වෙබ් ලිපිනය:

Showing posts with label ශ්‍රමික ප්‍රේෂණ. Show all posts
Showing posts with label ශ්‍රමික ප්‍රේෂණ. Show all posts

Sunday, April 26, 2026

විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය


පසු ගිය සංගණන දිනය වන විට ආපසු පැමිණීමේ අදහස අත නොහැර විදේශගතව වාසය කළ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 672,249ක් ලෙස ගණන් කර තිබෙනවා. මෙම ගණනට,

- මාස හයකට අඩු කාලයක් සඳහා විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළත් වන්නේ නැහැ. ඒ කියන්නේ විදේශගතව වාසය කළ අය මිස තාවකාලිකව විදේශ සංචාර වල යෙදුණු අය ගණන් ගෙන නැහැ. 

- කිසියම් විදේශ රටක පුරවැසි භාවය හෝ ස්ථිර පදිංචිය ලබා ගෙන ඇති අයද ගණන් ගෙන නැහැ. ඒ කියන්නේ ආපසු පැමිණීමේ අදහසක් නොමැති අයව ගණන් ගෙන නැහැ. 

එමෙන්ම, මෙම ගණන් ගැනීම සිදු කර තිබෙන්නේ පවුලේ සාමාජිකයින්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම්ව බැවින්, පවුල පිටින්ම විදේශගත වී ඇති අය පිළිබඳ තොරතුරු මෙම ගණනට ඇතුළත්ව නැහැ. ඒ නිසා, මෙය සැලකිය හැක්කේ විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය පිළිබඳ අවම ඇස්තමේන්තුවක් ලෙසයි.

මෙම ප්‍රමාණයෙන් 94.7%ක්ම වයස අවුරුදු 18-60 අතර අයයි. ඔවුන්ගෙන් 577,919 දෙනෙකු (මුළු ප්‍රමාණයෙන් 86.0%ක්) රැකියා සඳහා විදේශගතව සිටින අතර 53,621දෙනෙකු (මුළු ප්‍රමාණයෙන් 8.0%ක්) අධ්‍යාපනය සඳහා විදේශගතව සිටිනවා. පවුලේ සාමාජිකයින් සමඟ විදේශගතව ඇති ප්‍රමාණය 38,218ක්.

මුළු විදේශගත පුද්ගලයන්ගෙන් 12.8% ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර 10.6%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් විදේශගත වී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම ප්‍රතිශතය 9.5%ක් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ 8.5%ක්.

රටවල් අනුව ව්‍යාප්තිය පහත පරිදියි.

කුවේට් - 15.2%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 14.8%

සවුදි අරාබිය - 11.6%

කටාර් - 10.5%

ඉතාලිය - 6.0%

ජපානය - 5.4%

ඕස්ට්‍රේලියාව - 5.0%

දකුණු කොරියාව - 3.5%

එක්සත් රාජධානිය - 2.8%

කැනඩාව - 2.3%

මාල දිවයින - 1.8%

ඕමානය - 1.8%

ඇමරිකා එක්සත් ජනපදය  - 1.7%

මැලේසියාව - 1.6%

ඊශ්‍රායලය - 1.4%

ජෝර්දානය - 1.2%

අනෙකුත් රටවල් - 13.4%

- රැකියා සඳහා විදේශගතව සිටින කාන්තාවන්ගෙන් 34.3%ක්ම සිටින්නේ කුවේටයේ වන අතර, සවුදි අරාබියේ 18.4%කුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 12.7%කුත් වාසය කරනවා. ඉතාලියේ රැකියා කරන කාන්තාවන් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 4.8%ක්. 

- රැකියා සඳහා විදේශගතව සිටින පිරිමින්ගෙන් 18.3%ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, 16.8%ක් කටාර්හිද, 10.0%ක් සවුදි අරාබියේද ජීවත් වෙනවා. කුවේට්හි තවත් 7.8%ක්ද, ඉතාලියේ 6.3%ක්ද සේවය කරනවා.

- අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 24.1%කගේ ගමනාන්තය ඕස්ට්‍රේලියාව වන අතර 21.3%කගේ ගමනාන්තය ජපානයයි. එක්සත් රාජධානිය සහ කැනඩාව බලා ගොස් ඇති ප්‍රමාණ පිළිවෙලින් 9.0%ක් සහ 7.4%ක්. 

- පවුලේ සාමාජිකයෙකු සමඟ වාසය කිරීම සඳහා පිටව ගොස් ඇති අයගෙන් 14.5%ක් ඉතාලියේ වාසය කරන අතර 11.2%ක් ඕස්ට්‍රේලියාවේත්, තවත් 11.2%ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් වාසය කරනවා. තවත් 9.1%ක් එක්සත් රාජධානියේ සිටිනවා. 

පසුගිය (2025) වසර තුළ ලංකාවට වැඩිපුරම විදේශ ප්‍රේෂණ පැමිණි රටවල් දහය මෙලෙස පෙළ ගැස්විය හැකියි.

කුවේටය - ඩොලර් මිලියන 839.80 (10.4%)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 822.46 (10.2%)

සවුදි අරාබිය - ඩොලර් මිලියන 747.82 (9.3%)

එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 717.89 (8.9%)

කටාර් - ඩොලර් මිලියන 657.47 (8.1%)

ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 559.24 (6.9%)

ඉතාලිය - ඩොලර් මිලියන 540.14 (6.7%)

දකුණු කොරියාව - ඩොලර් මිලියන 484.47 (6.0%)

ඕස්ට්‍රේලියාව - ඩොලර් මිලියන 373.94 (4.6%)

ඊශ්‍රායලය - ඩොලර් මිලියන 280.10 (3.6%)

Monday, April 20, 2026

විදේශ අංශයේ අනාගත අභියෝග


මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ, වසරේ අප්‍රේල් 19 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 828,845කට සීමා වී තිබෙනවා. පසු ගිය වසරේ එම කාලය තුළ සංචාරකයින් 841,103 දෙනෙකු රටට පැමිණ තිබුණා.

යුද තත්ත්වය ඇති වීමට පෙර, වසරේ පළමු මාස දෙකක කාලය තුළ, රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ පෙර වසරට සාපේක්ෂව 12.9%ක වර්ධනයක් දැකිය හැකිව තිබුණා. එහෙත් ඉන් පසු කාලය තුළ 21.8%ක අඩු වීමක් සිදු වී ඇති හෙයින් සමස්තයක් ලෙස මෙම අඩු වීම පෙනෙන්නට තිබෙනවා. 

වසරේ පළමු කාර්තුවේ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ඩොලර් 954.0ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මෙම අගයෙහි පෙර වසරට සාපේක්ෂව 15.0%ක අඩු වීමක් පෙන්නුම් කරනවා. මාර්තු මාසය පමණක් සලකද්දී සංචාරක කර්මාන්තයේ ඉපැයීම් වල, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව, 36.8%ක අඩු වීමක් පෙන්නුම් කරනවා. මෙය ඩොලර් මිලියන 130.3ක අඩු වීමක්. 

මාර්තු මාසයේ ශ්‍රමික ප්‍රේෂණ, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව, ඩොලර් මිලියන 121.5කින් වැඩි වී තිබුණු නිසා මාර්තු මාසය තුළ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් අඩු වීමෙන් විදේශ අංශයට සිදු විය හැකිව තිබුණු හානිය යම් තරමකින් නිශේධනය වී තිබුණු අතර වසරේ පළමු කාර්තුව තුල සමස්තයක් ලෙස ශ්‍රමික ප්‍රේෂණ වල 26.5%ක වර්ධනයක් දැකිය හැකිව තිබුණා. ඉදිරි කාලයේදී යුද තත්ත්වය ශ්‍රමික ප්‍රේෂණ කෙරෙහිද යම් බලපෑමක් ඇති කළහොත් විදේශ අංශය මත පීඩනය තවත් ඉහළ යනවා.

මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාවෙන්නට ඉඩ හැරීම මගින් විදේශ අංශයේ තුලනය පවත්වා ගනිමින් සිටිනවා. මේ වන විට (අප්‍රේල් 20) ඩොලරයක සාමාන්‍ය විකිණුම් මිල රුපියල් 320 සීමාව ඉක්මවා ඇති අතර මැදි මිල රුපියල් 316.44 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යුද තත්ත්වය අවසන් වුවද සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් වීම සඳහා යම් කාලයක් ගත විය හැකියි.

මෙම අර්බුද තත්ත්වය තුළ, ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතව සිටීමේ වාසිය පැහැදිලිව දකින්නට පුළුවන්. පසුගිය සතිය තුළ මූල්‍ය අරමුදලේ වසන්ත සැසිවාර අවසන් වූ අතර, ඊට පෙර ශ්‍රී ලංකාවේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළ පස් වන හා හයවන විමර්ශන අවසන්ව පැවති බැවින්, ඉතා ඉක්මණින්ම මූල්‍ය අරමුදලේ හයවන හා හත්වන ණය වාරික දෙක එක වර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. 

හයවන ණය වාරිකය ලැබෙන්නට නියමිතව තිබුණේ පසු ගිය වසරේදී වුවත්, දිත්වා හානියෙන් පසුව ගන්නට සිදු වූ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් එම වාරිකය ලබා ගැනීම ප්‍රමාද වුනා. කෙසේ වුවද, හයවන සහ හත්වන වාරික එක වර ලබා ගැනීම සඳහා මේ වන විට නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගෙන අවසානයි. මෙම වාරික දෙකට අමතරව, මෙම වසර තුළම, මූල්‍ය අරමුදලේ අටවන වාරිකයද ලැබෙන්නට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඉතා ඉක්මණින්ම ඩොලර් මිලියන 700ක පමණ මුදලක් සංචිත වලට එකතු වනු ඇති අතර, වසර අවසන් වන විට තවත් ඩොලර් මිලියන 350ක පමණ මුදලක් එකතු වීමට නියමිතව තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් පසුව, 2023 මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය අනුව, 2026 සැප්තැම්බර් 1 දින අටවන වාරිකය ලැබිය යුතු අතර එය ලබා ගැනීම සඳහා ඊට පෙර හත් වන විමර්ශනය අවසන් විය යුතුයි. නවවන හා අවසන් වාරිකය ලැබෙන්නට නියමිතව තිබෙන්නේ 2027 මාර්තු 1 දිනයි. 

වැඩ සටහන ආරම්භයේදී ඉලක්ක කළ පරිදි, 2026 වසර අවසාන වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 10,888 දක්වාත්, 2027 අවසන් වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 14,208 දක්වාත් ඉහළ යා යුතුව තිබුණා. පසු ගිය දෙසැම්බර් මාසයේදී මූල්‍ය අරමුදල විසින් යාවත්කාලීන කර තිබුණු ඇස්තමේන්තු අනුව, 2026 අවසානයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,884ක් වීමට නියමිතව තිබුණු අතර 2027 අවසානයේදී එම අගය ඩොලර් මිලියන 13,371ක්. 

යුද තත්ත්වය දිගටම පැවතුණහොත් මෙම වසර අවසානයේදී ඩොලර් මිලියන 8,884ක සංචිත ඉලක්කය කරා වුවද යාමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. ඒ අනුව, ඉදිරි වසර මුල මූල්‍ය අරමුදලේ වැඩ සටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුවද, රටේ විදේශ අංශය මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව ස්ථාවරව පවත්වා ගැනීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. මහ බැංකුව විසින් ජංගම ගිණුම ඉලක්ක ඉක්මවා සාර්ථකව කළමනාකරණය කර ගැනීමෙන් අනතුරුවද මෙවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මුලින් අපේක්ෂා කළ පරිදි විදේශ ආයෝජන රටට පැමිණ නොතිබීමයි. 

අපේක්ෂිත තරමට ආයෝජන රටට නොපැමිණ තිබීම මගින් පෙන්නුම් කරන්නේ විදේශ ආයෝජකයින්ගේ පැත්තෙන් බලද්දී ආයෝජන සඳහා ප්‍රමාණවත් තරම් හිතකර වාතාවරණයක් තවමත් රටේ නොමැති බවයි. එමෙන්ම, මුල් සැලසුම පරිදි, 2027දී නැවතත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කළ හැකි වාතාවරණයක් ඇති වන බවක්ද දැනට පෙනෙන්නට නැහැ. මේ තත්ත්වය තුළ රටේ විදේශ අංශයේ අර්බුදයකට නැවතත් පාර කැපෙන බවක් අදහස් වන්නේ නැතත්, මූල්‍ය අරමුදල සමඟ දැනට පවතින ගිවිසුම අවසන් වෙද්දී නැවතත් අලුත් ගිවිසුමකට යන්නට අවශ්‍ය වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 

මැද පෙරදිග යුද තත්ත්වය වාසියකට හරවා ගනිමින් කොළඹ වරාය නගරයට සහ අනෙකුත් ප්‍රදේශ වලට ආයෝජන ආකර්ශනය කර ගත හැකිනම් මේ තත්ත්වයේ යම් වෙනසක් සිදු කර ගත හැකියි. යුද තත්ත්වයන් හමුවේ සාමය විකිණීම ලංකාව විසින් කාලයක් තිස්සේම සාර්ථකව සිදු කර ඇති රාජ්‍යතාන්ත්‍රික කාර්යයක්.

Saturday, February 7, 2026

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්


විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි මාසය තුළ ඩොලර් මිලියන 751.1ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට පැමිණ තිබෙනවා. මෙය පසුගිය වසරේ ජනවාරි මාසය එක්ක බලද්දී 31.1%ක වර්ධනයක්. ජනවාරි මාසයකදී ලැබුණු වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මෙය විය යුතුයි.

ජනවාරි මාසය තුළ රටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණයද 277,327ක් ලෙස වාර්තා වෙනවා. මෙයද ජනවාරි මාසයකදී පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය. ඒ වගේම එම පැමිණීම් වල පසුගිය වසර එක්ක බලද්දී 9.7%ක වර්ධනයක් දකින්න පුළුවන්. නමුත්, සංචාරක කර්මාන්තයේ ආදායම් වලනම් පසුගිය වසරට සාපේක්ෂව 5.6%ක අඩු වීමකුයි දකින්න තියෙන්නේ. 

මහ බැංකුව විසින් ජනවාරි මාසය තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 200.3ක් මිල දී ගෙන තිබෙනවා. ඒ අනුව, මේ වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා තියෙන්න පුළුවන්. 

ජනවාරි ශ්‍රමික ප්‍රේෂණ වලද දිත්වා බලපෑම යම් තරමකින් තිබෙනවා විය හැකියි. එය එසේ නොවන්නේනම්, මෙය ඉතාම හොඳ තත්ත්වයක්. පෙබරවාරි මාසයේදී ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අනුව මේ ගැන වඩා හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. 

ආර්ථික අර්බුදයෙන් පසුව සිදු වූ විදේශගත වීම් ප්‍රමාණය සලකද්දී ශ්‍රමික ප්‍රේෂණ වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වීම අනපේක්ෂිත තත්ත්වයක් නෙමෙයි. පසුගිය වසරේ ලැබුණු මුළු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 8,076.2ක් තරම් ප්‍රමාණයක්. ජනවාරි මාසයේ 31.1%ක වර්ධනයට හේතුව දිත්වා බලපෑම කියා සැලකුවත්, මේ වර්ධනය මුළුමනින්ම දිත්වා බලපෑම සේ සලකන්න බැහැ. ඒ බලපෑම ඉවත් කළ පසු සාමාන්‍ය ඓන්ද්‍රීය වර්ධනය 11.4%ක් ලෙස සැලකුවත් මේ අවුරුද්ද ඇතුළත ඩොලර් බිලියන 9 ඉක්මවන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීමේ විභවයක් තිබෙනවා. 

ලංකාවේ විදේශ අංශය මත ශ්‍රමික ප්‍රේෂණ වල බලපෑම එන්න එන්නම වැඩි වෙමින් තිබෙනවා. මෙහි හොඳ පැත්තක් වගේම නරක පැතිත් තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙනවා කියන්නේ ඩොලර් සැපයුම වැඩි වී ඩොලරයක මිල පහළට තෙරපෙනවා කියන එක. එසේ වෙද්දී මහ බැංකුව විසින් ප්‍රමාණවත් මැදිහත් වීමක් කළේ නැත්නම් ඒ විදිහට රටට එන ඩොලර් ප්‍රමාණය ආනයන ලෙස නැවත රටෙන් එළියට යනවා. රටේ අපනයන අංශ ශක්තිමත් වීමක් වෙන්නේ නැහැ. 

ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩක් වුනත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට එන ඩොලර් බිලියන 9ක් මහ බැංකුව විසින් අවුරුද්දකට එකතු කරගත්තොත් අවුරුදු හතරකින් රජයේ මුළු විදේශ ණය ප්‍රමාණයම ගෙවලා දමන්න වුනත් ඒ විදේශ විණිමය ප්‍රමාණය ප්‍රමාණවත්. නමුත් කාලයක් තිස්සේ මේ විදිහට රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ බිලියන 6ක් පමණ ආනයන වෙනුවෙන් වැය කරන්න පුරුදු වී තිබෙන නිසා ඒ විදිහට රටට එන ශ්‍රමික ප්‍රේෂණ සියල්ලම මහ බැංකුවට මිල දී ගන්න බැහැ. එහෙත්, බිලියන 6ක් පමණ ආනයන වෙනුවෙන් ඉතිරි කරලා බිලියන තුනක් පමණ මිල දී ගන්න බැරිකමක් නැහැ. එසේ කිරීම මගින් වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ වල උදවුවෙන් ආනයන වැඩි වීම වලක්වා ගන්න පුළුවන්. 

වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මහ බැංකුව විසින් එකතු කර ගන්නවානම්, ආනයන වර්ධනය වෙන්නේ අපනයන වර්ධනය වීමට සමාන්තරවයි. ඒ මගින් ස්වභාවික ලෙසම අපනයන දිරි ගැන්වීමක් සිදු වෙනවා. එසේ නොකර, වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ ආනයන සඳහා යොදා ගත හැකි පරිදි බැංකු පද්ධතිය තුළ ඉතිරි වෙන්න ඇරියොත් එයින් වෙන්නේ අපනයන වර්ධනය සීමා වෙන එකයි. මාසයකට ඩොලර් මිලියන 250 පමණ බැගින් මිල දී ගත්තොත් මහ බැංකුවට වසර ඇතුළත ඩොලර් බිලියන 3ක් පමණ මිල දී ගෙන වසර අවසන් වෙද්දී ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයෙන් 80%-90% වගේ මට්ටමකට ඉහළ දමාගන්න පුළුවන්. 

Friday, January 9, 2026

ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 8 ඉක්මවයි!


ඉතිහාසයේ පළමු වරට, පසු ගිය වසර තුළ ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 8 ඉක්මවන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා. දෙසැම්බර් මාසය තුළ පමණක් ඩොලර් මිලියන 879.1ක ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබී ඇති අතර ඒ අනුව වසර තුළ ලැබුණු මුළු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 8,076.2ක්. මෙය පෙර වසරට සාපේක්ෂව 22.8%ක වර්ධනයක්.

මීට පෙර ලංකාවට වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුනේ 2016 වසරේදීයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 7,241.5ක්. 

වසරේ පළමු මාස 11ක කාලය ඇතුළත ශ්‍රමික ප්‍රේෂණ වල 20.7%ක වර්ධනයක් සිදු වී තිබුණා. ඒ ප්‍රවණතාව අනුව වුවද, අනිවාර්යයෙන්ම මෙම වසරේ ඉතිහාසයේ වැඩිම ශ්‍රමික ප්‍රේෂණ වාර්තා වීමට නියමිතව තිබුණත්, ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට හේතු වී තිබෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ලැබුණු අමතර ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 140ක් පමණ විය හැකි බව ඇස්තමේන්තු කළ හැකියි.

මෙම වසරේ ලැබී ඇති ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7.8 ලෙස ඇතැම් තැන් වල සඳහන්ව තිබුණද එම ගණන නිවැරදි නැහැ. 

Thursday, December 18, 2025

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය


මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි. 

වසරේ අවසාන දෙසතිය තුළ සාමාන්‍යයෙන් සංචාරක පැමිණීම් වැඩි නිසා මෙම වසර, යාන්තමින් වුවත්, වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණි වසර ලෙස වාර්තා වීමට ඉඩ තිබෙනවා. එසේ වුවද, මෙම සංචාරකයින් ප්‍රමාණය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ශුභවාදී ඇස්තමේන්තුව වූ මිලියන 3 තබා අවම ඇස්තමේන්තුව වූ 2,415,000 මට්ටමට හෝ නොයන බව දැන් ඉතාම පැහැදිලියි.

නොවැම්බර් මාසය අවසානය දක්වා ඩොලර් මිලියන 7,197.1ක මුදලක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ලැබී තිබෙනවා. සාමාන්‍ය ප්‍රවණතාවය අනුව මෙන්ම, ආපදාව නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයේ බලපෑම නිසාද, දෙසැම්බර් මාසය තුළ සැලකිය යුතු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් මෙම වසර තුළ පළමු වරට ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවා යාමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා.  

මෙවැනි තත්ත්වයක් පැවතියද, විණිමය අනුපාතික වල මෑතකාලීන හැසිරීම අනුව පෙනී යන්නේ විණිමය වෙළඳපොළ තුළ යම් ආතති තත්ත්වයක් ගොඩ නැගී ඇති බවයි. මෙයට හේතුව ආපදා තත්ත්වය මෙන්ම ඉදිරි වසර තුළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර රුපියල් බිලියන 500ක අමතර මුදලක් වැය කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන්ද ඇති වූ අවිනිශ්චිතතාවය විය හැකියි. කෙසේ වුවද, මෙම මුදල වැය කිරීමේදී එයින් වැඩි කොටසක් සඳහා දැනටමත් වෙනත් කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් යෙදවීමට රජය විසින් අදහස් කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

මේ වන විට රජය විසින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති අතර ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය හෙට (දෙසැම්බර් 19 දින) රැස් වෙනවා. එම රැස්වීමෙන් පසුව අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

ඉහත ණය මුදල ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා වාරික වශයෙන් ලැබෙන ණය වලට සම්බන්ධයක් නැති, රජය විසින් අලුතෙන් ඉල්ලා තිබෙන, අමතර ණය මුදලක්. මෙම ණය මුදල ලබා දීමේදී සාමාන්‍ය "කොන්දේසි" අදාළ වන්නේ නැහැ. හදිසි ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ලබා දෙන මෙම ප්‍රවර්ගයේ ණය වසර 3.5 සිට 5 දක්වා කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු අතර, ලංකාවේ වත්මන් ණය අවදානම් තත්ත්වය අනුව, 5.4%ක් පමණ වන වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකියි.

හෙට දිනයේ ඉහත සඳහන් ඩොලර් මිලියන 200ක ණය මුදල ලැබුණහොත් රටේ නිල විදේශ සංචිත වල එපමණක වැඩි වීමක් සිදු විය හැකියි. කෙසේ වුවද, මේ අයුරින් මූල්‍ය අරමුදලේ ණය හේතුවෙන් රටේ දළ නිල විදේශ සංචිත ඉහළ යද්දී ශුද්ධ විදේශ සංචිත වල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව මහ බැංකුවේ විදේශ වත්කම් වැඩි වීමට සමානව විදේශ බැරකම් ඉහළ යාමක්ද සිදු වීමයි.

Wednesday, July 9, 2025

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ

6,600+ Dollar Bills Flying Stock Photos, Pictures & Royalty ...

ජනප්‍රිය අදහසක් සටහන් කරලා මම මේ ලිපිය පටන් ගන්නම්.

"ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා, ඒ පරතරය පියවා ගන්න ලංකාවට ණය ගන්න වෙනවා."

මේ අදහස තුළ ආනයන පාලනය කිරීම ප්‍රශ්නයට විසඳුමක්ය යන ව්‍යංගයද තිබෙනවා. 

කරුණක් ලෙස ගත්තොත් ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. එය නිවැරදියි. නමුත් ඒ නිසා ලංකාවට ණය ගන්න වෙනවා කියන එක වැරදි අදහසක් නොවේනම් අවම වශයෙන් යල් පැන ගිය අදහසක්. ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තීබූ පමණින් ලංකාව විසින් ණය ගත යුතු වන්නේ නැහැ. ඒ වගේම, ණය ගැනීම ආනයන හා අපනයන අතර විශාල පරතරයක් නඩත්තු වීමට හේතුවක් මිසක් ඒ සඳහා විසඳුමක් නෙමෙයි. 

මේ අදහස වත්මන් සන්දර්භයේදී වැරදි අදහසක් වුනත්, කලකට පෙර පදනමක් තිබුණු අදහසක්. ඒ රන් සම්මතය හෝ වෙනත් එවැනි ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් තිබුණු කාලයේදී. 2001 වසරේ සිට ලංකාවේ තිබෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී මේ පැහැදිලි කිරීම වලංගු නැහැ. ඒ නිසා, දැන් මේ අදහස ලංකාවේ සන්දර්භයේදී යල් පැනගිය අදහසක්. 

නිදහස ලබන විට ලංකාවේ රුපියලක වටිනාකම රන් ට්‍රෝයි අවුන්ස 0.00864ක වටිනාකමට සමාන වුනා. ඒ වෙද්දී බ්‍රිතාන්‍ය පවුමක් වටිනාකමෙන් රන් ට්‍රෝයි අවුන්ස 0.11514කටත්, ඇමරිකන් ඩොලරයක් රන් ට්‍රෝයි අවුන්ස 0.02857කටත් සමානයි. මේවා ජාත්‍යන්තර එකඟතා. ඒ අනුව විවිධ රටවල් වල මුදල් ඒකක වල සාපේක්ෂ වටිනාකම් නියතව තිබුණා. බ්‍රිතාන්‍ය පවුමක් ඇමරිකන් ඩොලර් 4.03ක්. රුපියල්නම් 13.33ක්. ඒ අනුව, ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් වුනා. 

ඔය වගේ ක්‍රමයක් තියෙද්දී ආනයන හා අපනයන කවර මුදල් ඒකකයකින් සිදු වුනත් අවසානයේදී මේ ගනුදෙනු රන් වලට හරවන්න පුළුවන්. ලංකාවේ ආනයන වලට වඩා අපනයන වැඩිනම් වෙනස රන් විදිහට ලබා ගන්න පුළුවන්. ඒ ක්‍රමයට රන් සංචිතයක් හදා ගන්න පුළුවන්. කිසියම් වසරක අපනයන වලට වඩා ආනයන වැඩිනම් වෙනස රන් වලින් ගෙවන්න වෙනවා. එවිට රන් සංචිතය පහළ යනවා. පරතරය ගොඩක් වැඩිනම්, ගෙවන්න තරම් සංචිතත් නැත්නම්, වෙනත් රටකින් ණය ගන්න වෙනවා. එහෙම නැත්නම් ආනයන සීමා කරන්න වෙනවා. 

ඔය ක්‍රමය තියෙද්දී සංචිතය රන් වලින්ම තියා නොගෙන ඩොලර් හෝ පවුම් වැනි විදේශ මුදලකින් තියා ගන්නත් පුළුවන්කම තිබුණා. මේ මුදල් වර්ග වල වටිනාකම රන් හා බැඳී තිබුණු නිසා දෙකේ වෙනසක් තිබුණේ නැහැ. වැදගත්ම කාරණය මේ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයේදී සක්‍රිය ලෙස නඩත්තු කරන විදේශ සංචිතයක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වීම. ඊට හේතුව මේ ක්‍රමයේදී විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවීමයි. ඉල්ලුම වැඩිනම් සංචිතයෙන් අරගෙන අඩුව පුරවන්න වෙනවා. සැපයුම වැඩිනම් අමතර ප්‍රමාණය සංචිතයට එකතු කරගන්න වෙනවා. ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් තවමත් තිබෙන මැදපෙරදිග රටවල් ඇතුළු රටවල දැනටත් සිදු වෙන්නේ මේ ක්‍රියාවලිය. 

පාවෙන විණිමය අනුපාත ක්‍රමය මීට වඩා වෙනස්. එම ක්‍රමයේ පදනම වන්නේ විදේශ විණිමය සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඉඩ හැරීමයි. මේ වැඩේ හරියටම වෙන්න ඉඩ හරිනවානම් සංචිතයක් කියා එකක් අවශ්‍ය වන්නේම නැහැ. ඒ කියන්නේ මහ බැංකුව විසින් විණිමය වෙළඳපොළට කිසිදු මැදිහත්වීමක් කළ යුතු නැහැ. 

අපි හිතමු රටට විදේශ විණිමය ලැබෙන සහ රටෙන් විදේශ විණිමය එළියට යන එකම ආකාර වන්නේ ආනයන සහ අපනයන කියලා. එහෙමනම්, පාවෙන විණිමය අනුපාත ක්‍රමය යටතේ කිසිම ආනයන අපනයන පරතරයක් ඉතිරි වෙන්නේ නැහැ. ආනයන හා අපනයන හරියටම තුලනය වෙනවා. නමුත් ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේනම් ඉතා දුලබ අහම්බයක් සිදු නොවුනහොත්, අනිවාර්යයෙන්ම ආනයන අපනයන පරතරයක් ඉතිරි වෙනවා.

මෙහිදී අපි කතා කරන්නේ මහ බැංකුව විසින් කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් ගැන. එවැනි ක්‍රමයකදී ආනයන කළ හැක්කේ රටට ලැබෙන විදේශ විණිමය වැය කරමින් පමණයි. රටේ විදේශ විණිමය අඩු වෙද්දී රටේ මුදල් ඒකකය දුර්වල වෙනවා. ඒ කියන්නේ රුපියලට ඩොලරයක මිල ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ආනයන සීමා වෙනවා. අපනයන ආදායම් වැඩිනම් ලැබෙන ඩොලර් විකුණද්දී ඩොලරයක මිල පහත වැටෙන නිසා ආනයන ඉල්ලුම ඉහළ යනවා. අවසාන වශයෙන් ආනයන සහ අපනයන තුලනය වෙනවා. 

දැන් මේ විදිහට ආනයන අපනයන පරතරයක් නැතිව තුලනය විය හැකි ආර්ථිකයකට ශ්‍රමික ප්‍රේෂණ ලැබුණු විට වෙන්නේ කුමක්ද?

රටට ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් ලැබෙන තරමට ඩොලරයක මිල පහළ යනවා. ආනයන ඉල්ලුම ඉහළ යනවා. ආනයන හා අපනයන අතර පරතරයක් ඇති වෙනවා. මෙය නවතින්නේ රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයේ තරමටම ආනයන අපනයන පරතරයක් ඇති වුනාට පස්සේ. ඒ නිසා, පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් තිබියදී රටට ශ්‍රමික ප්‍රේෂණ එනවානම්, ඒ එන ප්‍රමාණයටම ආනයන අපනයන පරතරයකුත් හැදෙනවා. 

සංචාරක ඉපැයීම් ලෙස රටට ඩොලර් ලැබෙද්දී වෙන්නෙත් මෙයමයි. ඩොලර් ලැබෙන තරමට ආනයන අපනයන පරතරය ඉහළ යනවා. මේ හේතු නිසා ආනයන අපනයන පරතරයක් ඇති වෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේම, මේ හේතු නිසා ආනයන අපනයන පරතරයක් හැදිලා එය දිගටම නඩත්තු වුනා කියලා එහි හානියකුත් නැහැ. විස්තර කිරීමේ අරමුණින් පමණක්, රටේ කිසිම නිෂ්පාදනයක් සිදු නොවී ශ්‍රමික ප්‍රේෂණ වලින් පමණක් අවශ්‍ය තරම් ආනයන කරන්න පුළුවන්නම්, ශ්‍රමික ප්‍රේෂණ අඛණ්ඩව ලැබෙන තුරු රටේ ආර්ථිකය අර්බුදයට යන්නේ නැහැ. 

නමුත් විදේශ ණය ගත් විට සිදු වෙන්නේ වෙනත් දෙයක්. එහිදීත් විදේශ ණය ලෙස ලැබෙන ඩොලර් නිසා රුපියල ශක්තිමත් වෙනවා. ඩොලරයක මිල අඩු වෙලා ආනයන ඉහළ යනවා. මෙහි තිබෙන වෙනස ණය ලෙස ලබා ගන්නා ඩොලර් පොලියත් සමඟ ආපසු ගෙවිය යුතු වීමයි. එසේ ආපසු ගෙවන අවස්ථාවේදී රටේ ආර්ථිකය අර්බුදයකට යන්න පුළුවන්. ලංකාවට වුනේ ඒකයි. නමුත් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් නැවත ආපසු නොගෙවිය යුතු නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. 

ඉහත පැහැදිලි කළ පරිදි, විදෙස් ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන අපනයන පරතරයක් හැදෙනවානම් එය රටට හානිකරයි. නමුත් ශ්‍රමික ප්‍රේෂණ හෝ සංචාරක ආදායම් ලෙස රටට ලැබෙන ඩොලර් නිසා ආනයන අපනයන අතර පරතරයක් හැදෙනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ.

ශ්‍රමික ප්‍රේෂණ නිසා ආනයන අපනයන පරතරය වැඩි වූ ආකාරය සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වුවත් පෙන්වන්න පුළුවන්. ලංකාව පාවෙන විණිමය අනුපාත ක්‍රමයකට ගියේ 2001දී. ඒ අවුරුද්දේ වෙළඳ හිඟය, ඒ කියන්නේ ආනයන අපනයන පරතරය, ඩොලර් මිලියන 1,157ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 1,155ක්. ඒ මුදලින් වෙළඳ හිඟය හරියටම වගේ පියවුනා. 

ඉන් පසු වසර වලදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. 2020දී ඩොලර් මිලියන 7,107ක ශ්‍රමික ප්‍රේෂණ ලැබුණා. ඊට අනුරූපව වෙළඳ හිඟයද ඩොලර් මිලියන 6,008 දක්වා ඉහළ ගියා. පසුගිය 2024 වසරේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 6,069ක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 6,429ක්. 

ශ්‍රමික ප්‍රේෂණ නිසා ඊට සමාන වෙළඳ හිඟයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් වගේම පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් තුළ අනිවාර්යයෙන්ම සිදු වන දෙයක්. එහි බයවෙන්න දෙයක් නැහැ. ඒ වගේම, මේ හේතුව නිසා ඇති වෙන වෙළඳ හිඟය නැති වෙන්නනම් රටට ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එකත් නැති වෙන්න ඕනෑ. ඔය දෙකෙන් එකක් විතරක් වෙන්නේ නැහැ. 

කෙසේ වුවත්, ලංකාවේ වෙළඳ හිඟයට එකම හේතුව ශ්‍රමික ප්‍රේෂණ නෙමෙයි. උදාහරණයක් විදිහට 2011 වැනි වර්ෂයක් පෙන්වන්න පුළුවන්. ඒ අවුරුද්දේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 9,710ක් වුනත් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 5,145ක් පමණයි. ඒ ප්‍රමාණයට වඩා නොවැඩි වෙළඳ හිඟයක් තිබුණානම් ඒකේ අවුලක් නැහැ. නමුත් වෙළඳ හිඟය තිබුණේ ඊට වඩා ගොඩක් ඉහළින්. ඊට හේතුව රජය විසින් විශාල ලෙස ණය ගැනීම. ණය වලින් ආනයන කිරීමේ ප්‍රශ්නය ගත් ණය පසුව ආපසු ගෙවන්න සිදු වීම. ගෙවන්න වෙන්නේ පොලියත් එක්කයි.

දැන් ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව ආනයන අපනයන පරතරය නැති කිරීමේ ඉලක්කයක් නැහැ. එවැනි ඉලක්කයක් තියා ගන්න අවශ්‍යත් නැහැ. නමුත් ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් ඇතුළු අනෙකුත් ක්‍රම වලින් රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල වෙළඳ හිඟයක් තියෙනවානම් පමණක් එය ප්‍රශ්නයක් වෙනවා. වාහන ආනයන කරන්නේ මේ විදිහට උපයන ඩොලර් වලින්. ඒ නිසා වෙළඳ හිඟය සීමාව ඉක්මවා යන්නේ නැහැ. වාහන ආනයන සඳහා සංචිත වැය කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. වාහන ආනයන නිසා රටේ ආර්ථිකය නැවත අස්ථාවර වෙන්නෙත් නැහැ. 

නමුත් මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් නොවෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ පමණයි. ඒ ක්‍රමය යටතේදී වාහන ආනයන ඕනෑවට වඩා ඉහළ ගියොත් ඩොලර් ඉල්ලුම වැඩි වීම නිසා ඩොලරයක මිල ඉහළ යනවා. එවිට වාහන සඳහා තිබෙන ඉල්ලුම අඩු වෙනවා. යම් හෙයකින් මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල ඉහළ යාම වලක්වන්න උත්සාහ කළොත් පමණක් සංචිත නාස්ති වෙන්න පුළුවන්. 

Friday, April 11, 2025

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!

 


මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී වුවද ලැබී ඇති වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයයි.

මීට පෙර 2018 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 677.7ක මුදලක් වාර්තා වී තිබුණා. මෙවර ලැබී ඇති මුදල එම ප්‍රමාණය ඉක්මවා යනවා. කෙසේ වුවත්, වසරේ පළමු මාස තුනම සැලකූ විට, මෙවර ලැබී තිබෙන ඩොලර් මිලියන 1,814.4ක මුදල 2018 පළමු මාස තුනේදී ලැබුණු ඩොලර් මිලියන 1,978.6ක මුදලට මෙන්ම ආර්ථික අර්බුදයට පෙර 2021 පළමු මාස තුනේදී ලැබුණු ඩොලර් මිලියන 1,867.1ක මුදලටද වඩා අඩුයි. 

ඉහළ ගිය ශ්‍රමික ප්‍රේෂණ වල උදවුවෙන් මාර්තු මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 401.9ක මුදලක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව තිබෙනවා. අපනයන ආදායම් පිළිබඳව දැනට ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙමින් තිබීම සුබදායී තත්ත්වයක්. 

Tuesday, March 4, 2025

සේවා අපනයන ආදායම් මත අලුත් බද්ද


කාලයක් තිස්සේ ආදායම් බදු සහනයකට යටත්ව පැවති සේවා අපනයන ආදායම් මතද ආදායම් බදු අය කිරීමේ තීරණයත් එක්ක පැතිරෙන විවිධ දුර්මත අතරින් එකක් වන්නේ ශ්‍රමික ප්‍රේෂණ මත බද්දක් පනවා ඇති බවයි. නමුත් ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ මත කිසිදු බද්දක් පනවා නැහැ. සේවා අපනයන ආදායම් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ නෙමෙයි. 

කිසියම් කාලයක් තුළ රටට ලැබෙන, ආපසු නොයන විදේශ විණිමය ලැබීම් වාර්තා කරන්නේ ජංගම ගිණුමේ. මේ අයුරින් ජංගම ගිණුමේ වාර්තා වන ලැබීම් රටේ කවුරු හෝ විසින් ඉපැයූ විදේශ විණිමය ලෙස හඳුන්වන්න පුළුවන්. ණය, ආයෝජන වැනි ආපසු යන හෝ යා හැකි විදේශ විණිමය ලැබීම් වාර්තා කරන්නේ මූල්‍ය ගිණුමේ. ඒවා රටේ කවුරු හෝ විසින් ඉපැයූ විදේශ විණිමය නෙමෙයි. ලංකාවේ තිබෙන විදේශිකයින්ට අයිති වත්කම්. ලංකාවේ විදේශ බැරකම්.

ජංගම ගිණුමේ උප ගිණුම් හතරක් තිබෙනවා. මේ උප ගිණුම් ගැන පෙර සටහන් ගණනාවක විස්තර කර තිබෙනවා. ඒ එක් එක් ගිණුමේ ලැබීම් පැත්තක් සහ ගෙවීම් පැත්තක් තිබෙනවා. ගෙවීම් පැත්තේ තිබෙන්නේ නැවත ආපසු නොපැමිණෙන ලෙස රටෙන් එළියට යන විදේශ විණිමය. නැවත ආපසු පැමිණෙන ලෙස හෝ පැමිණිය හැකි ලෙස රටෙන් එළියට යන විදේශ විණිමය ඇත්නම් ඒවා මූල්‍ය ගිණුමේ ගෙවීම් පැත්තේ වාර්තා වෙනවා. 

මේ සටහනෙහි අවධානය යොමු කරන්නේ ජංගම ගිණුමේ ලැබීම් පැත්තට පමණයි. එම ලැබීම් කොටස ඒවා වාර්තා වන උප ගිණුම් අනුව මෙලෙස වර්ග කළ හැකියි.

1. භාණ්ඩ ගිණුමේ ලැබීම්: මෙහි සටහන් වන්නේ කිසියම් භාණ්ඩයක් රට තුළ නිපදවා අපනයනය කිරීමෙන් ලැබෙන විදේශ විණිමය ආදායම්.

2. සේවා ගිණුමේ ලැබීම්: මෙහි සටහන් වන්නේ විදේශිකයෙකුට කිසියම් සේවාවක් සැපයීමෙන්, එනම් සේවා අපනයනය මගින් ලැබෙන විදේශ විණිමය ආදායම්. මේ කොටස පසුව තව දුරටත් විස්තර කරන්නම්.

3. ප්‍රාථමික ආදායම් ගිණුමේ ලැබීම්: මෙහි ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් සතු වත්කම් විදේශ රටවල ආයෝජනය කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ. උදාහරණයක් ලෙස ලංකාවේ නිල විදේශ සංචිත ආයෝජනය කර ලබා ගන්නා ආදායම්. 

4. ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම්: "ශ්‍රමික ප්‍රේෂණ" ලෙස ලංකාවේ වැරදියට හඳුන්වන්නේ මෙම ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම්. එම ලැබීම් වලින් වැඩි කොටසක් ඇත්තටම "ශ්‍රමික ප්‍රේෂණ" කියා කියන්න පුළුවන් වුනත් මුළු ප්‍රමාණයම ශ්‍රමික ප්‍රේෂණ කියා කියන්න බැහැ. මේ කොටසේ වාර්තා වෙන්නේ විදේශිකයෙකු හෝ විදේශයක පදිංචි අයෙකු විසින් ආපසු ලබා ගැනීමේ අරමුණක් නොමැතිව ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකුට එවන මුදල්. 

පහත තිබෙන්නේ 2024 පළමු මාස නවය ඇතුළත මේ එක් එක් උප ගිණුමට ලැබුණු විදේශ විණිමය ලැබීම් ප්‍රමාණය.

භාණ්ඩ ගිණුම - ඩොලර් මිලියන 9,518

සේවා ගිණුම - ඩොලර් මිලියන 5,115

ප්‍රාථමික ආදායම් ගිණුම - ඩොලර් මිලියන 427

ද්වීතියික ආදායම් ගිණුම - ඩොලර් මිලියන 4,851

එකතුව (ජංගම ගිණුමේ ලැබීම්) - ඩොලර් මිලියන 19,901

මේ අනුව පෙනෙන්නේ ජංගම ගිණුමේ මුළු විදේශ විණිමය ලැබීම් වලින් 26%ක් පමණම සේවා අපනයන ආදායම් බවයි.

සේවා අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන ඩොලර් මිලියන 5,115ක මුදලෙන් ඩොලර් මිලියන 2,348ක්ම ලැබී තිබෙන්නේ සංචාරක සේවා සැපයීම මගින්. නාවුක සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 821ක් හා ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 478ක් ඇතුළුව ප්‍රවාහන සේවා වලින් ඩොලර් මිලියන 1,300ක් ලැබී තිබෙනවා. මෙම ආදායම් මත සෘජුව හා වක්‍රව බදු අය කෙරෙනවා. මීට අමතරව, පරිගණක සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 636ක් ලැබී තිබෙනවා. ඉදිකිරීම්, විදුලි සංදේශ, මූල්‍ය, රක්ෂණ ඇතුළු අනෙකුත් සේවා අපනයන වලින් ඉතිරි කොටස ලැබී තිබෙනවා. 

ඇතැම් භාණ්ඩ අපනයන මත සෙස් බද්දක් අය කෙරෙනවා. ඊට අමතරව භාණ්ඩ අපනයනය කරන අයගේ ශුද්ධ ආදායම් මත ආදායම් බදු අය කෙරෙනවා. එහෙත් කලින් කලට විවිධ ක්ෂේත්‍ර වල අපනයනකරුවන්ට ආදායම් බදු සහන ලබා දී තිබෙනවා. මේවා සහන බදු (අඩු බදු අනුපාතික) හෝ බදු විරාම කාල (යම් කාලයක් යන තෙක් බදු නොගෙවීම) යන ආකාර වලින් ලබා දී තිබුණු බව නිරීක්ෂණය කළ හැකියි. මෙම සහන මේ වන විට බොහෝ දුරට ඉවත් කර තිබෙනවා. 

ශ්‍රමික ප්‍රේෂණ ඇතුළු ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම් මත මෙතෙක් බදු අය කර නැති අතර ඉදිරියේදී එවැන්නක් සිදු වීමට නියමිතවද නැහැ. 

දැන් වෙනසක් සිදු වී තිබෙන්නේ සේවා අපනයන ආදායම් වෙනුවෙන් ගෙවිය යුතු බදු සම්බන්ධවයි. සේවා අපනයන ආදායම් සේ සැලකෙන ඇතැම් ආදායම් සඳහා මෙතෙක් කල් බදු නිදහසක් හිමි වුනා. එම ආදායම් මත මෙතෙක් කල් ආදායම් බදු  අය කෙරුනේ නැහැ. අප්‍රේල් 1 දින සිට මෙම බදු සහනය අහෝසි වීමට නියමිතව ඇති අතර, එදින සිට සේවා අපනයන සිදු කරන පුද්ගලයින්ට සහ සමාගම් වලටද ආදායම් බදු ගෙවීමට සිදු වෙනවා. 

භාණ්ඩ හෝ සේවා අපනයනය කරන ආයතනයක ලාබය කියන්නේ ලැබෙන ආදායමෙන් වියදම් අඩු කළ පසු ඉතිරි වන කොටසයි. එම කොටස මත ආදායම් බදු අය කිරීම සාමාන්‍ය තත්ත්වයක්. දැනට ලංකාවේ පුද්ගල ආදායම් බදු අය කෙරෙන්නේ මසකට රුපියල් 150,000 සීමාවෙන් ඔබ්බටයි. අය කෙරෙන බදු අනුපාතිකය 36% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සමාගම් ආදායම් බදු අනුපාතිකය 30% වන අතර පළමු සතයේ සිටම එම බද්ද අය කෙරෙනවා. 

සේවා අපනයන සඳහා මෙතෙක් ලබා දී තිබුණු බදු නිදහස ඉවත් වීමෙන් පසුව, සේවා අපනයන සිදු කර ආදායම් උපයන පුද්ගලයින්ට සහ සමාගම් වලටද සාමාන්‍ය පරිදි ආදායම් බදු ගෙවන්නට සිදු වෙනවා. කෙසේ වුවත්, මෙම පුද්ගලයින් හෝ සමාගම් විසින් බැංකුවක් හරහා අදාළ ආදායම් ලංකාවට ගෙන්වා ගන්නේනම් තව දුරටත් යම් බදු සහනයක් ලැබෙනවා. ඒ අනුව, ආයතනයකටනම් 30% සමාගම් බද්ද වෙනුවට 15% බද්දක් ගෙවිය හැකි අතර පුද්ගල ආදායම් බදු 36% සීමාවට නොගොස් 15% සීමාවේ නතර වෙනවා. බැංකුවක් හරහා ආදායම රැගෙන නොඑන්නේනම්, 30%ක් වන සාමාන්‍ය සමාගම් බද්ද හෝ 36% දක්වා වන පුද්ගල ආදායම් බද්ද ගෙවන්නට සිදු වෙනවා. 

වැඩිපුර කතාබහට ලක් වී තිබෙන්නේ සේවා අපනයන ආදායම් වුවත්, ප්‍රාථමික ආදායම් ගිණුමේ සටහන් වන විදේශ ආයෝජන වලින් ලැබෙන ආදායම් හා අදාළව මෙතෙක් පැවති බදු සහනද අහෝසි වී එම ආදායම් ලබන්නන්ටද ඉහත පරිදිම බදු ගෙවන්නට සිදු වන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ වුවත්, මේ කාණ්ඩ දෙකේම ආදායම් ලබන්නන්ට ඔවුන් විදේශ වලදී එම ආදායම් මත බදු ගෙවා ඇත්නම්, එම බදු මුදල් ලංකාවට ගෙවිය යුතු බදු වලින් අඩු කිරීමට ඉඩ සලසා තිබෙනවා.

පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූයේ බදු ගෙවන ටික දෙනෙකු මත පමණක් මුළු බදු බරම පටවා තිබීමේ වැරැද්ද සහ බදු ගෙවිය යුතු සියලු දෙනාගෙන්ම බදු අය කර ගැනීමේ වැදගත්කමයි. දැන් සිදු කෙරෙමින් පවතින්නේ එම වැරැද්ද නිවැරදි කරමින් බදු පදනම පුළුල් කිරීමයි. ඒ අනුව, සෑම ආදායම් උපයන්නෙකුට මෙන්ම ආසන්න වශයෙන් හෝ එකම පදනමකින් බදු ගෙවන්නට සිදු වෙනවා. බදු අය කළ යුතු සාධාරණ ක්‍රමය මෙන්ම බොහෝ රටවල බදු අය කරන සාමාන්‍ය ක්‍රමයද මෙයයි. 

මෙම බදු ක්‍රමය සම්බන්ධව අනිසි බියක් ඇති වීමට හේතු වී තිබෙන්නේ බැංකු වලට ලැබෙන ප්‍රේෂණ වලින් මෙම බදු මුදල කපා ගනිතැයි යන බියයි. මගේ අදහස වන්නේ එය එසේ සිදු නොකෙරෙනු ඇති බවයි. බැංකු වලින් කෙළින්ම කපා ගනිද්දී ආදායම් ලැබෙන මූලාශ්‍ර නිවැරදිව සෙවීම හෝ බදු ගෙවිය යුතු සීමාව පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා බදු නොගෙවිය යුතු බොහෝ දෙනෙකුටද බදු ගෙවන්නට වීමේ අවදානමක් තිබෙනවා. එහෙත්, බැංකු වලින් අදාළ තොරතුරු ලබාගැනීම පමණක් සිදු වේනම් මෙවැන්නක් සිදු වන්නේ නැහැ. 

Friday, January 10, 2025

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ


ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්. 

පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වුවත්, දෙසැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ නැවතත් වර්ධනය වීමෙන් පෙනී යන්නේ එය තාවකාලික තත්ත්වයක් බවයි. ඇතැම් විට ඩොලරයක මිල පහත වැටීම නිසා සීමා වූ ශ්‍රමික ප්‍රේෂණ ඩොලරයක මිල ඉහළ යද්දී නැවත යථා තත්ත්වයට පත් වුනා විය හැකියි. 

පසුගිය එක් එක් වසර වලදී ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලැබුණේ පහත පරිදියි. සියලුම අගයයන් ඩොලර් මිලියන වලින්.

2012 - 5,985

2013 - 6,407

2014 - 7,018

2015 - 6,980

2016 - 7,242

2017 - 7,164

2018 - 7,015

2019 - 6,717

2020 - 7,104

2021 - 5,491

2022 - 3,789

2023 - 5,970

2024 - 6,575

Friday, December 6, 2024

ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි?


මෙම වසරේ පළමු මාස දහයක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල 11.7%ක වර්ධනයක් දැකිය හැකි වුනා. වසරේ සෑම මාසයකදීමද දැකිය හැකි වූයේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල යම් වැඩි වීමක් සිදු වී ආකාරයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 පළමු මාස දහය ඇතුළත ඩොලර් මිලියන 4,862ක ශ්‍රමික ප්‍රේෂණ ලැබුණු අතර, 2024 පළමු මාස දහය ඇතුළත මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 5,431 දක්වා ඉහළ ගියා.

අලුත්ම දත්ත අනුව පෙනී යන්නේ නොවැම්බර් මාසයේදී මෙම ප්‍රවණතාවයෙහි යම් වෙනසක් සිදු වී ඇති බවයි. 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 537.3ක ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබී තිබුණත්, 2024 නොවැම්බර් මාසයේදී ලැබී තිබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 530.1ක් පමණයි. මෙම අඩු වීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැහැ. මෙය තාවකාලික තත්ත්වයක් පමණක්ද යන්න විමසිල්ලෙන් බලා සිටින්නට වෙනවා.

මේ අයුරින් ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමක් දැකිය හැකි වුවත්, සමස්තයක් ලෙස විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතතාවය හොඳ තත්ත්වයක පැවතී ඇති අතර මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 327ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. මෙය විශාල ප්‍රමාණයක්. මෙම මැදිහත්වීම හමුවේ පවා මාසය ඇතුළත ඩොලරයක මැදි මිල රුපියල් 2.80කින් පහත වැටී තිබෙනවා. ඇතැම් විට මේ අයුරින් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස පහත වැටීම ශ්‍රමික ප්‍රේෂණ කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා විය හැකියි.

නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,462 දක්වා ඩොලර් මිලියන 10කින් පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින් ඩොලර් මිලියන 327ක් වෙළඳපොළෙන් මිල දී ගැනීමෙන් පසුවද සංචිත ප්‍රමාණය වැඩි නොවීමෙන් පෙනෙන්නේ මෙසේ මිල දී ගත් ඩොලර් මහ බැංකුවේ ණය ගෙවීම පිණිස යොදවා ඇති බවයි. මේ වන විටද මහ බැංකුව විසින් වර්ෂාවසාන සංචිත ඉලක්කය ලඟා කරගෙන අවසන් බැවින් මිල දී ගන්නා අමතර ඩොලර් මහ බැංකුවේ ණය ආපසු ගෙවීම සඳහා යෙදවිය හැකියි.

වාහන ආනයන වලට නැවත ඉඩ ලැබෙද්දී විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතතාව වෙනස් වන බව පැහැදිලි කරුණක්. එහෙත් මේ වන විට රටේ විදේශ අංශය ඒ සඳහා මුහුණ දිය හැකි තරමට ස්ථාවරව තිබෙනවා. ඩොලර් ඉල්ලුම ඉහළ යද්දී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යාමට ඉඩ ඇතත්, එය ශ්‍රමික ප්‍රේෂණ වල පහත වැටීම නැවත යථා තත්ත්වයට පත් වීමටටද හේතු විය හැකියි. ඒ අතර අලුත් ආණ්ඩුවටද, ඔවුන්ගේ පූර්ව සැලසුම් අනුව කෙටි කලකින් ශ්‍රමික ප්‍රේෂණ වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීමට මෙය හොඳ අවස්ථාවක්. 

ශ්‍රමික ප්‍රේෂණ පහත වැටීම තාවකාලික තත්ත්වයක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතත්, මේ සංඥාව අවතක්සේරු කර නොසලකා හැරිය යුතු එකක් නෙමෙයි. 

Wednesday, December 6, 2023

ප්‍රේෂණ එන්නේ මොන රටවල් වලින්ද?


පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා වානිජ බැංකු සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පැවසුවා. 

ඉහත සඳහන් කළ අලුත් යාන්ත්‍රනය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව, 2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.

2022 සිවුවන කාර්තුව - ඩොලර් මිලියන 1,215.4

2023 පළමු කාර්තුව - ඩොලර් මිලියන 1,413.2

2023 දෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,409.4

2023 තෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,522.5

පසුගිය වසරක කාලයේ ප්‍රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි. 

ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.

1. කුවේට් - ඩොලර් මිලියන 612.7

2. කටාර් - ඩොලර් මිලියන 564.6

3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 523.7

4. සවුදි අරාබිය - ඩොලර් මිලියන 494.6

5. ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 433.8

6. දකුණු කොරියාව - ඩොලර් මිලියන 384.7

7. එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 312.3

8. ඉතාලිය - ඩොලර් මිලියන 309.0

Friday, December 9, 2022

ශ්‍රමික ප්‍රේෂණ තවත් ඉහළට!

ගෙවුණු නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 384.4ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබෙනවා. මෙම ප්‍රමාණය පෙර වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 42%ක වැඩි වීමක්ද, පෙර මාසයට සාපේක්ෂව 8%ක වැඩිවීමක්ද පෙන්නුම් කරන අතර, 2021 අගෝස්තු මාසයෙන් පසුව වාර්තා වන ඉහළම අගයයි. 

ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඉහත මුදල ලැබෙද්දී, නොවැම්බර් මාසයේ සංචාරක ඉපැයීම්ද ඩොලර් මිලියන 107.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, අපනයන ආදායම් වලට අමතරව, ආනයන වෙනුවෙන් වැය කළ හැකි ඩොලර් මිලියන 492ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් නොවැම්බර් මාසය තුළ ලංකාවට ලැබී තිබෙනවා.

නොවැම්බර් මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය පෙර මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 1,705 සිට ඩොලර් මිලියන 1,804 දක්වා ඩොලර් මිලියන 100කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, මෙම සංචිත වලින් ඩොලර් බිලියන 1.4ක් පමණ චීනයෙන් මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබාගත් මුදල්. 

නොවැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 219ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙන අතර අත්‍යාවශ්‍ය ආනයන සඳහා පහසුකම් සලසමින් එම විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 213ක් නැවත විකුණා තිබෙනවා. 

Tuesday, August 23, 2022

ශ්‍රමික ප්‍රේෂණ වැරදිනම් ඩොලර් ආවේ කොහෙන්ද?

මහ බැංකු අධිපතිවරයා විසින් බෝම්බයක් අත ඇරලා තිබෙනවා. මහ බැංකුව විසින්ම නියමාකාරයෙන් නිෂ්ක්‍රීය කළේ නැත්නම් මේ බෝම්බයෙන් තුවාල වෙන්නේ මහ බැංකුවටමයි. මම හිතන්නේ දැනටමත් ටිකක් තුවාල වෙලා.

මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රමික ප්‍රේෂණ ගැන මහ බැංකු අධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු වෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා විසින් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ විදිහට මහ බැංකුව විසින් කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ගණන් හිලවු නිවැරදි නැති බවයි. ඒ අනුව, ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ වල අඩුවීමක් සිදු වී නැති බව ඔහු කියනවා. සිදු වී තිබෙන්නේ සංඛ්‍යාලේඛණ වඩා නිවැරදි වීමක්. 

මේ ප්‍රකාශය කරන අවස්ථාවේ වැදගත්කමත්, වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලංකාවේ විදේශ අංශය ගැන තිබෙන පළපුරුද්දත් සැලකූ විට මේ කියන කතාව නොසලකා හැරිය හැකි ප්‍රකාශයක් නෙමෙයි. මෙහෙම කතාවක් එළියට දැම්මේ හොඳින් හිතාමතා විය යුතුයි. ඒ පදනම මත, අදාළ ප්‍රකාශය හේතුවෙන් බොහෝ දෙනෙකුට මතු වී තිබෙන අතුරු ප්‍රශ්න වලට මහ බැංකුව පැත්තෙන් ඉතා ඉක්මණින් පිළිතුරු ලැබෙයි කියා හිතනවා.

ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් පමණක් නොව ලංකාවේ හා ලෝකයේ වෙනත් එවැනි ආයතන විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ බොහොමයක් පරම සත්‍යයන් නෙමෙයි. ඇතැම් සංඛ්‍යාලේඛණ වඩා නිවැරදියි. ඇතැම් ඒවා දළ ඇස්තමේන්තු. සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමේදී කරන උපකල්පන මතත් සංඛ්‍යාලේඛණ වෙනස් වෙනවා.

මෙය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාස්පතා ඉදිරිපත් කරන සංචාරක ඉපැයීම් පිළිබඳ ඇස්තමේන්තු යොදා ගන්න පුළුවන්. මේ ඇස්තමේන්තු වල නිරවද්‍යතාවය ඉතාම අඩුයි. ඇස්තමේන්තු හදන විදිහ පැහැදිලි කළාට පස්සේ ඒ ඇයි කියන එක ගොඩක් අයට තේරෙයි.

මේ ඇස්තමේන්තුව හදන්නේ මෙහෙමයි. පළමුව එක් එක් මාසය තුළ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය හොයා ගන්නවා. ඊට පස්සේ සංචාරකයෙකු දවසකට වියදම් කරන සාමාන්‍ය ඩොලර් ප්‍රමාණය සංචාරකයෙකු ලංකාවේ ගත කරන සාමාන්‍ය දින ගණනෙන් වැඩි කර එක් සංචාරකයෙකු විසින් වියදම් කරන ඩොලර් ප්‍රමාණය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඔය ගණන් දෙක වැඩි කළාම සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් වලින් ඇස්තමේන්තු කළ හැකියි. අන්තිමට අදාළ මාසයේ පැවති නිල විණිමය අනුපාතය අරගෙන ඔය ගණන රුපියල් කළ හැකියි. ඒ කියන්නේ මේ වගේ වැඩක්.

සංචාරක ඉපැයීම් = සංචාරකයින් ගණන * දිනකට වැය කරන ඩොලර් ගණන * ගත කරන දින ගණන * ඩොලරයක මිල 

පළමුව හොයා ගන්න තියෙන්නේ රටට පැමිණි සංචාරකයින් ගණනනේ. රටට එන සෑම විදේශ පුරවැසියෙකු හා ද්විත්ව පුරවැසියෙකු විසින්ම රටට ඇතුළු වීමේදී කාඩ් එකක් පිරවිය යුතුයි. එහි රටට පැමිණීමට හේතුව සලකුණු කරන්න තිබෙනවා. ඔය තොරතුරු ආගමන පාලන නිලධාරීන් විසින් පරිගණකයට ඇතුළු කරන නිසා "Holiday" සඳහා ලංකාවට එන ගණන ලේසියෙන්ම ගණන් කර ගන්න පුළුවන්. විදේශ පුරවැසිභාවය ලබා නැති ස්ථිර පදිංචිකරුවන් මේ ඇස්තමේන්තුවට අහු වෙන්නේ නැහැ. කොහොම වුනත්, ඔය ඇස්තමේන්තුවේ ලොකු වැරැද්දක් නැහැ.

ලොකු ඇස්තමේන්තු වරදක් සිදු වෙන්නේ සංචාරකයෙකු විසින් දිනකට වැය කරන ඩොලර් ගණන හා ගත කරන දින ගණන හොයා ගන්න යද්දී. මේ ගණන් ඇස්තමේන්තු කරන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් වසරකට වරක් කරන සමීක්ෂණයකින්. සාමාන්‍යයෙන් රටින් පිටවන සංචාරකයින් 5000කගේ පමණ නියැදියක් මේ සඳහා යොදා ගන්නවා. මහ බැංකුව විසින් කරන්නේ ඒ සමීක්ෂණය මගින් හොයා ගන්නා සාමාන්‍ය අගයයන් සියලුම සංචාරකයින් සඳහා යොදා ගැනීමයි.

උදාහරණයක් විදිහට පසුගිය ජූලි මාසයේදී සංචාරකයින් 47,293 දෙනෙක් රටට ඇවිත් තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් කර තිබෙන අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව එක් සංචාරකයෙකු දින 10.23ක් රටේ ගත කරන අතර දිනකට ඩොලර් 175.8ක් වියදම් කරනවා. ඒ කියන්නේ ඩොලර් 1798.43ක්. මේ අනුව, සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 85.1ක් ලෙස ඇස්තමේන්තු කරලා පසුව එම මුදල රුපියල් වලට හරවන එක තමයි වෙන්නේ. 

මේ ක්‍රමයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය රටට එන සංචාරකයින්ව නිවැරදිව නිරූපණය කරන බවට සහතිකයක් නැති වීමයි. එය එසේ නොවන බව පැහැදිලිව පේනවා. මේ වගේ ප්‍රශ්නයක් සංඛ්‍යානමය ක්‍රම මගින් නිවැරදි කර ගත හැකියි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ කලින් කී ඇස්තමේන්තුවේ තිබෙන එක් සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම් කිරීම් වල තිබෙන වැරැද්දක් නිසා සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු ඩොලර් බිලියන ගණනකින් එහා මෙහා වෙන්න පුළුවන් වීමයි. 

උදාහරණයක් විදිහට 2021 සමීක්ෂණය අනුව එක් සංචාරකයෙකු දින 15.1ක් රටේ නැවතී සිට දිනකට ඩොලර් 215.8ක් වැය කරනවා. ඒ කියන්නේ ඩොලර් 3258.58ක්. 2022දී මේ ගණන 45%කින්ම අඩු වෙලා. සංචාරකයින් මිලියනයක් රටට ආවානම් ඩොලර් බිලියන 1.46කින් සංචාරක ඉපැයීම් ඇස්තමේන්තුව අඩු වෙලා. 

වඩා නිවැරදි හෝ අලුත් තොරතුරු ලැබුණු විට කලින් හදපු ඇස්තමේන්තු වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. එහි කිසිම වංචාවක් නැහැ. වංචාවක් වෙන්නේ ඒ වගේ වෙලාවක ඇස්තමේන්තු වෙනස් නොකර හිටියොත්. ඊටත් වඩා වංචාවක් වෙන්නේ ඇස්තමේන්තු වෙනස් කරන එක වාසිදායක වෙලාවට පමණක් කරලා අවාසිදායක වෙලාවට නොකර හිටියොත්. 

මහ බැංකු අධිපතිවරයා කියන විදිහට ශ්‍රමික ප්‍රේෂණ ඇස්තමේන්තු වැරදිලා තියෙන්නේ ඇතැම් වාණිජ බැංකු විසින් ලබා දී තිබෙන දත්ත වැරදි නිසා. ඒ බැංකු විසින් කාලයක් තිස්සේ අපනයන වෙනුවෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණත් ශ්‍රමික ප්‍රේෂණ විදිහට වාර්තා කරලා. මෙය නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් වෙන්න පුළුවන්. මහ බැංකුව දත්ත ඉල්ලුවහම ලේසියෙන් පිළියෙල කළ හැකි දත්ත මොනවා හෝ දීලා වැඩේ ගොඩ දා ගත්තා වෙන්න පුළුවන්. වැඩේ ගැස්සිලා තියෙන්නේ ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් කොටසක් මහ බැංකුවට දෙන්න කියා නියෝග කළාට පස්සේ. මම මේ කියන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් කියන කතාව.

මේ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. එහෙමනම් මෙතෙක් ශ්‍රමික ප්‍රේෂණ කියා කියපු ගණන් ඇත්තටම රටට ඇවිත් නැහැ. මහ බැංකු වාර්තා වල විතරක් නෙමෙයි මහ බැංකුවෙන් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් කාලයක් තිස්සේ ප්‍රසිද්ධ කරලා තිබෙන සංඛ්‍යාලේඛණත් වැරදියි. මොන විදිහකින් හෝ වැරැද්දක් වෙලානම්, දැන් වැරැද්ද අහුවෙලත් තියෙනවානම්, කරන්න තියෙන්නේ දැන්වත් වැරැද්ද හදන එකයි.

හැබැයි මේ කතාවත් එක්ක අතුරු ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. විශේෂයෙන්ම 2004-2014 අතර කාලයේ ශ්‍රමික ප්‍රේෂණ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා. ඩොලර් බිලියන 1.5 මට්ටමේ තිබුණු ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 7 පහු කළා. දැන් ඔය කියන විදිහට ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඔය ගණනින් බාගයක් පමණයි. නමුත්, ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටට ආවේ නැත්නම් ඔය ඉතුරු ඩොලර් ප්‍රමාණය රටට ආපු විදිහකුත් තියෙන්න ඕනෑනේ. අවුරුද්දකට ඩොලර් බිලියන 3.5 පමණ බැගින් අවුරුදු 10ක් ගණන් හැදුවොත් ඩොලර් බිලියන 35ක්!

සමහර අය ගණන් හදලා රටෙන් පන්නපු ඩොලර් ප්‍රමාණ ගැන කියනවා. දැන් මේ කියන කතාව ඇත්තනම් ඩොලර් බිලියන 35ක් හෝ වැඩි ගණනක් රට ඇතුළට හොරෙන් පන්නලා තියෙනවා. ඒ මොනවාද? කළු සල්ලිද?

මම දන්නා තරමින් ආනයන, අපනයන ආදිය පිළිබඳ සංඛ්‍යාලේඛණ ලබා ගන්නේ රේගුවෙන්. ඒ ගණන් වල ලොකු වැරැද්දක් තියෙන්න විදිහක් නැහැ. රජයට ලැබෙන ණය, ආයෝජන, සෘජු විදේශ ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන වගේ දේවලුත් හරියටම වගේ දන්නවා. ගෙවුම් ශේෂ ගිණුම් ඇතුළේ ලොකු ඇස්තමේන්තු වරදක් තියෙනවානම් තියෙන්න පුළුවන් සංචාරක ඉපැයීම් වල පමණයි. නමුත් සංචාරක ඉපැයීම් දැනට තිබෙන ඇස්තමේන්තු වලට වඩා බිලියන තුන හතරක් වැඩි වෙන්න පුළුවන්ද? පැහැදිලි කරන එක මහ බැංකුවේ වැඩක්. 

Thursday, July 28, 2022

ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය


තව දුරටත් ඉතිරිව තිබෙන ණය ගෙවීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියෙන් කතා කළා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම පැත්තකින් තියන්න පුළුවන්කමක් නැතත්, සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, ණය ප්‍රශ්නය පැත්තකින් තියමු. එක ඩොලරයක්වත් ණය ආපසු ගෙවන්නේ නැහැ කියා හිතුවොත් ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය මොනවා හෝ විදිහකින් රටට ලැබෙන ඩොලර් ටික පිරිමහගෙන කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයයි. එය කළ හැකිද?

මෙය කළ නොහැකි තරම් අසීරු කාර්යයයක්. එහෙත්, බාහිර උදවු නොලැබුණොත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ.

අපි සංඛ්‍යාලේඛණ එක්කම ප්‍රශ්නය දිහා බලමු. මේ පසුගිය වසරේ (2021) සංඛ්‍යාලේඛණ.

අපනයන ආදායම - ඩොලර් මිලියන 12,502

ආනයන වියදම - ඩොලර් මිලියන 20,637

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 8,136 

මේ ගාණට ආනයන වියදම් සීමා වී තිබෙන්නේත් නෛසර්ගික ලෙස නෙමෙයි. වාහන ආනයනය ආදිය සම්පූර්ණයෙන්ම නවත්වා තිබියදී. නැවත වාහන ආනයනය වගේ දේවල්නම් දැන් හීන පමණක් නිසා දැන් ඉන්න තැන ඉඳලා කතාව පටන් ගනිමු.

දැන් ඉහත කී පරිදි ඩොලර් මිලියන 8,136ක වෙළඳ ශේෂ හිඟයක් තියෙනවා කියන්නේ ඔය ඩොලර් ප්‍රමාණය වෙන කවර හෝ ආකාරයකින් රටට එන්න ඕනෑ. එහෙම මොන විදිහකින් හෝ ඩොලර් රටට එනවානම් වෙළඳ ශේෂ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. 

පසුගිය වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් රටට ආවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 261ක් ආවා. නමුත්, ඒ දෙකම එකතු කළත් වෙළඳ ශේෂ හිඟය පියැවෙන්නේ නැහැනේ. ඒ වගේම, ණය ගෙවීම පැත්තකින් තිබ්බත්, ඩොලර් අවශ්‍ය වෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පමණක් නෙමෙයි. අනෙක් ඩොලර් අවශ්‍යතා සඳහා වැය වූ කොටසත් එකතු කලාට පස්සේ සමස්තයක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 3,961ක ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. 

හරි. අපි මුල් ප්‍රශ්නයට එමු. ලංකාවට දැනට දශක ගණනාවක් තිස්සේ පවතින වෙළඳ ශේෂ හිඟය ඉතා ඉක්මණින් පියවා ගැනීමේ හැකියාවක් තියෙනවද?

මෙහි පළමු පියවර ලෙස අපි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20,637 විභේදනය කර බලමු.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 3,848.7 (18.6%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 12,308.9 (59.6%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 4,462.7 (21.6%)

එකතුව  - ඩොලර් මිලියන 20,637.4 (100.0%)

මම හිතන්නේ කියන්න හදන දෙය පැහැදිලි විය යුතුයි. ආනයන භාණ්ඩ පරිභෝජනය ගැන, අධිපරිභෝජනය ගැන ලොකුවට කතා කළත් පරිභෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වැය වෙන්නේ මුළු ආනයන වියදමෙන් 18.6%ක් පමණයි. ඔය ටික මුළුමනින්ම නැවතුනත්, වෙළඳ හිඟය පියැවෙන්නේ නැහැ.

ලංකාවේ ආනයන වියදම් වලින් 80%ක් පමණම යන්නේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ ආනයනයටයි. මොනවද මේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ? 

අතරමැදි හා ආයෝජන භාණ්ඩ කියා කියන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක. මේවා එන්නේ නැහැ කියා කියන්නේ බොහෝ දුරට රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැනට ලැබෙන අපනයන ආදායමත් නොලැබී යනවා කියන එකයි.

උදාහරණයක් විදිහට පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් වලින් ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 4,423.1ක්. රටේ අපනයන ආදායමෙන් 35%ක් පමණ. හැබැයි ඔය අපනයන ආදායම ලබා ගන්න රෙදිපිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් ආනයන වියදම ඩොලර් මිලියන 2,335.1ක්. අර ආපු ඩොලර් ටිකෙන් බාගයකටත් වඩා අමුද්‍රව්‍ය වෙනුවෙන් රටෙන් එළියට ගිහින්. 

ඇගලුම් කර්මාන්තය සඳහා ආනයනය කරන්න අවශ්‍ය වන්නේ රෙදිපිළි වැනි දේ පමණක් නෙමෙයිනේ. මහන මැෂින්, අනෙකුත් මැෂින් වගේ නිෂ්පාදන සාධකත් ආනයනය කරන්න වෙනවා. ඒවා තියෙන්නේ ආයෝජන භාණ්ඩ යටතේ. ඒ විතරක්ද? යොදා ගන්න විදුලි බලය හදන්න ඉන්ධන ආනයනය කළ යුතුයි. සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්න වාහන ආනයනය කළ යුතුයි. ඒ අයට දවල් කෑමට දෙන පරිප්පු ටික ආනයනය කළ යුතුයි. හිතල බැලුවොත් ලැයිස්තුව තව ගොඩක් දිගයි.

ඕනෑම අපනයන කර්මාන්තයක් ගත්තොත් තත්ත්වය ඕකයි. පහුගිය දවස් වල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වානේ ආනයනය කළා කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වානේ ආනයනය නොකළොත් බයිසිකල් අපනයන කරන්න වෙන්නේ නැහැ. අපනයන වලින් ඩොලර් මිලියන 12,502ක් ලැබුණත් මෙය ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙනවා වගේ ශුද්ධ ඩොලර් ආදායමක් නෙමෙයි. ඔය ඩොලර් ටික උපයා ගැනීම සඳහාම සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරන්න වෙනවා.

තේ කර්මාන්තය වගේ කෘෂිකාර්මික කර්මාන්තයක් ගත්තත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කර්මාන්තයට අවශ්‍ය පෝර වල ඉඳලා, යන්ත්‍ර සූත්‍ර දක්වා ගොඩක් දේවල් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා, රටට එන ඩොලර් ආදායම ශුද්ධ ආදායමක් නෙමෙයි. ලංකාවේ අපනයන ආදායමෙන් කොපමණ කොටසක් එම අපනයන නිපදවීම සඳහාම ආනයන වෙනුවෙන් වැය කළ යුතුද කියන එක කවුරුවත් ගණන් හදා ඇති බවක් මම දන්නේ නැහැ. මේ ප්‍රමාණය 50% පමණ හෝ ඊටත් වඩා වැඩි විය හැකියි. 

අපි 50%ක් කියලා ගනිමු. ඒ කියන්නේ මාසයකට අපනයන වලින් රටට බිලියනයක් එනවා කියා කිවුවත් ශුද්ධ වශයෙන් එන්නේ මිලියන 500ක් පමණයි. අනෙකුත් හැම දෙයක්ම ආනයනය කරන්න වැය කළ හැක්කේ මේ කොටස පමණයි.

ඔය කිවුවේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයන ගැන. ඊට අමතරව දේශීය නිෂ්පාදන සඳහාත් සැලකිය යුතු ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා නිෂ්පාදන සාධක අවශ්‍යයි. ආනයන නැත්නම් දේශීය නිෂ්පාදනයකුත් නැහැ. වී ගොවිතැන වගේ දෙයක් ගනිමු. පෝර, කෘෂි රසායන, අත්ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ආදී කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, ආනයන වලින් 60%ක් පමණ වන අතරමැදි භාණ්ඩ සීමා කිරීමේ හැකියාවක් නැහැ. බැරි නැහැ. නමුත් එහෙම කරනවා හෝ කරන්න වෙනවා කියා කියන්නේ රටේ සමස්ත ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී රට ඇතැම් විට සියවස් බාගයකින් පමණ  ආපස්සට යනවා කියන එකයි.

ආයෝජන භාණ්ඩ සීමා කිරීමත් ඔය වගේම අහිතකර වුවත් කෙටිකාලීනව ආයෝජන භාණ්ඩ සීමා කිරීමක් කළ හැකියි. පරිභෝජන භාණ්ඩත් යම් තරමකින් සීමා කළ හැකියි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය නොගෙන්වා බැහැ.

ඊළඟට කරන්න යන සංසන්දනය සඳහා මම ඉහත 2021 සංඛ්‍යාලේඛණ දොළහෙන් බෙදා මාසික සාමාන්‍ය අගයයන් ඉදිරිපත් කරන්නම්.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 320.7 

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,025.7 

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 371.9 

එකතුව  - ඩොලර් මිලියන 1,719.8 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,041.8 

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 678.0


දැන් අපට මෙම ගණන් පසුගිය (2022 මැයි) මාසයේ සංඛ්‍යාලේඛණ සමඟ සැසඳිය හැකියි. 

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 177.1 (-44.8%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,036.1 (1.0%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 238.2 (-36.0%)

එකතුව  - ඩොලර් මිලියන 1,451.5 (-15.6%)

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047.3 (0.5%)

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 404.2 (-40.4%)

ආනයන සීමා කිරීමේ බලපෑම පේනවනේ. සමස්තයක් ලෙස මැයි මාසයේ ආනයන වියදම පසුගිය වසරේ සාමාන්‍ය මාසික වියදමට සාපේක්ෂව 15.6%කින් අඩු වී තිබෙනවා. අපනයන ආදායම ආසන්න වශයෙන් සමානයි. ඉතා සුළු (0.5%ක) වැඩි වීමක් පමණක් තිබෙනවා. අපනයන ආදායම් අඩු නොවී ආනයන වියදම් අඩු වීම නිසා වෙළද හිඟය 40.4%කින් අඩු වී තිබෙනවා. පවතින තත්ත්වය තුළ මේ හැම දෙයක්ම සාධනීයයි.

අපනයන වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද? පරිභෝජන භාණ්ඩ සඳහා යන වියදම් 44.8%කින් අඩු වෙලා. මේ වෙද්දී පරිභෝජන භාණ්ඩ කාණ්ඩය යටතේ ආනයනය කෙරෙන්නේ බොහෝ දුරට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වැනි දේ පමණයි. මේ ප්‍රමාණය මීට වඩා අඩු වෙනවා කියා කියන්නේ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. දැනටම වුවත් ඖෂධ ආදිය හිඟයිනේ.

නමුත් අතරමැදි භාණ්ඩ සඳහා යන වියදම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සුළු වශයෙන් (1.0%කින්) වැඩි වෙලා. මේ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කළා කියලා අයහපතක් මිස සිදු වන කිසිදු යහපතකුත් නැහැ. මොකද අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපනයන ආදායම් අඩු වෙනවා කියන එක සහ දේශීය නිෂ්පාදිත අඩු වී ආනයන අවශ්‍යතා ඉහළ යනවා කියන එකයි. උදාහරණ විදිහට රෙදි ආනයනය කරන්න ඉඩ නුදුන්නොත් ඇඟලුම් අපනයනය කර ලැබෙන ඩොලර් ටික ලැබෙන්නේ නැහැ. පෝර ආනයනය නවත්තලා වී නිෂ්පාදනය පහත වැටුනොත් වෙන්නේ හාල් ආනයනය කරන්න. ඔය දෙකෙන්ම අන්තිමට වෙන්නේ වෙළඳ ශේෂය තවත් ඉහළ යන එකයි.

ආයෝජන භාණ්ඩ ආනයනය අඩු කිරීමෙන් වෙන්නෙත් ඔය ටිකම වුනත් පොඩි වෙනසකට තියෙන්නේ කෙටිකාලීනව මෙහි හානි විශාල නොවීමයි. හැබැයි ඔය වැඩේ වුනත් දිගින් දිගටම කරන්න ගියොත් වෙන්නේ අතරමැදි භාණ්ඩ ආනයන නැවතුනු විට වෙන දේම තමයි. මැයි මාසය වෙද්දී, ආයෝජන භාණ්ඩ ආනයනය 36.0%කින් අඩු වෙලා. ඒ කියන්නේ, මෙයත් අඩු කළ හැකි උපරිම සීමාවකට කිට්ටු වෙලා. 

කෙටියෙන් කිවුවොත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ දැවැන්ත කඩා වැටීමක් සිදු නොවී (දැන් තත්ත්වය මාර හොඳ තත්ත්වයක් කියා හිතෙන තරමේ) ඔයිට වඩා ආනයන පාලනය කරන්න බැහැ. ආනයන වැඩි නොකර අපනයන වැඩි කරන්න හෝ දේශීය නිෂ්පාදිත ඉහළ දමන්නත් බැහැ. 

මෙතැන තියෙන්නේ අපනයන කර්මාන්ත අමතක කර දේශීය නිෂ්පාදන දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීමේ ඓතිහාසික වැරැද්ද. මම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වැරැද්දක් කියන එක නෙමෙයි. ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ එයයි. ප්‍රශ්නය කරලා තියෙන විදිහට ඒ වැඩේ සිදු නොවීමයි.

ලංකාව වගේ රටකට ආනයනික යෙදවුම් නැතිව දේශීය නිෂ්පාදිතය ඉහළ දමන්න බැහැ. කවර කර්මාන්තයක් ගත්තත් තත්ත්වය ඕකයි. රටේ පරිභෝජනය සඳහා වුවත්, ආනයන සඳහා වුවත්, ලංකාවේ හදන ඕනෑම දෙයකට සැලකිය යුතු ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ආනයනික යෙදවුම් සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒ අපනයන ටික නිපදවන්නත් ආනයනික යෙදවුම් නැතුව බැහැ. ඒ නිසා, ආනයන වලින් රටට ශුද්ධ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙනෙන ගණනට වඩා ගොඩක් අඩුයි.

මේ කතාව ලංකාවේ ආනයන වලට අදාළ නැහැ. ලෝකයේ අනෙක් රටවල් වලට ලංකාවේ අපනයන තිබුණත් නැතත් මේ දේවල් හදන්න පුළුවන්. ඒ නිසා, ආනයන වෙනුවෙන් රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල තිබෙන ප්‍රමාණයම තමයි. මේ කරුණ සැලකුවහම ලංකාවේ සංඛ්‍යාලේඛණ අනුව ආනයන වියදම අපනයන ආදායම් මෙන් දෙගුණයක් ලෙස පෙනුණත් ඇත්තම අනුපාතය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වෙන්න පුළුවන්.

ලංකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්නනම් කළ යුත්තේ ආනයන වලට හැකි තරම් ඉඩ දෙන එක මිසක් ආනයන පාලනය කරන එක නෙමෙයි. මම මේ කියන්නේ දැන් කළ යුතු දෙයක් ගැන නෙමෙයි. දිගුකාලීනව සිදු විය යුතු දෙය. ලංකාවේ බයිසිකල් හදලා අපනයනය කරන්නේ බයිසිකල් ආනයනය කරන්න දුන් නිසා. මිනිස්සු ඇපල්, මිදි වවන්න උත්සාහ කරන්නේ ඒවා ආනයනය කරන්න ඉඩ දීමෙන් රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඇති නිසා. ආනයන නෑ කියන්නේ අපනයත් නැහැ. දේශීය නිෂ්පාදන වැඩි වෙන්නෙත් නැහැ.

වැරැද්ද ආනයන වලට ඉඩ දීම නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියලා ආනයන ඕනෑවට වඩා ලාබ කිරීම. ඩොලරයක මිල වැඩිනම් ආනයන භාණ්ඩ වෙළඳපොළේ තිබුණත් බොහෝ දෙනෙකුට මිල දී ගන්න බැරි තරමට මිල අධිකයි. අතේ සල්ලි නැති නිසා ගොඩක් අය කඩේ තියෙන බඩු දිහා බල බල යනවා. එතකොට තමයි දේශීය නිෂ්පාදකයෝ වැඩේට බහින්න පෙළඹෙන්නේ. මේ වැඩේ මාසෙකින් වෙන එකක්නම් නැහැ. 

අපි මැයි මාසයට නැවත යමු. ආනයන වියදම ඩොලර් මිලියන 1,451.5ක්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,047.3ක්. වෙළඳ හිඟය ඩොලර් මිලියන 404.2ක්. ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ ඔය වෙළඳ හිඟය නැති කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. දැන් මෙය එහි සීමාවට ඇවිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉතිරි ඩොලර් මිලියන 400 වෙන ක්‍රමයකින් හොයා ගන්නම වෙනවා.

අවුරුද්දකට විතර කලින්නම් ඔය ඩොලර් ප්‍රමාණය ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ආවා. පසුගිය මැයි මාසයේ ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 460ක්. නමුත් මේ මැයි මාසයේ ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 304ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ වැඩිවන ප්‍රවණතාවක් ලොකුවට පේන්න නැහැ. හැබැයි දැනට ලැබෙන මිලියන 300 ඒ විදිහටම ලැබුණත් තව විශාල අඩුවක් නැහැ. මේ කතා කරන්නේ ණය ප්‍රශ්නය පැත්තකින් තියලා. ඒ ප්‍රශ්නය වෙනම තියෙනවා.

සංචාරකයින් යම් ප්‍රමාණයක් ආවත් අඩුපාඩුව හොයා ගන්න අමාරු නැහැ. නමුත්, විදුලිය කැපෙද්දී, ප්‍රවාහනය අඩාල වී තියෙද්දී, ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටළු පේන්න තියෙද්දී සංචාරකයෝ ගෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඔය ඔක්කොම හොඳ විදිහට සිදු වුනත් කෙටිකාලීනව ගෙවිය යුතු ණය පිළිබඳ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා. ඒ නිසා, IMF වැඩේ කෙරෙන තුරු ඉස්සරහට යන්නනම් අසල්වැසි රටකින් කෙටිකාලීන ණය නැතිවම බැහැ. 

Friday, June 10, 2022

සංචිත පොඩ්ඩක් වැඩි වෙලා!


කලකට පසු මහ බැංකුවේ සංචිත සුළුවෙන් වුවත් ඉහළ ගොස් තිබෙනවා. අප්‍රේල් මාසය අගදී මහ බැංකුව සතු වූ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,812ක්. මැයි මාසය අවසන් වෙද්දී මෙම සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,920 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සංචිත වලින් වැඩි කොටසක් "ප්‍රයෝජනයට ගත නොහැකි" සංචිත බව ප්‍රචලිත කරුණක්. එසේ වුවද, වැඩි වී තිබෙන්නේ ප්‍රයෝජනයට ගත හැකි සංචිතයි.

මැයි මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වලද යම් වර්ධනයක් දැකිය හැකියි. අප්‍රේල් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණේ ඩොලර් මිලියන 248.9ක් පමණක් වුවත්, මැයි මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 304.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, අප්‍රේල් මාසයේදී සංචාරක ඉපැයීම් වලින් ලැබුණු ඩොලර් මිලියන 113.3 මැයි මාසයේදී ඩොලර් මිලියන 54.3 දක්වා අඩු වීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාමේ වාසිය නිශේධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේදී මෙන්ම මැයි මාසයේදීද ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් වල එකතුව ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 350කට ආසන්න විදේශ විණිමය ප්‍රමාණයක් පමණයි. 

මේ අනුව, මාසික අපනයන ආදායම ඩොලර් බිලියනයක් සේ සැලකුවත් ආනයන වෙනුවෙන් වැය කිරීම සඳහා සඳහා රටට ලැබෙන්නේ ඩොලර් මිලියන 1,350කට ආසන්න මුදලක් පමණයි. ආනයන ඉල්ලුම යම් තරමකින් අඩු වී තිබිය හැකි වුවත් බොහෝ විට ඩොලර් මිලියන 1,750ක් පමණවත් විය හැකියි. එයින් අදහස් වන්නේ තවමත් මසකට ඩොලර් මිලියන 400ක පමණ ඩොලර් ප්‍රමාණයක් කොහෙන් හෝ හොයා ගත යුතුව තිබෙනවා කියන එකයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක් ඉතා ඉක්මණින් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. කොයි තරම් හදිස්සි කළත් ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් යන බව පැහැදිලියි. ඒ වන තුරු උදවු කරන්නට සූදානම්ව සිටින්නේ ඉන්දියාව පමණයි. ඉන්දියාවෙන් කීයක් හරි ඉල්ලා ගන්නත් දිගින් දිගටම බැගෑපත් වෙන්න වෙනවා. 

ඉන්දියානු ණය පහසුකම නිසා ඉන්දියාවෙන් කරන ආනයන වෙනුවෙන් අදාළ ආනයනකරුවන් විසින් මුදල් ගෙවිය යුතු වුවත් ඒ මුදල් ඉන්දියාවට නොගොස් මහ බැංකුවේ ඉතිරි වෙනවා. මහ බැංකුව විසින් එම මුදල් පසුව ඉන්දියාවට ගෙවිය යුතුයි. මැයි මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය මිලියන 108කින් ඉහළ ගොස් තිබුණත්, බොහෝ විට මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා විය හැකියි.

රටට ඩොලර් අද්දවා ගැනීම සඳහා මහ බැංකුව විසින් මහ බැංකුවට කළ හැකි දේවල් කරමින් සිටිනවා. මහ බැංකුව විසින් අලුතෙන්ම ගත් ප්‍රතිපත්ති තීරණය වාණිජ බැංකු වල ඩොලර් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොලී සීමාව ඉවත් කිරීමයි. මෙවැනි ක්‍රියාමාර්ග වලින් යම් ප්‍රතිඵල ලැබිය හැකි වුවත් බංකොලොත් රටක බංකොලොත් මහ බැංකුවකට කළ හැකි දේ ඉතා සීමිතයි. 

Monday, April 25, 2022

ශ්‍රමික ප්‍රේෂණ 55%කින් ඉහළ යයි!


මාර්තු මාසය තුළ ලංකාවට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙබරවාරි මාසයට සාපේක්ෂව 55%කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර මුල සිටම ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් පහළ ගියා. ඩොලරයේ මිල ඉහළ යාමට සැලැස්වීමෙන් පසුව මෙම ප්‍රවණතාවයෙහි පැහැදිලි හැරවුමක් පෙනෙන්නට තිබෙනවා. 

පෙබරවාරි මාසයේදී ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 204.9ක් පමණයි. මාර්තු මාසයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 318.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ වුවත්, පසුගිය (2021) මාර්තු මාසයේදී ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මේ ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නයි.

Tuesday, March 1, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (නවවන කොටස)


පෙර කොටසින් විස්තරාත්මක ලෙස පැහැදිලි කළ පරිදි, ලංකාවේ ආර්ථිකය මේ වන විට පත් වී ඇති තත්ත්වයට වසංගතයේ දායකත්වය බැහැර කළ නොහැකි වුවත්, රටේ විදේශ අංශයට වසංගතය නිසා සිදු වූ යහපත් හා අයහපත් බලපෑම් සැලකිල්ලට ගැනීමෙන් පසුව නිගමනය කළ හැක්කේ වසංගතය නොපැවතියද මේ වන විට රටේ තත්ත්වය දැන් තිබෙනවාට වඩා යහපත් මට්ටමක නොතිබිය හැකි වූ බවයි. වසංගතය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් "පිනට" ලැබුණු ඩොලර් මිලියන 800ක මුදල වැනි සාධකද සැලකූ විට කිව හැක්කේ වසංගතය නොතිබුණානම් මේ වෙද්දී රටේ තත්ත්වය මීටත් වඩා දරුණු වන්නට වුවද ඉඩ තිබුණු බවයි.

ප්‍රශ්නයේ මුල් නිදහස ලැබූ කාලය තෙක්ම ඇදී යන නමුත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග නොවන්නට රටේ ආර්ථිකය මේ තරමටම කඩා වැටීමේ ඉඩක් තිබුණේ නැහැ. මේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග අතරින් බදු කැපිල්ලේ හානි මේ වන විට පුළුල් ලෙස සාකච්ඡා වී හා පිළිගැනීමට ලක් වී අවසන් වුවත් විණිමය අනුපාතය පාලනය කිරීමේ හානි ඒ තරමටම සාකච්ඡා වී නැහැ. 

ආනයන පාලනය කිරීමේ හානි යම් තරමකින් වැඩි අවධානයකට යොමු වී ඇතත් ආනයන පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙන්නේම විණිමය අනුපාතය පාලනය කිරීම නිසාය යන්න අවධාරණය වී තිබෙන්නේ අඩුවෙන්. මුලින් න්‍යාය මත පමණක් පදනම්ව සිදු විය හැකි බව පෙන්වා දුන් මේ කරුණ දැන් අපට සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පෙන්වා දිය හැකියි. 

වසංගතයට පෙර 2019 වසරේදී ආනයන පාලනයක් සිදු වූයේ නැහැ. වඩාත් නිවැරදිව කියනවානම් ආනයන පාලනය සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම අනුවයි. වෙළඳපොල විසින් ආනයන පාලනය කෙරෙන ස්වභාවික ක්‍රමය වන්නේ මිල ඉහළ යන්නට සැලැස්වීම මගින් ආනයන ඉල්ලුම අඩු කිරීමයි. මෙහිදී කිසිදු භාණ්ඩ හිඟයක් ඇති වන්නේ නැහැ. මෙයින් වෙනස්ව, මේ ආණ්ඩුවේ වත්මන් සාර්ව-ආර්ථික උපාය මාර්ගය වී තිබෙන්නේ මිල වැඩි නොකර සැපයුම පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵලය ඉල්ලුම තවතවත් ඉහළ යාමයි.

කෘතීම ආනයන පාලනයක් සිදු නොවූ 2019 වසරේදී ලංකාවේ ආනයන වියදම වූයේ ඩොලර් මිලියන 19,937ක් පමණයි. එහෙත්, වාහන, කිරිපිටි ආදී බොහෝ දේ ආනයනය කිරීම මුළුමනින්ම වලක්වා තවත් ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සීමා කර තිබියදී පවා 2021 වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී තිබෙන මුදල ඩොලර් මිලියන 20,637ක්. මෙය ඩොලර් මිලියන 700ක ඉහළ යාමක්. මීට සාපේක්ෂව අපනයන ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 562කින් පමණයි. මේ අනුව, කොපමණ ආනයන සීමා දැම්මත් 2019ට සාපේක්ෂව 2021දී වෙළඳ හිඟය සුළුවෙන් හෝ වැඩි වී මිස අඩු වී නැහැ.

විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී, ආනයනික භාණ්ඩ කෘතීම ලෙස ලාබ කර, තෝරාගත් කාණ්ඩ වල ආනයනික භාණ්ඩ ආනයනය වැළැක්වූ විට සිදු වන්නේ එසේ තහනම් නොකළ ආනයනික භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. ආනයනික භාණ්ඩ ආනයනය එකින් එක තහනම් කර ගෙන ගොස් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ භාණ්ඩ ආනයනය මුළුමනින්ම නැවැත්වීමෙන් පසුව පමණයි. ආනයනික භාණ්ඩ සඳහා වැය වන විදේශ විණිමය රට තුළ රඳවා ගත හැකි සරලම හා පහසුම ක්‍රමය විණිමය අනුපාතය ඉහළ යන්නට ඉඩ දීමයි. එය නොකරන තුරු ක්‍රමක්‍රමයෙන් රට තුළ ආනයනික භාණ්ඩ හිඟය ඉහළ යාම වැළැක්විය නොහැකියි. 

ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක ආනයනික භාණ්ඩ සීමා වීම යන්නෙන් අදහස් වන්නේ දේශීය නිෂ්පාදනයද විශාල ලෙස බිඳ වැටෙනවා යන්නයි. ලංකාවේ දේශීය නිෂ්පාදන බොහොමයකට සැලකිය යුතු තරමක ආනයනික ආදාන අවශ්‍යයි. මේ වන විට මේ දේවල් ඇස් පනාපිට පෙනෙමින් තිබෙනවා. වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය ඇතුළු සේවා ආර්ථිකයටද විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුවන හානිය පැහැදිලි ලෙසම දැකගත හැකිව තිබුණා. මේ වසර මැද වන විට වසංගත බිය දුරු වී ලෝකය බොහෝ දුරට පෙර පැවති මට්ටමට පැමිණෙනු ඇති නමුත් පවතින විණිමය අනුපාතය එලෙසම තිබියදී සේවා ගිණුමේ අතිරික්තය 2019 මට්ටමට ඉහළ නංවා ගැනීම ගිම්හානයේ දකින සිහිනයක් පමණයි. 

කෙසේ වුවත්, විණිමය අනුපාතය පාලනය කිරීමේ හානිය වැඩි වශයෙන්ම දැනී තිබෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන ද්වීතියික ආදායම් ගිණුමටයි. මෙය අනිවාර්යයෙන්ම මහ බැංකුව ඇතුළු ලංකාවේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා නොකළ තත්ත්වයක්. ආර්ථික න්‍යාය දැන සිටියත් ඒවා පිළිබඳව විශ්වාසයක් නැති වූ විට මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. 

ළමයා ඉපදෙන්න කලින්ම හඳහන් බලනවා වගේ මහ බැංකුව විසින් අනාගතයේ ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ කලින්ම විකුණන්නට සැලසුම් හැදුවා. මෙහිදී මහ බැංකුවේ උපකල්පනය වුනේ ශ්‍රමික ප්‍රේෂණ කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ නොසිඳෙන ඩොලර් උල්පතක් බවයි. කන්න නොදී කොයි තරම් පහර දුන්නත් කිරි සපයන කිරි එළදෙනක් බවයි. 2021 නොවැම්බර් තරම් මෑත කාලයකදී පවා මහ බැංකුව මේ විශ්වාසය තුළ සිටියා. වසරකට ඩොලර් මිලියන 7,000ක ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එක ගැන මහ බැංකුවට කිසිම සැකයක් තිබුණේ නැහැ.

පසුගිය වසර පහක හෝ ඊටත් වැඩි කාලය තුළ වසරකට ඩොලර් බිලියන 7ක පමණ ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබුණා කියන එක කවුරුත් දන්නා දෙයක්. ඇත්තටම මේ ශ්‍රමික ප්‍රේෂණ කියන අර්ථදක්වීමේත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුව කතා කරමු. කොහොම වුනත් පහුගිය අවුරුදු වල ලංකාවට සල්ලි එවන අයට ඩොලරයක් වෙනුවෙන් සාධාරණ රුපියල් ප්‍රමාණයක් ලැබුණා. අවුරුද්දකට ඩොලර් බිලියන හතක් සල්ලි ආවේ ඒ තත්ත්වය යටතේ.

දැන් වෙලා තියෙන්නේ කුමක්ද? 2021 ජනවාරි මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 675.3ක් ලැබුණා. ඔය ගණන දොළහෙන් වැඩි කළොත්, ඩොලර් මිලියන 8,103.6ක්. නමුත්, 2022 ජනවාරි මාසයේදී ලැබුණේ ඩොලර් මිලියන 259.2ක් පමණයි. දොළහෙන් වැඩි කළොත් ඩොලර් මිලියන 3,110.4ක් පමණයි. ඩොලර් බිලියන 5ක වෙනසක්. පේනවනේ යන්නේ කොහාටද කියලා.

ලංකාවේ ආණ්ඩුවට හා මහ බැංකුවට ආනයන පාලනය කරලා රටට එන ඩොලර් රටින් එළියට යන එක වලක්වා ගන්න උත්සාහ කරන්න පුළුවන්. අපනයනකරුවන් විසින් උපයන ඩොලර් රටට ගේන්න කියලා ඔවුන්ට බල කරන්නත් පුළුවන්. හැබැයි ඔය විදිහට තග දාලා රටින් පිට සිට ලංකාවට ඩොලර් ගෙන්න ගන්න බැහැ. රටින් පිට ජීවත් වන අය ලංකාවේ ආණ්ඩුව කියන දේවල් මායිම් කරන්නේ නැහැ. අනිත් එක සල්ලි එවද්දී "රට විරුවෝ" වුනත් ඔය මිනිස්සුන්ට කෝවිඩ් කාලේ ආණ්ඩුව සලකපු විදිහත් අමතක නැතුව ඇතිනේ. ඒ නිසා, නියම රුපියල් ගණන නොලැබෙද්දී ආණ්ඩුව ගැන අනුකම්පා කරලා සල්ලි එවයිද?

දැනටත් මහ බැංකුව හිතන බව පෙන්නේ කොහොම හරි සල්ලි උන්ඩියල් වෙන එක නවත්ත ගත්තොත් වැඩේ ගොඩ කියලා. උන්ඩියල් පාලනය කරන්න ගියොත් වෙන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එක පමණයි. උන්ඩියල් වෙන සල්ලි බැංකු පද්ධතිය හරහා නොආවත් වක්‍ර ලෙස හෝ රටට එනවා. වැඩිය සෙල්ලම් දාන්න යනවා කියන්නේ ඒ එන ටිකත් නැති වෙන එකයි.

ලංකාවේ ගොඩක් අයගේ අදහස දරු පවුල ලංකාවේ තියලා මැද පෙරදිග රැකියා වලට යන අය ලංකාවට ඩොලර් එවුවත් ස්ථිර පදිංචිය සඳහා බටහිර රටවලට යන අය සල්ලි එවන්නේ නැහැ කියන එක. සමහර අය කියන විදිහට ඒ අය ලංකාවේ තිබෙන ඉඩකඩමුත් විකුණලා ඩොලර් රටින් අරන් යන එකයි කරන්නේ. මේ කතාවේ ඇත්තක් තිබුණත් එය අර්ධ සත්‍යයක්. සංඛ්‍යාලේඛණ වල කොයි තරම් නිවැරදිව පිළිබිඹු වනවාද කියලා මම දන්නේ නැතත්, ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් විසින්ද ලංකාවට සැලකිය යුතු මුදලක් එවනවා. මම පෞද්ගලිකව දන්න ගොඩක් අය පවුල පිටින්ම රටින් පිටවෙලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත් හැම අවුරුද්දකම විශාල මුදලක් ලංකාවට යවන අය.

පවුල ලංකාවේ සිටිද්දී, වෘත්තීය නොවන රැකියාවක් කරන්න මැද පෙරදිග රටකට ගොස් සිටින අයෙකුට මාස්පතා ලංකාවට සල්ලි නොඑවා ඉන්න බැහැ. බැංකු හරහා, උන්ඩියල් කරලා බැරිනම් පරෙයියෙක්ගේ කකුලේ බැඳලා හරි ඒ අයට ලංකාවට සල්ලි එවන්නම වෙනවා. එහෙම නොකළොත් ගෙවල් වල මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නැහැ. බටහිර රටක ස්ථිර පදිංචිය සඳහා ගිහින් සිටින කෙනෙකුට ඒ ප්‍රශ්නය නැහැ. ඒ අය සල්ලි එවන තුරු බලා ඉන්න පවුලක් ලංකාවේ නැහැ.

මේ වගේ කෙනෙක් ලංකාවට සල්ලි එවන්නේ එක්කෝ තමන්ගේ විස්තෘත පවුලේ සාමාජිකයෙකුගේ කුමක් හෝ වියදමක් වෙනුවෙන්. වයස්ගත දෙමවුපියන්, සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේ විදිහට සල්ලි එවන්නේ මරණයක්, මගුලක්, දානයක්, උපන් දිනයක් වගේ විශේෂ අවස්ථාවකදී මිසක් මාස්පතා දීමනාවක් විදිහට නෙමෙයි. එහෙම නැත්නම් සමාජ කටයුත්තකට. පන්සලකට, ළමා නිවාසයකට හෝ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයට වගේ තැනකට වෙන්න පුළුවන්. තවත් අය සල්ලි එවන්නේ ලංකාවේ කුමක් හෝ දේපොළක් මිල දී ගන්න හෝ සංවර්ධනය කරන්න. එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා. මේවා හරිනම් සංඛ්‍යාලේඛණ වල ප්‍රාග්ධන ගිණුමේ සටහන් විය යුතු වුවත්, වෙන් කර හඳුනා ගන්න අමාරු නිසා ශ්‍රමික ප්‍රේෂණ ගොඩටම එකතු වෙනවා.

ඔය කවර හෝ හේතුවක් නිසා සල්ලි එවන අයට ඒ සල්ලි ලංකාවට එවන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, මේ ගොඩේ ඉන්න අය ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන දැනුවත් පිරිසක්. ඩොලරයක මිල වැඩි කලක් ඔය විදිහට තියා ගන්න බැරි බව ඒ අයට තේරෙනවා. මේ සල්ලි උන්ඩියල් වෙන්නේ නැහැ. රටට එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා. 

මේ ගොඩට දැමිය හැක්කේ බටහිර රටවලට ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින අය එවන සල්ලි පමණක් නෙමෙයි. මැදපෙරදිග රටවල වෘත්තීය රැකියා කරන අයටත් මේ කතාව අදාළයි. අපි හිතමු මැදපෙරදිග රටක සේවය කරන ගණකාධිකාරීවරයෙක් ගැන. ඔහුගේ බිරිඳ හා දරුවන් ඉන්නේ ලංකාවේ. බිරිඳ වෘත්තීය රැකියාවක් කරන්නේ නැත්නම් අඩු ගානේ ගුරු රැකියාවක් හෝ කරනවා. මේ පවුලේ සාමාජිකයින් සතුව ලංකාවේ බැංකු වල ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක්ද තිබෙනවා. දැන් අර මැදපෙරදිග ඉන්න පියා මාස කිහිපයක් ඩොලර් නොඑවුවා කියලා ලංකාවේ ඉන්න පවුල කන්න නැතුව මැරෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි උන්ඩියල් කරන්න හදිස්සියක් නැහැ. 

ශ්‍රමික ප්‍රේෂණ ලෙස මසකට ලැබුණු මුදලින් ඩොලර් මිලියන 400කටටත් වඩා අඩු වී තිබීමෙන් අදහස් වන්නේ ඔය මුදල උන්ඩියල් වෙනවා කියන එක නෙමෙයි. උන්ඩියල් වන මුදල වැඩිම වුනොත් මාසයකට ඩොලර් මිලියන 100ක් පමණ විය හැකියි. ඉතිරි කොටස අදූරදර්ශී විණිමය ප්‍රතිපත්තිය නිසා හිඳී ගොස් ඇති විදේශ විණිමය උල්පතක්. 

විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කියන්නේ ලංකාවට නොසලකා හැරිය හැකි පිරිසක් නෙමෙයි. හොඳට හෝ නරකට හෝ අනාගතයේදී ලංකාවේ කලාව, දේශපාලනය හා ආර්ථිකය මේ පිරිස විසින් තීරණය කරනු ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. දැනටත් ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, සිංදු, පොත්, වෙබ්අඩවි, සමාජ මාධ්‍ය, සමාජ සේවා, ක්ෂුද්‍ර ව්‍යාපාර, සිංහල ජාතිකවාදය ඇතුළු මතවාද සංස්කරණය ආදිය තුළ ඩයස්පෝරාවේ බලපෑම ඉතාම විශාලයි. ඒ බව නොසලකා හරින අයට මෝඩ චූන් ගන්න පුළුවන්. අනෙක් කරුණු කෙසේ වුවත්, ජවිපෙ මේ කරුණ නිවැරදිව අවබෝධ කරගෙන සිටින බව පේනවා. රැස්වීම තංගල්ලේ වුනත්, ගම්පහ වුනත් ජවිපෙ කථිකයෝ කතා කරන්නේ ඩයස්පෝරා සාමාජිකයින්ටත් එක්කයි.

උන්ඩියල් වෙළඳපොළ කියන්නෙත් සමතුලිත වෙළඳපොළක්. උන්ඩියල් ක්‍රමයට රටට එන හැම ඩොලර් එකක්ම අනික් පැත්තට රටින් එළියට යනවා. ඒ කියන්නේ, ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තා වී නැති ඩොලර් එකක් උන්ඩියල් ක්‍රමයට රටට ඇවිත්නම් රටින් එළියට ගිය ඩොලර් එකකුත් සංඛ්‍යාලේඛණ වල නැහැ කියන එකයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික ප්‍රේෂණ ලෙස වසරකට ඩොලර් බිලියනයක් පමණ ලංකාවෙන් එළියට යනවා. බැංකු වලින් ඩොලර් ගන්න අමාරු නිසා 2021 වසරේදී මේ ප්‍රමාණයෙන් ඩොලර් 600ක් පමණ නියම ක්‍රමයට එළියට ගිහින් නැහැ. එයින් කොටසක් උන්ඩියල් වෙන්න ඇති. ආනයන වෙනුවෙන්ද යම් ඩොලර් ප්‍රමාණයක් උන්ඩියල් ක්‍රමයට රටින් යන්න ඇති. ඔය සියල්ල එකතු කළත් ඩොලර් බිලියනයකට වඩා වැඩි වෙන්න බැහැ. උන්ඩියල් ක්‍රම වලට වැඩි වැඩියෙන් වැට බඳින තරමට වෙන්නේ කළු කඩේ ඩොලර් මිල තවත් ඉහළ ගොස් නිල විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යන එක පමණයි.

දැන් තත්ත්වය අනුව වඩා සුදුසු ජංගම ගිණුම දෙස මාසික පදනමකින් බලන එකයි. අවුරුද්දකට පස්සේ තත්ත්වය ගැන හිතන එකෙත් ලොකු තේරුමක් නැහැ. පවතින තත්ත්වය තුළ මාසයකට ඩොලර් මිලියන 1000ක් පමණ අපනයන වලින් ලැබෙද්දී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1700ක් වියදම් වෙනවා. ණය පොලී ගෙවන්න තවත් ඩොලර් 200ක් යනවා. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 900ක් පමණ හොයා ගත යුතුයි. සංචාරකයන්ගෙන් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන්නේ ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. තවත් ඩොලර් මිලියන 400ක් අඩුයි. ඒ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමේ ප්‍රතිඵලය. 

විණිමය අනුපාතය අවප්‍රමාණය වූ ගමන්ම ඔය ඩොලර් මිලියන 400 නැවතත් රටට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොයාගන්න වෙන්නේ ණය ආපසු ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික පමණයි. නමුත් වැරදි විණිමය ප්‍රතිපත්තිය නිසා දැන් මාසයකට තවත් අමතර ඩොලර් මිලියන 400ක් හොයාගන්න වෙලා. සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. ඉන්දියාව තවත් කොයි තරම් කාලයක් ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කරයිද?

Sunday, November 21, 2021

ශ්‍රමික ප්‍රේෂණ උල්පතත් හිඳෙන්නද යන්නේ?


වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා දැඩි විදේශ විණිමය අර්බුදයකට මුහුණ දී සිටින ලංකාව මේ තරමින් හෝ ඔළුව උස්සාගෙන ඉන්නේ දිගින් දිගටම ලැබෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණ නිසයි. විශාල විදේශ විණිමය අර්බුදයක සිර වී සිටි පසුගිය වසරේදීද ලංකාවට ඩොලර් මිලියන 7,103.9ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණා. මෙය සාමාන්‍ය වශයෙන් මසකට ඩොලර් මිලියන 592ක්. අඩු වශයෙන් පසුගිය වසර හතක පමණ කාලය තුළ ලංකාවට සාමාන්‍ය වශයෙන් මාසිකව මීට ආසන්න ඩොලර් ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණා.

කෙසේ වුවද, පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 352.2ක් පමණයි. මෙම ප්‍රමාණය පසුගිය වසර 11ක කාලය තුළ ලංකාවට මසක් තුළ ලැබී ඇති අවම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වන අතර පෙර වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 702.7න් බාගයක පමණ ප්‍රමාණයක්. 

මහ බැංකුවේ විදේශ විණිමය උපයා ගැනීමේ උපාය මාර්ග අතරද ශ්‍රමික ප්‍රේෂණ වලට විශාල බරක් තබා තිබෙනවා පමණක් නොව අනාගතයේදී ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ ඇපයට තබා ණය ගැනීමේ සැලසුමක් පිළිබඳවද මහ බැංකුව මෑතකදී ප්‍රකාශයක් නිකුත් කළා. එහෙත්, මෙය කරන්න යන්නේ විණිමය අනුපාතය හිර කරගෙන තබා ගෙනයි. 

විණිමය අනුපාතය හිර කරගෙන ශ්‍රමික ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම, අපනයන වැඩි කිරීම, ආනයන ඉල්ලුම සීමා කිරීම ආදී කිසිවක් කළ නොහැකියි. සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් මෙය අධෝමුඛය මසා විරේක බේත් දෙනවා වගේ වැඩක්.

ශ්‍රමික ප්‍රේෂණ මේ තරම්ම අඩු වෙන්න පිළිගත හැකි බාහිර හේතුවක් නැහැ. මෙයින් පෙනෙන්නේ ලංකාවට සාමාන්‍යයෙන් ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් විශාල ප්‍රමාණයක් බැංකු පද්ධතිය මඟ හැර වෙනත් මාර්ග හරහා රටට පැමිණෙන බවයි. අනෙක් පැත්තෙන් එයින් අදහස් වන්නේ ඩොලර් අවශ්‍ය, එහෙත් විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමේ අවස්ථාව අහිමි කරනු ලැබ ඇති, ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් මොන විදිහකින් හෝ තමන්ට අවශ්‍ය ඩොලර් හොයා ගන්නා බවයි. කවර බාධා ක්‍රියාත්මක වුවත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම නොවැලැක්විය හැකියි.

මෙතෙක් ඉදිරිපත් කළ "මහදැනමුතු විසඳුම්" බොහොමයක්ම මේ වන විට රිවස් කර තිබෙන මේ ආණ්ඩුවට විදේශ විණිමය ප්‍රතිපත්තියද වැඩි කලක් නොයා රිවස් කරන්නට සිදු වනු නොඅනුමානයි. දැනටමත් එළුවාගේ බෙල්ල කපා අවසන් කර ඇති ආණ්ඩුව කොයි වෙලාවේ හෝ මුට්ටිය බිඳීමෙන් පසුව ඩොලරයේ මිල එකවර සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එවිට සිදු වනු ඇත්තේ දැනට විරේක බෙහෙත් බීමේ අපහසුතාවයෙන් පෙලෙන ජනතාවට අධෝමුඛය ඉරී යාමේ වේදනාවටද මුහුණ දෙන්නට සිදු වීමයි.

Sunday, February 14, 2021

විදේශ සංචිත අඩුවුණේ කොහොමද?


පසුගිය වසර ආරම්භ වන විට ලංකාවේ නිල විදේශ විණිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,642ක්. වසර අවසාන වෙද්දී මෙම නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,665 දක්වා අඩු වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1,977ක අඩුවක්. ජනවාරි මාසය ඇතුළත තවත් ඩොලර් මිලියන 851කින් අඩු වීමෙන් පසුව තවත් ඉතිරිව තිබෙන්නේ ඩොලර් මිලියන 4,815ක් පමණයි. වසරේ ඉදිරි මාස එකොළහ තුළ විදේශ ණය හා වාරික ලෙස ගෙවිය යුතු මුදල මීට වඩා වැඩියි. 

ලංකාව නැවත වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලියි. කොහොම වුනත් ගෙවුම් ශේෂ අර්බුද ලංකාවට අලුත් දෙයක්නම් නෙමෙයි.

පසුගිය වසර ඇතුළත ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

විදේශ සංචිත අඩු වුනේ කෝවිඩ් නිසා කියන එකනම් පිළිගන්න අමාරුයි. ඇතැම් විට කෝවිඩ් වසංගතය නොවන්නට තත්ත්වය වඩාත් දරුණු විය හැකිව තිබුණු බව මගේ අදහසයි. මා එසේ කියන්නේ හේතු ඇතිව.

ලංකාවට විදේශ විණිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුන විදිහට භාණ්ඩ අපනයනය, සේවා අපනයනය හා ශ්‍රමික ප්‍රේෂණ හඳුනා ගත හැකියි. පසුගිය වසර ඇතුළත විදේශ විණිමය ලැබෙන මේ එක් එක් මාර්ගයට සිදු වුනේ කුමක්ද?

වසර තුළදී භාණ්ඩ අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 1,863කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,266ක්ම අඩු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායමින්. කොහොමටත් ලංකාවේ අපනයන ආදායමෙන් බාගයකට වඩා ලැබෙන්නේ ඇඟලුම් අපනයන වලින් නිසා මෙහි විශාල අමුත්තකුත් නැහැ. ඉතිරි අඩුව අනෙක් සියළුම අපනයන අතර බෙදී ගොස් තිබෙනවා. 

අපනයන ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ හා යුරෝපයේ ඇඟලුම් ඇතුළු අනෙකුත් අපනයන සඳහා වූ ඉල්ලුම අඩු වීම ලෙස හඳුනාගත හැකියි. ඒ අනුව, අවශ්‍යනම් ගෙවුම් ශේෂ හිඟයට හේතුව වසංගතය නිසා අපනයන ආදායම් අඩු වීම කියන සරල නිගමනයට පැමිණිය හැකියි. එහෙත් එවැනි නිගමනයක් නිවැරදි නොවන්නේ වසංගතය නිසා අපනයන ආදායම් අඩු වනවාට වඩා වැඩියෙන් ආනයන වියදම් අඩු වී තිබීම නිසයි.

අපනයන ආදායම් ඩොලර් 1,863කින් අඩු වෙද්දී ආනයන වියදම් ඩොලර් 3,882කින් අඩු වී තිබෙනවා. මේ අනුව, පසුගිය වසරේදී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 2,019කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදියකින් කිවුවොත් ආනයන අපනයන පරතරයක් තිබුණත් එය පෙර වසරට වඩා ඩොලර් මිලියන 2,019කින් අඩු පරතරයක්. ඒ නිසා, සංචිත වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. 

ආනයන වියදම් වලින් ඩොලර් 1,349ක්ම අඩු වී තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. කෝවිඩ් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වීමත්, රට ඇතුළේ ඉන්ධන අවශ්‍යතා යම් තරමකින් අඩු වීමත් මෙයට හේතුව බව පැහැදිලියි. ඒ කියන්නේ මෙය වසංගතය නිසා ලැබුණු වාසිදායක ප්‍රතිඵලයක්. මේ වාසිය පමණක් ගත්තත් ඇඟලුම් අපනයන අඩු වීමේ අවාසියට වඩා වැඩියි. 

ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ඇඟලුම් වුනත් මේ අපනයන නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය ආනයනය කරන නිසා කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම ශුද්ධ අපනයන ආදායමක් නෙමෙයි. ආදායමෙන් කොටසක් අමුද්‍රව්‍ය ආනයනය සඳහා නැවත රටෙන් එළියට යනවා. කර්මාන්තය කඩා වැටෙන විට අපනයන ආදායම් අඩු වනවා වගේම ආනයන වියදම් වලින් කොටසක්ද අඩු වෙනවා. පසුගිය වසර තුළ ඇඟලුම් හා රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574කින් අඩු වී තිබෙනවා. ඒ කියන්නේ, අඩු වුනු ඇඟලුම් අපනයන ආදායම් වලින් බාගයකට කිට්ටු මුදලක් ඇත්තටම අඩු වෙලා නැහැ. වෙන පැත්තකින් ඉතුරු වෙලා. 

මේ අනුව, මෙම මුදල අඩුකර, සමස්ත අපනයන ආදායමේ සැබෑ අඩු වීම ඩොලර් මිලියන 1,863 - 574 = 1,289ක් කියා කියන්න පුළුවන්. තෙල් වලින් පමණක් ලැබී තිබෙන වාසිය ඩොලර් 1,349ක්. ඒ වාසිය අපනයන අඩුවීමේ සමස්ත අවාසියට වඩා වැඩියි. වසංගතය නිසා වෙළඳ ශේෂයට වාසියක් මිස අවාසියක් සිදු වී නැති බව ඉතාම පැහැදිලියි.

එහෙමනම්, ශ්‍රමික ප්‍රේෂණ අඩු වෙලාද?

ඒත් නැහැ. වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 387ක වැඩි වීමක්. වසංගතය නිසා ශ්‍රමික ප්‍රේෂණ තවත් වැඩි වී මිස අඩු වී නැහැ. 

පසුගිය අවුරුද්දේ සමස්ත වෙළඳ ශේෂය ඩොලර් මිලියන 5,978 දක්වා අඩු වෙද්දී ශ්‍රමික ප්‍රේෂණ විදිහට පමණක් ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙතැනම ඩොලර් මිලියන 1,126ක් වැඩිපුර තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම ලංකාවේ වෙළඳ ශේෂ හිඟයෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ආවරණය වුනත් මේ විදිහට ශ්‍රමික ප්‍රේෂණ වලින් වෙළඳ ශේෂ හිඟය මුළුමනින්ම ආවරණය වුනේ පළමු වතාවට කියලයි මම හිතන්නේ. 

ආනයන පාලනය කිරීමේ බලපෑම නොසලකා හැරිය නොහැකි වුවත්, මෙය බොහෝ දුරට වසංගතය නිසා ලැබුණු වාසියක්. ආනයන පාලනය ගැන අපි වෙනම කතා කරමු.

දැන් අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුව, කෝවිඩ් නිසා භාණ්ඩ අපනයන වෙළඳපොළේ තත්ත්වය හොඳ අතට මිස නරක අතට හැරී නැහැ. දෙවනුව, ශ්‍රමික ප්‍රේෂණ වැඩි වී මිස අඩු වී නැහැ. 

වසංගතය නිසා සිදු වූ තුන් වන පාඩුව ලෙස සැලකෙන්නේ සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම් අඩු වීම. පසුගිය වසර තුළදී සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 957ක් පමණයි. පෙර වසරේ ආදායම ඩොලර් මිලියන 3,607ක්. මෙය ඩොලර් මිලියන 2,650ක අඩුවක්. 

සංචාරක කර්මාන්තයෙන් ලංකාව විශාල ආදායමක් උපයනවා කියන එක ඇත්ත. හැබැයි අනෙක් පැත්තට ශ්‍රී ලාංකිකයින් විදේශ රටවල සංචාරය කරද්දී වියදමක්ද යනවා. ඒ නිසා මේ මුළු මුදලම කර්මාන්තය හරහා සිදු වූ ශුද්ධ විදේශ විණිමය ලැබීමක් ලෙස සලකන්න බැහැ. පහුගිය අවුරුද්දේ සංචාරක ආදායම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,607ක් වෙද්දී සංචාරක වියදම්ද ඩොලර් මිලියන 1,638ක්ව තිබුණා. ඒ නිසා කර්මාන්තයේ ශුද්ධ විදේශ විණිමය ලැබීම ප්‍රමාණය වුනේ ඩොලර් මිලියන 1,969ක් පමණයි. ඒ වගේම සමස්තයක් ලෙස සියලුම සේවා අංශ වලින් ඩොලර් මිලියන 2,849ක ශුද්ධ විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී තිබුණා.

දැන් මේ අවුරුද්දේ සංචාරක ආදායම් ඩොලර් මිලියන 2,650කින් අඩු වෙද්දී සංචාරක වියදම්ද විශාල ලෙස අඩු වී තිබිය යුතුයි. මාර්තු වලින් පස්සේ ලාංකිකයින් විදේශ සංචාර වල යෙදෙන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනානේ. ඒ නිසා, ඉහත කී අවාසියෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු විය යුතුයි. සංඛ්‍යාලේඛණ හරියටම නැතත් වසංගතය නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 1-1.5 ප්‍රමාණයක් කියා හිතන්න පුළුවන්. මේ මට්ටමේ අවාසියක් සිදු වුනත්, සමස්තයක් ලෙස ලංකාවේ සේවා ගිණුමේ අතිරික්තයක් තිබිය යුතුයි. 

වෙළඳ ගිණුමේ හිඟය ශ්‍රමික ප්‍රේෂණ වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලානම්, සේවා ගිණුමේත් හිඟයක් නැත්නම්, පසුගිය වසර තුළදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

මෙය වසංගතය නිසා සිදු වී ඇති දෙයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ හෝ ව්‍යාපාරිකයින්ගේ අකාර්යක්ෂමතාවය හෝ වෙනත් වැරැද්දක් නිසා සිදු වී ඇති දෙයක්ද නෙමෙයි. සමස්තයක් විදිහට රටේ පෞද්ගලික අංශය විසින් වියදම් කරනවාට වඩා වැඩියෙන් විදේශ විණිමය උපයා තිබෙනවා. පසුගිය වසර පමණක් තනිව ගත්තොත් රජයේ කාර්යභාරයත් සාධනීයයි.

පහුගිය කාලය මුළුල්ලේම රටේ සමස්ත ගෙවුම් ශේෂය යම් ස්ථාවර තත්ත්වයක පැවතුනා තමයි. උදාහරණයක් විදිහට 2019 වසර තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 377කින් ඉහළ ගියා. නමුත්, එසේ නිල සංචිත ඉහළ ගියේ විදේශ ණය විදිහට රජය විසින් ඩොලර් මිලියන 6,570ක් ලබා ගැනීමෙන් පසුවයි. ණය නොගත්තානම් පසුගිය වසරේදීම විදේශ සංචිත හිඳිලා. ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 4,400ක්ම ලබා ගත්තේ ස්වෛරීත්ව බැඳුම්කර විකුණලා. ඉතිරි ඩොලර් මිලියන 2,170 වෙනත් ණය. මේක කාලයක් තිස්සේම ගහපු රෝලක්.

මේ වෙද්දී මේ රෝල තවදුරටත් ගහන්න බැරි තරමට තත්ත්වය නරක අතට හැරිලා. එයට හේතුව වසංගතය නෙමෙයි. වසංගතය නොතිබුණත් මේ වෙද්දී ඔය ටික වෙනවා. දැන් මේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු දෙය වසංගතය පිට දමන්න හැකි වී තිබෙනවා. 

දැන් ලංකාවට තවදුරටත් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ණය ගන්න බැහැ. එසේ බැරි වුනේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහළට දමපු නිසා නෙමෙයි. එය සිදු වී තිබෙන්නේ අනෙක් පැත්තටයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන වලට ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළට දමන්න සිදු වුනේම ලංකාවට ස්වෛරීත්ව බැඳුම්කර හරහා තවදුරටත් ණය අරගෙන ගෙවන්න බැරි මට්ටමට වැටී තිබෙන නිසයි. ශ්‍රේණිගත කිරීම් පහළට නොදමන්නට ලංකාව තවත් ණය අරගෙන මීට වඩා ලොකු අමාරුවක වැටෙනවා.

පහුගිය අවුරුද්ද ඇතුළත ලංකාවේ රජයට ස්වෛරීත්ව බැඳුම්කර විකුණා එක ඩොලරයක් හෝ හොයා ගන්න පුළුවන් වුනේ නැහැ. එහෙත්, වෙනත් ක්‍රම වලින් ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. 2019 වසරේදී ලබාගත් ඩොලර් මිලියන 6,570ක ශුද්ධ විදේශ ණය ප්‍රමාණය එක්ක බැලුවහම මෙය ඩොලර් මිලියන 4,568ක අඩුවක්. 

රජය විසින් ලබාගත් විදේශ ණය ඩොලර් මිලියන 4,568කින් අඩු වෙද්දී විදේශ සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,977කින් පමණයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. මෙයින් අදහස් වෙන්නේ පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 2,591කින් ශුද්ධ විණිමය ලැබීම් ඉහළ ගිහින් කියන එකයි. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,019කින් අඩු වීමත්, ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් ඉහළ යාමත් මේ වෙනස බොහෝ දුරට පැහැදිලි කරනවා. ඊට අමතරවද  තවත් ඩොලර් මිලියන 185ක ඉතිරියක් තිබීමෙන් පෙනෙන්නේ සේවා ගිණුම ඇතුළු අනෙක් සියලු ගිණුම් වල ශේෂයන් සමස්තයක් ලෙස ගත් විටද හොඳ අතට මිස නරක අතට හැරී නැති බවයි. 

ආනයන පාලනය වෙනම දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ආනයන පාලනය කිරීම ඉහත ප්‍රතිඵලය කෙරෙහි බලපා ඇති බවත්, ආර්ථික වර්ධනය අඩාල කිරීමටද හේතු වී ඇති බවත් බොරු නෙමෙයි. එහෙත්, මෙහිදී රජය පැත්තෙන් සිදු වී තිබෙන්නේ අවශ්‍ය පමණ විදේශ ණය ගැනීමේ හැකියාවක් නැති නිසා විකල්පයක් නැති කමින් ආනයන පාලනය කිරීම කෙරෙහි යොමු වීමක් මිස ආනයන පාලනය හේතුවෙන් ණය ගන්න අවශ්‍ය නොවීමක් නෙමෙයි. යම් හෙයකින් පහසුවෙන් තවත් විදේශ ණය ලබා ගත හැකිව තිබුණානම් මේ විදිහේ ආනයන පාලනයක් කරා රජය යොමු නොවිය හැකිව තිබුණා.

මොන විදිහෙන් සිදු වුනත් සිදු වී තිබෙන්නේ සිදු විය යුතුව තිබුණු දෙයක්. විදේශ සංචිත අඩු වී ඇතත්, විදේශ ණය අඩු වූ තරමට විදේශ සංචිත අඩු වී නැහැ. වසංගතය නිමා වීමෙන් පසුවද මේ ක්‍රමයට දිගටම ගියොත් දිගුකාලීනව ගෙවුම් ශේෂය මත තිබෙන පීඩනය අඩු කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අතරවාරයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇවිත් ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගන්න අවශ්‍ය මට්ටමට ණය ගන්න වෙනවා. 

Wednesday, January 9, 2019

සාධාරණත්වය උදෙසා අරගලය


අදට වසර හයකට පෙර නීත්‍යානුකූල මිනීමැරුමක ගොදුරක් වූ රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කරමින් නාරද විජයසූරිය විසින් ඔහුගේ වත්පොත් පිටුවේ තබා ඇති සටහනක් එතැනින් උපුටාගෙන පහත පළ කර තිබේ.

"මගේ දෑසේ කඳුලක් තිබේ ... ඒ ඔබ වෙනුවෙනි 
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
දුක කියන්නට කිසිවෙකු නොමැතිව , ළමා දිවියේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වසර 7 ක් තිස්සේ අඳුරු සිර මැදිරියක සිරගතව සිටි ඒ අහිංසක දැරිය අද වැනි දිනයක උදේ 11 . 40 ට තියුණු කඩු පහරින් ගෙළ සිඳ මරා දැමිණි 
ගිණියම් රියාද් වැලි කතර අහිංසක දැරියගේ රුධිරය උරා ගන්නා මොහොතේ භීතියෙන් මුසපත් වූ ඇගේ විවුර්ත වූ දෑස සහිත හිස බිම පතිත විය . 
මට ඇගේ බියපත් දෑස මැවී පෙනෙයි .

වසර ගණනාවක් තිස්සේ නොවියලෙන කඳුලක් මගේ ඇස් කෙවෙණි වල සිර වී තිබේ 
අද ද සිතුම් පාරා ඒ කඳුළු උණුසුමට වැගිරේ . 
ඇගේ මරණයට මා වගකිවයුතුයැයි දැනෙන වරදකාරී හැඟීමෙන් මියෙන තුරු මිදිය නොහැක ,

ඒ අවාසනාවන්ත ජීවිතය බේරා ගැනීමට කරනු ලැබූ නිහඬ සටන පරාජය වූ හැටි මම ඔබට කියමි . 
ඒ 2007 වසරේ ජූනි මාසයේ දවසකි , නෙත් රූපවාහිනී මැදිරියේ රාත්‍රී පහන් කන්ද වැඩ සටහන නිම කර මගේ කාර්යාල කාමරයට ඇතුල් වන විට දුර කථන ඇමතුමක් ලැබිණි , 
සෞදි අරාබියේ සිට කථා කළ ගෘහ සේවිකාවක් බිඳුණු ස්වරයෙන් පැවසුවේ ''දවද්මි '' සිර ගෙදර අපේ ගැහැණු ළමයෙකු මරණ දණ්ඩනයට නියම කර ඇති බවත් තව මාසයක් ඇතුළත අභියාචනයක් නොකළහොත් ඈ මරා දමන බවත්ය . මේ වන විටත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවත්ය .
සිර ගෙදරට යාමට අවකාශ ඇති ඇය දැරිය ගේ සියලු තොරතුරු අසා දැනගෙන මට කීවාය ,

අල් කතයිබි නමැති පොහොසත් පවුලක මාස 4ක් වයසැති දරුවාට කිරි පොවමින් සිටින අතරතුර ශ්වාස මාර්ගයේ කිරි සිරවීමට ලක් වී ඇත , ඇය කෑ ගසමින් දරුවාගේ පිටට වැරෙන් තට්ටු කරන්නට පටන් ගත්තාය , ඒ මොහොතේ ගෙහිමි කාන්තාව එහි පැමිණි අතර , දරුවා නිසලව සිටින අයුරුත් රිසානා පිටට පහර දෙන අයුරුත් දැක වහා කිපී දැරියට නහයෙන් ලේ වැගිරෙන ලෙස පහර දී පොලිසියට භාර දී ඇත .

පොලිසියෙදීත් ඉන බඳින හම් පටියකින් දරුණු පහර දීමට ලක්ව සිටි දැරියට අරාබි භාෂාවෙන් ඔවුන් කියූ කිසිවක් වටහා ගත නොහැකි විය , කාත් කවුරුත් නොමැති රටක ඇය බියෙන් මුසපත් වී සිටියාය ,

දරුවාගේ ගෙල මිරිකා මරා දැමූ බවට ලියු ලිපියකට , අකුරු නොදත් ඇයගේ ඇඟිලි සලකුණ ගෙන තිබිණි , 2005 වසරේ මැයි 4 වනදා රියාද් නගරයට පැමිණි 17 හැවිරිදි දැරිය දින 18 ක සේවයෙන් පසුව 22 වනදා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය .

වසර දෙකක නඩු විභාගයෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කරන තුරු කිසිවෙකු මේ පිළිබඳව දැනුවත් වී නොතිබිණි , එදා රාත්‍රියේ එම ගෘහ සේවිකාව ඒ බව මට නොපවසන්නට එය මාධ්‍යයෙන් වසන් වුන සිද්ධියක් වන්නට ඉඩ තිබිණි .

සිද්ධිය ඇසීමත් සමගම මගේ සිරුර ගිණිගෙන දැවෙන බවක් මට දැනුනි , එවකට විදේශ කම්කරු කටයුතු පිලිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාට ඒ රාත්‍රියේම මම දුර කථන ඇමතුමක් දුන්නෙමි , ඕනෑම මොහොතක ඔහුගේ ලේකම් වරයෙකුට කථා කරන්නට මට පහසුව සලසා තිබිණි . සිද්ධිය කෙටියෙන් පවසා හෙට උදෑසන විශේෂ සජීවී පහන් කන්ද වැඩ සටහනකට සුදානම්ව සිටින ලෙස දැනුවත් කර , එමොහොතේම මම ආසියානු මානව හිමිකම් සංවිධානයට සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට විද්‍යුත් ලිපි දෙකක් යොමු කෙරුවෙමි , පසුදා උදෑසන සජීවී වැඩ සටහනේදී සිද්ධිය අනාවරණය කළ මම සෞදි අරාබි තානාපති වරයාට පිළිතුරු දෙන්නැයි ආරාධනය කළෙමි ,

හොඳින් සිංහල කථා කරණ , ඕනෑම මොහොතක අපේ රුපවාහිනිය සමග සම්බන්ධ වන , මා සමග දැඩි කෝපයකින් පසුවන තානාපති තුමා දුරකතනයෙන් සම්බන්ධ විය . 
ඒ වනවිටත් තානාපති කාර්යාලය , රිසානාගේ සිද්ධිය ශ්‍රිලංකාවේ රජයට වාර්තා කර නොතිබුන බව මට පැහැදිලි විය .

ඔහු මේ සිද්ධිය දන්නා බවත් , අභියාචනයක් ඉදිරිපත් කිරීමට අරාබි නීතිඥයින් සපයා ගැනීමට සහ නීතිමය කටයුතු වලට දැවැන්ත වියදමක් යන බවත් එය අප සිතන තරම් පහසු නොවන බවත් ඔහු පැවසීය ,

මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අතර , මා සිටින්නේ සජීවී වැඩ සටහනක බව මට අමතක විය ,
තානාපති කාර්යාලයේ ගෝනියක් තිබේදැයි මම ගරු තානාපති තුමාගෙන් අවිනීත ලෙස ප්‍රශ්න කලෙමි , 
එතුමා ඒ ඇයි දැයි මගෙන් විමසීය ,
කරුණාකර එම ගෝනිය තානාපති කාර්යාලයේ දොරටුව අසල තබන ලෙස මම ඉල්ලා සිටියෙමි . 
''නාරද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විහිලුවකට ගන්න එපා , මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වන්නට ඔබට ඕනෑම දෙයක් කිව හැකි නමුත් මේ ප්‍රශ්න ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙණු , ඔබ ඔබේ කටයුතු කරගෙන සිටින්න .'' යැයි ඉතා වෘත්තියමය අයුරින් සහ ඉවසීමෙන් ඔහු පැවසීය ,

අපට අපේ දැරියකගේ ජීවිතය පිළිබඳව වේදනාවක් ඇති බවත් , වැසිකිලි හෝදන , කාණු පිරිසිදු කරණ මන්දිර වල බැල මෙහෙවරකම් කරන දිළිඳු මිනිසුන්ගේ රුධිරය කකියන බවත් , ඒ මිනිසුන් ගේ දුප්පත් වැටුපෙන් රියාල් එක බැගින් පෝලිමේ විත් ඔබේ ගෝනිය පුරවා දෙන්නට අප සපථ කරන බවත් මම ඔහුට පැවසීමි . 
මගේ දෑස් වල කඳුළු කැමරාවෙන් වසන් කර ගැනීමට උත්සහ කළද මගේ කටහඬේ බිඳුණු ස්වරය ලෝකයට ඇසුනි . දහස් ගණනක් දෙනා එක හඬින් අසරණ දැරිය වෙනුවෙන් හඬ නගන්නට විය . ඈ ඒ කිසිවක් නොදැන අඳුරු සිරකුටියේ මරණ භයෙන් තැතිගෙන සිටි මොහොතේ අප ඇය බේරා ගැනීමේ සටන අරඹා තිබිණි , 
ඊ ළඟ මොහොතේ ඇමති වරයා දුරකතනයෙන් සම්බන්ධ විය , ඔහු වහාම මේ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නියෝජ්‍ය ඇමති බාහිලා මහතා හෙටම රියාද් නුවරට පිටත් කරන බවත් පොරොන්දු විය , ඉනික්බිති ලංකාවේ දේශපාලකයින් , මාධ්‍ය මේ පිලිබඳ පුවත් මවන්නට විය .

එතැන් පටන් සිදු වූ සිද්ධි දාමය එතරම් ප්‍රීති දායක නොවේ , කොළඹ සරසවියේ නීති පීඨයෙන් පිට වුන අපට වඩා ඉහළ වසරක උගත් නීතිඥයෙක් වූ තානාපති කාර්යාලයේ නීති නිලධාරියා විශාල කැපවීමකින් කටයුතු කළ නමුත් , ලිපි ගොනු සැඟවීම වැනි බාධක ඔහුට එල්ල විය , ඇතැම් විට අපට රහසිගතව මෙහෙයුම් දියත් කරන්නට සිදු විය .

නීතිමය පිළිසරණ ඉතා අල්ප බව වැටහෙන්නට පටන් ගත විට ලාංකික සේවකයන් මාර්ගයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු හඳුනා ගත් මා මියගිය දරුවාගේ දෙමාපියන් වෙත කිට්ටු කලෙමි . 
එරට ශාරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පමණක් ලේ වන්දිය ලෙස මුදලක් රැගෙන රිසානාට සමාව දීමේ හැකියාව තිබිණි . සෞදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකක උසස් නිලධාරීන් වූ මියගිය දරුවාගේ දෙමාපියන් වෙත පණිවුඩ කරුවන් යොමු කළෙමි , එකළ එහි සේව්‍ය කළ බොහෝ දුප්පත් මිනිසුන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබිණි ,

දරුවාගේ පියා විශාල මුදලක් ලේ වන්දිය ලෙස ලබා ගැනීමට කැමැත්ත පල කළද මව එක හඬින්ම කියා සිටියේ රිසානාගේ රුධිරය දැකීමට ඇයට අවශ්‍ය බවයි . 
එහෙත් අප උත්සාහය අත නොහැරියෙමු , ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාත් , බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරාත් සෞදි රජුගෙන් දැරියට සමාව දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි ,
බාල වයස්කාර දැරියට මරණ දඬුවම නියම කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට අපේ නීතිඥයින් තර්ක කරමින් සිටියේය .

සියල්ල තීරණය වන්නේ මවගේ කැමැත්ත මත බව තේරුම් ගත් අප ඇය කැමති කරවා ගැනීමේ වෑයම අත නොහැර කරගෙන යමින් සිටියෙමු .
අවාසනාවට ආර්ථික හේතුන් මත නෙත් රුපවාහිනිය නවතා දැමීමට සිදු විය .

අපේ රුපවාහිනී තිරයේ සංඥා නොමැති බව දක්වන පණිවිඩය දෙස බලාගෙන මගේ කාර්යාල මේසය මත මම හඬමින් සිටියෙමි . ඒ මොහොතේ ගලා ගිය කඳුළු වල වැඩි බරක් රිසානා වෙනුවෙන් වෙන්ව තිබිණි . 
වසර 8 ක නඩු විභාගයකින් පසුව 2013 ජනවාරි 9 වනදා පෙ ව 11.40 ට රියාද් හී දවද්මි වධක භූමියේදී මරා දැමිණි .

රටේ පවතින අනන්ත දරිද්‍රතාවයෙන් මිදෙන්නට තම ලෙයින් මසින් තැනූ දියණිය අඩු වයසක් යොදා මාරු කතරට යැවූ දෙමාපියන්ටත් , දිළිඳු මිනිසුන්ගේ ජීවන වේදනාව මත සුඛෝපභෝගී ජීවිත ගෙවන මුග්ධ දේශපාලකයන්ටත් අද රිසානා අමතක වී තිබිය හැකිය .

එහෙත් ඈ මගේ දියණිය මෙන් . ඈ මගේ සොයුරිය මෙන් මගේ හදවත පතුලේ රිදුම් දෙමින් මා මියයන තුරුම සිටිනු ඇත . අදටත් මේ රටේ මිනිසුන්ට කිසි විටෙකත් අවශ්‍ය නැති කුණු කන්දල් අලෙවි කරණ මාධ්‍ය පිළිබඳව මට පිළිකුලක් තිබේ ,

කාලකන්නි දේශපාලකයන්ට කඩේ යනවා වෙනුවට , රටක ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්නට රුපවාහිනිය වැනි මාධ්‍යයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් සපයන්නට අපට හැකි විය . 
එවැනි මාධ්‍ය සිහිනයක් අවසන් හුස්ම දක්වාම මා තුල තැන්පත්කළ දැරිය අද වැනි දවසක ගෙළ කපා මරා දැමූ , ඒ බියපත් දෑසේ හිමිකාරියයි , 
රිසානා වැනි තවත් දස දහස් ගණනක් අදත් වැලි කතරේ දුක් විඳියි .

ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරමි 
රිසානා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඔබේ සහජාත දියණියට අත් වුවහොත් ඔබ කුමක් කරන්නේද ? 
එහෙත් රිසානා ඔබේ දියණිය නොවේ ,
එහෙයින් ඇගේ මරණය ඔබට ඉවසා දරා ගත හැකිය , 
අප සැබවින්ම මිනිසුන්ද ?

නාරද විජයසූරිය"

රිසානා නෆීක්ව මරා දමනු ලැබීම අත්වැරදීමක ප්‍රතිඵලයක් බව හෝ එක් හුදෙකලා සිදුවීමක් බව යමෙකුට කියන්නට පුළුවන. ඉහත සටහන සමඟම කියවිය යුතුයයි මා සිතන නදීර විජේසිංහගේ පහත බ්ලොග් සටහනේ විස්තර කෙරෙන සිදුවීමනම් කෙසේවත් අත්වැරදීමක් නොවේ.

සාධාරණත්වය උදෙසා අරගලය 

වෙබ් ලිපිනය: