වෙබ් ලිපිනය:

Showing posts with label මිල. Show all posts
Showing posts with label මිල. Show all posts

Tuesday, January 10, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (තුන්වන කොටස)


බටහිර රටක සුපිරි වෙළඳසැලක විකිණෙන බිත්තර කියා කියන්නේ නිකම්ම ආහාරයක් පමණක් නෙමෙයි. බිත්තර එක්ක තවත් දේවල් ගණනාවක් පැකේජ් වෙලා තිබෙනවා. මිල තීරණය වන්නේ ඒ දේවල් වල වටිනාකමත් එකතු වෙලා. නමුත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක බිත්තර කියා කියන්නේ බොහෝ දුරට බිත්තරම තමයි. කවුරු හෝ බිත්තර මිල දී ගැනීමේදී ගෙවන්නේ බිත්තර වල මිල. මේ වෙනස ගැන ලිපි මාලාවේ පළමු කොටසින් පැහැදිලි කළා. 

බිත්තර නිෂ්පාදකයෙකුට උපරිම වශයෙන් අය කළ හැක්කේ පාරිභෝගිකයින්ට සාපේක්ෂ බිත්තරයක වටිනාකම. නමුත්, නිෂ්පාදකයින් අතර තරඟය නිසා බොහෝ විට ඒ මිල අය කරන්න වෙන්නේ නැහැ. අය කරන්න වෙන්නේ ඊට වඩා අඩු මිලක්. මේ විදිහට අය කළ හැකි මිල සහ නිෂ්පාදන පිරිවැය අතර වෙනස තමයි නිෂ්පාදකයාගේ ලාබය. 

තරඟකාරී වෙළඳපොලක මිල කෙරෙහි එක් නිෂ්පාදකයෙක්ට බලපෑමක් කරන්න බැහැ. ඒ නිසාම, මිල වැඩි කරලා ලාබ වැඩි කර ගන්නත් බැහැ. ලාබ වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය පිරිවැය අඩු කර ගන්න එක. ඒ නිසා, හැම විටම ලාබ සොයන නිෂ්පාදකයෙක් පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන හිතනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිත්තර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. මෑත ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් තියෙන්නෙත් ඕක.

මිනිස්සු බිත්තර ආහාරයට ගැනීමෙන් සතුටු වුනේ අද ඊයේ නෙමෙයි. මේක අවුරුදු දස දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. සමහර විට මිනිස්සු මිනිස්සු වෙන්නත් කලින්ම බිත්තර ආහාරයට ගත්තා වෙන්න පුළුවන්. ඒ කාලයේ සිට මෑතක් වන තුරුම බිත්තරයක වටිනාකම කියා කියන්නේ එහි ආහාරමය වටිනාකම. එම වටිනාකම විශාල ලෙස වෙනස් වෙලා නැහැ. නමුත්, බිත්තරයක නිෂ්පාදන පිරිවැය ඊට සාපේක්ෂව විශාල ලෙස වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ සිදු වූ යුග පෙරළි එක්ක.

මුල්ම කාලයේදී බිත්තර කියා කියන්නේ ස්වභාවයේ පැවතුණු දෙයක්. බිත්තර නිෂ්පාදනය කියා කියන්නේ බිත්තර තියෙන තැන් හොයා ගෙන බිත්තර එකතු කර ගැනීම. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය. ඊට අමතරව ප්‍රාග්ධනයක් කියා දෙයක් අවශ්‍ය වුනේ නැහැ. 

සමහර විට බිත්තර දෙක තුනක් හොයා ගන්න හැතැම්ම බාගයක් විතර ඇවිදින්න වෙනවා. ඊට වඩා බිත්තර හොයා ගන්නනම් තව ඈතට යන්න වෙනවා. නිෂ්පාදනය වැඩි කරද්දී නිෂ්පාදනය ඉහළ යන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් පිරිවැය ඉහළ යනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැය එන්න එන්නම වැඩි වෙනවා.

අනෙක් පැත්තෙන් එකතු වෙන බිත්තර ප්‍රමාණය ඉහළ යද්දී අමතර බිත්තරයකින් ලැබෙන සතුට එන්න එන්නම අඩු වෙනවා. ඒ කියන්නේ බිත්තරයක ආන්තික වටිනාකම අඩු වෙනවා. ඔය විදිහට ආන්තික වටිනාකම අඩු වෙලා ආන්තික පිරිවැය ආන්තික වටිනාකම ඉක්මවන මට්ටමට ආවට පස්සේ බිත්තර එකතු කරන්න යන පුද්ගලයා ආපහු හැරිලා තමන්ගේ නවාතැනට එනවා. ඕක තමයි සමතුලිතතාවය.

මේ වගේ තත්ත්වයකදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. නිෂ්පාදනයක් හා පරිභෝජනයක් තිබුණත් වෙළඳපොළක් කියා දෙයක් නැහැ. නමුත්, ඒ වගේ තත්ත්වයකදී පවා වෙළඳපොළ මූලධර්ම වල ඡායාවක් දකින්න පුළුවන්.

වෙන නිෂ්පාදනයක් ගත්තත් ඔය වගේ. අඹ ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට අඹ ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා.  පොල් ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට පොල් ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා. ඒ වැඩේට අවශ්‍ය ආන්තික ශ්‍රමය අමතර අඹ ගෙඩියක හෝ අමතර පොල් ගෙඩියක ආන්තික වටිනාකමට වඩා අඩු වුන ගමන් අතේ තිබෙන අඹ හෝ පොල් ටික අරගෙන ආපහු හැරිලා එනවා. 

ගෘහස්ථ කෘෂිකර්මය ආරම්භ වෙන්නේ ඔය ආන්තික පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන මිනිස්සු හිතන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. අඹ ගහක් පොල් ගහක් ගේ කිට්ටුව හිටවා ගත්තට පස්සේ කලින් අඹ ගස් පොල් ගස් හොයා ගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. බිත්තර දමන කිකිළියෙක් අල්ලාගෙන ඇවිත් කොටු කර ගත්තට පස්සේ බිත්තර හොයාගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. මේ විදිහට ආන්තික පිරිවැය විශාල ලෙස අඩු වුනත්, ආන්තික වටිනාකම් ලොකුවට වෙනස් නොවන නිසා පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. 

මීට අමතරව මේ අදියර වන විට බිත්තර වල ගුණාත්මක භාවයේත් ලොකු වෙනසක් වෙනවා. මුල් යුගයේදී කැලේ මැද හමුවෙන බිත්තරයක් දැම්මේ මොන සතාද කියන එක හරියටම දන්නේ නැහැ. දැන් ඒ වගේ නෙමෙයි. බිත්තරේ කිකිළිගේ කියන එක පැහැදිලියි. ඒ නිසා බයක් සැකක් නැතුව කන්න පුළුවන්. මේ වෙනස නිසා බිත්තරයක වටිනාකම ඉහළ යනවා. පොදු වශයෙන් බිත්තර වල ආන්තික වටිනාකමත් ඉහළ යනවා. ඒ හේතුව නිසාත් පරිභෝජනය ඉහළ යනවා. 

මේ දෙවන අදියර වෙද්දී ප්‍රාග්ධනය කියා දෙයක් හැදිලා. අඹ ගහට පොල් ගහට අයිතිකාරයෙක් ඉන්නවා. කිකිළියෙක්ට අයිතිකාරයෙක් ඉන්නවා. පොල් අයිති පොල් ගහේ අයිතිකාරයාට. බිත්තර අයිති කිකිළිගේ අයිතිකාරයට. හැබැයි ඒ එක්කම තමන්ගේ පෞද්ගලික දේපොළ, පෞද්ගලික ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමේ අමතර ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවෙන්ද ශ්‍රමය යොදවන්න වෙනවා.

වත්තේ ඉන්න කිකිළියන් නරින්ගේ, උගුඩුවන්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් කාලයක් තිස්සේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය එක රැයින් අහිමි වෙන්න පුළුවන්. කිකිළියෝ ටික ආරක්ෂා කරගන්න කුකුළු කූඩුවක් හදන්න වෙනවා. ඊට පස්සේ කිකිළියන් වගේම කුකුළු කූඩුවත් ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. 

නරින්ගෙන්, උගුඩුවන්ගෙන් බේරා ගත්තා කියලා ප්‍රාග්ධනය විනාශ වෙන එක මුළුමනින්ම නවත්වන්න බැහැ. ප්‍රාග්ධනය කොහොමටත් ක්ෂය වෙනවා. ලෙඩ වෙලා, වයස්ගත වෙලා කිකිළියෝ මැරෙනවා. එහෙම වෙද්දී නිෂ්පාදන මට්ටම තියා ගන්නනම් දිගින් දිගටම ආයෝජන කරන්න වෙනවා. බිත්තරයක් අද කෑමට නොගෙන රක්කවලා කුකුළු පැටවු හදාගන්න එක ආයෝජනයක්. හැබැයි ඒ විදිහට බිත්තරයක් රක්කවද්දී කන්න තිබෙන බිත්තරයක් අඩු වෙනවා. බිත්තරය කාලා ලබන්න තිබුණු සතුට අහිමි වෙනවා. 

ආයෝජන ගැන නොහිතා පරිභෝජනය ගැන පමණක් හිතුවොත් ප්‍රාග්ධනය ක්ෂය වී යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඊට පස්සේ වෙන්නේ පරිභෝජන මට්ටම පහත වැටිලා සතුට විශාල ලෙස අහිමි වීම. ආයෝජනයේදී වෙන්නේ අනාගත සතුට වෙනුවෙන් වර්තමාන සතුට කැප කිරීමක්. කොයි තරමටද කියන එක පෞද්ගලික තේරීමක්. 

බිත්තරයක් රක්කවද්දී බිත්තරය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් කුකුළු පැටියා ලොකු වෙලා බිත්තර දමන්න පටන් ගත්තට පස්සේ ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. පොල් ගෙඩියක් හිටවද්දී පොල් ගෙඩිය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් පොල් ගහ ලොකු වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්තට පස්සේ  ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. ආයෝජන වල ප්‍රතිඵල ලබා ගන්න කාලයක් බලා ඉන්න වෙනවා. ඒකට ඉවසීම අවශ්‍යයි. අවදානමක් ගන්නත් වෙනවා. අවදානමට බයේ ආයෝජන කරන්න බැහැ. 

එහෙමයි කියලා නොකා නොබී ආයෝජන කරන එකෙත් තේරුමක් නැහැනේ. මෝඩ අවදානම් ගන්න එකෙත් තේරුමක් නැහැ. ආයෝජන හා පරිභෝජනය අතර ප්‍රසස්ථ සමතුලනය පෞද්ගලික තේරීමක්. කොහොම වුනත් අද පරිභෝජනය සීමා කරලා හැකි තරම් ආයෝජන කරන තරමට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක්රැස් වෙලා අනාගත පරිභෝජන විභවය ඉහළ යනවා. 

අන්තවාදී පරිසරවාදය ගැනත් යමක් කිව යුතුයි. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේම ස්වභාවික පරිසරය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය වෙනස් කරනවා කියන එක. අනාගතය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය ඒ විදිහටම තිබිය යුතුයි කියා හිතන එක විකාර අදහසක්. පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. 

මිනිස්සු වගේම සත්තුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය වෙනස් කරනවා. එහිදී වැදගත් වෙන්නේ තමන්ගේ පැවැත්ම. අනෙක් දේවල් වැදගත් වෙන්නේ මේ වෙනස් කිරීම් සීමාව පැනලා අවසාන වශයෙන් තමන්ගේම අනාගත පැවැත්මට තර්ජනයක් වෙන මට්ටමකට ආවට පස්සේ. කැලේ තිබෙන බිත්තරයක් එකතු කරගෙන ආවහම ඒ බිත්තරෙන් පැටියෙක් හැදෙන එක නවතිනවා. පරිසරය වෙනස් වෙනවා. පොල් ගෙඩියක් පලාගෙන කෑවහම වෙන්නෙත් ඒකයි. පරිසරය වෙනස් නොකර කාටවත් ජීවත් වෙන්න බැහැ.

ගෘහස්ථ කෘෂිකර්මය හා ගෘහස්ථ සත්ත්ව පාලනය පටන් ගත්තට පස්සේ මිනිස්සු පරිසරය වෙනස් කිරීමෙන් එහාට ගිහින් ස්වභාවික පරිණාමයේ නීතිත් වෙනස් කරන්න පටන් ගන්නවා. මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අඩු වශයෙන් අවුරුදු හත් අට දාහකට කලින් පටන් ගත්ත දෙයක්. 

අලුතෙන් පොල් හිටවද්දී හිටවන්නේ හොඳට ගෙඩි හැදෙන පොල් ගහක ගෙඩියක්. රක්කවන්න ගන්නේ හොඳට බිත්තර දමන කිකිළියෙකුගේ බිත්තර. මරාගෙන කන්නේ අඩුවෙන්ම බිත්තර දමන කිකිළිව. මේ තේරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට පොල් පලදාව ඉහළ යනවා. බිත්තර පලදාව ඉහළ යනවා. 

මේක කැලේ බිත්තර දමපු කාලයේදී සිදු වුනු ස්වභාවික වරණයට වඩා වෙනස්. ඒ කාලයේදීත් ස්වභාවික වරණය සිදු වුනා. නමුත් ස්වභාවික වරණයේදී ඉතිරි වුනේ විලෝපිකයින්ගෙන් බේරී, තමන්ගේ කෑම හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් සත්තු. ගෘහස්ථ වාතාවරණයේදී මේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. විලෝපිකයින්ගෙන් බේරා ගන්න එක කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. පස්සේ පස්සේ කෑම දෙන එක, ලෙඩ රෝග වලක්වන එක වගේ දේවල් කරන්නෙත් අයිතිකාරයා. ඒ නිසා, ස්වභාවික වරණයේදී වුනත් වැදගත්ම සාධකය වෙන්නේ පලදාව. මේක ගෘහස්ථ සත්ත්ව පාලනයට වගේම ගෘහස්ථ කෘෂිකර්මයටත් අදාළයි. 

පලදාව වැඩි වෙනවා කියන්නේ ඒකක පිරිවැය අඩු වෙනවා කියන එක. නමුත් මේ විදිහට පලදාව වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග එක්ක ප්‍රාග්ධන යෙදවුම් අවශ්‍යතාවත් එන්න එන්නම වැඩි වෙනවා. ස්ථිර පිරිවැය ඉහළ යනවා.  ස්ථිර පිරිවැය ඉහළ යද්දී ඒකක පිරිවැය අඩු වෙන්නනම් පරිමාව අනුරූපව ඉහළ යා යුතුයි.

ප්‍රාථමික මට්ටමේ ගෘහස්ථ කෘෂිකර්මයේදී පාරිභෝගිකයා හා නිෂ්පාදකයා එක්කෙනෙක්. වෙළඳපොළක් නැහැ. ඒ නිසාම නිෂ්පාදකයින් අතර තරඟයකුත් නැහැ. ගෘහස්ථ කෘෂිකර්මයේ ද්වීතියික අවදියේදී, ඒ කියන්නේ බිත්තර නිෂ්පාදනයේ තුන්වන යුගයේදී, මේ තත්ත්වය වෙනස් වෙනවා. මේක වෙන්නේ වැඩි වැඩියෙන් මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වීමට සමාන්තරව.

මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වෙන්නේ තමන්ගේ ශ්‍රමය වඩා ඵලදායී ලෙස යෙදවිය හැකි තැන් වලට. එහිදී කෘෂිකාර්මික නොවන නිෂ්පාදන වැඩි වැඩියෙන් බිහි වෙන්න පටන් ගන්නවා. මේවා හැදෙන්නේම වෙළඳපොළ ඉලක්ක කරගෙන. පාරිභෝගිකයින් අතර ලොකුම කණ්ඩායම තව දුරටත් කෘෂිකර්මයේ රැඳී ඉන්න අය. ඒ අයට මේ අලුත් නිෂ්පාදන පරිභෝජනය කරන්න ඉඩ ලැබෙන්නේ තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සමඟ හුවමාරු කර ගැනීම මගින්. මේ එක්ක බිත්තර වගේ දේවල් වලට කලින් නොතිබුණු හුවමාරු වටිනාකමක් ලැබෙනවා.

බිත්තර නිෂ්පාදනයේ පළමු හා දෙවන යුග වලදී නිෂ්පාදකයින්ට බිත්තර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුනේ තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය දක්වා පමණයි. ඒ වැඩේට කිකිළියෝ හතර පස් දෙනෙක් හිටියහම ඇති. වැඩිපුර බිත්තර තිබුණා කියලා කරන්න දෙයක් නැහැ. ඒවායේ ආන්තික වටිනාකමක් නැති තරම්. 

දැන් තත්ත්වය වෙනස්. බිත්තර වලට හුවමාරු වටිනාකමක් තිබෙනවා. වැඩියෙන් බිත්තර නිපදවිය හැකි තරමට වෙන වෙන දේවල් වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කෘෂිකර්මයෙන් ඈත් වෙන අයට තව දුරටත් බිත්තර අවශ්‍යයි. ඒ බිත්තර අවශ්‍යතාවය සපුරන්න වෙන්නෙත් කෘෂිකර්මය තුළ තව දුරටත් රැඳී ඉන්න අයට. 

මේ තත්ත්වය තුළ ගෘහස්ථ කුකුළු කූඩු හැදෙනවා. මේවා පෙර අදියරේදී තිබුණු විදිහේ කුකුළු කූඩු නෙමෙයි. ඒ අදියරේදී කුකුළු කූඩුවකින් බොහෝ විට කෙරුණේ දවල් දවසේ වත්තේ ඇහිඳගෙන කන කිකිළියන්ට (හා කුකුළන්ට) රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයන එක පමණයි. දැන් එහෙම නෙමෙයි. කූඩුව කියන්නේ තනිකරම කිකිළියන්ගේ ජීවිතය.

කිකිළියෝ හතර පස් දෙනෙකුට වත්තේ ඇහිඳගෙන කන්න පුළුවන් වුනත් කිකිළියෝ සීයකට විතර ඒ විදිහට වත්තේ ඇහිඳගෙන කන්න බැහැ. උන්ට කෑම දමන්න වෙනවා. මේ වැඩෙන් බිත්තර නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ යනවා. නමුත්, බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා තියෙන්නේ බිත්තර වල සිදු වී තිබෙන ගුණාත්මක භාවයේ වෙනසක් හෝ වෙනත් භෞතික වෙනසක් නිසා නෙමෙයි. කෘෂිකර්මයෙන් ඈත් වූ අයගේ ශ්‍රමයේ වටිනාකම ඉහළ ගිහින්, ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති නිසා. ඒ අයට තව දුරටත් වත්තේ කිකිළියෝ හදන්න අවශ්‍ය නැහැ. බිත්තර වෙනුවෙන් වියදම් කළ හැකි සල්ලි තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බිත්තර වලට සාපේක්ෂව සල්ලි වල වටිනාකම අඩු වෙලා. බිත්තර ගනිද්දී ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුට අඩු වෙලා. 

බිත්තර නිෂ්පාදනයේ පළමු යුගයේ සිට දෙවන යුගයට එද්දී, ඒ කියන්නේ කැලෙන් බිත්තර එකතු කර ගැනීමේ සිට වත්තෙන් බිත්තර එකතු කර ගැනීම දක්වා එද්දී, බිත්තර වල ගුණාත්මක භාවය පොඩ්ඩක් වැඩි වෙලා පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. වෙනස වෙන්නේ සැපයුම පැත්තෙන්. නමුත්, තෙවන යුගයට එද්දී වෙන්නේ ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් සිදු නොවී, පිරිවැය ඉහළ යන එක. එහෙම වෙද්දීත් මේ යුග පරිවර්තනය වෙන්නේ තනිකරම වාගේ ඉල්ලුම වෙනස් වීම මත පදනම්වයි. පිරිවැය ඉහළ යාමට විචල්‍ය පිරිවැය ඉහළ යාම මෙන්ම ස්ථිර පිරිවැය ඉහළ යාමද බලපානවා. 

බිත්තර නිෂ්පාදනය හා අදාළව ලංකාව තවමත් බොහෝ දුරට ඉන්නේ මේ තෙවන යුගයේ. බොහෝ කුකුළු ගොවිපොළවල් තවදුරටත් ගෘහස්ථයි. කිකිළියෝ ගණන වැඩි වෙලා. එහෙත්, බොහෝ විට එම ප්‍රමාණය දහසකට අඩුයි. පසුගිය (2022) වසරේදී ලංකාවේ සිටි බිත්තර නිෂ්පාදකයින් 29,240 දෙනෙකු අතරින් කිකිළියන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් අයිතිව තිබුණේ නිෂ්පාදකයින් 1,179 දෙනෙකුට පමණයි. ගොවිපොළක සිටින කිකිළියන් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 232ක් පමණයි. ඒ කියන්නේ එයින් එක් කිකිළියකගේ සිදුවන වෙනසක් වුනත් පෞද්ගලිකව නිරීක්ෂණය වන, පවුලේ අයගේ ශ්‍රමයෙන් පහසුවෙන් ගොවිපොළ නඩත්තු කළ හැකි මට්ටමක්. 

මේ ආකෘතිය තුළ බිත්තර නිෂ්පාදකයෙකු විසින් කරන්නේ සුළු අගය එකතු කිරීමක් පමණයි. කුකුළු පැටවුන් මිල දී ගැනීම සහ දිගින් දිගටම කෑම දීම විචල්‍ය පිරිවැයක්. බිත්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සහිත කුකුළු කෑම ලබා දිය යුතුයි. බිත්තර පලදාව අඩු වෙද්දී කිකිළියන් මසට විකිණිය හැකියි. කෙසේ වුවත්, පරිමාව විශාල නොවන නිසා විශාල ලාබයක් ලැබිය නොහැකියි. ලාබයක් සේ පෙනෙන දෙය බොහෝ විට ආර්ථික ලාබයක් නෙමෙයි. මේ වෙනුවෙන් යොදවන පවුලේ අයගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයයි. එම ශ්‍රමය වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගත හැකි විකල්ප අවස්ථා අඩු නිසා මේ ආකෘතිය වැඩ කරනවා. 

ලෝකයේ බිත්තර කර්මාන්තය මේ අදියර පසු කර සිවුවන අදියර දක්වා ගොස් දැන් බොහෝ කලක්. ඇමරිකාව වැනි රටක බිත්තර නිෂ්පාදනය කෘෂිකාර්මික නිෂ්පාදනයකට වඩා බොහෝ දුරට කිට්ටු මහා පරිමාණ ස්වයංක්‍රීය කාර්මික නිෂ්පාදනයකටයි. ලංකාවේ කුකුළු ගොවිපොළ 29,240ක සිටින මුළු කිකිළියන් ප්‍රමාණය මිලියන 6.78ක් පමණයි. ඇමරිකාවේ එක් නිෂ්පාදකයෙකු සතුව පමණක් කිකිළියන් මිලියන 46.78ක් සිටිනවා. නිෂ්පාදකයින් 8 දෙනෙක් සතුව කිකිළියන් මිලියන 10කට වඩා වැඩියෙන් සිටින අතර, නිෂ්පාදකයින් 55 දෙනෙකු සතුව කිකිළියන් මිලියනය ඉක්මවා සිටිනවා. කිකිළියන් ලක්ෂ පහකට වඩා සිටින නිෂ්පාදකයින් ප්‍රමාණය 67ක්. 

මෙවැනි මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් සිටින්නේ ඇමරිකාවේ පමණක් නෙමෙයි. මෙක්සිකෝවේ, බ්‍රසීලයේ, යුක්‍රේනයේ, ජපානයේ මෙන්ම සිරියාවේ හා තායිලන්තයේ පවා බිත්තර දමන කිකිළියන් මිලියන 10කට වඩා සිටින නිෂ්පාදකයින් සිටිනවා. මේ මට්ටමෙන් බිත්තර නිෂ්පාදනය සිදු වෙද්දී, ශ්‍රමය ඒ තරම් වැදගත් නැහැ. වඩා වැදගත් වන්නේ ප්‍රාග්ධනයයි. කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට ඉහත ආකාරයේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකු හා තරඟ කිරීම අසීරුයි. මේ තත්ත්වය හමුවේ ඉන්දියාව පසුගිය කාලය පුරා ඉහත මා විස්තර කළ තෙවන අදියරේ සිට සිවුවන අදියර දක්වා වේගයෙන් පරිවර්තනය වෙමින් සිටිනවා. 

මතු සම්බන්ධයි. 

Monday, January 9, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (දෙවන කොටස)


මෙම ලිපි මාලාවේ පළමු කොටසින් අපි බිත්තර ඉල්ලුම ගැන කතා කළා. බිත්තර ඉල්ලුමට හේතුව පාරිභෝගිකයින් විසින් බිත්තර වලට ලබා දෙන වටිනාකම. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් බිත්තර වලට වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද කියන එක හෝ ඇයි කියන එක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව වාස්තවික නොවන, සාපේක්ෂ වටිනාකමක් තිබෙන බව තේරුම් ගත්තහම ඇති. එකම පාරිභෝගිකයෙක් ගත්තත්, තැන, වෙලාව, දැනට අතේ තිබෙන බිත්තර ප්‍රමාණය වගේ විවිධ සාධක මත මේ වටිනාකම වෙනස් වෙනවා. 

පාරිභෝගිකයෙක්ට බිත්තරයක් යම් මුදලක් වටිනවානම් නිෂ්පාදකයෙකුට ඒ මුදලට හෝ අඩු මුදලකට බිත්තරයක් විකුණන්න පුළුවන්. නමුත්, ඊට වඩා වැඩි මිලකට විකුණන්න බැහැ. නොවටිනා ගාණක් දීලා බිත්තරයක් ගන්න පරිභෝගිකයෙක්ට තියෙන අමාරුව මොකක්ද?

බිත්තරයක් රුපියල් 65ක් කියා කියමු. ගණන් වැඩියි කියලා බැණ බැණ හරි කවුරු හෝ කෙනෙක් ඒ මිල ගෙවලා බිත්තර මිල දී ගන්නවානම් එහෙම කරන්නේ බිත්තරයක් අඩුම වශයෙන් රුපියල් 65ක් වටින නිසා. බිත්තරයක් රුපියල් 65ක් නොවටිනා බව සිතන කෙනෙක් ගණන් ඇහුවට පස්සේ බිත්තරය නොගෙන හැරිලා යනවා. 

හැබැයි කාට හරි බිත්තරයක් රුපියල් 65ක් වටිනවා කියන එකෙන් ඒ පුද්ගලයා බිත්තරයක් මිල දී ගනිද්දී අනිවාර්යයයෙන්ම රුපියල් 65ක් ගෙවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් බලන්නේ පුළුවන්කමක් තියෙනවානම් රුපියලක් හරි අඩුවෙන් ගන්න. රුපියල් 65 ගෙවන්නේ අඩුවෙන් ගන්න කිසිම ක්‍රමයක් නැත්නම් පමණයි. ඒ නිසා, බිත්තරයක මිල සහ බිත්තරයක වටිනාකම අතර සෘජු සම්බන්ධයක් නැහැ. බිත්තරයක මිල තීරණය වෙන හැටි දැන ගන්නනම් අපිට සැපයුම පැත්තත් කතා කරන්න වෙනවා. 

බිත්තර සපයන එක ඒකාධිකාරයක්නම්, නිෂ්පාදකයාට එක් එක් පාරිභෝගිකයාගෙන් එම පාරිභෝගිකයා ගෙවන්න සූදානම් උපරිම මිලම, ඒ කියන්නේ බිත්තරයේ එම පාරිභෝගිකයාට සාපේක්ෂ වටිනාකමම, අය කර ගන්න පුළුවන්. නමුත්, ඒකාධිකාරයක් නැත්නම් ඔය වැඩේ කරන්න බැහැ. තරඟකරුවෙක් ඇවිත් අඩුවට බිත්තර විකුණලා පාරිභෝගිකයාව කඩා ගන්නවා. 

වෙළඳපොළ තරඟයක් තියෙන කොට පාරිභෝගිකයෙකුට තමන්ගේ සාපේක්ෂ වටිනාකමට වඩා අඩුවෙන් බිත්තර මිල දී ගන්න අවස්ථාවක් ලැබෙනවා. එය වාසියක්. ගෙවන මිල සහ බිත්තරයේ වටිනාකම අතර වෙනස. බිත්තරය නිසා ලැබුණු  සතුටෙන් අතින් ගිය සල්ලි නිසා අහිමි වුනු සතුට අඩු කළාට පස්සේ ඉතිරි වන අතිරික්ත සතුට. ඕකට තමයි ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ.

වෙළඳපොළ තරඟය වැඩි වුන තරමට බිත්තරයක් අඩු මිලකට ගන්න ලැබෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. තරඟය අඩුනම් අතිරික්තයත් අඩුයි. 

අපි හිතමු ප්‍රමාණවත් තරඟයක් තිබෙනවා කියා කියලා. කොයි තරම් අඩු මිලකට බිත්තරයක් මිල දී ගන්න පුලුවන්ද? 

බිත්තරයක් මිල දී ගන්න පුළුවන් අවම මිල එහි නිෂ්පාදන පිරිවැය. තරඟය වැඩි වෙද්දී නිෂ්පාදකයෝ රුපියලෙන් රුපියල බිත්තර මිල අඩු කරනවා. නමුත්, මිල නිෂ්පාදන පිරිවැය මට්ටමට පහත වැටුනට පස්සේ තවත් අඩු කරන්න බැහැ. ඊට පස්සේ කරන්න වෙන්නේ නිෂ්පාදනය නවත්තන එක. අතින් කාලා හරක් බලන්නේ කවුද? 

ඔය හේතුව නිසා, බිත්තරයක මිල නිර්ණය වෙන්නේ නිෂ්පාදන පිරිවැය මත. හැබැයි එහෙම වෙන්නේ ප්‍රමාණවත් තරඟයක් තිබෙනවානම් පමණයි. එහෙම ප්‍රමාණවත් තරඟයක් තිබෙන වෙළඳපොළක් තරඟකාරී වෙළඳපොළක් ලෙස හැඳින්වෙනවා. තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට තමන්ගේ මහන්සිය, ගන්න අවදානම ආදිය සඳහා ප්‍රතිලාභයක් මිසක් ලාබයක් කියලා අමතර මුදලක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි කිසියම් රටක, කිසියම් භාණ්ඩයකට අනිවාර්යයෙන්ම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව වගේ කරුණු මත. තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නනම් නිෂ්පාදන තාක්ෂනය සරල වෙන්න ඕනෑ. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනෑ. නියාමනයක් නැති හෝ අවම වෙන්න ඕනෑ. තව ඔය වගේ කාරණා තියෙනවා. 

මේ කාරණා වැදගත් ඇයි කියන එක පැහැදිලියිනේ.  නිෂ්පාදන තාක්ෂනය සරලනම්, වැඩේ පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පොඩි ගාණක්නම්, කර්මාන්තයට ඇතුළු වෙන්න රජයෙන් අවසර ගන්න අවශ්‍ය නැත්නම්, එක්කෙනෙක් ලාබ ගන්නවා පෙනුණු වහාම තව අය වැඩේට බහිනවා. කාලයක් චීන අවන්හල්. තව කාලයක් කමියුනිකේෂන්. මතක ඇතිනේ. 

නමුත්, තාක්ෂනය සංකීර්ණනම් එක්කෙනෙක් ලාබ ලබන බව පැහැදිලිව පෙනුනත්, වෙන කෙනෙක්ට වැඩේ අල්ලගෙන පටන් ගන්න අමාරුයි. සල්ලි ගොඩක් යට කරන්න අවශ්‍යනම් ඒත් එහෙමයි. රජයෙන් අවසර ගන්න අවශ්‍යනම් කොහොමටවත්ම වැඩේ පටන් ගන්න බැහැනේ. හරියට බාර් පර්මිට් වගේ. 

මේ වගේ තත්ත්වයන් තිබෙන විට ඒකාධිකාර හැදෙනවා. හැබැයි වෙළඳපොළ පරිමාව විශාල වෙද්දී, මේ වගේ තත්ත්වයන් යටතේ වුනත් කවුරු හරි වැඩේට අත ගහනවා. මොකද තාක්ෂනය අල්ල ගන්න පුළුවන් කෙනෙක් කොහේ හරි ඉන්නවා. සල්ලි තියෙන කෙනෙක් කොහේ හරි ඉන්නවා. මේ හේතුව නිසා, ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටවල් වලට සාපේක්ෂව ලංකාව වගේ පොඩි රටක ඒකාධිකාර හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

තරඟකාරී වෙළඳපොළක වාසිය තනිකරම වගේ පාරිභෝගිකයාටයි. නිෂ්පාදකයාට ලැබෙන්නේ පිරිවැය පමණයි. හැබැයි එහෙමයි කියලා නිෂ්පාදකයෝ ලාභ අපේක්ෂාව අත අරින්නේ නැහැ. මොන විදිහෙන් හෝ පිරිවැය අඩු කරගෙන ලාබ ලබන්න උත්සාහ කරනවා. තරඟකරුවන්ට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් තරඟකාරී වෙළඳපොළක වුනත් ලාබ ගන්න පුළුවන්. හැබැයි ටික කාලයකට පමණයි. අනෙක් අය වැඩේ අල්ලගත්ත ගමන් මිල අඩු වෙනවා. ඊට පස්සේ නැවත හිටපු තැනමයි. හැබැයි මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එන්න එන්නම වැඩි වෙනවා.

ඒකාධිකාරයක තියෙන ප්‍රශ්නය පාරිභෝගික අතිරික්තය අඩු වෙන එක විතරක් නෙමෙයි. පෙර විස්තර කළ ක්‍රියාවලිය සිදු නොවන නිසා කාර්යක්ෂමතාවය ඉහළ යවන යාන්ත්‍රනයකුත් නවතිනවා. 

ඒකාධිකාරය රාජ්‍ය ඒකාධිකාරයක් වුනහම පාරිභෝගික අතිරික්තය අඩු නොවෙන්න පුළුවන්. මොකද රාජ්‍ය ආයතන ලාබ ගන්න අවශ්‍යම නැහැනේ. ඔය සමහර වෙලාවට පිරිවැයටත් අඩුවෙන් විකුණන්නේ. නමුත්, දෙවනු කී ප්‍රශ්නයනම් එළෙසම තිබෙනවා. ඒ නිසාම, පාරිභෝගිකයාට නිෂ්පාදන පිරිවැයටත් අඩුවෙන් බඩුව ලැබුණත්, තරඟකාරී වෙළඳපොලක ලැබෙන තරම් අඩු මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය ඒකාධිකාරයක් පාඩු ලබද්දී පැත්තක ඉන්න අයට ඒ පාඩුව වෙනුවෙන් සල්ලි ගෙවන්න වීමේ අමතර ප්‍රශ්නයකුත් හැදෙනවා.

බිත්තර නිපදවන එක රොකට් සයන්ස් එකක් නෙමෙයිනේ. කිකිළියෙක් දෙන්නෙක් ගෙනත් දැම්මා. එච්චරයි. ඊට පස්සේ තියෙන්නේ කෙකර ගාණ වෙලාව බලලා බිත්තර ටික එකතු කර ගන්න. මහ ලොකු සල්ලියක් අවශ්‍යත් නැහැ. ඒ නිසාම, අවුලක් නැතුව තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න ඕනෑ. තරඟකාරී වෙළඳපොළක් හැදෙනවා කියන්නේ කාලයත් එක්ක ටිකෙන් ටික නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යන එක. ලංකාවේ එහෙම වෙලාද? වෙලා නැත්නම් ඒ ඇයි? තරඟකාරී ලෙස බිත්තරයක්වත් හදා ගන්න බැරිනම්, ඊට වඩා සංකීර්ණ දේවල් හදන්න පුලුවන්ද? එහෙම බැරි වෙලා තියෙන්නේ ඇයි? වැරැද්ද කොහේද? වැරැද්ද හදාගන්න බැරිද? මේ දේවල් අපි ඉදිරි ලිපියකින් කතා කරමු.

Saturday, January 7, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)


මේ දවස් වල ඇමරිකාවේ බිත්තරයක මිල රුපියල් 108ක් විතර වෙනවා කියලා මම කිවුවනේ. ඇමරිකාවේ බිත්තරයක් ඔය වගේ ගාණකට විකිණෙද්දී ඉන්දියාවේ රුපියල් 26ක් වැනි මිලකට බිත්තර විකිණෙන බවත් කිවුවනේ. ඔය ගණන් දෙකම කියලා තියෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින්.

කොහොම හරි ප්‍රශ්නය මේකයි. දැන් ඇමරිකාව හා ඉන්දියාව අතර ඔය වගේ මිල වෙනසක් තියෙද්දී රටවල් දෙක අතර සිදු වන වෙළඳාම නිසා ඔය මිල ගණන් සමාන විය යුතු නැද්ද? 

සරල, පාඨ ග්‍රන්ථ උදාහරණයකනම් එහෙම වෙනවා. ඒ වගේ පාඨ ග්‍රන්ථ උදාහරණයක උපකල්පන හා ගැලපෙන තත්ත්වයන් යටතේ සැබෑ ලෝකයේදීත් ඔය වැඩේ වෙනවා. නමුත්, මේ නිශ්චිත අවස්ථාව වගේ ඇතැම් අවස්ථා වල පවතින සංකීර්ණ තත්ත්වයන් නිසා ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ.

අපි මේ බිත්තර උදාහරණයෙන් පටන් අරගෙන සැබෑ ලෝකයේ ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන ටිකක් කතා කරමු.

කවුරු හෝ කෙනෙක් බිත්තරයක් මිල දී ගන්නේ ඇයි? 

ඔය ප්‍රශ්නයට "ඔම්ලට් හදන්න", "බිත්තර ආප්ප හදන්න", එහෙමත් නැත්නම් "අකැමැති කෙනෙක්ගේ මූණට දමලා ගහන්න" වගේ විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. නමුත්, ආර්ථික විද්‍යාවට ආවොත්, පොදු වශයෙන් කවුරු හරි බිත්තරයක් මිල දී ගන්නේ බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට නිසා. සතුට ලැබෙන්නේ බිත්තරේ කඩලා ඔම්ලට් හදන එකෙන්ද නැත්නම් බිත්තරය රක්කවලා කුකුළු පැටියෙක් හදා ගන්න එකෙන්ද වගේ දේවල් ද්වීතියික කරුණු. 

බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් කෙනෙකුට ලැබෙන සතුට පුද්ගලබද්ධ කාරණයක්. ඒක බිත්තරයට සම්බන්ධ වාස්තවික කරුණක් නෙමෙයි. ඒ නිසාම, බිත්තරයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එකම පුද්ගලයෙකු හා අදාළව වුනත් අවස්ථාව අනුව වෙනස් වෙනවා. මම හිතන්නේ මේ දවස් වල ලංකාවේ ගොඩක් අයට බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට අවුරුද්දකට දෙකකට කලින් බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබුණු සතුටට වඩා වැඩියි. 

බිත්තරයක් මිල දී ගන්න කෙනෙක් අවසාන වශයෙන් මිල දී ගන්නේ සතුටනම්, බිත්තර විකුණන අය විකුණන්නේ මොනවාද? බිත්තර විකුණන අය බිත්තර විදිහට විකුණන්නේත් සතුට. බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට වැඩි වන තරමට බිත්තරය විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.

බිත්තරයක හිමිකාරයෙක් වෙද්දී සතුට වැඩි වෙනවා වගේම ඒ වෙනුවෙන් සල්ලි ගෙවද්දී සිදු වන අහිමි වීම නිසා සතුට අඩු වෙනවා. කවුරු හෝ බිත්තරයක් මිල දී ගන්නේ ඒ නිසා වැඩි වන සතුට ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුටට වඩා වැඩිනම් පමණයි.

සමහරු කියනවා සල්ලි නෙමෙයි වටින්නේ මනුස්සකම කියලා. ඔහොම කියන ගොඩක් අයගේ මනුස්සකම් ගැන අපට හොඳ අත්දැකීම් තිබුණත්, මනුස්සකම හෝ වෙනත් ඔය වගේ දෙයක් තරම් සල්ලි වටින්නේ නැහැ කියා හිතන කෙනෙක්ව අපි අරගනිමු. ඇත්තටම ඔහොම හිතන කෙනෙකුට ටිකක් වැඩි ගාණකට බිත්තරයක් විකුණන්න පුළුවන්. මොකද එහෙම කෙනෙකුගේ සල්ලි වල සාපේක්ෂ වටිනාකම අඩුයිනේ. සල්ලි ගෙවද්දී අහිමි වන සතුට අඩු වන තරමට කෙනෙකුට බඩුවක් විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් කෙනෙක් අතේ තිබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන තරමට එයින් යම් නිශ්චිත ප්‍රමාණයක් අඩු වෙද්දී අහිමි වන සතුට අඩුයි. අර කියන්නේ මහා සාගරෙන් දිය දෝතක් ගත්තට දැනෙන්නේ නැහැ කියලා. 

ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000කට වඩා වැඩියි. නමුත්, ඉන්දියානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,500ක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා, ඇමරිකානුවෙකුට බිත්තර දුසිමක් මිල දී ගනිද්දී ඩොලර් තුන හතරක් ගෙවන්න වුනත් ඒක දැනෙන්නේ නැහැ. නමුත්, ඉන්දියානුවාට බිත්තර දුසිමට ඩොලර් එකක් ගෙවන්න වුනත් ඒක ඊට වඩා වැඩියෙන් දැනෙනවා. මේ හේතුව නිසා, ඇමරිකානුවෙකුට බිත්තරයක් වැඩි මිලකට විකුණන්න ලේසියි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ඇමරිකාව හා ඉන්දියාව අතර බිත්තර මිලෙහි පහසුවෙන් සමාන නොවෙන වෙනසක් තියෙන්න පුළුවන්. 

හැබැයි අනෙක් පැත්තෙන් මෙහෙම දෙයකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකානුවෙකුට කෑම බීම හිඟයක් නැහැ. කෑම බීම වෙනුවෙන් වියදම් වෙන්නේ මාසික පරිභෝජන වියදම් වලින් 14%ක් පමණයි. ඉන්දියාවේ ඔය ප්‍රතිශතය 46%ක් පමණ. ඒ වගේම ඇමරිකානුවෙක් අවුරුද්දකට බිත්තර 190ක් පමණ පරිභෝජනය කරද්දී, ඉන්දියානුවෙක් පරිභෝජනය කරන්නේ බිත්තර 50කටත් අඩුවෙන්. මේ හේතු නිසා, ඇමරිකානුවෙකුට සාපේක්ෂව ඉන්දියානුවෙකුට වැඩිපුර හිමි කරගත හැකි බිත්තරයක වටිනාකම වැඩියි. 

ඇමරිකානුවෙකුට බිත්තරයක් වෙනුවෙන් සල්ලි ගෙවද්දී අහිමි වන සතුට සාපේක්ෂව අඩු වුනත්, යම් බිත්තර ප්‍රමාණයක් හිමි කර ගැනීමෙන් පසුව තව තවත් බිත්තර හිමි වීමේ සතුටත් සාපේක්ෂව අඩුයි. ඉන්දියානුවෙකුට සල්ලි වල වගේම බිත්තර වලත් වටිනාකම වැඩියි. ඒ නිසාම, ඉන්දියාවේ වගේම ඇමරිකාවෙත් බිත්තර විකිණිය හැකි සීමාවක් තිබෙනවා. 

බිත්තර කියා කියන්නේ සමජාතීය භාණ්ඩයක්ද?

ගෙවල් පිටිපස්සේ කූඩු වල කිකිළියෝ බිත්තර දමපු කාලේනම් බිත්තර කියන්නේ බොහෝ දුරට සමජාතීය භාණ්ඩයක්. නමුත්, දැන් තත්ත්වය වෙනස්. මම කලින් කිවුවා වගේ බිත්තර වෙළෙන්දෙක් ඇත්තටම විකුණන්නේ සතුට. බිත්තර වලින් කරන්නේ සතුට නිෂ්පාදනය කරන එක. මේ හේතුව නිසාම බිත්තර විකිණෙන්නේ සතුට නිපදවන තවත් දේවල් එක්ක පැකේජ් කරලා. එහෙම විකුණන බිත්තර තව දුරටත් සමජාතීය භාණ්ඩයක් නෙමෙයි.

මේ වෙද්දී කීල්ස් සහ කාගීල්ස් සුපිරි වෙළඳසැල් වල හැපී හෙන් ලොකු බිත්තර 10ක් විකිණෙන්නේ රුපියල් 650කට. මේ විදිහට රුපියල් 650කට විකිණෙන්නේ බිත්තර දහයක් පමණක් නෙමෙයි. බිත්තර දහයේ ඇසුරුම සහ හැපී හෙන් සන්නාමයත් බිත්තර දහය එක්ක පැකේජ් වෙලා තිබෙනවා. බිත්තර වලින් වගේම ඔය පැකේජ් එකෙන් සහ සන්නාමයෙනුත් සතුට ජනනය කරවනවා. 

මම හිතන්නේ පොඩි සිල්ලර කඩේකින් බිත්තර දහයක් ගත්තත් මේ වෙලාවෙනම් ඔය ගාණට කිට්ටු ගාණක් යනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය විකිණෙන්නේ ඉතාම අඩු මිලකට. නමුත්, අවුරුද්දකට විතර කලින් ඔය මිල ගණන් සංසන්දනය කළානම් සැලකිය යුතු වෙනසක් පේනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය ඒ දවස් වල වඩා වැඩි මිලකට විකිණුනා කියන එක. අතේ සල්ලි අඩු වෙද්දී, සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී, මිනිස්සුන්ට බිත්තර වලට මිසක් සන්නාම වලට සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් සතුට ජනනය වෙන්නේ නැහැ.

මේ කරුණ තහවුරු කෙරෙන තවත් නිරීක්ෂණයක් තිබෙනවා. කීල්ස් සුපිරි වෙළඳසැලේම අලෙවිවන නෙල් ෆාර්ම් ලොකු බිත්තර 10ක් විකිණෙන්නෙත් හරියටම රුපියල් 650කට. කාගීල්ස් එකෙත් ඒ ගණන. ඒ වගේම, ආරෝග්‍යා සහ මහවැලි සන්නාම යටතේ එන බිත්තර දහයක් විකිණෙන්නේත් හරියටම රුපියල් 650ට. මේකෙන් පෙනෙන්නේ බිත්තර මිසක් සන්නාමය විකිණෙන්නේ නැහැ කියන එකයි. 

මෙහි සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී කියන එකෙන් අදහස් කළේ සල්ලි වල පුද්ගල බද්ධ වටිනාකම වැඩිවීම ගැන මිසක් ක්‍රය ශක්තිය වැඩිවීම ගැන නෙමෙයි. ක්‍රය ශක්තියනම් අඩු වෙලානේ. තවත් තේරෙන්න කිවුවොත් අතේ සතේ නැති වුනාට පස්සේ රුපියල් සීයක් වුනත් කෝටියක් වගේ දැනෙන එක ගැන. 

ඇමරිකාව වගේ රටකදී බිත්තර එක්ක පැකේජ් කරන ඇසුරුමට, ලේබලයට හා සන්නාමයට වගේම තවත් දේවල් වලට සැලකිය යුතු මුදලක් අය කරන්න පුළුවන්. ඒ නිසාම, එකම දවසක වුනත්, වෙනස් ලෙස පැකේජ් කර තිබෙන එක වගේ බිත්තර දුසිමක මිල සැලකිය යුතු ලෙස විචලනය වෙනවා. 


මේ ටාර්ගට් සුපිරි වෙළඳසැලේ මිල ගණන්.

ගුඩ් ඇන්ඩ් ගැදර් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 3.99යි.

ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 4.89යි.

ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 5.39යි.

හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 6.29යි.

ඔය කොයි වර්ගයෙන් ගත්තත්, සුදු දුඹුරු වෙනසක් නැත්නම්, බිත්තර කලවම් වුනොත් වර්ගය හොයා ගන්න බැහැ. කඩලා ඔම්ලට් හැදුවොත් කිසිම වෙනසක් ඇත්තේත් නැහැ. ඒ කියන්නේ මේ විදිහට බිත්තර වල මිල වෙනස් වෙන්නේ පැකේජ් වෙලා තියෙන අනෙක් දේවල් නිසා. 

එළිමහනේ හදන කිකිළියන්ගේ බිත්තර දුසිමක් කූඩු වල හදන කිකිළියන් දමන බිත්තර දුසිමකට වඩා ඩොලර් ඩොලර් ශත 90ක් වැඩියි. ඕගනික්නම් තවත් ඩොලර් ශත පණහක් වැඩියි. 

බැලූ බැල්මට කිසිම වෙනසක් නැති කූඩු කිකිළියන්ගේ බිත්තර දුසිමක් අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී කවුරු හරි කෙනෙක් එළිමහන් කිකිළියන්ගේ බිත්තර ගන්න ඩොලර් ශත අනූවක් වැඩියෙන් ගෙවන්නේ ඇයි? ඔය ගොඩේ ඉන්නේ සල්ලි වලට වඩා මනුස්සකම ලොකුයි කියලා හිතන මිනිස්සු. වැඩිපුර ශත අනූව ගෙවන්නේ මනුස්සකම ප්‍රදර්ශනය කරන්න. සමහර විට තමන්ටම. එහෙම කරන්නේ ඒ වැඩෙන් ලැබෙන සතුට ශත අනූව අහිමි වීම නිසා අඩුවන සතුටට වඩා වැඩි නිසා. විකුණන්නේ වගේම මිල දී ගන්නේත් බිත්තර නෙමෙයි සතුට කියලා තේරුම් ගත්තහම මේ හැසිරීමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. 

ඕගනික් බිත්තර වලට තව ඩොලර් ශත පණහක් එකතු වෙන්නෙත් ඔය ක්‍රමයට. කේජ් ෆ්‍රී ඕගනික් බිත්තරම වුනත්, බ්‍රෑන්ඩ් එක හැපී එග්නම්, ගුඩ් ඇන්ඩ් ගැදර් බ්‍රෑන්ඩ් එකට වඩා තවත් ශත අනූවකින් මිල වැඩියි.  ඒ ශත අනූව අදාළ සන්නාමය විකිණෙන මිල. වටිනාකම කියන්නේ පුද්ගල බද්ධ දෙයක් නිසා මේ වගේ පාරිභෝගික හැසිරීම් ගැන ඕනෑවට වඩා වද වෙන එකේ තේරුමක් නැහැ. ඒවා තේරුම් ගන්න ඕනෑවට වඩා මහන්සි වෙන එකෙත් තේරුමක් නැහැ. එක් එක් පුද්ගලයා සතුටු වෙන්නේ තමන්ටම ආවේණික ක්‍රමයකට කියන එක මතක තියා ගත්තහම ඇති. 

උඩින් දැම්මේ ටාගට් මිල ගණන්නේ. මේ වෝල්මාර්ට් එකේ මිල ගණන්.

ග්‍රේට් වැලියු ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 3.92යි.

හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 6.32යි.

වෝල්මාර්ට් එකේ ලොකු බිත්තර දුසිමක් ටාගට් එකේ ගණනට වඩා ශත තුනක් අඩුයි. නමුත්, හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් ශත තුනක් මිල වැඩියි.

වෝල්මාර්ට් එකෙන් සාමාන්‍යයෙන් බඩු ගන්නේ මිල සංවේදී පාරිභෝගිකයෝ. ඒ අය බිත්තර වලට මිසක් පැකේජ් එකට, මනුස්සකමට හෝ සන්නාමයට ගෙවන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ඒ අයට පුළුවන් තරම් අඩු තරඟකාරී මිලකට බිත්තර විකිණිය යුතුයි. නමුත් ටාගට් එකට සාමාන්‍යයෙන් එන්නේ ඊට වඩා ටිකක් වියදම් කරන්න කැමති අය. එතැනදී ඉලක්කය වෙන්නේ අමතර එකතු කිරීම විකුණන එක. කූඩු කිකිළි බිත්තර සහ කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර අතර මිල පරතරය අඩු වුනු තරමට මිල වැඩි කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර තෝරා ගන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළ ඔය වගේ එකක්. මිල සංවේදී පාරිභෝගිකයින්ට අඩු මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. කූඩු වල හිර වෙලා බිත්තර දමන කිකිළියන් ගැන අනුකම්පා කරන අයට වැඩියෙන් ගාණක් දීලා කේජ් ෆ්‍රී බිත්තර ගන්න පුළුවන්. ඕගනික් බිත්තර අවශ්‍ය අයට ඒවා ගන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා තමන්ට අවශ්‍ය සන්නාමයම හොයන අයට ඒ තේරීම්ද තිබෙනවා. ඒ නිසා, කඩලා ඔම්ලට් හැදුවහම කිසිම වෙනසක් නැතත් බිත්තර වල මිල තරමක් විශාල පරාසයක විචලනය වෙනවා. ඔය මිලෙන් බාගයක් විතරම අගය එකතු කිරීම්. 

ඉන්දියාවෙන් එක පාරටම ඇමරිකාවට බිත්තර ගෙනත් විකුණන්න බැරි ඇයි කියන එකට එක් හේතුවක් මෙයින් විස්තර වෙනවා. ඉන්දියාවේ අඩුවට විකිණෙන බිත්තර බොහෝ දුරට නිකම්ම බිත්තර. ඇමරිකාවේ වෙළඳපොළ තුළ තරඟ කරන්න පුළුවන් විදිහට අගය එකතු කිරීම් කළොත් ඉන්දියානු බිත්තර වලත් මිල ඉහළ යනවා. 

හැබැයි ඉන්දියානු බිත්තර වලට බලපාන මේ ප්‍රශ්නය හැම රටකටම ඒ විදිහටම බලපාන්නේ නැහැ. ගොඩක් බටහිර රටවල බිත්තර විකිණෙන්නේ ඇමරිකාවේ ක්‍රමයට. ඒ නිසා, කැනඩාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය වගේ රටකට පහසුවෙන්ම ඇමරිකාවට බිත්තර අපනයනය කරන්න පුළුවන්. චීනයේ වුනත් ඒ මට්ටමේ බිත්තර නිෂ්පාදකයෝ ඉන්නවා. නමුත් ඉන්දියාව, ලංකාව වගේ අඩු ආදායම් රටවල විකිණෙන බිත්තර කියා කියන්නේ බොහෝ විට ඇමරිකාව, ජපානය හෝ කොරියාව වැනි රටක බිත්තර වලට සෘජු ආදේශක නෙමෙයි. 

වෙළඳපොළ තරඟය කියන්නේ මිල තරඟයක් පමණක් නෙමෙයි. පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා වන තරඟයක්. මිල මත තරඟ කළ හැක්කේ එමගින් පාරිභෝගිකයා සතුටු කළ හැකි සීමාව දක්වා පමණයි. එතැනින් එහාට පාරිභෝගිකයා සතුටු කළ හැකි වෙනත් ක්‍රම ගැන හිතන්න වෙනවා.

මේ කොටසෙන් කතා කළේ බිත්තර ඉල්ලුම ගැන. සැපයුම පැත්ත ගැන දෙවන ලිපියකින් කතා කරමු. වෙනත් ඕනෑම පාරිභෝගික භාණ්ඩයක වගේම බිත්තර වලත් ඉල්ලුම හැදෙන්නේ මේ භාණ්ඩය හිමි කර ගැනීම නිසා වැඩි වන සතුට හේතුවෙන්. නමුත්, බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් සතුටු වන විදිහ පුද්ගල බද්ධ දෙයක් නිසා සංවර්ධික රටක බිත්තර ඉල්ලුමේ සහ අඩු ආදායම් මට්ටමක සිටින රටක පාරිභෝගිකයින්ගේ බිත්තර ඉල්ලුමේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

ලංකාව, ඉන්දියාව වගේ රටක පාරිභෝගිකයින් විසින් ගෙවන්නේ බිත්තරය ආහාරයට ගැනීමෙන් ලැබෙන සතුටේ මිල පමණයි. නමුත්, බටහිර රටක පාරිභෝගිකයෙකු විසින් බිත්තර දමන කිකිළියගේ සතුට වෙනුවෙන්ද මිලක් ගෙවනවා. කිකිළියගේ සතුට කියා කිවුවත්, ඒකත් පාරිභෝගිකයා ළඟම මිස කිකිළිය ළඟ තිබෙන දෙයක් නෙමෙයි. ඊට අමතරව, බටහිර රටවල විකිණෙන පාරිභෝගික භාණ්ඩ එක්ක සමාජ සාධාරණත්වය, පරිසරය ගැන තියෙන කැක්කුම වගේ තව තව දේවල් විකිණෙනවා. ඒ දේවල් වෙනුවෙන් ගෙවන්න පුළුවන් තරමේ අතිරික්ත ධනයක් එම රටවල පාරිභෝගිකයින්ට තිබෙනවා. නමුත්, එදාවේල කන්න බිත්තරයක් ගන්න පාරිභෝගිකයෙක්ට පුළුවන් තරම් අඩුවට බිත්තරේ ගන්නවා මිසක් ඔය වගේ අමතර දේවල් වෙනුවෙන් සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් අහිමි වන සතුට වැඩියි.

Wednesday, March 31, 2021

අන්දරේ සීනි කෑ හැටි- පස් කාගේ කටේද?

සීනි සීරීස් එක මෙගා ටෙලියක් වෙන්න යනවා වගේ තේරෙනවද? ඔය වැඩේ කළේනම් හිතලමයි. ලංකාවේ දේශපාලනය කියන්නේ සිද්ධියෙන් සිද්ධියට යන එකනේ. ලංකාවේ කිවුවට වෙන රටවලත් වැඩි වෙනසක් නැහැ. ඔය සිද්ධියෙන් සිද්ධියට යන එකෙන් ඒ තරම් වැඩක් නැහැ. හැබැයි ඔය වගේ වෙලාවක දුවන කෝච්චියට අපිට ඕනෑ කරන බඩු ගෝනි ලේසියෙන් පටවා ගන්න පුළුවන්. සීනි අස්සේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැනත් කියල දැම්මේ ඒ නිසයි.

මොන දේක වුනත් කෙළවරක් තියෙන්න ඕනැනේ. අපි කෙළින්ම පොයින්ට් එකට ඇවිත් මේ සීනි සීරිස් එක ඉවර කරලා දමමු. තව කොයි තරම් දේවල්නම් කතා කරන්න තියෙනවද?

ආනයනික සීනි මත අය කෙරුනු වෙනත් බදු වර්ග හතරක් වෙනුවට 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත "විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්" පැනවූ බව පසුගිය කොටසෙන් කිවුවනේ. ඊට පස්සේ වරින් වර ඔය බද්ද සංශෝධනය කෙරුණා. නමුත් බද්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්දම තමයි. 

පහුගිය අවුරුදු හත තුළ, හරියටමනම් 2013 ජූලි සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ, ඔය බද්ද බොහෝ විට තිබුණේ රුපියල් 30කට ආසන්න මට්ටමකයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට බද්ද රුපියල් 28යි. ඔය කාලයේදී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 100කට ආසන්න මට්ටමේ ස්ථාවරව තිබුණා. යහපාලන ආණ්ඩුවේ දින සීයේ වැඩ සටහන කියලා එකක් තිබුණනේ. කියවන අයට දැන් ඕවා මතකද මන්දා. 

ඔය දින සියයේ වැඩ සටහන යටතේ 2015 ජනවාරි මාසයේදී සීනි බද්ද රුපියල් 10කින් අඩු කළා. ඒ කියන්නේ රුපියල් 18 කළා. සීනි කිලෝවක මිලත් පටස් ගාලා රුපියල් 85 පමණ මට්ටමට අඩු වුනා. බද්ද රුපියල් 10කින් අඩු කරද්දී සීනි මිල රුපියල් 15කින් 20කින් වගේ අඩු වුණේ ඔය දවස් වල ලෝක වෙළඳපොළේ සීනි මිලත් අඩු වෙමින් තිබුණු නිසා. 

කොහොම වුවත් ඔය දින සියයේ වැඩ පිළිවෙළ යටතේ කරපු ගොඩක් දේවල් අගෝස්තු මැතිවරණය දිහා බලාගෙන කරපු දේවල්නේ. මහ මැතිවරණය ඉවර වුන ගමන් සීනි බද්ද රුපියල් 30 වුනා. බද්ද වැඩි කරන්න එකම හේතුව මැතිවරණය ඉවර වීම කියන එක සාධාරණ නැහැ. ඔය දවස් වෙද්දී සීනි වල ආනයනික මිල හොඳටම බැහැලයි තිබුණේ. ඒ නිසා බද්ද රුපියල් 30 කළා කියලා සීනි ලොකුවට ගණන් ගියේ නැහැ.

හැබැයි අවුරුද්ද අවසන් වෙද්දී සීනි වල ආනයනික මිල ඉහළ ගියා.  ඒ අනුව සීනි මිලත් යහපාලන ආණ්ඩුව එන්න කලින් තිබුණු රුපියල් 100 මට්ටමට ගියා. 2016 මැද වන තුරුම ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික වැඩි වෙලා එහි බලපෑමෙන් ලංකාවේ සිල්ලර සීනි මිලත් ඉහළ යාම නිසා එම වසරේ ජූලි මැදදී යහපාලන ආණ්ඩුව එක පාරටම සීනි බද්ද රුපියල් 30ක සිට ශත 25 දක්වා අඩු කළා. මෑතක් වන තුරුම සීනි බද්ද එක පාරටම ලොකුවටම අඩු වුනේ මේ අවස්ථාවේදී.

කලින් පාර සීනි බද්ද රුපියල් 30කින්ම වගේ අඩු කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල සැලකිය යුතු තරමින් ඉහළ යාමට සමාන්තරවයි. බද්ද රුපියල් 30කින් අඩු කරද්දී ආනයනික සීනි මිල රුපියල් 15කින් පමණ ඉහළ ගිය නිසා සීනි වල සිල්ලර මිල අඩු වුනේ රුපියල් 15කට කිට්ටු ප්‍රමාණයකින් පමණයි. සීනි වල සිල්ලර මිලේ විකෘතියක් පෙනෙන්න තිබුණේ නැහැ.

ඔය විදිහට බද්ද ශත 25 දක්වා අඩු කර තිබුණේ මාස දෙකක් පමණයි. ඉන් පසු නැවත බද්ද වැඩි කෙරුණා. හැබැයි එක පාර නෙමෙයි. රුපියල් 2, රුපියල් 7, රුපියල් 13, රුපියල් 25, රුපියල් 33 ආදී ලෙස ටිකෙන් ටික. ඒ වගේම බද්ද වැඩි කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික පහළ යාමට සමාන්තරවයි. ඒ නිසා පසුගිය වසර වන තුරු සෑහෙන කාලයක් සීනි මිල ස්ථාවරව තිබුණා. 2020 අප්‍රේල් වෙද්දී සීනි වල සිල්ලර මිල රුපියල් 108ක් පමණ. සීනි බද්ද, ඒ කිවුවේ සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 35ක් වුනා.

පසුගිය වසරේ මැයි 22 වනදා ආණ්ඩුව සීනි බද්ද රුපියල් 50 දක්වා රුපියල් 15කින් වැඩි කළා. මීට පෙර කවදාවත්ම සීනි බද්ද මේ තරමට වැඩි කරලා තිබුණේ නැහැ. ඒ වගේම මේ විදිහට සීනි බද්ද වැඩි කළේ කලින් වාර වල වගේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩුවීම වැනි හේතුවක් නිසාත් නෙමෙයි.

බදු වැඩි කළාම රජයේ ආදායම් වැඩි වෙනවා. බද්දේ බර වැටෙන්නේ පාරිභෝගිකයන්ටද සැපයුම්කරුවන්ටද කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල බෑවුම් අනුව බවත්, සැපයුම් වක්‍රයේ බෑවුමක් නැති නිසා මුළු බරම වැටෙන්නේ පාරිභෝගිකයින් මත කියන එකත් මම පෙර ලිපි වල පැහැදිලි කළානේ. ඒ කියන්නේ මේ වැඩි කළ රුපියල් 15ම ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට කියන එකයි. හැබැයි බද්ද වැඩි කළාට වඩා වැඩි මිලකින් සීනි මිල ඉහළ යන්න හේතුවක් නැහැ.

පසුගිය මැයි මාසයේදී සීනි බද්ද රුපියල් 15කින් වැඩි කිරීමෙන් පසුව සීනි වල සිල්ලර මිල රුපියල් 25-30 අතර ප්‍රමාණයකින් ඉහළ ගියා. ඔය කාලයේ සීනි වල ආනයනික මිල ලොකුවට වැඩි වුනේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් රුපියල් 5ක් දමමු. ඒත් සීනි මිල වැඩි විය යුත්තේ රුපියල් 20කින් පමණයි. එහෙමනම් සීනි මිල රුපියල් 30කට ආසන්නව ඉහළ ගියේ කොහොමද?

රජයෙන් සීනි ආනයනකරුවන්ට අභ්‍යන්තර තොරතුරු ලැබුණේ නැත්නම් පසුගිය මැයි මාසයේ කළ බදු වැඩි කිරීම තරමක් වෙනස් එකක් බව ඔවුන්ට තේරෙනවා. මේ වැඩේ කළේ වෙනදා වගේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වීමට ප්‍රතිචාරයක් විදිහට නෙමෙයිනේ. 

ඔය දවස් වල ආණ්ඩුව හිටියේ ආනයන අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක. සමහර දේවල් ආනයනය කරන එක තහනම්ම කළා. අභ්‍යන්තර තොරතුරු ලැබුණේ නැත්නම් සීනි ආනයනකරුවෙකුට පෙනෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාලයක් යන තුරුම බද්ද ඉහළින් තබාගෙන ආනයන අධෛර්යමත් කරන එක බවයි. අනෙක් පැත්තෙන් රුපියල මත ලොකු පීඩනයක් එල්ල වෙලා තිබුණා. රුපියල ඉදිරි කාලය තුළ අවප්‍රමාණය වීමට නියමිත බව සක් සුදක් සේ පෙනෙන්නට තිබුණා. ඒ කියන්නේ ඉදිරියේදී එක පැත්තකින් සීනි ආනයනයට ආණ්ඩුව බාධා කරන්න පුළුවන්. සීනි ආනයනය නවත්වන්න වුනත් පුළුවන්. ඒ වගේම විණිමය අනුපාතිකය පිරිහීමට නියමිත නිසා ඉදිරියේදී සීනි වල ආනයනික මිල ඉහළ යාමට නියමිතයි. 

ඔය වගේ තත්ත්වයක් යටතේ සීනි ආනයනකරුවෙක් ක්‍රියා කරන්නේ මොන විදිහටද? පළමුව ඩොලර් එක වැඩි වෙන්න කලින් හා සීනි ආනයනයට සීමා පැනවෙන්න කලින් හැකි තරම් සීනි ආනයනය කරන එක. දෙවනුව දැනට තිබෙන තොග මුදා හැරීම පාලනය කරන එක. ඔය දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ සීනි ආනයනකරුවෙකු සතු මුදල් සියල්ල යොදවා තමන්ගේ ගබඩා සියල්ල පුරවා ගන්නවා කියන එකයි. එහෙම නොකරනවානම් එක්කෝ අමු මෝඩයෙක්. නැත්නම් අනෙක් අයට නොපෙනෙන දේ දැකිය හැකි දක්ෂතාවයක් තිබෙන කෙනෙක්. එහෙමත් නැත්නම් මොන විදිහකින් හරි ආණ්ඩුව ඉස්සරහට කරන්න ඉන්න දේ දන්න කෙනෙක්!

ආණ්ඩුව සීනි බද්ද රුපියල් 15කින් වැඩි කරද්දී සීනි මිල රුපියල් 25-30කින් පමණ ඉහළ ගියේ සැපයුම්කරුවන් බොහෝ දෙනෙක් අනාගතය ගැන හිතා තමන්ගේ තොග මුදා නොහරිමින් සැපයුම පාලනය කළ නිසයි. බලාත්මක කළ නොහැකි පාලන මිලක් දමා තිබීමත් එයට හේතුවක් වෙන්න ඇති.

ඔහොම තත්ත්වයක් තියෙද්දී ආණ්ඩුව එකපාරටම සීනි බද්ද ශත 25 දක්වා අඩු කරනවා. මේක හරියට උස්සලා පොළොවේ ගහනවා වගේ වැඩක්. රුපියල් 50ට උස්සලා ශත 25 මට්ටමටම බැස්සුවහම කොහොමද?

හැබැයි ඔය විදිහට බදු අඩු වැඩි කිරීම වංචාවක් කියා කියන්න බැහැ. ආණ්ඩුවකට එහෙම කරන්න කිසිම තහනමක් නැහැ. ඒ වගේම බදු අඩු කළ නිසා රජයට පාඩුවක් වුනා කියන එකත් විහිළු කතාවක්. බදු ගැහීම රජයක් විසින් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් නෙමෙයි. බදු වැඩි කරද්දී රජයේ ආදායම් වැඩි වෙනවා. බදු අඩු කරද්දී රජයේ ආදායම් අඩු වෙනවා.

රජයට කැමති විදිහට බදු අඩු වැඩි කරන්න පුළුවන්කම තිබුණත් තේරුම් ගත හැකි හේතු මත රුපියල් 50 දක්වා වැඩි කළ බද්ද එක පාරටම ශත 25 දක්වා අඩු කළේ ඇයි කියන එක පිළිබඳවනම් සාධාරණ සැකයක් තිබෙනවා. ඒ සැකය වැඩි වෙන්නේ ඊට පස්සේ කරපු දේවල් එක්කයි.

ඔක්තෝබර් 14 වනදී සීනි මත අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කරන ආණ්ඩුව නොවැම්බර් 17 වනදා ආනයනික සීනි කිලෝවක් මත රුපියල් 30ක තීරු බද්දක් දමනවා. 2007දී  දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කළාට පස්සේ දිගටම සීනි මිල පාලනය කරලා තිබෙන්නේ එම බද්ද හරහා. ඒ හැර සීනි වලට තීරු බද්දක් අය කරලාම නැහැ. දැන් එක පාරටම කාලයක් තිස්සේම අය කරනු නොලැබූ තීරු බද්දක් අළුතෙන් එන්නේ කොහොමද? හංගලා ගැහිල්ලක් නෙමෙයිද?

මම හිතන විදිහට තීරු බදු අය කරන්නේ භාණ්ඩ ඇනවුම් කළ දවස මත පදනම්වයි. ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව භාණ්ඩ රටට ගේන්න දින අනූවක කාලයක් තිබෙනවා කියා මම හිතනවා. තහවුරු කිරීම සඳහා ලේඛණයක් හොයා ගන්න බැරි වූ නිසා මේ කාරණයේදී මම නිවැරදි නොවෙන්න ඉඩ තිබෙනවා. අපි දැනට හිතමු මේක මෙහෙමයි කියලා.

මේ අනුව ශත 25ක බද්දක් ගෙවා සීනි ආනයනය කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 17 දක්වා දින 35ක කාලය තුළ සීනි ඇණවුම් කළ අයට පමණයි. එම කාලය තුළ ඇණවුම් කළානම් දින 90ක් ඇතුළත ශත 25 පමණක් ගෙවා සීනි නිදහස් කර ගත හැකිව තිබුණා කියන එක මගේ අදහසයි. මෙහි වැරැද්දක් තිබෙන බව යම් කෙනෙක් පෙන්වා දුන්නොත් නිවැරදි කිරීමක් කරන්නම්.

මැයි 22 රුපියල් 50 දක්වා ඉහළ දමපු සීනි බද්ද ඔක්තෝබර් 17 වෙනිදා එක පාරටම පෙරේතයා පොළොවේ ගැහුවා වගේ ශත 25 දක්වා අඩු වෙනවා. මැයි මාසයේ වැඩි කළ බද්ද ආණ්ඩුවේ ආනයන අධෛර්යමත් කිරීමේ ප්‍රතිපත්තියේ පිළිබිඹුවක් විදිහට තේරුම් ගත් සැපයුම්කරුවෝ ඒ වෙද්දී තමන්ගේ සල්ලි යට කරලා සීනි තොග ගොඩ ගහගෙන. ආනයන පාලනයක් එන බව පෙනෙද්දී කවුරු වුනත් කරන්නේ ඕකනේ. දැන් බද්ද අඩු කළා කියලා මේ අයට එක පාරට සීනි ආනයනය කරන්න බැහැ. කලින් ආනයනය කරලා රුපියල් 50 බැගින් බදු ගෙවා නිදහස් කරගත් සීනි තොග විකුණලා ඉන්න ඕනෑ. ඒ අය හුස්මක් කටක් අරගෙන සීනි ආනයනය කරන එක ගැන හිතන කොට බද්ද නැවතත් වැඩි වෙලා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්දනම් ශත 25 ලෙසම තියෙනවා. හැබැයි අලුතෙන් රුපියල් 30ක තීරු බද්දක් එකතු වෙලා.

කොහොම වුනත් හැම සැපයුම්කරුවෙක්ම එක විදිහටම කටයුතු කරන්න නීතියක් නැහැනේ. ඔය සීනි ආනයනකරුවන් අතරේ තමන්ගේ ගබඩා හිස් කරගෙන, සල්ලි අතේ තියාගෙන සීනි ආනයනය කරන්න බලාගෙන හිටපු අයත් ඉන්න බැරිකමක් නැහැ. හේතුව ඒ අයට අනෙක් අයට නොතිබුණු සුවිශේෂී විශ්ලේෂණ හැකියාවක් තිබීම වෙන්න පුළුවන්. වෙළඳපොළ ගැන හරි අවබෝධයක් නැතිකම වෙන්නත් පුළුවන්. අභ්‍යන්තර තොරතුරු ලැබී තිබීම වෙන්නත් පුළුවන්. හේතු හොයන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔය මොන හේතුවක් හරි නිසා බද්ද ශත 25ට බස්සා තිබුණු දින 35 ඇතුළේ සීනි ඇණවුම් කළ සමාගම් වලට දැන් කල්ල මරේ!

මම හරියටම තොරතුරු දන්නේ නැතත් ඇහෙන කතා වල හැටියට බද්ද ශත 25 වූ වහාම එක සමාගමක් ඔවුන්ගේ බන්ධිත ගුදම් වල තිබුණු සැලකිය යුතු සීනි තොගයක් නිදහස් කරගෙන තිබෙනවා. මෙහිනම් කිසිම අසාමාන්‍ය කමක් නැහැ. ඕනෑම සමාගමක් ඔය වැඩේ කරයි. 

ඒ සමාගමම දින කිහිපයක් ඇතුළත සීනි නැවක්ම ගෙනාවා කියලත් කියනවා. හැබැයි සීනි ආනයන විශාල ලෙස ඉහළ ගිහින් තියෙන්නේ 2021 ජනවාරි මාසයේදී. දෙසැම්බර් දක්වා මාස තුන තුළ සීනි ආනයනයේ කිසිම අසාමාන්‍ය වෙනසක් නැහැ. සමහර විට ඔක්තෝබර් මාසයේ ඇණවුම් කළ සීනි ජනවාරි මාසයේදී ශත 25 බැගින් ගෙවා, රුපියල් 30ක තීරු බද්ද නොගෙවා, නිදහස් කර ගත්තා වෙන්න පුළුවන්. නොවැම්බර් 17 පහු වෙලා ඇණවුම් කළානම් රුපියල් 30.25ක් බදු ලෙස ගෙවන්න වෙනවා.

කොහොමින් කොහොම හරි මේ වෙද්දී රුපියල් 50 බැගින් බදු ගෙවා ගෙන්වූ සීනි හා ශත 25 බැගින් බදු ගෙවා ගෙන්වූ සීනි විදිහට සීනි වර්ග දෙකක් වෙළඳපොළේ තිබෙනවා. ඔය සීනි වර්ග දෙකේ පාරිභෝගිකයන්ට හඳුනාගත හැකි කිසිම වෙනසක් නැහැ. නමුත්, ශත 25 ගෙවා නිදහස් කරගත් සීනි වල පිරිවැය රුපියල් 49.75කින් අඩුයි. 

සීනි ආනයනකරුවන් කිසිවෙකු විසින් තවමත් රුපියල් 30.25 බැගින් බදු ගෙවා සීනි නිදහස් කරගෙන නැතුවා විය හැකියි. රුපියල් 50 බැගින් බදු ගෙවා නිදහස් කරගත් සීනි තොග තමන් සතුව නොතිබුණානම් අනිවාර්යයයෙන්ම ශත 25ට ගෙන්විය හැකිව තිබුණු දින 35 ඇතුළත සීනි ඇණවුම් කරනවනේ. ඒ නිසා, නොවැම්බර් 17න් පස්සේ සීනි ලොකුවට ඇනවුම් කළා කියා හිතන්න බැහැ. 

යම් හෙයකින් කිසියම් සමාගමක් විසින් එහෙම කළා හෝ දැන් කරනවා කියා කියමු. ඔය කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ සීනි මිල 10%කින් පමණ ඉහළ ගියා. ඒ වගේම ඩොලරයක මිල 5%කින් පමණ ඉහළ ගියා. මේ කරුණු දෙක නිසා ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 20කින් පමණ වැඩි වුනා. මේ අනුව, දැන් රුපියල් 30.25ක් බදු ගෙවා සීනි ආනයනය කරන කෙනෙක්ගේ පිරිවැයත් ඔක්තෝබර් 14ට පෙර රුපියල් 50ක් බදු ගෙවා සීනි නිදහස් කරගත් අයගේ පිරිවැයට බොහෝ දුරට සමානයි. ඒ නිසා, සීනි වර්ග දෙකක් තියෙනවා කියපු කතාව වෙනස් වෙන්නේ නැහැ.

විවිධ සැපයුම්කරුවන්ගේ පිරිවැය හරියටම සමාන නොවන බවත් ඒ නිසා ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ මම පහසුවට තිරස් රේඛාවකින් නිරූපණය කළ කොටස ඉතාම සුළු බෑවුමක් තිබෙන පඩිපෙළක් වගේ එකක් බවත් මම කලින් ලිපියක විස්තර කළා. සාමාන්‍යයෙන් මේ පඩිපෙළේ පඩි දෙකක් අතර උස ශත ගණනක්. පඩි සියල්ලේම උස වුවත් රුපියල් දෙක තුනකට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා කිසියම් සැපයුම්කරුවෙකුට අනෙක් අයට වඩා ලාබයක් ගන්න පුළුවන් වුනත් වැඩිම වුනොත් එම ලාබය රුපියලක් නැත්නම් දෙකක්.

නමුත් දැන් වෙලා තියෙන්නේ කුමක්ද? පඩි දෙකක් අතර විශාල පරතරයක් තිබෙනවා. කොපමණ විශාල පරතරයක්ද?

බද්ද රුපියල් 50ක්ව තිබියදී, 2020 සැප්තැම්බර් මාසය අවසානයේ ඩොලරයක මිල හා ලෝක වෙළඳපොළේ සීනි මිල අනුව සීනි කිලෝවක මිල රුපියල් 67.34ක්. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ලෙස 5%ක් එකතු කර ආනයනික මිල රුපියල් 70.71ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. බද්ද එකතු කළ විට රුපියල් 120.71ක් වෙනවා. මෙයට ආනයනකරුගේ හා තොග හා සිල්ලර වෙළෙන්දන්ගේ ලාබ විදිහට 12%ක් එකතු කළොත් සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 135.20ක් විය යුතුයි. එම මාසයේ සීනි සිල්ලර මිල වූ රුපියල් 135.54 මෙම ඇස්තමේන්තුව සමඟ සැසඳෙනවා.


බද්ද අඩු කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් මාසය අවසානයේ ඩොලරයක මිල හා ලෝක වෙළඳපොළේ සීනි මිල අනුව සීනි කිලෝවක මිල රුපියල් 71.56ක්. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ලෙස 5%ක් එකතු කර ආනයනික මිල රුපියල් 75.14ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. බද්ද එකතු කළ විට රුපියල් 75.39ක් වෙනවා. මෙයට ආනයනකරුගේ හා තොග හා සිල්ලර වෙළෙන්දන්ගේ ලාබ විදිහට 12%ක් එකතු කළොත් සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 84.43ක් විය යුතුයි. ඒ කියන්නේ ශත විසි පහේ බද්දට සීනි ආනයනය කළ අයට අවශ්‍යනම් රජයේ පාලන මිල වූ රුපියල් 85ට සීනි සපයන්න තිබුණා. ඒ මිල යටතේ ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය ලාබය ලැබෙනවා.


හැබැයි කලින් රුපියල් 50ක බද්දක් ගෙවා සීනි ආනයනය කර තිබුණු අයට රුපියල් 85ට සීනි දෙන්න බැහැ. රේගුවෙන් නිදහස් කර ගන්න කොටම සීනි කිලෝවක් රුපියල් 120.71ක් වෙලා. මේ මිලට 12%ක සාමාන්‍ය ලාබයක් එකතු කළොත් විකුණන්න වෙන්නේ රුපියල් 135.20ක මිලකට. මම කියපු මිල පරතරය රුපියල් 50.76ක්. බද්ද වැඩි වුනු ප්‍රමාණය වූ රුපියල් 49.75ට ආසන්න වෙනසක්. 

බද්ද අඩු කිරීමෙන් පසු, 2020 නොවැම්බර් මුල් සතියේදී සීනි විකිණුනේ කිලෝව රුපියල් 126.25 බැගින්. ඒ කියන්නේ ශත 25 බැගින් බදු ගෙවා සීනි නිදහස් කරගත් අයට 12%ක සාමාන්‍ය ලාබයට අමතරව 41.82ක සුපිරි ලාබයක් ලැබිලා. රුපියල් 50 බැගින් බදු ගෙවූ අයගේ සාමාන්‍ය ලාබයෙන් රුපියල් 8.95ක් අඩු වෙලා.

දළ වශයෙන් මේ කතාව කිවුවොත් රජය රුපියල් 50ක් පාඩු කර ගනිද්දී එයින් රුපියල් 9ක පමණ වාසියක් පාරිභෝගිකයන්ට ලැබෙනවා. හදිසියේ සීනි ගෙන්වපු අයට රුපියල් 41ක සුපිරි ලාබයක් ලැබෙනවා. කලින් සීනි තොග රැස් කරගෙන හිටපු අයට රුපියල් 9ක පාඩුවක් වෙනවා.ඔය නොවැම්බර් මාසයේදී පැවති තත්ත්වය.

මේ වෙද්දී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 115 පමණ මට්ටමට අඩු වෙලා. ශත 25 බැගින් බදු ගෙවූ අයට 12%ක සාමාන්‍ය ලාබයක් එක්ක රුපියල් 85 බැගින් සීනි සපයන්න පුළුවන් නිසා මෙතැන රුපියල් 30ක සුපිරි ලාබයක් තියෙනවා. අනෙක් අතට රජයට වූ රුපියල් 50ක පාඩුවෙන් රුපියල් 20ක් පමණ පාරිභෝගිකයන්ට ගිහින් තිබෙනවා. කලින් තොග රැස් කරගෙන සිටි අයට රුපියල් 20ක පමණ පාඩුවක්ද සිදු වී තිබෙනවා.

බදු අඩු කළ විට තොග රැස් කරගෙන ඉන්න කෙනෙකුට පාඩුවක් වෙනවා කියන එක සාමාන්‍ය කරුණක්, ව්‍යාපාරිකයෙකු වුනහම ඒ අවදානම ගන්න ඕනෑ. සාමාන්‍ය ලාබ වලින් මේ අවදානමේ අවාසියත් ආවරණය වෙනවා. එකම ප්‍රශ්නය ඒ අවාසිය හැම සැපයුම්කරුවෙකුටම එක විදිහට වුනාද කියන එකයි.

රුපියල් 30ක තීරු බද්ද ගෙවා ලෝක වෙළඳපොළේ දැන් මිලට හා දැන් විණිමය අනුපාතිකයට සීනි ගේන කෙනෙකුට 12%ක සාමාන්‍ය ලාබය නැතුව පිරිවැය ලෙස පමණක් රුපියල් 123.64ක් යනවා. ඒ නිසා, වෙළඳපොළේ මිල දැන් තිබෙන රුපියල් 115 මට්ටමේ තිබියදී හා රට ඇතුළේ සැලකිය යුතු සීනි තොග තිබියදී කවුරුවත් අලුතෙන් සීනි ආනයනය කරන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම කරලා දැන් මිලට වඩා අඩුවෙන් කොහොම වෙතත් දැන් මිලටවත් සීනි විකුණන්න බැහැ. ඒ නිසා ටික කාලයක් යන තුරු ලෝක වෙළඳපොළේ සීනි මිල හෝ විණිමය අනුපාතිකය ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිලට බලපෑමක් කරන්නේ නැහැ. කළොත් කරන්නේ රජය විසින් රුපියල් 30ක තීරු බද්ද ඉවත් කළොත් හෝ විශාල ලෙස අඩු කළොත් පමණයි.

රුපියල් 135කට මිල විය යුතු සීනි හා රුපියල් 85ට මිල විය යුතු සීනි ලෙස ගොඩවල් දෙකක් තිබුණත් ඔය සීනි දෙවර්ගයේ වෙනසක් නැහැනේ. කිසියම් ආනයනකරුවෙක් ගත්තොත් එම ආනයනකරු සතුව බොහෝ විට ඔය සීනි දෙවර්ගයම තිබෙනවා. ඒ නිසා ආනයනකරුවෙකුගේ සීනි කිලෝවක සාමාන්‍ය පිරිවැය තීරණය වන්නේ කලින් තිබුණු තොග හා අලුතෙන් ආනයනය කළ තොග ප්‍රමාණ අතර අනුපාතය අනුවයි. 

අලුතෙන් ආනයනය කළේම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 135යි. පරණ තොග තිබුණේම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 85යි. පරණ තොග හා අලුත් තොග හරි හරියටනම් සීනි කිලෝවක් රුපියල් 110කට පමණ දෙන්න පුළුවන්. ඒ නිසා, දැන් සීනි මිල රුපියල් 115 වීමෙන් අදහස් වෙන්නේ රුපියල් 50 බැගින් බදු ගෙවා ආනයනය කළ සීනි වලින් පාඩුවක් වන බව වුවත් සමස්තයක් ලෙස පාඩුවක් වනවා කියන එකම නෙමෙයි. පරණ තොග අඩු වන තරමට සීනි මිල පහළ යා යුතුයි. 

සීනි මිල කොයි තරම් පහළ යයිද? රුපියල් 85 මට්ටමට පහළ යන්නේනම් නැහැ. එහෙම විය හැකිව තිබුණේ පරණ තොග තිබුනේම නැත්නම් පමණයි. සමහර විට තව පොඩ්ඩක් පහළ යයි. 

ඉතා පැහැදිලිවම සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ගිහින් නැහැ. නමුත් මාසයකට පසුව බද්ද නැවත රුපියල් 50 නොකර රුපියල් 30 කළ එකේ වාසිය පාරිභෝගිකයනට ගිහින් තිබෙනවා. ඔය අතර දින 35ක්  තුළ පමණක් බද්ද ශත 25 මට්ටමේ පවත්වා ගත්තේ ඇයි කියන එකට තර්කානුකූල හේතුවක් පෙනෙන්න නැහැ. මේ කාලය ඇතුළත ශත 25ක බද්ද ගෙවා ආනයනය කළ සීනි වලින් එසේ ආනයනය කළ අය සුපිරි ලාබයක් ලබා තිබෙනවා. එය රජයේ ආදායමෙන් අඩු වූ එහෙත්  පාරිභෝගිකයන්ට නොලැබුණු කොටසක්. 

ප්‍රමාණය කොපමණද කියන එක තීරණය වෙන්නේ ශත 25 බැගින් ආනයනය කර තිබෙන සීනි ප්‍රමාණය මතයි. අලාභය ගණනය කිරීමේදී මෙම සීනි කිලෝග්‍රෑම් ප්‍රමාණය රුපියල් 49.75කින් වැඩි කරන්නේ නැතිව රුපියල් 19.75කින් වැඩි කිරීම වඩා නිවැරදි බවයි මම හිතන්නේ. අන්දරේ සීනි කෑවේ කා එක්කද කියලා හරියටම දැන ගන්න වෙන්නේනම් බැඳුම්කර සිද්ධියේදී වගේ කොමිසම් දෙක තුනක් දමලා තමයි!

Monday, March 29, 2021

අන්දරේ සීනි කෑ හැටි (අටවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

මේ ලිපි මාලාවේ මුල් කොටස් පහෙන් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ඇතුළු ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු ගැන හැදෑරුවා. හයවන හා හත්වන කොටස් වලින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. මේ කොටසින් අපි සීනි වලට බදු ගැසීමේ මෑතකාලීන ඉතිහාසය ගැන කතා කරමු. 

බදු ගහන එකේ ප්‍රධානම අරමුණ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීම. ඊට අමතරව, රටේ ආදායම් විෂමතාවය අඩු කිරීම, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම, අහිතකර පුරුදු අධෛර්යමත් කිරීම වගේ වෙනත් අරමුණු මතද බදු අය කරනවා. වෙනත් අරමුණු තිබෙන අවස්ථා වලදී පවා බොහෝ විට ලංකාවේ බදු ප්‍රතිපත්තිය තුළ වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීමටයි.

ලංකාවේ බදු බොහොමයක් පාරිභෝගිකයින් විසින් ගෙවන වක්‍ර බදු. මේ ආකාරයේ බදු වලින් ආදායම් විෂමතාවය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සීනි බද්දම හොඳ උදාහරණයක්. ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සීනි වෙනුවෙන් වැඩි වියදමක් දරන්නේ පහළ ආදායම් ස්ථර වල අය. ඒ නිසා, සීනි බද්ද වගේ බද්දකින් ඉහළ ආදායම් ස්ථර වල අයගෙන් ඉතා සුළු බදු අනුපාතිකයක් අය කෙරෙද්දී පහළ ස්ථර වල අයගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බදු ලෙස අය කෙරෙනවා.


ඉහත ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ ලංකාවේ එක් එක් ආදායම් කාණ්ඩය තමන්ගේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් සීනි මිල දී ගැනීමට වැය කරනවාද කියන එකයි. පහළම ආදායම් ලබන 10% තමන්ගේ ආදායමෙන් 2.24%ක් සීනි වෙනුවෙන් වැය කරද්දී ඉහළම ආදායම් ලබන 10% සීනි වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 0.22%ක් පමණයි. සීනි වල මිලෙන් 30%ක් බදු සේ සැලකුවොත් පහළම ආදායම් ලබන 10% සීනි බදු විදිහට තමන්ගේ ආදායමෙන් 0.672%ක් ගෙවනවා. නමුත් ඉහළම ආදායම් ලබන 10% ගෙවන්නේ තමන්ගේ ආදායමෙන් 0.066%ක් පමණයි. පහළම ආදායම් ලබන අයගේ "ආදායම් බදු" අනුපාතිකය ඉහළම ආදායම් ලබන අයගේ අනුපාතිකය මෙන් දහ ගුණයකට වඩා වැඩියි. ඕක තමයි ලංකාවේ සමාජවාදය!

ප්‍රශ්නයක් නැහැ. ජනතාවගේ කැමැත්ත කියල කියමුකෝ. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි වියදමත් කවුරු හරි දැරිය යුතුයිනේ. 

සීනි වලින් ලංකාවේ පාරිභෝගිකයන්ගෙන් බදු අය කරන එක කාලයක් තිස්සේම සිදු වන දෙයක්. සීනි වලින් විතරක් නෙමෙයි. තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ හා අදාළව කතාව ඕකයි. නමුත් අපේ දැන් කතාව සීනි ගැනනේ! 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත "විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්" පනවන විට සීනි ආනයන මත බදු වර්ග හතරක් අය කෙරෙමින් තිබුණා.

වැට් බද්ද - 15%

වරාය සංවර්ධන බද්ද - 7.5%

ජාතිය ගොඩනැගීමේ බද්ද - 2%

තීරු බදු - කිලෝ ග්‍රෑමයකට රුපියල් 12/=

මොන නමින් බදු ගැහුවත් ලංකාවේ සීනි වෙළඳපොළේ ස්වභාවය අනුව බද්ද ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට බව මම කලින් පැහැදිලි කළානේ. ඒ වගේම මේ බදු වල බර වැඩිපුරම දැනෙන්නේ පහළම ආදායම් ස්ථර වලට බවත් පැහැදිලි විය යුතුයි. 

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කිරීමෙන් පසුව ඉහත කී බදු හතර වෙනුවට සීනි වලට තනි බද්දක් යෝජනා කෙරුණා. මේ බද්දේ නියම නම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. අපේ පහසුවට අපි මින් ඉදිරියට මේ බද්ද සීනි බද්ද ලෙස හඳුන්වමු. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබුවේ සීනි වලට පමණක් නෙමෙයි. මම මෙහිදී සීනි බද්ද ලෙස හඳුන්වන්නේ සීනි මත පනවනු ලැබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද.

ඔය සීනි බද්ද දැම්මට පස්සේ පැවති ආණ්ඩු විසින් වරින් වර බද්ද සංශෝධනය කර තිබෙනවා. බොහෝ විට බද්ද සංශෝධනය කර තිබෙන්නේ ජාත්‍යන්තර සීනි මිල ගණන් වෙනස් වෙද්දී දේශීය සීනි මිල ස්ථාවරව තබා ගත හැකි ආකාරයකටයි. ඒ කියන්නේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වෙන කොට බද්ද වැඩි කරනවා. ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට බද්ද අඩු කරනවා.

මේ විදිහට බදු වෙනස් කරද්දී බොහෝ විට, ආණ්ඩු භේදයක් නැතිව, කියන බොරු කිහිපයක් තිබෙනවා. එකක් පාරිභෝගිකයන්ට සෙත සැලසීම. පට්ට පල් බොරු!

ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට සීනි බද්ද අඩු කරන එක හරියට ගං වතුර එද්දී ගැට ගහල ඉන්න හරකෙක්ව ලිහනවා වගේ වැඩක්. ඔය වැඩෙන් හරකාගේ ජීවිතේ බේරෙනවා තමයි. හැබැයි ඔය විදිහට ගං වතුරට යට වෙලා මැරෙන්න නොඇර හරකගේ කඹේ කපන්නේ ඇයි? හරකට තියෙන ආදරේකටද?

කඹේ කැපුවට පස්සේ හරකා පණ එපා කියලා දුවලා කොහොම හරි බේරෙනවා. හැබැයි ගංවතුර බැස්සට පස්සේ ඌට තණකොළ ටිකක් උලා කාලා නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. ආපහු අල්ලගෙන ඇවිත් ගහේ බඳිනවා. මොකටද කියල කියන්න ඕනෑ නැහැනේ.

සීනි බද්ද අඩු කරලා පාරිභෝගිකයන්ට සෙත සලසන එකත් ඔය වගේම වැඩක්. ඇයි හත් දෙයියනේ පාරිභෝගිකයන්ට සෙත සලසන්න අවශ්‍යනම් ඔය බද්ද අය නොකරම හිටියහම ඉවරයිනේ! 

අපි කියමු සීනි මිල ස්ථාවරව තිබෙන එක පාරිභෝගිකයාට වාසියක් කියලා. එකම අරමුණ ඕකනම් රජයකට "බදු-උදාසීන (tax-neutral)" මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිල අඩු වෙද්දී බද්දක් අය කළත් මිල ඉහළ යද්දී සහනාධාරයක් විදිහට ඒ අය කරගත් බදු මුදල් ආපසු ගෙවනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මෙතැන තිබෙන අරමුණ රජයේ නඩත්තුවට ආදායම් උපයා ගැනීම කියන එක ආයේ හංගන්න දෙයක් නැහැ.

සීනි මිල ස්ථාවරව තියා ගැනීමේ වාසියත් ඇත්තටම වක්‍ර ලෙස රජයටමයි. මොකද සීනි වගේ පාරිභෝගික භාණ්ඩ වල මිල වැඩි වෙද්දී උද්ධමනය ඉහළ ගොස් ඇති බව පේන්න ගන්නවා. විශේෂයෙන්ම රටේ මුදල් සැපයුම විශාල ලෙස වැඩි වී තිබෙන මේ වගේ කාලයක. මොන විදියෙන් හරි සීනි මිල ස්ථාවරව තබා නොගත්තොත් උද්ධමනය තුළ එය නිරූපනය වෙනවා. එවිට උද්ධමනයට අනුරූපව රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. රජයට විශාල පාඩුවක් වෙනවා. සීනි මිල ස්ථාවරව තබා ගැනීමෙන් උද්ධමනය කෘතීම ලෙස පාලනය කළ හැකියි. පණිවිඩය ලැබෙන්නට පෙර පණිවිඩකරු නැවැත්වීමේ උපාය මාර්ගය!

ලංකාවේ වාර්ෂික සීනි ආනයනය කිලෝග්‍රෑම් මිලියන 600ක් පමණ. මෑත වසර වලදී සීනි බද්ද තිබුණේ රුපියල් 33-35 මට්ටමේ. ඒ කියන්නේ මෑත වසර වලදී සීනි බද්දෙන් රජය වසරකට රුපියල් බිලියන 20ක් පමණ උපයා තිබෙනවා. 

ඔය විදිහට සීනි වලට බදු ගහන්න හේතුවක් විදිහට ඉදිරිපත් කරන තවත් කාරණාවක් වන්නේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමයි. රටවල් වලට ඔය විදිහේ ජාතික අභිලාශ තිබීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම ජාතික අභිලාශ වෙනුවෙන් පිරිවැයක් දරන්නත් වෙනවා. හැබැයි ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතුව කියා කියනවනේ. මේ ජාතික අභිලාශය වෙනුවෙන් කොයි තරම් පාඩුවක් දරන්න වෙනවද?

දේශීය සීනි නිෂ්පාදකයා කිවුවට ලංකාවේ ඉන්න එකම දේශීය සීනි නිෂ්පාදකයාත් ලංකාවේ රජයම තමයි. එතකොට මේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම කියා කියන්නේත් "අපි වෙනුවෙන් අපි" වැඩක්. 

ලංකාවේ සීනි නිෂ්පාදනය මුළුමනින්ම වගේ කරන සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා තිබෙන්නේ රජයට අයිති ලංකා ෂුගර් පෞද්ගලික සමාගම යටතේ. ඒ වගේම දැනට ක්‍රියාත්මක නැති වුවත්, වැටුප් ලබන අධ්‍යක්ෂ්‍ය වරුන් සිටින කන්තලේ සීනි කම්හල වගේම හිඟුරාන සීනි කම්හලත් තිබෙන්නේ රජයේ පාලනය යටතේ. තව සීනි පර්යේෂණ ආයතනයකුත් තියෙනවා. ටික කලකට පෙර වෙනම සීනි ඇමති කෙනෙකුත් හිටියා. දැන් වෙනම අමාත්‍යංශයක් නැතත් එම අමාත්‍යංශය යටතේ වූ ආයතන වල වියදම නැති වී නැහැ. 

පසුගිය 2019 වසර තුළ ලංකා ෂුගර් පෞද්ගලික සමාගම විසින් සීනි කිලෝග්‍රෑම් මිලියන 41.2ක් රුපියල් මිලියන 5,458කට අලෙවි කර තිබෙනවා. ඒ අනුව දේශීය සීනි කිලෝවක් විකුණා තිබෙන්නේ රුපියල් 126.98 බැගින්. එම වසරේදී සීනි කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 104.09ක් පමණයි. සමහර විට තවත් එක් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වන සතොස විසින් සීනි වැඩි මිලට මිලදී ගෙන අඩු මිලට විකිණුවාද කියා මා දන්නේ නැහැ.

ඔය විදිහට සීනි කිලෝවක් රුපියල් 127කට පමණ විකිණීමෙන් පසුවත් 2019 වසර තුළ ලංකා ෂුගර් විසින් ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 1,308ක්. ඒ කියන්නේ සීනි කිලෝවකට රුපියල් 31.77ක්. ඒ අනුව, ලංකා ෂුගර් පෞද්ගලික සමාගමට පාඩු නොලබන්නටනම් සීනි කිලෝවක් රුපියල් 158.75 බැගින්වත් විකුණන්නට හැකි විය යුතුයි. 2019 වසරේදී ආනයනික සීනි කිලෝවක මිල නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ රුපියල් 64.54ක් පමණයි. මේ අනුව ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සෘජුව හා වක්‍රව ගෙවිය යුතු මිල රුපියල් 94.21ක්. 

ලංකා ෂුගර් පෞද්ගලික සමාගම හැම වසරකම පාඩු ලබන්නේ නැහැ. ලාබ ලබන වසරවල්ද තිබෙනවා. හැබැයි පසුගිය වසර පහේ ලාබ අලාබ එකතුව ගත්තත් එකතුව රුපියල් මිලියන 808ක්. ඒ නිසා ඉහත ඇස්තමේන්තුව තරමක් වැඩි ඇස්තමේන්තුවක් විය හැකි වුවත් ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සැලකිය යුතු මිලක් ගෙවිය යුතුයි කියන එක බොරුවක් නෙමෙයි. සීනි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන නඩත්තු කිරීමේ පිරිවැයද මේ මිලට එකතු කළ යුතුයි. සීනි ඇමති කෙනෙක් සිටිද්දී එම අමාත්‍යංශයේ වාර්ෂික වියදම් රුපියල් බිලියන 1.5කට ආසන්න මට්ටමක තිබුණා.

ලංකා ෂුගර් පාඩු, සීනි ඇමැතිලාගේ වියදම් ආදී සියල්ල එකතු කළත් ඕනෑනම් වැඩිම වුනොත් බිලියන දෙක තුනක් වෙයි. ඒ කියන්නේ සීනි බද්ද විදිහට අය කරන රුපියල් බිලියන 20ක පමණ මුදලින් ජාතික අභිලාශ වෙනුවෙන් යම් හෙයකින් මුදලක් වැය කෙරෙනවානම් එසේ වැය කෙරෙන්නේ බදු මුදලෙන් ඉතාම සුළු කොටසක් පමණයි. ඉතිරි කොටස ක්‍රියා කරන්නේ රටේ දුප්පතුන්ට වැඩි බරක් වැටෙන ආදායම් බද්දක් විදිහටයි. ඒ මුදලින් නඩත්තු වෙන්නේ කවුද?

Saturday, March 27, 2021

අන්දරේ සීනි කෑ හැටි (හත්වන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තෙවන කොටසින් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. මිල පාලනය ගැනත් කතා කළා. සිවුවන කොටසින් බදු ගැන කතා කළා. පස් වන කොටසින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. හයවන කොටසින් අපි ලංකාවේ සීනි වෙළඳපොල ගැන තව ටිකක් කතා කළා. විශේෂයෙන්ම ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන කතා කළා. 

මුල් කොටස් පහේ විස්තර කළ දේවල් ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු බවත් හයවන කොටසින් විස්තර කළ ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය පිළිබඳ අදහස ආර්ථික විද්‍යා මූලධර්ම හා ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳ තොරතුරු මත පදනම්ව ලේඛකයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් මෙහිදී කිව යුතුයි.

ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන ලියූ දේ සාරාංශගත කළොත් අප විසින් පෙන්වා දී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ සැපයුම් වක්‍රයේ අදාළ කොටසේ බෑවුම ශුන්‍යයට ආසන්න බවයි. එහෙමත් නැත්නම් සැපයුම් වක්‍රයේ අදාළ කොටස තිරස් රේඛාවක් බවයි.

අප පෙර ඉගෙන ගත් පරිදි කිසියම් වෙළඳපොලක සියලුම සැපයුම්කරුවන්ගේ ලාබ සැපයුම් වක්‍රයට උඩින්, සමතුලිත මිලට යටින් හා සමතුලිත ප්‍රමාණයට වම්පසින් පිහිටි ප්‍රදේශයේ වර්ග ඵලයට සමානයි. සැපයුම් වක්‍රය තිරස් රේඛාවක්නම්, සමතුලිත මිල තිබෙන්නේත් ඒ මට්ටමේමනම් මේ කියන වර්ග ඵලයද ශුන්‍යයි. ඒ කියන්නේ සැපයුම්කරුවන් විසින් ලාබයක් ලබන්නේම නැහැ. එහෙම වෙන්න පුලුවන්ද?

එහෙම වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේදී අපි ලාබ ලෙස හදුන්වන්නේ ආර්ථික ලාබ මිසක් ගිණුම්කරණ ලාබ නෙමෙයි. ආර්ථික ලාබ ලෙස හඳුන්වන්නේ ගිණුම්කරණ ලාබ වලින් ගිණුම් වල නැති ආවස්ථික පිරිවැය අඩු කළ පසු ඉතිරි වන කොටසයි. උදාහරණයක් විදිහට සමාගමක අයිතිකරුවන් වැටුප් ලබා නොගෙන වැඩ කළානම් ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් නිසි මුදලක් ලාබ වලින් අඩු කළ යුතුයි. ආර්ථික විද්‍යා විශ්ලේෂනයකදී ලබා නොගත් වැටුප් ලාබ සේ සලකන්න බැහැ. ඒ වගේම සමාගමටම අයිති ගබඩාවක සීනි ගබඩා කර තැබුවත් ගබඩා ගාස්තු වෙනුවෙන් නිසි මුදල ලාබ වලින් අඩු කළ යුතුයි. ලාබ ශුන්‍ය සේ සලකන්නේ ඔය ආකාරයේ ගිණුම් වල නැති වියදම්ද අඩු කිරීමෙන් පසුවයි. 

ඔය ආකාරයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසුව තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවන්ගේ ලාබ ශුන්‍ය වෙනවා. එසේ නොවනවානම් ඒ ඒවාට කියන්නේ සුපිරි ලාබ කියලයි. ආර්ථික විද්‍යාවේදී සැබෑ ලාබ සේ සලකන්නේ මේ ආකාරයේ සුපිරි ලාබයි.

සැපයුම්කරුවෝ හැම වෙලාවේම තමන්ගේ ලාබ වැඩි කරගන්න උත්සාහ කරනවා. තනි සැපයුම්කරුවෙකුට වෙළඳපොළ මිල පාලනය කළ නොහැකි නිසා ලාබ වැඩි කරගන්න තිබෙන එකම ක්‍රමය පිරිවැය අඩු කර ගැනීමයි. ලංකාවට සීනි ආනයනය කරන හැම සැපයුම්කරුවෙකුටම සීනී ගේන්න වෙන්නේ එකම පිරිවැයක් දරමින් කියා මම කලින් කොටසේ කිවුවත් මේ ප්‍රකාශය ආසන්න සත්‍යයක් පමණයි. ලෝක වෙළඳපොළේ සීනි මිල දවසෙන් දවස වෙනස් වෙනවා. විණිමය අනුපාතිකයත් දවසින් දවස වෙනස් වෙනවා. නමුත් හැම සැපයුම්කරුවෙකු විසින්ම ලංකාවට සීනි ගේන්නේ එකම දවසේ නෙමෙයි. ඒ නිසා එක් එක් සැපයුම්කරුවාගේ පිරිවැය වල පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. 

සමහර සැපයුම්කරුවන්ගේ පිරිවැය රුපියලක් දෙකක් අඩු වෙන්න පුළුවන්. ඒ අයට අනෙක් අයට සාපේක්ෂව පොඩි අමතර ලාබයක් තිබෙනවා. මේ කතාව සැපයුම් වක්‍රය ඇසුරෙන් පැහැදිලි කළොත් තිරස් රේඛාවක් කියා කිවුවත් ඔතැන තියෙන්නේ පඩි පෙළක ආකාරයේ සමාන්තර තිරස් රේඛා කිහිපයක්. සැපයුම් වක්‍රය තිරස් එකක් කියා කිවුවත් එහි සුළු බෑවුමක් තිබෙනවා. ඒ සුළු බෑවුම නිසා මම කලින් ලිපියේ කියූ දේවල් කිසිවක් දැනෙන තරමට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට සැපයුම් වක්‍රය තිරස් රේඛාවක් ලෙසම සලකමු.

මේ තිරස් රේඛාවේ උස තීරණය කරන ප්‍රධාන සාධක වන්නේ ආනයනික මිල හා ලංකාවේ රජය විදින පනවන බදු අනුපාතිකයයි. පහත ප්‍රස්ථාරය පෙන්වා තිබෙන්නේ ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිල තීරණය වන ආකාරයයි.


ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳව මා විස්තර කර තිබෙන කරුණු නිවැරදි බව තහවුරු වෙනවා. මිල තීරණය කෙරෙන ප්‍රධානම සාධකය ලෝක වෙළඳපොළේ සීනි මිලයි. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වෙනවා. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වීම නිසා ආනයනික මිල ලෝක වෙළඳපොළේ සීනි මිලට වඩා 7%කින් පමණ ඉහළ මිලක්. ආනයනික මිලට බදු එකතු වෙනවා. එම මුළු එකතුවම පිරිවැයේ කොටසක්. ඉන්පසුව ආනයනකරුගේ, තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ආන්තික මේ පිරිවැයට එකතු වෙනවා. එම සියලුම ආන්තික වල එකතුව 12%ක් පමණ. 

මේ ප්‍රස්ථාරයේ බදු පිළිබඳ දත්ත සියයට සියයක්ම නිවැරදි නැහැ. කිසියම් වසරක් තුළ බදු වෙනස් වූ විට අදාළ වසර සඳහා සාමාන්‍ය බදු ප්‍රමාණය සේ සැලකිය හැක්කේ එක් එක් බදු අනුපාතිකය යටතේ ආනයනය කළ සීනි ප්‍රමාණය අනුව බර තැබූ අගයක්. එම දත්ත මා සතු නැති නිසා මෙහි තිබෙන්නේ මගේ ආසන්න ඇස්තමේන්තු. බදු අනුපාතික වෙනස් නොවූ වසරවල් සඳහා දත්ත සම්පූර්ණයෙන්ම නිවැරදියි.

ඒ නිසා උදාහරණයක් විදිහට අපි බදු වෙනස් නොවූ වසරක් වන 2011 වසර සලකමු. එම වසරේ ලෝක වෙළඳපොළේ සීනි කිලෝවක මිල ඩොලර් 0.70ක්. එම වසරේදී ඩොලරයක් 110.57ක් වූ නිසා මෙය රුපියල් 77.15ක මුදලකට සමානයි. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වී ලංකාවට එන විට සීනි කිලෝවක් රුපියල් 81.80ක් වෙනවා. ඉන් පසු මෙයට රුපියල් 5ක බද්දක් එකතු වෙනවා. දැන් සීනි කිලෝවක් රුපියල් 86.80ක් වෙලා. ආනයනකරුගේ හා අනෙකුත් අතරමැදියන්ගේ ලාබ ආන්තික එකතු වීමෙන් පසුව සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 96.11ක් වෙනවා. 

වෙනත් වසරක දත්ත පරීක්ෂා කළත් පෙනෙන්නට තිබෙන චිත්‍රය මීට වඩා වෙනස් නැහැ. සීනි වෙළඳපොළෙහි මාෆියාවක් හෝ සුපිරි ලාබ ලබන අතරමැදියන් පෙනෙන්නට නැහැ. අතරමැදියන්ගේ අතිරික්තය ඔවුන්ගේ වක්‍ර වියදම් ආවරණය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නෙමෙයි. හැම අතින්ම පෙනෙන්නේ තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ.

සීනි වෙළඳපොළේ අතරමැදියන්ගේ ලාබ ආන්තික වසරින් වසර වෙනස් වන බවක් පෙනෙන්නේ නැහැ. මෙයට හේතුව ප්‍රමාණවත් තරඟකාරිත්වය ලෙස සැලකිය හැකියි. ඒ අනුව සැපයුම් වක්‍රය තිරස් හැඩයක් ගන්නා බවට අප කළ නිගමනය නිවැරදි බව තහවුරු වෙනවා. අතරමැදියෙකු විසින් සුපිරි ලාබ ලබනවානම් ඒ කලාතුරකින් හා සුළු වශයෙන් මිසක් සාමාන්‍ය තත්ත්වය ලෙස විය නොහැකියි. ඒ වගේම නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද විශාල ලෙස විචලනය වන්නේ නැහැ.

කෙසේ වුවත් ලෝක වෙළඳපොළේ සීනි මිල විශාල ලෙස විචලනය වෙනවා. විණිමය අනුපාතිකය කාලයත් සමඟ ටිකෙන් ටික පිරිහෙනවා. ඒ වගේම සීනි වල ආනයනික මිල වෙනස් වෙද්දී රජය විසින් මිල ස්ථාවර වන ආකාරයට බදු අනුපාතික වෙනස් කරනවා. මේ සාධක තුන මත සැපයුම් වක්‍රයේ තිරස් කොටසේ උස වරින් වර වෙනස් වෙනවා. එයට අනුරූපව සීනි වල සිල්ලර මිලද වෙනස් වෙනවා.

ඉහත කරුණු අනුසාරයෙන් අපට සීනි වෙළඳපොළේ කිසියම් විකෘතියක් වී තිබේනම් එය හදුනාගන්න පුළුවන්. 

Friday, March 26, 2021

අන්දරේ සීනි කෑ හැටි (හයවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තෙවන කොටසින් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. මිල පාලනය ගැනත් කතා කළා. සිවුවන කොටසින් බදු ගැන කතා කළා. පස් වන කොටසින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. මේ කොටසින් අපි ලංකාවේ සීනි වෙළඳපොල ගැන තව ටිකක් කතා කරමු.

ලංකාවේ සීනි ඉල්ලුමෙන් කොටසක් රට ඇතුළේම නිපදවෙන නමුත් එම ප්‍රමාණය මුළු ඉල්ලුමෙන් 5-10% අතර ප්‍රමාණයක් පමණයි. ඉල්ලුමෙන් 90-95% පමණම සැපිරෙන්නේ ආනයනික සීනි වලින්. ඉන්දියාව, බ්‍රසීලය, තායිලන්තය වගේ රටවල් වලින් ලංකාව සීනි ආනයනය කරනවා. මේ රටවල් වල සීනි මිලත් ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරය අනුව ඉහළ පහළ යනවා. ඉල්ලුම හා සැපයුම අනුව කිවුවත් බොහෝ විට විචලනය වන්නේ සැපයුමයි. ඉල්ලුම සාපේක්ෂව ස්ථාවරයි.

ලෝක වෙළඳපොළේ සීනි මිල ඉල්ලුම හා සැපයුම අනුව විචලනය වුවත් ලංකාවේ ආනයනික සීනි ඉල්ලුම ලෝක වෙළදපොළේ සීනි මිලට බලපෑමක් කළ හැකි මට්ටමක එකක් නෙමෙයි. ලංකාව සීනි ඇටයක්වත් ආනයනය නොකළත් එය ලෝක සීනි ඉල්ලුමට දැනෙන බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සෛද්ධාන්තිකව කොහොම වුවත් ප්‍රායෝගිකව ලෝක වෙළඳපොළේ සීනි මිල ලංකාවේ සීනි ඉල්ලුමෙන් ස්වායත්තයි. ලංකාවට සීනි ආනයනය කරන කෙනෙකුට ලෝක වෙළඳපොළේ පවතින මිලට සීනි මිල දී ගන්න වෙනවා. 

ලංකාවේ සීනි ආනයනකරුවෙක් වෙනත් රටකින් සීනි මිල දී ගත්තා කියමු. ඒ සීනි ලංකාවට ගේන්න නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවන්න වෙනවා. ආනයනික සීනි මිල එහෙමත් නැත්නම් CIF මිල කියා කියන්නේ ලෝකයේ කොහේ හෝ රටකින් සීනි මිල දී ගෙන නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවා ලංකාවට සීනි කිලෝවක් ගේන්න යන වියදම. ඉන් පසු ඒ මිලට ලංකාවේ රජය විසින් අය කරන බදු එකතු වෙනවා. ආනයනකරුගේ, තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ලාබ ආන්තිකද එකතු වෙනවා. ලංකාවේ දේශීය සිල්ලර වෙළඳපොළේ සීනි වල සැපයුම් වක්‍රය හැදෙන්නේ ඔය සියල්ල එකතු වී හැදෙන සීනි කිලෝවක පිරිවැය වෙනස් වන ආකාරය මතයි.

ලංකාවේ සිල්ලර වෙළඳාම බොහෝ දුරට තරඟකාරී එකක්. තොග වෙළඳාම හා සීනි ආනයනය වුවත් සෑහෙන තරමකට තරඟකාරීයි. වෙළඳපොළක් තරඟකාරී වන්නේ සැපයුම්කරුවන් වැඩි වන තරමටයි. ඇතැම් තත්ත්වයන් යටතේ සැපයුම්කරුවන් විශාල පිරිසක් නැතිවත් වෙළඳපොළක් තරඟකාරී වෙනවා. රජයේ නියාමනයක් නැත්නම් ලංකාවේ සීනි ආනයනය තරඟකාරී ලෙස සිදු නොවෙන්න හේතුවක් නැහැ. මොකද සීනි කියන්නේ සෑහෙන තරමකට සමජාතීය භාණ්ඩයක්. 

පාරිභෝගිකයෙකුට ඉන්දියාවෙන් ගේන සීනි සහ බ්‍රසීලයෙන් ගේන සීනි වෙන් කර හඳුනා ගන්න බැහැ. ඒ නිසා සීනි ආනයනකරුවන් හැම වෙලාවකම පුළුවන් තරම් අඩු මිලකට ලංකාවට සීනි ගේන්න උත්සාහ කරනවා. ඔවුන්ට ලාබ ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ තරඟකරුවන්ට වඩා අඩුවෙන් සීනි කිලෝවක් ලංකාවට ගෙනාවොත් පමණයි. ලෝකයේ ඕනෑ තරම් සීනි නිෂ්පාදකයෝ හා අතරමැදියෝ ඉන්න නිසාත්, ඒ අයට ඕනෑ කරන්නේ තමන්ගේ සීනි කාට හරි විකුණන්න නිසාත් එක සීනි ආනයනකරුවෙකුට අනෙක් අයට වඩා ගොඩක් අඩුවෙන් ලංකාවට සීනි ගේන්න බැහැ. ලංකාවට කවුරු ආනයනය කළත් ආනයනික සීනි කිලෝවක පිරිවැය බොහෝ දුරට සමානයි.

ලංකාවට ආනයනය කරන සීනි වලට රජයෙන් ගහන බද්ද සාමාන්‍යයෙන් ආනයනකරු අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තොග හා සිල්ලර වෙළඳුන්ගේ ලාබ ආන්තිකත් ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ලෝක වෙළඳපොළේ සීනි මිල, විණිමය අනුපාතිකය හා සීනි වලට ගහන බදු වෙනස් නොවෙනවානම් සපයන සීනි ප්‍රමාණය මත සීනි වල සිල්ලර මිල ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් සීනි සැපයුම පූර්ණ නම්‍යශීලී සැපයුමකට කිට්ටුයි. ඒ කියන්නේ සැපයුම් වක්‍රය තිරස් රේඛාවක්. 

ලෝක වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන් සීනි ගන්න කිසිම හැකියාවක් නැහැ. ලෝක වෙළඳපොළේ මිලට ඕනෑ තරම් සීනි ආනයනය කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණය වෙනස් වුනා කියා මිල වෙනස් වෙන්නේ නැහැ. ලෝක වෙළඳපොළේ මිලට නැව් හා රක්ෂණ ගාස්තු, බදු හා අතරමැදියන්ගේ ලාබ ආන්තික එකතු කළ විට ලැබෙන මිල මට්ටමේ සැපයුම් වක්‍රය දිගටම තිබෙනවා. මේ දේවල් වලින් එකක් හෝ කිහිපයක් වෙනස් වෙද්දී සැපයුම් වක්‍රය ඉහළ පහළ යනවා. නමුත් හැඩය වෙනස් වෙන්නේ නැහැ.

හැබැයි මේ කියපු කතාව සතොස වගේ රජය යටතේ තිබෙන ආයතන වලට අදාළ නැහැ. පෞද්ගලික අංශයට සීනි පාඩුවට දෙන්න බැරි වුනත් රජයට සීනි පාඩුවට විකුණන්න පුළුවන්. නිකම් දෙන්න වුනත් පුළුවන්. ඒ නිසා, සැපයුම්කරුවෙකු විදිහට රජය විසින් සපයන සීනි ප්‍රමාණය සැපයුම් වක්‍රයේ නිරූපණය කරන්නේ පූර්ණ අනම්‍යශීලී සැපයුමක්. රජය හරහා සපයන සීනි ප්‍රමාණය ඉල්ලුම මත තීරණය වෙන්නේ නැහැ. ඒ අනුව සැපයුම් වක්‍රයේ මුල් කොටස සිරස් රේඛාවක්. කෙසේ වුවත් රජය විසින් පාඩුවට සීනි විකුණන්නේ යම් සීමාවක් දක්වා පමණක් නිසා සැපයුම් වක්‍රයේ අපට වැදගත් කොටස තව දුරටත් තිරස් රේඛාවක්.

සැපයුම් වක්‍රයේ අපට වැදගත් කොටස තිරස් රේඛාවක් හෝ ඊට ආසන්න එකක් කියා දන්න නිසා ඉල්ලුම් වක්‍රයේ හැඩය හරියටම නොදැන වුවත් අපට යම් නිගමන වලට පහසුවෙන් එළඹෙන්න පුළුවන්. පළමු එක මේ විශේෂිත තත්ත්වය යටතේ මිල පාලනයේ බලපෑම කුමක්ද කියන එක. තෙවන කොටසේ විස්තර කළ සාධාරණ තත්ත්වයන් යටතේ මිල පාලනයේ ප්‍රතිඵලයක් විදිහට සීනි හිඟයක් ඇති විය යුතුයි. හැබැයි හිඟයක් තිබුණත් සීනි නැත්තටම නැති වෙන්නේ නැහැ. මොකද මිල මට්ටම ටිකක් අඩු කළත් සැපයුම් වක්‍රය කැපෙන තැනක් තිබෙනවා. අපේ සැපයුම් වක්‍රයේ ස්වභාවය අනුව මිල පාලනය යටතේ සැපයෙන්නේ රජය මගින් පාඩුවට සපයන සීනි ප්‍රමාණය පමණයි.

ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය කියන කාරණාවට නැවත ආවොත් ඉහත පැහැදිලි කළ ආකාරයට මේ වෙළඳපොළේ සැපයුම් වක්‍රය මේ ලිපි මාලාවේ පෙර කොටස් වල විස්තර කළ, පාඨ ග්‍රන්ථයක දැකිය හැකි ආකාරයේ, සම්මත වක්‍රයක් නෙමෙයි. එහි මුල් හරියේ තිරස් කොටසකුත් ඉන් පසුව සිරස් කොටසකුත් තිබෙනවා. මෙහි තිරස් කොටස කොයි තරම් දුරකින් ආරම්භ වෙනවාද කියන එක වගේම කොයි තරම් උසකට යනවාද කියන එකත් තීරණය කරන්නේ රජය විසින්. තිරස් කොටස ආරම්භ වන තැන සතොස හෝ වෙනත් එවැනි ආයතන හරහා රජය විසින් සපයන සීනි ප්‍රමාණයයි. එහි උස, ආනයනික මිල අනුව තීරණය වන නමුත් ඒ මත පනවන බදු ප්‍රමාණය වරින් වර වෙනස් කිරීම හරහා රජය විසින් පාලනය කෙරෙනවා. 

මේ විදිහට සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රය රජයේ අත් අඩංගුවේ පසු වුනත් ඉල්ලුම් වක්‍රය අඳින්නේ පාරිභෝගිකයන් විසින්. ඒ නිසා රජයට වෙළඳපොළ සමතුලිතතාවය පාලනය කළ හැක්කේ සැපයුම් වක්‍රය වෙනස් කිරීම මගිනුයි. ඉල්ලුම් වක්‍රයේ හැඩය කුමක් වුවත් එය සැපයුම් වක්‍රයේ තිරස් කොටස කපනවානම් මිල නිශ්චිත මිලක්. එම මිල තීරණය වන්නේ සැපයුම් වක්‍රයේ තිරස් කොටස තිබෙන්නේ කොපමණ උසකින්ද කියන කරුණ මතයි. එම උස තීරණය වන්නේ ආනයනික මිල හා බදු ප්‍රමාණය මතයි. කවර හෝ මිල පාලනයකින් වෙළඳපොළට බලපෑමක් වෙන්නේ පාලිත උපරිම මිල මේ මිලට වඩා අඩුනම් පමණයි. එසේ අඩු වූ පාලිත මිලක් යටතේ ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය කපන්නේ එහි සිරස් කොටසේදී. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. එසේ සමතුලිත විය හැක්කේ රජය විසින් පිරිවැයට වඩා අඩුවෙන් රටේ සමස්ත සීනි ඉල්ලුමම සපයනවානම් පමණයි.

දැන් අපි හිතමු කවර හෝ හේතුවක් නිසා ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම වැඩි වුනා කියලා. අපේ එක පාඨකයෙක් පෙර ලිපියකට ප්‍රතිචාරයක් විදිහට සිංහල අවුරුදු කාලය ගැන මතක් කර තිබුණා. සිංහල අවුරුදු කාලයට ගෘහස්ථ සීනි ඉල්ලුම වැඩි වෙනවා. එහෙත් බොහෝ නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාත්මක නොවන නිසා කාර්මික සීනි ඉල්ලුම අඩු වෙනවා. මෙහි සමස්ත ප්‍රතිඵලය කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ. ලංකාවේ ගෘහස්ථ සීනි ඉල්ලුම 36%ක් පමණ බව මම පෙර ලිපියේ සටහන් කළානේ. 

කොහොම හරි අවුරුදු කාලේ ඉල්ලුම වැඩි වුනා කියා කියමු. එවිට වෙන්නේ තාවකාලිකව ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන එකයි. එක ඇමති වරයෙක් ලංකාවේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වන සීනි ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බවක් කියා තිබුණා. එය කොයි තරම් දුරට සමීක්ෂණ දත්ත මත පදනම් වූ ප්‍රකාශයක්ද කියලා මම දන්නේ නැහැ. අපි කියමු එහෙම වුනා කියලා. දැන් මේ නිසා වෙන්නෙත් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන එකයි. 

සාමාන්‍යයෙන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වූ විට, ඒ කියන්නේ ඉල්ලුම වැඩි වූ විට, මිල ඉහළ යනවා. එසේ වෙන්නේ සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වී තිබෙන නිසයි. නමුත් මෙහි දැනටම විස්තර කර තිබෙන පරිදි ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ එවැනි බෑවුමක් නැති තරම්. එයින් අදහස් වෙන්නේ කුමක්ද? 

ඉල්ලුම කොයි තරම් අඩු වැඩි වුනත් මිල වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ මිල තනිකරම වගේ තීරණය වන්නේ සැපයුම් වක්‍රය මත. කලින් පැහැදිලි කර ගත් විදිහට සැපයුම් වක්‍රය අඳින්නේ රජය විසින්. ඒ අනුව ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක් ගැන ආර්ථික විද්‍යාවේදී සාධාරණ වශයෙන් කතා කරන්න පුළුවන් වුනත් මෙහි රජය විසින් පාලනය කරන සැපයුම් වක්‍රයට මිසක් ඉල්ලුමට කළ හැකි දෙයක් නැහැ. ඒ නිසා නීති විරෝධී මත්පැන් හදන්න හෝ උත්සව සමයේ ඉල්ලුම නිසා හෝ වෙනත් හේතුවකට ඉල්ලුම වැඩි වුනා කියලා ඒ හේතුව මත මිල ඉහළ යන්නේ නැහැ. එවැනි මිල ඉහළ යාමක් යම් හෙයකින් සිදු වුවත් එය ඉතාම සුළු, නොසලකා හැරිය හැකි මට්ටමේ එකක්.

ඊළඟට අපි බදු වලට යමු. රජය විසින් බද්දක් පැනවුවහම එම බද්දේ බර පාරිභෝගිකයන් හා සැපයුම්කරුවන් අතර බෙදී යනවා. එසේ බෙදී යන්නේ ඉල්ලුම් වක්‍රයේ හා සැපයුම් වක්‍රයේ බෑවුම් වල අනුපාතයට. අපි පැහැදිලි කර ගත් විදිහට ලංකාවේ සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රය තිරස් එකක්. එහි කිසිම බෑවුමක් නැහැ. එයින් අදහස් වන්නේ කුමක්ද? සීනි මත බද්දක් පැනවූ විට එහි බර මුළුමනින්ම වැටෙන්නේ පාරිභෝගිකයින් මතයි. ඒ නිසා පවතින බද්දක් ඉවත් කළ විට එහි වාසියද මුළුමනින්ම වාගේ පාරිභෝගිකයන්ට ලැබිය යුතුයි.

රජය බදු අඩු වැඩි කරද්දී සැපයුම් වක්‍රය ඉහළ පහළ යනවා. සීනි මිල වෙනස් වෙනවා. ඒ වගේම ලෝක වෙළඳපොළේ සීනි මිල විචලනය වෙද්දීත්, විණිමය අනුපාතය විචලනය වෙද්දීත් මේ වැඩේම වෙනවා. පිරිවැය වෙනස් වීමේ වාසිය හෝ අවාසිය මුළුමනින්ම යන්නේ පාරිභෝගිකයින්ට නිසා සැපයුම්කරුවන්ට අමුතුවෙන් ලාබයක් ගන්න විදිහක් නැහැ. හැබැයි ඔය විදිහට පිරිවැය වෙනස් වෙද්දී පිරිවැය අඩු වෙලාවක් බලලා සීනි ආනයනය කරන සැපයුම්කරුවෙකුට තමන්ගේ තරඟකරුවන්ට සාපේක්ෂව තරමක වාසියක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අහම්බෙන් මිසක් එක සැපයුම්කරුවෙකුට පමණක් එවැනි අවස්ථාවක් ඇහැ ගැහෙන්න විදිහක් නැහැ. ඒ නිසා විශේෂ තත්ත්වයක් යටතේ මිසක් සාමාන්‍ය තත්ත්වයක් යටතේ සීනි ආනයනකරුවෙකුට ලංකාවට සීනි ආනයනය කරලා විශාල ලාභයක් ලබන්න බැහැ.

Wednesday, March 24, 2021

අන්දරේ සීනි කෑ හැටි (පස්වන කොටස)

පෙර කොටස් හතරෙන් අපි ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය හා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. ඒ වගේම මිල පාලනය හා බදු හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයට බලපෑමක් කළ විට සැපයුම්කරුවන්ගේ ලාබ හා පාරිභෝගික අතිරික්තය වෙනස් වෙන ආකාරය ගැනත්, එහිදී අතුරුදහන් වී යන අතිරික්තය ගැනත් පැහැදිලි කර ගත්තා. මේ හැම දෙයක්ම කතා කළේ බොහෝ දුරට වියුක්ත ලෙසයි. උදාහරණයක් විදිහට ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය ලෙස මා විසින් ඉදිරිපත් කළේ එවැනි වක්‍රයක පොදු ලක්ෂණ නිරූපණය කරන වක්‍රයක් මිස කිසියම් නිශ්චිත භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සැපයුම් වක්‍ර නෙමෙයි.

ඉහත කී ආකාරයේ ආකෘතියක් ඇසුරෙන් සැබෑ ලෝකයේ සිදුවන සංසිද්ධියක් පිළිබඳව ගුණාත්මක පැහැදිලි කිරීමක් කළ හැකියි. උදාහරණයක් විදිහට පාරිභෝගික අධිකාරිය විසින් මිල පාලන නීති දැඩි සේ ක්‍රියාත්මක කළහොත් රටේ භාණ්ඩ හිඟයක් ඇති වන බව නිශ්චිත ලෙස කියන්න පුළුවන්. එහෙත් එතැනින් එහාට ගොස් ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමක් කරන්න බැහැ. උදාහරණයක් විදිහට එවැනි භාණ්ඩ හිඟයකින් රටේ කොපමණ පිරිසක් පීඩාවට පත් වෙයිද කියන එක නිශ්චිත ලෙස කියන්න බැහැ.

කවර හෝ ප්‍රමාණාත්මක ප්‍රකාශයක් කරන්නනම් මුලින්ම අදාළ වෙළඳපොළෙහි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර යම් පරාසයක් තුළ නිශ්චිත ලෙස හඳුනා ගත යුතුයි. මෙය තරමක් අසීරු කරුණක්.

මිල පාලනයක් ක්‍රියාත්මක නොවේනම් අපට නිදහස් වෙළඳපොළ සමතුලිත මිල නිරීක්ෂණය කළ හැකියි. එම මිල පවතිද්දී විකිණෙන භාණ්ඩ ප්‍රමාණය සොයා ගැනීම තරමක් අසීරු කටයුත්තක් වුවත් කළ නොහැකි දෙයක් නෙමෙයි. මේ දත්ත දෙක තිබේනම් අපට ප්‍රස්ථාරයක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය සිදුවන ලක්ෂ්‍යය ලකුණු කළ හැකියි. එහෙත් එම ලක්ෂ්‍යය ඉල්ලුම් වක්‍රය මත හා සැපයුම් වක්‍රය මත පිහිටි එක් ස්ථානයක් පමණයි. වක්‍ර දෙක ඡේදනය වන ස්ථානය හඳුනා ගත හැකි වුවත් එපමණකින් අපට ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය හඳුනා ගන්න බැහැ. ඒ නිසා මෙතෙක් කොටස් වල සාකච්ඡාවට බඳුන් කළ සැපයුම්කරුවන්ගේ ලාබ හා පාරිභෝගික අතිරික්තය වැනි දේවල් හොයා ගන්නත් බැහැ. ඒ සඳහා පළමුව ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය හඳුනා ගත යුතුයි. එය කරන්නේ කොහොමද?

ඉල්ලුම් වක්‍රය එලෙසම නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය පමණක් වෙනස් වුවහොත් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයද වෙනස් වෙනවා. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වන අලුත් ලක්ෂ්‍යයක් හඳුනාගත හැකියි. පෙර ලක්ෂ්‍යය ලකුණු කළ ප්‍රස්ථාරයේම මේ අලුත් ලක්ෂ්‍යයද ලකුණු කළ හැකියි. බදු අඩු වැඩි කිරීම වැනි අවස්ථා වලදී ඉල්ලුම් වක්‍රය එලෙසම නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය පමණක් වෙනස්  වෙනවා. එවැනි අවස්ථා වලදී සමතුලිතතාවය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරයේ ලකුණු කළ හැකියි. මේ මෙවැනි ලක්ෂ්‍යයන් ගණනාවක් එකිනෙක යා කිරීමෙන් අපට ඉල්ලුම් වක්‍රයේ ස්වභාවය ගැන දැනගන්න පුළුවන්.

මේ ආකාරයෙන්ම සැපයුම් වක්‍රය නොවෙස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය වෙනස් වන අවස්ථාවන්ද හඳුනාගන්න පුළුවන්. එවිටද ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් වෙනවා. සැපයුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ ඉල්ලුම් වක්‍රයේ පථය දිගේ. ඒ විදිහටම, ඉල්ලුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ සැපයුම් වක්‍රයේ පථය දිගේ. මේ ලක්ෂ්‍යයන් එකිනෙක යා කිරීමෙන් අපට සැපයුම් වක්‍රයේ නියම ස්වරූපය දැන ගන්න පුළුවන්.

මේ විදිහට විස්තර කළත්, මේ ආකාරයෙන් ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය යන දෙකෙන් එකක් පමණක් වෙනස් වන අවස්ථා හඳුනා ගැනීම තරමක් අසීරු වැඩක්. එවැන්නක් කළ හැක්කේ එවැනි දේ කර පුහුණුවක් තිබෙන ආර්ථික විද්‍යාඥයෙකුටයි. කාලයත් කිසියම් වෙළඳපොළක මිල හා වෙළඳපොළ පරිමාව වෙනස් වන ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හොයා ගන්න පුළුවන් වුවත් එවැනි ලක්ෂ්‍යයන් ප්‍රස්ථාරයක සලකුණු කර එමගින් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය හොයා ගන්න බැහැ. මෙවැනි හැම ලක්ෂ්‍යයකින්ම අලුත් සමතුලිතතාවයක් නිරුපණය වන නමුත් බොහෝ විට එවැනි අළුත් සමතුලිතතාවයක් හැදෙන්නේ ඉල්ලුම හා සැපයුම යන දෙකම වෙනස් වීමෙන්. ඒ නිසා කාලයත් සමඟ සිදුවන සමතුලිත ලක්ෂ්‍යයේ චලනයන්ගෙන් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය නිරුපණය වන්නේ නැහැ.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය අපට හරියටම ඇඳ ගන්න බැරි වුනත් එයින් අදහස් වන්නේ එම වක්‍ර ඕනෑම හැඩයක් ගත හැකියි කියන එක නෙමෙයි. හරියටම නොදන්නවා වුවත් එම වක්‍ර වල හැඩය පිළිබඳ සාමාන්‍ය අදහසක් බොහෝ විට අපට ලබා ගන්න පුළුවන්. එය කළ හැක්කේ අදාළ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තීරණය කරන සාධක තේරුම් ගැනීමෙන්. 

මේ ආකාරයෙන්ම සැපයුම් වක්‍රය නොවෙස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය වෙනස් වන අවස්ථාවන්ද හඳුනාගන්න පුළුවන්. එවිටද ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් වෙනවා. සැපයුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ ඉල්ලුම් වක්‍රයේ පථය දිගේ. ඒ විදිහටම, ඉල්ලුම් වක්‍රය පමණක් වෙනස් වෙද්දී සමතුලිත ලක්ෂ්‍යය චලනය වන්නේ සැපයුම් වක්‍රයේ පථය දිගේ. මේ ලක්ෂ්‍යයන් එකිනෙක යා කිරීමෙන් අපට සැපයුම් වක්‍රයේ නියම ස්වරූපය දැන ගන්න පුළුවන්.

මේ විදිහට විස්තර කළත්, මේ ආකාරයෙන් ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය යන දෙකෙන් එකක් පමණක් වෙනස් වන අවස්ථා හඳුනා ගැනීම තරමක් අසීරු වැඩක්. එවැන්නක් කළ හැක්කේ එවැනි දේ කර පුහුණුවක් තිබෙන ආර්ථික විද්‍යාඥයෙකුටයි. කාලයත් සමඟ කිසියම් වෙළඳපොළක මිල හා වෙළඳපොළ පරිමාව වෙනස් වන ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ හොයා ගන්න පුළුවන් වුවත් එවැනි ලක්ෂ්‍යයන් ප්‍රස්ථාරයක සලකුණු කර එමගින් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය හොයා ගන්න බැහැ. මෙවැනි හැම ලක්ෂ්‍යයකින්ම අලුත් සමතුලිතතාවයක් නිරුපණය වන නමුත් බොහෝ විට එවැනි අළුත් සමතුලිතතාවයක් හැදෙන්නේ ඉල්ලුම හා සැපයුම යන දෙකම වෙනස් වීමෙන්. ඒ නිසා කාලයත් සමඟ සිදුවන සමතුලිත ලක්ෂ්‍යයේ චලනයන්ගෙන් ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ හැඩය නිරුපණය වන්නේ නැහැ.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම් වක්‍රය හෝ සැපයුම් වක්‍රය අපට හරියටම ඇඳ ගන්න බැරි වුනත් එයින් අදහස් වන්නේ එම වක්‍ර ඕනෑම හැඩයක් ගත හැකියි කියන එක නෙමෙයි. හරියටම නොදන්නවා වුවත් එම වක්‍ර වල හැඩය පිළිබඳ සාමාන්‍ය අදහසක් බොහෝ විට අපට ලබා ගන්න පුළුවන්. එය කළ හැක්කේ අදාළ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තීරණය කරන සාධක තේරුම් ගැනීමෙන්. 

ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම හැදෙන්නේ කොහොමද?

මෙතෙක් උදාහරණ වලදී මා යොදා ගත්තේත්, වැඩි දෙනෙකුට මුලින්ම මතක් වෙන්නේත් ගෘහස්ථ සීනි පරිභෝජන ඉල්ලුමයි.  ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික සීනි පරිභෝජනය (2016 දත්ත අනුව) කිලෝග්‍රෑම් 4.0 ක්. ඒ වෙනුවෙන් වැය කරන මුදල නිවාස ඒකකයක සාමාන්‍ය ආදායමෙන් 0.67%ක්. පහළම ආදායම් කාණ්ඩ වල සීනි පරිභෝජනය මිල පහළ යද්දී යම් තරමකින් ඉහළ යන නමුත් යම් ආදායම් මට්ටමකින් පසුව එවැන්නක් සිදු වන්නේ නැහැ. මේ වන විට ලංකාවේ නිවාස ඒකක බොහොමයකට සීනි මිල සීමාකාරී සාධකයක් නෙමෙයි. ඔවුන් සීනි පරිභෝජනය සීමා කර තිබෙන්නේ වෙනත් හේතු මතයි. මේ කරුණු සංඛ්‍යාලේඛණ ඇසුරෙන් තහවුරු කළ හැකි වුවත් එතරම් දුර යාම අවශ්‍යයි කියා මම හිතන්නේ නැහැ.

ලංකාවේ නිවාස ඒකක ගණන මිලියන 5.4ක්. මේ අනුව ලංකාවේ වාර්ෂික ගෘහස්ථ සීනි ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 5.4 x 4.0 x  12 = 259.2 ක් වෙනවා. මේ සියල්ල 2016 සංඛ්‍යාලේඛණ අනුව. කෙසේ වුවත්, ගෘහස්ථ සීනි ඉල්ලුම ලංකාවේ සීනි ඉල්ලුමේ ප්‍රධානම සංරචකය නෙමෙයි. ලංකාවේ සීනි ඉල්ලුමේ ප්‍රධානම සංරචකය පැණි බීම, රසකැවිලි ආදී කර්මාන්ත වල අමුද්‍රව්‍යයක් ලෙස වන ඉල්ලුමයි. එම ඉල්ලුම සාමාන්‍යයෙන් ගෘහස්ථ සීනි ඉල්ලුමට වඩා තරමක් වැඩියි. මීට අමතරව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වන ඉල්ලුමක්ද පවතින බව පැහැදිලියි. ගෘහස්ථ සීනි පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තය ලාබයක් වන ආකාරය තේරුම් ගැනීම අසීරු අයෙකුට වුවත්, පැණි බීම, රසකැවිලි හෝ නීති විරෝධී මත්පැන් නිපදවීම සඳහා සීනි මිල දී ගන්නා පාරිභෝගිකයෙකුගේ පාරිභෝගික අතිරික්තය ලාබයක් වන බව සක් සුදක් සේ පැහැදිලි විය යුතුයි.

අනෙක් අතට දේශීයව නිෂ්පාදනය වන්නේ ලංකාවේ සීනි සැපයුමෙන් 5-10%ක පමණ කොටසක් පමණයි. ඉතිරි කොටස මුළුමනින්ම සැපයෙන්නේ ආනයන වලින්. ලංකාවේ සීනි සැපයුම පිළිබඳ සියයට සියයක් නිවැරදි දත්ත නැතත් වාර්ෂික දේශීය සීනි නිෂ්පාදනය හා වාර්ෂික සීනි ආනයන පරිමා පිළිබඳ නිවැරදි දත්ත තිබෙනවා. කිසියම් වසරක් තුළ දේශීය සීනි නිෂ්පාදන පරිමාවේ හා ආනයන පරිමාවේ එකතුව සීනි සැපයුමට හරියටම සමාන සේ සැලකිය නොහැක්කේ පෙර වසරෙන් ඉතිරි වූ හා ඉදිරි වසරට ඉතිරි වන තොගද තිබෙන නිසයි. එහෙත්, මේ එකතුව ආසන්න වශයෙන් සීනි සැපයුම් පරිමාවට සමාන සේ සැලකිය හැකියි. ඒ වගේම ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය මත පදනම්ව දේශීය සීනි ඉල්ලුමටද සමාන සේ සැලකිය හැකියි.

සංසන්දය කිරීම සඳහා 2016 වසරම සැලකුවහොත් එම වසර තුළ දේශීය සීනි නිෂ්පාදිතය කිලෝග්‍රෑම් මිලියන 61ක්ද ආනයනික සීනි පරිමාව කිලෝග්‍රෑම් මිලියන 651ක්ද වෙනවා. මේ අනුව තොග වෙනස්වීම් නොසලකා හැරියොත් මුළු සීනි සැපයුම කිලෝග්‍රෑම් මිලියන 712ක් වන අතර එම ප්‍රමාණයෙන් 91.4%ක්ම ආනයනික සීනි. ඒ වගේම මෙම ප්‍රමාණය අදාළ වසරේ සීනි ඉල්ලුමට සමාන සේ සැලකුවොත් ගෘහස්ථ සීනි ඉල්ලුම එම ප්‍රමාණයෙන් 36%ක් පමණයි. රටේ සීනි ඉල්ලුමෙන් 64% ක්ම ගෘහස්ථ නොවන, නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙස වන ඉල්ලුමක්. සීනි වෙළඳපොළේ පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයේ හා ඉතා පැහැදිලි ලාබයක් වන ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයේ එකතුවයි.

ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් විසින් අමුද්‍රව්‍යයක් සේ යොදා ගැනීමට මිල දී ගන්නා සීනි යොදවා හදන පැණි බීම, රස කැවිලි හෝ නීති විරෝධී මත්පැන් මිල දී ගන්නේද ගෘහස්ථ පාරිභෝගිකයින් විසිනුයි. ඒ නිසා, ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ පැණි බීම, රස කැවිලි හා නීති විරෝධී මත්පැන් සඳහා වන ඉල්ලුම ඉහළ පහළ යන විට ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ගේ සීනි ඉල්ලුමද ඉහළ පහළ යනවා. රටේ මිනිසුන්ගේ ආදායම් මට්ටම ඉහළ යද්දී පැණි බීම, රස කැවිලි ආදිය සඳහා වන ඉල්ලුමද යම් තරමකින් ඉහළ යනවා. පහත වගුවේ පෙන්වා දී තිබෙන්නේ 2001-2019 අතර කාලයේ ලංකාවේ වාර්ෂික සීනි සැපයුමයි.


Thursday, March 18, 2021

අන්දරේ සීනි කෑ හැටි (සිවුවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තුන් වන කොටසින් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන ඉගෙන ගෙන ඉන් පසුව මිල පාලනයේ හානිය ගැනත් ඉගෙන ගත්තා. මිල පාලනය හරහා නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයට බාධා කරන එක මේ වෙද්දී එතරම් ප්‍රචලිත දෙයක් නෙමෙයි. එහෙත් බදු හරහා නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයට බාධා කරන එක දැනටත් ගොඩක් සුලභයි. 

රජයයන් විසින් භාණ්ඩ හා සේවා මත බදු අය කිරීමට ප්‍රධාන හේතුව රජය නඩත්තු කිරීම සඳහා ආදායම් උපයා ගැනීමයි. එහෙත් කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීම අධෛර්යමත් කිරීම වැනි වෙනත් හේතු මත බදු අය කරන අවස්ථාද තිබෙනවා. රජය විසින් අය කරන බද්දක බර මුළුමනින්ම පාරිභෝගිකයා මත වැටෙනවද?

බද්දක බර මුළුමනින්ම පාරිභෝගිකයින් මත වැටෙනවානම් එයින් අදහස් වෙන්නේ රජයේ බදු ආදායමට සමාන ප්‍රමාණයකින් පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා කියන එකයි. එහෙම නොකර සැපයුම්කරුවන්ගෙන් මේ බද්ද අය කර ගන්න බැරිද? ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තය අඩු නොකර සැපයුම්කරුවන්ගේ ලාබය අඩු වෙන විදිහට බදු ගහන්න බැරිද?

සාමාන්‍යයෙන් බද්දක බර පාරිභෝගිකයා හා සැපයුම්කරුවා අතර බෙදී යනවා. එසේ බෙදී යන අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම් වක්‍රයේ හා සැපයුම් වක්‍රයේ ස්වභාවය මත මිසක් බදු අය කරන ක්‍රමය අනුව නෙමෙයි. සැපයුම්කරුවන්ගෙන් අය කරන ආනයන බද්දකින් වගේම පාරිභෝගිකයන්ගෙන් අය කරන භාණ්ඩ හා සේවා බද්දකින්ද අවසාන වශයෙන් වෙන්නේ එකම දේ. රජයේ බදු ආදායමෙන් කොටසක් පාරිභෝගික අතිරික්තයෙන් අඩු වෙද්දී ඉතිරි කොටස සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩු වෙනවා. මීට අමතරව මිල පාලනයේදී මෙන්ම පාරිභෝගික අතිරික්තයෙන් හා  සැපයුම්කරුවන්ගේ ලාබ වලින් කොටසක් කිසිවෙකුට නොලැබී අතුරුදහන් වී යනවා. 

ඉහත රූප සටහනේ මේ බෙදී යාම සිදුවන ආකාරය ලකුණු කර තිබෙනවා. වම්පස ප්‍රස්ථාරයේ දැකිය හැක්කේ බදු කිසිවක් නැති විට තත්ත්වය. කොළ පාට කොටස පාරිභෝගික අතිරික්තය. නිල් පාට කොටස සැපයුම්කරුවන්ගේ ලාබ.

දකුණුපස ප්‍රස්ථාරයේ දැකිය හැක්කේ බද්දක් එකතු වූ විට තත්ත්වය. රතු පාට කොටස රජයේ බදු ආදායම. එහි මැද ඉරෙන් උඩ කොටස අඩු වෙන්නේ පාරිභෝගික අතිරික්තයෙන්. මැද ඉරෙන් පහළ කොටස අඩු වෙන්නේ සැපයුම්කරුවන්ගේ ලාබ වලින්. කහ පාට කොටස අතුරුදහන් වී යන අතිරික්තය.

බද්දක් එකතු වුනා කියලා ඉල්ලුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. එහෙත් සැපයුම්කරුවන් විසින් කිසියම් මිලකට කලින් සැපයූ භාණ්ඩ ප්‍රමාණය දැන් ඔවුන්ට සැපයිය හැක්කේ එම මිල සහ බද්දේ එකතුව ඔවුන්ට අය කර ගත හැකිනම් පමණයි. ඒ නිසා, සැපයුම් වක්‍රය බද්දේ ප්‍රමාණයට සමානව ඉහළට ඉස්සෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල ඉහළ ගොස් සමතුලිත මට්ටමේදී විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. 

විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩුවීම නිසා කලින් භාණ්ඩ මිල දී ගත් කිසියම් පාරිභෝගිකයන් පිරිසකට භාණ්ඩ නොලැබී යනවා. ඒ වගේම කලින් භාණ්ඩ විකිණූ සැපයුම්කරුවන් පිරිසකට තමන්ගේ භාණ්ඩ විකිණීමේ අවස්ථාව නැති වී යනවා. මේ හේතු දෙක මත අතිරික්තයෙන් කොටසක් කිසිවෙකුටත් නොලැබී අතුරුදහන් වෙනවා.

පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවන්න සිදු වන නිසා ඔවුන්ගේ අතිරික්තයේ අඩු වීමක් වෙනවා. එහෙත් එම කොටස රජයට යන නිසා සැපයුම්කරුවන්ට ලැබෙන්නේ නැහැ. සැපයුම්කරුවන්ට සාපේක්ෂව සැපයුම් වක්‍රය මුල් එකමයි. එහෙත් දැන් විකිණෙන්නේ අඩු භාණ්ඩ ප්‍රමාණයක්. ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් මෙය ඉල්ලුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන් පහතට පැමිණීමක් කියා කියන්න පුළුවන්. අවසන් ප්‍රතිඵලය වන්නේ ඔවුන්ට ලැබෙන මිල අඩු වීම. ඒ නිසා එක පැත්තකින් පාරිභෝගිකයින් විසින් ගෙවිය යුතු මිල ඉහළ යද්දී අනෙක් පැත්තෙන් සැපයුම්කරුවන්ට ලැබෙන මිලද අඩු වෙනවා. මේ වෙනස් වීම් දෙකේ එකතුව බද්දට සමානයි.

වැදගත්ම කරුණ බද්දක පිරිවැය මුළුමනින්ම ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයින්ට නොවන බවයි. ඒ නිසාම, බද්දක් ඉවත් කළ විට ඊට සමාන ප්‍රමාණයකින් මිල අඩුවීමක් වෙන්නේත් නැහැ. උදාහරණයක් විදිහට සීනි කිලෝවකට රුපියල් 50ක ආනයන බද්දක් එකතු වූ විට පාරිභෝගිකයෙකු විසින් සීනි කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල රුපියල් 50කින්ම වැඩි වන්නේ නැහැ. ඒ නිසා එවැනි බද්දක් ඉවත් කළ විට සීනි කිලෝවක මිල රුපියල් 50කින් අඩු වන්නේත් නැහැ.

එහෙමනම් සීනි කිලෝවකට රුපියල් 50ක ආනයන බද්දක් එකතු වූ විට පාරිභෝගිකයෙකු විසින් සීනි කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල කීයකින් වැඩි වෙනවාද? එය තීරණය වන්නේ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල අදාළ කොටස් වල බෑවුම් කොපමණද කියන එක මතයි.

මේ දක්වා කොටස් හතරකින් විස්තර කළේ ආර්ථික විද්‍යා විෂයේ මූලික මට්ටමේ කරුණු කිහිපයක්. මෙතෙක් විස්තර කළ කිසිවක් ලේඛකයාගේ පෞද්ගලික අදහස් නෙමෙයි. විභාගයකට වුවත් ලියන්න පුළුවන් සම්මත විෂය කරුණු. ඒ වගේම මේ විස්තර කළ කරුණු (ඇතැම් විශේෂ අවස්ථා හැර) ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට අදාළ කර ගත හැකියි.

අප විස්තර කළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වියුක්ත ලෙස අඳින ලද ඒවා. එම ප්‍රස්ථාර ඇසුරෙන් මා විස්තර කළ කතාව විස්තර කළ හැකි වුවත් කිසිදු ගණනය කිරීමක් හරියටම කරන්න බැහැ. එය කළ හැක්කේ කිසියම් භාණ්ඩයක් හා අදාළ නිවැරදි ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය පිළිබඳ අදහසක් ඇත්නම් පමණයි. 

නිවැරදි ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල හැඩය (ගණිතමය ශ්‍රිතයක් ලෙස) ඇස්තමේන්තු කිරීම තරමක් සංකීර්ණ වැඩක්. එහෙත් ඇමරිකාව වැනි රටකනම් එය ආර්ථික විද්‍යාඥයින් විසින් කරන සාමාන්‍ය දෙයක්. ඇමරිකාව වැනි රටක බද්දක් වෙනස් කරන්න කලින් පාරිභෝගිකයින්ට, සැපයුම්කරුවන්ට හා රජයට එයින් වන බලපෑම ඇස්තමේන්තු කරනවා. බද්ද පැනවීමෙන් පසුවත් මේ ඇස්තමේන්තු නැවත පරීක්ෂාවට ලක් කරනවා.

ලංකාවේ මේ දවස් වල කතා බහට ලක් වන "සීනි මගඩිය" ගැන වැඩිදුර සාකච්ඡා කරන්න මේ ලිපි හතරේ කරුණු අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ  කරුණු ඇසුරෙන් "හාල් මෝල් මාෆියාව" වැනි තවත් දේවල්ද සාකච්ඡාවට ලක් කළ හැකියි.

Tuesday, March 16, 2021

අන්දරේ සීනි කෑ හැටි (තෙවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. මේ කොටසින් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන ඉගෙන ගනිමු.

සීනි, හාල්, පොල් වගේ පාරිභෝගික භාණ්ඩයකට ඉල්ලුමක් තිබුණු පමණින් පාරිභෝගිකයෙක්ට එම භාණ්ඩය හිමි කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාණ්ඩය සපයන්න කැමති සැපයුම්කරුවෙකුත් ඉන්න ඕනෑ. අනෙක් අතට සැපයුම්කරුවෙකුට මේ වගේ පාරිභෝගික භාණ්ඩයක් විකුණන්න පුළුවන් වෙන්නේ ප්‍රමාණවත් පාරිභෝගික ඉල්ලුමක් තිබුණොත් පමණයි. ඒ නිසා, ගනුදෙනුවක් සිදු වෙන්නනම් ඔය දෙපාර්ශ්වයේම නිදහස් කැමැත්ත අවශ්‍ය වෙනවා. 

සැපයුම්කරුවෙක් පාරිභෝගික භාණ්ඩයක් කිසියම් මිලකට විකුණන්න කැමති වෙන්නේ ඒ මිලට විකුණා ලාබයක් ලැබිය හැකිනම් පමණයි. කවුරුවත් පාඩුවට බඩු විකුණන්නේ නැහැ. එහෙම කළොත් කරන්නේ රජය පමණයි. අනෙක් අතට පාරිභෝගිකයෙක් කිසියම් මිලකට භාණ්ඩයක් මිල දී ගන්නේ තමන්ට එයින් පාරිභෝගික අතිරික්තයක් ලැබේනම් පමණයි. නිදහස් වෙළඳපොළ ගනුදෙනුවක් කියා කියන්නේ ඔය දෙකම එක වර සිදු වන අවස්ථාවක්. 

වෙළඳපොළ සමතුලිතාවකදී භාණ්ඩයකට තිබෙන ඉල්ලුම එහි සැපයුමට හරියටම සමාන වෙනවා. මේ වැඩේ සිදු විය හැක්කේ එකම එක නිශ්චිත මිලකදී පමණයි. එය තමයි අපට භාණ්ඩයක නියම මිල ලෙස සැලකිය හැක්කේ.

එහෙම කියන්නේ කොහොමද? ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන බවත් එය එසේ වෙන්නේ ඇයි කියන එකත් අපි දැන් දන්නවා. ඒ වගේම සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වන බව හා හේතුවත් අපි දන්නවා. ඉහළට බෑවුම් වන ඉරක් හා පහළට බෑවුම් වන ඉරක් එක තැනකදී එකිනෙක හරහා යනවා. හරියටම ඒ ලක්ෂ්‍යයේදී ඉල්ලුම හා සැපයුම සමාන වෙනවා. ඒ වගේම එය සිදු වන එක් නිශ්චිත මිලක් තිබෙනවා. ඉල්ලුම හා සැපයුම හරියටම සමාන වෙන්නේ මේ නිශ්චිත මිලේදී පමණයි. 

මිල මේ සමතුලිත මිලට වඩා වැඩි වුනොත් සැපයුම තරමට ඉල්ලුමක් නැති වෙනවා. භාණ්ඩය විකුණා ගන්න බැරි වී අතිරික්තයක් හැදෙනවා. එවිට සැපයුම්කරුවන්ට මිල අඩු කරන්න සිදු වෙනවා. මිල සමතුලිත මිලට වඩා අඩු වුනොත් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වී භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. එවිට පාරිභෝගිකයෝ වැඩි මිලක් ගෙවා කොහෙන් හෝ භාණ්ඩ මිල දී ගන්න පෙළඹෙනවා. මිල ඉහළ යනවා. කොතැනින් පටන් ගත්තත් අන්තිමට නවතින්නේ සමතුලිත මිලට ඇවිදින්.

සමතුලිත මිලට භාණ්ඩයක් විකිණෙද්දී භාණ්ඩයේ වටිනාකම එහි මිලට වඩා වැඩියි කියා හිතන හැම පාරිභෝගිකයෙකුටම භාණ්ඩය හිමි වෙනවා. භාණ්ඩය හිමි නොවන්නේ එය එතරම් නොවටිනා සේ සලකන අයටයි. ඒ වගේම භාණ්ඩය විකුණා ලාබයක් ලැබිය හැකි තරමට කාර්යක්ෂම හැම සැපයුම්කරුවෙකුටම එම අවස්ථාව ලැබෙනවා.

වෙළඳපොළ මිල නිදහස් වෙළඳපොළක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හරහා තීරණය වෙද්දී සැපයුම්කරුවෙකුට ලැබෙන ලාබය තීරණය වෙන්නේ සැපයුම්කරුවාගේ සැපයුම් පිරිවැය කොපමණද කියන එක මතයි. පිරිවැය වැඩි සැපයුම්කරුවෙකුට ලැබෙන්නේ අඩු ලාබයක්. පිරිවැය අඩු සැපයුම්කරුවෙකුට වැඩි ලාබයක් ලැබෙනවා. පහත රූප සටහනේ නිල් පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියළුම සැපයුම්කරුවන්ගේ ලාබ වල එකතුවට සමානයි. ත්‍රිකෝණයේ උසම කොටසේ ඉන්නේ අඩුම පිරිවැකට භාණ්ඩය සපයන, ඒ නිසාම වැඩිම ලාබයක් ගන්න සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෙකුගේ පිරිවැය වැඩි වෙද්දී ලාබය ටිකෙන් ටික අඩු වෙලා පිරිවැය සමතුලිත මිලට සමාන වෙද්දී ලාබයක් නැතුව යනවා. වැදගත්ම කරුණ වෙළඳපොළ මිල එකක් වුවත් එක් එක් සැපයුම්කරුවා එම මිලට භාණ්ඩය විකුණා ලබන ලාබ සමාන නැති බව. 

පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවත් මිල එකම වුවත්, භාණ්ඩය වඩාත්ම වටිනා සේ සලකන පාරිභෝගිකයන්ගේ අතිරික්තය වඩා වැඩියි. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයට ලබා දෙන සාපේක්ෂ වටිනාකම අඩු වෙද්දී ඇගේ පාරිභෝගික අතිරික්තයද ටිකෙන් ටික අඩු වෙනවා. ඉහත කොළ පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියලුම පාරිභෝගිකයින්ගේ අතිරික්ත වටිනාකම් වල එකතුවට සමානයි.

වෙළඳපොළ මිල නිදහස් වෙළඳපොළක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හරහා තීරණය වෙද්දී සැපයුම්කරුවෙකුට ලැබෙන ලාබය තීරණය වෙන්නේ සැපයුම්කරුවාගේ සැපයුම් පිරිවැය කොපමණද කියන එක මතයි. පිරිවැය වැඩි සැපයුම්කරුවෙකුට ලැබෙන්නේ අඩු ලාබයක්. පිරිවැය අඩු සැපයුම්කරුවෙකුට වැඩි ලාබයක් ලැබෙනවා. පහත රූප සටහනේ නිල් පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියළුම සැපයුම්කරුවන්ගේ ලාබ වල එකතුවට සමානයි. ත්‍රිකෝණයේ උසම කොටසේ ඉන්නේ අඩුම පිරිවැකට භාණ්ඩය සපයන, ඒ නිසාම වැඩිම ලාබයක් ගන්න සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෙකුගේ පිරිවැය වැඩි වෙද්දී ලාබය ටිකෙන් ටික අඩු වෙලා පිරිවැය සමතුලිත මිලට සමාන වෙද්දී ලාබයක් නැතුව යනවා. වැදගත්ම කරුණ වෙළඳපොළ මිල එකක් වුවත් එක් එක් සැපයුම්කරුවා එම මිලට භාණ්ඩය විකුණා ලබන ලාබ සමාන නැති බව. 

පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවත් මිල එකම වුවත්, භාණ්ඩය වඩාත්ම වටිනා සේ සලකන පාරිභෝගිකයන්ගේ අතිරික්තය වඩා වැඩියි. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයට ලබා දෙන සාපේක්ෂ වටිනාකම අඩු වෙද්දී ඇගේ පාරිභෝගික අතිරික්තයද ටිකෙන් ටික අඩු වෙනවා. ඉහත කොල පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියලුම පාරිභෝගිකයින්ගේ අතිරික්ත වටිනාකම් වල එකතුවට සමානයි.

දැන් මේ රූප සටහනේ නිල් හා කොළ පැහැති ත්‍රිකෝණ දෙකේ වර්ග ඵල වල එකතුවෙන් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළ ගනුදෙනු නිසා කවුරු හෝ පුද්ගලයෙකුට ලැබුණු ලාබ වල එකතුව. ධනවාදයේ මූලධර්ම අනුව සියලු මිනිස්සු සමාන සේ සලකනවා මිසක් ඔවුන් ධනපතියන් හා නිර්ධන පංතිකයින් ලෙස, ජාතීන් අනුව, දේශිකයින් හා විදේශිකයින් ලෙස හෝ ආණ්ඩුවට බලයට එන්න උදවු කළ අය හා නොකළ අය ආදී ලෙස බෙදා වෙන් කර වෙන වෙනම සලකන්නේ නැහැ. ඒ නිසා, සැපයුම්කරුවන් ගොඩේ ඉන්නේ කවුද පාරිභෝගිකයින් ගොඩේ ඉන්නේ කවුද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. ධනවාදය අනුව කාර්යක්ෂමතාවය ලෙස සලකන්නේ කාට හෝ කෙනෙකුට ලැබෙන අතිරික්ත වල එකතුව හැකි තරම් වැඩි කරන එකයි.

නිදහස් වෙළඳපොළක මිල ඉහත විස්තර කළ සමතුලිත මිලෙන් වෙනස් වන හැම විටකම සමස්ත අතිරික්තයේ කිසියම් හෝ අඩු වීමක් සිදු වෙනවා. සැපයුම්කරුවන්ගේ ලාබයෙන් රුපියලක් අඩු කරලා ඒ රුපියල පාරිභෝගිකයන්ට ලබා දිය හැකිනම් කාර්යක්ෂමතාවය අඩු වීමක් වෙන්නේ නැහැ. නමුත්, එහෙම කරන්න බැහැ. පාරිභෝගික අතිරික්තය රුපියලකින් වැඩි කරන්න සැපයුම්කරුවන්ගේ ලාබ රුපියලකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න වෙනවා. මේ විදිහටම සැපයුම්කරුවන්ගේ ලාබ රුපියලකින් වැඩි කරන්නනම් පාරිභෝගිකයන්ගේ අතිරික්තය රුපියලකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න වෙනවා. මේ අවස්ථා දෙකේදීම වෙන්නේ සමස්තයක් ලෙස අතිරික්ත වටිනාකම් ජනනය වීම සීමා වීමයි. නිදහස් වෙළඳපොළකට මැදිහත් වීම හැම විටකම වාගේ අකාර්යක්ෂම වන්නේ ඒ නිසයි.

ඉහත විස්තර කළ ආකාරයේ නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී සමස්ත අතිරික්තය හා එහි සංරචක දෙක වන පාරිභෝගික අතිරික්තය හා සැපයුම්කරුවන්ගේ ලාබ කොපමණද කියන එක තීරණය වන්නේ කොහොමද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල තිරස් අක්ෂය හා සමතුලිතතාව අතර කොටසේ බෑවුම වැඩි වෙද්දී ත්‍රිකෝණයේ අදාළ ත්‍රිකෝණයේ වර්ග ඵලයද වැඩි වන බව ඔබට පෙනෙනවා ඇති. අපේ උදාහරණයේ සැපයුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩියි. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩුයි. පාරිභෝගික අතිරික්තය වැඩියි.

ඉහත විස්තර කළ ආකාරයේ නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී සමස්ත අතිරික්තය හා එහි සංරචක දෙක වන පාරිභෝගික අතිරික්තය හා සැපයුම්කරුවන්ගේ ලාබ කොපමණද කියන එක තීරණය වන්නේ කොහොමද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල තිරස් අක්ෂය හා සමතුලිතතාව අතර කොටසේ බෑවුම වැඩි වෙද්දී ත්‍රිකෝණයේ අදාළ ත්‍රිකෝණයේ වර්ග ඵලයද වැඩි වන බව ඔබට පෙනෙනවා ඇති. අපේ උදාහරණයේ සැපයුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩියි. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩුයි. පාරිභෝගික අතිරික්තය වැඩියි.

ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ බෑවුම් වලින් අදහස් වන්නේ කුමක්ද? 

ඉල්ලුම් වක්‍රයේ බෑවුම අඩුනම් එයින් අදහස් වන්නේ මිල සුළු වශයෙන් හෝ වෙනස් වෙද්දී ඉල්ලුම විශාල ලෙස වෙනස් වෙනවා කියන එකයි. ඒ කියන්නේ පාරිභෝගිකයින්ගේ මිල සංවේදීතාවය ඉතාම වැඩියි කියන එකයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩිනම් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයින් එතරම් මිල සංවේදී නැති බවයි.

මිල සංවේදී නැති වීමේ ආන්තීය තත්ත්වය යටතේ ඉල්ලුම් වක්‍රය සිරස් රේඛාවකට ආසන්න එකක් වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ මිල කොයි තරම් අඩු වැඩි වුනත් මිල දී ගන්නා ප්‍රමාණය වෙනස් නොවන බවයි. ආර්ථික විද්‍යාවේදී මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ අනම්‍ය ඉල්ලුමක් ලෙසයි. හාල්, සීනි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම සෑහෙන තරමකට අනම්‍ය ඉල්ලුමක්. 

මේ විදිහටම සැපයුම් වක්‍රයේ බෑවුම අඩුනම් එයින් අදහස් වන්නේ මිල සුළු වශයෙන් හෝ වෙනස් වෙද්දී සැපයුම විශාල ලෙස වෙනස් වෙනවා කියන එකයි. ඒ කියන්නේ සැපයුම්කරුවන්ගේ මිල සංවේදීතාවය ඉතාම වැඩියි කියන එකයි. සැපයුම් වක්‍රයේ බෑවුම වැඩිනම් එයින් අදහස් වන්නේ සැපයුම්කරුවන් එතරම් මිල සංවේදී නැති බවයි.

ඉල්ලුම් වක්‍රයේ බෑවුම තීරණය වන්නේ අදාළ භාණ්ඩයට පාරිභෝගිකයින් විසින් වටිනාකම් දෙන ආකාරය අනුව. සැපයුම් වක්‍රයේ බෑවුම තීරණය වන්නේ නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව. මීට අමතරව ගැනුම්කරුවන්ගේ හෝ සැපයුම්කරුවන්ගේ ඒකාධිකාර හෝ කතිපයාධිකාර ඇති විටද මිල සංවේදීතාවය අඩු වෙනවා. මේවා සාමාන්‍යයෙන් පහසුවෙන් වෙනස් නොවන දේවල්. ඒ නිසා, නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් අතර අතිරික්තය බෙදී යන ආකාරයත් බොහෝ දුරට ස්වභාවික ලෙස තීරණය වන දෙයක් කියා කියන්න පුළුවන්.

රජයයන්ට ඇතැම් විට මේ ස්වභාවික සමතුලිතතාවය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. ඇතැම් විට සමාජවාදී හෝ ජාතිකවාදී දේශපාලනික අදහස් එයට පාදක වෙනවා. මෙහිදී වෙන්නේ බලයේ සිටින කණ්ඩායමට සහයෝගය දෙන පිරිසකට වාසියක් වන ආකාරයට වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කිරීමක්. එවැනි මැදිහත්වීමක් හැම විටම අකාර්යක්ෂම වුවත් සමහර අවස්ථා වල මෙවැනි අකාර්යක්ෂමතාවයක් නඩත්තු කිරීම රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල කියා කිවුවත් මෙවැනි තත්ත්වයන් සුලභයි. සමහර රටවල මෙය සාමාන්‍ය තත්ත්වයයි.

උදාහරණයක් විදිහට හාල්, සීනි ආදී ඇතැම් පාරිභෝගික භාණ්ඩ හා අදාළව මේ දවස් වල ලංකාවේ ක්‍රියාත්මක වන මිල පාලනය පෙන්වා දෙන්න පුළුවන්. මිල පාලනයේ ඉලක්කය පාරිභෝගිකයින්ට වාසියක් සැලසීම කියා අපි හිතමු. දැන් පාරිභෝගිකයින්ට මේ වාසිය සලසද්දී සැපයුම්කරුවන්ට අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. පාඩුවක් කියා කියන්නේ ලාබ අඩු වීමක්.

අපි හිතමු සීනි කිලෝවක වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 110ක් කියලා. දැන් මේ මිල යටතේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. අපි හිතමු මිල රුපියල් 110ක් වෙද්දී ඉල්ලුම වගේම සැපයුමත් සීනි කිලෝග්‍රෑම් මිලියන 600ක් කියලා. මෙහෙම තියෙද්දී ආණ්ඩුව විසින් සීනි වල උපරිම සිල්ලර මිල රුපියල් 85ක් කළාම වෙන්නේ කුමක්ද?

පළමු කොටසෙන් අපි ඉගෙන ගත්ත විදිහට මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. දැන් මිල සීනි කිලෝවක රුපියල් 110 සිට 85 දක්වා අඩු වෙද්දී ඉල්ලුම සීනි කිලෝග්‍රෑම් මිලියන 600ට වඩා වැඩි විය යුතුයිනේ. අපි හිතමු මිල රුපියල් 85 වෙද්දී ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 625 දක්වා වැඩි වෙනවා කියලා. 

දෙවන කොටසින් අපි ඉගෙන ගත්ත විදිහට මිල අඩු වෙද්දී සැපයුමත් අඩු වෙනවා. දැන් මිල සීනි කිලෝවක රුපියල් 110 සිට 85 දක්වා අඩු වෙද්දී සැපයුම සීනි කිලෝග්‍රෑම් මිලියන 600ට වඩා අඩු විය යුතුයිනේ. අපි හිතමු මිල රුපියල් 85 වෙද්දී කිලෝග්‍රෑම් මිලියන 550 දක්වා අඩු වෙනවා කියලා. 


සමස්ත ප්‍රතිඵලය කුමක්ද? මිල රුපියල් 85ට සීමා කළ විට ඉල්ලුම සීනි කිලෝග්‍රෑම් මිලියන 625 දක්වා වැඩි වෙද්දී සැපයුම කිලෝග්‍රෑම් මිලියන 550 දක්වා අඩු වෙලා. දැන් වෙළඳපොළේ සීනි කිලෝග්‍රෑම් මිලියන 75ක හිඟයක් තිබෙනවා. මිල රුපියල් 85 වුනත් කැමති කෙනෙකුට කැමති වෙලාවක මිල දී ගන්න සීනි නැහැ. රුපියල් 85ට සීනි විකුණන තැනකින් සීනි ගන්න පෝලිමේ ඉන්න ඕනෑ. එහෙම පෝලිමේ ඉඳලා සීනි මිල දී ගන්න කෙනෙකුට රුපියල් 110 - 85 = 25ක වාසියක් වෙනවා. නමුත් පෝලිමේ සිටීමේ "මිල" වියදමක් ලෙස එකතු වෙනවා.

කරන්න වෙන වැඩක් නැති "පෝලිමේ මැද- හිටියට පාඩු වෙනවද- ඔය තරුණියන් මැද- ඔහෙලට සොමියක් නැද්ද" කියලා හිතන අයටනම් ඔය වියදම වියදමක් වගේ නොපෙනෙන්න පුළුවන්. හැබැයි සීනි පෝලිම් වල රස්තියාදු වෙනවට වඩා වෙන කරන්න වැඩ තියෙන අයට ඔය රස්තියාදුව වියදමක්. පෝලිමේ රස්තියාදු වෙන එකේ "පිරිවැය" රුපියල් 25කට වඩා වැඩි කෙනෙක්ට සීනි මිල රුපියල් 85 දක්වා අඩු කළ එකෙන් අවාසියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය ඒක විතරක් නෙමෙයි. පෝලිමේ ඉන්න වෙලාව තියෙන අය පෝලිමේ ගිහින් සීනි මිල දී ගන්නවා. නමුත් සීනි සැපයුම කිලෝග්‍රෑම් මිලියන 550ක් පමණක් නිසා වෙළඳපොළේ සීනි ඉතා ඉක්මණින් ඉවර වෙනවා. තවත් කිලෝග්‍රෑම් මිලියන 75කට ඉල්ලුම තිබෙනවා. නමුත් රාක්ක හිස්. පෝලිමේ රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැය අත ඇරියත් සීනි මිල දී ගන්න හිතාගෙන හිටි එහෙත් එම අවස්ථාව නොලැබුණු පිරිසකගේ පාරිභෝගික අතිරික්තය දැන් ශුන්‍ය වෙලා.

මිල පාලනය නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා කියන එක ඉතාම පැහැදිලි දෙයක්නේ. මිල පාලනය කරන්නේම ඒකටනේ. මිල පාලනයෙන් පස්සේ මුලින් තිබුණු සැපයුම්කරුවන්ගේ ලාබයෙන් ඉහත රූප සටහනේ රතු පාට ඉරෙන් උඩ කොටස ඔවුන්ට අහිමි වෙනවා. එයින් කොටසක්, එනම් මිල රුපියල් 110 හා 85 අතරත්, ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 0 හා 550ත් අතර කොළ පාට චතුරශ්‍ර කොටස පාරිභෝගිකයින්ට ලැබෙනවා. පෝලිමේ සිටීමේ පිරිවැය අමතක කළොත් මෙය සැපයුම්කරුවන්ට පාඩුවක් වුනත් පාරිභෝගිකයින්ට වාසියක්. නමුත්, සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩුවෙන රුපියල් 110 මට්ටමට යටින්, කිලෝග්‍රෑම් මිලියන 550ට දකුණෙන් හා සැපයුම් වක්‍රයට උඩින් පිහිටි කහ පාට ත්‍රිකෝණ කොටස කාටවත්ම නැතුව යනවා.

කාටවත්ම නැතුව යන්නේ සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩු වී පාරිභෝගියන්ටද නොලැබෙන ඉහත කොටස පමණක් නෙමෙයි. මිල පාලනය නිසා කලින් තිබුණු පාරිභෝගික අතිරික්තයෙන් කොටසක්ද ඔවුන්ට අහිමි වෙනවා. ඒ භාණ්ඩ හිඟය නිසා අහිමි වී යන කලින් තිබුණු පාරිභෝගික අතිරික්තය. පහත රූපයේ කහ පාටින් ලකුණු කර තිබෙන්නේ මේ විදිහට මිල පාලනය නිසා කාටවත්ම නොලැබී අතුරුදහන් වී යන සමස්ත  අතිරික්තයයි. සමාජවාදයේ අකාර්යක්ෂමතාවයට හේතුව නිදහස් වෙළඳපොළට මැදිහත්වීම නිසා ඔය විදිහට කාටවත්ම නොලැබී අතුරුදහන් වී යන අතිරික්තයයි.

මිල පාලනය නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වන බව වගේම සමස්තයක් ලෙස සැපයුම්කරුවන්ගේ හා පාරිභෝගිකයින්ගේ අතිරික්තයේ අඩු වීමක්ද අනිවාර්යයෙන්ම සිදු වන බව දැන් ඉතාම පැහැදිලියිනේ. ඒ අවාසි තිබුණත් පාරිභෝගිකයින්ට වාසියක් වෙන්නේ නැද්ද? දැන් ඔය වැඩේ කරන්නේම පාරිභෝගිකයින් ගැන හිතලනේ. 

සැපයුම්කරුවන්ගේ හා සමස්ත කාර්යක්ෂමතාවයේ වියදමින් පාරිභෝගිකයින්ට වාසියක් වෙන්න පුළුවන්. නමුත් එය වුවත් අනිවාර්ය නැහැ. ඉහත රූපයේ කොළ පාට චතුරශ්‍ර කොටස පාරිභෝගික අතිරික්තයට එකතු වෙනවා. කලින් රුපියල් 110ට සීනි ගත්ත අයට දැන් රුපියල් 85ට සීනි ලැබෙද්දී වාසියක් නැති වෙන්න විදිහක් නැහැනේ. ඔය වාසිය හරියටම ගණන් හදන්නත් පුළුවන්. කිලෝවකට රුපියල් 25 බැගින් කිලෝ මිලියන 550කින් ලැබෙන වාසිය. 

හැබැයි ඒ එක්කම කලින් රුපියල් 110 බැගින් සීනි මිල දී ගත් යම් පිරිසකට දැන් කීයක් දීලාවත් ගන්න වෙළඳපොළේ සීනි නැහැ. කහ පාටින් ලකුණු කර ඇති කොටසේ උඩ ත්‍රිකෝණයේ වර්ග ඵලය මිල පාලනය හේතුවෙන් ඒ විදිහට සීනි නොලැබී යන පාරිභෝගිකයන්ට කලින් ලැබුණු, මිල පාලනය හේතුවෙන් අහිමි වන පාරිභෝගික අතිරික්තයයි. මිල පාලනයෙන් සමස්තයක් ලෙස පාරිභෝගික අතිරික්තය වැඩි වන්නේ කොළ පාට චතුරශ්‍රයේ වර්ග ඵලය කහපාට ත්‍රිකෝණයේ වර්ග ඵලයට වඩා වැඩිනම් පමණයි. එසේ නැත්නම් සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වන අතරම පාරිභෝගික අතිරික්තයද අඩු වෙනවා. ඊට අමතරව පෝලිම් වල රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැයද පාරිභෝගික අතිරික්තයෙන් අඩු වෙනවා.

වෙබ් ලිපිනය: