වෙබ් ලිපිනය:

Friday, August 23, 2024

තවත් මැතිවරණයක් අත ළඟද?


පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා. ඒ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. 

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන වල කාලය පසුගිය වසරේ (2023) මාර්තු 19 දිනෙන් අවසන් වුනා. පළාත් පාලන මැතිවරණ පණත අනුව එසේ කාලය අවසන් වන දිනයට මාස හයකට පෙර කාලය තුළ මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු වුනත් අදාළ මැතිවරණ මේ දක්වාම පවත්වා නැහැ. මැතිවරණ කොමිසමට මෙම මැතිවරණ නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වූයේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය විසින් ලබා නොදුන් බැවිනුයි. මුදල් අමාත්‍යංශය එසේ කටයුතු කළේ අමාත්‍ය මණ්ඩල නියෝග අනුවයි.

සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණේ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (හා ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු) විසින් මැතිවරණ කොමිසමේ සභාපති පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණා. ජාතික ජන බලවේගය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය, සුනිල් හඳුන්නෙත්ති හා ආචාර්ය නිහාල් අබේසිංහ විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණේද භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනවයි. පැෆරල් සංවිධානය විසින් නීතිපතිව පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබෙනවා. එකට විභාගයට ගත් මෙම පෙත්සම් හතරේ අනෙකුත් වග උත්තරකරුවන් අතර මැතිවරණ කොමිසමේ නිලධාරීන්, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා වෙනත් රජයේ නිලධාරීන් ගණනාවක් සිටිනවා. 

අග විනිසුරුද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් පළාත් පාලන මැතිවරණ නියමිත පරිදි නොපැවැත්වීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති බව තීන්දු කර තිබෙනවා. මේ සඳහා මූලික වශයෙන්ම වගකිව යුත්තේ නීතිපති විසින් නියෝජනය කරන රටේ විධායකයයි. එමෙන්ම තමන්ට ඇති බලතල පරිදි මැතිවරණ ක්‍රියාවලිය නිසි සේ සැලසුම් කිරීම හා කළමනාකරණය සිදු නොකළ බැවින් මැතිවරණ කොමිසමද මේ සඳහා වග කිව යුතුයි. මුදල් ඇමතිවරයාද වන ජනාධිපතිවරයාද මේ සම්බන්ධව සෘජුව වග කිව යුතු අයෙක්.

කෙසේ වුවත්, මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මේ සඳහා වග කිව යුතු නැහැ. ඔහු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය හා මුදල් ඇමතිවරයා විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමක් පමණයි. අධිකරණ තීන්දුව අනුව, මේ සම්බන්ධව පොදුවේ අමාත්‍ය මණ්ඩලය වගකිව යුතු වන්නේද නැහැ. ඊට හේතුව රාජ්‍ය වියදම් ප්‍රමුඛතා තීරණය කිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීමට පෙර එමගින් මැතිවරණය කෙරෙහි සිදු විය හැකි බලපෑම පිළිබඳව ඔවුන්ව ප්‍රමාණවත් තරමින් දැනුවත් කර නොතිබීමයි. මේ අයුරින්ම, රජයේ මුද්‍රනාලයාධිපති, පොලිස්පති ඇතුළු අනෙකුත් වග උත්තරකරුවන්ද මේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව වගකීමෙන් නිදහස් කර තිබෙනවා.

අධිකරණ නියෝගය අනුව මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පැවැත්විය යුතු අතර එසේ කිරීමේදී ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු අනෙකුත් මැතිවරණ වලට බාධාවක් සිදු නොවිය යුතුයි. මෙම මැතිවරණ සඳහා දැනටමත් නාම යෝජනා කැඳවා අවසන්ව ඇති බැවින් මැතිවරණය පැවැත්වීම ඉතා ඉක්මණින් කළ හැකි කටයුත්තක්. කෙසේ වුවත්, ජනාධිපතිවරණ දිනයට තවත් ඇත්තේ සති හතරක් පමණයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය වැනි කටයුතුද බොහෝ දුරට අවසන්ව පැවති නිසා ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණ පැවැත්වීම වුවද කළ නොහැක්කක් නෙමෙයි. එසේ නොකරන්නේනම්, ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව කෙටි කලක් ඇතුළත පළාත් පාලන මැතිවරණ පවත්වන්නට සිදු වෙනවා. 

ජනාධිපතිවරණය අනුර කුමාර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස විසින් ජයගතහොත් දින කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුවද විසුරුවා හරින්නට ඉඩ තිබෙන බැවින් මැතිවරණ කොමිසමට මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වීම පිළිබඳවද සිතා බලන්නට සිදු වෙනවා. මේ තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසම කෙසේ කටයුතු කරනු ඇතිද? 

1 comment:

  1. Any plans to compare Trump vs Kamala economic policies ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: