වෙබ් ලිපිනය:

Showing posts with label ඉතාලිය. Show all posts
Showing posts with label ඉතාලිය. Show all posts

Wednesday, July 10, 2024

ඉතාලියේ කෝච්චි ස්ට්‍රයික්!


පසුගිය දෙසතියක පමණ කාලය ගත කළේ යුරෝපයේ. එයින් අවසන් දවස් කිහිපය ගත කළේ ඉතාලියේ. යුරෝපයේ සංචාරය කරද්දී කවුරු වුනත් සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනය කෙරෙහි ලොකු බරක් තියනවානේ. නමුත් ගිහින් අනෙක් අතට දැන ගන්න ලැබුණේ රෝම නගරයේ දුම්රිය වැඩ වර්ජනයක් බවයි. ඒ මදිවට හරියටම ආපහු එන දවසේ ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනයක්. අර කියනවනේ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා. ඔන්න ඔය වගේ වැඩක් තමයි සිද්ද වුනේ. 

දුම්රිය සේවක වර්ජනය නිසා ඉන්න දවස් දෙක තුනේ අවශ්‍ය තැනකට යා ගන්න එකට බාධාවක් වෙයිද? ඊටත් වඩා වැඩියෙන්, ආපහු එන ගුවන් යානය ප්‍රමාද වෙලා හරි අවලංගු වෙලා හරි අවුලක් වෙයිද? ඔය වගේ අවිනිශ්චිතතා ගණනාවක් ගැන වද වෙන්න සිදු වුනත් වාසනාවට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. 

පසුගිය සති අන්තයේ ඉතාලිය පුරාම ව්‍යාප්ත වූ ලොකු දුම්රිය වැඩ වර්ජනයක් තිබුණා. හැබැයි ඒ අපි ඉතාලියෙන් පිට වෙන්න නියමිතව තිබුණු සිකුරාදා දවසට පස්සේ. ඒ නිසා, ඒ වැඩ වර්ජනය අපට බලපෑවේ නැතත්, ඊට කලින් බ්‍රහස්පතින්දා දවසේ රෝම නගරයේ හුදෙකලා දුම්රිය සේවක වැඩ වර්ජනයක් තිබුණා. අපට බලපෑවේ එම වැඩ  වර්ජනය සහ සිකුරාදා පැවති ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනය. 

බලපෑවා කිවුවට ඇත්තටම වුනේ දුම්රිය ගමන් නියමිත වෙලාවට වඩා විනාඩි කිහිපයක් ප්‍රමාද වුන එක පමණයි. වෙන ප්‍රශ්නයක් සිදු වුනේ නැහැ. මෙයට හේතුව ඉතාලි නීතිය අනුව වැඩ වර්ජන කිරීමේ අයිතිය තහවුරු කර තිබුණත්, ඒ එක්කම වැඩ වර්ජන නිසා පොදු සේවාවන් ලබා ගැනීමේ අයිතියට බාධා වීමද වලක්වා තිබීමයි. 

ඉතාලි ව්‍යවස්ථාවේ 40 වගන්තියෙන් "ඉතාලි නීතියට අනුගත වන පරිදි" වැඩ වර්ජනය කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. මෙය පුද්ගලික අයිතියක්. නමුත් රටේ කිසියම් පිරිසකගේ මෙවැනි අයිතියක් නීතියෙන් තහවුරු කරද්දී ඒ හේතුව නිසා තවත් පිරිසකගේ අයිතීන් අහිමි වීමක් සිදු වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඉතාලි ව්‍යවස්ථාදායකය විසින් 1990 අංක 146 දරන නීතිය සම්මත කර තිබෙනවා. ඉන් පසුව, 2000 අංක 83 දරන නීතියෙන් මෙයට තවත් දේවල් එකතු කර තිබෙනවා.

ඉහත නීති මගින් ව්‍යවස්ථාවේ තිබෙන වර්ජන කිරීමේ අයිතිය තහවුරු කරන අතරම එයට යම් සීමා පනවමින් වැඩ වර්ජන නිසා අනෙකුත් පුද්ගලයින්ගේ අධ්‍යාපනය ලැබීමේ, වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ, ප්‍රවාහන පහසුකම් ලැබීමේ අයිතීන් උල්ලංඝනය නොවන බවද තහවුරු කර තිබෙනවා. එවැනි මූලික අවශ්‍යතා වලට බාධා වන අයුරින් වැඩ වර්ජන කළ නොහැකියි. මේ දෙකම එක වර කරන්නේ කොහොමද?

ඉතාලි ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් තහවුරු වන පරිදි 1990 අංක 146 දරන නීතිය මගින් වැඩ වර්ජන කරද්දී ආරක්ෂා විය යුතු මූලික අයිතීන් අර්ථ දක්වා තිබෙනවා. මෙම අයිතීන්ට ජීවත් වීමේ අයිතිය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ අයිතිය, පුද්ගල නිදහස හා ආරක්ෂාව, සංචාරය කිරීමේ නිදහස, අධ්‍යාපනය ලැබීමේ අයිතිය, සන්නිවේදනය කිරීමේ අයිතිය ආදිය ඇතුළත්. ඒ නිසා, වැඩ වර්ජන කළ හැකි වුවත්, සාමාන්‍ය මහජනතාවගේ ඉහත සඳහන් අයිතීන් උල්ලංඝනය වන පරිදි වැඩ වර්ජන කළ නොහැකියි. 

මේ අනුව, ඉහත සඳහන් පොදු සේවාවන් සැපයීමට දායක වන අයගේ වැඩ වර්ජනය කිරීමේ අයිතිය සීමා වෙනවා. වැඩ වර්ජන කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන් අවම මට්ටමකින් පවත්වා ගනිමින් පමණයි. එසේ නැත්නම් එය තීති විරෝධීයි. මෙම අවම මට්ටම තීරණය කිරීම සඳහා බලධාරියෙක් ඉන්නවා.

දුම්රිය සේවය සැලකුවහොත්, වැඩ වර්ජනයකදී ඇතැම් දුම්රිය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙන යා හැකි පරිදි එම වැඩ වර්ජනය සිදු කළ යුතුයි. උදාහරණයක් විදිහට රෝම නගරයේ සිට ගුවන් තොටුපොළ දක්වා දිවෙන ලියනාඩෝ එක්ස්ප්‍රස් දුම්රිය වැඩ වර්ජනයකදී වුවද බාධාවක් නොමැතිව ධාවනය විය යුතුයි. 

මේ නීතිය බලපාන්නේ රජයේ සේවකයින්ට පමණක් නෙමෙයි. අත්‍යවශ්‍ය පොදු සේවා සපයන පෞද්ගලික අංශයේ සේවකයින්ටද මෙම නීතිය බලපානවා.

ඉතාලියේ මෙන්ම ප්‍රංශය හා ස්පාඤ්ඤය වැනි රටවලද මෙවැනි අවම සේවා නීති ක්‍රියාත්මකව ඇති අතර පසුගිය වසරේදී එක්සත් රාජධානියද (ස්කොට්ලන්තය හැර) මෙවැනි නීතියක් (වැඩ වර්ජන (අවම සේවා) පණත) සම්මත කළා. මේ අනුව, වැඩ වර්ජන අවස්ථාවකදී සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර වල අවම සේවා මට්ටමක් පවත්වා ගෙන යාම තහවුරු වෙනවා. 

Friday, June 12, 2020

කොරෝනා කොයිබටද?


මා කොරෝනා වෛරසය ගැන මෙහි ලියන්නේ ජනවාරි මාසයේ සිටයි. ඒ වෙද්දී මේ රෝගය කෝවිඩ්-19 ලෙස නම් කර තිබුණේ නැහැ. ආසාදිතයින් ප්‍රමාණය 7,815ක් වන විට මරණ සිදු වී තිබුණේ 170ක් පමණයි. එය 2.2%ක මරණ අනුපාතයක්. මේ අඩු මරණ අනුපාතය නිසා ඒ දවස් වල බොහෝ දෙනෙක් රෝගය බරපතල ලෙස සැලකුවේ නැහැ. ජනවාරි 30 දින මා මෙසේ ලිවුවා.

"අසල්වැසි ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන්ද නව කොරෝනා රෝගීන් හමු වීමත් සමඟ මේ වන විට චීනයෙන් පිටත රටවල් හා ප්‍රදේශ 20ක් කරා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා."

"මෙය භයානක වන්නේ මරණ අනුපාතිකය නිසා නෙමෙයි. වෛරසය ව්‍යාප්ත වන වේගය නිසයි.". 

මුල් කාලයේදී චීනයේ වෛරසය පැතිරෙද්දී බොහෝ අය චෝදනා කළේ ඇමරිකාවටයි. මෙය චීනයට එරෙහිව ඇමරිකානු මාධ්‍ය මගින් මවන බොරු බියක් බව ප්‍රචාරය වුනා. නිල වශයෙන් චීනයත් එසේ කිවුවා. එය එසේ නොවන බව පෙන්වා දෙමින් රෝගයේ භයානකකම ගැන මා පෙබරවාරි 6 දින අවධාරණය කළේ මෙලෙසයි.

"කොරෝනා භීෂණය මාධ්‍ය මගින් හදපු එකක් කියා ඇතැම් අය කිවුවත් එය නිවැරදි නැහැ. එය සැබෑ ප්‍රශ්නයක්. නව කොරෝනා වෛරසය වැළඳුනු අයගෙන් මිය යන්නේ 2%කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණක් බව ඇත්ත. නමුත්, කොරෝනා වෛරසය භයානක වන්නේ මරණ අනුපාතය නිසා නෙමෙයි. පැතිරෙන වේගය නිසයි.

රෝගය පැතිරීම වලක්වන්න චීනය කොයි තරම් උත්සාහ කළත් තවමත් දවසෙන් දවසම තත්ත්වය දරුණු වෙන එකයි වෙන්නේ. සෑම දවසකම පෙර දවසේ මැරුණු ගණනට වඩා වැඩි ගණනක් මිය යනවා. නිල සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මිය ගොස් ඇති ගණන 638ක්. වෛරසය වැළඳුනු ගණන 31,481ක්."

ඉන් පසුව, චීනයෙන් පිටත දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල වෛරසය පැතිරෙන්න පටන් ගත්තා. පෙබරවාරි 24 දින මා මෙසේ ලිවුවා.

"මේ වන විට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 79,731 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 2,627 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ ආසාදිතයින් අතරින් 97%ක් හමු වී තිබෙන්නේත්, මරණ වලින් 99%ක් පමණම සිදුව තිබෙන්නේත් චීනයේ. ඒ අනුව, මෙතෙක් කෝවිඩ්-19 වෛරසය බොහෝ දුරට චීනයට සීමා වෙලයි තිබුණේ.

මේ වෙද්දී ඉහත තත්ත්වය වෙනස් වී තිබෙන බවත්,  චීනයේ වෛරස් බිය ක්‍රමයෙන් තුනී වෙද්දී චීනයෙන් පිටත වේගයෙන් වෛරසය පැතිරෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා. එසේ කෝවිඩ්-19 වේගයෙන් පැතිරෙන ප්‍රධාන රටවල් තුනක් වන්නේ එකිනෙකට ආසන්නව නොපිහිටි දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයයි."


මාර්තු මැද වන විට කොරෝනා යුරෝපයේ ප්‍රශ්නයක් වී තිබුණා. ඒ වන විටත් ඇමරිකාවේ වෛරසය එතරම් දුරට පැතිරී තිබුණේ නැහැ. මේ මාර්තු 14 වන විට පැවති තත්ත්වයයි.

"මේ වන විට කොරෝනා චීනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැනට ජීවත්ව සිටින හැත්තෑ දහසකට අධික සුව නොවූ කොරෝනා රෝගීන්ගෙන් පනස් අට දහසක්ම ඉන්නේ චීනයෙන් පිටතයි. එයින් රෝගීන් තිස් දහසක් සිටින්නේ දෙවන වටයේදී රෝගය ව්‍යාප්ත වූ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රට වල වුවත්, ඉතිරි විසි අට දහස සිටින්නේ ලෝකය පුරාම අනෙකුත් රටවලයි."

"ආසාදිතයින් ප්‍රමාණය අනුව බැලුවොත් ඇමරිකාව සිටින්නේ අටවන තැනයි. එහෙත්, ජනගහණයේ අනුපාතයක් ලෙස ඇමරිකාවේ කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය තවමත් මිලියනයකට 7.1ක් පමණයි. 

ඇමරිකාවේ දැනට පවතින තත්ත්වය මෙසේ වුවත්, ඉදිරි සති කිහිපය ඇතුළත කෝවිඩ්19 ආසාදිතයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යා හැකි බව පෙනෙන්නට තිබෙනවා."


ඉන් පසුව ඇමරිකාව ක්‍රමයෙන් කොරෝනා ලැයිස්තුවේ උඩට ආවා. මාර්තු 26 දින මා ලිවුවේ මෙලෙසයි.

"මෙය ලියන මොහොත වන විටත් හඳුනාගත් කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව ඉහළින්ම සිටින්නේ චීනයයි. දෙවැනි තැන ඉතාලියත්, ඉන් පසුව ඇමරිකාවත් ඉන්නවා. ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

චීනය - 81,667
ඉතාලිය - 74,386
ඇමරිකා එක්සත් ජනපදය - 68,572

හෙට දවස අවසන් වන විට ඇමරිකාව මෙහි උඩින් සිටින රටවල් දෙකම පසුකර මුල් තැනට පැමිණීමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් එය එසේ නොවුනොත් අනිද්දා දිනයේ එය අනිවාර්යයෙන්ම වෙයි."



මේ වෙද්දී ඇමරිකාවේ ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය මිලියන දෙක ඉක්මවා ඇති බවත් මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ඇති බවත් (116,000) කවුරුත් දන්නා දෙයක්. චීනයෙන් පසුව කොරෝනා ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයක් වුනේ ඇමරිකාවට හා යුරෝපයට.


කොරෝනා රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය යන රටවල ප්‍රශ්නයක් වන බව මා කිවුවේ දැනට මාස දෙකකටත් පෙරයි. ඒ අප්‍රේල් 10 වෙනිදා. ඒ වන විට එම රටවල් හිටියේ ලැයිස්තුවේ ගොඩක් පහළින්.

"කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි."

අප්‍රේල් 18 මා මේ කරුණ නැවත අවධාරණය කළා.

"මේ වෙද්දී වේගයෙන්ම කෝවිඩ්-19 පැතිරෙන ජනගහණය වැඩි රටවල් වන්නේ රුසියාව, බ්‍රසීලය හා ඉන්දියාවයි."

මැයි අවසානය වන විට මේ රටවල් අතරින් රුසියාව හා බ්‍රසීලය ලැයිස්තුවේ උඩට එන්න පටන් ගෙන තිබුණා. මේ මා මැයි 28 දින තැබූ සටහනයි.

"මා සති ගණනාවකට පෙර කියූ පරිදිම බ්‍රසීලය හා රුසියාව ලැයිස්තුවේ උඩට ඇවිත් තිබෙනවා. ඉදිරි මාසය තුළ ඉන්දියාවත් ක්‍රමයෙන් ලැයිස්තුවේ ඉහළට එයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ලංකාවටත් අමාරු දවස් පැමිණෙනු ඇත්තේ තව පහු වෙලා."

ඉන් පසුව, මා නැවත කොරෝනා ගැන ලියන්නේ අදයි. මේ වන විට ඇමරිකාවට පසුව කොරෝනා ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව හා ඉන්දියාවයි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය බ්‍රික් රටවල් ලෙසද හැඳින්වෙනවා. චීනයෙන් පටන් ගත් කොරෝනා මේ වෙද්දී ඉතිරි බ්‍රික් රටවල ප්‍රශ්නයක් වෙලා.

තවමත් ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඇමරිකාවට පසුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් සිටින බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා එක්සත් රාජධානිය යන රටවල් හතරේම එකතුවට වඩා වැඩියි. මරණ ගණන බැලුවත් එහෙමයි. ඇමරිකාවේ රෝගය පැතිරීම මන්දගාමී වී තිබුණත් තවමත් දවසකට රෝගීන් විසිදහසක්වත් අළුතෙන් හමු වෙනවා. ඒ නිසා, දැනට මතුපිටින් පෙනෙන්නට ඇති ආකාරයට රෝගීන් ප්‍රමාණය අනුව වෙන රටක තත්ත්වය ඇමරිකාවට වඩා දරුණු වීම දුරස්ථ කාරණයක්.

රුසියාවේ ආසාදිතයින් ලක්ෂ පහකට වඩා සිටියත්, ඒ ප්‍රමාණය හදුනාගෙන තිබෙන්නේ මිලියන 14ක පිරිසක් පරීක්ෂා කිරීමෙන් පසුවයි. එහෙත්, බ්‍රසීලයේ තත්ත්වය වෙනස්. ආසාදිතයින් ලක්ෂ අටක් හමු වී තිබෙන්නේ පරීක්ෂා කරනු ලැබූ මිලියන 1.36ක් අතරින්. ඉදිරි කාලයේදී පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යද්දී බ්‍රසීලයේ ආසාදිතයින් ප්‍රමාණය වේගයෙන් ඉහළ යයි. තව සති තුනකින් හෝ හතරකින් බ්‍රසීලය ලැයිස්තුවේ උඩට එන්න බැරිකමක් නැහැ.


දැනට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ප්‍රමාණය ඇමරිකාවේ ආසාදිතයින් ප්‍රමාණයෙන් 15%ක් පමණක් වුනත් ඉන්දියාව ඇමරිකාව මෙන් හතර ගුණයක ජනගහණයක් සිටින රටක්. යම් කාලයක් ගත විය හැකි වුවත් ඉන්දියාව අවසානයේදී ඇමරිකාව හා බ්‍රසීලය පහු කර ලැයිස්තුවේ උඩටම එන්න පුළුවන්. සමහර විට අගෝස්තු මාසය පමණ වෙද්දී විය හැකියි. රුසියාව පහු කරන්නනම් වැඩි කාලයක් ගත වන එකක් නැහැ.



ඉන්දියාවේ ආසාදිතයින් ඉහළ යාමට සමානුපාතිකව පකිස්ථානයේ හා බංග්ලාදේශයේත් ආසාදිතයින් ඉහළ යාමට ඉඩ ඇති බවයි පෙනෙන්නේ. ඉතා ඉක්මණින්ම, බොහෝ විට මේ මාසය අවසන් වන විට, කෝවිඩ් දකුණු ඇමරිකාවේ හා දකුණු ආසියාවේ ප්‍රශ්නයක් බවට පත් වෙයි.

Monday, February 24, 2020

කෝවිඩ්-19 චීනයෙන් එළියට?


මේ වන විට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 79,731 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 2,627 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ ආසාදිතයින් අතරින් 97%ක් හමු වී තිබෙන්නේත්, මරණ වලින් 99%ක් පමණම සිදුව තිබෙන්නේත් චීනයේ. ඒ අනුව, මෙතෙක් කෝවිඩ්-19 වෛරසය බොහෝ දුරට චීනයට සීමා වෙලයි තිබුණේ.

මේ වෙද්දී ඉහත තත්ත්වය වෙනස් වී තිබෙන බවත්,  චීනයේ වෛරස් බිය ක්‍රමයෙන් තුනී වෙද්දී චීනයෙන් පිටත වේගයෙන් වෛරසය පැතිරෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබෙනවා. එසේ කෝවිඩ්-19 වේගයෙන් පැතිරෙන ප්‍රධාන රටවල් තුනක් වන්නේ එකිනෙකට ආසන්නව නොපිහිටි දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයයි.

ඊයේ දිනය තුළ දකුණු කොරියාවෙන් අලුත් ආසාදිතයින් 231 දෙනෙකු හඳුනාගෙන ඇති අතර අලුතින් කෝවිඩ්-19 මරණ දෙකක් සිදු වී තිබෙනවා. ඒ සමඟම, දකුණු කොරියාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 833 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 8 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මෙය දිනක් තුළ ආසාදිතයින් ගණන 38%කින් ඉහළ යාමක්.

ඉතාලියේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණනද දිනක් තුළ 43% කින් එනම් 67කින් ඉහළ ගොස් අලුත් මරණ දෙකක් එකතු වී තිබෙනවා. දැන් ඉතාලියේ කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 224ක්ද, මරණ ගණන 5ක්ද වෙනවා.

කෝවිඩ්-19 වේගයෙන් ව්‍යාප්ත වන තෙවන රට ඉරානයයි. ඉරානයේ ආසාදිතයින් ගණන දිනක් තුළ 64 දක්වා 49% කින් ඉහළ ගොස් තිබෙන අතර ඉරානයේ ඉහළ කෝවිඩ්-19 මරණ අනුපාතයද කැපී පෙනෙනවා. ඊයේ දිනය තුළ සිදු වූ මරණ 4ක්ද සමඟ මේ වන විට ඉරානයේ කෝවිඩ්-19 මරණ ගණන 12ක්.

මීට පෙර සාර්ස් කොරෝනා වෛරසය නිසා වැඩිපුර මිය ගියේ චීන ජාතිකයින්. මර්ස් කොරෝනා වෛරසය නිසා වැඩිපුර මිය ගියේ මැද පෙරදිග කලාපයේ අයයි. කෝවිඩ්-19 මරණ ගණන, ආසාදිතයින් ගණන වගේම ව්‍යාප්තියත් පෙර අවස්ථා දෙකටම වඩා භයංකාරයි.


Friday, December 20, 2019

නව වෙනි පැය

මොරීසියෝ කැතලාන්ගේ ටේප් කළ කෙහෙල් ගෙඩිය ගැන ලිපි කීපයක්ම ලිවුවනේ. ඔය කෙහෙල් ගෙඩිය ඔය තරම් මිලකට අලෙවි වුනේ එය කැතලාන්ගේ නිර්මාණයක් නිසයි. ප්‍රසිද්ධියට පත් වූ කැතලාන්ගේ තවත් කලා නිර්මාණ ගණනාවක්ම තිබෙනවා. ඒ අතරින් එකක් තමයි ලා නෝන ඕර (නව වැනි පැය) ලෙස නම් කර තිබෙන, උල්කාපාතයක් වැදී බිම වැටී සිටින දෙවන ජුවාම් පාවුළු පාප් තුමාගේ මූර්තිය.


නව වැනි පැය කලා කෘතිය පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. එයින් එක් ප්‍රචලිත අර්ථකතනයක් අනුව කොයි තරම් බලවත් පුද්ගලයෙක් වුවත්, අවදානම් වලින් සම්පූර්ණයෙන්ම මිදී නැති බව මෙයින් පෙන්වා දෙනවා. අවම වශයෙන් කතෝලික ආගමිකයින්ට සාපේක්ෂව පාප් තුමා කියා කියන්නේ පෘථිවිය මත සිටින බලවත්ම පුද්ගලයෙක්. පෘථිවිය මත ඔහු කොයි තරම් සුරක්ෂිත වුවත්, අනපේක්ෂිත මොහොතක පෘථිවියට පිටත අභ්‍යවකාශයේ සිට පොළොවට වැටෙන උල්කාපාතයක් ඔහුගේ ඇඟේ වැදෙන්න පුළුවන්.

ඔහු (him) ලෙස නම් කර තිබෙන දණ ගසා සිටින හිට්ලර්ගේ මූර්තිය මොරීසියෝ කැතලාන්ගේ තවත් ප්‍රසිද්ධ කලා නිර්මාණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ දණ ගසා යාඥා කරමින් සිටින සාමාන්‍ය පිරිමි ළමයෙකුගේ පසුපස දර්ශනය ලෙස මුලින්ම පෙනෙන අයුරිනුයි. සමීප වී මූර්තියේ ඉදිරිපස බැලූ විට පමණක් ඇඩොල්ෆ් හිට්ලර්ගේ බව පැහැදිලිව හඳුනා ගත හැකි පරිදි මුහුණ නිර්මාණය කර තිබෙනවා.



වෙබ් ලිපිනය: