වෙබ් ලිපිනය:

Showing posts with label තීරු බදු. Show all posts
Showing posts with label තීරු බදු. Show all posts

Saturday, February 21, 2026

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?


ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම්ව ආනයන මත විශාල පරාසයක තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය නොමැති බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

මෙම නඩු තීන්දුව විශාල ගෝලීය ආර්ථික හා දේශපාලනික බලපෑමක් ඇති නඩු තීන්දුවක්. එහිදී සලකා බැලුනු ප්‍රධානම කරුණ වූයේ ඇමරිකාවේ බදු පැනවීමේ බලය තිබෙන්නේ කා සතුවද යන්නයි. ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසුව කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ඇමරිකාවේ ජනාධිපතිවරයාට ආනයන මත තීරු බදු පැනවිය හැකිද?

මෙම නෛතික ප්‍රශ්නය සඳහා මේ වන විට ලැබී ඇති ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුර "නැත" යන්නයි.

පදවි ප්‍රාප්තයෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්ව දෙකක් ප්‍රකාශයට පත් කරමින් වට දෙකකින් තීරු බදු පැනවීම් සිදු කළා. පළමුව, කැනඩාව, මෙක්සිකෝව සහ චීනයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගලා එන බවත් එය මහජන සෞඛ්‍ය අර්බුදයක් බවත් සඳහන් කරමින් තීරු බදු පැනවීමක් කළා. දෙවනුව, විශාල සහ දිගුකාලීනව අඛණ්ඩව පවතින ඇමරිකාවේ වෙළඳ හිඟය රටේ නිෂ්පාදන ආර්ථිකය දුර්වල කරන බව පවසමින් ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මත තීරු බදු පනවනු ලැබුවා.

මෙම තීරු බදු පැනවීම් සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගත්තේ 1977දී සම්මත කර ගෙන තිබුණු ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ (International Emergency Economic Powers Act -IEEPA) ප්‍රතිපාදනයි. මෙම නීතිය මීට පෙර භාවිතා කර තිබුණේ විවිධ රටවල් මත ආර්ථික සම්බාධක පැනවීම පිණිසයි. අධිකරණය විසින් විසඳිය යුතු වූ මූලික නෛතික ප්‍රශ්නය වූයේ අදාළ පණතේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට තීරු බදු පැනවීම සඳහා බලතල ලැබෙන්නේද යන්නයි.

නඩු තීන්දුව ලබා දීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගෙන තිබෙන්නේ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I(8) වගන්තියයි. එම වගන්තිය අනුව බදු පැනවීම ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය සතු අයිතියක්. තීරු බදු යනු ආනයන මත අය කෙරෙන බදු බැවින් තීරු බදු පැනවීමේ අයිතියද ව්‍යවස්ථාදායකය සතුයි. විධායකයේ තර්කය වූයේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණත මගින් හදිසි අවස්ථාවකදී කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන බවයි.

නව පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක්. අග විනිසුරු ජෝන් රොබට්ස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හය දෙනෙකුගේ බහුතර මතය අනුව, විධායකයට කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා අයිතියක් නොමැති බව අධිකරණ මතය බවට පත් වී තිබෙනවා. මෙම විනිසුරුවරුන් හය දෙනා අතර රිපබ්ලිකන් ජනාධිපතිවරුන් විසින් පත් කළ විනිසුරුවරුන් තිදෙනෙකුද සිටීම විශේෂත්වයක්.

මේ තීන්දුව අනුව පසුගිය වසරක පමණ කාලය තුළ අය කළ තීරු බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී අය කිරීම් බවට පත් වෙනවා. එම මුදල් ආපසු ගෙවිය යුතු බවක් හෝ එසේ කළ යුතු ආකාරය නඩු තීන්දුවේ සඳහන්ව නැතත්, මෙම නඩු තීන්දුව මත පදනම්ව, තමන්ගෙන් අනීතිකව අය කරගත් බදු ආපසු ඉල්ලා සිටිමින් නඩු පැවරීම සඳහා ආනයනකරුවන්ට අවස්ථාව සැලසෙනවා. 

ඉහත නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ තීරු බදු පැනවීම නීති විරෝධී බව තීරණය වී ඇතත්, වෙනත් පනත් වල ප්‍රතිපාදන අනුව නැවත බදු පැනවීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම "හරි ක්‍රමයට" කොංග්‍රසයේ අනුමැතිය ලබා ගනිමින් ඉහත නීතිය හෝ අදාළ වෙනත් නීති වෙනස් කරගැනීමට මෙන්ම අලුත් නීති පනවා තීරු බදු අය කිරීමටද ඇමරිකාවට පුළුවන්. එහෙත්, මෙවැනි ක්‍රියාමාර්ග හදිසි නීතිය යටතේ විධායකයේ තනි කැමැත්තට තීරු බදු පනවන තරම් පහසු නැහැ.

පසුගිය වසරක පමණ කාලය තුළ අය කර තිබෙන "නීති විරෝධී" තීරු බදු ප්‍රමාණය සැලකූ විට එම බදු අය කිරීම් වල බලපෑම ආපසු හැරවීම පහසු කටයුත්තක් නෙමෙයි. එවැනි පරිමාණයක ආපසු හැරවීමක් මීට පෙර සිදු වී නැහැ. ඒ නිසා, සිදු වී ඇති "වැරැද්දට" නීතිමය ආවරණයක් ලැබෙන පරිදි නීති සම්මතයක් හෝ සංශෝධනයක් යෝජනා වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 


Thursday, August 14, 2025

ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?


ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ ලිබරල් කඳවුර විසින් දිගින් දිගටම කියපු කතාව වුනේ "මේ බදු ගෙවන්න වෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයාට" කියන එකයි. බටහිර මාධ්‍ය වලින්ද ඔය අදහසට බරක් තබා ඇති බව දැකිය හැකියි.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඔය අන්ත දෙකම ඇත්ත නෙමෙයි. ඕනෑම බද්දක බර, ගෙවන්නේ කවුරු විසින් වුනත්, අවසාන වශයෙන් පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යනවා. මෙය සිදු වන්නේ කවර අනුපාතයකින්ද කියන එක තීරණය වන්නේ මිල ප්‍රත්‍යස්ථතා මතයි. 

ඇමරිකාවේ ආනයනික භාණ්ඩ හා අදාළව පාරිභෝගිකයා ඉන්නේ ඇමරිකාවේ වුවත් නිෂ්පාදකයා ඉන්නේ වෙනත් රටක. ඒ නිසා, ඇමරිකන් තීරු බද්දේ බර බෙදී යාම ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර බදු බර බෙදී යාමක්ද වෙනවා. බද්ද අය කර ගන්නේ ඇමරිකන් රජය විසින් නිසා අවසාන වශයෙන් සිදු වෙන්නේ ඇමරිකන් රජය විසින් විදේශිකයින්ගෙන් කවර හෝ මුදලක් එකතු කර ගැනීමක්. ඒ අතරම, ඇමරිකන් පාරිභෝගිකයින්ටත් බද්දේ බරෙන් කොටසක් දරන්න සිදු වෙනවා. 

අපි හිතමු ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක් මත රුපියල් 50ක අලුත් බද්දක් රජය විසින් අය කරනවා කියලා. සාමාන්‍ය කරුණක් ලෙස මේ විදිහේ බද්දක් අය කළ විට රට ඇතුළේ අර්තාපල් කිලෝවක් විකිණෙන මිලත් ඉහළ යනවා. 

ලංකාවේ අර්තාපල් නිෂ්පාදනයක් නැත්නම්, අර්තාපල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් පමණක්නම් සහ අර්තාපල් කියන්නේ පාරිභෝගිකයින්ට මිල දී නොගෙන ඉන්නම බැරි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක්නම්නම්, උපරිම වශයෙන් රුපියල් 50කින් දේශීය අර්තාපල් මිල ඉහළ යන්න පුළුවන්. අනෙක් අතට දේශීය අර්තාපල් ගොවීන්ට ඉන්දියාව එක්ක තරඟකාරී ලෙස ඉන්දියාවට වඩා අඩු මිලකට රටට අවශ්‍ය තරම් අර්තාපල් නිපදවීමේ හැකියාවක් තිබෙනවානම් ඔය බද්ද දැම්මා කියලා දේශීය අර්තාපල් මිල සතයකින්වත් වැඩි නොවෙන්න පුළුවන්. ඔය දෙකම තර්කානුකූලව සිදු විය හැකි දේ වුනත් ප්‍රායෝගිකව සිදු වන්නේ ඔය අන්ත දෙක අතර දෙයක්. 

අර්තාපල් වෙනුවට ඉන්ධන වගේ දෙයක් සැලකුවොත් ලංකාව ඇතුළේ නිෂ්පාදනය කිරීමක් වෙන්නේ නැහැ වගේම එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම ඉන්ධන කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා, ඉන්ධන ලීටරයක් මත රුපියල් 50ක තීරු බද්දක් දැම්මොත් එහි බර වැඩි වශයෙන්ම වැටෙන්නේ පාරිභෝගිකයින් මතයි. නමුත් ඉන්ධන වගේ දෙයක් සැලකුවත්, මිල වැඩි වෙද්දී ඉල්ලුම සුළු වශයෙන් හෝ අඩු වෙනවා. 

ඉල්ලුම අඩු වෙද්දී සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා. ඒ නිසා, සැපයුම්කරුවන් විසින් ලාබ වැඩි කර ගැනීමේ අරමුණින් මිල තරමක් හෝ අඩු කරනවා. තෙල් සංස්ථාව විසින් මේ වැඩේ නොකළත්, ලාබ වෙනුවෙන් ලංකාවේ ඉන්ධන විකුණන IOC හෝ සිනොපෙක් වැනි සමාගමක් අනිවාර්යයෙන්ම ඔය වැඩේ කරනවා. ඒ නිසා, රුපියල් 50ක බද්දෙන් ශත කීපයක් හෝ අවසාන වශයෙන් නිෂ්පාදකයාටත් දරාගන්න වෙනවා. පාරිභෝගිකයා මත පැටවෙන බර රුපියල් 50ට වඩා ශත කිහිපයකින් හරි අඩුයි.

ලංකාවේ ආදේශක තිබෙන දේවල් වල මිලට ඔය විදිහේ තීරු බද්දක් නිසා සිදු වන බලපෑම ගොඩක්ම අඩුයි. පොල් වගේ දෙයක් සැලකුවොත්, ආනයනික පොල් මත රුපියල් 50ක බද්දක් දැම්මා කියලා රුපියල් 50ක් වැඩියෙන් පොල් විකුණන්න බැහැ. ආනයනික පොල් ලංකාවේ විකුණනවානම් විකුණන්න වෙන්නේ දැනට රටේ පොල් විකිණෙන මිලට ආසන්න මිලකටයි. ඕනෑනම් රුපියල් පහක් වගේ වැඩියෙන් විකුණන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ බද්දේ බර දේශීය පාරිභෝගිකයා මත නොවැටෙන තරම්.

තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන ආකාරය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා. ඒ නිසා, ඇමරිකාව මෑතකදී කළා වගේ පොදුවේ සියලුම භාණ්ඩ වලට තීරු බදු ගහද්දී එහි සමස්ත බලපෑම ඇස්තමේන්තු කරන එක සංකීර්ණ වැඩක්. ධවල මන්දිරය විසින් උපකල්පනය කරලා තිබුණේ බදු නිසා මිල මත ඇති වන බලපෑම 25%ක් කියලයි. එයින් අදහස් වන්නේ ඇමරිකන් රජය විසින් තීරු බදු ලෙස ඩොලර් 100ක් අය කර ගනිද්දී එයින් ඇමරිකන් පාරිභෝගිකයාට ගෙවන්න වෙන කොටස ඩොලර් 25ක් පමණයි කියන එකයි. ඉතිරි ඩොලර් 75 විදේශ රටවල් වලින් අය කෙරෙන බද්දක්. නමුත් සමහර අය පෙන්වා දී සහ තර්ක කර තිබුණේ මෙම අනුපාතය 93%ක් තරම් ඉහළ අනුපාතයක් බවයි.

තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන බව න්‍යායාත්මකව පෙන්වා දිය හැකි වුවත් ඒ කවර අනුපාතයකින්ද කියා සොයා ගන්න වෙන්නේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පමණයි. ඉහත කී 25% හා 93% වැනි ඇස්තමේන්තු වලට පදනම් වී තිබුණේ එවැනි දත්ත විශේලේෂණ. එහෙත්, අදාළ ඇස්තමේන්තු සකස් කර තිබුණු තත්ත්වයන් මෑතකාලීන ඇමරිකන් තීරුබදු පැනවීමට හරියටම සමාන තත්ත්වයන් නෙමෙයි.

පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ තීරුබදු ආදායම ඩොලර් බිලියන 27 දක්වා ඉහළ ගියා. එය පෙර වසරේ ජූනි මාසයට සාපේක්ෂව ඩොලර් බිලියන 21ක වැඩි වීමක්. මේ වන විට නිකුත් වී ඇති 2025 ජූලි සංඛ්‍යාලේඛණ අනුව, එම මාසයේ තීරු බදු ආදායමද ඩොලර් බිලියන 28 දක්වා ඩොලර් බිලියන 21කින් වැඩි වී තිබෙනවා. මේ අනුව, පසුගිය මාස දෙකේ වැඩි කළ තීරු බදු වල බලපෑම ඩොලර් බිලියන 42ක් සේ සැලකිය හැකියි.

ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30ක් පමණ වෙනවා. මාස දෙකට ඩොලර් ට්‍රිලියන 5ක් පමණ. ඒ අනුව, වැඩි වූ තීරු බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.84%ක්. දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානුවන් විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වැය කළ මුදල සේ සැලකුවහොත්, ඉහත සඳහන් ඩොලර් බිලියන 42ක තීරු බදු බර මුලුමනින්ම දැරුවේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින්නම්, ඒ හේතුව නිසා සමස්ත මිල මට්ටම 0.84%කින් පමණ ඉහළ යා යුතුයි. ඔවුන් මත පැටවුණේ එම බරෙන් කොටසක් පමණක්නම් සමස්ත මිල මට්ටමෙහි අනුපාතික ඉහළ යාමක් සිදු වී තිබිය යුතුයි.

මේ වන විට ප්‍රකාශිතව ඇති පාරිභෝගික මිල දර්ශක දත්ත අනුව, 2025 ජූනි මාසයේදී සමස්ත මිල මට්ටමේ ඉහළ යාම 0.3%ක් පමණද, ජූලි මාසයේදී එම ඉහළ යාම 0.2%ක් පමණද වෙනවා. එකතුව 0.48%ක්. ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තබා ගැනීමට බැවින් මාස දෙකක කාලයක් ඇතුළත මිල මට්ටම 0.33%කින් ඉහළ යාම එම ඉලක්කය හා ගැලපෙන සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය දෙමස තුළ මිල මට්ටම තුළ දැකිය හැක්කේ ඊට වඩා සුළු වැඩි වීමක් පමණයි. ඒ නිසා, ජූනි මාසයේදී මෙන්ම ජූලි මාසයේදීද ඇමරිකාවේ උද්ධමනය 2.7% මට්ටමට සීමා වී තිබෙනවා. මීට සාපේක්ෂව, 2022දී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා. 

මේ අනුව දැනට පෙනී යන්නේ අලුත් තීරු බදු වලින් වැඩි කොටසක් ඇත්තටම ගෙවා තිබෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින් නොවන බවයි. ධවල මන්දිරයේ 25% ඇස්තමේන්තුව ඇතැම් විට නිවැරදි වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය ඇමරිකන් ආණ්ඩුවට දැන් යන මාර්ගයේම තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට ධෛර්යය සපයන්නක්. 

මෙම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන්නට පෙර, තීරු බදු පැනවූ අළුතම, අප විසින් කියා ඇති එක් දෙයක් මෙම දත්ත වලද උදවුවෙන් නැවත අවධාරණය කළ හැකියි. එනම්, ඇමරිකාවේ අලුත් තීරුබදු නිසා ඇමරිකන් පාරිභෝගිකයින්ට දැනෙන බලපෑමක් සිදු නොවන බවයි. එමෙන්ම ඇමරිකන් ආණ්ඩුවට ඇමරිකාවේ පාරිභෝගිකයින් කෙරෙන් පීඩනයක් ඇති වීමේ ඉඩක් නොමැති බවයි. 

Thursday, July 10, 2025

සීයට තිහේ අලුත් බද්ද

මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට මැදිහත් වී මේ බද්ද මීට වඩා අඩු කර ගැනීමේ විභවයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. වෙන ආණ්ඩුවක් තිබුණත් බොහෝ විට මේ ප්‍රතිඵලයේ වෙනසක් සිදු වෙන එකක් නැහැ.

බද්ද පැනවීමෙන් පසුව ආණ්ඩුව කටයුතු කළ ආකාරයේ කියන්න වැරැද්දක් නැහැ. මේ බද්ද තනිකරම මෙන් ඇමරිකාවේ ඒකපාර්ශ්වික තීන්දුවක්. රාජ්‍ය නායකයින්ට ලිපි ලියා තිබෙන ආකාරයෙන්ම මේ තීරණයේ අධිපතිවාදී ස්වරූපය පැහැදිලිව පෙනෙනවා. ඇමරිකාවේ ආණ්ඩුව විසින් තනිව තීරණය කර නියෝග ස්වරූපයෙන් ඒ තීරණය දැනුම් දීමකුයි මෙහිදී සිදු වී තිබෙන්නේ.

මේ වගේ අවස්ථාවකදී දැක්විය හැකි ප්‍රතිචාර වර්ග දෙකක් තිබෙනවා. එකක් ඇමරිකාවේ තීරණයට ප්‍රතිරෝධය දැක්වීම. චීනය වැනි රටවල් විසින් කළේ එයයි. දෙවන ක්‍රමය කණ පාත් කරගෙන ඇමරිකාව කියන දේ පිළිගැනීම. 

ඔය ක්‍රම දෙකෙන් ලංකාව හමුවේ තිබුණු හොඳම ප්‍රතිචාරය දෙවැන්නයි. ඊට හේතුව ඇමරිකාව ලංකාවට සාපේක්ෂව සුපිරි බලවතෙක් වීම නෙමෙයි. ඇමරිකාව හා ලංකාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වීය වෙළඳාම ලංකාවට ඉතාම වාසි සහගත එකක් වීමයි. මේ බද්ද නිසා ඒ වාසිය අඩු වුනත්, තවදුරටත් මේ වෙළඳාමේ වාසිය තියෙන්නේ ලංකාවටයි. 

ප්‍රතිරෝධයක් දක්වන්න ගියානම් වෙන්නේ දැනට තිබෙන වාසියත් නැති වෙන එක. කරන්න ඉතිරි වී තිබුණේ කණ පාත් කරගෙන "හරි සර්. අපි කරන්න ඕනෑ මොකක්ද?" කියලා අහන එක විතරයි. ආණ්ඩුව විසින් කරන්න ඇත්තේ එයයි. එහෙම කළානම් එහි වැරැද්දක් නැහැ. 

දෙවන වටයේ තීරු බදු අනුපාත තීරණය කිරීම් තවමත් අවසන්ව නැතත් දැනට ප්‍රකාශිත අනුපාත දෙස බලද්දී සංශෝධන සිදුව ඇති ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. පළමු වටයේ තීරු බදු තීරණය කර තිබුණේ ඉතාම යාන්ත්‍රික ලෙස සමීකරණයක් අනුවයි. සමීකරණය නිවැරදිද යන්න වෙනම ප්‍රශ්නයක්. එම තීරු බදු වලට භූ දේශපාලනය සම්බන්ධ වී තිබුණේ නැහැ. 

දෙවන වටයේදී සිදුව තිබෙන්නේ මුල් වටයේ යාන්ත්‍රික ලෙස තීරණය කළ බදු වෙනත් කරුණුද සලකා සීරුමාරු කිරීමක්. එහිදී ලංකාව වැනි ඇතැම් රටවලට මේ බදු නිසා සිදු විය හැකිව තිබුණු හානිය සීමා වී තිබෙනවා. එසේ ලංකාව වැනි රටවලට සිදු විය හැකි හානිය සීමා කර තිබෙන්නේ එයින් ඇමරිකාවට ලොකු පාඩුවක් සිදු නොවන නිසා. දෙවන වටයේ බදු සංශෝධන කිරීමේදී සලකා බලා ඇති කරුණු කිහිපයක් හඳුනා ගන්න පුළුවන්.

- රටවල් වැඩි ගණනක් 25%, 30%, 35% වැනි සමාන බදු කාණ්ඩ වලට දැමීම. මෙය ඇමරිකාවට පරිපාලනමය වශයෙන් පහසුයි.

- ආසන්න රටවල් අතර තීරුබදු වෙනස්කම් අඩු කිරීම. මේ මගින් වෙනත් රටවල් හරහා ඇමරිකාවට භාණ්ඩ එවීම සීමා කරගන්න පුළුවන්. කොයි තරම් වහසිබස් දෙඩුවත් ඔය වැඩේ වෙන එක පරිපාලනමය ලෙස පාලනය කරන්න අමාරුයි. නමුත් තීරු බදු වෙනස්කම් සීමා කිරීම මගින් මෙය කළ හැකියි. මෙහිදී භූගෝලීය සහ වෙළඳ සබඳතා යන නිර්ණායක දෙකම සලකමින් ආසන්න රටවල් නිර්ණය කර තිබෙනවා.

- ලෝක වෙළඳ ක්‍රමයේ සුසමාදර්ශ වෙනසක් වන මෙම තීරු බදු හේතුවෙන් සිදු වන වෙළඳපොළ නැවත සකස්වීමේ කම්පනය අවම කිරීම.

මේ සියල්ල කර තිබෙන්නේ ඇමරිකාවේම වාසියට වුනත්, දෙවන හා තුන්වන කරුණු දෙක නිසා ලංකාවට සිදු විය හැකි හානිය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

ලංකාවේ අපනයන වලින් 22%ක් පමණම මිල දී ගන්නේ ඇමරිකාවයි. එයින් 75%ක් පමණම ඇඟලුම්. ඉතිරි කොටසේ රබර් නිෂ්පාදන, තේ, මැණික් ඇතුළු තවත් දේ තිබෙනවා. වෙනත් බොහෝ දේ ඇමරිකාවට අපනයනය කෙරෙන නමුත් ලංකාවේ ආර්ථිකයට ලොකුම බලපෑමක් වෙන්නේ ඇඟලුම් අපනයන වලිනුයි.

ලංකාවේ අපනයන වලින් විශාල පංගුවක්, හයෙන් පංගුවක් පමණ, ඇමරිකාවට සිදු කරන ඇඟලුම් අපනයන වුනත් ඇමරිකාවේ ඇගලුම් ආනයන වලින් ලංකාවේ පංගුව 1.5%ක් පමණයි. ඇමරිකාවට ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන රටවල් දහය අතර ලංකාව නැහැ. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් නැත්තටම නැති වුනත් එය ඇමරිකාවට දැනෙන්නේ නැහැ.

ඇමරිකාවට ඇඟලුම් එවන ප්‍රධානම රටවල් වන්නේ චීනය හා වියට්නාමයයි. අසල්වැසි ඉන්දියාව, බංග්ලා දේශය සහ පකිස්ථානයත් මුල් රටවල් දහය අතර ඉන්නවා. කලාපයක් ලෙස ඇමරිකාවට වැඩිපුරම ඇඟලුම් එවන්නේ ආසියාව වුවත්, දකුණු ඇමරිකාවේ භූමිකාව නොසලකා හරින්න බැහැ. මෙක්සිකෝව වගේම නිකරගුවා, හොන්ඩියුරාස් වගේ රටවලුත් ඉන්නේ ලංකාවට උඩින්. පහත තිබෙන්නේ ඇමරිකාවට ඇඟලුම් එවන රටවල වෙළදපොළ පංගු.

චීනය - 29.6% 

වියට්නාමය - 12.7%

ඉන්දියාව - 8.0%

බංග්ලා දේශය - 6.1% 

මෙක්සිකෝව - 4.5%

ඉන්දුනීසියාව - 3.9% 

පකිස්ථානය - 3.3%

කාම්බෝජය - 3.0% 

ඉතාලිය - 2.8%

තුර්කිය - 2.2%

හොන්ඩියුරාස් - 2.2%

නිකරගුවා - 1.5%

ශ්‍රී ලංකාව - 1.5% 

ජෝර්දානය - 1.4%

කැනඩාව -1.4%

එල් සැල්වදෝර් - 1.4%

ගෝතමාලාව - 1.3%

ඊජිප්තුව - 1.2%

දකුණු කොරියාව - 1.1% 

තායිලන්තය - 1.0% 

දැනට ප්‍රකාශිත තොරතුරු අනුව මේ ලැයිස්තුවේ ඇති ආසියානු රටවල් සඳහා බලපාන තීරු බදු අනුපාතය 30%කට ආසන්නයි. ඒ නිසා ලංකාවේ ඇඟලුම් කම්හල් කලාපයේ රටකට විතැන් වීමේ අවදානමක් ලොකුවට පෙනෙන්න නැහැ. ඉන්දියාවට මුල් වටයේ දමා තිබුණේ 26%ක තීරු බද්දක්. එය ලොකුවට අඩු වුනේ නැත්නම් අවසාන වශයෙන් බලද්දී කලාපයේ තීරුබදු අනුපාත කැරකෙන්නේ 30% සීමාව ආසන්නයේ. 5%ක වෙනසකට ආයෝජන රටකින් රටකට ගෙනියන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් කම්හල් කලාපයේ අනෙක් රටවලට විතැන් වීමේ අවදානමක් ලොකුවට පෙනෙන්න නැහැ. 

පොදුවේ ආසියානු කලාපය සඳහා වන තීරුබදු 30% සීමාව ආසන්නයේ තියෙද්දී, දකුණු ඇමරිකානු රටවල් සඳහා පැනවෙන්නේ 10%ක තීරු බද්දක් පමණයි. ඒ නිසා, ඇඟලුම් කම්හල් ආසියානු කලාපයේ සිට දකුණු ඇමරිකානු කලාපය දක්වා විතැන් වීමේ විභවයක් තිබෙනවා. එසේ සිදු වීම ඇමරිකාවේ භූ දේශපාලනික අරමුණු එක්කත් පෑහෙනවා. 

මෙයින් අදහස් වෙන්නේ තීරුබදු පැනවීමෙන් පසුව ලංකාවේ තිබෙන කම්හල් ගලවාගෙන ගිහින් දකුණු ඇමරිකාවේ තියයි කියන එක නෙමෙයි. එවැන්නක් සිදු වනු ඇත්තේ වඩා සුමට ආකාරයකිනුයි. ඉදිරි වසර වලදී අලුතෙන් ඉදි කෙරෙන ඇගලුම් කම්හල් ආසියාවට නොපැමිණ දකුණු ඇමරිකාවට යන්න පුළුවන්. ඒ වගේම ආසියානු කලාපයේ ඇඟලුම් කම්හල් විශාලනය කිරීම් නවතින්න පුළුවන්. ඇඟලුම් කර්මාන්තයේ ප්‍රතිලාභ නැවත රට තුළම ආයෝජනය කිරීම සීමා වෙන්න පුළුවන්.

ඇඟලුම් කම්හලක් වැහෙද්දී මෙන් මේ දේවල් ඇහැට පෙනෙන එකක් නැහැ. නමුත් ආයෝජන අඩු වෙනවා කියන්නේ ආර්ථික වර්ධනය සීමා වෙනවා කියන එක. ඒ වගේම විණිමය වෙළඳපොළ තුළ පීඩනය ඉහළ යනවා කියන එක. මේ බලපෑම් ඉදිරි වසර කිහිපය තුළ ඇති වෙන්න පුළුවන්. 

Thursday, April 10, 2025

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?


ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු ගහන නිසා මේ වගේ දෙයක් කරන්න සිදු වුනු බව ජනාධිපති ට්‍රම්ප් විසින් කිවුවත්, ඇත්තටම බදු ලෙස සලකා තිබුණේ වෙළඳ හිඟය. ඉලක්ක කර තිබුණේ වෙළඳ හිඟය අඩු කර ගැනීම. එක් එක් රට සඳහා බද්ද නිර්ණය කර තිබුණේ වෙළඳ හිඟය අඩු කර ගැනීමේ ඉලක්කය මත පදනම්වයි. 

දැන් දින 90කට යම් බදු අත්හිටවීමක් කර තිබුණත්, එම දින 90 ගත වූ පසු නැවත කලින් හිටපු තැනට පැමිණීමේ ඉඩක් නැහැ. ඒ වගේම, බදු අත් හිටවීම බලපාන්නේ රටවල් සීමිත ප්‍රමාණයකට පමණයි. ලංකාවත් ඒ ගොඩේ ඉන්නවා. වැඩි බදු අත් හිටවා තිබුණත් 10%ක අවම බද්දක්‌ දැනටත් ක්‍රියාත්මකව තිබෙනවා. 

කැනඩාවට, මෙක්සිකෝවට සහ චීනයට (20%ක්) මුල් වටයේදී බදු පැනවූවා. කැනඩාවට හා මෙක්සිකෝවට පනවා තිබෙන බදු වෙළඳ ගිවිසුමකින් (USMCA) ආවරණය වන භාණ්ඩ වලට අදාළ වන්නේ නැහැ. චීනයට දෙවන වටයේදී තවත් 34%ක බද්දක් පැනවුවා. මේ වන විට චීන භාණ්ඩ මත අය කරන බද්ද 125% දක්වා වැඩි කර තිබෙනවා. 

පහත තිබෙන්නේ ලෝක බැංකු දත්ත අනුව විවිධ රටවල් විසින් ආනයන මත අය කරන බරිත සාමාන්‍ය බදු ප්‍රතිශතයි. මේවා 2022 දත්ත නිසා ඇතැම් රටවල මෙම ප්‍රතිශත මේ වෙද්දී වෙනස් වෙලා තියෙන්න පුළුවන්. වරහන් තුළ තිබෙන්නේ මේ එක් එක් රටට ඇමරිකාව විසින් පළමු වට දෙකේදී පැනවූ අමතර බදු ප්‍රමාණය. 

ඇමරිකා එක්සත් ජනපදය - 1.5%

එක්සත් රාජධානිය - 1.0% (10%)

යුරෝපීය සංගමය - 1.3% (20%)

ජපානය - 1.6% (24%)

වියට්නාමය - 1.1% (46%)

චීනය - 2.2% (20% + 34%)

කැනඩාව - 1.4% (25%*)

මෙක්සිකෝව - 1.6% (25%*)

ඉන්දියාව - 4.6% (26%)

බංග්ලා දේශය - 10.6% (37%)

පකිස්ථානය - 7.6% (29%)

මියන්මාරය - 0.8% (45%)

නේපාලය - 11.2% (10%)

ආජන්ටිනාව - 6.5% (10%)

බ්‍රසීලය - 7.3% (10%)

සිංගප්පූරුව - 0.0% (10%)

ශ්‍රී ලංකාව - 4.4% (44%)

තායිලන්තය - 3.7% (36%)

ඉහත දත්ත දෙස බැලූ විට පෙනෙන්නේ තීරු බදු අනුපාතික සහ වෙළඳ ශේෂය මත පදනම්ව පනවා ඇති අමතර බදු අතර කිසිදු නිශ්චිත සම්බන්ධයක් නොමැති බවයි. 10%ක අමතර බද්දක් එකතු වීමෙන් පසුව ඇමරිකාවේ තීරු බදු අනුපාතය ලෝකයේ රටවල් බොහොමයක සාමාන්‍ය තීරු බදු අනුපාතික ඉක්මවා යනවා. ඒ නිසා, ද්විපාර්ශ්වික සාකච්ඡා මගින් එකඟතාවයක් ඇති කර ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. 

ඉහත දත්ත වල ලංකාවේ බදු අනුපාතය 4.4% ලෙස සඳහන්ව තිබෙන්නේ 2022 දත්ත මත පදනම්වයි. පසුගිය 2024 වසරේදී ලංකාවේ තීරු බදු ආදායම රුපියල් බිලියන 111.1ක් වන අතර, ජාත්‍යන්තර වෙළඳාම මත පදනම් වූ මුළු බදු ආදායම රුපියල් බිලියන 400.1ක්. රුපියල් බිලියන 5,685.5ක මුළු ආනයන ප්‍රමාණයේ ප්‍රතිශත ලෙස මෙම බදු ප්‍රමාණ පිළිවෙළින් 2.0%ක් සහ 7.0%ක් වෙනවා. දෙවන ගණන තුළ අපනයන මත අය කරන බදුද ඇතුළත්ව තිබෙන බැවින් ආනයන මත අය කරන බදු ප්‍රමාණය ඊට වඩා අඩු විය යුතුයි. 

ආනයන මත ලංකාව විසින් අය කරන බදු අනුපාතය 0% දක්වා අඩු කළද වෙළඳ ශේෂය තුලනය වීමේ කිසිදු ඉඩක් නැහැ. අනෙකුත් රටවල් මත ඉහළ තීරු බදු අය කරන අතර, ඇමරිකාව මත එසේ බදු අය නොකරන්නේනම් පමණක් ඇමරිකාව සමඟ පවතින ද්විපාර්ශ්වීය වෙළඳ හිඟය අඩු කර ගත හැකි වනු ඇතත් එයද කිසිසේත්ම ප්‍රායෝගික අදහසක් නෙමෙයි.

වෙබ් ලිපිනය: