වෙබ් ලිපිනය:

Showing posts with label විවට වෙළඳපොළ ගණුදෙනු. Show all posts
Showing posts with label විවට වෙළඳපොළ ගණුදෙනු. Show all posts

Friday, November 8, 2024

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් සල්ලි අච්චු ගහන හැටි!


විවට වෙළඳපොළ මෙහෙයුම් කියන්නේ මොනවාද? මේ ගැන විස්තර කරන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබුණා. මේ ගැන පැහැදිලි කරන්න කලින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ගැන කලින් වැඩිපුර විස්තර කර නැති දෙයක් විස්තර කරලා ඉන්නම්.

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ණය උපකරණයක්. ඒ කියන්නේ රජය ණය ගන්නා ක්‍රමයක්. නමුත් පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙය මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප ක්‍රමයක්. ගොඩක් වෙලාවට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ස්ථිර තැන්පතුවකින් ලබා ගන්නවාට වඩා වැඩි පොලී අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්.

මීට පෙර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම ගැන මෙහි පළ කළ ලිපි කියවා ඒ වැඩේ පටන් ගත් බොහෝ දෙනෙක් ඉන්නවා. සාමාන්‍ය පුද්ගලයෙක් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්නේ බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා. සාමාන්‍ය පුද්ගලයෙකුට රජයෙන් සෘජුවම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බැහැ.

ලොකු මුදලක් ආයෝජනය කරන කෙනෙකුට බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න පුළුවන්. එහිදී වෙන්නේ අදාළ බැංකුව හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම විසින් යම් කොමිස් මුදලක් හා/හෝ ගාස්තුවක් අය කර රජය හා තමන්ගේ ගනුදෙනුකරු අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරන එක. අවසාන වශයෙන් බිල්පතේ අයිතිකරු වෙන්නේ ගනුදෙනුකරුවා.

නමුත් ප්‍රායෝගිකව සාපේක්ෂව අඩු මුදලක් ආයෝජනය කරද්දී වෙන්නේ ඔය වැඩේම නෙමෙයි. මෙහිදී ඇත්තටම වෙන්නේ අර කලින් කියපු ආකාරයට භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගන්නවාට වඩා වෙනස් වැඩක්. පැහැදිලි කිරීමේ පහසුවට මේ වෙන වැඩේ බැංකුව විසින් පාරිභෝගිකයාට භාණ්ඩාගාර බිල්පත කුලියට දීමක් කියා කියන්න පුළුවන්.

මේක හරියට යම් සීමිත කාලයකට රඹුටන් ගහක් බදු දෙනවා වගේ වැඩක්. අදාළ කාලය අවසන් වන තුරු රඹුටන් ගහෙන් ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්නේ බදු ගත් තැනැත්තා. 

සාමාන්‍ය මුදලක් බැංකුවක් හරහා භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරද්දී වෙන්නෙත් ඔය වැඩේ. බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතකක් මුදල් ආයෝජනය කරන කාලයට පාරිභෝගිකයාට පවරනවා. කාලය අවසන් වූ පසු බිල්පතේ අයිතිය නැවතත් බැංකුවටම ලැබෙනවා.

උදාහරණයක් විදිහට බැංකුව විසින් ජනවාරි 15 වෙනිදා මාස හයකින් කල් පිරෙන බිල්පතක් මිල දී ගන්නවා. එය කල් පිරී මුදල් ආපසු ලැබෙන්නේ ජූනි 15 වෙනිදා. ඔය අතර පෙබරවාරි 20 පරිභෝගිකයක් ඇවිත් බැංකුවට කියනවා මාස තුනකට භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන්න ඔනෑ කියලා. දැන් බැංකුව කරන්නේ සල්ලි අරගෙන එහි හිලවුවට මාස තුනක කාලයකට තමන් කලින් ගත් බිල්පතේ අයිතිය පාරිභෝගිකයාට පවරන එක. ඒ කියන්නේ පෙබරවාරි 20 සිට මැයි 20 දක්වා කාලයට. ඔය මාස තුනක කාලය තුළ බිල්පත සඳහා රජයෙන් ලැබෙන පොලිය අයිති වෙන්නේ පාරිභෝගිකයාටයි.

ඔය විදිහට විස්තර කළාට රජය දවස ගානේ බිල්පත් වලට පොලී ගෙවන්නේ නැහැ. පොලියත් එක්ක මුල් මුදල ලැබෙන්නේ කල් පිරුණු පසුවයි. මේ උදාහරණයේදීනම් ජූනි 15. නමුත් බැංකුව පාරිභෝගිකයාට සල්ලි ආපහු ගෙවන්න ජූනි 15 වන තුරු ඉන්නේ නැහැ. මාස තුන ඉවර වූ ගමන් සල්ලි සහ පොලිය ගෙවනවා. ඒ නිසා, ඇත්තටම වෙන්නේ ඒ කාලය තුළ පාරිභෝගිකයාට තමන්ගේ සල්ලි වෙනුවෙන් ඇපයක් විදිහට භාණ්ඩාගාර බිල්පතක අයිතිය ලැබෙන එකයි.

මේ විදිහේ ගනුදෙනු වලට කියන්නේ ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනු කියලා. ඉංග්‍රීසියෙන් repurchase transaction කියන එක. කෙටියෙන් රිපෝ කියලා කියනවා. ඉතින් ඇත්තටම ගොඩක් අය භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරනවා කියලා කරන්නේ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන එක.

මේ රිපෝ නැත්නම් ප්‍රති-මිල දී ගැනීම් කියන එකේ තේරුම මේකයි. බැංකුව ගණුදෙනුකරුට භාණ්ඩාගාර බිල්පතක් විකුණනවා. හැබැයි ඒ විකුණන්නේ නිශ්චිත කාලයකට පසුව එය බැංකුවටම ආපසු විකිණීමේ පොරොන්දුව මත. ආපසු විකිණිය යුතු දවස වගේම විකුණන මිල ගැනත් මුලින්ම එකඟතාවයකට එනවා. ඇත්තටම කියනවානම් ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනුවක් කියන්නේ එක විටම එකඟ වෙන ගනුදෙනු දෙකක්. 

දැන් මේ විදිහට බැංකුව වෙනත් අයෙකුට ප්‍රති-මිල දී ගැනීම් පදනම මත බිල්පතක් විකුණද්දී ඒ පුද්ගලයාගේ පැත්තෙන් වෙන්නේ මිල දී ගැනීමක්. ඒ නිසා ඒ පැත්තෙන් මේකට කියන්නේ ප්‍රති-විකිණුම් ගනුදෙනුවක් කියලා. ඉංග්‍රීසියෙන් reverse repurchase transaction හෙවත් සාමාන්‍ය වහරේදී රිවර්ස් රිපෝ කියලා කියනවා.

බැංකු බැංකු අතරත් ඔය රිපෝ ගනුදෙනු සිදු වෙනවා. එක බැංකුවකට රිපෝ ගනුදෙනුවක් අනෙක් බැංකුවට රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. සාමාන්‍ය පාරිභෝගිකයෙක් සහ බැංකුවක් අතර ගනුදෙනුවක් වෙද්දී හැම විටම වගේ පාරිභෝගිකයාට අවශ්‍ය වෙන්නේ රිපෝ එකක් කරන්න. රිවස් රිපෝ එක කරන්නේ බැංකුව. නමුත් බැංකුවකට යම් දවසක රිපෝ කරන්න අවශ්‍ය වෙන්න වගේම රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්.

බැංකුවකට තවත් බැංකුවක් එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නේ මුදල් අතිරික්තයක් ඇති විට. මුදල් හිඟයක් ඇති විට රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරනවා. ඔය දෙකෙන් කොයි එක කළත් නිශ්චිත දින ගණනකට පසුව ගනුදෙනුව ආපසු හැරවීමට ආරම්භයේදීම එකඟ වෙනවා. මේ දින ගණන දවසක් තරම් කෙටි කාලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අද බිල්පතක් විකුණලා හෙට ආපසු මිල දී ගන්නවා. නැත්නම් අද මිල දී ගෙන හෙට ආපසු විකුණනවා. 

බැංකු මේ විදිහට රිපෝ (හෝ රිවර්ස් රිපෝ) ගනුදෙනු කරන්නේ තාවකාලික මුදල් හිඟයක් හෝ තාවකාලික මුදල් අතිරික්තයක් ඇති විටයි. මුදල් හිඟය හෝ අතිරික්තය දිගටම තියෙන එකක් බව පේනවානම් කරන්නේ බිල්පතක් ස්ථිර ලෙසම විකිණීම හෝ මිල දී ගැනීම. ඒ කියන්නේ ආපසු හැරවීමේ ගිවිසුමක් නැතිව ගනුදෙනුව ඉවරම කරලා දමන එක. 

බැංකු බැංකු අතර ඔය විදිගේ රිපෝ ගනුදෙනු සිදු වෙනවා වගේම මහ බැංකුව හා බැංකු අතරත් රිපෝ ගනුදෙනු සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සිදු වන්නේ උපරිම වශයෙන් සතියකින් ආපසු හැරවෙන පරිදියි. ඊට අමතරව, මේ දවස් වල නොකළත්, මහ බැංකුව අනෙකුත් බැංකු එක්ක බිල්පත් ස්ථිර ලෙසම විකිණීමේ හෝ මිල දී ගැනීමේ ගනුදෙනුත් කරනවා. මේ ගනුදෙනු සියල්ලටම පොදුවේ කියන්නේ විවට වෙළඳපොළ ගනුදෙනු කියලා.

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් බැංකුවකින් බිල්පතක් මිල දී ගනිද්දී ඒ වෙනුවෙන් අලුතෙන් මුදල් නිකුත් කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. මහ බැංකුව විසින් කෙළින්ම බිල්පත් වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගනිද්දී සිදු වන දෙයම තමයි. 

කෙළින්ම වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගන්න එක සාමාන්‍යයෙන් මහ බැංකුවක් කරන වැඩක් නෙමෙයි. නමුත් ලංකාවේ දිගින් දිගටම ඔය වැඩේ සිදු වුනා. දැන් අලුත් මහ බැංකු පණත අනුව ඒ වැඩේ කරන්න බැහැ. නමුත් විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගන්න එක ලෝකයේ හැම රටකම වගේ මහ බැංකු විසින් කරන සාමාන්‍ය දෙයක්. මහ බැංකුවේ රස්සාවේ ප්‍රධාන අංගයක්. අලුත් මහ බැංකු පණතෙන් ඒ වැඩේට කිසිම බාධාවක් නැහැ.

විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගනිද්දී රටේ සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. ඒ වගේම, මහ බැංකුව විසින් කලින් මිල දී ගත් බිල්පත් විකුණන විට සංචිත මුදල් ප්‍රමාණය පහත වැටෙනවා. මහ බැංකුවක් මුදල් සැපයුම අවශ්‍ය මට්ටමේ තියාගන්නේ මේ ක්‍රමයටයි. ඒ නිසා, මුදල් සැපයුම නිසි මට්ටමේ තියා ගැනීම සඳහා මහ බැංකුවකට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නම වෙනවා.

මහ බැංකුවක ප්‍රධානම කාර්යය උද්ධමනය පාලනය කිරීම. එය කරන්නේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. උද්ධමනය ඕනෑවට වඩා ඉහළ ගිය විට එය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. නමුත් උද්ධමනය අඩු වුනාට පස්සේ නැවත පොලී අනුපාතික පහළට ගන්න වෙනවා. 

එහෙම කළේ නැත්නම් නැවතත් උද්ධමනය ආපු වෙලාවක පොලී අනුපාතික තවත් වැඩි කරන්න වෙනවා. දිගටම එහෙම කරන්න ගියොත් වෙන්නේ උද්ධමනය එන එන සැරේට පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ යන එකනේ. ඒ නිසා, උද්ධමන තර්ජනයක් නැති වෙලාවට පොලී අනුපාතික පුළුවන් තරම් පහළට ගත යුතුයි. එහෙම පහළට අරන් තිබුණහම නැවතත් උද්ධමන තර්ජනයක් එන වෙලාවක ප්‍රශ්නයක් නැතිව වැඩි කරන්න පුළුවන්.

පොලී අනුපාතික තීරණය වෙන්නේ මුදල් වලට තිබෙන ඉල්ලුම හා මුදල් සැපයුම අනුව. ඉල්ලුමට වඩා සැපයුම අඩුනම් පොලී අනුපාතික ඉහළ යනවා. සැපයුම වැඩිනම් පොලී අනුපාතික පහළ යනවා. ඒ නිසා මහ බැංකුවට පුළුවන් මුදල් සැපයුම පාලනය කිරීම මගින් පොලී අනුපාතික පාලනය කරන්න. මුදල් සැපයුම පාලනය කරන්නේ කලින් විස්තර කරපු විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හෝ විකිණීම මගිනුයි. 

මුදල් ඉල්ලුම කියන්නේ දිනපතාම වෙනස් වන දෙයක්. අද ඉල්ලුම වැඩි වුනාට හෙට නැවත අඩු වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගැනීම හා විකිණීම මගින් සැපයුම වෙනස් කළ යුත්තේ වෙළඳපොළ මුදල් ඉල්ලුම ස්ථිර ලෙසම වෙනස් වී ඇති බවක් පෙනේනම් පමණයි. මුදල් ඉල්ලුම තාවකාලිකව විචලනය වෙද්දී කරන්නේ රිපෝ හෝ රිවර්ස් රිපෝ ගනුදෙනු කිරීම මගින් පොලී අනුපාතික ස්ථාවරව තියා ගන්න එක. දැන් ටික කාලයක ඉඳලම මහ බැංකුව කරන්නේ ඒක.

මේ දවස් වල විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ කරන ක්‍රම තුනක් තිබෙනවා. ඔය ක්‍රම තුනෙන් කොයි ක්‍රමයට කළත් වෙන්නේ මහ බැංකුවෙන් සල්ලි එළියට යන එකයි. ඒ කියන්නේ සංචිත මුදල් වැඩි වෙන එකයි. නමුත් ගනුදෙනුව කරන්නේම ඒ සල්ලි නැවත මහ බැංකුවට ආපසු එන ගිවිසුමත් අත්සන් කරලා. ක්‍රම තුන මේකයි.

1. එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේ ක්‍රමයට මහ බැංකුව විසින් නිශ්චිත රිපෝ ගනුදෙනු ප්‍රමාණයක් සඳහා වෙන්දේසි ක්‍රමයට මිල ගණන් කැඳවනවා. එහිදී අඩුම ලන්සු තබන අයට එම පොලී අනුපාතික වලට මහ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවේ පැත්තෙන් රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි නැවත මහ බැංකුවට එනවා. මහ බැංකුව විසින් ඇපයට තියාගත් බිල්පත නැවත අදාළ බැංකුවටම අයිති වෙනවා. පසුගිය කාලයේදී සෑම වැඩ කරන දවසකම වගේ මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තියෙනවා. අදාළ දවසේ මුදල් හිඟයක් තිබෙන බැංකු වලට වාසිදායකම විකල්පය මේක.

2. සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේකත් කලින් ක්‍රමයම තමයි. නමුත් වෙනස ගනුදෙනුව ආපසු හැරෙන්නේ දවස් හතකින් පසුව වීමයි. එක දිගට සතියක් සල්ලි හිඟ බව පෙනෙන බැංකුවකට මේ වැඩේ හොඳ විකල්පයක්. ඒ දවස් හතට බිල්පතක අයිතිය අහිමි වෙනවා. මහ බැංකුව සල්ලි දෙන්නේ බිල්පතක් ඇපයට තියාගෙනනේ. පසුගිය සති වල අඟහරුවාදා දවස් වල මහ බැංකුව විසින් සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තිබෙනවා.

3. නිත්‍ය ණය පහසුකම: මේ ක්‍රමයට සිදු වෙන්නෙත් එක් දින රිවර්ස් රිපෝ ගනුදෙනුවක්ම තමයි. ඒ කියන්නේ එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය හරහා සිදු වන දේ. නමුත් වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන්නේ නිශ්චිත බිල්පත් ප්‍රමාණයක්. වෙන්දේසියෙන් ඒ බිල්පත් ගන්න ඉඩක් නොලැබුණු සහ දවස අන්තිමේදී මුදල් හිඟයක් තිබෙන බැංකුවකට දවස අවසානයේදී නිත්‍ය ණය පොලී අනුපාතිකය යටතේ රිපෝ ගනුදෙනුවක් කරන්න වෙනවා. ඒ පොලී අනුපාතිකය වෙන්ද්සියේ පොලී අනුපාතිකයට වඩා වැඩියි. පොලී අනුපාතිකයේ මේ වෙනස හැර වෙනත් වෙනසක් නැහැ. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි ආපසු ගෙවුවට පස්සේ බිල්පතේ අයිතිය ලබා ගන්න පුළුවන්.

මහ බැංකුව රිවර්ස් රිපෝ කරන ඔය ක්‍රම තුනෙන්ම තාවකාලිකව මුදල් සැපයුම වැඩි වී නැවත මුල් මට්ටමට එනවා. මීට අමතරව මහ බැංකුවට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා රිපෝ වෙන්දේසි තියන්නත් පුළුවන්. ළඟකදීනම් රිපෝ වෙන්දේසි තියලා නැහැ.

මහ බැංකුව රිපෝ ගනුදෙනුවක් කළ විට සිදු වන්නේ බැංකුවක් විසින් මහ බැංකුවෙන් බිල්පතක් ඇපයට ගෙන මහ බැංකුවේ සල්ලි තැන්පත් කරන එකයි. නමුත් මේ දවස් වල බැංකු විසින් මහ බැංකුවෙන් ඇපයක් නොගෙනම විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුවේ තැන්පත් කරනවා. ඒ නිසා මහ බැංකුවට රිපෝ වෙන්දේසි තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සල්ලි වෙනුවෙන් මහ බැංකුව ගෙවන පොලී අනුපාතිකය මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය. 

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ ඔය නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සහ කලින් කියපු නිත්‍ය ණය පහසුකම යටතේ රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරද්දී බැංකුවක් විසින් මහ බැංකුවට ගෙවිය යුතු නිත්‍ය ණය පොලී අනුපාතිකය කියන පොලී අනුපාතික දෙකටයි.

දැන් මේ විදිහට බැංකුවක් නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගනිද්දී සංචිත මුදල් සැපයුම අඩු වෙනවා. ඊළඟ දවසේ ඒ සල්ලි ආපසු ගනිද්දී මුදල් සැපයුම කලින් පැවති මට්ටමටම එනවා.

උදාහරණයක් විදිහට අපි පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 5)  දින සිදු වූ විවට වෙළඳපොළ ගණුදෙනු පරීක්ෂා කර බලමු.

මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය:

එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 16,665

සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 50,000

නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 550

එකතුව = රුපියල් මිලියන 67,215

සමහර වෙබ් අඩවි වල මහ බැංකුව අච්චු ගහපු සල්ලි කියලා පෙන්වලා තියෙන්නේ ඔය විදිහට එළියට ගිය මුදල් ප්‍රමාණය. මේ ගණන් මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරනවා. නමුත් ආපසු එන සල්ලි ගැන විශේෂයෙන් කියන්නේ නැහැ. රිවර්ස් රිපෝ කියලා කිවුවහම දන්න ඕනෑම කෙනෙකුට ඒ සල්ලි ආපහු එන බව තේරුම් ගන්න අමාරු නැහැ.

පහත තියෙන්නේ ඔය කියන දවසේදීම (නොවැම්බර් 5) කලින් කරපු රිවර්ස් රිපෝ ආපසු හැරවෙද්දී මහ බැංකුවට ආපසු පැමිණි මුදල් ප්‍රමාණය. 

මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය ආපසු ගෙවීම්:

එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 20,000

සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 70,000

නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 50

එකතුව = රුපියල් මිලියන 90,050

දැන් පේනවනේ. රුපියල් මිලියන 57,215ක් එළියට ගියත් රුපියල් මිලියන 70,050 ආපසු මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 22,835ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. 

මීට අමතරව, ඔය කියන දවසේදී නිත්‍ය ණය පහසුකම් ලෙස රුපියල් මිලියන 165,567ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ එක්කම අනෙක් පැත්තට කලින් දවසේ ඒ විදිහටම තැන්පත් කරපු රුපියල් මිලියන 166,012ක් ආපසු ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන මිලියන 445ක් මහ බැංකුවෙන් එළියට ගිහින් තියෙනවා. ඔය ගණන කලින් ගණනෙන් අඩු කළොත් සමස්තයක් විදිහට රුපියල් මිලියන 22,390ක් මහ බැංකුවට ආපහු ඇවිත් තියෙනවා. 

මේ පසුගිය අඟහරුවාදා තත්ත්වයනේ. ඊට කලින් දවසේ, ඒ කියන්නේ සඳුදා තත්ත්වය ඔය විදිහටම ගණන් හැදුවොත්, එදා වෙලා තියෙන්නේ රුපියල් මිලියන 39,409ක් එළියට යන එකයි. ඒ කියන්නේ එපමණකින් සංචිත මුදල්ද ඉහළ යනවා කියන එක. නමුත් ඔය වගේ දෙයක් දවසක් වුනා කියන්නේ අමුතු දෙයක් හෝ කලබල විය යුතු දෙයක් නෙමෙයි. සමහර දවස් වල වැඩියෙන් සල්ලි එළියට එනවා. සමහර දවස්වල වැඩියෙන් මහ බැංකුවට එනවා. ඒක වෙන්නේ මුදල් ඉල්ලුම වෙනස් වෙන විදිහ අනුවයි. 

නොවැම්බර් මාසයේ අද දක්වා වැඩ කරන දවස් හයක කාලය සැලකුවහොත් විවට වෙළඳපොළ ගනුදෙනු හරහා ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 13,911ක් නැවත මහ බැංකුවට එන එකයි සිදු වී තියෙන්නේ. සාමාන්‍යයෙන් ධන හා සෘණ විචලනයන් අවලංගු වී ගියාම ඒ තරම් විශාල නැති ධන හෝ සෘණ ගණනක් තමයි එන්නේ. හැබැයි මේ ගණන දිහා බලලා වුනත් මහ බැංකුව කොයි තරම් සල්ලි අච්චු ගහලද කියන එක ගැන අදහසක් ගන්න බැහැ. විවට වෙළඳපොළ ගනුදෙනු කියා කියන්නේ සංචිත මුදල් වෙනස් වෙන එක ක්‍රමයක් පමණයි. විදේශ විණිමය ගනුදෙනු, රජය සමඟ කරන ගනුදෙනු වැනි තවත් හේතු ගණනාවක් නිසා සංචිත මුදල් සැපයුම වෙනස් වෙනවා.

Monday, October 28, 2024

මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?


"මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?"

වැඩ ගොඩක හිර වෙලා හිටියත් පැය කිහිපයක් ඇතුළත අවම වශයෙන් විසි දෙනෙක්වත් මේ ප්‍රශ්නය අසා තිබුණු නිසා සටහනක් දමන්න පොඩ්ඩක් කාලය වෙන් කළා. තවත් අතුරු ප්‍රශ්නත් ගණනාවක් තිබෙනවා.

අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බැරිද?

මහ බැංකුවක "රස්සාවම" සල්ලි අච්චු ගහන එක. ඒ කියන්නේ මහ බැංකුවක ප්‍රධානම කාර්යය රටකට අවශ්‍ය පමණ සල්ලි අච්චු ගහන එක. ඒ නිසා සල්ලි අච්චු ගහන්නේ නැත්නම් ඒක මහ බැංකුවක් නෙමෙයි. අලුත් මහ බැංකු පණතෙන් හෝ IMF ගිවිසුමෙන් මහ බැංකුවට සල්ලි ගහන්න තිබෙන අයිතියට සීමා දමලා නැහැ. 

එහෙමනම් අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව සිදු වුනේ කුමක්ද?

මෙහිදී සිදු වුනේ රටට අවශ්‍ය සල්ලි ප්‍රමාණය තීරණය කරලා ඒ සල්ලි ප්‍රමාණය අච්චු ගහන්න මහ බැංකුවට වැඩි නිදහසක් ලබා දීමයි. එහෙම කරන්න අවශ්‍ය වුනේ මීට පෙර මහ බැංකුවට නිදහසේ මේ වැඩේ කරගෙන යන්න බැරි වීම සහ ඇත්තටම රටට අවශ්‍ය නැති, ඕනෑවට වඩා වැඩි, සල්ලි ප්‍රමාණයක් රජයේ අයවැය හිඟය පියවීම වෙනුවෙන් අච්චු ගසන්න සිදු වීම. එය කෙළවර වුනේ රටට දරාගත නොහැකි මට්ටමට උද්ධමනය ඉහළ ගිහිනුයි.

රටට අවශ්‍ය සල්ලි ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද?

මෙය තීරණය කිරීමේදී යොදා ගන්නා ප්‍රධානම නිර්ණායකය අපේක්ෂිත ආර්ථික වර්ධනය. රටේ ආර්ථිකය වර්ධනය වෙනවා කියන්නේ රටේ සිදුවන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා කියන එක. එවිට ඒ ගනුදෙනු සිදු කිරීම සඳහා මුදල් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එම මුදල් ප්‍රමාණය සල්ලි අච්චු ගැසීම මගින් රටේ ආර්ථිකයට එකතු කළ යුතුයි. එය උද්ධමනයට හේතු වෙන්නේ නැහැ.

මීට අමතරව රටේ උද්ධමනය පවත්වාගත යුතු මට්ටම රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් තීරණය කරනවා. එසේ තීරණය කිරීමෙන් පසුව උද්ධමනය ඒ මට්ටමේ පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම යම් නිශ්චිත ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න සිදු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට දී තිබෙන ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්න එක. ඒ සඳහා යම් ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වෙනවා. ආර්ථිකය 3% වේගයකින් වර්ධනය වේයැයි පෙනේනම්, උද්ධමනය 5% මට්ටමේ තියා ගැනීම සඳහා මුදල් සැපයුම වසරකට 8%කින් පමණ වැඩි කරන්න වෙනවා.

මේ විදිහට මුදල් සැපයුම වැඩි කිරීම කියද්දී එයින් අදහස් වන්නේ මුදල් සැපයුම වෙනස් වීමේ දිගුකාලීන ප්‍රවණතාව. එම ප්‍රවණතාව එසේම තිබියදී රටේ මුදල් ඉල්ලුම හා සැපයුම අනුව මුදල් ප්‍රමාණය දිනපතා විචලනය වෙනවා. මුදල් ඉල්ලුම විවිධ සාධක මත තීරණය වෙනවා. මුදල් සැපයුම තීරණය කරන්නේ මහ බැංකුව. ගොඩක් වෙලාවට සැපයුම තීරණය කරන්නේ ඉල්ලුම මත පදනම්වයි.

සල්ලි අච්චු ගැසීම කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ කුමක්ද?

මෙයින් ඇත්තටම අදහස් වෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යාම. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ රටේ සංසරණයේ පවතින කාසි හා නෝට්ටු ප්‍රමාණයේත්, මහ බැංකුවේ ගිණුම් වල තිබෙන බැංකු වල සහ රජයේ අරමුදල් ප්‍රමාණයේත් එකතුව.

ඔය කතා පැත්තකින් තියමු. මෑතකදී සල්ලි අච්චු ගැසීමක් සිදු වෙලාද?

දැන් මේ ප්‍රශ්නය අදාළ වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ගත වුනු මාසයක පමණ කාලයටනේ. පහත තිබෙන්නේ අදාළ දත්ත.

2024 සැප්තැම්බර් 26 = රුපියල් බිලියන 1,516.0

2024 ඔක්තෝබර් 24 = රුපියල් බිලියන 1,499.9

ඇත්තටම වෙලා තියෙන්නේ ඔය මාසයක කාලය ඇතුලත සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 16කින් පමණ අඩු වෙන එක. ඒ කියන්නේ කලින් අච්චු ගහපු සල්ලිත් නැවත එකතු කර ගන්න එක.

සංචිත මුදල් සැපයුම වැඩි වෙන්නේ කොහොමද?

මෙය සිදු වන එක් ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් බැංකු වලින් ඩොලර් මිල දී ගැනීම. එසේ මිල දී ගැනීමෙන් පසුව අදාළ රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන ඒ බැංකුවේ ගිණුමට බැර කරනවා. එසේ නැත්නම් බැංකුවකින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් විට. බැංකුවකින් නැතුව රජයෙන් කෙළින්ම භාණ්ඩගාර බිල්පත් මිල දී ගෙන අදාළ මුදල මහ බැංකුවේ තිබෙන රජයේ ගිණුමට බැර කළ විටත් ඔය වැඩේම වෙනවා. රජයට ලැබෙන ඩොලර් මහ බැංකුවට විකුණුවත් වෙන්නේ ඕකමයි.

මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් හෝ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා වගේම ඒවා විකුණද්දී සංචිත මුදල් අඩු වෙනවා. භාණ්ඩාගාර බිල්පත් කල් පිරී මුදල් හා පොලිය ආපසු ලැබුණු විටද සංචිත මුදල් අඩු වෙනවා. 

වෙළඳපොළ තත්ත්වයන් අනුව, පසුගිය මාසයේදී මහ බැංකුව විසින් ඩොලර් විකිණුවා කියලා හිතන්න අමාරුයි. බොහෝ විට සිදු වෙන්න ඇත්තේ ඩොලර් යම් ප්‍රමාණයක් හෝ මිල දී ගැනීම කියලා මම හිතනවා. එය එසේනම්, එහිදී ඉහළ ගිය සංචිත මුදල් ප්‍රමාණය අඩු කරගෙන තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණීම වැනි දෙයක් කරලා. හැබැයි ඩොලර් විකිණුවේ නැද්ද කියලා හරියටම දැනගන්න වෙන්නේ අදාළ දත්ත ප්‍රසිද්ධ කළාට පස්සේ. කොහොම වුනත් පසුගිය මාසයේදී සංචිත මුදල් වැඩි වීමක් වෙලා නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙලා නැහැ. 

විවට වෙළඳපොළ කටයුතු වලදී වෙන්නේ කුමක්ද?

මහ බැංකුව විසින් එදිනෙදා මුදල් ඉල්ලුමේ සිදුවන වෙනස්කම් අනුව මුදල් සැපයුම වෙනස් කරමින් පොලී අනුපාතික අවශ්‍ය මට්ටමේ ස්ථාවරව තියාගන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහා. මේක අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි. විශාල කාලයක සිට සිදුවන, ලෝකයේ අනෙක් රටවල මහ බැංකු විසින්ද කරන සාමාන්‍ය දෙයක්. කෙටියෙන් කිවුවොත් මහ බැංකුවේ සාමාන්‍ය රාජකාරියක්. 

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ මහ බැංකුව විසින් තීරණය කරන එක්දින මුදල් වෙළඳපොළේ පොලී අනුපාතික විචලනය විය හැකි පරාසය. මහ බැංකුව විසින් වරින් වර මේ පරාසය වෙනස් කරනවා. මේ දවස් වල 8.25%-9.25% පරාසය.

එක් දින මුදල් වෙළඳපොළ කියා කියන්නේ කුමක්ද?

ඕනෑම ව්‍යාපාරයක් දවස පටන් ගනිද්දී අතේ යම් කිසි මුදලක් තිබිය යුතුයි. මේක කාට වුනත් පැහැදිලි දෙයක්නේ. බැංකුවකට මේ තත්ත්වය විශේෂයි. උදේ පාන්දර පාරිභෝගිකයෙක් සල්ලි ගන්න ආවහම කවුරු හරි සල්ලි දමන්න එනකම් පොඩ්ඩක් ඉන්න කියලා කියන්න බැහැ. යම් අරමුදල් ප්‍රමාණයක් තියාගන්නම අවශ්‍යයි. හැබැයි ඒ ප්‍රමාණය තිබුනහම ඇති.

ඕනෑම දවසක බැංකු වලින් මිනිස්සු සල්ලි ආපසු ගන්නවා. තවත් අය බැංකුවට සල්ලි දමනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දවස අවසන් වෙද්දී එක්කෝ බැංකුවේ ඕනෑවට වඩා සල්ලි එකතු වෙනවා. නැත්නම් ඊළඟ දවසේ බැංකුව අරින්න සල්ලි හිඟ වෙනවා. හැබැයි මේක දවසක ප්‍රශ්නයක්. ඊළඟ දවසේ තත්ත්වය අද එකම වෙන්නේ නැහැ. ඒක කලින් දැනගන්නත් අමාරුයි.

සාමාන්‍යයෙන් එක බැංකුවකින් එළියට යන සල්ලි දවස අවසාන වෙද්දී තවත් බැංකුවකට යනවා. එහෙම නොවෙන්නේ අවුරුදු කාලය වගේ විශේෂ අවස්ථා වලදී පමණයි. අවුරුදු කාලයේදී එළියට යන සල්ලි ආපහු එන්නේ අවුරුදු පහු වෙලා. මැතිවරණයක් කිට්ටු වෙද්දී වුනත් ඔය වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන්නේ එක බැංකුවක සල්ලි තවත් බැංකුවකට යන එක.

මේ හේතුව නිසා දවස අවසානයේදී එක බැංකුවක සල්ලි හිඟ වෙද්දී තවත් බැංකුවක සල්ලි අතිරික්තයක් ඇති වෙනවා. ඊළඟ දවසේ මේ බැංකු මාරු වෙන්න පුළුවන්. කොහොම වුනත් සල්ලි හිඟ බැංකුවක් කරන්නේ සල්ලි වැඩි බැංකුවකින් දවසකට ණයක් ගන්න එක. මේ වැඩේ හැමදාම සිදු වෙනවා. එක් දින මුදල් වෙළඳපොළ කියන්නේ මේකට.

මහ බැංකුව එක් දින මුදල් වෙළඳපොළ පාලනය කරන්නේ කොහොමද?

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල ඉහළ සීමාව ගෙවලා බැංකුවකට මහ බැංකුවෙන් ණය ගන්න පුළුවන්. ඒ නිසා, කිසිම බැංකුවකට ඊට වඩා වැඩි පොලියකට පිටින් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මෙහි පහළ සීමාවේ පොලියට මහ බැංකුවේ සල්ලි තැන්පත් කරන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් ඊට අඩුවෙන් ණය දෙන්නේ නැහැ. මේ නිසා හැම විටම පොලී අනුපාතික ඔය සීමාව ඇතුළේ රැඳෙනවා. නමුත් සීමාව ඇතුලෙ විචලනය වෙන්න පුළුවන්.

මහ බැංකුවට පොලී අනුපාතික අඩු කරගන්න අවශ්‍ය වූ විට කරන්නේ ඔය එක් දින වෙළඳපොළට සම්බන්ධ වෙලා ණයට මුදල් දෙන එක. එවිට මුදල් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ ගිහින් පොලී අනුපාතික පහළ බහිනවා. ඕකෙම අනෙක් පැත්තත් කරන්න පුළුවන්.

මේ විදිහට ණයට දෙන සල්ලි ඊළඟ දවසේ උදේම ආපහු මහ බැංකුවට එන නිසා එයින් මුදල් සැපයුමට වෙන්නේ තාවකාලික බලපෑමක් පමණයි. ඒ නිසා, මෙවැන්නක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. සමහර විට සතියක් වැනි කාලයකට මුදල් ණයට දීමක් වෙන්නත් පුළුවන්. නමුත් සතිය අවසන් වෙද්දී ඒ සල්ලි නැවත මහ බැංකුවට එනවා.

මේ දවස් වල වෙන්නේ කුමක්ද?

මේ දවස් වල වෙළඳපොළේ මුදල් අතිරික්තයක් තිබෙනවා. ඒ කියන්නේ දවස අවසානයේ මුදල් හිඟ අය මුදල් වැඩි අයගෙන් සල්ලි ණයට ගත්තට පස්සෙත් සමස්තයක් ලෙස අතිරික්තයක් තිබෙනවා. එහෙම අතිරික්තයක් තියෙන අයට කරන්න වෙන්නේ ඒ සල්ලි 8.25% පොලියට මහ බැංකුවේ තැන්පත් කරන එක. ඒ වැඩේ ඒ විදිහටම සිදු වෙනවා. 

එවැනි අතිරික්තයක් තියෙද්දීම මහ බැංකුව විසින් 8.27% පොලියට දෛනික පදනම මත ණය දීලා තියෙනවා. විවේචනයක් ඇවිත් තියෙන්නේ ඔය ගැන. 

දැන් මේ විදිහට 8.27% පොලියට ණය ගන්නේ කවුද? මුදල් අතිරික්තයක් තිබෙන බැංකු 8.27% පොලියට ණය ගන්නේ නැහැ. මොකද එහෙම අරගෙන කරන්න වෙන්නේ 8.25% පොලියට නැවත මහ බැංකුවේ තැන්පත් කරන එක. බැංකුවක් ඒ විදිහට අතින් කාලා හරක් බලන්නේ නැහැනේ. එහෙමනම් මේ ණය ගන්නේ මුදල් හිඟයක් තිබෙන බැංකු. 

මහ බැංකුවෙන් 8.27% පොලියට ණය ගන්න පුළුවන්කම තියෙද්දී මේ වගේ මුදල් හිඟ බැංකුවකට වෙන බැංකුවකින් ඊට වඩා වැඩි පොලියකට ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩෙන් වෙන්නේ යම් සීමාවක් දක්වා, අනෙක් බැංකු වලට එක්දින වෙළඳපොළේ ණය දෙන්න වඩා අමාරු වෙන එකයි. යම් සීමාවක් දක්වා කියා කිවුවේ මහ බැංකුව මේ විදිහට 8.27% පොලියට ණය දෙන්නේ යම් ප්‍රමාණයක් පමණක් නිසා. ඒ වැඩේ කෙරෙන්නේ වෙන්දේසි ක්‍රමයට. ඇත්තටම 8.27% කියන්නේ වෙන්දේසියේදී ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙන පොලී අනුපාතිකයක්.

දැන් මේ වැඩෙන්, එක දවසකට පමණක් වුනත්, යම් මුදල් ප්‍රමාණයක් මහ බැංකුවෙන් එළියට යනවා. නමුත්, ඒ හේතුව නිසාම කවර හෝ බැංකුවකට තවත් බැංකුවකට ණය දෙන්න තිබෙන අවස්ථාව නැති වෙන නිසා ඒ මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් දවසකට මහ බැංකුවේ තැන්පත් කරන්න වෙනවා. අවසාන වශයෙන් දවසකට වුනත් මුදල් සැපයුම වැඩි වෙන්නේ නැහැ. මේ වැඩෙන් සිදු වෙන්නේ පොලී අනුපාතික මත පහළට තෙරපුමක් ඇති වෙන එක පමණයි. මහ බැංකුව විසින් කරගන්න හදන්නේත් ඒක විය යුතුයි.

එහෙමනම් මේ ගැන ලොකු කතාවක් පැතිරෙන්නේ ඇයි?

ඔය වගේ දෙයක් එක තැනක දැම්මහම ඒ මත පදනම්ව නිවුස් පැටවු ගහනවා. ඒ වගේම ලංකාව කියන්නේ  සල්ලි අච්චු ගැහිල්ලක් නිසා ගිණි පෙනෙල්ලෙන් බැට කාපු රටක්නේ. ඒ නිසා කවුරු වුනත් බය වෙන එක සාධාරණයි. ඒ වගේම ඡන්දයකුත් තියෙන වෙලාවක්නේ. හැම සතියකම සාමාන්‍යයෙන් සිදු වෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය උලුප්පා දක්වමින් ණය ගණන් හදනවා වගේම තවත් වැඩක්.

පහේ කෝච්චියේ ෆුට්බෝඩ් එකෙත් එක්ක සෙනඟ කියලා පොටෝ එකකුත් එක්ක නිවුස් එකක් දැම්මොත් ඒක බොරුවක් නෙමෙයි. හැබැයි ඕක තමයි හැමදාම තියෙන සාමාන්‍ය තත්ත්වය. ණය ගන්න කතාව ඒ වගේ එකක්. සල්ලි අච්චු ගහන කතාවටනම් එහෙමවත් පදනමක් තියෙන බවක් පේන්න නැහැ.

Wednesday, January 11, 2023

පොලී අනුපාතික අඩුවෙන්න පටන් අරගෙනද?


අද (ජනවාරි 11) පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ලම පහසුවෙන් විකිණී ඇති අතර, පොලී අනුපාතික වල, විශාල නැතත්, පැහැදිලිව පෙනෙන අඩු වීමක් දැකිය හැකියි.

දින-91 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 50

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 145.1

විකිණූ පොලී අනුපාතිකය = 31.15%

පෙර සතියේ පොලී අනුපාතිකය = 32.01%


දින-182 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 45.5

විකිණූ පොලී අනුපාතිකය = 31.37%

පෙර සතියේ පොලී අනුපාතිකය = 32.02%


දින-364 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 18

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 35.7

විකිණූ පොලී අනුපාතිකය = 29.04%

පෙර සතියේ පොලී අනුපාතිකය = 29.16%

මගේ අදහස මහ බැංකුව විසින් ගත් ප්‍රතිපත්ති තීරණයක් මේ අයුරින් පොලී අනුපාතික අඩු වීමට හේතු වී ඇති බවයි. එම ප්‍රතිපත්ති තීරණය වූයේ විවට වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමා පැනවීමයි. 

විවට වෙළඳපොළ ගණුදෙනු කියන්නේ මොනවාද?

දවස තුළ කරන ගණුදෙනු නිසා බැංකු වලට සල්ලි එනවා. ඒ වගේම බැංකු වලින් සල්ලි එළියට යනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දවස අවසානයේ බැංකුවක මුදල් අතිරික්තයක් ඇති වෙන්න පුළුවන්. එසේ නැත්නම් මුදල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. මුදල් හිඟයක් ඇති වුවහොත්, කොහෙන් හෝ මුදල් හොයාගෙන එම හිඟය පියවා ගන්න සිදු වෙනවා.

ද්‍රවශීලතා හිඟයක් ලෙස හඳුන්වෙන්නේ ඉහත තත්ත්වයයි. සාමාන්‍යයෙන් යම් දිනක එක් බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් ඇති වෙද්දී තවත් බැංකුවක ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වෙනවා. ඒ, බැංකු වලින් එළියට යන සල්ලි නැවත එම බැංකුව වෙතම පැමිණ නැත්නම්, බොහෝ විට වෙනත් බැංකුවකට ගොස් ඇති නිසයි. එසේ නොවන්නේ රටේ විශාල පිරිසක් සල්ලි මුදල් නෝට්ටු ලෙසම තබා ගතහොත් පමණයි. 

දවස අවසානයේ ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන බැංකු විසින් කරන්නේ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකුවකින් දවසේ පොලියට දවසකට සල්ලි ණයට ගන්න එකයි. මෙයින් ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකුවට නිකම් තිබෙන තමන්ගේ සල්ලි වෙනුවෙන් පොලී ආදායමක් ලැබෙනවා. මෙම ගණුදෙනු සිදු වන වෙළඳපොළ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා.

කෙසේ වෙතත්, ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුවද ඇතැම් බැංකු වලට අවශ්‍ය අරමුදල් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. සමස්තයක් ලෙස බැංකු පද්ධතියෙන් එළියට ගිය සල්ලි වලින් යම් කොටසක් නැවත ආපසු ඇවිත් නැත්නම් එසේ වෙනවා. මෙය වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ලෙස හැඳින්වෙනවා. මෙහිම අනෙක් පැත්ත සිදු වුවහොත්, වෙළඳපොළ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වෙනවා.

වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ඇති විට, ඒ හේතුව නිසා ඒක්ෂණ මුදල් වෙළඳපොළෙන් අරමුදල් සපයා ගැනීමට නොහැකි වන බැංකුවකට සල්ලි ණයට ගන්න වෙන්නේ මහ බැංකුවෙන්. එහිදී ඇපයක් ලෙස භාණ්ඩාගාර බිල්පතක් තියන්න සිදු වෙනවා. මෙය මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ලෙස හැඳින්වෙනවා. මේ අයුරින්ම, ඒක්ෂණ මුදල් වෙළඳපොළ තුළ වෙනත් බැංකුවකට ලබා දීමට ඉඩ නොලැබෙන අරමුදල් ඇත්නම් එවැනි මුදලක් මහ බැංකුවේ තැන්පත් කර පොලී ආදායමක් ලැබිය හැකියි. මෙය හැඳින්වෙන්නේ නිත්‍ය තැන්පතු පහසුකම ලෙසයි. 

මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකමක් ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය සහ නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගැනීමේදී ලැබෙන පොලී අනුපාතිකය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. මහ බැංකුව විසින් මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික වරින් වර සංශෝධනය කරනවා. මහ බැංකුවක් විසින් රටේ මුදල් සැපයුම පාලනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධානම ප්‍රතිපත්ති මෙවලම මෙම පොලී අනුපාතිකයි. මේ වන විට නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 15.5%ක් වන අතර නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය 14.5%ක් වෙනවා. 

වාණිජ බැංකුවකට තමන්ගේ අතිරික්ත අරමුදල් සඳහා අවම වශයෙන් නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය ලබා ගත හැකි වීම සහ උපරිම වශයෙන් නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය ගෙවා හිඟ අරමුදල් සපයා ගැනීමට හැකි වීම නිසා, සාමාන්‍යයෙන් ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන්නේ මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතරයි. 

දැන් කාලයක සිටම සමස්තයක් ලෙස වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් දැකිය හැකියි. උදාහරණයක් ලෙස වත්මන් අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගත් 2022 අප්‍රේල් 7 දිනදී රුපියල් බිලියන 604.8ක නිත්‍ය ණය පහසුකම් ලබා ගෙන තිබුණු අතර රුපියල් බිලියන 109.0ක නිත්‍ය තැන්පතු පහසුකම් ලබාගෙන තිබුණා. මේ අනුව, රුපියල් බිලියන 500කට ආසන්න වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ඒ වන විට තිබුණා. ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමෙන් පසුව එය ක්‍රමයෙන් අඩු වුනත්, නැති වුනේ නැහැ. රුපියල් බිලියන 200ක පමණ ද්‍රවශීලතා හිඟයක් පසුගිය සතිය වන විටද දැකගත හැකිව තිබුණා.

මේ වන විට මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම් හා නිත්‍ය තැන්පතු පහසුකම් ලබා ගත හැකි වාර ගණන හා ප්‍රමාණය සීමා කර තිබෙනවා. මෙය සැලකිය හැක්කේ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමක් ලෙසයි. මෙහිදී කලින් දිගින් දිගටම දිනපතා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ප්‍රයෝජනයට ගත් බැංකු වලට අරමුදල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙනවා. 

එයට පිළියමක් ලෙස මහ බැංකුව විසින් එම බැංකු වලට තරමක් දිගුකාලයකට ණය ලබා දී තිබෙනවා. මෙහිදී දිගුකාලයකට කියා කිවුවේ දෛනිකව ණය දීමට සාපේක්ෂවයි. එම කාලය මාසයක් දෙකක් වැනි කාලයක් මිසක් ගොඩක් දිගු කාලයක් නෙමෙයි. නිත්‍ය ණය පහසුකම් ලබා ගැනීමේදී මෙන් නොව, මෙම ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතික ගෙවිය යුතුයි. 

මේ ක්‍රියාමාර්ගය නිසා අද වන විට වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 9ක සුළු හිඟයක් බවට පත් වී තිබෙනවා. ඊට සමාන්තරව පොලී අනුපාතික මත වූ පීඩනයද තරමක් අඩු වී තිබෙනවා. එහෙත්, මෙය මහ බැංකුව විසින් කර තිබෙන යම් ආකාරයක පරීක්ෂණාත්මක කටයුත්තක් ලෙස හැඳින්විය හැකියි. එයින් පොලී අනුපාතික මත සිදු විය හැකි බලපෑම ගැන නිශ්චිතව කියන්නට තවමත් කල් වැඩියි.

වෙබ් ලිපිනය: