වෙබ් ලිපිනය:

Showing posts with label විරැකියා අනුපාතය. Show all posts
Showing posts with label විරැකියා අනුපාතය. Show all posts

Thursday, August 21, 2025

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?

 


මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැන දැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින් කියාත් මහ බැංකුව කියනවා. මහ බැංකුවට මෙවැනි පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් පසුගිය මාස වලදී සිදුව ඇති බවට විවිධ අය විසින් සිදු කරන ප්‍රචාරයයි. 

මහ බැංකුව විසින් පැහැදිලි කර ඇති පරිදි මුදල් අච්චු ගැසීම යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මහ බැංකුව විසින්ම ආර්ථිකය වෙත අලුතෙන් මුදල් නිකුත් කිරීමයි. එනම් සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පුළුල් මුදල් සැපයුම (M2b) කියන්නේ ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාර වලින් එකක්. 

පසුගිය කාලයේදී රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් සිදු වී නැහැ. එහෙත් පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් ට්‍රිලියනය ඉක්මවන වැඩි වීමක් සිදු වී තිබෙනවා. මෙසේ පුළුල් මුදල් සැපයුම ඉහළ ගිය විට එය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ දැක්වීම මීට පෙරද සිදුව ඇති දෙයක්. 

ආර්ථික අර්බුදයට පෙර රටේ මුදල් සැපයුම හෝ සල්ලි අච්චු ගැසීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් නෙමෙයි. එහෙත් ආර්ථික අර්බුදයෙන් පසුව ගිණි පෙණෙල්ලෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කණාමැදිරින්ටද බය වීමේ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් විපක්ෂ දේශපාලනයින් විසින් මෙවැනි ප්‍රචාර සිදු කළා. එය දැනුත් සිදු වෙනවා. වෙනසකට තියෙන්නේ විපක්ෂය වෙනස් වී තිබීම පමණයි. 

මහ බැංකුව පැහැදිලි කරන පරිදිම, ඇත්ත වශයෙන්ම, මුදල් සැපයුමේ වැඩිවීම කියන්නේ අළුතෙන් මුදල් අච්චු ගැසූ ප්‍රමාණය නෙමෙයි. නමුත් මහ බැංකුව විසින් මෙහි කියා නොමැති දෙයක් වන්නේ අවසාන වශයෙන් උද්ධමනය කෙරෙහි බලපාන්නේ මුදල් සැපයුමේ වැඩිවීම බවයි. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම, එසේ නැත්නම් සංචිත මුදල් වැඩි කිරීම, උද්ධමනයට හේතු වන්නේ ඒ මගින් මුදල් සැපයුම වැඩි කෙරෙන නිසා. ඒ නිසා, මුදල් සැපයුම වැඩිවීම කියන්නේ සල්ලි අච්චු ගැසීමම නොවුනත්, මුදල් සැපයුම වැඩිවීම පිළිබඳව බියවීම අහේතුක නැහැ. 

දැන් මෙහිදී කතා කෙරෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ගත වූ කාලය තුළ සිදු වූ මුදල් සැපයුමේ වැඩි වීම පිළිබඳවයි. එම වැඩි වීම, 2024 සැප්තැම්බර් අවසානයේ සිට 2025 ජූනි අවසානය දක්වා මාස නවයක කාලය තුළ, රුපියල් බිලියන 1225.9ක්. එයින් සංචිත මුදල් වැඩිවීම රුපියල් බිලියන 136.5ක් පමණයි. පුළුල් මුදල් සැපයුමේ වැඩිවීමෙන් රුපියල් බිලියන 1,060කටම හේතු වී තිබෙන්නේ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමයි. 

පෞද්ගලික අංශයේ ණය මේ තරම්ම වැඩිවීමට මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියද හේතු වී තිබෙනවා. සරලව කිවුවොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු මට්ටමක පවත්වා ගැනීම. එසේ කිරීමේදී සංචිත මුදල් ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ නිසා, රුපියල් බිලියන 1225.9කින් පුළුල් මුදල් සැපයුම ඉහළ යාම සහ රුපියල් බිලියන 136.5කින් සංචිත මුදල් ඉහළ යාම අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. 

කෙසේ වුවද, සංචිත මුදල් සැපයුම හා පොලී අනුපාතික පාලනය කිරීම මගින් පුළුල් මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම මහ බැංකුවක සාමාන්‍ය කාර්යයක්. මහ බැංකුව විසින් ඒ කාර්යය කළ යුත්තේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි ආකාරයටයි. රජයේ අයවැය හිඟය පියැවීම සඳහා සල්ලි අච්චු ගසන්නට සිදු වේනම් මහ බැංකුවකට එය කළ නොහැකියි. පසුගිය ආර්ථික අර්බුදයට පෙර සිදු වූයේ එවැන්නක්. 

දැන් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනව කටයුතු කළ හැකියි. එමෙන්ම රජය විසින් අයවැය හිඟය පියවා ගැනීම සඳහා මහ බැංකුවෙන් ණය නොගන්නා ප්‍රතිපත්තියක සිටිනවා. ඒ නිසා, මහ බැංකුවට කරන්නට තිබෙන්නේ දී තිබෙන උද්ධමන ඉලක්කය හා ගැලපෙන පරිදි පුළුල් මුදල් සැපයුම පාලනය කිරීමයි. මෙය මහ බැංකුවට සෘජුව හෝ පහසුවෙන් කළ හැකි දෙයක් නොවුණත්, මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි සංචිත මුදල් සැපයුම පාලනය කිරීම සහ පොලී අනුපාතික මත බලපෑම් කිරීම මගින් වක්‍ර ලෙස මෙය කළ හැකියි.

මහ බැංකුවට දී තිබෙන ඉලක්කය වන්නේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගැනීමයි. පසුගිය කාලයේම ලංකාවේ උද්ධමනය පැවතුණේ ඊට වඩා බොහෝ පහළ අවධමන පරාසයකයි. එවැනි තත්ත්වයක් තුළ  මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය (2025) ජූනි මාසයේදී 0.7%ක උද්ධමනයක් වාර්තා කළත් නිල දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා කර තිබුණේ අවධමන තත්ත්වයක්. ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ උදවුවෙන් මේ තත්ත්වය ඉදිරි මාස වලදී වෙනස් වනු ඇතත්, මහ බැංකුවේ පුරෝකථන අනුව, උද්ධමනය ඉලක්ක මට්ටමට යාමට නියමිතව ඇත්තේ 2026 මැද වන විටයි.

මෙම වසරේ පළමු කාර්තුවේ දත්ත අනුව, එම කාර්තුව තුළ, රැකියා 69,714ක් අලුතෙන් නිර්මාණය වී විරැකියා අනුපාතය 3.8% දක්වා පහත වැටී තිබෙනවා. සේවා අංශයේ පමණක් අලුත් රැකියා 258,577ක් අලුතෙන් නිර්මාණය වී ඇති අතර, කාර්මික අංශයේ රැකියා ප්‍රමාණයද 63,800කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ කෘෂිකාර්මික අංශයේ රැකියා වල නියැලුණු ශ්‍රමිකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සේවා අංශය වෙත මාරු වී ඇති ආකාරයයි. 

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව, සේවා අංශයේ ශ්‍රමයේ ඵලදායිතාවය වැඩියි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයේ රැකියා සේවා අංශය වෙත විතැන් වෙද්දී අදාළ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ රටේ ඒක පුද්ගල ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා කියන එකයි. එමෙන්ම රටේ ආර්ථිකය, විශේෂයෙන්ම කාර්මික හා සේවා අංශ, හොඳින් වර්ධනය වෙමින් පවතින බවයි. කාර්මික හා සේවා අංශ වල ගැනුම්කරුවන්ගේ දර්ශක වලින් පෙන්නුම් කරන්නේ මේ දක්වාම මේ යහපත් ප්‍රවණතාව එලෙසම පවතින බවයි.

මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව මෙන්ම අප‍ට පෙනෙන්නට ඇති පරිදිද මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% වැනි මට්ටමකට යා හැකියි. එය මූල්‍ය අරමුදලේ පුරෝකථන සැලකිය යුතු ලෙස ඉක්මවා යන හොඳ තත්ත්වයක්. මේ වර්ධනය පෙනෙන්නට තිබෙන්නේ උද්ධමන තර්ජනයක් නොමැති පසුබිමකයි. 

ලංකාවේ සේවා අංශය කියන්නේ ප්‍රධාන වශයෙන්ම තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහන සේවා, බැංකු හා රක්ෂණ වැනි අංශයි. මෙවැනි අංශ වේගයෙන් වර්ධනය වෙද්දී මුදල් සංසරණයද ඉහළ යන බව සාමාන්‍ය දැනීමෙන් වුවත් තේරුම් ගත හැකි දෙයක්. එහි ප්‍රතිඵලය රටේ මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමයි. මෙය ඓන්ද්‍රීය ඉල්ලුමක් මිස කෘතීම ඉල්ලුමක් නෙමෙයි.

රටේ මුදල් ඉල්ලුම ඉහළ යද්දී, මහ බැංකුවට අවශ්‍යනම්, දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් එම ඉල්ලුම පාලනය කළ හැකියි. එයින් අදහස් වන්නේ රටේ ආර්ථික වර්ධනය මෙන්ම රැකියා ජනනයද විනාශ කරනවා යන්නයි. උද්ධමනය විශාල තර්ජනයක් වී ඇත්නම්, අකැමැත්තෙන් හෝ මෙය කරන්නට සිදු වෙනවා. එහෙත්, උද්ධමන තර්ජනයක් පේන තෙක් මානයක හෝ නැත්නම් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට හේතුවක් නැහැ. 

අනෙක් පැත්තෙන් පොලී අනුපාතික ඉහළ යාම යනු රාජ්‍ය අයවැය මත පීඩනය වැඩි වී අනාගත ණය බර ඉහළ යාමයි. ඒ නිසා, දැනට ක්‍රියාත්මක මුදල් ප්‍රතිපත්තිය ආර්ථික ස්ථායිකරණ ඉලක්ක සමඟද ගැලපෙනවා. මෙය මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් වේයැයි සිතීම තනිකරම වැරදි අදහසක්.

කෙසේ වුවත්, අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ආර්ථිකය ප්‍රසාරණය වන්නේ දේශීය ඉල්ලුම නිසා මිස බාහිර ඉල්ලුම වැඩි වීම නිසා නොවන බවයි. ඒ නිසා, රටේ රැකියා වැඩි වී ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යද්දී විදේශ විණිමය ඉපැයීමට තිබෙන උනන්දුව අඩු වීමටත්, ආනයන ඉල්ලුම ඉහළ යාමටත් ඉඩ තිබෙනවා. ඒ හරහා අනාගත අර්බුදයකට පාර කැපෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ කරුණටයි.

Saturday, February 19, 2022

කවුරුත් එන්නැති ආණ්ඩුවේ රස්සා


අපේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විසින් දින දෙකකට පෙර ප්‍රාන්ත රජයේ සේවකයින් වෙනුවෙන් සහන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මින් පසුව ප්‍රාන්ත රජයේ සේවකයින්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කළ හැකියි. මෙය වසංගත කාලයේ මෙන් තාවකාලිකව කළ වෙනසක් නෙමෙයි. අනෙක් සහන මම එකිනෙක විස්තර කරන්න යන්නේ නැහැ. ඉහත කී සහන පැකේජය සමඟම, ප්‍රාන්ත රජයේ සේවය සඳහා සුදුසුකම් සහිත සේවකයෙකු "රැගෙන එන" අයෙකුට ඩොලර් 100 සිට 500 දක්වා පාරිතෝෂික මුදලක් ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා. 

ඇමරිකාවේ වෛද්‍යවරු, විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු, බැංකු, සමාගම් කොටස් අලෙවි කරන තැරැව්කාර සමාගම් ඇතුළු ඇතැම් පෞද්ගලික ආයතන බොහෝ විට ඔවුන්ට අළුත් පාරිභෝගිකයෙකුව හඳුන්වා දෙන අයට කිසියම් පාරිතෝෂික මුදලක් ලබා දෙනවා. මෙය කාලයක සිටම සිදුවන දෙයක්. දැන් අපේ ප්‍රාන්ත ආණ්ඩුවත් මේ වැඩේම කරන්නයි යන්නේ.

ප්‍රාන්ත ආණ්ඩුවට මේ වගේ දෙයක් කරන්න සිදු වී තිබෙන්නේ ආණ්ඩුවේ රස්සා විශාල ප්‍රමාණයක් ඇබෑර්තු වී ඇති නමුත් එම රැකියා සඳහා සුදුසුකම් ඇති අය අයදුම් නොකරන නිසයි. අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රජය විසින් නියම කළ අවම වැටුපක් නැහැ. ඒ නිසා, ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප වන පැයකට ඩොලර් 7.25 බැගින් ගෙවා සේවකයින් බඳවා ගත හැකියි. එහෙත්, මේ දවස් වල ඒ වැටුපට වැඩ කරන්න කාවවත් හොයා ගන්න බැහැ.

අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පටන් ගන්නේ පැයකට ඩොලර් 13.21ක සිටයි. ප්‍රාන්ත රාජ්‍ය සේවකයෙකු සතියකට පැය 37.5ක් සේවය කළ යුතුයි. ඒ අනුව, වසරක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 25,766 සිටයි. ෆෙඩරල් රජයේ වැටුප් පටන් ගන්නේ වසරකට ඩොලර් 20,172 සිටයි. ෆෙඩරල් රජයේ සේවකයෙකු සතියකට පැය 40ක් සේවය කළ යුතුයි. මේ අනුව, පැයක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 9.67 සිටයි.

විරැකියා අනුපාතය ඉහළ මට්ටමක ඇති කාල වකවානු වලදී පැයකට ඩොලර් 13.21ක් ආකර්ශනීය වැටුපක්. එහෙත්, අපේ ප්‍රාන්තයේ විරැකියා අනුපාතය මේ වෙද්දී 2.7% තරම් පහළ මට්ටමකට බැහැලා. සුපිරි වෙළඳසැල් වල වැඩ කරන සේවකයින් වැනි අයටත් මේ දවස් වල පැයකට ඩොලර් 15ක පමණ වැටුපක් ලබා ගන්න පුළුවන්. එවැනි වැටුපක් නොගෙවා පුරප්පාඩු පුරවන්න බැහැ.

ලංකාවේ වගේම ඇමරිකාවෙත් ආණ්ඩුවේ රස්සා සුරක්ෂිතයි. ලොකු වැරැද්දක් නොකළොත් දිගටම රස්සාව කරගෙන ඉන්න පුළුවන්. වැඩ නොකර අයිස් ගහන්න හෝ කන්තෝරුවේ බඩු සාක්කුවේ දාගෙන ගෙදර ගේන්න වගේ දේවල්නම් කරන්න බැහැ. වැඩ කරන කාලයට කෑම පැය හෝ පැය බාගය අයිති නැහැ. අට පහ වැඩ කරන්න තෝරා ගන්නා කෙනෙකුට තමන් කැමති වෙලාවක තමන් කැමති පැය බාගයක් කෑමට ගන්න පුළුවන්. කැමතිනම් හත හමාරට වැඩට ගිහින් පැයක් කෑමට ගන්නත් පුළුවන්. ඔය දෙකම නොකර වැඩ කරන ගමන්ම මොනවා හෝ කන්නත් පුළුවන්. දවස් හතරෙන් පැය 37.5 ආවරණය කරලා දවසක් සතියේ දවස් පහෙන් දවසක් නිවාඩු ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. විශ්‍රාම වැටුපක් එහෙමත් තියෙනවා.

හැබැයි ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සාවක් කළා කියලා ඒකෙන් අමුතු සමාජ තත්ත්වයක් ආරෝපණය වෙන්නේ හෝ සිවිල් බලයක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ රැකියාවකින් වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් බව පෙනෙන විට ආණ්ඩුවේ රස්සා කරන අය රස්සාව අත ඇරලා වෙන රස්සාවකට යනවා. ආණ්ඩුවේ රස්සා ඇබෑර්තු වෙනවා. වැටුප් අඩු නිසා මේ ඇබෑර්තු පුරවන්න අමාරුයි. ඒ නිසා, ඉතිරි වී ඉන්න අයට වැඩ වැඩි වෙනවා. ඒ අයත් අස් වෙලා යන්න පෙළඹෙනවා. දැන් අපේ ප්‍රාන්තයේ තත්ත්වය ඔන්න ඔය වගේ. 

එහෙමයි කියලා ආණ්ඩුව සේවක වැටුප් වැඩි කරන්නේ නැහැ. අපේ ප්‍රාන්ත රජයේ වගේම ෆෙඩරල් රජයේත් සේවකයින් සියලු දෙනාම ඇතුළත් එක් වැටුප් ක්‍රමයක් තිබෙනවා. වැඩි කරනවානම් ඒ වැටුප් ක්‍රමයම සංශෝධනය කළ යුතුයි. එහෙම නැතුව පුරප්පාඩු පුරවන්න පුළුවන් රැකියා වල වැටුප් පමණක් වැඩි කරන්න බැහැ. වැටුප් ක්‍රමයම සංශෝධනය කරන්න යනවානම් වැඩිවන වියදම හොයා ගත හැකි ක්‍රමයකුත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ බදු වැඩි කරන්න වෙනවා. බදු වැඩි කිරීම සඳහා මහජන කැමැත්ත අවශ්‍යයි. ප්‍රාන්ත රජය හිතුමතේට බදු වැඩි කරන්නේ හෝ බදු ආදායම් ඉක්මවා වියදම් කරන්නේ නැහැ.

පසුගිය වසරේදී, වසංගතය අස්සේ වුනත්, අපේ ප්‍රාන්ත රජයේ බදු ආදායම් වලින් සියලු වියදම් වලින් පසුව යම් මුදලක් ඉතිරි වී තිබෙනවා. එම මුදල එක් අයෙකුට ඩොලර් 125 බැගින් බෙදා දීමට නියමිතයි. 

Friday, July 3, 2020

කෝවිඩ් වලට අඩුවෙන්ම බය කවුද?


කෝවිඩ් වෛරසය තවමත් ජයටම පැතිරෙනවා. ඊයේ දිනයේ ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකකට වඩා හමු වුනා. එය අලුත් වාර්තාවක්. අනෙක් බටහිර රටවල් බොහොමයක රෝගය පැතිරීම මේ වන විට පාලනය වී ඇතත් ඇමරිකාවෙන් දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යනවා. ඊයේ දිනය තුළ පමණක් අලුත් රෝගීන් 57,236 දෙනෙකු හඳුනා ගැනුණා. ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට දකුණු ඇමරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, චිලී හා මෙක්සිකෝව යන රට වලත්, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලා දේශය යන රටවලත්, දකුණු අප්‍රිකාවේත්, සවුදි අරාබියේත් මේ වන විට ඉතා වේගවත් රෝග ව්‍යාප්තියක් දැකිය හැකියි.

ඇමරිකා එක්සත් ජනපදයෙන් විශාල ලෙස රෝගීන් හමු වීමට පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව වැඩි පරීක්ෂාවන් ප්‍රමාණයක් සිදු වීමද හේතු වී ඇතත් එය එකම හේතුව නොවන බව පැහැදිලියි. රට විවෘත කිරීමෙන් පසුව රෝග ව්‍යාප්තිය නැවත ඉහළ ගොස් තිබෙනවා. මුල් අදියරේදී සෑහෙන තරමින් ජනප්‍රිය වූ රට වසා තැබීමේ අදහස මේ වන විට දේශපාලනිකව පරාජය වී ඇති බැවින් ඉදිරි සති වලදී ඇමරිකාවෙන් දිනකට හමුවන රෝගීන් ගණන ටිකෙන් ටික ඉහළ යයි. ඇමරිකාවෙන් දිනකට කෝවිඩ් රෝගීන් ලක්ෂයක් හමු වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

කෝවිඩ් හමුවේ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය වුනේ සෞඛ්‍ය අර්බුදය හා ඒ මත පාදක වූ ආර්ථික අර්බුදය එක් තනි අර්බුදයක් ලෙස සලකමින් කළමණාකරණය කිරීමයි. මෙහිදී බලයේ සිටින රිපබ්ලිකන් පක්ෂය ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම කෙරෙහි සැලකිය යුතු බරක් දැම්මා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති හරහා මෙවර සිදු කළ ආර්ථික ප්‍රසාරණය පෙර නොවූ විරූ තරමේ එකක්. අප්‍රේල් මාසයේදී 14.7% මට්ටම දක්වා ඉහළ ගිය ඇමරිකාවේ විරැකියා අනුපාතය, මැයි මාසයේ 13.3% දක්වාත්, ජූනි මාසයේ 11.1% දක්වාත් අඩු වීමෙන් පෙනෙන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලින් ක්ෂණික ප්‍රතිඵල ලැබී ඇති බවයි.

පසුගිය ආර්ථික අවපාතයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය 10.0% දක්වා ඉහළ ගියා. ඒ 2009 සැප්තැම්බරයේදී. එහෙත්, ඉන්පසුව ඇමරිකන් ආර්ථිකය ක්‍රමයෙන් හිස ඔසොවද්දී විරැකියා අනුපාතයද දිගින් දිගටම ක්‍රමයෙන් පහළ ගියා. කෝවිඩ් අර්බුදය පැමිණෙන්නට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය තිබුණේ 3.5% තරම් පහළ මට්ටමකයි. එය වසර පණහක කාලයක් තුළ දැකිය හැකි වූ හොඳම තත්ත්වයක්. කෝවිඩ් ආක්‍රමණයත් සමඟ දෙමසක් ඇතුළත ඇමරිකාවේ වසර පණහක අවම විරැකියා අනුපාතය වසර පණහක උපරිම විරැකියා අනුපාතය බවට පත් වුනා.


කෝවිඩ් කම්පනයෙන් පසුව ආර්ථිකය නැවත සකස් වීමේදී කිසියම් ආකෘතිමය වෙනස්කමක්ද සිදු වෙමින් තිබෙන බව පෙනෙනවා. උදාහරණයක් විදිහට රැකියා අහිමි වූ සුදු ඇමරිකානුවන්ට නැවත රැකියා ලැබෙන තරම්ම ඉක්මණින් රැකියා අහිමි වූ ආසියානු ඇමරිකානුවන්ට රැකියා ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජීවත්වන ආසියානු ඇමරිකානුවන්ගේ විරැකියා අනුපාතය සුදු ඇමරිකානුවන්ද ඇතුළු අනෙකුත් සියලුම වාර්ගිකයින්ගේ විරැකියා අනුපාතයට වඩා අඩුයි. මෙය වසර 15ක පමණ සිට දැකිය හැකි වූ තත්ත්වයක්. පසුගිය පෙබරවාරි වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයක්.

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 3.1%
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 5.8%
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 2.5%
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 4.4%

අප්‍රේල් මාසය වෙද්දී තත්ත්වය මෙහෙමයි. (වරහන් ඇතුළේ තිබෙන්නේ වෙනස් වීම)

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 14.2% (11.1%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 16.7% (10.9%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 14.5% (12.0%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 18.9% (14.5%)

දැන් ජූනි වෙද්දී තත්ත්වය මෙහෙමයි.

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 10.1% (7.0%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 15.4% (9.6%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 13.8% (11.3%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 14.5% (11.1%)


ප්‍රතිශතයක් ලෙස ගත්තොත් පෙබරවාරි-ජූනි කාලය ඇතුළත රැකියා වැඩිපුරම අහිමි වී තිබෙන්නේ ආසියානු ඇමරිකානුවන්ගේ. එයට හේතුව ඔවුන් ආසියානු ඇමරිකානුවන් වීමම නොවෙන්න පුළුවන්. ආසියානු ඇමරිකානුවන් සුදු ඇමරිකානුවන්ට වඩා කෝවිඩ් ගැන සැලකිලිමත් වීමත් මෙයට හේතුවක්ද?


මේ ආකාරයෙන්ම පිරිමින්ගේ හා කාන්තාවන්ගේ රැකියා අහිමිවීම් හා නැවත ලැබීම් වලද වෙනසක් දැකිය හැකියි. පෙබරවාරි මාසයේදී අවුරුදු 20ට වැඩි ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 3.3%ක් වෙද්දී අවුරුදු 20ට වැඩි ඇමරිකානු ගැහැණුන්ගේ  විරැකියා අනුපාතය තිබුණේ 3.1% මට්ටමේ. එහෙත් ජූනි මාසය වෙද්දී ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 10.2%ක් වන විට ඇමරිකානු ගැහැණුන්ගේ  විරැකියා අනුපාතය 11.2%ක් වෙලා. පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව දැකිය හැකි වුනේ මෙහි අනෙක් පැත්තයි.

පශ්චාත් කෝවිඩ් ඇමරිකානු ශ්‍රම වෙළඳපොළ නැවත සකස් වෙන්නේ සුදු පිරිමින්ගේ වාසියටද? එහෙම නැත්නම් කෝවිඩ් පැතිරෙද්දී බය නැතිව රැකියා සොයාගෙන යන්නේ සුදු පිරිමින්ද?

(Image: https://www.france24.com/en/20200416-usa-donald-trump-coronavirus-covid-19-lockdown-reopen-economy-social-distancing)

වෙබ් ලිපිනය: