වෙබ් ලිපිනය:

Showing posts with label විදේශ සංචිත. Show all posts
Showing posts with label විදේශ සංචිත. Show all posts

Sunday, September 13, 2026

ඉන්දියාවේ විදේශ සංචිත තවත් ඉහළට!


පසු ගිය අගෝස්තු 21 දින වන විට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම අගය වූ ඩොලර් මිලියන 729,328 දක්වා ඉහළ ගොස් තිබුණා. දෙසතියකට පසුව, සැප්තැම්බර් 4 දින වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 785,706 දක්වා තව දුරටත් ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. 

මෙය දෙසතියක කාලය තුළ ඩොලර් බිලියන 56 ඉක්මවන වැඩි වීමක්. එයින් ඩොලර් බිලියන 45 ඉක්මවන ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙන්නේ සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළයි. අගෝස්තු 28 දින වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 740,803ක්ව පැවතුනා. 

සැප්තැම්බර් 4 දින වන විට රුසියාව සතු වූ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 753.5ක්. සම්බාධක වලට යටත්ව ප්‍රයෝජනයට ගත නොහැකිව ඇති විදේශ සංචිතද එම ගණනට ඇතුළත්. මේ අනුව, සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළ ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය රුසියාවේ එම ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය අතින් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ චීනය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් තුන පමණයි.

පසුගිය අගෝස්තු 31 දින වන විට ඉන්දියාවේ සංචිත බැංකුව (මහ බැංකුව) විසින් නිකුත් කර තිබුණු සංචිත මුදල් ප්‍රමාණය ඉන්දියානු රුපියල් බිලියන 52,766.4ක් වූ අතර, සංචිත බැංකුව සතු වූ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයේ වටිනාකම ඉන්දියානු රුපියල් බිලියන 69,556.2ක්. මෙයින් අදහස් වන්නේ ඉන්දියාවේ සංචිත බැංකුව සතු විදේශ වත්කම් වලින් එහි සියලු විදේශ බැරකම් පියවීමෙන් අනතුරුව අගෝස්තු 31 දින පැවති විණිමය අනුපාතය වූ රුපියල් 95.56 යටතේ ඉන්දියාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර ඇති සියළුම ඉන්දියානු රුපියල් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඇමරිකානු ඩොලර් ලබා දුන්නද සංචිත බැංකුව සතුව තවත් ඩොලර් බිලියන 175.7ක් ඉතිරි වන බවයි. මෙයම වෙනත් විදිහකින් විස්තර කළහොත් ඩොලරයක වටිනාකම ඉන්දියානු රුපියල් 72.49 දක්වා අඩු වීමට ඉඩ හැරියද දැනට නිකුත් කර ඇති සියලුම ඉන්දියානු රුපියල් එම අනුපාතයට ආපසු මිල දී ගැනීමේ හැකියාවක් ඉන්දියාවේ සංචිත බැංකුව සතු බවයි.

මේ අනුසාරයෙන් ඉන්දියානු රුපියල මේ වන විට පෙනෙනවාට වඩා කොපමණ ශක්තිමත්ද යන්න තේරුම් ගත හැකියි.

Monday, September 7, 2026

දළ නිල සංචිත - අගෝස්තු 2026


අගෝස්තු මාසය අවසානයේදී දළ නිල සංචිත ඩොලර් මිලියන 6,905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,483ක් පමණ චීන මුදල් හුවමාරු ගිවිසුම යටතේ ලබා ගෙන ඇති යුවාන් බිලියන 10ක මුදලේ ඩොලර් වටිනාකමයි. එම මුදල ඉවත් කළ විට ඉතිරිය ඩොලර් මිලියන 5,422ක් පමණ වෙනවා. චීන ණය මුදල 2027 දෙසැම්බර් මාසයේදී පියවිය යුතුයි. 

වසරේ ඉතිරි මාස හතරක කාලය තුළ මහ බැංකුවට වෙළඳපොලෙන් යම් සංචිත ප්‍රමාණයක් මිල දී ගැනීමේ හැකියාවක් ඇති අතර එසේ මිල දී ගැනීමට ඉඩ තිබෙන විදේශ විණිමය වලින් ඉන්දියාවට තවමත් ගෙවන්නට ඇතැයි මා ඇස්තමේන්තු කරන සුළු මුදල සහ මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය වාරික පහසුවෙන්ම ගෙවිය හැකියි. එහෙත්, පසුගිය මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 579ක මුදලක් වෙළඳපොළෙන් මිල දී ගැනීමෙන් පසුවද, දළ නිල සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 305කින් පමණක් බවද අප‍ට සැලකිල්ලට ගැනීමට සිදු වෙනවා. මෙම ගණන් අතර ඩොලර් මිලියන 274ක වෙනසක් තිබෙනවා.

මහ බැංකුව විසින් පසුගිය මාසය තුළ මහ බැංකුවේ විදේශ ණය පියැවීම වෙනුවෙන් යම් මුදලක් වැය කර තිබීම නිසැක දෙයක් වුවත්, එම මුදල ඩොලර් මිලියන 274ක් වීමේ ඉඩක් නැහැ. මේ වෙනසට ප්‍රධාන හේතුව රජයේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන්ද විදේශ විණිමය වැය වී තිබීමයි. 

දළ නිල සංචිත වල මහ බැංකුවේ විදේශ සංචිත මෙන්ම රජයට අයිති විදේශ සංචිත යම් ප්‍රමාණයක්ද තිබෙනවා. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල විසින් ණය දෙන්නේ රටක මහ බැංකුවට වුවත්, 2023දී පැවති සුවිශේෂී තත්ත්වය තුළ මූල්‍ය අරමුදලෙන් ලබා දුන් ණය කෙළින්ම ශ්‍රී ලංකා රජයට ලබා දීමට තීරණය කළා. ඊට හේතුව එවර ඇති වී තිබුණු අර්බුදය සාමාන්‍ය ගෙවුම් ශේෂ අර්බුදයක් පමණක් නොවීමයි. ගෙවුම් ශේෂ අර්බුදය ඇති වී තිබුණේ රාජ්‍යමූල්‍ය අර්බුදයක ප්‍රතිඵලයක් ලෙසයි. 

මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍යමූල්‍ය කළමනාකරණය නිවැරදි කර ගැනීම මගින් රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය විසඳාගෙන ඇතත්, රටේ විදේශ අංශයේ පැවති දිගුකාලීන ප්‍රශ්නය තවමත් එලෙසම පවතින බැවින් රටේ ගෙවුම් ශේෂ අර්බුද අවදානම පහව ගොස් නැහැ. දශක ගණනාවක ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා වසර ගණනාවක සැලසුම්සහගත කැපවීමක් අවශ්‍ය වෙනවා. 

ඉහත විස්තර කළ හේතු නිසා මූල්‍ය අරමුදලෙන් රජයට සෘජුවම ලැබෙන ණය වාරික බැර කෙරෙන්නේ රජය විසින් මහ බැංකුවෙහි පවත්වා ගෙන යන ගිණුමකටයි. එහි ශේෂය රජයට රජයේ විදේශ ණය ගෙවීම සඳහා යොදා ගත හැකියි. 

වසර තුළ මූල්‍ය අරමුදලෙන් තවත් වාරිකයක් ලැබීමට නියමිතව තිබෙන අතර එම මුදලද රජයට රජයේ විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් වැය කළ හැකියි. එසේ වුවත්, විදේශ ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සංචිත රජය සතුව නැත්නම් රජයට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගැනීමට සිදු වෙනවා. එහිදී මහ බැංකුව සතු විදේශ සංචිත වල අඩු වීමක් සිදු වෙනවා. 

පසුගිය පෙබරවාරි මාසය වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 7,280 දක්වා ඉහළ ගොස් තිබුණද ජූනි මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 6,458 දක්වා පහත වැටුනා. ඒ මැයි මාසයේදී ඩොලර් මිලියන 695ක වටිනාකමැති, ණය වාරික දෙකක මුදලක් මූල්‍ය අරමුදලෙන් එක වර ලැබීමෙන්ද පසුවයි. දළ නිල සංචිත ප්‍රමාණය මේ වන විටද තිබෙන්නේ පෙබරවාරි මාසයේදී පැවති මට්ටමට වඩා ඩොලර් මිලියන 375ක් පහළිනුයි. 

ණය ප්‍රතිව්‍යුහත කිරීමෙන් පසුව අවදානම් අඩු වී ඇතත්, 2028 සිට රජයේ විදේශ ණය ආපසු ගෙවීම් වල ඉහළ යාමක් සිදු වෙනවා. මුල් සැලසුම වූයේ නැවතත් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමයි. එහෙත් එසේ කළ හැකි මට්ටමකට තවමත් ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජක විශ්වාසය වර්ධනය වී නැහැ.

මූල්‍ය අරමුදල සමඟ ඇති වත්මන් වැඩ පිළිවෙළ අවසන් වෙද්දී බාධාවකින් තොරව රටට අවශ්‍ය පමණ ආනයන සිදු කරන අතර රටේ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිතයක් ගොඩ නගා ගැනීම අපහසු දෙයක් නොවුනත්, එය එසේ කළ හැකි වන්නේ රජයේ විදේශ ණය ආපසු ගෙවීම් මහ බැංකුව සතු සංචිත වලට පීඩනයක් ගෙන නොදෙන්නේනම් පමණයි. එය එසේ වීමටනම්, රජයට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට සිදු වෙනවා. ඒ සඳහා ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ගත යුතුයි. එය කළ නොහැකිනම්, අවම වශයෙන් රක්ෂණයක් ලෙස, මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩ සටහනකට යාමට සිදු වෙනවා. එය අනිවාර්ය ණය ගැනීමක්ම විය යුතු නැහැ. 

Friday, September 4, 2026

මහ බැංකුවේ මැදිහත් වීම් - අගෝස්තු 2026


ගෙවුණු 2026 අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 579ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත් වී තිබෙනවා. මෙම මුදල මෙම වසර තුළ මහ බැංකුව විසින් මාසයක් ඇතුළත මිල දී ගත් වැඩිම විදේශ විණිමය ප්‍රමාණයයි. 

වසරේ මුල් මාස කිහිපය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගනිමින් සංචිත ගොඩ නගා ගනිමින් සිටියත්, ඉරාන යුද්ධය ඇරැඹී විණිමය ප්‍රවාහ සීමා වීමෙන් පසුව ඇති වූ සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා මහ බැංකුවට යම් විදේශ සංචිත ප්‍රමාණයක් විකිණීමට සිදු වුනා. නැවත විණිමය අනුපාතය ස්ථාවර වීමෙන් පසුව, මේ වන විට, සමපේක්ෂකයින් විසින් තමන් සතු කරගත් විදේශ විණිමය ආපසු විකුණා දමන්නට පෙලැඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

අප්‍රේල් සහ මැයි මාස වලදී මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් විදේශ විණිමය විකුණා දැමීම සැලකිල්ලට ගැනීමෙන් පසුවද, මේ වන විට වසර ඇතුළත මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,485ක් වෙළඳපොලෙන් මිල දී ගෙන තිබෙනවා. 

අගෝස්තු මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය කොපමණදැයි මහ බැංකුව විසින් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත්, මෙම ප්‍රමාණය නැවතත් ඩොලර් බිලියන හතේ සීමාව ඉක්මවා තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

වසරේ මුල් මාස නවය තුළ මහ බැංකුව විසින් සිදු කර ඇති මැදිහත් වීම් මෙසේයි.

  • 2026 ජනවාරි: ඩොලර් මිලියන 200
  • 2026 පෙබරවාරි: ඩොලර් මිලියන 461
  • 2026 මාර්තු: ඩොලර් මිලියන 49
  • 2026 අප්‍රේල්: ඩොලර් මිලියන -13 (ශුද්ධ විකිණීම)
  • 2026 මැයි: ඩොලර් මිලියන -211 (ශුද්ධ විකිණීම)
  • 2026 ජූනි: ඩොලර් මිලියන 71
  • 2026 ජූලි: ඩොලර් මිලියන 349
  • 2026 අගෝස්තු: ඩොලර් මිලියන 579
  • එකතුව: ඩොලර් මිලියන 1,485 

Tuesday, September 1, 2026

ඉන්දියාවේ විදේශ සංචිත වාර්තාගත මට්ටමකට!


ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට (2026 අගෝස්තු 21) ඩොලර් බිලියන 729.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගය වන අතර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් හත් ගුණයකට ආසන්න අගයක්. එමෙන්ම, ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මෙන් සිය ගුණය ඉක්මවන අගයක්.

ලංකාවට වඩා බොහෝ විශාල ආර්ථිකයක විදේශ සංචිත ලංකාවේ විදේශ සංචිත සමඟ සැසඳීම නිවැරදි නැහැ. එසේ හෙයින්, ආනයන වියදම් සමඟ ගැලපුවද මෙය මාස නවයකට වඩා වැඩි කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් අගයක්. එමෙන්ම ඉන්දියාවේ රාජ්‍ය අංශයේ විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 168.7 මෙන් හතර ගුණයකටත් වඩා වැඩි අගයක්. 

විදේශ සංචිත එකතු කර ගැනීම "මිල අධික" කටයුත්තක්. මහ බැංකුවක් විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය ඉවත් කර ගන්නා තරමට රටේ මුදල් ඒකකයේ වටිනාකම පහත වැටෙනවා. රට තුළ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. එහෙත් මේ මගින් ආනයනික භාණ්ඩ පරිභෝජනය සීමා වන බැවින් දේශීය නිෂ්පාදන දිරි ගැන්වෙනවා. අපනයන ඉහළ යනවා. මේ හරහා දිගුකාලීනව රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය ගලා එනවා. අවසාන වශයෙන් දිගුකාලීනව රටේ මුදල් ඒකකය වඩා ශක්තිමත් වෙනවා.

ලෝකයේ රටවල් අතරින් වැඩිම විදේශ සංචිතයක් පවත්වා ගන්නා රට චීනයයි. මේ වන විට (2026 ජූලි 31) චීනය සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3791.6ක්. ඉන් පසුව, වැඩිම නිල විදේශ සංචිත ඇති රටවල් වන්නේ ජපානය, ස්විට්සර්ලන්තය සහ රුසියාවයි. ඉන්දියාව මේ වන විට රුසියාවේ මට්ටමට බෙහෙවින්ම ආසන්නව පස් වන තැන සිටිනවා. මේ වන විට (2026 අගෝස්තු 21) රුසියාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 761.2ක්.

විදේශ සංචිත ලෙස පොදුවේ හැඳින්වුනද ඉහත සංචිත වලට රන් සංචිතද ඇතුළත්. චීනයේ නිල විදේශ සංචිත වලින් ඩොලර් බිලියන 306.3ක ප්‍රමාණයක් රන් සංචිත වන අතර ඉන්දියාව සතු රන් සංචිත වල වටිනාකම ඩොලර් බිලියන 114.2ක්. 

Friday, August 7, 2026

දළ නිල විදේශ සංචිත - 2026 ජූලි අවසානයේදී


මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ බාහිර කම්පනයේ බලපෑම ක්‍රමයෙන් තුනී වී යමින් ඇති පසුබිමක, මහ බැංකුවට නැවතත් විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ දිගුකාලීන ඉලක්කය වෙත ප්‍රවේශ වීමට හැකි වී තිබෙනවා. පසුගිය ජූලි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 348.6ක් මිල දී ගැනීමට සමත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,591 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොහෝ විට ජූලි මාසයේදී ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක් වාර්තා විය හැකියි.

මෙම බාහිර කම්පනයට පෙර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,645ක් වනු ඇති බවයි. මේ වන විට එම ඇස්තමේන්තුව බොහෝ දුරස්ථ ඉලක්කයක් බවට පත් වී තිබෙනවා. ඉහත දළ නිල සංචිත ප්‍රමාණය තුළ යුවාන් බිලියන 10ක (ඩොලර් බිලියන 1.5කට ආසන්න) චීන මුදල් හුවමාරු ණය ප්‍රමාණයද ඇතුළත්ව ඇති අතර, අදාළ ගිවිසුම අලුත් කර නොගන්නේනම් මෙම මුදල වසර අවසන් වීමට පෙර පියවිය යුතුයි.

දැනට පවතින තත්ත්වය අනුව පෙනී යන්නේ බාහිර කම්පනයකට තනිව මුහුණ දීම සඳහා අවශ්‍ය මට්ටමකට විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා මුලින් ඇස්තමේන්තු කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවයි. වෙනත් අයුරකින් කිවහොත්, මූල්‍ය අරමුදල සමඟ මෙම වැඩ සටහන අවසන් වන විට විදේශ සංචිත එම සීමාව දක්වා ලඟා නොවනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තවත් යම් කාලයකට මූල්‍ය අරමුදලේ සහතිකය අවශ්‍ය වෙනවා. 

Tuesday, July 7, 2026

දළ විදේශ සංචිත - 2026 ජූනි අවසානයේදී


ජූනි මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,450 දක්වා පහත වැටී තිබෙනවා. පසු ගිය අප්‍රේල් මාසයේදී මෙන්ම මැයි මාසයේදීද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී තිබුණු අතර, සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා බැංකුව විසින් ශුද්ධ වශයෙන් විදේශ සංචිත විකුණා තිබුණා. එසේ වුවද, ජූනි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 70.5ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. පසු ගිය මාසය තුළ සංචිත අඩු වීමට හේතුව බව පෙනෙන්නේ රජය විසින් ඊට පෙර මාසයේදී මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් වලින් සැලකිය යුතු කොටසක් වැය කිරීමයි. 

Thursday, May 7, 2026

දළ නිල සංචිත - අප්‍රේල් 2026


අප්‍රේල් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,759 දක්වා පහත වැටී තිබෙනවා. මෙය, ඉරාන යුද්ධය ආරම්භ වන විට (පෙබරවාරි අවසානයේදී) පැවති මට්ටමට සාපේක්ෂව ඩොලර් මිලියන 511ක අඩු වීමක්. 

ඉරාන යුද්ධය හමුවේ සංචාරක පැමිණීම් අඩු වීමත්, ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමත් හේතුවෙන් විදේශ අංශයේ තත්ත්වය නරක අතට හැරී තිබෙනවා. යුද තත්ත්වය ඉක්මණින් වෙනස් නොවුවහොත්, ශ්‍රී ලංකාවට වඩා අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. 

අද (මැයි 6) ඩොලරයක මැදි මිල රුපියල් 320 සීමාව ඉක්මවා ගියා. රාජ්‍යමූල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක පවතින බැවින්, ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඇති වන උද්ධමනකාරී බලපෑමට "සල්ලි අච්චු ගැසීමේ" අමතර බලපෑමක් එකතු වන්නේ නැහැ. 

මෙය 2022දී පැවති තත්ත්වයට සාපේක්ෂව විශාල වාසියක් වුවත්, මෙවර ලංකාවට විදේශ අංශයේ අර්බුදයකට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ පෙර අර්බුදයට පෙර පැවති තරමේ විදේශ සංචිතයක් අතේ නොමැතිවයි. දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,759ක් වුවත්, චීනයට, ඉන්දියාවට හා මූල්‍ය අරමුදලට වසර තුළ මහ බැංකුව විසින් ගෙවිය යුතු මහ බැංකුවේ ණයද මෙම දළ සංචිතයට ඇතුළත්ව තිබෙනවා. 

Tuesday, April 7, 2026

දළ නිල සංචිත - මාර්තු 2026


මාර්තු මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 7,019 දක්වා පහත වැටී තිබෙනවා. මෙය පෙර මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 251ක පහත වැටීමක්. 

කෙසේ වුවද, මාර්තු මාසය ඇතුළත මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 49ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගෙන තිබුණා. මේ අනුව පෙනී යන්නේ ඩොලර් මිලියන 300කට ආසන්න මුදලක් මහ බැංකුවේ හා/හෝ රජයේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා වැය කර ඇති බවයි.

Friday, April 3, 2026

මාර්තු මාසයේ විදේශ අංශය කොයිබටද?


ගිය (2026) මාර්තු මාසයේදී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 183,979 දෙනෙකු පමණයි. මෙය සංචාරක මණ්ඩලයේ අපේක්ෂිත සාමාන්‍ය ගණන වූ 248,660ට සාපේක්ෂව 26.0%ක අඩු වීමක්. පෙර (2025) වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.8%ක අඩු වීමක්.

පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 279,328 දෙනෙකු රටට පැමිණුනු අතර එම ප්‍රමාණය සංචාරක මණ්ඩලය විසින් අපේක්ෂා කළ සාමාන්‍ය ගණන වූ 270,255ට වගේම, උපරිම ඇස්තමේන්තුව වූ 278,255ටත් වඩා වැඩි ප්‍රමාණයක්. මෙය පෙබරවාරි මාසය තුළ සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබීමට හේතු වුනා. මාර්තු මාසයේදී මේ තත්ත්වය ආපසු හැරී තිබෙනවා. 

සංචාරක පැමිණීම් අඩු වීමට හේතුව ඉරාන යුද්ධය බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහි බලපෑම තිබෙන්නේ සංචාරක කර්මාන්තයට පමණක් නෙමෙයි. සංචාරක කර්මාන්තයේ ආදායම් පහත වැටීමට අමතරව, ශ්‍රී ලංකාව විසින් ඉන්ධන ආනයනය සඳහා දැරිය යුතු පිරිවැයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඉහත තත්වයන් විසින් රටේ විදේශ අංශය විශාල ලෙස ආතතියට ලක් කර ඇති බව පැහැදිලි කරුණක්. කෙසේ වුවද, ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හැරීම මගින් මහ බැංකුව විසින් තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමත් වී තිබෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන පාලිත පාවෙන විණිමය ප්‍රතිපත්තිය අනුව, පසු ගිය මාසය තුළ මහ බැංකුව විසින් ඩොලරයක මිල ඕනෑවට වඩා ඉහළ යන දින වල වෙළඳපොළට ඩොලර් සපයමින් සහ අනෙකුත් දින වල ඩොලර් මිල දී ගනිමින් විණිමය අනුපාතයේ අහිතකර විචලනයන් සීමා කරන අතරම ශුද්ධ වශයෙන් යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගැනීමටද සමත් වී තිබෙනවා. මෙවැනි අසීරු තත්ත්වයක් යටතේ වුවද, විදේශ සංචිත නොවිකුණා කීයක් හෝ එකතු කර ගැනීම අගය කළ යුතු දෙයක්.

විදේශ අංශය යහපත්ව පැවති වසරේ පළමු දෙමස තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 661.3ක මුදලක් ශුද්ධ වශයෙන් එකතු කර ගෙන තිබුණා. මාර්තු මාසයේ පැවති අහිතකර තත්ත්වයන් තුළද තවත් ඩොලර් මිලියන 48.8ක මුදලක් ශුද්ධ වශයෙන් එකතු කර ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. මේ අනුව පැහැදිලිවම පෙනෙන්නේ නිවැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන්නේනම් මෙවැනි දරුණු කම්පනයකට වුවද මුහුණ දීම අසීරු නොවන බවයි.

මාර්තු මාසය අවසාන වන විට පැවති දළ නිල විදේශ සංචිත ප්‍රමාණය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. මාසය තුළ ශුද්ධ වශයෙන් විදේශ විණිමය මිල දී ගෙන ඇතත්, මහ බැංකුවේ ණය ගෙවීම් වෙනුවෙන් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇත්නම් විදේශ සංචිත යම් තරමකින් පහළ යා හැකියි. 

යුද වාතාවරණයේ වෙනසක් නොමැති බැවින් අප්‍රේල් මාසයේ තත්ත්වය මාර්තු මාසයේ තත්ත්වයට වඩා හොඳ වීමට හේතුවක් නැහැ. කෙසේ වුවද, අප්‍රේල් මාසය තුළ නොවේනම් මැයි මාසයේදී හෝ මූල්‍ය අරමුදලේ වාරික දෙකක්ම එක වර ලැබීමට නියමිතයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක්.

Wednesday, March 18, 2026

තෙල් මිල, තෙල් බිල සහ විදේශ සංචිත


ලෝක තෙල් මිල පිළිබඳ සම්මත නිර්ණායකයක් වන ලෝක බැංකුවේ පින්ක් ශීට් සාමාන්‍ය මිල අනුව, ඉරාන යුද්ධයේ ආරම්භය තෙක්, පසුගිය වසර කිහිපයක කාලය තුළ බොර තෙල් බැරලයක මිල (ඇමරිකන් ඩොලර්) විචලනය වුනේ මේ විදිහටයි.

2018 - 68.3

2019 - 61.4

2020 - 41.3

2021 - 69.1

2022 - 97.1

2023 - 80.8

2024 - 78.7

2025 - 67.4

2026 ජනවාරි - 63.7

2026 පෙබරවාරි - 68.0

ලෝක තෙල් මිල ඔය විදිහට වෙනස් වෙද්දී ලංකාවේ තෙල් බිල (ඇමරිකන් ඩොලර් මිලියන) වෙනස් වුනු ආකාරය අපිට මහ බැංකු දත්ත වලින් බලා ගන්න පුළුවන්. 

2018 - 4,151.9

2019 - 3,891.6

2020 - 2,542.6

2021 - 3,742.9

2022 - 4,896.8

2023 - 4,702.6

2024 - 4,354.4

2025 - 4,042.5

ලෝක තෙල් මිල සහ ලංකාවේ තෙල් බිල මත පදනම්ව අපට පසුගිය කාලයේ ලංකාවේ තෙල් පරිභෝජනය වෙනස් වී ඇති ආකාරය පිළිබඳව දළ අදහසක් ලබා ගන්න පුළුවන්. මේ සරල ගණනය කිරීමේ අඩුපාඩු ගණනාවක් තිබුණත් එයින් යම් අදහසක් ලබා ගන්න බැරිකමක් නැහැ. 

ලෝක තෙල් මිල අනුව, ලංකාවේ තෙල් බිලට සමාන වන බොරතෙල් බැරල් ප්‍රමාණය (මිලියන වලින්) පහත පෙන්වා තිබෙනවා. බොරතෙල් ලෙස ලංකාවට ගෙනෙන්නේ අවශ්‍ය තෙල් ප්‍රමාණයෙන් කොටසක් පමණක් නිසාත්, ඒ ප්‍රමාණය විචලනය වන නිසාත්, මෙම අගයන්ගෙන් ලංකාවේ තෙල් පරිභෝජනය හරියටම නිරූපණය වන්නේ නැහැ. එහෙත් රටේ තෙල් පරිභෝජනය මිල සමඟ වෙනස් වන ආකාරය ගැන එයින් අදහසක් ගන්න පුළුවන්. 

2018 - 60.8

2019 - 63.4

2020 - 61.6

2021 - 54.2

2022 - 50.4

2023 - 58.2

2024 - 55.3

2025 - 60.0

මේ අතරින් 2018 සහ 2025 සාමාන්‍ය අවුරුදු සේ සලකන්න පුළුවන්. ඒ වගේම සමාන කරන්නත් පුළුවන් අවුරුදු. ඔය අවුරුදු දෙකම ලංකාවේ සංචාරක කර්මාන්තය හා අදාළව හොඳම අවුරුදු. සංචාරක කර්මාන්තය සක්‍රිය අවුරුද්දක් කියන්නේ රටේ අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරකම්ද ඉහළ මට්ටමක පවතිනවා කියන එකයි. ඒ වගේම, රටේ ආර්ථිකයේ ලොකු ප්‍රශ්න තිබුණේ නැහැ. ඉන්ධන සැපයුම බාධාවකින් තොරව සිදු වුනා. ඔය සියල්ලට අමතරව ලෝක තෙල් මිල ආසන්නව සමාන අවුරුදු දෙකක්. ඔය තත්ත්වයන් යටතේ තෙල් පරිභෝජනය, අපගේ දළ නිර්ණායකය අනුව, සමානව තිබීම අහම්බයක් නෙමෙයි.

පසුගිය (2025) වසර එක්ක බලද්දී ඊට පෙර දෙවසර වල (2023 සහ 2024) තෙල් මිල ආසන්නව 17%-20%කින් පමණ වැඩියි. ඊට අනුරූපව පරිභෝජනය අඩු වීමකුත් දකින්න පුළුවන්. 2018 හා 2025 වසර වලට සාපේක්ෂව මිල අඩුවෙන් පැවති 2019දී පරිභෝජනයත් තරමක් වැඩියි. ඒ වගේම, ඉහත දත්ත අනුව, කෝවිඩ් නිසා රට වසා තිබුණු 2020දී පවා පරිභෝජනය 2025 මට්ටමට වඩා තරමක් වැඩියි. ඊට හේතුව මිල විශාල ලෙස අඩු වීම. 

නමුත් 2021 වෙද්දී තෙල් මිල සාමාන්‍ය මට්ටමට නැවත පැමිණීමෙන් පසුව කෝවිඩ් නිසා සිදු වූ ඉල්ලුමේ අඩුවීම පැහැදිලිව පේනවා. ඒ කියන්නේ කෝවිඩ් නොවන්නට 2020දී, අඩු මිල හේතුවෙන්, ඉල්ලුම මීටත් වඩා ගොඩක් වැඩි වෙනවා කියන එක (හැබැයි 2020දී මිල අඩු වුනේම කෝවිඩ් නිසා මේක තේරුමක් නැති කතාවක්. මෙයින් පෙන්වන්න උත්සාහ කළේ මිල සහ පරිභෝජනය අතර තිබෙන පැහැදිලි සම්බන්ධය). 

ඉහත දර්ශකය අනුව, ඉල්ලුම අඩුවෙන්ම පැවති අවුරුද්ද සේ පෙනෙන්නේ 2022. නමුත් මෙය විකෘතියක්. ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා, ඒ අවුරුද්දේ නියම ඉල්ලුම සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නේ නැහැ. එහෙත්, ඒ අවුරුද්ද තෙල් මිල වැඩිම අවුරුද්දක් කියන එක සලකද්දී ඉල්ලුම අඩු වීම පුදුම දෙයකුත් නෙමෙයි. 

මේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන දෙයක් තමයි තෙල් මිල ඉහළ යද්දී තෙල් ඉල්ලුම අඩු වෙනවා කියන එක. තෙල් අත්‍යවශ්‍ය දෙයක් කියලා කතාවට කිවුවත්, තෙල් ඉල්ලුම ඇත්තටම අනම්‍ය ඉල්ලුමක් වුනත්, එයින් අදහස් වෙන්නේ මිල වැඩි වන අනුපාතයෙන් ඉල්ලුම අඩු නොවන බව මිසක් ඉල්ලුම කොහෙත්ම අඩු නොවන බව නෙමෙයි. තෙල් මිල ඉහළ යද්දී තෙල් ඉල්ලුමත් අඩු වෙනවා. ඒ වගේම තෙල් පරිභෝජනය සීමා කර ගැනීම සඳහා තිබෙන හොඳම සහ පහසුම ක්‍රමය මිල වැඩි වෙන්න ඉඩ අරින එක. 

කෝටා ක්‍රමය මගින් තෙල් පරිභෝජනය අඩු කරන්න අමාරුයි. ඒ කියන්නේ සැබෑ තෙල් ඉල්ලුම අඩු කරන්න අමාරුයි. එහි උදවුවෙන් කළ හැක්කේ තාවකාලිකව සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන එක පමණයි. ඒ නිසා, තාවකාලිකව සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා QR කෝඩ් ක්‍රමය විසඳුමක් වුනත්, එමගින් සැබෑ ඉල්ලුම පාලනය වෙන්නේ නැහැ. එය සිදු වන්නේ මිල යාන්ත්‍රනය නිසියාකාරව ක්‍රියාත්මක වුනොත් පමණයි.

කෝටා ක්‍රමයේ පදනම "සැමට සමානව" අඩු මිලට තෙල් බෙදා හැරීම. නමුත් තෙල් ඉල්ලුම ස්වභාවිකව හැදෙන්නේ අවශ්‍යතාවය අනුවයි. සියල්ලන්ගේම අවශ්‍යතා සමාන නොවන නිසා "සැමට සමානව" අඩු මිලට තෙල් බෙදා හැරීම මගින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අවශ්‍යතාව වැඩි අය කීයක් හෝ ගෙවා වැඩි මිලකට තෙල් ලබා ගන්න උත්සාහ කරනවා. කෝටා ක්‍රමයක් තුළ ඒ අයට තමන්ගේ තෙල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා තිබෙන ප්‍රායෝගික විසඳුම තෙල් අවශ්‍ය නොවන අයෙකුගේ කෝටා එක ප්‍රයෝජනයට ගන්න එක. ඒ නිසා, මේ වගේ ක්‍රමයක් ඇතුළේ තෙල් ඒ තරම් අවශ්‍ය නැති කෙනෙකුගේ තෙල් කෝටා එකට වටිනාකමක් ලැබෙනවා. ඒ අයට එක්කෝ ලාබයක් ලබමින් තෙල් විකුණන්න අවස්ථාව තිබෙනවා. එසේ නැත්නම් කෙළින්ම තමන්ගේ කෝටාව විකුණන්න පුළුවන්. ඔය දෙකම නොකරන අයෙකුට වුනත්, තමන්ගේ කෝටාව හිතවතෙකුට නිකම් දෙන්න පුළුවන්.

සමපේක්ෂණ ඉල්ලුම පාලනය කර පෝලිම් නැති කරන එකෙන් එහාට ගිහින් ඇත්තටම ඉන්ධන පරිභෝජනය සීමා කරන්නම් වඩා නම්‍යශීලී මිල ක්‍රමයක් අවශ්‍ය වෙනවා. එවැනි වඩා නම්‍යශීලී මිල ක්‍රමයක් මගින් ඉන්ධන පරිභෝජනය සීමා වෙනවා වගේම සමපේක්ෂණ ඉල්ලුමද පාලනය වෙනවා. 

දැන් තිබෙන මිල සූත්‍ර ක්‍රමය තෙල් වල සැබෑ මිල පිළිබඳ ප්‍රමාද දර්ශකයක් (Lagging indicator). එමගින් පෙන්වන්නේ මේ මොහොතේ නියම මිල නෙමෙයි. මාසයකට පෙර පැවති නියම මිල. මාසයකට පෙර පැවති නියම මිල සහ දැන් නියම මිල අතර ලොකු වෙනසක් නොපවතින තාක් මේ ප්‍රමාද දර්ශකය හොඳින් වැඩ කරනවා. නමුත් එවැනි වෙනසක් ඇති වූ වහාම සමපේක්ෂණ ඉල්ලුමක් ඇති වෙනවා. ඊට හේතුව පාරිභෝගිකයින්ට සැබෑ මිල පිළිබඳ අදහසක් තිබීමයි. ඔවුන් මෝඩයින් නෙමෙයි. 

ඊළඟ සංශෝධනයේදී තෙල් මිල වැඩි වන බව පාරිභෝගිකයින්ට සක් සුදක් සේ පැහැදිලි කරුණක්. (ජනාධිපති දිසානායකගේම වචන වලින්, ඉදිරි සංශෝධනයේදී තෙල් මිල අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. නමුත් වෙන දේ ඕගොල්ලන්ට තේරෙනවනේ!) ඒ තත්ත්වය යටතේ, කලින් තෙල්  මිල දී ගෙන ගබඩා කර තබා ගැනීම ඔවුන්ගේ පැත්තෙන් වාසිදායක විසඳුමක්. මේ නිසා සමපේක්ෂණ ඉල්ලුමක් හැදෙනවා. QR කෝඩ් ක්‍රමය හඳුන්වා දීමෙන් පසුවද ඒ සමපේක්ෂණ ඉල්ලුම ඒ විදිහටම තිබෙනවා. QR කෝඩ් ක්‍රමයෙන් වෙන්නේ එම සමපේක්ෂණ ඉල්ලුම සපුරා ගැනීමේ අවස්ථාව නැති කර දමන එක. එය විසඳුමක් තමයි. අවසන් වශයෙන් සමපේක්ෂණ ඉල්ලුම සපුරා ගැනීමට අවස්ථාව නැති නිසා පෝලිම් නැති වෙනවා. නමුත් මෙයින් රටේ ආර්ථික කටයුතු වලට විශාල හානියක් සිදු වෙනවා.

සාමාන්‍ය කරුණක් ලෙස රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වන අයගේ තෙල් අවශ්‍යතාවය වැඩියි. ඒ වගේම, අවසාන වශයෙන් ලාබයක් ලබා ගන්නා නිසා, තෙල් මිල වැඩි වුනත් ඒ අයට ඒ වැඩි වූ මිල දරා ගන්න පුළුවන්. ඒ නිසා, තෙල් මිල වැඩි වෙද්දී වැඩියෙන්ම අඩු වෙන්නේ පරිභෝජන ඉල්ලුම. මේ ක්‍රමයේදී රටේ ආර්ථික වර්ධනයට සිදු වෙන්නේ අඩු හානියක්. 

කෝටා යටතේ සහන මිලට තෙල් ලැබෙද්දී වැඩිපුරම අවස්ථාව අහිමි වෙන්නේ නිෂ්පාදන කාර්යයන් සඳහා තෙල් යොදා ගන්නා අයටයි. පරිභෝජනය කරන අයට බොහෝ විට වෙන්නේ වාසියක්. ඒ නිසා, මේ ක්‍රමය මගින් පෝලිම් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වුනත් එය සිදු වෙන්නේ ආර්ථික වර්ධනයට විශාල හානියක්ද කරමිනුයි. දැන් අරගෙන තිබෙන අලුත් තීරණය නිසා අපනයන කර්මාන්ත වලට සිදු විය හැකි නරක බලපෑම ටිකක් අඩු වෙයි. නමුත් දේශීය කර්මාන්ත වලට සිදු වන බලපෑම ඒ විදිහටම තිබෙනවා. 

තෙල් මිල ඩොලර් 67.4ක් වූ පසුගිය අවුරුද්දේ තෙල් බිල ඩොලර් මිලියන 4,042.5ක් පමණයි. තෙල් මිල ඩොලර් 80.8ක් වූ 2023 අවුරුද්දේ තෙල් බිල ඩොලර් මිලියන 4,702.6ක්.ඒ කියන්නේ ඩොලර් මිලියන 660.1කින් වැඩියි. තෙල් මිල වැඩි වීම ඩොලර් 13.4ක්. ඒ කියන්නේ තෙල් මිල ඩොලරයකින් වැඩි වෙද්දී අවුරුද්දක තෙල් බිල ආසන්න ඩොලර් මිලියන 50කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. 

මේ වෙද්දී තෙල් මිල ඩොලර් 67.4 මට්ටමට සාපේක්ෂව ඩොලර් 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. තෙල් මිල වසරක කාලයක් ඩොලර් 92 මට්ටමේ තිබුනොත්, ලංකාවේ තෙල් බිල ඩොලර් මිලියන 1,250කින් පමණ ඉහළ යනවා. ඒ අනුව, මාස හයක කාලයක් තෙල් මිල ඔය මට්ටමේ තිබුණොත්, තෙල් වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 625ක් පමණ අවශ්‍ය වෙනවා. තෙල් මිල අවශ්‍ය වෙලාවේ අවශ්‍ය පමණ වැඩි කළේ නැත්නම් මේ මුදල මීට වඩා වැඩි වෙන්න පුළුවන්. 

ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණ ඇතුළු තවත් හේතු නිසා තෙල් මිල මාස හයකට වඩා වැඩි කාලයක් ඔය මට්ටමේ තියෙන එකක් නැහැ. ඒ වගේම, අවම වශයෙන් මාස දෙකක් යන තුරු (පසුගිය දෙසතියද ඇතුළුව) මිල අඩු වීමේ ඉඩක්ද නැහැ. ඇතැම් විට මිල තවත් තරමක් දුරට ඉහළ යන්න පුළුවන්. මේ කාලය ලංකාවේ විදේශ අංශයට පීඩාකාරී කාලයක් වුනත්, තෙල් බිල වැඩි වීම හුදෙකලා කරුණක් ලෙස සැලකුවොත් එය ලංකාවේ ගෙවුම් ශේෂ ගිණුමට දරාගන්න පුළුවන් මට්ටමක එකක්. පසුගිය වසර වල ජංගම ගිණුමෙහි වසරකට ඩොලර් බිලියන දෙකකට ආසන්න ඉතිරියක් වුනා. ඒ නිසා, තෙල් බිල ගෙවන්න සංචිත වැය කළ යුතු වන්නේ නැහැ.

කෙසේ වුවත්, සංචාරක ඉපැයීම් අඩු වීමේ බලපෑම ඉහත බලපෑමට එකතු වෙනවා. කෝටා ක්‍රමය කිහිප ආකාරයකින්ම සංචාරක ඉපැයීම් වලට බලපෑම් කරන්න පුළුවන්. ඒ බලපෑම් සහ අපනයන ආදායම් වලට සිදු විය හැකි බලපෑම් එකතු කළත් කම්පනය තිබෙන්නේ දරාගන්න පුළුවන් මට්ටමක. නමුත් යම් හෙයකින් යුද්ධය දිග්ගැස්සී ශ්‍රමික ප්‍රේෂණ ප්‍රවාහ නැවතුනොත්නම් සංචිත වලට අත තියන්න වෙනවා. ඩොලරයක මිල පාලනය කරන්න යන්නේ නැත්නම්, දැනට එවැනි අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් දැනට වෙනවද කියලා හරියටම දැනගන්න වෙන්නේ මාසය අන්තිමටයි.

Friday, March 6, 2026

විදේශ සංචිත වල සැලකිය යුතු වර්ධනයක්!


පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 452කින් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාසය අවසාන වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, නිල සංචිත ප්‍රමාණය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්න වෙමින් ඇති ආකාරය දකින්න පුළුවන්. 

පෙබරවාරි මාසය තුළ සංචාරක පැමිණීම් වාර්තාගත ලෙස ඉහළ යාම ඉහත තත්ත්වය ලඟා කර ගැනීමට උදවු වූවා විය යුතුයි. කෙසේ වුවද, මේ වන විට ඉරාන යුද්ධය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ වර්ධනය අඩාල වී තිබීම කණගාටුවට කරුණක්. 

මහ බැංකුව විසින් නැවතත් නිල විදේශ සංචිත රන් වල ආයෝජනය කිරීම ආරම්භ කර ඇති ආකාරයද දැකිය හැකි අතර මේ වන විට ඩොලර් මිලියන 200ක මුදලක් රන් වල ආයෝජනය කර තිබෙනවා. 2019 අවසානයේදී මහ බැංකුව විසින් ඩොලර් මිලියන 955ක මුදලක් රන් වල ආයෝජනය කර තිබුණු අතර ආර්ථික අර්බුද සමයේ මෙම රන් මුදල් කරනු ලැබුවා. 

Saturday, January 17, 2026

ආයෝජන කියන්නේ මොනවාද?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා කරන ගොඩක් අය ඉන්නවා. ඇත්තටම මේ කතා කරන ආයෝජන කියන්නේ මොනවාද?

ආයෝජන කියන වචනය ඇහෙද්දී මතක් වෙන බොහෝ දේවල් තිබෙනවා. ඒ අතර, භාණ්ඩාගාර බිල්පත්, සමාගම් කොටස්, ඉඩම්, රත්තරන් ආදී දේවල් වල සිට ක්‍රිප්ටෝ මුදල් දක්වා විවිධ දේවල් තිබෙනවා. ආර්ථික වර්ධනය සඳහා මේ ඕනෑම ආයෝජනයක් උදවු වෙනවාද?

සාමාන්‍ය ව්‍යවහාරයේදී ආයෝජන කියා කිවුවත්, අප කතා කරන නිශ්චිත සන්දර්භයේදී, මේ ගොඩක් දේවල් ඇත්තටම ආයෝජන නෙමෙයි. ඒ නිසාම, මේ ගොඩක් දේවල් රටක ආර්ථික වර්ධනය සඳහා සෘජුව උදවු වෙන්නේ නැහැ. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම. මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ වසරක් (හෝ වෙනත් කාලයක්) තුළ රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ආර්ථිකය වර්ධනය වෙන්නනම් රටක වසරක් තුළ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යා යුතුයි. ඒ නිසා, ආර්ථික වර්ධනය සඳහා සෘජුව උපකාරී වන්නේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ දැමිය හැකි ආකාරයේ ආයෝජන පමණයි. 

කෙනෙකුට තමන් සතු ඉතිරි කිරීම් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. නමුත් එහිදී එවැන්නෙකු විසින් කරන්නේ වෙනත් අයෙකු විසින් දැනටම මිල දී ගෙන තිබෙන සමාගම් කොටසක් මිල දී ගන්න එකනම්, එයින් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහිදී වෙන්නේ එක් අයෙකු සතු සමාගමේ කොටසක අයිතිය වෙනත් අයෙකු සතු වීම පමණයි. ගනුදෙනුවෙන් ලාබයක් හෝ පාඩුවක් වීම හේතුවෙන් මෙහි කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

සමාගමක් විසින් සමාරම්භක කොටස් නිකුතුවක් (IPO) සිදු කරද්දී වෙන දෙය මීට වඩා තරමක් වෙනස්. එහිදී සමාගමට සෘජුවම යම් මුදලක් ලැබෙනවා. නමුත්, මෙහිදී වුවද, ආර්ථික විද්‍යා අර්ථයෙන් ආයෝජනයක් සිදු වන්නේ නැහැ. කෙසේ වුවත්, අදාළ සමාගම විසින් එසේ ලබා ගන්නා මුදල් වැය කර සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාව ඉහළ දමන කිසියම් ආයෝජනයක් කිරීම සමාරම්භක කොටස් නිකුතුවකින් පසුව සිදු වන සාමාන්‍ය දෙයයි. එය අලුත් කම්හලක් ඉදි කිරීම, අලුත් යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම හෝ අලුත් ශාඛාවක් ආරම්භ කිරීම වැනි දෙයක් වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යා අර්ථයෙන් ආයෝජන සේ සැලකෙන්නේ එවැනි ආයෝජනයයි. ආර්ථික විද්‍යා අර්ථයෙන්, කොටස් මිල දී ගන්නා තැනැත්තා විසින් කරන්නේ ඉතිරි කිරීමක් මිසක් ආයෝජනයක් නෙමෙයි.

සමාගමකට සැබෑ ආයෝජනයක් කිරීම සඳහා අරමුදල් සපයා ගත හැකි එකම ක්‍රමය අලුතෙන් කොටස් නිකුත් කිරීම නෙමෙයි. සමාගම් බැඳුම්කර නිකුත් කිරීම මගින්ද අවශ්‍ය අරමුදල් සපයා ගන්න පුළුවන්. මෙහිදීද, එම බැඳුම්කර මිල දී ගන්නා පුද්ගලයෙකු විසින් කරන්නේ ඉතිරි කිරීමක්. ආයෝජනය සිදු වන්නේ එයින් පසුවයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික සමාගමක් පරිභෝජනය සඳහා අරමුදල් සපයා ගැනීමට කොටස් නිකුත් කරන්නේ හෝ බැඳුම්කර නිකුත් කරන්නේ නැහැ. අරමුදල් යොදවන්නේ කවර කටයුත්තක් සඳහාද යන්න සමාරම්භක කොටස් නිකුතුවේදී පැහැදිලිව සඳහන් කරනවා. ආයෝජනය අවදානම් කටයුත්තක් බැවින් අවසාන වශයෙන් අදාළ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ ප්‍රමාණවත් වැඩිවීමක් සිදු නොවෙන්න බැරිකමක් නැහැ. නමුත් එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. සාමාන්‍ය තත්ත්වය වන්නේ ආයෝජන හේතුවෙන් අදාළ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඒ නිසා, මෙවැනි ආයෝජන වැඩි වැඩියෙන් සිදු වන තරමට රටක ආර්ථිකය වර්ධනය වෙනවා. 

රජයක් විසින් ණය ගනිද්දී මෙය මේ විදිහටම සිදු වෙන්නේ නැහැ. රජය විසින් පරිභෝජනය සඳහාද ණය ලබා ගැනීම අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ආර්ථික වර්ධනයට උදවුවක් සිදු වන්නේ නැහැ. එහෙත්, ලබා ගන්නා ණය මුදල් යොදවා ඵලදායී ආයෝජනයක් කළහොත් එමගින් ආර්ථික වර්ධනයට උත්තේජනයක් ලැබෙන්න පුළුවන්. 

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, ඒවා මුලින්ම නිකුත් කරන අවස්ථාවේදී වුවද, මිල දී ගන්නා අයගේ ඉතිරි කිරීම් මිසක් ආයෝජන නෙමෙයි. ඒ නිසා, එමගින් රටේ ඉතිරි කිරීම් අනුපාතය ඉහළ යන නමුත්, ආයෝජන අනුපාතය අනිවාර්යයෙන්ම ඉහළ යන්නේ නැහැ. එය තීරණය වෙන්නේ රජය විසින් අදාළ මුදල් යොදවන ආකාරය මතයි. 

ඉහත විස්තර කළ කරුණු විදේශ ප්‍රාග්ධනයටද අදාළයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී විදේශ ආයෝජන සේ සලකන හැම දෙයක්ම ආර්ථික විද්‍යා අර්ථයකින් ආයෝජන නෙමෙයි. ඒවා රට තුළ සිදු කරන විදේශිකයින්ගේ ඉතිරි කිරීම් පමණයි. 

ශ්‍රී ලංකා රජය විසින් ණය ලෙස විදේශ ප්‍රාග්ධනය ලබාගත් බොහෝ අවස්ථා වලදී සිදු වී තිබෙන්නේ ආයෝජන සිදු වීමට වඩා පරිභෝජන වියදම් ඉහළ යාමයි. එහෙත්, පෞද්ගලික සමාගමක් විසින් විදේශ ණය ලබා ගන්නේනම්, බොහෝ විට එසේ කරන්නේ කිසියම් සැබෑ ආයෝජනයක් කිරීමේ අභිලාෂයෙනුයි. ඒ නිසා, සාමාන්‍ය කරුණක් ලෙස, එහිදී රටේ ආයෝජන අනුපාතයද ඉහළ යනවා. විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන වලදී මේ තත්ත්වය දකින්න පුළුවන්.

ආයෝජන හා පරිභෝජනය වෙන් කිරීම හැම විටම පහසු කරුණක් නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් අලුත් වාහනයක් මිල දී ගන්නේ තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වෙන්න පුළුවන්. එසේ නැත්නම්, වාහනය කුලියට දීම හෝ ප්‍රවාහන සේවා සැපයීම මගින් අනාගතයේදී ආදායම් උපයන්න වෙන්න පුළුවන්. දෙවන අවස්ථාවේදී, සාමාන්‍යයෙන්, රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ ඉහළ යාමක් සිදු වෙනවා. මේ කාර්යයන් දෙක සඳහාම වාහනය යොදා ගන්නේ වුවද එහි වෙනසක් නැහැ. වැදගත් වන්නේ වාහනය මිල දී ගැනීම නිසා ප්‍රවාහන සේවා නිෂ්පාදනය කිරීමේ විභවය වැඩි වන්නේද යන්නයි.

අලුත් නිවසක් හැදීම ආයෝජනයක්ද? 

මෙහිදීද, නිවස කුලියට දීමක් සිදු වේනම්, රටේ සේවා නිෂ්පාදිතය ඉහළ යන බව පැහැදිලියි. නිවස කුලියට නොදී තමන්ම එහි වාසය කළේ වුවද, මෙය තමන්ට අයිති නිවස තමන් විසින්ම කුලියට ගැනීමකට සමාන කළ හැකියි. ඒ නිසා, මෙහිදීද සේවා නිෂ්පාදිතයේ ඉහළ යාමක් සිදු වෙනවා.

මැතිවරණ වලට පෙරද අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ප්‍රතිපත්තිය අනුව, රජය සතු හෝටල් සමාගමක් විකිණීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. හෝටල් කිහිපයක් අයිති මෙම රාජ්‍ය සමාගම විදේශ සමාගමක් විසින් මිල දී ගත්තා කියා අපි හිතමු. මෙහිදී ආයෝජනයක් සිදු වෙනවාද?

මෙවැනි මිල දී ගැනීමකදී රට තුළට විදේශ ප්‍රාග්ධනය පැමිණීමක් සිදු වෙනවා. රජයට එකවර යම් ආදායමක්ද ලැබෙනවා. නමුත් කිසිදු ආයෝජනයක් සිදු වන්නේ නැහැ. ඒ නිසාම, අදාළ විකිණීම හේතුවෙන්, රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ යන්නේත් නැහැ. අයිතිය වෙනස් වුවද, අදාළ හෝටල් වල සේවා නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවද, මෙවැනි මිල දී ගැනීමකින් පසුව, දේශීය හෝ විදේශීය ගැනුම්කරුවෙකු විසින් අමතර ප්‍රාග්ධනය යොදවමින් අදාළ හෝටල් වල සේවා සැපයුම් ධාරිතාවය වැඩි කරන්න ඉඩ තිබෙනවා. එවැන්නක් සිදු වුවහොත්, එමගින් ආර්ථික වර්ධනයට උත්තේජනයක් ලැබෙනවා. 

රටකට ගලා එන විදේශ ප්‍රාග්ධනය සහ රටේ සිදු වන ආයෝජන අතර වක්‍ර සම්බන්ධයක් තිබුණත් සෘජු සම්බන්ධයක් නැහැ. ඒ නිසාම, රටකට වැඩි වැඩියෙන් විදේශ ප්‍රාග්ධනය ගලා ආ පමණින් ආයෝජන ඉහළ ගොස් වර්ධන විභවය ඉහළ යන්නේ නැහැ. 

ආයෝජන සිදු වුවත්, නොවුනත්, රටට විදේශ ප්‍රාග්ධනය රැගෙන එන අයෙකු එසේ කරන්නේ එමගින් ලබා ගත හැකි ප්‍රතිලාභ පසුව රටෙන් එළියට රැගෙන යාමේ අරමුණ ඇතිවයි. විදේශ ප්‍රාග්ධනය ලෙස රටට ලැබෙන සෑම ඩොලරයක් නිසාම, එම අරමුදල් පැමිණෙන්නේ ණය ලෙස වුවත්, වෙනත් ආයෝජන ලෙස වුවත්, අනාගතයේදී රටෙන් එළියට විදේශ විණිමය ගලා යාමේ යාන්ත්‍රණයක්ද හැදෙනවා. රටට ලැබෙන විදේශ ප්‍රාග්ධනය හේතුවෙන් ආයෝජන වැඩි වීමක් සිදු වුවහොත් පමණක් එමගින් රටේ ආර්ථික වර්ධනයක් සිදු වෙනවා. එසේ ආර්ථික වර්ධනයක් සිදු වුවද, එහිදී රට තුළ විදේශ විණිමය ජනනය වීමේ ඉහළ යාමක් සිදු නොවුවහොත්, යෙදවූ ප්‍රාග්ධනය ආපසු යද්දී රටට විදේශ විණිමය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

විදේශිකයින් විසින් දැනටම නිකුත් කර තිබෙන සමාගම් කොටස් කොටස් වෙළඳපොළ හරහා මිල දී ගනිද්දී රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන නමුත් ආර්ථිකයේ විභවයේ කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. මෙහිදී සිදු වන්නේ තාවකාලිකව රුපියල් ඉල්ලුම ඉහළ යාම පමණයි. අරමුදල් වෙනුවෙන් ප්‍රතිලාභ රටෙන් එළියට යද්දී එසේ වැඩි වූ රුපියල් ඉල්ලුමද ඉක්මවා රුපියල් සැපයුම ඉහළ යනවා. ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ලංකාව වැනි රටකට ඒ තත්ත්වයට මුහුණ දිය හැක්කේ රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන අවස්ථාවේදී මෙන්ම ඉන් පසුවද විදේශ විණිමය එක්රැස් කර ගනිමින් සංචිත වැඩි කරගෙන කලින් සූදානම්ව සිටියහොත් පමණයි. එසේ නැත්නම් සිදු වන්නේ එලෙස පැමිණෙන විදේශ ප්‍රාග්ධනය ආනයන ලෙස රටෙන් පිටව යාම පමණයි. 

විවිධ ක්‍රම වලින් රටට පැමිණෙන විදේශ විණිමය ආනයන ලෙස රටෙන් පිටවීම කාලයක් තිස්සෙම ලංකාවේ සිදු වූ දෙයක්. එහෙත් මෙය ඉතාම බරපතල ආකාරයකින් සිදු වූයේ 2006-2014 අතර වසර අටක කාලය තුළයි. 2006 වන විටද ඩොලර් මිලියන 11,981.4ක් පමණක් වූ ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය 2014 වන විට ඩොලර් මිලියන 42,914.1 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ වසර අටක කාලයක් තුළ ඩොලර් මිලියන 30,932.7ක වැඩිවීමක්. 

ඉහත කාලය තුළ රටේ විදේශ සංචිත ප්‍රමාණයද ඩොලර් මිලියන 4,005.4 සිට ඩොලර් මිලියන 9,884.4 දක්වා ඉහළ ගියත්, එම වැඩි වීම ඩොලර් මිලියන 5,879.0ක් පමණයි. ණය ලෙස ලබාගත් ඉතිරි ඩොලර් මිලියන 25,053.7 ආනයන වියදම් ලෙස රටින් පිටව ගියා. මෙම ආනයන වලින් යම් කොටසක් සැබෑ ආයෝජන සඳහා සිදු කළ ආනයන විය හැකි නමුත් කිසිසේත්ම මුළු මුදලම ආයෝජන නෙමෙයි. වැඩි කොටසක් පරිභෝජනය වෙනුවෙන් සිදු කළ ආනයනයි.

මෙහිදී අප විසින් විදේශ ණය සේ සලකා තිබෙන්නේ රටේම විදේශ ණයයි. එමෙන්ම විදේශ සංචිත සේ සලකා තිබෙන්නේද රටේම විදේශ සංචිතයි. එම ගණන් වලට රජයේ මෙන්ම, බැංකු අනෙකුත් සමාගම් හා පුද්ගලයින්ගේ විදේශ ණය සහ විදේශ සංචිත ඇතුළත්. 2024 වසර අවසන් වන විට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,133.5ක්. රටේ මුළු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 11,230.0ක්. වෙනස ඩොලර් මිලියන 45,903.5ක්. එම හිඟයෙන් ඩොලර් මිලියන 25,053.7ක්ම එකතු වුනේ 2006-2014 අතර වසර අටක කාලය තුළයි. ඉතිරි කොටසින් සැලකිය යුතු කොටසක්ද එම කාලය තුළ රටට පැමිණි විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ලබාගත් ප්‍රතිලාභ ලෙස රටෙන් එළියට ගිය විදේශ විණිමයයි. 

මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වලක්වා ගන්නනම්, රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනය ගැන බොහෝ සැලකිලිමත් වන්නට සිදු වෙනවා. එයින් අදහස් වන්නේ විදේශ ප්‍රාග්ධනය රටට පැමිණීමට බිය යුතු බව හෝ එය අධෛර්යමත් කළ යුතු බව නෙමෙයි. කිසිසේත්ම එවැන්නක් නොකළ යුතුයි. ඒ වෙනුවට කළ යුත්තේ රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනය මෙන්ම ඒ වෙනුවෙන් එම ප්‍රාග්ධනයේ හිමිකරුවන් විසින් උපයා ගන්නා ප්‍රතිලාභද අනාගතයේදී ආපසු රටින් පිටව යන බව අවබෝධ කරගෙන එයට පෙර සූදානම්ව සිටීමයි. එය කළ හැක්කේ ප්‍රමාණවත් තරමින් විදේශ සංචිත එකතු කර ගැනීම මගිනුයි.

විදේශ සංචිත එකතු කර ගැනීමේ අරමුණ විය යුත්තේ විදේශ ප්‍රාග්ධනය ආපසු යද්දී නැවත එම සංචිත විකිණීම නෙමෙයි. සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණක් එසේ කරන්නට සිදු වෙනවා. සැබෑ අරමුණ විය යුත්තේ එසේ කිරීම මගින් රුපියල අධිප්‍රමාණය නොවී අවප්‍රමාණය වීමට ඉඩ හැර ස්වභාවික ලෙසම ආනයන පාලනය වීමට ඉඩ හැරීමයි. එවිට රටට පැමිණෙන විදේශ විණිමය රට තුළම ඉතිරි වෙනවා.

Wednesday, January 7, 2026

විදේශ සංචිත වල විශාල ඉහළ යාමක්!


දෙසැම්බර් මාසය තුළ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,825 දක්වා ඩොලර් මිලියන 791කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වන ඉහළම විදේශ සංචිත ප්‍රමාණයයි. 

මහ බැංකුව විසින් මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 222.5ක මුදලක් මිල දී ගෙන ඇති අතර, මූල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 206ක් ලැබුනා. ඊට අමතර ණය හා ආධාර ලෙස රජයට සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී ඇති බව පෙනෙන්නට තිබෙනවා. 

Friday, December 19, 2025

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක්!


"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය රැස් වෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාධාරණයක් ඉටු කර දෙයි කියලා. අපි ඒ සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ නිසා 2026 සැලැස්මේ තිබු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳවාගත යුතුයි."

-ජනාධිපති අනුර කුමාර දිසානායක 

මෙය මේ විදිහටම දමන්නේ රුපියල් බිලියන 500කින් රාජ්‍ය වියදම් වැඩි කළ විට එයින් විදේශ අංශයට ඇති වන බලපෑම මෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම කෙටියෙන් පැහැදිලි කර තිබෙන නිසා. 

මේ වන විට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි ණයක් අනුමත කර තිබෙනවා. එහෙත්, ජනාධිපති දිසානායකටම අනුව, උද්ධමනය සහ විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා, අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 300ක් පමණවත් අවශ්‍ය වෙනවා. ඒ කලින් අපේක්ෂා කළ විදේශ විණිමය ලැබීම් වලට අමතරවයි.

මූල්‍ය අරමුදල විසින් ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුරෝකථනය 2.9% දක්වා පහත හෙළා ඇති අතර වර්ෂාවසාන විදේශ සංචිත අපේක්ෂාව ඩොලර් මිලියන 6,550 දක්වා පහත හෙළා තිබෙනවා. එයට අද අනුමත වූ ඩොලර් මිලියන 206ක ණය මුදලද ඇතුළත්. 

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවට ඉතා අසීරු විදේශ සංචිත ඉලක්කයක් ලඟා කර ගැනීමට සිදු වී තිබෙනවා. ඒ අනුව, 2026දී ඩොලර් බිලියන 3.7කින්ද, 2027දී ඩොලර් බිලියන 4.5කින්ද විදේශ සංචිත වැඩි කර ගැනීමට සිදු වෙනවා. ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ඉදිරි දෙවසර තුළ මහ බැංකුව විසින් ඩොලර් බිලියන 8.2 ඉක්මවන අමතර විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගත යුතුයි. 

Friday, December 5, 2025

විදේශ සංචිත පහළට!


නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 211කින් සංචිත ප්‍රමාණය අඩු වී තිබෙනවා.

පෙර ලිපියෙහි විස්තර කළ පරිදි, වසරේ පළමු මාස අටක කාලය තුළ අතිරික්තයක්ව පැවති ජංගම ගිණුම් ශේෂය ඉන් පසුව සෘණ අතට හැරී තිබෙනවා. එයින් අදහස් වන්නේ උපයා ඇති ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඩොලර් වැය කර ඇති බවයි. 

ජංගම ගිණුමෙහි හිඟයක් ඇති විට, එම හිඟය පියවා ගැනීමට ප්‍රමාණවත් විදේශ ආයෝජන රටට නොපැමිණේනම්, ඒ වෙනුවෙන් විදේශ ණය ලබා ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම්, එම හිඟය පියවෙද්දී රටේ විදේශ සංචිත පහත වැටෙනවා. නොවැම්බර් මාසය අවසානයේදී රටට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවත්, එම මාසය තුළද සංචාරක පැමිණීම් ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිව තිබුණු බැවින්, සංචිත අඩු වීමට හේතුව එම ආපදා තත්ත්වය සේ සලකන්න අසීරුයි. ආපදා තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු වනු ඇත්තේ දෙසැම්බර් මාසය තුළයි.

පසුගිය මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය අවසානයේදී මහ බැංකු අධිපතිවරයා විසින් විශ්වාසයෙන් යුතුව කියා සිටියේ මෙම වසර අවසන් වෙද්දී ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වූ වැඩිම විදේශ සංචිත ප්‍රමාණය වාර්තා වනු ඇති බවයි. ආර්ථික අර්බුදයෙන් පසුව දැනට වැඩිම විදේශ සංචිත ප්‍රමාණයක් වාර්තා වී ඇති පසුගිය මාර්තු මාසය අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 6,531 දක්වා ඉහළ ගොස් තිබුණු අතර දැන් මට්ටමේ සිට එම මට්ටම දක්වා යාම සඳහා වුවද දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 498ක් එකතු කර ගැනීමට සිදු වෙනවා. එවැන්නක් සිදු වීමේ විභවයක් මේ වෙද්දී පෙනෙන්නට නැහැ.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ පදනම වූයේ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික මුදලයි. එහෙත්, දැන් පවතින තත්ත්වය අනුව, එම වාරිකය මේ වසර තුළ ලැබීමේ ඉඩක් නැහැ. 

ආපදා තත්ත්වය හමුවේ මේ වන විට රජය විසින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් ඉදිරිපත් කරමින් මෙම වසරේදී යම් ප්‍රමාණයකින් හා ඉදිරි වසර තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය වියදම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙය එම රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනයක් නොවෙතත්, මේ තීරණය හේතුවෙන් මූල්‍ය අරමුදල සමඟ පසුගිය විමර්ශන අවස්ථාවේදී රජය විසින් ඇති කරගත් එකඟතා බිඳී යන බැවින්, රජයට නැවතත් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර දැනට සිදු කර අවසන්ව තිබෙන විමර්ශනය නැවතත් මුල සිටම සිදු කරන්නට වෙනවා. අරමුදලේ ඊළඟ වාරිකය ලැබෙනු ඇත්තේ එම සාකච්ඡා සාර්ථක ලෙස අවසන් කර ගැනීමෙන් පසුවයි. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකියි.

මෙම ආපදාව සිදු වූයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අවපාතයකින් ගොඩ එමින් සිටින අතරයි. එය සිදු වන විටද, ලංකාවට ආර්ථිකය පෙර (2018දී) පැවති මට්ටම දක්වා ප්‍රසාරණය කර ගැනීමට අවම වශයෙන් තවත් වසරක් පමණවත් බලා සිටින්නට සිදු වී තිබුණා. ආපදාව හේතුවෙන් මේ සඳහා වඩා වැඩි කාලයක් ගත විය හැකි අතර, ඒ සඳහා විනාශ වූ ප්‍රාග්ධන සම්පත් නැවත ගොඩ නගා ගත යුතුව තිබෙනවා. ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට නැවත එසැවීම තීරණය වනු ඇත්තේ මෙසේ විනාශ වූ සම්පත් නැවත ගොඩ නැගෙන වේගය අනුවයි. ඒ අතරතුර, ආර්ථික වර්ධනයෙහි කෙටිකාලීන පසුබෑමක් සිදු වන බව පැහැදිලියි.

ආර්ථිකයෙහි සිදු විය හැකි කෙටිකාලීන පසුබෑම රාජ්‍ය ආදායම් කෙරෙහිද යම් හෝ බලපෑමක් කරනවා. නැවත සිදු කෙරෙන විමර්ශනයකදී මෙය මූල්‍ය අරමුදලේ අවධානයට ලක්වන බව පැහැදිලියි. එක් පසෙකින් රාජ්‍ය ආදායම් අඩු වෙද්දී, අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යාම තුළ ස්ථායිකරණ වැඩපිළිවෙලේ පරාමිතීන් අවශ්‍ය පරිදි සීරුමාරු කර ගැනීම තරමක අභියෝගයක්.

ආපදාව නිසා අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම දේශපාලනිකව හා සමාජයීයව නිවැරදි ප්‍රවේශයක් වුවත්, එහි ආර්ථික බලපෑම වනුයේ සැපයුමෙහි වෙනසක් නොමැතිව ඉල්ලුම ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ එක්කෝ මිල ඉහළ යාම (උද්ධමනය) හරහා මෙම සහන වල මිල සහන නොලබන අය මත පැටවෙනවා. එසේ නැත්නම්, ආනයන ඉහළ යාම හරහා ඉල්ලුම් සැපයුම් වෙනස තුලනය වෙද්දී විදේශ අංශය මත පීඩනය ඉහළ යනවා. බොහෝ විට සිදු විය හැක්කේ මේ දෙකෙහි මිශ්‍රණයක්.

මෙවැනි වියහැකියාවන් දෙකක් තිබුණත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය බොහෝ දේ සඳහා දේශීය ආදේශක නොමැති බැවින් සහන සැලසීමෙහි බලපෑම වැඩිපුරම දැනෙනු ඇත්තේ විදේශ අංශයටයි. සහන ලෙස ලබා දෙන රුපියල් හේතුවෙන් ආනයන ඉල්ලුම ඉහළ යද්දී දැනට පවතින විදේශ අංශයේ තුලනයද වෙනස් වෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්වී තිබෙනවා. 

Saturday, November 8, 2025

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය


ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්, එයින් ඩොලර් මිලියන 9.5ක් නැවත විකුණා තිබෙනවා. මිල දී ගත් විදේශ විණිමය වලින්ම සුළු කොටසක් වුවත්, මහ බැංකුව විසින් මෙසේ විදේශ විණිමය විකිණීමක් කර තිබෙන්නේ මාස ගණනාවකට පසුවයි.

වසරේ පළමු මාස අට තුළම එක දිගට ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වුවද, සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 182.6ක ජංගම ගිණුම් හිඟයක් වාර්තා වුනා. ඒ හේතුවෙන් වසරේ සමුච්ඡිත ජංගම ගිණුම් අතිරික්තය ඩොලර් මිලියන 2,039.5 සිට ඩොලර් මිලියන 1,856.9 දක්වා පහත වැටී තිබෙනවා. ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත පහත වැටීම සහ වෙළඳපොළෙන් ශුද්ධ ලෙස මිල දී ගෙන ඇති විදේශ විණිමය ප්‍රමාණය පෙර මාස වලට වඩා අඩු වීම තුළින් පෙන්නුම් කරන්නේ ඔක්තෝබර් මාසය තුළද ජංගම ගිණුම් හිඟයක් වාර්තා වී තිබිය හැකි බවයි.

සැප්තැම්බර් මාසය තුළ ජංගම ගිණුම තුලනය වූයේ පහත ආකාරයෙනුයි.

විදේශ විණිමය ලැබීම්:
භාණ්ඩ අපනයන - ඩොලර් මිලියන 1,138.5
සේවා ආදායම් - ඩොලර් මිලියන 503.1
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 50.7
ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 695.7
එකතුව - ඩොලර් මිලියන 2,398.0

විදේශ විණිමය ගෙවීම්:
භාණ්ඩ ආනයන - ඩොලර් මිලියන 2,048.6
සේවා වියදම් - ඩොලර් මිලියන 322.4
ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 192.8
ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 7.7
එකතුව - ඩොලර් මිලියන 2,571.5

ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන (-183.6)

මේ හැරවුමට හේතුව සැප්තැම්බර් මාසය තුළ වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 286.0ක මුදලක් වැය වීමයි. මේ අනුව, වසරේ පළමු මාස නවයක කාලය ඇතුළත වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1,204ක විදේශ විණිමය ප්‍රමාණයක් වැය වී තිබෙනවා. මෙය මුලින් ඇස්තමේන්තු කර තිබුණු වාහන ආනයන වියදමට වඩා වැඩි අගයක්.

රටේ විදේශ අංශය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කර ඇතත්, රාජ්‍යමූල්‍ය අංශයෙහි ඇස්තමේන්තු ඉක්මවා යාමට උපකාරී වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන ප්‍රමාණය ඇස්තමේන්තු ඉක්මවා යාමයි. කෙසේ වුවද, මේ වන විට වාහන ආනයන ඉල්ලුම සංතෘප්ත වෙමින් ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා, විදේශ අංශයේ අවාසිදායක තත්ත්වය මෙන්ම රාජ්‍යමූල්‍ය අංශයෙහි සුවිශේෂී වාසිදායක තත්ත්වයද ඉදිරි මාස වලදී ක්‍රමයෙන් වෙනස් විය හැකියි.

Wednesday, October 8, 2025

ඩොලර් බිලියන හතේ සංචිත ඉලක්කය

 

සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙන බව කලින් සටහනේ ලිවුවා. අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ මාස තුනක් පමණයි. පසුගිය මාස වල රටාව අනුවනම්, ඔය මාස තුනක කාලය ඇතුළත මහ බැංකුවට ඩොලර් මිලියන 500ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් තමයි වෙළඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාවක් තිබෙන බව පෙනෙන්නේ. 

අවසන් කාර්තුව ඇතුළත ඉන්දියාවට ඩොලර් මිලියන 225ක් ගෙවන්න වෙනවා. මූල්‍ය අරමුදලේ පරණ ණය වෙනුවෙන් තවත් ඩොලර් ප්‍රමාණයක් වෙන් කළොත්, සංචිත වැඩි වෙන්න ඉඩ තිබෙන්නේ තව ඩොලර් මිලියන 200කින් පමණ වෙන්න පුළුවන්. එහෙම වුනොත්, වසර අවසන් වෙද්දී සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 වගේ මට්ටමකට වඩා වැඩි නොවෙන්න පුළුවන්. 

නමුත් මේ දවස් වල මූල්‍ය අරමුදලේ පස්වන විමර්ශනය සිදු වෙනවා. එය අවසන් වීමෙන් පසුව සහ අයවැය සම්මත කර ගැනීමෙන් පසුව, හයවන වාරිකය ලැබීමට නියමිතයි. ඒ එක්කම, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන්ද කලින් පොරොන්දු වූ ණය වාරික ලැබීමට නියමිතව තිබෙනවා. මෙම මුදල් වසර ඇතුළත ලැබුනොත්, වසර අවසන් වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවන්න ඉඩ තිබෙනවා. එසේ වුවත්, මේ මුදල් ලැබෙන එක ජනවාරි හෝ පෙබරවාරි දක්වා කල් යන්න බැරිකමකුත් නැහැ. එහෙම වුනොත් බිලියන 7 ඉලක්කයට යන්න වෙන්නේ තරමක් පහු වෙලා.

ඇත්තටම වසර අවසන් වෙද්දී ඩොලර් බිලියන හතක සංචිත ඉලක්කයකට යා යුතුමද? මූල්‍ය අරමුදල විසින් එවැනි ඉලක්කයක් දී තිබෙනවද?

මේ ප්‍රශ්නයට පිළිතුර ඔව් වගේම නැහැ. මූල්‍ය අරමුදල විසින් ඔය විදිහේ ඉලක්කයක් දීලා නැහැ. ඔවුන් කරලා තිබෙන්නේ වසර අවසානයේ තිබිය හැකි සංචිත ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන එක. විදේශ සංචිත ඉලක්ක ඇත්තටම කිවුවොත් මූල්‍ය අරමුදල විසින් දී තිබෙන ඉලක්ක නෙමෙයි. ඒවා ලංකාවේ දිගුකාලීන ඉලක්කයක පියවර කියා කියන එක වඩා නිවැරදියි. 

මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට ගිය කාලය නැවත මතක් කර ගත්තොත්, ඒ වෙද්දී රටේ ආනයන හා අදාළව මෙන්ම විදේශ විණිමය හා අදාළවද සීමා කිරීම් ගණනාවක් කරලයි තිබුණේ. විදේශ විණිමය ප්‍රශ්නය හේතුවෙන් එසේ කරන්න සිදු වී තිබුණා. මූල්‍ය අරමුදලේ කොන්දේසිය වුනේ ඔය සියලුම සීමාවන් ක්‍රමයෙන් ඉවත් කළ යුතු බව. මේ වෙද්දී ඔය වැඩේ කරලා අවසානයි. වාහන ආනයන සීමාව තමයි අන්තිමටම ඉවත් කළ යුතුව තිබුණේ.

මේ සීමා ඉවත් කිරීමෙන් පසුව විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙන්න ඉඩ දිය යුතු බව තමයි මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වුනේ. ඒ කියන්නේ විණිමය අනුපාතය මත මහ බැංකුව විසින් මැදිහත් කිරීම් සිදු නොකළ යුතු බවයි. රට ඔය තරම්ම අර්බුදයකට ගියේ මහ බැංකු මැදිහත්වීම් මගින් විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් කියන එක තවමත් ගොඩක් අයට මතක ඇතිනේ. 

නමුත් මහ බැංකුවේ විදේශ සංචිත බිංදුවටම හිඳිලා බිංදුවෙනුත් පහළට ගිහින් ණය වෙලා තිබුණු පසුබිමක මහ බැංකුව විසින් හැකි ඉක්මණින් යම් අවම විදේශ සංචිත ප්‍රමාණයක් ගොඩ නගා ගත යුතුව තිබුණා. ඒ සඳහා පමණක් මහ බැංකුවට විණිමය වෙළඳපොළට මැදිහත්වීම් කිරීමට ඉඩක් ලැබුණා. 

රට විදේශ විණිමය අර්බුදයකට ගියේ ණය ගෙවීම සඳහා අලුත් ණය ලබා ගත නොහැකි වූ නිසා කියලත් කියන්න පුළුවන්නේ. මූල්‍ය අරමුදල විසින් සකස් කළ වැඩ සටහනේ ප්‍රධානම ඉලක්කයක් වුනේ වැඩ සටහන අවසන් වෙද්දී නැවත ණය ලබා ගත හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය දියුණු කිරීම. ඒ අනුව, වැඩ සටහනේ අපේක්ෂාව වුනේ වැඩසටහන ක්‍රියාත්මක වන කාලය ඇතුළත ක්‍රමක්‍රමයෙන් විදේශ ප්‍රාග්ධනය රටට එයි කියන එකයි. මෙහි විදේශ ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කළේ ජංගම ගිණුමට එන අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් වැනි විදේශ විණිමය ඉපැයීම් නෙමෙයි. ආයෝජන ලෙස රටට එන, නැවත ආපසු යා හැකි විදේශ විණිමය.

ආයෝජන ලෙස මූල්‍ය ගිණුම හරහා රටට එන විදේශ විණිමය වලින් තමයි විදේශ සංචිත ගොඩ නගා ගන්න සැලසුම් කර තිබුණේ. නමුත් රටට ඒ විදිහට විදේශ විණිමය රැගෙන එන කෙනෙක් එසේ කරන්නේ එම විදේශ විණිමය තමන්ට අවශ්‍ය විටක රටෙන් නැවත ආපසු රැගෙන යා හැකියි කියන විශ්වාසය හා සහතිකය ඇත්නම් පමණයි. මහ බැංකුව විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වන තරමට ඒ සහතිකය නැති වෙනවා. නමුත් පැවති තත්ත්වය තුළ රටේ විදේශ සංචිත වැඩි කර ගැනීම සඳහා මැදිහත්වීම් කරන්නත් සිදු වෙනවා.

ඔය දෙපැත්තම බේරා ගත හැකි ක්‍රමයක් ලෙස වැඩ සටහන ආරම්භයේදී ඉදිරි එක් එක් වසර සඳහා විදේශ සංචිත වැඩි කර ගැනීමේ ඉලක්ක සකස් කළා. මේ ඉලක්ක අවම ඉලක්ක නෙමෙයි. රටට ප්‍රාග්ධනය රැගෙන එන අයගේ පැත්තෙන් බලා ඉදිරිපත් කළ උපරිම ඉලක්ක කියන එකයි වඩා නිවැරදි. ඒ කියන්නේ එක් එක් වර්ෂය තුළ මේ ඉලක්ක දක්වා විදේශ සංචිත වැඩි කරගත්තොත්, මහ බැංකුව විසින් එයින් එහාට තව දුරටත් මැදිහත් වීම් කරන්නේ නැහැ.  

පහත තිබෙන්නේ වැඩ සටහන ආරම්භයේදී සකස් කළ ඉලක්ක.

2023 අවසානයේදී - ඩොලර් මිලියන 4,431

2024 අවසානයේදී - ඩොලර් මිලියන 6,128

2025 අවසානයේදී - ඩොලර් මිලියන 8,520

2026 අවසානයේදී - ඩොලර් මිලියන 10,888

2027 අවසානයේදී - ඩොලර් මිලියන 14,208

2028 අවසානයේදී - ඩොලර් මිලියන 15,875

ඔය විදිහට ඉලක්ක හැදුවට පස්සේ ලංකාවේ පැත්තෙන් කරන්න තිබෙන හොඳම දේ ඔය ඉලක්ක මට්ටම දක්වා සංචිත වැඩි කරගන්න එක. නමුත් ඒ වැඩේ කරගන්න බැරි වුනා කියලා මූල්‍ය අරමුදල එය ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒ පැත්තෙන් දමලා තිබෙන්නේ මහ බැංකු මැදිහත්වීම් පිළිබඳ උපරිම සීමාවක්. 

ලංකාවේ පැත්තෙන් බැලූ විට සංචිත පුළුවන් තරම් වැඩි කරගන්න එක හොඳයි වගේ පෙනුණත්, මහ බැංකුවට මැදිහත් වී සංචිත වැඩි කරගන්නනම් රටට විදේශ ප්‍රාග්ධනය අවශ්‍ය පමණ පැමිණිය යුතුයි. නමුත් මහ බැංකුව ඕනෑවට වඩා මැදිහත් කිරීම් කළොත්, ඒ හේතුව නිසාම රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන එක සීමා වෙනවා. ඔය පසුබිම තුළ, මූල්‍ය අරමුදල වැනි තෙවන පාර්ශ්වයක් විසින් ඔය විදිහේ අනාගත සැලසුමක් සකස් කර ඉදිරිපත් කළ විට අවිනිශ්චිතතාවය අඩු වෙනවා.

දැන් මේ සැලසුමේ විදිහට සංචිත එකතු වුනොත්, 2028 වෙද්දී රටට අවශ්‍ය සංචිත ප්‍රමාණය එකතු වෙලා ඉවරයි. ඉන් පසුව, සංචිත ගොඩ නැගීමක් අවශ්‍ය වන්නේ නැහැ. ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී ඊට අනුරූපව යම් වැඩි වීමක් වෙනවා පමණයි. ඒ වගේම, මේ සංචිත එකතු කරගන්නේ 2028දී ණය ආපසු ගෙවන්න නෙමෙයි. එය වැරදි අදහසක්. ණය ගෙවන්න වෙන්නේ එක්කෝ තව ණය අරගෙන. එහෙම නැත්නම් උපයන විදේශ විණිමය ඉතිරි කරලා. සංචිත පවත්වා ගන්නේ අලුත් ණය ලබා ගැනීමේදී ඒ ණය නැවත ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම සඳහායි.

ඔය විදිහට මුලින්ම සංචිත ඉලක්ක හැදුවට පස්සේ මූල්‍ය අරමුදල විසින් පළමු විමර්ශනය සිදු කළා. ඒ අවස්ථාවේදී ඔවුන්ට පෙනී ගියේ කලින් හිතපු තරමටම සංචිත වැඩි වීමක් සිදු වීමේ ඉඩක් නොමැති බවයි. නමුත් දෙවන විමර්ශනය වන විට ලැබී තිබුණු දත්ත අනුව, 2023 අවසානයේදී සංචිත ප්‍රමාණය මුල් ඇස්තමේන්තු කිට්ටුවටම ගිහින් තිබුණා. ඒ නිසා, 2024 ඇස්තමේන්තුව තරමක් උඩට දැම්මා. නමුත් මුල් ඉලක්කයට වඩා අඩුයි. එහෙත් 2025 සිට පසු වසර වල ඇස්තමේන්තු තවත් පහළට දැම්මා.

කෙසේ වුවත්, 2024 වසර අවසන් වෙද්දී, 2023දී වගේම, මුල් ඇස්තමේන්තුව ආසන්නයටම සංචිත වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ ඔය අවුරුදු දෙකේදීම එකතු කර ගත හැකි උපරිම ප්‍රමාණයම මෙන් මහ බැංකුව විසින් එකතු කර ගෙන තිබුණා. 

2023 මුල් ඉලක්කය - ඩොලර් මිලියන 4,431

2023 සත්‍ය විදේශ සංචිත - ඩොලර් මිලියන 4,392

2024 මුල් ඉලක්කය - ඩොලර් මිලියන 6,128

2024 සත්‍ය විදේශ සංචිත - ඩොලර් මිලියන 6,122

ඉන් පසුව පැවති තුන්වන හා හතරවන විමර්ශන වලදීද 2025 සිට ඉදිරි වසර සඳහා විදේශ සංචිත ඇස්තමේන්තු යාවත්කාලීන කෙරුණා. හතරවන විමර්ශනයේ 2025 වර්ෂාවසාන විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුව තමයි ඩොලර් මිලියන 7,255 කියන්නේ. මෙය අරමුදලේ පැත්තෙන් ඇස්තමේන්තුවක් මිසක් අනිවාර්යයෙන් ලඟා කරගත යුතු ඉලක්කයක් නෙමෙයි. නමුත් ලංකාවේ පැත්තෙන් බලද්දී ලඟා කරගත්තානම් හොඳ ඉලක්කයක්. මුල්ම ඉලක්කය වූ ඩොලර් මිලියන 8,520 දක්වාම යන්න පුළුවන්කමක් තිබුණානම් තවත් හොඳයි. නමුත් දැන් ඒ ගැන කතා කරලාවත් වැඩක් නැහැනේ. 

දැන් පෙනෙන විදිහට ඩොලර් මිලියන 7,255 ඉලක්කයට යන්න තවමත් බැරිකමක්ම නැතත්, බැරි වෙන්න තමයි වැඩි ඉඩක් තිබෙන්නේ. මේ විදිහට ඉලක්කයට යන්න බැරි වුනේ ඇයි?

මීට හේතුව වාහන ආනයනනම් නෙමෙයි. ඔය ඉලක්ක හා ඇස්තමේන්තු මුල සිටම සකස් කර තිබුණේ වාහන ආනයන නිදහසේ සිදු වෙනවා කියන පදනමිනුයි.

මුල් ඇස්තමේන්තුව (2023 මාර්තු)

2025 ආනයන වියදම - ඩොලර් මිලියන 22,506

ජංගම ගිණුම් හිඟය - ඩොලර් මිලියන 1,077

වර්ෂාවසාන සංචිත ප්‍රමාණය - ඩොලර් මිලියන 8,520

මෙහි පෙනෙන පරිදි, ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 22,506ක් වැය කරලා, වර්ෂය තුළ උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,077ක් වියදම් කළාටත් පසුවයි ඔය සංචිත ප්‍රමාණයට යන්න පුළුවන් වෙයි කියලා ඇස්තමේන්තු කරලා තිබුණේ. ඒ කියන්නේ සංචිත ගොඩ නගා ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් එන්නේ මූල්‍ය ගිණුමට. 

මේ මුල් ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසුව, අරමුදලේ විමර්ශන හතරකදීම ඉහත ඇස්තමේන්තු යාවත්කාලීන කෙරුණා. පහත තිබෙන්නේ හතරවන විමර්ශනයේ ඇස්තමේන්තු.

හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව (2025 ජූලි)

2025 ආනයන වියදම - ඩොලර් මිලියන 21,363

ජංගම ගිණුම් හිඟය - ඩොලර් මිලියන 36

වර්ෂාවසාන සංචිත ප්‍රමාණය - ඩොලර් මිලියන 7,255

දැන් මේ අවසන් ඇස්තමේන්තු අනුව වුනත්, ජංගම ගිණුමේ අතිරික්තයක් නැහැ. සුළු වුවත්, තිබෙන්නේ හිඟයක්. ඒ කියන්නේ උපකල්පනය වී තිබෙන්නේ මහ බැංකුව මැදිහත් නොවී, ආනයන ආදිය වෙනුවෙන් උපයන විදේශ විණිමය සියල්ල වැය කරන්න ඉඩ හරියි කියන එකයි. එහෙමනම්, මහ බැංකුවට සංචිත වැඩි කර ගන්න වෙන්නේ මූල්‍ය ගිණුමට එන විදේශ විනිමය එකතු කරගෙනයි. 

පසුගිය අගෝස්තු මාසය දක්වා වූ මාස අටක කාලය ඇතුළත ආනයන සඳහා ඩොලර් මිලියන 13,341ක් වැය වී තිබෙනවා. මේ අනුව, වසර අවසන් වෙද්දී ආනයන වියදම මුල් ඇස්තමේන්තුවේ සඳහන් ඩොලර් මිලියන 22,506 මට්ටමට යාමේ ඉඩක් පෙනෙන්න නැහැ. බොහෝ විට හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව වූ ඩොලර් මිලියන 21,363 මට්ටමටවත් යන එකක් නැහැ. ඒ කියන්නේ කලින් සැලසුම් කළ මට්ටමට සාපේක්ෂව ආනයන වියදම් අඩු වෙලා මිසක් වැඩිවීමක් වෙලා නැහැ.

වැදගත්ම කාරණය පළමු මාස අට ඇතුළත ජංගම ගිනුමේ ඩොලර් මිලියන 2,040ක අතිරික්තයක් වාර්තා වී තිබීමයි. වසර අවසන් වන විට මේ අතිරික්තය තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකියි. නමුත් හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව අනුව වුනත් තිබෙන්නේ ඩොලර් මිලියන 36ක හිඟයක්. ඒ කියන්නේ අනෙක් හැම දෙයක්ම ඇස්තමේන්තු වල විදිහට සිදු වුනානම්, දැනටම තිබෙන අතිරික්තය හේතුවෙන්, වර්ෂාවසාන සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,255ටත් වඩා මිලියන 2,076කින් වැඩි විය යුතුයි. එහෙමනම්, එවැන්නක් සිදු නොවුනේ ඇයි?

මීට හේතුව මූල්‍ය ගිණුම හරහා හිතපු තරමට විදේශ විණිමය නොලැබීම. කෙටියෙන් කිවුවොත් රටට හිතපු තරමට ආයෝජන නොපැමිණීම. උදාහරණයක් විදිහට, මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, පළමු මාස හය ඇතුළත සෘජු ආයෝජන ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 314ක් පමණයි. එයිනුත් බාගයක්ම නැවත ආයෝජනය කළ පසුගිය වසරේ ලාබ. ඒ කියන්නේ ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 157ක් පමණයි. එයින් කොටස් ආයෝජන ලෙස ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 62යි. ආයෝජන මණ්ඩලය හරහා ඩොලර් මිලියන 18ක් හා කොටස් වෙළඳපොල හරහා ඩොලර් මිලියන 44ක් ලෙස. ඉතිරි කොටස ණය. මේවා සොච්චම් ගණන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (ආයෝජන මණ්ඩලයේ දත්ත අනුවනම්, ආයෝජන ප්‍රමාණය මීට වඩා වැඩියි. වෙනසට හේතුව මම දන්නේ නැහැ.)

සෘජු විදේශ ආයෝජන වල අඩුවටත් වඩා, මෙහි වැඩිපුරම තිබෙන්නේ රජයට මූල්‍ය ගිණුම හරහා ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ අරමුදල් වල අඩුව කියලයි මම හිතන්නේ. ඉලක්ක කළ තරමට සංචිත වැඩි නොවීමට ප්‍රධානම හේතුව එය විය යුතුයි. 

යම් හෙයකින් මේ අරමුදල් අපේක්ෂිත පරිදි ලැබුණානම්, ඒ අරමුදල් එකතු වෙන්නේ විදේශ ණය ගොඩටයි. පෙරලුනු පැත්ත හොඳයි කීමක් නොවුනත්, ඒ නිසා විදේශ ණය වර්ධනය සීමා වීමකුත් වෙනවා. ඒ හරහා යම් දුරකට සංචිත වර්ධනය නොවීමේ හානිය මග හැරෙනවා. නමුත් ආර්ථික වර්ධනය කෙරෙහි වන බලපෑම සහ අරමුදලේ වැඩ සටහන අවසන් වෙද්දී නැවත ණය ලබා ගත හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමේ ප්‍රධාන ඉලක්කය එක්ක බලද්දී මේ තත්ත්වය හොඳ තත්ත්වයක් කියන්න බැහැ. ණය ගන්න පුළුවන්කම තියෙද්දී ණය නොගෙන සිටීම හොඳ තත්ත්වයක් වුනත්, ණය ගන්න බැරි නිසා ණය නොගෙන සිටීම හොඳ තත්ත්වයක් නෙමෙයි. 

Tuesday, October 7, 2025

දළ නිල සංචිත - සැප්තැම්බර් 2025


සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසයක් ඇතුළත ඩොලර් මිලියන 65ක වැඩිවීමක්. එහෙත්, පසුගිය සැප්තැම්බර් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 177.3ක් මිල දී ගෙන තිබෙනවා.

මේ අනුව පෙනී යන්නේ එසේ මිල දී ගත් විදේශ විණිමය වලින් වැඩි කොටසක් ණය ආපසු ගෙවීම සඳහා වැය කර ඇති බවයි. මේ අනුව, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල මීට වඩා වැඩි වැඩිවීමක් සිදු වී තිබිය යුතුයි. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් යනු මහ බැංකුව සතු විදේශ වත්කම් වලින් මහ බැංකුවේ විදේශ බැරකම් අඩු කළ පසු ඉතිරි වන කොටසයි.

Thursday, August 28, 2025

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්

ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු.

ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා කළ හැකි වුවත්, සාපේක්ෂව මෑත ඉතිහාසයෙන් පටන් ගනිමු. 

සියවස් ගණනාවක සිට ලංකාවේ ලෝහ කාසි භාවිතා වී ඇතත්, ලංකාවේ සාමාන්‍ය පුද්ගලයින් මුදල් ගනුදෙනු වලට පෙලැඹී විශාල කාලයක් නැහැ. ඉංග්‍රීසි කාලයේ මුල් යුගය වන විටත් ලංකාවේ බොහෝ දුරට තිබුණේ එකිනෙකින් ස්වායත්ත ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් ගණනාවක්. ඒ කුඩා ස්වයංපෝෂිත ආර්ථිකයන් ගනුදෙනු හරහා ලොකුවට එකිනෙක හා සම්බන්ධ වී තිබුණේ නැහැ. 

ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් ස්වාධීන ඒකක ලෙස පැවතුණා වගේම නිවාස ඒකක වල තිබුණේත් බොහෝ දුරට ස්වයංපෝෂිත ආර්ථික. ආයුධ, වළං වගේ දේවල් හදපු අය හිටියත්, ඒවා මුදලට විකිණීමක් සිදු වුණේ නැහැ. ඒ කියන්නේ ගනුදෙනු සිදු වුණත්, ඒවා අද ආර්ථික විද්‍යා අච්චුවේ ගනුදෙනු නෙමෙයි. 

ගොවිතැන් නොකරන පවුල් ඒකකයක් විසින් ආයුධ, වළං වගේ දේවල් සපයද්දී එහි හිලවුවට වී, හාල් වගේ දේවල් ලැබුණත්, ඒවා ලබා නොදී වුනත් වී හාල් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම, වී හාල් ලබා ගත නොහැකි වෙලාවක වුවත් තමන්ගේ සේවාවන් ලබා නොදී සිටීමට එය හේතුවක් කර ගැනුණේ නැහැ. ගම් ප්‍රධානීන්ට සහ පන්සල් දේවාල වලට මුදල් ආධාර හෝ ගෙවීම් ලැබුණේ නැහැ. ඒ වෙනුවට දුන්නේ ධාන්‍ය පංගු හෝ එවැනි වෙනත් දේ. කෙටියෙන්ම කිවුවොත්, ගනුදෙනු සිදු වුනත්, අද අර්ථයෙන් මුදල් භාවිතයක් සිදු වුනේ නැහැ.

යුරෝපීයයන්, විශේෂයෙන්ම ඉංග්‍රීසින්, විසින් වෙළඳ ආර්ථිකයට සම්බන්ධව නොසිටි සාමාන්‍ය ජනතාව මත විවිධ බදු පනවද්දී, ඒ බදු ගෙවන්න අවශ්‍ය මුදල් රටේ මිනිස්සු අතේ සංසරණය වෙමින් තිබුණේ නැහැ. ඒ නිසාම, ඉංග්‍රීසින්ටත් රාජකාරි ක්‍රමයේ ව්‍යුත්පන්න ක්‍රම දිගටම පවත්වා ගෙන යන්න වුනා. ඇඟ බද්ද වගේ දේවල් ආවේ ඒ නිසා. 

වෙනත් සමහර සමාජ වල වගේ ලංකාවේ වත්මන් මුදල් වලට, ඒ කියන්නේ රුපියල් වලට, පිළිගැනීමක් ලැබුණේ ඒවා ඊට පෙර මුදල් ලෙස භාවිතා වූ වටිනා ලෝහ වල ව්‍යුත්පන්නයක් වූ නිසා නෙමෙයි. රජයට බදු ගෙවීම සඳහා එම මුදල් අවශ්‍ය වූ නිසා. රජය වෙනුවෙන් සේවය කළ අයට මුදලින් වැටුප් ලැබුණා. එසේ නොකළ අය විසින්ද බදු ගෙවිය යුතු වූ නිසා ඔවුන් මුදල් ලබාගෙන ඒ වෙනුවට භාණ්ඩ හා සේවා ලබා දුන්නා. රටේ බහුතර ජනතාව අතර පොදුවේ ගනුදෙනු සඳහා මුදල් භාවිතා වීම දෙවනුව සිදු වූ දෙයක්. 

ඉහත හේතුව නිසා, මුල සිටම මෙන්, ලංකාවේ රුපියල් වලට වටිනා ලෝහ සමඟ සම්බන්ධයක් තියෙනවද නැද්ද වගේ ප්‍රශ්න රටේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. රජයට බදු ගෙවීම සඳහා මේ මුදල් යොදා ගත හැකි වීම නිසාම ඒවාට වටිනාකමක් ලැබුණා. නමුත් මේ විදිහට ලංකාවේ රුපියල් වලට වටිනාකමක් තිබුණේ රට ඇතුළේ පමණයි.

රටින් පිටතදී ලංකාවේ රුපියල් වලට කවදාවත්ම වටිනාකමක් හැදුනේ නැහැ. ලංකාවේ රුපියල් කවදාවත්ම සෘජුව රන් වැනි දෙයක් එක්ක ගැට ගහලා තිබුණෙත් නැහැ. නමුත් ලංකාවේ රුපියල ඉන්දියාවේ රුපියල එක්ක ගැට ගහලා තිබුණා. ඉන්දියාවේ රුපියල බ්‍රිතාන්‍ය පවුම එක්ක ගැට ගහලා තිබුණා. බ්‍රිතාන්‍ය පවුම රන් එක්ක ගැට ගහලා තිබුණා. ඒ නිසා වක්‍ර සම්බන්ධයක් තිබුණා.

මේ සම්බන්ධය සෘජු සම්බන්ධයක් නොවී වක්‍ර සම්බන්ධයක් වූ නිසා ලංකාවේ රුපියලේ බාහිර වටිනාකම පවත්වා ගැනීම සඳහා ලංකාවට රන් සංචිතම පවත්වා ගන්න අවශ්‍ය වුනේ නැහැ. නමුත් ඉන්දියන් රුපියල් හෝ වෙනත් විදේශ සංචිත පවත්වා ගන්න සිදු වුනා. අද වන තුරුත් මේ තත්ත්වයේ වෙනසක් සිදු වී නැහැ. 

රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉක්මවා රුපියල් සැපයුම ඉහළ යද්දී රට තුළ රුපියලේ වටිනාකම අඩු වෙනවා. උද්ධමනය ඇති වෙනවා. ඒ අතින් ලංකාවේ රුපියල සහ ඇමරිකන් ඩොලරය අතර වෙනසක් නැහැ. නමුත් ඇමරිකන් ඩොලරයට මෙන් ලංකාවේ රුපියලට රටෙන් පිටත පිළිගැනීමක් නැහැ. ප්‍රායෝගිකව ලංකාවේ රුපියලේ බාහිර අගය තීරණය වෙන්නේ රුපියල් සැපයුම කොපමණද කියන එක මතම නෙමෙයි. රුපියල් ප්‍රමාණය කොපමණ වුනත්, ඒ රුපියල් ප්‍රමාණය හා සැසඳෙන විදේශ සංචිත මහ බැංකුවේ තියෙනවාද කියන එක මතයි. ප්‍රමාණවත් සංචිත නැත්නම් රුපියල අවප්‍රමාණය වෙනවා.

රුපියල අවප්‍රමාණය වූ විට ආනයනික බඩු වල මිල ඉහළ යනවා. එයද උද්ධමනයට හේතු වෙනවා. මුදල් සැපයුමේ ලොකු වෙනසක් නැතිව වුනත්, රුපියල අවප්‍රමාණය වීමෙන් ලංකාවේ උද්ධමනය ඉහළ යන්න පුළුවන්. ඒ වගේම, මුදල් සැපයුම ඉහළ යද්දී වුවත් රුපියල ශක්තිමත් වීම නිසා උද්ධමනය පාලනය වී තියෙන්න පුළුවන්.

අපි හිතමු මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000ක් කියලා. ඩොලරයක මිල රුපියල් 200නම්, මේ රුපියල් ප්‍රමාණය ඩොලර් බිලියන 5කට සමානයි. මහ බැංකුව සතුව ඩොලර් බිලියන 5ක විදේශ සංචිත තිබෙනවා කියා හිතමු. ඒ කියන්නේ මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් සියල්ල ආපසු අරගෙන ඒ වෙනුවෙන් ඩොලර් ආපසු දීමේ හැකියාවක් මහ බැංකුවට තිබෙනවා. 

මෙහෙම දෙයක් ඇත්තටම වෙන්නේ නැහැ තමයි. නමුත් ඩොලර් බිලියන 5ක විදේශ සංචිත අතේ තියාගෙන රුපියල් බිලියන 1000ක සංචිත මුදල් එළියට දමා ඇත්නම් රුපියල් 200ක් ඩොලරයක් වටිනවා කියන එක එයින් ගම්‍ය වෙනවා. ඒ නිසා, ස්වාධීන මුදල් ඒකකයක් විදිහට රුපියල ගැන කිසිම විශ්වාසයක් නැති කෙනෙකුට වුනත් විදේශ සංචිත නිසා ඒ විශ්වාසය ඇති වෙනවා. 

ඔහොම තියෙද්දී මහ බැංකුව සල්ලි අච්චු ගැසීම නිසා සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළ ගියොත් සිදු වෙන්නේ කුමක්ද? රට ඇතුළේ රුපියල බාල්දු වෙන එක කොහොමටත් සිදු වෙනවා. එය සිදු වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීමට අනුරූපවයි. නමුත් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 දක්වා වැඩි කර ගන්න පුළුවන්නම්, රුපියල ගැන තිබෙන බාහිර විශ්වාසය පළුදු වෙන්නේ නැහැ. තව දුරටත් රුපියල් 200ක් ඩොලරයක් වටිනවා. ඒ අනුපාතයට රුපියල් බිලියන 1500ක සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් කරන්න පුළුවන්.

නමුත් ඔය විදිහට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 දක්වා වැඩි නොවී, ඩොලර් බිලියන 5 මට්ටමේම තියෙද්දී, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළ ගියොත් සිදු වෙන්නේ කුමක්ද? දැන් රුපියල් බිලියන 1500ක සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් කරන්න පුළුවන් තරම් විදේශ සංචිත මහ බැංකුවේ නැහැ. ඒ නිසා, රුපියල් 200ක් ඩොලරයක් හා සමානව වටිනා බවක් රුපියල ගැන විශ්වාසයක් නැති පාර්ශ්වයකට පෙනෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ බොහෝ දෙනෙක් රුපියල් ඩොලර් කරනවා. ඔය වැඩේ අනෙක් අයට වඩා කලින් නොකළොත් ප්‍රමාද වූ අයට රුපියල් ඩොලර් කර ගන්න ඉඩක් ලැබෙන්නේ නැති බව ඔවුන්ට පේන්න ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලරයක මිල ඉහළ යනවා. 

මහ බැංකුවට සංචිත මුදල් වැඩි කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් විදේශ විණිමය මිල දී ගෙන ඒ වෙනුවට රුපියල් නිකුත් කරන එක. අනෙක් ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවට රුපියල් නිකුත් කරන එක. ඔය ක්‍රම දෙකෙන් පළමු ක්‍රමයේදී සංචිත මුදල් වැඩි වුනත් ඊට අනුරූපව විදේශ සංචිතත් ඉහළ යනවා. නමුත් දෙවැනි ක්‍රමයේදී ඒ වැඩේ වෙන්නේ නැහැ. 

මේ විදිහට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 මට්ටමේම තියෙද්දී භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක දක්වා වැඩි කළත්, ඩොලරයක මිල රුපියල් 200 සිට රුපියල් 300 දක්වා වැඩි වෙන්න ඉඩ හැරියොත්, එසේ මිල ඉහළ යාමෙන් පසුව, නැවතත් රුපියල ගැන විශ්වාසය තහවුරු වෙනවා. ඊට හේතුව, එම අනුපාතයට සංචිත මුදල් සියල්ල ඩොලර් කිරීම සඳහා අවශ්‍ය විදේශ සංචිත මහ බැංකුව සතුව තිබීමයි. නමුත් ඩොලරයක මිල ඔය විදිහට ඉහළ යද්දී ඒ හේතුව නිසා ආනයනික බඩු වල මිල ඉහළ ගිහින් උද්ධමනයක් ඇති වෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ස්වාධීන මහ බැංකුවකට රුපියල් නිකුත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම මේ විදිහට විදේශ සංචිත තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකයේ හැම මහ බැංකුවක්ම එසේ කරන්නේ නැහැ. ස්ථාවර හා අඩු මට්ටමක උද්ධමනයක් දිගටම පවත්වා ගැනීම මගින් විදේශ සංචිත නැතුව මුදල් ඒකකයක් පිළිබඳව විශ්වාසය ගොඩ නගා ගන්න පුළුවන්. ඩොලර්, යුරෝ වගේ මුදල් ඒකක පිළිබඳව එවැනි විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා. ඇමරිකාව රන් සම්මතයෙන් ඉවත් වුනේ රන් එක්ක තරඟ කළ හැකි තරමේ විශ්වාසයක් ඇමරිකන් ඩොලරයටත් ඒ වෙද්දී තිබුණු නිසා.

නමුත් ඉතිහාසයේ කිසිම දවසක ලංකාවේ රුපියල පිළිබඳව එවැනි විශ්වාසයක් ගොඩ නැගී නැහැ. පසුගිය සංඛ්‍යාලේඛණ දෙස බලද්දී පෙනී යන්නේ මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණය සහ මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය අතර අනුපාතය සමඟ ඩොලරයක මිල ගැලපෙන්නේ නැත්නම්, ඩොලරයක මිල ඉහළ ගොස් මේ තුලනය සිදු වන බවයි. 

පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ සිදු වුනෙත් මෙයයි. සල්ලි අච්චු ගැසීම නිසා රට තුළ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටීම උද්ධමනයට හේතු වුනත්, එය උද්ධමනයට හේතු වූ එකම කරුණ නෙමෙයි. විදේශ සංචිත අවසන් වී ඩොලරයක මිල ඉහළ යාමේ බලපෑම එහි විශාල ලෙස තිබෙනවා. නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීමටනම් අවම වශයෙන් සංචිත මුදල් සැපයුම හා ගැලපෙන තරමේ විදේශ සංචිත ප්‍රමාණයක් මහ බැංකුවේ පවත්වා ගත යුතු වෙනවා.

පසු ගිය ජූනි මාසය අවසන් වන විට සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,660.1ක්. ඩොලරයක මිල 299.97ක්. ඒ කියන්නේ මේ රුපියල් ප්‍රමාණය ඩොලර් කරන්න ඩොලර් මිලියන 5,534ක් අවශ්‍යයි. ඒ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 6,081ක විදේශ සංචිත තිබුණු නිසා ඩොලරයක මිල ඔය මට්ටමේ පවත්වා ගැනීමේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

ඊයේ (අගෝස්තු 27) වෙද්දී සංචිත මුදල් ප්‍රමාණය රුපියල් 1,719.2 දක්වා ඉහළ ගොස් තිබුණා. ඩොලරයක මිල රුපියල් 302.30ක්. ඩොලර් මිලියන 5,687ක විදේශ සංචිත ඇත්නම්, ඔය සංචිත මුදල් ප්‍රමාණයත් එක්ක ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ පවත්වා ගෙන යන්න පුළුවන්. දැනට දැකිය හැකි පරිදි, මහ බැංකුව විසින් සංචිත මුදල් වැඩි කරද්දී ඩොලරයක මිල සහ විදේශ සංචිත ප්‍රමාණය අතර තුලනය අවශ්‍ය අවම මට්ටමේ තියාගෙන යනවා.

නමුත් ප්‍රශ්නය වන්නේ මේ කතා කරන්නේ දළ විදේශ සංචිත ගැන මිසක් ශුද්ධ විදේශ සංචිත ගැන නොවීමයි. මහ බැංකුව සතුව අවශ්‍ය පමණ දළ විදේශ සංචිත තිබුණත්, එයින් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයට, ඉන්දියාවට සහ මූල්‍ය අරමුදලට ආපසු ගෙවිය යුතුයි. මේ සඳහා අවුරුදු කීපයක කාලයක් තිබෙන නිසා ක්ෂණික ප්‍රශ්නයක් නැතත්, අවසාන වශයෙන් මහ බැංකුවට ඔය අවශ්‍ය ප්‍රමාණයට ශුද්ධ විදේශ සංචිත හදාගන්න වෙනවා. එසේ නොකළහොත්, ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත නැවතත් අර්බුදයක් මතු වෙන්න පුළුවන්. 

පසුගිය තෙවසරක පමණ කාලය පුරා දළ විදේශ සංචිත වගේම ශුද්ධ විදේශ සංචිතද ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. නමුත් පසුගිය ජූනි මාසයේදී මේ ප්‍රවණතාවයේ වෙනසක් සිදු වී තිබුණා. එය තාවකලික තත්ත්වයක්නම් ගැටලුවක් නැතත් එසේ නොවේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ සිදු වූ දෙය සහ දැන් තත්ත්වය අතර වෙනස කුමක්ද? සංචිත මුදල් වැඩි වූ රටාවන් පමණක් සංසන්දනය කළොත් විශාල වෙනසක් පේන්නේ නැහැ. නමුත් අර්බුදයට පෙර දෙවසර තුළ සංචිත මුදල් වැඩි වුණේ මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත වල දැවැන්ත කඩා වැටීමකුත් එක්කයි. ඒ ගැන සලකා බැලූ විට පෙනෙන තත්ත්වය, සංචිත මුදල් වැඩිවීම දෙස පමණක් බලද්දී පෙනෙන තත්ත්වයට වඩා ගොඩක් භයානක තත්වයක්. දැවැන්ත කඩා වැටීමකට හේතු වුනේ ඒ භයානක සමස්ත තත්ත්වයයි. 

පසුගිය (2025) ජූනි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,418 සිට 1,667 දක්වා 17%කින් වැඩි වී තිබෙනවා. මෙය පැහැදිලි ලෙසම සැලකිය යුතු වැඩි වීමක්. ඊට කලින්, 2022 ජූනි සිට 2024 ජූනි දක්වා අවුරුදු දෙක සැලකුවොත් දැකිය හැක්කේ රුපියල් බිලියන 1,453 සිට 2.4%ක අඩු වීමක්. ඔය අඩු වීම තමයි අවධමනයකට දායක වුනේ. ඊටත් කලින් අවුරුදු දෙක සැලකුවොත්, ඒ කියන්නේ 2020 ජූනි සිට 2022 ජූනි දක්වා කාලයේදී, රුපියල් බිලියන 869 සිට 67%ක් වැඩි වීමක් දකින්න පුළුවන්. මේ වැඩි වීම රුපියල් වලින් බිලියන 584ක්. 

පසුගිය අවුරුද්දේ සංචිත මුදල් වැඩි වීම අර්බුදයට පෙර සිදු වූ සංචිත මුදල් වැඩිවීම එක්ක බලද්දී අඩු මට්ටමක් වුනත්, කණස්සල්ලට කාරණයක් නෙමෙයි කියලා කියන්න බැහැ. නමුත් මේ දෙකේ වෙනසට එකම හේතුව වැඩි වූ සංචිත මුදල් ප්‍රමාණ සහ අනුපාත අතර වෙනස නෙමෙයි.

අර්බුදයට කලින් මෙහි සඳහන් වසර දෙකක කාලය තුළ සංචිත මුදල් වැඩි වුනේ රුපියල් බිලියන 584කින් වුනත්, ඊට අමතරව ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 2,437කින් අඩු වුනා. සල්ලි අච්චු ගහලා රජයට මහ බැංකුවෙන් දුන් ණය ප්‍රමාණය (ශුද්ධ වශයෙන්) රුපියල් බිලියන 2,537කින් ඉහළ ගියා. මෙය 356%ක වැඩි වීමක්!

වෙනත් විදිහකින් කිවුවොත්, සංචිත මුදල් සැපයුම ඔය මට්ටමෙන්, ඒ කියන්නේ 67% මට්ටමෙන්, වැඩි වෙලා නැවතුණේ අච්චු ගහලා රජයට දුන් සල්ලි වලින් විශාල කොටසක් විදේශ සංචිත විකුණලා නැවත ලබාගත් නිසා. එහි ප්‍රතිඵලයක් විදිහට විදේශ සංචිත ඉවර වුනා විතරක් නෙමෙයි මහ බැංකුවට ණය වෙන්නත් සිදු වුනා. රුපියල පිළිබඳ බාහිර විශ්වාසය බිඳ වැටුනා. මූල්‍ය අරමුදලට ගිහින් සහ තවත් නොයෙක් දේවල් කරලා විදේශ අංශය තුලනය කරගෙන ඒ නැති වූ විශ්වාසය ඉතා ඉක්මණින් නැවත ගොඩ නගා ගත්තේ නැත්නම් උද්ධමනය ඔය මට්ටමෙන් නවතින්නේ නැහැ. 

පසුගිය අවුරුද්දේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. සංචිත මුදල් ප්‍රමාණය වසරක් තුළ රුපියල් බිලියන 242කින් වැඩි වී තිබුණත්, එම කාලය තුළ ශුද්ධ විදේශ සංචිත රුපියල් බිලියන 661කින් වැඩි වෙලා තිබෙනවා. ඔය කාලයේදී රජයට ණය දීමක් සිදු වෙලාම නැහැ. රුපියල් බිලියන 4ක පමණ අඩු වීමකුයි දකින්න තියෙන්නේ. ඒ නිසා, ඔය කාලය තුළ සංචිත මුදල් වැඩිවීමක් සිදු වී තිබුණත්, ඒ හේතුව නිසා රුපියල පිළිබඳ බාහිර විශ්වාසය පළුදු වීමක් සිදු වෙලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ විශ්වාසය නැවත ඇති වීමක්. මුදල් ඒකකයක් පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙද්දී ඒ මුදලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඒ ඉල්ලුම හා ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි කළා කියලා අනිවාර්යයෙන්ම උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පමණ සිට ගත වූ කාලය තුළ රටේ දළ නිල විදේශ සංචිත වල පෙනෙන වර්ධනයක් සිදු වී නැහැ. නමුත් මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත දිහා බැලුවොත් පසුගිය ජූනි මාසය දක්වා දිගටම වර්ධනයක් සිදු වී ඇති ආකාරය දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත පසුගිය සැප්තැම්බර් මාසය වන තෙක්ම තිබුණේ සෘණ පැත්තේ. ඔක්තෝබර් මාසයේදී තමයි යාන්තම් ධන පැත්තට ගියේ. 

ආණ්ඩුවේ කවුරු හෝ ඇමති කෙනෙක් පසු ගිය දවසක සෘණ තිබුණු සංචිත ධන වුනු කතාවක් කියලා තිබුණේ, මම හිතන විදිහට, මේ ගැනයි. වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ගැඹුරු ශුද්ධ විදේශ සංචිත වලක් සම්පූර්ණයෙන්ම ගොඩ කිරීමෙන් පසුවයි ආණ්ඩුව වෙනස් වුනේ. ඒ නිසා, අලුතෙන් කරන්න තිබුණේ ඒ ගොඩ කරපු වල උඩ සංචිත කන්දක් නැවත හදා ගන්න එකයි. ඊට කලින් එකතු කරගත් සංචිත සියල්ලෙන්ම කළ හැකි වූයේ අර්බුදයට පෙර හදා තිබුණු ගැඹුරු වල වහන එක පමණයි (ප්‍රස්ථාරය බලන්න).

මහ බැංකුවේ ඉලක්කය ඩොලරයක මිල රුපියල් 300 ආසන්නව තියා ගන්න එකනම් සහ සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1,800 පමණ දක්වා වැඩි කරන්න සැලසුම් කර තිබෙනවානම්, රුපියල පිළිබඳ විශ්වාසය පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 6ක පමණ සංචිතයක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය ගොඩ නගා ගන්නා තුරු මහ බැංකුව වැඩි අවධානය යොමු කර තිබුණේ දළ නිල සංචිත වැඩි කර ගන්න එකටයි. නමුත් ඔය ඩොලර් බිලියන හයේ සීමාවට ආවට පස්සේ අවුරුදු තුනක පමණ කාලයක් පැවතුනු වැල් පාලම් අවදානම ඉවත් වුනා. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ණය අඩු කර ගනිමින් ශුද්ධ විදේශ සංචිත වැඩි කර ගන්නයි.

ශුද්ධ විදේශ සංචිත වැඩි වෙනවානම් දළ විදේශ සංචිත වැඩි නොවෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ශුද්ධ විදේශ සංචිත අඩු වෙනවානම් එහි ලොකු අවුලක් තිබෙනවා. ඒ නිසා, දැන් විමසිල්ලෙන් බලා සිටිය යුතුව ඇත්තේ ශුද්ධ විදේශ සංචිත වෙනස් වෙන්නේ කොහොමද කියන එක දෙසයි. 

Friday, August 22, 2025

විදේශ සංචිත හා උද්ධමනය


නලින් ද සිල්වා ජීවත්ව සිටියදී ජනගත කළ ප්‍රචලිත අදහසක් වන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් බටහිර විද්‍යාවට ප්‍රවාද කිසිවක් එකතු කර නොමැති බවයි. මේ කතාව ආර්ථික විද්‍යා ප්‍රවාද වලටද අදාළයි. ලංකාව තුළ බොහෝ විට සිදු වන්නේ වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ගෙඩි පිටින් එලෙසින්ම ප්‍රයෝජනයට ගනු ලැබීමයි. 

ඇත්ත වශයෙන්ම මා මේ අයුරින් වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ප්‍රයෝජනයට ගැනීම හෙළා දකින්නෙකු නෙමෙයි. රෝදය නැවත නැවත සොයා ගන්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ ප්‍රවාද ප්‍රවාද සේ හඳුනා නොගෙන, එම ප්‍රවාද ගොඩ නගා තිබෙන පසුබිම තේරුම් නොගෙන, නොගැලපෙන සන්දර්භ වල යොදා ගනු ලැබීමයි. මෙය අන්ධ අනුකරණය සේ හඳුන්වන්න පුළුවන්.

එංගලන්තයේ සිට ගලක් උඩ දැම්මත්, ලංකාවේ සිට එය කළත්, ගල පොළොවට වැටෙන විදිහේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා, එංගලන්තයේ නිරීක්ෂණ මත පදනම්ව හදන ප්‍රවාදයක් ඒ විදිහටම ලංකාවට යොදා ගත්තා කියා විශේෂ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ශුද්ධ විද්‍යා වල සිට ආර්ථික විද්‍යාව වැනි සමාජ විද්‍යාවකට එන විට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා.

ආර්ථික විද්‍යා ප්‍රවාද බොහොමයක් පරීක්ෂාවට ලක් වී තිබෙන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය හෝ වෙනත් එවැනි බටහිර රටකයි. එවැනි සමහර ප්‍රවාද ඒ විදිහටම ලංකාවට යොදාගන්න බැහැ. නමුත් බොහොමයක් පොදු මිනිස් හැසිරීම් රටින් රටට වෙනස් නොවන නිසා මේ කරුණ අදාළ වන්නේ ලංකාව එවැනි රටකින් වෙනස් වන තත්ත්වයන් යටතේදී පමණයි. 

බටහිර රටවල ගොඩ නැගී පරීක්ෂාවට ලක් වන ඇතැම් ආර්ථික විද්‍යා ප්‍රවාද කලක් යද්දී එම රටවලින්ම ප්‍රතික්ෂේප වෙනවා. මීට එකම හේතුව පැරණි ප්‍රවාදය වඩා දුර්වල එකක් වීම නෙමෙයි. සමාජය ගතික ලෙස වෙනස් වීමත් එයට හේතුවක්. වසර පණහකට පෙර හොඳ ප්‍රවාදයක් වූ ප්‍රවාදයක් අද වන විට කිසිම වැඩකට නැති ප්‍රවාදයක් වෙන්න පුළුවන්. අන්ධ අනුකරණයට අමතරව කාලයකට පෙර ඒවා ගොඩ නැගුණු සමාජ වලින් පවා ප්‍රතික්ෂේප වී තිබෙන ප්‍රවාද තවමත් කර තියාගෙන යාම ලංකාව තුළ දැකිය හැකි එතරම් දුලබ නැති දෙයක්. 

ඇමරිකන් ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම හා යුරෝව වැනි මුදල් ඒකකයකට ලෝකය පුරාම පිළිගැනීමක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා රුපියලට එවැනි පිළිගැනීමක් නැහැ. ඇමරිකාවේ මහ බැංකුව සංචිත මුදල් සැපයුම වැඩි කරද්දී සංසරණයට එකතු වෙන්නේ ඇමරිකන් ඩොලර්. ඒ ඩොලර් සමඟ වෙනත් බොහෝ රටවල් ඉතා කැමැත්තෙන් භාණ්ඩ හා සේවා හුවමාරු කර ගන්නවා. බ්‍රිතාන්‍ය පවුම හෝ යුරෝව හා අදාළව වුනත් තත්ත්වය එහෙමයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කරද්දී සංසරණයට එකතු වෙන්නේ ශ්‍රී ලංකා රුපියල්. ඒ ශ්‍රී ලංකා රුපියල් එක්ක හුවමාරුවට වෙනත් රටවලින් භාණ්ඩ හා සේවා ලබා ගන්න බැහැ. ඒ නිසා, වෙනත් රටවල් වලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා ලංකාවට විදේශ විණිමය උපයන්නම වෙනවා. එය සිදු නොවන්නේනම් වෙනත් රටවලට ණය වෙන්න සිදු වෙනවා.

රටේ දේශීය නිෂ්පාදිතය දුර්වල වූ අවස්ථාවක ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට හෝ එංගලන්ත බැංකුවට සංචිත මුදල් සැපයුම වැඩි කරලා, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා, ඒ අච්චු ගහපු සල්ලි වලින් ආනයන කරන්න පුළුවන්. දිගින් දිගටම මේ වැඩේ කරන්න බැහැ තමයි. නමුත් අඩු වශයෙන් කෙටිකාලීනව මේ වැඩේ කරන්න පුළුවන්. එහෙත් ලංකාවට අඩු වශයෙන් කෙටිකාලීනව හෝ මෙවැන්නක් කරන්න බැහැ.

සාමාන්‍ය කරුණක් ලෙස, යම් සීමාවක් ඉක්මවා රටක මුදල් සැපයුම වැඩි වන විට, අදාළ මුදල් ඒකකයේ වටිනාකම අඩු වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, අදාළ මුදල් ඒකකයට සාපේක්ෂව උද්ධමනයක් ඇති වෙනවා. ඊට හේතුව මුදල් සැපයුම වැඩි වීමට අනුරූපව භාණ්ඩ හා සේවා සැපයුම වැඩි නොවීමයි. නමුත් එම මුදල් යොදා ගෙන වෙනත් රටවලින් ආනයන සිදු කළ හැකිනම් මේ තත්ත්වයේ වෙනසක් සිදු වෙනවා. එක පැත්තකින් රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය සල්ලි අච්චු ගහපු තරමටම වැඩි වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ භාණ්ඩ හා සේවා සැපයුම රට තුළ සිදු වන නිෂ්පාදිතය ඉක්මවා ඉහළ යනවා.   

මම ප්‍රචලිත උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම්.

අපි හිතමු ඇමරිකාවේ සමස්ත නිෂ්පාදිතය ඇපල් ගෙඩි 100ක් කියලා. වෙනත් දේවල් කිසිවක් නැහැ. මුදල් සැපයුම ඩොලර් 100ක්. දැන් මේ ඇපල් ගෙඩි 100 ඩොලර් 100 එක්ක තරඟ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇපල් ගෙඩියක් ඩොලර් 1ක් ලෙස මිල තීරණය වෙනවා.  නිෂ්පාදිතය ඇපල් ගෙඩි 80ක් දක්වා පහත වැටුනොත් මිල ඩොලර් 1.25 දක්වා ඉහළ යනවා. ඒ වගේම, නිෂ්පාදිතය වෙනස් නොවී මුදල් සැපයුම ඩොලර් 125 දක්වා වැඩි වුනොත් ඒත් වෙන්නේ මිල ඩොලර් 1.25 දක්වා ඉහළ යන එකයි. 

ආර්ථික විද්‍යාවේදී ඇත්තටම ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්නේ මේ වගේ සරල ආකෘති නෙමෙයි. නමුත් සමහර වෙලාවට ඔය වගේ ආකෘතියක් යොදා ගෙන සංකල්ප පැහැදිලි කරනවා. ඉහත සරල උදාහරණයේ අදහස පැහැදිලියි කියලා මම හිතනවා.

දැන් අපි ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා පිළිගැනීමක් තිබීම කියන කරුණත් එක්ක මේ උදාහරණය දිහා බලමු. නිෂ්පාදනය ඇපල් ගෙඩි 80ක් දක්වා පහත වැටෙනවා. මුදල් සැපයුමත් ඩොලර් 120 දක්වා වැඩි වෙනවා. දැන් මිල ඉහළ යන්න හේතු දෙකක්ම තිබෙනවා. ඒ නිසා හරිනම් මිල ඩොලර් 1.50 (=120/80) දක්වා ඉහළ යා යුතුයි. නමුත් ඔය අලුතෙන් අච්චු ගහපු ඩොලර් 20 ගෙවලා වෙනත් රටකින් ඇපල් ගෙඩි 20ක් ආනයනය කළොත් ප්‍රතිඵලය කුමක්ද?

රටේ ඇපල් නිෂ්පාදිතය 100 සිට 80 දක්වා පහත වැටිලා වුනත්, ආනයනය කරපු ඇපල් ගෙඩි 20 නිසා දැන් නැවත ඇපල් සැපයුම 100ක් වෙලා. ඒ වගේම, මුදල් සැපයුම 100 සිට 120 දක්වා වැඩි කරලා වුනත්, එයින් ඩොලර් 20ක් රටින් පිටට ගිහින් නිසා රට ඇතුළේ මුදල් සැපයුම නැවතත් ඩොලර් 100ක් පමණයි. අවසාන වශයෙන් රට ඇතුළේ ඇපල් ගෙඩියක මිල ඩොලර් 1ම තමයි!

රටේ නිෂ්පාදිතයත් අඩු වෙලා, මුදල් සැපයුමත් වැඩි වෙලා තියෙද්දී මේ විදිහට මිල ඉහළ යාම පාලනය වුනේ කොහොමද? තනිකරම ඩොලරයට ඇමරිකාවෙන් පිටත තිබෙන පිළිගැනීම නිසා. ඔන්න ඔය හේතුව නිසා ඇමරිකාවට පුළුවන් උද්ධමනය පාලනය කරගෙන සැලකිය යුතු තරමකින් සල්ලි අච්චු ගහන්න.

නමුත් ඇමරිකාවට කරන්න පුළුවන් ඔය වැඩේ ලංකාවට කරන්න බැහැ. ඒක කලින්ම කිවුවනේ. ඒ නිසා, ඇමරිකාවේ මුදල් සැපයුම වැඩි වෙන හැටි පෙන්වලා ඒ මත පදනම්ව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් වුනත්, ඒ සමහර තර්ක ලංකාව හා අදාළව තේරුමක් නැති තර්ක. 

දැන් අපි ලංකාවට එමු. රටේ නිෂ්පාදිතය පොල් ගෙඩි 100ක්. මුදල් සැපයුම රුපියල් 10,000ක්. ඒ අනුව, පොල් ගෙඩියක මිල රුපියල් 100යි.

දැන් රටේ මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා වැඩි වෙනවා. නමුත් නිෂ්පාදිතය තවමත් පොල් ගෙඩි 100ම තමයි. දැන් පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ යා යුතුයිනේ. රුපියල් වැඩි වුනා කියලා ඒ රුපියල් වලින් පොල් ආනයනය කරන්න බැහැනේ. එහෙම කරන්න පුළුවන් ඇමරිකාව වගේ රටවල් වලට පමණයි.

හැබැයි ලංකාවේ රජයට පුළුවන් විදේශ ණය ගන්න. අපි හිතමු රජය ඩොලර් 10ක් ණයට ගත්තා කියලා. ඩොලරයක් රුපියල් 200යි. දැන් රජය ඔය ඩොලර් ටික වෙළදපොළේ විකුණනවා. එයින් රුපියල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. නමුත් රට ඇතුළේ ඩොලර් සැපයුම ඉහළ යනවා. කවුරු හෝ පිරිසක් ඔය ඩොලර් 10 මිල දී ගෙන පොල් ආනයනය කරනවා. පොල් මිල ඩොලර් ශත 50ක් සේ සැලකුවොත් පොල් ගෙඩි 20ක් රටට එනවා. දැන් රටේ පොල් ගෙඩි ප්‍රමාණය 120 දක්වා වැඩි වෙලා. ඒ නිසා රුපියල් සැපයුම 12,000 වී තිබුණත්, පොල් ගෙඩියක මිල වැඩි වෙන්නේ නැහැ. එය රුපියල් 100 මට්ටමේම තියෙනවා.

දැන් පැහැදිලියිනේ. ඇමරිකාවට ඩොලරයට රටින් පිටත තිබෙන පිළිගැනීම නිසා රටේ උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. (මේ වැඩේට සීමාවක් තිබෙනවා. දැන් ඇමරිකාව කරන දේවල් වලට එක හේතුවක් ඒ සීමාව හඳුනා ගැනීම. ඒ ගැන වෙනම කතා කරමු). ලංකාවට ඇමරිකාව විදිහටම උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න බැහැ. නමුත් විදේශ ණය ගැනීම මගින් ලංකාවටත් උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. 

හැබැයි මේ වැඩේ අවුලක් තියෙනවා කියන එක ඉතාම පැහැදිලියිනේ. ඩොලර් වලින් ගන්න ණය ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා. එහෙම ගෙවන්නනම් ගන්න ණය ප්‍රමාණයට හරියන්න විදේශ සංචිතයක් පවත්වා ගන්න වෙනවා. 

විදේශ සංචිත හදාගන්නනම් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් සැපයුම ඉහළ යනවා. ඩොලර් සැපයුම අඩු වෙනවා. ඩොලර් සැපයුම අඩු වෙද්දී ආනයන කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා භාණ්ඩ සැපයුම අඩු වෙනවා. ඔය ක්‍රම දෙකෙන්ම මිල ඉහළ යනවා.

කලින් උදාහරණයටම ආවොත්, ආනයන නැත්නම් පොල් ගෙඩි ගණන 100ම තමයි. වැඩි වුනාට පස්සේ මුදල් සැපයුම රුපියල් 12,000යි. ඩොලර් 10 මිල දී ගැනීම සඳහා මහ බැංකුවට තවත් රුපියල් 2000ක් අලුතෙන් අච්චු ගහන්න වෙන නිසා මුදල් සැපයුම රුපියල් 14,000 දක්වා ඉහළ යනවා. දැන් පොල් ගෙඩියක් රුපියල් 140ක් වෙලා. මහ බැංකුව මැදිහත් වී සංචිත වැඩි කර ගත්තේ නැත්නම් පොල් ගෙඩිය රුපියල් 100ක් පමණයි. ඒ කියන්නේ අනාගතය ගැන හිතලා මහ බැංකුව සංචිත ගොඩ නගා ගන්න යද්දී වුනත් ඒ හේතුවෙන් උද්ධමනය විශාල ලෙස ඉහළ යන්න පුළුවන්.

සංචිත විකුණද්දී වෙන්නේ ඕකෙම අනික් පැත්ත. අපි හිතමු රජය විසින් විදේශ ණය නොගෙන මහ බැංකුවෙන් රුපියල් 2000ක ණයක් ගත්තා කියලා. දැන් හරිනම් මුදල් සැපයුම රුපියල් 14,000ක් වී පොල් ගෙඩියක් රුපියල් 140ක් විය යුතුයි. නමුත් ඒ එක්කම මහ බැංකුව ඩොලර් 10ක සංචිත විකිණුනොත් රුපියල් 2000ක් මහ බැංකුවට ආපසු එන නිසා මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා අඩු වෙනවා. විකුණපු ඩොලර් 10 වැය කර ආනයන කිරීම නිසා පොල් ගෙඩි ප්‍රමාණය 20කින් ඉහළ ගිහින් 120ක් වෙනවා. අවසාන වශයෙන් පොල් මිල රුපියල් 100යි.

ඔය ක්‍රමයට, විදේශ සංචිත විකිණීම මගින්, එක පැත්තකින් සංචිත මුදල් වැඩි වීම සීමා කරගන්න පුළුවන්. නමුත් මේක වංගුවක් ගැහීමක් නිසා පෙනෙන කෘතීම තත්ත්වයක් මිසක් ඇත්තටම හොඳ තත්ත්වයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් සංචිත මුදල් වල පෙනෙන සීමිත වැඩි වීමේ බලපෑම වුනත් උද්ධමනය තුළ පේන්නේ නැහැ. ඔය ක්‍රමයෙන් සංඛ්‍යාලේඛණ වල සංචිත මුදල් අඩුවෙන් පෙන්විය හැකි වුවත්, කරපු වැඩේ විපාකය තේරෙන්නේ විදේශ සංචිත ඉවර වෙලා සංචිත නැවත හදාගන්න වූ විටයි. ඒ තත්ත්වය කලින් විස්තර කළා. 

කෙටියෙන් කිවුවොත් කතාව මේකයි. සල්ලි අච්චු ගැසීම නිසාත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් සැපයුම වැඩි වීම නිසාත්, උද්ධමනය හැදෙනවා තමයි. නමුත් ඊට බලපාන තවත් කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වෙනත් කරුණු අනුව, ලැබෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවක ඉන්නේ මේ දේවල් ගැන විශේෂඥතාවයක් හා පළපුරුද්දක් තිබෙන අයයි. ඔවුන් එකම නිර්ණායකයක් දිහා පමණක් බලන්නේ නැහැ. එවැනි විශේෂඥතාවයක් හා පළපුරුද්දක් නොමැති අය විසින් තීරණ ගැනීමද ලංකාව වැනි රටවල සිදු විය හැකි දෙයක් වුනත් එය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

විශේෂයෙන්ම ලංකාව වගේ රටක, විදේශ සංචිත වේගයෙන් අඩු වන කාලයක, සංචිත මුදල් සැපයුම වෙනස් වෙන එකට වඩා අවධානය යොමු විය යුත්තේ විදේශ සංචිත වලට සිදු වෙන්නේ කුමක්ද කියන එකටයි. ඒ වගේම, විදේශ සංචිත ගොඩ නැගෙනවානම්, සංචිත මුදල් වැඩි වෙන එකේ අවදානම අඩුයි. 

දැන් ඊළඟට මතු වෙන අනිවාර්ය ප්‍රශ්නය මේ දවස් වල ලංකාවේ විදේශ සංචිත වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද කියන එක කියලා මම දන්නවා. ලිපිය දැනටම ගොඩක් දිග නිසා ඒ ගැන කතා කරන එක වෙනත් ලිපියකට ඉතිරි කරමු. මේ පැහැදිලි කිරීම් ටික කලින් නොකර ලංකාවේ වර්තමාන තත්ත්වය විස්තර කරන්න අමාරුයි.

වෙබ් ලිපිනය: