වෙබ් ලිපිනය:

Showing posts with label තායිලන්තය. Show all posts
Showing posts with label තායිලන්තය. Show all posts

Monday, July 15, 2024

බැංකොක් සවාරියක් යමුද?


ලංකාවේ ජීවත් වන වත්පොත් මිතුරන් ගණනාවක් විදේශ සංචාර වල ඡායාරූප පළ කර තිබෙනු නිරීක්ෂණය කළ හැකි වුනා. ලාංකිකයින්ගේ විදේශ සංචාර වලින් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටම කරා පැමිණෙමින් තිබෙන බව. 

වසංගතය නිසා ලෝකයේම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමක් වුනා. දැන් එය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. කොරේ පිටට මරේ වගේ වසංගතය ඉවර වෙද්දී ලංකාවේ ආර්ථික අර්බුදය ආපු නිසා ලාංකිකයින්ගේ  විදේශ සංචාර කලින් මට්ටමට එන එක තවත් ප්‍රමාද වුනා. 

ලංකාවට පැමිනෙන සංචාරකයින් ප්‍රමාණ හා එමගින් ලැබෙන විදේශ විණිමය වගේ මාතෘකා නිතර කතාබහට ලක් වෙනවා. අපේ ලිපි වල වුනත් මේ ගැන වරින් වර කතා කර තිබෙනවා. නමුත් ලාංකිකයින්ගේ විදේශ සංචාර ගැන කතා කෙරෙන්නේ අඩුවෙන්.

ලංකාවට විදේශ සංචාරකයින් පැමිණෙද්දී රටට විදේශ විණිමය ගලා එනවා. ශ්‍රී ලාංකිකයින් විදේශ සංචාර කරද්දී වෙන්නේ ඒ විදිහට රටට එන විදේශ විණිමය රටෙන් යන එක. ලාංකිකයින්ගේ විදේශ සංචාර ගැන එතරම් කතාබහක් නොකෙරෙන්නේ ඔය නිසා වෙන්න පුළුවන්.

විදේශ විණිමය අර්බුදයක් වගේ විශේෂ අවස්ථාවක විදේශ විණිමය රටෙන් යන එක ගැන සැලකිලිමත් වෙන එකේ වැරැද්දක් නැහැ. නමුත් දැන් ලංකාව ඒ අමාරු අදියර පහු කරලා. රටේ ආර්ථිකය නැවත පිබිදෙද්දී ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ සංචාරත් ඉහළ යා යුතුයි. එහෙම නැත්නම් ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙලා කියලා කියන්න බැහැ.

ගොඩබිමින් වෙනත් රටකට සම්බන්ධ නැති, දූපත් රාජ්‍යයක් වන ලංකාවේ ඉඳලා වෙනත් රටකට යන එක ටිකක් අමාරු, රටේ හැමෝටම කරන්න බැරි, වැඩක්. ප්‍රායෝගිකව රටෙන් එළියට යා හැක්කේ ගුවන් මහින් පමණයි. ඒ නිසා මේ වැඩේ සාපේක්ෂව මිල අධික වැඩක්. 

කාලයකට පෙර දුම්රියෙන් ඉන්දියාවට යාමේ අවස්ථාවක් තිබුණා. මෑතකදී නැව් සේවයකුත් ආරම්භ වුණා. නමුත් සාමාන්‍යයෙන් ලාංකිකයෙක් රටෙන් පිට වෙනවා කියන්නේ ගුවන් ගමනක්. 

ලාංකිකයෙකුට රටෙන් පිට යන්න තිබෙන එකම බාධාව ගුවන් ප්‍රවේශපත්‍ර මිල නෙමෙයි. සමහර රටවල ගමන් බලපත්‍ර වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව තවත් රටවල් ගණනාවකට ඇතුළු විය හැකියි. ගුවන් ප්‍රවේශපත්‍රය මිල දී ගත්තා, ගියා. එච්චරයි. හැබැයි ලංකාවේ ගමන් බලපත්‍රයට ඒ තරම් හයියක් නැහැ. එය ලෝකයේ දුර්වලම ගමන් බලපත්‍ර වලින් එකක්. ලංකාවේ ගමන් බලපත්‍රයක් තියෙන කෙනෙක්ට වීසා නොගෙන ඇතුළු විය හැකි රටවල් තියෙන්නේ ඉතාම සීමිත ගණනක් පමණයි. 

විසා ගන්නවා කියන එකත් සෑහෙන කට්ටක්. ඔය කට්ට මම සෑහෙන්න කාලා තියෙන එකක්. රටෙන් රටට කොන්දේසි වෙනස්. ගොඩක් වෙලාවට වීසා අයදුම්පතක් ගන්න එක පාරක්, අයදුම්පත බාර දෙන්න තව පාරක් සහ ගමන් බලපත්‍රය ආපහු ගන්න නැවතත් වරක් අදාළ තානාපති කාර්යාලයට යන්න වෙනවා. දැන්නම් මේවා වෙනස් වෙලා ඇති. ඔය වීසා කතා ගැන ලියනවානම් සෑහෙන්න ලියන්න දේවල් තිබෙනවා. 

මගේ පළමු ගුවන් ගමන වගේම පළමු විදේශගත වීමත් තායිලන්තයට ගිය ගමනක්. අනූව දශකයේ දෙවන භාගයේදී. ඊට පස්සේ ඔය වගේ ගමන් සෑහෙන්න ගිහින් තිබුණත් පළමු ගමන අමතක නොවන අත්දැකීමක්. මතක විදිහට වීසා අයදුම් කරද්දී ආපහු පැමිණෙන ගුවන් ප්‍රවේශපත්‍රයක් වගේම යම් මුදල් ප්‍රමාණයකුත් පෙන්වන්න වුනා. කොළඹ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයට කීප වරක්ම යන්න වුනා. කොහොම හරි ගමන් බලපත්‍රයේ පළමුවෙනි සීල් එක වැදුනා. 

ඒ දවස් වල ලංකාවේ ගමන් බලපත්‍රයකින් කලින් වීසා නැතිව යන්න පුළුවන් ළඟපාත රටවල් කියලා තිබුණේ සිංගප්පූරුව හා මාල දිවයින පමණයි. තායිලන්තයට යනවානම් කලින් වීසා අරගෙන යන්න ඕනෑ. ඔය හේතුව නිසා කීප වරක්ම තායිලන්තය හරහා වෙනත් රටවල් වලට යද්දී පැය ගණන් ගුවන් තොටුපළේ ගත කරන්න වෙලා තියෙනවා. සිංගප්පූරුව හරහා යද්දීනම් පැය පහක් හයක් තිබුණත් එළියට ගිහින් එන්න පුළුවන්. 

තායිලන්තය කියන්නේ සංස්කෘතිකව වගේම දුරෙන් වුනත් ලංකාවට සමීපම රටවල් වලින් එකක්. දුරෙන් දකුණු ඉන්දියාව ලංකාවට ගොඩක් සමීප වුනත්, දිල්ලියට වඩා බැංකොක් ලංකාවට ලඟයි. වීසා බාධාව තිබුණත් තායිලන්තය කියන්නේ කවදත් ලාංකිකයන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්. අනිත් එක ඉන්දියාවට කියලත් වීසා නැතුව යන්න බැහැනේ. 

අද  (ජූලි 15) ඉඳන් ශ්‍රී ලාංකිකයින්ට කලින් වීසා නොගෙන තායිලන්තයට යන්න පුළුවන්. මම හිතන්නේ මේක සංචාරයට කැමති ශ්‍රී ලාංකිකයින්ට ගොඩක් සතුටුදායක පුවතක්. 

තායිලන්තය කියන්නේ ලෝකයේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත වලින් එකක්. වසංගතයට කලින්, 2019 වසර තුළ තායිලන්තයට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 39,916,251ක්. මිලියන 39.9ක්. මිලියන 71.7ක් වන රටේ ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස 57%ක් පමණ. එම වසරේදී තායිලන්තය සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම ඩොලර් බිලියන 61.6ක්.

ඉහත කී සංචාරකයින් අතරින් 70,247ක් ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලාංකිකයෙක් සාමාන්‍ය වශයෙන් දින 7.16ක් තායිලන්තයේ ගත කර තිබෙන අතර දිනකට ඩොලර් 180.16 බැගින් ඩොලර් මිලියන 90.63ක මුදලක් තායිලන්තයේදී වියදම් කර තිබෙනවා. 

වසංගත අවුරුදු වල තායිලන්තයේ සංචාරක පැමිණීම් හා ආදායම් අඩු වුනත් එරට සංචාරක කර්මාන්තය මේ වන විට නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. පසුගිය (2023) අවුරුද්දේ තායිලන්තයට සංචාරකයින් 28,150,016 දෙනෙක් පැමිණියා. ඒ අතරින් 33,893 දෙනෙක් ශ්‍රී ලාංකිකයින්. 

මේ අවුරුද්දේ ඉලක්කය සංචාරකයින් මිලියන 35ක්. ඒ ඉලක්කයට යන එක අමාරු වැඩක් නෙමෙයි. පළමු මාස පහ තුළ පමණක් සංචාරකයින් 14,760,911 දෙනෙක් තායිලන්තයට ඇවිත් තිබෙනවා. එයින් ශ්‍රී ලාංකිකයින් ගණන 19,897ක්. සමස්තයක් ලෙස තායිලන්තයට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය පූර්ව-වසංගත මට්ටමට ආසන්න වෙමින් තිබුණත්, තායිලන්ත සවාරි යන ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය තවම තිබෙන්නේ පූර්ව-වසංගත මට්ටමෙන් බාගයකට වඩා තරමක් ඉහළින්.

බදු වැඩි කිරීම නිසා ලංකාවේ මධ්‍යම පාංතිකයින්ට රට සවාරි යන එක කලින් තරම්ම පහසු නැති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා මේ වගේ අඩුවීමක් සිදු නොවෙන්න හේතුවක් නැහැ. නමුත් දැන් කලින් වීසා නොගෙන තායිලන්තයට ඇතුළු වීමේ අවස්ථාව ලැබීමත් එක්ක තායිලන්තයේ සවාරි යන ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයේ යම් වැඩිවීමක් වෙන්න ඉඩ තිබෙනවා. 

Saturday, May 23, 2020

ඉරණම් තුනක්!

ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව ආසියානු රටවල් තුනක්. 1991 වන විට මේ රටවල් තුනේම ශ්‍රමිකයින්ගෙන් අඩකට වඩා නිරතව සිටියේ කෘෂිකාර්මික අංශයේ රැකියාවකයි.

තායිලන්තය - ශ්‍රම බලකායෙන් 60.3%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 62.6%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 55.5%ක්

ඒ වන විට මේ රටවල් තුනේම දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය 2500 මට්ටමට වඩා අඩුයි.

තායිලන්තය - කැලරි 2,260යි.
ඉන්දියාව - කැලරි 2,297යි.
උතුරු කොරියාව - කැලරි 2,368යි.

බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක ඕනෑම රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රමුඛ ඉලක්කයක් විය යුතු බව කවුරුත් වගේ එකඟ වන කරුණක්නේ. ඉන්දියාව, තායිලන්තය හා උතුරු කොරියාව කියන රටවල් තුනත් ඔය ඉලක්කය පස්සේ හඹා ගියා. හැබැයි එකම ක්‍රමයකට නෙමෙයි. ක්‍රම තුනකට. දෙපැත්තට වැටුණු සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්නා වගේ මේ රටවල් තුනේ කෘෂිකර්මයත් අදාළ රටවල ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ඇසුරේ දශක තුනක් තිස්සේ වෙන වෙනම වැඩුනා.

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ටිකෙන් ටික හැකිළෙන බව මම කලින් පැහැදිලි කරලා තියෙනවනේ. රටක වෙළඳපොළ නිදහස්ව හා විවෘතව තිබෙන තරමට ඔය වැඩේ වඩා වේගයෙන් වෙනවා. කෘෂිකාර්මික අංශයේ ඉන්න ශ්‍රමිකයින් ගොවිතැනෙන් ඉවත් වෙලා වැඩි ආදායම් ඉපැයිය හැකි වෙනත් රැකියා කරා යොමු වෙනවා. අවශ්‍යනම් රාජ්‍ය මැදිහත්වීම් මගින් ඔය වැඩේ සිදුවෙන වේගය අඩාල කරන්න පුළුවන්. එසේ කරනවාද නැද්ද කියන එක දේශපාලනික කරුණක්.


තායිලන්තය ඒ රටේ ශ්‍රමිකයින් කෘෂිකර්මයෙන් ඈත් වෙන එක වලක්වන්න වැඩිපුර උත්සාහ කළේ නැහැ. ඒ වගේම, නිදහස් හා විවෘත වෙළඳ ප්‍රතිපත්තියක සිටියා. ඉන්දියාව තායිලන්තය තරමට විවෘත වුනේ හෝ තරඟයට නිරාවරණය වුනේ නැහැ. එහෙත්, රටේ කෘෂිකර්මය මුළුමනින්ම ආරක්ෂා කළේ හෝ රට සංවෘතව පවත්වා ගත්තේත් නැහැ. උතුරු කොරියාව ප්‍රතිපත්තියක් ලෙස රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ඉලක්ක කර රටේ කෘෂිකර්මය නැංවීම සඳහා විශාල රාජ්‍ය මැදිහත් වීම් කළා වගේම රටේ ආර්ථිකය සංවෘතව තබා ගනිමින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳ තරඟයෙන් ආරක්ෂා කරගත්තා.

මේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයේ ශ්‍රමිකයන් විශාල ලෙස කෘෂිකාර්මික අංශයෙන් ඉවත් වුනා. ඉන්දියාවේ එය සිදු වුනේ ඊට වඩා අඩුවෙන්. උතුරු කොරියාවේ හොඳටම අඩුවෙන්. 2017 වන විට මේ එක් එක් රටවල කෘෂිකාර්මික ශ්‍රම බලකායේ තත්ත්වය මේ විදිහයි.

තායිලන්තය - ශ්‍රම බලකායෙන් 31.6%ක්
ඉන්දියාව - ශ්‍රම බලකායෙන් 42.4%ක්
උතුරු කොරියාව - ශ්‍රම බලකායෙන් 51.3%ක්

අන්තිමට වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙන්නේ කවර ප්‍රතිපත්තියද කියා බලන්න වෙන්නේ මේ රටවල් තුනම විසඳුම් හොයපු මූලික ප්‍රශ්නය, ඒ කියන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ බඩවල් පුරවන එක, කොයි තරම් දුරකට සිදු වෙලාද කියන එක මතයි.


2017 වන විට මේ එක් එක් රටේ දෛනික ඒක පුද්ගල කැලරි පරිභෝජනය මෙහෙමයි.

තායිලන්තය - කැලරි 2,827යි.
ඉන්දියාව - කැලරි 2,517යි.
උතුරු කොරියාව - කැලරි 2,032යි.

ඉන්දියාව හා තායිලන්තය මේ වන විට ලෝකයේ වැඩියෙන්ම සහල් අපනයනය කරන රටවල් දෙකයි. උතුරු කොරියාව තවමත් වගා සංග්‍රාම කරනවා.


වෙබ් ලිපිනය: