වෙබ් ලිපිනය:

Showing posts with label ඝානාව. Show all posts
Showing posts with label ඝානාව. Show all posts

Wednesday, July 2, 2025

සැම්බියාවේ මිල සූත්‍රය

 



සැම්බියාව මෙන්ම ඝානාවද ලංකාව ගෙවුම් ශේෂ හා රාජ්‍ය ණය අර්බුද වලට මුහුණ දුන් කාලයට ආසන්න කාලයකදී එවැනිම අර්බුද වලට මුහුණ දුන් රටවල් දෙකක්. ලංකාව මෙන්ම ඉහත රටවල් දෙකද මේ වන විට මූල්‍ය අරමුදලේ උදවුවෙන් සිය ආර්ථිකයන් ස්ථාවර කරගෙන තිබෙනවා.

ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මුළුමනින්ම මෙන් අවසන් කර ඇතත්, ඉහත සඳහන් අප්‍රිකානු රටවල් දෙකෙහි එම ක්‍රියාවලීන් තවමත් අවසන්ව නැහැ. එහෙත් බොහෝ දුරට අවසන්. ස්ථායිකරණ වැඩසටහන් වල ප්‍රතිඵලයක් ලෙස සැම්බියාව, ඝානාව මෙන්ම ලංකාව යන රටවල් තුනෙහිම කඩා වැටී තිබූ මුදල් ඒකක නැවත ශක්තිමත් වී තිබෙනු දැකිය හැකියි.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකන් ඩොලරයක් සඳහා ඝානා සීඩී 16.33ක් පමණ ගෙවිය යුතුව තිබුණත් මේ වන විට ඩොලරයක් සඳහා ගෙවිය යුතුව තිබෙන්නේ ඝානා සීඩී 10.35ක් පමණයි. එමෙන්ම, මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකන් ඩොලරයක් සඳහා සැම්බියා ක්වාචා 28.81ක් පමණ ගෙවිය යුතු වුවත් දැන් ගෙවිය යුත්තේ සැම්බියා ක්වාචා 23.88ක් පමණයි. 

ලංකාවේ මෙන්ම සැම්බියාවේ හා ඝානාවේ ආර්ථිකයන්ද නැවත පණ ගසා නැගිටිමින් සිටින අතර පළමු කාර්තුව තුළ පිළිවෙලින් 4.5%ක හා 5.3%ක වර්ධනයන් වාර්තා කර තිබෙනවා. මෙම රාජ්‍යයන් දෙක සඳහා මූල්‍ය අරමුදල විසින් යෝජනා කළ වැඩපිළිවෙළවල් සහ ලංකාව සඳහා යෝජනා වූ වැඩපිළිවෙළ අතර සැලකිය යුතු සමානකම් දැකිය හැකියි. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය උදාහරණයක්. 

ලංකාවේ මෙන්ම සැම්බියාවේද ඉන්ධන සඳහා මිල සූත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ සමඟ පළ කෙරෙන සැම්බියාවේ උපයෝගීතා කොමිසමේ සභාපති ජේම්ස් බණ්ඩාගේ නිවේදනය අනුව, 2025 ජූලි 1 දින සිට සැම්බියාවේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබියදී මේ අයුරින් සැම්බියාවේ ඉන්ධන මිල ගණන් අඩු කෙරෙන්නේ සැම්බියා ක්වාචා මුදල ශක්තිමත් වී තිබීමේ උදවුවෙනුයි. 

Wednesday, December 25, 2024

ඝානා රජය ණයහිමියන්ට දුන් විකල්ප දෙක

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී තාක්ෂනික ලෙස සිදු වන්නේ දැනට නිකුත් කර තිබෙන ණය උපකරණ හෝ වෙනත් ණය වෙනුවට අලුත් ණය උපකරණ එකක් හෝ කිහිපයක් නිකුත් කරන එක. මේ ක්‍රියාවලිය සංකීර්ණ එකක්. "ණය කපා හැරීම" වගේ වචනයක් භාවිතා කරන්න වෙන්නේ අදාළ මූලික දැනුම නැති පිරිසකට මේ සංකීර්ණ ක්‍රියාවලිය ඒ විදිහටම විස්තර කරන එක අමාරු කාර්යයක් නිසා. නමුත්, අප විසින්ද කර තිබෙන, මේ ඕනෑවට වඩා සරල කිරීම නිසා ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී සිදු වන සමහර දේවල් මග හැරෙනවා. එහෙම නැත්නම් වැරදි අවබෝධ ඇති වෙනවා.

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අලුතෙන් නිකුත් කළ ණය උපකරණ ආකෘතිය අනුව ඉතාම සංකීර්ණයි. බැඳුම්කර ගැන මූලික දැනුමක් තිබෙන කෙනෙකුට වුනත් මේ ණය උපකරණ හරියට තේරුම් ගන්න යම් ආයාසයක් දරන්න වෙනවා. 

ලංකාවට සාපේක්ෂව බැලූ විට ඝානා රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අලුතෙන් නිකුත් කළ ණය උපකරණ සරල ණය උපකරණ. ඒ නිසා, ඒවා තේරුම් ගන්න එක වඩා පහසුයි. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී සිදු වූ දෙය වඩා නිවැරදිව තේරුම් ගන්න උනන්දුවක් දක්වන අයෙකු විසින් පළමු පියවරක් ලෙස ඝානාවේ සිදු වූ දෙය තේරුම් ගන්න එක හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.

මේ සමඟ පළ කරන පළමු වගුවේ තිබෙන්නේ ඝානා රජය විසින් හුවමාරුව සඳහා ඉදිරිපත් කළ, ස්වෛරිත්ව බැඳුම්කර 15ක විස්තර. මේ සියල්ලෙහි මුහුණත අගයන්හි වටිනාකම ඩොලර් මිලියන 13,104ක්. විශාලතම බැඳුම්කරයේ මුහුණත අගය ඩොලර් මිලියන 1,250ක් වන අතර කුඩාම බැඳුම්කරයේ මුහුණත අගය ඩොලර් මිලියන 149ක් පමණයි. කූපන් පොලී අනුපාතික වල බරිත සාමාන්‍ය අගය 7.92%ක්. මෙම අගය ලංකාවේ එම අගයට වඩා වැඩි අගයක්. ඒ වගේම දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර සඳහා ගෙවිය යුතු වූ කූපන් පොලී අනුපාතික මීටත් වඩා වැඩියි. 

ඝානාව විසින් ණය පැහැර හැරීම නිවේදනය කළේ 2022 දෙසැම්බර් 19 දිනයි. 2024 ඔක්තෝබර් මාසයේදී ඝානාව විසින් ඔවුන්ගේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය සියල්ල ප්‍රතිව්‍යුහගත කර අවසන් කළා. මෙම කාලය අතරවාරයේදී කල් පිරුණේ ඩොලර් මිලියන 149ක එක් බැඳුම්කරයක් පමණයි. එම බැඳුම්කරය කල් පිරුණේද 2023 අගෝස්තු 7 දිනයි. ඒ වෙද්දී ඝානාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සෑහෙන දුරක් ගිහින්. 

ඒ වගේම, ඝානාවේ විදේශ සංචිත කිසිදු විටෙක ඩොලර් මිලියන 149ක් ගෙවා ගත නොහැකි මට්ටමකට පහත වැටුණේ නැහැ. ඝානා රජයට එම මුදල පහසුවෙන්ම නියමිත දිනයේදී ගෙවිය හැකිව තිබුණා. ණය පැහැර හැරීම නිසා ප්‍රධාන වශයෙන්ම සිදු වුණේ අදාළ කාලය තුළ ගෙවිය යුතු වූ කූපන් පොලී මුදල් ගෙවීම නැවතීමයි. මෙම මුදල වසරකට ඩොලර් මිලියන 1,038ක් පමණ වූ මුදලක්. 

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඝානා රජය විසින් ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. පළමු විකල්පය (DISCO option) තෝරා ගත්තේනම් ණයහිමියන්ට ලැබෙන්නේ හුවමාරු කරගන්නා බැඳුම්කර වල මුහුණත අගයෙන් 63%කට සමාන මුහුණත අගයක් ඇති බැඳුම්කර ප්‍රමාණයක්. ඒ කියන්නේ 37%ක අඩුවීමක්. එහෙත්, දෙවන විකල්පය (PAR option) තෝරා ගත්තේනම් එවැනි මුහුණත අගය කප්පාදුවක් සිදු වන්නේ නැහැ. 

සියලුම ණයහිමියන්ට මේ විකල්ප දෙකම විවෘතව තිබුණා. පළමු විකල්පය (DISCO option) තෝරා ගත් සියලුම ණයහිමියන්ට එම විකල්පය ලැබුනා. පළමු විකල්පය (DISCO option) තෝරා නොගත් ණයහිමියන්ට දෙවන විකල්පය (PAR option) හිමි වුනා. යම් හෙයකින් අවම වශයෙන් මුහුණත අගයෙන් 87.8%ක ප්‍රමාණයක් සඳහා පළමු විකල්පය තෝරා නොගැනුනේනම්, එම විකල්පය තෝරාගත් යම් පිරිසකට දෙවන විකල්පය භාර ගන්නට සිදු වෙනවා. එහෙත්, එවැන්නක් සිදු වුනේ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමෙන් පසුව, ණයහිමියන්ගෙන් 91.0%ක්ම ඉල්ලා සිටියේ පළමු විකල්පයයි. දෙවන විකල්පය ඉල්ලා සිටියේ 7.6%ක් පමණයි. ඉතිරි 1.4% ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුමැතිය දුන්නේ නැහැ. 

මේ අනුව පෙනී යන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් භාරගන්නා විකල්පයට එවැනි කප්පාදුවක් නොමැති විකල්පයට වඩා ඉල්ලුමක් පැවතුණු බවයි. මෙම ලිපියෙන් අවධාරණය කරන්නට අදහස් කරන කරුණ වන්නේද මෙයයි.

ණයහිමියෙකුට විකල්ප දෙකක් ලබා දුන් විට ඔවුන් විසින් තෝරා ගන්නේ එම විකල්ප දෙක අතරින් තමන්ට වඩා වාසිදායක විකල්පයයි. මේ අවස්ථාවේදී වැඩි පිරිසක් විසින් වඩා වාසිදායක විකල්පය ලෙස සලකා තිබෙන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් සහිත විකල්පයයි. ඒ ඇයි? 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි මෙම විකල්ප දෙක පිළිබඳව වැඩි විස්තර කරා යමු.

මුහුණත අගය කප්පාදුවක් නැති දෙවන විකල්පය (PAR option):

මෙහිදී ඉහත සඳහන් (වගුව 1) බැඳුම්කර 15න් ඕනෑම එකක ඩොලර් 100ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට බැඳුම්කර දෙකක් ලැබෙනවා.

- ක්ෂණික මුදල් බැඳුම්කරයෙන් ඩොලර් 4ක මුහුණත අගයක් 

- නාමික අගය ප්‍රතිපූරණය කරන බැඳුම්කරයෙන් ඩොලර් 96ක මුහුණත අගයක්.

ක්ෂණික මුදල් බැඳුම්කරය සඳහා කූපන් පොලී ගෙවීමක් සිදු වන්නේ නැහැ. එහි මුහුණත අගය 2024-2026 කාලය ඇතුළත සමාන වාරික පහකින් ආපසු ගෙවනවා. 2024දී එක් වාරිකයක් සහ 2025 හා 2026 වසර වලදී වාරික දෙක බැගින්.

නාමික අගය ප්‍රතිපූරණය කරන බැඳුම්කරයේ මුහුණත අගය 2036දී වාරික දෙකක් සහ 2037දී එක් වාරිකයක් ලෙස සමාන වාරික තුනකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර වසරකට 1.5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2024දී ලැබෙන්නේ එක් කූපන් ගෙවීමක් පමණයි (0.75%). ඉන් පසුව, කල් පිරෙන තුරු, වසරකට ගෙවීම් දෙක බැගින් ලැබෙනවා. 

මුහුණත අගය 37%කින් අඩුවන පළමු විකල්පය (DISCO option):

මෙහිදී ඉහත සඳහන් (වගුව 1) බැඳුම්කර 15න් ඕනෑම එකක ඩොලර් 100ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට බැඳුම්කර තුනක්  ලැබෙනවා.

- ක්ෂණික මුදල් බැඳුම්කරයෙන් ඩොලර් 4ක මුහුණත අගයක් 

- කෙටිකාලීන බැඳුම්කරයෙන් ඩොලර් 24.2ක මුහුණත අගයක්.

- දිගුකාලීන බැඳුම්කරයෙන් ඩොලර් 34.8ක මුහුණත අගයක්.

මෙම අගයන්හි එකතුව ඩොලර් 63ක්. මුහුණත අගය 37%කින් අඩු වීම යන්නෙන් අදහස් වන්නේ මෙයයි.

ක්ෂණික මුදල් බැඳුම්කරය සඳහා කූපන් පොලී ගෙවීමක් සිදු වන්නේ නැහැ. එහි මුහුණත අගය 2024-2026 කාලය ඇතුළත සමාන වාරික පහකින් ආපසු ගෙවනවා. 2024දී එක් වාරිකයක් සහ 2025 හා 2026 වසර වලදී වාරික දෙක බැගින්. (එනම් මෙය දෙවන විකල්පයේදී ලැබෙන ක්ෂණික මුදල් බැඳුම්කරයමයි.)

කෙටිකාලීන බැඳුම්කරයේ මුහුණත අගය 2026-2029 කාලයේදී වසරකට වාරික දෙක බැගින් සමාන වාරික අටකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර 2028 වර්ෂය තෙක් වසරකට 5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2029 වසරේ සිට එසේ වසරකට කොටස් දෙකකින් ලැබෙන කූපන් මුදල වසරකට 6% දක්වා ඉහළ යනවා.

දිගුකාලීන බැඳුම්කරයේ මුහුණත අගය 2030-2034 කාලයේදී මුහුණත අගයෙන් 7.8%කට සමාන වාරික දහයකින් (වසරකට දෙක බැගින්) සහ ඉන් පසුව 2035දී මුහුණත අගයෙන් 11%කට සමාන වාරික දෙකකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර 2028 වර්ෂය තෙක් වසරකට 5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2029 වසරේ සිට එසේ වසරකට කොටස් දෙකකින් ලැබෙන කූපන් මුදල වසරකට 6% දක්වා ඉහළ යනවා.

ඔය විස්තර කළේ ඇත්තටම සිදු වූ දෙයයි. ලංකාවේ සිදු වූ දෙයට සාපේක්ෂව බෙහෙවින්ම සරල වුවත්, මෙය තේරුම් ගන්නටත් යම් ආයාසයක් දරන්න අවශ්‍ය වෙනවා. මෙහිදී සිදු වූ දෙයෙහි බලපෑම මම පසුව වඩා සරලව ඉදිරිපත් කරන්නම්. 

අපට තේරුම් ගන්නට තිබෙන පළමු මූලික ගැටලුව වන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් සහිත පළමු විකල්පය එවැනි කප්පාදුවක් නොමැති දෙවන විකල්පයට වඩා ආකර්ශනීය වූයේ මන්ද යන්නයි. එතරම් තාක්ෂනික නොවන සරල පිළිතුරක් ලෙස අනුමානයෙන් කිව හැක්කේ මීට හේතුව පළමු විකල්පය සඳහා ලැබෙන කූපන් පොලිය 5% හෝ 6% වෙද්දී, දෙවන විකල්පයේ කූපන් පොලිය 1.5%ක් පමණක් වීම විය හැකි බවයි. 

එහෙත්, මතු පෙන්වන පරිදි, මෙම කූපන් පොලී වෙනස සැලකුවද, දෙවන විකල්පයේදී අවසාන වශයෙන් අතට ලැබෙන මුදල පළමු විකල්පයේදී අතට ලැබෙන්නේ නැහැ. එබැවින්, මේ අනුමාන පිළිතුර නිවැරදි පිළිතුරක් සේ සැලකිය නොහැකියි. මේ වෙනසට හේතුව මුදලේ කාල වටිනාකම් වෙනසයි. එනම් කලින් අතට ලැබෙන මුදලක වටිනාකම පසුව ලැබෙන මුදලක වටිනාකමට වඩා වැඩි වීමයි. 

මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා, ඩොලර් 1000ක මුහුණත අගයක් හුවමාරු කරගන්නා ණයහිමියෙකුට එක් එක් විකල්පය යටතේ මුදල් ආපසු ලැබෙන ආකාරය විමසා බලමු. මෙහිදී මුහුණත අගය ආපසු ගෙවීම් හෝ කූපන් පොලී ගෙවීම් ලෙස ලැබෙන සියලුම මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගෙන තිබෙනවා. 

මේ සමඟ පළ කරන දෙවන වගුවේ දෙවන හා තුන්වන තීරු වල පෙන්වා ඇති පරිදි, දෙවන විකල්පය යටතේ ඩොලර් 1000ක මුහුණත අගයක් වෙනුවෙන් ඩොලර් 1,177.60ක මුදලක් ආපසු ලැබෙන අතර පළමු විකල්පය යටතේ එසේ ආපසු ලැබෙන්නේ ඩොලර් 846.21ක මුදලක් පමණයි. එසේනම්, පළමු විකල්පය වඩා ආකර්ශනීය වූයේ ඇයි?

ඝානාව විසින් අලුතෙන් නිකුත් කර ඇති, ඉහත විස්තර කර තිබෙන, බැඳුම්කර සඳහා ෆිච් රේටිං ආයතනය විසින් ලබා දී තිබෙන්නේ CCC+ අවදානම් ශ්‍රේණියයි. එම ශ්‍රේණිය විස්තර කෙරෙන්නේ මෙලෙසයි.

"A CCC+ credit rating indicates a slightly lower risk of default than a CCC rating, but still carries a high degree of credit risk."

"ඝානාව විසින් ණය පැහැර හරිනු ලැබීමේ අවදානම CCC ශ්‍රේණියට වඩා යාන්තමින් අඩු වුවත්, එම අවදානම තව දුරටත් ඉහළ මට්ටමක පවතී."

ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී තිබෙන්නේද මෙම CCC+ ශ්‍රේණියයි. මෙය "ආයෝජනය සඳහා අයෝග්‍ය" බැඳුම්කර අවදානම් කාණ්ඩ අතරද පහළම ශ්‍රේණියක්. ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව, "ආයෝජනය සඳහා යෝග්‍ය (Investment grade)" බැඳුම්කර අවදානම් කාණ්ඩ අතර පහළම ශ්‍රේණිය BBB- ශ්‍රේණියයි. ඊට පහළ ශ්‍රේණිගත කිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීම හැඳින්විය හැක්කේ සමපේක්ෂකයින්ගේ සූදුවක් ලෙසයි. CCC+ මට්ටම සමපේක්ෂකයෙකු වුවද කර ගහන්නට පැකිළෙන අවදානම් මට්ටමක්. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ණය පැහැර හරිනු ලැබීමේ අවදානම ඉහළ යන තරමට ගෙවන්නට සිදු වන (සහ ණයහිමියන් විසින් අපේක්ෂා කරන) පොලී අනුපාතිකයද ඉහළ යනවා. CCC+ ශ්‍රේණිය හා අදාළව මෙම පොලී අනුපාතිකය 11%ක් පමණ වෙනවා. මේ අනුව, ණය පැහැර හැරීමේ අවදානම සලකා බලමින්, CCC+ ආයෝජනයක් වෙනුවෙන් අනාගතයේදී ලැබීමට නියමිත ප්‍රතිලාභ ආයෝජකයෙකු විසින් සලකා බලන්නේ 11%ක ප්‍රතිලාභයක් ලැබිය හැකි ආයෝජනයකට සාපේක්ෂවයි. 

ඒ අනුව, ආයෝජකයෙකු විසින් කිසියම් දිනක අතට ලැබෙන ඩොලර් 100ක මුදලක් සමාන කරන්නේ එදින සිට වසරකට පසුව ලැබෙන ඩොලර් 111ක මුදලකටයි. මෙයම වෙනස් අයුරකින් කිවහොත්, වසරකට පසුව ලැබෙන ඩොලර් 100ක මුදලක අද වටිනාකම ලෙස සලකන්නේ ඩොලර් 90.09ක මුදලකුයි. මීට හේතුව, ඩොලර් 90.09ක මුදලක් CCC+ අවදානම් කාණ්ඩයේ බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසුව ඩොලර් 100ක මුදලක් ලබා ගත හැකි වීමයි. 

මුදල අතට ලැබෙන්නට ගත වන කාලය වසරකින් වැඩි වන සෑම විටම එහි අද වටිනාකම මෙම අනුපාතයට අඩු වෙනවා. ඒ නිසා, දෙවසරකට පසුව ලැබෙන ඩොලර් 100ක අද වටිනාකම ඩොලර් 81.16 දක්වාත්, තෙවසරකට පසුව ලැබෙන ඩොලර් 100ක අද වටිනාකම ඩොලර් 73.12 දක්වාත් පහත වැටෙනවා.

මෙම පදනම මත, අපට ඉහත විස්තර කළ පළමු (DISCO) හා දෙවන (PAR) විකල්ප යටතේ අපේක්ෂා කළ හැකි අනාගත මුදල් ප්‍රවාහ වල අද වටිනාකම ගණනය කළ හැකියි. එම ගණනයන් දෙවන වගුවේ හතරවන සහ පස්වන තීරු වල පෙන්වා තිබෙනවා. 

මේ අනුව පෙනී යන්නේ, අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහ 11% වට්ටම් අනුපාතයට වට්ටම් කළ විට, ඩොලර් 1000ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට ලැබෙන බැඳුම්කර සඳහා ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්මන් වටිනාකම පළමු (DISCO) විකල්පයේදී ඩොලර් 492.58ක් සහ දෙවන (PAR) විකල්පයේදී ඩොලර් 400.68ක් ලෙස පහත වැටෙන බවයි. එබැවින්, 11% අනුපාතයෙන් වට්ටම් කළ පසු, වඩා ආකර්ශනීය වන්නේ පළමු විකල්පයයි.

පළමු විකල්පයේදී වට්ටම් නොකර ගණන් බැලූ විට ලැබෙන්නේ ඩොලර් 1000ක් සඳහා ඩොලර් 846.21ක මුදලක් වුවත් 11% අනුපාතයට වට්ටම් කළ විට එහි වත්මන් වටිනාකම ඩොලර් 492.58ක් දක්වා පහත වැටෙනවා. දෙවන විකල්පයේදී වට්ටම් නොකර ගණන් බැලූ විට, මීට වඩා වැඩි, ඩොලර් 1,177.60ක මුදලක් ආපසු ලැබෙන නමුත්, 11% අනුපාතයට වට්ටම් කළ විට එහි වත්මන් වටිනාකම ඩොලර් 400.68ක් පමණයි. ඒ අනුව, 11% වට්ටම් අනුපාතය යොදා ගෙන වට්ටම් කරන ණයහිමියෙකුගේ පැහැදිලි තේරීම වන්නේ පළමු විකල්පයයි.

එසේනම්, අඩු පිරිසක් වුවත්, ණයහිමියන්ගේන් 7.6%ක් දෙවන විකල්පයට කැමති වුනේ ඇයි?

දැන් CCC+ මට්ටම දක්වා පහත වැටී සිටියත්, ඝානාව මෙන්ම ලංකාවද කලකට පෙර සිටියේ B+ අවදානම් ශ්‍රේණියේයි. එම කාණ්ඩයේ ශ්‍රේණිගත වී ඇති බැඳුම්කර වල ඵලදා අනුපාතික මේ වන විට තිබෙන්නේ 7% ආසන්න මට්ටමකයි. ඒ වගේම, දැන් පොලී අනුපාතික තිබෙන්නේ දිගුකාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමකයි. මේ සියල්ල සලකා බලා, 11% වට්ටම් අනුපාතය වෙනුවට 6.5% වැනි වට්ටම් අනුපාතයක් යොදා ගෙන ඉහත වට්ටම් කිරීම සිදු කළහොත් තත්ත්වය කුමක්ද?

දෙවන වගුවේ හයවන සහ හත්වන තීරු වල පෙන්වා තිබෙන්නේ එම තත්ත්වයයි. එහිදී විකල්ප දෙකේ මුදල් ප්‍රවාහ වල වත්මන් අගය ආසන්න ලෙස සමාන වෙනවා. ඒ නිසා, 6.5% වට්ටම් අනුපාතය යොදාගෙන වත්මන් අගය ගණනය කරන ණයහිමියෙකුට විකල්ප දෙක අතර වැඩි වෙනසක් නැහැ. 

කිසියම් ආයෝජනයක අවදානම ගණනය කිරීමේදී ආයෝජකයෙකු විසින් ශ්‍රේණිගත කිරීමේ ආයතන වල නිර්දේශ සලකා බලන නමුත් මුළුමනින්ම ඒවා මත පදනම්ව තීරණ ගන්නේ නැහැ. ඒ නිසා, ඇතැම් ණයහිමියන් විසින් ඝානාව විසින් නිකුත් කළ අලුත් බැඳුම්කර සඳහා මුදල් නොගෙවා පැහැර හරිනු ලැබීමේ අවදානම මේ මොහොතේ ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පෙන්වන තරම්ම වැඩි නැති සේ සලකන්න පුළුවන්. ඒ අනුව, 6.5% නොක්මවන වට්ටම් අනුපාතයක් යොදාගෙන වට්ටම් කරන ණයහිමියෙකු විසින් තෝරා ගැනීමට ඉඩ තිබෙන්නේ දෙවන විකල්පයයි. 

මෙහිදී අප විසින් සලකා බලනු ලැබුවේ ණයහිමියෙකු විසින් ඝානා රජය විසින් ලබා දුන් විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ තිබුණු ආකාරයයි. මෙය ඔවුන්ගේ පැත්තෙන් අඩු අවාසිය තෝරා ගැනීමක්. විකල්ප දෙකෙන් කවර එකක් තෝරා ගත්තද, එහි වාසිය තිබෙන්නේ ඝානා රජයටයි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ඝානා රජයට ලැබුණු වාසිය කොපමණද? මෙය ගණනය කිරීම සඳහා අප‍ට ණය පැහැර හැරීමේ තීරණය ගත් මොහොත දක්වා ආපසු යන්නට සිදු වෙනවා. එසේ ගොස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පසු අපේක්ෂිත මුදල් ප්‍රවාහ කිසියම් වට්ටම් අනුපාතයක් යොදාගෙන වට්ටම් කරන්නට සිදු වෙනවා. 

එවැනි විශ්ලේෂණයක් සිදු නොකර, 37%කින් මුහුණත අගය අඩු කිරීම දෙස පමණක් බලා අපට මේ පිළිබඳ නිගමන වලට පැමිණිය නොහැකියි. ඉහත උදාහරණ දෙස බැලුවද, 6.5% ඉක්මවන වට්ටම් අනුපාතිකයකදී ඝානා රජයට වඩා වාසිදායක වන්නේ මුහුණත අගය අඩු නොකර මුළුමනින්ම ආපසු ගෙවන දෙවන විකල්පයයි. ණයහිමියන්ගෙන් 91%ක්ම එම පළමු විකල්පය තෝරා නොගෙන මුහුණත අගය 37%කින්  කප්පාදු කෙරෙන පළමු විකල්පය තෝරාගත්තේ ඒ නිසායි.

ඝානා රජයට ලැබුණු වාසිය මෙන්ම ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකා රජයට ලැබුණු වාසිය නිවැරදිව ගණන් බැලිය හැක්කේද මීට සමාන්තරව මේ ආකාරයේ ගණනය කිරීමක් කිරීමෙන් පසුව පමණයි. ලංකාව විසින් අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වල සංකීර්ණ ස්වභාවය නිසා මෙවැන්නක් කිරීම වඩා අසීරුයි. 

Sunday, December 22, 2024

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?


ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ කළ දේවල් වඩා හොඳ ආකාරයකට කළ හැකිව තිබුණා කියන එකයි.

මේ විවේචන වලට යම් පදනමක් තිබෙනවා. ඊට හේතුව ඝානා ආර්ථික අර්බුදය සහ ලංකාවේ ආර්ථික අර්බුදය අතර සැලකිය යුතු සමානකම් තිබෙන නිසා සාධාරණ සංසන්දනයක් කළ හැකි වීම සහ ඝානාවේ සහ ලංකාවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තරමක් වෙනස් ආකාර වලින් ගනු ලැබීමයි. 

ආර්ථිකයන්හි ප්‍රමාණ 

2021 වසරේදී ඝානාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 79.5ක්. ලංකාවේ එය ඩොලර් බිලියන 88.6ක්. ඝානාවේ ජනගහණය මිලියන 32ක් වෙද්දී ලංකාවේ ජනගහණය මිලියන 22ක් පමණයි. ඒ නිසා, ඝානාවේ 2021 ඒක පුද්ගල ආදායම ඩොලර් 2,679ක් වෙද්දී ලංකාවේ එම අගය ඩොලර් 3,999ක්ව පැවතුණා.

අර්බුදයේ සම්භවය - අයවැය හිඟය 

රටවල් දෙකේම ආර්ථික අර්බුද වලට ප්‍රධානම හේතුවක් වුනේ රජය ආදායම ඉක්මවා වියදම් කිරීම සහ අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීමයි. 2019දී ඝානාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 58.3%ක් පමණයි. 2022 වන විට මෙම අගය 92.4% දක්වා ඉහළ ගියා. එය 2019-2022 අතර 34.1%ක වැඩි වීමක්. එම කාලය තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයද දළ දේශීය නිෂ්පාදිතයෙන් 81.9% සිට 114.3% දක්වා 32.4%කින් ඉහළ ගියා.

ණය ශ්‍රේණිගත කිරීම් 

රාජ්‍ය ණය වේගයෙන් ඉහළ යාම හමුවේ 2022 පෙබරවාරි මාසයේදී මූඩිස් ආයතනය ඝානාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත දැමුවා. 2022 අගෝස්තු මාසයේදී S&P ආයතනයත් එයම කළා. මූඩිස් ආයතනය විසින් ලංකාව C කාණ්ඩයට දැමුවේ 2020 සැප්තැම්බර් මාසයේදී. 2020 දෙසැම්බර් මාසයේදී S&P ආයතනයත් එයම කළා. ඒ කියන්නේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම හඳුනා ගන්නේ අවුරුදු එකහමාරකට දෙකකට කලින්. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටෙද්දී ඝානාවට වගේම ලංකාවටත් අලුතෙන් විදේශ ණය ගන්න අමාරු වෙනවා. අඩුව පිරවෙන්නේ අච්චු ගහන සල්ලි වලින්. 

විදේශ සංචිත 

අච්චු ගහන සල්ලි වල උදවුවෙන් අයවැය හිඟය පියවා ගත්තත්, විදේශ අංශය තුලනය කරගන්න වෙන්නේ රටේ විදේශ සංචිත විකුණලා. 2021 අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 11.4ක්ව පැවති ඝානාවේ විදේශ සංචිත 2023 මාර්තු වෙද්දී ඩොලර් බිලියන 5.1 දක්වා පහත වැටෙනවා. මාස 19කදී ඩොලර් බිලියන 6.3ක අඩුවීමක්. 2020 පෙබරවාරි වන විට ඩොලර් බිලියන 7.9 මට්ටමේ තිබුණු ලංකාවේ විදේශ සංචිත 2021 නොවැම්බර් වෙද්දී ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටෙනවා. මාස 21කදී ඩොලර් බිලියන 6.3ක අඩුවීමක්. 

උද්ධමනය 

ඝානාවේ උද්ධමනය 2022 දෙසැම්බර් වන විට 54.1% දක්වා ඉහළ යනවා. ලංකාවේ උද්ධමනය 2022 සැප්තැම්බර් වන විට 67.4% දක්වා ඉහළ යනවා.

ණය පැහැර හැරීම සහ මූල්‍ය අරමුදලේ පිහිට පැතීම 

අර්බුදයේ උණුසුම දැනෙද්දී, 2022 මැයි මාසයේදීත් ඝානාවේ එවකට සිටි මුදල් ඇමතිවරයා කියන්නේ මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. එහෙත්, 2022 ජූලි මාසයේදී මේ අදහස වෙනස් වෙනවා. 2022 දෙසැම්බර් මාසයේදී මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙනවා. එම සම්මුතියකට පැමිණ සතියකට පසුව, 2022 දෙසැම්බර් 19 දින, ඝානාව විසින් ණය පැහැර හැරීම නිවේදනය කරනවා. 2023 මාර්තු මාසයේදී ඝානාවට මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක ණයක් අනුමත වෙනවා. මෙය ඝානාව මූල්‍ය අරමුදල වෙත ගිය 17 වන වතාවයි.

අර්බුදයේ උණුසුම දැනෙද්දී, 2022 පෙබරවාරි මාසයේදීත් ලංකාවේ බලධාරීන් කියන්නේ මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. එහෙත්, 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමට තීරණය කරනවා. ඉන් පසුව, 2022 අප්‍රේල් මාසයේදී ණය පැහැර හැරීම නිවේදනය කරනවා. ඝානාව මූල්‍ය අරමුදල වෙත යන්න තීරණය කරන විටත් ඩොලර් බිලියන පහක පමණ විදේශ සංචිත ඝානාව සතුව තිබෙනවා. එහෙත් ලංකාව මේ තීරණය ගන්නා විට පරක්කු වැඩි නිසා නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙන තුරු අල්ලාගෙන ඉන්න බැරි වෙනවා. 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙනවා. 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක ණයක් ලැබෙනවා. මෙය ඝානාව මෙන්ම ශ්‍රී ලංකාවද මූල්‍ය අරමුදල වෙත ගිය 17 වන වතාවයි.

පොලී අනුපාතික 

උද්ධමන උණුසුම දැනෙද්දී ඝානාවේ මහ බැංකුව පොලී අනුපාතික වේගයෙන් වැඩි කළා. මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විටත් ඝානාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පැවතුණේ 29% මට්ටමේ. එහෙත්, ලංකාවේ මහ බැංකුව විසින් 2022 අප්‍රේල් මාසය වන තුරුම කළේ පොලී අනුපාතික හිර කරගෙන සිටීමයි. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 

විදේශ ණය පැහැර හැරීම නිවේදනය කරන්නටත් පෙරම ඝානාව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවේදනය කළා. ඒ වන විට ඝානාව මූල්‍ය අරමුදල සමඟ එක්ක නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණ නැහැ. අදාළ කටයුතු පසුබිමෙහි සිදු වෙමින් පැවතුණා පමණයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වට දෙක 2023 ජනවාරි හා පෙබරවාරි මාස වල  අවසන් වෙද්දී අදාළ ණයහිමියන්ගෙන් 91%ක්ම ස්වේච්ඡාවෙන් මේ සඳහා සහභාගීවී සිටියා. ඉතිරි අයට මුල් ගිවිසුම් ප්‍රකාරව ණය හා පොලිය ආපසු ලැබෙනවා. 

මෙම වට දෙකේදී වෘත්තීය සංගම් වල වීරෝධතා නිසා විශ්‍රාම වැටුප් අරමුදල් සතු වූ බැඳුම්කර ප්‍රතිව්‍යුගත කළේ නැතත්, පසුව 2023 සැප්තැම්බර් මාසයේදී ඒවාද ප්‍රතිව්‍යුහගත කළා. එහිදී අදාළ ණය වලින් 95%ක් ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කෙරුනා. ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වුනේද 2023 සැප්තැම්බර් මාසයේදීයි.

මීට අමතරව, ඝානාවේ දේශීය නීතිය යටතේ නිකුත් කර තිබුණු ඩොලර් බැඳුම්කර වලින් (ලංකාවේ සංවර්ධන බැඳුම්කර වැනි) 92%ක් සහ කොකෝවා සංස්ථාව විසින් නිකුත් කර තිබුණු කොකෝබොන්ඩ්ස් වලින් 97%ක් ප්‍රතිව්‍යුහගත කෙරුණා. ඝානාවේ මහ බැංකුවෙන් රජය වසින් ලබා ගෙන තිබුණු බැඳුම්කර නොවන ණය (ලංකාවේ මහ බැංකුවේ තාවකාලික අත්තිකාරම් වැනි) ණය වලින් 50%ක් කපා හැර ඉතිරි කොටස බැඳුම්කර බවට පරිවර්තනය කෙරුණා. 

සමස්තයක් ලෙස ඩොලර් බිලියන 20.3ක වටිනාකමක් ඇති දේශීය ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කෙරුණා. මීට සමාන්තරව ලංකාවේ සිදු වූ දේ අප පෙර ලිපි වල විස්තරාත්මක ලෙස කතා කර තිබෙනවා. ලංකාව ප්‍රතිව්‍යුහගත කළේ දේශීය ණය වලින් සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක්. 

විදේශ ණය 

දෙදහස් විසි තුන වසර අවසානයේදී ඝානාවේ විදේශ ණය සංයුතිය පැවතුනේ මෙලෙසයි.

බහුපාර්ශ්වීය ණය - ඩොලර් බිලියන 9.13

ද්විපාර්ශ්වීය ණය - ඩොලර් බිලියන 5.33

ස්වෛරිත්ව බැඳුම්කර - ඩොලර් බිලියන 13.10

අනෙකුත් වාණිජ ණය - ඩොලර් බිලියන 3.86



මෙම ගණන් අපට 2023 අවසානයේදී ලංකාවේ විදේශ ණය සංයුතිය හා සැසඳිය හැකියි.

බහුපාර්ශ්වීය ණය - ඩොලර් බිලියන 11.79

ද්විපාර්ශ්වීය ණය - ඩොලර් බිලියන 10.81

ස්වෛරිත්ව බැඳුම්කර - ඩොලර් බිලියන 12.55

අනෙකුත් වාණිජ ණය - ඩොලර් බිලියන 2.19

මේ අනුව පැහැදිලි වන පරිදි ශ්‍රී ලංකාවේ සහ ඝානාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රමාණ ආසන්නව සමානයි. බැඳුම්කර ප්‍රමාණය සැලකුවහොත් ශ්‍රී ලංකාව ස්වෛරිත්ව බැඳුම්කර 11ක් සඳහා මුදල් ගෙවීම පැහැර හැර තිබුණු අතර ඒවායින් හතක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි. ඝානාව ස්වෛරිත්ව බැඳුම්කර 15ක් සඳහා මුදල් ගෙවීම පැහැර හැර තිබුණු අතර ඒවායින් තුනක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි.

ද්විපාර්ශ්වීය ණය 

ආරම්භයේදී ලංකාව මෙන්ම පැරිස් සංසදය හා චීනය එකම මේසයකට රැගෙන විත් සාකච්ඡා කිරීමේ ප්‍රශ්නයට මුහුණ දී සිටියත්, මෙම වසරේ මැයි මාසයේදී ඝානාව ද්විපාර්ශ්වීය ණයහිමියන් සමඟ එකඟතාවයකට පැමිණුනා. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවද එවැනි එකඟතාවයකට පැමිණුනා.

ස්වෛරිත්ව බැඳුම්කර ණය 

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඝානාව ණයහිමියන් කණ්ඩායම් දෙකක් සමඟ වෙන වෙනම සකච්ඡා කළා. එක් කණ්ඩායමක් ජාත්‍යන්තර ණයහිමියන්ගෙන් සමන්විත වූ අතර අනෙක් කණ්ඩායම සමන්විත වූයේ අප්‍රිකානු කලාපයේ ණයහිමියන්ගෙන්. මේ අයුරින්ම, ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර ණයහිමියන් සහ දේශීය ණයහිමියන් සමඟ වෙන වෙනම සාකච්ඡා කළා. මෙම සාකච්ඡා වලදී ඇති කරගත් එකඟතාවයන් අනුව, ඝානාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය පසුගිය (2024) ඔක්තෝබර් මාසයේදී ප්‍රතිව්‍යුහතගත කර අවසන් කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය දෙසැම්බර් මාසයේදී ප්‍රතිව්‍යුහතගත කෙරුණා. 

ශ්‍රී ලංකාව මෙන්ම ඝානාවද ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. ඝානාවේ ණයහිමියන්ගෙන් 91.0%ක් පළමු විකල්පය තෝරා ගත් අතර, තවත් 7.6%ක් දෙවන විකල්පය තෝරා ගත්තා. මුළු එකතුව 98.6%ක්. ඝානාවේ බැඳුම්කර වලින් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය අවම අනුමැති සීමාව වූ 50% බෙහෙවින්ම ඉක්මවන 98.6%ක අනුමැතියක් ලැබුණා. සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ බැඳුම්කර තුනක් සඳහාද පිළිවෙලින් 92.4%, 97.4% හා 98.7%ක අනුමැතියක් ලැබුණු බැවින් ඝානාවට ඔවුන්ගේ ස්වෛරිත්ව බැඳුම්කර 100%ක්ම ප්‍රතිව්‍යුහගත කළ හැකි වුනා. 

පළමු විකල්පය යටතේ ප්‍රතිව්‍යුහගත කළ බැඳුම්කර සඳහා ඝානාවට 37%ක මුහුණත අගය කප්පාදුවක් (හෙයාකට් එකක්) ලැබුණු අතර ණය ආපසු ගෙවීම 2026-2035 අතර කාලය තුළ සිදු වෙනවා. දෙවන විකල්පය යටතේ ණය කප්පාදුවක් සිදු වන්නේ නැහැ. එහෙත් ණය ආපසු ගෙවීම සිදු වනුයේ 2036දී සහ 2037දීයි. 

මීට සාපේක්ෂව, ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කරද්දී 83.6%ක් පළමු විකල්පය යටතේද, 14.3%ක් දෙවන විකල්පය යටතේද ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර අවම අනුමැතිය නොමැති වීම නිසා එක් බැඳුම්කරයකින් 26.87%ක් ප්‍රතිව්‍යුහගත කළ හැකි වූයේ නැහැ. සමස්තයක් ලෙස ප්‍රතිව්‍යුහගත කළ හැකි වූයේ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 97.86%ක් පමණයි. මෙම අගය ඉතා ඉහළ මට්ටමක ඇතත්, එය ඝානාවේ මෙන් 100%ක් නෙමෙයි. 

ලංකාවේ පළමු විකල්පය යටතේ නිකුත් කරනු ලැබුවේ සාර්ව ආර්ථික නිර්ණායක හා බැඳී බැඳුම්කර වූ බැවින් ලැබෙන මුහුණත අගය කප්පාදුව රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය අනුව විචලනය වන්නක්. දළ දේශීය නිෂ්පාදිතය මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු හා සමපාත වුවහොත් ශ්‍රී ලංකාවට 27%ක මුහුණත අගය කප්පාදුවක් ලැබෙන නමුත් මෙය 14.5% දක්වා අඩු විය හැකියි. මේ අනුව, ලංකාව විසින් එළැඹ ඇත්තේ ඝානාවට සාපේක්ෂව අවාසිදායක ගනුදෙනුවකට බව යමෙකුට තර්ක කළ හැකියි. කෙසේ වුවත්, මෙම ණය ආපසු ගෙවිය යුත්තේ 2029-2038 අතර බවත්, එය ඝානාවට ලැබෙන කාලයට වඩා වසර කිහිපයකින් වැඩි කාලයක් බවද අප‍ට සැලකිල්ලට ගන්නට සිදු වෙනවා. 

තවත් වැදගත් කරුණක් වන්නේ ප්‍රතිව්‍යුහගත කරනු ලැබූ ඝානාවේ ඇතැම් බැඳුම්කර කල් පිරීමට නියමිතව තිබුණේ 2049, 2051 හා 2061 වැනි ඉතා දිගු කාලයකට පසුව බවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙම බැඳුම්කර හිමි වූ අයට තමන්ගේ ආයෝජනය වඩා කලින් මුදල් කර ගැනීමට ඉඩ ලැබුණා. ලංකාවට සාපේක්ෂව ඝානාවේ එවකට පැවති, දැනට පවතින හා අපේක්ෂිත දිගුකාලීන පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම සැලකූ විට මුදල් වසරක් හෝ කලින් ලැබීම විශාල වාසියක්. මෙම කාල වෙනසේ වාසියද සැලකූ විට ඝානාවේ ණයහිමියන්ට මුහුණත අගය කප්පාදුවක අවාසිය ඒ තරම්ම විශාල නැහැ. 

එසේනම්, ලංකාව මෙවැනි "අවාසිදායක" ගනුදෙනුවකට ගියේ ඇයි?

පළමුව කිව යුත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවාසිදායක ගනුදෙනුවක් සේ සැලකිය නොහැකි බවයි. මෙවැනි ගනුදෙනුවකදී අවාසිය සිදු වන්නේ ණයහිමියාටයි. ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය වන්නේ ඝානාවට ලැබුණු මට්ටමේ ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා ගත නොහැකි වූයේ මන්ද යන්නයි. 

වැරැද්ද පසුගිය ආණ්ඩුවේද? 

පසුගිය ආණ්ඩුව පැවති කාලයේදී මෙම ණය ප්‍රතිව්‍යුගහත කිරීම ඇතුළු ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හැකි ඉක්මණින් අවසන් ක‍ර ගැනීම සඳහා විශාල කාර්ය භාරයක් සිදු වුනා. ජනාධිපතිවරණය ආසන්නව සිදු වූයේ මෙම ක්‍රියාවලියේ සමාප්තිය සටහන් කරන ක්‍රියාවක්. 

ආණ්ඩුව වෙනස් වීමට පෙර ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ එකඟතාවයක් ඇති කරගෙන අවසන්ව පැවති අතර ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් විශාල ප්‍රමාණයක් අතරින් නවදෙනෙකු සමඟද එවැනිම එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 40%ක ප්‍රමාණයක් අයිතිව තිබුණේ ඔවුන්ටයි. එහෙත් මෙම එකඟතාවය පාර්ශ්ව දෙකක් අතර ඇති කර ගනු ලැබූ ලිහිල් එකඟතාවයක් මිස අවසන් කළ නෛතික ගනුදෙනුවක් නෙමෙයි. මෙවැනි ලිහිල් එකඟතාවයකින් ඉවත් වීම අසීරු කාර්යයක් නෙමෙයි. සැබෑ නෛතික ගිවිසුමක් ඇති වන්නේ, දැන් සිදුව ඇති පරිදි, ණය හුවමාරුව අවසන් වීමෙන් පසුවයි.

පෙර සඳහන් කර තිබුණු පරිදි, ශ්‍රී ලංකාව ස්වෛරිත්ව බැඳුම්කර 11ක් පැහැර හැර තිබුණු අතර ඒවායින් 7ක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි. ඒ අනුව, සමස්තයක් ලෙස මෙම බැඳුම්කර හතේ මුහුණත අගයයන්ගෙන් 50% ඉක්මවන ණය ප්‍රමාණයක හිමිකරුවන් කිසියම් ණය හුවමාරුවකට එකඟ වුවහොත්, එක් එක් බැඳුම්කරය හා අදාළ එම කැමැත්ත කවරක් වුවද, මෙම බැඳුම්කර හතේ මුහුණත අගයෙන් 100%ක්ම ප්‍රතිව්‍යුහගත කළ හැකි වෙනවා. ඉතිරි බැඳුම්කර හතර එවැනි සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ බැවින් එසේ කිරීම සඳහා ඊට වඩා වැඩි පිරිසකගේ (උදාහරණයක් ලෙස 75%කගේ) කැමැත්ත අවශ්‍යව තිබුණා. 

මෙම නෛතික තත්ත්වය හමුවේ සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ එක් බැඳුම්කරයක් සඳහා අවශ්‍ය වූ එම අවම කැමැත්ත වූ 75% නොලැබෙන පරිදි එම බැඳුම්කරයේ මුහුණත අගයෙන් 25% ඉක්මවන කොටසක අයිතිය හිමි ණයහිමියන් ඒකරාශී කර ගැනීමට එක් ණයහිමියෙකු වූ හැමිල්ටන් රිසර්ව් බැංකුව කලින්ම සමත්ව සිටියා. ඝානාවට එවැනි නෛතික අභියෝග වලට මුහුණ දෙන්නට සිදුව තිබුණේ නැහැ. 

ශ්‍රී ලංකාවේ ඉලක්කය වූයේ බැඳුම්කර හුවමාරුවට යාමට පෙර සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් බලාත්මක කිරීම සඳහා පසු කළ යුතු 50% සීමාව කොහොමටත් පසු කෙරෙන බව ශ්‍රී ලංකාව සමඟ පූර්ව ගිවිසුමකට එළැඹ නොමැති ණයහිමියන්ට ප්‍රදර්ශනය කිරීමයි. එවිට, තමන්ගේ කැමැත්ත නොමැතිව වුවද බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන බව ඔවුන්ට පෙනී යන නිසා ඔවුන්ද ණය හුවමාරුව සඳහා අයදුම් කිරීමට පෙළඹෙනවා. ඇත්තටම සිදු වුනේද එයයි. 

මෙම ඉලක්කය ඇතිව ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර ණයහිමියන් නව දෙනෙකු සමඟ එකඟතාවයක් ඇති කර ගත්තා. ඔවුන් සතුව බැඳුම්කර වලින් 40%ක් පමණ තිබුණා. දේශීය ණයහිමියන් සමඟ වෙනත් එකඟතාවයක් ඇති කරගත් අතර ඔවුන් සතුව බැඳුම්කර වලින් 12%ක් පමණ තිබුණා. එහෙත්, බැඳුම්කරහිමියන් විශාල පිරිසක් සමඟ එවැනි පූර්ව එකඟතා ඇති කරගෙන තිබුණේ නැහැ. එමෙන්ම, මෙම ඉතිරි පිරිස සතුවද බැඳුම්කර ණයවලින් අඩකට වඩා අඩු, එහෙත් ඊට ආසන්න ප්‍රමාණයක් තිබුණා. 

හුවමාරුවේදී සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු බැඳුම්කර නිකුත් කළේ ඉහත කී පළමු කණ්ඩායමේ සිටි ණයහිමියන් නව දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔවුන් කැමති කර ගැනීම පිණිසයි. ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට මෙම එකඟතාව ඇති කරගෙන අවසන්ව පැවති අතර ඒ සඳහා චීනය ඇතුළු සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ එකඟතාවයද, IMF අනුමැතියද ලැබී තිබුණා. ඒ අනුව, කළ යුතුව තිබුණේ නිල වශයෙන් ණය හුවමාරුව සඳහා අයදුම්පත් කැඳවීම සහ ලැබෙන අයැදුම්පත් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණයි.

යම් හෙයකින් මේ කටයුත්ත මීට පෙර අවසන් කළ හැකිව තිබුණේනම් පසුගිය ආණ්ඩුව විසින් අනිවාර්යයෙන්ම එසේ කරන බව පැහැදිලියි. මීට වඩා දේශපාලනිකව මෙන්ම මූල්‍ය ස්ථායීතාවය හා අදාළවද අවදානම් කටයුත්තක් වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පසුගිය ආණ්ඩුව පැකිළුනේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළවද දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ වේගයෙන් ක්‍රියාමාර්ග ගැනෙමින්න් පැවතුනා. ජනාධිපතිවරණ දිනය එළබුනේ එම ක්‍රියාවලිය අවසන් වන්නට ආසන්නව තිබියදීයි.

තමන්ට "ගෙදර යන්නට සිදුවීම" පැහැදිලිව පෙනීම මත ආණ්ඩුව දේශපාලනිකව සිතා කටයුතු කළේනම් බොහෝ විට කළ හැකිව තිබුණේ මෙම එකඟතාවයට නොපැමිණ තවත් කෙටි කාලයක් කල් මැරීමයි. අවසාන වශයෙන් සිදු වුනේ ආණ්ඩුව ගෙදර යාම වුවත්, ජනාධිපතිවරණය ඔන්න මෙන්න කියා තිබියදී ආණ්ඩුව විසින් මෙම එකඟතාවන් පිළිබඳව නිවේදනය කළේ එහි දේශපාලන වාසියද ලබා ගැනීමේ අරමුණින් බව තේරුම් ගැනීම ඒ තරම්ම අපහසු නැහැ. 

පසුගිය ආණ්ඩුව විසින් කළේ ඔවුන්ට කළ හැකි වූ උපරිමයයි. මීට වඩා වාසිදායක ගනුදෙනුවකට යා හැකි වීනම් ඔවුන්ට එය නොකර ඉන්නට හේතුවක් තිබුණේ නැහැ. එම ආණ්ඩුව දේශපාලන වාසියක් ලබා ගන්නට උත්සාහ කළේනම්, ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කර එහි ගෞරවය ලබා ගැනීම මගිනුයි. ආණ්ඩුව ගෙදර ගියේ අදාළ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අවසන් කිරීමෙන් පසුවයි. 

වත්මන් ආණ්ඩුවට වෙනත් විකල්පයක් තිබුණේම නැද්ද?

මේ ආණ්ඩුව බලයට පත් වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා කළ යුතුව තිබුණේ අයදුම්පත් කැඳවීම සහ ඒ මත පදනම්ව ණය හුවමාරු කිරීම පමණයි. එය පහසුවෙන්ම මාසයක් ඇතුළත කළ හැකිව තිබුණු දෙයක්. මෙවැන්නක් කළ හැකිව තිබුණේ පසුගිය ආණ්ඩුව විසින් ඇති කරගෙන තිබුණු එකඟතා මත පදනම්වයි.

එහෙත් එයින් අදහස් වන්නේ පසුගිය ආණ්ඩුව විසින් වත්මන් ආණ්ඩුව ගිවිසුමකින් හිර කර තිබුණු බව නෙමෙයි. මේ ආණ්ඩුවට අවශ්‍ය වී නම් පසුගිය ආණ්ඩුව විසින් ඇති කර ගෙන තිබුණු එකඟතාවයෙන් ඉතා පහසුවෙන් බැහැර යා හැකිව තිබුණා. එම ලිහිල් එකඟතාවයට කිසිදු නෛතික පදනමක් තිබුණේ නැහැ. මේ ආණ්ඩුව එසේ නොකළේ, ඉතා නිවැරදි ලෙස, එවැනි ක්‍රියාමාර්ගයක අවදානම අවබෝධ කරගත් නිසායි.

යම් හෙයකින් මේ ආණ්ඩුව අදාළ එකඟතාවයෙන් බැහැර වී වඩා වාසිදායක ගනුදෙනුවක් ඉල්ලා සිටියේනම් සිදු විය හැකිව තිබුණේ සමස්ත ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය දිගින් දිගටම කල් යාම පමණයි. අවසාන වශයෙන් ඇති කරගත් එකඟතාවයට වඩා වාසිදායක ගනුදෙනුවකට යාම බොහෝ විට සිදු නොවිය හැකිව තිබුණු දෙයක්. කෙටියෙන් කිවුවොත්, මේ ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව ගමන් ගත් පාරෙන් බැහැරව වෙනත් පාරක යා හැකිව තිබුණත් එම විකල්ප පාර අතරමගින් අවසන් වන, ගමනාන්තයක් නොමැති පාරක් (dead end). 

ඝානාව ලබා ගත් දේ ලබා ගැනීමේ හැකියාවක් ලංකාවට නොතිබුණේ ඇයි? 

ඝානාවේ ආර්ථිකයේ ප්‍රමාණය හා ස්වරූපය, එහි ආර්ථික අර්බුදයේ සම්භවය සහ දිග හැරුණු ආකාරය, අර්බුදයෙන් ගොඩ යාම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය ඇතුළු බොහෝ දෑ ලංකාවේ අදාළ තත්ත්වයන් සමඟ පහසුවෙන් සැසඳෙන බව ඇත්තක් වුවත්, දෙරට පැවති තත්ත්වයන් අතර ඉතා වැදගත් වෙනස්කම්ද කිහිපයක්ම තිබුණා. එයින් පළමුවැන්න ඒක පුද්ගල ආදායම්හි වෙනසයි.

ආර්ථිකයන්හි ප්‍රමාණ ආසන්නව සමාන වුවද, ලංකාවේ ජනගහණය ඝානාවේ ජනගහණයට වඩා අඩු බැවින් ලංකාවේ ඒක පුද්ගල ආදායම තිබුනේ සාපේක්ෂව ඉහළ මට්ටමකයි. අඩු ආදායම්ලාභී රටවල් සහ මැදි ආදායම් රටවල් වෙන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අඳින බෙදුම් ඉර වැටී තිබුණේ ඝානාවේ සහ ලංකාවේ ඒක පුද්ගල ආදායම් අතරමැදිනුයි. ඒ අනුව, ඝානාව අඩු ආදායම් රටක් සේ හඳුනා ගැනෙද්දී ලංකාව මැදි ආදායම් රටක් ලෙස හඳුනා ගැනුණා.

මේ හේතුව නිසා ලංකාවේ හා ඝානාවේ ණය ගෙවීමේ හැකියාව තීරණය වූයේ එකම පදනමකින් නෙමෙයි. ණය තිරසාරත්වය ඇති කර ගැනීම සඳහා ලංකාවට එහි රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% මට්ටම දක්වා අඩු කර ගන්නට සිදු වෙද්දී ඝානාව හා අදාළ එම සීමාව 55% තරම් පහත මට්ටමක පැවතුනා. ලංකාවට යා යුතු වූ 95% ඉලක්කයට යාම සඳහා විශාල ණය කප්පාදුවක් කළ යුතු වූයේ නැහැ. රාජ්‍යමූල්‍ය ඉලක්ක සපුරාගැනීම තුළින් පමණක් වුවද එම ඉලක්කය ආසන්නයට යා හැකිව තිබුණා.

එහෙත් ඝානාවට ලැබී තිබුණේ අසීරු ඉලක්කයක්. රාජ්‍යමූල්‍ය ඉලක්ක සපුරාගෙන ඉතාම ආක්‍රමණශීලී (aggressive) මට්ටමක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමෙන් පසුවද, ඝානාවට 55% ඉලක්කය කරා යාම විශාල අභියෝගයක්ව තිබුණා. ස්වෛරිත්ව බැඳුම්කර ණය සඳහා විශාල මුහුණත අගය කප්පාදුවක් නොලබා එම ඉලක්කයට යා හැකිව තිබුණේ නැහැ. ඒ අතර, ලංකාවේ 95% ඉලක්කය කරා යාම සඳහා සාපේක්ෂව සුළු ණය සහනයක් ප්‍රමාණවත්ව තිබුණා.

ලංකාවට යෝජනා කළ ආකාරයේ සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු බැඳුම්කර පිළිබඳ යෝජනාවක් ඝානාව වෙතද ඉදිරිපත් වුණා. එහෙත්, එම යෝජනාව මගින් ඝානාවේ ණය තිරසාරත්ව ඉලක්කය වෙත යාමට ඉඩ නොසැලසෙන බව මූල්‍ය අරමුදලේ නිගමනය වූ බැවින් ණයහිමියන්ට එම යෝජනාව අකුලා ගන්නට සිදු වුනා. ලංකාව හා අදාළව ණයහිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනාව අරමුදල විසින් පිළිගත්තා. 

රාජ්‍ය ආදායම් ප්‍රවණතා වෙනස 

ඝානාවේ රාජ්‍ය ආදායම් කාලයක් තිස්සේ ඉහළ යමින් පැවතුනා. 1990දී ඝානාවේ රාජ්‍ය ආදායම එරට දදේනියෙන් 5.02%ක් පමණක් වූ අතර, ඒ වන විට ලංකාවේ රාජ්‍ය ආදායම දදේනියෙන් 18.96%ක් (මූලාශ්‍රය: IMF). 2022 වසර වන විට ඝානාව රාජ්‍ය ආදායම දදේනියෙන් 15.84% මට්ටම දක්වා වර්ධනය කරගෙන තිබුණා. එහෙත් ලංකාවේ රාජ්‍ය ආදායම දදේනියෙන් 8.33% දක්වා පහත වැටී තිබුණා. මෙම පහත වැටීම කාලයක් තිස්සේ ක්‍රමික ලෙස සිදු වෙමින් පැවතියත්, එකවර විශාල කඩා වැටීමකට ලක් වූයේ 2020 බදු කප්පාදුවෙන් පසුවයි. එම බදු කප්පාදුව ලංකාවේ ආර්ථික අර්බුදයට විශාල දායකත්වයක් සැපයූවා.

ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය 2008දී මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසුව පොලී අනුපාතික විශාල ලෙස පහත වැටුනා. ශුන්‍ය මට්ටම ආසන්නයටම කියා කිව හැකියි. මෙම තත්ත්වය තුළ චීනයට ඔවුන්ගේ ප්‍රාග්ධනය ඇමරිකාව ඇතුළු බටහිර රටවල රඳවා තැබීම අවාසිදායක කටයුත්තක් වූ බැවින් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි පරිදි ලංකාව හා ඝානාව වැනි රටවල මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් යොදවන්නට එරට පෙළඹුණා. බටහිර රටවල පෞද්ගලික ආයෝජකයින්ට සහ අරමුදල් වලටද ලංකාව හා ඝානාව වැනි රටවල බැඳුම්කර වඩා ආකර්ශනීය වීම නිසා මෙවැනි රටවල රජයයන්ට විදේශ ණය ලබා ගැනීම පහසු කටයුත්තක් බවට පත් වුණා. ඒ හේතුවෙන් වියදම් ඉහළ ගොස් අයවැය හිඟය පුළුල් වී ණය බර වැඩි වුනා.

ඉහත තත්ත්වය ලංකාවට සහ ඝානාවට පොදු තත්ත්වයක් වුවද, ලංකාවේ සිදු වූ ආකාරයේ රාජ්‍ය ආදායම් අඩු වීමක් ඝානාවේ සිදු වී තිබුණේ නැහැ. මේ හේතුව නිසා, ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමේදී ලංකාවට සාපේක්ෂව ගත් කළ, ඝානා රජයට රාජ්‍ය ආදායම් විශාල ලෙස වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් නොතිබුණත්, ලංකාවේ රජය විසින් එය අනිවාර්යයයෙන් කළ යුතු කාර්යයක්ව පැවතුනා. ලංකාව විසින් හඹා යා යුතු වූයේ දැවැන්ත රාජ්‍ය ආදායම් ඉලක්කයක්.

රාජ්‍ය ආදායම් ප්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයෙන් විශාල කොටසක් විසඳීමට නියමිතව තිබුණා. එබැවින්, ණය තිරසාරත්වය කරා යන ගමනේදී ස්වෛරිත්ව බැඳුම්කර ණය බර අඩු කර ගැනීමට ඝානාවට තරම් අවශ්‍යතාවයක් ලංකාවට තිබුණේ නැහැ. ඒ නිසා, ණයහිමියන්ගේ පැත්තෙන්, ඝානාවට දුන් මට්ටමේ සහනයක් ලංකාවට ලබා දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

ලංකාව ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාවයෙන් බැහැර වීනම් කුමක් සිදු විය හැකිව තිබුණේද?

මැතිවරණ වලට පෙර දේශපාලන වේදිකා වල කියූ කතා මෙන්ම දැන් ඇහෙන එවැනිම කතා බැහැර කර ඇත්ත තත්ත්වය විමසා බැලුවහොත්, ලංකාවට ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාවයෙන් බැහැර වීම සඳහා කිසිදු සාධාරණ හෝ තාර්කික හේතුවක් තිබුණේ නැහැ. ඊට හේතුව, පසුගිය ආණ්ඩුව ගිවිසුමක් මගින් එසේ කිරීමේ හැකියාව සීමා කර තිබීම නෙමෙයි. කිසිසේත්ම එවැනි බාධකයක් තිබුණේ නැහැ. 

යම් හෙයකින් ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාව පසුගිය ආණ්ඩුව විසින්ම ඒකපාර්ශ්වීය ලෙස බිඳ හෙලුවද උපරිම වශයෙන් සිදු වන්නේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුවක් ඇති වීම පමණයි. ණයහිමියන්ගේ පැත්තෙන් බැලුවද, ණය හුවමාරුව සඳහා නිල වශයෙන් අයැදුම්පත් කැඳවීමෙන් අනතුරුව අදාළ එකඟතාව පරිදි එම ණයහිමියන්ගෙන් අයෙකු අයදුම් නොකළේනම්, ශ්‍රී ලංකාවට ඊට එරෙහිව කිසිවක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහිදී සිදු වන්නේ විශ්වාසය කඩවීමක් පමණයි. ආණ්ඩුව බලයෙන් පහ වී අලුත් ආණ්ඩුවක් විශාල ජනවරමකින් බලයට පත් වීමෙන් පසුව පසුගිය ආණ්ඩුව සමඟ ඇති කරගත් එකඟතාව නොසලකා හැර නැවත මුල සිට සාකච්ඡා කළේනම්, අඩු වශයෙන් එවැනි විශ්වාසය කඩවීමක් හෝ සිදු වන්නේ නැහැ. 

ඇත්තටම තිබුණු ප්‍රශ්නය අදාළ එකඟතාවයෙන් බැහැර වීම සඳහා ශ්‍රී ලංකාවට කිසිදු සාධාරණ හෝ තාර්කික හේතුවක් නොතිබීමයි. කලින් පෙන්වා දුන් පරිදි, ලබාගත් ණය පොරොන්දු වූ පරිදි ආපසු නොගෙවද්දී එහි අවාසිය හිමිවන්නේ ණයහිමියන්ටයි. ඒ නිසා, ශ්‍රී ලංකා රජයට ඔවුන්ගෙන් ණය සහනයක් ලබා ගත හැකි වන්නේ ණය ගෙවීමේ කිසිදු හැකියාවක් නොමැති බව කරුණු සහගතව පෙන්වා දීමෙන් පසුව පමණයි. මේ සඳහා ශ්‍රී ලංකාවට මෙවලමක් ලෙස උපකාරී කර ගත හැකිව තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂනයයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂනය අනුව, 2025-2027 කාලයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 99.0 ඉක්මවුවහොත්, ණය තිරසාරත්වය පවත්වා ගැනීම සඳහා 14.5%ක පමණ මුහුණත අගය කප්පාදුවක් ප්‍රමාණවත්. ඒ නිසා, ණයහිමියන් කණ්ඩායමක් විසින් යෝජනා කළ සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු විකල්පය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාවට සාධාරණ හා තර්කානුකූල හැකියාවක් තිබුණේ නැහැ. 

ඝානාව හා අදාළව පැවතියේ වෙනත් තත්ත්වයක්. ඝානාව හා අදාළවද මෙවැනි විකල්පයක් ඉදිරිපත් කෙරුණත්, පළමුව ණයහිමියන්ගේම එක් කණ්ඩායමක් එම විකල්පයට එකඟ වූයේ නැහැ. දෙවනුව, එම විකල්පයෙන් ඝානාවේ ණය තිරසාරත්වය ඇති නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දුන්නා. ඒ නිසා ඝානාවේ ණයහිමියන්ට එම යෝජනාවෙන් බැහැර වන්නට සිදු වුනා.

වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පිරිස් මැතිවරණයට පෙර පැවසුවේ ඔවුන් බලයට පත් වීමෙන් පසුව අරමුදල සමඟ සාකච්ඡා කර ණය තිරසාරත්ව විශ්ලේෂණය (DSA එක) වෙනස් කරගන්නා බවයි. මා හිතන පරිදි, ඔවුන් මේ ප්‍රකාශය කළේ බටහිර රටක එක්තරා ආර්ථික විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයක් මත පදනම්වයි. ඔහු යෝජනා කර සිටියේ අරමුදල විසින් ඝානාවේ ණය තිරසාරත්ව විශ්ලේෂණය සඳහා යොදා ගත් අඩු ආදායම් රටවල් සඳහා වූ ආකෘතියම ලංකාව සඳහාද යොදා ගත යුතුව තිබුණු බවයි. 

යම් හෙයකින් ලංකාවේ ණය තිරසාරත්වය සඳහා රාජ්‍ය ණය ප්‍රමාණය දදේනියෙන් 55% මට්ටම දක්වා අඩු කර ගත යුතු බව අරමුදලේ නිගමනය වීයැයි සිතමු. එය ඝානාව සඳහා ලබා දී තිබුණු ඉලක්කයයි. එය එසේ වීනම්, ඒ මත පදනම්ව ශ්‍රී ලංකා රජයට බැඳුම්කර ණයහිමියන් ඇතුළු අනෙකුත් විදෙස් ණයහිමියන්ගෙන් වඩා විශාල ණය කප්පාදුවක් ඉල්ලා සිටිය හැකිව තිබුණා. එමෙන්ම, ණයහිමියන් විසින් එවැනි ණයකප්පාදුවක් කිරීමේ ඉඩක්ද තිබුණා. කෙසේ වුවත්, එවැන්නක් සිදු වූයේනම්, දේශීය ණයද විශාල ලෙස කපා හැරීම, බදු තවත් වැඩි කිරීම, රාජ්‍ය වියදම් තවත් අඩු කිරීම, රාජ්‍ය දේපොළ විශාල ප්‍රමාණයක් විකිණීම වැනි වෙනත් ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටද ශ්‍රී ලංකා රජයට සිදු වෙනවා. එසේ නොකර 55% වැනි සීමාවකට යා නොහැකියි. 

මෙහිදී අවධාරණය කළ යුත්තේ ඉහත සඳහන් කළ තත්ත්වය තනිකරම මනඃකල්පිත තත්ත්වයක් පමණක් බවයි. මූල්‍ය අරමුදල විසින් අඩු ආදායම් රටවල් සහ මැදි ආදායම් රටවල් වෙන් කරන සම්මත ක්‍රමයක් තිබෙනවා. එය ලංකාව හෝ ඝානාව ඉලක්ක කර හැදූ සම්මතයක් නෙමෙයි. ඒ නිසා, මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා සාකච්ඡා කර අඩු ආදායම් රටවල් සඳහා වූ ණය තිරසාරත්ව විශේල්ෂණ ක්‍රමවේදය ලංකාව වෙනුවෙන් යොදා ගැනීමට ඔවුන්ව පොළඹවා ගැනීම කිසිසේත්ම සිදුවිය නොහැකිව තිබුණු මනෝරාජික අදහසක් පමණයි. එවැන්නක් ගැන නිකමට මෙන් විමසා බැලීමේ හැකියාවක්නම් තිබුණා. ඇතැම් විට ආණ්ඩුවේ නියෝජිතයින් විසින් එවැන්නක් කළා විය හැකියි.

අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය එලෙසම තිබියදී, කිසිදු සාධාරණ හේතුවක් නැතිව එකඟතාවෙන් ඉවත් වීම සමාන කළ හැක්කේ අරමුදල සමඟ වූ එකඟතා වලින්ද ඉවත් වීමක් ලෙසයි. යම් හෙයකින් එවැන්නක් වීනම්, මුලින්ම විය හැකිව තිබුණු දෙයක් වූයේ වාර ගණනාවක් විභාගයට නොගෙන කල් දමමින් තිබුණු හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව විභාගයටගනු ලැබීමයි. එහිදී ලංකාවට අවාසිදායක තීන්දුවක් ලැබුනේනම් (ඉදිරියේදී සිදු වීමට ඉඩ ඇති පරිදි) තවත් බොහෝ ණයහිමියන් විසින්ද ඔවුන් ගත් මග ගනු නොඅනුමානයි. 

එසේ වී නම්, ද්විපාර්ශ්වීය ණයහිමියන් සමඟ ඇති කරගෙන තිබුණු එකඟතාවද බිඳ වැටෙන අතර, අරමුදලේ ඉතිරි වාරික ලැබීම අවම වශයෙන් තාවකාලික ලෙස හෝ නවතිනවා. එවැනි තත්ත්වයක් තුළ නැවතත් 2022දී මෙන් සමපේක්ෂකයින් ක්‍රියාත්මක වී පළමුව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමත්, ඒ හේතුවෙන් ආර්ථිකය නැවත කඩා වැටීමත් විශාල විභවයක් තිබුණු අවදානමක්. 

මේ ආණ්ඩුව ඒ මග නොගියේ එය කිසිම තේරුමක් නැති මෝඩ අවදානමක් බව මුල සිටම දැන නොසිටියේනම් අඩු වශයෙන් පසුව හෝ තේරුම් ගත් නිසා මිස පසුගිය ආණ්ඩුව විසින් අවසාන මොහොතේ ඔවුන්ව හිරකර තිබුණු නිසා නෙමෙයි. කිසියම් හෙයකින් ප්‍රධාන විපක්ෂය බලයට පත් වීනම්, ඔවුන්ටද වෙනත් මාර්ගයක යාමේ හැකියාවක් තිබුණේ නැහැ. එවැනි කතා සියල්ලක්ම ගැලරිය පිනවන කතා පමණයි. 

වෙබ් ලිපිනය: