වෙබ් ලිපිනය:

Showing posts with label බංග්ලාදේශය. Show all posts
Showing posts with label බංග්ලාදේශය. Show all posts

Monday, August 19, 2024

මුජිබ්වාදයේ සිට බංග්ලාදේශ ජාතිකවාදය දක්වා...



පෙර ලිපියෙන් විස්තර කළේ නූතන බංග්ලාදේශය බිහි වෙද්දී මුජිබ්වාදය විසින් සිදු කළ කාර්ය භාරය සහ මුජිබුර් රහ්මන් ඝාතනයෙන් බංග්ලාදේශයේ මුජිබ්වාදයද කඩා වැටී සියා රහ්මන් බලයට පත් වීම දක්වා සිදු වූ සිදුවීම් පෙළ ගැනයි. මේ සියල්ල සිදු වෙන්නේ වසර හතරක පමණ කෙටි කාලයක් තුළයි.

1970 දෙසැම්බර් 7 - ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නායකත්වයෙන් අවාමි ලීගය ඒකාබද්ධ පකිස්ථානයේ පළමු (හා අවසන්) මහ මැතිවරණය ජය ගැනීම හා අපේක්ෂිත පරිදි බල හුවමාරුවක් සිදු නොවීම.

1971 මාර්තු 26 - ෂේක් මුජිබුර් රහ්මාන් අත් අඩංගුවට පත් වීම. ෂේක් මුජිබුර් රහ්මාන් වෙනුවෙන් සියා රහ්මන් විසින් බංග්ලාදේශ ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීම හා යුද්ධය ආරම්භ වීම 

1971 දෙසැම්බර් 16 - පකිස්ථාන හමුදා යටත් වීම සහ යුද්ධය අවසන් වීම 

1972 ජනවාරි 10 - ෂේක් මුජිබුර් රහ්මාන් නිදහස් වී නැවත බංග්ලාදේශයට පැමිණීම 

1972 නොවැම්බර් 4 - ව්‍යවස්ථාදායක සභාව විසින් බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව සම්මත කර ගැනීම 

1972 දෙසැම්බර් 16 - පළමු බංග්ලාදේශ ව්‍යවස්ථාව බලාත්මක වීම 

1973 මාර්තු 7 - නිදහස් බංග්ලාදේශයේ පළමු මහ මැතිවරණය හා එම මැතිවරණය ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නායකත්වයෙන් අවාමි ලීගය ජය ගැනීම. 

1974 දෙසැම්බර් 28 - ෂේක් මුජිබුර් රහ්මාන් විසින් හදිසි නීතිය පැනවීම හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සියලු දේශපාලන පක්ෂ තහනම් කර තනි පක්ෂ ක්‍රමයක් හඳුන්වා දීම.

1975 ජනවාරි 25 - ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ෂේක් මුජිබුර් රහ්මාන් විධායක ජනාධිපති බවට පත් වීම. ව්‍යවස්ථාදායකයේ මෙන්ම අධිකරණයේද බලතල කප්පාදු කිරීම.

1975 අගෝස්තු 15 - ෂේක් මුජිබුර් රහ්මාන් ඝාතනය වීම සහ ඛොන්දකාර් අහමඩ් වීසින් රාජ්‍ය බලය ලබා ගැනීම 

1975 නොවැම්බර් 3 - සිරගත කර සිටි අවාමි ලීගයේ නායකයින් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීම සහ ඉන් අනතුරුව මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් විසින් ඛොන්දකාර් අහමඩ්ව ඉවත් කර හමුදා ආණ්ඩුවක් පිහිටුවීම.

1975 නොවැම්බර් 7 - මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් ඝාතනය වීම සහ සියා රහ්මන් බලයට පත් වීම.

දැන් ඔය විදිහට තමයි හමුදා නිලධාරියෙක් වූ සියා රහ්මන් මුලින්ම බලයට පත් වෙන්නේ. සියා රහ්මන් කියන්නේ ඛලිඩා සියාගේ සැමියා සහ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නිර්මාතෘ. ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නිදහස් ප්‍රකාශනය ඔහු වෙනුවෙන් කියෙවුවේ සියා රහ්මන් නිසාත්, විමුක්ති යුද්ධයේ සේනාධිනායකයෙක් වූ නිසාත්, ඔහුටත් බංග්ලාදේශ නිදහස් අරගලයේ උරුමයක් තිබෙනවා. 

තව දුරටත් මතක් කළ යුතු කරුණක් වන්නේ ෂේක් මුජිබුර් රහ්මාන් ඝාතනය සිදු වන විට ඒකාධිපතිත්වයක් කරා යමින් සිටීම, දූෂන චෝදනා, පවුලේ අයට සැලකීම පිළිබඳ චෝදනා ආදිය එල්ල වීම නිසා ඔහුගේ ජනප්‍රියත්වය පිරිහිලයි තිබුණේ. ඒ වෙද්දී ඔහු වසර හතරකට කලින් හිටපු යුද වීරයා නෙමෙයි. 

දේශපාලනයට අලුත් මූණක් වූ සියා රහ්මන්ට ඒ වන විට මෙවැනි චෝදනා නැහැ. ඒ වගේම ඔහු යුද විරුවෙක්. බංග්ලාදේශ නිදහස් සටනට දේශපාලන නායකත්වය සැපයුවේ ෂේක් මුජිබුර් රහ්මාන් වුනත් යුද්ධය සිදු වෙද්දී මුජිබුර් රහ්මාන් සිටියේ සිරගතවයි. යුද්ධය කළේ සියා රහ්මන් වැනි සේනාධිනායකයෝ. ඒ වගේම, කලින් සිදු වුනු කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස සියා රහ්මන්ට බලය ලැබෙනවා මිසක් ඒ කුමන්ත්‍රණ ඔහු මුල් වී කරපුවා නෙමෙයි. යම් සැක මතු වී ඇතත් මුජිබුර් රහ්මාන් ඝාතන කුමන්ත්‍රණයට සියා රහ්මන් සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂියක් නැහැ.

ඉහත සියලු තත්ත්වයන් දේශපාලනිකව සියා රහ්මන්ට වාසිදායක වුනත්, ඔහුට අවාමි ලීගයේ සහයෝගය ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. ලැබුණු බලය දිගටම පවත්වා ගෙන යන්නනම් ඔහුට ෂේක් මුජිබුර් රහ්මාන් විසින් සිදු කළ අයුරින් කිසියම් දේශපාලන දර්ශනයක් ඉස්සරහට දමන්න වෙනවා. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය නිර්මාණය කරමින් ඔහු මේ වැඩේ කරනවා. 

අවාමි ලීගය වගේ ස්ථාපිත දැවැන්ත පක්ෂයක් රටේ තියෙද්දී එයට විකල්ප දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කරන කෙනෙකුට අවාමි ලීගයේ දේශපාලන දර්ශනයේ අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කරන්න සිදු වෙනවා. ඒ කියන්නේ මුජිබ්වාදයට විකල්පයක් යෝජනා කරන්න සිදු වෙනවා.

මුජිබ්වාදයේ එක් කුලුනක් ප්‍රජාතන්ත්‍රවාදය වුනත්, එයින් අදහස් වුනේ බටහිර පරමාදර්ශය වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. සමාජවාදී ලෝකයේ සම්මුතිය වී තිබුණු තනි පක්ෂ ක්‍රමය. මුජිබ්වාදයේ මේ අඩුපාඩුව වෙත අවධානය යොමු කරමින් සියා රහ්මන් විසින් එක දොරක් විවෘත කර ගන්නවා. ඒ අනුව, නැවතත් බහු පක්ෂ ක්‍රමයට ඉඩ ලැබෙනවා. ඒ ඉඩ විවෘත වෙන්නේ ආගමික හා වාර්ගික දේශපාලනයට තිබුණු තහනමද ඉවත් කරගෙනයි.

මේ එක්ක සියා රහ්මන්ව කොටස් දෙකකට ආකර්ශනය වෙනවා. එක් කොටසක් මුස්ලිම් පක්ෂ. අනෙක් කොටස චීන පාර්ශ්වයේ සමාජවාදී පක්ෂ. මේ කාලයේදී ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය සෝවියට් කඳවුරට එරෙහිව චීනය එක්ක උපාය මාර්ගික සහයෝගීතාවයක හිටපු නිසා චීනය පැත්තට නැඹුරු වීම සහ බටහිර වෙත නැඹුරු වීම එකක් මිසක් දෙකක් වුනේ නැහැ. මුජිබ්වාදයට සාපේක්ෂව සියා රහ්මන්ගේ දේශපාලන දර්ශනය ස්ථානගත වුනේ දක්ෂිනාංශයට බරවයි. 

දෙපැත්තක හිටපු මේ පාර්ශ්ව දෙකේ තවත් පොදු ලක්ෂණයක් වුනේ ඉන්දියානු විරෝධය. ඉස්ලාම් දේශපාලන පක්ෂ වලට හින්දු ඉන්දියාවට වඩා මුස්ලිම් පකිස්ථානය වෙත යම් ඇඟලුම්කමක් තිබුණා. චීන සමාජවාදී කඳවුරට සෝවියට්-ඉන්දියා සම්බන්ධතා නිසා ඉන්දියාව එක්ක ප්‍රශ්න තිබුණා. ඔවුන් බංග්ලාදේශ නිදහස සැබෑ නිදහසක් නොවන බවට තර්ක කළා. එය බංග්ලාදේශ ජනතාව ඉන්දීය ආධිපත්‍යයකට යටවීමක් විදිහට විග්‍රහ කෙරුණා. ඇත්ත තත්ත්වය දිහා බැලුවොත්, ඉන්දියානු හමුදා මැදිහත්වීම් නොවන්නට බංග්ලාදේශ නිදහස් සටන පහසුවෙන් ජයගන්න ලැබෙන්නේ නැහැ. ඒ අනුව, බංග්ලාදේශය කියන්නේ ඉන්දියාවේ නිර්මාණයක්. 

මුජිබ්වාදයේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය (බටහිර අර්ථදැක්වීම් අනුව ඒකාධිපතිත්වය) වෙනුවට බටහිර ලිබරල් ප්‍රජාන්තන්ත්‍රවාදය පැත්තටත්, අනාගමිකත්වය වෙනුවට ආගමික නිදහස පැත්තටත් නැඹුරු වීම මගින් සියා රහ්මන්ට මුජිබ්වාදයට විකල්පයක් විය හැකි දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කළ හැකි වුනත්, මුජිබ්වාදයේ කුළුණු හතරෙන් ශක්තිමත්ම කුළුන වුනේ බංගලි ජාතිකවාදය නිසා ඒ කුළුණට පහර දිය හැකි විකල්පයක් නැතිව ඔහුට ඉදිරි ගමනක් තිබුණේ නැහැ. ඒ වගේම, ජාතිකවාද ඉක්මවා යන ජාත්‍යන්තරවාදයක් මේ සඳහා යෝග්‍ය වුනෙත් නැහැ. සමාජවාදය හා අනාගමිකත්වය පැත්තෙන් විතැන් වෙද්දී ජාත්‍යන්තරවාදය ඒ පැකේජ් එකට ගැලපුනේ නැහැ. 

මුජිබ්වාදයේ ජාතිකවාදය වෙනුවට විකල්පයක් විදිහට වෙනත් ආකාරයක ජාතිකවාදයක් හඳුන්වා දෙමින් සියා රහ්මන් මේ ප්‍රශ්නය සාර්ථකව විසඳා ගත්තා. බංග්ලාදේශ ජාතිකවාදය හැදෙන්නේ ඔය විදිහට. ඒක තමයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් අවාමි ලීගයට එරෙහිව පාවිච්චි කළ සහ තවමත් පාව්ච්චි කරන ප්‍රධානම අවිය. 

මුජිබ්වාදයේ ජාතිකවාදය භාෂාව මත පදනම් වූ ජාතිකවාදයක්. එය පකිස්ථානයෙන් මානසිකව වෙන් වීම සඳහා උදවුවක් වුනත්, බංගලි ජාතිකවාදයේ අතුරු ඵලයක් විදිහට බංග්ලාදේශයේ බංගලියන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බංගලියන් එක්ක මානසිකව එකතු වෙනවා. ඇත්තම තත්ත්වය අනුව බැලුවොත් ඉතිහාසය පුරාම සියවස් ගණනක් බංගලියෝ කියන්නේ එකම ජාතියක්. ආගම් අනුව හින්දු හා මුස්ලිම් ලෙස බෙදීම කෘතීම හා දේශපාලනික දෙයක්. මේක තරමක් දුරට උඩරට පහතරට ලෙස සිංහලයින් බෙදීමට සමාන කරන්න පුළුවන්. නමුත් ඇමරිකා-චීන කඳවුර පැත්තට බර, ඉන්දියානු විරෝධයක් තිබෙන, දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ මොන විදිහකින් හෝ ඔය සම්බන්ධය කඩන්න. 

සියා රහ්මන් මේ වැඩේ කරන්නේ බංග්ලාදේශ-බංගලි ජාතිකත්වයක් පිළිබඳ අදහස ඉස්මතු කරලා. ඒක ටිකක් දුරට සිංහල-බෞද්ධ වගේ අදහසක්. ජාතිකත්වය හැදෙන්න භාෂාව හා ආගම යන දෙකම එකට එකතු වෙලා. මේ දේශපාලන දර්ශනය අනුව, බංග්ලාදේශ-බංගලි කියන්නේ ඉන්දියානු-බංගලි ජාතියෙන් වෙනස් වෙනම ජාතියක්. 

බංග්ලාදේශ-බංගලි ජාතිකයන් ඉන්දියානු-බංගලි ජාතියෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඇත්තටම බැලුවොත් තිබෙන එකම ප්‍රධාන වෙනස්කම ආගම. ඒ නිසා ආගම ඉස්මතු නොකර ඔය වැඩේ කරන්න බැහැ. සියා රහ්මන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් කිවුවේනම් හාත්පසින්ම වෙනස් කතාවක්. ඔවුන් තර්ක කළේ බංගලි ජාතිය කියා කියූ විට බංගලි නොවන චක්මා ගෝත්‍රිකයින් වැනි සුළුතර බැහැර කෙරෙන බව හා බංග්ලාදේශ ජාතිකත්වය යටතේ ඔවුන්ද එකතු කළ හැකි බවයි. නමුත් ඇත්තටම මේ වැඩෙන් වුනේ ජනගහනයෙන් 1%කටත් අඩු චක්මා ගෝත්‍රිකයින් පමණක් නොව 8%ක් පමණ වන හින්දු ආගමිකයින්ද බැහැර වී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය බංගලි-මුස්ලිම් පක්ෂයක් වීම. ඊට සමාන්තරව අවාමි ලීගය සුළු ජාතීන්ට හා ආගමිකයින්ටද එකතු විය හැකි තැනක් වෙනවා. ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය වගේ. 

බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය උලුප්පා පෙන්වන්න ඉන්දීය-බංගලි භාෂාවේ හා බංග්ලාදේශ-බංගලි භාෂාවේ වෙනස්කම් උලුප්පා පෙන්වන්න වෙනවා. මේවා දකුණේ භාෂාවේ හා උඩරට භාෂාවේ වෙනස්කම් වැනි සියුම් වෙනස්කම්. ඇත්තටම එකම භාෂාව. නිදහසෙන් පස්සේ කාලයක් භූගොලීයව ඈතින් තිබෙන (බටහිර) පකිස්ථානය එක්ක එකට හිටපු නිසා පහු පහු වෙද්දී බංග්ලාදේශ-බංගලි භාෂාවට උර්දු වචන වැඩියෙන් කලවම් වෙලා තිබෙනවා. බංග්ලාදේශ-බංගලි භාෂාවේ යම් අනන්‍යතාවයක් ඇත්නම් ඒ මේ උර්දු වචන නිසා. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් කරන්නේ මේ වගේ වචන වලට බර තබමින් වෙනස්කම් උලුප්පන එක. 

බංග්ලාදේශ විමුක්ති යුද්ධයේ වගේම අවාමි ලීගයේද උද්යෝග පාඨය "බංග්ලාදේශයට (බෙංගාලයට) ජයවේවා!" කියන තේරුම තිබෙන "ජොයි බංග්ලා!" කියන එක. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් මෙය "බංග්ලාදේශ් සින්දාබාද්!" ලෙස වෙනස් කරනවා. "ජොයි" යන්න බිඳී එන්නේ බෙංගාලි භාෂාවේ මූලාරම්භ භාෂාවක් වන සංස්කෘත භාෂාවේ "ජය" යන්නෙන්. සින්දාබාද් කියන්නේ පර්සියානු සම්භවයක් තිබෙන වචනයක්. ඔය වගේ පොඩි දේවල් වලින් තමයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් බංග්ලාදේශ-බංගලි ජාතිකත්වයක් පිළිබඳ අදහස ඉස්මතු කරලා දේශපාලන අවකාශයක් හදා ගන්නේ.  

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය හදලා ඒ වටා ශක්තිමත් ජන බලයක් ගොඩ නගා ගැනීමෙන් පසුව, සියා රහ්මන් විසින් 1979දී මැතිවරණයක් පවත්වනවා වගේම අවාමි ලීගය පරදවා එයින් ජයගන්නවා. ඒ අනුව, හමුදා පාලනයද අවසන් වෙනවා. නමුත් ඔය ව්දිහට නැවත ස්ථාපනය කෙරෙන බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒ පාරත් වැඩි ආයුෂ තියෙන්නේ නැහැ. අවුරුදු දෙකකට පස්සේ 1981දී සියා රහ්මන්ද ඝාතනය වෙනවා.

මුජිබුර් රහ්මන් ඝාතනය වන විට ඔහුගේ ජනප්‍රියත්වය ගිලිහී තිබුණත්, සියා රහ්මන් ඝාතනය වන විට ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහුගේ අවමගුලට විශාල ජනකායක් සහභාගී වෙනවා. අලුතෙන් හදපු බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය තවමත් ජනප්‍රියයි. සියා රහ්මන්ගේ උප ජනාධිපති අබ්දුස් සතාර් ව්‍යවස්ථාව අනුව වැඩ බලන ජනාධිපති වෙලා මාස හයකට පසුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඒ අනුව, අබ්දුස් සතාර් ජනාධිපති වුනත් ඔහුට ජනාධිපති සේ කටයුතු කරන්න වෙන්නේ මාස කිහිපයක් පමණයි. හමුදාපති මුහම්මද් එර්ශාඩ් විසින් අබ්දුස් සතාර්ව බලයෙන් පහ කර හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා. එර්ශාඩ් පාලනය අවසන් වන්නේ 1990 අවසානයේදී. 

ෂේක් මුජිබුර් රහ්මාන් වගේම සියා රහ්මන්ද යුද වීරයෙක්. එය ලංකාවේ මහින්ද රාජපක්ෂ- සරත් ෆොන්සේකා සම්බන්ධයට යම් තරමකින් සමාන කළ හැකි ආකාරයේ සම්බන්ධයක්. නමුත් හමුදා ඇතුළේ සිටි නිදහස් සටනට සම්බන්ධ වූ කොටස් වල සහයෝගය ලබා ගන්න සියා රහ්මන්ට හැකි වන්නේ නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය දිගටම තිබෙන්නේ අවාමි ලීගයටයි.

මෙය මේ විදිහට වෙන්න එක හේතුවක් වන්නේ ෂේක් මුජිබුර් රහ්මාන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය තුළ නිදහස් සටනට සහයෝහය දුන් හමුදා කොටස් වලට විශේෂ වරප්‍රසාද දීම මගින් තමන් වටා බල පවුරක් ගොඩ නගා ගන්න ගත් උත්සාහය. සිවිල් දේශපාලන නායකයෙක් වූ මුජිබුර් රහ්මාන්ගේ දෘෂ්ඨි කෝණයෙන් බලද්දී නිදහස් සටනට සහයෝහය දුන් හමුදා කොටස් වීරයින්. එසේ නොකළ අය ද්‍රෝහීන් නොවුනත් අඩු වශයෙන් "දෙවන පංතියක" අය.

නමුත් හමුදා විනය යටතේ කාලයක් පුහුණු වූ අයෙක් හිතන්නේ මේ ආකාරයටම නෙමෙයි. හමුදා විනය ඇතුළේ වඩා වැදගත් වන්නේ ඉහළින් එන අණ පිළිපැදීම හා පක්ෂපාතිත්වයයි. විනයගරුක හමුදා නිලධාරියෙකුගේ පැත්තෙන් බැලු විට බංග්ලාදේශ නිදහස් අරගලය කැරැල්ලක්. අරගලකරුවන්ගේ පැත්තේ හිට ගැනීම හමුදා විනය කඩ කිරීමක්. 

ඒකාබද්ධ පකිස්ථාන හමුදා වල සිටි ඇතැම් බංගලි සෙබළුන් නිදහස් අරගලයට එකතු වුනත් හැමෝම එහෙම කළේ නැහැ. ඇතැම් අයව මෙම යුද්ධය අවසන් වන තුරු පකිස්ථානයේ රඳවා ගනු ලැබුවා. තවත් අය පැත්තක් නොගෙන ස්වේච්ඡාවෙන්ම පකිස්ථානයේ රැඳී සිටියා. යුද්ධය අවසන් වීමෙන් පසුව හමුදා තුළ එවැන්නට ලැබුනේ කුඩම්මාගේ සැලකිල්ලක්. සියා රහ්මන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට එකතු කර ගත හැකි වූ බොහෝ හමුදා සෙබළුන් නිදහස් අරගලයට සහභාගී නොවූ මෙවැනි අයයි. 

සියා රහ්මන් ජනාධිපති ලෙස පත් වීමෙන් අනතුරුව හමුදාපති ලෙස පත් කළ මුහම්මද් එර්ශාඩ්ද ඉහත කී දෙවන කණ්ඩායමට අයත්, යුද්ධයේ උරුමයක් නොතිබුණු අයෙක්. යුද්ධය සිදුවන කාලය තුළ පකිස්ථානය විසින් යුද සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටි ඔහුට නැවත බංග්ලාදේශයට එන්නට ඉඩ ලැබෙන්නේ 1973දී ඉන්දිරා ගාන්ධි හා අලි භූතෝ අතර අත්සන් කෙරෙනු සිම්ලා ගිවීසුමෙන් අනතුරුවයි. 

යුද උරුමයක් තිබුණු සියා රහ්මන්ටද කළ නොහැකි වූ දෙයක් එවැනි උරුමයක් නොතිබුණු එර්ශාඩ්ට කිරීමේ හැකියාවක් නොතිබුණු බැවින් ඔහුට අවාමි ලීගයේ ආධාරකරුවන් ආකර්ෂණය කර ගත හැකි වූයේ නැහැ. ඒ නිසා, එර්ශාඩ් වඩා නැඹුරු වූයේද බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ මතවාදය පැත්තටයි. එර්ශාඩ් විසින් නිල වශයෙන්ම බංග්ලාදේශය මුස්ලිම් රටක් ලෙස නම් කරනවා. 

එර්ශාඩ් විසින් බලය අත් පත් කර ගැනීමට පෙර ළඟ ළඟ සිදු වූ හමුදා කුමන්ත්‍රණ වලට එක් ප්‍රධාන හේතුවක් වුයේ හමුදා තුළ වූ බෙදීම් හා කල්ලිවාදයි. ප්‍රධානම බෙදීම තිබුණේ නිදහස් සටනට සම්බන්ධ වූ හා නොවූ කොටස් අතරයි. එර්ශාඩ්ගේ දැඩි හමුදා පාලනය යටතේ සිදු වූ එක් සාධනීය දෙයක් වන්නේ හමුදාව විනයගත කරනු ලැබීමයි. ඒ හේතුවෙන් හමුදා කුමන්ත්‍රණද නැවතුණා.

අනෙක් අතට එර්ශාඩ් විසින් රාජ්‍ය බලය පැහැර ගත්තේ එවකට ජනප්‍රියව සිටි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ජනාධිපතිව ඉවත් කරමිනුයි. ඒ නිසා, ඔහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියෙකු වූයේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. මේ තත්ත්වය තුළ, සතුරාගේ සතුරා මිතුරාය යන න්‍යාය අනුව, විප්‍රවාසීව සිටි සීක් හසීනාට නැවත බංග්ලාදේශයට පැමිණ අවාමි ලීගය සංවිධානය කිරීමට ඉඩ ලැබෙනවා. පසුගිය අගෝස්තු 5 දින හවස්වරුවේ විරෝධතාකරුවන් විසින් ගිණි තබා විනාශ කළ ඇගේ ධන්මොන්ඩි නිවෙස වෙත ප්‍රවේශ වීමට ඇයට නැවතත් ඉඩකඩ ලැබෙන්නේ මෙයින් පසුවයි.

කෙසේ වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි බැස එර්ශාඩ් පාලනය අවසන් කිරීම සඳහා හසීනාගේ අවාමි ලීගය හා ඛලිඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අත්වැල් බැඳගන්නවා. ගංවතුරට නයි මුගටි එක කොටේට ගොඩ වෙනවා කියනවනේ. එහි ප්‍රතිඵලයක් ලෙස පැවැත්වෙන මැතිවරණය ජයගන්නේ ඛලිඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. අවාමි ලීගයට නැවත බලයට පැමිණෙන්නට ඉඩ ලැබෙන්නේ 1996දී. ඒ මුජිබර් රහ්මන් ඝාතනයෙන් වසර 21කට පසුවයි.

අවාමි ලීගය බලයේ නොසිටි වසර 21ක කාලය තුළ, විශේෂයෙන්ම බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය බලය හොබවද්දී, බංග්ලාදේශය ඉතිහාසය නැවත ලියැවෙනවා. ඒ අනුව, නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස මුජිබුර් රහ්මාන්ගේ භූමිකාව දියාරු වී සියා රහ්මන්ගේ දායකත්වය උඩට ඉස්සෙනවා. මුජිබර් රහ්මන්ගේ දියණිය, ෂීක් හසිනා, 1996දී බලයට පත්වීමෙන් පසුව නැවතත් ඉතිහාසයේ වැරදි "නිවැරදි කරන්නේ" ඉතාම ආක්‍රමණශීලී ආකාරයකිනුයි.

මේ කාලය මට බංග්ලාදේශය පිළිබඳ පෞද්ගලික අත්දැකීම් තිබෙන කාලයක්. ඔය කාලයේ බංග්ලාදේශයට යන අයෙකුට හැඟෙන්නේ එරට මුජිබුර් රහ්මන්ගේ ප්‍රවේණි දේපොළක් ලෙසයි. මැතකදී කඩා දැමුණු ස්මාරක බොහොමයක් ඔය කාලයේ ඉදි වූ ඒවා විය යුතුයි. මේ කාලයේදී හා ඉන් පසුව, රට පුරා පිහිටි අධිවේගී මාර්ග, පාලම්, ගුවන් තොටුපොළ, උද්‍යාන, විශ්ව විද්‍යාල, රෝහල් ගණනාවක් ඔහුගේ නමින් නම් කර තිබෙනවා. 

මුජුබුර් රහ්මන්ගේ උපන් දිනය වන මාර්තු 17 මෙන්ම ඔහුව ඝාතනය කෙරුණු අගෝස්තු 15 දිනයද (අඩු වශයෙන් පසුගිය වසර තෙක්) බංග්ලාදේශයේ රජයේ නිවාඩු දිනයි. මීට අමතරව, බංග්ලාදේශ ස්වාධීනත්වය ප්‍රකාශයට පත්  කළ මාර්තු 26 දිනය මෙන්ම යුද්ධය ජයගත් දෙසැම්බර් 16 දිනයද මුජුබුර් රහ්මන්ව සමරනු ලබන රජයේ නිවාඩු දිනයි.

අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අතර බංග්ලාදේශයේ දේශපාලන බලය මාරු වෙද්දී එරට ඉතිහාසයද නැවත නැවත වෙනස් ලෙස ලියැවෙනවා. ඒ නිසා, බංග්ලාදේශයට එරට පාලනය කරන දේශපාලන පක්ෂයෙන් ස්වායත්ත නිරපේක්ෂ ඉතිහාසයක් කවදාවත්ම තිබුණේ නැහැ. එයට හේතුව මේ පක්ෂ දෙකම අඩු වැඩි වශයෙන් බංග්ලාදේශ නිදහස් අරගලයට උරුම කියන හා යම් ආකාරයක ජාතිකත්වයක් මත පදනම් වූ "පවුලේ පක්ෂ" වීමයි. මේ තත්ත්වයන් එක්ක, දැන් නැවතත් සිදුවෙමින් තිබෙන, බංග්ලාදේශ ඉතිහාසය නැවත ලිවීම පළමු වරට සිදුවන දෙයක් නොවන බව පැහැදිලි විය යුතුයි. 

මුජිබුර් රහ්මන් විසින් සමාජවාදී විප්ලවයක් නොකළත්, මුජිබුර් රහ්මන්ගේ මුජිබ්වාදී බංග්ලාදේශයේ ආර්ථිකය සමාජවාදී ආර්ථිකයක්. මෙම කාලයේදී රටේ සියළුම බැංකු, රක්ෂණ සමාගම් හා කම්හල් විශාල ප්‍රමාණයක් ජනසතු කෙරුණා. (හැබැයි මේ ගොඩක් පෞද්ගලික කම්හල් රට හැර පලාගිය (බටහිර) පකිස්තානුවන් විසින් අත් හැර ගිය ඒවා. මේ නිසා මාක්ස්වාදීන් විසින් මුජිබ්වාදය විවේචනය කළේ "එපා වී දමා ගිය සමාජවාදයක් - abandoned socialism" ලෙසයි). පෞද්ගලික සමාගම් වල උපරිම ලාබය සීමා කෙරුණා. ලාබ වැඩිනම් එවැනි ආයතන ජනසතු කරන බව නිවේදනය කෙරුනා. (තරමක් වෙනස් ආකෘතියක් යටතේ දැන් චීනය කරන්නේ එයයි). පෞද්ගලික ඉඩම් අයිතිය බිඝා 25කට (අක්කර 15ක් පමණ) සීමා කෙරුණා. කෙසේ වුවත්, අමතක නොකළ යුතු කරුණක් වන්නේ එම කාලයේදී ඉන්දියාව හා ලංකාව වැනි කලාපයේ රටවල පැවතියේද මෙවැනි සමාජවාදී ආර්ථික ක්‍රමයන් බවයි.

කෙසේ වුවත්, මුජිබුර් රහ්මන් ඝාතනයෙන් පසුව බංග්ලාදේශයේ සමාජවාදයද අවසන් වුනා. එය පූර්ණ වෙළඳපොළ ආර්ථිකයක් නොවුනත්, මිශ්‍ර ආර්ථිකයක් සේ හැඳින්විය හැකි තරමට දක්ෂිනාංශික හැරවුමක් ක්‍රමිකව සිදු වුනා. කවර අඩුපාඩු මධ්‍යයේ වුවද හමුදා ආණ්ඩු යම් තරමකින් හෝ ජනප්‍රියව පැවතීමට මේ හැරවුමද උදවු වූවා විය හැකියි. මුජිබුර් රහ්මන්ගේ අවාමි ලීගයට සාපේක්ෂව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මෙන්ම එර්ශාඩ්ගේ ජාතික පක්ෂයද (ජාතීයො පාර්ටි) මුල සිටම පෙනී සිටියේ පෞද්ගලික අංශයට වැඩි තැනක් දුන් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන්. 

අවාමි ලීගය 1996දී නැවත බලය ලබා ගන්නේ වසර 21කට පසුවයි. ඒ අතරතුර දිගු කාලයක් ඉන්දියාවේ කල් ගෙවූ ෂීක් හසීනාව ඉන්දියාව විසින් නැවත බංග්ලාදේශය වෙත එවන්නේ හොඳින් "පුහුණු කිරීමෙන්" පසුව යන්න ප්‍රචලිත අදහසක්. මුජිබුර් රහ්මන්ගේ කාලයේ සිටම අවාමි ලීගය හඳුනා ගැනුනේ ඉන්දීය හිතවාදී පක්ෂයක් ලෙසයි. එහෙත්, 1991න් පසු ඉන්දියාව 1970-75 කාලයේ පැවති ඉන්දියාව නෙමෙයි. ඒ වෙද්දී ඉන්දියාව වෙළඳපොළ වෙත නැඹුරු වූ රටක්. ලෝක තත්ත්වයන්ද වෙනස් වෙලා. මේ තත්වයන් එක්ක ෂීක් හසීනා නැවත මුජිබුර් රහ්මන්ගේ සමාජවාදයට යන්නේ නැහැ. ඒ නිසාම, අවාමි ලීගයේ හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති අතර තව දුරටත් විශාල වෙනස්කම් නැහැ. මෙය චන්ද්‍රිකාගේ ආගමනයෙන් පසුව ශ්‍රීලනිපයේ සිදු වූ පර්වර්තන වලින් පසුව එජාප හා ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති ඒක-දිශානුගත වීමට සමාන කළ හැකියි.

අනුව දශකය වන විට ලෝක දේශපාලනය තුළ සිදුව තිබුණු තවත් ප්‍රධාන වෙනස්කමක් වූයේ මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදී රාජ්‍ය බිඳ වැටෙමින් හෝ දුර්වල වෙමින් තිබීම හා ආගමිකත්වය හා බැඳුනු දේශපාලනය නැවත හිස ඔසොවමින් පැවතීමයි. ඒ නිසා, ෂීක් හසීනාට මුලින් පැවති අනාගමික බංග්ලාදේශ රාජ්‍යය නැවත හදන්නට හැකි වන්නේ නැහැ. එහෙත්, ඇය ඉන්දියාව අනුගමනය කරමින් ඒ දිශාවට යම් දුරක් ගමන් කරනවා. අවාමි පක්ෂයේ දේශපාලනය තුළ රජය අනාගමික නොවුනත් එය මුස්ලිම් රජයක්ද නෙමෙයි. යම් තරමක අතරමැදි තත්වයක්. මෙය අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අතර ප්‍රධාන වෙනස්කමක්. ඒ නිසාම, අවාමි ලීගය බංග්ලාදේශයේ හින්දු ආගමිකයින් ඇතුළු සුළුතර කොටස් වලට වඩා ආකර්ශනීය පක්ෂයක්. 

සුළු ජාතිකත්වය හා අදාළ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ස්ථාවරය වන්නේ ඉස්ලාම් ආගමික රාජ්‍යයක් තුළ සියලු සුළුතර කොටස් වල අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වන බවයි. මෙය ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍යයක සුළුතර කොටස් වල අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වන්නේය යන තර්කයට බොහෝ දුරට සමාන තර්කයක්. මේ මතවාදය සුළුතරයන්ට එරෙහි මතවාදයක් නොවුනත්, එම මතවාදය මගින් සුළුතරයන්ට එරෙහි මතවාද පෝෂණය වීම පහසුවෙන්ම සිදු වන බව ලංකාවේදී මෙන්ම බංග්ලාදේශයේදීද නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. මේ වෙනස්කම් නිසා, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සම්ප්‍රදායවාදී මුස්ලිම් ආගමික කොටස් වලටත්, අවාමි ලීගය වඩා ලිබරල් මුස්ලිම් ආගමිකයන්ට හා සුළුතර කොටස් වලටත් වඩා ආකර්ශනීය වනු දැකිය හැකියි. කෙසේ වුවත්, ආර්ථික ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් නැහැ.

අරගලකරුවන්ගේ දේශපාලන මතවාදය දෙස සුපරීක්ෂාකාරී ලෙස බැලු විට පෙනී යන්නේ ජාතිකත්වය පිළිබඳ ඔවුන්ගේ අදහස් බොහෝ දුරට සමාන වන්නේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් පෙනී සිටි බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය සමඟ බවයි. බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය පෙනී සිටින්නේ ඉස්ලාම් ආගමික බංග්ලාදේශයක් වෙනුවෙන්. මේ මතවාදය අනුව, "සැබෑ මුස්ලිම්වරුන්" යනු සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කරන පිරිසක්. අරගලයට සම්බන්ධ වූ ශිෂ්‍ය කණ්ඩායම් විසින් පොලු මුගුරු රැගෙන හින්දු කෝවිල් ආරක්ෂා කළේ මේ මතවාදය අනුවයි. එහෙත්, බංග්ලාදේශ-බංගලි ජාතිකත්ව මතවාදයේ අතුරු ඵලයක් ලෙස ඉස්ලාම් ආගමික අන්තවාදය මතුවීම නොවැලැක්විය හැකි ප්‍රායෝගික යථාර්තයක් බව අප‍ට පෙනෙන්නට ඇති දෙයයි.

මා පෙර විස්තර කළ පරිදි බංග්ලාදේශ විමුක්ති අරගලයට සම්බන්ධ වූ කොටස් දිගටම රැඳී සිටියේ අවාමි ලීගය සමඟයි. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය වෙත වැඩිපුරම ආකර්ෂණය වුනේ විමුක්ති අරගලයට සෘජුව සම්බන්ධ නොවූ හෝ ඒකාබද්ධ පකිස්ථානයක් වෙනුවෙන් පෙනී සිටි ආගමික කොටස් හා වාමාංශික කණ්ඩායම්. ඒ නිසාම, මෑතකාලීන අරගලයට ප්‍රධාන වශයෙන්ම හේතු වූ කෝටා ක්‍රමය හරහා සිදු වූයේ අවාමි ලීගයේ ආධාරකරුවන්ට නිල වශයෙන්ම දිගින් දිගටම විශේෂ සැලකිලි දැක්වීමක්. මෙයින් අසාධාරණයට ලක් වූ බොහෝ දෙනෙක් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ප්‍රධාන අනෙකුත් අවාමි ලීගයට එරෙහි දේශපාලන පක්ෂ වල ආධාරකරුවන්ගේ පවුල් වල අයයි. ඒ නිසා, බංග්ලාදේශ අරගලය පොදු මහජන නැගිටීමකට වඩා එක් දේශපාලන කඳවුරක නැගිටීමක්. අනෙක් දේශපාලන කඳවුර, එනම් අවාමි ලීගයට හිතවත් දේශපාලන කඳවුර, මේ මොහොතේ අඩපණව ඇතත් එයද බංග්ලාදේශ දේශපාලනය තුළ නොසලකා හැරිය නොහැකි දැවැන්ත බලවේගයක්. 

ෂීක් හසීනා විසින් විපක්ෂය දුර්වල කළ වසර පහළොවක් එක දිගට බංග්ලාදේශය පාලනය කිරීම නිසා ආණ්ඩු විරෝධී පක්ෂ වල ආධාරකරුවන් දිගින් දිගටම පීඩාවට ලක් වුනා. අරගලය හරහා පුපුරා ගියේ එම පීඩනයයි. මෙම ලිපි මාලාවෙහි විස්තර කර ඇති පරිදි මීට පෙරද අවස්ථා ගණනාවක මෙවැනි තත්ත්වයන් බංග්ලාදේශය තුළ ඇති වී තිබෙනවා. මේ අවස්ථාව අවසන් අවස්ථාව කියා හිතන්න අමාරුයි. 

Saturday, August 17, 2024

බංග්ලාදේශයේ මුජිබ්වාදය හා මුජිබ්වාදය කඩා වැටීම


සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් පසුපස කිසියම් දර්ශනයක් තිබෙනවා. 1971 බංග්ලාදේශ ජාතික විමුක්ති අරගලයේ දේශපාලන දර්ශනයේ අරටුව වූයේ මුජිබ්වාදයයි. මුජිබ්වාදය ලෙස පසුව නාමකරණය වූයේ මුජිබුර් රහ්මන්ගේ දේශපාලන දර්ශනයයි. බංග්ලාදේශ අවාමි ලීගයේ දේශපාලන දර්ශනය වූයේද මුජිබ්වාදයයි. 

පෙර ලිපියෙහි විස්තර කළ පරිදි මුජිබ්වාදය ගොඩ නැගී තිබුණේ කුළුණු හතරක් මතයි. ඒ, ජාතිකවාදය, අනාගමික රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදයයි. නූතන බංග්ලාදේශ රාජ්‍යයේ පදනම වූයේද මෙම කුළුණු හතරයි. එනම් මුජිබ්වාදයයි. බංග්ලාදේශ රාජ්‍ය ලාංචනයේ ඇති තරු හතරෙන් සංකේතවත් වන්නේ මුජිබ්වාදයේ මෙම එම කුළුණු හතරයි. 

බ්‍රිතාන්‍ය ඉන්දියාව තුළ ප්‍රබල නිදහස් සටනක් කාලයක් පැවතුණත්, ඉන්දියාව හා පකිස්ථානය නිදහස ලැබුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ යුද්ධයක් කර එය ජයගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නෙමෙයි. තාක්ෂනික ලෙස සැලකුවහොත්, හයවන ජෝජ් රජුගේ "අනුකම්පාව" මත පදනම්වයි. ලංකාවට වැඩි මහන්සියක් නැතිවම මේ "අනුකම්පාව" හිමිවෙනවා. ඉන් පසුව, මේ රටවල් ඩොමිනියන් තත්ත්වයෙන් ඉවත් වී ජනරජ බවට පත් වෙද්දී බ්‍රිතාන්‍යය එය සහ පහකට ගණන් නොගන්නේ ඒ වන විට බ්‍රිතාන්‍යය විසින් මේ රටවල් අත හැර දමා අවසන් නිසා. 

එහෙත්, බංග්ලාදේශය පකිස්ථානයෙන් ඉවත්ව ජනරජයක් බවට පත් වන්නේ විමුක්ති යුද්ධයක් කර ජයගැනීමෙන් පසුවයි. ඒ කියන්නේ රටේ දේශපාලන බලය තිබෙන්නේ "ජනතාව" සතුව බව ප්‍රායෝගිකව තහවුරු කිරීමෙන් පසුවයි. කලකට පෙර ඇමරිකාව වැනි රටවලද මෙවැනි විමුක්ති අරගල සිදු වී තිබුණත්, මේ කාලය ආසන්නයේ ලෝකයේ සිදු වූ මෙවැනි අරගල බොහොමයක මාක්ස්වාදී මුසුවක් දැකිය හැකි වුනා. එහෙත්, බංග්ලාදේශයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. 

මුජිබ්වාදයේ එක් කුලුනක් සමාජවාදය වුවත්, එය මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදයක් නෙමෙයි. බොහෝ දුරට බටහිර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු වූවක්. එහෙත්, ඊට වඩා තරමක් දුරට මාක්ස්-ලෙනින්වාදී නැඹුරුවක් තිබුණු එකක්. එහි අනාගමික රාජ්‍ය සංකල්පය වඩා කිට්ටු වූයේද බටහිර ආකෘතියටයි. රජය ආගමෙන් ඉවත් වීමක් මිසක් සමාජවාදී රටවල මෙන් ආගම් විරෝධයක් මුජිබ්වාදය තුළ තිබුණේ නැහැ. එමෙන්ම මුජිබුර් රහ්මන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද සමාජවාදී රටවල පැවති ආකාරයේ ඒකාධිපතිත්වයක් නොවුනත්, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් සේ නොසැලකිය හැකි, යම් දුරකට ඒකාධිපති ලක්ෂණ තිබුණු, එහෙත් සමාජවාදී ලෝකයේ එවකට පැවති ප්‍රජාත්නත්‍රවාදය පිළිබඳ අදහස් වලටද යම් සමීපත්වයක් දැක්වූ, "බංග්ලාදේශ පන්නයේ" ප්‍රජාතන්ත්‍රවාදයක්.

කෙසේ වුවත්, මුජිබුර් රහ්මන් හා අවාමි ලීගය වටා මහා පරිමාණයෙන් ජනතාව පෙළ ගැසීමට ඉහත සඳහන් අනාගමික රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යන කුළුණු තුන එතරම් බලපෑමක් කළේ නැහැ. එහිදී වැදගත් වූයේ ජාතිකත්වය යන කුළුන පමණයි. විවිධ දේශපාලන මතවාද වල සිටි පිරිස් එක්රැස් කළේ බෙංගාලි භාෂාව මත පදනම් වූ බංගලි ජාතිකවාදයයි.

මේ අනුව, බෙංගාලි භාෂාව නිදහස් බංග්ලාදේශයේ එකම ජාතික භාෂාව බවට පත් වෙනවා. රටෙන් 99%කට වඩා වැඩි පිරිසකගේ මවු බස බෙංගාලි භාෂාව බැවින් එහි ප්‍රශ්නකාරී තත්ත්වයක් නැහැ. මේ අතින් නිදහස් ලංකාවේ පැවති තත්ත්වය සමාන කළ හැක්කේ ඒකාබද්ධ පකිස්ථානයේ තත්ත්වයට මිසක් බංග්ලාදේශයේ තත්ත්වයට නෙමෙයි. 

මුජිබ්වාදයෙහි ජාතිකවත්ව කුළුන ඉතාම ශක්තිමත් කුලුනක්. ඒ නිසා ඉතිරි කුළුණු තුන ගොඩ නැගෙන්නේ ජාතිකවත්ව කුළුනෙහි වාරුව අරගනිමිනුයි. මුජිබ්වාදයෙහි සමාජවාදය ප්‍රකාශිත ලෙසම බංග්ලාදේශ සමාජවාදයක්. ප්‍රකාශිත ලෙසම නොවුනත්, එහි ප්‍රජාතන්ත්‍රවාදය හා අනාගමික රාජ්‍ය කුළුණුද බංග්ලාදේශයට "ගැලපෙන" සේ සකස් කරගත් සංකල්පයි. මේ "ගැලපීම" සිදු වන්නේ කෙසේද?

දේශපාලනයේදී වැදගත්ම සාධකය බලයයි. මුජිබුර් රහ්මන්ට හා අවාමි ලීගයට අදාළවද මේ තත්ත්වයෙහි කිසිම වෙනසක් නැහැ. අවාමි ලීගයට හා එහි නායක මුජිබුර් රහ්මන්ට අවශ්‍ය වන්නේ යුද්ධයක් කර, ජීවිත විශාල ගණනක් අහිමි කරගෙන, ලබාගත් බලය රැකගෙන හැකි තරම් කාලයක් පවත්වා ගෙන යාමයි.

බෙංගාලි ජාතිකවත්වය මත පදනම්ව පකිස්තානු ආධිපත්‍යයට එරෙහිව අවාමි ලීගය වඩා එක්රැස් වන විශාල පිරිස අතර පැවති අනෙකුත් විවිධ දේශපාලන මතවාද අතර ගැටුම් විමුක්ති අරගල කාලය තුළ යටපත් වී පැවතියත් යුද්ධය ජයගෙන නූතන බංග්ලාදේශ රාජ්‍යයක් හදන එක ගැන හිතද්දී ඒවා එකින් එක මතු වෙන්නට පටන් ගන්නවා. අවාමි ලීගයට එම ගැටුම් අවම කරගෙන තමන් වටා සිටින පිරිස් දිගටම රඳවා ගත හැක්කේ මේ මතවාද අතර මධ්‍යස්ථ තැනක් තමන්ගේ ස්ථාවරය කර ගැනීමෙනුයි. මුජිබ්වාදය තුළ සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා අනාගමික රාජ්‍යය යන සංකල්ප ස්ථානගත වන්නේ මේ අරමුණ හා ගැලපෙන ආකාරයටයි.

බංග්ලාදේශ නිදහස් අරගලයට පෙර පැවති 1970 පකිස්ථානු මහ මැතිවරණයේදී අවාමි ලීගය විසින් නැගෙනහිර පකිස්ථානයේ ආසන 162කින් 160කම බහුතර ඡන්දය ලබා ගන්නා නමුත් නැගෙනහිර පකිස්ථාන කොටසේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් ඔවුන් ලබා ගන්නා ප්‍රතිශතය ආසන්න වශයෙන් 75%ක් පමණයි. ඒකාබද්ධ පකිස්ථානයේ ජාතික පක්ෂ විසින්ද නැගෙනහිර පකිස්ථාන කොටසේ ඡන්ද වලින් 25%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නවා. මෙම ඡන්ද වලින් වැඩි කොටසක් ලබා ගන්නේ ජමාත්-ඉ-ඉස්ලාම් වැනි ආගමික පක්ෂයි. එවැනි පක්ෂ දිගටම මෙන් පෙනී සිටියේ නිදහස් අරගලයට එරෙහිව ඒකාබද්ධ පකිස්ථානයක් වෙනුවෙනුයි.

නිදහස් අරගල සමයේදී ජමාත්-ඉ-ඉස්ලාම් වැනි ආගමික පක්ෂ වල ක්‍රියාකාරීන් පකිස්ථාන හමුදා හා එක්ව නිල නොවන හමුදා ලෙස කටයුතු කරමින් නිදහස් අරගලකරුවන් මර්දනය කිරීමට පකිස්ථානයට සහාය දෙනවා.  රාජකාර් හමුදාවට බැඳුනු බොහෝ දෙනෙකු ඉස්ලාම් ශරීයා නීතිය මත පදනම් වූ මුස්ලීම් රාජ්‍යයක් සඳහා කැමැත්තක් දැක්වූ සහ දැඩි ඉන්දීය විරෝධයක් තිබුණු පිරිසක්. නිදහස් බංග්ලාදේශයේ අනාගමික රාජ්‍ය සංකල්පය අනුව රට තුළ ආගමික හෝ වාර්ගික පදනමක් ඇති දේශපාලන පක්ෂ තහනම් කෙරෙනවා. ඒ අනුව, විශාල පරතරයක් සහිතව වුවත්, අවසන් වරට පැවති මැතිවරණයේදී දෙවන වැඩිම ඡන්ද ලබාගත් ජමාත්-ඉ-ඉස්ලාම් බංග්ලාදේශය තුළ තහනම් වෙනවා. එහි ප්‍රධාන ක්‍රියාකාරීන් රටෙන් පලා යනවා. 

මේ අනුව, ආගමික පදනමක් තිබුණු, ඒකාබද්ධ පකිස්ථානයේ කොටස් දෙකේම යම් ජන පදනමක් තිබුණු, මුස්ලිම් දේශපාලන පක්ෂ ගණනාවකට බංග්ලාදේශය තුළ ඉඩක් නැති වෙනවා. ඉස්ලාම් ආගමික දේශපාලනයට මතු වීමට ඉඩක් නැති වෙනවා. නමුත් ඉස්ලාම් අන්තවාදය ඇතුළු ඉස්ලාම් ආගමික දේශපාලනය අළු යට ගිණිපුපුරු ලෙස බංග්ලාදේශය තුළ තවදුරටත් ඉතිරි වෙනවා. මුජිබ්වාදයට එරෙහි එක් ප්‍රධාන කණ්ඩායමක් වන්නේ මේ පිරිසයි. එවකට ඇමරිකා කඳවුරේ සිටි පකිස්ථානය සමඟ වූ සම්බන්ධය හා ආගමිකත්වය නිසා වාමාංශික කඳවුර මෙන්ම අවාමි ලීගය විසින්ද ඔවුන්ව පොදුවේ ලේබල් කරන්නේ දක්ෂිණාංශික අන්තවාදීන් ලෙසයි.

මුජිබ්වාදයට එරෙහි දක්ෂිණාංශික විරෝධයට ප්‍රධාන හේතුවක් වන්නේ එහි අනාගමික රාජ්‍ය සංකල්පයයි. ඔවුන් විසින් එය දකින්නේ සහ හුවා දක්වන්නේ ආගම් විරෝධයක් හා ආගම් මර්දනයක් ලෙසයි. ඒ අනුව, ඔවුන් මුජිබ්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රශ්න කරනවා. ඒ මුජිබ්වාදය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන්නේය යන පැත්තෙන්. මීට අමතරව, බංගලි ජාතිකවාදය ඔවුන් දකින්නේ ඉන්දියානු අධිරාජ්‍යවාදයකට යටවීමක් ලෙසයි. 

අනෙක් පැත්තෙන් මුජිබ්වාදයට එරෙහිව ඉදිරියට එන ප්‍රධාන කණ්ඩායම් වන්නේ මාක්ස්වාදීන්. මේ වෙද්දී ලෝකයේ අනෙක් රටවල වගේම බංග්ලාදේශයේද මාක්ස්වාදීන් චීන හා රුසියානු කඳවුරු වශයෙන් පිල් බෙදිලා. ලෝක දේශපාලනය තුළ පකිස්ථානය ඇමරිකා-චීන කඳවුරේ සහ රුසියාව ඉන්දියාව සමඟත් සිටීමත්, අවාමි ලීගය ඉන්දියානු හිතවාදී වීමත් නිසා, ප්‍රතිවිරෝධතා සමඟ වුවත්, රුසියානු කඳවුරේ මාක්ස්වාදීන් අවාමී ලීගයට වක්‍ර සහයෝගයක් ලබා දෙනවා. එහෙත්, චීන පිලෙන් සෘජු හෝ වක්‍ර සහයෝගයක් ලැබෙන්නේ නැහැ. චීන පිල හා රුසියන් පිල කියා කිවුවත් මේ පිල් දෙකේම කුඩා පක්ෂ හා සංවිධාන ගණනාවක් තිබෙනවා. මුස්ලිම් පක්ෂ හා සංවිධාන වුනත් එහෙමයි.

බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනය මුල සිටම, ඒ කියන්නේ බංග්ලාදේශය හැදෙන්නටත් පෙර සිටම, ඉතාම ප්‍රබල, සංවිධානාත්මක හා ජාතික දේශපාලනයට බලපෑම් කළ හැකි එකක්. ඒ වගේම, බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනය ආයුධ සන්නද්ධ දේශපාලනයක් කියා කියන්නත් පුළුවන්. ලංකාවේ සරසවි සිසුන්ගෙන් සමහරෙක් 1971දී හා 1988/89 කාලයේදී දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී ආයුධ අතට ගත්තත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පොදුවේ ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස කවදාවත් ආයුධ සන්නද්ධ වී නැහැ. 

මුජිබුර් රහ්මන්ගේ දේශපාලනයේ මුල් තියෙන්නෙත් ශිෂ්‍ය දේශපාලනය ඇතුළේ, අනෙක් පැත්තෙන් බංග්ලාදේශ ශිෂ්‍ය දේශපාලනයේ මුල් ඇදෙන්න පටන් ගන්නේ මුජිබුර් රහ්මන් විසින් 1948දී ස්ථාපනය කළ බංග්ලාදේශ ඡත්ර ලීගයෙන්. පසුව අවාමී ලීගයේ ශිෂ්‍ය අංශය බවට පත් වෙන්නේ මේ බංග්ලාදේශ ඡත්ර ලීගය. මෙය දැනටත් ඉතාම සක්‍රිය සංවිධානයක්. 

මුජිබ්වාදයේ සාධනීයම අංගයක් සේ සැලකිය හැක්කේ එවක පැවති ලෝක දේශපාලනය තුළ බැහැර කළ නොහැක්කක් වූ සමාජවාදය මූලික කුළුණක් සේ යොදාගන්නා අතරම එය අන්තවාදයක් කරා තල්ලු නොකරමින් හදන සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර මිශ්‍රණය. නමුත් මාක්ස්වාදීන්ට මුජිබ්වාදයේ සමාජවාදී කොටස ප්‍රමාණවත් වන්නේ නැහැ. විවේචනය දරුණුවටම එන්නේ චීන කඳවුරෙන්. 

බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ චීන පිල, බංග්ලා ශිෂ්‍ය සංගමය, හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල මුජිබුර් රහ්මන්ගේ ව්‍යවස්ථාව එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මෙම ව්‍යවස්ථාව සමාජවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි. ඔවුන්ගේ එක් ප්‍රධාන විවේචනයක් වන්නේ ව්‍යවස්ථාව මගින් රටේ සියල්ලන්ටම ආහාර, නිවාස, ඇඳුම්, අධ්‍යාපනය හා සෞඛ්‍යය ලබා දීම සහතික කරමින් ඒවා මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන නැති බවයි. දෙවන ප්‍රධාන විවේචනය වන්නේ මෙමගින් බංග්ලාදේශයේ ඇති විදේශ වත්කම් ජනසතු කිරීමක් සිදු නොකෙරෙන බව හා එමගින් තවදුරටත් වැඩවසම් ක්‍රමය හා අධිරාජ්‍යවාදය නඩත්තු කෙරෙන බවයි. 

අවාමි ලීගයේ ශිෂ්‍ය අංශය වූ ඡත්ර ලීගයෙන් කැඩීගිය කණ්ඩායමක් මුල් වී හදන ජාතික සමාජවාදී පක්ෂය (ජාතීයො සමාජතන්ත්‍රික් දාල්) විසින් ගන්නා ස්ථාවරය වන්නේද මෙම ව්‍යවස්ථාව පිළිගත නොහැකි බවයි. ඔවුන්ගේ අදහස අනුව, මෙම ව්‍යවස්ථාව මගින් පංති-ගැටුම පිළිනොගන්නා අතර, පාර්ලිමේන්තු ක්‍රමයක් හරහා සමාජවාදය ඇති කිරීම පිළිබඳව ඔවුන් විශ්වාසය තබන්නේ නැහැ. මීට කිට්ටු ස්ථාවරයක සිටින ගොවි කම්කරු සමාජවාදී පක්ෂයේ විවේචනය ප්‍රධාන වශයෙන් එල්ල වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය අහෝසි කිරීම හෝ දැඩි ලෙස සීමා කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා නොතිබීම පිළිබඳවයි.

කෙසේ වුවත්, බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ රුසියානු පිල, බංග්ලාදේශ ශිෂ්‍ය සංගමය, හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ රුසියානු පිල විසින් දක්වන්නේ නාමික විරෝධයක් පමණයි. ඔවුන් රාජ්‍යය හා ආගම වෙන් කිරීම පිළිබඳව ව්‍යවස්ථාදායක කමිටුවට ප්‍රශංසා කරනවා.

පොදුවේ ගත් විට මේ සමාජවාදී පක්ෂ හා කණ්ඩායම් වල විවේචනය මුජිබුර් රහ්මන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රමාණවත් සමාජවාදයක් නොමැති වීම පිළිබඳවයි. මුජිබ්වාදයට එරෙහිව දක්ෂිනාංශික විරෝධයක් ලොකුවට මතු වන්නේ නැහැ. අවාමි ලීගයේ හා ව්‍යවස්ථාදායක සභාවේ කිහිප දෙනෙකු විසින් පමණක් වඩා දක්ෂිණාංශික බංග්ලාදේශයක් වෙනුවෙන් පෙනී සිට ඇතත් ඔවුන්ගේ අදහස් පහසුවෙන්ම යටපත් වෙනවා. 

නිදහස් බංග්ලාදේශයේ පළමු මහ මැතිවරණයෙන් අවාමි ලීගයට වලංගු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 73.2%ක් හිමි වෙනවා. මෙය ජනතාව විසින් බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව මෙන්ම මුජිබ්වාදයද අනුමත කිරීමක් සේ සැලකිය හැකියි. ආගමික පක්ෂ වලට ඉඩක් නොතිබුණු මෙම මැතිවරණයේදී ඉතිරි ඡන්ද බෙදී යන්නේ සෘජු ලෙසම මාක්ස්වාදය මත පදනම් වූ විද්‍යාත්මක සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ ගණනාවක් අතරයි. අනාගමික රාජ්‍ය සංකල්පය සඳහා ඒ වෙද්දී බංග්ලාදේශයේ විශාල ජන අනුමැතියක් තිබෙනවා. 

පළමු මහ මැතිවරණයෙන් අවාමි ලීගයට වලංගු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 73.2%ක් හිමි වෙද්දී එම පක්ෂය සමඟ යම් සහයෝගයකින් කටයුතු කරන බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ රුසියානු පිල තවත් 8.3%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා. ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ජාතික සමාජවාදී පක්ෂය විසින් මෙම මැතිවරණයේදී ලබා ගන්නේ 6.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වුවත් දිගින් දිගටම සිදු කරන ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් හරහා මුජිබර් රහ්මාන්ගේ ආණ්ඩුවට හිසරදයක්වීමට එම පක්ෂය සමත් වෙනවා. බංග්ලාදේශ ජාතික අවාමි පක්ෂයේ චීන පිලද ආණ්ඩුවට මෙවැනිම හිසරදයක් වෙනවා. 

අරගල වලින් බලය ලබා ගෙන පිහිටුවන ආණ්ඩු වලට මෙන්ම මැතිවරණ වලින් විශාල බලයක් ලබාගෙන හදා ගන්නා ආණ්ඩු වලටද හැදෙන සාමාන්‍ය "රෝගයක්" වන්නේ කවර ආකාරයකින් හෝ දිගටම බලයේ සිටීමට උවමනාවක් ඇති වීමයි. මේ රෝගය ඉතා ඉක්මණින්ම මුජිබර් රහ්මාන්ටත් හැදෙනවා. ඒ අනුව සහ ජාතික සමාජවාදී පක්ෂයේ සහ ජාතික අවාමි පක්ෂයේ චීන පිලේ අඛණ්ඩ විරෝධතා හමුවේ මුජිබර් රහ්මාන්ගේ ආණ්ඩුව විසින් 1975දී රටේ සියලුම දේශපාලන පක්ෂ තහනම් කරනවා. එය කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින්. පාර්ලිමේන්තු ආසන සියල්ලම මෙන් තිබෙන්නේ අවාමි ලීගය සතුව නිසා මෙය එතරම් අසීරු කටයුත්තක් වන්නේ නැහැ. මේ අනුව අවාමි ලීගයද ඇතුළු රටේ සියලුම දේශපාලන පක්ෂ නිල වශයෙන් අහෝසි වෙනවා. 

ඉන් පසුව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මුජිබර් රහ්මාන් විසින් පාර්ලිමේන්තු ක්‍රමයද වෙනස් කරනවා. රටේ විධායකය අගමැති වෙනුවට ජනාධිපති බවට පත් වෙනවා. ව්‍යවස්ථාව මගින් ජනාධිපති බලතල අඩු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් බව ආණ්ඩු විරෝධී වාමාංශික පක්ෂ විසින් කර තිබුණු විවේචනයක්.  මුජිබර් රහ්මාන් අගමැතිකමින් ඉල්ලා අස්වී විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. මාස අටකට පසු ඔහු ඝාතනය වන්නේ විධායක ජනාධිපති ලෙසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් බංග්ලාදේශයට තනි පක්ෂ ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ අනුව, මැතිවරණ දිගටම පැවැත්වෙන නමුත් එම මැතිවරණ සඳහා ඉදිරිපත් විය හැක්කේ බාක්සාල් ලෙස කෙටියෙන් හැඳින්වෙන බංග්ලාදේශ ගොවි කම්කරු අවාමි ලීගයේ සාමාජිකයින්ට පමණයි. මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය සමඟ ජාතික අවාමි පක්ෂයේ හා බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂයේ රුසියානු හිතවාදී කණ්ඩායම් බාක්සාල් සාමාජිකත්වය ලබා ගන්නා නමුත් ජාතික සමාජවාදී පක්ෂය ඇතුළු චීන හිතවාදී වාමාංශික පක්ෂ බාක්සාල් සාමාජිකත්වය ලබා ගන්නේ නැහැ. 

අද සම්මතයන් අනුව බැලුවහොත් මෙහිදී සිදුව තිබෙන්නේ මුජිබ්වාදය ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ඒකාධිපතිත්වයක් වෙත තල්ලු වීමක්. එහෙත්, එවකට ලෝක දේශපාලනය තුළ ප්‍රබල තැනක සිටි සමාජවාදී කඳවුරේ සම්මතයන් අනුව ප්‍රජාතන්ත්‍රවාදයට තිබුනේ වෙනම අර්ථකතනයක්. අද අප දන්නා අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පගත වූයේ ධනවාදී බටහිර ලෝකය තුළ පමණයි. චීන, රුසියන් කඳවුරු භේදයක් නැතිව, සමාජවාදී ලෝකයේ සම්මතය වූයේ තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. එම කඳවුර විසින් එය ඒකාධිපතිත්වයක් සේ සැලකුවේ හෝ හඳුනා ගත්තේ නැහැ. 

මේ අනුව බංග්ලාදේශයේ හතරවන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ මුජිබ්වාදය තව දුරටත් සමාජවාදී අන්තය වෙත තල්ලු වීමක්. එහි එක් අරමුණක් වූයේ විපක්ෂයේ ආණ්ඩු විරෝධී තර්ක වල වලංගු භාවය නිශේධනය කිරීමයි. දෙවැන්න අවාමි ලීගයේ හා මුජිබුර් රහ්මන්ගේ බලය තව දුරටත් තහවුරු කර ගැනීමයි. මෙම සංශෝධනය හරහා ව්‍යවස්ථාදායකයේ බලතල කප්පාදු කිරීමට අමතරව අධිකරණයේ බලතලද කප්පාදු කෙරෙන අතර විධායකය වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදු වෙනවා. 

කෙසේ වුවත්, වැඩි කලක් යන්නට මත්තෙන්, මුජිබර් රහමන් ඝාතනය වන්නේ බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව මෙන්ම මුජිබ්වාදයද පැත්තකට තල්ලු කරමිනුයි. මෙම ඝාතනය පසුපස ඛොන්දකාර් මොෂ්ටක් අහමඩ්ගේ හස්තය ඇතැයි සැලකෙනවා. මුජිබර් රහමන් ඝාතනයෙන් පසුව ආණ්ඩුව අතට ගන්නේ ඛොන්දකාර් මොෂ්ටක් අහමඩ් විසිනුයි. ඒ වන විට ඔහු මුජිබුර් රහ්මන්ගේ අමාත්‍ය මණ්ඩලයේ වාණිජ ඇමති ධුරය දරනවා. ඊට අමතරව ඔහු බාක්සාල්හි විධායක කමිටුවේ හා මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා. එහෙත්, මුජිබුර් රහ්මන්ගේ අනුප්‍රාප්තිකයා වීමට සුදුසුකම් ඇති පළමු පුද්ගලයා ඛොන්දකාර් අහමඩ් නෙමෙයි.

තමන් බංග්ලාදේශයේ විධායක ජනාධිපති බව ප්‍රකාශයට පත් කරන ඛොන්දකාර් අහමඩ් විසින් හමුදා කොටස් වල සහයෝගය ඇතිව බලය තහවුරු කරගන්නේ අවාමි ලීගයේ ඉදිරිපෙළ නායකයින් සිවු දෙනෙකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයින් සිය ගණනක් සිරගත කරමිනුයි. එම නායකයින් සිවු දෙනා අතරින් සයිද් නස්රුල් ඉස්ලාම් යනු මුජිබුර් රහ්මන් රජයේ උප ජනාධිපති ලෙස කටයුතු කර ඇති පුද්ගලයෙක්. තාජුදීන් අහමඩ් බංග්ලාදේශයේ පළමු අගමැති. කර්මාන්ත ඇමති කමාරුස්සමාන් අවාමි ලීගයේ සභාපති ධුරය දැරූ අයෙක්. මන්සූර් අලිද අගමැති ධුරය දැරූ අයෙක්. මුජිබුර් රහ්මන්ව ඝාතනය කිරීමෙන් අනතුරුව අවාමි ලීගයේ මේ ඉදිරි පෙළ නායකයින් සිවු දෙනාම සිරගත කෙරෙනවා. ඒ ඔවුන් ඛොන්දකාර් විසින් පිහිටුවන ආණ්ඩුවට සම්බන්ධ වීම සඳහා කෙරෙන ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි. 

මීට සමාන්තරව ඛොන්දකාර් විසින් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාවම ඉවත් කරනවා. මේ අවස්ථාවේදී නියෝජ්‍ය හමුදාපති තනතුරේ සිටි බෙගම් ඛලිඩා සියාගේ සැමියා වූ සියා රහ්මන්ට හමුදාපති ධුරය හිමි වෙනවා. මුජිබර් රහ්මන් ඝාතනයට සම්බන්ධ වූ කණ්ඩායමට ඛොන්දකාර්ගෙන් ජනාධිපති මුක්තිය හිමි වෙනවා.

ඛොන්දකාර් විසින් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව හමුදා වලට අණ දීමේ බලය ජනාධිපති මන්දිරයේ සිටින, ඛොන්දකාර් අහමඩ්ට හිතවත් කනිෂ්ඨ නිලධාරීන් අතට යනවා. මේ ගැන බංග්ලාදේශ නිදහස් සටන මෙහෙයවූ සේනාධිනායකයෙකු වූ මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කණස්සල්ලට පත් වෙනවා. ඔහු සියා රහ්මන් සමඟද සාකච්ඡා කර හමුදාව මුල් වී ඛොන්දකාර් ඇතුළු පිරිස ඉවත් කළ යුතුය යන නිගමනයට එනවා. සියා රහ්මන් විසින්ද පවතින තත්ත්වය ගැන ඔහුගේ කණස්සල්ල පළ කළත්, ඒ අවස්ථාවේදී ඛොන්දකාර්ව ඉවත් කිරීමට එකඟ වෙන්නේ නැහැ.

ඛොන්දකාර්ට තව දුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නැති බව තේරුම් ගන්නා ඔහුට හිතවත් හමුදා නිලධාරීන් තනතුරෙන් ඉවත්ව පණ බේරාගෙන රටින් පිටව යාමට ඔහුව පොළඹවා ගන්නවා. එහෙත් ඔවුන් බලය අත හැර යන්නේ යන යකා කොරහත් බිඳගෙන යන ක්‍රමයටයි. සිරගත කර දෙමසකට පසුව, ඒ වන විට සිරගතව සිටි අවාමි ලීගයේ ඉදිරිපෙළ නායකයින් සිවු දෙනාවම බන්ධනාගාරය තුළදී ඝාතනය කෙරෙනවා. 

ඒ මේ අවස්ථාවේදී බංග්ලාදේශ මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් විසින් හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා. ඉන් පසුව, සියා රහ්මන්ව හමුදාපති ධුරයෙන් ඉවත් කර ඔහුව නිවාස අඩස්සියට පත් කරනවා.

ඛාලිඩ් මොෂරාෆ්ගේ හමුදා ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ දින හතරක් පමණයි. අවාමි ලීගයට විරුද්ධ දේශපාලනයක යෙදුනු ජාතික සමාජවාදී පක්ෂයට සම්බන්ධ හමුදා ඛණ්ඩයක් විසින් සියා රහ්මන්ව මුදා ගැනෙන අතර, ඛාලිඩ් මොෂරාෆ්ව ඝාතනය කෙරෙනවා. මාස තුනකට අඩු කාලයක් ඇතුළත සිදු වන මේ බල පෙරලි සියල්ලෙන් පසුව සියා රහ්මන් විසින් හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා.

නිදහස් අරගලයේ සේනාධිපතියෙකු වූ සියා රහ්මන්ටද එහි උරුමයක් තිබෙනවා. මුජිබුර් රහ්මන් වෙනුවෙන් ගුවන් විදුලියෙන් බංග්ලාදේශ ස්වාධීනත්වය නිවේදනය කරන්නේ ඔහුයි. කෙසේ වුවත්, බහුතර අවාමි ලීග සාමාජිකයන්ගේ සහයෝගය ලබා ගැනීමට සියා රහ්මන් සමත් වන්නේ නැහැ.

මේ හේතුව නිසා සියා රහ්මන්ට එකතු කර ගන්නට වෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් කණ්ඩායම් දෙකක්. ඒ අවාමි ලීගයට විරුද්ධ මුස්ලිම් අන්තවාදීන් හා වාමාංශික අන්තවාදීන්. මේ අනුව, බහු පක්ෂ ක්‍රමය නැවතත් ස්ථාපනය කෙරෙන අතර මුස්ලිම් පක්ෂ වලටද දේශපාලනය කිරීමට අවස්ථාව ලැබෙනවා. හමුදා පාලනය යටතේ ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති අත් හිටවෙන අතර බංග්ලාදේශය තව දුරටත් අනාගමික රාජ්‍යයක් වන්නේ නැහැ.

මතු සම්බන්ධයි. 

Thursday, August 15, 2024

මුජිබූර් රහ්මන් - දෙවන වරට ඝාතනය වීමෙන් පසු...


නූතන බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන බංගබොන්ධු ෂේක් මුජිබූර් රහ්මන් ඇතුළු පවුලේ සාමාජිකයින්ව ඝාතනය වූයේ අදට වසර 49කට පෙර 1975 අගෝස්තු 15 දිනයි. පසුගිය වසර තෙක් වසර ගණනාවක්ම මෙම අගෝස්තු 15 දිනය බංග්ලාදේශයේ ජාතික ශෝක දිනයක් හා රජයේ නිවාඩු දිනයක්ව පැවතුනා. එහෙත්, මෙම වසරේදී බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් අගෝස්තු 15 නිවාඩුව අවලංගු කළා.

බංගබොන්ධු මුජිබර් රහ්මන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය වූ ෂේක් හසීනාගේ පියා. කැරලිකරුවන් විසින් කඩා බිඳ දැමුවේ බංග්ලාදේශය පුරා තිබුණු ෂේක් මුජිබර් රහ්මන්ගේ පිළිමයි. 

බංගබොන්ධු මුජිබර් රහ්මන්, ඔහුගේ බිරිඳ, හා පුතුන් තිදෙනා ඇතුළු පිරිසක් සමූහඝාතනයට ලක් වූයේ ධාකාහි, ධාන්මොන්ඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස තුළදීයි. මෙම සමූහඝාතනයෙන් පසුව මුජිබර් රහ්මන් ජීවත් වූ ධාන්මොන්ඩි නිවස හමුදා රජය භාරයට ගැනුණු අතර, වසර ගණනාවක් යන තෙක් ෂේක් හසීනා ඇතුළු පවුලේ සාමාජිකයින්ට නිවසට ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. 

පසුව මෙම නිවසේ අයිතිය ෂේක් හසීනා වෙත ලැබීමෙන් අනතුරුව 1994දී එය බංගබොන්ධු මුජිබර් රහ්මන් අනුස්මරණ කෞතුකාගාරයක් බවට පරිවර්තනය කෙරුණු අතර බංගබොන්ධු භබාන් ලෙස හැඳින්වුණා. 2009දී මෙම ස්ථානය බංග්ලාදේශයේ ජාතික උරුමයක් ලෙසද නම් කෙරුණා. 

ෂේක් හසීනාගේ ඉල්ලා අස් වීමෙන් අනතුරුව, පසුගිය අගෝස්තු 5 දින හවස්වරුවේ විරෝධතාකරුවන් විසින් මෙම අනුස්මරණ කෞතුකාගාරය මුළුමනින්ම ගිණි තබා විනාශ කළා. ඒ අවස්ථාවේදී පණ පිටින් පිළිස්සී අඟුරු වූ සිරුරු හතරක් පසුව සොයා ගැනුනා.

බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් අගෝස්තු 15 නිවාඩුව අවලංගු කළත්, මෙම 49 වන අනුස්මරණ ශෝක දිනය සැමරීම සඳහා අවාමි ලීගයේ ආධාරකරුවන් අද (අගෝස්තු 15) දින බංගබොන්ධු භබාන් පැවති ස්ථානයට රැස් වුනා. එහෙත්, පෙර දින රාත්‍රියේ සිටම පොලු මුගුරු ගෙන අදාළ ස්ථානය "මුර කළ" අරගලකරුවන් විසින් අවාමි ලීගයේ ආධාරකරුවන්ට ශෝක දින සැමරුම සිදු කිරීමට ඉඩ දුන්නේ නැහැ. 

බංග්ලාදේශ නිදහස් සටනට නායකත්වය සැපයූ බංග්ලාදේශ අවාමි ලීගය බංග්ලාදේශයේ පැරණිම දේශපාලන පක්ෂයයි. එහි ඉතිහාසය පෙර සටහනක විස්තර වශයෙන් ලියා ඇති බංග්ලාදේශය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක් වූ කාලය දක්වා සම්බන්ධ කළ හැකියි.

නිදහසට පෙර, ඉන්දියානු ජාතික කොංග්‍රසය විසින් ඒකාබද්ධ ඉන්දියාවක් නිර්මාණය කර ගැනීම සඳහා විවිධ ජාතීන් හා ආගමිකයින් එකතු කර ගනිද්දී සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය විසින් වෙනම මුස්ලිම් රාජ්‍යයක් සෑදීම සඳහා ඉන්දියාවේ මුස්ලිමුන් සංවිධානය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ පකිස්ථානයක් බිහි වෙනවා.

ඒකාබද්ධ පකිස්ථානය බිහි වීමෙන් පසුව විවිධ ජාතීන් එකතු කර ගනිමින් පකිස්ථානු ජාතිය ගොඩ නැගීම සඳහා ගන්නා උත්සාහය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඉස්ලාම් ආගමට හා උර්දු භාෂාවටයි. මෙහිදී බෙංගාලි භාෂාව මෙන්ම ඉස්ලාම් නොවන ආගම් දෙවන තැනට වැටෙනවා. මෙයට එරෙහිව, වාමාංශික, ලිබරල්, අනාගමික පක්ෂයක් ලෙස පකිස්තානු අවාමි ලීගය ගොඩ නැගෙනවා. එම පක්ෂයට අන්තගාමී නොවන මුස්ලිමුන් මෙන්ම නැගෙනහිර පකිස්ථානයේ බෙංගාලි භාෂාව කතා කරන බහුතරය මෙන්ම පකිස්ථානයේ කොටස් දෙකේම ජීවත්වන හින්දු හා ක්‍රිස්තියානු කොටස්ද එකතු කර ගැනෙනවා. 

මුජිබූර් රහ්මන් යනු මුල් කාලයේදී ටයි කෝට් පැළඳි බටහිර නැඹුරුවක් සමඟ වාම ජාතිකවාදී අදහස් තිබුණු පුද්ගලයෙක්. ඔහුගේ ජාතිය පිළිබඳ අදහස සියල්ලන් ඇතුළත් කරගන්නා (inclusive) එකක් මිසක් කිසියම් ආගමකට හෝ ජනවර්ගයකට සීමා වූවක් නෙමෙයි.

"අවාමි" යන වචනය "මහජන" වැනි අර්ථයක් තිබෙන උර්දු වචනයක්. එය බෙංගාලි භාෂාවේ වචනයක් නෙමෙයි. බෙංගාලි වචන වල හෝ බෙංගාලි හෝඩියේ වයන්නක් නැහැ. ඒ නිසා, ඉංග්‍රීසි W ශබ්දය ලියන්නේ "ඔ" හා "ය" අකුරු වලින්. "අවාමි" ලියන්නේ "ආඔයාමි" ලෙසයි. 

කෙසේ වුවත්, බහුතරය උර්දු වූ බටහිර පකිස්ථානය තුළ අවාමි ලීගයට පුළුල් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එහෙත්, නැගෙනහිර පකිස්ථානයේදී මේ තත්ත්වය වෙනස් වෙනවා. බෙංගාලි භාෂාව සියවස් ගණනක් ඈතට දිවෙන ඉතිහාසයක් සහ සරු සාහිත්‍යයක් තිබෙන භාෂාවක්. පකිස්තානු ජාතියක් සේ එකතු වීම සඳහා තමන්ගේ භාෂාව අත්හැර දමන්නට නැගෙනහිර පකිස්ථානයේ බෙංගාලීන් කැමති වෙන්නේ නැහැ. ඔවුන් නිදහස් බංග්ලාදේශයක් වෙනුවෙන් අවාමි ලීගය වටා එකතු වෙනවා. 

බංග්ලාදේශ නිදහස් සටනේදී ජනතාව අවාමි ලීගය වටා එකතු වන්නේ භාෂාව මත පදනම්වයි. ඒ හේතුවෙන්, එය බටහිර පකිස්ථානයේ අවාමි ලීගයෙන් වෙන් වූ, බෙංගාලින්ගේ දේශපාලන පක්ෂයක් බවට පත් වෙනවා. එහිදී පකිස්ථානය ඒකාබද්ධව තබා ගැනීම සඳහා අවියක් ලෙස යොදා ගන්න සිදු වන්නේ ඉස්ලාම් ආගමයි. මේ හේතුව නිසාම, නැගෙනහිර පකිස්තානු අවාමි ලීගය තුළ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් පැටවෙන්නේ නැහැ. එක් අපූරු කරුණක් වන්නේ ජාතිය පිළිබඳ වත්මන් ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ අදහස් හා මුජිබූර් රහ්මන්ගේ අදහස් අතරද සැලකිය යුතු තරමේ සමානකම් තිබීමයි. 

නිදහස් බංග්ලාදේශය බිහි වී එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරද්දීද මුජිබූර් රහ්මන්ගේ දේශපාලන දර්ශනය මග හැරෙන්නේ නැහැ. මුජිබූර් රහ්මන්ගේ නායකත්වය යටතේ අවාමි ලීගය විසින් හදන ව්‍යවස්ථාව අනුව බංග්ලාදේශ රාජ්‍යය බිහිවන්නේ මූලධර්ම හතරක් මත පදනම්වයි. මෙම මූලධර්ම හතර මුජිබ්බාද් හෙවත් මුජිබ්වාදය ලෙස හැඳින්වෙනවා.

1. ජාතිකවාදය - බංග්ලාදේශ වැසියන්ගෙන් 99%කටත් වඩා බෙංගාලීන්. ජනගහණයෙන් 91%ක් වන මුස්ලිමුන් මෙන්ම 8%ක් වන හින්දු ආගමිකයින්ද බෙංගාලීන් වන අතර චක්මා ගෝත්‍රිකයින් වැනි අනෙකුත් පිරිස් හා බෙංගාලි නොවන සංක්‍රමණිකයින් 1%කටත් අඩුයි. ඒකාබද්ධ පකිස්ථානය තුළ විවිධ ජාතීන් එකමුතු කිරීම සඳහා ඉස්ලාම් ආගම යොදා ගැනීම දේශපාලනිකව වාසිදායක වුවත්, නැගෙනහිර පකිස්ථානයට සීමා වූ, බටහිර පකිස්ථානයෙන් වෙන් වීමේ ඉලක්කයක් ඇති, දේශපාලන ව්‍යාපාරයකට එය දෙආකාරයකින් අවාසිදායක දෙයක්. පළමුව, ඉස්ලාම් ආගම හරහා බෙංගාලයේ මුස්ලිමුන් ඒකාබද්ධ පකිස්ථානයට බැඳ තබනවා. දෙවනුව, එම ප්‍රවේශයෙන් බෙංගාලි හින්දුන් බැහැර කෙරෙනවා. බෙංගාලී ජාතිකවාදය හරහා රටේ 99%ක් එක් කඳවුරකට ගැනීමට ඉලක්ක කළ හැකියි. 

2. අනාගමික රාජ්‍යය - මේ ප්‍රවේශයද කිහිප ආකාරයකින් දේශපාලනිකව වාසිදායක වුනා. පළමුව, ඉහත විස්තර කළ පරිදි ඉස්ලාම් ආගම හරහා බටහිර පකිස්තානු රජය සමඟ පැවති සම්බන්ධය දුර්වල කරමින් මුස්ලිම් නොවන බෙංගාලින් එකතු කර ගැනීම. දෙවනුව, මෙය එවක ලෝක දේශපාලනය තුළ ශක්තිමත් තැනක සිටි සෝවියට් සමාජවාදී කඳවුරේ පරමාදර්ශ හා ගැලපීම.

3. සමාජවාදී ආර්ථිකය - මුජිබූර් රහ්මන්ගේ 1972 ව්‍යවස්ථාව අනුව අලුත් බංග්ලාදේශය මිනිසා විසින් මිනිසා සූරාකෑමට ඉඩ නොතබන සමාජවාදී ආර්ථිකයක් සහිත රටක්. මේ මගින් නිදහස් අරගලයට දායකත්වය දුන් පහළ හා මැදි ආදායම් මට්ටම් වල පිරිස් පක්ෂය හා රජය සමඟ දිගටම රඳවා ගත හැකි වුනා. සමාජවාදය හැත්තෑව දශකයේ ජාතික විමුක්ති අරගල බොහොමයක පරමාදර්ශයක්.

4. ප්‍රජාතන්ත්‍රවාදය - නිදහස් අරගලයෙන් පසුව එයට සහභාගී වූ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබුණේ මුජිබූර් රහ්මන් මොන විදිහේ ආණ්ඩු ක්‍රමයක් හදයිද කියන එක. ඔහු ඒකාධිපතියෙක් විය හැකිය යන බිය බොහෝ අයට තිබුණා, වැඩි දෙනෙකුට අවශ්‍ය වුනේ සාමූහිකව තීරණ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ඇතැම් අයගේ මේ බිය තුරන් කරමින් මුජිබූර් රහ්මන් විසින් වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් හඳුන්වා දුන්නා. ජනාධිපති තනතුරෙන් ඉවත් වී අගමැති වුනා. 

මේ පරමාදර්ශ හතර නිදහස් අරගලයට පෙර සිටම මුජිබූර් රහ්මන් පෙනී සිටි පරමාදර්ශයි. ඒ අනුව, මේවා බංග්ලාදේශ අවාමි ලීගයේ පරමාදර්ශ හා නිදහස් අරගලයේ පරමාදර්ශද වුනා. කෙසේ වුවද, මුජිබූර් රහ්මන්ගේ බෙංගාලි ජාතිකවාදය හරහා නැගෙනහිර බංග්ලාදේශයේ බෙංගාලින් හා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බෙංගාලින් අතර බැඳීම ඉස්මතු කෙරුණා. බෙංගාලය දෙකට කඩමින් පකිස්ථානයක් හැදීම වෙනුවෙන් කටයුතු කරද්දී මුස්ලිම් ලීගය විසින් කළේ ආගම් භේද මගින් මේ සම්බන්ධය දුර්වල කිරීමයි. 

තමන්ගේම වූ නිදහස් රටක් වෙනුවෙන් නැගෙනහිර පකිස්ථානයේ බොහෝ පිරිස් මුජිබූර් රහ්මන් හා ඔහුගේ අවාමි ලීගය වටා එකතු වුනත්, මුජිබ්වාදයේ අනාගමික රාජ්‍යය පිළිබඳව ඒ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් මෙය අවබෝධ කරගත්තේ අදේවවාදයක් හෝ ආගම් විරෝධී ප්‍රවේශයක් ලෙසයි. 

ඇතැම් අයට මෙය නිදහස් අරගලයට එකතු නොවී සිටීමට බාධාවක් නොවුනත්, යම් පිරිසකට අනාගමික නිදහස් බංග්ලාදේශයක ජීවත්වීමට වඩා මුස්ලිම් පකිස්ථානයක ජීවත් වීමට කැමැත්තක් තිබුණා. ඔවුන්ගේ සහයෝගය ඉස්ලාම් ආගමික පක්ෂ වලට ලැබුණා. 

නිදහසට පෙර පැවති මැතිවරණයෙන් අවාමි ලීගයට විශාල ඡන්ද ප්‍රතිශතයක් මෙන්ම ආසන සියල්ලේම මෙන් ජයග්‍රහණය ලැබී තිබුණත්, මුස්ලිම් ආගමික පක්ෂ වලටද යම් මට්ටමක සහයෝගයක් ලැබී තිබුණා. අවාමි ලීගය මෙන් නැගෙනහිර පකිස්ථානයට සීමා නොවූ එවැනි ඇතැම් පක්ෂ වල සාමාජිකයින් බංග්ලාදේශ නිදහස් අරගලයේදී අවාමි ලීගයට එරෙහිව පකිස්ථානයට සහාය දුන්නා. 

බංග්ලාදේශ නිදහස් අරගලයේදී ඇතැම් බෙංගාලින් රජය ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කළා. මොවුන් ලංකාවේ සිටි ග්‍රාමාරක්ෂකයින් වැනි සිවිල් බලකායක්. ඔවුන්ව හැඳින්වුණේ රාජකාර්ලා ලෙසයි. මෙයින් අදහස් වන්නේ ලංකාවේ පැවති රාජකාරි ක්‍රමයේදී මෙන් රජය වෙනුවෙන් නොමිලේ සේවය සැපයීමයි. එහෙත් මේ රාජකාර්ලාව පසුව පකිස්තානු හමුදා වලටද අනුයුක්ත කර ගැනුණු අතර නිදහස් සටන්කරුවන් පිළිබඳ ඔත්තු ලබා දීම හා ඔවුන් පැහැරගෙන වද හිංසා දී මරා දැමීම වැනි කටයුතු මේ රාජකාර්ලා අතින් සිදු වුනා. මේ හේතුව නිසා රාජකාර් යන වචනයේ තේරුම ස්වේච්ඡා සේවකයා යන්න වුවත්, නූතන බෙංගාලි භාෂාවේ එම වචනය යෙදෙන්නේ ද්‍රෝහියා, පාවා දෙන්නා වැනි අර්ථයකින්.

පසුගිය අරගල සමයේ එක් අවස්ථාවක කෝටා ක්‍රමය හා අදාළව ෂීක් හසීනා විසින් "නිදහස් අරගලයට සහභාගී වූ අයගේ මුණුපුරන්ට රස්සා දෙන්න එපානම් රස්සා දෙන්න ඕනෑ රාජකාර්ලාගේ මුණුපුරන්ටද?" යනුවෙන් අසා සිටියා. මේ ප්‍රකාශය විරෝධතාකරුවන්ව දැඩි ලෙස කෝප ගැන්වූ ප්‍රකාශයක් වූ අතර සිසුන් එය අර්ථකථනය කළේ ෂීක් හසීනා විසින් ඔවුන්ව රාජකාර්ලා ලෙස හැඳින්වීමක් ලෙසයි.

මතු සම්බන්ධයි.

Monday, August 12, 2024

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය


ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන්නේ එකෙනෙකට සම්බන්ධ, එහෙත් වෙනම සංකල්ප තුනක්. මේ තුනම යම් ආකාරයක සම්මුතීන්. රටක දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි ඔය කරුණු තුනම බලපානවා. 

මේ තුනෙන් මුල් දෙක වාස්තවික ලෙස මනින්න අසීරු විෂයමූලික සංකල්ප දෙකක්. තුන්වැන්න බොහෝ දුරට තාක්ෂණික කරුණක්. කිසියම් අවස්ථාවක, කිසියම් තැනක, ඔය තුනම ශක්තිමත්ව තියෙන්න පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්.

ඔය තුනෙන් වඩා වැදගත් නීතියේ පාලනය. මොකද කිසියම් ආකාරයක නීතියේ පාලනයක් නැතුව සමාජයකට පවතින්න බැහැ. මේ නීතීන් අලිඛිත සම්මුතීන් පමණක් වෙන්න පුළුවන්. සමහර සමාජ සම්මුතීන් ලිඛිත නීති වලට වඩා බලසම්පන්නයි. ඒ වගේම, නීතියක් පහසුවෙන් බලාත්මක කළ හැක්කේ එය සම්මුතිය හා ගැලපෙන්නේනම් පමණයි. එසේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ දිගින් දිගටම බලය යෙදවීමෙන්.

නීති හදන්නේ කවුද කියන එක රාජ්‍යයක ආකෘතිය අනුව වෙනස් වන දෙයක්. රාජ්‍ය ආකෘතිය කුමක් වුවත් නීති හදා ක්‍රියාත්මක කරන්න බලය අවශ්‍ය වෙනවා. නමුත් නීති අවසාන වශයෙන් සම්මුතීන් හා ගැලපුනේ නැත්නම් නීති හදන හා ක්‍රියාත්මක කරන බලය අභියෝගයට ලක්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්. 

නීති හැදීම හා ක්‍රියාත්මක කිරීම සඳහා රජෙකුට තිබෙන බලය බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න නොකර පිළිගන්නවානම් එය සම්මුතියක්. ප්‍රජාතන්ත්‍රවාදය මේ සඳහා තිබෙන විකල්ප සම්මුතියක්. මෙහිදී නීති හැදීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා බොහෝ දෙනෙකුට අවකාශ සැලසෙනවා.

සම්මුතිය රජෙකුගේ ආධිපත්‍යය පිළිගැනීම වී ඇති සමාජ වල රජු වෙනස් වීමද ඒ සම්මුතියේම කොටසක්. ඒ නිසා, රජු වෙනස් වුනා කියලා රාජ්‍ය ආකෘතියේ වෙනසක් වෙන්නේ නැහැ. රාජ්‍යයට අඛණ්ඩ පැවැත්මක් තිබෙනවා. 

රජෙකුගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරලා හදා ගන්න විකල්ප සම්මුතියකට රජු වෙනුවට ආදේශකයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවකින් සිදුවන්නේ මේ කාර්ය භාරය. සම්මුතියක් ලෙස ව්‍යවස්ථාවක් හදා ගත්තට පස්සේ අනෙකුත් නීති හදාගන්න වෙන්නේ ඒ ව්‍යවස්ථාවට යටත්වයි. ව්‍යවස්ථාව අනෙකුත් නීති වලට වඩා ඉහළින් තිබෙන උත්තරීතර නීතියක්. 

ව්‍යවස්ථාව කියන්නෙත් සම්මුතියක් නිසා සම්මුතියෙන් ව්‍යවස්ථාවක් වෙනස් කරගන්න පුළුවන්. ඒක කරන්නේ පවතින ව්‍යවස්ථාව අනුවනම්, ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය දිගටම පවතිනවා. රජු වෙනස් වෙද්දී රාජ්‍යත්වය එලෙසම පවතිනවා වගේ. 

ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීති හැදීම සිදු වන්නේ ජනතා නියෝජිතයින් හරහා. කිසියම් නීතියක් සම්බන්ධව හෝ නීති ක්රියාත්මක වීම පිළිබඳව සැලකිය යුතු ප්‍රමාණයක ජන කණ්ඩායමට බරපතල ප්‍රශ්න ඇති වූ විට ඒ පිළිබඳ විරෝධයක් ඇති වෙනවා. එසේ විරෝධතා දක්වන්නට ඉඩක් තිබීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක්. 

සාමකාමී විරෝධතා හරහා විරෝධතාකරුවන්ට සෑහීමකට පත් විය හැකි විසඳුමකට පැමිණිය හැකි වූ විට විරෝධතාවක් අවසන් වෙනවා. එවැන්නක් සිදු නොවූ විට සාමකාමී විරෝධතා දිග් ගැසුණු අරගල බවට පත් වෙනවා. අරගල අවස්ථාවක යම් කාලයකට, යම් ස්ථානයක නීතියේ පාලනය බිඳ වැටෙන්න පුළුවන්. නමුත් එයින් සමස්තයක් ලෙස රටේ නීතියේ පාලනය බිඳ වැටෙන්නේ නැහැ. 

සමහර විට විරෝධතාවකට හේතුව වන්නෙම නීතියේ පාලනය දුර්වල වීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක විරෝධතාවකින් හෝ එයින් ඔබ්බට ගිය අරගලයකින් නීතියේ පාලනය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න පුළුවන්. 

මේ වගේ අවස්ථාවලදී දිගුකාලීනව නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග නිසා වුවත් කෙටිකාලීනව නීතියේ පාලනය කඩා වැටෙන්න පුළුවන්. නමුත් එසේ වූ පමණින් ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය නැති වන්නේ හෝ රාජ්‍ය ආකෘතිය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, නීතියේ පාලනය නැවත ස්ථාපනය කිරීම අමාරු වැඩක් නෙමෙයි. 

ඇතැම් විප්ලවීය අවස්ථාවන් වලදී එකවර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය යන තුනම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකින් පස්සේ සාමාන්‍යයෙන් රාජ්‍යයක ආකෘතියත් වෙනස් වෙනවා. අලුතෙන් රටක් බිහි වෙන අවස්ථාව මෙවැනි සුවිශේෂී අවස්ථාවක්. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක්ව සිටීම ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාව නිදහස් රටක් වීම මෙවැනි විප්ලවීය අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍යයකට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් නැහැ. අලුත් රටක් හදා ගැනීමේ මූලික පියවරක් වෙන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. 

රටක ව්‍යවස්ථාවක් හදන කටයුත්තට රටේ හැම දෙනෙක්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්නේ බලය තිබෙන සීමිත කණ්ඩායමක් විසින්. ව්‍යවස්ථාවක් හෝ එහි මූලික අදියර වන නිදහස් ප්‍රකාශනයක් වැනි දෙයක් බලාත්මක වී ප්‍රායෝගික යථාර්ථයක් විදිහට අලුත් රටක් හෝ අලුත් රාජ්‍ය ආකෘතියක් හැදෙන්නේ අභ්‍යන්තරව හා බාහිරව එයට ලැබෙන පිළිගැනීම එක්කයි. 

ඇමරිකාව මේ විදිහට හැදුනු අලුත් රටක්. එහි රාජ්‍ය ආකෘතියේ ඉවත් කළ නොහැකි මූලික අංගයක් වන්නේ ව්‍යවස්ථාව. අනෙකුත් නීති සියල්ල හැදෙන්නේ ව්‍යවස්ථාවට යටත්ව. ඒ අනුව, රටේ නීතියේ පාලනය පවත්වා ගෙන යන්නේ ව්‍යවස්ථාවේ සහ ජනසම්මතයෙන් එයට තිබෙන පිළිගැනීමේ උදවුවෙන්. ඇමරිකාවේ ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වී ඇතත්, ඒ සියළු සංශෝධන සිදු කර තිබෙන්නේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය පවත්වා ගනිමිනුයි.

අසල්වැසි ඉන්දියාව ගත්තත් තත්ත්වය මීට සමානයි. නිදහසින් පසු හැදුණු ඉන්දියාව කලින් නොතිබුණු අලුත්ම රටක්. ඒ අලුත් රටට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් තිබුණේ නැහැ. ඉන්දියාවත් කළේ ඇමරිකාව වගේම මුලින්ම ව්‍යවස්ථාවක් හදා ගෙන ඒ හරහා නීතියේ පාලනය ස්ථාපනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් ඇති කිරීම. ඒ සම්ප්‍රදාය එයින් පසුව කැඩුනේ නැහැ. 

බංග්ලාදේශය කියන්නෙත් මේ විදිහටම හැදුනු අලුත් රටක්. ඒ වගේ අලුත් රටකට මුලින්ම කරන්න සිදු වන කාර්යයක් වන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. මේ වැඩේ කළේ බංග්ලාදේශ නිදහස් සටනට නායකත්වය දුන් අවාමි ලීගය විසින්. නමුත් බංග්ලාදේශයට ඇමරිකාවට මෙන් ඔවුන්ගේ ව්‍යවස්ථාව හා ඒ යටතේ සිදු වන නීතියේ පාලනය දිගටම අඛණ්ඩව පවත්වා ගත හැකි වූයේ නැහැ. 

බංග්ලාදේශයේ ව්‍යවස්ථාව මුලින්ම බලාත්මක වුනේ 1972 දෙසැම්බර් මාසයේදී. ඒ මත පදනම්ව, 1973 මාර්තු මාසයේදී පැවති මැතිවරණයේ ප්‍රතිඵලය මගින් එම ව්‍යවස්ථාව සඳහා ජනතා අනුමැතිය තහවුරු වුනා. නමුත්. 1975 අගෝස්තු මාසයේදී රටේ නායකයා වූ මුජිබර් රහ්මාන්ව ඝාතනය කිරීමෙන් හා හමුදා ආණ්ඩුවක් පිහිටවීමෙන් පසුව මේ ව්‍යවස්ථාව අත්හිටවනු ලැබුවා. ඊට පස්සේ තිබුණේ හමුදා නීතිය.

ඔය ව්දිහට 1975දී අත් හිටවූ ව්‍යවස්ථාව නැවතත් බලාත්මක වෙන්නේ 1979දී. නමුත්, 1982දී හමුදා කුමන්ත්‍රණයක් මගින් එර්ශාඩ් බලය ගැනීමෙන් පසුව නැවතත් මුලට යනවා. එර්ශාඩ් 1986 මැතිවරණය ජයගෙන නැවත ව්‍යවස්ථාව බලාත්මක කළත්, එර්ශාඩ්ගේ මැතිවරණ සාධාරණ මැතිවරණ ලෙස බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. ඛලිඩා සියා සහ ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් ඔවුන්ගේ පක්ෂ විසින් එර්ශාඩ්ගේ පාලනය අවසන් කරලා 1991 මැතිවරණය පවත්වන තුරු පැවතුණේ ඔය තත්ත්වය වුනත් 1986 වර්ෂයේ ඉඳලා නමට හරි බංග්ලාදේශයේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වයක් තියෙනවා. ඒක වුනත් සාපේක්ෂව කෙටි කාලයක් තමයි.

ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය තිබූ පමණින් හා මොනවා හෝ මැතිවරණ තිබු පමණින් නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැහැ. මැතිවරණ සාධාරණ ලෙස පැවැත්වෙන බවත්, නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවත් බොහෝ දෙනෙකුට පෙනෙන්නට තිබිය යුතුයි. නිල නොවන පැහැර ගැනීම් ආකාරයෙන් සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම් ආදියෙන් පෙන්නුම් කෙරෙන්නේ නීතියේ පාලනය නෙමෙයි. ඒ වගේම, විධිමත් ලෙස නීතියක් හැදු පමණින් එය සාධාරණ නීතියක් නොවන නිසා විධිමත් ලෙස හදන හැම නීතියකට පුළුල් මහජන අනුමැතියක් ලැබෙන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයන් තුළ ආණ්ඩු මාරු වලින් එහාට යන, රාජ්‍ය ආකෘතියම අභියෝගයට ලක් වන තත්ත්වයන් රටක ඇති වෙන්න පුළුවන්. බංග්ලාදේශයේ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.

දැන් බංග්ලාදේශයේ පිහිටුවා තිබෙන අන්තර්වාර පාලනය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව හදපු එකක් නෙමෙයි. වත්මන් බංග්ලාදේශ ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ආණ්ඩු කියා නීත්‍යානුකූල ව්‍යුහයක් නැහැ. අගමැති ඉල්ලා අස් වුනත්, නැවත අගමැති කෙනක් පත් වන තුරු අගමැති බලතල තියෙන්නේ හිටපු අගමැතිටයි. හරියට 1978ට පෙර ලංකාවේ තත්ත්වය වගේ. අගමැති කෙනක් පත් කරගත හැක්කේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිට තමන්ගේ කැමැත්ත අනුව අගමැති කෙනෙක් පත් කරන්න බැහැ. විධායක බලතල නැති නාමික ජනාධිපතිට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුව පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලානම් ඒ විසුරුවා හැරපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව. බංග්ලාදේශ ව්‍යවස්ථාවෙන් රාජ්‍යය බිඳ වැටෙන එක වලක්වා තිබෙන්නේ ඒ විදිහටයි. 

මේ මොහොතේ බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන තුනම බිඳ වැටිලයි තියෙන්නේ. ඒ වගේ තැනක ඉඳන් පටන් ගන්නවා කියන්නේ අලුතෙන්ම රටක් හදනවා වගේ වැඩක්. ඒ අර්ථයෙන් කැරලිකරුවන් විසින් මෙය දෙවැනි නිදහස් සටනක් සේ හැඳින්වීම නිවැරදියි. 

බංග්ලාදේශය බිහි කළ 1971 නිදහස් සටන සිදු වුනේ පුළුල් මහජන සහයෝගයක් ඇතුවයි. මේ වගේ ප්‍රකාශයක් විශ්වාසයෙන් යුතුව කළ හැක්කේ ඉන් පසු පැවති 1973 මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එය තහවුරු වන නිසා. 2024 අරගලයට පුළුල් මහජන සහයෝගයක් තියෙනවාද නැද්ද කියා කියන්න පුළුවන් වෙන්නේ යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් තුළ ජනතා කැමැත්ත පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පමණයි. එතෙක් එය තවත් රාජ්‍යයට එරෙහි කැරැල්ලක් පමණයි.

ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් වුවත් බංග්ලාදේශය ආණ්ඩුවක් පිහිටවලා තිබෙනවා. දැනටනම් ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී නැහැ. අලුත් ආණ්ඩුවට මුලින්ම කරන්න තියෙන්නෙත්, කරමින් සිටින්නේත්, නීතියේ පාලනය ස්ථාපනය කිරීම. නමුත් ආණ්ඩුව බිහිවන්නේම ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් නිසා, නීතියේ පාලනය කුමක්ද කියන එක පිළිබඳ තාක්ෂනික ගැටලුවක් මතු වෙනවා. 

අරගලයට නායකත්වය දුන් සිසුන්ගේ ඉල්ලීම් වෙනස් වුනත්, බංග්ලාදේශයට ව්‍යවස්ථා සම්ප්‍රදාය වෙත නැවත යා හැක්කේත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලෝකයට සහතිකයක් දිය හැක්කේත්, සාධාරණ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවක් හා අගමැතිවරයෙක් තෝරා පත් කරගැනීමෙන් පසුව පමණයි. 

Thursday, August 8, 2024

අන්තර්වාර රජයේ ශිෂ්‍ය නියෝජනය


බංග්ලාදේශයේ අන්තර්වාර ආණ්ඩුව හෙවත් අන්තර්වාර උපදේශක කමිටුවට අරගල නායකයින් වූ සිසුන් දෙදෙනෙකුද ඇතුළත් කරගෙන තිබෙනවා. ඒ, නහිඩ් ඉස්ලාම් හා අසිෆ් මහමුද්. ඔවුන් දෙදෙනාම ධාකා සරසවියේ සිසුන්. 

සමාජ විද්‍යාව හදාරන නහිඩ්ගේ වයස අවුරුදු 26ක්. වාග් විද්‍යා සිසුවෙක් වන අසිෆ් වයස අවුරුදු 26කට මදක් අඩු තරුණයෙක්.

ඡායාරූපයේ ආචාර්ය මොහොමඩ් යුනුෆ්ට දකුණු පසින් සිටින්නේ නහිඩ් ඉස්ලාම්. වම් පසින් සිටින්නේ අසිෆ් මහමුද්. අරගල නායකයින් වූ ඔවුන් දෙදෙනා ඇතුළු තවත් බොහෝ දෙනෙකු ෂෙයික් හසීනාගේ රජය විසින් පැහැරගෙන ගොස් වධ බන්ධනයට ලක් කළ අතර පසුගිය කාලය තුළ එසේ පැහැරගනු ලැබූ බොහෝ දෙනෙකුට නැවත යහතින් පැමිණීමට වාසනාවක් තිබුණේ නැහැ. 

අසිෆ් මහමුද්ව පැහැර ගනු ලැබුවේ ජූලි 19 දිනයි. එහිදී අරගලය අත්හිටවූ බවට ප්‍රකාශයක් කරන මෙන් බල කරමින් ඔහුට වද දී තිබුණු අතර හොඳ සිහිය නැති වන පරිදි කිසියම් ඖෂධයක් හෝ මත්ද්‍රව්‍යයක් දිගින් දිගටම එන්නත් කර තිබුණා. දින පහකට පසුව, ජූලි 24 දින ඔහුව පැහැර ගත් තැන ආසන්නයේම මහ මග දමා ගොස් තිබුණා. ඔහු නැවත යථා තත්ත්වයට පැමිණියේ දින ගණනාවක වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුවයි. 

ජූලි 19 දිනම නහිඩ් ඉස්ලාම්වද මුල් වරට පැහැර ගෙන යනු ලැබුවා. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි 25 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ඔහුව පැහැර ගෙන යාමෙන් අනතුරව දෑත් හා දෑස් බැඳ ශාරීරික හා මානසික වද හිංසා පමුණුවා තිබුණා. දින දෙකකට පසුව, ජූලි 21 දින ඔහුව සිහි විසංඥ තත්ත්වයෙන් පාලමක් යට දමා ගොස් තිබියදී හමු වීමෙන් පසුව රෝහලකට ඇතුළු කළා. ඉන් පසු, ජූලි 26 දින නැවත වරක් ඔහුව එම රෝහලෙන් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර තිබුණා. බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය සාමූහික කටයුත්තක් වුවත්, නහිඩ් ඉස්ලාම් අරගලයේ ප්‍රධානම නායකයා සේ සැලකෙනවා.

ආචාර්ය මොහොමඩ් යුනුෆ් ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන අන්තර්වාර උපදේශක කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස බංග්ලාදේශ මහ බැංකුවේ හිටපු අධිපති වරයෙකු, අරගලයට සහයෝගය දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු, හිටපු නීතිපතිවරයෙකු හා නියෝජ්‍ය නීතිපතිවරයෙකු, හිටපු විදේශ අමාත්‍යංශ ලේකම් වරයෙකු, හිටපු මැතිවරණ කොමසාරිස් වරයෙකු ඇතුළු කණ්ඩායමක් තෝරා පත් කරගෙන තිබෙනවා.

Wednesday, August 7, 2024

බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය හා අරගලය

ලංකාවේ දැනට ජීවත් වන වයස්ගතම පුද්ගලයාගේ වයස කීයක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් එය අවුරුදු 114කට වඩා වැඩි වෙන්න බැහැ. 1910දී ඉපදුණු කෙනෙක් තවම ජීවත් වෙනවානම් දැන් වයස අවුරුදු 114ක් වෙලා. 1931දී අවුරුදු 21ක් වෙලා.

ලංකාවේ ජීවත් වූ වයස අවුරුදු 21 ඉක්මවූ සියලුම බ්‍රිතාන්‍ය යටත් විජිත වැසියන්ට 1931දී ඡන්ද බලය හිමි වුනා. ඒ වගේ දෙයක් කලාපයේ වෙනත් කිසිම රටක සිදු වුනේ නැහැ. ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින ප්‍රජාතන්ත්‍රවාදී රට ඉන්දියාව. ඉන්දියානුවන්ට සර්වජන ඡන්ද බලය ලැබී එය පාවිච්චි කරන්න ඉඩ ලැබුණේ නිදහස ලබා ගත්තට පස්සේ 1951දී. ලංකාවට වඩා අවුරුදු විස්සකට පස්සේ. 

මිනිස් නිදහස හොඳින් තහවුරු වී තිබෙන්නේ ශක්තිමත් ද්වි පක්ෂ (හෝ බහු පක්ෂ) ක්‍රමයක් යටතේ නියමිත කාල වකවානු තුළ මැතිවරණ පැවැත්වෙන රටවල් වලයි. එවැනි ශක්තිමත් ද්වි පක්ෂ ක්‍රමයක් තිබෙන රටවල් ගණනාවක, විශේෂයෙන්ම යටත් විජිතයක්ව තිබී නිදහස ලබා ඇති රටවල, එම ද්වි පක්ෂ ක්‍රමය ගොඩ නැගුණු පොදු රටාවක් තිබෙනවා. 

මුලින්ම මිනිස්සු තමන්ගේ නායකයින් විදිහට තෝරා ගන්නේ නිදහස් සටනට නායකත්වය දුන් පිරිස. බොහෝ තැන් වලදී ඒ උරුමය ඔවුන්ගේ දරුවන්ටත් ලැබෙනවා. විශේෂයෙන්ම අපේ කලාපයේ මෙය පොදු සංසිද්ධියක්. දෙවන පක්ෂයක් හැදෙන්නේ ඒ පළමු පක්ෂයේ බෙදීමකින් හෝ කාලයත් එක්ක නිදහස් සටනේ ගැම්ම ඉවර වෙද්දී. 

ලංකාවට නිදහස ලැබෙන්නේ ඒ සඳහා ලොකු සටනක් කිරීමෙන් පසුව නෙමෙයි. ඒ නිසා, ඉන්දියාවේ මෙන්, නිදහස් සටනක් එක්ක එන "ජාතික පිබිදීම" ලංකාවේ ඒ විදිහටම ඇති වුනේ නැහැ. අනෙක් පැත්තෙන් නිදහස ලැබෙන්න කලින්ම ලංකාවට සර්වජන ඡන්ද බලය එක්ක ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලැබිලයි තිබුණේ. 

පනස් හය වෙද්දී, ශ්‍රීලනිපය බිහි වී තිබීම නිසා, කලාපයේ අනෙක් රටවල් වලට වඩා කලින් ලංකාවේ ශක්තිමත් ද්වි පක්ෂ ක්‍රමයක් ඇති වුනා. ඒ නිසා රටේ මිනිස්සුන්ට පාලකයින්ව එපා වෙද්දී මැතිවරණ හරහා සාමකාමී ලෙස ඔවුන්ව ඉවත් කර වෙනත් කණ්ඩායමක් ආදේශ කරගන්න පුළුවන් කියන එක භාවිතයෙන් හා අත්දැකීමෙන්ම පැහැදිලි වුනා. මේ තත්ත්වය උතුරට බලපෑවේනම් ටිකක් වෙනස් විදිහකට. 

ඉන්දියාවේ මේ වගේ දෙයක් වුනේ දශක කිහිපයක් ප්‍රමාද වෙලා. ඊට එක් ප්‍රධාන හේතුවක් වුනේ ඉන්දියානුවන්ට සර්වජන ඡන්ද බලය ලැබුණේ ලංකාවට වඩා දශක දෙකකට පසුව වීම. අනෙක් හේතුව ඉන්දියාවට නිදහස ගන්න ලංකාවට වඩා ගොඩක් දේවල් කරන්න සිදු වීම. 

නිදහසින් පසු කාලයක් එක දිගටම ඉන්දියාවේ බලයේ හිටියේ කොංග්‍රස් පක්ෂය. කොංග්‍රස් පක්ෂය කිවුවත් ඇත්තටම නේරු-ගාන්ධි පවුලේ පරම්පරා තුනක්. හැත්තෑ හතේ මොරාජි දේසායිගේ සන්ධාන ආණ්ඩුවෙන් මුල් වරට මේ තත්ත්වය වෙනස් වුනත්, කොංග්‍රස් විරෝධය මත එකතු වූ නොගැලපෙන රෝද ටිකක් පමණක් වූ ඒ ආණ්ඩුව කඩා වැටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඉන්දියාවේ හරියකට ද්වි පක්ෂ ක්‍රමයක් ඇති වුනේ භාරතීය ජනතා පක්ෂය ඉස්සරහට ආවට පස්සේ. දැන් ඉන්දියාවේ තියෙන්නේ බහු පක්ෂ අච්චාරුවක්. කොහොම වුනත් මේ වෙද්දී ලංකාවේ වගේම ඉන්දියාවේත් හොඳින් තහවුරු වූ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තියෙනවා.

දැන් තියෙන බංග්ලාදේශය කියන රට හැදෙන්නේ ඒ රට පකිස්ථානයෙන් වෙන් වීමත් එක්කයි. දැන් තියෙන බංග්ලාදේශයද ඇතුළත් පකිස්ථානය ඉංග්‍රීසින් විසින් හදපු රටක්. ඉන්දියාව වගේම බුරුමය හෙවත් මියන්මාරයත් එහෙම රටවල්. 

බංග්ලාදේශය කියා රටක් නොතිබුණත් කාලයක ඉඳන්ම බංගලි දේශයක් තිබුණා. අපි වංග දේශය කියා කිවුවෙත් ඔය රටට. "ඔලිඳ තියෙන්නේ බංගලි දේසේ" කියලා අපි අහලා තිබුණා. බංගලි මාල, බංගලි වළලු, බංගලි රෝස එහෙමත් අපිට පුරුදු දේවල්. ඔය බංගලි දේශය හෙවත් බෙංගාලය බංගලි භාෂාව කතා කරන බංගලියන්ගේ රට. 

බෙංගාලය නිදහසට කලින් තිබුණු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ එක් පළාතක්. බ්‍රිතාන්‍ය ඉන්දියාව කියා කියන්නේ නූතන ඉන්දියාවේ, පකිස්ථානයේ, බංග්ලා දේශයේ තැන් තැන් වල තිබුණු ඔය වගේ පළාත් ගණනාවක එකතුවක්. කාලයක් බුරුමයත් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක්ව පැවතුනා. නමුත් මේ පළාත් අතර තැනින් තැන මහාරාජා වරුන් විසින් පාලනය කළ ස්වාධීන රාජ්‍ය 565ක් හෝ ආසන්න ගණනක් තිබුණු නිසා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පළාත් සියල්ල එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. භූමියෙන් 40%ක් පමණ පාලනය කළේ ඔය මහාරාජාවරු. 

ඉන්දියාවට සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ නිදහසට පසුව වුනත්, ඊට පෙරද ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ වල මැතිවරණ පැවැත්වුණා. එහෙත් ඡන්දය දීම සඳහා සුදුසුකම් තිබුණේ ඉතා ඉහළ ආදායම් හා වත්කම් තිබුණු සීමිත පිරිසකට පමණයි. මේ මැතිවරණ වලදී , විශේෂයෙන්ම නිදහසට පෙර අන්තිමට පැවති 1945/46 මැතිවරණයේදී, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ ජය ගැනීමට ඉන්දියානු ජාතික කොංග්‍රසයට හැකි වුනත්, වත්මන් බංග්ලාදේශයේ හා පකිස්ථානයේ බහුතර ජනතා සහයෝගය ලබාගෙන ජය ගන්නට අලි ජින්නාගේ සමස්ත ඉන්දීය මුස්ලිම් කොංග්‍රසය සමත් වුනා.

මේ එක්ක බෙංගාලයේ දේශපාලන බලය ඉන්දියානු ජාතික කොංග්‍රසය හා සමස්ත ඉන්දීය මුස්ලිම් කොංග්‍රසය අතර බෙදී ගියා. ජාතිය මත පදනම් වූ ස්වාධීන බෙංගාලයක් පිළිබඳ අදහස් යටපත් වෙලා මුස්ලිම් හා හින්දු අනන්‍යතා උඩට ආවා. ඉන්දියාව හා පකිස්ථානය ලෙස රටවල් දෙකක් බිහි වෙද්දී සියවස් ගණනක් එක රටක් වූ බෙංගාලය වෙන වෙනම රටවල් දෙකක කොටස් බවට වුනා. හින්දූන් වැඩිපුර සිටි බටහිර බෙංගාලය ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙද්දී මුස්ලිම්වරුන් වැඩිපුර සිටි නැගෙනහිර බෙංගාලය පකිස්ථානයේ කොටසක් වී පසුව නැගෙනහිර පකිස්ථානය ලෙස නම් කෙරුණා.

පකිස්ථානයේ බටහිර කොටසේ (වත්මන් පකිස්ථානයේ) හිටියේ වැඩි වශයෙන් උර්දු භාෂාව කතා කළ, ශරීර ප්‍රමාණයෙන් වඩා විශාල, යුදකාමී අතීතයකට උරුම කියන ජනතාවක්. ඊට සාපේක්ෂව බංගලියන් සාමකාමී, තමන්ගේ පාඩුවේ ඉන්න, ශරීර ප්‍රමාණයෙන් කුඩා පිරිසක්. මේ වෙනස්කම් නිසා හමුදා වල ඉහළ නිල වල නැගෙනහිර පකිස්ථානය නියෝජනය වුනේ ඉතාම අඩුවෙන්. 

නැගෙනහිර පකිස්ථානයේ ජනගහණය බටහිර පකිස්ථානයේ ජනගහණයට වඩා වැඩි වුවත්, රාජ්‍ය පරිපාලනය සිදු කෙරුණේ බටහිර පකිස්ථානය තුළයි. නිදහස ලැබූ අලුතම මෙන් එකම රාජ්‍ය භාෂාව ලෙස උර්දු භාෂාව තෝරා ගැනීමත් සමග රටේ බටහිර හා නැගෙනහිර කොටස් අතර ආතතියක් හට ගත්තා. නැගෙනහිර පකිස්ථානයේ බහුතරය කතා කළේ බෙංගාලි භාෂාවයි. 

නිදහස ලැබූ වහාම ඉන්දියාව සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නත් පකිස්ථානය එසේ කළේ නැහැ. ඒකාබද්ධ පකිස්ථානයේ මුල් නායකයින්ගේ මතය වුනේ සාක්ෂරතාව 15%කට සීමා වූ තම රටට ප්‍රජාතන්ත්‍රවාදය නොගැලපෙන බවයි.

මේ හේතුව නිසාම, අඩු ජනගහණයක් සිටින බටහිර පකිස්ථානයට දිගින් දිගටම වැඩි ජනගණයක් සිටින නැගෙනහිර පකිස්ථානය මත සිය ආධිපත්‍යය පතුරවන්නට හැකිවුනා. මුල් වරට, 1970දී සර්වජන ඡන්ද බලය හඳුන්වා දී මැතිවරණයක් පවත්වන තුරු පකිස්ථානය බොහෝ දුරට පාලනය වුනේ හමුදා නිලධාරීන් අතිනුයි. මේ කාලය තුළ දිගින් දිගටම නැගෙනහිර පකිස්ථානයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි.

ශරීර ස්වභාවයෙන් බෙංගාලීන් සිංහලයින්ට බොහෝ සමානයි. සිංහලයෙකුට කිසිදු අපහසුවකින් තොරව බංගලියන් අතර "සැඟවී සිටින්න" පුළුවන්. "බිදේෂි"යෙකු බව ඔවුන්ට තේරෙන්නේ භාෂාව නොදන්නා නිසා ප්‍රශ්නයකට පිළිතුරු දීමට නොහැකි වුවහොත් පමණයි. වංග බසද උතුරු ඉන්දීය භාෂා අතරින් සිංහල බසට වඩා සමීප බසක්. සිංහලයින් හා බංගලියන් අතර මා දකින තවත් සමානකමක් වන්නේ මැසිවිලි නොනගා කාලයක් තිස්සේ පීඩනයක් දරා සිටින හා යම් සීමාවකට පැමිණි පසු එය එක් වර මුදා හරින ස්වභාවයයි. ඒ වගේම ඔවුන් සාමූහිකව කටයුතු කරන්නට නැඹුරුවක් ඇති පිරිසක්.

සර්වජන ඡන්දබල පදනම මත පකිස්ථානයේ පළමු මැතිවරණය පැවැත්වුනේ 1970දීයි. ඒ ලංකාවේ එවැන්නක් සිදු වී දශක හතරකට පසුවයි. ඉන්දියාවට වඩා දශක දෙකකට පසුවයි. මෙම මැතිවරණයේදී ආසන 300ක් සඳහා නියෝජිතයින් තෝරා ගැනීමට මැතිවරණ පැවැත්වුනා. කාන්තාවන් සඳහා තවත් ආසන 13ක් වෙන්කෙරුනා.

වඩා වැඩි ජනගහනයක් සිටින නැගෙනහිර පකිස්ථානයට මැතිවරණ ආසන 162ක් හා කාන්තා නියෝජන ආසන 7ක් ලෙස ආසන 169ක් වෙන් වූ අතර, ජනගහණය අඩු බටහිර පකිස්ථානය වෙනුවෙන් වෙන් වුනේ ආසන 144ක් පමණයි. මෙම මැතිවරණයේදී කාලයක් තිස්සේ ඒකාබද්ධ පකිස්ථානය තුළ වෙනස් කොට සැලකීමට පාත්‍ර වූ බංග්ලාදේශයේ ජනතාව බංගලි ජාතිකත්වය මත මැතිවරණයට ඉදිරිපත් වන අවාමි ලීගය වඩා එක් රැස් වුනා. එහි නායකයා වූයේ වත්මන් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස මෙතෙක් මහත් බුහුමනට ලක් වූ ෂෙයික් මුජිබර් රහ්මාන්. පසුගියදා ඉල්ලා අස්වූ ෂෙයික් හසීනාගේ පියා. බෙංගාලි ජනතාවගේ මිත්‍රයා යන තේරුම තිබෙන බංගබොන්ධු යන ගෞරව නාමයද සාමාන්‍යයෙන් ඔහුගේ නම මුලට යෙදෙනවා. 

බංගබොන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය විසින් මෙම මැතිවරණයේදී නැගෙනහිර පකිස්ථානයේ ආසන 169ක ප්‍රමාණයෙන් ආසන 167ක්ම දිනා ගත්තා. නමුත් බටහිර පකිස්ථානයේ ආසන වාමාංශික, දක්ෂිණාංශික හා මුස්ලිම් ආගමික පක්ෂ ගණනාවක් අතර බෙදී ගියා. මේ අතර ඉදිරියෙන්ම සිටි සුල්ෆිකාර් අලි භූතෝගේ පකිස්තානු ජනතා පක්ෂය විසින් ලබා ගත්තේ ආසන 86ක් පමණයි.

මේ අනුව, ඒකාබද්ධ පකිස්ථානයේ පාලන බලය නීත්‍යානුකූලව හිමි විය යුතු වන්නේ මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගයට වුවත් මෙහිදී රාජ්‍ය බලය බටහිර පකිස්ථානයේ සිට නැගෙනහිර පකිස්ථානය වෙත විතැන් වීමට නියමිතව පැවති බැවින්, අපේක්ෂා කළ හැකි පරිදිම, සාමකාමී බල හුවමාරුවක් සිදු වුනේ නැහැ. 

මේ වන විට පකිස්ථාන හමුදා ආණ්ඩුවේ ජනාධිපති ධුරය ඉසිලුවේ ජෙනරාල් යහියා ඛාන්. ඔහු එම ධුරයට පත් වුනේ ඊට පෙර එම ධුරය දැරූ ෆීල්ඩ් මාෂල් අයුබ් ඛාන්ගේ ඉල්ලා අස් වීමෙන් පසුවයි. යහියා ඛාන් රාජ්‍ය බලය නැගෙනහිර පකිස්ථානය වෙත විතැන් වීම පිළිබඳව සතුටු වුනේ නැහැ. ඔහු උත්සාහ කළේ සුල්ෆිකාර් අලි භූතෝ සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමටයි.

මෙය නැගෙනහිර පකිස්ථානය කම්පනය කරවන තීරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාමකාමී බල හුවමාරුවක් සිදු වන තුරු බලා සිටින ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂාවන් මුළුමනින්ම බිඳ වැටුනා. මෙවැනි අවස්ථා වලදී ලේ වැගිරීම් සිදු වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සාමකාමී අරගල මෙන්ම සාමකාමී නොවන අරගලද ලෝක දේශපාලනය තුළ වරින් වර සිදු වන සාමාන්‍ය දේවල්. මේවා වැරදි හෝ නිවැරදි ලෙස වර්ග කිරීම පහසු වැඩක් නෙමෙයි. 

මේ තත්ත්වය හමුවේ බංගබොන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ට බංග්ලාදේශය නමින් වෙනම, ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට සිදු වෙනවා. මෙය සිදු වන්නේ 1971 මාර්තු 26 දිනයි. එනම් ලංකාවේ අප්‍රේල් කැරැල්ල සිදු වූ දිනට ඉතා ආසන්න දිනකයි. මැතිවරණයෙන් පසුව දේශපාලන බලය නැගෙනහිර පකිස්ථානය වෙත ලබා නොදීමට අමතරව, ජෙනරාල් යහියා ඛාන් විසින් හමුදා යොදවා නැගෙනහිර පකිස්ථානයේ සාමකාමී විරෝධතා කෲර ලෙස මර්දනය කිරීමද මේ තීරණය කෙරෙහි බලපානවා. 

මේ හා සමඟම ෂෙයික් මුජිබර් රහ්මාන්ව අත් අඩංගුවට පත් වනවා. එයින් වෙන්නේ බංග්ලාදේශ නිදහස් අරගලය වේගයෙන් ඇවිලී යාමයි. මෙම අරගලය මර්දනය කරන හමුදාව එහිදී බෙංගාලි ජාතිකයින් විශාල ප්‍රමාණයක් මරා දමමින් හා කාන්තාවන් විශාල ප්‍රමාණයක් දූෂණය කරමින් නැගෙනහිර බෙංගාලයේ සාමූහික මතකය තුළ විශාල කාලයකට නොමැකෙන පකිස්තානු විරෝධයක් ඉතිරි කරනවා. 

ඉන්දියාවේ මැදිහත්වීම නොවන්නට ප්‍රතිඵලය වෙනස් විය හැකි වුවත්, ඉන්දියාවේ උදවුවෙන් බංග්ලාදේශය විසින් සිය නිදහස් අරගලය ජයගෙන ස්වාධීන බංග්ලාදේශයක් බිහි කරනවා. මාස අටකට වැඩි කාලයක් දිග් ගැසුණු යුද්ධයකින් පසුව, දෙසැම්බර් මාසයේදී පකිස්ථාන හමුදා ඛණ්ඩ වලට යටත් වීමට සිදු වෙනවා. ඒ වන තුරුද අත් අඩංගුවේ පසු වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ව නිදහස් කිරීමටද සිදු වෙනවා.

මේ වෙද්දී ලෝක බල තුලනය පැවතුනේ අදට වඩා බොහෝ වෙනස් ආකාරයකටයි. ඉන්දියාව හිටියේ රුසියාව සමඟ. චීනය හා ඇමරිකාව හිටියේ ප්‍රතිවිරුද්ධ පැත්තේ. සිරිමාවෝ බණ්ඩාරණායකගේ ආණ්ඩුව රුසියාව පැත්තට බර නොබැඳි පිළිවෙතක හිටියත්, මේ යුද්ධයේදී ගත්තේ පකිස්ථානයේ පැත්තයි. ඉන්දියාව පකිස්ථානයට කළ ආකාරයේ මැදිහත් වීමක් ලංකාවටද කරනු ඇතැයි සිතීම එයට හේතුව වෙන්න පුළුවන්. වසර දහ අටකට පසුව එවැන්නක් සිදු වුනත් බංග්ලා දේශය බිහි වූ ආකාරයෙන් එය දුර දිග ගියේ නැහැ. ඇතැම් විට ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් නොකරන්නට තත්ත්වය වෙනස් විය හැකිව තිබුණා.

නිදහස් බංග්ලාදේශයේ පළමු මැතිවරණය පැවැත්වුනේ 1973දී. මෙම මැතිවරණය ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය විසින් ජය ගන්නේ කිසිදු තරඟයක් නැතිවයි. ඔහුගේ පක්ෂයට අහිමි වන්නේ ආසන 313කින් ආසන පහක් පමණයි. කොහොම වුනත් මෙය යුද්ධයේ උණුසුම නිසා සිදු වූ දෙයක්. 

මේ අයුරින් බංග්ලා දේශයේ ජනතාව ජාතිකත්වය මත පදනම්ව පකිස්ථානයට එරෙහිව එකමුතු වී සිටියත්, ඔවුන්ගේ දේශපාලනික මතවාද අතර වෙනස්කම් මතු වෙන්නට වැඩි කලක් ගත වෙන්නේ නැහැ. මුලින්ම මේ බිඳී යාම සිදු වන්නේ අවාමි ලීගයේ ශිෂ්‍ය අංශය වන බංග්ලාදේශ ඡත්‍ර ලීගය තුළයි. එහින් බිඳී යන පිරිස් විසින් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ බිහි කරන අරමුණට සමාන අරමුණකින් ජාතික සමාජවාදී පක්ෂය හදනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ෂෙයික් මුජිබර් රහ්මාන් බලයෙන් පහ කර සමාජවාදී බංග්ලාදේශයක් හැදීමයි. 

ජාතික සමාජවාදී පක්ෂය විසින් ගොනොබාහිනි හෙවත් ජනතා හමුදාව නමින් සන්නද්ධ අංශයක්ද හදනවා. එහි ක්‍රියාකාරීන් වන්නේ බංග්ලාදේශ නිදහස් සටනට සහභාගී වූ අයයි. මේ වෙද්දී නිදහස් සටන අවසන්ව වැඩි කලක් ගත වී නැහැ. නිදහස් සටන සඳහා නායකත්වය දුන් සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරය හැඳින්වුණේ මුක්තිබාහිනී හෙවත් විමුක්ති හමුදාව ලෙසයි. ගොනොබාහිනි සාමාජිකයින් විසින් අවාමි ලීගයේ ආධාරකරුවන්, රජයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් මරා දමන්නට පටන් ගන්නවා.

ගොනොබාහිනි ක්‍රියාකාරිකයින්ගේ භීෂණයට ප්‍රතිචාර ලෙස ෂෙයික් මුජිබර් රහ්මාන් විසින් කළේ ජාතික ආරක්ෂක හමුදාව (ජාතීයො රක්ඛි බාහිනී) නමින් සමාන්තර හමුදාවක් හදා ඒ හරහා ප්‍රති භීෂණය මුදා හැරීමයි. මෙය සමන්විත වන්නේ නිදහස් සටන්කාමීන් අතර සිටි ඔහුට පෞද්ගලිකව හිතවත් අයගෙන්. ඇතැම් විට මුලින්ම ලංකාවේ විශේෂ කාර්ය බලකාය හැදූ ආකාරයට හා අරමුණු වලට සමාන ආකාරයකින් විය හැකියි. 

මෙම ජාතික ආරක්ෂක හමුදාව විසින් විශාල ලෙස නිල නොවන ඝාතන, පැහැර ගැනීම් ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් සිදු කළ සේ සැලකෙනවා. මේ හේතුවෙන් මුජිබර් රහ්මාන්ට ජනතාව අතර තිබුණු ප්‍රසාදය ක්‍රමයෙන් අඩු වෙනවා. ජාතික ආරක්ෂක හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව හා එම හමුදාවට ලබා දෙන ඉහළ සැලකිලි පිළිබඳව අනෙකුත් හමුදා අංශ අතරද නොසතුටක් වර්ධනය වෙනවා.

මේ කාලය ලෝකය පුරා, විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ, සමාජවාදය ජනප්‍රිය වී තිබුණු කාලයක්. ලංකාවේ තිබුණෙත් සමගි පෙරමුණු ආණ්ඩුවනේ. ඒ නිසා, ජාතික සමාජවාදී පක්ෂය හා ගොනොබාහිනියේ ක්‍රියාකාරකම් පාලනය කළත්, රටේ සමාජවාදය වෙනුවෙන් තිබුණු ඉල්ලුම නොසලකා හරින්න මුජිබර් රහ්මාන්ට හැකි වෙන්නේ නැහැ. ලංකාවේ වුවත්, ජවිපෙ පළමු කැරැල්ල මර්දනය කිරීමෙන් පසුව ආණ්ඩුව ගියේ ජාතික සමාජවාදය පැත්තටමනේ. ඒ වගේ තමයි.

ජාතික සමාජවාදය එක්ක ද්වි පක්ෂ ක්‍රමයකට පවතින්න බැහැ. ලංකාවේ සමගි පෙරමුණු ආණ්ඩුව වසර දෙකක් මැතිවරණ කල් දැම්මත් ඊට පස්සේ මැතිවරණයක් තියපු ගමන් ආසන අටකට කඩා වැටුණා කියලා මතකයිනේ. එක දිගටම බලයේ රැඳී සිටීමේ අරමුනින් මුජිබර් රහ්මන් කළේ ව්‍යවස්ථාව වෙනස් කරලා බහු පක්ෂ ක්‍රමය අහෝසි කරන එක සහ බංග්ලාදේශ ගොවි කම්කරු ජනතා ලීගය හෙවත් බාක්සාල් නමින් තනි පක්ෂයක් හදන එක. දැන් ඕනෑම කෙනෙකුට මහජන නියෝජිතයෙක් වෙන්න අවශ්‍යනම් මේ පක්ෂයේ සාමාජිකයෙක් වෙන්න සිදු වෙනවා. මෙය හැදුවේ අවාමි ලීගය එක්ක බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එකතු කරලා.

ඕක තමයි බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මුල ඉඳන්ම ගිය පාර. ඒකාබද්ධ පකිස්ථානය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය නොලැබුණු නිසා විමුක්ති අරගලයක් කරපු නැගෙනහිර බෙංගාලයේ බංගලියන්ට අන්තිමට තමන්ගේ ස්වාධීන බංග්ලාදේශය ඇතුලෙ වුනත් හරියකට ප්‍රජාන්තන්ත්‍රවාදයක් ලැබෙන එක ගැන බලාපොරොත්තුවක් නැති වුනා. 

මෙම පසුබිම තුළ 1975 අගෝස්තු මාසයේදී ෂෙයික් මුජිබර් රහ්මාන් හා ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයින් ඇතුළු 36 දෙනෙකුව ඔහුගේ නිවෙස තුළදීම සමූලඝාතනයට ලක් වෙනවා. මෙය කරන්නේ කනිෂ්ඨ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත හමුදා අනු ඛණ්ඩයක් විසින්. ෂෙයික් හසීනා හා ඇගේ සොහොයුරිය ෂෙයික් රෙහානා මේ වන විට බටහිර ජර්මනියේ සංචාරයක නිරතව සිටි බැවින් ඔවුන්ගේ පණ බේරෙනවා. මෙම සමූලඝාතනයට ගොනොබාහිනි හා රක්ඛි බාහිනී හමුදා අතර වූ ගැටුම හා ඒ හරහා අනෙකුත් ප්‍රධාන හමුදා ඛණ්ඩ තුළ වූ බෙදීමද බලපා ඇතැයි සැලකෙනවා.

ෂෙයික් මුජිබර් රහ්මාන් විසින් ස්වාධීන බංග්ලාදේශයක් ප්‍රකාශයට පත් කළ වහාම ඔහුව අත් අඩංගුවට ගැනුණු බැවින්, එම නිවේදනය ප්‍රචාරය කිරීමට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවසානයේදී ෂෙයික් මුජිබර් රහ්මාන් වෙනුවෙන් මේ කටයුත්ත කරන්නේ ඉහළ හමුදා නිලධාරියෙක් වූ සියා රහ්මාන්. ඔහු ඒ වෙද්දී, කැප්පෙටිපොළ නිලමේ විසින් කළ පරිදි, තනතුර අතහැර තමන්ගේ මිනිසුන්ගේ පැත්ත ගන්න තීරණය කර අවසන්. මිනිසුන්ගේ පැත්තෙන් ඔහු යුද වීරයෙක්. 

මුජිබර් රහ්මාන්ව ඝාතනය කිරීමෙන් පසුව තවත් එවැනිම කුමන්ත්‍රණ වට කිහිපයකින් පසුව අවසානයේදී බලය මේජර් ජෙනරාල් සියා රහ්මාන් වෙත මාරු වෙනවා. ඒ අවස්ථාවේදී, ජාතික සමාජවාදී පක්ෂයට අවශ්‍ය වන්නේ සමාජවාදී බංග්ලාදේශයක් බව ඔහු තේරුම් ගන්නවා. සියා රහ්මාන් දක්ෂිණාංශික අදහස් තිබුණු කෙනෙක්.

මෙහි ප්‍රතිඵලය වන්නේ සියා විසින් ජාතික සමාජවාදී පක්ෂයේ සන්නද්ධ අංශය මර්දනය කිරීම හා බංග්ලාදේශ ජාතික පක්ෂය බිහි කිරීමයි. ඊට සමාන්තරව ඔහු බාක්සාල් විසුරුවා හැරලා නැවතත් බහු පක්ෂ ක්‍රමයකට ඉඩ සලසනවා. මේ අනුව, බංග්ලාදේශයේ ද්වි පක්ෂ ක්‍රමයට මුල පිරෙනවා. 1979දී පැවති ඊළඟ මැතිවරණයේදී අවාමි ලීගය පරාජය වී බංග්ලාදේශ ජාතික පක්ෂය බලයට පත් වෙනවා. ඔවුන් ආසන 237ක් ලබා ගන්නවා. අවාමි ලීගයට ලැබෙන්නේ ආසන 39ක් පමණයි. පසුව පක්ෂයේ හා රටේ නායකත්වයට පැමිණි බෙගම් ඛලිඩා සියා ඔහුගේ වැන්දඹු බිරිඳයි. 

හැබැයි සියා රහ්මාන්ට වැඩි කාලයක් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ. 1981දී හමුදා කුමන්ත්‍රණයකින් ඔහුවද ඝාතනය කෙරෙනවා. ඉන් පසුව, 1982දී එර්ශාඩ් විසින් බලය පැහැර ගන්නවා. ඉන් පසුව, ඔහු ජාතීක පක්ෂය නමින් පක්ෂයක් හදලා 1986දී මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. මෙයින් ඔහු යාන්තමින් දිනුවත් ඒ මැතිවරණය සාධාරණ මැතිවරණයක් ලෙස පොදුවේ සැලකෙන්නේ නැහැ. 

ඊට පස්සේ 1988දීවත් මැතිවරණක් තියලා ඔහු එයින්ද ජයගන්නවා. එහෙත් මේ මැතිවරණ කිසිවක් සාධාරණ මැතිවරණ ලෙස සැලකෙන්නේ නැහැ. ඔය 1988 මැතිවරණයට අවාමි ලීගය හෝ බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරිපත් වුනේ නැහැ. එය නිකම්ම ප්‍රදර්ශනාත්මක කටයුත්තක් පමණයි. ඒ කියන්නේ ඔය දක්වාම බංග්ලා දේශයේ හරියකට මැතිවරණයක් පැවැත්විලා නැහැ. අපිට පුරුදු අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලත් නැහැ.

හරියකට තරඟයක් තිබුණා කියලා කියන්න පුළුවන් පළමු බංග්ලාදේශ මැතිවරණය 1991 මැතිවරණය. තරඟය ප්‍රධාන වශයෙන්ම තිබුනේ අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතික පක්ෂය අතර. මේ පක්ෂ දෙක දැනටත් බංග්ලාදේශයේ ප්‍රධාන පක්ෂ. ඒ වෙද්දී ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දුව ෂෙයික් හසීනා අවාමි ලීගයේ නායකත්වය අරගෙන තිබුණා. සියා රහ්මාන්ගේ බිරිඳ බෙගම් ඛලීඩා සියා බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායකත්වයට ඇවිත් තිබුණා. ඔය පක්ෂ දෙකත් එක්ක එර්ශාඩ්ගේ ජාතික පක්ෂයත් තරඟ කළත් ඒ පක්ෂය තුන් වන තැනට ඇදගෙන වැටුනා. ඛලීඩා ශියාගේ පක්ෂය ජයග්‍රහණය කළා. 

ඊට පස්සේ තිබුණු 1996 පෙබරවාරි මැතිවරණය තවත් විහිළු සහගත මැතිවරණයක්. අනෙකුත් පක්ෂ සියල්ලම මෙන් මැතිවරණය වර්ජනය කරපු නිසා ඛලීඩා ශියාට තිබුනේ තනි අස්සයෙකුගේ රේස් එකක්. ස්වාධීන අපේක්ෂකයින්ට ගිය ආසන කිහිපයක් ඇරෙන්න ඉතුරු සියල්ල ඇයට ලැබුනත්, ඡන්ද භාවිතය 21%කට සීමා වී තිබුණා. ගොඩක් ආසන ලැබුණේ නිතරඟයෙන්. 

ඔය මැතිවරණය අනෙකුත් පක්ෂ විසින් වර්ජනය කරන්න හේතු වුනේ ඊට ආසන්නව පැවති අතුරු මැතිවරණයක් පවත්වපු අවස්ථාවේ සිදු වූ දේවල්. ඒ වගේ දේවල් නැවත නොවෙන්න භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවයි විරුද්ධ පක්ශ වල ඉල්ලීම වුනේ. අන්තිමට ඛලීඩා ශියාට භාරකාර රජයක් යටතේ තවත් මැතිවරණයක් තියන්න වුනා. මාස පහකට පසුව තියපු ඒ මැතිවරණයෙන් ආණ්ඩු බලය ෂීක් හසීනාට ලැබුණා. නමුත් විශාල බහුතරයකින් නෙමෙයි. 

මම මුලින්ම බංග්ලාදේශයට යද්දී එහි අගමැති වී සිටියේ ෂීක් හසීනා. ඒ ඇගේ පළමු ධුර කාලය. ඉන් පසුව පැවති 2001 මැතිවරණය එරට පැවති වඩාත්ම තියුණු මැතිවරණ සටන වෙන්න පුළුවන්. ඔය මැතිවරණය ආසන්න කාලයේ මම වැඩිපුර හිටියේ බංග්ලාදේශයේ නිසා මැතිවරණ සටන සමීපව නිරීක්ෂණය කරන්න ලැබුණා. මැතිවරණ දවස් වලනම් හිටියේ ලංකාවේ. 

මේ 2001 මැතිවරණයෙන් ෂෙයික් හසීනාට ගෙදර යන්න වුනා. ඛලීඩා ශියා නැවත බලයට පත් වුනා. ආසන ක්‍රමය නිසා මන්ත්‍රී ධුර ප්‍රමාණ වල සැලකිය යුතු වෙනසක් තිබුණත් ඡන්ද ප්‍රතිශත වල තිබුණේ සුළු වෙනසක්. මේ මැතිවරණයේදී ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය එර්ශාඩ්ගේ පක්ෂය අභිබවා තුන් වන තැනට ආවා.

ඊළඟට 2008 මැතිවරණය. ඒ මැතිවරණයේදී ඛලීඩා ශියාව ගෙදර යවලා ෂෙයික් හසීනා නැවත බලයට එන්නේ විශාල ජයග්‍රහණයක් ලබමිනුයි. ඒ සඳහා අවාමි ලීගය එර්ශාඩ්ගේ ජාතික පක්ෂය එක්ක සන්ධානයක් හදනවා. ඛලීඩා ශියාගේ පක්ෂයද ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය එක්ක සන්ධානයක් හදාගෙන තරඟයට ආවත් පරාජයෙන් බේරෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. 

ඔය විදිහට ඛලීඩා ශියා එක්ක සටන් කරලා සාධාරණ මැතිවරණයක් අරගෙන බලයට පත් වෙන ෂෙයික් හසීනා ඉන් පසුව 2014 මැතිවරණය පවත්වන්නේ ඛලීඩා ශියාව නිවාස අඩස්සියේ තියලා. ඒ නිසා ඒ මැතිවරණයත් විහිළු සහගත මැතිවරණයක් වෙනවා. ඛලීඩා ශියාගේ පක්ෂය තරඟ නොකළ නිසා, ආසන ටික අමාරුවක් නැතිවම අවාමි ලීගය හා ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය විසින් බෙදා ගන්නවා. ඉන් පසුව, 2018 මැතිවරණය ආසන්නයේදී උසාවියෙන් ඛලීඩා ශියාව දූෂණ චෝදනා වලට වරදකරුවෙකු කරනවා. එය ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි බලපානවා. අන්තිමටම පැවැත්වුනු 2024 ජනවාරි මැතිවරණයට බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරිපත් නොවූ නිසා ඒකත් අන්තිමට තනි අස්සයෙකුගේ රේස් එකක් පමණක් වුනා. 

අන්තිමට බලද්දී බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ තරඟයක් තිබී ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණයි. මේ වගේ ක්‍රමයක් වඩා කිට්ටු තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයකටයි. සිංගප්පූරුවේ දිගටම තියෙන්නෙත්, කාලයක ඉඳන් රුසියාවේ තියෙන්නෙත් එවැනි ක්‍රමයක්. 

බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය ඉදිරියට ගිහින් ෂෙයික් හසීනාට ඉල්ලා අස්වෙන්න සිදු වෙන්නේ ඔය වගේ ඓතිහාසික සන්දර්භයක. කෝටා ප්‍රශ්නය ඇතුළු එහි මෑතකාලීන පසුබිම ගැන බොහෝ තැන් වල විස්තර කෙරී තිබෙන නිසා මම නැවත ලියන්නේ නැහැ. මට තේරෙන විදිහට මෙය ශිෂ්‍යයන් තුලින් ස්වභාවික ලෙස පැන නැගුනු අරගලයක්. යම් ආකාරයකින් අසූව දශකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව මතු වූ සටනට සමාන කරන්න පුළුවන්. එහිදී සාමාන්‍යයෙන් ශිෂ්‍ය සටනකට නොලැබෙන විශාල සහයෝගයක් වෛද්‍ය සිසුන් අතරින් මතු වුනා. ඒ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය තර්ජනයට ලක් වූ නිසා. බංග්ලාදේශයේදී සිදු වුනේ වඩා වැඩි පිරිසකට රැකියා අවදානමට මුහුණ දෙන්න වීම.

අරගලය සිසුන් තුළින් පැන නැගුනු එකක් වුවත්, එහි වාසිය බෙගම් ඛලිඩා සියාගේ බංග්ලාදේශ ජාතිය පක්ෂය විසින් ලබා ගන්නට උත්සාහ කරන බවක් මුල සිටම පෙනෙන්නට තිබුණා. ඔවුන් වක්‍ර ලෙස අරගලය මෙහෙයවූවා. සිසුන් මේ පිළිබඳව සවිඥානිකව සිටියත් ෂෙයික් හසීනාව බලයෙන් පහ කිරීමෙන් ඔබ්බට සැලසුමක නොසිටි ඔවුන් සතුව ප්‍රායෝගික විකල්ප සැලසුමක් කිසි විටෙක තිබුණේ නැහැ. 

මේ වෙද්දී අරගලයට සම්බන්ධ වූ සිසුන් "දිනූ නිදහස රැක ගැනීම සඳහා" ඔවුන්ට කළ හැකි දේ කරමින් සිටිනවා. බැංකු, හින්දු කෝවිල් වැනි ස්ථාන මුර කරමින් ආරක්ෂාව සැපයීම, ගිනිබත් කළ හා විනාශ කළ තැන් ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම, රථවාහන පාලනය කරමින් මාර්ග විනය ඇති කිරීම, පැල සිටවීම හා වීදි වල චිත්‍ර ඇඳීම ඔවුන් දැනට කරන කටයුතු සමහරක්. 

බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තරමට ශක්තිමත් එකක් නොවූවත්, ගිනි දළු ක්‍රමයෙන් නිවී යද්දී බංග්ලාදේශය නැවත සාමකාමී වෙතැයි මා සිතනවා. ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසුව, සිසුන්ගේ අරමුණ දූෂණ චෝදනා වලට වැරදිකරු වී දඬුවම් ලබා සිටින ඛලීඩා ශියාව නැවත බලයට පත් කිරීම නොවුනත් ප්‍රායෝගිකව අවසන් ප්‍රතිඵලය එය වෙන්න වුනත් බැරිකමක් නැහැ.










Monday, August 5, 2024

බංග්ලාදේශය කොයිබටද?


ලංකාවේ අරගලය අවසන් විය හැකිව තිබුණු විකල්ප ආකාරයකට බංග්ලාදේශයේ අරගලය අවසන්ව තිබෙනවා. අගමැති ෂීක් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසුව නිල වශයෙන් රටේ තාවකාලික පාලනය හමුදාව විසින් භාර ගෙන ඇති අතර අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින්ද රට පුරා පිහිටුවා ඇති ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා විකල්ප ක්‍රියාකාරිත්වයක් මෙහෙයවමින් සිටිනවා. 

සිසුන් විසින් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් පසුව එහි වූ භාණ්ඩ "ජනසතු වූ" ආකාරය විවිධ මාධ්‍ය වල දැකිය හැකි වුනා. කෙසේ වුවත්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් මිනිස් බාධකයක් සාදා මෙම භාණ්ඩ පැහැරගෙන යාම වලක්වා, එසේ පැහැර ගෙන ගිය භාණ්ඩ විශාල ප්‍රමාණයක් නැවත ආපසු එකතු කරගෙන ඇති ආකාරයද දැකිය හැකි වුනා. එමෙන්ම මෙම අරගලය තුළ හා ඉන් පසුව ආගම්වාද හා ජාතිවාද, විශේෂයෙන්ම හින්දු විරෝධය, මතු වීමට එරෙහිවද සිසුන් දැඩි ස්ථාවරයක සිටිනවා. 

සිසුන්ගේ ඉල්ලීම පරිදි හා බලයේ සිටි අවාමි ලීගය හැර අනෙකුත් දේශපාලන පක්ෂ වල එකඟත්වයෙන් අන්තර්වාර පාලනයක් ඉතා ඉක්මණින් පිහිටුවීමට නියමිතයි. එහි නායකත්වය සඳහා පශ්චාත් මාක්ස්වාදී ශාස්ත්‍රාලයීය උගතෙකු, ලැකානියානු අදහස් පදනම් කරගත් විශ්ලේෂකයෙකු, පරිවර්තකයෙකු හා ලේඛකයෙකු වන සොලිමුල්ලා ඛාන්ව නම් කිරීමට නියමිතයි. ඔහු කාලයක් තිස්සේ උසස් අධ්‍යාපනය බෙංගාලි භාෂාවෙන් ලබා දීම වෙනුවෙන් පෙනී සිටින අයෙක්. තරුණ සිසුන් හා තරුණයින් අතර ඔහුගේ අනුගාමිකයින් විශාල පිරිසක් සිටිනවා. 

බංග්ලාදේශ අරගලයේ මුඛ්‍ය සටන් පාඨය වූයේ රැකියා කෝටා ක්‍රමය අහෝසි කිරීම වුවත් ඒ තුළ වෙනත් පුළුල් අරමුණු දැකිය හැකිව තිබුණා. ඉන්දියානු හා බටහිර ආධිපත්‍ය විරෝධයක්ද ගැබ්ව තිබුණු මේ අරගලය එහි ඇතැම් පාර්ශ්ව විසින් නම් කර තිබුණේ සැබෑ නිදහස් අරගලය ලෙසයි. එයින් අදහස් කෙරුණේ පකිස්ථානය සමඟ සටන් කර ලබා ගත් නිදහස ඉන්දියාවේ උවමනාවට සිදු වූ දෙයක් මිස සැබෑ නිදහස් අරගලයක් නොවූ බවයි. කෙසේ වුවත්, අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතර හින්දු සිසුන්ද දැකිය හැකි වුනා. එමෙන්ම පිහිටුවීමට නියමිත අන්තර්වාර පාලන කමිටුවටද හින්දු ආගමිකයින් කිහිප දෙනෙකු පත් කිරීමට යෝජනා වී තිබෙනවා. 

මෙම අරගලය සංවිධානය වූ  හා ගලා ගිය ආකාරයේ බොහෝ සමානකම් තිබුණත්, ලංකාවේ අරගලයට පාදක වූයේ ආර්ථික අර්බුදය නිසා, විශේෂයෙන්ම තෙල් පෝලිම් නිසා, ඇති වූ පීඩනයයි. බලයට පැමිණීමට පෙර ඒකාධිපතියෙකු වනු ඇතැයි බොහෝ අය විශ්වාස කළ හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ අරගලය හමුවේ ප්‍රදර්ශනය කළේ බොහෝ ඉවසිලිවන්ත ප්‍රවේශයක්. ඒ තත්ත්වය අවසානයේදී වෙනස් වන තුරුම ලංකාවේ අරගලය සාමකාමීව පැවතුනා.

මෙයින් වෙනස්ව ෂීක් හසීනා විසින් මුල සිටම අරගලය දැඩි ලෙස මර්දනය කිරීමට කටයුතු කළා. එය පාලනය කරගත නොහැකි මට්ටමකට ඔඩු දිවීමට මේ ප්‍රවේශයද හේතු වුනා. 

බංග්ලාදේශ අරගලය එහි දේශපාලනය හා රාජ්‍යයේ ස්වභාවය කෙලෙස වෙනස් කරනු ඇතිද යන්න විමසිල්ලෙන් බලා සිටිය යුතු දෙයක්. බංග්ලාදේශය තුළ ඉන්දියානු විරෝධී පාලනයක් ඇති වුවහොත් එය ඉන්දියාව තුන් පැත්තකින් කොටු වීමක් වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ඉන්දියාවේ දකුණු දොරටුව ඉන්දියාවේ මෙන්ම ප්‍රති- ඉන්දියානු බලවේග වලද වැඩි අවධානයක් දිනා ගන්නට ඉඩ තිබෙනවා.

වෙබ් ලිපිනය: