වෙබ් ලිපිනය:

Showing posts with label නෝර්වේ. Show all posts
Showing posts with label නෝර්වේ. Show all posts

Monday, October 24, 2022

සෝමාලියානු බදු ගෙවා ස්කැන්ඩිනේවියානු සුබසාධනය සෙවීම


සමහර අය කියන්නේ තමන් බදු ගෙවන්නට අකැමැති බදු වලට සරිලන සේවයක් රජයෙන් නොලැබෙන නිසා බවයි. ඒ අයගෙනුත් සමහර අය වක්‍රව නොව සෘජුවම කියන්නේ ගෙවන බදු වලට සරිලන සේවයක් ලැබේනම් බදු ගෙවන්නට සූදානම් බවයි. 

මේවා ඇත්තටම විහිළු කතා. ඔය ධනවත් රටවල ඉන්න මිනිස්සු ලොකුවට බදු ගෙවන්නේ ඒ බදු වලට සරිලන සේවයක් රජයෙන් ලැබෙන නිසා නෙමෙයි. බදු නොගෙවා ඉන්න පුළුවන්කමක් නැති නිසා. නීතියේ හිල් වලින් රිංගා බදු නොගෙවා ඉන්න පුළුවන්නම් හැම දෙනෙක්ම වගේ එසේ කරනවා. කවුරුවත් කැමැත්තෙන් බදු ගෙවන්නේ නැහැ.

බදු කියා කියන්නේම නීත්‍යානුකූල බලහත්කාරයක්. එහෙම නැතුව පන්සලකට, පල්ලියකට සල්ලි දෙනවා වගේ වැඩක් නෙමෙයි. ඇමරිකානු පුරවැසිකම අත හැර රටින් යන බොහෝ දෙනෙක් එසේ කරන්නේ බදු නොගෙවා සිටීමේ අරමුණ පෙරදැරිවයි. ඒ වගේම, සාමාන්‍ය ආදායමක් ලබන ගොඩක් අය ඩොලර් දෙතුන් සීයක් ගෙවලා බදු උපදේශකයෙකු ලවා තමන්ගේ බදු වාර්තා පිළියෙළ කර ගන්නවා. මමනම් කවදාවත් මේ වැඩේ කරලා නැහැ. මෙහෙම කරන අය කියන්නේ ගෙවන ගාණට වැඩේ ලාබයි කියලා. ඒ කියන්නේ ඊට වඩා කිහිප ගුණයක් වැඩියෙන් බදු අඩු වෙන විදිහට මේ අය වාර්තා හදා දෙනවා කියලා. 

ප්‍රජාතන්ත්‍රවාදී රටවල රජයයන්ට මේ විදිහට බලහත්කාරයෙන් ලොකු බදු අය කරන්න හැකි වී තිබෙන්නේ එය රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත නිසා. බදු වලින් සුබසාධනය වන අය ලොකු බදු වලට කැමතියි. මොකද ඒ අයට ගෙවන බදු වලට වඩා වැඩි දෙයක් රජයෙන් ලැබෙනවා. නමුත්, හැමෝටම ඒ වාසිය ලැබෙන්නේ නැහැ. සුබසාධනය වෙන අය ඉන්නවානම් සුබසාධනය කරන අයත් සිටිය යුතුයි. රජයට කළ හැක්කේ එක් අයෙකුගේ දෙයක් අරගෙන තවත් අයෙකුට දෙන එක පමණයි.

රටේ වැඩි දෙනකුට රජයෙන් ලැබෙන දෙයට වඩා වැඩියෙන් බදු ගෙවන්න වෙනවානම් ඒ පිරිසට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ රජයේ තීරණය වෙනස් කරන්න පුළුවන්. නමුත්, ඒ පිරිස සුළුතරයක්නම් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඔවුන්ට බහුතරයේ තීරණයට එකඟ වෙන්න සිදු වෙනවා. මේ හේතුව නිසාම සාමාන්‍යයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඉන්න අයගෙන් 50%කට වඩා වැඩි පිරිසක් සුබසාධනය වෙනවා. ඒ අයට ගෙවන බදු වලට වඩා වැඩි දෙයක් රජයෙන් ලැබෙනවා. නමුත් ඉතිරි පිරිසට ඒ අයගේ බරට කර ගහන්න වෙනවා. 

අනෙක් අතට මේ ප්‍රමාණය 50%ට වඩා ගොඩක් වැඩි වෙන්නෙත් නැහැ. එහෙම වුණාම ඉතිරි වන බදු ගෙවන පිරිස අඩු නිසාත්, ඔවුන්ගෙන් ගන්නා දේ වැඩි දෙනෙකු අතර බෙදී යන නිසාත් සුබසාධනය පවත්වා ගන්න බැරි වෙනවා. ලංකාවේ වෙලා තියෙන්නේ හරියටම ඕකයි. 

ලංකාවේ ගොඩක් අයගේ පරමාදර්ශී රටවල් ස්කැන්ඩිනේවියානු රටවල්. ඒ රටවල රාජ්‍ය සුබසාධනය ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් බදු ගොඩක් වැඩියි. පහත තියෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් හතරක 2021 වසරේ ඒක පුද්ගල ආදායම සහ රටේ ඒක පුද්ගල ආදායමට සමාන ආදායමක් උපයන අයෙකු විසින් ආදායම මත ගෙවිය යුතු වූ බදු ප්‍රමාණය. වත්කම් බදු ආදී අනෙකුත් සෘජු බදු වෙනම තියෙනවා. සංසන්දනය කිරීම සඳහා සෝමාලියාව හා ලංකාවත් එකතු කර තිබෙනවා. 

ඩෙන්මාර්කය 

ඒක පුද්ගල ආදායම - ඩෙනිෂ් ක්‍රෝන 430,793

බදු - ඩෙනිෂ් ක්‍රෝන 166,829

බදු ප්‍රතිශතය - 38.7%


ස්වීඩනය 

ඒක පුද්ගල ආදායම - ස්වීඩිෂ් ක්‍රෝන 523,000

බදු - ස්වීඩිෂ් ක්‍රෝන 168,772

බදු ප්‍රතිශතය - 32.3%


නෝර්වේ 

ඒක පුද්ගල ආදායම - නෝර්වීජියන් ක්‍රෝන 757,587

බදු - නෝර්වීජියන් ක්‍රෝන 198,271

බදු ප්‍රතිශතය - 26.2%


ෆින්ලන්තය 

ඒක පුද්ගල ආදායම - යුරෝ 45,372

බදු - යුරෝ 13,993

බදු ප්‍රතිශතය - 30.8%


සෝමාලියාව 

ඒක පුද්ගල ආදායම - ඇමරිකන් ඩොලර් 459.0

බදු - ඇමරිකන් ඩොලර් 15.5

බදු ප්‍රතිශතය - 3.4%


ශ්‍රී ලංකාව 

ඒක පුද්ගල ආදායම - රුපියල්  758,680

බදු - නැත 

බදු ප්‍රතිශතය - 0%

ලංකාවට වඩා බොහෝ දුප්පත් රටක් වන සෝමාලියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 200 ඉක්මවන අය (මසකට රුපියල් 6000ක් පමණ) ආදායම් බදු ගෙවිය යුතුයි. මෙය එරට ඒක පුද්ගල ආදායමෙන් අඩකටත් වඩා අඩු මුදලක්. එහෙත්, ආදායම් බදු වෙනස් කිරීමෙන් පසුවද ලංකාවේ ආදායම් බදු ගෙවිය යුත්තේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 ඉක්මවන්නේනම් පමණයි. 

විශාල ප්‍රතිශත වලින් ආදායම් බදු අය කරන ස්කැන්ඩිනේවියානු රටවල් වක්‍ර බදු අය කරන්නේ නැද්ද? මේ එම රටවල වැට් බදු අනුපාතිකයි.

ඩෙන්මාර්කය - 25%

ස්වීඩනය - 25%

නෝර්වේ - 25%

ෆින්ලන්තය - 24%

සෝමාලියාව - 10%

ශ්‍රී ලංකාව - 15%

වැට් බදු අනුපාතය වැඩි කිරීමෙන් පසුවත් ලංකාවේ බදු අනුපාතය කිට්ටු සෝමාලියාවේ අනුපාතයට මිසක් ස්කැන්ඩිනේවියානු රටවල අනුපාතයට නෙමෙයි! වැඩියෙන් සෘජු බදු අය කරන රටවල් එහෙම කළා කියලා වක්‍ර බදු අඩු කරන්නේ නැහැ. ඒ රටවල වක්‍ර බදුත් එලෙසම තියෙනවා. මුළු බදු ප්‍රමාණයෙන් වක්‍ර බදු අනුපාතය පහළ ගිහින් තියෙන්නේ සෘජු බදු විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මිසක් වක්‍ර බදු අඩු වී ඇති නිසා නෙමෙයි. 

පහත තියෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් හතරේ 2021 වැට් බදු ආදායම එම රටවල දදේනි අනුපාතයක් ලෙස.

ඩෙන්මාර්කය - 14.0%

ස්වීඩනය - 11.2%

නෝර්වේ - 11.4%

ෆින්ලන්තය - 13.5%

මේ රටවල සෘජු බදු පැත්තකින්ම තිබ්බත් වැට් බදු ආදායමම පමණක් ලංකාවේ සෘජු හා වක්‍ර බදු සියල්ලෙන්ම රජය එකතු කරගන්නා ආදායම් ප්‍රතිශතයට වඩා වැඩියි. පහළින් තියෙන්නේ මේ රටවල සමස්ත බදු ආදායම දදේනි ප්‍රතිශතයක් විදිහට. සෝමාලියාවට වඩානම් ලංකාව පොඩ්ඩක් හොඳයි.

ඩෙන්මාර්කය - 46.5%

ස්වීඩනය - 42.6%

නෝර්වේ - 33.6%

ෆින්ලන්තය - 41.9%

සෝමාලියාව - 2.2%

ශ්‍රී ලංකාව - 7.7%

ස්කැන්ඩිනේවියානු රටවල් අත දිග හැර වියදම් කරන්නේ බදු ලෙස අනෙක් පැත්තෙන් එකතු කරගන්නා මුදල්. බොහෝ විට එම රටවල් වියදම් කරන්නේ එකතු කර ගන්නා බදු ප්‍රමාණයටත් වඩා අඩුවෙනුයි. පහත තියෙන්නේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස මේ රටවල වියදම.

ඩෙන්මාර්කය - 93.3%

ස්වීඩනය - 93.5%

නෝර්වේ - 80.1%

ෆින්ලන්තය - 112.1%

සෝමාලියාව - 126.2%

ශ්‍රී ලංකාව - 240.6%

ස්කැන්ඩිනේවියානු රටවල් අතරින් 2021 වසරේදී ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ ෆින්ලන්තය පමණයි. ලංකාවට සාපේක්ෂව සෝමාලියාව පවා වියදම් කළමනාකරණය කරගෙන තිබෙනවා. ඉහළ සුබසාධනයක් අවශ්‍යනම් පිරිවැය ආවරණය වන බදු ආදායමක් තිබිය යුතුයි. බදු ආදායම් වැඩි කරගත නොහැකිනම් ආදායමට ගැලපෙන සේ සුබසාධනය සීමා කළ යුතුයි. අඩු බදු ආදායමක් ලබන සෝමාලියාව අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ස්කැන්ඩිනේවියානු රටවල් වගේ වියදම් කරන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ.

රජයේ අධ්‍යාපන වියදම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 

ඩෙන්මාර්කය - 11.1%

ස්වීඩනය - 14.6%

නෝර්වේ - 12.8%

ෆින්ලන්තය - 12.3%

සෝමාලියාව - 3.7%

ශ්‍රී ලංකාව - 21.2%


රජයේ සෞඛ්‍ය වියදම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 

ඩෙන්මාර්කය - 17.0%

ස්වීඩනය - 17.5%

නෝර්වේ - 14.8%

ෆින්ලන්තය - 13.7%

සෝමාලියාව - 5.6%

ශ්‍රී ලංකාව - 26.4%


අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් එකතුව 

ඩෙන්මාර්කය - 28.1%

ස්වීඩනය - 32.1%

නෝර්වේ - 27.6%

ෆින්ලන්තය - 26.0%

සෝමාලියාව - 9.1%

ශ්‍රී ලංකාව - 47.7%

ආදායමේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ලංකාවේ රජය බදු ලෙස එකතු කර ගන්නා මුදලින් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැය කරන ප්‍රතිශතය හැම ස්කැන්ඩිනේවියානු රටකටම වඩා වැඩියි. නමුත් බදු ආදායම අඩු නිසා ඒ වගේ ප්‍රතිශතයක් වෙන් කරලා වුනත්  ස්කැන්ඩිනේවියානු රටවල මට්ටමට එන්න බැහැ.

සරලවම කිවුවොත්, සෝමාලියානු බදු වලින් ස්කැන්ඩිනේවියානු සුබසාධනයක් නඩත්තු කරන්න බැහැ.  ස්කැන්ඩිනේවියානු සුබසාධනයක් නඩත්තු කළ හැක්කේ ස්කැන්ඩිනේවියානු බදු වලින් පමණයි.

(Image: Vigeland park, Oslo) 

Friday, June 19, 2020

සැමන් වලින් කොරෝනා?


රටවල් වල කාලයක් තිස්සේ තිබෙන ප්‍රවේණිගත ප්‍රශ්න තනි පුද්ගලයෙක්ට විසඳන්න බැහැ. එහෙත්, බොහෝ දේශපාලනඥයින් පෙන්නන්නේ තමන් සතුව වෙනත් අය ලඟ නැති මැජික් එකක් තිබෙන බවයි. මේ වගේ අයට මිනිස්සු යම් කොටසක් රැවටෙනවා. මෙය ලංකාව වගේ "පොඩි රටවල්" වලට වගේම ඇමරිකාව වගේ "ලොකු රටවල්" වලටත් පොදු දෙයක්.

මිනිස්සු මැජික් බලාගෙන නායකයින්ව පත් කර ගත්තට පස්සේ ඒ නායකයින්ට මොනවා හරි මැජික් ටිකක් නොපෙන්වා ඉන්න බැරි වෙනවා. මොනවා හරි දේවල් ටිකක් කරන කොට එයින් සමහර දේවල් ඉබේටම හරියනවා. එහෙම හරි ගියාම ඒ හරි ගියේ තමන්ගේ නායකත්වය නිසා බව මේ අයට පෙන්නන්න පුළුවන්. අවුල වෙන්නේ හරි නොගියහමයි.

කොහොමටත් ආණ්ඩු මුල් වෙලා කරන ගොඩක් දේවල් හරියන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ආණ්ඩු විසින් බොහෝ විට කරන්නේ වැරැද්ද පටවන්න කෙනෙක් හොයා ගන්න එක. හරි ගියොත් බුවා. වැරදුනොත් එබුවා.

කොරෝනා පටන් ගත්තේ චීනයෙන්. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කවදාවත් කරන්න නොහිතන මට්ටමේ ක්‍රියාමාර්ග අරගෙන චීනය කොරෝනා පාලනය කර ගත්තත් ඒ වන විට කොරෝනා ලෝකය පුරාම පැතිරිලා. මෙයට චීනය විසින් මුලින් තොරතුරු වසන් කිරීමත් යම් තරමකට හෝ හේතු වුනා. එහෙත් චීනය එහි වැරැද්ද දැම්මේ අනෙක් රටවල පාලකයින් මතයි. චීනයට අනුව රෝගය ව්‍යාප්ත වුනේ චීනය ගත් දැඩි ක්‍රියාමාර්ග අනෙක් රටවල් විසින් නොගත් නිසයි.

චීනය කොරෝනා අවසන් කළා කිවුවත් වැඩි කාලයක් ඒ සතුට සමරන්න වුනේ නැහැ. දැන් නැවතත් චීනයෙන් කොරෝනා රෝගීන් හමු වෙනවා. පසුගිය සතිය ඇතුළත චීනයෙන් 11, 57, 49, 40, 44, 28, 32 ලෙස අලුත් කොරෝනා රෝගීන් හමු වී තිබෙනවා. චීන ආණ්ඩුව මෙවර අලුත්ම කතාවක් කියමින් වැරැද්ද පැටෙවුවේ යුරෝපයෙන් ආනයනය කළ සැමන් මතයි.

බෙයිජිං නගරයේ කොරෝනා රෝගීන් හමු වූ ප්‍රදේශයේ මාළු වෙළඳසැලක සැමන් කපන මාළු කපන මාළු ලෑල්ලකින් කොරෝනා වෛරසය හමුවීමෙන් පසුව චීනය විසින් යුරෝපයෙන් සැමන් මාළු ආනයනය කිරීම නවත්වා ඇති බව රොයිටර් වාර්තා කර තිබුණත්, චීනයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ආනයනික සැමන් මාළු වලින් කොරෝනා පැතිරුණු බවක් තහවුරු වී නැති බවයි.


ලෝක සැමන් වෙළඳපොළේ ඉහළින්ම සිටින අපනයනකරුවන් පස් දෙනා වන්නේ නෝර්වේ, චිලී, ස්වීඩනය, ඩෙන්මාර්කය හා පෝලන්තය යන රටවල්. සැමන් අපනයන වෙළඳපොළෙන් 72.6%ක්ම එම රටවල් සතුයි. පෝලන්තය විසින් සැකසුම් කර අපනයනය කරන්නේත් නෝර්වේ හා ස්වීඩන් රටවලින් ආනයනය කරන සැමන් මාළු.

ලෝකයේ ප්‍රධානම සැමන් ආනයනකරු ඇමරිකා එක්සත් ජනපදයයි. එහෙත්, ඇමරිකාව සැමන් අපනයනය කරන රටවල් අතරද හත් වන තැන සිටිනවා. ඇමරිකාව වගේම චීනයත් වැඩිපුරම සැමන් ආනයනය කරන්නේ චිලී රටෙන්. චීනය හා ඇමරිකාව මේ එක් එක් රටවලින්ද සැමන් ආනයනය කරනවා. දෙරටේම සැමන් නිෂ්පාදකයින් ආනයනික තරඟයට මුහුණ දෙනවා. චීනය විසින් කොරෝනා සැක මතු කර තිබුණේ නෝර්වේ රටෙන් ආනයනය කළ සැමන් මාළු හා සම්බන්ධවයි.



සැමන් වාරය පටන් ගන්නේ ජූලි මාසයේ සිටයි. චීනය විසින් පසුව නිවැරදි කළත්, සැමන් වාරය ඔන්න මෙන්න කියා තිබියදී පැතිරුණු මේ කතාව සැමන් වෙළඳපොළට බලපෑමක් කරනු නිසැකයි.

කෙසේ වුවත්, මේ කතාවට හෝ සම්බන්ධ ශීත කළ සැමන් මාළු මිසක් ලංකාවේ වෙළඳසැල් වල ඇති ටින් කළ මාළු නෙමෙයි. ලංකාවේ වෙළඳසැල් වල දැකිය හැකි ටින් මාළු වලට තවමත් ගොඩක් අය සැමන් කියා කිවුවත් බොහෝ විට ඒවායේ තිබෙන්නේ මැකරල් වැනි වෙනත් මාළු වර්ග මිස සැමන් මාළු හෝ නෙමෙයි.

වෙබ් ලිපිනය: