ඉකොනොමැට්ටා බිහි වී අදට අවුරුදු දහයක් වෙනවා. මේ කාලය පුරා අප සමඟ රැඳී සිටි ඔබ සැමට ස්තුතියි!
මේ වියුණුව පටන් අරගෙනත් දැන් අවුරුදු අටක් අවසන් වෙලා. ඒ කියන්නේ අපිත් කොහොම හරි අට ගහලා!
ඔය අවුරුදු අට ඇතුළත කොයි තරම්නම් දේවල් වුනාද? ඇමරිකාවේ වගේම ලංකාවෙත් ජනාධිපතිවරුන් තුන් දෙනෙක්ගේ යුග ගෙවුනා. ලංකාවේනම් දැන් ඉන්නේ අටවන ජනපති. ඔය අතර දරුණු වසංගත කාලයක් ගෙවුනා. යාන්තමින් අපෙත් පණ බේරුණා. ඒ නිසා ඉකොනොමැට්ටා සන්නාමයත් නොමැරී බේරුණා.
වියුණුව පටන් ගනිද්දී ලේඛකයාගේ ඉලක්කය වුනේ අවුරුදු පහක්, ලිපි දාහක්, හිට්ස් මිලියනයක් කියන එක. පටන් ගනිද්දී කිවුවට පටන් ගනිද්දීම නෙමෙයි. පටන් ගත්ත අවුරුද්දේ එක්තරා නිශ්චිත අවස්ථාවකදී. මුල්ම ඉලක්කය වුනේ ලිපි සීයක් ලියන්න. ඔය ඉලක්කය ගැන හිතුවේ ඊට පස්සේ.
ඔය ඉලක්ක වලට ගිහින්නම් දැන් කාලයක් වෙනවා. මේ වෙද්දී ලිපි 1,325ක් පළ කර තිබෙනවා. මේක 1,326. හිට්ස් මිලියන 1.4කට කිට්ටු වෙලා තිබෙනවා. පීක් එක ඉවර වෙලා කාලයක් වුනත්, තවමත් දවසකට හාර පන්සීයක් මෙහි පැමිණ මෙය කියවනවා. නමුත්, මේ වෙද්දී වත්පොත හරහා අප ලියන දේ කියවන පිරිසට සාපේක්ෂව මෙහි පැමිණ කියවන්නේ අඩු පිරිසක්.
වියුණුව පටන් අරගෙන කෙටි කලක් යන තුරු කියවන්නන් වැඩි පිරිසක් මෙහි පැමිණියේ වෙනත් වියුණු හා සින්ඩි හරහා වුනත් ඉන් පසු දිගටම මෙන් වැඩි වැඩියෙන් කියවන්නන් මෙහි පැමිණියේ වත්පොත හරහා. මෙහි පළ කරන ලිපි වත් පොත හරහා ප්‍රසිද්ධ කිරීම අවහිර කරනු ලැබීමෙන් පසුව ඒ පීක් එක ඉවර වුනා.
ඉන් පසුව, ආසන්න වශයෙන් පසුගිය වසරකට වැඩි කාලය තුළ, අප විසින් අපගේ ලිපි සෘජු ලෙසම වත්පොතෙහි පළ කරනු ලැබුවා. මේ වෙද්දී මෙම ලිපි වියුණුවෙහි පළ කිරීමේ ප්‍රධානම අරමුණ ලිපි සංරක්ෂණය කිරීමයි. වසර හත අතකට පෙර මෙන් නොව, මේ වන විට වත්පොත සංවාද සඳහා හොඳ වේදිකාවක්. මෑතකදී වියුණුව හරහා වැදගත් සංවාද සිදු වී නැහැ.
කෙසේ වුවත්, අපට මේ වන විට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මෙහි පළ කරන ලිපි සංරක්ෂණය කිරීම පිළිබඳ තාක්ෂණික ගැටළුවකට මුහුණ දීමට සිදු වී තිබීමයි. ලිපි ප්‍රමාණය ඉතා විශාල නිසාත්, එම ලිපි බොහොමයක්ම දිගු ලිපි නිසාත්, පසුගිය සැප්තැම්බර් පමණ සිට වියුණුව එකවර බැකප් කර ගබඩා කර ගැනීම අසීරු වී තිබෙනවා. මේ වගේ දේවල් එක පැත්තකින් බැලුවහම වෙනස් වීම සඳහා කරන සංඥා කියා කියන්නත් පුළුවන්.
පහත තිබෙන්නේ අපගේ ඡායා වියුණුව:
https://econometta.blogspot.com/
ඒ වගේම, පහත තිබෙන්නේ අපගේ අනෙකුත් ප්‍රධාන වියුණුව:
http://emgesathapaha.blogspot.com/
ඉදිරි කාලයේදී මෙම වියුණුව යාවත්කාලීන නොවුවහොත් කරුණාකර ඉහත වියුණු දෙකට පිවිසෙන්න.
වසර අටක් හෝ අඩු කාලයක් අප හා රැදී සිටි ඔබට අපගේ ප්‍රණාමය!
ඉකොනොමැට්ටාගේ බොජුන්හල විවෘත කරමින් මුලින්ම පළ කළ ලිපිය ආරම්භ වී තිබුණේ ඉහත පරිදියි. නිකම්ම පටන්ගත් මේ වියුණුව මුලින්ම කියවූයේ ඉතාම සීමිත පිරිසක්. එහෙත් වැඩි කල් නොයා එම පිරිස ටිකෙන් ටික වර්ධනය වුනා. ඒ පිරිස විසින් දිගින් දිගටම ලියන්න උත්තේජනයක් සැපයුවා.
මෙය මේ වියුණුවේ පළවන 960 වන ලිපිය. දැනට පළව ඇති ලිපි බොහොමයක් ආර්ථික විද්‍යාවට සම්බන්ධ ඒවා වුවත් වෙනත් විවිධ විෂය පරාසයක ලිපිද අප මෙහි ලියා පළ කර තිබෙනවා. එහෙත් ලියා නැති, ලියන්නට අවශ්‍ය තවත් විෂයයන් හා මාතෘකා ගණනාවක් තිබෙනවා.
වියුණුව පටන් ගනිද්දී ලේඛකයාගේ සතුට වෙනුවෙන් ලේඛකයාට අවශ්‍ය දේ සටහන් කරනු හැර වෙනත් කිසිදු බරපතල ඉලක්කයක් තිබුණේ නැහැ. දැනුත් එහි වෙනසක් නැහැ.
මම හිතන විදිහට අප මේ වියුණුව පටන් ගන්නා විට "සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගය" අවසන් වෙලා. විශේෂයෙන්ම පහුගිය වසර දෙකක පමණ කාලය තුළ සමස්තයක් ලෙස බ්ලොග් කියවීම වගේම ලිවීමත් අඩු වෙලා තිබෙනවා. එහෙත් සීමිත බ්ලොග් ප්‍රමාණයක් කාලයේ පරීක්ෂණය සමත්ව ඉතිරි වී තිබෙනවා. ඒ එක්කම බ්ලොග් වලත්, බ්ලොග් කියවන්නන්ගේත් යම් ගුණාත්මක වර්ධනයක්ද දැකිය හැකියි.
අප ලියන දේ නොවරදවා කියවන අතරම වෙනත් අය මෙය කියවීම වැළැක්වීමේ අරමුණින් විවිධ දේ කරන පිරිසක්ද බිහි වී තිබීමෙන් පෙනෙන්නේ අප ලියන දෙයින් ඇතැම් අයට දැනෙන බලපෑමක් සිදු වන බවයි. අප ලියන දේ කියවා ඔබට වෙනස් වෙන්නට අවශ්‍යයැයි සිතෙනවානම් ඔබ වෙනස් වෙන්න. එහෙත් අප ඔබට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. අප ලියන දේ කියවා ඔබ සතුටක් ලබනවානම් මෙය කියවන්න. ඔබට දැනෙන්නේ කේන්තියක්නම්, වෛරයක්නම් මෙය නොකියවා ඉන්න.
වසර හයකට පෙර අප පළ කළ පළමු ලිපිය අවසන් කළ විදිහටම මේ ලිපියත් අප අවසන් කරනවා.
එහෙමනම් ඉතිං ඔහොම යං!
මෙසේ අපේ වියුණුවට පැමිණිය හැකි වෙබ් ලිපිනය වත්පොතේ වාරණය වී ඇතත්, අපේ වත්පොත් පිටු වාරණය වී නැහැ. ඒ නිසා අවශ්‍යනම් ඕනෑම ලිපියක් මුළුමනින්ම එහි පළ කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. භාවිතා කළ හැකි විකල්ප තාක්ෂනික උපක්‍රමද තිබෙනවා. එහෙත්, විශේෂ අවශ්‍යතාවයක් මතු නොවුවහොත් අප වත්පොත පෙර ආකාරයෙන් භාවිතා කිරීම කරා යොමු වන්නේ නැහැ. අපහාස කියන දේ සාපේක්ෂ නිසා, දැනට අප මෙය සැලසුම් සහගත වැඩක්ද යන්න හෙවීමට බර නොතබා "පාඨක මතයට" ගරු කරනවා.
මෙහි ලියන ලිපි හැම එකක්ම විශාල පිරිසක් කරා ගෙන යාම අපේ ඉලක්කයක් නෙමෙයි. අපට අවශ්‍ය වන්නේ මෙහි ලියන දේ කියවනු දකින්නට අප කැමති සීමිත පිරිසක් වෙත මේ ලිපි යනු දකින්නයි. වත්පොත හරහා හෝ වෙනත් ක්‍රමයකින් ඇතැම් ලිපි විශාල පිරිසක් අතර ප්‍රචාරය වන්නට ඉඩ හැරීමේ අරමුණ වන්නේ පෙර කී කුලකයට අයත් සීමිත පිරිස් ආකර්ෂණය කර ගැනීමයි. මේ සීමිත පිරිස යනු අප සමඟ අදහස් අතින් එකඟ වන අය නෙමෙයි. එහෙත්, අප ලියන දේද ඇතුළු ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළි නොගන්නා, තමන්ගේ මත නිවැරදි නොවන බව පෙනෙන විට ඒ බව පිළිගැනීමට සූදානම් අයයි. ඔවුන් එසේ කළ යුත්තේ ඔවුන් වෙනුවෙන්ම මිස මා වෙනුවෙන් නෙමෙයි.
අවවාද නොතකා වැරදි පාරක යාමෙන් අමාරුවේ වැටෙන්නේ එසේ යන අය මිස අවවාද දෙන්නා නෙමෙයි. මේ බව දන්නා නිසා, මා හැම විටම උත්සාහ කරන්නේ මගේ ලෝකය වඩා නිරවුල් කර ගැනීමටයි. මේ වියුණුව හරහා මට ලැබෙන ලොකුම ප්‍රයෝජනය පෞද්ගලිකව මට ඉගෙන ගන්නට ඉඩ ලැබීමයි. ඇතැම් විට මා ඉගෙන ගන්නේ ප්‍රශ්න අසන අය නිසා. ප්‍රශ්නයකට පිළිතුරු දෙන හැම විටම මගේ අදහස් වඩා නිරවුල් වෙනවා. ඇතැම් විට මා ඉගෙන ගන්නේ මා සමඟ එකඟ නොවන අය නිසා. මා නොදන්නා තොරතුරු වෙනත් අය විසින් ප්‍රතිචාර සේ ඉදිරිපත් කරන අවස්ථාද දුලබ නැහැ.
පොදු වශයෙන් ගත් විට බොහෝ දෙනෙක් මා සමඟ එකඟ නොවන තැනක් වන්නේ "ඇමරිකන් ක්‍රමය" අගය කිරීමයි. ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් කියා කියන්න පුළුවන්. ඇමරිකානු ක්‍රමයේ මේ සාධක තුනම මා අගය කරනවා. ඇමරිකාව මේ තැනට පැමිණ තිබෙන්නේ මේ සාධක තුන නිසා. මේ තුනටම අද වෙද්දී ලෝක ආධිපත්‍යයක් තිබෙනවා. එය පරිණාමය තුළ වෙනත් විකල්ප සමඟ තරඟ කර උචිතතමයා ඉතිරිවීම හරහා සිදු වූ දෙයක්. ධනවාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට හෝ බටහිර විද්‍යාවට මේ වන විට වඩා හොඳ විකල්ප නැහැ.
බටහිර විද්‍යාව ලෝකයේ තිබෙන එකම දැනුම් පද්ධතිය නොවූවත් එය ගොඩ නැගී තිබෙන්නේ වෙනත් දැනුම් පද්ධති වල ඇති සාධනීය අංග පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි ආකාරයකින්. ධනවාදය තුළද මේ ලක්ෂණය තිබෙනවා. ආර්ථික සෞභාග්‍යය නොවන වෙනත් දෙයක් සමාජ අරමුණක් වීමෙන් පසුව එය සාක්ෂාත් කර ගැනීම සඳහා ධනවාදය විනාශ කළ යුතු වන්නේ නැහැ. ධනවාදයට අවශ්‍ය පරිදි වෙනස් විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහසුවෙන් ඒකාධිපතිත්වයක් ඇති විය හැකි වුවත් ඒකාධිපතිත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැක්කේ විශාල මිලක් ගෙවීමෙන් පසුවයි. ඒ නිසා, ඒකාධිපතිත්වයක් තුළ තිබෙන කවර හෝ සාධනීය අංගයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගැනීම තාර්කික තීරණයක් නෙමෙයි.
ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් වුවත් ප්ලේටෝනික අර්ථයකින් ඔය තුනෙන් එකක්වත් ඇමරිකාවේ නැහැ. ඒ වගේම, මේ තුනෙන් එකක්වත් ප්ලේටෝනික පරිපූර්ණත්වයන් නෙමෙයි. අපට ඇමරිකානු ක්‍රමය හෝ ඉහත කී ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව යන සංකල්ප විවේචනය කරන්නට අවශ්‍යනම් එය කරන එක අසීරු දෙයක් නෙමෙයි. එසේ කළහොත්, මෙය කියවන බොහෝ දෙනෙක් අප සමඟ එකඟ වෙයි. නමුත්, එවැනි කාර්යයකින් සිදු වන කිසිදු යහපතක් නැහැ.
සිංහලෙන් ලියන මේ වියුණුවේ පළ වන ලිපි කියවන කිසිවෙකුට ඇමරිකානු ක්‍රමය දශමයකින් හෝ වෙනස් කරන්න බැහැ. එය කළ හැක්කේ ඇමරිකාවේ ජීවත්වන තරුණ පරපුරටයි. ඔවුන්ට කතා කරද්දී ඇමරිකානු ක්‍රමයේ වෙනස් විය යුතු තැන් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා ගැන මා කතා කරනවා. පරිණාමික ක්‍රියාවලිය තුළ ඇමරිකාවට වඩා ගවු ගණනක් පසුපසින් ඉන්න සමාජයක් මුලින් දැන ගත යුත්තේ ඇමරිකාව අද සිටින තැනට පැමිණි ආකාරය මිසක්, ඇමරිකාව අද අත්පත් කර ගෙන තිබෙන ප්‍රගතිය කඩා වැටිය හැක්කේ කොහොමද කියන එක නෙමෙයි.
ලෝකය ඉතා වේගයෙන් ප්‍රතිනිර්මාණය වෙමින් තිබෙනවා. එය සිදුවන්නේ සීමිත පිරිසකගේ දායකත්වයෙන් මිසක් හැම දෙනෙකුගේම දායකත්වයෙන් නෙමෙයි. පරිණාමික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එහි බලයට මිස සාධාරණත්වයට ප්‍රමුඛත්වය ලැබී නැහැ. ලෝකය ප්‍රතිනිර්මාණය කෙරෙන කටයුත්ත සිදු වෙමින් පවතින්නේ අප කවුද කියන එක පවා වෙනස් කරමින්. මෙහිදී අප ලෙස සඳහන් කළේ පොදුවේ හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලාගේ භෞතික සිරුර හා ඔවුන් සිතන පතන ආකාරයයි. කුඩා කණ්ඩායමක් විසින් අනාගත ලෝකය වගේම අනාගත මිනිසාවද සැලසුම් කරමින් සිටින අතර අනාගත ලෝකයේ සාධාරණත්වය යනු කුමක්ද යන්න තීරණය වීමට නියමිතව ඇත්තේ ඔවුන් අතින්.
ඇතැම් රටවල් සිටින්නේ රටවල් ලෙසින්ම මේ කණ්ඩායමෙන් බැහැරවයි. පරිණාමික ක්‍රියාවලියක් තුළ පරිසරයට උචිත පරිදි වෙනස් විය නොහැකි ජීවීන් ලෝකයෙන් අතුරුදහන්ව යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ආර්ථික ජාතිකවාද හා බද්ධ වී ඇති සංස්කෘතික ජාතිකවාද වලින් කෙරෙන්නේ අනුචිත සංස්කෘතික චර්යාවන් වැඩි සංස්කෘතීන් ඒවායේ ඇතැම් සාධනීය අංගද සමඟ මුළුමනින්ම මිහිමතින් තුරන්ව යාමට ඉඩ සැලැස්වීමයි.
මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙක් යුවාල් හරාරි ගැන දන්නවා. කතා කරනවා. වසර පහමාරකට පෙර ඔහු ගැන මෙම වියුණුව හරහා සිංහල පාඨකයින්ට හඳුන්වා දෙද්දී සිංහලෙන් ලියවුනු කිසිදු ලියැවිල්ලක ඔහු ගැන කතා කර තිබුණු බවක් මා දන්නේ නැහැ.
හරාරිට අනුව මිනිසා අද සිටින තැනට පැමිණෙන්නට හේතු වී තිබෙන්නේ වසර හැත්තෑ දහසකට පමණ පෙර සිදු වුනු වාසිදායක ජාන විකෘතියක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වුනා. හරාරි විසින් චින්තන විප්ලවය සේ හඳුන්වන මේ සිදුවීමෙන් අනතුරුව අහම්බෙන් ජාන විකෘතියක් සිදු වන තුරු වසර දහස් ගණනක් බලා නොසිට පරිසරයට උචිත පරිදි සංස්කෘතික ලෙස පරිණාමය වන්නට මිනිස්සුන්ට හැකි වුනා. හරාරි විසින් ලියා තිබෙන හැම දෙයක්ම ශුද්ධ වූ ලියැවිලි ලෙස මා භාර ගන්නේ නැතත් මිනිස් දියුණුව හා වියුක්ත ලෙස සිතීමේ හැකියාව අතර සම්බන්ධය අපට නොසලකා හැරිය නොහැකි ඉතා වැදගත් සම්බන්ධයක්.
අප යමක් දන්නේ කොහොමද? මිනිස් මැෂිම ක්‍රියා කරන්නේ කොහොමද?
අප ඉපදෙන්නේම බොහෝ දේවල් "දැනගෙන". මේ දේවල් අප විසින් වසර ලක්ෂ ගණනක් පුරා අත්දැකීම් හරහා දැනගත් දේ. අප මෙන්ම වෙනත් සතුන් හා ගස් වැල් ද "ඉපදෙන්නේ" වසර ලක්ෂ හෝ මිලියන ගණනක් තිස්සේ එකතු කරගත් දැනුම් සම්භාරයක් සමඟ. ඒ දැනුම අපේ ජාන වල ගබඩා වී තිබෙනවා. අප ඇතැම් දේ කරන්නේ ඇල්ගොරිදම් වලට අනුවයි. අපේ හැඟීම් කියන්නේ මේ ඇල්ගොරිදම් වල ප්‍රතිඵල. මෙවැනි ඇතැම් ඇල්ගොරිදම් ප්‍රතිඵල වලට එරෙහිව අපට නිදහස් තීරණ ගන්න ඉතා අසීරුයි. වියුක්ත ලෙස නොසිතා එවැන්නක් කෙසේවත් කළ නොහැකියි.
- සත්තු වත්තේ ඝනකම වීදුරුවකින් වෙන්ව සිටින වලහෙක් ක්ෂණිකව වීදුරුවේ අනික් පැත්තේ සිටින අප වෙත පැන්නොත් එක වරම අපි බිය වී පස්සට පනින්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී වලසා විසින් පහර දෙනු ලැබ එයින් ජීවිතය අවසන් වීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. මේ උදාහරණය ලංකාවට ගැලපෙන්නේ නැත්නම් හදිසියේ වත්තේ දකින සර්පයෙක් ගැන හිතන්න.
- අහම්බෙන් විරුද්ධ ලිංගිකයෙකු දුටු විට ආකර්ශනයක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ දකින පුද්ගලයා සමඟ එකතු වී සරු ජනිතයෙකු බිහි කිරීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා.
- අහම්බෙන් දකින පැණි රස කෑමක් කන්න පෙළඹවීමක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ ආහාරය ලබා ගැනීමෙන් ජීවත් වීමේ සම්භාවිතාව කෙතරම් ඉහළ දමා ගත හැකිදැයි ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා.
ඇල්ගොරිදම් හරහා පැමිණෙන මේ තීරණ බොහෝ විට නිවැරදි නැහැ. වසර දස දහස් ගණනක දත්ත යොදාගෙන පරිණාමික ක්‍රියාවලිය විසින් සුසර කර තිබෙන මේ ඇල්ගොරිදම් අද පරිසරයට ගැලපෙන පරිදි යාවත්කාලීන වී නැහැ. පරිණාමික ක්‍රියාවලිය ඉතා සෙමින් සිදු වන ක්‍රියාවලියක්. පරිණාමික ක්‍රියාවලිය තුළ සෑහෙන ප්‍රමාණයකට අනුචිත ඉතිරි වීම් වන අප සාර්ථක ලෙස මිහිමත ඉතිරි වී සිටින්නේ සංස්කෘතික පරිණාමය හරහා අපේ ජීවවිද්‍යාත්මක ඇල්ගොරිදම් වල වැරදි තීරණ නිවැරදි කර ගන්නට අප සමත්ව තිබෙන නිසයි. මෙයට උපකාරී වී තිබෙන්නේ මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වීමයි.
අපගේ ජාන හරහා අපට ලැබෙන මූලික මට්ටමේ දැනුමෙන් පසුව අපට ලැබෙන ඊළඟ මට්ටමේ දැනුම් වන්නේ අපේ පංචේන්ද්‍රියයන් හරහා ලබා ගන්නා අනුභූතික දැනුම්. අනුභූතික අත්දැකීම් දැනුම් බවට පත් වන්නේ එම අත්දැකීම් මතකයේ ගබඩා කර ගැනීම හරහායි. පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට මූලික මට්ටමේ ප්‍රතිචාර දක්වන්නේ අපේ ජාන වල ගබඩා වී තිබෙන අවුරුදු මිලියන ගණනක් පැරණි දැනුමයි. ඒ දැනුම ගස්වැල් වලට පවා තිබෙන දැනුමක්. එහෙත්, මෙසේ පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා ජානමය නොවන මතකයක ගබඩා කර තබා ගැනීම මිනිසුන්ට හා ඇතැම් සතුන්ට පමණක් කළ හැකි දෙයක්. සිතීමේ ක්‍රියාවලියේ මූලිකම අදියරක් සේ හැඳින්විය හැක්කේ මේ ආකාරයෙන් ගබඩා කර ගන්නා අනුභූතික අත්දැකීම් නැවත ස්මරණය කිරීම හා පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රයෝජනයට ගැනීමයි.
මතකයේ ගබඩා කර ගත හැක්කේ එක් නිමේෂයක ලබන අනුභූතික අත්දැකීමක්. දඩයමේ යද්දී පළමු වරට හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම මතකයේ ගබඩා කර ගන්නා අයෙක් එම ගස පිළිබඳ අනුභූතික අත්දැකීමක් පංචේන්ද්‍රියයන් හරහා දෙවන වරට ලැබෙන විට වත්මන් නිමේෂය හා මතකයේ ගබඩා වී තිබෙන නිමේෂය අතර සාම්‍යයක් දකිනවා. ඒ සමඟ එම ගස පිළිබඳ අදහස වියුක්ත අදහසක් බවට පත් වෙනවා. මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්න වටය අවසානයේදී තිස්ස රජු විසින් තමන්ගේ දෑස් ඉදිරිපස පෙනෙන අඹ ගස පිළිබඳ වියුක්ත අදහසක් ඇති කර ගන්නේ මේ ආකාරයටයි. මේ මට්ටමේ බුද්ධියක් ඇතැම් සතුන්ටද තිබෙනවා. එය අනුභූතික අත්දැකීමක් ඉක්මවා යන දැනුමක්. එතරම් සංකීර්ණ නැති පරිගණක මෘදුකාංගයකටද මේ දෙයම කළ හැකියි.
දඩයමේ යද්දී හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම කෙටි කාලයක් තුළ විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, මේ වියුක්ත සංකල්පය නිරූපණය වන චිත්තරූපයක් මවා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. එහෙත්, ඇතැම් අනුභූතික අත්දැකීම් එලෙසම අත් විඳිය හැක්කේ එක් නිමේෂයකදී පමණයි. දුවන මුවෙක් හා තණ කණ මුවෙක් වගේ. ස්ථිතික චිත්තරූපයක් සේ වරකදී සිතින් මවා ගත හැක්කේ එක්කෝ දුවන මුවෙක්. නැත්නම් තණ කණ මුවෙක් වගේ. දුවන මුවෙක් හා තණ කන මුවෙක් එකම සතෙක් ලෙස දැකීම තුළ තිබෙන්නේ වියුක්ත දැනුමක්.
මුවා යන වියුක්ත සංකල්පය හැදෙන්නේ දුවන හෝ තණ කන, එකිනෙකාගෙන් වෙනස්ව හඳුනාගත හැකි මුවන් ගණනාවක් පිළිබඳ අනුභූතික අත්දැකීම් මත පදනම්වයි. ඒ මුවා, එක් නිමේෂයක හෝ අනුභූතික ලෙස දැකිය නොහැකි මනසේ පමණක් සිටින මුවෙක්. මෙවැනි වියුක්ත සංකල්පයක වටිනාකම වන්නේ එම වියුක්ත සංකල්පය ඇසුරෙන් කිසිදා නොදුටු මුවන් පිළිබඳවද පරිකල්පනය කරන්නට හැකි වීමයි. ඒ සමඟම, පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන අත්දැකීම් හා ඒ මත පදනම් වූ දැනුම් ඉක්මවා යාමේ හැකියාවක් මිනිසාට ලැබෙනවා. මේ මට්ටමට යාමද ඇතැම් සතුන්ට මෙන්ම, පරිගණකයටද කළ හැකි දෙයක්.
බොහෝ වියුක්ත සංකල්ප සමඟ යම් ආකාරයක පරිපූර්ණත්වයක් සම්බන්ධ වී තිබෙනවා. මුවෙක්නම් කකුල් හතරක් තිබෙන සතෙක්. එහෙමනම්, කකුල් තුනකින් පැන පැන යන, කකුලක් අහිමි වූ මුවෙක් මුවෙක් නෙමෙයිද?
කකුල් තුනේ මුවාත් මුවෙක් තමයි. ඒ මුවාට පරිපූර්ණ වියුක්ත මුවාට සාපේක්ෂව අඩුවක් තිබෙනවා. එහෙත්, ඒ මුවාත් මුවෙක්. එසේ වුනා කියා මුවා කියන සංකල්පය කකුල් තුනේ මුවෙක් ලෙස වෙනස් වන්නේ නැහැ. බොහෝ විට ඉන්ද්‍රියයන් හරහා නිරීක්ෂණය කළ හැක්කේ වියුක්ත සංකල්පයේ අසම්පූර්ණ ස්වරූපයක්.
එතකොට කකුල් හයේ මුවෙක් දකින්න ලැබුණොත් ඒ ගැන කියන්න වෙන්නේ කුමක්ද? ගණිතය අනුවනම්, කකුල් හයේ මුවාගේ කිසිම අඩුවක් නැහැ. වැඩියෙනුත් කකුල් දෙකක් තිබෙනවා. නමුත්, සංකල්පීය ලෙස බැලුවොත් මේ වැඩිපුර කකුල් දෙක කියන්නෙත් අඩුවක්. එය අඩුවක් වන්නේ පරිපූර්ණත්වය අර්ථ දක්වා තිබෙන්නේ කකුල් හතරේ මුවෙක් ලෙස නිසයි.
අවශ්‍යනම් කෙනෙකුට වියුක්ත මුවා කකුල් හයේ මුවෙක් විදිහට අර්ථ දක්වන්නත් පුළුවන්. එසේ අර්ථදැක්වීමෙන් පසුව, සියලුම කකුල් හතරේ මුවන් අඩුවක් ඇති මුවන් බවට පත් වෙනවා. අවශ්‍යනම් කකුල් අටේ මුවෙක් ගැන වුවත් මිනිහෙකුට පරිකල්පනය කරන්න පුළුවන්. කකුල් අටේ මුවෙක් කිසිම දිනක අනුභූතික අත්දැකීමක් ලෙස දැක නොතිබීම මෙයට බාධාවක් නෙමෙයි. ඒ අනුව, කකුල් හයේ මුවෙක් වුවත් අඩුවක් සහිත මුවෙක් බවට පත් වෙනවා.
ඔය විදිහටම නයෙකුගේ පරිපූර්ණ ස්වරූපය පෙණ හතක් තිබෙන නයෙක් වෙන්න පුළුවන්. රජෙකුගේ පරිපූර්ණ ස්වරූපය හිස් දහයක් තිබෙන ස්වරූපයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් පරිකල්පනය කරන්න අනුභූතික අත්දැකීම් අවශ්‍ය නැහැ. එකම ගහ හෝ එකම සතා දවසෙන් දවස වෙනස් වන ආකාරය අනුභූතික අත්දැකීමක් ලෙස අත්විඳින කෙනෙකුට අනුභූතික අත්දැකීමක්ව නැති ආකාරයකින් යමක් වෙනස් වීමේ හැකියාව ගැනද පරිකල්පනය කිරීමට පෙළඹුමක් ඇතිවීම හිතාගන්න අමාරු කරුණක් නෙමෙයි.
වියුක්ත දැනුම්, වියුක්ත සංකල්ප අවශ්‍ය ඇයි? වියුක්ත නොවන දැනුම් අවශ්‍ය වන හේතුවටම තමයි. කවර හෝ දැනුමක් අවශ්‍ය වන්නේ පැවැත්ම හා අදාළ අවිනිශ්චිතතා අවම කර ගැනීමටයි. එය ජීව විද්‍යාත්මක පෙළඹුමක්. දැනුම ලබා ගැනීමේ වෙනත් අරමුණක් නැහැ. අවිනිශ්චිතතා අවම කිරීම හරහා පැවැත්ම සහතික කළ හැකි ආකාරයේ වියුක්ත දැනුමකින් සමාජයකට ලොකු පිම්මක් පනින්න පුළුවන්.
වියුක්තව හිතන එක ඕනෑම කෙනෙකුට කළ හැකි වගේම, නිතරම කරන සාමාන්‍ය දෙයක්. වැදගත් වන්නේ වියුක්තව හිතන්නේ මොනවාද කියන එකයි. බොහෝ දෙනෙක්ට වියුක්තව හිතන්න පුළුවන් වුනත් වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් හිතන්න බැහැ.
වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් ගැන හිතන්න බැරිකම එක් රටකට හෝ සංස්කෘතියකට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාව වැනි බටහිර රටක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. වියුක්ත ලෙස සිතා ඒ ඇසුරෙන් ප්‍රයෝජනවත් ආකාරයක අලුත් දැනුමක් නිෂ්පාදනය කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණයි. ලෝකය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සුළු පිරිසයි. එවැනි වැඩි දෙනෙකු සිටින රටවල් හා සමාජ වඩා වේගයෙන් දියුණු වෙනවා.
පෙරේදා (ජනවාරි 20) ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන්නා. අලුත් ජනාධිපතිවරයා වගේම ඔහුගේ දේශපාලන පක්ෂයත් පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු රටේ ජනාධිපති සේ දිවුරුම් දෙන දවසේම වත්පොත විසින් ඉකොනොමැට්ටාගේ බොජුන්හල අසාදුගත කර වත්පොත හරහා මෙහි පිවිසීම තහනම් කර තිබීම අපූරු අහම්බයක්.
ඇමරිකාවේ බලයේ සිටි ජනාධිපතිවරයාගේ සමාජ ජාලා ගිණුම් පවා තහනම් වූ පසුබිමක මේ වගේ දෙයක් වෙන එකේ ලොකු අමුත්තක් නැතත්, මෙය ඇමරිකාවේ පැත්තෙන් සිදු වූ දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඇමරිකාවේ නීතියට, සම්මත වලට හෝ පොදු සදාචාරයට එරෙහි දෙයක් මෙහි පළ කර නැහැ. කෙසේ වුවත්, සිදු වුනේ කුමක්ද කියා නිශ්චිතව කීමේ හෝ දැන ගැනීමේ හැකියාවක් අපට නැහැ.
මේ වන විට මෙම වියුණුවේ ලිපි 889ක් පළ කර තිබෙනවා. එම ලිපි වලින් අඩුම වශයෙන් අටසීයක්වත් වත්පොත හරහා බෙදාගෙන තිබෙනවා. ඇතැම් ලිපි දහස් ගණනක් විසින් නැවත පළ කර (ශෙයා කර) තිබෙනවා. මේ බෙදා ගැනීම් බොහොමයක් මට නොපෙනෙන නිසා හරියටම ගණනක් දන්නේ නැති වුවත්, මෙතෙක් ලියා ඇති ලිපි වත්පොතේ බෙදාගෙන ඇති තැන් ප්‍රමාණය දස දහස් ගණනක් විය යුතුයි. කාලයක් තිස්සේ සංසරණය වූ මේ පැරණි බෙදා හැරීම් හරහා දිනපතාම සැලකිය යුතු පිරිසක් මෙහි පිවිසුනා. වත්පොත විසින් මේ වෙද්දී පසුගිය වසර හය තුළ ඉකොනොමැට්ටා මෙන්ම වෙනත් අය විසින්ද වත්පොත හරහා ප්‍රචාරය කළ එම ලිපි සියල්ලම ඉවත් කර ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
අප කිසිම විටක මෙම වියුණුව හරහා හදිසියේ මතුවන වෙළඳ දැන්වීම් (පොප් අප් ඇඩ්ස්) පළ කර නැහැ. අඩු වශයෙන් සාමාන්‍යයෙන් බ්ලොගර් හරහා දැන්වීම් පළ කර මුදල් සෙවීමට ඉඩ සලසන ආකෘතිය හෝ ප්‍රයෝජනයට ගෙන නැහැ. කිසිදු ප්‍රසිද්ධ සන්නාමයක නම ව්‍යාජ ලෙස යොදාගෙනද නැහැ. ඒ වගේම, කෝවිඩ් හා අදාළ හෝ වෙනත් දේවල් හා අදාළ වැරදියයි සම්මත තොරතුරු ප්‍රචාරය කර නැහැ. ඇත්තටම අප විසින් දිගින් දිගටම කර තිබෙන්නේ නොමඟ යවන සුළු හෝ වැරදි තොරතුරු ප්‍රචාරය වෙද්දී ඒවාට එරෙහිව නිවැරදි තොරතුරු පළ කිරීමයි. වත්පොත විසින් අපගේ වියුණුව අසාදුගත කර ඇතත් වත්පොත් පිටු අවහිර කර නැති නිසා මෙය වත්පොත් පිටුව පිළිබඳ ප්‍රශ්නයක්ද විය නොහැකියි.
ඇතැම් දේවල් ලියන විට ඇතැම් කණ්ඩායම් වලට වැඩියෙන් රිදෙනවා. දොරවල් වසාගෙන හතර අතට නෙලන්නේ නැතිව, අප සමඟ එකඟ නොවන අයට තමන්ගේ අදහස්ද ප්‍රතිචාර සේ මෙහි පළ කරන්නට අප විසින් අවස්ථාව සලසා ඇතත් තමන් රැඳී සිටින්නේ බොරුවක් මත බව හොඳින්ම දන්නා සිටින අයට ඒ අවස්ථාවෙන් වැඩක් වෙන්නේ නැහැ. අප ලියන සමහර දේවල් වලින් එවැනි අයගේ ලෝක කඩා වැටී, පැවැත්මවල් බිඳ වැටෙන විට එය පිළිබිඹු වන්නේ මෙවැනි දේවල් වලින්. මීට පෙරද, ඇතැම් දේ ලියද්දී ආරම්භක ඉකොනොමැට්ටා ගිණුම ව්‍යාජ ගිණුමක් බව හදිසියේම වත්පොතට වාර්තා වුනා. එහෙත්, ඒ අවස්ථාවේදී එය ව්‍යාජ ගිණුමක් නොවන බව තහවුරු කරන්නට වත්පොත අපට අවස්ථාව ලබා දුන්නා. මෙවර එවැනි අවස්ථාවක් හෝ අඩු වශයෙන් කරුණු දැක්වීමක් හෝ නැති නිසා "මැරුණට පස්සෙවත් මැරුණේ කොහොමද කියලා දන්නේ නැති" තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.
මෙම වියුණුව ආරම්භ කළ දවසේ සිටම අප විසින් වියුණුව හා අදාළව අනුගමනය කළේද අප වියුණුව හරහා පෙනී සිටින මතවාදයට ගැලපෙන භාවිතාවක්. නිදහස් අදහස් වෙනුවෙන් පෙනී සිටින අප අප ලියන දෙයට එකඟ නොවීමේ පදනම මත කිසිදු අදහසක් වාරණය කර නැහැ. එමෙන්ම පාරිභෝගික ඉල්ලුම සපුරනු මිස අප කිසි විටෙකත් ඇඟේ ගසා බඩු විකුණා නැහැ. මේ වියුණුව ආරම්භ කළ දවසේ සිටම එය ප්‍රචාරය කළේ කෙසේ හෝ එය හොයා ගෙන කියවූ අයයි. ලේඛකයාගේ කිසිදු පෞද්ගලික මිතුරෙකුට හෝ මෙය කියවන ලෙස ඉල්ලා සිට නැතුවාක් මෙන්ම අඩු වශයෙන් මෙවැන්නක් ගැන කියා නැහැ.
අප වියුණුව පටන් ගත් කාලයද සිංහල වියුණු වල හොඳම කාලය නොවුනත් අදට වඩා සිංහල වියුණු ජනප්‍රියව තිබුණු කාලයක්. ඒ කාලයේ වැඩි දෙනෙක් වියුණු වලට පැමිණියේ බ්ලොග් සින්ඩිකේටර හරහා. ඇතැම් බ්ලොග් සින්ඩිකේටර විසින් අපගේ ඉල්ලීමක් නැතිවම මෙම වියුණුවද එකතු කර ගැනීම නිසා ඒ හරහා සැලකිය යුතු පාඨක පිරිසක් මෙහි පැමිණියා. එක් අවස්ථාවක එවැනි එක් බ්ලොග් සින්ඩිකේටරකින් මෙම වියුණුව ඉවත් කිරීම නිසා මෙහි පැමිණෙන්නන් යම් තරමකින් අඩු වුනා. ඉන් පසුව, බොහෝ දෙනෙක් මෙහි පැමිණියේ වත්පොත හරහා.
මේ වන තුරු අවම වශයෙන් පන්සීයක් වෙත වත්පොත හරහා මෙහි පළ වන දේ ගියා. ඒ සියලුම දෙනා තමන්ගේ කැමැත්තෙන් වත්පොත් පිටුව සමඟ එකතු වූ අයයි. වත්පොත් පිටුව සමඟ එක් වන මෙන් අප විසින් කිසිවෙකුට ආරාධනා කර නැහැ. ඒ වගේම, මේ පිටුව යොදා ගෙන තිබෙන්නේ වියුණුව වෙත ප්‍රවේශ වීමේ දොරටුවක් ලෙස පමණයි. ඉතා කලාතුරකින් හැර එහි වෙනත් දේ පළ කර නැහැ.
මෙයින් ඉදිරියට අපට වත්පොත හරහා මෙහි පළවන අලුත් ලිපි පිළිබඳව දැනුම් දීමේ හැකියාවක් නැහැ. වත්පොතට වංගු ගසන්නට පුළුවන් වුවත්, වත්පොත වුවත් එන්නේ ගේමටනම් අප කරන්නේ ලේන් අම්මා මුහුදට කළ දෙයයි. දැවැන්තයින් සේ පෙනෙන හැම දෙනෙක්ම වාගේ රැඳී සිටින්නේ ඔවුන් මත විශ්වාසය තබන ඒකීය මිනිසුන් මත. මේ ලිපිය මුළුමනින්ම වත්පොතේ පළ කෙරෙන නමුත් මෙයින් ඉදිරියට දිගින් දිගටම එවැන්නක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා, වියුණුව කියවන්න අවශ්‍යනම් ඔබට වරින් වර වියුණුවේ ලිපිනය භාවිතා කර සෘජුවම එහි පිවිසෙන්න වෙනවා.
පසුගිය දින දෙක තුළ ස්වීඩනයේ සිට මෙම වියුණුවට පිවිසුම් හාරදහසකට වැඩි ප්‍රමාණයක් දැකිය හැකියි. එය අසාමාන්‍ය දෙයක්. මෙය කියවන අයගෙන් 40%ක් පමණ විදේශගත ලාංකිකයින් වුවත්, ස්වීඩනය පාඨකයින් සැලකිය යුතු පිරිසක් මෙහි පිවිසවන රටක් නෙමෙයි. ඒ වගේම, මේ පිවිසුම් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ මැකින්ටොෂ් පරිගණකයකින්. එයද සාමාන්‍ය දෙයක් නෙමෙයි. කුමක් හෝ අසාමාන්‍ය දෙයක් සිදු වී ඇති බව පැහැදිලියි.
අප ලියන දෙයින් යම් අයට රිදෙනවා විය හැකි වුවත් ඒ අයද අපේ පාඨකයින් බව අපට නොසලකා හරින්න බැහැ. අපේ පාඨකයින් යම් ප්‍රමාණයකට ඒ තරමටම රිදෙනවානම් අපට ඒ ගැනත් නොසලකා ඉන්න බැහැ. ඔවුන්ගේ කැමැත්ත වන්නේ මෙම ලිපි වත්පොත හරහා බෙදා හැරීම වැළැක්වීමනම්, වෙනත් පාඨකයින් විශාල පිරිසකට වත්පොත හරහා මෙම ලිපි බෙදාගන්නට අවශ්‍ය වන තුරු වැඩි පාඨක පිරිසකගේ අවශ්‍යතාවය එලෙසම සිදු වනු ඇති. මේ වියුණුවේ වෙබ් ලිපිනය වත්පොතේ පළ කරන්නට උත්සාහ කරන හැම විටකම වත්පොත විසින් එය වලක්වනවා. එහෙත් අවශ්‍ය අයෙකුට දිගටම ඉදිරියට ගොස් එයට තමන් එකඟ නොවන බව කියා සිටින්න පුළුවන්.
ප්‍රමාණවත් පිරිසක් විරුද්ධ වුවහොත් වත්පොතේ තීරණය ඇතැම් විට වෙනස් විය හැකියි. එහෙත්, අප ඒ ගැන හරියටම දන්නේ නැහැ. මෙතෙක් වත්පොත හරහා මෙහි පැමිණි පාඨකයින්ට ඉදිරියේදී එම සේවය සලසන්නට නොහැකි වීම පිළිබඳව අපගේ කණගාටුව!