වෙබ් ලිපිනය:

Showing posts with label පුරෝකථන. Show all posts
Showing posts with label පුරෝකථන. Show all posts

Wednesday, March 15, 2023

2022 ආර්ථික සංකෝචනය


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් අද ප්‍රකාශයට පත් කර ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව ගෙවුණු 2022 වසර තුළ ලංකාවේ ආර්ථිකය 7.8%කින් හැකිළී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ හැකිලීම 4.6%ක්ද, කාර්මික අංශයේ හැකිලීම 16.0%ක්ද වන අතර සේවා අංශය 2.0කින් හැකිළී තිබෙනවා. මේ අනුව, ආර්ථිකයේ ප්‍රමාණය මේ වන විට තිබෙන්නේ 2016දී පැවති මට්ටමට වඩා මඳක් පහළින් හා 2015 පැවති මට්ටමට ඉහළින්.

වසර තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතය 37.2%කින් ඉහළ ගොස් ඇතත්, එම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ 48.8%කින් මිල මට්ටම ඉහළ යාමයි. මිල මට්ටම ඉහළ යාම නිසා ඒක පුද්ගල ආදායම ප්‍රථම වරට රුපියල් මිලියනය ඉක්මවමින්, රුපියල් 1,060,654 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, වසර තුළ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා මෙය සමාන වන්නේ ඇමරිකන් ඩොලර් 3,268ක ඒක පුද්ගල ආදායමකටයි. මෙය 2013 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඇමරිකන් ඩොලර් 3,280ට වඩා මදක් අඩු මට්ටමක්.

මෑතකදී ෆිච් සොලියුෂන්ස් ආයතනයේ වාර්තාවක 2022දී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලෙනු ඇති බවත්, 2023දී 3.0%කින් ඉහළ යන බවත් වාර්තා කර තිබුණා. ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන්නේ ඔවුන්ගේ එම ඇස්තමේන්තු නිවැරදි නොවන බවයි. වසර තුළ ආර්ථිකය හැකිළී තිබෙන්නේ 7.8%කින් පමණයි. මේ හේතුව නිසාම 2023 වසර සම්බන්ධව ෆිච් සොලියුෂන්ස් ආයතනයේ පුරෝකථනයද නිවැරදි නොවීමට ඉඩකඩ වැඩියි.

මූඩීස් ආයතනය විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ 2022දී 8.0%කින්ද, නැවත 2023දී 3.0%කින්ද ආර්ථිකය හැකිලෙනු ඇති බවයි. මෙම ඇස්තමේන්තුව ඉහත ෆිච් සොලියුෂන්ස් ඇස්තමේන්තුවට වඩා නිවැරදි විය හැකියි. බොහෝ දුරට, ලංකාවේ ආර්ථිකය නැවත වර්ධනය විය හැක්කේ 2024 වසරේදීයි.


Friday, March 10, 2023

මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!


මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. 

අදාළ වාර්තාවෙහි පසුගිය (2022) වසරේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව ඔවුන් මීට පෙර සිදු කළ පුරෝකථනයද සංශෝධනය කර තිබෙනවා. පෙර ඇස්තමේන්තුව අනුව 2022දී ලංකාවේ ආර්ථිකය 9.8%කින් හැකිලෙනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබුණත්, සංශෝධිත ඇස්තමේන්තුව අනුව එම හැකිලීම 9.2%කට වඩා වැඩි වන්නේ නැහැ. 

කෙසේ වුවත්, වසර අවසාන වෙද්දී ඩොලරයක මිල රුපියල් 390 මට්ටමෙහි පවතිනු ඇති බවට වූ ඔවුන්ගේ පෙර පුරෝකථනය මේ වාර්තාව ඉදිරිපත් කරන විට යාවත්කාලීන කර නැහැ. මේ සම්බන්ධව බ්ලූම්බර්ග් ආයතනය විසින් විද්‍යුත් තැපෑලෙන් එහි විශ්ලේෂකයෙකු විමසද්දී එයට පිළිතුරු ලෙස ඔහු පවසා තිබෙන්නේ සැලසුම් කර ඇති පරිදි ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට බාධා ඇති විය හැකි බව ඔහුගේ අදහස බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය හැකි බව ඔහු පෙන්වා දී තිබෙනවා. 

අදාළ වාර්තාව ඇමරිකන් ඩොලර් 1,555කට විකිණෙන දීර්ඝ හා විස්තරාත්මක වාර්තාවක්. මෙවැනි දිගු වාර්තාවක් දවසකින් දෙකකින් පිළියෙල කරන්නේ නැහැ. බොහෝ විට එහි ඇතුළත් විණිමය අනුපාතය පිළිබඳ පුරෝකථනය අවසන් වරට යාවත්කාලීන කරන්නට ඇත්තේ ඩොලරයක මිල පහත වැටීම පටන් ගන්නට පෙරයි. මේ පිළිබඳව බ්ලූම්බර්ග් විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් පසුව පැහැදිලි කිරීමක් ලෙස ඉහත පිළිතුර දී ඇති බවයි පෙනෙන්නේ.

ලංකාවේ මාධ්‍ය වල උපුටා දක්වා තිබෙන්නේ මේ හා අදාළව බ්ලූම්බර්ග් විසින් පළ කළ ප්‍රවෘත්තියයි. ඒ හැර එම මාධ්‍ය ආයතන වල කිසිවෙකු විසින් අදාළ ෆිච් සොලියුෂන්ස් වාර්තාව කියවා ඇතැයි මා හිතන්නේ නැහැ. 

මේ අතර අද (මාර්තු 10) ෆිච් රේටිං ආයතනය විසින්ද ශ්‍රී ලංකාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙහි ශ්‍රී ලංකාව විසින් මාර්තු 20 දින IMF අරමුදල් ලබා ගනු ඇති බවට විශ්වාසය පළ කර ඇති අතර, ඉන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ වනු ඇති නමුත් එම කටයුතු අවසන් වන දිනය අවිනිශ්චිත බවද සඳහන් කර තිබෙනවා. මෙහි සංකීර්ණත්වය පෙන්වා දෙමින් ඔවුන් සඳහන් කරන්නේ 2022 අගෝස්තු මාසයේදී අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කළ සැම්බියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු තවමත් අවසන් කර නැති බවයි. 

පසුගිය මාස කිහිපය තුළ උද්ධමනය පහත වැටීම පිළිබඳව අවධානය යොමු කරන ෆිච් රේටිං ආයතනය විසින් පෙන්වා දෙන්නේ ඩොලරයක මිල පහත වැටීම නිසා උද්ධමනය පෙර ඇස්තමේන්තු කළාටත් වඩා අඩු විය හැකි බවයි. කෙසේ වුවද, ලොකුම අවදානම ලෙස ඔවුන් දකින්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමයි. එවැන්නක් සිදු වුවහොත් දේශීය ණය වල අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීමට සිදු වන බව ෆිච් රේටිං ආයතනය සඳහන් කරනවා.

Sunday, October 17, 2021

ලංකාව ගැන අයිඑම්එෆ් එක හිතන දේ


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරි කාලය පිළිබඳ ඔවුන්ගේ පුරෝකථන ඇතුළත් අර්ධ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තාව පදනම් වන්නේ 2021 සැප්තැම්බර් 27 දින දක්වා ඔවුන් වෙත වාර්තා වී තිබුණු සංඛ්‍යාලේඛණ මතයි.

අදාළ වාර්තාව අනුව 2020 වසරේදී 3.1%කින් හැකිළුණු ලෝක ආර්ථිකය මේ වසරේදී 5.9%කින්ද, 2023 වසරේදී 4.9%කින්ද වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබෙනවා. 2020 වසරේදී 3.4%කින් හැකිළුණු ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය මේ වසරේදී 6.0%කින්ද, 2023 වසරේදී 5.2%කින්ද වර්ධනය වීමට නියමිතයි. 2020දී 6.3%කින් හැකිළුණු යුරෝ කලාපය මේ වසරේදී 5.0%කින් හා ඉදිරි වසරේදී 4.3%කින්ද,  9.9%කින් හැකිළුණු එක්සත් රාජධානිය මේ වසරේදී 6.8%කින් හා ඉදිරි වසරේදී 5.0%කින්ද ප්‍රසාරණය වීමට නියමිතයි. 

සංකෝචනය නොවුනත්, 2020 වසරේදී 2.3% දක්වා පහත වැටුණු චීනයේ ආර්ථිකය 2021 හා 2021 වසර වලදී 8.0% හා 5.6% අනුපාත වලින් ඉහළ යද්දී, 7.3%කින් හැකිළුණු ඉන්දියාවේ ආර්ථිකය 9.5% හා 8.5% අනුපාත වලින් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරනවා. 

ලංකාවේ ආර්ථිකය 2020 වසරේදී 3.6%කින් හැකිළුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මේ වසරේදී ආර්ථිකය 3.6%කින් වර්ධනය වී නැවත ලංකාව 2019 සිටි තැනට පැමිණෙනවා. ඉන් පසු 2022 වසරේදී 3.3%කින් ප්‍රසාරණය වෙනවා. මේ අනුව, 2020-2022 තෙවසර තුළ අපේක්ෂිත සාමාන්‍ය වර්ධන වේගය 1.1%ක්. ඉතා අඩු වර්ධන වේගයක් වුවත්, කලාපයේ අනෙකුත් රටවල් පිළිබඳ පුරෝකථන සමඟ සැසඳූ විට මෙය අසාමාන්‍ය නරක තත්ත්වයක් නෙමෙයි.

පසුගිය වසරේ, මේ වසරේ හා ඉදිරි වසරේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය චීනයේ 5.3%ක්, ඉන්දියාවේ 3.6%ක් හා බංගලි දේශයේ 4.9%ක් වුවත්, නේපාලයේ 1.4%ක්, මැලේසියාවේ 1.3%ක්, තායිලන්තයේ -0.2%ක් හා මාල දිවයිනේ 0.0%ක් පමණයි. මියන්මාරයේ එය -4.9%ක්.

ආර්ථික වර්ධනය අඩාල වුවත් ඉදිරි තෙවසර තුළ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර නැහැ. අදාළ පුරෝකථන අනුව 2021 හා 2022 වසර වල ලංකාවේ උද්ධමනය 6.0 හා 6.5 මට්ටම් වල පැවතීමට නියමිතයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන හැම විටම නිවැරදි නැහැ. එහෙත්, මේ පුරෝකථන තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳව සිතන ආකාරය පිළිබිඹු වෙනවා. ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගැනීම පිණිස, ආර්ථික වර්ධන ඉලක්ක පසෙක ලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ රජය හා මහ බැංකුව යොමු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන බවක් මේ පුරෝකථන තුළින් ගම්‍ය වෙනවා.

වෙබ් ලිපිනය: