වෙබ් ලිපිනය:

Saturday, March 11, 2023

ඇමරිකාවේ ලොකුම බැංකුවක් කඩා වැටේ!


හාරදහසකට වැඩි වාණිජ බැංකු ප්‍රමාණයක් තිබෙන ඇමරිකාවේ එම බැංකු අතරින් 16වන විශාලතම බැංකුව වූ සිලිකන් වැලි බැංකුව ඊයේ (මාර්තු 10 සිකුරාදා) කඩා වැටුණා. ඉතා ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් තිබුණු මෙම බැංකුව කඩා වැටෙන්නට ගියේ පැය 48ක පමණ කාලයක් පමණයි.

පසුගිය 2022 වසර අවසාන වන විට සිලිකන් වැලි බැංකුව සතුව ඩොලර් බිලියන 209ක වත්කම් තිබුණා. වත්කම් ප්‍රමාණය විශාල වුවත් මෙම බැංකුව සීමිත පාරිභෝගික පිරිසකට සේවය සැලසූ බැංකුවක්. එම පාරිභෝගිකයින් බොහෝ විට ධනවත් පුද්ගලයින් හෝ සමාගම්. බැංකුව සතුව ශාඛා තිබුණේ 17ක් පමණයි. එයින් ශාඛා 12ක්ම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තිබුණු අතර ඉතිරි ශාඛා 5 තිබුනේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ. 

පසුගිය වසර අවසානයේදී පාරිභෝගිකයින් විසින් මෙම බැංකුවෙහි ඩොලර් බිලියන 173ක මුදලක් තැන්පත් කර තිබුණා. කොටස්හිමියන්ගේ අරමුදල් හා ඉතිරි කරගත් ලාබ ඩොලර් බිලියන 16ක් තිබුණා. සාමාන්‍යයෙන් බැංකුවක අරමුදල් වලින් වැඩි කොටසක් ණය ලෙස ලබා දෙන නමුත් සිලිකන් වැලි බැංකුව විසින් ණය ලෙස ලබා දී තිබුණේ ඩොලර් බිලියන 73ක පමණ මුදලක් පමණයි. ඩොලර් බිලියන 120ක් පමණම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කර තිබුණා. 

තැන්පතුකරුවන් සියළු දෙනා එකවර මුදල් ආපසු ඉල්ලා සිටියහොත් එම මුදල් ආපසු ගෙවීම ලෝකයේ කිසිම බැංකුවකට කළ නොහැක්කක්. වාණිජ බැංකුවක් ක්‍රියාත්මක වන පදනම වන්නේම සියළුම පාරිභෝගිකයින් විසින් එකවර මුදල් ආපසු ඉල්ලා නොසිටිනු ඇතැයි යන උපකල්පනයයි. එහෙත්, බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වුවහොත් බොහෝ පාරිභෝගිකයින් විසින් එකවර සිය තැන්පතු ආපසු ගන්නට පෙළඹෙනවා. මෙහිදී බැංකුවක් කඩා වැටෙනවා.

ඉහත තත්ත්වය වැළැක්වීම සඳහා 1933 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් තැන්පතු රක්ෂණ ආයතනය පිහිටුවනු ලැබුවා. කිසියම් බැංකුවක් කඩා වැටුණු පසු, උපරිමයකට යටත්ව, තැන්පතුකරුවන්ගේ මුදල් ෆෙඩරල් තැන්පතු රක්ෂණ ආයතනය විසින් ආපසු ගෙවනවා. මෙම ආයතනය පිහිටුවීමෙන් පසුව ඇමරිකාවේ බැංකු කඩා වැටීම් විශාල ලෙස පහළ ගියා.

මේ වන විට ෆෙඩරල් තැන්පතු රක්ෂණය මගින් ඩොලර් 250,000 දක්වා මුදලක් ආපසු ගෙවනවා. සාමාන්‍ය ඇමරිකානුවෙකු සතුව එපමණ තැන්පතු මුදල් නැති නිසා මෙම රක්ෂණය මගින් ආවරණය නොවන්නේ විශාල සමාගම් වල හා ඉතාම ධනවත් පුද්ගලයින්ගේ තැන්පතු පමණයි. එහෙත්, සිලිකන් වැලි බැංකුව එවැනි පාරිභෝගිකයින් ඉලක්ක කළ බැංකුවක් වූ නිසා බැංකුවේ වූ තැන්පතු වලින් වැඩි කොටසක් ෆෙඩරල් තැන්පතු රක්ෂණය මගින් ආවරණය වූයේ නැහැ.

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව මගින් පසුගිය වසරක කාලය තුළ ඇමරිකාවේ පොලී අනුපාතික ඉතා කෙටි කාලයක් තුළ විශාල ලෙස ඉහළ දමනු ලැබුවා. මෙසේ පොලී අනුපාතික ඉහළ යද්දී අඩු පොලියකට මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම විශාල ලෙස පහත වැටෙනවා. මෙවැනි බැඳුම්කර කල් පිරෙන තුරු තබා ගතහොත් පාඩුවක් නොවන නමුත් ඊට පෙර විකුණන්නට සිදු වුවහොත් එසේ විකුණන්න සිදු වන්නේ විශාල පාඩුවක් ලබමිනුයි. 

සිලිකන් වැලි බැංකුවේ පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් තාක්ෂණික හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වල අලුතෙන් ආරම්භ කළ සමාගම්. වසංගතයේ බලපෑම නිසා මෙවැනි සමාගම් ගණනාවක මුදල් ප්‍රවාහ ප්‍රවාහ වලට බලපෑම් සිදු වී ද්‍රවශීලතා ප්‍රශ්න ඇති වීම නිසා ඔවුන්ගේ තැන්පතු ආපසු ලබා ගෙන තිබෙනවා. මෙහිදී බැංකුවට ඇතිවන ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳා ගැනීමට පාඩුවට බැඳුම්කර විකිණීම නිසා බැංකුවේ ශුද්ධ වටිනාකම පහළ ගොස් තිබෙනවා. මෙසේ පහළ ගොස් ඇති මූල්‍ය තත්ත්වය නැවත ගොඩ නගා ගැනීම සඳහා අලුතෙන් කොටස් නිකුත් කිරීම බොහෝ පාරිභෝගිකයින් විසින් දැක ඇත්තේ බැංකුව බංකොලොත් වන්නට යාමක් ලෙසයි. එසේ සිතූ ඔවුන් එක වර තමන්ගේ මුදල් ආපසු ලබා ගන්නට උත්සාහ කිරීම නිසා බැංකුව ඇත්තටම බංකොලොත් වී තිබෙනවා.

සිලිකන් වැලි බැංකුව කඩා වැටීම එම බැංකුවට සුවිශේෂී වූ සාධක නිසා සිදු වූවක් බැවින් එය සමස්තයක් ලෙස ඇමරිකාවේ බැංකු පද්ධතියේ ස්ථායීතාවය කෙරෙහි බලපෑමක් කිරීමේ ඉඩක් නැහැ. මේ වන විට සමස්තයක් ලෙස ඇමරිකාවේ බැංකු පද්ධතිය තුළ ඇති ද්‍රවශීල වත්කම් පෙර නොවූ විරූ ඉහල මට්ටමක තිබෙනවා. 

7 comments:

  1. ඉකොනොමැට්ටා මේ පුංචි ක්ලිප් එක බලන්න

    https://fb.watch/jdEW4etk3w/

    මෙහිදී ලංකාවේ ආර්ථිකය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා ඉතා දක්ෂ ලෙස ලංකාවේ ආර්ථිකය භාර මුදල් ඇමති ලෙස පත් වුවහොත් ඔහු විසින් කරනු ලබන ක්‍රියා මාර්ග ඉතා මැනවින් විස්තර කරනවා මෙම වීඩියෝ එක ලංකාවේ සමාජ ජාල වල ඉතාමත් ජනප්‍රිය වුණා ඔහු සමගි ජන බලවේගයේ ආර්ථික දේශපාලනික උපදේශක වරයෙක්

    ඔහු මෙතන ඉතා කෙටියෙන් පවසන සංකල්ප වලට අනුව ලංකාවේ ආර්ථිකයේ ඇති ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි නේද? එමෙන්ම එමගින් ලංකාවේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීම ගැන විස්තර කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?

    ReplyDelete
  2. SVB බැංකුවේ බිඳ වැටීම ගැන ඔබේ අදහස් දැක්වීමට ස්තුතිවන්ත වෙමි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ස්තූතියි ඔබේ ලිපියට. අයෝජනය කිරීමේදී තියෙන පිලිගත්ත සම්ප්‍රදාය ' ඔක්කොම බිත්තර එකම බාස්කට් එකේ දාන්න එපා' කියන එක...මේ තරම් ලොකු බැංකුවක් ඒ නීතිය නොසලකා රාජ්‍ය බැදුම්කරවල 75% ප්‍රමානයකින් අයෝජනය කරන කොට රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරනවනේ...ඒතොකොට බැදුම්කරවල පොලිය වෙනස් වීමේ අවධානම නිවැරදිව හදුනාගෙන නෑ වගේ නේද. නැත්තං එහෙම වෙන්න සාදාරණ හේතු තිබ්බද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සියල්ලම රාජ්‍ය බැඳුම්කර නෙමෙයි. නමුත් බැඳුම්කර. පොලිය වෙනස් වෙද්දී රජයේ වුවත් පෞද්ගලික වුවත් හැම එකකම පොලිය එක ලෙස වෙනස් වෙනවා.

      Delete
  5. බුලත් කූරපයිවලටත් වදියි හෙණ
    හුණු කිල්ලෝටෙටත් එතකොට වෙනව වින
    දැන් මෙහෙ වුණත් කියවෙන දේවල් ඇහෙන-
    කොට, අවිනිශ්චිතයි එළඹෙන හෙටක් ගැන

    ReplyDelete
  6. සල්ලි අච්චු ගහන කලට
    උද්ධමනය එයි හනිකට
    ඒක පාලනය කෙරුමට
    බැංකු පොලී යයි ඉහලට

    පොලී ඉහල යවන කලට
    ව්‍යාපාර කෙරුම කුමට
    ව්‍යාපාර වැහෙන කලට
    ආර්ථිකේ යයි පහලට

    බයිඩන් කෙරුවත් ගොන්කම
    රනිල් කලත් පිළිතුර එම
    මේ ගැන අපගේ නොදැනුම
    ඒක තමයි මහ ගොන්කම

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: