මේ ලිපිය පළවන මොහොත වන විට ඉරානය විසින් අරක් න්‍යෂ්ඨික ප්‍රතිකාරකය ගලවා ඉවත් කර අදාළ ස්ථානය කොන්ක්‍රීට් දමා වසා අවසන් විය යුතුය. මේ බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය විසින් තහවුරු කිරීමෙන් පසුව ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් කිරීම සඳහා අවශ්‍ය අවසන් කටයුත්තද සිදුව ඇති බැවින් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළට ඇතුළු වීමටත්, ඩොලර් බිලියන 100ක් පමණ විය හැකි විදෙස් බැංකු වල ඇති ඔවුන්ගේ සංචිත ප්‍රයෝජනයට ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත.
සම්බාධක ඉවත් වුවද ඉරානයට ඇතුළු වීමට ලැබෙන්නේ වසර තුනහමාරකට පෙර ඔවුන්ව ඉවත් කරනු ලැබූ වෙළඳපොළටම නොවේ.
ඒ වන විට ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබුණු බොරතෙල් බැරලයක මිල මේ ලිපිය ලියන මොහොත වන විට (13 බදාදා) ඩොලර් 30 මට්ටමෙන්ද පහතට වැටී ඇත. මෙවැනි අඩු මිලක් අවසාන වරට පැවතියේ 2004 වසරේදීය.
කෙසේ වුවද, ඉරානය පවසන්නේ සම්බාධක ඉවත් කෙරුණු වහාම බොරතෙල් නිෂ්පාදනය වැඩි කරන බවයි. ප්‍රශ්නය ඇත්තේ මේ වැඩි වන නිෂ්පාදනයට සිදුවන්නේ කුමක්ද යන්නයි.
ඉරානය ජාත්‍යන්තර බොරතෙල් වෙළඳපොළෙන් ඉවත්ව සිටි කාලය තුල ලෝක තෙල් සැපයුම බොහෝ සේ වැඩි විය. මේ වන විට සමස්ත ලෝක තෙල් නිෂ්පාදනය සමස්ත ලෝක තෙල් ඉල්ලුමට වඩා වැඩිය. බොරතෙල් මිල එන්න එන්නම පහළ වැටෙන්නේ මේ නිසාය. මුලින් ඉරානය විසින් තෙල් සැපයූ වෙළඳපොළවල් මේ වන විට වෙනත් රටවල් විසින් අත්පත් කරගෙන හමාරය. මේ නිසා ඉරානය හමුවේ ඇති අභියෝගය සුළුපටු නොවේ. කෙසේ වුවද, තමන්ගේ පෙර පැවති වෙළඳපොළවල් නැවතත් අල්ලාගත හැකි බව ඉරානයේ විශ්වාසයයි.
ඉරානයට සම්බාධක පනවන විට ලංකාවේ බොරතෙල් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම වාගේ සැපයුනේ ඉරානයෙනි. එයට හේතුවක් තිබුණේය. එය තාක්ෂණික හේතුවකි. ලංකාවට ඇත්තේ එකම එක තෙල් පිරිපහදුවකි. සපුගස්කන්දේ ඇති, දිනකට බොරතෙල් බැරල් 50,000ක් පිරිපහදු කළ හැකි මේ තෙල් පිරිපහදුව සීරුමාරු කර ඇත්තේ ඉරාන තෙල් පිරිපහදු කිරීමටය.
බොරතෙල් කියා කතාවට කිවුවත් හැම බොරතෙලම සමාන නැත. ඒවායේ සංයුතියේ වෙනස්කම් තිබේ. පිරිපහදු සාදා ඇත්තේ යම් නිශ්චිත සංයුතියක් ඇති බොරතෙල් උපරිම කාර්යක්ෂමතාවයකින් පිරිපහදු කළ හැකි ආකාරයෙනි. එනම්, බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලබාගත හැකි පෙට්‍රල්, ඩීසල්, ගෑස් වැනි දේවල අනුපාතය වැඩිම ආර්ථික වටිනාකමක් ලැබෙන අනුපාතය වන ලෙසිනි. එක් බොරතෙල් වර්ගයක් පිරිපහදු කිරීමට සාදා ඇති පිරිපහදුවක් උපයෝගී කරගෙන වෙනත් බොරතෙල් වර්ගයක් පිරිපහදු කළ විට මේ අනුපාත විශාල ලෙස වෙනස් වේ. සමස්තයක් වශයෙන් සිදුවන්නේ ලබාගත හැකි අවසන් නිෂ්පාදන පරිමා විශාල ලෙස අඩුවීමයි.
මෑතකදී ඇමරිකාව විසින් කලක් පැවති බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීමටද මේ කරුණ හේතුවිය. ඇමරිකාවේ පිරිපහදු බොහොමයක් සවුදි ආරාබිය ප්‍රධාන මැදපෙරදිග බොරතෙල් පිරිපහදු කිරීමට සීරුමාරු කර ඇත. ඒ නිසා ඇමරිකාවේ නිපදවන ශල්ක තෙල් පිරිපහදු කිරීමට මේවා සුදුසු නැත. ඒ නිසා, ඇමරිකාවේ කොතරම් ශල්ක තෙල් නිපදවූවත් මැදපෙරදිගින් බොරතෙල් ආනයනය කිරීමට සිදුවේ. එමෙන්ම, ඇමරිකාවේ පිරිපහදු කළ නොහැකි අතිරික්ත බොරතෙල් අපනයනය කිරීම අඩු කාර්යක්ෂමතාවක් යටතේ පිරිපහදු කිරීමට වඩා වාසි සහගතය.
ලංකාව විසින් ඉරානයෙන්ම බොරතෙල් ආනයනය කිරීමට දෙවන හේතුවක්ද තිබුණේය. ඒ ආසියානු නිෂ්කාශන සංගමයේ ක්‍රියාකාරිත්වයයි. ආසියානු නිෂ්කාශන සංගමය යනු සමඟි පෙරමුණු රජය සමයේ ලංකාව ඇතුළු කලාපයේ බොහෝ රටවල් මුහුණ පෑ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ඇති කරගත් යාන්ත්‍රණයකි. මුලින්ම, 1974දී මෙය අරඹන විට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය, ලංකාව, නේපාලය හා ඉරානය මෙහි සාමාජික රටවල් විය. පසුව, දකුණු ආසියානු කලාපයේ ඉතිරි රටවල් වූ බංග්ලා දේශය, මියන්මාරය, භූතානය සහ මාල දිවයිනද එක් විය.
මේ යාන්ත්‍රනය අනුව, ආසියානු නිෂ්කාශන සංගමයේ සාමාජික රටවල් ඔවුනොවුන් සමඟ ආනයන අපනයන කිරීමේදී වහාම මුදල් ගෙවිය යුතු නැත. ඒවා ගිණුම් වල සටහන් කර ගෙවීම් සහ ලැබීම් එකිනෙක අවලංගු කිරීමෙන් පසුව මාස දෙකකට වරක් ඉතිරිවන ශුද්ධ ශේෂය පමණක් ගෙවීම මේ යටතේ සිදුවේ. ලංකාව හා ඉරානය ගත් විට ලංකාව ඉරානයෙන් විශාල ලෙස තෙල් ගෙන්වූවද, තේ ටිකක් හැරුණු විට අප විසින් ඉරානයට මහ දෙයක් යැවුවේ නැත. මේ නිසා, ප්‍රායෝගිකව මේ යාන්ත්‍රනය නිසා අපට අප ගෙන්වන බොරතෙල් වලට මාස දෙකක් දක්වා කාලයක් යන තුරු මුදල් නොගෙවා සිටීමේ හැකියාව ලැබුණේය.
ඉරානයට සම්බාධක පැනවීමත් සමඟම අපට මේ වාසි දෙකම නැති විය. මුලින්ම මේ සුවිශේෂී තත්ත්වය සලකා අපට තවදුරටත් ඉරානයෙන් තෙල් ගෙන්වීමට ඉඩකඩක් සපයා තිබුණත් පසුව ඒ සහනයද ඉවත් කෙරිණි. ඇත්තටම ඊට පෙරම අපට ඉරානයෙන් තෙල් ප්‍රවාහනයට නැව් සමාගම් අකැමැති වීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදු විය. ඒ අනුව, පසුගිය කාලයේදී සවුදි අරාබිය, අබුඩාබි වැනි වෙනත් රටවලින් තෙල් ආනයනය කිරීමට ලංකාවට සිදුවී තිබුණේය. මේ තෙල් පිරිපහදු කිරීමෙන් ලබා ගත හැකි 'ඵලදාව' (yield) 20%කින් පමණ අඩු බව සඳහන් වී තිබුණි.
ඉරාන තෙල් නැවත ලැබීම ලංකාවට හොඳ ප්‍රවෘත්තියකි. අනෙක් අතට, තමන්ගේ පෙර පැවති වෙළඳපොළක් වෙත නැවත ප්‍රතිෂ්ඨ වීමට ලැබීම ඉරානයටද වාසියකි.
මේ අල්ලපනල්ලේ ලංකාව ඉරානය සමඟ තවත් ඩීල් එකක් දාගෙන තිබේ. ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදුව විශාල කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලින් 70%ක් ගෙවන්නට ඉරානය කැමති වී ඇත. පිරිපහදු පහසුකම් පුළුල් කළ පසු දැන් මෙන් දෙගුණයක්, එනම් දිනකට බොරතෙල් බැරල් 100,000ක් දක්වා පිරිපහදු කිරීමට පුළුවන.
පිරිපහදු පහසුකම් පුළුල් කිරීම හොඳ වැඩකි. එහෙත්, ඉරාන සල්ලි වලින් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉරාන තෙල්ම පිරිපහදු කළ හැකි අයුරින් මේ පුළුල් කිරීම සිදුකිරීම බව පැහැදිලිය. මෙතැනදීනම් වෙන්නේ බිත්තර සියල්ල එක කූඩයේ දැමීමකි. ඉරාන තෙල් වලටම ලංකාව හිර කර ගැනීම ඉරානයට වාසියකි. 100%ක්ම ඉරාන තෙල් මතම යැපෙන එකම රට ලංකාවයි.
අනෙක් අතට, තර්කානුකුලව බැලූ විට, මේ මුදල් දෙනවා කීවාට ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ මේ මුදලට හරියන ප්‍රමාණයට, දිගුකාලීනව මුදල් පියවිය හැකි පරිදි තෙල් ලැබීමයි. මේ අනුව, පැරණි වෙළඳපොළට නැවතත් පහසුවෙන් ඔලුව දමා ගැනීමට හැකි වීමේ වාසියද ඉරානයට ලැබේ. ඉරානය තමන්ට අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් දෙපැත්තකින්ම වැඩේ ගොඩ දාගෙන තිබේ.
ලංකාව මේ වෙලාවේ සිටින තත්ත්වය අනුව මේ තීරණය තේරුම් ගත හැකිය. බිලියන 1.5කින් 70%ක් යනු ඩොලර් බිලියනයකි. රවී කරුණානායක සඳහන් කළ බව පැවසෙන ඩොලර් බිලියනයේ ආයෝජනය ඇතැම් විට මෙය විය හැකිය. මේ වෙලාවේම මේ බිලියනය හැර වෙනත් බිලියන්ද තිබේනම් එය සැබෑවටම අහඹු සිදුවීමකි. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල සෑහෙන කලකට ස්ථාවර කර ගත හැකි මුදලකි.
කෙසේවුවද, රුපියල වැටීම මහා ලොකු ආර්ථික ප්‍රශ්නයක් නොවේ. එය අත්‍යවශ්‍ය නිවැරදි වීමකි. සැබෑ ප්‍රශ්නය රුපියල වැටීමට හේතුවන පදනමයි. අපේ ශරීරය වෛරසයක් සමඟ සටන් කරන විට ශරීර උෂ්ණත්වය වැඩි වන්නේ වැඩි උෂ්ණත්වයේදී මේ සටන වඩා කාර්යක්ෂමව සිදුවන නිසාය. ඒ නිසා එවැනි වෙලාවක උණ පොඩ්ඩක් තිබීම අවසාන වශයෙන් හොඳ දෙයකි.
ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා අදාලව පරණ දොස්තරලා වගේම අලුත් දොස්තරලාත් බෙහෙත් හොයන්නේ රෝග ලක්ෂණ වලට මිස රෝග නිධාන වලට නොවේ. බිලියනයකින් හෝ දෙකකින් මේ වෙලාවේ වැඩේ ගොඩ දාගන්නට පුළුවන. එහෙත්, ඉරානයෙන් ණය ගත්තත්, වෙනත් විදේශ ආයෝජකයෙකුගෙන් ගත්තත්
අවසානයේදී ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය.