වෙබ් ලිපිනය:

Saturday, August 10, 2024

ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද?


ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක "ඇත්ත" වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පසුව ජේ ආර් ජයවර්ධන විසින් පොලීසියට නිවාඩු දුන්නා කියන කතාවත්, මගේ අදහස අනුව, එවැන්නක්. එය එසේ නොවන්නේයැයි කවුරු හෝ කියනවානම්, කරුණාකර පිළිගත හැකි මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න.

මේ කතාව කාලයක් තිස්සේම නැවත නැවත ඇසී තිබෙන කතාවක්. මම මේ කතාව හැමදාමත් තේරුම් ගත්තේ හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා ජේ ආර් ජයවර්ධන විසින් ප්‍රමාණවත් තරමින් පියවර නොගත් බව අදහස් කෙරෙන, "මහ බැංකුව කඩා සල්ලි හොරකම් කිරීම" වැනි, වචනාර්ථය අනුව තේරුම් නොගත යුතු ප්‍රකාශයක් ලෙසයි. 

දැනටත් මම මේ ගැන හිතන්නේ එවැනි ප්‍රකාශයක් ලෙසයි. ඒ වගේම, මම මෙතෙක් හිතාගෙන හිටියේ අනෙක් අය මේ ප්‍රකාශය තේරුම් ගත්තෙත් වචනාර්ථයෙන් නෙමෙයි කියලයි. නමුත් දැන් පෙනෙන්නේ එය එසේ නොවන බවයි.

මට මතක විදිහට මේ කතාව මුලින්ම ලොකුවටම මතු වුනේ අසූ තුනේ ජූලි කලබල වලින් පසුව පැවති තත්ත්වය හා සමාන කෙරෙමිනුයි. ඒ අවස්ථාවේදී සිදු වූ දෙයද යම් ආකාරයකින් පොලීසියට නිවාඩු දීමක් වැනි දෙයක්. නමුත් නිල වශයෙන් පොලීසියට නිවාඩු දීමක් සිදු වුනේ නැහැ. 

දැන් මේ කතාව ඉස්සරහට එන්නේ දකුණේ සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වෙත අවධාරණය කරමින් වුනත් හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව උතුරේද විශාල ලෙස පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුනා. ඒ වගේම දකුණේ දෙමළ ජාතිකයින්ට එරෙහිව ජාතිවාදී කෝලාහල ඇති වුනා. එය සමාන කළ හැක්කේ බංග්ලාදේශයේ අවාමි ලීගයට එරෙහි ප්‍රචණ්ඩ කියා වලදී හින්දු ආගමිකයින් වැඩිපුර පීඩාවට පත් වීමටයි. මෙසේ කීමෙන් දකුණේ සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවතක්සේරු කිරීමේ අදහසක් නැහැ.

හැත්තෑ හතේ මැතිවරණය පැවැත්වුණේ ජූලි 21. මේ මට මතක තිබෙන පළමු මැතිවරණය. නිදහසින් පසුව දිගින් දිගටම අවුරුදු පහෙන් පහට මැතිවරණ තිබ්බත්, සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1975දී තිබිය යුතු මැතිවරණය පැවැත්වුවේ 1977දී. හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව හදද්දී කොල්වින් වංගුවක් ගහලා අවුරුදු දෙකක් කාලය වැඩි කරගත්තා. ඊට විරුද්ධ විපක්ෂ මන්ත්‍රීවරු තමන්ගේ ධුර වලින් ඉල්ලා අස් වී අතුරු මැතිවරණ වලට මුහුණ දුන්නා.

ලංකාවේ ඊනියා බුද්ධිමතුන්ගේ වාමාංශික මතවාදී ආධිපත්‍යය නිසා මේ වැරදි පූර්වාදර්ශය ගැන කතා කෙරෙන්නේ ඉතා අඩුවෙන්. මීට සාපේක්ෂව බොහෝ විට කතා කෙරෙන දෙයක් වන 1982 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ජේ ආර් විසින් මහමැතිවරණය කල් දැමීම සිදු වුනේ ජනමතවිචාරණයක් තියලා රටේ බහුතරයකගේ කැමැත්ත අරගෙන. ඒ වගේම ජනමතවිචාරණය පරාජය වූ ආසන සඳහා අතුරු මැතිවරණ තිබ්බා. 

හැත්තෑ හත දක්වා තිබුණු හැම මැතිවරණයකදීම ආණ්ඩුව මාරු වුනා. ඔය කාලයේ ගොඩක් දේවල් කළේ රජයෙන්. ඒ නිසා, රජයෙන් බාහිර ජීවිතයක් මිනිස්සුන්ට නොතිබුණු තරම්. නමුත් රජයෙන් ගන්න පුළුවන් වරප්‍රසාද බොහෝ විට ලැබුණේ බලයේ සිටි පක්ෂයේ ආධාරකරුවන්ට. රජයේ රැකියා ලැබුණේ මන්ත්‍රී චිට් එකට. කොහොම වුනත්, අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වූ නිසා මේකේ අවාසිය එක කණ්ඩායමකටම පමණක් ගියේ නැහැ.

අවුරුදු පහෙන් තිබිය යුතු මහ මැතිවරණය අවුරුදු දෙකකින් කල් යාම නිසා එජාප ආධාරකරුවෝ හිටියේ ලොකු පීඩනයක. උදාහරණයක් විදිහට 1970දී පමණ පිටවූ ආණ්ඩු පක්ෂයට සහයෝගය නොදැක්වූ පවුල්වල උපාධිධාරීන්ට රජයේ රැකියා ලැබුණේ අවුරුදු හතකට පස්සේ. හැත්තෑ හතේදී ඔය චක්‍රය අනෙක් පැත්තට කැරකුනා. ඔය ක්‍රමය නැති වුනේ අසූව දශකයේ අන්තිම හරියේදී. මතක විදිහට මන්ත්‍රී චීට් ක්‍රමය වෙනුවට තරඟ විභාග ක්‍රමය හඳුන්වා දුන්නේ ජනාධිපති ප්‍රේමදාසගේ කාලයේදී. 

අනෙක් පැත්තෙන් අවුරුදු හතක් එක දිගට බලයේ හිටපු ශ්‍රීලනිපය ආසන අටට වැටුණු එක ආණ්ඩුවේ ආධාරකරුවන්ට විශාල කම්පනයක් වුනා. ඔය තත්ත්වයන් එක්ක සහ ලංකාවේ සමාජය ඒ වන විට තිබුණු තත්ත්වය එක්ක කලින් මැතිවරණ වලින් පසුව සිදු වූ පරිදිම පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම අපේක්ෂා කළ හැකිව තිබුණු තත්ත්වයක්.

ජූලි 21 බ්‍රහස්පතින්දා. මට මතක විදිහට මුල්ම ප්‍රතිඵලය රේඩියෝ එකෙන් කිවුවේ සිකුරාදා පාන්දර. සිකුරාදා දවල් වගේ වෙද්දී ආණ්ඩුව පෙරලෙන බව පැහැදිලියි. ඉතිරි කොටස් ලියන්නේ සොයා ගත හැකි මූලාශ්‍ර මත පදනම්ව. 

දැන් මේ මැතිවරණය පවත්වන්නේ බ්‍රහස්පතින්දා දවසක නිසාත්, සිකුරාදා දිනයේත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වෙන නිසාත්, පාසැල් ආදී ස්ථාන ඡන්ද පොළවල් ලෙස යොදා ගන්නා නිසාත්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් මැතිවරණ රාජකාරි වල යෙදෙන නිසාත්, රජය විසින් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින රජයේ නිවාඩු දින බව කලින්ම ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ එන්නේ සති අන්තය නිසා එක දිගට දවස් හතරක නිවාඩුවක් වැටෙනවා. ඊට අමතරව ඔය දවස් හතරේම තැබෑරුම් වසා මත්පැන් අලෙවිය තහනම් කරනවා. එහෙම කරන්නේ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ අරමුණින්. මොකද 1970 මහ මැතිවරණයෙන් පසුව ඇති වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලිනුත් 17 දෙනෙක් මියගොස් විශාල දේපොළ හානියක් වෙලයි තිබුණේ. ඒ නිදහසේ පටන් ලංකාවේ පැවති සාමාන්‍ය තත්ත්වය. මේ තත්ත්වය වෙනස් වුනේ හැත්තෑ හතෙන් පස්සේ. 

මේ ඇරෙන්න පොලීසියට නිවාඩු දුන් කතාවක් මම දන්නේ නැහැ. ඒ වගේම, රජයේ නිවාඩු දවස් වුනත් පොලීසියට නිවාඩු නෙමෙයි.

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දවස් දෙකේ කලබල කිසිවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පිහිටුවන තුරු සංක්‍රාන්ති කාලයේ අවිනිශ්චිත තත්ත්වයක් තියෙන නිසා කලබල ඇති වෙන්නේ නැහැ. කලබල පටන් ගන්නේ දවස් දෙකකට පස්සේ ජූලි 23 සෙනසුරාදා ජේ ආර් දිවුරුම් දීලා ආණ්ඩුව පිහිටෙවුවට පස්සේ. 

ඔය වන විට ඡන්ද රාජකාරි සඳහා රටේ විවිධ ප්‍රදේශ වලට ගිහින් හිටපු පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් නැවත සේවා ස්ථාන වලට වාර්තා කරලා නැහැ. විශේෂයෙන්ම 23 රෑ බස්නාහිර, දකුණු හා සබරගමු පළාත් වල හා මහනුවර ප්‍රදේශයේ ඉතා කෙටි කාලයක් තුළ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙනවා. පසුව මන්නාරමේත් ගැටුම් ඇති වෙනවා. 

ඊට පහුවෙනිදා, ඒ කියන්නේ ජූලි 24 ඉරිදා, රජය විසින් දිස්ත්‍රික්ක අටකට දින දෙකකට ඇඳිරි නීතිය පනවලා ඉතා ඉක්මණින් තත්ත්වය පාලනය කරනවා. අලුතෙන් දිවුරුම් දුන් අගමැති ජේ ආර් ජයවර්ධන ගුවන් විදුලියෙන් ජාතිය අමතා කලබල නවත්වා සාමකාමී වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ එක්කම, හිටපු අගමැතිනිය විසින්ද එවැනිම ඉල්ලීමක් කරනවා. 

නමුත් ඒ වෙද්දීත් දෙපාර්ශ්වය අතර ගැටුම් වලින් මරණ 20ක් වෙලා. තවත් ගොඩක් අයට තුවාළ වෙලා. විශාල දේපොළ හානියක් සිදු වෙලා. ඇඳිරි නීතිය ඉවත් කරන විට ද්විත්ව මිනීමැරුම් දෙකක් ඇතුළුව මරණ 34ක් සිදු වෙලා.

සඳුදා වෙද්දී තත්ත්වය සෑහෙන්න පාලනය වෙලා. ඒ නිසා, කලින් පනවපු ඇඳිරි නීතිය ලිහිල් කරනවා. ජනජීවිතය යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වෙද්දී පොලිස් නිලධාරීන් නැවත සේවයට වාර්තා කරලා. 

මීට අමතරව දෙමළ ජාතිකයන්ට එරෙහිව (හා ඇතැම් විට අනෙක් අතට) ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වුනා. ඒවා තනිකරම පශ්චාත්-මැතිවරණ ගැටුම්ද නැත්නම් ජාතිවාදී ගැටුම්ද කියලා නිශ්චිතව කියන්න අමාරු ආකාරයක ගැටුම්. මොකද මේ මැතිවරණයේදී උතුරෙන් ජාතික දේශපාලන පක්ෂ හේදිලා ගිහින් එහි දේශපාලන බලය තනිකරම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සතුවීමද සිදු වුනා. 

මට මතක විදිහට සහ හොයා ගන්න පුළුවන් තොරතුරු අනුව සිදුවුනේ ඕකයි. ඒ ඇරෙන්න ජේ ආර් පොලිසියට සුමානයක් නිවාඩු දුන්නා කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුනත්, නිදහස ලබපු කාලයේ ඉඳන්ම ලංකාවේ තිබුණු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංස්කෘතිය හැත්තෑ හතෙන් පස්සේ නැති වුනා. 

11 comments:

  1. ‍පොලිසියට නිවාඩු දුන්නා කියන එකෙන් අදහස් කෙරෙන්නේ නිලධාරීන්ට රාජකාරි මට්ටමෙන් නිවාඩු අනුමත කරලා ගෙදර තිබ්බා කියන එක නෙමෙයි ගතයුතු පියවර නොගෙන ඇස් කන් පියාගෙන නිෂ්ක්‍රියව හිටියා කියන එක බව ඉකොනොමැට්ටා නොදන්නවා වෙන්න බෑ. මතුපිට අර්ථයත් රූපිකයකත්(figurative language) අතර වෙනස ගැන හිතන්න.

    ReplyDelete
    Replies
    1. ලිපියේ කියලා තියෙන්නේ ඕක තමයි කියලා තේරෙන්නේ නැද්ද?

      //මම මේ කතාව හැමදාමත් තේරුම් ගත්තේ හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා ජේ ආර් ජයවර්ධන විසින් ප්‍රමාණවත් තරමින් පියවර නොගත් බව අදහස් කෙරෙන, "මහ බැංකුව කඩා සල්ලි හොරකම් කිරීම" වැනි, වචනාර්ථය අනුව තේරුම් නොගත යුතු ප්‍රකාශයක් ලෙසයි.

      දැනටත් මම මේ ගැන හිතන්නේ එවැනි ප්‍රකාශයක් ලෙසයි. ඒ වගේම, මම මෙතෙක් හිතාගෙන හිටියේ අනෙක් අය මේ ප්‍රකාශය තේරුම් ගත්තෙත් වචනාර්ථයෙන් නෙමෙයි කියලයි. //

      Delete
    2. ලිපියේ පසු අඩ කියවන විට මට ගම්‍ය උන අදහස උනේ මැතිවරණ රාජකාරිවල යෙදවූ පොලිස් නිලධාරීන් නැවත සේවයට වාර්තා කිරීම ප්‍රායෝගික තත්වය මත ප්‍රමාද වීම නිසා ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වූ බවත් ඔවුන් සේවයට නැවත වාර්තා කළ පසු තත්වය පාලනය කළ බවත්. මගේ අවබෝධ කරගැනීම නිවැරදි නම් සැබෑ තත්වය මේකද, රජයට වෙනත් හදිසි පියවර ගන්න නොහැකි උනාද කියලා හිතන්න වෙනවා. කෙසේ වෙතත් ඔබේ මේ ලිපිය හරිම කාලෝචිතයි මැතිවරණයක් අද්දර ඉන්න නිසා මෙන්ම මිනිසුන් දැඩි පීඩනයකට පසුව මුහුණ දෙන මැතිවරණයක් නිසා. නැවත එවැනි දෑ නොවෙන්න පියවර ගැනීම අත්‍යවශ්‍ය බව මෙයින් පෙන්වනවා.

      Delete
  2. නිවාඩුව කෙසෙ වෙතත් මුද්දරේ නම් ගොඩක් නොස්ටැලජික් ෆීලින්ග් එකක් ගෙනාවා...ලංකාවෙ සමාජය ඉස්සර කොච්ච්‍ර ගෝත්‍රික වෙන්න ඕන ද චන්දයක් දිනවා අනිත් පාක්ශිකයන්ට නෙලන්න.. ඔන්න ඔය පරම්පරාව තමා ලංකාව අද තියන තැනට ගේන්න ගොඩාක්ම දායක වෙලා තියෙන්නෙ.. වෙන එකක් තියා බොහොම උජාරුවෙන් උන් බස් ඇතුලෙ සිගරට් පවා බිව්වා..

    ReplyDelete
  3. ඉකොනෝ ඔයා කියන මේ කතාව මගේ ලංකාවේ අත්දැකීම් අනුව නම් සම්පූර්ණයෙන්ම වැරදියි කියලා ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්.

    //නිදහස ලබපු කාලයේ ඉඳන්ම ලංකාවේ තිබුණු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංස්කෘතිය හැත්තෑ හතෙන් පස්සේ නැති වුනා. ///

    මේක පැහැදිලිවම අසත්‍ය ප්‍රකාශයක්.

    අසූ දෙකේ ජනමත විචාරණය සහ ජනාධිපතිවරණය දැඩි ලෙස දූෂිත බවත් අධික ලෙස හොර ඡන්ද දැමූ බවත් එවකට ප්‍රධාන විපක්ෂ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය පවා ඔහු යනවිට ආණ්ඩුවේ මැරයන් හොරෙන් දමා ඇති බව මා අසා තිබෙනවා. මෙය ඇත්ත ද දන්නේ නෑ.

    මම අසා දැන ගෙන තියෙන විදියට 1988 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ගත්තාම 1988 ජනපතිවරණය ලංකාව තුළ භීෂණය රජයමින් පැවති සමයක අවි ආයුධ අතට ගත් තරුණ සංවිධාන, පාතාල සාමාජිකයින් මෙන්ම ආරක්ෂක අංශ ද ඈඳුණු බොහෝ ඝාතන සහ අපරාධ සිදුවූ කාලවකවානුවක්. එම තත්ත්වය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට දැඩි බාධා එල්ල කර තිබෙන බවයි මම දන්නේ. එමෙන්ම මැතිවරණය දවසේ උදේ පාන්දරම ඡන්ද මධ්‍යස්ථාන වල ගේට්ටු කණු වල රජයේ නිලධාරීන් මරා මිනී ගැටගසා තිබු බවටත් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ අණ නොතකා උදෙන්ම ඡන්දය දැමූ නිදහස් පක්ෂයේ අය පවා මහමග නෙඩිතබා මරා තිබෙන බවත් මා අසා තිබෙනවා.

    එමෙන්ම මගේ පෞද්ගලික අත්දැකීම් අනුව මට මතක විදියට 1994 මා ඉතා කුඩා කාලේ පවා එජාපය පරාජය වූ විට එවකට ජයග්‍රාහී පොදු පෙරමුණේ රජය එජාපයට එරෙහිව පැවති පලිගැනීම් පාලනය කිරීමට උත්සාහ කළ බවත් ජනපතිනිය ජනතාවගෙන් ඉල්ලීම් කළ බවත් යම් මතකයක් තිබෙනවා.

    කෙසේ වුවද මට හොඳටම මතක තියෙනවා මා දැනුම් තේරුම් ඇති පාසැල් සිසුවකු වූ 1997 පලාත් පාලන මැතිවරණය සහ 1999 අතිශය දූෂිත වයඹ පලාත් සභා මැතිවරණය ආදියේදී පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව.

    මා පාසල් සිසුවකුට සිටියදී පැවති 2000 මහමැතිවරණය සහ
    2001 මහමැතිවරණය එජාපය ජයග්‍රහණය කිරීමට පෙර චබකුගේ පොදු පෙරමුණ මූලිකව පුද්ගල ඝාතන දහයකට වඩා සිදුකළා.

    ඒ වගේම 2001 මහමැතිවරණය එජාපය ජයග්‍රහණය කිරීමෙන් පසු කෙටි කලක් තුල මට මතකයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් පොදු පෙරමුණට සම්බන්ධ පුද්ගලයන් දහ දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඝාතනය කළා එජාපයට සම්බන්ධ පාතාල මැර පිරිස් විසින්. එමෙන්ම පොදු පෙරමුණට සම්බන්ධ පුත්තලමේ දමු දසනායක, වීරකැටියේ ජූලම්පිටියේ අමරේ වැනි අය සිරගත කර ඔවුන්ට හිරගෙදරදී හිරිහැර කර තිබූ අතර අමරේ තංගල්ල බන්ධනාගාරය තුල පොදු පෙරමුණු පාතාල සාමාජීකයන් සමග මහා කැරැල්ලක් ඇතිකරා 2002 වසරේදි පමණ, මෙය එවකට පැවති එජාප රජය පෙරලීමට මුල් වෙඩිමුරය වුණා, රජයට කැරැල්ල පාලනය කරගත නොහැකිව වෙඩි තැබීමට තීරණය කර තිබෙන අතර වහාම එවකට විපක්ෂ ප්‍රබලයකු වූ මහින්ද රාජපක්ෂ නමැත්තා ඉදිරිපත්වී එය සමථයකට පත් කර ඒ හරහා රටේ ජනතාව රවටා තම බලය වර්ධනය කර ගැනීමට එය දඩමීමා කරගත්තා

    මෙම පස්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 2004 ආණ්ඩු මාරුව සහ 2005 ජනාධිපතිවරණය, 2015 ජනාධිපතිවරණය ආදියෙන් පසුව නොනිල මැර බලය සීමා වුවත් නීතිය පමමින් රාජ්‍ය මැර බලය ඉන් පසුවත් ක්‍රියාත්මක වුණා. උදාහරණ ලෙස 2010 ජනපතිවරණය අවසන්ව පරාජිත අපේක්ෂක ෆොන්සේකා සහ ඔහුගේ දේශපාලන සහචරයන්ට ජයග්‍රාහී දූෂිත රාජපක්ෂ රෙජීමය මගින් නීතිය ක්‍රියාත්මක කර සිර දඬුවම් දඩ සහ වෙනත් දඩුවම් නියම කලා. එමෙන්ම 2015 දුෂිත යහපාලන චෞර රෙජීමයත් ඔවුන් බලයට පැමිණී පසු ඔවුන්ට එකතු නොවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ රාජපක්ෂ පවුල සහ උන්ගේ සහචරයන්ට වගේම ඇතැම් රජයේ නිලධාරීන්ට පවා නීතිය ක්‍රියාත්මක කර හිරිහැර කිරීම දඬුවම් නියම කිරීම සිර දඬුවම්, දඩ, වෙනත් බලපෑම් රැකියාවලින් පහ කිරීම්, විශ්‍රාම වැටුප අහිමි කිරීම ආදිය සිදු කලා. මේක තවමත් එහෙමමයි, කරන විදිය තරමක් වෙනස් කිරීමට සිදුවී තිබෙන බවයි පේන්නේ. එමෙන්ම මෙවර බලයට පැමිණීම අපේක්ෂා කරන ජවිපෙ ජාතික ජන බලවේගය මාලිමාවේ අයද තමන් බලයට පත්වීමෙන් පසු මහබැංකුව කඩපු හොරා රනිල් වික්‍රමසිංහ, චෞර නායක රාජපක්ෂ පවුල, නිධන්හොර සජිත් ප්‍රේමදාස පවුල ඇතුලු සියලූම හොරුන්ට සැප්තැම්බර් 22 න් පසුව ඉතාම බරපතල ලෙස දැඩි දඬුවම් දෙන බවටත් ඔවුන්ට විරුද්ධව විවේචනය කරන චමුදිතලා ඇතුලු ජඩමාධ්‍ය කාරයින්ටද රටේවත් ඉන්න නොදෙන බවත් පිටරට ගියොත් ඒ රටවල මාලිමාවේ අයට කියලා හොඳ පාඩම් උගන්වන බවත් ඉතාමත්ම පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා මෙම කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මම ඉතාම වගකීමෙන් යුතුව සහතික කොට ප්‍රකාශ කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දීර්ඝ අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි! පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංස්කෘතිය කියන එකෙන් අදහස් කළේ මැතිවරණ ආශ්‍රිත දූෂණ හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නෙමෙයි. එක ගමේ එකට ඉන්න මිනිස්සු, සමහර විට සහෝදරයෝ, මැතිවරණයෙන් පසුව පක්ෂ අනුව බෙදිලා මරාගන්න එක. හැත්තෑ හතේදී සහ ඊට පෙර රට පුරාම මේ වැඩේ සිදු වුනා. ඉන් පසුව, ඒ තත්ත්වය වෙනස් වුනා කියලයි මම හිතන්නේ. දේශපාලකයින් විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වැඩි වශයෙන් දිගටම සිදු වුනා. නමුත් දේශපාලනය නිසා ගමේ මිනිස්සු, නෑදෑයෝ බෙදිලා ගහ මරා ගන්න එකේ නිෂ්ඵල භාවය මිනිස්සු තේරුම් ගත්තා.

      මගේ අදහස අනුව ඊට බලපෑ හේතු සමහරක්.

      1. 1977දී ආණ්ඩුව දිනපු ගමන් එජාප හිතවතුන්ට විශාල ලෙස රජයේ රැකියා දුන්නා. අනෙක් ආණ්ඩු කළ දෙයමයි. නමුත් ආණ්ඩුව කාලයක් බලයේ හිටපු නිසා අවශ්‍ය අයට රැකියා දීලා ඉතිරි අයටත් දෙන්න අවස්ථාව ලැබුණා. පසුව තරඟ විභාග ක්‍රමය ආවා.

      2. විමධ්‍යගත අයවැයෙන් සල්ලි වෙන් කරද්දී විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් සල්ලි වෙන් කරන්න පටන් ගත්තා. ඒ නිසා, පැරදුනු ආසන වලත් අනෙක් ආසන වල වගේම සංවර්ධන කටයුතු සිදු වුනා. විපක්ෂ මන්ත්‍රී කෙනෙකුට කියලත් "වැඩක් කරගන්න" පුළුවන් තත්ත්වයක් ඇති වුනා.

      3. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී ගුටි කාපු අයට අවුරුදු පහකට පස්සේ ඒ මතකය තියෙනවා. ඒ නිසා රිටර්න් එක දෙනවා. අවුරුදු 17කට පස්සේ ඕක අමතක වෙලා යනවා.

      4. ගොඩක්ම වැදගත් කාරණය භීෂණ කාලයේදී ගම් වල සිටි එජාප පාක්ෂිකයින්ට "දැඩි දඬුවම්" ලැබුණා. විශේෂයෙන්ම අනෙක් පාර්ශ්වයේ දැඩි වෛරයට ලක් වන වැඩ කර තිබුණු අයට. ඒ නිසා නැවත ඔවුන්ගෙන් පලිගන්න තිබුණු අවශ්‍යතාවය නැති වුනා.

      5. සමාජයේ සිංහල දෙමළ වැනි බෙදීමක් වූ එජාප ශ්‍රීලනිප බෙදීම අඩු වුනා. එක හේතුවක් ජවිපෙ. ජවිපෙ නිසා පවුල් ඇතුළේ දේශපාලනික ඛණ්ඩනයක් ඇති වුනා. එජාප පවුල් වල දරුවෝ ජවිපෙ පැත්තට හැරෙද්දී ඒ ගෙදර එජාප ගෙදරක්ද නැත්නම් එජාප විරෝධී ගෙදරක්ද කියලා වර්ග කරගන්න බැරි වෙනවා. 1977 පමණ දක්වා ගමේ ගෙදරක් මොන පක්ෂයේ ගෙදරක්ද කියලා හැමෝම වගේ දන්නවා. දේශපාලන පක්ෂය ආගම, ජාතිය වගේ එකක්.

      6. විධායක ජනාධිපති ක්‍රමය ආවට පස්සේ එක වරකට වෙනස් වුනේ ඔය දෙකෙන් එකක් පමණයි. ඒ නිසා ආණ්ඩුව ඇතුළේ බලය දෙපැත්තට බෙදී යාමක් සිදු වුනා. මේකත් හේතු අතරින් ගොඩක් ප්‍රබල හේතුවක්.

      Delete

  4. 'මිනිහත් සතෙකි' ආ හැර දමලා කැලය
    තිරිසන් ගතිය සමහරවිට මතු වේය
    ලියලා තැබුම මේ වැනිදේ වැදගත්ය
    මතු මත්තටත් මෙව්වා හොඳ පාඩම්ය

    ReplyDelete
  5. ඉකොනෝ මහත්තයා ලැයි ලොක්කා පච රණවක කෝ දැන්

    ReplyDelete
    Replies
    1. මාලිමාවට රෙදි නැතුව කඩේ යන ගොබ්බ ජෙප්පන්ට කිසිම ආර්ථික දැනුමක් නෑ. ජෙප්පෝ වගේ මීහරක් එක්ක බලනකොට නම් කොච්චර තකතීරුවෙක් කියලා අපි පලු යන්න බැනලා එලවපු නන්දසේන වුණත් ජවිපෙ මාලිමා මීගව රංචුවේ උන්ට මුන්ට වඩා නම් සෑහෙන දක්ෂ පොරක්.

      පාඨලී චම්පික රණවක සහ එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි ජනපතිවරණයේදී එම මැතිවරණයේ ජයගත හැකි අය වන රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා යන දෙපාර්ශ්වයම සමග සාකච්ඡාවකට එළැඹී සිටින අතර එහිදී එළැඹෙන එකඟතා අනුව ඉදිරියේදී මේ පාර්ශ්ව දෙකින් එකක් තෝරාගෙන ඉන් එකකට සහාය සම්පුර්ණයෙන්ම සහාය ලබාදෙන අතර ඉදිරි මැතිවරණයට එම පක්ෂය සමග සංධානගතව තරග කර ඊළඟට පත්වන රජයේ රටට වැදගත් වගකිවයුතු ඇමති ධූරයක් ලබාගෙන රටට විශාල ලෙස සේවය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන අවසන්. ලබන සතිය ඇතුළත මේ ගැන වැඩි විස්තර දැන ගන්න ලැබෙයි.

      Delete
  6. පොලිසියට නිවාඩු දුන්නා යයි කියන එක වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන්ම සත්‍යයක් නොවේ. සත්‍යය නම් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු අය අත්අඩංගුවට ගැනීම වැනි දෙයක් හෝ සිදු නොවී ඒ තත්ත්වය දිගින් දිගටම පැවති බවයි.

    මේ ආකාරයේම තත්ත්වයක් තමයි උදාවුණේ 19 33 ජූලි කලබල කාලයේ. පොලිසිය සහ හමුදාව බලා සිටියදීම මංකොල්ලකෑම් ගිනි තැබීම් සහ මිනී මැරීම් සිදුවීම.

    එක්තරා නගරයක පොලිසිය විසින් ම රංචු ගැසෙමින් සිටි කලබලකාරී හත්අඩංගුවට ගත්තා. ඒ බහුතරයක් දෙනා ඒ ප්‍රදේශයේ යූඑන්පී මන්ත්‍රී ප්‍රබල ඇමතිගේ චක් ගෝලයින්. ඇමති නගරයට පැමිණියා පොලිසියට කළ බලපෑම් නිසා මැරෙයින් නිදහස් කෙරුණා. පසුව දාවන විට නගරයෙන් භාගයක් විනාශ වුණා. ඒ ඇමතියාම තමයි යාපනයේ පුස්තකාලය ගිනි තැබීමටත් හවුල් වුණේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මම හිතන විදිහටත් ඇත්තටම සිදු වුනේ ඔය වගේ දෙයක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: