වෙබ් ලිපිනය:

Showing posts with label රක්ෂණ. Show all posts
Showing posts with label රක්ෂණ. Show all posts

Monday, June 23, 2025

රක්ෂණයක් මිල දී ගත යුත්තේ ඇයි?



මෙම වසරේ (2025) පළමු කාර්තුව තුළ රක්ෂණ සේවා සැපයීම් වල 17.4%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ පෙර වසර (2024) තුළ සිදු වූ 14.0%ක හැකිලීමකින් පසුව. රක්ෂණ ගිවිසුමක් මිල දී මිල දී ගැනීම කෙනෙකුගේ ප්‍රමුඛතාවයක් වන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස වැනි මූලික අවශ්‍යතා වලින් පසුවයි. රක්ෂණ සේවා අංශය ප්‍රසාරණය වෙමින් තිබීමෙන් පෙනෙන්නේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිමින් තිබෙන ආකාරයයි. එය සිදු වෙන්නේ ඉහළ මට්ටමක තිබුණු පොලී අනුපාතික නැවතත් සාමාන්‍ය මට්ටමකට පැමිණීම සහ රටේ දේශීය ඉල්ලුම ඉහළ යාමට සමාන්තරවයි.

යමෙක් රක්ෂණ ගිවිසුමක් මිල දී ගත යුත්තේ ඇයි?

මේ ගැන කතා කරන්න කලින් මුලින්ම රක්ෂණ ගිවිසුමකින් සිදු වන්නේ කුමක්ද කියන එක පැහැදිලි කර ගත යුතුයි. රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අයෙකු විසින් කරන්නේ තමන්ට මුහුණ දෙන්නට සිදු වන කිසියම් අවදානමක් වෙනත් අයෙකුට (අදාළ රක්ෂණ සමාගමට) පැවරීම සහ එම අවදානම තමන්ගෙන් ඉවත් කර භාර ගැනීම වෙනුවෙන් මිලක් ගෙවීමයි. 

අනාගතයේ සිදු විය හැකි ප්‍රතිඵලය අවිනිශ්චිත දෙයක් අපට අවදානමක් සේ හඳුනා ගන්න පුළුවන්. එසේ වුවත්, ආර්ථික විද්‍යාවේදී අවදානම් (risk) සහ අවිනිශ්චිතතා (uncertainty) ලෙස හඳුන්වන්නේ ප්‍රවර්ග දෙකක්. සෑම ආකාරයකම අවිනිශ්චිතතා අවදානම් සේ හඳුනා ගැනෙන්නේ නැහැ. අවදානමක් සේ හඳුනා ගන්නේ සිදු විය හැකි ප්‍රතිඵලය අවිනිශ්චිත වුවත්, සිදු වීමේ කිසියම් සම්භාවිතාවක් ඇති ප්‍රතිඵල මොනවාද කියාත්, අදාළ ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතා ගැනත් දැනුමක් ඇති තත්ත්වයනුයි. එවැනි පූර්ව දැනුමක් නැත්නම් එය අවිනිශ්චිතතාවයක් ලෙස මිස අවදානමක් ලෙස හඳුනා ගැනෙන්නේ නැහැ. 

උදාහරණයක් ලෙස කාසියක් උඩ දැමූ විට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද කියා කිසිවෙකුට කලින් කියන්න බැහැ. නමුත් එම ප්‍රතිඵලය සිරස හෝ අගය බව කියන්න පුළුවන්. ඒ වගේම සිරස හෝ අගය වැටීමට තිබෙන සම්භාවිතාව 1/2 බැගින් බවත් කියන්න පුළුවන්. ඒ වගේම, කැට ක්‍රීඩාවේදී කිසියම් අගයක් වැටෙන්න ඉඩ තිබෙන සම්භාවිතාව 1/6ක් බව අපි කලින්ම දන්නවා. නමුත් වැටෙන අගය හරියටම දන්නේ නැහැ. මෙහිදී කාසියක් උඩ දමන්නෙකු හෝ කැට ක්‍රීඩාවේ යෙදෙන්නෙකු මුහුණ දෙන තත්ත්වය අවදානමක් ලෙස පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්.

බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් වලදී අවදානම් සහ අවිනිශ්චිතතා අතර තිබෙන්නේ සියුම් වෙනසක්. බැංකුවක් ණයක් දුන විට එම ණය ගිවිසුම් පරිදි ආපසු ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන්. පූර්ව දත්ත ඇසුරෙන් දුන් ණයක් ආපසු නොලැබීමේ සම්භාවිතාව ගණනය කරන්න පුළුවන්. මෙම සම්භාවිතාව සෑහෙන තරම් නිවැරදිව ඇස්තමේන්තු කළ හැකිනම්, එය අවදානම් තත්ත්වයක් ලෙස හඳුනාගන්න පුළුවන්. නමුත් ණය පැහැර හැරීමේ සම්භාවිතාව ගැන නිවැරදි තක්සේරුවක් නැත්නම් එය අවිනිශ්චිතතා තත්ත්වයක්. 

අවදානම් තත්ත්වයන් විශ්ලේෂණය කිරීම සාපේක්ෂව පහසුයි. අවිනිශ්චිතතා තත්ත්වයන් විශ්ලේෂණය කිරීම ඊට වඩා සංකීර්ණයි.

ලැබෙන්නට ඉඩ තිබෙන විවිධ ප්‍රතිඵල දන්නා නමුත් අදාළ සම්භාවිතාව මිස ප්‍රතිඵලය හරියටම නොදන්නා තත්ත්වයන් ආර්ථික විද්‍යාවේදී ලොතරැයි ලෙස පොදුවේ හඳුන්වනවා. මෙහිදී ලැබෙන්නට ඉඩ තිබෙන ප්‍රතිඵලය වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන්.

සමහර වෙලාවට අපි "මිනිහට මාර ස්වීප් එකක් ඇදුනනේ!" කියලා කියද්දී එයින් අදහස් කරන්නේ අනපේක්ෂිත වාසියක් ගැනයි. නමුත් "අපිට ඇදුනොත් ඇදෙන්නේ ඉතිං ඔය වගේ ස්වීප් එකක් තමයි!" කියා කියද්දී එයින් අදහස් කරන්නේ අනපේක්ෂිත පාඩුවක් පිළිබඳවයි. ඔය යෙදුම් දෙකේම ආර්ථික විද්‍යාවේදී භාවිතා වෙන ලොතරැයි කියන අර්ථය තිබෙනවා. 

රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අයෙක් එහිදී කරන්නේ තමන්ට මුහුණ දෙන්න සිදු වී තිබෙන අවදානමක් මුදල් ගෙවා බැහැර කිරීම කියලා කලින් කිවුවනේ. එය හරියට මුදල් ගෙවා කුණු බැහැර කරනවා වගේ වැඩක්. කෙනෙක් මුදල් ගෙවා බැහැර කරන්නේ තමන් තියා ගන්න අකැමැති දෙයක්. ඒ නිසා, රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අය එහිදී බැහැර කරන්නේ තමන් ළඟ තියා ගන්න කැමති නැති අවදානමක්.

පොදුවේ ගත්තහම ගොඩක් අය අවදානම් වලට කැමති නැහැ. නමුත් හැමෝම ඒ ගොඩේ නැහැ. අවදානම් වලට කැමති අයත් ඉන්නවා. එවැනි අය අවදානම් වෙනුවෙන් මිලක් ගෙවන්න වුනත් කැමතියි. සාමාන්‍යයෙන් පුද්ගලයින් අවදානමට කැමති අය සහ අවදානමට අකැමැති අය ලෙස වර්ග කරන්න පුළුවන්. මේ ලක්ෂණ කුඩා කාලයේ සිටම පුද්ගලයින් වෙතින් ප්‍රදර්ශනය වෙනවා.

පාසැල් කාලයේදී සමහර අය බයිසිකල් පදින ගමන් එහි ඉදිරි රෝද ඔසොවන එක වගේ දේවල් කරනවා. ඒ අවදානමට කැමති අය. නමුත් බයිසිකලයක් පදින්න පවා බය අයත් ඉන්නවා. අවදානමට කැමති අය සහ අවදානමට අකැමැති අය ලෙස පුද්ගලයින් වර්ග කළ හැකි වුනත්, සන්දර්භය අනුව පුද්ගලයෙකු සිටින ගොඩ වෙනස් වෙන්න පුළුවන්. සමහර තත්ත්වයන් යටතේ කැමැත්තෙන්ම අවදානම් ගන්න සමහර අය වෙනත් තත්ත්වයන් යටතේදී අවදානම් ගන්න බය වෙනවා.

ලොකු සැඩ පහරක් දැක දැක ඒ හරහා පීනන්න ඉදිරිපත් වෙන්නේ එක්කෝ පීනන්න හොඳටම දක්ෂ කෙනෙක්. එහෙම නැත්නම් තමන් කරන්න යන වැඩේ තිබෙන අවදානම ගැන නිසි අවබෝධයක් නොමැති කෙනෙක්. බරපතල වගකීම් භාර ගනිද්දීත් ඔය තත්ත්වයන් දෙකම දකින්න පුළුවන්. 

සාමාන්‍ය කරුණක් ලෙස ඔබ අවදානම් වලට කැමති කෙනෙක්ද නැත්නම් අකැමැති කෙනෙක්ද? 

මෙය තේරුම් ගැනීම සඳහා අපි සරල ක්‍රීඩාවක් ගැන සිතමු. මෙය කාසිය උඩ දැමීමේ ක්‍රීඩාවක්. සිරස වැටුනොත් ඔබට රුපියල් 2000ක් ලැබෙනවා. අගය වැටුනොත් කිසිවක් ලැබෙන්නේ නැහැ. ක්‍රීඩාවට සහභාගී වීම සඳහා රුපියල් 1000ක් අය කරන්නේනම් ඔබ මේ ක්‍රීඩාවට සහභාගී වෙනවාද?

මේ ක්‍රීඩාව එක දිගටම කළොත් අවසාන වශයෙන් ඔබ දිනන්න හෝ පරදින්න තිබෙන්නේ සමාන ඉඩක්. අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ ක්‍රීඩාවට සහභාගී වීමේ විනෝදය පමණයි. එය මුළුමනින්ම නොවුනත් බොහෝ දුරට අවදානමක් ගැනීම නිසා ලැබෙන විනෝදයක්. සාමාන්‍යයෙන් සූදු ක්‍රීඩා වලට සහභාගී වන්නේ ඒ විදිහට අවදානමක් ගැනීමෙන් සතුටක් ලබන අය.

අවදානමක් ගැනීමෙන් සතුටක් ලබන අය ඒ වෙනුවෙන් මිලක් ගෙවන්න වුනත් පැකිලෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ඉහත ක්‍රීඩාව සඳහා සහභාගී වීමට රුපියල් 1100ක් අය කළත් ඇතැම් අය ක්‍රීඩාවට සහභාගී වෙනවා. මෙහිදී සෑම ක්‍රීඩා වාරයක් අවසානයේදීම ක්‍රීඩාව මෙහෙයවන්නාට රුපියල් 100ක වාසියක් ලැබෙනවා. එහිදී වෙන්නේ ක්‍රීඩා කිරීමේ විනෝදයත් එක්කම අවදානම විකිණීමක් කියා කියන්න පුළුවන්. සමහර "භයානක" ක්‍රීඩා ප්‍රචලිතව තියෙන්නේම අවදානම ගන්න කැමති අය අවදානමක් ගැනීම වෙනුවෙන් මිලක් ගෙවන්න කැමති නිසා.

නමුත් පොදුවේ ගත්තහම සමාජයක ඉන්න වැඩි දෙනෙක් ඔය ගොඩේ ඉන්න අය නෙමෙයි. ගොඩක් අය අවදානම් වලට කැමති නැහැ. එවැනි අයට සූදු ක්‍රීඩා වගේ දේවල් වලට සහභාගී නොවී ඉන්න පුළුවන් වුනත්, සමහර "ක්‍රීඩා අවස්ථා" ඒ විදිහට නොගෙන ඉන්න බැහැ. ජීවත් වෙනවා කියන්නෙම අවදානම් සූදුවක් ක්‍රීඩා කරන එක.

කාලගුණ තත්ත්වයන් එක්ක වී අස්වැන්න වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්. වී මිල අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන්. මැද පෙරදිග තත්ත්වයන් එක්ක තෙල් මිල වැඩි වෙන්න පුළුවන්. පාරේ යද්දී මාර්ග අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඔය විදිහේ සමහර අවදානම් සූදුවට යනවා වගේ තෝරා ගැනීමක් හෝ මිල දී ගන්නා දෙයක් නෙමෙයි. 

සෑම අවදානමක්ම බැහැර කරන්න බැහැ. කෙනෙක් හදිසියේ මිය ගියොත් ඔහුගේ හෝ ඇයගේ දරුවන්ට මවක් හෝ පියෙකු නොමැති වීමේ අඩුව වෙනත් අයෙකුට ඒ විදිහටම පුරවන්න බැහැ. නමුත් එහිදී සිදු වන මූල්‍ය පාඩුව වෙනත් අයෙකුට පුරවන්න පුළුවන්. පොදුවේ ගත් විට මූල්‍ය පාඩුවක් සිදු වීමේ අවදානම මුදල් ගෙවා බැහැර කරන්න පුළුවන්. රක්ෂණ ගිවිසුමක් හරහා සිදු වෙන්නේ ඒකයි. 

රක්ෂණ ගිවිසුමක් ඔබට ඉදිරිපත් කරන රක්ෂණ සමාගමක් විසින් එසේ කරන්නේ ලාබයක් ලැබීමට මිසක් ඔබට තිබෙන ආදරයකට නෙමෙයිනේ. ඒ නිසා, රක්ෂණ සමාගමක් මේ වැඩේ පාඩුවට කරන්නේ නැහැ. අපි හිතමු වාහන රක්ෂණයක් ගැන. රක්ෂණ සමාගමක් වාහන රක්ෂණ ගිවිසුමක මිල තීරණය කරන්නේ කොහොමද?

අපි හිතමු රක්ෂණ ගිවිසුම් මිල දී ගන්නා අයගෙන් 5%ක් කුමක් හෝ හානි පූරණ ඉල්ලීමක් කරනවා කියලා. ගෙවන්න සිදු වන සාමාන්‍ය මුදල රුපියල් 200,000ක් කියලා හිතමු. පැරණි දත්ත ඇසුරෙන් මේ ගණන් හොයා ගන්න පුළුවන්. 

මෙයින් අදහස් වෙන්නේ ගිවිසුම් සීයක් අත්සන් කරද්දී එයින් පස් දෙනෙක් හානි පූරණ ඉල්ලීමක් කරනවා කියන එකයි. ඒ එක්කෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන්න රුපියල් මිලියනයක මුදලක් වැය වෙනවා. ඒ මුදල හොයා ගැනීම සඳහා ඒ අයෙකුගෙන් රුපියල් 10,000 බැගින් අය කරන්න වෙනවා.

හැබැයි ඔය විදිහට රුපියල් මිලියනයක් එකතු කරගෙන අනෙක් අතට බෙදලා දමනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්නේ. එතකොට සමාගමේ සේවකයින්ගේ පඩිනඩි, කොමිස් මුදල්, අනෙකුත් වියදම් ආවරණය වෙන්නේ කොහොමද? ඔය ඔක්කොම වියදම් වලින් පස්සේ ලාබයක් ගන්නත් වෙනවනේ. ඒ නිසා, රක්ෂණ ගිවිසුමක් තරමක් වැඩියෙන් මිල කරන්න වෙනවා. එම මුදල රුපියල් 15,000ක් පමණ වෙන්න පුළුවන්.

දැන් ඔබ රුපියල් 15,000ක මුදලක් ගෙවලා රක්ෂණ ගිවිසුමක් මිල දී ගත් විට ඔබට එයින් ලැබෙන්න නියමිත අපේක්ෂිත වාසිය ඊට වඩා අඩු මුදලක්. ඊට හේතුව, අනෙකුත් අමතර වියදම් හා සමාගමේ ලාබ ආදියද ඒ  මුදල තුල ඇතුළත්ව තිබීමයි. එහෙමනම්, රක්ෂණ ගිවිසුම් කියන්නේ මිල දී නොගත යුතු දෙයක්ද?

මෙය තීරණය වන්නේ ඔබ අවදානම් වලට කොපමණ අකැමැතිද කියන එක මතයි. රුපියල් ලක්ෂයක පාඩුවක් සහ රුපියල් ලක්ෂයක ලාබයක් ඔබට දැනෙන්නේ එක විදිහටද? රුපියල් ලක්ෂයේ පාඩුව නිසා ඔබට දැනෙන දුක රුපියල් ලක්ෂයක වාසියකින් පහසුවෙන්ම කැපී යනවානම් ගොඩක් වෙලාවට ඔබට රක්ෂණ ගිවිසුමක් ආකර්ශනීය වන එකක් නැහැ. නමුත් බොහෝ දෙනෙකුට රුපියල් ලක්ෂයක පාඩුවක් දැනෙන තරමටම රුපියල් ලක්ෂයක වාසියක් දැනෙන්නේ නැහැ. ඒ දුක තුනී වෙන්නනම් රුපියල් ලක්ෂ එක හමාරක හෝ දෙකක වාසියක් වෙන්න ඕනෑ. ඔබත් ඒ විදිහේ කෙනෙක්නම් රක්ෂණයක් ඔබට වාසිදායකයි.

(මේ සටහන ලිවුවේ පාඨකයෙක් පෞද්ගලිකව අහපු ප්‍රශ්නයක් නිසා)

Monday, December 12, 2022

ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්


ඇමරිකාවේ නිවාස චක්‍රය ගැන කලින් සටහනක ලිවුවා. ඇමරිකානුවන් අතරින් තමන්ගේම නිවසක ඉන්නේ ආසන්න වශයෙන් 65%ක පමණ ප්‍රතිශතයක්. මෙම ප්‍රතිශතය විවිධ සාධක මත විචලනය වෙනවා. 

ඇමරිකානුවන්ගෙන් තුනෙන් එකක් පමණ තමන්ගේම නිවසක නොසිටින්න ප්‍රධානම හේතුවක් වන්නේ යාන්තම් වයස දහඅට පිරුණු පසු දරුවන් ගෙවල් වලින් යාම. එසේ ගෙවල් වලින් නවාතැනකට හෝ කුලී නිවසකට යන තරුණ තරුණියන් තමන්ගේම නිවසක් මිල දී ගෙන පිළිවෙලක් වෙන මධ්‍යන්‍ය වයස අවුරුදු 36ක් පමණ වෙනවා. එතෙක්, කුලී නිවසක සිටීම ඔවුන්ගේ තෝරා ගැනීමක්. 

මේ වයස වන තුරු නිතර නිතර රැකියා මාරු කිරීම මීට ප්‍රධාන හේතුවක්. ඉන් පසුව වුනත් ඇමරිකානුවන් නිතර රැකියා මාරු කරන නමුත් එසේ රැකියා මාරු කරන වේගය අඩු වෙනවා. ඒ වගේම ඇමරිකානු කාන්තාවක් විවාහ වන සාමාන්‍ය වයස අවුරුදු 27-28ක් පමණද, පිරිමියෙකු සඳහා මේ වයස අවුරුදු 29-30 පමණද වෙනවා. ඒ කියන්නේ, තමන්ටම ගෙයක් ගන්න එක ගැන හිතන්නේ විවාහ වෙලා දරුවෙක් හෝ දෙන්නෙක් හදලා ඒ දරුවෝ පාසැල් යන වයසට වගේ එද්දී. 

ඇමරිකාවේ සාමාන්‍ය විශ්‍රාම වයස අවුරුදු 66ක්. මෙය 67 දක්වා ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි. ඇමරිකානුවෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77ක් පමණ. ඒ කියන්නේ, අවුරුදු 36ක් වෙලා ගෙයක් ගන්න කෙනෙක්ට ඒ ගෙදර ජීවත් වෙන්න ඉතිරිව තියෙන්නේ අවුරුදු 40ක වගේ කාලයක්. ඒ කාලයෙන් අවුරුදු 30ක් පමණම වැඩ කරන කාලය. 

දැන් කවුරු හරි ගෙයක් ගන්නවානම් ගන්නේ ඔය අවුරුදු 40 ඉන්නනේ. ඒ කාලය ඒ වගේම ගෙයක කුලියට ඉන්න වැය වන්නේ ගේ සල්ලි වලට ගන්න යන මුදලට වඩා අඩු මුදලක්නම් ගෙයක් ගන්න එකේ විශේෂ වාසියක් නැහැනේ. ඒකේ අනෙක් පැත්තත් එහෙමයි. ඒ නිසා, සක්‍රිය නිවාස වෙළඳපොළක් ඇති විටෙක ඔය වියදම් දෙකම ආසන්නව සමාන විය යුතුයි. එහෙම නැත්නම් එකකට ඉල්ලුම නැති විය යුතුයිනේ. ඇත්තටම වෙන්නේත් ඔය වගේ දෙයක්. 

ගෙයක් සල්ලි වලට ගන්න අය සාමාන්‍යයෙන් කරන්නේ වසර 30කට උගස් ණයක් ගන්න එක. මෙම කාලය සාමාන්‍යයෙන් ඇමරිකානුවෙක් පළමු වරට ගෙයක් මිල දී ගන්න වයස සහ විශ්‍රාම වයස අතර කාලයට ආසන්නව සමානයි. 2019දී ඇමරිකානුවෙක් විසින් මසකට ගෙවූ උගස් ණය වාරිකයේ මධ්‍යස්ථ අගය ඩොලර් 1,609ක්. එම වසරේදීම කුලී ගෙදරක ඉන්න කෙනෙක් මාසයකට ගෙවූ මධ්‍යස්ථ මුදලත් ආසන්න වශයෙන් ඩොලර් 1,600ක් පමණ. 

වයස අවුරුදු 36 වෙද්දී ගෙයක් ගන්න කෙනෙක් විශ්‍රාම යන වයස වන විට උගස් ණය ගෙවා අවසන්. ඉන් පසුව ගෙයි අයිතිය තමන්ට. එහෙත්, දිගටම කුලියට හිටියොත් එවැනි වාසියක් නැතුවම ඒ මුදල වැය කරන්න වෙනවා. අනෙක් අතට, ගෙයක් සල්ලි වලට ගැනීමෙන් පසුව වරිපනම් බදු, නිවාස රක්ෂණය ආදී ලෙස තවත් ගෙවීම් එකතු වෙන නිසා ඒ වාසිය බොහෝ දුරට කැපිලා යනවා. කොහොම වුනත්, අවදානමක් ගෙන කරන ආයෝජනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ කොටස ඉතිරි වෙනවා.  

කලින් සටහනෙන් කියපු විදිහට ගෙයක් ගන්නනම් ඩවුන් පේමන්ට් එක ගෙවන්න වෙනවා. ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට ටිකක් අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන පොඩි ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ.

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න පුළුවන්. 

ගෙයක් මිල දී ගන්න හිතන, සම්ප්‍රදායික ණයක් ගන්න අමාරු, ඇමරිකානුවෙකුට ෆෙඩරල් නිවාස පරිපාලනයේ උදවුවෙන් නිවසක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. එය මොන වගේ එකක්ද කියන එක පසුව පැහැදිලි කරන්නම්. මේ ණය වලට කියන්නේ FHA ණය කියලා. අකුරු තුනේ තියෙන්නේ Federal Housing Administration කියන අර්ථය. ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් FHA ණය.

ඇමරිකාවේ සුබසාධන ක්‍රම ගොඩක් ආරම්භ වී තිබෙන්නේ 1929 මහා ආර්ථික අවපාතයෙන් පසුවයි. පසුගිය අඩ සියවසක පමණ කාලය තුළ ඇමරිකානුවන් අතරින් තමන්ගේම නිවසක වසන ප්‍රමාණය 65% ආසන්න මට්ටමක පැවතී ඇතත් 1940 පමණ වන තුරු මේ අනුපාතය තිබී ඇත්තේ 45% ආසන්න මට්ටමකයි. මහා ආර්ථික අවපාතයෙන් පසුව, 1930දී 47.8%ක් වූ මෙම අනුපාතය 1940 වන විට 43.6% දක්වා පහත වැටී තිබෙනවා. මේ කාලයේදී නිවසක් මිල දී ගැනීමේදී ගෙවිය යුතු ආරම්භක මුදල (ඩවුන් පේමන්ට් එක) නිවසේ වටිනාකමින් 30%-50% වැනි ඉහළ මට්ටමක තිබී ඇති අතර ණය ආපසු ගෙවිය යුතු කාලයද අවුරුදු 5-10කට වඩා වැඩි කාලයක්ව පැවතී නැහැ. එම තත්ත්වයන් යටතේ නිවසක හිමිකරුවෙකු වීම බොහෝ දෙනෙකුට අභියෝගයක්.

අනෙක් පැත්තෙන්, මීට වඩා හොඳ කොන්දේසි යටතේ ණයක් දී එහි අවදානම දරා ගැනීමේ හැකියාවක් බැංකු වලට තිබුණේ නැහැ. මේ වෙද්දී ඇමරිකාවේ තිබුණු වාණිජ බැංකු ප්‍රමාණය 24,000ක් පමණ. මේවා බොහොමයක් තනි ශාඛාවක් පමණක් තිබුණු කුඩා ව්‍යාපාර. අදටත් ඇමරිකාවේ මේ වගේ කුඩා බැංකු විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම දන්නා තරමින් බැංකු ක්ෂේත්‍රයේ මෙවැනි තරඟකාරිත්වයක් තිබෙන එකම රට ඇමරිකාවයි. 

ඇමරිකාවේ "ලංකා බැංකුව" ගැන මම ටික කලකට පෙර ලිපියක් ලියා තිබෙනවා. ලංකා බැංකුව කියා නිකමට වගේ කිවුවත් ඔය බැංකුවේ නියම නම ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන්. මේ බැංකුව තිබුණේ මිනසෝටා ප්‍රාන්තයේ දකුණු කොණේ අයෝවා ප්‍රාන්ත මායිම කිට්ටුව තිබෙන සිලෝන් කියන ප්‍රදේශයේ. ඇමරිකාවේ 42වන උප ජනාධිපති වූ වෝල්ටර් මොන්ඩේලුත් මේ සිලෝන් කියන ප්‍රදේශයේ ඉපදුනු අයෙක්. මේ ප්‍රදේශය සිලෝන් ලෙස නම් කර තිබෙන්නේ ලංකාව හැඳින්වුණු සිලෝන් කියන නම අනුව යමිනුයි.

වසර හතරකට පෙර 2018දී ඔය ලිපිය ලියා පළ කරද්දී ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් නමින් හැඳින්වුණු මේ බැංකුව ඊට අවුරුද්දකට පස්සේ 2019දී පෝර්ටේජ් බෑන්ක් විදිහට නම වෙනස් කරලා. එතෙක් අවුරුදු 117ක් බැංකුව හැඳින්වුණේ ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් ලෙසයි. බැංකු ක්ෂේත්‍රයේ රාජ්‍ය නියාමනය දැඩි වීමට අනුරූපව මේ වගේ පොඩි බැංකු එකකින් එක වැහී යනවා. වැහී යනවා කිවුවට වැහිලම යන්නේ නැහැ. ලොකු බැංකු විසින් මේ වගේ පොඩි බැංකු මිල දී ගන්න එකයි වෙන්නේ. ඉහත කී බැංකුවේ නම වෙනස් වෙලා තියෙන්නෙත් මුල් අයිතිකරුවන් විසින් එය අලුත් ආයෝජකයින් පිරිසකට විකිණුවට පස්සේ. අතුරු කතාවෙන් නැවත මුල් කතාවට එමු.

ඇමරිකානුවන් රටේ ඉතිහාසයේ සිටම ඒකාධිකාර වලට කැමති නැති ජාතියක්. ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව පවා හදලා තියෙන්නේ එකිනෙකට සම්බන්ධ බැංකු පද්ධතියක් විදිහට. 

කලින් කියපු 1929 මහා අවපාතයෙන් පසුව බැංකු විශාල ප්‍රමාණයක් කඩා වැටුණා. මෙයට පිලියමක් විදිහට 1934දී ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම පිහිටවනු ලැබුවා. ෆෙඩරල් නිවාස ණය ක්‍රමය ආරම්භ වුනෙත් ඔය කාලයේ. පළමු වරට නිවාසයක් මිල දී ගන්නා අයෙකුට වගේම සාමාන්‍ය නිවාස ණයක් ගන්න අසීරු වෙනත් ඇතැම් අයටත් FHA ණයක් සඳහා අයදුම් කළ හැකියි. මෙම ණය ලබා දීම සඳහා ඇමරිකාව ආවරණය වන පරිදි ෆෙඩරල් නිවාස ණය බැංකු 11ක් ස්ථාපනය කර තිබෙනවා.

ආයතනයේ නමට ෆෙඩරල් කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු රජයට අයිති නැහැ. එක් එක් බැංකුවේ අයිතිය තියෙන්නේ අදාළ ප්‍රදේශයේ සාමාජික වාණිජ බැංකු වලට. එක් එක් සාමාජික වාණිජ බැංකුව විසින් තමන්ගේ පෙර වසරේ ලාබයෙන් 20%ක් තමන්ගේ ප්‍රදේශයේ ෆෙඩරල් නිවාස ණය බැංකුවේ කොටස් මිල දී ගැනීම සඳහා වෙන් කළ යුතුයි. මේ ෆෙඩරල් නිවාස ණය බැංකු පාලනය කරන්නෙත් එම සාමාජික බැංකු විසින්මයි. ඒ වගේම, ලාබ බෙදා ගන්නෙත් එම සාමාජික බැංකු විසින්. 

ආයතනයේ නමට ෆෙඩරල් කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු රජයට අයිති නැහැ කියා කිවුවනේ. ඒ වගේම, ආයතනයේ නමට නිවාස ණය කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් සෘජුව නිවාස ණය ගන්න බැහැ. ඒ වගේම නමට බැංකු කියා තිබුණත් මේ ආයතන ඇත්තටම බැංකුත් නෙමෙයි. 

නිවාස ණයක් ගන්න කෙනෙක්ට එය ගන්න වෙන්නේ තමන් කැමති බැංකුවකින්. ඒ විදිහට තමන් කැමති බැංකුවකින් නිවාස ණයක් ගනිද්දී, අදාළ අවශ්‍යතා සපුරන කෙනෙකුට සාමාන්‍ය ණයක් වෙනුවට FHA ණයක් ගන්න පුළුවන්. මේ වැඩේට ණය ගන්නා තැනැත්තා ෆෙඩරල් නිවාස ණය බැංකුවකට යා යුතු නැහැ. ඒ වෙනුවට වෙන්නේ සාමාජික වාණිජ බැංකු විසින් අදාළ ෆෙඩරල් නිවාස ණය බැංකුවේ අරමුදල් යොදාගෙන ණය දෙන එකයි. හැබැයි මෙහිදී ආයතන දෙකෙන්ම ණය අනුමත විය යුතුයි. 

දැන්නම් FHA ණයක් ගන්න එකේ ලොකුම වාසිය ඩවුන් පේමන්ට් එක අඩු වීම. නමුත්, මුල් කාලයේදී සාමාන්‍ය නිවාස ණයක ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5-10ක් වෙද්දී FHA ණයක් අවුරුදු 20-30කින් ආපසු ගෙවීමේ වාසියත් විශාල වාසියක්ව තිබී තිබෙනවා. මේ ක්‍රමය ආවට පස්සේ දැන් වෙළඳපොළත් ඊට අනුරූපව වෙනස් වෙලා.

එක ගමකට සීමාවුණු පොඩි වාණිජ බැංකුවක් එක්ක බලද්දී ඒ වගේ බැංකු දහසකට වඩා ප්‍රමාණයක් සාමාජිකත්වය දරන ෆෙඩරල් නිවාස ණය බැංකුවක් විශාල ආයතනයක්. පොඩි බැංකුවකට ගන්න බැරි අවදානම් ඒ වගේ ලොකු ආයතනයකට ගන්න පුළුවන්. මේ යාන්ත්‍රනය නිසා වාණිජ බැංකු අතර තරඟකාරිත්වය හා ඒ හේතුවෙන් ඇති වෙන කාර්යක්ෂමතාවය ඒ විදිහටම තිබෙනවා. බැංකු කුඩා වෙද්දී නැති වෙන පරිමාණයේ වාසිය (ඉකොනොමි ඔෆ් ස්කේල්) ෆෙඩරල් නිවාස ණය බැංකුව නිසා ලැබෙනවා. එයට ඒකාධිකාරයක් තිබුණත්, ඒකාධිකාරය දරන්නේ අදාළ ප්‍රදේශයේ බැංකු සියල්ලම විසින් සාමූහිකව නිසා වැඩේ කිසිම අවුලක් නැහැ. ඒ වගේම, රටම ආවරණය කරන එක ෆෙඩරල් නිවාස ණය බැංකුවක් වෙනුවට බැංකු 11ක් තිබෙන නිසා, මේ ආයතන වල කාර්යක්ෂමතාවය පිළිබඳ සංසන්දනයක්ද සිදු වෙනවා. ඇමරිකාවේ විදුලිබල සැපයුම් කර්මාන්තය වගේ දෙයක් ගත්තත් ක්‍රියාත්මක වෙන්නේ ඔය මූලධර්මය. මම හිතන්නේ ලංවිම කොටස් කිරීමේ යෝජනාව ඇතුළේ තියෙන්නෙත් ඔය මූලධර්මය.

මේක සාර්ථක ආකෘතියක්. හැම ෆෙඩරල් නිවාස ණය බැංකුවක්ම ලාබ ලබනවා. ඒ වගේම, ෆෙඩරල් නිවාස ණය බැංකුවක "ප්‍රමාණය" සාමාජික බැංකු වල ලාබ අනුව විචලනය වෙනවා. බැංකු වැඩියෙන් ලාබ ලබන කාල වකවානු වලදී FHA ණය වැඩියෙන් ලැබෙනවා. 

ණය ගන්නා කෙනෙක්ගේ පැත්තෙන් බැලුවහම, ඩවුන් පේමන්ට් එක අඩුවෙන් ගෙවීමේ වාසිය තිබුණත්, ණය වාරිකයට වගේම මුල් ණය මුදලටත් රක්ෂණ වාරික මුදලක් එකතු වෙනවා. වැඩි අවදානමක් ගන්නා අතරම කඩා නොවැටී ෆෙඩරල් නිවාස ණය බැංකු පවත්වා ගෙන යා හැකිව තිබෙන්නේ ණය ගෙවීම නැවතුනු විටෙක හිඟ ණය මුදල රක්ෂණය හරහා ලැබෙන නිසා. FHA ණය වලට රාජ්‍ය මැදිහත්වීමක් වෙන්නේ මේ රක්ෂණ ක්‍රමය හරහා.

රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය ෆෙඩරල් නිවාස පරිපාලන ආයතනය. හැබැයි ඒ ආයතනය වුනත් බදු මුදලෙන් නඩත්තු වන ආයතනයක් නෙමෙයි. ෆෙඩරල් නිවාස ණය බැංකු වලට රක්ෂණ වන්දි ගෙවන්නේ රක්ෂණ වාරික විදිහට එකතු කර ගන්නා අරමුදල් වලින්. මේ වැඩේට ෆෙඩරල් රජය මැදිහත් වෙන්නේ එවැනි අවදානමක් ගත හැකි පෞද්ගලික ආයතනයක් නොතිබුණු පසුබිමක. 

එහෙත්, මේ වෙද්දී නිවාස ණය රක්ෂණය කරන පෞද්ගලික ආයතන ගණනාවක් බිහි වී තිබෙනවා. ඒ නිසා, FHA නොවන ණයක් වුනත්, 5%ක පමණ අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවා වසර 30ක් වැනි දිගු කාලයකට ලබා ගන්න පුළුවන්. රජය වෙළඳපොළ මාර්ගෝපදේශනය කරමින් වෙළඳපොළ දියුණු වීමට උදවු කරනවා මිසක් ඒකාධිකාරයක් නඩත්තු කරමින් එයට බාධා කරන්නේ නැහැ. මේ වැඩේට බදු මුදල් නාස්ති කරන්නෙත් නැහැ.

Sunday, September 20, 2020

හතරවෙනි 25%?


මෑතකදී දිලිත් ජයවීර විසින් ව්‍යවසායකත්වය පිළිබඳ බෞද්ධ අදහස ගැන හෝ ඊට සමාන දෙයක් ගැන කතා කර තිබුණා. මේ කතාවේ පදනම සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් බුදු හිමියන් විසින් සිඟාලකට දුන් අවවාද අතර තිබෙන පහත කොටසයි.

ඒකේන භෝගේ භුඤෙජය්‍ය

ද්වීහි කම්මං පයෝජයෙ

චතුත්ථංච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති

මේ ගාථා ඛණ්ඩය අර කාලාම සූත්‍රයේ ජනප්‍රිය පාඨය වගේම අධිනිශ්චය වී ඇති පාඨයක්. පුද්ගලයෙක් තමන්ගේ ආදායම වැය කළ යුත්තේ කොහොමද කියා උගන්වන එක බුදු හාමුදුරුවන්ගේ ඉලක්කයක් වුනේ නැහැ. බුදු හාමුදුරුවන් ඉලක්ක කළේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ අතරේ බුදු දහමේ මූලික කරුණු වලට අදාළ නැති වෙනත් අවශේෂ කරුණු ගැන සඳහන් කළ මෙවැනි අවස්ථාද තිබෙනවා. ඒවාට ඕනෑවට වඩා බරක් දැමිය යුතු නැති බව බොහෝ බෞද්ධයින් විසින් පිළිගනු ඇතැයි මා සිතනවා. කොහොම වුනත් අපේ කතාවට ප්‍රවේශයක් විදිහට අපි මේ ගාථා ඛණ්ඩය යොදා ගනිමු.

දැන් මෙහි කියන ආකාරයට කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ගේ ආදායම කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් පරිභෝජනය කළ යුතුයි. කොටස් දෙකක් කර්මාන්තයෙහි ආයෝජනය කළ යුතුයි. හතරවන කොටස හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කළ යුතුයි. දිලිත් ජයවීර කියන විදිහට ඔහු සාර්ථක වී තිබෙන්නේ මේ ක්‍රමය අනුගමනය කරලා. ඔහු එසේ කියනවානම් මට ඔහුගේ ඒ ප්‍රකාශයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ.

සිඟාලෝවාද සූත්‍රය අනුව බුදු හිමියන් විසින් මේ අවවාදය දී තිබෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ටයි. මෙහි සඳහන් 1:2:1 අනුපාතය සිඟාලකගේ ආදායම් මට්ටම අනුව ප්‍රශස්තම අනුපාතය වෙන්න පුළුවන්. සමහර විට මේ අනුපාතය දිලිත් ජයවීරටත් ගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත්, එම අනුපාතය ඕනෑම කෙනෙකුට හරියනවාද නැද්ද කියා අපට කියන්න බැහැ. බුදු හිමියන් විසින් මෙහි කර තිබෙන්නේ එවැනි සාධාරණ ප්‍රකාශයක් කියා කියන්න අපට සාධක නැහැ. 

කොහොම වුනත් මට කතා කරන්න අවශ්‍ය කරුණ එය නෙමෙයි. මෙහි පළමු කොටස ඉතා පැහැදිලිවම පරිභෝජන වියදම්. දෙවන කොටස ආයෝජන වියදම්. එතකොට හතරවෙනි කොටස කුමක්ද? දිලිත් ජයවීර තේරුම් අරගෙන තිබෙන ආකාරයටනම් බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ හතරවෙනි කොටසත් ආයෝජනය කරන්න කියලයි. ඒ කියන්නේ, 25%ක් පරිභෝජනය කරලා 75%ක් ආයෝජනය කරන්න කියලා. එහෙමනම්, ඒ බව කෙළින්ම නොකියා හතරවෙනි කොටසක් ගැන වෙනම කතා කරන්නේ ඇයි? 

මෙහි කියැවෙන හතරවන පංගුව තවත් ආයෝජනයක් නෙමෙයි. එය හරියටම එම ගාථා ඛණ්ඩයෙන් කියැවෙන දෙයමයි. එය හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කරන කොටසක්. අද ලෝකයේ ව්‍යාපාරික භාෂාවෙන් කියනවානම් රක්ෂණ වාරිකයක්. 

රක්ෂණ වාරිකයක් කියා කියන්නේ එක පැත්තකින් බැලුවොත් පරිභෝජන වියදමක් හෝ ආයෝජන වියදමක් නෙමෙයි. අනෙක් පැත්තෙන් බැලුවොත් පරිභෝජන වියදමක් වගේම ආයෝජන වියදමක්. පරිභෝජන වියදමක් කියන්නේ තමන්ගේ ආදායමෙන් තමන්ගේ මේ මොහොතේ සතුට වෙනුවෙන් වැය කර අවසන් කරන කොටසක්. එයින් වෙනත් අනාගත ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ආයෝජන වියදමක් කියා කියන්නේ අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අද වැය කරන මුදලක්. අනාගතයේදී එම අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබී යාමේ අවදානමක්ද තිබෙනවා. 

රක්ෂණ වාරිකයක් කියන්නේ අවදානමක් අරගෙන කරන ආයෝජනයක් නෙමෙයි. අනාගත අවදානම් වල හානිය අවම කර ගැනීම සඳහා වෙන් කර තබා ගන්නා මුදලක්. මේ කොටස ආයෝජන කොටස මෙන් දිගින් දිගටම සමුච්ඡය වන කොටසක් නෙමෙයි. නමුත්, පරිභෝජන කොටස මෙන් කිසිසේත්ම සමුච්ඡය නොවන කොටසක්ද නෙමෙයි. කෙටිකාලීනව සමුච්ඡය වන එහෙත් දිගුකාලීනව සමුච්ඡය නොවන කොටසක්. ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය වීම සඳහා මෙවැනි සිවුවන කොටසක් අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතුයි. දිගුකාලීනව පරිභෝජන කොටස ටිකෙන් ටික වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය විය යුතුයි. මේ අනුව, දිගුකාලීනව පරිභෝජනය වැඩි කර ගැනීම සඳහා ඉහත හතරවන කොටස අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ලංකාවේ ගොවියාගේ ප්‍රශ්නය ආයෝජන කොටස පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එය මූලික වශයෙන්ම හතරවන කොටස පිළිබඳ ප්‍රශ්නයක්. 

පොදුවේ ගත් විට ලංකාවේ ගොවීන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ පරිභෝජන වියදම් හැර සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකිවාක් මෙන්ම ඔවුන් එම මුදල ආයෝජනය කරනවා. ඒ කියන්නේ ඔවුන් අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ වෙනුවෙන් අවදානමක් ගන්නවා. බොහෝ විට එම අපේක්ෂිත ප්‍රතිලාභ ලැබෙනවා. එහෙත් සමහර වෙලාවට අවදානම මතු වෙනවා. එවිට ගොවියන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙනවා. ගොවියන් ගැන මූලිකවම කතා කළත් මෙය වෙනත් ව්‍යවසාය වලටත් අදාළයි.

ඇතැම් විට බොහෝ ලාංකිකයින් ව්‍යවසායකයින් සේ අසාර්ථක වීමට හේතුව, දිලිත් ජයවීර කියනාවක් මෙන්, ආයෝජන භාගය ප්‍රමාණවත් නොවීම වෙන්න පුළුවන්. එහෙත්, දිලිත්ගේ ප්‍රකාශය හරහා මතුවන වැරදි අදහස ආයෝජන භාගය වැඩි කරන තරමට ප්‍රතිලාභද වැඩි වන බවයි. ඇතැම් අය හා අදාළව "වාසනාවට" එසේ විය හැකි වුවත්, අධි-ආයෝජනය යනු සූදුවක්. එය හානිකරයි. ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගත යුතු අතරම අවදානම් කලමණාකරණය කර ගැනීමද ඉතා වැදගත්. ඒ නිසා අන්තිම හතරෙන් පංගුව කිසිසේත්ම ආයෝජනය කළ යුතු නැහැ.

කෘෂිකර්මය ගත්තොත් කෘෂිකාර්මික ව්‍යවසායකයෙකු මුහුණ දෙන ප්‍රධාන අවදානම් දෙකක් තිබෙනවා. පළමුවැන්න වගා හානි අවදානමයි. වියලි කාලගුණය, අධික වර්ෂාව, සේනා දළඹුවන් වැනි කෘමි උවදුරු, වල් අලි වැනි සතුන් වගාව විනාශ කිරීම ආදිය උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. ආයෝජන වැඩි කළ පමණින් මෙවැනි හානි දුරු වන්නේ නැහැ. දෙවන අවදානම මිල පහත වැටීමේ අවදානමයි. බොහෝ විට මිල පහත වැටෙන්නේ අස්වනු ඉහළ යාමට සමාන්තරවයි. අස්වනු ඉහළ යද්දී දැනෙන සතුට මිල දැනගත් වහාම නැති වී යනවා.

මේ අවදානම් වල හානිය අවම කර ගත හැකි ධනවාදී විසඳුම රක්ෂණයයි. වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ ප්‍රචලිතව ඇත්නම් ගොවීන්ගේ ජීවිත අදට වඩා බොහෝ සැපවත් වෙනවා. සිඟාලකගේ යුගයට ගියොත්, ගොවීන්ට මේ හානි අවම කර ගත හැකි වූයේ තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් නැවත ආයෝජනය නොකර, පරිභෝජනයද නොකර, නිදන් කර තබා ගැනීමෙනුයි. වසර හතරක් මෙසේ කළ විට තමන්ගේ වාර්ෂික ආදායමට සමාන කොටසක් පැත්තක එක්රැස් වෙනවා. ඒ නිසා, වසර හතරකට වරක් තමන්ගේ අපේක්ෂිත ආදායම නැත්තටම නැති වී ගියත් ඒ හේතුව නිසා ගොවියාගේ සාමාන්‍ය පරිභෝජන මට්ටම පහළ බහින්නේ නැහැ. ආයෝජන අඩුවී ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම නවතින්නේත් නැහැ. වට්ටක්කා විකුණා ගන්න බැරි වුනා කියා හෝ හේනට අලි ගැහුවා කියා හෝ වගා ණය ගෙවන්න විදිහක් නැහැ කියා රජයට බැගෑපත් වෙන්න හෝ කණේරු ඇට කන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ හරහා තමන්ගේ අවදානම් කළමනාකරණය කර ගත හැකි බව අවබෝධ කර ගැනීමට ගොවීන්ට කාලයක් යන්න පුළුවන්. එතෙක්, රජයට මැදිහත් වී යම් දිරිගැන්වීමක් කළ හැකියි. ඇමරිකාවේ රජය විසින් ගොවීන් සුබසාධනය කරන ප්‍රධානම ආකාරය වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ සඳහා ගෙවිය යුතු වාරික මුදල් වලින් කොටසක් සුබසාධනය කිරීමයි. 

ලංකාවේ තිබෙන වී සඳහා වන සහතික මිල ක්‍රමයෙන් කෙරෙන්නේද මිල හානි අවදානම අඩු කරන එකයි. මෙහි ඇති ගැටළුව රජයට සහතික මිලට මිල දී ගත හැකි වී ප්‍රමාණය රජය සතු ගබඩා පහසුකම් ධාරිතාවට සීමා වීමයි. වී ගොවියන්ගෙන් සහතික මිලට වී මිලදී ගන්නවා වෙනුවට ඔවුන්ට වෙළඳපොළ මිලට වී විකුණන්නට ඉඩ හැර ඒ හේතුව නිසා සිදුවන පාඩුව රජය විසින් ප්‍රතිපූරණය කරනවානම් මේ ප්‍රශ්නය මතු වන්නේ නැහැ. මේ ක්‍රමය තක්කාලි හෝ වට්ටක්කා වැනි වෙනත් ඕනෑම වගාවක් සඳහාද ක්‍රියාත්මක කළ හැකියි. මෙහිදී පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ගොවීන්ට රක්ෂණයක් විකිණිය හැකියි. එවිට එම රක්ෂණ වාරිකයේ වියදමද ඔවුන්ගේ සාමාන්‍ය වියදම් වලම කොටසක් බවට පත් වෙනවා. කාලයක් යද්දී රජයේ මැදිහත්වීමක් නැතිවම රක්ෂණ වෙළඳපොළ ක්‍රියාත්මක වෙයි.

වෙබ් ලිපිනය: