මේ වෙද්දී ලංකාවට මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය ලැබී තිබෙනවා. මූල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේත්, එම ණය ආපසු ගෙවිය යුත්තේත් SDR වලිනුයි. සරල අර්ථදැක්වීමක් ලෙස, SDR කියා කියන්නේ ජාත්‍යන්තර මුදල් ඒකකයක් කියා කියන්න පුළුවන්. එහෙත් මූල්‍ය අරමුදල විසින් SDR හඳුන්වන්නේ වත්කමක් ලෙස මිස මුදලක් ලෙස නෙමෙයි. මේ විදිහට SDR ලෙස කෙටි කර තිබෙන්නේ special drawing rights යන්නයි. මෙය සිංහලෙන් "විශේෂ ආදාන හිමිකම්" ලෙස හැඳින්විය හැකි වුවත්, SDR ලෙසම හැඳින්වීම වඩා පහසුයි.
ඇමරිකන් ඩොලර් හෝ ජපාන යෙන් මෙන් SDR කිසිදු රටක සාමාන්‍ය ගනුදෙනු සඳහා භාවිතා වෙන්නේ නැහැ. එහෙත් රටවල් අතර සිදු කෙරෙන ගනුදෙනු වලදී SDR යොදා ගත හැකියි. SDR නිකුත් කරන්නේ මූල්‍ය අරමුදල විසිනුයි. සාමාජික රටවලට මෙසේ නිකුත් කරන SDR මිල දී ගත හැකියි. කිසියම් සාමාජික රටකට මිල දී ගත හැකි SDR ප්‍රමාණය පදනම් වන්නේ අදාළ රටට මූල්‍ය අරමුදල විසින් ලබා දෙන SDR කෝටාව මතයි. එම කෝටාව තීරණය කරන්නේ ජාත්‍යන්තර වෙළඳාම තුළ අදාළ රටේ පංගුව අනුවයි.
ලංකාවට අරමුදලේ ණය අනුමත වන අවස්ථාවේදී ඇමරිකාව සතු SDR කෝටාව මිලියන 82,994.2ක් වූ අතර නාවුරු රාජ්‍යයේ කෝටාව SDR මිලියන 2.8ක් පමණයි. ලංකාවේ කෝටාව SDR මිලියන 578.8ක්. සාමාජික රටවල් 191කට ලබා දී තිබුණු මුළු SDR කෝටා ප්‍රමාණය මිලියන 476,372ක්.
මූල්‍ය අරමුදල තුළ එක් එක් රටට හිමි වන ඡන්ද ප්‍රමාණය තීරණය වන්නේද මෙම SDR කෝටාව අනුවයි. ඒ අනුව, සෑම SDR 100,000ක් වෙනුවෙන්ම එක් ඡන්දයක් හිමි වෙනවා. ඊට අමතරව සෑම රාජ්‍යකටම යම් මූලික ඡන්ද ප්‍රමාණයක් හිමි වෙනවා. එම ප්‍රමාණය ඡන්ද 1,452ක්. මේ අනුව, SDR මිලියන 578.8ක කෝටාවක් හිමි ලංකාවට ඒ වෙනුවෙන් ඡන්ද 5,788ක් සහ කාටත් හිමි වන මූලික ඡන්ද 1,452 ලෙස ඡන්ද 7,240ක් හිමිව තිබෙනවා. අරමුදල තුළ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිව තිබෙන්නේ වැඩිම SDR කෝටාවක් හිමි ඇමරිකා එක්සත් ජනපදයටයි.
මේ වන විට SDR එකක මිල ආසන්න වශයෙන් රුපියල් 410ක් පමණ වෙනවා. ඒ අනුව, ලංකාවේ කෝටාව වන SDR මිලියන 578.8 රුපියල් වලින් බිලියන 240ක් පමණ වෙනවා. කිසියම් රටක SDR කෝටාව මිල දී ගැනීමේදී ඒ සඳහා ගෙවිය යුතු මුදලින් 75%ක් තමන්ගේම මුදලින් ගෙවිය හැකියි. ඉතිරි 25%ක මුදල මුල් කාලයේදී රන් වලින් ගෙවිය යුතුව තිබුණු අතර දැන් ඩොලර්, පවුම් වැනි ප්‍රධාන මුදල් වර්ගයකින් ගෙවිය යුතුයි.
ලංකාවේ ණය අනුමත වීමෙන් පසුව, 2023 දෙසැම්බර් මාසයේදී මුළු කෝටා ප්‍රමාණය 50%කින් වැඩි කෙරුණු අතර ඒ අනුව මුළු SDR ප්‍රමාණය බිලියන 476 සිට බිලියන 715ක් පමණ දක්වා ඉහළ යා යුතු වුවත් මේ වන විටද සියලුම රටවල් තමන්ට හිමි අමතර SDR කෝටාව සඳහා මුදල් ගෙවා නොමැති බැවින් මේ දක්වා නිකුත් කර ඇති මුළු SDR ප්‍රමාණය බිලියන 660.7ක් පමණයි. එම මුදලට ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සතුව තිබෙන SDR සහ අරමුදලේම දෙපාර්තමේන්තු ගිණුමක තිබෙන SDR යම් ප්‍රමාණයක්ද ඇතුළත්.
මෙසේ අරමුදලේ සාමාජිකත්වය ගැනීමේදී සහ පසුව වරින් වර කෝටාව ඉහළ දැමීමේදී තමන්ගේ කෝටාවේ තරමට SDR මිල දී ගත යුතු බැවින් සෑම සාමාජික රටක් සතුවම SDR වත්කම් යම් ප්‍රමාණයක් තිබෙනවා. එසේ සාමාජික රටවල් විසින් SDR මිල දී ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අරමුදල සතුව සෑම සාමාජික රටක් විසින්ම නිකුත් කරන මුදල් වර්ග තිබෙනවා. ණය ලෙස ලබා දෙන්නේ මෙම අරමුදල්.
කිසිදු රටකට තමන්ගේම රටේ මුදල් අරමුදලෙන් ණයට ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ වෙනත් රටක මුදල්. එහෙත්, ලෝකයේ වෙනත් කිසිදු රටක් අරමුදලෙන් ශ්‍රී ලංකා රුපියල් ණයට ඉල්ලන්නේ නැහැ. බොහෝ රටවලට අවශ්‍ය වන්නේ ඩොලර්, යුරෝ, යෙන් වැනි මුදල් වර්ගයක්. මේ හේතුව නිසා, ප්‍රායෝගිකව ණය සේ ලබා දිය හැක්කේ අරමුදල සතු විදේශ මුදල් වලින් කොටසක් පමණයි.
කිසියම් රටකට ලබා දෙන ණය ප්‍රමාණය තීරණය වන්නේද අදාළ රටේ කෝටාව මතයි. ආජන්ටිනාව හා යුක්‍රේනය වැනි රටවලට ලොකු ණය මුදල් ලැබෙන්නේ ඒ නිසා. ලංකාව විසින් ලබාගත් විස්තීර්ණ ණය පහසුකම ලබා දීමේදී සාමාජික රටකට උපරිම වශයෙන් තමන්ගේ කෝටාව මෙන් 435%ක මුදලක් ලබා ගත හැකි වුවත්, අදාළ ණය ඉල්ලුම් කරන විට ලංකාව විසින් ඊට පෙර ලබා ගෙන ගෙවා නොතිබුණු ණයද යම් ප්‍රමාණයක් තිබුණු බැවින් අලුතෙන් ලබාගත හැකි වූයේ කෝටාව මෙන් 395%ක මුදලක් පමණයි. එම ප්‍රමාණය SDR මිලියන 2,286ක් වූ අතර සමාන වාරික නවයකින් ලැබුණු බැවින් එක් වාරිකයක් SDR මිලියන 254ක් වුනා. පසුගිය සතියේ ලැබුණේ SDR මිලියන 254ක පස් වන වාරිකයයි.
බොහෝ අවස්ථා වලදී මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා රටවල් විසින් එසේ ලබා ගන්නා අරමුදල් තමන්ගේ සංචිත වලට එකතු කරගන්නවා මිස වියදම් කරන්නේ නැහැ. ඒ නිසා, ලබා ගන්නා SDR වෙනත් මුදල් ඒකකයකට මාරු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එම මුදල් SDR ලෙසම තියා ගන්න පුළුවන්. එහෙත්, මෙම අරමුදල් වියදම් කිරීමට අවශ්‍යනම් ඩොලර්, යුරෝ වැනි මුදලක් සමඟ හුවමාරු කළ හැකියි. අරමුදල සතුව සෑම මුදල් වර්ගයක්ම තිබෙන නිසා සාමාන්‍යයෙන් මෙය ප්‍රශ්නයක් වන්නේ නැහැ. එසේ වෙනත් මුදල් වර්ගයකට මාරු කළහොත් ණය ආපසු ගෙවන විට නැවතත් SDR මිල දී ගැනීමට සිදු වෙනවා. මේ ආකාරයෙන් SDR විකිණීමේ සහ මිල දී ගැනීමේ ගනුදෙනු අරමුදල හරහා වෙනත් සාමාජික රටක් සමඟ කළ හැකි අතර ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟද කළ හැකියි.
SDR විණිමය අනුපාතය තීරණය වන්නේ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයට වුවත් එක් මුදල් වර්ගයකට සාපේක්ෂව නෙමෙයි. ඩොලර්, පවුම්, යෙන්, යුරෝ සහ යුවාන් යන මුදල් වර්ග පහ අඩංගු මුදල් මල්ලක වටිනාකමට සාපේක්ෂවයි. ඒ නිසා මේ මුදල් වර්ග පහේ වටිනාකම් වෙනස් වෙද්දී SDR වල වටිනාකමද වෙනස් වෙනවා.
මෙම මුදල් මල්ලේ ආසන්න වශයෙන් ඩොලර් 0.578ක්, යුරෝ 0.293ක්, යුවාන් 1.099ක්, පවුම් 0.081ක් සහ යෙන් 14.452ක් අඩංගුයි. ඒ නිසා, වෙනත් මුදලකින් SDR එකක වටිනාකම වන්නේ ඉහත මුදල් වර්ග පහේ ඉහත ප්‍රමාණ වල වටිනාකමයි. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අනෙකුත් මුදල් වල වටිනාකම ඉහළ යද්දී ඩොලර් වලින් ඩොලර් ඩොලර් 0.578ක මිල එම ප්‍රමාණයම වුනත්, අනෙකුත් මුදල් අදාළ ප්‍රමාණ වල මිල ඉහළ යන නිසා ඩොලර් වලින් SDR එකක මිලද ඉහළ යනවා. මේ වන විට SDR එකක මිල ඇමරිකන් ඩොලර් 1.37ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සාමාන්‍යයෙන් ලෝකයේ සෑම මහ බැංකුවක් විසින්ම නිරන්තරයෙන් මුදල් සැපයුම වැඩි කරනවා. සරලව කිවුවොත් සල්ලි අච්චු ගැසීමක් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර්, පවුම්, යෙන් වැනි සියලුම මුදල් වර්ග නිරන්තරයෙන් බාල්දු වෙනවා. ඒ අනුව, භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණ නිරන්තරයෙන් ඉහළ යනවා. එසේ වෙද්දී ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අවශ්‍ය වන SDR ප්‍රමාණයද ඉහළ යනවා. මේ නිසා මූල්‍ය අරමුදල විසින් ඊට අනුරූපව අවස්ථා හතරකදී SDR සැපයුම වැඩි කර තිබෙනවා. එහිදී අලුතෙන් SDR මැවීමක් හෙවත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. එසේ "අමුද්‍රව්‍ය නොමැතිව" අලුතෙන් "නිපදවන" SDR සාමාජික රටවල් අතර ඔවුන්ගේ කෝටා අනුපාතයට බෙදා දෙන අතර ඒ සඳහා සාමාජික රටවල් විසින් මුදල් ගෙවිය යුතු වන්නේ නැහැ.
පසුගිය වසංගත සමයේදී (2021 අගෝස්තු) SDR බිලියන 456.5ක දැවැන්ත මුදලක් මේ අයුරින් අලුතින් "අච්චු ගසා" සාමාජික රටවල් අතර බෙදා දුන්නා. මේ සමඟම ඒ වන විට නිකුත් කර තිබුණු මුළු SDR ප්‍රමාණය වූ බිලියන 204.2ක් වූ SDR ප්‍රමාණය බිලියන 660.7 දක්වා ඉහළ ගියා. ඊට පෙර ලෝක ආර්ථික අවපාතය හමුවේදීද (2009 අගෝස්තු) මේ අයුරින්ම SDR බිලියන 161.2ක මුදලක් අලුතෙන් "අච්චු ගසා" සාමාජිකයින් අතර බෙදා දුන්නා. මෙම අවස්ථා දෙකම ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව ඇතුළු ලෝකයේ ප්‍රධාන මහ බැංකු විසින් විශාල ලෙස මුදල් සැපයුම ඉහළ දැමූ අවස්ථා දෙකක්.
මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා සාමාජික රටවල් විසින් ඒ වෙනුවෙන් පොලියක් ගෙවිය යුතුයි. අරමුදල නඩත්තු වන්නේ මෙසේ ලැබෙන පොලී ආදායමෙන්. ඊට අමතරව ණය ලෙස ලබා නොදෙන අරමුදල් ආයෝජනය කිරීමද සිදු වෙනවා. සාමාජික රටකට අරමුදලෙන් ණය ලබා ගත හැකිවාක් මෙන්ම, "නොමිලේ බෙදා දුන්" SDR ඇතුළු තමන්ගේ කෝටාව ප්‍රයෝජනයනට ගන්නත් පුළුවන්. මෙහිදී ගිණුමේ ශේෂය කෝටාවේ ප්‍රමාණයට වඩා පහත වැටෙනවා. එසේ තමන්ගේ කෝටාවේ ප්‍රමාණයට වඩා ගිණුම් ශේෂය පහත වැටුණු විට අඩු ප්‍රමාණය වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ අර්ථයෙන් මෙය ණය ගැනීමකට සමානයි. සාමාන්‍ය ණය ගැනීමකට සාපේක්ෂව මෙහි ඇති වෙනස වන්නේ ලබාගත් මුදල් ආපසු ගෙවිය යුතු නිශ්චිත දිනයක් නොමැති වීමයි.
මූල්‍ය අරමුදල විසින් SDR ප්‍රමාණය වැඩි කරන එකම ක්‍රමය ඉහත සඳහන් "නොමිලේ බෙදා දීමේ" ක්‍රමය නෙමෙයි. අරමුදලට අලුතෙන් රටවල් එකතු වෙද්දී මෙන්ම ලෝක ආර්ථිකය තුළ කිසියම් රටක පංගුව ඉහළ ගිය විටද එම රටවලට SDR ප්‍රමාණයක් හිමි වෙනවා. එහෙත් මේ අයුරින් ලැබෙන SDR වෙනුවෙන් (විශේෂ අවස්ථා වලදී හැර) මුදල් ගෙවන්නට සිදු වෙනවා.
මේ වන විට ලංකාවේ ගිණුමේ SDR නොමැති තරම්. ඒ නිසා, එහි අඩුව වෙනුවෙන් ලංකාව විසින් දිගටම පොලියක් ගෙවිය යුතුයි. එමෙන්ම ලබා ගෙන තිබෙන හා ලබා ගැනීමට නියමිතව ඇති SDR වෙනුවෙන්ද පොලියක් ගෙවිය යුතුයි. මෙසේ ණයට හෝ නොමිලේ ලබා ගන්නා SDR වෙනත් රටකට විකිණූ විට එම රටේ ගිණුමේ ඇති SDR ප්‍රමාණය අදාළ කෝටාවට වඩා වැඩි වෙන්න පුළුවන්. එවිට එම අමතර ප්‍රමාණය වෙනුවෙන් ඒ රටට පොලියක් ලැබෙනවා.
පෙර කී පරිදි 2023 දෙසැම්බර් මාසයේදී මුළු කෝටා ප්‍රමාණය 50%කින් වැඩි කළද එය සමානුපාතික වැඩි කිරීමක් නෙමෙයි. සෑම රටකම කෝටාවේ ප්‍රමාණය වැඩි වී ඇතත්, අරමුදලේ නිර්ණායක අනුව ඇතැම් රටවල කෝටා පංගුව වැඩි වී වෙනත් රටවල එම පංගුව අඩු වී තිබෙනවා. ලංකාවේ පංගුව වැඩි වී ඇති බැවින් කෝටාව 50%කට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. දැන් කෝටාව SDR මිලියන 950.2ක්. එහෙත් මේ වන විට ලංකාවේ ගිණුමේ තිබෙන්නේ SDR මිලියන 1.7ක් පමණයි. ඒ කියන්නේ ගිණුම අඩියටම හිඳිලා. ලංකාව විසින් අරමුදලෙන් ලබා ගෙන තිබෙන සහ ඉදිරියේදී ලබා ගන්නා ණය ආපසු ගෙවනවාට අමතරව මෙම ගිණුම නැවත පිරවීමද කළ යුතුයි. එතෙක් හිඟ මුදල වෙනුවෙන් පොලී ගෙවන්නට සිදු වෙනවා.