ගෙවුණු සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය, තව දුරටත් ඉහළ නොගොස්, පෙර මාසයේදී පැවති 8% මට්ටමේම නැවතී තිබෙනවා. ආහාර උද්ධමනය 8.5% සිට 8.7% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන උද්ධමනය 7.7% මට්ටමේම රැඳී තිබෙනවා.
Wednesday, September 30, 2026
උද්ධමනය - සැප්තැම්බර් 2026
ගෙවුණු සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය, තව දුරටත් ඉහළ නොගොස්, පෙර මාසයේදී පැවති 8% මට්ටමේම නැවතී තිබෙනවා. ආහාර උද්ධමනය 8.5% සිට 8.7% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන උද්ධමනය 7.7% මට්ටමේම රැඳී තිබෙනවා.
Monday, August 31, 2026
උද්ධමනය 8% මට්ටමට!
ගෙවුණු අගෝස්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 8.0% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉදිරි මාස තුන තුළදීද මෙම අගය ආසන්න වශයෙන් මෙම මට්ටමේම පැවතීමට ඉඩ තිබෙන අතර පැහැදිලිව පෙනෙන අඩු වීමක් සිදු විය හැක්කේ දෙසැම්බර් පමණ වන විටයි.
Friday, July 31, 2026
උද්ධමනය 7% සීමාවෙන් ඉහළට!
ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි 2026 තුන් වන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය මහ බැංකුවේ උද්ධමන ඉලක්කය වන 5% ඉක්මවා යාමෙන් පසු, එහි උපරිම විචලන සීමාව වන 7% මට්ටමද ඉක්මවා යාමේ අවදානමක් දකින්නට තිබෙනවා. කෙසේ වුවද, මහ බැංකුව විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් දිගුකාලීනව උද්ධමනය 5% මට්ටම දක්වා අඩු වීමට නියමිතයි.
Tuesday, June 30, 2026
උද්ධමනය 6.8% දක්වා ඉහළට!
ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක් ලෙස වාර්තා වෙනවා. මහ බැංකුව විසින් රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව, කාර්තුවක සාමාන්‍ය උද්ධමනය 5.0% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, එම අගය 3%-7% සීමාව තුළ රඳවා ගත යුතුයි.
උද්ධමනය 6.8% දක්වා ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ හේතුවෙන් සිදුව ඇති ප්‍රවාහන සේවා ගාස්තු, විදුලි ගාස්තු ආදියේ ඉහළ යාම වුවත්, පොදුවේ මිල ගණන් ඉහළ යාමද නොසලකා හැරිය නොහැකියි. පැට්‍රෝල්, ඩීසල්, භූමිතෙල්, LP ගෑස් හා විදුලි ගාස්තු ඉහළ යාම 6.77%ක උද්ධමනයෙන් 2.93%කට දායක වී තිබෙනවා. මේ වන විට ඉන්ධන මිල ගණන් අඩු කර ඇති බැවින්, උද්ධමනය තව දුරටත් ඉහළ යාමේ අවදානමක් පෙනෙන්නට නැතත්, ඉදිරි මාසය තුළද 5% සීමාවෙන් ඉහළ රැඳී තිබිය හැකියි.
Thursday, April 30, 2026
උද්ධමනය - අප්‍රේල් 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 අප්‍රේල් මාසයේ උද්ධමනය 5.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 2.8% මට්ටමේ පැවතියද, ආහාර නොවන උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ යාම මෙයට ප්‍රධානම හේතුව සේ සැලකිය හැකි අතර ඉන්ධන මිල ඉහළ යාම පොදුවේ ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා තිබෙනවා.
අප්‍රේල් මාසය තුළ පමණක් සමස්ත මිල මට්ටම 3.0%කින් ඉහළ ගොස් ඇති අතර, ඉතිරි 2.4% පෙර මාස 11ක කාලය තුළ සිදු වූ මිල ඉහළ යාමයි. දැනට පවතින ලෝක යුද වාතාවරණය තුළ ලංකාවේ ඉන්ධන හා විදුලි ගාස්තු තව දුරටත් ඉහළ යාමේ විභවයක් මිස අඩු වීමේ නැඹුරුවක් නොපෙනෙන බැවින් කෙටිකාලීනව උද්ධමනය තව දුරටත් ඉහළ යා හැකියි.
Tuesday, March 31, 2026
අටවන වරටත් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහේ!
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා.
ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, මහ බැංකුව විසින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 3%-7% සීමාව ඇතුළත රඳවා ගනිමින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් ඉලක්ක කළ යුතුයි. මෙම උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර 2023 ඔක්තෝබර් 3 දින මේ හා අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ රැඳී සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2026 පළමු කාර්තුව දක්වා එක දිගට කාර්තු අටක්ම මහ බැංකුවට රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වූයේ නැහැ.
මෙහිදී සිදු වූයේ උද්ධමනය එකඟ වූ ඉලක්ක සීමාව ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. 2026 පළමු කාර්තුවේදීද උද්ධමන ඉලක්කය ගිලිහී ඇති බැවින් මහ බැංකුවට නැවත වරක් රජයට කරුණු දැක්වීමට සිදු වෙනවා.
මහ බැංකුවට දෙවසරක කාලයක් පුරා රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉන්ධන සහ විදුලි ගාස්තු ආදියේ මිල රජය විසින් පහත හෙළීමයි. අනෙක් ප්‍රධාන හේතුව වූයේ ඩොලරයක මිල පහත වැටීමයි.
මේ වන විට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු වී ඇති බැවින් සහ ඩොලරයක මිලද ඉහළ යමින් ඇති බැවින්, උද්ධමනයේද වැඩි වීමක් සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව, 2026 දෙවන කාර්තුව තුළ මහ බැංකුවට සිය උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වේයැයි සිතිය හැකියි.
පසුගිය මාර්තු මාසය තුළ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතත්, සහල්, පොල්, එළවලු වැනි ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහත වැටීම හේතුවෙන් උද්ධමනය කෙරෙහි සිදු විය හැකිව තිබුණු ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී තිබෙනවා.
Wednesday, December 31, 2025
උද්ධමනය හා ජංගම ගිණුම
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා වෙනවා. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදීද උද්ධමනය පැවතුනේ 2.1% ලෙසයි. ඒ අනුව, වසරේ අවසන් කාර්තුවේ සාමාන්‍ය අගයද 2.1%ක්. මේ අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් පසුවද, උද්ධමනය තවමත් මහ බැංකුවේ ඉලක්ක පරාසයේ අවම සීමාව වන 3%ට වඩා අඩු අගයක්.
සුළි කුණාටුවේ බලපෑම නිසා ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණද, උද්ධමනයෙහි වෙනසක් නොවීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ ආහාර මිල ගණන් දෙසැම්බර් මාසය තුළ 3.9%කින් ඉහළ ගොස් තිබුණද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වල මිල මාසය තුළ සමස්තයක් ලෙස නොවෙනස්ව තිබීමයි. දෙවන හේතුව වන්නේ පසුගිය 2024 දෙසැම්බර් මාසයේදීද ආහාර මිල ගණන් 3.9%කින් ඉහළ යාමයි. උද්ධමනය ගණනය කරන්නේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව බැවින්, මෙම දෙසැම්බර් මාසය තුළ ආහාර මිල ඉහළ යාමේ බලපෑමද නිශේධනය වී තිබෙනවා. ඒ අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති මට්ටමේම නැවතී තිබෙනවා.
මේ අනුව පෙනී යන්නේ සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව වුවද උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. කෙටිකාලීනව එවැනි ප්‍රශ්නයක් නැතත්, මුදල් සැපයුම ප්‍රසාරණය වෙමින් පවතින ආකාරය අනුව, මහ බැංකුවට උද්ධමන අවදානම ගැනද සැලකිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මේ ගැන පසුව වෙනම ලිපියක කතා කරමු.
තවත් යහපත් ප්‍රවණතාවක් වන්නේ මාස දෙකක් එක දිගටම සෘණ අතට හැරී තිබුණු ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරී තිබීමයි. නොවැම්බර් මාසය තුල ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 82ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, ජංගම ගිණුමේ නොවැම්බර් දක්වා මාස එකොළහක ශේෂය ඩොලර් මිලියන 1,677.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වාහන ආනයන වෙනුවෙන් නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 281ක් වැය වී ඇති අතර, වසරේ පළමු මාස එකොළහක කාලය ඇතුළත ඩොලර් මිලියන 1,746ක් වැය වී තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන දෙක ඉක්මවා යා හැකි බවයි. මුලින් ඇස්තමේන්තු කර තිබුණේ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් බිලියනයක් පමණ අවශ්‍ය වනු ඇති බවයි.
විදේශ අංශය, විශේෂයෙන්ම විදේශ සංචිත, මුලින් අපේක්ෂා කළ ඉලක්ක වලට සාපේක්ෂව අයහපත් මට්ටමක තිබීමටත්, රාජ්‍ය ආදායම් මුලින් සිදු කළ ඇස්තමේන්තු සැලකිය යුතු ලෙස ඉක්මවා යාමටත් හේතු වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඉදිරි වසර තුළ වාහන ආනයන සාමාන්‍ය මට්ටමක් දක්වා අඩු වෙද්දී රාජ්‍ය ආදායම් කෙරෙහි වූ සාධනීය බලපෑම මෙන්ම විදේශ අංශය කෙරෙහි වූ නිශේධනීය බලපෑමද ආපසු හැරීමට නියමිතයි.
වසර අවසාන වීමට තවත් දින දෙකක් තිබියදී සංචාරක පැමිණීම් ප්‍රමාණය 2,344,978ක් ලෙස වාර්තා වෙනවා. මෙම ගණන මෙතෙක් වසරකදී වාර්තා වී ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. නොවැම්බර් මාසය තුල සංචාරකයින් 212,906 දෙනෙකු රටට පැමිණ ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 184,158 දෙනෙකු පමණයි. සංචාරකයින් ප්‍රමාණයේ මෙවැනි වර්ධනයක් දැකිය හැකි වුවද, එමගින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 272.9ක මුදලට සාපේක්ෂව, පසුගිය නොවැම්බර් මාසය තුළ ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 251.6ක් පමණයි. දෙසැම්බර් මාසයේ තත්ත්වයද බොහෝ විට මෙවැන්නක් විය හැකියි.
සංචාරක ආදායම් වල පමණක් නොව මුහුදු හා ගුවන් ප්‍රවාහන සේවා සහ පරිගණක සේවා සැපයීම් වැනි අනෙකුත් සේවා ආදායම් වලද පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවක් දකින්නට පුළුවන්. එසේ තිබියදී වුවද, ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ඉහළ යාම සහ භාණ්ඩ අපනයන ආදායම් ඉහළ යාම ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරවීමට උදවු කර තිබෙනවා.
පසු ගිය ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දැනට සිදුවන ප්‍රධානම සහ වැදගත්ම වෙනස වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයක මිල ඉහළ යාමට බාධා නොකරමින් ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීමයි. එය දිගටම එලෙස සිදු වන්නේනම් විදේශ අංශයේ අර්බුදයක් ඇති වීමට හේතුවක් නැහැ.
ඉදිරි වසරේදී නැවත හමු වෙමු. අප හා රැඳී සිටින ඔබ සැමට සුබ නව වසරක්!
Thursday, July 31, 2025
එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි.
Monday, June 30, 2025
අවධමන රැල්ලේ අවසන් මාසය
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද -0.6ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. මේ එම දර්ශකය අනුව එක දිගටම අවධමනයක් වාර්තා වන දසවන මාසයයි. එහෙත් අපට විශ්වාසයෙන් යුතුව කිව හැක්කේ මෙම ජූනි මාසය අවධමන රැල්ල අවසන් කරන මාසය බවයි.
ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව ජූනි මාසයේදීද අවධමනයක් පෙන්නුම් කළත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේදීම අවධමනය අවසන් වී නැවත උද්ධමන තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය එම මට්ටමේ නොපවතීනම් මහ බැංකුවට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට සිදු වෙනවා.
මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්නයි. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගයයි. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ කාර්යය නිසි පරිදි ඉටු කර නැති සේ සැලකෙනවා.
මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදායි. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුවයි. එනම්, ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුනයි. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ පැවතුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී උද්ධමන ඉලක්කය ලඟා කරගත්තා.
එහෙත් ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටී 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක් උද්ධමන ඉලක්කය ගිලිහුණා. මෙය සැලකෙන්නේ නිල වශයෙන් මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය මග හැරගැනීමක් ලෙසයි.
මේ අයුරින් කාර්තු දෙකක්ම ඉලක්ක පරාසයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටී අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. එම අවධමන තත්ත්වය 2025 පළමු කාර්තුව දක්වා දිගු වුනේ -3.6ක අවධමනයක් වාර්තා කරමින්. මෙම මට්ටම ඉලක්කයට වඩා 8.6%කින් අඩු මට්ටමක්. කෙසේ වුවත්, මේ වන විට ප්‍රකාශිතව ඇති සංඛ්‍යාලේඛණ අනුව, 2025 දෙවන කාර්තුවේදී අවධමනය -1.1කට සීමා වී තිබෙනවා.
අවධමන රැල්ල මෙම (2025 ජූනි) මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත්, තෙවන කාර්තුවේදීද උද්ධමනය 3% සීමාව ඉක්මවා නොයන්නට ඉඩ තිබෙනවා. එය සිදු වනු ඇත්තේ සිවුවන කාර්තුව තුළයි. මේ අනුව, දැනටමත් එක දිගටම කාර්තු පහක් තිස්සේ ගිලිහී ගොස් ඇති මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ඉදිරි කාර්තුව තුළද ගිලිහී යන්නට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, මේ වෙද්දී මහ බැංකුව විසින් "උද්ධමනය නිපදවමින්" සිටින බැවින් සිවුවන කාර්තුව තුළ මහ බැංකුව විසින් ඉලක්කය කරා යාමට නියමිතයි.
"සල්ලි අච්චු ගැසීම" මගින් මහ බැංකුවට උද්ධමනය නිපදවිය හැකියි. සල්ලි අච්චු ගැසීම යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. සංචිත මුදල් යනු සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණයේත්, මහ බැංකුවේ ගිණුම් වල ඇති බැංකු සහ රජය සතු මුදල් ප්‍රමාණයේත් එකතුවයි.
මහ බැංකුව ස්වාධීන කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ "සල්ලි අච්චු ගැසීම" නවත්වා ඇති බව නොව, කොපමණ සල්ලි අච්චු ගැසිය යුතුද යන්න මහ බැංකුවට ස්වාධීනව තීරණය කළ හැකි බවයි. මහ බැංකුවක ව්‍යාපාරික කාර්යය මෙන්ම නිල කාර්යය වන්නේද "අවශ්‍ය පමණ" සල්ලි අච්චු ගැසීමයි. ලංකාවේ සන්දර්භයේදී මෙම "අවශ්‍ය ප්‍රමාණය" වන්නේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයයි. හරියටම කිවුවොත්, උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා අච්චු ගැසිය යුතු සල්ලි ප්‍රමාණයයි.
මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසිය යුත්තේ උද්ධමනය පහළ, ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් වුවත්, මහ බැංකුවේ ස්වාධීනත්වය නැති වීම හේතුවෙන් රජයේ අයවැය පියවීමේ අරමුණින් සහ රජයේ පිරිවැය අඩු මට්ටමක තබා ගැනීම සඳහා පොලී අනුපාතික පහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින් සල්ලි අච්චු ගසන්නට මහ බැංකුවට සිදු වුනා. එහි ප්‍රතිඵලය වූයේ උද්ධමනය පාලනය කර ගත නොහැකි මට්ටමකට ඉහළ යාමයි.
උද්ධමනය පාලනයෙන් ගිලිහුණු විට එය නැවත අවශ්‍ය මට්ටමට පහත හෙළා ගැනීම ඉතා අසීරුයි. මේ සඳහා හොඳම තත්කාලීන උදාහරණයක් වන්නේ මේ වන විටද 43.5% මට්ටමේ උද්ධමනයක් පවතින ආජන්ටිනාවයි. රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් තත්ත්වයක පැවතියද, මෙම වසර අවසන් වෙද්දී පවා ආජන්ටිනාවට උද්ධමනය තනි අංකයකට අඩු කර ගැනීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එරට ණය පොලී අනුපාතික තවමත් 40% සිට 140% දක්වා වන ඉහළ පරාසයක විචලනය වනු දැකිය හැකියි.
එහෙත්, රාජ්‍යමූල්‍ය අංශයෙන් ලැබුණු සහයෝගයේ උපකාරයද ලබමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතා කෙටි කලකින් ලංකාවේ උද්ධමනය පාලනය කර ගැනීමට සමත් වුනා. මෙහිදී මහ බැංකුව විසින් ඉතා දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යනු දැකිය හැකි වූ අතර සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම වගේ නවත්වා දමනු ලබා තිබුණා. කෙසේ වුවත් මේ වන විට මහ බැංකුව විසින් නැවතත් "අවශ්‍ය ප්‍රමාණයට" සල්ලි අච්චු ගසමින් සිටිනු දැකිය හැකියි.
Friday, January 31, 2025
අවධමනය 4% මට්ටමට!
ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබියදී වීම විශේෂත්වයක්.
උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමේ වේගයයි. අවධමනය යනු භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වන වේගයයි. මහ බැංකුව විසින් රටේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගත යුතු අතර -4% මට්ටම ඊට වඩා 9%කින් අඩු මට්ටමක්.
මෙම අවධමන තත්ත්වය ඉදිරි පෙබරවාරි මාසයේදී තවත් උග්‍ර වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙන අතර -5% සීමාව ඉක්මවා පහත වැටිය හැකියි. එමෙන්ම වසර මැද තෙක්ම පැවතිය හැකියි.
පසුගිය ජනවාරි මාසය දක්වා වූ වසරක කාලය තුළ හාල් සහ පොල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇතත්, තිරිඟු පිටි පාන්, මාළු, කුකුළු මස්, බිත්තර, සීනි, එළවළු හා පළතුරු මිල ගණන් පහත වැටී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. මත්පැන් හා දුම්වැටි මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, විදුලි ගාස්තු, ජල ගාස්තු, ඉන්ධන හා ප්‍රවාහන වියදම් පහත වැටී තිබෙනවා.
Tuesday, December 31, 2024
අවධමනයකින් වසර අවසන් වෙයි!
ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය පැවතුණේ 69.8% මට්ටමේ. එයින් අදහස් වන්නේ එම මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්තයක් ලෙස මිල මිල මට්ටම 69.8%කින් ඉහළ ගොස් තිබුණු බවයි.
කෙසේ වුවද, 2022 සැප්තැම්බර් මාසයේ සිට ගෙවුණු මාස 27ක කාලය තුළම සමස්තයක් ලෙස මිල මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.2%කින් පමණයි.
එළඹෙන 2025 වසරේ පළමු කාර්තුව තුළ අනිවාර්යයෙන්ම අවධමන තත්ත්වය පවතිනු ඇතත්, දෙවන කාර්තුව අවසන් වෙද්දී නැවතත් උද්ධමනය හිස එසවීමට නියමිතව ඇති බැවින් දැනට පවතින තාවකාලික අවධමන තත්ත්වය කණස්සල්ලට කාරණයක් නෙමෙයි.
Friday, November 29, 2024
උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!
නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු අනුව, අවධමන තත්ත්වය ඉදිරි වසරේ මැද භාගය දක්වා පැවතිය හැකි අතර, ජනවාරි මාසය වන විට -5% පමණ මට්ටමකට යා හැකියි.
අවධමන තත්ත්වයක් පවතිද්දී මූර්ත පොලී අනුපාතික නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. මූර්ත පොලී අනුපාතික යනු නාමික පොලී අනුපාතිකයෙන් උද්ධමනය අඩු කළ විට අගයයි. උද්ධමනය සෘණ අගයක් වූ විට මෙම අගය නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. නාමික පොලී අනුපාතික 8.5% හා උද්ධමනය -2.0% යන්නෙන් අදහස් වන්නේ මූර්ත පොලී අනුපාතිකය 10.5%ක් බවයි.
ඉහළ මූර්ත පොලී අනුපාතිකයක් තිබීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එවැනි තත්ත්වයක් යටතේදී සාමාන්‍යයෙන් මහ බැංකුවක් විසින් කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පොලී අනුපාතික පහතට ගැනීමයි. මේ සඳහා වෙළඳපොළට මුදල් මුදා හැරීමක් කරන්නට සිදු වෙනවා. එය කරන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහායි.
මේ වන විට මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ලෙස යොදා ගන්නේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයයි. එම අනුපාතිකය 8.0% ලෙස මහ බැංකුව විසින් නිර්ණය කර තිබෙනවා. ඒ අනුව, ඒක්ෂණ මුදල් වෙළඳපොළේ පොලී අනුපාතිකය 8.0% මට්ටමේ පවත්වා ගත හැකි පරිදි විවට වෙළඳපොළ මෙහෙයුම් කටයුතු කිරීමට මහ බැංකුවට සිදු වෙනවා.
අද දින සිදු වූ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය 8.15% මට්ටමේ පැවතුනු අතර ප්‍රතිමිලදී ගැනීම් (රිපෝ) වෙළඳපොල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 8.20% මට්ටමේ පැවතුනා. මෙම අගයයන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා මඳක් වැඩියි.
පොලී අනුපාතික ඉලක්ක මට්ටමට වඩා ඉහළින් ඇති විට මහ බැංකුවට වෙළඳපොළට මුදල් මුදා හැරීම මගින් එම සමතුලිතතාවය වෙනස් කරගන්නට සිදු වෙනවා. මේ අයුරින් මුදල් මුදා හැරීම ස්ථිර පදනමකින් හෝ තාවකාලික පදනමකින් කළ හැකියි. දැනට මහ බැංකුව විසින් අනුගමනය කරන්නේ පළමු ක්‍රමයයි.
ඊයේ දිනයේ මහ බැංකුව විසින් එක් දින ප්‍රති විකුණුම් (රිවර්ස් රිපෝ) ලෙස රුපියල් බිලියන 40ක මුදලක් වෙළඳපොළට මුදා හැර ඇති අතර එම මුදල් වෙන්දේසි වී තිබෙන්නේ 8.00-8.20% පරාසය තුළයි. ඊට අමතරව තවත් රුපියල් බිලියන 4.4ක මුදලක් 8.50%ක පොලියක් ගෙවා එක් දින ප්‍රති විකුණුම් ක්‍රමයට මහ බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ඇතැම් බැංකු සැලකිය යුතු ද්‍රවශීලතා හිඟයකින් පෙලෙන බවයි. එය වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටීමට බාධාවක්ව පවතිනවා.
කෙසේ වුවත්, රුපියල් බිලියන 210 ඉක්මවන මුදලක් ඊයේ දිනම 7.5% පොලියට මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. එම මුදල ඉහත සඳහන් කළ රුපියල් බිලියන 44ක ප්‍රති විකුණුම් ගනුදෙනු ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩි මුදලක්. මේ අනුව පෙනී යන්නේ වෙළඳපොළ තුළ 8.0-8.5% පොලියකට ණය දීමේ අවස්ථාව තිබියදී ඇතැම් බැංකු විසින් ඊට වඩා අඩු 7.5% පොලියට මහ බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පෙලැඹී ඇති බවයි.
පොලී අනුපාතික යනු මුදල් වෙළඳපොළ ගනුදෙනු සිදු කරද්දී සලකා බලනු ලබන එකම සාධකය නෙමෙයි. මුදල් ණයට දීමේ අවදානමද එහිදී සලකා බැලෙනවා. ශ්‍රී ලංකා රජය ණය පැහැර හැර ඇති තත්ත්වයක් තුළ බොහොමයක් දේශීය බැංකු වලට ණය දීම සැලකෙන්නේද ඉහළ අවදානමක් ඇති කටයුත්තක් ලෙසයි. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් වේයැයි අපේක්ෂා කළ හැකියි.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 27 දින පැවති භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 බිල්පත් වල ඵලදා අනුපාතික පෙර සතියට සාපේක්ෂව 0.57%කින් පහත වැටී ඇති අතර, දින 182 ඵලදා අනුපාතික 0.63%කිනුත්, දින-364 ඵලදා අනුපාතික 0.70%කිනුත් පහත වැටී තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ පොලී අනුපාතික වල මැදිකාලීන හැසිරීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් පහත වැටෙමින් ඇති ආකාරයයි.
භාණ්ඩාගාර බැඳුම්කර ඵලදා අනුපාතික වලද මෙම පහත වැටීම නිරූපනය වී තිබෙනු දැකිය හැකියි. නොවැම්බර් 28 දින (ඊයේ) පැවති වෙන්දේසියේදී 2028 ඔක්තෝබර්හිදී කල් පිරෙන බැඳුම්කර වෙන්දේසි වූයේ 10.62% අනුපාතිකයටයි.
Tuesday, October 1, 2024
අවධමනය හමුවේ ණය තිරසාරත්වය
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 0.5%ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ හෙමින් හෙමින් වුනත් මිල ඉහළ යනවා කියන එක. නමුත් අවධමන තත්ත්වයක් කියන්නේ සමස්තයක් ලෙස මිල මට්ටම පහත වැටීමක්.
Wednesday, September 27, 2023
උද්ධමනය 1.3% වෙද්දී IMF වාරිකය ප්‍රමාද වෙයි!
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙනවා. වසරකට පෙර, ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම වූ 69.8% ලෙස පැවති මෙම අගය මාස දොළහක කාලයක් තුළ මෙපමණ පහත වැටීම සුවිශේෂී තත්ත්වයක්. මීට පෙර අවසන් වරට උද්ධමනය මෙවැනි පහළ මට්ටමක පැවතුනේ 2015 වසරේදීයි.
කෙසේ වුවද, අපගේ ඇස්තමේන්තුව වනුයේ උද්ධමනය පහත වැටීමේ ප්‍රවණතාව මෙම මාසයෙන් නවතින බවයි. ඉදිරි මාසයේදී උද්ධමනය 2% පමණ දක්වා ඉහළ යා හැකියි.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමේ විමර්ශනය සිදු කර අවසන්ව ඇති නමුත් දෙවන ණය වාරිකය ලබා දීම පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නැහැ. එය යම් තරමකින් ප්‍රමාද විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. මෙහිදී තීරණාත්මකම සාධකය වනු ඇත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියයි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව බාධකය වී තිබෙන්නේ චීනය බව පෙනෙන්නට තිබෙනවා. මෙම කටයුත්ත ඉදිරි මාසය හෝ දෙක තුළ සිදු වුවහොත් වැඩ සටහනේ ඉලක්ක සමඟ රැඳී සිටීමට විශාල අපහසුතාවයක් නැතත්, ඊටත් වඩා කල් ගියහොත් යම් අතුරු ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ අතරින් ප්‍රධානම ප්‍රශ්නයක් වනු ඇත්තේ විදේශ සංචිත ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමයි.
දැනටමත් රජයේ ආදායම් ඉලක්ක මග හැරෙමින් ඇති අතර පසුගිය දෙමස තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් සංචිත යම් ප්‍රමාණයක් විකුණා තිබෙනවා. මෙම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට යොමු වී තිබෙනවා.
අරමුදලේ වැඩ සටහන සමඟ දිගටම රැඳී සිටීමටනම් රජයට බදු යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, හිඟ බදු අය කර ගැනීම සහ බදු නිදහස් කිරීම් ඉවත් කිරීම ගැන මෙන්ම රාජ්‍ය අංශයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ ගැනද මීට වඩා බරපතල ලෙස සිතන්නට සිදු වෙනවා. ඒ වගේම, මහ බැංකුවට විණිමය අනුපාතය දැනට පවත්වාගෙන යන මට්ටමෙන් ඉහළට යාම මානසික බාධකයක් කර නොගෙන සංචිත එකතු කරගන්නට සිදු වෙනවා.
Thursday, August 31, 2023
අගෝස්තු උද්ධමනය 4%යි!
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී උද්ධමනය 4.0% දක්වා පහත වැටී තිබෙනවා. මෙය මහ බැංකුවේ දිගුකාලීන උද්ධමන ඉලක්කය වන 4%-6% පරාසයේ පහළම සීමාවයි. ඉදිරි මාසයේදී මෙම අගය ඉලක්ක සීමාවෙන් පහතට වැටෙන බව ඉතාම පැහැදිලි අතර ශුන්‍ය මට්ටමට වුවද ආසන්න විය හැකියි. එමෙන්ම මෙම මාසයේ උද්ධමනය වුවද ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මීට වඩා අඩු මට්ටමක පැවතිය යුතුයි. අඩු වශයෙන් වසර අවසාන වන තුරු උද්ධමනය මහ බැංකුවේ ඉලක්ක සීමාවෙන් පහළ රැඳී තිබිය හැකියි.
මේ වන විට පවතින උද්ධමනය හා සැසඳූ විට පොලී අනුපාතික තිබෙන්නේ සෑහෙන තරම් ඉහළ මට්ටමකයි. අඟහරුවාදා දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 150ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා ගත හැකි වූ ප්‍රමාණය රුපියල් බිලියන 108ක් පමණයි. ඒ වෙනුවෙන් පෙර සතියට වඩා තරමක් වැඩි පොලියක් භාර ගන්නටද සිදු වුනා. පෙර සතියේදී 17.97% මට්ටමේ පැවති දින-91 ඵලදා අනුපාතය 18.48% දක්වා ඉහළ ගොස් තිබුණු අතර අනෙකුත් කල් පිරීම් වල ඵලදා අනුපාතිකද ඉහළ ගොස් තිබුණා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම තෙවන වරටද කල් යාම නිසා ඇති වූ වෙළඳපොළ අවිනිශ්චිතතාව මීට හේතු වී ඇති බව පෙනෙනවා.
Monday, July 31, 2023
උද්ධමනය තනි අංකයකට!
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු ජූලි මාසයේදී උද්ධමනය 6.3% දක්වා අඩු වී තිබෙනවා. මෙය මහ බැංකුවේ ඉලක්ක උද්ධමන සීමාව වන 6%ට ඉතාම ආසන්න අගයක්. ආහාර උද්ධමනය සෘණ 1.4%ක් වීම විශේෂ කරුණක්.
උද්ධමනය අඩුවීම යනු මිල ගණන් අඩුවීම නොවුනත්, සෘණ උද්ධමනයක් හෙවත් අවධමනයක් යනු මිල ගණන්ද අඩු වීමක්. මේ අනුව, පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සමස්තයක් ලෙස ආහාර මිල ගණන් 1.4%කින් අඩු වී තිබෙනවා. සහල්, තිරිඟු පිටි, පාන්, පොල් තෙල්, නූඩ්ල්ස්, කරවල, සීනි, මයිසූර් පරිප්පු ආදී ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති අතර බිත්තර, කුකුළු මස්, පොල්, අළුත් මාළු, පළතුරු, තේ කොළ ආදී ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් තව දුරටත් පෙර වසරට වඩා ඉහළ මට්ටමක පවතිනවා.
Friday, June 30, 2023
උද්ධමනය 12% දක්වා අඩු වේ!
අප විසින් මාස ගණනාවකට පෙර සිටම විශ්වාසනීය ලෙස ප්‍රකාශ කළ පරිදි ගෙවුණු ජූනි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 12.0% දක්වා අඩු වී ඇති අතර ආහාර උද්ධමනය 4.1% දක්වාම පහත වැටී තිබෙනවා. මේ මාසයේදී ආහාර උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙන බවද අප විසින් කලින්ම සඳහන් කර තිබුණු දෙයක්. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු ජූනි මාසයේ උද්ධමනය මීටත් වඩා අඩු වී තිබිය හැකියි.
ආහාර උද්ධමනය මේ වන විටද මහ බැංකුවේ අපේක්ෂිත දිගුකාලීන ඉලක්කය වන 4%-6% පරාසය කරා පැමිණ තිබෙනවා. ඉදිරි ජූලි මාසයේදී සමස්ත උද්ධමනය 8%කට ආසන්න මට්ටමකට පැමිණෙනු ඇති අතර අගෝස්තු මාසය වන විට තවත් පහළට පැමිණ ඉලක්ක පරාසය වෙත පැමිණීමට නියමිතයි.
ඉහත තත්ත්වය තුළ මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබෙන්නේ උද්ධමන අගයට වඩා ප්‍රතිශතාංක කිහිපයක් ඉහළින්. මෙම තත්ත්වය හමුවේ, එළැඹෙන බ්‍රහස්පතින්දා මහ බැංකුව විසින් සිය පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් කරනු ඇතැයි සිතිය හැකියි.
Friday, April 28, 2023
උද්ධමනය විශාල ලෙස පහත බසී!
උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පැවති හා වේගයෙන් ඉහළ යමින් තිබුණු පසුගිය වසරේ මැද කාලයේ සිටම අප විසින් දිගින් දිගටම විශ්වාසනීය ලෙස කියූ පරිදි අප්‍රේල් උද්ධමනය විශාල ලෙස අඩු වී තිබෙනවා. මාර්තු මාසයේදී 50.3%ක් වූ උද්ධමනය අප්‍රේල් වන විට 35.3% දක්වා 15.0%කින්ම අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 30.6% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 37.6% දක්වාත් අඩු වී තිබෙනවා.
මේ උද්ධමනය වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තා පමණයි. මැයි මාසයේදී 25% ආසන්න මට්ටමකටත්, ජූනි මාසයේදී 13% ආසන්න මට්ටමකටත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති අතර ජූලි මාසය වන විට බොහෝ විට උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රස්ථාරයේ දැකිය හැකි පරිදි පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මිල මට්ටම ස්ථාවරව පවතින අතර, සැප්තැම්බර්-අප්‍රේල් අතර මාස හතක කාලය තුළ මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.6%කින් පමණයි.
ප්‍රධානම අභියෝගය වූ උද්ධමනය පාලනය කිරීමේ අභියෝගය මේ වන විට ජයගෙන අවසන්ව ඇතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගය තවමත් එලෙසම තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි සාර්ථකත්වය මුළුමනින්ම මෙන් රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීම මතයි.
Friday, March 31, 2023
හැංකී යන උද්ධමනය සහ දේශීය ණය
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ නිල උද්ධමනය මාර්තු මාසයේදීද අඩු වී ඇතත් ඒ ඉතා සුළු අඩුවීමක්. පෙබරවාරි මාසයේදී 50.6% මට්ටමේ තිබුණු උද්ධමනය මාර්තු මාසයේදීද 50.3% මට්ටමේ තිබෙනවා.
විදුලි ගාස්තු වල පෙර නොවූ වීරූ ඉහළ යාම නොවන්නට මාර්තු මාසය තුළ උද්ධමනය මීට වඩා අඩු විය හැකිව තිබුණා. උද්ධමනය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ පැසෙහි මිල විදුලි ගාස්තු ඉහළ යාම නිසා පමණක් මාසය තුළ රුපියල් 6133.31කින් ඉහළ ගොස් තිබෙනවා. එහෙත් අනෙකුත් මිල ගණන් බොහොමයක මිල අඩුවීමක් සිදුව ඇති බැවින් සමස්ත මිල ඉහළ යාම රුපියල් 5086.06ක් පමණයි. විශේෂයෙන්ම ආහාර පැසෙහි මිල රුපියල් 1371.07කින් පහළ ගොස් තිබෙනවා.
ස්ටීව් හැන්කිගේ උද්ධමන දර්ශකය උද්ධමනය මනින නිවැරදිම හා සම්මත ක්‍රමයක් නොවන බවත්, එයින් පෙන්වන උද්ධමනය මෙම මාර්තු මාසයේදී විශාල ලෙස අඩුවන බවත් අප විසින් පෙන්වා දී තිබෙන්නේ මේ ගැන කතාබහක් ඇති වූ මුල් කාලයේදීමයි. වසරකට පමණ පසුව දැන් ඒ බව තහවුරු වී තිබෙනවා. කෙසේ වුවත්, මෙම අධි-සංවේදී උද්ධමන දර්ශකය නිල උද්ධමනයට කලින් උද්ධමනයට "වෙන්න තිබෙන දේ" පිළිබඳව පෙන්වන දර්ශකයක් සේ සැලකිය හැකියි.
අපේ පුරෝකථන අනුව ඉදිරි මාස තුන තුළ මසකට 10% පමණ බැගින්වත් උද්ධමනය පහත වැටෙනු ඇති අතර අප්‍රේල් මාසයේදී 40%ට වඩා අඩු මට්ටමකටත්, මැයි මාසයේදී 30%න් පහළටත්, ජූනි මාසයේදී 15-20% අතර මට්ට්මකටත් උද්ධමනය පහත වැටීමට නියමිතයි.
මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව පැවති සැක සංකාවන්ද මේ වන විට මුළුමනින්ම මෙන් දුරු වී තිබෙනවා. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර භාණ්ඩාගාර බිල්පත් කිසිවක් ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ නැහැ. සේවක අර්ථසාධක අරමුදල සහ බැංකු වැනි විශාල ආයෝජකයින්ට ස්ව කැමැත්තෙන් ඔවුන්ගේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රති-ආයෝජනය කිරීමක් කළ හැකි අතර, ඒ අනුව බලහත්කාර ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමේ ඉඩක් නැහැ.
ඉතා කෙටිකලක් තුළ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම නිසා රාජ්‍ය සුරැකුම්පත් ආයෝජකයින්ගේ ගිණුම් වල "සිදු විය හැකි අලාභ (unrealized losses)" එකතු වී තිබුණා. පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙද්දී මේ තත්ත්වය ආපිට හැරී මෙම සිදු විය හැකි අලාභ "සිදු විය හැකි ලාභ (unrealized gains)" බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බැංකු ඇතුළු සුරැකුම්පත් ආයෝජකයින්ගේ ලාභ අපේක්ෂාවන් ඉහළ යමින් තිබෙනවා. තැන්පතුකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් බැංකු වල මූල්‍ය ස්ථාවරත්වය වඩා හොඳින් තහවුරු වෙමින් තිබෙනවා. කෙසේ වුවත්, මෙම අවදානම් මුළුමනින්ම පහව යනු ඇත්තේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසුවයි. ඒ සඳහා යම් කාලයක් ගත විය හැකියි.
Tuesday, January 31, 2023
ජනවාරි උද්ධමනය
ජනවාරි මාසය අවසන් වෙද්දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 54.2% දක්වා අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 60.1% දක්වා අඩු වී තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 51.0% දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 69.8% මට්ටමෙහි පැවති අතර, ආහාර උද්ධමනය 94.9% මට්ටමෙහි පැවතුණා.
අපගේ පුරෝකථනය වනුයේ පෙබරවාරි මාසය තුළ උද්ධමන අගයේ ලොකු වෙනසක් සිදු නොවනු ඇති බවයි. එහෙත්, මාර්තු මාසයේදී මෙම අගය 50% මට්ටමට පැමිණ, අප්‍රේල් මාසය වෙද්දී 40% මට්ටමට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා. උද්ධමනය වේගයෙන් පහත වැටෙනු ඇත්තේ ඉන් පසුවයි.
බදු හා පොලී අනුපාතික ඉහළ දැමීමේ පීඩාව බොහෝ දෙනෙකුට දරුණුවටම දැනී ඇතත්, බදු හා පොලී වැඩි කර උද්ධමනය පාලනය නොකළේනම්, උද්ධමනය නිසා සිදු විය හැකිව තිබුණු පීඩාව ඊට වඩා බොහෝ වැඩි විය හැකිව තිබුණු බව අපගේ අදහසයි. එය ඇතැම් විට අධි-උද්ධමන තත්ත්වයක් වුවද විය හැකිව තිබුණා.
කෙසේ වුවත්, මැතිවරණය හේතුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වීමේ යම් ප්‍රමාදයක් සිදු වෙමින් තිබෙන බව අපගේ නිරීක්ෂණයයි. මැතිවරණ ප්‍රතිඵල වලින් පසුවද මෙම තත්ත්වයෙහි දිගුවක් දකින්නට ලැබෙන්නට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ගාස්තු ලංවිම වියදම් හා ගැලපීම ප්‍රමාද වීමට මැතිවරණය හේතු වී ඇති බව අපගේ අදහසයි. විදුලි ගාස්තු ගැලපීමෙන් දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමට පිටිවහලක් ලැබෙන නමුත්, කෙටිකාලීනව උද්ධමනය ඉහළ ගොස් උද්ධමන අපේක්ෂා ඉහළ යා හැකි නිසා මෙවැනි ගාස්තු ගැලපීමේ තීරණයක් වසර මැද දක්වා ප්‍රමාද කිරීම වඩා සුදුසු වෙන්නත් පුළුවන්.
නිල තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් වී නැතත්, අපට අනුමාන කළ හැක්කේ චීනයේ දෙවසරක ණය පමාවෙන් ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ ප්‍රමාද වීමක් පමණක් බවයි. අවම වශයෙන් මාර්තු මාසය වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. එය සිදු වනු ඇත්තේ චීනය විසින් මීට වඩා වැඩි සහනයක් ලබා දීමට එකඟ වීමෙන් පසුව පමණයි. බොහෝ විට එම තීරණය ලැබෙනු ඇත්තේ මැතිවරණයෙන් පසුවයි.