වෙබ් ලිපිනය:

Showing posts with label ශ්‍රීලන්කන් ගුවන් සේවය. Show all posts
Showing posts with label ශ්‍රීලන්කන් ගුවන් සේවය. Show all posts

Wednesday, October 22, 2025

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!


ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. 

පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. රජයට පවරා ගැනීමෙන් අනතුරුව, 2023/24 වසර තෙක් වසර 15ක් එක දිගට පාඩු ලබමින් පැවති මෙම ආයතනය 2023/24 මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 3,871ක (කෝටි 387ක) ලාබයක් වාර්තා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ආයතනයේ සමුච්ඡිත අලාභය සුළු වශයෙන් අඩු වුනා. 

පසුගිය මූල්‍ය වර්ෂයේ අලාභයද සමඟ මේ වන විට ශ්‍රීලන්කන්හි සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 616,306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය වසර සමස්තයක් ලෙස ලෝක ගුවන් ගමන් කර්මාන්තයට යහපත් වසරක් වූ අතර ලංකාවට පැමිණි ගුවන් මගීන් ප්‍රමාණයෙහිද 38%ක සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙනවා. එසේ වුවද, ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන ආදායමෙහි, පෙර වසරට සාපේක්ෂව, 15%ක කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වීම විශේෂත්වයක්. ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කළ මගීන් ප්‍රමාණයද පෙර වසරට සාපේක්ෂව 4%කින් අඩු වී තිබෙනවා. 

Tuesday, November 5, 2024

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 387ක් ලාබ ලබයි!


මෙම (2024) වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක,  එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්තා කරන්නේ 2008 වර්ෂයෙන් පසු ප්‍රථම වරටයි. 

පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. ඒ වන, මෙම ආයතනයේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 15,536ක් වූ අතර එයින් රුපියල් මිලියන 9,288ක්ම පෙර වසර වලදී උපයාගෙන, ලාභාංශ ලෙස කොටස්හිමියන් විසින් ඉවත් කර නොගෙන, ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රඳවා ගෙන තිබුණු ලාබයි.

රජය විසින් නැවත පවරා ගනු ලැබීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලැබුවේ පහත පරිදියි.

2009 - රුපියල් මිලියන (-9,306)

2010 - රුපියල් මිලියන (-2,698)

2011 - රුපියල් මිලියන (-382)

2012 - රුපියල් මිලියන (-19,778)

2013 - රුපියල් මිලියන (-26,089)

2014 - රුපියල් මිලියන (-32,408)

2015 - රුපියල් මිලියන (-16,495)

2016 - රුපියල් මිලියන (-12,622)

2017 - රුපියල් මිලියන (-28,930)

2018 - රුපියල් මිලියන (-17,214)

2019 - රුපියල් මිලියන (-44,023)

2020 - රුපියල් මිලියන (-47,197)

2021 - රුපියල් මිලියන (-45,231)

2022 - රුපියල් මිලියන (-166,370)

2023 - රුපියල් මිලියන (-73,622)

මා පෙර සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් නැවත පවරා ගන්නා විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම, එනම් එහි වත්කම් හා බැරකම් අතර වෙනස, රුපියල් මිලියන 15,536ක්. එහෙත්, 2009-2011 කාලයේ ලැබූ පාඩු හේතුවෙන් මෙම ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් මිලියන 3,217 දක්වා පහත වැටුනා. මෙම කාලය තුළ ආයෝජනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

ඉන් පසුව, 2012 වසරේදී තවත් රුපියල් මිලියන 19,778ක අලාබයක් එකතු වීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම සෘණ අගයක් දක්වා පහත වැටුණා. එයින් අදහස් වන්නේ එම ආයතනයේ සියලුම වත්කම් වල වටිනාකමට වඩා එහි බැරකම් වැඩි බවයි. එවැනි පාඩුවක් සිදු වන්නේ මෙම ගුවන් සේවය පවරා ගනිද්දී එහි වටිනාකම වූ රුපියල් මිලියන 15,536 නැත්තටම නැති වීම සහ ආයෝජනය වෙනුවෙන් වසර ගණනාවක්ම කිසිදු ප්‍රතිලාභයක් නොලැබීමේ පාඩු වලට අමතරවයි.

මේ ආයතනය පෞද්ගලික ආයතනයක් වීනම් කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වන්නට පෙර, "සොහොන් ලකුණු" පෙනෙද්දීම, ආයතනය වසා දැමීමයි. ශුද්ධ වටිනාකම සෘණ අගයක් වීමෙන් පසුව ආයතනයක් විකුණා දැමීමේ හෝ හැකියාවක් නැහැ. එසේ කරනවානම් කළ හැක්කේ බැරකම් කොටස රඳවාගෙන වත්කම් කොටස පමණක් විකුණන්නේනම් පමණයි.

කෙසේ වුවත්, රාජ්‍ය ආයතන වලට මෙවැනි තත්ත්වයක් යටතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර බදු ගෙවන්නන් මත පටවමින් ආයතනය දිගටම පවත්වාගෙන යාමයි. ශ්‍රී ලංකා රජය සැලකුවහොත්, දිගින් දිගටම වියදමේ තරමට බදු ආදායම් එකතු කර ගෙන නොමැති තත්ත්වයක් යටතේදී, කළ හැකි වන්නේ ණය ලෙස ලබා ගන්නා මුදල් මෙවැනි රාජ්‍ය ආයතනයකට පොම්ප කරමින් එහි පාඩු වල බර අනාගත බදු ගෙවන්නන් මත පැටවීමයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2012දී කළේ හරියටම මෙයයි. එම වසරේදී රුපියල් මිලියන 15,423ක භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කර එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. මෙය වසර 5ක බැඳුම්කරයක්.

වෙනත් ලිපි වල විස්තර කර ඇති පරිදි රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර එම මිලටම විකිණෙන්නේ නැහැ. මෙම බැඳුම්කරය විකිණුනේ රුපියල් මිලියන 14,166ක මුදලටයි. ඒ නිසා, ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත පොම්ප කෙරුණේ එම මුදලයි. එහෙත් බැඳුම්කරය කල් පිරෙද්දී ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 15,423ක් ගෙවන්නට සිදු වුනා. මීට අමතරව වසරකට 8% බැගින් කූපන් පොලී ගෙවන්නටද සිදු වුනා.

මේ විදිහට ශ්‍රී ලංකා රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ලබා ගන්නා ණය මුදල් හා පොලී ආපසු ගෙවන්නේ නැවත අලුතෙන් ණය ලබා ගෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා, මේ ණය මේ වන විට කිහිප ගුණයකින් වැඩි වී ශ්‍රී ලංකා රජයේ නොගෙවූ ණය ගොඩේ තිබෙනවා. දැනටත් කරන්නේ සතිපතා අලුතෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරමින් පරණ ණය හා පොලී ගෙවන එකයි.

කෙසේ වුවත්, ඔය විදිහට ණයට ගත් මුදල් පොම්ප කළා කියා ශ්‍රීලංකන් ගුවන් සේවය ගොඩ ගියේ නැහැ. 2013දී තවත් විශාල අලාභයක් එකතු වුනා. එවරද කළේ පෙර වසරේ කළ දෙයමයි. රුපියල් මිලියන 13,124ක, 8.5% වාර්ෂික කූපන් පොලියක් සහිත, වසර පහකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරයක් රුපියල් මිලියන 12,600කට විකුණා එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. අනාගත බදු ගෙවන්නට තවත් ණයක් එකතු වුනා.

ඊළඟ (2014) අවුරුද්දේදී වුනෙත් ඔය සන්තෑසියම තමයි. ඒ අවුරුද්දේදී වසර පහකින් කල් පිරෙන 10.6% වාර්ෂික කූපන් පොලියක් සහිත තවත් භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරලා ශ්‍රීලංකන් ගුවන් සේවයට තවත් රුපියල් මිලියන 19,585ක මුදලක් ලබා දුන්නා. 

ඔය විදිහට 2012, 2013 හා 2014 වසර වලදී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කිරීම සඳහා නිකුත් කරපු භාණ්ඩාගාර බැඳුම්කර පිළිවෙලින් 2017, 2018 හා 2019 වසර වලදී කල් පිරුණා. ඒ කාලයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා ලබා ගත්ත සල්ලි වලින් කරපු දේවල් ලැයිස්තුවේ ඔය ණය සහ පොලී ආපසු ගෙවපු එකත් ඇති. ඔන්න සල්ලි වලින් කරල තියෙන දේවල්!

රජය ව්‍යාපාර කරද්දී සිදු වෙන එකම පාඩුව ඔය විදිහට අනාගත බදු ගෙවන්නන් මත බර පැටවෙන එක පමණක් නෙමෙයි. ඔය වගේ දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර හෙමින් සීරුවේ වෙනත් රාජ්‍ය ආයතන මත පටවන්නත් පුළුවන්. ඔය කාලයේදී ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ ආයතන වගේම සේවක අර්ථසාධක අරමුදලත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් වල ආයෝජනය කරලයි තිබුණේ. ප්‍රායෝගිකව ඔය තීරණ ඔක්කොම ගන්නේ එකම තැනකින්නේ. 

දැන් මේ වැඩෙන් වුනේ කුමක්ද? ඔය විදිහට ආයෝජනය කරපු සල්ලි වලට සත පහක ප්‍රතිලාභයක් නැහැ. ඒකේ බර වැටෙන්නේ කා මතද? ඕක අඩුවෙන්නේ ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත්කරුවන්ට ලැබිය හැකිව තිබුණු පොලියෙන්. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්න තියෙන පොලියෙන්. ඔය පාඩු සිදු වෙන්නේ බදු ගෙවන්නන් මත පැටවෙන බරට අමතරවයි. 

ඔය විදිහට දිගින් දිගටම රජය ණය වෙවී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කළත් ශ්‍රීලංකන් ගුවන් සේවය ලාබ ලැබුවේ නැහැ. රජය ණය වෙවී සල්ලි පොම්ප කිරීම නිසා සිදු වුනු එකම දේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගිණුම් වල පාඩු අඩුවෙන් පෙනුණු එක පමණයි. මොකද පාඩුවෙන් කොටසක් දැන් තියෙන්නේ වෙන තැනක නිසා. ඔය උඩින් පෙන්වා තිබෙන පාඩු වල රජය ණය වී සල්ලි පොම්ප කිරීම නිසා ඒ වෙනුවෙන් ගෙවන්න වුනු පොලී වල පිරිවැය කොටස නැහැ. ඒ කොටසත් එකතු කළොත් ඔය පාඩු පේනවට වඩා ගොඩක් වැඩියි.

යහපාලන කාලයේදී ඔය විදිහට සල්ලි පොම්ප කරන එක තාවකාලිකව නැවතුණා. පාඩු ලබන එකනම් නැවතුණේ නැහැ. ඒ නිසා, සිදු වුනේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම එන්න එන්නම අඩු වීම. ඒ කියන්නේ සෘණ අගය වැඩි වීම. 

ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ 2021 හා 2022 වසර වලදී ඔය කලින් කරපු සල්ලි පොම්ප කරන වැඩේ නැවතත් පටන් ගත්තා. 2021දී භාණ්ඩාගාර බැඳුම්කරයක්  නිකුත් කරලා රුපියල් මිලියන 27,734ක් දුන්නා. 2022දී ඔය විදිහටම තවත් රුපියල් මිලියන 17,318ක් දුන්නා. ඔය බැඳුම්කර දෙකනම් තවමත් කල් පිරිලා නැතුව ඇති. ඔය කාලයේනම් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළේ නැහැනේ. ඒ වෙනුවට කළේ සල්ලි අච්චු ගහපු එකනේ. 

අවුරුද්දෙන් අවුරුද්ද ඔය තරම් සල්ලි කන්දරාවක් පොම්ප කරලත්, 2023 මාර්තු 31 වෙද්දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 610,488ක්. මේ අවුරුද්දේ රුපියල් මිලියන 3,871ක ලාබයක් ලබපු නිසා දැන් ඔය සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 607,614 දක්වා අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ විදිහට ලාබයක් ලැබුවේ කොහොමද කියල දන්නවද?

ඔන්න රහස! කාටවත් කියන්න එහෙම එපා. ලැජ්ජයිනේ. මොකද ශ්‍රීලංකන් ගුවන් සේවය කියන්නේ ලංකාවේ ජාතික අභිමානය. පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත තවත් රුපියල් මිලියන 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය ලාබය වාර්තා කරලා තියෙන්නේ.

එතකොට ඔහොම සුදු අලියෙක්වද දිගටම නඩත්තු කරන්න යන්නේ?

ප්‍රශ්නය විකල්පය මොකක්ද කියන එකයි. අපි හිතමු ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණලා දමලා මේ බරෙන් නිදහස් වෙනවා කියලා. මේ ආයතනය කීයකට විකුණන්න පුළුවන් වෙයිද?

ඔය ලිපියේ විස්තර කරපු විශාල සල්ලි කන්දරාව පොම්ප කරලා, ඒ වෙනුවෙන් ගත්ත ණය වල පොලී දිගින් දිගටම ගෙවමින් හිටියත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ දැන් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. 2023දී ඔය ගණන රුපියල් මිලියන සෘණ 509,175ක්. දැන් ඔය ගණනට අඩු වෙලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා ණය ගෙවපු නිසා. හැබැයි තවමත් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. ඒ කියන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයේ මුළු වත්කම් ප්‍රමාණයට වඩා බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩියි.

කාට හරි විකුණන්න පුළුවන් වත්කමක්නම්. නමුත් මේක තනිකරම ණය ගොඩක්. කවුද සල්ලි දීලා ණය ගොඩක් බාර ගන්නේ?

එක්කෝ ඔය ඉතුරු ණය ටික එක පාරම බදු ගෙවන්නන් මත පටවලා ශ්‍රීලංකන් ගුවන් සේවය කීයකට හරි දීලා දාන්න වෙනවා. එහෙම නැත්නම් ශ්‍රීලංකන් ගුවන් සේවය ඔය විදිහටම තියාගෙන ඔය ණය බර හෙමිහිට ටිකෙන් ටික බදු ගෙවන්නන් මත පටවන්න වෙනවා. ඔය දෙකෙන් කොයි වැඩේ කළත්, අන්තිමට ඔය ණයට බදු ගෙවන ජනතාවට කර ගහන්නම වෙනවා. වෙන කිසිම විකල්පයක් නැහැ. පාඩුව වෙලා ඉවරයි.

එහෙම ආයතනයක් දිගටම තියාගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද?

මම හිතන්නේ ඒක මේ මොහොතේ ලංකාවේ ජනතාවගේ කැමැත්ත. ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යනවා කියලා මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය පැහැදිලිවම කිවුවා. ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. ඒ වගේම, ඔය පරණ පවු වලට මේ ආණ්ඩුව වගකියන්න අවශ්‍යත් නැහැ.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ හොඳ පරීක්ෂාවක්. රජය ව්‍යාපාර කරන එකේ ප්‍රශ්න ගණනාවක් තිබුණත් ශ්‍රීලංකන් ගුවන් සේවය හා අදාළව ඒ හැම එකක්ම අදාළ වෙන්නේ නැහැ. ශ්‍රීලංකන් ගුවන් සේවය තිබුණා කියලා වෙන පෞද්ගලික ආයෝජකයෙකුට අවශ්‍යනම් ගුවන් සේවයක් ආරම්භ කරන්න බාධාවක් නැහැ. ඒ වගේම, ශ්‍රීලංකන් ගුවන් සේවයට තරඟයකට මුහුණ නොදී ලාබ ගන්න බැහැ. ඒ නිසා, ලංවිම, තෙල් සංස්ථාව වගේ ආයතන වලට තිබෙන ඒකාධිකාරයේ වාසිය රජයට නැහැ. තිබෙනවානම් ඉතා අඩුවෙන්. (ඔව්, තෙල් සංස්ථාව තවමත් ඒකාධිකාරයක් තමයි!)

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය කාලයේදී රජයේ පාලනය යටතේ තිබුනාට වඩා කාර්යක්ෂම කරන්න බැරිකමක් නැහැ. තිබුණු කාර්යක්ෂමතාවය ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා රාජ්‍ය අංශයේ ව්‍යවසායයක් විදිහට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ප්‍රමාණවත් ලාබ පෙන්නන්න පුළුවන්නම් ඒක මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සාධාරනීකරණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. හැබැයි නිකම්ම ගිණුම්කරණ ලාබ නෙමෙයි. දැනට යට කරලා තිබෙන මහජන මුදල් වල පොලී ගෙවන්න පුළුවන් තරමේ ප්‍රතිලාභයක් ලාබ වලින් පෙනෙන්න ඕනෑ. තිබුණු හැටියට හොඳ එකක් වුනත්, පසුගිය අවුරුද්දේ උපයපු රුපියල් මිලියන 3,871ක ශුද්ධ ලාභය එහෙම එකක් නෙමෙයි. 

Wednesday, March 6, 2024

ශ්‍රීලංකන් ණය බරත් බදු ගෙවන්නන්ට!


පසුගිය (2023) වසරේ ජනවාරි 2 දින අප විසින් ලියා පළ කළ, "කවුද ගන්නේ ශ්‍රීලංකන්?" ලිපිය මා නැවත මෙහි උපුටා දක්වන්නම්.

***

වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 මාර්තු 31 දින සිට නැවතත් රජයට පවරා ගනු ලැබුවා.

පහතින් තියෙන්නේ 2008 මාර්තු අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් - රුපියල් බිලියන 51.3යි.

බැරකම් - රුපියල් බිලියන 28.5යි.

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන 22.8යි.


රජයට පවරාගත් මෙම ආයතනයේ අද මූල්‍ය තත්ත්වය කෙසේද? 

පහතින් තියෙන්නේ 2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් - රුපියල් බිලියන 154.4යි.

බැරකම් - රුපියල් බිලියන 443.6යි.

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන සෘණ 289.3යි.

පොදු අරමුදල් වලින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය - රුපියල් බිලියන 82.5යි. (මෙම ගණනට 2020/21 මූල්‍ය වර්ෂය තුළ රජය විසින් ශ්‍රීලංකන් සමාගම වෙනුවෙන් යෙදවූ රුපියල් බිලියන 27.7ක මුදලක් සහ ඊට පෙර යෙදවූ මුදල් ඇතුළත්.)

රජය විසින් යෙදවූ මුදල් වාෂ්ප වී අවසන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ මුදල් වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න සිදු වී තිබෙන්නේ රටේ බදු ගෙවන ජනතාවටයි. වත්කම් හා බැරකම් අතර රුපියල් බිලියන 289.3ක හිඟයක් තිබෙන්නේ ඊට අමතරවයි.

මුදල් අමාත්‍යංශයට අනුව 2021 වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 170.6ක ශුද්ධ අලාභයක් ලබා ඇති අතර, 2022 පළමු මාස හතර තුළ තවත් රුපියල් බිලියන 248.4කශුද්ධ අලාභයක් ලබා තිබෙනවා. මේ අනුව, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම මේ වන විට රුපියල් බිලියන 700ක් පමණ විය හැකියි. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරනවානම් කළ හැක්කේ මෙසේ එකතු වී ඇති ණය ආපසු ගෙවීමේ බර බදු ගෙවන ජනතාව මත පැටවිය හැකිනම් පමණයි. නිකම් දුන්නත් ණයකට කර ගහන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. 

ඇතැම් අය යෝජනා කරනවාක් මෙන් තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන විකුණා ලැබෙන මුදලකින් රජයට ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. මේ ආයතන විකිණුවත්, තියා ගත්තත් මේ ආයතන වල ණය ගෙවන්න සිදු වී තිබෙන්නේත් අනාගතයේදී බදු ලෙස එකතු කරගන්නා මුදලකින්ම තමයි. ඒ විදිහට හෝ ණය නොගෙවුවොත් වෙන්නේ මේ ආයතන කඩා වැටෙනවාට අමතරව මේ ආයතන වලට ණය දී තිබෙන රාජ්‍ය බැංකුත් කඩා වැටෙන එකයි. 

***

කෙටියෙන් කිවුවොත්, ඉහත ලිපියෙහි අප විසින් පෙන්වා දුන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි ණය බර සමඟ එම ආයතනය කිසිවකු විසින් මිල දී නොගනු ඇති බව සහ එම ආයතනය විකිණීමටනම් ආයතනයේ ණය බරෙන් සැලකිය යුතු කොටසක් බදු ගෙවන්නන් මත පටවන්නට සිදු වනු ඇති බවයි. මෙහිදී ඇතැම් අය ශ්‍රී ලංකා ගුවන් සේවයේ "කීර්ති නාමයේ" මුදල් වටිනාකම හා එය ජාතික ගුවන් සේවයක් වීම නිසා ලැබෙන වරප්‍රසාද වල වටිනාකම ආදිය ගැන පෙන්වා දෙමින් මෙම ආයතනය මිල දී ගැනීම සඳහා ඉල්ලුම්කරුවන් තරඟ කරනු ඇති බවට තර්ක කළා. ඇතැම් අය කියා සිටියේ කොමිස් ලබා ගෙන කුණු කොල්ලයට විකිණුවේ නැත්නම් මෙම ආයතනය පහසුවෙන්ම විකුණා දැමිය හැකි බවයි. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ණය බරද සමඟ මිල දී ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැති බව මේ වන විට පැහැදිලියි. රොයිටර්ස් පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කර ඇති පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවීම පැහැර හැර ඇති ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කරයෙහි බරද, රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් මිලියන 378ක ණය හා බැංකු අයිරා වල බරද ලෙස ඩොලර් මිලියන 553ක ණය බරක් නුදුරු කාලයේදී බදු ගෙවන්නන් මත පැටවීමට නියමිතයි.

පහතින් තියෙන්නේ 2023 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් - රුපියල් බිලියන 199.5යි.

බැරකම් - රුපියල් බිලියන 708.6යි.

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන සෘණ 506.2යි.

රුපියල් බිලියන 612.4ක සමුච්ඡිත අලාබයක් එක්ක වටිනාකම රුපියල් බිලියන සෘණ 506.2ක් වූ ආයතනයක් සල්ලි වලට තියා නිකම් දුන්නත් කවුරු හෝ එය ගන්න තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. මේ වෙද්දී මෙම සෘණ අගය තවත් නරක අතට හැරී තියෙන්න පුළුවන්. රජය විසින් ශ්‍රීලංකන් ණය වලින් සැලකිය යුතු කොටසක් බදු ගෙවන්නන් මත පටවන්න යන්නේ එම පසුබිම තුළයි.

ඩොලර් මිලියන 553ක් කියන්නේ එක පවුලකට ඩොලර් 100ක පමණ බරක්. ඒ කියන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩු වෙනුවෙන් සෘජු හා වක්‍ර බදු ලෙස එක පවුලකට රුපියල් 30,000ක් පමණ ගෙවන්න සිදු වෙනවා. එහෙත් එසේ කිරීමෙන් පසුවද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ණය බර අවසන් වන්නේ නැහැ. මෙම මුදල ණයෙන් කොටසක් පමණයි.

Monday, March 27, 2023

පාඩු ලබන රාජ්‍ය ආයතන


කලින් සටහනේ කතා කළේ ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන සාමාන්‍යයෙන් කතා කෙරෙන්නේ අඩුවෙන්. වැඩියෙන් කතා කෙරෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන සංවාදයට බඳුන්වන මාතෘකාවක් වී තිබෙන්නේ රජය විසින් මේ වන විටද පොදු සමාගම් බවට පත් කර තිබෙන, කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක රජයේ කොටස් අයිතිය විකුණන්න යනවා කියන ආරංචියත් එක්ක. 

රජය සතුව හදිසියකදී ගන්න අවශ්‍ය නොවන, කාලයක් එක දිගට ආයෝජනය කර තබා ගත හැකි, ඉතිරි කිරීම් තිබෙනවානම්, ඒ ඉතිරි කිරීම් සමාගම් කොටස් වල ආයෝජනය කරන එකේ වැරැද්දක් නැහැ. එසේ කිරීමෙන් බදු ගෙවන්නන්ගේ සල්ලි වලට අවශ්‍ය පමණ ප්‍රතිලාභයක් ලැබෙනවා. මෙසේ කිරීමේදී අවශ්‍ය පමණ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන කරන එක ගැනත් සැලකිලිමත් විය යුතුයි. 

නමුත් ප්‍රශ්නය ශ්‍රී ලංකා රජය සතුව එවැනි ඉතිරි කිරීම් නැති වීමයි. සිංගප්පූරු රජය වැනි වෙනත් ඇතැම් රජයයන් සතුව එවැනි ඉතිරි කිරීම් තිබෙනවා වගේම සෑම වසරකදීම බදු ආදායම හා රජයේ වියදම් අතර වෙනස එම ඉතිරි කිරීම් වලට එකතු වෙනවා. 

මේ විදිහට රජයක් සතුව විශාල ඉතිරි කිරීම් ප්‍රමාණයක් තිබෙන විට ඒ සල්ලි ඔක්කොම හදිසියේ ගන්න පුළුවන් විදිහට ද්‍රවශීල වත්කම් ලෙසම තියා ගන්න අවශ්‍ය නැහැ. වත්කම් වලින් යම් කොටසක් හදිසියකදී ගන්න ද්‍රවශීල වත්කම් ලෙස තියාගෙන ඉතිරි කොටස වැඩි ප්‍රතිලාභයක් ලැබෙන විදිහට දිගුකාලීනව ආයෝජනය කරන්න පුළුවන්. 

ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ වැඩි අවදානමක් ගන්න තරමටයි. පොඩි වත්කම් ප්‍රමාණයක් තියාගෙන ලොකු අවදානම් ගන්න බැරි වුනත්, ලොකු වත්කම් ඇත්නම් ලොකු අවදානම් ගන්න පුළුවන්. සිංගප්පූරු රජය කරන්නේ ඒකයි. 

සිංගප්පූරු රජයේ වාර්ෂික වියදම සිංගප්පූරු ඩොලර් බිලියන 100ක් පමණ. 2023 වියදම් ඇස්තමේන්තුව සිංගප්පූරු ඩොලර් බිලියන 104ක්. සිංගප්පූරු රජයේ වත්කම් කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා තිබෙන GIC සමාගම සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 700ක පමණ වත්කම් තිබෙනවා. තවත් එවැනිම සමාගමක් වූ Temasek සමාගම සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 400 ඉක්මවන වත්කම් තිබෙනවා. විශ්‍රාම වැටුප් අරමුදල සතුව තවත් සිංගප්පූරු ඩොලර් බිලියන 550කට ආසන්න වත්කම් තිබෙනවා. මීට අමතරව සිංගප්පූරු මුදල් අධිකාරිය සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 400ක පමණ වත්කම් තිබෙනවා. ඔය ටික එකතු කළාම සිංගප්පූරු ඩොලර් බිලියන 2000 ඉක්මවන මුදලක්. රජයේ වාර්ෂික වියදම වගේ 20 ගුණයක්!

ඔය වත්කම් සියල්ල බදු ආදායම් වලින් ඉතුරු කරගත් මුදල් සහ එම ඉතිරි කරගත් බදු ආදායම් ආයෝජනය කර උපයාගත් මුදල්. හදිස්සියකට ඔය තරම් විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, අවුරුදු විස්සකට සතයක්වත් බදු අය නොකර රජයේ වියදම් සියල්ල දරන්න තරම් ප්‍රමාණවත් විශාල මුදලක් අතේ තියෙද්දී එයින් පොඩි කොටසක් අඩු වුනා කියලා බදු ගෙවන්නන්ට විශාල අවදානමකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා, සිංගප්පූරු රජයට පෞද්ගලික ව්‍යවසායකයෙක් වගේ අවදානම් අරගෙන ඔය අරමුදල් දිගුකාලීනව ආයෝජනය කරන්න පුළුවන්. වැඩි අවදානමක් ගන්න තරමට ප්‍රතිලාභත් වැඩියි. 

මේ තරම් විශාල පොදු අරමුදල් ප්‍රමාණයක් කළමනාකරණය කරද්දී හොරකම්, දූෂණ, වංචා වලට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත්, එය ඉතාම වැදගත් බවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හොරකම්, දූෂණ, වංචා සිදු වුනානම් ඔය වත්කම් ඔය විදිහට ඉතුරු වෙන්නේ නැහැ. කොහොම වුනත් වැදගත්ම කාරණාව අවුරුදු විස්සකින්වත් වියදම් කරලා ඉවර කරන්න බැරි තරම් වත්කම් රජය සතුව තිබෙනවා කියන එකයි. ඒ බදු මුදල් වලින් ඉතිරි කරගත් කොටස.

සිංගප්පූරු ක්‍රමයත් ටික දෙනෙකු විසින් මුළු රට වෙනුවෙන්ම තීරණ ගන්න සමාජවාදී ආකෘතියේම ක්‍රමයක් තමයි. ඒ වගේම එම ක්‍රමය සාර්ථක වූ දුලබ අවස්ථාවක් (සාර්ථකත්වය කියන්නේ ආර්ථික වර්ධනය පමණක් කියා සැලකුවොත්). තනි පුද්ගලයෙක් හෝ කුඩා කණ්ඩායමක් විසින් මුළු රටක් වෙනුවෙන් තීරණ ගන්නා ක්‍රමය සමහර වෙලාවට සාර්ථක වෙන්න පුළුවන්. හැම අවස්ථාවකම අනිවාර්යයෙන් අසාර්ථක විය යුතුමයි කියලා එකක් නැහැ. නමුත්, බොහෝ විට වෙන්නේ අසාර්ථක වෙන එක. මෙය විශාල අවදානමක් ගැනීමක්. 

දැන් සිංගප්පූරුවේ තිබෙන තරම් විශාල ප්‍රමාණයක් නොවුනත් ලංකාවේ රජය සතුවත් නිදහස ලබද්දී සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් තිබුණා. ජාතිකවාදී හා සමාජවාදී ප්‍රතිපත්ති නිසා ඒ වත්කම් අවුරුදු පහළොවක් යද්දී ඉවර වුනා. රට හිඟමනට වැටුණේ ඊට පස්සේ. 1965න් පස්සේ ලංකාවට IMF එකෙන් තොර පැවැත්මක් නැහැ. ඒ කාලයේ සිට අද දක්වාම රජය විසින් දිගින් දිගටම එකතු කරගෙන තියෙන්නේ ණය මිසක් වත්කම් නෙමෙයි. හැම අවුරුද්දකම වගේ රජයේ ආදායම් හා වියදම් අතර වෙනස ඔය ණය කන්දරාවට එකතු වෙනවා. මේ වෙද්දී ණය කන්දරාව රජයේ ආදායම වගේ දොළොස් ගුණයක් විතර.

දැන් ප්‍රශ්නය ණය ගෙවන එක නෙමෙයි. මොන තරම් හොඳ සැලසුමක් හැදුවත්, ණය ආපසු ගෙවලා නිදහස් වෙන එක කොහොමටත් අවුරුදු විසිපහකටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ප්‍රශ්නය ණය වාරික හා පොලී ගෙවන එක. මෙතෙක් කළේ අලුතෙන් ණය අරගෙන ණය වාරික හා පොලී ගෙවන එක සහ වියදමට තවත් ණය ගන්න එක. දැන් අලුතෙන් අවශ්‍ය පමණ ණය ගන්න බැරි නිසා මොනවා හෝ තිබෙන වත්කමක් විකුණන තත්ත්වයට වැටිලා ඉවරයි. ලාබ ලබන වත්කම් විකුණන්න අවශ්‍ය වී තිබෙන ප්‍රධාන හේතුව මේකයි.

කොහොම වුනත්, ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන දමපු සටහනට ප්‍රතිචාර දමපු සමහර අය ඒ ප්‍රතිචාර දමා තිබුණේ පාඩු ලබන රාජ්‍ය ආයතන ඔලුවේ තියාගෙන. ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කතා කරද්දී උඩින්ම ඉන්න ත්‍රිමූර්තිය ශ්‍රීලන්කන්, තෙල් සංස්ථාව සහ ලංවිමයි.

ඉහත ආයතන තුනේ පොදු සමානකමක් වන්නේ තෙල් වලට තිබෙන සම්බන්ධයයි. සාමාන්‍යයෙන් තෙල් මිල ඉහළ යාම අඩු වැඩි වශයෙන් මේ ආයතන තුනේම පාඩු වැඩි කරන්න හේතු වෙනවා. එම සමානකම තිබුණත්, මේ ආයතන තුනේ ප්‍රශ්න බොහෝ දුරට එකිනෙකට වෙනස්. 

මේ ආයතන අතරින් තෙල් සංස්ථාවට හා ලංවිමට රට ඇතුළේ ඒකාධිකාරයක් තිබෙනවා. තෙල් සංස්ථාවේ ඒකාධිකාරය සියයට සියයක්ම කෘතීම එකක්. රජය විසින් මේ ඒකාධිකාරය හදන්නේ යල් පැන ගොස් ඇති සමාජවාදී ආර්ථික ක්‍රමය මත පදනම්වයි.

ඇමරිකාවේ හන්දියක හතර පැත්තේ ඉන්ධන පිරවුම්හල් හතරක් තිබෙන එක දුලබ දසුනක් නෙමෙයි. තරඟකාරී සමාගම් හතරකට අයත් මේ ඉන්ධන පිරවුම්හල් හතරේ මිල ගණන් එකිනෙකට සමාන නැහැ. පාරිභෝගිකයෙකුට ඒ හතර අතරින් මිල අඩු තැනකින් ඉන්ධන පුරවා ගන්න පුළුවන්.

නිදහස ලබන විට වගේම නිදහස ලබා වසර පහළොවක් පමණ යන තුරු ලංකාවේ තිබුණේත් මේ වගේම තත්ත්වයක්. මොබිල් (MOBIL), කැල්ටෙක්ස් (CALTEX), ෂෙල් (SHELL), එසෝ (ESSO), ස්ටෑන්ඩඩ් ඔයිල් (Standard Oil) ඇතුළු ලෝකය පුරා ව්‍යාපාරික කටයුතු කළ ප්‍රධාන තෙල් සමාගම් සියල්ලම වාගේ ලංකාව තුළ ඉන්ධන බෙදා හරිමින් සිටියා. එම සමාගම් විසින් ආයෝජනය කර හදා තිබුණු තෙල් නල ඇතුළු යටිතල පහසුකම් ලංකාවේ තිබුණා. සමාගම් අතර විශාල තරඟකාරීත්වයක් පැවතුණා. රටේ තෙල් හිඟයක් තිබුණේ නැහැ.

මෙසේ තිබියදී මුදල් ඇමති සේ කටයුතු කළ ඇන් ඇම් පෙරේරාගේ සහ වෙළඳ ඇමති ලෙස කටයුතු කළ ටී බී ඉලංගරත්නගේ බලපෑම මත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක විසින් තෙල් සමාගම් සියල්ල ජනසතු කරන්නට පෙළඹුණා. සමාජවාදී පිස්සුව සහ බටහිර විරෝධය හැර එසේ කරන්නට වෙනත් සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. මෙහි ඉලක්කය වූයේ බටහිර සමාගම් වලට ලංකාවේ වෙළඳපොළ අහිමි කර රුසියාව ඇතුළු සමාජවාදී රටවලින් ඉන්ධන ආනයනය කිරීමයි.

මේ අනුව, තෙල් සමාගම් සතු සියලු දේපොළ රජය විසින් පවරා ගැනීමෙන් පසුව තෙල් සංස්ථාව පිහිටුවා එයට නීතියෙන්ම රාජ්‍ය ඒකාධිකාරයක් හදා දුන්නා. තෙල් සංස්ථා පණත මගින් අනෙක් කිසිවෙකුට ඉන්ධන ආනයනය, බෙදා හැරීම හා විකිණීම තහනම් කෙරුණා. 1961දී පටන්ගත් මේ ක්‍රියාවලිය 1971දී එසෝ සමාගම සතු වූ ගුවන් යානා ඉන්ධන බෙදා හැරීමේ පහසුකම් පවරා ගැනීමෙන් අවසන් වුනා. අද වන විට බදු ගෙවන්නට මහත් බරක්ව තිබෙන තෙල් සංස්ථා ඒකාධිකාරය හැදුනේ ඔය විදිහටයි. 

තෙල් සංස්ථාවට සාපේක්ෂව ලංවිම හැදුණේ පෞද්ගලික අංශය විසින් නොකරන ආයෝජනයක් රජය විසින් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කියා කියන්න පුළුවන්. එහිද, සමාජවාදී අදහස් වල බලපෑම තිබුණත්, එසේ නැතිව වුවත් මෙවැන්නක් සිදු විය හැකිව තිබුණා. යම් තාක් දුරකට ලංවිම කියන්නේ ස්වභාවික ඒකාධිකාරයක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවය හා එහි පූර්වගාමීන් වන එයා සිලෝන් හා එයා ලංකා හැදෙන්නේ ජාතික අභිමානය පිළිබඳ ප්‍රකාශන ලෙස කියා කියන්න පුළුවන්. තමන්ගේම ගුවන් සේවයක් හදා ගැනීම අලුතෙන් නිදහස ලැබූ බොහෝ රටවලට කරන්නට අවශ්‍ය වූ දෙයක්. මෙහිදී ලාබ ලැබීම ප්‍රමුඛ අවශ්‍යතාවය ලෙස සැලකුණේ නැහැ. ජාතික ගුවන් සේවයක් මගින් රටේ සංස්කෘතිය නිරූපණය කිරීම හා ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම වැනි දෙයක්ද සිදු වුනා.

තෙල් සංස්ථාවේ හා ලංවිම පාඩු වලට විසඳුමක් ලෙස IMF එක විසින් මිල සූත්‍ර ක්‍රමය නිර්දේශ කර තිබෙනවා. එහෙත්, මේ මගින් මෙම ආයතන වල ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ. හරියටම කියනවානම් එක් ප්‍රශ්නයක් හැර වෙනත් ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. විසඳෙන එකම ප්‍රශ්නය මෙම ආයතන වල පාඩු අවසාන වශයෙන් උද්ධමන බද්දක් බවට පත් වීම වැලකීමයි. 

රාජ්‍ය ඒකාධිකාර වන තෙල් සංස්ථාවේ හා ලංවිම ප්‍රශ්නය එම ආයතන පාඩු ලැබීමම නෙමෙයි. ප්‍රශ්නය එයනම් විසඳුම සරලයි. අවශ්‍ය තරම් මිල වැඩි කිරීම මගින් පහසුවෙන්ම එම පාඩු නැති කරන්න වගේම මේ ආයතන ලාබ ලබන ආයතන බවට පත් කරන්නත් පුළුවන්. මිල වැඩි වෙද්දී ඉල්ලුම යම් තරමකින් අඩු වන නමුත් ඉන්ධන ඉල්ලුම මෙන්ම විදුලි බල ඉල්ලුමද මිල ඉහළ යද්දී විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, මිල වැඩි කිරීම ලාබ නැති වීමේ ප්‍රශ්නයට විසඳුමක්. ඒ සඳහා දූෂණ, වංචා, හොරකම්, අකාර්යක්ෂමතා කිසිවක් නැති කරන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය ආයතන වල සැබෑ ප්‍රශ්නය ඒවා පාඩු ලැබීමම නොවන බවට මේ කරුණම නිදර්ශනයක්.

කෙසේ වුවත්, ශ්‍රීලන්කන් ආයතනයට මිල සූත්‍ර ක්‍රමය හරියන්නේ නැහැ. එම ආයතනයට තරඟය තිබෙන්නේ රටෙන් බැහැරවයි. ඒ නිසා ශ්‍රී ලංකා රජයට ඒකාධිකාරයක් හදා දීම මගින් එම ආයතනයට උදවු කරන්න බැහැ. ලාබ ලබන්නනම් අනිවාර්යයෙන්ම කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා. 

ගුවන් සේවා සැපයීමේ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාවට අනෙකුත් රටවලට නැති විශේෂ වාසියක් නැහැ. එවැනි වාසියක් තිබෙන්නේ තෙල් නිපදවන රටවලට පමණයි. ඒ නිසා, ලංකාවට තරඟ කළ හැක්කේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම මගින්ම පමණයි. වෙන පහසු ක්‍රමයක් නැහැ. සිංගප්පූරු ගුවන් සේවය මෙම කාර්යය කරන්නට සමත් වී තිබෙනවා.

ශ්‍රීලන්කන් පාඩු එහි උරුමයක්. එයා සිලෝන් කාලයේ සිටම මේ පාඩු එනවා. ලංකාවට කවදාවත් ගුවන් සේවයක් කාර්යක්ෂම සේ කළමනාකරණය කළ හැකි කුසලතා තිබී නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වෙයි කියා හිතන්නත් අමාරුයි. 

බදු ගෙවන්නන්ගේ කැමැත්ත එයනම්, ජාතික අභිමානය වෙනුවෙන් පාඩු ලබමින් ගුවන් සේවයක් නඩත්තු කිරීමේ වැරැද්දක් නැහැ. එසේ කරන්නේනම් පැහැදිලි ලෙස බදු ගෙවන්නන් දැනුවත් කර ඒ සඳහාම වෙනම බද්දක් අය කළ යුතුයි. ප්‍රායෝගිකව ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාබ ලබන ආයතනයක් කළ හැක්කේ එය කළමනාකරණය කිරීම වෙනත් විශාල ගුවන් සේවයකට ලබා දීමෙන් පමණයි. අවශ්‍යනම් රජයට යම් කොටස් අයිතියක් තියා ගන්න පුළුවන්. එමිරේට්ස් එකට දුන් ආකෘතිය හොඳ ආකෘතියක්. 

එහෙත්, තෙල් සංස්ථාව මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට කිසිම තර්කානුකූල හේතුවක් නැහැ. එහි ප්‍රශ්නය පාඩු නොව රාජ්‍ය ඒකාධිකාරයයි. ඒ හේතුව නිසාම ආකෘතිය එලෙසම තිබියදී මෙම ආයතනය විකිණීමද විසඳුමක් නෙමෙයි. රාජ්‍ය ඒකාධිකාරිය පෞද්ගලික ඒකාධිකාරයක් වූ පමණින් ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ. කළ යුත්තේ කර්මාන්තය ප්‍රතිනියාමනය කර නැවත තරඟකාරිත්වය ඇති කිරීමයි.

තෙල් සංස්ථාවෙන් වෙනස්ව ලංවිම විසින් එහි නිෂ්පාදනය බොහෝ දුරට සිදු කරන්නේ රට තුළයි. ආනයනික ඉන්ධන ආදිය හරහා රටින් පිටතට විදේශ විණිමය යන නමුත් ජල විදුලියෙදී හා සූර්ය, සුළං බලය වැනි අවස්ථා වලදී අගය එකතු වීම බොහෝ දුරට සිදු වන්නේ රට තුළයි. එහෙත් ඉන්ධන කර්මාන්තය තුළ පිරිපහදු කිරීමේදී රට තුළ සිදු වන අගය එකතු කිරීම ඒ තරම්ම විශාල නැහැ. රට තුළ ඉන්ධන විකුණා එකතු කර ගන්නා මුදල් බොහෝ දුරට රටින් පිටට යනවා.

ඉහත හේතුව නිසා ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදේශ සමාගම් වෙත ලබා දීමෙන් ලංකාවට අවාසියක් සිදු වන්නේ නැහැ. පාරිභෝගිකයින්ගේ පැත්තෙන් බැලුවත්, පොදුවේ රටේ පැත්තෙන් බැලුවත් වඩා වැදගත් වන්නේ හැකි තරම් අඩු මිලකට, බාධාවන්ගෙන් තොරව ඉන්ධන ලබා ගන්නට හැකි වීමයි. මේ ඉලක්කය කරා යා හැක්කේ තරඟකාරී සමාගම් ගණනාවකට වෙළඳපොළ විවෘත කිරීම මගිනුයි. එහිදී රටින් එළියට යන්නේ කොහොමටත් රටින් එළියට යන විදේශ විණිමයයි.

ඉලක්කය තරඟකාරිත්වය ඇති කර බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමනම්, ඒ සඳහා තෙල් සංස්ථාව සතු වත්කම් විකිණීමේ අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් සිදු වන්නේනම් එහි අරමුණ රජයේ අරමුදල් ප්‍රශ්නය විසඳා ගැනීම විය යුතුයි.

වෙබ් ලිපිනය: