වෙබ් ලිපිනය:

Showing posts with label බදු සහන. Show all posts
Showing posts with label බදු සහන. Show all posts

Thursday, December 19, 2024

බදු සංශෝධන කා වෙනුවෙන්ද?



අලුත් ආණ්ඩුවේ යෝජිත බදු සංශෝධන වලින් වාසි සැලසෙන්නේ කාටද?

1. පුද්ගල ආදායම් බදු සංශෝධනය: 

දැනට ආදායම් බදු ගෙවන සියලුම පුද්ගලයින්ට මෙම සංශෝධනය මගින් වාසියක් සැලසෙනවා. පහත තිබෙන්නේ මාසික ආදායම අනුව ලැබෙන බදු සහනයේ ප්‍රමාණයයි.

රුපියල් 100,000ට අඩු - කිසිවක් නැත.

රුපියල් 110,000 - රුපියල් 600ක සහනයක් 

රුපියල් 120,000 - රුපියල් 1,200ක සහනයක් 

රුපියල් 130,000 - රුපියල් 1,800ක සහනයක් 

රුපියල් 140,000 - රුපියල් 2,400ක සහනයක් 

රුපියල් 150,000 - රුපියල් 3,500ක සහනයක් 

රුපියල් 175,000 - රුපියල් 5,000ක සහනයක් 

රුපියල් 200,000 - රුපියල් 7,500ක සහනයක් 

රුපියල් 225,000 - රුපියල් 10,500ක සහනයක් 

රුපියල් 250,000 - රුපියල් 13,000ක සහනයක් 

රුපියල් 300,000 - රුපියල් 16,500ක සහනයක් 

රුපියල් 350,000 - රුපියල් 20,000ක සහනයක් 

රුපියල් 368,333ට වැඩි - රුපියල් 20,500ක සහනයක් 

මේ අනුව පෙනී යන පරිදි මාසික ආදායම වැඩි වන තරමට ලැබෙන බදු සහනයේ ප්‍රමාණයද වැඩි වී රුපියල් 20,500ක උපරිමයක් දක්වා ගොස් නවතිනවා. එනම් ඉහළ ආදායම්ලාභීන්ට වසරකට රුපියල් 246,000ක අමතර මුදලක් අතට එනවා. 

රුපියල් 368,333ට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන්ටම මෙම රුපියල් 20,500ක මාසික බදු සහනය ලැබෙන අතර ඊට වඩා අඩු ආදායම් මට්ටම් වල සිටින අයට ඊට වඩා අඩු කිසියම් හෝ සහනයක් ලැබෙනවා. දැනට පුද්ගල ආදායම් බදු නොගෙවන මාසික ආදායම රුපියල් 100,000ට වඩා අඩු අයට මෙම බදු සංශෝධනයේ බලපෑමක් නැහැ. 

2. රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම:

පොලී ආදායමද ඇතුළුව දැනට අවම වශයෙන් රුපියල් 150,000ක මාසික ආදායමක් ලබන අයට මෙම බදු වැඩි කිරීමෙන් බලපෑමක් සිදු වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බැවින්, ඔවුන්ට තමන්ගෙන් කපාගෙන තිබෙන රඳවා ගැනීමේ බද්ද තමන් විසින් ගෙවිය යුතු ආදායම් බදු වලින් අඩු කළ හැකියි. මෙහිදී ඔවුන්ට කිසියම් මුදලක් ආපසු ලැබෙන්නත් පුළුවන්. 

මෙම බද්දෙන් බලපෑමක් සිදු වන්නේ මාසික ආදායම රුපියල් 150,000 නොඉක්මවන අයටයි. ඔවුන් ඇත්තටම මෙම රඳවා ගැනීමේ බද්ද ගෙවිය යුතු නැතත්, තමන්ගේ මාසික ආදායම රුපියල් 150,000 නොඉක්මවන බවට දැනුම් දීමක් නොකළහොත් බැංකුව විසින් මෙම මුදල කපා ගන්නවා. එම දැනුම් දීම කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බවයි රජය පැත්තෙන් කියවුණේ. කෙසේ වුවත්, ප්‍රායෝගිකව අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුගෙන් මෙම බද්ද රජයට එකතු වීමට ඉඩ තිබෙනවා. 

3. යෝගට් සහ කිරි නිෂ්පාදන මත අය කෙරෙන වැට් බද්ද ඉවත් කිරීම: 

මෙම බදු සංශෝධනයේ සෘජු බලපෑමක් තිබෙන්නේ දැනට වැට් බදු සඳහා ලියාපදිංචි වී සිටින වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 ඉක්මවන මහා පරිමාණ නිෂ්පාදකයින්ටයි. වැට් බදු ගෙවීමට අවශ්‍යව තිබියදී ඔවුන් පාරිභෝගිකයින්ගෙන් අය කරගන්නා වැට් බදු මුදල් රජයට ගෙවන්නේ, ඔවුන් විසින් මිල දී ගත් අමුද්‍රව්‍ය හා උපාංග වෙනුවෙන් ගෙවන වැට් බදු ප්‍රමාණය අඩු කර ගැනීමෙන් පසුවයි. දැන් වැට් බද්ද ඉවත් කිරීම නිසා ඔවුන් අතරමැදි නිෂ්පාදකයින්ගේ තත්ත්වයේ සිට අවසන් පාරිභෝගිකයින් බවට පත් වෙනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය යම් ප්‍රමාණයකින් ඉහළ යනවා. ඔවුන් එය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමට ඉඩ තිබෙනවා. 

කෙසේ වුවත්, වැට් බද්ද ඉවත් වීමේ වාසිය පාරිභෝගිකයින්ට ලැබෙන නිසා මෙසේ සැපයුම්කරුවන් විසින් ඉහළ මිලක් අය කළද ඔවුන්ට ගෙවන්නට වෙන්නේ අඩු මිලක්. දේශීය යෝගට් සහ කිරි නිෂ්පාදන සැපයුම සීමිත නිසා මිල අඩු වී ඉල්ලුම ඉහළ ගියද, සැපයුම වැඩි වුනේ නැත්නම් සිදු වන්නේ මිල නැවත ඉහළ යාමයි. නිෂ්පාදනය දිරිමත් වී සැපයුම වැඩි වීමටනම්, වැට් ගෙවීම් පිරිවැය ප්‍රතිපූරණය කර ගැනීමට නොහැකි වීමෙන් නිෂ්පාදකයින්ට සිදු වන පාඩුව ඉක්මවා යෝගට් මිල වැඩි විය යුතුයි. සියලු සාධක සැලකු පසු මෙම බදු සංශෝධනය හේතුවෙන් නිෂ්පාදනයේ යම් ප්‍රගතියක් ඇති වීමට ඉඩ තිබෙනවා. 

4. සේවා අපනයන මත බද්ද:

මෙම බද්ද අඩු කිරීම හේතුවෙන් සේවා අපනයන වල යම් දිරිගැන්වීමක් සිදු විය හැකියි. 

රජයක බදු ප්‍රතිපත්තියේ වෙනසක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් ලෙස හෝ ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් ලෙස වර්ග කළ හැකියි. අඩුආදායම්ලාභීන්ට වැඩි සහනයක් සැලසෙන බදු ප්‍රතිපත්තියක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් ලෙසත්, වැඩි ආදායම්ලාභීන්ට වැඩි සහන සැලසෙන  බදු ප්‍රතිපත්තියක් ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් ලෙසත් හැඳින්වෙනවා. 

සාමාන්‍යයෙන් රජයක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ සමාජ සාධාරණත්වය ඉලක්ක කරන විටයි. ආර්ථික වර්ධනය සඳහා වඩා හිතකර වන්නේ ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමයි. ඊට හේතුව, අඩු ආදායම්ලාභීන් විසින් තමන් වෙත රැදෙන අමතර ආදායමක් බොහෝ විට පරිභෝජනය වෙනුවෙන් වැය කරද්දී, වැඩි ආදායම්ලාභීන් විසින් තමන් වෙත රැදෙන අමතර ආදායමක් ආයෝජන වෙනුවෙන් වෙන් කිරීමයි. 

මෙම බදු සංශෝධන වලින් වැඩිපුර පෙනෙන්නේ වර්ධන අභිලාශයයි. 

Wednesday, December 18, 2024

රාජ්‍ය ආදායම සහ බදු සහන


අලුත් ආණ්ඩුව විසින් බදු සහන කිහිපයක් ලබා දී තිබෙනවා. මේ විදිහට බදු සහන ලබා දෙන්න පුළුවන් වුනේ කොහොමද? එයින් ආර්ථිකයට සිදු වන බලපෑම කුමක්ද?

අප පෙර ලිපි වල කතා කර තිබෙන පරිදි, ස්ථායීකරණ වැඩ පිළිවෙළේ දිගුකාලීන ඉලක්කය වනුයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.3% මට්ටම දක්වා වැඩි කර ගෙන, පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.0% මට්ටම නොඉක්මවීම මගින් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. 

රාජ්‍ය ආදායම් 15.3% මට්ටම දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබුණේ පහත ආකාරයෙනුයි.

2025 - 15.0%

2026 - 15.1%

2027 - 15.2%

2028 සිට ඉදිරියට - 15.3%


මේ වන විට අප 2024 පළමු කාර්තු තුනේ රාජ්‍යමූල්‍ය ප්‍රවණතා ගැන හරියටම දන්නවා.

2024 පළමු කාර්තුව:

බදු ආදායම - 10.52%

බදු නොවන ආදායම - 0.98%

රාජ්‍ය ආදායම - 11.50%

ප්‍රාථමික වියදම් - 7.53%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.97%


2024 දෙවන කාර්තුව:

බදු ආදායම - 12.93%

බදු නොවන ආදායම - 1.09%

රාජ්‍ය ආදායම - 14.02%

ප්‍රාථමික වියදම් - 10.65%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.37%


2024 තෙවන කාර්තුව: 

බදු ආදායම - 13.10%

බදු නොවන ආදායම - 1.05%

රාජ්‍ය ආදායම - 14.15%

ප්‍රාථමික වියදම් - 10.92%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.23%


මේ අනුව පෙනී යන්නේ 2024 තෙවන කාර්තුව වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.15% දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම අගය සිවු වන කාර්තුවේදී තවත් වැඩි වීමට මිස අඩු වීමට හේතුවක් නැහැ. තවත් ඉහළ නොගියද, 2025 ඉලක්කය වන 15.0% මට්ටමට යාමට තවත් අවශ්‍ය වන්නේ දදේනියෙන් 0.85%ක වැඩි වීමක් පමණයි.

දෙවන විමර්ශනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි, වාහන ආනයනය විවෘත වෙද්දී මෙම අගයට 0.80%ක් එකතු වන අතර, වැට් බදු පැහැර හරින අයගෙන් එම බදු අය කර ගැනීම සඳහා දැනට ගන්නා ක්‍රියාමාර්ග වලින් තවත් 0.30%ක් එකතු වීමට නියමිතයි. එමෙන්ම, "ආරෝපිත ගෙවල් කුලී" බද්ද හඳුන්වා දීමෙන් පසුව තවත් 0.15%ක් එකතු වෙනවා. මේ සියල්ල එකතු වීමෙන් පසුව, 2025 රාජ්‍ය ආදායම දිගුකාලීන රාජ්‍ය ආදායම් ඉලක්කය ඉලක්කය වන 15.3% මට්ටමද ඉක්මවා යනවා.

මෙම තත්ත්වය හමුවේ රජයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. පළමුවැන්න "සමාජ ප්‍රජාතන්ත්‍රවාදී" ප්‍රවේශය ලෙස හැඳින්විය හැකි, බදු ආදායම් වැඩි කරගෙන වියදම්ද වැඩි කිරීමේ ප්‍රවේශයයි. මැතිවරණ වලට පෙර ආණ්ඩු පක්ෂ කණ්ඩායම ප්‍රදර්ශනය කළේ මෙවැනි ප්‍රවේශයක් ඔවුන් විසින් අනුගමනය කරන්නට යන බවයි. දෙවන ප්‍රවේශය වනුයේ "නව ලිබරල් ප්‍රවේශය" ලෙස හැඳින්වෙන වියදම් වැඩි නොකර, බදු අඩු කිරීමේ ප්‍රවේශයයි. 

ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ පවත්වා ගන්නේනම්, මේ ප්‍රවේශ දෙකෙන් කුමක් අනුගමනය කළද එය ආර්ථික ස්ථායීතාවය අවදානමේ හෙළන්නේ නැහැ. මේ මොහොතේදී ආණ්ඩුව විසින් දෙවන ප්‍රවේශය තෝරා ගෙන ඇති බවක් පෙනී යනවා. 

පෞද්ගලික ආදායම් බදු හා අදාළ සහනයක් ලබා දීම සඳහා පැවති ආණ්ඩුව විසින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා ගෙන තිබුණා. එහෙත් දැන් ලබා දෙන්නට යන සහනය එම සහනය ඉක්මවා යන්නක්. එමෙන්ම, මගේ මතකය නිවැරදිනම්, මැතිවරණ වලට පෙර පොරොන්දු වූ සහනයට වඩා අඩු මට්ටමක සහනයක්. අරමුදල සමඟ සාකච්ඡා වලදී පෙනී ගිය පරිදි, ආර්ථික ස්ථායීතාවය අවදානමේ නොහෙළමින් ලබා දිය හැකි උපරිම සහනය මෙය විය හැකියි. 

ඩොලරයක මිල පහත වැටී තිබුණද, ආනයන වල විශාල වර්ධනයක් සිදු නොවීමට එක් හේතුවක් වනුයේ මධ්‍යම පන්තියේ මිල දී ගැනීමේ හැකියාව පහත වැටී තිබීමයි. ඊට හේතුව වැඩි කළ බදු නිසා ඔවුන්ගේ රුපියල් ආදායම් පහත වැටී තිබීමයි. බදු සහන නිසා ආනයන ඉල්ලුමෙහි යම් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි අතර එය ඩොලරයක මිල යම් තරමකින් ඉහළ දැමීමටද හේතුවක් විය හැකියි. ඒ වාහන ආනයනය විවෘත වීම සහ පොලී ගෙවීම් ආරම්භ වීම නිසා සිදු විය හැකි බලපෑමට අමතරවයි. කෙසේ වුවත්, මේ මොහොතේ ඩොලරයක මිල තරමක් ඉහළ යාම ප්‍රශ්නකාරී දෙයක් නෙමෙයි. 

වෙබ් ලිපිනය: