වෙබ් ලිපිනය:

Sunday, March 19, 2023

මහ බැංකු ස්වාධීනත්වය


අලුත් මහ බැංකු පණතත් එක්ක මහ බැංකු ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක් ලෙසයි. එහෙම පැත්තකුත් තිබුණත්, මහ බැංකු ස්වාධීනත්වය කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ ඒකම නෙමෙයි. ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් පැත්තකින් තිබ්බොත් මේක නිශ්චිත තේරුමක් තිබෙන තාක්ෂනික කරුණක්.

මහ බැංකු නිලධාරීන්ට ස්වාධීන තීරණ ගන්න අවශ්‍යනම් ඊට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැන් තිබෙන මුදල් නීති පණතේත් තිබෙනවා. ඒ වැඩේ ඒ විදිහට සිදු නොවීම නීතියේ ප්‍රශ්නයකට වඩා තනතුරු දරන පුද්ගලයින්ගේ ප්‍රශ්නයක්. අලුත් පණතක් යටතේ අලුත් මහ බැංකුවක් හැදුවා කියලත් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ ස්වාධීනත්වය කොයි තරම් දුරකට ප්‍රයෝජනයට ගන්නවද කියන එක පුද්ගලබද්ධ කාරණයක්. ඒ නිසා, අලුතෙන් මහ බැංකුවක් හැදූ පමණින් මහ බැංකුව පාලනය කරන මිනිස්සු ක්‍රියාකරන ආකාරය වෙනස් වන බව සහතික කෙරෙන්නේ නැහැ. 

මහ බැංකු ස්වාධීනත්වය කියන එකෙන් පොදුවේ අදහස් කෙරෙන්නේ ආයතනික ස්වාධීනත්වය. පුද්ගල ස්වාධීනත්වය ඒ එක්ක බැඳී තිබීම වෙනම කරුණක්. මැතිවරණ කොමිසම හෝ පොලිස් කොමිසම වගේ එකක ස්වාධීනත්වය ගැන කතා කරද්දී කොමිසමේ ස්වාධීනත්වය කියා කියන්නේ පුද්ගලයින් විදිහට සාමාජිකයින්ගේ ස්වාධීනත්වය. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ඒ වගේ එකක් පමණක් නෙමෙයි. ඊට වඩා පුළුල් තේරුමක් තිබෙන දෙයක්.

මේක එන්නේ මහ බැංකුවක කාර්යභාරය කුමක්ද කියන එකත් එක්ක. අලුතෙන් පිහිටුවන්න යන මහ බැංකුවේ ප්‍රමුඛ කාර්යභාරය මිල ස්ථායීතාවය. ඒ කියන්නේ උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. අනෙක් හැම දෙයක්ම ද්වීතියීකයි. මහ බැංකුවක් අලුතෙන් පිහිටුවන්නේම මේ වැඩේට.

මහ බැංකුවක් අලුතෙන් පිහිටුවනවා කිවුවට දැන් ඉන්න මහ බැංකු අධිපති, අනෙක් නිලධාරීන්, ගොඩනැගිලි සියල්ල ඒ විදිහටම තියෙනවා. කලින් නිකුත් කළ මුදල් ඒ විදිහටම භාවිතා වෙනවා. භෞතික වෙනසක් නැතත්, නීතිමය වශයෙන් පරණ මහ බැංකුව අහෝසි වෙලා අලුත් මහ බැංකුවක් හැදෙනවා. භෞතික වශයෙන් කලින් නිකුත් කළ මුදල් නෝට්ටුම වුනත්, ඊට පස්සේ ගුණාත්මක භාවය අතින් රුපියල් නෝට්ටු පරණ රුපියල් නෝට්ටුම නෙමෙයි. 

අලුත් පණතකින් අලුත් මහ බැංකුවක් පිහිටුවන්න වෙලා තියෙන්නේ අවුරුදු 75කට පසුව කලින් මහ බැංකුව එහි අරමුණු ඉටු කර ගැනීමට අසමත්ව බංකොලොත් වී ඇති නිසා. මේ වගේ තත්ත්වයකදී තිබුණු මහ බැංකුව මුළුමනින්ම විසුරුවා හැර අලුතෙන්ම මහ බැංකුවක් හදන එක ඇතැම් රටවල සිදු වී තිබෙන දෙයක්. නමුත් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. අඩු වශයෙන් භෞතික ලෙස පෙනෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තිබෙන මහ බැංකුවම අලුත් මහ බැංකුවක් ලෙස අලුත් උපතක් ලබන එකයි වෙන්නේ. 

මහ බැංකුවකට මිල ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා තිබෙන ප්‍රධානම උපකරණය පොලී අනුපාතිකයි. නිදහසේ පොලී අනුපාතික තීරණය කරන්න බැරිනම් මහ බැංකුවකට මිල ස්ථායීතාවය පවත්වා ගන්න බැහැ. දැනට තිබෙන මහ බැංකුවට නිදහසේ පොලී අනුපාතික තීරණය කරන්න බැරි හේතු කිහිපයක්ම තිබෙනවා. මේවා තීරණ ගන්නා පුද්ගලයින්ගේ අසමත්කම්, දේශපාලනික ඇඟිලි ගැසීම් ආදියෙන් ඔබ්බට ගිය බාධාවන්. අලුත් පණතින් කෙරෙන ප්‍රධානම දෙය මෙම බාධාවන් ඉවත් කිරීමයි. 

ලංකාවේ රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමණාකරනය කරන්නෙත් මහ බැංකුවයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කොටසක් වන රාජ්‍ය ණය කළමණාකරනයේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ හැකි අඩුම පොලියකට ණය ගැනීමටයි. මිල ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා පොලී අනුපාතික වැඩි කළ යුතු වූ විට මේ අරමුණු දෙක කෙළින්ම ගැටෙනවා. එක අරමුණක් ඉටු කරගන්න යන විට අනෙක් අරමුණ ඉටු කරගන්න බැරි වෙනවා. මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නය එන්නේ ඔය පසුබිමේ.

භාණ්ඩාගාර ලේකම් නිල බලයෙන්ම දැන් තිබෙන මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්. මහ බැංකුව කියා කිවුවත් ඇත්තටම දැන් තිබෙන නීතිමය ව්‍යුහය මහ බැංකුවේ මුදල් මණ්ඩලය මිසක් මහ බැංකුව නෙමෙයි. මෙයින් වෙනස්ව අලුත් පණත අනුව පිහිටුවන නව මහ බැංකුව කෙනෙකුට අවශ්‍යනම් නඩු පැවරිය හැකි නීතිමය ව්‍යුහයක්. 

භාණ්ඩාගාරයේ ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් වූ විට මිල ස්ථායීතාවය වෙනුවට රජයේ ණය අවශ්‍යතාවය සපුරා ගන්න එකට බර වැටෙන එක සාමාන්‍ය දෙයක්. ඒක නීතියේම ප්‍රශ්නයක් මිසක් පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. පුළුවන් තරම් අඩු පොලියකට ණය ගන්න එක භාණ්ඩාගාරයේ ලේකම් විසින් කළ යුතුම දෙයක්. හැබැයි ඒ වැඩේ කරන්න යාමේ ප්‍රතිඵලය උද්ධමනය පාලනය කර ගැනීම අසීරු වීම.

අලුත් පණත අනුව භාණ්ඩාගාරයේ ලේකම් මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නා කමිටුවේ සාමාජිකයෙක් නෙමෙයි. මහ බැංකුව පාලනය කරන පරිපාලන කමිටුවේ සාමාජිකයෙකුත් නෙමෙයි. ඒ වගේම, රාජ්‍ය ණය කළමනාකරණය අලුතෙන් පිහිටුවීමට නියමිත ආයතනයක් යටතට වැටෙනවා. මහ බැංකුව මේ වැඩේ කරන්නේ එම ආයතනය පිහිටුවන තුරු සංක්‍රමනික කාලය තුළ පමණයි. 

මීට අමතරව තවත් දේවල් වෙනවා. අලුත් මහ බැංකුවට රජයේ අයවැය හිඟය පියවීමේ අරමුණින් රජයට ණය දෙන්න බැහැ. ඒ අනුව, ප්‍රාථමික වෙන්දේසියෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බැහැ. ඒ වගේම, දැනට රජයට දෙන තාවකාලික අත්තිකාරම් ප්‍රමාණයද සීමා කර තිබෙනවා. එහෙත්, මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බාධාවක් නැහැ. 

අලුත් මහ බැංකුව පිහිටුවීමට සමාන්තරව පණතේ ප්‍රතිපාදන අනුවම තවත් දෙයක් වෙනවා. මෙය සරල ලෙස කිවුවොත් මහ බැංකුව සතු අති විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමක්. මේ වැඩෙන් යම් කාලයකට රජයේ ණය බර සැලකිය යුතු ලෙස පහළ යනවා. සමස්තයක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙන අවශ්‍යතාවය අඩු වෙනවා. 

කොහොම වුනත්, අවසාන වශයෙන් සල්ලි අච්චු ගැසීම සීමා වෙනවා. ඉදිරි වසර තුනක කාලය තුළ උද්ධමනය පවත්වා ගත යුතු මට්ටම රජය විසින් තීරණය කිරීමෙන් පසුව එම කාර්යය කිරීම මහ බැංකුවට පවරමින් ගිවිසුමක් අත්සන් කෙරෙනවා. ඊට පස්සේ වැඩේ කරන එක මහ බැංකුවේ වගකීම. 

සල්ලි අච්චු ගැසීම සීමා වන නිසා රජයට වියදම් කරන්න වෙන්නේ බදු එකතු වෙන විදිහටයි. නැත්නම් ණය ගන්න සිදු වෙනවා. ගත් ණය ආපසු ගෙවීම රජයේ ප්‍රශ්නයක්. නමුත් IMF එක සමඟ ඇති ගිවිසුම සහ ඉදිරියේදී ණයකරුවන් එක්ක ඇති කරගන්න යන ගිවිසුම් අනුව ණය ගත හැකි ප්‍රමාණයද සීමා වෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවට වගේම ඉදිරියේදී බලයට පත් වන ආණ්ඩු වලටත් කලින් කළා වගේ "නැති සල්ලි" වියදම් කරන්න වැඩි ඉඩක් ඉතිරි වන්නේ නැහැ. එක්කෝ වියදම් සීමා කරන්න වෙනවා. නැත්නම් බදු ආදායම් වැඩි කරගන්න වෙනවා.

5 comments:

  1. මේක IMF එකේ යෝජනාවක් ද?

    ආණ්ඩුව ගත්තු තීරණයක් ද

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් වසර 20කට පමණ පෙර සිට යෝජනා වී තිබුණු දෙයක්. නමුත් සිදු වුනේ නැහැ. දැන් සිදු වෙන්නේ IMF කොන්දේසියක් නිසා.

      Delete
    2. මහා බැංකුව මුදල් මණ්ඩලයක් වීමද මේකෙන් වෙන්නේ ?

      Delete
    3. මුදල් මණ්ඩලයක් වෙන්නේ නැහැ. නමුත් එම දිශාවට නැඹුරු වීමක්.

      Delete
  2. අලුත් බෝතලයකට දමලා පරණ වයින්
    යන විදිහයි කරන්නට හොඳ හොඳ සෙල්ලං
    මොනවා කළත් කළ යුත්තේ පරෙස්සමින්
    නැත්තං වැටෙයි රට ළිපටම, මේ කබලෙන්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: