වෙබ් ලිපිනය:

Showing posts with label ආජන්ටිනාව. Show all posts
Showing posts with label ආජන්ටිනාව. Show all posts

Thursday, September 25, 2025

ඇමරිකන් රජය ආජන්ටිනා පෙසෝව බේරා ගනී!


ඇමරිකන් රජයේ විශාල රාජ්‍ය මැදිහත්වීමක උදවුවෙන් තවත් ආර්ථික අර්බුදයක මුව විට සිටි ආජන්ටිනාව එම අර්බුදය යටපත් කර ගැනීමට සමත් වී තිබෙනවා. ඇමරිකාව විසින් සාමාන්‍යයෙන් විදේශ රටකට සිදු කරන ආකාරයේ මැදිහත්වීමකින් එහාට ගිය මෙම ඇමරිකන් රාජ්‍ය මැදිහත්වීම ආජන්ටිනා ආර්ථිකය බේරා ගැනීම සඳහා සිදු කළ ආර්ථික මැදිහත්වීමක්ටත් වඩා, පිරිහෙමින් ඇති වත්මන් ආජන්ටිනා ජනාධිපති හවියර් මිලේගේ ජනප්‍රියත්වය තවත් මාසයකින් පැවැත්වෙන ආජන්ටිනා මැතිවරණයට පෙර නැවත ගොඩ නංවා දීමේ උත්සාහයක් ලෙස සිදු කළ දේශපාලන මැදිහත්වීමක් වශයෙන් සැලකිය හැකියි.  

ආජන්ටිනාව යනු පසුගිය සියවසේ මුල් කාලයේදී ලෝකයේ ධනවත් රටවල් අතර සිටි රටක්. පසුව මෙම ස්ථානය ක්‍රමයෙන් පහත වැටුනත්, දැනටත් ආජන්ටිනාව ඉහළ ආදායම් ලබන රටවල අවම ආදායම් සීමාව ආසන්නයේ සිටින ඉහළ මැදි ආදායම් රටක්. 2024දී ආජන්ටිනාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 13,440ක් වූ අතර, ඉහළ ආදායම් රටවල් සේ සැලකුනේ එම ආදායම ඩොලර් 13,935 ඉක්මවන රටවලුයි. 

පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට, 1991දී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට උසස් වූ ආජන්ටිනාව, ලංකාව මෙන් ඉන් පසුව නැවතත් පහළ මැදි ආදායම් කාණ්ඩයට වැටුණේ නැහැ. ආජන්ටිනාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම පසුගිය වසර වලදී ඉහළ ආදායම් සීමාව ආසන්නයේ උච්ඡාවචනය වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 හා 2017 වසර වලදී ආජන්ටිනාව ඉහළ ආදායම් කාණ්ඩයට ලඟා වුනත්, ඒ තත්ත්වයනම් දිගටම පවත්වා ගත හැකි වූයේ නැහැ. මීට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රටේ විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගත නොහැකි වීමයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "නිත්‍ය පාරිභෝගිකයෙක්" සේ සැලකිය හැකි ආජන්ටිනාව මේ වන විට 23 වරක් එම අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙනවා. මේ වන විටද මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන ආජන්ටිනාව විසින් අරමුදලට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 60කටත් වඩා වැඩියි. මෙම ණය ප්‍රමාණය මූල්‍ය අරමුදල විසින් මේ වෙද්දී රටවල් 86කට ලබා දී තිබෙන, එම රටවල් විසින් අරමුදලට ආපසු ගෙවිය යුතුව ඇති, මුළු ණය ප්‍රමාණයෙන් 35.0%කට සමානයි. මේ අනුව පෙනී යනු ඇත්තේ ආජන්ටිනාවට මූල්‍ය අරමුදලෙන් තොර පැවැත්මක් නැතුවාක් මෙන්ම අරමුදලටද ආජන්ටිනාව "නැතුවම බැරි" රටක් බවයි. 

ආජන්ටිනාවට අවසන් වරට මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට සිදු වූයේ මෙම (2025) වසරේ අප්‍රේල් මාසයේදීයි. එහිදී ඩොලර් බිලියන 20ක දැවැන්ත ණය මුදලක් අනුමත වූවාක් මෙන්ම එම මුදලෙන් ඩොලර් බිලියන 12ක්ම වහාම ලබා ගැනීමටද ආජන්ටිනාවට හැකි වුනා. ඉන් පසුව සිදු කෙරුණු පළමු විමර්ශනය අවසන් වීමෙන් පසුව, ජූලි මාසයේදී තවත් ඩොලර් බිලියන 2ක මුදලක් මුදා හැරුණා. කෙසේ වුවද, මෙවැනි විශාල ණය මුදලක් අරමුදලෙන් ලබා ගැනීමෙන් පසුවද, ආජන්ටිනාව තවමත් ලංකාව මෙන් සිය විදේශ අංශය ස්ථාවර කර ගැනීමට සමත් වී නැහැ.

ලංකාව හා ආජන්ටිනාව ඇතුළු, වරින් වර නැවත නැවතත් මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගන්නා රටවල පොදු ලක්ෂණයක් වන්නේ නිදන්ගත අයවැය හිඟය සහ නිදන්ගත ජංගම ගිණුම් හිඟයයි. එහෙත්, මෙම තත්ත්වයන් හා අදාළව ආජන්ටිනාවේ ඉතිහාසය ලංකාවේ තරම්ම නරක එකක් නෙමෙයි. 1956 සිට 2024 දක්වා එක දිගට වසර 59ක් තිස්සේ අඛණ්ඩව අයවැය හිඟයක් පවත්වාගෙන ගොස් ඇති ලංකාව අවම වශයෙන් තවත් වසර 15ක් පමණ යන තුරු මෙම වාර්තාව නැවත නැවත අලුත් කිරීමට නියමිතයි. ඊට සාපේක්ෂව ආජන්ටිනාව විසින් එක දිගට අඛණ්ඩව අයවැය හිඟයක් පවත්වාගෙන ගොස් ඇත්තේ 2009 සිට 2023 දක්වා වූ වසර 15ක කාලය තුළ පමණයි. 2003-2008 වසර හය තුළ ආජන්ටිනාව අයවැය අතිරික්තයක් පවත්වා ගත්තා.

ආජන්ටිනාවේ දේශපාලනය 

ආජන්ටිනාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මේ වන විට වසර 40ක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇති අතර, ඊට පෙර 1983 දක්වා කාලය වරින් වර ප්‍රජාතන්ත්‍රවාදී  පාලකයින් හා හමුදා ආණ්ඩු අතර බලය මාරු වූ කාලයක්. ඉන් පසු කාලයේදී, ලංකාවේ මෙන්ම, කිසියම් පක්ෂයකට ඇති කැමැත්ත නිසා නොව, බලයේ සිටින පක්ෂයට ඇති අකැමැත්තට වෙනත් පක්ෂයකට ඡන්දය දීම ආජන්ටිනාවේද දිගින් දිගටම සිදු වූ දෙයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාවේ දේශපාලන බලය නව ලිබරල්වාදයේ සිට වාමාංශික ජනප්‍රියවාද දක්වා වරින් වර මාරු වුනා. 

කිසියම් ආණ්ඩුවක කාර්ය සාධනය විමසා බලද්දී එම ආණ්ඩුවේ ප්‍රකාශිත දේශපාලන මතවාද දෙස බලනවාට වඩා ඇත්තටම කරන දේවල් දෙස බැලීම වඩා යෝග්‍ය ක්‍රමයයි. ඇතැම් ආණ්ඩු වමට සිග්නල් දමා දකුණට හරවද්දී තවත් ආණ්ඩු දකුණට සිග්නල් දමා වමට හරවන අවස්ථා තිබෙනවා.

පසුගිය (2024) වසරේදී, වසර 15කට පසුව, ආජන්ටිනාව විසින් නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කළා. එය සිදු වූයේ දක්ෂිණාංශික හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුවයි. එහෙත්, ඊට පෙර ආජන්ටිනාව විසින් අයවැය අතිරික්තයක් පවත්වා ගත් 2003-2008 කාලයේදී එය සිදු වූයේ වාමාංශික ආණ්ඩුවක් බලයේ සිටියදීයි. 

අයවැය තුලනය කිරීම 

පසුගිය වසරේදී ආජන්ටිනාව විසින් නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කිරීම හා අදාළව විවිධ ප්‍රබන්ධ ප්‍රචලිතව ඇතත්, ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නේ ආජන්ටිනා රජය විසින් වසරක් ඇතුළත විශාල ලෙස බදු ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් ඊට වඩා අඩුවෙන් වැඩි කර ගැනීමයි. 

හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුව, 2023දී පෙසෝ බිලියන 19,033ක් වූ ආජන්ටීනා ෆෙඩරල් රජයේ බදු ආදායම, 2024 වන විට පෙසෝ බිලියන 60,772 දක්වා වැඩි කර ගැනීමට සමත් වුනා. මෙය 219.3%ක වර්ධනයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස බදු නොවන ආදායම් ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම පෙසෝ බිලියන 32,053 සිට පෙසෝ බිලියන 98,168 දක්වා 206.3%කින් ඉහළ ගියා. 

මේ අයුරින් ආජන්ටීනාවේ රාජ්‍ය ආදායම විශාල ලෙස වැඩි වෙද්දී, රාජ්‍ය වියදම්ද ඉහළ ගියත්, එසේ ඉහළ ගියේ රාජ්‍ය ආදායම් වැඩි වූ වේගයට වඩා අඩු වේගයකිනුයි. සමස්ත රාජ්‍ය වියදම් පෙසෝ බිලියන 41,054 සිට පෙසෝ බිලියන 96,204 දක්වා 130.5%කින් ඉහළ ගියත්, ආදායම් වර්ධන වේගය ඊට වඩා බෙහෙවින්ම වැඩි වූ බැවින්, ආජන්ටිනාවට වසර 15කට පසුව නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කිරීමට හැකි වුනා. 

ෆෙඩරල් රජයේ වියදම් ආදායම් වර්ධන වේගයට වඩා අඩු වේගයකින් වර්ධනය වුවත්, වසරක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් වියදම් 145.9%කින්ද, විශ්‍රාම වැටුප් වියදම් 176.7%කින්ද ඉහළ ගියා. සමස්තයක් ලෙස පුනරාවර්තන වියදම් වැඩි වෙද්දී කප්පාදු වී තිබුණේ ප්‍රාග්ධන වියදම් කොටසයි. එම වියදම් 29.6%කින් අඩු වී තිබුණා. මේ වසරේ ලංකාවේ සිදු වන බව පෙනෙන්නේද මෙවැන්නක්. 

උද්ධමනය 

හවියර් මිලේ බලයට පත් වන විට, 2023 නොවැම්බර් මාසයේදී, ආජන්ටිනාවේ උද්ධමනය පැවතුණේ 160.9% මට්ටමේ. මිලේ බලයට පැමිණි වහාම පෙසෝව විශාල ලෙස අවප්‍රමාණය කිරීම හේතුවෙන්, උද්ධමනය 292.2% මට්ටම දක්වා ඉහළ ගියා. කෙසේ වුවත්, එසේ විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීම කළ යුතුව තිබුණු දෙයක්. 

ආජන්ටිනාවේ උපක්‍රමය වූයේ මුලින්ම පෙසෝව විශාල ලෙස අවප්‍රමාණය කිරීමෙන් පසුව එහි මිල නිදහසේ තීරණය වීමට ඉඩ නොදී, අවප්‍රමාණය වීම කෘතීම ලෙස පාලනය කිරීම මගින්, උද්ධමනය පාලනය කිරීමයි. මෙම උපක්‍රමය තාවකාලිකව සාර්ථක වී උද්ධමනය මේ වන විට 33.6% මට්ටම දක්වා පහත වැටී ඇතත්, විණිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම මගින් ආජන්ටිනාව නැවතත් අර්බුදයකට පාර කපා ගෙන තිබෙනවා. 

විණිමය අනුපාතය 

මිලේ බලයට පත් වන විට නිල වශයෙන් ඇමරිකන් ඩොලරයක් පෙසෝ 366.5ක් වූ අතර, කළු කඩයේ ඩොලරයක් ඊට වඩා කිහිප ගුණයක් වැඩියෙන් විකිණුනා. මිලේ බලයට පත් වීමෙන් පසුව ඩොලරයක මිල එක රැයින් පෙසෝ 800 දක්වා ඉහළ දමනු ලැබූ අතර ඉන් පසුව මාසයකට 2% බැගින් පෙසෝව අවප්‍රමාණය කෙරෙනු ඇති බව නිවේදනය කෙරුණා. මෙහි අරමුණ වූයේ භාණ්ඩ හා සේවා මිල ගණන් මාසයකට 2%කට වඩා වැඩියෙන් වැඩි නොවන බවට වග බලා ගැනීමයි. එහෙත්, ආජන්ටිනාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඊට වඩා වැඩි වේගයකින් ඉහළ යාම නිසා පෙසෝ කළු කඩය නැති වුනේ නැහැ. 

මුදල් සැපයුම 

ආජන්ටිනාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම විණිමය අනුපාතයේ උදවුවෙන් නවතා ගැනීම අසීරු වූයේ මුදල් සැපයුම වඩා වැඩි වේගයකින් ප්‍රසාරණය වූ බැවිනුයි. මිලේ බලයට පත් වන විට, 2023 නොවැම්බර් මාසයේදී පෙසෝ ට්‍රිලියන 8.97ක් වූ M0 මුදල් සැපයුම (සංචිත මුදල්) 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 44.3 දක්වා 393.9%කින් ඉහළ ගොස් ඇති අතර, පෙසෝ ට්‍රිලියන 23.8ක් වූ M2 මුදල් සැපයුම 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 80.8 දක්වා 239.5%කින් ඉහළ ගොස් තිබෙනවා. පෙසෝ ට්‍රිලියන 41.3ක් වූ M3 (පුළුල්) මුදල් සැපයුම 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 144.0 දක්වා 248.7%කින් ඉහළ ගොස් තිබෙනවා. 

මුදල් සැපයුම මෙසේ ඉහළ යද්දී විණිමය අනුපාතයේ උදවුවෙන් පමණක් උද්ධමනය පාලනය කර ගැනීම අසීරුයි. අනෙක් අතට, රටේ මුදල් ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී පොලී අනුපාතික වල උදවුවෙන් පමණක් උද්ධමනය පාලනය කර ගැනීමද පහසු නැහැ. 

මිලේ බලයට පත් වන විට උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් ආජන්ටිනාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 133% දක්වා ඉහළ දමා තිබුණා. එම මට්ටම වුවද සැලකුණේ උද්ධමනය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන මට්ටමක් ලෙසයි. එහෙත්, මිලේ බලයට පත් වූ පසුව දැක ගත හැකි වූයේ ආජන්ටිනා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රමයෙන් ලිහිල් කරන ආකාරයයි. මෙය අලුත් ආණ්ඩුවේ දේශපාලන නැඹුරුව අනුව සිදු වූ දෙයක් සේ සලකන්න පුළුවන්. කෙසේ වුවද, මේ වන විටත් ආජන්ටිනාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 29%ක් වන අතර බැංකු පොලී අනුපාතික තිබෙන්නේ 54% මට්ටමේයි. 

මහ බැංකුවක් විසින් පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ මට්ටමක තබා නොගන්නේනම්, වැඩි වන මුදල් ඉල්ලුම හා ගැලපෙන පරිදි මුදල් සැපයුමද වැඩි කරන්නට සිදු වෙනවා. ආජන්ටිනාවේ මුදල් සැපයුම මෙපමණ වේගයකින් ඉහළ යාමට හේතුව එයයි. විවෘත ආර්ථිකයක මුදල් සැපයුම ඉහළ යද්දී ආනයන ඉල්ලුම ඉහළ ගොස් විණිමය අනුපාතිකය මත පීඩනයක් ඇති වෙනවා. එම පීඩනය මුදා නොහැරේනම්, විණිමය අනුපාතය ආරක්ෂා කර ගැනීම සඳහා සංචිත වැය කරන්නට සිදු වෙනවා. 

එසේනම්, මිලේ බලයට පත් වීමෙන් පසුව ආජන්ටිනාව පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු කළේ ඇයි? මෙහි වූයේ ආර්ථික වර්ධනය වැඩි කර ගැනීමේ දේශපාලනික අභිලාශයයි.  පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ මට්ටමක පැවතියේනම් එය ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එය හැම විටෙකම මෙන් පවතින ආණ්ඩුවකට දේශපාලනිකව අවාසිදායකයි. 

විණිමය අනුපාතය නිදහස් කිරීම 

කෙසේ වුවත් ආජන්ටිනාව විසින් දිගින් දිගටම විණිමය අනුපාතය හිර කරගෙන සිටීමේ ඉලක්කයක සිටියේ නැහැ. මිලේගේ දේශපාලනික අභිලාශ සමඟ වුවද වඩා ගැලපෙන්නේ හැකි ඉක්මණින් විණිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමයි. මූල්‍ය අරමුදල සමඟ වැඩ සටහනකට ඇතුළු වීමෙන් පසුව එහි ඉලක්කයක් වූයේද විණිමය අනුපාතය ක්‍රමයෙන් නිදහස් කිරීමයි. මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බැලූ විට මෙම (2025) අප්‍රේල් මාසයේදී අරමුදලේ උදවුවෙන් ස්ථායීකරණ වැඩ පිළිවෙලකට යාමෙන් පසුව විණිමය අනුපාතයේ හැසිරීම තරමක් නම්‍යශීලී වී ඇති ආකාරය මෙන්ම, වඩා වැඩි වේගයකින් පෙසෝව අවප්‍රමාණය වීමද පැහැදිලිව දැකිය හැකියි. 

විදේශ සංචිත 

මිලේ බලයට පත් වන විට ආජන්ටිනාව සතු වූ විදේශසංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 17.5ක් දක්වා පහත වැටී තිබුණු අතර පෙසෝව එක් දිනක් තුළ 54%කින් අවප්‍රමාණය කිරීමෙන් පසුව මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 23.6 දක්වා ඉහළ ගියත්, 2025 මාර්තු වන විට නැවතත් ඩොලර් බිලියන 19.0 දක්වා පහත වැටුණා. ආජන්ටිනාව මූල්‍ය අරමුදලේ සහාය පැතුවේ ඉන් පසුවයි. අරමුදලේ සහාය ලැබීමෙන් පසුව, මේ වන විට (2025 සැප්තැම්බර් 23) ආජන්ටිනාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 39.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය සතියේ අවසන් දින තුන තුළ (සැප්තැම්බර් 17-19) ආජන්ටිනා පෙසෝව වේගයෙන් අවප්‍රමාණය වන්නට පටන් ගත්තා. මෙම අවප්‍රමාණය සීමා කර ගැනීම සඳහා එම දින තුන තුළ ආජන්ටිනාවේ විදේශ සංචිත වලින් ඩොලර් බිලියනයකට වඩා වැය කරන්නට සිදු වුනා. එසේ කිරීමෙන් පසුවද, ඩොලරයක මිල පෙසෝ 1,475 පමණ දක්වා ඉහළ ගියා. මේ තත්ත්වය හමුවේ නැවතත් ආර්ථික අර්බුදයකට නොයමින් විණිමය අනුපාතය රැක ගැනීමේ හැකියාවක් ආජන්ටිනාව සතු වූයේ නැහැ. 

පෙසෝව රැක ගැනීම පිණිස තව තවත් සංචිත වැය කළේනම් ඉතා ඉක්මණින්ම ආජන්ටිනාවේ සංචිත පහත වැටී ඉදිරි මාස වලදී ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවිය නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එමෙන්ම, මූල්‍ය අරමුදල සමඟ තිබෙන ගිවිසුම අනුව පෙසෝව රැක ගැනීම පිණිස මහා පරිමාණයෙන් විදේශ සංචිත විකිණීමේ හැකියාවක්ද නැහැ. මිලේ පෙනී සිටින මතවාද අනුව, ඉල්ලුම හා සැපයුම තුලනය වන පරිදි ඩොලරයක මිල ඉහළ යන්නට ඉඩ හැරියේනම්, අමාරුවෙන් යටපත් කරගෙන සිටින උද්ධමනය නැවතත් හිස එසවීම වලක්වන්න බැහැ. දේශපාලනයින් විසින් වේදිකා වල කවර මතවාද වෙනුවෙන් පෙනී සිටියත්, අවසාන වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ හැකි තරම් කලක් බලයේ සිටීමට උදවු වන ක්‍රියාමාර්ග පමණයි.

මේ තත්ත්වය තුළ ආජන්ටිනාවේ වාසියට සිටියේ වත්කම් ඇමරිකන් ආණ්ඩුව සමඟ ඇති මිත්‍රත්වයයයි. මිලේගේ ඉල්ලීමට ඇමරිකාවෙන් වහාම ප්‍රතිචාර ලැබුණු අතර ආජන්ටිනාව වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කිරීමට ඇමරිකාව වහාම ඉදිරිපත් වූ අතර ඇමරිකාවෙන් ඩොලර් බිලියන 20ක මුදලක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා දෙන බව ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් වරයා විසින් නිවේදනය කළා.

ඉහත නිවේදනයෙන් අනතුරුව, අදාළ මුදල් ලබා දීමටද පෙර, ආජන්ටිනා පෙසෝව සඳහා වූ සමපේක්ෂණ ඉල්ලුම පහත වැටී විණිමය අනුපාතය නැවතත් පහත වැටී තිබෙනවා. ඒ අනුව, පොරොන්දු වූ මුදල ආජන්ටිනාවට ඇත්තටම අවශ්‍ය නොවෙන්නත් පුළුවන්.

ආජන්ටිනා මැතිවරණ

එළැඹෙන ඔක්තෝබර් 26 දින ආජන්ටිනාවේ මධ්‍යවාර මැතිවරණ පැවැත්වෙනවා. මේ හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුව පැවැත්වෙන පළමු මධ්‍යවාර මැතිවරණයයි. එම මැතිවරණයේදී ආජන්ටිනාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයින්ගෙන් අඩක්ද, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින්ගෙන් තුනෙන් එකක්ද තෝරා පත් කර ගැනීමට නියමිතයි. ජනමත විචාරණ ප්‍රතිඵල අනුව දැනට ඉදිරියෙන් සිටින්නේ මිලේගේ පක්ෂය වුවත්, පෙරොන්වාදී වාමාංශික සන්ධානය සිටින්නේද ආසන්න මට්ටමකයි.

මේ අතර පසුගිය සැප්තැම්බර් 7 දින පැවති බුවනෝස් අයර්ස් පළාත් මැතිවරණයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වූයේ පෙරොන්වාදී ජස්ටිශියලිස්ට් පක්ෂයි. එම පක්ෂය විසින් 47%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිද්දී මිලේගේ පක්ෂයට ලබා ගත හැකි වූයේ 34%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙම පළාත සාමාන්‍යයෙන් වමට බර පළාතක්ය යන්න අප‍ට අමතක කළ නොහැකි වුනත්, මිලේගේ පක්ෂය ඉදිරියෙන් සිටි ධනවතුන් වැඩිපුර ජීවත් වන ප්‍රදේශද ඇතුළුව සියලුම ආසන වල මිලේගේ පක්ෂයේ ජනප්‍රියත්වය පහත වැටී පෙරොන්වාදීන් 2023ට සාපේක්ෂව 3%-17% අතර ප්‍රතිශත වලින් ඉදිරියට පැමිණ සිටීම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. 

සමපේක්ෂණ ඉල්ලුම ඉහළ ගොස් පෙසෝව වේගයෙන් අවප්‍රමාණය වීමට හේතු වූයේ ඉහත මැතිවරණ ප්‍රතිඵලයයි. මෙම මැතිවරණ ප්‍රතිඵලය හේතුවෙන් එළැඹෙන මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල පිළිබඳවද යම් අවිනිශ්චිතතාවයක් පැන නැගී තිබෙනවා.

වත්නම් ඇමරිකන් ආණ්ඩුවේ අභිලාශය වනුයේ එළැඹෙන මැතිවරණයේදී මිලේගේ පක්ෂය ජයගනු දැකීම බව පැහැදිලියි. ඩොලර් බිලියන 20ක් ලබා දීමට එකඟ වීමෙන් පසුව ඇමරිකාව විසින් තව දුරටත් දැනුම් දී තිබෙන්නේ මැතිවරණයෙන් පසුව ආජන්ටිනාව වෙත ඇමරිකන් ආයෝජන පැමිණීම ප්‍රවර්ධනය කෙරෙනු ඇති බවයි. මෙය ආජන්ටිනාවේ ඡන්දදායකයින් වෙත ඇමරිකාව විසින් සිදු කළ දැනුම් දීමක් සේ සැලකිය හැකියි. එබැවින් මෙය සැලකිය හැක්කේ ආර්ථික මෙන්ම දේශපාලනික රාජ්‍ය මැදිහත්වීමක් ලෙසයි. මිලේගේ පක්ෂය වැනි පක්ෂ සාමාන්‍යයෙන් රාජ්‍ය මැදිහත්වීම් වලට විරුද්ධ බව පැවසුවත්, ඒ විරෝධය ප්‍රායෝගිකව මතු වන්නේ ප්‍රාග්ධනයට එරෙහි වාමාංශික රාජ්‍ය මැදිහත්වීම් වලදී පමණයි.

Tuesday, May 13, 2025

ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට!


සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආජන්ටිනාවට ඩොලර් බිලියන 20ක තවත් ණය මුදලක් අනුමත කළා. මෙය ආජන්ටිනාව විසින් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා 23 වන අවස්ථාවයි. එමෙන්ම මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන්නේද ආජන්ටිනාවයි. 

අරමුදලේ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 12ක්ම ක්ෂණිකව ආජන්ටිනාවට ලැබෙන අතර, තවත් ඩොලර් බිලියන දෙකක සහ ඩොලර් බිලියනයක වාරික දෙකක් මෙම වසර ඇතුළත ලැබීමට නියමිතයි. ඩොලර් බිලියන 20ක මෙම ණය මුදල අනුමත වන විට, ආජන්ටිනාව විසින් 2022 වසරේදී ලබාගත් ඩොලර් බිලියන 31.1ක ණය මුදලක්ද ආජන්ටිනාව විසින් අරමුදලට ගෙවිය යුතුව තිබුණා. මෙම ණය මුදල ඉල්ලා සිටීම සහ එය අනුමත වීම වාර්තාගත කෙටි කාලයක් තුළ සිදු වී තිබෙනවා. 

ලංකාවට මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙද්දී ඒ සමඟම ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්ද ණය ලැබුණු පරිදි, මූල්‍ය අරමුදලේ මෙම ණය මුදල ලැබෙද්දී ආජන්ටිනාවට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 12ක් සහ අන්තර් ඇමරිකානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 10ක් ලෙස තවත් ඩොලර් බිලියන 22ක ණය මුදලක් ලැබෙනවා. මේ අනුව, ආජන්ටිනාව විසින් ඉහත ජාත්‍යන්තර ආයතන තුනෙන් අලුතෙන් ලබා ගන්නා මුළු ණය මුදල ඩොලර් බිලියන 42ක්. 

පසුගිය 2024 වසරේදී ආජන්ටිනාවේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 212%ක් වූ අතර එය සිම්බාබ්වේ හැරුණු විට ලෝකයේ වැඩිම උද්ධමනයක් වාර්තා වූ රටයි. වසර තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතුනද, දෙසැම්බර් මාසයේදීද උද්ධමනය වාර්තා වූයේ 118% ලෙසයි. මෙම (2025) වසර අවසන් වෙද්දී ආජන්ටිනාවේ උද්ධමනය 18%-23% සීමාව දක්වා අඩු කරගැනීම වැඩ සටහනේ ඉලක්කයයි. ආජන්ටිනාව වැනි රටවල් දෙස බලද්දී ආජන්ටිනාවට වඩා ඉතාම දරුණු ආර්ථික අර්බුදයකින් වේගයෙන් ගොඩ ආ ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණය කැපී පෙනෙනවා. 

ආර්ථික අර්බුදය ඇති වන විට ලංකාවේ රාජ්‍ය ආදායම් දදේනියෙන් 8.3% වැනි ඉතා අඩු මට්ටමක තිබුණත්, ආජන්ටිනාවේ රාජ්‍ය ආදායම් (2023දී) දදේනියෙන් 32.5% වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණා. එහෙත්, රජයේ ප්‍රාථමික වියදම් ඊටත් වඩා වැඩි 35.3% මට්ටමේ පැවතුනු නිසා, දදේනියෙන් 2.8%ක ප්‍රාථමික අයවැය හිඟයක් වාර්තා වුනා. මීට සාපේක්ෂව ලංකාවේ ප්‍රාථමික රාජ්‍ය වියදම් පැවතුනේ 14.0% තරම් අඩු මට්ටමකයි. එහෙත් රාජ්‍ය ආදායම් ඉතාම අඩු මට්ටමක පැවති නිසා 5.7%ක ප්‍රාථමික අයවැය හිඟයක් වාර්තා වුනා. 

ආජන්ටිනාවේ පොලී වියදම් දදේනියෙන් 2.5%ක් පමණක් වුවත්, ලංකාවේ එම අගය 6.0%ක් වූ බැවින් ලංකාවේ සමස්ත අයවැය හිඟය 11.7%ක් ලෙස වාර්තා වෙද්දී ආජන්ටිනාවේ සමස්ත අයවැය හිඟය දදේනියෙන් 5.4%කට සීමා වී තිබුණා.

මිලේ රජය බලයට පැමිණීමෙන් පසුව ආජන්ටිනාවේ ප්‍රාථමික රාජ්‍ය වියදම් දදේනියෙන් 29.8% දක්වා අඩු කළා. මෙය 16%ක පමණ වියදම් කප්පාදුවක්. 2024 වන විට ලංකාවේ රාථමික රාජ්‍ය වියදම් දදේනියෙන් 11.5% දක්වා පහත හෙළා ඇති අතර මෙය 18%ක කප්පාදුවක්. දදේනියෙන් 32.5% වැනි ඉතා ඉහළ මට්ටමක සිට 16%ක වියදම් කප්පාදුවක් කරන තරමට, 14.0 මට්ටමේ සිට 18%ක කප්පාදුවක් කරන එක පහසු නැහැ. ලංකාව කළේ එවැනි අසීරු කාර්යයක්. එහෙත්, ආජන්ටිනාවට ලැබෙන තරමේ අගය කිරීමක් ලංකාවට ලැබෙන්නේ නැහැ. 

ඉහත සඳහන් කළ පරිදි, රාජ්‍ය වියදම් 16%කින් අඩු කර ගැනීමෙන් පසුව ආජන්ටිනාවේ දදේනියෙන් 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වූ අතර පොලී වියදම ඊට වඩා අඩු මට්ටමක පැවති බැවින් සමස්ත අයවැය අතිරික්තයක්ද වාර්තා වී තිබෙනවා. දැන් කරන්නට තිබෙන්නේ මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාම පමණයි. එහෙත්, ලංකාව විසින් දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අතිරික්තයක් කරා යාමෙන් පසුවද, ඉතාම ඉහළ  මට්ටමක ඇති පොලී වියදම් හමුවේ, දදේනියෙන් 6.8%ක සමස්ත අයවැය හිඟයක් ඉතිරි වී තිබෙනවා. 

ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටි ලංකාවට විසඳා ගත යුතුව තිබුනේ සහ තිබෙන්නේ ආජන්ටිකාවට තිබුණු ආකාරයේ සූපිං ප්‍රශ්නයක් නෙමෙයි. බලශක්ති අංශයේ මිල ගණන් පිරිවැය හා සසඳා සුබසාධන වියදම් සීමා කර ගැනීම මගින්ම පමණක් ආජන්ටිනාවේ රාජ්‍යමූල්‍ය කළමනාකරණ ඉලක්ක කරා සෑහෙන දුරක් යා හැකිව තිබුනා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් ආජන්ටිනාවට ලොකුවට තිබුණේ නැහැ. නමුත් ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය බොහෝ දුරටම ආදායම් අඩු වීමේ ප්‍රශ්නයක්. දැනට වුවත්, ලංකාවේ රාජ්‍ය ආදායම් පංගුව ආජන්ටිනාවේ එම පංගුවෙන් අඩකටත් වඩා අඩුයි. 

රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයක් ආජන්ටිනාවටද තිබුණත්, එය කිසිසේත්ම ලංකාවේ මට්ටමේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත් අයවැය හිඟය පියවා ගැනීම සඳහා විශාල ලෙස සල්ලි අච්චු ගැසීම ආජන්ටිනාව උද්ධමන අර්බුදයකට තල්ලු කළා. සල්ලි අච්චු ගැසීම නිසා මුදල් සැපයුම ඉහළ යද්දී ඊට සමානව නිෂ්පාදනය වැඩි නොවුවහොත් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. 2023 වන විට ආජන්ටිනාවේ දළ නිල සංචිත ඩොලර් මිලියන 18,654 දක්වාත්, ශුද්ධ විදේශ සංචිත ඩොලර් මිලියන 2,005 දක්වාත් පහත වැටී තිබුණා. වැඩ සටහනේ ඉලක්කය වන්නේ 2030 වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 198,051 දක්වාත්, ශුද්ධ විදේශ සංචිත ඩොලර් මිලියන 163,197 දක්වාත් වර්ධනය කර ගැනීමයි. මේ සඳහා ආජන්ටිනාවේ මහ බැංකුවට ඉදිරි වසර වලදී විණිමය වෙළඳපොළට විශාල මැදිහත් වීමක් කරන්නට සිදු වෙනවා. 

ලංකාව මෙන්ම ආජන්ටිනාවද, සල්ලි අච්චු ගැසීම නිසා ඇති වූ උද්ධමනය හමුවේ, විනිමය අනුපාතය පාලනය කර ගත නොහැකි අදියරකට එළඹුනා. මෙම තත්ත්වය පාලනය කර ගැනීම පිණිස ලංකාව විසින් විණිමය අනුපාතයේ විචලනයන් සීමා කළත්, පසුව විණිමය අනුපාතය නිදහස් කිරීමට සමත් වුනා. එහෙත් ආජන්ටිනාව තවමත් විණිමය අනුපාතය නිදහස් කිරීමට සමත්ව නැහැ.

මිලේ රජය බලයට පත් වීමෙන් පසුව අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ විණිමය අනුපාතය විචලනය වීම සැලසුම්සහගත ලෙස පාලනය කිරීමයි. ඒ අනුව, ආජන්ටිනා පෙසෝව මුලින්ම සැලකිය යුතු තරමින් අවප්‍රමාණය කිරීමෙන් පසුව, මසකට 2%ක නිශ්චිත වේගයකින් අවප්‍රමාණය කරනු ලැබුවා. මේ අයුරින් විනිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම උද්ධමනය අඩු කර ගැනීමට උදවු වුනත්, ඊට වඩා වැඩි උද්ධමනයක් පැවතීම නිසා විණිමය අනුපාතය තුළ එහි නියම අගය පිළිබිඹු වූයේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාවට විනිමය අනුපාතය රැක ගැනීම සඳහා විදේශ සංචිත විකිණීමට සිදු වුනා. මුලින්ම පෙසෝව අවප්‍රමාණය කිරීමෙන් පසු එකතු කරගත් සංචිත ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. හදිසියේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නැවත යන්නට සිදු වුනේ ඒ නිසයි.

අරමුදලේ උදවු ඇතිව, දැන් ආජන්ටිනාව විසින් විණිමය අනුපාතය ක්‍රමයෙන් නිදහස් කිරීමට අපේක්ෂා කරනවා. එහෙත් එය හදිසියේ සිදු වන එකක් නැහැ. මුලින්ම සිදු වන්නේ යම් සීමාවක් තුළ විණිමය අනුපාතය විචලනය වීමට ඉඩ හැරීමයි. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සීමාව පුළුල් කිරීම සැලසුමයි.

සාර්ව ආර්ථික කළමණාකරණයේදී රාජ්‍යමූල්‍ය, මුදල් හා විදේශ අංශ වල මනා තුලනයක් පවත්වා ගැනීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගත හැකියි. මේ හා අදාළව දැකිය හැකි හොඳම මෑතකාලීන උදාහරණයක් වන්නේ ලංකාවයි. රාජ්‍යමූල්ය අංශය කළමනාකරණය කරගෙන ඇතත්. තවමත් විදේශ අංශය හෝ උද්ධමනය කළමනාකරණය කරගත නොහැකිව සිටින ආජන්ටිනාවට වුවද ලංකාවෙන් උගත හැකි දේ තිබෙනවා. 

Monday, April 8, 2024

පෝල් සිංගර් එ. ආජන්ටිනාව


"ණයකාරයෝ අකැමති වුනත් ගෙවන්නේ නැහැ කිවුවොත් උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ නේද?"

මේක කිහිප දෙනෙක්ම අසා තිබෙන ප්‍රශ්නයක්. මේ සටහන "උන්ට කරන්න පුළුවන් දේවල්" ගැන උදාහරණයක්.

ආජන්ටිනාව කියන්නේ ආර්ථික අර්බුද ගැන කතා කරද්දී කතා නොකරම බැරි රටක්. දැන්නම් දක්ෂිණාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අය අතර ජනප්‍රිය රටක්. කොහොම වුනත් මේ සටහනෙහි දේශපාලන කරුණු කතා කරන්නේ නැහැ. 

ආජන්ටිනාව 1998-2002 අතර කාලයේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා [1]. ආර්ථිකය 28%කින් පමණ හැකිළුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 2001 වසර අවසානයේදී ආජන්ටිනාවට ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. ඒ වෙද්දී ගෙවන්න තිබුණු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 132ක් පමණ. එයින් ඩොලර් බිලියන 82ක් පමණ අරගෙන තිබුණේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා.

ආජන්ටිනාව විසින් ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරමින් කිසියම් එකඟතාවයකට එන්න උත්සාහ කළත් මේ වැඩේ සාර්ථක වුනේ නැහැ. අන්තිමට 2005 වර්ෂයේදී සාකච්ඡා පැත්තක දමලා ආජන්ටිනාව විසින් ඒකපාර්ශ්වීය ලෙස ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා.

ආජන්ටිනාව විසින් මෙම යෝජනාව ඒකපාර්ශ්වීය ලෙස ඉදිරිපත් කරන විට මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වල නොගෙවූ පොලිය විදිහට තවත් ඩොලර් බිලියන 20.8ක් එකතු වී තිබුණා. ඒ අනුව, ණයහිමියන්ට ලැබිය යුතු වූ මුදල ඩොලර් බිලියන 102.6ක්. (මීට අමතරව IMF එකට හා වෙනත් රටවලට ගෙවිය යුතු ණයත් තිබුණා.) මෙය ඉතිහාසයේ රජයක් විසින් තියපු ලොකුම පොල්ලක් කියා කියන්න පුළුවන්.

අපේක්ෂා කළ හැකි පරිදිම, ආජන්ටිනාව විසින් කළ යෝජනාව ණයහිමියන්ට බොහෝ අවාසිදායක එකක්. එහෙම නැත්නම් ප්‍රශ්නය කතා කරලා විසඳාගන්න තිබුණනේ. ඒ නිසා, ණයහිමියෝ මේ යෝජනාවට කැමති වීමේ ඉඩක් ලොකුවට තිබුණේ නැහැ. 

මේ තත්ත්වය තුළ, කොහොම හරි ණයහිමියන්ව කැමති කර ගැනීම සඳහා, ආජන්ටිනාව පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරගත්තා. එම නීතිය අනුව, ආජන්ටිනාවේ රජයට මෙම අවස්ථාව ප්‍රයෝජනයට නොගන්නා අයට අනාගතයේදී මීට වඩා හොඳ ඩීල් එකක් ලබා දිය නොහැකියි. ඒ වගේම, මේ ඩීල් එකේ දිනය අවසන් වූ පසු නැවත විවෘත කරන්නත් බැහැ. ඒ කියන්නේ දෙන දේ ගන්න වෙනවා. නැත්නම් ඒකවත් ලැබෙන්නේ නැහැ.

ඔය ඒකපාර්ශ්වීය යෝජනාව ඉදිරිපත් කරන කොට ණයහිමියන්ට වසර හතරකට කිට්ටු කාලයක් තිස්සේ තමන්ගේ ආයෝජනය වෙනුවෙන් කිසිම දෙයක් ලැබිලා නැහැ. ඒ වගේම ඔය බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම නැත්තටම නැති වෙලා නිසා ඒවා කාටවත් විකුණන්නත් බැහැ. මේ තත්ත්වය යටතේ, කොයි තරම් අවාසිදායක වුණත්, සැලකිය යුතු පිරිසක් ආජන්ටිනාවේ යෝජනාවට කැමති වුනා.

මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් බිලියන 62.3ක් ඔය විදිහට ස්වේච්ඡාවෙන් හුවමාරු වුනා. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 32.2ක අලුත් බැඳුම්කර ලබා දුන්නා. ඒ කියන්නේ මුහුණත අගයෙන් 51.7%ක්. නොගෙවූ පොලිය ගෙවීමක් සිදු වුනේ නැහැ. නමුත් හුවමාරු කර අලුතෙන් ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ආජන්ටිනාව නියම පිළිවෙළට පොලී ගෙවුවා. ඒ නිසාම, ඒ බැඳුම්කර වලට ද්වීතියික වෙළඳපොළකුත් හැදුනා.

මේ අනුව, බැඳුම්කර වලින් 76.2%ක් හුවමාරු වුනා. මුදලේ කාල වටිනාකමද සැළකු විට හුවමාරුවට කැමති වූ අයට ලැබුණේ ලැබිය යුතුව තිබුණු මුදලින් 30%ක පමණ මුදලක්. හැබැයි ස්වෛරිත්ව බැඳුම්කර වලින් 24%ක් පමණ ඔය විදිහට හුවමාරු වුනේ නැහැ. ඒ අය ගේමම ඉල්ලුවා. අධිකරණ ක්‍රියමාර්ග වලට ගියා. 

ආජන්ටිනාවේ විදේශ සංචිත ප්‍රමාණය 2002 වන විට ඩොලර් බිලියන 10.4 දක්වා අඩු වෙලයි තිබුණේ. දිගින් දිගටම සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයකුත් එහි උදවුවෙන් ජංගම ගිණුමේ අතිරික්තයකුත් පවත්වා ගැනීම මගින් මෙම සංචිත ප්‍රමාණය 2010 වන විට ඩොලර් බිලියන 52.2 දක්වා වර්ධනය කර ගැනීමට ආජන්ටිනාව සමත් වුනා. ඔය අතර 2006දී ආජන්ටිනාව විසින් IMF එකට ගෙවිය යුතුව තිබුණු ඩොලර් බිලියන 9.5ක ණය මුදලද එක පාරම ගෙවලා දැම්මා. මේ කාලයේදී ආජන්ටිනාවේ ආර්ථික වර්ධන වේගයද ඉහළ ගියා.

ඔහොම තියෙද්දී ආජන්ටිනාවට නැවත ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගන්න අවශ්‍ය වුනා. නමුත්, කලින් කරපු "වැරැද්ද" නිසා රෙද්දක් ඇඳගෙන ආපහු ණය ඉල්ලන්න අමාරු තත්ත්වයකුයි ඇති වෙලා තිබුණේ. ඒ නිසා, පාර්ලිමේන්තුව විසින් කලින් නීතිය වෙනස් කරලා කලින් සැරේ ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගත් අයට නැවත අවස්ථාවක් දුන්නා. මේ අවස්ථාවේදී පුද්ගල ආයෝජකයින්ට මුළු මුහුණත අගයම ආපසු ලැබුණා. ආයතනික ආයෝජකයින්ට එයින් 66.3%ක් ලැබුණා.

ඒ වෙද්දී කලින් අවස්ථාවේදී ණය හුවමාරුවට කැමති වුන අයට සල්ලි ලැබෙනවා. අනෙක් අයට කිසිවක් නැහැ. ඒ අයගෙන් කොටසක් අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහින් හිටියා. ඉතිරි අය ඒ අයගේ පානෙන් එළිය බලන්න බලාගෙන හිටියා. එහෙම හිටපු බොහෝ දෙනෙක් ලොකුකම පැත්තකින් තියලා දෙවන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ අනුව, මුළු ණය ප්‍රමාණයෙන් 91.3%ක් දක්වා හුවමාරු වුනා. හැබැයි ඉතිරි අය ඒ පාරත් ඩීල් එකට කැමති වුනේ නැහැ. ඒ අය දිගටම ගේමේම හිටියා.

මේ වෙද්දී හුවමාරු කර නොගැනුණු බැඳුම්කර වල මුහුණත අගය ඩොලර් බිලියන 6.8ක් වූ අතර එම කාලයට දිගටම කූපන් පොලී එකතු කළහොත් තවත් බිලියන 4.4ක් එකතු වී ඩොලර් බිලියන 11.2ක් වෙනවා. ණයහිමියන් විසින් මෙම මුදල ඩොලර් බිලියන 15ක් ලෙස ගණන් හදා තිබුණා. ඔවුන්ගෙන් කොටසක් එයින් තමන්ගේ පංගුව ලබා ගැනීම සඳහා දිගින් දිගටම අධිකරණ ක්‍රියාමාර්ග වල නියැලී සිටියා.

මෙම කාලය ඇතුළත (2012 දක්වා) අඩු වශයෙන් ණයහිමියන් හෝ කණ්ඩායම් 151ක් නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික්කයේ අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් තමන්ගේ අරමුදල් වෙනුවෙන් සටන් කළා. ඔවුන් ඉල්ලා සිටි සහනය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් උත්සාහ කළේ පාඩුව අවම වන සේ හැකි තරම් වැඩි මුදලක් ලබා ගෙන ගනුදෙනුව බේරාගන්නයි. දෙවන කණ්ඩායම උත්සාහ කළේ අන්තිම සතය දක්වා තමන් ඉල්ලන මුදල කෙසේ හෝ ලබා ගන්නයි. පළමු කණ්ඩායමේ අයගෙන් කොටසක් දෙවන වරට සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අධිකරණ ක්‍රියාමාර්ග වලින් ඉවත් වුනා. එහෙත්, ඔවුන්ගෙන් කොටසක් හා දෙවන කණ්ඩායම වැඩේ අත ඇරියේම නැහැ.

ඔය දෙවන කණ්ඩායමේ සිටියේ හෙජ් අරමුදල්. ඔවුන් මෙම බැඳුම්කර මිල දී ගෙන තිබුණේ ඒවායේ මිල කඩා වැටුණු පසුව කුණු කොල්ලයටයි. කවුරුවත් මිල දී නොගන්නා වෙලාවක ඒ විදිහට මේ බැඳුම්කර මිල දී ගන්නේම කාලයක් තිස්සේ නඩු කියා කෙසේ හෝ අධික ලාබයක් ලබා ගැනීමේ අරමුණිනුයි. පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම එවැනි අරමුදලක්. මෙවැනි අරමුදල් ඇතැම් අය විසින් වල්චර් අරමුදල් ලෙසද හඳුන්වනවා.

පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම විසින් තවත් සමාගම් හා පුද්ගලයින් 19 දෙනෙකු හා එක්ව ආජන්ටිනාවට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව අවසානයේදී ඔවුන්ට වාසිදායක ලෙස ලැබුණු අතර ආජන්ටිනාව විසින් ඩොලර් බිලියන 2.4ක මුදලක් පෙත්සම්කරුවන් වෙත ගෙවිය යුතු බව තීන්දු වුනා. 

මෙම නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ආජන්ටිනාව විසින් ඇමරිකාවේ තිබුණු ආජන්ටිනාව සතු වත්කම් ඉවත් කර ගැනීමට උත්සාහ කරද්දී ඇමරිකාවේ තිබෙන ආජන්ටිනාවේ වත්කම් එළිදරවු කර ගැනීමට ඉඩ දෙන මෙන් පෙත්සම්කරුවන් විසින් කළ ඉල්ලීමටද අධිකරණය අනුමැතිය දුන්නා. මෙම ඉල්ලීමට එරෙහිව ආජන්ටිනාවට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නැති බවද අධිකරණය විසින් තීරණය කළා. 

මෙම තීන්දුව ලැබෙන්නත් පෙර, 2012දී, NML කැපිටල් සමාගම විසින් ඝානාවේ අධිකරණයකින් නියෝගයක් ලබාගෙන ආජන්ටිනාවේ නාවුක හමුදාවට අයත් යාත්‍රාවක් ඝානාවේදී රඳවා ගනු ලැබූ අතර මෙය ආජන්ටිනාව විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයක්. අවසානයේදී එම යාත්‍රාව බේරාගන්නට සිදු වුනේ ජාත්‍යන්තර අධිකරණයකට ගිහින්. මෙම සිද්ධියෙන් පසු ආජන්ටිනාවේ ජනාධිපතිවරයාට ඔහු ගමන් ගන්නා රජයට අයත් ගුවන් යානය වෙනත් රටකදී අත්පත් කර ගැනීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු වූ අතර, පෞද්ගලික ගුවන් යානා වලින් ගමන් කරන්නට සිදු වුනා. 

අවසාන වශයෙන් ආජන්ටිනා රජයට ඇමරිකාවේ අධිකරණ නියෝගය අනුව පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු මුදල ගෙවනු හැර වෙනත් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. මෙම මුදල 2014 වසරේදී ගෙවනු ලැබුවා. වසර 14ක අඛණ්ඩ සටනකින් පසු පෝල් සිංගර් විසින් ඔහුගේ ආයෝජනය වෙනුවෙන් 20.5 ගුණයක ප්‍රතිලාභයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මුහුණත අගය ඩොලර් මිලියන 617ක් වූ මෙම ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගැනීම සඳහා වැය කර තිබෙන්නේ ඩොලර් මිලියන 117ක් පමණයි. 

මේ විදිහට රටක් අමාරුවේ වැටුනට පස්සේ මස් රාත්තලම ඉල්ලන එක වැරදිද?

ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කරන කෙනෙක් එහෙම කරන්නේ ආයෝජනය කරන්න වෙන විකල්ප නැති නිසා නෙමෙයි. ගන්න අවදානමට සාපේක්ෂව වැඩි අවදානමක් තිබෙන නිසා. ලංකාවම ගත්තත්, ඉතිහාසයේ කවදාවත් ණය පැහැර හැරලා නැති බව, රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන බව, සාර්ව ආර්ථික තුලනය ඉතාම හොඳින් තිබෙන බව වගේ දාහක් දේවල් කියලා තමයි ඔය ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජකයින්ගේ ඇඟේ ගහලා තියෙන්නේ. 

එහෙම කොයි තරම් දේවල් කිවුවත් ලංකාව වගේ රටක් අන්තිමට පොල්ල තියයි කියන සැකය නැති කරන්න අමාරුයි. පොල්ල තිබ්බොත් පුද්ගලයෙක්ගෙන් හෝ සමාගමකින් වගේ ලේසියෙන් රජයකින් ණය ආපසු අය කර ගන්න බැරි බව ආයෝජකයෝ දන්නවා. මොකද රජයකට නීතියෙන් පුද්ගලයින්ට හෝ සමාගමකට නැති මුක්තියක් හිමි වෙනවා. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට රජයන් විසින් ස්වෛරිත්ව බැඳුම්කර විකුණද්දී ඔය රාජ්‍යතාන්ත්‍රික මුක්තිය අත හරින්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ කොන්දේසි කඩ කරලා නඩු වැටුනට පස්සේ ආයි ඥාව් ගාන්න බැහැ.

ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන රජයයන්ට මතු ආරක්ෂාවට පිණිස කළ හැකි තවත් දෙයක් තියෙනවා. ඒවාට කියන්නේ Collective Action Clause (CAC) provisions කියලා. ගිවිසුමට මේ කොන්දේසි ඇතුළත් කර ගත්තොත්, ණය පැහැර හැරීමකදී බහුතර ණයහිමියන් කැමති වන ඩීල් එකක් ඉතිරි අයටත් භාර ගන්න වෙනවා. ආජන්ටිනාව මේ ගැන බරපතල ලෙස හිතලා තිබුණේ නැහැ. 

ආජන්ටිනාව දමා ගත්තේ නැතත්, ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරද්දී Collective Action Clause (CAC) provisions දමාගෙන තිබෙනවා. මේක ලංකාවට වාසියක්. ඒ නිසා, කොහොම හරි බැඳුම්කරහිමියන්ගෙන් 75%ක කැමැත්ත ගත්තොත් ඉතිරි 25%ට කරන්න දෙයක් නැහැ. හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් බැඳුම්කරයකින් 25%ක්ම එකතු කරගෙන තියෙන්නේ මේ නිසා. හැබැයි තනි තනි බැඳුම්කර වලට නැතුව මුළු ලොට් එකටම එකම හුවමාරු කොන්දේසි ඉදිරිපත් කළොත් ඔය 75% සීමාව 66.6% දක්වා අඩු වෙනවා. ඊට අමතරව එක් එක් තනි බැඳුම්කරයේ ණයහිමියන්ගෙන් 50%ක කැමැත්තත් අවශ්‍ය වෙනවා [2]. 

ලංකාවට තියෙන අභියෝගය ඔය සීමා පන්නගන්න එක. එහෙම කරගත්තොත් සුළුතරයට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය විදිහට බහුතරය කැමති කරගන්නනම් හොඳ ඩීල් එකක් දෙන්න වෙනවා. වැඩිපුර වාසි ගන්න හදලා වැඩි දෙනෙක් අකැමැති වුනොත් ඊට පස්සේ දිගින් දිගටම නඩු තමයි.

Tuesday, October 4, 2022

ණයහිමියන්ගේ පැරිස් සංසදය


ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කෙරෙන ගොඩක් තැන් වලදී ණයහිමියන්ගේ පැරිස් සංසදය නොහොත් පැරිස් ක්ලබ් එක ගැන සඳහන් වෙනවා. මොකක්ද මේ පැරිස් සංසදය?

කෙටියෙන් කිවුවොත්, පැරිස් සංසදය සම්ප්‍රදායික ණයහිමියන්ගේ අවිධිමත් එකතුවක්. ආරම්භයේදී මෙහි සිටියේ රටවල් එකොළහක් පමණයි. දැන් මේ ගණන 22 දක්වා වැඩි වෙලා. වැඩි හරියක්ම බටහිර රටවල් වුනත්, රුසියාව හා බ්‍රසීලය වැනි රටවල්ද මේ ගොඩේ ඉන්නවා. නමුත්, චීනය නැහැ. ඉන්දියාවත් තවම නැහැ. 

විදේශ ණය ගෙවීම පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ගෙවුම් ශේෂ අර්බුද, IMF වැඩ සටහන් ආදිය ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට අමතක නොකෙරෙන රටක් වන්නේ ආජන්ටිනාවයි. පැරිස් සංසදය ගැන කතා කරද්දීත් ආජන්ටිනාව මග හැර යන්න බැහැ.

මීට වසර 67කට පෙර, 1955 සැප්තැම්බර් 21 වෙනිදා ආජන්ටිනාවේ ජනාධිපති හුවං දොමින්ගෝ පෙරොන්ව (Juan Domingo Perón) නිදහසේ විප්ලවය (Revolución Libertadora) ලෙස නම් කෙරුණු හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කෙරෙනවා. දොමින්ගෝ පෙරොන් වමට බර දේශපාලනයක් කළ අයෙක්. ඔහුව බලයෙන් පහ කිරීමෙන් පසුව, නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ 1958දී. ඔය අතර කාලයේදී හමුදා කුමන්ත්‍රණයේ ප්‍රබල චරිතයක් වූ හිටපු හමුදා ජෙනරාල් පේද්රෝ අරම්බුරු (Pedro Eugenio Aramburu Silveti) ආජන්ටිනාවේ ජනාධිපති සේ කටයුතු කරනවා. 

හමුදා කුමන්ත්‍රණය හරහා බලය ලබා ගන්නා පේද්රෝ අරම්බුරුගේ ආණ්ඩුවට බටහිර රටවල හොඳහිත අවශ්‍ය වෙනවා. ඔහු බලය තහවුරු කරගත් සැණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කරනවා. ඒ වන විට ආජන්ටිනාව මේ ලෝක සංවිධාන වල සාමාජිකත්වය ලබා ගෙන නැහැ. හමුදා කුමන්ත්‍රණයෙන් වසරකට පසුව 1956 සැප්තැම්බර් 20 වෙනිදා ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්නවා. එතැන් සිට 21 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙන ආජන්ටිනාව ඒ අතින් ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. ඒක වෙනම කතාවක් නිසා පැත්තකින් තියමු. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්න කලින්, ඒ සඳහා වන කොන්දේසියක් විදිහට, ආජන්ටිනාවේ ආණ්ඩුවට තමන් විසින් ඒ වෙද්දී අරගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවන පිළිවෙළ ගැන සහතිකයක් දෙන්න අවශ්‍ය වෙනවා. මේ ගැන කතා කරගෙන එකඟතාවයකට පැමිණීම සඳහා ආජන්ටිනාව විසින් තමන්ගේ ප්‍රධාන ණයහිමියන්ට ආරාධනා කරනවා. ඒ අනුව, ආජන්ටිනාවේ ප්‍රධාන ණය හිමියන් වූ රටවල් 11ක නියෝජිතයින් පැරිස් නුවරදී රැස් වෙනවා. ඕක තමයි පැරිස් සංසදයේ ආරම්භය.

ණයහිමියන්ගේ මේ රැස්වීම සංවිධානය කරන්නේ ප්‍රංශයේ ආර්ථික කටයුතු ඇමති විසින්. 1956 මැයි 14-16 දින තුන තුළ මෙම සමාරම්භක රැස්වීම පැවැත්වෙනවා. ඔය එකතුව තමයි පසුව ණයහිමියන්ගේ පැරිස් සංසදය විදිහට පරිණාමය වෙන්නේ. 

මේ වන විට පැරිස් සංසදයේ ස්ථිර සාමාජිකයින් ගණන 22ක්. ඒ, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, නෝර්වේ, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදයයි. මසකට වරක් පැරිස් නුවරදී පැවැත්වෙන මේ ස්ථිර සාමාජිකයින්ගේ රැස්වීමට ඔවුන්ගේ ආරාධනය මත වෙනත් රටවලටද සහභාගී විය හැකියි. චීනය හා දකුණු අප්‍රිකාව වැනි රටවල් රැස්වීම් වලට එසේ සහභාගී වී තිබෙනවා. 

පසුගිය වසර 66ක කාලය තුළ පැරිස් සංසදය විසින් ණයගැති රටවල් 102ක් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 478ක් සිදු කර තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කර ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 612ක්. පසුගිය 2021 වසර අවසන් වන විට ණයගැති රටවල් විසින් ඩොලර් බිලියන 334ක ණය ප්‍රමාණයක් පැරිස් සංසදයේ රට වලට ගෙවිය යුතුව තිබුණා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන මීට පෙර ලංකාවේ ලොකු කතාබහක් ඇති වී නැහැ. එහෙත්, පැරිස් සංසදය විසින් මීට පෙරද ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කර තිබෙනවා. සුනාමියෙන් පසුව සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එවැනි අවස්ථාවක්. පැරිස් සංසදයේ රටක් සමඟ නොවුනත්, හම්බන්තොට වරාය හැදීමට චීනයෙන් ලබාගත් ණයද ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. 

ලංකාවේ මේ මොහොතේ ණය වලින් පැරිස් සංසදයේ රටවල ණය ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නෙමෙයි. එහෙත්, හේතු ගණනාවක් නිසා ලංකාව පැරිස් සංසදය සමඟ ඇති කරගන්නා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවය ඉතාම වැදගත්. එක පැත්තකින්, මේ කණ්ඩායමේ ඉන්නේ ලෝක දේශපාලනය තීරණය කරන ලොක්කෝ ටික. ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන පාලනය කරන නූල් ටික තියෙන්නෙත් මේ කණ්ඩායම අතේ. (මීට පිටින් ඉන්න චීනයත් ලොක්කෙක් තමයි!) දෙවනුව, ලංකාවේ ණය වලින් බාගයක් පමණ වාණිජ ණය වුවත් අදාළ ණයහිමියන් බොහෝ දෙනෙක් ඉන්නේද පැරිස් සංසදයේ රටවලයි. ඒ රටවල රජයයන් සමඟ ඇති කර ගන්නා එකඟතාවය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහිද බලපෑමක් කරනවා. 

පැරිස් සංසදයේ දත්ත අනුව, 2021 අවසානයේදී ලංකාව පැරිස් සංසදයේ රටවලට ඩොලර් මිලියන 4,266ක් ණයයි. ලංකාවේ දත්ත අනුව, 2022 ජූනි අවසානයේදී මෙම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,780ක්. එයින් ඩොලර් මිලියන 2,741ක්ම ණය ජපානයටයි. මෙයට සාපේක්ෂව, පැරිස් සංගමයෙන් පිටත සිටින චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 7,324ක්. 

පැරිස් සංගමය කියන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන් කිසියම් ජාත්‍යන්තර සම්මුතියක් හෝ ප්‍රඥප්තියක් හරහා පිහිටුවා ගනු ලැබූ නෛතික ආයතනයක් නෙමෙයි. ඇත්තටම කියනවානම් පැරිස් සංගමය කියා ආයතනයක් නැහැ. එය ආයතනයක් නොවන ආයතනයක්!

පැරිස් සංගමය එහි සාමාජිකයින්ගේ අවධිමත්, ලිහිල් එකතුවක් පමණයි. පැරිස් සංගමයේ තීරණ ක්‍රියාත්මක වන්නේ තනිකරම සම්මුතිය හා අන්‍යෝන්‍ය විශ්වාසය මතයි. කෙසේ වුවත්, වසර 66ක් මෙම ආකෘතිය "වැඩ කර" තිබෙනවා. පැරිස් සංගමය පිහිටුවීමේ අරමුණ මෙම ණයහිමි රටවලට ලැබිය යුතු ණය කාර්යක්ෂම සේ අය කර ගැනීම මිසක් ණයගැති රටවලට සහන දීම නෙමෙයි. එවැන්නක් සිදුවේනම් එය අතුරු ප්‍රතිඵලයක් පමණයි.

පැරිස් සංගමය ක්‍රියාත්මක වන ප්‍රධාන මූලධර්ම හයක් තිබෙනවා.

1. සහයෝගීතාවය (Solidarity) - සියලුම සාමාජිකයින් කණ්ඩායමක් ලෙස මිස තනි තනිව ණයගැති රට සමඟ ගනුදෙනු නොකිරීම 

2. සම්මුතිය (Consensus) - සෑම සාමාජික රටකම එකඟත්වයෙන් පමණක් තීරණ ගැනීම. මේ අනුව, ඕනෑම එක් සාමාජික රටකට තීරණයක් ආපසු හැරවිය හැකියි.

3. සාමාජික රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීම (Information sharing) 

4. පොදු රාමුවක සිර නොවී, එක් එක් ණයගැතියා හා අදාළව වෙන වෙනම තීරණ ගැනීම (Case by case) 

5. කොන්දේසි යටතේ පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම (Conditionality) - පිළිගත හැකි සාර්ව ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ සිටීම මෙන්ම මීට පෙර ඇති කරගත් එවැනි වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කර තිබීමද මෙහිදී සලකා බැලෙනවා.

6. සමාන ලෙස සැලකීම (Comparability of treatment) - මෙම මූලධර්මය අනුව පැරිස් සංසදයේ සාමාජිකයින් සමඟ ඇතිකරගත් එකඟතාවයට වඩා වාසිදායක එකඟතාවයකට පැමිණීමට අනෙක් ණයහිමියන්ට ඉඩක් නොලැබිය යුතුයි. 

මේ මූලධර්ම අතරින් වඩාත්ම මතභේදාත්මක මූලධර්මය සේ සැලකිය හැක්කේ අවසන් එකයි. ඒ හරහා, පැරිස් සංසදයෙන් පිටත සිදුවන සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ද පාලනය කෙරෙනවා. උදාහරණයක් ලෙස පැරිස් සංසදය 50%ක ණය කපා හැරීමකට එකඟ වුවහොත්, චීනයද අනිවාර්යයෙන්ම 50%ක් ණය කපා හැරිය යුතුයි. 

මෙහෙම කිවුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් යන්නෙන් ණය කපා හැරීමක් අදහස් වන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පහත පරිදි වර්ග කළ හැකියි.

1. ණය සේවා කාලය දිගු කිරීම- මෙහිදී ණය වාරික කුඩා වන නමුත් ණය ප්‍රමාණය අඩු වන්නේ නැහැ. කාලය දිගු වන නිසා ඇත්තටම වෙන්නේ පොලී වියදම් වැඩි වීමක්.

2. ණය සමා කාලයක් ලබා දීම - මෙහිදී කිසියම් නිශ්චිත කාලයක් යන තුරු ණය වාරික ආපසු ගෙවීම අත්හිටවන නමුත් ඉන් පසුව එකතු වූ අමතර පොලියද සමඟ ණය වාරික ගෙවිය යුතුයි.

3. පොලී සහනයක් ලබා දීම - මෙහිදී ණය මුදල අඩු නොවන නමුත් ගෙවිය යුතු පොලී මුදලෙන් යම් කොටසක් කපා හැරෙනවා.

4. ණය සහනයක් ලබා දීම - මෙහිදී ණය මුදලෙන් යම් කොටසක් කපා හැරෙනවා. 

ඉහත අවස්ථා හතරෙන් මුල් දෙක සැලකෙන්නේ සහනදායී නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ලෙසයි. සහනයක් ලැබෙන්නේ අවසන් අවස්ථා දෙකේදී පමණයි. අංක 4 වැනි පහළ මට්ටමක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ඊට ඉහළ මට්ටම් වල ඇති වාසිද බොහෝ විට ලැබෙනවා. 

මා පෙර කී පරිදි හා ඉහත අංක 5 මූලධර්මය අනුව, ලංකාව පැරිස් සංසදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ආරම්භ කිරීමට පෙර සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් සකස් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගත යුතුයි. මේ වන විට එය සිදු වී තිබෙනවා. එම වැඩ පිළිවෙළ තුළ රටේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා අවශ්‍ය වන අවම අරමුදල් ප්‍රමාණය (financing gap) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුනාගෙන සහතික කළ යුතුයි. ඒ කියන්නේ, අවම වශයෙන් මෙපමණ කාලයකට මෙපමණ ණය ප්‍රමාණයක් නොගෙවා සිටියොත් පමණක් ආර්ථිකය නැවත ස්ථාවර කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දිය යුතුයි.

ඒ හැර, ණයගැති රටට වෙනත් කළ හැකි දෙයක් නොතිබිය යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ ඒ තත්ත්වය තුළ පමණයි. ඒ කියන්නේ, රටේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා අදාළ රටට කළ හැකි ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන්නේ ඒ සියල්ල කිරීමෙන් පසුවද ඉතිරි වන මූල්‍ය පරතරය (financing gap) පියවා ගැනීමට උදවුවක් ලෙස පමණයි.

මෙහිදී පැරිස් සංසදය විසින් අනුගමනය කරන රීති කිහිපයක් තිබෙනවා. විශේෂ හේතුවක් නැත්නම් අදාළ වන්නේ සාමාන්‍ය රීති මාලාවයි (Classic terms). ඊට වඩා සහනදායී කොන්දේසි යටතේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සලකා බැලෙන්නේ පහළ මැදි ආදායම් කාණ්ඩයේ හෝ ඊටත් වඩා පහළින් සිටින රටවල් හා අදාළව පමණයි. අධික ණය බරෙන් පීඩා විඳින පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල් සඳහා හූස්ටන් රීති මාලාව (Houston terms) යොදා ගැනෙනවා. 

ලංකාව සඳහා හූස්ටන් රීති මාලාව යොදා ගත හැකි වෙයිද?

මෙය තීරණය කෙරෙන්නේ නිර්ණායක තුනක් මතයි. අඩු වශයෙන් පහත කොන්දේසි තුනෙන් දෙකක් සැපිරේනම් හූස්ටන් රීති මාලාව යොදා ගත හැකියි.

පළමු නිර්ණායකය - ඒක පුද්ගල ආදායම ඩොලර් 2995ට වඩා අඩුවීම 

දෙවන නිර්ණායකය - අධික ණයගැති භාවය 

තෙවන නිර්ණායකය - ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණය අඩු වශයෙන් වාණිජ ණය ප්‍රමාණය මෙන් 150% ගුණයක් වීම 

දෙවන නිර්ණායකය වන අධික ණයගැති භාවය සම්පූර්ණ වීමටනම් පහත කොන්දේසි තුනෙන් දෙකක් සම්පූර්ණ විය යුතුයි.

1. දදේනි අනුපාතයක් ලෙස ණය ප්‍රමාණය 50% ඉක්මවීම 

2. අපනයන ආදායම් වල ප්‍රතිශතයක් ලෙස ණය ප්‍රමාණය 275% ඉක්මවීම 

3. ණය සේවා ප්‍රමාණය අපනයන ආදායම් වලට වඩා 30%කින් වැඩිවීම 

මේ කොන්දේසි තුනෙන් පළමු දෙක සැපිරෙන බැවින් ලංකාවට දෙවන නිර්ණායකය වන අධික ණයගැති භාවය පහසුවෙන් පෙන්විය හැකියි. එහෙත්, ලංකාවේ වාණිජ ණය ප්‍රමාණය ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි නිසා තෙවැන්න කෙසේවත් පෙන්විය නොහැකියි. එවිට ඉතිරි වන්නේ පළමු නිර්ණායකයයි.

ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2995ට වඩා අඩුනම් හූස්ටන් රීති මාලාව අනුව ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් ඉල්ලීමක් කළ හැකියි. එසේ නැත්නම්, අදාළ වන්නේ සාමාන්‍ය රීති මාලාවයි. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,995 ආසන්නයේ ඇති නිසා විණිමය අනුපාතයේ හා උද්ධමනයේ සිදු වන පොඩි එහා මෙහා වීම් මත පහළ කාණ්ඩයට වැටෙන්න පුළුවන්. එසේ වුනොත්, මේ වෙලාවේ එහි වාසියක් තිබෙනවා.

සාමාන්‍ය රීති මාලාව යොදා ගැනීම සඳහා එතරම් ලොකු කොන්දේසි නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ සාර්ව ආර්ථික වැඩ පිළිවෙලක් තිබීම හා අතීතයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කර තිබීම වැනි දෑ ඒ සඳහා ප්‍රමාණවත්. දැනට පැරිස් සංගමය විසින් ණය ප්‍රතිව්‍යුගත කිරීම් කළ රටවල් 102ක් අතරින් රටවල් 61ක් සඳහාම යොදා ගෙන තිබෙන්නේ මේ සාමාන්‍ය රීති මාලාවයි. රටවල් 21ක් සඳහා හූස්ටන් රීති මාලාව යොදාගෙන තිබෙනවා. 

ණය ප්‍රතිව්‍යුගත කිරීම සඳහා සාමාන්‍ය රීති මාලාව යොදා ගනු ලැබුවහොත් ණය හෝ පොලිය කපා හැරීමක් සිදු වන්නේ නැහැ. ඉහත පළමු හා දෙවන වර්ගීකරණ යටතේ ඇති පරිදි සමා කාලයක් ඇතිව හෝ නැතිව ණය ආපසු ගෙවීමේ කාලයේ කල් යාමක් පමණක් සිදුවන අතර මෙහිදී එම වැඩි වන කාලය වෙනුවෙන් පොලී වියදම් වැඩි වීමක් පමණක් නොව පොලී අනුපාතික වල වැඩිවීමක්ද සිදු වෙනවා. මුලින් ණය ලබා ගැනීමේදී එකඟ වූ සහන පොලිය වෙනුවට ඒ වෙලාවේ පවතින වෙළඳපොළ පොලිය ආදේශ වීම එයට හේතුවයි. 

හූස්ටන් රීති මාලාව යටතේ මේ අයුරින් පොලී අනුපාතික ඉහළ යන්නේ නැහැ. මුලින් ණය ලබාගත් පොලී අනුපාතික වලටම දිගටම පොලී ගෙවාගෙන යා හැකියි. එහෙත්, එහිදීද, කාලය දිගු වන නිසා පොලී වියදම් වැඩි වීමක් වෙනවා. මේ රීති මාලාව යටතේ ණයහිමි රටවලට ඔවුන්ගේ කැමැත්ත පරිදි ණය වෙනුවට වෙනත් වත්කම් හුවමාරු කරගත හැකියි. 

පැරිස් සංසදය සමඟ සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ලංකාවට අපේක්ෂා කළ හැකි හොඳම තත්ත්වය හූස්ටන් රීති මාලාව යටතේ සලකා බලනු ලැබීමයි. ඒ තත්ත්වය ය‍ටතේ වුවද ණය හෝ පොලී වියදම් වල අඩු වීමක් වෙන්නේ නැහැ. වසර දෙක තුනකට ණය නොගෙවා සිටීමේ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙත්, ඉන් පසුව, එම කාලය සඳහා එකතු වන පොලියද සමඟ ණය වාරික ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ කාලය රටේ ආර්ථිකය හරි පාරට දමා ගැනීම සඳහා ලැබෙන පොඩි විවේක කාලයක් පමණයි. 

පැරිස් සංසදය එකඟ වන්නේ මේ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකටනම්, ඉන්දියාවට හෝ චීනයට එම කොන්දේසි වලට එකඟ වීම අමාරු වෙන එකක් නැහැ. 2019 මැයි 6 දින සිට නිරීක්ෂකයෙකු ලෙස පැරිස් සංසදයේ රැස්වීම් වලට සහභාගී වන ඉන්දියාවට පැරිස් සංසදයේ ස්ථිර සාමාජිකයෙකු වීමේ අභිප්‍රාය ඇති නිසා කොහොමටත් ලංකාව හා අදාළව පැරිස් සංසදයේ රටවල් හා සම්මුතියෙන් කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. චීනයට වුවත් එසේ නොකිරීමට හේතුවක් නැහැ. මුලින් ලංකාවට ණය දුන් පොලී අනුපාතික යටතේම වැඩි කාලයක් පොලී අය කිරීම චීනයට පාඩුවක් නෙමෙයි. ඒ නිසා, ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ලබන වසර මුලදී අවසන් වීමට විශාල ඉඩකඩක් තිබෙනවා. 

වෙබ් ලිපිනය: