වෙබ් ලිපිනය:

Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Friday, July 11, 2025

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි...


තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත්, එහි ධාතු නිධානය සිදු කළේත් ඇසළ පෝය දිනකයි.

වියදම් පැත්තෙන් බැලුවොත් මහ සෑය හැදීම තරමක් බරපතල වැඩක්. මේ සඳහා වැය වුනු මුළු මුදල කොපමණද කියා වාර්තා කර නැතත් එය විශාල වියදමක් බව පැහැදිලියි. ගැමුණු රජු විසින්ම හදපු ලෝවාමහාපාය වෙනුවෙන් කෝටි 30ක මුදලක් සහ මිරිසවැටිය වෙනුවෙන් කෝටි 119ක මුදලක් වැය වී තිබෙනවා. අද භාවිතා වන වචන වලින්නම් පිළිවෙලින් මිලියන 300ක් සහ මිලියන 1,190ක්. මේ ගණන් මහා වංශයේ තියෙනවා. මහ සෑය හදන්නත් ඔය කිට්ටුව වියදමක් යන්න ඇති.

මේ ගණන් සඳහන් කර තිබෙන්නේ කවර මුදල් වර්ගයෙන්ද කියා නිශ්චිතව සඳහන්ව නැහැ. වටිනාකම් ගැන කතා කරද්දී මුදල් ඒකකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. එවැන්නක් අවශ්‍ය වන්නේ විවිධ මුදල් ඒකක වල වටිනාකම් සංසන්දනය කිරීමක් කරද්දීයි. 

ලංකාවේ මුලින්ම ප්‍රචලිතව තිබෙන මුදල් වර්ගය කහවණු. කහවණු ඉන්දියානු මුදල් වර්ගයක්. මම සෑහෙන කාලයකට පෙර හිතාගෙන හිටියේ කහවණු කියන වචනයේ කහවර්ණ වැනි තේරුමක් තියෙනවා කියලයි. ඒ වගේ නමක් රන් කාසියකට ගැලපෙනවා. නමුත් කහවණුව රන් කාසියක් නෙමෙයි. එය රිදී කාසියක්. කහවණු වෙන්නේ කර්ෂපාණ කියන වචනය. පාණ යන්නෙහි මුදල් යන අර්ථය තිබෙනවා. කර්ෂ කියන්නේ බර මනින ඒකකයක්. ඒ අනුව, කහවණුවක වටිනාකම වන්නේ කර්ෂ එකක් බර රිදී වල වටිනාකම. 

ලංකාවේ වත්මන් රුපියල ඉන්දියානු රුපියලේ ව්‍යුත්පන්නයක් වන්නා සේම කහවණු ලංකාවට පැමිණ තිබෙන්නේත් ඉන්දියාවෙන්. නමුත් මේ රිදී කාසි එක්කම තඹ කාසිත් ලංකාවේ භාවිතා වී තිබෙනවා. ඒවා ලංකාවේ හදාගත් ඒවා වෙන්න ඇති. මේ කාසි වර්ග වලට එකිනෙකට සාපේක්ෂ වටිනාකම් තියෙන්නත් ඇති. ඒ නිසා, මිලියන 300ක් කියා කියන්නේ කහවණු හෝ වෙනත් කාසි මිලියන 300ක්ම නෙමෙයි. එපමණ වටිනා සේ සැලකුණු කාසි යම් ප්‍රමාණයක්. 

ඒ කාලයේ මිලියන 300ක් හෝ මිලියන 1,190ක් කියා කියන්නේ කොපමණ වටිනාකමක්ද කියලා අපි අද තේරුම් ගන්නේ කොහොමද? මහ සෑය සහ ථූපාරාමය අතර බිම ගොඩ කර මට්ටම් කරන්න ලක්ෂයක් වියදම් වී තිබෙනවා. මීටර් 600-700ක වගේ දුරක්නේ. මහ සෑයේ සෙල්මුවා මල් අසුන් තුනක් හදන්න ලක්ෂ තුනක් වැය වී තිබෙනවා. මේ ගණන් එක්ක සංසන්දනය කරද්දී කෝටි 30ක් හෝ කෝටි 119ක් කියා කියන්නේ කොපමණ මුදලක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. අනුපාතිකව බැලූ විට මේ ගණන් වල ගැලපීමක් තිබෙනවා. නමුත් කෝටි 30ක් කියන්නේ කහවණු කාසි කෝටි 30ක් ලෙස සැලකුවොත් මේ ගණන් පෙනෙන්නේ අතිශයෝක්ති ලෙසයි.

මේ කාලයේ මුදල් වල වටිනාකම් නිර්ණය වුනේ ලෝහ බර අනුවමද? එහෙම නැත්නම් ලක්ෂයේ, කෝටියේ කාසි හෝ ලෝහ නොවන වෙනත් මුදල් වර්ග භාවිතයේ තිබුණාද? ලක්ෂ හා කෝටි ගණන් වලින් වටිනාකම් ඉදිරිපත් කර තිබෙන්නේ ඒ නිසාද? 

පුරාවිද්‍යා කැණීම් වලදී හමු වී තිබෙන කාසි වල විවිධ සංකේත තිබෙනවා. පොදු පිළිගැනීම ඒ සංකේත අයිතිය හඟවන සංකේත බවයි. එහෙම නැතුව මේ සංකේත වලින් දැන් වගේම වටිනාකම් අදහස් වුනාද? යම් ආකාරයකින් එය එසේ වීනම් එය වඩා දියුණු මුදල් ක්‍රමයක්. 

වියදම කොපමණ වුණත් මහ සෑය හැදීමේ වියදම විශාල වියදමක් විය යුතුයිනේ. මේ වැඩේ කරන්නේ රටේ ලොකු සිවිල් යුද්ධයක් කිරීමෙන් පසුවයි. යුද්ධයක් කියා කියන්නේ වැය අධික කටයුත්තක්. යුද්ධයකින් පසුව රාජ්‍ය භාණ්ඩාගාර හිස් වෙනවා. ඒ වගේම, සාමාන්‍ය මිනිස්සු වුනත් ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. ඔය වගේ මිනිස්සුන්ට අමාරු වෙලාවක මහ සෑය හදන එකේ වියදම බදු ගහලා මිනිස්සුන්ගෙන් අය කරගන්න බැහැ.

"දෙමළුන් මඩනා මා විසින් මේ ජනයා පෙළන ලද්දේය. (එහෙයින්) ජනයාගෙන් අය උපයනු නොහැක්කේය. ඒ අය ගැනීම හැර සෑය කරවන්නා වූ මම කෙසේ දැහැමෙන් ගඩොල් උපයමි".

ගැමුණු රජු ඔන්න ඔය ප්‍රශ්නයට මුහුණ දෙනවා. මහ සෑය හදන්නත් ඕනෑ. එය පොරොන්දුවක්. සල්ලිත් නැහැ. සල්ලි හොයා ගන්න බදු ගහන්නත් බැහැ. එහෙමනම් අන්තිමට මහ සෑය හදන්න සල්ලි හොයා ගත්තේ කොහොමද? 

ඔන්න ඔය අවස්ථාවේදී ලංකාවෙන් රත්තරන් හමු වෙනවා. මම දන්නා තරමෙන් මෙය ලංකාවෙන් රත්තරන් හමු වූ බවට තිබෙන එකම වාර්තාව. හමු වූ තැන ඇතුළු අනෙකුත් විස්තර මහා වංශයේ නිශ්චිතව සඳහන් කර තිබෙනවා. 

"පුරයෙන් ඊසානදිග තුන් යොදුනක් මත්තෙහි ආචාර වීදි නම් වූ ගම සොළොස් කිරියක් පමණ වූ භූමි ප්‍රදේශයෙහි ප්‍රමාණයෙන් නා නා ප්‍රකාර වූ ස්වර්ණ බීජයෝ උපන්හ. උඩත් පිරිසෙයින් වියත් පමණද යටත් පිරිසෙයින් අඟුල් පමණද වූහ. ස්වර්ණයෙන් පිරුණා වූ ඒ භූමිය ඒ ගම් වැස්සෝ දැක තලියක් පිරූ රන් ගෙන ගොස් රජ හට සැල කළහ."

මේ කාලයට සාපේක්ෂව ගොඩක් මෑත කාලයක් වන 1799දී ඇමරිකාවේ නෝත් කැරොලීනා ප්‍රාන්තයේ ගමක ගොවිපොළක සෙල්ලම් කරන අවුරුදු දොළහක පිරිමි ළමයෙකු වන කොනාඩ් රීඩ්ට බිම තිබිලා රාත්තල් 17ක පිරිසිදු රත්තරන් කුට්ටියක් හමු වෙනවා. ඊටත් පස්සේ 1848දී කැලිෆෝර්නියාවෙන් රත්තරන් හමු වෙනවා. ඊට පස්සේ තමයි කැලිෆෝර්නියා ගෝල්ඩ් රෂ් එක පටන් ගන්නේ. මේ ගැන පෙර ලිපියක විස්තර තිබෙනවා. මේ වාර්තා සහ මහා වංශ වාර්තාව අතර වෙනසක් තියෙනවද? 

ඉතිහාසයේ වැඩි කාලයක් රත්තරන් හමු වුනේ ඔය විදිහට තමයි. කැලිෆෝර්නියා ගෝල්ඩ් රෂ් එක සිදු වන කාලය දක්වා වගේම. එහෙම නැතුව භූ විද්‍යා සමීක්ෂණ කරලා රත්තරන් හොයා ගත්තේ නැහැ. ඒ වගේ දේවල් සිදු වුනේ පසු කාලයකදීයි. මහා වංශ වාර්තාව අනුව, ආචාර වීදියෙන් අඟලක සිට වියතක් පමණ දක්වා වූ රත්තරන් හමු වෙනවා. සාමාන්‍යයෙන් රත්තරන් ඔය විදිහට හමු වෙද්දී ඔය ප්‍රමාණයේ කුට්ටි හමු වෙනවා.

වැදගත්ම කාරණයක් වන්නේ මේ විදිහට හමුවෙන රත්තරන් රත්තරන් බව ගම් වැසියන් විසින් හඳුනාගෙන රජුට දැනුම් දීම. පොළොවෙන් ඔය විදිහට හමු වෙන රත්තරන් රත්තරන් කියා හඳුනා ගන්න අමාරුයි. කොනාඩ් රීඩ්ට බිම තිබිලා හමු වූ රාත්තල් 17ක පිරිසිදු රත්තරන් කුට්ටිය ඔහු හෝ වෙනත් අයෙක් රත්තරන් කියලා හඳුනා ගත්තේ නැහැ. එය රැගෙන ගොස් කාලයක්ම දොරට අඩයට තියපු එකයි සිදු වුනේ. නමුත් ගැමුණු රජුගේ කාලයේදී ආචාර වීදියේ ගම් වැසියන්ට මේ දැනුම තිබී ඇති බව පේනවා. 

ඔය කාලයේ මුදල් විදිහට වැඩිපුරම භාවිතා වුනේ රන් නෙමෙයි, රිදී. මහ සෑය හදන විදිහ ගැන ගැමුණු රජු සිතමින් සිටිද්දී ලංකාවෙන් රන් වගේම රිදීත් හමු වෙනවා. රිදී හමු වෙන්නේ නුවරින් දකුණු පස අට යොදුන් මත්තෙහි අම්බට්ඨකොළ නම් දනවුවක පිහිටි ලෙණකයි. මේ රිදී හමු වුනු ආකාරයත් මහා වංශයේ ඉතා විස්තරාත්මක ලෙස සටහන් කර තිබෙනවා. 

මලය රටෙන් හිඟුරු ආදිය ගෙන ඒම සඳහා වෙළෙන්දෙක් බොහෝ ගැල් ගෙන ඒ රට බලා යනවා. ඔහොම යන අතරේ ගැල් පංතිය ඔය ලෙණ තිබෙන කිට්ටුව නවත්තලා කෑමට දෙයක් හොයනවා. එහිදී ඔවුන්ට ගෙඩි පිරුණු කොස් ගහක් හමු වෙනවා. ඔය වෙලාවේ ඔය කිට්ටුව භික්ෂුන් වහන්සේලා (රහතන් වහන්සේලා) හතර දෙනෙක් ඉන්නවා. මේ වෙළෙන්දා ඔවුන්ට වරකා මදුළු පිළිගන්වනවා. වෙළෙන්දන් විසින්ද වරකා ආහාරයට ගන්නවා.

ඔය ස්වාමීන් වහන්සේලා හතර දෙනාගෙන් තිදෙනෙක් දානය පිළිගෙන පිටව යද්දී එක් හිමිනමක් ඒ ස්ථානයේම සිට දානය වළඳනවා. ඉන් පසුව, අර රිදී තිබෙන ලෙන් ප්‍රදේශය හරහා ආපසු ගැල් වෙත යා හැකි විකල්ප මාර්ගයක් වෙළෙන්දාට පෙන්වනවා. මහා වංශයට අනුව මෙසේ කරන්නේ ඔහුට රිදී නිධිය දකින්නට සැලැස්වීමේ අරමුණින්. වෙළෙන්දා රිදී හඳුනාගෙන වහාම අනුරාධපුරයට ගොස් මේ බව රජුට දැනුම් දෙනවා. 

ලෙන් ආශ්‍රිතව ජීවත් වූ බෞද්ධ භික්ෂූන්ට සාමාන්‍ය ගම් වැසියෙකුට කලින් ස්වභාවිකව තිබෙන රන්, රිදී හමුවෙන්න ඉඩකඩ වැඩියි. නමුත් බෞද්ධ භික්ෂුවකට මේ වගේ දේවල් වලින් වැඩක් නැහැ. ඒ තියා, ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ මුලින් ජීවත් වූ ස්වදේශිකයින්ට පවා රිදී රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ. මේ ප්‍රදේශ වලට පැමිණි යුරෝපීයයන්ට පහසුවෙන් එකතු කර ගත හැකි පරිදි රිදී රත්තරන් ඉතිරි වී තිබුණේ ඒ නිසා. ගැමුණු රජු මහ සෑය හදන විදිහ ගැන කල්පනා කර කර ඉන්න බව දැන සිටි අදාළ භික්ෂුව තමන් දැන සිටි රිදී සංචිතය ගැන වෙළෙන්දා හරහා රජුට දැනගන්න සැලැස්සුවා වෙන්න පුළුවන්.

මහා වංශයේ විස්තරය මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. මම ගත්තේ තෝරා ගත් කොටසක් පමණයි. ඔය විදිහට හමු වූ රිදී හා රත්තරන් වලින් පමණක් මහ සෑය හැදීමේ වියදම සම්පූර්ණයෙන්ම ආවරණය වුනා කියලා මහා වංශය කියන්නේ නැහැ. ඒ සඳහා බොහෝ දෙනෙකුගේ මුදල් හා ශ්‍රම පරිත්‍යාග උපයෝහී කරගෙන තිබෙනවා. මෑත කාලයේදී රුවන්වැලි සෑය පිළිසකර කිරීම සිදු වුනෙත් බොහෝ දුරට පෞද්ගලික ධන පරිත්‍යාග වලින්. හැබැයි බදු ගැහුවේ නැති බවනම් මහා වංශය පැහැදිලිව කියනවා.

රිදී රත්තරන් වගේම මුතු මැණික් ඇතුළු තවත් දේවල් රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වී ඇතත් ඒවායින් රුවන්වැලි සෑය හදන්න බැහැ. ඒ සඳහා මෙවැනි වත්කම් වලින් ගෙවීම් කළ හැකි ආකාරයේ දියුණු ගනුදෙනු ආර්ථිකයක්ද තිබිය යුතුයි. 

Wednesday, April 5, 2023

ආසියාවේ දෙවන පෝසත් රට


ඉතිහාසය කියා කියන්නේ කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේම නෙමෙයි. කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේ කියා ගොඩක් අය හිතන්න කැමති දෙය. ඇතැම් වෙලාවට මිනිස්සු ඇහැට පෙනෙන ඇත්ත නොදැක මවාගත් බොරුවක් දකින්න කැමතියි. බොරු දිගින් දිගටම ප්‍රචාරය කළාම ඒ බොරු ඇත්ත වෙලා ඊට පස්සේ ඉතිහාසය බවට පත් වෙනවා. 

නිදහස ලබද්දී ලංකාව ආසියාවේ දෙවන පෝසත්ම රට කියන එකත් ඔය විදිහේ ජනප්‍රිය බොරුවක්. අද තිබෙන රටවල් සියල්ලම ඒ දවස් වල තිබුණේ නැහැ. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කළේ තිබුණු රටවල් වලිනුත් සීමිත රටවල් ප්‍රමාණයක් පමණයි. 

නූතන ආර්ථික විද්‍යාව නොපිළිගත් මාක්ස්වාදී රටවල් දළ දේශීය නිෂ්පාදිතය කියන අදහසවත් පිළිගත්තේ නැහැ. වෙළඳපොළ මත පදනම් නොවූ වෙනම ආර්ථික ක්‍රමයක් තිබුණු සමාජවාදී රටවල දළ දේශීය නිෂ්පාදිතය නිවැරදිව ගණනය කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. එහෙම ගණනය කරන එකේ තේරුමක් තිබුණෙත් නැහැ.

දළ දේශීය නිෂ්පාදිතයට විකල්පයක් විදිහට සමාජවාදී රටවල් විසින් ගණනය කළේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා එකක්. එහිදී ගණන් ගැනුණේ භාණ්ඩ නිෂ්පාදනය පමණයි. මාක්ස්වාදීන් විසින් සේවා නිෂ්පාදන නිෂ්පාදන සාධකයක් වන ශ්‍රමය සමඟ අනන්‍ය ලෙස දකිනවා මිස භාණ්ඩ නිෂ්පාදනය වැනි නිෂ්පාදනයක් ලෙස සැලකුවේ නැහැ. ඒ වගේම, මාක්ස්වාදය අනුව, භාණ්ඩයක එය නිෂ්පාදනය කිරීම සඳහා යොදවන ශ්‍රමය හැර වටිනාකම් නිෂ්පාදනයක් දැක්කෙත් නැහැ. 

පාරිභෝගිකයින්ට වැඩක් තිබුණත් නැතත්, ද්‍රව්‍ය (භාණ්ඩ) නිෂ්පාදනය වැඩි වෙලානම් දළ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි වුනා. නිෂ්පාදන ඉලක්ක තිබුණේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කර ගැනීමටයි. ලංකාව ඔය ක්‍රමයට දළ ද්‍රව්‍ය නිෂ්පාදනය ගණනය කළේ නැතත්, ටයර් සංස්ථාවේ නිෂ්පාදන ඉලක්ක හදලා තිබුණෙත් ඔය මූලධර්මය අනුවයි. දැන් සමහර අය නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්නෙත් අවුරුදු සීයකටත් වඩා පරණ ආගමික අදහස් මත පදනම්ව, පහුගිය කාලයේ නූතන ආර්ථික විද්‍යාවේ සිදු වූ වෙනස්කම් ගැන කිසිම අදහසක් නැතුවයි. ද්‍රව්‍යවාදීන්ට අනුව ලෝකය කියන්නේ ඇහැට පේන්න තිබෙන ද්‍රව්‍ය පමණයි.

ඒ කාලයේ සිංගප්පූරුව කියා රටක් තිබුණේ නැහැ. සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්. මැලේසියාවම ගත්තත් ඒක පුද්ගල ආදායම අනුව ලංකාවට වඩා ගොඩක් ඉදිරියෙනුයි හිටියේ. ජපානයට පවා ඉදිරියෙන්. කොළඹ නගරයේ ඒක පුද්ගල ආදායම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා කිහිප ගුණයක් වැඩියි වගේම ඒ කාලයට සාපේක්ෂව දියුණු නගරයක් වූ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම සමස්තයක් ලෙස මැලේසියාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා ඉහළින් තිබුණා. එහෙම නැතුව සිංගප්පූරුව හෝ මැලේසියාව ලංකාව පහු කරගෙන ගියේ නැහැ. ඒවා කාලයක් තිස්සේ නැවත නැවත කීමෙන් පළමුව ඇත්ත බවටත්, දෙවනුව ඉතිහාසය බවටත් පත් කර තිබෙන බොරු.

කොහොම වුනත්, ඒ දවස් වල ලංකාවට වඩා පසුපසින් සිටි තායිලන්තය හා කොරියාව වැනි රටවල් ලංකාව පහු කරගෙන ගියා. ඒ දවස් වල දළ දේශීය නිෂ්පාදිතය ගණනය නොකළත් සාපේක්ෂව මෑත කාලයකදී පවා ලංකාවට වඩා පසු පසින් සිටි චීනයත් ලංකාව පහු කරගෙන ඉදිරියට ගියා. ඉන්දියාව තවමත් ලංකාවට පසුපසින් සිටියත් ඉන්දියාව හා ලංකාව අතර ඒක පුද්ගල ආදායම් වෙනස තව කොපමණ කාලයක් මේ විදිහට තියෙයිද කියන එක අනාගතයට භාර කරුණක්.

(පසු සටහන: වගුවේ තිබෙන්නේ ඒක පුද්ගල ශුද්ධ ජාතික නිෂ්පාදිතය. ශුද්ධ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය නිෂ්පාදිතය - ක්ෂය වීම්. ආදායම් ලෙස ඉතිරි වන කොටස.)

Monday, July 20, 2020

සැමට සුරක්ෂිත අහසක්!


සිවිල් ගුවන් සේවා අධිකාරිය

දැක්ම
සැමට සුරක්ෂිත අහසක් සහතික කරමින් දක්ෂ හා විශ්වාසදායක ගුවන් සේවා ආරක්ෂක නියාමකයෙකු වීම.

මෙහෙවර
උපායමාර්ගික සැලසුම්කරණය සහ ඵලදායී නියාමනයකට පහසුකම් සැලසීම සඳහා, ජාත්‍යන්තර ප්‍රමිති, නිර්දේශිත පිළිවෙත් හා ජාතික ව්‍යවස්ථාදායක අවශ්‍යතාවන්ට අනුකූල වන ආරක්ෂිත, කාර්යක්ෂම, නිත්‍ය සහ පරිසර හිතකාමී ජාතික සිවිල් ගුවන් සේවා පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

අරමුණු

  • ආරක්ෂාව සහ ආරක්ෂක ඉලක්ක සපුරා ගැනීම හෝ ඉක්මවා යාම.
  • නිසි ලෙස සම්පත් ලබා ගැනීම.
  • වෘත්තීයෙකු වීම හා දක්ෂ වීම.
  • පුළුල් විශ්වසනීයත්වයක් සහ පිළිගැනීමක් ලබා ගැනීම සඳහා.
  • එහි ජයග්‍රහණ පවත්වා ගැනීමට හෝ වැඩි දියුණු කිරීමට.
  • සිදුකරන සෑම දෙයකම ඉහළම ඵලදායිතාව ළඟා කර ගැනීම.
  • ජාත්‍යන්තර ප්‍රමිති හා නිර්දේශිත පිළිවෙත් සමඟ ඉහළ මට්ටමක අනුකූලතාවයක් පවත්වා ගැනීම.
  • සිවිල් ගුවන් සේවා සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ශක්තිමත් පහසුකම් සපයන්නෙකු වීම.

මේ දවස් වල ප්‍රමුඛතාවය 


***
වසර පන් දහසකට පෙර ලෝකයේ ප්‍රථම වරට ගුවන් යානාවක් නිපදවා පියාසර කරවූයේ රාවණා රජු විසින් බව ඉදිරි වසර පහ ඇතුළත තහවුරු කරන බව  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු උප සභාපති ශෂී ධනතුංග විසින් පවසා තිබෙන අතර මේ පුවතට ඉන්දීය මාධ්‍ය තුළ සෑහෙන ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.

ලංකාවේ රාවණා පුරාවෘත්තය පිළිබඳව පර්යේෂණ කිරීමේ වැරැද්දක් ඇතැයි මා හිතන්නේ නැහැ. මහින්දාගමනයෙන් හා විජයාගමනයෙන් ඔබ්බට යන ඉතිහාසයක් ලංකාවේ තිබෙන බව ඉතා පැහැදිලි කරුණක්. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙකු විසින් මහාචාර්ය රාජ් සෝමදේවයන් සම්බන්ධ කරගෙන නෙත් එෆ්එම් හරහා විකාශනය කරන වැඩ සටහන් මාලාව පරිශීලනය කළ යුතුයි. එහෙත්, එවැනි පර්යේෂණ සිදු කළ යුත්තේ විෂය ප්‍රවීණයින් විසින් අදාළ සන්දර්භය තුළ නිසි ක්‍රමවේදයන්ට අනුවයි. ඒ වගේම, රටේ සැබෑ ඉතිහාසය සොයා යාමේ අවංක අරමුණින් මිස දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් නෙමෙයි.  

සිවිල් ගුවන් සේවා අධිකාරිය සතුව ලංකාවේ ඉතිහාසය පිළිබඳ මෙවැනි පුළුල් පර්යේෂණයක් කිරීමේ හැකියාවක් තිබේද යන්න සැක සහිතයි. අවශ්‍ය මානව සම්පත් නැතිව, වෙනත් කාර්යයක් සඳහා පිහිටුවා ඇති ආයතනයක් විසින් මෙවැනි කටයුත්තකට අත ගැසීම අනවශ්‍ය මහජන මුදල් නාස්තියක් විය හැකියි. සමහර විට මේ පර්යේෂණය ගුවන් යානා මගින් පුද්ගලයින් පැහැර ගැනීමේ හැකියාව සොයා බැලීම වැනි සාමාන්‍ය ඉතිහාස පර්යේෂකයින්ට කළ නොහැකි සුවිශේෂී එකක්ද දන්නේ නැහැ. 

මුදල් අමාත්‍යාංශය විසින් මෑතකදී නිකුත් කර තිබෙන මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව අනුව, ශ්‍රී ලංකා එයාර්ලයින්ස්හි 2018 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 17,214ක්ද, 2019 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 44,023ක්ද, 2020 පළමු මාස හතරේ අලාභය රුපියල් මිලියන 8,916ක්ද වෙනවා. සමස්තයක් ලෙස රජයට අයිති ව්‍යවසායයන් 52ක 2019 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 2,424ක් වූ අතර, 2020 පළමු මාස හතරේදී එම ආයතන සියල්ලේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 30,272ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන්නට එක් හේතුවක් වන්නේ කළ යුතු දේ නොකර වෙනත් දේවල් කරන්න යාමයි.


Saturday, May 30, 2020

ආච්චිට හාල් ගරන්න වී මෝලක්!


ලංකාවේ පැවති ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකය ගැන අපි පෙර ලිපියකින් කතා කළා. ඇත්තටම ලෝකයේ හැම රටකම වගේ යම් කාලයකදී තිබෙන්න ඇත්තේ ඔය ආකෘතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. වවපු බෝග විතරයි වෙනස් වෙන්න ඇත්තේ. ලංකාවේ මේ ආකෘතියට ආසන්නව තිබුණු ගම් මට මතක ඇති කාලයේත් තිබුණා.

මේ වගේ ගමක සාමාන්‍ය ගෙදරක බොහෝ විට කොස් ගහක්, පොල් ගස් කිහිපයක්, කෙසෙල් පඳුරු කිහිපයක් එහෙමත් තිබුණා. ඒවාට අමුතුවෙන් සාත්තුවක් කෙරුණේ නැහැ.

දැන් අපි කලින් ලිපිය අවසානයේදී අහපු ප්‍රශ්නයට එමු.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සංස්කෘතික හෝ දේශපාලන හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරු හෝ එවැනි හේතු ඉදිරිපත් කළොත් මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, මෙය මෙසේ වෙන්න පැහැදිලි ආර්ථික හේතු තිබෙනවා. ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ වැවුණු වී රටට ආනයනය කරන වටපිටාවක් හැදෙන්නත්, එවැනිම කෘෂිකාර්මික බෝගයක් වූ පොල් ප්‍රධාන අපනයන බෝගයක් වෙන්නත් ආර්ථික සාධක බලපෑවා.

හාල් සඳහා රට ඇතුළේ විශාල ඉල්ලුමක් තිබුණා. එහෙත් අර මුලින් කී ස්වයංපෝෂිත ඒකක ඇතුළේ පිටට දිය හැකි වී අතිරික්තයක් නිෂ්පාදනය වුනේ නැහැ. කන්නයක් අවසානයේ වී අස්වැන්න වී බිස්සට හෝ අටුවට ගියා. ඉන් පසුව ටිකෙන් ටික අඩු වුනා. වී බිස්ස හිස් වේ ගෙන එන කොට මිනිස්සු කොස් දෙල් බතල වලට බැහැලා වී ටික පරිස්සම් කර ගත්තා. එක දිගට අස්වනු හොඳ වූ විට වී බිහි, අටු කොටු පිරුණා. එක දිගට අස්වනු පාළු වෙන කොට වී බිහි හිස් වෙලා වෙන මොනවා හෝ දෙයක් හොයා ගෙන කන්න වුනා. නැත්නම් බඩගින්නේ ඉන්න වුනා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී පිටට වී විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඔය තත්ත්වයේ තිබුණු ලංකාවේ වී ගොවිතැන ගොඩ දමන්නනම් පසුකාලීනව කළා වගේ වියලි කලාපය සංවර්ධනය කර මිනිස්සු පදිංචි කරවීම වගේ සංකීර්ණ වෙනසක් ක‍රන්න වෙනවා. නමුත්, ඒ වෙනුවෙන් මුදල් හා කාලය වැය කරනවාට වඩා පහසුවෙන් හා අඩු වියදමකින් කලාපයේ වෙනත් රටකින් සහල් ආනයනය කරන්න පුළුවන්කම තිබුණු නිසා ඉංග්‍රීසින්ට එවැනි වැඩකට අතගහන්න අවශ්‍ය වුනේ නැහැ. වී ගොවිතැන සඳහා ලංකාවට වඩා වාසිදායක තත්ත්වයන් කලාපයේ වෙනත් රටවල තිබුණා.

ඉංග්‍රීසීන් විසින් වැඩේ අත ඇරියේ සොයා බැලීමක් නොකර නෙමෙයි. ඔවුන් මී හරකුන් ආනයනය දක්වා විවිධ දේවල් අත් හදා බලා තිබෙනවා. නමුත්, ඒ වැඩෙන් මී හරකුන්ට වූ තරම්වත් යහපතක් වී ගොවීන්ට වුනාද කියන එක සැකයි. ආනයනය කරපු සමහර මී හරක්නම් කැලේට හරි පැනගත්තා.

ඇත්තටම ලන්දේසි කාලයේදී පවා ලංකාවේ වී ගොවිතැන ගොඩදාන්න උත්සාහ කර තිබෙනවා. පැරණි වී අමුණු ප්‍රතිසංස්කරණය, ඉන්දියාවෙන් ශ්‍රමිකයින් රැගෙන ඒම, වී වැපිරීම වෙනුවට පැල හිටවීම හඳුන්වා දීම වගේ බොහෝ දේ කරමින් ඒ කාලයේදීත් උත්සාහ කර ඇති බවට වාර්තා ඇතත් වැඩේ සාර්ථක වී නැහැ. බෙංගාලය, සුමාත්‍රා වාගේ පැති වල එකට විස්සක හෝ තිහක අස්වැන්නක් ලැබෙද්දී ලංකාවේ වී අස්වැන්න එකට හයකට හෝ දොළහකට වඩා වැඩි වී නැහැ.

එක පැත්තකින් මෙයට සමාජය සංවිධානය වී තිබුණු ආකාරයත් සැලකිය යුතු තරමකින් බලපානවා. ගණුදෙනුවක පාර්ශ්ව දෙකම මිනිසුන් වශයෙන් සමාන සේ නොසැලකේනම් ගනුදෙනු සිදු වුවත් ඒවා නිදහස් ගනුදෙනු නෙමෙයි. එක පාර්ශ්වයකට මිල තීරණය කිරීමේ බලය වැඩියි. ඒ වගේම, වැඩියෙන් ප්‍රාග්ධනය රැස් කළා කියලා සමාජ ධුරාවලියේ ඉහළට යන්න පුලුවන් කමක් නැත්නම් තමන් දැනට ඉන්න තත්ත්වය පවත්වාගත හැකි යමක් ලැබීම ප්‍රමාණවත්. ඊට වඩා මහන්සි වී ප්‍රාග්ධනය එක්රැස් කරගත්තා කියලා කොහොමටත් උඩට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, පැල හිටවන්න මහන්සි නොවී වී ටික ඉහලා දාලා ගෙදර ඇවිත් බුලත් විටක් හපලා නිදාගන්න එක සැපයි.

වී ගොවිතැනේදී ලංකාව සතු නොවූ සාපේක්ෂ වාසිදායක තත්ත්වය පොල් වගාවේදී තිබුණා. ඒ වගේම පොල් සඳහා බාහිර ඉල්ලුමක්ද තිබුණා. ඒ නිසා, පොල් ලංකාවේ අපනයන බෝගයක් බවට පත් වුනා. කොස් දෙල් කෙහෙල් වගේ දේවල් වී හා පොල් මෙන් කල් තබාගත හැකි නොවූ නිසා ඒවා ආනයන හෝ අපනයන බවට පත් වුනේ නැහැ. මේ දේවල් වලට හාල් පොල් වලට වගේ විදේශ ඉල්ලුමක් තිබුණෙත් නැහැ.

ලංකාවේ පැරණි ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයෙන් වාණිජකරණය වෙද්දී පැරණි සමාජ ධුරාවලිය ක්‍රමයෙන් බිඳ වැටෙමින් අලුත් ඉඩම් හිමි ධනවතුන් බිහි වෙන්න පටන් ගත්තා. මේ ධනවතුන් බොහෝ විට බිහි වුනේත් පොල් වගාව ආශ්‍රිතව මිසක් වී වගාව ආශ්‍රිතව නෙමෙයි.

ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ සහල් ඉල්ලුමෙන් විශාල කොටසක් ආනයනය කරන්න සිදු වී තිබුණා. එහෙත්, තේ, රබර්, පොල් අපනයනය කර ලැබූ විදේශ විණිමය ප්‍රමාණවත් වූ නිසා මේ වැඩේ අවුලක් තිබුණේ නැහැ. නිදහස ලැබී ටික කාලයක් යද්දී ලංකාවේ අපනයන වල මිල එසේම තිබියදී ආනයන මිල ඉහළ යාම නිසා ගෙවුම් ශේෂ හිඟයක් ඇති වී එම හිඟය ටිකෙන් ටික උග්‍ර වෙන්න පටන් ගත්තා. රජය මගින් ලබා දුන් සහල් සලාකයේ බරපැන ඉහළ යාම නිසා ආනයනික සහල් මිල ඉහළ යාම ගෙවුම් ශේෂ හිඟයට අමතරව රජයේ අයවැය හිඟයද ඉහළ යවන්න හේතු වුනා.

ලංකාව මේ වගේ ප්‍රශ්නයක පැටලුනේ නිදහස ලැබෙද්දී උරුම වූ තේ, පොල්, රබර් ආර්ථිකයේ දිගටම හිර වී සිටි නිසයි. නිදහස ලැබූ අලුතම අපනයන විවිධාංගීකරණය හා කාර්මීකරණය ගැන බරපතල ලෙස හිතුවානම් අපනයන වියදම් ඉහළ යද්දී ආනයන වියදම්ද සමාන්තරව ඉහළ යා හැකිව තිබුණා. ඉංග්‍රීසීන් දිගටම රට පාලනය කළානම් ඔවුන් බොහෝ විට කල් තියාම මේ වැඩේ කරනවා. නමුත්, නිදහස් ලංකාව ඊට වඩා බර තැබුවේ ආනයන ආදේශනය වෙතයි.

වී ගොවිතැන නගා සිටුවීම කෙරෙහි නිදහස් ලංකාවේ හැම ආණ්ඩුවකින් වගේම විශේෂ අවධානයක් යොමු වුනා. ආර්ථික සාධක  වලට වඩා චිත්තවේගීය සාධක එයට මුල් වුනා. අජිත් පැරකුම්ගේ වචන වලින් කියනවානම් ලංකාවේ බලයේ සිටි හා නොසිටි දේශපාලන පක්ෂ විසින් වී ගොවිතැන නැංවීමේ ලේබලය ගහගෙන දිගින් දිගටම කළේ ලාංකිකයාගේ මානසික කිරිපල්ල අතගාන එකයි.

වී ගොවිතැන වෙත විශාල ලෙස සම්පත් යෙදවීමේ වාසිය ලබමින් රටේ වී වවන බිම් ප්‍රමාණය වගේම අක්කරයකින් ලැබිය හැකි වී ප්‍රමාණයත් වසරින් වසර ඉහළ ගියා. එයට සමාන්තරව රටේ සහල් ආනයන අවශ්‍යතාවය ටිකෙන් ටික පහත වැටුණා. මහවැලි ගොවි බිම් වල වී අස්වනු රටේ සමස්ත වී නිෂ්පාදිතයට එකතු වීමෙන් පසුව 1982 පමණ වන විට ලංකාව රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවය රට තුළින්ම සපුරා ගත හැකි තත්ත්වයකට පත් වුනා.

මේ කාලය වෙද්දීත් ලංකාවේ මා පෙර කතා කර ඇති ස්වයංපෝෂිත ගම් තිබුණා. විශේෂයෙන්ම තෙත් කලාපයේ වී ගොවිතැන සිදු කෙරුණේ වාණිජ පදනමකින් නෙමෙයි. දැනට වුවත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නැහැ.

හැත්තෑව දශකයේදී මට සමීප ඇසුරක් තිබුණු බොහෝ නිවෙස් වල තමන්ගේම කුඹුරකින් ලබා ගත් වී සංචිත තිබුණා. මේ වී සහල් කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ගෙදරින්මයි. ලොකු හැළියක වී තැම්බීමෙන් පසුව මිදුලේ මාගල් එළා අව්වේ වී වේලුවා. වැස්ස එනකොට හනිකට වී ගෙට ගන්න ඕනෑ. ආනන්ද සමරකෝන් විසින් ලියපු ජනප්‍රිය ගීයකත් කියන්නේ ඔය කතාවනේ.

අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ ..//
අම්මත් අර නා ගෙන එන්නේ //
මල්ලි තවම කුඹුරේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ...

ඔය විදිහට තම්බා වේලා ගන්නා වී සමහර වෙලාවට ගෙදර වංගෙඩියේ කොටලා, කුල්ලෙන් පොලලා හාල් කර ගත්තා. හුණු සාලුත් එකතු වෙනවා. කිරිබත් එහෙම හදාගන්න වී තම්බන්නේ නැතුව කැකුලෙන් කෙටුවා. හැබැයි ඔය කාලේ වෙද්දී ගොඩක් ගම් වලට ආසන්න කඩ මණ්ඩියක වී මෝලකුත් තිබුණා. ගෙදර තම්බා වේලා ගන්නා වී මෝලේ ගන්නත් පුළුවන්කම තිබුණා. සමහර වෙලාවට මෝලේ ගාස්තුව වී හෝ හාල් වලින්ම ගෙවන්නත් පුළුවන්කම තිබුණා. මමත් ඕනෑ තරම් වී ගෝනි ඔලුවේ තියාගෙන වී මෝල් වලට ගෙනිහින් හාල් කරගෙන ඇවිත් තියෙනවා.

හැත්තෑ ගණන් වලදී බොහෝ විට ගෙදර වී ඉවර වෙන කොට කඩෙන් මිල දී ගත්තේ රට හාල්. පස්සේ පස්සේ කඩවලට වියලි කලාපයෙන් හාල් එන්න පටන් ගත්තා. මේ හාල් වල අප්‍රසන්න ගඳක් තිබුණා. එයට හේතුව වී තිබුණේ තම්බන්නේ නැතිව ටැංකියක දමා වී පල් කරන එක කියලා ඒ දවස් වල අහලා තිබුනත් එහෙම එකක් දැක්කේ වසර ගණනකට පසුවයි. මම හිතන විදිහට වියලි කලාපයේ වුනත් මුල් කාලයේදී මෝලකින් වී කොටාගන්න ඇත්තේ ගෙදර පරිභෝජනය සඳහා වෙන්න ඇති.

ඔය පොඩි වී මෝල් වලින් මුල් කාලයේ කළේ යැපුම් කෘෂිකර්මයේ නිරතව සිටි මිනිසුන්ගේ වංගෙඩියට හා මෝල්ගහට ආදේශකයක් වෙමින් වී කොටන රාජකාරිය කරන එක පමණයි. වී කෙටීම සඳහා ගාස්තුව විදිහට එකතු කරගත් හාල් ඔය වගේ මෝලකින් මිල දී ගන්නත් පුළුවන්කම තිබුණා. ඊට අමතරව මේ වගේ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගෙන පසුව විකිණීමක් කළේ නැහැ.


ගෙදර වී වලින් කොටා ගත් හාල් වුනත්, කඩේ හාල් වුනත් ඔය හාල් ලිපේ තියන්න කලින් මුලින්ම වී අහුලන්න ඕනෑ. ඊට පස්සේ ගරන්න ඕනෑ. නෑඹිලියක් උපයෝගී කර ගනිමින් හාල් ගරන එකත් පුහුණුවක් අවශ්‍ය කලාවක්. පුහුණුව නැති කෙනෙක් හාල් ගැරුවොත් කාලා හමාරයි. ඒ නිසා, තමන්ට හරියට හාල් ගරන්න බැරිනම් ආච්චිට හාල් ගරන්න කියන්න වෙනවා.

මම හිතන විදිහට අරලිය ආකෘතියේ පෞද්ගලික වී මෝල් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ අනූව දශකය එළැඹෙන්න ආසන්නවයි. කඩෙන් ගෙනාපු හාල් වතුර දමා කෙළින්ම ලිපේ තියන එක ඒ කාලයේ හැටියට සුවිශේෂී අත්දැකීමක්. අරලිය ආකෘතිය දක්වා පරිණාමය වුනේ කලින් යුගයේ ගම් වල තිබුණු කුඩා පරිමාණයේ වී මෝල් වුවත් මේ අලුත් ආකෘතියේ වී මෝල් වලින් ඉටු කරපු ආර්ථික කාර්යය අර පරණ වී මෝල් වලින් කරපු දෙයම නෙමෙයි. පරණ වී මෝල් වලින් කළේ වංගෙඩියේ දමා මෝල්ගහෙන් වී කොටන එකට විකල්පයක් සැපයීමයි. එහෙත්, මේ අලුත් ආකෘතියේ වී මෝලක ආර්ථික කාර්ය භාරය වී කෙටීමට සීමා වී නැහැ.

මේ අලුත් ආකෘතියේ වී මෝලකින් වී-සහල් සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. ඔය කටයුතු හතරෙන් සම්ප්‍රදායික වී මෝල් හිමියෙකු විසින් කළේ තෙවන කටයුත්ත පමණයි. ඒ නිසා, අරලිය ව්‍යාපාරය වගේ ව්‍යාපාර වී මෝල් ලෙස හඳුන්වන එකේම වැරැද්දක් තිබෙනවා. වී මෝල් හිමියාගේ ලාබ පාඩු හෝ ඒකාධිකාර ගැන කතා කරන්න කලින් පළමුව මේ වෙනස නිවැරදිව විග්‍රහ කරගෙන තේරුම් ගත යුතුයි.

ලංකාවේ වී ගොවිතැන කියන්නේ කාලයක් තිස්සේ විවිධ රාජ්‍ය මැදිහත්වීම් හරහා හොඳටම පටලවා තිබෙන නූල් බෝලයක්. ගොඩක්ම පැටලුනු නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට පැටලුම් අරිනවා කියා ඇත්තටම හිතාගෙන වැඩේට බහින කෙනෙක් වුනත් වැඩේ ඉවර කරන්නේ නූල් ටික තවත් පටලවලා. ඒ නිසා, මොනවා හෝ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න කළින් මුලින්ම කළ යුත්තේ මේ පැටලුම් ලිහලා විසඳුම් සෙවිය යුතු සැබෑ ප්‍රශ්න මතු කර ගන්න එකයි. මේ වගේ සංකීර්ණ අවුලක් ක්ෂණිකව ලිහන්න බැහැ. අපි අවශ්‍ය තැනට හෙමිහිට යමු. දැනට අපි මේ කරුණු මතක තියා ගනිමු.

- ලංකා ඉතිහාසයේ කවරදාකවත් අද තරම් සමස්ත වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ.

- බොහෝ විට ඒක පුද්ගල පදනමකින් වුවත් අද තරම් වී නිෂ්පාදනයක් රටේ සිදු වෙලා නැහැ. අතරින් පතර එවැනි වකවානු තිබුණා වෙන්න පුළුවන්.

- නිදහසින් පසු දිගින් දිගටම ලංකාවේ ආණ්ඩු විසින් වී ගොවිතැනට විශේෂ සැලකිලි දක්වමින් සම්පත් යෙදෙවීම නිසා සමස්තයක් ලෙස රටට වූ යහපත හෝ අයහපත කවරක් වුවත්, වී ගොවිතැනේ සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබෙනවා.

අතීතයේ කළ දේවල් නිසා සිදු වූ පාඩු ආපසු හැරවිය නොහැකි ගිලුණු පිරිවැය නිසා දැන් කළ යුත්තේ මත්තල ගුවන් තොටුපොළ පර්යන්තය වී වේලන්න ගත්තා වගේ වැඩ නොකර අනාගතය දෙස බලා කළ යුතු හොඳම දේ කිරීමයි.


නිදහසෙන් පසු ලංකාවේ වී වගාව වෙනුවෙන් යොදා ගැනෙන බිම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩියෙන් වැඩි වී තිබෙනවා. ඒ තත්ත්වය නැවත ආපසු හරවන්න උත්සාහ කළ යුතු නැතත්, මේ බිම් ප්‍රමාණය තවත් වැඩි කරන්නට යාම කාර්යක්ෂම නැහැ. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවාගන්න ඔය ඉඩම් ටික ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. වී වගාව සඳහා තව තවත් ඉඩම් වෙන් කිරීම කාර්යක්ෂම නොවන බව වඩා විස්තරාත්මකව පැහැදිලි කළ හැකි කරුණක්.


නිදහස ලැබූ තැන් පටන් අද දක්වාම රටේ බොහෝ දෙනෙක් විවාදයකින් තොරව එකඟ වී ඇති කරුණක් වන්නේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. මෙය ලංකාවේ සමාජවාදී සැලසුම් වලද ප්‍රමුඛ ඉලක්කයක් වුනා.

ලංකාවේ ඉඩම් අක්කරයකින් ලබා ගත හැකි අස්වැන්න ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩු බව ඇත්ත. එහෙත්, ඉතිහාසයේ කවර කලෙකවත් ඉඩම් අක්කරයකින් නොගත් තරමේ විශාල අස්වැන්නක් දැන් ලංකාවේ වී ගොවියා විසින් ලබා ගන්නවා. නිදහසෙන් පසු ලංකාවේ වී ගොවිතැනේ ඵලදාව තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙය තවත් ඉහළ දමා ගැනීමට උත්සාහ කළ යුතු බව පිළිබඳව විවාදයක් නැහැ. හැබැයි ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුළේම නිපදවා ගැනීම ඉලක්කයක්නම් ඒ සඳහා දැන් ලැබෙන අස්වැන්න හොඳටම ඇති.


එහෙමනම් සැබෑ ප්‍රශ්නය කුමක්ද? ආණ්ඩුව විසින් හෝ බොහෝ දේශපානඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැති, ඩඩ්ලි සිරිසේන වැනි මෝල් හිමියන් විසින් ව්‍යවසායික ඉවෙන් හෝ වෙනත් ක්‍රමයකින් හඳුනාගෙන මිලක් අය කරමින් විසඳුම් දී ඇති ලංකාවේ වී-හාල් සැපයුම් දාමයේ ප්‍රශ්න ගැන අපි ඉදිරියේදී කතා කරමු.


Tuesday, May 26, 2020

වී බිස්ස අවුස්සමු!


ධනවාදය කියා කියන්නේ මිනිස්සුන්ගේ නිදහස් ගනුදෙනු මිසක් මුදල් නෙමෙයි. මුදල් කියා කියන්නේ ගනුදෙනු සඳහා භාවිතා කරන මෙවලමක් පමණයි. ඒ නිසා, ධනවාදය පවතින්න මුදල් අවශ්‍යම නැහැ. වැදගත් වන්නේ මුදල් භාවිතා කර හෝ නොකර නිදහස් ගනුදෙනු සිදු වීමයි. එහෙත්, ගනුදෙනු නිදහසේ සිදු නොවනවානම් එතැන ධනවාදයක් නැහැ.

යුරෝපීයයන් පැමිණ වෙනස් කරන්න කලින් ලංකාවේ තිබුණේ මොන විදිහේ ආර්ථිකයක්ද? ඒ කාලයේ ලංකාවේ ජීවත් වුනේ ගනුදෙනු කිසිවක් නොකර තම තමන්ගේ දූපත් වල ජීවත් වූ රොබින්සන් කෲසෝලාද?

යුරෝපීයයන් ලංකාවට මුලින්ම පැමිණෙන කාලයේදී යුරෝපයේ ශ්‍රම බලකායෙන් අවම වශයෙන් 50-75% අතර පිරිසක් නිරතව හිටියේ කෘෂිකාර්මික රැකියා වලයි. ලංකාවේ මේ ප්‍රතිශතය මීට වඩා අඩු මට්ටමක තියෙන්න හේතුවක් නැහැ. ඒ අයගෙන් විශාල පිරිසක් වී ගොවිතැනේ නිරතව හිටිය බව පැහැදිලියි.

බත් කියන්නේ ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය. මේ පුරුද්ද විජයගෙන් සංකේතවත් වන වත්මන් නැගෙනහිර ඉන්දියාවෙන් සියවස් කිහිපයක් තිස්සේ කණ්ඩායම් වශයෙන් මෙහි ආ සංක්‍රමණිකයින් හේතුවෙන් ප්‍රචලිත වූ පුරුද්දක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැනටත් ඉන්දියාවේ වැඩිපුරම සහල් නිපදවන ප්‍රාන්තය බටහිර බෙංගාලයයි. කොහොම වුනත් අවම වශයෙන් සහශ්‍ර තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ වී ගොවිතැන සිදු වෙනවා.

ජනප්‍රිය සාහිත්‍යය කෙසේ වුවත් ලංකාවෙන් පිටරට වලට සහල් අපනයනය කළ බවට තිබෙන සාක්ෂි වලට වඩා ලංකාව සහල් ආනයනය කළ බවට සාක්ෂි වැඩියි. මේ ගැන අප පෙර කතා කර තිබෙනවා. හැබැයි ගම්පොළ යුගය පමණ වන තුරු ඔය ආනයන අපනයන දෙකම ඉතා කලාතුරකින් සිදු වී ඇති දේවල් මිස නිතර සිදු වී ඇති දේවල් නෙමෙයි. ඒ අර්ථයෙන් ගත් විට ලංකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් නිපදවාගෙන තිබෙන්නේ ලංකාවේමයි. ඒ සහල් ප්‍රමාණය රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවූ කාල වකවානු වගේම කිසියම් අතිරික්තයක් තිබුණු කාල වකවානුත් තියෙන්න ඇති. එහෙත්, කාලයක් තිස්සේ එක දිගටම විශාල අතිරික්තයක් තිබී ඇති බවක්නම් පෙනෙන්නේ නැහැ.

සැලකිය යුතු විදේශ වෙළඳාමක් සිදු නොවූයේය යන අර්ථයෙන් ලංකාව සහලින් ස්වයංපෝෂිතව සිටි බව කියන්නට පුළුවන්. එහෙත්, එවැනි තත්ත්වයක් පැවතුණේ නෛසර්ගික හේතු මත මිස කෘතීම ලෙස ජාත්‍යන්තර වෙළඳාමට බාධා පමුණුවා තිබුණු නිසා නෙමෙයි. නාවික තාක්ෂනය එක්තරා මට්ටමකට දියුණු වන තුරු මහා පරිමාණ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.

ලංකාවේ ශිෂ්ඨාචාරය වියලි කලාපයෙන් තෙත් කලාපයට මාරු වීමෙන් පසුව රටේ සහල් නිෂ්පාදනයේ පෙර වූ සාර සොබාව නැවත දකින්නට ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙටි කාලාන්තර තුළ රාජධානි මාරු වීම, රාජ්‍යය ශක්තිමත්ව නොපැවතීම, නිතර ඇති වූ අභ්‍යන්තර ගැටුම් ආදියත් එයට හේතු වෙන්න ඇති. අනෙක් අතට මේ කාලය වන විට නාවික තාක්ෂනයේ යම් මට්ටමක දියුණුවක් ඇති වී තිබෙනවා. මේ කරුණු හේතුවෙන් යුරෝපීයයන්ගේ සම්ප්‍රාප්තියට පෙරත් ලංකාව නැගෙනහිර හා දකුණු ඉන්දියාවෙන් වරින් වර සහල් ආනයනය කර තිබෙනවා. එහෙත්, රටේ අති මහත් බහුතරයක්, කුසගින්නෙන් නොපෙළුනානම්, තව දුරටත් යැපෙන්න ඇත්තේ දේශීය සහල් වලින්.

මේ අර්ථයෙන් බැලු විට ලංකාවේ ජීවත්ව සිට ඇත්තේ රොබින්සන් කෲසෝලා නොවූවත් මිනිසුන් අතර ගනුදෙනු වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ ගම් හා පරිවාර ගම් සීමාව තුළයි. රටේ විවිධ ප්‍රදේශ අතර ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා සීමිතවයි. එයට හේතුවද මාර්ග පහසුකම් වැඩි දියුණු වී නොතිබීම නිසා භාණ්ඩ ප්‍රවාහනයට වූ ස්වභාවික බාධාව මිස ආණ්ඩු විසින් පැනවූ හාල් පොලු වැනි නියාමන රෙගුලාසි නෙමෙයි.

මේ කාලය වන විට හාල් කියන්නේ ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය පමණක් නෙමෙයි. ලංකාවේ ප්‍රධාන මුදල් ඒකකයද හාල්  කියා කියන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවේදී මුදල් අර්ථ දක්වන ගුණාංග තුනක් තිබෙනවා.
- ගනුදෙනු වලදී ගෙවීම් කිරීමට යොදා ගන්නා මෙවලමක් වීම
- ගිණුම් තැබීමේ ඒකකයක් වීම
- වටිනාකම ගබඩා කර තබා ගත හැකි දෙයක් (වත්කමක්) වීම

ලංකාවේ ආර්ථිකය තුළ සහල් විසින් අඩු වැඩි වශයෙන් මේ කාර්යයන් තුනම ඉටු කර තිබෙනවා. මේ කාලය වෙද්දී වගේම ඊට සියවස් ගණනාවකට පෙරත් ලංකාවේ රන් රිදී ඇතුළු ලෝහ කාසි භාවිතා වී තිබෙනවා තමයි. සමාජ ධුරාවලියේ ඉහළින් සිටි අය ලෝහ කාසි භාවිතා කරන්න ඇති. ජාත්‍යන්තර වෙළඳාමේදී වගේම නිතර සිදු නොවූ ගමෙන් පිට අයෙකු සමඟ කරන ඇතැම් ගනුදෙනුවකදී ලෝහ කාසි භාවිතා කරන්න ඇති. එහෙත්, ගම ඇතුලේ සිදු වූ බොහෝ ගනුදෙනු වලදී ලෝහ කාසි හුවමාරුවක් වුනා කියා හිතන්න බැහැ. ඇතැම් අය අතේ ලෝහ කාසි තිබෙන්නම නැතුව ඇති.

ධනවාදය හා සමාජවාදය වෙනස් වන එක් මූලික කරුණක් වන්නේ සමාජවාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ හිමි විය යුතුය කියන කරුණ බැහැර කිරීම. නමුත්, ධනවාදය විසින් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මේ එක් එක් නිෂ්පාදන සාධකය සපයන අය අතර නියම අනුපාතයට බෙදී යා යුතු බව පිළිගන්නවා. ඒ නිසා, ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ ලබන ප්‍රාග්ධනය අහිමි අයෙකුට තමන්ගේ වත්මන් පරිභෝජනය සීමා කර ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට හා අනාගතයේදී ප්‍රාග්ධනය වෙනුවෙන්ද ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි වෙනවා.

සමාජවාදය තුළ මේ අවස්ථාව නැති නිසා මිනිස්සුන්ව උපයන දේ සියල්ල පරිභෝජනය කර අවසන් කරන පරිභෝජනවාදයක් වෙත තල්ලු කෙරෙනවා. ප්‍රාග්ධනය මිනිසුන් අතේ එක් රැස් වීම වැළැක්වෙනවා. ඒ හරහා ප්‍රාග්ධනයේ අයිතිය පිළිබඳ රාජ්‍ය ඒකාධිකාරය පවත්වා ගැනීමට ඉඩ සැලසෙනවා. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මිනිසුන් අතර බෙදා හරින්නේ (හෝ නොහරින්නේ) කොහොමද කියා තීරණය කිරීමේ අයිතිය ඉතිරි වන්නේ රජයේ ඉහළ ස්ථරයේ සිටින සුළු පිරිසකගේ අතේ. ඒ නිසා, ඒ පිරිසට ඔවුන්ගේ අභිමතය අනුව තීරණය කෙරෙන කටයුත්තක් සඳහා ඒ අතිරික්තය යෙදෙවීමේ හැකියාවක් ලැබෙනවා. එය වෙනත් රටක විකුණන පොත් වල මිල සුබසාධනය කිරීම, වෙනත් රටක යුද්ධයකට මැදිහත් වීම හෝ අභ්‍යවකාශ වැඩ සටහනක් වෙන්න පුළුවන්.

ලංකාවේ කෘෂි කර්මාන්තයේ කාලයක් තිස්සේම පැවතුණු අඳ ගොවි ක්‍රමය ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ හා ශ්‍රමයේ ප්‍රතිලාභ පිළිගන්නා ක්‍රමයක්. ඒ කාලයේ මිනිස්සු මේ බර වචන හෝ ධනවාදය කියන්නේ කුමක්ද කියා දැන සිටින්න නැතුව ඇති. එහෙත්, ඉඩම් හිමියාට ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ගොවියා විසිනුත්, ගොවියාට ශ්‍රමයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ඉඩම් හිමියා විසිනුත් පිළි ගැනුණා. මැණික් පතල් කර්මාන්තයේ බිම් පංගුව (හා පසුව එකතු වූ මැෂින් පංගුව) කියන්නෙත් ඔය වගේම දෙයක්.

ඇතැම් විට ඉඩම් හිමියා වුනේ පන්සලක් හෝ දේවාලයක්. ඇතැම් විට රජය වෙනුවෙන් කිසියම් සේවයක් කළ අයෙක්. ඇතැම් විට රට වෙනුවෙන් සේවයක් කර රජයෙන් ඒ වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබූ කෙනෙක්.

මේ ගනුදෙනු වලදී ලෝහ කාසි යොදා ගැනුනේ නැහැ. මුදල් ඒකකය වුනෙත් වී කුරුණිම තමයි. ඒ වගේම, රජයට ගෙවිය යුතු බදු ගෙවීම සඳහා බොහෝ විට යොදා ගත්තෙත් වී. මීට අමතරව කෘෂිකාර්මික අංශයෙන් පිටත වෙනත් අංශ වල රැකියා වල නිරත වූ අයට, උදාහරණයක් ලෙස කම්මල් වැඩ කළ හෝ වලං හැදූ අයට ගෙවීම් කළේත් වී වලින්. මේ වැඩේට වෙනත් ආහාර බෝගත් යොදා ගෙන ඇතත් ජනප්‍රියම ගෙවීම් මාධ්‍යය වුනේ වී.

අනෙක් පැත්තෙන් මිනිස්සුන්ගේ වත්කම් පිළිබඳ නිර්ණායකයක් වුනෙත් වී. වී බිස්ස හිස්වීමෙන් සංකේතවත් වුනේ බංකොලොත් වීමයි. හැමදාම අටුව පිරෙන්න වී තිබුණානම් ඔහු සාපේක්ෂ ධනවතෙක්. වෙනත් ලෙසකින් කිවුවොත් වී ගබඩා කර තබා ගැනීම යන්නෙන් අදහස් වුනේ වත්කම් ගබඩා කර තබා ගැනීමක්.

ඒ වගේම, ඉඩම් වල වටිනාකම තීරණය වුනේ වැපිරිය හැකි වී ප්‍රමාණය හෝ ලැබිය හැකි වී අස්වැන්න මතයි. වී මිටි, වී නෑලි, වී කුරුණි, වී බෙර, වී පෑල්, වී අමුණු වගේ ඉඩම් මනින ඒකක හැදී තිබෙන්නේ මේ පදනමෙන්. ඉඩම් වල සරු නිසරු බව අනුව මේ ඒකකයක වර්ග ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ගිණුම් තැබීමේ ඒකකයක් ලෙසත් වී වලට කාර්ය භාරයක් තිබී තිබෙනවා.

ඉහත පැහැදිලි කර ඇති පරිදි වී කියා කියන්නේ ලාංකිකයින්ගේ ප්‍රධාන ආහාරය වගේම කාලයක් තිස්සේ භාවිතා කළ ප්‍රධාන මුදල් ඒකකයක්. ආදායම හා වත්කම් පිළිබඳ නිර්ණායකයක්.

මුදල් ඒකකය ලෙස සෘජුවම ශ්‍රම ඒකක යොදා ගැනුණු අවස්ථාත් තිබෙනවා. අත්තම් ක්‍රමයේදී සිදු වන්නේ එවැනි දෙයක්. මෙහිදී හුවමාරු වන්නේ ශ්‍රම ඒකකයි.

ශ්‍රම ඒකක හුවමාරු කිරීම මාක්ස්වාදය සමඟ ගැලපෙන අදහසක්. මෙය ස්වභාවිකව ක්‍රියාත්මක විය හැක්කේ ශ්‍රම ඒකක වල වටිනාකම් ආසන්නව සමානනම් පමණයි. එහෙත් සියල්ලන්ගේම ශ්‍රම ඒකක හැම විටම සමාන නැහැ. මාක්ස්වාදී ප්‍රවේශය නිවැරදි නොවන්නේ ඒ නිසයි. එසේ වුවත්, අත්තම් සන්දර්භයේදී ශ්‍රම ඒකක බොහෝ දුරට සමානයි. පේලියට ගොයම් කපාගෙන යන කොට එක් කෙනෙක්ට වැඩි වේගයකින් හා තවත් කෙනෙක්ට අඩු වේගයකින් ගොයම් කපන්න බැහැ. ඒ නිසා, නූතන කම්හලක නිෂ්පාදන පේළියකදී (production line) වගේ කවුරුත් එකම වේගයෙන් වැඩ කරන්න ඕනෑ. මේ සන්දර්භයේදී අත්තම් ක්‍රමය මාක්ස්වාදය සමඟ මෙන්ම ධනවාදය සමඟත් ගැලපෙනවා.

මේ ශ්‍රම ඒකක හුවමාරු ක්‍රමය නවීන තොරතුරු තාක්ෂනය සමඟ මුසු වී විකල්ප ගනුදෙනු ක්‍රමයක් ලෙස මේ වෙද්දී බටහිර ලෝකය තුළ අලුත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ගැන වෙන වෙලාවක විස්තර කරන්නම්.

මෙතෙක් විස්තර කළ දේවල් වල සාරය ගත්තොත්, යුරෝපීයයන් එන කාලය වෙද්දී ලංකාවේ ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් තිබුණා. එහෙත්, මේ ගම් වෙනත් ගම් වලින් හෝ ලෝකයෙන් වෙන් කෙරෙන කෘතීම බාධා තිබුණේ නැහැ. ගම් ඒකක බාහිර තරඟකාරිත්වයට මුහුණ දුන්නා. ගනුදෙනු සීමා වී තිබුණේ ගම් අතර පාරවල් හැදී ප්‍රවාහන පහසුකම් දියුණු වී නොතිබීමේ හේතුව නිසා පමණයි. බාහිර සාධක සැළකු විට පැවති තත්ත්වය කාර්යක්ෂමයි.

රටේ බොහෝ තැන් වල තිබුණේ මේ වගේ තත්ත්වයක් වුවත් මේ ආකෘතිය ඇතුළේ නොතිබුණු තැන් තිබුණා. උදාහරණයක් ලෙස මන්නාරමේ මුතු කර්මාන්තය ආශ්‍රිත ආර්ථිකය රට ඇතුළේ කෘෂි ආර්ථිකය සමඟ බද්ධ වී තිබුණේ නැහැ. එය බොහෝ දුරට ජාත්‍යන්තරකරණය වී තිබුණා. කර්මාන්තයේ නියැලුණු බොහෝ දෙනෙක් තාවකාලික සංක්‍රමනික ශ්‍රමිකයින්. අද ව්‍යවහාරය අනුව ලංකාවේ හා ඉන්දියාවේ ද්විත්ව පුරවැසියන් කියා කියන්නත් පුළුවන්. යුරෝපීයයන් පැමිණීමට පෙර සිටම ඔවුන්ගේ පරිභෝජනය පිණිස දකුණු ඉන්දියාවෙන් සහල් ආනයනය කර තිබෙනවා.

එක පැත්තකින් පැවති ප්‍රවාහන බාධක නිසා රට මැද සිට මන්නාරමට සහල් ප්‍රවාහනය කරනවාට වඩා දකුණු ඉන්දියාවෙන් බෝට්ටු වලින් ගේන එක කාර්යක්ෂමයි. අනෙක් පැත්තෙන් රට මැද තෙත් කලාපයේ ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි වී අතිරික්තයක් තිබී නැහැ.

යුරෝපීයයන් පැමිණීමෙන් පසුව ස්වයංපෝෂිත ගම් ඒකක වලින් බාහිරව වූ ආර්ථිකය තව තවත් පුළුල් වුනා. එහිදී දුම්කොළ හා කුරුඳු ආශ්‍රිත අපනයන ඉලක්ක කරගත් වාණිජ කෘෂි කර්මාන්තයේ නියැළුණු ශ්‍රමිකයින්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් දිගින් දිගටම ඉන්දියාවෙන් ආනයනය කර තිබෙනවා. රට මැද ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි තරමේ සහල් අතිරික්තයක් නොතිබීම එයට ප්‍රධාන හේතුවයි. අඩු වශයෙන් ලන්දේසි යුගයේ ආරම්භයේ සිට මෙසේ ආනයනය කළ වී ප්‍රමාණ හා මිල ගණන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ සහිත වාර්තා තිබෙනවා. ලිපිය වෙන පැත්තකට යන නිසා වැඩි විස්තර කතා නොකර සිටිමු.

ඉංග්‍රීසින් විසින් කෝපි හා තේ හඳුන්වාදීමත්, දකුණු ඉන්දීය ශ්‍රමිකයින් රැගෙන ඒමත් නිසා ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය එසේම තිබියදී එයින් බාහිර ආර්ථිකය විශාල ලෙස පුළුල් වුනා. ඒ නිසා, ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයේ සාපේක්ෂ වැදගත්කම අඩු වුනා. දකුණු ඉන්දීය ශ්‍රමිකයින්ට අවශ්‍ය ආහාර බොහෝ දුරට ඉන්දියාවෙන්ම ආනයනය කිරීමයි සිදු වුනේ. වාණිජ කෘෂිකර්මයෙන් ඉපැයූ ආදායම් ඒ සඳහා ප්‍රමාණවත් වුණා.

යුරෝපීයයන්ට, විශේෂයෙන්ම ඉංග්‍රීසින්ට ලංකාවේ ඔවුන්ගේ වියදම් ලංකාවෙන් උපයන ආදායම් වලින්ම පියවා ගන්න අවශ්‍ය වුනා. ඔවුන් ඒ සඳහා විශාල ලෙස මහන්සි වුනා. කෝපි හා තේ හඳුන්වා දීමත් මේ උත්සාහයන් තුළ කළ අත්හදා බැලීම්. කෝපි අසාර්ථක වුනත් තේ හා රබර් ආශ්‍රිත කෘෂිකර්මය සාර්ථක වුනා.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක අපි තවත් දවසකට කල් දමමු.

Saturday, May 9, 2020

පැරකුම් යුගයකට නැවත යා යුතුද?


"මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් – නිජ භූමිතලේ ලංකා..."

කියවන අය අතර ඔය පද ටික හිතේ නැති කෙනෙක් නැතුව ඇති නේද? ඔය සින්දුවේ කියන ආකාරයට පැරකුම් යුගයකට නැවත යාමේ අරමුණ හෝ ඉලක්කය ගැන අපට වරින් වර අහන්න ලැබෙනවා. පැරකුම් යුගයේදී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ බව සඳහන් වෙනවා.

මේ කියන පැරකුම් යුගය ක්‍රිස්තු වර්ෂ 1153–1186 අතර කාලයයි. ලංකාවට පෘතුගීසීන් ආවේ ක්‍රිස්තු වර්ෂ 1505දී. ඒ කියන්නේ පැරකුම් යුගයේ අවසානය හා පෘතුගීසි ආගමනය අතර කාලය වසර 319ක් පමණයි. පෘතුගීසි ආගමනයේ සිට මේ වන විට තවත් වසර 515ක් ගෙවිලා. මම මෙයින් කියන්න අදහස් කළේ පැරකුම් යුගය කියන එක ලංකාවේ ඉතිහාසය එක්ක බැලුවහම සාපේක්ෂව නූතන යුගයක් කියන එකයි, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉතිහාසය මීට වඩා ගොඩක් කෙටි වුවත් ලංකාවේ ඉතිහාසය පැරකුම් යුගයෙන් ගොඩක් එහාට යනවා. මහින්දාගමනය සිදු වූ තැන් සිට පැරකුම් යුගය දක්වා කාලය පැරකුම් යුගයේ සිට අද දක්වා කාලයට වඩා දිගු කාලයක්.

පැරකුම් යුගයේදී ලෝකයේ අනෙක් හැම රටකම මිනිස්සු කොළ අතු ඇඳගෙන හිටියේ නැහැ. ඒ කාලය වන විට ලෝකයේ විවිධ රටවල් යම් මට්ටමක දියුණුවක් අත් කරගෙන හිටියා. ඉතාලියේ බොලොඤ්ඤ සරසවිය ආරම්භ කර තිබෙන්නේ පැරකුම් යුගයට වසර 65කට පෙර ක්‍රිස්තු වර්ෂ 1088දී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ආරම්භ කරල තියෙන්නේ පැරකුම් යුගයට වසර 57කට පෙර ක්‍රිස්තු වර්ෂ 1096දී. පැරකුම් යුගය වන කොට වැනීසිය මහා පරිමාණයෙන් නැවු තනමින් හා ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙමින් සෑහෙන තරමේ ආර්ථික සමෘද්ධියක් අත් පත් කර ගෙන.

මේවා ලිවුවා කියලා ජාතික අභිමානය අඩු කරගන්න අවශ්‍ය නැහැ. පැරකුම් යුගය ලංකා ඉතිහාසයේ ඉතා සමෘද්ධිමත් යුගයක්. වැනීසිය මට්ටමේ නොහිටියත් ඒ කාලයේ ලංකාව ආනයන, අපනයන හා ප්‍රති-අපනයන කර විශාල වශයෙන් ආදායම් ඉපැයූ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්. ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි අරමණ ආක්‍රමණය සිදු වුනෙත් මේ කාලයේ. මේ ගැන කලින් ලියූ ලිපි මාලාවක් පහත තිබෙනවා.

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...





අපට කතා කරන්න අවශ්‍ය වී ගොවිතැන ගැනනේ. රෝදය අළුතින් හොයා ගන්න කාලය මිඩංගු නොකර මම මේ ගැන භූෂණ කල්හාරගේ සිංහලේ බ්ලොග් අඩවියේ පළ කර තිබුණු ලිපියක කොටස් උපුටා දක්වන්නම්. ඔහු ඉතිහාසය ගැන සෑහෙන දැනුමක් තිබෙන, විශ්වාසනීය මූලාශ්‍ර හෝ වෙනත් තාර්කික පදනමක් සහිතව කරුණු ඉදිරිපත් කරන කෙනෙක් නිසා ඔහු ලියා ඇති දේ ගැන නැවත හොයා බලන්න හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

"මහාවංශය වැනි වංශ කතා මූලාශ්‍ර සහ අට්ඨ කතා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන්ම විවිධ අවස්ථා වලදී මෙරට දරුණු සාගත තත්වයන්ට මුහුණ දී ඇත." 

"...පුරාතන සහ මධ්‍යතන යුගයන්හී මෙරට තුල වරින් වර දුර්භීක්ෂ තත්වයන් ඇති වුවද පාලකයන් නිරතුරුව ඒවා මැඩපැවැත්වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් රටේ පරිභෝජනය උදෙසා අවශ්‍ය තරමින්වත් තිබෙන්නට ඇති බවත් අනුමාණ කල හැක. මුළු දිවයින පුරාම සියළු කල්හීම එකම තත්වයක් බලපැවත්වීද? එසේම ප්‍රභූ සහ සංඝ සමාජයේ සිට සමාජයේ පහල ස්ථරය නියෝජනය කල ගැමියන් දක්වා මේ තත්වය එසේම පැවතීද යන්න අවසාන නිගමනයකට එලඹිය හැකි කාරණා නොවේ."

"මෙරටින් සහල් අපනයනය කල බවට අපගේ වංශ කතා වල කිසිදු සඳහනක් හමු නොවන අතර ඒ පිළිබඳව ඇත්තේ  එකම එක සාක්ෂ්‍යක් පමණි. ... මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම බොහෝවිට ඇතිවන්නට ඇත්තේ මේ එකම තොරතුර පාදක කරගෙන වීමට පුළුවන. ... කෙසේ නමුත් මෙරටට සහල් ආනයනය සිදු කල බවට වූ සාධක කිහිපයක්ම හමුවේ."

මුළු ලිපියම පහත සබැඳියෙන් කියවිය හැකියි.


දැන් අපි වැදගත්ම කරුණට එමු. පැරකුම් යුගයේ ලංකාව සහල් (බොහෝ විට වී) අපනයනය කළා වෙන්න පුළුවන්. නමුත්, එසේ අපනයනය කළ සහල් ප්‍රමාණය රටේ මුළු සහල් නිෂ්පාදනයෙන් විශාල කොටසක් වෙන්න බැහැ. අරමණ ආක්‍රමණය ගැන මා ලියා ඇති ලිපි පෙළේ තිබෙන කරුණු අනුව සමහර විට එක සහල් නැවක් පිටරට යවා ඒ පිළිබඳව විශාල ප්‍රචාරයක් කළා වෙන්න පුළුවන්. එහෙම නැතුව ලංකාවෙන් මුළු පෙරදිගටම සහල් යවපු බව පිළිගන්න සාධක නැහැ.

හැබැයි ඔය කියන පැරකුම් යුගයේ වගේම වරින් වර වෙනත් කාල වකවානු වලදීත් ලංකාවේ සහල් අතිරික්තයක් තිබුණා කියන එක පිළිගන්න පුළුවන්. වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය යොදවන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන අතිරික්තයක් තිබුණානම් පමණයි. වී හෝ සහල් අපනයනය කරන්න හෝ ගබඩා කරන්න පුළුවන් වෙනවා කියන්නේ රටේ සියලු දෙනාටම ආහාරයට ගන්න අවශ්‍ය සහල් ප්‍රමාණයට වඩා රටේ නිපදවුනා කියන එක වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. 

සමහර විට පිරිසක් සතුව විශාල අතිරික්තයක් තිබුණත් ඉතිරි පිරිස බඩගින්නේ හිටියා වෙන්න බැරිද? අපි එහෙම වුනේ නෑ කියලා හිතමු.

අනෙක් අතට වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය ඉතිරි වුනා කියා කියන්නේ ඒ අයට කන්න දෙන්න ආහාර හදන්න ඉතිරි පිරිසට හැකි වුනා කියන එකයි. ඇතැම් විට කුඹුරු වැඩ නැති දවස් වල මේ වගේ වෙන වැඩ කළා වෙන්නත් පුළුවන්.

දැන් අපි අපේ ඇස්තමේන්තු වලට එමු.

අපි හිතමු රටේ නිපදවන සහල් රටේ සියලුම දෙනා පරිභෝජනය කිරීමෙන් පසුව යම් ප්‍රමාණයක් ඉතිරි වී ඒ ප්‍රමාණයෙන් කොටසක් අපනයනය කළා කියලා. තවත් කොටසක් ගබඩා කර ගත්තා කියමු. අපනයනය කරපු ප්‍රමාණය පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 5%ක් ලෙසත්, ගබඩා කර ගත් ප්‍රමාණය 45%ක් ලෙසත් සලකමු. ඒ කියන්නේ පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 50%ක් අතිරික්තය. වෙනත් විදිහකට කිවුවොත් නිපදවපු ප්‍රමාණයෙන් තුනෙන් එකක් අතිරික්තය.

ඊළඟ ප්‍රශ්නය රටේ ජනගහණයෙන් කොපමණ පිරිසක් මේ වී ප්‍රමාණය නිපදවන්න දායක වුනාද කියන එකයි. පැරණි ලංකාවේ ජීවත් වූ අයගෙන් බොහෝ දෙනෙක් වී ගොවිතැනේ යෙදුනු බව අප දන්නා නිසා එසේ නොයෙදුණු ප්‍රතිශතය ඇස්තමේන්තු කරන එක වඩා පහසුයි.

කුඩා දරුවන් හා මහල්ලන් - 30%
රජවරුන්, ප්‍රාදේශීය ප්‍රභූවරුන් හා බෞද්ධ භික්ෂූන් - 1%
ගොවිතැන් නොකරන පහත් කුල වල අය - 10%
ගර්භණී/ කුඩා ළමුන්ට කිරි දෙන කාන්තාවන් - 4%
වැව්, අමුණු හදන්න හා රාජ්‍ය සේවයට ගිය අය - 5%
එකතුව - 50%

ඒ කියන්නේ රටේ ජනගහණයෙන් 50%ක්වත් වී ගොවිතැනේ යෙදෙනවා. ඒ පිරිස රටේ මුළු ජනගහණයට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙන් 150%ක් හදනවා. මේ අනුව, එක් අයෙකු තවත් දෙදෙනෙකුට බත සපයනවා.

දැන් අපි ඇමරිකාවට ආවොත් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 330ක් වන ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා. ඇමරිකාවේ ප්‍රධාන ආහාරය බත් නොවන නිසා මේ සංසන්දනයේ වැරැද්දක් තියෙනවනේ. ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 100ක් වුනත්, ඇමරිකාවේ එය කිලෝග්‍රෑම් 10ක් පමණයි. ඒ නිසා, ඇමරිකානුවන් ලංකාවේ තරමටම බත් කනවානම් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 33ක් පමණ ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා කියන එකයි නිවැරදි. එතකොට ඇමරිකාවේ එක වී ගොවියෙක් තව කී දෙනෙකුට බත සපයනවද? 

ඇමරිකාවේ එක වී ගොවියෙක් ලංකාවේ හයදාහකට කන්න ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් නිපදවනවා. කලින් ඇස්තමේන්තුව අනුව පැරකුම් යුගයේ වී ගොවියෙක් නිපදවලා තියෙන්නේ තව දෙන්නෙක්ට කන්න ප්‍රමාණවත් සහල් ප්‍රමාණය පමණයි. ඔය රජ කාලේ වී අමුණු ගණන් අස්වද්දපු යෝදයෝ ගැන කියනවනේ. එහෙම අය ඉන්න ඇති. හැබැයි අද ඇමරිකාවේ වී ගොවියෙක් කන්න දෙන තරම් පිරිසකට ඒ වගේ යෝදයෙක් වුනත් බත සැපයුවා කියා කියන්න බැහැ.

පැරකුම් යුගයේ එක ගොවියෙක් වී වවන කොට තව දෙන්නෙක් වැව් අමුණු හදන්න, ගෙවල් වල ළමයි බලාගන්න, අනිත් අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න, ආයුධ හදන්න, නැවු හදන්න, රටවල් ආක්‍රමණය කරන්න වගේ වෙනත් වැඩ සඳහා ඉතුරු වුනා. අද ඇමරිකාවේ එක වී ගොවියෙක් වී වවන කොට වෙනත් ආහාර හදන්න, නැවු හදන්න, ගුවන් යානා හදන්න, කෝවිඩ් එන්නත් හදන්න, අඟහරු යානා හදන්න, බ්ලොග් ලියන්න, ඉරානයට බෝම්බ දමන්න, කුමන්ත්‍රණ කරන්න, ලංකාවේ ඉඩම් ටික අල්ල ගන්න ගිවිසුම් හදන්න වගේ වැඩ වලට තව හය දාහක් ඉතුරුයි.

ඒ ඇමරිකාවනේ. පැරකුම් යුගය එක්ක අද ලංකාව සංසන්දනය වෙන්නේ කොහොමද? අතරින් පතර හාල් ආනයනය කළත් බොහෝ දුරට ලංකාවට අවශ්‍ය හාල් ප්‍රමාණය රට ඇතුළේ හදා ගන්නවනේ. අපි කියමු රටේ සහල් අවශ්‍යතාවයෙන් 80%ක් රට ඇතුළේ හදා ගන්නවා කියලා. මේ හාල් ටික හදා ගන්න කී දෙනෙක් ඕනෑද? 2019 අවසන් කාර්තුවේදී කෘෂිකර්ම, වන හා ධීවර අංශයේ රැකියා වල නිරත වූ පිරිස 2,215,128ක්. ලංකාවේ ජනගහණය ඔය වගේ දහගුණයක් පමණ වෙනවනේ. ඒ කියන්නේ ජනගහණයෙන් 10%ක්. අපි කියමු ඔය 10%න් 80%ක්ම කළේ වී වවන එක කියලා. එතකොට 8%ක්.

දැන් මේ 8% රටේ 80%කට බත සපයනවා. ඒ කියන්නේ එක වී ගොවියෙක් තව 9 දෙනෙකුට කන්න දෙනවා. ඇමරිකාවේ හයදාහ කිට්ටුවකවත් නැහැ තමයි. හැබැයි පැරකුම් යුගයට වඩා තුන් ගුණයක් පමණ කාර්යක්ෂමයි.

මේ ගණන් හැදිල්ලට මම සංඛ්‍යා ගත්තේ මට හිතෙන හැටියටයි. ඒ නිසා, මූලාශ්‍ර මොනවාද කියලා අහන්න එපා. මේ ගණන් හරියටම හරි කියා මම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම විශාල මිනුම් වරදක් මේ ඇස්තමේන්තු වල තියෙනවා. මොකද පරාක්‍රමබාහු යුගයේ මේ සංඛ්‍යාලේඛණ තියෙන සෙල්ලිපි නැහැනේ. හැබැයි මේ සංඛ්‍යාලේඛණ සැලකිය යුතු ලෙස වෙනස් වුනත් මම මේ කියන කතාව වෙනස් වෙන්නේ නැහැ. අද වෙනකොට ලංකාව පැරකුම් යුගයේ ඉඳලා සෑහෙන්න ඉදිරියට ඇවිල්ලයි තියෙන්නේ.

අපේ ඉතිහාසය ගැන අපි දැන ගන්න ඕනෑ. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නත් අවශ්‍යයි. ඒ ගැන අභිමානයක් ඇති කරගන්න එකත් හොඳයි. හැබැයි එහෙම කියලා ආපහු හැරිලා අතීතයට යන්න අවශ්‍ය නැහැ. දැන් ඉන්න තැනින් ඉදිරියට යන්නනම් ඉන්න තැනට වඩා කාර්යක්ෂම තැනක් දිහා බලාගෙනයි ඉදිරියට යා යුත්තේ.

Wednesday, January 15, 2020

සුබ තයිපොන්ගල් දිනයක්!


අද (ජනවාරි 15) ලංකාවේ නිවාඩු දවසක්. ඒ තයිපොංගල් දිනය වෙනුවෙනුයි. ලංකාවේ තයිපොංගල් උත්සවය සමරන්නේ දෙමළ හින්දු අනන්‍යතාවය ඇති පිරිසයි. තමිල්නාඩුවේද මේ උත්සවය මේ නමින්ම සැමරෙනවා. ඉන්දියාවේ තවත් ප්‍රාන්ත ගණනාවක මේ දිනය මේ නමින්ම හෝ වෙනත් නමකින් සැමරෙනවා.

ඉංග්‍රීසීන් ලංකාව ආණ්ඩු කරන්න පටන් ගැනීමෙන් පසු, 1886 වන තුරු බෞද්ධ, හින්දු හෝ ඉස්ලාම් ආගමික උත්සව පැවැත්වෙන දින ලංකාවේ පොදු නිවාඩු දින වූයේ නැහැ. නමුත්, ක්‍රිස්තියානි නිවාඩු දින ගණනාවක්ම ලංකාවේ පොදු නිවාඩු දින සේ නම් කර තිබුණා. 1886 අංක 4 දරන නිවාඩු දින පණතින් එම නිවාඩු දින ලැයිස්තුවට ක්‍රිස්තියානි නොවන ආගමික නිවාඩු දින තුනක් එකතු වුණා. ඒ, හින්දු අලුත් අවුරුද්ද, වෙසක් පසළොස්වක පෝය හා මහමදිකයන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන්. මීට අමතරව බැංකු නිවාඩු දින අතරට තයිපොංගල් නිවාඩුවක්ද මේ පණතින් එකතු කෙරුණා.

ඉහත පණතින් අප්‍රේල් අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දක් ලෙස මිස සිංහල අලුත් අවුරුද්දක් සේ හඳුන්වා නොතිබීම කැපී පෙනෙන කරුණක්. ඒ වගේම, හින්දු නිවාඩු දිනයක් තෝරා ගැනීමේදී ප්‍රමුඛතාවය ලැබී තිබෙන්නේ තයිපොංගල් දිනයට නොව තමිල් පුතාන්ඩු (දෙමළ අලුත් අවුරුදු) දිනයටයි. තයිපොංගල් දිනය ලංකාවේ පොදු නිවාඩුවක් කෙරෙන්නේ 1914 වසරේ සිටයි. එතැන් සිට අද දක්වාම තයිපොංගල් දිනය ලංකාවේ පොදු නිවාඩු දිනයක්.

සිංහල අලුත් අවුරුද්ද වගේම දෙමළ අලුත් අවුරුද්දත් ආරම්භ වෙන්නේ මේෂ සංක්‍රාන්තියෙන්. ලංකාවේ, ඉන්දියාවේ හා කලාපයේ තවත් රටවල භාවිතා වන සූර්ය දින දර්ශන අනුව මේෂ සංක්‍රාන්තියෙන් ඇරඹෙන පළමු මාසය ජ්‍යොතිෂ්‍යයේදී හැඳින්වෙන්නේ මේෂ රවි මාසය ලෙසයි. තයිපොංගල් දිනය වගේම තමිල් පුතාන්ඩු දිනයත් තමිල්නාඩු ප්‍රාන්තයේ නිවාඩු දිනයක්. ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත ගණනාවකම හා තවත් නැගෙනහිර ආසියානු රටවල් ගණනාවකම විවිධ නම් වලින් මේෂ සංක්‍රාන්තිය සමරනවා.

අවුරුද්දේ ඉතිරි මාසද මේ අයුරින්ම පිළිවෙලින් රාශි චක්‍රය අනුව නම් කර තිබෙනවා. ඒ අනුව, දහවන මාසය මකර රවි මාසයයි. දෙමළ දින දර්ශනය අනුව මකර රවි මාසය තෛ මාසය ලෙස හැඳින්වෙනවා. සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට යාමත් සමඟ මේ මාසය ඇරඹෙනවා. ඒ සංසිද්ධිය මකර සංක්‍රාන්තිය ලෙස හැඳින්වෙනවා. තෛපොංගල් නමින් සැමරෙන්නේත් මේ මකර සංක්‍රාන්තියමයි.

නිරයන ජ්‍යෝතිෂ්‍යය අනුව සූර්යයා උත්තරායනය ආරම්භ කරන දවස තෛපොංගල් හෙවත් මකර සංක්‍රාන්ති දවසයි. එහෙත්, දැන් සැබැවින්ම සූර්යයා උත්තරායනය ආරම්භ කරන්නේ දෙසැම්බර් 21 ආසන්න දිනයකයි. නිරයන ජ්‍යෝතිෂ්‍යය නක්ෂත්‍ර වර්ෂය මත පදනම් වීමත්, නක්ෂත්‍ර වර්ෂයක් නිවර්තන වර්ෂයකට වඩා මිනිත්තු 20ක් පමණ දිගු වීමත් නිසා මේ පරතරය වසරින් වසර වැඩි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 543දී පමණ ජ්‍යෝතිෂ්‍යයෙහි සායන නිරයන භේදය ඇති වන කාලයේ සිදු වීම් දෙකම සිදු වී තිබෙන්නේ එකවරයි. ඒ කාලයේදී මේෂ සංක්‍රාන්තිය සිදු වී තිබෙන්නේ වසන්ත විෂුවය සිදුවීමට සමගාමීවයි.

තෛපොංගල් යන වචනයේ මුල් කොටස හැදී තිබෙන්නේ අදාළ මාසයේ නමින්. එහි දෙවන කොටසින් අදහස් වෙන්නේ දෙමළ ජාතිකයින් විසින් බොහෝ විට උත්සව අවස්ථා වලදී හදන ගිතෙල්, මුං ඇට, හකුරු ආදිය මුසු කිරිබතයි. සිංහලයින් දැන් අවුරුදු කිරිබතට වැඩිපුර දේවල් එකතු කරන්නේ නැතත් සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ තවමත් තිබෙන්නේ හකුරු, ගිතෙල්, තල වැනි වෙනත් දෑද මිශ්‍ර කිරිබතක් හදා ගත යුතු බවයි.

ලංකාවේ රාජ්‍ය නායකයින් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයින් වුවත් ඔවුන් තෛයිපොංගල් උත්සවය සැමරීම වරද්දන්නේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද අද මෝදර ශ්‍රී වෙන්කටේෂ්වරන් මහා විෂ්ණු දේවාලයේදී හින්දු බැතිමතුන් සමඟ තෛයිපොංගල් උත්සවය සැමරීම සඳහා එක් වී තිබෙන අතර සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂ නායක කාර්යාලයේදී තෛයිපොංගල් සැමරුමක් පවත්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තෛපොංගල් දින නිවේදනය පහත තිබෙනවා.

"ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යය සමරන ශ්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමග මම ද සතුටින් එක්වෙමි.

තෛපොංගල් උත්සවයත් සමඟ අන්‍යොන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇති වන නවමු බැඳීම පවුල් ඒකකයේ සිට සමස්ත සමාජය පුරා විහිද යයි. එමගින් දෙමාපිය දූදරු, ගුරු දෙගුරු ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම, පාලකයන් පාලිතයන් අතර ද මානව ගුණයෙන් යුතු සාමාජයීය බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ්වාසය යි.

තෛපොංගල් දින වන්දනාවට පාත්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරලන ආලෝකයත් වන්නේ යම් සේද, උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි!"


(Image: https://twitter.com/USAmbSLM/status/1217272764668809216/photo/1)

Sunday, November 10, 2019

අයෝධ්‍යා තීන්දුව


මුළු මහත් ඉන්දියාවම ඇස් දල්වා බලා සිටි අයෝධ්‍යා අර්බුදයේ ගමන් මාර්ගයේ සුවිශේෂී මං සලකුණක් සටහන් කරමින් අර්බුදයට මුල්ව ඇති බිම්කඩේ අයිතිය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ හින්දූන්ට ලබා දුන්නා. මේ තීන්දුවෙන් පසු ආගමික ගැටුම් ඇති වීම වලක්වනු පිණිස ඉන්දීය රජය හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ජනගහනයෙන් 80%ක් පමණ හින්දූන් වුවත් ඉන්දුනීසියාව හැරුණු විට ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සිටින රටත් ඉන්දියාවයි. මේ ආගමික කණ්ඩායම් දෙක අතර ගැටුම් ඉන්දියාවට අලුත් දෙයක් නෙමෙයි. හින්දූන් හා මුස්ලිමුන් අතර කාලයක් තිස්සේ පවතින අයෝධ්‍යා අර්බුදයත් සියවස් කිහිපයක් ඈතට දිවෙන්නක්.

හින්දු ආගමික සාහිත්‍යයට අනුව විෂ්ණුගේ සත්වන අවතාරය රාම. රාමායනය අනුව රාම ඉපදී තිබෙන්නේ අයෝධ්‍යා නගරයේ. බුද්ධ කාලයේ සාකේත නුවර සේ හැඳින්වී තිබෙන්නේත් මේ අයෝධ්‍යාවයි. සාකේත සූත්‍රය දේශනා කර තිබෙන්නේ මේ ආසන්න අඳුන් වනයේ සිටයි.

අයෝධ්‍යා අර්බුදයට හේතු වූයේ 1992දී විනාශ කරනු ලැබූ බාබුර් මුස්ලිම් පල්ලියයි. මේ පල්ලිය ඉදි කර ඇති සේ සැලකෙන්නේ 1528දීයි. හින්දු පාර්ශ්වයට අනුව, රාම ඉපදී තිබෙන්නේ හරියටම මේ මුස්ලිම් පල්ලිය තිබෙන තැනයි. ඔවුන් විශ්වාස කරන ආකාරයට පල්ලිය හදා තිබෙන්නේ පෙර එම ස්ථානයේ වූ රාම දෙවොලක් මතයි.

බාබුර් පල්ලිය පිහිටි බිමට අක්කර 2.77ක භූමියට හින්දූන් අයිතිවාසිකම් කියන්නේ දහනවවන සියවසේ මැද සිටයි. ඉංග්‍රීසින් විසින් පල්ලිය ඇතුලේ මුස්ලිමුනටත්, පල්ලියෙන් පිටත කොටසක හින්දූන්ටත් ආගමික වතාවත් කිරීමට වෙන් කර දී තිබියදී 1949දී හින්දූන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පල්ලියට ඇතුළු වී එහි රාම සීතා ප්‍රතිමා තැන්පත් කිරීමෙන් පසුව ප්‍රශ්නයේ වත්මන් අදියර ආරම්භ වෙනවා. ජවහර්ලාල් නේරු විසින් මේ ප්‍රතිමා ඉවත් කරන්න උත්සාහ කළත් එය කළ හැකි වන්නේ නැහැ.

විශ්ව හින්දු පර්ෂද් ක්‍රියාකාරිකයින් මුල් වී 1992 දෙසැම්බර් 6 වනදා බාබුර් පල්ලිය විනාශ කර දමන අතර ඉන් පසු ඇතිවන ආගමික ගැටුම් හේතුවෙන් දෙදහසක පමණ පිරිසක් මිය යනවා. ඉන්පසුව හින්දු ආගමික සංවිධාන දෙකක් හා මුස්ලිම් ආගමික සංවිධානයක් ස්ථානයේ අයිතිය වෙනුවෙන් නඩු මගට යනවා. 2003දී සිදු කරන පුරා විද්‍යා කැනීම් අනුව මුස්ලිම් පල්ලිය පිහිටි තැන ඊට සියවස් කිහිපයකට පෙර සිට වෙනත් ආගමික ගොඩනැගිල්ලක් තිබී ඇති බව පෙනී යනවා. එහෙත් එය රාම දෙවොලක්ද, ශිව දෙවොලක්ද එසේත් නැත්නම් බෞද්ධ විහාරයක්ද යන්න විවාදිත කරුණක්.

පුරා විද්‍යා කැණීම් අනුව භූමියට හින්දු අයිතියද පිළිගනිමින් 2010 සැප්තැම්බරයේදී අලහබාද් මහාධිකරණය විසින් අදාළ බිම්කඩ සම කොටස් තුනකට බෙදා හින්දු සංවිධාන දෙකක් හා මුස්ලිම් සංවිධානයක් අතර බෙදා දෙනවා. එහෙත්, අදාළ පාර්ශ්ව මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙනියනවා. අද (නොවැම්බර් 9) ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව රාම ජන්ම භූමියේ අයිතිය මුළුමනින්ම හින්දු පාර්ශ්වයට ලැබෙන අතර මුස්ලිම් පල්ලිය හදා ගැනීම සඳහා වෙනත් තැනකින් ඉඩම් අක්කර පහක් ලබා දී තිබෙනවා. මේ සමඟ අයෝධ්‍යාවේ රාම දෙවොලක් සෑදීම පිළිබඳ නරේන්ද්‍ර මෝදිගේ ඡන්ද පොරොන්දුවක්ද ඉටු කිරීමට ඉඩකඩ සැලසෙනවා.

මේ තීන්දුව පිළිබඳව මුස්ලිම් පාර්ශ්වය සතුටු නොවන බව කිව යුතු නැහැ. සිකුරාදා රාත්‍රියේ දැනුම් දී සෙනසුරාදා උදේ තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු පාර්ශ්වයකට ආගමික ගැටුම් සඳහා සංවිධානය වීමට ඇති ඉඩකඩ අහුරන්නයි. ඊට අමතරව ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක පාසැල් හා සරසවි වසා හමුදා සීරුවෙන් තබා තිබෙනවා.

Monday, May 27, 2019

නිවාඩු පුරාණය (නිදහසට පෙර කතාව)

ක්‍රිස්තියානි ආගමික උත්සව හා අදාළ දවස්, බ්‍රිතාන්‍ය රජ පවුල හා සම්බන්ධ සුවිශේෂී දවස් හා ජනවාරියේ යෙදෙන අලුත් අවුරුදු දිනය පමණක් මුල් කාලයේදී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පොදු නිවාඩු සේ සැලකූ බවත්, 1886 අංක 4 දරන නිවාඩු දින පණතින් ඉහත ලැයිස්තුවට තවත් නිවාඩු දින තුනක් එකතු වූ බවත් පෙර ලිපියේ සඳහන් කළානේ. මේ විදිහට අලුතින් එකතු කළේ තවත් අලුත් අවුරුදු දවස් තුනක්.

යුරෝපීයයන් ලංකාවට එන තුරු ජනවාරි පළමුවෙනිදා දවස ලංකාවට සුවිශේෂී දවසක් වුනේ නැහැ. ඒ වන විට ලංකාවේ භාවිතා වූ බෞද්ධ චන්ද්‍ර දින දර්ශනයේ වර්ෂය පටන් ගත්තේ වෙසක් පුර පසළොස්වක පෝය දවසිනුයි. මේෂ සංක්‍රාන්තිය සිදු වූ දවසින් ශක වර්ෂය මාරු වුණා. ඉස්ලාම් දහම ඇදහූ අය භාවිතා කළ දින දර්ශනයේ වර්ෂය මාරු වුණේ හජ්ජි උත්සවය පැවැත්වුණු මාසයෙන් පසුවයි. මේ අනුව, වෙසක්, මේෂ සංක්‍රාන්ති හා හජ්ජි උත්සව දින පොදු නිවාඩු ලැයිස්තුවට එකතු කිරීමෙන් ඉංග්‍රීසින් විසින් කළේ ක්‍රිස්තියානි නොවන බෞද්ධ, හින්දු හා ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් අලුත් අවුරුදු නිවාඩු දිනය බැගින් ලබා දීමයි.

නිවාඩු දින පණත අනුව, මේෂ සංක්‍රාන්ති දිනය නීත්‍යානුකූලව සැලකුණේ හින්දු අලුත් අවුරුදු දිනය ලෙසයි. මා දන්නා තරමින් ලංකාවට නිදහස ලැබෙන තුරුම නිල වශයෙන් එම නිවාඩුව නම් කර තිබුණේ හින්දු අලුත් අවුරුදු දිනය ලෙසයි. එයට සිංහල කෑල්ලක් එකතු වී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙන්නේ නිදහසින් පසුවයි.

මේ වෙද්දී, ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආගමික අංශය ක්‍රමයෙන් දිය කෙරෙමින් තිබුණත් පළමුව ඇන්ග්ලිකන් ක්‍රිස්තියානියටත්, දෙවනුව කතෝලික ඇතුළු අනෙකුත් ක්‍රිස්තියානි ආගම් වලටත් ලැබුණු විශේෂ සැලකිළි වල අඩුවක් වුණේ නැහැ. පොදු නිවාඩු ලබා දීමේදී වුවත්, ඉතිරි ආගම් වලට ලැබුණේ අඩු සැලකිල්ලක්. අනෙක් ආගම් අතරින් වුවත් බෞද්ධයින්ට කිසිදු විශේෂ සැලකිල්ලක් ලැබුණේ නැහැ. ඇතැම් විට ලැබුණේ වඩා අඩු සැලකිල්ලක්. බෞද්ධයින්ට එක් නිවාඩුවක් ලැබෙන විට හින්දු හා ඉස්ලාම් භක්තිකයින්ටත් එක් නිවාඩුව බැගින් ලැබුණා. ඊට අමතරව, හින්දු තෛපොංගල් දිනය බැංකු නිවාඩුවක් වුණා. ක්‍රිස්තියානි නිවාඩු ගණන අඩු වශයෙන් දහයක් වුණා. 1912 වන විටත් තිබුණේ මේ නිවාඩු ටිකයි.


මේ අතරේ 1911 දෙසැම්බර් 13 වෙනිදා ව්‍යවස්ථාදායක සභාවට ලාංකික නියෝජිතයෙකු පත් කර ගැනීම සඳහා පළමු වරට මැතිවරණයක් පැවැත්වුණා. මේ තනතුර සඳහා තරඟ කළ පොන්නම්බලම් රාමනාදන්, ඔහුගේ ප්‍රතිවාදියා වූ මාකස් ප්‍රනාන්දුව පරදවා ජයගෙන ලාංකික නියෝජිතයා විදිහට කවුන්සලේට ගියා. මේ ඡන්දයේදී ගොවිගම කුලයේ සිංහලයින්ගේ තේරීම වී තිබෙන්නේ කරාව කුලයේ මාකස් ප්‍රනාන්දු වෙනුවට වෙල්ලාල කුලයේ පොන්නම්බලම් රාමනාදන් බව ප්‍රචලිත කරුණක්.


1914 වෙද්දී කලින් බැංකු නිවාඩුවක් පමණක් වූ තයිපොංගල් නිවාඩුවද  පොදු නිවාඩුවක්  වුණා. මේ අනුව, නිල වශයෙන් හින්දු නිවාඩු දින ගණන දෙකක් වුණා. තවත් වසර කිහිපයක් යද්දී, පොදු නිවාඩු ලැයිස්තුවෙන් අළු බදාදා හා උත්ථාන දින නිවාඩු ඉවත් වුණා. 1924 වෙද්දී ක්‍රිස්තියානි නිවාඩු තිබුණේ පාස්කු හා නත්තල් ආශ්‍රිතව පමණයි. එහෙත් මේ නිවාඩු දීර්ඝ නිවාඩු. නත්තලට පෙර දින සිට ජනවාරියේ අලුත් අවුරුද්දට පසුදින දක්වා නිවාඩුව දින දහයක නිවාඩුවක් වූ අතර පාස්කු නිවාඩුව දින පහක නිවාඩුවක් වුණා. බෞද්ධ හා ඉස්ලාම් නිවාඩු තිබුණේ එක බැගිනුයි. නිල වශයෙන් හින්දු නිවාඩුවක් වූ අප්‍රේල් අවුරුදු නිවාඩුවට අමතරව, තයිපොංගල් දිනයද පොදු නිවාඩුවක් වෙද්දී, බැංකු නිවාඩු ලැයිස්තුවට වේල් උත්සව නිවාඩුව එකතු වුණා. මේ අනුව, පොදු නිවාඩු ලබා දීමේදී බෞද්ධයින්ට වඩා සැලකිල්ලක් හින්දුන්ට ලැබුණු බව පැහැදිලියි. එවකට රාජ්‍ය සේවයේ සංයුතිය එයට හේතු වුනා වෙන්නත් පුළුවන්.


බෞද්ධයින්ට වෙසක් නිවාඩුවට අමතරව දෙවන නිවාඩුවක් ලෙස පොසොන් පෝය දිනද නිවාඩු ලැබෙන්නේ 1928 සිටයි. බෞද්ධයින්ට මේ දෙවන නිවාඩුව හිමි වෙද්දී හින්දුන්ටද තවත් පොදු නිවාඩුවක් ලැබෙනවා. ඒ ආඩි අමාවාසයි (ஆடி அமாவாசை) නිවාඩුවයි.


ඉන් පසුව, ඉස්ලාම් භක්තිකයින්ටද මිලාද්-උන්-නබි හා  රාමසාන් උත්සව වෙනුවෙන් තවත් පොදු නිවාඩු දින දෙකක් හිමි වෙනවා. වෙසක් නිවාඩුවද දින දෙකක නිවාඩුවක් බවට පත් වෙනවා. මේ අනුව, බෞද්ධ, ඉස්ලාම් හා හින්දු (අප්‍රේල් අවුරුදු නිවාඩුව හින්දු නිවාඩුවක් සේ සලකා) උත්සව වෙනුවෙන් දින තුන බැගින් පොදු නිවාඩු හිමි වෙද්දී, ක්‍රිස්තියානි ආගමික උත්සව වෙනුවෙන් දින 15ක පමණ දීර්ඝ නිවාඩු හිමි වෙනවා. ඊට අමතරව තවත් හින්දු ආගමික උත්සව දෙකක් වෙනුවෙන් බැංකු නිවාඩු දින තුනක්ද හිමි වෙනවා. ලංකාවට නිදහස ලැබෙන විට පොදු නිවාඩු වල තත්ත්වය ඔය විදිහයි.


Sunday, May 26, 2019

ලංකාවේ ඇන්ග්ලිකන් ආණ්ඩුවේ නිවාඩු

ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ඇමරිකානු රජය හා ආගම අතර පැවතිය යුතු සම්බන්ධයේ ස්වභාවය ඉතා නිශ්චිත ලෙස අර්ථ දැක්වෙනවා. ඒ අනුව, ඇමරිකානු කොංග්‍රසයට කවර හෝ ආගමකට ප්‍රමුඛතාවය ලැබෙන, යමෙකුගේ ආගමික නිදහසට බාධා කෙරෙන හෝ හෘද සාක්ෂියේ නිදහස යටපත් කෙරෙන නීතියක් පැනවීමේ හැකියාවක් නැහැ. ඇමරිකානු රාජ්‍යය පිහිටුවන්නේම මේ ආකාරයට ආගම හා රාජ්‍යය වෙන් කරමිනුයි.

මේ ආකාරයෙන් කැමති ආගමක් ඇදහීමේ (හෝ නොඇදහීමේ) නිදහස ඇමරිකානු ව්‍යවස්ථාවෙන් තහවුරු කෙරෙද්දී ආගම් සේ සැලකුණේ විවිධ ක්‍රිස්තියානි නිකායයන් මිස බුද්ධාගම හෝ හින්දු ආගම වැනි ආසියානු ආගම් නෙමෙයි. ඒ නිසා, විවිධ ක්‍රිස්තියානු ආගම් අදහන අයට වගේම අනෙකුත් ආබ්‍රහමික ආගම් අදහන අයටත් පොදුවේ එකඟ විය හැකි ඇතැම් දේ ඇමරිකානු රාජ්‍යය තුළින් ප්‍රවර්ධනය වීමට මේ ව්‍යවස්ථා ප්‍රතිපාදනය ලොකු බාධාවක් වී නැහැ. එවැනි දේ රජය ආගමට මැදිහත්වීමක් සේ පෙනෙන්නේ බුද්ධාගම වැනි වෙනස් දාර්ශනික පදනමක පිහිටි ආගමක් අදහන අයෙකුට පමණයි. මෙවැනි යම් සීමාවන් තිබුණත්, පොදු වශයෙන් ගත් විට ඇමරිකානු රජය ආගමින් බැහැරව කටයුතු කරන රජයක්.

ඇමරිකා ව්‍යවස්ථාවට පළමු සංශෝධනය එකතු වන්නේ 1791දීයි. ඒ යුගය සැලකූ විට, මේ ආකාරයෙන් ආගම හා රජය පැහැදිලි ඉරකින් වෙන් කිරීම හිතා ගන්නත් අමාරු තරම් ඉදිරිගාමී කටයුත්තක් කියා කියන්න පුළුවන්. ඒ වෙද්දී, ඉංග්‍රීසින් ලංකාවට පැමිණ සිටියේ නැහැ. ඔවුන් ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගත්තේ ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී වසර කිහිපයකට පසුවයි. උඩරට ගිවිසුම අත්සන් කර ලංකාව මුළුමනින්ම ඉංග්‍රීසි පාලනයකට යටත් කෙරුණේ 1815දීයි.

අද අර්ථයෙන් ගත් විට ලංකාවේ ආණ්ඩුවක් පිහිටෙව්වේ ඉංග්‍රීසින් විසින් කියා කීමේ වැරැද්දක් නැහැ. මේ කටයුත්ත සම්පූර්ණ කර ගැනීමට ඔවුන්ට වසර ගණනාවක් ගත වුණා. මේ විදිහට ඔවුන් ලංකාවේ ස්ථාපිත කළේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආණ්ඩුවක්. එසේ කීම අදහස් දැක්වීමක් හෝ ප්‍රවාදයක් නෙමෙයි. නිශ්චිත කරුණක්.

ලංකාවේ පිහිටවූ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ප්‍රමුඛතාවය ලැබුණේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමටයි. එසේ නැතුව ඇමරිකාවේ මෙන් ආගම හා රජය වෙන් කිරීමක් ලංකාවේදී සිදු වුනේ නැහැ. අඩු වශයෙන් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි නොවන අනෙකුත් ආගම් වලට හෝ ආණ්ඩුවෙන් සමාන ප්‍රමුඛතාවක් ලැබුණේ නැහැ. ලංකාවේ ජීවත් වූවන් ඇදහූ විවිධ ආගම් වලට සැලකිලි ලැබුණේ කිසියම් ධුරාවලියකට අනුව බව පැහැදිලියි.

යුරෝපීයයන් පැමිණෙන්න කලින් ලංකාවේ රජුන් හිටියත්, රාජ්‍ය පාලනයක් සිදු වුවත් ඒ රාජ්‍ය පාලනයේ අත් ජනජීවිතයේ හැම මුල්ලකටම දිගු වී තිබුණේ නැහැ. නමුත්, ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රමයෙන් ශක්තිමත් වෙද්දී රටේ මිනිස්සුන්ට තවදුරටත් ආණ්ඩුවේ ග්‍රහණයෙන් මිදී සිටීමේ හැකියාවක් ඉතිරි වුණේ නැහැ.

යුද්ධ හා කැරළි අවස්ථා වලදී ඉංග්‍රීසි හමුදා වල භූමිකාව වඩා ප්‍රබල වුවත්, අනෙකුත් කාල වලදී ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ ජන ජීවිතයට බලපෑම් කලේ ඔවුන්ගේ සිවිල් සේවය හරහායි. එහි ශාඛා ගණනාවක් තිබුණා. ආගමික ශාඛාවත් (ecclesiastical branch) එයින් එකක්. එහි ප්‍රධානියා වූයේ බිෂොප් වරයායි. බිෂොප් වරයාට මෙන්ම ධුරාවලියේ ඔහුට පහළින් සිටි අනෙකුත් ඇන්ග්ලිකන් පූජකවරුන්ටත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නිශ්චිත වැටුප් හිමි වුණා.

ලංකාවේ සිවිල් සේවය ස්ථාපිත කිරීමෙන් පසුව, ඇන්ග්ලිකන් පල්ලි සැලකුණේ ආණ්ඩුවේම කොටසක් ලෙසයි. ආණ්ඩුවේ සිවිල් සේවකයෙකු ලෙස බිෂොප් වරයා (1871දී) ලැබූ පවුම් දෙදහසක වැටුප තවත් එවැනිම ඉහළ නිලධාරියෙකු වූ යටත් විජිත මහලේකම්ගේ වැටුපට සමානයි. සිවිල් සේවයේ නිලධාරීන් අතරින් ඊට වඩා වැඩි වැටුපක් හිමි වුණේ අධිකරණ ශාඛාවේ ප්‍රධානියා වූ අගවිනිසුරුට පමණයි. (සිවිල් සේවයට උඩින් සිටි ආණ්ඩුකාරවරයාගේ වැටුප මෙහිදී සලකා නැහැ.)

1886 අංක 4 දරන නිවාඩු දින පණත සම්මත කෙරෙන තුරු බෞද්ධ, හින්දු හෝ ඉස්ලාම් ආගමික උත්සව පැවැත්වෙන දින ලංකාවේ පොදු නිවාඩු දින වූයේ නැහැ. නමුත්, ක්‍රිස්තියානි නිවාඩු දින ගණනාවක්ම ලංකාවේ පොදු නිවාඩු දින සේ නම් කර තිබුණා. ඉරිදා දිනයද නිවාඩු දිනයක් වුණා. උදාහරණයක් ලෙස 1871 වසරේදී, අළු බදාදා දිනය, මහ සිකුරාදා දිනය, පාස්කුව වෙනුවෙන් දින දෙකක්, උත්ථාන දිනය හා නත්තල වෙනුවෙන් දින තුනක් වශයෙන් ක්‍රිස්තියානි ආගමික කටයුතු වෙනුවෙන් නිවාඩු දින අටක් වෙන් වී තිබුණා. රැජිනගේ උපන් දිනය හා මෞලි මංගල්‍ය සැමරුම් දින වෙනුවෙනුත්, වේල්ස් කුමරුගේ උපන් දිනය වෙනුවෙනුත් තවත් නිවාඩු දින තුනක් ලබා දී තිබුණා. මීට අමතරව ජනවාරියේදී අලුත් අවුරුදු නිවාඩුවකුත් තිබුණා.


1884 වසර වන විටත් තිබුණේ මේ නිවාඩු ටිකයි.


1886 අංක 4 දරන නිවාඩු දින පණතින් ඉහත ලැයිස්තුවට තවත් නිවාඩු දින තුනක් එකතු වුණා. ඒ, හින්දු අලුත් අවුරුද්ද, වෙසක් පසළොස්වක පෝය හා මහමදිකයන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන්. මේ පණතින් අප්‍රේල් අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දක් ලෙස මිස සිංහල අලුත් අවුරුද්දක් සේ හඳුන්වා නොතිබීම කැපී පෙනෙන කරුණක්. මීට අමතරව බැංකු නිවාඩු දින අතරට තයිපොංගල් නිවාඩුවක්ද මේ පණතින් එකතු කෙරුණා. පණත හරහා ඉංග්‍රීසින් විසින් කර තිබෙන්නේ ඇන්ග්ලිකන් ආගම ඇතුළු ක්‍රිස්තියානි ආගම් වලට ප්‍රමුඛතාවය දෙන අතරම ක්‍රිස්තියානි නොවන ආගම් වලට නොකර බැරිකමට ඉතා සුළු සැලකිල්ලක් කිරීමයි.


කොහොම වුනත්, 1880 දශකය කියන්නේ ලංකාවේ ආණ්ඩු ව්‍යුහයේ වෙනසක් සිදු වූ කාලයක්. 1886 අවුරුද්දේ වෙසක් පෝය ලංකාවේ පොදු නිවාඩු දිනයක් වුනේ හෙන්රි ස්ටීල් ඕල්කොට් වැනි අය ඒ වෙනුවෙන් සටන් කළ නිසාම නෙමෙයි. වෙසක් නිවාඩුව එක්කම මහමදිකයින්ට හජ්ජි නිවාඩුවක්, හින්දුන්ට අළුත් අවුරුදු නිවාඩුවක් හා තෛපොංගල් බැංකු නිවාඩුවක්ද ලැබීමෙන් මේ වෙද්දී බ්‍රිතාන්‍ය මහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල සිදුවූ වෙන්සක්කමක ඡායාවන් දකින්න බැරිකමක් නැහැ. ඒ වන තෙක් මිථ්‍යා දෘෂ්ඨීන් සේ හඳුනාගත් ආබ්‍රහමික නොවන ආගම් නිල වශයෙන් විකල්ප ආගම් සේ පිළිගැනීම විශාල සංකේතාත්මක වැදගත්කමක් තිබෙන කරුණක්. ආණ්ඩුව ඒ වන විටත් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආණ්ඩුවක් තමයි. නමුත්, කලින් තිබුණාට වඩා ටිකක් අඩුවෙන්.

ලොකුවට නොවුණත් ලංකාවේ ආණ්ඩුව මේ ආකාරයට නිර්-ආගම්කරණය වෙන්න පටන් ගත්තේ 1881දී පමණ සිටයි. 1870 අංක 14 දරන පනතින්, 1840 අංක 1 දරන පණතේ ඇතැම් ප්‍රතිපාදන අහෝසි කෙරුණු අතර ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආගමික අංශය ක්‍රමයෙන් දිය කර හරින්න පටන් ගැනුණා. ඒ වන සිට තනතුරු දැරූ ඇන්ග්ලිකන් පූජකයින්ට ආණ්ඩුවෙන් ගෙවූ වැටුප් ඔවුන් අදාළ තනතුරු දරන තුරු දිගටම ගෙවන්නටත්, අදාළ තනතුරු පුරප්පාඩු වීමෙන් අනතුරුව නැවත එම තනතුරු නැවත නොපුරවා සිවිල් සේවයේ ආගමික අංශය අහෝසි වී යාමට ඉඩ සැලසීමත් මේ පනතේ අරමුණ වුනා.


1881දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සුළුවෙන් වුවත් නිර්-ආගමික වෙන්න අඩියක් තිබ්බේත්, ඊට දශක නවයකට පෙර ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනයෙන් ආගම හා රාජ්‍යය වෙන් කෙරුණේත් එකම පසුබිමක නෙමෙයි. 1791 කාලයේදී බටහිර ලෝකයේ ක්‍රිස්තියානි ආගම් ආශ්‍රිත දැනුම සැලකුණේ භෞතික විද්‍යාව හා ගණිතය වැනි කිසියම් ආකාරයක නවීන දැනුමක් ලෙසයි. බුද්ධාගම වැනි ආගම් ක්‍රිස්තියානියට විකල්ප දැනුම් සේ සැලකුනේ නැහැ. ඇමරිකාව ආගම් හා රජය වෙන් කිරීමෙන් කළේ ක්‍රිස්තියානි ආගමික දැනුම ඉදිරියට ගෙන ගිය විවිධ පාර්ශ්ව වලට වඩා නිවැරදි දේ සොයා ගැනීමට ඉඩ සලසමින් ආණ්ඩුව පැත්තක් නොගෙන සිටීමයි. ඒ වෙද්දී විද්‍යාව හමුවේ ක්‍රිස්තියානි ආගම් පසුබෑමට ලක් වී තිබුණේ නැහැ.

නමුත්, 1880 වන විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර යුරෝපයේ මේ තත්ත්වය වෙනස් වෙලා ක්‍රිස්තියානි ආගම් වලට අනෙකුත් නවීන දැනුම් එක්ක ඉදිරියට යන්න බැරි තත්ත්වයක් ඇති වී අවසන්. ඒ නිසා, ලංකාවේ සිවිල් සේවයේ අධිකරණ, වෛද්‍ය, විද්‍යාත්මක ආදී අනෙකුත් ශාඛා එක්ක ආගමික ශාඛාවේ නොගැලපීමක් ඇති වී තිබුණා. විද්‍යාත්මක දැනුමක් ලෙස නොසලකා විශ්වාස මත පදනම් වූ දැනුමක් ලෙස පමණක් සලකා ඇන්ග්ලිකන් ක්‍රිස්තියානියට තැනක් දෙන ස්ථාවරයකට ඉංග්‍රීසි ආණ්ඩුව තල්ලු වුනාට පස්සේ එවැනි පදනමකින් ක්‍රිස්තියානි නොවන වෙනත් ආගමක් අදහන අයෙකුට නිවාඩුවක් දීමේ සෛද්ධාන්තික ගැටලුව අහෝසි වී ගියා. ලංකාවට 1886 සිට වෙසක්, අවුරුදු හා හජ්ජි නිවාඩු ලැබුණේ ඒ නිසයි.

Saturday, April 6, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (තෙවන කොටස)


බුදුන්ගේ දෙවන ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන වෙන්න පුළුවන් වගේම, පළමු ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ චන්ද්‍රග්‍රහණයක් ගැන වෙන්නත් බැරිකමක් නැහැ. වංශ කතා අනුව පළමු ලංකාගමනය සිදුවෙන්නේ පුර පසළොස්වක දවසක රාත්‍රී කාලයේදීයි.

"ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල්  වූ රම්‍ය වූ  මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."

"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක."

දැන් මේ කතාවේ හැටියට වෙන්නේත් බුදුන් විසින් යක්ෂයින්ගේ හිස් මතුපිට සිට අන්ධකාරයක් මවන එකයි. පසුව අවශ්‍ය දේ සිදුවීමෙන් පසුව ගිණිගෙන දිලිසෙන්නාක් වැනි ආලෝකයක් දැකිය හැකි වෙනවා.

"ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක." 

මේ ආකාරයට පෙනුනේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන අවස්ථාවක පෙනෙන රතු හඳද?

විජය පැමිණියායැයි සැලකෙන කාලය හා ඊට පෙර සියවස් වල අවම වශයෙන් ලංකාවේ වෙනස් සංස්කෘතීන් දෙකක් පැවතී ඇති බව පැහැදිලියි. රට ඇතුළේ යක්ෂයින් හා මුහුදුබඩ පළාත් වල නාගයින් වශයෙන්. ලංකාවේ නාගයින් වත්මන් ඉන්දියාවේ මුහුදුබඩ පෙදෙස්වල විසූ නාගයින් සමඟ සමීප සංස්කෘතික සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති බවත් පැහැදිලියි. නමුත්, යක්ෂයින් හා නාගයින් අතර එවැනි සම්බන්ධතාවයක් තිබී ඇති බවක් පෙනෙන්නේ නැහැ.

යක්ෂයින්ගේ ප්‍රතිරෝධය හමුවේ ගංගා දිගේ රට ඇතුළට සංක්‍රමණය වෙන එක නාගයින්ට බොහෝ අසීරු කටයුත්තක්ව තිබෙන්න ඇති. එසේ තිබියදී නාගයින් ගෝකණ්ණයේ සිට මහවැලි ගඟ දිගේ ඉහළට ටිකෙන් ටික ඇවිත් මහියංගනය හරියටම ව්‍යාප්ත වෙලා හිටියා වෙන්න පුළුවන්. නමුත්, මහියංගනය ආසන්නව යක්ෂයින්ගේ බලය ලොකුවටම තියෙන්න ඇති.

වංශ කතා අනුව මහියංගනයේ යක්ෂයින් කඳුකරයට (ගිරි දිවයිනට) එළවා දමන්න හැකි වී තිබෙන්නේ බුදුන්ගේ උදවුවෙන්. නාග හා දේව ගෝත්‍රිකයින්ට යක්ෂයින් එළවා මහියංගනයේ බලය තහවුරු කරගන්න උදවු වුනේ දුරුතු පසළොස්වක පෝ දිනක සිදු වූ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද?

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වීම එතරම් දුලබ දෙයක් නොවන නිසා කිසියම් ඓතිහාසික සිදුවීමක් කාල නිර්ණය කර ගැනීමට එවැන්නක් පිළිබඳ දැනුමකින් ලොකු පිටිවහලක් ලැබෙන්නේ නැහැ. නමුත්, පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ ගොඩක් දුර්ලභ සිදුවීමක්.

බුදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූ තැන සේ සැලකෙන්නේ නාගදීප දූපතයි. එම ස්ථානය පිහිටා තිබෙන්නේ උත්තර අක්ෂ භාග 9°36'17.8"හි හා  නැගෙනහිර දේශාංශ 79°46'07.1"හියි. ආසන්න වශයෙන් මුහුදු මට්ටමේම තිබෙන තැනක්. මේ විස්තර ඇසුරෙන් අපට බුද්ධ කාලය අයත් වන ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය තුළ එහි සිට දැකිය හැකි වූ පූර්ණ සූර්යග්‍රහණ හඳුනාගත හැකියි. එම සහශ්‍රය තුළ නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණ සිදුව තිබෙන්නේ හතරක් පමණයි. පහත තිබෙන්නේ අදාළ විස්තරයි.

-ක්‍රිස්තු පූර්ව 1055 මාර්තු 18 දින දවල් 12:51:42 සිට 12:57:05 දක්වා මිනිත්තු 5කුත්  තත්පර 23ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 දින උදේ 8:40:27 සිට 8:44:13 දක්වා මිනිත්තු 3කුත්  තත්පර 46ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 375 පෙබරවාරි 28 දින හවස 5:11:04 සිට 5:12:07 දක්වා මිනිත්තු 1කුත්  තත්පර 03ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 335 ජූලි 04 දින හවස 4:34:57 සිට 4:36:19 දක්වා මිනිත්තු 2කුත් තත්පර 43ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 168 ජූලි 17 දින උදේ 9:39:18 සිට 9:44:29 දක්වා මිනිත්තු 5කුත් තත්පර 10ක කාලයක්

අශෝක රජුගේ රාජ්‍යාභිෂේකය සිදු වූ වසර ක්‍රිස්තු පූර්ව 268 හෝ ආසන්න වසරක් බව සෑහෙන තරම් නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. මහා වංශයට අනුව, විජයාගමනය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ඊට වසර 218කට පෙරයි. මෙය බොහෝ ගැටළු සහගත හා අවිනිශ්චිත මූලාශ්‍රයක් වුවත් දැනට තිබෙන වඩාත් පිළිගත් මූලාශ්‍රයයි. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වසර සේ පිළිගැනෙන්නේ ක්‍රිස්තු පූර්ව 486 වසරයි. එසේනම්, දෙවන ලංකාගමනය සිදුව තිබිය යුත්තේ ඊට වසර 40කට පෙර ක්‍රිස්තු පූර්ව 526දීයි. නමුත්, මෙම කාලයට ආසන්නවම සිදුව ඇති නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 480දීයි. එනම් බුද්ධත්වයෙන් නොව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පහකට පමණ පසුවයි.

සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය සිදු වුනේ එකම දවසක කියන එක නිවැරදි තොරතුරක් සේ පිළිගැනීම ගොඩක් ගැටළු සහගත දෙයක්. මහා වංශය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන විට මගධයේ රජු අජාසත්. එතැන් සිට ධර්මාශෝක දක්වා මගධය පාලනය කරන රජවරුන් ගණන 29ක්. නමුත් මේ වසර 218 තුළ ලංකාව පාලනය කරන්නේ රජවරුන් 8 දෙනෙක් පමණයි. ඒ අතරින් ඇතැම් රජවරුන් පිළිගත නොහැකි තරම් දිගු කලක් ජීවත් වී තිබෙනවා.

වැඩිම වුනොත් මහින්දාගමනයේ සිට නිශ්චිත ක්‍රමවේදයකට වාර්තා කෙරුණු ලංකා ඉතිහාසයේ ඊට පෙර කොටස ප්‍රතිනිර්මාණය කළ කවුරු හෝ විසින් සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය කෘතීම ලෙස ගැලපුවා වෙන්න සෑහෙන ඉඩක් තිබෙනවා. ඒ අනුව, විජයාවතරණය සිදුවුණේ සම්බුද්ධ පරිනිර්වාණයට පසුව වෙන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. වත්මන් ඉන්දියාවේ විවිධ පෙදෙස් වල සිට සංක්‍රමනික කණ්ඩායම් පැමිණීම සම්බුද්ධ පරිනිර්වාණයටත් පෙර සිටම දිගින් දිගටම සිදු වුනා වෙන්න පුළුවන්. විජය ඇතුළු කණ්ඩායම එසේ පැමිණි එකම හෝ මුල්ම කණ්ඩායම කියා හිතන්න අමාරුයි.

ඓතිහාසික කරුණු වල නිරවද්‍යතාවය සනාථ කරගැනීමේදී හා කාල නිර්ණය කර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ ලිඛිත සාක්ෂි හා පුරා විද්‍යාත්මක සාක්ෂි ගලපන එකයි. ප්‍රශ්නයකට තියෙන්නේ පුරා විද්‍යාත්මක සාක්ෂි කාල නිර්ණය කළ හැක්කේ විශාල ඇස්තමේන්තු වරදක් එක්ක වීමයි. මේ ක්‍රමවේදයට අනුපූරයක් ලෙස ඓතිහාසික කරුණු සමඟ සූර්යග්‍රහණයක් වැනි ස්වභාවික සංසිද්ධියක් ගැලපිය හැකිනම් අන්තිම තත්පරයටම ඓතිහාසික සිද්ධි කාල නිර්ණය කළ හැකියි. කේන්ද්‍ර සටහන් ආදිය ඇත්නම් ඒවා ඇසුරෙනුත් එවැන්නක් කළ හැකියි.

නාගදීපයට පෙනෙන ලෙස බුද්ධ කාලයට ආසන්නව සිදුව තිබෙන එකම පූර්ණ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ ප්‍රලම්බිත ජුලියන් කැලැන්ඩරයෙන් ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 වෙනිදා උදේ 8:40-8:44 අතරයි. මේ දවස හරියම බක් අමාවක දවසක් වීම විශේෂ කරුණක්. එවැන්නක් සිදුවෙන්න ඉඩ තිබෙන්නේ අවුරුදු දහස් ගණනකට වරක් පමණයි.ඊට අමතරව, මේ පූර්ණ සූර්යග්‍රහණය සිදුවෙන්න වසර පහකට පමණ පෙර දුරුතු පුර පසළොස්වක පෝය දවසක රෑ මහියංගණයට (උත්තර අක්ෂාංශ 7°19'11.1" හා නැගෙනහිර දේශාංශ 80°59'17.5", මුහුදු මට්ටමේ සිට මීටර 100 පමණ) පෙනෙනු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද සිදුවී තිබෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 485 ජනවාරි 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 11:39 සිට 1:17 දක්වා කාලය ඇතුළතයි.

Friday, April 5, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (දෙවන කොටස)


දෙපාර්ශ්වයක් එකතු වෙලා විශාල යුද්ධයකට අර අඳින වෙලාවේ අනපේක්ෂිත විදිහට එක පාරටම අහස අඳුරු වෙලා, තවත් ටික වෙලාවකින් ඉර ටිකෙන් ටික වැසී ගිහින් කළුවර වුනොත් ඇති වන තත්ත්වය හිතා ගන්න පුළුවන්ද? යුද්ධ කරන එක කොහොම වෙතත් පාර්ශ්ව දෙකම යුද්ධය අමතක කරලා තම තමන්ගේ දෙවියන් යදින්න පටන් ගන්න එකක් නැද්ද?

යම් හෙයකින් චූලෝදර හා මහෝදර පාර්ශ්වයන් සටනට ලක ලෑස්ති වෙමින් සිටිද්දී පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙලා අහස අඳුරු වුනානම් එවැනි තත්ත්වයක් ඇති වෙන්න බැරිකමක් නැහැ. පාර්ශ්ව දෙක විසින්ම පූජනීය සේ සැලකූ අයෙක් සිටියානම් සූර්යග්‍රහණය වෙලාවේ මේ පාර්ශ්ව දෙකම ඒ පූජනීය පුද්ගලයාගෙන් කිසියම් සහනයක් ඉල්ලා සිටින්න ඉඩ තිබෙනවා වගේම මේ අනපේක්ෂිත සිදුවීම වුනේ තමන් යුද්ධයට එළැඹි නිසා කියා හිතා යුද්ධය නවතා සමඟි වෙන්නත් ඉඩ තිබෙනවා. යුද්ධයට හේතු වූ මිණිපළඟ බෙදාගන්න අමාරු නිසා එය අර දෙපාර්ශ්වයටම පිළිගත හැකි පුද්ගලයාට පූජා කිරීම විසඳුමක්.

චූලෝදර මහෝදර සටන සිදු වෙන්න ගිහින් තියෙන්නේ අමාවක පොහොය දවසක උදය කාලයේ. සූර්යග්‍රහණයක් සිදු වෙන්නෙත් අමාවක පෝය දවස් වලටයි. ඒ වගේම නිශ්චිත කිසියම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් පෙනෙන්නේ එය දවල් කාලයේ සිදු වුනොත්. ඒ නිසා මේ කියන දවසේ එවැනි පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වුනා වෙන්න පුළුවන්. එවැන්නක් වුනානම් ඒ පිළිබඳ සාමූහික මතකය සියවස් ගණනක් යන තුරු ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ජනශ්‍රැති පරම්පරාවෙන් පරම්පරාවට යද්දී කතාව විශාල ලෙස වෙනස් වෙනවා. දීප වංශය ලියන කාලය වෙද්දී කතාව මේ වගේ එකක්.

යථා නාගානං සංගාමං- තථා ගන්ත්වා නරුත්තමෝ 
උභෝනාගවරමජ්ජේ- ඨිතෝ සත්තානුකම්පකෝ 

නරෝත්තමයන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් නාගයින්ගේ සංග්‍රාමය පැවති තැනට ගොස් නාගයින්ගේ පාර්ශ්ව දෙක මධ්‍යයෙහි සිටගත් බව මෙයින් කියැවෙනවා.

නභේ ගන්ත්වාන සම්බුද්ධෝ- උභෝ නාගානං උපරි 
තිබ්බන්ධකාරතමං ඝෝරං- අකාසි ලෝකනායකෝ 

ලෝකනායක සම්බුද්ධයන් පාර්ශ්ව දෙකේම නාගයින් සිටි තැන් වලට ඉහළ අහසට ගොස් තීව්‍ර, ඝෝර අන්ධකාරයක් ඇති කළ බව මෙයින් කියැවෙනවා.

අපි නිකමට හිතමු මේ පාර්ශ්ව දෙකේම සිටි නාගයින් සූර්ය වන්දනාව කළ අය කියා. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. එසේ වුනානම් මේ කතාවේ කියන ආකාරයේ විශාල සංග්‍රාමයකට අවතීර්ණ වෙන්න කලින් මේ අය කරන්නේ ඉර දෙවියන් වඳින එකයි. ඒ වගේ වෙලාවක එක පාරටම අහස අඳුරු වී අන්ධකාරයක් පැතිරුනොත් හිතෙන්නේ මෙය තමන් අදහන, තමන්ගේ හිස් මුදුනේ පෙනෙන්න ඉන්න, ඉර දෙවියා හා අදාළ දෙයක් බවයි. පරම්පරා කිහිපයකට පස්සේ මේ ජනශ්‍රැතිය ඉදිරියට ගෙනයන අය බුදුන් අදහන්නන් වීමෙන් පසුව සූර්ය දේවරාජයා වෙනුවට ලෝකනායක සම්බුද්ධයන් ආදේශ වීම වැන්නක් ජනශ්‍රැති විකාශනය වීමේදී සිදුවන සාමාන්‍ය දෙයක්. යම් හෙයකින් මේ කණ්ඩායම් දෙකේ හිටියේ මහින්දාගමනයට පෙර ලංකාවේ සිටි බෞද්ධයින් වීනම් (මේ ගැන පසුව කතා කරමු), ඉර නොපෙනී යාම හමුවේ මේ විදිහට සහනයක් ඉල්ලා සිටියේ බුදුන්ගෙන්ම වෙන්න වුණත් බැරිකමක් නැහැ.

අන්ධං තමං තදා හෝති- කේසර මායා ඉද්ධියා 
අන්ධකාරේන ඕනද්ධෝ- සිහිතා යා රුක්ඛෝ අහූ 

සිංහයාගේ මායා සෘද්ධි බලයෙන් අන්ධකාරය හාත්පස පැතිරී ගිය බවත්, සිංහයා සහ වෘක්ෂය අන්ධකාරය තුළ ගිලී නොපෙනී ගිය බවත් මෙයින් කියැවෙනවා. මේ ගාථාවෙහි සිංහයා (කේසර/සිහ) ලෙස හඳුන්වන්නේ බුදුන් බව පෙනෙනවා. මෙහි කියැවෙන ගස, පෙර ගාථාවක විස්තර කර ඇති පරිදි, ජේතවනාරාමයේ සිට බුදුන්ට සෙවණ සලසමින් සමිද්ධි නම් දේවතාවා විසින් රැගෙන එන එම දේවතාවා වාසය කර ඇති ගසයි.

පසුව බුදුන් ආදේශ වී තිබෙන්නේ හිරු දෙවියන් වෙනුවටනම් අඳුර පැතිරෙන්නට පෙර සිටම හිරු දෙවියන්ට වෙනත් අයෙකු විසින් සෙවණ සලසමින් සිට ඇති බව පෙනෙනවා. නාගයින් මෙසේ දකින්නේ ඉරේ සැර විශාල ලෙස අඩුවන සූර්යග්‍රහණයක  මුල් අදියර විය හැකියි.

අඤ්ඤාම​ඤ්ඤං න පස්සන්ති- තසිතා නාගා භයට්ඨිතා 
ජයංපි න පස්සන්ති- කුතෝ සංගාම කාරිතුං 

එකිනෙකාව නොපෙනෙන නිසා නාගයින් බියපත් වී හා තැතිගෙන සිටිනවා. ජයංපි න පස්සන්ති, කුතෝ සංගාම කාරිතුං? දිනනවද (නැද්ද) කියා පේන්නේ නැතුව සංග්‍රාම කරන්නේ කොහොමද?

සබ්බේ සංගාමං භින්දිත්වා- පමුඤ්චිත්වාන​ ආයුධං
නමස්සමානා සම්බුද්ධං- සබ්බේ ඨිතා කතඤ්ජලී

සියළු දෙනාම යුද්ධ කිරීම නවත්වා, ආයුධ පැත්තකට දමා අත් එකතු කර බුදුන්ට නමස්කාර කරන්න පටන් ගන්නවා.

සලෝමහට්ඨේ ඤත්වාන- දිස්වා නාගේ භයට්ඨිතේ
මෙත්ත චිත්තේන පරිත්වාන- උණ්හාරංසිං පමුඤ්චයී

මහත් බියකින් සැලෙමින් සිටින නයින් දැකීමෙන් මෙත් සිත් පහළ කරගෙන උණුසුම් රැස් දහරක් එවනවා. මේ කියන්නේ පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර මුළුමනින්ම වැසී යාමෙන් පසුව දකින්නට ලැබෙන පළමු ආලෝක රැස් දහර ගැන වෙන්න බැරිද?

ආලෝකෝව මහා ආසි- අබ්භුතෝ ලෝකහංසනෝ 
සබ්බේ පස්සන්ති සම්බුද්ධං- නභේ චදං ව නිම්මලං

ලොම් කෙළින් කරවන අද්භූත සිදුවීමක් ලෙසින් නිමල ආලෝකය අහස පුරා පැතිරෙද්දී සියලු දෙනාම සම්බුදුන් දකිනවා.

ශ්‍රද්ධාවන්ත බෞද්ධයින්ට දැනුත් ඇතැම් වෙහෙර විහාර වලින් බුදුරැස් විහිදෙන බව ඇස් දෙකටම පේන එකේ ඒ කාලේ එහෙම දෙයක් පෙනෙන්න ලොකු ඉඩක් තියෙනවා. පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර මුළුමනින්ම වැසී යාමෙන් පසුව දකින්න ලැබෙන පළමු ආලෝක දහර අතිශයින්ම විචිත්‍රයි. දියමන්ති මුද්දක් අහසේ තියෙනවා වගෙයි පෙනෙන්නේ (Diamond Ring Effect). (උඩ තිබෙන ඡායාරූපය බලන්න)

ඡහි වණ්ණේහි උපේතෝ- ජලන්තෝ නභකන්තරේ 
දස දිසා විරෝචන්තෝ- ඨිතෝ නාගා අභාසථා 

ෂඩ් වර්ණ රැසින් අහසේ දස දිශාවම දිදුළවමින් බුදුන් නාගයින්ව අමතනවා. ඉන්පසුව තමයි මිණි පළඟ බුදුන්ට පුදා නාගයින් දෙපිරිස සමඟි වෙන්නේ.

බුදුන් පැමිණි කතාව පැත්තකින් තිබ්බොත් නාගයින් කණ්ඩායම් දෙකක් අතර සටනක් සිදු වෙන්න ගිහින් කිසියම් අයුරකින් එය වැළකී යාමක් පිළිබඳ කතාවක් මෙහි තිබෙනවා. එවැනි දෙයක් ඇත්තටම සිදු වුණාද? සිදුවෙන්නට ගිය මේ සටන වැළකෙන්නට ඇත්තටම හේතු වුනේ ඒ අවස්ථාවේදී සිදු වුනු පූර්ණ සූර්යග්‍රහණයක්ද?

Thursday, April 4, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (පළමු කොටස)


අද මැදින් අමාවක පෝය. ඉන්පසුව බක් මාසය ආරම්භ වෙනවා. බක් මාසය කියන්නේ ලංකාවට සංස්කෘතිකව ගොඩක් වැදගත් මාසයක්.

වංශකතා අනුව, ගෞතම බුදුන් තෙවරක් ලක්බිමට වැඩම කර තිබෙනවා. බුදුන්ගේ පළමු ලංකාගමනය සිදුව තිබෙන්නේ බුද්ධත්වය සිදුව වසරක් ඇතුළත දුරුතු පුර පසළොස්වක් පෝ දිනක මහියංගනයටයි. දෙවන ලංකාගමනය බුද්ධත්වයෙන් පස් වන වසරේ බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි සිදුව තිබෙනවා. පැමිණ තිබෙන්නේ නාගදීපයටයි. වසර පහක කාලයක් ඇතුළත සිදුව තිබෙන මේ ඓතිහාසික සිදුවීම් දෙක මහා වංශ කතුවරයා විසින් වාර්තා කර තිබෙන්නේ පහත ආකාරයටයි.

"ශත්‍රැමර්දනය කරණශීලී වූ සර්වඥතම උරුවෙල් කසුප්නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හි තමන් නොඊමෙහි වූ ඔහුගේ ඉච්ඡා වාරය දැන උතුරුකුරු දිවයිනෙත් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්ත නම් විල සමිපයෙහි දී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනෙකැයිද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යැයිද දන්නා ලදී. ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල්  වූ රම්‍ය වූ  මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."

"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුනා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ  තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක. “යක්ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහකරන්නෙමි. තොපි සමගිව මෙතන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නොම දෙන්නහුද?” “නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ. අපව අභය දුනමැනවැ”යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූය. ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ග්‍රීස්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්තයෙහි හාත්පසින් සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින්  මෙහි ලඟා කළ සේක. උන් එහි වන් කළ තිබුන තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලු සේක. එකල්හි දෙවියෝ සර්වඥයන්වහන්සේ කරා පැමිණියෝය. ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයින්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල් පිහිටියෝය."

"පස්මරුන් දිනූ මහත් කරුණා ඇත්තා වූ සියලු ලෝ වැස්සන්ගේ වැඩෙහි ඇලුනා වූ ශාස්තෘ වූ සර්වඥයින් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වෙනි වස ජේතවන විහාරයෙහි වැඩ වසන සේක්, මහෝදර නාගය එසේම චූළෝදර නාගය යන පිරිස්  සහිත වූ න‍ාගයන්ගේ මිණි පළඟ හේතු කොට එළඹ සිටියා වු යුද්ධය දැක, බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි ම උතුම් වූ පා සිවුරු ගෙණ නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක. එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙම චූළෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා  කෙළේ ය. එසේ හෙයින් මයිල් නාරජු හා බැණනුවන්ගේ යුද්ධය තෙම එළඹ සිටියේය. පර්වත වාසී වූ ද ඒ නාගයෝ මහත් සෘද්ධිමත් වූහ. සමිද්ධි සුමන නම් දෙවි තෙමේද ජේතවනයෙහි පිහිටි තමන් යහපත් භවනය වූ කිරිපලුරුක බුද්ධානුමතියෙන්ම  ගෙන ඡත්‍රාකාරයෙන් සර්වඥයන් මත්තෙහි දරන්නේ ඒ පෙර විසූ ස්ථානයට ආයේ ය. ඒ දෙවි තෙම අනතුරු බැවෙහි නාගදීපයෙහි මනුෂ්‍යයෙක් විය..."

"...මෝහාන්ධකාර නසන්නා වූ සර්වඥ තෙම එහි යුද්ධ මධ්‍යයෙහි අහසේ වැඩ හුන්නේය. ඒ නාගයන්ට භය එලවන්නා වූ  අන්ධකාරයක් මවා පෑ සේක. (සර්වඥයන් වහන්සේ) බියෙන් ‍පෙළුන ඒ (නයින්) අස්වසන්නේ ආලෝකයක් පැතිරවූ සේක. සර්වඥයන් දැක සතුටු වූ ඒ නාගයෝ සර්වඥයන් වහන්සේගේ පා වැන්දෝය. පස්මරුන් දිනූ සර්වඥ තෙම සමඟි කරන්නා වූ  ධර්මයන් ඔවුන්ට දේශනා කළ සේක. සතුටු වූ ඒ දෙදෙන ම මිණිපළඟ ‍ සර්වඥයන් වහන්සේට ප්‍රදානය කළහ. ලෝකනායක වූ ශාස්තෘ තෙම එහි බැස අස්නෙහි වැඩහිඳ, ඒ නාග රාජයන් විසින් දිව්‍යාහාරපානයෙන් සතපන ලත් සේක්,  දිය වැසි වූද ගොඩ වැසි වූද අසූ කෙළක් නයින් තුන් සරණයෙහි ද සීලයෙහි ද පිහිට වූ සේක."

අද මේ ලිපිය ලියන මා මෙන්ම මහාවංශ කතුවරයාද මේ සිදුවීම් සිදුවන කාලයේ ජීවත් වී නැහැ. සියවස් ගණනාවකට පසුව ඔහු විසින් කර තිබෙන්නේ, දැන් මා කරන්නාක් මෙන්ම, තමන්ට පරිශීලනය කරන්නට ලැබී තිබෙන මූලාශ්‍ර ඇසුරු කර ගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. දැනටත් අපට පරිශීලනය කළ හැකි දීපවංශය සැලකෙන්නේ මේ සිදුවීම් පිළිබඳව මහාවංශයට වඩා පැරණි ඓතිහාසික මූලාශ්‍රයක් ලෙසයි. එහෙත්, දීපවංශ කතුවරයා හෝ කතුවරුන් විසින් කර තිබෙන්නේත් එවකට ඔවුන් දැන සිටි දේ ඇසුරු කරගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒ නිසා, මේ ඓතිහාසික වාර්තා වල තිබෙන්නේ සැබෑවටම සිදු වූ දෙයක් ගැන විස්තරයක් බව අපට සහතිකවම කියන්න බැහැ. නමුත්, මෙවැනි ප්‍රවාද හැදෙන්න කවර හෝ පදනමක් තිබිය යුතුයි.

මහාවංශයට හා දීපවංශයට පදනම් වී තිබෙන්නේ මුඛපරම්පරාවෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙන ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසයයි. එය විධිමත් ලෙස සිදුවන්නට ඇතැයි සිතිය හැක්කේ මහින්දාගමනයෙන් පසුවයි. ඊට පෙර කොටස ඒ කාලයේදී වත්මන් ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බෞද්ධ භික්ෂූන් විසින් ප්‍රතිනිර්මාණය කළ ඉතිහාසයක්. එහිදී ඔවුන් එවකට ලංකාවේ වූ ජනශ්‍රැති වලින් තොරතුරු ලබාගන්න ඇති.

දෙවනපෑතිස් කියන්නේ ඉහත කී සංක්‍රමණික බෞද්ධ භික්ෂූන්ට ලංකාවේදී සම්මුඛ වූ චරිතයක්. දැක නොතිබුණත් ඔහුගේ පියා වූ මුටසීව ගැනත් ඔවුන් ලංකාවට පැමිණෙන්න පෙර සිටම අසා තිබෙනවා. ලංකාවේදී ඔවුන්ට දෙවනපෑතිස්ගේ පියා මුටසීවව මෙන්ම දෙවනපෑතිස්ගේ පියාගේ පියා වූ පණ්ඩුකාභය ගැනත් හොඳින් දැන සිටි ඔවුන්ගේ කාලයේ ජීවත් වූ වයස්ගත පුද්ගලයින් හමු වෙන්න ඇති. එහෙත්, පණ්ඩුකාභයගේ පරම්පරාවට පෙර පරම්පරා වල අය ඒ වන විට ජීවත්ව ඉන්න ඉඩක් නැහැ.

කොහොම වුවත්, දෙවනපෑතිස් රජුගේ පරම්පරාවේ අක්මුල් හොයා යන සංක්‍රමණික භික්ෂූන්ට පණ්ඩුකාභයගේ මවගේ පියා වූ පඬුවස්දෙව් ගැනත්, පඬුවස්දෙව්ට ලංකාවට සංක්‍රමණය වීමට ඉඩකඩ සපයා දුන් ඔහුගේ පියාගේ සොහොයුරෙකු වූ විජය ගැනත් තොරතුරු හමුවුණා කියා හිතන්න පුළුවන්. බුදුන්ගේ ලංකා ගමන් වංශ කතා වල විස්තර කෙරෙන්නේ විජය ලංකාවට සංක්‍රමණය වන්නට පෙර කලෙක සිදු වූ සිදුවීම් ලෙසයි. නාගයින් හා යක්ෂයින් විජයගේ කාලයට පෙර සිටම ලංකාවේ ජීවත්ව සිට ඇති ජනකොටස් බව වංශ කතා කතුවරුන් විසින් හඳුනාගෙන තිබෙනවා.

බුදුන්ගේ දෙවන ලංකාගමනය ලෙස වාර්තා වී තිබෙන සිදුවීම ඉහත කී දේශීය ජනකොටසක් වූ නාගයින්ගේ කණ්ඩායම් දෙකක් අතර සිදුවන්නට ගිය සටනක් පිළිබඳව අවිධිමත් ලෙස කටින් කට සම්ප්‍රේෂණය වූ වාර්තා මත පදනම් වී ඇති බව සිතිය හැකියි. මෙය බක් අමාවක් පොහෝ දිනක උදය වරුවේ සිදුවන්නට ගොස්, යුද්ධයේ පාර්ශ්වකරුවන් විසින් අපේක්ෂා නොකළ හේතුවක් නිසා වැලකී තිබෙන සටනක්. ඒ ආකාරයට, යුද්ධයක් වැළැකී දෙපාර්ශ්වය සමඟි වීමට හේතු විය හැකි, ඒ හේතුව නිසාම කාලයක් කිසියම් ජන කොට්ඨාශයකගේ සාමූහික මතකයේ රැඳී තිබිය හැකි, ස්වභාවික සංසිද්ධි තිබිය නොහැකිද?

වෙබ් ලිපිනය: