වෙබ් ලිපිනය:

Showing posts with label සිංගප්පූරුව. Show all posts
Showing posts with label සිංගප්පූරුව. Show all posts

Thursday, February 27, 2025

සිංගප්පූරු අයවැය - 2024


පසුගිය (2024) වසරේදී සිංගප්පූරු රජය විසින් වසර මුලදී ඇස්තමේන්තු කළ ඩොලර් බිලියන 108.64ට වඩා ඩොලර් බිලියන 7.98කින් වැඩි ඩොලර් බිලියන 116.62ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙනවා. මෙය ඉලක්කගත ආදායමට වඩා 7.3%කින් වැඩි ආදායමක්. මෙම මුදල එරට දදේනියෙන් 15.6%ක්. පහත තිබෙන්නේ එම ආදායම එකතු වී ඇති ආකාරයයි. සියලුම සංඛ්‍යා සිංගප්පූරු ඩොලර් බිලියන වලින් වන අතර වරහන් තුළ තිබෙන්නේ දදේනියෙන් කොපමණද යන්නයි. 

සමාගම් ආදායම් බදු - 30.88 (4.1%)

පුද්ගල ආදායම් බදු - 18.97 (2.5%)

භාණ්ඩ හා සේවා බදු - 20.61 (2.8%)

වත්කම් බදු - 6.70 (0.9%)

වාහන බදු හා අධිභාර - 9.06 (1.2%)

තීරු බදු හා කාබන් බදු - 3.45 (0.5%)

රඳවා ගැනීමේ බදු - 2.28 (0.3%)

සූදු හා ඔට්ටු බදු - 3.23 (0.4%)

අනෙකුත් බදු - 9.12 (1.2%)

මුද්දර ගාස්තු - 6.36 (0.9%)

අනෙකුත් ගාස්තු - 4.58 (0.6%)

අනෙකුත් ආදායම් - 1.39 (0.2%)

එකතුව - 116.62 (15.6%)


සිංගප්පූරු රජය විසින් අරමුදල් වැය කර තිබෙන්නේ පහත ආකාරයෙනුයි.

සෞඛ්‍යය - 17.94 (2.5%)

අධ්‍යාපනය - 14.58 (2.0%)

ජාතික සංවර්ධනය - 10.05 (1.2%)

අනෙකුත් සමාජ සංවර්ධන කටයුතු - 13.37 (1.7%)

ආරක්ෂාව - 20.85 (2.8%)

ප්‍රවාහනය - 14.68 (2.0%)

රාජ්‍ය පරිපාලනය - 4.09 (0.5%)

අනෙකුත් කටයුතු - 17.35 (2.3%)

එකතුව - 112.91 (15.1%)


මේ අනුව, සිංගප්පූරුව 2024 වසර තුළ ඩොලර් බිලියන 3.7ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මෙය එරට දදේනියෙන් 0.5%කට සමාන මුදලක්. 

ලංකාව විසින් ඉලක්ක කරන්නේ දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාමටනම්, සිංගප්පූරුව දදේනියෙන් 0.5%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කිරීම ඒ තරම් ලොකු දෙයක්ද?

දෙරට අතර වෙනස වන්නේ සිංගප්පූරු රජය විසින් කාලයක් තිස්සේ දිගින් දිගටම මෙවැනි ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වාගෙන ගොස් තිබීමයි. ඒ මගින් ඉතිරි වන අරමුදල් සිංගප්පූරු රජය විසින් ආයෝජනය කර තිබෙන අතර, ඉහත සඳහන් බදු හා බදු නොවන ආදායම් වලට අමතරව එම ආයෝජන වල ප්‍රතිලාභ ලෙසද සිංගප්පූරු රජයට විශාල ආදායමක් ලැබෙනවා. 2024දී එසේ ලැබුණු ශුද්ධ ප්‍රතිලාභ මුදල ඩොලර් බිලියන 24.02ක් හෙවත් දදේනියෙන් 3.2%කට සමාන මුදලක්. ඒ නිසා, සිංගප්පූරුවේ සමස්ත අයවැය අතිරික්තය ප්‍රාථමික අයවැය අතිරික්තයට වඩා වැඩියි. 

ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙන බැවින් සිංගප්පූරු රජයට මෙම ආයෝජන ප්‍රතිලාභ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, එම රජය විසින් කරන්නේ මෙම අරමුදල් නැවත ආයෝජනය කිරීමයි.

ලංකාවේ තත්ත්වය තනිකරම මෙහි අනෙක් පැත්තයි. ඊට හේතුව වන්නේ ඊනියා 76-අවුරුදු සාපය කෙසේ වුවත්, ලංකාවේ 69-අවුරුදු සාපයයි. පසුගිය දෙවසර, යහපාලන කාලයේ දෙවසරක්, පණහ දශකයේ දෙවසරක් සහ තවත් එක් වසරක් හැරුණු විට ඉතිරි වසර 69 තුළම ලංකාව වාර්තා කර තිබෙන්නේ හිඟ ප්‍රාථමික ශේෂ බැවින්, සිංගප්පූරු රජය විසින් දිගින් දිගටම වත්කම් එකතු කර ගනිද්දී ශ්‍රී ලංකා රජය විසින් ණය කන්දක් ගොඩ ගසාගෙන තිබෙනවා. 

සිංගප්පූරු රජයේ වත්කම් වලින් වාර්ෂිකව ප්‍රතිලාභ ලැබෙද්දී ශ්‍රී ලංකා රජයට වාර්ෂිකව ණය පොලී ලෙස විශාල මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන ගියත් ලංකාවේ සමස්ත අයවැය ශේෂය හිඟයක්. ඒ හිඟය පියවා ගැනීම සඳහා වාර්ෂිකව තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ තමයි ලංකාවේ හැට නමයේ සාපය!

Tuesday, February 13, 2024

පින්ලන්තයේ පින්වන්තයෝ...


පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි! එම ප්‍රශ්න හා පිළිතුරු ගැන කතා කරන එක මොහොතකට පමා කරමු.

පින්ලන්තය හා අදාළව මේ ප්‍රශ්න ඇසුවේ විශේෂ හේතු කිහිපයක් නිසා. දැනට වසර දොළහක පමණ සිට "ලෝක සතුටු වාර්තාව" නමින් වාර්ෂික වාර්තාවක් එළි දැක්වෙනවා. මෙම වාර්තාවෙහි ජීවත්වීම සඳහා සුදුසුම රටවල් අනුපිළිවෙලින් ශ්‍රේණිගත කෙරෙනවා. පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම් වල වගේම, ඊට පෙර වසර පහක කාලය තුළද මෙම ලැයිස්තුවෙහි උඩින්ම සිටි රට පින්ලන්තයයි. එහි ශ්‍රේණිගත කර ඇති රටවල් 137ක් අතරින් ලංකාවේ ස්ථානය 112.

පින්ලන්තය වගේ පට්ට සීතල රටක් ලැයිස්තුවේ උඩට එන්නේ කොහොමද?

රටක ජනතාවගේ ජීවන තත්ත්වය මැනීම සඳහා යොදා ගන්නා වඩාත්ම ප්‍රචලිත නිර්ණායකය ඒක පුද්ගල ආදායමයි. එහෙත්, ඒක පුද්ගල ආදායම දෙස බැලීමෙන් පමණක් රටක ජනතාවගේ ජීවන තත්ත්වය මැනිය නොහැකි බව පැහැදිලි තාර්කික පදනමක් තිබෙන විවේචනයක්. සතුටු වාර්තාවේ සතුටු දර්ශකයෙහි ඒක පුද්ගල ආදායමද ජීවන තත්ත්වය පිළිබඳ මිනුමක් ලෙස සලකන නමුත් එවැනි තවත් මිනුම් පහක්ද සලකා බලනවා. 

1. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 

2. සමාජ සහයෝගය 

3. ආයු අපේක්ෂාව 

4. ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස 

5. පරිත්‍යාගශීලී බව 

6. දූෂණ පිළිබඳ ආකල්ප 

පින්ලන්තය පළමු තැනට එන්නේත්, ලංකාව 112/137 ලෙස ශ්‍රේණිගත වන්නේත් ඉහත නිර්නායක හයම සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. මෙම එක් එක් නිර්ණායකය අනුව, පින්ලන්තයේ හා ලංකාවේ ස්ථාන පහත පෙන්වා තිබෙනවා.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය:

පින්ලන්තය- 18

ලංකාව- 73


සමාජ සහයෝගය:

පින්ලන්තය- 2

ලංකාව- 71


ආයු අපේක්ෂාව:

පින්ලන්තය- 23

ලංකාව- 53


ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස:

පින්ලන්තය- 1

ලංකාව- 80


පරිත්‍යාගශීලී බව:

පින්ලන්තය- 80

ලංකාව- 85


දූෂණ පිළිබඳ ආකල්ප:

පින්ලන්තය- 2

ලංකාව- 81


මේ අනුව පෙනෙන්නේ පින්ලන්තය පළමු තැනට තල්ලු වී තිබෙන්නේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස, දූෂණ පිළිබඳ ආකල්ප හා සමාජ සහයෝගය නිසා බවයි. ලංකාවේ සමස්ත ස්ථානය එක් එක් කාණ්ඩ යටතේ සිටින ස්ථාන සියල්ලටම වඩා අඩු එකක් වීමද විශේෂත්වයක්.

පින්ලන්තයට අමතරව, අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල් හතරටද ලැයිස්තුවේ ඉහළ තැන් හිමි වී තිබෙනවා. පහත තිබෙන්නේ ලැයිස්තුවේ මුල් රටවල් දහය.

1. පින්ලන්තය 

2. ඩෙන්මාර්කය 

3. අයිස්ලන්තය 

4. ඊශ්‍රායලය 

5. නෙදර්ලන්තය 

6. ස්වීඩනය 

7. නෝර්වේ 

8. ස්විට්සර්ලන්තය 

9. ලක්සම්බර්ග් 

10. නවසීලන්තය


නිර්ණායක හයෙන් හතරකින්ම පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටින සිංගප්පූරුව ඉහත රටවල් දහය අතර නැහැ. එරටට හිමිව තිබෙන්නේ ලැයිස්තුවේ 25 වන ස්ථානයයි. පහත තිබෙන එක් එක් නිර්ණායකය තුළ සිංගප්පූරුව සිටින තැන දෙස බැලූ විට එයට හේතුව තේරුම් ගන්න අපහසු වන එකක් නැහැ.  

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය - 2

සමාජ සහයෝගය - 50

ආයු අපේක්ෂාව - 3

ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස - 32

පරිත්‍යාගශීලී බව - 51

දූෂණ පිළිබඳ ආකල්ප - 1


දූෂණ පිළිබඳ ආකල්ප අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රට සිංගප්පූරුවයි. එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව දෙවන තැනද, ආයු අපේක්ෂාව අනුව තෙවන තැනද සිටින අතර පරිත්‍යාගශීලී බව අනුවද පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටිනවා. එහෙත්, ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස හා සමාජ සහයෝගය පින්ලන්තයේ තරමට නැති නිසා, පින්ලන්තය ලැයිස්තුවේ මුල් තැනට යද්දී සිංගප්පූරුව එහි 25 වන තැනට වැටෙනවා.

ඉහත නිරීක්ෂණය ඇසුරෙන් වත්මන් ලෝකයේ ජීවන තත්ත්වය පිළිබඳ පරමාදර්ශ ගැන අදහසක් ගන්න පුළුවන්. එහිදී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආකෘතියට සහ ලිබරල් ජීවන විලාසිතා වලට වැඩි බරක් වැටී තිබෙනවා. මෙය වත්මන් ලෝකයේ අධිපතිවාදී ආකෘතිය ලෙසද හැඳින්විය හැකියි. මෙම අධිපතිවාදී ආකෘතිය හොඳින්ම අනුගමනය කරන රටවල් අතර ස්කැන්ඩිනේවියන් රටවල් ඉදිරියෙන්ම සිටිනවා.

ඉහත හේතු නිසා සහ තවත් හේතු නිසා පින්ලන්තය වැනි ස්කැන්ඩිනේවියන් රටවල් බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ පරමාදර්ශී රටවල් බවට පත් වී තිබෙනවා. වාමාංශික අදහස් දරන්නන් මෙන්ම දක්ෂිනාංශික අදහස් දරන්නන්ද මේ අතර සිටීම විශේෂත්වයක්.

වාමාංශික අදහස් දරන්නන් විසින් බොහෝ විට පින්ලන්තය වැනි රටවල් සමාජවාදී රටවල් ලෙස හැඳින්වීමට උත්සාහ කරන අතර දක්ෂිනාංශික අදහස් දරන්නන් විසින් මෙම රටවල් ධනවාදී රටවල් බව පෙන්වා දීමට මහන්සි වෙනවා. මෙයින් පෙනෙන්නේ මේ කණ්ඩායම් දෙකේම කොටස් ස්කැන්ඩිනේවියානු ආකෘතිය සාර්ථක ආකෘතියක් ලෙස පිළිගන්නා බවයි. (කෙසේ වුවත්, මේ අදහස දරන්නේ වාමාංශික හා දක්ෂිනාංශික අදහස් දරන්නන් අතරින් සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරීන් පමණයි. අන්ත දෙකේ සිටින්නන්ට මෙම ආකෘතිය පිළිබඳ විවිධ ප්‍රශ්න තිබෙනවා.)

ලිපියේ අරමුණ ඉහත කී දේශපාලන අදහස් ගැන කතා කිරීම නෙමෙයි. මෙහි අරමුණ කවර හෝ හේතුවක් නිසා පින්ලන්තය පිං ලන්තයක් සේ සලකන අය පින්ලන්තය දැන් සිටින තැන සිටීම පිළිබඳව ඉදිරිපත් කරන ප්‍රවාද ගැන කතා කිරීමයි. 

"පින්ලන්තය දියුණු වුනේ පරිප්පු වලට නිවිති දාලා කන්නෙ නැති නිසා. බොරු නම් පරිප්පු නිවිති දාලා කන/නොකන රටවල් වල දියුණුව සසඳන්න."

ඉහත තිබෙන්නේ වත්පොතේ හුවමාරු වන පාඨයක්. මෙහි අරමුණ සමච්චලය බව කාට වුනත් පැහැදිලියි. නමුත්, පින්ලන්තය දැන් සිටින තැන සිටීම පිළිබඳව ඉදිරිපත්ව ඇති වෙනත් ඇතැම් ප්‍රවාද හා මේ ප්‍රවාදය අතර වැඩි වෙනසක් නැහැ. 

උදෘතයෙන් යෝජනා කර තිබෙන සංසන්දනය කිසිවෙකු විසින් කළහොත් පරිප්පු වලට නිවිති එකතු කිරීම රටක දියුණුවට හේතු වන ආකාරය කෙනෙකුට පහසුවෙන්ම පෙන්වා දෙන්න හෝ "ඔප්පු කරන්න" පුළුවන්. මේ වගේ දේවල් හඳුන්වන්නේ ව්‍යාජ සහසම්බන්ධතා (spurious correlations) ලෙසයි. මේ උදාහරණයේදී ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් වුවත්, ව්‍යාජ සහසම්බන්ධතා සහ හේතුඵල සම්බන්ධතා (causal effects) වෙන් කර හඳුනා ගැනීම විශාල පුහුණුවක් අවශ්‍ය දෙයක්.

සාමාන්‍ය කරුණක් ලෙස, ආර්ථික විද්‍යාවේදී දත්ත ඇසුරෙන් පරීක්ෂාවට ලක් කරන ප්‍රවාදයක් කියා කියන්නේ ඕනෑම කතන්දරයක් නෙමෙයි. පිළිගත හැකි උපකල්පන හා සම්මත ප්‍රවාද ඇසුරෙන් යෝජනා කරන ප්‍රවාදයක්. එවැනි ප්‍රවාදයක් දත්ත ඇසුරෙන් පරීක්ෂාවට ලක් කළ පසු අසත්‍යකරණයට ලක් නොවේනම් එය වැඩ කරන ප්‍රවාදයක් සේ සැලකිය හැකියි. එහෙත්, එසේ පිළිගත හැකි උපකල්පන හා සම්මත ප්‍රවාද ඇසුරෙන් යෝජනා කරන ප්‍රවාදයක් නොවන ඕනෑම හිතළුවක් දත්ත ඇසුරෙන් තහවුරු කළ පමණින් එය හිතළුවක් පමණක් නොවන්නේ නැහැ.

දැන් අපි පෙර සටහනේ මුල් ප්‍රශ්නයට පැමිණියහොත්, පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බව අපට දත්ත ඇසුරෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්. බොහෝ දෙනෙකු විසින් නිවැරදිව එම නිරීක්ෂණය සිදු කර තිබුණා. එක් පාඨකයෙකු විසින් දත්ත විශ්ලේෂණය කර ඔහුගේ විශ්ලේෂණය විද්‍යුත් තැපෑලෙන් යොමු කරලත් තිබුණා. උනන්දුව ගැන ස්තුතියි!

මෙය ඇත්තටම මෙලෙස සිදු වන බව වඩා විශ්වාසයෙන් කිව හැක්කේ සම්මත ආර්ථික විද්‍යා ප්‍රවාද අනුව මෙය එසේ විය යුතු නිසයි. නමුත්, එම ප්‍රවාද අනුව මෙවැන්නක් සිදු විය යුත්තේ හා සිදු විය හැක්කේ පින්ලන්තයට පමණක් නෙමෙයි.එක් පාඨකයෙකු විසින් නිවැරදිව පෙන්වා දී තිබුණු පරිදි අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල මෙන්ම එම කලාපයෙන් පිටත පිහිටි ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවලද මීට කිට්ටු රටාවක් නිරීක්ෂණය කළ හැකියි. 

එක් අයෙකු විසින් ජනගහණ වර්ධනය ගැන සඳහන් කර තිබුණා. එය නිවැරදි තර්කයක්. එහෙත්, ජනගහණ වර්ධනයද සලකා ඒක පුද්ගල ආදායමේ වර්ධනය සැලකුවද මෙවැනිම රටාවක් දැකිය හැකියි.

දැකිය හැකි රටාව එලෙසම දිගටම පවතීයැයි උපකල්පනය කර අනාගතයේ සිදු විය හැකි දෙය ඇස්තමේන්තු (extrapolate) කළහොත්, වසර ගණනාවක් යද්දී මෙම රටවල ආර්ථික වර්ධනය ශුන්‍යය පසු කර සෘණ පැත්තට යා යුතුයි. මෙයින් අදහස් කරන්නේ තාවකාලික විචලනයන් ගැන නෙමෙයි. දිගුකාලීන ප්‍රවණතාව (trend) ගැන. එහෙත්, දත්ත රටාවන්ට හේතු වන හේතුඵල සම්බන්ධතා නිවැරදිව ග්‍රහණය කර නොගෙන දත්ත රටා ඇසුරෙන් පමණක් කළ හැකි මෙවැනි ඇස්තමේන්තු සාමාන්‍යයෙන් නිවැරදි වන්නේ නැහැ. 

පළමුව, එක් පාඨකයෙකු විසින් නිවැරදි ලෙස සටහන් කර තිබුණු පරිදි, ආර්ථික වර්ධන වේගය අඩු වුවද, එයින් අදහස් වන්නේ රටේ ආර්ථිකය යම් වේගයකින් වර්ධනය වන බවයි. රටක ඒක පුද්ගල ආදායම ඉහළ යද්දී ආර්ථික වේගය ක්‍රමයෙන් අඩු විය යුතු බව පිළිගත් ප්‍රවාදයක්. මෙයට හේතු විස්තර කළ හැකියි. පෙර ලිපි ගණනාවක මෙම හේතු විස්තර කර තිබෙනවා. වෙනත් හේතු ගණනාවක් තිබිය හැකි වුවත්, පින්ලන්තය ඇතුළු වැඩි ඒක පුද්ගල ආදායමක් තිබෙන රටවල ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහළ යාම වඩාත්ම පහසුවෙන් පැහැදිලි කළ හැක්කේ ඉහත සඳහන් ප්‍රවාදය ඇසුරෙනුයි. මෙම ප්‍රවාදය අනුව, රටක් දියුණු වෙද්දී එරට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩුවන නමුත් එය සෘණ පැත්තට යන්නේ නැහැ. 

පින්ලන්තයේ 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 50,816ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 3,354ක්. අපි හිතමු පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම 1%කින් පමණක් වර්ධනය වී ලංකාවේ ඒක පුද්ගල ආදායම 10%ක් වැනි ඉහළ වේගයකින් වර්ධනය වුනා කියලා. 

දැන් පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඩොලර් කීයකින් වැඩි වෙනවාද? එම වැඩිවීම ඩොලර් 508ක්. නමුත්, ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වන්නේ ඩොලර් 335කින් පමණයි. ඒ කියන්නේ, පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම 1%කින් පමණක් වර්ධනය වී ලංකාවේ ඒක පුද්ගල ආදායම 10%ක් වැනි ඉහළ වේගයකින් වර්ධනය වුනත්, වැඩියෙන් ඉහළ යන්නේ පින්ලන්තයේ ඒක පුද්ගල ආදායමයි. ඒ නිසා, දෙරට අතර ඒක පුද්ගල ආදායම් පරතරය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.

ඔය හේතුව නිසා අඩු ආදායම් මට්ටමක ඉන්න රටකට වැඩි වේගයෙකින් වර්ධන වෙන්න පුළුවන් වුනත්, එහෙම වර්ධනය වෙලා වැඩි ආදායම් මට්ටමක ඉන්න රටක ජීවන තත්ත්වය ලඟා කර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි.

ලංකාව 10%ක වේගයකිනුත්, පින්ලන්තය 1%ක වේගයකිනුත් එක දිගටම වර්ධනය වුනොත් කවදා හරි දවසක ලංකාව පින්ලන්තය පහු කරනවා නේද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඔව්. ලංකාව 10%ක වේගයෙන් එක දිගටම වර්ධනය වුනොත් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම කලින් කියපු ප්‍රවාදය අනුව එය එසේ වෙන්නේ නැහැ. 

ආර්ථික මට්ටම ටිකෙන් ටික ඉහළ යද්දී වර්ධන වේගයත් ටිකෙන් ටික අඩු වෙනවා. අඩු ආදායම් මට්ටම් වල ඉන්න රටවල් වලට වැඩි ආදායම් මට්ටම් වල ඉන්න රටවල් දිහා බලලා ඔවුන් අනුගමනය කිරීම මගින් වැඩි වේගයකින් වර්ධනය වෙන්න පුළුවන්. නමුත් වැඩි ආදායම් මට්ටම් වල ඉන්න රටවල් වලට එහෙම කරන්න බැහැ. ඔවුන් තමන්ගේ ආර්ථිකයන් තවත් වර්ධනය කර ගත හැකි ආකාර තමන් විසින්ම සොයා ගත යුතුයි. මේක හදපු පාරක යන එක සහ පාරක් අලුතෙන් හදාගෙන යන එක වගේ වෙනසක්. 

Wednesday, April 5, 2023

ආසියාවේ දෙවන පෝසත් රට


ඉතිහාසය කියා කියන්නේ කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේම නෙමෙයි. කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේ කියා ගොඩක් අය හිතන්න කැමති දෙය. ඇතැම් වෙලාවට මිනිස්සු ඇහැට පෙනෙන ඇත්ත නොදැක මවාගත් බොරුවක් දකින්න කැමතියි. බොරු දිගින් දිගටම ප්‍රචාරය කළාම ඒ බොරු ඇත්ත වෙලා ඊට පස්සේ ඉතිහාසය බවට පත් වෙනවා. 

නිදහස ලබද්දී ලංකාව ආසියාවේ දෙවන පෝසත්ම රට කියන එකත් ඔය විදිහේ ජනප්‍රිය බොරුවක්. අද තිබෙන රටවල් සියල්ලම ඒ දවස් වල තිබුණේ නැහැ. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කළේ තිබුණු රටවල් වලිනුත් සීමිත රටවල් ප්‍රමාණයක් පමණයි. 

නූතන ආර්ථික විද්‍යාව නොපිළිගත් මාක්ස්වාදී රටවල් දළ දේශීය නිෂ්පාදිතය කියන අදහසවත් පිළිගත්තේ නැහැ. වෙළඳපොළ මත පදනම් නොවූ වෙනම ආර්ථික ක්‍රමයක් තිබුණු සමාජවාදී රටවල දළ දේශීය නිෂ්පාදිතය නිවැරදිව ගණනය කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. එහෙම ගණනය කරන එකේ තේරුමක් තිබුණෙත් නැහැ.

දළ දේශීය නිෂ්පාදිතයට විකල්පයක් විදිහට සමාජවාදී රටවල් විසින් ගණනය කළේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා එකක්. එහිදී ගණන් ගැනුණේ භාණ්ඩ නිෂ්පාදනය පමණයි. මාක්ස්වාදීන් විසින් සේවා නිෂ්පාදන නිෂ්පාදන සාධකයක් වන ශ්‍රමය සමඟ අනන්‍ය ලෙස දකිනවා මිස භාණ්ඩ නිෂ්පාදනය වැනි නිෂ්පාදනයක් ලෙස සැලකුවේ නැහැ. ඒ වගේම, මාක්ස්වාදය අනුව, භාණ්ඩයක එය නිෂ්පාදනය කිරීම සඳහා යොදවන ශ්‍රමය හැර වටිනාකම් නිෂ්පාදනයක් දැක්කෙත් නැහැ. 

පාරිභෝගිකයින්ට වැඩක් තිබුණත් නැතත්, ද්‍රව්‍ය (භාණ්ඩ) නිෂ්පාදනය වැඩි වෙලානම් දළ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි වුනා. නිෂ්පාදන ඉලක්ක තිබුණේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කර ගැනීමටයි. ලංකාව ඔය ක්‍රමයට දළ ද්‍රව්‍ය නිෂ්පාදනය ගණනය කළේ නැතත්, ටයර් සංස්ථාවේ නිෂ්පාදන ඉලක්ක හදලා තිබුණෙත් ඔය මූලධර්මය අනුවයි. දැන් සමහර අය නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්නෙත් අවුරුදු සීයකටත් වඩා පරණ ආගමික අදහස් මත පදනම්ව, පහුගිය කාලයේ නූතන ආර්ථික විද්‍යාවේ සිදු වූ වෙනස්කම් ගැන කිසිම අදහසක් නැතුවයි. ද්‍රව්‍යවාදීන්ට අනුව ලෝකය කියන්නේ ඇහැට පේන්න තිබෙන ද්‍රව්‍ය පමණයි.

ඒ කාලයේ සිංගප්පූරුව කියා රටක් තිබුණේ නැහැ. සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්. මැලේසියාවම ගත්තත් ඒක පුද්ගල ආදායම අනුව ලංකාවට වඩා ගොඩක් ඉදිරියෙනුයි හිටියේ. ජපානයට පවා ඉදිරියෙන්. කොළඹ නගරයේ ඒක පුද්ගල ආදායම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා කිහිප ගුණයක් වැඩියි වගේම ඒ කාලයට සාපේක්ෂව දියුණු නගරයක් වූ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම සමස්තයක් ලෙස මැලේසියාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා ඉහළින් තිබුණා. එහෙම නැතුව සිංගප්පූරුව හෝ මැලේසියාව ලංකාව පහු කරගෙන ගියේ නැහැ. ඒවා කාලයක් තිස්සේ නැවත නැවත කීමෙන් පළමුව ඇත්ත බවටත්, දෙවනුව ඉතිහාසය බවටත් පත් කර තිබෙන බොරු.

කොහොම වුනත්, ඒ දවස් වල ලංකාවට වඩා පසුපසින් සිටි තායිලන්තය හා කොරියාව වැනි රටවල් ලංකාව පහු කරගෙන ගියා. ඒ දවස් වල දළ දේශීය නිෂ්පාදිතය ගණනය නොකළත් සාපේක්ෂව මෑත කාලයකදී පවා ලංකාවට වඩා පසු පසින් සිටි චීනයත් ලංකාව පහු කරගෙන ඉදිරියට ගියා. ඉන්දියාව තවමත් ලංකාවට පසුපසින් සිටියත් ඉන්දියාව හා ලංකාව අතර ඒක පුද්ගල ආදායම් වෙනස තව කොපමණ කාලයක් මේ විදිහට තියෙයිද කියන එක අනාගතයට භාර කරුණක්.

(පසු සටහන: වගුවේ තිබෙන්නේ ඒක පුද්ගල ශුද්ධ ජාතික නිෂ්පාදිතය. ශුද්ධ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය නිෂ්පාදිතය - ක්ෂය වීම්. ආදායම් ලෙස ඉතිරි වන කොටස.)

Monday, March 27, 2023

පාඩු ලබන රාජ්‍ය ආයතන


කලින් සටහනේ කතා කළේ ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන සාමාන්‍යයෙන් කතා කෙරෙන්නේ අඩුවෙන්. වැඩියෙන් කතා කෙරෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන සංවාදයට බඳුන්වන මාතෘකාවක් වී තිබෙන්නේ රජය විසින් මේ වන විටද පොදු සමාගම් බවට පත් කර තිබෙන, කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක රජයේ කොටස් අයිතිය විකුණන්න යනවා කියන ආරංචියත් එක්ක. 

රජය සතුව හදිසියකදී ගන්න අවශ්‍ය නොවන, කාලයක් එක දිගට ආයෝජනය කර තබා ගත හැකි, ඉතිරි කිරීම් තිබෙනවානම්, ඒ ඉතිරි කිරීම් සමාගම් කොටස් වල ආයෝජනය කරන එකේ වැරැද්දක් නැහැ. එසේ කිරීමෙන් බදු ගෙවන්නන්ගේ සල්ලි වලට අවශ්‍ය පමණ ප්‍රතිලාභයක් ලැබෙනවා. මෙසේ කිරීමේදී අවශ්‍ය පමණ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන කරන එක ගැනත් සැලකිලිමත් විය යුතුයි. 

නමුත් ප්‍රශ්නය ශ්‍රී ලංකා රජය සතුව එවැනි ඉතිරි කිරීම් නැති වීමයි. සිංගප්පූරු රජය වැනි වෙනත් ඇතැම් රජයයන් සතුව එවැනි ඉතිරි කිරීම් තිබෙනවා වගේම සෑම වසරකදීම බදු ආදායම හා රජයේ වියදම් අතර වෙනස එම ඉතිරි කිරීම් වලට එකතු වෙනවා. 

මේ විදිහට රජයක් සතුව විශාල ඉතිරි කිරීම් ප්‍රමාණයක් තිබෙන විට ඒ සල්ලි ඔක්කොම හදිසියේ ගන්න පුළුවන් විදිහට ද්‍රවශීල වත්කම් ලෙසම තියා ගන්න අවශ්‍ය නැහැ. වත්කම් වලින් යම් කොටසක් හදිසියකදී ගන්න ද්‍රවශීල වත්කම් ලෙස තියාගෙන ඉතිරි කොටස වැඩි ප්‍රතිලාභයක් ලැබෙන විදිහට දිගුකාලීනව ආයෝජනය කරන්න පුළුවන්. 

ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ වැඩි අවදානමක් ගන්න තරමටයි. පොඩි වත්කම් ප්‍රමාණයක් තියාගෙන ලොකු අවදානම් ගන්න බැරි වුනත්, ලොකු වත්කම් ඇත්නම් ලොකු අවදානම් ගන්න පුළුවන්. සිංගප්පූරු රජය කරන්නේ ඒකයි. 

සිංගප්පූරු රජයේ වාර්ෂික වියදම සිංගප්පූරු ඩොලර් බිලියන 100ක් පමණ. 2023 වියදම් ඇස්තමේන්තුව සිංගප්පූරු ඩොලර් බිලියන 104ක්. සිංගප්පූරු රජයේ වත්කම් කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා තිබෙන GIC සමාගම සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 700ක පමණ වත්කම් තිබෙනවා. තවත් එවැනිම සමාගමක් වූ Temasek සමාගම සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 400 ඉක්මවන වත්කම් තිබෙනවා. විශ්‍රාම වැටුප් අරමුදල සතුව තවත් සිංගප්පූරු ඩොලර් බිලියන 550කට ආසන්න වත්කම් තිබෙනවා. මීට අමතරව සිංගප්පූරු මුදල් අධිකාරිය සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 400ක පමණ වත්කම් තිබෙනවා. ඔය ටික එකතු කළාම සිංගප්පූරු ඩොලර් බිලියන 2000 ඉක්මවන මුදලක්. රජයේ වාර්ෂික වියදම වගේ 20 ගුණයක්!

ඔය වත්කම් සියල්ල බදු ආදායම් වලින් ඉතුරු කරගත් මුදල් සහ එම ඉතිරි කරගත් බදු ආදායම් ආයෝජනය කර උපයාගත් මුදල්. හදිස්සියකට ඔය තරම් විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, අවුරුදු විස්සකට සතයක්වත් බදු අය නොකර රජයේ වියදම් සියල්ල දරන්න තරම් ප්‍රමාණවත් විශාල මුදලක් අතේ තියෙද්දී එයින් පොඩි කොටසක් අඩු වුනා කියලා බදු ගෙවන්නන්ට විශාල අවදානමකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා, සිංගප්පූරු රජයට පෞද්ගලික ව්‍යවසායකයෙක් වගේ අවදානම් අරගෙන ඔය අරමුදල් දිගුකාලීනව ආයෝජනය කරන්න පුළුවන්. වැඩි අවදානමක් ගන්න තරමට ප්‍රතිලාභත් වැඩියි. 

මේ තරම් විශාල පොදු අරමුදල් ප්‍රමාණයක් කළමනාකරණය කරද්දී හොරකම්, දූෂණ, වංචා වලට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත්, එය ඉතාම වැදගත් බවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හොරකම්, දූෂණ, වංචා සිදු වුනානම් ඔය වත්කම් ඔය විදිහට ඉතුරු වෙන්නේ නැහැ. කොහොම වුනත් වැදගත්ම කාරණාව අවුරුදු විස්සකින්වත් වියදම් කරලා ඉවර කරන්න බැරි තරම් වත්කම් රජය සතුව තිබෙනවා කියන එකයි. ඒ බදු මුදල් වලින් ඉතිරි කරගත් කොටස.

සිංගප්පූරු ක්‍රමයත් ටික දෙනෙකු විසින් මුළු රට වෙනුවෙන්ම තීරණ ගන්න සමාජවාදී ආකෘතියේම ක්‍රමයක් තමයි. ඒ වගේම එම ක්‍රමය සාර්ථක වූ දුලබ අවස්ථාවක් (සාර්ථකත්වය කියන්නේ ආර්ථික වර්ධනය පමණක් කියා සැලකුවොත්). තනි පුද්ගලයෙක් හෝ කුඩා කණ්ඩායමක් විසින් මුළු රටක් වෙනුවෙන් තීරණ ගන්නා ක්‍රමය සමහර වෙලාවට සාර්ථක වෙන්න පුළුවන්. හැම අවස්ථාවකම අනිවාර්යයෙන් අසාර්ථක විය යුතුමයි කියලා එකක් නැහැ. නමුත්, බොහෝ විට වෙන්නේ අසාර්ථක වෙන එක. මෙය විශාල අවදානමක් ගැනීමක්. 

දැන් සිංගප්පූරුවේ තිබෙන තරම් විශාල ප්‍රමාණයක් නොවුනත් ලංකාවේ රජය සතුවත් නිදහස ලබද්දී සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් තිබුණා. ජාතිකවාදී හා සමාජවාදී ප්‍රතිපත්ති නිසා ඒ වත්කම් අවුරුදු පහළොවක් යද්දී ඉවර වුනා. රට හිඟමනට වැටුණේ ඊට පස්සේ. 1965න් පස්සේ ලංකාවට IMF එකෙන් තොර පැවැත්මක් නැහැ. ඒ කාලයේ සිට අද දක්වාම රජය විසින් දිගින් දිගටම එකතු කරගෙන තියෙන්නේ ණය මිසක් වත්කම් නෙමෙයි. හැම අවුරුද්දකම වගේ රජයේ ආදායම් හා වියදම් අතර වෙනස ඔය ණය කන්දරාවට එකතු වෙනවා. මේ වෙද්දී ණය කන්දරාව රජයේ ආදායම වගේ දොළොස් ගුණයක් විතර.

දැන් ප්‍රශ්නය ණය ගෙවන එක නෙමෙයි. මොන තරම් හොඳ සැලසුමක් හැදුවත්, ණය ආපසු ගෙවලා නිදහස් වෙන එක කොහොමටත් අවුරුදු විසිපහකටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ප්‍රශ්නය ණය වාරික හා පොලී ගෙවන එක. මෙතෙක් කළේ අලුතෙන් ණය අරගෙන ණය වාරික හා පොලී ගෙවන එක සහ වියදමට තවත් ණය ගන්න එක. දැන් අලුතෙන් අවශ්‍ය පමණ ණය ගන්න බැරි නිසා මොනවා හෝ තිබෙන වත්කමක් විකුණන තත්ත්වයට වැටිලා ඉවරයි. ලාබ ලබන වත්කම් විකුණන්න අවශ්‍ය වී තිබෙන ප්‍රධාන හේතුව මේකයි.

කොහොම වුනත්, ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන දමපු සටහනට ප්‍රතිචාර දමපු සමහර අය ඒ ප්‍රතිචාර දමා තිබුණේ පාඩු ලබන රාජ්‍ය ආයතන ඔලුවේ තියාගෙන. ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කතා කරද්දී උඩින්ම ඉන්න ත්‍රිමූර්තිය ශ්‍රීලන්කන්, තෙල් සංස්ථාව සහ ලංවිමයි.

ඉහත ආයතන තුනේ පොදු සමානකමක් වන්නේ තෙල් වලට තිබෙන සම්බන්ධයයි. සාමාන්‍යයෙන් තෙල් මිල ඉහළ යාම අඩු වැඩි වශයෙන් මේ ආයතන තුනේම පාඩු වැඩි කරන්න හේතු වෙනවා. එම සමානකම තිබුණත්, මේ ආයතන තුනේ ප්‍රශ්න බොහෝ දුරට එකිනෙකට වෙනස්. 

මේ ආයතන අතරින් තෙල් සංස්ථාවට හා ලංවිමට රට ඇතුළේ ඒකාධිකාරයක් තිබෙනවා. තෙල් සංස්ථාවේ ඒකාධිකාරය සියයට සියයක්ම කෘතීම එකක්. රජය විසින් මේ ඒකාධිකාරය හදන්නේ යල් පැන ගොස් ඇති සමාජවාදී ආර්ථික ක්‍රමය මත පදනම්වයි.

ඇමරිකාවේ හන්දියක හතර පැත්තේ ඉන්ධන පිරවුම්හල් හතරක් තිබෙන එක දුලබ දසුනක් නෙමෙයි. තරඟකාරී සමාගම් හතරකට අයත් මේ ඉන්ධන පිරවුම්හල් හතරේ මිල ගණන් එකිනෙකට සමාන නැහැ. පාරිභෝගිකයෙකුට ඒ හතර අතරින් මිල අඩු තැනකින් ඉන්ධන පුරවා ගන්න පුළුවන්.

නිදහස ලබන විට වගේම නිදහස ලබා වසර පහළොවක් පමණ යන තුරු ලංකාවේ තිබුණේත් මේ වගේම තත්ත්වයක්. මොබිල් (MOBIL), කැල්ටෙක්ස් (CALTEX), ෂෙල් (SHELL), එසෝ (ESSO), ස්ටෑන්ඩඩ් ඔයිල් (Standard Oil) ඇතුළු ලෝකය පුරා ව්‍යාපාරික කටයුතු කළ ප්‍රධාන තෙල් සමාගම් සියල්ලම වාගේ ලංකාව තුළ ඉන්ධන බෙදා හරිමින් සිටියා. එම සමාගම් විසින් ආයෝජනය කර හදා තිබුණු තෙල් නල ඇතුළු යටිතල පහසුකම් ලංකාවේ තිබුණා. සමාගම් අතර විශාල තරඟකාරීත්වයක් පැවතුණා. රටේ තෙල් හිඟයක් තිබුණේ නැහැ.

මෙසේ තිබියදී මුදල් ඇමති සේ කටයුතු කළ ඇන් ඇම් පෙරේරාගේ සහ වෙළඳ ඇමති ලෙස කටයුතු කළ ටී බී ඉලංගරත්නගේ බලපෑම මත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක විසින් තෙල් සමාගම් සියල්ල ජනසතු කරන්නට පෙළඹුණා. සමාජවාදී පිස්සුව සහ බටහිර විරෝධය හැර එසේ කරන්නට වෙනත් සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. මෙහි ඉලක්කය වූයේ බටහිර සමාගම් වලට ලංකාවේ වෙළඳපොළ අහිමි කර රුසියාව ඇතුළු සමාජවාදී රටවලින් ඉන්ධන ආනයනය කිරීමයි.

මේ අනුව, තෙල් සමාගම් සතු සියලු දේපොළ රජය විසින් පවරා ගැනීමෙන් පසුව තෙල් සංස්ථාව පිහිටුවා එයට නීතියෙන්ම රාජ්‍ය ඒකාධිකාරයක් හදා දුන්නා. තෙල් සංස්ථා පණත මගින් අනෙක් කිසිවෙකුට ඉන්ධන ආනයනය, බෙදා හැරීම හා විකිණීම තහනම් කෙරුණා. 1961දී පටන්ගත් මේ ක්‍රියාවලිය 1971දී එසෝ සමාගම සතු වූ ගුවන් යානා ඉන්ධන බෙදා හැරීමේ පහසුකම් පවරා ගැනීමෙන් අවසන් වුනා. අද වන විට බදු ගෙවන්නට මහත් බරක්ව තිබෙන තෙල් සංස්ථා ඒකාධිකාරය හැදුනේ ඔය විදිහටයි. 

තෙල් සංස්ථාවට සාපේක්ෂව ලංවිම හැදුණේ පෞද්ගලික අංශය විසින් නොකරන ආයෝජනයක් රජය විසින් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කියා කියන්න පුළුවන්. එහිද, සමාජවාදී අදහස් වල බලපෑම තිබුණත්, එසේ නැතිව වුවත් මෙවැන්නක් සිදු විය හැකිව තිබුණා. යම් තාක් දුරකට ලංවිම කියන්නේ ස්වභාවික ඒකාධිකාරයක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවය හා එහි පූර්වගාමීන් වන එයා සිලෝන් හා එයා ලංකා හැදෙන්නේ ජාතික අභිමානය පිළිබඳ ප්‍රකාශන ලෙස කියා කියන්න පුළුවන්. තමන්ගේම ගුවන් සේවයක් හදා ගැනීම අලුතෙන් නිදහස ලැබූ බොහෝ රටවලට කරන්නට අවශ්‍ය වූ දෙයක්. මෙහිදී ලාබ ලැබීම ප්‍රමුඛ අවශ්‍යතාවය ලෙස සැලකුණේ නැහැ. ජාතික ගුවන් සේවයක් මගින් රටේ සංස්කෘතිය නිරූපණය කිරීම හා ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම වැනි දෙයක්ද සිදු වුනා.

තෙල් සංස්ථාවේ හා ලංවිම පාඩු වලට විසඳුමක් ලෙස IMF එක විසින් මිල සූත්‍ර ක්‍රමය නිර්දේශ කර තිබෙනවා. එහෙත්, මේ මගින් මෙම ආයතන වල ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ. හරියටම කියනවානම් එක් ප්‍රශ්නයක් හැර වෙනත් ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. විසඳෙන එකම ප්‍රශ්නය මෙම ආයතන වල පාඩු අවසාන වශයෙන් උද්ධමන බද්දක් බවට පත් වීම වැලකීමයි. 

රාජ්‍ය ඒකාධිකාර වන තෙල් සංස්ථාවේ හා ලංවිම ප්‍රශ්නය එම ආයතන පාඩු ලැබීමම නෙමෙයි. ප්‍රශ්නය එයනම් විසඳුම සරලයි. අවශ්‍ය තරම් මිල වැඩි කිරීම මගින් පහසුවෙන්ම එම පාඩු නැති කරන්න වගේම මේ ආයතන ලාබ ලබන ආයතන බවට පත් කරන්නත් පුළුවන්. මිල වැඩි වෙද්දී ඉල්ලුම යම් තරමකින් අඩු වන නමුත් ඉන්ධන ඉල්ලුම මෙන්ම විදුලි බල ඉල්ලුමද මිල ඉහළ යද්දී විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, මිල වැඩි කිරීම ලාබ නැති වීමේ ප්‍රශ්නයට විසඳුමක්. ඒ සඳහා දූෂණ, වංචා, හොරකම්, අකාර්යක්ෂමතා කිසිවක් නැති කරන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය ආයතන වල සැබෑ ප්‍රශ්නය ඒවා පාඩු ලැබීමම නොවන බවට මේ කරුණම නිදර්ශනයක්.

කෙසේ වුවත්, ශ්‍රීලන්කන් ආයතනයට මිල සූත්‍ර ක්‍රමය හරියන්නේ නැහැ. එම ආයතනයට තරඟය තිබෙන්නේ රටෙන් බැහැරවයි. ඒ නිසා ශ්‍රී ලංකා රජයට ඒකාධිකාරයක් හදා දීම මගින් එම ආයතනයට උදවු කරන්න බැහැ. ලාබ ලබන්නනම් අනිවාර්යයෙන්ම කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා. 

ගුවන් සේවා සැපයීමේ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාවට අනෙකුත් රටවලට නැති විශේෂ වාසියක් නැහැ. එවැනි වාසියක් තිබෙන්නේ තෙල් නිපදවන රටවලට පමණයි. ඒ නිසා, ලංකාවට තරඟ කළ හැක්කේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම මගින්ම පමණයි. වෙන පහසු ක්‍රමයක් නැහැ. සිංගප්පූරු ගුවන් සේවය මෙම කාර්යය කරන්නට සමත් වී තිබෙනවා.

ශ්‍රීලන්කන් පාඩු එහි උරුමයක්. එයා සිලෝන් කාලයේ සිටම මේ පාඩු එනවා. ලංකාවට කවදාවත් ගුවන් සේවයක් කාර්යක්ෂම සේ කළමනාකරණය කළ හැකි කුසලතා තිබී නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වෙයි කියා හිතන්නත් අමාරුයි. 

බදු ගෙවන්නන්ගේ කැමැත්ත එයනම්, ජාතික අභිමානය වෙනුවෙන් පාඩු ලබමින් ගුවන් සේවයක් නඩත්තු කිරීමේ වැරැද්දක් නැහැ. එසේ කරන්නේනම් පැහැදිලි ලෙස බදු ගෙවන්නන් දැනුවත් කර ඒ සඳහාම වෙනම බද්දක් අය කළ යුතුයි. ප්‍රායෝගිකව ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාබ ලබන ආයතනයක් කළ හැක්කේ එය කළමනාකරණය කිරීම වෙනත් විශාල ගුවන් සේවයකට ලබා දීමෙන් පමණයි. අවශ්‍යනම් රජයට යම් කොටස් අයිතියක් තියා ගන්න පුළුවන්. එමිරේට්ස් එකට දුන් ආකෘතිය හොඳ ආකෘතියක්. 

එහෙත්, තෙල් සංස්ථාව මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට කිසිම තර්කානුකූල හේතුවක් නැහැ. එහි ප්‍රශ්නය පාඩු නොව රාජ්‍ය ඒකාධිකාරයයි. ඒ හේතුව නිසාම ආකෘතිය එලෙසම තිබියදී මෙම ආයතනය විකිණීමද විසඳුමක් නෙමෙයි. රාජ්‍ය ඒකාධිකාරිය පෞද්ගලික ඒකාධිකාරයක් වූ පමණින් ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ. කළ යුත්තේ කර්මාන්තය ප්‍රතිනියාමනය කර නැවත තරඟකාරිත්වය ඇති කිරීමයි.

තෙල් සංස්ථාවෙන් වෙනස්ව ලංවිම විසින් එහි නිෂ්පාදනය බොහෝ දුරට සිදු කරන්නේ රට තුළයි. ආනයනික ඉන්ධන ආදිය හරහා රටින් පිටතට විදේශ විණිමය යන නමුත් ජල විදුලියෙදී හා සූර්ය, සුළං බලය වැනි අවස්ථා වලදී අගය එකතු වීම බොහෝ දුරට සිදු වන්නේ රට තුළයි. එහෙත් ඉන්ධන කර්මාන්තය තුළ පිරිපහදු කිරීමේදී රට තුළ සිදු වන අගය එකතු කිරීම ඒ තරම්ම විශාල නැහැ. රට තුළ ඉන්ධන විකුණා එකතු කර ගන්නා මුදල් බොහෝ දුරට රටින් පිටට යනවා.

ඉහත හේතුව නිසා ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදේශ සමාගම් වෙත ලබා දීමෙන් ලංකාවට අවාසියක් සිදු වන්නේ නැහැ. පාරිභෝගිකයින්ගේ පැත්තෙන් බැලුවත්, පොදුවේ රටේ පැත්තෙන් බැලුවත් වඩා වැදගත් වන්නේ හැකි තරම් අඩු මිලකට, බාධාවන්ගෙන් තොරව ඉන්ධන ලබා ගන්නට හැකි වීමයි. මේ ඉලක්කය කරා යා හැක්කේ තරඟකාරී සමාගම් ගණනාවකට වෙළඳපොළ විවෘත කිරීම මගිනුයි. එහිදී රටින් එළියට යන්නේ කොහොමටත් රටින් එළියට යන විදේශ විණිමයයි.

ඉලක්කය තරඟකාරිත්වය ඇති කර බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමනම්, ඒ සඳහා තෙල් සංස්ථාව සතු වත්කම් විකිණීමේ අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් සිදු වන්නේනම් එහි අරමුණ රජයේ අරමුදල් ප්‍රශ්නය විසඳා ගැනීම විය යුතුයි.

Tuesday, December 6, 2022

ඇමරිකාවෙන් සිංගප්පූරුවට...

ඇමරිකානුවෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 69,287.5 ක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 72,794.0 ක්. ඒ කියන්නේ සිංගප්පූරු ජාතිකයෙකුගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානුවෙකුගේ  ඒක පුද්ගල ආදායමටත් වඩා ටිකක් වැඩියි. එසේ වුවත්, ගණන් දෙක අතර ලොකු වෙනසක් නැහැ. 

ඇමරිකාවට සාපේක්ෂව සිංගප්පූරුවේ ආදායම් විෂමතා අඩුයි. ඒ නිසා, ඇමරිකාවේ ගෘහ ඒකකයක මධ්‍යස්ථ ආදායම ඇමරිකන් ඩොලර් 70,000කට මඳක් වැඩිව තියෙද්දී සිංගප්පූරුවේ එම ගණන ඇමරිකන් ඩොලර් 85,000ක් පමණ වෙනවා. සිංගප්පූරුවේ ගෘහස්ථ ආදායමෙන් 25%ක් පමණ, එනම් ඇමරිකන් ඩොලර් 21,000ක් පමණ, නිවාස වෙනුවෙන් වැය වෙද්දී ඇමරිකානු නිවෙසක ආදායමෙන් 40%ක් පමණ, එනම් ඩොලර් 28,000ක් පමණ නිවාස වෙනුවෙන් වැය වෙනවා. මේ අනුව, සිංගප්පූරුවට සාපේක්ෂව බලා ඇමරිකාවේ නිවාස වියදම් දරා ගැනීමට අපහසුයි කියා කවුරු හෝ කියනවානම් එහි වැරැද්දක් නැහැ. 

සිංගප්පූරු රජය විසින් සහන මිලකට නිවාස ලබා දීම මෙයට හේතුවක් විය හැකි වුවත්, එය මෙම වෙනසට එකම හේතුව නෙමෙයි. ඇමරිකානුවෙකු ජීවත් වන සාමාන්‍ය නිවසක ප්‍රමාණය වර්ග අඩි 2500ක් පමණ වෙද්දී සාමාන්‍ය සිංගප්පූරු ජාතිකයෙකු ජීවත් වන්නේ වර්ග අඩි 1000ක පමණ මහල් නිවාස ඒකකයකයි. නිවසක ප්‍රමාණය විශාල වෙද්දී බිල්පත් ගාස්තු හා ගෘහ භාණ්ඩ වියදම් ආදියද අනුපාතිකව වැඩි වෙනවා.

කෙසේ වුවත්, වෙනස්කම් රැසක් ඇති සිංගප්පූරුව හා ඇමරිකාව සරල ලෙස සංසන්දනය කළ නොහැකියි. සිංගප්පූරුව ජන ඝනත්වය වැඩි නාගරික රාජ්‍යයක්. සිංගප්පූරුවේ වර්ග කිලෝමීටරයක් තුළ 8,358 දෙනෙකු ජීවත් වුනත්, ඇමරිකාවේ වර්ග කිලෝ මීටරයක් තුළ ජීවත් වන්නේ 36 දෙනෙකු පමණයි. ඒ නිසා, ඉඩම් ඉතා දුලබ සම්පතක් වන සිංගප්පූරුව හා සංසන්දනය කළ විට ඇමරිකාව "ඉඩ තිබෙන" රටක්.

කෙසේ වුවත්, සිංගප්පූරුවටත් වඩා ජන ඝනත්වය වැඩි නාගරික ප්‍රදේශ ඇමරිකාවේ තිබෙනවා. මිලියන 5.5ක ජනගහණයක් සිටින සිංගප්පූරුවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර 728.6ක්. නිවුයෝර්ක් නගර සීමාවට අයත් වර්ග කිලෝමීටර 778.2 තුළ මිලියන 8.8ක ජනගහණයක් වාසය කරනවා. නිවුයෝර්ක් වැනි නාගරික ප්‍රදේශ වල බොහෝ දෙනෙකු ජීවත් වන්නේ සිංගප්පූරුවේ මෙන්ම මහල් නිවාස ඒකක වලයි.

සිංගප්පූරු වැසියෙකුට මෙන් නොව ඇමරිකානුවෙකුට නාගරික මහල් නිවාසයක හෝ නාගරික නොවන ප්‍රදේශයක ඉඩකඩ ඇති ගෙයක ජීවත් වීමේ තේරීම තිබෙනවා. එය රටේ ප්‍රමාණය නිසා ලැබී තිබෙන වාසියක්. 

සමකය ආසන්නයේ ඇති සිංගප්පූරුවේ වැසියෙකුට තමන්ගේ මහල් නිවාසය ඇතුළේ දවසම ගෙවන්න අවශ්‍ය නැහැ. නිවසින් පිට වී අපහසුවක් නැතිව කාලය ගෙවිය හැකියි. නමුත්, ඇමරිකානුවෙකුට බොහෝ විට ශීත කාලය තුළ නිවසටම වී ඉන්න වෙනවා. ඒ නිසා, නිවස ඇතුළත වැඩි ඉඩක් තිබීමේ වටිනාකම වැඩියි.

පහළ තියෙන්නේ ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය වියදම් රටාවයි.

ආහාර - 14.3%

නිවාස - 39.9%

ප්‍රවාහනය - 21.9%

සෞඛ්‍යය - 7.0%

අධ්‍යාපනය - 1.9%

සන්නිවේදනය - 4.3%

විනෝදාස්වාදය - 4.4%

ඇඳුම් - 2.6%


ඉහත වියදම් රටා සමඟ පහත ඇති සිංගප්පූරු වියදම් රටා සංසන්දනය කළ හැකියි.

ආහාර - 21.1%

නිවාස - 24.8%

ප්‍රවාහනය - 17.1%

සෞඛ්‍යය - 6.6%

අධ්‍යාපනය - 6.6%

සන්නිවේදනය - 4.1%

විනෝදාස්වාදය - 7.9%

ඇඳුම් - 2.1%


අවශ්‍ය අයෙකුට ඉහත රටවල් දෙක සමඟ ලංකාවද සැසඳිය හැකියි.

ආහාර - 44.0%

නිවාස - 21.9%

ප්‍රවාහනය - 9.8%

සෞඛ්‍යය - 4.4%

අධ්‍යාපනය - 2.8%

සන්නිවේදනය - 2.3%

විනෝදාස්වාදය - 1.6%

ඇඳුම් - 3.4%

ලංකාව සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍යයක් නෙමෙයි. ඇමරිකාව තරම් විශාල රටකුත් නෙමෙයි. සිංගප්පූරුවේ හෝ ඇමරිකාවේ ආකෘති ලංකාවට ඒ විදිහටම ගැලපෙන්නේ නැහැ. ලංකාව ලංකාවට ගැලපෙන අතරමැදි තැනක් සොයාගත යුතුයි. 

Wednesday, July 24, 2019

ලී ක්වාන් යූ මිථ්‍යාව


මේ වන විට ආසියානු කලාපයේ වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරන රට සිංගප්පූරුවයි. සිංගප්පූරුවට මෙවැනි තැනකට එන්න අඩිතාලම වැටුණේ ලී ක්වාන් යූ එරට අගමැති ධුරය දැරූ දශක තුනක කාලය තුළදීයි. එම කාලය තුළ සිංගප්පූරු ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වී සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුනා.

ලී ක්වාන් යූ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය රාජ්‍ය මූලික එකක්. ඒ වගේම, ඔහුගේ පාලන කාලය තුළ සිංගප්පූරුව තුළ ඉතා දැඩි නීති ක්‍රියාත්මක වුනා. ඒ නීති නොපිළිපදින අයට දැඩි දඬුවම් ලබා දෙනු ලැබුවා. මේ නීති හා දඩුවම් මොනවාද කියා විස්තර කරන්න මා වචන නාස්ති කරන්නේ නැහැ.

සිංගප්පූරුව ලංකාවේ බොහෝ දෙනෙකුගේ පරමාදර්ශී රටක්. ලංකාවේ ලී ක්වාන් යූ කෙනෙකු බිහි වී ලංකාව කෙටි කලක් තුළ සිංගප්පූරුවක් වනු දැකීම මෙවැනි අයගේ අභිලාෂයයි. මේ අය දරන අදහස් දළ වශයෙන් පහත ආකාරයට පෙළ ගැස්විය හැකියි.

1. ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.

2. සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි.)

3. සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.

4. මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.

5. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.

6. සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා. (එසේ නැත්නම් එකතැන නැවතී තිබුණා.)

7. ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.

8. "xxx"ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි. (මේ අවස්ථාවේදී, ගොඩක් අයට මේ "xxx" ගෝඨාභය රාජපක්ෂ. නමුත්, ඉහත 1-6 අදහස් ගෝඨාභය රාජපක්ෂ ගැන කතාබහක් ඇතිවෙන්න පෙර සිට කාලයක් තිස්සේ පවතිනවා.)

මේ අදහස් ගැන මට කියන්න තියෙන්නේ මේ කියන දේවල් සාවද්‍ය ප්‍රකාශ නොවේනම් වැඩිම වුවහොත් අර්ධ සත්‍ය බවයි.

ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.

අද ලෝක සිතියමේ දැකිය හැකි ආසියානු රටවල් බොහොමයක් ලංකාවට නිදහස ලැබෙන විට ස්වාධීන රටවල් සේ පැවතුණේ නැහැ. උදාහරණයක් විදිහට සිංගප්පූරුව, මැලේසියාව හෝ බංග්ලා දේශය නමින් ස්වාධීන රටවල් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අද රටවල් සේ තිබෙන බොහෝ බිම් පෙදෙස් වල ඒ වන විට ලංකාව සමඟ සංසන්දනය කළ හැකි සංවර්ධන නිර්ණායක නැහැ. ඒ වගේම, ඒ වෙද්දී පැවති ස්වාධීන රටවල් සියල්ලේම ඒක පුද්ගල ආදායම වැනි සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කෙරුණේත් නැහැ.

ඇතැම් ආසියානු රටවල 1960 හෝ ඊට පසු වසරක සිට ඒක පුද්ගල දදේනි පිළිබඳ දත්ත ලෝක බැංකු වෙබ් අඩවියේ තිබෙනවා. ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 142ක්. මහ බැංකු වාර්තා වල තිබෙන ලංකාවේ ආර්ථික වර්ධන වේගයන් හා ජනගහණ වර්ධන වේගයන් අනුව නිදහස ලැබෙන විට ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 118කට ආසන්න විය යුතුයි. 1960 වන විට ජපානයට අමතරව සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, පිලිපීනය, හොංකොං ආදී තවත් රටවල් ගණනාවක ඒපුදදේනි ඒ වසරේදී ලංකාවේ ඒපුදදේනිට වඩා වැඩියි. ඒ වෙද්දී තිබුණු පරතරය අනුව, මේ වෙනස වසර 12ක් තුළ ඇති වූ එකක් වෙන්න ඉඩක් තිබෙන්නේ කොරියාව හා අදාළව පමණයි. ඒ අනුව, ලංකාව හිටියේ  ජපානයට පමණක් පසුපසින් කියන එක පිළිගතහැකි කරුණක් නෙමෙයි.

සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි.)

මේ ප්‍රකාශය කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් නිතර නිතර කියන එකක් වුවත් මෙවැන්නක් කියා ඇති තැනක් මට හමු වී නැහැ. මෙය ඔහුගේ කිසියම් ආසන්න ප්‍රකාශයක් මත පදනම්ව බිහි වූ "කතන්දරයක්" විය හැකියි. මේ කතාව ඇත්තක්නම් ඔහු ඒ ගැන පසුකාලීනව සඳහන් කිරීමට සැලකිය යුතු ඉඩක් තිබුණා. ලී ක්වාන් යූ විසින් වරින් වර ලංකාව ගැන නිශේධනාත්මක ප්‍රකාශනම් ගණනාවක්ම කර තිබෙනවා.

සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.

මේ කතාව හරියට ලංකාවේ සිවිල් යුද්ධය දිනුවේ රාජපක්ෂලා නිසා කියනවා වගේ කතාවක්. ලංකාවේ සිවිල් යුද්ධය දිනන්න රාජපක්ෂලාගෙන් විශාල දායකත්වයක් ලැබුනා වගේම සිංගප්පූරුව දියුණු රටක් වෙන්න ලී ක්වාන් යූගෙන් විශාල දායකත්වයක් ලැබුණා තමයි. වෙනත් අයෙක් ලංකාවේ බලයේ සිටියානම් ඇතැම්විට යුද්ධය නොදිනන්න ඉඩක් තිබුණා වගේම වෙනත් අයෙක් සිංගප්පූරු අගමැතිව සිටියානම් ඇතැම්විට සිංගප්පූරුව මේ තරම් ඉක්මණින් දියුණු රටක් නොවෙන්නත් ඉඩ තිබුණා.

නමුත්, ලංකාවේ සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීම වගේම සිංගප්පූරුව දියුණු වීමත් සාධක විශාල ප්‍රමාණයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. මේ දෙකම වෙන කිසියම් අයෙකු අතින් වුවත් සිදුවිය හැකිව තිබුණා. (එයින් අදහස් කරන්නේ වෙන ඕනෑම අයෙකු අතින් කියන එක නෙමෙයි).

වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ ලංකාවේ ජනාධිපති ජේආර් ජයවර්ධන නොවී මහින්ද රාජපක්ෂ වුනානම් ඒ වෙලාවේ යුද්ධය අවසන් වෙනවා කියා කවුරු හරි හිතනවානම් එය මුලාවක්. සිංගප්පූරුව දියුණුවීම ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි. යුද්ධයක් දිනීම හෝ රටක් දියුණු කිරීම සඳහා පාලකයෙක් අවදානම් තීන්දු ගත යුතුයි. නමුත්, මේ අවදානම් ගැනීම් වලින් හැම විටම අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය යම් තරමකට වාසනාව මතත් තීරණය වන දෙයක්. ලැබෙන ප්‍රතිඵලය අනුව කෙනෙක් වීරයෙක් හෝ දුෂ්ඨයෙක් විය හැකියි. බලාපොරොත්තු වූ විදිහට වැඩේ කෙරුණොත් වීරයා වන කෙනාගේ වාසියට ඉතිහාසය ලියැවිලා අවශේෂ කරුණු අමතක වී යනවා.

අවසන් ප්‍රතිඵලය පැත්තකින් තිබ්බොත්, ලංකාව සම්බන්ධවම වුවත් මෙවැනි අවදානම් තීන්දු ගත් පාලකයින් ඉන්නවා. සිරිමාවෝ බණ්ඩාරනායක හා ජේ ආර් ජයවර්ධන උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. වැඩේ පත්තු වුනානම් මේ අයත් ලී ක්වාන් යූලා. ලී ක්වාන් යූ කියන්නේ දැවැන්ත චරිතයක්. නමුත්, ලී ක්වාන් යූ ප්‍රතිරූපය මේ වෙද්දී එය පුම්බලා තියෙන තරමටම ලොකු එකක් නෙමෙයි.

මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.

එළියට දැමීමේ කතාවෙන් පටන් ගත්තොත්, සිංගප්පූරුව නිදහස් රටක් වුනේ 1965දී. ඊට පෙර සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්ව පැවතුනා. නමුත්, සිංගප්පූරු මැලේසියා දීගය දෙවසරක ඉතා කෙටි දීගයක්. 1963 දක්වා  වසර 16ක පමණ කාලයක් සිංගප්පූරුව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ස්වාධීන පාලනයක් ලෙස හා වෙනම බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස මැලේසියාවෙන් වෙන්ව පැවතුනා. මැලේසියාවට නිදහස ලැබෙන විට මැලේසියාව සමඟ  එකතු වෙන්න වැඩිපුරම අවශ්‍ය වුනේ සිංගප්පූරුවටයි. ඒ වන විටත් (1959 සිට) සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ. පසුගිය සියවසේ මුල භාගයේදී ලංකාවේ ඇතැම් දෙමළ නායකයින්ට මුළු රටේම නායකයින් වීමට තිබුණු ආකාරයේ උවමනාවක් සමහර විට ලී ක්වාන් යූටත් තිබුණා වෙන්න පුළුවන්.

සිංගප්පූරුව හා මැලේසියාව එකතුව සිටි දෙවසර තුළ වුවත් රටවල් දෙක හරියටම එකම රටක් විදිහට ක්‍රියාත්මක වුනේ නැහැ. මේ දීගය මුල සිටම අවුල් ගොඩක් තිබුණු දීගයක්. මැලේසියාවෙන් එළියට දැම්මේ හදිසියේ වුවත් එය කොයි වෙලාවක හෝ සිදුවන දෙයක් බව ලී ක්වාන් යූ පැහැදිලිවම දැන සිටියා.

සිංගප්පූරුව කියන්නේ කිසිදු වගාවක් කරන්න ඉඩක් ඉතිරිව නොතිබුණු බිමක් බව ඇත්ත. නමුත්, ඉංග්‍රීසින් විසින් කාලයක් තිස්සේම සිංගප්පූරුව වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබුණා. එය ලී ක්වාන් යූගේ දැක්ම මත සිදු වූ සුවිශේෂී දෙයක් නෙමෙයි. ඒ වගේම,  ලී ක්වාන් යූ විසින් භාරගත් සිංගප්පූරුව සංවර්ධිත රටක් නොවූවත් සැලකිය යුතු ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් එක් රැස්වී තිබුණු තැනක්. එය කිසිවක් නොතිබුණු දුප්පතුන් පිරී සිටි මුඩුබිමක් නෙමෙයි.

සිංගප්පූරුව නිදහස් රටක් වූ 1965දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 516.5ක්. නමුත්, ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 152.9 ක් පමණයි. ලී ක්වාන් යූ අගමැති ධුරය භාරගත් කාලයට ගියත් සිංගප්පූරුව කියා කියන්නේ ඒ වන විටත් ජපානය හැරුණු විට ආසියාවේ හොඳම ජීවන තත්ත්වයක් තිබුණු තැනක්. 1960දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක්. ලංකාවේනම් ඇමරිකන් ඩොලර් 142ක් පමණයි. ඒ වගේම මැලේසියාවත් මේ කාලය වෙද්දී පවා හිටියේ ලංකාවට වඩා උඩින්. 1960දී මැලේසියාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 235ක්. එසේ නැත්නම්  ලී ක්වාන් යූ මැලේසියාව සමඟ එකතු වෙන්න හිතන්නේ නැහැ.

ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.

ලී ක්වාන් යූගේ දරදඬු පාලනය සිංගප්පූරුව අද තියෙන තැනට එන්න උදවුවක් වුවත් සිංගප්පූරුව අද තියෙන තැනට ආවේ ඔහුගේ දරදඬු පාලනය නිසාම කියා කියන්න බැහැ. මේ දරදඬු පාලනය වගේම රාජ්‍යමූලික සංවර්ධන උපාය මාර්ගයත්  සිංගප්පූරුවට වාසිදායක වුණේ සුවිශේෂී හේතු කිහිපයක් නිසා. ඒ ගැන පසුව වැඩිපුර කතා කරමු.

සිංගප්පූරුවට වේගයෙන් දියුණු වෙන්න මූලික වශයෙන්ම උපකාරී වුනේ එහි ආනයන අපනයන ආර්ථිකයයි. සිංගප්පූරුවට ආනයන අපනයන වේගයෙන් වර්ධනය කර ගනිමින් දියුණු වීමට උපකාරී වූ කරුණු අතර ලී ක්වාන් යූගේ දරදඬු පාලනයට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කර තිබීම, භූගෝලීය පිහිටීම, කුඩා දූපතක් වීම, කුඩා ප්‍රදේශයක ජීවත් වූ නොවිසුරුණු කුඩා ජනගහණයක් සිටීම, සංස්කෘතික සාධක (චීන සම්භවය හා ඉංග්‍රීසි සංස්කෘතිය යටතේ පුහුණු වී සිටීම) ආදී කරුණු ගණනාවක් බලපා ඇති බව සිතිය හැකියි.

මේ කරුණු අතරින් ලී ක්වාන් යූගේ දරදඬු පාලනයේ දායකත්වය කුමක්ද කියා අපට බැලිය හැක්කේ ආසන්න වශයෙන් හෝ අනෙක් සාධක ගැලපෙන වෙනත් තැනක් ඇත්නම් පමණයි. එසේ නැතුව සිංගප්පූරුව ලංකාව හෝ වෙනත් අහඹු තැනක් සමඟ සසඳා අපට නිගමන වලට පැමිණිය නොහැකියි.

හොඳ වෙලාවට එවැනි තැනක් තිබෙනවා. ඒ හොංකොං. හොංකොං කියා කියන්නේත් බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ, චීන සම්භවයක් සහිත මිනිසුන් වෙසෙන, කුඩා දූපතක්. දුපතේ ප්‍රමාණය හා ජනගහණය අනුව හොංකො බොහෝ දුරට සිංගප්පූරුවට සමානයි. බ්‍රිතාන්‍යය විසින් චීනයෙන් 99 අවුරුදු බද්දට ලබාගෙන තිබුණු හොංකො දූපත 1997දී නැවත චීනයට භාර දෙනු ලැබූ නිසා සිංගප්පූරුව හා සංසන්දනය කළ යුත්තේ ඊට පෙර කාලයයි. මේ කාලයෙන් වැඩි කොටසක් ලී ක්වාන් යූ සිංගප්පූරුවේ අගමැති සේ කටයුතු කළ අතර ඉතිරි කාලය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළා.

1960දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක්. 1997දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 26,276ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 27,330ක්. රටවල් දෙකේම ආදායම් වර්ධනය වී තිබෙන්නේ එකම රටාවකට බව පහත ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලි වෙනවා. (චීනයේ කොටසක් වුනාට පස්සේ හොංකොං වලට සිංගප්පූරු ගැම්මටම යන්න බැරි වුනා.) ඒ කියන්නේ ලී ක්වාන් යූ හා ඔහුගේ දරදඬු නීති සමඟ සිංගප්පූරුව යම් ප්‍රගතියක් අත්පත් කරගත්තානම් ලී ක්වාන් යූ කෙනෙක් නොසිටි හොංකොං රටත් ඒ කාලය තුළ එවැනිම ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.


ගොනා එක්ක කරත්තයත් යා යුතුයි. නමුත්, කරත්තය ගොනාට කලින් යා යුතු නැහැ. රටවල් දියුණු වෙන කොට මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන හිතන්න ඉස්පාසුවක් ලැබෙනවා. එතකොට ටිකින් ටික විනය හැදෙනවා. එය ස්වභාවිකවම වෙන දෙයක්. ලංකාවෙන්ම උදාහරණ පෙන්වන්න පුළුවන්. ලිපිය දිග් ගැහෙනවා.

සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා.

කලින් කිවුවා වගේ සිංගප්පූරුව කවදාවත් ලංකාවට පසුපසින් හිටියේ නැහැ. සිංගප්පූරුව කියන රට හැදෙන විටත් එහි ඒපුදදේනි ලංකාවේ මෙන් තෙගුණයකටත් වඩා වැඩියි. ඒ වගේම ලංකාව පසුපසට ගිහින් නැහැ. 1960දී ඇමරිකන් ඩොලර් 142ක් පමණක් වූ (නිදහස ලැබෙන විට ඇමරිකන් ඩොලර් 118ක් පමණක් වූ) ලංකාවේ ඒපුදදේනි මේ වෙද්දී ඇමරිකන් ඩොලර් 4000 පන්නා තිබෙනවා. ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වී තිබෙනවා. 1960දී ලංකාවට වඩා පසු පසුපසින් සිටි තායිලන්තය වැනි ඇතැම් ආසියානු රටවල් මේ වෙද්දී ලංකාව ඉක්මවා ඉදිරියට ගොස් ඇති බව ඇත්තක් වුවත් පිලිපීනය වැනි වෙනත් ඇතැම් ආසියානු රටවල් හා 1960දී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අප්‍රිකානු රටවල් ගණනාවක් පසුකරන්න ලංකාව සමත් වී තිබෙනවා. සිංගප්පූරුව තරම්  වේගයෙන් ලංකාව ඉදිරියට ගොස් නැතත් ලංකාව එන්න එන්නම පස්සට ගියා කියන එක බොරුවක්. (ඒ වගේම පහුගිය දශක දෙක දිහා බැලුවොත් ලංකාව සිංගප්පූරුවට වඩා ගොඩක් වේගයෙන් ඉදිරියට යනවා.)

ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමන එක හොඳ අදහසක් නෙමෙයි. රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, වංචාව දූෂණය නාස්තිය අවම කිරීම වගේ දේවල් කළ යුතුයි. හැබැයි මේ දේවල් කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. සිංගප්පූරුව සිංගප්පූරුවක් වෙන්න හේතු වූ සුවිශේෂී තත්ත්වයන් සියල්ල ඒ ආකාරයෙන්ම ලංකාවට ආදේශ කරන්න බැහැ.

කලකට පෙර ඔය කුරුණෑගල පැත්තේ මීවැල්ලාව කියා පන්සලක බෝධියකින් බුද්ධ රූපයක් මතු වුනා. ඒ එක්කම රටේ හැම පැත්තෙන්ම ඔය ගමට ට්‍රිප් යන්න පටන් ගත්තා. ඒ එක්කම මේ අභ්‍යන්තර සංචාරකයින් ඉලක්ක කරගත් ආර්ථිකයක් ගමේ හැදුණා. ඔය වගේ සිද්ධියකින් පස්සේ ගමක් කෙටි කලක් ඇතුළත වේගයෙන් දියුණු වෙන්න පුළුවන්.

මීවැල්ලාව රැල්ල ටික කාලයකින් නැතුව ගියා. ඔය වගේ සමහර රැළි කාලයක් දිගටම තියෙනවා. ඉන්දියාවේ පුත්තපාර්තිය ගැන හිතන්න. සායි අනුගාමිකයින් නිසා  ඇති වුනු විශාල ආර්ථිකයක් එහි තිබෙනවා. නමුත්, මෙවැනි ආර්ථිකයක් විශාලනය කරන්න බැහැ (unscalable). සිංගප්පූරු ආර්ථිකයත් ඒ වගේ එකක්. එය හොංකොං වගේ තැනකට හරියනවා. නමුත්, ලංකාවට හරියන්නේ නැහැ.

මාල දිවයින වගේ රටකට සංචාරක ව්‍යාපාරය වගේ දෙයකින් පමණක් ගොඩ යන්න පුළුවන්. රටේ ජනගහණය ලක්ෂ හතරකට පොඩ්ඩයි වැඩි. අවුරුද්දකට ඒ වගේ තුන් ගුණයක් සංචාරකයෝ එනවා. දැනට එහි පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය දහ ගුණයකින් වැඩි කරන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. මිලියන් දොළහක් මාල දිවයිනට ගෙන්වා ගන්න තරම් සංචාරක ඉල්ලුමක් ලෝකයේ තියෙනවා. එවිට රටට එන සල්ලි වලින් මාල දිවයිනේ ඒක පුද්ගල ආදායම හත් අට ගුණයකින් ඉහළ යන්න පුළුවන්. එක මාල දිවයින් වැසියෙකුට වසරකට සංචාරකයෝ තිහක් විතර එනවනේ.

හැබැයි ලංකාවට ඔය ඉලක්කයට යන්නනම් වසරකට සංචාරකයෝ මිලියන හයසීයක් ගෙන්න ගන්න වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටක් කුඩා වෙද්දී බාහිර ඉල්ලුම ගැන වැඩිපුර අවධානය යෙදිය යුතු වුවත් රටක් ලොකු වෙද්දී අභ්‍යන්තර ඉල්ලුම ගැන හිතන්න වෙනවා. ඇමරිකාව, ඉන්දියාව, චීනය, සෝවියට් දේශය වගේ රටකට ජාත්‍යන්තර වෙළඳාම කොයි තරම් වාසිදායක වුවත්, ලොකු දේශීය ඉල්ලුමක් හා දේශීය නිෂ්පාදිතයක් නැතුව වැඩිදුර යන්න බැහැ. මොකද ඒ රටවල්වල තරමට අවශ්‍ය තරම් විශාල බාහිර ආර්ථිකයක් නැහැ.


ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටකට අවශ්‍යනම් ස්වයංපෝෂිත ආර්ථිකයක් පවත්වා ගන්න බැරිකමක් නැහැ. නමුත්, ලංකාවට ඒක කරන්නත් බැහැ. කරන්න ගියොත් දැන් ඉන්න තැනිනුත් පහළට වැටෙනවා. හැබැයි එහෙම කියලා දේශීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අමතක කරලා සිංගප්පූරුව වගේ වෙන්නත් බැහැ. ඔය දෙකේ මනා සංකලනයක් ලංකාවට අවශයි. මේක මීට වඩා බර විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අවශ්‍ය නැහැනේ.

සිංගප්පූරු ආර්ථිකය පදනම් වෙලා තියෙන්නේ ආනයන අපනයන වෙළඳාම මතයි. දළ වශයෙන් කිවුවොත් සිංගප්පූරුව කරන්නේ ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වලින් වැඩිපුර ආනයනය කරලා චීනය, කොරියාව වගේ රටවලට වැඩිපුර අපනයනය කරන එකයි.

සිංගප්පූරු ජාතිකයින් බහුතරය මැන්ඩරීන් චීන්නු. ඒ නිසා, ඔවුන්ට අනෙක් කහ මිනිස්සු එක්ක ගණුදෙනු කරන එක පහසුයි. ඒ එක්කම බටහිර එක්ක ගණුදෙනු කරන්න අවශ්‍ය සංස්කෘතික පුහුණුවත් ඔවුන්ට තිබෙනවා. චීන්නුන්ට මෙය නැහැ. ඒ නිසා, සිංගප්පූරු කාරයෙක්ව අතරමැදියෙක් විදිහට තියාගන්න එක චීනටත් වාසියි. සුද්දටත් වාසියි.

සිංගප්පූරුව කාලයක් තිස්සේ ගත්ත මේ වාසිය වෙන රටකට ඒ  විදිහටම ගන්න බැහැ. ඒ වගේම මේ වාසිය ලංකාව තරමේ රටකට විශාලනය කළ හැකි එකකුත් නෙමෙයි. (මේක දළ පැහැදිලි කිරීමක් පමණයි.) ඒ වගේම දැන් ටික කලක ඉඳලා බටහිර එක්ක ගනුදෙනු කළ හැකි චීන්නු, කොරියන් කාරයෝ වේගයෙන් වැඩි වෙනවා. ඒ නිසා මේ වාසියත් ක්‍රමයෙන් ගිලිහෙනවා. සිංගප්පූරුවනම් දැන් ගොඩ ගිහින් ඉවර නිසා ආපහු වැටෙන්නේ නැහැ. ඒත් වෙන රටකට අනෙක් අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත් අනාගතේ ඔය වාසිය ගන්න බැහැ.

 "xxx"ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි. 

මේ සංවාදයට පුද්ගලයෙක් කොහෙත්ම වැදගත් නැති වුනත් මේ වෙලාවේ ලී ක්වාන් යූ කෙනෙක්ට ලංකාවේ තිබෙන ඉල්ලුම එක්ක වැඩිපුරම ගලපමින් තිබෙන්නේ  ගෝඨාභය රාජපක්ෂ නම නිසා අපට ඔහුව මුළුමනින්ම මග හැර කතා කරන්නත් බැහැ. හැබැයි මේ ඉල්ලුම ගෝඨාභය නම මතු වෙන්න කලින් සිටම කාලයක් තිස්සේ තිබුණු එකක්. ජේආර් මතු වෙද්දීත් මේ කතිකාව යම් තරමකට මතු වී තිබුණා. අනෙක් අතට ගෝඨාභය ගැන පුද්ගලයෙකු සේ සැලකුවොත් ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු වීම මේ වන විටත් දුරස්ථ කරුණක්.

ලී ක්වාන් යූ කෙනෙක් විදිහට ලංකාවේ මිනිස්සු ගෝඨාභයව තෝරා ගත්තත්, වෙන කෙනෙක් තෝරාගත්තත් ඒ තෝරා ගන්නා පුද්ගලයා බලයට පත් වූ පසු ක්‍රියා කරන්න ඉඩ තිබෙන ආකාරය ගැන කිසිම සහතිකයක් නැහැ. ලෝක ඉතිහාසය පුරා විවිධ රටවල සාර්ථක වූ එක් ආඥාදායකයෙකුට අසාර්ථක වූ අය විශාල ගණනක් ඉන්නවා. යම් හෙයකින් ඒ විදිහට ක්‍රියා කළත්, එසේ කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් වෙන්නේත් නැහැ.

පුද්ගලයෙක් විදිහට ගෝඨාභය ගත්තොත්, යකා කියන තරම් කළු නැහැ කියනවා වගේ, පවතින බාහිර තත්ත්වයන් යටතේ ඔහු ගොඩක් අය හිතන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස් ආකාරයකට හැසිරෙන්න වුවත් පුළුවන්. ග්‍රීසියේ සිරිසා සන්ධානය වගේ. ගෝඨාභය කියන පුද්ගලයාට වඩා ප්‍රශ්නය තිබෙන්නේ ඔහුට කැමති මිනිස්සු ඔහුගෙන් අපේක්ෂා කරන දේවල් වලයි. මිනිස්සුන්ගේ ඉල්ලුම තිබෙන්නේ ආඥාදායකයෙකුටනම් ගෝඨාභය හෝ වෙනත් නොහිතනම අයෙකු ආඥාදායකයෙකු සේ මතු වෙන්න පුළුවන්. වැඩේ වැරදුනා කියා තේරෙන කොට පරක්කු වැඩි විය හැකියි.

(Image credit: http://cheekiongyeo.com/contemporary-sculpture-series/figurative/timeless/lky-front-cover/)

Sunday, July 21, 2019

සිංගප්පූරු සිහිනය


සිංගප්පූරු ආකෘතිය ලංකාවට හරි නොයන්නේ සිංගප්පූරුව කියන රට ආර්ථික වශයෙන් දියුණු වෙද්දී මිනිස්සු යන්ත්‍ර බවට පත් වෙලා තිබෙන නිසාම නෙමෙයි. කාට හරි කියන්න පුළුවන්නේ දැන් ඉන්න හැටියට ඒකෙත් වැරැද්දක් නැහැ කියා. සරලවම සිංගප්පූරු ආකෘතියෙන් ලංකාව ගොඩ දාන්න බැහැ.

හොඳ ප්‍රධාන විධායක නිලධාරියෙකුට කාලයක් තිස්සේ ලාබ නොලැබූ පෞද්ගලික සමාගමක් ගොඩ දාන්න පුළුවන්. එවැනි කෙනෙක් මුලින්ම කරන්නේ සමාගමේ නීති රීති හා ක්‍රමවේදයන් සේවකයින් විසින් අනුගමනය කරන බව තහවුරු කිරීමයි. සමාගමේ ලාබ ඉහළ යාම හා ඒ ලාබ වලින් කොටසක් තමන්ගේ අතට ලැබී තමන්ගේ ජීවිත සැපවත් වන බව ප්‍රධාන විධායක නිලධාරියා විසින් සේවකයින්ට ඒත්තු ගන්වනු ලැබුවහොත් ගොඩක් සේවකයින් කැමැත්තෙන්ම සමාගම් විනයට අනුගත වෙනවා. ගොඩක් දෙනෙක් සමාගම් විනයට අනුගත වන බව පෙනෙන විට ඉතිරි අයගෙන් වැඩි දෙනෙකුත් අනුගත වෙනවා. ඒ විදිහට අනුගත නොවන ටික දෙනෙක්ව බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මට පස්සේ ඉතිරි වෙන ටික දෙනාත් සමාගම් විනයට අනුගත වෙනවා. ඊට පස්සේ වැඩේ පහසුයි. සිංගප්පූරුව කියන රට ක්‍රියාත්මක වෙන්නෙත් තනි ලොකු සමාගමක් ක්‍රියාත්මක වන ආකාරයටයි.

සිංගප්පූරු ආකෘතියෙන් ගොඩ යාමේ හැකියාවක් තිබෙන්නේ සිංගප්පූරුව වගේ නාගරික රාජ්‍යයකටම පමණයි. ගොඩක් ලොකු රටක් නොවුණත් ඒ ආකාරයට ගොඩ යන්න නොහැකි තරමට ලංකාව ලොකුයි. දෙවැනි හේතුව ආසන්න වශයෙන් ජගත් පතිරණගේ පහත ප්‍රකාශය ඇතුළේ තියෙනවා.

"සිංගප්පූරුව කියන්නේ මූලධර්මවාදී ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. ... [එහි] පවතින්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ ඉංග්‍රීසි බාශාවට පලමු තැන සහ අනෙක් සංස්කෘතීන් සියල්ලට දෙවෙනි තැන. තුන්වැනියෝ නෑ."

ඔය කතාවේ ඇත්තක් තිබෙනවා. පොදු සිංගප්පූරු සංස්කෘතිය කියන්නේ චීන, මැලේ හෝ දෙමළ සංස්කෘතිය නෙමෙයි. ඔය සංස්කෘතීන් තුනටම අයත් අය එකතු කිරීම සඳහා පිටින් ආනයනය කර බලහත්කාරයෙන් සිංගප්පූරුව මත පැටවූ සංස්කෘතියක්. එසේ කිරීම සිංගප්පූරුවේ වේගවත් ආර්ථික ගමනට විශාල ලෙස දායක වී තිබෙනවා.

සිංගප්පූරුවේ බහුතරය චීන්නු. එහෙත්, ඔවුන් සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වෙන විට කාලයක් මැලේසියාවේ සුළුතරයක් සේ සිටි පිරිසක්. සාපේක්ෂව මෑත කාලයකදී ආර්ථික හේතු මත මැලේසියාවට සංක්‍රමණය වී, මැලේසියාව පුරා විසිරී සිටි පිරිසක්. එහි වෙසෙන තෙවන ප්‍රධාන කණ්ඩායම වන දෙමළුන් කියන්නේත් එවැනිම පිරිසක්. ඒ නිසා  චීන්නුන්ට හෝ දෙමළුන්ට තමන්ගේ මුල් සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රමුඛ සංස්කෘතිය නොවීම ප්‍රශ්නයක් වුණේ නැහැ. චීන බහුතරයක් සහිතව සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වෙද්දී ඉන්දියාව හා පකිස්තානය වෙන් වෙද්දී වගේ මැලේසියා කොටසේ හිටපු චීන්නු විශාල වශයෙන් සිංගප්පූරුවට ආවේ නැහැ.

අනෙක් අතට මැලේසියා කොටසට ගිහින් භූමිපුත්‍රයින් නොවී සිංගප්පූරු කොටසේ රැඳුණු මැලේ ජාතිකයින් එසේ කළේ ඔවුන්ද ඔවුන්ගේ මැලේ සංස්කෘතික අනන්‍යතාවයට ලොකු බරක් නොදුන් පිරිසක් වූ නිසයි. ඒ නිසා, මැලේ, චීන, දෙමළ සංස්කෘති සියල්ල දෙවන තැනට දමා ඔය තුනටම නැති ආනයකික පොදු සංස්කෘතියක් ඇතුළේ සියලුම සිංගප්පූරුවන් විනයගත කිරීම ලී ක්වාන් යූට අමාරු වුනේ නැහැ.

ඔය වගේ දෙයක් කරන්න බැරි තරමට ලංකාවේ තත්ත්වය සංකීර්ණයි වගේම පසුබිම වෙනස්. ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවය දරන අයගේ ඒ අනන්‍යතාවය ගොඩක් ප්‍රබලයි. ඒ වගේම ලංකාවේ දෙමළුන්ටත් අවුරුදු 26ක කාලයක් තිස්සේ යුද්ධයක් ඇදගෙන යන්න පුළුවන් තරමට ශක්තිමත් අනන්‍යතාවයක් තිබුණා. ලංකාවේ මුස්ලිම් අයත් තමන්ගේ අනන්‍යතාවය පවත්වා ගනිමින් සෑහෙන කලක් තිස්සේ රටේ ජීවත් වෙනවා. ඉන්දියානු දෙමළුන් හා අනෙක් සුළු කණ්ඩායම් අමතක කළත්, ඉහත කී රටේ ප්‍රධාන කණ්ඩායම් තුනම ආනයනික ආගන්තුක සංස්කෘතියක් ඇතුළට රිංගවලා පොදු සංස්කෘතියක් හදන එක සිංගප්පූරුවේදී කළ තරම් ලේසියෙන් කරන්න බැහැ.

සංස්කෘතික කරුණු අමතක කර ආර්ථික කරුණු වලටම ආපසු ආවොත් සිංගප්පූරුව බිහි වුනේ "ජලය නැති, වගා බිම් අඩු, කිසිඳු ආදායම් මාර්ගයක් පිළිබඳව හෝඩුවාවක් නැති බිම් කඩකයි". මේ වගේ තැනක් ගොඩ දාන්න පුළුවන්කම තිබුණේ මුළුමනින්ම ලෝකයට විවෘත කිරීම හරහා පමණයි. තමන්ගේ සම්ප්‍රදායික රැකියා සමඟ හෝ ජීවන විලාසිතා සමඟ අත් නොහැරිය හැකි ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබුණු මිනිස්සු සිංගප්පූරුවේ හිටියානම් ඒ ඉතා අඩුවෙන්.

ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාව කියන්නේ රට වටා සම්පත් පිරුණු මුහුදක් තිබෙන, වියලී ගිය දණ්ඩක් වුවත් දළු ලන සරු පසක් තිබෙන වාසනාවන්ත රටක් කියා හිතන බොහෝ දෙනෙක් තවමත් ලංකාවේ ඉන්නවා. එහෙම හිතන බොහෝ දෙනෙක් ඔය කියන සරු පසේ මඤ්ඤොක්කා දණ්ඩක්වත් හිටවන්නේ නැති, බිලී පිත්තක් අරගෙන මාලුවෙක් අල්ල ගන්න කවදාවත් නොහිතන අය වීම වෙනම කතාවක්. ඒ වුවත්, මේ ගොඩක් අයගේ සිහිනය කවුරු හෝ ඔය මඤ්ඤොක්කා දණ්ඩ හිටවලා රට ගොඩ දායි කියන එකයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කියන්නෙත් ලංකාවට කොහොමටත් හරියන එකක් නෙමෙයි. ඒ ගැන වෙනම කතා කරමු. ඒ වුනත්, එහි අනික් අන්තය වන සිංගප්පූරු අන්තයත් ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ අන්තයට යන්න අත ඇරිය යුතු දේවල් ලංකාවේ මිනිස්සු ලේසියකට අතාරින්නේ නැහැ. බලෙන් ඒ කටයුත්ත කරගන්න උත්සාහ කරන පාලකයෙක්ට යම් හෙයකින් අවස්ථාවක් ලැබුණත් එවැන්නෙකුට ලංකාවේ දිගුකාලීන පැවැත්මක් නැහැ.

Saturday, July 20, 2019

සිංගප්පූරු ආකෘතිය


සිංගප්පූරු ආකෘතිය ගැන චන්දිම ගෝමස් විසින් ඉතා හොඳ ලිපියක් ලියා තිබෙනවා. මෙය මා කාලයක් තිස්සේ කතා කරන්න හිතාගෙන හිටපු මාතෘකාවක්. ලියන්න හිතා ගෙන හිටපු බොහෝ දේ චන්දිම ගෝමස් විසින් ලියා තිබෙනවා. (එම ලිපිය පළවූ දින මේ ලිපිය හා ඊළඟ ලිපිය ලිවීමෙන් පසුව චන්දිම ගෝමස්ගේ ලිපි පෙළ තවත් ඉදිරියට ගොස් තිබෙනවා.)

සිංගප්පූරුව කියන රට බිහි වෙන්න කලින් එය මැලේසියාවේ කොටසක්. රාජ්‍ය පාලන ආකෘතියේ වෙනස්කම් නොතිබෙන්නට අදටත් සිංගප්පූරුව මැලේසියාවට බොහෝ අතින් සමානව තිබිය හැකිව තිබුණා. මෑතක් වන තුරුම මැලේසියාවේ ජීවත් වූ චන්දිම වැනි කෙනෙක් සිංගප්පූරුව ගැන සටහන් කරන දෙයෙහි මා ලියනවාටත් වඩා විශ්වාසනීයත්වයක් තිබෙනවා.

සිංගප්පූරුව පසුගිය සියවසේ අවසන් දශක තුන ඇතුළත වේගයෙන් දියුණු වූ රටක්. ඒක පුද්ගල ආදායම අනුව දැනට ඉහළින්ම සිටින ආසියාතික රට සිංගප්පූරුවයි. ඒක පුද්ගල ආදායම අතින් සිංගප්පූරුව ඉන්නේ ඇමරිකාවටත් ඉහළින්. එහෙත්, චන්දිම ගෝමස් කියන විදිහට ඔහු දැනට පා තබා තිබෙන රටවල් අතරින් යන්න අකැමතිම රට සිංගප්පූරුවයි. ඒ ඇයි කියා ඔහු හේතු දක්වනවා.

ලංකාව සිංගප්පූරුවක් කරන්න කතා කරන අයගේ අඩුවක් නැහැ. මේ ගොඩක් අය සමාජවාදයට විරුද්ධ අය වීමත් කැපී පෙනෙනවා. සිංගප්පූරුව ධනවාදී රටක් කියා ඔවුන් හිතාගෙන ඉන්නවා ඇති. නමුත්, ලෙනින්ගේ මුහුණ ගලවලා ලී ක්වාන් යූගේ මුහුණ ඇලෙව්වා කියා රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් තිබෙන රටක් ධනවාදී රටක් වෙන්නේ නැහැ.

රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ විනාශ වූ රටවල් විශාල ප්‍රමාණයක් අතරේ සාර්ථක ප්‍රතිඵල නෙලාගත් රටවල්ද  තිබෙනවා. සිංගප්පූරුවම උදාහරණයක් ලෙස පෙන්විය හැකියි. ඇත්තටම කියනවානම් ලෙනින්ගේ සෝවියට් දේශයත් රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ සාර් රුසියාව සිටි තැන සිට විශාල දුරක් යන්න සමත් වුණා. ඒ ක්‍රමයට යා හැකි සීමාව පෙනෙන්න පටන් ගත්තේ දශක ගණනාවකට පසුවයි. ඒ විතරක් නෙමෙයි. හිට්ලර්ගේ ජර්මනියත් රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් යටතේ විශාල පිම්මක් පැන්නා.

ආර්ථික වර්ධනය රටකට ඉතා වැදගත්. නමුත්, ආර්ථික වර්ධනය වෙනුවෙන් ගෙවිය යුතු මිල ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ වලට වඩා වැඩි විය යුතු නැහැ.

දැනට දශක දෙකකට පමණ පෙර මා මුල් වරට සිංගප්පූරුවට අඩිය තැබූ දවසේ හොල්මං වුණා කියා කියන්න පුළුවන්. රටට ඇතුළු වූ වහාම මා දුටු පිරිසිදුකම හා පිළිවෙළ අද වන තුරුත් කිසිදු රටකදී දැක නැති බව කිව යුතුයි. සති දෙක තුනකට පෙර සිංගප්පූරුවට අඩිය තබන විටත් මේ තත්ත්වය එසේම දැකිය හැකිව තිබුණා.

ඒ විතරක් නෙමෙයි. සිංගප්පූරුව දවසින් දවසම අලුත් වන රටක්. වසරක හෝ දෙකක කාලාන්තරයකින් පසුව රටට ඇතුළු වන විට බොහෝ දේ වෙනස් වෙලා. හැබැයි මේ වෙනස්කම් සියල්ලම වගේ භෞතික වෙනස්කම්. සිංගප්පූරු මිනිස්සුනම් එදත් රජයෙන් පාලනය කරන යන්ත්‍ර. එය අදත් එහෙමයි. මේ ගැන චන්දිම ගෝමස්ගේ අදහස මෙවැන්නක්.

"සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත."

සිංගප්පූරුව දවසින් දවසම අලුත් වන රටක් කියා මා කිවුවනේ. චාන්ගි ගුවන් තොටුපොළ හා යාබදව තනා ඇති "ජුවෙල්" වෙළඳ හා විනෝදාස්වාද සංකීර්ණය විවෘත කර දැනට මාස කිහිපයකට වඩා නැහැ. යුදෙවුවෙකු වන මෝෂේ සෆ්ඩී විසින් සැලසුම් කර ඇති මෙය අපූරු නිර්මාණයක්.

ජුවෙල්හි ප්‍රධානම ආකර්ෂණය ලෙස හැඳින්විය හැක්කේ එහි ඇති කෘතීම දිය ඇල්ලයි. එම දිය ඇල්ල අවට කෘතීම වනාන්තරයක්ද නිර්මාණය කර තිබෙනවා. කෘතීම වනාන්තරයක් කියා කිවුවත් එහි තිබෙන්නේ ස්වභාවික ගස්වැල්. ජුවෙල් වැනි තැනක් පමණක් නෙමෙයි පොදුවේ සිංගප්පූරුවම ගත්තත් මේ රට ස්වභාවික ගස්වැල් හා කොන්ක්‍රීට් ඉදිකිරීම් මනාව මිශ්‍ර කර තිබෙන වෙළඳ හා විනෝදාස්වාද සංකීර්ණයක්. මේ ගස් වැල් ස්වභාවික ගස්වැල් වුවත් රටේ හැම ගහක්ම හැම වැලක්ම වගේ පැලවී තිබෙන්නේ සිංගප්පූරු රජයට අවශ්‍ය තැන් වලයි.

සිංගප්පූරු ස්වභාවිකත්වය කියන්නේම සැලසුමක කොටසක් වන කෘතීම ස්වභාවිකත්වයක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ ස්වභාවික හැසිරීම් ගැන කියන්න තිබෙන්නේත් ඒ ටිකමයි. අර කතාවක් තිබෙනවානේ පිරිමි දෙන්නෙක් හා එක් ගැහැණියක් කූඩු කර තැබූ විට සිදු වන දේ ගැන. සිදුවන දේ තීරණය වන්නේ මේ තිදෙනාගේ ජාතිකත්වය මතයි. කූඩු කර ඇත්තේ ඇමරිකානුවන්, චීන්නු, ඉන්දියානුවන්, රුසියානුවන් ආදී ලෙස වෙනස් වෙද්දී සිදු වන දෙයත් වෙනස් වෙනවා.

ඒ අනුව, පිරිමි දෙන්නා මරාගෙන ඉතිරි වන පිරිමියා විසින් ගැහැණියව අයිති කර ගැනීම, පිරිමින් දෙදෙනා විසින් ගැහැණියව හවුලේ බෙදා ගැනීම, ගැහැණිය පැත්තක සිටියදී පිරිමි දෙදෙනා එකතු වීම, ගැහැණිය මරා දමා පිරිමි දෙදෙනා එකතු වීම, ගැහැණිය විසින් තමන්ගේ කැමැත්ත පරිදි පිරිමියෙකු තෝරා ගැනීම, ගැහැණිය විසින් තමන්ගේ කැමැත්ත පරිදි පිරිමියෙකු තෝරා ගැනීමෙන් පසුව ඒ පිරිමියා ගැහැණියව අනෙක් පිරිමියාට විකිණීම, කේන්ද්‍ර ගැලපීම අනුව පිරිමියෙකු හා ගැහැණිය එකතු වීම ආදී විවිධ දේ සිදු විය හැකියි. කතාව අනුව, කූඩුවේ ඉන්නේ සිංගප්පූරු ජාතික පිරිමි දෙන්නෙකු හා ගැහැණියක්නම් සිදු වන්නේ ඔවුන් තිදෙනාම කළ යුතු දේ රජයෙන් දැනුම් දෙන තුරු කතාබහක්වත් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න එකයි.

චන්දිම ගෝමස් කියන විදිහට  සිංගප්පූරුවේ ඉන්නේ කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් නැති රොබෝවරුන්නම් ඒ වගේ රටක ජුවෙල් වගේ තැන් හැදෙන්නේ කොහොමද කියා කාට හරි අහන්න පුළුවන්. අඩි 130ක් උස ජුවෙල් දියඇල්ල එහි පසුබිමේ ඇති ගස් වැල් එක්ක ඉතා සුන්දර දසුනක්. සිංගප්පූරුව වගේ තැනක් කොන්ක්‍රීට් ගොඩක් විදිහට නොතබා මේ ආකාරයට ගස්වැල් එක්ක බ්ලෙන්ඩ් කරන එක නරක අදහසක් නෙමෙයි. හැබැයි ඔය වගේ දෙයක් ලොකු මැජික් එකක් වෙන්නේ ස්වභාවික දිය ඇලි නැති සිංගප්පූරුව වගේ තැනකටම තමයි.

මාවනම් හිතන්න වැඩිපුරම පෙළඹවූ මොහොත ස්විච් එකක් දමා ජුවෙල් දිය ඇල්ල ඔන් කරපු මොහොතයි. මම හිතන්නේ මේ වගේ මොහොතකින් සංකේතවත් කරන්නේ සිංගප්පූරු ජාතිකයෙකුට තිබිය හැකි කලාත්මක චින්තනයේ, ස්වභාවධර්මය පිළිබඳ සුන්දර හැඟීමේ සීමාවයි.

චන්දිම සිංගප්පූරුව හා අදාළව කරපු ආකාරයේ විවේචනයක් සෝවියට් දේශය හා අදාළව සාමාන්‍යයෙන් සිදු වන්නේ නැහැ. ගොඩක් අය පුන පුනා කියන්නේ සෝවියට් දේශය සාහිත්‍යය, කලාව ආදිය වෙනුවෙන් විශාල ඉඩකඩක් විවර කළා කියන එකයි. ජුවෙල් දිය ඇල්ල ඔන් ඕෆ් කරන මොහොත වැනි මොහොතක ළඟ හිටියේ නැත්නම් කාට වුනත් පෙනෙන්නේ සිංගප්පූරු රජය තමන්ගේ රටේ මිනිස්සුන්ගේ කලාත්මක චින්තනය, ස්වභාවධර්මය පිළිබඳ සුන්දර හැඟීම වෙනුවෙන් කොයි තරම් වැඩ කොටසක් කරල තියෙනවද කියන එක විතරයි.

(Image: https://www.businessinsider.sg/changi-airport-jewel-best-waterfall-forest/)

වෙබ් ලිපිනය: