වෙබ් ලිපිනය:

Showing posts with label මහ බැංකු පණත. Show all posts
Showing posts with label මහ බැංකු පණත. Show all posts

Thursday, March 6, 2025

විදුලි ගාස්තු හා අවධමනය


සමස්තයක් ලෙස ගත් විට, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළ පිළිබඳව IMF එක අසතුටක් පෙන්වා නැහැ. මැතිවරණ වලට පෙර කියූ පරිදිම, මේ ආණ්ඩුව IMF වැඩපිළිවෙල සමඟ ඉදිරියට යමින් සිටිනවා. ඒ අතර, එම වැඩපිළිවෙල තුළ රැඳෙමින්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ඇතැම් වෙනස්කම් සිදු කරගෙන තිබෙනවා. එසේ වෙනස්කම් කරගෙන තිබෙන්නේ IMF එක සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. 

සමස්ත තත්ත්වය මෙසේ වුවත්, ජනවාරි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ IMF වැඩපිළිවෙලෙහි එකඟතා නොසලකා හරිමිනුයි. මෙසේ එකඟතා වලින් පිට පැනීම වඩා විශාල හා දිගුකාලීන ප්‍රශ්නයකට හේතු විය හැකි කරුණක් වනවා මෙන්ම IMF එක විසින්ද එය එලෙසම දැක තිබෙනවා. 

ඊට අමතරව, දැනට පවතින අවධමන තත්ත්වයද IMF වැඩ පිළිවෙලේ ව්‍යුහමය මිනුම් ලකුණු (structural benchmarks) වලින් පිට පැනීමක්. ඒ නිසා, මේ ගැන IMF අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමට ගොස් සාකච්ඡා කරන්න සිදු වී තිබෙනවා.

මේ දෙක බැලූ බැල්මටම කරුණු දෙකක් සේ පෙනුණත්, ඇත්තටම එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. 

අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. එම ස්වාධීනත්වය එලෙස දිගටම පවත්වා ගැනීමේ වැදගත්කම පිලිබඳව මෙවර IMF වාර්තාවෙහිද අවධාරණය කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය අවශ්‍ය මට්ටමේ නැත්නම් එහි වගකීම මහ බැංකුව සතුයි. 

මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්න. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගය. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ වගකීම ඉටු කර නැහැ. 

මෙම එකඟතාවය තුළ මහ බැංකුවට සැලකිය යුතු "වාසිදායක ඉඩකඩක්" තිබෙනවා. කිසියම් මාසයක උද්ධමනය ටිකක් එහා මෙහා වුනත්, මාස තුනක සාමාන්‍ය අගය සලකද්දී බොහෝ විට මැද තැනකට එනවා. ඒ වගේම, එම අගය 5% මට්ටමේ සිට 2%ක් දක්වා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. එය එසේ නොවීනම්, ඊළඟ මාස තුනක කාලය තුළ තත්ත්වය නිවැරදි වෙන්න පුළුවන්. එහෙමත් සිදු නොවී, මාස තුනේ කාල දෙකකදීම එක දිගටම උද්ධමනයේ සාමාන්‍ය අගය 5% ඉලක්කයේ සිට 2% ඉක්මවා අඩු හෝ වැඩි වුනොත් තමයි මහ බැංකුව උද්ධමන ඉලක්කය පවත්වා ගන්න අසමත් වී ඇති සේ සැලකෙන්නේ. 

පුදපු ගමන් කාපි යකා කිවුවා වගේ මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී කාර්තු දෙකක් යන්නත් කලින්ම මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය හා අදාළ පොරොන්දු වූ එකඟතාවය පවත්වා ගන්න අසමත් වෙලා තිබෙනවා. 

මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගන්න එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුව. ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුන. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ තිබුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී ඉලක්කය ලඟා කරගත්තා.

හැබැයි ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටිලා 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක්. ඒ අනුව, නිල වශයෙන් මහ බැංකුව උද්ධමන ඉලක්කය මග හැර ගත්තා. 

මහ බැංකුවට මේ උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමේ වගකීම ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. ඒ කියන්නේ වක්‍ර ලෙස ජනතාව විසින්. ජනතාවට වූ පොරොන්දුව ඉටු කිරීමේ වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නමුත් මහ බැංකුව විසින් ඉලක්කය මග හැර ගැනීම ජනතාව විසින් ප්‍රශ්නයක් කර ගෙන නැහැ. ඊට හේතුව, මහ බැංකුව ඉලක්කය මග හැර ගත්තේ පහළ පැත්තට වීම නිසයි. මෙයම අනෙක් අතට වුනානම්, ඒ කියන්නේ උද්ධමනය කාර්තු දෙකක් තිස්සේ එක දිගටම 7% සීමාවෙන් ඉහළ තිබුණානම්, ඒ ගැන සමාජයේ මීට වඩා ලොකු කතාබහක් ඇති වෙනවා. දිගට හරහට විවේචන එනවා.

ඔය ව්දිහට කාර්තු දෙකක්ම ඉලක්කයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටිලා අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. ඒ විතරක් නෙමෙයි. 2025 ජනවාරි හා පෙබරවාරි තත්ත්වය අනුව, 2025 පළමු කාර්තුවේදී මෙය තවත් පහතට වැටෙන බව පැහැදිලියි. ඒ වගේම, 2025 දෙවන කාර්තුව තුළදී වුවද 3% -7% සීමාව තුළට නැවත පැමිණීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ කියන්නේ එක දිගටම කාර්තු හතරක් හෝ පහක් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහෙනවා. 

මේ විදිහේ "බරපතල" අවධමන තත්ත්වයක් ඇති වී මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහුනේ කොහොමද?

පෙබරවාරි උද්ධමනය -4.22% දක්වා පහත වැටුණේ (4.22%ක අවධමනයක් වුනේ) කොහොමද කියන එක විමසා බැලුවොත් ගැටලුව හඳුනා ගන්න පුළුවන්. මෙම අගය හැදෙන්නේ පහත ආකාරයටයි.

විදුලි ගාස්තු අඩුවීම = (-3.87%)

පැට්‍රෝල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් මිල අඩුවීම = (-1.20%)

අනෙකුත් සියලුම දේවල් වල මිල වැඩිවීම = (+0.85%)

මේ මට්ටමේ අවධමනයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ විදුලි ගාස්තු විශාල ලෙස පහත වැටීම. මේ හේතුව නිසා මහ බැංකුව වගකීමෙන් නිදහස් වන්නේ නැතත්, මේ කරුණ අමතක කර අපට උද්ධමන ඉලක්කය ගිලිහීම ගැන කතා කරන්න බැහැ. 

උද්ධමනය හා අදාළ IMF වැඩ පිළිවෙලේ ව්‍යුහමය මිනුම් ලකුණු මොනවාද? 

ඉහත  ව්‍යුහමය මිනුම් ලකුණු අනුවද, මහ බැංකුව විසින් කාර්තුවක් තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ සාමාන්‍ය අගය 5% මට්ටමේ පවත්වා ගැනීම ඉලක්ක කළ යුතුයි. එහිදී IMF එක විසින් උපරිම වශයෙන් 3%ක විචලනයන් පිළිගන්නවා. ඒ කියන්නේ 2%-8% සීමාව. මෙය මහ බැංකුව විසින් "ජනතාවට" පොරොන්දු වී ඇති සීමාවට වඩා ලිහිල් සීමාවක් බැවින් මහ බැංකුව විසින් ජනතාවට වග කියන්නේනම්, එහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම IMF කොන්දේසි ඉටුවීමක්ද සිදු වෙනවා.

කෙසේ වුවත්, මේ වන විට එක දිගට කාර්තු තුනක්ම උද්ධමනය ඉහත IMF ව්‍යුහමය මිනුම් ලකුණු වල පහළ සීමාව වන 2% මට්ටමෙන්ද පහතට වැටී අවසන්ව ඇති අතර එම තත්ත්වය මෙම වසරේ මුල් කාර්තු දෙක තුළද එලෙසම පැවතිය හැකියි. විදුලි ගාස්තු සංශෝධන මෙම තත්ත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු හා ජූලි මාස වලදී සිදු කළ විදුලි ගාස්තු සංශෝධන හේතුවෙන් විදුලි ගාස්තු වල 39%ක පමණ විශාල අඩුවීමක් සිදු වී තිබෙනවා. මෙවැනි සංශෝධනයක් නිසා උද්ධමනය මත සිදු වන බලපෑම සාමාන්‍යයෙන් වසරක කාලයක් තිබී ඉවත්ව යනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුව විසින් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?

ඇත්ත වශයෙන්ම මෙවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුවකට කළ හැකි හොඳම දෙය කිසිවක් නොකර සිටීමයි. එයින් උද්ධමන ඉලක්කය ගිලිහෙන නමුත් එය වැළැක්වීම සඳහා මහ බැංකුවට කිසිවක් කළ නොහැකිවාක් මෙන්ම එසේ කරන්නට යාමෙන් වඩා නරක අතුරු ප්‍රතිඵල අත් විඳින්නට සිදු වෙනවා. ඊට හේතුව විදුලි ගාස්තු ඉහළ ගොස් තිබෙන්නේ වෙළඳපොළ සාධක අනුව ඉල්ලුම ඉහළ යාම නිසා හෝ සැපයුම අඩුවීම නිසා නොව රාජ්‍ය මැදිහත්වීමක් හේතුවෙන් වීමයි. 

විකල්ප ප්‍රතිචාරයක් ලෙස මහ බැංකුවට කළ හැක්කේ මුදල් සැපයුම වැඩි කිරීමයි. එහෙත් එයින් උද්ධමනය ඇති වීමට වසරකට වඩා කාලයක් ගත වන බැවින් අවධමන තත්ත්වයෙහි වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, එවැනි ක්‍රියාමාර්ගයක අවසන් ප්‍රතිඵලය වන්නේ වසරකට පසු විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම ස්වභාවික ලෙසම ඉවත්ව යද්දී, මුදල් සැපයුම වැඩි කිරීමේ ප්‍රතිඵලද ලැබෙන්නට පටන්ගෙන උද්ධමනය අවශ්‍ය මට්ටම ඉක්මවා ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් අවධමනය හමුවේ "කිසිවක් නොකර සිටීම" නිවැරදි ක්‍රියාමාර්ගයක්. 

ඇත්ත වශයෙන්ම, මගේ පෞද්ගලික අදහස වන්නේ පසුගිය වසරේ සිදු කළ විදුලි ගාස්තු සංශෝධන වුවද සිදු නොකර සිටියානම් වඩා හොඳ බවයි. එමගින් පාරිභෝගිකයින්ට සහනයක් ලැබුණු බව ඇත්තක් වුවත්, සාමාන්‍යයෙන් මෙවැනි මිල අඩුවීමකින් ලැබෙන සැනසීමට වඩා මිල වැඩිවීමකදී දැනෙන වේදනාව වැඩියි. ඒ නිසාම, මිල අඩුවීමක දේශපාලන වාසියට වඩා මිල වැඩි කිරීමක දේශපාලන හානියද වැඩියි. මිල මෙපමණ අඩු නොකළේනම් කාලයක් මිල වැඩි නොකර සිටීමට අවකාශයක් හැදෙනවා.

ලංවිම ලාබ "ඕනෑවට වඩා" තිබුණේනම් එම අමතර අරමුදල් ආපතික අරමුදල් සංචිතයක් (contingency fund) ලෙස පවත්වා ගැනීම මගින් පසුකාලීනව විදුලි ගාස්තු වැඩි කරන්නට සිදු වීමේ අවදානම අඩු කර ගත හැකිව තිබුණා. එය පාරිභෝගිකයින්ගේ පැත්තෙන් මෙන්ම දේශපාලනිකවද වාසිදායක ප්‍රවේශයක්. කෙසේ වුවද, මැතිවරණ වසරක් තුළ පැවති ආණ්ඩුවේ දේශපාලන අභිලාශ අනුව විදුලි ගාස්තු අඩු කිරීමට එම ආණ්ඩුව පෙළඹීම තේරුම් ගන්න අසීරු නැහැ.

එහෙත්, ඉහත කරුණ හා අදාළව පසුගිය ආණ්ඩුව විවේචනය කිරීමට ඉඩක් නැත්තේ එහිදී එම ආණ්ඩුව විසින් විදුලි ගාස්තු අඩු කර තිබෙන්නේ IMF වැඩ සටහනෙහි එකඟතා අනුව විදුලි ගාස්තුව පිරිවැය හා ගලපමින් බැවිනුයි. අදාළ කාලයේදී ලංවිම ලාබ උපයා ණයද ආපසු ගෙවා තිබෙනවා. ඒ නිසා, එමගින් මහ බැංකුවේ උද්ධමන ඉලක්ක මත සිදු වූ බලපෑම අපට නොසලකා හරින්නට සිදු වෙනවා. 

අලුත් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ නිර්දේශ පරිදි ජනවාරි මාසයේදී 20%කින් පමණ විශාල ලෙස විදුලි ගාස්තු අඩු කර තිබෙන්නේ පෙර වසරේදී මෙන් පිරිවැය හා ගලපමින් නෙමෙයි. මෙය මහ බැංකුවේ පැත්තෙන් බැලුවොත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනි දෙයක්. පසුගිය වසරේ සිදු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම ඉවත්ව යාමට නියමිතව තිබුණු කාලයේදී නැවත වරක් විදුලි ගාස්තු අඩු කිරීම "අවධමනය අලුත් කිරීමක්". 

කෙසේ වුවද, අලුත් ආණ්ඩුවේ මේ තීරණය සැලකිය හැක්කේ අත්දැකීම් අඩුකම නිසා ගත් අදූරදර්ශී තීරණයක් ලෙසයි. මෙම තීරණය අනාගතයේදී දේශපාලනිකව ආණ්ඩුවට පාරා වලල්ලක් වීමට නියමිතයි.

දැනටමත් IMF එක සමඟ එකඟ වී ඇති පරිදි, ඉතා ඉක්මණින් විදුලි ගාස්තු නැවතත් පිරිවැය හා ගලපන්නට සිදු වනු ඇති අතර බොහෝ විට එළඹෙන අප්‍රේල් මාසයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු විය හැකියි. විදුලි ගාස්තු අඩුවීමකදී ආණ්ඩුව අගය කිරීමක් ලොකුවට සිදු නොවීම හා විදුලි ගාස්තු සුළුවෙන් හෝ ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වීම සාමාන්‍ය මිනිස් ස්වභාවය අනුව අපේක්ෂා කළ හැකි දෙයයි. ඇතැම් විට ඉදිරි කාලයේදී නැවත නැවතත් විදුලි ගාස්තු ඉහළ දමන්නට වුවද සිදු විය හැකියි.

විදුලි ගාස්තු අඩුවීම නිසා ඇති වූ අවධමනයේ රඟ හරියටම දැකගන්නට ලැබෙනු ඇත්තේද යම් කාල පමාවක් සහිතවයි. බොහෝ විට සිදු වීමට ඉඩ තිබෙන දෙයක් වන්නේ 2026 පළමු මාස හය තුළ උද්ධමනය 7% සීමාව ඉක්මවා යාමයි. දැන් අවධමනය හමුවේ මහ බැංකුවට කිසිවක් නොකර ඉන්නට සිදු වී ඇති අයුරින්ම තවත් වසරකට පසු උද්ධමනය තාවකලිකව ඉහළ ගොස් මහ බැංකුවට සහ ආණ්ඩුවට විවේචන එල්ල වන විටද මහ බැංකුවට කරන්නට සිදු වන්නේ කිසිවක්ම නොකර සිටීම පමණයි. 

පිරිවැය නොසලකා හරිමින් ජනවාරි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීම සහ එමගින් IMF වැඩපිළිවෙලෙහි එකඟතා වලින් පිට පැනීම වඩා විශාල හා දිගුකාලීන ප්‍රශ්නයකට හේතු විය හැකි කරුණක් වන්නේ කෙසේද?

ලංවිම ඇතුළු රාජ්‍ය සංස්ථා යම් කාලයක් එක දිගට මේ අයුරින් පාඩු පිට පවත්වාගෙන යා හැකියි. ගිණුම්කරණ ලාබ වාර්තා කළද, ආර්ථික ලාබ නැත්නම් සිදු වන්නේ පාඩුවක්. ආර්ථික ලාබ ඇති සේ සැලකිය හැක්කේ යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබෙන්නේනම් පමණයි. ආර්ථික ලාබ නොමැතිව පවත්වා ගෙන යන ආයතනයක් යම් අවස්ථාවක මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යා නොහැකි තරමට හිර වෙනවා. එවිට එවැනි ආයතන "බේරා ගන්නට" සිදු වන්නේ බදු මුදල් පොම්ප කිරීම මගින් පමණයි. IMF එක දැන් සිටම හඳුනා ගෙන තිබෙන්නේ එම අවදානමයි.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි සහ ලිපියේ විස්තර කළ පරිදි වත්මන් අවධමන තත්ත්වය සහ විදුලි ගාස්තු සංශෝධන අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. අවධමනය බොහෝ දෙනෙකු බරපතල සේ නොදැක්කත් මෙහිදී සිදු වන්නේ සුනාමියට පෙර වතුර මට්ටම පහත වැටීම වැනි දෙයක්. වත්මන් අවධමනයේ ප්‍රතිඵලයක් ලෙස 2026 මුලදී උද්ධමන සුනාමියක් නොපැමිණෙනු ඇති නමුත් අඩු වශයෙන් ලොකු රැල්ලක් පැමිණීම දැන් සිටම දැකිය හැකි දෙයක්. අපේක්ෂිත පිරිවැය හා ගලපමින් විදුලි ගාස්තු සංශෝධනය ඉක්මණින් ආපසු හරවන තරමට එම රැල්ලේ වේගය අඩු කර ගැනීමට හෝ රැල්ල පැමිණීම වලක්වා ගැනීමට වැඩි ඉඩකඩක් තවමත් තිබෙනවා. මෙම සටහන ලියා පළ කරන්නේ ඒ සඳහා වසරක පමණ කාලයක් තිබියදී.

Thursday, November 28, 2024

උසස්පෙළ ප්‍රශ්නයක්!


"2023 නව මහ බැංකු පණත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වළක්වාලනු ලැබ ඇත්තේ,

(1) මුදල් අච්චු ගැසීමෙනි 

(2) ආණ්ඩුවට සෘජුව හෝ වක්‍රව ණය ලබා දීමෙනි.

(3) ආණ්ඩුවේ බැංකුකරුවා ලෙස ඉටුකරනු ලබන කාර්යය කිරීමෙනි.

(4) මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙස විවට වෙළඳපොළ කටයුතු කිරීමෙනි 

(5) විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වීමෙනි."

මෙය පාඨකයෙකු විසින් අප වෙත යොමු කර ඇති මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද?

නව මහ බැංකු පණතේ 37 වගන්තිය අනුව, ඉහත (5) මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඒ වගේම, 31 වගන්තිය අනුව (4) කියන්නේත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. පණතේ 81 වගන්තියෙන් (3) සඳහා ඉඩ සලසා ඇති බැවින් පිළිතුර එයද විය නොහැකියි. ඒ අනුව, "අපේක්ෂිත පිළිතුර" විය හැක්කේ (1) හෝ (2).

"මුදල් අච්චු ගැසීම" කියන එක ඇත්තටම අවුල් සහගත යෙදුමක්. එය සාමාන්‍ය භාවිතයේදී යොදා ගැනෙන යෙදුමක් මිසක් තාක්ෂණික වචනයක් නෙමෙයි. ඒ නිසා, නව මහ බැංකු පණතේ හෝ පැරණි පණතේ මේ වචනය ඒ ආකාරයෙන්ම භාවිතා කර නැහැ.

වචන වල සාමාන්‍ය අර්ථයෙන් "මුදල් අච්චු ගැසීම" කියද්දී හැඟවෙන්නේ මුදල් නෝට්ටු අච්චු ගැසීම. නව මහ බැංකු පණතේ 44 වගන්තිය අනුව මහ බැංකුවට ශ්‍රී ලංකාව තුළ මුදල් නිකුත් කිරීම සඳහා අනන්‍ය බලයක් හිමි වෙනවා. තෙවන පාර්ශ්වයක් හරහා මේ වැඩේ කරගත්තත් අදාළ කාර්යය සිදු වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදියි.

කෙසේ වුවත්, සාමාන්‍ය ව්‍යවහාරයේ "මුදල් අච්චු ගැසීම" කියා කියද්දී එයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි වෙන යම් ක්‍රියාමාර්ගයන් ගැනීමයි. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණයේත්, වාණිජ බැංකු හා රජය විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුම් ශේෂ වලත් එකතුවයි. 

මහ බැංකුව විසින් (4) හා (5) කරද්දීත්, තවත් දේවල් කරද්දීත්, සංචිත මුදල් සැපයුම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා, (1) නිවැරදි පිළිතුරක් සේ සලකන්න බැහැ. එවිට ඉතිරි වෙන්නේ (2).

නව මහ බැංකු පනතේ 86(1) වගන්තියෙහි මෙසේ සඳහන් වෙනවා.

"මහ බැංකුව විසින්, සෘජුව හෝ වක්‍රාකාරව, ආණ්ඩුව වෙත හෝ ආණ්ඩුවට අයත් යම් පොදු අධිකාරියක් වෙත හෝ වෙනත් යම් රාජ්‍ය අස්ථිත්වයක් වෙත ණය ප්‍රදානය නො කළ යුතුය."

මෙම වගන්තිය අදාළ නොවෙන ව්‍යතිරේඛ ගණනාවක් තිබුණත්, ඉහත පිළිතුරු අතරින් "වඩාත්ම සුදුසු" පිළිතුර සේ සැලකිය හැක්කේ (2) පිළිතුරයි. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත්නම්, (1), (4) හා (5) මගින් රජයට වක්‍ර ලෙස ණය දීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් මෙහිදී පිළිතුර තෝරා ගන්න වෙන්නේ පණතේ සඳහන්ව තිබෙන නිශ්චිත වචන අනුවයි.

Tuesday, March 12, 2024

මහ බැංකුවේ කුසලතා ප්‍රශ්නය

පෙර ලිපියෙන් පෙන්වා දුන්නේ අලුතෙන් සම්මත කර ගැනුණු, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන අනුව, එහි පාලක මණ්ඩලයට මහ බැංකු සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ස්වාධීනව තීරණය කිරීමේ බලයක් ඇති බවයි. නීතිය බලාත්මකව පවතින තුරු වෙනත් අධිකාරියකට අදාළ බලය ප්‍රශ්න කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. මෙම නීතිය සම්මත වීමට පෙර මහ බැංකුවට මෙවැනි බලයක් තිබුණේ නැහැ. 

කෙසේ වුවත්, අවශ්‍යනම් ව්‍යවස්ථාදායකයට මෙම නීතිය වෙනස් කළ හැකියි. එය සාපේක්ෂව පහසු කටයුත්තක්. එමෙන්ම, පාලක මණ්ඩලයේ නෛතිකත්වය සම්බන්ධව ව්‍යවස්ථාදායකයට හා විධායකයට කළ හැකි බලපෑම් හරහා වක්‍ර ආකාරයකින් මෙම කාර්යය කිරීමට උත්සාහ කළ හැකියි. එහිදී අධිකරණයේ එකඟත්වයද අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් අධිකරණයට ඉහත පණත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් අදාළ පනත් ඇත්නම් ඒවා සලකා බලමින් පාලක මණ්ඩලය සතු මෙම බලට අභියෝගයට ලක් කළ හැකි ආකාරය පැහැදිලි කරමින් අර්ථදැක්වීමක් කළ හැකියි. මෙම ආකාර වලින් පළමු ආකාරය හැර අනෙකුත් ආකාර වලින් මහ බැංකුවේ පාලක මණ්ඩලය වෙත පවරා ඇති බලය අභියෝගයට ලක් කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසාම සිදු වීමට ලොකු ඉඩකඩක් නැහැ. 

ඊටත් පෙර ලිපියෙන් අප පෙන්වා දුන්නේ මහ බැංකුව ආදායම් උපයන්නේ "සල්ලි අච්චු ගැසීම" මගින් නිසාත්, ප්‍රායෝගිකව ඒ හා අදාළ සීමාවන් නොමැති නිසාත්, වෙනත් ඕනෑම ආයතනයකට සේවක වැටුප් වැඩි කිරීමේදී මුහුණ දෙන්නට සිදු වන "අරමුදල් සීමා බාධාව" මහ බැංකුවේ පාලක මණ්ඩලයට නොමැති බවයි. ඒ අනුව, බාහිර නෛතික ව්‍යුහයකින් හෝ වෙළඳපොළ යාන්ත්‍රණය විසින් ස්වභාවික ලෙස නියාමනය නොකෙරෙන පසු බිමක, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් "අසාධාරණ ලෙස" සේවක වැටුප් වැඩි කිරීම පහසුවෙන්ම සිදු විය හැක්කක්. එය සිදුවීම වලක්වා ගත හැක්කේ මහජනතාවට වගවෙන පාරදෘශ්‍ය ස්වයං නියාමනයක් මගින් පමණයි. 

මේ තත්ත්වය ඕනෑම රාජ්‍ය ව්‍යවසායකට අදාළ තත්ත්වයක් නෙමෙයි. පළමුව, වෙනත් කිසිම රාජ්‍ය ව්‍යවසායකට මහ බැංකුවට ලබා දී ඇති ආකාරයේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දී නැහැ. (එසේ  මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දීම අප විසින් විවේචනය කරන්නේද නැහැ.) දෙවනුව, වෙනත් රාජ්‍ය ව්‍යවසායකට මේ ආකාරයේ මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දුන්නේ වුවද, එවැනි ආයතනයකට සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව ආයතනය විසින් උපයන ආදායම් හරහා වෙළඳපොළ විසින් නියාමනය කෙරෙනවා. මහ බැංකුවට මේ බාධාවන් දෙකෙන් එකක්වත් නැහැ.

පෙර විස්තර කර ඇති පරිදි, මහ බැංකුවේ ලාබ නිර්ණය වන්නේ එහි සේවකයින්ගේ කාර්යක්ෂමතාවය මත නෙමෙයි. එහෙත්, එයින් අදහස් වන්නේ එම වාක්‍යයෙහි සඳහන් දේ පමණයි. මහ බැංකු සේවකයින් අකාර්යක්ෂම බවක් එයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. ඔවුන් කාර්යක්ෂම වුවත් අකාර්යක්ෂම වුවත් මහ බැංකුවේ ලාබ හෝ ආදායම් නිරීක්ෂණය කිරීමෙන් එය පරීක්ෂා කළ නොහැකියි. ඒ නිසාම, මහ බැංකුවේ ලාබ හෝ ආදායම් මත ඔවුන්ගේ ඵලදායීතාව මැනිය නොහැකියි. මහ බැංකුවේ ලාබ හෝ ආදායම් මත එහි පාලක මණ්ඩලයේ වැටුප් හෝ සේවක වැටුප් නිර්ණය නොවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු පණතේම විශේෂයෙන් සඳහන් කර තිබෙන්නේ මේ හේතුව නිසා.

මහ බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වන "සල්ලි අච්චු ගැසීම" හා අදාළව එම ආයතනයට කිසිදු තරඟයක් නැහැ. මහ බැංකුව මේ හා අදාළව නෛතික ඒකාධිකාරයක්. කෙසේ වුවත්, මහ බැංකු අධිපතිවරයා විසින් නිවැරදිව පෙන්වා දෙන පරිදි, සේවකයින් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවටද ශ්‍රම වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙය බොහෝ දුරට විවෘත තරඟයක්.

මහ බැංකුවේ සේවකයින්ට අනන්‍ය විශේෂ කුසලතා අවශ්‍යද? සංක්ෂිප්ත අදහසක් ලෙස මහ බැංකුවේ ඇතැම් තනතුරු වල කටයුතු කරන්නන්ට අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය විය හැකි වුවත්, එහි සේවකයින් බහුතරයකට එවැනි අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම, අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වන රැකියා තිබෙන්නේ මහ බැංකුවේ පමණක් නෙමෙයි. 

මුලින්ම කතා කරන්නට යන කරුණට එතරම් අදාළ නොවන ඉහත ප්‍රශ්නය පැත්තකින් තිබ්බොත්, කිසියම් රැකියාවක් සඳහා අනන්‍ය විශේෂ ප්‍රාගුණ්යයක් අවශ්‍ය වුවත් නැතත්, තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් තුළ සේවකයින් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී ඔවුන්ගේ "නියම මිල" ගෙවන්නට සිදු වෙනවා. එසේ නොකර "කුණු කොල්ලයට" ශ්‍රමය මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. නූතන ආර්ථික විද්‍යාව අනුව, ඉහත "නියම මිල" යන්නෙන් අදහස් කෙරෙන්නේ සේවකයින්ගේ ආන්තික ඵලදායීතාවයයි.

වෙළඳපොළ මූලධර්ම අනුව, මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් එහි සේවකයින්ට ඔවුන්ගේ "ආන්තික ඵලදායීතාවය" වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ සේ ගෙවන්නේනම් එය විවේචනය කළ නොහැකියි. මෙසේ ගෙවන  වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ අනෙකුත් වෘත්තිකයින්ගේ වැටුප් වලට සාපේක්ෂව හෝ නිරපේක්ෂව කෙතරම් වැඩිද යන්න මෙහිදී අදාළ කරුණක් නෙමෙයි.

මහ බැංකු වැටුප් වෛද්‍ය හා ඉංජිනේරු වැටුප් සමඟ සංසන්දනය කිරීමක්ද අප‍ට දැකිය හැකියි. මේ සහ අදාළව අපට කිව හැක්කේ දශක ගණනාවක සිටම ලංකාවේ ගණකාධිකාරීවරුන් හා මූල්‍ය කළමනාකරුවන් වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයින්ට සාපේක්ෂව ඉහළ වැටුප් ලබා ගනිමින් සිටින බවයි. ඒ ගැන විග්‍රහ කර පැහැදිලි කළ හැකි වුවත්, අපි ප්‍රස්තුතය තුළ රැඳී සිටිමු.

මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් එහි සේවකයින්ට ඔවුන්ගේ වෙළඳපොළ මිල මත පදනම්ව වැටුප් ගෙවන්නේනම් එහි වරදක් නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් එවැන්නක් සිදු වන බව පෙන්වන්නට උත්සාහ කළද මහ බැංකුවේ සේවක වැටුප් නිර්ණය වන්නේ වෙළඳපොළ මිල මත පදනම්ව නොව සාමූහික ගිවිසුමක් මත වීමයි.

වෙළඳපොළ මිල මත පදනම්ව සේවක වැටුප් ගෙවීම පිළිබඳ අදහසේ මූලය ධනවාදී සාධාරණත්වයයි. එහෙත්, සාමූහික ගිවිසුම් මත පදනම්ව සේවක වැටුප් ගෙවීම පිළිබඳ අදහසේ මූලය සමාජවාදී සාධාරණත්වයයි. යම් තත්ත්වයන් යටතේ ලංකාවේ ශ්‍රම වෙළඳපොළට මේ අදහස් දෙකම ගැලපිය හැකි වුවත්, පෙර ලිපි වල විස්තර කර තිබෙන මහ බැංකුවේ සුවිශේෂී ව්‍යාපාරික ආකෘතිය තුළ ඉහත අදහස් දෙකම එකවර ක්‍රියාත්මක වීම තුළ ඇති වන්නේ රටේ මහජනතාවගේ වියදමෙන් මහ බැංකුවේ සේවකයින්ට රිසි සේ තමන්ගේ වැටුප් වැඩි කරගත හැකි විකෘතියක්. 

මේ ක්‍රම දෙකේ වෙනස පැහැදිලි කර ගැනීම සඳහා අපි උදාහරණයක් ගනිමු.

ශ්‍රමිකයින් තිදෙනෙකු විසින් තාප්පයක් බඳී. නිශ්චිත කාලයක් තුළ මේ තිදෙනා පිළිවෙලින් තාප්ප වර්ග අඩි 80, 100 හා 120 ප්‍රමාණයක් බඳී. මොවුන්ව සේවයේ යොදවන කොන්ත්‍රාත්කරුට මේ වෙනුවෙන් රුපියල් 10,000ක් ලැබේ. කොන්ත්‍රාත්කරුගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ඔහුට හෝ ඇයට අවම වශයෙන් රුපියල් 1000ක් අවශ්‍ය වන නිසා ශ්‍රමිකයන්ට ලබා දිය හැකි උපරිම මුදල රුපියල් 9000ක් වන අතර කොන්ත්‍රාත්කරුගේ ඉලක්කය හැකිතාක් අඩු ගාස්තුවක් ඔවුන්ට ගෙවා තමන්ගේ ලාබ වැඩි කර ගැනීමයි. කෙසේ වුවද, තමන්ට අවම වශයෙන් රුපියල් 1000ක් ලැබේනම් කොන්ත්‍රාත්කරු මෙම කාර්යයය කරයි. එසේ නැත්නම් වැඩේ අතහැර දමයි.

තරඟකාරී ශ්‍රම වෙළඳපොළක මේ එක් එක් ශ්‍රමිකයාට කොපමණ මුදලක් ලබා ගත හැකිද?

මෙය තීරණය වන්නේ එක් එක් ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීත්වය මතයි. එය ඔවුන් අදාළ කාලය තුළ බඳින තාප්ප වර්ග අඩි ගණන දෙස බලා නිර්ණය කළ හැකියි. මේ අනුව, ශ්‍රමිකයින් තිදෙනාට ඔවුන්ගේ ගාස්තු ලෙස පිළිවෙලින් රුපියල් 2400ක්, 3000ක් සහ 3600ක් ලැබෙනවා. ඒ කියන්නේ වර්ග අඩියකට රුපියල් 30 බැගින්. කොන්ත්‍රාත්කරුට රුපියල් 1000ක් ඉතිරි වෙනවා.

කොන්ත්‍රාත්කරුට මීට වඩා අඩු මුදලක් ගෙවා මෙම ශ්‍රමය ලබා ගත නොහැකියි. ඊට හේතුව ශ්‍රම වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළක් වීමයි. වර්ග අඩියකට රුපියල් 30ට වඩා අඩුවෙන් ගෙවුවොත් මේ ශ්‍රමිකයින් වෙනත් කොන්ත්‍රාත්කරුවෙක් වෙත යනවා. ඔවුන්ට එවැනි විකල්ප අවස්ථා තිබෙනවා. අනෙක් අතට ඔවුන්ට වර්ග අඩියකට රුපියල් 30කට වඩා ලබා ගැනීමේ හැකියාවක් නැහැ. වෙනත් කිසිදු කොන්ත්‍රාත්කරුවෙකු විසින් ඊට වඩා වැඩි මිලක් ගෙවන්නේ නැහැ.

මෙම ශ්‍රම වෙළඳපොළ තරඟකාරී නොවේනම්, කොන්ත්‍රාත්කරු සතුව ඒකාධිකාරයක් තිබේනම් තත්ත්වය කුමක්ද? 

කොන්ත්‍රාත්කරු සතුව ඒකාධිකාරයක් තිබේනම්, ඔහුට හෝ ඇයට ශ්‍රමිකයන්ට මීට වඩා අඩු මිලක් ගෙවිය හැකියි. වර්ග අඩි ගණනට මුදල් නොගෙවා මේ ශ්‍රමිකයින්ට එක් අයෙකුට රුපියල් 2000 බැගින් මුදල් ගෙවුවා කියා හිතමු. දැන් කොන්ත්‍රාත්කරුගේ ලාබය රුපියල් 4000ක්. එයින් පළමු රුපියල් 1000 කොන්ත්‍රාත්කරුගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් අවශ්‍ය මුදලක් බැවින් එය "ආර්ථික ලාබයක්" නෙමෙයි. එහෙත්, ඉතිරි රුපියල් 3000 ආර්ථික ලාබයක්, එසේත් නැත්නම් සුපිරි ලාබයක්. නමුත් ශ්‍රමිකයින්ට කළ හැකි දෙයක් නැහැ. ඔවුන්ට මේ රැකියාව නැති වුවහොත් වෙන යා හැකි තැනක් නැහැ!

ඉහත පසුබිම තුළ ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ශ්‍රමයේ "නියම මිල" ලැබෙන්නේ නැහැ. එහෙත්, තිදෙනා එක්ව කාටලයක් ලෙස ක්‍රියා කර හෙට්ටු කිරීම මගින් ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ මිල ඉහළ දමාගන්න පුළුවන්. මෙහිදී එක් අයෙකුට උපරිම වශයෙන් රුපියල් 3000 දක්වා මිලක් ලබා ගන්න පුළුවන්. එම මිල එක් එක් ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවයට සමාන නොවෙතත්, තිදෙනා එකතුව ලබා ගන්නා මුදල ශ්‍රමිකයින් තිදෙනාගේම ආන්තික ඵලදායීතාවයට සමානයි. එම මුදල ශ්‍රමිකයින් තිදෙනා අතර සම සේ බෙදී යනවා. 

තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය හරියටම ලැබෙනවා. එය අඩු හෝ වැඩි වෙන්නේ නැහැ. එහෙත්, ඒකාධිකාරයක් වෙනුවෙන් ශ්‍රමය ලබා දෙන විට ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය හරියටම ලැබෙන බවට සහතිකයක් නැහැ. සාමූහිකව හෙට්ටු කිරීම මගින් සාමූහික ශ්‍රමයේ සමස්ත ආන්තික ඵලදායීතාවය ඔවුන්ට ලබා ගන්න පුළුවන්. මෙසේ ලබා ගන්නා මුදල ශ්‍රමිකයින් අතර සමව බෙදී යනවා. ඔය දෙකෙන් කොයි එක වුනත්, කොන්ත්‍රාත්කරුට අවසාන වශයෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ලැබිය යුතු නියම මිල හරියටම ලැබෙනවා. එය අඩු හෝ වැඩි වන්නේ නැහැ. අවස්ථා දෙකේදීම වෙළඳපොළ යාන්ත්‍රනය හරහා මෙය නියාමනය වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව හා අදාළව ඉහත තත්ත්වය වෙනස්. ඉහත උදාහරණයේදී කොන්ත්‍රාත්කරුට තමන්ගේ මානසික ශ්‍රමය හා ගන්නා අවදානම් වෙනුවෙන් ලබා ගත හැකි හා ශ්‍රමිකයින්ට ගෙවිය හැකි සමස්ත මුදල උපරිම වශයෙන් රුපියල් 10,000ක් පමණයි. එය ඊට වඩා වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒකාධිකාරයක් පැවතියද ලැබිය හැකි ලාබ වල උපරිම සීමාවක් තිබෙන බව මීට පෙර විස්තර කර තිබෙනවා. නමුත්, සල්ලි අච්චු ගැසීම මගින් ලාබ හොයන මහ බැංකුවට මෙවැනි උපරිම සීමාවක් නැහැ!

මහ බැංකු සේවකයින්ට ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන වැටුපක් ඉල්ලමින් සාමූහිකව හෙට්ටු කළ හැකියි. දැන් සිදු වී තිබෙන්නේද එයයි. මහ බැංකුවේ ආදායම් හා ලාබ වෙනත් ආයතනයක මෙන් ශ්‍රමිකයින්ගේ ඵලදායීත්වය මත තීරණය වේනම්. එහි පාලක මණ්ඩලයට එම ශ්‍රමිකයින්ගේ සාමූහික ශ්‍රමයේ සමස්ත ආන්තික ඵලදායීතාවය ඉක්මවන මුදලක් ඔවුන්ගේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. එහෙත්, මහ බැංකුවේ ආදායම් හා ලාබ එහි ශ්‍රමිකයින්ගේ ඵලදායීත්වය මත තීරණය නොවන බැවින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට මෙවැනි සීමාවක් නැහැ. සල්ලි අච්චු ගසන ප්‍රමාණය වැඩි කර ඔවුන්ගේ වැටුප් ඕනෑ තරම් වැඩි කරන්න පුළුවන්.

මහ බැංකුවට එහි සේවක වැටුප් වැඩි කිරීමේදී වෙනත් ආයතන වලට මෙන් සීමාවකට යටත් වීමට සිදු නොවන බව එහි සේවකයින් දන්නවා. ඒ නිසා, ඔවුන්ට සාමූහිකව හෙට්ටු කිරීමේ අවස්ථාව ඇති තුරු, ඔවුන් එසේ නොකර ඉන්නේ නැහැ. මහ බැංකුවේ සේවකයින් සියලු දෙනා එක් වී සාමූහිකව හෙට්ටු කළහොත් එහි පාලක මණ්ඩලයට ඔවුන් සියලු දෙනාවම එක වර අස් කර දමන්න බැහැ. මෙම ශ්‍රමිකයින් බහුතරය වෙනුවට වෙනත් අය පහසුවෙන්ම පිටතින් බඳවා ගත හැකි වුවත් ඇතැම් තනතුරු පිරවීම ඒ තරම් පහසු නැහැ. ඉල්ලන මිල ගෙවීම ඊට වඩා පහසුයි.

මහ බැංකුවේ වැටුප් බාහිර නියාමනයකට ලක් වන විට එහි පාලක මණ්ඩලයට ඒ බව පෙන්වමින් "ඇඟ බේරා ගන්න" පුළුවන්. එහෙත්, ඔවුන්ට ශ්‍රමික වැටුප් නිර්ණය කිරීමේ පූර්ණ බලයක් ලැබුණු විට සේවකයින් සමඟ හෙට්ටු කළ හැකි කිසිදු අවියක් නැති වෙනවා. දැන් සිදු වී තිබෙන්නේ එයයි. 

මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව මහ බැංකුව ස්වාධීන කිරීම හෝ මහ බැංකුවේ වැටුප් නිර්ණය කිරීමේ අයිතිය එහි පාලක මණ්ඩලය සතු වීම නෙමෙයි. එය සිදු වීමෙන් පසුවද මහ බැංකු සේවකයින්ට සාමූහිකව හෙට්ටු කර වැටුප් වැඩි කර ගැනීමේ අයිතියක් මෙන්ම අවශ්‍යනම් සාමූහිකව වැඩ වර්ජනය කිරීමේ වුවද අයිතියක් තව දුරටත් ඉතිරිව තිබීමයි. 

අවසාන තීරණය මහ බැංකුවේ පාලක මණ්ඩලය සතු වුවත් ප්‍රායෝගිකව මහ බැංකුවේ (හෝ ලංකාවේ එවැනි වෙනත් ආයතනයක) වෘත්තීය සමිති සමඟ මහ බැංකුව වෙනුවෙන් හෙට්ටු කිරීම් කරන්නේ එහි මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දෙපාර්තමේන්තු මට්ටමට වඩා උඩින් සිටින මහ බැංකුවේ ඉහළ කළමණාකාරිත්වයයි. මෙහි ඇති පරස්පරය වන්නේ ඔවුන් මෙම හෙට්ටු කිරීම් වල ප්‍රතිපාර්ශ්වයේ අවශ්‍යතාවයන් සෘජුව නියෝජනය කරන්නන් වීමයි. වෙනත් විදිහකින් කිවුවොත් මෙහිදී ඔවුන්ට හෙට්ටු කරන්නට සිදු වන්නේ තමන්ගේම වැටුප් හා ප්‍රතිලාභ වැඩි කරන ලෙස කරන ඉල්ලීමකට එරෙහිවයි. මෙවැනි හෙට්ටු කිරීමක අවසන් ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. 

ප්‍රසිද්ධ අවකාශයේ ඇති තොරතුරු අනුව, මහ බැංකුවේ කාර්යාල සහායක පන්තියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප රුපියල් 189,000ක් පමණ වන අතර තුන් වන පංතියට උසස් වෙද්දී එම දළ වැටුප රුපියල් 224,000 දක්වා ඉහළ යනවා. එයින් එහාටද වාර්ෂිකව මෙම වැටුප් ඉහළ යනවා. මෙම ගණන් වලින් වුවද ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ මුළුමනින්ම නිරූපණය වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස මාස දෙකක වැටුපට සමාන විශේෂ දීමනා, විශ්‍රාම ප්‍රතිලාභ, සහන ණය පහසුකම් ආදිය එකතු වූ විට ප්‍රතිලාභ වල මුළු වටිනාකම මීට වඩා බොහෝ වැඩි විය හැකියි. මෙම සේවකයින් කිසිවෙකුට මහ බැංකුවෙන් ඉවත් වී වෙනත් තැනක සේවය කර මීට සමාන වැටුපක් ලබා ගත හැකියැයි මා සිතන්නේ නැහැ. ඒ වගේම, මෙම තනතුරකට අලුතෙන් පිරිස් බඳවා ගැනීමට අවශ්‍යනම්, අවශ්‍ය කුසලතා ඇති පිරිස් ඕනෑ තරම් පෝලිමේ එනු ඇති බව සහතිකයි. මේ අනුව, මෙම වැටුප් ශ්‍රම වෙළඳපොළ මත පදනම් වූ වැටුප් නොවන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුයි.

අලුත් සාමූහික ගිවිසුමට පෙර කාර්යාල සහායක පන්තියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප රුපියල් 146,000ක් පමණ මට්ටමක පැවති අතර තුන් වන පංතියට උසස් වෙද්දී එම දළ වැටුප රුපියල් 165,000ක් පමණ වෙනවා. මෙම පැරණි වැටුප් මට්ටම් සැලකුවද ඉහත කතාව වෙනස් වන්නේ නැහැ. 

කළමනාකරණ සහකාර පළමු පංතියේ අලුත් දළ වැටුප රුපියල් 242,000ක් පමණ වන අතර පැරණි දළ වැටුප ආරම්භ වන්නේද රුපියල් 174,000 මට්ටමෙන්. පස්වන පංතියට යද්දී අලුත් ආරම්භක දළ වැටුප රුපියල් 421,000 දක්වා ඉහළ යනවා. කළමනාකරණ සහකාර රැකියා යනු දළ වශයෙන් ලිපිකරු තනතුරු කියා කියන්න පුළුවන්. යතුරු ලිවීම, දත්ත ඇතුළු කිරීම, දෛනිකව පිළියෙල කරන ඇතැම් වාර්තා සකස් කිරීම ආදිය කරන්නේ මෙවැන්නන්. මෙම තනතුරු වල කටයුතු කිරීම සඳහා මහ බැංකුවට පමණක් අනන්‍යව අවශ්‍ය වන සුවිශේෂී කුසලතා අවශ්‍ය වන්නේ නැහැ.

යම් හෙයකින් මහ බැංකුවට පමණක් අනන්‍යව අවශ්‍ය වන සුවිශේෂී කුසලතා අවශ්‍ය වේනම් එසේ අවශ්‍ය වන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ ඇතැම් තනතුරු සඳහා පමණයි. මේ තර්කය බැහැර කළ නොහැකි තර්කයක් වුවත්, මෙම තර්කය වුවද හේතු ගණනාවක් මත පදනම්ව අභියෝගයට ලක් කළ හැකි තර්කයක්. ඒ අතරින් පළමු තර්කය මහ බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය ඇති තනතුරු දරන අයට අවශ්‍ය නොවන කුසලතා ඔවුන් වෙනුවෙන් තාක්ෂණික කටයුතු කරන අයට අවශ්‍ය වේද යන්නයි.

වත්මන් මහ බැංකු අධිපතිවරයා යනු සෑහෙන දුරකට අනන්‍ය මානව සම්පතක් බව බොහෝ දෙනෙකුට බැහැර හැරිය නොහැකි කරුණක්. එම ධුරය සඳහා පත් කළ හැකි ඔහු සතු කුසලතා තිබෙන අය තවත් සිටිය හැකි වුවත් එවැන්නන් විශාල ප්‍රමාණයක් සිටීයැයි සිතන්නට බැහැ. ඒ අතරම, පුද්ගලයෙකු වශයෙන් සැලකුවොත්, ඔහු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දක්වා වන තනතුරු දැරූ අයෙක්. නියෝජ්‍ය අධිපති ලෙස ඔහුට එම කුසලතා පෙන්විය නොහැකි වූයේ ඇයි?

ලංකාවේ ආර්ථික අර්බුදයට ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වගකිව යුතු බව පැහැදිලි කරුණක්. එම වගකීම එහි නිලධාරීන්ටද පැවරෙනවා. විශේෂයෙන්ම උසස් නිලධාරීන්ට. මෙහිදී එම නිලධාරීන් සියලු දෙනාම මෙන් නැවත නැවත පවසා ඇති කරුණක් වන්නේ, මේ වචන වලින්ම නොවුනත්, මහ බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමේ බලය තිබෙන්නේ එහි අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩලයට බැවින් තමන් නිකම්ම රූකඩ පමණක් බවයි. දැන් මේ බලය තිබෙන්නේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට සහ පාලක මණ්ඩලයටයි. 

අලුත් පණත යටතේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකුද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් වන නමුත් එහි ඉතිරි සාමාජිකයින් කිසිවකු මහ බැංකුවේ නිත්‍ය සේවකයින් නොවෙයි. ඇත්ත වශයෙන්ම, ඉහළම කුසලතා අවශ්‍ය වන්නේ මහ බැංකුව වෙනුවෙන් තීරණ ගන්නා එහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සහ පාලක මණ්ඩලයේ සාමාජිකයින්ට මිස ඔවුන් වෙනුවෙන් තාක්ෂණික සේවා සපයන මහ බැංකුවේ පහළ සේවකයින්ට නොවෙයි. ඒ නිසා, කොපමණ වැඩි වුවත්, වෙළඳපොළ මිල ගෙවා සුදුසුම පුද්ගලයින් පත් කර ගත යුත්තේ මෙම ඉහළ තනතුරු වලටයි.

එහෙත්, එක පැත්තකින්, ඉතිහාසය දෙස බැලූ විට මෙම ඉහළ තනතුරු වලට අවශ්‍ය කුසලතා තිබෙන සුදුසුම පුද්ගලයින් පත් වී නැහැ. මේ වැරැද්ද අනාගතයේදී වුවත් සිදු විය හැකි අතර එවැන්නක් සිදු වුවහොත් පහළ ස්ථර වල සේවය කරන අයගේ කුසලතා කොපමණ වැඩි වුවත් එම කුසලතා වලින් වැඩක් වෙන්නේ නැහැ. 

දෙවනුව, මෙම කුසලතා ඇති අයෙකු අදාළ තනතුරකට පත් කිරීමේදී බොහෝ විට ප්‍රායෝගිකව ඔවුන්ගේ "වෙළඳපොළ මිල" බාධකයක් වන්නේ නැහැ. උදාහරණයක් ලෙස වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ පෙර එම ධුරය දැරූ බොහෝ දෙනෙකු විසින් එම තනතුරු භාර ගෙන තිබෙන්නේ තමන්ට ලැබෙන ඉහළ වැටුප් බලාගෙන නෙමෙයි. මෙම තනතුරේ ආකර්ශනීයත්වය හා සිවිල් බලය නිසාම, එතරම් අපහසුවක් නැතිව, බොහෝ විට සුදුසු අයෙකු සේවයේ යෙදවිය හැකියි. කෙසේ වුවත්, මෙය පුද්ගල අභිරුචි අනුව වෙනස් වන්නක්.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට වඩා පහළ අනෙකුත් මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු සඳහා කුසලතා පූර්ණ පිරිස් බඳවා ගත නොයුතු බව හෝ එසේ බඳවා ගැනීමේදී ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් තරඟකාරී මිලක් නොගෙවිය යුතු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. මෙම තනතුරු දරන අය අතරින් යම් පිරිසක් මේ වන විට වැඩි වී තිබෙන වැටුප් මට්ටම යටතේ වුවද බාහිර විකල්ප සොයා ගත හැකි අයයි. එහෙත්, එම ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු දරන අය අතරින් බොහෝ අයද වෙනත් බාහිර විකල්ප නොමැති අයයි. ඔවුන් ලේසියකට තමන්ගේ තනතුරු හැර යන්නේ නැහැ. බාහිර විකල්ප තිබෙන බොහෝ අයද දිගටම බැංකුවේ රැඳී සිටින්නේ සහන පොලියට මහ බැංකුවෙන් ලබාගත් විශාල ණය මුදල් හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේදී අත්සන් කළ බැඳුම්කර වැනි බාධක නිසා. 

මහ බැංකුවේ වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ කෙතරම් ඉහළ මට්ටමක තිබුණත්, සෑම වසරකදීම මහ බැංකුවේ සේවකයින් ආසන්න වශයෙන් දහ දෙනෙකු පමණ රැකියාවෙන් ඉවත්ව යනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. මේ අය බාහිර විකල්ප තිබෙන, ඉහත කී ආකාරයේ බාධා නැති අයයි. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු රැකියාවෙන් අස්ව ගිය අවස්ථාවක් ගැන මා පෞද්ගලිකව දන්නේ නැතත්, ඉන් පහළ සහකාර අධිපති දක්වා තනතුරු දැරූ අය මීට පෙර වරින් වර මහ බැංකුවේ රැකියාවෙන් ඉල්ලා අස් වී තිබෙනවා. බොහෝ විට යමෙකුට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය හිමි වන්නේ විශ්‍රාම යාමේ වයස ආසන්නව නිසා ඉල්ලා අස් වීමේ විකල්පය වෙනුවට විශ්‍රාම යාමේ විකල්පය තිබෙනවා. ඒ නිසාත්, සාමාන්‍යයෙන් නියෝජ්‍ය අධිපතිවරුන් සිටින්නේ දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණක් නිසාත් එවැන්නෙකු ඉල්ලා අස්වනු දකින්නට ලැබීමේ ඉඩකඩ අඩුවීම පුදුම විය යුතු දෙයක් නෙමෙයි. 

මෙසේ රැකියාවෙන් ඉවත්ව යන බොහෝ දෙනෙකු එසේ කරන්නේ විදේශ ගතවීම සඳහායි. ඉහළ වැටුප් ගෙවන විදේශ රැකියාවක් වෙනුවෙන් මහ බැංකුවේ රැකියාව අත හරින්නෙකු වැඩි වැටුප් ගෙවා නවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. තවත් අය බිරිඳ හෝ සැමියා විදේශගත වීම නිසා මහ බැංකුවේ රැකියාවෙන් ඉවත් වෙනවා. මේ හැර ලංකාවේම වෙනත් බැංකුවක හෝ පර්යේෂණ ආයතනයක ඉහළ වැටුපක් වෙනුවෙන් මහ බැංකුවේ රැකියාවෙන් ඉවත්ව යන අයද සිටියත් ඒ ඉතා කලාතුරකින්.

ආර්ථික අර්බුදය පැමිණීමත් සමඟ මහ බැංකුවේ සේවකයින් රැකියාවෙන් ඉවත්ව යාම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පහත සඳහන් තෝරාගත් (තොරතුරු සොයා ගත හැකි) වසර වල මහ බැංකුවේ සේවකයින් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති රටාව දෙස බැලූ විට මෙම වෙනස පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්.

2008 - 13

2010 - 9

2012 - 11

2014 - 16

2019 -9

2020 -5

2021 - 14

2022 - 51

වසරක් තුළ මහ බැංකුවේ සේවකයින් 51 දෙනෙකු රැකියාවෙන් ඉවත්ව යාම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ හේතුව නිසා 2022 අවසානය වන විට මහ බැංකුවේ සේවක ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීමක් දකින්න පුළුවන්. ඇතැම් විට, පසුගිය (2023) වසර තුළද මෙවැනිම තත්ත්වයක් පැවතුණා විය හැකියි. පහත තිබෙන්නේ පසුගිය වසර 15ක කාලය තුළ මහ බැංකුවේ සේවක ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරයයි.

2008 - 1,304

2009 - 1,263

2010 - 1,497

2011 - 1,411

2012 - 1,398

2013 - 1,550

2014 - 1,483

2015 - 1,422

2016 - 1,471

2017 - 1,405

2018 - 1,421

2019 - 1,366

2020 - 1,335

2021 - 1,357

2022 - 1,260

ඉහත සංඛ්‍යා වලින් පෙනෙන පරිදි, 2010 වසරේදී මහ බැංකුවේ කාර්යාල සහායක පංතියට 71 දෙනෙකු සහ කළමනාකරණ සහකාර පංතියට 94 දෙනෙකු බඳවා ගනු ලැබීම නිසා මහ බැංකුවේ සේවක සංඛ්‍යාව 19%කින් පමණ ඉහළ ගියා. එහෙත්, 2013 වසරේ සිට මහ බැංකුවේ සේවක සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යමින් පැවති බව දැකිය හැකියි. එය සැලසුම් සහගත ලෙස කර තිබෙන දෙයක්. එහෙත්, 2022 වසරේ ඉල්ලා අස් වීම් නිසා මහ බැංකුවේ සේවක ප්‍රමාණය අඩු වීම සැලසුමක ප්‍රතිඵලයක් නෙමෙයි. එමෙන්ම, එම වසරේ බොහෝ දෙනෙකු රට හැර විදේශගත වීම මහ බැංකුවෙන් පිටත අනෙකුත් ආයතන වලද දැකිය හැකි වූ තත්ත්වයක්. 

පුද්ගල ආදායම් බදු එකවර විශාල ලෙස ඉහළ යාම නිසා පසුගිය දෙවසර තුළ වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ අතට ලැබෙන පඩිපත කුඩා වුනා. මෙය මහ බැංකුවේ සේවකයින්ටද බලපා තිබෙනවා. එහෙත්, වෙනදාට වඩා වැඩියෙන් මහ බැංකුවේ සේවකයින් ඉල්ලා අස්වීමට එකම හේතුව එය කියා මා හිතන්නේ නැහැ.

රටේ ආර්ථිකයට "වෙන්න යන දේ" ගැන අනෙක් බොහෝ දෙනෙකුට කලින් දැනගන්නට ලැබෙන්නේ මහ බැංකුවේ සේවය කරන අයටයි. එමෙන්ම, පැවති ආර්ථික අර්බුදයේ ස්වභාවය අනුව සහ පැවති දේශපාලන වාතාවරණය තුළ මහ බැංකුවේ සේවය කරන සියල්ලන්ගේම රැකියා නැති වීමේ අවදානමක් තිබුණා. එම තත්ත්වය තුළ මේ ඉල්ලා අස්වීම් ගිලෙන නැවෙන් මීයන් පැනීමක් ලෙසද හඳුනාගත හැකියි. 2022 වසර අවසාන වන විට මහ බැංකුවේ සේවක සංයුතිය පහත පරිදියි.

මාණ්ඩලික ශ්‍රේණිය - 661

කළමනාකරණ සහකාර ශ්‍රේණිය - 463

කාර්යාල සහායක ශ්‍රේණිය - 136

මෙම පිරිසගේ වැටුප් ලෙස වසර තුළ රුපියල් මිලියන 6,692ක් ගෙවා ඇති අතර එය සාමාන්‍ය අගයක් ලෙස එක් අයෙකුට මාසයකට රුපියල් 442,577ක මුදලක්. මේ වැටුප් ඉහළ දැමීමට පෙරයි. විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම්ද ඇතුළුව පුද්ගල වියදම් ලෙස එම වසර තුළ වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 20,334ක්. මේ අනුව, වැටුප් වැඩි කිරීම නිසා වියදම් ඉහළ යන ආකාරය ගැන අදහසක් ගත හැකි විය යුතුයි. 

පහත තිබෙන්නේ පසුගිය වසර 16ක කාලය තුළ සේවක වැටුප් වෙනුවෙන් මහ බැංකුව විසින් වැය කර තිබෙන මුදල් ප්‍රමාණයයි. අදාළ කාලයේ සාමාන්‍ය අගයක් ලෙස විශ්‍රාම ප්‍රතිලාභ සඳහා වැය කර තිබෙන මුදල මෙම මුදලින් 60%ක් පමණ වෙනවා. 

2007 1,591,667,000

2008 1,718,302,000

2009 2,128,264,000

2010 2,224,931,000

2011 2,274,045,000

2012 2,865,544,000

2013 3,138,445,000

2014 3,256,096,000

2015 4,201,583,000

2016 4,258,884,000

2017 4,112,349,000

2018 5,409,137,000

2019 5,544,943,000

2020 5,298,938,000

2021 7,116,223,000

2022 6,691,770,000

ඉහත සංඛ්‍යා දෙස බැලු විට වසර තුනකට වරක් (2009, 2012, 2015, 2018 හා 2021) වැටුප් වියදම් එක වර විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්, අනෙකුත් වසර වලදී ආසන්න වශයෙන් ස්ථාවරව පැවතී ඇති බවත් ඔබට පෙනෙනවා ඇති. මෙයට හේතුව, මහ බැංකුව විසින් වසර තුනකට වරක් සේවකයින් සමඟ වන සාමූහික ගිවිසුම අලුත් කිරීමයි. මෙම ගිවිසුම අනුව, තවත් වසර තුනක කාලයක් යන තුරු මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන නැවත සලකා බැලෙන්නේ නැහැ. 2024 වසරද මෙසේ මහ බැංකුවේ සේවක වැටුප් නැවත සංශෝධනය වන වසරක්. 

ඉහත පැහැදිලි කර ඇති පරිදි මේ වසරේදී මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම අලුත් මහ බැංකු පණත නිසා සිදුව ඇති දෙයක් නෙමෙයි. නමුත්, දිගින් දිගටම සිදුව තිබෙන "වැරැද්දක්" මෙවරද නැවතත් සිදු වී තිබෙනවා. මහ බැංකුව ස්වාධීන කර ඇති පසුබිමක, ඒ වැරැද්ද මෙවර සිදුව තිබෙන්නේ වඩා නරක ආකාරයකිනුයි. 

කාර්යාල සහායක හා කළමනාකරණ සහකාර ශ්‍රේණි ගැන පෙර කතා කළ බැවින් මාණ්ඩලික ශ්‍රේණි වෙත අවධානය යොමු කළහොත්, ලංකාව ඇතුළේම වුවද වඩා හොඳ වැටුපක් ලබා ගැනීමේ හැකියාව තිබෙන අය මහ බැංකුවේ සේවය කරනවා. නමුත්, සියල්ලන්ම නෙමෙයි. අනෙක් අතට මෙම තනතුරු පිරවීමට අවශ්‍යනම් මහ බැංකුව ගෙවන වැටුප් වලට පිටතින් පිරිස් බඳවා ගැනීම කිසිසේත්ම නොකළ හැකි දෙයක් නෙමෙයි. ඇත්තම ප්‍රශ්නය එසේ බඳවා නොගැනීමයි!

මහ බැංකුව මාණ්ඩලික ශ්‍රේණියේ ඉහළ තනතුරු සඳහා පිටතින් පිරිස් බඳවා ගන්නේ නැහැ. එම තනතුරු වලට උසස්වීමටනම් මුලින්ම කළමනාකරණය පුහුණුවන්නෙකු ලෙස (MANAGEMENT TRAINEE) මහ බැංකුවේ සේවයට පැමිණිය යුතුයි. මෙසේ මහ බැංකුවේ සේවයට පැමිණෙන්නෙකුට වසරක කාලයක් යන තුරු සියලු දීමනා සමඟ මසකට ලැබෙන්නේ රුපියල් 125,000ක මුදලක් පමණයි. මෙය මෑතකදී වැටුප් වැඩි කිරීමට පෙර කාර්යාල සහායක ශ්‍රේණියේ පළමු පන්තියේ ආරම්භක දළ වැටුප වූ රුපියල් 145,773ටද වඩා අඩු වැටුපක්.

මාණ්ඩලික ශ්‍රේණියට බැඳී මහ බැංකුවේ ඉහළම සේවක තනතුර (rank position) වන නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස් වීමට සුදුසුකම් ඇති අය බඳවා ගැනීමේදී මහා බැංකුව මෙවැනි "අඩු" වැටුපක් ගෙවන්නේ ඇයි? 

පිළිතුර සරලයි. පවතින ශ්‍රම වෙළඳපොළ තත්ත්වයන් තුළ එම වැටුපට මහ බැංකුවේ සේවයට පැමිණෙන්නට කැමති සහ අවශ්‍ය සුදුසුකම් තිබෙන දහස් ගණනක් රටේ ඉන්නවා. කෙසේ වුවත්, ඔවුන් මෙසේ මහ බැංකුවේ සේවයට එන්නේ වසරකට පසු සැලකිය යුතු වැටුපක් හා ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගත හැකි නිසයි. වසරක "අසීරු කාලය" ගත කිරීමෙන් පසුව ඔවුන්ට සාපේක්ෂව හොඳ කලක් ලබනවා.

කෙසේ වුවත් මෙම හොඳ තත්ත්වය නැවතත් කාලයත් සමඟ වෙනස් වෙනවා. ඊට හේතුව, මහ බැංකුවේ සේවයට බැඳෙන අය‍ට "ඉහළට නැගීම" සඳහා විශාල කාලයක් බලා ඉන්නට සිදු වීමයි. වෙනස් විය යුතු දෙය මෙන්ම ඇත්ත ප්‍රශ්නය මෙයයි.

මූල්‍යකරණය වැනි විෂයයක අධ්‍යාපන හා/හෝ වෘත්තීය සුදුසුකම් ලබා පෞද්ගලික අංශයේ රැකියාවකට යන අයෙකුට තමන්ගේ දක්ෂතාවය අනුව වසර පහ හයක් යද්දී මධ්‍යම මට්ටමේ කළමණාකාර තනතුරක් දක්වා ඉහළට යාම අපහසු දෙයක් නෙමෙයි. මහ බැංකුවේ මීට සමාන කළ හැකි තනතුර වන දෙපාර්තුමේන්තු ප්‍රධානී තනතුරක් ලබා ගැනීම සඳහා අඩු වශයෙන් වසර 17ක පමණවත් කාලයක් බලා ඉන්නට සිදු වෙනවා. මේ කාලය තුළ, තමන්ට සමකාලීනව පෞද්ගලික අංශයේ සේවයට ගිය අය තමන් පසු කර ඉහළට යන ආකාරය දෙස හූල්ලමින් බලා සිටින්නට මාණ්ඩලික ශ්‍රේණියේ ඇතැම් නිලධාරීන්ට සිදු වෙනවා.

මහ බැංකුවේ ඇතැම් දෙපාර්තමේන්තු වල ප්‍රධානී තනතුර දැරීම සඳහා සැලකිය යුතු කුසලතා හා පළපුරුද්දක් අවශ්‍ය වුවත්, තවත් ඇතැම් දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු වල කාර්ය භාරය ඒ තරම්ම සංකීර්ණ නැහැ. ඊට ඉහළ හා පහළ සමාන්තර තනතුරු ගැන කියන්න තියෙන්නේද එවැනිම දෙයක්. එමෙන්ම මේ එක් එක් සමාන්තර තනතුරු සඳහා අවශ්‍ය කුසලතා වල වෙළඳපොළ මිල සමාන නැහැ.

උදාහරණ ලෙස මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ හෝ බැංකු අධීක්ෂණ වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරක් දැරීම සඳහා මහ බැංකුවේම කලක් සේවය කර පළපුරුද්දක් ඇති අය පත් කිරීම සුදුසු වුවත්, පහසුකම් කළමනාකරණ හෝ මානව සම්පත් වැනි දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරු සඳහා සුදුසුකම් ඇති අය පිටතින් බඳවා ගැනීමට බැරිකමක් නැහැ. එමෙන්ම, ආර්ථික පර්යේෂණ හෝ බැංකු අධීක්ෂණ වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුවකට පවා යම් නිලධාරීන් පිරිසක් පිටතින් බඳවා ගත හැකියි. දක්ෂ පුද්ගලයෙකුට මෙවැනි දෙපාර්තමේන්තුවක වුවද "වැඩ අල්ලා ගැනීමට" විශාල කාලයක් අවශ්‍ය වන්නේ නැහැ.

මහ බැංකුවේ කියන්නේ රජයේ වෙනත් ආයතන මෙන්ම දැඩි සේ ධුරාවලිගත වූ සහ එම ධුරාවලිය මහ බැංකුවේ සේවයට මුලින්ම සේවයට පැමිණි දිනය මත නිර්ණය වන ආයතනයක්. මේ ධුරාවලිය හා සම්ප්‍රදාය බැහැර කරන්නේනම් මහ බැංකුවට මානව ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා මේ තරම් මිලක් ගෙවන්නට සිදු වන්නේ නැහැ. නමුත්, දැඩි ලෙස වෘත්තීය සමිති ග්‍රහණයට යටත්ව ඇති ආයතනයක ධුරාවලිය හා සම්ප්‍රදාය බැහැර කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. 

පහළ ශ්‍රේණි වල සිටින වඩා කාර්යක්ෂම නිලධාරීන්ට ඉක්මණින් ඉහළ තනතුරු වලට යාමට අවස්ථාව ලබා දෙනවා කියන්නේ සේවා කාලයෙන් වඩා ජ්‍යෙෂ්ඨ, එහෙත් සාපේක්ෂව අකාර්යක්ෂම නිලධාරීන්ට එම අවස්ථාව අහිමි වෙනවා කියන එකයි. ධුරාවලිගත ආයතනයක සාපේක්ෂව අකාර්යක්ෂම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ තත්ත්වය ඇති වනු දකින්නට කැමති වන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින් ඉහළ යාමේ අවස්ථා අහිමිවන, වැඩි කුසලතා ඇති, ඒ නිසාම බාහිර විකල්ප තිබෙන, නිලධාරීන් යම් පිරිසක් සේවය හැර යාම නොවැලැක්විය හැකි දෙයක්. මහ බැංකුවේ වැටුප් ක්‍රමය සකස් වී තිබෙන්නේ නිලධාරීන් බඳවා ගැනීම හා රඳවා ගැනීම පහසු කරන ආකාරයෙන් නොව, කවර කොන්දේසි යටතේ වුවද මහ බැංකුව හැර නොයන නිලධාරීන්ට හැකි ඉහළම ප්‍රතිලාභ ලැබෙන අයුරිනුයි.

මහ බැංකුවේ ඇත්තම ප්‍රශ්නය එහි නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම නොව සාපේක්ෂව අකාර්යක්ෂම නිලධාරීන් එසේ ඉවත් වී නොයාමයි. ඊට හේතුව ඔවුන්ට ලැබෙන වැටුප් හා ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගත හැකි "වෙළඳපොළ වැටුප්" වලට වඩා වැඩි වීමයි. මෙය සිදු වන්නේ සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදන සාමූහික ගිවිසුම් ක්‍රමයේ උදවුවෙන්. ඒ නිසා, පහළ ස්ථර වල සිටින අයට ඉහළට යාමට, පෞද්ගලික ආයතනයකට සාපේක්ෂව, විශාල කාලයක් ගත වෙනවා. මේ තත්ත්වය තුළ වඩා අභිලාෂකාමී (ambitious), දක්ෂ නිලධාරීන් සේවයෙන් ඉවත්ව යනවා. 

මේ තත්ත්වය මහ බැංකුවට පමණක් සුවිශේෂී තත්ත්වයක් නෙමෙයි. තමන්ගේ වාසියට ධනවාදී තර්කනයේ වෙළඳපොළ මිල හා සමාජවාදී තර්කනයේ සාමූහික ගිවිසුම් කලවම් කර දෙමුහුන් ක්‍රමයක් හදා ගැනීම වෙනත් අයද කරන දෙයක්. 

පහත උපුටා ගැනීම නලින් ද සිල්වාගේ ලිපියකින්.

"මොටාල  වැඩ වර්ජනයක් කළා. මාත් එකල මොටාවෙක්. අපි තර්ක කළා මොටාවලටත් දක්‍ෂයන් බඳවා ගන්න හා රඳවා ගන්න ඕන නිසා ඒ ඒ ක්‍ෂෙත්‍රවල මොටාලගෙ වැටුප ඒ ක්‍ෂෙත්‍රවල ඉහළ ම වැටුප වෙන්න ඕන කියලා. උදාහරණයක් වශයෙන් මොටාවල ආර්ථික විද්‍යාඥයන්ට මහා බැංකුවෙ වැටුප් ගෙවන්න ඕන කියා. වෛද්‍ය පීඨයෙ නම් රජයේ වෛද්‍ය සේවයේ ඉහළ වැටුප් ගෙවන්න ඕන කියා. ඊළඟට අප තර්ක කළා මොන පීඨයෙ හිටියත් මොටාල මොටාලා නිසා පීඨයෙන් පීඨයට වැටුප් වෙනසක් තියෙන්න බැහැ කියා.

ඒ කියන්නෙ මොන පීඨයෙ හිටියත් අදාළ ක්‍ෂෙත්‍රයෙ ඉහළ ම වැටුප මොටාලට ලැබෙනව විතරක් නො වෙයි මා වැනි ගණිත මොටාවෙකුට වුණත් මහා බැංකුවෙ හරි රජයේ වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙ හරි ඉහළ ම වැටුප් ලැබෙනවා. එකල උසස් අධ්‍යාපන ඇමති හමීඩ්. ප්‍රතිපාදන කොමිසමේ සභාපති අර්ජුන අළුවිහාරෙ. ඔවුන් අපේ තර්කය පිළිගත්තා. වැටුප් වැඩි කළා."

මහ බැංකුවේ වෙලා තියෙන්නෙත්, තිබෙන ක්‍රමය තුළ ඉදිරියේදී විය හැක්කේත් හරියටම ඔන්න ඔය වැඩේ. නිශ්චිත කිවුවොත් කණ්ඩායමක සිටින දක්ෂම පුද්ගලයන්ගේ ආන්තික ඵලදායීතාවය මත කණ්ඩායමේ සියල්ලන්ගේම වැටුප් නිර්ණය වීම. මෙහි තිබෙන අවුල මෙය සිදු වන්නේ රටේ පොදු මහජනතාවගේ වියදමෙන් වීමයි. 

දක්ෂ පුද්ගලයින් බඳවා ගත යුතුනම් හෝ රඳවා ගත යුතුනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොදුවේ සියල්ලන්ගේම වැටුප් ඉහළ දැමීම නෙමෙයි. එසේ බඳවාගත යුතු හෝ රඳවා ගත යුතු පුද්ගලයින්ට ඔවුන්ගේ වෙළඳපොළ වටිනාකම හා ගැලපෙන වැටුපක් ගෙවන එක සහ ඉක්මනින් ඉහළට යාමට අවස්ථා ලබා දීමයි. ඒ වගේම, ඉහළ තනතුරු ඇතුළු සියලුම තනතුරු බාහිර තරඟයට විවෘත කිරීමයි.  

Saturday, March 9, 2024

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය


පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද?

මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් "ශ්‍රී ලංකා මහ බැංකුව" කියා දැන් තිබෙන ආකාරයේ ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව නම් වූ "සංස්ථාවක්" පිහිටවනු ලබන්නේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන යටතේයි. 

මහ බැංකු පණතේ 4 වන වගන්තිය අනුව, එහි ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් දරනු ලැබිය යුතුයි. එමෙන්ම, ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරන ලද අරමුදල් වලින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වරින් වර වැඩි කළ හැකියි. වෙනත් විදිහකින් කිවුවොත් මෙම ආයතනය සියයට සියයක් ජනතා බදු මුදල් යොදවා පිහිටුවා තිබෙන රාජ්‍ය සංස්ථාවක්. 

විවිධ කාර්යයක් සඳහා පිහිටුවා තිබෙන මෙවැනි රාජ්‍ය සංස්ථා ගණනාවක් තිබෙනවා. ඒ රාජ්‍ය සංස්ථා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර තිබෙන වෙනස කුමක්ද?

පණතේ 5 වගන්තිය අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පරිපාලනමය හා මූල්‍ය ස්වාධීනත්වයක් ඇති ආයතනයක්. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ පාලක මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යවරයාගේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින්. පණතේ 21 වගන්තිය අනුව, මෙම පාලක මණ්ඩල සාමාජිකයින්ට ගෙවිය යුතු වැටුප්, දීමනා ආදිය ඔවුන්ව පත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් තීරණය කරනවා. ඉන් පසුව එම වැටුප්, දීමනා ආදිය අඩු කළ නොහැකියි. එමෙන්ම, පණතේ නිශ්චිතව සඳහන් කර ඇති පරිදි ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය (පාරිශ්‍රමික) මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතුයි. 

ඉහත කොන්දේසිය පණතටම ඇතුළු කර තිබෙන්නේ ඇයි කියන කරුණ අපගේ පෙර ලිපිය කියවා අවබෝධ කරගත හැකි විය යුතුයි. මහ බැංකුවේ ආදායම් වලින් හෝ ලාබ වලින් එම ආයතනයේ පාලක මණ්ඩලයේ හෝ සේවකයින්ගේ කාර්යක්ෂමතාවය හෝ ඵලදායීත්වය පිළිබිඹු කරන්නේ නැහැ. මෙම වෙනස නිසා මහ බැංකුවක් එහි ව්‍යාපාරික ස්වභාවයෙන් වෙනත් ඕනෑම ව්‍යවසායකට වඩා වෙනස් ආයතනයක්. ඒ වගේම, මහ බැංකු සේවකයින්ට වැටුප් ගෙවන්නේ බදු මුදල් වලින් නොවේ කියන එක තේරුමක් නැති තර්කයක් කියන එකද මෙයින් තහවුරු වෙනවා. 

මහ බැංකුවේ සේවා නියුක්තයින් පත් කිරීම හා ඉවත් කිරීම පිළිබඳව නෛතික තත්ත්වය පණතේ 23 වගන්තිය විස්තර කරනවා. එම වගන්තිය අනුව, මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කරන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින්. එම වැටුප් හා දීමනා මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතු බව නැවතත් විශේෂයෙන් සඳහන් වෙනවා. 

නැවතත් පනතේ 5 වගන්තිය වෙත ගියොත්, පණතෙන් ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී, කිසිවෙකුට මහ බැංකුවේ අධිපතිවරයාට හෝ එහි පාලක මණ්ඩලයට බලපෑම් කළ නොහැකියි. පණතේ 23 වගන්තිය අනුව සේවකයින් බඳවා ගැනීම සහ ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කිරීම එසේ පනත මගින් එහි පාලක මණ්ඩලයට ලබා දී තිබෙන බලතලයක්. ඒ නිසා, වෙනත් කිසිවෙකුට ඒ සම්බන්ධව පාලක මණ්ඩලයට බලපෑම් කිරීමේ අයිතියක් නැහැ.

අලුත් මහ බැංකු පණත සම්මත වීමට පෙර මහ බැංකුවට මේ මට්ටමේ ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. ඊට පෙරද මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවුවේ මහ බැංකුවේ අරමුදල් වලින්ම තමයි. ඒ වගේම, මීට පෙරද මහ බැංකු සේවකයින්ගේ වැටුප් විශාල ලෙස වැඩි කළ අවස්ථා තිබෙනවා. අප මෙහි කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මෙය වෙනම කාරණාවක්.

දැනටත් රාජ්‍ය සංස්ථා වල සේවකයින්ට වැටුප් ගෙවන්නේ එම ආයතන වල අරමුදල් වලින් මිසක් ඒකාබද්ධ අරමුදලින් නෙමෙයි. නමුත් මෙම රාජ්‍ය සංස්ථා මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත්. මුදල් අමාත්‍යාංශ අනුමැතියක් නැත්නම් එම ආයතන වලට අලුත් බඳවා ගැනීම් කිරීමට හෝ වැටුප් වැඩි කිරීමට නොහැකියි. සාමූහික ගිවිසුම් වලට එළැඹිය නොහැකියි. නමුත් මහ බැංකුව දැන් මෙම සීමාවන්ගෙන් නිදහස්.

මහ බැංකුවට මේ බලය ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. නමුත්, පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට බලය ලබා දීමෙන් පසුව පාර්ලිමේන්තුවට එම බලය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම වැළැක්විය හැක්කේ නීතිය වෙනස් කර දුන් බලය ආපසු ලබා ගැනීමෙන් පමණයි. වත්මන් මහ බැංකු පණත බලාත්මකව තිබෙන තුරු මහ බැංකුවේ පාලක මණ්ඩලයට අභිමතය පරිදි සේවක වැටුප් වැඩි කළ හැකියි. (සාමූහික ගිවිසුම් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ගැන පසුව වෙනම කතා කරමු.)

අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයක් සැලකුවහොත්, මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය පැත්තකින් තිබ්බත්, සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව අදාළ ආයතනයේ ආදායම් හා ලාබ හරහා නියාමනය වෙනවා. එසේ නැත්නම් වෙළඳපොළ විසින් නියාමනය කරනවා. අදාළ ආයතනය ඒකාධිකාරයක් වූ විට සහ නිපදවන භාණ්ඩය හෝ සේවාව අත්‍යාවශ්‍ය එකක් වීම මත මෙවැනි ආයතනයකට රිසි සේ ලාබ වැඩි කර ගැනීම සඳහා සැලකිය යුතු අවකාශයක් ලැබිය හැකි වුවත්, මහ බැංකුවට මෙන් "අසීමිත" අවකාශයක් ලැබෙන්නේ නැහැ.

මහ බැංකුව සතු නෛසර්ගික මූල්‍ය ස්වාධීනත්වය සම කළ හැක්කේ ව්‍යවස්ථාදායකයේ මූල්‍ය ස්වාධීනත්වයට පමණයි. ව්‍යවස්ථාදායකයට තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කරගන්න පුළුවන්. මහ බැංකුවට තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩි කරගන්න පුළුවන්. වෙනත් කිසිම ආයතනයකට එවැන්නක් කළ නොහැකියි. තෙල්, විදුලි ගාස්තු වැඩි වෙද්දී එය කොපමණ පීඩනයක් වුවත්, එක්තරා අයෙක් පසුගිය දිනෙක කියා ඇති පරිදි, "කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න" පුළුවන්. බර කරත්ත වලින් ගමන් යන්න පුළුවන්. නමුත් බදු, විශේෂයෙන්ම වක්‍ර බදු, නොගෙවා ඉන්න බැහැ. උද්ධමනයෙන් බේරෙන්න කොහොමටවත් බැහැ.

ව්‍යවස්ථාදායකය විසින් තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කර ගැනීම සහ මහ බැංකුව විසින් තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩිගැනීම නියාමනය විය හැකි එකම ආකාරය සෘජු ජනතා මැදිහත් වීම් පමණයි. ජනතා විරෝධය ප්‍රශ්නයක් වන තුරු ඔය දෙකම වෙන්න පුළුවන්. ජනතාවට ව්‍යවස්ථාදායකය පිළිබඳව ප්‍රශ්න ඇති විට එහි නියෝජිතයින් වෙනස් කළ හැකියි. එය වරින් වර සිදු වෙනවා. එහෙත්, මහ බැංකුව හා අදාළව ජනතාවට මේ විකල්පය හෝ නැහැ. 

ඉහත හේතුව නිසා සෘජුව ජනතාවට වගවීමට පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට තිබෙන වගකීමටද වඩා වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නෛතික අයිතිය අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද අවශ්‍ය පමණ වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් කිසිවකුගෙන් අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ. අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුවටද එවැනිම, පාර්ලිමේන්තුවට සම, නෛතික අයිතියක් ලැබී තිබෙනවා. ඇතැම් විට එම අයිතියේ බර දරා ගැනීමට මහ බැංකුවට තවමත් හැකියාවක් නැතුවා විය හැකියි. 

මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද 100%කින් වැඩි කරගත්තොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔවුන්ට එසේ කර ගැනීමට පූර්ණ නෛතික හැකියාවක් තිබෙනවා. නමුත්, ඔවුන් එසේ නොකරන්නේ ඒ සමඟ ඇති වන මහජන ප්‍රතිචාරය ගැන අවබෝධයක් තිබෙන නිසා. අලුත් පණත සම්මත වීමෙන් පසුව මහ බැංකු සේවකයින් සිටින්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඳගෙන සිටින ආකාරයේම උණුසුම් පුටු වලයි. 

කෙසේ වුවත්, මේ ලිපිය අනාගතවාදීව ලියන්නක් මිසක් සිදුව ඇති වැටුප් වැඩිවීම පමණක් ඉලක්ක කරගෙන ලියන්නක් නෙමෙයි. ඒ වගේම, මහ බැංකුවට සුවිශේෂී මානව ප්‍රාග්ධනයක් අවශ්‍යද කියන කරුණ ඇතුළු කතා නොකළ කරුණු පසුව කතා කරමු. 

Sunday, March 19, 2023

මහ බැංකු ස්වාධීනත්වය


අලුත් මහ බැංකු පණතත් එක්ක මහ බැංකු ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක් ලෙසයි. එහෙම පැත්තකුත් තිබුණත්, මහ බැංකු ස්වාධීනත්වය කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ ඒකම නෙමෙයි. ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් පැත්තකින් තිබ්බොත් මේක නිශ්චිත තේරුමක් තිබෙන තාක්ෂනික කරුණක්.

මහ බැංකු නිලධාරීන්ට ස්වාධීන තීරණ ගන්න අවශ්‍යනම් ඊට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැන් තිබෙන මුදල් නීති පණතේත් තිබෙනවා. ඒ වැඩේ ඒ විදිහට සිදු නොවීම නීතියේ ප්‍රශ්නයකට වඩා තනතුරු දරන පුද්ගලයින්ගේ ප්‍රශ්නයක්. අලුත් පණතක් යටතේ අලුත් මහ බැංකුවක් හැදුවා කියලත් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ ස්වාධීනත්වය කොයි තරම් දුරකට ප්‍රයෝජනයට ගන්නවද කියන එක පුද්ගලබද්ධ කාරණයක්. ඒ නිසා, අලුතෙන් මහ බැංකුවක් හැදූ පමණින් මහ බැංකුව පාලනය කරන මිනිස්සු ක්‍රියාකරන ආකාරය වෙනස් වන බව සහතික කෙරෙන්නේ නැහැ. 

මහ බැංකු ස්වාධීනත්වය කියන එකෙන් පොදුවේ අදහස් කෙරෙන්නේ ආයතනික ස්වාධීනත්වය. පුද්ගල ස්වාධීනත්වය ඒ එක්ක බැඳී තිබීම වෙනම කරුණක්. මැතිවරණ කොමිසම හෝ පොලිස් කොමිසම වගේ එකක ස්වාධීනත්වය ගැන කතා කරද්දී කොමිසමේ ස්වාධීනත්වය කියා කියන්නේ පුද්ගලයින් විදිහට සාමාජිකයින්ගේ ස්වාධීනත්වය. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ඒ වගේ එකක් පමණක් නෙමෙයි. ඊට වඩා පුළුල් තේරුමක් තිබෙන දෙයක්.

මේක එන්නේ මහ බැංකුවක කාර්යභාරය කුමක්ද කියන එකත් එක්ක. අලුතෙන් පිහිටුවන්න යන මහ බැංකුවේ ප්‍රමුඛ කාර්යභාරය මිල ස්ථායීතාවය. ඒ කියන්නේ උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. අනෙක් හැම දෙයක්ම ද්වීතියීකයි. මහ බැංකුවක් අලුතෙන් පිහිටුවන්නේම මේ වැඩේට.

මහ බැංකුවක් අලුතෙන් පිහිටුවනවා කිවුවට දැන් ඉන්න මහ බැංකු අධිපති, අනෙක් නිලධාරීන්, ගොඩනැගිලි සියල්ල ඒ විදිහටම තියෙනවා. කලින් නිකුත් කළ මුදල් ඒ විදිහටම භාවිතා වෙනවා. භෞතික වෙනසක් නැතත්, නීතිමය වශයෙන් පරණ මහ බැංකුව අහෝසි වෙලා අලුත් මහ බැංකුවක් හැදෙනවා. භෞතික වශයෙන් කලින් නිකුත් කළ මුදල් නෝට්ටුම වුනත්, ඊට පස්සේ ගුණාත්මක භාවය අතින් රුපියල් නෝට්ටු පරණ රුපියල් නෝට්ටුම නෙමෙයි. 

අලුත් පණතකින් අලුත් මහ බැංකුවක් පිහිටුවන්න වෙලා තියෙන්නේ අවුරුදු 75කට පසුව කලින් මහ බැංකුව එහි අරමුණු ඉටු කර ගැනීමට අසමත්ව බංකොලොත් වී ඇති නිසා. මේ වගේ තත්ත්වයකදී තිබුණු මහ බැංකුව මුළුමනින්ම විසුරුවා හැර අලුතෙන්ම මහ බැංකුවක් හදන එක ඇතැම් රටවල සිදු වී තිබෙන දෙයක්. නමුත් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. අඩු වශයෙන් භෞතික ලෙස පෙනෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තිබෙන මහ බැංකුවම අලුත් මහ බැංකුවක් ලෙස අලුත් උපතක් ලබන එකයි වෙන්නේ. 

මහ බැංකුවකට මිල ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා තිබෙන ප්‍රධානම උපකරණය පොලී අනුපාතිකයි. නිදහසේ පොලී අනුපාතික තීරණය කරන්න බැරිනම් මහ බැංකුවකට මිල ස්ථායීතාවය පවත්වා ගන්න බැහැ. දැනට තිබෙන මහ බැංකුවට නිදහසේ පොලී අනුපාතික තීරණය කරන්න බැරි හේතු කිහිපයක්ම තිබෙනවා. මේවා තීරණ ගන්නා පුද්ගලයින්ගේ අසමත්කම්, දේශපාලනික ඇඟිලි ගැසීම් ආදියෙන් ඔබ්බට ගිය බාධාවන්. අලුත් පණතින් කෙරෙන ප්‍රධානම දෙය මෙම බාධාවන් ඉවත් කිරීමයි. 

ලංකාවේ රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරනය කරන්නෙත් මහ බැංකුවයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කොටසක් වන රාජ්‍ය ණය කළමණාකරනයේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ හැකි අඩුම පොලියකට ණය ගැනීමටයි. මිල ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා පොලී අනුපාතික වැඩි කළ යුතු වූ විට මේ අරමුණු දෙක කෙළින්ම ගැටෙනවා. එක අරමුණක් ඉටු කරගන්න යන විට අනෙක් අරමුණ ඉටු කරගන්න බැරි වෙනවා. මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නය එන්නේ ඔය පසුබිමේ.

භාණ්ඩාගාර ලේකම් නිල බලයෙන්ම දැන් තිබෙන මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්. මහ බැංකුව කියා කිවුවත් ඇත්තටම දැන් තිබෙන නීතිමය ව්‍යුහය මහ බැංකුවේ මුදල් මණ්ඩලය මිසක් මහ බැංකුව නෙමෙයි. මෙයින් වෙනස්ව අලුත් පණත අනුව පිහිටුවන නව මහ බැංකුව කෙනෙකුට අවශ්‍යනම් නඩු පැවරිය හැකි නීතිමය ව්‍යුහයක්. 

භාණ්ඩාගාරයේ ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් වූ විට මිල ස්ථායීතාවය වෙනුවට රජයේ ණය අවශ්‍යතාවය සපුරා ගන්න එකට බර වැටෙන එක සාමාන්‍ය දෙයක්. ඒක නීතියේම ප්‍රශ්නයක් මිසක් පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. පුළුවන් තරම් අඩු පොලියකට ණය ගන්න එක භාණ්ඩාගාරයේ ලේකම් විසින් කළ යුතුම දෙයක්. හැබැයි ඒ වැඩේ කරන්න යාමේ ප්‍රතිඵලය උද්ධමනය පාලනය කර ගැනීම අසීරු වීම.

අලුත් පණත අනුව භාණ්ඩාගාරයේ ලේකම් මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නා කමිටුවේ සාමාජිකයෙක් නෙමෙයි. මහ බැංකුව පාලනය කරන පරිපාලන කමිටුවේ සාමාජිකයෙකුත් නෙමෙයි. ඒ වගේම, රාජ්‍ය ණය කළමනාකරණය අලුතෙන් පිහිටුවීමට නියමිත ආයතනයක් යටතට වැටෙනවා. මහ බැංකුව මේ වැඩේ කරන්නේ එම ආයතනය පිහිටුවන තුරු සංක්‍රමනික කාලය තුළ පමණයි. 

මීට අමතරව තවත් දේවල් වෙනවා. අලුත් මහ බැංකුවට රජයේ අයවැය හිඟය පියවීමේ අරමුණින් රජයට ණය දෙන්න බැහැ. ඒ අනුව, ප්‍රාථමික වෙන්දේසියෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බැහැ. ඒ වගේම, දැනට රජයට දෙන තාවකාලික අත්තිකාරම් ප්‍රමාණයද සීමා කර තිබෙනවා. එහෙත්, මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බාධාවක් නැහැ. 

අලුත් මහ බැංකුව පිහිටුවීමට සමාන්තරව පණතේ ප්‍රතිපාදන අනුවම තවත් දෙයක් වෙනවා. මෙය සරල ලෙස කිවුවොත් මහ බැංකුව සතු අති විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමක්. මේ වැඩෙන් යම් කාලයකට රජයේ ණය බර සැලකිය යුතු ලෙස පහළ යනවා. සමස්තයක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙන අවශ්‍යතාවය අඩු වෙනවා. 

කොහොම වුනත්, අවසාන වශයෙන් සල්ලි අච්චු ගැසීම සීමා වෙනවා. ඉදිරි වසර තුනක කාලය තුළ උද්ධමනය පවත්වා ගත යුතු මට්ටම රජය විසින් තීරණය කිරීමෙන් පසුව එම කාර්යය කිරීම මහ බැංකුවට පවරමින් ගිවිසුමක් අත්සන් කෙරෙනවා. ඊට පස්සේ වැඩේ කරන එක මහ බැංකුවේ වගකීම. 

සල්ලි අච්චු ගැසීම සීමා වන නිසා රජයට වියදම් කරන්න වෙන්නේ බදු එකතු වෙන විදිහටයි. නැත්නම් ණය ගන්න සිදු වෙනවා. ගත් ණය ආපසු ගෙවීම රජයේ ප්‍රශ්නයක්. නමුත් IMF එක සමඟ ඇති ගිවිසුම සහ ඉදිරියේදී ණයකරුවන් එක්ක ඇති කරගන්න යන ගිවිසුම් අනුව ණය ගත හැකි ප්‍රමාණයද සීමා වෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවට වගේම ඉදිරියේදී බලයට පත් වන ආණ්ඩු වලටත් කලින් කළා වගේ "නැති සල්ලි" වියදම් කරන්න වැඩි ඉඩක් ඉතිරි වන්නේ නැහැ. එක්කෝ වියදම් සීමා කරන්න වෙනවා. නැත්නම් බදු ආදායම් වැඩි කරගන්න වෙනවා.

වෙබ් ලිපිනය: