වෙබ් ලිපිනය:

Showing posts with label අයවැය හිඟය. Show all posts
Showing posts with label අයවැය හිඟය. Show all posts

Friday, March 20, 2026

රාජ්‍ය අයවැය තුලනය සහ රාජ්‍ය ණය


මේ වන විට පසුගිය (2025) වසරේ රාජ්‍ය අයවැය තුලනය හා රාජ්‍ය ණය පිළිබඳ නිල සංඛ්‍යාලේඛණ මෙන්ම නිල ජාතික ගිණුම් ඇස්තමේන්තුද ප්‍රකාශයට පත් කර අවසානයි. මීට පෙර අප විසින් පළ කළ සටහන් වල අප විසින් ඉදිරිපත් කළ මේ හා අදාළ අනුපාත පදනම් වූයේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අපගේ පුරෝකථන මතයි. අප එසේ කළේ, අනෙකුත් විකල්පය වූ, දදේනිය පිළිබඳ මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු ඒ තරම්ම නිවැරදි නොවූ බව අපගේ අදහස වූ බැවිනුයි. 

මේ වන විට අප දන්නා සත්‍ය ඇස්තමේන්තු අපගේ පුරෝකථන වලට බොහෝ ආසන්න බැවින්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළ පෙර සටහන් වල සඳහන් අනුපාත වලට බලපෑම් සහගත වෙනසක් සිදු වී නැතත්, මෙම ලිපියෙහි අප නැවත වරක් ඉදිරිපත් කරන්නේ නිවැරදිම අනුපාතයි. මෙම අනුපාත කිසිවක් පුරෝකථන මත පදනම් වී නැහැ.

රාජ්‍ය ආදායම් හා ලැබීම් 

දදේනි අනුපාත ලෙස 16.7%ක රාජ්‍ය ආදායම් හා ලැබීම් පසුගිය වසර තුළ වාර්තා වී තිබෙනවා. මෙම අගය වසර 19කට පසු වාර්තා වන ඉහළම රාජ්‍ය ආදායම් හා ලැබීම් අනුපාතයයි. මෙයින් 15.4%ක් බදු ආදායම් හා 1.2%ක් බදු නොවන ආදායම් වන අතර ඉතිරි 0.1% ප්‍රදානයි.

රාජ්‍ය වියදම් 

සමස්ත රාජ්‍ය වියදම දදේනියෙන් 19.0%කට සීමා වී ඇති අතර මෙම අනුපාතය පසුගිය වසරේ එම අගයට වඩා අඩු අගයක් වුවත්, 2022 (18.6%), 2018 (17.5%) වැනි වසර හා සසඳද්දී ඒ තරම් අඩු අගයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉහත වියදමෙන් 7.6%ක්ම පොලී වියදම් වන අතර අනෙකුත් සියලුම වියදම් දදේනියෙන් 11.4%කට සීමා වී තිබෙනවා. එමෙන්ම, මෙම වියදමෙන් 16.0%ක්ම පුනරාවර්තන වියදම් වන අතර ප්‍රාග්ධන වියදම් දදේනියෙන් 3.0%ක් පමණයි. 

අයවැය හිඟය 

අයවැය හිඟය දදේනියෙන් 2.2%කට සීමා වී ඇති අතර එය 1956 වර්ෂයෙන් පසුව, එනම් වසර 69කට පසු, වාර්තා වන අඩුම අයවැය හිඟයයි. එමෙන්ම, දදේනියෙන් 5.4%ක් තරම් විශාල ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී ඇති අතර ඒ මට්ටමේ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. මීට පෙර යම් හෝ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ 1954, 1955,1992, 2017, 2018, 2023 හා 2024 වසර වලදී පමණයි. 

බොහෝ වසර වල වාර්තා වී තිබුණේ සුළු ප්‍රාථමික අතිරික්තයක් වුවද, 2024දී දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබුණා. ස්ථායීකරණ වැඩ පිළිවෙළ මගින් ඉලක්ක කළේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.3% දක්වා වැඩි කර ගෙන ඒ මට්ටමේ පවත්වා ගෙන යාමටයි. පසුගිය වසරේ වාර්තා වී ඇති 5.4% මට්ටම එම ඉලක්කය බෙහෙවින්ම ඉක්මවා යන්නක් වන අතර එවැනි ඉලක්කයක් පවත්වා ගැනීම මගින් ශ්‍රී ලංකා රජයට ණය බරින් නිදහස් වීම සඳහා ගත වන කාලය වසර ගණනාවකින් කෙටි කරගත හැකියි.

ප්‍රාථමික අතිරික්තයකට අමතරව මෙවර දදේනියෙන් 0.7%ක ජංගම ගිණුම් අතිරික්තයක්ද වාර්තා වී ඇති අතර එවැන්නක් සිදුව ඇත්තේ වසර 38කට පසුවයි. මේ කතා කරන්නේ විදේශ අංශය හා අදාළ ජංගම ගිණුම ගැන නෙමෙයි. වසර 46කට පසුව, 2023දී එම ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර එම තත්ත්වය 2024 හා 2025 වසර වලදීද දැක ගත හැකි වුනා. කෙසේ වුවත්, එය බොහෝ දුරට රජයේ නොව මහ බැංකුවේ කාර්ය භාරය හා අදාළ කරුණක්.

රාජ්‍ය ණය 

මධ්‍යම රජයේ ණය බර මේ වන විට දදේනියෙන් 91.6% දක්වා පහත වැටී තිබෙනවා. පසුගිය වසර අවසන් වෙද්දී එම අනුපාතය 95.5%ක්ව පැවතුණා. ප්‍රාථමික අතිරික්තය ඉහළ යන තරමට ණය බර වේගයෙන් පහත වැටෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් ප්‍රධාන ඉලක්කයක් වූයේ ණය බර දදේනියෙන් 95% මට්ටම දක්වා පහත දමා ගැනීමයි. මේ වන විටද එය සිදු වී තිබෙනවා.

Friday, March 13, 2026

රාජ්‍යමූල්‍ය කළමනාකරණය - 2025


පසුගිය (2025) වසර තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 5,049 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය පෙර (2024) වසරට සාපේක්ෂව 36.3%ක වර්ධනයක්. බදු ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ ආනයන හා භාණ්ඩ හා සේවා මත අය කෙරෙන වක්‍ර බදු බව දැකිය හැකියි. පුද්ගල හා සමාගම් ආදායම් බදු 11.0%කින් ඉහළ යද්දී, භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු 45.4%කින්ද, ආනයන මත අය කෙරෙන බදු 48.8%කින්ද ඉහළ ගොස් තිබෙනවා. 

බදු ආදායම් පිළිබඳ අයවැය ඇස්තමේන්තුව වූ රුපියල් බිලියන 4,590ට සාපේක්ෂව සත්‍ය බදු ආදායම අමතර රුපියල් බිලියන 459කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර, බදු නොවන ආදායම්ද අයවැය ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.

පෙර වසරට සාපේක්ෂව පොලී වියදම් 7.0%කින් අඩු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස පුනරාවර්තන වියදම් 2.0%කින් අඩු වී තිබෙනවා. අයවැයෙන් පොලී වියදම් ලෙස රුපියල් බිලියන 2,950ක් වෙන් කර තිබුණද සත්‍ය වශයෙන්ම වැය වී තිබෙන්නේ රුපියල් බිලියන 2,501ක් පමණයි. මේ අනුව, පොලී වියදම් අඩු වීම නිසා, රුපියල් බිලියන 449ක මුදලක් ඉතිරි වී තිබෙනවා. 

පොලී වියදම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව රුපියල් බිලියන 207කින් පහළ ගොස් ඇති අතර ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වැය කර තිබෙන්නේද අයවැය ඇස්තමේන්තු වලට වඩා රුපියල් බිලියන 313ක් අඩු මුදලක්. මේ සියල්ල සලකා බලද්දී පසුගිය වසරේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 720ක් පමණ දක්වා අඩු වී තිබිය යුතුයි.

දැනට ප්‍රසිද්ධ කර තිබෙන මූලික වටයේ අයවැය ඇස්තමේන්තු පසුව සංශෝධනය විය හැකියි. කෙසේ වුවද, දැනට පෙනෙන්නට ඇති ආකාරය අනුව, 2025 අයවැය හිඟය දදේනිහි ප්‍රතිශතයක් ලෙස 1956 වසරෙන් පසුව වාර්තා වන අඩුම අයවැය හිඟය වීමේ ඉඩකඩ පෙනෙන්නට තිබෙනවා. එය දදේනියෙන් 2.3%ක පමණ අඩු අගයක් විය හැකියි. 1956 වසරෙන් පසු දදේනියෙන් 3% සීමාව නොඉක්මවන අයවැය හිඟයක් වාර්තා වී නැති අතර 1977න් පසුව 5% සීමාව නොඉක්මවන අයවැය හිඟයක් වාර්තා වී නැහැ. 

Tuesday, October 28, 2025

පළමු මාස නවය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මේ වන විට මෙම (2025) වසරේ සැප්තැම්බර් මාසය දක්වා මාස නවයක කාලය හා අදාළ රාජ්‍යමූල්‍ය ගිණුම් පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම සංඛ්‍යාලේඛණ අනුව, වසර අවසන් වන විට සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍යමූල්‍ය ගිණුම් වල දශක ගණනාවකින් දැකිය නොහැකි වූ යහපත් තත්ත්වයක් දැක ගත හැකි වීමේ විභවයක් පෙන්නුම් කරනවා. 

රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම්  

පළමු මාස නවයේ රාජ්‍ය ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 3,835ක් ලෙස වාර්තා වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 31.0%ක වර්ධනයක්. බදු ආදායම පෙර වසරට සාපේක්ෂව 32.5%කින්ද, බදු නොවන ආදායම් 14.9%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590ක මුදලින් 77.6%ක්ම (රුපියල් බිලියන 3,563ක්) දැනටමත් එකතු වී අවසන්. මේ අනුව, මෙම වසරේ බදු ආදායම ඉලක්කය ඉක්මවා යන බව පැහැදිලියි. සමස්ත ආදායම් හා ලැබීම් සැලකුවද, ඉලක්කය වන රුපියල් බිලියන 4,990ක මුදලින් 76.9%ක් දැනටමත් එකතු වී තිබෙනවා. බදු ආදායම් මෙපමණ ඉහළ යාමට හේතුව වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමයි. 

රාජ්‍ය වියදම් 

රජයේ ලැබීම් ඉහත සඳහන් පරිදි විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය වියදම් ඉහළ ගොස් තිබෙන්නේ පෙර වසරට සාපේක්ෂව 9.7%කින් පමණයි. පුනරාවර්තන වියදම් 11.2%කින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන වියදම් 1.7%කින් පහළ ගොස් තිබෙනවා. හරියටම කියන්නට කල් වැඩි වුනත්, මෙම වසර තුළ නාමික දදේනිය වර්ධනය වීමට ඉඩ තිබෙන්නේ 10%කට ආසන්න වේගයකින්. එබැවින්, දදේනි අනුපාතයක් ලෙස පුනරාවර්තන වියදම තරමක් ඉහළ යාමේ විභවය බැහැර කළ නොහැකියි. එසේ වුවද, ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා වී තිබීමේ ප්‍රතිඵලයක් ලෙස, සමස්ත රාජ්‍ය වියදම දදේනි අනුපාතයක් ලෙස පෙර වසරේ පැවති මට්ටම ආසන්නයේම පැවතිය හැකියි. කෙසේ වුවද, අවසන් මාස තුනක කාලය තුළ රාජ්‍ය වියදම් සිදු වන ආකාරය අනුව, මෙම තත්ත්වය කවර අතකට වුවද වෙනස් විය හැකියි.

මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ පළමු මාස නවයේ පුනරාවර්තන වියදම වන රුපියල් 3,821ක මුදලින් 50.0%ක් හෙවත් රුපියල් බිලියන 1,907ක්ම පොලී වියදම් බවයි. සමස්ත රාජ්‍ය වියදම සැලකුවද, පොලී වියදම එයින් 44.6%ක් තරම් විශාල කොටසක්. 

පළමු මාස නවයේ පොලී වියදම් පෙර වසරට සාපේක්ෂව 8.6%කින් ඉහළ ගොස් තිබෙනවා. රජයට මෙම වියදම අඩු කරගත හැක්කේ පොලී අනුපාතික තවදුරටත් පහත වැටේනම් පමණයි. එහෙත්, එය රජයේ පාලනයෙන් තොර, වෙළඳපොළ සාධක මත නිර්ණය වන්නක්. වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් පොලී අනුපාතික පහත හෙළීමේ හැකියාවක් මහ බැංකුව සතුව ඇතත්, එවැන්නක් කිරීම මහ බැංකුවේ විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ අභිප්‍රායට බාධාවක් බැවින් සිදු වීමේ හැකියාවක් නැහැ. මෙම පසුබිම තුළ, දේශීය වෙළඳපොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට රජය විසින් තීරණය කර තිබීම හොඳ අත්හදා බැලීමක් විය හැකියි. 

සමස්ත අයවැය හිඟය 

වියදම් වැඩි වන වේගයට වඩා සැලකිය යුතු වේගයකින් ආදායම් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 441කට සීමා වී තිබෙනවා. පෙර වසරේ පළමු මාස නවයක කාලය තුළ රුපියල් බිලියන 970ක අයවැය හිඟයක් වාර්තා වුනා.

ප්‍රාථමික අයවැය අතිරික්තය 

ප්‍රාථමික අයවැය ශේෂය යනු පොලී වියදම් හැර අයවැය ශේෂයයි. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි ප්‍රධානම ඉලක්කය වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමට (එනම් දදේනියෙන් 2.3%කට) ඉහළින් පවත්වා ගැනීමයි. පළමු මාස නවයක කාලය අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,465ක් ලෙස වාර්තා වෙනවා. මෙම අතිරික්තය අයවැයෙන් ඉලක්ක කර තිබුණු රුපියල් බිලියන 750ක අතිරික්තය මෙන් දෙගුණයකට ආසන්න මුදලක්. මේ අනුව, දදේනියෙන් 4% ඉක්මවන හා 5%කට ආසන්න විය හැකි ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වීමේ විභවයක් පෙන්නුම් කරනවා. මෙවැනි තත්ත්වයක් වසර කිහිපයක් පැවතුනහොත්, වැඩි කල් නොයා සමස්ත අයවැය තුලනය කර ගැනීම සිහිනයක් නෙමෙයි. 

ජංගම ගිණුමේ අතිරික්තය 

පළමු මාස නවයක කාලය තුල රාජ්‍ය අයවැය ගිණුමේ ජංගම ගිණුම් ශේෂය තුලනය වී තිබීම ඉතාම සුවිශේෂී තත්ත්වයක්. මෙම ගිණුම රටේ විදේශ අංශය හා අදාළව කතා කරද්දී අවධානයට යොමු කෙරෙන ජංගම ගිණුම හා පටලවා නොගත යුතු අතර, මෙයින් අදහස් වන්නේ පොලී වියදම්ද ඇතුළු සියලු පුනරාවර්තන වියදම් සලකා බලන අතර ප්‍රාග්ධන වියදම් නොසලකා හරිමින් ගණනය කරන අයවැය ශේෂයයි. එනම් සමස්ත රාජ්‍ය ආදායම (ප්‍රදාන හැර) සහ සමස්ත පුනරාවර්තන වියදම අතර වෙනසයි. වර්ෂාවසාන තත්ත්වය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුනත්, පළමු මාස නවයක කාලය අවසන් වන විට ඉහත ගිණුමෙහි රුපියල් බිලියන 6ක සුළු අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට ඉඩක් නොලැබුණත්, මෑත ඉතිහාසයේ මෙවැනි අතිරික්තයක් වාර්තා වූ අවස්ථාවක් මගේ මතකයට එන්නේ නැහැ.

රටේ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර, එයින් ඔබ්බට ගොස් ජංගම ගිණුමේ අතිරික්තයක්ද පවත්වා ගත හැකිනම් එමගින් දිගුකාලීන ආර්ථික වර්ධනය හා අදාළව සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවා. පෙර ලිපි කිහිපයක විස්තර කර ඇති පරිදි, ජාතික ඉතිරි කිරීම් අනුපාතය රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්. එම අනුපාතය ඉහළ යන තරමට දදේනියට සාපේක්ෂව රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. මෙතෙක් කල් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට රාජ්‍ය අංශයෙන් ලැබී තිබුනේ සෘණ දායකත්වයක්  බැවින් රටේ ජාතික ඉතිරි කිරීම් අනුපාතය පැවතුනේ පෞද්ගලික අංශයේ ඉතිරි කිරීම අනුපාතයට වඩා පහළින්. 

ජාතික ඉතිරි කිරීම් අනුපාතය අඩු මට්ටමක පැවතීම රටක ආයෝජන අනුපාතය සීමා කර ආර්ථික වර්ධන වේගයද සීමා කරනවා. පසුගිය කාලය මුළුල්ලේම ලංකාව මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කළේ විදේශ ණය ලබා ගැනීම මගින් ජාතික ඉතිරි කිරීම් අනුපාතයට වඩා ඉහළින් ආයෝජන අනුපාතය පවත්වා ගැනීමයි. රටේ විදේශ අංශය තුළ ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වීමද මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක්. රට අර්බුදයකට ගෙන ගියේ මෙම ක්‍රමයයි.

Wednesday, June 7, 2023

ඇමරිකාවේ බදු කපන හැටි...

පහත රූප සටහනේ තිබෙන්නේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ආදායම් හා වියදම්. සාමාන්‍යයෙන් ප්‍රාන්ත රජය ආදායම් හා වියදම් තුලනය කර ගන්නවා. ආර්ථික අවපාතයක් හෝ වෙනත් ආපදාවක් ඇති වූ විටෙක අනපේක්ෂිත ලෙස බදු ආදායම් පහළ ගොස් වියදම් තරමට ආදායම් එකතු කර ගන්න බැරි වෙනවා. 2010 හා 2020 එවැනි වසර දෙකක්.


මේ ආකාරයෙන් ආදායම ඉක්මවා වියදම් කරන්නට සිදු වූ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපදා අරමුදලක් නඩත්තු කරනවා. සාමාන්‍ය වසරකදී මෙම ආපදා අරමුදලට බැර කෙරෙන මුදල් සටහන් වන්නේද වියදම් ලෙසයි. ඊට අමතරව අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් සඳහා වන අරමුදල් දෙකක වෙනම සංචිත පවත්වා ගැනෙනවා. ප්‍රස්ථාරයේ බොහෝ වසර වලදී දැකිය හැකි අයවැය අතිරික්තය යනු ඉහත අරමුදල් තුනටම මුදල් වෙන් කර අනෙකුත් සියලු වියදම් දැරීමෙන් පසු අතිරික්තයයි. එම අතිරික්තය එකතු වන්නේ පොදු සංචිත අරමුදලේ. 

ප්‍රාන්ත රජයේ ඉලක්කය වන්නේ වාර්ෂික ආදායමෙන් 10%-12% පරාසය තුල සංචිත පවත්වා ගැනීමයි. යම් හේතුවකින් ඉදිරි වසරක ආදායම් අනපේක්ෂිත ලෙස පහළ ගියහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැනි මට්ටමක සංචිත පවත්වා ගැනීම ප්‍රමාණවත්. 


පසුගිය දෙවසර තුළ පැවති ඉහළ උද්ධමනය නිසා ඉන්දියානා ප්‍රාන්ත රජයේ ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ ගියා. ආදායමෙන් කොටසක් දෙවරකට බදු ගෙවන්නන් අතර බෙදා දීමෙන් පසුවද පොදු සංචිත ප්‍රමාණය ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා (දෙවන රූපය බලන්න). මේ අයුරින් ඕනෑවට වඩා සංචිත එකතු වීම නිසා අතිරික්ත සංචිත අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. මෙය කරන්න යන්නේ වියදම් වැඩි කිරීම මගින් නෙමෙයි. 

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ප්‍රාන්ත රජය විසින් දැනට 3.15%ක් වන ප්‍රාන්ත ආදායම් බදු අනුපාතිකය 2024දී 3.05% දක්වා සහ ඉන්පසු වසරකට 0.05% බැගින් අඩු කර 2027 වන විට 2.90% දක්වා අඩු කිරීමට යෝජිතයි. 

Saturday, April 8, 2023

ප්‍රාථමික අයවැය තුලනය වන ආකාරය


ගෙවුනු 2022 අවුරුද්දේ රජයේ ආදායම් හා වියදම් ගැන පෙර සටහනක විස්තර කළා. පහත තිබෙන්නේ එම ආදායම් හා වියදම් වල සාරාංශයක්.

ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස - 8.3%යි.

පොලී ගෙවීම් හැර වියදම් දදේනි % ලෙස - 12.0%යි

පොලී වියදම් දදේනි % ලෙස - 6.5%යි.

ප්‍රාථමික අයවැය හිඟය දදේනි % ලෙස - 3.7%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 10.2%යි.

යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, 2025 වසර වන විට ඉහත තත්ත්වය වෙනස් වී දැනට දදේනියෙන් 3.7%ක හිඟයක්ව පවතින වන ප්‍රාථමික අයවැය ශේෂය දදේනියෙන් 2.3%ක අතිරික්තයක් වීමට නියමිතයි. එය සිදු වන්නේ රාජ්‍ය ආදායම දදේනියෙන් 14.9% දක්වා වැඩි වීමෙනුයි. මෙය සිදු වන්නේ පහත ආකාරයෙනුයි.

බදු ප්‍රතිසංස්කරණ නොමැතිව අපේක්ෂා කළ හැකි වූ ආදායම - 8.1%

මූල්‍ය සේවා මත වැට් බද්ද වැඩි කිරීම - 0.1%

සමාජ සංරක්ෂණ බද්ද - 0.8%

පුද්ගල ආදායම් බදු ආකෘතිය වෙනස් කිරීම - 0.6%

ලාභාංශ මත රඳවා ගැනීමේ බදු වැඩි කිරීම - 0.2%

සමාගම් බදු වැඩි කිරීම - 0.2%

සමාගම් බදු සඳහා බදු සහන ඉවත් කිරීම - 0.3%

වැට් බද්ද 12% දක්වා වැඩි කිරීම - 0.7%

වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම - 0.5%

වැට් බදු සඳහා අවම සීමාව අඩු කිරීම - 0.06%

වැට් බදු සහන ඉවත් කිරීම - 1.4%

ඉන්ධන බදු වැඩි කිරීම - 0.3%

විදුලි සංදේශ බදු වැඩි කිරීම - 0.02%

සූදු ක්‍රීඩා හා ඔට්ටු දැමීම් බදු වැඩි කිරීම - 0.03%

මත්පැන් හා දුම්වැටි බදු වැඩි කිරීම - 0.4%

මත්පැන් හා දුම්වැටි බදු උද්ධමනය හා ගැලපීම - 0.2%

තෑගි හා උරුම බද්ද - 0.2%

ධන බද්ද - 1.0%

මහ බැංකුවේ ලාභාංශ අහිමිවීම - (-0.1%)

ආදායම් එකතුව - 14.9%


පොලී හැර රජයේ වියදම - 12.6%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 2.3%

පොලී වියදම් දදේනි % ලෙස - 7.3%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 5.0%යි.

ඉහත බදු අතරින් තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද හැර අනෙකුත් බදු සියල්ලම මේ වන විටද පනවා අවසන්. තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද පැනවීමට නියමිතව තිබෙන්නේ 2025 ජනවාරි 1 දින සිටයි. 

Tuesday, April 4, 2023

රාජ්‍ය අයවැය තුලනය හා විසෙන් විස නැසීම


පහළින් තියෙන්නේ ගෙවුණු 2022 වර්ෂය තුළ රජයේ ආදායම් හා වියදම්. ඇස්තමේන්තු හෝ පුරෝකථන නෙමෙයි. ඇත්තම ගණන්.

බදු ආදායම - රුපියල් බිලියන 1,751.1යි 

බදු නොවන ආදායම - රුපියල් බිලියන 228.1යි 

ප්‍රදාන -  රුපියල් බිලියන 33.4යි 

ආදායම් සහ ප්‍රදාන එකතුව - රුපියල් බිලියන 2,012.6යි


පොලී ගෙවීම් හැර වර්තන වියදම් - රුපියල් බිලියන 1,954.4යි

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 952.9යි

පොලී ගෙවීම් හැර වියදම් එකතුව - රුපියල් බිලියන 2,907.4යි


ප්‍රාථමික අයවැය හිඟය - රුපියල් බිලියන 894.8යි.  

පොලී වියදම් - රුපියල් බිලියන 1,565.2යි.

සමස්ත අයවැය හිඟය - රුපියල් බිලියන 2,460.0යි.


දළ දේශීය නිෂ්පාදිතය - රුපියල් බිලියන 24,147.7යි.

ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස - 8.3%යි.

පොලී ගෙවීම් හැර වියදම් දදේනි % ලෙස - 12.0%යි

පොලී වියදම් දදේනි % ලෙස - 6.5%යි.

ප්‍රාථමික අයවැය හිඟය දදේනි % ලෙස - 3.7%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 10.2%යි.

රජයේ සමස්ත ආදායම් හා අනෙකුත් ලැබීම් දදේනියෙන් 8.3% මට්ටමේ තිබියදී පොලී ගෙවීම සඳහා පමණක් දදේනියෙන් 6.5%ක් ගෙවන්නට සිදු වී ඇති තත්ත්වයක සිට සමස්ත අයවැය තුලනය කර ගැනීමක් ගැන සිතීම සිහිනයක්. මෙය හඹා යා හැකි සිහිනයක් වුවත්, ඒ සඳහා අවම වශයෙන් වසර තිහ හතළිහක කාලයක් යා හැකියි. මෙවැන්නක් වසර දහයකින් පහළොවකින් කළ නොහැකියි. 

සමස්ත රාජ්‍ය අයවැය තුලනය කරගත නොහැකිය යන්නෙන් අදහස් වන්නේ අයවැය තුලනය කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අලුතෙන් ණය ගන්නට සිදු වෙනවා කියන එකයි. එසේ අලුතෙන් ණය ගන්නට සිදුවන්නේ පරණ ණය ගෙවීම සඳහා අලුතෙන් ගන්නට සිදුවන ණය වලට අමතරවයි. පසුගිය වසරේ රජයේ අයවැය හිඟය පියවා ගත්තේ පහත පරිදියි.

මහ බැංකුවෙන් ලබාගත් ණය - රුපියල් බිලියන 1,338.4යි.

වාණිජ බැංකු වලින් ලබාගත් ණය - රුපියල් බිලියන 300.3යි.

අනෙකුත් දේශීය ණය - රුපියල් බිලියන 396.4යි

දේශීය ණය එකතුව - රුපියල් බිලියන 2,035.1යි 

විදේශ ණය - රුපියල් බිලියන 424.8යි

එකතුව - රුපියල් බිලියන 2,460.0යි.

පොලී ගෙවීම්ද ඇතුළුව අයවැය හිඟය පියවීම සඳහා ගත යුතු වූ ණය ප්‍රමාණය 10%ක් පමණ වුවත්, පරණ ණය ගෙවීම සඳහා දදේනියෙන් 27%ක පමණ වූ තවත් ණය ප්‍රමාණයක් අවශ්‍ය වී තිබුණා. රජයට ණය පැහැර හරින්නට සිදු වුනේ රාජ්‍ය ආදායම මෙන් හතර ගුණයකටත් වැඩි, දදේනියෙන් 37%ක් පමණ වූ, වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය තරමට අලුතෙන් ණය ගත නොහැකි වූ නිසයි. 

පරණ ණය ගෙවීමට පමණක් අලුතෙන් ණය ගනිද්දී වුවත්, විණිමය අනුපාතය වෙනස් වීම වැනි හේතු නිසා ණය ප්‍රමාණය ඉහළ යනවා. අලුත් ණය අරගෙන පරණ ණය වල පොලී ගෙවද්දී ණය ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ප්‍රාථමික අයවැය හිඟයක් ඇති විට ණය ප්‍රමාණය ඊටත් වඩා වැඩි වෙනවා. ලංකාවේ ණය ප්‍රමාණය තවතවත් වැඩිවීම සැලකිය යුතු කාලයක් (දශක කිහිපයක්) යන තෙක් කිසිසේත්ම නොවැලැක්විය හැකි දෙයක් වුවත් එසේ වැඩි වන ණය ප්‍රමාණය පාලනය කළ හැකියි. 

ණය වැඩිවීම පාලනය කර ගත හැකි පළමු හා පහසුම ක්‍රමය ප්‍රාථමික හිඟය ප්‍රාථමික අතිරික්තයක් කර ගැනීමයි. දෙවන ක්‍රමය පොලී වියදම් අඩු කර ගැනීමයි. පොලී වියදම් අඩු කරගත හැකි පළමු ක්‍රමය ණය ප්‍රමාණය අඩු කර ගැනීමයි. දෙවන ක්‍රමය පොලී අනුපාතික අඩු කර ගැනීමයි. පළමුවැන්න කිසිසේත්ම නොකළ හැකි දෙයක් නිසා කළ හැකි දෙය දෙවැන්නයි.  

කළ යුත්තේ පොලී අනුපාතික අඩු කර ගැනීමනම් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළේ ඇයි කියන එක බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. මෙයට කෙටි පිළිතුර මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළේ පොලී අනුපාතික අඩු කර ගැනීමට බවයි.

විසෙන් විස නසනවා කියන එක ලංකාවේ ගොඩක් අය අසා තිබෙන දෙයක්. ආර්ථිකය පාලනය කිරීමත් බොහෝ විට විසෙන් විස නැසීමක්. උද්ධමනය අඩු කර ගැනීම සඳහා විදුලි ගාස්තු, බදු ආදිය වැඩි කරන්න වෙනවා. රටට විදේශ විණිමය ආකර්ෂණය කර ගැනීම සඳහා රටෙන් එළියට නිදහසේ විදේශ විණිමය ගෙන යාමට ඉඩ සලසන්න වෙනවා. අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට වැඩියෙන් ආනයන කරන්න ඉඩ දෙන්න වෙනවා. නිෂ්පාදනය කාර්යක්ෂම කර ගැනීමට අකාර්යක්ෂම සමාගම් වැහෙන්න ඉඩ හරින්න වෙනවා. මේවා සිදු වෙන ආකාරය අදාළ සිද්ධාන්ත නොදැන නිකම්ම සිතා තේරුම් ගන්න අමාරුයි. 

දිගුකාලීනව පොලී අනුපාතික අඩු මට්ටමක තබා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී පොලී අනුපාතික වැඩි කළ යුතුයි. මේ වන විට ලෝකය පුරාම මහ බැංකු විසින් කරමින් සිටින්නේ මෙයයි. නියම වෙලාවට නොවුණත්, ප්‍රමාද වී හෝ පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතිනවා. මේ වැඩේ කලින්ම කළානම් උද්ධමනය හෝ පොලී අනුපාතික මෙපමණ ඉහළ යන්නේ නැහැ. පහත රූප සටහනේ තිබෙන්නේ මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරද්දී වුවද, වෙළඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති ආකාරයයි. 

ඉදිරි මාස තුන තුළ උද්ධමනය 15-20% මට්ටමට පහත වැටෙද්ද්දී පොලී අනුපාතිකද එම පරාසය දක්වා ක්‍රමයෙන් පහත වැටීමට නියමිතයි. උද්ධමනය 5% මට්ටම දක්වාත්, පොලී අනුපාතික 7%ට වඩා අඩු මට්ටමක් දක්වාත් අඩු කර එම මට්ටම් වල ස්ථාවර ලෙස තබා ගැනීම IMF වැඩ පිළිවෙළෙහි ඉලක්කයයි. 

Friday, February 3, 2023

රජය 6%කින් වියදම් කපයි!

 


මේ වන විට රජයේ වියදම් දැඩි ලෙස සීමා කරනු ලැබ ඇති අතර මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කිරීම අත්‍යාවශ්‍ය වැය ශීර්ෂ කිහිපයකට සීමා කර තිබෙනවා. "වියදම් පාලනය" නමින් ඊයේ (පෙබරවාරි 2) දින භාණ්ඩාගාර ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය ඇතුළු ප්‍රමුඛතාගත කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් භාණ්ඩාගාරය විසින් මුදල් නිදහස් කරන බව දැනුම් දී තිබෙනවා. මෙම නියමය කඩ කර බැඳීම් ඇති කර ගන්නා නිලධාරීන් විසින් අදාළ වියදම් වෙනුවෙන් පුද්ගලිකව වගකිවයුතු වෙනවා. 

මෙම චක්‍රලේඛය නිකුත් වන්නේ 2023 වසර සඳහා වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන 6%කින් කපා හරිමින් මීට දින කිහිපයකට පෙර (ජනවාරි 27) නිකුත් කෙරුණු භාණ්ඩාගාර චක්‍රලේඛණයකට අමතරවයි. එම චක්‍රලේඛනය අනුව, සියලුම රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු විසින් වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම් හා ණය සේවාකරණ වියදම් හැර අනෙකුත් වියදම් අවම වශයෙන් 6%කින් කපා හැරිය යුතුයි. වැටුප් කපා නොහැරියත්, අතිකාල දීමනා සහ නිවාඩු දින සඳහා ගෙවීම්ද ඉහත කප්පාදුවට ලක් වෙනවා. 

ඉහත නියෝගය රාජ්‍ය අයවැයෙන් මූල්‍යනය වන පළාත් සභා ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන වලටද එක සේ බලපානවා. ඊට අමතරව, රාජ්‍ය අයවැයෙන් මූල්‍යනය නොවන රාජ්‍ය ආයතන වලටද මීට අනුරූප නියෝගයක් නිකුත් කිරීමට නියමිතයි. මීට අමතරව විදේශ පුහුණු හා සංචාර නැවැත්වීම, වාහන කුලියට හා බද්දට ගැනීම සීමා කිරීම ඇතුළු තවත් වියදම් කැපීමේ ක්‍රියාමාර්ග ගණනාවක් අදාළ චක්‍රලේඛයට ඇතුළත්.

මෙම (2023) වසර සඳහා පිළියෙළ කර සම්මත කර ගැනුණු අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3,433ක්. ණය හා පොලී ගෙවීම්ද ඇතුළුව වියදම රුපියල් බිලියන 7,879ක්. එයින් රුපියල් බිලියන 3,245ක් ප්‍රාග්ධන වියදම් වන අතර ඉතිරි රුපියල් බිලියන 4,634 පුනරාවර්තන වියදම්. 

ඉහත ප්‍රාග්ධන වියදම් වලින් රුපියල් බිලියන 2,025ක් ණය වාරික. ඉතිරි ප්‍රාග්ධන වියදම් කොටස රුපියල් බිලියන 1,220ක් පමණයි. ඒ වගේම, පුනරාවර්තන වියදම් වලින් රුපියල් බිලියන 2,189ක් පොලී ගෙවීම්. ඉතිරි පුනරාවර්තන වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 2,445ක් පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත්, රුපියල් බිලියන 7,879ක් වන ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම් වලින් රුපියල් බිලියන 4,214කම ණය වාරික හා පොලී ගෙවීම්. රජයට ඇත්තටම වියදම් කළ හැකි කොටස රුපියල් බිලියන 3,665ක් පමණයි. ප්‍රාථමික අයවැය හිඟය ලෙස හඳුන්වන්නේ මෙසේ ණය වාරික හා පොලී ගෙවීම් ඉවත් කිරීමෙන් පසු රජයේ ඉතිරි වියදම් හා රාජ්‍ය ආදායම් අතර වෙනසයි. අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,433ක් වූ බැවින් මෙම වෙනස, එනම් ප්‍රාථමික අයවැය හිඟය, රුපියල් බිලියන 232ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා සැපිරිය යුතු පළමු කොන්දේසිය වන්නේ ඉහත ප්‍රාථමික අයවැය හිඟය මීට වඩා ඉහළ යාමට ඉඩ නොදිය යුතු බවයි. ඇස්තමේන්තු පරිදි ආදායම් එකතු වේනම් හා වියදම් ඇස්තමේන්තු ඉක්මවා නොයන්නේනම් මේ කොන්දේසිය සපුරා ගැනීම අසීරු නැහැ. එහෙත්, ඇස්තමේන්තු තරමටම බදු ආදායම් එකතු නොවීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක්. එවිට ඇස්තමේන්තුව ඉක්මවා ප්‍රාථමික අයවැය හිඟය ඉහළ යනවා. මෙම වෙනස පියවෙන්නේ වැඩියෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගින්.

මේ වන විට අරමුදලේ සහාය නැතිව රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම අසීරු නිසාත්, අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාවය අනුව ප්‍රාථමික අයවැය හිඟය ඉහළ යාමට ඉඩ දිය නොහැකි නිසාත්, ඇස්තමේන්තු පරිදි ආදායම් එකතු නොවන විට ඊට අනුරූපව වියදම්ද කපා හැරීමට සිදු වෙනවා. දැන් සිදුව ඇත්තේ එයයි. 

මේ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම් හා ණය සේවාකරණය තව දුරටත් සිදු වනු ඇතත්, රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීම මේ වන විට මුළුමනින්ම මෙන් නවතා තිබෙනවා. රජයට භාණ්ඩ හා සේවා සැපයීම ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් පෞද්ගලික ආයතන වලටද මෙයින් මරු පහරක් වදිනවා. මේ තත්ත්වය ඉක්මණින් වෙනස් වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණද, නොලැබුණද, මින් පසු ශ්‍රී ලංකා රජයට පෙර මෙන් අත දිග කර වියදම් කිරීමේ හැකියාවක් දැන් නැහැ. ආණ්ඩුව මාරු වුනත්, මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. 

Sunday, December 25, 2022

අයවැය කළමනාකරණයේ දිශානතිය

සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 57.6%කින් වර්ධනය වී තිබෙනවා. තෙවන කාර්තුවේදී රටේ මූර්ත ආර්ථිකය 11.8%කින් හැකිලුනත්, 64.7%ක් වූ උද්ධමනයේ බලපෑම නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය 45.2%කින් ඉහළ ගියා. මෙම තත්ත්වය තුළ, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් ඉහළ යාම ස්වභාවික ලෙසම සිදු විය යුතු දෙයක්. ඉතිරි කොටස බදු ප්‍රතිපත්ති වෙනස් වීමේ ප්‍රතිඵලයක් සේ සැලකිය හැකියි.

නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් මෙන්ම රාජ්‍ය වියදම්ද ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත්,  2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය වියදම් වල 1.4%ක සුළු අඩුවීමක් දැකිය හැකියි. විදේශ ණය හා පොලී නොගෙවා පැහැර හැර තිබීම මෙයට හේතුවක් විය හැකි වුවත්, දේශීය ණය පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගොස් තිබීම නිසා වියදම් මත ඇති වී තිබෙන පීඩනයද අප‍ට අමතක කළ නොහැකියි. ඒ අනුව, රාජ්‍ය වියදම් දැඩි ලෙස සීමා කිරීමක් පෙනෙන්නට තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ 2021 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 548.0ක් වූ රාජ්‍ය අයවැය හිඟය 2022 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 341.8 දක්වා 62.4%කින් පහත වැටී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩයාමටනම් මේ තත්ත්වය දිගටම පවත්වා ගන්නට සිදු වෙනවා.

Wednesday, November 23, 2022

වියදම් අඩු කිරීමේ රජයේ ප්‍රවේශය


"වියදම් කැපිය යුත්තේ අයවැය හිඟය පියවන්න අවශ්‍ය නිසා නෙමෙයි. පාලකයන් විසින් රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා තමන්ට සැබෑ අවශ්‍යතාවයක් ඇති බව මහජනතාවට පෙන්වා ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතු නිසා."

ඉහත මගේ වචන වලින් මම නැවත ලියා තිබෙන්නේ පාඨක ප්‍රතිචාර එකක හෝ වැඩි ගණනක ගැබ් වී ඇතැයි මම හිතන අදහසක්. අදහස් පළ කර නැති, නිහඬව කියවන, සැලකිය යුතු පිරිසකගේ මතයද මෙය විය හැකියි. මෙහි "වියදම්" යන්නෙන් අදහස් වන්නේ දේශපාලනඥයින් නඩත්තු කිරීමේ වියදම්.

ලංකාවේ දේශපාලන බෙදීම් තුළ මේ වන විට ඉහත මතයේ ප්‍රමුඛ ප්‍රකාශකයා වී සිටින්නේ ජවිපෙ/ජාජබ. ඒ වගේම, මහජනතාව කියන වියුක්ත අදහසින් නියෝජනය වන විෂමජාතීය කණ්ඩායම ඇතුළේ සිටින සියළු දෙනාම ඉහත අදහසේ ප්‍රකාශකයින් කියා මම හිතන්නේ නැහැ. තමන්ට අත දිග හැර වියදම් කළ හැකි තරමේ ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම් දේශපාලනඥයින් විසින් මොන මගුලක් කර ගත්තත් කමක් නැතැයි ප්‍රසිද්ධියේ නොකිවුවත්, යටි හිතෙන් හෝ ඒ විදිහට හිතන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. අර්බුදය හමුවේ මේ ප්‍රමාණය අඩු වෙලා ඇති. 

ඉහත සියළු කරුණු හමුවේ වුවත්, අඩු වශයෙන් ප්‍රදර්ශනාත්මක ලෙස හෝ වියදම් කැපිය යුතුයි කියන එක පුළුල් අදහසක්. එය එක් දේශපාලන කඳවුරක පමණක් අදහසක් නෙමෙයි. අයවැය කෙරෙහි දැනෙන සෘජු බලපෑමක් නැතත්, ප්‍රදර්ශනාත්මක ලෙස නොව ඇත්තටම අනවශ්‍ය වියදම් අඩු කළ යුතු බව මගේ පෞද්ගලික අදහසයි. එය බෝල්පොයින්ට් පෑනකින් අත්සන් කිරීම හෝ ගෙදරින් බත් එකක් ගෙන ඒම වැනි ප්‍රදර්ශනාත්මක වැඩක් වීම ප්‍රමාණවත් නැහැ.

රාජ්‍ය අයවැය තමන්ට දැනෙන ආකාරය අනුව මහජනතාව කියන වියුක්ත කුලකය පහසුවෙන්ම ගොඩවල් කිහිපයකට දැමිය හැකියි. මොන විදිහකින් හෝ රජයට සම්බන්ධ අයට රාජ්‍ය වියදම් වැඩි වීම ප්‍රශ්නයක් නෙමෙයි. එම පිරිස හා පවුල් වල අය විශාල පිරිසක්. රජයෙන් මොනවා හෝ සෘජු සහන ලබා ගන්නා අයටත් එය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම රජය සමඟ ව්‍යාපාර කර ලාබ ඉපැයූ අයටද ප්‍රශ්නයක් වී තිබෙන්නේ රාජ්‍ය වියදම් අඩු වීමයි. ඔවුන් යටතේ සේවය කළ අය එසේ නොකියනවා විය හැකි වුවත්, ඔවුන් පැමිණිලි කරන ප්‍රශ්න වලට ආසන්න හේතුවද රාජ්‍ය වියදම් අඩුවීමයි.

රාජ්‍ය වියදම් ප්‍රශ්නයක් සේ දකින වැඩි දෙනෙකු පෞද්ගලික අංශයේ සාපේක්ෂව ඉහළ ආදායම් ලැබිය හැකි රැකියා කරන, තමන්ගේ ආදායමෙන් කෙළින්ම රජයට බදු ගෙවන්නට සිදු වී ඇති පිරිසයි. විශේෂයෙන්ම 2020 බදු කැපිල්ලේ වාසිය ලැබූ, දැන් එය අහිමි වී සිටින පිරිසයි. එම පිරිස සමාජ මාධ්‍ය තුළ කොයි තරම් කෑ ගැසුවත්, "මහජනතාව" කියන ගොඩේ වැඩිපුර ඉන්නේ උඩින් කියූ කණ්ඩායම් බව ලංකාවේ හැම ප්‍රධාන දේශපාලන පක්ෂයකම නායකයින් දන්නවා.

රජය කිසියම් බද්දක් පැනවූ පසු එය මූලික වශයෙන්ම පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. බදු වලට විරුද්ධව කොයි තරම් කෑ ගැසුවත්, බදු ගෙවිය යුතු අයෙකු වෙත "බිල එද්දී" බිල නොගෙවා පැන යා නොහැකියි. අඩු වශයෙන් ලොකු බලවතෙකු නොවන අයෙකුට නීත්‍යනුකූල මාර්ගයකින් බදු වලින් ගැලවෙන්න අමාරුයි. බදු බරට කර ගහන පිරිසට සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් ගන්න එකත් පහසු නොවන්නේ රටේ සැලකිය යුතු පිරිසක් බදු ගැන පැමිණිලි කළත්, වියදම් කපන තැනට පැමිණි වහාම අනිවාර්යයෙන් එම පැමිණිලි ඉල්ලා අස් කර ගෙන අනෙක් පැත්තට හැරෙන නිසා. හැම ප්‍රධාන දේශපාලන කඳවුරක්ම මේ තත්ත්වය හොඳින්ම දන්නවා.

රජයේ වියදම් කපන එක ඉතාම අසීරු වැඩක්. වියදම් කැපීම කෙසේ වුවත්, වියදම් වැඩි නොකිරීම වුවත්, අසීරු වැඩක්. මේ සඳහා දෙවන කණ්ඩායමේ සහයෝගය කොහොමටත් තිබෙනවා. ප්‍රශ්න මතු වන්නේ පළමු කණ්ඩායමෙන්. ආණ්ඩුවේ ඉහළ තට්ටුවට "විශ්වාසය තහවුරු කරන්නට" සිදුව ඇත්තේ එම කණ්ඩායම තුළයි.

කාලයක් තිස්සේම ලංකාවේ "රජය" විසින් අත දිග හැර වියදම් කළේ රජය තුළ සිටි ඉහළම තට්ටුව හා පහළ තට්ටු අතර මනා සහයෝගයකින්. මේ සඳහා හොඳම නිදර්ශනයක් ලෙස තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. සම්පීඩිත ඩොලර් මිල යටතේ වාහන බලපත්‍රලාභීන් විසින් මේ වාහන මිල දී ගත්තේ එහි නියම මිලෙන් 60%ක පමණ මිලක් ගෙවමින්. ඉතිරි 40% හා පොලිය විදේශ ණය වලට එකතු වී තිබෙනවා. ඒ වගේම, රට තුළ පැවති වෙළඳපොල මිලට වඩා බොහෝ අඩුවෙන්. දේශපාලනඥයින් අතර මේ වාසිය මුදල් කර නොගත් කිසිවකු ඇත්දැයි සැකයි. 

දේශපාලනඥයින් සුළු පිරිසක් විසින් ලැබූ ඉහත නීත්‍යනුකූල, එහෙත් අනිසි, වාසිය නඩත්තු කර ගැනුණේ විශාල රාජ්‍ය සේවකයින් පිරිසකටද එවැනිම අවස්ථාවක් ලබා දීම මගින්. මෙය කියවන බොහෝ පාඨකයින් මා හා එකඟ නොවනු ඇති වුවත්, යම් අසමානතා තිබියදී වුවත්, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා දුන් බදු සහනද මේ ගොඩටම එකතු කරන්නට මා පැකිළෙන්නේ නැහැ.

තීරු බදු රහිත වාහන බලපත් එක් නිදසුනක් පමණයි. මෙවැනි තවත් දේ එකතු කළ හැකියි. මේ වාසි "රජය" තුළ සිටි පහළ ස්ථර වලට ගලා ආවේ එකම අයුරකින් නොවිය හැකියි. එහෙත්, ඔවුන්ද විවිධ ආකාර වලින් රාජ්‍ය වියදම් ඉහළ යාමේ වාසිය ලැබුවා. දැන් වියදම් කැපීම "අලෙවි කරන්නට" සිදු වී තිබෙන්නේ මේ පිරිසටයි. මේ සන්දර්භය තුළ "මහජනතාව" වන්නේ රජයම තමයි. 

ණය හා පොලී ගෙවීම්ද ඇතුළුව 2023 අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,879ක්. මේ ගණන ඇඟට දැනෙන්නේ නැත්නම්, එක පවුලකට රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි මුදලක්. අපේක්ෂිත ආදායම මෙයින් 44%ක් පමණයි. වෙනත් විදිහකින් කිවුවොත්, බදු ආදායම් ඇතුළු අනෙකුත් ආදායම් අපේක්ෂිත පරිදි වැඩි කර ගැනීමෙන් පසුවත්, ණය ගෙවීම් ඇතුළු සමස්ත වියදම ආදායම මෙන් 230%ක්. 

මේ වියදම් මොනවාද?

වියදම් වලින් වැඩි කොටසක් වසර තුළ ආපසු ගෙවිය යුතු ණය හා පොලියයි. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය සඳහා වසරේ පොලී වියදම - රුපියල් බිලියන 2,000 යි.

විදේශ ණය සඳහා වසරේ පොලී වියදම - රුපියල් බිලියන 189 යි.

දේශීය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 1,585 යි.

විදේශ ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 440 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

කෙසේ වුවත්, ඉහත ණය හා පොලී ඇස්තමේන්තු සකස් කර ඇත්තේ ණය පැහැර හැර ඇති තත්ත්වයක් තුළයි. නියම පිළිවෙළට ණය ගෙවනවානම්, ණය ලෙස මෙන්ම පොලී ලෙසද ගෙවිය යුතු මුදල අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. 

ඇස්තමේන්තු සකස් කිරීමේදී ඩොලරයක මිල කීයක් ලෙස උපකල්පනය කර ඇත්දැයි මා දන්නේ නැහැ. අපි දැනට තිබෙන රුපියල් 363.5 ලෙසම සලකමු. එහෙමනම්, මේ ඇස්තමේන්තු අනුව 2023දී ගෙවන්නට අපේක්ෂා කරන විදේශ ණය ප්‍රමාණය හා පොලිය කොපමණද?

විදේශ ණය ආපසු ගෙවීම් - ඩොලර් මිලියන 1,245 යි.

විදේශ ණය සඳහා වසරේ පොලී වියදම - ඩොලර් මිලියන 534 යි.

එකතුව -  ඩොලර් මිලියන 1,778 යි.

වසර තුළ රජය විසින් ලබා ගැනීමට අපේක්ෂිත විදේශ ණය හා ආධාර ප්‍රමාණය - රුපියල් බිලියන 619 යි =  ඩොලර් මිලියන 1,702 යි.

මෙම ගණන, මගේ පෙර සටහනක ඉදිරිපත් කළ ගණනට වඩා අඩුයි. පෙර ලිපියේ සඳහන් වූ ගණන ගත්තේ අයවැය කතාවේ ඇමිණුමෙන්. මෙහි සඳහන් ගණන ඊට වඩා අළුත්. ඒ වගේම, මෙම ගණන ප්‍රායෝගිකයි. මෙයින් අදහස් වන්නේ දැනට ගෙවිය යුතු විදේශ ණය වල වාරික හා පොලිය ගෙවීමට පමණක් අළුතෙන් ණය ගන්නවා කියන එකයි. අනෙක් පැත්තෙන් මෙයින් කියන්නේ ලබන වසරේ විදේශ ණය වාරික හා පොලිය ලෙස ආපසු ගෙවන්නේ රජයට විදේශ ණය හෝ ආධාර ලෙස ලැබෙන මුදල පමණක් බවයි. 

මෙසේ ලබන වසර තුළ දිගටම ගෙවාගෙන යන ණය වන්නේ, තවමත් පැහැර හැර නැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වලින් ලබා ගත් ණය විය යුතුයි. ඒ ණය ආපසු ගෙවනු ඇත්තේ බොහෝ දුරට එම ආයතන වලින්ම නැවත ලබා ගන්නා ණය වලින්. මෙය කළ හැක්කක්. අනෙක් විදේශ ණයකරුවන්ට කැමති වුනත්, නැති වුනත්, 2023 වසර තුළ ණය හෝ පොලී ආපසු ලැබෙන්නේ නැහැ. 

දේශීය ණය සඳහා වසරේ ඇස්තමේන්තුගත පොලී වියදම රුපියල් බිලියන 2,000 ක්. දැනට රජය විසින් නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 12,500ක් පමණ වෙනවා. ඒ අනුව, මෙයින් අදහස් වෙන්නේ 16%ක පමණ පොලී අනුපාතිකයක්. රජය හා මහ බැංකුව ඉලක්ක කරන්නේ ලබන වසරේදී පොලී අනුපාතික එවැනි මට්ටමකට අඩු කර ගන්නද? දැනට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවත්වා ගෙන යන්නේත් 14.5-15.5% මට්ටමේ.

මේ වන මහ බැංකුව විසින් වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය (රුපියල් හිඟය) අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා. 2023 අප්‍රේල් පමණ සිට උද්ධමනය දැනෙන ලෙස අඩු වෙද්දී වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයද පහත වැටුණොත් පොලී අනුපාතිකද පහත වැටිය හැකියි. දැනට ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තු අනුවනම් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම, තවමත් එය දුරස්ථ ඉලක්කයක් නෙමෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර වැඩේ ගොඩදාගන්න අමාරු වුනත් පුළුවන්. 

ලිපිය පටන් ගත් රාජ්‍ය වියදම් වෙත නැවත ආවොත්, ණය ගෙවීම්ද සමඟ සමස්ත වියදම රුපියල් බිලියන 7,879ක්. මෙම වසරේ අදාළ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 6,231ක්. ඒ අනුව, බැලූ බැල්මටම 26%ක රාජ්‍ය වියදම් ඉහළ යාමක් තිබෙනවා. නමුත්, ණය ආපසු ගෙවීම් හා පොලී වියදම් ඉවත් කළ විට 2023 වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,665ක් පමණයි. 2022 වසරේ මෙම වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,342ක්. ඒ අනුව, 2022ට සාපේක්ෂව බැලුවත් රජයේ වියදම් ඉහළ ගොස් ඇතත් එම වැඩිවීම 9.7%ක් පමණයි. 

පවතින තත්ත්වය තුළ 9.7%කින් වුවත් වියදම් වැඩිවීම කෙනෙකුට පහසුවෙන් විවේචනය කළ හැකියි. එහෙත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකළත්, දැනට සිටින රාජ්‍ය සේවකයින්ට උසස්වීම්, වැටුප් වර්ධක ආදිය ලැබෙනවා. මා දන්නා තරමින් ඒවා අත්හිටුවා නැහැ. ඒ නිසා, රාජ්‍ය සේවක වැටුප් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා. අනෙක් අතට පවතින ඉහළ උද්ධමනය තුළ මූර්ත පදනමකින් සිදු වන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අඩුවීමක්. ඒ වගේම, මිල මට්ටම 70%කින් ඉහළ යද්දී, රජය විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා 20%කින් අඩු කළත්, වියදම 36%කින් ඉහළ යනවා. උද්ධමනය හා ගැලපෙන පරිදි වියදම් වැඩි කර නොගන්නවා කියන්නේත් වියදම් අඩු කරගත හැකි වක්‍ර ක්‍රමයක්. 

ලබන වසරේ රාජ්‍ය වියදම මම තවත් විදිහකට විභේදනය කර පෙන්වන්නම්. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 3,586 යි.

විදේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 629 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

නිකමට හිතමු රජය විසින් දේශීය ණය හා පොලී නොගෙවා ඉන්න තීරණය කළා කියලා. මේක විදේශ ණය පැහැර හරිනවා වගේ අමාරු වැඩකුත් නෙමෙයිනේ. පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ එය නීත්‍යානුකූල කටයුත්තක්. මම කියන්නේ රජය මේ වගේ දෙයක් කරයි කියලවත්, කළ යුතුයි කියලවත් නෙමෙයි. හැබැයි ඔහොම වැඩක් කළා කියන්නේ අයවැය ප්‍රශ්නය බොහෝ දුරට ඉවරයි.

රජයේ වියදම රටේ පවුල් ගණනින් බෙදුවොත් පවුලකට ලක්ෂ 15කට වඩා වැටෙන බව මම කලින් කිවුවනේ. රජය විසින් රට ඇතුළේ විකුණා තිබෙන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය රටේ පවුල් ගණනින් බෙදුවොත් පවුලකට ලක්ෂ 25කට කිට්ටුයි. ඒ කියන්නේ සෘජුව හෝ වක්‍රව එක පවුලක් විසින් රජයට ලක්ෂ 25ක් ණය දීලා තියෙනවා. රජය විසින් මේ ණය නොගෙවා පැහැර හරිනවා කියන්නේ එක පවුලකට තමන්ගේ වත්කම් වලින් රුපියල් ලක්ෂ 25ක් නැති වෙනවා කියන එක. 

රජය කරන්න සැලසුම් කර තියෙන්නෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන්න කියන්නෙත්, 2024 වෙද්දී ප්‍රාථමික ශේෂය අතිරික්තයක් කරලා ඒ තත්ත්වය දිගටම පවත්වා ගෙන යන්න. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක්. එහෙම කළා කියලා සමස්ත අයවැය හිඟය අතිරික්තයක් වෙන්නේ නැහැ. දිගින් දිගටම ණය වැඩි වෙන එක නවතින්නෙත් නැහැ. නමුත්, ණය කියලා අමුතුවෙන් සල්ලි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනටම අරන් තිබෙන ණය හා පොලිය ආපසු ගෙවන අතර එයින් කොටසක්ම තමයි ණය විදිහට ආපහු ගන්නේ. ඒ නිසා, මිනිස්සු අතට කීයක් හෝ සල්ලි එනවා මිසක් මිනිස්සුන්ගේ අතෙන් සල්ලි යන්නේ නැහැ. 

විදේශ ණය සම්බන්ධව දිගුකාලීනව කළ හැක්කේත් ඔය වගේම වැඩක්. එහෙම නැතුව ඒ ණය මේ හදිස්සියේ ගෙවලා ඉවර කරන්න බැහැ. දිගටම අලුතෙන් විදේශ ණය ගන්න සිදු වෙනවා. හැබැයි ඒ ණය වලින් දැනට තිබෙන විදේශ ණය වල වාරික හා පොලී ගෙවනවා මිසක් තවදුරටත් රජයේ අයවැය හිඟය පියවන්න විදේශ ණය ගන්න බැහැ. ඒ වැඩේ කරන්න පුලුවන්නම් විදේශ අංශය සමතුලිත කරගන්න පුළුවන්. 

මේ වැඩේට කෙටිකාලීනව ණයහිමියන් කැමති කර ගන්න වෙනවා. දිගුකාලීනව රටට එන ඩොලර් පමණක් වියදම් කරන්න වෙනවා. ඒ එන ඩොලර් වලිනුත් සුළු හෝ කොටසක් ණය ගෙවන්න ඉතිරි කරගන්න වෙනවා. එහෙම කරන්නනම් මහ බැංකුවට මැදිහත් වෙලා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. එසේ කරද්දී ඩොලරයේ මිල ඉහළ යනවා. එයට ඉඩ දෙන්න වෙනවා. විදේශ අංශය සමතුලිත වෙන්නේ ඩොලරයේ මිල නිදහසේ වෙනස් වෙන්න අවකාශ ඇත්නම් පමණයි.

Tuesday, November 22, 2022

දේශපාලනඥයින්ගේ වියදම්


පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන හා ඒ සඳහා ආදායම් වැඩි කර ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය ගැන ලිපි කිහිපයකින්ම පෙන්වා දුන්නා. ආදායම් වැඩි කර ගැනීම අයවැය හිඟය අඩු කර ගැනීම සඳහා කළ හැකි එකම දෙය නෙමෙයි. වියදම් කැපීම මගිනුත් මෙය කළ හැකියි. 

කෙසේ වුවත්, මෙහි දිගින් දිගටම නැවත නැවත විස්තර කර ඇති පරිදි, ආදායම් වැඩි කර ගැනීමේ මෙන්ම වියදම් කැපීමේද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. ආදායම් පැත්ත ගැන තරමක් කතා කර ඇති නිසා දැන් අපි වියදම් පැත්තටත් එමු.

වියදම් කැපීම ගැන කතා කරන ගොඩක් අයට මුලින්ම මතක් වෙන්නේ දේශපාලනඥයින්ගේ අනවශ්‍ය, නාස්තිකාර වියදම්. මේ අනවශ්‍ය, නාස්තිකාර වියදම් පිළිබඳ චෝදනාව පදනමක් නැති එකක් නෙමෙයි. ඇහැට පේන දෙයක්. මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ ආකාරයේ වියදම් කැපීම මගින් පමණක් අයවැය හිඟය පියවා ගත හැකි බව දරුණු මුලාවක්. 

මම පහත සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නේ කිසිදු අයුරකින් අනවශ්‍ය, නාස්තිකාර වියදම් කපා හැරීම අධෛර්යය කරන්නට නෙමෙයි. ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්නයි. යෝජිත 2023 අයවැයෙන් දේශපාලනඥයින්ගේ වියදම් ඇතුළත් වන වැය ශීර්ෂ පහත තිබෙනවා.

ජනාධිපති වරයාගේ වැය ශීර්ෂය = රුපියල් මිලියන 2,800

අග්‍රාමාත්‍ය කාර්යාලය = රුපියල් මිලියන 926

අමාත්‍ය මණ්ඩල කාර්යාලය = රුපියල් මිලියන 178

පාර්ලිමේන්තුව = රුපියල් මිලියන 3,699

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය = රුපියල් මිලියන 70

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය =  රුපියල් මිලියන 159

විපක්ෂ නායක කාර්යාලය = රුපියල් මිලියන 216


මේ වියදම් සියල්ලේ එකතුව = රුපියල් මිලියන 8,047


අපේක්ෂිත ආදායම = රුපියල් මිලියන 3,433,000

ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.23%


ණය ගෙවීම්ද ඇතුළුව මුළු වියදම = රුපියල් මිලියන 7,879,499

මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.10%

ඉහත වියදම් සියල්ල දේශපාලනඥයින්ගේ වියදම් නෙමෙයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ වියදම් වලින් සැලකිය යුතු කොටසක් එහි සේවකයින්ගේ වියදම්. ඔවුන් දේශපාලනඥයින් හෝ දේශපාලන පත්වීම් ලැබූ අය නෙමෙයි. අනෙක් අතට, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ වියදම් මෙහි ඇතුළත්ව නැහැ. ඒ වගේම, වෙනත් වැය ශීර්ෂ යටතේ "සැඟවුණු" වියදම් ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා, මම මේ සංඛ්‍යාලේඛණ වලට ලොකුවට බර තබන්නේ නැහැ. 

කෙසේ වුවත්, මේ සියල්ල ලිහිල් ලෙස (conservatively) සලකා බැලීමෙන් පසුව වුවත්, දේශපාලනඥයින්ගේ වියදම් මුළු වියදම් වලින් 0.5%ක්වත් විය නොහැකියි. ඒ නිසාම, මේ වියදම් කොයි තරම් අඩු කළත්, පවතින වියදම් වලින් 99.5%ක්වත් එළෙසම පවතිනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. බොහෝ විට එම ප්‍රමාණය 99.9%ක් පමණම විය හැකියි. 

මේ හේතුව නිසා අනවශ්‍ය වියදම් සාධාරණීකරණය වෙන්නේ නැහැ. අඩු වශයෙන් ආදර්ශයක් ලෙස හෝ දේශපාලනඥයින් විසින් හැකි හැම වියදමක්ම කපා දැමිය යුතුයි. ආරක්ෂක වියදම් ගැන ඉදිරි සටහනකින් කතා කරමු. 

Thursday, November 17, 2022

ඩොලර් එක කීයට යයිද?

නිදහස් වෙළඳපොළක සමතුලිත මිල මොකක්ද කියලා හරියටම බලාගන්න වෙන්නේ වෙළඳපොළ නිදහස් කිරීමෙන්ම පමණයි. වෙන ක්‍රමයක් නැහැ. වෙළඳපොළ නිදහස් කරන්නෙම ඒකට. සමතුලිත මිල කලින් හරියටම පුරෝකථනය කරන්න පුළුවන්නම්, නිදහස් වෙළඳපොළක් අවශ්‍ය නැහැ. 

මේ කතාව ඩොලරයක මිලටත් අදාළයි. මිල නිදහසේ තීරණය වෙන්න ඉඩ දුන්නට පස්සේ කීයක් වෙයිද කියන එක දැනගන්න වෙන්නේ එහෙම ඉඩ දීලම තමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය තර්කය වලංගු වෙන්නේ ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න දුන්නොත්. එහෙම දෙයක් කවදාවත්ම වෙලා නෑ වගේම ඉදිරියේදී වෙන එකකුත් නැහැ. ඩොලරයට ලැබෙනු ඇත්තේ සාපේක්ෂ නිදහසක්. ඒ නිසා, අපිට මිල ගැන යම් අනුමාන කරන්න පුළුවන්. 

විණිමය අනුපාතයේ හැසිරීම ගැන විස්තර කෙරෙන එක් ආර්ථික විද්‍යා න්‍යායයක් තමයි ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය. මේ ගැන මම වරින් වර විස්තරාත්මක පැහැදිලි කිරීම් කරලා තියෙනවා. දැන් මෙය කියවන ගොඩක් අය අලුතෙන් එකතු වූ අය නිසා අපි ඒ ගැන නැවතත් ටිකක් කතා කරමු. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යායයෙන් විස්තර කරන්නේ විණිමය අනුපාතය හා උද්ධමනය අතර සම්බන්ධය. අපි උදාහරණයක් විදිහට ලංකාව හා ඉන්දියාව ගනිමු. යම් කිසි නිශ්චිත මොහොතක ඉන්දියානු රුපියලක් හා ශ්‍රී ලංකා රුපියලක් සමානයි කියා හිතමු. 1965 වෙනකල්ම ඇත්තටම තිබුණු තත්ත්වයත් ඕකයි. ඊට පස්සේ ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට වඩා ශක්තිමත් වෙලා, ශත 65කට පමණ ඉන්දියානු රුපියලක් ගන්න පුළුවන් වූ කාලයකුත් තිබුණා. පසුව, ශ්‍රී ලංකා රුපියල දුර්වල වුනා. අපි මුල් උදාහරණයේ සඳහන් ඉන්දියානු හා ශ්‍රී ලංකා රුපියල් සමාන වූ තත්ත්වයෙන් පටන් ගනිමු.

දැන් අපි ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය වෙත ගියොත්, එම න්‍යාය අනුව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳාමට කිසිම බාධාවක් නැත්නම්, රටවල් දෙකේ බඩු වල මිල සමාන විය යුතුයි. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් සීයනම් ඉන්දියාවේත් ඉන්දියානු රුපියල් සීයයි. ලංකාවේ හාල් කිලෝවක් රුපියල් දෙසීයනම් ඉන්දියාවේත් ඉන්දියානු රුපියල් දෙසීයයි. 

මේක තේරුම් ගන්න අපහසු නැහැනේ. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් පණහ වුනොත් ලංකාවේ පොල් විකුණන්නේ නැතිව ඉන්දියාවට යවන එක ලාබයි. මොකද එවිට රුපියල් සීයක් ලැබෙනවා. ඒ හේතුව නිසාම ලංකාවේ පොල් මිලත් සීය වෙනවා. අනෙක් අතට ලංකාවේ හාල් කිලෝ එක රුපියල් තුන් සීයනම් ඉන්දියාවෙන් රුපියල් දෙසීයට හාල් ගේන්න පුළුවන්. හාල් මිල බහිද්දී ලංකාවේ හාල් හදා විකුණන්නේ කිලෝව දෙසීය ගානේ විකුණලා ලාබ ගන්න පුළුවන් අය විතරයි. 

දැන් මේ වැඩේ වෙද්දී ඉන්දියාවෙන් හාල් ආනයනය කරන්න විදේශ විණිමය අවශ්‍ය වෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් පොල් අපනයනය කරලා විදේශ විණිමය ලැබෙන නිසා අවුලක් නැහැ. ඉංග්‍රීසි කාලයේදී ඇත්තටම වුනෙත් ඔය වගේ දෙයක්. විණිමය අනුපාතය අවුලක් නැතිව සමානව තියා ගන්න පුළුවන් කියන්නේ ආනයන වියදම් හා අපනයන ආදායම් සමතුලිත වෙනවා කියන එකයි. රටවල් දෙක අතර ක්‍රය ශක්ති සාම්‍යය පවතිනවා කියන්නේ ඔය වගේ තත්ත්වයක්.

දැන් ඔහොම සමතුලිතතාවයක් තියෙද්දී ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරලා ඒ අඩුව පුරවන්න විශාල ලෙස සල්ලි අච්චු ගැහුවොත් මොකද වෙන්නේ? අපි නිකමට වගේ හිතමු ක්ෂණිකව මුදල් සැපයුම දෙගුණ කළා කියලා. දැන් ලංකාවේ හැම බඩුවක්ම වගේ දෙගුණ වෙනවා. ඒ කියන්නේ 100%ක උද්ධමනයක්. හැබැයි ඉන්දියාවේ එහෙම වෙන්නේ නැහැ. 

මේ වැඩේ වෙච්ච ගමන් ලංකාවේ නිෂ්පාදකයෙක්ට කිසිම දෙයක් හදලා ලංකාවේ හෝ ඉන්දියාවේ විකුණන්න බැරුව යනවා. මොකද ඉන්දියාවේ බඩු බාගෙට බාගයක් ලාබයි. අපනයන ආදායම් නැහැ. ආනයන වියදම් විතරයි. 

ඔය වගේ දෙයක් වුණාම විණිමය වෙළඳපොළේ සමතුලිතතාවය නැති වෙනවා. හැමෝම ඉන්දියන් රුපියල් ඉල්ලුවත් විකුණන්න කවුරුවත් නැහැ. ඕක වෙච්ච ගමන් ඉන්දියානු රුපියලේ මිල ඉහළ යන්න පටන් ගන්නවා. වැඩේ නවතින්නේ ඉන්දියානු රුපියල ශ්‍රී ලංකා රුපියල් දෙකක් වුනාට පස්සේ. මොකද ඊට පස්සේ ආයෙත් අර මුලින් තිබුණු තත්ත්වය. විනිමය අනුපාතය සැලකුවහම රටවල් දෙකේම බඩු මිල සමානයි. ඉන්දියාවේ හාල් කිලෝවක් ඉන්දියානු රුපියල් දෙසීයනම් ලංකාවේ රුපියල් හාරසීයයි. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් සීයනම් ඉන්දියාවේ ඉන්දියානු රුපියල් පණහයි. ආයෙමත් ක්‍රය ශක්ති සාම්‍යය ඇති වෙලා.

දැන් මේ විදිහට එක් රටක හෝ රටවල් දෙකේම මුදල් ඒකක වල වටිනාකම අඩු වෙද්දී නැවත ක්‍රය ශක්ති සාම්‍යය ඇති වෙන්නනම් රටවල් දෙක අතර උද්ධමන වෙනසට සමානව විණිමය අනුපාතය වෙනස් වෙන්න ඕනෑ. උදාහරණයක් විදිහට ඇමරිකාවේ උද්ධමනය 2%නම්, ලංකාවේ 10%නම්, ඩොලරයක රුපියල් මිල 8%කින් ඉහළ යා යුතුයි. නැත්නම් ලංකාවට කලින් වගේ අපනයන කරන්න බැහැ. ඒ වගේම ආනයන එක්ක තරඟ කරන්නත් බැහැ. 

ඔය කියන න්‍යාය කියන විදිහටම වැඩ කරනවද? වෙළඳාමට බාධා නැති රටවල් අතරනම් ඔය න්‍යාය වැඩ කරනවා. හැබැයි දිගුකාලීනව. කෙටිකාලීනව විණිමය අනුපාතය වෙනස් වෙන්න තව ගොඩක් දේවල් බලපානවා. ජාත්‍යන්තර වෙළඳාමට බාධා තිබෙන රටවල් අතර මේ වැඩේ දිගුකාලීනව වුනත් හරියටම වෙන්නේ නැහැ. 

වැදගත්ම කරුණ මේ ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය අදාළ වෙන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙද්දී. එහෙම නැතුව රජය හෝ මහ බැංකුව විසින් විණිමය අනුපාතය තීරණය කරනවානම් ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගන්න සැලකිලිමත් විය යුතුයි. ලංකාව මුල ඉඳලම, ඒ කිවුවේ නිදහස ලබපු කාලේ ඉඳලම, කරපු වැරැද්ද ඔය න්‍යාය අමතක කරපු එක.

සාමාන්‍ය මූලධර්මයක් විදිහට රජයේ අයවැය හිඟය තුලනය වෙනවානම්, සල්ලි අච්චු ගහන්න උවමනාවක් නැති නිසා, විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. සිංගප්පූරුව වගේ අයවැය අතිරික්තයක් තිබුණු රටවල් ඒ අතිරික්තය යොදවා විදේශ සංචිත එකතු කර ගනිද්දී සිංගප්පූරු ඩොලරය එන්න එන්නම ශක්තිමත් වුනෙත් ඔය ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුවයි. 

ගොඩක් අය හැත්තෑ හතෙන් පස්සේ කාලය ගැන කතා කළත් ලංකාව වැඩ වරද්දා ගත්තේ ඊට ගොඩක් කලින් නිදහස ලැබුණු දවස් වල ඉඳලමයි. විශේෂයෙන්ම 1956න් පස්සේ. අන්තිමට ලංකාවේ අයවැය අතිරික්තයක් තිබුණේ 1955 අවුරුද්දේ. ඊට පස්සේ අද දක්වාම දිගටම ආදායමට වඩා වියදම වැඩියි. 

රජයේ ආදායමට වඩා වියදම වැඩියි කියන්නේ අනෙක් පැත්තෙන් සල්ලි අච්චු ගැහිල්ල ජයටම වෙනවා කියන එක. මේ විදිහට සුබසාධන වියදම්, "ජනසතු" කළ රාජ්‍ය ආයතන වල පාඩු, නාස්ති, දූෂණ පියවගන්න සල්ලි අච්චු ගහද්දී විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්නවා කියන්නේ ආනයන ඉහළ ගිහින් අපනයන අඩු වෙනවා කියන එකයි. ඔය වැරැද්ද හදන්නේ නැතුව "දේශීය ආර්ථිකය දියුණු කරන" ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. 

ආනයන ඉහළ ගිහින් අපනයන අඩු වෙද්දී විදේශ විණිමය හිඟයක් ඇති වෙනවා. නමුත් නිදහස් ලංකාවේ මුල් ආණ්ඩු වලට මේ විදේශ විණිමය හිඟය ප්‍රශ්නයක් වුනේ නැහැ. රටේ විදේශ ණය ප්‍රමාණය මෙන් දහ ගුණයක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් සුද්දා ඉතුරු කරලා ගිහින් තිබුණා. ඒ කාලයක් තිස්සේ අයවැය අතිරික්ත පවත්වා ගැනීම මගින්. මේ සංචිත ටික හිඳෙන තුරු ලංකාවේ ආණ්ඩු වලට අත දිග ඇරලා ආනයන වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වුනා. එහෙම ආනයනය කරන හාල් වගේ දේවල් සලාක විදිහට නිකම්ම හෝ ඉතා අඩු මිලකට බෙදා දෙන්න පුළුවන් වුනා. හරියට මෑතක් වන තුරු අඩුවට ඉන්ධන විකිණුවා වගේ.

වැඩේ පත්තු වුනේ සුද්දා ඉතුරු කරලා ගිය සංචිත ටික ඉවර වුනාට පස්සේ. හැබැයි ඊට පස්සෙත් ආදායම ඉක්මවා වියදම් කරන පුරුද්ද නැවතුනේ නැහැ. 1965දී IMF ගිහින් පටන් ගත්ත සෙල්ලම දිගින් දිගටම සිදු වුනා. දිගින් දිගටම ණය ගනිමින් අයවැය හිඟය නඩත්තු කෙරුණා. සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියෙවුවත් ඊට හරියන තරමට රුපියල අවප්‍රමාණය කළේ නැහැ. ඒ නිසාම, ක්‍රය ශක්ති සාම්‍යය නඩත්තු වුනේ නැහැ. 

ලංකාව නමට හරි විණිමය අනුපාතය පා කළේ 2001 අවුරුද්දේදී. එතෙක් තිබුණේ කිසියම් ආකාරයක පාලිත විණිමය අනුපාත ක්‍රමයක්. ඔය ක්‍රමයට දිගටම යන්න බැරි වෙලා 2001දී නිල වශයෙන් රුපියල පා කළත් ඒ පා කිරිල්ල කවදාවත්ම හරියට සිදු වුනේ නැහැ. හැමදාමත් රුපියලට පාවෙන්න ලැබුණේ රජයට හා මහ බැංකුවට අවශ්‍ය තරමට පමණයි.

පහළින් තියෙන්නේ 2001දී රුපියලේ මිලෙන් ක්‍රය ශක්ති සාම්‍යය නිරූපණය වුනා කියන උපකල්පනය මත, ඉන් පසුව සිදු වුන දේ. ඇත්තටම 2001දීත් ක්‍රය ශක්ති සාම්‍යය තිබුණේ නැහැ. නමුත් අපි එතැන් සිට සිදු වූ දේ දිහා බලමු.


විණිමය අනුපාතය පා කළ 2001 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ඉඳලා 2022 ඔක්තෝබර් මාසය දක්වා ගත වූ මාස 250ක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය 7.12 ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒ ඇයි කියා කියන්න අවශ්‍ය නැහැනේ. ලංකාවේ රජය වගේම ඇමරිකාවේ රජයත් ආදායම ඉක්මවා වියදම් කරමින් සල්ලි අච්චු ගහන නිසා ඇමරිකාවෙත් ඔය වැඩේ වෙලා තිබෙනවා. හැබැයි ලංකාවේ තරමට නෙමෙයි. ඔය මාස 250 තුළ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය වැඩි වෙලා තියෙන්නේ 68.6%කින් පමණයි. 

ලංකාවේ අයවැය හිඟය නිසා මේ විදිහට ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙද්දී ඒ බාල්දු වීම විණිමය අනුපාතයෙන් නිරූපණය විය යුතුයි. ඒ වැඩේ හරියට වුනානම් තිබිය යුතු වූ විණිමය අනුපාතය තමයි වගුවේ තියෙන්නේ. ඇත්තටම තිබුණු විණිමය අනුපාතයත් තියෙනවා. 

වෙනස ගොඩක්ම වැඩි සිවිල් යුද්ධය, ඉවර වීමෙන් පසු, 2010 හා 2011 වගේ අවුරුදු වලදී. ඒ කාලයේ ඩොලරයක මිල තිබිය යුතු මිලෙන් 58%ක් වගේ. ඒ කියන්නේ ආනයන වලට 42%ක වට්ටමක් දුන්නා වගේ වැඩක්. 

රටේ මිනිස්සු වැඩියෙන් ආනයන පරිභෝජනය කළා කියා බනින, දුක් වෙන ගොඩක් අය ඉන්නවා. නමුත්, 42%ක වට්ටමකට බඩු ලැබෙද්දී නොගන්නේ කවුද? විශාල ආනයන අපනයන පරතරයක් හැදුනේ ඔය හේතුව නිසා. ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 195ක් වෙද්දී , ඇත්ත මිල තිබුණේ රුපියල් 113 වගේ මට්ටමක. ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 219ක් වෙද්දී ඇත්ත මිල තිබුණේ 131 වගේ මට්ටමක. ඒ කියන්නේ, රුපියල් ලක්ෂ 22ක් විය යුතු වාහනයක් ලංකාවට එන්නේ රුපියල් ලක්ෂ 13ට. රජය වාහන වලට විශාල තීරු බද්දක් අය කළ නිසා ඔය වාසිය ලැබුනේ වාහන බලපත්‍ර තිබුණු දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට පමණක් වුනත් අනෙක් ගොඩක් ආනයනික බඩු මිල දී ගනිද්දී හැමෝටම ඔය වට්ටම ලැබුණා.

මගේ ගණන් හැදීම් අනුව 2022 ඔක්තෝබර් අවසාන වෙද්දී ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 393ක් පමණ. ඔය ගණන් හැදීම කරලා තියෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය නිවැරදියි කියා උපකල්පනය කරලා. එය ගණන් හදා තිබෙන ක්‍රමය නිවැරදි සේ සැලකුවත්, ඩොලරයක මිල රුපියල් 393 වුනානම් පාරිභෝගික මිල දර්ශකය දැන් තියෙන මට්ටමේ තියෙන්නේ නැහැ. ඒ නිසා, ඇත්තටම ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 393ට වඩා වැඩි විය යුතුයි. සමහර විට රුපියල් 450ක් පමණ. 

මෙයින් අදහස් කරන්නේ රුපියල පා කළොත් ඩොලරයක මිල ඔය මට්ටමට යනවා කියන එක නෙමෙයි. නමුත්, ඔය වගේ මට්ටමකදී බොහෝ විට ආනයන ඉල්ලුම හා ණය නොවන ඩොලර් සැපයුම සමාන වෙන්න පුළුවන්. හැබැයි පහුගිය කාලය පුරාම ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා නොගනිමින්, ඩොලරයක මිල පහළින් තියා ගැනීම සඳහා යෙදවූ විදේශ ණය හා ඒ ණය වල පොලිය ගෙවන්න ඩොලර් නැති වීමේ ප්‍රශ්නය තව දුරටත් ඉතිරි වෙනවා. ඒ නිසා, ණය ගෙවන්න ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්න ගියොත් ඩොලරයක මිල ඔය වගේ තැනක නවතින්නේ නැහැ.

මේ ඔක්කොම වෙන්නේ රුපියල පා කළොත්නේ. මම හිතන්නේ IMF වැඩ පිළිවෙළ තුළ තියෙන්නෙත්, මහ බැංකුව බලාපොරොත්තු වෙන්නෙත්, තව යම් ණය ප්‍රමාණයක් අරගෙන රුපියල පා කරන්න මිසක් හදිසියේ පා කරන්න නෙමෙයි. විණිමය අනුපාතය තිබිය යුතු තැන ගැන හිතද්දී ඔය කණ්ඩායම් දෙකම අනිවාර්යයෙන්ම මම ලිපියේ විස්තර කරපු ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය සලකා බලනවා. වැඩ පිළිවෙළ දැනටම හදලා තියෙන්නේ ඕක සලකා බලලා.

හැබැයි එයින් අදහස් වන්නේ වැඩ පිළිවෙළේ ඇස්තමේන්තුව මගේ ඇස්තමේන්තුවම කියන එක නෙමෙයි. මගේ ඉහත ඇස්තමේන්තුව අනුවනම් ඩොලරයක මිල තව ටිකක් ඉහළ යා යුතුයි. හැබැයි මම ගණන් හැදුවා වගේ 2001 සිට පටන් නොගෙන 2004 වගේ තැනකින් පටන් අරගෙන සැසඳීමක් කළොත් දැන් තිබෙන රුපියල් 360 මට්ටමත් ඕනෑවට වඩා වැඩි මට්ටමක් ලෙස පෙනෙන්න පුළුවන්. මහ බැංකු අධිපතිගේ කතා වලින් පෙනෙන්නේ ඔහුගේ අදහස එවැන්නක් බවයි. ඇතැම් විට මේ අදහස සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එකඟ වී සිටිනවා වෙන්න පුළුවන්. 

කතාව එවැන්නක්නම්, එයින් කියැවෙන්නේ ඩොලරයක මිල දැන් තිබෙන රුපියල් 360 මට්ටමේ තියා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ විණිමය ප්‍රමාණයක් හොයා ගෙන මිස රුපියල පා නොකෙරෙනු ඇති බවයි. එය කිරීමේ ශක්‍යතාවය ගැන ඉදිරි ලිපියකින් කතා කරමු.

Wednesday, November 16, 2022

රුපියල ශක්තිමත් වෙලාද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට දෙන්න පුළුවන් තාක්ෂනික පිළිතුර "ඔව්. රුපියල ශක්තිමත් වෙලා!".

එහෙමනම්, ඔය ගැන තිබෙන විවේචනයට පදනමක් නැද්ද? තිබෙනවා. ඉතාම පැහැදිලි පදනමක් තිබෙනවා. ඒ වගේම, රුපියල ශක්තිමත් වෙලා කියන ප්‍රකාශය තාක්ෂනිකව නිවැරදි බව පෙන්විය හැකි වුනත්, එය සිදු වී තිබෙන සන්දර්භය තුළ, ඒ ගැන පාරම්බාන එක විහිළුවක්. 

මේ ප්‍රකාශය විවේචනය කරන අය කියන්නේ මේ වගේ දෙයක්. රුපියල දැන් තිබෙන මට්ටමේ රඳවා ගෙන ඉන්නේ කෘතීම ලෙස. රුපියල ඔය කියන විදිහට ශක්තිමත් වෙලානම් පෙග් එක අත අරින්න. කොහේ නවතියිද කියලා ඊට පස්සේ බලා ගන්න පුළුවන්.

ඔය කතාව සහතික ඇත්ත වගේම ගොඩක් දෙනෙක්ට පැහැදිලි කරුණක්. මහ බැංකුවේ පාලනය නැත්නම් ඩොලරයක මිල කීයක් වෙයිද කියන එක කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ තත්ත්වය කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. එසේ තිබියදී රුපියල ශක්තිමත් වෙලා කියා මම කියන්නේ ඇයි කියලා මම පසුව පැහැදිලි කරන්නම්. හැබැයි ඔය අයවැය කතාව ලියා දුන් කෙනා රනිල් ලවා කියවන්නේ මම කියන්න යන දෙයම කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඒ කියන්නේ ඉහත සඳහන් විවේචකයා කියන දෙයම තමයි. ඒ නිසා අදාළ විවේචනය සාධාරණ විවේචනයක්.

මේක අපි සරල උදාහරණයක් එක්ක විමසා බලමු.

මුහුදේ පාවෙන, බර පටවපු, හිල් හැදුණු බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුවේ හිල් වහන්න කාටවත් උවමනාවක් නැහැ. හිල් වලින් වතුර ඇවිත් බෝට්ටුව ගිලෙන එකට විසඳුම විදිහට හැමදාම කරන්නේ වතුර ඉහින එක. ඒ අතර බෝට්ටුවට තව තව බර පටවන එකත් කරනවා.

ඔහොම පාවෙවී තියෙන බෝට්ටුවට පිරෙන වතුර ඉහ ගන්න බැරුව බෝට්ටුව ගිලෙන්න යනකොට උදවු ගන්න IMF යනවා. IMF එකෙන් ඇවිත් වතුර මෝටරයක් අරන් ඇවිත් ටික දවසක් වතුර ඉහගන්න උදවු කරනවා. ඒ අතර, හිල් වහගන්න සහ බර පටවන එක අඩු කරන්නත් උපදෙස් දෙනවා. IMF එක වතුර ඉහළ දීලා යනකම් ඔය ටික කරනවා. ඊට පස්සේ ආයෙම හිල් වහන එක මතක නැති වෙනවා. බර පටවන එකත් සීමාවක් නැතුව කෙරෙනවා.

මේ සැරේ IMF යන්නේ නැතුව වෙන වෙන විසඳුම් හොයලා අන්තිමට IMF ගියේ බෝට්ටුව ගිලුනටත් පස්සෙනේ. දැන් IMF එක මෝටරේ ගෙනාවා කියලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා බෝට්ටුව ගොඩ ගන්න ඕනෑ. බෝට්ටුව ගොඩ ගැනීමේ මෙහෙයුම පටන් ගන්න කොටත් බෝට්ටුව අඩි දහයක් පහළොවක් මුහුද යට. හැබැයි මුහුදු පතුළේ නෙමෙයි. මුහුදු පතුළ අඩි දාස් ගාණක් ගැඹුරුයි. 

අලුත් මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් ආවාට පස්සේ මුලින්ම කළ හැකිව තිබුණු දෙය කොක්කක් එක්ක කඹයක් දමලා බෝට්ටුව සම්බන්ධ කර ගන්න එක. ඒ වැඩේ පොඩි කාලයකින් සිදු වුනා. ඊට පස්සේ ඔය කඹේ ගොඩ තියෙන කණුවක ගැට ගහලා බෝට්ටුව තව තවත් යටට යන එක නවත්වන එක. මොකද බෝට්ටුව පාලනයක් නැතුව ගිලෙනවා කියන්නේ කවදාවත් ගොඩ ගන්න බැරි ගැඹුරු මුහුදු පතුලක් දක්වාම ඒක යනවා කියන එකයි. ඔය විදිහට බෝට්ටුව ගැට ගහලා තවත් ගිලෙන එක නවත්වා ගන්න තවත් මාස දෙක තුනක් ගියා. දැන් බෝට්ටුව තවත් ගිලෙන්නේ නැහැ. හැබැයි තවමත් අඩි ගාණක් වතුර යට.

කඹේ තියෙන නිසා බෝට්ටුව ගොඩට අදින්න බැරිද? මේක කරන්න අමාරු වගේම අවදානම් වැඩක්. කොක්ක ගැලවෙන්න පුළුවන්. කඹේ කැඩෙන්න පුළුවන්. ගොඩට ඇද්දේ නැතත් ඔය දේවල් වෙන්න පුළුවන්. නමුත් ගොඩට අදින්න යද්දී අවදානම වැඩියි. බෝට්ටුව ගොඩට අදින්න කලින් එයට පටවා තිබෙන බරෙන් කොටසක් අඩු කළ යුතුයි. අඩු අවදානමකින් බෝට්ටුව ගොඩ ගන්න වැඩේ කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට බර අඩු කළොත් පමණයි. ඒ වැඩේ සිදු විය යුත්තේ රජය පැත්තෙන්. 

බෝට්ටුව ගිලුනේ බෝට්ටුවේ හිල් නිසා. අනිවාර්යයෙන්ම ඒ හිල් වැසිය යුතුයි. හැබැයි හිල් වහන්නත් බෝට්ටුව ගොඩ අරගෙන ඉන්න ඕනෑ. බෝට්ටුව ගොඩ ගන්න එක අමතක කරලා හිල් වහන එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම බෝට්ටුව මුහුද යට තියෙද්දී ඒකට නිදහසේ පාවෙන්න ඉඩ දීමේ වැදගත්කම ගැන කතා කරලත් වැඩක් නැහැ. මේ වෙලාවේ කඹේ කැපුවොත් වෙන දේ ඉතාම පැහැදිලියි.

මම කිවුවනේ තාක්ෂණික ලෙස බැලුවොත් රුපියල ශක්තිමත් වෙලා කියලා. ඒ කියන්නේ, බෝට්ටුව දැන් තියෙන්නේ කලින් තිබුණාට වඩා අඟල් කීපයක් උඩින්. හැබැයි අඩි දහයක් පහළොවක් මුහුදේ ගිලිලා තියෙන බෝට්ටුවක් කඹයක් දමලා අඟලක් දෙකක් උඩට ඇද්දා කියන්නේ අගය කළ යුතු දෙයක් වුනත් ජයග්‍රහණය සැමරිය යුතු දෙයක් නෙමෙයි. බෝට්ටුව ගොඩට ගන්න එක තවමත් දුරස්ථ කරුණක්. ඕනෑම වෙලාවක කඹේ කැඩෙන්න පුළුවන්. කොක්ක ගැලවෙන්න පුළුවන්. සතුටු විය හැකි එකම දේ බෝට්ටුව ගොඩ ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ලොකුවට නොවුණත් එහි ප්රතිඵල පේනවා. ඒ අතර බර අඩු කරන්න මුහුදට දමන්න වෙන බෝට්ටුවේ තිබෙන දේවල් ගැන කෑගහන අයත් ඉන්නවා. 

පසුගිය සැප්තැම්බර් මාසයට ආවොත් අපනයන ආදායම ඩොලර් මිලියන 1,079ක්. ආනයන වියදම ඩොලර් මිලියන 1,284ක්. වෙනස ඩොලර් මිලියන 206ක හිඟයක්. නමුත් ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 359ක් ලැබී තිබෙනවා. අනෙකුත් ලැබීම් හා ගෙවීම් සියල්ල එකතු කළ විට ඩොලර් මිලියන 108ක ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබෙනවා. මෙවැන්නක් සිදු වන්නේ විශාල කාලයකට පසුව. 

ඉතා පැහැදිලිවම මෙය ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. රටේ දැඩි ආනයන පාලනයක් ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන්නට ඔය ඩොලර් මිලියන 110 ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි එවැනි දැඩි පාලිත තත්ත්වයක් යටතේ වුවත් ඩොලර් සුළු ප්‍රමාණයක් ඉතිරි වෙන්නේ කාලයකට පසුවයි.

2022 ජනවාරි හා පෙබරවාරි මාස වල ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-1697)

2022 මාර්තු ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-572)

2022 අප්‍රේල් ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-300)

2022 මැයි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-26)

2022 ජූනි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-219)

2022 ජූලි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-172)

2022 අගෝස්තු ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-49)

2022 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-3035)

2022 සැප්තැම්බර් මාසයේ ගෙවුම් ශේෂ අතිරික්තයෙන් පසුව වසරේ ගෙවුම් ශේෂ හිඟය  ඩොලර් මිලියන (-3035) සිට  ඩොලර් මිලියන (-2927) දක්වා අඩු වී තිබෙනවා. තාක්ෂනික ලෙස බැලුවොත් මෙය රුපියල ශක්තිමත් වීමක් වුනත්, නහයට වඩා උඩින් අඩි දහයක් වතුර පිරී තියෙද්දී එය අඩි නවයක් වුනා වගේ වැඩක් පමණයි.

රුපියලේ බාහිර වටිනාකම ගැන කතා කරද්දී වැදගත්ම දෙය මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයයි. පහළින් තිබෙන්නේ පසු ගිය කාලයේ මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වී ගිය ආකාරය.

2020 ජූලි - රුපියල් බිලියන 785.2

2020 අගෝස්තු - රුපියල් බිලියන 822.4

2020 සැප්තැම්බර් - රුපියල් බිලියන 758.6

2020 ඔක්තෝබර් - රුපියල් බිලියන 574.2

2020 නොවැම්බර් - රුපියල් බිලියන 540.1

2020 දෙසැම්බර් - රුපියල් බිලියන 526.8

2021 ජනවාරි - රුපියල් බිලියන 393.9

2021 පෙබරවාරි - රුපියල් බිලියන 341

2021 මාර්තු - රුපියල් බිලියන 342.9

2021 අප්‍රේල් - රුපියල් බිලියන 349.1

2021 මැයි - රුපියල් බිලියන 306.6

2021 ජූනි - රුපියල් බිලියන 10.3

2021 ජූනි මාසය අවසන් වෙද්දී මහ බැංකුවට කෘතීම ක්‍රමයකින් මිස ස්වභාවික ලෙස ඩොලරයක මිල ස්ථාවර කර ගැනීමේ හැකියාව නැතිව යනවා. ඒ මහ බැංකුවේම විදේශ බැරකම් විදේශ වත්කම් ඉක්මවා යාම නිසයි. ඒ කියන්නේ නහය වතුරෙන් යට. 

2021 ජූලි - රුපියල් බිලියන (-83.9)

2021 අගෝස්තු - රුපියල් බිලියන (-158.7)

2021 සැප්තැම්බර් - රුපියල් බිලියන (-252.6)

2021 නොවැම්බර් - රුපියල් බිලියන (-386.0)

2021 දෙසැම්බර් - රුපියල් බිලියන (-662.7)

2022 ජනවාරි - රුපියල් බිලියන (-734.2)

2022 පෙබරවාරි - රුපියල් බිලියන (-1,203.4)

2022 මාර්තු - රුපියල් බිලියන (-1462.2)

2022 අප්‍රේල් - රුපියල් බිලියන (-1546.5)

2022 මැයි - රුපියල් බිලියන (-1612.7)

2022 ජූනි - රුපියල් බිලියන (-1546.5)

2022 ජූලි - රුපියල් බිලියන (-1686.2)

2022 ජූලි මාසය දක්වාම මේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. එහෙත් ඉන්පසුව තත්ත්වය හොඳ අතට හැරෙන්න පටන් ගන්නවා.

2022 අගෝස්තු - රුපියල් බිලියන (-1614.9)

2022 සැප්තැම්බර් - රුපියල් බිලියන (-1590.8)

කෙසේ වුවත් තවමත් මහ බැංකුව සතුව ඇත්තේ සෘණ ශුද්ධ විදේශ වත්කම්. ඒ කියන්නේ මහ බැංකුවේම බැරකම් පියවන්නට මහ බැංකුවට තවත් ඩොලර් බිලියන 4.4ක් පමණ අවශ්‍යයි. රුපියල තිරසාර ලෙස ශක්තිමත් කිරීමට තවත් ඩොලර් බිලියන කිහිපයක් අවශ්‍යයි. මාසයකට ඩොලර් මිලියන 100 බැගින් ඉතිරි කරගෙන එවැනි ඉලක්කයකට යන එක ප්‍රායෝගික වැඩක් නෙමෙයි. දිගුකාලීන විසඳුම කුමක් වුවත් රුපියල හා ඒ මගින් රටේ ආර්ථිකය ස්ථාවර කර ගන්නටනම් ඩොලර් බිලියන කිහිපයක විදේශ ණය හෝ වෙනත් ලැබීම් රටට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

Tuesday, November 15, 2022

අයවැය 2023


මේ වන විට ඉදිරි වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. මෙය සුවිශේෂී අයවැයක්. අයවැය එසේ සුවිශේෂී වන්නේ එහි අරුම පුදුම දේවල් තිබෙන නිසා නෙමෙයි. අයවැය ඉදිරිපත් කෙරෙන අවස්ථාව වන විට රට වැටී තිබෙන තත්ත්වය හා ඒ සඳහා රාජ්‍ය අයවැයේ දායකත්වය නිසා.

මම අයවැය කතාවේ සඳහන් දිගුකාලීන ඉලක්ක ගැනනම් විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒවා ගැන කතා කරන්න වචන නාස්ති කරන එකත් අපරාදයක්. මේ වගේ ලස්සන ඉලක්ක මීට පෙර අයවැය කතා වලත් තිබුණා. නමුත් ඒවා ඉලක්ක වුනා පමණයි. 

එසේ වුවත්, අයවැය කතාවේ ඇමුණුමෙහි තිබෙන කෙටිකාලීන ඉලක්ක ඉතාම වැදගත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එකඟ වී ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි කොටසක් ලෙස මේ ඉලක්ක අපට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම, එම සංඛ්‍යා මත පදනම්ව, ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි අනාගතය ගැන විමසා බැලීමට ප්‍රවේශ වෙන්න පුළුවන්.

අයවැය කතාව සමඟ ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2094ක්. නමුත් මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියෙහිම තිබෙන විස්තරාත්මක ආදායම් හා වියදම් ඇස්තමේන්තු අනුව මෙම මුදල රුපියල් බිලියන 2446ක්. මේ ගණන් අතර වෙනස කජු ඇට කොස් ඇට වෙනසක් නෙමෙයි. ඉතා ඉක්මණින් අයවැය ඇස්තමේන්තු වල ගණන් හිලවු ඔය වගේ ලොකු ගණන් වලින් වෙනස් වෙන එක අරුමයකුත් නෙමෙයි. දැනට අපි අයවැය කතාවේ ඇමුණුමේ තිබෙන ගණන් නිවැරදි ගණන් ලෙස සලකමු. 

දැන් මේක 2023 අයවැයනේ. ඒ නිසා, අපි 2022 පැත්තකින් තියලා කෙළින්ම 2023ට යමු. 2023 අය හා වැය මෙහෙමයි.

ආදායම - රුපියල් බිලියන 3,415යි 

පොලී ගෙවීම් හැර වියදම - රුපියල් බිලියන 3,626යි 

ප්‍රාථමික අයවැය හිඟය - රුපියල් බිලියන 211යි 

පොලී ගෙවීම් - රුපියල් බිලියන 2,193යි 

මුළු අයවැය හිඟය - රුපියල් බිලියන 2,404යි  

ආදායම් වැඩි කර ගන්න යන ක්‍රම වල යෝග්‍යතාව හා ශක්‍යතාවය, වියදම් වෙන් කර ඇති ආකාරයේ යෝග්‍යතාව වගේ දේවල් මම මේ සටහනේ කතා කරන්න යන්නේ නැහැ. දැනට තාවකාලික උපකල්පනය ආදායම් හා වියදම් ඔය විදිහටම සිදු වෙනවා කියන එකයි. එහෙම වෙනවානම් ප්‍රාථමික හිඟය අඩු කර ගන්න රජය විසින් සෑහෙන වැඩ කොටසක් කරලා. 

හැබැයි ඉහත තත්ත්වය යටතේ වුනත්, පොලී වියදම පමණක් රුපියල් බිලියන 2,193ක් නිසා, රුපියල් බිලියන 2,404ක අයවැය හිඟයක් තිබෙනවා. දැන් ඔය අඩුව පුරවන්න අලුතෙන් ණය ගන්න ඕනෑ.

ඊට අමතරව කලින් අරන් තියෙන, වසර තුළ ගෙවිය යුතු, ණයත් ගෙවන්න වෙනවා. ඒ සඳහා යන වියදම් ඉහත වියදම් ඇස්තමේන්තුව ඇතුළේ නැහැ. ඒ වියදම් එකතු කළොත් මුළු වියදම රුපියල් බිලියන 7,879ක්. ඒ කියන්නේ, වසරේ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 4,979ක්. 

සමහර අය ගණන් හදලා නැත්නම් විගණනය කරලා පෙන්වා දෙනවනේ රටේ ණය වැඩි වෙන තරමට වත්කම් හැදිලා නැති බව. ඔව්. ණය වැඩි වෙන තරමට වත්කම් වැඩි වෙලා නැහැ. ඉදිරියේදී වුනත්, තවත් විශාල කාලයක් යන තුරු එහෙම වෙන එකකුත් නැහැ. ඒ ඇයි කියලා ඉහත ගණන් දිහා බැලුවහම පෙනෙයි.

හැම දෙයක්ම සැලසුම් කර ඇති විදිහට වුනොත්, (කවදාවත් එහෙම නොවෙන එක වෙනම දෙයක්) ලබන වසරේ රජයට රුපියල් බිලියන 4,979ක් අලුතෙන් ණය ගන්න වෙනවා. නමුත් තියෙන ණය වල වාරික හා පොලිය ගෙවුවට පස්සේ එයින් ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 211ක් පමණයි. ඒ කියන්නේ වත්කම් හැදෙනවානම් උපරිම වශයෙන් හැදෙන්න පුළුවන් ඔය ප්‍රමාණය. 

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ණය වැඩි වුනේ ප්‍රධාන වශයෙන්ම ඔය හේතුව නිසා. ඊටත් පෙර රාජපක්ෂ ආණ්ඩුව කාලයේ වැඩි වුනු ණය වලින් සැලකිය යුතු කොටසක් වැඩි වුනෙත් ඔය ක්‍රමයට. හැම ආණ්ඩුවක් යටතේම එන්න එන්නම උග්‍ර වුනා වුනත්, ලංකාවේ ණය ප්‍රශ්නය කියන්නේ අද ඊයෙක හැදුනු ප්‍රශ්නයක් නෙමෙයි. දරා ගත නොහැකි සුබසාධන වියදම්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ආදිය නිසා නිදහස ලබපු කාලයේ සිටම පවතින ප්‍රශ්නයක්. දැන් මේ ණය චක්‍රයෙන් එහෙම ලේසියකට ගැලවෙන්න බැහැ. 

ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් ප්‍රශ්නය ලබන වසරේ ඔය රුපියල් බිලියන 4,979 ණයට ගන්නේ කොහොමද කියන එක. මේ කතා කරන්නේ ණය වලින් කොටසක් ගෙවීම පැහැර හැරියට පස්සේ තත්ත්වය ගැන කියලත් අමතක කරන්න එපා. ඒ ණය තිබුණානම් ඔය ගණන තවත් වැඩි වෙනවා. 

රුපියල් බිලියන 1000ක් විදේශ ණය ගන්න සැලසුම් කර තිබෙනවා. ඉතුරු ටික දේශීය ණය. ඒ කියන්නේ රුපියල් බිලියන 3,979ක් විය යුතුයිනේ. රුපියල් බිලියන 1000ක් කියන්නේ ඩොලර් කීයක්ද කියන එක තීරණය වෙන්නේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ තියෙන විණිමය අනුපාතය මත. එය කීයක්ද කියා අප දන්නේ නැහැ. දැන් තිබෙන රුපියල් 360ම සේ සැලකුවොත්, මෙම මුදල ඩොලර් බිලියන 2.78ක්. ඔය වගේ මුදලක් ලබන වසරේ රජයට ණයට ගන්න පුළුවන් වෙයිද? 

මේ කතා කරන්නේ රජයේ අයවැය හිඟය පියවන්න ගත යුතු ණය ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාන්‍යයෙන් ණය දෙන්නේ රජයට නෙමෙයි. මහ බැංකුවට. මහ බැංකුවට වසර තුළ ගෙවිය යුතු මහ බැංකුවේම ණය වෙනම තියෙනවා. පවතින තත්ත්වය විශේෂ තත්ත්වයක් සේ සලකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන ණය රජයේ අයවැය හිඟය පියවීමට යොදා ගන්න ඉඩ දෙන කතාවකුත් මහ බැංකු අධිපතිවරයා විසින් ටික කලකට පෙර කියා තිබුණා. එහෙම ලැබුණත් වසර තුළ ඩොලර් මිලියන 750ක් වගේ ගණනක්නේ ලැබෙනවා ඇත්තේ. ඒ කියන්නේ තවත් ඩොලර් බිලියන 2ක පමණ විදේශ ණය ගන්න වෙනවා. අයවැය හදලා තියෙන්නේ එහෙම පුළුවන් වෙයි කියා උපකල්පනය කරලා. 

විදේශ ණය ඔය ප්‍රමාණය හොයා ගත්තත්, දැනටම අරගෙන තිබෙන දේශීය ණය ප්‍රමාණයට අමතරව තවත් රුපියල් බිලියන 1,880ක ණය 2023 වසර තුළ දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා. ඒ කියන්නේ 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු දේශීය ණය ගෙවන්න ගන්න වෙන ණයත් එක්ක ඔය ගණන දෙගුණයක් පමණ වී සතියකට රුපියල් බිලියන 80ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා කියන එකයි. ඔය වැඩේ කරන්නනම් පොලී අනුපාතික ලබන වසරේදීත් ඉහළ මට්ටමක තියා ගන්න වෙනවා. සමහර විට පොඩ්ඩක් අඩු වෙයි. ලොකුවට අඩුවෙන්න හේතුවක් පෙනෙන්න නැහැ. බලාපොරොත්තු පරිදි විදේශ ණය ගන්න බැරි වුනොත් තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. 

හැම දෙයක්ම හොඳම විදිහට වුනොත්, ආර්ථිකයේ තුවාල ටිකෙන් ටික සනීප වෙයි. හැබැයි කාලයක් යයි. හදිස්සියෙන් විශාල වෙනසක් වෙන්නේනම් නැහැ. 

Wednesday, November 9, 2022

පළමු මාස හයේ අය හා වැය

පෙර ලිපියක ("රජය ආදායම් වැඩි කරගන්න යන්නේ කොහොමද?") ඉදිරිපත් කළේ මෙම වසරේදී රජය ආදායම් වැඩි කර ගන්නට සැලසුම් කර ඇති ආකාරයයි. එහි ඉදිරිපත් කළේ ආදායම් ඇස්තමේන්තු. ඇත්ත ගණන් නෙමෙයි. පෙර වසර හා අදාළවනම් ඇත්තම ගණන්.

පහත තියෙන්නේ මේ වසරේ මුල් මාස හය තුළ රජයේ ඇත්තම ආදායම. සියළුම ගණන් රුපියල් බිලියන වලින්.

ආදායම් බදු - 234.9

වැට් බදු - 197.8

නිෂ්පාදන/ සුරා බදු - 170.9

වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද - 94.0

විශේෂ වෙලඳ භාණ්ඩ බද්ද - 38.9

ආනයන බදු - 25.4

සෙස් බද්ද - 20.4

අනෙකුත් බදු - 16.5

මුළු බදු ආදායම - 798.8

බදු නොවන ආදායම - 119.7

මුළු රාජ්‍ය ආදායම - 918.5

මෙය පසුගිය වසරේ මුල් සමස තුළ මුළු රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 714.5ට සාපේක්ෂව 28.6%ක ආදායම් වර්ධනයක්. 

බොහෝ දෙනෙකුට තිබෙන ඊළඟ ප්‍රශ්නය රජය මේ සල්ලි වියදම් කළේ කොහොමද කියන එකයි. පහත තියෙන්නේ රුපියල් බිලියන වලින් රජයේ වියදම්. වරහන් තුළ තිබෙන්නේ අදාළ කාර්යය වෙනුවෙන් වැය කළ ආදායම් ප්‍රතිශතය.

පොලී ගෙවීම් - 657.8 (71.6%)

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් - 627.1 (68.3%)

ප්‍රාග්ධන වියදම් හා ණය දීම්- 250.5 (27.3%)

භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් - 75.9 (8.3%)

සමෘද්ධි හා පොහොර සහනාධාර - 45.8 (5.0)

අනෙකුත් සහනාධාර - 165.0 (18.0%)

එකතුව - 1,822.1 (198.4%)

පසුගිය වසරේ පළමු සමසට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 28.6%කින් ඉහළ යද්දී, රාජ්‍ය වියදම්ද 21.8%කින් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් පොලී ගෙවීම් පැහැර හැරීමෙන් පසුවද පොලී වියදම් 29.7%කින් ඉහළ යද්දී, පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම්ද 17.8%කින් ඉහළ ගොස් තිබෙනවා. රාජ්‍ය වියදම තව දුරටත් රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකට ආසන්නයි.

Sunday, November 6, 2022

රජය ආදායම් වැඩි කරගන්න යන්නේ කොහොමද?

වගුව 1: රාජ්‍ය ආදායම (රුපියල් මිලියන)
20212022වෙනස %
ජාත්‍යන්තර වෙළඳාම හා ගනුදෙනු මත බදු 277,275349,03271,7577.1%
එකතු කළ අගය මත බද්ද (vat)308,213533,000224,78722.2%
මත්පැන් 138,637185,00046,3634.6%
දුම්කොළ හා දුම්වැටි 88,539110,03621,4972.1%
මෝටර් රථවාහන55,33955,000-3390.0%
සමාජ සංරක්ෂණ දායක බද්ද 35,00035,0003.5%
සමාගම් මත ආදායම් බදු 252,673475,000222,32721.9%
පුද්ගල ආදායම් බදු 20,95053,00032,0503.2%
අනෙකුත් බදු 156,393143,232-13,161-1.3%
බදු ආදායම 1,298,0191,876,000577,98157.1%
ණය ආපසු අය කර ගැනීම 271,000271,00026.8%
අනෙකුත් බදු නොවන ආදායම් 159,052260,700101,64810.0%
එකතුව 1,457,0712,470,0001,012,929100.0%

රජයේ ආදායම් වැඩි කර නොගෙන ලංකාවට වැටී ඉන්න වලෙන් ගොඩ යාම කෙසේවත්ම කළ නොහැකි බව පෙර සටහන් දෙකකින් සංඛ්‍යාලේඛණ හා කරුණු එක්ක පෙන්වා දුන්නා. නිල රාජ්‍ය ඒකාධිකාර යටතේ නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුවන තැන් වල හැර, සාමාන්‍යයෙන් රජයක ආදායම කියන්නේ බදු ආදායමයි. ලංකාව හා අදාළවද මෙහි වෙනසක් නැහැ. එහෙත්, අඩු ප්‍රතිශතයක් වුවත්, බදු නොවන ආදායම්ද ලංකාවේ රජයේ ආදායම් වල කොටසක්. 

වැටී ඉන්න වලෙන් ගොඩ යාම සඳහා රජයේ ආදායම් වැඩි කර ගැනීම අත්‍යාවශ්‍ය වුවත්, එය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා විශාල ලෙස වියදම් සීමා කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු විය යුතුයි. වෙනත් විදිහකින් කිවුවොත් මෙය අනිවාර්ය, එහෙත් කිසිසේත්ම ප්‍රමාණවත් නැති කොන්දේසියක්. කොහොම වුනත්, මේ ලිපියත් ප්‍රධාන වශයෙන්ම ආදායම් පැත්ත ගැනයි. අනෙකුත් අවශ්‍ය වෙනස්කම් ගැන වෙන වෙලාවක අවධානය යොමු කරමු. 

ලංකාවේ ආර්ථික අර්බුදයේ පාදක හේතුව වන නිදන්ගත අයවැය හිඟය ගැන බොහෝ වර නැවත නැවත කතා කර තිබෙනවා. එම හිඟය පියැවීම සඳහා දිගින් දිගටම විදේශ ණය ගැනීම නිසා රට දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයක් කරාද තල්ලු වී තිබෙනවා. ඒ හේතුව නිසාම, මේ වන විට විදේශ ණය වලින් අයවැය හිඟය පියවා ගැනීමේ දොර ලංකාවට වැසී තිබෙනවා. වසර ගණනාවක් යන තුරු ඒ දොර නැවත ඇරෙන එකක් නැහැ. 

අයවැය හිඟයක් පැවතීම මෙන්ම එම හිඟය පියවා ගැනීම සඳහා විදේශ ණය ලබා ගත නොහැකි වීමත් බැහැර කළ නොහැකි යථාර්තයන් සේ සැලකුවහොත් ලංකාවට ඉතිරිව තිබෙන්නේ විකල්ප දෙකක් පමණයි. එකක් දේශීය ණය වලින් අයවැය හිඟය පියවා ගැනීම. දෙවැන්න සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීම. මේ එක් එක් විකල්පය හරහා යා හැකි උපරිම සීමාවන් මේ වන විට බොහෝ දුරට ලකුණු වී අවසානයි. 

රටේ බොහෝ දෙනෙකුට "ඇඟට දැනෙන්නේ" ගෙවුම් ශේෂ අර්බුදයයි. සාමාන්‍යයෙන් අයවැය හිඟය තත්කාලීනව ඇඟට දැනෙන්නේ සුවදායී ලෙසයි. ඒ නිසාම, ප්‍රශ්නයක් වන තුරු, එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ අවධානය ලබා ගන්නේ නැහැ. දියවැඩියාව හැදෙන තුරු පැණිරස කනවා වගේ වැඩක්. එයින් වෙනස්ව, ගෙවුම් ශේෂ අර්බුද ඇඟට දැනෙන්නේ වේදනාකාරී ලෙසයි.

ගෙවුම් ශේෂ අර්බුද වලට බෙහෙත් දෙන සුදුසුකම් ලත් ප්‍රවීණ වෛද්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. එහෙත්, මෙවර ලංකාව වෛද්‍යවරයා වෙත කලට වේලාවට නොගිය නිසා දැන් දොස්තරටත් වෙනදා බේත් වලින් ලෙඩේ සනීප කරන්න බැහැ. ලෙඩේ ඔඩු දුවලා. බේත් වැඩ කරන්නනම් බේත් ගන්න කලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් විය යුතුයි. ඒ සඳහා ණය හිමියන් එකඟ විය යුතුයි.

රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම ඇතුළු අනෙකුත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ණය හිමියන්ද අපේක්ෂා කරන දෙයක්. ඒ නිසා, ලංකාවේ රජයට ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමද කළ හැක්කේ රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම ඇතුළු අනෙකුත් ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් පමණයි. ඊට අමතරව මහ බැංකුවට බලපෑම් නොකිරීම හා අයවැය හිඟය පියවීමට තවතවත් සල්ලි අච්චු නොගැසීමද මේ පාර්ශ්ව දෙක විසින්ම අපේක්ෂා කරන දෙයක්. 

තවතවත් සල්ලි අච්චු ගැසීම කළ නොහැක්කේ ඉහත දෙපාර්ශ්වය බලපෑම් කරන නිසාම නෙමෙයි. පවතින උද්ධමනය අධි උද්ධමන තත්ත්වයක් බවට පත්වීම වළක්වා ගත හැක්කේ එසේ  සල්ලි අච්චු ගැසීම පාලනය කරන්නේනම් පමණයි. එහෙත් ප්‍රශ්නය විදේශ ණය නොලැබෙන පසුබිමක සල්ලි අච්චු නොගසා දේශීය ණය වලින් පමණක් අයවැය හිඟය පියවා ගත හැකිද යන්නයි.

දේශීය ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු පොලී අනුපාතික මේ වන විටද 30% මට්ටම ඉක්මවා තිබෙනවා. පොලී අනුපාතික දිගින් දිගටම මෙවැනි ඉහළ මට්ටමක පැවතීම වුවත් රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි නරක විදිහට බලපාන බව පැහැදිලි කරුණක්. පොලී අනුපාතික තවතවත් ඉහළ යාම නවත්වාගත හැකි එකම ක්‍රමය අයවැය හිඟය හැකිතාක් ඉක්මණින්, හැකිතාක් කුඩා කර ගැනීමයි. 

අයවැය හිඟය අඩු කර ගැනීම සඳහා දැනට රජය සතුව සැලසුමක් තිබෙනවා. ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියද ලැබී තිබෙනවා. එහි කොටසක් ලෙස, බදු අනුපාතික ඉහළ දැමීම හා බදු පදනම් පුළුල් කිරීම ඇතුළු රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ග ගණනාවක් යෝජනා වී තිබෙනවා. මේ ක්‍රියාමාර්ග රජයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගද යන්න මෙම ලිපියේ විෂය පථයෙන් බැහැර කරුණක්. ලේඛකයා විසින් කරන්නේ පොදු අවකාශයේ තිබෙන තොරතුරු මත පදනම්ව රජය විසින් ආදායම් වැඩි කර ගැනීමට අදහස් කරන ආකාරය පැහැදිලි කිරීම පමණයි. ඒ ක්‍රියාමාර්ග අනුමත කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මෙයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. 

පෙර ලිපියක අප විශ්ලේෂණය කළ 2021 රාජ්‍ය ආදායම ඇත්ත ගණනක්. එහෙත්, 2022 වසර තවමත් අවසන්ව නැති නිසා අපට මේ වසරේ රාජ්‍ය ආදායම ගැන කතා කළ හැකි පූර්ණ නිරවද්‍ය සංඛ්‍යාලේඛණයක් නැහැ. කතා කරන්න වෙන්නේ රජයේ වඩාත්ම යාවත්කාලීන ඇස්තමේන්තුව මත පදනම්වයි. මේ ඇස්තමේන්තු නිවැරදි නොවීමට විශාල ඉඩක් තිබෙනවා. 

ඇස්තමේන්තු අනුව, පෙර වසරේ රුපියල් බිලියන 1,457ක් වූ රාජ්‍ය ආදායම මේ වසරේදී රුපියල් බිලියන 2,470 දක්වා 70%කින් පමණ ඉහළ යාමට නියමිතයි. එහෙත්, පසුගිය වසරේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවද රුපියල් බිලියන 2,062ක් වූ බවත්, ඇත්තටම එකතු වූ මුදල එම ඇස්තමේන්තුවෙන් 71%ක් පමණක් වූ බවත් අප අමතක කළ යුතු නැහැ. ඒ බව අමතක නොකර අපි මෙම ඇස්තමේන්තු පිළිබඳ විමසිල්ලක් කරමු.

පසුගිය වසරේදී රජය විසින් එකතු කරගත් සෑම රුපියල් 100ක් වෙනුවෙන්ම රජය විසින් රුපියල් 242ක් වියදම් කළා. එයින් රුපියල් 71ක් වියදම් කළේ පොලී ගෙවීම සඳහායි. පොලී වියදම් හැර අනෙකුත් වියදම් ඒ මට්ටමේම තියාගෙන රාජ්‍ය ආදායම 71%කින් වැඩි කර ගත හැකිනම් රජයේ ප්‍රාථමික අයවැය තුලනය කර ගත හැකියි. ඒ කියන්නේ ණය ගන්න වෙන්නේ පොලී ගෙවන්න විතරයි. කෙසේ වුවත්, මේ වසරේ වියදම්ද ඉහළ යන නිසා, ඇස්තමේන්තු නිවැරදි වී ආදායම 70%කින් ඉහළ ගියත්, එවැන්නක් සිදු වන්නේ නැහැ. දැනට සැලසුම අනුව ප්‍රාථමික අයවැය ගිණුම තුලනය වීමට නියමිතව ඇත්තේ තවත් දෙවසරකට පසුවයි. වියදම් පැත්ත ගැන ඉදිරි ලිපියකින් හෝ ලිපි කිහිපයකින් කතා කරමු.

ඇස්තමේන්තු අනුව, රුපියල් බිලියන 1,013කින් ආදායම් ඉහළ යන නමුත් බදු ආදායම් ඉහළ යන්නේ රුපියල් බිලියන 578කින් පමණයි. එයින් වැඩි කොටසක් ලැබෙන්නේ වැට් බදු වලින්. වැට් බදු ආදායමෙහි 73%ක වැඩිවීමක් ඇස්තමේන්තු කර තිබෙනවා. පසුගිය වසරේ වැට් බදු ආදායම රුපියල් බිලියන 308ක්. මේ වසරේ මෙම ආදායම රුපියල් බිලියන 533 දක්වා ඉහළ යනු ඇති බව රජයේ ඇස්තමේන්තුවයි.

අපේක්ෂිත ආදායම් වර්ධනයෙන් 22%ක් ලැබෙන්නේ වැට් බදු ආදායම් ඉහළ යාමෙනුයි. ගණන් ගැන හරියටම කියන එක අසීරු වුනත්, වැට් බදු ආදායමේ විශාල ඉහළ යාමක් සිදුවීම නොවිය හැක්කක් නෙමෙයි. එයට සාධක තුනක් දායක වෙනවා.

බදු අනුපාතික ඉහළ දැමීම - වැට් බදු අනුපාතය 12% සිට 15% දක්වා ඉහළ දමනු ලැබුවා. කෙසේ වුවත්, වෙනත් කිසිවක් වෙනස් වුනේ නැත්නම්, මෙයින් වැට් ආදායම් වැඩි විය හැක්කේ උපරිම වශයෙන් 20%කින් පමණයි.

බදු පදනම පුළුල් කර ගැනීම - වැට් බදු ගෙවිය යුතු අවම පිරිවැටුම වසරකට රුපියල් මිලියන 300 සිට වසරකට රුපියල් මිලියන 120 දක්වා පහත දැමීම නිසා අලුතෙන් බදු ගොනු විශාල ප්‍රමාණයක් විවෘත වී බදු පදනම පුළුල් වෙනවා.

උද්ධමනය - උද්ධමනය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා ඉහත සංශෝධන එකක්වත් නොකළත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට අනුපාතිකව වැට් ආදායමේ ඉහළ යාමක් සිදු වෙනවා. ඊට අමතරව කලින් අවම පිරිවැටුම නොඉක්මවූ සමාගම් ගණනාවකට පිරිවැටුම ඉහළ යාම නිසාම අලුතෙන් බදු ගොනු විවෘත කරන්න සිදු වෙනවා.

වැට් බදු වලින් පසුව රජයේ සැලසුම තුළ වැඩි බරක් තබා තිබෙන්නේ සමාගම් මත අය කෙරෙන ආදායම් බදු වලටයි. මෙය ආදායම රුපියල් බිලියන 253 සිට රුපියල් බිලියන 475 දක්වා 88%කින් ඉහළ යන බව ඇස්තමේන්තුවයි. වැට් බදු හා අදාළව මෙන්ම මෙහිදීද ඉහත සාධක තුනෙහිම දායකත්වය ලැබෙනවා. සමාගම් මත අය කෙරෙන ආදායම් බදු වලින් ලැබෙන කොටසද අපේක්ෂිත ආදායම් වැඩි වීමෙන් 22%ක්.

බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබෙන පුද්ගල අදායම් බදු රුපියල් බිලියන 21 සිට රුපියල් බිලියන 53 දක්වා 153%කින් පමණ ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන නමුත් මේ හරහා සිදුවන ආදායම් ඉහළ යාම මුළු වැඩිවීමෙන් 3%ක් පමණයි. මත්පැන් හා දුම්කොළ බදු වලින් ආදායම් වැඩි වීමට ලැබෙන දායකත්වය 7%ක් පමණ වෙනවා. ජාත්‍යන්තර වෙළඳාම හා ගනුදෙනු මත බදු වලින් තවත් 7%ක දායකත්වයක් ලැබෙනවා. 

රාජ්‍ය ආදයම් ඉහළ යාමට වැඩිම දායකත්වයක් ලැබෙන්නේ බදු නොවන ආදායම් යටතේ දක්වා ඇති, රජයට ලැබිය යුතු ණය අය කර ගැනීම මගිනුයි. එක පැත්තකින් මෙහි තිබෙන්නේ කිසියම් ආකාරයක සංඛ්‍යාලේඛණ විජ්ජාවක්. මුළු ආදායම් වැඩි වීමෙන් 27%ක්, එනම් රුපියල් බිලියන 271ක් මේ ක්‍රමයට ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි. 

මේ ආකාරයෙන් රජයට ණය ගෙවන්නේ රජයටම අයත් ආයතන කිහිපයක්. ඒ අතරින් ප්‍රධානම එක තෙල් සංස්ථාවයි. තෙල් සංස්ථාව විසින් රුපියල් බිලියන 250ක ණය ආපසු ගෙවීමක් කරනු ඇතැයි අපේක්ෂිතයි. ඒ, රජයට ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබුණු මුදලින් තෙල් සංස්ථාව විසින් ඉන්ධන ආනයනය සඳහා වැය කළ මුදල්. 

සියල්ල සාරාංශගත කර, රජය ආදායම් වැඩි කර ගන්න යන්නේ මේ විදිහට කියා කියන්න පුළුවන්.

ණය අය කර ගැනීම් - 27%

වැට් බදු - 22%

සමාගම් ආදායම් බදු - 22%

ජාත්‍යන්තර වෙළඳාම හා ගනුදෙනු මත බදු - 7%

මත්පැන් හා දුම්කොළ බදු - 7%

පුද්ගල ආදායම් බදු - 3%

සමාජ සංරක්ෂණ බද්ද - 3%

අනෙකුත් ආදායම් - 10%

වෙබ් ලිපිනය: