වෙබ් ලිපිනය:

Showing posts with label ප්‍රාග්ධනය. Show all posts
Showing posts with label ප්‍රාග්ධනය. Show all posts

Saturday, October 11, 2025

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන


රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති "රටවල් දියුණු වෙන්නේ කොහොමද?" ලිපියෙහි මෙම සොලෝ ආකෘතිය තාක්ෂනික (ගණිතමය) ලෙස විස්තර කර තිබෙනවා. මෙය ඊට වඩා බොහෝ සරල, වැඩි දෙනෙකුට තේරුම් ගත හැකි වත්පොත් සටහනකට වඩා ගැලපෙන, පැහැදිලි කිරීමක්. 

රටේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වෙනවා කියන්නේ රටේ නිෂ්පාදන හැකියාව ඉහළ යනවා කියන එකයි. මෙහිදී ප්‍රාග්ධන සංචිතය යන්නෙන් අදහස් වන්නේ ශ්‍රමය (මානව ප්‍රාග්ධනය) හැර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අනෙකුත් නිෂ්පාදන සාධක සියල්ලයි. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, යටිතල පහසුකම් ආදී සියල්ල එයට ඇතුළත්. ඒ වගේම පරිගණක මෘදුකාංග වැනි අරූපික (අස්පර්ශනීය) දේවල් තියෙන්නේත් මේ  ප්‍රාග්ධන සංචිතය ඇතුළේ. ප්‍රාග්ධන සංචිතය වැඩි කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය (මුදල්) අවශ්‍ය වන නමුත් මෙහිදී ප්‍රාග්ධනය යන්නෙන් (සීමිත සන්දර්භ වලදී හැර) මූල්‍ය ප්‍රාග්ධනය අදහස් වන්නේ නැහැ. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන තරමට ආර්ථිකයද වර්ධනය වෙනවා. නමුත් ආර්ථිකය වර්ධනය වන්නේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන වේගයට වඩා අඩු වේගයකින්. කාලයක් තිස්සේ නැවත නැවත කර ඇති නිරීක්ෂණ අනුව, වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන බොහොමයක් රට වල මෙම අනුපාතය ආසන්න වශයෙන් 30%ක් පමණ. මෙයින් අදහස් වන්නේ රටක ප්‍රාග්ධන සංචිතය 10%කින් වර්ධනය වෙද්දී ආර්ථිකය 3%කින් වර්ධනය වනවා යන්නයි. 

කෙසේ වුවද, ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම කිසියම් නිශ්චිත රටක ආර්ථික වර්ධන වේගය කෙරෙහි දායක වන ආකාරය ඒ රටේ ආර්ථිකයේ ප්‍රමාණයට (දදේනියට) සාපේක්ෂව ප්‍රාග්ධන සංචිතය කොපමණද යන්න අනුව වෙනස් වෙනවා. අඩු ප්‍රාග්ධන සංචිතයක් ඇති රටකට ප්‍රාග්ධනයේ වටිනාකම වැඩියි. 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස, එක සමාන ප්‍රමාණයේ ආර්ථිකයන් ඇති (ඩොලර් බිලියන 100ක), එහෙත් වෙනස් මට්ටම් වල ප්‍රාග්ධන සංචිත ඇති (පිළිවෙලින් ඩොලර් බිලියන 50, 100 හා 200), රටවල් තුනක් සලකමු. ඩොලර් බිලියන 10කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම මේ එක් එක් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ කෙසේද?

පළමු රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 50

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 20%

ආර්ථික වර්ධන වේගය = 6%


දෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 10%

ආර්ථික වර්ධන වේගය = 3%


තෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 200

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 5%

ආර්ථික වර්ධන වේගය = 1.5%


මෙහිදී අප විසින් සලකා බලා තිබෙන්නේ ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රාග්ධනය සංචිතය වර්ධනය වීමේ බලපෑම පමණයි. වෙනත් හේතු නිසාද ආර්ථිකය වර්ධනය වීමට හෝ හැකිලීමට හැකි වුනත්, අපේ අරමුණ ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර සම්බන්ධය තේරුම් ගැනීම බැවින් ඒ අනෙකුත් කරුණු සලකා බලා නැහැ. 

ඉහත කාල්පනික උදාහරණ අනුව, පෙනී යන්නේ රටක දදේනියට සාපේක්ෂව (දදේනියෙහි ප්‍රතිශතයක් හෝ ගුණකයක් ලෙස) ප්‍රාග්ධන සංචිතය ඉහළ යන තරමට අමතර ප්‍රාග්ධනය එකතු වෙද්දී එමගින් ආර්ථික වර්ධනය කෙරෙහි ලැබෙන දායකත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වන බවයි. 

මේ අයුරින් ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම ආර්ථික වර්ධන වේගය ඉහළ දමන අයුරින්ම ප්‍රාග්ධන සංචිතය අඩු වෙද්දී ආර්ථික වර්ධන වේගය අඩුවීමද සිදු වෙනවා. අනෙකුත් සාධක වලින් ආර්ථිකය වර්ධනය නොක‍රන්නේනම්, ප්‍රාග්ධන සංචිතය අඩු වීමේ ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය හැකිලීමයි. එනම්, ආර්ථික වර්ධන වේගය සෘණ වීමයි. මෙම බලපෑමද ප්‍රාග්ධන සංචිතය දදේනියට සාපේක්ෂව අඩු රටකදී වඩා වැඩියි. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන්නේ හෝ හැකිලෙන්නේ කෙසේද?

කිසියම් රටක් විසින් දැනටම එක්රැස් කරගෙන තිබෙන ප්‍රාග්ධන සංචිතය හැමදාම දිගටම ඒ මට්ටමේම තියෙන්නේ නැහැ. සෑම වසරකදීම ප්‍රාග්ධනය යම් තරමකින් ක්ෂය වෙනවා. උදාහරණයක් ලෙස ප්‍රාග්ධන සංචිතයට අලුතෙන් පරිගණක පද්ධතියක් එක් කළහොත්, ප්‍රාග්ධන සංචිතය ඉහළ යන නමුත් වසර හතරක් පමණ යද්දී මේ පරිගණක කල් ඉකුත් වෙනවා. මහාමාර්ගයක් හෝ ගොඩනැගිල්ලක්නම්, මේ සඳහා වසර විස්සක හෝ තිහක කාලයක් යා හැකියි. නමුත් කිසියම් වේගයකින් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා.

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීමටනම්, ප්‍රාග්ධනය ක්ෂය වන වේගයට වඩා වැඩි වේගයකින් ආයෝජන සිදු කළ යුතුයි. ආයෝජන සිදු වන්නේ ඊට වඩා අඩුවෙන්නම්, එහිදී සිදු වන්නේ ප්‍රාග්ධන සංචිතය පහළ යාම හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වීමයි. 

ප්‍රාග්ධනය ක්ෂය වන වේගය බොහෝ දුරට තාක්ෂණික ලෙස තීරණය වන, භෞතික දෙයක්. පරිගණකයක්, ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක් හෝ අධිවේගී මාර්ගයක් කොපමණ කාලයක් ප්‍රයෝජනයට ගත හැකිද යන්න මිනිස් හැසිරීම් මත වෙනස් වෙන්නේ නැති තරම්. ඒ නිසා, එය අපට සලකන්න සිදු වෙන්නේ වෙනස් කළ නොහැකි දෙයක් ලෙසයි. මීට සාපේක්ෂව බලන විට ආයෝජන සිදු වන ප්‍රමාණය කිසියම් රටක මිනිසුන්ගේ චර්යාවන් මත වගේම, රාජ්‍ය ප්‍රතිපත්ති මතද වෙනස් වන දෙයක්. 

විදේශ ආයෝජන දැනට පැත්තකින් තිබ්බොත්, ආයෝජන කියා කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස. ආයෝජන සිදු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් වුනත්, සෘජුව පෞද්ගලික අංශය හරහා වුනත්, මෙහි වෙනසක් නැහැ. ඒ නිසා, පරිභෝජනය සීමා වන තරමට ආයෝජනය ඉහළ යනවා. පරිභෝජනය යන්නට රජයේ "පරිභෝජන" වියදම්ද ඇතුළත්. ඒ කියන්නේ පුනරාවර්තන වියදම්. 

සාමාන්‍යයෙන් කිසියම් රටක ජනතාවගේ පරිභෝජන නැඹුරුව සංස්කෘතික සාධක ඇතුළු බොහෝ කරුණු මත තීරණය වන දෙයක්. සමාජයක චර්යාවන් දිගුකාලීනව වෙනස් වන නමුත් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. රජයේ පුනරාවර්තන වියදම් සැලකුවත්, දිගුකාලීනව මිසක් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස, ඒ කියන්නේ කිසියම් රටක දේශීය ඉතුරුම් අනුපාතය, කෙටිකාලීනව විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. නමුත් රටරටවල් අතර දේශීය ඉතුරුම් අනුපාතයන්හි විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම, කිසියම් නිශ්චිත රටක වුනත්, කෙටිකාලීනව යම් ප්‍රමාණයක් විචලනයන් සිදු වෙන්න පුළුවන්.

අපි හිතමු රටක සාමාන්‍ය දේශීය ඉතුරුම් අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් කියලා. ඒ කියන්නේ දදේනියෙන් 20%කට සමාන ආයෝජන සිදු වෙනවා. එපමණකින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 20කින්. 

දැන් මේ විදිහට ඩොලර් බිලියන 20කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම නිසා ආර්ථික වර්ධනයට සිදු වෙන බලපෑම තීරණය වෙන්නේ එමගින් ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක මතයි. 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 40%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 20%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 10%කින් 

නමුත් අනෙක් අතට තිබෙන ප්‍රාග්ධන සංචිතයෙන් යම් ප්‍රමාණයක් ක්ෂය වෙනවනේ. අපි හිතමු මේ අනුපාතය සාමාන්‍ය අගයක් ලෙස 5%ක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස වසර 20ක් ප්‍රාග්ධනය ආර්ථික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන එක. ක්ෂය වීමත් සැලකිල්ලට ගත්තට පස්සේ ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 35%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 15%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 5%කින් 


මේ අනුව ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 10.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 4.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 1.5%කින් 


ඔය විදිහට ආර්ථිකය වර්ධනය වෙද්දී ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම දිගටම තිබුණත් එහි ප්‍රමාණය ආර්ථිකයත් එක්ක වර්ධනය වෙනවා. එසේ වර්ධනය වීම නිසා ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ටිකෙන් ටික ඉහළ යනවා. ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය අඩු වූ තරමට මේ වැඩේ වඩා වේගයෙන් සිදු වෙනවා. නමුත් ප්‍රාග්ධන සංචිතය වැඩි වන තරමට එය වර්ධනය වන වේගය වගේම ප්‍රාග්ධනය වැඩි වීම නිසා ආර්ථිකය වර්ධනය වන වේගයද එන්න එන්නම අඩු වෙනවා. 

අපි හිතමු ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100 වන රටක ප්‍රාග්ධන සංචිතය ඔය විදිහට වැඩි වෙලා ඩොලර් බිලියන 400 මට්ටමට ආවා කියලා. ඉතුරුම් අනුපාතය 20%යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 20ක ආයෝජන සිදු වෙනවා. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක් ලෙස එය 5%ක්. නමුත් ක්ෂය වන වේගයත් 5%ක්. ඒ කියන්නේ දදේනියෙන් 20%ක් ආයෝජනය කළත්, එයින් වෙන්නේ රටේ ප්‍රාග්ධන සංචිතය දැනට තිබෙන මට්ටමේම පවත්වා ගෙන යා හැකි වීම පමණයි. ප්‍රාග්ධන සංචිතය තව දුරටත් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසාම ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට දායක වෙන එකත් නවතිනවා. රොබට් සොලෝ විසින් පෙන්වා දුන්නේ ඔන්න ඔය කාරණාව.

කිසියම් වසරක ඉතුරුම් අනුපාතය 20% සිට 21% දක්වා ඉහළ ගියොත් එහි උදවුවෙන් ආර්ථිකය තරමක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම, ඉතුරුම් අනුපාතය 19% දක්වා පහත වැටුනොත් ආර්ථිකය තරමක් හැකිලෙන්නත් පුළුවන්. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය තීරණය වෙන්නේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය මතයි. එම අනුපාතය කොපමණ වුණත්, එය එකවර විශාල ලෙස වෙනස් වල අවස්ථාවකදී හැර, ආයෝජන හරහා ලැබෙන ප්‍රාග්ධනය නිසා ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වෙන්නේ හෝ හැකිළෙන්නේ නැහැ. 

රටේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය කිසියම් හේතුවක් නිසා විශාල ලෙස වෙනස් වුවහොත්, උදාහරණයක් ලෙස 20% සිට 40% දක්වා වැඩි වී ඒ මට්ටමේ දිගටම පැවතුනොත්, යම් කාලයක් යන තුරු ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. එහිදී රටේ ප්‍රාග්ධන සංචිතයද මුලින්ම වේගයෙන් ඉහළ යනවා. නමුත් කාලය යද්දී ඒ  වේගය අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වෙනවා. 

ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට ආවට පස්සේ මේ 40% ඉතුරුම් අනුපාතයෙන් වුනත් කළ හැක්කේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත සපයන එක පමණයි. ඒ නිසා, ඉතුරුම් අනුපාතය වැඩි කළා කියලත් ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය කරන්න බැහැ. නමුත් ඉතුරුම් අනුපාතයේ මෙවැනි විශාල වැඩිවීමක් සිදු වුනොත් දශක කිහිපයක් පුරා ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව වගේ රටවල ඔය වැඩේ සිදු වුනා. පසුව වර්ධන වේගය අඩු වුනත්, ඒ කාලය ඇතුළත රටට වෙනම ලෙවල් එකකට යන්න පුළුවන්. 

දැන් ඔය වැඩේ වෙන්නේ රටේ දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරලා ආයෝජන අනුපාතය වැඩි කළ විටනේ. ඊට අමතරව විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම මගින් දේශීය ඉතුරුම් අනුපාතය වැඩි නොකර ආයෝජන අනුපාතය වැඩි කරන්න පුළුවන්. ලංකාව කාලයක් තිස්සේම කළේ ඔය වැඩේ. උදාහරණයක් විදිහට දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, තව 5%ක විදේශ ප්‍රාග්ධනය රටට ආවොත්, ආයෝජන අනුපාතය 25% දක්වා උස්සගන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට ආර්ථික වර්ධන වේගයද කෙටිකාලීනව ඉහළ යනවා. 

නමුත් මේ විදිහට විදේශ ආයෝජන වල උදවුවෙන් වැඩිපුර ප්‍රසාරණය කරපු ආර්ථිකය ඒ මට්ටමේ තියා ගන්නනම් දිගටම ආයෝජන අනුපාතය 25% මට්ටමේම තියා ගන්න වෙනවා. ඒක කරන්නම් සෑම වසරකදීම දදේනියෙන් 5%කට සමාන විදේශ ප්‍රාග්ධනය රටට පැමිණිය යුතුයි. නැත්නම් වෙන්නේ අර කලින් වර්ධනය වූ වේගය අඩු වෙන එක පමණක් නෙමෙයි. රටේ ආයෝජන අනුපාතය පහත වැටීම නිසා, විදේශ ප්‍රාග්ධනයේ උදවුවෙන් වර්ධනය වූ කොටස නැවත හැකිලෙනවා.

රටකට විදේශ ප්‍රාග්ධනය එන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ ණය ලෙස සහ සෘජු විදේශ ආයෝජන ලෙස. ගොඩක් වෙලාවට රජය මැදිහත් වෙලා කරන්නේ විදේශ ණය ගන්න එක. එහෙම විදේශ ණය අරගෙන ප්‍රාග්ධන ආයෝජන කිරීම මගින් ක්ෂණිකව ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. නමුත් ගත්ත ණය ආපසු ගෙවන්න වෙද්දී ඒ වර්ධනය වූ ප්‍රමාණය නැවත හැකිලෙනවා. එය වලක්වා ගන්නනම්, ඒ ණය ගෙවීම සඳහා නැවතත් විදේශ ණය ගන්න වෙනවා. 

එහෙම තවත් විදේශ ණය ගත්තත් ආර්ථිකය තව දුරටත් වර්ධනය කරන්න බැහැ. කරන්න පුළුවන් ආර්ථිකය හැකිළෙන එක වලක්වා ගන්න පමණයි. විදේශ ණය වල උදවුවෙන් ආර්ථික වර්ධනය වේගය දිගටම ඉහළ මට්ටමක තියාගන්නනම් පරණ ණය ගෙවන්න අලුතෙන් ණය ගන්නවාට අමතරව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා.

අපි හිතමු දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, විදේශ ණය අරගෙන ඉතුරුම් අනුපතාය 21% දක්වා ඉස්සුවා කියලා. වැඩිපුර 1% විදේශ ණය. දැන් ආර්ථික වර්ධන වේගය කලින් වේගයට වඩා වැඩියි. නමුත් ඊළඟ අවුරුද්දේ ඔය වැඩි වූ වේගය තියාගන්නනම් අලුතෙන් 2%ක් විදේශ ණය ගන්න වෙනවා. පරණ ණය ගෙවන්න 1%ක් සහ වර්ධන වේගය තියා ගන්න තවත් 1%ක් විදිහට. තුන් වන අවුරුද්දේදී විදේශ ණය ප්‍රමාණය 3% දක්වා වැඩි කරන්න වෙනවා. මේක තනිකරම පිරමිඩ් ක්‍රමයක් කියන එක පැහැදිලියිනේ.

ඉහත විස්තර කළ පරිදි 1%,  2%, 3% ආදී වශයෙන් විදේශ ණය ගැනීම් වැඩි කරන්න වෙන්නේ වසරකින් පසුව ණය ආපසු ගෙවිය යුතුනම්. නමුත් සාමාන්‍යයෙන් විදේශ ණය ගන්නේ ඊට වඩා දීර්ඝ කාලයකට නිසා ඔය පිරමිඩය යම් කාලයක් පවත්වා ගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා. විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය වර්ධනය කරන එක කිසිසේත්ම තිරසාර ක්‍රමයක් නෙමෙයි. උදාහරණයක් ලෙස 2005-2014 කාලයේදී ණය ලෙස රටට පැමිණි විදේශ ප්‍රාග්ධනය නිසා ආර්ථික වර්ධන වේගය ඉහළ ගියත්, ඒ වර්ධන වේගය පවත්වා ගත හැකි පරිදි දිගින් දිගටම ණය වැඩි වැඩියෙන් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා, පසුව ආර්ථිකය හැකිලෙන්න පටන් ගත්තා. 

විදේශ ණය වලට සාපේක්ෂව සෘජු ආයෝජන වල තිබෙන වාසිය වන්නේ, විශේෂ හේතුවක් නැත්නම්, සෘජු ආයෝජන ලෙස ලැබෙන විදේශ ප්‍රාග්ධනය, විදේශ ණය මෙන්, නැවත ආපසු යන්නේ නැති වීමයි. ඒ නිසා, ප්‍රාග්ධන සංචිතයේ හා දදේනියේ ස්ථිර වැඩිවීමක් සිදු විය හැකි වුවත්, මේ ක්‍රමයෙන් වුවත් වර්ධන වේගය දිගින් දිගටම ඉහළ මට්ටමක තියා ගන්න බැහැ. 1977න් පසුව ඉහළ ගිය වර්ධන වේගය දිගටම ඒ ඉහළ මට්ටමේ නොපැවතුණේ ඒ නිසා. 

ලංකාවේ ආර්ථිකය තිරසාර ලෙස වර්ධනය කිරීමේ ක්‍රමෝපාය ගැන හිතන්න වෙන්නේ මේ තත්ත්වයන් එක්කයි. ක්‍රමෝපාය වලට එද්දී ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවට දේශපාලනය සම්මුඛ වෙනවා. ආර්ථික විද්‍යාව විසින් මාර්ගෝපදේශනයක් පමණක් සිදු කරන, එහෙත් නිශ්චිත පිළිතුරක් නොසපයන ප්‍රශ්න වලට විකල්ප පිළිතුරු එකකට වඩා තියෙන්න පුළුවන්. මම දකින විකල්පය වන්නේනම්, විදේශ ප්‍රාග්ධනය පස්සේ පන්නන එක වෙනුවට දේශීය ඉතිරි කිරීම් වැඩි කරගැනීම ගැන හිතන එක. 

මෑතකදී වේගවත් වර්ධනයක් පෙන්වා ඇති ආසියානු රටවල් බොහොමයක වර්ධනයට හේතු වුනේ දේශීය ඉතුරුම් අනුපාතය විශාල ලෙස ඉහළ යාම සහ ඒ ඉහළ අනුපාතය කාලයක් එම ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට හැකි වීමයි. ගයනාව වැනි සමහර රටවල් වලට ඇදුනු "ලොතරැයි" නිසා දේශීය ඉතුරුම් අනුපාතය ක්ෂණිකව ඉහළ ගොස් තිබෙනවා. ඒවා අහම්බ. එවැනි අහම්බ සිදු නොවේනම්, මේ සඳහා නිවැරදි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් දිගටම පවත්වාගෙන යාම වගේම සංස්කෘතික, චර්යාමය වෙනසකුත් අවශ්‍ය වෙනවා.

රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ඒ වෙනස විදේශ ප්‍රාග්ධනය ලෙස මූල්‍ය ගිණුම හරහා රටට ඇවිත් කියන එක. මහ බැංකු මැදිහත් වීමක් නැත්නම්, මූල්‍ය ගිණුම හරහා ප්‍රාග්ධනය රටට ඇවිත් කියන්නේ ජංගම ගිණුම හරහා ඊට සමාන විදේශ විණිමය ප්‍රමාණයක් රටෙන් එළියට ගිහින් කියන එක. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන එක. මේ හේතුව නිසා, දේශීය ඉතුරුම් අනුපාතය ඉක්මවා ආයෝජන කරන රටකට ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්න සිදුවීම අනිවාර්යතාවයක්. 

තිරසාර ලෙස රටේ ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්නනම්, රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා පහළින් තියාගන්න වෙනවා. ආයෝජන අනුපාතය අඩු වීම, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ආර්ථික වර්ධනය බාල කරනවා. ඒ නිසා, ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගෙන රටේ විදේශ අංශය ස්ථාවරව තියා ගන්නා අතරම, ආර්ථික වර්ධන වේගයද ඉහළ මට්ටමක තියාගන්න පුළුවන් එකම ක්‍රමය දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරගන්න එක. රජයේ පැත්තෙන්, රටේ පුනරාවර්තන වියදම් පහළ මට්ටමක තියා ගැනීම මගින් මෙයට දායක වෙන්න පුළුවන්. ඉතිරි කොටස තියෙන්නේ රටේ සාමාන්‍ය පුද්ගලයින්ගේ අතේ. 

පහත තිබෙන්නේ 2023දී තෝරාගත් රටවල් කිහිපයක දේශීය ඉතුරුම් අනුපාත දදේනි ප්‍රතිශත ලෙස.

සිංගප්පූරුව - 58.41%

චීනය - 43.24%

වියට්නාමය - 36.84%

ඉන්දුනීසියාව - 38.12%

කාම්බෝජය - 33.60%

දකුණු කොරියාව - 32.17%

ඉන්දියාව - 29.51%

මාල දිවයින - 31.50%

බංග්ලා දේශය - 25.8%

ශ්‍රී ලංකාව - 22.40%

Sunday, April 9, 2023

ධන බද්ද හා ධන සම්ප්‍රේෂණ බද්ද


ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා.

බදු කැපිල්ලෙන් රාජ්‍ය ආදායම් විශාල ලෙස පහත වැටුණා. අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගොස් ණය ගැනීමේ අවශ්‍යතාවය විශාල ලෙස ඉහළ ගියා. වැඩියෙන් ණය ගන්න යද්දී පොලී අනුපාතික අනුරූප ලෙස ඉහළ යාමට ඉඩ හැරිය යුතු වුවත්, ඒ වැඩේ සිදු වුනෙත් නැහැ. ඒ නිසා, හිඟය පියවන්න වුනේ මහ බැංකුවෙන් ණය ගැනීමෙන් හෙවත් සල්ලි අච්චු ගැසීමෙන්. 

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහද්දී රුපියලේ සාපේක්ෂ වටිනාකම අඩු වෙනවා. එවිට එය නිරූපණය වන පරිදි ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි. එය නොකළ නිසා ඩොලර් ලාබ වෙලා වේගයෙන් රුපියල් ඩොලර් වුනා. රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඩොලර් අර්බුදයක් ආවා. ප්‍රශ්නයේ මුල තිබුණේ අවිචාරවත් බදු කැපිල්ල.

බදු කැපිල්ලටද පසුබිමක් තිබුණා. විශාල අයවැය හිඟයක් පවත්වා ගැනීම, පොලී අනුපාතික පහළින් තියා ගැනීම සහ විණිමය අනුපාතය ඕනෑවට වඩා ශක්තිමත්ව තියා ගැනීම 2015ට පෙරද වසර ගණනක් තිස්සේ සිදු වූ නිසා 2015 වන විට ලංකාව ආර්ථික අර්බුදයක් කිට්ටුවටම ඇවිත් තිබුණා. IMF ගිහින් එම ආර්ථික අර්බුදය වලක්වා ගනු ලැබුවා. ඒ සඳහා බදු වැඩි කර අයවැය හිඟය අඩු කරන්න සිදු වුනා. ඩොලරය ඉහළ යන්න දෙන්න වුනා. ආර්ථික වර්ධනය සීමා වෙන්න ඉඩ හරින්න සිදු වුනා. 

ඉහත පිරිමැසුම් ක්‍රියාමාර්ග කිසිවක් ආකර්ශනීය දේවල් වුනේ නැහැ. බදු කැපිල්ල, පොලී අනුපාතික පහළින් තියා ගැනීම, ඩොලරයක මිල පාලනය කිරීම ආදී හැම දෙයක්ම සිදු වුනේ ඔය පසුබිමේ. සම්මත දැනුම ප්‍රතික්ෂේප කරමින් ක්‍රියාත්මක කළ මෙම "ගෘහස්ථ විසඳුම්" වල ප්‍රතිඵල ලොකු මිලක් ගෙවීමෙන් පසුව ශ්‍රී ලාංකිකයින් විසින් තේරුම් ගත්තා.

මේ වෙද්දී බදු ඉහළ දැමීම මගින් වැරැද්ද නිවැරදි කර තිබෙනවා. බදු වැඩිවීම රටට දැනෙන නමුත් උද්ධමනය තරමටම දැනෙනවා කියා මම හිතන්නේ නැහැ. උද්ධමනය දිගටම පැවතියේනම් එහි හානිය අනිවාර්යයෙන්ම වඩා වැඩියි. දැනටමත් බදු ඉහළ දමා අවසන් බැවින් "පීඩා කිරීමේ කාලය" බොහෝ දුරට අවසානයි. පැනවීමට තව දුරටත් ඉතිරිව තිබෙන්නේ ධන බද්ද හා ධන සම්ප්‍රේෂණ බද්ද පමණයි. 

ධන බද්දක් යනු කුමක්ද?

ලංකාව ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල් ආදායම් බදු අය කරනවා. එහෙත් ධන බදු (wealth tax) අය කරන්නේ ලෝකයේ රටවල් අතරින් අතළොස්සක් පමණයි. ඇතැම් විට ධන බදු ප්‍රාග්ධන බදු (capital tax) ලෙසද හැඳින්වෙනවා. ධන බදු තේරුම් ගැනීම සඳහා පහසුම ක්‍රමය ධන බදු හා ආදායම් බදු සංසන්දනය කිරීමයි.

ධන බදු අය කරන්නේ ධනය මතයි. ආදායම් බදු අය කරන්නේ ආදායම මතයි. ධනය හා ආදායම අතර තිබෙන්නේ කවර ආකාරයක සම්බන්ධයක්ද?

ආර්ථික විද්‍යාවේදී (මෙන්ම භෞතික විද්‍යාව වැනි වෙනත් විද්‍යාවන්හි හා ගිණුම්කරණය වැනි තාක්ෂණික විෂයයන් තුළ) හමු වන විචල්‍යයන් සංචිත විචල්‍යයන් (stock variables) සහ ධාරා විචල්‍යයන් (flow variables) ලෙස වර්ග කළ හැකියි. සංචිත විචල්‍යයකින් පෙන්වන්නේ, පොකුණක ඇති ජල ප්‍රමාණය මෙන්, කිසියම් නිශ්චිත මොහොතක පවතින තත්ත්වයයි. මෙයින් වෙනස්ව ධාරා විචල්‍යයකින් පෙන්වන්නේ, දිය ඇල්ලකින් පහතට වැටෙන ජලය මෙන්, නිශ්චිත අවස්ථා දෙකක් අතර සිදුවන දෙයක්. 

ධනය යනු සංචිත විචල්‍යයක්. ආදායම් යනු ධාරා විචල්‍යයක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ පොල් ගස් ගණන ධනයක්. ඒ පොල් ගස් වලින් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් පොල් ගෙඩි ගණන ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ කිකිළියන් ගණන ධනයක්. ඒ කිකිළියන්ගෙන් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් බිත්තර ප්‍රමාණය  ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ කුඹුරු ඉඩම් ප්‍රමාණය ධනයක්. ඒ කුඹුරු ඉඩම් වලින් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් වී ප්‍රමාණය  ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබ සතුව බැංකුවේ තිබුණු මුදල් ප්‍රමාණය ධනයක්. ඒ මුදල් වෙනුවෙන් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලැබුණු පොලිය ආදායමක්.

ධනය වැඩිවන තරමට එම ධනය වෙනුවෙන් ප්‍රතිලාභ සේ ලැබෙන ආදායමද සාමාන්‍යයෙන් ඉහළ යනවා. ආදායම වැඩි වන තරමට ධනය වැඩි වීමේ ඉඩකඩ ඉහළ යන නමුත් එසේ වන්නේ පරිභෝජනය ආදායමට වඩා අඩුනම් පමණයි. පරිභෝජනය ආදායමට වඩා වැඩිනම් සිදු වන්නේ ධනය ක්‍රමයෙන් අඩු වීමයි. 

ධනය මත බදු අය කිරීම සමාජවාදී අදහසක්. එහෙත් සමාජවාදී අදහසක් වන්නට පෙර සිටම පැවති පෞරාණික අදහසක්. මෙහි ප්‍රධාන අරමුණ ආදායම් විෂමතා අඩු කිරීමයි. ආදායම් බදු වලින්ද ආදායම් විෂමතා අඩු කිරීම ඉලක්ක කරන නමුත් බොහෝ විට ධන බදු වල එකම අරමුණ ආදායම් විෂමතා අඩු කිරීමයි. ධන බද්දක් කියන්නේ දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විරුද්ධ වන බද්දක්.

ධන බද්දක් අය නොකිරීමට හේතු ගණනාවක් තිබෙනවා. මේ හේතු නිසාම දැන් ලෝකයේ බොහෝ රටවල් ධන බදු අය කරන්නේ නැහැ. මුලින් ධන බදු අය කළ රටවල්ද පසුකාලීනව ධන බදු අහෝසි කර තිබෙනවා. යුරෝපයේ රටවල් ගණනාවක් විසින්ම කලකට පෙර ධන බදු අය කර ඇතත්, පසුව එම ධන බදු අහෝසි කර තිබෙනවා. යුරෝපීය රටවල් අතරින් මේ වන විට ධන බදු අය කරන්නේ නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්විට්සර්ලන්තය පමණයි. 

අසල්වැසි ඉන්දියාව විසින් 1957 සිට ධන බද්දක් අය කළත් 2016 අප්‍රේල් 1 දින සිට එම බද්ද අහෝසි කළා. පකිස්ථානය 1963දී ධන බද්දක් පනවා 2002දී එය අහෝසි කළා. 1958 වසරේ සිට ලංකාවද ධන බද්දක් අය කළා. 1992දී මෙම බද්ද අහෝසි කරනු ලැබුවා. 

පසුගිය දශක දෙක තුනක පමණ කාලය තුළ ලෝකයේ රටවල් ධන බද්ද අහෝසි කරමින් සිටියත් ඉතා මෑතක සිට නැවතත් මෙම බද්ද පිළිබඳව යම් උනන්දුවක් ඇති වී තිබෙනවා. ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස් සහ ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි පක්ෂ හා කණ්ඩායම් විසින් මෑතකදී ධන බදු පැනවීම යෝජනා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ධන බද්දක් නොපැනවිය යුත්තේ ඇයි?

ධන බද්දකට විරුද්ධව ගෙන එන ප්‍රධාන තර්ක පහත පරිදි පෙළ ගැස්විය හැකියි.

1. එකම ආදායම මත දෙවරක් බදු ගෙවන්නට සිදු වීම- ධනය කියා කියන්නේ පරිභෝජනය නොකර ඉතිරි කරගත් ආදායම්. ආදායම් බදු ගෙවීමෙන් පසුව ධන බදු ගෙවනවා කියන්නේ එකම ආදායම මත නැවත නැවත බදු ගෙවීමක්. මෙය ආර්ථික ප්‍රශ්නයකට වඩා සදාචාරාත්මක ප්‍රශ්නයක් කියා කිව හැකියි.

2. ඉහත හේතුව නිසා ආයෝජන අධෛර්යමත් වීම - තමන්ගේ ආදායම පරිභෝජනය කර අවසන් කරන කෙනෙකුට ධන බදු ගෙවන්නට සිදු වන්නේ නැහැ. ධන බදු ගෙවන්නට සිදු වන්නේ පරිභෝජනය සීමා කර ආදායම ආයෝජනය කරන අයටයි. මෙය ආර්ථික කරුණක්.

3. ව්‍යවසායකත්වය අධෛර්යමත් වීම - ව්‍යවසායකයෙකුට බොහෝ විට සැලකිය යුතු කාලයක් යන තුරු තමන් සිදු කරන ආයෝජනය හෝ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. මෙම කාලය තුළ ධන බදු ගෙවන්නට සිදු වීමෙන් ව්‍යවසායකත්වය අධෛර්යමත් වෙනවා.

4. ධනය රටින් බැහැරට ගලා යාම - ධන බදු අය කරන රටවල ඇති ධනය එසේ නොකරන රටවල් වෙත විතැන් කිරීම වාසිදායකයි. මෙහි ප්‍රතිඵලය රට තුළ ඇති ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාමයි. ඉහත සාධක දෙක මෙන්ම මෙම සාධකයද රටක ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. 

5. ධන බද්ද අය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා- ලෝකයේ රටවල් ගණනාවක් විසින්ම ධන බද්ද අහෝසි කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ඉහත සඳහන් සදාචාරාත්මක හා ආර්ථිකමය හේතු වලට වඩා මෙම ප්‍රායෝගික හේතුවයි. බොහෝ අවස්ථා වලදී ධන බදු අය කර ගැනීමේ පරිපාලන වියදම් එකතු වන ධන බදු වලට වඩා වැඩි මට්ටමක පැවතී තිබෙනවා. 

ඉහත හේතු නිසා ධන බදු අය කිරීමට පහසුවෙන්ම විරුද්ධ විය හැකි වුවත්, ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා පිළියම් සෙවීමේදී ධන බද්දක් අය කිරීම ගැන සිතා බැලිය යුතු බව මා විසින් පෞද්ගලිකවම යෝජනා කර ඇති දෙයක්. ලංකාවට මේ අවස්ථාවේදී ධන බද්දක් සුදුසු බව මගේ අදහස වූයේ සහ වන්නේ ලංකාවේ දැනට පවතින සුවිශේෂී තත්ත්වයන් තුළයි. මෙම යෝජනාව මේ වන විට ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ යෝජනාවක් බවට පත් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පිළිගෙන තිබෙනවා. මෙය අරමුදලේ යෝජනා හැම විටම එකම වට්ටෝරුවක්ය යන පොදු චෝදනාවටටද පිළිතුරක්.

මා එසේ සිතුවේ සහ සිතන්නේ ඇයි?

1. ලංකාවේ බොහෝ දෙනෙකු විසින් පොදු දේපොළ අවභාවිතා කර ඇති බව, සාමාන්‍ය වචන වලින් කිවුවොත් හොරකම්, දූෂණ, කොමිස් ලබා ගැනීම් ආදී ක්‍රම වලින් අයථා ලෙස ධනය උපයා ඇති බව, ප්‍රචලිත හා ජනප්‍රිය අදහසක්. ප්‍රමාණය ඇතැම් අය කියන තරම් නොවිය හැකි වුනත්, මේ කතාව බොරුවක් නෙමෙයි. මෙසේ අයථා ලෙස උපයා ඇති ආදායම් බදු දැලට අසු වී නැහැ. එහෙත් එවැනි ආදායම් වලින් සැලකිය යුතු කොටසක් වත්කම් බවට පත් වී ඇති බැවින් ධන බද්දක් මගින් නොලැබුණු ආදායම් එකතු කර ගත හැකියි. අයථා ලෙස උපයා ඇති ධනය පිළිබඳ ඇස්තමේන්තුවක් හෝ ලබා ගැනීම සඳහා මෙවැනි බද්දක් හොඳ ප්‍රවේශයක්. දේශපාලන පලිගැනීම් මට්ටමට නොගොස්, හොරකම්, දූෂණ, කොමිස් ආදිය හරහා උපයා ඇති ධනය ගැන සොයා බලා නැවත අය කර ගැනීම නීතිමය හා පරිපාලනමය ලෙස ඉතා අපහසු කාර්යයක්. යම් කාලයක් එක දිගට ධන බද්දක් අය කිරීම මගින් මේ කාර්යය වක්‍ර ලෙස වඩා ඵලදායී ආකාරයකින් කළ හැකියි.

2. බදු පැහැර හැරීමද ලංකාවේ කාලයක් තිස්සේ සිදුව ඇති සාමාන්‍ය දෙයක්. හොරකම්, දූෂණ ආදිය නොකර සාධාරණ ලෙස උපයන ආදායමක් වෙනුවෙන් වුවද හෙවිය යුතු බදු නිසි සේ ගෙවා නැත්නම් එහි තිබෙන්නේ කාලයක් තිස්සේ රජයට හා ජනතාවට කර ඇති වංචාවක්. ධන බද්දක් මගින් මෙසේ නොගෙවූ බදු වක්‍ර ලෙස අය කර ගත හැකියි.

3. හොරකම්, දූෂණ ආදිය සිදුකර නැතත්, බදුද හරියට ගෙවා ඇතත්, කාලයක් තිස්සේ රජය විසින් ප්‍රමාණවත් තරම් බදු අය නොකිරීමේ වාසිය ලබමින් ධනය එක්රැස් කරගත් විශාල පිරිසක් ඉන්නවා. ධන බද්දක් මගින් පසුගිය කාලය තුළ ප්‍රමාණවත් තරමින් බදු අය නොකිරීමේ අවාසිය ආපසු හැරවිය හැකියි. 

4. ලංකාවේ පවතින පසුබිම තුළ නිසි ලෙස ක්‍රියාත්මක ධන බද්දක් මගින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ හැකි බව මගේ අදහසයි. ලංකාවේ ව්‍යවසායකත්ව ආයෝජන සිදුවන්නේ ඉතා අඩුවෙන්. ඒ වෙනුවට බොහෝ දෙනෙකු විසින් කරන්නේ මූර්ත වත්කම් මත ධනය ආයෝජනය කර වටිනාකම ඉහළ යාමේ වාසිය ලබා ගැනීමයි. නිසි ලෙස සැලසුම් කරන ධන බද්දක් මගින් මෙය අධෛර්යමත් කර ව්‍යවසායකත්ව ආයෝජන ප්‍රවර්ධනය කළ හැකියි. 

5. ඉහත අයුරින්ම ඇතැම් පරිභෝජන ස්වරූපයේ ආයෝජන අධෛර්යමත් කළ හැකියි. ඉහත කරුණ හා මෙම කරුණ පසුව වැඩිදුරටත් විස්තර කරන්නම්.

6. ශ්‍රී ලාංකිකයින්ට සිය ප්‍රාග්ධනය රටින් බැහැරට පහසුවෙන් විතැන් කිරීමේ හැකියාවක් නැහැ. දැනට රටින් බැහැර වන බොහෝ දෙනෙකු ශ්‍රමය මත පදනම් වූ ආදායම් ලබන්නන් මිස වත්කම් මගින් ආදායම් උපයන්නන් නෙමෙයි. ඒ නිසා ධන බද්දක් අය කළ පමණින් ධනය රටෙන් විතැන් වීමක් ලොකුවට සිදු වීමේ ඉඩක් නැහැ.

මෙවැනි බද්දක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානම ප්‍රශ්නය ධන බදු අය කර ගැනීමේ වාසියට සාපේක්ෂව ඒ සඳහා යන පරිපාලන වියදම ඉහළ මට්ටමක පැවතීමයි. මෙය ශ්‍රී ලංකා රජය විසින් ජයගත යුතුව ඇති අභියෝගයක්. අරමුදලේ තාක්ෂනික සහයෝගයද ලබමින් අවශ්‍ය මූලික කටයුතු කිරීම සඳහා දෙවසරක කාලයක් ඉතිරිව තිබෙනවා. 

ඉහත සිවුවන හා පස්වන කරුණු වෙත නැවත ආවොත්, එක් උදාහරණයක් ලෙස, ලංකාවේ බොහෝ දෙනෙකු විසින් වාහන මිල දී ගන්නේ පරිභෝජන භාණ්ඩයක් ලෙස සලකමින් නොව වත්කමක් එකතු කර ගැනීමක් ලෙසයි. නිවාස වියදම් ගැනද කිව හැක්කේ මෙයයි. ලංකාවේදී මෙවැනි වත්කම් වල වටිනාකම ඉහළ යාමක් මිස ක්ෂය වීමක් නොවන නිසා වත්කමකින් ආදායමක් නොලැබීමේ අවාසිය නිශේධනය වෙනවා. 

එහෙත්, වාහනයක් ආනයනය කිරීමේදී එකවර විශාල බදු මුදලක් අය කිරීමේ ක්‍රමය වෙනුවට (හෝ එම බද්ද තිබියදීම) වාහනයේ අයිතිය මත මාසිකව සැලකිය යුතු බදු මුදලක් අය කරන්නේනම් වත්කමක් ලෙස සලකමින් වාහනයක් තියා ගැනීම ගැන දෙවරක් සිතන්නට සිදු වෙනවා. 

ඉඩම් හා ගෙවල් ගැන වුවත් තත්ත්වය මෙයයි. එක්කෝ වත්කම් බදු (ධන බදු) වියදම උපයන ආදායමක් මෙම වත්කම් මගින් සොයා ගන්නට සිදු වෙනවා. නැත්නම් එම බදු මුදල පරිභෝජන වියදමක් සේ සලකන්න වෙනවා. ආදායමක් ඉපැයීම සඳහා හෝ සැබෑ පරිභෝජන අවශ්‍යතා පිණිස මෙවැනි වත්කමක් නඩත්තු කරන අයෙකුට මෙය ප්‍රශ්නයක් නොවුනත්, වටිනාකම ඉහළ යාම සලකමින් මෙවැනි වත්කම් නඩත්තු කරන අයට දෙවරක් සිතන්නට ධන බද්ද විසින් බල කරනවා. එවැන්නන් මෙවැනි වත්කම් විකුණා දමද්දී අවසාන වශයෙන් එවැනි වත්කම් නවතින්නේ වඩා ඵලදායී ලෙස මෙම වත්කම් ප්‍රයෝජනයට ගන්නා අය ලඟයි.

වගා නොකර නිකම් තියා ගන්නා වගා කළ හැකි ඉඩමක් ගැන හෝ කුලියට නොදී වසා ඇති ගෙයක් ගැන හිතන්න. මෙවැනි වත්කමකින් ආදායමක් නොලැබුණත් නිකම් තියාගෙන සිටීමේ වියදමක් නැති නිසාත්, වටිනාකම වැඩි වනු මිස අඩු නොවන නිසාත් එසේ කිරීමේ පාඩුවක් නැහැ. එහෙත්, වත්කම් බද්දක් ගෙවන්නට සිදු වූ වහාම තත්ත්වය වෙනස් වෙනවා. අවම වශයෙන් වත්කම් බද්ද හා ගැලපෙන ආදායමක් නොලැබේනම් පාඩුවක් සිදු වන නිසා අදාළ දේපොළ කුලියට හෝ බද්දට දීමට සිදු වෙනවා. එසේ කළ නොහැකිනම් විකුණන්නට සිදු වෙනවා.

ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ ඉතිරි කිරීම් ආදායම් නූපයන වත්කම් වල ආයෝජනය කරනවා. වත්කම් බද්දක් මගින් මෙය අධෛර්යමත් කෙරෙනවා. එහිදී සමාගම් කොටස් වැනි ආයෝජන දිරිමත් වීමක් සිදු වෙනවා. මේ හේතු නිසා හරියට සැලසුම් කරන වත්කම් බද්දක් මගින් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය නැවත පණ ගස්වන්න පුළුවන්. 

ධන සම්ප්‍රේෂණ බද්දක් යනු කුමක්ද?

ධන බද්දකට අමතරව ධන සම්ප්‍රේෂණ හා උරුම බදුද යෝජනා වී තිබෙනවා. විරෝධතා ඇතත්, මෙම බදු ධන බදු තරම්ම විවාදිත නැහැ. 

ධන සම්ප්‍රේෂණ බදු වල ඉලක්කයද ආදායම් විෂමතා අවම කිරීමයි. ආදායම් විෂමතා පැවතීම වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ යමෙකු විසින් උපයන ධනය අදාළ පුද්ගලයාගේ අයිතියක් බවයි. මේ තර්කයම ධනය උපයන්නෙකුගෙන් පැවත එන අයටද අදාළ කර ගත හැකිද? මහන්සි වී වැඩ කර ධනය ඉපැයූ අයෙකුගේ උරුමකරුවෙකු වීම නිසාම යමෙකු ධනවතෙකු වීම සාධාරණද?

ඇතැම් විට යමෙක් ධනය උපයන්නේම තමන්ගේ උරුමකරුවන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් විය හැකියි. එය එසේනම් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය ප්‍රශ්නයක් කියා කියන්න බැහැ. නමුත්, අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය නිසා පුද්ගලයින් ඉපදෙන්නේම සමානයින් ලෙස නෙමෙයි. මෙහි වැරැද්දක් තිබෙනවා. ධන සම්ප්‍රේෂණ බද්දක් මගින් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය සීමා කර ආදායම් විෂමතා අඩු කළ හැකියි. ධන බද්දට ජනතා සහයෝගයක් නැති බොහෝ රටවල පවා ධන සම්ප්‍රේෂණ බදු ක්‍රියාත්මකව තිබෙනවා. ඒ වගේම, ධන සම්ප්‍රේෂණ බද්දක් අය කිරීම ධන බද්දක් අය කරන තරම්ම අපහසු නැහැ. 

ප්‍රායෝගිකව ධන බදු මෙන්ම ධන සම්ප්‍රේෂණ බදුද අය කෙරෙන්නේ ධනවතුන් මතයි. මෙහිදී ධනවතුන් අර්ථදැක්විය යුතු වෙනවා. ධනවතෙකු අර්ථදක්වන සීමාව දේශපාලනික කරුණක්. එසේ අර්ථ දැක්වීමෙන් පසුව, බදු අය කර ගැනීම සඳහා ඔවුන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු එකතු කරන්නට සිදු වෙනවා. මෙය ආදායම් දත්ත එකතු කිරීමට සාපේක්ෂව අසීරු කටයුත්තක්. ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍යයි. අවශ්‍ය පෙර සූදානම සඳහා රජයට දෙවසරක කාලයක් තිබෙනවා.

Saturday, May 29, 2021

ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය

මම හිතන්නේ මේ වෙද්දී ධනවාදී පරමාදර්ශය කුමක්ද කියන එක ලිපි ගණනාවකින් ඉතා පැහැදිලිව විස්තර කර අවසන් කරලා තිබෙනවා. ඒ වගේම සමාජවාදී විකල්පය ඊට වඩා පසුගාමී වන්නේ ඇයි කියන එකත් පැහැදිලි කරලා තිබෙනවා. අප සමඟ දිගටම සාකච්ඡාවක රැඳී සිටි පාඨකයෙකු විසින් පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස අහපු වැදගත් ප්‍රශ්නයක් වුනේ මේ කියන දේවල් ඔය විදිහටම සැබෑ ලෝකයේ සිදු වෙනවද කියන එකයි. ඒ ප්‍රශ්නයට මම ඒ වෙලාවේ කෙටි පිළිතුරක් දුන්නා. එහෙත්, මේ ප්‍රශ්නය විස්තරාත්මක පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයක්.

ඉතා පැහැදිලිවම ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර සෑහෙන තරමක පරතරයක් තිබෙනවා. ඇත්තටම පුදුමය විය යුත්තේ එය එසේ නොවනවානම්. ධනවාදී පරමාදර්ශයත් මාක්ස්වාදය වගේම තවත් එක් වියුක්ත අදහසක් පමණයි. වියුක්ත ආකෘති හා සැබෑ ලෝකය අතර පරතරයක් තිබීම සාමාන්‍ය දෙයක්. මා එම පෙර ප්‍රතිචාරයට පිළිතුරක් සේ ලියූ විදිහට, මට අනුව, මේ මොහොතේ දේශපාලනය විය යුත්තේ මේ පරතරය හැකි තරම් අවම කිරීමයි.

පරමාදර්ශී තත්ත්වයන් යටතේ වගේම ප්‍රායෝගික තත්ත්වයන් යටතේද ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකු විසින් පිළිගත හැකි පිළිතුරක් ඉදිරිපත් කර නැහැ. යම් කිසිවකු විසින් එවැනි පිළිතුරක් ලබා දෙන තුරු අපි සමාජවාදය පැත්තකින් තියලා ධනවාදී පරමාදර්ශය ඔස්සේ ඉදිරියට යමු. 

සමාජවාදය හොඳ පිළිතුරක් නොවන බව පැහැදිලි වුවත්, ධනවාදී පරමාදර්ශය සහ දෘශ්‍යමාන ලෝකය අතර පරතරයක් ඇති විට එම පරතරය පියවෙන පිළිතුරක් අවශ්‍යයි. ධනවාදී පරමාදර්ශය අනුව, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය ප්‍රාග්ධන හිමියාටත් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත් හිමි විය යුතුයි. මේ බෙදීම සාධාරණ වන්නේ ඇයි කියන එක මම විස්තර කරලා තියෙනවා. සැබෑ ප්‍රශ්නය තියෙන්නේ එයින් ඔබ්බටයි. මේ පරමාදර්ශී බෙදීම ඒ විදිහටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද?

ලිපි ගණනාවකදී යොදාගත් කොබ්-ඩග්ලස් ආකෘතිය උපයෝගී කර ගැනීමේ අරමුණ වුනේ ආන්තික ඵලදායීතාවය කියන සංකල්පය පැහැදිලි කිරීම හා සමාජවාදී විකල්පය සමඟ සංසන්දය කිරීම පමණයි. එම ආකෘතිය නිෂ්පාදන ආකෘතියක් මිසක් නිෂ්පාදනය බෙදී යන ආකාරය විස්තර කරන ආකෘතියක් නෙමෙයි. ධනවාදී පරමාදර්ශය කුමක්ද කියා පැහැදිලි කරන නමුත් ඒ කරා යා හැකි යාන්ත්‍රනය එම ආකෘතියෙන් විස්තර කෙරෙන්නේ නැහැ. 

එහෙමනම්, ධනවාදී පරමාදර්ශය කරා යා හැකි යාන්ත්‍රනය කුමක්ද? මේ යාන්ත්‍රනය වෙළඳපොළ යාන්ත්‍රනයයි. "අන්දරේ සීනි කෑ හැටි" ලිපි මාලාවේ මුල් කොටස් වල ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රනය විස්තර කර තිබෙනවා. 

වෙළඳපොළ තර්කනය තේරුම් ගන්න අමාරු නැහැ. ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර පරතරයක් ඇති හැම විටෙකම ඇයට තමන්ගේ රැකියාව මාරු කළ හැකියි. ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. එහෙත් එවැනි පරතරයක් නැති විටෙක කොහේ ගියත් වැඩි වැටුපක් ලැබෙන්නේ නැහැ. මේ හැම විටම ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප් හා ඇයගේ ආන්තික ඵලදායිතාවය අතර ගතික සමතුලිතතාවයක් නඩත්තු වෙනවා. 

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ වෙළඳපොළ තරඟයක් තිබීම තුළ මිසක් වෙළඳපොළක් තිබීම තුළ නෙමෙයි. වෙළඳපොළෙහි තිබෙන්නේ ඒකාධිකාරයක්නම්, ප්‍රමාණවත් තරඟයක් නැත්නම්, මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ නැහැ.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි නැවතත් පෙර ලිපියක් සමඟ ඉදිරිපත් කළ වගු දෙකක් කරා යමු.


උඩ වගුවෙන් පෙන්වන්නේ K හෝ/සහ L වෙනස් වෙද්දී Y වෙනස් වන ආකාරය. පහළ වගුවෙන් පෙන්වන්නේ මෙය මෙසේ සිදු වෙද්දී ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනස් වන ආකාරය.

ආන්තික ඵලදායීතාවය කියන්නේ නිෂ්පාදන සාධකයක් එක් ඒකකයකින් වැඩි කළ විට නිෂ්පාදිතය ඉහළ යන ප්‍රමාණය බව අපි ඉගෙන ගත්තා. නමුත්, මේ ප්‍රකාශයේ අඩුවක් තිබෙනවා. ප්‍රශ්නයක් සේ එකවර නොතේරුණත්, මෙහි "එක් ඒකකයක්" කියා කියන්නේ කුමක්ද? 

අපි ප්‍රාග්ධනය ගනිමු. එක් ඒකකයක් කියා කියන්නේ ඇමරිකන් ඩොලරයක්ද? චීන යුවාන් එකක්ද? බංග්ලාදේශ ටාකා එකක්ද? නැත්නම් ශ්‍රී ලංකා රුපියලක්ද? ශ්‍රී ලංකා සතයක්ද? 

ශ්‍රමය ගත්තත් ඔය ප්‍රශ්නයම එනවා. එක් ඒකකයක් කියා කියන්නේ මාසයක ශ්‍රමයද? දවසක ශ්‍රමයද? පැයක ශ්‍රමයද? නැත්නම් මිනිත්තුවක ශ්‍රමයද? 

ගණිතයේ එන අවකලන සංකල්පය අනුව මේ ඒකකයේ ප්‍රමාණය ශුන්‍යය කරා ළඟා විය යුතුයි. ප්‍රාග්ධනය සතයක් ගත්තත්, ශ්‍රමය තප්පරයක් ගත්තත්, මේ ඒකක ශුන්‍යයට වඩා ගොඩක් ලොකුයි. මීට වඩා ගොඩක් කුඩා ඒකක ගැන වුවත් අපට වියුක්ත ලෙස සිතන්න පුළුවන්. නමුත්, එවැනි කුඩා ඒකක වලින් සැබෑ ලෝකයේදී ගනුදෙනු සිදු වන්නේ නැහැ. 

තමන්ගේ මාසික වැටුප සතයකින් වැඩි වෙන නිසා රැකියාව මාරු කරන කෙනෙක් ඉන්නවද? තමන්ගේ ප්‍රතිලාභ සතයකින් වැඩි වෙන නිසා ප්‍රාග්ධන ආයෝජන වෙනත් තැනකට ගෙන යන කෙනෙක් ඉන්නවද? කවුරුවත් එහෙම කරන්නේ නැහැ. 

මෙයට හේතුව ශ්‍රමය හෝ ප්‍රාග්ධනය පිරිවැයකින් තොරව "සුමට ලෙස" විතැන් කළ නොහැකි වීමයි. නිෂ්පාදන සාධක විතැන් කිරීමද පිරිවැයක් අවශ්‍ය වන කටයුත්තක්. සැබෑ ලෝකය සුමට නැහැ. එහි "ඝර්ෂණ" තිබෙනවා. ඒ නිසා, "පොඩි පාඩුවක්" වුනා කියලා කවුරුවත් එය ගණන් ගන්නේ නැහැ. 

මේ හේතුව නිසා ශ්‍රමිකයෙකුට ඇත්තටම ලැබෙන වැටුප ඇයගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවය ඇයට ගෙවිය යුතු වැටුපට වඩා පොඩ්ඩක් අඩු වුනා කියලා සමාගමක් ඇයව එකවරම ඉවත් කරන්නේ නැහැ. මොකද එහෙම කරලා අලුත් ශ්‍රමිකයෙක්ව අලුතින් බඳවා ගන්න එකත් පිරිවැයක් අවශ්‍ය කටයුත්තක්. ඒ නිසා, ඝර්ෂණ තිබීම සාමාන්‍යයක් ලෙස ගත් විට ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ එලෙසම ලැබෙන එක වළක්වන්නේ නැහැ.

කෙසේ වුවත්, ශ්‍රම වෙළඳපොළේ හා ප්‍රාග්ධන වෙළඳපොළේ මෙවැනි ඝර්ෂණ වල අසමමිතියක් ඇත්නම් ඉහත කී සාමාන්‍ය අගයයන් වුවත් විකෘති විය හැකියි. උදාහරණයක් විදිහට ශ්‍රමිකයන්ට වෙනත් ප්‍රායෝගික විකල්ප කිසිවක් නැහැ. එහෙත් ප්‍රාග්ධන හිමියාට එවැනි විකල්ප ඕනෑ තරමක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේදී සමස්තයක් ලෙස වුවත් ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ හිමි නොවෙන්න පුළුවන්. කාල් මාක්ස් දුටු යුරෝපයේ තිබුණේ මෙවැනි තත්ත්වයක් කියා හිතන්න පුළුවන්. අදට වුවත් බොහෝ තැන් වලදී ශ්‍රමිකයන් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මාක්ස්වාදය ගොඩ නැගෙන්නේ මේ ප්‍රශ්නයට පිළියමක් ලෙසයි. 

ඉහත වගු වෙත අපි නැවත අවධානය යොමු කරමු. පළමු වගුව ඇසුරෙන් අප විසින් දෙවන වගුව පිළියෙළ කළේ වරෙකදී නිෂ්පාදන සාධක වල එක් ඒකකයක් පමණක් වෙනස් වන්නේය යන පදනමින්. (K,L) = (10,10) සිට (K,L) = (10,9) කරා යද්දී Y ඒකක 6කින් අඩු වෙනවා. ඒ කියන්නේ එක් ශ්‍රම ඒකකයක් අඩු කළොත් නිෂ්පාදනය ඒකක 6කින් අඩු වෙනවා. ඒ නිසා, ශ්‍රමිකයෙක්ට වැටුප් සේ ඒකක 6ක් හිමි නොවෙනවානම් සහ ඇයට වෙනත් විකල්ප තිබෙනවානම් සමාගමට ඇගේ වැටුප් ලෙස ඒකක 6ක් දී ඇය වෙනත් තැනකට යන එක වලක්වා ගන්න සිදු වෙනවා. අනෙක් අතට ඇය ඊට වඩා වැඩි වැටුපක් ඉල්ලා සිටිනවානම් එය කළ නොහැකියි. ඇයට අස් වී යන්න ඉඩ අරින්න වෙනවා. පසුව ඒ වෙනුවට වෙනත් ශ්‍රමිකයෙක් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි.

ප්‍රාග්ධනය සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්. (K,L) = (10,10) සිට (K,L) = (9,10) කරා යද්දී Y ඒකක 4කින් අඩු වෙනවා. ඒ නිසා, ප්‍රාග්ධන හිමියා විසින් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස ඒකක 4කට වඩා ඉල්ලා සිටිනවානම් ඔහුට තමන්ගේ ප්‍රාග්ධනය අරගෙන කැමති තැනකට යන්න ඉඩ දී වෙනත් ප්‍රාග්ධන හිමියෙක් හොයා ගන්න පුළුවන්. නමුත් එසේ කළ හැක්කේ වෙනත් ප්‍රාග්ධන හිමියන් ඕනෑ තරම් සිටින පසුබිමකදී පමණක් බවද පැහැදිලි විය යුතුයි.

ඉහත අවස්ථා වලදී අප විසින් උපකල්පනය කළේ ශ්‍රම ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ශ්‍රමිකයන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, වරකදී ශ්‍රමිකයන් දෙදෙනෙකු ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. මේ අයුරින්ම, ප්‍රාග්ධනය සම්බන්ධව අපේ උපකල්පනය වුනේද ප්‍රාග්ධන ඒකක 10 අයිති ස්වාධීන හා එකිනෙකාගෙන් ස්වායත්ත ප්‍රාග්ධන හිමියන් 10 දෙනෙකුට කියලයි. ඒ නිසා, ප්‍රාග්ධන හිමියන් දෙදෙනෙකු එක් වර ඉවත්ව යන්න එතරම් ඉඩක් නැහැ. නමුත් සැබෑ ලෝකයේ තත්ත්වය බොහෝ විට මෙසේ නොවන බව අප අත්දැකීමෙන් දන්නවා.

අපි හිතමු ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති එක් පුද්ගලයෙක්ට කියා. දැන් මේ පුද්ගලයාට එක වර තමන්ගේ ප්‍රාග්ධන ඒකක 9ම ඉවත් කර ගත හැකියි. අඩු වශයෙන් එසේ කරන බවට තර්ජනය කළ හැකියි. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (1,10) කරා යද්දී Y ඒකක 60කින් අඩු වෙනවා. එවිට ශ්‍රම ඒකක 10 හා ඉතිරි ප්‍රාග්ධන ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 40ක නිෂ්පාදිතයක් පමණයි. ඒ නිසා, ප්‍රාග්ධනය ආකර්ශනය කර ගත හැකි වෙනත් විකල්පයක් නැත්නම්, ප්‍රාග්ධන හිමියාව රඳවා ගැනීම සඳහා ඔහුට ඒකක 60කට නොවැඩි ප්‍රතිලාභ ලබා ගන්න ඉඩ ඇරීමෙන් අනෙක් අයට පාඩුවක් වෙන්නේ නැහැ. 

මේ අවස්ථාවේදී වෙළඳපොළ යාන්ත්‍රනය තුළම ප්‍රාග්ධන ඒකක 10න් 9ක්ම අයිති පුද්ගලයාගේ ප්‍රතිලාභ ඒකක 40 සිට 60 දක්වා වැඩි විය හැකියි. එහිදී ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ප්‍රතිලාභ නොලැබී යන බව පැහැදිලියි. ශ්‍රමිකයන්ට වෙනත් විකල්පයක් නැත්නම්, ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩු වැටුපකට සේවය සලසන්න සිදු වෙන්න පුළුවන්. මාක්ස්වාදය තුළ ශ්‍රමය සූරාකෑම සේ හඳුනා ගැනෙන්නේ මීට ආසන්න දෙයක්.

මෙහිදී එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ වෙළඳපොළ තරඟයට ඉඩ ලැබීම මත මිස වෙළඳපොළට ඉඩ ලැබීම මත ශ්‍රමිකයාගේ තත්ත්වය යහපත් නොවන බවයි. ධනවාදී පරමාදර්ශය විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ තරඟයට අවස්ථාව සැලසීම මිස වෙළඳපොළට අවස්ථාව සැලසීම නෙමෙයි. වෙළඳපොළට අවස්ථාව සැලසීම එහි අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුවත් එය අතරමැදි ඉලක්කයක් මිසක් පරමාදර්ශී තත්ත්වයක් නෙමෙයි. ලංකාව වැනි රටවල් විසින්ද වෙළඳපොළට ඉඩ දී ඇතත්, ඇමරිකාව වැනි රටකට සාපේක්ෂව ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් නොවීමට හේතුව මේ වෙනසයි. 

ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රමිකයාට නොලැබෙන තත්ත්වයන් යටතේ එම ප්‍රතිලාභ හිමි කර ගැනීමේ ක්‍රමයක් ලෙස මාක්ස්වාදී හා මාක්ස්වාදී නොවන සමාජවාදය තුළ යෝජනා වී තිබෙන ජනප්‍රිය විකල්පයක් වන්නේ ශ්‍රමිකයන් සංවිධානය වීමයි. වෘත්තීය සමිති හරහා සිදු වන්නේ මෙයයි. වෘත්තීය සමිතියක් තුළ ශ්‍රමිකයන් ඒකරාශී වූ විට සිදු වන්නේ කුමක්ද?

නැවත අපි ඉහත උදාහරණයටම එමු. ප්‍රාග්ධනයේ ඒකාධිකාරී බලය උපයෝගී කර ගනිමින් ප්‍රාග්ධනයේ කොටස ලෙස 40ක් නොව 60ක් ලබා ගන්නේයැයි අපි සිතමු. මෙයට ප්‍රතිරෝධය දක්වමින් ශ්‍රමිකයින් සංවිධානය වී ශ්‍රම ඒකක 9ක් එකවර ඉවත් කර ගන්නා බවට තර්ජනය කළේයැයි සිතමු. වගුවෙන් පෙනෙන පරිදි (K,L) = (10,10) සිට (K,L) = (10,1) කරා යද්දී Y ඒකක 75කින් අඩු වෙනවා. එවිට ප්‍රාග්ධන ඒකක 10 හා ඉතිරි ශ්‍රම ඒකකය වෙනුවෙන් ඉතිරි වන්නේ ඒකක 25ක නිෂ්පාදිතයක් පමණයි. ඒ කියන්නේ ප්‍රාග්ධන හිමියාට තමන්ගේ ප්‍රතිලාභ ලෙස ඒකක 25ක් වුවත් භාර ගන්න සිදු වෙනවා. මෙය ඔහුගේ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ සේ ලැබිය යුතු ඒකක 40ටත් වඩා අඩුයි.

මාක්ස්වාදයේ අවසාන ඉලක්කය ශ්‍රමිකයන් සංවිධානය වී රාජ්‍ය බලය ලබා ගැනීම හරහා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ නැත්තටම නැති කිරීමයි. මෙය අසාර්ථක ඉලක්කයක් බව මා පැහැදිලි කර අවසන්. එහෙත්, ප්‍රාග්ධනයේ ඒකාධිකාර හමුවේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රමිකයින් සංවිධානය වීම අසාර්ථක දෙයක් බව එයින් අදහස් වන්නේ නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් ශ්‍රමිකයින් සංවිධානය වී තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීම කෙටිකාලීන අතරමැදි විසඳුමක් මිසක් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ ඇයි?

මෙහිදී ප්‍රතිඵලය තීරණය වන්නේ හෙට්ටු කිරීම් මත. හෙට්ටු කිරීම් වල වාසි තීරණය වන්නේ සංවිධාන ශක්තිය මත. ශ්‍රමිකයින් සංවිධානය වූ තරමට ඔවුන්ට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව වැඩි වනවා වගේම ඊට වඩා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. එහෙත්, මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ද සංවිධානය වෙනවා. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ශ්‍රමිකයන්ට වඩා ප්‍රාග්ධන හිමියන්ට සංවිධානය වෙන්න ලේසියි. 

ශ්‍රමිකයන් සංවිධානය වෙලා මොන තරම් දේවල් ලබා ගත්තත් ඒ දේවල් වැඩි කල් එලෙසම තියා ගන්න බැරි බව තේරුම් ගන්න ලංකාවෙන්ම වුනත් ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. ශ්‍රමිකයන්ගේ එකමුතු ඉතා ඉක්මණින් බිඳෙනවා. ප්‍රාග්ධන හිමියෝ නැවතත් තමන්ගේ කොටස ලබා ගන්නවා. මෙය දිගටම චක්‍රයක් ලෙස සිදු වෙනවා. වෘත්තීය සමිති නායකයින් බිලී බා ගැනීම වගේ දේවල් වෙන්නෙත් මේ වගේ පසුබිමක.

අතරමැදි විසඳුම් විදිහට ශ්‍රමිකයන්ට සංවිධානය වී වෘත්තීය ක්‍රියාමාර්ග ගත හැකි වුවත් ඒ මගින් ඔවුන්ගේ ප්‍රශ්නයට හේතු වී තිබෙන ආකෘතිමය ගැටළුව විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් ලෙස යෝජනා වූ මාක්ස්වාදී විකල්පයත්  ප්‍රායෝගිකව අසාර්ථක වෙලා තිබෙනවා. එහෙත් ධනවාදී විකල්පය එලෙසම අසාර්ථක වී නැහැ. ඇස් ඇර බැලුවොත් පැහැදිලිව පෙනෙන පරිදි ශ්‍රමිකයන්ගේ ජිවන තත්ත්වය වඩාත්ම යහපත්ව පවතින්නේ වඩාත්ම ධනවාදී රටවලයි. එම රටවල නිරන්තර ශ්‍රමික අරගල සිදු වන්නේද නැහැ.

හේගලියානු අර්ථයෙන් ගත්තොත් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුළ ප්‍රාග්ධන හිමියන් විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්න කරන උත්සාහය තුළම එම ලාබ අහෝසි වී යාමේ යාන්ත්‍රනයද තිබෙනවා. නමුත්, මෙය සිදුවන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ගැටුමෙන් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් අතරම සිදුවන ගැටුමෙන්. ඒක ඉක්මණින් වෙන්නනම් එක් අදියරකදී ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමය "සූරාකන්න" ඉඩ දෙන්න වෙනවා. එයට බාධා වන තරමට මේ ක්‍රියාවලිය සිදු වන එක මන්දගාමී වෙනවා. එක පැත්තකින් බැලුවොත් මෙය අවසන් යහපත වෙනුවෙන් "වියදම් අධික" සමාජවාදී විප්ලවයක මිල ගෙවීම වැනිම අදහසක්. 

Wednesday, May 19, 2021

ආර්ථික වර්ධනය හා ඵලදායිතාවය


කාලයක් ලෝකයේ ලොකුම ආර්ථිකය වුනේ බ්‍රිතාන්‍යයයි. පසුව ඇමරිකාව එතැනට ආවා. එහෙත්, මේ කුසලානය ඇමරිකාවෙන් චීනය වෙත මාරු වෙමින් තිබෙන බව, ඇතැම් විට දැනටම මාරු වී තිබෙන බව, පැහැදිලි කරුණක්. ඇතැම් අය මෙය ධනවාදය හා සමාජවාදය සම්බන්ධ සංසන්දනාත්මක කරුණක් සේ දකිනවා. විශේෂයෙන්ම මා පෙන්වා දුන් ධනවාදයේ කාර්යක්ෂමතාවය පිළිබඳ අදහස සමඟ නොගැලපෙන නිරීක්ෂණයක් සේ දකිනවා. ධනවාදය හා සමාජවාදය මෙයට කිසිසේත්ම සම්බන්ධ නැති පැත්තක තිබෙන කරුණක් නොවූවත්, එම සංසන්දනය පැත්තකින් තියා මේ ගැන පහසුවෙන්ම පැහැදිලි කළ හැකියි.

සමාජවාදී පරමාදර්ශය ධනවාදී පරමාදර්ශයට වඩා සාධනීය නොවන්නේ ඇයි කියන එක මා මේ වන විට ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කර තිබෙනවා. අප ලියන දේ කියවන සීමිත පිරිස අතරින් සමාජවාදය පිළිබඳ යම් විශ්වාසයක් තබන, එහෙත් ආගමක් සේ මාක්ස්වාදය නොඅදහන කිහිප දෙනෙකු විසින් මෙතෙක් වරින් වර මතු කළ ප්‍රශ්න සියල්ලටම අප විසින් පැහැදිලි හා විස්තරාත්මක පිළිතුරු සපයා තිබෙනවා. එහෙත් එවැනි පැහැදිලි කිරීම් වලින් ආගමික අන්තවාදයක සිටින්නෙකුටනම් වැඩක් වෙන එකක් නැහැ.

උදාහරණයක් විදිහට මේ අදහස ගැන සිතන්න.

"පන්තිභේදයකින් තොර සමාජයක් බිහිකරන්න "ඔය කියන" කාර්යක්ශමතාවයෙ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත අදාලත් නෑ."

ධනවාදය හා මාක්ස්වාදය සසඳන්නනම් අප එවැනි සැසඳීමක් කළ හැකි කිසියම් ආරම්භක ස්ථානයක් සොයා ගත යුතුයි. සමාජවාදීන් සේ තමන්ව හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. සෝවියට් දේශය පස් අවුරුදු සැලසුම් හැදුවේ භෞතික සංවර්ධනය ඉලක්ක කර ගෙනයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ සමාජවාදී රාජ්‍යයක අරමුණක් සේ සඳහන්ව තිබෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයකට යාමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමයි. පෞද්ගලික දේපොළ අයිතිය බැහැර කළත්, සමස්තයක් ලෙස සමාජවාදය තුළ පුද්ගල කැමැත්තට ඉඩක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඓතිහාසික භෞතිකවාදය විශ්වාස කරන්නෙකු ධනවාදය සලකන්නේ සමාජවාදය තරම් දියුණු නැතත් ඊට පෙර එළැඹෙන දියුණු අදියරක් ලෙසයි. මේ අරමුණු වලින් බැහැර නොවූ සමාජවාදියෙකු සමඟ ධනවාදය ගැන කතා කළ හැකි ආරම්භක ස්ථානයක් තිබෙනවා. 

භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස පැත්තකට දමා කෙසේ හෝ "පංති රහිත" සමාජයක් හැදීමේ අරමුණක සිටින අයෙකු සමඟ සංවාදයක් ඇති කරගත හැකි ආරම්භක ස්ථානයක් හොයා ගන්න අමාරුයි තමයි. එවැන්නෙකුට අනුව වෙනත් විදිහකට හිතන හැම කෙනෙක්ම මුලා වී සිටින අයයි. ඔවුන්ට තේරෙන දෙය ලෝකයේ අනෙක් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් අයගේ කැමැත්ත වැඩක් නැහැ. අනෙක් අයගේ කැමැත්තෙන් වැඩක් නැති නිසා අනෙක් අයට භෞතික සංවර්ධනය අවශ්‍ය වීම වැදගත් දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පංති රහිත සමාජයක් හදන එකයි. එහි භෞතික සංවර්ධනය හෝ මිනිස් නිදහස නොමැති වීම ප්‍රශ්නයක් නෙමෙයි. 

භෞතික සංවර්ධනය හා පුද්ගල නිදහස වැදගත් සේ නොසලකන වෙනත් අය සිටිනවා. ඇතැම් ආගමික අදහස් වලින් උගන්වන්නේ භෞතික සම්පත් අතහැරීම ගැනයි. තවත් ආගමික අදහස් පුද්ගල කැමැත්ත දේව කැමැත්තකට යටපත් කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එවැනි අදහස් තිබීමේ කිසිදු වැරැද්දක් නැතුවා වගේම එම අදහස් ධනවාදය සමඟ ගැටෙන්නේද නැහැ. එහෙත් මෙවැනි අදහස් දරන අයෙකු එම අදහස් හා එකඟ නොවන අනෙකුත් අය මත තමන්ගේ අදහස් බලහත්කාරයෙන් පටවන්නට ගිය විට ගැටුමක් ඇති වීම වැළැක්විය නොහැකියි. 

මෙවැනි අය ලෝකය වෙනස් කළ යුතු නියම විදිහ ගැන අනෙක් කාටවත් නැති සුවිශේෂ අවබෝධයක් තමන්ට තිබෙනවායැයි සිතා සිටින ශාස්තෘන් පිරිසක් වනවාට අමතරව ලෝකය වෙනස් කිරීමේ සුවිශේෂී වගකීමක් තමන් මත පැවරී ඇති බවද සිතනවා. හැබැයි ඔවුන්ට මෙවැනි අදහස් දරමින් ජිවත් වෙන්න හැකි වී තිබෙන්නේත් අනෙක් මිනිසුන් මිනිස් නිදහස හා පුද්ගල කැමැත්ත අගය කරන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ වගේ අය අවශ්‍ය නැති බව කියන්නේ වෙනත් අයගේ පුද්ගල කැමැත්තයි. ඔවුන්ට තමන්ගේ පුද්ගල කැමැත්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. 

ඔය වගේ ආගමික අන්තවාදී අදහස් ගැන වැඩිපුර කතා කරන එක පසුවට තියලා අපි නැවත චීනය වෙත එමු. චීනයේ හෝ වෙනත් රටක ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද? 

ආර්ථිකයක ප්‍රමාණය නිර්ණය කරන සාධක තුනක් අපි මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රමය (L), ප්‍රාග්ධනය (K) සහ මේ නිෂ්පාදන සාධක දෙක නිෂ්පාදිතයක් (Y) බවට හරවන ඵලදායීතා සංගුණකය (A).

Y = F(K,L) = AKαLß 

මතක තියා ගන්න දැන් අප කතා කරන්නේ ආර්ථික වර්ධනය ගැන මිසක් එහි ඵලය බෙදිය යුතු ආකාරය ගැන නෙමෙයි. ඒ නිසා මෙය ධනවාදයට හෝ සමාජවාදයට සෘජුව අදාළ නැති තාක්ෂනික කරුණක්.

ආර්ථික වර්ධනය කියා කියන්නේ Y වැඩි කරන එක. එය කරන්නනම් A, K හෝ L වැඩි කළ යුතුයි. අපි මේ එකින් එක ගැන වැඩිපුර විමසා බලමු. L හෙවත් ශ්‍රම බලය තීරණය කරන පළමු සාධකය කිසියම් රටක ජනගහණයේ ප්‍රමාණයයි. ජනගහණය වැඩි වූ තරමට ශ්‍රම බලකායද වැඩි වෙනවා. එහෙත්, ජනගහණයේ වයස් කාණ්ඩ ව්‍යාප්තිය, රැකියා නියුක්තියේ ප්‍රමාණය, කාන්තාවන් කෙතරම් දුරට රැකියා වල නිරත වෙනවාද යන්න ආදී සංස්කෘතික හා සමාජයීය කරුණු ආදියද ශ්‍රම බලකාය කෙරෙහි බලපානවා. ඒ නිසා, ජනගහණය සමාන රටවල් දෙකක ශ්‍රම බලකායේ ප්‍රමාණයන් වෙනස් විය හැකියි. 

දෙවනුව වසරකට එක් ශ්‍රමිකයෙකු වැඩ කරන සාමාන්‍ය පැය ගණන. වැඩ කරන පැය ගණන වැඩි වෙද්දී ශ්‍රම බලය වැඩි වන බව තේරුම් ගැනීමට අපහසු නැති කරුණක්. සම්මත නිවාඩු දින ගණන, අර්ධකාලීන රැකියා කරන ප්‍රමාණය ආදී කරුණු මත මෙම පැය ගණන වෙනස් විය හැකියි.

තෙවනුව, වඩාත්ම වැදගත් කරුණ. ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය. මානව ප්‍රාග්ධනය කියා කියන්නේත් මෙයටයි. අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පළපුරුද්ද, මනා සෞඛ්‍යය, වෘත්තීය ආචාර ධර්ම භාවිතය ආදී බොහෝ කරුණු මත ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ශ්‍රම බලය කියා කියන්නේ මේ සාධක තුනේම ගුණිතයයි.

ශ්‍රම බලය (L) වැඩි වන විට නිෂ්පාදිතය (Y) වැඩිවන බව අප දන්නවා. එහෙත්, L වැඩිවන අනුපාතයටම Y වැඩි වෙන්නේ නැහැ. L වැඩි කර ගෙන යද්දී Y වැඩි වන නමුත් එසේ වැඩි වන වේගය එන්න එන්නම අඩු වෙනවා. හරියට මේ වගේ. 


ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි ශ්‍රම බලය (L) දහ ගුණයකින් වැඩි වෙද්දී Y වැඩි වී තිබෙන්නේ හතර ගුණයකින්. මොන විදිහකින් හරි ආර්ථිකය හතර ගුණයකින් ප්‍රසාරණය වෙලා තිබෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ජිවන තත්ත්වය හතර ගුණයකින් ඉහළ ගියා කියන එක නෙමෙයි. එය තීරණය වන්නේ L වැඩි වුනේ කොහොමද කියන එක අනුවයි. 

ශ්‍රම බලය (L) වැඩි වුනේ රටේ ජනගහණය වැඩි වීම හා එයට සමානුපාතිකව ශ්‍රම බලකාය ඉහළ ගිය නිසා කියා අපි හිතමු. දැන් රටේ ජනගහණය 10 ගුණයකින් වැඩි වී තිබුණත් ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4 ගුණයකින් පමණයි. ඒ නිසා, එක් අයෙකුට ලැබෙන කොටස 40%ක් දක්වා අඩු වෙලා. ඒ කියන්නේ රටේ ආර්ථිකය වර්ධනය වෙලා වුවත් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ ගිහින්.

අපි හිතමු රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වූ නිසා ශ්‍රම බලය ඉහළ ගියා කියලා. කලින් දවසකට පැයක් වැඩ කළ කෙනෙක් දැන් පැය දහයක් වැඩ කරනවා. (මෙය එතරම් ප්‍රායෝගික නැති පරිකල්පනීය උදාහරණයක්. වෙන දේ පැහැදිලිව පෙන්වන්න දහ ගුණයකින් වැඩි කළත් වැඩ කරන පැය ගණන සියයට දහයකින් වගේ වැඩි වුනහම වෙන්නෙත් ඕකම තමයි.) 


දැන් එක් ශ්‍රමිකයෙකුට ලැබෙන කොටස හතර ගුණයකින් වැඩි වෙලා. නමුත්, වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වෙලා. ඒ කියන්නේ පැයකට ලැබෙන ආදායම 40%ක් දක්වා අඩු වෙලා. කලින් තරමටම නරක තත්ත්වයක් නොවුනත් හොඳ තත්ත්වයක් කියා කියන්න අමාරුයිනේ. කෙනෙක් මෙය හොඳ තත්ත්වයක් සේ සලකන්න පුළුවන්. තවත් කෙනෙක් එසේ නොසලකන්න පුළුවන්. සමහර විට එක් අයෙක් රැකියා කළ නිවෙසක දෙදෙනාම රැකියා කරන්න පටන් ගැනීම නිසාත් මේ වගේම දෙයක් වෙන්න පුළුවන්. දැන් පවුල් ඒකකය විසින් යොදවන සමස්ත ශ්‍රම කාලය දෙගුණ වුනත් එහි ප්‍රතිලාභ දෙගුණ වී නැහැ.

රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී, වැඩ කරන පැය ගණනත් වැඩි නොකර, ශ්‍රම බලය වැඩි කර ගන්න පුළුවන්. ඒ මා පෙර විස්තර කළ තෙවැනි ක්‍රමයට මානව ප්‍රාග්ධනය වැඩි කර ගැනීමෙන්. එහෙමත් නැත්නම් ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමෙන්. මෙහිදී සිදු වන දෙය කලින් අවස්ථා වලදී සිදුවන දෙයම නෙමෙයි. ශ්‍රම බලය දහ ගුණයකින් වැඩි වීම නිසා Y හතර ගුණයකින් වැඩි වෙනවා. එහෙත් සමස්තයක් ලෙස ශ්‍රම-කාලය වැඩි වී නැති නිසා එක් ශ්‍රමිකයෙකුගේ ජිවන තත්ත්වයද හතර ගුණයකින් වැඩි වී තිබෙනවා. අවස්ථා තුනේදීම රටේ ආර්ථිකය එක තරමටම වර්ධනය වී තිබුණත් රටේ මිනිසුන්ගේ ජිවන තත්ත්වය වර්ධනය වී (හෝ  අවවර්ධනය වී) තිබෙන්නේ එකම ආකාරයකින් නෙමෙයි. 

ඉහත පැහැදිලි කිරීම් වලින් පෙනෙන්නේ ශ්‍රම බලය වැඩි කරගත යුතු හොඳම ආකාරය මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම බවයි. මේ ප්‍රකාශය ලංකාව මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා බරක් දමා තිබෙන බවට මා කලින් ලිපියක පෙන්වා දී තිබෙන කරුණ සමඟ ගලපන්නේ කොහොමද? ඉතා පැහැදිලිවම මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම සාධනීය දෙයක්. නමුත් ප්‍රශ්නය වන්නේ එහි පිරිවැයක්ද තිබීමයි. මානව ප්‍රාග්ධනය ඉහළ නැංවිය යුතු වුවත් එය කළ යුත්තේ එහි ආන්තික ප්‍රතිලාභ පිරිවැය නොඉක්මවන මට්ටමක් දක්වා පමණයි. කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියා කියනවනේ!

තුබූ තැනක සොර සතුරන් ගත   නොහෙනා

එසැඩ මනා වත් වතුරෙන් වල         නොයනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත     නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු             රැකෙනා

කවුරුත් වගේ ඔය කවිය අහල ඇති. මේ කවියෙන් කියන්න හදන්නේ කෙනෙකුට කළ හැකි සුරක්ෂිතම ආයෝජනය මානව ප්‍රාග්ධනය බවයි. පෞද්ගලික ප්‍රාග්ධනයේ සුරක්ෂිතතාව පිළිබඳව කිසිදු සහතිකයක් නැති සමාජයක මානව ප්‍රාග්ධනය වඩා හොඳ ආයෝජනයක් වුවත් එය වුවත් සොරකම් කළ නොහැකි, ස්වභාවික විපත් වලින් මුළුමනින්ම ආරක්‍ෂිත, රජයට පැහැර ගත නොහැකි දෙයක් නෙමෙයි. භෞතික ප්‍රාග්ධනයට වගේම මානව ප්‍රාග්ධනයටත් ඔය අවදානම් පොදුයි. ඒ වගේම භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් කාලයත් සමඟ ක්ෂය වී යනවා. භෞතික ප්‍රාග්ධන සංචිත වගේම මානව ප්‍රාග්ධන සංචිතත් නඩත්තු කළ හැක්කේ ක්ෂය වන ප්‍රමාණය දිගින් දිගටම ප්‍රතිපූරණය කිරීමෙන් පමණයි. මේ සඳහා වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරන්නම වෙනවා.

ඉහත පෙන්වූ පරිදි, ජනගහණය වැඩි වෙන්නේ නැත්නම්, වැඩ කරන කාලය වැඩි වෙන්නේත් නැත්නම්, ශ්‍රම බල සංචිතය පවත්වා ගැනීම සඳහා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන්න වෙනවා. නිෂ්පාදිතය වැඩි කර ගන්නනම් එසේ ක්ෂය වීම ප්‍රතිපූරණය කරනවාට වඩා අමතර ආයෝජනයක් කළ යුතුයි. එසේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ක්ෂය වීම ඉක්මවන ආයෝජන කිරීමෙන් අනාගත නිෂ්පාදිතය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ සඳහා K හා A අඩු නොවන බවටද වග බලා ගත යුතුයි.

නමුත් කාලයත් සමඟ භෞතික ප්‍රාග්ධන සංචිතද ක්ෂය වන බව අප දන්නවා. ඒ නිසා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන අතරම ක්ෂය වන භෞතික ප්‍රාග්ධනයද ප්‍රතිපූරණය කළ යුතු වෙනවා. ඔය දෙකම කරන්න වෙන්නේ වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර ගැනීමෙන්. නිෂ්පාදිතය බෙදී යන්නේ සමාජවාදී ක්‍රමයටද නැත්නම් ධනවාදී ක්‍රමයටද කියන එක මත මෙය වෙනස් වෙන්නේ නැහැ.

දැන් අපට මේ කතා කළ දේවල් ඇසුරෙන් L හෝ K වැඩි කර Y වැඩි කර ගැනීමේ සීමාවන් හඳුනා ගන්න පුළුවන්. අප මෙතෙක් කතා නොකළ ස්වභාවික සම්පත් වලින් පටන් ගනිමු. ලෝකයේ රටවල ආර්ථික වර්ධනය ස්වභාවික සම්පත් හොයා ගැනීම මත තීරණය වුනු කාලයක් තිබුණා. ස්වභාවික සම්පත් අයිතිය වෙනුවෙන් යුද්ධ ඇති වුනේ ඒ කාලයේදී. දැනටත් මෙය සිදු නොවනවා නෙමෙයි. එහෙත්, ස්වභාවික සම්පත් කියන්නේ තව දුරටත් ආර්ථික වර්ධනය සඳහා වැදගත්ම සාධකයක් නෙමෙයි.

ස්වභාවික සම්පත් අලුතින් සොයාගත් විට K වැඩි වෙනවා. මේ ක්‍රමයට ආර්ථික වර්ධනය පවත්වා ගන්නනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ස්වභාවික සම්පත් හොයා ගත යුතුයි. නමුත් එය කළ හැකි දෙයක් නෙමෙයි. අලුතෙන් හොයා ගත හැකි ස්වභාවික සම්පත් වල සීමාවක් තිබෙනවා. දැන් ලෝකය ඒ සීමාවට ඇවිත්. අඟහරු ජනාවාස කිරීම වගේ ලොකු දෙයක් කළොත් මිසක් ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් හොයා ගැනීම මගින් කිසිම රටකට ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගන්න බැහැ.

ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් සොයා ගැනීමේ හැකියාවක් නැති නිසා ප්‍රාග්ධනය වැඩි කර ගන්නනම් අතිරික්තයෙන් කොටසක් ඉතිරි කළ යුතුයි. වැඩි ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත ඉහළ යනවා. අඩු ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත පහළ යනවා. හැබැයි මේ දෙකම සිදුවන සීමාවක් තිබෙනවා. ඉතිරි කිරීම් වැඩි වී ප්‍රාග්ධන සංචිත ඉහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව ඉහළ යනවා. ඉතිරි කිරීම් අඩු වී ප්‍රාග්ධන සංචිත පහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව පහළ යනවා. මොකද හැම විටම ක්ෂය වෙන්නේ තිබෙන ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක්. 

මේ හේතුව නිසා රටක ඉතිරි කිරීම් අනුපාතය කොපමණ වුවත්, ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට පැමිණ ස්ථාවර වෙනවා. ඒ මට්ටමේදී ජාතික ඉතිරි කිරීම් ක්ෂය වන ප්‍රාග්ධනයට හරියටම සමානයි. ඉතිරි කිරීම් අනුපාතය හෝ ප්‍රාග්ධනය ක්ෂය වන අනුපාතය වෙනස් වුනේ නැත්නම් රටක ප්‍රාග්ධන සංචිතය ගතික සමතුලිතතාවයකට එනවා. රටේ නිෂ්පාදිතය හා ප්‍රාග්ධන සංචිත අතර අනුපාතය නියත මට්ටමකට එනවා. ඒ නිසා, K වැඩි කරලා Y වැඩි කරන්න බැහැ. එහෙත්, මෙවැනි සමතුලිතතාවයකට එන තුරු යම් කාලයක් ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකියි. 

අනෙක් පැත්තෙන් L වැඩි කර ගැනීම සඳහා වැඩ කරන පැය ගණන වැඩි කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. මානව සම්පත් වැඩි කර ගැනීම සඳහා ඉතිරි කිරීම් යොදා ගත යුතුයි. එයද අසීමිත ලෙස කළ නොහැකියි. ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමේදී වගේම ගතික සමතුලිතතාවයකට එනවා. ජනගහනය වැඩි වන විට L වැඩි වුවත් එම ක්‍රමයේදී රටේ ආර්ථිකය ප්‍රසාරණය වන නමුත් රටේ පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය නරක අතට මිස හොඳ අතට හැරෙන්නේ නැහැ. ඒ නිසා, මෙයත් අතීතයට අයත් දෙයක්. අවසාන වශයෙන් K හෝ L වැඩි කිරීමෙන් Y වැඩි කළ හැකි වුවත් එය කළ හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. මේ මගින් රටකට ලොකු ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගන්න අමාරුයි. 

වර්තමාන සන්දර්භයේ කිසියම් රටකට ඉහළ ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගත හැක්කේ A වැඩි කර ගැනීමෙන්, ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය, එහෙමත් නැත්නම් ඵලදායිතාවය වැඩි කර ගැනීමෙන්, පමණයි. 

ඵලදායිතාවය කියා කියන්නේ නිෂ්පාදනය සඳහා ස්වභාවික සම්පත් හෝ ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් යොදා ගැනීම නෙමෙයි. වැඩියෙන් මහන්සි වී වැඩියෙන් වැඩ කිරීමත් නෙමෙයි. ඒ දෙක ගැනම අපි දැනටමත් කතා කරලා ඉවරයි. ඵලදායිතාවය කියා කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් වැය කර, අඩු ශ්‍රමයක් යොදවා, වැඩි නිෂ්පාදනයක් කරන එකටයි. ව්‍යවසායකත්වය කියන්නේ ඒකටයි. ව්‍යවසායකයා කියා කියන්නේ ප්‍රාග්ධන හිමියාට නෙමෙයි. ප්‍රාග්ධන හිමියා විසින් ලබා ගන්නේ තමන් යෙදවූ ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ. ව්‍යවසායකයෙකු විසින් කරන්නේ තමන්ගේ නිර්මාණශිලිත්වය වෙනුවෙන් ප්‍රතිලාභ ලබන එකයි. ඇය එම ලාබ ලබන්නේ ප්‍රාග්ධන හිමියාට වගේම ශ්‍රමිකයාටත් ඔවුන්ගේ කොටස් වෙන් කර දීමෙන් පසුවයි. 

ධනවාදී පරමාදර්ශය තුළ ප්‍රාග්ධන හිමියෙකුට "ඕනෑ තරම්" ලාබ ලබන්න ඉඩ දෙන්නේ නැහැ. ක්‍රමය විසින්ම ලැබිය හැකි ලාබ සීමා  කරනවා. එහෙත්, ධනවාදය විසින් ව්‍යාවසායකයෙකුගේ ලාබ එලෙස සීමා කරන්නේ නැහැ. නිර්මාණශිලිත්වයට ඕනෑ තරම් දුර යා හැකියි. 

අපි මේ වගේ කොබ් ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයකින් පටන් ගනිමු.

Y = F(K,L) = 10K0.4L0.6 

මෙයින් අදහස් වන්නේ පවතින තාක්ෂනය යොදා ගනිමින් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක දහයක් නිපදවිය හැකි බවයි. එම ඒකක දහය බෙදා ගන්නේ කොහොමද කියන එක ද්විතියික කාරණයක්. ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් හිමි වෙනවා. මෙවැනි තත්ත්වයක් තිබියදී කවුරු හෝ කෙනෙක් වඩා කාර්යක්ෂම තාක්ෂණයක් හොයා ගන්නවා. එය මෙවැන්නක්.

Y = F(K,L) = 20K0.4L0.6 

දැන් මේ පුද්ගලයාට පමණක් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක විස්සක් නිපදවිය හැකියි. එයින් ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් ලබා දීමෙන් පසුව මේ ව්‍යවසායකයාට ඉතිරි ඒකක දහය තියා ගන්න පුළුවන්. ශ්‍රමිකයෙකුට හෝ ප්‍රාග්ධන හිමියෙකුට ඊට වඩා දෙයක් ඉල්ලා හෙට්ටු කරන්න බැහැ. මොකද වෙනත් කිසිවෙකුගෙන් ඔවුන්ට ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ව්‍යවසායකයෙකුට මෙවැනි ලොකු ලාබයක් ලැබිය හැක්කේ අලුත් තාක්ෂනය හෝ නිෂ්පාදන ක්‍රමවේදය හොයා ගෙන කෙටිකලක් යන තුරු පමණයි. ඇයගේ ලාබ දකින අනෙක් සියලුම නිෂ්පාදකයන් විසින්ද ඉතා ඉක්මණින් තමන්ගේ වාහන වල චතුරශ්‍රාකාර රෝද රවුම් කර ගන්නවා. එවිට ශ්‍රමිකයන්ට වගේම ප්‍රාග්ධන හිමියන්ටත් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප අවස්ථා හමු වෙනවා. මෙය මුලින්ම නිරීක්ෂණය කරන ශ්‍රමිකයන් හා ප්‍රාග්ධන හිමියන් විසින් එක්කෝ තමන්ගේ නිෂ්පාදන සාධක වෙනත් තැනකට විතැන් කරනවා. එසේ නැත්නම් ඉන්න තැනම සිට හෙට්ටු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය 6 සිට 12 දක්වාත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 සිට 8 දක්වාත් වැඩි වෙනවා. 

ව්‍යවසායකයෙකුට ලාබ ලැබිය හැක්කේ මෙය සිදුවීමට ගත වන කාලය තුළ පමණයි. අලුත් දැනුම සමාජයීය දැනුමක් වූ විට නැවතත් නිෂ්පාදිතය බෙදී යන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පමණයි. මෙහිදී රටේ සමස්ත නිෂ්පාදිතය වැඩි කරන්නේ ව්‍යවසායකයා විසින් මිස ශ්‍රමිකයා හෝ ප්‍රාග්ධන හිමියා විසින් නෙමෙයි. ඔවුන්ගේ දායකත්වයක් නැතුවා නෙමෙයි. එහෙත් එය සීමිතයි. මේ එක් එක් කොටස ගණන් හිලවු ඇතිව පෙන්වා දිය හැකි දේවල් මිස වියුක්ත සංකල්ප පමණක් නෙමෙයි.

තාක්ෂනය නිරන්තරයෙන් දියුණු වෙන්නේ ධනවාදී ක්‍රමයකදී පමණක් නෙමෙයි. රජයේ මෙහෙයවීම යටතේ සෝවියට් දේශය විසින් බොහෝ දේ සොයා ගත්තා. නිර්මාණය කළා. සාමාන්‍යයෙන් මාක්ස්වාදී අදහස වන්නේ යම් පුද්ගලයෙකු විසින් අලුත් යමක් නිර්මාණය නොකළොත් වෙනත් කවුරු හෝ කෙනෙකු විසින් ඒ දෙය කරනු ඇති බවයි. ඒ පදනම මත නිර්මාපකයාට නිර්මාණයේ ප්‍රතිලාභ හිමිවන්නේ නැහැ. ධනවාදය තුළ, අවශ්‍ය පමණ ලාබ ලබා ගැනීමේ අවස්ථාවක් දී, ව්‍යවසායකත්වය දිරිමත් කෙරෙනවා. එහෙත් ධනවාදය තුළ ව්‍යවසායකයෙකුට මේ ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නේ කෙටි කාලයකට පමණයි. එයින් පසුව එය සමාජයීය ප්‍රතිලාභයක් බවට පත් වෙනවා. ප්‍රායෝගික නිදර්ශන වලින් පෙනෙන්නේ මේ ක්‍රමය වඩා සාර්ථක බවයි. 

පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීමේ අරමුණින් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත හදද්දී රාජ්‍ය අංශය මුල් වී සයිනෝෆාර්ම් එන්නත හැදුවා. දෙකම වැඩ කරනවා. එහෙත් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත වඩා ඉක්මණින් ආවා. ඒ වගේම එය වඩා සාර්ථක එන්නතක්. 

මෙහි කතා කළ පසුබිම් කරුණු මත පදනම්ව අපට චීන ආර්ථිකය ලෝකයේ ලොකුම ආර්ථිකය බවට පත් වීම ගැන කතා කළ හැකියි. එය වෙනත් ලිපියකට ඉතිරි කරමු. අදට ඇති.

Friday, May 14, 2021

අඹ කැඩීම හා අඹ බෙදීම


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න. එවිට තවත් අමතර කරුණු ඉදිරිපත් කළ හැකියි.

මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිතුරු තිබෙනවා. ඒ පිළිතුරු වලටද පිළිතුරු තිබෙනවා. එහෙත් කවුරු හෝ විසින් පළමුව නිසි පිළිතුරක් ලබා දෙන තුරු, අප විසින්ම මේ ප්‍රශ්න ඉදිරිපත් කර අප විසින්ම පිළිතුරුද සපයන්න අප අපේ කාලය නාස්ති කරන්නේ නැහැ. 

ආදායම් විෂමතා තිබීම මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිගත හැකි පිළිතුරක් නෙමෙයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ දකින අයෙකු එයින් පියවරක් පසුපසට ගොස් ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් වන්නේ ඇයි කියන එක පැහැදිලි කළ යුතුයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ අප විසින්ද හඳුනා ගන්නා නමුත් ඒ ආදායම් විෂමතා තිබීම යන කරුණ මතම පදනම්ව නොව එහි ද්විතීයික ප්‍රතිඵල මත පදනම්වයි. ආදායම් විෂමතා තිබීම නිසා ඇති වන හෝ ඇති විය හැකි ප්‍රශ්න වලට විසඳුම් ලැබේනම් ආදායම් විෂමතා තිබීම තිබීම ප්‍රශ්නයක් නොවනවාක් මෙන්ම බොහෝ හේතු මත ආදායම් විෂමතා තිබීම සාධනීය දෙයක් ලෙස හඳුන්වන්නද පුළුවන්.

වසර හයකට ආසන්න කාලයක් අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටියා. එසේ සමාජවාදය විවේචනය කිරීමේ පදනම මේ වන විට පැහැදිලි කර අවසන්ව තිබෙනවා කියා මම හිතනවා. අපේ සමාජවාදී විරෝධය ජනතා විමුක්ති පෙරමුණ විසින් අසූඅට අසූනවය කාලයේ සිදු කළ බස් ගිණි තැබීම හා මිනී මැරීම ආදිය වැනි දේවල් මත පදනම් වූ සරල විරෝධයක් නොවන බව කාට වුවත් පැහැදිලි විය යුතුයි.

අප සමාජවාදයට එරෙහිව ලියද්දී ඇතැම් අය මෙහි පැමිණ ධනවාදයට හා ඇමරිකාවට එරෙහිව වට්ටෝරු ප්‍රතිචාර දමනවා. වැරදි කරුණු ඉදිරිපත් වන විට අපට වෙලාව තිබෙන අවස්ථා වලදී මේ වට්ටෝරු ප්‍රතිචාර වලටද ප්‍රතිචාර සපයා ඇතත්, අපට ධනවාදය හෝ ඇමරිකාව සමඟ අනුරාගී බැඳීමක් නැති බවද කිව යුතුයි. අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ කරුණු හා තර්ක මත පදනම්වයි. ඇමරිකාව ගැන බොහෝ විට කතා කරන්නේ සංසන්දනයක් කිරීමක් කළ යුතු වූ විටයි. ධනවාදය හා ඇමරිකාව කියන්නේ කරුණු දෙකක්. ඇමරිකාවේ සිදුවන හැම දෙයක්ම සිදු වන්නේ ධනවාදයේ මූලධර්ම අනුව නෙමෙයි.

ධනවාදය කියා කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. එය සමාජවාදයට සාපේක්ෂව කාර්යක්ෂමයි. එය ඉතාම පැහැදිලියි. එහෙත් කාර්යක්ෂමතාවය හැම විටම සමාජයක එකම ඉලක්කය විය යුතු නැහැ. වෙනත් සමාජයීය අරමුණු වෙනුවෙන් කාර්යක්ෂමතාවය කැප කළ යුතු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම ධනවාදයේ සීමාවන් තිබෙනවා. මේ සීමාවන් ගැන කතා කරන්න කලින් සමාජවාදය පැත්තකට කර තියන්න වෙනවා. 

ධනවාදය පවතින තත්ත්වය එලෙසම නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ධනවාදය තුළ සමාජ ප්‍රගමනය සිදු වන්නේ නිරන්තරයෙන්ම පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කර ගැනීම හරහායි. එහි ආරම්භක පියවර ලෙස පවතින තත්ත්වයේ අඩුපාඩු හඳුනාගෙන විවේචනය කළ යුතුයි. අප විසින්ද මෙය කරනවා. එහෙත් ඒ සමාජවාදී ප්‍රවේශයකින් නෙමෙයි. 

යහපත් වෙනසක් සඳහා පවතින තත්ත්වය එකවර උඩුයටිකුරු කළ යුතුයැයි අප සිතන්නේ නැහැ. ආර්ථික කළමනාකාරණයේ සිට දේශපාලනය වෙතට පැමිණියොත්, දේශපාලනය ස්ථානගත විය යුත්තේ දැන් අප ජිවත් වන මේ මොහොතේ මිස අතීත ශ්‍රී විභූතියක හෝ මනෝරාජික අනාගතයක නෙමෙයි. ධනවාදය යනු අතීතයෙන් පාඩම් ඉගෙන, අනාගත දැක්මක් ඇතිව, මේ මොහොත කළමනාකරණය කර ගැනීමයි. මේ මොහොත වෙනස් කර ගැනීමයි.

සම්පත් බෙදීම පිළිබඳ ධනවාදී පරමාදර්ශය වන්නේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රම සම්පාදකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාටත් ලැබිය යුතු බවයි. මාක්ස්වාදය විසින් ඓතිහාසික තර්කනයක් මත පදනම්ව ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාට හිමි වීම ප්‍රතික්ෂේප කරනවා. එහෙත්, මාක්ස්වාදී පරමාදර්ශය තුළද වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. 

මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් සේ හඳුනා ගන්නවා. ඒ අනුව, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වෙන් නොකෙරුණත්, ප්‍රාග්ධනය නිර්මාණය කිරීම සඳහා වැය කෙරුණු ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීම හරහා වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. මේ හේතුව නිසා පරිපූර්ණ ධනවාදයකත්, මාක්ස්වාදය මත පදනම් වූ පරිපූර්ණ සමාජවාදයකත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ විශාල ලෙස වෙනස් වෙන්න හේතුවක් නැහැ. මෙහිදී මා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ කියා කියන්නේ සියලුම ශ්‍රමිකයින් සමස්තයක් සේ සලකා මිස ශ්‍රමිකයන් තනි තනිව ගෙන නෙමෙයි. ශ්‍රමිකයන් තනි තනිව ගත්තොත්නම් අනිවාර්යයෙන්ම වෙනසක් තිබෙනවා. මේ කරුණට අපි පසුව එමු.

පරිපූර්ණ ධනවාදී හෝ පරිපූර්ණ සමාජවාදී සමාජ ලෝකයේ කොහේවත් නැහැ. කවදාවත් තිබිලත් නැහැ. එහෙත් වඩා ධනවාදී හා වඩා සමාජවාදී රටවල් අපට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මේ රටවල් වල නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂා කළ විට ධනවාදී රටවල ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටසේ අඩුවක් නැති බව හා බොහෝ විට වැඩි බව අපට පැහැදිලිව පෙනෙනවා. මෙය ඉතා පැහැදිලිව පෙනෙන්න තියද්දී ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරාකෑම ගැන කතා කරන එක තේරුමක් නැති, පදනමක් නැති දෙයක්.

අතිරික්තය බෙදී යාමේ විෂමතා ගැන කතා කරන්න අපට ප්‍රාග්ධනය ගාවගන්න අවශ්‍ය නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් නොකෙරෙන ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ වෙන් කෙරෙන මනඃකල්පිත ධනවාදයක් ගැන අපි හිතමු. ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා කියන එක ඇත්තටම වෙන්නේ අපි ඉගෙන ගන්න, උගන්වන ධනවාදී ආකෘතිය ඇතුළේ. මේ ආකෘතියත් මාක්ස්වාදී ආකෘතිය වගේම වියුක්ත ආකෘතියක්. සැබෑ ලෝකය තියෙන හැටියටම තියෙද්දී අප‍ට වියුක්ත ලෙස මේ ධනවාදී ආකෘතිය පමණක් වෙනස් කරන්න පුළුවන්. මේ විකල්ප ආකෘතියේ ප්‍රාග්ධන හිමියෝ නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභත් නැහැ. එහෙත් ප්‍රාග්ධනය සම්පාදනය කිරීම සඳහා ශ්‍රමය යෙදවූ අයට ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ආකෘතිය මේ විදිහට වෙනස් කළත් සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් වෙන දේ ඒ විදිහටම වෙනවා. වෙනස් වන්නේ එය අප තේරුම් ගන්න විදිහ පමණයි. මාක්ස්වාදී ආකෘතියේ තිබෙන සූරාකෑම දැන් තියෙන්නේ කොහේද?

ධනවාදී බෙදීම හා මාක්ස්වාදී බෙදීම එකිනෙකින් වෙනස් වන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස මත කියන එක මතුපිටින් පෙනෙන්න තියෙන දෙයක් පමණයි. එසේ පෙනෙන්නේ අපේ විග්‍රහයන් තුළ. ආකෘති තුළ. ආකෘති වෙනස් කළොත්, අඩු වශයෙන් පරමාදර්ශී තත්ත්වයන් තුළ, ලොකු වෙනසක් නැහැ. එහෙමනම්, මේ දෙකේ වෙනස කුමක්ද?

ප්‍රාග්ධනය පැත්තකටම කරලා මේ වෙනස පැහැදිලි කරන්න පුළුවන්. ප්‍රාග්ධනයේ කොටස අයින් කරලා ශ්‍රමයේ පංගුව නියතයක් සේ සැලකුවත්, ක්‍රම දෙකේදී එම පංගුව එක් එක් ශ්‍රමිකයන් අතර බෙදී යන්නේ එකම ආකාරයට නෙමෙයි. මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන (input) මත පදනම් වූ බෙදීමක්. ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රතිදාන (output) මත පදනම් වූ බෙදීමක්. 

මෙය තේරුම් ගැනීමට පහසු සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ගෙඩි පිරුණු විශාල අඹ ගසක් තිබෙනවා. අවශ්‍යනම් මෙය පොදු ප්‍රාග්ධනයක් කියා හිතමු. කුඩා දරුවන් කණ්ඩායමක් අඹ කඩා ගන්න අඹ ගහට පොලු ගහනවා. පොලු ගැහුවේ නැත්නම් අඹ කන්න ලැබෙන්නේ නැහැ. එහෙත් ගහන පොලු හැම එකක්ම අඹ වල්ලක වදින්නේ නැහැ. අඹ කන්නනම් පළමුව පොලු ගහන්න මහන්සි විය යුතුයි. එක දිගට වැඩි වෙලාවක් පොලු ගහන දරුවාට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. දෙවනුව පොලු ගැහීමේ කුසලතාවයක් තිබිය යුතුයි. එක සමාන මහන්සියක් වෙන දරුවන් දෙදෙනෙකු අතරින් ඉලක්කයට පොලු ගැසීමේ කුසලතාවය තිබෙන අයෙකුට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. මීට අමතරව ඇතැම් විට වාසනාවද බලපානවා. ලොකු අඹ වල්ලකට මුල් වරම කණා ෂොට් එකක් වදින්න පුලුවන්. ධනවාදයක් ඇතුළේ සාර්ථක වීමට ඔය කරුණු තුනම බලපානවා.

දැන් ධනවාදය විසින් යෝජනා කරන බෙදීම කුමක්ද? අඹ වල අයිතිය එම අඹ කඩා ගැනීම සඳහා පොල්ල ගැසූ දරුවාටයි. මේ පදනම මත සියලුම දරුවන් අතර අඹ සමසමව බෙදී යන්නේ නැහැ. එහෙත්, සියලුම දරුවන්ට අඹ කඩා ගන්න සමාන අවස්ථා තිබෙනවා. මහන්සි වී පොලු නොගැසීම නිසා හෝ ගහපු පොලු අඹ වලට නොවැදීම නිසා අඹ නොලැබුණු අයෙකුට අඹ කන්න ලැබෙන්නේ අඹ කඩාගත් අයෙකුගේ සහකම්පනය මතයි. ආදාන කොපමණ වුවත් ප්‍රතිදාන නැත්නම් එයින් පලක් නැහැ.

මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන මත පදනම් වූ බෙදීමක්. ඒ අනුව, අඹ කැඩීම වෙනුවෙන් වැය කළ ශ්‍රම කාලය අනුව අඹ බෙදී යා යුතුයි. සියලු දෙනාම අඹ කඩන්න පැය බැගින් මහන්සි වුනානම් අඹ සමසමව බෙදෙනවා. බෙදෙනවා කියා කිවුවත් මේ බෙදීම කරන කෙනෙක් සිටිය යුතුයි. ලැබෙන අඹ ඉදුණු අඹද අමු අඹද කියා තීරණය වන්නේ මේ බෙදන්නා මතයි. ඒ වගේම බෙදන්නා එක අඹයක්වත් නොකැඩූ අයෙක් වෙන්න පුළුවන්. එක් දරුවෙකු අඹ කඩන්න ආවේ පැය බාගයකට පසුවනම්, එතෙක් කිසිවකු විසින් අඹ කිසිවක් කඩාගෙන නොතිබුණේ හා අඹ වැටුනේ ඔහුගේ පළමු පොලු පාරෙන් වුවත්, ඔහුට ලැබෙන්නේ අනෙක් අයට ලැබෙන අඹ ප්‍රමාණයෙන් බාගයක් පමණයි.

මාක්ස්වාදී බෙදීම තුළ කවුරුවත් ඉලක්කයට පොලු ගහන්න මහන්සි වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම මිසක් ගහන පොලු අඹ වල වැදෙන එක නෙමෙයි. එහෙත්, ධනවාදය තුළ ඉලක්කය පුළුවන් තරම් අඹ කඩා ගැනීම මිසක් පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම නෙමෙයි. මේ වෙනස නිසා, ධනවාදී ක්‍රමයකදී වැඩියෙන් අඹ කැඩෙනවා. එහෙත් අඹ සමානව බෙදෙන්නේ නැහැ. සමාජවාදී ක්‍රමයකදී කැඩෙන අඹ ටික ආසන්න වශයෙන් සමානව බෙදෙනවා. 

ධනවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ කඩන දරුවා හොඳම අඹය කනවා. සමාජවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ බෙදන දරුවා හොඳම අඹය කනවා. අඹ වෙනුවට කෝවිඩ් එන්නත් වගේ ඕනෑම දෙයක් දමාගන්න පුළුවන්.

Monday, May 10, 2021

ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය!


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

කිසිවෙකු විසින් මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන තුරු මාක්ස්වාදය පිළිබඳ මගේ විවේචනය දිගින් දිගටම ඇදගෙන යන එකේ තේරුමක් නැතත්, තවදුරටත් පැහැදිලි කළ යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පසුව, අනෙක් "වාද" ගැනත් එකින් එක හෙමිහිට කතා කරමු. 

ආර්ථික තලයේදී මාක්ස්වාදය ධනවාදයෙන් වෙනස් වන ප්‍රධානම කරුණ මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. මාක්ස් ජිවත් වූ කාලයේ ඔහු නිරීක්ෂණය කළ දේවල් මත පදනම්ව ඔහු තමන්ගේ න්‍යාය හරහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ඉතාම ස්වභාවික දෙයක්. ඔහු ජිවත් වූ යුගයේ මා ජීවත් වූවානම් "ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?" කියා මා අසන එකක් නැහැ. මාක්ස්වාදයට විසඳුම් දිය හැකි, එහෙත් ධනවාදයට විසඳුම් දිය නොහැකි සේ පෙනුණු ප්‍රශ්න ඒ යුගයේදී පෙනෙන්නට තිබුණා. 

එතැන් සිට අද දක්වා කැපී පෙනෙන ලෙස කාලය තුළ වෙනස් වී තිබෙන්නේ නිෂ්පාදන තාක්ෂනය මිස ධනවාදය නෙමෙයි. එයින් කියන්නේ ධනවාදයේ ස්වරූපය වෙනස් වී නැති බව නෙමෙයි. ධනවාදය කියා කියන්නේම නිෂ්පාදන තාක්ෂනය සමග නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. නිෂ්පාදන තාක්ෂනයේ ප්‍රගමනය කෙරෙහි ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය බලපෑමක් කරනවා. ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය කෙරෙහි පවතින ධනවාදයේ ස්වරූපය බලපෑමක් කරනවා. ධනවාදයේ ස්වරූපය නැවත නිෂ්පාදන තාක්ෂනය මත තීරණය වෙනවා. මෙය චක්‍රීය සම්බන්ධයක්. 

මෙයින් වෙනස්ව මාක්ස් ඇතුළු බොහෝ සමාජවාදීන් විසින් දකින්නේ රේඛීය සමාජ ප්‍රගමනයක්. එහි අවසානයේ මනෝරාජික කොමියුනිස්ට් සමාජයක් තිබෙනවා. මේ අදහස මට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් මෙය අනිවාර්යතාවක් සේ දකින්න හේතු කිසිවක් මට පෙනෙන්නේ නැහැ. වෙනත් විකල්ප අනාගතයන් ගණනාවක්ද මට පෙනෙනවා. උදාහරණයක් විදිහට රොබෝලා විසින් මිනිසුන්ව මුළුමනින්ම විනාශ කර දමන හෝ සුරතල් සතුන් සේ නඩත්තු කරන අනාගතයක් හැදෙන්න බැරිකමක් නැහැ. අනාගතය නිශ්චිත ලෙස තීරණය වී ඇතැයි මම සිතන්නේ නැහැ. එය තීරණය වනු ඇත්තේ අද අප කරන දේවල් මතයි. ඇතැම් විට ගොඩක් පොඩි, සරල දේවල් නිසා වෙන්න පුළුවන්.

ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධන හිමියන්ට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හිමිවියයුතු බවයි. මේ හේතුව මත ප්‍රාග්ධන හිමියන් අනිවාර්යයෙන්ම එන්න එන්නම පෝසත් වෙනවාද? පැහැදිලිවම නැහැ.

ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රාග්ධන හිමියා විසින් පරිභෝජනය කරන කොටස අපි පැත්තකින්ම තියමු. ඒ කියන්නේ එම ප්‍රතිලාභ වලින් කිසිවක්ම පරිභෝජනය නොකරනවා කියා සිතමු. එසේ වුවද, ප්‍රාග්ධන හිමියකු විසින් උපයන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හේතුවෙන් ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වන්නේ නැහැ. එයට හේතුව නිෂ්පාදනයේදී ප්‍රාග්ධනය වැය වී අවසන් නොවන නමුත් යම් තරමකින් ක්ෂය වීමයි. කාලයක් මිරිස් අඹරද්දී මිරිස් ගලක් වුවත් ගෙවෙනවා. කාලයක් වී කොටද්දී ගල් වංගෙඩියක් වුනත් හෑරෙනවා. පරිගණක, ගොඩනැගිලි, මහා මාර්ග, රථ වාහන, පාලම්, යන්ත්‍ර සූත්‍ර යම් කාලයක් යද්දී තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි තරමට ක්ෂය වී යනවා. දිගින් දිගටම වගා කරද්දී ඉඩම් නිසරු වෙනවා. 

මෙසේ ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රතිපූරණය නොවුනොත් වෙන්නේ ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම වෙනුවට ක්ෂය වීමයි. මේ කාරණයේදී ධනවාදය ප්‍රාග්ධන හිමියාගේ පැත්ත ගන්නේ නැහැ. ක්ෂය වී යන තමන්ගේ ප්‍රාග්ධන සංචිත නඩත්තු කළ හැකි හෝ වර්ධනය කරගත හැකි තරම් ප්‍රතිලාභ ලැබෙන තැන් සොයමින් ඒවා ආයෝජනය කිරීම ප්‍රාග්ධන හිමියෙකු විසින් නිරන්තරයෙන් කළ යුතු වැඩක්. එහිදී ප්‍රාග්ධන හිමියෙකුට තරඟ කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අනෙකුත් ප්‍රාග්ධන හිමියන් සමඟයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර තරඟයක් ඇති වන්නේත්, හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේත්, වෙළඳපොළ තරඟය දුර්වල වී ඒකාධිකාර හැදුනු විටයි. 

මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ක්ෂය වීම කියන කාරණයේදී ඇත්තටම කරන්නේ ප්‍රාග්ධනයේ පැත්ත ගන්න එකයි. මාක්ස්වාදී බෙදීමකදී අතිරික්තය ගණන් බලන්නේම ප්‍රාග්ධනය ක්ෂය වීම ප්‍රතිපූරණය කිරීමෙන් පසුවයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම නඩත්තු කිරීම වැනි අවස්ථා වලදී වෙන්නේ ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනයේ පැත්ත ගැනීමක්. ශ්‍රමයේ කොටස අඩු වෙලා ප්‍රාග්ධනයේ කොටස වැඩි වෙනවානම් ප්‍රාග්ධන හිමියා ඒකීය පුද්ගලයෙකු නොවී රජය වුනා කියලා ශ්‍රමිකයාට යහපතක් වෙන්නේ නැහැ.

ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ක්ෂය වන ප්‍රාග්ධනය පමණක්ද? ඇතැම් ප්‍රාග්ධන හිමියන්ට ධනවාදී ක්‍රමයකදී ක්ෂය වන ප්‍රාග්ධනය හෝ නොලැබෙන නමුත් සමස්තයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ට බොහෝ විට ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි යමක් ලැබෙනවා. ඒ වගේම ධනවාදී ක්‍රමයකදී සාමාන්‍යයෙන් කාලයත් සමඟ රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වීමක්ද සිදු වෙනවා. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී ශ්‍රමිකයන්ට සාපේක්ෂ අවාසියක් සිදු වෙනවද?

සමාජවාදී ක්‍රමයකදී වුවත් ප්‍රායෝගිකව අතිරික්තයෙන් ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්. ඕනෑම සමාජවාදී රටක් තමන්ගේ ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමටත්, අනාගතය ඉලක්ක කර ආයෝජනය කිරීමටත් පෙළඹෙනවා. මුලින්ම අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ඇමරිකාවටත් වඩා විශාල ආයෝජන කළේ සෝවියට් දේශයයි. දැන් චීනය ගත්තත් ඔවුන්ගේ ප්‍රාග්ධන ආයෝජන ගොඩක් වැඩියි. සෑම වසරකම චීනය ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කරන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්.

මෙයින් පැහැදිලි වනු ඇත්තේ ධනවාදය හා සමාජවාදය අතර මූලධාර්මික වෙනස්කම් කෙතෙක් වුවත් අවසාන වශයෙන් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය ප්‍රායෝගිකව බෙදී යන ආකාරය පිළිබඳ වෙනස්කම් ඉතා සියුම් බවයි. ඒ නිසා, ධනවාදය යටතේ ප්‍රාග්ධනයට වාසි සැලසෙන බව හා සමාජවාදය යටතේ ශ්‍රමයට වාසි සැලසෙන බව වැනි කරුණු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි තර්කානුකූල පදනමක් අපට නැහැ. එවැනි වෙනස්කම් ඇත්දැයි අපට පරීක්ෂා කර බැලිය හැක්කේ අනුභූතික කරුණු මත පදනම්වයි.

අපි නැවතත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වෙත යමු. 

Y = F(K,L) = AKαLß 

මෙහි α හා ß පරාමිතීන්ගෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදනයක් සඳහා ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ දායකත්වය. ධනවාදී ක්‍රමයකදී ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය බෙදී යා හැකි සේ සැලකෙන්නේ α හා ß අතර අනුපාතයටයි. එහෙත්, ඇමරිකාව හෝ ජර්මනිය වැනි, සෛද්ධාන්තික පූර්ණ ධනවාදයන් නොවන එහෙත් ධනවාදයට වඩා බර රටක් ගත්තොත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මේ අනුපාතයටම බෙදී නොයනවා විය හැකියි. විශේෂයෙන්ම ප්‍රාග්ධන හිමියන් සතුව යම් ඒකාධිකාරයක් තිබීම හා ඒ මත පදනම්ව ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වලට වඩා වැඩි යමක් ලබා ගැනීම අපට එකවර බැහැර කරන්න බැහැ. 

මේ α හා ß කර්මාන්තය අනුව වෙනස් වෙනවා. සංචාරක සේවා සැපයීම වැනි කර්මාන්තයකට ශ්‍රමයේ දායකත්වය වැඩියි. දුම්රිය ප්‍රවාහනය වැනි කර්මාන්තයකට ප්‍රාග්ධනයේ දායකත්වය වැඩියි. ස්වයංකරණය වැඩි වන තරමට ශ්‍රමයේ දායකත්වයද අඩු වෙනවා. කෙසේ වුවත්, කිසියම් රටක් හා අදාළව අපට මේ පරාමිතීන්ගේ සාමාන්‍ය අගයක් රටේ එම අගයයන් සේ සලකන්න පුළුවන්. ලෝකයේ රටවල් අතර නිෂ්පාදන තාක්ෂනයන්හි මේ කරුණ හා අදාළ වන විශාල වෙනස්කම් නොමැති නිසා පුළුල් ආර්ථිකයන් ඇති රටවල් අතර α හා ß අගයයන්හි විශාල වෙනස්කම් තිබිය නොහැකියි.   

ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි රටක් ඉතාම පහසුවෙන් පුළුල් ආර්ථිකයක් ඇති රටක් සේ හඳුනාගත හැකියි. එහෙත්, තෙල් මත රැඳුණු මැද පෙරදිග රටවල් හා සංචාරක කර්මාන්තය මත රැඳුනු ඇතැම් කුඩා දූපත් රාජ්‍ය එසේ සැලකිය නොහැකියි. එවැනි රටවල α හා ß අගයයන් ආර්ථිකයේ ප්‍රමුඛ කර්මාන්තයේ එම අගයයන්ට සමීප වෙනවා. රටක නිෂ්පාදන ශ්‍රිතයේ α හා ß අගයයන් අපට හරියටම නිශ්චිතව මැන ගැනීම අසීරු වුවත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ඇත්තටම බෙදී යන විදිහ අපිට හරියටම හොයා ගන්න පුළුවන්. ධනවාදී රටවල් සමාජවාදී රටවල් වලට වඩා කොපමණ ශ්‍රමය සූරාකනවද කියා පරික්ෂා කර බලන්න පුළුවන් හොඳම විදිහ මේ සංඛ්‍යාලේඛණ පරීක්ෂා කරන එකයි. මතක තියා ගන්න අපි මේ පරික්ෂා කරන්නේ සමාජවාදීන්ට ගොඩක් වැදගත් දෙයක් මිසක් ධනවාදීන්ට එතරම් වැදගත් දෙයක් නෙමෙයි.

ලෝකයේ එක් එක් රටවල සමස්ත නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ආකාරය පහත වගුවේ තිබෙනවා. අවසන් තීරුවේ තිබෙන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය.


බොහෝ බටහිර රටවල ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන පංගුව ජාතික ආදායමෙන් 60%කට ආසන්නයි. ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් වන කොටස 40%ක් පමණ.

ඇමරිකා එක්සත් ජනපදය - 59.4%

එක්සත් රාජධානිය - 59.1%

ප්‍රංශය - 62.2%

ජර්මනිය - 63.0%

ඕස්ට්‍රේලියාව - 58.2%

කැනඩාව - 65.3%

ඩෙන්මාර්කය - 62.5%

ෆින්ලන්තය - 59.2%

ස්වීඩනය - 54.9%

පෘතුගාලය - 58.8%

නවසීලන්තය - 55.7%


ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ප්‍රතිශතය අනුව බැලුවොත්, අපේ පාඨකයන් අතර සිටින ඇතැම් අයගේ පරමාදර්ශී රාජ්‍ය ආකෘතිය ක්‍රියාත්මක වන ස්කැන්ඩිනේවියන් රටවල් හා අනෙකුත් බටහිර රටවල් අතර වෙනසක් නැහැ. ඒ වගේම, රුසියාව, චීනය වගේ රටවල් වලත් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස 60%කට ආසන්නයි.

රුසියාව - 56.0%

චීනය - 57.4%


එහෙත්, ලංකාවේ දැකිය හැක්කේ මේ අනුපාතය කණපිට හැරී ඇති තත්ත්වයක්. 

ශ්‍රමය - 38.8%

ප්‍රාග්ධනය - 62.2%

මෙහෙම වෙන්නේ ලංකාවේ නිෂ්පාදන ශ්‍රිතය වෙනස් නිසාද? ප්‍රාග්ධනය වෙනුවෙන් මේ තරම් ඉහළ ප්‍රතිලාභ ලැබෙන වෙනත් රටවල් නැද්ද? 

නැත්තේ නැහැ. එවැනි තවත් රටවල් තිබෙනවා. මේ මැද පෙරදිග රටවල ශ්‍රමයේ පංගුව.

ඉරානය - 32.3%

ඉරාකය - 29.6%

කුවේට් - 24.5%

ඕමාන් - 30.3%

කටාර් - 17.3%

සවුදි අරාබිය - 28.1%

මේ රටවල පුළුල් ආර්ථිකයක් නැහැ. ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම දුවන්නේ තෙල් මත. ශ්‍රමය සපයන බොහෝ දෙනෙක් විදේශිකයෝ. ඒ අයට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ප්‍රාග්ධනය සමඟ සටන් කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා අඩු දෙයක් වුවත් තමන්ගේ රටවල රැකියා කර ඔවුන්ට ඒ මුදලවත් උපයන්න බැහැ. ඒ නිසා දෙන දෙයක් බාර ගන්න වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රමය වෙනුවෙන් අඩු කොටසක් වෙන් කෙරුණත් මේ රටවල් වල ස්වදේශිකයන්ට එයින් වාසියක් මිස පාඩුවක් නැහැ.

එහෙත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැහැ. ලංකාව ප්‍රාග්ධන මූලික නිෂ්පාදනයක යෙදෙන රටක් නෙමෙයි. එහෙමනම් ලංකාවේ ශ්‍රමයේ පංගුව මෙතරම් අඩු ඇයි? මේ තමයි අවුරුදු 73ක ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලය!

මැද පෙරදිග රටවල් තෙල් මත දුවන, පුළුල් පදනමක් නැති ආර්ථිකයන් වනවාට අමතරව බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍ය ඒකාධිකාරයන්ද වෙනවා. මේ රටවල ප්‍රාග්ධන හිමිකාරිත්වය සම්බන්ධව තිබෙන්නේ සමාජවාදයෙන් යෝජනා කරන ආකාරයේ ඒකාධිකාරයක්. මැද පෙරදිග රටවල වගේම කවුරුවත් සමාජවාදී රටක් සේ හඳුන්වන්නේ නැති, එහෙත් සමාජවාදී ආකෘතියේම රටක් වන සිංගප්පූරුවේ ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදෙන්නේත් වෙනිසියුලාව වැනි සමාජවාදී රටක ජාතික ආදායම බෙදී යන විදිහටමයි. මේ රටවල් මේ කාරණයෙන් ලංකාවෙන් වෙනස් නැහැ. එම රටවල ශ්‍රමයේ පංගුව පහත දැක්වෙනවා.

වෙනිසියුලාව - 41.7%

සිංගප්පූරුව - 44.0%


විවිධ රටවල ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාත දිහා බැලුවත් ලංකාවේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි කියන කරුණ කැපී පෙනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය - 7.4%

එක්සත් රාජධානිය - 8.7%

ප්‍රංශය - 4.6%

ජර්මනිය - 5.0%

ඕස්ට්‍රේලියාව - 4.7%

කැනඩාව - 5.0%

ඩෙන්මාර්කය - 5.5%

ෆින්ලන්තය - 6.0%

ස්වීඩනය - 5.9%

පෘතුගාලය - 5.5%

නවසීලන්තය - 8.3%

රුසියාව - 2.3%

චීනය - 8.5%

වෙනිසියුලාව - 5.6%

සිංගප්පූරුව - 15.9%

ඉරානය - 8.0%

ඉරාකය - 12.5%

කුවේට් - 12.8%

ඕමාන් - 11.8%

කටාර් - 20.7%

සවුදි අරාබිය - 11.7%

ලංකාව - 22.7%

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ මානව ප්‍රාග්ධන සංචිත වැඩි කරන්න කාලයක් තිස්සේ කරපු දේවල් වලින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් වී ඇති බවයි. එහෙත් ඇත්තටම එයින් සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් පවතින්නේත් එහි අනෙක් පැත්තයි. මානව ප්‍රාග්ධනය සුලභ වී ශ්‍රමය අතර තරඟය වැඩි වන තරමට එහි වාසිය ලැබෙන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. ශ්‍රමය "සූරාකෑම" නැති වෙන්නේ ප්‍රාග්ධන හිමියන් වැඩි වී ඔවුන් අතර තරඟය තියුණු වන තරමටයි. 

කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් චීනය මේ පාඩම ඉගෙන ගෙන හොඳින් ක්‍රියාත්මක කරනවා. එහෙත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම වගේ දැන හෝ නොදැන කාලයක් තිස්සේ කරලා තියෙන්නේත්, තවමත් කරමින් ඉන්නේත්, ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනය වෙනුවෙන් සේවය කරන එකයි.

Wednesday, May 5, 2021

දියුණුවට විකල්ප මාර්ග

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

මාක්ස්වාදය හැරුණු විට ලෝකයේ මෙතෙක් බිහි වූ අනෙක් හැම ආගමක්ම වගේ පෞද්ගලික ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටිනවා. බෞද්ධ ගිහියන් සඳහා වන මූලිකම මාර්ගෝපදේශය වන පන්සිල් වලින් දෙවැන්න පෙනී සිටින්නේ පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙනුයි. යුදෙවු හා ක්‍රිස්තියානි දස පනත්ද, හින්දු මහාපාටකද, ජෛනයන්ගේ පස්යමද පෞද්ගලික දේපොළ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඉස්ලාම් ආගමික සම්ප්‍රදාය පෞද්ගලික දේපොළ අයිතිය රැක ගැනීම වෙනුවන් අත් කපා දැමීම වැනි දැඩි දඬුවම් පවා යෝජනා කරනවා. හැම දෙනෙකුම යමක් පිළිගත් පමණින් එහි නිරවද්‍යතාවය තහවුරු වන්නේ නැතත්, මාක්ස්වාදය හැර අනෙකුත් සෑම දැනුම් සම්ප්‍රදායක් තුළම මානව ප්‍රගතිය සඳහා පෞද්ගලික ප්‍රාග්ධනයේ වැදගත්කමට බර තබා තිබෙනවා.

කොබ්-ඩග්ලස් ආකෘතිය තුළ අපි නිෂ්පාදන සාධක ලෙස ශ්‍රමය හා ප්‍රාග්ධනය හඳුනා ගත්තා. වෙනත් ඕනෑම ආකෘතියක් වගේම කොබ්-ඩග්ලස් ආකෘතිය කියන්නේත් එයින් නිරුපණය කෙරෙන ක්‍රියාවලියේ සැබෑ හැසිරීම තේරුම් ගැනීම සඳහා යොදා ගන්නා සරල ආකෘතියක් මිස සැබෑ තත්ත්වය නෙමෙයි. සැබෑ ලෝකයේදී අපට නිෂ්පාදන සාධක ලෙස විවිධ දේ හමු වෙනවා. ආකෘතිය තුළදී මේ සියල්ල ශ්‍රමය හා ප්‍රාග්ධනය ලෙස ගොඩවල් දෙකකට ඌණනය කෙරෙනවා. මෙහි ශ්‍රමය ලෙස පුළුල්ව හැඳින්වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට මිනිසෙකුගේ සෘජු දායකත්වය. ප්‍රාග්ධනය යටතට වැටෙන්නේ මිනිසෙකුගේ භෞතික ශරීරයෙන් පරිබාහිර අනෙකුත් නිෂ්පාදන සාධක.

මේ ආකෘතිය තුළ නිෂ්පාදනය සඳහා මිනිසකුගේ සෘජු දායකත්වය වෙන් කර හඳුනා ගන්නේ මිනිසකු භෞතික ප්‍රපංචයක් පමණක් නොව "ආත්මයක්" සහිත හැඟීම් දැනීම් ඇති අයෙකු සේ සැලකෙන නිසයි. මිනිසෙකුට තමන්ගේ සතුට වෙනුවෙන් නිෂ්පාදිතය පරිභෝජනය කළ හැකියි. ප්‍රාග්ධනය යටතට වැටෙන නිෂ්පාදන සාධක වලට එවැන්නක් කළ නොහැකියි. ඒ කියන්නේ නිෂ්පාදනයේ අවසන් අරමුණ මිනිසුන්ට පරිභෝජනය කළ හැකි ප්‍රමාණය වැඩි කර ගැනීම. ශ්‍රමයේ ප්‍රතිලාභ වලින් වගේම ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ වලින්ද අවසන් වශයෙන් යහපත සැලසෙන්නේ මිනිසුන්ටයි. බෙදීම සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මෙහි වෙනසක් නැහැ. 

මිනිස්සු අනෙකුත් සතුන්ගෙන් වෙනස් වන ප්‍රධානම කරුණක් වන්නේ මිනිස්සුන්ට වර්තමානයෙන් ඔබ්බට තමන්ගේ අඛණ්ඩ පැවැත්මක් ගැන අවබෝධයක් තිබීමයි. ඒ නිසා, මිනිස්සු අනෙක් සතුන්ගෙන් වෙනස්ව තමන්ගේ වර්තමාන පරිභෝජනය ගැන පමණක් නොව අනාගත පරිභෝජනය ගැනද හිතනවා. මේ විදිහට මිනිස්සුන්ට "මම" නම් වූ අඛණ්ඩ පැවැත්මක් ගැන හිතන්න පුළුවන් වූ කාලයේ පටන් ඔවුන් තමන් සතු සම්පත් එසැණින් පරිභෝජනය කර අවසන් නොකර අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කරන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට මිනිසුන් සතුව වත්කම් එකතු වෙනවා. මේ වත්කම් හරහා ලැබෙන රක්ෂණය නිසා අතිරික්ත කාලයක් ඉතිරි වෙනවා. ඒ අතිරික්ත කාලය නිර්මාණශීලී කටයුතු සඳහා යොදවන්න හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නවෝත්පාදන බිහි වෙනවා. අද දක්වාම මානව සංහතියේ ප්‍රගමනය සිදු වන්නේ මේ නවෝත්පාදන හරහා.

මිනිසෙකුගේ වත්කම් සේ ගොඩ නැගෙන්නේ මිනිසෙකු සතු වත්මන් සම්පත් වලින් පරිභෝජනය කර අවසන් නොකරන කොටස. එම වත්කම් එලෙසම ආරක්ෂා කර ගත හැකිනම් අනාගත පරිභෝජනය සඳහා යොදා ගත හැකියි. එසේ නැත්නම් අවදානමක් ගෙන ආයෝජනය කළ හැකියි. කමතෙන් එන වී වලින් කොටසක් බිස්සට යද්දී කොටසක් බිත්තර වී වලට වෙන් වෙනවා. වේලක් දෙවේලක් බඩගින්නේ ඉන්න වුනත් බිත්තර වී ටික කොටලා බත් උයන්නේ නැහැ. එහෙම කරන කෙනෙක් තමන්ගේ මුළු අනාගතයම අවදානමේ හෙළා ගන්නවා.

නිෂ්පාදන සාධක කියා කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන නමුත් නිෂ්පාදනයෙන් පසුවද ඉතිරි වන දේවල්. කොකිස් හදද්දී හාල් පිටි, පොල් කිරි, පොල් තෙල් හා කහ වැය වී අවසන් වෙනවා. එහෙත්, කොකිස් අච්චුව, තාච්චිය, හිරමණය, වංගෙඩිය, මෝල්ගහ හා ලිප ඉතිරි වෙනවා. කොකිස් හැදූ ශ්‍රමිකයාත් ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා කියන එකෙන් අදහස් වන්නේ නිෂ්පාදන සාධක ක්ෂය නොවන බව නෙමෙයි. ඒවාද ක්ෂය වෙනවා. එහෙත් ක්ෂය වී අවසන් වන්නේ නැහැ.

ඇතැම් නිෂ්පාදන සාධක මිනිසුන් විසින් නිර්මාණය නොකළ "දෙවියන් විසින්" හෝ "ස්වභාව ධර්මය විසින්" නිර්මාණය කළ දේවල්. රන්, රිදී, ඛනිජ තෙල්, මුහුදේ මත්ස්‍ය සම්පත්, ඉඩම් ආදිය මිනිස්සු නිර්මාණය කළ දේවල් නෙමෙයි. එහෙත්, පරිගණක, වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ආදිය මිනිසුන් විසින් නිර්මාණය කළ දේවල්. අප ප්‍රාග්ධනය සේ සැලකූ ගොඩට මේ දෙවර්ගයම ඇතුළත්. ශ්‍රමය තුළත් මේ ආකාරයෙන්ම සංරචක දෙකක් තිබෙනවා. එකක් මූලික ශ්‍රමය. දෙවැන්න විශේෂිත ශ්‍රමය.

කාල් මාක්ස්ලාගේ කාලයේදී ප්‍රාග්ධනයේ වගේම ශ්‍රමයේත් ගොඩක්ම තිබුණේ මේ ස්වභාවික සංරචකයි. ගොඩක් වෙලාවට ප්‍රාග්ධනය ලෙස සැලකුනේ ඉඩම්. ශ්‍රමය ලෙස සැලකුනේ මාංශ පේශි ශක්තිය. ස්වභාවික දෙයක් පොදු අයිතියට යටත් විය යුතුයැයි සිතීමේ පදනමක් තිබෙනවා. ඒ වගේම මූලික ශ්‍රමයේ වටිනාකම සමාන සේ සැලකීමේත් පදනමක් තිබෙනවා. එහෙත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්. බොහෝ නිෂ්පාදන කර්මාන්ත වලට ස්වභාවික ගොඩට දැමිය හැකි ආකාරයේ ප්‍රාග්ධනය යොදා ගැනෙන්නේ නොසලකා හළ හැකි තරම් අඩුවෙන්. මූලික ශ්‍රමය වුවත් එහෙමයි. අද වෙද්දී ප්‍රාග්ධනය වගේම ශ්‍රමය කියා කියන්නෙත් වර්තමාන පරිභෝජනය කැප කරමින් සම්පත් ආයෝජනය කර අලුතෙන්ම නිර්මාණය කර ගත යුතු දේවල් මිසක් කාගේත් ප්‍රයෝජනයට දෙවියන් විසින් මවා තිබෙන දේවල් නෙමෙයි.

නවීන කර්මාන්ත බොහොමයක්ම හා අදාළව කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ L කියා කියන්නේ මානව ප්‍රාග්ධනය. ඒ වගේම බොහෝ විට K කියා කියන්නේ ස්වභාවික සම්පත් නෙමෙයි. මේ සංරචක දෙකම ආයෝජනය කර අලුතෙන්ම ගොඩ නගා ගත යුතු දේවල් මිසක් ස්වභාවිකව පවතින හොයාගත යුතු දේවල් නෙමෙයි. ඒ යුගය දැන් අවසන්. 

ඓතිහාසිකව බැලුවොත් L වලින් K ගොඩ නැගුනා මිස එහි අනෙක් පැත්ත වුනේ නැහැ. එහෙත් දැන් L ගොඩ නැගෙන්නේ K වලින්. මූලික අධ්‍යාපනයකින් හා මූලික සෞඛ්‍ය ආයෝජනයන්ගෙන් වැර නොගැන්වුණු මූලික ශ්‍රම ඒකකයක ආන්තික ඵලදායීතාවය මේ වෙද්දී ඉතාම අඩුයි.

මැද පෙරදිග රටවල් වැනි ව්‍යතිරේඛ අත ඇරියොත් වර්තමාන රාජ්‍යයයන් බොහොමයක් විසින්ම L වැඩි කර ගත යුත්තේත්, K වැඩි කරගත යුත්තේත් දැනට උපයන ආදායමෙන් කොටසක් ඉතිරි කර ආයෝජනය කිරීම මගිනුයි. L වැඩි වෙද්දී වගේම K වැඩි වෙද්දීත් ආර්ථිකයක් ප්‍රසාරණය වෙනවා. මේ නිෂ්පාදන සාධක අඩු වුනොත් ආර්ථිකයක් හැකිලෙනවා. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදී යාම මොන විදිහට සිදු වුනත් එසේ බෙදී යන සම්පත් පරිභෝජනය කර අවසන් කළොත් ආර්ථිකයක් හැකිලෙනවා මිස වර්ධනය වන්නේ නැහැ.

ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතිරික්තය බෙදා හැරීම රජයේ පාලනයට නතු වූ විට මේ නිෂ්පාදන සාධක අතර අතිරික්තය බෙදී යන ආකාරය වගේම එක් එක් නිෂ්පාදන සාධකයේ ප්‍රමාණය වෙනස් වන ආකාරය තීරණය වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ රුචි අරුචිකම් මත. එසේ නොවූ විට නිදහස් වෙළඳපොළ අදිසි හස්තය විසින් මේ අනුපාතය තීරණය කෙරෙනවා. නිදහස් වෙළඳපොළ විසින් තීරණය කෙරෙන අනුපාතය වඩාත්ම කාර්යක්ෂම අනුපාතයයි. ඒ නිසා, එවැනි ආර්ථිකයක් වඩා වේගයෙන් වර්ධනය වෙනවා.


ඉහත රූප සටහනේ (2,2) කොටුවේ සිටින රටකට (10,10) කොටුව දක්වා ඉක්මණින්ම යා හැක්කේ එහි විකර්ණය දිගේ ගමන් කළ විටයි. නිදහස් වෙළඳපොළක් ඇති විට රටක් දියුණු වන්නේ එම පථය දිගේ. පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි එම පථය දිගේ ගමන් කරද්දී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය 6 ලෙසත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 ලෙසත් නොවෙනස්ව පවතිනවා. නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන්නේත්, එම නිෂ්පාදන සාධක වෙනුවෙන් ආයෝජන සිදුවන්නේත්, පවතින නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය මත තීරණය වන මෙම අනුපාතයටයි.


රටක් මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ තිබෙන සීමිත සම්පත් සියල්ල මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජන සිදු කළ නොහැකි වීමයි. ඉහත රූපයේ නිල් පැහැ සිරස් තීරුවෙන් පෙනෙන්නේ භෞතික ප්‍රාග්ධනයේ වැදගත්කම අවතක්සේරු කර දිගින් දිගටම මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට සිදු වන දෙයයි. මෙහි වාසිය වැඩිපුරම යන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. තැඹිලි පාට තිරස් තීරුවෙන් පෙනෙන්නේ මානව ප්‍රාග්ධනයේ වැදගත්කම අවතක්සේරු කර දිගින් දිගටම භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කළ විට සිදු වන දෙයයි. එහි වාසිය ශ්‍රමිකයන්ට ලැබෙනවා. එහෙත් ශ්‍රමිකයන් සීමිත පිරිසකට පමණයි.

වෙළඳපොළට රාජ්‍ය මැදිහත්වීම අඩු බටහිර රටවල් වර්ධනය වන්නේ මේ වගුවේ විකර්ණය දිගේ. එම රටවල් දකුණට පියවරක් යද්දී පහළටත් පියවරක් යනවා. ආදායම් විෂමතා අඩු කිරීමට මුල් තැන දී කටයුතු කර තිබෙන ලංකාව හා පැරණි සෝවියට් දේශය වැනි සමාජවාදී රටවල් පහළට පියවර තබන තරමට දකුණට පියවර තබා නැහැ. ඒ වගේම ස්වභාවික සම්පත් මත යැපෙන මැද පෙරදිග රටවල් දකුණට ගොස් ඇති තරමට පහළට ගොස් නැහැ. මේ දෙකම සාපේක්ෂව අකාර්යක්ෂමයි. කාලයක් තිස්සේ පහළට ගමන් කළ චීනය පසුව සුක්කානම හරවා දකුණට ගමන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී චීනය වංගුවක් ගසා විකර්ණයට කිට්ටු වී සිටිනවා. 

මේ හැම රටක්ම දියුණු වෙනවා. නමුත් ඇතැම් රටවල් වඩා වේගයෙන් දියුණු වෙනවා. විකර්ණයට කිට්ටුවෙන් සිටි තරමට වඩා වේගයෙන් දියුණු විය හැකියි. ලංකාව දැන් ඉන්න තැන අනුව ලංකාවට තිබෙන්නේ මානව ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. තිබෙන මානව ප්‍රාග්ධන සංචිතයට සරිලන තරමේ ප්‍රාග්ධන සංචිතයක් නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා එක වර ලොකු ප්‍රාග්ධන ගලා ඒමක් සිදු වුනොත් ලංකාවට ලොකු පිම්මක් පනින්න පුළුවන්. ප්‍රාග්ධන හිමියෙක් ප්‍රාග්ධනය අරගෙන එන්නේ වැඩි ප්‍රතිලාභයක් ලබන්නයි. එය සූරාකෑමක් නෙමෙයි. දෙපැත්තටම වාසි සිදුවන (win-win) ගනුදෙනුවක්. ලංකාවට ප්‍රාග්ධනය පැමිණීම නිසා ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ඉහළ යනවනම් ප්‍රාග්ධනය ගේන්නේ චීනයද, ඉන්දියාවද, ඇමරිකාවද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. ප්‍රාග්ධන හිමියන් කොයි තරම් ප්‍රතිලාභ ලබනවද කියන එකත් ගැටළුවක් කර ගත යුතු දෙයක් නෙමෙයි.

Saturday, May 1, 2021

සූරාකෑම් නැති කරමු!


අද තවත් මැයි දිනයක්. ලංකාවේ මැයි දින පෙළපාලි හා රැස්වීම් වලදී බොහෝ විට ශ්‍රමය සූරාකෑම ගැන අහන්න ලැබෙනවා. ධනවාදයේ අමානුෂිකත්වය ගැන අහන්න ලැබෙනවා. ධනවාදය පෙරළා හදන නිර්ධන පංති ආඥාදායකත්වයක් ගැන අහන්න ලැබෙනවා. එහෙත් මේ පෙළපාලි හා රැස්වීම් වලට සහභාගී වන අය එසේ කරන්නේ ධනවාදය කියා කියන්නේ කුමක්ද කියාවත් හරියටම නොදැනයි. පෙළපාලි වලට සහභාගී වන අය තියා ඒවා සංවිධානය කිරීමේදී නායකත්වය ගන්න හා රැස්වීම් වල කතා පවත්වන බොහෝ දෙනෙකුත් තමන් නොයෙක් වර අසා කට පාඩමේ තිබෙන දේ ඔහේ වක්කරනවා හැර තමන් කියන දේ ගැන නිදහසේ හිතා බලා තිබෙන අය නෙමෙයි.

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. ධනවාදය විවේචනය කරන හෝ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මුලින්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කළ යුතුයි. 

පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න. තමන් ධනවාදය විවේචනය කරන්නේත්, මෙතෙක් විවේචනය කළේත් තේරුමක් ඇතිවද කියා නිදහසේ හිතා බලන්න.

ධනවාදය කියා කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. ධනවාදයේ අඩුපාඩු ඕනෑ තරම් තිබෙනවා. ඒවා රහස් නෙමෙයි. එහෙත්, ලෝකයේ, විශේෂයෙන්ම ලංකාවේ, බොහෝ ප්‍රශ්න වලට හේතුව ධනවාදයක් නැතිකම මිස නැති ධනවාදය නෙමෙයි. වැඩවසම් යුගයකට සමාජය ආපසු දක්කන ප්‍රතිගාමී සමාජවාදී දෘෂ්ඨිවාදයෙන් මිදී ධනවාදී ප්‍රතිසංස්කරණ කිරීමෙන් හැම වත්මන් ප්‍රශ්නයක්ම විසඳාගත නොහැකි වුවත් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකියි.

ධනවාදයේ සදාචාරාත්මක පදනම වන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය සපයන අයටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය සපයන අයටත් හිමි විය යුතු බවයි. එසේ ලැබෙන තමන්ගේ කොටස වෙනත් අය සමඟ බෙදා හදා ගැනීම ඒ අයගේ කැමැත්ත පරිදි සිදු විය දෙයක්. මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිවක් හිමි වීම වැරැද්දක් බවයි. එහි පදනම වන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය කියන්නේම ඓතිහාසිකව සිදු වූ  වැරැද්දක ප්‍රතිඵලයක් බවයි. ක්‍රිස්තියානි ආගම් වලට අනුව ආදම් හා ඒව විසින් කළ ආරම්භක පාපය නිසා ඕනෑම හොඳ මිනිහෙක් උපතින්ම පවුකාරයෙක්. පෞද්ගලික ප්‍රාග්ධනය පිළිබඳ මාක්ස්වාදී අදහසත් ඒ වගේ එකක්.

ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදී යා යුතු ආකාරය පිළිබඳව ධනවාදය හා මාක්ස්වාදය විසින් යෝජනා කරන සදාචාරාත්මක රාමු අතර වෙනස පැහැදිලි කිරීම සඳහා මම කොබ්-ඩග්ලස් ආකෘතිය යොදා ගත්තා. කොබ්-ඩග්ලස් ආකෘතිය ධනවාදයට සම්බන්ධ දෙයක් නෙමෙයි. එම ආකෘතියෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රමවේදයක් තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදිතයක් බවට පරිවර්තනය වන ආකාරයයි. මේ ආකෘතිය හැම නිෂ්පාදනයකටම ගැලපෙන්නේ නැති වුවත්, බොහෝ නිෂ්පාදන සඳහා ගැලපෙන නිසා පොදුවේ රටක සමස්ත නිෂ්පාදිතය ආකෘතිගත කිරීම සඳහා යොදාගත හැකියි.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය මෙවැන්නක්.

Y = F(K,L) = AKαLß 

මෙහි A, α හා ß ද පරාමිතීන්. ඒවා කෙටිකාලයක් ඇතුළත වෙනස් වන්නේ නැහැ. විචල්‍යයන් වන්නේ K සහ L පමණයි. K යනු යොදවන ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය. L යනු යොදවන ශ්‍රම ඒකක ප්‍රමාණය.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය සන්තතික ශ්‍රිතයක් නිසා ඒ අනුසාරයෙන් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවන් හරියටම පෙන්වා දිය හැක්කේ අවකලනය යොදාගෙනයි. මෙය අප විසින් දැනටමත් කර තිබුණත් එවැනි පැහැදිලි කිරීමක් කියවන බොහෝ අයට බර වැඩි විය හැකි නිසා අද අපි මෙය ඊට වඩා ටිකක් සරල විදිහට හදාරමු. සන්තතික ශ්‍රිතයක් අසන්තතික සේ සලකා කරන පැහැදිලි කිරීමක් නිසා මෙහි ඉදිරිපත් කරන ගණන් නිවැරදි වන්නේ ආසන්නව පමණයි. එහෙත් පැහැදිලි කිරීම සඳහා එවැන්නක් කිරීමේ ප්‍රශ්නයක් ඇතැයි මම හිතන්නේ නැහැ. මෙය කරන්නේ "ඉකෝන්, කොබ්-ඩග්ලස්නම් ආයේ එපා!" කියා කියන පාඨකයින් වෙනුවෙන්.

ඒ එක්කම අපි අපේ කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ පරාමිතීන් සඳහා නිශ්චිත අගයයන් යොදා ගනිමු. අප යොදා ගන්නා ගණන් ඇමරිකාව, එක්සත් රාජධානිය හා චීනය ඇතුළු විශාල හා පුළුල් ආර්ථිකයන් තිබෙන රටවල් ගණනාවක එම පරාමිතීන් සමඟ සැසඳෙනවා. 

Y = F(K,L) = 10K0.4L0.6 

මෙයින් අදහස් වන්නේ කුමක්ද කියන එක පැහැදිලි කිරීම සඳහා මම පහත වගුව ඉදිරිපත් කරන්නම්. 

මේ වගුව කියවිය යුත්තේ කොහොමද? සිරස් තීරුවක් දිගේ ඉහළ සිට පහළට යද්දී පෙනෙන්නේ K නියතව තිබියදී L වැඩි වන විට Y වැඩි වන ආකාරයයි. ඒ වගේම, තිරස් තීරුවක් දිගේ වමේ සිට දකුණට යද්දී පෙනෙන්නේ L නියතව තිබියදී K වැඩි වන විට Y වැඩි වන ආකාරයයි. වම්-ඉහළ කෙළවරේ සිට දකුණු-පහළ කෙළවර දක්වා විකර්ණය දිගේ යද්දී පෙනෙන්නේ K සහ L සමානුපාතිකව වැඩි කර ගෙන යද්දී Y වැඩි වන ආකාරයයි.

කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ විශේෂත්වයක් වන්නේ K සහ L සමානුපාතිකව වැඩි කර ගෙන යද්දී Y ද එම අනුපාතයෙන්ම වැඩි වීමයි. K=L=1 වූ විට Y=10 වන අතර K=L=5 වූ විට Y=50 ද K=L=10 වූ විට Y=100 ද වෙනවා. මෙය තේරුම් ගැනීම සඳහා ඔබට සිතේ මවාගන්න අවශ්‍යනම්, එක් ශ්‍රමිකාවක් හා එක් ඇඳුම් මසන මැෂිමක් ඇති විට නිෂ්පාදිතය ඇඳුම් 10ක්නම්, ශ්‍රමිකාවන් 10ක් හා ඇඳුම් මසන මැෂිම් 10ක් ඇති විට නිෂ්පාදිතය ඇඳුම් 100ක්. මෙය බොහෝ කර්මාන්ත සඳහා නරක උපකල්පනයක් නෙමෙයි. මේ උපකල්පනය නොගැලපෙන කර්මාන්තයකට කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගැලපෙන්නේ නැහැ. කොබ්-ඩග්ලස් ශ්‍රිතය යොදාගත හැකි සීමාව මේ උපකල්පනයෙන් සීමා වෙනවා.

දැන් මේ වගුවෙන් අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හොයා ගන්නේ කොහොමද? ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියන්නේ අනෙකුත් සියලුම සාධක නොවෙනස්ව තිබියදී ශ්‍රමය වැඩි කිරීමෙන් වැඩි වන නිෂ්පාදිතයයි. මෙය හොයා ගන්න අපිට ප්‍රාග්ධනය නියතව තියන්න වෙනවා. ප්‍රාග්ධනය වැඩි නොකර, ශ්‍රමය පමණක් වැඩි කළ විට නිෂ්පාදිතය වැඩි වේනම් ධනවාදයේ සදාචාරත්මක පදනම අනුව, එසේ වැඩි වූ නිෂ්පාදිතය ශ්‍රමය සැපයූ අයට හිමි විය යුතුයි.

අපි K=5 ලෙස ප්‍රාග්ධනය නියතව තබා L=1 සිට L=2 දක්වා ශ්‍රමය වැඩි කරමු. එවිට Y=19 සිට Y=29 දක්වා ඒකක 10කින් නිෂ්පාදිතය ඉහළ යනවා. මෙය අදාළ අවස්ථාවේදී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයයි. එම ඒකක 10 වැඩි වුනේ ලබා දුන් අමතර ශ්‍රම ඒකකය නිසා. දැන් අපි L=3 දක්වා ශ්‍රමය තවත් වැඩි කරමු. එවිට Y=37 දක්වා නිෂ්පාදිතය තවත් ඒකක 8කින් ඉහළ යනවා. නිෂ්පාදිතය ඉහළ ගියත් කලින් අවස්ථාවේ ඉහළ ගිය ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඒ නිසා, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 10 සිට 8 දක්වා අඩු වෙනවා. මේ අයුරින්,  K=5 ලෙස නියතව තිබියදී L දිගින් දිගටම වැඩි කළොත් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 7, 6 හා 5 දක්වා ටිකෙන් ටික අඩු වෙනවා.

මෙයින් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය තීරණය වන්නේ "මහන්සි වී වැඩ කිරීම" හෝ "වැඩ කරන පැය ගණන" මත පමණක් නෙමෙයි. එය තීරණය වන්නේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය මත. ධනවාදය පෙනී සිටින්නේ මේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වෙනුවෙන්. ඒ තුළ, මහන්සි වී වැඩ කරන හෝ වැඩි කාලයක් වැඩ කරන අයට වැඩි ප්‍රතිලාභ හිමි වුනත් වැදගත්ම කරුණ එය නෙමෙයි. ධනවාදය යටතේදී මහන්සි වී වැඩ කරන වගේම එසේ නොකරන අයටත් වඩා අකාර්යක්ෂම ක්‍රමයක් යටතේ ලැබෙනවාට වඩා ප්‍රතිලාභ ලැබෙනවා.

ප්‍රාග්ධනය සම්බන්ධවත් මේ වගේම පැත්තක් තිබෙනවා. අපි L=5 ලෙස ශ්‍රමය නියතව තබා K=1 සිට K=2 දක්වා ප්‍රාග්ධනය වැඩි කරමු. එවිට Y=26 සිට Y=35 දක්වා ඒකක 9කින් නිෂ්පාදිතය ඉහළ යනවා. මෙය අදාළ අවස්ථාවේදී ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයයි. එම ඒකක 9 වැඩි වුනේ ලබා දුන් අමතර ප්‍රාග්ධන ඒකකය නිසා. එහි අයිතිය මුළුමනින්ම තිබෙන්නේ ප්‍රාග්ධනය ලබා දුන් අයටයි. එම වැඩි වීමට ශ්‍රමයේ ආන්තික දායකත්වයක් නැහැ. ඒ වගේම කලින් අවස්ථාවේදී මෙන් L=5 ලෙස ශ්‍රමය නියතව තබා යොදවන ප්‍රාග්ධනය වැඩි කරගෙන ගියොත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ඒකක 6, 5, 4, 3 ලෙස ක්‍රමයෙන් අඩු වී යනවා. 

මෙයින් අදහස් වන්නේ ධනවාදී පරමාදර්ශයක් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රාග්ධනය වැඩියෙන් යෙදෙවූ විට ලැබෙන අමතර ප්‍රතිලාභ වලින් ශ්‍රමය සපයන අයට වාසියක් නොලැබෙන බව නෙමෙයි. මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි K=1 ලෙස තිබියදී L=9 සිට L=10 දක්වා වැඩි වූ විට සිදුවන දෙය බලමු. මෙහිදී නිෂ්පාදිතය ඒකක 3කින් ඉහළ යනවා. ශ්‍රමිකයන්ට වැටුප් සේ ලබා ගත හැකි උපරිම මුදල මේ ඒකක තුනේ වෙළඳපොළ වටිනාකමයි. මේ අවස්ථාවේදී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 3ක් පමණයි. එහෙත්, K=1 වෙනුවට K=10 ලෙස තිබියදී L=9 සිට L=10 දක්වා වැඩි වූ විට සිදුවන්නේ කුමක්ද? මෙහිදී නිෂ්පාදිතය ඒකක 6කින් ඉහළ යනවා. ඒ කියන්නේ දැන් ශ්‍රමිකයින්ගේ වැටුප් දෙගුණ වෙලා. නමුත් එසේ වුනේ ඔවුන් වඩා මහන්සි වී වැඩ කළ නිසා හෝ වැඩියෙන් වැඩ කළ නිසා නෙමෙයි. යෙදවුණු ප්‍රාග්ධනය ඉහළ ගිය නිසා. ඒ වගේම ශ්‍රමිකයන් විසින් මෙහිදී ප්‍රාග්ධන හිමියන්ගේ කොටසින් කිසිවක් අරගෙනත් නැහැ.

ධනවාදය කාර්යක්ෂම වෙන්නේ එහි සමස්ත ආකෘතිය ඇතුළේ. එයින් කියන්නේ එහි තනි කෑලි අකාර්යක්ෂම බව නෙමෙයි. එහෙත් තනි කෑල්ලක් කාර්යක්ෂම වෙන්නේ යම් සීමාවක් තුළ (sub optimum). කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හා ගැලපෙන තාක්ෂණයක් තිබෙන යම් සමාගමක් ගත්තොත්, එම සමාගමට ශ්‍රමය යොදවන තරමට වගේම ප්‍රාග්ධනය යොදවන තරමට දිගින් දිගටම නිෂ්පාදනය ඉහළ දැමිය හැකි වුවත්, එසේ වැඩි වැඩියෙන් නිෂ්පාදන සාධක යොදා ගන්නා තරමට වැඩි කළ හැකි ආන්තික නිෂ්පාදිතය (ඒ වන විට නිපදවන ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවිය හැකි ප්‍රමාණය) ටිකෙන් ටික අඩු වෙනවා. එහෙම අඩුවෙලා නිෂ්පාදන සාධක යොදා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මිල හා එම නිෂ්පාදන සාධක යොදාගෙන නිපදවිය හැකි අමතර නිෂ්පාදිතයේ වටිනාකම සමාන වූ පසු තව දුරටත් නිෂ්පාදන සාධක යෙදවීම පාඩු ලබන කටයුත්තක් බවට පත් වෙනවා. මේ මට්ටම ධනවාදයක් යටතේ නිෂ්පාදනයේදී නිෂ්පාදන සාධක යෙදවෙන ප්‍රශස්ත මට්ටමයි.

මෙය උදාහරණයකින් පැහැදිලි කර ගැනීමට ඉහත වගුවට යමු. එහි (L,K)=(5,5) වූ විට Y=50 බව ඔබට පෙනෙනවා. මේ මට්ටමේ සිටියදී K එලෙසම තබා L එක් ඒකකයකින් අඩු කළොත් Y=44 වෙනවා. ඒ කියන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය 6ක් කියන එකයි. ඒ වගේම, L එලෙසම තබා K  එක් ඒකකයකින් අඩු කළොත් Y=46 වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4ක් කියන එකයි. මේ අනුව, ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය ලෙස ධනවාදය විසින් යෝජනා කරන්නේ එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6ක් හා එක් ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4ක් ලෙස එම බෙදීම සිදු විය යුතු බවයි. 

නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට පෙර ඓතිහාසිකව ප්‍රාග්ධනය හෝ ශ්‍රමය ගොඩ නැගුනේ මොන විදිහටද කියන එක මෙහිදී වැදගත් කරුණක් නෙමෙයි. එය මොන විදිහට සිදු වී තිබුණත් මේ අවසන් ශ්‍රම ඒකකය නොවන්නට අවසන් නිෂ්පාදන ඒකක 50න් 6ක් හැදෙන්නේ නැහැ. අවසන් ප්‍රාග්ධන ඒකක 4 නොවන්නට අවසන් නිෂ්පාදන ඒකක 50න් 4ක් හැදෙන්නේ නැහැ. ඒ දෙකම නොතිබී (L,K)=(4,4) වුනානම් Y=40 වෙනවා. ඒ කියන්නේ අන්තිම නිෂ්පාදන ඒකක 50න් 10ක්ම හැදෙන්නේ නැහැ. 

ධනවාදයේ මූලධර්මය යමක් අලුතින් බිහි කිරීමට දායක වූ පුද්ගලයාට එහි ප්‍රතිලාභද හිමි විය යුතු බවයි. මෙය ධනවාදයෙන් බැහැර, ධනවාදයට පෙර එන සදාචාරාත්මක කරුණක්. ධනවාදයේ දාර්ශනික පදනම කියා කියන්නත් පුළුවන්. යමෙක් මේ කරුණ සමඟ එකඟ නොවනවානම් මම ඔහු හෝ ඇය සමඟ වාද කරන්නේ නැහැ. සදාචාරාත්මක රාමුවක් නිවැරදි බව ඔප්පු කරන්න බැහැ. ඒ වගේම සදාචාරාත්මක රාමු සංසන්දනය කිරීමත් අසීරු කරුණක්. මා පෙන්වා දෙන්නේ මේ සදාචාරාත්මක රාමුව මත පදනම් වූ සම්මතයක් වෙනත් එවැනි සම්මතයකට වඩා, විශේෂයෙන්ම මාක්ස්වාදය විසින් යෝජනා කරන සම්මතයට වඩා, කාර්යක්ෂම බවයි. මෙය විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ බොහෝ සමාජවාදීන්ගේ අවසන් ඉලක්ක කරා යාම සඳහා වුවද මාක්ස්වාදය විසින් යෝජනා කරන ක්‍රමයට වඩා ධනවාදය කාර්යක්ෂම වීම තුළයි.

පෙර උදාහරණයට නැවත පැමිණියහොත් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6 බැගින් ශ්‍රම ඒකක 5 සඳහා නිෂ්පාදිතයෙන් ඒකක 30ක් හා ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4 බැගින් ප්‍රාග්ධන ඒකක 5 සඳහා නිෂ්පාදිතයෙන් ඒකක 20ක් වෙන් කිරීමෙන් පසුව සමාගම සතුව කිසිවක් ඉතිරි වන්නේ නැහැ. සමස්ත අතිරික්තයම නිෂ්පාදන සාධක අතර බෙදී ගිහින්. එය සිදුව තිබෙන්නේ ශ්‍රමය වෙනුවෙන් අතිරික්තයෙන් 0.6ක් (60%ක්) හා ප්‍රාග්ධනය වෙනුවෙන් අතිරික්තයෙන් 0.4ක් (40%ක්) ලෙසයි. මේ 0.6 හා  0.4 අගයයන් කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ α හා ß  අගයයන්ට සමානයි. වෙනත් විදිහකින් කිවුවොත් ධනවාදී ක්‍රමයක් යටතේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර අතිරික්තය බෙදී යන ආකාරය තීරණය කරන්නේ යොදා ගන්නා නිෂ්පාදන තාක්ෂනය විසින්. නිෂ්පාදන තාක්ෂනය වෙනස් වෙද්දී මෙම අනුපාතයද වෙනස් වෙනවා.

වගුව අනුව Y=50 වන්නේ (L,K)=(5,5) වූ විට පමණක් නෙමෙයි. (L,K)=(4,7) හා (L,K)=(7,3) වූ විටද Y=50 බව ඔබට පෙනෙනවා. යම් නිෂ්පාදකයෙක් මෙවැනි වෙනත් අනුපාතයකින් ශ්‍රමය හා ප්‍රාග්ධනය යොදවා නිෂ්පාදන ඒකක 50ක් නිපදවූවා කියා අපි හිතමු. (L,K)=(5,5) වූ විට අපට ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6ක් හා ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4ක් ගෙවන්න සිදු වුනා. අපි මෙය වෙළඳපොළ මිල ලෙස සලකමු. දැන් (L,K)=(4,7) ලෙස අඩු ශ්‍රමයක් හා වැඩි ප්‍රාග්ධනයක් යොදවා නිෂ්පාදන ඒකක 50ක් හදන සමාගමකට ඉහත වෙළඳපොළ මිල ගෙවන්න සිදුවෙනවා. ඒ අනුව, නිෂ්පාදන සාධක වෙනුවෙන් (4x6) + (7x4) = 52ක් ගෙවන්න සිදු වෙනවා. නමුත් සමස්ත නිෂ්පාදිතය 50ක් නිසා මෙය කළ නොහැකියි. එක්කෝ ශ්‍රමය වෙනුවෙන් අඩුවෙන් ගෙවන්න වෙනවා. නැත්නම් ප්‍රාග්ධනය වෙනුවෙන් අඩුවෙන් ගෙවන්න වෙනවා. 

ධනවාදී ක්‍රමයකදී මෙසේ අඩුවෙන් ගෙවන්න පුළුවන්කමක් නැහැ. ශ්‍රමය වෙනුවෙන් අඩුවෙන් ගෙවුවොත් ශ්‍රමිකයෝ අස්වෙලා ගිහින් (L,K)=(5,5) ලෙස නිපදවන සමාගමකට බැඳෙනවා. ප්‍රාග්ධනය වෙනුවෙන් අඩුවෙන් ගෙවුවොත් ප්‍රාග්ධන හිමියන් ඔවුන්ගේ ප්‍රාග්ධනය ඉවත් කරගෙන (L,K)=(5,5) ලෙස නිපදනවන සමාගමේ ආයෝජනය කරනවා. කණ්ඩායම් දෙකටම වෙළඳපොළ මිල ගෙවුවොත් සමාගම බංකොලොත් වෙනවා. වැහිලා යනවා.

මේ වගේම (L,K)=(7,3) ලෙස අඩු ප්‍රාග්ධනයක් හා වැඩි ශ්‍රමයක් යොදවා නිෂ්පාදන ඒකක 50ක් හදන සමාගමකට වුවත් මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. එවැනි සමාගමකට නිෂ්පාදන සාධක වෙනුවෙන් (7x6) + (3x4) = 54ක් ගෙවන්න සිදු වෙනවා. නමුත් සමස්ත නිෂ්පාදිතය 50ක් නිසා මෙය කළ නොහැකියි. (L,K)=(5,5) ලෙස නිෂ්පාදන සාධක යොදා ගනිමින් නිපදවන සමාගම් වෙළඳපොළේ සිටින තුරු (L,K)=(4,7) හෝ (L,K)=(7,3) ලෙස නිෂ්පාදන සාධක යොදාගන්නා සමාගමකට පවතින්න බැහැ. ධනවාදයේ අදිසි හස්තය විසින් එම සමාගම් වලට දඬුවම් දෙනවා. එම සමාගම් වෙළඳපොළෙන් ඉවත් කර දමනවා. ඒ එම සමාගම් වල ශ්‍රමිකයන් මහන්සි වී වැඩ නොකරන නිසා නෙමෙයි. මහන්සි වී වැඩ කිරීම හා කාර්යක්ෂමතාවය කියන්නේ කරුණු දෙකක්.

ධනවාදය විසින් වෙළඳපොළේ ඉතිරි කරන්නේ වඩාත්ම කාර්යක්ෂම සමාගම් පමණයි. එම වඩාත්ම කාර්යක්ෂම සමාගම් වලටද කිසිදු ආර්ථික ලාබයක් උපයන්න බැහැ. මා මෙහි කතා කරන්නේ ගිණුම්කරණ ලාබය ගැන නොවන බව ඔබට නැවත මතක් කර දිය යුතුයි කියා මම හිතන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගිණුම්කරණ ලාබ තිබෙනවා. එහෙත්, ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලබා දීමෙන් පසු ඉතිරි වන ආර්ථික ලාභ කිසිවක් නැහැ. වඩාත්ම කාර්යක්ෂම සමාගමට වඩා අකාර්යක්ෂම සමාගම් වලට ශුන්‍ය ලාබ මට්ටමට හෝ එන්න බැහැ. ඔවුන්ටද ගිණුම්කරණ ලාබ තිබිය හැකි වුවත් ආර්ථික ලාබ නැති නිසා දිගින් දිගටම වෙළඳපොළේ තරඟකරුවෙකුව සිටීමේ හැකියාවක් නැහැ. ධනවාදය නිරන්තරයෙන්ම වඩා කාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් පමණක් ඉතිරි කරමින් අකාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් වෙළඳපොළෙන් ඉවත් කරනවා.

සමාජවාදී විකල්පයක් යටතේ ඉහත තත්ත්වය ඇති වෙන්නේ නැහැ. පොදු ව්‍යවසායයන් බොහෝ විට පාඩු ලබමින් දිගින් දිගටම කටයුතු කරනවා. මෙහිදී පාඩු ලබනවා කියන එකෙන් අදහස් කරන්නේ ගිණුම්කරණ පාඩු ගැන පමණක් නෙමෙයි. පොදු ව්‍යවසායයන්, ලංකාවේ මෙය සිදු වන්නේද අඩුවෙන් වුවත්, බොහෝ විට ගිණුම්කරණ ලාබ ලබනවා. එහෙත් යොදවා ඇති පොදු ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ සැලකු විට පොදු ව්‍යවසායයන් ලාබ ලබන්නේ ඉතා අඩුවෙන්. පොදු ව්‍යවසායයන් විසින් අකාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් දිගින් දිගටම නඩත්තු කරනවා වගේම එවැනි ව්‍යවසායයන්ගේ පැවැත්ම වෙනුවෙන් ආනයන සීමා, මිල පාලනය ආදී වෙළඳපොළ විකෘති සිදු කිරීම මගින් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් තුළ පවතින අකාර්යක්ෂමතාවයන් වෙළඳපොළ විසින් ඉවත් කරනු ලැබීමටද බාධා කෙරෙනවා. 

අද මැයි දිනයේදී අගය කරනු ලබන කම්කරු නීති හා අයිතිවාසිකම්, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ආදිය හරහා අවසාන වශයෙන් වන්නේද මීටම තරමක් සමාන දෙයක්. ඉහත වගුවේ (L,K)=(5,5) කොටුවට නැවත එමු. මෙහි තිබෙන 50ක අතිරික්තයෙන් ශ්‍රමිකයන් වෙත යන්නේ 30ක් පමණයි. ඒ එක් අයෙකුට 6 බැගින්. කිසියම් ශ්‍රමිකයෙක් අස් වී ගියොත් නිෂ්පාදිතය 6කින් අඩු වන නිසා එම මුදල ශ්‍රමිකයෙකුට දෙන්න වෙනවා. එය මදියි කියා 7ක් නොදුන්නොත් අස් වී යන බව කිවුවොත් අස් වී යන්න දෙන එකේ පාඩුවක් නැහැ. පාඩුවක් වෙන්නේ 7ක් දී තියා ගත්තොත්. නමුත් මේ තර්කය හරියන්නේ එක් ශ්‍රමිකයෙක් පමණක් එක වර අස් වී යාමට ඉඩක් තිබෙන තත්ත්වයක් තුළ පමණයි. 

ශ්‍රමිකයන් එකතු වී වෘත්තීය සමිතියක් හදාගෙන වැඩි පඩි ඉල්ලා වර්ජනය කළොත් වෙන්නේ කුමක්ද? දැනට ගෙවන වැටුප වන 6 ගෙවා ක්ෂණිකව අලුතෙන් බඳවා ගත හැක්කේ 3 දෙනෙකු පමණයි කියා හිතමු. එසේ වුවහොත්, සමස්ත නිෂ්පාදිතය Y=37 දක්වා ඒකක 13කින් අඩු වෙනවා. එහෙත් වැටුප් අඩු වන්නේ 6x2=12කින් පමණක් නිසා ප්‍රාග්ධනයේ කොටස ඒකක 20 සිට 19 දක්වා අඩු වෙනවා. එක කොටසක් වෙනුවෙන් ලැබෙන්නේ ඒකක 4.75ක් පමණයි. ඒ නිසා ඔය වගේ වෙලාවක ප්‍රාග්ධන හිමියන් විසින් ශ්‍රමය වෙනුවෙන් වෙන් කරන කොටස ඒකක 30 සිට 31 දක්වා වැඩි කරන්න ඉඩ තිබෙනවා. එහිදී ශ්‍රමිකයන්ට තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභයට වඩා වැඩි දෙයක් ලැබෙනවා. ප්‍රාග්ධන හිමියන්ට ලැබෙන්නේ තමන්ගේ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩු දෙයක්.

මේ වගේ තත්ත්වයක් ඇති වූ විට දිගුකාලීනව ප්‍රාග්ධන හිමියන් විසින් ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලැබිය හැකි තැනකට තමන්ගේ ප්‍රාග්ධනය විතැන් කරනවා. එක් ප්‍රාග්ධන හිමියෙකු ඉවත් වූ විට නිෂ්පාදිතය (ආදායම්) ඒකක 5කින් අඩු වුවත් ප්‍රාග්ධන හිමියා ඉවත් වීම නිසා සමාගමට ඉතිරි වන්නේ 4.75ක් පමණයි. ඒ නිසා සමාගම පාඩු ලබන තත්ත්වයට පත් වෙනවා. එම පාඩුව විඳින්න වෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටනම් ඔවුන්ද ඉවත්ව යන්න ඉඩ තිබෙනවා. ප්‍රාග්ධන හිමියන් 4 දෙනෙක්ම ඉවත්ව ගියොත් ඉතිරි ප්‍රාග්ධන හිමියාට, කිසිවක්ම නොදුන්නත්, ශ්‍රමිකයන්ට බෙදාගන්න ඉතිරි වෙන්නේ ඒකක 26ක් පමණයි. එය මුලින් ලැබුණු ඒකක 30ට වඩා අඩු ප්‍රමාණයක්. දැන් කිසිම සූරාකෑමක් නැහැ. නමුත්, ශ්‍රමිකයන්ට ලැබුණු වැටුප් 6 සිට 5.2 දක්වා අඩු වෙලා!

වෙබ් ලිපිනය: