Sunday, February 8, 2026
ඩොලර් වැඩියෙන් එද්දී ඩොලරය ඉහළ යන්නේ ඇයි?
Friday, October 14, 2022
මධ්‍යම පන්තිය හාන්සිද?
ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා.
පළමු රුපියල් 1,200,000 - 0%
ඊළඟ රුපියල් 500,000 - 6%
ඊළඟ රුපියල් 500,000 - 12%
ඊළඟ රුපියල් 500,000 - 18%
ඊළඟ රුපියල් 500,000 - 24%
ඊළඟ රුපියල් 500,000 - 30%
එතැන් සිට - 36%
කලින් තිබුණු බදු ක්‍රමය යටතේ බදු ගෙවන්නට සිදු වූ සියල්ලන්නටම අලුත් ක්‍රමය යටතේ වැඩියෙන් බදු ගෙවන්න වෙනවා. ඊට අමතරව, දැනට ආදායම් බදු නොගෙවන සැලකිය යුතු පිරිසකටද බදු ගෙවන්න සිදු වෙනවා. පැවති බදු ක්‍රමය පහත තිබෙනවා.
පළමු රුපියල් 3,000,000 - 0%
ඊළඟ රුපියල් 3,000,000 - 6%
ඊළඟ රුපියල් 3,000,000 - 12%
එතැන් සිට - 18%
අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් (රුපියල් 1,200,000 දක්වා) - 0%
හර්ෂ ද සිල්වාට අනුව මේ බදු වැඩි කිරීම නිසා මධ්‍යම පන්තිය හාන්සියි. මම දකින විදිහටනම් මේ ප්‍රකාශය රනිල් අගමැති වීමෙන් පසුව, සජබට පොදුවේත්, හර්ෂ ද සිල්වාට වැනි අයට විශේෂයෙනුත්, මුහුණ දුන්න සිදු වුනු අනන්‍යතා අර්බුදයේ ප්‍රකාශනයක්. අරගලයේ අවසන් අදියරේදී අරගලකරුවන් හමුවේ සජබ, ජාජබ, 43 බලකාය හා සින්ගියුලරිටි ශ්‍රී ලංකා ව්‍යාපාරය විසින් ලංකාව ගොඩ දමන ආකාරය පිළිබඳ ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළා. මෙහිදී හා වෙනත් තැන් වලදී සජබ වෙනුවෙන් හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ හා රනිල්ගේ දැන් වැඩ පිළිවෙළ අතර හඳුනාගත හැකි පැහැදිලි වෙනස්කම් කිසිවක් නැහැ.
වක්‍ර බදු වැඩි කිරීම වෙනුවට සෘජු බදු වැඩි කර රජය ආදායම් උපයා ගත යුතු බව හර්ෂ ද සිල්වා විසින් නැවත නැවත කියා ඇති දෙයක්. මෑතකදී ඔහු විසින් ඉදිරිපත් කළ පොදු අවම වැඩ පිළිවෙළ අනුව සෘජු බදු මෙන්ම වක්‍ර බදුද ඉහළ යා යුතුයි.
"Reintroduce 2017 Inland Revenue Act with necessary amendments to address DSA and restructuring requirements, by (a) broadening VAT tax base and withholding taxes (including capital and service payments); (b) broadening income tax base and reverse decline in number of taxpayer files; and (c) creating a progressive corporate tax regime with the rate increase being gradual."
මේ වන විට ක්‍රියාත්මක වී තියෙන්නේ හර්ෂ විසින් ඉහත ඉදිරිපත් කර තිබෙන යෝජනා කිහිපයයි.
ජාජබ වැඩ පිළිවෙළේ ප්‍රමුඛ අංගයක් වුණෙත්, ජවිපෙ/ජාජබ පාක්ෂිකයින් දිගින් දිගටම පෙනී සිටියේත් සෘජු බදු වැඩි කිරීම වෙනුවෙන්. රනිල් විසින් දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මේ ජාජබ යෝජනාවයි.
"ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ, ඍජු බදු 80%ක් වෙන්න ඕනැ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර."
ජවිපෙ දැන් කියන්නේනම් බදු පැහැර හැරීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි.
අලුත් බදු හා පැවති බදු අතර වෙනස විශාල වුවත්, 2019 දක්වා පැවති බදු හා අලුත් බදු අතර ඒ වෙනස තරම්ම වෙනසක් නැහැ. පහත තිබෙන්නේ 2020 බදු සංශෝධනයට පෙර පැවති බදු ක්‍රමයයි.
පළමු රුපියල් 500,000 - 0%
ඊළඟ රුපියල් 600,000 - 4%
ඊළඟ රුපියල් 600,000 - 8%
ඊළඟ රුපියල් 600,000 - 12%
ඊළඟ රුපියල් 600,000 - 16%
ඊළඟ රුපියල් 600,000 - 20%
එතැන් සිට - 24%
වැටුප් ලෙස ලබන ආදායම් (රුපියල් 700,000 දක්වා) - 0%
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර මාසික ආදායම රුපියල් 41,167 ඉක්මවූ අයට බදු ගෙවන්නට සිදු වුනා. වැටුප් ලෙස ආදායම් ලැබූ අයගේ මෙම සීමාව තවත් රුපියල් 58,833ක් දක්වා ඉහළ යා හැකිව තිබුණත්, මාසික ආදායම රුපියල් 100,000 ඉක්මවූ අය අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුනා. 2020දී මෙම සීමාව රුපියල් 250,000 දක්වා ඉහල දැමුණු අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් ආදිය වෙනුවෙන් කළ වියදම් මත අදාළ සීමාව රුපියල් 350,000 දක්වා ඉහළ ගියා. ඒ අනුව, විශාල පිරිසක් බදු දැලෙන් එළියට විසි වුනා. ඉතිරිව සිටි අයටත් ගෙවන්න සිදු වුනේ අඩු බදු ප්‍රමාණයක්.
Friday, March 25, 2022
හර්ෂ කියපු කතාව මොකක්ද?
හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සමාජ මාධ්‍ය වල පුළුල් කතාබහක් ඇති වුනානේ. එහිදී එක්තරා රාජ්‍ය බැංකුවක් විසින් කර තිබෙන විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු පිළිබඳව තොරතුරු ඔහු අනාවරණය කළා. මේ තොරතුරු වල ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මෙය එහිදී කියූ දේ පිළිබඳ තාක්ෂණික පැහැදිලි කිරීමක්.
මෙහිදී අපි කතා කරන්නේ යන්නේ පොදුවේ විදේශ විණිමය ගනුදෙනු ගැන වුවත්, පැහැදිලි කිරීමේ පහසුවට ඩොලර් වෙළඳාම කියා කියමු.
ඩොලර් මිල දී ගන්න හෝ විකුනන්න අවශ්‍ය කෙනෙක් සාමාන්‍යයෙන් කරන්නේ බැංකුවකට හෝ මුදල් හුවමාරුකරුවෙකු (moneychanger) වෙත ගොස් රුපියල් නෝට්ටු දී ඩොලර් නෝට්ටු ගන්න එක. එහෙම නැත්නම් ඩොලර් නෝට්ටු දී රුපියල් නෝට්ටු ගන්න එක. සිල්ලර කඩේකින් හාල් පොල් ගන්නවා වගේ ගණුදෙනුව එතැනින් ඉවරයි.
හැබැයි බැංකු අතර විධිමත් ලෙස සිදුවන මහා පරිමාණ විදේශ විණිමය ගනුදෙනු සිදු වෙන්නේ ඔයිට වඩා ටිකක් සංකීර්ණ විදිහකට. ඒ ගනුදෙනු වලදී බොහෝ වෙලාවට එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් සම්ප්‍රේෂණය වනවා මිස රුපියල් හෝ ඩොලර් නෝට්ටු හුවමාරුවක් වෙන්නේම නැහැ. විධිමත් විදේශ විණිමය වෙළඳපොළේ සිදුවන ගනුදෙනු අදාළ ගනුදෙනුව සම්පූර්ණ වීමට ගත වන කාලය අනුව වර්ග කෙරෙනවා.
එදින ගනුදෙනු (cash transactions) - ගණුදෙනුව සිදු වූ දවස ඇතුළතම ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙම ගනුදෙනු Today යන්න කෙටි කර Tod transactions ලෙසද හඳුන්වනවා.
ඉදිරි දින ගනුදෙනු (Tom transactions) - ගණුදෙනුව සිදු වූ දිනට පසු දින ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙහි Tom යන්න හැදී තිබෙන්නේ Tomorrow යන්න කෙටි වීමෙන්.
තැන් ගනුදෙනු (spot transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙකක් ඇතුළත ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා.
ඉදිරි හුවමාරු ගනුදෙනු (forward transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙක ඉක්මවූ කලින් එකඟ වූ දිනයකදී ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. හුවමාරුව සිදු වන දිනය බොහෝ විට සතියකට, මසකට, තෙමසකට, සයමසකට හෝ වසරකට පසුව විය හැකියි. ඇතැම් විට වෙනත් කාලයකට පසුව වෙන්නත් පුළුවන්.
මුදල් හුවමාරු ගිවිසුම් (swap transactions) - මෙම ගනුදෙනුවක කොටස් දෙකක් තිබෙනවා. දළ වශයෙන් මෙය තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක්. ගනුදෙනුව අනුව පළමු හුවමාරුව සිදු කර, කලින් එකඟ වූ නිශ්චිත කාලයකට පසුව, දෙවන ගනුදෙනුවකින් මුල් ගනුදෙනුව ආපසු හැරවෙනවා.
එදින, ඉදිරි දින හා තැන් ගනුදෙනු වලදී හුවමාරුව සිදු වන විණිමය අනුපාතය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිසියම් දිනක විණිමය අනුපාතය ලෙස හඳුන්වන අනුපාතයට මෙම අනුපාත ආසන්නව සමානයි. එහෙත්, ඉදිරි හුවමාරු ගනුදෙනු වලදී එකඟ වන විණිමය අනුපාතය බොහෝ විට වෙනස් අනුපාතයක්. ඒ වගේම හුවමාරුව සිදුවන කාලය අනුව මෙම අනුපාතය වෙනස් වෙනවා.
සාමාන්‍ය මූලධර්මයක් ලෙස තැන් අනුපාතය හා ඉදිරි හුවමාරු අනුපාතය අතර වෙනසින් අදාළ රටවල් දෙක අතර පවතින උද්ධමන වෙනස පිළිබිඹු විය යුතුයි.
මම මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
ලංකාවේ උද්ධමනය 17.5% ලෙසත්, ඇමරිකාවේ උද්ධමනය 7.5% ලෙසත් සලකමු. මේ අනුව, රටවල් දෙක අතර උද්ධමන වෙනස 10%ක්. එයින් අදහස් වන්නේ වෙනත් සාධක වෙනස් නොවේනම් ඩොලරයක රුපියල් මිල වසරකට 10%කින් ඉහළ යාමට නියමිත බවයි. ඒ අනුව, මාස 6කදී 5%කිනුත්, මාස 3කදී 2.5%කිනුත් මිල ඉහළ යාමට නියමිතයි.
අද තැන් අනුපාතය රුපියල් 300 සේ සලකමු.
ඒ අනුව, මාස-3 ඉදිරි හුවමාරු අනුපාතය 307.50ක්ද, මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය 315ක්ද, වසර-1 ඉදිරි හුවමාරු අනුපාතය 330ක්ද විය යුතුයි.
ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය සම්බන්ධ කෙරෙන "Theory of unbiased forward rates" නම් වූ න්‍යායයක් තිබෙනවා. එයින් කියැවෙන්නේ, අද දිනයේ තිබෙන තොරතුරු අනුව, මාස 6කට පසුව තැන් හුවමාරු අනුපාතය පිළිබඳ හොඳම ඇස්තමේන්තුව අද දිනයේ පවතින මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය බවයි. මෙය වෙනත් ඕනෑම කාලයකටද අදාළයි. එහෙත්, දැනට නොදන්නා පසුව ලැබෙන්නට නියමිත තොරතුරු මත මෙය වෙනස් විය හැකියි.
ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය අතර වෙනස ධන අගයක්නම් එය ඉදිරි හුවමාරු අධිභාරයක් (forward premium) ලෙසත්, මෙය සෘණ අගයක්නම් ඉදිරි හුවමාරු වට්ටමක් (forward discount) ලෙසත් හැඳින්වෙනවා.
ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි මෙන්ම ආර්ථික විද්‍යාවෙහිද ප්‍රචලිත තවත් න්‍යායක් වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය (purchasing power parity) න්‍යායයි. එම න්‍යාය අනුව දෙරට අතර උද්ධමන වෙනස එක්-වසර ඉදිරි හුවමාරු අධිභාරයට හෝ ඉදිරි හුවමාරු වට්ටමට සමාන විය යුතුයි. මාස-6 ඉදිරි හුවමාරු අධිභාරය හෝ ඉදිරි හුවමාරු වට්ටම උද්ධමන වෙනසින් බාගයකට වඩා අඩු විය යුතුයි.
ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වීම සාමාන්‍ය තත්ත්වය බව අපි දන්නවා. ඇමරිකාව දිගුකාලීනව උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නා නමුත් ලංකාවේ එම ඉලක්කයම වුවත් 5% පමණ මට්ටමක්. ඇත්ත උද්ධමනය බොහෝ විට ඊටත් වඩා වැඩියි. ඒ කියන්නේ උද්ධමන වෙනස අවම වශයෙන් 3%ක් පමණවත් වෙනවා. දැන්නම් 10% පමණ. ඉදිරියේදී තවත් ගොඩක් වැඩිවෙයි.
මේ අනුව, ලංකාවේ විදේශ විණිමය වෙළඳපොළේ ඉදිරි හුවමාරු අධිභාරයක් මිස ඉදිරි හුවමාරු වට්ටමක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් දැකිය හැකිනම් බොහෝ විට එය අසාමාන්‍ය තත්ත්වයක්.
මුදල් හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක් කියා මම කිවුවනේ. මෙය පැහැදිලි කිරීම සඳහා ඉදිරි හුවමාරු අධිභාරය 10%ක් ලෙස සලකමු. මෙහිදී ගිවිසුම අනුව, A විසින් B ට අද රුපියල් 300 බැගින් කිසියම් ඩොලර් ප්‍රමාණයක් දෙනවා. හරියටම වසරකට පසුව B විසින් Aට රුපියල් 330 බැගින් ඩොලර් 100ක් දිය යුතුයි. ඒ වන විට ඩොලරයේ තැන් මිල කීයක් වුනත් එහි ලාබය හෝ පාඩුව අදාළ පාර්ශ්ව වලට භාර ගන්න වෙනවා.
හර්ෂ කියන කතාව ඇත්තනම් මහජන බැංකුව විසින් පසුව රුපියල් 185 බැගින් ඩොලර් ආපසු දෙන පොරොන්දුවට රුපියල් 200 බැගින් ඩොලර් අරගෙන. ඒ කියන්නේ ඉදිරි හුවමාරු වට්ටමකට. දැන් මහජන බැංකුවට එම ගිවිසුම අනුව වෙළඳපොළෙන් රුපියල් 300ට ගන්න ඩොලර් රුපියල් 185 බැගින් විකුණන්න සිදු වෙලා. ඩොලර් එක තව ඉහළ ගියොත් පාඩුව තවත් වැඩි වෙනවා.
මේ වැඩෙන් මහජන බැංකුව බංකොලොත් වෙලා කඩා වැටෙන එකක්නම් නැහැ. (ඒ ඇයි කියා විස්තර කරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙනවා. එය පසුව කරන්නම්). නමුත්, පාඩුවක් වෙන බව ඉතාම පැහැදිලියිනේ. එය තීරණය වන්නේ ගිවිසුම්ගත මුදල් ප්‍රමාණ හා ගිවිසුම් කාල මතයි.
Wednesday, October 10, 2018
රුපියලේ අගය වෙනස් වෙනකොට ණය ප්‍රමාණයට මොකද වෙන්නේ?
එහි හර්ෂ ද සිල්වා මෙහෙම කියනවා.
"අපි හිතමු ඩොලර් දහයක ණයක් තියෙනවා කියලා. එතකොට රුපියල [ඩොලරය] 150යි කියමු. එතකොට 1500යි. ...දැන් අපි හිතමු රුපියල [ඩොලරය] 160ට ගියා කියලා. එතකොට ඩොලර් ගෙවන්න තියෙන්නේ 100යි. හැබැයි රුපියල් වලින් බලන කොට රුපියල් 1600ක්. ...ඇත්ත වශයෙන්ම ණය වැඩි වෙලා නැහැ. ණය තියෙන්නේ 100මයි. රුපියල් වලින් මේක ගණන් හැදුවොත් 150 ඉඳල 160ට වැඩි වෙලා තියෙනවා."
අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රතිචාරය මෙවැන්නක්.
"හර්ෂ [ද] සිල්වා මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුවට ගියේ 2010දී. එතකොට රුපියලේ අගය තිබුණේ රුපියල් 111ක් හැටියට. එතකොට ඩොලර් 100ක් අරන් තිබුණනම් ආණ්ඩුවට ලැබුණේ 111 ගානේ 11,100යි. දැන් 2018දී ඒ සල්ලි ගෙවන්න යනවනම් ආණ්ඩුව ආණ්ඩුවට තියෙන්නේ ඩොලර් 100ක් ගන්න 171 ගානේ. එතකොට 17,100ක් ගෙවන්න ඕනෑ. එතකොට රුපියල් 6000ක් වැඩිපුර ගෙවන්න වෙනවා. දැන් මේ සිල්ව මහත්තයට අමතක වෙලාද ඕක?"
දැන් මේ දෙන්නගෙන් ඇත්ත කියන්නෙ කවුද? බොරු කියන්නෙ කවුද?
දෙන්නගෙන් එක්කෙනෙක්වත් බොරු කියන්නෙ නැහැ. නමුත්, මේ දෙන්නම කියන්නේ කතාවේ තමන්ට අවශ්‍ය කොටස විතරයි. දෙන්නම නොකියන කොටසකුත් මෙතැන තියෙනවා. සමහර විට මේ ප්‍රකාශ උපුටා ගත් තැන්වල මීට වඩා යමක් තිබෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන මම දන්නෙ නැහැ. එහෙම තිබුණත් නැතත්, අපි මේ වීඩියෝවේ දැකිය හැකි කොටස හා අදාළව කතා කරමු.
හර්ෂ ද සිල්වා කියන විදිහට ඔහු පෙන්වන උදාහරණයේදී ණය වැඩි වෙලා නැහැ. ඩොලර් 100ක ණය නොවෙනස්ව තියෙද්දී රුපියල් වලින් බැලුවහම එය වැඩියෙන් පෙනෙන එක පමණයි වෙලා තියෙන්නේ.
රජය ඩොලර් වලින් ගන්න ණය රුපියල් වලින් ගෙවන්න බැහැ. ඒ නිසා, මෙහිදී රුපියල් ගණනට වඩා වැදගත් වෙන්නේ ඩොලර් ගණනයි. ඒ අනුව, හර්ෂ ද සිල්වා කියන කතාව ඇත්ත.
නමුත්, මෙහි තිබෙන හර්ෂ ද සිල්වා නොකියන දෙය වන්නේ රජය විසින් ණය අරගෙන තිබෙන්නේ ඩොලර් වලින් වුවත් එය ආපසු ගෙවීමට අවශ්‍ය මුදල් හොයාගන්න රජය ඩොලර් වලින් ආදායමක් උපයන්නේ නැති බවයි.
රජය ආදායම් උපයන්නේ රුපියල් වලින්. ඒ නිසා, ණය ආපසු ගෙවන්න වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. හර්ෂ ද සිල්වාගේ උදාහරණයම ගත්තොත් ඩොලරය රුපියල් 150 ලෙස තිබෙද්දී ගන්න ඩොලර් 10ක ණයකින් රජයට ලැබෙන්නේ රුපියල් 1500ක් පමණයි. නමුත්, මේ මුදල ආපසු ගෙවන්න යන විට ඩොලරය රුපියල් 160 වෙලානම් ගෙවන්නේ ඩොලර් 100ම වුවත් ඒ වෙනුවෙන් වැඩිපුර රුපියල් 100ක් වැය කරන්න වෙනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් 2004 අන්තිමේදී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 9,522ක්. ඩොලරය රුපියල් 104.61යි.
ඔය අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා දවස ලංකාවේ කාටවත් අමතක වෙන්න විදිහක් නෑනේ. එදා සිදුවුනේ ලංකා ඉතිහාසයේ සිදුවුණු ඛේදජනකම ස්වභාවික විපත්තියක්.
කොහොම වුනත් ඔය කණගාටුදායක සිද්ධිය නිසා දිගින් දිගටම පැසවමින් ඔඩු දුවන ලංකාවේ ගෙවුම් ශේෂ තුවාලයටනම් තාවකාලිකව වුවත් අස්වැසිල්ලක් ලැබුණා. සුනාමි ආධාර ලෙස ලැබුණු විදේශ විණිමය, ණය වාරික කපා හැරීම් හා ආපසු අය කරගැනීම් කල් දැමීම වගේ හේතු නිසා 2005 අවුරුද්දේ මුල හරියේදී ලංකාවේ ගෙවුම් ශේෂය මත වන පීඩනය අඩු වෙලා වසර අවසාන වෙද්දී ඩොලරයක අගය රුපියල් 102.12 දක්වා 2.49කින් පහළ ගියා.
ඒ වගේම 2005 අවුරුද්දේදී ලංකාවේ මධ්‍යම රජයේ විදේශ ණයත් ඩොලර් මිලියන 9,368 දක්වා ඩොලර් මිලියන 155කින් පහළ ගියා. ඒ කියන්නේ, ඩොලර් මිලියන 155ක ණය ආපසු ගෙවුවා. අවුරුද්ද අන්තිමට තිබුණු ඩොලරයක මිල අනුව මේ මුදල රුපියල් මිලියන 15,807ක්. නමුත්, අවුරුද්ද මුල තිබුණු ඩොලරයක මිල අනුව බැලුවොත් ඊට වඩා රුපියල් මිලියන 385ක් වැඩියි.
මේ අනුව බැලුවහම රුපියල ශක්තිමත් වීම නිසා රජයට රුපියල් මිලියන 385ක වාසියක් අත් වුනු බව කියන්න පුළුවන්. ඒ අනුව, 2005 අවුරුද්දට අදාළව අජිත් නිවාඩ් කබ්රාල්ගේ තර්කය නිවැරදියි.
හැබැයි අජිත් නිවාඩ් කබ්රාල්ගේ තර්කය නිවැරදි වන්නේ මේ සහස්‍රය සැලකුවොත් 2005 අවුරුද්දට පමණයි. මොකද මේ විදිහට රුපියල ශක්තිමත් වීම වාසියක් වෙන්නෙත්, රුපියල අවප්‍රමාණය වීම අවාසියක් වෙන්නෙත් රජය ණය ආපසු ගෙවනවනම්නේ!
සුනාමිය නිසා ගොඩ ගිය අවුරුද්දෙන් පස්සේ පහුගිය ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව යටතේ කිසිම අවුරුද්දකදී ශුද්ධ වශයෙන් බැලුවහම මධ්‍යම රජයේ ණය ආපසු ගෙවල නැහැ. හර්ෂ ද සිල්වා වගේම අජිත් නිවාඩ් කබ්රාලුත් නොකියන කතාව ඕකයි. හැම අවුරුද්දකම කරල තියෙන්නේ තවතවත් ණය අලුතින් ගන්න එකයි.
රජයට වෙළඳපොළෙන් වැඩි මිලට ඩොලර් ගන්න එක අවාසියක් වෙන්නේ ණය ආපසු ගෙවනවනම්. නමුත්, රජය දිගින් දිගටම කරන්නේ අලුතින් ඩොලර් ණය අරගෙන වෙළඳපොළේ විකුණන එකයි. එහෙම විකුණද්දී ඩොලර් එක ඉහළ යන තරමට රජයට වාසියි. රුපියල ශක්තිමත් වීම අවාසියි.
උදාහරණයක් විදිහට 2010 අවුරුද්දේදී රුපියල් 114.38 සිට රුපියල් 110.95 දක්වා රුපියල් 3.43කින් ඩොලරයක මිල පහළ ගියා. නමුත්, එහෙම වුනේ ලංකාවේ ආනයන ආදායම් ඉක්මවා අපනයන ආදායම් ඉහළ යාම වගේ ස්වභාවික හේතුවකින් නෙමෙයි. මධ්‍යම රජය විසින් ඩොලර් 2,856ක විදේශ ණය අරගෙන එයින් සෑහෙන කොටසක් විදේශ විණිමය වෙළඳපොළට මුදා හැරීම නිසා.
මේ ඩොලර් 2,856ක මුදලේ රුපියල් වටිනාකම 110.95 ගණනේ බැලුවොත් රුපියල් මිලියන 316,908ක්. නමුත්, රුපියල 114.38 මට්ටමේම තිබුණානම් රජයට තවත් රුපියල් මිලියන 9,797ක් ලැබෙනවා. රුපියල ශක්තිමත් වීම නිසා වුණේ ඒ මුදල රජයට නොලැබී යාමයි.
දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය ගැනීම හොඳ දෙයක් හෝ අප අනුමත කරන දෙයක් නෙමෙයි. නමුත්, ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ලංකාවේ සිදු වන්නේ එයයි. එහෙම නැතුව ණය ආපසු ගෙවීමක් කොහෙත්ම සිදු වන්නේ නැහැ.
මධ්‍යම රජය විසින් විදේශ ණය ආපසු ගෙවන්න වෙළඳපොළෙන් වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවානම් ඩොලරයක මිල ඉහළ යාම අවාසියක්. නමුත්, මධ්‍යම රජය විසින් කරන්නේ අලුත් ඩොලර් ණය අරගෙන ඒ ඩොලර් වෙළඳපොළේ විකුණන එකයි. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යන තරමට මධ්‍යම රජයට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ ගිහින් බදු වැඩි කර මුදල් හොයන්න තිබෙන අවශ්‍යතාවය පහළ යන එකයි වෙන්නේ.
පසුගිය 2017 අවුරුද්දේදී රුපියල අවප්‍රමාණය වීම නිසා ණයට ගත් ඩොලර් විකිණීමේදී රජයට ලැබුණු අමතර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 11,782ක්. ඊට පෙර අවුරුදු බැලුවත් දැකිය හැක්කේ වාසියක්.
මේ අවුරුද්ද ඇතුළත ඩොලරයක මිල අඩු වශයෙන් රුපියල් 20කින් වැඩි වනු ඇතැයි සිතමු. ඒ අතර මධ්‍යම රජයේ ණය ඩොලර් බිලියන 2.5කින් වැඩි වනු ඇතැයි සිතමු (මේ ගණන් දෙකම මීට වඩා බොහෝ වැඩි විය හැකියි). ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් රජයට මේ අවුරුද්දේ අඩු වශයෙන් රුපියල් බිලියන 50ක් වැඩිපුර ලැබෙනවා කියන එකයි.
