වෙබ් ලිපිනය:

Showing posts with label ණය ප්‍රතිව්‍යුහගත කිරීම. Show all posts
Showing posts with label ණය ප්‍රතිව්‍යුහගත කිරීම. Show all posts

Wednesday, December 25, 2024

ඝානා රජය ණයහිමියන්ට දුන් විකල්ප දෙක

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී තාක්ෂනික ලෙස සිදු වන්නේ දැනට නිකුත් කර තිබෙන ණය උපකරණ හෝ වෙනත් ණය වෙනුවට අලුත් ණය උපකරණ එකක් හෝ කිහිපයක් නිකුත් කරන එක. මේ ක්‍රියාවලිය සංකීර්ණ එකක්. "ණය කපා හැරීම" වගේ වචනයක් භාවිතා කරන්න වෙන්නේ අදාළ මූලික දැනුම නැති පිරිසකට මේ සංකීර්ණ ක්‍රියාවලිය ඒ විදිහටම විස්තර කරන එක අමාරු කාර්යයක් නිසා. නමුත්, අප විසින්ද කර තිබෙන, මේ ඕනෑවට වඩා සරල කිරීම නිසා ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී සිදු වන සමහර දේවල් මග හැරෙනවා. එහෙම නැත්නම් වැරදි අවබෝධ ඇති වෙනවා.

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අලුතෙන් නිකුත් කළ ණය උපකරණ ආකෘතිය අනුව ඉතාම සංකීර්ණයි. බැඳුම්කර ගැන මූලික දැනුමක් තිබෙන කෙනෙකුට වුනත් මේ ණය උපකරණ හරියට තේරුම් ගන්න යම් ආයාසයක් දරන්න වෙනවා. 

ලංකාවට සාපේක්ෂව බැලූ විට ඝානා රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අලුතෙන් නිකුත් කළ ණය උපකරණ සරල ණය උපකරණ. ඒ නිසා, ඒවා තේරුම් ගන්න එක වඩා පහසුයි. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී සිදු වූ දෙය වඩා නිවැරදිව තේරුම් ගන්න උනන්දුවක් දක්වන අයෙකු විසින් පළමු පියවරක් ලෙස ඝානාවේ සිදු වූ දෙය තේරුම් ගන්න එක හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.

මේ සමඟ පළ කරන පළමු වගුවේ තිබෙන්නේ ඝානා රජය විසින් හුවමාරුව සඳහා ඉදිරිපත් කළ, ස්වෛරිත්ව බැඳුම්කර 15ක විස්තර. මේ සියල්ලෙහි මුහුණත අගයන්හි වටිනාකම ඩොලර් මිලියන 13,104ක්. විශාලතම බැඳුම්කරයේ මුහුණත අගය ඩොලර් මිලියන 1,250ක් වන අතර කුඩාම බැඳුම්කරයේ මුහුණත අගය ඩොලර් මිලියන 149ක් පමණයි. කූපන් පොලී අනුපාතික වල බරිත සාමාන්‍ය අගය 7.92%ක්. මෙම අගය ලංකාවේ එම අගයට වඩා වැඩි අගයක්. ඒ වගේම දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර සඳහා ගෙවිය යුතු වූ කූපන් පොලී අනුපාතික මීටත් වඩා වැඩියි. 

ඝානාව විසින් ණය පැහැර හැරීම නිවේදනය කළේ 2022 දෙසැම්බර් 19 දිනයි. 2024 ඔක්තෝබර් මාසයේදී ඝානාව විසින් ඔවුන්ගේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය සියල්ල ප්‍රතිව්‍යුහගත කර අවසන් කළා. මෙම කාලය අතරවාරයේදී කල් පිරුණේ ඩොලර් මිලියන 149ක එක් බැඳුම්කරයක් පමණයි. එම බැඳුම්කරය කල් පිරුණේද 2023 අගෝස්තු 7 දිනයි. ඒ වෙද්දී ඝානාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සෑහෙන දුරක් ගිහින්. 

ඒ වගේම, ඝානාවේ විදේශ සංචිත කිසිදු විටෙක ඩොලර් මිලියන 149ක් ගෙවා ගත නොහැකි මට්ටමකට පහත වැටුණේ නැහැ. ඝානා රජයට එම මුදල පහසුවෙන්ම නියමිත දිනයේදී ගෙවිය හැකිව තිබුණා. ණය පැහැර හැරීම නිසා ප්‍රධාන වශයෙන්ම සිදු වුණේ අදාළ කාලය තුළ ගෙවිය යුතු වූ කූපන් පොලී මුදල් ගෙවීම නැවතීමයි. මෙම මුදල වසරකට ඩොලර් මිලියන 1,038ක් පමණ වූ මුදලක්. 

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඝානා රජය විසින් ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. පළමු විකල්පය (DISCO option) තෝරා ගත්තේනම් ණයහිමියන්ට ලැබෙන්නේ හුවමාරු කරගන්නා බැඳුම්කර වල මුහුණත අගයෙන් 63%කට සමාන මුහුණත අගයක් ඇති බැඳුම්කර ප්‍රමාණයක්. ඒ කියන්නේ 37%ක අඩුවීමක්. එහෙත්, දෙවන විකල්පය (PAR option) තෝරා ගත්තේනම් එවැනි මුහුණත අගය කප්පාදුවක් සිදු වන්නේ නැහැ. 

සියලුම ණයහිමියන්ට මේ විකල්ප දෙකම විවෘතව තිබුණා. පළමු විකල්පය (DISCO option) තෝරා ගත් සියලුම ණයහිමියන්ට එම විකල්පය ලැබුනා. පළමු විකල්පය (DISCO option) තෝරා නොගත් ණයහිමියන්ට දෙවන විකල්පය (PAR option) හිමි වුනා. යම් හෙයකින් අවම වශයෙන් මුහුණත අගයෙන් 87.8%ක ප්‍රමාණයක් සඳහා පළමු විකල්පය තෝරා නොගැනුනේනම්, එම විකල්පය තෝරාගත් යම් පිරිසකට දෙවන විකල්පය භාර ගන්නට සිදු වෙනවා. එහෙත්, එවැන්නක් සිදු වුනේ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමෙන් පසුව, ණයහිමියන්ගෙන් 91.0%ක්ම ඉල්ලා සිටියේ පළමු විකල්පයයි. දෙවන විකල්පය ඉල්ලා සිටියේ 7.6%ක් පමණයි. ඉතිරි 1.4% ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුමැතිය දුන්නේ නැහැ. 

මේ අනුව පෙනී යන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් භාරගන්නා විකල්පයට එවැනි කප්පාදුවක් නොමැති විකල්පයට වඩා ඉල්ලුමක් පැවතුණු බවයි. මෙම ලිපියෙන් අවධාරණය කරන්නට අදහස් කරන කරුණ වන්නේද මෙයයි.

ණයහිමියෙකුට විකල්ප දෙකක් ලබා දුන් විට ඔවුන් විසින් තෝරා ගන්නේ එම විකල්ප දෙක අතරින් තමන්ට වඩා වාසිදායක විකල්පයයි. මේ අවස්ථාවේදී වැඩි පිරිසක් විසින් වඩා වාසිදායක විකල්පය ලෙස සලකා තිබෙන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් සහිත විකල්පයයි. ඒ ඇයි? 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි මෙම විකල්ප දෙක පිළිබඳව වැඩි විස්තර කරා යමු.

මුහුණත අගය කප්පාදුවක් නැති දෙවන විකල්පය (PAR option):

මෙහිදී ඉහත සඳහන් (වගුව 1) බැඳුම්කර 15න් ඕනෑම එකක ඩොලර් 100ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට බැඳුම්කර දෙකක් ලැබෙනවා.

- ක්ෂණික මුදල් බැඳුම්කරයෙන් ඩොලර් 4ක මුහුණත අගයක් 

- නාමික අගය ප්‍රතිපූරණය කරන බැඳුම්කරයෙන් ඩොලර් 96ක මුහුණත අගයක්.

ක්ෂණික මුදල් බැඳුම්කරය සඳහා කූපන් පොලී ගෙවීමක් සිදු වන්නේ නැහැ. එහි මුහුණත අගය 2024-2026 කාලය ඇතුළත සමාන වාරික පහකින් ආපසු ගෙවනවා. 2024දී එක් වාරිකයක් සහ 2025 හා 2026 වසර වලදී වාරික දෙක බැගින්.

නාමික අගය ප්‍රතිපූරණය කරන බැඳුම්කරයේ මුහුණත අගය 2036දී වාරික දෙකක් සහ 2037දී එක් වාරිකයක් ලෙස සමාන වාරික තුනකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර වසරකට 1.5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2024දී ලැබෙන්නේ එක් කූපන් ගෙවීමක් පමණයි (0.75%). ඉන් පසුව, කල් පිරෙන තුරු, වසරකට ගෙවීම් දෙක බැගින් ලැබෙනවා. 

මුහුණත අගය 37%කින් අඩුවන පළමු විකල්පය (DISCO option):

මෙහිදී ඉහත සඳහන් (වගුව 1) බැඳුම්කර 15න් ඕනෑම එකක ඩොලර් 100ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට බැඳුම්කර තුනක්  ලැබෙනවා.

- ක්ෂණික මුදල් බැඳුම්කරයෙන් ඩොලර් 4ක මුහුණත අගයක් 

- කෙටිකාලීන බැඳුම්කරයෙන් ඩොලර් 24.2ක මුහුණත අගයක්.

- දිගුකාලීන බැඳුම්කරයෙන් ඩොලර් 34.8ක මුහුණත අගයක්.

මෙම අගයන්හි එකතුව ඩොලර් 63ක්. මුහුණත අගය 37%කින් අඩු වීම යන්නෙන් අදහස් වන්නේ මෙයයි.

ක්ෂණික මුදල් බැඳුම්කරය සඳහා කූපන් පොලී ගෙවීමක් සිදු වන්නේ නැහැ. එහි මුහුණත අගය 2024-2026 කාලය ඇතුළත සමාන වාරික පහකින් ආපසු ගෙවනවා. 2024දී එක් වාරිකයක් සහ 2025 හා 2026 වසර වලදී වාරික දෙක බැගින්. (එනම් මෙය දෙවන විකල්පයේදී ලැබෙන ක්ෂණික මුදල් බැඳුම්කරයමයි.)

කෙටිකාලීන බැඳුම්කරයේ මුහුණත අගය 2026-2029 කාලයේදී වසරකට වාරික දෙක බැගින් සමාන වාරික අටකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර 2028 වර්ෂය තෙක් වසරකට 5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2029 වසරේ සිට එසේ වසරකට කොටස් දෙකකින් ලැබෙන කූපන් මුදල වසරකට 6% දක්වා ඉහළ යනවා.

දිගුකාලීන බැඳුම්කරයේ මුහුණත අගය 2030-2034 කාලයේදී මුහුණත අගයෙන් 7.8%කට සමාන වාරික දහයකින් (වසරකට දෙක බැගින්) සහ ඉන් පසුව 2035දී මුහුණත අගයෙන් 11%කට සමාන වාරික දෙකකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර 2028 වර්ෂය තෙක් වසරකට 5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2029 වසරේ සිට එසේ වසරකට කොටස් දෙකකින් ලැබෙන කූපන් මුදල වසරකට 6% දක්වා ඉහළ යනවා.

ඔය විස්තර කළේ ඇත්තටම සිදු වූ දෙයයි. ලංකාවේ සිදු වූ දෙයට සාපේක්ෂව බෙහෙවින්ම සරල වුවත්, මෙය තේරුම් ගන්නටත් යම් ආයාසයක් දරන්න අවශ්‍ය වෙනවා. මෙහිදී සිදු වූ දෙයෙහි බලපෑම මම පසුව වඩා සරලව ඉදිරිපත් කරන්නම්. 

අපට තේරුම් ගන්නට තිබෙන පළමු මූලික ගැටලුව වන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් සහිත පළමු විකල්පය එවැනි කප්පාදුවක් නොමැති දෙවන විකල්පයට වඩා ආකර්ශනීය වූයේ මන්ද යන්නයි. එතරම් තාක්ෂනික නොවන සරල පිළිතුරක් ලෙස අනුමානයෙන් කිව හැක්කේ මීට හේතුව පළමු විකල්පය සඳහා ලැබෙන කූපන් පොලිය 5% හෝ 6% වෙද්දී, දෙවන විකල්පයේ කූපන් පොලිය 1.5%ක් පමණක් වීම විය හැකි බවයි. 

එහෙත්, මතු පෙන්වන පරිදි, මෙම කූපන් පොලී වෙනස සැලකුවද, දෙවන විකල්පයේදී අවසාන වශයෙන් අතට ලැබෙන මුදල පළමු විකල්පයේදී අතට ලැබෙන්නේ නැහැ. එබැවින්, මේ අනුමාන පිළිතුර නිවැරදි පිළිතුරක් සේ සැලකිය නොහැකියි. මේ වෙනසට හේතුව මුදලේ කාල වටිනාකම් වෙනසයි. එනම් කලින් අතට ලැබෙන මුදලක වටිනාකම පසුව ලැබෙන මුදලක වටිනාකමට වඩා වැඩි වීමයි. 

මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා, ඩොලර් 1000ක මුහුණත අගයක් හුවමාරු කරගන්නා ණයහිමියෙකුට එක් එක් විකල්පය යටතේ මුදල් ආපසු ලැබෙන ආකාරය විමසා බලමු. මෙහිදී මුහුණත අගය ආපසු ගෙවීම් හෝ කූපන් පොලී ගෙවීම් ලෙස ලැබෙන සියලුම මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගෙන තිබෙනවා. 

මේ සමඟ පළ කරන දෙවන වගුවේ දෙවන හා තුන්වන තීරු වල පෙන්වා ඇති පරිදි, දෙවන විකල්පය යටතේ ඩොලර් 1000ක මුහුණත අගයක් වෙනුවෙන් ඩොලර් 1,177.60ක මුදලක් ආපසු ලැබෙන අතර පළමු විකල්පය යටතේ එසේ ආපසු ලැබෙන්නේ ඩොලර් 846.21ක මුදලක් පමණයි. එසේනම්, පළමු විකල්පය වඩා ආකර්ශනීය වූයේ ඇයි?

ඝානාව විසින් අලුතෙන් නිකුත් කර ඇති, ඉහත විස්තර කර තිබෙන, බැඳුම්කර සඳහා ෆිච් රේටිං ආයතනය විසින් ලබා දී තිබෙන්නේ CCC+ අවදානම් ශ්‍රේණියයි. එම ශ්‍රේණිය විස්තර කෙරෙන්නේ මෙලෙසයි.

"A CCC+ credit rating indicates a slightly lower risk of default than a CCC rating, but still carries a high degree of credit risk."

"ඝානාව විසින් ණය පැහැර හරිනු ලැබීමේ අවදානම CCC ශ්‍රේණියට වඩා යාන්තමින් අඩු වුවත්, එම අවදානම තව දුරටත් ඉහළ මට්ටමක පවතී."

ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී තිබෙන්නේද මෙම CCC+ ශ්‍රේණියයි. මෙය "ආයෝජනය සඳහා අයෝග්‍ය" බැඳුම්කර අවදානම් කාණ්ඩ අතරද පහළම ශ්‍රේණියක්. ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව, "ආයෝජනය සඳහා යෝග්‍ය (Investment grade)" බැඳුම්කර අවදානම් කාණ්ඩ අතර පහළම ශ්‍රේණිය BBB- ශ්‍රේණියයි. ඊට පහළ ශ්‍රේණිගත කිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීම හැඳින්විය හැක්කේ සමපේක්ෂකයින්ගේ සූදුවක් ලෙසයි. CCC+ මට්ටම සමපේක්ෂකයෙකු වුවද කර ගහන්නට පැකිළෙන අවදානම් මට්ටමක්. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ණය පැහැර හරිනු ලැබීමේ අවදානම ඉහළ යන තරමට ගෙවන්නට සිදු වන (සහ ණයහිමියන් විසින් අපේක්ෂා කරන) පොලී අනුපාතිකයද ඉහළ යනවා. CCC+ ශ්‍රේණිය හා අදාළව මෙම පොලී අනුපාතිකය 11%ක් පමණ වෙනවා. මේ අනුව, ණය පැහැර හැරීමේ අවදානම සලකා බලමින්, CCC+ ආයෝජනයක් වෙනුවෙන් අනාගතයේදී ලැබීමට නියමිත ප්‍රතිලාභ ආයෝජකයෙකු විසින් සලකා බලන්නේ 11%ක ප්‍රතිලාභයක් ලැබිය හැකි ආයෝජනයකට සාපේක්ෂවයි. 

ඒ අනුව, ආයෝජකයෙකු විසින් කිසියම් දිනක අතට ලැබෙන ඩොලර් 100ක මුදලක් සමාන කරන්නේ එදින සිට වසරකට පසුව ලැබෙන ඩොලර් 111ක මුදලකටයි. මෙයම වෙනස් අයුරකින් කිවහොත්, වසරකට පසුව ලැබෙන ඩොලර් 100ක මුදලක අද වටිනාකම ලෙස සලකන්නේ ඩොලර් 90.09ක මුදලකුයි. මීට හේතුව, ඩොලර් 90.09ක මුදලක් CCC+ අවදානම් කාණ්ඩයේ බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසුව ඩොලර් 100ක මුදලක් ලබා ගත හැකි වීමයි. 

මුදල අතට ලැබෙන්නට ගත වන කාලය වසරකින් වැඩි වන සෑම විටම එහි අද වටිනාකම මෙම අනුපාතයට අඩු වෙනවා. ඒ නිසා, දෙවසරකට පසුව ලැබෙන ඩොලර් 100ක අද වටිනාකම ඩොලර් 81.16 දක්වාත්, තෙවසරකට පසුව ලැබෙන ඩොලර් 100ක අද වටිනාකම ඩොලර් 73.12 දක්වාත් පහත වැටෙනවා.

මෙම පදනම මත, අපට ඉහත විස්තර කළ පළමු (DISCO) හා දෙවන (PAR) විකල්ප යටතේ අපේක්ෂා කළ හැකි අනාගත මුදල් ප්‍රවාහ වල අද වටිනාකම ගණනය කළ හැකියි. එම ගණනයන් දෙවන වගුවේ හතරවන සහ පස්වන තීරු වල පෙන්වා තිබෙනවා. 

මේ අනුව පෙනී යන්නේ, අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහ 11% වට්ටම් අනුපාතයට වට්ටම් කළ විට, ඩොලර් 1000ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට ලැබෙන බැඳුම්කර සඳහා ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්මන් වටිනාකම පළමු (DISCO) විකල්පයේදී ඩොලර් 492.58ක් සහ දෙවන (PAR) විකල්පයේදී ඩොලර් 400.68ක් ලෙස පහත වැටෙන බවයි. එබැවින්, 11% අනුපාතයෙන් වට්ටම් කළ පසු, වඩා ආකර්ශනීය වන්නේ පළමු විකල්පයයි.

පළමු විකල්පයේදී වට්ටම් නොකර ගණන් බැලූ විට ලැබෙන්නේ ඩොලර් 1000ක් සඳහා ඩොලර් 846.21ක මුදලක් වුවත් 11% අනුපාතයට වට්ටම් කළ විට එහි වත්මන් වටිනාකම ඩොලර් 492.58ක් දක්වා පහත වැටෙනවා. දෙවන විකල්පයේදී වට්ටම් නොකර ගණන් බැලූ විට, මීට වඩා වැඩි, ඩොලර් 1,177.60ක මුදලක් ආපසු ලැබෙන නමුත්, 11% අනුපාතයට වට්ටම් කළ විට එහි වත්මන් වටිනාකම ඩොලර් 400.68ක් පමණයි. ඒ අනුව, 11% වට්ටම් අනුපාතය යොදා ගෙන වට්ටම් කරන ණයහිමියෙකුගේ පැහැදිලි තේරීම වන්නේ පළමු විකල්පයයි.

එසේනම්, අඩු පිරිසක් වුවත්, ණයහිමියන්ගේන් 7.6%ක් දෙවන විකල්පයට කැමති වුනේ ඇයි?

දැන් CCC+ මට්ටම දක්වා පහත වැටී සිටියත්, ඝානාව මෙන්ම ලංකාවද කලකට පෙර සිටියේ B+ අවදානම් ශ්‍රේණියේයි. එම කාණ්ඩයේ ශ්‍රේණිගත වී ඇති බැඳුම්කර වල ඵලදා අනුපාතික මේ වන විට තිබෙන්නේ 7% ආසන්න මට්ටමකයි. ඒ වගේම, දැන් පොලී අනුපාතික තිබෙන්නේ දිගුකාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමකයි. මේ සියල්ල සලකා බලා, 11% වට්ටම් අනුපාතය වෙනුවට 6.5% වැනි වට්ටම් අනුපාතයක් යොදා ගෙන ඉහත වට්ටම් කිරීම සිදු කළහොත් තත්ත්වය කුමක්ද?

දෙවන වගුවේ හයවන සහ හත්වන තීරු වල පෙන්වා තිබෙන්නේ එම තත්ත්වයයි. එහිදී විකල්ප දෙකේ මුදල් ප්‍රවාහ වල වත්මන් අගය ආසන්න ලෙස සමාන වෙනවා. ඒ නිසා, 6.5% වට්ටම් අනුපාතය යොදාගෙන වත්මන් අගය ගණනය කරන ණයහිමියෙකුට විකල්ප දෙක අතර වැඩි වෙනසක් නැහැ. 

කිසියම් ආයෝජනයක අවදානම ගණනය කිරීමේදී ආයෝජකයෙකු විසින් ශ්‍රේණිගත කිරීමේ ආයතන වල නිර්දේශ සලකා බලන නමුත් මුළුමනින්ම ඒවා මත පදනම්ව තීරණ ගන්නේ නැහැ. ඒ නිසා, ඇතැම් ණයහිමියන් විසින් ඝානාව විසින් නිකුත් කළ අලුත් බැඳුම්කර සඳහා මුදල් නොගෙවා පැහැර හරිනු ලැබීමේ අවදානම මේ මොහොතේ ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පෙන්වන තරම්ම වැඩි නැති සේ සලකන්න පුළුවන්. ඒ අනුව, 6.5% නොක්මවන වට්ටම් අනුපාතයක් යොදාගෙන වට්ටම් කරන ණයහිමියෙකු විසින් තෝරා ගැනීමට ඉඩ තිබෙන්නේ දෙවන විකල්පයයි. 

මෙහිදී අප විසින් සලකා බලනු ලැබුවේ ණයහිමියෙකු විසින් ඝානා රජය විසින් ලබා දුන් විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ තිබුණු ආකාරයයි. මෙය ඔවුන්ගේ පැත්තෙන් අඩු අවාසිය තෝරා ගැනීමක්. විකල්ප දෙකෙන් කවර එකක් තෝරා ගත්තද, එහි වාසිය තිබෙන්නේ ඝානා රජයටයි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ඝානා රජයට ලැබුණු වාසිය කොපමණද? මෙය ගණනය කිරීම සඳහා අප‍ට ණය පැහැර හැරීමේ තීරණය ගත් මොහොත දක්වා ආපසු යන්නට සිදු වෙනවා. එසේ ගොස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පසු අපේක්ෂිත මුදල් ප්‍රවාහ කිසියම් වට්ටම් අනුපාතයක් යොදාගෙන වට්ටම් කරන්නට සිදු වෙනවා. 

එවැනි විශ්ලේෂණයක් සිදු නොකර, 37%කින් මුහුණත අගය අඩු කිරීම දෙස පමණක් බලා අපට මේ පිළිබඳ නිගමන වලට පැමිණිය නොහැකියි. ඉහත උදාහරණ දෙස බැලුවද, 6.5% ඉක්මවන වට්ටම් අනුපාතිකයකදී ඝානා රජයට වඩා වාසිදායක වන්නේ මුහුණත අගය අඩු නොකර මුළුමනින්ම ආපසු ගෙවන දෙවන විකල්පයයි. ණයහිමියන්ගෙන් 91%ක්ම එම පළමු විකල්පය තෝරා නොගෙන මුහුණත අගය 37%කින්  කප්පාදු කෙරෙන පළමු විකල්පය තෝරාගත්තේ ඒ නිසායි.

ඝානා රජයට ලැබුණු වාසිය මෙන්ම ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකා රජයට ලැබුණු වාසිය නිවැරදිව ගණන් බැලිය හැක්කේද මීට සමාන්තරව මේ ආකාරයේ ගණනය කිරීමක් කිරීමෙන් පසුව පමණයි. ලංකාව විසින් අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වල සංකීර්ණ ස්වභාවය නිසා මෙවැන්නක් කිරීම වඩා අසීරුයි. 

Wednesday, December 18, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම - අවසන් ප්‍රතිඵල


මේ වන විට ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ ඒ පිළිබඳ සාරාංශයක්.

ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණය = ඩොලර් මිලියන 12,550

ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ ප්‍රමාණය = ඩොලර් මිලියන 12,083.2 (96.3%)

බහුතර කැමැත්ත මත ප්‍රතිව්‍යුහගත කළ හැකි ප්‍රමාණය = ඩොලර් මිලියන 198.2 (1.6%)

ප්‍රතිව්‍යුහගත කෙරෙන මුළු බැඳුම්කර ප්‍රමාණය = ඩොලර් මිලියන 12,281.3 (97.9%)

විදේශ විකල්පය යටතේ ප්‍රතිව්‍යුහගත කෙරෙන ප්‍රමාණය = ඩොලර් මිලියන 10,493.2

දේශීය විකල්පය යටතේ ප්‍රතිව්‍යුහගත කෙරෙන ප්‍රමාණය = ඩොලර් මිලියන 1,788.1

විදේශ විකල්පය යටතේ නිකුත් කෙරෙන ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය = ඩොලර් මිලියන 7,657.1

දේශීය විකල්පය යටතේ නිකුත් කෙරෙන ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය = ඩොලර් මිලියන 1,126.5

අලුතෙන් නිකුත් කෙරෙන මුළු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය = ඩොලර් මිලියන 8,783.6

අපේක්ෂිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය අඩු වීම = ඩොලර් මිලියන 3,497.7

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර බවට පත් කෙරෙන නොගෙවූ පොලී ප්‍රමාණය = ඩොලර් මිලියන 1,647.7

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වැඩිවීම හේතුවෙන් ගෙවන්නට සිදු විය හැකි අමතර මුදල = ඩොලර් මිලියන 1,206.9

(2025, 2026 හා 2027 වසර වල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 99.0 ඉක්මවුවහොත් ඉහත මුදල ගෙවන්නට සිදු වන අතර 2024 දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය බොහෝ විට ඩොලර් බිලියන 99.0 ඉක්මවනු ඇති බැවින්, ඩොලරයක මිල විශාල ලෙස ඉහළ නොගියහොත් මෙය සිදු වනු ඇත.)

දේශීය විකල්පය යටතේ නිකුත් කෙරෙන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය = රුපියල් බිලියන 155.72

(ඩොලර් මිලියන 536.4කට සමාන මුදලකි.)

Sunday, December 15, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?


කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ හැකියි. 

මේ ප්‍රශ්නය යම් පදනමක් තිබෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියා යම් විවේචනයක් තිබෙනවා. ඒ විවේචනය සාධාරණ විවේචනයක්ද?

පෙර සටහන් වල ඉතාම සරල ලෙස පැහැදිලි කළත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. මෙහිදී තාක්ෂණිකව සිදු වන්නේ දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර 11ක් වෙනුවට අලුත් බැඳුම්කර වර්ග පහක් නිකුත් කරන එකයි. දැනට ගෙවා නැති කූපන් පොලී වෙනුවෙන් තවත් බැඳුම්කරයක් නිකුත් කරනවා. මේ බැඳුම්කර හය නිකුත් කරන්නේ විදේශිකයින් සඳහා වූ විකල්පය යටතේ.

දේශීය විකල්පය යටතේ තවත් ඩොලර් බැඳුම්කර හා රුපියල් බැඳුම්කර ගණනාවක් නිකුත් කෙරෙනවා.

ඉහත සඳහන් ඩොලර් බැඳුම්කර සියල්ලේම කූපන් පොලී ගෙවීම් අඩු මට්ටමකින් පටන් ගෙන ක්‍රමයෙන් වැඩි වන ආකාරයටයි සැලසුම් කර තිබෙන්නේ. ඇතැම් බැඳුම්කර වල කූපන් පොලී අනුපාතිකය 9.75% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. ඒ වීදිහට සැලසුම් කර තිබෙන්නේ ඇයි කියා මම පැහැදිලි කරන්නම්. 

පළමුව, මුල් බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික දෙස බැලුවොත් ඒවා 5.875% සිට 7.85% දක්වා විචලනය වෙනවා. සියල්ලම කලවමේ ගත්තොත් බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය 6.711%ක් පමණ වෙනවා. ඉදිරි කාලයේදී කල් පිරෙන බැඳුම්කර පමණක් සලකා ගණන් බලද්දී මෙම බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය එන්න එන්නම වැඩි වෙනවා. ඒ මේ ආකාරයටයි.

2025 - 6.947%

2026 - 7.049%

2027 - 7.089%

2028 - 7.410%

2029 - 7.695%

2030 - 7.550%

මෙයින් අදහස් වන්නේ දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් නියම විදිහට පොලී සහ මුල් මුදල ගෙවාගෙන ගියේනම් ඩොලර් 100ක ආයෝජනයක් සඳහා 2025දී ඩොලර් 6.95ක්, 2026දී ඩොලර් 7.05ක් ආදී ලෙස කූපන් පොලී ගෙවන්නට සිදු වන බවයි. 

දැනට සිදුවන හුවමාරුවේදී ඩොලර් 100ක් ආයෝජනය කර ඇති අයෙකුට ලැබෙන්නේ ඩොලර් 72.972ක බැඳුම්කර ප්‍රමාණයක් පමණයි. ඒ නිසා, ඉහත සඳහන් කූපන් පොලී මුදල් එලෙසම ලැබෙන්නනම් කූපන් පොලී අනුපාතිකය කොපමණ විය යුතුද?

එක් එක් කූපන් පොලී අනුපාතිකය 0.72972න් බෙදීමෙන් අපට මෙම කූපන් පොලී අනුපාතික සොයාගන්න පුළුවන්.

2025 - 9.520%

2026 - 9.660%

2027 - 9.715%

2028 - 10.155%

2029 - 10.545%

2030 - 10.346%

දැන් අපට මෙම කූපන් පොලී අනුපාතික අලුතින් නිකුත් කරන කූපන් පොලී අනුපාතික සඳහා ගෙවිය යුතු බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතික එක්ක සංසන්දනය කරන්න පුළුවන්. 

විදේශීය විකල්පය 

2025 - 3.459%

2026 - 3.459%

2027 - 3.459%

2028 - 3.944%

2029 - 3.990%

2030 - 4.043%

2031 - 4.087%

2032 - 4.165%

2033 - 9.532%

2034 - 9.586%

2035 - 9.667%

2036 - 9.750%

2037 - 9.750%

2038 - 9.750%


දේශීය විකල්පය 

2025 - 1.00%

2026 - 1.50%

2027 - 1.75%

2028 - 2.00%

2029 - 2.25%

2030 - 2.25%

2031 - 2.75%

2032 - 2.75%

2033 - 3.00%

2034 - 3.00%

2035 - 3.00%

2036 - 3.50%

2037 - 3.50%

2038 - 3.50%

දේශීය විකල්පය සඳහා ගෙවන කූපන් පොලී අනුපාතික පැහැදිලි ලෙසම අඩුයි. විදේශ විකල්පය සඳහා ගෙවන කූපන් පොලී 2033 සිට සාපේක්ෂව ඉහළ මට්ටමයි තියෙන්නේ. උපරිමය 9.75%ක් දක්වා යනවා. නමුත් මෙහිදී අමතක නොකළ යුත්තේ මේ විදිහට 9.75%ක කූපන් පොලියක් ලැබෙන්නේ ඩොලර් 100ක් ආයෝජනය කළ අයෙකුගේ ඩොලර් 72.97ක් සඳහා පමණයි කියන එක.

ඒ කියන්නේ ඩොලර් 100ක ආයෝජනයකට කූපන් පොලිය ලෙස ලැබෙන මුදල ඩොලර් 7.11ක්. මෙය සමාන කළ හැක්කේ 7.11%ක කූපන් පොලියකටයි. 2028-2030 අතර කල් පිරෙන බැඳුම්කර සඳහා දැනට ගෙවන කූපන් පොලිය ඊට වඩා වැඩියි.

ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ 2033 වන විට තව දුරටත් ගෙවන්න ඉතිරි වී තිබෙන්නේ මුල් මුදලින් 42%ක් පමණයි කියන එක. ලොකු මුදලක් ගෙවන්න ඉතිරිව තිබියදී ලංකාව ගෙවන්නේ අඩු කූපන් පොලියක්. වැඩි කූපන් පොලියක් ගෙවන්නේ ණයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා ඉවර කළාට පස්සේ ඉතිරි වී තිබෙන කොටසට පමණයි.

පහත තිබෙන්නේ ඩොලර් 100,000ක ආයෝජනයක් සඳහා විදේශ විකල්පය යටතේ ගෙවිය යුතු කූපන් පොලී මුදල් පිළිබඳ දළ ඇස්තමේන්තුවක්.

2025 - $ 2524.40

2026 - $ 2524.40

2027 - $ 2524.40

2028 - $ 2878.33

2029 - $ 2704.82

2030 - $ 2531.30

2031 - $ 2287.48

2032 - $ 2043.65

2033 - $ 4031.26

2034 - $ 3396.71

2035 - $ 2762.16

2036 - $ 1857.57

2037 - $ 928.79

මෙහි සඳහන් ගණන් සියල්ලම සියයට සියයක්ම නිවැරදි නැහැ. මේවා ආසන්න දළ ඇස්තමේන්තු පමණයි. නමුත් විශාල වැරැද්දක් නැහැ. හෙට (දෙසැම්බර් 16) විස්තර හරියටම ප්‍රකාශයට පත් කළ පසුව හරියටම ගණන් දැනගන්න පුළුවන්. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වන ආකාරය අනුව මෙම ගෙවීම් අඩු හෝ වැඩි විය හැකියි. ඒ පිළිබඳව මේ සටහනෙහි කතා කර නැහැ. 

Saturday, December 14, 2024

ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද?


ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? මෙය කීප දෙනෙක්ම අසා තිබුණු ප්‍රශ්නයක්.

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. එකක් විදේශිකයින් සඳහා විකල්පය. දෙවැන්න දේශීය ආයෝජකයින් සඳහා විකල්පය. නමුත්, දේශීය හෝ විදේශීය ආයෝජකයින් ඕනෑම කෙනෙකුට මේ විකල්ප දෙකෙන් ඕනෑම එකක් තෝරා ගැනීමේ අවස්ථාව තිබුණා.

දැනට අප දන්නා කරුණු අනුව මුළු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයෙන් 98%ක් ඔය ක්‍රම දෙකෙන් එකකට ප්‍රතිව්‍යුහගත වෙනවා. එක් එක් ක්‍රමයට ප්‍රතිව්‍යුහගත වන ප්‍රමාණය තවම හරියටම කියන්න බැරි වුනත්, දේශීය විකල්පය ඉල්ලා ඇති ප්‍රමාණය ආසන්න වශයෙන් 10%ක් පමණ විය හැකියි. වැඩි දෙනෙකු ඉල්ලා තිබෙන්නේ විදේශිකයින් සඳහා විකල්පය බව හිතාගන්න අමාරු නැහැ.

මේ එක් එක් විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන්ගේ ණය ආපසු ලැබෙන්නේ කවර ආකාරයකින්ද?

විදේශිකයින් සඳහා විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන් විසින් ආයෝජනය කර ඇති ඩොලර් 100,000ක මුදලක් ආපසු ලැබෙන්නේ පහත ආකාරයටයි.

2029 - $ 5,179.50

2030 - $ 5,179.50

2031 - $ 6,773

2032 - $ 6,773

2033 - $ 6,773

2034 - $ 6,860

2035 - $ 6,860

2036 - $ 9,522

2037 - $ 9,526

2038 - $ 9,526

එකතුව - $ 72,972

(ඉතිරි ඩොලර් 27,028 ආපසු නොලැබේ.)

දේශීය විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන් විසින් ආයෝජනය කර ඇති ඩොලර් 100,000ක මුදලක් ආපසු ලැබෙන්නේ පහත ආකාරයටයි.

2029 - $ 5,040

2030 - $ 5,040

2031 - $ 5,040

2032 - $ 5,040

2033 - $ 7,560

2034 - $ 7,560

2035 - $ 7,560

2036 - $ 7,560

2037 - $ 7,560

2038 - $ 5,040

එකතුව - $ 63,000

(තවත් ඩොලර් 30,000කට සමාන මුදලක් රුපියල් වලින් ආපසු ලැබෙන අතර ඉතිරි ඩොලර් 7,000 ආපසු නොලැබේ.)

මෙම ගෙවීම් රටේ ආර්ථික වර්ධනය ඇතුළු කරුණු ගණනාවක් අනුව අඩු හෝ වැඩි විය හැකියි. ඒ ගැන පසුවට. 

කෙසේ වුවත්, එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ, 2029 තෙක් ණය ආපසු ගෙවීමක් සිදු නොවන බව සහ 2029 හා 2030 වසර වලදීද ආපසු ගෙවිය යුත්තේ වසරකට මුළු ණය ප්‍රමාණයෙන් 5%ක් පමණ බවයි. ඒ නිසා, මේ ණය ආපසු ගෙවන්නට යද්දී රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා කියන එක පදනමක් නැති කතාවක්.

ඒ වගේම, ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුව ක්ෂණිකව නැවත ණය ආපසු ගෙවිය යුතු නැහැ. එහෙත්, දැනට ගෙවීම නවත්වා ඇති පොලී ගෙවන්නට පටන් ගන්න සිදු වෙනවා. ඒ වගේම, පසුගිය කාලය තුළ පැහැර හැර ඇති පොලී ගෙවීම්ද කොටස් වශයෙන් ගෙවන්නට සිදු වෙනවා. මේ සඳහා යම් විදේශ විණිමය ප්‍රමාණයක් වැය වනු ඇති නමුත් එම ප්‍රමාණය දරාගත නොහැකි තරම් විශාල ප්‍රමාණයක් නෙමෙයි.

මීට අමතරව, ඉදිරි වසර තුළ වාහන ආනයනය වෙනුවෙන්ද විදේශ විණිමය වැය කරන්නට සිදු වෙනවා. මේ හේතු දෙක නිසා රටේ විදේශ විණිමය අවශ්‍යතා ඉහළ යනවා වගේම ඒ හේතුවෙන් විණිමය අනුපාතය තරමක් ඉහළ යා හැකියි. කොපමණකින්ද යන්න තීරණය වන්නේ රටට ලැබෙන විදේශ විණිමය කොපමණ වර්ධනය වේද යන්න මතයි. 

ඉල්ලුම හා සැපයුම මත තීරණය වන ඩොලරයක මිල නිශ්චිතව පුරෝකථනය කළ නොහැකියි. එහෙත්, ඉල්ලුම වැඩි වන බව පැහැදිලි නිසා යම් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි. එම වැඩිවීම හෙමිහිට මිස එකවර සිදු වෙන එකක් නැහැ. එමෙන්ම කැපී පෙනෙන විශාල වැඩිවීමක් සිදු වීමට තරම් හේතු පෙනෙන්නේත් නැහැ. 

Friday, December 13, 2024

බැඳුම්කර හුවමාරුව සඳහා ඉල්ලුම

ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ඩොලර් මිලියන 12,550ක මුහුණත වටිනාකම් සහිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර 11කින් 96%ක ප්‍රමාණයක අයිතිය හිමි පුද්ගලයින් හෝ ආයතන විසින් ස්වේච්ඡාවෙන් එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර තිබෙනවා. 

මෙම බැඳුම්කර වලින් දහයකම හිමිකරුවන් අතරින් "අවශ්‍ය අවම ප්‍රමාණය" එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර ඇති බැවින් අදාළ බැඳුම්කර හිමි, එහෙත් හුවමාරුව සඳහා අයදුම්කර නොමැති, ණයහිමියන්ගේ බැඳුම්කරද ඔවුන්ගේ කැමැත්ත රහිතව ඒක පාර්ශ්වික ලෙස ප්‍රතිව්‍යුහගත කළ හැකියි. අදාළ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ එවැනි කොන්දේසියක් සහිතවයි.

කෙසේ වුවත් එක් බැඳුම්කරයක්, එනම් 2022 ජූලි 25 දින කල් පිරුණු ඩොලර් බිලියනයක බැඳුම්කරය, එලෙස ඒක පාර්ශ්වික ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන අවම අනුමැතිය ලැබී නැහැ. ඒ නිසා, එම බැඳුම්කරය හිමි, එහෙත් හුවමාරුව සඳහා අයදුම්කර නැති, අයගේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජයට ඉඩ සැලසෙන්නේ නැහැ. 

මෙම කොටස ඉවත් කළ පසු ඉතිරි 98%ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කළ හැකියි. එම ප්‍රමාණයට කැමැත්තෙන් හුවමාරු කෙරෙන 96%ක් සහ බහුතර කැමැත්ත මත පදනම්ව හුවමාරු කෙරෙන තවත් 2%ක බැඳුම්කර ප්‍රමාණයක් ඇතුළත්.

හුවමාරු නොකෙරෙන කොටසේ ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ හැමිල්ටන් රිසර්ව් බැංකුව සතු ස්වෛරිත්ව බැඳුම්කර විය යුතුයි. ඒ සම්බන්ධව, අධිකරණ ක්‍රියාමාර්ග හරහා පසුව ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා. 

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය අති සාර්ථක ලෙස අවසන් වේ!


ශ්‍රී ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය ඊයේ (දෙසැම්බර් 12) දිනයෙන් අවසන් වුනා. දැනට පෙනී යන පරිදි මෙම හුවමාරුව සඳහා විශාල ඉල්ලුමක් පැවතී ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ස්වෛරිත්ව බැඳුම්කර වලින් 98%ක් පමණම හුවමාරු වීමට නියමිතයි. 

මේ අනුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියම අවසානයකට පැමිණෙමින් තිබෙනවා. ලැබී ඇති අයදුම්පත් විමර්ශනය කිරීමෙන් පසුව, බැඳුම්කර හුවමාරුව පිළිබඳ අවසන් තීරණ දෙසැම්බර් 16 වන දින දැනුම් දෙනු ලැබීමට නියමිතව ඇති අතර, පැරණි බැඳුම්කර අවලංගු කර ඒ වෙනුවට අලුත් බැඳුම්කර නිකුත් කිරීම දෙසැම්බර් 20 දින සිදු වෙනවා.

මෙසේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය තවත් සතියක් ඇතුළත අවසන් වීමෙන් පසුව, ඉදිරි වසර එළැඹෙද්දී ශ්‍රී ලංකාවට තව දුරටත් ණය පැහැර හැර ඇති රටක් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින්නට සිදු වන්නේ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්ද ඉතා ඉක්මණින් ඉහළ යාමට නියමිතයි. 

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉදිරි වසර දක්වා කල් යාමේ අවදානම සලකා බලමින්, අතුරු අයවැයෙන් ඒ සඳහා රුපියල් ට්‍රිලියන තුනක ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු කළා. දැන් එම ප්‍රතිපාදනය ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ අනුව, ඉදිරි වසරේ පළමු මාස හතර ඇතුළත රජයට අලුතෙන් ණය ලෙස ලබා ගන්නට සිදු වෙන්නේ රුපියල් ට්‍රිලියනය නොඉක්මවන මුදලක් පමණයි.

ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරා ඇති හැමිල්ටන් රිසර්ව් බැංකුව මෙම බැඳුම්කර හුවමාරුවට කෙසේ ප්‍රතිචාර දක්වා ඇත්දැයි පැහැදිලි නැහැ. ඇතැම් විට හුවමාරුව සඳහා අයදුම්කර නොමැති 2% කොටස තුළ සිටින්නේ එම බැංකුව විය හැකියි. 

Tuesday, November 26, 2024

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය ඇරඹේ!


ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. බැඳුම්කර හුවමාරුව සිදු වනු ඇත්තේ ජනාධිපතිවරණයට පෙර ඇති කර ගනු ලැබූ එකඟතා මත පදනම්වයි.

ස්වේච්ඡාවෙන් බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට සති තුනක පමණ කාලයක් ලබා දී ඇති අතර එම කාලය දෙසැම්බර් 12 දිනෙන් අවසන් වෙනවා. මේ අනුව පෙනී යන්නේ වසර අවසන් වීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම රජයේ ඉලක්කය බවයි. 

ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ඇති කරගෙන තිබෙන එකඟතා අනුව මෙම බැඳුම්කර වලින් 50% ඉක්මවන ප්‍රමාණයක් හුවමාරු වන බව පැහැදිලි නමුත් අවම වශයෙන් බැඳුම්කර වලින් 40%ක් පමණ අයිති අනෙකුත් ණයහිමියන් එවැනි එකඟතාවයකට පැමිණ නැහැ. ඔවුන්ගේ තීරණය දැනගන්නට දෙසැම්බර් 12 දින දක්වා බලා සිටින්නට සිදු වෙනවා.

දැනටමත් නඩු මගට ගොස් සිටින හැමිල්ටන් රිසර්ව් බැංකුව වැනි පාර්ශ්ව ණය හුවමාරුව සඳහා අයදුම් නොකර මුළු මුදලම පොරොන්දු පරිදි ලබා ගැනීමට උත්සාහ කරන්නට ඉඩ තිබෙනවා. එමෙන්ම තවත් යම් පිරිසක් ඒ මගම යාමට ඉඩ තිබෙනවා.

සැලකිය යුතු පිරිසක් දෙසැම්බර් 12 දිනට පෙර ස්වේච්ඡා ණය හුවමාරුව සඳහා අයදුම් නොකළහොත් ඒ සඳහා ලබා දී තිබෙන කාලය දීර්ඝ කිරීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ශ්‍රී ලංකා රජය විසින් උත්සාහ කරන්නේ ණයහිමියන් හැකි තරම් පිරිසක් ඉතා ඉක්මණින් මේ හුවමාරුවට කැමති කර ගැනීමටයි.

මේ අනුව පෙනී යන්නේ "වෙනත් ණය ප්‍රතිව්‍යුගත කිරීම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අවාසිදායක ගනුදෙනුවකට යාම" "පිළිකුල් සහගත (odious) ණය නොගෙවා සිටීම" වැනි පූර්ව-මැතිවරණ ජනප්‍රිය තර්ක වත්මන් පරිපාලනය විසින් බැහැර කර ඇති බවයි. මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන ඇමතිද වන ජනාධිපති අනුර දිසානායක මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ සඳහන් කර තිබෙනවා. 

"අද දින නිල වශයෙන්නි නිවේදනය කෙරෙන පෞද්ගලික ණයහිමියන් සමඟ වූ මෙම ණය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සන්ධිස්ථානයක්. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ විදේශ ණයහිමියන්ට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ යහපත් චේතනාවෙන් මේ සම්බන්ධව අප සමඟ හෙට්ටු කළ ණයහිමියන්ගේ නිල කමිටුවට අපට මේ සන්ධිස්ථානයට පැමිණීමට උදවු කිරීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා. ...මෙය ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට දීප්තිමත් අනාගතයක් කරා යාමට මංපෙත් විවර කිරීමට නියමිතයි."

Wednesday, November 20, 2024

නිවුයෝර්ක් අධිකරණයෙන් තවත් දින දහයක්!


ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක්හි අධිකරණයක ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම තෙවන වරටද තාවකලිකව අත් හිටවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජය විසින් එම අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද, මෙවර අදාළ නඩුව විභාගයට ගැනීම අත් හිටුවා තිබෙන්නේ ඉතා කෙටි කාලයකටයි. එනම්, මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව සහ එම බැංකුව වෙත බලය පවරා ඇති අනෙකුත් පාර්ශ්ව වෙත ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් වශයෙන් ඩොලර් මිලියන 250ක් පමණ මුදලක් ආපසු ගෙවිය යුතුයි. එම බැංකුව විසින් අදාළ මුදල ලබා ගැනීම සඳහා අධිකරණ සහාය අපේක්ෂා කරනවා.

මෙම නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන මෙන් 2023 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම එම අධිකරණය විසින් පිළිගත්තා. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාසියට ලැබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ රජය විසින් (නීතිපති) මෙන්ම එක්සත් රාජධානිය හා ප්‍රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසයි. මේ අනුව 2024 පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කළ නමුත් ඒ වන තුරුද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වුනේ නැහැ. 

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් මෙම වාරණ නියෝගයේ කාලය තවත් මාස පහකින් දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව දෙවන වරටද නඩුව විභාගයට ගැනීම කල් තබනු ලැබුවා. දැන් නැවත වරක් නඩුව විභාගයට ගැනීම කල් දමා තිබෙනවා. එහෙත්, එසේ කල් දී තිබෙන්නේ මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් පසුගිය ඔක්තෝබර් 1 දින අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබුනේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති සේ තේරී පත්වීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය ප්‍රමාද වනු ඇති බවයි. එහෙත්, මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය විසින් ඔක්තෝබර් 4 වන දින එම අධිකරණයට දැනුම් දුන්නේ නව රජය විසින්ද හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා අනුව දිගටම කටයුතු කෙරෙනු ඇති බවයි. නිවුයෝර්ක් අධිකරණය විසින් මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන තිබෙනවා. එමෙන්ම මෙතෙක් නඩුව විභාගයට ගැනීම කල් දැමීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉදිරියට යාමට උදවු වී ඇති බවද එම අධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් කර ඇති එක් ඉල්ලීමක් වන්නේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කළද ඔවුන්ට ලැබිය යුතු මුදල් කිසිදු අඩුවක් නොමැතිව ආපසු ගෙවන බවට ශ්‍රී ලංකා රජය විසින් සහතිකයක් ලබා දිය යුතු බවයි. එහෙත්, අධිකරණය විසින් ශ්‍රී ලංකාවට එවැනි කොන්දේසියක් පනවා නැහැ.

ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය හා අදාළ එකඟතා සියල්ල මේ වන විට අවසන්ව ඇති අතර දැන් ශ්‍රී ලංකා පාර්ශ්වයට අවශ්‍යව තිබෙන්නේද මේ කටයුත්ත ඉක්මණින් අවසන් කර ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විමර්ශනය අවසන් වූ පසුව මෙම කටයුත්ත මීළඟ අදියරට යනු ඇතැයි සිතිය හැකියි. කෙසේ වුවත්, හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව විභාගයට නොගැනීම සඳහා දැනට ඉතිරිව තිබෙන්නේ දින දහයක කාලයක් පමණක් බැවින්, ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේ ඊළඟ අදියර ඉතා ඉක්මණින් ආරම්භ නොවුවහොත් ශ්‍රී ලංකාවට තවත් වරක් ප්‍රස්තුත අධිකරණය වෙත යන්නට සිදු විය හැකියි. 

Friday, October 4, 2024

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් අදියරට...


ඔබ දැනටමත් දන්නා පරිදි, ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් අතර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන අවසන් එකඟතාවයක් ඇති කරගනු ලැබ, එම එකඟතාවය මත පදනම් වූ ගිවිසුමක් අත්සන් කළා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කරහිමි ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සහ චීන සංවර්ධන බැංකුව සමඟද අවසන්  එකඟතාවන්ට පැමිණියා. මෙසේ එකතාවයන්ට පැමිණියේ වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ සිදු කළ සාකච්ඡා හා හෙට්ටු කිරීම් වලින් පසුවයි. මෙම එකඟතාවයන් සඳහා පසුගිය රජයේ කැබිනට් අනුමැතිය ලැබුණා.

කෙසේ වුවද, ජනාධිපතිවරණය පැවැත්වෙන විටද මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හා අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවයන් ඇති කර ගැනීම හැර වෙනත් නෛතික කටයුතු කිසිවක් සිදුව තිබුණේ නැහැ. ඒ නිසා, අවශ්‍යනම් එම එකඟතාවයන් තුළ හිර නොවී මුල සිට අලුතෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව ඉතිරි වී තිබුණා. දැන් පෙනී යන්නේ එවැනි අවදානමක් ගැනීමේ ස්ථාවරයක අලුත් ආණ්ඩුව නොසිටින බවයි.

ඇති කරගත් එකඟතාවය අනුව ඉදිරියට යන්නේනම් තවත් ඉතිරිව තිබුණේ පියවර කිහිපයක් පමණයි. එයින් පළමු පියවර වූයේ මෙම එකඟතාවය "සමානතා මූලධර්මය" උල්ලංඝනය නොකරන බව අනෙකුත් (ද්විපාර්ශ්වික) ණයහිමියන් විසින් පරීක්ෂා කර තහවුරු කිරීමයි. දෙවන පියවර වූයේ මේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය තහවුරු වන බව මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීමයි.

මේ වන විට ඉහත කටයුතු දෙකම සිදු වී තිබෙනවා. ඊට අමතරව, අලුතෙන් පත් වූ ආණ්ඩුව විසින්ද ඉහත එකඟතා සියල්ල එලෙසම පිළිගනිමින් හා අනුමත කරමින්, එම එකඟතා අනුව දිගටම කටයුතු කිරීමට සූදානම්ව සිටිනවා. ඒ අනුව සියලුම පාර්ශ්ව දැන් මේ වැඩ පිළිවෙලට එකඟයි. ඉන් පසුව කළ යුතුව තිබෙන්නේ ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරුව සිදු කිරීම සඳහා ණය කළමණාකරුවෙකු ලෙස ඒ සඳහා සුදුසු අයෙකු තෝරා පත් කර ගැනීමයි.

මේ සඳහා ණය කළමණාකරුවෙකු පත් කර ගනු පිණිස පසුගිය මාර්තු මාසයේදී අයදුම්පත් කැඳවනු ලැබූ අතර ආයතන පහක් ඒ සඳහා අයදුම් කර තිබෙනවා. එම ආයතන අතරින් වඩාත්ම සුදුසුම ආයතනය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සිටි බැංකුව තෝරා ගෙන තිබෙනවා. 

මේ අනුව, දැන් මෙම ක්‍රියාවලිය එහි අවසන් අදියර කරා පැමිණ තිබෙනවා. ඉතා ඉක්මණින්ම ණය හුවමාරුව සඳහා සිටි බැංකුව හරහා අයදුම්පත් කැඳවනු ලැබීමට නියමිතයි. ඊට සමාන්තරව චීන සංවර්ධන බැංකුව සමඟද ඉතා ඉක්මණින්ම අවසන් ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇති. 

ශ්‍රී ලංකා රජය විසින් ඇති කරගත් එකඟතා ආණ්ඩුව වෙනස් වීමෙන් පසුවද එලෙසම ඉදිරියට යාම ජාත්‍යන්තර වශයෙන් රට පිළිබඳව විශ්වාසනීයත්වය ශක්තිමත් කරවන්නක්. මීට සතියකට පෙර ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බංකොලොත් තත්ත්වය තව දුරටත් තහවුරු කරමින් සඳහන් කර සිටියේ මැතිවරණයෙන් පසු අලුත් ආණ්ඩුවක් බලයට පත් වීම නිසා ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වී ඇති බවයි. එමෙන්ම, ඒ හේතුව නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද විය හැකි බවයි. ඔවුන්ගේ අදහස වූයේ අලුත් ආණ්ඩුවේ දිශානතිය ගැන හරියටම අදහසක් ගැනීම සඳහා නොවැම්බර් මාසයේදී අයවැය ඉදිරිපත් කරන තුරු බලා සිටින්නට වනු ඇති බවයි.

Policy Uncertainty Following Elections: Sri Lanka's September 2024 Presidential election was won by one of the opposition leaders. Fitch believes the result add uncertainty to the country's policy direction and could lead to a delay in the completion of the foreign-currency debt restructuring or renegotiation of the IMF programme. The upcoming 2025 budget, to be adopted by November 2024, could offer clarity on the new government's policies.

දැන් දැකිය හැකි තත්ත්වය ෆිච් රේටිං ආයතනය විසින් දැක ඇති තත්ත්වයට වඩා ශුභවාදී තත්ත්වයක්. අලුත් ආණ්ඩුව විසින්ද කලින් ආණ්ඩුව විසින් ඇති කරගත් එකඟතාවයන් අනුව එලෙසම ඉදිරියට යාමට තීරණය කිරීම නිසා ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට තවත් විශාල කාලයක් යන එකක් නැහැ. ඒ නිසාම අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමද ඉක්මන් වෙනවා. ඒ වගේම, බොහෝ විට මේ වසර අවසන් වීමට පෙර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ බංකොලොත් තත්ත්වය ඉවත් කර සාමාන්‍ය ණය ශ්‍රේණියක් ලබා දීමට ඉඩ තිබෙනවා. විණිමය වෙළඳපොළ ප්‍රවණතා වලින් පෙන්නුම් කරන්නේද මේ සාධනීය නැඹුරුව විය හැකියි.

Thursday, September 19, 2024

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය


මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව තව දුරටත් විස්තර කිරීමක්. 

දැන්  විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරද?

නෑ.

එහෙමනම් අද (සැප්තැම්බර් 19) වුනේ කුමක්ද?

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන අවසන් එකඟතාවයකට පැමිණ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කරහිමි ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සහ චීන සංවර්ධන බැංකුව සමඟද එකඟතාවන්ට පැමිණ තිබෙනවා. මේ එකතාවයන්ට පැමිණ තිබෙන්නේ වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ සිදු කළ සාකච්ඡා හා හෙට්ටු කිරීම් වලින් පසුවයි.

ඒ කියන්නේ ලොකුවට කිවුවට තවමත් වැඩේ එහෙමමයිද?

නෑ. මේක තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ කරගන්න අමාරු, වැදගත්ම සහ ප්‍රධානම පියවර. ඉතිරි වෙලා තිබෙන්නේ බොහෝ දුරට තාක්ෂණික කටයුතු. ඒ සඳහා මාසයක් දෙකක් යා හැකි වුවත් ඉතිරි පියවර ටික අභියෝගාත්මක නැහැ. ඉඩමක් ගන්න දෙපාර්ශ්වය එකඟ වුනාට පස්සේ ඔප්පු ලියනවා වගේ දෙයක්. හැබැයි ඊට වඩා සංකීර්ණයි.

දැන් කරන්න ඉතිරි වී තිබෙන්නේ කුමක්ද?

මේ එකඟතාවය ගැන IMF එකේ නිලධාරීන් එක්ක කතා කරලා ඔවුන්ගේ නිල නොවන අනුමැතිය දැනටමත් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ DSA එක සමඟ ගැලපෙන බව ඔවුන් තහවුරු කර තිබෙනවා. නමුත් නිල අනුමැතිය තවමත් ලැබී නැහැ. එය ලබාගත යුතුයි. මෙය පරිපාලනමය කටයුත්තක් පමණයි. මේ විදිහටම අනෙකුත් ද්විපාර්ශ්විය ණයහිමියන් විසින්ද මේ මගින් "සමාන ලෙස සැලකීමේ මූලධර්මය" බිඳ වැටී නැති බව නිල වශයෙන් දැනුම් දිය යුතුයි. ඒකටත් කෙටි කාලයක් යයි. සමහර විට සතියක් පමණ. ඔය කරුණු දෙක ඉටු වීමෙන් පසුව බැඳුම්කර හුවමාරුවක් සඳහා අයදුම්පත් කැඳවන්නට සිදු වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයේදී මෙන්ම මෙහිදීද සිදු වන්නේ ස්වේච්ඡා හුවමාරුවක්.

ඔය වැඩේට සියලුම බැඳුම්කරහිමියෝ කැමති වෙයිද?

කලින්ම මේ එකඟතාවයට ඇවිත් තියෙන්නේ සහ ඒ එකඟතාවය ඉතාම වැදගත් වන්නේ ඔන්න ඔය හේතුව නිසා. එකඟතාවයට පැමිණ ගිවිසුම අත්සන් කළ කණ්ඩායමේ ආයෝජකයින් 10 දෙනෙකුට බැඳුම්කර වලින් 40%ක් පමණ අයිතියි. දේශීය බැඳුම්කරහිමියන් 11 දෙනෙකුට තවත් 12%ක් අයිතියි. එතකොට බැඳුම්කර වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් කොහොමටත් හුවමාරු වෙනවා. වැඩි දෙනෙක් හුවමාරුවට කැමති වුනොත් ඉතිරි අයටද ඔවුන්ගේ තීරණයට එකඟ වෙන්න සිදු වෙනවා. ඔවුන්ගේ කැමැත්ත වෙන වෙනම ගන්න අවශ්‍ය වන්නේ නැහැ. 

ශ්‍රී ලාංකික ආයෝජකයින්ට විශේෂ සහනයක් දීලා තියෙනවද?

ඔව්. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මුළු ආයෝජන මුදලින් 30% නොඉක්මවන ප්‍රමාණයක් හෙයාකට් නැතිව ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර වලින් ලබා ගන්න පුළුවන්. මෙසේ කරද්දී "සමාන ලෙස සැලකීමේ මූලධර්මය" බිඳ වැටෙන නිසා ඒ අවස්ථාව සියල්ලන්ටම පොදුවේ ලබා දී තිබෙනවා. 

ඉතිරි වැඩ ටිකට කොයි තරම් කල් යයිද?

මගේ අදහස අනුව මාසයක් දෙකක් වගේ කාලයක් යන්න බැරිකමක් නැහැ. නමුත් IMF තෙවන විමර්ශනය වැනි කාරණා හා අදාළව දැන් වැඩේ ඉවර වුනා හා සමානයි. 

මේක ඇත්තක්ද එහෙම නැත්නම් ඡන්දයෙන් වාසියක් ගන්න කරපු ප්‍රචාරයක්ද?

ඉතා පැහැදිලිවම මේක ඇත්තක්. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් නිල නිවේදයක් නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම චීනය, ඉන්දියාව වැනි රටවල මාධ්‍ය ඇතුළුව විදේශ මාධ්‍ය ගණනාවක් මෙය වාර්තා කර තිබෙනවා. තාක්ෂණික විස්තර සියල්ල සිංගප්පුරු කොටස් හුවමාරුවේ ගොනුගත කර තිබෙනවා. 

ඡන්ද කටේම මේ වැඩේ වුනේ කොහොමද?

මේක හදිසියේ සිදු වූ දෙයක් නෙමෙයි. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සේ එක දිගටම තිරය පිටුපස සිදු වූ දැවැන්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඇත්තටම පැසසිය යුතු දේ වන්නේ ඡන්ද කටේදී පවා කල් පසු කිරීමකින් තොරව මේ සැලසුම්සහගත ක්‍රියාවලිය ඒ විදිහටම කරගෙන යාමයි. 

ස්වෛරිත්ව බැඳුම්කර හා ඉතිරි චීන ණය


ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් නියෝජනය කරන ප්‍රධාන ආයෝජකයින් කණ්ඩායම සමඟත්, චීන සංවර්ධන බැංකුව සමඟත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් දෙකක් අත්සන් කර තිබෙනවා. ඩොලර් බිලියන 14.2ක ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාව අනුව, ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.2කින් අඩු වන අතර ආර්ථිකයේ වර්ධනයන් අනුව මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 4.6 දක්වා වැඩි වීමට හෝ ඩොලර් බිලියන 2.0 දක්වා අඩු වීමට පුළුවන්. පොලී අනුපාතික, සාමාන්‍ය අගයක් ලෙස, 6.4% සිට 4.4% දක්වා අඩු වෙනවා. 

මේ අනුව සාමාන්‍ය තත්ත්වයක් යටතේ 40.3%ක ණය සහනයක්ද, ආර්ථිකය වඩා හොඳ මට්ටමක පවතින තත්ත්වයක් යටතේ අවම වශයෙන් 33%ක ණය සහනයක්ද ශ්‍රී ලංකාවට ලැබෙනවා. මීට අමතරව චීන සංවර්ධන බැංකුව සමඟද ඩොලර් බිලියන 3.3ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. 

වැඩි විස්තර පසුවට.

Sunday, July 7, 2024

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය


විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන මූලික එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා. මේ ඒ පිළිබඳ හැකි තරමින් සංක්ෂිප්ත, එහෙත් අවශ්‍ය පමණ විස්තරාත්මක, සමාලෝචනයක්.

මෙහි ආරම්භයේදී මතක් කරන ඇතැම් කරුණු මීට පෙර වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර ඇතත්, මෙය තනි ලිපියක් ලෙස කියවන අය වෙනුවෙන් නැවතත් කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි අප සිතනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වූයේ ඇයි?

ශ්‍රී ලංකා රජයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වූයේ ණය තිරසාරත්වය නැති වූ නිසා. ණය තිරසාරත්වය නැති වීම යන්නෙන් අදහස් වන්නේ කලින් ගත් ණය වල වාරික මුදල් හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලී මුදල් සියල්ලම  "පොරොන්දු වූ දිනට" ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් සොයා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකා රජය පත් වීමයි. 

ණය වාරික හා පොලී මුදල් "සියල්ලම" නිසි කලට ගෙවිය නොහැකි වූ පමණින් එම වාරික හා පොලී මුදල් "කිසිවක්" නිසි කලට ගෙවිය නොහැකි තත්ත්වයක් අදහස් වන්නේ නැහැ. ණය වාරික හා පොලී මුදල් වලින් යම් කොටසක් නිසි පරිදි ගෙවීමේ හැකියාවක් තව දුරටත් ශ්‍රී ලංකා රජය සතුව තිබුණා.

ණය වාරික හා පොලී මුදල්  සියල්ලම "නිසි කලට" ගෙවිය නොහැකි වූ පමණින් එසේ කලට වෙලාවට නොගෙවන ණය වාරික හා පොලී මුදල් "කිසි දිනක" ගෙවිය නොහැකි තත්ත්වයක් ඇති වූ බවද අදහස් වන්නේ නැහැ.

ණය තිරසාරත්වය නැති වුනේ ඇයි?

මෙතෙක් දිගින් දිගටම ශ්‍රී ලංකා රජය විසින් කළේ අලුතෙන් ගන්නා ණය වලින් පැරණි ණය වල වාරික හා පොලී ගෙවීමයි. ඊට අමතරම දිගින් දිගටම පවත්වා ගෙන ගිය රජයේ ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහාද අලුතෙන් ණය ගන්නට අවශ්‍ය වුනා. ණය ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ එම ණය හා පොලී ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය අලුතෙන් ණයට ලබා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකා රජය මුහුණ දුන්නා. මෙම තත්ත්වය විශේෂයෙන්ම ඇති වූයේ 2022-2027 කාලය හා අදාළවයි. 

ඉදිරි වසර තුන හතරක කාලය තුළ ණය හා පොලී ආපසු ගෙවීම සඳහා අරමුදල් සපයා ගැනීම අසීරු වූ විට සාමාන්‍යයෙන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයට ලබා ගැනීමයි. එසේ ණය ලබා දෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රශ්නයට හේතු වූ රජයේ ප්‍රාථමික අයවැය හිඟය ඇතුළු අනෙකුත් ආකෘතිමය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා බලපෑම් කරනවා. එම වෙනස්කම් කිරීමට වූ අකැමැත්ත නිසා මෙවර ශ්‍රී ලංකා රජය කලට වෙලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ නැහැ. ඒ නිසා ප්‍රශ්නය වඩා බරපතල වුනා.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන අවස්ථාව වන විට ප්‍රශ්නය වසර තුන හතරකින් විසඳිය හැකි මට්ටමක තිබුණේ නැහැ. ඒ නිසා ණය තිරසාරත්වය ඇති කර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වුනා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් ණය තිරසාරත්වය ඇති වන්නේ කොහොමද?

කලින් කී පරිදි ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය නැති වී තිබුණේ 2022-2027 කාලය හා අදාළවයි. ඒ නිසා, එම කාලය තුළ ආපසු ගෙවිය යුතු වූ ණය වාරික හා පොලී මුදල් "සියල්ල" පොරොන්දු පරිදි ආපසු ගෙවීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම ණය වාරික හා පොලී මුදල් ආපසු ගෙවීම පිණිස වැඩි කාලයක් ලබා ගැනීම මගින් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය පරිදි ආකෘතිමය ප්‍රශ්න විසඳා ගෙන රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වැඩි කාලයක් ලැබෙනවා.

ඒ කියන්නේ තවම රටේ ආර්ථිකය ස්ථාවර නැද්ද?

දෙවසරක පමණ අසීරු ව්‍යායාමයකින් පසුව මේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන ඇතත් එසේ කරගෙන තිබෙන්නේ ණය වාරික හා පොලී මුදල් වලින් කොටසක් පොරොන්දු පරිදි නොගෙවා සිටින අතරයි. දිගුකාලීනව රටට අවශ්‍ය වන්නේ පෙර කළ වැරදි නැවත නැවත නොකරන අතරම, පෙර වැරදි වෙනුවන් වන්දි ගෙවිය හැකි ආකාරයේ ස්ථාවරත්වයක්. දශක ගණනක් තිස්සේ ශ්‍රී ලංකා රජය විසින් කළ සාර්ව ආර්ථික "වැරදි" දැන් කරන්නේ නැතත්, පෙර වැරදි වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය (කලින් ගත් ණය ආපසු ගෙවන ආකාරය) පිළිබඳව ණයහිමියන් සමඟ එකඟතාවයකට පැමිණිය යුතුයි.

එවැනි එකඟතාවයකට පැමිණීම අසීරු ඇයි?

දෙපාර්ශ්වයක් අතර ඇති කරගත් ගිවිසුමක් ඒක පාර්ශ්වීය ලෙස කඩ කළ විට අනෙක් පාර්ශ්වයට පාඩුවක් සිදු වෙනවා. පාඩු විඳින්නට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කියන්නේ බොහෝ දුරට ණයහිමියන්ට සිදු වන පාඩුවක්. 

ණය තිරසාරත්වය නැති පසුබිමක වුවද ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු ණය වාරික හා පොලී වලින් කොටසක් පොරොන්දු පරිදි ගෙවීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, කිසියම් තනි ණයහිමියෙක් සැලකුවොත්, බොහෝ විට එම ණයහිමියාට ශ්‍රී ලංකා රජයෙන් තමන්ට අයවිය යුතු මුදල් අය කර ගත හැකියි. නමුත් සියලුම ණයහිමියන්ට එසේ කළ නොහැකියි. අවසානයේදී ණයහිමියන්ගෙන් යම් පිරිසකට තමන්ගේ අරමුදල් නොලැබී යනවා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් "සාධාරණ මැදිහත්කරුවෙකුගේ" භූමිකාව ඉටු කරනවා. පළමුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2027 පමණ දක්වා ශ්‍රී ලංකා රජයට අනිවාර්ය ණය සහනයක් අවශ්‍ය බව ණයහිමියන්ට පෙන්වා දී තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන අවම ණය සහනය තීරණය වෙනවා. 

දෙවනුව, ශ්‍රී ලංකාව විසින් එම ණය සහනය ලබා ගනිද්දී එහි පාඩුව ණයහිමියන් අතර සාධාරණ ලෙස බෙදී යන යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. අමාරුම කාර්යය විෂමජාතීය ණයහිමියන් සමඟ මෙවැනි "සියල්ලන්ටම එකඟ විය හැකි" එකඟතාවයක් ඇති කර ගැනීමයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මගින් ණය තිරසාරත්වය ඇති වෙන්නේ කොහොමද?

පෙර ලිපි වල විස්තර කර ඇති පරිදි ශ්‍රී ලංකා රජයේ ප්‍රශ්නය වූයේ ණය ගෙවිය හැකි තරම් රුපියල් නැති වීම සහ එසේ රුපියල් සොයා ගත්තද විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත හැකි තරම් ඩොලර් රටේ නැති වීමයි. රුපියල් ප්‍රශ්නයට විසඳුම රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් සීමා කර ගැනීමයි.  2022 වන විට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3% දක්වා පහත වැටී තිබුණා. හැමෝම කතා කරන බදු වැඩි කිරීම් සියල්ලෙන් පසුව, 2023දී මෙම අගය 9.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, 2022දී ණය වාරික හා පොලී ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.6%ක පමණ අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුනා. 

රජයේ බදු ආදායම දදේනියෙන් 7.3% සිට 9.8% දක්වා වැඩි කර ගනිද්දී ජනතාව මත පැටවෙන බදු බර 34%කින් පමණ ඉහළ යනවා. ක්ෂණිකව බදු බර මෙපමණ වැඩි වීම බොහෝ දෙනෙකුට දැනෙනවා. නමුත්, එසේ කිරීමෙන් පසුවද බදු ආදායම දදේනියෙන් 9.8%ක් පමණයි. ණය සියල්ල කෙසේ වුවත්, වසරක් තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය පමණක් දදේනියෙන් 30% ඉක්මවද්දී  දදේනියෙන් 9.8%ක බදු ආදායමක් හැරෙන්නවත් මදි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය 2027-2032 කාලයේ ශ්‍රී ලංකා රජයේ ණය සේවාකරණ බර  (ණය වාරික හා පොලී ගෙවීම්) දදේනියෙන් 13% දක්වා අඩු කර ගැනීමයි.

මෙසේ ණය සේවාකරණ බර දදේනියෙන් 13% දක්වා අඩු කර ගත්තත් ඒ ණය වාරික හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්න සිදු වෙනවා. ඒ නිසා ණය තව දුරටත් එන්න එන්නම වැඩි වෙනවා. නමුත්, අඩු වශයෙන් ණය අරගෙන හෝ ණය ආපසු ගෙවන්න පුළුවන්. ඒ වගේම, ණය බර අඩු වන තරමට රජයට අඩු පොලියට ණය ලබා ගැනීම පහසු වෙනවා. ඒ නිසා, අනාගත ණය බර අඩු වෙනවා. හරියටම කිවුවොත් ණය තව දුරටත් වැඩි වුනත් ණය වැඩි වන වේගය අඩු වෙනවා. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සිදු වුනේ 2022-2032 කාලය තුළ ගෙවිය යුතු වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් කොටසක් වඩා වැඩි කාලයකින් ආපසු ගෙවිය යුතු බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීමයි. මෙයින් ඉදිරි වසර දහයක පමණ කාලය තුළ රජයේ රුපියල් අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අඩු වෙනවා. කෙසේ වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් විසඳෙන්නේ දේශීය ණය හා පොලී ආපසු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයයි. විදේශ ණය ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අනිවාර්යයෙන් අවශ්‍යයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම කුමක්ද?

මෙම (2024) වසරේ මාර්තු අවසාන වන විට ශ්‍රී ලංකා රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 37,041ක්. එයින් ඩොලර් මිලියන 11,716ක් බහුපාර්ශ්වීය ණයයි.  ශ්‍රී ලංකා රජය විසින් මෙම බහුපාර්ශ්වීය ණය කිසිදු පැහැර හැරීමක් නොකර මෙතෙක් දිගටම ගෙවාගෙන යමින් සිටින අතර මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ඉතිරි විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 10,589ක් ද්විපාර්ශ්වීය ණය වන අතර, ඩොලර් මිලියන 14,736ක් වාණිජ ණයයි. මෙම කොටස් දෙක අදාළ ණයහිමියන්ගේ එකඟතාවය පරිදි ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම කුමක්ද?

ද්විපාර්ශ්වීය ණය යනු වෙනත් රටවල රජයයන්ගෙන් ලබාගත් ණයයි. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා රජය විසින් ලබා ගන්නා වාසියක් යනු අදාළ රටවල බදු ගෙවන්නන් මත පැටවෙන බරක්. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණයහිමියන් අතර කිසියම් සාධාරණ ආකාරයකින් බර පටවන්නට සිදු වෙනවා. එය ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම සඳහා අවම කොන්දේසියක්. 

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණයහිමියන්ගෙන් විශාල පිරිසක් පැරිස් සංසදයේ සාමාජිකයින් ලෙස සංවිධානගත වී සිටීම මේ කාර්යයේදී විශාල පහසුවක් වූ අතර ඊට අමතරම ප්‍රධාන ණයහිමියෙකු වූ ඉන්දියාවද පැරිස් සංසදය හා එක්ව එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම නිසා මේ කාර්යයය තවත් පහසු වුනා. එහෙත්, ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වීය ණයහිමියා වන චීනය පැරිස් සංසදය හා එක්ව එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට එකඟ නොවීම නිසා මේ කාර්යය තරමක් සංකීර්ණ වුනා. ශ්‍රී ලංකා රජයට ඉන්දියාව හා හංගේරියාවද ඇතුළුව පැරිස් සංසදය සමඟ වෙනමත්, චීනය සමඟ වෙනමත් සාකච්ඡා පවත්වමින් එකඟතා වලට පැමිණෙන්නට සිදු වූ අතර මෙම කණ්ඩායම් දෙකට සාධාරණ ලෙස බර පටවන බව එක් එක් කණ්ඩායමට ඒත්තු ගන්වන්නට සිදු වුනා. ඊට අමතරව, කුවේට්, සවුදි අරාබිය, ඉරානය හා පකිස්ථානය යන රටවල් සමඟද වෙන වෙනම සාකච්ඡා කරන්නට සිදු වුනා. මේ වන විට ඉහත සඳහන් ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණයෙන් පැරිස් සංසදයේ රටවලට, ඉන්දියාවට, හන්ගේරියාවට හා චීනයට ගෙවිය යුතු ඩොලර් බිලියන 10ක පමණ ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. 

පැරිස් සංසදයේ රටවල, ඉන්දියාවේ හංගේරියාවේ ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

මෙම රටවල් දා හතේ ණය ප්‍රමාණය, ණය බවට පරිවර්තනය කිරීමට නියමිත 2022 වසර අවසානය දක්වා නොගෙවා එකතු වී ඇති පොලී මුදල්ද සමඟ, ඩොලර් බිලියන 5.8ක් පමණ වෙනවා.

2024 මාර්තු අවසානයේදී මෙම එක් එක් රටට ගෙවිය යුතු වූ ණය ප්‍රමාණ පහත තිබෙනවා.

ජපානය - ඩොලර් මිලියන 2,359.1

ඉන්දියාව - ඩොලර් මිලියන 1,366.4

ප්‍රංශය - ඩොලර් මිලියන 427.0

කොරියාව - ඩොලර් මිලියන 294.6

නෙදර්ලන්තය - ඩොලර් මිලියන 262.6

ජර්මනිය - ඩොලර් මිලියන 199.8

එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 190.6

ඇමරිකාව - ඩොලර් මිලියන 132.5

ඔස්ට්‍රියාව - ඩොලර් මිලියන 106.4

ස්පාඤ්ඤය - ඩොලර් මිලියන 99.3

හංගේරියාව - ඩොලර් මිලියන 47.3

රුසියාව - ඩොලර් මිලියන 35.4

ස්වීඩනය - ඩොලර් මිලියන 34.7

ඩෙන්මාර්කය - ඩොලර් මිලියන 32.8

ඕස්ට්‍රේලියාව - ඩොලර් මිලියන 25.0

කැනඩාව - ඩොලර් මිලියන 18.1

බෙල්ජියම - ඩොලර් මිලියන 9.9

එකතුව - ඩොලර් මිලියන 5,641.9

ණය බවට පරිවර්තනය කෙරෙන 2022 වසර අවසානය දක්වා නොගෙවා එකතු වී ඇති පොලී මුදල් ප්‍රමාණයද සමඟ මෙම මුදල ඩොලර් බිලියන 5.8ක් පමණ වෙනවා.

මෙම ණය ආපසු ගෙවීම සඳහා 2027 අවසානය දක්වා සහන කාලයක් ලබාගෙන තිබෙනවා. 2023 වසර තුළ නොගෙවා පැහැර හැර තිබෙන පොලී මුදල් වලින් 50%ක් 2024 ජූලි මාසයේදීද ඉතිරි 50% 2025 ජූලි මාසයේදීද ආපසු ගෙවීමට නියමිතයි. ඉන් පසුව, 2042දී මෙම ණය ගෙවා අවසන් කරන තුරු හිඟ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය 2%ක උපරිමයකට සීමා කර තිබෙනවා. මුල් ණය අරගෙන තිබෙන්නේ 2%කට වඩා අඩු පොලියකටනම් දිගටම ගෙවාගෙන යන්නේ එම අඩු පොලියයි. එමෙන්ම 2028-2034 කාලය තුළ ආපසු ගෙවන්නේ වසරකට ඩොලර් මිලියන 174ක් පමණයි.

චීන ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

මෙහිදී චීන ණය ලෙස සැලකෙන්නේ චීන එක්සිම් බැංකුවෙන් හා චීන රජයෙන් ලබාගෙන තිබෙන ඩොලර් බිලියන 4.2ක් පමණ වන ණය ප්‍රමාණය සහ එම ණය වෙනුවෙන් 2023 වසර අවසානය දක්වා ගෙවිය යුතු පොලියයි. 

චීන එක්සිම් බැංකුවෙන් 2024 මාර්තු අවසානය වන විට ඩොලර් මිලියන 3,993.0ක ණය ප්‍රමාණයක්ද, චීන රජයෙන් තවත් ඩොලර් මිලියන 13.8ක්ද ලෙස ඩොලර් මිලියන 4,006.8ක් ලබා ගෙන තිබුණා. ණය බවට පරිවර්තනය කෙරෙන 2023 වසර අවසානය දක්වා ගෙවිය යුතු පොලියද සමඟ මෙම මුදල ඩොලර් බිලියන 4.2ක් පමණ වෙනවා.

මෙම ණය ආපසු ගෙවීම සඳහාද 2027 අවසානය දක්වා සහන කාලයක් ලබාගෙන තිබෙනවා. එම කාලය තුළ එක්සිම් බැංකුවේ ණය වෙනුවෙන් 1.5% දක්වා වන පොලියක් ගෙවිය යුතු අතර ඉන් පසුව එම පොලිය 3.2% දක්වා ඉහළ යනවා. චීන රජයේ ණය වෙනුවෙන් 2%ක පොලියක් ගෙවිය යුතුයි. 2035 වසර දක්වා වසරකට ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් මිලියන 126කට සීමා වන අතර මේ අනුව 2034 වසර දක්වා චීන එක්සිම් බැංකුවට, ඉන්දියාවට, හංගේරියාවට හා පැරිස් සංසදයේ රටවල් 15කට ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය වසරකට ඩොලර් මිලියන 300කට සීමා වෙනවා.

ඒ කියන්නේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරද?

බොහෝ දුරට ඉවරයි. නමුත් චීන ණය කියන්නේ එක්සිම් බැංකුවෙන් හා චීන රජයෙන් ලබාගත් ණය පමණක් නෙමෙයි. චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 538.8ක මුදලක්ද ශ්‍රී ලංකා රජය විසින් වර්ග කර තිබෙන්නේ ද්විපාර්ශ්වීය ණය ලෙසයි. හොංකොංහි HSBC බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 123.1ක මුදලක්ද චීන ද්විපාර්ශ්වීය ණය ලෙස වර්ග කර තිබෙනවා. මීට අමතරව සවුදි අරාබියෙන් ඩොලර් මිලියන 148.0ක්, කුවේටයෙන් ඩොලර් මිලියන 95.3ක්, පකිස්ථානයෙන් ඩොලර් මිලියන 2.1ක් හා ඉරානයෙන් ඩොලර් මිලියන 32.9ක් ද්විපාර්ශ්වීය ණය ලෙස ලබා ගෙන තිබෙනවා. මේ අනුව, චීන නොවන ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය වන ඩොලර් මිලියන 278ක් පමණ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන වෙනම ගිවිසුම් අත්සන් කළ යුතුව තිබෙනවා. මෙය සාපේක්ෂව කුඩා ප්‍රමාණයක්.

චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබෙන ඩොලර් මිලියන 2,185.9ක මුදලක් වර්ග කර තිබෙන්නේ වාණිජ ණය ලෙසයි. මෙම මුදලද සමඟ චීන සංවර්ධන බැංකුවට ගෙවිය යුතු හා ප්‍රතිව්‍යුහගත කර ගත යුතු මුදල ඩොලර් මිලියන 2,724.7ක් වෙනවා. මෙම මුදලට පසුගිය වසර වල නොගෙවා පැහැර හැර තිබෙන පොලී මුදල්ද එකතු කළ යුතුයි. එවිට මුළු මුදල ඩොලර් බිලියන 3.2ක් පමණ වෙනවා. මේ හා අදාළ සාකච්ඡාද මේ වන විට සෑහෙන දුරකට අවසන්ව තිබෙනවා. 

ඉහත විස්තර කළ පරිදි ද්විපාර්ශ්වික ණය වලින් වැඩි කොටසක් මේ වන විට ප්‍රතිව්‍යුහගත කර අවසන්ව ඇති අතර ඉතිරි ප්‍රමාණය හා අදාළවද ඉතා ඉක්මණින් ගිවිසුම් අත්සන් කෙරෙනු ඇතැයි සිතිය හැකියි. පැරිස් සංසදයේ රටවල්, ඉන්දියාව, හංගේරියාව හා චීනය සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව ඉතිරි ද්විපාර්ශ්විය ණයහිමියන් සමඟද සංසන්දනාත්මක ගිවිසුම් අත්සන් කරන්නට සිදු වෙනවා. ඒ අනුව, එම ණයද 2027 වසර දක්වා ආපසු ගෙවීමක් සිදු විය නොහැකියි.

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය බර අඩු වෙන්නේ කොහොමද?

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ක්ෂණිකව ණය අඩු වෙන්නේ නැහැ. පසුගිය දෙවසර තුළ නොගෙවූ පොලී වලින් කොටසක්ද ණය ලෙස වර්ග කෙරෙන නිසා ක්ෂණිකව ණය ප්‍රමාණයේ යම් වැඩි වීමක් විය හැකියි. නමුත් පොලී වියදම් අඩු වීම නිසා ඉදිරි වසර වලදී ණය බර සැලකිය යුතු ලෙස අඩු වීමක් වෙනවා. මෙහිදී ණය අඩු වීම සලකා බලන්න වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවීනම් ණය කොපමණ ඉහළ යා හැකිද යන්නට සාපේක්ෂවයි. එහෙම නැතුව ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. ණය කොහොමටත් එන්න එන්නම වැඩි වෙනවා. ඇතැම් විදේශ මාධ්‍ය විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ඩොලර් බිලියන පහක පමණ ණය බරඅඩු වීමක් සිදු වෙනවා. මෙය ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ චීන ණය සඳහා ගෙවිය යුතු වූ පොලිය සීමා වීම නිසා.

වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ ප්‍රගතිය කෙසේද?

වාණිජ ණය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකින් සමන්විතයි. එක් කොටසක් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබෙන වාණිජ ණයයි. දෙවන කොටස ස්වෛරිත්ව බැඳුම්කරයි. මේ වන චිට ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් අතරින් ප්‍රධාන බැඳුම්කරහිමියන් කණ්ඩායමක් සමඟ එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා. ඔවුන් සතු බැඳුම්කර ප්‍රමාණය 50% ඉක්මවන අතර දේශීය ආයෝජකයින් සතුව තවත් 12%ක පමණ බැඳුම්කර ප්‍රමාණයක් තිබෙනවා. මේ අනුව, ස්වේච්ඡා ණය හුවමාරුවකට 66% ඉක්මවන බැඳුම්කරහිමියන් පිරිසක් කැමති කර ගැනීම අසීරු කාර්යයක් නෙමෙයි. එවිට ඉතිරි පිරිසට බහුතරයේ කැමැත්ත පිළිගන්නට සිදු වෙනවා.

බැඳුම්කරහිමියන් සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය කුමක්ද?

බැඳුම්කරහිමියන් නව දෙනෙකු සමඟ මේ වන විට ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව 2029 වසර වන තුරු බැඳුම්කර වල මුහුණත අගය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ. එම කාලය තුළ, එනම් 2024 සිට 2028 දක්වා, දැනට නොගෙවා පැහැර හැර ඇති ඩොලර් මිලියන 1,678ක කූපන් පොලී මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ආපසු ගෙවනු ලබනවා. වසරකට ඩොලර් මිලියන 300කට තරමක් වැඩි මුදලක්. 

ඉන් පසුව, එනම් 2029 සිට 2038 දක්වා වසර දහයක කාලය තුළ බැඳුම්කර වල මුහුණත අගය ආපසු ගෙවන ආකාරය තීරණය වන්නේ 2025-2027 කාලය තුළ ආර්ථිකයේ ප්‍රමාණය කොපමණ වේද යන්න මතයි. එම කාලයේ සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබෙන ඩොලර් ඩොලර් බිලියන 88.6ක් වුවහොත් ආපසු ගෙවිය යුත්තේ මුහුණත අගයෙන් 72%ක් පමණයි. ඒ කියන්නේ 28%ක ණය කප්පාදුවක්. එහෙත් යම් හෙයකින් සහ එම වසර තුනේ ආර්ථික වර්ධනය 11.1% ඉක්මවුවහොත් සහ ඒ නිසා සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු මට්ටම් ඉක්මවා ඉහළ ගියහොත් කප්පාදු කෙරෙන ණය ප්‍රමාණය ක්‍රමයෙන් 15% දක්වා අඩු වෙනවා. අනෙක් අතට, ආර්ථිකය අපේක්ෂිත මට්ටමට වර්ධනය නොවුවහොත් 40.4% දක්වා වන ණය කප්පාදුවක් සිදු වෙනවා.

මේ එකඟතාවය අනුව ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. බොහෝ විට ඉදිරි සති කිහිපය තුළ මේ සඳහා අයදුම්පත් කැඳවීමක් සිදු විය හැකියි. අයදුම් කිරීම සඳහා මාසයක් පමණ කල් ලබා දෙන්නට ඉඩ තිබෙන නිසා එය අවසන් වීමට මාස දෙකකට කිට්ටු කාලයක් යා හැකියි. මෙහිදී ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු හුවමාරුව සඳහා අයදුම් කරනු ඇති අතර, දේශීය ණයහිමියන්ද එසේ අයදුම් කිරීමට නියමිතයි. ඉතිරි ණයහිමියන් සියලු දෙනාම අයදුම් කිරීමේ ඉඩක් නැතත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අයදුම් නොකර සිටින්නට හේතුවක් නැහැ.

වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය බර අඩු වෙන්නේ කොහොමද?

ද්විපාර්ශ්වීය ණය වලදී මෙන් නොව මෙහිදී මුහුණත අගය කප්පාදු කිරීමක් සිදු වන බැවින් ක්ෂණිකව යම් ණය අඩු වීමක් සිදු වන නමුත් දැනට පැහැර හැර ඇති කූපන් පොලී බැඳුම්කර බවට පරිවර්තනය වන බැවින් එම අඩු වීමෙන් යම් කොටසක් නිශේධනය වෙනවා. දිගුකාලීනවනම් විශාල වාසියක් සිදු වෙනවා.

මේ තත්ත්වය ඩොලරයක මිල කෙරෙහි කෙසේ බලපායිද?

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වෙද්දී දැනට නොගෙවන ණය ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ අනුව, ඩොලර් අවශ්‍යතාවය දැනට පවතින තත්ත්වයට සාපේක්ෂව ඉහළ යනවා. නමුත් 2027 දක්වා ගෙවන්නට සිදු වන්නේ පොලී හා නොගෙවූ පොලී පමණයි. ද්විපාර්ශ්වීය ණය වල පොලී ලෙස වසරකට ඩොලර් මිලියන 150ක පමණ මුදලක්ද, පැහැර හැර ඇති කූපන් පොලී ලෙස තවත් ඩොලර් මිලියන 350ක්ද, ඉදිරි වසර වල පොලී ලෙස වසරකට ඩොලර් මිලියන 500ක් පමණද ලෙස ගත්තොත් මෙය ඩොලර් බිලියනයක පමණ අවශ්‍යතාවයක්. වාහන ආනයනය වෙනුවෙන් වසරකට තවත් ඩොලර් බිලියනයක්වත් අවශ්‍ය වෙනවා. ඒ නිසා, ඩොලරයක මිල මත යම් උඩුකුරු තෙරපුමක් ඇති විය හැකි නමුත් ණය හා ආයෝජන ලෙස මෙම විදේශ විණිමය ප්‍රමාණය හෝ එයින් සැලකිය යුතු කොටසක් රටට පැමිණිය හැකි බැවින් ඩොලරයක මිල මත විශාල පීඩනයක් ඇති වීමේ ඉඩක් නැහැ.

දැන් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් වෙනස්වෙලාද?

තවම නැහැ. මෙය සිදු වනු ඇත්තේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුවයි. ඒ සඳහා මාස දෙකක පමණ කාලයක් යා හැකි බව අපගේ ඇස්තමේන්තුවයි. කෙසේ වුවත් දැන් මෙය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

Friday, May 3, 2024

ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත


මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණයහිමියන්ගේ විෂමජාතිත්වයයි (heterogeneity). 

ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් අතර ගිජුළිහිණි අරමුදල් ආදියද තිබෙනවා. ණය අවදානම හොඳටම වැඩි වූ අවස්ථා වලදී කුණු කොල්ලයට බැඳුම්කර මිල දී ගන්නා ගිජුළිහිණි අරමුදල් විසින් ඉන් පසුව උත්සාහ කරන්නේ කෙසේ හෝ පුළුවන් තරම් වැඩි මුදලක් ආපසු ගැනීමටයි. ඔවුන්ව ස්වේච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ කර ගැනීම කළ නොහැකි තරම් අසීරු කාර්යයක්. 

ලෝක මූල්‍ය වෙළඳපොළේ "ගුරුත්ව කේන්ද්‍රය" නිවුයෝර්ක් නගරය බව කිසිවෙකුට මග හැර යා නොහැකි ඇත්තක්. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රාජ්‍යයන් විසින් දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර වලින් 52%ක්ම නිකුත් කර තිබෙන්නේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ නීතිය යටතේයි. මෙම නීතිය අනුව, ඇමරිකාවේ ෆෙඩරල් රජයට වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් මත බලපෑමක් කළ නොහැකියි. 

පවතින නීතිමය තත්ත්වය තුළ ගිජුලිහිණි අරමුදල් වලට හෝ වෙනත් ණයහිමියෙකුට "මස් රාත්තලම" ඉල්ලමින් නිවුයෝර්ක් අධිකරණයේ සටන් කළ හැකියි. අධිකරණයක් සාධාරණත්වය තීරණය කරන්නේ පවතින නීති රාමුවට අනුගත වන්නේද යන පදනම මතයි. ඒ නිසා, මෙවැනි ඉල්ලීමක වැඩි වාසිය ණයහිමියන්ට ලැබෙන එක නොවැලැක්විය හැකි දෙයක්. 

කෙසේ වුවත්, මේ වන විට නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත්ව ඇති "ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත" සම්මත වුවහොත් එය ක්‍රීඩාවේ නීති වෙනස් කරන්නක් බවට පත් වෙනවා. පණත කලට වේලාවට සම්මත වුවහොත් එයින් ක්ෂණික හා වැඩිම වාසිය ලැබෙන්නේ ලංකාවටයි. ලංකාවට ඉතාම වැදගත් මේ පණත ගැන ලංකාවේ කිසිදු ප්‍රධාන හෝ වෙනත් මාධ්‍යයක සටහන්ව තිබෙනු මා දැක්කේ නැහැ. මට මග හැරුණා වෙන්න පුළුවන්. 

තවත් මාසයකින්, එනම් ජූනි 2 දින, නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකයේ සභාවාරය අවසන් වෙනවා. මෙම පණත ඊට පෙර ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකෙන්ම සම්මත කරගෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ අත්සන ලබා ගැනීම එය ඉදිරිපත් කර ඇති ගුස්ටවෝ රිවේරා ඇතුළු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ගේ ඉලක්කයයි. එහෙත්, තවමත් මෙම පණත කාරකසභා අවස්ථාවේ සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන නිසා එය සම්මත වීමට පෙර සභාවාරය අවසන් වීමට ඉඩකඩ වැඩියි. 

මේ පණත සම්මත වුවහොත් ලංකාවට ලැබෙන වාසි මොනවාද?

පණතේ ප්‍රතිපාදන අනුව, ලංකාව වැනි ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ඇති රටකට නිවුයෝර්ක් අධිකරණයෙන් දෙආකාරයක සහන ඉල්ලා සිටිය හැකි වෙනවා.

1) සමානාත්මතා පදනම මත සහනයක් ඉල්ලීම- මේ සහනය අනුව පෞද්ගලික ණයහිමියකුට ඉල්ලා සිටිය හැකි උපරිම මුදල ඇමරිකන් ෆෙඩරල් රජය විසින් ලංකාවට (හෝ වෙනත් එවැනි රටකට) ලබා දී ඇති ණය සඳහා ලබා දෙන සහනයට වඩා අඩු නොවන සහනයක් ලැබෙන මට්ටමක් විය යුතුයි. ඊට වඩා වැඩි මුදලක් ආපසු ඉල්ලිය නොහැකියි.

2) ණය ගෙවීමේ හැකියාවක් නැතිකම මත සහනයක් ඉල්ලීම- මෙය බංකොලොත් වූ සමාගමකට ලබාගත හැකි සහනයට තරමක් සමානයි. මෙම සහනය ලැබුණහොත් ස්වාධීන නිරීක්ෂකයෙකුගේ අධීක්ෂණයට යටත්ව ලංකාවට (හෝ වෙනත් එවැනි රටකට) තමන්ගේම ඒකපාර්ශ්වීය යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා, ණය ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් දෙකක අයිතිය තිබෙන ණයහිමියන්ගේ සහයෝගය ලැබුණහොත් සහ ණය ආපසු ඉල්ලා අධිකරණයට ඉල්ලීම් කරන පාර්ශ්ව වලින් 50%ක අනුමැතිය ලැබුණහොත්, එම ඒකපාර්ශ්වීය යෝජනාව බලාත්මක වෙනවා.

මේ යෝජනාවට සහයෝගය දෙන ලෙස ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින් ඇතුළු විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, රටවල් ගණනාවක හිටපු රාජ්‍ය නායකයින්, බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික නායකයින් ආදීන්ගෙන් සමන්විත පිරිසක් විසින් නිවුයෝර්ක් ව්‍යවස්ථාදායකයින්ගෙන් විවෘත ලිපියක් මගින් විශේෂ ආයාචනයක් කර තිබෙනවා. ලංකාවේ හිටපු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ නමද මෙම ඉල්ලීම කර ඇති අයගේ නම් අතර දැකිය හැකියි.

Wednesday, April 17, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල


අපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම යෝජනාවට කැමති වුවහොත් වැඩේ එතැනින්ම අහවරයි. 

ලංකාවට මීට වඩා වාසිදායක යෝජනාවකට මිසක් අවාසිදායක යෝජනාවකට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනට පවතින තත්ත්වය ලංකාවේ පැත්තෙන් බැලූ විට, පැවතිය හැකි නරකම තත්ත්වය ලෙස සලකන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත්, අවම වශයෙන් මෙම අප්‍රේල් යෝජනාවෙන් ලංකාවට ලැබෙන වාසි ටික ලංකාවට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

ඒ වගේම, බැඳුම්කරහිමියන් විසින් ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා රජයේ යෝජනාව, බැඳුම්කරහිමියන්ගේ මාර්තු යෝජනාව හා ඔවුන්ගේ මෙම අප්‍රේල් යෝජනාව අතර පොදු කරුණු ගණනාවක් තිබෙනවා. දැනටමත් දෙපාර්ශ්වය එකඟ වී තිබෙන මෙම පොදු කරුණු ඉදිරියේදී වෙනස් වීමට ඉඩක් නැහැ. 

ඔය කොයි යෝජනාව අනුව වුනත්, 2028 වසර වන තුරු ලංකාව ණය ගෙවන්න පටන් ගන්නේ නැහැ. දැනට ගෙවා නැති පොලී කොටස වුවද ගෙවන්නේ කොටස් වශයෙනුයි. යෝජනා වෙනස් වන්නේ එයින් පසුව කාලය හා අදාළවයි. ඒ අනුව, මෙම අප්‍රේල් යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ලංකාවට පොලී ගෙවීම සඳහා කොපමණ අමතර මුදලක් අවශ්‍ය වෙනවාද?

පසුගිය වසර අවසන් වන විට ගෙවා නොතිබුණු කූපන් පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 1,678ක්. මෙම මුදල ආපසු ගෙවන්නට යෝජනා වී තිබෙන්නේ පහත පරිදියි.

2024 - ඩොලර් මිලියන 336

2025 - ඩොලර් මිලියන 336

2026 - ඩොලර් මිලියන 336

2027 - ඩොලර් මිලියන 336

2028 - ඩොලර් මිලියන 336

ඉන් පසුව, 2029-2038 අතර කාලය තුළ ණය ආපසු ගෙවිය යුතුයි. ඩොලර් මිලියන 12,550ක් වන මුළු ණය ප්‍රමාණයෙන් 28%ක් කපා හැරෙන අතර ආපසු ගෙවන්නේ ඩොලර් මිලියන 9,036ක් පමණයි. ඒ පහත දැක්වෙන පරිදියි.

2029 - ඩොලර් මිලියන 650

2030 - ඩොලර් මිලියන 650

2031 - ඩොලර් මිලියන 900

2032 - ඩොලර් මිලියන 900

2033 - ඩොලර් මිලියන 900

2034 - ඩොලර් මිලියන 800

2035 - ඩොලර් මිලියන 800

2036 - ඩොලර් මිලියන 1250

2037 - ඩොලර් මිලියන 1093

2038 - ඩොලර් මිලියන 1093

කෙසේ වුවද, මෙම 28% ණය කප්පාදුව සිදු වන්නේ IMF එක විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි 2025-2027 කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 84.2 මට්ටමේ පැවතුනොත් පමණයි. දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඊට වඩා වැඩි වුවහොත් කප්පාදු කෙරෙන ප්‍රමාණය 7.3% දක්වා ක්‍රමයෙන් අඩු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඉලක්ක අගයට වඩා අඩු වුවහොත් කප්පාදු කෙරෙන ප්‍රමාණය 54.7% දක්වා ක්‍රමයෙන් වැඩි වෙනවා. 

මෙම අවසන් කොටස පිළිබඳව තවමත් එකඟතාවයක් ඇති කරගෙන නැති නිසා ඒ ගැන කතා කතා කරන එක අපි පසුවට තබමු. නමුත්, එක දෙයක් දැනටමත් තීරණය වී අවසන්. ඒ, 2029 වසර දක්වා ණය ආපසු ගෙවීමක් සිදු නොකෙරෙන බවයි.

කෙසේ වුවත්, ඉහත සඳහන් ඩොලර් මිලියන 9,036ක ණය මුදල වෙනුවෙන් මෙන්ම හිඟ කූපන් පොලී ගෙවා අවසන් කරන තුරු ඒ වෙනුවෙන්ද වාර්ෂිකව ආසන්න වශයෙන් 4%ක පමණ පොලියක් ගෙවන්නට සිදු වෙනවා. එම මුදල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 400ක් පමණ. 2024 වසර සැලකුවහොත් ඩොලර් මිලියන 428ක පමණ මුදලක්. මෙම මුදලට ඉහත සඳහන් ඩොලර් මිලියන 336ක හිඟ කූපන් පොලී මුදල එකතු කළ විට මෙම වසර තුළ පොලී ගෙවීම සඳහා අමතර ඩොලර් මිලියන 764ක මුදලක් අවශ්‍ය වෙනවා. 2028 දක්වා ඉදිරි වසර වලදීද මීට ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා.

මීට අමතරව ඩොලර් මිලියන 10,810ක ද්විපාර්ශ්වීය ණය ඉතා ඉක්මණින් ප්‍රතිව්‍යුහගත කර අවසන් කෙරෙනු ඇති අතර දැනට තිබෙන තොරතුරු අනුව මෙම ණය ආපසු ගෙවන තුරු වාර්ෂිකව 2%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 216ක් අවශ්‍ය වෙනවා. චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන තිබෙන ඩොලර් මිලියන 2,191ක මුදල වෙනුවෙන් 4%ක වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකි අතර එසේ වුවහොත් ඒ සඳහා තවත් ඩොලර් මිලියන 88ක් පමණ අවශ්‍ය වෙනවා.

මේ සියල්ල එකතු කළ විට, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ විට, ණය ගෙවීම අරඹන්නට පෙර කාලය තුළ, වාර්ෂික පොලී ගෙවීම් ලෙස ඩොලර් මිලියන 1,068ක පමණ අමතර විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ආසන්න වශයෙන් මාසයකට ඩොලර් මිලියන 100කට කිට්ටුයි. 

මීට අමතරව මහ බැංකුවට සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්කයක්ද තිබෙනවා. එහෙත්, වාහන ආනයන සිදු නොකරන්නේනම්, ඉහත පොලී වියදම් වලින් පසුවද දැනට පවතින තුලනය පවත්වා ගැනීම අසීරු නැහැ. නමුත් කලින් මෙන් විවෘත ලෙස වාහන ආනයනයට ඉඩ දිය හැකි තත්ත්වයක් තවමත් නැහැ. යම් තරමක විවෘත කිරීමක් සඳහා අවකාශ තිබෙනවා. 

කෙසේ වුවද, විණිමය වෙළඳපොළ හා අදාළව මතුවන තාවකාලික අමතර ප්‍රශ්නයක් තිබෙනවා. 

ඩොලර් මිලියන 12,550ක ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් මිලියන 1,750ක පමණ ප්‍රමාණයක ආයෝජනය කර තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් විසිනුයි. බොහෝ දුරට මේ ආයෝජන කර තිබෙන්නේ බැංකු විසින්. දැන් තිබෙන තත්ත්වය තුළ, 2029 වසර දක්වා ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙනාවක් මෙන්ම එසේ ලැබෙන්නේද ලැබිය යුතුව තිබුණු මුදලින් 72%ක් පමණයි. ඒ කියන්නේ ඔවුන්ට ඩොලර් මිලියන 500ක පමණ පාඩුවක් සිදු වෙනවා. ඊට අමතරව ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට වෙනවා.

මෙම තත්ත්වය තුළ බැංකු විසින් ඉදිරි මාසයක හෝ දෙකක පමණ කාලය තුළ තමන්ගේ විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා ඩොලර් එකතු කරන්නට ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ නැවතත් ඩොලරයක මිල මත පීඩනයක් ඇති වීමයි. කෙසේ වුවද මෙය තාවකාලික තත්ත්වයක් වන අතර බැංකු විසින් ප්‍රමාණවත් විදේශ සංචිත එකතු කර ගැනීමෙන් පසුව ඩොලරයක මිල නැවතත් ස්ථාවර වීමට නියමිතයි.  

Tuesday, April 16, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී ඇත්තේ නැවත සාකච්ඡා ආරම්භ කරන දිනයක් පිළිබඳව එකඟතාවයක් නැතිවයි. ඒ අනුව, මෙම කටයුත්ත ඉක්මණින් අවසන් වීමේ ඉඩක් මේ මොහොතේ පෙනෙන්නට නැහැ. 

මේ තත්ත්වය සාකච්ඡා බිඳ වැටීමක් සේ සැලකිය නොහැකි වුවත් ණයහිමියන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමක් සේ හඳුනා ගත හැකියි. ඒ අනුව, ශ්‍රී ලංකා රජයට මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා තව දුරටත් නම්‍යශීලී වීමට සිදු වෙනවා. මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, පසුගිය සති තුනකට වැඩි කාලය තුළ එක දිගටම පහළ ගිය ඩොලරයක මිල එහි ප්‍රවණතාව වෙනස් කර තිබෙන නමුත් කරුණු විමසා බලන විට ඒ තරම්ම කලබල වෙන්නට තරම් හේතු පෙනෙන්නේ නැහැ. 

ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන අයට ඒ සඳහා අයදුම් කිරීමට පසුගිය අප්‍රේල් 10 දින දක්වා කාලය ලබා දී තිබුණා. ඔවුන්ගේ විමසීම් වලට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කර තිබුනේ ඔවුන්ට පත් වීම් ලැබුණු වහාම "වැඩ පටන් ගන්නට" සිදු වනු ඇති බවයි. මේ අනුව පෙනී යන්නේ පැවති සාකච්ඡා සාර්ථක ලෙස අවසන් වනු ඇති බව ශ්‍රී ලංකා රජය විසින් විශ්වාස කළ බවයි. 

පසුගිය සති කිහිපය තුළ රහසිගතව සිදු වූ සාකච්ඡා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එයින් පෙනී යන්නේ එම සාකච්ඡා ඉලක්ක කළ කාල රාමුව තුළ සාර්ථක ලෙස අවසන් නොවීම නිසා ඇති වූ ඉච්ඡා භංගත්වය විය හැකිවාක් මෙන්ම මෙම ක්‍රියාවලියේ අවසානය කිට්ටුවටම දැනටමත් පැමිණ අවසන් නිසා තවත් හංගන්නට දෙයක් නොමැති වීමද විය හැකියි. 

සාකච්ඡා වල ප්‍රගතිය ඇණහිට ඇති බවක් මතුපිටින් පෙනුණත්, ණයහිමියන් සමඟ මේ වන විට සෑහෙන මට්ටමක එකඟතාවයක් ඇති කර ගෙන තිබෙන බැවින් මෙම ක්‍රියාවලියේ අනාගතය පිළිබඳව ඕනෑවට වඩා කනස්සළු විය යුතු නැහැ. එමෙන්ම, ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ සිදු කෙරෙන සාකච්ඡාද මේ වන විට අවසන් අදියර ආසන්නයට පැමිණ තිබෙනවා.

මෙම සාකච්ඡා පැවතුණේ ප්‍රධාන ණයහිමියන් දහ දෙනෙකුගේ කමිටුවක සාමාජිකයින් නව දෙනෙකු සමඟයි. ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 50%කට වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ මෙම දහ දෙනා සතුව බැවින් සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම ඉතාම වැදගත්. ඔවුන් අතරින්ද එක් අයෙකු සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර නොමැති බව පෙනී යනවා. 

මෙහිදී සිදුව ඇති දේ පහත පරිදි සාරාංශගත කළ හැකියි. 

- 2024 මාර්තු 27 හා 28 දින වල පැවති සාකච්ඡා වලට පෙර ණයහිමියන් (ඉහත ණයහිමියන් නව දෙනා) විසින් 2024 මාර්තු 11 දින ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා.

- ශ්‍රී ලංකාව විසින්ද 2024 මාර්තු 25 දින තමන්ගේ යෝජනා ණයහිමියන් වෙත ලබා දී ඇති අතර ණයහිමියන් විසින් එම යෝජනා එක හෙළාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

- මේ අනුව, සාකච්ඡා පාදක කර ගෙන තිබෙන්නේ ණයහිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනා මතයි. 

ඉහත තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ යෝජනා (මේ වන විට ප්‍රසිද්ධ කර ඇතත්) පිළිබඳව විස්තර කතා කිරීමේ තේරුමක් නැති නිසා ණයහිමියන්ගේ මාර්තු යෝජනා සාරාංශගත කළහොත් එම යෝජනා වල මූලික කරුණු මෙසේයි.

- මුහුණත අගයෙන් 20%ක් කප්පාදු කෙරෙන අතර හිඟ පොලී කප්පාදු කිරීමක් කෙරෙන්නේ නැහැ.

- හිඟ පොලී බැඳුම්කර වලට පරිවර්තනය කර 2024-2028 අතර ගෙවා අවසන් කෙරෙන අතර එම කාලය තුළ 4%ක කූපන් පොලියක් ගෙවිය යුතුයි.

- මුහුණත අගය ආපසු ගෙවිය යුත්තේ 2029-2040 කාලය තුළයි. මෙම ණය වෙනුවෙන් 7.00%-8.25% අතර ක්‍රමයෙන් වැඩි වන වාර්ෂික කූපන් පොලියක් ගෙවිය යුතුයි. 2027 දක්වා එසේ ගෙවිය යුතු පොලියෙන් 3%ක් මුදලින් ආපසු ගෙවිය යුතු නැහැ. එම පොලිය පසුව ආපසු ගෙවිය හැකියි. එම කාලය තුළ මුදලින් ගෙවිය යුතු පොලිය 4.00%-4.50%ට සීමා වෙනවා. 

මෙම ඉල්ලීම ලංකාවේ පැත්තෙන් අසාධාරණ බව බැලු බැල්මටම කෙනෙකුට කියන්නට පුළුවන්. නමුත්, ණයහිමියන්ගේ තර්කය වන්නේ ඉදිරි වසර වලදී ලංකාවේ ආර්ථිකය IMF පුරෝකථන ඉලක්ක ඉක්මවා වර්ධනය වනු ඇති බවයි. ඔවුන් ඉහත ගෙවීම් ඉල්ලා සිටින්නේ ණය ආපසු ගෙවිය හැකි පරිදි රටේ ආර්ථිකය වර්ධනය වුවහොත් පමණයි. එසේ නොවුවහොත්, ලබා ගන්නා පොලී අනුපාතික අඩු වන අතර මුහුණත අගයද තව දුරටත් කප්පාදු කෙරෙනවා.

දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව ආපසු ගෙවිය යුතු මුහුණත අගය අඩු වෙන්නේ පහත ආකාරයටයි.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3ට වැඩිනම් - 20%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 84.2- 86.3 අතරනම් - 20%කට අමතරව තවත් 11%ක කප්පාදුවක්. 

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 - 84.2 අතරනම් - 20%කට අමතරව තවත් 19%ක කප්පාදුවක්. 

ඇමරිකන් ඩොලර් බිලියන 80.5ට අඩුනම් - 20%කට අමතරව තවත් 36%ක කප්පාදුවක්. 

මේ ආකාරයෙන්ම දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව 2028 සිට ගෙවිය යුතු කූපන් පොලී අනුපාතිකයද පහළ යනවා. 

ඇමරිකන් ඩොලර් බිලියන 93.9ට වැඩිනම් - 8.2%ක්.

ඇමරිකන් ඩොලර් බිලියන 90.1- 93.9 අතරනම් - 7.3%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3- 90.1 අතරනම් - 6.1%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 - 86.3 අතරනම් - 5.4%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5ට අඩුනම් - 5%ක් පමණයි. 

මෙම යෝජනාවෙන් අදහස් වන්නේ සාර්ව-ආර්ථික දර්ශක හා බැඳුනු බැඳුම්කර නිකුත් කිරීමක්. යෝජනාවේ මෙම කොටසෙහි පරාමිතීන් වලට ශ්‍රී ලංකා රජය එකඟ වී නැහැ. එහෙත් ණයහිමියන් විසින් තර්ක කර තිබෙන්නේ මෙම යෝජනාව ඉතාම සාධාරණ බවයි.

පසුව ණයහිමියන් විසින් යහපාලන දර්ශක හා බැඳුනු බැඳුම්කර පිළිබඳ අදහස මතු කර තිබෙන අතර ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් එයට යහපත් ප්‍රතිචාර දැක්වීමෙන් පසුව 2024 අප්‍රේල් 3 දින අදාළ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව සාර්ව-ආර්ථික දර්ශක හා බැඳුනු බැඳුම්කර පිළිබඳ සංශෝධිත යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. මෙම සංශෝධිත යෝජනාව මුල් යෝජනාවෙන් වෙනස් වන්නේ එහි පරාමිතීන් වෙනස් වීම මත පමණයි. ආකෘතියෙහි වෙනසක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුනහොත් ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට එකඟ වීමට ඉඩ තිබෙනවා. 

බැඳුම්කරහිමියන්ගේ අප්‍රේල් යෝජනා පහත පරිදි සාරාංශගත කළ හැකියි. 

දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව ආපසු ගෙවිය යුතු මුහුණත අගය හා 2028-2038 අතර ගෙවිය යුතු කූපන් පොලී අනුපාතික වෙනස් වෙන්නේ පහත ආකාරයටයි. මෙම යෝජනාව අනුව 2038 වන විට සියලු ණය ගෙවා අවසන් කෙරෙනවා.

ඇමරිකන් ඩොලර් බිලියන 96.3 නම් - 7.3%ක ණය කප්පාදුවක් සහ 8.5%ක කූපන් පොලියක්.

(ණයහිමියන්ගේ පුරෝකථනය)

ඇමරිකන් ඩොලර් බිලියන 93.9 නම් - 10.2%ක ණය කප්පාදුවක් සහ 8.1%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 90.1 නම් - 13.2%ක ණය කප්පාදුවක් සහ 7.4%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3 නම් - 22.1%ක ණය කප්පාදුවක් සහ 6.8%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 84.2 නම් - 28.0%ක ණය කප්පාදුවක් සහ 6.4%ක කූපන් පොලියක්.

(IMF වැඩසටහනේ පුරෝකථනය)

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 නම් - 41.6%ක ණය කප්පාදුවක් සහ 6.0%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 77.6 නම් - 54.7%ක ණය කප්පාදුවක් සහ 5.8%ක කූපන් පොලියක්.

ණයහිමියන් විසින් ඉදිරිපත් කරන කරුණු ඇත්තටම නිවැරදියි. ප්‍රායෝගිකව බොහෝ විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය IMF ඇස්තමේන්තුව වන ඩොලර් බිලියන 84.2 ඉක්මවීමට සහ ණයහිමියන්ගේ පුරෝකථනය වන ඩොලර් බිලියන 96.3ට ආසන්න වීමට ඉඩකඩ වැඩියි. මේ අයුරින් දදේනි ඉහළ යද්දී එහි ප්‍රතිශතයක් ලෙස ණය සේවාකරණ වියදම පහළ යනවා. ඒ නිසා, ණය තිරසාරත්වය නැති වී ඇතිය යන IMF තර්කය වලංගු නැතිව යනවා. 

ඉහත හේතුව නිසා ලංකාවට ණයහිමියන් සමඟ තර්ක කළ හැකි පදනමක් නැහැ. ලංකාව කියන විදිහට සහ IMF ඇස්තමේන්තු අනුව ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 84.2ක් පමණක් වුනොත් 28.0%ක ණය කප්පාදුවකට ඔවුන් කැමතියි. නමුත් ඇත්තටම ලංකාවේ ආර්ථිකය ඊට වඩා විශාල විය හැකි නිසා මේ යෝජනාව අනුව අවසාන වශයෙන් ලංකාවට ලොකු ණය කප්පාදුවක් නොලැබෙන්න ඉඩකඩ වැඩියි.

ඉදිරි මැතිවරණ එක්ක මෙය දේශපාලන ප්‍රශ්නයක් බවටද පත් වෙනවා. සජබ (විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා) කලින්ම මේ යෝජනාවට විරුද්ධව කතා කර තිබුණා. ඇතැම් විට මාලිමාව විසින් වුවද සජබ තර්කය ඉදිරියට අරගෙන යන්න ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයක් හමුවේ සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණයක් පිළිබඳ විශාල විශ්වාසයක් නොමැති පසුබිමක ආණ්ඩුව මේ කටයුත්ත ඉදිරි ආණ්ඩුවකටම කරගන්නට ඉඩ හරියිද? 

සංශෝධිත යෝජනාවට යෝජනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුණහොත් සහ රට තුළ විශාල දේශපාලන ප්‍රතිරෝධයක් ඇති නොවුනහොත් මේ යෝජනාව මාසයක් වැනි කාලයක් ඇතුළත ඉදිරියට යා හැකියි. එහෙත් එයින් අදහස් වන්නේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත අවසන් බව නෙමෙයි. ඇතැම් පාර්ශ්ව තව දුරටත් බැඳුම්කර හුවමාරුවකට එකඟ නොවිය හැකි බැවින් වැඩේ තවත් කාලයක් ඇදෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි. 

අනෙක් අතට ලොකු දේශපාලනික විරෝධයක් මතු වුනොත් ආණ්ඩුව වැඩේ ඉවරයක් කරන්න හදිස්සි නොවී මැතිවරණ අවසන් වන තුරු කල් මරන්න ඉඩ තිබෙනවා.

Thursday, April 11, 2024

ස්වෛරිත්ව බැඳුම්කර වල අලුත්ම තත්ත්වය


ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරු කිරීමේදී ගනුදෙනු කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන පාර්ශ්ව වලට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය ඊයේ (අප්‍රේල් 10) අවසන් වුනා. 

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය සිදුවන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. මෙහිදී දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග සමඟ හුවමාරු කෙරෙනවා. එය සිදු වන්නේ බැඳුම්කරහිමියන්ගේ කැමැත්ත මතයි. ඔවුන් මෙවැනි හුවමාරුවක් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලමින් ඒ සඳහා අයැදුම් කළ යුතුයි. මෙය දේශීය ණය (සංවර්ධන බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර) ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ දෙයට සමාන දෙයක්.

මෙවැනි කාර්යයකදී රජය විසින් මුහුණ දෙන ප්‍රධානම අවදානම "බැහැරවීමේ අවදානම (Holdout risk)" ලෙස හැඳින්වෙනවා. එයින් අදහස් වන්නේ බැඳුම්කරහිමියන්ගෙන් කොටසක් බැඳුම්කර හුවමාරු කිරීමට කැමති නොවීමයි. "සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති" අනුව බැඳුම්කරහිමියන්ගෙන් යම් අවම ප්‍රමාණයකගේ කැමැත්ත ලබා ගත හැකිනම් රජයට මෙම බැහැර වීමේ අවදානම වලක්වා ගත හැකියි.

ඉහත සඳහන් පරිදි,  බැහැර වීමේ අවදානමෙන් බැහැර වීමටනම්, පළමුව අදාළ බැඳුම්කර නිකුත් කරන විට අදාළ ගිවිසුමට "සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති" ඇතුළත්ව තිබිය යුතුයි. දෙවනුව, එම වගන්ති වල සඳහන් අවම ප්‍රතිශතය ඉක්මවන ණයහිමියන් පිරිසක් ස්වේච්ඡාවෙන් බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කළ යුතුයි. 

ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලටම සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති ඇතුළත්ව ඇත්ද යන්න පැහැදිලි නැහැ. එය එසේ නොවිය හැකියි. එය එසේ නොවුවද, දැන් ඒ සම්බන්ධව කළ හැකි දෙයක් නැහැ. කෙසේ වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලටම නොවේනම් ඒවායින් කොටසකට හෝ මෙවැනි වගන්ති ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව, බැහැර වීමේ අවදානමෙන් බැහැර වීම සඳහා ණයහිමියන්ගෙන් කිසියම් නිශ්චිත අවම ප්‍රතිශතයක් (උදාහරණයක් ලෙස 75%ක් හෝ 66.6%ක්) ස්වේච්ඡා ණය හුවමාරුවක් සඳහා අයදුම් කළ යුතුයි.

මෙසේ ණයහිමියන් සැලකිය යුතු පිරිසක් ස්වේච්ඡා ණය හුවමාරුවකට පොළඹවා ගැනීම අසීරු වැඩක්. ගාස්තුවක් ගෙවීමේ පොරොන්දුව මත ගනුදෙනු කළමනාකරුවන් බඳවා ගන්නේ මේ කටයුත්ත කිරීමටයි. ඔවුන් ඒ සඳහා අයදුම් කිරීමේදී මේ සඳහා වන තමන්ගේ යෝජනා ඉදිරිපත් කළ යුතුයි.

ගනුදෙනු කළමනාකරුවෙකු ලෙස අයදුම්කරන අයෙකුට එය කරන විදිහ පිළිබඳ තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර වලට සාපේක්ෂව එම බැඳුම්කර වල කල් පිරෙන කාලය කොයි තරම් දිගද? කූපන් පොලී හා මුහුණත අගය කොයි තරම් අඩුද? 

ඇතැම් පාර්ශ්ව විසින් තමන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයෙන් මේ පිළිබඳව විමසා තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකා රජයේ පිළිතුර වී තිබෙන්නේ තවමත් මේ දේවල් සම්බන්ධව අවසන් තීරණයකට පැමිණ නැති බවයි. එවැනි තීරණයකට පැමිණි වහාම වැඩි විස්තර දැනුම් දෙන බවද සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද, මෙම තොරතුරු ඉතා ඉක්මණින් දැනගන්නට ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

දැනට වාර්තා වී ඇති පරිදි, අවසන් තීරණය නොවිය හැකි වුවත්, ද්විපාර්ශ්වීය ණය ආපසු ගෙවීමේ කාලය 2028-2042 දක්වා දිගු කිරීමටද, වාර්ෂික පොලී අනුපාතිකය 2%කට සීමා කිරීමටද තීරණය කර තිබෙනවා. මෙය, මගේ අදහස අනුව, මුදලේ කාල වටිනාකම සැලකූ විට 20%ක පමණ ණය කප්පාදුවකට සමාන විය හැකියි. ඒ නිසා, ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් වෙතද බොහෝ විට ඊට කිට්ටුවෙන් යන යෝජනාවක් ඉදිරිපත් කරන්නට ඉඩ තිබෙනවා. 

ඔවුන්ට විකල්ප තේරීම් කිහිපයක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස මුහුණත අගය අඩු කර ඉක්මණින් ණය ආපසු ගෙවීමක් සහ මුහුණත අගය අඩු නොකර පරිණත කාලය දිගු කිරීමක් විකල්ප අතර තියෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකාව විසින් 2019 ජූනි 28 දින නිකුත් කළ, 2030 මාර්තු 30 දින කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකි ඵලදා අනුපාතිකය මේ වන විට 9.281% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. මාස 17කට පෙර (2022 නොවැම්බර් මාසයේදී) මෙම ඵලදා අනුපාතිකය පැවතුණේ 48.569% තරම් ඉහළ මට්ටමකයි. එම කාලය තුළ, ඩොලර් 100ක මුහුණත අගයක විකිණිය හැකි මිල ඩොලර් 21.211 සිට ඩොලර් 58.273 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මෙයින් පෙනෙන්නේ දැනටමත් ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළ සක්‍රිය වී බැඳුම්කර සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇති වී ඇති බව සහ ලොකු ණය කප්පාදුවක් වෙළඳපොල විසින් අපේක්ෂා නොකරන බවයි.

මේ වන විට ජාත්‍යන්තර ආයෝජකයින්ගේ අවධානය ලංකාවේ රුපියල් බැඳුම්කර වෙත යොමු වී ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කරනවා. මෙයට හේතුව විදේශ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කෙරෙද්දී කෙටිකාලීනව රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන්, භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතිකයද ඉක්මවන ප්රතිලාභ අනුපාතිකයක් ඔවුන්ට ලබා ගත හැකි වීමයි.

Monday, April 8, 2024

පෝල් සිංගර් එ. ආජන්ටිනාව


"ණයකාරයෝ අකැමති වුනත් ගෙවන්නේ නැහැ කිවුවොත් උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ නේද?"

මේක කිහිප දෙනෙක්ම අසා තිබෙන ප්‍රශ්නයක්. මේ සටහන "උන්ට කරන්න පුළුවන් දේවල්" ගැන උදාහරණයක්.

ආජන්ටිනාව කියන්නේ ආර්ථික අර්බුද ගැන කතා කරද්දී කතා නොකරම බැරි රටක්. දැන්නම් දක්ෂිණාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අය අතර ජනප්‍රිය රටක්. කොහොම වුනත් මේ සටහනෙහි දේශපාලන කරුණු කතා කරන්නේ නැහැ. 

ආජන්ටිනාව 1998-2002 අතර කාලයේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා [1]. ආර්ථිකය 28%කින් පමණ හැකිළුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 2001 වසර අවසානයේදී ආජන්ටිනාවට ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. ඒ වෙද්දී ගෙවන්න තිබුණු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 132ක් පමණ. එයින් ඩොලර් බිලියන 82ක් පමණ අරගෙන තිබුණේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා.

ආජන්ටිනාව විසින් ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරමින් කිසියම් එකඟතාවයකට එන්න උත්සාහ කළත් මේ වැඩේ සාර්ථක වුනේ නැහැ. අන්තිමට 2005 වර්ෂයේදී සාකච්ඡා පැත්තක දමලා ආජන්ටිනාව විසින් ඒකපාර්ශ්වීය ලෙස ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා.

ආජන්ටිනාව විසින් මෙම යෝජනාව ඒකපාර්ශ්වීය ලෙස ඉදිරිපත් කරන විට මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වල නොගෙවූ පොලිය විදිහට තවත් ඩොලර් බිලියන 20.8ක් එකතු වී තිබුණා. ඒ අනුව, ණයහිමියන්ට ලැබිය යුතු වූ මුදල ඩොලර් බිලියන 102.6ක්. (මීට අමතරව IMF එකට හා වෙනත් රටවලට ගෙවිය යුතු ණයත් තිබුණා.) මෙය ඉතිහාසයේ රජයක් විසින් තියපු ලොකුම පොල්ලක් කියා කියන්න පුළුවන්.

අපේක්ෂා කළ හැකි පරිදිම, ආජන්ටිනාව විසින් කළ යෝජනාව ණයහිමියන්ට බොහෝ අවාසිදායක එකක්. එහෙම නැත්නම් ප්‍රශ්නය කතා කරලා විසඳාගන්න තිබුණනේ. ඒ නිසා, ණයහිමියෝ මේ යෝජනාවට කැමති වීමේ ඉඩක් ලොකුවට තිබුණේ නැහැ. 

මේ තත්ත්වය තුළ, කොහොම හරි ණයහිමියන්ව කැමති කර ගැනීම සඳහා, ආජන්ටිනාව පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරගත්තා. එම නීතිය අනුව, ආජන්ටිනාවේ රජයට මෙම අවස්ථාව ප්‍රයෝජනයට නොගන්නා අයට අනාගතයේදී මීට වඩා හොඳ ඩීල් එකක් ලබා දිය නොහැකියි. ඒ වගේම, මේ ඩීල් එකේ දිනය අවසන් වූ පසු නැවත විවෘත කරන්නත් බැහැ. ඒ කියන්නේ දෙන දේ ගන්න වෙනවා. නැත්නම් ඒකවත් ලැබෙන්නේ නැහැ.

ඔය ඒකපාර්ශ්වීය යෝජනාව ඉදිරිපත් කරන කොට ණයහිමියන්ට වසර හතරකට කිට්ටු කාලයක් තිස්සේ තමන්ගේ ආයෝජනය වෙනුවෙන් කිසිම දෙයක් ලැබිලා නැහැ. ඒ වගේම ඔය බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම නැත්තටම නැති වෙලා නිසා ඒවා කාටවත් විකුණන්නත් බැහැ. මේ තත්ත්වය යටතේ, කොයි තරම් අවාසිදායක වුණත්, සැලකිය යුතු පිරිසක් ආජන්ටිනාවේ යෝජනාවට කැමති වුනා.

මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් බිලියන 62.3ක් ඔය විදිහට ස්වේච්ඡාවෙන් හුවමාරු වුනා. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 32.2ක අලුත් බැඳුම්කර ලබා දුන්නා. ඒ කියන්නේ මුහුණත අගයෙන් 51.7%ක්. නොගෙවූ පොලිය ගෙවීමක් සිදු වුනේ නැහැ. නමුත් හුවමාරු කර අලුතෙන් ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ආජන්ටිනාව නියම පිළිවෙළට පොලී ගෙවුවා. ඒ නිසාම, ඒ බැඳුම්කර වලට ද්වීතියික වෙළඳපොළකුත් හැදුනා.

මේ අනුව, බැඳුම්කර වලින් 76.2%ක් හුවමාරු වුනා. මුදලේ කාල වටිනාකමද සැළකු විට හුවමාරුවට කැමති වූ අයට ලැබුණේ ලැබිය යුතුව තිබුණු මුදලින් 30%ක පමණ මුදලක්. හැබැයි ස්වෛරිත්ව බැඳුම්කර වලින් 24%ක් පමණ ඔය විදිහට හුවමාරු වුනේ නැහැ. ඒ අය ගේමම ඉල්ලුවා. අධිකරණ ක්‍රියමාර්ග වලට ගියා. 

ආජන්ටිනාවේ විදේශ සංචිත ප්‍රමාණය 2002 වන විට ඩොලර් බිලියන 10.4 දක්වා අඩු වෙලයි තිබුණේ. දිගින් දිගටම සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයකුත් එහි උදවුවෙන් ජංගම ගිණුමේ අතිරික්තයකුත් පවත්වා ගැනීම මගින් මෙම සංචිත ප්‍රමාණය 2010 වන විට ඩොලර් බිලියන 52.2 දක්වා වර්ධනය කර ගැනීමට ආජන්ටිනාව සමත් වුනා. ඔය අතර 2006දී ආජන්ටිනාව විසින් IMF එකට ගෙවිය යුතුව තිබුණු ඩොලර් බිලියන 9.5ක ණය මුදලද එක පාරම ගෙවලා දැම්මා. මේ කාලයේදී ආජන්ටිනාවේ ආර්ථික වර්ධන වේගයද ඉහළ ගියා.

ඔහොම තියෙද්දී ආජන්ටිනාවට නැවත ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගන්න අවශ්‍ය වුනා. නමුත්, කලින් කරපු "වැරැද්ද" නිසා රෙද්දක් ඇඳගෙන ආපහු ණය ඉල්ලන්න අමාරු තත්ත්වයකුයි ඇති වෙලා තිබුණේ. ඒ නිසා, පාර්ලිමේන්තුව විසින් කලින් නීතිය වෙනස් කරලා කලින් සැරේ ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගත් අයට නැවත අවස්ථාවක් දුන්නා. මේ අවස්ථාවේදී පුද්ගල ආයෝජකයින්ට මුළු මුහුණත අගයම ආපසු ලැබුණා. ආයතනික ආයෝජකයින්ට එයින් 66.3%ක් ලැබුණා.

ඒ වෙද්දී කලින් අවස්ථාවේදී ණය හුවමාරුවට කැමති වුන අයට සල්ලි ලැබෙනවා. අනෙක් අයට කිසිවක් නැහැ. ඒ අයගෙන් කොටසක් අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහින් හිටියා. ඉතිරි අය ඒ අයගේ පානෙන් එළිය බලන්න බලාගෙන හිටියා. එහෙම හිටපු බොහෝ දෙනෙක් ලොකුකම පැත්තකින් තියලා දෙවන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ අනුව, මුළු ණය ප්‍රමාණයෙන් 91.3%ක් දක්වා හුවමාරු වුනා. හැබැයි ඉතිරි අය ඒ පාරත් ඩීල් එකට කැමති වුනේ නැහැ. ඒ අය දිගටම ගේමේම හිටියා.

මේ වෙද්දී හුවමාරු කර නොගැනුණු බැඳුම්කර වල මුහුණත අගය ඩොලර් බිලියන 6.8ක් වූ අතර එම කාලයට දිගටම කූපන් පොලී එකතු කළහොත් තවත් බිලියන 4.4ක් එකතු වී ඩොලර් බිලියන 11.2ක් වෙනවා. ණයහිමියන් විසින් මෙම මුදල ඩොලර් බිලියන 15ක් ලෙස ගණන් හදා තිබුණා. ඔවුන්ගෙන් කොටසක් එයින් තමන්ගේ පංගුව ලබා ගැනීම සඳහා දිගින් දිගටම අධිකරණ ක්‍රියාමාර්ග වල නියැලී සිටියා.

මෙම කාලය ඇතුළත (2012 දක්වා) අඩු වශයෙන් ණයහිමියන් හෝ කණ්ඩායම් 151ක් නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික්කයේ අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් තමන්ගේ අරමුදල් වෙනුවෙන් සටන් කළා. ඔවුන් ඉල්ලා සිටි සහනය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් උත්සාහ කළේ පාඩුව අවම වන සේ හැකි තරම් වැඩි මුදලක් ලබා ගෙන ගනුදෙනුව බේරාගන්නයි. දෙවන කණ්ඩායම උත්සාහ කළේ අන්තිම සතය දක්වා තමන් ඉල්ලන මුදල කෙසේ හෝ ලබා ගන්නයි. පළමු කණ්ඩායමේ අයගෙන් කොටසක් දෙවන වරට සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අධිකරණ ක්‍රියාමාර්ග වලින් ඉවත් වුනා. එහෙත්, ඔවුන්ගෙන් කොටසක් හා දෙවන කණ්ඩායම වැඩේ අත ඇරියේම නැහැ.

ඔය දෙවන කණ්ඩායමේ සිටියේ හෙජ් අරමුදල්. ඔවුන් මෙම බැඳුම්කර මිල දී ගෙන තිබුණේ ඒවායේ මිල කඩා වැටුණු පසුව කුණු කොල්ලයටයි. කවුරුවත් මිල දී නොගන්නා වෙලාවක ඒ විදිහට මේ බැඳුම්කර මිල දී ගන්නේම කාලයක් තිස්සේ නඩු කියා කෙසේ හෝ අධික ලාබයක් ලබා ගැනීමේ අරමුණිනුයි. පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම එවැනි අරමුදලක්. මෙවැනි අරමුදල් ඇතැම් අය විසින් වල්චර් අරමුදල් ලෙසද හඳුන්වනවා.

පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම විසින් තවත් සමාගම් හා පුද්ගලයින් 19 දෙනෙකු හා එක්ව ආජන්ටිනාවට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව අවසානයේදී ඔවුන්ට වාසිදායක ලෙස ලැබුණු අතර ආජන්ටිනාව විසින් ඩොලර් බිලියන 2.4ක මුදලක් පෙත්සම්කරුවන් වෙත ගෙවිය යුතු බව තීන්දු වුනා. 

මෙම නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ආජන්ටිනාව විසින් ඇමරිකාවේ තිබුණු ආජන්ටිනාව සතු වත්කම් ඉවත් කර ගැනීමට උත්සාහ කරද්දී ඇමරිකාවේ තිබෙන ආජන්ටිනාවේ වත්කම් එළිදරවු කර ගැනීමට ඉඩ දෙන මෙන් පෙත්සම්කරුවන් විසින් කළ ඉල්ලීමටද අධිකරණය අනුමැතිය දුන්නා. මෙම ඉල්ලීමට එරෙහිව ආජන්ටිනාවට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නැති බවද අධිකරණය විසින් තීරණය කළා. 

මෙම තීන්දුව ලැබෙන්නත් පෙර, 2012දී, NML කැපිටල් සමාගම විසින් ඝානාවේ අධිකරණයකින් නියෝගයක් ලබාගෙන ආජන්ටිනාවේ නාවුක හමුදාවට අයත් යාත්‍රාවක් ඝානාවේදී රඳවා ගනු ලැබූ අතර මෙය ආජන්ටිනාව විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයක්. අවසානයේදී එම යාත්‍රාව බේරාගන්නට සිදු වුනේ ජාත්‍යන්තර අධිකරණයකට ගිහින්. මෙම සිද්ධියෙන් පසු ආජන්ටිනාවේ ජනාධිපතිවරයාට ඔහු ගමන් ගන්නා රජයට අයත් ගුවන් යානය වෙනත් රටකදී අත්පත් කර ගැනීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු වූ අතර, පෞද්ගලික ගුවන් යානා වලින් ගමන් කරන්නට සිදු වුනා. 

අවසාන වශයෙන් ආජන්ටිනා රජයට ඇමරිකාවේ අධිකරණ නියෝගය අනුව පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු මුදල ගෙවනු හැර වෙනත් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. මෙම මුදල 2014 වසරේදී ගෙවනු ලැබුවා. වසර 14ක අඛණ්ඩ සටනකින් පසු පෝල් සිංගර් විසින් ඔහුගේ ආයෝජනය වෙනුවෙන් 20.5 ගුණයක ප්‍රතිලාභයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මුහුණත අගය ඩොලර් මිලියන 617ක් වූ මෙම ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගැනීම සඳහා වැය කර තිබෙන්නේ ඩොලර් මිලියන 117ක් පමණයි. 

මේ විදිහට රටක් අමාරුවේ වැටුනට පස්සේ මස් රාත්තලම ඉල්ලන එක වැරදිද?

ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කරන කෙනෙක් එහෙම කරන්නේ ආයෝජනය කරන්න වෙන විකල්ප නැති නිසා නෙමෙයි. ගන්න අවදානමට සාපේක්ෂව වැඩි අවදානමක් තිබෙන නිසා. ලංකාවම ගත්තත්, ඉතිහාසයේ කවදාවත් ණය පැහැර හැරලා නැති බව, රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන බව, සාර්ව ආර්ථික තුලනය ඉතාම හොඳින් තිබෙන බව වගේ දාහක් දේවල් කියලා තමයි ඔය ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජකයින්ගේ ඇඟේ ගහලා තියෙන්නේ. 

එහෙම කොයි තරම් දේවල් කිවුවත් ලංකාව වගේ රටක් අන්තිමට පොල්ල තියයි කියන සැකය නැති කරන්න අමාරුයි. පොල්ල තිබ්බොත් පුද්ගලයෙක්ගෙන් හෝ සමාගමකින් වගේ ලේසියෙන් රජයකින් ණය ආපසු අය කර ගන්න බැරි බව ආයෝජකයෝ දන්නවා. මොකද රජයකට නීතියෙන් පුද්ගලයින්ට හෝ සමාගමකට නැති මුක්තියක් හිමි වෙනවා. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට රජයන් විසින් ස්වෛරිත්ව බැඳුම්කර විකුණද්දී ඔය රාජ්‍යතාන්ත්‍රික මුක්තිය අත හරින්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ කොන්දේසි කඩ කරලා නඩු වැටුනට පස්සේ ආයි ඥාව් ගාන්න බැහැ.

ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන රජයයන්ට මතු ආරක්ෂාවට පිණිස කළ හැකි තවත් දෙයක් තියෙනවා. ඒවාට කියන්නේ Collective Action Clause (CAC) provisions කියලා. ගිවිසුමට මේ කොන්දේසි ඇතුළත් කර ගත්තොත්, ණය පැහැර හැරීමකදී බහුතර ණයහිමියන් කැමති වන ඩීල් එකක් ඉතිරි අයටත් භාර ගන්න වෙනවා. ආජන්ටිනාව මේ ගැන බරපතල ලෙස හිතලා තිබුණේ නැහැ. 

ආජන්ටිනාව දමා ගත්තේ නැතත්, ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරද්දී Collective Action Clause (CAC) provisions දමාගෙන තිබෙනවා. මේක ලංකාවට වාසියක්. ඒ නිසා, කොහොම හරි බැඳුම්කරහිමියන්ගෙන් 75%ක කැමැත්ත ගත්තොත් ඉතිරි 25%ට කරන්න දෙයක් නැහැ. හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් බැඳුම්කරයකින් 25%ක්ම එකතු කරගෙන තියෙන්නේ මේ නිසා. හැබැයි තනි තනි බැඳුම්කර වලට නැතුව මුළු ලොට් එකටම එකම හුවමාරු කොන්දේසි ඉදිරිපත් කළොත් ඔය 75% සීමාව 66.6% දක්වා අඩු වෙනවා. ඊට අමතරව එක් එක් තනි බැඳුම්කරයේ ණයහිමියන්ගෙන් 50%ක කැමැත්තත් අවශ්‍ය වෙනවා [2]. 

ලංකාවට තියෙන අභියෝගය ඔය සීමා පන්නගන්න එක. එහෙම කරගත්තොත් සුළුතරයට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය විදිහට බහුතරය කැමති කරගන්නනම් හොඳ ඩීල් එකක් දෙන්න වෙනවා. වැඩිපුර වාසි ගන්න හදලා වැඩි දෙනෙක් අකැමැති වුනොත් ඊට පස්සේ දිගින් දිගටම නඩු තමයි.

Sunday, April 7, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම- ප්‍රගතිය හා අවදානම්


ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව සාගල රත්නායකව උපුටා දක්වමින් ජපානයේ නිකේ පුවත් සේවය විසින් වාර්තා කර තිබුණා. ජපානය මේ සම්බන්ධ බහුපාර්ශ්වීය සාකච්ඡා වල සභාපතිත්වය දරන රටක් වන අතර ලංකාවේ ද්විපාර්ශ්වීය ණය වලින් චීන ණය හැරුණු විට වැඩිම කොටස ලබා ගෙන තිබෙන්නේද ජපානයෙනුයි.

මෙම පුවත අනුව, අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ වසර 6කට ආසන්න ණය පමා කාලයක් වන අතර ඉන් පසුව වසර 15ක් තුළ, එනම් 2028 සිට 2042 දක්වා, ණය ආපසු ගෙවිය යුතුයි. ඒ අතර, 2%ක වාර්ෂික පොලියක්ද ගෙවිය යුතුයි. 

මුලින්ම ශ්‍රී ලංකාව විසින් 1%ක පොලියක් සහ වසර 10ක ණය පමාවක් ඉල්ලා සිටි අතර මේ සඳහා පැරිස් සංසදයේ සහයෝගය ලැබෙන බවක් පෙනෙන්නට තිබුණා. එහෙත්, චීනය මේ තරමේ සහනයක් වෙනුවෙන් කැමැත්ත පළ කර තිබුණේ නැහැ. සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදිය යුතු බව පැරිස් සංසදයේ මූලධර්මයක් වන නිසා මෙහිදී ශ්‍රී ලංකාවට ලැබෙන ණය සහනය කොපමණද යන්න තීරණය වී තිබෙන්නේ චීනයේ තීරණය මත බව පැහැදිලියි. 

කෙසේ වුවත් පෙර යෝජනාව අනුවද ණය ගෙවා අවසන් කිරීමට නියමිතව තිබුණේ 2042දීයි. 

පසුගිය (2023) වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,810ක් වූ අතර, ඒ වෙනුවෙන් 2%ක වාර්ෂික පොලියක් ගෙවීම සඳහා වසරකට ඩොලර් 216ක මුදලක් අවශ්‍ය වෙනවා. 2028 වසරේ සිට, වසරකට ඩොලර් මිලියන 721 පමණ බැගින් මෙම ණය ආපසු ගෙවන්නට සිදු වන අතර එසේ ගෙවද්දී පොලී වියදමද ක්‍රමයෙන් අඩු වෙනවා. ඇතැම් විට 2028 සිට ගෙවිය යුතු ණය වාරික හා පොලිය සම-වාරික ලෙස ගෙවනවා විය හැකියි.

මීට අමතරව ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 14,741ක වාණිජ ණයද ප්‍රතිව්‍යුහගත කළ යුතුව තිබෙන අතර එයින් ඩොලර් මිලියන 2,191ක් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණයයි. ඉතිරි ඩොලර් මිලියන 12,550 ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ලබාගත් ණයයි. 

චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 535.2ක තවත් ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව විසින් ද්විපාර්ශ්වීය ණය ලෙස වර්ග කර තිබුණත් ඒ සඳහා චීනය එකඟ වී ඇත්ද යන්න තවමත් අවිනිශ්චිතයි. ද්විපාර්ශ්වීය ණය වලින් ඩොලර් මිලියන 4,013ක් ලබා ගෙන තිබෙන්නේ චීන එක්සිම් බැංකුවෙන්. මෙම දෙවන කොටසට පමණක් හෝ කොටස් දෙකටම වාර්තා වී ඇති වසර 6කට ආසන්න ණය සහනය හා 2% පොලිය අදාළ වන බවයි දැනට පෙනෙන්නට තියෙන්නේ. 

චීනයෙන් ලබාගත් චීනය විසින් වාණිජ ණය සේ සලකන ණය සහ ස්වෛරිත්ව බැඳුම්කර ණය පමා කාලයකින් තොරව වහාම ආපසු ගෙවන්නට සිදු විය හැකි අතර ණය පමාවක් වෙනුවට ණය කප්පාදුවක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. මුලින් වාර්තා වී තිබුණේ 30%ක ණය කප්පාදුවක් සහ 4%ක පොලියක් ඉලක්ක කෙරෙන බවයි. මේ හා අදාළ සාකච්ඡා තවමත් අවසන්ව නොමැති බැවින් අවසන් ප්‍රතිඵලය ගැන දැන ගැනීමේ හැකියාවක් නැහැ.

ණය සහනය ලබා ගන්නා ආකාරය කුමක් වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වනු ඇත්තේ ස්වේච්ඡා ණය හුවමාරුවක් ලෙසයි. මෙය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ ආකාරයට සමාන කළ හැකියි. 

ස්වේච්ඡා ණය හුවමාරුවක් සාර්ථක වීමටනම් බැඳුම්කරහිමියන්ගෙන් විශාල ප්‍රතිශතයක් මෙම හුවමාරුව සඳහා ස්වේච්ඡාවෙන් අයදුම් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ව පොළඹවා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. මෙය කළ හැකි ආකාර යෝජනා කරමින් ණය කළමණාකරුවන් සේ කටයුතු කිරීම සඳහා ඉදිරිපත් වන මෙන් මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව වලට දැනුම් දී ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. 

මෙම අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන යෝජනා වල ශක්‍යතා, ඔවුන්ගේ පෙර පළපුරුද්ද සහ ඉල්ලා සිටින ගාස්තු සලකා බලමින් ණය කළමනාකරුවන් බඳවා ගැනීමද ඉදිරි සති කිහිපය තුළ සිදු විය හැකියි. ඒ අතරවාරයේ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් සැලකිය යුතු ප්‍රමාණයක් ස්වේච්ඡා ණය හුවමාරුවක් සඳහා කැමති කර ගැනීම රජයේ ඉලක්කය හා අපේක්ෂාව බව පෙනෙන්නට තිබෙනවා.

කෙසේ වුවත්, සියලුම ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් ස්වේච්ඡා ණය හුවමාරුවකට කැමති වීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් දැනටමත් ඔවුන්ගේ බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් (ඩොලර් මිලියන 250ක් පමණ) එකඟ වූ පරිදි නොගෙවීමට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් පවරා තිබෙනවා.

ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්නට නියමිත බවත්, 2022 ජූලි මාසයේදී ආපසු ගෙවන්නට නියමිතව තිබුණු ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය එදින ආපසු ගෙවන්නට ඉඩක් නැති බවත් පැහැදිලිව පෙනෙන්නට තිබියදී හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් 2021 අගෝස්තු මාසයේ සිට එම බැඳුම්කරයේ කොටස් වලින් හතරෙන් එකක් පමණ කුණු කොල්ලයට මිල දී ගන්නේම නඩු කියා හෝ මුළු මුදලම ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව පැහැදිලියි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලට සම්බන්ධ නොවන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන මෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම එම අධිකරණය විසින් පිළිගත්තා. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාසියට ලැබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ රජය විසින් (නීතිපති) මෙන්ම එක්සත් රාජධානිය හා ප්‍රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසයි. 

මේ අනුව ගෙවුණු පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කළ නමුත් ඒ වන තුරුද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වුනේ නැහැ. පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් මෙම වාරණ නියෝගයේ කාලය තවත් මාස පහකින් දීර්ඝ කරන මෙන් ඉල්ලුවා. හැමිල්ටන් රිසර්ව් බැංකුව එම ඉල්ලීමට එකඟ නොවෙමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට එයට ප්‍රති-ප්‍රතිචාර ලෙස කරුණු දක්වා තිබෙනවා. 

බොහෝ විට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම වාරණ නියෝගයේ කාලය මාස කිහිපයකින් දිගු විය හැකියි (මේ වන විට එම තීන්දුව ලබා දී නැත්නම්). ඒ අතරවාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත්කරන්නට ඉඩ තිබුණත්, හැමිල්ටන් රිසර්ව් බැංකුව වැනි පාර්ශ්ව විසින් එම යෝජනා වලට සුබවාදී ලෙස ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. ඒ නිසාම, තවත් බැඳුම්කරහිමියන් යම් පිරිසක් ඒ පාරේම ගමන් කරන්නට ඉඩ තිබෙනවා. 

කෙටියෙන් කිවුවොත් ණය ප්‍රතිව්‍යුහගත කරන එක මාසයකින් දෙකකින් හෝ ලේසියෙන් කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි. කාලයක් යන, අමාරු වැඩක්. 

වෙබ් ලිපිනය: