අද (ජනවාරි 11) පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ලම පහසුවෙන් විකිණී ඇති අතර, පොලී අනුපාතික වල, විශාල නැතත්, පැහැදිලිව පෙනෙන අඩු වීමක් දැකිය හැකියි.
දින-91 බිල්පත්
වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 50
ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 145.1
විකිණූ පොලී අනුපාතිකය = 31.15%
පෙර සතියේ පොලී අනුපාතිකය = 32.01%
දින-182 බිල්පත්
වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20
ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 45.5
විකිණූ පොලී අනුපාතිකය = 31.37%
පෙර සතියේ පොලී අනුපාතිකය = 32.02%
දින-364 බිල්පත්
වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 18
ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 35.7
විකිණූ පොලී අනුපාතිකය = 29.04%
පෙර සතියේ පොලී අනුපාතිකය = 29.16%
මගේ අදහස මහ බැංකුව විසින් ගත් ප්‍රතිපත්ති තීරණයක් මේ අයුරින් පොලී අනුපාතික අඩු වීමට හේතු වී ඇති බවයි. එම ප්‍රතිපත්ති තීරණය වූයේ විවට වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමා පැනවීමයි.
විවට වෙළඳපොළ ගණුදෙනු කියන්නේ මොනවාද?
දවස තුළ කරන ගණුදෙනු නිසා බැංකු වලට සල්ලි එනවා. ඒ වගේම බැංකු වලින් සල්ලි එළියට යනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දවස අවසානයේ බැංකුවක මුදල් අතිරික්තයක් ඇති වෙන්න පුළුවන්. එසේ නැත්නම් මුදල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. මුදල් හිඟයක් ඇති වුවහොත්, කොහෙන් හෝ මුදල් හොයාගෙන එම හිඟය පියවා ගන්න සිදු වෙනවා.
ද්‍රවශීලතා හිඟයක් ලෙස හඳුන්වෙන්නේ ඉහත තත්ත්වයයි. සාමාන්‍යයෙන් යම් දිනක එක් බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් ඇති වෙද්දී තවත් බැංකුවක ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වෙනවා. ඒ, බැංකු වලින් එළියට යන සල්ලි නැවත එම බැංකුව වෙතම පැමිණ නැත්නම්, බොහෝ විට වෙනත් බැංකුවකට ගොස් ඇති නිසයි. එසේ නොවන්නේ රටේ විශාල පිරිසක් සල්ලි මුදල් නෝට්ටු ලෙසම තබා ගතහොත් පමණයි.
දවස අවසානයේ ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන බැංකු විසින් කරන්නේ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකුවකින් දවසේ පොලියට දවසකට සල්ලි ණයට ගන්න එකයි. මෙයින් ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකුවට නිකම් තිබෙන තමන්ගේ සල්ලි වෙනුවෙන් පොලී ආදායමක් ලැබෙනවා. මෙම ගණුදෙනු සිදු වන වෙළඳපොළ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා.
කෙසේ වෙතත්, ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුවද ඇතැම් බැංකු වලට අවශ්‍ය අරමුදල් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. සමස්තයක් ලෙස බැංකු පද්ධතියෙන් එළියට ගිය සල්ලි වලින් යම් කොටසක් නැවත ආපසු ඇවිත් නැත්නම් එසේ වෙනවා. මෙය වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ලෙස හැඳින්වෙනවා. මෙහිම අනෙක් පැත්ත සිදු වුවහොත්, වෙළඳපොළ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වෙනවා.
වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ඇති විට, ඒ හේතුව නිසා ඒක්ෂණ මුදල් වෙළඳපොළෙන් අරමුදල් සපයා ගැනීමට නොහැකි වන බැංකුවකට සල්ලි ණයට ගන්න වෙන්නේ මහ බැංකුවෙන්. එහිදී ඇපයක් ලෙස භාණ්ඩාගාර බිල්පතක් තියන්න සිදු වෙනවා. මෙය මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ලෙස හැඳින්වෙනවා. මේ අයුරින්ම, ඒක්ෂණ මුදල් වෙළඳපොළ තුළ වෙනත් බැංකුවකට ලබා දීමට ඉඩ නොලැබෙන අරමුදල් ඇත්නම් එවැනි මුදලක් මහ බැංකුවේ තැන්පත් කර පොලී ආදායමක් ලැබිය හැකියි. මෙය හැඳින්වෙන්නේ නිත්‍ය තැන්පතු පහසුකම ලෙසයි.
මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකමක් ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය සහ නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගැනීමේදී ලැබෙන පොලී අනුපාතිකය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. මහ බැංකුව විසින් මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික වරින් වර සංශෝධනය කරනවා. මහ බැංකුවක් විසින් රටේ මුදල් සැපයුම පාලනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධානම ප්‍රතිපත්ති මෙවලම මෙම පොලී අනුපාතිකයි. මේ වන විට නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 15.5%ක් වන අතර නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය 14.5%ක් වෙනවා.
වාණිජ බැංකුවකට තමන්ගේ අතිරික්ත අරමුදල් සඳහා අවම වශයෙන් නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය ලබා ගත හැකි වීම සහ උපරිම වශයෙන් නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය ගෙවා හිඟ අරමුදල් සපයා ගැනීමට හැකි වීම නිසා, සාමාන්‍යයෙන් ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන්නේ මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතරයි.
දැන් කාලයක සිටම සමස්තයක් ලෙස වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් දැකිය හැකියි. උදාහරණයක් ලෙස වත්මන් අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගත් 2022 අප්‍රේල් 7 දිනදී රුපියල් බිලියන 604.8ක නිත්‍ය ණය පහසුකම් ලබා ගෙන තිබුණු අතර රුපියල් බිලියන 109.0ක නිත්‍ය තැන්පතු පහසුකම් ලබාගෙන තිබුණා. මේ අනුව, රුපියල් බිලියන 500කට ආසන්න වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ඒ වන විට තිබුණා. ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමෙන් පසුව එය ක්‍රමයෙන් අඩු වුනත්, නැති වුනේ නැහැ. රුපියල් බිලියන 200ක පමණ ද්‍රවශීලතා හිඟයක් පසුගිය සතිය වන විටද දැකගත හැකිව තිබුණා.
මේ වන විට මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම් හා නිත්‍ය තැන්පතු පහසුකම් ලබා ගත හැකි වාර ගණන හා ප්‍රමාණය සීමා කර තිබෙනවා. මෙය සැලකිය හැක්කේ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමක් ලෙසයි. මෙහිදී කලින් දිගින් දිගටම දිනපතා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ප්‍රයෝජනයට ගත් බැංකු වලට අරමුදල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙනවා.
එයට පිළියමක් ලෙස මහ බැංකුව විසින් එම බැංකු වලට තරමක් දිගුකාලයකට ණය ලබා දී තිබෙනවා. මෙහිදී දිගුකාලයකට කියා කිවුවේ දෛනිකව ණය දීමට සාපේක්ෂවයි. එම කාලය මාසයක් දෙකක් වැනි කාලයක් මිසක් ගොඩක් දිගු කාලයක් නෙමෙයි. නිත්‍ය ණය පහසුකම් ලබා ගැනීමේදී මෙන් නොව, මෙම ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතික ගෙවිය යුතුයි.
මේ ක්‍රියාමාර්ගය නිසා අද වන විට වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 9ක සුළු හිඟයක් බවට පත් වී තිබෙනවා. ඊට සමාන්තරව පොලී අනුපාතික මත වූ පීඩනයද තරමක් අඩු වී තිබෙනවා. එහෙත්, මෙය මහ බැංකුව විසින් කර තිබෙන යම් ආකාරයක පරීක්ෂණාත්මක කටයුත්තක් ලෙස හැඳින්විය හැකියි. එයින් පොලී අනුපාතික මත සිදු විය හැකි බලපෑම ගැන නිශ්චිතව කියන්නට තවමත් කල් වැඩියි.