඩි අවම වැටුපක් නිසා හැම වෙලාවකම වෙන්නේ යම් රැකියා ප්‍රමාණයක් නැති වෙන එකයි. 

රජය විසින් අවම වැටුප නිකම්ම වැඩි නොකර, අවම වැටුප සහ වෙළඳපොළ වැටුප අතර වෙනස කම්හල්හිමියාට (හෝ ශ්‍රමිකයාට) ගෙවුවොත්, මේ විදිහට රැකියා නැති වීමක් වෙන්නේ නැහැ. ශ්‍රමිකයාට වැඩි වැටුපක් ලැබුණත්, එය කම්හල්හිමියාගේ පිරිවැයට එකතු වෙන එකක් නෙමෙයි. එහි බර දරන්නේ බදු ගෙවන්නෝ. ඒ නිසා, මෙහිදී ශ්‍රමිකයාව සුබසාධනය වීමක් සිදු වෙන නමුත් අවම වැටුප් ක්‍රමයේදී වගේ වෙළඳපොළ විකෘති වෙන්නේ නැහැ.

ඉහත හේතුව නිසා, සාමාන්‍ය තරඟකාරී ශ්‍රම වෙළඳපොළ රැකියාවක් හා අදාළව, අවම වැටුප රජය විසින් නියම කිරීමේ විකල්පයට සාපේක්ෂව බලද්දී ඔය විදිහට කෙළින්ම බදු ගෙවන්නගේ මුදල් වලින් සල්ලි ගෙවන ක්‍රමය හොඳ එකක්. මෙහිදී අරමුණ සුබසාධනය. සුබසාධනය වෙනුවෙන් කාට හෝ මිලක් ගෙවන්න වෙනවා. ඔය විදිහට කෙළින්ම ඒ මිල ගෙවද්දී සල්ලි යන්නේ කොහෙන්ද කාගෙන්ද කියන එක කාට වුනත් පේනවා. අවම වැටුප් ක්‍රමයේදීත් මේ වියදම, සමහර විට මීටත් වඩා වැඩි වියදමක්, තිබුණත් ඒ වියදම පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් හානිය ඒ විදිහටම තියෙනවා. 

ඉහත හේතුව නිසා විදුලි ගාස්තු, ඉන්ධන ආදිය හා අදාළවත් පාරිභෝගිකයින් සුබසාධනය කළ යුතුනම් එය කළ යුතු ක්‍රමය ඕකයි. අදාළ රාජ්‍ය ආයතන සාමාන්‍ය පෞද්ගලික ආයතනයක් ලබන ලාබය ලැබිය යුතුයි. සුබසාධනය ඒ ව්‍යාපාරික අරමුණ සමඟ පටලවා ගත යුතු නැහැ. සුබසාධනය කළ යුතුනම් ඒ සඳහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කළ යුතුයි. එවිට අදාළ පිරිවැය බදු ගෙවන්නන්ට පැහැදිලිව පේනවා.

ඉහත පැහැදිලි කිරීම කළේ තරඟකාරී ශ්‍රම වෙළඳපොලක් හා අදාළවනේ. තේ කර්මාන්තයේ ශ්‍රම වෙළඳපොළ ඒ විදිහේ එකක්ද?

මගේ අදහසනම් එසේ නොවන බවයි. මේ ශ්‍රමිකයින්ට ප්‍රායෝගික හේතු ගණනාවක් නිසා කීයක් හෝ පොඩි ගණනක් වැඩියෙන් ලැබුණා කියලා වෙන තේ වත්තකට රස්සාව මාරු කරන්න බැහැ. එවැන්නක් වෙන්නේ ඉතා කලාතුරකින්. ඒ වගේම තේ වතුහිමියන්ට අඩු වැටුපකට ශ්‍රමිකයින් හොයාගන්න වෙන විකල්පයකුත් නැහැ. විවිධ හේතු නිසා දෙපැත්තම හිර වෙලයි ඉන්නේ. මේ වගේ ශ්‍රම වෙළඳපොළක් තරඟකාරී ශ්‍රම වෙළඳපොලක් ලෙස හඳුන්වන්න බැහැ.

වෙළඳපොළ තරඟකාරී නැති නිසාම තේ වතුහිමියන්ට ඔවුන්ගේ ශ්‍රමිකයින්ට අඩු මිලක් ගෙවා ඔවුන්ගේ සේවය ලබා ගැනීමේ සහ එමගින් තමන්ගේ ලාබය වැඩි කර ගැනීමේ විභවයක් තියෙනවා. විභවයක් තිබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම එහෙම වෙනවා කියන එක නෙමෙයි. වෙන්න පුළුවන්කමක් තිබෙනවා. තරඟකාරී ශ්‍රම වෙළඳපොලකනම් ඔය විභවය නැහැ.

ඉහත හේතුව නිසාම තේ කර්මාන්තයේ ශ්‍රමිකයින් සංවිධානය වී සිටිනවා. ඒ මගින් ඔවුන්ට හෙට්ටු කර තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් ඉල්ලා සිටීමේ විභවයක්ද තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තේ වතුහිමියන්ට ප්‍රමාණවත් ලාබ නැති වී යන්න පුළුවන්. කර්මාන්තයේ ස්වභාවය අනුව පාඩු වුනත් වැඩේ අත හරින්න බැහැ. කාලයක් ඇදගෙන යන්නම වෙනවා. 

තේ කර්මාන්තයේ වැටුප් තීරණය වෙන්නේ සාමූහික හෙට්ටු කිරීම් මත මිසක් ඉල්ලුම හා සැපයුම අනුවම නෙමෙයි. ඒ නිසා, නියම මිල කියා නිශ්චිත මිලක් හඳුනා ගන්න එක තරමක් අසීරු වැඩක්. ඔය හෙට්ටු කිරීම් වලින් ඇතැම් විට දෙපාර්ශ්වයට යම් එකඟතාවයක් ඇති කරගන්න පුළුවන් වුනත්, හැම අවස්ථාවකදීම එය එසේ වෙන්නේ නැහැ. 

ඉහත තත්ත්වය තුළ, රජය විසින් ඓතිහාසිකව තේ කර්මාන්තයේ ශ්‍රමිකයින් හා තේ වතුහිමියන් අතර අතරමැදි භූමිකාවක් ඉටු කර තිබෙනවා. මෙය අවසන් වන්නේ දෙපාර්ශ්වයට එකඟ විය හැකි අවම වැටුපක් රජය විසින් නිර්ණය කිරීමෙන් පසුවයි. මේ ශ්‍රම වෙළඳපොළේ සුවිශේෂී තත්ත්වයන් සලකා බලද්දී, මෙය නරක මැදිහත්වීමක් කියා කියන්න බැහැ. තේ කර්මාන්තයේ ශ්‍රම වෙළඳපොළ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල තිබෙන සාමාන්‍ය තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් නෙමෙයි. ඒ නිසා, අවම මිල හරහා සිදු වුනේ, වෙළඳපොළ මිල "නියම මිල" ආසන්නයට තල්ලු කරන එකයි. එහි සුබසාධන භූමිකාවක් තිබුණේ නැහැ. ඒ නිසාම, වෙළඳපොළ විකෘතියක් එහෙමටම සිදු වුනෙත් නැහැ. 

මේ වෙලාවේ සිදු වෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ආණ්ඩුවට කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩි කරන්න අවශ්‍යයි. නමුත් එසේ වැටුප් වැඩි කරන්න අවශ්‍ය වීමට හේතුව ඔවුන්ට ඔවුන්ගේ ඵලදායීතාවයට සමාන වැටුපක් නොලැබීම නෙමෙයි. හේතුව ඒකනම් අවම වැටුප් වැඩි කර පහසුවෙන්ම ප්‍රශ්නය විසඳිය හැකිව තිබුණා. 

හැබැයි අයවැය කතාවේ කියලා තියෙන්නේනම් මෙහෙමයි: "වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් හිමි විය යුතුය යන්න අප රජගේ ස්ථාවරයයි."

ශ්‍රමිකයෙකු විසින් ලබා දෙන සේවයට සරිලන සාධාරණ දෛනික වේතනය කියා කියන්නේ ඒ ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවය. සරලව කිවුවොත් එකතු කරන ශ්‍රමය හේතුවෙන් එකතු වන වටිනාකම. එය ශ්‍රමිකයාට ලැබෙන්නේ නැත්නම් එහි පැහැදිලි අසාධාරණයක් තිබෙනවා. ඒ වගේම,  එයින් අදහස් වෙන්නේ ශ්‍රමිකයාට නොලැබෙන ශ්‍රමයේ පංගුව තේ වතුහිමියා විසින් තියා ගන්නවා කියන එක. එය අසාධාරණ ලාබයක්. ඒ නිසා, ශ්‍රමිකයෙකු විසින් ලබා දෙන සේවයට සරිලන සාධාරණ දෛනික වේතනය ශ්‍රමිකයාට ලැබෙන්නේ නැති බව ස්ථිරනම්, රජය විසින් කළ යුත්තේ එම වේතනය ලැබෙන පරිදි අවම වැටුප් වැඩි කරන එකයි. තේ වතුහිමියන්ට එයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ.

මේ අවස්ථාවේදී රජයට අවශ්‍ය මට්ටමට, එනම් රජයේ තක්සේරුව අනුව සාධාරණ මට්ටමකට, වැටුප් වැඩි කිරීම සඳහා තේ වතුහිමියන්ගේ එකඟත්වය ලබා ගැනීමට රජය සමත් වී නැහැ. මීට හේතුව එක්කෝ ඔවුන් විසින් දැනටමත් එම සාධාරණ වැටුප ලබා දෙමින් සිටීම (අවම වැටුප රුපියල් 1,550 දක්වා වැඩි කිරීමෙන් පසුව). එය එසේනම්, රජය විසින් ගෙවන රුපියල් දෙසීය මේ ශ්‍රමිකයින්ගේ "සාධාරණ දෛනික වේතනය" ඉක්මවන වැඩි මිලක්. එසේ නොවේනම්, රජයට තේ වතුහිමියන්ව නම්මා ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රමිකයින්ට ලබා නොදී තේ වතුහිමියන් විසින් රඳවා ගන්නා කොටස බදු ගෙවන්නන් මත පැටවීමක්. ඒ කියන්නේ තේ වතුහිමියන්ව සුබසාධනය කිරීමක්. 

ඇත්තටම වුනේ දෙවැන්න වෙන්න ලොකු ඉඩක් තිබෙනවා. මේ ආණ්ඩුව තමන්ව හඳුන්වා ගන්නේත්, ඔවුන්ව බොහෝ පාර්ශ්වයන් විසින් හඳුනගන්නේත්, වාමාංශික ආණ්ඩුවක් ලෙසයි. එවැනි ආණ්ඩුවක් අවම වැටුප් වැඩි කිරීම වැනි "වාමාංශික" ක්‍රියා මාර්ගයක් තේ වතුහිමියන්ගේ එකඟතාවය නොමැතිව ගැනීම නිසා යම් හෙයකින් කර්මාන්තය අර්බුදයට ගියොත් ආණ්ඩුවට දේශපාලන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. බලයට පත් වූ දවසේ ඉඳලම ආණ්ඩුව "වාමාංශික" වැඩ කරන්නේ ඉතාම පරිස්සමෙන්. විපක්ෂයේ ඉඳිද්දී මොනවා කිවුවත්  "වාමාංශික" වැඩ ගැන ආණ්ඩුවට ඒ තරම්ම විශ්වාසයක් නැති බවයි මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයෙන් පෙනෙන්නේ. සමහර වෙලාවට පරිස්සම ඕනෑවටත් වඩා වැඩියි. මේකත් ඒ වගේ අවස්ථාවක්. 

ආණ්ඩුව විසින් එක්කෝ බදු ගෙවන්නන්ගේ වියදමෙන් ශ්‍රමිකයින්ව සුබසාධනය කරලා තිබෙනවා. එහෙම නැත්නම් තේ වතුහිමියන්ව සුබසාධනය කරලා තියෙනවා. ඇත්තටම සිදු වුනේ පළමුවැන්න වුනත්, කාලයත් සමඟ මේ රුපියල් දෙසීයේ වාසිය ටිකෙන් ටික ශ්‍රමිකයින්ගෙන් තේ වතුහිමියන්ට යනවා. ඒක වෙන්නේ මෙහෙමයි.

අපි හිතමු තේ වතුහිමියන්ගේ ශ්‍රමයේ ඇත්ත වටිනාකම රුපියල් 1,550ක් කියලා. දැන් බදු ගෙවන්නගේ මුදලින් ඔවුන්ට තවත් රුපියල් 200ක් ලැබෙනවා. එය "සාධාරණ දෛනික වේතනය" ඉක්මවන අමතර මුදලක්. කාලයත් එක්ක ශ්‍රමයේ ඇත්ත වටිනාකම ක්‍රමයෙන් රුපියල් 1,750ක් දක්වා ඉහළ යනවා. ඔය අමතර රුපියල් 200 රජයෙන් ලැබුනේ නැත්නම් තේ වතුහිමියන්ට වැටුප රුපියල් 1,750 දක්වා වැටුප් ඉහළ දමන්න වෙනවා. නමුත් දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. වැටුප දැන් තියෙන මට්ටමේම තියාගෙන රුපියල් 200ක අතිරික්තය ඔවුන්ට තමන්ගේ පංගුවට එකතු කර ගන්න පුළුවන්. 

මෙසේ සිදුවන එක වලක්වා ගන්නනම් රජයට නැවත නැවත අවම වැටුප ඉහළ දමන්න වෙනවා. රුපියල් 200ක අමතර දීමනාව තිබියදී එහෙම නැවත නැවත අවම වැටුප වැඩි කරනවා කියන්නේ දිගින් දිගටම මේ ශ්‍රමිකයින්ව සුබසාධනය කරනවා කියන එකයි. ඒ කියන්නේ ඔවුන්ගේ සාධාරණ දෛනික වේතනයට වඩා වැඩි මුදලක් බදු ගෙවන්නන්ගේ වියදමෙන් ගෙවනවා කියන එකයි. එය එසේ කළ යුතුද  නොකළ යුතුද කියන එක බදු ගෙවන්නන් විසින් තීරණය කළ යුතු කරුණක්. බදු ගෙවන්නන් කැමතිනම්, ඔවුන්ගේ බදු මුදල් කවරෙකු හෝ සුබසාධනය කිරීම පිණිස යෙදවීමේ වැරැද්දක් නැහැ. 

Thursday, May 2, 2024

ශ්‍රම බලකා සහභාගීත්වය


කලින් සටහනෙන් ලංකාවේ විරැකියා අනුපාතය හා අධ්‍යපන සුදුසුකම් අතර තිබෙන සම්බන්ධයේ විකෘතිය ගැන කතා කළා. රටක විරැකියා අනුපාතය කියන්නේ කුමක්ද?

විරැකියා අනුපාතය කියා කියන්නේ රටේ ජනගහණයෙන් (හෝ වැඩිහිටි ජනගහණයෙන්) රැකියාවක් නොකරන ප්‍රතිශතයට නෙමෙයි. රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින එහෙත් රැකියාවක් නැති නිසා රැකියාවක් නොකරන ප්‍රතිශතයට. 

රටක ශ්‍රම බලකාය ලෙස හඳුන්වන්නේ මේ විදිහට රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රමාණයයි. රටේ වැඩ කළ හැකි වයසක සිටින ජනගහණයේ අනුපාතයක් ලෙස මෙම අගය ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ලෙස හැඳින්වෙනවා. රටේ රැකියා ප්‍රමාණය ඉහළ යද්දී වගේම ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය අඩු වෙද්දීත් විරැකියා අනුපාතය අඩු වෙනවා. දෙවැන්න හොඳ තත්ත්වයක් නෙමෙයි.

ලෝකයේ රටවල් අතරින් ලංකාව ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ගොඩක් අඩු රටක්. පහත තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක සංසන්දනාත්මක දත්ත.

කටාර් - 89%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 83%

ඉතියෝපියාව - 80%

කෙන්යාව - 74%

වියට්නාමය - 73%

නවසීලන්තය - 72%

බහරේන් - 72%

කුවේට් - 72%

සිංගප්පූරුව - 69%

ඉන්දුනීසියාව - 68%

තායිලන්තය - 67%

ස්වීඩනය - 67%

චීනය - 66%

ඕස්ට්‍රේලියාව - 66%

ස්විට්සර්ලන්තය - 66%

නෝර්වේ - 65%

මැලේසියාව - 65%

ඊශ්‍රායලය - 65%

කැනඩාව - 65%

ජපානය - 63%

එක්සත් රාජධානිය - 62%

ඇමරිකා එක්සත් ජනපදය - 62%

ජර්මනිය - 62%

බංග්ලා දේශය - 58%

ප්‍රංශය - 56%

ඉන්දියාව - 55%

පකිස්ථානය - 53%

ලංකාව - 51%

නේපාලය - 40%

ලෝක බැංකු වෙබ් අඩවියෙන් මුළු ලැයිස්තුවම බලාගන්න පුළුවන්. ලංකාවට වඩා පහලින් ඉන්නේ රටවල් 27ක් පමණයි. ඒ වගේම, ලංකාවේ මේ අනුපාතය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවත් නිරීක්ෂණය කළ හැකියි.

මෙය පහළ විරැකියා අනුපාතය තුළ සැඟවී තිබෙන අවධානය යොමු විය යුතු ප්‍රශ්නයක්. රටේ වැඩ කරන වයසේ සිටින ජනගහණයෙන් බාගයකටම රැකියාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන්නේ වැඩ කරන ඉතිරි පිරිසට ඒ අයව නඩත්තු කරන්න වෙනවා කියන එකයි. 

විදේශික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා සපයන මැද පෙරදිග රටවල වගේම සිංගප්පූරුවේත් ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ මට්ටමක තිබීම තේරුම් ගන්න පුළුවන්. චීනය, වියට්නාමය වගේ සමාජවාදී රටවලත් මේ අනුපාතය වැඩියි. සමාජවාදී ආර්ථික-දේශපාලන ක්‍රමය ඇතුළේ වැඩ නොකර සිටීමට වැඩි ඉඩක් නැති වීම ඊට හේතුව වෙන්න පුළුවන්. බටහිර ධනවාදී රටවල වෙළඳපොළ යාන්ත්‍රනය හරහා වැඩ කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා. වැඩ නොකර නිකම් හිටියොත් සුම්මා තමයි. අනෙක් පැත්තෙන් අප්‍රිකාවේ දුප්පත් රටවල් වලත් ශ්‍රම බලකා සහභාගීත්වය ගොඩක් වැඩියි. 

පොදුවේ ගත්තහම දකුණු ආසියානු කලාපයේ ශ්‍රම බලකා සහභාගීත්වය අඩුයි. එහෙම බැලුවහම මෙය කලාපයේ ප්‍රශ්නයක්. නමුත් ලංකාව ඉන්නේ ඉන්දියාවට, බංග්ලා දේශයට හා පකිස්ථානයටත් වඩා තරමක් පහළින්. මේ තත්ත්වයට කරුණු ගණනාවක් දායක වී තිබිය හැකියි. පහත තිබෙන්නේ ඒ අතරින් ප්‍රධාන කරුණු දෙකක්.

1. වැඩ කළ හැකි වයස් කාලයෙන් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සහ එම කාලය තුළ ශ්‍රම බලකායෙන් මුළුමනින්ම බැහැර වී සිටීම. මෙය බටහිර රටවල සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

2. අපේක්ෂිත ජීවත්වීමේ කාලය ඉහළ ගොස් ඇතත් විශ්‍රාම ගන්නා වයස අනුරූප ලෙස ඉහළ නොයාම.

හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. වැඩ කළ හැකි වයස් සීමාවේ අන්ත දෙකේ ඉන්න ඔය කණ්ඩායම් දෙක ශ්‍රම බලකායට එකතු වුනා කියලා ඒ අයට කරන්න රස්සා රටේ තියෙනවද?

මේ තත්ත්වයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපනය (පළමු කරුණ) හා සෞඛ්‍යය (දෙවන කරුණ) සුබසාධනය කිරීම. මෙය අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන අරමුදල් කප්පාදු කළ යුතුයි කියා කරන යෝජනාවක් විදිහට වරදවා තේරුම් ගන්න එපා. නමුත් ඕනෑම රාජ්‍ය මැදිහත්වීමක හිතකර වගේම අහිතකර ප්‍රතිඵලත් තිබෙනවා.

අධ්‍යාපනය සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී පුද්ගලයෙක් ශ්‍රම බලකායට එකතු වෙන එක ප්‍රමාද වෙනවා. නමුත්, ඒ විදිහට පහු වෙලා ශ්‍රම බලකායට එකතු වෙලා වුනත් වැඩි දායකත්වයක් ලබා දෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ පෞද්ගලිකව ගත්තොත් මුල් කාලයේ "නාස්ති කරන" කාලය වෙනුවෙන් පසුව පොලියත් එක්ක ප්‍රතිලාභ ලැබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලිකව ආයෝජනය කරන කෙනෙක් එසේ කරන්නේ මේ ප්‍රතිලාභ දිහා බලාගෙන. (පොදු අරමුදල් වලින් අධ්‍යාපනය සුබසාධනය කළත් ඒ සඳහා වෙන් කළ යුතු කාලය පෞද්ගලික ආයෝජනයක්). 

සෞඛ්‍ය පහසුකම් සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී ජීවත් වන කාලය වැඩි වෙනවා. නමුත් පුද්ගලයෙක් වැඩි කාලයක් ජීවත් විය යුත්තේ ඇයි? වැඩි කාලයක් ජීවත් වෙනවා කියන්නේ වැඩි කාලයක් දුක් විඳින එකනම් ඒ ජීවත් වීමෙන් ඇති වැඩක් නැහැ. ඒක පෞද්ගලිකව කෙනෙකුට පෙනෙන දෙය.  රටේ පැත්තෙන් තත්ත්වය කුමක්ද?

සෞඛ්‍ය පහසුකම් සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එහිදී ඉහළ යන ජීවිත කාලය සහ එම ජීවිත කාලයේ ගුණාත්මක භාවය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීමට දායක වන්නේනම් පමණයි. අධ්‍යාපනය සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් වන්නේනම් පමණයි. ඔය දෙකම වෙන්නේ අනුරූපී ලෙස රටේ රැකියා අවස්ථා ඉහළ ගියහොත් පමණයි. 

ලංකාව මීට වඩා වැඩි වේගයකින් කාර්මීකරණය නොවන්නේ ඇයි? එසේ වඩා වැඩි වේගයකින් කාර්මීකරණය කිරීම අසීරු ඇයි? සරල පිළිතුර මේ සඳහා අවශ්‍ය වන ආකාරයේ ශ්‍රම සැපයුමක් රටේ නැති වීමයි. ශ්‍රම බලකා සහභාගීත්වය වැඩි කර ගැනීමටනම් රටේ ජීවත්වන, ශ්‍රම බලකායෙන් පිට සිටින අයව ආකර්ෂණය කර ගත හැකි ආකාරයේ රැකියා ජනනය වීමක් සිදු වීය යුතුයි. කාර්මික අංශයේ රැකියා ජනනය වුනත් බොහෝ විට ඒවා ලංකාවේ ශ්‍රම බලකායට ආකර්ශනීය වන එකක් නැහැ. 

Wednesday, May 1, 2024

අධ්‍යාපනය හා රැකියා අවස්ථා


පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 3.0%ක් වූ ඇමරිකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම අනුව වෙනස් වූ ආකාරය.

උසස් පෙළ අසමත් මට්ටම - 5.5%

උසස් පෙළ මට්ටම - 4.0%

උසස් පෙළ මට්ටමට වඩා වැඩි එහෙත් උපාධියක් නොමැති - 2.7%

දෙවසරක උපාධියක් - 2.7%

වසර හතරක උපාධියක් - 2.2%

පශ්චාත් උපාධි මට්ටම - 1.9%

වෘත්තීය උපාධියක් - 1.4%

ආචාර්ය උපාධියක් - 1.0%

අධ්‍යාපන මට්ටම සහ විරැකියා අනුපාතය අතර සම්බන්ධය ඉතාම පැහැදිලියි. අධ්‍යාපන මට්ටම ඉහළ යන තරමට විරැකියා අනුපාතය පහළ යනවා. මෙය එම වසරේ පමණක් සිදු වූ දෙයක් නෙමෙයි. ආර්ථිකය ප්‍රසාරණය වන හා සංකෝචනය වල වකවානු සියල්ලකදීම දැකිය හැකි පොදු තත්ත්වයක්.

මෙය කිසිසේත්ම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියා කියන්නේ ආයෝජනයක්. යමෙක් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට මිසක් අඩු කර ගැනීමට නෙමෙයි. ඒ නිසා, අධ්‍යාපන මට්ටම ඉහළ යද්දී විරැකියා අනුපාතය පහළ යාම අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයක්.


මේ හා අදාල ලංකාවේ තත්ත්වය කුමක්ද?

පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 4.7%ක් වූ ලංකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම සමඟ වෙනස් වූ ආකාරය.

පස්වන ශ්‍රේණිය අසමත් - 0.7%

6-10 ශ්‍රේණි - 3.4%

අපොස (සාමාන්‍ය පෙළ) - 6.1%

අපොස (උසස් පෙළ) - 7.8%

අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයට සාපේක්ෂව තනිකරම කණපිට තත්ත්වයක්! වැඩියෙන් ඉගෙන ගන්න තරමට සිදු වෙන්නේ රැකියාවක් හොයා ගන්න එක වඩ වඩා අසීරු වෙන එක. ලංකාවේ ශ්‍රම වෙළඳපොළෙහි මේ විදිහේ විකෘතියක් ඇති වී තිබෙන්නේ ඇයි?

ලංකාවේ සාර්ව ආර්ථිකයේ තිබෙන ගොඩක් අය නිතර කතා කරන අසමතුලිතතා දෙක වගේම අධ්‍යාපනය හා රැකියා වෙළඳපොළ අතර සම්බන්ධයේත් විශාල විකෘතියක් තිබෙනවා. දළ ජාතික නිෂ්පාදිතයෙන් ශ්‍රමය සඳහා ලැබෙන පංගුව අඩු වී ප්‍රාග්ධනය සඳහා ලැබෙන පංගුව ඉහළ යන්න මේ විකෘතිය දායක වී තිබෙනවා.

විකෘතියට හේතුව කුමක්ද? විකෘතිය නැති කළ හැක්කේ කොහොමද?

ඉතා කෙටි පිළිතුරක් විදිහට හේතුව ජනසම්මතය හා දේශපාලනය. විස්තර කරන එක සහ දෙවන ප්‍රශ්නයට පිළිතුරු දෙන එක කෙටියෙන් කරන්න අමාරුයි. 

වාමාංශික අදහස් දරන ගොඩක් අය වගේම දක්ෂිණාංශික අදහස් දරන ගොඩක් අයත් අහන්න කැමති නොවන, එකඟ වෙන්න ඉඩ නැති, කෙටිකාලීන විසඳුම පුළුවන් තරම් පිරිසක් රට පටවන එකයි. මේ විසඳුම ගැන වැඩිපුර ප්‍රසිද්ධියේ කතා නොකළත් වත්මන් ආණ්ඩුව වගේම, මාලිමාව වගේ පක්ෂ වල ප්‍රතිපත්ති තුළත් බරක් තබා තිබීම නිවැරදි පියවරක්.

Monday, March 18, 2024

ලංකාවේ ජනගහණය අඩු වෙයි!


රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 144,395කින් අඩු වී තිබෙනවා. මෙය මෑතකාලීන ඉතිහාසය තුළ (නිදහසින් පසුව) මෙවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාව විය යුතුයි. මේ ආකාරයෙන් රටේ ජනගහණය අඩු වීමට හේතුව අදාළ කාලය තුළ 222,715 දෙනෙකු රටෙන් පිටව යාමයි. 

රටක ජනගහණය වෙනස් වීමට හේතු වන කරුණු හතරක් තිබෙනවා. ඒ උපත් ප්‍රමාණය, මරණ ප්‍රමාණය, රටින් පිටවූ ප්‍රමාණය හා රටට පැමිණි ප්‍රමාණයයි. මේ අනුව, කිසියම් කාලයක් තුළ රටක ජනගහණය වෙනස් වීම පහත ආකාරයෙන් ගණනය කළ හැකියි.

ජනගහණයේ වෙනස් වීම = උපත් ප්‍රමාණය - මරණ ප්‍රමාණය - රටින් පිටවූ ප්‍රමාණය + රටට පැමිණි ප්‍රමාණය

ලංකාවේ නීතිය අනුව උපත් හා මරණ ලියාපදිංචි කළ යුතු අතර රටින් පිටවීමේදී හා රටට පැමිණීමේදී ආගමන විගමන නීති අනුව කටයුතු කළ යුතුයි. ඒ නිසා, ජනගහණයේ වෙනස් වීම සෑහෙන තරම් නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි. 

සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට සිදුවන උපත් ප්‍රමාණය වසරකට සිදුවන මරණ ප්‍රමාණයට වඩා වැඩි නිසා රටට පැමිණෙන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් රටින් පිටව නොගියහොත් ජනගහණය වර්ධනය වෙනවා. ඇතැම් වසර වලදී රටට පැමිණෙන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටින් පිටව යන නමුත් එම සංඛ්‍යා අතර වෙනස උපත් හා මරණ ප්‍රමාණ අතර වෙනසට වඩා අඩුයි. එමෙන්ම, 2015-2018 අතර කාලයේදීත් ඉන් පසුව 2020/21 වසංගත කාලය තුළත් සිදු වූයේ රටෙන් පිටව යන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටට පැමිණීමයි. 

ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී ශ්‍රී ලාංකිකයින් රටෙන් පිටව යාම විශාල ලෙස ඉහළ ගියා. ඊට අමතරව, උපත් ප්‍රමාණය අඩු වීම සහ මරණ ප්‍රමාණය ඉහළ යාමද ජනගහණ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා. 

බොහෝ දෙනෙකුගේ අදහස් අපේ මතයට වඩා වෙනස් විය හැකි වුවත්, අපගේ අදහස වනුයේ වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලාංකිකයින් වැඩි වැඩියෙන් විදේශගත වීම රටට නරක දෙයක් නොවන බවයි. අප එසේ සිතන්නේ ඔවුන් රටට විදේශ විණිමය එවනු ඇතැයි යන අදහසින් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ වල සාධනීය පැත්තක් වගේම නිශේධනීය පැත්තකුත් තිබෙනවා.

ලංකාව ප්‍රාග්ධනය හිඟ රටක් බව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණක්. රටක ප්‍රාග්ධන අවශ්‍යතාව හෝ ප්‍රාග්ධන හිඟය ගැන කතා කළ හැක්කේ ඒ රටේ මානව සම්පත් ප්‍රමාණයට සාපේක්ෂවයි. ලංකාව සතු මානව ප්‍රාග්ධනය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා දැනට තිබෙනවාට වඩා වැඩි භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් නොලැබෙන්නේ මේ හේතුව නිසා. භෞතික ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් මානව ප්‍රාග්ධනය වර්ධනය වෙද්දී තරඟය ඉහළ යාම නිසා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පහළ යනවා. ලංකාවේදී මානව ප්‍රාග්ධනය වෙනුවෙන් සාපේක්ෂව අඩු ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ නිසා. 

ලංකාවේ ප්‍රාග්ධන හිඟය වෙනත් ආකාරයකින් විග්‍රහ කරමින්, රටේ දැනට තිබෙන භෞතික ප්‍රාග්ධනයට සාපේක්ෂව මානව ප්‍රාග්ධන අතිරික්තයක් ඇති බව කියන්නත් පුළුවන්. ඒ නිසා, එම මානව ප්‍රාග්ධන සංචිතය අඩු වීම රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. ඒ නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස රටින් පිටවීම රටට හානියක් නෙමෙයි. ඒ වගේම, ඒ හරහා ගොඩ නැගෙන සම්බන්ධතා ලංකාවට දිගුකාලීන වාසියක්.

සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහණය සෑම වසරකම මෙන් වර්ධනය වන නිසා රටේ ඒක පුද්ගල ආදායම වර්ධනය වන්නේ ආර්ථික වර්ධන වේගයට වඩා අඩු වේගයකින්. එහෙත්, ජනගහණය අඩු වෙද්දී රටේ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි වේගයකින් ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. ඒ අතරම, ශ්‍රමය සඳහා වන තරඟය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආදායමෙන් ශ්‍රමයේ පංගුව ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකියි.

වත්මන් ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රමිකයින් විදේශ ගත වීම් ප්‍රවර්ධනය කරමින් සිටින බව පෙනෙනවා. මෙම ප්‍රතිපත්තිය ඇතැම් අයගේ විවේචන වලට බඳුන්ව ඇති බවද දැකිය හැකියි. කෙසේ වුවත්, ජාජබ වැනි පක්ෂ විසින්ද මේ අයුරින් වැඩි වැඩියෙන් ශ්‍රමිකයින් රට පැටවීමේ වැදගත්කම ආර්ථික අර්බුදයට පෙර සිටම හඳුනාගෙන ඇති බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලූ විට පැහැදිලි වෙනවා. ධීවර කාර්මිකයින්ගේ සිට ඉදිකිරීම් කර්මාන්තයේ ශ්‍රමිකයින් දක්වා පිරිස් රජය මැදිහත් වී රට පැටවීම ජාජබ ප්‍රකාශිත ප්‍රතිපත්තියේ කොටසක්. එම පක්ෂයේ ප්‍රතිපත්ති වල වෙනස්කම් කෙරෙහි විශාල අවධානයක් යොමුව ඇතත්, දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති සහ ජාජබ ප්‍රතිපත්ති සමපාත වන මෙවැනි තැන්ද ගණනාවක් හඳුනා ගත හැකියි.

Tuesday, March 12, 2024

මහ බැංකුවේ කුසලතා ප්‍රශ්නය

පෙර ලිපියෙන් පෙන්වා දුන්නේ අලුතෙන් සම්මත කර ගැනුණු, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන අනුව, එහි පාලක මණ්ඩලයට මහ බැංකු සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ස්වාධීනව තීරණය කිරීමේ බලයක් ඇති බවයි. නීතිය බලාත්මකව පවතින තුරු වෙනත් අධිකාරියකට අදාළ බලය ප්‍රශ්න කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. මෙම නීතිය සම්මත වීමට පෙර මහ බැංකුවට මෙවැනි බලයක් තිබුණේ නැහැ. 

කෙසේ වුවත්, අවශ්‍යනම් ව්‍යවස්ථාදායකයට මෙම නීතිය වෙනස් කළ හැකියි. එය සාපේක්ෂව පහසු කටයුත්තක්. එමෙන්ම, පාලක මණ්ඩලයේ නෛතිකත්වය සම්බන්ධව ව්‍යවස්ථාදායකයට හා විධායකයට කළ හැකි බලපෑම් හරහා වක්‍ර ආකාරයකින් මෙම කාර්යය කිරීමට උත්සාහ කළ හැකියි. එහිදී අධිකරණයේ එකඟත්වයද අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් අධිකරණයට ඉහත පණත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් අදාළ පනත් ඇත්නම් ඒවා සලකා බලමින් පාලක මණ්ඩලය සතු මෙම බලට අභියෝගයට ලක් කළ හැකි ආකාරය පැහැදිලි කරමින් අර්ථදැක්වීමක් කළ හැකියි. මෙම ආකාර වලින් පළමු ආකාරය හැර අනෙකුත් ආකාර වලින් මහ බැංකුවේ පාලක මණ්ඩලය වෙත පවරා ඇති බලය අභියෝගයට ලක් කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසාම සිදු වීමට ලොකු ඉඩකඩක් නැහැ. 

ඊටත් පෙර ලිපියෙන් අප පෙන්වා දුන්නේ මහ බැංකුව ආදායම් උපයන්නේ "සල්ලි අච්චු ගැසීම" මගින් නිසාත්, ප්‍රායෝගිකව ඒ හා අදාළ සීමාවන් නොමැති නිසාත්, වෙනත් ඕනෑම ආයතනයකට සේවක වැටුප් වැඩි කිරීමේදී මුහුණ දෙන්නට සිදු වන "අරමුදල් සීමා බාධාව" මහ බැංකුවේ පාලක මණ්ඩලයට නොමැති බවයි. ඒ අනුව, බාහිර නෛතික ව්‍යුහයකින් හෝ වෙළඳපොළ යාන්ත්‍රණය විසින් ස්වභාවික ලෙස නියාමනය නොකෙරෙන පසු බිමක, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් "අසාධාරණ ලෙස" සේවක වැටුප් වැඩි කිරීම පහසුවෙන්ම සිදු විය හැක්කක්. එය සිදුවීම වලක්වා ගත හැක්කේ මහජනතාවට වගවෙන පාරදෘශ්‍ය ස්වයං නියාමනයක් මගින් පමණයි. 

මේ තත්ත්වය ඕනෑම රාජ්‍ය ව්‍යවසායකට අදාළ තත්ත්වයක් නෙමෙයි. පළමුව, වෙනත් කිසිම රාජ්‍ය ව්‍යවසායකට මහ බැංකුවට ලබා දී ඇති ආකාරයේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දී නැහැ. (එසේ  මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දීම අප විසින් විවේචනය කරන්නේද නැහැ.) දෙවනුව, වෙනත් රාජ්‍ය ව්‍යවසායකට මේ ආකාරයේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දුන්නේ වුවද, එවැනි ආයතනයකට සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව ආයතනය විසින් උපයන ආදායම් හරහා වෙළඳපොළ විසින් නියාමනය කෙරෙනවා. මහ බැංකුවට මේ බාධාවන් දෙකෙන් එකක්වත් නැහැ.

පෙර විස්තර කර ඇති පරිදි, මහ බැංකුවේ ලාබ නිර්ණය වන්නේ එහි සේවකයින්ගේ කාර්යක්ෂමතාවය මත නෙමෙයි. එහෙත්, එයින් අදහස් වන්නේ එම වාක්‍යයෙහි සඳහන් දේ පමණයි. මහ බැංකු සේවකයින් අකාර්යක්ෂම බවක් එයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. ඔවුන් කාර්යක්ෂම වුවත් අකාර්යක්ෂම වුවත් මහ බැංකුවේ ලාබ හෝ ආදායම් නිරීක්ෂණය කිරීමෙන් එය පරීක්ෂා කළ නොහැකියි. ඒ නිසාම, මහ බැංකුවේ ලාබ හෝ ආදායම් මත ඔවුන්ගේ ඵලදායීතාව මැනිය නොහැකියි. මහ බැංකුවේ ලාබ හෝ ආදායම් මත එහි පාලක මණ්ඩලයේ වැටුප් හෝ සේවක වැටුප් නිර්ණය නොවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු පණතේම විශේෂයෙන් සඳහන් කර තිබෙන්නේ මේ හේතුව නිසා.

මහ බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වන "සල්ලි අච්චු ගැසීම" හා අදාළව එම ආයතනයට කිසිදු තරඟයක් නැහැ. මහ බැංකුව මේ හා අදාළව නෛතික ඒකාධිකාරයක්. කෙසේ වුවත්, මහ බැංකු අධිපතිවරයා විසින් නිවැරදිව පෙන්වා දෙන පරිදි, සේවකයින් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවටද ශ්‍රම වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙය බොහෝ දුරට විවෘත තරඟයක්.

මහ බැංකුවේ සේවකයින්ට අනන්‍ය විශේෂ කුසලතා අවශ්‍යද? සංක්ෂිප්ත අදහසක් ලෙස මහ බැංකුවේ ඇතැම් තනතුරු වල කටයුතු කරන්නන්ට අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය විය හැකි වුවත්, එහි සේවකයින් බහුතරයකට එවැනි අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම, අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වන රැකියා තිබෙන්නේ මහ බැංකුවේ පමණක් නෙමෙයි. 

මුලින්ම කතා කරන්නට යන කරුණට එතරම් අදාළ නොවන ඉහත ප්‍රශ්නය පැත්තකින් තිබ්බොත්, කිසියම් රැකියාවක් සඳහා අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වුවත් නැතත්, තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් තුළ සේවකයින් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී ඔවුන්ගේ "නියම මිල" ගෙවන්නට සිදු වෙනවා. එසේ නොකර "කුණු කොල්ලයට" ශ්‍රමය මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. නූතන ආර්ථික විද්‍යාව අනුව, ඉහත "නියම මිල" යන්නෙන් අදහස් කෙරෙන්නේ සේවකයින්ගේ ආන්තික ඵලදායීතාවයයි.

වෙළඳපොළ මූලධර්ම අනුව, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් එහි සේවකයින්ට ඔවුන්ගේ "ආන්තික ඵලදායීතාවය" වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ සේ ගෙවන්නේනම් එය විවේචනය කළ නොහැකියි. මෙසේ ගෙවන  වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ අනෙකුත් වෘත්තිකයින්ගේ වැටුප් වලට සාපේක්ෂව හෝ නිරපේක්ෂව කෙතරම් වැඩිද යන්න මෙහිදී අදාළ කරුණක් නෙමෙයි.

මහ බැංකු වැටුප් වෛද්‍ය හා ඉංජිනේරු වැටුප් සමඟ සංසන්දනය කිරීමක්ද අප‍ට දැකිය හැකියි. මේ සහ අදාළව අපට කිව හැක්කේ දශක ගණනාවක සිටම ලංකාවේ ගණකාධිකාරීවරුන් හා මූල්‍ය කළමනාකරුවන් වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයින්ට සාපේක්ෂව ඉහළ වැටුප් ලබා ගනිමින් සිටින බවයි. ඒ ගැන විග්‍රහ කර පැහැදිලි කළ හැකි වුවත්, අපි ප්‍රස්තුතය තුළ රැඳී සිටිමු.

මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් එහි සේවකයින්ට ඔවුන්ගේ වෙළඳපොළ මිල මත පදනම්ව වැටුප් ගෙවන්නේනම් එහි වරදක් නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් එවැන්නක් සිදු වන බව පෙන්වන්නට උත්සාහ කළද මහ බැංකුවේ සේවක වැටුප් නිර්ණය වන්නේ වෙළඳපොළ මිල මත පදනම්ව නොව සාමූහික ගිවිසුමක් මත වීමයි.

වෙළඳපොළ මිල මත පදනම්ව සේවක වැටුප් ගෙවීම පිළිබඳ අදහසේ මූලය ධනවාදී සාධාරණත්වයයි. එහෙත්, සාමූහික ගිවිසුම් මත පදනම්ව සේවක වැටුප් ගෙවීම පිළිබඳ අදහසේ මූලය සමාජවාදී සාධාරණත්වයයි. යම් තත්ත්වයන් යටතේ ලංකාවේ ශ්‍රම වෙළඳපොළට මේ අදහස් දෙකම ගැලපිය හැකි වුවත්, පෙර ලිපි වල විස්තර කර තිබෙන මහ බැංකුවේ සුවිශේෂී ව්‍යාපාරික ආකෘතිය තුළ ඉහත අදහස් දෙකම එකවර ක්‍රියාත්මක වීම තුළ ඇති වන්නේ රටේ මහජනතාවගේ වියදමෙන් මහ බැංකුවේ සේවකයින්ට රිසි සේ තමන්ගේ වැටුප් වැඩි කරගත හැකි විකෘතියක්. 

මේ ක්‍රම දෙකේ වෙනස පැහැදිලි කර ගැනීම සඳහා අපි උදාහරණයක් ගනිමු.

ශ්‍රමිකයින් තිදෙනෙකු විසින් තාප්පයක් බඳී. නිශ්චිත කාලයක් තුළ මේ තිදෙනා පිළිවෙලින් තාප්ප වර්ග අඩි 80, 100 හා 120 ප්‍රමාණයක් බඳී. මොවුන්ව සේවයේ යොදවන කොන්ත්‍රාත්කරුට මේ වෙනුවෙන් රුපියල් 10,000ක් ලැබේ. කොන්ත්‍රාත්කරුගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ඔහුට හෝ ඇයට අවම වශයෙන් රුපියල් 1000ක් අවශ්‍ය වන නිසා ශ්‍රමිකයන්ට ලබා දිය හැකි උපරිම මුදල රුපියල් 9000ක් වන අතර කොන්ත්‍රාත්කරුගේ ඉලක්කය හැකිතාක් අඩු ගාස්තුවක් ඔවුන්ට ගෙවා තමන්ගේ ලාබ වැඩි කර ගැනීමයි. කෙසේ වුවද, තමන්ට අවම වශයෙන් රුපියල් 1000ක් ලැබේනම් කොන්ත්‍රාත්කරු මෙම කාර්යයය කරයි. එසේ නැත්නම් වැඩේ අතහැර දමයි.

තරඟකාරී ශ්‍රම වෙළඳපොළක මේ එක් එක් ශ්‍රමිකයාට කොපමණ මුදලක් ලබා ගත හැකිද?

මෙය තීරණය වන්නේ එක් එක් ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීත්වය මතයි. එය ඔවුන් අදාළ කාලය තුළ බඳින තාප්ප වර්ග අඩි ගණන දෙස බලා නිර්ණය කළ හැකියි. මේ අනුව, ශ්‍රමිකයින් තිදෙනාට ඔවුන්ගේ ගාස්තු ලෙස පිළිවෙලින් රුපියල් 2400ක්, 3000ක් සහ 3600ක් ලැබෙනවා. ඒ කියන්නේ වර්ග අඩියකට රුපියල් 30 බැගින්. කොන්ත්‍රාත්කරුට රුපියල් 1000ක් ඉතිරි වෙනවා.

කොන්ත්‍රාත්කරුට මීට වඩා අඩු මුදලක් ගෙවා මෙම ශ්‍රමය ලබා ගත නොහැකියි. ඊට හේතුව ශ්‍රම වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළක් වීමයි. වර්ග අඩියකට රුපියල් 30ට වඩා අඩුවෙන් ගෙවුවොත් මේ ශ්‍රමිකයින් වෙනත් කොන්ත්‍රාත්කරුවෙක් වෙත යනවා. ඔවුන්ට එවැනි විකල්ප අවස්ථා තිබෙනවා. අනෙක් අතට ඔවුන්ට වර්ග අඩියකට රුපියල් 30කට වඩා ලබා ගැනීමේ හැකියාවක් නැහැ. වෙනත් කිසිදු කොන්ත්‍රාත්කරුවෙකු විසින් ඊට වඩා වැඩි මිලක් ගෙවන්නේ නැහැ.

මෙම ශ්‍රම වෙළඳපොළ තරඟකාරී නොවේනම්, කොන්ත්‍රාත්කරු සතුව ඒකාධිකාරයක් තිබේනම් තත්ත්වය කුමක්ද? 

කොන්ත්‍රාත්කරු සතුව ඒකාධිකාරයක් තිබේනම්, ඔහුට හෝ ඇයට ශ්‍රමිකයන්ට මීට වඩා අඩු මිලක් ගෙවිය හැකියි. වර්ග අඩි ගණනට මුදල් නොගෙවා මේ ශ්‍රමිකයින්ට එක් අයෙකුට රුපියල් 2000 බැගින් මුදල් ගෙවුවා කියා හිතමු. දැන් කොන්ත්‍රාත්කරුගේ ලාබය රුපියල් 4000ක්. එයින් පළමු රුපියල් 1000 කොන්ත්‍රාත්කරුගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් අවශ්‍ය මුදලක් බැවින් එය "ආර්ථික ලාබයක්" නෙමෙයි. එහෙත්, ඉතිරි රුපියල් 3000 ආර්ථික ලාබයක්, එසේත් නැත්නම් සුපිරි ලාබයක්. නමුත් ශ්‍රමිකයින්ට කළ හැකි දෙයක් නැහැ. ඔවුන්ට මේ රැකියාව නැති වුවහොත් වෙන යා හැකි තැනක් නැහැ!

ඉහත පසුබිම තුළ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ශ්‍රමයේ "නියම මිල" ලැබෙන්නේ නැහැ. එහෙත්, තිදෙනා එක්ව කාටලයක් ලෙස ක්‍රියා කර හෙට්ටු කිරීම මගින් ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ මිල ඉහළ දමාගන්න පුළුවන්. මෙහිදී එක් අයෙකුට උපරිම වශයෙන් රුපියල් 3000 දක්වා මිලක් ලබා ගන්න පුළුවන්. එම මිල එක් එක් ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවයට සමාන නොවෙතත්, තිදෙනා එකතුව ලබා ගන්නා මුදල ශ්‍රමිකයින් තිදෙනාගේම ආන්තික ඵලදායීතාවයට සමානයි. එම මුදල ශ්‍රමිකයින් තිදෙනා අතර සම සේ බෙදී යනවා. 

තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය හරියටම ලැබෙනවා. එය අඩු හෝ වැඩි වෙන්නේ නැහැ. එහෙත්, ඒකාධිකාරයක් වෙනුවෙන් ශ්‍රමය ලබා දෙන විට ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය හරියටම ලැබෙන බවට සහතිකයක් නැහැ. සාමූහිකව හෙට්ටු කිරීම මගින් සාමූහික ශ්‍රමයේ සමස්ත ආන්තික ඵලදායීතාවය ඔවුන්ට ලබා ගන්න පුළුවන්. මෙසේ ලබා ගන්නා මුදල ශ්‍රමිකයින් අතර සමව බෙදී යනවා. ඔය දෙකෙන් කොයි එක වුනත්, කොන්ත්‍රාත්කරුට අවසාන වශයෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ලැබිය යුතු නියම මිල හරියටම ලැබෙනවා. එය අඩු හෝ වැඩි වන්නේ නැහැ. අවස්ථා දෙකේදීම වෙළඳපොළ යාන්ත්‍රනය හරහා මෙය නියාමනය වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව හා අදාළව ඉහත තත්ත්වය වෙනස්. ඉහත උදාහරණයේදී කොන්ත්‍රාත්කරුට තමන්ගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ලබා ගත හැකි හා ශ්‍රමිකයින්ට ගෙවිය හැකි සමස්ත මුදල උපරිම වශයෙන් රුපියල් 10,000ක් පමණයි. එය ඊට වඩා වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒකාධිකාරයක් පැවතියද ලැබිය හැකි ලාබ වල උපරිම සීමාවක් තිබෙන බව මීට පෙර විස්තර කර තිබෙනවා. නමුත්, සල්ලි අච්චු ගැසීම මගින් ලාබ හොයන මහ බැංකුවට මෙවැනි උපරිම සීමාවක් නැහැ!

මහ බැංකු සේවකයින්ට ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන වැටුපක් ඉල්ලමින් සාමූහිකව හෙට්ටු කළ හැකියි. දැන් සිදු වී තිබෙන්නේද එයයි. මහ බැංකුවේ ආදායම් හා ලාබ වෙනත් ආයතනයක මෙන් ශ්‍රමිකයින්ගේ ඵලදායීත්වය මත තීරණය වේනම්. එහි පාලක මණ්ඩලයට එම ශ්‍රමිකයින්ගේ සාමූහික ශ්‍රමයේ සමස්ත ආන්තික ඵලදායීතාවය ඉක්මවන මුදලක් ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. එහෙත්, මහ බැංකුවේ ආදායම් හා ලාබ එහි ශ්‍රමිකයින්ගේ ඵලදායීත්වය මත තීරණය නොවන බැවින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට මෙවැනි සීමාවක් නැහැ. සල්ලි අච්චු ගසන ප්‍රමාණය වැඩි කර ඔවුන්ගේ වැටුප් ඕනෑ තරම් වැඩි කරන්න පුළුවන්.

මහ බැංකුවට එහි සේවක වැටුප් වැඩි කිරීමේදී වෙනත් ආයතන වලට මෙන් සීමාවකට යටත් වීමට සිදු නොවන බව එහි සේවකයින් දන්නවා. ඒ නිසා, ඔවුන්ට සාමූහිකව හෙට්ටු කිරීමේ අවස්ථාව ඇති තුරු, ඔවුන් එසේ නොකර ඉන්නේ නැහැ. මහ බැංකුවේ සේවකයින් සියලු දෙනා එක් වී සාමූහිකව හෙට්ටු කළහොත් එහි පාලක මණ්ඩලයට ඔවුන් සියලු දෙනාවම එක වර අස් කර දමන්න බැහැ. මෙම ශ්‍රමිකයින් බහුතරය වෙනුවට වෙනත් අය පහසුවෙන්ම පිටතින් බඳවා ගත හැකි වුවත් ඇතැම් තනතුරු පිරවීම ඒ තරම් පහසු නැහැ. ඉල්ලන මිල ගෙවීම ඊට වඩා පහසුයි.

මහ බැංකුවේ වැටුප් බාහිර නියාමනයකට ලක් වන විට එහි පාලක මණ්ඩලයට ඒ බව පෙන්වමින් "ඇඟ බේරා ගන්න" පුළුවන්. එහෙත්, ඔවුන්ට ශ්‍රමික වැටුප් නිර්ණය කිරීමේ පූර්ණ බලයක් ලැබුණු විට සේවකයින් සමඟ හෙට්ටු කළ හැකි කිසිදු අවියක් නැති වෙනවා. දැන් සිදු වී තිබෙන්නේ එයයි. 

මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව මහ බැංකුව ස්වාධීන කිරීම හෝ මහ බැංකුවේ වැටුප් නිර්ණය කිරීමේ අයිතිය එහි පාලක මණ්ඩලය සතු වීම නෙමෙයි. එය සිදු වීමෙන් පසුවද මහ බැංකු සේවකයින්ට සාමූහිකව හෙට්ටු කර වැටුප් වැඩි කර ගැනීමේ අයිතියක් මෙන්ම අවශ්‍යනම් සාමූහිකව වැඩ වර්ජනය කිරීමේ වුවද අයිතියක් තව දුරටත් ඉතිරිව තිබීමයි. 

අවසාන තීරණය මහ බැංකුවේ පාලක මණ්ඩලය සතු වුවත් ප්‍රායෝගිකව මහ බැංකුවේ (හෝ ලංකාවේ එවැනි වෙනත් ආයතනයක) වෘත්තීය සමිති සමඟ මහ බැංකුව වෙනුවෙන් හෙට්ටු කිරීම් කරන්නේ එහි මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දෙපාර්තමේන්තු මට්ටමට වඩා උඩින් සිටින මහ බැංකුවේ ඉහළ කළමණාකාරිත්වයයි. මෙහි ඇති පරස්පරය වන්නේ ඔවුන් මෙම හෙට්ටු කිරීම් වල ප්‍රතිපාර්ශ්වයේ අවශ්‍යතාවයන් සෘජුව නියෝජනය කරන්නන් වීමයි. වෙනත් විදිහකින් කිවුවොත් මෙහිදී ඔවුන්ට හෙට්ටු කරන්නට සිදු වන්නේ තමන්ගේම වැටුප් හා ප්‍රතිලාභ වැඩි කරන ලෙස කරන ඉල්ලීමකට එරෙහිවයි. මෙවැනි හෙට්ටු කිරීමක අවසන් ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. 

ප්‍රසිද්ධ අවකාශයේ ඇති තොරතුරු අනුව, මහ බැංකුවේ කාර්යාල සහායක පන්තියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප රුපියල් 189,000ක් පමණ වන අතර තුන් වන පංතියට උසස් වෙද්දී එම දළ වැටුප රුපියල් 224,000 දක්වා ඉහළ යනවා. එයින් එහාටද වාර්ෂිකව මෙම වැටුප් ඉහළ යනවා. මෙම ගණන් වලින් වුවද ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ මුළුමනින්ම නිරූපණය වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස මාස දෙකක වැටුපට සමාන විශේෂ දීමනා, විශ්‍රාම ප්‍රතිලාභ, සහන ණය පහසුකම් ආදිය එකතු වූ විට ප්‍රතිලාභ වල මුළු වටිනාකම මීට වඩා බොහෝ වැඩි විය හැකියි. මෙම සේවකයින් කිසිවෙකුට මහ බැංකුවෙන් ඉවත් වී වෙනත් තැනක සේවය කර මීට සමාන වැටුපක් ලබා ගත හැකියැයි මා සිතන්නේ නැහැ. ඒ වගේම, මෙම තනතුරකට අලුතෙන් පිරිස් බඳවා ගැනීමට අවශ්‍යනම්, අවශ්‍ය කුසලතා ඇති පිරිස් ඕනෑ තරම් පෝලිමේ එනු ඇති බව සහතිකයි. මේ අනුව, මෙම වැටුප් ශ්‍රම වෙළඳපොළ මත පදනම් වූ වැටුප් නොවන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුයි.

අලුත් සාමූහික ගිවිසුමට පෙර කාර්යාල සහායක පන්තියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප රුපියල් 146,000ක් පමණ මට්ටමක පැවති අතර තුන් වන පංතියට උසස් වෙද්දී එම දළ වැටුප රුපියල් 165,000ක් පමණ වෙනවා. මෙම පැරණි වැටුප් මට්ටම් සැලකුවද ඉහත කතාව වෙනස් වන්නේ නැහැ. 

කළමනාකරණ සහකාර පළමු පංතියේ අලුත් දළ වැටුප රුපියල් 242,000ක් පමණ වන අතර පැරණි දළ වැටුප ආරම්භ වන්නේද රුපියල් 174,000 මට්ටමෙන්. පස්වන පංතියට යද්දී අලුත් ආරම්භක දළ වැටුප රුපියල් 421,000 දක්වා ඉහළ යනවා. කළමනාකරණ සහකාර රැකියා යනු දළ වශයෙන් ලිපිකරු තනතුරු කියා කියන්න පුළුවන්. යතුරු ලිවීම, දත්ත ඇතුළු කිරීම, දෛනිකව පිළියෙල කරන ඇතැම් වාර්තා සකස් කිරීම ආදිය කරන්නේ මෙවැන්නන්. මෙම තනතුරු වල කටයුතු කිරීම සඳහා මහ බැංකුවට පමණක් අනන්‍යව අවශ්‍ය වන සුවිශේෂී කුසලතා අවශ්‍ය වන්නේ නැහැ.

යම් හෙයකින් මහ බැංකුවට පමණක් අනන්‍යව අවශ්‍ය වන සුවිශේෂී කුසලතා අවශ්‍ය වේනම් එසේ අවශ්‍ය වන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ ඇතැම් තනතුරු සඳහා පමණයි. මේ තර්කය බැහැර කළ නොහැකි තර්කයක් වුවත්, මෙම තර්කය වුවද හේතු ගණනාවක් මත පදනම්ව අභියෝගයට ලක් කළ හැකි තර්කයක්. ඒ අතරින් පළමු තර්කය මහ බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය ඇති තනතුරු දරන අයට අවශ්‍ය නොවන කුසලතා ඔවුන් වෙනුවෙන් තාක්ෂණික කටයුතු කරන අයට අවශ්‍ය වේද යන්නයි.

වත්මන් මහ බැංකු අධිපතිවරයා යනු සෑහෙන දුරකට අනන්‍ය මානව සම්පතක් බව බොහෝ දෙනෙකුට බැහැර හැරිය නොහැකි කරුණක්. එම ධුරය සඳහා පත් කළ හැකි ඔහු සතු කුසලතා තිබෙන අය තවත් සිටිය හැකි වුවත් එවැන්නන් විශාල ප්‍රමාණයක් සිටීයැයි සිතන්නට බැහැ. ඒ අතරම, පුද්ගලයෙකු වශයෙන් සැලකුවොත්, ඔහු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දක්වා වන තනතුරු දැරූ අයෙක්. නියෝජ්‍ය අධිපති ලෙස ඔහුට එම කුසලතා පෙන්විය නොහැකි වූයේ ඇයි?

ලංකාවේ ආර්ථික අර්බුදයට ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වගකිව යුතු බව පැහැදිලි කරුණක්. එම වගකීම එහි නිලධාරීන්ටද පැවරෙනවා. විශේෂයෙන්ම උසස් නිලධාරීන්ට. මෙහිදී එම නිලධාරීන් සියලු දෙනාම මෙන් නැවත නැවත පවසා ඇති කරුණක් වන්නේ, මේ වචන වලින්ම නොවුනත්, මහ බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය තිබෙන්නේ එහි අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩලයට බැවින් තමන් නිකම්ම රූකඩ පමණක් බවයි. දැන් මේ බලය තිබෙන්නේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට සහ පාලක මණ්ඩලයටයි. 

අලුත් පණත යටතේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකුද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් වන නමුත් එහි ඉතිරි සාමාජිකයින් කිසිවකු මහ බැංකුවේ නිත්‍ය සේවකයින් නොවෙයි. ඇත්ත වශයෙන්ම, ඉහළම කුසලතා අවශ්‍ය වන්නේ මහ බැංකුව වෙනුවෙන් තීරණ ගන්නා එහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සහ පාලක මණ්ඩලයේ සාමාජිකයින්ට මිස ඔවුන් වෙනුවෙන් තාක්ෂණික සේවා සපයන මහ බැංකුවේ පහළ සේවකයින්ට නොවෙයි. ඒ නිසා, කොපමණ වැඩි වුවත්, වෙළඳපොළ මිල ගෙවා සුදුසුම පුද්ගලයින් පත් කර ගත යුත්තේ මෙම ඉහළ තනතුරු වලටයි.

එහෙත්, එක පැත්තකින්, ඉතිහාසය දෙස බැලූ විට මෙම ඉහළ තනතුරු වලට අවශ්‍ය කුසලතා තිබෙන සුදුසුම පුද්ගලයින් පත් වී නැහැ. මේ වැරැද්ද අනාගතයේදී වුවත් සිදු විය හැකි අතර එවැන්නක් සිදු වුවහොත් පහළ ස්ථර වල සේවය කරන අයගේ කුසලතා කොපමණ වැඩි වුවත් එම කුසලතා වලින් වැඩක් වෙන්නේ නැහැ. 

දෙවනුව, මෙම කුසලතා ඇති අයෙකු අදාළ තනතුරකට පත් කිරීමේදී බොහෝ විට ප්‍රායෝගිකව ඔවුන්ගේ "වෙළඳපොළ මිල" බාධකයක් වන්නේ නැහැ. උදාහරණයක් ලෙස වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ පෙර එම ධුරය දැරූ බොහෝ දෙනෙකු විසින් එම තනතුරු භාර ගෙන තිබෙන්නේ තමන්ට ලැබෙන ඉහළ වැටුප් බලාගෙන නෙමෙයි. මෙම තනතුරේ ආකර්ශනීයත්වය හා සිවිල් බලය නිසාම, එතරම් අපහසුවක් නැතිව, බොහෝ විට සුදුසු අයෙකු සේවයේ යෙදවිය හැකියි. කෙසේ වුවත්, මෙය පුද්ගල අභිරුචි අනුව වෙනස් වන්නක්.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට වඩා පහළ අනෙකුත් මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු සඳහා කුසලතා පූර්ණ පිරිස් බඳවා ගත නොයුතු බව හෝ එසේ බඳවා ගැනීමේදී ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් තරඟකාරී මිලක් නොගෙවිය යුතු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. මෙම තනතුරු දරන අය අතරින් යම් පිරිසක් මේ වන විට වැඩි වී තිබෙන වැටුප් මට්ටම යටතේ වුවද බාහිර විකල්ප සොයා ගත හැකි අයයි. එහෙත්, එම ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු දරන අය අතරින් බොහෝ අයද වෙනත් බාහිර විකල්ප නොමැති අයයි. ඔවුන් ලේසියකට තමන්ගේ තනතුරු හැර යන්නේ නැහැ. බාහිර විකල්ප තිබෙන බොහෝ අයද දිගටම බැංකුවේ රැඳී සිටින්නේ සහන පොලියට මහ බැංකුවෙන් ලබාගත් විශාල ණය මුදල් හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේදී අත්සන් කළ බැඳුම්කර වැනි බාධක නිසා. 

මහ බැංකුවේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ කෙතරම් ඉහළ මට්ටමක තිබුණත්, සෑම වසරකදීම මහ බැංකුවේ සේවකයින් ආසන්න වශයෙන් දහ දෙනෙකු පමණ රැකියාවෙන් ඉවත්ව යනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. මේ අය බාහිර විකල්ප තිබෙන, ඉහත කී ආකාරයේ බාධා නැති අයයි. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු රැකියාවෙන් අස්ව ගිය අවස්ථාවක් ගැන මා පෞද්ගලිකව දන්නේ නැතත්, ඉන් පහළ සහකාර අධිපති දක්වා තනතුරු දැරූ අය මීට පෙර වරින් වර මහ බැංකුවේ රැකියාවෙන් ඉල්ලා අස් වී තිබෙනවා. බොහෝ විට යමෙකුට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය හිමි වන්නේ විශ්‍රාම යාමේ වයස ආසන්නව නිසා ඉල්ලා අස් වීමේ විකල්පය වෙනුවට විශ්‍රාම යාමේ විකල්පය තිබෙනවා. ඒ නිසාත්, සාමාන්‍යයෙන් නියෝජ්‍ය අධිපතිවරුන් සිටින්නේ දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණක් නිසාත් එවැන්නෙකු ඉල්ලා අස්වනු දකින්නට ලැබීමේ ඉඩකඩ අඩුවීම පුදුම විය යුතු දෙයක් නෙමෙයි. 

මෙසේ රැකියාවෙන් ඉවත්ව යන බොහෝ දෙනෙකු එසේ කරන්නේ විදේශ ගතවීම සඳහායි. ඉහළ වැටුප් ගෙවන විදේශ රැකියාවක් වෙනුවෙන් මහ බැංකුවේ රැකියාව අත හරින්නෙකු වැඩි වැටුප් ගෙවා නවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. තවත් අය බිරිඳ හෝ සැමියා විදේශගත වීම නිසා මහ බැංකුවේ රැකියාවෙන් ඉවත් වෙනවා. මේ හැර ලංකාවේම වෙනත් බැංකුවක හෝ පර්යේෂණ ආයතනයක ඉහළ වැටුපක් වෙනුවෙන් මහ බැංකුවේ රැකියාවෙන් ඉවත්ව යන අයද සිටියත් ඒ ඉතා කලාතුරකින්.

ආර්ථික අර්බුදය පැමිණීමත් සමඟ මහ බැංකුවේ සේවකයින් රැකියාවෙන් ඉවත්ව යාම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පහත සඳහන් තෝරාගත් (තොරතුරු සොයා ගත හැකි) වසර වල මහ බැංකුවේ සේවකයින් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති රටාව දෙස බැලූ විට මෙම වෙනස පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්.

2008 - 13

2010 - 9

2012 - 11

2014 - 16

2019 -9

2020 -5

2021 - 14

2022 - 51

වසරක් තුළ මහ බැංකුවේ සේවකයින් 51 දෙනෙකු රැකියාවෙන් ඉවත්ව යාම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ හේතුව නිසා 2022 අවසානය වන විට මහ බැංකුවේ සේවක ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීමක් දකින්න පුළුවන්. ඇතැම් විට, පසුගිය (2023) වසර තුළද මෙවැනිම තත්ත්වයක් පැවතුණා විය හැකියි. පහත තිබෙන්නේ පසුගිය වසර 15ක කාලය තුළ මහ බැංකුවේ සේවක ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරයයි.

2008 - 1,304

2009 - 1,263

2010 - 1,497

2011 - 1,411

2012 - 1,398

2013 - 1,550

2014 - 1,483

2015 - 1,422

2016 - 1,471

2017 - 1,405

2018 - 1,421

2019 - 1,366

2020 - 1,335

2021 - 1,357

2022 - 1,260

ඉහත සංඛ්‍යා වලින් පෙනෙන පරිදි, 2010 වසරේදී මහ බැංකුවේ කාර්යාල සහායක පංතියට 71 දෙනෙකු සහ කළමනාකරණ සහකාර පංතියට 94 දෙනෙකු බඳවා ගනු ලැබීම නිසා මහ බැංකුවේ සේවක සංඛ්‍යාව 19%කින් පමණ ඉහළ ගියා. එහෙත්, 2013 වසරේ සිට මහ බැංකුවේ සේවක සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යමින් පැවති බව දැකිය හැකියි. එය සැලසුම් සහගත ලෙස කර තිබෙන දෙයක්. එහෙත්, 2022 වසරේ ඉල්ලා අස් වීම් නිසා මහ බැංකුවේ සේවක ප්‍රමාණය අඩු වීම සැලසුමක ප්‍රතිඵලයක් නෙමෙයි. එමෙන්ම, එම වසරේ බොහෝ දෙනෙකු රට හැර විදේශගත වීම මහ බැංකුවෙන් පිටත අනෙකුත් ආයතන වලද දැකිය හැකි වූ තත්ත්වයක්. 

පුද්ගල ආදායම් බදු එකවර විශාල ලෙස ඉහළ යාම නිසා පසුගිය දෙවසර තුළ වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ අතට ලැබෙන පඩිපත කුඩා වුනා. මෙය මහ බැංකුවේ සේවකයින්ටද බලපා තිබෙනවා. එහෙත්, වෙනදාට වඩා වැඩියෙන් මහ බැංකුවේ සේවකයින් ඉල්ලා අස්වීමට එකම හේතුව එය කියා මා හිතන්නේ නැහැ.

රටේ ආර්ථිකයට "වෙන්න යන දේ" ගැන අනෙක් බොහෝ දෙනෙකුට කලින් දැනගන්නට ලැබෙන්නේ මහ බැංකුවේ සේවය කරන අයටයි. එමෙන්ම, පැවති ආර්ථික අර්බුදයේ ස්වභාවය අනුව සහ පැවති දේශපාලන වාතාවරණය තුළ මහ බැංකුවේ සේවය කරන සියල්ලන්ගේම රැකියා නැති වීමේ අවදානමක් තිබුණා. එම තත්ත්වය තුළ මේ ඉල්ලා අස්වීම් ගිලෙන නැවෙන් මීයන් පැනීමක් ලෙසද හඳුනාගත හැකියි. 2022 වසර අවසාන වන විට මහ බැංකුවේ සේවක සංයුතිය පහත පරිදියි.

මාණ්ඩලික ශ්‍රේණිය - 661

කළමනාකරණ සහකාර ශ්‍රේණිය - 463

කාර්යාල සහායක ශ්‍රේණිය - 136

මෙම පිරිසගේ වැටුප් ලෙස වසර තුළ රුපියල් මිලියන 6,692ක් ගෙවා ඇති අතර එය සාමාන්‍ය අගයක් ලෙස එක් අයෙකුට මාසයකට රුපියල් 442,577ක මුදලක්. මේ වැටුප් ඉහළ දැමීමට පෙරයි. විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම්ද ඇතුළුව පුද්ගල වියදම් ලෙස එම වසර තුළ වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 20,334ක්. මේ අනුව, වැටුප් වැඩි කිරීම නිසා වියදම් ඉහළ යන ආකාරය ගැන අදහසක් ගත හැකි විය යුතුයි. 

පහත තිබෙන්නේ පසුගිය වසර 16ක කාලය තුළ සේවක වැටුප් වෙනුවෙන් මහ බැංකුව විසින් වැය කර තිබෙන මුදල් ප්‍රමාණයයි. අදාළ කාලයේ සාමාන්‍ය අගයක් ලෙස විශ්‍රාම ප්‍රතිලාභ සඳහා වැය කර තිබෙන මුදල මෙම මුදලින් 60%ක් පමණ වෙනවා. 

2007 1,591,667,000

2008 1,718,302,000

2009 2,128,264,000

2010 2,224,931,000

2011 2,274,045,000

2012 2,865,544,000

2013 3,138,445,000

2014 3,256,096,000

2015 4,201,583,000

2016 4,258,884,000

2017 4,112,349,000

2018 5,409,137,000

2019 5,544,943,000

2020 5,298,938,000

2021 7,116,223,000

2022 6,691,770,000

ඉහත සංඛ්‍යා දෙස බැලු විට වසර තුනකට වරක් (2009, 2012, 2015, 2018 හා 2021) වැටුප් වියදම් එක වර විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, අනෙකුත් වසර වලදී ආසන්න වශයෙන් ස්ථාවරව පැවතී ඇති බවත් ඔබට පෙනෙනවා ඇති. මෙයට හේතුව, මහ බැංකුව විසින් වසර තුනකට වරක් සේවකයින් සමඟ වන සාමූහික ගිවිසුම අලුත් කිරීමයි. මෙම ගිවිසුම අනුව, තවත් වසර තුනක කාලයක් යන තුරු මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන නැවත සලකා බැලෙන්නේ නැහැ. 2024 වසරද මෙසේ මහ බැංකුවේ සේවක වැටුප් නැවත සංශෝධනය වන වසරක්. 

ඉහත පැහැදිලි කර ඇති පරිදි මේ වසරේදී මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම අලුත් මහ බැංකු පණත නිසා සිදුව ඇති දෙයක් නෙමෙයි. නමුත්, දිගින් දිගටම සිදුව තිබෙන "වැරැද්දක්" මෙවරද නැවතත් සිදු වී තිබෙනවා. මහ බැංකුව ස්වාධීන කර ඇති පසුබිමක, ඒ වැරැද්ද මෙවර සිදුව තිබෙන්නේ වඩා නරක ආකාරයකිනුයි. 

කාර්යාල සහායක හා කළමනාකරණ සහකාර ශ්‍රේණි ගැන පෙර කතා කළ බැවින් මාණ්ඩලික ශ්‍රේණි වෙත අවධානය යොමු කළහොත්, ලංකාව ඇතුළේම වුවද වඩා හොඳ වැටුපක් ලබා ගැනීමේ හැකියාව තිබෙන අය මහ බැංකුවේ සේවය කරනවා. නමුත්, සියල්ලන්ම නෙමෙයි. අනෙක් අතට මෙම තනතුරු පිරවීමට අවශ්‍යනම් මහ බැංකුව ගෙවන වැටුප් වලට පිටතින් පිරිස් බඳවා ගැනීම කිසිසේත්ම නොකළ හැකි දෙයක් නෙමෙයි. ඇත්තම ප්‍රශ්නය එසේ බඳවා නොගැනීමයි!

මහ බැංකුව මාණ්ඩලික ශ්‍රේණියේ ඉහළ තනතුරු සඳහා පිටතින් පිරිස් බඳවා ගන්නේ නැහැ. එම තනතුරු වලට උසස්වීමටනම් මුලින්ම කළමනාකරණය පුහුණුවන්නෙකු ලෙස (MANAGEMENT TRAINEE) මහ බැංකුවේ සේවයට පැමිණිය යුතුයි. මෙසේ මහ බැංකුවේ සේවයට පැමිණෙන්නෙකුට වසරක කාලයක් යන තුරු සියලු දීමනා සමඟ මසකට ලැබෙන්නේ රුපියල් 125,000ක මුදලක් පමණයි. මෙය මෑතකදී වැටුප් වැඩි කිරීමට පෙර කාර්යාල සහායක ශ්‍රේණියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප වූ රුපියල් 145,773ටද වඩා අඩු වැටුපක්.

මාණ්ඩලික ශ්‍රේණියට බැඳී මහ බැංකුවේ ඉහළම සේවක තනතුර (rank position) වන නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස් වීමට සුදුසුකම් ඇති අය බඳවා ගැනීමේදී මහා බැංකුව මෙවැනි "අඩු" වැටුපක් ගෙවන්නේ ඇයි? 

පිළිතුර සරලයි. පවතින ශ්‍රම වෙළඳපොළ තත්ත්වයන් තුළ එම වැටුපට මහ බැංකුවේ සේවයට පැමිණෙන්නට කැමති සහ අවශ්‍ය සුදුසුකම් තිබෙන දහස් ගණනක් රටේ ඉන්නවා. කෙසේ වුවත්, ඔවුන් මෙසේ මහ බැංකුවේ සේවයට එන්නේ වසරකට පසු සැලකිය යුතු වැටුපක් හා ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගත හැකි නිසයි. වසරක "අසීරු කාලය" ගත කිරීමෙන් පසුව ඔවුන්ට සාපේක්ෂව හොඳ කලක් ලබනවා.

කෙසේ වුවත් මෙම හොඳ තත්ත්වය නැවතත් කාලයත් සමඟ වෙනස් වෙනවා. ඊට හේතුව, මහ බැංකුවේ සේවයට බැඳෙන අය‍ට "ඉහළට නැගීම" සඳහා විශාල කාලයක් බලා ඉන්නට සිදු වීමයි. වෙනස් විය යුතු දෙය මෙන්ම ඇත්ත ප්‍රශ්නය මෙයයි.

මූල්‍යකරණය වැනි විෂයයක අධ්‍යාපන හා/හෝ වෘත්තීය සුදුසුකම් ලබා පෞද්ගලික අංශයේ රැකියාවකට යන අයෙකුට තමන්ගේ දක්ෂතාවය අනුව වසර පහ හයක් යද්දී මධ්‍යම මට්ටමේ කළමණාකාර තනතුරක් දක්වා ඉහළට යාම අපහසු දෙයක් නෙමෙයි. මහ බැංකුවේ මීට සමාන කළ හැකි තනතුර වන දෙපාර්තුමේන්තු ප්‍රධානී තනතුරක් ලබා ගැනීම සඳහා අඩු වශයෙන් වසර 17ක පමණවත් කාලයක් බලා ඉන්නට සිදු වෙනවා. මේ කාලය තුළ, තමන්ට සමකාලීනව පෞද්ගලික අංශයේ සේවයට ගිය අය තමන් පසු කර ඉහළට යන ආකාරය දෙස හූල්ලමින් බලා සිටින්නට මාණ්ඩලික ශ්‍රේණියේ ඇතැම් නිලධාරීන්ට සිදු වෙනවා.

මහ බැංකුවේ ඇතැම් දෙපාර්තමේන්තු වල ප්‍රධානී තනතුර දැරීම සඳහා සැලකිය යුතු කුසලතා හා පළපුරුද්දක් අවශ්‍ය වුවත්, තවත් ඇතැම් දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු වල කාර්ය භාරය ඒ තරම්ම සංකීර්ණ නැහැ. ඊට ඉහළ හා පහළ සමාන්තර තනතුරු ගැන කියන්න තියෙන්නේද එවැනිම දෙයක්. එමෙන්ම මේ එක් එක් සමාන්තර තනතුරු සඳහා අවශ්‍ය කුසලතා වල වෙළඳපොළ මිල සමාන නැහැ.

උදාහරණ ලෙස මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ හෝ බැංකු අධීක්ෂණ වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරක් දැරීම සඳහා මහ බැංකුවේම කලක් සේවය කර පළපුරුද්දක් ඇති අය පත් කිරීම සුදුසු වුවත්, පහසුකම් කළමනාකරණ හෝ මානව සම්පත් වැනි දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරු සඳහා සුදුසුකම් ඇති අය පිටතින් බඳවා ගැනීමට බැරිකමක් නැහැ. එමෙන්ම, ආර්ථික පර්යේෂණ හෝ බැංකු අධීක්ෂණ වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුවකට පවා යම් නිලධාරීන් පිරිසක් පිටතින් බඳවා ගත හැකියි. දක්ෂ පුද්ගලයෙකුට මෙවැනි දෙපාර්තමේන්තුවක වුවද "වැඩ අල්ලා ගැනීමට" විශාල කාලයක් අවශ්‍ය වන්නේ නැහැ.

මහ බැංකුවේ කියන්නේ රජයේ වෙනත් ආයතන මෙන්ම දැඩි සේ ධුරාවලිගත වූ සහ එම ධුරාවලිය මහ බැංකුවේ සේවයට මුලින්ම සේවයට පැමිණි දිනය මත නිර්ණය වන ආයතනයක්. මේ ධුරාවලිය හා සම්ප්‍රදාය බැහැර කරන්නේනම් මහ බැංකුවට මානව ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා මේ තරම් මිලක් ගෙවන්නට සිදු වන්නේ නැහැ. නමුත්, දැඩි ලෙස වෘත්තීය සමිති ග්‍රහණයට යටත්ව ඇති ආයතනයක ධුරාවලිය හා සම්ප්‍රදාය බැහැර කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. 

පහළ ශ්‍රේණි වල සිටින වඩා කාර්යක්ෂම නිලධාරීන්ට ඉක්මණින් ඉහළ තනතුරු වලට යාමට අවස්ථාව ලබා දෙනවා කියන්නේ සේවා කාලයෙන් වඩා ජ්‍යෙෂ්ඨ, එහෙත් සාපේක්ෂව අකාර්යක්ෂම නිලධාරීන්ට එම අවස්ථාව අහිමි වෙනවා කියන එකයි. ධුරාවලිගත ආයතනයක සාපේක්ෂව අකාර්යක්ෂම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ තත්ත්වය ඇති වනු දකින්නට කැමති වන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින් ඉහළ යාමේ අවස්ථා අහිමිවන, වැඩි කුසලතා ඇති, ඒ නිසාම බාහිර විකල්ප තිබෙන, නිලධාරීන් යම් පිරිසක් සේවය හැර යාම නොවැලැක්විය හැකි දෙයක්. මහ බැංකුවේ වැටුප් ක්‍රමය සකස් වී තිබෙන්නේ නිලධාරීන් බඳවා ගැනීම හා රඳවා ගැනීම පහසු කරන ආකාරයෙන් නොව, කවර කොන්දේසි යටතේ වුවද මහ බැංකුව හැර නොයන නිලධාරීන්ට හැකි ඉහළම ප්‍රතිලාභ ලැබෙන අයුරිනුයි.

මහ බැංකුවේ ඇත්තම ප්‍රශ්නය එහි නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම නොව සාපේක්ෂව අකාර්යක්ෂම නිලධාරීන් එසේ ඉවත් වී නොයාමයි. ඊට හේතුව ඔවුන්ට ලැබෙන වැටුප් හා ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගත හැකි "වෙළඳපොළ වැටුප්" වලට වඩා වැඩි වීමයි. මෙය සිදු වන්නේ සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදන සාමූහික ගිවිසුම් ක්‍රමයේ උදවුවෙන්. ඒ නිසා, පහළ ස්ථර වල සිටින අයට ඉහළට යාමට, පෞද්ගලික ආයතනයකට සාපේක්ෂව, විශාල කාලයක් ගත වෙනවා. මේ තත්ත්වය තුළ වඩා අභිලාෂකාමී (ambitious), දක්ෂ නිලධාරීන් සේවයෙන් ඉවත්ව යනවා. 

මේ තත්ත්වය මහ බැංකුවට පමණක් සුවිශේෂී තත්ත්වයක් නෙමෙයි. තමන්ගේ වාසියට ධනවාදී තර්කනයේ වෙළඳපොළ මිල හා සමාජවාදී තර්කනයේ සාමූහික ගිවිසුම් කලවම් කර දෙමුහුන් ක්‍රමයක් හදා ගැනීම වෙනත් අයද කරන දෙයක්. 

පහත උපුටා ගැනීම නලින් ද සිල්වාගේ ලිපියකින්.

"මොටාල  වැඩ වර්ජනයක් කළා. මාත් එකල මොටාවෙක්. අපි තර්ක කළා මොටාවලටත් දක්‍ෂයන් බඳවා ගන්න හා රඳවා ගන්න ඕන නිසා ඒ ඒ ක්‍ෂෙත්‍රවල මොටාලගෙ වැටුප ඒ ක්‍ෂෙත්‍රවල ඉහළ ම වැටුප වෙන්න ඕන කියලා. උදාහරණයක් වශයෙන් මොටාවල ආර්ථික විද්‍යාඥයන්ට මහා බැංකුවෙ වැටුප් ගෙවන්න ඕන කියා. වෛද්‍ය පීඨයෙ නම් රජයේ වෛද්‍ය සේවයේ ඉහළ වැටුප් ගෙවන්න ඕන කියා. ඊළඟට අප තර්ක කළා මොන පීඨයෙ හිටියත් මොටාල මොටාලා නිසා පීඨයෙන් පීඨයට වැටුප් වෙනසක් තියෙන්න බැහැ කියා.

ඒ කියන්නෙ මොන පීඨයෙ හිටියත් අදාළ ක්‍ෂෙත්‍රයෙ ඉහළ ම වැටුප මොටාලට ලැබෙනව විතරක් නො වෙයි මා වැනි ගණිත මොටාවෙකුට වුණත් මහා බැංකුවෙ හරි රජයේ වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙ හරි ඉහළ ම වැටුප් ලැබෙනවා. එකල උසස් අධ්‍යාපන ඇමති හමීඩ්. ප්‍රතිපාදන කොමිසමේ සභාපති අර්ජුන අළුවිහාරෙ. ඔවුන් අපේ තර්කය පිළිගත්තා. වැටුප් වැඩි කළා."

මහ බැංකුවේ වෙලා තියෙන්නෙත්, තිබෙන ක්‍රමය තුළ ඉදිරියේදී විය හැක්කේත් හරියටම ඔන්න ඔය වැඩේ. නිශ්චිත කිවුවොත් කණ්ඩායමක සිටින දක්ෂම පුද්ගලයන්ගේ ආන්තික ඵලදායීතාවය මත කණ්ඩායමේ සියල්ලන්ගේම වැටුප් නිර්ණය වීම. මෙහි තිබෙන අවුල මෙය සිදු වන්නේ රටේ පොදු මහජනතාවගේ වියදමෙන් වීමයි. 

දක්ෂ පුද්ගලයින් බඳවා ගත යුතුනම් හෝ රඳවා ගත යුතුනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොදුවේ සියල්ලන්ගේම වැටුප් ඉහළ දැමීම නෙමෙයි. එසේ බඳවාගත යුතු හෝ රඳවා ගත යුතු පුද්ගලයින්ට ඔවුන්ගේ වෙළඳපොළ වටිනාකම හා ගැලපෙන වැටුපක් ගෙවන එක සහ ඉක්මනින් ඉහළට යාමට අවස්ථා ලබා දීමයි. ඒ වගේම, ඉහළ තනතුරු ඇතුළු සියලුම තනතුරු බාහිර තරඟයට විවෘත කිරීමයි.  

Monday, July 26, 2021

ලංකාවේ රජය පැහැර හැරි ණය


මේ දවස් වල ලංකාවේ ජනප්‍රිය මාතෘකා දෙකකින් පළමුවැන්න ඩොලර් හිඟය සහ ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම. දෙවැන්න කොතලාවල ප්‍රශ්නය සහ ගුරු වර්ජනය. පළමු කාරණාව සම්බන්ධව කොහොම වෙතත් දෙවැන්න සම්බන්ධව අපේ පෞද්ගලික හිත මිතුරන් හා පාඨකයින් දෙපිල බෙදී සිටීමක් දැකිය හැකියි. මේ බෙදීම සාමාන්‍ය පක්ෂ දේශපාලන බෙදීමම නොවන බවත් මට නිරීක්ෂණය වූ දෙයක්.

මීට පෙර සයිටම් ප්‍රශ්නය වෙලාවේදී මා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි බව ඔබට මතක ඇති. නිදහස් අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කරන්නේ කවර හෝ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය අයෙකුට එම අධ්‍යාපනය ලබා ගැනීමට  තිබෙන අයිතිය. අධ්‍යාපනය ලබා දීමේ පිරිවැයක් තිබෙන නිසා එම පිරිවැය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාට හෝ වෙනත් අයෙකුට ගෙවන්නත් සිදු වෙනවා. තෙවන පාර්ශ්වයක් විසින් එය වැලැක්වීමෙන් සිදු වන්නේ නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කිරීමක්. 

මේ අර්ථයෙන් මම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා මුදල් අය කර සිවිල් වැසියන්ට උපාධි පිරිනැමීම ගැන විරුද්ධ නැහැ. එහෙත් මේ විරෝධය තුළ කතා වන හැම දෙයක් ගැනම මට අවබෝධයක් නැහැ. අදාළ පණත මා විසින් අධ්‍යයනය කර නැහැ. ඒ නිසා, ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ.

පළමු මාතෘකාවට ආවොත්, බාහිර ලෝකයේ ඇසින් ලංකාවේ රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලංකාව තුළ වුවත් එය එසේ නොවන බව කියන පිරිස ඉතාම සීමිතයි. 

ලංකාවේ රජය බොහෝ විට ආඩම්බරයෙන් කියන දෙයක් වන්නේ මෙතෙක් කිසි විටෙකත් ලංකාවේ රජය විසින් ලබා ගත් ණය පැහැර හැර නැති බවයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියා කියන්නේ යාළුවෙක්ගෙන් ණයට ලබා ගන්නා රුපියල් පන්දාහක් ආපසු නොගෙවා මග හරිමින් සිටීම වැනි සරල දෙයක් නෙමෙයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියන එකට තිබෙන්නේ පුළුල් අර්ථකතනයක්. ණය ලබා ගැනීමේදී එකඟ වූ කොන්දේසි යාන්තමින් ඉටු නොවීම ණය පැහැර හැරීමක් ලෙස වාර්තා විය හැකියි.

රජයක් හෝ පෞද්ගලික සමාගමක් විසින් බැඳුම්කරයක් නිකුත් කිරීමේදී එහි කූපන් පොලී මුදල් හා මුල් මුදල ආපසු ගෙවන දින වකවානු පිළිබඳ නිශ්චිත එකඟතාවයක් තිබෙනවා. හරියටම ඒ කියපු දවසට මුදල් ගෙවන්න නොහැකි වී සුළු හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය ණය පැහැර හැරීමක් සේ සැලකෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මුදල් හුවමාරු සිදු වන්නේ දෙල්කඳ පොළෙන් පොළොස් ගෙඩියක් මිල දී ගන්න විදිහට නෙමෙයි. මුදල් ගෙවන්නා සහ මුදල් ලබන්නා එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ වෙනත් අතරමැදියන් ගණනාවක් හරහා. මේ වැඩේට කිසියම් ගෙවුම් පද්ධතියක් හෝ ගෙවුම් පද්ධති කිහිපයක් යොදා ගැනෙනවා. ඇතැම් විට මුදල් ගෙවූ අවස්ථාවේ සිට මුදල් ලැබෙන අවස්ථාව දක්වා දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ තොරතුරු සන්නිවේදනය කිරීමේදී සිදු වන සුළු තාක්ෂනික අත් වැරැද්දක් නිසා වෙලාවට සල්ලි නොයන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුවත් එකඟතාවය කඩවීමක් සිදු වන නිසා එය ණය පැහැර හැරීමක් සේ සටහන් විය හැකියි. 

යම් හෙයකින් තාක්ෂණික බිඳ වැටීමක් නිසා ලැබිය යුතු මුදලක් පැයක් පරක්කු වුනත් එයින් ණය දුන් අයෙකුට දැනෙන පාඩුවක් සිදු වන්නේ නැහැ. ලංකාවේ රජය ණය ආපසු ගෙවීමේදී මෙතෙක් කවදාවත් මෙවැනි අත් වැරැද්දක් කරගෙන නැහැ කියා කියන එකෙන් පෙනෙන්නේ අදාළ කටයුත්ත කොයි තරම් බැරෑරුම් ලෙස සලකා තියෙනවද කියන එකයි. 

මේ දවස් වල ඇහෙන තවත් වචනයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක. ඉතාම කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ මුලින් එකඟ වූ ආකාරයට ණය නොගෙවා සිටීමක්. නමුත් එය කරන්නේ කිසියම් පූර්ව එකඟතාවයකින් පසුවයි. කිසිවක්ම නොලැබී යාමේ අවදානම හමුවේ තමන්ට ලැබිය යුතු මුදලට වඩා අඩු මුදලක් ලබා ගැනීමට, නියම මුදල පසු දිනක ලබා ගැනීමට හෝ ඔය දෙකටම ණය දුන් පාර්ශ්වය එකඟ වෙන්න පුළුවන්. මෙහිදී ගිවිසුම් කඩවීමක් සිදු නොවන නිසා තාක්ෂනිකව ණය පැහැර හැරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් සුළු තාක්ෂනික ප්‍රමාදයක් නිසා සිදු වන තාක්ෂනික ණය පැහැර හැරීමක (technical default) අලාභයට සාපේක්ෂව මෙවැනි එකඟතාවයක අලාභය බොහෝ වැඩි විය හැකියි. ඒ නිසා, පූර්ව එකඟතා මත සිදු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වුවත් ණය පැහැර හැරීම් සේ සැලකෙනවා. ඔය කාණ්ඩ දෙකටම නොවැටෙන, "ගෙවන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න!" මාදිලියේ ණය පැහැර හැරීම් ඉතාම දුලබයි.

බොහෝ ආර්ථික දැවැන්තයින් විසින්ද ණය පැහැර හැරි අවස්ථා ඉතිහාසයේ තිබුණත් මෑත ඉතිහාසය තුළ ණය පැහැර හැර ඇති සේ සැලකෙන බොහොමයක් රටවල් අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම් කාණ්ඩයේ රටවල්. එහෙත් ආර්ථික විද්‍යා දෘෂ්ඨි කෝණයකින් පුළුල් ලෙස බැලුවොත් ලෝකයේ හැම රජයක්ම වගේ දිගින් දිගටම අඛණ්ඩව එක්තරා ආකාරයක ණය පැහැර හැරීමක් කරමින් සිටිනවා.

ගුරු වර්ජනය වෙත නැවත පැමිණියහොත්, වෙනත් ඉල්ලීම් ගණනාවක් පෙනෙන්නට තිබුනත්, මේ වර්ජනය පසුපස ගුරු වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්ද තිබෙනවා. මේ ආකාරයෙන්ම වරින් වර වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, සරසවි ඇදුරන් හා අනධ්‍යයන සේවකයින් වැනි වෙනත් රජයේ සේවකයින්ද වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි කරමින් අවසන් වූ 1980 ජූලි වර්ජනය පිළිබඳ මතක තවමත් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ආකාරයට රජයේ සේවකයින් විසින් වරින් වර වැඩි වැටුප් ඉල්ලා සිටීම එක්තරා ආකාරයකින් රජය විසින් සිදු කරන ණය පැහැර හැරීමකට ප්‍රතිචාරයක් ලෙසද අර්ථ දැක්විය හැකියි.

කිසියම් අයෙකු රජයේ රැකියාවක් භාර ගැනීමේදී එම තැනැත්තා විසින් ලබා දෙන සේවය වෙනුවෙන් යම් නිශ්චිත වැටුපක් ලබා ගැනීමේ එකඟතාවයක් ඇති වෙනවා. පළමු පඩි දිනය දක්වා, මාසයකට ආසන්න කාලයක්, ශ්‍රමිකයා වැඩ කරන්නේ ණයටයි. මාසය අවසානයේදී රජය විසින් ණය ගෙවනවා. යම් හෙයකින් නියමිත දිනයේදී කලින් පොරොන්දු වූ වැටුප ලබා නොදුන්නොත් එය සැලකිය හැක්කේ ණය පැහැර හැරීමක් ලෙසයි.

ලංකාවේ රජය හා රාජ්‍ය සේවකයෙකු අතර ඇති වන සේවා ගිවිසුම තුළ එකඟතාවයක් ඇති වන්නේ නිශ්චිත ශ්‍රම කාලයක්  නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමටයි. මෙහිදී රාජ්‍ය සේවකයා තමන්ගේ ශ්‍රමයේ වටිනාකම රුපියල් වලින් ලබා ගන්නේ රුපියල් පරිභෝජනය කළ හැකි නිසා නෙමෙයි. රුපියල් සත කන්න බැරි බව ත්‍රිරෝද රථ වලට ස්ටිකර් විකුණන අය වගේම ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරන අයත් දන්නවා. රුපියල් ලබා ගන්නේ රුපියල් සමඟ හුවමාරු කර ලබා ගත හැකි පරිභෝජනය කළ හැකි දේවල් නිසා. එහෙත් ඒ බව බොහෝ විට සේවා ගිවිසුමේ නැහැ. එය යම් ආකාරයක අලිඛිත එකඟතාවයක්.

මාසය අවසානයේදී පොරොන්දු වූ වැටුප ලැබෙනවානම්, මුල් මාස වලදී ගැටලුවක් ඇති වන්නේ නැහැ. එහෙත් කාලයත් එක්ක ලැබෙන නිශ්චිත රුපියල් ප්‍රමාණයෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වන බව ශ්‍රමිකයාට තේරෙනවා. එහෙත්, ගිවිසුමේ ඔහුගේ කොටස ඒ විදිහටම සිදු වෙනවා. ලබා දෙන ශ්‍රම කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. ගිවිසුම අනුව රජය වැරැද්දක් කර නැහැ. පොරොන්දු වූ රුපියල් ප්‍රමාණය මාසය අන්තිමට අඩු නැතුව ලැබෙනවා. නමුත් එම රුපියල් ප්‍රමාණය තුළ අපේක්ෂා කළ වටිනාකම නැහැ. ඒ පදනම මත බැලුවොත් ලැබෙන්නේ පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක්. 

මේ කතාව පෞද්ගලික ආයතනයක ශ්‍රමිකයන් හා අදාළව වුවත් කිව හැකියි. එහෙත්, මේ දෙකේ වෙනසක් තිබෙනවා. උද්ධමනය නිසා නාමික වැටුප් වල මූර්ත වටිනාකම අඩු වීම පෞද්ගලික ආයතනයක් විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි. එය බාහිර කරුණක්. හැමවිටම නොවුනත්, ඇතැම් පෞද්ගලික ආයතන වල සේවා ගිවිසුම් තුළ සේවක වැටුප් උද්ධමනය හා ගැලපීමක්ද දකින්නට පුළුවන්.

මෙයින් වෙනස්ව, උද්ධමනය කියන්නේ රජය විසින් සැලසුම්සහගතව නිෂ්පාදනය කරන දෙයක්. එය බාහිර කරුණක් නෙමෙයි. රජයේ ආදායමට වඩා වියදම් වැඩිනම්, කවර හෝ හේතුවක් නිසා බදු හරහා ආදායම් වැඩි කර ගැනීම අසීරුනම්, සේවා ගිවිසුම් අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප් අඩු කරන්නත් බැරිනම්, උද්ධමනය තෝරා ගැනීම රජයකට හොඳ විකල්පයක්. 

උද්ධමනය ඉහළ යද්දී බොහෝ විට බදු අය කෙරෙන පදනම්ද නාමිකව ඉහළ ගොස් රජයේ ආදායම් ඉහළ යන නමුත් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු රජයේ වියදම් ඉහළ යන්නේ නැහැ. එය සිදු වන්නේ රජයේ සේවකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහා වැටුප් වැඩි කරගැනීම වැනි දෙයක් සිදු වීමෙන් පසුවයි. එම කාලය තුළ රජයට ආදායම් හා වියදම් අතර පරතරය යම් තරමකින් අඩු කර ගන්න පුළුවන්, වෙනත් විදිහකින් කිවුවොත් නාමිකව ඉහළ ගියත්, මූර්ත පදනමකින් අයවැය හිඟය පහළ දමා ගන්න පුළුවන්. 

මේ විදිහට උද්ධමනය ඉහළ යද්දී රජයට වාසියක් වෙන්නේ මූර්ත පදනමින් රාජ්‍ය සේවක වැටුප් අඩුවීම නිසා පමණක් නෙමෙයි. සැපයුම්කරුවන්ට කරන ගෙවීම් වගේ දේවල් හා අදාළවත් ඔය වැඩේම වෙනවා. පොරොන්දු වූ මුදලක් මාස කිහිපයක් ප්‍රමාද කර ගෙවනවා කියා කියන්නේ මූර්ත පදනමින් අඩුවෙන් ගෙවීමක්. 

බැංකු ණයක් ගෙන රජය වෙනුවෙන් යම් භාණ්ඩ හෝ සේවා සැපයුමක් කරන කොන්ත්‍රාත්කරුවෙක් ගැන හිතන්න. දැන් මේ සැපයුම වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම ප්‍රමාද වන තරමට බැංකු ණය වෙනුවෙන් අමතර පොලී මුදලක් ගෙවන්න සිදු වෙනවා. එය කොන්ත්‍රාත්කරුට සිදු වන අවාසියක්. මෙහි ඇති සැඟවුණු කරුණ වන්නේ ඇත්තටම එම අවාසිය රජයට සිදුවන වාසියක් බවයි. වෙනත් ආකාරයකින් කිවුවොත් මෙහිදී සිදුවන්නේ රජය විසින් පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ගෙවීමක් හෙවත් ණය පැහැර හැරීමක් වැනි දෙයක්.

රජයේ සියලු වියදම් ආවරණය කරගත හැකි තරමට බදු ගෙවන්න රටක මිනිස්සු සූදානම් නැත්නම් එයින් අදහස් වන්නේ රජය විසින් සලසන සේවයේ වටිනාකම පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව අඩු බවයි. වෙනත් අයුරකින් කිවුවොත් රාජ්‍ය සේවකයින් විසින් සලසන සේවය වෙනුවෙන් රටේ බදු ගෙවන ජනතාව ගෙවන්න සූදානම් මුදල ඔවුන් වැටුප් සේ ලබා ගන්නා මුදලට වඩා අඩු බවයි. එසේනම් කළ යුත්තේ රාජ්‍ය සේවක වැටුප් අඩු කරන එකයි. එහෙත් විවිධ නෛතික හා ප්‍රායෝගික බාධාවන් නිසා රජයකට එය කිරීම අසීරුයි. නාමික වැටුප් එලෙසම තිබියදී උද්ධමනයට ඉඩ හැර මූර්ත වැටුප් අඩු කිරීම මෙය වක්‍ර ලෙස කළ හැකි ක්‍රමයක්. ලංකාවේ රජය කාලයක සිට මේ උපක්‍රමය භාවිතා කරනවා.

ජේආර්ගේ ආණ්ඩුවට හැත්තෑ හතේදී පෙනී ගිය කරුණක් වුනේ විශාල හා අකාර්යක්ෂම රාජ්‍ය සේවය රජයේ අයවැයට දරාගත නොහැකි බරක් බවයි. එහෙත්, රාජ්‍ය සේවයේ නාමික වියදම් අඩු කිරීම පහසුවෙන් කළ හැක්කක් වුනේ නැහැ. සල්ලි අච්චු ගසා උද්ධමනය ඉහළ යන්න සැලැස්වීමෙන් මේ කාර්යය වක්‍ර ලෙස කළ හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වීම අසීරු වුනා. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පෙළඹුණා. කෙසේ වුවත්, මෙහිදී සිදු වුනේ රාජ්‍ය සේවක ශ්‍රමයේ සැබෑ වටිනාකම හා ගැලපෙන පරිදි මූර්ත වැටුප් අඩු වීමක් නිසා ඔවුන්ට හෙට්ටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. වර්ජකයින් විශාල පිරිසකට තිබුණු ආදායමද අහිමි වුනා.

ජේආර් උපක්‍රමය අද දක්වාම සාර්ථකව නැවත නැවත ක්‍රියාත්මක වෙනවා.

Monday, April 5, 2021

සකලබුජන් කොට කලිසම්

ටොමී හිල්ෆිගර් කොට කලිසමට නැවත එමු. ඇමරිකාවේ ඔය වගේ සාමාන්‍ය කොට කලිසමක මිල ඩොලර් 55ක් වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එහෙත් එයින් අදහස් වන්නේ ඇමරිකාවේ කොට කලිසමක් ඩොලර් 55ක් කියන එකම නෙමෙයි. ඔය මිල ඇමරිකාවේ වුනත් ඔය වගේ සාමාන්‍ය කොට කලිසමකට ටිකක් ඉහළ මිලක්. 

මම පෞද්ගලිකව කවදාවත් කොට කලිසමකට ඩොලර් 20කට වඩා වියදම් කරලා නැතුව ඇති. ඒ වගේම, මම ඇඳුමක් ගනිද්දී සන්නාම බලන්නේ නැහැ. මගේ පවුලේ අනෙක් අයත් ඇඳුම් මිල දී ගනිද්දී සන්නාම පස්සේ යන්නේ නැහැ. මේ කාරණයේදී මම අවුට්ලයර් කෙනෙක් කියලයි මම හිතන්නේ.

මගේ ඇමරිකාවේ ජීවිතයට මම කැමති හේතු අතරින් එක හේතුවක් ඇඳුම් වෙනුවෙන් ඕනෑවට වඩා කාලයක් යොදවන්න අවශ්‍ය නොවීම. ඔය තියෙන එකක් ඇඳගත්තා. යන්න ඕනෑ තැනට ගියා. ටී ෂර්ට් එක කණපිට ඇඳගෙන යන එක සාමාන්‍යයෙන් මාසයකට පාරක්වත් වෙන දෙයක්. ඕවා කවුරුවත් ගණන් ගන්නවද නැද්ද කියලවත් මම දන්නේ නැහැ.

කොහොමටත් මට මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් අවධානයට ලක් වෙන්නේ ඉතාම අඩුවෙන්. සමහර වෙලාවට කවුරු හරි අමුත්තෙක් සම්බන්ධව විස්තර කරද්දී අහන දෙයක් තමයි මොන පාට ඇඳුමක්ද ඇඳගෙන හිටියේ කියන එක. ඔය ප්‍රශ්නෙට මට ජීවිතේට උත්තර දෙන්න බැහැ. 

පාට මතක නැත්නම් ඇඳලා හිටියේ ගවුමක්ද සාරියක්ද කියලා මතකද? ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න සිදු වී ඇති වාර ගණනත් ඉතාම විශාලයි. මොන පිස්සුද? කාටද ඕවා මතක හිටින්නේ? හොඳ වෙලාවට පොලීසියක උසාවියක සාක්කි දෙන්න වෙලා නැහැ. හැබැයි අනෙක් පැත්තට සමහර වෙලාවට දකින වාහනයක නොම්මරේ, කණට ඇහෙන දුරකථන අංකයක්, උපන් දින වගේ ඒවානම් මතක හිටිනවා. 

ඇඳුම් ගනිද්දී සන්නාමය බැලුවේ නැති වුනත් වාහනයක් හෝ පරිගණයක් ගනිද්දී මම සන්නාමය බලනවා. ඔය වගේ සන්නාමය බලන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ටොමී හිල්ෆිගර් සන්නාමය ගැනනම් මම හොයා ගත්තේ අන්තර්ජාලය පීරලා. බලාගෙන ගියාම මගේ සමහර මිතුරි මිතුරියනුත් මේ සන්නාමයේ ෆෑන්ස්ලා.

ටොමී හිල්ෆිගර් වෙබ්සයිට් එකට ගිහින් කොට කලිසම් සර්ච් කළාම ආපු කලිසම තමයි උඩ තියෙන්නේ. එහි සාමාන්‍ය මිල ඩොලර් 55ක්. රුපියල් 200 ගානේ බැලුවොත් එකොළොස්දාහ හරි. හැබැයි විකුණන්නේ 51%ක් අඩු කරලා ඩොලර් 26.99කට. මේ මිලට දින දෙකක් ඇතුළත තැපැල් කර එවීමේ ගාස්තුවත්, කලිසම එපානම් ආපසු එවීමේ ගාස්තුවත් ඇතුළත්. ඒ අනුව බැලුවොත් කලිසම වෙන්නේ ඩොලර් විස්සක් වගේ.

ඔය ටොමී හිල්ෆිගර් වෙබ්සයිට් එකේ මිල. ඔය වගේ කලිසම් වෙන තැන් වලිනුත් මිල දී ගන්න පුළුවන්. අන්තර්ජාලයේ හෙවුවහම ඩොලර් 13ටත් තියෙනවා. මේක ඇමරිකාවේ සාමාන්‍ය තත්ත්වය. ඇඳුමක් ඩොලර් පනහක් හැටක් වුනත් ටිකක් හෙවුවොත් ඔය කියන ගානට වඩා ගොඩක් අඩුවෙන් මිල දී ගන්න පුළුවන්. ඔය සන්නාම සහිත ඇඳුම් විකුණන සාප්පුවකට ගියාම ඕනෑම දවසක විශාල වට්ටමකට විකුණන ඇඳුම් යම් ප්‍රමාණයක් තිබෙනවා. ගොඩක් අය මිල දී ගන්නේ ඔය ගොඩේ ඇඳුම්. හැබැයි තමන්ට ඕනෑ ඇඳුමම ගන්නනම් එහි මිල ගෙවන්න වෙනවා.

ඩොලර් පණහකට මිල කරලා තිබෙන ඇඳුමක් ඩොලර් විසිපහකට විකුණන එක සාමාන්‍ය තත්ත්වයක් කියා කියන්නේ ඇඳුම විකුණන්නේ එකට එකක් ලාබ තියාගෙන කියන එකනේ. ඇත්ත. එවැනි ලාබයක් ඔවුන් තියා ගන්නවා. මේක මේ කර්මාන්තයේ ස්වභාවය.

මම ඔහේ අහුවෙන ඇඳුමක් ඇඟේ දාගෙන ගියාට ගොඩක් අය ඇඳුම් ගැන සැලකිලිමත්නේ. ඒ වගේ අය තමන්ගේ ඇඟට ගැලපෙන, හොඳ, ඇඳුමක් හොයන්නේ තමන් ඇසුරු කරන අය අතර කැපී පෙනෙන්න. 

මේක මම නිශේධනීය අර්ථයකින් කියන දෙයක් නෙමෙයි. අපි හැමෝම විවිධ ආකාර වලින් අනෙක් අය අතර කැපී පෙනෙන්න උත්සාහ කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් විවිධ ආකාර වලින් "මම" කියන අනන්‍යතාවය නඩත්තු කරනවා. මේ එක ක්‍රමයක් හොඳ වෙන්නත් තව ක්‍රමයක් නරක වෙන්නත් හේතුවක් නැහැ.

හැමෝම අඳින විදිහේ ඇඳුමක් ඇඳලා කැපී පෙනෙන්න බැහැ. ඒකට ටිකක් වෙනස් ඇඳුමක් අඳින්න ඕනෑ. ඒ වෙනස් ඇඳුම හැමෝම මිල දී ගත්තොත් එය තව දුරටත් වෙනස් ඇඳුමක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම අලුත් මෝස්තර වලට ඉල්ලුමක් තිබෙනවා. මේ ඉල්ලුම සපයන මෝස්තර කර්මාන්තයක් තිබෙනවා. ටොමී හිල්ෆිගර් සන්නාමයේ නිර්මාතෘ ටොමී හිල්ෆිගර් කියන්නෙත් මෝස්‌තර සැලසුම් ශිල්පියෙක්. 

අලුත් ඇඳුම් මෝස්තරයක් වෙළඳපොළට දමන එකේ ස්ථිර පිරිවැයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නිෂ්පාදන ක්‍රියාවලියක ස්ථිර පිරිවැය හදන ඒකක ප්‍රමාණය අතර බෙදී යනවා. එහෙත් මෝස්තර නිර්මාණය වගේ කටයුත්තකදී පිරිවැය බෙදා හැරිය හැක්කේ අදාළ මෝස්තරයේ ඇඳුම් සීමිත ප්‍රමාණයක් අතර පමණයි. එකම මෝස්තරයෙන් වැඩි ඇඳුම් ප්‍රමාණයක් හැදුවොත් මෝස්තරයේ වටිනාකම අඩු වෙනවා.

කොට කලිසමක් ඩොලර් පණහකට මිල කරන්නේ එහි මෝස්තරය වෙනුවෙන් වටිනාකමක් දෙන, මෝස්තරය වෙනුවෙන් මිලක් ගෙවන්න කැමති පාරිභෝගිකයන් ඉලක්ක කරලා. ටික දවසක් යද්දී ඒ ඉල්ලුම ඉවර වෙනවා. සමහර විට මෝස්තරය හිට් වෙන්නෙම නැහැ. අපි වගේ ඔය කොට කලිසම කොට කලිසමක් සේ පමණක් වටිනා සේ සලකා එයට අඩු වටිනාකමක් දෙන පාරිභෝගිකයන්ට ඩොලර් විස්සක් විසිපහක් ගෙවා කලිසම මිල දී ගන්න ලැබෙන්නේ ඊට පස්සේ.

කලිසම එකම වුනත් එයට එක් එක් පාරිභෝගිකයා විසින් දෙන්නේ වෙනස් වටිනාකම්. ඇමරිකාවේ සමහර සාප්පු වල ප්‍රසිද්ධ සන්නාම සහිත ඇඳුම් සාමාන්‍ය මිලට වඩා ගොඩක් අඩුවෙන් විකුණනවා. ඇඳුමේ සන්නාමය තිබුණත් ඒ වගේ සාප්පුවක ලොකු තේරීමක් නැහැ. එහෙම තැන් වලට යන්නේ ලාබෙට ඇඳුම් හොයන අය. පාරිභෝගිකයෝ ගොඩයි. ඇඳුම් ටිකයි. ලාබ ආන්තිකය ටිකයි. ලාබය එන්නේ විකිණෙන ප්‍රමාණයෙන්.

ඕකේ අනෙක් අන්තයත් තිබෙනවා. සමහර සාප්පු ඉලක්ක කරන්නේම ඇඳුමකට ඉහළ වටිනාකමක් ගෙවන්න සූදානම් පාරිභෝගිකයින්. ඒ වගේ තැනක පාරිභෝගිකයෙකුට තමන් කැමති ඇඳුමක් තෝරා ගන්න මෝස්තර විශාල ප්‍රමාණයක් තිබෙනවා. සාප්පුවේ ඇඳුම් ප්‍රමාණයට පාරිභෝගිකයෝ අඩුයි. විකිණෙන්නේ ඇඳුම් ටිකයි. නමුත් ලාබ ආන්තිකය ඉහළයි. සාප්පුවේ ලාබය එන්නේ ලාබ ආන්තිකයෙන්. 

ඩොලර් විස්සේ හෝ විසිපහේ කොට කලිසමක වටිනාකම ඩොලර් පනහක් හෝ පනස් පහක් වෙන්නේ ඔය වගේ සාප්පුවකදී. ලංකාවේ ඇඟලුම් කම්හලෙන් එළියට එද්දී ඔය කොට කලිසමේ වටිනාකම ඩොලර් පනස් පහක් වෙලා නැහැ. ඩොලර් පනස් පහේ ටැග් එක ගහන්නේනම් ලංකාවේදී වෙන්න පුළුවන්.

කලිසමට අන්තිම ඩොලර් තිහේ අගය එකතු වෙන්නේ එය විකුණන සාප්පුවේදී. කලිසමේ වටිනාකමට ඒ ඩොලර් තිහ එකතු වෙන්න සාප්පුවේ වෙනත් මෝස්තර වල කලිසම් විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. සැලකිය යුතු සේවක පිරිසක් ඉන්න ඕනෑ. සාප්පුව එය තිබෙන තැනම පවත්වාගෙන යන්න ඕනෑ. තව ගොඩක් දේවල් කරන්න ඕනෑ. කලිසමේ වටිනාකම ඩොලර් තිහකින් ඉහළ යද්දී ඔය අනෙකුත් වියදම්ද ඒ ප්‍රමාණයටම ඉහළ යනවා. 

ඉහළ ගිය ඩොලර් තිහේ වටිනාකම එහි වටිනාකම ඉහළ දැමීමට දායක වූ අයගේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය අනුව බෙදී යනවා. මේ විදිහට වටිනාකම අමතර ඩොලර් තිහකින් ඉහළ යාම තනිකරම ඇමරිකාවේදී සිදු වන දෙයක්. එයට ලංකාවේ ඇඟලුම් සේවිකාවන්ගේ දායකත්වයක් නැහැ. ලංකාවේදී තමන්ගේ කොටස මහලා පඩිය ගත්තට පස්සේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලැබිලා ඉවරයි.

ලංකාවෙන් එළියට එද්දී ඔය කොට කලිසමක් ඩොලර් විස්සක් වෙලත් නැහැ. වටිනාකම ඩොලර් විස්සක් වෙන්නෙත් අදියර ගණනාවකින්. ඒ හැම අදියරකදීම කලිසමේ වටිනාකමට එකතු වන අතිරික්ත වටිනාකම එම අතිරික්ත වටිනාකම සපයන අය අතර ඔවුන්ගේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට සමානුපාතිකව බෙදී යනවා. 

Thursday, October 15, 2020

බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය


ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙද්දී "ඔය වැඩෙන් වෙන්නේ ගමක පොල් ගෙඩියක් කඩා ගන්නවත් මනුස්සයෙක් නැති වෙන එක" කියලා සමහර අය විරුද්ධ වුනා කියනවනේ. ඔය පොල් කඩන වැඩේ කාලයක් ලංකාවේ විශාල පිරිසක් නිරතව හිටපු වෙන කරන්න දෙයක් නැති අයට කළ හැකි වූ රැකියාවක්. අපි පොඩි කාලේ විභාගයකදී ලකුණු ටිකක් අඩු වුනොත් වැඩිහිටියෝ කියන්නේ "ඔහොම කරලනම් කවද හරි පොල් කඩන්න තමයි වෙන්නේ" කියලා. මම හිතන විදිහට මේ රස්සාව අද සමාන කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිරෝද රථ රස්සාව වගේ එකකටයි.

ඒ දවස් වල පොල් කඩන රස්සාව කරපු අයට අපි සල්ලි දුන්නේ නැහැ. නගින ගහකට ගෙඩිය ගානේ දෙන එකයි කළේ. ඔයාකාරයට පොල් කැඩීමේ කුලිය විදිහට දුන් ගෙඩියට බැල ගෙඩිය කියලයි කිවුවේ. දැන් කල්පනා කරලා බැලුවහම වචනයේ තේරුම බැලයාගේ එහෙම නැත්නම් සේවකයාගේ පංගුව වගේ එකක් බව පේනවා. ඔය වචනය ගූගල් එකේවත් නැත්තේ සමහර විට අපේ පැත්තේ ප්‍රාදේශීය යෙදුමක් නිසාද දන්නේ නැහැ.

මේ "අපේ පැත්ත" තිබුණේ පොල් ත්‍රිකෝණය ඇතුළේ හෝ මුහුදක් අයිනේ නෙමෙයි. ඒ නිසා අපේ පොල් ගස් වල සාර සොබාවට ගෙඩි හැදුනේ නැහැ. එහෙම හැදුනේ ගේ කිට්ටුව තිබුණු වැඩි සාත්තු සප්පායම් ලැබූ ගස් කිහිපයක පමණයි. වත්තේ ගෙදරින් ඈතට වෙන්න තිබුණු, ඔහේ හැදෙනවට හැදුණු සමහර ගස් වල වල්ලක ගෙඩි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. ඔය වගේ ගෙඩි දෙක තුනක් තියෙන ගහක පොල් කඩවලා බැල ගෙඩිය දීලා ගෙඩියක් හෝ දෙකක් ගන්න එකේ තේරුමක් නැති නිසා ඒ වගේ ගස් වල තියෙන ගෙඩි කීපය කඩවන්නේ නැතුව වේලිලා වැටෙන්න අරින එකයි කළේ. 

සමහර හවුල් ඉඩම් වලට අයිතිකාරයෝ විශාල ගණනක් හිටියා. කඩන පොල් අයිතිකාරයින් අතර බෙදෙනවා. ඒ ඇතැම් අයිතිකාරයින්ගේ පංගුවේ තරමට වාරයකට පොල් ගෙඩියකට දෙකකට වඩා ලැබෙන්නේ නැහැ. සමහර ඉඩම් වල පොල් මුර ක්‍රමයක් තිබුණා. ඉඩමේ පළමු පහෙන් පංගුවේ කොටස් අයිතිකාරයින්ට එක අවුරුද්දක පොල් ලැබෙනවා. ඉන් පසු දෙවන පහෙන් පංගුවේ අයිතිකාරයින්ට. සිංහල අවුරුද්දට පස්සේ පොල් මුරේ මාරු වෙනවා. මුරේ ඉවර වුනාට පස්සේ ආයේ මුරයක් ඉන්නේ අවුරුදු පහකට පස්සේ. ඔය එක පහෙන් පංගුවකටත් අයිතිකාරයෝ සෑහෙන ගණනක් හිටියා. ඉතිං පොල් ටික කඩලා බෙදුවට පස්සේ ලොකුම පොල් ගොඩ අයිතිවෙන්නේ පොල් කඩපු මනුස්සයාටයි.

සාමාන්‍යයෙන් ගහක ගෙඩි ටික කඩලා එකතු කළ ගමන්ම පොල් කඩන මනුස්සයා බැල ගෙඩිය පැත්තකට කර ගන්නවා. ඒ නිසා, ලොකු හෝ පොඩි ගෙඩි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ගහේ පොල් ලොකුනම් බැල ගෙඩියත් ලොකුයි. ගහේ පොල් පොඩිනම් බැල ගෙඩියත් පොඩියි.

පොල් ගහකට නැග්ගට පස්සේ කඩන ගෙඩි ප්‍රමාණය අනුව මහන්සිය ලොකුවට අඩු වැඩි වෙන්නේ නැහැනේ. ගහේ එක පොල් ගෙඩියක් තිබුණත් ගෙඩි විස්සක් තිහක් තිබුණත් ගහට නගින මහන්සිය එකයි. නමුත්, ගහට නැගලා පොල් කැඩීම නිසා නිර්මාණය වන වටිනාකම කඩන පොල් ගෙඩි ගණන අනුව වෙනස් වෙනවා. 

පොල් වත්තේ අයිතිකාරයාට වැදගත් වන්නේ කැඩෙන පොල් ගෙඩි ගණනයි. පොල් ගෙඩි ගණන ඉහළ යන තරමට සමානුපාතිකව ඔහුට හෝ ඇයට ලැබෙන දෙය ඉහළ යනවා. පොල් කඩන ශ්‍රමිකයාගේ පැත්තෙන් බැලුවොත් වැදගත් වන්නේ නගින පොල් ගස් ගණන මිසක් කඩන පොල් ගෙඩි ගණන නෙමෙයි. 

දැන් මේ අනුව බැළුවහම පොල් කැඩීමේ රස්සාව හා අදාළ ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරයේ පැහැදිලි වෙනස්කමක් දෘශ්‍යමාන වෙනවනේ. පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැහැ. ඒ නිසා ඔහු හදන්නේ ගෙඩි අඩුවෙන් තියෙන ගහකට හරි නැගලා තමන්ගේ ගාස්තුව ගන්නයි. නමුත්, පොල් ගස් අයිතිකාරයාට පොල් කඩන්නාගේ ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ගහේ යම් අවම ගෙඩි ප්‍රමාණයක් තියෙනවානම් පමණයි. ඔය දෙපාර්ශවයේ අවශ්‍යතා සමතුලිත වීම අනුව පොල් කැඩෙන ගස් ගණන තීරණය වෙනවා. 

ඒ කියන්නේ පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැත්තේත් නැහැ. කවුරු හරි පොල් කඩන්න කිවුවොත් ගහේ ගෙඩි ගණන ගැන වද නොවී ඔහු ගහට නගින බව ඇත්ත. නමුත්, ඔහුට ඒ විදිහට පොල් කඩන්න අවස්ථාවක් ලැබෙන එක ගහේ තිබෙන පොල් ගෙඩි ගණන අනුව තීරණය වෙනවා. ඒ නිසා, වක්‍රව ගහේ තියෙන ගෙඩි ගණන ඔහුට වැදගත්. 

පොල් කඩන්නාගේ දවසක ආදායම තීරණය වෙන්නේ ඔහු දවසකට නගින පොල් ගස් ගණන අනුව. ඒ නිසා, තමන්ගේ මහන්සියෙන් ආදායම වැඩි කර ගැනීමේ අවස්ථාවක් ඔහුට තිබෙනවා. හැබැයි මේ ආකාරයට මහන්සි වී තමන්ගේ ආදායම වැඩි කර ගන්න පුළුවන් සීමාවක් තිබෙනවා. මොකද ඔහුට නගින්න ලැබෙන ගස් ගණන තීරණය කරන්නේ පොල් ගස් අයිතිකාරයා. 

පොල් ගස් අයිතිකාරයාගේ තීරණයට බලපාන්නේ ගහක තිබෙන පොල් ගෙඩි ගණන පමණක් නෙමෙයි. පොල් ගෙඩියක මිලත් එයට බලපානවා. පොල් ගොඩක් ගණන්නම් සාපේක්ෂව අඩු පොල් ගෙඩි ප්‍රමාණයක් තිබෙන ගහක වුවත් ගෙඩි කඩවන්න ඔහු මැලි වෙන්නේ නැහැ. ඒ වගේම පොල් මිල අඩුනම් ඔහු කෙනෙක්ව ගහට යවලා පොල් කඩවන්නේ වැඩි පොල් ප්‍රමාණයක් ගහේ තිබුණොත් පමණයි.  ඒ නිසා, පොල් කඩන්නාට නගින්න ලැබෙන පොල් ගස් ප්‍රමාණය පොල් මිල මතත් තීරණය වෙනවා. ඒ අනුව, ඔහුට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් පොල් මිල මත තීරණය වෙනවා.

ලැබෙන බැල ගෙඩි ප්‍රමාණය ඉහළ යාම නිසා, පොල් මිල වැඩි වෙද්දී පොල් කඩන්නාගේ ආදායම වක්‍ර ලෙස ඉහළ යනවා. ඒ වගේම, පොල් ගෙඩියක මිල වඩා වැඩි නිසා අර බැල ගෙඩි විකුණා ලැබිය හැකි ආදායම පොල් මිල ඉහළ යද්දී සෘජුවමත් වැඩි වෙනවා. වාසි දෙකයි.

පොල් කඩන්නාට වැඩියෙන් මහන්සි වෙලා වැඩි පොල් ගස් ගණනක් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම, මොන විදිහකින් හරි වඩා කාර්යක්ෂම ලෙස පොල් ගස් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්නත් පුළුවන්. ඒ නිසා, පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය යම් පමණකට ඔහුගේ අතේ තිබෙන දෙයක්. හැබැයි මුළුමනින්ම නෙමෙයි. ඔහුගේ පාලනයට යටත් නැති, වෙනත් බාහිර සාධක මත ඔහුගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. ඒ අනුව, ඔහුගේ ආදායමත් වෙනස් වෙනවා.

පොල් මිල වෙනස් වෙද්දී පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. පොල් මිල වෙනස් වෙන්නේ රටේ පොල් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම අනුව. එය පොල් කඩන්නාගේ පාලනයට යටත් නැති කරුණක්.

ඉඩෝර කාලෙකදී පොල් හැදෙන්නේ අඩුවෙන්. ඒ නිසා, පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන අවස්ථා ගණනත් අඩු වෙනවා. ගස් වල පොල් නැත්නම් කඩන්නේ මොනවාද? ඒ කියන්නේ ඉඩෝර කාලෙකදී පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙනවා.

ඉඩෝර කාලෙකදී පොල් අඩුවෙන් කැඩෙන කොට පොල් සැපයුම පහළ ගිහින් පොල් මිල ඉහළ යනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි වල වෙළඳපොළ වටිනාකමත් ඉහළ ගිහින් ඔහුගේ ආදායම වැඩි වෙනවා. ඒ වගේම, පොල් ගස් අයිතිකාරයාට පොල් අඩු ගස් වලත් ගෙඩි කඩවන්න ඉහළ පොල් මිල නිසා පෙළඹුමක් ඇති වෙනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් යම් තරමකින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඉඩෝරය නිසා පොල් කඩන්නාට වෙන්න ගිය පාඩුව මගහැරෙනවා.

පොල් සරුවට හැදෙන කාල වලදී පොල් කඩන්නෙකුට වැඩ වැඩියි. ලැබෙන බැල ගෙඩි ගණනත් වැඩියි. නමුත්, පොල් මිල අඩු නිසා පොල් කඩන්නාගේ ආදායම මහා ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් වැඩියෙන් හැදුනා කියලා පොල් කඩන්නෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන විශාල ආදායමක් ලබා ගන්න වෙළඳපොළ ඉඩ අරින්නෙත් නැහැ. පොල් හොඳට හැදෙන කාල වලදී වගේම, පොල් අඩුවෙන් හැදෙන කාල වලදීත් පොල් කඩන්නෙකුට ලැබෙන ආදායම විශාල ලෙස උච්ඡාවචනය නොවන පරිදි වෙළඳපොළ යාන්ත්‍රනය විසින් ස්වභාවික ලෙසම නියාමනය කරනවා.

පොල් අස්වැන්න අඩු වැඩි වෙද්දී නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම මත වෙනස් වන පොල් මිල නිසා පොල් කඩන්නාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයත් අනුරූපී ලෙස වෙනස් වෙලා ඔහුගේ ආදායමත් නිසි සේ සකස් වෙනවා. මේ ස්වභාවික නියාමන යාන්ත්‍රනය නිසා පායනා කාලෙකදී පොල් අඩුවෙන් කැඩුනත්, ඊට සමානුපාතිකව පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුගේ දරුවන්ට පොල් අවාරයේදී හාමතේ ඉන්න වෙන්නේ නැහැ.

පොල් අවාරෙකදී රජය මැදිහත් වෙලා පොල් වලට පාලන මිලක් දැම්මහම මොකද වෙන්නේ? ගස් වල පොල් අඩු නිසා පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන්නේ සීමිත ගස් ප්‍රමාණයක පමණයි. මිල අඩු නිසා පොල් ගස් අයිතිකාරයා වැඩි ගස් ප්‍රමාණයක පොල් කඩවන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුට ලැබෙන්නේ බැල ගෙඩි අඩු ප්‍රමාණයක්. අනෙක් අතට මේ බැල ගෙඩි ටික විකුණන්න වෙන්නේ අඩු මිලකට. පොල් කඩන්නාගේ ආදායම දෙයාකාරයකින්ම අඩු වෙලා. පොල් ගහෙන් වැටිච්ච මිනිහට මිල පාලන ගොනා අනින්නේ ඔය විදිහටයි.

රජය වෙළඳපොළට මැදිහත්වීම නිසා බඩේ පාර වදින්නේ පොල් කඩන රස්සාව කරන අයට විතරක් නෙමෙයි. ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට රාජ්‍ය මැදිහත්වීම් නිසා බඩේ පාර වදිනවා. ඒ අතරිනුත්, සුවිශේෂී කුසලතා අවශ්‍ය නොවන, පොල් කැඩීම වැනි රැකියා කරන අයට බලපෑම වැඩියි.

Wednesday, October 14, 2020

කැමති තරම් නිවාඩු එක්ක රස්සාවක්!


සමහර රටවල රස්සාවක් කරන ගොඩක් අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය නිවාඩු ප්‍රශ්නයයි. අවුරුද්දකට තියෙන නිවාඩු ගණන කීයක් වුනත් සමහර අයට ඒ ගණන මදි. නිවාඩු තියෙනවානම් කරන්න වැඩ ඕනෑ තරම්.

එක පැත්තකින් මේක තමන් කරන රැකියාවෙන් සතුටක් නොලැබීම පිළිබඳ ප්‍රශ්නයක්. රස්සාව කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. මාසෙ අන්තිමට අතට එන පඩිය නිසා. පඩිය ඒ විදිහටම අතට එනවනම් මේ වගේ කෙනෙක් බලන්නේ පුළුවන් තරම් නිවාඩු අරගෙන, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන්නයි. ඒත් ඉතිං නිවාඩු තියෙන්නේ නිශ්චිත ගණනක්නේ. ඒ නිසා ඉතිරි දවස් වල අකැමැත්තෙන් වුනත් වැඩ කරන්න වෙනවා.

කිසිම සීමාවක් නැතුව තමන්ට කැමති තරමට නිවාඩු ගන්න පුළුවන් රස්සා නැද්ද? 

ලංකාවේනම් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේනම් සමාගම් ගණනාවක්ම දැන් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉතිරි සමාගම් අතරත් මේ ප්‍රතිපත්තිය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සේවකයෙකුට අයිති නිවාඩු ප්‍රමාණය කියලා නිශ්චිත ගණනක් නැහැ. නිවාඩු ගන්න පුළුවන් උපරිම සීමාවක් නැහැ.

සමාගම් වලින් මේ ආකාරයට කැමති තරම් නිවාඩු දෙන්නේ ඒ සමාගම් වල වෘත්තීය සමිති මුල් වී කරපු අරගල නිසාද? සේවකයෝ වැඩ වර්ජන කරලා හාම්පුතුන් දණ ගස්සපු නිසාද? "නිවාඩු සීමා ඉවත් කරනු!" කියලා බෝඩ් අල්ලගෙන හිටපු නිසාද? එහෙමත් නැත්නම් ආණ්ඩුව එහෙම නීතියක් පනවපු නිසාද? 

නෑ. ඔය එකක්වත් නිසා නෙමෙයි. ධනවාදී තරඟය නිසා.

ධනවාදී රටක වැටුප් සේ ලැබෙන්නේ ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවයට සමාන මුදලක්. අවශ්‍ය වැඩේ කෙරෙනවානම් ඒ වෙනුවෙන් පැය කීයක් ගත වුනාද කියන එක වැදගත් නැහැ. දවස් කීයක් නිවාඩු ගත්තද කියන එකත් වැදගත් නැහැ.

නිවාඩු අසීමිතව තිබුණා කියලා ශ්‍රමිකයෝ හැමදාම නිවාඩු ගන්නේ නැහැ. එහෙම කළොත් වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු වෙන එක බව ඒ අය දන්නවා. එහි ප්‍රතිඵලය වැටුප් අඩු වෙන එකයි. 

අනෙක් පැත්තෙන් ශ්‍රමිකයෙක් රැකියාවෙන් නිවාඩු ගන්නේ තමන්ට සතුටු විය හැකි වෙනත් කාර්යයක යෙදෙන්නයි. කරන රැකියාවෙන් වෙන දෙයක් කරනවාට වඩා සතුටු වෙන්න පුළුවන්නම් ආයේ නිවාඩු ගන්නේ මොන කෙහෙම්මලකටද?

ඇමරිකාව වගේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වූ රටක ශ්‍රමිකයෙකුට තමන් කැමති ආකාරයේ රස්සාවක් කරන්න වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. පුළුල් වූ වෙළඳපොලක ශ්‍රමිකයෙකු විසින් කරන්න කැමති දේ අගය කරන, ඒ කැමති දෙයට වටිනාකමක් දෙන, විශාල පිරිසක්ද ඉන්න නිසා තමන් සතුටු දේ කරන අතරම ආන්තික ඵලදායීතාවයද ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා, පඩි තකා තමන් අකැමැති රස්සාවක් කරන්න වෙන්නේ අඩුවෙන්. තමන් කැමති රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව කිරීමෙන්ම සතුටු වෙනවා. ඒ නිසා, හැම වෙලාවේම නිවාඩු යන්න දඟලන්නේ නැහැ.

ඇමරිකාවේ තියෙන්නේ සේවකයින් වැඩිපුර නිවාඩු ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අවශ්‍ය පමණ නිවාඩු නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.

ඇමරිකානු ශ්‍රමිකයෙකුට 2018 වසරේදී ලබාගත හැකිව තිබුණු සාමාන්‍ය පඩි සහිත නිවාඩු ප්‍රමාණය දින 24ක් පමණ වෙනවා. එහෙත්, 2018 දත්ත අනුව, ඇමරිකානු ශ්‍රමිකයින්ගෙන් 55%ක්ම තමන්ට ලබා ගත හැකිව තිබුණු පඩි සහිත නිවාඩු සියල්ල ලබා ගෙන නැහැ. මෙසේ ලබා නොගත් සමස්ත නිවාඩු දින ගණන මිලියන 768ක්.

ඇතැම් ඇමරිකානු සමාගම් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියට අමතරව අනිවාර්ය නිවාඩු ප්‍රතිපත්තියක්ද අනුගමනය කරනවා. ලංකාවේද මෘදුකාංග සමාගම්, දැනටමත් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත්නම්, ඉතා ඉක්මණින් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඉඩ තිබෙනවා. අනෙක් අංශ ගැනනම් කියන්න බැහැ.

Tuesday, October 13, 2020

පඩි තකා වැඩ කිරීම


මිනිසා වැඩ කරන්නේ ඇයි කියන එක ගැන කලින් ලිපියෙන් අපි කතා කළා. මිනිස්සු වැඩ කරන්නේ එක්කෝ වැඩ කිරීමෙන් සතුටු  වන නිසා. එහෙම නැත්නම් වැඩ කිරීම අසතුටක් වුනත්, වැඩ කිරීම නිසා ලැබෙන සල්ලි හෝ වෙනත් දෙයකින් ඒ අසතුට ඉක්මවන සතුටක් ලැබෙන නිසා. 

බොහෝ දෙනෙක්ගේ පළමු ඉලක්කය තමන්ට සතුටු විය හැකි වැඩක් කරන එකයි. ඒ නිසා, ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් සල්ලි තියෙන මිනිස්සු එසේ සල්ලි තිබුණු පලියට වැඩ නොකර ඉන්නේ නැහැ. එවැනි සමහර අය වැඩ කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. නමුත්, සල්ලි බලාගෙන වැඩ නොකළත් සල්ලි ලැබෙන වෙලාවල් තියෙනවා. සමහර විට සල්ලි ගලන වෙලාවලුත් තිබෙනවා. එය තීරණය වෙන්නේ එවැන්නෙක් තමන්ගේ සතුට වෙනුවෙන් කරන වැඩ නිසා වෙනත් අය කොයි තරම් සතුටු වෙනවද කියන එක මතයි.

සල්ලි බලාපොරොත්තුවක් නැතිව තමන්ගේ සතුට ගැන පමණක් සිතා වැඩ කරන අයට සමහර වෙලාවට සල්ලිත් ලැබෙනවා වුනත් ඒ ගැන සහතිකයක් නැහැ. එහෙත්, ලැබෙන සතුට වෙනුවෙන් මිනිස්සු සල්ලි නැතුවත් වැඩ කරනවා. මේ වගේ බ්ලොග් ලියන අපි වගේ අය, වත්පොතේ දේශපාලනය කරන අය වගේම වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වල නිරත වන අය ඒ දේවල් කරන්නේ තනිකරම තමන්ගේ සතුට වෙනුවෙන්. ඊටත් අමතරව තමන්ගේ සතුට වෙනුවෙන් සල්ලි දීලා වැඩ කරන අයත් ඉන්නවා. දිනපතා ජිම් යන අය ගැන හිතන්න!

තමන් සතුටු වෙන ඇතැම් දේවල් කරන්න මුදලක් වැය වෙනවා. තමන් සතුටු වෙන වෙනත් දේවල් කරලා ඒ මුදල උපයාගන්න බැරිනම්, ඒ සතුටු වන දේවල් කිරීම සඳහා මුදල් හොයා ගන්න අසතුටු දේවලුත් කරන්න වෙන්න පුළුවන්. තමන් සතුටු වන දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්ද කියන එක යම් තරමකට කෙනෙකුගේ "වාසනාව" මත තීරණය වන දෙයක්. මම මෙහිදී වාසනාව කියන වචනය භාවිතා කළේ තමන්ගේ පාලනයට මුළුමනින්ම යටත් නැති බාහිර සාධක මත කියන අදහසින්. 

මහන්සි වූ තරමට මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන් කියන එක අර්ධ සත්‍යයක්. මහන්සි වන මිනිහෙක් එසේ මහන්සි නොවන මිනිහෙක්ට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබෙනවා වුවත් හැම විටම එය එසේම වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ මහන්සි වෙන්නේ මොකටද කියන කාරණාව මතයි. මැණික් හම්බ වෙන්න ඉඩක් තියෙන්නේ මැණික් ඉල්ලමක් තියෙන තැනක පතලයක් හෑරුවොත් පමණයි! 

කවුරු හෝ කෙනෙක් කරන වැඩ වලට ලැබෙන මුදල තීරණය වෙන්නේ ඒ වැඩේ ආන්තික ඵලදායීතාවය මතයි. ආන්තික ඵලදායීතාවය තීරණය වෙන්නේ කරන වැඩෙන් සතුටු වන අය මතයි. ඒ නිසා කරන වැඩකින් තමන්ද සතුටු වී සල්ලිත් හොයා ගන්න අවශ්‍යනම් ඒ වැඩෙන් තමන් සතුටු වීම හා අනුන් සතුටු කරවීම අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා. මෙයම වෙනත් විදිහකින් කිවුවොත් තමන් කරන වැඩෙන් ඒ වැඩේ කිරීම නිසාම ලැබෙන සතුට හා වැඩේ කිරීම වෙනුවෙන් ලැබෙන මුදල් නිසා ලැබෙන සතුට අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා.

සාමාන්‍යයෙන් තමන් කැමති රස්සා කරන අයට ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න වෙනවා. ඒක ස්වභාවිකවම වෙන දෙයක්. අපි හිතමු කෙනෙක්ට රැකියා තෝරා ගැනීම් දෙකක් තිබෙනවා. පළමු රැකියාවෙන් මසකට රුපියල් 25,000ක් ලැබෙන නමුත් දෙවැන්නෙන් ලැබෙන්නේ රුපියල් 20,000ක් පමණයි. මේ වගේ වෙලාවක මුදලින් පාඩුවක් වුනත්, දෙවන රැකියාව තෝරා ගන්නා අය ඉන්නවා. එහෙම කරන්නේ දෙවන රැකියාව කිරීමෙන් ලැබෙන සතුට පළමු රැකියාව කිරීමෙන් ලැබෙන සතුටට වඩා වැඩි නිසයි. එපමණක් නෙමෙයි. ඒ වැඩි වන සතුට, එහෙමත් නැත්නම් සතුටු වෙනස, මසකට රුපියල් 5000ක් ලැබීමේ සතුටටත් වඩා වැඩි නිසයි. 

දැන් මේ වගේ අවස්ථාවක කෙනෙක් පළමු රැකියාව තෝරා ගන්නේ මසකට රුපියල් 5000ක් වැඩියෙන් ලැබෙන නිසානේ. ඔය රුපියල් 5000 පස්සේ යන්නේ ඒ සල්ලි වලින් තමන් සතුටු වන දේවල් මිල දී ගන්න පුළුවන් වන නිසයි. ඒ කියන්නේ අවසාන වශයෙන් බැලුවහම පළමු රැකියාව තෝරා ගන්නේ රුපියල් 5000 වැය කර "මිල දී ගත හැකි" සතුට නිසා මිසක් රුපියල් 5000 නිසා නෙමෙයි. දෙවන රැකියාව කිරීමෙන් ඊට වඩා සතුටක් "නොමිලේම" ලැබෙනවානම්, ඔය අමතර රුපියල් පන්දාහෙන් මිල දී ගන්න පුළුවන් අඩු සතුට පස්සේ යන එක තේරුමක් නැහැනේ. ඒ නිසා, තාර්කිකව හිතන මිනිහෙක්ගේ තේරීම වන්නේ දෙවන රැකියාවයි.

දැන් මේ තේරීම සිදු වෙන්නේ ශ්‍රමිකයාගේ පැත්තෙන්. කරන වැඩේ ආන්තික ඵලදායීතාවය මෙයින් බාහිර වෙනම කරුණක්‌. මේ උදාහරණයේදී ශ්‍රමිකයා වඩා සතුටු වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු රස්සාව කිරීමෙන්. 

මෙය තවත් පැහැදිලි කරන්න අපි කවුරු හෝ පුද්ගලයෙක් ගනිමු. අපි කියමු රවීන් කණිෂ්ක කියලා. රවීන් කණිෂ්කට එක්කෝ රඟපාන්න පුළුවන්. නැත්නම් සිංදු කියන්න පුළුවන්. මේ දෙකෙන් ඔහු වඩා සතුටු වෙන්නේ කොයි වැඩෙන්ද? අපි කියමු ඔහු වඩා සතුටු වෙන්නේ සිංදු කියන එකෙන් කියලා. රඟපාන්න ඔහු සිංදු කියන්න තරම්ම කැමැත්තක් නැහැ. නමුත්, ඔහු සිංදු කියන විට සතුටු වන පිරිසට වඩා රඟපාන විට සතුටු වන පිරිස වැඩියි. ඒ නිසා, නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩියි. ගායකයෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය අඩුයි. 

පෞද්ගලිකව රවීන් කණිෂ්ක වඩා සතුටු වෙන්නේ සිංදු කියලා. හැබැයි මේ තමන් වඩා සතුටු වන දේ කිරීමෙන් ඔහුට මුදල් වලින් බැලූ විට අවාසියක් වෙනවා. ඒ නිසා, ඔහු වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් රඟපෑම කරලා ඒ අමතර මුදලින් තමන්ට අඩු වෙන සතුට මිල දී ගන්නවා.

සෞම්‍ය ලියනගේ දක්ෂ නළුවෙක්. නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ගොඩක් වැඩියි. නමුත්, ඔහු පෞද්ගලිකව මේ නළු රස්සාවට වඩා විශ්ව විද්‍යාලයේ රස්සාවට කැමතියි. තමන්ගේ සතුට වෙනුවෙන් සෞම්‍ය ලියනගේ විශ්ව විද්‍යාලයේ රස්සාව තෝරා ගන්නවා. ඒ රස්සාවේදී ඔහුගේ ආන්තික ඵලදායීතාවය සාපේක්ෂව අඩුයි. ඒ නිසා, ලැබෙන මුදලත් අඩුයි. නමුත්, ඒ රස්සාව කිරීමෙන් ඔහුට ලැබෙන අමතර සතුට නළු රස්සාව කරලා ලැබෙන අමතර මුදලින් මිල දී ගන්න බැහැ. ඒ නිසා, සෞම්‍ය ලියනගේගේ තේරීම වන්නේ විශ්ව විද්‍යාලයේ රස්සාවයි. එය තාර්කික තේරීමක්. (රවීන් කණිෂ්ක වගේම සෞම්‍ය ලියනගේවත් උදාහරණ විදිහට ගත්තේ මේ කරුණ පැහැදිලි කිරීම සඳහා පමණයි. ඒ අයගේ සැබෑ පෞද්ගලික රුචි අරුචිකම් මොනවාද කියලා දන්නේ ඒ අයයි.)

තමන් පෞද්ගලිකව කැමති වැඩ කරන්න යාමෙන් මේ විදිහට මූල්‍යමය පාඩුවක් වෙන්නේ තමන් කරන්න වඩා කැමති දෙය හා තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි දෙය, එනම් වෙනත් අය තමන් කරනවාට කැමති දෙය, එකක් නොවී දෙකක් වූ විටයි. එවිට එක්කෝ ලැබෙන මුදල ගැන සතුටු නොවෙමින් තමන් කරන රස්සාව කරන්න වෙනවා. එහෙම නැත්නම්, තමන් කරන රස්සාව ගැන කැමැත්තක් නැතුව සල්ලි වෙනුවෙන් අකැමැත්තෙන් වැඩ කරන්න වෙනවා.

ඉහත කාණ්ඩ දෙකේම ඉන්න අයට කවර හෝ දුක් ගැනවිල්ලක් තිබෙනවා. ලේඛකයෝ, කලාකාරයෝ වගේ අයත්, බොහෝ සරසවි ආචාර්යවරුන් හා ඇතැම් ආණ්ඩුවේ රස්සා කරන අයත් පළමු කාණ්ඩයේ පිරිස් අතර ඉන්නවා. ඒ අය තමන් කැමති රස්සා තෝරාගෙන තිබෙනවා. ඒ රස්සා කිරීමෙන් ඔවුන්ට ලැබෙන ආදායම තීරණය වෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය මතයි. බොහෝ විට රස්සාවේ ස්වභාවය අනුව මහන්සි වී වැඩ කලා කියලා ආන්තික ඵලදායීතාවය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ආදායම් වැඩි වෙන්නේත් නැහැ. ඇඟළුම් කර්මාන්තයේ ශ්‍රමිකයින් වගේ අය බොහෝ විට ඉන්නේ දෙවන කාණ්ඩයේ. ඔවුන්ට සාපේක්ෂව හොඳ වැටුපක් ලැබෙනවා. ලැබෙන වැටුප තකා රැකියාව කළත්, ඔවුන් බොහෝ විට කරන රැකියාවෙන් සතුටු වෙන්නේ නැහැ.

මේ ගැටළුව විසඳෙන්නේ තමන් කැමති රස්සාවත්, තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රස්සාවත් දෙකම එකක් වූ විට පමණයි. වැඩි දෙනෙකුට එවැනි රැකියා කරන්න ඉඩ ලැබෙන්නේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වන තරමටයි. 

ලංකාව වගේ ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව පුළුල් නැති, ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව නිදහස් නැති රටක බොහෝ දෙනෙකු හා අදාළව බොහෝ විට මේ දෙක දෙකක්. ඒ නිසා, ගොඩක් අය තමන් කරන රස්සා කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. කැමති රස්සා කරන ගොඩක් අය ලැබෙන වැටුප පිලිබඳව සතුටු නැහැ. ඇමරිකාව වගේ රටක වුනත් තමන් කරන රැකියාව ගැන වගේම ලැබෙන වැටුප ගැනත් සතුටු පිරිස බහුතරය නෙමෙයි. එහෙත්, ඒ පිරිස සාපේක්ෂව වැඩියි.

Sunday, October 11, 2020

මිනිසා වැඩ කරන්නේ කුමටද?


මේ ප්‍රශ්නය අජිත් පැරකුම්ගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයට අදාළ ඔහුගේ නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැරා ඔහුගේ ලිපිය අවසන් කරන්නේ මේ විදිහටයි.

"මිනිසා වැඩ කරන්නේ කුමටද යන ප්‍රශ්නය මා ඉදිරියේ තිබේ. එහෙත්, මට එයට පිළිතුරක් නැත."

පිළිතුරු නැති ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කරන්න මම කැමතියි. පිළිතුරු කියා කියන එක අවුල් වගේනම් යෝජනා කියා කියමු. මා විසින් පිළිතුරු හෝ යෝජනා ඉදිරිපත් කරන්නේ ඇයි කියන එකත් මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේම කොටසක්. 

සරල ප්‍රශ්නයක් වගේ පෙනුනත් පැරාගේ ප්‍රශ්නය ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද කියන එක මත වඩා සංකීර්ණ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු මොනවාද කියන එකත් තීරණය වෙනවා. උදාහරණ විදිහට සෞම්‍ය ලියනගේට රැකියාව නැති වීම, ඊට පෙර නලින් ද සිල්වා, වික්‍රමබාහු කරුණාරත්න, සුචරිත ගම්ලත් වගේ අයට රැකියා නැති වීම, හරිනි අමරසූරිය විසින් මැතකදී යෝජනා කළ, කාලයකට පෙර සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයේ හෝ හරිශ්චන්ද්‍ර විජේතුංගගේ යෝජනාවක් වූ ගෙවල් වල වැඩ කරන කාන්තාවන්ට දීමනාවක් ගෙවීම පිළිබඳ කතිකාව, ප්‍රසූත නිවාඩු ප්‍රශ්නය, බ්‍රැන්ඩික්ස් සන්නාලියන්ට කෝවිඩ් ආසාදනය වීම ආදී ප්‍රශ්න වල සිට අජිත් පැරකුම් විසින් කතා කරන ලංකාවේ චීන ශ්‍රමිකයින් පිළිබඳ කතිකාව දක්වා බොහෝ ප්‍රශ්න මේ ප්‍රශ්නයටම සම්බන්ධයි.

මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු එකකට වඩා තිබෙනවා. සමාජවාදී පිළිතුර එයින් එකක්. ධනවාදී පිළිතුර තවත් එකක්. 

ද්‍රව්‍යවාදය මත පදනම් වූ මාක්ස්වාදී විග්‍රහය අනුව ශ්‍රමය කියා කියන්නේ මිනිස් යන්ත්‍රයේ ප්‍රතිදාන (outputs). මේ ප්‍රතිදාන ලබා ගැනීම සඳහා ආහාර, ඇඳුම්, නිවාස වැනි ආදාන (inputs) අවශ්‍යයි. අනෙක් අතට එම ආහාර, ඇඳුම්, නිවාස වැනි පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේදී මිනිස් ශ්‍රමය ආදානයක් බවටත්, ආහාර වැනි පරිභෝජන භාණ්ඩ ප්‍රතිදානයක් බවටත් පත් වෙනවා. 

මිනිස් යන්ත්‍රයේ දායකත්වයෙන් එහෙත් මිනිස් යන්ත්‍රයෙන් බැහැරව සිදු වන සාමූහික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අතිරික්තයක් ජනනය වෙනවා. ඒ නිසා, මිනිස් යන්ත්‍රය නඩත්තු කිරීමට අවශ්‍ය ආදාන නිපදවීමට දවසේ සීමිත කාලයක් පමණක් ශ්‍රමය යෙදවීම ප්‍රමාණවත්. ඉතිරි වන අතිරික්ත කාලය මිනිස්සුන්ට තමන් සතුටු වන වෙනත් දේවල් වෙනුවෙන් යෙදවිය හැකියි.

මාක්ස්වාදීන් විසින් දකින "ධනවාදී ක්‍රමය" අනුව, ලෝකයේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. ප්‍රාග්ධනය හිමි පංතිය හා ප්‍රාග්ධනය අහිමි, වැඩ කරන පංතිය විදිහට. ධනවාදය ඇතුළේ ප්‍රාග්ධනය හිමි පංතිය විසින් වැඩ කරන පංතියේ ශ්‍රමය මිල දී ගන්නවා. එහෙත්, ඒ වෙනුවෙන් ගෙවන්නේ ඔවුන්ගේ ශ්‍රමය ප්‍රතිදානය කිරීම සඳහා අවශ්‍ය අවම ආදාන ලබා ගැනීමට ප්‍රමාණවත් මුදලක් පමණයි. ඒ නිසා, වැඩ කරන පංතියට තමන්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආදාන ලබා ගැනීම සඳහා දවස පුරා වැඩ කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඔවුන්ට තමන් සතුටු වන වෙනත් දේවල් වෙනුවෙන් යෙදවීමට කාලයක් ඉතිරි වන්නේ නැහැ. අතිරික්තය මුළුමනින්ම ලබා ගෙන පරිභෝජනය කරන්නේ ප්‍රාග්ධනය හිමි පංතිය විසින්. ඔවුන් වැඩ නොකර තමන්ට රිසි සේ විනෝද වෙනවා.

සමාජවාදීන්ගේ ඉලක්කය ඉහත කී පරිදි ප්‍රාග්ධනය හිමි පංතිය විසින් තනිව භුක්ති විඳින අතිරික්තය සියළු දෙනා අතර සම සේ බෙදා හැරීමයි. එහෙත්, එසේ අතිරික්තය සම සේ බෙදා හැරියා කියලා කාටවත් වැඩ නොකර ඉන්න ලැබෙන්නේ නැහැ. නමුත්, වැඩ කරන පංතියේ අයට ටිකක් අඩුවෙන් වැඩ කරලා ඉතිරි කාලය තමන්ට රිසි සේ විනෝද වෙන්න පුළුවන්. එහි හිලවුවට ප්‍රාග්ධනය හිමි පංතියේ අයගේ විනෝදය අඩු වෙලා ඒ අයටත් වැඩ කරන්න වෙනවා.

මිනිහෙක් දවසකට කොයි තරම් කාලයක් වැඩ කළ යුතුද? කොයි තරම් කාලයක් විනෝද විය යුතුද? ඒවා තීරණය කරන්නේ පක්ෂයයි. පක්ෂය හෝ ආණ්ඩුව විසින් නියම කරන අවම කාලය වැඩ කරන එක ඔබේ වගකීමක් හා යුතුකමක්. ඒ වගේම, ඒ කාලය වැඩ කිරීම වෙනුවෙන් ඔබට ලැබෙන දේ තීරණය කරන්නේත් පක්ෂය හෝ ආණ්ඩුව විසිනුයි. ඒ ලැබෙන දේ ඔබේ ශ්‍රමයේ නියම වටිනාකම බව ඔබට පිළිගන්න සිදු වෙනවා.

දැන් මේ අනුව බැලුවහම මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට සමාජවාදී පිළිතුර තීරණය වෙන්නේ පවතින සමාජ ක්‍රමය ධනවාදී එකක්ද සමාජවාදී එකක්ද කියන එක මතයි. පවතින්නේ ධනවාදී ක්‍රමයක්නම් මිනිස්සු වැඩ කරන්නේ තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා. වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරනවා හා ජීවත් වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ. වැඩ නොකරන මිනිස්සු වැඩ නොකරන නිසා ඔවුන් හා අදාළව මිනිස්සු වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. එහෙත්, ඒ මිනිස්සු වැඩ නොකරන්නේ ඇයි කියා ඇහුවොත් ඔවුන්ට වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්කම තිබෙන නිසා කියා කියන්න පුළුවන්. 

මේ අනුව, සමාජවාදී විග්‍රහය අනුව මිනිස්සුන්ට වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්කම තියෙනවානම් මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ වැඩ කිරීම වෙනත් කළ හැකි දෙයක් නැතිකමට අකැමැත්තෙන් කරන නිශේධනීය දෙයක් මිසක් කවුරුවත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. වැඩ කරන්න අකැමැති නිසා වැඩ නොකළොත් ජීවිතය පවත්වාගෙන යන්න බැරි නිසා වැඩ කරන පංතියේ අයට වැඩ කරන්න වෙනවා. සමාජවාදය ආවා කියලත් ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වඩා හොඳ ස්වාමියෙක් ලැබෙනවා. එහෙම නැත්නම් වඩා හොඳ ස්වාමියෙක් ලැබෙන බවට පොරොන්දුවක් සමාජවාදය ඇතුළේ තිබෙනවා.

සමාජවාදී විග්‍රහය අනුව ධනවාදී සමාජ ක්‍රමයක් පවතිද්දී වැඩ කරන එකේ වාසිය තනිකරම ලැබෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටයි. වැඩ කරන අයට ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කළා කියලා හරි හොරට වැඩ කළා කියලා හරි ඔවුන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. පාඩුව වෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටයි. එහෙම තියෙද්දී මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්නේ ඔය ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති නිසා. සමාජවාදී පක්ෂ උත්සාහ කරන්නේ වැඩ කරන ජනතාවට ඔය කාරණාව කියා දෙන්නයි. බය නැතුව වැඩ වර්ජන වගේ දේවල් සංවිධානය කරන්නෙත් ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමිකයන් නැතුව බැරි නිසයි. වැඩේ කියන්නේ ශ්‍රමිකයෝ කොයි තරම් කියා දෙන්න හැදුවත් ඔය ටික තේරුම් ගන්නේ නැහැ. ඒ අය හිතන්නේ මහන්සි වී වැඩ නොකළොත්, වැඩ වර්ජන කළොත්, කරන රස්සාවත් නැති වෙයි කියලා. පවු ඒ අය!

වැඩ කිරීම පිළිබඳ ධනවාදී අදහස ඉහත සමාජවාදී අදහසට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් නෙමෙයි. සමහර මූලික කරුණු සමානයි.

ධනවාදී ආර්ථික විද්‍යාව අනුව මිනිස්සු කොයි දෙයක් වුනත් කරන්නේ තමන්ගේ සතුට වෙනුවෙන්. ඒ අනුව, වැඩ කරන්නේත් තමන්ගේ සතුට වෙනුවෙන් කියා කියන්න පුළුවන්. එහෙත්, සතුට තිබෙන්නේ වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළම නොවෙන්න පුළුවන්. 

මිනිස්සු ජීවත් වීමෙන් සතුටු වෙනවා. ජීවත් වීමේ පූර්ව කොන්දේසියක් ලෙස ආහාර ආදිය අවශ්‍ය වෙනවා. ඒ දේවල් සපයා ගන්න වැඩ කරන්න වෙනවා. මෙහිදී වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළ සතුටක් නැති වෙන්න පුළුවන්. එහෙත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කුලිය හෙවත් වැටුප් තුළ සතුට තිබෙනවා. එසේ ලැබෙන මුදලින් මිල දී ගන්නා දේවල් තුළ සතුට තිබෙනවා.

ධනවාදී ආර්ථික විද්‍යාව අනුව වැඩ කරන එක අකැමැත්තෙන් කරන දෙයක් විය යුතුම නැහැ. වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළම සතුට තිබෙන්න පුළුවන්. හැබැයි එසේ තිබීම අනිවාර්යත් නැහැ. වැටුප් තකා, අසතුටෙන් වැඩ කරන අයත් ඕනෑ තරම් ඉන්න පුළුවන්.

සමාජවාදී විග්‍රහය අනුව ධනවාදී ක්‍රමයක් තුළ වැටුප් සේ ගෙවනු ලබන්නේ ශ්‍රමිකයෙකුට යාන්තම් පණ ගැට ගසා ගැනීමට අවශ්‍ය ප්‍රමාණය පමණයි. ඉතිරිය ප්‍රාග්ධනය අයිති පුද්ගලයා විසින් "සූරා කනු" ලබනවා. එහෙත්, ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, තරඟකාරී වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයෙකුට තමන්ගේ ශ්‍රමයේ නියම වටිනාකම වැටුප් සේ හිමි වෙනවා. මේ "නියම වටිනාකම" මනින්නේ කොහොමද?

මේ ප්‍රශ්නයට ටිකක් කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් පහුගිය දවසක නලින් ද සිල්වා විසින් අහලා තිබුණා. 

"අප කරන වැඩ මනින්න බැහැ. වැඩක් මනින්නෙ කොහොම ද කියන එක මට තේරෙන්නෙ නැහැ. යම්කිසි නිර්ණායක යොදා ගෙන අපි වැඩ මනිනවා. උගතුන් කරන වැඩ මානසික වැඩ ශාරීරික ව කරන වැඩවලට වඩා වටිනවා කියල අපි හිතනවා. උගතුන්ට වැඩියෙන් වැටුප් ඉල්ලනවා. සමහරු කියනව මා අහල තියෙනවා අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන කියල. ඒ ආයෝජන කතාවක්. නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්.  ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සි වෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ අත්මාර්ථකාමියෙක් වෙන්න ඇති."

නලින් ද සිල්වාගේ සටහනේ වැදගත් කරුණු ගණනාවක් මතු කර තිබෙනවා. එහෙත් එහි සඳහන් එක් කරුණක් වැරදියි. "අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන" කියන කතාව සමාජවාදී ප්‍රකාශයක් මිසක් "නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්" නෙමෙයි. 

මාක්ස්වාදය අනුව මිනිස්සු හැමෝම සමාන නිසා හැම මිනිහෙකුගේම පැයක ශ්‍රමයේ වටිනාකමත් සමානයි. ඒ අනුව, වැඩක් මනින්නේ ඒ වැඩේ කරන්න යෙදවූ ශ්‍රමය මත පදනම්වයි. මහන්සි වෙලා පාඩම් කළානම් ඒ වෙනුවෙන් පැය ගණනට ගෙවන්න ඕනෑ. ඉගෙන ගත්තද නැද්ද කියන එක වැදගත් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් වටිනාකම මනින්නේ ආදාන (inputs) මත පදනම්වයි. එහෙත්, ධනවාදය අනුව වටිනාකම මනින්නේ ප්‍රතිදාන (outputs) මත පදනම්වයි. කවුරු හෝ කෙනෙක් මහන්සි වෙලා වැඩ කළා කියලා හෝ මහන්සි වෙලා පාඩම් කළා කියලා ඒ මහන්සියට සමානුපාතිකව යමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන දේ තීරණය වන්නේ මහන්සි වී කළ දෙයින් වැඩක් වුනාද කියන එක මතයි.

ලංකාවේ සරසවි ඇදුරන්ගේ වැටුප් තීරණය වෙන්නේ සමාජවාදී ක්‍රමයට ආදාන මත පදනම්වයි. ඒ අනුව, වැටුප් නිර්ණායක හදා තිබෙන්නේ මහන්සි වූ තරම මැනීම සඳහායි. එක සමානව මහන්සි වී ඇත්නම් ඒ මහන්සියෙන් ලැබුණු ප්‍රතිඵල මොනවාද කියන එක අදාළ නැහැ. අවුරුදු අටක් ඇතුළත ආචාර්ය උපාධියක් ලබා ගත්තාද නැද්ද කියන එකෙන්, සර්ව සම්පූර්ණ ලෙස නොවුණත්, අවුරුදු අට ඇතුළත කොයි තරම් මහන්සි වුනාද කියන එක මනින්න පුළුවන්. ඒ අනුව, සමාන තරමට මහන්සි වී ඇති බව පෙනෙන අයට සමාන වැටුප් දෙන්න පුළුවන්. ලබාගත් ආචාර්ය උපාධිය නිසා "නිෂ්පාදනය" කොයි තරම් ඉහළ ගියාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. එය වැදගත් වන්නේ ධනවාදී ක්‍රමය තුළයි.

එහෙත්, බ්‍රැන්ඩික්ස් සන්නාලියන්ගේ වටිනාකම තීරණය වෙන්නේ සරසවි ඇදුරන්ගේ වටිනාකම මනින සමාජවාදී ක්‍රමයට නෙමෙයි. ඔවුන් වැඩ කරන පැය ගණනට වඩා පැයකදී මහන කෑලි ගණනයි වැදගත් වෙන්නේ.

වටිනාකම් මනින ධනවාදී ක්‍රමයත් සමාජවාදී ක්‍රමය වගේම ආකෘතියක් මත පදනම් වූ ක්‍රමයක් තමයි. එහෙත්, එය වඩා සංගතයි. ධනවාදී විග්‍රහය අනුව තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයෙකුට වැටුප් සේ හිමිවන්නේ ඔහුගේ හෝ ඇයගේ ආන්තික ඵලදායීතාවයයි. මෙහිදී ආන්තික ඵලදායීතාවය යනුවෙන් අදහස් වන්නේ කිසියම් ශ්‍රමිකයෙකු නිෂ්පාදනය සඳහා සම්බන්ධ කර ගැනීම නිසා නිෂ්පාදනය ඉහළ ගිය ප්‍රමාණයයි.

ආන්තික ඵලදායීතාවය ශ්‍රමයේ නියම වටිනාකම සේ සැලකීමේ පදනම කුමක්ද?

අපි හිතමු බිත්තියක් බඳින බාස් කෙනෙක් ගැන. බාස්ට දවසකට ලැබෙන මුදල තීරණය වෙන්නේ බඳින වර්ග අඩි ගණන අනුව කියා සලකමු. අපි හිතමු බාස්ට තනිවම බිත්ති වර්ග අඩි හැත්තෑවක් බඳින්න පුලුවන් කියා. අත්වැඩකාරයෙක් ගත්තොත් බිත්ති වර්ග අඩි සීයක් බඳින්න පුළුවන්. දැන් මේ විදිහට දවසකට වර්ග අඩි තිහක් වැඩියෙන් බඳින්න පුළුවන් වුනේ අත්වැඩ කාරයා නිසයි. ඒ අනුව, අත්වැඩකාරයාගේ ශ්‍රමයේ වටිනාකම බිත්ති වර්ග අඩි තිහක් බැඳ ලැබිය හැකි මුදලයි.

බිත්ති බැඳීම වෙනුවෙන් රුපියල් දස දහසක මුදලක් ලැබුණොත් එයින් හත් දහසක් යන්නේ බාස්ටයි. අත්වැඩකරුට යන්නේ තුන් දහසක් පමණයි. එහෙත්, දෙදෙනාම සමාන පැය ගණනක් වැඩ කර තිබෙනවා. සමාජවාදී ක්‍රමයටනම් රුපියල් දසදහස දෙදෙනා අතර සම සේ බෙදී යා යුතුයි. මේ ක්‍රමය අසාධාරණ වන්නේ අත්වැඩකරු නැතත් බාස්ට තනිව රුපියල් හත් දහසක් උපයා ගත හැකි නිසයි. 

අත්වැඩකරු විසින් රුපියල් තුන් දහසකට වඩා ඉල්ලා සිටියොත් බාස් ඔහුට රැකියාව ලබා දෙන්නේ නැහැ. එය අතින් කා හරක් බැලීමක්. අනෙක් අතට බාස් නැතිව අත්වැඩකරුට තනිව බිත්ති බඳින්න බැහැ. ඒ නිසා, රැකියාවක් නැත්නම් ඔහුට ආදායමක් ඉපැයිය හැකි වෙනත් වඩා හොඳ ක්‍රමයක් නැති වෙන්න පුළුවන්. එවැනි වෙනත් වඩා හොඳ ක්‍රමයක් තිබේනම් ඔහු අත්වැඩ දෙන්න එන්නේ නැහැ.

අජිත් පැරකුම්ගේ ලිපියේ ඇති තොරතුරු අනුව චීන කම්කරුවෙකුට ලංකාවේදී මසකට එක්සත් ජනපද ඩොලර් 1,000ක් පමණ වැටුප් ලැබෙන නමුත් ශ්‍රී ලාංකික කම්කරුවෙකුට ලැබෙන්නේ එම මුදලෙන් තුනෙන් එකක් පමණයි. මේ වෙනසින් පිළිබිඹු වන්නේ අදාළ සන්දර්භය තුළ චීන කම්කරුවෙකුගේ හා ශ්‍රී ලාංකික කම්කරුවෙකුගේ ආන්තික ඵලදායීතාවයන්ගේ වෙනසයි.

මේ ආන්තික ඵලදායීතා වෙනස අජිත් පැරකුම් විසින් පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි.

"[චීන කම්කරුවන්] දවසේ නියමිත මුළු කාලය ම වැඩ කරන අතර, නිවාඩු නොගෙන දිනපතා වැඩට පැමිණෙති. ලාංකික කම්කරුවන් ගැන විස්තර සඳහන් කිරීම අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් ඔවුන් ස්ථිරව සේවයේ රැඳෙන්නේ නැත. අධික ලෙස නිවාඩු ලබාගනිති. අලසය. වැඩ සම්බන්ධයෙන් සුබවාදී නැත. අවස්ථාව ලැබුණොත් සොරකම් කරති."

මේ වෙනස්කම් ආන්තික ඵලදායීතා වෙනසට විශාල ලෙස හේතු වනවා විය හැකි නමුත් ඒ සඳහා වෙනත් අමතර කරුණුද බලපානවා විය හැකියි. උදාහරණයක් ලෙස චීන වැඩ බිමක සේවය කරන කම්කරුවෙකු චීන භාෂාව දැන සිටීම විවිධ ආකාර වලින් එම ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවය ඉහළ නංවනවා. කෙසේ වුවත්, ලාංකික කොන්ත්‍රාත්කරුවන් විසින්ද චීන ශ්‍රමිකයින්ට වැඩි කැමැත්තක් දක්වන්නේනම් එයින් පෙනෙන්නේ ඉහත අජිත් පැරකුම් විසින් සඳහන් කර තිබෙන කරුණු වල වැඩි බලපෑමක් ඇති බවයි.

අජිත් පැරකුම්ගේ මුල් ප්‍රශ්නයට ආවොත්, මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට "ජීවත්වීම සඳහා" හෝ "තමන් එයින් සතුටු වන නිසා" ලෙස සරල පිළිතුරක් දෙන්න බැහැ. ඔය හේතු දෙකම නිසා මිනිස්සු වැඩ කරනවා. ඇතැම් අය ස්වේච්ඡා රැකියා පවා කරන්නේ වැඩ කිරීමෙන් සතුටු වන නිසා. බොහෝ දෙනෙක් තමන් කරන රැකියාව කරන්නේ ලැබෙන වැටුපට අමතරව එම රැකියාව කිරීමෙන්ම යම් සතුටක්ද ලැබෙන නිසා.

මිනිස්සු එදිනෙදා කරන දේවල් ජීවත්වීම සඳහා කරන්න සිදු වී ඇති හෝ අකැමැත්තෙන් කරන "වැඩ" හා විනෝදය පිණිස කරන දේවල් ලෙස ඉරක් ගසා වෙන් කරන්න බැහැ. සිංදු කියන එක බොහෝ දෙනෙක් විනෝදය සඳහා කරන දෙයක්. වෘත්තීය ගායකයෝ රැකියාව ලෙස සිංදු කියනවා. ඔවුන් එය කරන්නේ අකැමැත්තෙන්ද? ඔවුන් තමන්ගේ රැකියාවෙන් විනෝදයක් ලබන්නේ නැද්ද? 

බොහෝ වෘත්තීය කලාකරුවන් තමන්ගේ රැකියාවෙන් වැටුපක් වගේම සතුටකුත් ලබනවා. වෙනත් බොහෝ වෘත්තිකයිනුත් අඩු වැඩි වශයෙන් තම තමන්ගේ රැකියා වලින් සතුටක් ලබනවා. බොහෝ ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, සරසවි ඇදුරන්, දේශපාලනඥයින් යම් තරමකට හෝ තම තමන්ගේ රැකියා වලින් සතුටු වන අයයි. එහෙත්, ඉදිකිරීම් හෝ කෘෂිකාර්මික කම්කරුවන් බොහෝ දෙනෙක් ජීවත්වීම සඳහාම රැකියා කරන අය වෙන්න පුළුවන්.

කෙනෙක් රැකියාවක් තෝරා ගන්නේ කොහොමද? 

දැන් කරන රැකියාව හා අදාළවම නොවිය හැකි වුවත් නලින් ද සිල්වා මෙහෙම කියනවා.

"ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සිලාවෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ ආත්මාර්ථකාමියෙක් වෙන්න ඇති."

ඒ අතර, අජිත් පැරකුම් මෙහෙම කියනවා.

"මා වැඩ කරන්නේ මගේ ජීවිත අරමුණු කීපයක් සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට වුව ද, අවසානයේදී මගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ මගේ එකී අවශ්‍යතාව විසින් නොව මට ලැබෙන වැඩ විසිනි."

නලින් ද සිල්වා, අජිත් පැරකුම් වගේම වෙනත් ඕනෑම කෙනෙක් ප්‍රමුඛතාවය දෙන්නේ තමන් කැමති, තමන්ට සතුටු විය හැකි දෙයක් කරන්නයි. නමුත්, ඒ විදිහට තමන් කැමති දෙයම කරන්න ඉඩ ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ බාහිර කරුණු මතයි. මේක අර මුලින් කී සමාජවාදී විග්‍රහය අනුව පැහැදිලි කරන්න බැහැ. 

ඕනෑම කෙනෙක් තමන් සතුටු දේ කළාම වටිනාකම් නිර්මාණය වෙනවානම් කරන්න තියෙන්නේ දවසේ නියමිත පැය ගණනක් මහන්සි වෙලා තම තමන් කැමති දේවල් කරන එකයි. වටිනාකම් නිර්මාණය වෙන්නේ යොදවපු ශ්‍රමයට සමානුපාතිකවනම් මොනවා කළත් අවුලක් නැහැනේ. හැබැයි එහෙම කළොත් කාටත් වෙන්නේ ආඬි හත් දෙනාගේ කැඳ හැලිය බෙදාගෙන බොන්න බව ඉතාම පැහැදිලියි. තමතමන් කැමති දේවල් කළ පමණින් වටිනාකම් නිර්මාණය වෙන්නේ නැහැ. 

නලින් ද සිල්වා, අජිත් පැරකුම් හෝ සෞම්‍ය ලියනගේ කරන දේවල් වල වටිනාකම තීරණය කරන්නේ වෙනත් අයයි. එය තමන්ට තීරණය කරන්න බැහැ. කරපු දෙයින් වෙන කාටවත්ම වැඩක් නැත්නම් එතැන කරපු දෙයක් නැහැ. අනෙක් අතට කාට හෝ වැඩක් වෙලානම් කොයි තරම් මහන්සි වෙලාද කියන එක වැදගත් නැහැ. ධනවාදී ක්‍රමයක් ඇතුළේ තමන් කරපු දේ වෙනුවෙන් ලැබෙන්නේ මොනවාද කියන එක තීරණය වෙන්නේ ඒ කරපු දේවල් වෙනත් අයට කොයි තරම් වටිනවාද කියන එක මතයි.

අනුන්ට වටිනාකමක් තියෙනවාද නැද්ද කියන එක ගැන වැඩිය වද නොවී "මා කැමති දේ පමණක් කරනවා" කියන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට එහෙම තමන් කැමති දේ පමණක්ම කරන්නනම් "මට සතපහක් ගෙවන්න ඕන නැහැ" කියන පදනමෙන් වැඩ කරන්න වෙනවා. නමුත්, යම් තරමකින් තමන් කැමති දේ කරන අතරම ඒ වෙනුවෙන් යම් ගෙවීමක්ද බලාපොරොත්තු වන අජිත් පැරකුම් වැනි කෙනෙකුගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ ඔහුගේ එකී අවශ්‍යතාව විසින් වගේම ඔහුට ලැබෙන වැඩ අනුවයි.

මේ කරුණු අනුව, එක දෙයක් පෙන්වා දෙන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් තමන් කැමති. තමන් සතුටු වන දෙයක් කරද්දී වෙනත් අය ඒ දෙයින් සතුටු වෙනවානම්, ඒ කියන්නේ තමන් කොහොමටත් සතුටු වන දෙයින් වටිනාකම් නිර්මාණය වෙනවානම් අර වැඩ හා විනෝදය කියන දෙක අතර ඉර බොඳ වී යනවා. වැඩ කිරීමම විනෝදයක් බවට පත් වෙනවා. ධනවාදය දියුණු වෙද්දී ශ්‍රම වෙළඳපොළ පරිණාමය වෙන්නේ මේ වගේ තැනකටයි. 

අපි හිතමු ග්‍රාමීය මට්ටමේදී ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගැන. ආර්ථික ක්‍රමය කුමක් වුනත්, හැමෝටම ආහාර අවශ්‍යයි. ආහාර සපයා ගැනීම සඳහා හැමෝටම වගේ වැඩ කරන්න වෙනවා. මේ අතරින් කිහිප දෙනෙක් එසේ වැඩ කිරීමෙන් විනෝදයක් ලබනවා වෙන්න පුළුවන්. නමුත්, විශාල පිරිසකට මෙය විනෝදයක් නෙමෙයි. තමන්ගේ වත්තේ, තමන්ගේ කුඹුරේ වැඩ කළා කියලා මෙය වෙනස් වෙන්නේ නැහැ. මෙතැන තියෙන්නේ වැඩ කිරීමේ රුචිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.

ධනවාදය තුළ වෙළඳපොළ ප්‍රසාරණය වෙද්දී සිදු වෙන්නේ ඔය විදිහට තමන් අකැමැති රැකියා කරන අය ක්‍රමයෙන් තමන් කැමති රැකියා කරා විතැන් වීමයි. හැමෝටම වගේ ආහාර වල වටිනාකමක් තිබෙනවා. එහෙත්, බහුතරයකට නොතේරෙන දාර්ශනික ප්‍රවාදයක වටිනාකමක් තියෙන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක්ටයි. සරල ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතුළේ මාර සිරා දාර්ශනිකයෙකුට ඉල්ලුමක් නැහැ. එවැන්නෙකුගේ ශ්‍රමයට හුවමාරු වටිනාකමක් නැහැ. ඒ නිසා දර්ශනය පැත්තකට දමලා අකැමැත්තෙන් වුනත් කුඹුරට බහින්න වෙනවා. නැත්නම් හාමතේ මැරෙන්න වෙනවා. වෙළඳපොළ විශාල ලෙස ප්‍රසාරණය වීමේ වාසිය වන්නේ බොහෝ දෙනෙක්ට වටිනාකමක් නැති, තමන් කරන්න කැමති දෙයට වටිනාකමක් දෙන පුද්ගලයෙක් කොහෙන් හෝ හමු වීමයි.

ධනවාදය යටතේ වුවත් හැම පුද්ගලයෙකුටම තමන් කැමතිම දේ කරන්න ලැබෙන බවට සහතිකයක් නැහැ. එහෙම කරනවානම් කරන්න වෙන්නේ කවුරුවත් "සතපහක් ගෙවන්න ඕන නැහැ" කියන පදනමිනුයි. හැමෝම තමන් වඩාත්ම කැමති දේවල් තෝරා ගත්තොත් සමාජවාදයක් යටතේ වගේම ධනවාදයක් යටතේත් කවුරු හෝ විසින් කළ යුතු, කවුරුත් කරන්න කැමති නැති වැඩ කොටසක් කරන්න කෙනෙක් නැතිව ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථාවක ශ්‍රම වෙළඳපොළ අසමතුලිතතාවය නිසා ඒ අකැමැති වැඩේ කරන්න අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල ඉහළ යනවා. ඔය විදිහට මිල ඉහළ යද්දී, එක අවස්ථාවක වැඩේ කරන්න ප්‍රමාණවත් පිරිසක් එකතු වෙනවා. වැඩේ තමන් කරන්න කැමතිම දෙය නොවූවත්, ලැබෙන ගණන බැලුවහම පාඩුවක් නැහැ!

සමාජවාදයක් යටතේ "තමන්ට හැකි ප්‍රමාණයට සමාජයට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සමාජයෙන්" කියල කතාවක් තියෙනවනේ. දැන් ඔය කතාවේ පළමු කොටසේ අදහස වෙන්නේ හැමෝම නිශ්චිත පැය ගණනක් වැඩ කරනවා නමුත් එම පැය ගණන තුළ සිදුවන ඵලදායී කාර්යය සමාන විය යුතු නැහැ කියන එකයි. තමන්ට හැකි ප්‍රමාණයනේ! දෙවන කොටසෙන් ප්‍රයෝගිකව අදහස් වෙන්නේ නිෂ්පාදිතය සමසමව බෙදෙනවා කියන එකයි. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ සමාජය විසින් මිසක් තමන් විසින් නොවන බවයි. 

ධනවාදය ඇතුළේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ තමන් විසින්. එහෙත්, තමන්ට අවශ්‍ය ප්‍රමාණය සමාජයෙන් ලබා ගන්නනම් අවශ්‍ය පමණ සමාජයටත් දිය යුතුයි. හැකි පමණ සමාජයට දී අවශ්‍ය පමණ සමාජයෙන් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා සමාජයට දෙන අයගේ සහකම්පනය මත පමණයි. 

මිනිසාට තමන් කැමති වැඩක් කිරීමට තිබෙන අයිතිය ගැන සමාජවාදීන් විසින්ද කතා කරනවා. ඇතැම් අය කියන විදිහට සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලයෙක් විසින් කරන්නේ තමන් කැමති රැකියාවයි. එහෙත්, සියළු දෙනාම තමන් කැමති රැකියා කළොත් සියලු දෙනාට අවශ්‍ය ඇතැම් දේවල් ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා, ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න විදිහක් නැහැ. ප්‍රායෝගිකව සිදුවෙන්නේ පක්ෂය විසින් යම් පිරිසක් ඔවුන් අකැමැති රැකියා වලට ඇද දමන එකයි. ධනවාදය යටතේත් යම් පිරිසකට තමන් අකැමැති රැකියා කරන්න සිදු වුනත් එහිදී කිසිවකු බලහත්කාරයෙන් එම රැකියා වලට තල්ලු කරන්නේ නැහැ. වැඩි වැටුප් හරහා ස්වේච්ඡාවෙන් පිරිස් ආකර්ෂණය කර ගන්න එකයි සිදු වෙන්නේ.

මේ වෙනස ඉතා වැදගත් වෙනසක්. සමාජවාදය යටතේ "තමන්ගේ සමාජ වගකීම ඉටු කිරීමට" කිසියම් පිරිසක් ඔවුන් අකැමැති රැකියා වලට බලෙන් තල්ලු කෙරෙනවා. එහෙත්, ඒ වෙනුවෙන් ඔවුන්ට අනෙක් අයට නොලැබෙන දෙයක් ලැබෙන්නේ නැහැ. ධනවාදය තුළ මෙසේ තමන් අකැමැති රැකියා කරන අයට එහි වටිනාකම ලැබෙනවා.

ධනවාදය තුළ කිසියම් රැකියාවක් කරන්න කැමති පිරිස් අඩු වෙද්දී එම රැකියාව හා අදාළ ශ්‍රමයේ මිල ඉහළ යනවා. මේ විදිහට ඉහළ යන ශ්‍රමය විසින් අදාළ රැකියාව ස්වයංකරණය කිරීම සඳහා තාක්ෂනය වැඩි දියුණු කිරීම පිණිස සිදු කෙරෙන ආයෝජන දිරිමත් කෙරෙනවා. අවසානයේදී ස්වයංකරණය විසින් මිනිස්සු කරන්න අකැමැති රැකියා ප්‍රතිස්ථාපනය කෙරෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් හැමෝටම වගේ තමන් කැමති රැකියා කරන්න අවස්ථාව සැලසෙනවා. සමාජවාදී ක්‍රමයක් යටතේ මෙවැනි ජනප්‍රිය නැති රැකියා සඳහා යම් පිරිසක් බලෙන්ම වගේ යොමු කෙරෙන නිසා වේගවත් ස්වයංකරණයක් සඳහා අවශ්‍ය ආර්ථික සාධක සම්පූර්ණ වෙන්නේ නැහැ.

වෙළඳපොළ පුළුල්වීම හා ස්වයංකරණය නිසා ටිකෙන් ටික සිදු වන්නේ "වැඩ" හා "විනෝදය" අතර ඉර මැකී යාමයි. කෙනෙකුගේ "වැඩ" හා "විනෝදය" එකක් වූ විට දවසේ වැඩ කරන පැය ගණන සීමා කිරීම විනෝදය සීමා කිරීමක් බවට පත් වෙනවා. වැඩ කරන තරමට ආන්තික ඵලදායීතාවය ඉහළ ගොස් ශ්‍රමයේ මිල ඉහළ යනවාක් වගේම විනෝදයත් ඉහළ යනවා. මිනිහෙකුට වැඩි වැඩියෙන් විනෝද වෙන්න අවස්ථාව දීම හා වැඩි වැඩියෙන් වැඩ කරන්න අවස්ථාව දීම යන දෙකම එකක් වුනාම වැඩි වැඩියෙන් වැඩ ගැනීම සූරාකෑමක් කියා කියන්න මොකක් හරි පදනමක් ඉතිරි වෙනවද?

වෙබ් ලිපිනය: