Thursday, August 22, 2024
නන්දලාල් වීරසිංහ හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට!
ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ අළුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ හොඳම ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් 10 දෙනා අතරට එක් වී තිබෙනවා. A+ ශ්‍රේණිගත කිරීමක් සමඟ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ඉන්දියාවේ, ඩෙන්මාර්කයේ හා ස්ව්ට්සර්ලන්තයේ මහ බැංකු අධිපතිවරුන් තිදෙනායි. ඉන් පසුව, නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකු අධිපතිවරුන් 7 දෙනෙකු A ශ්‍රේණිගත කිරීම් හිමිකරගෙන තිබෙනවා. එම කාණ්ඩයට අයත් අනෙකුත් රටවල් වන්නේ බ්‍රසීලය, චිලී, මුරුසිය, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව හා වියට්නාමයයි. ඇමරිකාව, කැනඩාව, යුරෝපීය සංගමය, ස්වීඩනය හා නෝර්වේ ඇතුළු තවත් රටවල් 15ක මහ බැංකු අධිපතිවරුන්ට A- මට්ටම හිමි වී තිබෙනවා.
Saturday, November 19, 2022
සල්ලි අච්චු ගැසීම
මෙහි සටහන් ලියා පළ කරද්දී පුද්ගලයින් විවේචනය කරමින් හෝ අගය කරමින් ලියන්නට අප වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අප විමසුමට ලක් කරන්නේ විවිධ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් සිදුවන හෝ සිදු විය හැකි දෙයයි. එහිදී අදාළ ප්‍රතිපත්ති තීරණ හෝ ක්‍රියාමාර්ග මිස එම තීරණ ගත් පුද්ගලයා කවුද යන්න අප අදාළ කර ගන්නේ නැහැ. අප නිවැරදි සේ දකින තීරණයක් කවුරු ගත්තත් අප ඒ බව කියන්නට පැකිලෙන්නේ නැහැ. වැරදි තීරණ සම්බන්ධවත් මේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ.
අප විමසුමට ලක් කරන බොහොමයක් ප්‍රතිපත්ති තීරණ තාක්ෂනික ලෙස ආයතනික තීරණ වුවත්, විශේෂයෙන්ම ලංකාවේ සන්දර්භය තුළ, අදාළ ආයතන පාලනය කරන පුද්ගලයින් එම තීරණ කෙරෙහි කරන බලපැම අපට මග හැර යා නොහැකියි. ඒ හේතුව නිසාම, ලියන කිසියම් කරුණකදී සෘජුව හෝ වක්‍ර ලෙස පුද්ගල සංසන්දනයන් සිදු වන්නේනම් අප එය ප්‍රශ්නයක් කර ගන්නේ හෝ වංගු ගසා මග හැර යන්නේද නැහැ.
මේ කතාව රජයේ හෝ මහ බැංකුවේ තීරණ බොහොමයකටද අදාළයි. මහ බැංකුවේ තීරණ යනු ආයතනික තීරණ මිසක් එහි අධිපතිවරයාගේ තීරණ නෙමෙයි. ඒ හේතුව නිසාම, මහ බැංකුව විසින් අධිපතිවරුන්ගේ ධුර කාල අනුව තොරතුරු හෝ සංඛ්‍යාලේඛණ වෙන් කර පෙන්වන්නේ නැහැ. එහෙත්, විවිධ පුද්ගලයින් විසින් එසේ කරනවා.
මෑතකදී හිටපු අධිපතිවරුන් දෙදෙනෙකු වන ලක්ෂ්මන් හා කබ්රාල්ගේ කාල වල හා වත්මන් අධිපතිවරයාගේ කාලය තුළ මහ බැංකුව විසින් කළ "සල්ලි අච්චු ගැසීම්" ගැනද එවැනි සංසන්දනයක් සිදුව තිබෙනවා. මේ සටහන ඒ ගැන කිහිප දෙනෙකු විසින් සිදු කළ විමසුම් වලට පිළිතුරක් කියා කියන්න පුළුවන්.
මහ බැංකුව සල්ලි අච්චු ගහන්නේ කොහොමද? මහ බැංකුව අච්චු ගහන සල්ලි කියන්නේ මොනවාද?
මම හිතන්නේ කියවන බොහෝ දෙනෙකුට තේරෙන තැනකින් පටන් ගෙන මෙය පැහැදිලි කිරීම වඩා සුදුසු බවයි. කාගේ හෝ අතේ ඇති රුපියල් සීයේ, පන්සීයේ හෝ පන්දාහේ නෝට්ටුවක් සල්ලි කියා මම කිවුවොත් මෙය කියවන කිසිවෙකු එයට විරුද්ධ වෙන එකක් නැහැ. රුපියලේ හෝ රුපියල් දහයේ කාසියක් වුනත් සල්ලි බව කවුරුත් එකඟ වන දෙයක්.
ලංකාවේ සංසරණයේ ඇති සියලුම රුපියල් නෝට්ටු හා කාසි සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය මහ බැංකුව හරියටම, අන්තිම සතේටම, දන්නවා. මහ බැංකුව මේ තොරතුරු ප්‍රසිද්ධ කළොත් අපිත් දන්නවා.
පහත තියෙන්නේ 2019 වසර අවසානයේ සංසරණයේ තිබුණු රුපියල් නෝට්ටු ප්‍රමාණය.
රුපියල් 5000 නෝට්ටු මිලියන 89.3ක පමණ වටිනාකම - රුපියල් මිලියන 446,313 යි.
රුපියල් 2000 නෝට්ටු මිලියන 2.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 4,044 යි.
රුපියල් 1000 නෝට්ටු මිලියන 134.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 134,368 යි.
රුපියල් 500 නෝට්ටු මිලියන 83.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 41,697 යි.
රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 128 යි.
රුපියල් 100 නෝට්ටු මිලියන 236.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 23,663 යි.
රුපියල් 50 නෝට්ටු මිලියන 114.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 5,721 යි.
රුපියල් 20 නෝට්ටු මිලියන 293.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 5,877 යි.
රුපියල් 10 නෝට්ටු මිලියන 126.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,260 යි.
සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන 663,139 යි.
මේ විදිහටම අපට සංසරණයේ තිබුණු කාසි ප්‍රමාණයේ වටිනාකමත් බලාගන්න පුළුවන්.
රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6,721 යි.
රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4,696 යි.
රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,477 යි.
රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 964 යි.
සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි.
සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි.
සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි.
සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි.
සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි.
සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි.
සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 14,828 යි.
ඔය රුපියලෙන් පහළ කාසි ඇත්තටම දැන් සංසරණයේ නැහැ. නමුත්, ඒවාත් මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වල තිබෙනවා. මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම රුපියල් මිලියන 677,967ක්. ඔය 2019 අවසාන වෙද්දී තිබුණු තත්ත්වය.
දැන් අපි 2021 අවසානයේදී තත්ත්වය දිහා බලමු.
රුපියල් 5000 නෝට්ටු මිලියන 145.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 729,384 යි.
රුපියල් 2000 නෝට්ටු මිලියන 1.5ක පමණ වටිනාකම - රුපියල් මිලියන 2,951 යි.
රුපියල් 1000 නෝට්ටු මිලියන 160.8ක පමණ වටිනාකම - රුපියල් මිලියන 160,771 යි.
රුපියල් 500 නෝට්ටු මිලියන 104.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 52,284 යි.
රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 126 යි.
රුපියල් 100 නෝට්ටු මිලියන 274.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 27,472 යි.
රුපියල් 50 නෝට්ටු මිලියන 141.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 7,087 යි.
රුපියල් 20 නෝට්ටු මිලියන 361.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 7,235 යි.
රුපියල් 10 නෝට්ටු මිලියන 124.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,249 යි.
සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන 988,628 යි.
රුපියල් 20 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 41 යි.
රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 7,674 යි.
රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 5,168 යි.
රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,588 යි.
රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,023 යි.
සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි.
සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි.
සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි.
සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි.
සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි.
සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි.
සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 16,472 යි.
2021 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 1,005,099 යි.
2019 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 677,967 යි
2019-2021 කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 327,132යි.
2022 මාර්තු 31 වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 1,099,324 දක්වා ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 421,352ක්. මෙය 62.2%ක වැඩි වීමක්.
මේ වැඩි වීමෙන් රුපියල් මිලියන 318,413ක් වැඩි වුනේ 2019 අවසානයේ සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති ලක්ෂ්මන්ගේ කාලය තුළ. ඉතිරි රුපියල් මිලියන 102,944 වැඩි වුනේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ කාලය තුළ.
කොහොම වුනත්, මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහනවා කියන කතාව ඔය තරම්ම සරල නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසා සංසරණයට එකතු කරන ආකාරය මම කිහිප වරක්ම විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. පසුව නැවතත් පැහැදිලි කරන්නම්. එතෙක්, දැන් කියා තිබෙන ටික පැහැදිලියිනේ. රුපියල් නෝට්ටු හා කාසි කියන්නේ සල්ලි බව කවුරුත් දන්නවා. මෙය කිසිසේත්ම විවාදිත කරුණක් නෙමෙයි. තේරුම් ගන්න අමාරු කරුණකුත් නෙමෙයි.
මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නෝට්ටු හා කාසි තියෙන්නේ කොහේද? මෙයින් කොටසක් මිනිස්සුන්ගේ අතේ තියෙනවා. ඉතිරි කොටස බැංකු වල. මිනිස්සු කිවුවහම ව්‍යාපාරත් ඇතුළත්. මේකත් පැහැදිලියිනේ. පහළ තියෙන්නේ 2022 ජූනි 30 වෙද්දී තත්ත්වය.
2022 ජූනි 30 වෙද්දී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 317,305 යි.
2022 ජූනි 30 වෙද්දී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 797,471 යි.
2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි.
ඒ කියන්නේ 2022 මාර්තු හා ජූනි අතර සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වී තියෙන්නේ රුපියල් මිලියන 15,452කින්. අවශ්‍යනම් කලින් වකවානු එක්ක සංසන්දනය කරගන්න.
දැන් ඔය මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයෙන් බැංකු වලින් පිට තිබෙන කොටස කොහොමටත් සංසරණයේ තිබෙන කොටසක්නේ. ඒ මිනිස්සුන්ගේ අතේම තිබෙන මිනිස්සුන්ගේ සල්ලි. ඒ වගේම, බැංකු වල තියෙන්නෙත් මිනිස්සුන්ගේම සල්ලිනේ. මිනිස්සුන්ට ඕනෑ වෙලාවක ඒ සල්ලි ආපහු ගන්න පුළුවන්.
මේ ප්‍රමාණය බැංකු වල තියෙන මිනිස්සුන්ගේ මුළු සල්ලි ප්‍රමාණය නෙමෙයි. ඕනෑ වෙලාවක ආපහු දෙන්න බලාගෙන බැංකු වල ලාච්චු වල, සේප්පු වල හෝ ATM වල තියෙන සල්ලි ප්‍රමාණය. එහෙම නැත්නම් අදාළ දවසේ මිනිස්සු බැංකුවේ තැන්පත් කරපු සල්ලි. ඒ කියන්නේ සංසරණයේ තියෙන, අතින් අත යන නෝට්ටු හා කාසි වලින්ම කොටසක්.
මහ බැංකුව විසින් එළියට දමලා සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි ඔය විදිහට මිනිස්සුන්ගේ අතේ තිබිලා බැංකු වලට එනවා. නැවත බැංකු වලින් මිනිස්සුන්ගේ අතට යනවා. හැබැයි මේ විදිහට කැරකෙන්නේ එකම නෝට්ටු හා කාසි ටික.
උදාහරණයක් විදිහට මිනිස්සු අතේ තිබෙන රුපියල් සීයේ නෝට්ටු වලින් කොටසක් දේශපාලනඥයෙක් විසින් එකතු කරගෙන තමන්ගේ බැංකු ගිණුමේ දාගත්තා කියලා හරි, ඉන් පසුව ඒ සල්ලි පන්දාහේ කොළ වලින් බැංකුවෙන් අරගෙන මැතිවරණ ප්‍රචාරණ වැඩ වෙනුවෙන් වියදම් කළා හරි කියලා රටේ සංචිත මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. සංසරණය වෙන්නේ කොහොමටත් සංසරණයේ තිබුණු මුදල් නෝට්ටු.
මීට අමතරව තවත් දෙයක් වෙනවා. බැංකු වලට ඔය විදිහට සල්ලි ආපුවහම බැංකු වලට ඒ තරම්ම සල්ලි අවශ්‍ය නැත්නම් බැංකු විසින් ඔය සල්ලි මහ බැංකුවේ ගිණුමක තැන්පත් කරනවා. එහෙම කරද්දී සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි නැවත මහ බැංකුවටම එනවා. මිනිස්සු බැංකු වලින් සල්ලි ආපසු ගන්නවා වගේම බැංකු වලට සල්ලි ඕනෑ වුනාම බැංකු ගිහින් මහ බැංකුවෙන් සල්ලි ගන්නවා. පැහැදිලියිනේ.
දැන් ඔය විදිහට මහ බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ බැංකු වලට අයිති සල්ලි. ඒ සල්ලි කලින් මහ බැංකුව විසින්ම සංසරණයට එකතු කරපුවා වීම වෙනම කතාවක්. හැබැයි දැන් මේ සල්ලි මහ බැංකුවට අයිති නැහැ. ඒ නිසා, අදාළ බැංකුව ඉල්ලපු ගමන් ඔය සල්ලි ආපසු දිය යුතුයි. හරියටම බැංකුවේ තිබෙන මිනිස්සුන්ගේ සල්ලි බැංකුවේ සල්ලි නොවෙනවා වගේ.
දැන් නෝට්ටු හා කාසි සංසරණය වෙන ක්‍රමය තවත් පැහැදිලියිනේ. මිනිස්සු අතින් බැංකුවට. බැංකුවෙන් මහ බැංකුවට. මහ බැංකුවෙන් නැවත බැංකුවට. බැංකුවෙන් මිනිස්සු අතට. හැබැයි කැරකෙන්නේ එකම සල්ලි ටික.
ඔය විදිහට සල්ලි සංසරණය වෙමින් මහ බැංකුවට එන වෙලාවට මහ බැංකුව විසින් පරණ වෙච්ච නෝට්ටු එකතු කරගෙන ඒවා විනාශ කරලා ඒ වෙනුවට අළුත් නෝට්ටු සංසරණයට එකතු කරනවා. සමහර විට දාහේ කොළ පහක් වෙනුවට පන්දාහේ කොළයක් එළියට දමනවා. හැබැයි ඔය වගේ දේවල් කළා කියලා මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ.
අපි කලින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය කියලා ගණන් හැදුවේ මිනිස්සු අතේ හා බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය විතරයිනේ. නමුත් මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති මුදල් ප්‍රමාණයත් සල්ලිම කියන එක දැන් පැහැදිලි ඇතිනේ. මොකද නැවත මහ බැංකුවට ඇවිත් තිබුණත් මේ සල්ලි මහ බැංකුවේ තියලා තියෙන්නේ තාවකාලිකව පරිස්සමට. මහ බැංකුවට ඒ සල්ලි වල අයිතියක් නැහැ. ඇත්තටම කිවුවොත් බැංකු විසින් හදිස්සියකට ගන්න ඒ විදිහට සල්ලි යම් ප්‍රමාණයක් මහ බැංකුවේ තියන්න ඕනෑ කියන එක නීතිමය අවශ්‍යතාවයක්. අපි කතා කරන කරුණට ඒක ඒ තරම් වැදගත් නැහැ.
දැන් අපි මේ පදනම මත බැලුවොත් සංසරණයේ, ඒ කියන්නේ මිනිස්සු අතේ හා බැංකු වල, තිබෙන නෝට්ටු හා කාසි වලට අමතරව මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලිත් සල්ලිනේ. ඒ නිසා, අපිට සල්ලි ගැන කතා කරද්දී ඒ ප්‍රමාණයත් එකතු කරන්න වෙනවා. මහ බැංකුවේ ගිණුමක තියෙන සල්ලි කියන්නේත් නෝට්ටු හා කාසි වගේම තමයි. බඩේ බත් වගේ ෂුවර් සල්ලි. මොකද ඉල්ලන වෙලාවට අච්චු ගහලා හරි සල්ලි ආපහු දෙන්න මහ බැංකුවට පුළුවන්. බැංකුවක තියෙන සල්ලි වගේ බැංකුව බංකොලොත් වෙයි කියන අවදානම නැහැ.
ඔය ගොඩවල් තුන එකතු කරලා තමයි සංචිත මුදල් කියා කියන්නේ.
සංචිත මුදල් = බැංකු වලින් පිට තිබෙන නෝට්ටු හා කාසි + බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි + මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති සල්ලි.
මම හිතන්නේ මේ විදිහට කිවුවහම ඕනෑම කෙනෙක්ට මේක තේරෙයි. සල්ලි කියලා වඩාත්ම පහසුවෙන් ඕනෑ කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් ඔය ගොඩවල් තුනෙන් එකක තිබෙන සල්ලි පමණයි. වෙන විදිහකට කිවුවොත් ෂුවර්ම සල්ලි.
දැන් අපි 2019 අවසානයේ ඔය ගොඩවල් තුන වෙන වෙනම අරගෙන බලමු.
2019 අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 183,759 යි.
2019 අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 494,208 යි.
2019 අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 254,582 යි.
2019 අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 932,549 යි.
2019 අවසානයේදී මහ බැංකුව විසින් අච්චු ගසා එළියට දමා තිබුණු මුළු මුදල් ප්‍රමාණය තමයි ඔය. එම ගණනට නැවත මහ බැංකුවේම තැන්පත් කර තිබෙන සල්ලිත් ඇතුළත්. මොකද ඒ සල්ලි මහ බැංකුව විසින් නිකුත් කරපුවා වුනත්, දැන් තියෙන්නෙත් මහ බැංකුවේ සේප්පු වලම වුනත්, මහ බැංකුවට අයිති සල්ලි නෙමෙයිනේ.
සංචිත මුදල් කියන්නේ ඔය සල්ලි ටික. මම හිතන්නේ මම විස්තර කර තිබෙන විදිහට ඕකේ පටලවගන්න කිසිම දෙයක් නැහැ. තේරුම් ගන්න අමාරු කිසිම දෙයක් නැහැ. එකඟ වෙන්න බැරි දේවල් නැහැ. ඒ වගේම, ඔය විස්තරය කියවලා තේරුම් ගන්න කිසිම ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍යත් නැහැ.
දැන් අපි 2022 මාර්තු අවසන් වෙද්දී තත්ත්වය බලමු. ඒ කියන්නේ අලුත් අධිපති නන්දලාල් වැඩ බාර ගන්න සතියකට වගේ කලින්.
2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි.
2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.
2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.
2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි.
ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංචිත මුළු මුදල් ප්‍රමාණයේ වැඩි වීම = රුපියල් මිලියන 454,151ක්. මෙය 48.7%ක වැඩි වීමක්.
මේ විදිහට සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද?
මම හිතන්නේ සංචිත මුදල් කියන්නේ මොනවද කියන එක මම හොඳින් පැහැදිලි කළා. මෙයින් අදහස් කරන්නේ මහ බැංකුවේම නැවත තැන්පත් කර තිබෙන නෝට්ටු හා කාසිද ඇතුළුව, මහ බැංකුව විසින් සංසරණයට එකතු කර තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය. ඔය විදිහට තේරුම් ගත්තහම හරිම සරලයි.
ඕකට භාණ්ඩාගාර බිල්පත් වගේ නොතේරෙන දේවල් පටලවා ගන්න අවශ්‍ය නැහැ. තේරෙන කෙනෙක්නම් පටලවා ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සංචිත මුදල් හා භාණ්ඩාගාර බිල්පත් පටලවා ගෙන ප්‍රකාශ නිකුත් කරන ගොඩක් අය දැන් මේ සටහන සැලකිල්ලෙන් කියවා අවසන් කළ ඔබ හැමෝටම තිබෙනවායැයි මම හිතන ඒ මූලික අවබෝධයවත් නැති අයයි.
සංචිත මුදල් කියන්නේ මොනවාද කියා හොඳින් පැහැදිලි කළත් සංචිත මුදල් අඩු වැඩි වෙන්නේ කොහොමද කියලා මම මේ සටහනේ පැහැදිලි කළේ නැහැ. මීට කලින් වාර ගණනක්ම එය පැහැදිලි කර තිබෙනවා. එය පැත්තක තියා, සංචිත මුදල් වලට නැවත ආවොත්, මම ඔය මුලින් විස්තර කළ සල්ලි ප්‍රමාණය, ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය, මිනිස්සු, බැංකු හා මහ බැංකුව අතර නිරන්තරයෙන් කැරකෙනවා. සමහර විට මහ බැංකුව එක නෝට්ටුවක් විනාශ කරලා ඒ වෙනුවට වෙන නෝට්ටුවක් එළියට දමනවා. හැබැයි එහෙම කළා කියලා සංචිත මුදල් ප්‍රමාණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.
සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ මහ බැංකුව විසින් කිසියම් වියදමක් කරද්දී. උදාහරණයක් විදිහට මහ බැංකුව විසින් අධිපතිවරයාගේ වැටුප් ගෙවද්දී සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පරණ අධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප් ඇරියස් ගණන් හදලා මුදලක් ගෙවද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මොකද මේ දේවල් වෙනුවෙන් රජය අයවැයෙන් මුදල් වෙන් කරන්නේ නැහැ. මහ බැංකුවට මිනිස්සුන්ගෙන් බදු අය කරන්නත් බැහැ. මහ බැංකුව කරන්නේ සල්ලි අච්චු ගහලා වියදම් කරන එක.
මහ බැංකුව විසින් මහ බැංකුවේ පාවිච්චියට පරිගණකයක් මිල දී ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන විදේශ සංචිත තර කර ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් රජයෙන් හෝ වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දීත් සංචිත මුදල් වැඩි වෙනවා.
මහ බැංකුව වියදම් කරද්දී සංචිත මුදල් වැඩි වෙනවා වගේම, මහ බැංකුවට ආදායම් ලැබෙද්දී සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. උදාහරණයක් විදිහට මහ බැංකුව මහ බැංකු ප්‍රකාශනයක් විකුණලා රුපියල් පන්සීයක් අය කරද්දී සංසරණයේ තිබෙන රුපියල් පන්සීයක් නැවත මහ බැංකුවට එනවා. ඒ එන්නේ තැන්පතුවක් විදිහට නෙමෙයි. මහ බැංකුව විසින් උපයපු ආදායමක් විදිහට. ඒ නිසා, මහ බැංකුවේ තිබෙන බැංකු වල තැන්පතු වගේ මේ රුපියල් පන්සීය පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඔය විදිහටම මහ බැංකුවේ එකතු කරගෙන තිබෙන විදේශ සංචිත විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා. මහ බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතක් විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා.
මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණය තීරණය කරන එක් සාධකයක් පමණයි. ඒ නිසා, ඒ දිහා බලලා මහ බැංකුව සල්ලි අච්චු ගහලද නැද්ද කියා තීරණය කරන්න බැහැ. ඒක අලියාගේ කණ අතගාලා අලියා ගැන ලොකු ප්‍රකාශ කරනවා වගේ වැඩක්. එහෙම කරන්න අවශ්‍යත් නැහැ. මොකද මහ බැංකුව විසින් සතිපතාම සංචිත මුදල් ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ කරනවා.
මහ බැංකු අධිපති ධුරයට ලක්ෂ්මන් පත් වුනේ 2019 දෙසැම්බර් 24. කබ්රාල් එම ධුරයට ආවේ 2021 සැප්තැම්බර් 15. නන්දලාල් වැඩ භාරගත්තේ 2022 අප්‍රේල් 7. පහතින් තියෙන්නේ මේ දවස් වලට ආසන්නම දවස් වල සංචිත මුදල් ප්‍රමාණ.
2019 දෙසැම්බර් 26න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 941,498 යි.
2021 සැප්තැම්බර් 16න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,291,257 යි.
සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 349,759 යි.
2022 අප්‍රේල් 7න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,425,822 යි.
සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 134,565 යි.
2022 නොවැම්බර් 17න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,336,145 යි.
සංචිත මුදල් අඩු වීම - රුපියල් මිලියන 89,677 යි.
මේ විදිහට කාලයක් තිස්සේ විශාල ලෙස ඉහළ දමා තිබෙන සංචිත මුදල් ප්‍රමාණයෙන් කොටසක් හෝ අඩු කිරීම ඉතාම ආයාසකර කටයුත්තක්. මෙය තාක්ෂනික ලෙස බැලුවොත් මහ බැංකුවේ ආයතනික කටයුත්තක් වුවත්, එසේ කිරීම සඳහා මහ බැංකුවට නායකත්වය දීම පිළිබඳව වත්මන් මහබැංකු අධිපතිවරයාව අගය කරන එක අසාධාරණ කටයුත්තක් නෙමෙයි.
තත්ත්වය එසේ තිබියදී, මහ බැංකුවට පිළිතුරු දිය නොහැකි වීමේ වාසිය ගනිමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින්, වැරදි තොරතුරු ඉදිරිපත් කර රටේ ජනතාව නොමග යවමින්, ඇතැම් පුද්ගලයින් විසින් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනඥයා මොන වගේ අයෙක්ද කියන එකයි. විමසිල්ලක් නොකර මේ වගේ පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි.
Saturday, July 23, 2022
අලුත් අධිපතිගේ සල්ලි අච්චු ගැහිල්ල
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේදී ලංකාවේ උද්ධමනය 58.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 75.8%ක්. නැවතත් පැහැදිලිව කිව යුත්තේ මෙය අධි-උද්ධමන (hyper-inflation) තත්ත්වයක් නොවන බවයි. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මාසයක් තුළ මිල දර්ශක අගය 50% ඉක්මවා ඉහළ යාමයි. මෙහි 58.9% ලෙස පෙන්වන්නේ 2021 ජූනි සිට 2022 ජූනි දක්වා වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමයි.
ඒ වගේම, මේ වන තුරුත් මා අනාගත අධි-උද්ධමන අවදානමක් දකින්නේ නැහැ. නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාරගත් තැන් සිට අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පිණිස මහ බැංකුව පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. ඒ වගේම, මහින්ද සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම් වීමෙන් පසුව ඒ සඳහා භාණ්ඩාගාරය පැත්තෙන් ලැබිය යුතු සහයෝගයද ලැබී ඇති බව පෙනෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළින් සිදු විය යුතු දේ කර ගැනීම මේ වන විට රට හමුවේ තිබෙන දේශපාලන අභියෝගයයි.
අධි-උද්ධමන තත්ත්වයක් නොවෙතත්, පෙර කිසි කලෙක නොපැවති, ඉතා ඉහළ මට්ටමක උද්ධමනයක් ලංකාවේ මේ වන විට පවතිනවා. පසුගිය මාස කිහිපය මුළුල්ලේම ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 10%කට ආසන්න මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.
අප්‍රේල්- 10.2%
මැයි- 9.7%
ජුනි- 10.9%
මිල මට්ටම් වේගයෙන් වැඩි වුනත් එසේ වැඩි වන වේගය ස්ථාවරව තිබීම සාපේක්ෂව හොඳ ලකුණක්. එයින් පෙන්වන්නේ අධි-උද්ධමන තත්ත්වයක් කරා යාමක් දැනට නොපෙනෙන බවයි. එහෙත්, දර්ශක අගය මසකට 10% බැගින් ඉහළ යනවා කියන එකෙන් අදහස් වන්නේ තවත් මාස ගණනක් යන තුරු උද්ධමනය ඉහළ හා හැකි බවයි.
උද්ධමනය 70% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා විසින්ම කියා තිබුණා. මහ බැංකුව එසේ කියනවානම් එයින් අදහස් වන්නේ 70%ක අනාගත උද්ධමනයක් දැනටමත් හැදී ඇති බවයි. මා හිතන පරිදි, ඉදිරි මාස තුන තුළ උද්ධමනය ඉලක්කම් තුනක අගයකට වුවද ආසන්න විය හැකියි. කෙසේ වුවද, දැනට සල්ලි අච්චු ගැසීම නැවතී ඇති නිසා උද්ධමනය යම් උපරිම මට්ටමක් කරා යාමෙන් පසුව පහළ යා යුතුයි.
නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. මෙය අවධාරණය කර කිව යුත්තේ ඇතැම් වෙබ් අඩවි වල කරුණු විකෘති කළ වාර්තා පළ වී ඇති නිසයි.
පෙර නොයෙක් වර පැහැදිලි කර ඇති පරිදි සල්ලි අච්චු ගැසීම සේ සැලකෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. අලුත් අධිපති වැඩ භාර ගත් අප්‍රේල් 7 දින සිට මේ දක්වා මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.
2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8
2022 ජූලි 21 - රුපියල් බිලියන 1,439.4
වෙනස - රුපියල් බිලියන 13.6
මෙම වෙනස 1%කටත් අඩු වෙනසක්. එවැනි වෙනස්කම් දිනපතාම වුවද සිදු වන නිසා අලුත් අධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව සංචිත මුදල් සැපයුම ස්ථාවරව පවතින බව, එනම් සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැති බව, අපහසුවකින් තොරව කියන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඇතැම් සති වලදී සංචිත මුදල් ඉහළ ගොස් ඇතත් එසේ මහ බැංකුවෙන් එළියට ගිය රුපියල් ඉතා ඉක්මණින් නැවත අවශෝෂණය කරගෙන ඇති නිසා පසුගිය මාස තුනහමාර තුළ සමස්තයක් ලෙස සැලකිය යුතු සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැහැ.
මේ තත්ත්වය අපට පෙර අධිපතිවරයාගේ කාලය සමඟ සංසන්දනය කළ හැකියි. 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 4 දක්වා කලය තුළ නිවාඩ් කබ්රාල් අධිපති සේ කටයුතු කළා. එම කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.
2021 සැප්තැම්බර් 16 - රුපියල් බිලියන 1,291.3
2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8
වෙනස - රුපියල් බිලියන 134.5
රජය ආදායම ඉක්මවා වියදම් කරන තුරු, රජයට විදේශ ණය ලබා ගැනීමේ හැකියාවද සීමා වී ඇත්නම්, අවශ්‍ය අරමුදල් ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් සොයා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එසේ නොකළහොත් රුපියල් අතේ ඇති අය රජයට අවශ්‍ය පමණ ණය දෙන්නේ නැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගැසීම මගින්.
කෙසේ වුවත්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරීමෙන් රටේ ව්‍යාපාර බිඳ වැටී ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතා පැහැදිලිවම එය හානිකර වුවත්, සල්ලි අච්චු ගැසීම ඊට වඩා හානිකරයි. විශේෂයෙන්ම අධි-උද්ධමනයක් බවට පත් විය හැකි ඉතා ඉහළ උද්ධමන මට්ටමක් රටේ පවතින විටෙක. මෙහිදී මහ බැංකුවට අඩු නරක තෝරා ගැනීමට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් සතු ප්‍රධානම අවිය පොලී අනුපාතිකයි.
අධි-උද්ධමන අවදානමද මග හැර ගනිමින් පොලී අනුපාතික ඉහළ යාම පාලනය කර ගැනීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුව පැත්තෙන් අවශ්‍ය දේ සිදු විය යුතුයි. හරියම කියනවානම් බදු වැඩි කර ගැනීම හා වියදම් කැපීම මගින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු කර ගත යුතුයි. එය සිදු නොවන තාක්, අධි-උද්ධමන තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා මහ බැංකුවට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ හරින්න සිදු වෙනවා. එහිදී වක්‍ර ලෙස රටේ ආර්ථිකය සංකෝචනය කිරීම සඳහා දායක වීමට මහ බැංකුවට සිදු වෙනවා.
2022 ජනවාරි
රජයේ ආදායම - රුපියල් බිලියන 104.8
රජයේ වියදම - රුපියල් බිලියන 259.1
හිඟය - රුපියල් බිලියන 154.3
2022 පෙබරවාරි
රජයේ ආදායම - රුපියල් බිලියන 206.7
රජයේ වියදම - රුපියල් බිලියන 292.6
හිඟය - රුපියල් බිලියන 85.9
2022 මාර්තු
රජයේ ආදායම - රුපියල් බිලියන 135.4
රජයේ වියදම - රුපියල් බිලියන 379.5
හිඟය - රුපියල් බිලියන 244.1
2022 අප්‍රේල්
රජයේ ආදායම - රුපියල් බිලියන 184.2
රජයේ වියදම - රුපියල් බිලියන 224.0
හිඟය - රුපියල් බිලියන 39.8
Saturday, June 11, 2022
නන්දලාල්ට තව සති තුනයි!
රටේ ආර්ථික අර්බුදය පෙර නොවූ විරූ මට්ටමකට උග්‍ර වී ඒ තුළින් දේශපාලන හා සමාජ අර්බුදයක්ද මතු වීමෙන් පසුව මහ බැංකු අධිපති ධුරයේද වෙනසක් සිදු වුනා. අධිපති ධුරය භාරගත්තේ සැලකිය යුතු කාලයක් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති දක්වා තනතුරු හොබවා විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට වී සිටි, ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරියෙක්ද වන, නන්දලාල් වීරසිංහයි.
ආර්ථිකයේ ප්‍රශ්න තවමත් විසඳී නැහැ. වසර දහයක් පමණවත් යන තුරු ප්‍රශ්න සියල්ල විසඳෙන එකකුත් නැහැ. අවුරුදු 74ක ප්‍රශ්න ඊට වඩා අඩු කාලයකින් විසඳිය නොහැකියි. එහෙත් නිවැරදි මාර්ගෝපදේශනයක් ඇත්නම් ආර්ථිකය තවතවත් අගාධයට යාම වලක්වා ගත හැකියි. එය සිදු නොවන්නේනම් විනාශයේ කෙළවර කුමක් වේදැයි කාටවත් කියන්න බැහැ.
නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමෙන් පසුව ඉතා ඉක්මණින් සාධනීය වෙනස්කම් රැසක් කිරීමට පියවර ගත්තා. මේවා වරින් වර ලියා තිබෙන නිසා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. ඒ කර තිබෙන දේවල් වුවත් පැලැස්තර තමයි. නමුත් මේ වෙලාවේ පැලැස්තර දමනවාට වඩා දෙයක් ක්ෂණිකව කළ නොහැකියි. නන්දලාල් වීරසිංහ විසින් ක්ෂණික ප්‍රශ්න වලට පැලැස්තර දමන අතරම වරින් වර ඔහුගේ දිගුකාලීන දැක්ම ගැන අදහස් ප්‍රකාශ කිරීමටද පැකිලී නැහැ.
අඩුපාඩු තිබිය හැකි වුවත්, තවමත් නන්දලාල්ගේ ක්ෂණික පිළියම් කිසිවක් අතේ පත්තු වී නැහැ. ඒ වගේම, දිගුකාලීන වෙනසක් වෙනුවෙන් යමක් කිරීමට ඔහුට තවමත් අවස්ථාවක් ලැබීත් නැහැ. එවැනි වෙනස්කම් කළ හැකි වාතාවරණයක් තවමත් රටේ නැහැ. නන්දලාල්ගේ අනාගත සාර්ථකත්වය ගලේ කෙටී නැතත්, ඔහු තවමත් අසාර්ථක වී නැහැ.
කෙසේ වුවත්, නන්දලාල් වීරසිංහගේ අධිපති පත්වීම වලංගු වන්නේ ජූනි 30 දක්වා පමණයි. මීට පෙර වරක් මාධ්‍ය ඉදිරියේ පැවසූ පරිදි ඔහු ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් නොවුනත්, එසේම දේශපාලන අධිකාරිය විසින් ඉල්ලා අස්වෙන සේ බල කරනු නොලැබුවත්, ඔහුගේ අධිපති ධුරය තව තෙසතියකින් ඉබේටම අහෝසි වී යනවා.
මුදල් නීති පණත අනුව මහ බැංකු අධිපති වරයෙකු හෝ වෙනත් මුදල් මණ්ඩල සාමාජිකයෙකු පත් කිරීමෙන් අනතුරුව වසර හයක කාලයක් යන තුරු එම පත්වීම වලංගුයි. එම කාලය නිම වන තුරු මුදල් මණ්ඩල සාමාජිකයින් ඉවත් කළ නොහැකියි. මෙය නීතියෙන් මහ බැංකු ස්වාධීනත්වය ස්ථාපිත කර ඇති ආකාරයයි. එහෙමනම්, නන්දලාල් වීරසිංහගේ පත්වීම මේ තරම් ඉක්මනින් කල් ඉකුත් වන්නේ ඇයි?
මහ බැංකු අධිපති ධුරය පිළිබඳ මෑත ඉතිහාසයට එබී බැලුවොත්, 2004 ජූනි 1 වෙනිදා එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් හේලීස් සභාපති වූ සුනිල් මෙන්ඩිස්ව වසර හයක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කළා. එය මහ බැංකු අධිපති ධුරයට පෞද්ගලික අංශයේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු පත් කරනු ලැබූ මුල්ම අවස්ථාවයි. ඊට පෙර, එක් අවස්ථාවක හැර, දිගින් දිගටම මහ බැංකු අධිපති සේ පත් කරනු ලැබුවේ මහ බැංකුවේම කාලයක් සේවය කර පළපුරුද්දක් තිබුණු නිලධාරීන්වයි.
සුනිල් මෙන්ඩිස්ගේ ධුර කාලය 2010 ජූනි 30 දක්වා වලංගුව තිබුණත්, දෙවසරක් ධුරයේ කටයුතු කිරීමෙන් පසුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. මෙවැනි අවස්ථාවක කරන්නේ ඔහුගේ ඉතිරි වී ඇති ධුර කාලය තුළ අධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා වෙනත් අයෙකු පත් කිරීමයි. ඒ අනුව, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සුනිල් මෙන්ඩිස්ගේ ඉතිරිව ඇති වසර හතරක කාලය සඳහා අජිත් නිවාඩ් කබ්රාල්ව පත් කළා.
ඉන් පසුව, 2010 ජූනි 30 දින එම ධුර කාලය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපපක්ෂ විසින් නැවතත් වසර 6කට අජිත් නිවාඩ් කබ්රාල්වම එම ධුරයට පත් කළා. මේ අනුව, අජිත් නිවාඩ් කබ්රාල්ගේ ධුර කාලය 2016 ජූනි 30 දින දක්වා වලංගුව පැවතුණා. එතෙක් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.
කෙසේ වුවද, 2015 ආණ්ඩු මාරුවෙන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් ස්ව කැමැත්තෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කෙරුනේ කබ්රාල්ගේ පුරප්පාඩුව පිරවීමටයි. ඒ අනුව, කබ්රාල්ගේ දෙවන ධුර කාලය අවසාන වීමට නියමිතව තිබුණු 2016 ජූනි 30 දින අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වුනා. ඒ දින වල ඇතැම් තැන් වල වාර්තා වී තිබුණු පරිදි බැඳුම්කර වංචා චෝදනා එල්ල වීමෙන් පසුව ඔහු ධුරයෙන් ඉල්ලා අස් වුනේ හෝ ඉවත් කරනු ලැබුවේ නැහැ.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව වසර 6ක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කෙරුණා. මේ අනුව, ඔහුගේ ධුර කාලය අවසන් විය යුතුව තිබුණේ 2022 ජූනි 30 දිනයි. එසේ වුවත්, කබ්රාල් විසින්ද දුන් වැරදි පූර්වාදර්ශයම අනුගමනය කරමින්, 2019 ආණ්ඩු මාරුවෙන් පසුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා.
මේ වන තුරුද ගෙවී යන්නේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ඉතිරිව ඇති ධුර කාලයයි. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ තවත් අධිපතිවරුන් තිදෙනෙකු එම ධුරයේ කටයුතු කර තිබෙනවා. ඉතිරිව ඇති ධුර කාලය සඳහා පත් කරනු ලැබූ ඩබ්ලියු ඩී ලක්ෂමන් මෙන්ම අජිත් නිවාඩ් කබ්රාල්ද කලින්ම ඉල්ලා අස්වීම (හෝ එසේ කිරීමට බල කරනු ලැබීම) නිසා නන්දලාල් වීරසිංහට ධුරය භාර ගැනීමට සිදු වුනේ මාස තුනකටත් අඩු කාලයක් සඳහා පමණයි. ඔහුගේ පත්වීම ජූනි 30 දින කල් ඉකුත් වෙනවා.
මීළඟට මහ බැංකු අධිපති සේ පත් කරනු ලබන කවර හෝ පුද්ගලයෙකුට 2028 ජූනි 30 දක්වා වසර හයක් ධුරයේ කටයුතු කළ හැකියි. මහ බැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහවම නැවත පත් කරයිද එසේ නැත්නම් වෙනත් අයෙකුව පත් කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි. මෙම අවිනිශ්චිතතාව නන්දලාල් වීරසිංහට මෙන්ම මහ බැංකුවේ නිලධාරීන්ටද ප්‍රශ්නයක්ව නොතිබෙන්නට හේතුවක් නැහැ. පසුගිය කාලයේ රටේ ආර්ථිකය සම්බන්ධව ගනු ලැබූ බොහෝ තීරණ වලට මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ පුද්ගලයාගේ පෞද්ගලික රුචි අරුචිකම් බලපෑ බව රහසක් නෙමෙයි.
Friday, May 13, 2022
ඩොලරයක මිල අඩු වුනේ කොහොමද?
මේක තරමක් සංකීර්ණ කාරණයක් නිසා මම සියයට සියයක් තාක්ෂනිකව නිවැරදි ලෙස විස්තර කරන්න මහන්සි නොවී හැකි තරම් සරල ලෙස පැහැදිලි කරන්නම්.
වෙළඳපොළ තුළ විණිමය අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතනේ. දිගුකාලීනව බැලුවොත් ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව. එහෙත් කෙටිකාලීනව ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ සමපේක්ෂණය මත. මේ කියන දේවල් පැරණි ලිපි වල විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා.
මේ වෙලාවේ ලංකාවේ විණිමය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තනිකරම වගේ තීරණය වන්නේ සමපේක්ෂණය මත. අවුරුදු ගණනක් තිස්සේම ඩොලරයක මිල ඉහළ යා යුතු බව මම දිගින් දිගටම කිවුවේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය මත පදනම්වයි. ලංකාව මේ වගේ ඩොලර් අර්බුදයක හිර වුනේ එසේ නොකර ඩොලරයක මිල පහළ මට්ටමක තියාගෙන හිටපු නිසා. අඩු වශයෙන් වසරකට කලින් IMF ගිහින්, විණිමය අනුපාතය පාවෙන්න ඇරියානම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමක නවතිනවා. ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව බැලුවොත් ඩොලරයක මිල දැන් තරමටම ඉහළ යා යුතු නැහැ.
ඩොලරයක මිල සමපේක්ෂණය මත තීරණය වන විට එයට පාලනයක් නැහැ. නියම වටිනාකමක්, නියම මිලක් කියා දෙයක් නැහැ. ඩොලරයක මිල ඉහළ යයි කියා හැමෝම හිතුවොත් මිල ඉහළ යනවා. අඩු වෙයි කියා හැමෝම හිතුවොත් අඩු වෙනවා.
ඩොලරයක මිල කියා කිවුවත් ඩොලරයක මිල කියන්නේ නිශ්චිත මිලක් නෙමෙයි. මම මේ කියන්නේ දවසින් දවස මිල වෙනස් වෙන එක ගැන නෙමෙයි. උන්ඩියල් ගැනත් නෙමෙයි. යම් මොහොතක බැංකු පද්ධතිය ඇතුළේම පවතින විවිධ මිල ගණන් ගැන.
ලංකාවේ ඩොලර් වෙළඳපොළ කියන්නේ කවුරු හෝ ඩොලර් සීයක් දෙසීයක් මාරු කරන එක නෙමෙයි. මේ වෙළඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෝ වෙන්නේ ආනයනකරුවන්, අපනයනකරුවන් හා බැංකු. ඒ අනුව, ඩොලරයකට මිලවල් තුනක් තිබෙනවා. (ඉහත ඇති ප්‍රස්ථාරය දෙස බලන්න)
1. බැංකු විසින් අපනයනකරුවන්ගෙන් ඩොලර් ගන්න මිල (ගැනුම් මිල)
2. බැංකු විසින් ආනයනකරුවන්ට ඩොලර් විකුණන මිල (විකුණුම් මිල)
3. බැංකු එකිනෙකා අතර ගනුදෙනු කරගන්නා මිල (තැන් මිල)
විකිණුම් මිල ගැනුම් මිලට වඩා වැඩි බව ඉතාම පැහැදිලියිනේ. බැංකු කරන්නේ අපනයනකරුවන්ගෙන් ඩොලර් අරගෙන ගානක් තියාගෙන ආනයනකරුවන්ට විකුණන එක. තැන් මිල සාමාන්‍යයෙන් ඔය දෙක අතර මිලක්. ඒ ඇයි?
වෙළඳපොළ සමතුලිතනම් බැංකුවක් විසින් ආනයනකරුවන්ට විකුණන්නේ අපනයනකරුවන්ගෙන් ගන්න ඩොලර් ටිකයි. ශ්‍රමික ප්‍රේෂණ එහෙමත් තිබුණත් කතාව සරල කර ගැනීම සඳහා පැත්තකින් තියමු. දැන් ඔය ඩොලර් ටික විකුණගන්න බැරිනම් කරන්නේ වෙනත් බැංකුවකට විකුණන එකයි. ඒ වගේම ඩොලර් ඉල්ලුම වැඩිනම් වෙන බැංකුවකින් මිල දී ගත හැකියි. සමස්තයක් ලෙස බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි. එහෙම නොවෙන්නේ මහ බැංකුව මැදිහත් වුනොත් පමණයි.
දැන් අපි කිසියම් බැංකුවක් ගත්තොත් ඒ බැංකුවට වෙන බැංකුවකින් ඩොලර් ගන්න පුළුවන් ගාණට වඩා වැඩි මිලක් අපනයනකරුවෙකුට ගෙවන්න හේතුවක් නැහැනේ. ඒ වගේම, වෙන බැංකුවකට විකිණිය හැකි මිලට වඩා අඩු මිලකට ආනයනකරුවන්ට ඩොලර් විකුනන්න හේතුවකුත් නැහැනේ. ඒ නිසා, සාමාන්‍යයෙන් ගැනුම් මිලට වඩා තැන් මිල වැඩියි. තැන් මිලට වඩා විකිණුම් මිල වැඩියි.
පහුගිය කාලයේ මාධ්‍ය වාර්තා බැලුවොත් බැංකු වල ඩොලරයක මිල මේ ගානයි නමුත් මහ බැංකුවේ මේ ගානයි කියලා කියන තැන් තියෙනවනේ. දැන් ඔය බැංකු වල මිල කියා කියන්නේ විකිණුම් මිල. මහ බැංකුවේ මිල කියන්නේ තැන් මිල. ඇත්තටම ඩොලරයක මිලට මොකද වෙන්නේ කියලා බලන්න හොඳම නිර්ණායකය තැන් මිල.
රනිල් අගමැති වුනු ආරංචියට ඔය තැන් මිල ටිකක් අඩු වෙලා තිබෙනවා. මම ඒකට එන්නම්. ඊට කලින් නන්දලාල් මහ බැංකු අධිපති වෙද්දීත් තැන් මිල පහළ ගියා. අප්‍රේල් 4 වෙනිදා ඩොලරයක තැන් මිල රුපියල් 310.86යි. අධිපති මාරුවෙන ආරංචියටම තැන් මිල පොඩ්ඩක් අඩු වුනා. අධිපති වැඩභාරගත් අප්‍රේල් 7 වෙනදා ඩොලරයක තැන් මිල රුපියල් 299.91 දක්වා අඩු වුනා. අප්‍රේල් 20 වන විටත් තැන් මිල රුපියල් 310 සීමාවේ රැඳී තිබුණා.
නන්දලාල් වැඩ භාර ගැනීමෙන් පසුව IMF ගිහින් ඉක්මණින් සල්ලි අරගෙන ඇවිත් වැඩේ ගොඩදායි කියන විශ්වාසය බැංකු පද්ධතිය ඇතුළේ තහවුරු වුනා. තැන් මිල මේ විදිහට ස්ථාවර වුනේ ඒ නිසා. හැබැයි නන්දලාල්ම කරපු තවත් වැඩක් නිසා මේ ප්‍රවණතාව එළියට පෙනුණේ නැහැ.
අපනයනකරුවන්ගෙන් ඩොලර් මිල දී ගැනීමේදී ගෙවන ඩොලරයක ගැනුම් මිල බැංකු පද්ධතිය ඇතුළේ ගනුදෙනු සිදුවන තැන් මිලට වඩා උඩින් තියාගන්න කියලා (එවැන්නක් ඇඟවෙන ආසන්න දෙයක් විය හැකියි) අලුත් අධිපතිවරයා විසින් බැංකු වලට උපදෙස් දී තිබුණා. එතකොට විකිණුම් මිල අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි වෙනවා. මම හිතන්නේ මෙය ඉතා හොඳ තීරණයක්. මෙහි අරමුණ වුනේ ඩොලර් පුළුවන් තරමක් බැංකු පද්ධතිය ඇතුළට ගන්න එකයි. ඩොලර් ඇතුළට ගන්න තරමට අපනයන සඳහා ඩොලර් නිකුත් කළ හැකියි. අපනයන භාණ්ඩ හිඟය අඩු කළ හැකියි. මේ හේතුව නිසා ඩොලරයක විකිණුම් මිල ඉහළ ගියත්, තැන් මිල ස්ථාවර වුනා. ඩොලරයක මිල දිනෙන් දින ඉහළ යාම ගැන ලෙඩ්ඩු බය වුනත්, දොස්තරලාට බය වෙන්න දෙයක් නැති බව මම කිවුවේ ඔය දවස් වල.
ඔය අතරේ තමයි IMF එකත් එක්ක සාකච්ඡා පැවැත්වුණේ. අප්‍රේල් 18-22 කාලයේ. IMF එකත් එක්ක සාකච්ඡා පටන් ගත්තට පස්සේ තමයි පැහැදිලි වුනේ සල්ලි ගන්න එක හිතන තරම් පහසුවෙන් හෝ ඉක්මණින් කළ නොහැකි බව. මේ තත්ත්වය බැංකු විසින් තේරුම් ගැනීමත් එක්කම ටික දවසක් ස්ථාවර වී තිබුණු තැන් මිල නැවතත් ඉහළ යන්න පටන් ගත්තා. අප්‍රේල් 20 රුපියල් 310 මට්ටමේ තිබුණු තැන් මිල අප්‍රේල් 21 වෙද්දී රුපියල් 335ට ගියා. හැබැයි විකිණුම් මිල ඒ වන විටත් රුපියල් 340 මට්ටමේ තිබුණු නිසා මේක පිටතට පෙනුණේ නැහැ.
රනිල් අගමැති වෙන්න ආසන්නව තැන් මිල තිබුණේ රුපියල් 364.76 මට්ටමේ. රුපියල් 375 දක්වා ඉහළ ගිහින් තිබුණේ විකිණුම් මිලයි. ඇතැම් බැංකු වල මේ මිල රුපියල් 380 මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණා. රනිල් පත් වන ආරංචියත් එක්ක තැන් මිල රුපියල් 360 දක්වා පොඩ්ඩක් පහළ ගියා. විකුණුම් මිල ඊට වඩා වැඩියෙන් පහළ ගියේ වෙනත් හේතුවක් නිසා.
දින දෙක තුනකට පෙර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්තියේ පොඩි වෙනසක් කළා. එහි අරමුණ වුනේ විකිණුම් මිල හා ගැනුම් මිල අතර පරතරය අඩු කිරීමයි. මාධ්‍ය වාර්තා මිසක් මහ බැංකු චක්‍රලේඛය ඇහැට දැක්කේ නැති නිසා එහි හරියටම තියෙන දෙය දන්නේ නැතත් මේ අනුව වෙන්නේ මහ බැංකුව විසින් දිනපතා උපරිම ගැනුම් මිල හා අවම විකිණුම් මිල තීරණය කිරීමයි. මේ අලුත් ප්‍රතිපත්තිය සම්බන්ධව මට තිබෙන විවේචන ගැන කතා කිරීම වෙන ලිපියකට ඉතිරි කරමු.
ඇත්තටම මෙහිදී මහ බැංකුව විසින් කරලා තියෙන්නේ කලින් දුන් උපදෙස ඉවත් කර ගැනීමක් කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ තැන් මිල නැවතත් ගැනුම් මිල හා විකිණුම් මිල අතරට ආපසු ගැනීමක්. විකිණුම් මිල රුපියල් 380 පමණ සිට 365 දක්වා පහත වැටී තිබෙන්නේ මේ හේතුව නිසා. රනිල් ආපු එකේ බලපෑමක් ඇත්නම් එය වැඩිම වුනොත් රුපියල් පහක අඩුවීමක්.
Friday, April 8, 2022
මහ බැංකුව නැවතත් තමන්ගේ රස්සාවට!
නන්දලාල් වීරසිංහ විසින් අධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් හා මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව මහ බැංකුව විසින් යුහුසුළුව ආර්ථිකයට ප්‍රථමාධාර දීමේ කටයුත්තට අත ගසා තිබෙනවා. මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 6.5-7.5% මට්ටමේ සිට 13.5-14.5% මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මෙය මහ බැංකු ඉතිහාසය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතික එකවර වැඩියෙන්ම ඉහළ දමා ඇති අවස්ථාවයි. මෙය නහයෙන් උඩට අඩි ගාණක් යටවී තිබෙන ආර්ථිකය ගොඩ ගැනීම සඳහා මහ බැංකුව පැත්තෙන් අරගෙන තිබෙන ඉතාම නිවැරදි තීරණයක්.
මේ වන විට ප්‍රාථමික වෙළඳපොළේ දින-91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතය 14.12% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තත්ත්වය යටතේ මහ බැංකුවෙන් වාණිජ බැංකු වලට හා ප්‍රාථමික ගැනුම්කරුවන්ට 7.5% පොලියට ණය දීම විශාල වැරැද්දක්. එම අනුපාතය 14.5% දක්වා ඉහළ යාමත් සමඟ මේ වැරැද්ද නිවැරදි වෙනවා.
රටේ උද්ධමනය මේ වන විට 17.5% දක්වා ඉහළ ගොස් ඇති අතර මහ බැංකු අධිපතිවරයාට අනුවම උද්ධමනය 25% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකියි. මෙය නිවැරදි පුරෝකථනයක්යැයි මා සිතනවා. ඒ අනුව ඉදිරි කාලයේදී පොලී අනුපාතික මීටත් වඩා ඉහළ යාමට ඉඩ දෙන්න සිදු විය හැකියි.
මහ බැංකුවක් සාමාන්‍යයෙන් පොලී අනුපාතික ඉහළ දමන්නේ අනුක්‍රමික ලෙසයි. මෙසේ එකවර විශාල ලෙස පොලී අනුපාතික ඉහළ දැමීමට අවශ්‍ය වුනේ කාලයක් තිස්සේ එය සිදු නොවුණු නිසයි. මේ තීරණය මට ගැනීමට සිදු වුනානම් මම බොහෝ විට 7.5%කින් පමණ පොලී අනුපාතික ඉහළ දමනවා. මහ බැංකුව විසින් එවැනි විශාල ඉහළ දැමීමක් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළේ නැහැ. එහෙත් නන්දලාල් වීරසිංහ බය නැතිව මේ අවශ්‍ය තීරණය අරගෙන තිබෙනවා.
පොලී අනුපාතික ඉහළ යාමත් සමඟ බැංකු වල තැන්පතු තිබෙන අයට එම තැන්පතු ආපසු ගැනීම ගැන දෙවරක් හිතන්න වෙනවා. ණය ගන්න බලාගෙන හිටපු අයටත් දෙවරක් හිතන්න වෙනවා. මේ හරහා රුපියලට වටිනාකමක් ලැබී රුපියල ශක්තිමත් වීමක් සිදු වෙනවා.
අධිපති වීරසිංහ ඇත්ත කතා කිරීම හා ඇත්ත කතා කිරීම වෙනුවෙන් පෙනී සිටීමත් වැදගත්. තොරතුරු සැඟවීමෙන් හා බොරු කීමෙන් වෙන්නේ පවතින තත්ත්වයටත් වඩා නරක තත්ත්වයක් පිළිබිඹු කරන වැරදි තොරතුරු ප්‍රචාරය වීමයි. මෙය කියවන බව දන්නා මහ බැංකුවේ වගකිවයුතු අයට මගේ යෝජනාව වනුයේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය දෛනිකවත්, නිල සංචිත පිළිබඳ තොරතුරු, අඩු වශයෙන් සතිපතාත් ප්‍රසිද්ධ කළ යුතු බවයි. පහසුවෙන් මහ බැංකුවේ ගිණුම් වලින් ලබා ගත හැකි මෙම තොරතුරු කොහොමටත් ප්‍රසිද්ධ කරන දෛනික වාර්තාවකට එකතු කිරීම සරල කටයුත්තක්. එසේ කිරීමෙන් වැරදි තොරතුරු ප්‍රචාරය වීම පාලනය කළ හැකියි.
මහ බැංකුව විසින් පළමු ගල ගැසීමෙන් පසුව ඊළඟ පියවර ගත යුතුව තිබෙන්නේ රජයයි. මේ වෙලාවේ භාණ්ඩාගාර අධිපති ධුරයට පත්ව සිටින මහින්ද සිරිවර්ධනද මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද කාලයක් තිස්සේ වැඩ කර තිබෙන, එමෙන්ම නන්දලාල් වීරසිංහ සමඟ දිගු කාලයක් එකට වැඩි කර තිබෙන අයෙකු වීම තීරණ සම්බන්ධීකරණය කර ගැනීමේදී තිබෙන වාසියක්.
ඇත්තටම කියනවානම් මහින්ද සිරිවර්ධන හමුවේ තිබෙන අභියෝගය නන්දලාල් වීරසිංහ හමුවේ තිබෙන අභියෝගයට වඩා ගොඩක් වැඩි එකක්. මහබැංකු අධිපතිට නීතිය අනුවම ස්වාධීනව කටයුතු කළ හැකියි. එහෙත් භාණ්ඩාගාර ලේකම්ට එසේ ස්වාධීනව කටයුතු කිරීමේ නීතිමය බලයක් නැහැ. ඔහුට ක්‍රියාත්මක කරන්න වෙන්නේ රජයේ අභිමතයයි. ඒ නිසා, මේ වෙලාවේ මහජන මතය නිවැරදි තැන තිබීම වැදගත්.
පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම් ඉහළ යනවා. එයට අනුරූපව වෙනත් වියදම් කැපීමට හා ආදායම් වැඩි කර ගැනීමට සිදු වනවා. මේවා දේශපාලනික තීරණ. මම හිතන්නේ බොහෝ විට කෙටිකාලීනව ප්‍රාග්ධන වියදම් මුළුමනින්ම වගේ කපා හරින්න සිදු වෙයි. පඩි වැඩිකිරීම් වැනි දේ ගැන කාලයකට හිතන්න වෙන එකක් නැහැ.
හැම දෙයක්ම හරියකට වෙන්නනම් දේශපාලන ස්ථාවරත්වයද අවශ්‍ය වෙනවා. ඒ සඳහා, යම් ප්‍රායෝගික සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. සංජීව වීරවරණ හා වසන්ත දේශප්‍රිය විසින් එවැනි සාකච්ඡාවක් සඳහා ප්‍රවේශයක් සපයා තිබෙනවා. මෙවැනි වෙනත් ප්‍රවේශයන්ද තිබිය හැකියි. වැදගත් වන්නේ අවුල ලෙහන්නට කොහෙන් හෝ පටන් ගැනීමයි.
Thursday, April 7, 2022
අලුත් මහබැංකු අධිපති මොනවා කරයිද?
ඊට අමතරව ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර ආයතන වල ඉහළ තනතුරු දරා ඇති, ලංකාව දැනට මුහුණ දෙන ආකාරයේ ගැටළු වලට මුහුණ දුන් වෙනත් රටවල් වලටද ප්‍රතිපත්ති උපදේශන ලබා දී ඇති, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති, කීර්තිමත් ආර්ථික විද්‍යාඥයින් තිදෙනෙකු උපදේශකවරුන් සේ පත් කර තිබෙනවා.
හිටපු මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමි ගැන ලංකාවට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ආචාර්ය ශාන්තා දේවරාජන් ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ අයෙක්. ආචාර්ය ශාමිනි කුරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරු දරා තිබෙනවා. මේ පත් කිරීම් සියල්ල කර තිබෙන්නේ හැකි ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් බව පැහැදිලියි.
ඉහත පත් කිරීම් වාර්තා වීමට සමාන්තරව අන්තර්-බැංකු තැන් අනුපාත වල යම් හැරවුමක් නිරීක්ෂණය කළ හැකියි. එය ඇතැම් විට තාවකාලික තත්ත්වයක් වෙන්න පුළුවන්. ස්වෛරිත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ගණන්නම් පසුගිය සතිය තුළ වේගයෙන් පහත වැටෙමින් තිබෙනවා. ඇතැම් විට එම තත්ත්වයේද යම් ස්ථාවර වීමක් සිදු විය හැකියි. බරපතල ප්‍රකාශ කරන්නට තවම කල් වැඩියි.
මේ වෙලාවේ තත්ත්වය අනුව බැලුවොත් මුලින්ම කළ යුතුව තියෙන්නේ රටේ ආර්ථිකය ගොඩ ගැනීම නෙමෙයි. කොයි තරම් යටට ගිලිලද කියලා හරියට හොයා ගන්න එකයි. රටේ ආර්ථිකය නහය ලඟට ගිලී තිබුණු කාලය පහුවෙලා දැන් ගොඩක් කල්. ගොඩගන්න කලින් දියේ කිමිදිලා ආර්ථිකය දැන් තිබෙන තැන හොයා ගන්න වෙනවා.
අධිපති වීරසිංහ වැඩ පටන් ගත්තට පස්සේ මොන විදිහට මේ තත්ත්වය කළමනාකරණය කරයිද?
සති දෙකකට පෙර (පසුගිය මාර්තු 25 වෙනිදා) ආචාර්ය වීරසිංහ ලංකාවේ ප්‍රධාන ආර්ථික විද්‍යා සංගම් තුන එකතු වී සංවිධානය කළ දේශනයකදී ආර්ථිකය පිළිසකර කළ යුතු ආකාරය පිළිබඳ ඔහුගේ දැක්ම විස්තර කළා. ඔහුගේ අදහස අනුව, පහත දේවල් ඒ අනුපිළිවෙලට කිරීමෙන් වසරක පමණ කාලයක් තුළ තත්ත්වය කළමනාකරණය කර ගත හැකිව තිබුණා.
1. මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම
2. ඒ සමඟම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම (බදු අනුපාතික 2019 මට්ටමට නැවත ඉහළ දැමීම)
3. ඉන්ධන හා විදුලිය සඳහා මිල සූත්‍ර හඳුන්වාදීම
4. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජයේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කිරීම හා ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම
5. ණය ප්‍රතිව්‍යුහගත කරන තුරු ජාත්‍යන්තර සංවිධාන වලින් තාවකාලික ණය ලබා ගැනීම.
6. විණිමය අනුපාතය අනුක්‍රමික ලෙස නිදහස් කිරීම
7. රාජ්‍ය බැංකු කඩාවැටීමේ අවදානම වැළැක්වෙන ක්‍රියාමාර්ග ගැනීම
ඉහත අවස්ථාව වන විට රටේ උද්ඝෝෂණ ඇති වී තිබුණේ හෝ මහ බැංකු අධිපති ධුරය වෙනස් වීමේ ඉඩක් පෙනෙන්න තිබුනේ නැහැ. කෙසේ වුවත්, අලුත් මහ බැංකු අධිපති හිතන විදිහ මෙයින් පිළිබිඹු වෙනවා.
මහ බැංකුව තීරණ ගන්නේ අධිපතිවරයාගේ තනි කැමැත්තෙන් නෙමෙයි. නිලධාරී මට්ටමේ යෝජනා, මුදල් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ගේ අදහස් හා රජයේ බලපෑම්ද අවසාන වශයෙන් මේ තීරණ වලට බලපානවා. ඒ නිසා, ඇත්තටම සිදු වන්නේ කුමක්ද කියන එක සමීපව නිරීක්ෂණය කළ යුතුයි.
ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම. එයින් අදහස් කෙරෙන්නේ පොලී අනුපාතික ඉහළ දැමීම හා එහි උදවුවෙන් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණා දැමීම. මේ වන විට මහ බැංකුව විසින් පෙරේදා ගත යුතුව තිබුණු මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම කල් දමා තිබෙනවා. අලුත් මුදල් මණ්ඩලය රැස් වූ වහාම එම තීරණය ගැනෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.
ප්‍රතිපත්ති පොලී අනුපාතික 10%කින් පමණවත් ඉහළ යා යුතු වුවත්, මහ බැංකුව විසින් එකවර එවැනි විශාල වැඩි කිරීමක් අනුමත කිරීමේ ඉඩක් නැහැ. එහෙත්, පොලී අනුපාතික වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි.
Tuesday, April 5, 2022
අලුත් මහ බැංකු අධිපති රට ගොඩදායිද?
මේ මොහොත වන විටද පොදුජන අරගලය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එහි අවසානය කුමක් වෙයිද කියන එක අනාගතයට භාර දෙයක්. මේ මොහොත වන තුරුනම් අරගලය ව්‍යාප්ත වන්නේ සාධනීය ආකාරයකින්.
අරගලයයේ සාර්ථකත්වය පසුපස මූලික හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව, අරගලකරුවන්ගේ සාමූහිකත්වයයි. දෙවැන්න සාපේක්ෂව ප්‍රචණ්ඩකාරී නොවීමයි. මේ දෙකෙන් එකක් හෝ බිඳ නොවැටී පවත්වා ගත හැකි වන තුරු අරගලයට ඉදිරියට යා හැකියි.
අප බොහෝ විට ආඩම්බරයෙන් කියන්නේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ලංකාවේ බවයි. මේ ප්‍රකාශය පදනම් වන්නේ 1931 වසරේදී සිට ලංකාවේ සියළු වැඩිහිටියන්ට ඡන්ද බලය හිමිවීම මතයි. බොහෝ බටහිර රටවල මුලින්ම ඡන්ද බලය හිමි වුනේ ධනවත් සුදු පිරිමින්ටයි. ලංකාවේ වුවත් මුලින්ම ඡන්ද බලය හිමිවුණේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා වත්කම් තිබුණු අයට පමණයි.
බොහෝ බටහිර රටවල ධනවත් සුදු පිරිමින්ට ඡන්ද බලය, එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, ලැබෙන විට ඔවුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති වෙලා ඉවරයි. කාන්තාවන් හා සුළුතර කොටස් වලට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට ඔවුන්ද යම් තරමකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ කොටස්කරුවන් වෙලා.
ලංකාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට රට ඇතුළේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් හැදී තිබුණේ නැහැ. ධුරාවලිගත සමාජ ව්‍යුහය ඇතුළේ එවැනි ඉඩක් තිබුණේත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය හැක්කේ සමානයින් සිටින සමාජයකයි. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය මුලදී ධනවත් සුදු පිරිමින්ට සීමා වුනේ අනෙකුත් අය සමානයින් නොවූ නිසයි.
මේ අරගලයෙන් පෙනෙන්නේ මෙතෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණු ලංකාවේ පොදු ජනතාව වැඩවසම් ක්‍රමයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කරමින් සිටින බවයි. ව්‍යවස්ථාව අනුව ජනරජයක් වන ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු වුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක මිනිස්සු තේරුම් ගනිමින් සිටින්නේ දැනුයි.
ප්‍රශ්නයේ මුල ආර්ථික අර්බුදය වුවත් මේ වන විට එය දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙනවා. දේශපාලන අර්බුදයට මෙන්ම ආර්ථික අර්බුදයටද ක්ෂණික විසඳුම් අවශ්‍යයි. ආර්ථික අර්බුදය විසඳීම දේශපාලන අර්බුදය විසඳන තරම් පහසු නැහැ.
පොදුජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මුදල් ඇමති ධුරය මෙන්ම මහ බැංකු අධිපති ධුරයද පුරප්පාඩු වී තිබෙනවා. මේ තනතුරු පුරප්පාඩු කර තැබිය නොහැකියි. නමට හෝ කවුරුවත් නොසිටියොත් රටේ ඇතැම් වැදගත් කටයුතු කළ නොහැකිව අකර්මන්‍ය වීමේ අවදානමක් තිබෙනවා.
අලුත් මුදල් ඇමති ලෙස පත් කෙරුණු අලි සබ්‍රි නීතිඥයෙකු මිස අදාළ විෂය ප්‍රවීණයෙක් නෙමෙයි. දැන් ඔහුත් ඉල්ලා අස් වෙලා. මේ වෙලාවේ කවුරු හෝ මේ තනතුර දැරිය යුතුයි. මේ අභියෝගාත්මක මොහොතේ මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සූදානම්ව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හා පළපුරුද්දක් ඇති අයෙක්. කෙසේ වුවත්, ඔහුගේ කාර්ය සාධනය තීරණය වන්නේ මහ බැංකුවට කොයි තරම් දුරට ස්වාධීන විය හැකිද යන්න මතයි. ඒ වගේම, ඔහුට හෝ වෙනත් අයෙකුට මහ බැංකුව භාරගෙන මැජික් පෙන්වන්න බැහැ.
ජන අරගලය අවසන් වෙද්දී ආණ්ඩුව මාරු වී හෝ ඒ සඳහා අත්තිවාරම් වැටී තිබෙන්න පුළුවන්. එහෙත්, එසේ වුනා කියා ආර්ථිකයේ අවදානම් පහව යන්නේ නැහැ. ඇත්ත කතා නොකර "අපිට කොරන්න පුළුවන්" කියා ආණ්ඩුව භාර ගන්න ඕනෑම පාර්ශ්වයකට වැඩි කලක් යන්න කලින් මෙවැනිම තත්ත්වයකට මුහුණ දෙන්න සිදු විය හැකියි.
අද වන විට ප්‍රධාන බැංකු වල ඩොලරයක මිල රුපියල් 310 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රුපියල් 300 මට්ටමේ රඳවා ගැනීමට මහ බැංකුව යම් උත්සාහයක් දැරුවත් ඉතා ඉක්මණින්ම එම අදහස අතහැර දමා ඇති බව පෙනෙනවා. දැන් පවතින වාතාවරණය තුළ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කිරීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.
පවතින දේශපාලන වාතාවරණය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා තවත් ප්‍රමාද විය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ප්‍රමාණය හා එය ලැබෙන දිනය ගැන එම අරමුදල විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන තෙක් ඩොලරය ස්ථාවර කර ගැනීමට ඉඩක් ලැබෙන එකක් නැහැ. ඒ අතරතුර ඩොලරයක මිල ඉතා පහසුවෙන්ම රුපියල් 400 සීමාව දක්වා යා හැකියි.
රටේ ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න පෙර මහ බැංකුවට මහ බැංකුවේ ඩොලර් ප්‍රශ්නය ගැන හිතන්න වෙනවා. බැංකු වලට බැංකු වල ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න වෙනවා. මිල ඉහළ යාමට සමාන්තරව බැංකු අංශයේ ඩොලර් හිඟය අඩු වෙමින් තිබෙනවා. සමස්තයක් ලෙස ලංකාවේ වානිජ බැංකු විසින් නැති ඩොලර් විශාල ප්‍රමාණයක් විකුණා ඇති බව මම කලින්ම පැහැදිලි කර තිබෙන දෙයක්. දැන් ඩොලරයේ මිල ඉහළ යන වේගය අනුව බැංකු වලට තමන්ගේ පාඩු අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් මේ නැති ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන එකතු කර ගන්න සිදු වී තිබෙනවා. ඩොලරය ස්ථාවර වනු ඇත්තේ ඒ කටයුත්ත අහවර වීමෙන් පසුව පමණයි.
නන්දලාල් වීරසිංහ කියන්නේ මේ වෙලාවේ මහ බැංකු අධිපති ධුරය සඳහා තිබෙන සීමිත තේරීම් අතරින් හොඳ තේරීමක්. ඔහු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති දක්වා ධුර වල කාලයක් කටයුතු කර ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද විධායක අධ්‍යක්ෂ්‍ය වරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙක්. ආර්ථිකයේ පවතින වත්මන් අස්ථාවර තත්ත්වය වසරක් තුළ ස්ථාවර කළ හැකි බවට ඔහු මෑතකදී විශ්වාසය පළ කළා. කෙසේ වුවද, එය කළ හැකි වනු ඇත්තේ අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබේනම් පමණයි.

