වෙබ් ලිපිනය:

Showing posts with label ආරක්ෂණවාදය. Show all posts
Showing posts with label ආරක්ෂණවාදය. Show all posts

Saturday, March 22, 2025

ධනවාදය හා ආරක්ෂණවාදය


සංසන්දනය සඳහා 2023 වසර ගත්තොත්, ලෝක බැංකු දත්ත අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 82,769ක්. ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ එම වසරේදී (හෝ ආසන්න වසරකදී) ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායමක් පැවති රට නෙමෙයි. තවත් රටවල් දහයක් පමණ මේ ලැයිස්තුවේ ඇමරිකාවට වඩා උඩින් ඉන්නවා. නමුත් ඒ "රටවල්" වලින් බාගයක් පමණම ලක්ෂයකට අඩු ජනගහණයක් ඉන්න කුඩා නාගරික රාජ්‍ය හෝ කුඩා දූපත් රාජ්‍ය. ඉතිරි රටවල් ගත්තත්, ඒ අතර මිලියන දහය ඉක්මවන ජනගහණයක් සිටින රටවල් කිසිවක් නැහැ. 

අඩු වශයෙන් මිලියන විස්සක ජනගහණයක් සිටින සංවර්ධිත රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම කැපී පෙනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් 82,769

ඕස්ට්‍රේලියාව - ඩොලර් 64,821

ජර්මනිය - ඩොලර් 54,343

කැනඩාව - ඩොලර් 53,431

එක්සත් රාජධානිය - ඩොලර් 49,464

ප්‍රංශය - ඩොලර් 44,691

ඉතාලිය - ඩොලර් 39,003

ජපානය - ඩොලර් 33,767

ස්පාඤ්ඤය - ඩොලර් 33,509

දකුණු කොරියාව - ඩොලර් 33,121

මේ රටවල් සියල්ලම වෙළඳපොළ ආර්ථික ක්‍රමය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. නමුත්, මේ එක් එක් රටේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වන්නේ එකම විදිහට නෙමෙයි. වෙනස්කම් තිබෙනවා. මතක තියාගන්න අප මේ කතා කරන්නේ පොදුවේ "ධනවාදී" සේ සැලකෙන සංවර්ධිත රටවල් ගැනයි. සාමාන්‍ය කරුණක් ලෙස, සමාජවාදී ලෙස සැලකෙන හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් වල ඒක පුද්ගල ආදායම් මට්ටම මීට වඩා අඩුයි. 

ඉහත රටවල් අතරින් වඩාත්ම ධනවාදී රට සේ සැලකිය හැක්කේ ඇමරිකාවයි. උදාහරණයක් ලෙස, අනෙක් හැම සංවර්ධිත රටකම මෙන් පොදු නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණත් ඇමරිකාවේ එවැන්නක් නැහැ. අධ්‍යාපනය වැනි දෙයක් සැලකුවත් මධ්‍යම රජයේ බලපෑම් ඉතාම අඩුයි. ඇමරිකාවට සාපේක්ෂව අනෙකුත් සංවර්ධිත රටවල වාමාංශික නැඹුරුව වඩා වැඩියි. 

ඇමරිකානු දේශපාලනය තුළ දක්ෂිණාංශික කොටස් විසින් සමාජවාදී දේශපාලනය සේ හඳුන්වන්නේ ලංකාව වැනි රටක සමාජවාදී දේශපාලනය සේ හඳුන්වන දෙය නෙමෙයි. ගොඩක් වෙලාවට ඇමරිකාවේ ඊනියා සමාජවාදී දේශපාලනය ලංකාව වැනි රටක වඩාත්ම දක්ෂිණාංශික සේ සැලකෙන (හා ජන පදනමක් තිබෙන) දේශපාලන ව්‍යාපාරයකටද වඩා දක්ෂිණාංශිකයි. ඒ නිසා, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බලය මාරු වෙද්දී වෙළඳපොළ මත පදනම් වූ ඇමරිකන් ආර්ථික ක්‍රමයේ විශාල වෙනසක් සිදු වෙන්නේ නැහැ. නමුත්, වෙනත් රටවල වගේම ඇමරිකාවේ දක්ෂිණාංශයද වෙළඳපොළ පැත්තට වඩා බරයි. එම දක්ෂිණාංශයට සාපේක්ෂව, ඇමරිකාවේ වාමාංශය රාජ්‍ය මැදිහත්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ඔවුන් වුවද, වෙළඳපොළ විශාල ලෙස විකෘති වන මැදිහත්වීම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඊට හේතුව ඇමරිකානු ජනමතය තුළ වෙළඳපොළ නැමියාව බොහෝ ගැඹුරු මට්ටමක පැවතීමයි. 

විද්‍යාත්මක නිගමනයක් නොවුනත්, ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සාපේක්ෂව වුවද ඉහළින් තියෙන්නේ ඇමරිකාව වඩා ධනවාදී බැවින් බව කෙනෙකුට පහසුවෙන් ගෙන හැර දැක්විය හැකි තර්කයක්. මේ තර්කය ඉදිරිපත් කරන්නෙකුට පහසුවෙන්ම සාක්ෂි ඉදිරිපත් කළ හැකියි. එම සාක්ෂි විද්‍යාත්මක සාක්ෂි නොවුනත්, පහසුවෙන් බැහැර කළ නොහැකි තරම් ප්‍රබලයි. 

ඇමරිකාවේ ජනගහණය මිලියන 340ක් පමණ (2024). එවැනි විශාල ජනගහණයක් එක්ක ඇමරිකාව ඩොලර් 89,678ක පමණ (2024දී) ඒක පුද්ගල ආදායමක් වාර්තා කර තිබෙනවා. ඇමරිකාවට එසේ කළ හැකි වෙද්දී ලෝකයේ බොහොමයක් රටවලට එවැනි ඒක පුද්ගල ආදායම් මට්ටමකට යා නොහැක්කේ ඇයි?

ඒක පුද්ගල ආදායම මෙවැනි ඉහළ මට්ටමක තිබෙනවා කියන්නේ සාමාන්‍ය වශයෙන් ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ මට්ටමක තිබෙනවා කියන එකයි. සාමාන්‍ය කරුණක් ලෙස ගත්තොත්, ඇමරිකාවට අවශ්‍ය හැම දෙයක්ම ඇමරිකාව ඇතුළේ හදාගන්න ඇමරිකාවට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය, ප්‍රාග්ධනය වගේම තාක්ෂනය ඇමරිකාවේ තිබෙනවා. මේ අතින් ලෝකයේ වෙනත් කිසිම රටක් ඇමරිකාව සිටින තැන නැහැ. 

ඇමරිකාවට වඩා වැඩි හෝ ආසන්න ඒක පුද්ගල ආදායම් මට්ටමක් තිබෙන ජනගහණය අඩු රටවල් ගණනාවක් තිබෙනවා. නමුත් ඒ හැම රටකම ඒක පුද්ගල ආදායම රැඳී තිබෙන්නේ ඇමරිකාව ඇතුළු අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාම මතයි. ඒ කිසිදු රටකට රටට අවශ්‍ය හැම දෙයක්ම රට ඇතුළේ නිපදවා ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි හැකියාවක් තිබෙන ඉන්දියාව හා චීනය වැනි රටවල් තිබුණත් ඒ රටවල ශ්‍රමයේ ඵලදායීතාවය ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඇමරිකාවට සාපේක්ෂව ඒ රටවල ඒක පුද්ගල ප්‍රාග්ධන සංචිත සහ තාක්ෂනය තිබෙන්නේ පහළ මට්ටමක කියන එකයි. 

කරුණක් ලෙස ගත්තොත්, ධනවාදය වර්ධනය වෙන්නේ ඇමරිකාව ඇතුළේ. අනෙක් හැම රටකම වගේ ධනවාදය දියුණු වෙන්නේ ඇමරිකාවට සාපේක්ෂව. කාලයක් ලෝකය පුරා විසිරී තිබුණු කුඩා සමාජවාදී රටවල් සෝවියට් සංගමය මත යැපුනා වගේ. මෙහිදී යැපෙනවා යන්නෙන් අදහස් වන්නේ ආර්ථික සම්පත්ම නෙමෙයි. තමන් කළ යුතු දේ සැලසුම් කරන්න වෙන්නේ ප්‍රමුඛයා දිහා බලාගෙන. 

අඩු වශයෙන් තවත් වසර ගණනාවක් යන තුරු ලෝකයේ ධනවාදී ක්‍රමය ඉදිරියට යන්නේ ඇමරිකාවේ ධනවාදය ඉදිරියට යන විදිහ අනුවයි. ඒ වගේම, කවර හෝ හේතුවක් නිසා ඇමරිකාවේ ධනවාදය බිඳ වැටුනොත්, එය ලෝකයේම ධනවාදී ක්‍රමය කෙරෙහි බලපානවා. ඇමරිකාවේ ධනවාදය අර්බුදයට ගියොත් සෝවියට් සංගමය බිඳ වැටුණු පසු එම ක්‍රමයේ පැවැත්ම අහෝසි වුනා වගේ දෙයක් වුනත් වෙන්න පුළුවන්. (ධනවාදී අර්ථ ක්‍රමය සමාජය සංවිධානය විය හැකි එකම ක්‍රමය කියා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙම වෙන්න හේතුවක් නැහැ.)

ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහි ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් දක්ෂිණාංශික සේ හඳුනා ගන්නේ රිපබ්ලිකන් පක්ෂයි. ඩිමොක්‍රටික් පක්ෂ හඳුනා ගන්නේ වාමාංශික පක්ෂයක් ලෙසයි. මුලින් කී පරිදි, මේ විදිහට වම දකුණ සලකුණු වන්නේ ඇමරිකානු දේශපාලනයේ සක්‍රිය පරාසය තුළයි. ලංකාවේ සම්මත අනුව බැලුවොත්නම්, ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය කියන්නෙත් ලංකාවේ දක්ෂිණාංශික සේ සැලකෙන පක්ෂ සියල්ලටම වඩා දක්ෂිණාංශික පක්ෂයක්. 

ඇමරිකාවේ ඇතුළේ ඉතා හොඳ මට්ටමක ධනවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ දක්ෂිණාංශික කොටස් මේ මට්ටමෙන් සෑහීමකට පත් නොවනවා විය හැකි වුවත්, අනෙක් සියලුම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා ඇමරිකාව ධනවාදීයි. අනෙක් අතට ඇමරිකාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකුත් තිබෙනවා. එවැනි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදක් එක්ක ධනවාදයට ඉදිරියට යා හැක්කේ ධනවාදය ඇමරිකානු ජනමතය තුළ කාලයක් තිස්සේ මුල් බැසගෙන ඇති දෙයක් නිසා. අඩු වශයෙන් යුරෝපයේ හෝ මෙවැනි තත්ත්වයක් දැකිය නොහැකියි. දැන් මොන ප්‍රශ්න තිබුණත්, මේ අතින් ඇමරිකාවට කිට්ටුවෙන්ම සිටින රට කැනඩාව විය හැකියි. 

ඇමරිකාව ඇතුළේ තිබෙන මේ ධනවාදී-හිතවාදී තත්ත්වය ඇමරිකාවෙන් පිටත නැහැ. ඒ නිසා, ඇමරිකාව තමන්ගේ දේශ සීමා වලින් එහා ජීවත් වන අයත් එක්ක ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනු සිදු වන්නේ රට ඇතුළේ ගනුදෙනු සිදු වන ආකාරයටම නෙමෙයි. ජාත්‍යන්තර වෙළඳාමේ දී සහ සංක්‍රමණිකයින් රටට වැද්ද ගැනීමේදී ඇමරිකාවට මේ වෙනස ගැන සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. (මේ කරුණ අනෙක් බටහිර රටවලටද අදාළ වුනත්, ලිපියේ මුලින් විස්තර කළ හේතු නිසා මෙහි අවධානය යොමු කරන්නේ ඇමරිකාව වෙතයි.)

දක්ෂිණාංශික දේශපාලනය කරන ඇතැම් කණ්ඩායම් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින්නේ දේශපාලනික පදනමකින්. මෙහිදී පදනම වෙන්නේ නිදහස් ගනුදෙනු වල යෙදීමේ අයිතිය කියන්නෙත් ජීවත්වීමේ අයිතිය, කැමති රැකියාවක් කිරීමේ අයිතිය වැනි මූලික මිනිස් අයිතියක් කියන එක හෝ ඊට කිට්ටුවෙන් යන දෙයක්. නමුත් ආර්ථික විද්‍යාඥයෙක් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින්නේ එවැනි දේශපාලන පදනමකින් නෙමෙයි. එහි පදනම වන්නේ වෙළඳපොළ ක්‍රමය නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි වීමට හේතු වන්නේය යන කරුණ. 

සාමාන්‍ය කරුණක් ලෙස නිදහස් වෙළඳපොළ තුළ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. වෙළඳපොළට බාධා කරන තරමට කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මෙය හුදෙක් විශ්වාසයක් නෙමෙයි. තාර්කිකව, සිද්ධාන්ත ඇසුරෙන් සහ ඇත්ත දත්ත ඇසුරෙන් පෙන්වා දිය හැකි දෙයක්. නමුත් එහෙම නොවන අවස්ථාත් තිබෙනවා. සමහර තත්ත්වයන් යටතේ වෙළඳපොළ ක්‍රියාත්මක වන ආකාරය වඩා හොඳින් සැලසුම් කළ හැකියි. එමගින් කාර්යක්ෂමතාවය ඉහළ දැමිය හැකියි. එයද පැහැදිලි කරුණක්. මුල් කරුණ වගේම තාර්කිකව, සිද්ධාන්ත ඇසුරෙන් සහ ඇත්ත දත්ත ඇසුරෙන් පෙන්වා දිය හැකි දෙයක්. 

ඔය වගේ වෙළඳපොළ ක්‍රියාත්මක වන ආකාරය වඩා හොඳින් සැලසුම් කළ හැකි තත්ත්වයන් ඇති බොහෝ අවස්ථා වලදී මිනිසුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළ අවශ්‍ය වෙනස්කම් සිදු වෙලා කාර්යක්ෂමතාවය ඉහළ යනවා. ඒ හරහා ධනවාදය දියුණු වෙනවා. මේ මාර්ගෝපදේශනය අනිවාර්යයෙන්ම රජය විසින් කළ යුතු නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක රජය කියන්නෙත් මිනිසුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වයේම කොටසක් නිසා ඔය වැඩේ රජය විසින් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. රජය කියන්නේ ජනතාව නියෝජනය නොකරන අධිකාරී බලයක්නම් ප්‍රශ්නයක් තිබෙනවා. කොහොම වුනත් මෙවැන්නක් කරද්දී වැදගත් දේ එමගින් වෙළඳපොළ ක්‍රියාකාරකම් වැඩි වෙනවද නැත්නම් අඩුවෙනවද කියන එකයි.

ඉහත කී දක්ෂිණාංශික දේශපාලන අදහසේ මූලය මිනිසුන්ට ස්වාධීන, නිදහස් කැමැත්තක් තිබෙනවා කියන එක. සාමාන්‍ය කරුණක් ලෙස සමාජවාදී කොටස් මේ අදහස මේ විදිහටම පිළිගන්නේ නැහැ. බොහෝ විට ඔවුන්ගේ මතය වන්නේ නිදහස් කැමැත්ත කියන එක ඇත්තම නිදහස් කැමැත්තක් නෙමෙයි පරාරෝපිත කැමැත්තක් කියන එක. දළ වශයෙන් කිවුවොත් නිදහස් කැමැත්ත කියන දෙය සමාජය විසින් පුද්ගලයා මත පටවන කැමැත්තක් මිසක් ස්වාධීන දෙයක් නෙමෙයි. ඒ අනුව, මිනිසාගේ කැමැත්ත වෙනස් කිරීම සාධාරනීකරණය කළ හැකි දේශපාලනික හේතුවක් ලැබෙනවා. සමාජවාදී කඳවුර අධ්‍යාපනයට ලොකු බරක් තියන්නෙත් ඔය පදනමෙන්. 

ආර්ථික විද්‍යාඥයෙක් මිනිස් හැසිරීම් තේරුම් ගන්නේ විද්‍යාත්මක ක්‍රමය මත පදනම්ව. දක්ෂිණාංශික දේශපාලනය තුළ පිළිගැනෙන පරිදි, බොහෝ මිනිස්සු බොහෝ අවස්ථා වලදී තාර්කිකව හිතා තමන්ට වාසිදායකම තීරණය ගන්නවා. නමුත් හැම කෙනෙක්ම හැම විටම එසේ කරන්නේ නැහැ. දේශපාලනය පැත්තට ආවොත්, වාමාංශික කඳවුර වගේම දක්ෂිණාංශික කඳවුර ක්‍රියාත්මක වෙන්නෙත් ස්වාධීන මිනිස් කැමැත්ත වෙනස් කළ හැකියි කියන පදනමේ ඉඳගෙනයි. එවැන්නක් කොහොමටවත් කරන්න බැහැ කියන තැනට ආවොත් දේශපාලනය කරන්න පදනමක් නැතිව යනවා. 

ධනවාදී අර්ථ ක්‍රමයක් හොඳින් ක්‍රියාත්මක වෙන්නනම් ඊට උපකාරී වන දේශපාලන පරිසරයක් තිබිය යුතුයි. එවැන්නක් අනිවාර්යයෙන්ම ඉබේටම හැදෙන්නේ නැහැ. ඒ වගේම, මිනිස්සු බහුතරයක් විද්‍යාත්මක ක්‍රමය අනුව නිගමන වලට එළැඹෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාඥයින් සැලකුවත්, ඔවුන් අතර වඩා දේශපාලනික අය ඉන්නවා. එවැනි අය සමහර වෙලාවට තමන්ගේ දේශපාලනික මතවාද අනුව නිගමන වලට පැමිණෙනවා. එම මතවාද අතර වාමාංශයට නැඹුරු මතවාද වගේම දක්ෂිණාංශයට නැඹුරු මතවාදත් තියෙන්න පුළුවන්.

වෙළඳපොළ කාර්යක්ෂමතාවය කියන කරුණට ආවොත්, කාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රම විභජනය හරහා ලැබෙන විශේෂ ප්‍රාගුණ්‍යය. වෙළඳපොළ විශාල වන තරමට ලැබෙන වාසියත් වැඩියි. නමුත් වෙළඳපොළ විශාල වී ගෙන යද්දී කාර්යක්ෂමතාවය අසීමිත ලෙස වැඩි වෙන්නේ නැහැ. යම් සීමාවකින් පස්සේ ඇති වන ඝර්ෂණයන් නිසා තව දුරටත් වෙළඳපොළ විශාල වීමෙන් වාසියක් නැතිව යනවා. ප්‍රවාහන ගාස්තු, ප්‍රවාහනයේදී සිදු වන හානි ආදිය මෙවැනි ඝර්ෂණයන්.

ඇඟළුමක් ලංකාවේ නිපදවා ඇමරිකාවට ගේන එක වඩා කාර්යක්ෂම වුවත්, උදේ ආහාර වේල ලංකාවෙන් ඇණවුම් කර ගෙන්වා ගන්න එක වඩා කාර්යක්ෂම නැහැ. යම් හෙයකින් මිනිත්තු කිහිපයකින් සහ අඩු වියදමකින් ලංකාවේ හදන උදේ කෑම වේල ඇමරිකාවට ගෙන්වා ගත හැකි ආකාරයේ තාක්ෂනයක් බිහි වුනොත්, මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම, යම් හෙයකින් ප්‍රවාහන ගාස්තු විශාල ලෙස ඉහළ ගියොත් ඇඟළුමක් ලංකාවේ නිපදවා ඇමරිකාවට ගේන එක තව දුරටත් වඩා කාර්යක්ෂම වෙන්නේ නැහැ. වෙළඳපොළක් කොයි තරම් විවෘත වුනත්, අසල්වැසියන් අතර සිදු කෙරෙන ගනුදෙනු වලට නෛසර්ගිකවම විශේෂ වාසියක් තිබෙනවා. 

කලින් කියපු, ඒක පුද්ගල ආදායම අතින් ඇමරිකාවට වඩා ඉදිරියෙන් ඉන්න එක් රටක් සිංගප්පූරුවයි. කුඩා නාගරික රාජ්‍යයක් වන සිංගප්පූරුව ඇතුළේ ඒ රටේ ජීවත් වන අයට අවශ්‍ය හැම දෙයක්ම නිපදවා ගන්නවා කියන එක කළ නොහැකි දෙයක්. එය හරියට ඇමරිකාවේ නිවුයෝර්ක් නගරය වැනි නගරයක ජීවත් වන අයට අවශ්‍ය හැම දෙයක්ම නගරය ඇතුළේ නිපදවා ගන්නවා වැනි කළ නොහැකි දෙයක්. ඒ නිසා, සිංගප්පූරුව වැනි කුඩා භූමි ප්‍රදේශයක පිහිටි, සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින රටක ඒක පුද්ගල ආදායම ඔය වගේ මට්ටමක තියා ගන්නනම් අනිවාර්යයෙන්ම ලෝකයට විවෘත වෙන්නම වෙනවා. ලංකාව වැනි රටකට වුවත් මෙය අදාළයි.

එසේ වුවත්, ඇමරිකාවට ඉහත කරුණ ඒ විදිහටම අදාළ වන්නේ නැහැ. ඇමරිකාවේ නිවුයෝර්ක් වැනි නගරයකට සංවෘතව පවතින්න බැරි වුනත්, ඇමරිකාවෙන් පිටතට විවෘත නොවී, ඇමරිකාවේ අනෙක් ප්‍රදේශ වලට පමණක් විවෘත වී පවතින්න පුළුවන්. එසේ කිරීමෙන් විශාල කඩා වැටීමක් සිදු වන්නේ නැහැ. 

ඇමරිකාව වැනි විශාල ජනගහණයක් සිටින විශාල රටක් පිටතට විවෘත නොවුනත් ශ්‍රම විභජනය හරහා ලැබෙන විශේෂ ප්‍රාගුණ්‍යය අඩුවක් නැතිව හැදෙන තරමට රට විශාලයි. ඒ නිසාම, ඇමරිකාව ලෝකයේ වඩාත්ම විවෘතම රටක් වුනත්, නිදහසේ කැමති කෙනෙක් එක්ක ගනුදෙනු කළ හැකි වුනත්, ඒ ගනුදෙනු බොහොමයක් සිදු වන්නේ රට ඇතුළේමයි. ඉතිරි ගනුදෙනු වලින්ද වැඩි කොටසක් සිදු වෙන්නේ අසල්වැසි කැනඩාව හා මෙක්සිකෝව එක්ක. ලෝකයේ රටවල් අතරින් පිටතට විවෘත වීමේ වාසිය අඩුම රට ඇමරිකාව කියා කියන්න පුළුවන්. 

එහෙමනම් ඇමරිකාව ගනුදෙනු සඳහා විවෘතම රටක් සේ පැවතුණේ ඇයි?

විවෘත වීමේ වාසිය අඩුම රට ඇමරිකාව විය හැකි වුවත්, එය තව දුරටත් වාසියක්. ඇමරිකාවට අවශ්‍ය හැම දෙයක්ම අවුලක් නැතිව ඇමරිකාව ඇතුළේම නිපදවා ගන්න පුළුවන්. රටේ හඳුනාගත් පොසිල ඉන්ධන අවසන් වීම නිසා 1970 දශකයේ මුල් කාලයේදී මේ තත්ත්වය වෙනස් වුනා. නමුත් වසර පණහකට පසුව දැන් නැවතත් ඇමරිකාව ඉන්ධන සුරක්ෂිතතාව ලබාගෙන ඇති නිසා ජාත්‍යන්තර වෙළඳාම ඇමරිකාවට අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. එසේ වුවත්, ජාත්‍යන්තර වෙළඳාමේ පදනම වන "සංසන්දනාත්මක වාසිය" කියන කරුණ තව දුරටත් වලංගුයි. (මේ ගැන නොදන්නා අයෙකුට පෙර ලියා ඇති සටහන් කියවිය හැකියි.)

ඇමරිකාවට ඇඟලුම් ලංකාවෙන් ආනයනය නොකර ඇමරිකාවේම හදා ගන්න පුළුවන්. නමුත්, එසේ නොකර. ඇඟලුම් ලංකාවෙන් ආනයනය කර, එහිදී ඉතිරි වන ශ්‍රමය හා ප්‍රාග්ධනය යොදවා වෙනත් දෙයක් නිපදවා ලංකාවට අපනයනය කර ඇඟලුම් සඳහා අවශ්‍ය විදේශ විණිමය උපයා ගන්න එක ඇමරිකාවට වඩා වාසියි. ජාත්‍යන්තර වෙළඳාමේ සංසන්දනාත්මක වාසිය කියන්නේ ඕකටයි.

දැන් මේ "සංසන්දනාත්මක වාසිය" සංකල්පය ඇතුළේම ඇමරිකාවේ මේ මොහොතේ ප්‍රශ්නයද පැහැදිලිව පේනවා. ඇඟලුම් ඇමරිකාවේ නොහදා ලංකාවෙන් ආනයනය කරන එක වාසියක් වෙන්නේ කොහොමද? එසේ කිරීමෙන් යම් ශ්‍රම ඒකක ප්‍රමාණයක් සහ ප්‍රාග්ධන ඒකක ප්‍රමාණයක් ඇමරිකාවේ ඉතිරි වෙනවා. ඒවා යොදවා වෙනත් දෙයක් නිපදවා අපනයනය කළ හැකියි. එමගින් ආනයන සඳහා අවශ්‍ය විදේශ විණිමය සොයා ගත හැකියි. අවසාන වශයෙන් එම ශ්‍රම ඒකක ප්‍රමාණය සහ ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය යොදවා ඇමරිකාවේ නිපදවිය හැකි ඇඟලුම් ප්‍රමාණයට වඩා වැඩි ඇඟලුම් ප්‍රමාණයක් ලංකාවෙන් ආනයනය කළ හැකියි.

කෙසේ වුවත්, මේ වැඩේ මේ විදිහට වෙන්නේ ඇමරිකාවේ ඉතිරි වන ශ්‍රම ඒකක ප්‍රමාණය සහ ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය යොදවා ඇමරිකාවේ නිපදවිය හැකි දේ ලංකාව විසින් මිල දී ගන්නේනම් පමණයි. ලංකාව එසේ නොකරන්නේනම් මේ ගනුදෙනුවෙන් ලැබෙන්නේ එළදෙනගේ ඉස්සරහ පැත්ත පමණයි. ඒ නිසා, ලෝකයේ බොහෝ රටවල් සමඟ දිගින් දිගටම පවතින වෙළඳ ශේෂ හිඟයක් කියන්නේ ඇමරිකාව විසින් එළදෙනුන් ගණනාවකට දිගින් දිගටම තණකොළ කැවුවත්, කිරි ගන්නේ වෙනත් රටවල් විසින් බවයි. ඇමරිකාවට ජාත්‍යන්තර වෙළඳාම හේතුවෙන් සාමාන්‍යයෙන් ලැබෙන "සංසන්දනාත්මක වාසිය" නොලැබෙන බවයි. 

වත්මන් මහාද්වීපික ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයේ කුඩා කොටසක් වූ මුල් ඇමරිකාව ක්‍රමයෙන් බටහිරට ව්‍යාප්ත වී විශාල රටක් බවට පත් වුනා. පසුව ඇලස්කා සහ හවායි ප්‍රාන්ත එකතු වී තවත් විශාල වුනා. මේ විදිහට ඇමරිකාව ක්‍රමයෙන් විශාල වෙද්දී එහි දේශීය වෙළදපොළද අනුක්‍රමිකව විශාල වුනා. මේ අයුරින් වෙළඳපොළක් විශාල වෙනවා කියන්නේ එකම සම්මත තුළ නිදහස් ගනුදෙනු සිදු කළ හැකි විශාල ප්‍රදේශයක් බිහි වෙනවා කියන එකයි.

ඇමරිකාව වැනි නිදහස් රටක් විශාල වෙනවා කියන්නේ එහි වැසියෙකුට එකම සම්මතයන් යටතේ, එකම මුදල් ඒකකයකින් ගනුදෙනු කළ හැකි විශාල ගනුදෙනුකරුවන් පිරිසක් අභිමුඛ වෙනවා යන්නයි. එමෙන්ම ඔවුන්ට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකට සංක්‍රමණය වීමට සහ රැකියාවක් කිරීමට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා, නිෂ්පාදන සාධක ඉතාම කාර්යක්ෂම ලෙස අවශ්‍යම තැනට චලනය වෙනවා. ප්‍රවාහනය වැනි සීමාවන් තව දුරටත් තිබුණත් ඝර්ෂණයන් ඉතාම අඩුයි.

නමුත් දේශ සීමා ඉරක් පනිද්දී මේ තත්ත්වය වෙනස් වෙනවා. කැනඩාව වැනි ඇමරිකාවට බොහෝ සමාන සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික-ඓතිහාසික පසුබිමක් ඇති අසල්වැසි රටක් සැලකුවද මේ ඝර්ෂණයන් යම් තරමකින් හෝ තිබෙනවා. උදාහරණ ලෙස කැනඩාවේ මුදල් ඒකකය මෙන්ම මිනුම් ඒකකද වෙනස්. ඒ නිසා, කැනඩා මායිමේ ජීවත් වන ඇමරිකානුවෙකුට වුවද කැනඩාවේ පාර්ශ්වකරුවෙකු සමඟ ගනුදෙනු කිරීමට සාපේක්ෂව ඇමරිකානු පාර්ශ්වකරුවෙකු සමඟ ගනුදෙනු කිරීමේ වාසියක් තිබෙනවා. වෙනස් සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික-ඓතිහාසික පසුබිම් ඇති, දුරස්ථව පිහිටි රටක ගනුදෙනුකරුවන් හා ගනුදෙනු කරද්දී මෙවැනි "ඝර්ෂණ" වල බලපෑම වඩා විශාලයි. ඒ නිසා, විදේශිකයෙකු සමඟ කරන ගනුදෙනුවක් කිසි විටෙකත් රට ඇතුළේ කරන ගනුදෙනුවකට පූර්ණ ආදේශකයක් වන්නේ නැහැ. ඒ නිසාම, දේශ සීමා ඉරක් පනිද්දී "නිදහස් වෙළදාම" කියන එක රටක් ඇතුළේ  "නිදහස් වෙළදාම" කියන තත්ත්වයට කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ.

දැන් නැවත ඇමරිකාවට ආවොත්, ඇමරිකාව කියන්නේ ලෝක ධනවාදී අර්ථ ක්‍රමයේ පුරෝගාමියා වන රටනේ. මේ රටේ ද්විපක්ෂ ක්‍රමයක් තිබෙනවා. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ මාරුවෙන් මාරුවට බලයට එනවා. මේ පුරෝගාමී ධනවාදී රටේ ප්‍රතිපත්ති ඇතුළේ රජය විසින් විවිධ ආකාර වලින් වෙළඳපොළට බලපෑම් කරනවා. ඒ කරන විදිහ බලයේ ඉන්න පක්ෂය අනුව වෙනස් වෙනවා. නමුත් දිගුකාලීනව වෙනස් වී නැති දේවලුත් තිබෙනවා.

සරල හා සාමාන්‍ය කරුණක් විදිහට විදේශිකයෙකුට "නිදහසේ" ඇමරිකාවට ඇතුළු වෙන්න බැහැ. ඒ නිසාම, ඇමරිකාවේ බොහොමයක් රැකියා සඳහා ඔවුන්ට ප්‍රවේශයක් නැහැ. ඇමරිකාවෙන් පිටත සිට ඇමරිකාවේ රැකියාවක් කළ හැකි වුවත්, ඒ සඳහා තිබෙන සීමිත අවකාශය "නිදහස්" අවකාශයක් නෙමෙයි. ඔය හුදෙකලා කාරණය පමණක් සැලකුවත්, දේශ සීමා වලින් එහාට නිදහස් වෙළඳපොළ කියන එකේ අර්ථය වෙනස් වෙනවා කියන එක පැහැදිලි විය යුතුයි.

යම් හෙයකින් ඇමරිකාවට කැමති කෙනෙකුට නිදහසේ එන්න ඉඩ දුන්නොත් කුමක් වෙයිද? ලෝකයේ ඕනෑම කෙනෙක් තමන්ගේ රට අත හැර ඇමරිකාවට එන්න කැමති වෙයි කියලා මම කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නමුත් අවස්ථාවක් ලැබෙනවානම් ඇමරිකාවට එන්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. එවැනි විශාල පිරිසක් එක වර ඇමරිකාවට ආවොත්, ඇමරිකාවේ දැනට තිබෙන සමාජ-දේශපාලන-ආර්ථික සම්මුති තව දුරටත් ඒ විදිහටම තියෙයිද? ඒ සම්මුතීන් වල රැඩිකල් වෙනසක් සිදු වුනොත් ඇමරිකාවේ දැනට ක්‍රියාත්මක වෙළඳපොළ ක්‍රමය තවදුරටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙයිද? 

ඇමරිකාවේ ධනවාදය ඇමරිකාවේ දැනට ජීවත්වන මිනිසුන්ගෙන් වියුක්ත දෙයක් නෙමෙයි. මිනිස්සු වෙනස් වුනොත්, සමාජය වෙනස් වුනොත්, ඇමරිකාවේ ධනවාදයේ ස්වභාවයත් වෙනස් වෙනවා. දැනට ලෝකයේ තිබෙන "හොඳම ධනවාදය" තියෙන්නේ ඇමරිකාවේ කියා සැලකුවොත්, ඒ විදිහට ඇමරිකාවට පැමිණීමට ඉඩ තිබෙන මිනිසුන් පැමිණෙන්නේ ඇමරිකාවේ දැන් තිබෙනවාට වඩා දුර්වල ධනවාදයක සිට හෝ ධනවාදයක් නැති තැනක සිටයි. එවැනි තැන් එසේ පවතින්නේ ඒ රටවල සමාජ-දේශපාලන-ආර්ථික-සංස්කෘතික-ඓතිහාසික පසුබිම විසින් ඉල්ලා සිටින්නේ ඇමරිකාවේ තිබෙන ආකාරයේ ධනවාදයක් නොවන නිසා. දැන් ඒ වගේ තැන් වල සිට පැමිණෙන මිනිස්සු මහා පරිමාණයෙන් ඇමරිකාව ඇතුළට ඇවිත්ඇමරිකන් ක්‍රමය රැඩිකල් ලෙස වෙනස් කළොත් එමගින් ඇමරිකාවේ ධනවාදය පසුපසට මිසක් ඉදිරියට යාමේ ඉඩක් නැහැ. ධනවාදය සහ ඒක පුද්ගල ආදායම අතර තිබෙන සම්බන්ධය දිහා බැලු විට, එමගින් ආර්ථිකයට විය හැක්කේ කුමක්ද කියන එකත් පැහැදිලි වෙනවා.

ඉහත කරුණු දෙස බලද්දී, ඇමරිකාවේ හෝ වෙනත් රටක ධනවාදය ආරක්ෂා කර ගැනීම පිණිස සංක්‍රමණිකයින් යම් ආකාරයකින් පාලනය කරන්න වෙන්නේ ඇයි කියන එකත් පැහැදිලි විය යුතුයි. යම් කෙනෙකුට එය පරස්පරයක් සේ පෙනෙන්න පුළුවන්. මොකද මෙහිදී වෙන්නේ නිදහස ඇහිරීමක්. නමුත් එවැනි පරස්පරයක් පෙනෙනු ඇත්තේ දේශපාලනික පසුබිමකින් ධනවාදය දෙස බලන අයෙකුටයි. කාර්යක්ෂමතාවය ගැන බලනවානම් මෙහි පරස්පරයක් නැහැ.

මේ තරම්ම පැහැදිලිව පෙනෙන්නේ නැතත්, දේශ සීමා වලින් ඔබ්බට කරන ගනුදෙනු වලදීත් මේ හා සමාන දෙයක් සිදු වෙනවා. තනි රටක් ඇතුළේ ධනවාදී තරඟය සිදු වෙන්නේ සමාන කොන්දේසි යටතේ. නමුත් දේශ සීමා වලින් එහාට එය ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම, යම් තත්ත්වයන් යටතේදී, වඩා විවෘත වීමෙන් අවශ්‍ය දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සිදු වෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් ධනවාදී සේ සැලකෙන රටක සංක්‍රමණිකයින් හා අදාළ ප්‍රතිපත්තිය කුමක්ද? එය කැමති කෙනෙකුට රටට ඇතුළු වෙන්න ඉඩ දීම නෙමෙයි. නමුත් කිසිවෙකුට ඇතුළු වෙන්න ඉඩ නොදීමත් නෙමෙයි. මෙය වාසි අවාසි කිරා බලා කරන දෙයක්. ඇත්ත වශයෙන්ම, හොඳින් විමසා බැලුවොත් ධනවාදී රටවල් වෙළඳාමට විවෘත වී තිබෙන්නේත් ඔය පදනමින්ම තමයි. සංක්‍රමණික ප්‍රතිපත්තිය තරමට එය කැපී පෙනෙන්නේ නැත්තේ බොහෝ තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර වෙළඳාම මේ රටවලට වාසිදායක වූ නිසා. නමුත් අනාගතයේදී මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. පුරෝගාමී ධනවාදී රට වන ඇමරිකාව තුළ මේ මොහොතේ පෙනෙන්නේ ඒ තත්ත්වය පිළිබඳ පූර්ව ප්‍රචාරක පටයක්. 

එසේ විය හැක්කේ කොහොමද කියන එක පසුව කතා කරමු.

Monday, February 27, 2023

මිරිස් ගොවියාගේ කතාවස්තුව


මේක පොරොන්දුවක් ඉටු කරන්න ලියන සටහනක්. හරියටම කියනවානම්, පහත ප්‍රශ්නයට පිළිතුරක්.

 "ආර්ථික විද්‍යාව දන්නෙ නැති මට පොඩි ප්‍රශ්නයක් ආවා අද මිරිස් ගැන ප්‍රවෘත්තියක් දැකලා. මේක වීඩියෝවට අදාල ඇති. ලංකාවට මිරිස් ටොන් 55000 ඕන වෙනවා අවුරුද්දට, අපි 5000 නිෂ්පාදනය කරනවා. 50000 පිට රටින් ගේනවා.(වැඩිම හරියක් ඉන්දියාවෙන්). වියදම ඩොලර් මිලියන 110 විතර.ඒ කියන්නෙ අර trade deficit එකෙන් බිලියන 2 කට කිට්ටුයි.

ඉන්දියාව ගොවීන්ට විශාල වශයෙන් සහනාධාර දෙනවා. අපනයනය කරනවනම් වැඩියෙන් සහනාධාර දෙනවා.( ඉන්දියාවෙ GDP එකෙන් 2% ගොවි සහනාධාර)

බොහෝ විද්වතුන් මේ දවස්වල කියන විදිහට අපි ගොවීන් ආරක්ෂා කරන්න තීරු බදු දාන්න නරකයි. සහනාධාර දෙන්නත් නරකයි. අපේ මිරිස් ගොවීන් ඉන්දියාවෙ ආණ්ඩුවේ සහය ලබන ගොවීන් සමග සහයක් නැතිව තරඟ කරන්න ඕන.බැරිනම් ගොවිතැන අතාරින්න ඕන.

අන්තිමට ගොවියට වෙන්නෙ බිරිඳ, දුව මැද පෙරදිග යවලා ලැබෙන රියාල් දීල මිරිස් ගන්න.

මට හිතෙන්නෙ මෙතන යම් නොගැලපීමක් තියනවා කියලයි. දන්නෙ නැති නිසයි අහන්නේ. පහදා දුන්නොත් කෘතඥ වෙමි.

ස්තූතියි."

පිළිතුර ලිවීමේදී මම ඉහත ප්‍රශ්නය ඇතුළේ තිබෙන කරුණු පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඇතැම් විට මේ ඇතැම් කරුණු නිවැරදි නොවෙන්න පුළුවන්. මම එය අදාළ කරගන්නේ නැහැ. මොකද මේ කතාවම ප්‍රබන්ධයක් වුනත් (මම එහෙම කියන්නේ නැහැ) අහලා තිබෙන ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. 

පළමු ගැටළුව මෙහි තිබෙන "නොගැලපීම" කුමක්ද? 

මේ "නොගැලපීම" හිටපු ගොවියාගේ බිරිඳ, දුව මැද පෙරදිග ගිහින් එවන රියාල් වලින් හිටපු ගොවියා කඩෙන් මිරිස් ගන්න එකනම්, ඒකේ මට ප්‍රශ්නයක් පේන්නේ නැහැ.

මට අවශ්‍යනම් වත්තේ මිරිස් වවාගන්න පුළුවන්. නමුත් මම වත්තේ මිරිස් වවන්නේ නැහැ. සල්ලි දීලා කඩෙන් මිරිස් ගන්නවා. මම හිතන විදිහට ඒකේ කිසිම නොගැලපීමක් නැහැ. 

මම වත්තේ මිරිස් නොවවා කඩෙන් මිරිස් මිල දී ගන්නේ ඇයි?

පළමුව, මට කඩෙන් මිරිස් ගන්න සල්ලි තිබෙන නිසා. දෙවනුව, වත්තේ මිරිස් වවලා ඒ මිරිස් ගස් නඩත්තු කරන්න යන කාලය කඩෙන් මිරිස් ගන්න යන මුදලට වඩා වටින නිසා. 

දැන් ඔය කතාවම අර ගොවි පවුලටත් ආදේශ කරන්න පුළුවන්. ඔය ගොවියා මිරිස් වවන්න කාලය නොයොදවා බිරිඳ හෝ දුව එවන සල්ලි වලින් කඩෙන් මිරිස් මිල දී ගනිද්දී වෙන්නෙත් මම කඩෙන් මිලදී ගනිද්දී සිදුවන දෙයම තමයි. මම මොන හේතුවක් නිසා හෝ මිරිස් වවන්න කැමති නැත්නම්, ඒ කතාවම වෙන කෙනෙකුටත් අදාළ නොවෙන්න හේතුවක් නැහැනේ.

අපි මෙහෙම පටන් ගනිමු. දඹුල්ල, කුරුණෑගල වගේ පැත්තක මිරිස් වන ගොවි පවුලක් ඉන්නවා. ගොවි පවුලේ දුව ඉගෙනගෙන ගණකාධිකාරිනියක් වෙලා කොළඹ පෞද්ගලික සමාගමක හොඳ වැටුපක් ගන්න රස්සාවකට යනවා. ඉගෙන ගන්න වියදම් කරන්නේ දෙමවුපියන් විසින් මිරිස් වවලා හම්බ කරපු සල්ලි. රස්සාවට ගියාට පස්සේ දැන් මේ දුව දෙමවුපියන්ට කියනවා මිරිස් වවන්න මහන්සි නොවී විවේකයෙන් ඉන්න කියලා. මාස්පතා දෙමවුපියන්ගේ නඩත්තුවට මුදලක් එවනවා. අවුලක් තියෙනවද?

ඔහොම ඉන්න අතරේ දුවට මැදපෙරදිග රැකියාවක් ලැබෙනවා. දැන් දුව ගෙදරට රියාල් එවනවා. කලින් වැඩේම වෙනවා. දෙමවුපියන් මිරිස් වවන එක නවතිනවා. අවුල්ද? අර දුවත් දෙමවුපියන් වගේම මිරිස් වවන එකම කළ යුතුද?

ඔහොම වෙන්නේ නැතිව දුව ඇඟලුම් කම්හලක රැකියාවට ගියා කියමු. එහෙම නැත්නම් දුව හෝ බිරිඳ මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවකට ගියා කියා හිතමු. ඒත් ඕකේ ආකෘතිමය වෙනසක් නැහැනේ. එහෙම වෙනසක් පේනවානම් ඒ පේන්නේ සමහර රැකියා පහත් රැකියා ලෙස දකින නිසා පමණයි. 

සමහර විට මැද පෙරදිග රැකියා වලට යාම නිසා ඇතිවන වෙනත් අතුරු ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත්, ඒවා මිරිස් කතාවට අදාළ නැහැ. 

දෙවන ප්‍රශ්නය ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බදු නොගහන නිසා ලංකාවේ මිරිස් ගොවියාගේ තරඟකාරිත්වය නැති වෙලාද කියන එක. ප්‍රශ්නයේම තියෙන තොරතුරු අනුව, අවුරුද්දකට මිරිස් ටොන් 5000ක් ලංකාවේ නිෂ්පාදනය කරනවා. එහෙම කරන්නේ මිරිස් විකුණලා ලාබයක් ලබා ගන්න පුළුවන් නිසා. ඒ විදිහට මිරිස් වවන අයට ඉන්දියාවෙන් එන මිරිස් එක්ක තරඟ කරන්න පුළුවන්. ඒ නිසා, මෙතැන ප්‍රශ්නය ඉන්දියාවේ මිරිස් නෙමෙයි.

දැන් ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බද්දක් දැම්මහම වෙන්නේ කුමක්ද? ඉන්දියාවෙන් එන මිරිස් ගණන් යනවා. ඒ එක්කම ලංකාවේ මිරිසුත් ගණන් යනවා. මිරිස් වවන එකේ ලාබ වැඩි වෙන නිසා මිරිස් වවන ප්‍රමාණය ටිකක් ඉහළ යයි. ඉන්දියාවෙන් මිරිස් එන එක ටිකක් අඩු වෙයි. සමහර විට මිරිස් ගොවියාගේ බිරිඳට මැදපෙරදිග යන්න අවශ්‍ය නැති වෙයි.

දැන් මිරිස් ආනයන වෙනුවෙන් රටින් යන ඩොලර් ටිකක් ඉතිරි වෙලා. නමුත්, අනෙක් පැත්තෙන් මැදපෙරදිගින් එන රියාල් අඩු වෙලා නිසා රටට වාසියක් නැහැ. ඒ වගේම ගොවි පවුලේ ජීවන තත්ත්වය ඉහළ ගිහිනුත් නැහැ. කලින් වෙනත් රැකියාවක් කරලා හොයපු මුදල දැන් මිරිස් වලින් හොයනවා. එච්චරයි.

අන්තිමට රටට ඩොලර් ඉතිරියක් හෝ ගොවි පවුලේ ආදායම් වැඩි වීමක් ලොකුවට නැහැ. නමුත් පාරිභෝගිකයින් විසින් මිරිස් වලට ගෙවිය යුතු මිල වැඩි වෙලා. හැබැයි රජයේ පැත්තෙන්නම් වාසියක් තිබෙනවා. මිරිස් වලට වැට් වගේ බද්දක් ගහලා රජය විසින් පාරිභෝගිකයින්ගෙන් මුදලක් එකතු කරගත්තා වගේ වැඩකුයි වෙලා තියෙන්නේ. බදු මුදල් වලින් රජය නඩත්තු කරන්න පුළුවන්. 

එතකොට ඉන්දියාව ගොවීන්ට සහනාධාර දෙනවානම් ලංකාවත් ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගන්න සහනාධාර දිය යුතු නැද්ද?

ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගත යුතු ඇයි? ගොවීන්ට කළ හැකි විකල්ප රැකියාවක් නැත්නම්, ඒ නිසා ඔවුන්ව රජයෙන් නඩත්තු කරන්න වෙනවානම්, ගොවීන්ගේ රැකියා සුරක්ෂිත කරන එකේ තේරුමක් තියෙනවා. එහෙම නැතුව ගොවි පවුලේ කවුරු හෝ මැද පෙරදිග ගිහින් හෝ රට ඇතුළේම වෙනත් රැකියාවක් කරලා සල්ලි හොයනවානම් ඔවුන්ව මිරිස් හේනටම හිරකරලා තියන්න හිතන එක වුනත් අන්ත පසුගාමී අදහසක්. 

ඉන්දියාව මොකක් හෝ හේතුවක් නිසා ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර දෙනවානම් එය ඉන්දියාවේ ප්‍රශ්නයක්. ඒ මිරිස් ලංකාවට ලාබෙට එනවානම්, එයින් අදහස් වෙන්නේ ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ලංකාවේ පාරිභෝගිකයා සුබසාධනය කෙරෙන බව. ඉතිං කොයි තරම් හොඳද? ඕක වෙනස් කරන්න මහන්සි විය යුත්තේ ඇයි? 

ඔය විදිහට ගියොත් රටේ කිසිම නිෂ්පාදනයක් වෙන එකක් නැහැනේ. හැමදේම පිටරටින්ම ගේන්න වෙනවානේ!

ඉතිං මොකක්ද අවුල? කොළඹ නගර සභා සීමාව වගේ කොටසක් ගත්තොත්, ඔය කොටසේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවෙන තරම්. නමුත්, වැඩිපුරම බඩගින්නේ ඉන්නේ ඒ අයද නැත්නම් මිරිස් වවන පැති වල අයද? 

හැමදේම පිටරටින්ම ගේන්න තරම් ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම්, එහෙම ගේන එකේ අවුලක් නැහැ. ලංකාවේ ප්‍රශ්නය ණය වෙවී ආනයනය කරන එක. ඇත්ත ප්‍රශ්නය ණය මිසක් ආනයන නෙමෙයි. රජය ණය වෙන්නේ නැත්නම්, ආනයන කරන්න වෙන්නේ උපයන මුදල් වලින්. ආනයන කරන්නේ මොන විදිහෙන් හෝ උපයන මුදල් වලින්නම් එහි ගැටලුවක් නැහැ. 

මිරිස් ගොවීන් සුබසාධනය කරන්නනම් වෙන කාගෙන් හරි ඒ මුදල බදු විදිහට අය කරන්න වෙනවා. තීරුබදු අවසාන වශයෙන් ගෙවන්නේ පාරිභෝගිකයා. සුබසාධනය මගින් ගොවියා ගොවිතැන ඇතුළේම හිර කරලා තියන්න පුළුවන්. එයින් වෙන්නේ ඔවුන් විකල්ප රැකියා වලට යන එක වලක්වනු ලැබීම සහ සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනය සීමා වීම. 

ලොකු වාසියක් නැතිකමටත් වඩා මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් සුබසාධනය කරන්න කැමති තරමට මිනිස්සු බදු ගෙවන්න කැමති නැති වීම. එවිට සුබසාධනය කරන්න වෙන්නේ ණය වලින්. එහෙම ණය අරගෙන තමයි මේ දැන් වෙලා තිබෙන අවුල වෙලා තියෙන්නේ.

ගොවීන්ට ජීවත් වෙන්න ආදායමක් නැත්නම්, කරන්න වෙන රැකියාවකුත් නැත්නම්, අවුලක් නැද්ද?

අනිවාර්යයෙන්ම ඒකේනම් අවුලක් තිබෙනවා. කරන්න වෙන රැකියා නැත්තේ ඇයි? රටේ ප්‍රමාණවත් තරමින් රැකියා නොහැදෙන නිසා. රැකියා හැදෙන්නනම් ආයෝජන ඉහළ යා යුතුයි. ආයෝජන කරන්නේ සමාගම් විසින්. සමාගම් වලට වැඩියෙන් ආයෝජන කළ හැක්කේ ලාබ වැඩි වෙන තරමටයි. එම ලාබ මත වැඩියෙන් බදු ගහන තරමට ආයෝජන අඩු වෙලා, රැකියා අවස්ථා අඩුවෙනවා.

සමාගම් විසින් වැඩියෙන් ලාබ උපයන එක අසාධාරණ නැද්ද? එයින් ආදායම් විෂමතා වැඩි වෙන්නේ නැද්ද?

කිසිසේත්ම නැහැ. සමාගම වැඩියෙන් ලාබ උපයන තරමට රැකියා අවස්ථා වැඩි වී ආදායම් විෂමතා අඩු වෙන එකයි වෙන්නේ. සමාගම් කියන්නේ නෛතික පුද්ගලයින් මිසක් සැබෑ පුද්ගලයින් නෙමෙයි. සැබෑ පුද්ගලයින්ට මෙන් නෛතික පුද්ගලයින්ට පරිභෝජනය කරන්න බැහැ. හැබැයි සමාගම් අයිතිකාරයින්ට පරිභෝජනය කරන්න පුළුවන්. ඔවුන්ගේ ආදායම් වැඩි වෙද්දී ආදායම් විෂමතා වැඩි වෙනවා. ආදායම් විෂමතා අඩු කරන්නනම් කළ යුත්තේ සමාගම් වලට බදු නොගසා සමාගම් වල අයිතිකාරයින්ට බදු ගහන එකයි. ඒ කියන්නේ ආයතනික ආදායම් බදු වෙනුවට පුද්ගල ආදායම් බදු වැඩියෙන් අය කරන එක ලංකාවේ වෙන්නේ එහි අනෙක් පැත්ත. රැකියා හොයා ගෙන රටින් යන්න වෙන එකත් මෙහි ප්‍රතිඵලයක්.

Sunday, March 6, 2022

හැට නවය දෙපළු වීම

 

ආණ්ඩුව සමඟ සිටි සුළු පක්ෂ එකොළහක් හරහා ආණ්ඩුව තුළ මුල සිටම පැවති ප්‍රතිවිරෝධී බලවේග වඩා හොඳින් නිරාවරණය වී තිබෙනවා. මේ පක්ෂ එකොළහෙන් වැඩි ප්‍රමාණයක් වචනාර්ථයෙන්ම සුළු පක්ෂ. සමහරක් තනි පුද්ගලයෙකු විසින් ඔසොවාගත් බෝඩ් ලෑලි පමණයි. මේ අතර තිබෙන, මේ වන විටද යම් ජන පදනමක් ඇති, එකම පක්ෂය ශ්‍රීලනිපයයි. ශ්‍රීලනිපයට වුවද මේ වන විට තනිව මැතිවරණයකට මුහුණ දී ලබා ගත හැක්කේ ඉතා සුළු නියෝජනයක් පමණයි. තනි පක්ෂ ලෙස ගත්තොත්, විමල් වීරවංශගේ පක්ෂය ඇතුළු, අනෙකුත් පක්ෂ හෝ කණ්ඩායම් වලට එවැනි ජන බලයක් හෝ නැහැ.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ඔවුන් විසින්ම විශාල ලෙස අතිශයෝක්තියට නංවා ඇතත් ඔහු විසින් ලබාගත් ඡන්ද ලක්ෂ හැට නවය ප්‍රතිශතයක් ලෙස ගත් විට 52.25%ක් පමණයි. ලංකාවේ ජනාධිපතිවරණ ගණනාවකදීම ජයග්‍රාහකයා විසින් මෙම ප්‍රතිශතය ඉක්මවූවා. 

ඇතැම් වාර්තා අනුව මේ වන විට ආණ්ඩුව අනුමත කරන ජනතා ප්‍රතිශතය 10% මට්ටම දක්වා පහත වැටී ඇති බව සමීක්ෂණ වාර්තා වලින් පෙනී ගොස් තිබෙනවා. කෙසේ වුවද, ආණ්ඩුව අනුමත කරන ප්‍රතිශතය 10% මට්ටමට පහත වැටී තිබීමෙන් ඔවුන් ආණ්ඩු විරෝධීන් වී ඇති බව හෝ පක්ෂය මාරු කර ඇති බවක් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ.

"හරි මග" කණ්ඩායම තුළ සිටින ප්‍රධානම බලවේගය ශ්‍රීලනිපය වුවත්, කණ්ඩායමේ ගතිකත්වය මෙහෙයවෙන්නේ විමල් වීරවංශ හරහා. තනි විමල් වීරවංශට වඩා කණ්ඩායමකට හේත්තු වූ විමල් වීරවංශ ගොඩක් ශක්තිමත්. ඒ වගේම, කිසිසේත්ම සමජාතීය නොවන මේ එකොළහේ කණ්ඩායම එක මිටක් වූ විට තනි තනිව ලොකු වැදගත් කමක් නැති මේ කොටස් එකොළහ ඒ කොටස් වල එකතුවට වඩා ගොඩක් ලොකු බලවේගයක් බවට පත් වෙනවා. 

ගෝඨාභයව ජනාධිපති කළ ලක්ෂ හැට නවයේ බලවේගය කියන්නෙත් "අයිතිකරුවෙකු නැති" කුඩා කොටස් විශාල ප්‍රමාණයක එකතුවක්. ඒ සන්දර්භය තුළ "හරි මග" කණ්ඩායමේ කැරැල්ලෙන් හැටනව ලක්ෂය පළු වීමක් පෙන්නුම් කරනවා. මෙය රඟපෑමක්ද, සැබෑ දේශපාලනික බෙදීමක්ද කියන එක මම කතා කරන්න යන කරුණට එතරම් අදාළ නැහැ.

මට වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය මේ ගැටුම තුළින් පිළිබිඹු වන ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම දෙසයි. එම ගැටුම සමඟ දේශපාලන දෘෂ්ඨිවාද ගැටුමක්ද නොගැලවිය හැකි ලෙස ගැට ගැසී ඇති නිසා ඒ ගැන කතා නොකර ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම පිළිබඳව කතා කළ නොහැකියි. ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා, දේශපාලන දෘෂ්ඨිවාද ගැටුම ගැන කතා කිරීම මගේ අරමුණ නෙමෙයි. ඒ වගේම, මේ ආර්ථික දෘෂ්ඨිවාද ගැටුම ගැන කතා කළ යුතු වන්නේ අනාගතවාදී ප්‍රවේශයකින්.

සංවෘත ආර්ථිකයක් මුල් කරගත් සමාජවාදී ආර්ථික ජාතිකවාදය හැත්තෑවේ දශකයේ සිට "බැසගෙන ගොස්" ඉතිහාසයේ කුණු බක්කියට විසි වී අවසන්ව තිබෙන අදහසක්. මේ වන විට සංවෘත ආර්ථිකයන් ක්‍රියාත්මක වන උතුරු කොරියාව, කියුබාව වැනි රටවල් ලෝක සිතියමේ නැති, වෙනම ලෝකයක තිබෙන රටවල්. ආරක්ෂණවාදය හා ආර්ථික ජාතිකවාදයන් එලෙස අවසන්ව නැතත් විසි එක් වන සියවසේ ආර්ථික ජාතිකවාදයන් ක්‍රියාත්මක වන්නේ හැත්තෑව දශකය පමණ දක්වා පැවති පැරණි ලෝකයේ නීති යටතේ නෙමෙයි. 

හැත්තෑව දශකය පමණ වන තුරු ජාතික සමාජවාදී ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම පිළිබඳ අදහසට සැලකිය යුතු පිළිගැනීමක් ලෝකය පුරාම, විශේෂයෙන්ම ලංකාව වැනි තුන් වන ලෝකයේ රටවල, තිබුණා. සමගි පෙරමුණු පරීක්ෂණයෙන් පසුව ලංකාව තුළ මේ අදහස තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වුනා. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසුව, ඒ වන තුරු ජාතික සමාජවාදී නැඹුරුවක් තිබුණු ශ්‍රීලනිපය ලිබරල් ජාත්‍යන්තරවාදය වෙත විතැන් වුනා. ඒ සමඟම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ එජාපය හා ශ්‍රීලනිපය අතර පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස්කම් බොහෝ සේ අඩුවුනා.

නමසිය අනූ තුනේදී පමණ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය විසින් "මානුෂික මුහුණුවරක් දී ධනවාදය හීලෑ කර ගන්නා බවට" උදාන පාඨයක් ඉදිරිපත් දමමින් ජාතික සමාජවාදය මත පදනම් වූ සංවෘත ආර්ථික ක්‍රමය අත හැර ජේආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය වැළඳ ගත්තා. එයින් පසුව, සංවෘත ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටියේ ජවිපෙ සහ තවත් බෝඩ් ලෑලි පක්ෂ ටිකක් පමණයි. දැනට පෙනී යන පරිදි ජවිපෙ විසින්ද සංවෘත ආර්ථික ක්‍රමය අත හැරීමට උත්සාහ දරමින් සිටිනවා. විසි එක් වන සියවසේදී ජාතික සමාජවාදී සංවෘත ආර්ථික ක්‍රමයක් කරා යාම යනු බරකරත්තයෙන් අනුරාධපුරයට යාමට වඩා වැඩි දෙයක් නෙමෙයි. 

මහින්ද රාජපක්ෂ යටතේ රාජපක්ෂලාගේ ආර්ථික ක්‍රමය කිසි විටෙකත් ආරක්ෂණවාදයක්, සංවෘත ආර්ථික ක්‍රමයක් හෝ ජාතික සමාජවාදයක්ව පැවතුණේ නැහැ. එවැනි ආර්ථික ක්‍රමයක් හරහා රාජපක්ෂ දශකය තුළ දැකිය හැකි වූ සාපේක්ෂවව ඉහළ ආර්ථික වර්ධනය හා භෞතික සංවර්ධනය දැකිය හැකි වීමේ කිසිදු ඉඩක් තිබුණේ නැහැ. ඇත්තටම කියනවානම් වෙළඳපොළ මත පදනම් වූ ලිබරල්, ජාත්‍යන්තරවාදී ආර්ථික ක්‍රමයක් හරහා වුවද රාජපක්ෂ දශකයේ සංවර්ධනය කරා යාමේ හැකියාවක් තිබුණේ නැහැ. රාජපක්ෂලා එතැනින්ද එහාට ගියා. 

කෙසේ වුවත්, රාජපක්ෂ ක්‍රමය ජාතිකවාදී ආර්ථික ක්‍රමයක් නෙමෙයි. එය ලොවෙත් නැති ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී ආර්ථික ක්‍රමයක්. ආරක්ෂණවාදය තුළ සිදු වන්නේ දේශීය නිෂ්පාදකයාට විදේශික නිෂ්පාදකයාට නැති විශේෂ වාසි සැලසීමයි. ලිබරල්, ජාත්‍යන්තරවාදී ආර්ථික ක්‍රමයක් තුළ දේශීය නිෂ්පාදකයා හා විදේශික නිෂ්පාදකයා එකිනෙකා සමඟ සාධාරණ තරඟයක නිරත විය යුතුයි. රාජපක්ෂ ක්‍රමය තුළ සිදු වුනේ විදේශීය නිෂ්පාදකයාට දේශීය නිෂ්පාදකයාට නැති විශේෂ වාසි සැලසීමයි. 

රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ සාර්ථකත්වයේ රහස මේ ප්‍රතිජාතිකත්වය හා ප්‍රතිආරක්ෂණවාදයයි. මේ ක්‍රමය යටතේ සිදු වන්නේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති හරහා දේශීය නිෂ්පාදකයාගෙන් විදේශීය නිෂ්පාදකයා රැක ගැනීමයි. බොහෝ විට මෙහි විදේශීය නිෂ්පාදකයා වූයේ චීන හා ඉන්දියානු නිෂ්පාදකයින්. 

දේශීය නිෂ්පාදන කඩා වැටීම, ආනයන ඉහළ යාම හා අපනයන පහළ යාම සැලසුම්සහගතව, අහම්බයෙන් හෝ උගුලකට අසුවීමෙන් රාජපක්ෂලා විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රමයේ නෛර්සර්ගික ලක්ෂණයක්. මේ දේවල් සිදු නොවී රාජපක්ෂ ක්‍රමයේ දැකිය හැකි සෞභාග්‍යයට පැවතිය නොහැකියි. මහන්සි වන ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිභෝජනය කළ හැකි ක්‍රමයක් කියන්නේ බොහෝ දෙනෙකුට සතුටු විය හැකි ක්‍රමයක්. එහෙත්, මේ ක්‍රමයේ ප්‍රශ්නය වන්නේ දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය නොගෙන මෙවැනි ක්‍රමයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නැති වීමයි. ණය ගන්න බැරි වූ විට පිරමිඩය කඩා වැටී සියල්ල කණපිට හැරෙනවා. 

ගෝඨාභයව තෝරා පත් කරගත් හැට නව ලක්ෂයෙන් සැලකිය යුතු කොටසක්, ඇතැම් විට බාගයක් පමණ, රාජපක්ෂ දශකයේ ආර්ථික සංවර්ධනයෙන් ඇස් ගිනිකණ වට්ටවා ගත් අයයි. ඔවුන්ට යහපාලන ආණ්ඩු කාලය තුළ "රනිල් විසින් ආර්ථිකය විනාශ කර දැමීම" විශාල ප්‍රශ්නයක්ව තිබුණා. යහපාලන කාලය තුළ දැකිය හැකි වූයේ සාර්ව-ආර්ථික පරාමිතීන් සමතුලිතව තබා ගනිමින් එම කාලයේදී ලංකාවට ළඟා කර ගත හැකිව තිබුණු ආර්ථික වර්ධන වේගයයි.

ඉහත කී කණ්ඩායම ආර්ථික නොවන අර්ථයකින් ජාතිකවාදීන් විය හැකි වුවත්, ඔවුන් හැම දෙනෙක්ම ආර්ථික ජාතිකවාදීන් වූයේ නැහැ. මොනයම්ම අයුරකින් හෝ ආරක්ෂණවාදීන් හෝ ජාතික සමාජවාදීන් වූයේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුනේ අධිවේගී හා කාපට් කළ මාර්ග, ඒ මාර්ග වල ධාවනය කළ හැකි සුඛෝපභෝගී වාහන, ආනයනික බඩු රාක්ක වල පිරුණු සුපිරි වෙළඳසැල්, දරුවන්ට විදේශ අධ්‍යාපනය. නිවාඩුවට පිටරට සවාරි ආදියයි. ආරක්ෂණවාදය හා ජාතික සමාජවාදය යනු මෙහි ප්‍රතිවිරුද්ධ අක්ෂයයි.

හැට නව ලක්ෂයේ කණ්ඩායමට නාමික බටහිර විරෝධයක් තිබුණා විය හැකි වුවත් එවැනි විරෝධයක් මතුපිටින් පෙන්වීමට ඔවුන්ට හැකි වුනේ බටහිර සංවර්ධනය මත පදනම් වූ සුවපහසු ජීවිතය තුළයි. නමට බටහිර විරෝධීන් වනු මිස මේ වැඩි දෙනෙකුට ඇත්තටම බටහිර විරෝධයක් තිබුණේ නැහැ. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති හරහාද මේ දිස්නෙ ගහන ආර්ථිකයට වැට බැඳීමක් කිසිසේත්ම සිදු නොවුනත්, ඒ වෙනුවෙන් මිලක්ද ගෙවිය යුතු වුනා. රනිල්ගේ ප්‍රතිපත්ති හා ජේආර්ගේ ප්‍රතිපත්ති අතරද මේ වෙනස කැපී පෙනෙනවා. ජේආර්ගේ ක්‍රමය වඩා කිට්ටු රනිල්ගේ ක්‍රමයට නොව රාජපක්ෂ ක්‍රමයටයි. 

බදු කැපීම ඇතුළු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හරහා ගෝඨාභය විසින් ප්‍රදර්ශනය කළේ යහපාලන ආණ්ඩු කාලයේ නොතිබුණු සැපක්, එහි මිල ගෙවීමෙන් තොරව ලබා දෙන්නට තමන් සූදානම් බවයි. දිගින් දිගටම ණය ගැනීමට හැකි වීනම් මෙය කළ හැකිව තිබුණා. 

මේ අයුරින් ආර්ථික සෞභාග්‍යය වෙනුවෙන් ගෝඨාභය තෝරා ගත් අය මෙන්ම, බොක්කේ ජාතිකවාදීන් යම් පිරිසක්ද මේ  හැට නව ලක්ෂය ඇතුළේ සිටියා. ඒ අය යම් තරමකින් නලින් ද සිල්වාගේ මතවාදී දරුවන් හා එම මතවාදය එහෙන් මෙහෙන් ඇහිඳගත් යයි. තමන් බර කරත්තයෙන් අනුරාධපුරයට යාම වෙනුවෙන් පෙනී නොසිටින බව නලින් ද සිල්වා විසින් පුන පුනා කීවත් ප්‍රායෝගිකව නලින් ද සිල්වාගේ මතවාද හරහා සිදු වී තිබෙන්නේ බර කරත්තයෙන් අනුරාධපුරයට යාම ප්‍රවර්ධනය වීමයි. බටහිර දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම හා බටහිර නම ගෑවුණු සියළු දෙය ප්‍රතික්ෂේප කිරීම ලංකාවේ බොහෝ දෙනෙකුට දෙකක් නොව එකක්. 

ලංකාවේ බටහිර විරෝධය නලින් ද සිල්වා විසින් හෝ ජාතිකවාදී කඳවුර විසින් ඇති කළ එකක් නෙමෙයි. එය කාලයක සිටම සමාජවාදී පක්ෂ විසින්ද වැපිරූ මතවාදයක්. ඊටත් පෙර සිටම අධිරාජ්‍ය විරෝධය හරහා නිසගයෙන්ම මතු වූ අදහස් සමුදායක්. බටහිර විරෝධයට තවමත් ලංකාව තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. 

බොක්කේ ජාතිකවාදීන්ගේ මනෝරාජික සිහිනය කිසිවක් ආනයනය නොකර හැම දෙයක්ම ලංකාවේම හදා ගැනීමයි. එසේ කර ඒ දේවල් හැකි තරම් අපනයනය කර ආදායම්ද ඉපැයීමයි. ඒ ඉලක්කය කරා යා හැකි මාර්ගය ලෙස ඔවුන් දකින්නේ ආරක්ෂණවාදයයි. රජය මුල් වී අපනයන දිරි ගැන්වීමෙන් මෙවැන්නක් කළ හැකිය යන ආචීර්ණකල්පික අදහසෙහි මේ පිරිස තවමත් හිර වී සිටිනවා. විමල් වීරවංශ විසින් නියෝජනය කරන්නේද මේ අදහසයි.

ගෝඨාභයව බලයට පත් කළ හැටනව ලක්ෂයේ බලවේගය කියා කියන්නේ වලිගයක් නැති දෙපැත්තේ ඔලු දෙකක් තිබෙන දෙපත් නයෙක්. එක පැත්තකින් රාජපක්ෂලා විසින් අනුගමනය කරමින් සිටි ලිබරල් ජාත්‍යන්තරවාදයෙන්ද එහාට ගිය ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී වැඩ පිළිවෙළ. අනෙක් පැත්තෙන් ලංකාවේ ජාතිකවාදීන් සැලකිය යුතු පිරිසකගේ සිහිනය වන ආරක්ෂණවාදී ජාතිකවාදය. මේ දෙකට මොන විදිහකින්වත් එකට යන්න බැහැ. 

රාජපක්ෂලාගේ දේශපාලන පෞරුෂය තුළ ඔවුන් මේ එකිනෙකට හාත්පසින් වෙනස් අවශ්‍යතා තිබෙන බලවේග දෙක එකතු කර ගැනීමට සමත් වෙනවා. මහින්ද රාජපක්ෂගේ කාලයේදී එම ආණ්ඩුව විසින් ඇත්තටම ක්‍රියාත්මක කළේ ප්‍රතිජාතිකවාදී, ප්‍රතිආරක්ෂණවාදී වැඩ පිළිවෙළ පමණයි. එහෙත්, ඔවුන් ප්‍රසිද්ධියේ කතා කරද්දී ආරක්ෂණවාදී ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින් ලස්සනට මිනිස්සුන්ව ඇන්දුවා. ගොඩක් මිනිස්සුන්ට අවසාන වශයෙන් අවශ්‍ය වුනෙත් ඒ වගේ දෙයක්. හරියටම කිවුවොත් බටහිරට බැණ බැණ බටහිරින් එන දේවල් වල ප්‍රතිලාභ අත් විඳින්න. ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ රාජපක්ෂලා හදලා දුන්නා. 

මහින්දට තේරුණු, බැසිල්ට තේරෙන මේ සෙල්ලම ගෝඨාභයට හරියට තේරුණේ නැහැ. මහින්ද පපුවට ගහලා කරන බව කියන නමුත් ජීවිතේට නොකරන දේවල් ගෝඨාභය කරන්න ගියා. එක පැත්තකින් ගෝඨාභයට එහෙම නොකර බැරි වුනා. එක උදාහරණයක් ගත්තොත් මැතිවරණයට කළින් රාජපක්ෂලා MCC එක සම්බන්ධව අනුගමනය කළේ කොන්ඩම් ප්‍රතිපත්තියක්. මැතිවරණ වේදිකා වල කතා කරද්දී වුනත් රාජපක්ෂ පවුලේ අය MCC එකට විරුද්ධව කතා කළේ ඉතාම පරිස්සමෙන්. නමුත්, මැතිවරණයෙන් පස්සේ යූ-ටර්න් එකක් ගන්න බැරි තරමට වැඩේ දුර දිග ගිහින් තිබුණා. දැන් IMF නොයාමත් මේ වගේම වැඩක්.

මහින්දගේ අන්තිම අවුරුදු වලදීත් පීබී-විමල් ගැටුම් විදිහට ඔලු දෙකේ ප්‍රශ්නය මතු වුනා. හැබැයි මහින්ද මේ ප්‍රතිවිරෝධතා ඉතා හොඳින් කළමණාකරණය කරගත්තා. පීබී කරගෙන යන විදිහට කරන්න නොදී ඇඟිලි ගහන්න ගියොත් අමාරුවක වැටෙන බව මහින්දට ඉවෙන් වගේ තේරිලා තිබුණා. අනෙක් පැත්තෙන් පීබී මැතිවරණ වලට නොයන නිසා විමල්ට හිතුමනාපෙට පීබී මුවහමට තඩිබාන්නත් ඉඩ දීලා තිබුණා.

මේ සෙල්ලම තේරුම් ගත හැකි තරමේ දේශපාලන පරිණතභාවයක් ගෝඨාභයට තිබුණේ නැහැ. ඔහු පටන් ගත්තෙම නාරාහේන්පිට හාල් කඩේට පැනලා. ඊට පස්සේ මහ බැංකුවටත් පැන්නා. අන්තිමේදී කුඹුරටත් පැන්නා. දැන් වලං කද බිඳිලා. කුඹුරත් විනාසයි. 

ඔය ඔක්කොම වුනාට පස්සේ ගෝඨාභයට බැසිල් වෙත හැරෙනවා ඇරෙන්න වෙන මාර්ගයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් බැසිල්ට වුනත් එන්ජිම ස්ටාට් කරන්න ලේසි නැහැ.

Friday, September 18, 2020

ජාතික ආර්ථිකය නැංවීම හා ආරක්ෂණවාදය


කෝවිඩ් ලෝකයේ හැම රටකම වගේ ආර්ථික ව්‍යුහයන්ට විශාල බලපෑමක් කරලා තිබෙනවා. හැම රටක්ම කිවුවහම ලංකාවත් අනිවාර්යයෙන්ම ඇතුළත්නේ. මේ බලපෑමේ එක් ප්‍රතිඵලයක් වන්නේ රටවල් යම් තරමකින් සංවෘත ආර්ථිකයන් බවට පත් වීම.

මම මේ කතා කරන්නේ ආනයන සීමා කිරීම් වගේ දේවල් ගැන නෙමෙයි. රජයයන් මැදිහත් වී කරන එවැනි දේ අපි පැත්තකින් තියමු. එවැනි මැදිහත් වීමක් නැතත්, සංචාරක කර්මාන්තය, ගුවන් සේවා වගේ අංශ ස්වභාවිකම හැකිළී තිබෙනවා. 

මේ මාදිලියේ කම්පනයකින් කිසියම් රටක ආර්ථිකයට සිදු වන බලපෑම රටක් කොයි තරම් දුරකට ජාත්‍යන්තර වෙළඳාමට නිරාවරණය තිබුණාද කියන එක මත සෑහෙන දුරකට තීරණය වෙනවා. එහෙත්, එය එකම සාධකය නෙමෙයි.

ලෝකය ජාත්‍යන්තර වෙළඳාම හරහා එකම යායක් සේ සම්බන්ධ වීම 1970 දශකයේ මුල පමණ සිට දැකිය හැකි වූ ප්‍රවණතාවක්. සමස්ත ලෝකයම ගත් විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව 1970 දී තිබුණු 27% මට්ටමේ සිට වේගයෙන් වර්ධනය වී 2008 වෙද්දී 60% මට්ටම ඉක්මවා ගියා. එහෙත්, 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව මේ ප්‍රවණතාවය වෙනස් වී ජාත්‍යන්තර වෙළඳාම පසුගිය දශකයකට වඩා වැඩි කාලය තුළ 60% මට්ටම ඉක්මවිය නොහැකිව "ගල් වී" තිබෙනවා. කෝවිඩ් ආවේ එවැනි පසුබිමකයි.

ඉහත කී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව යනු එක් එක් රටෙහි ආර්ථිකය කෙතරම් දුරට ලෝකයට නිරාවරණය වී ඇත්දැයි පිරික්සිය හැකි පිළිගත් නිර්ණායකයක්. ලෝක මට්ටමේදී ජාත්‍යන්තර වෙළඳ පරිමාවේ හැසිරීම් රටාව හා ඇමරිකා එක්සත් ජනපදයේ එම රටාව බොහෝ දුරට සමානයි. එයින් පෙනෙන්නේ සමස්ත ලෝකයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාවට ඇමරිකාවේ දායකත්වය කොපමණද කියන එකයි.

ජාත්‍යන්තර වෙළඳාමට ඇමරිකාවේ බලපෑම එපමණ වුවත් ඇමරිකාවට ජාත්‍යන්තර වෙළඳාමේ බලපෑම එතරම්ම විශාල නැහැ. ලෝකයේ වෙනත් රටවල් සමඟ ඉහත කී නිර්ණායකය සංසන්දනය කළ විට මේ කරුණ පැහැදිලිව පෙනෙනවා. 

තෝරාගත් රටවල් කිහිපයක දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව පහත දැක්වෙන පරිදියි. මේ අගය අඩුනම් එයින් අදහස් වන්නේ අදාළ රටේ ආර්ථිකයට බාහිර සාධක වල බලපෑම අඩු බවයි. වෙනත් විදිහකින් කිවුවොත් අදාළ රටේ ජාතික ආර්ථිකය කොයි තරම් ශක්තිමත්ද කියන එකයි.

ඕස්ට්‍රේලියාව - 46%

බ්‍රසීලය - 29%

කැනඩාව - 65%

ජර්මනිය - 88%

එක්සත් රාජධානිය - 64%

ඉන්දියාව - 40%

පකිස්ථානය - 30%

බංග්ලා දේශය - 37%

ජපානය - 37%

චීනය - 36%

රුසියාව - 49%

කියුබාව - 27%

මියන්මාරය - 61%

සිංගප්පූරුව - 319%

ලංකාව - 52%

ඇමරිකා එක්සත් ජනපදය - 26%


මේ සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුවැන්න තමයි ධනවාදය කියා කියන්නේ හැම දෙයක්ම පිටරටකින් ගෙන්වන එක නොවන බව. ධනවාදය හා හැම දෙයක්ම පිටරටින් ගෙන්වීම කියන්නේ එකම දෙයනම් මේ ලැයිස්තුවේ තිබෙන වැඩියෙන්ම ධනවාදී රට සේ සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට චීනය, කියුබාව, රුසියාව, ලංකාව ඇතුළු ලැයිස්තුවේ අනෙක් හැම රටකටම වඩා අඩු වෙන්න විදිහක් නැහැනේ. 

ලැයිස්තුවේ නැති රටවල්ද ඇතුළත්ව ලෝකයේ රටවල් 216ක් අතරින් ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට ජාත්‍යන්තර වෙළඳ පරිමාව අඩුම රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ කියන්නේ ලෝකයේ ශක්තිමත්ම ජාතික ආර්ථිකය තිබෙන රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරම, ලෝකයේ මේ සියලුම රටවල් අතරින් ජාත්‍යන්තර වෙළඳ පරිමාව වැඩිම රටත් ඇමරිකා එක්සත් ජනපදයයි. 

ඇමරිකා එක්සත් ජනපදය කියා කියන්නේ තමන්ගේ රටේ නිෂ්පාදකයින්ට එකිනෙකා සමඟ වගේම ලෝකයේ අනෙක් රටවල නිෂ්පාදකයින් සමඟත් තරඟ කරන්න ඉඩ හැර සිටින රටක්. ඒ තරඟයට මුහුණු දිය නොහැකි නිෂ්පාදකයින්ව රජය මැදිහත් වී ආරක්ෂා කර ගැනීම ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතාම අඩුවෙන් සිදු වන දෙයක්. ඒ වගේම, ඇමරිකාවේ පාරිභෝගිකයින්ට ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදනයක් මිල දී ගැනීම අමාරු වැඩක් නෙමෙයි. 

ඒ අනුව අපට ඉහත දත්ත වලින් තහවුරු කරන දෙවන කරුණ විස්තර කළ හැකියි. ජාත්‍යන්තර වෙළඳාමට නිරාවරණය වූ පමණින් ජාතික ආර්ථිකයක් දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා, ජාතික ආර්ථිකයක් ගොඩ නංවන්න ආරක්ෂණවාදය වෙත පසු බසින්න අවශ්‍ය නැහැ.

වෙබ් ලිපිනය: