වෙබ් ලිපිනය:

Thursday, August 15, 2024

මුජිබූර් රහ්මන් - දෙවන වරට ඝාතනය වීමෙන් පසු...


නූතන බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන බංගබොන්ධු ෂේක් මුජිබූර් රහ්මන් ඇතුළු පවුලේ සාමාජිකයින්ව ඝාතනය වූයේ අදට වසර 49කට පෙර 1975 අගෝස්තු 15 දිනයි. පසුගිය වසර තෙක් වසර ගණනාවක්ම මෙම අගෝස්තු 15 දිනය බංග්ලාදේශයේ ජාතික ශෝක දිනයක් හා රජයේ නිවාඩු දිනයක්ව පැවතුනා. එහෙත්, මෙම වසරේදී බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් අගෝස්තු 15 නිවාඩුව අවලංගු කළා.

බංගබොන්ධු මුජිබර් රහ්මන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය වූ ෂේක් හසීනාගේ පියා. කැරලිකරුවන් විසින් කඩා බිඳ දැමුවේ බංග්ලාදේශය පුරා තිබුණු ෂේක් මුජිබර් රහ්මන්ගේ පිළිමයි. 

බංගබොන්ධු මුජිබර් රහ්මන්, ඔහුගේ බිරිඳ, හා පුතුන් තිදෙනා ඇතුළු පිරිසක් සමූහඝාතනයට ලක් වූයේ ධාකාහි, ධාන්මොන්ඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස තුළදීයි. මෙම සමූහඝාතනයෙන් පසුව මුජිබර් රහ්මන් ජීවත් වූ ධාන්මොන්ඩි නිවස හමුදා රජය භාරයට ගැනුණු අතර, වසර ගණනාවක් යන තෙක් ෂේක් හසීනා ඇතුළු පවුලේ සාමාජිකයින්ට නිවසට ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. 

පසුව මෙම නිවසේ අයිතිය ෂේක් හසීනා වෙත ලැබීමෙන් අනතුරුව 1994දී එය බංගබොන්ධු මුජිබර් රහ්මන් අනුස්මරණ කෞතුකාගාරයක් බවට පරිවර්තනය කෙරුණු අතර බංගබොන්ධු භබාන් ලෙස හැඳින්වුණා. 2009දී මෙම ස්ථානය බංග්ලාදේශයේ ජාතික උරුමයක් ලෙසද නම් කෙරුණා. 

ෂේක් හසීනාගේ ඉල්ලා අස් වීමෙන් අනතුරුව, පසුගිය අගෝස්තු 5 දින හවස්වරුවේ විරෝධතාකරුවන් විසින් මෙම අනුස්මරණ කෞතුකාගාරය මුළුමනින්ම ගිණි තබා විනාශ කළා. ඒ අවස්ථාවේදී පණ පිටින් පිළිස්සී අඟුරු වූ සිරුරු හතරක් පසුව සොයා ගැනුනා.

බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් අගෝස්තු 15 නිවාඩුව අවලංගු කළත්, මෙම 49 වන අනුස්මරණ ශෝක දිනය සැමරීම සඳහා අවාමි ලීගයේ ආධාරකරුවන් අද (අගෝස්තු 15) දින බංගබොන්ධු භබාන් පැවති ස්ථානයට රැස් වුනා. එහෙත්, පෙර දින රාත්‍රියේ සිටම පොලු මුගුරු ගෙන අදාළ ස්ථානය "මුර කළ" අරගලකරුවන් විසින් අවාමි ලීගයේ ආධාරකරුවන්ට ශෝක දින සැමරුම සිදු කිරීමට ඉඩ දුන්නේ නැහැ. 

බංග්ලාදේශ නිදහස් සටනට නායකත්වය සැපයූ බංග්ලාදේශ අවාමි ලීගය බංග්ලාදේශයේ පැරණිම දේශපාලන පක්ෂයයි. එහි ඉතිහාසය පෙර සටහනක විස්තර වශයෙන් ලියා ඇති බංග්ලාදේශය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක් වූ කාලය දක්වා සම්බන්ධ කළ හැකියි.

නිදහසට පෙර, ඉන්දියානු ජාතික කොංග්‍රසය විසින් ඒකාබද්ධ ඉන්දියාවක් නිර්මාණය කර ගැනීම සඳහා විවිධ ජාතීන් හා ආගමිකයින් එකතු කර ගනිද්දී සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය විසින් වෙනම මුස්ලිම් රාජ්‍යයක් සෑදීම සඳහා ඉන්දියාවේ මුස්ලිමුන් සංවිධානය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ පකිස්ථානයක් බිහි වෙනවා.

ඒකාබද්ධ පකිස්ථානය බිහි වීමෙන් පසුව විවිධ ජාතීන් එකතු කර ගනිමින් පකිස්ථානු ජාතිය ගොඩ නැගීම සඳහා ගන්නා උත්සාහය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඉස්ලාම් ආගමට හා උර්දු භාෂාවටයි. මෙහිදී බෙංගාලි භාෂාව මෙන්ම ඉස්ලාම් නොවන ආගම් දෙවන තැනට වැටෙනවා. මෙයට එරෙහිව, වාමාංශික, ලිබරල්, අනාගමික පක්ෂයක් ලෙස පකිස්තානු අවාමි ලීගය ගොඩ නැගෙනවා. එම පක්ෂයට අන්තගාමී නොවන මුස්ලිමුන් මෙන්ම නැගෙනහිර පකිස්ථානයේ බෙංගාලි භාෂාව කතා කරන බහුතරය මෙන්ම පකිස්ථානයේ කොටස් දෙකේම ජීවත්වන හින්දු හා ක්‍රිස්තියානු කොටස්ද එකතු කර ගැනෙනවා. 

මුජිබූර් රහ්මන් යනු මුල් කාලයේදී ටයි කෝට් පැළඳි බටහිර නැඹුරුවක් සමඟ වාම ජාතිකවාදී අදහස් තිබුණු පුද්ගලයෙක්. ඔහුගේ ජාතිය පිළිබඳ අදහස සියල්ලන් ඇතුළත් කරගන්නා (inclusive) එකක් මිසක් කිසියම් ආගමකට හෝ ජනවර්ගයකට සීමා වූවක් නෙමෙයි.

"අවාමි" යන වචනය "මහජන" වැනි අර්ථයක් තිබෙන උර්දු වචනයක්. එය බෙංගාලි භාෂාවේ වචනයක් නෙමෙයි. බෙංගාලි වචන වල හෝ බෙංගාලි හෝඩියේ වයන්නක් නැහැ. ඒ නිසා, ඉංග්‍රීසි W ශබ්දය ලියන්නේ "ඔ" හා "ය" අකුරු වලින්. "අවාමි" ලියන්නේ "ආඔයාමි" ලෙසයි. 

කෙසේ වුවත්, බහුතරය උර්දු වූ බටහිර පකිස්ථානය තුළ අවාමි ලීගයට පුළුල් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එහෙත්, නැගෙනහිර පකිස්ථානයේදී මේ තත්ත්වය වෙනස් වෙනවා. බෙංගාලි භාෂාව සියවස් ගණනක් ඈතට දිවෙන ඉතිහාසයක් සහ සරු සාහිත්‍යයක් තිබෙන භාෂාවක්. පකිස්තානු ජාතියක් සේ එකතු වීම සඳහා තමන්ගේ භාෂාව අත්හැර දමන්නට නැගෙනහිර පකිස්ථානයේ බෙංගාලීන් කැමති වෙන්නේ නැහැ. ඔවුන් නිදහස් බංග්ලාදේශයක් වෙනුවෙන් අවාමි ලීගය වටා එකතු වෙනවා. 

බංග්ලාදේශ නිදහස් සටනේදී ජනතාව අවාමි ලීගය වටා එකතු වන්නේ භාෂාව මත පදනම්වයි. ඒ හේතුවෙන්, එය බටහිර පකිස්ථානයේ අවාමි ලීගයෙන් වෙන් වූ, බෙංගාලින්ගේ දේශපාලන පක්ෂයක් බවට පත් වෙනවා. එහිදී පකිස්ථානය ඒකාබද්ධව තබා ගැනීම සඳහා අවියක් ලෙස යොදා ගන්න සිදු වන්නේ ඉස්ලාම් ආගමයි. මේ හේතුව නිසාම, නැගෙනහිර පකිස්තානු අවාමි ලීගය තුළ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් පැටවෙන්නේ නැහැ. එක් අපූරු කරුණක් වන්නේ ජාතිය පිළිබඳ වත්මන් ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ අදහස් හා මුජිබූර් රහ්මන්ගේ අදහස් අතරද සැලකිය යුතු තරමේ සමානකම් තිබීමයි. 

නිදහස් බංග්ලාදේශය බිහි වී එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරද්දීද මුජිබූර් රහ්මන්ගේ දේශපාලන දර්ශනය මග හැරෙන්නේ නැහැ. මුජිබූර් රහ්මන්ගේ නායකත්වය යටතේ අවාමි ලීගය විසින් හදන ව්‍යවස්ථාව අනුව බංග්ලාදේශ රාජ්‍යය බිහිවන්නේ මූලධර්ම හතරක් මත පදනම්වයි. මෙම මූලධර්ම හතර මුජිබ්බාද් හෙවත් මුජිබ්වාදය ලෙස හැඳින්වෙනවා.

1. ජාතිකවාදය - බංග්ලාදේශ වැසියන්ගෙන් 99%කටත් වඩා බෙංගාලීන්. ජනගහණයෙන් 91%ක් වන මුස්ලිමුන් මෙන්ම 8%ක් වන හින්දු ආගමිකයින්ද බෙංගාලීන් වන අතර චක්මා ගෝත්‍රිකයින් වැනි අනෙකුත් පිරිස් හා බෙංගාලි නොවන සංක්‍රමණිකයින් 1%කටත් අඩුයි. ඒකාබද්ධ පකිස්ථානය තුළ විවිධ ජාතීන් එකමුතු කිරීම සඳහා ඉස්ලාම් ආගම යොදා ගැනීම දේශපාලනිකව වාසිදායක වුවත්, නැගෙනහිර පකිස්ථානයට සීමා වූ, බටහිර පකිස්ථානයෙන් වෙන් වීමේ ඉලක්කයක් ඇති, දේශපාලන ව්‍යාපාරයකට එය දෙආකාරයකින් අවාසිදායක දෙයක්. පළමුව, ඉස්ලාම් ආගම හරහා බෙංගාලයේ මුස්ලිමුන් ඒකාබද්ධ පකිස්ථානයට බැඳ තබනවා. දෙවනුව, එම ප්‍රවේශයෙන් බෙංගාලි හින්දුන් බැහැර කෙරෙනවා. බෙංගාලී ජාතිකවාදය හරහා රටේ 99%ක් එක් කඳවුරකට ගැනීමට ඉලක්ක කළ හැකියි. 

2. අනාගමික රාජ්‍යය - මේ ප්‍රවේශයද කිහිප ආකාරයකින් දේශපාලනිකව වාසිදායක වුනා. පළමුව, ඉහත විස්තර කළ පරිදි ඉස්ලාම් ආගම හරහා බටහිර පකිස්තානු රජය සමඟ පැවති සම්බන්ධය දුර්වල කරමින් මුස්ලිම් නොවන බෙංගාලින් එකතු කර ගැනීම. දෙවනුව, මෙය එවක ලෝක දේශපාලනය තුළ ශක්තිමත් තැනක සිටි සෝවියට් සමාජවාදී කඳවුරේ පරමාදර්ශ හා ගැලපීම.

3. සමාජවාදී ආර්ථිකය - මුජිබූර් රහ්මන්ගේ 1972 ව්‍යවස්ථාව අනුව අලුත් බංග්ලාදේශය මිනිසා විසින් මිනිසා සූරාකෑමට ඉඩ නොතබන සමාජවාදී ආර්ථිකයක් සහිත රටක්. මේ මගින් නිදහස් අරගලයට දායකත්වය දුන් පහළ හා මැදි ආදායම් මට්ටම් වල පිරිස් පක්ෂය හා රජය සමඟ දිගටම රඳවා ගත හැකි වුනා. සමාජවාදය හැත්තෑව දශකයේ ජාතික විමුක්ති අරගල බොහොමයක පරමාදර්ශයක්.

4. ප්‍රජාතන්ත්‍රවාදය - නිදහස් අරගලයෙන් පසුව එයට සහභාගී වූ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබුණේ මුජිබූර් රහ්මන් මොන විදිහේ ආණ්ඩු ක්‍රමයක් හදයිද කියන එක. ඔහු ඒකාධිපතියෙක් විය හැකිය යන බිය බොහෝ අයට තිබුණා, වැඩි දෙනෙකුට අවශ්‍ය වුනේ සාමූහිකව තීරණ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ඇතැම් අයගේ මේ බිය තුරන් කරමින් මුජිබූර් රහ්මන් විසින් වෙස්ට් මිනිස්ටර් ක්‍රමයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් හඳුන්වා දුන්නා. ජනාධිපති තනතුරෙන් ඉවත් වී අගමැති වුනා. 

මේ පරමාදර්ශ හතර නිදහස් අරගලයට පෙර සිටම මුජිබූර් රහ්මන් පෙනී සිටි පරමාදර්ශයි. ඒ අනුව, මේවා බංග්ලාදේශ අවාමි ලීගයේ පරමාදර්ශ හා නිදහස් අරගලයේ පරමාදර්ශද වුනා. කෙසේ වුවද, මුජිබූර් රහ්මන්ගේ බෙංගාලි ජාතිකවාදය හරහා නැගෙනහිර බංග්ලාදේශයේ බෙංගාලින් හා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බෙංගාලින් අතර බැඳීම ඉස්මතු කෙරුණා. බෙංගාලය දෙකට කඩමින් පකිස්ථානයක් හැදීම වෙනුවෙන් කටයුතු කරද්දී මුස්ලිම් ලීගය විසින් කළේ ආගම් භේද මගින් මේ සම්බන්ධය දුර්වල කිරීමයි. 

තමන්ගේම වූ නිදහස් රටක් වෙනුවෙන් නැගෙනහිර පකිස්ථානයේ බොහෝ පිරිස් මුජිබූර් රහ්මන් හා ඔහුගේ අවාමි ලීගය වටා එකතු වුනත්, මුජිබ්වාදයේ අනාගමික රාජ්‍යය පිළිබඳව ඒ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් මෙය අවබෝධ කරගත්තේ අදේවවාදයක් හෝ ආගම් විරෝධී ප්‍රවේශයක් ලෙසයි. 

ඇතැම් අයට මෙය නිදහස් අරගලයට එකතු නොවී සිටීමට බාධාවක් නොවුනත්, යම් පිරිසකට අනාගමික නිදහස් බංග්ලාදේශයක ජීවත්වීමට වඩා මුස්ලිම් පකිස්ථානයක ජීවත් වීමට කැමැත්තක් තිබුණා. ඔවුන්ගේ සහයෝගය ඉස්ලාම් ආගමික පක්ෂ වලට ලැබුණා. 

නිදහසට පෙර පැවති මැතිවරණයෙන් අවාමි ලීගයට විශාල ඡන්ද ප්‍රතිශතයක් මෙන්ම ආසන සියල්ලේම මෙන් ජයග්‍රහණය ලැබී තිබුණත්, මුස්ලිම් ආගමික පක්ෂ වලටද යම් මට්ටමක සහයෝගයක් ලැබී තිබුණා. අවාමි ලීගය මෙන් නැගෙනහිර පකිස්ථානයට සීමා නොවූ එවැනි ඇතැම් පක්ෂ වල සාමාජිකයින් බංග්ලාදේශ නිදහස් අරගලයේදී අවාමි ලීගයට එරෙහිව පකිස්ථානයට සහාය දුන්නා. 

බංග්ලාදේශ නිදහස් අරගලයේදී ඇතැම් බෙංගාලින් රජය ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කළා. මොවුන් ලංකාවේ සිටි ග්‍රාමාරක්ෂකයින් වැනි සිවිල් බලකායක්. ඔවුන්ව හැඳින්වුණේ රාජකාර්ලා ලෙසයි. මෙයින් අදහස් වන්නේ ලංකාවේ පැවති රාජකාරි ක්‍රමයේදී මෙන් රජය වෙනුවෙන් නොමිලේ සේවය සැපයීමයි. එහෙත් මේ රාජකාර්ලාව පසුව පකිස්තානු හමුදා වලටද අනුයුක්ත කර ගැනුණු අතර නිදහස් සටන්කරුවන් පිළිබඳ ඔත්තු ලබා දීම හා ඔවුන් පැහැරගෙන වද හිංසා දී මරා දැමීම වැනි කටයුතු මේ රාජකාර්ලා අතින් සිදු වුනා. මේ හේතුව නිසා රාජකාර් යන වචනයේ තේරුම ස්වේච්ඡා සේවකයා යන්න වුවත්, නූතන බෙංගාලි භාෂාවේ එම වචනය යෙදෙන්නේ ද්‍රෝහියා, පාවා දෙන්නා වැනි අර්ථයකින්.

පසුගිය අරගල සමයේ එක් අවස්ථාවක කෝටා ක්‍රමය හා අදාළව ෂීක් හසීනා විසින් "නිදහස් අරගලයට සහභාගී වූ අයගේ මුණුපුරන්ට රස්සා දෙන්න එපානම් රස්සා දෙන්න ඕනෑ රාජකාර්ලාගේ මුණුපුරන්ටද?" යනුවෙන් අසා සිටියා. මේ ප්‍රකාශය විරෝධතාකරුවන්ව දැඩි ලෙස කෝප ගැන්වූ ප්‍රකාශයක් වූ අතර සිසුන් එය අර්ථකථනය කළේ ෂීක් හසීනා විසින් ඔවුන්ව රාජකාර්ලා ලෙස හැඳින්වීමක් ලෙසයි.

මතු සම්බන්ධයි.

5 comments:

  1. මුජිබර් රහුමන් කිව්වම මට මතක් වුණේ සජබෙ ඉන්න වාචාලයව, පස්සෙ තමයි දැනගත්තෙ, ෂීක් හසීනගෙ තාත්තගෙ නමත් මේක කියලා. හොඳ පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  2. ඔය සිසුන්ලා ආයෙ ඉගන ගන්න එකක් නෑ නේද? මම හිතන්නෑ දැන් ගුරුවරුන්ට ඔය කියන සිසුන්ට උගන්වන්න පුළුවන් පරිසරයක් ඇති කියලා..වචනයක් වැරදුනොත් ගුරුවරයගෙත් බෙල්ල ගහලා යන තත්ත්වයක් වගේ දැන් තියෙන්නෙ...කැම්පස් ටිකටත් ගිනි තියලා දැම්මනම් වැඩේ අංග සම්පූර්නයි.. :-)

    ReplyDelete
  3. ඉකොනෝ මහත්තයාව මුස්ලිම් ආගමට බන්දවා බංගලාදේශයේ ට්‍රැපික් පොලිසියේ සුළු සේවක තනතුරක්‌ ලබා දෙන මේන් අප පච රණවක උන්නැහේගෙන් ඉල්ලා සිටිමු

    ReplyDelete
  4. මම අද වීඩියෝවක් දැක්ක හින්දු සිසුන්ට පහර දී ශිෂ්‍ය නිවස වල උඩ තට්ටුවෙන් පහලට දමන ආකාරය සහ එලව දමන හැටි . එක්කෝ ඕක පොල්පොට් වාදයට යයි , නැත්නම් ඉස්ලාමික ආණ්ඩුවක් වෙයි

    ReplyDelete
  5. බංග්ලාදේශයේ තත්වය නං අන්තිම නරකයි. මම නං හිතන්නෑ ආයෙ කාලයක් යනකං නැගිටින්න පුලුවන් වෙයි කියල.

    වීඩියෝ එකක් දැක්ක ලේඩි කෙනෙක් කඩා දාපු ප්‍රථිමාවකට මල් මාල දාන. මං හිතන්නෙ මුජිබර් ගෙ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: