වෙබ් ලිපිනය:

Showing posts with label දළ දේශීය නිෂ්පාදිතය. Show all posts
Showing posts with label දළ දේශීය නිෂ්පාදිතය. Show all posts

Wednesday, June 17, 2026

බදු නිසා ආර්ථිකය වර්ධනය වෙනවාද?


මේ සමඟ පළ කරන රූප සටහන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ප්‍රසිද්ධ කළ එකක්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවයි. රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ 2026 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා විවිධ අංශ වලින් ලැබුණු දායකත්වයයි.

කෘෂිකාර්මික = 7.3%

කර්මාන්ත = 27.3%

සේවා = 54.2%

සහනාධාර අඩු කළ බදු = 11.3%

ඇතැම් අය මේ රූප සටහන තේරුම් ගෙන තිබෙන ආකාරය අනුව, පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3%කටම දායක වී තිබෙන්නේ භාණ්ඩ හා සේවා මත අය කර තිබෙන ශුද්ධ බදු. එහෙමත් නැත්නම් භාණ්ඩ හා සේවා මත අය කළ බදු සහ රජයෙන් ලබා දුන් සහනාධාර අතර වෙනස. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මත බදු අය කිරීම මගින් දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ හැකිද?

වැඩියෙන් බදු අය කළ විට නිෂ්පාදනය අධෛර්යමත් වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ කියන එක සාමාන්‍ය බුද්ධියට වුනත් තේරෙන දෙයක්. ආර්ථික විද්‍යා න්‍යාය අනුව වුනත්, බදු නිසා ආර්ථික වර්ධනය සීමා වනු මිස ඉහළ යන්නේ නැහැ. එහෙමනම්, මේ රූප සටහනෙන් පෙන්වන අපභ්රංශය කුමක්ද? 

දළ දේශීය නිෂ්පාදිතය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රට තුල සිදු වූ අගය එකතු වීම් වල එකතුව. ඒ කියන්නේ අවසන් භාණ්ඩ හා සේවා නිෂ්පාදිත වල වෙළඳපොළ වටිනාකම සහ නිෂ්පාදන යෙදවුම් පිරිවැය අතර වෙනස. උදාහරණයක් විදිහට සීනි කිලෝවක් සැලකුවොත්, පාරිභෝගිකයා විසින් ගෙවන මිල සහ නිෂ්පාදකයාගේ පිරිවැය අතර වෙනස. සීනි කිලෝවක් විකිණෙන්නේ රුපියල් 240කටනම් සහ නිෂ්පාදන පිරිවැය රුපියල් 180ක්නම්, මෙහි රුපියල් 60ක අගය එකතු වීමක් තිබෙනවා.

එහෙත් ඉහත තර්කය හරියන්නේ රජයේ මැදිහත් වීමක් නැත්නම් පමණයි. අපි හිතමු නිෂ්පාදන පිරිවැය රුපියල් 180ක් වීමට හේතුව රජය විසින් පොහොර ආනයනය කරද්දී විශාල බද්දක් අය කිරීම කියලා. බද්ද නැත්නම් නිෂ්පාදන පිරිවැය රුපියල් 160ක් පමණයි. ඒ අනුව, රුපියල් 80ක අගය එකතු වීමක් සිදු විය හැකිව තිබුණත් බද්ද නිසා එය රුපියල් 60කට සීමා වී තිබෙනවා. ඇත්තම අගය එකතු වීම විය යුත්තේ රුපියල් 80. 

අනෙක් අතට නිෂ්පාදන පිරිවැය රුපියල් 180කට සීමා වී තිබෙන්නේ රජයෙන් ලබා දෙන සහනාධාර නිසා වෙන්න පුළුවන්. සහනාධාර නැත්නම්, පිරිවැය රුපියල් 200ක් කියා සිතමු. ඒ කියන්නේ ඇත්තම අගය එකතු වීම රුපියල් 40ක් පමණයි. 

ඉහත උදාහරණ වලින් පෙන්වා දුන් පරිදි, රජය විසින් නිෂ්පාදන මත බදු අය කරද්දී සහ සහනාධාර ලබා දෙද්දී, ඒ ගැන නොසලකා ඇස්තමේන්තු කරන අගය එකතු වීම් වල විකෘතියක් සිදු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී සහනාධාර අඩු කළ බදු වල බලපෑම එකතු කිරීම මගින් කරන්නේ ඒ වැරැද්ද හදන එකයි.

ඉහත සංඛ්‍යාලේඛණ වලට ගියොත්, අවසන් අයිතමයෙන් අදහස් වන්නේ සහනාධාර අඩු කළ බදු දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3%කට හේතු වුනා කියන එක නෙමෙයි. එම බදු අය නොකළේනම් (සහ සහනාධාර ලබා නොදුන්නේනම්) කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල නිෂ්පාදිතය ඇස්තමේන්තු කරද්දී තවත් 11.3%ක කොටසක් එකතු විය හැකිව තිබුණා කියන එකයි. එසේත් නැත්නම් එම අංශ වල සැබෑ දායකත්වය පෙනෙන ප්‍රතිශත වලට වඩා වැඩි බවයි. 

ඉහත කොටසද දළ දේශීය නිෂ්පාදිතයට එකතු කර තිබෙන්නේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල නිෂ්පාදකයින් විසින්ම වුවත්, එම කොටස රජය විසින් බදු ලෙස එකතු කරගෙන ඇති බැවින් අදාළ නිෂ්පාදකයින්ගේ ආදායමක් බවට පත් වී නැහැ. නමුත් එම කොටසද ඔවුන් විසින් මහන්සියෙන් සිදු කර ඇති අගය එකතු කිරීම් වලම කොටසක්. 

රට තුල සිදු වූ අගය එකතු වීම් වල එකතුව කියන්නේ දළ දේශීය නිෂ්පාදිතය අර්ථ දක්වන එක් ක්‍රමයක්. ඒ ක්‍රමය අනුව, සහනාධාර අඩු කළ බදු කොටසද කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ලෙස වර්ග කළේනම්, අදාළ අංශයට අදාළ කොටස එකතු කර එක් එක් අංශයේ අගය එකතු වීම් නිවැරදිව ගණනය කළ හැකිව තිබුණා. නමුත් දළ දේශීය නිෂ්පාදිතය අර්ථ දක්වන තවත් ක්‍රමයක් වන්නේ එය රටේ සමස්ත ආදායම ලෙස සැලකීමයි. ඒ ක්‍රමය අනුව, මේ කොටස රජයේ ආදායමක් මිසක් නිෂ්පාදකයින්ගේ ආදායමක් නොවන නිසා, කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලට එකතු කළ නොහැකියි. ඒ නිසා, මෙම කොටස වෙනම පෙන්නුවත්, මෙමගින්  බදු රටේ නිෂ්පාදනය වැඩි කිරීමට දායක වන බවක් අදහස් වන්නේ නැහැ. 

Monday, January 5, 2026

සංචාරක පැමිණීම් සහ ඉලක්ක


පසුගිය (2025) වසර ඇතුළත ලංකාවට සංචාරකයින් 2,362,521 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙය වසරක් තුළ ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. මීට පෙර ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි 2018 වසරට සාපේක්ෂව 1.2%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ වගේම, පසුගිය වසරට සාපේක්ෂව 15.1%ක වර්ධනයක් දැකිය හැකියි.

වසරේ පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරට සාපේක්ෂව, 16.7%ක වර්ධනයක් තිබෙනවා. අවසන් මාස දෙකේ එම වර්ධනය 9.0%ක් පමණයි. අවසන් මාස දෙකේ වර්ධනයද 16.7%ක් වුනානම් සංචාරකයින් ගණන තවත් 33,000කින් පමණ ඉහළ යනවා. එම අඩුව, සුළි කුණාටුවේ බලපෑම ලෙස සලකන්න පුළුවන්. 

සුළි කුණාටුව නිසා වැඩිම බලපෑමක් සිදු වුනේ කෘෂිකාර්මික නිෂ්පාදිතයට සහ සංචාරක කර්මාන්තයටයි. නමුත් මේ බලපෑමෙන් පසුවද, හතරවන කාර්තුව තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ, පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව, 12.0%ක වර්ධනයක් දකින්න පුළුවන්. මේ අනුව, හතර වන කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් ලැබිය හැකිව තිබුණු දායකත්වය විශාල ලෙස අඩු වී ඇති බවක් පෙනෙන්න නැහැ.

කෘෂිකාර්මික නිෂ්පාදිතය පිළිබඳ සෘජු දත්ත නැතත්, වෙළඳපොළ මිල ගණන් දෙස බලා සිදු වූ හානිය ගැන වක්‍ර අදහසක් ගන්න පුළුවන්. දෙසැම්බර් මාසය තුළ එළවලු ආදියේ මිල ගණන් ඉහළ යාමෙහි පෙර වසරට සාපේක්ෂව විශාල වෙනසක් නැහැ. ඒ අනුව පෙනෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය තුළින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ වුවද ඒ තරම් විශාල අඩුවක් සිදු වී නොමැති බවයි. 

මූල්‍ය අරමුදල විසින් පුරෝකථන සකස් කර තිබෙන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ මට්ටමකට පහත වැටෙනු ඇතැයි උපකල්පනය කරලා. එහෙත් ඉහත නිරීක්ෂණ අනුව පෙනෙන්නේ හතරවන කාර්තුව තුළද 4% ඉක්මවන වර්ධනයක් වාර්තා වීමේ විභවයක් ඇති බවයි. එසේ වුවහොත් මෙම වසරේ ආර්ථික වර්ධනයද 5%කට ආසන්න මට්ටමකට එන්න පුළුවන්. 

සුළි කුණාටුවේ බලපෑම බොහෝ දුරට ක්ෂණික බලපෑමක්. එයින් මේ වසරේ හතර වන කාර්තුවට විශාල බලපෑමක් සිදු වී නැත්නම්, ඉදිරි වසරේ දකින්නට ලැබෙනු ඇත්තේද ඒ තරම් විශාල නොවන බලපෑමක්. ඒ බලපෑම ඉදිකිරීම් ආදිය ඉහළ යාම නිසා පහසුවෙන්ම නිශේධනය වී යන්න පුළුවන්. 

වසරක් තුළ රටට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය මේ වසරේදී වාර්තා වී ඇතත්, එම ප්‍රමාණය වසර මුල සකස් කර තිබෙන ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩුයි. ඒ අඩුවට හේතුවනම් සුළි කුණාටුව නෙමෙයි. ඇස්තමේන්තු ඕනෑවට වඩා ඉහළ  මට්ටමක තිබීම කියා කියන්නත් පුළුවන්. පසුගිය වසර සඳහා සකස් කළ ඇස්තමේන්තු ඉදිරි වසර සඳහානම් නරක ඉලක්ක නෙමෙයි.

Friday, January 2, 2026

ජපානය පැරදවූ ඉන්දියාවේ ඉදිරි මග

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්. 

ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන ඉන්දියාවේ එම වර්ධනය තිරසාර වර්ධනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ උද්ධමනය සහ විරැකියා අනුපාතිකය පහළ මට්ටමක තබා ගන්නා අතරම, එනම් ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බැවිනුයි.

මෙම වර්ධන නැමියාව එලෙසම පවත්වා ගනිමින්, ඉදිරි වසර තුනක කාලය ඇතුළත, ජර්මනිය අභිබවා ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය බවට පත් වීම ඉන්දියාවේ ඉලක්කයයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3ක මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි. 

උද්ධමනය පහළ මට්ටමක පවතින අතරම වර්ධන වේගය වැඩි වන තත්ත්වයක් ආර්ථිකයේ ගෝල්ඩිලොක්ස් කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙනවා. එවැනි තත්වයකදී වර්ධන වේගය ඉහළ යන්නේ සාර්ව ආර්ථික මැදිහත්වීම් හරහා ලබා දෙන තල්ලු වල උදවුවෙන් නෙමෙයි. ඒ නිසා, වර්ධනය තිරසාර එකක්. 

ගෝල්ඩිලොක්ස් සුරංගනා කතාවේ වලසුන් තිදෙනාගේ නිවහනට ඇතුළු වන දැරිය විසින් තෝරා ගන්නේ වඩා උණුසුම්ද නැති, වඩා ශීතලද නැති කැඳ කෝප්පයයි. ආර්ථික වර්ධනය හා අදාළවද ප්‍රශස්ත තේරීම වන්නේ ආර්ථික තිරසාරත්වය පවත්වා ගත හැකි වර්ධන වේගයක් මිස එය අවදානමට ලක් කෙරෙන කඩි කුලප්පු වර්ධන වේගයක් නෙමෙයි. 

ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය තවමත් (2024දී) ඩොලර් 2,650ක් පමණයි. විශාල ජනගහණයක් සිටින ඉන්දියාවේ දකුණු කොටස සංවර්ධනය වී ඇති තරමට සාපේක්ෂව උතුරු කොටස සංවර්ධනය වී නැහැ. ඒ නිසා, ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය වුවත්, ඉන්දියාව තවමත් පහළ මැදි ආදායම් රටක්. 

ඉන්දියාවේ ඉලක්කය වනුයේ 2047දී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වීමයි. මෙවැනි ජාතික ඉලක්ක හඹා යන රටකට එවැනි ඉලක්කයක් සාර්ථක ලෙස ලඟා කර ගැනීමට හැකි වනුයේ අදාළ ඉලක්කය ප්‍රායෝගික ඉලක්කයක් වන්නේනම් පමණයි. නිකම්ම නමට ලොකු ඉලක්ක ඉදිරිපත් කළ පමණින් එවැනි ඉලක්ක අත්පත් කරගත හැකි වන්නේ නැහැ.

දැනට පවතින ප්‍රක්ෂේපිත තත්ත්වයන් තුළ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 300ක් වනු ඇත්තේ 2046දී වන අතර, ඩොලර් බිලියන 200ක් වනු ඇත්තේ 2038දීයි. ප්‍රතිපත්ති වෙනස්කම් නිසා මෙන්ම බාහිර කම්පන නිසාද මෙම ප්‍රක්ෂේපනයන් පහසුවෙන්ම වෙනස් විය හැකි වුවත්, එවැනි වෙනස්වීම් වලටද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. කිසියම් විචල්‍යයක් වසරකට 7%ක වේගයකින් වර්ධනය වුවද, එය තෙගුණයක් වීම සඳහා වසර 17ක කාලයක් යනවා. 


Tuesday, December 30, 2025

ඉහළ මැදි ආදායම් කාණ්ඩයට නැවතත් යා හැකි වෙයිද?


පසු ගිය (2024) අවුරුදේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 99.0 දක්වා ඉහළ ගියා. තවත් ඩොලර් බිලියනයකින් ඉහළ ගියානම්, අතිශය ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 සීමාව පන්නනවා. මේ (2025) අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 පන්නයිද?

ගිය අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100 සීමාව කිට්ටුවට පැමිණ තිබුණු නිසාම මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඔය සීමාව පන්නනවා කියලා කියන්න බැහැ. 2018දී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 94.7 දක්වා ඉහළ ගොස් තිබුණත්, 2022 වන විට ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණා. ඒ නිසාම, 2018දී ලංකාව විසින් ලඟා වූ ඉහළ මැදි ආදායම් තත්ත්වය දිගටම පවත්වා ගත හැකි වූයේ නැහැ.

ආර්ථිකයේ ප්‍රමාණයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ රටේ ආර්ථික වර්ධන වේගය මත පමණක් පදනම්ව නෙමෙයි. උද්ධමනය හා විණිමය අනුපාතය කියන සාධකත් ඒ කෙරෙහි බලපානවා. ඒ නිසාම, රටකට ආර්ථික වර්ධනය වගේම ආර්ථික ස්ථාවරත්වයත් ඉතාම වැදගත්. එසේ වුවත්, ඔය සාධක තුනම සලකා බැලීමෙන් පසුව, මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථිකය, හරියටම කිවුවොත් නාමික දළ දේශීය නිෂ්පාදිතය, අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 100 සීමාව පන්නා තිබිය යුතු බව කියන්න පුළුවන්.

මූර්ත ආර්ථික වර්ධන වේගයෙන් පටන් ගත්තොත්, පළමු කාර්තු තුනේ ආර්ථික වර්ධන වේග අපි දැනටමත් දන්නවා. නොදන්නේ හතරවන කාර්තුවේ වර්ධන වේගය පමණයි. සුළි කුණාටුවේ බලපෑම නිසා මෙම වර්ධන වේගය බාල විය හැකි බව පැහැදිලි කරුණක්. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව පෙන්නේ ඔවුන් හතරවන කාර්තුවේ වර්ධන වේගය 2% පමණ සේ සලකා ඇති බවයි. ඒ අනුව වසරේ මූර්ත ආර්ථික වර්ධන වේගය 4.2%ක් වනු ඇති බව ඔවුන් විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. හතරවන කාර්තුවේ වර්ධන වේගය 3%ක් වුවහොත්, වසරේ වර්ධන වේගය 4.5% මට්ටම දක්වා ඉහළ යනවා. එය විය නොහැකි දෙයක් නෙමෙයි. 

ආර්ථිකයේ ඩොලර් වටිනාකම කෙරෙහි බලපාන්නේ නාමික ආර්ථික වර්ධන වේගයයි. නාමික ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ මූර්ත වර්ධනය නිසා මෙන්ම උද්ධමනය නිසාද සිදු වන වටිනාකම් වෙනස් වීම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයයි. පසුගිය (2025) තුන් වන කාර්තුවේ නාමික ආර්ථික වර්ධන වේගය 12.6%ක්. ඊට හේතුව මූර්ත ආර්ථිකය 5.6%කින් වර්ධනය වෙද්දී මිල මට්ටමද 6.8%ක වේගයකින් වර්ධනය වී තිබීමයි. 

හතර වන කාර්තුවේදී සුළි කුණාටුව නිසා මිල ගණන් ඉහළ යාමක් සිදු වුනා. ඩොලරයක මිලද වැඩි වුනා. ඒ නිසා, මිල ඉහළ යාම තුන් වන කාර්තුවේ වේගයට වඩා වැඩි මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. එය අවම වශයෙන් 7%ක් පමණවත් විය යුතුයි. 

හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% ලෙසත්, මිල ඉහළ යාමේ බලපෑම 7% ලෙසත් සැලකුවොත්, පැවති විනිමය අනුපාත අනුව, 2025 ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 108.4ක් දක්වා ඉහළ යනවා. එසේ වුවහොත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4,982 දක්වා ඉහළ යනවා. මෙය අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. 

හතරවන කාර්තුවේ මූර්ත ආර්ථික වර්ධන වේගය 2% නොවී 3% පමණ වෙන්න පුළුවන්. ඒ වගේම, මිල වැඩි වීම පහසුවෙන්ම 8% ඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත්, මේ අවුරුද්දේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතිශය ප්‍රථම වතාවට ඩොලර් 5000 සීමාව ඉක්මවා යන්න වුනත් බැරිකමක් නැහැ.

ආදායම් මට්ටම අනුව රටවල් වර්ග කිරීමේදී බලන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දෙස නොව ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය දෙසයි. සාමාන්‍යයෙන් ලංකාවේ එහි අගය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඩොලර් සීයකින් පමණ අඩුයි. එය එසේ වුවත්, ඉදිරි වසරේදී නැවතත් ඉහළ මැදි ආදායම් මට්ටමට යාම පිළිබඳව ලංකාවට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 

Saturday, September 27, 2025

රටේ දළ දේශීය නිෂ්පාදිතය තියෙන්නේ කා ලඟද?


පසු ගිය (2024) වර්ෂයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29,899ක්. රටේ ජනගහණය මිලියන 21.9ක්. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,364,235ක්. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය රටේ සෑම පුරවැසියෙකු අතරම එක සමානව බෙදී ගියේනම්, එක් අයෙකුගේ කොටස තමයි ඔය ප්‍රමාණය. හතර දෙනෙක් සිටින නිවසක පංගුව රුපියල් ලක්ෂ 54ක් පමණ. මාසයකට ලක්ෂ හතර හමාරක් පමණ. 

පසු ගිය වසරේ පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු අවම සීමාව තිබුණේ රුපියල් ලක්ෂ 12 මට්ටමේ. ඒ කියන්නේ රටේ සෑම පුද්ගලයෙකුටම රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට සමාන ආදායමක් ලැබුනේනම්, රටේ සෑම දෙනෙකුම ආදායම් බදු ගෙවන්නෙක් කියන එකයි. 

මේ විදිහට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරලා තියෙන්නේ දදේනිය රටේ මුළු ජනගහණයෙන් බෙදලා. එම ගණනට අලුත ඉපැදුනු බිළිඳුන් පවා අයිතියි. නමුත් රටේ සිටින ආදායම් උපයන්නන් ප්‍රමාණය රටේ ජනගහණයට වඩා ගොඩක් අඩුයි. පසුගිය වසරේදී කුමක් හෝ රැකියාවක් කළේ මිලියන 21.9ක ජනගහණයෙන් මිලියන 7.9ක පිරිසක් පමණයි. රැකියා නොකරන, එහෙත් වත්කම් වලින් ආදායම් උපයන අයද සිටින නිසා කිසියම් හෝ ආදායමක් ඉපැයූ පිරිස මීට වඩා තරමක් වැඩි ඇති. මේ ආදායම් උපයන්නන් ප්‍රමාණය මිලියන 10ක් සේ සැලකුවත්, එක් ආදායම් උපයන්නෙකුගේ සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් මිලියන 3ක් පමණ විය යුතුයි. ඒ කියන්නේ මාසයකට ලක්ෂ දෙක හමාරක්. 

නමුත් බදු ගෙවද්දී පෙන්වන ආදායම් දිහා බැලුවොත්, මාසයකට රුපියල් ලක්ෂය ඉක්මවන ආදායම් උපයන අය ඉන්නේ ඉහත ඇස්තමේන්තුවට වඩා ගොඩක් අඩුවෙන්. එහෙමනම්, රටේ දළ දේශීය නිෂ්පාදිතය ආදායමක් වී තිබෙන්නේ කාගේද?

රටේ දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ කාට හෝ ලැබුණු ආදායම් වලද එකතුවයි. රුපියල් බිලියන 29,899ක් වූ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ආදායම් ප්‍රභව වලට විභේදනය කළ විට දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්.

ශ්‍රමිකයින්ගේ වැටුප් හා අනෙකුත් ලැබීම් - රුපියල් බිලියන 7,645 (25.6%)
සමාගම් වල අතිරික්තය - රුපියල් බිලියන 9,218 (30.8%)
මිශ්‍ර ආදායම් (තනි පුද්ගල ව්‍යාපාර වල ලාභ) - රුපියල් බිලියන 10,196 (34.1%)
භාණ්ඩ හා සේවා මත අය කළ බදු - රුපියල් බිලියන 2,840 (9.5%)

දැන් මේ ශ්‍රමිකයින්ගේ වැටුප් හා අනෙකුත් ලැබීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 7,645 රටේ ශ්‍රම බලකාය වූ මිලියන 7.9න් බෙදුවොත්, එක් ශ්‍රමිකයෙකුගේ මාසික ආදායම ආසන්න වශයෙන් රුපියල් 80,000ක් පමණ වෙනවා. එම ගණන රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මෙන් පුදුම හිතෙන ගණනක් නෙමෙයි. ඒ නිසා, වැටුප් ශ්‍රමිකයින් අතර, මාසික ආදායම අවම බදු සීමාව ඉක්මවන අය මහා ගොඩක් නැති වෙන්න පුළුවන්. ඒ අයට බොහෝ විට පුද්ගල ආදායම් බදු ගෙවන්න වෙනවා. වංගු ගහන්න අමාරුයි. ඊට අමතරව වක්‍ර බදු ගෙවීම මගින් භාණ්ඩ හා සේවා මත අය කළ බදු කොටසටත් දායක වෙන්න සිදු වෙනවා. 

රටේ සමස්ත ආදායමෙන් ශ්‍රමිකයින් විසින් ලබා ගන්නා කොටසටත් වඩා වැඩි කොටසක් සමාගම් වල අතිරික්තයයි. නමුත් මේ කතා කරන්නේ විධිමත් ලෙස ලියා පදිංචි කළ සමාගම් ගැනයි. ඒ සමාගම් වලටත් ආදායම් බදු ගෙවන්න සිදු වෙනවා. 2024දී සමාගම් විසින් ගෙවූ ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 584ක්. එය ඉහත ඇස්තමේන්තුවෙන් 6.3%ක් පමණයි. මෙම අනුපාතය සමාගම් බදු අනුපාතිකයට වඩා බොහෝ අඩුයි. ඊට හේතුව බදු අය කරන්නේ ගිණුම්කරණ ලාබ මත වීම සහ ගිණුම්කරණ ලාබ පෙන්වීමේදී වංගු ගැසිය හැකි නීත්‍යානුකූල (හා එසේ නොවන) ක්‍රම තිබීමයි. 

ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ප්‍රමාණය (වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය) පසුගිය වර්ෂයේදී රුපියල් බිලියන 1,447කින් ඉහළ ගියා. මෙම අගය දළ වශයෙන් කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් වලින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කළ කොටස සේ සලකන්න පුළුවන්. එසේ සැලකුවහොත්, එම අගය රටේ සමාගම් වල ලාභ වලින් 15.7%ක් පමණයි. කෙතරම් විවේචන කළ හැකි වුවත්, කොටස් වෙළඳපොළ සමාගම් සාමාන්‍යයෙන් සැලකිය යුතු තරමේ නියාමනයකට භාජනය වෙනවා. මෙවැනි පොදු සමාගම් වැඩිපුර ලාබ ගන්නවානම්, කැමති ඕනෑම අයෙකුට කොටස් මිල දී ගෙන ඒ ලාබ බෙදා ගැනීම සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්.

නමුත්, ඉහත සංඛ්‍යාලේඛණ අනුව, ලංකාවේ පෞද්ගලික සමාගම් වල ලාබ වලින් 85%ක්ම තියෙන්නේ පොදු සමාගම් වලින් බාහිරව පෞද්ගලික ප්‍රාග්ධනහිමියන් සතුවයි. එම සමාගම් වල ලාබ බෙදා ගැනීම සඳහා රටේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න බැහැ. මේ සමාගම් වල ප්‍රාග්ධනය සම්ප්‍රේෂණය වන්නේ පරම්පරා උරුමය අනුවයි. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ ආදායම් උපයන්නන් අතර ශ්‍රමිකයින් සහ ප්‍රාග්ධනහිමියන් ලෙස පැහැදිලි ලෙස වර්ග කර හඳුනා ගත හැකි දෙකොටසක් ඉන්නවා. 

තමන්ගේ දක්ෂතාවයෙන් ආදායම් උපයා ධනවත් වීම සහ උරුමයෙන් ලැබුණු ධනයේ ප්‍රතිලාභ වල උදවුවෙන් තව තවත් ධනවත් වීම කියන්නේ කරුණු දෙකක්. පළමුවැන්න මෙන්ම දෙවැන්නද වැරැද්දක් නෙමෙයි. එහෙත් දෙවැන්නේදී සිදු වන්නේ පළමුවැන්නේදී මෙන් ධනය ඉපැයීමේ වැඩිම ශක්‍යතාවයක් ඇති පිරිස සතුව ධනය එක්රැස් වීමක්ද නෙමෙයි. 

බදු ප්‍රතිපත්ති මගින් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය පාලනය නොකරන්නේනම්, කාලයත් සමඟ සමාජයේ උපතින්ම ධනවතුන් හා උපතින්ම දුප්පතුන් ලෙස කොටස් දෙකක් ඇති වීම වලක්වන්න බැහැ. මේ කරුණ අමතක කර, නියාමනයෙන් තොරව, බදු ප්‍රතිපත්ති මගින් සිදු කරන මැදිහත්වීම් වලින් තොරව, සාධාරණ වෙළඳපොළ තරඟයක් ඉබේම ඇති වී රටේ ඕනෑම කෙනෙකුට ධනවතෙකු වීමට ඉඩකඩ විවර වේයැයි කවුරු හෝ හිතනවානම්, ධනවතුන් විසින් දුප්පතුන්ට පුණ්‍යාධාර ලෙස තමන්ගේ ධනය බෙදා දී දුප්පතුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මත පමණක් විශ්වාසය තබනවානම්, එය මනෝරාජික, මූලධාර්මික අදහසක් පමණයි.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සමාගම් වල ලාභ සේ යන කොටසටත් වඩා වැඩි කොටසක් යන්නේ මිශ්‍ර ආදායම් ලෙසයි. ඒ කියන්නේ ශ්‍රමයේ සහ ප්‍රාග්ධනයේ පංගු පැහැදිලිව හඳුනා ගත නොහැකි ආදායම්. බදු නිසි පරිදි නොගෙවන ආදායම් බොහෝ දුරට තිබෙන්නේ මේ ගොඩේ. ලංකාවේ බදු ආදායම් අඩු වීමට ප්‍රධාන හේතුව වන්නේද මේ කොටසයි. ඒ කියන්නේ වෙනත් අයෙකු හෝ සමාගමක් වෙනුවෙන් සේවය කර විධිමත් වැටුපක් ලබා නොගන්නා අතරම තමන්ගේ ආදායම් මාර්ගය ව්‍යාපාරයක් සේ ලියාපදිංචි කර නොමැති පිරිස. රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී එයින් වැඩිම පංගුවක් අත්පත් කර ගන්නේ මේ පිරිසයි. රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගයක් වන්නේ මේ කාණ්ඩය තුළ ඇති ආදායම් මත ගෙවිය යුතු බදු නිසි සේ අය කර ගැනීමයි. එය කළ හැක්කේ ඕනෑම තනි පුද්ගල ව්‍යාපාරික කටයුත්තක් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම සහ එම ලියාපදිංචිය අලුත් කිරීමේ කොන්දේසියක් ලෙස බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම මගින් පමණයි. 

Friday, September 13, 2024

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය


මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්. 

වසරේ පළමු මාස හයේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 14,702ක් වන අතර පෙර වසරේ පළමු මාස හයේ එම අගය වූ රුපියල් බිලියන 13,422ට සාපේක්ෂව 9.5%ක නාමික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව මූර්ත ආර්ථික වර්ධනය 5.0%ක්. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය 4.3%ක් පමණයි. 

පළමු අර්ධයේ ආර්ථික වර්ධන වේගය 5.0% මට්ටම දක්වා ගොස් ඇති බැවින් දෙවන අර්ධයේදී ආර්ථිකය වර්ධනය නොවී පෙර වසරේ මට්ටමේම පැවතියද 2024 වාර්ෂික ආර්ථික වර්ධනය 2.5% මට්ටමට යනවා. ඒ අනුව, වසරේ ආර්ථික වර්ධන වේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර ඇති 2.0% මට්ටම ඉක්මවන බව ඉතාම පැහැදිලියි. මෙම වසරේ වාර්ෂික වර්ධන වේගය බොහෝ විට ස්ථායීකරන වැඩ සටහනේ දිගුකාලීන ඉලක්කය වන 3.1% මට්ටමද ඉක්මවා යා හැකියි. දෙවන අර්ධය තුළ වර්ධන වේගය 1.2% මට්ටමෙහි පවත්වා ගත්තද වාර්ෂික වර්ධනය 3.1% මට්ටමට යන බව සරල ගණිතයෙන් වුවද තේරුම් ගත හැකි දෙයක්. 

ආර්ථික වර්ධනය මේ අයුරින් අරමුදලේ ඇස්තමේන්තු ඉක්මවා යද්දී දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය පවතින්නේ අරමුදලේ ඇස්තමේන්තුව වූ 9.8%ට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක් වන 4.3% මට්ටමේ. දෙවන අර්ධය තුළ මෙම අගය තවත් පහත වැටිය හැකි බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. 

ශ්‍රී ලංකාවේ අනාගත අභියෝගය වන්නේ මෙම යහපත් වර්ධනයන් දිගටම එලෙසින්ම පවත්වාගෙන යාමයි.

Thursday, June 20, 2024

මැද රටේ ආර්ථිකය


පසුගිය 2023 වර්ෂයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 126.1ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 17.9ක් පමණ. එම වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 27.4ක්. ඒ කියන්නේ ඇමරිකන් ආර්ථිකය තවමත් චීන ආර්ථිකයට වඩා 53%කින් විශාලයි. යුරෝපීය සංගමයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 18.4ක් පමණ වුවත්, එහි ප්‍රධානම ආර්ථිකය වන ජර්මනිය වගේම, ලෝකයේ විශාලතම ආර්ථික අතර තිබෙන ඉන්දියාව හා ජපානයත් ආර්ථිකයේ ප්‍රමාණය අතින් චීනයට වඩා ගොඩක් පසුපසිනුයි ඉන්නේ. ජර්මනිය, ජපානය හා ඉන්දියාව යන රටවල් තුනේම ආර්ථිකයන් එකතු කළත් චීනයේ ආර්ථිකය තරම් විශාල නැහැ. 

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකයේ සංයුතිය මොන වගේද?

කෘෂිකර්මය - යුවාන් ට්‍රිලියන 9.4 (7.5%)

කර්මාන්ත - යුවාන් ට්‍රිලියන 39.9 (31.7%)

ඉදි කිරීම් - යුවාන් ට්‍රිලියන 8.6 (6.8%)

සේවා - යුවාන් ට්‍රිලියන 68.1 (54.0%)

චීනයේ නිෂ්පාදන ආර්ථිකය ගැන ගොඩක් අය කතා කළත්, චීන ආර්ථිකයේ ලොකුම පංගුව සේවා ආර්ථිකය. ලංකාව, ඇමරිකාව, වියට්නාමය ඇතුළු අනෙක් බොහෝ රටවල වගේම තමයි. 

උදාහරණයක් විදිහට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 12.3ක් තොග හා සිල්ලර වෙළඳාම. ඒ වගේම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.0%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 10.1ක් මූල්‍ය අංශයේ අතරමැදි සේවා. තව යුවාන් ට්‍රිලියන 7.4ක් හෙවත් දදේනියෙන් 5.8%ක් නිවාස හා දේපොළ වෙළඳාම්. ඔය කොටස් තුන පමණක් එකතු කළත් චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් පංගුවකට කිට්ටුයි (23.6%).

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු පංගුවක් ඉහත සඳහන් අනු අංශ තුන බව මම පෙර සටහනක සඳහන් කර තිබෙනවා. මේ සියල්ල අතරමැදි සේවාවන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙය විකෘතියක්ද? එහෙමනම්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය ය‍ටතේ තිබෙන චීනයේ ඔය අතරමැදි සේවා වල පංගුවත් ඔය තරම් විශාල වුනේ කොහොමද? 

මම හිතන්නේ අතරමැදියන් නැති කිරීමේ මිථ්‍යාව ගැන කොමියුනිස්ට් චීනය දිහා බලලා වුනත් ඉගෙන ගන්න අමාරු නැහැ. ආර්ථිකයක් ප්‍රසාරණය වීම සඳහා තොග හා සිල්ලර වෙළඳාම, මූල්‍ය අංශයේ අතරමැදි සේවා හා නිවාස හා දේපොළ වෙළඳාම් වැනි අතරමැදි සේවාවන් ඉතාම අවශ්‍යයි. ඒවා නැති කරලා ආර්ථිකයන් ප්‍රසාරණය කරන්න බැහැ. 

චීනය විශාල රාජ්‍ය අංශයක් තිබෙන රටක්. චීන රජය යටිතල පහසුකම් සංවර්ධනය ආදිය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. මේ වෙනුවෙන් චීන රජය සල්ලි හොයා ගන්නේ කොහොමද?

අමුතු මැජික් එකක් නැහැ. ඇමරිකාවේ හා ලංකාවේ රජයයන් වගේම චීන රජයත් ආදායම් හොයා ගන්න ප්‍රධාන ක්‍රමය බදු. 2023දී චීනයේ මුළු රාජ්‍ය ආදායම වූ යුවාන් ට්‍රිලියන 21.7ක මුදලින් යුවාන් ට්‍රිලියන 18.1ක්ම, ඒ කියන්නේ 84%ක්ම බදු ආදායම්. චීන රජයට අයිති රාජ්‍ය ව්‍යවසාය වලින් ලැබෙන ආදායම් ඇතුළු අනෙක් සියලු ආදායම් තිබෙන්නේ ඉතිරි 16% ඇතුළේ. 

මේ බදු සියල්ල සෘජු බදුද?

මොන පිස්සුද? ඔය බදු ආදායමෙන් යුවාන් ට්‍රිලියන 6.9ක්ම වැට් බදු. තවත් යුවාන් ට්‍රිලියන 1.6ක් පරිභෝජන බදු. මීට සාපේක්ෂව පුද්ගල ආදායම් බදු යුවාන් ට්‍රිලියන 1.5ක් පමණයි. සමාගම් ආදායම් බදු යුවාන් ට්‍රිලියන 4.1ක්. වක්‍ර බදු අය කළා කියලා සෘජු බදු අය නොකර ඉන්නේ නැහැ.

චීනය ආදායම මත කොයි තරම් බදු ගහනවද?

යුවාන් 3000 දක්වා (මාසික ආදායම) - 3%

යුවාන් 3000-12,000 අතර - 10%

යුවාන් 12,000-25,000 අතර - 20%

යුවාන් 25,000-30,000 අතර - 25%

යුවාන් 35,000-50,000 අතර - 30%

යුවාන් 55,000-80,000 අතර - 35%

යුවාන් 80,000 සිට - 45%

රජයකට බදු අය නොකර වියදම් කරන්න බැහැ. වියදම් කළ හැක්කේ කාගෙන් හෝ බදු ලෙස එකතු කර ගන්නා සල්ලි. චීනය කියලා එහි වෙනසක් නැහැ.

Wednesday, May 1, 2024

ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පංගු



පසුගිය 2023 වසරේදී ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,360.9ක්. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම වසර තුළ ඇමරිකාවේ සිදු වූ මුළු භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. මෙම අගය ඇස්තමේන්තු කරන්නේ නිෂ්පාදනයේදී යොදා ගත් අමුද්‍රව්‍ය වල වෙළඳපොළ අගය අඩු කරලා. ඒ කියන්නේ වසර තුළ ශුද්ධ වශයෙන් සිදු වූ අගය එකතු වීම.

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී අවසන් නිෂ්පාදීත වල වෙළඳපොළ වටිනාකමෙන් එම නිෂ්පාදිත සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය වල වෙළඳපොළ වටිනාකම අඩු කරනවා. එහෙත්, නිෂ්පාදනයේදී යොදා ගත් නිෂ්පාදන සාධක වල පිරිවැය වෙනුවෙන් ගැලපුමක් කරන්නේ නැහැ. ඊට හේතුව, නිෂ්පාදනය අවසානයේදී එම නිෂ්පාදන සාධක තව දුරටත් ඉතිරි වී තිබීමයි. නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක සේ සැලකෙනවා. 

දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රට තුළ සිදු වූ සමස්ත නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම නිසා එම අගය අවසාන වශයෙන් කිසියම් ආකාරයකින් බෙදී යා යුතුයි. මෙම අගය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන්නේ කොහොමද කියන එක දේශපාලනිකව වැදගත් කරුණක්.

රටක දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායක වෙන්නේ ඒ රටේ ජීවත් වන මිනිස්සු පමණක් නෙමෙයි. විදේශවාසීන් විසින්ද ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයමින් මේ සඳහා දායක වෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධනය. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක්  විදේශ වාසීන්ගේ ප්‍රතිලාභ විදිහට රටෙන් පිටතට යනවා. 

මේ විදිහටම කිසියම් රටක ජීවත් වන මිනිස්සු වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයන්ටද දායක වෙනවා. ඒ මගින් ආදායම් උපයනවා. මේ දෙපැත්තම සැලකිල්ලට ගැනීමෙන් පසුව රටේ දළ ජාතික නිෂ්පාදිතය ගණනය කළ හැකියි.

දළ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය නිෂ්පාදිතය + රටවැසියන් වෙනත් රටවල නිෂ්පාදිතයට දායක වී ලබාගත්  ආදායම් - විදේශවාසීන් විසින් රටේ නිෂ්පාදිතයට දායක වී ලබාගත් ආදායම්.

පසුගිය 2023 වසරේදී ඇමරිකානුවාසීන් විසින් වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයන්ට ලබා දුන් දායකත්වයන් වෙනුවෙන් ඩොලර් බිලියන 1,457.1ක් ලබා ගනිද්දී, ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් බිලියන 1,292.9ක් විදේශවාසීන් විසින් ලබා ගෙන තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩියි. එම අගය ඩොලර් බිලියන 27,525.1ක්.

රටේ ජීවත්වන මිනිසුන්ගේ ආදායමක් විය හැක්කේ දළ ජාතික නිෂ්පාදිතය. එහෙත්, එයින් සැලකිය යුතු කොටසක් අදාළ කාලය තුළ නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්ෂය වී ගිය ප්‍රාග්ධනය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වැය වෙනවා. 2023දී මෙම මුදල ඩොලර් බිලියන 4,585.8ක් හෙවත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 16.7%කට සමාන මුදලක්. දළ ජාතික නිෂ්පාදිතයෙන් මෙම අගය අඩු කළ විට ඉතිරි කොටස ජාතික ආදායමට සමාන විය යුතුයි. ජාතික ආදායම් ඇස්තමේන්තු සියයට සියයක්ම නිවැරදි නැති නිසා ප්‍රායෝගිකව පොඩි වෙනසක් තිබෙනවා.

අවසාන වශයෙන් නිෂ්පාදනයේදී ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයන අය අතර බෙදී යන්නේ රටේ ජාතික ආදායම. 2023 වසරේදී ඇමරිකාවේ මෙම අගය ඩොලර් බිලියන 22,449.1ක්. එම මුදල බෙදී ගොස් තිබුණේ පහත පරිදියි.

සේවක වැටුප් - ඩොලර් බිලියන 14,253.5 (63.4%)

සමාගම් නොවන ආයතන හෝ ව්‍යාපාර හිමිකරුවන්ගේ ආදායම් - ඩොලර් බිලියන 1,848.4 (8.2%)

පුද්ගලයින් විසින් ඉපැයූ කුලී ආදායම් - ඩොලර් බිලියන 967.3 (4.3%)

සමාගම් වල ලාභ - ඩොලර් බිලියන 3,258.0 (14.0%)

නිෂ්පාදීත හා ආනයන මත ගෙවූ බදු - ඩොලර් බිලියන 1,731.6 (7.6%)

වෙනත් - ඩොලර් බිලියන 390.2 (1.7%)

ඇමරිකාව වැනි දියුණු වෙළඳපොළ යාන්ත්‍රණයක් ඇති රටක ජාතික ආදායමෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස නිවාස ඒකක වෙත ගලා එනවා. තවත් කොටසක්ම වෙනත් ආකාර වලින් නිවාස ඒකක වලට ගලා එනවා. සමාගම් වල ලාබ ලෙස ඉතිරි වන කොටස අඩුයි. ඒක වෙන්නේ පුළුල් වෙළඳපොළ තරඟය නිසා.

ඇමරිකාවේ එහෙමනම්, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය බෙදී යන්නේ කොහොමද? 

ලංකාවේ 2023 දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 27,629.7ක්. එම මුදල බෙදී ගොස් තිබෙන්නේ පහත පරිදියි. (සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබෙන්නේ ඇමරිකාවේ ක්‍රමයටම නෙමෙයි.)

සේවක වැටුප් - රුපියල් බිලියන 6,159.1 (22.3%)

සමාගම් වල ලාභ - රුපියල් බිලියන 8,739.6 (31.6%)

ප්‍රාග්ධනය ක්ෂය වීම - රුපියල් බිලියන 1,476.2 (5.3%)

මිශ්‍ර ආදායම් - රුපියල් බිලියන 9,359.3 (33.9%)

නිෂ්පාදීත මත ගෙවූ බදු - රුපියල් බිලියන 1,895.5 (6.9%)

වසර තුළ ජාතික ආදායමෙන් රුපියල් බිලියන 1,046.8ක් විදේශවාසීන් විසින් ලබාගෙන තිබෙන අතර ශ්‍රී ලාංකිකයින් විසින් වෙනත් රටවල දළ දේශීය නිෂ්පාදිතයට දායක වීමෙන් රුපියල් බිලියන 151.6ක් ලබා ගෙන තිබෙනවා. මේ අනුව, රටේ දළ ජාතික ආදායම රුපියල් 26,734.4ක්. 

මීට අමතරව, වසර තුළ විදේශවාසීන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය රුපියල් බිලියන 1,957.2ක් හෙවත් ප්‍රාග්ධනය ක්ෂය වීම ඉවත් වීමෙන් පසු රටවැසියන් විසින් උපයා ඇති රුපියල් බිලියන 25,258.2ක මුදලින් 7.7%කට සමාන මුදලක්.   

ඇමරිකාවට සාපේක්ෂව, කාලයක් තිස්සේම ලංකාවේ තියෙන්නේ ප්‍රාග්ධනයට එරෙහි, ශ්‍රමයේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑවට වඩා වැඩියෙන් පෙනී සිටින ජන සම්මතයක්. මේ හේතුව නිසා ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ ප්‍රාග්ධන ආයෝජන දිරිමත් කෙරෙන්නේ නැහැ. අවසාන වශයෙන් එහි වාසිය යන්නේ ප්‍රාග්ධනය හිමි අයටයි. 

කාලයත් එක්ක සමාගම් වල ලාබ අඩු වෙන්නේ සමාගම් වලට ලාබ ලබන්න වැඩි වැඩියෙන් අවස්ථා ලැබෙන තරමටයි. එවැනි අවස්ථා සීමා වෙද්දී, රටේ ජන සම්මතය ලාබ ලැබීමට එරෙහිව යද්දී, දැනට ප්‍රාග්ධනය හිමි සුළු පිරිසට බාහිර තරඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඔවුන්ට වඩා වාසිදායක ලෙස ශ්‍රමය මිල දී ගන්න පුළුවන්. 

ශ්‍රමයේ "අයිතිවාසිකම්" ඕනෑවට වඩා වැඩියෙන් ප්‍රවර්ධනය වෙද්දී ශ්‍රමය සැපයීම සඳහා වන තරඟය ඉහළ යනවා. ශ්‍රමයේ මිල පහළ යනවා. ජාතික ආදායමෙන් ශ්‍රමයේ පංගුව අඩු වෙනවා. මෙහි අවාසිය ශ්‍රමය සපයන අයටමයි. ලංකාවේ දිගින් දිගටම වෙලා තියෙන්නේ මේකයි. 

කාලයත් එක්ක ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මිල ඉහළ යන්නේ ශ්‍රමය "සූරා කන්න" වැඩි වැඩියෙන් ඉඩ ලැබෙන තරමටයි. ප්‍රාග්ධනය සැපයීම සඳහා තරඟයක් ඇති වෙන්නේ එවිටයි. චීනය, වියට්නාමය වගේ කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රටවල් මේ මූලධර්මය සාර්ථකව යොදා ගන්නවා. 

Thursday, April 25, 2024

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම, මෙතෙක් මුද්‍රිත ක්‍රමයට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වගු බොහොමයක් මෙවර විද්‍යුත් ක්‍රමයට ප්‍රසිද්ධ කර තිබෙනවා.

පසුගිය 2023 වසර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා අදාළව සුවිශේෂී වසරක්. පෙර වසර තුළ සිදු වූ දැවැන්ත කඩා වැටීමකින් පසුව වුවත්, පසුගිය වසර තුළ ලංකාවේ ආර්ථිකය නැවත සුන්බුන් මතින් නැගී සිටියා. 

පෙර වසරේදී ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණු රටේ දළ දේශීය නිෂ්පාදිතය 2023 වසරේදී ඩොලර් බිලියන 84.4 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,464 සිට ඩොලර් 3,830 දක්වා වැඩි වී තිබෙනවා. 

රටේ ආර්ථිකය 2.3%කින් හැකිලෙද්දී මේ අයුරින් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ දේශීය මිල ගණන් වල ඉහළ යාමට අනුරූපව ඩොලරයක මිල ඉහළ නොයාමයි. ඊට අමතරව රටේ ජනගහණය අඩුවීමෙන්ද සුළු දායකත්වයක් ලැබී තිබෙනවා.

ඩොලරයක මිල පහළ යාමෙන් රටේ විදේශ අංශය ස්ථාවර වීම පිළිබිඹු වෙනවා. 1978 වසරෙන් පසුව මුල් වරට පසුගිය වසරේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් වාර්තා වී ඇති අතර එය දදේනියෙන් 1.8%ක්. මූල්‍ය ගිණුමට ලැබුණු විදේශ විණිමයද ඇතුළුව වසර තුළ  ඩොලර් මිලියන 2,826ක සමස්ත ගෙවුම් ශේෂ අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.

මේ අයුරින් විදේශ අංශය ස්ථාවර වීමට රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ යහපත් දිශානතිය බොහෝ සේ උපකාරී වී තිබෙනවා. රජයේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 2,720.6 දක්වා 55.4%කින් වර්ධනය වී ඇති අතර සමස්ත ආදායම රුපියල් බිලියන 3,048.8 දක්වා 54.0%කින් වැඩි වී තිබෙනවා. මීට සාපේක්ෂව පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් වල රුපියල් බිලියන 6.4ක සුළු අඩුවීමක් දැකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර තුළ රුපියල් බිලියන 173.3ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%කට සමාන මුදලක්.

කෙසේ වුවත්, පැරණි ණය වෙනුවෙන් පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,455.6ක මුදලක් අවශ්‍ය වී ඇති අතර, ඉතිරි කරගත් ප්‍රාථමික අතිරික්තය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදලෙන් රුපියල් බිලියන 2,282.3ක්ම ගෙවා තිබෙන්නේ අළුත් ණය වලිනුයි. මෙයින් රුපියල් බිලියන 494.7ක මුදලක් විදේශ මූලාශ්‍ර වලින්ද, ඉතිරි රුපියල් බිලියන 1,787.6 දේශීය මූලාශ්‍ර වලින්ද ලබාගෙන තිබෙනවා. 

මේ අනුව, රටේ ණය ඉහළ ගොස් ඇතත්, දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩියෙන් ඉහළ යාම හේතුවෙන් දදේනිහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 114.2% සිට 103.9% දක්වා පහත වැටී තිබෙනවා.

රුපියල් බිලියන 2,455.6ක මුදලක් පොලී ලෙස ගෙවීමට අමතරව, රුපියල් බිලියන 1,807.7ක මුදලක් වසර තුළ ණය වාරික ලෙස ආපසු ගෙවා තිබෙනවා. මේ අනුව, වසරේ මුළු ණය සේවාකරණ පිරිවැය රුපියල් බිලියන 4,263.3ක් වන අතර එයින් රුපියල් බිලියන 470.5ක් වැය වී තිබෙන්නේ විදේශ ණය වාරික හා පොලී ගෙවීම සඳහායි. 

Sunday, April 21, 2024

ණයහිමියන්ගේ උපාය මාර්ගය


ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් අතර සාකච්ඡා දැනට නැවතිලා තිබෙන තැනට ආපහු ගියොත්, ලංකාවේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ තක්සේරු අතර වෙනසක් දකින්න පුළුවන්. ණයහිමියන් විශ්වාස කරන විදිහට ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ලංකාව විසින් සහ IMF එක විසින් පෙන්වනවාට වඩා වැඩියි.

අලුත්ම (2023 දෙසැම්බර්) IMF ඇස්තමේන්තු අනුව, 2023-2027 අතර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත පරිදියි. 

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 83.2

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 81.6

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 81.8

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 83.4

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 87.2

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 84.2

මෙම ඇස්තමේන්තු අවුරුද්දකට කලින්, 2023 මාර්තු වලදී, IMF එක විසින්ම හදා තිබුණු ඇස්තමේන්තු වලට වඩා වැඩියි. පහත තියෙන්නේ එම ඇස්තමේන්තු.

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 75.3

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 76.0

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 78.4

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 81.3

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 85.0

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 81.6

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වෙයි කියලා. එහෙම වෙන්න පුලුවන්ද?

ඔය අගය, ඒ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය, IMF එක කියන ඇමරිකානු ඩොලර් බිලියන 84.2 වුනොත්, 28%ක ණය කප්පාදුවක් කරන්න ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කැමතියි. මොකද එහෙම ණය කප්පාදුවක් නොකර ලංකාවට තිරසාර ලෙස ණය ගෙවාගෙන යන්න බැරි නිසා. හැබැයි මේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වුනොත් ලංකාවට ඔය තරම් කප්පාදුවක් නොකළත් ණය ආපහු ගෙවන්න පුළුවන්. ඒ නිසා, කප්පාදුව 7.3%කට සීමා විය යුතුයි. ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන්ගේ තර්කය ඒක.

දැන් ඔය IMF ඇස්තමේන්තුව හරියයි කියලා ලංකාවට හොඳටම විශ්වාසනම් බයක් සැකක් නැතුව ණයහිමියන්ගේ යෝජනාවට කැමති වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ණයහිමියන්ගේ ඇස්තමේන්තුව නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ වඩා වැඩියි.

ඔය IMF ඇස්තමේන්තු හදන විට දැනගෙන නොසිටියත් 2023 ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දැන් අපි දන්නවා. එම අගය ඩොලර් මිලියන 84.5ක්. එම අගය IMF එකේ 2023 මාර්තු ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 75.3ට වගේම දෙසැම්බර් ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 83.2ටත් වඩා වැඩියි. ඒ වුනත්, දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 96.3ක් තරම්ම වැඩි වෙන්න පුලුවන්ද?

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්න හේතු තුනක් බලපානවා.

1. මූර්ත ආර්ථික වර්ධනය 

2. මිල මට්ටමේ වෙනස් වීම (උද්ධමනය)

2. ඩොලරයක මිල වෙනස් වීම 

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් විසින් යෝජනා කරන අලුත් ණය උපකරණ වර්ගයට ආර්ථික වර්ධනය හා බැඳුනු බැඳුම්කර කියන්නේ නැතිව සාර්ව ආර්ථිකය හා බැඳුනු බැඳුම්කර කියන හේතුවත් මේ අනුව පැහැදිලි විය යුතුයි. ආර්ථිකයේ මූර්ත අංශයේ ප්‍රසාරණය නිරූපණය කරන ආර්ථික වර්ධන වේගය ඉහත හේතු තුනෙන් එකක් පමණයි. මිල මට්ටම වැඩි වීම මගින් රටේ මුදල් අංශයේ ප්‍රසාරණය නිරූපණය වෙනවා. ඩොලරයක මිල වෙනස් වීම මගින් රටේ විදේශ අංශය ශක්තිමත් වීම හෝ දුර්වල වීම නිරූපණය වෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ වෙනස් වීමට රටේ මූර්ත, මුදල් හා විදේශ අංශ තුනේම සිදු වන දේවල් බලපානවා.

පහත තියෙන්නේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව IMF එකේ 2023 මාර්තු පුරෝකථන.

2023 -  (-3.0)

2024 - 1.5

2025 - 2.6

2026 - 3.0

2027 - 3.1

මිල මට්ටමේ වෙනස් වීම පුරෝකථනය කරලා තිබුණේ මේ විදිහටයි.

2023 -  30.0

2024 - 10.7

2025 - 5.2

2026 - 5.1

2027 - 5.0

මේ අනුව, නාමික ආර්ථික වර්ධන වේගය මේ විදිහට පුරෝකථනය කරලා තිබුණා.

2023 -  26.0

2024 - 12.3

2025 - 8.3

2026 - 8.4

2027 - 8.3

ඩොලරයක මිල පුරෝකථනය කරලා තිබුණේ මෙහෙමයි.

2023 - 396

2024 - 441

2025 - 462

2026 - 484

2027 - 502

ඔය ඇස්තමේන්තු 2023 දෙසැම්බර් වෙද්දී මේ විදිහට වෙනස් වෙනවා. මුලින්ම ආර්ථික වර්ධන වේගය.

2023 -  (-3.6)

2024 - 1.8

2025 - 2.7

2026 - 3.0

2027 - 3.1

ඊළඟට මිල මට්ටමේ වෙනස් වීම.

2023 - 20.4

2024 - 10.1

2025 - 6.3

2026 - 5.4

2027 - 5.3

මේ අනුව, 2023 දෙසැම්බර් වෙද්දී නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු මේ විදිහට වෙනස් වෙලා තිබුණා.

2023 - 16.1

2024 - 12.1

2025 - 9.1

2026 - 8.6

2027 - 8.5

හොඳින් පරීක්ෂා කර බැලුවොත් ආර්ථික වර්ධන ඇස්තමේන්තු තරමක් එහා මෙහා වෙලා තිබුණත් ලොකු වෙනසක් නැහැ. උද්ධමන ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් නැහැ. ඒ නිසා, නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් වෙලා නැහැ. එහෙමනම්, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය පිළිබඳ ඇස්තමේන්තු වෙනස් වුනේ කොහොමද?

මේ වෙනස් වීමට ලොකුවටම බලපා තියෙන්නේ ඩොලරයක මිල පිළිබඳ ඇස්තමේන්තු.

2023 - 334

2024 - 385

2025 - 419

2026 - 446

2027 - 463

දැන් අපි 2023 දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව හරියටම දන්නවනේ. ඔය පුරෝකථන සහ සැබෑ අගයන් කොයි තරම් සමීපද?

ආර්ථික වර්ධන වේගය: (-2.3)

මිල මට්ටම වෙනස් වීම: 17.5

නාමික ආර්ථික වර්ධන වේගය: 14.8

ඩොලරයක මිල: 327

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය: 84.5

නාමික ආර්ථික වර්ධන වේගය දෙසැම්බර් ඇස්තමේන්තුවට වඩා තරමක් අඩු වෙලා වුනත්, ඩොලරයක මිල ඇස්තමේන්තුවට වඩා අඩු වීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය තරමක් වැඩි වෙලා තිබෙනවා. 

දැන් මේ අගය IMF ඇස්තමේන්තු වල විදිහට 2025-2027 අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 84.2 මට්ටමේ තියෙයිද? එහෙම නැත්නම් බැඳුම්කර හිමියෝ හිතන විදිහට ඩොලර් බිලියන 96.3 මට්ටමට යයිද? 

මෙය තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඩොලරයක මිල වෙනස් වීම මතයි. මුලින් IMF එක විසින් ඇස්තමේන්තු කර තිබුණු විදිහට 2027දී ඩොලරයක මිල රුපියල් 502ක් නොවුනත්, සංශෝධිත ඇස්තමේන්තු වල විදිහට රුපියල් 463 මට්ටමට යයිද? 

මේ අවුරුද්දේ මාස තුනහමාරක් යද්දී ඩොලරයක මිල රුපියල් 300 මට්ටමට බැහැලා. එහෙමනම් මේ අවුරුද්දේ සාමාන්‍ය අගය රුපියල් 385 දක්වා යයිද? ඩොලරයක මිල මේ අවුරුද්දේ ඒ තරම් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ඒ වගේම, උද්ධමනය දැනටමත් 5% මට්ටමේ ස්ථාවර වෙලා. මහ බැංකුවට උද්ධමනය ඒ මට්ටමේ තියා ගැනීමට දැන් නීතිමය වගකීමක් තියෙනවා.

අපි හිතමු උද්ධමනය දිගටම 5% මට්ටමේ තිබිලා ආර්ථික වර්ධන වේගය IMF දෙසැම්බර් පුරෝකථන වලට කිට්ටුවෙන් යයි කියලා. එහෙම වෙද්දී ඩොලරයක මිල පහත ආකාරයෙන් වෙනස් වුනා කියලා හිතමු.

2024 - 320

2025 - 335

2026 - 360

2027 - 390

ඔය වගේ තත්ත්වයක් යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ මෙහෙමයි. 

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 84.5

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 92.3

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 95.1

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 95.7

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 98.1

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 96.3

ඒ කියන්නේ ඩොලරයක මිල ඉහත ආකාරයෙන් වෙනස් වුනොත් ණයහිමියන්ගේ ඇස්තමේන්තුව පහසුවෙන්ම හරියන්න පුළුවන්. දැන් ප්‍රශ්නය ඩොලරයක මිල ඔය මට්ටම් වල තියෙයිද?

මෙය තීරණය වෙන්නේ ඉදිරි වසර වලදී රටට ගලා එන විදේශ විණිමය ප්‍රවාහ මත. එම විදේශ විණිමය ප්‍රවාහ යහපත් මට්ටමක තිබුණොත් ඩොලරයක මිල ඔය මට්ටම් වල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලරයක මිල IMF පුරෝකථන වල මට්ටමට ඉහළ යන්න පුළුවන්.

ඉදිරි වසර වලදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ ආර්ථික වර්ධනය අනුව හෝ උද්ධමනය අනුව නෙමෙයි. ඒවා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. මේ අගය ලොකුවට වෙනස් විය හැක්කේ ඩොලරයක මිල වෙනස් වීම අනුවයි. එය සිදු වන්නේ රටට ගලා එන විදේශ විණිමය ප්‍රවාහ අනුවයි. 

ණයහිමියෝ මෝඩයෝ නෙමෙයිනේ. ඒ අය ඔය තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන තිබෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වැඩි වුනොත් වැඩියෙන් ණය ආපසු ගෙවිය යුතුයි කියා කියන එකෙන් ඔවුන් අදහස් කරන්නේ ඉදිරි වසර වලදී රටට වැඩියෙන් විදේශ විණිමය ප්‍රවාහ ගලා ආවොත් ඒ විදේශ විණිමය යොදාගෙන ඔවුන්ගේ ණය වලින් වඩා වැඩි කොටසක් ගෙවන්න කියන එකයි. 

එහෙම වැඩියෙන් විදේශ විණිමය ප්‍රවාහ රටට ගලා ආවේ නැත්නම් ඔවුන්ට කොහොමටවත්ම තමන්ගේ ණය වලින් ලොකු කොටසක් ආපහු ගන්න බැහැ. දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය අඩුනම් වැඩි ණය කප්පාදුවකට ඔවුන් නොපැකිල කැමති වෙන්නේ ඒ නිසා.

Friday, March 15, 2024

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි!


පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 2.3%කින් හැකිලී තිබෙනවා. තෙමසකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණේ 2023 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 3.6%කින් හැකිලෙනු ඇති බවයි. මෙය ඊට වඩා බොහෝ සෙයින් හොඳ තත්ත්වයක්. 

වසරේ මුල් කාර්තු තුනේදීම හැකිළුණු කාර්මික නිෂ්පාදිතය අවසන් කාර්තුවේදී 7.9%කින් වර්ධනය වී ඇති අතර සේවා නිෂ්පාදිතය 2.8%කිනුත්, කෘෂිකාර්මික නිෂ්පාදිතය 0.6%කිනුත් වර්ධනය වී තිබෙනවා. මුළු වසරම සැලකූ විට, කෘෂිකාර්මික අංශය 2.6%ක වර්ධනයක් පෙන්වන නමුත්, කාර්මික නිෂ්පාදිතය 9.2%කින්ද, සේවා නිෂ්පාදිතය 0.2%කින්ද හැකිළී තිබෙනවා.

වෙළඳපොළ මිල අනුව, 2023 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 27,629,665ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර මැදදී ශ්‍රී ලංකාවේ ජනගහණය 22,037,000ක්. මේ අනුව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,253,785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස ඩොලරයක මිල රුපියල් 320ක් සේ සැලකුවහොත්, මෙම අගයන්ගෙන් ඩොලර් බිලියන 86.3ක ආර්ථිකයක් සහ ඩොලර් 3,918ක ඒක පුද්ගල ආදායමක් නිරූපණය වෙනවා. 

Saturday, December 30, 2023

නිෂ්පාදන ආර්ථිකය


ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය.

කෘෂිකර්මය - 48.4%

කර්මාන්ත - 15.2%

සේවා - 36.2%

පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන් බාගයක් පමණ කෘෂිකර්මය. කර්මාන්ත අංශයේ දායකත්වය 15.2%ක් පමණයි. නමුත් සැලකිය යුතු සේවා ආර්ථිකයක් ඒ වෙද්දීත් රටේ තිබුණා. 

ඔහොම තිබුණු ලංකාවේ ආර්ථිකයේ ආකෘතිය ටිකෙන් ටික වෙනස් වෙලා 2018 වන විට පැවති තත්ත්වය තමයි පහත තියෙන්නේ.

කෘෂිකර්මය - 7.6%

කර්මාන්ත - 30.1%

සේවා - 53.7%

මේ සංසන්දනය සඳහා 2018 වර්ෂය තෝරා ගත්තේ මෙතෙක් ලංකාවේ ආර්ථිකය වඩාත්ම විශාල මට්ටමක තිබුණේ ඒ අවුරුද්දේ නිසා. ඉන් පසුව ආර්ථිකය හැකිළුණු නිසා දැන් රටේ ආර්ථිකය ඊට වඩා තරමක් පොඩියි. ඒ වගේම, 2018 ඉහත ප්‍රතිශත තුනේ එකතුව 100%ක් නොවන්නේ නිෂ්පාදන මත අය කළ ශුද්ධ බදු (බදු - සහනාධාර) වෙනම ගණනය කර තිබෙන නිසා. මුල් කාලයේදී ඇස්තමේන්තු හදද්දී එවැන්නක් සිදු වුනේ නැහැ. 

මෙහිදී අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ආර්ථිකයේ පංගුවක් ලෙස කෘෂිකාර්මික අංශය හැකිලීම දෙසයි. 1958දී 48.4%ක් වූ මෙම පංගුව 2018 වන විට 7.6% දක්වා කුඩා වෙනවා. මෙයින් අදහස් වන්නේ කුමක්ද? රටේ ආර්ථික ප්‍රතිපත්ති තුළ කෘෂිකාර්මික අංශයට කුඩම්මාගේ සැලකිලි ලැබිලද? 

රටක ආර්ථිකය වර්ධනය වෙද්දී දදේනියේ කෘෂිකාර්මික පංගුව ටිකෙන් ටික අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම හොඳ තත්ත්වයක්. මතක තියා ගන්න මේ කතා කරන්නේ ආර්ථිකයේ කෘෂිකාර්මික පංගුව අඩු වීම ගැන මිසක් රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වීම ගැන නොවන බව. පැහැදිලි ලෙසම ඒ දෙක දෙකක්. 

කෘෂිකාර්මික පංගුව මේ විදිහට අඩු වී තිබෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය වර්ධනය වන අතරම, කර්මාන්ත හා සේවා අංශයේ නිෂ්පාදිත ඊට වඩා ගොඩක් වේගයෙන් වර්ධනය වී ඇති නිසා මිසක් කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වී ඇති නිසා නෙමෙයි.

රටක සමස්ත නිෂ්පාදිතයෙන් බාගයක්ම කෘෂිකර්මයනම් දළ ප්‍රකාශයක් ලෙස එයින් අදහස් වන්නේ රටේ සම්පත් වලින් බාගයක්ම යොදවා තියෙන්නේ කන බොන ටික හදාගන්න කියන එකයි. අනෙක් හැම අවශ්‍යතාවක් වෙනුවෙන්ම වෙන් වෙන්නේ ඉතිරි බාගය. ඒ කියන්නේ, රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දිහා බැලුවොත් කන බොන එක ඇරෙන්න වෙන කරන දේවල් ඉතා සීමිතයි.

මේ පංගුව 7.6% දක්වා අඩු වෙනවා කියන්නේ රටේ නිෂ්පාදිතයෙන් 92.4%ක්ම වෙනත් භාණ්ඩ හා සේවා කියන එක. ඒ කියන්නේ රටේ මිනිස්සු කන බොන එකට අමතරව තවත් ගොඩක් දේවල් කරනවා. එහෙම කරන්න පුළුවන් ආදායමක් ඔවුන්ට ලැබෙනවා.

ඇමරිකාවේ දදේනිය ඇතුලෙ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව 1.1%ක් පමණයි. එයින් අදහස් වන්නේ ඇමරිකාවේ කෘෂිකර්මය නොසලකා හැරලා කියන එක නෙමෙයි. ඇමරිකාවේ ලෝකයේ ලොකුම කෘෂිකාර්මික රටක්. නමුත්, කෘෂිකාර්මික නිෂ්පාදිතය වගේ 90 ගුණයක පමණ සමස්ත නිෂ්පාදිතයක් රට ඇතුළේ සිදු වෙනවා. ඒ හරහා රටේ මිනිස්සුන්ට ආදායම් ලැබෙනවා. ඒ නිසාම, සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ ආදායමෙන් කෑම බීම වෙනුවෙන් වෙන් කළ යුතු කොටස ගොඩක් කුඩා කොටසක්. 

ලංකාව ගත්තත් මේ කතාව වලංගුයි. රටේ දදේනිය ඇතුළේ කෘෂිකර්මයේ පංගුව අඩු වෙනවා කියන්නේ සාමාන්‍ය ලාංකිකයෙකුගේ ආදායමෙන් කෑම බීම වෙනුවෙන් වෙන් කළ යුතු කොටස අඩු වෙනවා කියන එක. සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මේ අඩුවීම පැහැදිලිව පේනවා. 

ඉහත සංසන්දනය සඳහා යොදාගත් 1958-2018 අතර වසර හැටක කාලය වසර විස්සේ කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. මෙයින් පළමු වසර විස්ස, ඒ කියන්නේ 1958-1978 කාලය රාජ්‍යමූලික, සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වලට මුල් තැන දුන් කාලයක්. 1978න් පසු කාලය තුළ ක්‍රියාත්මක වුනේද රාජ්‍යමූලික ප්‍රතිපත්තිම වුනත්, එම කාලය තුළ කලින් කාලයට සාපේක්ෂව ආර්ථිකය විවෘත වීමත්, පෞද්ගලික අංශයට වඩා වැඩි ඉඩක් ලැබීමත් දැක ගත හැකි වුනා. 

මෙම ලිපිය සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ 1958, 1978, 1998 හා 2018 වසර වලදී ලංකාවේ දදේනිය හා ඒ තුළ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල කොටස. මේ වසර හැට තුළ රුපියලේ වටිනාකම විශාල ලෙස වෙනස් වුනා. ඒ නිසා, පහසුවෙන් සංසන්දනය කළ හැකි පරිදි, සියලුම අගයයන් 2018 රුපියල් වලට පරිවර්තනය කරලයි තියෙන්නේ. ඒ කියන්නේ, 2018 මුදලේ වටිනාකම අනුව තමයි 1958, 1978 හා 1998 වසර වල රටේ නිෂ්පාදිතයේ වටිනාකම්ද ගණනය කර තිබෙන්නේ. මේ වගුව ඉදිරිපත් කරන්නේ රටේ ප්‍රචලිත වැරදි අදහස් ගණනාවක් කරුණු සමඟ පෙන්වා දෙන්න.

රටේ ආර්ථිකය හැමදාම එක තැනද? 

කිසිසේත්ම නැහැ. 1958-2018 කාලය තුළ රටේ ආර්ථිකය 22.6 ගුණයකින් ප්‍රසාරණය වී තිබෙනවා. මේ කියන්නේ රටේ නිෂ්පාදිතය වැඩි වීම ගැන. රටේ ආදායම් වැඩි වීම ගැන. 2018 රටේ ආදායම රුපියල් 100,000ක්නම්, 1958දී එම ආදායම රුපියල් 4,433ක් පමණයි. 1978දී රුපියල් 10,046ක් පමණයි. 2018 රටේ ජාතික ආදායමෙන් හා නිෂ්පාදිතයෙන් 90%ක් පමණම වැඩි වී තිබෙන්නේ 1978න් පසුවයි. 

ආර්ථිකය මේ විදිහට ප්‍රසාරණය වෙද්දී රටේ ජනගහණයද වැඩි වී තිබෙනවා. ඒ නිසා, රටේ ආදායම් වැඩි වූ අනුපාතයෙන්ම ඒක පුද්ගල ආදායම වැඩි වී නැහැ. නමුත්, ඒක පුද්ගල ආදායම සැලකුවත්, 2018ට සාපේක්ෂව 1958 ඒක පුද්ගල ආදායම 10.8%ක් පමණයි. 1978 ඒක පුද්ගල ආදායම 15.3%ක් පමණයි. ඒක පුද්ගල ආදායමෙන් 85%ක්ම වැඩි වී තිබෙන්නේ 1978න් පසුවයි. වෙනත් විදිහකින් කිවුවොත් ලාංකිකයෙකුගේ 1978 ජීවිතය 2018 ආදායමෙන් 15.3%කින් පමණක් ගෙවූ ජීවිතයක්. 1958 ජීවිතය එම ආදායමෙන් 10.8%කින් ගෙවූ ජීවිතයක්. කෙටියෙන් කිවුවොත් අදට සාපේක්ෂව කුසගින්නේ ගෙවූ ජීවිතයක්.

රටේ කෘෂිකාර්මික ආර්ථිකය 1977න් පසු දියුණු වී නැද්ද?

රටේ කෘෂිකාර්මික ආර්ථිකය දිගින් දිගටම දියුණු වී තිබෙනවා වගේම තවදුරටත් දියුණු වෙමින් තිබෙනවා. 1958දී රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය 2018 නිෂ්පාදිතයෙන් 28.2%ක් පමණයි. ඒ කියන්නේ වසර හැටක් ඇතුළත රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය හතර ගුණයකට ආසන්නව වැඩි වී තිබෙනවා. ඒ වගේම, 1978දී  රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය 2018 නිෂ්පාදිතයෙන් 40.4%ක් පමණයි. ඒ කියන්නේ, කෘෂිකාර්මික නිෂ්පාදිතයෙන් 60%ක් පමණම එකතු වී තිබෙන්නේ 1978න් පසුවයි. 

නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති තුළ රටේ කෘෂිකාර්මික ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා විශාල ප්‍රමුඛතාවයක් ලැබුණා. එවැනි ප්‍රමුඛතාවයක් ලබා දීම නිවැරදියි. ලංකාවේ බොහෝ දෙනෙකු දැන සිටි දේ ගොවිතැනයි. ඒ වගේම ඒ වෙද්දී වගා කළ හැකි, එහෙත් ජල ප්‍රශ්නය වැනි විවිධ හේතු නිසා වගා කටයුතු සඳහා යොදා නොගැනෙන ඉඩම් රටේ තිබුණා. විවිධ සංවර්ධන යෝජනා ක්‍රම වල උදවුවෙන් මේ ඉඩම් ගොවිබිම් බවට පත් වෙද්දී රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය ඉහළ ගියා. 

කෘෂිකාර්මික අංශය පමණක් සැලකුවත් 1958-1978 වර්ධන වේගයට වඩා වැඩි වර්ධන වේගයකින් 1978-2018 කාලය තුළ නිෂ්පාදිතය වැඩි වී තිබෙනවා. එහෙත්, 1978-1998 කාලයට සාපේක්ෂව 1998-2018 කාලයේදී කෘෂිකාර්මික අංශය වර්ධනය වී තිබෙන්නේ අඩු වේගයකින්. 

මහවැලි යෝජනා ක්‍රමය අවසන් වීමෙන් පසුව, ලංකාවේ වගා කළ හැකි ගොවි බිම් බොහෝ දුරට වගා බිම් වී අවසානයි. පාරිසරික තුලනය පවත්වා ගනිමින් රටේ වගා බිම් ප්‍රමාණය තව දුරටත් විශාල ලෙස වැඩි කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, කෘෂිකාර්මික නිෂ්පාදිතය තව දුරටත් ඉහළ දමා ගත හැක්කේ එක්කෝ අස්වැන්න වැඩි කර ගැනීම මගින්. එසේ නැත්නම් දැනට වගා කරන බෝග වර්ග වෙනුවට එම ඉඩම් වල ආර්ථික වශයෙන් වඩා ඵලදායී බෝග වගා කිරීමෙන්. නාගරික කෘෂිකර්මය, කෘෂිකර්මය තුළ තාක්ෂනය යොදා ගැනීම වැනි දේ අත් හදා බැලිය හැකි වුවත් කෙටි කාලයක් තුළ මහා පරිමාණයෙන් කළ හැකි දේවල් නෙමෙයි. ඒ නිසා, නුදුරු අනාගතයේදී ලංකාවේ කෘෂිකාර්මික අංශය තව දුරටත් වර්ධනය වනු ඇතත්, එය පෙර යුග වලට සාපේක්ෂව වේගයෙන් සිදු වීමේ ඉඩක් නැහැ. රටක ආදායම් මට්ටම් ඉහළ යාමේදී සහ වගා කළ හැකි ඉඩම් ප්‍රයෝජනයට ගෙන අවසන් වෙද්දී මෙසේ වීම සාමාන්‍ය තත්ත්වයක්.

ලංකාවේ කර්මාන්ත අංශයේ වර්ධනය අඩු වෙලාද?

ඇතැම් අයට අනුව 1977න් පසුව රටේ කර්මාන්ත අංශය වර්ධනය වී නැහැ. මෙය පට්ටපල් බොරුවක්. කර්මාන්ත අංශයේ 2018 නිෂ්පාදිතයට සාපේක්ෂව 1978දී පැවති මට්ටම 6.8%ක් පමණයි. එම නිෂ්පාදිතයෙන් 93.2%ක්ම එකතු වී තිබෙන්නේ 1978-2018 කාලය තුළයි. ලංකාවේ කර්මාන්ත අංශය වසරින් වසර වේගයෙන් වර්ධනය වී තිබෙනවා පමණක් නොව දදේනිය තුළ කර්මාන්ත අංශයේ පංගුවද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය ඒකාධිකාර හරහා කර්මාන්ත සංවර්ධනය කිරීම ආර්ථික මූලෝපාය වූ 1958-1978 කාලයේදී කර්මාන්ත අංශයේ නිෂ්පාදිතය 205%කින් වර්ධනය වී තිබෙනවා. බැලූ බැල්මටම මෙය ඉතා හොඳ තත්ත්වයක් බව පෙනෙන නමුත් කර්මාන්ත සංවර්ධනය පෞද්ගලික අංශය වෙත විතැන් වීම ඇරැඹුණු 1978-1998 කාලයේදී මෙම වර්ධනය 221%ක් වී, ඉන් පසුව 1998-2018 කාලය තුළ පෞද්ගලික අංශයේ මූලිකත්වය තුළ කර්මාන්ත අංශය 357%කින් වර්ධනය වී තිබෙනවා. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස 1978දී දදේනියට 20.5%කින් දායක වූ කර්මාන්ත අංශයේ එම දායකත්වය 2018 වන විට 30.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ආර්ථිකය වර්ධනය වන්නේ සේවා අංශය නිසාද?

ප්‍රශ්නයට සෘජු පිළිතුර "ඔවු!". 1958-1978 කාලය සැලකුවත්, කෘෂිකාර්මික හා කර්මාන්ත සංවර්ධනයට ප්‍රමුඛතාව දුන් එම කාලයේ පවා ආර්ථික වර්ධනයෙන් 58.9%කට දායක වුනේ සේවා අංශය. නමුත් මෙහි තවත් පැති තිබෙනවා. මෙයට හේතුව ලංකාවේ ආර්ථිකයේ සේවා අංශය සතු විශාල පංගුවයි.

ආර්ථිකය වර්ධනය වීමට වැඩිම දායකත්වයක් සපයන්නේ සේවා අංශය වුවත්, පසුගිය කාලය තුළ වැඩිම වේගයකින් වර්ධනය වී තිබෙන්නේ කර්මාන්ත අංශයයි. ඒ වගේම, පෙර කී පරිදි, සේවා අංශය වර්ධනය වීම 1977න් පසුව ඇති වූ අලුත් තත්ත්වයක් නෙමෙයි. 1978 වන විටද සේවා අංශය රටේ ආර්ථිකයෙන් 48.9%ක්. ඉන් පසුව, සිදුව තිබෙන ප්‍රධානම වෙනස සේවා අංශය රාජ්‍ය අංශයේ සිට පෞද්ගලික අංශය වෙත ක්‍රමයෙන් විතැන් වීමයි. එයට අනුරූපව එම අංශයේ වර්ධන වේගයද ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය කවර ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තිද?

රාජ්යමූලික, සංවෘත ආර්ථික ප්‍රතිපත්ති යටතේ 1958-1978 අතර වසර විස්සක කාලය තුළ කෘෂිකාර්මික නිෂ්පාදිතය 1.43 අනුපාතයෙන්ද, කර්මාන්ත නිෂ්පාදිතය 3.05 අනුපාතයෙන්ද, සේවා නිෂ්පාදිතය 3.05 අනුපාතයෙන්ද ප්‍රසාරණය වී තිබෙනවා. මෙහිදී අවධානය යොමු කෙරෙන පළමු කරුණ එම කාලයේදීද කෘෂිකාර්මික නිෂ්පාදිතය වර්ධනය වී තිබෙන්නේ අඩු වේගයකින් බවයි.

අවධානය යොමු කළ යුතු, දෙවන හා වැදගත් කරුණ ගැන සලකා බැලීමට ඊළඟ වසර විස්සේ කාල පරිච්ඡේද තුළද ආර්ථිකයේ මෙම එක් එක් අංශය මේ වේගයෙන්ම වර්ධනය වී යැයි සිතමු. එසේ වීනම්, 2018 දදේනිය කවර මට්ටමක තිබිය හැකි වී ද?

එසේ වී නම් 2018දී රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය එම වසරේදී ඇත්තටම පැවති අගයෙන් 82.7%ක්ද, කර්මාන්ත නිෂ්පාදිතය පැවති අගයෙන් 63.5%ක්ද වනු ඇති අතර සේවා නිෂ්පාදිතය පැවති අගයෙන් 85.2%ක් පමණක් වෙනවා. මේ අංශ තුනම එක්ව ගත් විට රටේ නිෂ්පාදිතය පැවති මට්ටමෙන් 77.9% වෙනවා. ඒ කියන්නේ රටේ ජාතික ආදායමෙන් 22.1%ක් නැති වෙනවා. ඒ කොටස එකතු වීමට හේතු වී තිබෙන්නේ 1977න් පසු රටේ ආර්ථික ප්‍රතිපත්ති වල සිදු වූ සාපේක්ෂ වෙනසයි.

රටකට කෘෂිකාර්මික අංශය වැදගත් වුවත්, එක් සීමාවකින් පසු කෘෂිකාර්මික අංශය ප්‍රසාරණය වන්නේ සෙමෙන්. ඒ හරහා, රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය කරන්න බැහැ. ආර්ථිකය වේගයෙන් වර්ධනය වීමට සේවා අංශයෙන් විශාල දායකත්වයක් ලබා ගත හැකි වුවත්, රටක කර්මාන්ත අංශයද ප්‍රමාණවත් තරමින් වර්ධනය විය යුතුයි. නමුත් එයින් අදහස් වන්නේ වඩා ඵලදායී ලෙස නිපදවිය හැකි දේ රට තුළ නිපදවිය යුතු බව මිස හැම දෙයක්ම රට තුළම හදා ගත යුතු බව නෙමෙයි. ඒ වගේම රජය සෘජුව නිෂ්පාදනයට දායක විය යුතු බවත් නෙමෙයි.

කර්මාන්ත සංවර්ධනය සඳහා ලංකාව අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද කියන එක නැවත අලුතෙන් සොයා ගත යුතු රෝදයක් නෙමෙයි. 1958-1978 වේගයෙන් කර්මාන්ත අංශය දිගටම වර්ධනය වුනානම්, කර්මාන්ත අංශයේ 2018 නිෂ්පාදිතයෙන් 36.5%ක්ම එකතු වෙන්නේ නැහැ. ඒ කොටස එකතු වුනේ රාජ්‍ය අංශය වෙනුවට ක්‍රමක්‍රමයෙන් පෞද්ගලික අංශය ආදේශ වීමෙන් පසුවයි. 2022 වන විට 2018දී පැවති කර්මාන්ත අංශයේ නිෂ්පාදිතයෙන් 19.3%ක් අහිමි වෙලා. ඒ නිසා, 1978න් පසු ගිය වේගය තිරසාරද කියන ප්‍රශ්නය මතු වෙනවා. එක්තරා දුරකට මෙය වලංගු ප්‍රශ්නයක් වුවත්, මේ දැවැන්ත කඩා වැටීමෙන් පසුව වුනත් කර්මාන්ත අංශයේ නිෂ්පාදිතය 1958-1978 වේගයෙන් යා හැකිව තිබුණු ඉලක්කයට වඩා ගොඩක් ඉස්සරහින් තියෙන අගයක්. පසුගිය අවුරුදු කිහිපය තුළ අහිමි වුනේ රාජ්‍ය අංශයේ මැදිහත්වීම් හරහා එකතු කළ කොටස. 

Wednesday, December 27, 2023

ආර්ථිකයේ අතරමැදියාගේ භූමිකාව


ලංකාවේ වර්තමාන ආර්ථිකය මොන වගේ එකක්ද? රටේ ආර්ථිකය දියුණු කිරීම ගැන වත්පොතේ අදහස් පළ කරන ගොඩක් අය එසේ කරන්නේ ලංකාවේ වර්තමාන ආර්ථිකයේ ස්වභාවය ගැන නිසි අවබෝධයක් නැතුව. සමහර අයට අනුව රටේ ආර්ථිකය දියුණු කිරීම කියන්නේ පිටරටින් බී ළූණු ගේන එක නවත්තලා රට ඇතුළේ බී ළූණු නිපදවා ගැනීම වගේ දේවල් කිරීම. තවත් අයට අනුව, අතරමැදියා ඉවත් කරලා ගොවියා හා පාරිභෝගිකයා කෙළින්ම සම්බන්ධ කරවීම. 

බරපතල මැදිහත්වීම් නැතිව ඔය කියපු ආකාරයේ දේවල් ඓන්ද්‍රීය ලෙසම වෙනවානම් ඒවා වලක්වන්න අවශ්‍ය නැහැ. නමුත්, ඔය වගේ දේවල් බලහත්කාරයෙන් කරවලා රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. බැහැ කියන්නේ කිසිසේත්ම බැහැ. රටේ ආර්ථිකය දියුණු කළ යුතු ආකාරය ගැන බරපතල යෝජනා කරන්න කලින් රටේ ආර්ථිකය මොන වගේ එකක්ද කියලා තේරුම් අරගත්තොත් ඔය වගේ යෝජනා වල නිරර්ථක භාවය තමන්ටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. 

රටේ ආර්ථිකයේ ප්‍රමාණය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය (දදේනි) ඇසුරෙන්. දදේනි කියන්නේ අවුරුද්දක් හෝ කාර්තුවක් වැනි කිසියම් කාල වකවානුවක් තුළ, රට තුළ සිදු වූ සමස්ත නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. ඒ නිසාම, රටේ සියලු දෙනා විසින්ම අදාළ කාලය තුළ ඉපැයූ සමස්ත ආදායම. රටේ කියා කිවුවත්, අවශ්‍යනම් පළාතක් වැනි රටේ කොටසක් සඳහා මේ ගණනය කිරීම් කරන්නත් පුළුවන්. මේ ලිපිය තුළ අපි මුළු රටම තනි ඒකකයක් ලෙස සලකමු. 

අලුත්ම සංඛ්‍යාලේඛණ වලින් පටන් ගත්තොත්, 2023 තුන් වන කාර්තුවේදී ලංකාවේ දදේනි රුපියල් බිලියන 6,906.9ක්. රටේ ජනගහණයෙන් බෙදුවොත්, එක් අයෙකුට සාමාන්‍ය වශයෙන් මාසයකට රුපියල් 103,900ක පමණ ආදායමක්. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක් අයෙක් මාසයකට රටේ ආර්ථිකයට රුපියල් 103,900ක පමණ අගය එකතු කිරීමක් කරනවා. නමුත්, රටේ බොහෝ දෙනෙකු විසින් මේ මට්ටමේ අගය එකතු කිරීමක් සිදු නොකරන බවත්, සීමිත පිරිසක් විසින් සාමාන්‍ය අගයට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන නිසා මේ සාමාන්‍ය අගය මේ මට්ටමේ තිබෙන බවත් පැහැදිලි විය යුතුයි. මේ ලිපියේ අවධානය යොමු කරන්නේ ඒ කරුණ වෙත නෙමෙයි.

ආදායම් බෙදී යාමේ විෂමතා නැති නොවෙතත්, සාමාන්‍ය මූලධර්මයක් විදිහට රටේ දදේනි ඉහළ යද්දී පොදුවේ රටේ කාගේත් ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒ නිසා, වඩා වැදගත් කරුණ රටේ දදේනි ඉහළ නැංවිය හැක්කේ කොහොමද කියන එකයි. ඒ හා අදාළව මේ ලිපියෙන් විමසා බලන්නේ රටේ ආර්ථිකයට විවිධ අංශ වලින් ලබා දෙන දායකත්වය පිළිබඳවයි. 

බිලියන වලින් කියූ විට තේරුම් ගන්න අමාරු නිසා, තේරුම් ගැනීමේ පහසුව සඳහා රටේ එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් ලෙස සලකමු. මෙය ඉහත කී රටේ මාසික ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගයට බොහෝ ආසන්න අගයක්. දැන් ප්‍රශ්නය මේ රුපියල් ලක්ෂය වැඩි කර ගත හැක්කේ කොහොමද?

රටේ ආර්ථිකය 2%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 102,000ක් වෙනවා. රටේ ආර්ථිකය 8%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 108,000ක් වෙනවා. රටේ ආර්ථිකය 2%කින් හැකිලුනොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 98,000ක් වෙනවා. 

රටේ ආර්ථිකය වර්ධනය වන්නේ හෝ හැකිළෙන්නේ ආර්ථිකයේ එක් එක් අංශ වර්ධනය වන හෝ හැකිළෙන ආකාරය අනුවයි. ආර්ථිකයේ මේ අංශ මොනවාද?

රටේ ආර්ථිකය ගැන කතා කරද්දී ලංකාවේ බොහෝ දෙනෙකු විසින් තවමත් මුලින්ම මතක් කර ගන්නේ කෘෂිකාර්මික අංශය. රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් වැඩ කරන්නේ කෘෂිකාර්මික අංශය තුළ වුවත් එම අංශයෙන් රටේ ජාතික ආදායමට හා ජාතික නිෂ්පාදිතයට ලැබෙන්නේ සාපේක්ෂව කුඩා දායකත්වයක්. හරියටම ගණන ඉහත රුපියල් 100,000ක මුදලින් රුපියල් 7,847.83ක් පමණයි.

කෘෂිකාර්මික අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි.

වී වගාව - රුපියල් 838.02

අනෙකුත් ධාන්‍ය වර්ග - රුපියල් 251.81

එළවලු - රුපියල් 1,097.03

පළතුරු - රුපියල් 752.64

පොල්, තැඹිලි ආදිය - රුපියල් 677.41

තේ (අමු දළු) - රුපියල් 453.83

රබර් - රුපියල් 174.41

අනෙකුත් දිගුකාලීන වගා - රුපියල් 244.50

කුළුබඩු ආදිය - රුපියල් 578.82

කරදිය ධීවර නිෂ්පාදන - රුපියල් 781.84

මිරිදිය ධීවර නිෂ්පාදන - රුපියල් 217.46

සත්ත්ව නිෂ්පාදන - රුපියල් 1,345.85

කෘෂිකර්මය හා අදාළ සේවාවන් - රුපියල් 191.30

දැව - රුපියල් 177.31

නිදහසෙන් පසු ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වල වී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල බරක් තබා තිබුනත්, මුළු රටේම වී වගාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමෙන් අඩු වෙන්නේ රුපියල් 838ක් පමණයි. ඒ කියන්නේ දදේනි අඩු වෙන්නේ 0.84%කින් පමණයි. තේ වගාව ගත්තත් කතාවේ වෙනසක් නැහැ. එහි දායකත්වය දදේනියෙන් 0.45%ක් පමණයි. (මීට අමතරව තේ දළු සකස් කිරීමේ කර්මාන්තයේ  දායකත්වය තිබෙනවා. මෙහි එය නැහැ. එය වැටෙන්නේ කාර්මික නිෂ්පාදිතය යටතට. රබර් ගත්තත් එහෙමයි.)

දැන් මේ කියන්න හදන්නේ රටේ කෘෂිකාර්මික අංශය වැදගත් නැති බව හෝ එය නොසලකා හළ යුතු බව නෙමෙයි. ඒ නිසා, කියන දේ වරදවා තේරුම් ගන්න එපා. ලෝකයේ ඕනෑම රටක් කෘෂිකර්මයට ප්‍රමුඛත්වයක් දෙනවා. මොනවා කරන්නත් කාලා ඉන්න ඕනෑ. හැබැයි කෘෂිකාර්මික අංශය දියුණු කරලා රටේ ආර්ථිකය දැනෙන තරමකින් ප්‍රසාරණය කරවන්න බැහැ. රටේ වී නිෂ්පාදනය දෙගුණ වුනත්, රටේ ආර්ථිකය 1%කින්වත් ප්‍රසාරණය වෙන්නේ නැහැ. 

රටේ සේවා නියුක්තිය පවත්වා ගැනීම සඳහා වී, තේ වගේ අංශ වල දායකත්වය ඉතාම වැදගත්. ඒ වගේම, තේ වලින් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක්ද ලැබෙනවා. නමුත්, මේ අනු අංශ වලින් දදේනියට ලැබෙන දායකත්වය ඒ තරම්ම විශාල නැහැ. 

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව කර්මාන්ත අංශයෙන් දදේනියට වැඩි දායකත්වයක් ලැබෙනවා. අර රුපියල් ලක්ෂයේ මාසික ආදායමට කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය රුපියල් 28,103.40ක්. ඒ කියන්නේ, සැලකිය යුතු දායකත්වයක්. මේ කොටස ඇතුළේ ඉදිරියෙන්ම තිබෙන්නේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයේ දායකත්වය. එය රුපියල් 7,567.14ක්. ඒ කියන්නේ දදේනියෙන් 7.56%ක්. මුළු කෘෂිකාර්මික අංශයේම දායකත්වයට ආසන්නව සමානයි. ආහාරපාන හා දුම්කොළ සැකසුම් වලින් තවත් රුපියල් 7,472.66ක් එකතු වෙනවා. තේ සැකසුම් කර්මාන්තයේ දායකත්වය තිබෙන්නේ මේ කොටස තුළ විය යුතුයි. ඔය අනු අංශ දෙක එකතු වුණාම කර්මාන්ත නිෂ්පාදිතයෙන් බාගයකට වඩා වැඩියි. ඉදිකිරීම් කර්මාන්තයෙන් තවත් රුපියල් 5,085.30ක් එකතු වෙනවා. කැණීම් හා ගල් කැඩීම් වලින් රුපියල් 1,406.32ක් එකතු වෙනවා. අනෙකුත් සියලුම කර්මාන්ත වලින් ඉතිරි රුපියල් 6,572.02ක මුදල එකතු වෙනවා.

ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය - රුපියල් 7,567.14

ආහාරපාන හා දුම්කොළ සැකසුම් - රුපියල් 7,472.66

ඉදිකිරීම් කර්මාන්තය - රුපියල් 5,085.30

කැණීම් හා ගල් කැඩීම් - රුපියල් 1,406.32

අනෙකුත් සියලු කර්මාන්ත අංශ - රුපියල් 6,572.02

ලංකාවේ වත්මන් ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඉහත කී රුපියල් ලක්ෂයෙන් රුපියල් 57,541.20ක්ම ලැබෙන්නේ සේවා අංශ වලින්. බස්නාහිර පළාත වැනි නාගරික පළාත් පැත්තකින් තියලා නැගෙනහිර, වයඹ, උතුරු මැද වගේ කෘෂිකාර්මික පළාත් සැලකුවත්, ඒ පළාත් වල ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ සේවා අංශය මිසක් කෘෂිකාර්මික අංශය නෙමෙයි. කාර්මික අංශයේ දායකත්වය වුනත් කෘෂිකාර්මික අංශයේ දායකත්වයට වඩා වැඩියි. ඒ කියන්නේ, සේවා, කාර්මික හා කෘෂිකාර්මික අංශ වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වයේ අනුපිළිවෙල සැලකූ විට රටේ පළාත් අතර වෙනසක් නැහැ. වයඹ පළාතේ දදේනියෙන් 48.9%කුත්, අනෙක් හැම පළාතකම දදේනියෙන් බාගයකට වඩා වැඩියෙනුත් ලැබෙන්නේ සේවා අංශයෙන්. 

සේවා අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි.

තොග හා සිල්ලර වෙළඳාම - රුපියල් 14,269.40

ප්‍රවාහනය - රුපියල් 10,558.00

බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා - රුපියල් 7,886.01

නිවාස හා දේපොළ වෙළඳාම් - රුපියල් 3,993.74

ආහාරපාන හා නවාතැන් සැපයීම් - රුපියල් 2,015.30

පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන් - රුපියල් 1,466.58

පොදු පරිපාලනය හා ආරක්ෂාව - රුපියල් 3,886.82

අධ්‍යාපනය - රුපියල් 1.841.56

සෞඛ්‍යය - රුපියල් 1,794.04

අනෙකුත් විවිධ සේවාවන් - රුපියල් 8,833.67

මේ සේවාවන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන්, ආහාරපාන හා නවාතැන් සැපයීම් වගේ දේවල් ගත්තහම වෙන්නේ සේවා නිෂ්පාදනයක් කරලා එය පාරිභෝගිකයාට සෘජුව අලෙවි කරන එක. සමහර විට නිෂ්පාදනය සහ අලෙවිය එකම මොහොතේ සිදු වෙන්න පුළුවන්. 

මෙයින් වෙනස්ව, තොග හා සිල්ලර වෙළඳාම වගේ සේවාවන් අතරමැදි සේවාවන්. මෙහිදී සපයන සේවාව වන්නේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධ කරන එක. කැලණියේ ජීවත් වන කෙනෙක් ලඟම තියෙන සුපිරි වෙළඳසැලකින් මිසක් අම්පාරේ වී ගොවියෙක් ලඟට ගිහින් හාල් මිල දී ගන්නේ නැහැ. නිෂ්පාදකයාව සහ පාරිභෝගිකයාව සම්බන්ධ කරවන්නේ අතරමැදි තොග හා සිල්ලර වෙළෙන්දන් විසින්.

භාණ්ඩ හා මගී ප්‍රවාහනය ගත්තත් එය මේ වගේම අතරමැදි සේවාවක්. ශ්‍රමිකයෙකුට හා ශ්‍රමය මිල දී ගන්නා අයෙකුට සම්බන්ධ වෙන්න තිබෙන ස්ථානීය බාධකය ප්‍රවාහන සේවා සපයන්නා විසින් ඉවත් කරනවා. සමහර විට දෙපැත්තේ ඉන්නේ සේවා නිෂ්පාදකයෙක් හා සේවා සපයන්නෙක් වෙන්න පුළුවන්. පාසැල් වෑන් වලින් කරන්නෙත්, විනෝද චාරිකා යද්දී වෙන්නෙත් ඒක. 

බැංකු විසින් කරන්නෙත් ඔය වැඩේමයි. මෙහිදී වෙන්නේ ඉතිරි කරන්නන් හා ණය ගන්නන් සම්බන්ධ කරවීම. බැංකු නැත්නම් ඔය වැඩේ ඔය විදිහට වෙන්නේ නැහැ. 

තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය, නිවාස හා දේපොළ වෙළඳාම් හා බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා කියන කොටස් හතර එකතු කළොත් දදේනියෙන් 36.7%ක්. මේවා අතරමැදි සේවා. මීට සාපේක්ෂව, කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ලම එකතු කළත් ලැබෙන්නේ 36.0%ක පමණ දායකත්වයක් පමණයි. අතරමැදියෝ නැත්නම් රටේ ජාතික ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා නැති වෙනවා. කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ල නැති වුනත් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය.

කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන නොවැදගත් බවක් මෙයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. එම නිෂ්පාදන නැත්නම් සේවා අංශ වලට පවතින්න බැහැ. නමුත් එහි අනෙක් පැත්තත් ඒ වගේම තමයි. සේවා අංශ නැත්නම් කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන ඔය මට්ටමේ පවතින්නේත් නැහැ. 

අම්පාරේ වී ගොවියා සහ කැළණියේ පාරිභෝගිකයෙකු අතර තොග හා සිල්ලර වෙළෙන්දන් ගණනාවක් ඉන්නවා. ප්‍රවාහන සේවා සපයන්නෝ ඉන්නවා. ඒ අයට බැංකු, රක්ෂණ වැනි මූල්‍ය සේවා සපයන්නෝ ඉන්නවා. මේ අයව ඉවත් කරලා අම්පාරේ වී ගොවියාට කැළණියේ පාරිභෝගිකයා එක්ක කෙළින්ම සම්බන්ධ වෙන්න ඉඩ සලසන එක වඩා කාර්යක්ෂමද? කිසිසේත්ම නැහැ. එය වඩා කාර්යක්ෂමනම් ඒ වැඩේ මේ වෙද්දීත් වෙලා. එහෙම වෙලා නැත්තේ එය අකාර්යක්ෂම නිසා.

අම්පාරේ වී ගොවියාට සහ කැළණියේ පාරිභෝගිකයාට සම්බන්ධ වෙන්න අතරමැදියෙකු හෝ අතරමැදියන් ජාලයක් අවශ්‍යයි. මේ අතරමැදියන් ඉවත් කළ හැකි එකම ක්‍රමය ඒ වෙනුවට රජය ආදේශ කරන එක. ඒ කියන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හදන එක. එහෙම කළා කියලා පිරිවැය නැති වෙන්නේ නැහැ. පිරිවැය ඒ විදිහටම තියෙනවා.

තොග හා සිල්ලර වෙළඳාම හෝ ප්‍රවාහනය කියන්නේ අදාළ ව්‍යාපාර වල අයිතිකාරයෝ පමණක් නෙමෙයි. මේ අංශ වල සේවය කරන ශ්‍රමිකයින් විශාල පිරිසක් ඉන්නවා. ජාතික ආදායමේ අදාළ පංගුව මේ සියලු දෙනා අතර බෙදී යනවා. ඒ අය තමන් උපයන ආදායම වියදම් කරද්දී කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදිත සඳහා ඉල්ලුම වැඩි වෙනවා. අදාළ නිෂ්පාදන අංශ වල ආදායම් ඉහළ යනවා. ඒ අනුව, සේවා අංශ විසින් ජාතික ආදායමට අගය එකතු කිරීමක් නොකළේනම්, එහි බලපෑම කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ වලටත් දැනෙනවා.

ලංකාවේ ගොඩක් අය පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම විදිහට සිල්ලර කඩයක් දමන එක, ත්‍රිරෝද රථ සේවා සපයන එක වගේ අතරමැදි සේවාවන් ගැන හිතනවා. මෙය සමහර අයගේ විවේචනයට ලක් වෙනවා. නමුත්, ආදායමක් උපයන්න පුලුවන්නම්, මෙහි කිසිම වැරැද්දක් නැහැ. ආදායමක් උපයනවා කියන්නේ ආර්ථිකයට ඊට සමාන අගය එකතු කිරීමක් කරලා. ඒ සඳහා, බී ළූණු වවන්නම අවශ්‍ය නැහැ. කඩෙන් බී ළූණු මිල දී ගන්න පුළුවන් ආදායමක් ලැබෙනවානම් එච්චරයි. 

බී ළූණු නැත්නම් ලොකු ලූනු වෙන්නේ කලින් බොම්බයි ළූණු ලෙස හැඳින්වුණු ළූණු වර්ගය. මේවා අනාදිමත් කාලයක සිට ලංකාවේ වවපුවා නෙමෙයි. බොම්බයි ළූණු කියන නමින්ම කියවෙන පරිදි මේ ළූණු වර්ගය ලංකාවට ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ කෑම වේලකට නැතුවම බැරි මයිසූර් පරිප්පු මයිසූර් පරිප්පු වුනෙත් ඔය හේතුව නිසා. මේ ආහාර වර්ග වල නම් වෙනස් වුනේ 1988/89 කාලයේදී. ජවිපෙ ඉන්දියානු විරෝධය එක්ක නිල නොවන ලෙස බොම්බයි ළූණු, මයිසූර් පරිප්පු තහනම් වෙනවා. මේ ආහාර ද්‍රව්‍ය විකුණන වෙළෙන්දන්ට මරණ තර්ජන එනවා. නමුත් ඔය කාලය වෙද්දීත් ලංකාවේ ලොකු ළූණු වවනවා. ජවිපෙ තර්ජන නිසා ලංකාවේ වවන ලොකු ළූනුත් විකුණගන්න අමාරු වෙනවා. ඔය කාලයේ තමයි රජය විසින් බොම්බයි ළූණු කියන නම වෙනුවට ලංකා ලොකු ළූණු කියන නම ආදේශ කළේ. ඔය විදිහටම මයිසූර් පරිප්පු රතු පරිප්පු වුනා.

දැන් ලංකාවේ ලොකු ලූනු වවන්නේ යම් කිසි අවස්ථාවක මේ ආහාර වර්ගය ඉන්දියාවෙන් ආනයනය කළ නිසා. නැත්නම් ලංකාවේ ලොකු ළූණු කියා දෙයක් නැහැ. දැන් ලංකාවේ වවන අර්තාපල්, කැරට්, බෝංචි වගේ ගොඩක් දේවල් මුලින් වෙනත් රටකින් ආනයනය කළ නිසා රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඒ අනුව රට ඇතුළේ නිෂ්පාදනයක්ද ඇති වූ දේවල් මිසක් අනාදිමත් කාලයක සිට ලංකාවේ තිබුණු ආහාර ද්‍රව්‍ය නෙමෙයි. 

මිනිස්සුන්ගේ රුචිකත්වය විවිධයි. එයට සීමාවක් නැහැ. අපිට කන්න අවශ්‍ය, කන්න කැමති දේවල් අපිම වවාගෙන කන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැතත්, කැමති දෙයක් කඩෙන් සල්ලි දීලා අරගෙන කන්න අවශ්‍ය කෙනෙක් එහෙම කරන එකෙත් කිසිම වැරැද්දක් නැහැ. කඩෙන් තමන්ට අවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ආදායම කොහොම හරි හොයාගන්න පුළුවන්නම් එච්චරයි. ආදායම හොයාගන්නේ වී වවලද, බී ළූණු වවලද නැත්නම් ත්‍රිරෝද රථ සේවාවක් සපයලාද කියන එක වැදගත් නැහැ. එය පෞද්ගලික තේරීමක්. මේ මොන දේ කළත් කරන්නේ රටේ ආර්ථිකයට අගය එකතු කිරීමක්. එක ක්‍රමයකින් අගය එකතු කරන එක වෙන ක්‍රමයකින් අගය එකතු කරන එකට වඩා බාල වැඩක් නෙමෙයි.

ආනයන ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. වෙන රටකින් බී ළූණු ආනයනය කරන්න ප්‍රමාණවත් විදේශ විණිමය ප්‍රමාණයක් උපයන්න පුළුවන්නම් බී ළූණු රට ඇතුළේම හදන්න අවශ්‍ය නැහැ. පැහැදිලි ලෙසම එය අකාර්යක්ෂමයි. ඒ වගේම, එහෙම කළා කියලා රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නෙත් නැහැ. 

රටක ආර්ථිකයක් දියුණු වෙන්නේ රටේ සිදුවන නිදහස් ගනුදෙනු ප්‍රමාණය ඉහළ යන තරමටයි. නිදහස් ගනුදෙනුවක් සිදුවන හැම විටකම සිදුවන්නේ රටේ තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය ඒවා වඩා ඵලදායී ලෙස යොදාගන්නා අයෙකු වෙත විතැන් වෙන එකයි. එහෙම නැත්නම් කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට වැඩිම වටිනාකමක් දෙන පාරිභෝගිකයෙකු වෙත විතැන් වෙන එකයි. අතරමැදියන් නිසා මේ විතැන් වීම වඩා වේගයෙන් හා වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. දදේනිය ඉහළ යනවා. අතරමැදියෝ නැත්නම් රටේ වත්මන් ජාතික ආදායමෙන් තුනෙන් එකකට වඩා වැඩි කොටසක් නැති වෙනවා. 

Wednesday, December 20, 2023

හිටපු තැනට යන්න කොයි තරම් අමාරුද?

 

මේ සමඟ පළ කර තිබෙන, රූප සටහනේ තිබෙන මහ බැංකුව විසින් පිළියෙළ කර ඇති ප්‍රස්ථාර දෙකෙන් වම් පැත්තේ ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ පෙර වසරේ අනුරූප කාර්තු වලට සාපේක්ෂව පසුගිය කාර්තු 11ක ආර්ථික වර්ධන වේගයන්. මම හිතන්නේ ආර්ථිකය පල්ලම් බහින්න පටන් ගැනීම සහ නැවත ගොඩ යන්න පටන් ගැනීම සිදු වූ කාල වකවානු එහි පැහැදිලිව පේනවා. 

දකුණු පැත්තේ ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ 2015 තෙවන කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා තෙවන කාර්තු තුළ රටේ ආර්ථිකයේ ප්‍රමාණය. එහෙමත් නැත්නම් දළ දේශීය නිෂ්පාදිතය. 2019 දක්වා, තෙවන කාර්තු තුළ, ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. එය සාමාන්‍යයෙන් සිදු වන දෙය. එහෙත්, 2020 සිට 2022 දක්වා ආර්ථිකයේ ප්‍රමාණය ටිකෙන් ටික කුඩා වෙනවා. 2023 වන විට මේ ප්‍රවණතාව වෙනස් වී තිබුනත්, දැනටත් ඉන්නේ 2015දී හිටපු තැනටත් වඩා පහළින්.

මේ දකුණු පැත්තේ ප්‍රස්ථාරයේ තිබෙන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය. ඒ කියන්නේ උද්ධමනය නිසා සිදු වූ මිල ඉහළ යාමේ බලපෑම් මෙහි නැහැ. ඒ නිසා, මෙයට උද්ධමනය අමුතුවෙන් ගාවගන්න අවශ්‍ය නැහැ. සියලුම සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබෙන්නේ 2015 රුපියල් වලින්. 2023 වෙන විට රුපියලක වටිනාකම 2015 වටිනාකමෙන් 42.7%ක් පමණයි. වෙනත් විදිහකට කිවුවොත්, 2015 රුපියලක් 2023 රුපියල් 2.34ක් පමණ වටිනවා. ඒ නිසා, මේ ප්‍රස්ථාරයේ පෙන්වන සංඛ්‍යාලේඛණ 2023 රුපියල් වලට හරවන්න 2.34න් වැඩි කරන්න වෙනවා. 2023 තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දැන් වටිනාකම ලැබෙන්නේ එවිටයි. මෙම අගය, ඒ කියන්නේ 2023 තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දැන් වටිනාකම, රුපියල් බිලියන 6,906.9ක්. 

දකුණු පැත්තේ ප්‍රස්ථාරයේ දැකිය හැකි පරිදි තෙවන කාර්තුවක් තුළ ලංකාව වැඩිම දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කර තිබෙන්නේ 2019 වසරේදී. එම අගය 2023 රුපියල් වලට පරිවර්තනය කළොත් රුපියල් බිලියන 8,022.5ක්. ඒ කියන්නේ, 2022 තෙවන කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා ආර්ථිකය යම් තරමකින් වර්ධනය වීමෙන් පසුවත්, 2019ට සාපේක්ෂව තවමත් ඉන්නේ රුපියල් බිලියන 1,115.6ක් පසුපසින්. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 13.9%ක් පසුපසින්. 

මෙම ප්‍රතිශතය, සාමාන්‍ය අගයක් ලෙස, වියදමට සාපේක්ෂව රටේ ජනතාවගේ ආදායම් අඩු වීම කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ ජීවන තත්ත්වය පහත වැටීම පිළිබඳ නිර්ණායකයක් කියා කියන්න පුළුවන්. ඒ අනුව, දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්න ප්‍රමාණය ඉහළ ගොස් තිබිය යුතුයි. එවැනි වෙනත් නිර්ණායකද 2019ට සාපේක්ෂව තවමත් නරක මට්ටමක තිබිය යුතුයි.

අඩු වශයෙන් 2019දී හිටපු තැනට යන එක කොයි තරම් අමාරුද?

සංසන්දනාත්මක ලෙස, 2019 හා 2023 තෙවන කාර්තු වල දළ දේශීය නිෂ්පාදිතයන්හි සංරචක දිහා බැලූ විට මේ ගැන අදහසක් ගන්න පුළුවන්. මූලික මට්ටමේදී දළ දේශීය නිෂ්පාදිතය සංරචක හතරකට කඩනවා. ඒ කෘෂිකාර්මික, කාර්මික, සේවා සහ ශුද්ධ බදු විදිහට. එහෙම වෙන් කළාට පස්සේ රුපියල් බිලියන 1,115.6ක අඩුව බෙදී යන්නේ පහත ආකාරයටයි. 

කෘෂිකාර්මික නිෂ්පාදිතය - රුපියල් බිලියන 17.5
කාර්මික නිෂ්පාදිතය - රුපියල් බිලියන 575.0
සේවා නිෂ්පාදිතය - රුපියල් බිලියන 174.0
ශුද්ධ බදු - රුපියල් බිලියන 349.2

දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටීමට, එහි සංරචක අතරින්, ශුද්ධ බදු පහත වැටීම සැලකිය යුතු ලෙස දායක වී තිබෙනවා. පසුගිය වසර තුළ බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමෙන් පසුවත් මෙය මෙසේ වුනේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මේ සංරචකයට ඇතුළත් වෙන්නේ නිෂ්පාදන මත වක්‍ර ලෙස අය කරන බදු වලින් එම නිෂ්පාදන වෙනුවෙන් ලැබුණු සහනාධාර අඩු කළ පසු ගණන. සහනාධාර ලොකුවට වැඩි වුනෙත් නැති නිසා මේ කාණ්ඩයට වැටෙන බදු වල සැලකිය යුතු අඩු වීමක් සිදු වී තිබිය යුතුයි. බදු ක්‍රමය වෙනස් කිරීම නිසා මෙවැන්නක් වුනා වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන බදු වැනි තිබුණු බදු අහෝසි කර ඒ වෙනුවට වැට් වැනි වෙනත් බදු පැනවීම නිසා. එහෙම නැත්නම් මෙහි තිබෙන්නේ ආනයන මත පනවන බදු වලින් රජයට ලැබුණු ආදායම අඩු වීම වෙන්නත් පුළුවන්. 

සිදු වුනේ දෙවැන්නනම්, 2019දී හිටපු තැනට යන්න ආනයන ඉල්ලුම නැවතත් 2019 පැවති මට්ටමට පැමිණිය යුතුයි. විශේෂයෙන්ම වාහන ආනයන. මේ වැඩේ වෙන්න විදේශ අංශය නැවතත් 2019 තරමටම ස්ථායී හා සක්‍රිය විය යුතුයි. ඒ වගේම, ආනයන ඉල්ලුම 2019 මට්ටමට ඉහළ යන තරම් රටේ ආදායම් මට්ටම ඉහළ යා යුතුයි. මේ ටික වෙන්නනම් ආර්ථිකයේ ඉතිරි කොටස් තුනත් 2019 මට්ටමට පැමිණිය යුතුයි. අනෙක් අතට, මේ වෙනසට හේතුව බදු ක්‍රමයේ වෙනසක් සංඛ්‍යාලේඛණ තුළ පිළිබිඹු වීමක්නම්, මේ සංරචකය නැවත 2019 මට්ටමට ඉක්මණින් තල්ලු කළ හැකි යාන්ත්‍රණයක් නැහැ. ඔය දෙකෙන් කොයි එක වෙලා මෙම කොටස පහළ ගියත් තවත් අවුරුදු කිහිපයක් යන තුරු 2019 හිටපු තැනට එන්න අමාරුයි. 

මීට සාපේක්ෂව, කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වෙලා තියෙන්නේ ඉතාම සුළුවෙන්. මේ සංරචකය ඇතුළට ගිහින් එහි අනු සංරචක දිහා බැලුවහම, කරදිය ධීවර නිෂ්පාදිතයේ රුපියල් බිලියන 25.2ක අඩුවීමක් පේනවා. පළතුරු නිෂ්පාදිතයත් බිලියන 14.8කින් අඩු වෙලා. මේ අඩු වීම් වලට ආර්ථික අර්බුදයේ ලොකු බලපෑමක් තිබෙනවා කියා හිතන්න අමාරුයි. කාලගුණ තත්ත්වය වැනි වෙනත් කරුණු නිසා නිෂ්පාදිතය අඩු වුනා වෙන්න පුළුවන්. කෘෂිකාර්මික නිෂ්පාදිතය තවත් බිලියන 17.5කින් වැඩි කරගෙන 2019 තෙවන කාර්තුවේදී හිටපු තැනට යන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. මොකද කරදිය ධීවර නිෂ්පාදිතය හා පළතුරු නිෂ්පාදිතය ඉවත් කළොත්, 2019ට සාපේක්ෂව, කෘෂිකාර්මික නිෂ්පාදිතය රුපියල් බිලියන 22.5කින් වැඩි වෙලා.

දළ දේශීය නිෂ්පාදිතය කඩා වැටීමට ලොකුම දායකත්වයක් සපයා තිබෙන්නේ කාර්මික නිෂ්පාදිතයේ කඩා වැටීම. මේ සංරචකය ඇතුළට ගිහින් බැලුවහම ඉදි කිරීම් අංශයේ කඩා වැටීම කැපී පෙනෙනවා. එය එසේ සිදුව ඇති බව කාට වුනත් පැහැදිලි දෙයක්. කැණීම් හා ගල් කැඩීම් කර්මාන්තයේත් විශාල පසුබෑමක් තිබෙනවා. එයත්  ඉදි කිරීම් පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස සලකන්න පුළුවන්. ඇඟලුම් නිෂ්පාදන හැර අනෙකුත් බොහොමයක් නිෂ්පාදන ක්ෂේත්‍ර වල පොදු වශයෙන් දැකිය හැක්කේද පසුබෑමක් වුවත්, පැහැදිලි ලෙස කැපී පෙනෙන්නේ ඉහත අංශ දෙකේ කඩා වැටීමයි. රුපියල් බිලියන 575.0 කින් පහත වැටුණු කාර්මික නිෂ්පාදිතය පහත ආකාරයෙන් කොටස් කළ හැකියි.

ඉදිකිරීම් අංශයේ නිෂ්පාදිතය  - රුපියල් බිලියන 355.6
කැණීම් හා ගල් කැඩීම් අංශයේ නිෂ්පාදිතය - රුපියල් බිලියන 107.8
අනෙකුත් සියලු කාර්මික නිෂ්පාදිත - රුපියල් බිලියන 111.6

ඉදි කිරීම් අංශයට කෙටි කලක් තුළ නැවතත් 2019 හිටපු තැනට යන්න පුලුවන්ද? මෙය පහසුවෙන් සිදු විය හැකි දෙයක් කියා මම හිතන්නේ නැහැ. මෙහි සෑහෙන තරමකට තිබුණේ රජය මුල් වී, විදේශ ණය අරගෙන කළ දේවල්. වසර කිහිපයක් ඇතුළත ඒ හිටපු තැනට නැවත යන්න ප්‍රායෝගිකව පුළුවන්කමක් නැහැ.

ඊළඟට අපි ඉතිරි වී තිබෙන සේවා අංශය දෙස බලමු. එහි පහත වැටීමෙන් සැලකිය යුතු කොටසක් නිවාස හා දේපොළ වෙළඳාම් හා අදාළ සේවාවන්. ඉන් පසුව බැංකු හා මූල්‍ය සේවාවන් හා රක්ෂණ සේවා සැපයීම්. නවාතැන් හා ආහාරපාන සැපයීම් සේවා වලද පහත වැටීමක් තිබෙනවා.

නිවාස හා දේපොළ වෙළඳාම් - රුපියල් බිලියන 69.7
බැංකු හා මූල්‍ය - රුපියල් බිලියන 38.2
රක්ෂණ හා විශ්‍රාම අරමුදල් - රුපියල් බිලියන 27.5
ආහාරපාන හා නවාතැන් - රුපියල් බිලියන 25.8
අනෙකුත් සේවා අංශ - රුපියල් බිලියන 12.7

ආහාරපාන හා නවාතැන් සේවා සැපයීම් අඩුවීම තුළ පිළිබිමු වෙන්නේ සංචාරක කර්මාන්තයේ පසුබෑම. සංචාරකයෝ එන එක ඉහළ යද්දී මේ අඩුව නැවත පුරවාගන්න පුළුවන්. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉවර වෙලා රටේ ආර්ථිකය ස්ථාවර වෙද්දී බැංකු හා මූල්‍ය අංශයත් නැවත හිස ඔසොවයි. ඒ වගේම, මුදල් ප්‍රත්පත්ති ලිහිල් වී, පොලී අනුපාතික අඩු වී, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉහළ යද්දී නිවාස හා දේපොළ වෙළඳපොළද යම් තරමකින් සක්‍රිය වෙයි. නමුත්, මධ්‍යම පංතිය මත වන බදු බර ඉහළ ගොස් ඇති පසුබිමක නිවාස හා දේපොළ සඳහා වන ඉල්ලුම ඉතා ඉක්මණින් පෙර මට්ටමටම පැමිණීමේ ඉඩක් පෙනෙන්න නැහැ. සමස්තයක් ලෙස ගත්තහම සේවා අංශයට කෘෂිකාර්මික අංශය තරම් පහසුවෙන් ගොඩ යා නොහැකි වුවත්, ගොඩ යන එක කාර්මික අංශයට වගේ අමාරු නැහැ.

සමස්ත චිත්‍රය දිහා බැලුවහම 2019දී හිටපු තැනට එන්නනම් මොන වගේ දේවල් ටිකක් සිදු විය යුතුද?

- සංචාරකයින්ගේ පැමිණීම 2019 මට්ටමට ඉහළ යා යුතුයි. මේ ඉලක්කයට ඉදිරි වසර තුළ යන්න බැරිකමක් නැහැ.
- බැංකු අංශය නැවත ද්‍රවශීල වී පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉහළ යා යුතුයි. ලබන වසරේ පළමු මාස හය ඇතුළත විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරගත්තොත්, 2024 තෙවන කාර්තුව වන විට මේ වැඩේ වෙලා තියෙයි. 
- ආනයන සම්බාධක ඉවත් වී විදේශ අංශය නැවත සක්‍රිය විය යුතුයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරගත්තොත්, මේ වැඩෙත් වෙනවා.

මේ ටික සිදු වුනොත්, 2019-2023 අතර පරතරයෙන් බාගයක් පමණ දක්වා පියවෙන්න පුළුවන්. නමුත්, ඉතිරි බාගය පියවෙන්නනම් ඉදිකිරීම් අංශයත් 2019 මට්ටමට පැමිණිය යුතුයි. වසරක් වැනි කාලයක් ඇතුළත එය සිදු වීමේ ඉඩක් නැහැ. සමහර විට වසර ගණනාවක් යන තුරු මේ වැඩේ වෙන එකක් නැහැ. ඒ වගේම, බැංකු අංශය ද්‍රවශීල වුනත්, රටේ ඉහළ හා පහළ මධ්‍යම පාන්තිකයින්ගේ මූර්ත ආදායම් පහත වැටී, බදු බර ඉහළ ගොස් තිබෙන පසු බිමක 2019ට පෙර කාලයේ මෙන් පෞද්ගලික ඉදි කිරීම් සිදු වන එකක් නැහැ. ඉඩම් විකිණෙන එකක් නැහැ. ඒ වගේම, සම්බාධක ඉවත් කළත් ඒ කාලයේ තරමටම වාහන ආනයන සිදු වෙන එකක් නැහැ. 

ආර්ථිකය කඩා වැටෙන්න කලින් මේ දේවල් සිදු වුනේ දරාගත හැකි සීමාවට එහායින්. වැඩි වැඩියෙන් විදේශ ණය නොගෙන නැවත ඒ තැනට යන්න බැහැ. ඒ වගේම, රජයට කලින් වගේ වසරින් වසර වැඩි වැඩියෙන් විදේශ ණය ගන්නත් බැහැ. 

ඒ කියන්නේ, රටේ ආර්ථිකය දැන් තියෙන තැනම හිර වෙලා තියෙනවා කියන එක නෙමෙයි. මේ අවුරුද්දට සාපේක්ෂව ඉදිරි අවුරුද්ද වෙද්දී මිනිස්සු වැඩියෙන් ගෙවල් හදයි. වාහන ගනියි. නමුත් 2019 මට්ටමට යන්න යම් කාලයක් ගත වෙයි. 2019ට සාපේක්ෂව 2023 තෙවන කාර්තුවේ මට්ටම 13.9%ක් පසුපසින් කියා මුලින් කිවුවනේ. වැඩිම වුනොත් ඔය වෙනසින් බාගයක් පමණ ඉදිරි වසර තුළ පියැවෙයි. සමහර විට එය මෙම පරතරයෙන් තුනෙන් එකක් පමණ වෙන්නත් පුළුවන්. පරතරයෙන් ඉතිරි බාගය හෝ තුනෙන් දෙකත් පුරවා ගන්නනම් ඉදි කිරීම් වැනි ගොඩගන්න අමාරු ක්ෂේත්‍ර වල අඩුවත් සංචාරක කර්මාන්තය වැනි ගොඩ දාගන්න ලේසි ක්ෂේත්‍ර වලින් අල්ලා ගන්න වෙනවා. එහෙම කරලා 2019දී හිටපු තැනට එන්න අවුරුදු තුනක්වත් යයි. 

Wednesday, April 5, 2023

ආසියාවේ දෙවන පෝසත් රට


ඉතිහාසය කියා කියන්නේ කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේම නෙමෙයි. කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේ කියා ගොඩක් අය හිතන්න කැමති දෙය. ඇතැම් වෙලාවට මිනිස්සු ඇහැට පෙනෙන ඇත්ත නොදැක මවාගත් බොරුවක් දකින්න කැමතියි. බොරු දිගින් දිගටම ප්‍රචාරය කළාම ඒ බොරු ඇත්ත වෙලා ඊට පස්සේ ඉතිහාසය බවට පත් වෙනවා. 

නිදහස ලබද්දී ලංකාව ආසියාවේ දෙවන පෝසත්ම රට කියන එකත් ඔය විදිහේ ජනප්‍රිය බොරුවක්. අද තිබෙන රටවල් සියල්ලම ඒ දවස් වල තිබුණේ නැහැ. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කළේ තිබුණු රටවල් වලිනුත් සීමිත රටවල් ප්‍රමාණයක් පමණයි. 

නූතන ආර්ථික විද්‍යාව නොපිළිගත් මාක්ස්වාදී රටවල් දළ දේශීය නිෂ්පාදිතය කියන අදහසවත් පිළිගත්තේ නැහැ. වෙළඳපොළ මත පදනම් නොවූ වෙනම ආර්ථික ක්‍රමයක් තිබුණු සමාජවාදී රටවල දළ දේශීය නිෂ්පාදිතය නිවැරදිව ගණනය කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. එහෙම ගණනය කරන එකේ තේරුමක් තිබුණෙත් නැහැ.

දළ දේශීය නිෂ්පාදිතයට විකල්පයක් විදිහට සමාජවාදී රටවල් විසින් ගණනය කළේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා එකක්. එහිදී ගණන් ගැනුණේ භාණ්ඩ නිෂ්පාදනය පමණයි. මාක්ස්වාදීන් විසින් සේවා නිෂ්පාදන නිෂ්පාදන සාධකයක් වන ශ්‍රමය සමඟ අනන්‍ය ලෙස දකිනවා මිස භාණ්ඩ නිෂ්පාදනය වැනි නිෂ්පාදනයක් ලෙස සැලකුවේ නැහැ. ඒ වගේම, මාක්ස්වාදය අනුව, භාණ්ඩයක එය නිෂ්පාදනය කිරීම සඳහා යොදවන ශ්‍රමය හැර වටිනාකම් නිෂ්පාදනයක් දැක්කෙත් නැහැ. 

පාරිභෝගිකයින්ට වැඩක් තිබුණත් නැතත්, ද්‍රව්‍ය (භාණ්ඩ) නිෂ්පාදනය වැඩි වෙලානම් දළ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි වුනා. නිෂ්පාදන ඉලක්ක තිබුණේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කර ගැනීමටයි. ලංකාව ඔය ක්‍රමයට දළ ද්‍රව්‍ය නිෂ්පාදනය ගණනය කළේ නැතත්, ටයර් සංස්ථාවේ නිෂ්පාදන ඉලක්ක හදලා තිබුණෙත් ඔය මූලධර්මය අනුවයි. දැන් සමහර අය නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්නෙත් අවුරුදු සීයකටත් වඩා පරණ ආගමික අදහස් මත පදනම්ව, පහුගිය කාලයේ නූතන ආර්ථික විද්‍යාවේ සිදු වූ වෙනස්කම් ගැන කිසිම අදහසක් නැතුවයි. ද්‍රව්‍යවාදීන්ට අනුව ලෝකය කියන්නේ ඇහැට පේන්න තිබෙන ද්‍රව්‍ය පමණයි.

ඒ කාලයේ සිංගප්පූරුව කියා රටක් තිබුණේ නැහැ. සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්. මැලේසියාවම ගත්තත් ඒක පුද්ගල ආදායම අනුව ලංකාවට වඩා ගොඩක් ඉදිරියෙනුයි හිටියේ. ජපානයට පවා ඉදිරියෙන්. කොළඹ නගරයේ ඒක පුද්ගල ආදායම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා කිහිප ගුණයක් වැඩියි වගේම ඒ කාලයට සාපේක්ෂව දියුණු නගරයක් වූ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම සමස්තයක් ලෙස මැලේසියාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා ඉහළින් තිබුණා. එහෙම නැතුව සිංගප්පූරුව හෝ මැලේසියාව ලංකාව පහු කරගෙන ගියේ නැහැ. ඒවා කාලයක් තිස්සේ නැවත නැවත කීමෙන් පළමුව ඇත්ත බවටත්, දෙවනුව ඉතිහාසය බවටත් පත් කර තිබෙන බොරු.

කොහොම වුනත්, ඒ දවස් වල ලංකාවට වඩා පසුපසින් සිටි තායිලන්තය හා කොරියාව වැනි රටවල් ලංකාව පහු කරගෙන ගියා. ඒ දවස් වල දළ දේශීය නිෂ්පාදිතය ගණනය නොකළත් සාපේක්ෂව මෑත කාලයකදී පවා ලංකාවට වඩා පසු පසින් සිටි චීනයත් ලංකාව පහු කරගෙන ඉදිරියට ගියා. ඉන්දියාව තවමත් ලංකාවට පසුපසින් සිටියත් ඉන්දියාව හා ලංකාව අතර ඒක පුද්ගල ආදායම් වෙනස තව කොපමණ කාලයක් මේ විදිහට තියෙයිද කියන එක අනාගතයට භාර කරුණක්.

(පසු සටහන: වගුවේ තිබෙන්නේ ඒක පුද්ගල ශුද්ධ ජාතික නිෂ්පාදිතය. ශුද්ධ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය නිෂ්පාදිතය - ක්ෂය වීම්. ආදායම් ලෙස ඉතිරි වන කොටස.)

Monday, April 3, 2023

කඩා වැටුණු නිෂ්පාදන ආර්ථිකය



සමහර අය කියන විදිහට හැත්තෑ හතට කලින් ලංකාවේ විශාල නිෂ්පාදන ආර්ථිකයක් තිබී හැත්තෑ හතෙන් පසුව එය නැති වී ගොස් තිබෙනවා. පැරකුම් යුගය වගේ සියවස් ගණනක් ඈත කාල වකවානු ගැන දැන ගන්න තියෙන්නේ සීමිත මූලාශ්‍ර පමණක් වුනත්, හැත්තෑ හතට කලින් කාලය ඒ වගේ දුරස්ථ කාල වකවානුවක් නෙමෙයි. එම කාලයේ ආර්ථිකය ගැන නිශ්චිත තොරතුරු තිබෙනවා.

හැත්තෑ හතට පෙර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ  ඒ තුළ නිෂ්පාදන ආර්ථිකයේ දායකත්වය පහත වගුවේ හරියටම තිබෙනවා. 1976 වර්ෂය ගත්තොත් නිෂ්පාදන ආර්ථිකය රුපියල් මිලියන 3,527.6ක් පමණයි. ඩොලරයක් රුපියල් 8.41 ලෙස ගත්තහම ඩොලර් මිලියන 419.5ක්. 1976 ඩොලරයක් 2022 ඩොලර් 5.14ක් පමණ වටිනවා. ඒ අනුව, මෙම නිෂ්පාදිතයේ 2022 වටිනාකම ඩොලර් මිලියන 2,156ක් වෙනවා.

හැත්තෑ හතට කලින් ලංකාවේ තිබුණු ඩොලර් මිලියන 2,156ක නිෂ්පාදන ආර්ථිකය හැත්තෑ හතෙන් පස්සේ නැති වෙලා ගියාද?

දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇවිත් ආර්ථිකය විශාල ලෙස සංකෝචනය වුනාට පස්සෙත්, 2022දී ලංකාවේ කාර්මික නිෂ්පාදිතය රුපියල් බිලියන 7,309ක්. ඩොලර් මිලියන 22,517ක්. ඒ කියන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය හැත්තෑ හතට කලින් තිබුණු ප්‍රමාණය මෙන් දහ ගුණයකටත් වඩා වැඩියි. මේ මට්ටමේ තිබෙන්නේ වසර තුළ පමණක් 16%ක අඩු වීමක් සිදු වුනාට පස්සේ. 

හැත්තෑ හතෙන් පස්සේ සමහර අකාර්යක්ෂම රාජ්‍ය ආයතන වැහිලා ගියා. නමුත් පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් සමස්තයක් ලෙස නිෂ්පාදන ආර්ථිකය විශාල ලෙස වර්ධනය වෙන එකයි වුනේ. ඒ කාලයේ නිෂ්පාදන ආර්ථිකය කියා කියන්නේ කිසිම තරඟකාරිත්වයක් නොතිබුණු, අපනයන වෙළඳපොළක් නොතිබුණු, ආනයන පාලනය නිසාම පමණක් රට ඇතුළේ විකුණා ගත හැකි වූ නිෂ්පාදන. හැත්තෑ හතෙන් පස්සේ හැදෙන්නේ ලෝකය එක්ක තරඟ කළ හැකි, දේශීය වෙළඳපොළට අමතරව ලෝකය පුරාම විකිණිය හැකි නිෂ්පාදන. 

Wednesday, March 15, 2023

2022 ආර්ථික සංකෝචනය


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් අද ප්‍රකාශයට පත් කර ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව ගෙවුණු 2022 වසර තුළ ලංකාවේ ආර්ථිකය 7.8%කින් හැකිළී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ හැකිලීම 4.6%ක්ද, කාර්මික අංශයේ හැකිලීම 16.0%ක්ද වන අතර සේවා අංශය 2.0කින් හැකිළී තිබෙනවා. මේ අනුව, ආර්ථිකයේ ප්‍රමාණය මේ වන විට තිබෙන්නේ 2016දී පැවති මට්ටමට වඩා මඳක් පහළින් හා 2015 පැවති මට්ටමට ඉහළින්.

වසර තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතය 37.2%කින් ඉහළ ගොස් ඇතත්, එම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ 48.8%කින් මිල මට්ටම ඉහළ යාමයි. මිල මට්ටම ඉහළ යාම නිසා ඒක පුද්ගල ආදායම ප්‍රථම වරට රුපියල් මිලියනය ඉක්මවමින්, රුපියල් 1,060,654 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, වසර තුළ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා මෙය සමාන වන්නේ ඇමරිකන් ඩොලර් 3,268ක ඒක පුද්ගල ආදායමකටයි. මෙය 2013 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඇමරිකන් ඩොලර් 3,280ට වඩා මදක් අඩු මට්ටමක්.

මෑතකදී ෆිච් සොලියුෂන්ස් ආයතනයේ වාර්තාවක 2022දී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලෙනු ඇති බවත්, 2023දී 3.0%කින් ඉහළ යන බවත් වාර්තා කර තිබුණා. ඉහත සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන්නේ ඔවුන්ගේ එම ඇස්තමේන්තු නිවැරදි නොවන බවයි. වසර තුළ ආර්ථිකය හැකිළී තිබෙන්නේ 7.8%කින් පමණයි. මේ හේතුව නිසාම 2023 වසර සම්බන්ධව ෆිච් සොලියුෂන්ස් ආයතනයේ පුරෝකථනයද නිවැරදි නොවීමට ඉඩකඩ වැඩියි.

මූඩීස් ආයතනය විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ 2022දී 8.0%කින්ද, නැවත 2023දී 3.0%කින්ද ආර්ථිකය හැකිලෙනු ඇති බවයි. මෙම ඇස්තමේන්තුව ඉහත ෆිච් සොලියුෂන්ස් ඇස්තමේන්තුවට වඩා නිවැරදි විය හැකියි. බොහෝ දුරට, ලංකාවේ ආර්ථිකය නැවත වර්ධනය විය හැක්කේ 2024 වසරේදීයි.


Friday, December 16, 2022

තෙවන කාර්තුවේදී ආර්ථිකය 11.8%කින් හැකිළේ!


ජූලි 1 දිනෙන් පටන් ගෙන, සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 11.8%කින් හැකිළී තිබෙනවා. කෝවිඩ් හේතුවෙන් රට වසා දමනු දැමීම නිසා ආර්ථික ක්‍රියාකාරකම් විශාල ලෙස මන්දනය වූ, පෙර වසරේ තෙවන කාර්තුව තුළද ශ්‍රී ලංකා ආර්ථිකය 5.8%කින් හැකිලුනා. 

කිසියම් වසරකදී ආර්ථිකය සැලකිය යුතු ලෙස හැකිලීමෙන් පසුව එළැඹෙන වසරකදී, එම හැකිළීම නැවත යථා තත්ත්වයට පත් වීම තුළම ආර්ථික වර්ධනයක් දැකිය හැකි වීම සාමාන්‍ය තත්ත්වය වුවත්, පෙර වසරේ 5.8%කින් හැකිළුණු ආර්ථිකය 11.8%කින් තව දුරටත් හැකිළී තිබීම මෙහි ඇති කණගාටුදායක විශේෂත්වයයි. 

රට මුහුණ දී සිටින ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන්, තෙවන කාර්තුව තුළ, ඉන්ධන ඇතුළු භාණ්ඩ ආනයන ඇණහිට රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට තව දුරටත් දැඩි බාධා ඇති වීම මෙයට හේතුවයි. තෙවන කාර්තුව පමණක් සැලකූ විට දෙවසරක සම්ප්‍රයුක්ත හැකිළීම 17.0%ක්.

පැවති මිල ගණන් යටතේ 2022 තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 6,417.0ක්. 2021 තෙවන කාර්තුවේදී එවකට පැවති මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය පැවතුනේ රුපියල් බිලියන 4,318.1 මට්ටමේ. මේ අනුව, නාමික පදනමින් ආර්ථිකය 45.2%කින් වර්ධනය වී තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, රටේ ආදායම් 45.2%කින් වර්ධනය වී තිබෙනවා. එහෙත්, මේ නාමික වර්ධනයට ප්‍රධානම හේතුව පැවති ඉහළ උද්ධමනයයි.

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහද්දී රටේ මිනිසුන්ගේ ආදායම් ඉහළ යනවා. එහෙත්, එම ආදායම් ඉහළ යාම මිල ගණන් ඉහළ නිසා සිදු වන්නක්. නාමික දළ දේශීය නිෂ්පාදිතය තුළ සැබෑ ආර්ථික වර්ධනය (හෝ හැකිලීම) මෙන්ම උද්ධමනය නිසා සිදුවන මෙම මිල ඉහළ යාමද (හෝ අවධමනය නිසා සිදුවන මිල පහළ යාමද) පිළිබිඹු වෙනවා.

සැබෑ ආර්ථික වර්ධනය මැන ගැනීම සඳහා නාමික ආර්ථික වර්ධනයෙන් මිල වෙනස් වීමේ බලපෑම ඉවත් කළ යුතුයි. මෙය කරන්නේ කොහොමද?

සැබෑ ආර්ථික වර්ධනය, එසේත් නැත්නම් මූර්ත ආර්ථික වර්ධනය, මැන ගැනීමේ පළමු පියවර ඒ සඳහා සුදුසු පාදක වර්ෂයක් තෝරා ගැනීමයි. මේ වන විට පාදක වර්ෂය ලෙස යොදා ගන්නේ 2015 වසරයි. 

ඉහත කී පරිදි, පාදක වර්ෂයක් තෝරා ගැනීමෙන් පසුව, පාදක වර්ෂයේදී පැවති මිල ගණන් මත පදනම්ව ඉන් පසු වසර වල දළ දේශීය නිෂ්පාදිතය නැවත ගණනය කරනවා. උදාහරණයක් ලෙස, 2022දී තේ විකුණා ලැබූ ආදායම නාමික දළ දේශීය නිෂ්පාදනයට එකතු වන අතර, මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන්නේ 2022දී විකිණූ තේ ප්‍රමාණයම 2015 වසරේදී එවකට පැවති මිල ගණන් යටතේ විකිණුවේනම් ලැබිය හැකිව තිබුණු ආදායමයි. 

පාදක වර්ෂය ලෙස සලකා ඇති 2015 මිල ගණන් අනුව, 2021 තෙවන කාර්තුවේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 3,269.5ක් පමණක් වන අතර 2022 තෙවන කාර්තුව වන විට එම අගය රුපියල් බිලියන 2,884.0 දක්වා 11.8%කින් පහත වැටී තිබෙනවා. ආර්ථිකය 11.8%කින් හැකිළී ඇතැයි යන්නෙන් අදහස් වන්නේ මෙයයි. 

තවත් විදිහකින් කිවුවොත් පසුගිය වසරක කාලය තුළ රටේ ජනතාවගේ ආදායම් 45.2%කින් ඉහළ ගොස් ඇතත්, මිල ගණන් 64.7%කින් ඉහළ ගොස් ඇති නිසා, ජීවන මට්ටමේ 11.8%ක කඩා වැටීමක් සිදුව තිබෙනවා (145.2/164.7 = 88.2%). වසරේ මුල් කාර්තු තුනම සමස්තයක් ලෙස ගත් විට, 7.1%ක හැකිළීමක් පෙන්නුම් කරනවා. 

මාස නමයේම තත්ත්වය අනුව මෙය 2016 පැවති මට්ටම දක්වා ආපසු යාමක්. තෙවන කාර්තුවේ ප්‍රතිඵලය අනුව, 2014 පමණ දක්වා ආපසු යාමක්. 

රටේ ජීවන තත්ත්වය 11.8%කින් පහත යාම යන්නෙන් සියල්ලන්ගේම ජීවන තත්ත්වය එක සමානව පහත වැටී ඇති බවක් අදහස් වන්නේ නැහැ. මෙහි බලපෑම වැඩිපුරම තිබෙන්නේ යමක්කමක් ඇති අයටයි. එනම්, පරිභෝජනය සඳහා වැය කිරීමෙන් පසුව ආයෝජන කළ හැකි වූ අයටයි. 

තෙවන කාර්තුව සඳහා අදාළ සංඛ්‍යාලේඛණ තවමත් නිකුත් වී නැතත්, දෙවන කාර්තුව දෙස බැලීමෙන් මේ පිළිබඳ අදහසක් ගත හැකියි. දෙවන කාර්තුවේදී ආර්ථිකය 8.4%කින් සංකෝචනය වී ඇතත් පරිභෝජනය කෙරෙහි බලපෑම 2.6%ක අඩු වීමක් පමණයි. එම අඩු වීමට සාපේක්ෂව, ආයෝජන 43.1%කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, බොහෝ දෙනෙකු කෙසේ හෝ වේල පිරිමසාගෙන ඇතත්, එසේ වේල පිරිමසා ගැනීමෙන් පසුව අතේ කීයක් හෝ ඉතිරි කරගෙන කරන දේවල් කළ නොහැකි වී ඇති බවයි. 

රජයේ සංඛ්‍යාලේඛණ සියයට සියයක් නිවැරදිද? මේ ප්‍රශ්නයට මගේ පිළිතුර මෙවැන්නක්. කඩෙන් මිල දී ගන්නා මාළු කෑම පාර්සලයක මාළු කෑල්ලක් ඇත්තටම තිබෙන බව ඔබට සියයට සියයක් සහතිකද? 

මාළු කෑම පාර්සලයේ ඇත්තටම මාළු කෑල්ලක් නැති වෙන්න පුළුවන්. නමුත් කෑම පාර්සලයක් මිල දී ගන්නා හැම විටකම වෙළෙන්දා ඉදිරිපිට එය විවෘත කර බැලීම ප්‍රායෝගික වැඩක් නෙමෙයි. මාළු කෑම පාර්සලයේ ඇත්තටම මාළු කෑල්ලක් නැති වීමේ අවදානම ගන්න එක ඊට වඩා ප්‍රායෝගිකයි. නමුත්, කවුරු හෝ විසින් වෙළෙන්දා සහ ඔබ ඉදිරිපිට කෑම පාර්සලය විවෘත කර එහි මාළු නැති බව පෙන්නුවොත්, ඉන් පසුව තත්ත්වය වෙනස් වෙනවා. ඔබේ කෑම පාර්සලයේ මාළු නැති බව ඔබට කිහිප වරක්ම පෙනී ගොස් ඇත්නම් ඔබටම වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. 

වෙබ් ලිපිනය: