වෙබ් ලිපිනය:

Showing posts with label ජේආර් ජයවර්ධන. Show all posts
Showing posts with label ජේආර් ජයවර්ධන. Show all posts

Saturday, August 10, 2024

ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද?


ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක "ඇත්ත" වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පසුව ජේ ආර් ජයවර්ධන විසින් පොලීසියට නිවාඩු දුන්නා කියන කතාවත්, මගේ අදහස අනුව, එවැන්නක්. එය එසේ නොවන්නේයැයි කවුරු හෝ කියනවානම්, කරුණාකර පිළිගත හැකි මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න.

මේ කතාව කාලයක් තිස්සේම නැවත නැවත ඇසී තිබෙන කතාවක්. මම මේ කතාව හැමදාමත් තේරුම් ගත්තේ හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා ජේ ආර් ජයවර්ධන විසින් ප්‍රමාණවත් තරමින් පියවර නොගත් බව අදහස් කෙරෙන, "මහ බැංකුව කඩා සල්ලි හොරකම් කිරීම" වැනි, වචනාර්ථය අනුව තේරුම් නොගත යුතු ප්‍රකාශයක් ලෙසයි. 

දැනටත් මම මේ ගැන හිතන්නේ එවැනි ප්‍රකාශයක් ලෙසයි. ඒ වගේම, මම මෙතෙක් හිතාගෙන හිටියේ අනෙක් අය මේ ප්‍රකාශය තේරුම් ගත්තෙත් වචනාර්ථයෙන් නෙමෙයි කියලයි. නමුත් දැන් පෙනෙන්නේ එය එසේ නොවන බවයි.

මට මතක විදිහට මේ කතාව මුලින්ම ලොකුවටම මතු වුනේ අසූ තුනේ ජූලි කලබල වලින් පසුව පැවති තත්ත්වය හා සමාන කෙරෙමිනුයි. ඒ අවස්ථාවේදී සිදු වූ දෙයද යම් ආකාරයකින් පොලීසියට නිවාඩු දීමක් වැනි දෙයක්. නමුත් නිල වශයෙන් පොලීසියට නිවාඩු දීමක් සිදු වුනේ නැහැ. 

දැන් මේ කතාව ඉස්සරහට එන්නේ දකුණේ සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වෙත අවධාරණය කරමින් වුනත් හැත්තෑ හතේ මැතිවරණයෙන් පසුව උතුරේද විශාල ලෙස පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුනා. ඒ වගේම දකුණේ දෙමළ ජාතිකයින්ට එරෙහිව ජාතිවාදී කෝලාහල ඇති වුනා. එය සමාන කළ හැක්කේ බංග්ලාදේශයේ අවාමි ලීගයට එරෙහි ප්‍රචණ්ඩ කියා වලදී හින්දු ආගමිකයින් වැඩිපුර පීඩාවට පත් වීමටයි. මෙසේ කීමෙන් දකුණේ සිදු වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවතක්සේරු කිරීමේ අදහසක් නැහැ.

හැත්තෑ හතේ මැතිවරණය පැවැත්වුණේ ජූලි 21. මේ මට මතක තිබෙන පළමු මැතිවරණය. නිදහසින් පසුව දිගින් දිගටම අවුරුදු පහෙන් පහට මැතිවරණ තිබ්බත්, සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1975දී තිබිය යුතු මැතිවරණය පැවැත්වුවේ 1977දී. හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව හදද්දී කොල්වින් වංගුවක් ගහලා අවුරුදු දෙකක් කාලය වැඩි කරගත්තා. ඊට විරුද්ධ විපක්ෂ මන්ත්‍රීවරු තමන්ගේ ධුර වලින් ඉල්ලා අස් වී අතුරු මැතිවරණ වලට මුහුණ දුන්නා.

ලංකාවේ ඊනියා බුද්ධිමතුන්ගේ වාමාංශික මතවාදී ආධිපත්‍යය නිසා මේ වැරදි පූර්වාදර්ශය ගැන කතා කෙරෙන්නේ ඉතා අඩුවෙන්. මීට සාපේක්ෂව බොහෝ විට කතා කෙරෙන දෙයක් වන 1982 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ජේ ආර් විසින් මහමැතිවරණය කල් දැමීම සිදු වුනේ ජනමතවිචාරණයක් තියලා රටේ බහුතරයකගේ කැමැත්ත අරගෙන. ඒ වගේම ජනමතවිචාරණය පරාජය වූ ආසන සඳහා අතුරු මැතිවරණ තිබ්බා. 

හැත්තෑ හත දක්වා තිබුණු හැම මැතිවරණයකදීම ආණ්ඩුව මාරු වුනා. ඔය කාලයේ ගොඩක් දේවල් කළේ රජයෙන්. ඒ නිසා, රජයෙන් බාහිර ජීවිතයක් මිනිස්සුන්ට නොතිබුණු තරම්. නමුත් රජයෙන් ගන්න පුළුවන් වරප්‍රසාද බොහෝ විට ලැබුණේ බලයේ සිටි පක්ෂයේ ආධාරකරුවන්ට. රජයේ රැකියා ලැබුණේ මන්ත්‍රී චිට් එකට. කොහොම වුනත්, අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වූ නිසා මේකේ අවාසිය එක කණ්ඩායමකටම පමණක් ගියේ නැහැ.

අවුරුදු පහෙන් තිබිය යුතු මහ මැතිවරණය අවුරුදු දෙකකින් කල් යාම නිසා එජාප ආධාරකරුවෝ හිටියේ ලොකු පීඩනයක. උදාහරණයක් විදිහට 1970දී පමණ පිටවූ ආණ්ඩු පක්ෂයට සහයෝගය නොදැක්වූ පවුල්වල උපාධිධාරීන්ට රජයේ රැකියා ලැබුණේ අවුරුදු හතකට පස්සේ. හැත්තෑ හතේදී ඔය චක්‍රය අනෙක් පැත්තට කැරකුනා. ඔය ක්‍රමය නැති වුනේ අසූව දශකයේ අන්තිම හරියේදී. මතක විදිහට මන්ත්‍රී චීට් ක්‍රමය වෙනුවට තරඟ විභාග ක්‍රමය හඳුන්වා දුන්නේ ජනාධිපති ප්‍රේමදාසගේ කාලයේදී. 

අනෙක් පැත්තෙන් අවුරුදු හතක් එක දිගට බලයේ හිටපු ශ්‍රීලනිපය ආසන අටට වැටුණු එක ආණ්ඩුවේ ආධාරකරුවන්ට විශාල කම්පනයක් වුනා. ඔය තත්ත්වයන් එක්ක සහ ලංකාවේ සමාජය ඒ වන විට තිබුණු තත්ත්වය එක්ක කලින් මැතිවරණ වලින් පසුව සිදු වූ පරිදිම පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම අපේක්ෂා කළ හැකිව තිබුණු තත්ත්වයක්.

ජූලි 21 බ්‍රහස්පතින්දා. මට මතක විදිහට මුල්ම ප්‍රතිඵලය රේඩියෝ එකෙන් කිවුවේ සිකුරාදා පාන්දර. සිකුරාදා දවල් වගේ වෙද්දී ආණ්ඩුව පෙරලෙන බව පැහැදිලියි. ඉතිරි කොටස් ලියන්නේ සොයා ගත හැකි මූලාශ්‍ර මත පදනම්ව. 

දැන් මේ මැතිවරණය පවත්වන්නේ බ්‍රහස්පතින්දා දවසක නිසාත්, සිකුරාදා දිනයේත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වෙන නිසාත්, පාසැල් ආදී ස්ථාන ඡන්ද පොළවල් ලෙස යොදා ගන්නා නිසාත්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් මැතිවරණ රාජකාරි වල යෙදෙන නිසාත්, රජය විසින් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින රජයේ නිවාඩු දින බව කලින්ම ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ එන්නේ සති අන්තය නිසා එක දිගට දවස් හතරක නිවාඩුවක් වැටෙනවා. ඊට අමතරව ඔය දවස් හතරේම තැබෑරුම් වසා මත්පැන් අලෙවිය තහනම් කරනවා. එහෙම කරන්නේ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ අරමුණින්. මොකද 1970 මහ මැතිවරණයෙන් පසුව ඇති වූ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලිනුත් 17 දෙනෙක් මියගොස් විශාල දේපොළ හානියක් වෙලයි තිබුණේ. ඒ නිදහසේ පටන් ලංකාවේ පැවති සාමාන්‍ය තත්ත්වය. මේ තත්ත්වය වෙනස් වුනේ හැත්තෑ හතෙන් පස්සේ. 

මේ ඇරෙන්න පොලීසියට නිවාඩු දුන් කතාවක් මම දන්නේ නැහැ. ඒ වගේම, රජයේ නිවාඩු දවස් වුනත් පොලීසියට නිවාඩු නෙමෙයි.

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දවස් දෙකේ කලබල කිසිවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පිහිටුවන තුරු සංක්‍රාන්ති කාලයේ අවිනිශ්චිත තත්ත්වයක් තියෙන නිසා කලබල ඇති වෙන්නේ නැහැ. කලබල පටන් ගන්නේ දවස් දෙකකට පස්සේ ජූලි 23 සෙනසුරාදා ජේ ආර් දිවුරුම් දීලා ආණ්ඩුව පිහිටෙවුවට පස්සේ. 

ඔය වන විට ඡන්ද රාජකාරි සඳහා රටේ විවිධ ප්‍රදේශ වලට ගිහින් හිටපු පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් නැවත සේවා ස්ථාන වලට වාර්තා කරලා නැහැ. විශේෂයෙන්ම 23 රෑ බස්නාහිර, දකුණු හා සබරගමු පළාත් වල හා මහනුවර ප්‍රදේශයේ ඉතා කෙටි කාලයක් තුළ පශ්චාත්-මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙනවා. පසුව මන්නාරමේත් ගැටුම් ඇති වෙනවා. 

ඊට පහුවෙනිදා, ඒ කියන්නේ ජූලි 24 ඉරිදා, රජය විසින් දිස්ත්‍රික්ක අටකට දින දෙකකට ඇඳිරි නීතිය පනවලා ඉතා ඉක්මණින් තත්ත්වය පාලනය කරනවා. අලුතෙන් දිවුරුම් දුන් අගමැති ජේ ආර් ජයවර්ධන ගුවන් විදුලියෙන් ජාතිය අමතා කලබල නවත්වා සාමකාමී වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ එක්කම, හිටපු අගමැතිනිය විසින්ද එවැනිම ඉල්ලීමක් කරනවා. 

නමුත් ඒ වෙද්දීත් දෙපාර්ශ්වය අතර ගැටුම් වලින් මරණ 20ක් වෙලා. තවත් ගොඩක් අයට තුවාළ වෙලා. විශාල දේපොළ හානියක් සිදු වෙලා. ඇඳිරි නීතිය ඉවත් කරන විට ද්විත්ව මිනීමැරුම් දෙකක් ඇතුළුව මරණ 34ක් සිදු වෙලා.

සඳුදා වෙද්දී තත්ත්වය සෑහෙන්න පාලනය වෙලා. ඒ නිසා, කලින් පනවපු ඇඳිරි නීතිය ලිහිල් කරනවා. ජනජීවිතය යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වෙද්දී පොලිස් නිලධාරීන් නැවත සේවයට වාර්තා කරලා. 

මීට අමතරව දෙමළ ජාතිකයන්ට එරෙහිව (හා ඇතැම් විට අනෙක් අතට) ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වුනා. ඒවා තනිකරම පශ්චාත්-මැතිවරණ ගැටුම්ද නැත්නම් ජාතිවාදී ගැටුම්ද කියලා නිශ්චිතව කියන්න අමාරු ආකාරයක ගැටුම්. මොකද මේ මැතිවරණයේදී උතුරෙන් ජාතික දේශපාලන පක්ෂ හේදිලා ගිහින් එහි දේශපාලන බලය තනිකරම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සතුවීමද සිදු වුනා. 

මට මතක විදිහට සහ හොයා ගන්න පුළුවන් තොරතුරු අනුව සිදුවුනේ ඕකයි. ඒ ඇරෙන්න ජේ ආර් පොලිසියට සුමානයක් නිවාඩු දුන්නා කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුනත්, නිදහස ලබපු කාලයේ ඉඳන්ම ලංකාවේ තිබුණු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංස්කෘතිය හැත්තෑ හතෙන් පස්සේ නැති වුනා. 

Friday, April 7, 2023

සුබසාධන ණය සහ ව්‍යාපෘති ණය


විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී ජවිපෙ සම්බන්ධ කර ගන්නවා. දැන් අලුතෙන්ම, IMF වැඩපිළිවෙළ ගැන කතා කරද්දී රනිල්ව සම්බන්ධ කර ගන්නවා. ප්‍රස්තුත ප්‍රතිපත්ති වලට හා පුද්ගලයින්ට කැමති අය වගේම විරුද්ධ අයත් ඔය වැඩේ කරනවා. එය එසේ කරන අයගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙයි. 

මෙසේ බොහෝ දෙනෙකු විසින් ආර්ථික ප්‍රතිපත්ති හා අනන්‍ය ලෙස දකින්නට පුරුදු වී සිටින පුද්ගලයින් හෝ පක්ෂ විසින් එම ප්‍රතිපත්ති වෙනස් කරන අවස්ථා වලදී එසේ දකින අය අමාරුවේ වැටෙනවා. එවැනි අයගේ ගැලවිල්ලට "ලෝක තත්ත්වය අනුව වෙනස් වීම", "ප්‍රායෝගිකවාදය", "මහ පොළොවේ යථාර්තය" වැනි ආවරණද තිබෙනවා. 

විවෘත ආර්ථිකය කියන එක ජේආර් හොයාගත් දෙයක් නෙමෙයි. ලංකාව නිදහස ලබන විට ලංකාවේ කාලයක් තිස්සේ පැවති නිදහස් ආර්ථිකයක් තිබුණා. ආනයන අපනයන කරන්න වගේම ආයෝජන කරන්නත් බාධාවක් තිබුණේ නැහැ. රටට විදේශ විණිමය ප්‍රශ්නයක් තිබුණේත් නැහැ. නිදහසින් පසුව වසර අටක පමණ කාලයක් යන තුරුද මේ තත්ත්වය ලොකුවට වෙනස් වුනේ නැහැ. ආර්ථිකය සංවෘත වෙන්න පටන් ගත්තේ ආසන්න වශයෙන් 1956 වසරේ සිටයි. 

ලංකාව සමාජවාදය පැත්තට බරවීම, ව්‍යාපාර රජයසතු කිරීම ආදිය එක්ක රටට එන ආයෝජන නැවතුණා. තිබුණු ආයෝජනත් රටෙන් එළියට යන්න පටන් ගත්තා. මෙය රටේ ගෙවුම් ශේෂ තුලනය කෙරෙහි නරක ලෙස බලපෑවා.

ජේආර් ජයවර්ධන සහ මුල්කාලීන එජාප ආණ්ඩු ව්‍යාපාර රජයසතු කිරීම ඇතුළු අනෙකුත් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් හෝ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේ නැතත්, සමාජවාදයට බර වූ ශ්‍රීලනිප සභාග ආණ්ඩු මෙන්ම, විශාල රාජ්‍ය මැදිහත්වීම් විශ්වාස කළා. තුලිත රාජ්‍ය අයවැයක් පිළිබඳව විශ්වාස කළේ නැහැ. නිදහස ලබන්නට ආසන්නව, 1947දී ජේආර් ජයවර්ධන මුදල් ඇමති වූ කාලයේ සිටම, ලංකා රජය විසින් දිගින් දිගටම අය ඉක්මවා වැය කරන්නට පටන් ගත්තා. 

විණිමය අනුපාතය ස්ථිරව තියාගෙන රජය විසින් ආදායම ඉක්මවා වියදම් කරද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට සිදු වෙනවා. නිදහසට පෙර විශාල කාලයක් විණිමය අනුපාතය නොවෙනස්ව තබා ගත හැකි වූයේ එම කාලයේ රාජ්‍ය අයවැය තුලනය කරගත් නිසයි. සිංගප්පූරුව වැනි රටවල මුදල් ඒකකය එන්න එන්නම ශක්තිමත් වෙන්නේ සිංගප්පූරු රජය විසින් දිගින් දිගටම අයවැය අතිරික්තයක් පවත්වා ගන්නා නිසයි. 

වසර පහෙන් පහට ආණ්ඩු මාරු වෙද්දී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියෙහිද විශාල දෝලනය වීම් දැකිය හැකි වුවත්, ඇතැම් දේවල් ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වී නැහැ. ශ්‍රීලනිප ආණ්ඩු මෙන්ම එජාප ආණ්ඩුද විශ්වාස කළේ රජය ණය වී ප්‍රාග්ධන ආයෝජන කිරීමේ වැරැද්දක් නැති බවයි. ඒ, ණය වල තරමට රට තුළ වත්කම් හැදෙන නිසයි. මුල් කාලීන ආණ්ඩු විසින් බොහෝ විට උත්සාහ කර තිබෙන්නේ රාජ්‍ය ආදායම් හා වර්තන වියදම් තුලනය කර ගනිමින් ප්‍රාග්ධන වියදම් සඳහා ණය ලබා ගන්නයි.

ලංකාවේ ලොකුම රාජ්‍ය ආයෝජනය සේ සැලකිය හැකි මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කෙරුණේ සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ. මුලින් සැලසුම් කර තිබුණේ මෙම ව්‍යාපෘතිය වසර 30කින් අවසන් කිරීමටයි. ආණ්ඩුව වෙනස් වූ පසු ජේආර් ජයවර්ධන මේ ව්‍යාපෘතිය අතහැර දැම්මේ නැහැ. ඒ වෙනුවට කළේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ලෙස නම් කර මෙම ව්‍යාපෘතිය වඩා ඉක්මණින් අවසන් කරන එකයි. 

දේශීය වෙළඳපොළ ඉලක්ක කිරීම හා ආනයන ආදේශනය සම්බන්ධව එකම අදහසක නොසිටියත්, කාර්මීකරණයේ වැදගත්කම පිළිබඳවද එජාප හා ශ්‍රීලනිප ආණ්ඩු අතර එකඟතාවයක් තිබුණා. ලංකා ටයර් සංස්ථාව, ලංකා වානේ සංස්ථාව ආදිය හැදුනේ ජේආර් ජයවර්ධන රාජ්‍ය ඇමතිව සිටි ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලයේදීයි. හැමවිටම මෙන්, පක්ෂ භේදයක් නොමැතිව, ලංකාවේ මුල්කාලීන ආණ්ඩුවල අදහස වූයේ රජය ණය වී ප්‍රාග්ධන ආයෝජන කිරීමේ වරදක් නැති බවයි. 

රජය ණය වීම සමාජවාදී අදහසක් නෙමෙයි. එහෙත් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම සමාජවාදී අදහසක්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුළ අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. සුබසාධනය කළ යුතු අඩුආදායම්ලාභීන් කියා කොටසක් හඳුනාගත හැකි වන්නේම ධනවාදී ක්‍රමයක් තුළයි. අඩු ආදායම්ලාභීන් සුබසාධනය ධනවාදී ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වන සමාජවාදී අදහසක්. මෙය ලෝකයේ හැම රටකම මෙන් යම් තරමකින් හෝ සිදුවන දෙයක්. ඒ වගේම, සමාජවාදී අදහසක් වීමට බොහෝ පෙර සිටම පැවති විශ්වීය අදහසක්. 

රජයකට තිරසාර ලෙස අඩු ආදායම්ලාභීන් සුබසාධනය කළ හැක්කේ ඉහළ ආදායම්ලාභීන්ගේ වියදමෙන් පමණයි. ඒ සඳහා ඉහළ ආදායම්ලාභීන් මත වැඩි බදුබරක් පනවන්නට වෙනවා. සුබසාධනය ජනප්‍රිය දෙයක් වුවත් බදු අය කිරීම ජනප්‍රිය නැහැ. සර්වජන ඡන්ද ක්‍රමයක් තුළ බලයට පත් විය හැක්කේ ජනප්‍රිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කණ්ඩායමකටයි.

ඉහත හේතු නිසා, ලංකාවේ සමාජවාදයට නැඹුරු වූ ආණ්ඩු බදු ගහන්න බය වුනා. වෙළඳපොළ විශ්වාස කළ ආණ්ඩු සුබසාධන වියදම් කපන්න බය වුනා. බදු ගහන්න බය නොවූ සමාජවාදයට නැඹුරු වූ ආණ්ඩු වලට පවා සුබසාධන වියදම් වල බර දරාගත හැකි තරම් බදු අය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ තරමට බදු ගහන්නනම් ධනවතුන් හා ආදායම් උපයන්නන් ප්‍රමාණවත් තරම් රටේ සිටිය යුතුයි. අවසාන වශයෙන් එජාප ආණ්ඩු වගේම ශ්‍රීලනිප ආණ්ඩු විසින්ද කළේ ණය වෙමින් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමයි. මා දන්නා තරමින් මුල් කාලයේදී මේ ක්‍රමයට විරුද්ධව හඬක් නගා ඇති කණ්ඩායමක් නැති තරම්. 

රජය ආදායම් ඉක්මවා වියදම් කිරීම නිසා ඇති විය හැකි ප්‍රශ්න පිළිබඳව මහ බැංකුව විසින් එම ආයතනය පිහිටවූ මුල්  වසරේදීම පෙන්වා දී අවවාද කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිගින් දිගටම පෙන්වා දී තිබෙනවා. වෙනත් විශේෂඥයින් විසින්ද වරින් වර පෙන්වා දී තිබෙනවා. එහෙත් මේ අදහස් වලට කිසිදු ජන පදනමක් තිබී නැහැ. රජය විසින් ණය වෙමින් සුබසාධනය කිරීම ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය වූ දෙයයි. එය වඩා හොඳින් කරන කණ්ඩායමට හැම විටම ලංකාවේ ආණ්ඩු බලය ලැබුණා. 

හැත්තෑ හතෙන් පසුව රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමක් වහාම සිදුවුණේ නැහැ. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගණනාවක බර තවදුරටත් දිගින් දිගටම රාජ්‍ය ණය බරට එකතු වුනා. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය ලොකුවටම සිදු වුනේ 1990 දශකය තුළයි. 

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා රජයේ ණය බර ඉහළ යද්දී රාජ්‍ය ආයෝජන ඉහළ යාම නිසා ව්‍යාපෘති ණය විශාල ලෙස ඉහළ ගියා. මීට අමතරව පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කර අඩු මිලට හෝ නොමිලේ ලබා දීම සඳහා ලබාගත් ද්‍රව්‍ය ණය තව දුරටත් දිගින් දිගටම ලබා ගැනීම නිසා එම ණයද ණය බරට එකතු වුනා. 

මේ ද්‍රව්‍ය ණය සඳහා එක් උදාහරණයක් ලෙස ඇමරිකාවෙන් කාලයක් තිස්සේ ලබාගත් PL 480 ණය පෙන්වා දිය හැකියි. මෙම සහන ණය ක්‍රමය යටතේ ලංකාව 1956 සිට 1990 පමණ දක්වාම ආහාර ආනයනය කළා. ඇතැම් වසර වල සහල් සහ ඉරිඟුද ආනයනය කර ඇතත් වැඩිපුරම ආනයනය කළේ තිරිඟු පිටි. 1980දී ත්‍රිකුණාමලයේ ප්‍රීමා කම්හල පිහිටවීමෙන් පසුවනම් තිරිඟු. 

හැත්තෑ හත වන තුරු ලංකාවේ සියල්ලන්ටම මෙන් නොමිලේ සහල් ඇතුලු ආහාර සහනාධාර ලැබුණා. නොමිලේ සහල් නොලැබුනේ ඉහළම ආදායම් ලැබූ, රජයට ආදායම් බදු ගෙවූ, 5%කට පමණයි. මෙම ආහාර සහනාධාර ලබා ගැනීම පිණිස රජයෙන් "හාල්පොතක්" ලබා දුන්නා. හැත්තෑ හතෙන් පසුව රටේ ඉහළ ආදායම් ලබන 50%ට හාල්පොත නැති වුනා. ඉන්පසුව, සෑහෙන කාලයක් යන තුරුම, එජාප විරෝධී කඳවුරේ සිටි ශ්‍රීලනිප හා අනෙකුත් වාමාංශික පක්ෂ වල ප්‍රධානම සටන් පාඨයක් වූයේ එජාප ආණ්ඩුව විසින් හාල්පොත නැති කිරීමයි. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයාගේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් වූයේත් හාල්පොත නැවත දෙනවා කියන එකයි.

සියල්ලන්ටම හාල්පොත නැති වුනත් අඩුආදායම්ලාභීන්ට තව දුරටත් හාල්පොත ලැබුණා. පසුව හාල්පොත වෙනුවට ආහාර මුද්දර (හා භූමිතෙල් මුද්දර) ක්‍රමය ආවා. ආහාර මුද්දර ජනසවිය වී ජනසවිය සමෘද්ධි වුනේ ඊටත් පසුවයි. ආහාර මුද්දර ලැබුණු අයට නොමිලයේ ආහාර ලැබුණා. මෙසේ නොමිලයේ ලබාගත හැකි වූ ආහාර අතර PL 480 යෝජනා ක්‍රමය යටතේ ණයට ගත් තිරිඟු පිටිද තිබුණා. අදාළ යෝජනා ක්‍රමය යටතේ ණය ආපසු ගෙවීම සඳහා වසර හතක පමා කාලයකින් පසුව වසර තිහක කාලයක් ලැබුණා. ඇතැම් විට මේ ණය මේ වන විටද ගෙවා අවසන්ව නැතිවා විය හැකියි. ගෙවා ඇත්නම් ඒ ණය ගෙවීම සඳහා ගත් ණය ස්වෛරිත්ව බැඳුම්කර වැනි වෙනත් ණයක් බවට පත් වී ඇති. 1956 වසරේ සිට එක දිගටම ඇමරිකාවෙන් ලබාගත් PL 480 ණය (වන්දි නොගෙවා ඇමරිකානු තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව පැවති කෙටි වාරණ කාලයකදී හැර) ලංකාව විසින් ලෝකයේ ධනවාදී හා සමාජවාදී කඳවුරු වල රටවල් ගණනාවකින් ලබාගත් ද්‍රව්‍ය ණය සඳහා එක් උදාහරණයක් පමණයි. 

රාජ්‍ය ව්‍යවසාය ලෙස අද බොහෝ දෙනෙකු විසින් හඳුනාගන්නා ආයතන බොහොමයක් 1970-77 කාලයේ හදපුවා නෙමෙයි. මෙම ආයතන බොහොමයක් 1970 වන විටද ක්‍රියාත්මකව තිබුණා. ඒ වගේම, 1977දී මෙම රාජ්‍ය ව්‍යවසාය වසා දැම්මෙත් නැහැ. දේශීය වෙළඳපොළ පමණක් ඉලක්ක කළ, රාජ්‍ය ආයෝජන මත පමණක් විශ්වාසය තැබූ සංවර්ධන උපාය මාර්ගය නිසා 1970-77 කාලයේ රජයට විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනා. ඒ කාලයේ කළ බොහොමයක් දේවල් පැවති තත්ත්වය තුළ වෙන කළ හැකි දෙයක් නැති කමට කළ දේ මිස රටේ දිගුකාලීන යහපත තකා කළ දේවල් නෙමෙයි. මේක 2021දී ලංකාව ණය ආපසු ගෙවා ණය අඩු කරගත්තා කියනවා වගේ කතාවක්. 

පැවති තත්ත්වයෙන් දිගුකාලීනව ගොඩ යාම සඳහා පෞද්ගලික විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීමට සමගි පෙරමුණු ආණ්ඩුවටත් අවශ්‍ය වුනා. නමුත් ඊට පෙර කාලයක් තිස්සේ පෞද්ගලික දේපොළ වන්දි නොගෙවා පැහැර ගෙන තිබීම නිසා විදේශ ආයෝජකයින්ට රට තුළ ආයෝජන කිරීමට බියක් තිබුණා. එම බිය නැති කළ හැකිව තිබුණේ අවශ්‍ය නීතිමය වෙනස්කම් සිදු කර, නැවත ආයෝජන රජයට පවරා නොගන්නා බවට රජය විසින් ලබාදෙන සහතිකයක් මගින් පමණයි. 

රජය විසින් එවැනි සහතිකයක් ලබා දී විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට සමගි පෙරමුණු ආණ්ඩුවටම අවශ්‍ය වූවත්, ආණ්ඩුව තුළ වූ කඹ ඇදිල්ල නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකි වූයේ නැහැ. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර, අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා සහිතව 1972දී ඉදිරිපත් කළ විදේශ ආයෝජන ධවල පත්‍රිකාව සභාග ආණ්ඩුව තුළ සිටි වාමාංශික පක්ෂ විසින් ඔවුන්ගේ වෘත්තීය සමිති වලද උදවුවෙන් පරාජය කළ නිසා එම යෝජනා නීතියක් බවට පත් වූයේ නැහැ. 

අවසාන වශයෙන් විදේශ ආයෝජකයින්ට මේ සහතිකය ලැබුණේ ආණ්ඩුව මාරු වීමෙන් පසුවයි. ප්‍රීමා කම්හල වැනි ඒ කාලයේ ලෝකයේ විශාලතම කම්හල් ලංකාවේ ඉදි වුනේ මෙම සහතිකය රජයෙන් ලැබීමෙන් පසුවයි. ඉන්පසුව දිගින් දිගටම රටට විදේශ ආයෝජන ගලා ආවා. විදේශ විණිමය හිඟයද නැති වුනා. නමුත්, රාජ්‍ය අයවැය හිඟය තවදුරටත් පුළුල් වීම සහ එය පියවීමට ණය ගැනීම නිසා රාජ්‍ය ණය අර්බුදය විසඳෙනවා වෙනුවට වඩා දරුණු අදියරකට ගමන් කළා. අද තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය 1956-65 කාලයේදී නිර්මාණය වී 2010-2015 කාලය තුළ උග්‍ර වූ අර්බුදයක්. එහෙත්, අද තිබෙන රාජ්‍ය ණය අර්බුදය බොහෝ දුරට 1977-1989 කාලයේ නිර්මාණය වූ අර්බුදයක්. අද රාජ්‍ය ණය බරින් තුනෙන් පංගුවක් පමණ එම කාලයේ ලබාගත් ණයයි. 

රජය ණය වී මහවැලි ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ මුදල් වලින් රටට ප්‍රතිලාභ අත් වී තිබෙනවා විය හැකියි. එදා මෙන් දැන් ලංකාව සහල් ආනයනය කරන්නේ නැහැ. ඒ වගේම දැන් ලංකාවේ හැම නිවසකම මෙන් විදුලි බලය තිබෙනවා. එහෙත්, රජය මුදල් ආයෝජනය කිරීම නිසා රටට වන වාසියක් රජයට වාසියක් වන්නේ මුල් ආයෝජනය බදු ආදායම් ලෙස රජයට ආපසු ලැබෙන්නේනම් පමණයි. බදු ආදායම් ලෙස මුල් ආයෝජනය හා පොලිය නැවත රජයට නොලැබෙන තාක් ව්‍යාපෘතියක් පාඩු ලබන ව්‍යාපෘතියක්. 

හැත්තෑ හතෙන් පසු ලංකාවේ ආර්ථිකයේ ඇතැම් අංශ නැවත විවෘත කරනු ලැබීම නිසා රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ ගියා. කාර්මික නිෂ්පාදිතය ඇතුළුව නිෂ්පාදිතයද ඉහළ ගියා. නමුත් 1991දී මේ දේවල් කළ ඉන්දියාව මෙන් ලංකාව මීට සමාන්තරව ණය තිරසාරත්වය ගැන සැලකිලිමත් වූයේ නැහැ. හැත්තෑ හතෙන් පසුව සිදු වුනේ රජය තවත් විශාල වීමයි. 1976දී දදේනියෙන් 28.6%ක් වූ රාජ්‍ය වියදම් 1980දී 42.7% දක්වා ඉහළ ගියා. අයවැය හිඟය 8.4% සිට 19.2% දක්වා ඉහළ ගියා. 

මේ කාලයේදී අද මෙන් පොලී වියදම් රාජ්‍ය වියදම් වල විශාල කොටසක් වී තිබුණේ නැහැ. මේ වියදම් බොහෝ දුරට අදාළ වර්ෂයේ වියදම්. 1980 වසරේදී පොලී වියදම් හැර රාජ්‍ය වියදම දදේනියෙන් 35.2%ක්. ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 15.8%ක්. සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආණ්ඩු මෙන්ම, රජය විශාල කිරීම මගින් 1977දී බලයට පත් වූ ආණ්ඩුවද වත්මන් ආර්ථික අර්බුදයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. 

අඩුආදායම්ලාභීන් සුබසාධනය කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, රජයකට අඩුආදායම්ලාභීන් සුබසාධනය කළ හැක්කේ ඒ සඳහා දායක වන පිරිසක් සිටීනම් පමණයි. ණයවෙමින්  සුබසාධනය කිරීම අවසාන වශයෙන් කෙළවර වන්නේ ඛේදවාචකයකින්.

Thursday, December 30, 2021

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පස්වන කොටස)

ඩොලර් අගය අනුව බැලුවත්, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තත්, ලංකාව කියන්නේ විශාල අයවැය හිඟයක් නඩත්තු කරන එකම රට නෙමෙයි. ලැයිස්තුවේ ලංකාවට උඩින් තවත් රටවල් ගණනාවක් ඉන්නවා. එහෙමනම්, අයවැය හිඟය ලංකාවට ප්‍රශ්නයක් වෙන්නත්, අනෙක් රටවලට ප්‍රශ්නයක් නොවෙන්නත් හේතුව කුමක්ද? 

මෙයට වඩා විස්තරාත්මක පිළිතුරක් ඉදිරි කාලයේදී සපයන තුරු දැනට කෙටි පිළිතුරක් දෙන්නම්. පළමුව, මේ අනෙක් රටවල් වලටත් අයවැය හිඟය ප්‍රශ්නයක් තමයි. වෙනස වෙනත් රටවලට අයවැය හිඟය ලංකාවට තරම් ප්‍රශ්නයක් වී නොතිබීමයි.

පළමුව, වසංගතය හමුවේ බොහෝ රටවල 2020දී අයවැය හිඟයක් ඇති වුනත්, මේ අනෙකුත් රටවල් බොහොමයක් ලංකාව මෙන් වසර 65ක පමණ කාලයක් එක දිගට අයවැය හිඟයක් පවත්වා ගෙන නැහැ. කැනඩාව, ජර්මනිය හා රුසියාව යන රටවල 2020දී අයවැය හිඟයක් පැවතුනත් පෙර වසරේදී පැවතුනේ අයවැය අතිරික්තයක්. චීනය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව වැනි රටවල අයවැය හිඟයක් පවතින්නේ 2008 සිටයි. ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ 2001 පමණ සිටයි. ජපානයේ 1993 පමණ සිටයි. ඉන්දියාව, ප්‍රංශය වගේ දිගුකාලයක් තිස්සේ අයවැය හිඟයක් නඩත්තු කරන රටක් ගත්තත් අයවැය හිඟ නඩත්තු කිරීමේ ඉතිහාසය ලංකාවේ තරම් පරණ නැහැ. මේ කාරණයේදීත් ලංකාවට අනෙක් බොහෝ රටවලට නැති දිගු ඉතිහාසයක්නම් තිබෙනවා!

දෙවනුව, විශාල අයවැය හිඟයක් නඩත්තු කරන අනෙකුත් බොහෝ රටවල් වලට ලංකාවට සාපේක්ෂව ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙය පළමු කරුණ සමඟද සම්බන්ධ දෙයක්. පසුගිය වසරේ අයවැය හිඟය ඉහළ මට්ටමක පැවතුනු රටවල් කිහිපයක දස අවුරුදු බැඳුම්කරයක ඵලදා අනුපාතය පහත පරිදියි. 


රටක අයවැය හිඟය ඉහළ මට්ටමක තිබුණත් අඩු පොලියට ණය ලබා ගැනීමේ හැකියාව තිබේනම් ලංකාව මෙන් විෂම ණය චක්‍රයක පැටලෙන්නේ නැහැ. ඇතැම් රටවල රජයයන් සෘණ පොලී අනුපාතික වලට පවා ණය ගන්නවා. අයවැය හිඟය ඉහළ මට්ටමක තිබෙන වෙනත් රටවල රජයන්ට අඩු පොලියට ණය ගන්න හැකි වෙන්නත් ලංකාවේ රජයට එසේ කළ නොහැකි වෙන්නත් හේතු දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි.

පොලී අනුපාතික තීරණය වන්නේ ණය (බැඳුම්කර) වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මෙය ලංකාවට වගේම ලෝකයේ වෙනත් රටවලටත් පොදු කාරණාවක්. දේශීය ණය ඉල්ලුම එන්නේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගෙන් හා රජයෙන්. නිවාස ඒකක වලින්ද ණය ඉල්ලුමක් එන්න පුළුවන්. රජයක අයවැය හිඟය ඉහළ යද්දී රජයේ ණය ඉල්ලුමත් ඉහළ යනවා. ඒ අනුව, සැපයුම වෙනස් නොවුනොත්, පොලී අනුපාතිකද ඉහළ යනවා.

දේශීය ණය සැපයුම තීරණය වන්නේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය මත. මේ ඉතිරි කිරීම් කරන්නේ නිවාස ඒකක විසින් හෝ ව්‍යාපාර විසින්. රජයේ අයවැය අතිරික්තයක් ඇත්නම් එයද ණය සැපයුමට එකතු වෙනවා. ලංකාව දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරන නිසා මෙය බලපාන්නේ ණය ඉල්ලුමටයි. මීට අමතරව විදේශ අංශයද ණය වෙළඳපොළේ ඉල්ලුමට හා සැපයුමට බලපෑම් කරනවා.

ලංකාවේ පෞද්ගලික බැඳුම්කර වෙළඳපොළ එතරම් විශාල එකක් නෙමෙයි. ඒ නිසා, සෘජු ණය ඉල්ලුම බොහෝ දුරට එන්නේ රාජ්‍ය අංශයෙන්. පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම එන්නේ වාණිජ බැංකු හරහා වක්‍ර ලෙසයි. වෙනත් කරුණු අතර, ලංකාවේ ඉහළ පොලී අනුපාතික වලින් පෙනෙන්නේ ණය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතර වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව වැඩි අසමතුලිතතාවයක් තිබෙන බවයි. 

රුපියල් ට්‍රිලියන 17 ඉක්මවන ලංකාවේ රාජ්‍ය ණය කන්දරාවෙන් තුනෙන් එකක්ම 1977-1989 කාලයේ එකතු වූ ණය බව මා පෙර ලිපියෙන් පෙන්වා දුන්නා. මෙය මා මීට පෙරද පැහැදිලි කර තිබෙන කරුණක්. 2004-2014 කාලයේදී එකතු වී තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 1977-1989 කාලයේ එකතු වූ ප්‍රමාණයෙන් බාගයක් පමණ ප්‍රමාණයක්. 

කෙසේ වුවද, නිදහස ලැබූ තැන් පටන් 1977 දක්වා වූ කාලය තුළද රාජ්‍ය ණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව අප අමතක නොකළ යුතුයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1951 වසර වන විටද 16.1% මට්ටමේ පැවති ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 1976 වසර වන විට 58.5% දක්වා ඉහළ ගොස් තිබුණා. 1989 වන විට මෙම අගය 108.7% මට්ටම දක්වා ඉහළ ගියා. ඒ වන තෙක් ආර්ථික වර්ධනයට මුල් තැන දුන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආර්ථික ස්ථායීතාවය නොසලකා හරින්න බැරි තත්ත්වයක් ඇති වුනේ ඉන් පසුවයි.


නිදහස ලැබූ තැන් සිට 1994 පමණ දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රමුඛ ඉලක්කය වුනේ ආර්ථික වර්ධනයයි. මේ කාර්යයයේදී ශ්‍රීලනිප ආණ්ඩු හා සභාග විසින් රජයේ මධ්‍යගත සැලසුම් යටතේ සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන්, ආරක්ෂණවාදී ජාතික සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළා. සුබසාධන වියදම්ද ඉහළ මට්ටමක පවත්වා ගත්තා. ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිළුනේ නැහැ. විදේශ ආධාර වලට අමතරව, ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීමද මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා.

එජාප ආණ්ඩු හා සභාග විසින් සෘජු ලෙසම නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවට සෘජු ලෙස රජය මැදිහත් වී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා වක්‍ර ලෙස නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සිය ප්‍රතිපත්තිය කරගත්තා. පසුව රාජපක්ෂ දශකය තුළ ක්‍රියාත්මක වූයේද, දැන් බැසිල් රාජපක්ෂ විසින් හඹා යන්නේද මේ ක්‍රමයයි. මෙහිදීද ණය සේ ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කිරීම මධ්‍යගත සැලසුම් වල කොටසක් වුනා. සුබසාධන වියදම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම ප්‍රතිපත්තියේ කොටසක් නොවූවත්, පැවති දේශපාලන වාතාවරණය තුළ සුබසාධන වියදම් දැනෙන තරමකින් කප්පාදු කළ හැකි වූයේ නැහැ. මේ ක්‍රමය තුළද ආදායම ඉක්මවා වියදම් කිරීමට හා ණය ගැනීමට පැකිලීමක් තිබුණේ නැහැ වගේම විශාල අභිරුචියක් පෙනෙන්නට තිබුණා. ආදායම ඉක්මවා වියදම් කිරීම හා අයවැය හිඟය පියවීමට ණය ගැනීම ඉහත වෙනස් මාදිලි දෙකේම වූ පොදු ලක්ෂණයන්ගෙන් එකක්.

අයවැය හිඟය පුළුල් වෙද්දීත්, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ඉහළ යද්දීත්, ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහළ ගියා. එය බාධාකාරී මට්ටමට යද්දී සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමට පෙළඹීම නිසා අයවැය හිඟය පුළුල් වෙද්දී උද්ධමනයද ඉහළ ගියා. උදාහරණයක් ලෙස අයවැය හිඟය දදේනි අනුපාතයක් ලෙස 19.2% මට්ටමට ඉහළ ගිය 1980 වසරේදී 91-දින භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 13% මට්ටම දක්වා ඉහළ දමන්න සිදු වුනා. ඒ වන විට ලංකාවේ පොලී අනුපාතික කවදාවත් මෙවැනි ඉහළ මට්ටමකට ගොස් තිබුණේ නැහැ. එයින් පසුවද හිඟය පියවා ගත හැකි තරම් අරමුදල් එකතු නොවූ නිසා විශාල ලෙස සල්ලි අච්චු ගහන්න සිදු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය 26.1% මට්ටමට ගියා. ජූලි වර්ජනය සංවිධානය වූයේ මේ පසුබිමේ. ජූලි වර්ජනය මර්දනය කෙරුණු අතර ආණ්ඩුවට පැවතීමට මර්දනයද දිගටම පවත්වා ගන්න සිදු වුනා.

උතුරේ කැරැල්ලට හා ජවිපෙ දෙවන කැරැල්ලට හේතු වූ සාධක සංකීර්ණ වුවත් ආර්ථික සාධකද නොසලකා හරින්න බැහැ. අයවැය හිඟය පුළුල් වීමට සමාන්තරව උද්ධමනය හා පොලී අනුපාතිකද ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. බඩු මිල ඉහළ යන වේගයෙන් සමාජයේ පහළ ස්ථර වල ආදායම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට ජීවත් වීම වඩ වඩා අසීරු වෙනවා. එහෙත්, සමාජයේ ඉහළ ස්ථර වලට මෙය එලෙසම දැනෙන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ නිසා ඔවුන්ගේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභද ඉහළ යනවා. බඩු මිල ඉහළ යද්දී වියදම් වැඩි වන නමුත් ආදායම්ද සමානුපාතිකව ඉහළ යන නිසා ඔවුන්ට එතරම් ප්‍රශ්නයක් නැහැ. මේ හරහා රාජ්‍ය අයවැය හිඟය විසින් රටේ ආදායම් විෂමතාවන් පුළුල් කර සමාජ අසහනය වැඩි කරනවා.

ඇතැම් අය පෙන්වා දී ඇති පරිදි මේ දවස් වල ලංකාවේ තත්ත්වය පහත අයුරින්ද විස්තර කළ හැකියි.

"මිල වැඩි උනත් මිනිස්සුන්ට අවුලක් නැහැ වගේ හැම තැනම මිනිස්සු කාල බීල ආතල් එකේ ඉන්නේ හරී පුදුමයි. කොළඹ අධි සුඛෝපභෝගී වන් ගෝල් ෆේස් ශොපිං මෝල් එකට යන්න බැරි තරම් සෙනග.

එතකොට නුවරඑළිය දේශීය සංචාරකයන්ගෙන් පිරී ගිහින්. ග්‍රෙගරි පාර්ක් එක ෆුල්. නුවරඑළිය ටවුන් එක ෆුලි කම්පැක්ට්. දවල් හෝටන් ප්ලෙන්ස් පාරේ ගියා ජැග්රෝ එකට. සේම්, ෆුඩ් සිට් එකේ පෝලිම. ග්‍රෙගරි පාක් එකත් ෆුල්. ග්‍රෑන්ඩ් ඉන්දියන් එකට කන්න යන්න බැරි උනේ ඉඩ නෑ ඒකේ.

සුපර් මාර්කට් වල මිනිස්සු තරගෙට බඩු ගන්නවා. කොහේ තියෙන සල්ලි ද මන්දා.

කොළඹ මීගමුව නුවර හික්කඩුව වගේ ගොඩක් සුපිරි රෙස්ටෝරන්ට් වල X'mas night dinner ටේබල් ෆුල්.

ඒ විතරක් නෙවෙයි 31st evening gala dinner සේරම වගේ දැනටම ෆුලි රිසර්වුඩ්. එක ෆයිව් ස්ටාර් හොටෙල් එකකවත් Evening Gala dinner table එකක් රිසර්ව් කරන්න 25 වෙද්දි අමාරුයි. අපි මාර කට්ටක් කෑවේ දෙසැ. 27 වෙනිදා get together dinner party එකක් දාන්න ලංකාවෙ යාලුවෝ එක්ක.

ඒ වගේම Book My Show ගිහින් Spider Man - No way home ටිකට්ස් චෙක් කරන්න. දවස් කිහිපයක් ඉස්සරහා ශෝ ටයිම් වල පවා ටිකට්ස් සෝල්ඩ් අවුට්.

ඒ වගේම ඉන්ෆිනිටි ප්ලේ කරපු පෝර්ට් සිටි එකේ ඉවෙන්ට් එක, හවුස් ෆුල්.

පේන විදියට නම් ඉහළ සහ මැද පන්තියේ අය සතුටින් ඉන්නවා. සල්ලි වියදම් කරනවා. හයිවේ පාවිච්චිය 200% කින් විතර වැඩිවෙලාලු මේ දවස් වල, රෙස්ටුරන්ට් තියෙන සර්විස් ඒරියා වලට කිට්ටු කරන්න බෑ සෙනග."

මේ විස්තර කිරීම් බොරු කියා මම කියන්නේ නැහැ. ඔය තත්ත්වයන් පෞද්ගලිකව මටත් කලින්ම නිරීක්ෂණය වී තිබුණා. මේ වගේ තැන් දිහා බලලා ලංකාව ගැන නිගමන වලට එන අයට මග හැරෙන දේවල් කිහිපයක් තිබෙනවා. පළමුව, ඔය කියන තැන් සියල්ල මිනිසුන්ගෙන් පිරෙන්න කොපමණ මිනිස්සු අවශ්‍යද? ඒ ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් කොපමණද? ගණන් හදා බැලුවොත් මේ ප්‍රමාණය රටේ ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක්. ඒ පිරිස දෙස බලා සාධාරණ (generalized) නිගමන වලට එළඹෙන එක ඇතැම් පක්ෂ වල රැළි වලට සහභාගී වන සෙනඟ දෙස බලා මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කරනවා වගේ වැඩක්. දෙවනුව, රට පුරා මැතිවරණ රැළි වලට යන පිරිස් වගේම මේ හැම තැනකටම යන්නේ එකම පිරිසක්. ඒ නිසා, ඔය තැන් වල ඉන්න මුළු සෙනඟ ඒ එක් එක් තැන සිටින ප්‍රමාණයන්ගේ එකතුවට සමාන නැහැ.

සමස්තයක් ලෙස ගත් විට සල්ලි අච්චු ගසා පරිභෝජනය ඉහළ නංවා ඒ හරහා නිෂ්පාදනය වැඩි කර ගැනීමේ කේන්සියානු උපාය මාර්ගය තුළ වෙන්නේ ඔය වගේ වැඩක්. අච්චු ගහපු සල්ලි ටික සීමිත පිරිසක් අතේ කැරකෙනවා. ඒ අයගේ පරිභෝජනය ඉහළ යනවා. හැබැයි ඒ නිසා ඉල්ලුම ඉහළ ගිහින් බඩු මිල වැඩි වෙනවා මිසක් නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, බහුතර පිරිස කබලෙන් ලිපට වැටෙනවා.

මතු සම්බන්ධයි.

Thursday, December 5, 2019

යහපාලන ණය හා රාජපක්ෂ ණය

ණය ගැන ලියූ පෙර ලිපියට ප්‍රතිචාර සේ තැන් තැන් වල ඇති තොරතුරු රැසක් කොපි කර තිබෙනවා. ඇතැම් තොරතුරු කොපි කර ගෙන තියෙන්නේ පසුගිය වසර මුල මහින්ද රාජපක්ෂගේ නමින් නිකුත් වුනු නිවේදනයකින්. මේ නිවේදනයෙන් පෙන්වන්න උත්සාහ කර තිබුණේ යහපාලන ආණ්ඩුව විසින් පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස ණය ලබා ගෙන ඇති බවයි.

විවේචකයින් උත්සාහ කළත්, යහපාලන ආණ්ඩුව විශාල ලෙස ණය ලබා ගෙන ඇති බව පෙන්වීම මාකට් වන කතාවක් නෙමෙයි. එයට හේතුව මිනිස්සු මේ කතාව විශ්වාස නොකිරීම හෝ සැක කිරීම නෙමෙයි. ගොඩක් අයට කොහොමටත් ඔය කතා තේරෙන්නේ නැහැ. කතාව මාකට් නොවෙන්නේ මේ කතාව මිල දී ගන්නට ඉඩක් ඇති පාරිභෝගික පිරිස වන රාජපක්ෂවාදීන්ට යහපාලන ආණ්ඩුව විවේචනය කරන්න වෙනත් දේවල් ගණනාවක් තිබෙන නිසයි.

යහපාලන ආණ්ඩුවනම් අනික් දේවල් කෙසේ වුවත් රාජපක්ෂ ණය සෑහෙන තරමකින් මාකට් කර ගත්තා. පස්සේ පස්සේ මේ කතාව මිනිස්සුන්ට එපා වුනේ ඇඩ් වැඩි කම නිසාමයි. බදු වැඩි කරද්දීත් කිවුවේ රාජපක්ෂ ණය ගෙවන්න බදු වැඩි කරන්න සිදු වී ඇති බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට, 2014 අගදී, රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක්. 2018 අවසානය වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,978ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. පසුගිය ජූලි මාසය අවසන් වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,646ක් වෙලා. බැලූ බැල්මටම පෙනෙන විදිහට යහපාලන ආණ්ඩුව පැවති කාලය ඇතුළත රුපියල් බිලියන 5,255ක ණය අලුතින් අරගෙන තිබෙනවා. යහපාලන ආණ්ඩුව එපමණ ණය ගත්තානම් මේ සල්ලි වලින් කළේ කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා.

රජයේ ණය ප්‍රමාණය මේ විදිහට වැඩි වී තිබෙන්නේ පසුගිය කාලය ඇතුළත මෙපමණ මුදලක් අලුතෙන් ණය සේ ලබා ගත් නිසා නෙමෙයි. ණය ප්‍රමාණය වෙනස් වන හේතු ගණනාවක් තිබෙනවා. යහපාලන ආණ්ඩුව විශාල ලෙස අලුතින් ණය ලබා ගෙන ඇති බව කීම බොරුවක්. ඒ වගේම, යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාගත් ණය ගෙවුවා කියන එකත් බොරුවක්.

දෙවන කරුණට මුලින් ආවොත් යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ ණය සතයක්වත් ගෙවා නැහැ. මෙයින් කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගත් ණය වල වාරික යහපාලන ආණ්ඩුව විසින් නොගෙවූ බව නොවෙයි. සියලු ණය වාරික හා පොලිය නිසි පරිදි ගෙවා තිබෙනවා. එහෙත්, එසේ ණය ගෙවා තිබෙන්නේ අලුතින් ණය වී මිස ආදායම් උපයා නෙමෙයි. අලුත් ණයකින් පරණ ණයක් ගෙවීම ණය ගෙවීමක් සේ සලකන්න බැහැ. එසේ කළා කියා ණය අඩු වෙන්නේ නැහැ.

අනෙක් අතට යහපාලන ආණ්ඩුව විසින් අලුත් ණය වලින් රාජපක්ෂ ආණ්ඩුවේ ණය පියවා දැමූ පසුව ඒ අලුත් ණය යහපාලන ණය කියා කියන්න බැහැ. ඒ ණය තව දුරටත් රාජපක්ෂ ණයම තමයි. එකම ණය මුදලින් පරණ ණය ගෙවන්නත්, අලුත් සංවර්ධන වැඩ කරන්නත් බැහැ. ඒ නිසා, කිසියම් ආණ්ඩුවක් විසින් පරණ ආණ්ඩුවක ණය අලුත් ණය වලින් ගෙවා දැමූ විට ඒ අලුත් ණය සැලකිය යුත්තේ පරණ ආණ්ඩුවේ ණය ලෙසයි.

කොහොම වුනත් පසුගිය කාලයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,255කින් වැඩි වී තිබෙනවානේ. ඒ කියන්නේ අලුත් ණය වලින් පරණ ණය ගෙවීමට අමතරව මෙපමණකින් ණය වැඩි වී තිබෙනවා. එහෙමනම්, ඒ ප්‍රමාණය යහපාලන ආණ්ඩුවේ අලුත් ණයද?

ඒත් නැහැ. යහපාලන ආණ්ඩුව බලයට එන විට තිබුණු රජයේ ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 7,391 වසර හතරකට පසුව ඒ විදිහටම තියෙන්නේ නැහැ. මේ ණය ප්‍රමාණයෙන් සතයක්වත් යහපාලන ආණ්ඩුව විසින් ගෙවා නැති නිසා වසරින් වසර ඒ ණයට පොලිය එකතු වෙනවා. ඒ පොලිය ගෙවන්නෙත් අලුත් ණය වලින් නිසා පොලියත් ණය ප්‍රමාණයට එකතු වී වැල් පොලී වෙනවා. මේ විදිහට ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ යනවා කියා කියන්නේ රජයට වියදම් කළ හැකි මුදලක් අතට ලැබුණා කියන එක නෙමෙයි. ඒ නිසා, ණය වැඩි වුවත් සිදු වූ දෙයක් නැති බව ඇත්ත.

පොලී එකතු වීමට අමතරව ණය ප්‍රමාණය වැඩි වන තවත් ආකාර තිබෙනවා. ඩොලරයක මිල ඉහළ ගිය විට ඩොලර් ණය ප්‍රමාණය ඉහළ නොගියත් ඒ ණය වල රුපියල් අගය වැඩි වෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රජයට වියදම් කළ හැකි මුදලක් අතට ලැබුණු බව නෙමෙයි. ඩොලර් ණය වල අගය වෙනස්වනවා වගේම විවිධ හේතු මත සුරැකුම්පත් වල මිල වෙනස් වන විට රුපියල් ණය ප්‍රමාණයේ අගයත් වෙනස් වෙනවා. මේ අවස්ථා කිසිවකදී රජයට වියදම් කළ හැකි මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත්, ණය ඉහළ යනවා.

එහෙමනම්, යහපාලන ආණ්ඩුව ණය අරගෙනම නැද්ද?

කිසියම් වසරක් තුළදී රජය විසින් ඉපැයූ ආදායම් ඉක්මවා වියදම් කළොත් ඒ වෙනස පියවා ගන්න වෙන්නේ ණය වලින්. යහපාලන ආණ්ඩුව 2015දී ආදායම ඉක්මවා රුපියල් බිලියන 320ක් වැය කළා. රුපියලේ නාමික අගය අනුව බැලුවොත් මෙය වසරක් තුළ රජය ණය වූ විශාලම මුදලයි. ඒ ණය හා ඒ මත එකතු වූ පොලියත්, ණය මුදලේ වටිනාකම වෙනස් වීමත් සැලකිය හැක්කේ යහපාලන ආණ්ඩුව විසින් ලබාගත් අලුත් ණය ලෙසයි.

ඉන් පසුව, 2016දී යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා තවත් රුපියල් බිලියන 29ක් වැය කළා. නමුත්, 2017දී රුපියල් බිලියන 2ක් හා 2018දී රුපියල් බිලියන 91ක් ඉතිරි කළා. මේ සියලු ඉතිරි කිරීම් වලින් පසුවත් යහපාලන ආණ්ඩුව 2015දී වූ ණය ආවරණය වෙන්නේ නැහැ. පොලී හා වටිනාකම් වෙනස්වීම් සැලකූ විට 2018 අවසානයේදී වූ රජයේ ණය වලින් යහපාලන ණය ප්‍රමාණය රුපියල් බිලියන 377ක්. කෙසේ වුවත්, මේ ප්‍රමාණය රුපියල් බිලියන 11,978ක මුළු ණය ප්‍රමාණයෙන් 3.1%ක් පමණයි. ඒ කියන්නේ ඉතිරි 96.9%ම, එනම් රුපියල් බිලියන 11,601ක්ම පරණ ණය, පරණ ණය වල පොලිය හා පරණ ණය වල වටිනාකම වෙනස් වීම. යහපාලන ආණ්ඩුව ආදායම ඉක්මවා සතයක්වත් වියදම් නොකළත් රජයේ ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 11,601ක් වෙලා.

එහෙමනම්, ඉතිරි රුපියල් බිලියන 11,601 රාජපක්ෂ ණයද?

ඉතිරි ණය වලින් සැලකිය යුතු කොටසක් රාජපක්ෂ ණය වුවත්, වැඩි ප්‍රමාණයක් රාජපක්ෂ ණය නෙමෙයි. 2004 අවසානය වන විටත් රජය රුපියල් බිලියන 2,140ක් ණය වී සිටියා. ඒ ණය වලට වසරින් වසර 2014 වන තුරුම රාජපක්ෂ ණය එකතු වුනා. රාජපක්ෂ ණය වලට වගේම පරණ ණය වලටත් පොලිය එකතු වී පොලිය වැල් පොලී වුනා, රුපියල පිරිහෙන විට විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගියා. 2014 අග වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක් වී 2018 අග වන විට රුපියල් බිලියන 11,601ක් වුනා. නමුත්, එයින් රාජපක්ෂ ණය ප්‍රමාණය ලෙස සැලකිය හැක්කේ රුපියල් බිලියන 2,210ක් හෙවත් 2018 මුළු ණය ප්‍රමාණයෙන් 18.5%ක් පමණයි. ඉතිරි කොටස රාජපක්ෂ ආණ්ඩුවට පෙර ආණ්ඩු වලින් උරුම වූ ණය.

නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු සියල්ලක්ම ණය වුනා මිස ණය ගෙවුවේ නැහැ. 2018 අගදී ලංකාවේ රජයේ ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 11,978ට නිදහසින් පසු රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම දායක වී තිබෙනවා. වැඩිම දායකත්වය ජයවර්ධන ආණ්ඩුවෙන්. මා පෙරද ලියා ඇති පරිදි ලංකාවේ ණය අර්බුදය රාජපක්ෂ ආණ්ඩුවේ නිර්මාණයක් කියා කියන්න බැහැ . රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණය කිරීමයි.



Wednesday, November 13, 2019

දෙවෙනි මනාපය


ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී එකක්. මා දන්නා තරමින්, මේ ක්‍රමය තියෙන්නේ ලංකාවේ පමණයි. ලංකාවේ පමණක් දැකිය හැකි තවත් බොහෝ දේ තිබුණත්, ඒ ගොඩක් දේවල් ලංකාවට ආඩම්බර විය හැකි දේවල් නෙමෙයි. එහෙත්, මෙයනම් එවැන්නක් නෙමෙයි.

මම හිතන්නේ කිසියම් තනතුරකට තනි පුද්ගලයෙක්ව තෝරා ගැනීමේදී වඩාත්ම ප්‍රචලිත හා පැරණිම මැතිවරණ ක්‍රමය වැඩිම ඡන්ද ලබන අපේක්ෂකයාව තෝරා ගන්නා ක්‍රමයයි. මේ ක්‍රමයේ තිබෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ වැඩිම දෙනෙක් අකැමැති අපේක්ෂකයෙකු තනතුරට තේරී පත් වෙන්න ඉඩක් තිබීමයි. උදාහරණයක් විදිහට අපි කිසියම් මැතිවරණයකදී ඡන්ද බෙදී යන්නේ පහත ආකාරයට කියා හිතමු.

A  35%
B  33%
C  31%

වැඩිම ඡන්ද ක්‍රමයට තේරී පත් වෙන්නේ A. නමුත්, C වෙනුවෙන් ඡන්දය දුන් 31% Aට කොහෙත්ම කැමති නැති, Bටත් කැමති එහෙත් Cට වඩා කැමති පිරිසක්නම් මේ ප්‍රතිඵලය නිසා 64%ක පිරිසක් සතුටු වෙන්නේ නැහැ. යම් හෙයකින් C තරඟයට ඉදිරිපත්ව නොසිටියානම් B ඉතා පහසුවෙන් දිනනවා. මනාප ලකුණු කිරීමට ඉඩ ලැබෙන මැතිවරණ ක්‍රමයක් මේ ප්‍රශ්නයට විසඳුමක්. දෙවන මනාප සලකා බැලු විට A අභිබවා B ඉදිරියට එන නිසා තේරී පත් වෙන්නේ වැඩිම දෙනෙකුගේ කිසියම් හෝ කැමැත්තක් තිබෙන අපේක්ෂකයා.

යුක්රේනය වැනි තවත් රටවල් වල මීට ආසන්නව සමාන මැතිවරණ ක්‍රමයක් තිබෙනවා. එහිදී වෙන්නේ කිසිදු අපේක්ෂකයෙකු පළමු වටයෙන් 50% ලබා නොගත්තොත් ඉහළින්ම සිටින දෙදෙනා අතර දෙවන ඡන්ද විමසීමක් පැවැත්වීමයි. පළමු වටයේදී දෙවැනි තැන සිටි අපේක්ෂයින් ඇතැම් විට දෙවන වටයෙන් තේරී පත් වී තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී වන්නේ මේ විදිහට වට දෙකකදී කරන දෙය එකවරම කරන නිසයි. මෙය බොහෝ ඉදිරිගාමී මැතිවරණ ක්‍රමයක්.

මේ මැතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ ජේආර්ගේ 1977 ව්‍යවස්ථාවෙන්. එය වෙනත් රටක මැතිවරණ ක්‍රමයක් කොපි කිරීමක් නෙමෙයි. අලුත්ම ක්‍රමයක්.

බොහෝ ප්‍රචලිත අදහසක් වන්නේ ජේආර් විසින් ලංකාවේ වත්මන් මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපය සදහටම බලයේ තැබීමට බවයි. කුඩා කළ සිට දිගින් දිගටම ඇසී හිතට කා වැදී තිබුණු මේ අදහස ඇත්තක්ද කියන එක ගැන හිතන්න නොපෙළඹීම ගැන දැන් මා කණගාටු වෙනවා. මේ කතාවත් ඇමරිකාව තිරිඟු පිටි මිල අඩු වීම වළක්වන්න තිරිඟු පිටි මුහුදට දමනවා කියන ජනප්‍රිය කතාව වගේ එකක් කියා දැන් මට හිතෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන සමානුපාතික මැතිවරණ ක්‍රමය පිළිබඳව සැලකූ විට එකල එහි එජාපයට වාසියක් තිබුණු බව පැහැදිලියි. 1977ට පෙර එක් මැතිවරණයකදී හැර අනෙක් සියලු මැතිවරණ වලදී තනි පක්ෂයක් ලෙස ලංකාවෙන්ම වැඩිම ඡන්ද ලබා තිබුණේ එජාපයයි. ඒ නිසා, සමානුපාතික ක්‍රමයක් යටතේ එජාපයට අවම පාර්ලිමේන්තු නියෝජනයක් හිමිවන බවට සහතිකයක් තිබුණා. නමුත්, 1997ට පෙර එජාප අපේක්ෂකයෙකුට දෙවන මනාප ලබා වෙනත් අපේක්ෂයෙකුව අභිබවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

ශ්‍රීලනිපය හැරුණු විට ඡන්ද පදනමක් තිබුණු ලසසප, කොප, මඑපෙ වැනි පක්ෂ සියල්ලම එවකට හිටියේ දැඩි එජාප විරෝධී ස්ථාවරයකයි. ඒ වගේම, සම්ප්‍රදායිකව උතුරේ දෙමළ ජනතාවගේ වැඩි කැමැත්ත තිබුණේත් එජාපයට වඩා ශ්‍රීලනිපයයි. ඒ නිසා, දෙවන මනාප ක්‍රමය ඒ වන විට පැවති තත්ත්වය අනුව එජාපයට අවාසිදායකයි. ශ්‍රීලනිපයට වාසිදායකයි. එහෙමනම්, මේ ක්‍රමය හඳුන්වා දී ජේආර් බලාපොරොත්තු වුනේ කුමක්ද?

මම හිතන විදිහට මේ ක්‍රමය ගේන්න හේතු වුනේ ලංකාවට සුදුසු දේශපාලන ක්‍රමය සිංගප්පූරු ක්‍රමය කියා ජේආර් විසින් සිතීම වෙන්න පුළුවන්. ජේආර්ගේ සිහිනය වී තිබෙන්නේ ප්‍රබල ජනාධිපතිවරයෙක් හා දුර්වල පාර්ලිමේන්තුවක්. ඒ ප්‍රබල ජනාධිපතිවරයා තමාම විය යුතු බව ඔහු සිතුවා කියා කියන්න බැහැ. දෙවරකට වඩා ජනාධිපතිධුරය දැරීමට නොහැකි බවට සීමාවක් දැමූ ජේආර් තමන්ගේ වාසියට ඒ සීමාව ඉවත් කරගන්න උත්සාහ කළේ නැහැ.

ජේආර් විසින් මේ තරම් දියුණු ක්‍රමයක් හඳුන්වා දුන්නත් මෙතෙක් කල් ලංකාවේ පැවති කිසිදු මැතිවරණයකදී දෙවන මනාප ගණන් කරන්න අවශ්‍ය නොවූ නිසා, බොහෝ දෙනෙකුට මේ ක්‍රමයේ වටිනාකම ගැන හැඟීමක් නැහැ. ඇතැම් අය විසින් පුරෝකථනය කළත්, මෙවරත් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම, බොහෝ දෙනෙක්ට අදටත් මේ මනාප ක්‍රමය ගැන නිසි අවබෝධයක් නැහැ. 1977 කාලය සැලකූ විට ලංකාවේ වත්මන් ජනාධිපතිවරණ ක්‍රමය රටේ මිනිස්සුන්ට සාපේක්ෂව ඕනෑවට වඩා ඉදිරියෙන් තිබුණු ක්‍රමයක්. සර්වජන ඡන්ද අයිතිය ලැබෙන කාලයේ තත්ත්වය වගේමයි.

මනාප ක්‍රමයේ වැදගත්ම ලක්ෂණය වන්නේ තෙවන අපේක්ෂකයෙකුට පහසුවෙන් මතු වෙන්න හැකි වීමයි. එහෙත්, සිදු වී නැත්තේත් එයමයි. ඒ, මැතිවරණ ක්‍රමය ගැන නිසි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති නිසයි.

අපි හිතමු රටේ සැබෑ පළමු කැමැත්ත මේ විදිහයි කියා.

A  35%
B  33%
C  31%

මීට අමතරව, Cට වැඩිම කැමැත්තක් දක්වන පිරිසට Aව පෙන්නන්න බැහැ. නමුත්, B පිළිබඳව එවැනි අකැමැත්තක් නැහැ.

මනාප ක්‍රමයක් නැත්නම් තත්ත්වය කුමක්ද? තමන් Cට ඡන්දය දුන්නොත් Aට විරුද්ධ පිලේ ඡන්ද කැඩෙන නිසා A දිනන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, Cට වඩාත්ම කැමති අය Cට ඡන්දය නොදී Bට ඡන්දය දෙනවා. Cට කවදාවත් ඔලුව උස්සන්න බැහැ.

නමුත්, මනාප ක්‍රමයක් තිබෙන විටක Cට වඩාත්ම කැමති අයට වෙනත් විකල්පයක් තිබෙනවා. ඔවුන්ට C වෙනුවෙන් ඡන්දය දී Bට දෙවන මනාපය දිය හැකියි.

-B විසින් 50% ගත්තොත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A දිනලා නැති නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-A විසින් 50% ගත්තත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A කොහොමටත් දිනන නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-කිසිවෙක් 50% අරගෙන නැත්නම්, Cට පළමු මනාපය දුන් අයගේ දෙවන මනාපයටත් පළමු මනාපයකට ලැබෙන වටිනාකමම ලැබෙනවා. ඒ නිසා, Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.

සරලවම කියනවානම්, මනාප ක්‍රමයක් තිබෙන විටක අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවන පරිදි කීයටවත් දිනන්නේ නැති අපේක්ෂයෙකුට වුවත් ඡන්දය දිය හැකියි. ලංකාවේ ජනාධිපතිවරණයකදී පමණක් ලැබෙන මේ අවස්ථාව වෙනත් මැතිවරණ වලදී ලැබෙන්නේ නැහැ. වෙනත් මැතිවරණයකදීනම් කීයටවත් දිනන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක තේරුමක් නැති වැඩක්.

Sunday, March 24, 2019

2018 ආර්ථික වර්ධනය 3.2%ට බසී!


පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ සංඛ්‍යාලේඛණ ඇතුළත් ජාතික ගිණුම් ඇස්තමේන්තු ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. වසර තුළ ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 3.2%කින් පමණයි.

මෙය ඉතා පහළ වර්ධන වේගයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 1977න් පසු මේ මට්ටමට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් දකින්න ලැබුණේ කටුනායක එල්ටීටීඊ ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකය අකර්මන්‍ය වූ 2001දී හා ජවිපෙ/දේජව්‍යා විසින් රටේ ආර්ථික කටයුතු අඩපණ කළ 1987-89 වසර තුනේදී පමණයි.

වත්මන් ආණ්ඩුව ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අසමත්ව සිටින බව මේ වන විට ඉතා පැහැදිලි කරුණක්. 2014දී 5%කින් වර්ධනය වූ ලංකාවේ ආර්ථිකය ඉන් පසු වසර වලදී වර්ධනය වී තිබෙන්නේ මෙලෙසයි.

2015 - 5%
2016- 4.5%
2017- 3.4%
2018- 3.2%

ප්‍රවණතාව තිබෙන්නේ කොයි දිශාවටද කියන එක බැලූ බැල්මටම පෙනෙනවා. සාමාන්‍යයක් ලෙස පසුගිය 205-2018 වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් පමණයි. මේ වසරේදී තත්ත්වයේ ලොකු වෙනසක් සිදුවෙයි කියා හිතන්න අමාරුයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2002-2004 කාලයද ඇතුළත්ව, නිදහසින් පසු ලංකාවේ අගමැතිව සිටි කිසිදු එජාප අගමැතිවරයෙකුගේ කාලයේදී හෝ 1977න් පසු අගමැතිව සිටි එජාප නොවන අගමැතිවරයෙකුගේ ධුර කාලය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4% මට්ටමට වඩා අඩු වී නැහැ. එවැනි අඩු ආර්ථික වර්ධනයක් පැවතී තිබෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති වලට වඩා බරවූ 1956-64 හා 1970-77 බණ්ඩාරනායක යුග වලදී පමණයි.

ආර්ථිකය අවශ්‍ය මට්ටමට වඩා ප්‍රසාරණය වී ඇති අවස්ථාවක ආර්ථික වර්ධනය යම් තරමකින් මන්දගාමී වී ආර්ථිකය එහි විභව මට්ටම කරා පැමිණීම ස්වභාවික දෙයක් වනවා මෙන්ම හැමවිටම නරක දෙයක් නෙමෙයි. නමුත්, ලංකාවේ තත්ත්වය තවදුරටත් එවැනි තත්ත්වයක් පමණක් සේ හඳුනාගත නොහැකියි.

මහින්ද රාජපක්ෂ කාලයේ පැවති සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනයට රජය මූලිකව සිදුකළ ඉදිකිරීම් වලින් විශාල දායකත්වයක් ලැබුණා. ඒ ඉදිකිරීම් කළේ ණය ගනිමිනුයි. එම ආණ්ඩුවේ උපාය මාර්ගය වූයේ විදේශ ණය ගනිමින් රාජ්‍ය ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. මෙය මුලින්ම ජේආර් ජයවර්ධනගේ ආර්ථික උපාය මාර්ගයද වූ අතර ජේආර්ගේ ආණ්ඩුව එහි පල නෙලාගත්තා. කෙසේ වුවත්, මේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව ණය උගුලක පැටළුනා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රමුඛතාවය වුනේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට කලින් රටේ ආර්ථිකයේ මූලික ආකෘතිමය ප්‍රශ්න වලට විසඳුම් හෙවීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සැලසුම් හදන විට කරන්නේත් එයයි. රනිල් අගමැති වීමෙන් අනතුරුව ප්‍රධාන වශයෙන්ම බදු වැඩි කිරීම් හා රාජ්‍ය ආයෝජන සීමා කිරීම මගින් රජයේ අයවැයෙහි අසමතුලිතතා අඩු කරගැනීමට උත්සාහ දැරුවා. ඒ වගේම ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙස විණිමය අනුපාතිකය යම් තරමකට නිවැරදි වෙන්න ඉඩ හැරියා.

කෙසේ වුවත්, මේ කරුණු දෙකේදීම ආණ්ඩුව අවශ්‍ය තරම් දුර යාමට පැකිළුණු නිසා හෝ ආණ්ඩුව ඇතුළේ පැවති අර්බුද හා රටේ දේශපාලනික වාතාවරණය හමුවේ අවශ්‍ය දුර යා නොහැකි වූ නිසා මේ ක්‍රියාමාර්ග හරහා කැපී පෙනෙන වෙනසක් දැකීමට පුළුවන් වී නැහැ. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග වලට අමතරව දිගුකාලීන ආර්ථික සංවර්ධනයට හේතු වන සුවිශේෂී සැලසුම් කිසිවක් පසුගිය කාලය තුළ දකින්න ලැබුණේ නැහැ.

රනිල් ඇතුළු එජාප ආණ්ඩුවේ දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තිය පසුගිය වසර හතර ඇතුළත අනුගමනය කළ ප්‍රතිපත්තියම බව පැහැදිලියි. එමඟින් ලොකු ආර්ථික වර්ධනයක් නැතිව, ආර්ථිකය කඩා වැටෙන්නෙත් නැතුව කලක් ඔහේ ඇදගෙන යන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දුවට පහර නොදී ලෑල්ල දමමින් ඉන්නවා වගේ වැඩක්.

ඊට සාපේක්ෂව මහින්ද වටා සිටින ආර්ථික උපදේශකයින් තවමත් රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීම වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙනවා. එය කරන්න වෙන්නේ දිගින් දිගටම තවත් විදේශ ණය ගැනීම හරහා පමණයි. මේ වන විට ලබාගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවීමද දිනෙන් දින වඩ වඩා අභියෝගාත්මක වන පසුබිමක ඒ ආර්ථික උපාය මාර්ගය දිගුකාලීනව ඉතා අවදානම් සහගත එකක්. එහෙත්, එමඟින් කෙටිකාලීනව ආර්ථිකය ප්‍රසාරණය කරන්න වගේම විණිමය අනුපාතිකය කෘතිමව පහළින් තබාගන්නත් පුළුවන්. මේ විදිහට සීමාවෙන් ඉදිරියට පැන පහර දී ගොඩයන්න යම් ඉඩක් තිබුණත්, ඉක්මණින් විකට් ගැලවෙන්න තිබෙන ඉඩ ඊට වඩා වැඩියි.

ලංකාව හමුවේ තිබෙන මහින්ද කණ්ඩායමේ හා රනිල් කණ්ඩායමේ ආර්ථික උපාය මාර්ග දෙකම ප්‍රශ්නයෙන් ගොඩ යන්න (හෝ නොයන්න) තිබෙන විකල්ප දෙකක්. මේ උපාය මාර්ග වල ප්‍රතිඵල හරියටම දැනගන්න ලැබෙන්නේ ක්‍රියාත්මක කර වසර ගණනාවකට පසුවයි. මේ දෙමග හැර වඩා හොඳ තෙවන මගක් නැද්ද? ඉහත කණ්ඩායම් දෙක හැර වෙනත් කිසිවෙකුට ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පිළිබඳව ප්‍රායෝගික සැලසුමක් ඇති බවක් දැනටනම් පෙනෙන්නට නැහැ.

Sunday, August 26, 2018

හැත්තෑ හතේ කඩා වැටීම හා විදේශ ණය උගුලේ පැටලීම


නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර ඇති වෙනස වගේම තිබෙන සම්බන්ධය ගැනත් පසුගිය ලිපියෙන් පැහැදිලි කළා. 1977-88 කාලයට සාපේක්ෂව 1970-77 කාලයේදී නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ වර්ධන වේගය සැලකිය යුතු තරම් ඉහළින් තිබුණු බවත්, එයට ප්‍රධාන වශයෙන්ම දායක වුණේ 1970-77 කාලයේ රුපියල අවප්‍රමාණය වුනේ අඩු වේගයකින් වීම බවත් ඒ එක්කම පෙන්වා දෙනු ලැබුවා. කොහොම වුනත්, මොන විදිහකින් හරි 1970-77 කාලයේදී රුපියල අවප්‍රමාණය වුනේ අඩු වේගයකිනුයි.

රුපියල සාපේක්ෂව ශක්තිමත්ව තිබුණා කියන්නේ නරක දෙයක් නෙමෙයි. එවිට විදේශ නිෂ්පාදන රුපියල් වලින් අඩු මිලක් ගෙවා ආනයනය කර ලංකාවේ වැසියන්ගේ පරිභෝජන හා ආයෝජන වියදම් දැරීමේ හැකියාව (මිල දී ගැනීමේ හැකියාව) වැඩි කළ හැකියි. මෙයින් රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගයට වුවත් කිසියම් තල්ලුවක් ලැබෙන්න පුළුවන්. නමුත්, ඒ රුපියල ආර්ථික විද්‍යා මූලිකාංග අනුව ඇත්තටම ශක්තිමත්ව තිබුණානම්.

එසේ නැතුව විණිමය අනුපාතිකය නියම මට්ටමේ නොතියා රුපියල ශක්තිමත්ව තිබෙනවා කියන මායාව ඇතුලෙ හැංගිලා ඉඳීමෙන් ඒ වාසිය ලැබෙන්නේ නැහැ. එවිට රුපියල් වලින් බැලුවහම විදේශ නිෂ්පාදන මිල අඩුයි. නමුත්, ඒවා මිල දී ගන්න අවශ්‍ය කරන ඩොලර් රට ඇතුලෙ නැහැ. ඒ කියන්නේ පහළින් තිබෙන විණිමය අනුපාතිකය බොරුවක්. එය ඒ මට්ටමේ තියාගන්න පුළුවන් වෙන්නේ නීති මඟින් ආනයන සීමා කිරීමෙන් පමණයි.

මේ ආනයන සීමා ඉවත් කළොත්, නිදහස් විණිමය අනුපාතික ක්‍රමයක් යටතේනම් ,එක වරම රුපියල විශාල ලෙස අවප්‍රමාණය වෙනවා. පාලිත විණිමය අනුපාතික ක්‍රමයක් යටතේනම්, එක වරම රුපියල විශාල ලෙස අවප්‍රමාණය කරන්න වෙනවා.

සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේ ඩොලරයේ අගය අඩු මට්ටමක තබා ගෙන හිටියේ ආනයන දැඩි සේ සීමා කිරීම ඇතුළු උපක්‍රම මඟිනුයි. එහි ප්‍රතිඵල ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ මේ ආනයන සීමා ඉවත් කිරීමට සමාන්තරව විණිමය අනුපාතිකය එක වරම නිවැරදි වුණා. ඒ එක්කම මෙහි කතා කරන නාමික ද.දේ.නි. ඩොලර් අගය එකවරම විශාල කඩාවැටීමකට ලක්වුනා. හැබැයි 1977දී මූර්ත ද.දේ.නි. වෙනස් වීම දෙස බැලුවොත් එය ඉහළ ගියා මිස අඩු වුණේ නැහැ. පහත සංඛ්‍යාලේඛණ වලින් මෙය පැහැදිලි වෙයි.

මූර්ත ද.දේ.නි. (2010 රුපියල් බිලියන)
1970: 1004.9
1977: 1299.1
1978: 1372.6
1988:  2141.1

නාමික ද.දේ.නි. ඩොලර් අගය (ඩොලර් මිලියන)
1970: 2296.5
1977: 4104.5
1978: 2733.2
1988: 6978.4

මේ අනුව පෙනෙන පරිදි 1970-77 කාලය තුළ ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය මිලියන 1808.0කින් ඉහළ ගියත් ඒ එය විණිමය අනුපාතිකය පහළින් තිබීම නිසා පෙනෙන්නට තිබුණු තත්ත්වයක් පමණයි. 1977දී විණිමය අනුපාතිකය නිවැරදි වූ වහාම ඒ ඩොලර් මිලියන 1808.0 න් 1371.3ක්ම එක පාරටම නැති වෙලා ගියා. වෙනත් අයුරකින් කිවුවොත් 1970-77 වසර හත තුළ ඩොලර් මිලියන 1808.0කින් ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය ඉහළ ගියත් 1970-78 වසර අටම සැලකූ විට මේ වැඩිවීම ඩොලර් මිලියන 436.7ක් පමණයි.

ඒ වගේම, 1977-88 කාලයේ  ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය වැඩි වුණේ 2879.9කින් පමණක් වුවත් 1970-77 කාලයේ පැවති පාලිත විණිමය අනුපාතිකය 1977දී නිවැරදි වීම නිසා සිදු වූ ඩොලර් මිලියන 1371.3ක අඩුව නොවේනම් මේ වැඩි වීම මීට වඩා ගොඩක් වැඩියි. 1978-88 අතර වූ වසර දහයක කාලය තුළ ඩොලර් මිලියන 4245.2කින් නාමික ද.දේ.නි. ඩොලර් අගය ඉහළ ගියා.

හැත්තෑ හතේදී සිදු වූ මේ විශාල කඩා වැටීම 1970-77 කාලයේ සිදුවූ අහිතකර ගොඩනැගීමක ප්‍රතිඵලයක්. එහි බලපෑම 1977-88 කාලයට දමා 1970-77 හා 1977-88 කාල පරිච්ඡේද සංසන්දනය කිරීම නිවැරදි නැහැ.

මෙහි ලියා ඇති පරිදි 1970-77 කාලයේදී පැවතුණු විණිමය අනුපාතිකය නියම එකට වඩා අඩු එකක්. මෙය ඒ කාලයේ ලංකාවට මුහුණ දෙන්න වුනු ගෙවුම් ශේෂ අර්බුද වලට ප්‍රධාන හේතුවක් කියා කියන්න පුළුවන්. විදේශ වෙළඳාම බාධාවකින් තොරව සිදු වෙනවනම්, විණිමය අනුපාතිකය රජයෙන් පාලනය කරන්නේ නැත්නම් රටකට ගෙවුම් ශේෂ අර්බුද එන්න විදිහක් නැහැ.

ලංකාව කියන්නේ සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ විදේශ වෙළඳාමේ නිරතව සිටින රටක්. මුල්ම කාලයේ ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ වුනේ අලි ඇත්තු හා මුතු කියා හිතන්න සාධක තිබෙනවා. කුරුඳු අපනයනය පටන් ගැනුණේ පසුකාලීනවයි. මේ අලි ඇත්තු හා මුතු ආදිය විකුණලා ලංකාව රන් කාසි ඉපැයූවා. අපනයන සඳහා වියදම් කළේ ඒ විදිහට උපයාගත් රන් කාසියි. ඒ නිසා ස්වභාවිකවම ආනයන වියදම් හා අපනයන ආදායම් ගැලපුනා. යුරෝපීයයන්ගේ කාලවල් වලදීත් ලංකාවට දිගුකාලීනව  ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

සමඟි පෙරමුණු ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මුහුණ දුන්නේ ආනයන සීමා කිරීම මඟිනුයි. එයින් රටේ මිනිස්සු විශාල පීඩාවකට පත් වෙලා සමඟි පෙරමුණු ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව ගොඩ නැඟුණු විරෝධය හැත්තෑ හතේ මැතිවරණයේදී පුපුරා ගියත් මේ ආනයන සීමා මඟින් සමඟි පෙරමුණු ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නය සෑහෙන තරමකින් විසඳා ගත්තා. 1970-77 අතර කාලයේත් ලංකාවේ විදේශ ණය ඉහළ ගියත් ඒ ඩොලර් මිලියන 436.9කින් පමණයි. එයිනුත් ඩොලර් මිලියන 236.1ක්ම  නිල සංචිත වලට එකතු වුනා. වෙනත් විදිහකින් කිවුවොත් සමඟි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වුනේ අපනයන මඟින් ලැබෙන ඩොලර් පමණක් වියදම් කර පිටරටට ණය නොවී සිටීමයි.

ජයවර්ධන ආණ්ඩුව ලංකාවේ විණිමය අනුපාතිකයේ තිබුණු අක්‍රමිකතාවය නිවැරදි කළා. නමුත්, ඒ එක්කම විශාල ලෙස විදේශ ණය ගැනීමත් පටන් ගත්තා. 1977 අවසානයේදී ඩොලර් මිලියන 856.1ක් වූ ලංකාවේ විදේශ ණය කන්දරාව 1988 වන විට ඩොලර් මිලියන 4,908.9 දක්වා ඉහළ ගියා. ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 1976 අවසානයේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය සමාන වුනේ 16.4%කටයි. මේ ප්‍රමාණය 1977 අන්තිමේදී 29.1% දක්වාත්, 1988 වෙද්දී 56.6% දක්වාත්, 1989 අවසානය වෙද්දී 62.0% ලෙසත් වේගයෙන් ඉහළ ගියා. 1977-88 අතර කාලයේ ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4052.8කින් ඉහළ යද්දී නිල සංචිත තිබුණේ තිබුණු තැනමයි.

විදේශ ණය අරගෙන ඒවා නිල සංචිත සේ රඳවා නොගෙන වියදම් කිරීමෙන් අපනයන ආදායමට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වැය කරන්න පුළුවන්. එහි ප්‍රතිඵලය වන්නේ සෘණ වෙළඳ ශේෂයක්. අප කලින් ලිපියේ විස්තර කළ පරිදි,

ද.දේ.නි. = දේශීය වියදම් වල මුළු එකතුව  +  වෙළඳ ශේෂය.

මේ අනුව වෙළඳ ශේෂය සෘණ අගයක් ගන්නවා කියන්නේ දේශීය වියදම් වල එකතුව රටේ ද.දේ.නි.ට වඩා වැඩියි කියන එකයි. මෙහි දේශීය වියදම් කියා කියන්නේ රජය හා පෞද්ගලික අංශය (ගෘහස්ථ ඒකක හා සමාගම්) විසින් සිදු කරන සියලු පරිභෝජන හා ආයෝජන වියදම්.

ජේආර්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවේ රජය හා මිනිස්සු විසින් රටේ ද.දේ.නි. ඉක්මවා වියදම් කරන ක්‍රමයක් ඇති වුණා. අඩුව පිරවුනේ විදේශ ණය වලිනුයි. 1970-77 කාලයේදී මෙන් ආනයන සීමා නොතිබුණත් විදේශ ණය හරහා ගලා ආ ඩොලර් හේතුවෙන් රුපියල ඕනෑවට වඩා ශක්තිමත් වීම ලංකාවේ අපනයන තරඟකාරිත්වයට බලපෑවා. මුලින් ලොකු ප්‍රශ්නයක් නොවූවත් පසුව මෙසේ ගත් ණය වාරික හා පොලී ගොඩ ගැහෙන්න පටන් ගනිද්දී තමයි ප්‍රශ්නයේ බර දැනෙන්න පටන් ගත්තේ.

අන්තිමට වුනේ ගෙවන්න තිබෙන ණය වාරික හා පොලී අලුත් ණය වලින් පියවමින් එදිනෙදා ආර්ථිකය කළමනාකරණය කරගන්නා තැනකට රට පත් වීමයි.

වෙබ් ලිපිනය: