වෙබ් ලිපිනය:

Showing posts with label චීනය. Show all posts
Showing posts with label චීනය. Show all posts

Monday, August 11, 2025

චීනයට විකිණිය හැක්කේ මොනවාද?


පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක භාණ්ඩ ආනයනය කර තිබෙනවා. නමුත් චීනය ලංකාවෙන් ආනයනය කර තිබෙන්නේ එයින් 6%ක පමණ වටිනාකමක් තිබෙන, එනම් ඩොලර් මිලියන 272.9ක, භාණ්ඩ ප්‍රමාණයක් පමණයි. ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු සූත්‍රය අනුවනම් ලංකාව චීනයට 47%ක තීරු බද්දක් පැනවිය යුතුයි. 

තීරුබදු පැනවීම කෙසේ වුවත්, පසුගිය වසරේ ලංකාවේ වෙළඳ හිඟය වූ ඩොලර් මිලියන 6,069.4ක මුදලින් ඩොලර් මිලියන 4,092.8කටම දායක වී තිබෙන්නේ ලංකාව හා චීනය අතර සිදු වන ද්විපාර්ශ්වික වෙළඳාමයි. මෙම වෙළඳාමෙහි විශාල අසමතුලිතතාවයක් තිබෙනවා. ඇමරිකාව සමඟ ලංකාව විසින් කරන ද්විපාර්ශ්වික වෙළඳාමෙහි වාසිය සීමා වුවහොත්, චීනය සමඟ වෙළඳාමෙහි දැනට තිබෙන අවාසිදායක තුලනය දිගටම පවත්වා ගෙන යාම ලංකාවට අසීරු වෙන්න පුළුවන්. 

ලංකාවෙන් චීනය වගේ රටකට අපනයනය කළ හැක්කේ මොන වගේ දේවල්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරයේදී CGTN නිවේදකයෙකු විසින් මේ ප්‍රශ්නය ඔහුගෙන් අසනවා. මේ ප්‍රශ්නයට ඔබට දිය හැකි පිළිතුර ගැන සිතා බැලුවොත් මෙය පෙනෙන තරම් සරල ප්‍රශ්නයක් නොවන බව අවබෝධ වෙයි.

පසුගිය ආර්ථික අර්බුද සමයේ ලංකාවට වෙනත් රටවලට අපනයනය කළ හැකි අමතර දේවල් ගැන මමත් ටිකක් සොයා බැලුවා. ඇත්තම කතාවනම් ලෝක වෙළඳපොළේ ලොකු පංගුවක් අල්ලා ගන්න තරම් මහ ලොකු දේවල් ලංකාවේ දැනට නැහැ. අපනයනය කළ හැකි දේවල් කවුරු හෝ විසින් දැනටත් අපනයනය කරනවා.

ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලෙස ජනාධිපති දිසානායක විසින් භාණ්ඩ වර්ග තුනක් ගැන සඳහන් කරනවා. ඒ, කුකුළු මස්, මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු. 

මම දන්නා තරමින් කුකුළු මස් අපනයනය කෙරෙහි මෙතෙක් ලංකාවේ ලොකු රාජ්‍ය අවධානයක් යොමු වී නැහැ. ඒ කෙරෙහි අවධානය යොමු කිරීම අලුත් දෙයක් වෙන්න පුළුවන්. මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු කියන්නේනම් මට මතක තිබෙන කාලයේ සිටම රජය විසින් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ අපනයන කාණ්ඩ දෙකක්. වයසින් මගේ සමකාලීනයෙකු වන ජනාධිපති දිසානායකටත් මේ උත්සාහයන් පිළිබඳ මතකයක් නැති වෙන්න බැහැ. 

අපි නිකමට හිතමු මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු සඳහා චීනයෙන් සැලකිය යුතු ආනයන ඉල්ලුමක් ආවා කියලා. මේ වර්ග දෙකෙන් එකකවත් නිෂ්පාදනය විශාල ලෙස වැඩි කිරීමේ හැකියාවක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් නිෂ්පාදනය පරිමාණනය කිරීමේ හැකියාව (scalability) ඉතාම සීමිතයි. දශක ගණනාවක් තිස්සේ රජය මේ වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. ඒ හරහා යම් ප්‍රගතියක් අත් කරගෙනද තිබෙනවා. නමුත් යම් වාස්තවික සීමාවකින් පසුව නිෂ්පාදනය පරිමාණනය කිරීම අසීරුයි.

නිෂ්පාදනය පරිමාණනය කිරීම අසීරු වුවත්, අවසාන වශයෙන් වැදගත් වන, අපනයන ආදායම් වැඩි කර ගැනීමනම් නොකළ හැක්කක් නෙමෙයි. එය කළ හැකි ප්‍රායෝගික ක්‍රමය ඉලක්ක වෙළඳපොළ තුළ ලංකාවේ සන්නාම ජනප්‍රිය කර ගැනීම මගින් වැඩි මිලක් ලබා ගැනීමයි.

දැනටමත් කාලයක් උත්සාහ කර තිබෙන ඉහත කාණ්ඩ දෙකට සාපේක්ෂව චීනයට කුකුළු මස් අපනයනය කිරීම විභවයක් ඇති දෙයක්. එමෙන්ම කුකුළු මස් නිපදවීම පහසුවෙන් පරිමාණනය කළ හැකියි. 

ලංකාව දැනටත් කුකුළු මස් අපනයනය කරන නමුත් එමගින් උපයන්නේ ඩොලර් මිලියන පහක පමණ මුදලක් පමණයි. මෙම අපනයන මුළුමනින්ම මෙන් යන්නේ මාල දිවයිනටයි. මේ ආණ්ඩුව විසින් සිංගප්පූරුව හා චීනය වැනි අලුත් වෙළඳපොළවල් ඉලක්ක කරමින් සිටින බව පේනවා. 

චීනය වසරකට ඩොලර් බිලියන හතරකට ආසන්න කුකුළු මස් ආනයන සිදු කරනවා. ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි තායිලන්තය චීනයට කුකුළු මස් අපනයනය කර වසරකට ඩොලර් මිලියන 500ක් පමණ උපයා ගන්නවා. මෙවැන්නක් ලංකාවට නොකළ හැක්කක් නෙමෙයි. 

සාමාන්‍යයෙන් රටක ඒක පුද්ගල ආදායම යම් සීමාවක් ඉක්මවා ඉහළ යද්දී ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. චීනයේ කුකුළු මස් ඉල්ලුම ඉදිරි කාලයේදීද විශාල ලෙස ඉහළ යාමට නියමිත ඉල්ලුමක්. 

කුකුළු මස් වලට මෙන්ම ඌරු මස් වලටද චීනයේ විශාල ආනයන ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසාම, ලංකාව වැනි රටකට අපනයන විභවයක්ද තිබෙනවා. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ කුකුළු මස් වලට සාපේක්ෂව ඌරු මස් නිෂ්පාදනය කෙරෙහි සංස්කෘතික සාධක වල වැඩි බලපෑමක් තිබීමයි. 

අපනයන වෙළඳපොළ අමතක කළත් ලංකාවේ ඒක පුද්ගල ආදායම තවත් ඉහළ යද්දී දේශීය කුකුළු මස් හා බිත්තර ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමට නියමිතයි. දැනටමත් දේශීය ඉල්ලුම රට තුළින් සැපයෙන බැවින් මේ වන විට මෙම කර්මාන්තය පවතින්නේ රටින් එළියට යා යුතු අදියරකයි. දේශීය වෙළඳපොළේ මිල ස්ථාවරව තබා ගැනීම සඳහාද රටින් ඔබ්බට වෙළඳපොළ පුළුල් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. 

දැනට චීනය සමඟ පවතින වෙළඳ පරතරය පහසුවෙන් පියවා ගත හැකි පරතරයක් නෙමෙයි. එහෙත්, කුකුළු මස් වැනි දෙයක් ඉලක්ක කිරීමෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ විභවයක් තිබෙනවා. එම මෙනුපතටම ඌරු මස්ද යම් තරමකින් එකතු කිරීමට බැරිකමක් නැහැ. 

Friday, January 17, 2025

දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල


මෙය එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු තුනක් ගැන සටහනක්. යෝජිත දෙවන තෙල් පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය ගිවිසුම අලුත් කිරීම සහ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම කියන කරුණු තුන සහ මේ දේවල් වල අපේක්ෂිත බලපෑම ගැන. පළමු කරුණු දෙකම චීනයට සම්බන්ධයි.

මුලින්ම මම 2023 නොවැම්බර් 27 දින පළ කළ "දෙවන පිරිපහදුව චීනයට" ලිපියේ මුල් කොටස උපුටා දක්වන්නම්.

"ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි."

ඔය දැන් ආවා කියන ආයෝජනය ඕකම තමයි. නමුත් මුදල ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙනවා. ඇතැම් විට යෝජිත පිරිපහදුවේ ධාරිතාව කලින් සැලසුම් කළාට වඩා අඩු වෙලා වෙන්න පුළුවන්. එය එසේනම්, එය ලංකාවට අවාසියක්. 

මේ ආයෝජනය අරන් ආවේ රනිල්ද, අනුරද කියන එක ගැනත් දැන් යම් විවාදයක් ඇති වෙලා තිබෙනවා. ඒ තරම් තේරුමක් නැති ප්‍රශ්නයක් වුනත්, රනිල්ට හෝ අනුරට අවශ්‍ය වුනා කියලා ඔය වගේ ආයෝජන රටට ගේන්න බැහැ. මේ වගේ ආයෝජන ලංකාවට එන්නේ චීනයට ක්‍රමෝපායිකව අවශ්‍ය නිසා. රනිල්, අනුර, සජිත්, නාමල් වගේ කවුරු හිටියත් චීනයට අවශ්‍යනම් ඔය වැඩේ විය හැකිව තිබුණා. අනුර යටතේ ආයෝජනය එන එකේ ප්‍රධාන වෙනස මේ ගැන විවේචන නැති වී තිබීම.

ඔය ආයෝජනය ගැන මුලින්ම කියවුණු කාලයේ මාලිමාව පැත්තෙන්ම ආපු විවේචනයක් වුනේ රුපියල් වෙළඳපොළට එන මේ වගේ ආයෝජන වලින් රටට වැඩක් නැහැ කියන එක. මේ තර්කයට පදනමක් නැතුවම නෙමෙයි. රුපියල් වෙළඳපොළට එන විදේශ ආයෝජන වලින් ලංකාවට ලැබෙන්නේ සාපේක්ෂව අඩු වාසියක්. නමුත් වැදගත් කරුණ එය තව දුරටත් වාසියක් මිස පාඩුවක් නොවීමයි. 

පළමුව, මේ ආයෝජනය නිසා ආරම්භයේදී රටට එන මුදල සැලකුවොත්, ඒ මුදල බොහෝ දුරට ආනයන ලෙස නැවත චීනයටම ආපසු යන මුදලක්. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් රටේ ඉතිරි වෙන එකක් නැහැ. නමුත් දේශීය අමු ද්‍රව්‍ය හා ශ්‍රමය යම් තරමකින් හෝ යොදා ගන්න අවශ්‍ය වන නිසා සංචිත වලට හෝ අනෙකුත් විදේශ විණිමය අවශ්‍යතා වෙනුවෙන් යම් හෝ මුදලක් ඉතිරි වෙයි. 

මේ වැඩෙන් මුල් වසර වලදී සිදු වනු ඇත්තේ ආනයන වියදම් ඉහළ ගොස් වෙළඳ හිඟය තවත් වැඩි වෙන එකයි. ඒ හේතුව නිසාම, දැනට අතිරික්තයක්ව පවතින ජංගම ගිණුමේ ශේෂය නැවතත් හිඟයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් එම හිඟය පියවන්න අවශ්‍ය විදේශ විණිමය ප්‍රමාණය චීනයෙන් රටට එන නිසා මෙය විදේශ විණිමය තුලනය කෙරෙහි නරක විදිහට බලපාන්නේ නැහැ. 

චීන ණය සහ අනෙකුත් ණය අරගෙන ආයෝජන කරද්දීත් සිදු වුනේ ඔය වැඩේට කිට්ටුවෙන් යන වැඩක්. එක පැත්තකින් ආනයන වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් විදේශ ණය විදිහට විදේශ විණිමය රටට ඇවිත් විණිමය වෙළඳපොළ තුලනය වුනා. නමුත් එය සිදු වුනේ අනාගත ණය ගෙවීමේ වගකීම් නම් වූ කාල බෝම්බයේ නූල පත්තු කරමිනුයි. කාල බෝම්බය පිපිරුණු ආකාරය අපි හැමෝම හොඳින්ම දැක්කා.

ණය ගැනීමට කිට්ටුවෙන් යන දෙයක් වුනත් දැන් මේ පිරිපහදුව සඳහා අවශ්‍ය අරමුදල් එන්නේ ආයෝජන ලෙස මිස ණය ලෙස නෙමෙයි. ඒ නිසා, රටට විණිමය අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නේ ඔය ආයෝජනය ආපසු අරගෙන ගියොත් පමණයි. මේ වගේ ආයෝජන වල ස්වභාවය නිසාම එවැන්නක් සිදු වෙන්නේ නැහැ. රටේ විදේශ බැරකම් ඉහළ ගියත්, තෙල් පිරිපහදුව රටට අයිති නැති වත්කමක් ලෙස රට ඇතුළේ ඉතිරි වෙනවා. 

ගොඩක් අයට ප්‍රශ්නයක් වී තිබුණේ තෙල් විකුණන්නේ රුපියල් වලින් වුවත්, මේ වගේ සමාගම් විසින් ඔවුන්ගේ ලාබ ඩොලර් ලෙස රටෙන් අරගෙන යනවා කියන එක. කතාව ඇත්ත. නමුත් වැදගත් ප්‍රශ්නය මේ හේතුව නිසා ශුද්ධ වශයෙන් විදේශ විණිමය රටෙන් එළියට යාමක් සිදු වෙනවද කියන එක. බැලූ බැල්මට පෙනෙන්නේ නැති විය හැකි වුවත්, එවැන්නක් වෙන්නේ නැහැ.

ලංකාවේ බොර තෙල් නැති නිසා ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය වන බොරතෙල් ප්‍රමාණය කොහොමටත් ආනයනය කරන්න සිදු වෙනවා. ඒ වෙනුවෙන් විදේශ විණිමය වැය කරන්න සිදු වෙනවා. ඒ විදේශ විණිමය යම් ක්‍රමයකින් හොයා ගන්නත් සිදු වෙනවා. රටේ ඉන්ධන පිරිපහදු කිරීමේ ධාරිතාවය සීමිත නිසා, පිරිපහදු කළ ඉන්ධනද සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන්ද විදේශ විණිමය උපයා ගන්න සිදු වෙනවා.

චීන පිරිපහදුව ලංකාවට ආවාට පස්සේ වෙන්නෙත් ඔය ටිකමයි. කලින් තෙල් සංස්ථාව හරහා එළියට ගිය විදේශ විණිමය ප්‍රමාණයෙන් කොටසක් දැන් සිනොපෙක් සමාගම හරහා රටෙන් එළියට යනවා. මෙහි විශේෂ වාසියක් හෝ පාඩුවක් නැහැ.

එතකොට ලාබ කොටස? ඔව්. ලාබ කොටසත් විදේශ විණිමය ලෙස එළියට යන්න පුළුවන් තමයි. නමුත් තව දුරටත් දේශීය ඉන්ධන මිල තීරණය කරන්නේ තෙල් සංස්ථාව හරහා ශ්‍රී ලංකා රජය නිසා සිනොපෙක් සමාගමට හෝ වෙනත් සමාගමකට ඊට වඩා වැඩියෙන් ඉන්ධන විකුණන්න බැහැ. 

තෙල් සංස්ථාව තෙල් විකුණන්නේ යාන්තමින් පිරිවැය ආවරණය වන මිලකටයි. අනෙක් තරඟකරුවන්ට ඒ මිලටම තෙල් විකුණලා ලාබයකුත් හොයා ගන්න වෙනවා. ඒ සඳහා හැකි තරම් අඩු මිලකට තෙල් ආනයනය කරන්න වෙනවා. එහිදී විදේශ විණිමය ඉතිරියක් වෙනවා. අවසාන වශයෙන් ඒ ඉතිරි වන විදේශ විණිමය ටික හෝ එයින් කොටසක් තමයි ලාබ විදිහට රටෙන් එළියට යන්නේ. ඒ නිසා, ශුද්ධ වශයෙන් මෙයින් විණිමය තුලනය කෙරෙහි ලොකු බලපෑමක් වෙන්න ඉඩක් නැහැ.

ප්‍රායෝගිකව, සිනොපෙක් වැනි සමාගම් වලට රට ඇතුළේ තව දුරටත් ව්‍යාප්ත වීමේ උවමනාවක් තිබෙන නිසා ඔවුන්ගේ ලාබ රටෙන් ගෙන නොයා නැවත රට තුළම ආයෝජනය කරන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම, මෙම සමාගම් වල ලාබ වලින් රජයට බදු එකතු වෙනවා. එය රාජ්‍යමූල්‍ය තුලනය කෙරෙහි හිතකර ලෙස බලපානවා. පාරිභෝගිකයින්ට වාසියක් ලැබෙන එකනම් ඉක්මණින්ම වෙන එකක් නැහැ. එය සිදු වනු ඇත්තේ තව දුරටත් වෙළඳපොළ ප්‍රමුඛයා වන තෙල් සංස්ථාවේ කාර්යක්ෂමතාවය වැඩි වන ආකාරය අනුවයි. හැබැයි යම් කාලයකට පසුව හෝ එය සිදු විය යුතුයි.

පසුගිය වසරේ ප්‍රසිද්ධ වී තිබුණු තොරතුරු අනුව යෝජිත දෙවන පිරිපහදුවේ ධාරිතාවය ලංකාවේ පිරිපහදු ඉන්ධන අවශ්‍යතා හිඟය ඉක්මවා යන්නක්. ඒ අනුව, සැලසුම වී තිබුනේ රට තුළ ඉන්ධන පිරිපහදු කර අපනයනය කිරීමයි. රට අසලින් යන නැව් වලට ඉන්ධන සැපයීමද ඉන්ධන අපනයනය කිරීමට සමාන දෙයක්. මෙවැන්නක් සිදු වන තරමට, ඒ හේතුවෙන් රට තුළ සිදු වන අගය එකතු කිරීම ඉහළ යනවා. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යනවා. ආයෝජනයේ ප්‍රමාණය කොපමණද යන්න වැදගත් වන්නේ ඒ නිසා. මුලින් යෝජනා වී තිබුණු ඩොලර් බිලියන 4.5 ආයෝජනය ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙන්නේ පිරිපහදු ධාරිතාවයේ අඩු වීමක්ද සමඟනම්, එසේ නැති වෙන්නේ මෙම ගනුදෙනුවේ වාසිදායකම කොටසකුයි. කෙසේ වුවත්, දේශීය ඉන්ධන වෙළදපොළ ඉලක්ක කර පිරිපහදුව හැදුවත් එයින් අපේක්ෂිත වාසිය අඩුවීමක් මිස පාඩුවක් සිදු වන්නේ නැහැ. 

මුලින් සඳහන් කළ දෙවන කරුණට ගියොත්, චීනයෙන් ලබාගත් යුවාන් බිලියන දහයක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමේ කාලය තවත් වසර තුනකින් දීර්ඝ කරගෙන තිබෙනවා. මේ අනුව, 2027 වසර අවසන් වන තුරුම එම ණය මුදල ආපසු ගෙවිය යුතු වන්නේ නැහැ.

මේ යුවාන් වලින් වැඩක් ගන්නේ නැත්නම් ආපසු නොගෙවා තියාගෙන ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය කෙනෙකුට අහන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කිවුවොත් රටක නිල විදේශ සංචිත කියා කියන්නේනම වැඩක් නොගෙන තියාගෙන ඉන්න අරමුදල්. මේ අරමුදල් තියාගෙන ඉන්නේ හදිසියකදී ප්‍රයෝජනයට ගන්න බව ඇත්ත. නමුත් ඕනෑම රටක් උත්සාහ කරන්නේ එවැනි හදිසි ඇති නොවන බවට වග බලා ගැනීමටයි. 

දැන් ලංකාවේ ඉලක්කය වී තිබෙන්නේ ටිකෙන් ටික සංචිත ගොඩ නගා ගැනීම මිසක් තියෙන සංචිත "ප්‍රයෝජනයට ගැනීම" නෙමෙයි. ඒ නිසා ප්‍රායෝගිකව චීන මුදල් හුවමාරු ණය වලින් වෙන්නෙත් ඉතිරි සංචිත වලින් සිදු වන දෙයමයි. ඒ කියන්නේ විණිමය වෙළඳපොළ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා එම සංචිත උදවු කර ගැනීම. මෙම ගිවිසුම අලුත් කිරීම නිසා ලංකාවට "නියම ක්‍රමයට" සංචිත ගොඩ නගා ගැනීමට තවත් අවුරුදු තුනක කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ සංචිත ඉලක්ක වලට යාම වඩා පහසු වෙනවා. ඩොලරයක මිල ඉහළ යාමේ අවදානම අඩු වෙනවා. එහි හොඳ වගේම නරකත් තිබෙන එක වෙනම කරුණක්.

තුන්වන කරුණ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම. අනුමත වුවහොත්, මෙය සැලකිය යුතු අඩු කිරීමක්. ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ පිරිවැය පදනම සලකා බලමින් කියා මම හිතනවා. එය එසේ නොවුනත්, මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරීම නෙමෙයි.

යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින අවධමන තත්ත්වය කලින් අපේක්ෂා කළ පරිදි ඉක්මණින් "යථා තත්ත්වයට" පත් වෙන එකක් නැහැ. සංකල්පීය ලෙස ගත්තොත් උද්ධමනය කියන්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමම නෙමෙයි. නමුත් උද්ධමනය මනින්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුවට 5% උද්ධමන ඉලක්කයක් ලබා දී තිබෙන්නේත් මෙම දර්ශකය හා සම්බන්ධ කරමිනුයි.

උද්ධමනය හා පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ආසන්න ලෙස හෝ එකට යන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව මල ගණන් වෙනස් වන්නේනම් පමණයි. නමුත් විදුලි ගාස්තු වෙනස් වෙන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව නෙමෙයි. එය සිදුවන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා පරිපාලනමය තීන්දු ලෙසයි. ලංකාවේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජන ඉල්ලුම පහත වැටී නැති අතර විදුලිබල සැපයුමේ විශාල වැඩිවීමක්ද සිදු වී නැහැ. එහෙත් විදුලි ගාස්තු අඩු වී තිබෙනවා. වර්ෂාපතනය වැඩිවීමේ බලපෑමක් ඇති.

මහ බැංකුවට මිල මට්ටම ස්ථාවරව පවත්වා ගත හැක්කේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම පාලනය කිරීම මගිනුයි. එය කරන්නේ පොලී අනුපාතික වෙනස් කිරීම මගින්. කලින් පෙනෙන්නට තිබුණේ මහ බැංකුව විසින් පොලී අනුපාතික 8% මට්ටමේ පවත්වා ගැනීමට ඉඩ තිබුණු බවයි. උද්ධමනය 5% මට්ටමකට ගැනීම සඳහා පොලී අනුපාතික තව දුරටත් අඩු කළ යුතු වූයේ නැහැ. එහෙත්, විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් අඩු කිරීමේ ඉඩක් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, පොලී අනුපාතික 7.5% වැනි මට්ටමකට පහත වැටීමේ ඉඩක් අපට පෙනෙන්නට තිබෙනවා.

Saturday, June 22, 2024

සංස්කෘතිය, පුද්ගල චර්යා හා ගණුදෙනු


අන්තර්වර්තික (introvert) හා බහිර්වර්තික (extrovert) ලෙස පුද්ගලයින් වර්ග කිරීමක් තිබෙනවා. මෙය සියවසකට වඩා පැරණි, ස්විට්සර්ලන්ත මනෝචිකිත්සක කාල් ගුස්ටාව් ජුං විසින් මුලින්ම ඉදිරිපත් කළ අදහසක් ලෙසයි සැලකෙන්නේ. නමුත් මේ අදහස විෂය ඇතුළේ වගේම සාමාන්‍ය භාවිතය තුළත් කාලයත් එක්ක පරිණාමය වී තිබෙනවා.

බහිර්වර්තික පුද්ගලයින්ට උත්තේජනය වෙන්න බාහිර උත්තේජක අවශ්‍යයි. එයින් වෙනස්ව, අන්තර්වර්තික පුද්ගලයින් උත්තේජනය වන්නේ තමන්ගේම අභ්‍යන්තරයෙන්. බහිර්වර්තික පුද්ගලයෝ විවෘත, සමාජශීලී පුද්ගලයෝ. නමුත් අන්තර්වර්තික පුද්ගලයින් තමන්ගේ හැඟීම් වෙනත් අයට ප්‍රදර්ශනය කරන්න මැලිකමක් දක්වන පුද්ගලයෝ. ඔය වගේ තවත් වෙනස්කම් තිබෙනවා.

කොහොම වුනත් මේක ද්විමය (binary) බෙදීමක් නෙමෙයි. මේ ලක්ෂණ වලින් විස්තර කෙරෙන්නේ සන්තතික (continuous) රේඛාවක දෙපැත්තේ අන්ත දෙක. ඔය රේඛාවේ හැම තැනකම මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ පුද්ගලයෙක් සැලකුවොත් යම් තරමකින් හෝ අන්තර්වර්තික ලක්ෂණ වගේම හා බහිර්වර්තික ලක්ෂණත් තිබෙනවා. නමුත් බොහෝ විට දෙපැත්තෙන් එක පැත්තකට බර වැඩියි.

ඔය ලක්ෂණ දෙවර්ගයෙන් වඩා හොඳ එක කොයි එකද? මෙය බොහෝ දුරට සංස්කෘතික කාරණයක්. සමස්තයක් ලෙස ගත්තහම සමහර සංස්කෘතීන් වඩා අන්තර්වර්තිකයි. සමහර ඒවා වඩා බහිර්වර්තිකයි. පුද්ගලයින්ගේ වෙනස්කම් නිසා මේ විදිහේ සංස්කෘතික වෙනස්කම් ඇති වෙලා තිබෙනවද එහෙම නැත්නම් සංස්කෘතික වෙනස්කම් පුද්ගල චර්යාවන් කෙරෙහි බලපා තිබෙනවද? බොහෝ විට ඔය දෙකම වෙන්න පුළුවන්.

කරුණක් ලෙස ගත්තොත් ඇමරිකන් සංස්කෘතියේ අන්තර්වර්තික චර්යාවන් ඒ තරම් අගය කෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට මෙවැනි චර්යාවන් වැරැද්දක් හෝ අඩුපාඩුවක් ලෙස දකින තත්ත්වයක් දකින්න පුළුවන්. සමාජයීය ලෙස පුහුණු කෙරෙන්නේ අන්තර්වර්තික පුද්ගලයින්ව බහිර්වර්තික පුද්ගලයින් කරන්නයි. (මම මේ දේවල් ලියන්නේ පුද්ගල නිරීක්ෂණ ලෙස මිසක් විෂය ප්‍රවීණයෙක් විදිහට නෙමෙයි.).

උදාහරණයක් විදිහට සමහර අවස්ථා වලදී වෙනත් සමාජ වල වගේම ඇමරිකන් සමාජයෙනුත් සමාජ විරෝධී ක්‍රියාකාරකම් වාර්තා වෙනවනේ. වෙඩි තැබීම්, සමහර විට සාමූහික ඝාතන වගේ දේවල් කියා කියමු. ඔය වගේ වෙලාවට චුදිතයා ගැන මේ වගේ අදහස් පළ වෙනු දැකිය හැකියි.

"හරිම ගුප්ත පුද්ගලයෙක්. ගෙදරට යනවා සහ එනවා දකිනවා. නමුත් කා එක්කවත් වැඩි කතාබහක් නැහැ. [මටනම් ඔය මනුස්සයා ඔහොම දෙයක් කරයි කියලා සැකයක් මුල ඉඳන්ම තිබුණා.]"

මේ වගේ කෙනෙක් දිහා ඇමරිකන් සමාජය බලන්නේ ටිකක් සැකයෙන්. උදාහරණයක් විදිහට ත්‍රස්තවාදියෙක් විය හැකි පුද්ගලයෙක් විදිහට. නමුත් මේක සමාජ සම්මතයක් පමණයි. සමාජ විරෝධී වැඩ කරන හැමෝම අන්තර්වර්තික පුද්ගලයින් නෙමෙයි. සමහර විට සමාජ විරෝධී වැඩ සහ අන්තර්වර්තික/ බහිර්වර්තික චර්යාවන් අතර කිසිම සම්බන්ධයක් නොතිබෙන්න පුළුවන්. 

අන්තර්වර්තික පුද්ගලයින් වගේම බහිර්වර්තික, ඉතාම සමාජශීලී පුද්ගලයින් විසින්ද සමාජ විරෝධී වැඩ කරන අවස්ථා එමටව තිබෙනවා. ඒ වගේ වෙලාවක ඇමරිකන් සමාජයේ ප්‍රතිචාර මේ වගේ.

"හැමෝම එක්ක කතා බහ කරලා ඉන්න ඉතාම සමාජශීලී පුද්ගලයෙක්. මේ වගේ දෙයක් කළේ කොහොමද කියන එක හිතා ගන්නවත් බැහැ! [මේ මනුස්සයාගේ පුද්ගල ස්වභාවය අනුව මෙහෙම වැඩක් කරන්න විදිහක් නැහැ.]"

සමහර විට පාසැල් වයසේ දරුවන් ගැන ඔවුන්ගේ දෙමවුපියන් ඇතුළු වැඩිහිටියන් හිතන විදිහ දිහා බැලුවත් ඇමරිකන් සමාජයේ අන්තර්වර්තනය දෙස නිශේෂණාත්මක ලෙස බලන ආකාරය පේනවා. මගේ දරුවන්ගේ සමීප පාසැල් මිතුරන්ගේ දෙමවුපියන් අතරද සමීප සම්බන්ධයක් තිබෙනවා. ඔවුන් අතර පරම්පරා ගණනාවක් ඇමරිකාවේ ජීවත් වූ සුදු ඇමරිකානුවන් වගේම අප වැනි සංක්‍රමණිකයින් කිහිප දෙනෙක්ද ඉන්නවා. මේ දෙමවුපියන් හමු වන ගොඩක් අවස්ථා වලදී, සිදු විය යුතු පරිදිම, ප්‍රධානම පොදු මාතෘකාව වෙන්නේ දරුවෝ.

මේ දරුවන් අතරින් එක දරුවෙක් නව වන ශ්‍රේණියේදී පමණ පෙම්වතියක් සොයා ගත්තා. ආසියානු රටකින් සංක්‍රමණය වූ පවුලක දරුවෙක්. මෙය අනෙක් සුදු ඇමරිකානු දෙමවුපියන් බොහෝ දෙනෙක් දැක්කේ ඔහුගේ ලොකු ජයග්‍රහණයක් (achievement) හා දක්ෂකමක් ලෙසයි. ඒ වගේම, ඒ ගැන කතා කරද්දී තමන්ගේ දරුවා ඒ වෙද්දී පෙම්වතියෙක් සොයා ගෙන නොසිටීම ගැන යම් කණස්සල්ලක් වැනි දෙයක්ද පේන්න තිබුණා. මෙහිදී පිළිබිඹු වුනේ තමන්ගේ දරුවා අන්තර්වර්තික පුද්ගලයෙක් වෙයිද කියන බිය. එය ඇමරිකන් සමාජය තුළ යම් තරමක ප්‍රශ්නයක්. 

ඇමරිකන් දෙමවුපියන් විසින් බොහෝ විට උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ව පුළුවන් තරම් සමාජ ක්‍රියාකාරකම් වෙත යොමු කරවන්නයි. පොතේ පතේ ඇලී ඉන්න දරුවෙක් බොහෝ විට කණස්සල්ලට කාරණයක්. 

ලංකාවේ සමාජ සම්මතය, අඩු වශයෙන් සම්ප්‍රදායික ශ්‍රී ලාංකික සංස්කෘතිය ඇතුළේ, මේකේ අනෙක් පැත්ත කියලයි මට හිතෙන්නේ.

"අර බලන්න xxx. පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. ඔයා වගේ රට වටේ රස්තියාදු ගහන්නේ නැහැ."

සාමාන්‍යයෙන් අන්තර්වර්තික දරුවන්ට ලංකාවේ දෙමවුපියෝ කැමතියි. ඒ අය "හොඳ ළමයි" කියන එකයි ලංකාවේ සමාජ සම්මතය. 

ඔය වගේ "හොඳ ළමයි" අවුල් වැඩ කරන වෙලාවලුත් තිබෙනවා.

"පේනවා නේද හිමිජ්ජා වගේ ඉඳලා කරලා තියෙන දේ!"

හිමිජ්ජා වගේ ඉන්න, අන්තර්වර්තික, ළමයෙක්නම් හොඳ ළමයෙක් විය යුතුයි. එහෙම ළමයෙක් අවුල් වැඩක් කරලනම් ඒකේ අවුලක් තිබෙනවා. හැබැයි රට වටේ රස්තියාදු ගහන, කොයි වෙලාවකවත් ගෙදර නැති, බහිර්වර්තික, ළමයෙක් අවුල් වැඩක් කළොත් ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ.

"ඕකා කොයි වෙලාවක හරි ඔහොම වැඩක් කරයි කියලා මමනම් මුල ඉඳලම දැනගෙන හිටියා!"

හැබැයි ලංකාවේ මේ සමාජ සම්මතය දැන් දැන් වෙනස් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම නාගරික සංස්කෘතිය ඇතුළේ. ඒක වෙන්නේ ඇමරිකන් ආභාෂය නිසා වෙන්න පුළුවන්. මම මෙය හොඳ දෙයක් හෝ නරක දෙයක් ලෙස ලේබල් කරන්නේ නැහැ.

මෙහිදී බටහිර ආභාෂය නොකියා ඇමරිකන් ආභාෂය කියා කිවුවේ බහිර්වර්තනය ඇමරිකන් සංස්කෘතියේ කොටසක් වුනත් පොදුවේ බටහිර සංස්කෘතියේ කොටසක් කියා කියන්න අමාරු නිසා. බොහෝ ආසියානු රටවල අන්තර්වර්තනය නරක දෙයක් සේ සැලකෙන්නේ නැහැ වගේම බොහෝ විට හොඳ දෙයක් සේ සැලකෙනවා. විශේෂයෙන්ම ජපානය වගේ රටවල. නමුත්, මෙය පෙරදිගට සීමා වූ සංස්කෘතික චර්යාවක් නෙමෙයි. ඇතැම් බටහිර යුරෝපීය රටවල සංස්කෘතීන් තුළද අන්තර්වර්තනය කෙරෙහි නැඹුරුවක් දකින්න පුළුවන්.

මගේ පෞද්ගලික නිරීක්ෂණය අන්තර්වර්තනය ප්‍රවර්ධනය කෙරෙන සංස්කෘතීන් තුළ මිනිස්සු අනෙක් අයගේ හැඟීම් වලට වඩා සංවේදීයි කියන එකයි. බහිර්වර්තිකයෝ තමන්ගේ හැඟීම් නොපැකිළ ප්‍රකාශ කරනවා වගේම අනෙක් අයෙගෙනුත් ඒ දේ බලාපොරොත්තු වෙනවා. එයින් වෙනස්ව, අන්තර්වර්තිකයෝ කියන්නේ මිනිස් හැඟීම් හැම විටම වචන විදිහට එළියට නොඑන බව තේරුම් ගෙන, ඒ හැඟීම් මොන විදිහකින් හෝ තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක්. 

ලංකාවේ මම හැදිච්ච සංස්කෘතියේ පහත ආකාරයේ සිදු වීම් ඒ තරම් දුලබ නැහැ.

"පුතා අදනම් බත් ටිකක් කාලම යන්න ඕනෑ!"

ඔහොම කියන්නේ යාළුවෙක්ගේ ගෙදරට හදිසියේ ගොඩ වැදුනහම ඒ යාළුවගේ අම්මා. එහෙම නැත්නම් දුර නෑදෑයෙක්ගේ ගෙදරට හදිසියේ ගොඩ වැදුනහම. 

ඔහොම බල කරලම කිවුවට "හරි එහෙනම් බත් ටිකක් කමු!" කියලා කිවුවොත් දෙන්න ගෙදර බත් නැහැ. සමහර විට උයන්න කියලා දෙයකුත් හරියකට ගෙදර නැහැ. 

"නෑ, ඇන්ටි දැන් කන්න බැහැ. දැන් පොඩ්ඩකට කලිනුයි බත් කෑවේ!"

ඕකත් බොරුවක්. ඔහොම කියන්නේ පට්ට බඩගින්නේ ඉන්න ගමන්. 

ඔය වගේ වෙලාවක එළියට දමන්නේ තමන්ගේ ඇත්ත හැඟීම් නෙමෙයි. නමුත් මේක සියයට සියයක්ම අනෙකාගේ පැත්තෙන් හිතලා කරන දෙයක්. කියන දේවල් වලින් එහාට ගිහින් අනෙකාගේ හැඟීම් තේරුම් ගන්න එක සංස්කෘතියේ කොටසක්.

හැබැයි මේ විදිගේ චර්යාවන් වෙළදපොළ ක්‍රමය එක්ක හොඳින් පෑහෙන්නේ නැහැ. වෙළදපොළ ක්‍රමය ඇතුළේ තමන්ගේ රුචි අරුචිකම්, තමන්ට අවශ්‍ය දේ සෘජුව ප්‍රකාශයට පත් කළ යුතුයි. එහෙම කරන එකෙන් අනෙකාට හිත් රිදීමක් වෙනවාද කියන එක අදාළ නැහැ. එහෙම වෙනවනම් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ නිදහස අනෙකාට තියෙනවා. 

මම හිතන්නේ මම ලංකාවේ සන්දර්භය ඇතුළේ වුනත් අන්තර්වර්තික පැත්තට වඩා බර කෙනෙක්. ඒ වගේ කෙනෙක්ට ඇමරිකන් සමාජය ඇතුළේදී යම් සංස්කෘතික ඝට්ඨනයකට මුහුණ දෙන්න වෙනවා. ඇමරිකාවේ ක්‍රමය තමන්ට අවශ්‍ය දේ පොල්ලෙන් ගැහුවා වගේ කෙළින්ම කියන එක. හැබැයි ඒ එක්කම අනෙක් පුද්ගලයා එයට එකඟ නොවීම කිසිම ප්‍රශ්නයක් නැතිව භාර ගැනීමකුත් තිබෙනවා. "බැහැ" කිවුවා කියලා කවුරුවත් තරහා වෙන්නේ නැහැ. 

මේ කාරණයේදී චීන සංස්කෘතිය වෙනස්. එය ලංකාවේ සංස්කෘතියට වඩා සමීපයි. 

ඇමරිකන් සංස්කෘතිය ඇතුළේ අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමේ උත්සාහයක් ලොකුවට නැහැ. කියන්න දෙයක් තියෙනවානම් කට ඇරලා කෙළින්ම කියන්න වෙනවා. උදවුවක් ඉල්ලුවොත් උදවු කරන්න සූදානම් අය ඕනෑ තරම් ඉන්නවා. නමුත් කවුරුවත් බලෙන් උදවු කරන්න එන්නේ නැහැ. ඒක සැලකෙන්නේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් විදිහට. 

ලංකාවේ එහෙම නෙමෙයිනේ. කන්න ගියොත්, බඩුවක් ගන්න ගියොත්, සංචාරයක යෙදෙන්න හිතුවොත්, උපදෙස් දෙන්න ඕනෑ තරම් අය ඉන්නවා. විවාහය ගැන, දරුවන් හැදීම ගැන උපදෙස් දෙන්න අය ඉන්නවා. මේක පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් විදිහට බොහෝ අය දකිනවා ඇති. ලංකාවේ අලුත් ප්‍රවණතාව ඒක. නමුත් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් සිදු නොවන ඇමරිකානු සංස්කෘතියේ හැදුණු වැඩුණු ඇතැම් අය මේ වගේ දේවල් මාර විදිහට අගය කරනවා.

මටනම් වෙනත් අය මා වෙනුවෙන් තේරීම් කරන එක සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා, ඇමරිකානු සංස්කෘතියට මම කැමතියි. නමුත් වෙනත් අය වෙනුවෙන් තේරීම් කරන අය බොහෝ විට එසේ කරන්නේ හොද හිතින්. 

සමහර වෙලාවට ලංකාවට ගියාම මම කන්න කැමති ඇති කියලා උපකල්පනය කරලා කෑම වර්ග අරගෙන හෝ හදාගෙන එන අය ඉන්නවා. එහෙම කරන්නේ ලොකු කැප කිරීමක් කරලා. සමහර විට අතේ සල්ලි තියෙනවට නෙමෙයි. වෙලාව තියෙනවට නෙමෙයි. ආපහු දෙයක් බලාපොරොත්තුවෙනුත් නෙමෙයි. 

ඔය විදිහේ දේවල් කරන්නේ දන්නා කියන අය පමණක් නෙමෙයි. කිසිම පෙර හැඳුනුම්කමක් නැති අයත් ඔය වගේ උදවු කරන අවස්ථා මම ඕනෑ තරම් තියෙනවා. චීනයේදී මම දැක්කෙත් හරියටම ඔන්න ඔය සංස්කෘතික චර්යාව. 

පැකිලීමක් නැතිව අනුන් වෙනුවෙන් තීරණ ගන්න ඉදිරිපත් වෙන සංස්කෘතියක් ඇතුළේ තමන් වෙනුවෙන් වෙනත් අය විසින් ගන්නා එවැනි තීරණ භාර ගැනීමේ නැඹුරුවකුත් තිබෙනවා. දෙකෙන් එකක් පමණක් පවතින්න බැහැනේ. ඒ වගේ සංස්කෘතික පසුබිමක ගනුදෙනු සිදු වන ආකෘතියේත් වෙනසක් තියෙනවා. පාර්ශ්ව දෙකම ගණුදෙනුවට ඉදිරිපත් වෙන්නේ තමන්ගේ වාසියට අමතරව අනෙකාගේ පැත්ත ගැනත් හිතලා. හැබැයි අනෙකා ගැන හිතන්නේ තමන්ට සාපේක්ෂව. 

මෙහි තිබෙන ප්‍රශ්නය තොරතුරු අසමමිතිය. කෙනෙකුට කවදාවත් වෙනත් කෙනෙකුගේ හැඟීම් හරියටම තේරුම් ගන්න බැහැ. ඒ නිසා, ඇමරිකන් සංස්කෘතිය ඇතුළේ වෙළදපොල ගනුදෙනු වඩා කාර්යක්ෂමයි. ලංකාව හෝ චීනය වගේ රටක ඒ කාර්යක්ෂමතාවය යම් සීමාවකින් නවතිනවා. ඒක සංස්කෘතික සීමාවක්. ඒ වගේම, ලංකාව හා චීනය වගේ රටවල රාජ්‍ය මැදිහත් වීම් වලට ඇමරිකාවේ නැති සංස්කෘතික ඉඩක් තිබෙනවා.

Friday, June 21, 2024

වත්කම් ව්‍යාප්තිය හා ධන බද්ද


ඉදිරියේදී පැනවීමට යෝජිත ධන බද්ද/ වත්කම් බද්ද ගැන යම් සංවාදයක් ඇති වී තිබෙනවා. බොහෝ විට මේ බද්ද ගෙවන්නට සිදු වනු ඇත්තේ යම් අවම වත්කම් ප්‍රමාණයක් තිබෙන අයටයි.

පහත තිබෙන්නේ ක්‍රෙඩිට් සුවිස් ආයතනයේ ඇස්තමේන්තු අනුව ලංකාවේ වැඩිහිටියන්ගේ වත්කම් ව්‍යාප්තියේ සංයුතියයි.

ඩොලර් 10,000ට අඩු (රුපියල් මිලියන 3ට අඩු) - 50.7%

ඩොලර් 10,000-100,000 අතර (රුපියල් මිලියන 3-30 අතර) - 44.3%

ඩොලර් 100,000- මිලියන 1 අතර (රුපියල් මිලියන 30-300 අතර) - 4.8%

ඩොලර් මිලියන 1ට වඩා වැඩි (රුපියල් මිලියන 300ට වඩා වැඩි) - 0.1%

මෙම ඇස්තමේන්තු අනුව රටේ වැඩිහිටි ජනගහණය 14,846,000ක් වන අතර එක් වැඩිහිටියෙකු සතු සාමාන්‍ය වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 27,040ක් හෙවත් රුපියල් මිලියන 8.1ක් පමණ වෙනවා. ඒ අනුව, රටේ සියලුම වැඩිහිටියන් සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 401.4ක් පමණ වෙනවා. 

අදාළ වාර්තාව අනුව, ඩොලර් 100,000 ඉක්මවන වත්කම් ඇති වැඩිහිටියන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ චීනයේ. එම ප්‍රමාණය 173,733,000ක්. ඇමරිකාවේ එම ප්‍රමාණය 120,206,000 වන අතර ලංකාවේ 727,000ක් පමණ වෙනවා. ඩොලර් 100,000 ඉක්මවන වත්කම් ඇති වැඩිහිටියන් ලෝක පරිමාණයේදී ඉහළ මධ්‍යම පාන්තිකයින් සේ සැලකිය හැකියි. චීනයේ වේගවත් ආර්ථිකය වර්ධනයේ රහස පසුගිය කාලයේදී මෙවැනි ඉහළ මධ්‍යම පාන්තිකයින් විශාල පිරිසක් බිහි වී සිටීමයි.

මෙම මට්ටමේ වත්කම් හිමි ජපනුන් 56,668,000ක් සිටින අතර ප්‍රංශයේ, එක්සත් රාජධානියේ හා ජර්මනියේ එම ප්‍රමාණයන් පිලිවෙලින් 29,576,000ක්, 29,224,000ක් හා 28,782,000ක් වෙනවා. 

Thursday, June 20, 2024

මැද රටේ ආර්ථිකය


පසුගිය 2023 වර්ෂයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 126.1ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 17.9ක් පමණ. එම වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 27.4ක්. ඒ කියන්නේ ඇමරිකන් ආර්ථිකය තවමත් චීන ආර්ථිකයට වඩා 53%කින් විශාලයි. යුරෝපීය සංගමයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 18.4ක් පමණ වුවත්, එහි ප්‍රධානම ආර්ථිකය වන ජර්මනිය වගේම, ලෝකයේ විශාලතම ආර්ථික අතර තිබෙන ඉන්දියාව හා ජපානයත් ආර්ථිකයේ ප්‍රමාණය අතින් චීනයට වඩා ගොඩක් පසුපසිනුයි ඉන්නේ. ජර්මනිය, ජපානය හා ඉන්දියාව යන රටවල් තුනේම ආර්ථිකයන් එකතු කළත් චීනයේ ආර්ථිකය තරම් විශාල නැහැ. 

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකයේ සංයුතිය මොන වගේද?

කෘෂිකර්මය - යුවාන් ට්‍රිලියන 9.4 (7.5%)

කර්මාන්ත - යුවාන් ට්‍රිලියන 39.9 (31.7%)

ඉදි කිරීම් - යුවාන් ට්‍රිලියන 8.6 (6.8%)

සේවා - යුවාන් ට්‍රිලියන 68.1 (54.0%)

චීනයේ නිෂ්පාදන ආර්ථිකය ගැන ගොඩක් අය කතා කළත්, චීන ආර්ථිකයේ ලොකුම පංගුව සේවා ආර්ථිකය. ලංකාව, ඇමරිකාව, වියට්නාමය ඇතුළු අනෙක් බොහෝ රටවල වගේම තමයි. 

උදාහරණයක් විදිහට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 12.3ක් තොග හා සිල්ලර වෙළඳාම. ඒ වගේම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.0%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 10.1ක් මූල්‍ය අංශයේ අතරමැදි සේවා. තව යුවාන් ට්‍රිලියන 7.4ක් හෙවත් දදේනියෙන් 5.8%ක් නිවාස හා දේපොළ වෙළඳාම්. ඔය කොටස් තුන පමණක් එකතු කළත් චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් පංගුවකට කිට්ටුයි (23.6%).

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු පංගුවක් ඉහත සඳහන් අනු අංශ තුන බව මම පෙර සටහනක සඳහන් කර තිබෙනවා. මේ සියල්ල අතරමැදි සේවාවන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙය විකෘතියක්ද? එහෙමනම්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය ය‍ටතේ තිබෙන චීනයේ ඔය අතරමැදි සේවා වල පංගුවත් ඔය තරම් විශාල වුනේ කොහොමද? 

මම හිතන්නේ අතරමැදියන් නැති කිරීමේ මිථ්‍යාව ගැන කොමියුනිස්ට් චීනය දිහා බලලා වුනත් ඉගෙන ගන්න අමාරු නැහැ. ආර්ථිකයක් ප්‍රසාරණය වීම සඳහා තොග හා සිල්ලර වෙළඳාම, මූල්‍ය අංශයේ අතරමැදි සේවා හා නිවාස හා දේපොළ වෙළඳාම් වැනි අතරමැදි සේවාවන් ඉතාම අවශ්‍යයි. ඒවා නැති කරලා ආර්ථිකයන් ප්‍රසාරණය කරන්න බැහැ. 

චීනය විශාල රාජ්‍ය අංශයක් තිබෙන රටක්. චීන රජය යටිතල පහසුකම් සංවර්ධනය ආදිය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. මේ වෙනුවෙන් චීන රජය සල්ලි හොයා ගන්නේ කොහොමද?

අමුතු මැජික් එකක් නැහැ. ඇමරිකාවේ හා ලංකාවේ රජයයන් වගේම චීන රජයත් ආදායම් හොයා ගන්න ප්‍රධාන ක්‍රමය බදු. 2023දී චීනයේ මුළු රාජ්‍ය ආදායම වූ යුවාන් ට්‍රිලියන 21.7ක මුදලින් යුවාන් ට්‍රිලියන 18.1ක්ම, ඒ කියන්නේ 84%ක්ම බදු ආදායම්. චීන රජයට අයිති රාජ්‍ය ව්‍යවසාය වලින් ලැබෙන ආදායම් ඇතුළු අනෙක් සියලු ආදායම් තිබෙන්නේ ඉතිරි 16% ඇතුළේ. 

මේ බදු සියල්ල සෘජු බදුද?

මොන පිස්සුද? ඔය බදු ආදායමෙන් යුවාන් ට්‍රිලියන 6.9ක්ම වැට් බදු. තවත් යුවාන් ට්‍රිලියන 1.6ක් පරිභෝජන බදු. මීට සාපේක්ෂව පුද්ගල ආදායම් බදු යුවාන් ට්‍රිලියන 1.5ක් පමණයි. සමාගම් ආදායම් බදු යුවාන් ට්‍රිලියන 4.1ක්. වක්‍ර බදු අය කළා කියලා සෘජු බදු අය නොකර ඉන්නේ නැහැ.

චීනය ආදායම මත කොයි තරම් බදු ගහනවද?

යුවාන් 3000 දක්වා (මාසික ආදායම) - 3%

යුවාන් 3000-12,000 අතර - 10%

යුවාන් 12,000-25,000 අතර - 20%

යුවාන් 25,000-30,000 අතර - 25%

යුවාන් 35,000-50,000 අතර - 30%

යුවාන් 55,000-80,000 අතර - 35%

යුවාන් 80,000 සිට - 45%

රජයකට බදු අය නොකර වියදම් කරන්න බැහැ. වියදම් කළ හැක්කේ කාගෙන් හෝ බදු ලෙස එකතු කර ගන්නා සල්ලි. චීනය කියලා එහි වෙනසක් නැහැ.

Wednesday, June 19, 2024

මැද රට විත්ති...


ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国).

චොංගුආ කියන්නේ මැද රට. කාලයක් තිස්සේ චීන්නු හිතාගෙන හිටපු විදිහට චීනය කියන්නේ ලෝකයේ මැද. මේ විදිහට හිතාගෙන හිටපු එකම ජාතිය චීන්නු නෙමෙයි. ගොඩක් මිනිස්සු වගේම ජාතීනුත් හිතන්නේ ලෝකය කැරකෙන්නේ තමන් වටේ කියලයි. අනෙක් රටවල් සම්බන්ධව කොහොම වුනත්, චීනය කේන්ද්‍ර කරගත් ලෝකයක් කියන එකනම් නිකම්ම හිතළුවක් නෙමෙයි. 

පසුගිය සති දෙක ගත කළේ මැද රට එහෙමත් නැත්නම් චීනයේ. මීට කලින් අන්තිමට චීනයට ගියේ අවුරුදු දා හතකට කලින්. එහෙම කිවුවත්, එකම ගඟ දෙපාරක් බලන්න බැහැ වගේ එකම රටකට දෙපාරක් යන්නත් බැහැ. අවුරුදු දා හතකට කලින් චීනය සහ අද චීනය කියන්නේ රටවල් දෙකක්. ඒ වගේම, අවුරුදු දා හතකට පස්සේ නැවත චීනයට යන්නේ කලින් ගිය පුද්ගලයාම නෙමෙයි.

කලින් පාර චීනයට යද්දී එරට ආර්ථිකය හෝ දේශපාලනය ගැන මට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. ඒ දවස් වල ආර්ථිකය හා දේශපාලනය ගැන අද හිතන විදිහට හිතුවෙත් නැහැ. ආර්ථිකය හා දේශපාලනය පිළිබඳව කලින් නොදුටු පැති බොහොමයක් පේන්න ගත්තේ ඇමරිකාවේ ජීවත් වීම නිසා ලැබුණු අත්දැකීම් එක්කයි. ඇමරිකන් අත්දැකීම් නොතිබුණානම් ලෝකයෙන් ලොකු කොටසක් මග හැරෙනවා.

ඇමරිකාව කියන්නේ ලෝකයෙන් ලොකු කොටසක් වුනත් ලෝකය නෙමෙයි. චීනය කියා කියන්නේ ඇමරිකාවෙන් බාහිර ලෝකයේ ලොකු කොටසක්. ඒ කොටස නොසලකා හැරියොත් වෙන්නෙත් ලෝකයෙන් ලොකු කොටසක් මග හැරෙන එක. 

චීනය ඇතුළටම ගිහින් චීනය අත් විඳින එක ටික කලක පටන් තිබුණු උවමනාවක්. බටහිර මාධ්‍ය පෙරණයන් වලට අහුවෙලා එළියට එන චීනය දිහා බලලා චීනය ගැන නිගමන වලට එන එකේ අවදානම මග හරින්න තිබුණු හොඳම ක්‍රමය ඒකයි. මම හිතන්නේ මගේ අවශ්‍යතාවය සෑහෙන දුරකට ඉටු වුනා. 

කලින් පාර ගියේ බෙයිජිං අගනුවරට. මේ පාර රට මැද පිහිටි වුහාන් වලටත්, දකුණු චීනයේ ශාමෙන් දූපතටත් ගියා. වුහාන් ගැනනම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නම කියපු ගමන් ගොඩක් අය දන්නවා. නමුත් ශාමෙන් ගැන ගොඩක් අය ඒ තරම්ම දන්නේ නැතිව ඇති. 

ශාමෙන් කියා කියන්නේ දකුණු චීනයේ ෆුජියාන් ප්‍රාන්තයේ තායිවානයට ආසන්නව පිහිටි චීනයට අයිති දූපතක්. තායිවානය පමණක් නෙමෙයි හොංකොං වගේම වියට්නාමය, පිලිපීනය, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් වුනත් බෙයිජිං අගනුවරට වඩා ශාමෙන් දූපතට කිට්ටුයි. 

චීන භාෂාව ලෝකයේ වෙනත් බොහොමයක් භාෂා වගේ අකුරු හෝ ශබ්ද මත පදනම් වූ භාෂාවක් නෙමෙයි. භාෂාව ගොඩ නැගෙන්නේ මූලික වචන එකතු වෙලා. ඒ නිසාම, පුද්ගලයෙකුගේ හෝ නගරයක නමක් ගත්තත් එයට තේරුමක් තිබෙනවා. චීන භාෂාවෙන් ශාමෙන් (厦门) කියන්නේ "මන්දිර ද්වාරය" වැනි තේරුමක් තිබෙන වචනයක්. ශාමෙන්ඩා (厦门岛) නැත්නම් ශාමෙන් දූපත කියා කියන්නේ මන්දිර ද්වාර දූපත. 

ශාමෙන් කියන නම ඉතාම උචිත නමක්. සියවස් ගණනාවක ඉතිහාසය පුරාම ශාමෙන් දූපත පැවතිලා තියෙන්නේ චීනය නම් වූ මන්දිරයට පිවිසිය හැකි හා ඒ මන්දිරයෙන් පිටව යා හැකි ද්වාරයක් ලෙසයි. ඒ නිසාම, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි යාබද රටවල සිටින චීන සම්භවයක් ඇති පිරිස් අතර වගේම චීනයට ඈත රටවල චීන ඩයස්පෝරිකයන් අතර පවා ශාමෙන් සිට සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන්ගේ අනුපාතය ගොඩක් වැඩියි. අනෙක් අතට එතරම් විදේශිකයින් ජීවත් නොවන චීනයේ ශාමෙන් කියන්නේ සාපේක්ෂව වැඩි විදේශිකයින් ප්‍රමාණයක් ජීවත් වන නගරයක්. හැබැයි එහෙම කිවුවත් මේ ගොඩක් අය චීන භාෂාවම කතා කරන, චීන සම්භවයක් තිබෙන අයයි. 


ශාමෙන් වරාය පැරණි සේද මාර්ගයේ පිහිටි ප්‍රධාන වරායක්. නාවික මාර්ග හරහා සියවස් ගණනක් ලංකාව එක්ක සම්බන්ධව පැවති ස්ථානයක්. ඒ වගේම, නූතන සේද මාර්ගයේද වැදගත් සන්ධිස්ථානයක්. 

කාලයක් සමාජවාදී, සංවෘත ආර්ථික ආකෘතියක දැඩි ලෙස හිර කර තිබුණු චීනයේ, 1976දී සිදු වූ මා ඕ සේතුංගේ මරණයෙන් පසුව, ඩෙන් ශියාවෝ පිංගේ නායකත්වය යටතේ වෙළඳපොළ දෙස යොමු වූ  ප්‍රතිසංස්කරණ ක්‍රමිකව සිදු කෙරුණා. "මැද රට" ලෝකයට විවෘත කෙරුණා. චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වලින් පසුවයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේම සිදු කෙරුණු මේ ප්‍රතිසංස්කරණ හරහා සාමූහික ගොවිපොළ ක්‍රමයෙන් ඉවත් වීම, විදේශ ආයෝජන වලට ඉඩ දීම, මිල පාලන ඉවත් කිරීම, රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය, ලෝක වෙළඳ සංවිධානයට එකතු වීම වගේ ගොඩක් දේවල් සිදු වුනා. ඒ එක්කම චීන ආර්ථිකයට දේශීය හා විදේශීය පෞද්ගලික අංශයන් ලැබුණු දායකත්වය වේගයෙන් ඉහළ ගියා. චීන දළ දේශීය නිෂ්පාදිතයේ පෞද්ගලික අංශයේ පංගුවද වේගයෙන් ඉහළ ගියා. වසර ගණනාවක් 10%කට ආසන්න වේගයකින් චීන ආර්ථිකය වර්ධනය වුනා.

ඩෙන් ශියාවෝ පිං විසින් මුලින්ම චීනයට ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිදු කළ ප්‍රධානම කාර්යයක් වුනේ දකුණු චීනයේ විශේෂ ආර්ථික කලාප පහක් ස්ථාපනය කිරීම. ශාමෙන් දූපත ඒ කලාප පහෙන් එකක්. මේ කලාප තුළ චීන මධ්‍යගත සැලසුමෙන් වෙනස් වූ වඩා නිදහස් ආයෝජන-හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුනා. ශාමෙන් ඇතුළු මුල් විශේෂ ආර්ථික කලාප වල සාර්ථකත්වය මත පදනම්ව පසුව තවත් එවැනි "විවෘත ආර්ථික කලාප" ගණනාවක් පිහිටුවනු ලැබුවා. කොහොම වුනත් ශාමෙන් කියා කියන්නේ චීනය තුළ මුලින්ම ප්‍රතිසංස්කරණ සිදු කෙරුණු ප්‍රදේශයක්.

මුලින්ම ශාමෙන් විශේෂ ආර්ථික කලාපය ලෙස නම් කෙරුණේ වර්ග කිලෝ මීටර 2.5ක කොටසක් පමණයි. ඒ 1980දී. වසර හතරකට පසුව 1984දී මෙම කලාපය මුළු දූපතම ආවරණය වන පරිදි පුළුල් කෙරුණා. ඒ අනුව, මේ වන විට වසර 40ක කාලයක් ශාමෙන් දූපත චීනයේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස පැවතිලා තිබෙනවා. 1994දී චීන මධ්‍යම රජය විසින් ශාමෙන් විශේෂ ආර්ථික කලාපයට නීති සම්පාදනය කර ගැනීමේ බලයද ලබා දී තිබෙනවා. 

ශාමෙන් ආර්ථිකය පසුගිය දශක කිහිපය තුළ චීනයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයද ඉක්මවමින් 15%ක පමණ වේගයකින් වර්ධනය වී තිබෙනවා. 2020 වසර අවසන් වන විට ලෝකයේ ප්‍රධානම සමාගම් පන්සීයෙන් (Fortune 500) හැට තුනක් ශාමන් විශේෂ ආර්ථික කලාපය තුළ ආයෝජනය කර තිබුණා. 1980 වන විට ඩොලර් මිලියන 141ක් පමණක් වූ ශාමන්හි විදේශ වෙළඳාම 2020 වන විට ඩොලර් බිලියන 109ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මෙය 18%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක්.

චීනයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,720ක් වෙද්දී ශාමන්හි එම අගය ඩොලර් 21,527ක්. විශේෂ ආර්ථික කලාපයක් වන ශාමන් දුපතද ඇතුළත් ශාමන් නාගරික කලාපයේ ජනගහණය මිලියන 5.3ක් පමණ වුවත් එහි දළ දේශීය නිෂ්පාදිතය ලංකාවේ දදේනිය ඉක්මවනවා. එම අගය ඩොලර් බිලියන 114.5ක් පමණ. මැක්ඩොනල්ඩ්ස්, KFC, පීසාහට්, ස්ටාර්බක්ස් වැනි අවන්හල් ශාමන් දූපත තුළ දැකගත හැකියි. 

මේ සියළු කරුණු අනුව පැහැදිලි විය යුත්තේ ශාමෙන් යනු බටහිර රටක කෝණයෙන් බැලූ විට චීනය තුළ පිහිටි වඩාත්ම දියුණු හා වඩාත්ම විවෘත ප්‍රදේශයක් බවයි. එසේ වුවද, ශාමෙන් නගරයේදී පවා "චීනයට ඇතුළු වීමේ" කම්පනයෙන් මිදෙන්න ලැබෙන්නේ නැහැ. ඊට ප්‍රධානම හේතුව ශාමෙන් දූපතද "චීන මහා අග්නි-ප්‍රකාරය" තුළ පිහිටා තිබීමයි. 

"චීන මහා අග්නි-ප්‍රකාරය" තුළට ඇතුළු වූ වහාම නැති වන දේවල් ගණනාවක් තිබෙනවා. ඒ දේවල් කොයි තරම් දුරට "නැතිවම බැරි" දේවල් බවට පත් වී ඇත්ද යන්න හරියටම අවබෝධ වන්නේ ඒවා නැතිව යම් කලක් ජීවත් වන්නට සිදු වූ විටයි. 

මෙම ලිපිය පළ කෙරෙන "බ්ලොගර්" වෙබ් අඩවිය සහ වත්පොත චීනයට ඇතුළු වෙද්දී අහිමි වන දේවල් දෙකක්. ඊටත් වඩා ප්‍රශ්නයක් වුනේ මගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම අහිමි වීමයි. ඊට අමතරව ගූගල් සිතියම්ද සාමාන්‍යයෙන් මා නිතිපතා භාවිතා කරන්නක්. විශේෂයෙන්ම නුපුරුදු රටකදී හෝ ප්‍රදේශයකදී. මේ ප්‍රශ්නය කලින්ම දැනගෙන සිටි නිසා පෙර සූදානමක් ලෙස VPN කිහිපයක්ම දමාගෙන ගියත් ඒ එකකින්වත් ප්‍රයෝජනයක් වුනේ නැහැ. 

හැබැයි මේ කිසිවක් චීන්නුන්ට ප්‍රශ්න නෙමෙයි. ඔය හැම දෙයක් වෙනුවටම චීන විකල්ප තිබෙනවා. "චීන මහා අග්නි-ප්‍රකාරය" ලොකුවටම ප්‍රශ්නයක් වෙන්නේ චීන භාෂාව නොදත් අප වැනි විදේශිකයින්ටයි. 

මගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් වී තිබෙන බ්ලොග් එක, වත්පොත, ඊ-මේල් ගිණුම, ගූගල් සිතියම් ඇතුළු තවත් දේවල් අහිමිව කල් ගෙවද්දී කල්පනා වුනු තවත් දෙයක් වුනේ ගූගල් වැනි සමාගමක් මගේ ජීවිතයෙන් කොපමණ පදාසයක් අත් පත් කරගෙනද කියන එක. අපිව පාලනය කරන්නේ රජයයන් විසින් පමණක් නෙමෙයි. 

ශාමෙන් පාලනාධිකාරය විසින් යටිතල පහසුකම් සංවර්ධනය හා නගරාලංකාරය වෙනුවෙන් විශාල පිරිවැයක් දරන බව පෙනෙන්නට තිබෙනවා. මෙය අඩු වැඩි වශයෙන් වුහාන් නගරයේදීද දැකගත හැකි වූ තත්ත්වයක්. මේ දවස් වල ඇමරිකාවේද විශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සිදු වෙනු දැකිය හැකියි. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන ව්‍යාපෘති. මේවා රජය මුල් වී කරන දේවල් මිසක් පෞද්ගලික අංශය විසින් කරන දේවල් නෙමෙයි. එසේ රජය මුල් නොවුනානම් බොහෝ විට මේ දේවල් පෞද්ගලික ආයෝජන විදිහට සිදු වෙන එකක් නැහැ. 

චීනය මාර්ග සංවර්ධනය වෙනුවෙන් කොපමණ මුදල් වැය කරමින් සිටියත් ඇමරිකාවට සාපේක්ෂව මාර්ග තදබද දැකිය හැකියි. මෙයද ශාමන් වලදී මෙන්ම වුහාන් වලදීද දැකිය හැකි වූ තත්ත්වයක්. එයින් පෙනෙන්නේ මේ අයුරින් චීන රජය මුල් වී මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීම කළ යුතුම දෙයක් බවයි. 

හොඳ මට්ටමේ මාර්ග කොපමණ අලුතෙන් ඉදි කර තිබුණද මාර්ග තදබද අඩුවක් නොතිබීමෙන් පෙනෙන්නේ පාරවල් ඉදිවන වේගයට වඩා වැඩි වේගයකින් වාහන භාවිතය ඉහළ යන බවයි. 

ඇමරිකාවට සාපේක්ෂව චීනයේ පොදු ප්‍රවාහනය ඉතා හොඳ මට්ටමක තිබෙනවා වගේම මිල ගණන්ද අඩුයි. ශාමන් නගරයේ හැම අතටම දිවෙන බස් පද්ධතිය භාවිතා කිරීම සඳහා යුවානයක මිලක් ගෙවීම ප්‍රමාණවත් (රුපියල් 42ක් පමණ). මෙය සාපේක්ෂව ගොඩක් අඩු මිලක්. අනිවාර්යයෙන්ම චීන රජය විසින් ප්‍රවාහනය විශාල ලෙස සුබසාධනය කරනවා විය යුතුයි.

ටැක්සි භාවිතයද ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. මෙය සමාන කළ හැක්කේ ලංකාවේ ත්‍රිරෝද රථ භාවිතයටයි. මේවා මීටර් ටැක්සි. අවම මිල යුවාන් දහයක් වන අතර කිලෝ මීටර තුනෙන් පසුව කිලෝමීටරයකට යුවාන් දෙක බැගින් එකතු වෙනවා. රටටම පොදු මිල සූත්‍රයක් නොවුනත් වුහාන් වල තිබුණේද මේ මිල සුත්‍රයයි. 

මෙම ටැක්සි මිල අධිකයැයි කිව නොහැකි වුවත්, යුවානයක් ගෙවා බස් රථයක යා හැකි ගමනක් ටැක්සියකින් යාමට යුවාන් විස්සක් තිහක් පමණ හෝ ඊටත් වඩා වැඩි මුදලක් යනවා. එසේ වුවත්, පහසුවෙන් බස් රථයක යා හැකිව තිබියදී, බොහෝ දෙනෙකු ගමන් කරන්නේ මෙම ටැක්සි වලයි. මා සමඟ කතා කළ බොහෝ දෙනෙක් මෑත කාලයේදී කවදාවත් බස් රථයක ගමන් කර තිබුණේ නැහැ. මම හිතන්නේ මේ මධ්‍යම පාන්තික මානසිකත්වය බවයි. මේ නිසාම හෝ වෙනත් හේතු නිසා බොහෝ විට බස් රථ වල ආසන මගීන්ගෙන් පිරී තිබුණේ නැහැ. 

මීට අමතරව බොහෝ දෙනෙකු විසින් කුඩා ස්කූටර් භාවිතා කරනවා. විශේෂයෙන්ම සරසවි සිසුන් වැනි අය. 

මේ සියළු විකල්ප තිබියදී වුවද සැලකිය යුතු පිරිසක් මෝටර් රථ භාවිතා කරන බව පේනවා. මෙයින් පෙනෙන්නේ පොදු ප්‍රවාහනය කොයි තරම් දියුණු වුනත්, විකල්ප තිබුණත්, මිනිසුන්ගේ තේරීම් වලට සීමා නැති බවයි. ඒ වගේම, පෞද්ගලික වාහනයක් නඩත්තු කළ හැකි චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වන ආකාරයයි.

වාහන භාවිතය ඉහළ යද්දී රජය මුල් වී අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නරක දෙයක් නෙමෙයි. රාජපක්ෂ දශකයේ ලංකාවේ රජය විසින් කළේද මෙයයි. මෙහි තවත් සමානත්වයක් වන්නේ චීනය චීනයේ සල්ලි වලින් පාරවල් හදද්දී ලංකාවද චීනයේ සල්ලි වලින්ම පාරවල් හැදීමයි. චීනය චීනයේ සල්ලි වලින් පාරවල් හදනවානම් ලංකාවත් ඒ වැඩේම කරන එකේ වැරැද්ද මොකක්ද? කොහොම වුනත් තමන්ගේම සල්ලි වලින් යටිතල පහසුකම් සංවර්ධනය කළ චීනයට ලංකාවට මෙන් ණය අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. 

ඇමරිකාවේ රජය විසින්ද මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජන සිදු කළත් චීනය ඇතුළු ආසියානු රටවලට සාපේක්ෂව නගරාලංකාරය වෙනුවෙන් එතරම් මුදල් වැය කරන්නේ නැහැ. පාර අතුගාන හා කුණු එකතු කරන ශ්‍රමිකයින් ශාමන් දූපත පුරාම දැකිය හැකියි. මේ ගොඩක් අය වයස්ගත පුද්ගලයින්. ඔවුන්ගේ මුහුණු වල දැකිය හැක්කේ අසරණකම පමණයි. 

පසුගිය කාලය ඇතැම් අය ලංකාවට චීනයෙන් කොසු ඉදල් ආනයනය කිරීම සඳහා වැය වන පිරිවැය ගැන කතා කර තිබුණා. එහෙත් ලංකාවට කොසු ඉදල් එවන චීනයේ කම්කරුවන් මෙවැනි කොසු ඉදල් භාවිතා කරන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ හැම දෙනෙක්ම වගේ පාර අතුගෑම සඳහා භාවිතා කලේ ගස් වල ඉපල් එකතු කර හදාගත් බෝලතු. මෙය හැම තැනම දැකිය හැකි වූ සාමාන්‍ය තත්ත්වයක්.

එක පැත්තකින් මැක්ඩොනල්ඩ්ස්, KFC ගොස් ආහාර ගන්නා, ටැක්සි වලින් ගමන් බිමන් යන මධ්‍යම පාංතිකයින් විශාල පිරිසක් සිටියද, එම ස්ථරයට පහළින් වෙනම ලෝකයක ජීවත් වන විශාල පිරිසක්ද සිටිනු නිරීක්ෂණය කරන්න අමාරු නැහැ. ඒ අය කරන්නේ ජීවත්වීම සඳහා පාර අතුගාන එක හෝ මූදු වෙරළේ අඹ විකුණන එක වගේ වැඩක්. නගරාලංකාරය වෙනුවෙන් කොයි තරම් මහන්සි වුනත්, අහස උසට නැගුනු සුපිරි හෝටල්, සුපිරි වෙළඳසැල් අතරම සාමාන්‍ය ජනතාව ජීවත්වන මහල් නිවාසද දැකිය හැකියි. නගරාලංකාරය වෙනුවෙන් ඉවත් කළ නොහැකි තරම් විශාල පිරිසක් ඒවායේ ජීවත් වන බවයි පෙනෙන්නට තිබෙන්නේ. 

මේ හැම මහල් නිවාසයකම මෙන් රෙදි වැල් දැකිය හැකියි. එයින් පැහැදිලි වන්නේ රෙදි සෝදන යන්ත්‍රයක් බොහෝ චීන්නුන්ට සුඛෝපභෝගී භාණ්ඩයක් බවයි. දස අත විසිරුණු චීන භෝජන ශාලා ප්‍රධාන වීථි වල පිරී තිබුණත්, මහල් නිවාස පේලි අතර අතුරු පාරවල් වල දැකිය හැක්කේ සාමාන්‍ය ජනතාවට නූඩ්ල්ස් වැනි සරල ආහාර ලාබෙට විකුණන තැන් සහ ඒ තැන් වලින් ආහාර ගන්නා අයයි.

කෙසේ වුවත්, යාචකයින් කිසිවකු දැක ගත හැකි වූයේ නැහැ. ඒ වගේම, බඩු විකුණා ගැනීම පිණිස පස්සෙන් එන හෝ බඩු බලෙන් ඇඟේ ගසන අයද දැකිය හැකි වූයේ නැහැ. ඒ වගේම, ටැක්සි රියදුරන් කිසිම විටක වැඩියෙන් සල්ලි ගත්තේ හෝ දුර පාරවල් වලින් ගමන් කළේ නැහැ. මේ හැම දෙයකින්ම පෙනෙන්නට තිබුණේ නීතිය දැඩිව ක්‍රියාත්මක වන ආකාරයයි. වැඩිම දෙනෙකු විසින් කරනු දැකිය හැකි වූ රැකියාව පාර අතුගාන එකද නැත්නම් පොලිස් සේවයද යන්න හරියටම කිව නොහැකි වුවත් ඔය දෙකෙන් එකක් විය යුතුයි. 

රටක් කෙටි කලක් තුළ වේගයෙන් දියුණු වෙද්දී සිදු වන්නේ අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකු මධ්‍යම පාන්තිකයින් බවට පත් වීමයි. චීනයේ සිදුව තිබෙන්නේද මෙයයි. මගේ පෞද්ගලික මිතුරන් බොහෝ දෙනෙක් මෙවැනි මධ්‍යම පාන්තිකයින්. ඔවුන්ගේ ප්‍රශ්න මධ්‍යම පාන්තිකයින්ගේ ප්‍රශ්න. මේ අය එකතු වූ විට ඔවුනොවුන් කතා කළ දෙයින් පිළිබිඹු වූ ප්‍රධානම දෙයක් වූයේ ඉහළ බදු අනුපාතය පිළිබඳ ඔවුන්ගේ කණස්සලයි.

එහෙත්, මේ මධ්‍යම පාන්තිකයින්ට වඩා පහළ ස්ථරයක විශාල චීන ජාතිකයින් පිරිසක් ජීවත් වන බව පැහැදිලිව දැකිය හැකි වූ කරුණක්. ඔවුන්ගේ ජීවන තත්ත්වය මෙන්ම හැසිරීම් විසින්ද නැවත නැවත මතක් කර දෙන්නේ චීනය යනු තවමත් සංවර්ධනය වෙමින් තිබෙන රටක් බවයි. පාර අයිනේ තාප්පයකට මුත්‍රා කරන පුද්ගලයින් ශාමන් වලදී මෙන්ම වුහාන් වලදීද කිහිප වර දැකිය හැකි වූ දෙයක්. මැක්ඩොනල්ඩ්ස් වැනි තැන් වල වැසිකිලි අගුළු ලා ඇති අතර පොදු වැසිකිලි වලට කිට්ටු වෙන්න අමාරුයි. ලෝකයේ අනෙක් බොහෝ රටවල වගේම චීනයේත් ලෝක දෙකක් දැකිය හැකියි. 

එක් පොදු පිරිමි වැසිකිලියක මුත්‍රා කරන ස්ථානයට ඉහළින් ප්‍රදර්ශනය කර තිබුණු පාඨය මගේ සිත් ඇදගත්තා. එයින් කියවුනේ මෙයයි.

"ඔබ ඉදිරියට තබන එක් කුඩා පියවරක් ශිෂ්ඨත්වය වෙනුවෙන් තබන විශාල පියවරකි."

මෙයින් අදහස් කර තිබුණේ කරුණාකර මුත්‍රා හැම තැනම හලන්නේ නැතිව අඩියක් ඉස්සරහට ගිහින් හරි තැනට මුත්‍රා කරන්න කියන එකයි. මෙවැනි ඉල්ලීමක් කරන්න අවශ්‍ය වී තිබෙන්නේ ඇයි කියන එක හිතාගන්න පුළුවන් විය යුතුයි. 


රටක සමාජ-ආර්ථික ක්‍රමය මත ඒ රටේ මිනිස්සුන්ගේ චර්යාවන් හා රුචිඅරුචිකම් තීරණය වෙනවද? එහෙම නැත්නම් රටේ මිනිස්සුන්ගේ චර්යාවන් හා රුචිඅරුචිකම් මත සමාජ-ආර්ථික ක්‍රමය තීරණය වෙනවද? මට අනුවනම් මේක ඉස්සෙල්ලා ආවේ බිත්තරයද නැත්නම් කිකිළිද වගේ ප්‍රශ්නයක්. 

Saturday, March 30, 2024

අලුත්ම "ලෝකයේ ලොකුම පෝසතා"


ජෙෆ් බේසොස්, ඊලෝන් මස්ක් හා මාක් සකර්බර්ග් වැනි ඇමරිකානු ධනවතුන් අභිබවා යමින්, ඩොලර් බිලියන 227ක පමණ වත්කම් සමඟ ප්‍රංශයේ බනාඩ් ආර්නෝ (Bernard Arnault) පවුල මේ වන විට ලෝකයේ ලොකුම ධනවතුන් බවට පත් වී තිබෙනවා. ලුවී විටෝන්, සෙපෝරා වැනි මිල අධික සන්නාම වල අයිතිය හිමි බනාඩ් ආර්නෝ පවුලටයි. 

වසංගතයට පෙර, 2020 වසරේදී මෙම පවුල සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 76ක්. එනම්, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න මුදලක්. මේ වන විට එම පවුලේ වත්කම් එමෙන් තුන් ගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය සිදු වන්නේ වසංගත කාලයේදී සහ ඉන් පසුවයි.

වසංගත කාලයේදී ලුවී විටෝන්, සෙපෝරා වැනි සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය තවත් ඉහළ ගියා මිස පහත වැටුණේ නැහැ. එයට එක් හේතුවක් සේ සැලකෙන්නේ වසංගත කාලයේදී බොහෝ දෙනෙකු විසින් තමන්ගේ මානසික මට්ටම පහත වැටීම වලක්වා ගැනීම සඳහා වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ මිල දී ගැනීමයි. වසංගතයට ප්‍රතිචාර දක්වමින් ලෝකයේ බොහෝ රටවල් විසින් මුදල් සැපයුම වැඩි කිරීම මීට තවත් හේතුවක්. 

ලෝකයේ සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳාමෙන් හතරෙන් එකක් පමණ උතුරු ඇමරිකාව (ඇමරිකාව හා කැනඩාව) තුළත්, තවත් හතරෙන් එකක් පමණ යුරෝපය තුළත් සිදු වන අතර චීනය තුළද ආසන්න වශයෙන් හතරෙන් එකක සුඛෝපභෝගී භාණ්ඩ අලෙවියක් සිදු වනවා. මෙම වෙළඳපොළවල් අතරින් වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළ චීනයයි. 2030 වසර වන විට ලෝක සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳපොළ තුළ චීනයේ පංගුව 40% දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ලෝක ජනගහණයෙන් පහෙන් එකක් පමණ ජීවත් වන චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වෙද්දී සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉල්ලුමද වේගයෙන් ඉහළ යාම මීට හේතුවයි. මේ වන විටද මෙම වෙළඳපොළ යුවාන් බිලියන 600ක පමණ, එනම් ඩොලර් බිලියන 85ක පමණ වෙළඳපොළක්. එයින් 10%ක පමණ ලොකුම පංගුව තිබෙන්නේ ලුවී විටෝන් හා සෙපෝරා ඇතුළු ආර්නෝ පවුලේ පාලනය යටතේ තිබෙන සන්නාම වලටයි.

වසංගත කාලයේ මන්දගාමී වී තිබුණු චීනයේ ආර්ථිකය මේ වන විට නැවතත් වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සමඟම චීනය තුළ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන ඉල්ලුමද වේගයෙන් ඉහළ යනවා. මීට සමාන්තරව ආර්නෝ පවුලේ වත්කම්ද ඉහළ යනු දැකිය හැකියි. 

කෙසේ වුවත් මේ අයුරින් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යද්දී එහි වාසිය ලැබෙන්නේ බනාඩ් ආර්නෝ වැනි ධනවතුන්ට පමණක් නෙමෙයි. මෙම භාණ්ඩ වල සැපයුම් දාමයන්ට සම්බන්ධව ලොව පුරා විසිරී සිටින විශාල පිරිසකගේ ආදායම් ඉහළ යාමට මෙය හේතු වෙනවා. 

(Image: https://www.consultancy.asia/news/5338/china-leapfrogs-rivals-to-become-worlds-largest-luxury-goods-market)

Monday, November 27, 2023

දෙවන පිරිපහදුව චීනයට!


ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි. 

මෙම දැවැන්ත ආයෝජනය හරහා සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ගලා ආවත්, එම මුදලින් වැඩි කොටසක් අදාළ ඉදි කිරීම සඳහා අවශ්‍ය ආනයන ලෙස නැවතත් චීනයටම ආපසු යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් ඉතිරි වේයැයි අපේක්ෂා කළ නොහැකි වුවත්, කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද මෙම ව්‍යාපෘතිය තුළ යම් ප්‍රමාණයක හෝ ශ්‍රී ලාංකික ශ්‍රමයද යොදා ගැනෙන නිසා ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලා ඒමක් සිදු වෙනවා.

අවසාන ප්‍රතිඵලය ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාමක් සිදු වන නිසා මේ හරහා රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායම කෙරෙහිද ධනාත්මක බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම, ආනයන හා අපනයන ඉහළ යාමක්ද සිදු වන අතර ආනයන අපනයන පරතරයේ සුළු හෝ අඩු වීමක්ද සිදු වෙනවා. ඒ වගේම රටේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ තරඟකාරිත්වහිද යම් හෝ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි. 

Tuesday, October 10, 2023

චීනයත් කැමති වෙලාද?


අද (ඔක්තෝබර් 10) දින පැවති චීන විදේශ අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවේදී චීන මධ්‍යම රූපවාහිණී සේවයේ (CCTV) මාධ්‍යවේදියෙකු විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව විමසීමක් කළා. මෙම විමසීමට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් විසින් දැනුම් දුන් පරිදි, සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ලංකාවේ ප්‍රධාන ණය හිමියකු වන චීන එක්සිම් බැංකුවද ඔවුන් විසින් ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ මූලික එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. 

මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඉක්මණින් අවසන් කර ගැනීමට ඉඩ ලැබිය හැකි බව පෙන්වන සුබ ලකුණක්. මේ අතර ඊයේ (ඔක්තෝබර් 9) දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් තවත් භාණ්ඩ ගණනාවක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කර තිබෙනවා.

Sunday, April 16, 2023

බ්‍රික්ස් මුදල් ඒකකය සහ ඇමරිකන් ඩොලරය


අලුත් අදහසක් නොවුනත්, බ්‍රික්ස් රටවල් පහ එකතු වෙලා ජාත්‍යන්තර මුදල් ඒකකයක් හදන කතාව නැවතත් උඩට ඇවිත් තිබෙනවා. මේ විදිහට අලුත් මුදල් ඒකකයක් හදන්න යන්නේ ඇමරිකන් ඩොලරයට විකල්පයක් ලෙසයි. 

මෙය ඩොලරයට විකල්ප හැදීමට දරා තිබෙන එකම හෝ පළමු උත්සාහය නෙමෙයි. මීට පෙර මේ විදිහට යෝජනා කළ ඇතැම් විකල්ප පසුව සැබෑ විකල්ප බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරින්, සාර්ථකම විකල්පය යුරෝව කියා කියන්න පුළුවන්. බිට්කොයින් වල සිට පසු ගිය වසර කිහිපය තුළ නිර්මාණය කරනු ලැබ ඇති ක්‍රිප්ටෝ මුදල් ඒකක සියල්ලම වගේත් ඩොලරයට විකල්ප ලෙස මතු වී ඇති මුදල් ඒකක ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉහත මුදල් ඒකක වලට අමතරව ඇමරිකාව ඇතුළේම ඩොලරයට විකල්ප ලෙස භාවිතා වන මුදල් ඒකක විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගැන ඇමරිකාවෙන් පිටත ලොකු සාකච්ඡාවක් සිදු වෙන්නේ නැහැ. මෙවැනි විකල්ප ගණනාවක් තිබුණත් ඇමරිකන් ඩොලරයට තිබෙන ප්‍රමුඛ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා. 

ඇමරිකන් ඩොලරයට පෙර ලෝකයේ ප්‍රමුඛ මුදල් ඒකකය වුනේ බ්‍රිතාන්‍ය පවුමයි. ආසන්න වශයෙන් දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙන් පසුව ක්‍රමයෙන් බ්‍රිතාන්‍ය පවුම වෙනුවට ඇමරිකන් ඩොලරය ආදේශ වී ඩොලරය මුල් තැනට පැමිණියා. මේ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා.

ලෝකයේ මහ බැංකු වල විදේශ වත්කම් වලින් 58%ක් පමණ තවමත් ඇමරිකන් ඩොලර්. කලකට පෙර මෙම ප්‍රතිශතය 70% වැනි මට්ටමක තිබුණා. සංචිත මුදල් ඒකකයක් ලෙස ඇමරිකන් ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකක ආදේශ වෙමින් ඇතත්, ඇමරිකන් ඩොලරයට තිබුණු ප්‍රමුඛ ස්ථානය තවමත් එලෙසම තිබෙනවා. 

ජාත්‍යන්තර ගනුදෙනු වලින් අඩකට වඩා තවමත් සිදු වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. මේ ගනුදෙනු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වන්නේ ඇමරිකාවෙන් පිටතදී වෙනත් රටවල් දෙකක් අතරයි. බැඳුම්කර ඇතුළු ජාත්‍යන්තර ණය ගනුදෙනු වලින් අඩකට වඩා සිදු වන්නේද ඇමරිකන් ඩොලර් වලින්. විදේශ විණිමය හුවමාරු ගනුදෙනු වලින් 90%ක පමණදීම ගනුදෙනුවේ එක පැත්තක් ඇමරිකන් ඩොලර්.

පහතින් තිබෙන්නේ 2022 වසර අවසන් වන විට ලෝකයේ මහ බැංකු වල විදෙස් සංචිත ලෙස පවත්වා ගත් ප්‍රධාන මුදල් ඒකක වල ප්‍රමාණයි. 

මුළු සංචිත ප්‍රමාණය - ඩොලර් බිලියන 11,089.0 (100.0%)

ඇමරිකන් ඩොලර් - ඩොලර් බිලියන 6,471.3 (58.4%)

යුරෝ - ඩොලර් බිලියන 2,270.4 (20.5%)

ජපාන යෙන් - ඩොලර් බිලියන 610.9 (5.5%)

බ්‍රිතාන්‍ය පවුම් - ඩොලර් බිලියන 548.7 (4.9%)

චීන යුවාන් - ඩොලර් බිලියන 298.4 (2.7%)

කැනේඩියානු ඩොලර් - ඩොලර් බිලියන 263.7 (2.4%)

ඕස්ට්‍රේලියන් ඩොලර් - ඩොලර් බිලියන 217.5 (2.0%)

ස්විස් ෆ්‍රෑන්ක් - ඩොලර් බිලියන 25.3 (0.2%)

වෙනත් - ඩොලර් බිලියන 382.9 (3.5%)

මෙම සංයුතියෙහි දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය නියෝජනය කරන චීනයේ මුදල් ඒකකයට තිබෙන සාපේක්ෂව අඩු ජාත්‍යන්තර පිළිගැනීමයි. මේ පිළිබඳව චීනයට ඇති කණස්සල්ල තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි. බ්‍රික්ස් මුදල් ඒකක යෝජනාව හරහා ප්‍රධාන වශයෙන්ම මතු වන්නේ මෙම කණස්සල්ලයි. 

එක්සත් රාජධානියට වඩා විශාල ආර්ථිකයක් තිබෙන ඉන්දියාවට මෙන්ම, ඕස්ට්‍රේලියාවට වඩා විශාල ආර්ථිකයන් නියෝජනය කරන රුසියාවට හා බ්‍රසීලයටද මෙවැනිම කණස්සලක් නොතිබෙන්නට හේතුවක් නැහැ. බ්‍රික්ස් කණ්ඩායම සමඟ සිටින දකුණු අප්‍රිකාවේ ආර්ථිකයනම් ඉහත රටවල් හතරේ ආර්ථිකයන්ට සාපේක්ෂව එතරම් විශාල නැහැ.

කිසියම් රටක මුදල් ඒකකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීමෙන් අදාළ රටට වාසි ගණනාවක් ලැබෙනවා. ඒ අතරින් ප්‍රධාන වාසිය ආයෝජන ගලා ඒම හරහා මුදල් ඒකකයට ඇති වන ඉල්ලුම නිසා පොලී අනුපාතික ඉතා අඩු මට්ටමක පවත්වා ගනිමින් ණය ලබා ගන්නට හැකි වීමයි. දෙවන වාසිය විදේශ ණය වුවද තමන්ගේ මුදල් ඒකකයෙන්ම ලබාගත හැකි නිසා විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු නොවීමයි. 

ඉහත වාසි තිබුණත්, මෙහි අවාසිද තිබෙනවා. ප්‍රධානම අවාසිය තමන්ගේ මුදල් ඒකකය ඕනෑවට වඩා ශක්තිමත් වීම නිසා අපනයන තරඟකාරීත්වය පවත්වාගත නොහැකි වීමෙන් දිගින් දිගටම පවතින වෙළඳ ශේෂ හිඟයක් ඇති වීමයි. කාලයක සිට දිගටම පවතින ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය මගින් පෙන්නුම් කරන්නේ මෙම අවාසියයි.

එකම හේතුව නොවුනත්, ඇමරිකන් ඩොලරයට තිබෙන පිළිගැනීම පසුපස ඇති ප්‍රධානම සාධකය ඇමරිකානු ආර්ථිකයයි. ඇමරිකානු ආර්ථිකය බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ප්‍රමුඛ ලෝක ආර්ථිකය බවට පත් වීමත්, ඇමරිකන් ඩොලරය බ්‍රිතාන්‍ය පවුම අභිබවා ප්‍රමුඛ මුදල් ඒකකය වීමත් සමාන්තරව සිදු වූ සිදුවීම් දෙකක්. 

චීන ආර්ථිකය තවමත් ඇමරිකන් ආර්ථිකයට වඩා කුඩා වුවත්, බ්‍රික්ස් රටවල් පහේ ආර්ථිකයන් සියල්ල එකතු කළ විට ඇමරිකන් ආර්ථිකයට වඩා විශාලයි. ඒ වගේම, චීන ආර්ථිකය පමණක් වුවද යුරෝපීය සංගමයේ රටවල් සියල්ලේම ආර්ථිකයන්ට වඩා විශාලයි. පහත තිබෙන්නේ 2021 තත්ත්වයයි.

චීනය - ඩොලර් බිලියන 17,734යි 

ඉන්දියාව - ඩොලර් බිලියන 3,176යි 

රුසියාව - ඩොලර් බිලියන 1,779යි 

බ්‍රසීලය - ඩොලර් බිලියන 1,609යි 

දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 419යි 

බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 24,717යි 

ලෝක ආර්ථිකයේ පංගුව - 25.6%යි 


ඇමරිකන් ආර්ථිකය - ඩොලර් බිලියන 23,315යි 

ලෝක ආර්ථිකයේ පංගුව - 24.2%යි 


යුරෝපීය සංගමයේ ආර්ථිකය - ඩොලර් බිලියන 17,177යි.

ලෝක ආර්ථිකයේ පංගුව - 17.8%යි 


එසේනම් බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හැදුවොත් ඩොලරය කඩා වැටෙයිද? අඩු වශයෙන් යුරෝවෙන් ඩොලරයට ආ තරමේ තරඟයක් ඇති වෙයිද? 

බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හදා ගත්තා කියා මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩක් නැහැ. ඊට ප්‍රධානම හේතුව මෙවැන්නක් "නොගැලපෙන රෝද" එකතු කර හදන කරත්තයක් වීමයි. මෙය යුරෝව හදද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

යුරෝව හදද්දී වගේම දැනටත් යුරෝපීය රටවල් අතර වෙළඳාමෙන් විශාල පංගුවක් එම රටවල් අතරම සිදු වූ වෙළඳාමයි. යුරෝපීය රටවල් අතර වෙළඳාම සඳහා ඇමරිකන් ඩොලරය වැනි කොහේවත් තිබෙන මුදල් ඒකකයක් යොදා ගැනීමට විශේෂ හේතුවක් තිබුණේ නැහැ. මේ කතාව බ්‍රික්ස් රටවල් වලටද වලංගු වුවත්, එම රටවල් අතර සිදු වන වෙළඳාමේ පරිමාව ඉතා කුඩා එකක්. පහත තිබෙන්නේ 2021දී එක් එක් බ්‍රික්ස් රට විසින් අනෙකුත් රටවල් හතරට සිදු කළ අපනයන ප්‍රමාණයේ වටිනාකමයි. 

චීනය - ඩොලර් බිලියන 239.8යි 

ඉන්දියාව - ඩොලර් බිලියන 38.6යි 

රුසියාව - ඩොලර් බිලියන 83.4යි 

බ්‍රසීලය - ඩොලර් බිලියන 95.5යි 

දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 18.7යි 

බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 476.0යි 

ලෝක වෙළඳාමේ පංගුව - 2.1%යි 

මේ අනුව, බ්‍රික්ස් රටවල් එකතු වී අලුත් මුදල් ඒකකයක් හදාගෙන එම රටවල් අතර සිදුවන ගනුදෙනු 100%ක්ම එම අලුත් මුදල් ඒකකයෙන් කළත්, එම ගනුදෙනු සියල්ල ලෝක වෙළඳාමෙන් 2.1% පමණයි. මීට සාපේක්ෂව ඇමරිකාවේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඩොලර් බිලියන 4,686.1ක් හෙවත් ලෝක වෙළඳාමෙන් 21.0%ක් තරම් විශාලයි. ඒ වගේම, බ්‍රික්ස් රටවල් පහ ඇමරිකාව සමඟ කරන වෙළඳාම පමණක්ම වුවත් බ්‍රික්ස් රටවල් අතර සිදුවන වෙළඳාම මෙන් දෙගුණයක් හෙවත් ලෝක වෙළඳාමෙන් 4.2%ක්. 

බ්‍රික්ස් රටවල් පහේ දළ දේශීය නිෂ්පාදිත එකතුවෙන් 71.7%ක්ම චීනයේ දළ දේශීය නිෂ්පාදිතයයි. එමෙන්ම, මෙම රටවල් අතර වෙළඳාමෙන් 91.0%ක්ම සිදු වන්නේ චීනය සමඟයි. චීනය හැර අනෙක් රටවල් අතර සිදු වන වෙළඳාම මුළු බ්‍රික්ස් වෙළඳාමෙන් 9.0%ක් පමණයි. ඒ නිසා, කිසියම් සූත්‍රයකට අනුව මෙම රටවල් පහේ මුදල් ඒකක සම්බන්ධ කරමින් අලුත් මුදල් ඒකකයක් හැදුවත්, එහි වටිනාකම බොහෝ දුරට තීරණය වන්නේ චීන යුවානයේ වටිනාකම මතයි. අනෙක් මුදල් ඒකක වලට තිබිය හැක්කේ නාමික බලපෑමක් පමණයි. ඒ නිසා, මෙවැනි මුදල් ඒකකයක් හඳුන්වා දීම යනු ප්‍රායෝගිකව චීන යුවානය ජනප්‍රිය කරවීමකට වඩා වැඩි දෙයක් නෙමෙයි.

චීන යුවානය සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය නොවීමට ප්‍රධානම බාධාව වන්නේද චීනයමයි. මෙය අනෙක් බ්‍රික්ස් රට වල මුදල් ඒකක වලටද අදාළ කරුණක්. බ්‍රික්ස් රටවල් කිසිවක ප්‍රාග්ධන ගිණුම් විවෘත නැහැ. එයට සාපේක්ෂව ජනප්‍රිය මුදල් ඒකක හිමි අනෙකුත් රටවල ප්‍රාග්ධන ගිණුම් විවෘතයි. සංවෘත ප්‍රාග්ධන ගිණුමක් ඇති රටක මුදල් ඒකකයක මිලෙන් එහි නියම මිල නිරූපණය වන්නේ නැහැ. ඒ නිසාම, එවැනි මුදලකට සංචිත මුදල් ඒකකයක් ලෙස විශ්වාසය ගොඩ නගා ගැනීමේ හැකියාවක්ද නැහැ.

චීනය කවර හෝ දිනක ප්‍රාග්ධන ගිණුම විවෘත කළහොත් චීනය වෙත බාහිර ප්‍රාග්ධනය ගලා ඇවිත් චීන යුවානය ශක්තිමත් වෙනවා. චීන යුවානය ඩොලරය සමඟ පහසුවෙන් තරඟ කළ හැකි සංචිත මුදල් ඒකකයක් බවට පත් වෙනවා. එහෙත්, ඒ සමඟම චීනයේ අපනයන තරඟකාරීත්වයද නැති වෙනවා. අපනයන මුල් කරගත් චීනයේ ආර්ථික වර්ධනයද මන්දගාමී වෙනවා. 

චීනය හෝ අනෙකුත් කිසිදු බ්‍රික්ස් රටක් මෙම අත්‍යවශ්‍ය පියවර තබන්නට සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, චීන යුවානය හෝ අලුතෙන් හදා ගන්නා බ්‍රික්ස් මුදල් ඒකකයක් සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය වීමේ ලොකු ඉඩක් නැහැ. එසේ ජනප්‍රිය වීමම එක්තරා ආකාරයකින් චීනය විසින් ආර්ථික අර්බුදයකට පාර කපා ගැනීමක්. 

ප්‍රාග්ධන ගිණුම විවෘතව නොතිබීමට අමතරව චීන ව්‍යවසාය මත චීන රජයේ මැදිහත්වීම්ද යුවානය ජනප්‍රිය කරවීමට තිබෙන විශාල බාධාවක්. චීන රජයට අවශ්‍ය විටෙක යුවානයේ වටිනාකම මෙන්ම චීනයේ ඇති යුවාන් වත්කම් වල වටිනාකම්ද විශාල ලෙස වෙනස් වන ආකාරයේ බලපෑමක් කළ හැකියි. මෙම අවදානම හමුවේ යුවානය කෙරෙහි බාහිර විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ.

කෙසේ වුවත්, ඩොලරයේ ලෝක අධිපත්‍යයෙහි ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා. ප්‍රධානම ප්‍රශ්නය ඇමරිකාවේ දේශපාලන අධිකාරිය විසින් ඩොලරය දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීමයි. ඩොලරය ලෝකයේ වඩාත්ම විශ්වාසනීය මුදල් ඒකකය බවට පත් වී තිබෙන්නේ ඇමරිකන් ආර්ථිකයේ ශක්තිය මත පදනම්ව මිස ඇමරිකන් දේශපාලන අධිකාරයේ බලපෑම් නිසා නෙමෙයි. එහෙත්, දේශපාලන අරමුණු මත ඇමරිකන් රජය විසින් වරින් වර විවිධ රටවලට සම්බාධක පමුණුවද්දී සිදුවන්නේ ඩොලරය පිළිබඳව ගොඩ නැගී ඇති මෙම විශ්වාසනීයත්වය බිඳ වැටීමයි. 

ඇමරිකාවේ භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඇමරිකානු රජය විසින් ඩොලරයේ ශක්තිය දේශපාලන අවියක් සේ යොදා ගැනීම පිළිබඳව ඔබාමා, ට්‍රම්ප් මෙන්ම බයිඩන් පරිපාලනයටද අනතුරු අඟවා ඇතත්, වෙනත් රටවල මෙන්ම ඇමරිකාවේද දේශපාලන තීරණ වලදී වැඩි අවධානයක් යොමු වන්නේ කෙටිකාලීන ඉලක්ක වලටයි. බ්‍රික්ස් මුදල් ඒකකයක් හැදීම වැනි යෝජනා එන්නේ මෙවැනි හේතු නිසායි. 

Thursday, March 9, 2023

මැතිවරණ ප්‍රතිඵලය


නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වුනානම් එය පැවැත්වෙන්න තිබුණේ අදයි. මේ නොපැවැත්වුණු මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ශක්‍යතාවයක් තිබුණු පාර්ශ්ව තුනක් හිටියා. ඒ, පොහොට්ටු-එජාප සන්ධානය, සජබ සහ ජාජබයි. මෙහිදී ජයග්‍රහණය ලැබීම යනුවෙන් මම අදහස් කරන්නේ දකුණේ පළාත් පාලන ආයතන කොට්ඨාශ වැඩි ප්‍රමාණයක බහුතර ඡන්ද ලබා ගැනීම. පැවති බල තුලනය අනුව, මේ වැඩේට 30%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ප්‍රමාණවත් වුනා.

ඉදිරි දිනක මේ මැතිවරණය නැවත පැවැත්වෙයිද, එහි ප්‍රතිඵලය කුමක් වෙයිද වගේ දේවල් මේ සටහනට අදාළ නැහැ. අද (මාර්තු 9) සැලසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වුණා කියා අපි හිතමු. ඉහත සඳහන් එක් එක් කණ්ඩායමට 30% සීමාවට ලඟා විය හැකිව තිබුණේ කෙසේද?

පහත තියෙන්නේ 2020 මහ මැතිවරණ ප්‍රතිඵලය ආසන්න ලෙස.

පොහොට්ටුව - 59%

සජබ - 24%

ජාජබ - 4%

එජාප - 2%

මේ අනුව, පොහොට්ටු-එජාප ඡන්ද ප්‍රතිශත වල එකතුව 61%ක්. මීට පෙර පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මත පදනම්ව මේ ගොඩෙන් 12%ක් ශ්‍රීලනිපයට දැම්මොත් මෙම ප්‍රතිශතය 49% දක්වා අඩු වෙනවා. ඉතුරු පොඩි පක්ෂ වලට තවත් 2%ක් අයින් කරලා 47%ක් ලෙස සලකමු. ජාජබ ඡන්ද ප්‍රමාණය 30% මට්ටමට යන්නනම්, මේ ගොඩෙන් 26%ක් ජාජබ පැත්තට යා යුතුයි. එවිට ලැබෙන ප්‍රතිඵලය මෙවැන්නක්.

ජාජබ - 30%

සජබ - 24%

පොහොට්ටුව - 23%

මෙසේ නොවී එජාප පොහොට්ටු සන්ධානයට 30%ක් ගන්නනම් ජාජබ වෙත යන ප්‍රතිශතය 17%කට වඩා නොවැඩි විය යුතුයි. එවිට ප්‍රතිඵලය මෙවැන්නක්.

පොහොට්ටුව - 30%

සජබ - 24%

ජාජබ - 21%

මෙය කිසිසේත්ම මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනයක් නෙමෙයි. සංවේදීතා විශ්ලේෂණයක් (sensitivity analysis). පොයින්ට් එක මේකයි. යම් විදිහකින් එජාප-පොහොට්ටු සන්ධානය අද පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළේනම්, ඡන්ද කොපමණ වැඩි වුනත්, ජාජබ තවදුරටත් තුන් වන බලවේගයක් පමණයි. ඒ වගේම, යම් හෙයකින් ජාජබ ජයග්‍රහණය කළේනම්, ඉන් පසුව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙන්නේ ජාජබ සහ සජබ.

එතකොට සජබට දිනන්න තිබුණු ක්‍රමය කුමක්ද? සජබට 30% සීමාවට යන්නනම් අඩුම වශයෙන් පොහොට්ටු ඡන්ද වලින් 6%ක් එකතු කර ගන්න වෙනවා. නමුත්, එවිටත් එජාප-පොහොට්ටු සන්ධානයට 41%ක් ඉතිරි වෙනවා. මේ තත්ත්වය තුල සජබට දිනන්න පුළුවන් වෙන්නේ ඉතිරි පොහොට්ටු ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ජාජබ වෙත යාම තුළයි. එජාප-පොහොට්ටු සන්ධානය 25%කට සීමා කරන්නම් පොහොට්ටු ඡන්ද වලින් අඩුම වශයෙන් 16%ක් ජාජබ වෙත යා යුතුයි. එවිට ජාජබ ගොඩ අවම වශයෙන් 20%ක් වෙනවා. 

සජබ - 30%

පොහොට්ටුව - 25%

ජාජබ - 20%

දැන් දෙවන පොයින්ට් එක. මේ මැතිවරණය සජබට දිනිය හැකිව තිබුණේද ජාජබ වෙත විතැන් වන ඡන්ද ප්‍රමාණය මතයි. එම ප්‍රමාණය ගොඩක් අඩු වුනොත් දිනන්නේ එජාප-පොහොට්ටු සන්ධානයයි. වැඩි වුනොත්, ජයග්‍රහණය යන්නේ ජාජබටයි. සජබට දිනන්න පුළුවන් වෙන්නේ ඔය ප්‍රතිශතය බැලන්ස් වීම මත පමණයි. 

දැන් අපි ලංකාවෙන් එළියට යමු. ඔය කොයි පාර්ශ්වය දිනුවත් බටහිර රටවල් අවසාන වශයෙන් දිනන පාර්ශ්වය එක්ක වැඩ කරනවා. ඒ වගේම දිනන පාර්ශ්වය බටහිර රටවල් එක්කත් වැඩ කරනවා. නමුත්, එයින් අදහස් වන්නේ එම රටවලට රුචිකත්වයන් නැති බව නෙමෙයි. චීනය ගැන කියන්න තියෙන්නෙත් මේ කතාවමයි. 

මේක පළාත් පාලන මැතිවරණයක් මිස ජාතික මැතිවරණයක් නොවන බව කාට හෝ කියන්න පුළුවන්. නමුත්, මැතිවරණය පැවැත්වුනානම් එහි ප්‍රතිඵලය ජාතික මැතිවරණයක ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් කරනවා. 

කාට හෝ මේ මැතිවරණයෙන් එජාප-පොහොට්ටු සන්ධානය දිනවන්න අවශ්‍ය වුනානම් කරන්නේ පුළුවන් තරම් ආණ්ඩුවට ජනප්‍රිය වෙන්න උදවු කරන එක. ජාජබ දිනවන්න අවශ්‍ය වුනානම් කරන්නේ එය වෙන්න ඉඩ නොදෙන එක. සජබ දිනවන්නනම් ඔය දෙක බැලන්ස් කරන්න වෙනවා. ඒ බැලන්ස් කිරීම විටෙක ආණ්ඩුවට උදවු කිරීමක් හා විටෙක ආණ්ඩුවට උදළු දැමීමක් වෙන්න පුළුවන්. 

මැතිවරණය පැවැත්වෙන්න නියමිතව තිබුණු මාර්තු 9 අහම්බයක් කියලා මම හිතන්නේ නැහැ. මේ දවස රුපියල කඩා වැටෙන්න පටන් ගත් දවසේ සිට හරියකට වසරකට පසු දවස. මේ වසරක කාලය ඇතුළත රටේ ආර්ථිකය නැවත පිළිසකර කිරීමට රජයට හා මහ බැංකුවට සැලසුමක් තිබුණා කියා මම හිතනවා. IMF එක, ඉන්දියාව හා බටහිර රටවල් හිටියෙත් ඒ සැලසුම එක්ක. 

සැප්තැම්බර් මාසයේදී නිලධාරී මට්ටමේ එකඟතාවය ඇති කරගත් පසුව මගේ ඇස්තමේන්තුව වුනේ සල්ලි ලැබෙන්න මාර්තු මාසය පමණ වෙයි කියලයි. මම එසේ ඇස්තමේන්තු කළේ මේ වගේ වැඩකට යන සාමාන්‍ය කාලය සලකලා. එහෙත්, මහ බැංකුව විශ්වාසය පළ කළේ වසර අවසාන වෙද්දී මේ වැඩේ වෙයි කියලයි.

අන්තිමට මාර්තු දක්වා කල් ගියත්, ඇත්තටම ජනවාරි වෙද්දී වැඩේ සෑහෙන දුරට ඉවර වෙලයි තිබුණේ. ඉතුරු කාලය ගෙවුනේ චීනය නිසා. මම කලින් ලිපි වල ලියා ඇති පරිදිම චීනය මේ වැඩේට කොයි වෙලේ හෝ එකඟ වෙන එක තමයි සිදු විය හැකිව තිබුණු දෙය. නමුත් චීනය ඒ වැඩේ ප්‍රමාද කළා. 

කොහොමටත් අන්තිමේදී එකඟතාවය දෙන්න වෙන බව දැන දැන චීනය වැඩේ පරක්කු කළේ ඇයි? පළාත් පාලන මැතිවරණ අවලංගු වෙලා (හෝ කල් ගිහින්) වැඩි දවසක් යන්න කළින් මේ කැමැත්ත ආවේ කොහොමද? මේකට ලංකාවේ දේශපාලනයේ අනාගත පෙළගැස්ම සම්බන්ධව චීනයට තිබෙන රුචිකත්වයන් බලපෑවේ නැහැ කියලා මම හිතන්නේ නැහැ.

ලංකාවේ දේශපාලනයෙන් ඔබ්බට යන බටහිර හා චීනය අතර ගැටුමකුත් මේක අස්සේ කොහොමත් තිබුණා. මම දකින විදිහට තවමත් බටහිර රටවල් ඉන්නේ උපාය මාර්ගික ලෙස චීනයට වඩා ඉදිරියෙන් කියන එක තමයි මේ ගැටුම තුළ නැවතත් තහවුරු වී තියෙන්නේ. 

අර චීනය නැතුව IMF යනවා කියන එක සිදු විය හැකිව තිබුණු දෙයක් නෙමෙයි. ඒ වගේ දෙයක් වුනානම්, එය චීනයට වගේම ලංකාවටත් දිගුකාලීනව ගොඩක් නරක ලෙස බලපානවා. චීන-ලංකා මිත්‍රත්වය ගොඩ ගන්න අමාරු විදිහට පළුදු වෙනවා. ඒක මෙහෙමත් විකල්ප තියෙනවා කියලා පෙන්නන්න වගේ කරපු දෙයක්. වෙන්න ලොකු ඉඩක් නොතිබුණත්, මේ කතාවට බටහිර මාධ්‍ය වලින් සැලකිය යුතු ප්‍රසිද්ධියක් දුන්නා.

චීනය නැතුව IMF යන "භයානක" විකල්පය ඉස්සරහට දැම්මත් ඊට වඩා පහසු විකල්ප තිබුණා. අන්තිමට බටහිර රටවලට අවශ්‍ය විදිහට වැඩේ කරකවා ගත්තේ "පොඩි වැඩකින්". හැම වෙලාවෙම වගේ බටහිර රටවල් සෙල්ලම් කරන්නේ තුරුම්පු අතේ තියාගෙන. වල් වාසියක් ගන්න පුළුවන් වෙලාවක අතේ තියෙන තුරුම්පුව පෙන්වනවා මිසක් දමන්නේ නැහැ. 

දැන් මේ ක්‍රියාත්මක වැඩ පිළිවෙළ සහ යහපාලන වැඩ පිළිවෙළ අත‍ර වෙනස මොකක්ද කියලා එක් අයෙක් අහලා තිබුණා. ඇත්තටම එහෙම ලොකු වෙනසක් නැහැ. යහපාලන වැඩ පිළිවෙළ වගේම 2002 යෝජනා වූ වැඩ පිළිවෙළත් මේකම තමයි. තිබුණොත් තියෙන්නේ සුළු වෙනස්කම්. ලොකු වෙනසකට තියෙන්නේ ණය පැහැර හැර තිබීම හා ණය ප්‍රතිව්‍යුහගත කරන්නට සිදු වී තිබීම පමණයි. මේක තමයි IMF එක විසින් යෝජනා කරන සාමාන්‍ය වැඩ පිළිවෙළ. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස මේ වගේ වැඩ පිළිවෙළක් ඇතුළේ ණය ගැනීම ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ නැහැ. ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ ගෙවා ගන්න බැරි තරමට ණය ගැනීමයි. මේ ක්‍රමය හොඳම ක්‍රමයද යන්න කෙසේ වුවත් තිරසාර ක්‍රමයක්. 1965 සිටම තිබුණේ ඔය ක්‍රමය. ප්‍රශ්නයක් වෙද්දී IMF ගියා. කෙටිකාලීනව ප්‍රශ්නය විසඳුනා. ඔය ක්‍රමයට දිගටම යන්න පුළුවන්. කඩා වැටෙන්නේ නැහැ. මේ ක්‍රමය කඩා වැටෙන තැනට ආවේ 2010-2012 කාලයේ සිදු වූ පීලි පැනීමත් එක්ක. ඒ පීලි පැනීම නිසා 2016දී පමණ ඇති විය හැකිව තිබුණු ආර්ථික අර්බුදය වැළකුණේ යහපාලන කාලයේ නැවතත් පීල්ලට දාගත් නිසා. නමුත්, ඉන් පසුව, 2020 වන විටත් තිබුණේ පොඩි පිස්සුවකින් හැම දෙයක්ම අවුල් විය හැකි ආකාරයේ සමතුලිතතාවයක්. ඊට පස්සේ කතාව නැවත කිව යුතු නැහැනේ.

මම හිතන්නේ අරගලය අවසන් වෙද්දී මෙය තිරසාර ලෙස වෙනස් කර ගත හැකි අවස්ථාවක් ආවා කියලා. එහෙම කරගන්නනම් දේශපාලන කඳවුරු වලින් එළියට ඇවිත් එකට වැඩ කළ යුතුව තිබුණා. නමුත්, ඒ වැඩේ වුනේ නැහැ. නැවතත් හැමෝම තම තමන්ගේ කූඩාරම් අස්සට රිංගා ගත්තා. මේ තත්ත්වය තුළ අපේක්ෂා කළ හැකි හොඳම තත්ත්වය යහපාලන ආණ්ඩුව කාලයේ තිබුණු ආකාරයේ සමතුලිතතාවයක් පමණයි. මොකද ඊට වඩා දෙයක් කළොත් වෙන්නේ ඊළඟට එන කණ්ඩායම ඒ කුෂන් එක ප්‍රයෝජනයට අරගෙන ලබාගත්ත ප්‍රගතිය ආපසු හරවන එකයි. 

අරමුදලේ ස්ථායීකරණ වැඩ පිළිවෙළකදී රටේ ආර්ථිකය ස්ථායී වෙන්නේ ලැබෙන සල්ලි නිසා නෙමෙයි. ක්‍රියාත්මක කෙරෙන වැඩ පිළිවෙළ නිසා. සල්ලි කියන්නේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර ගැනීම සඳහා දමන ප්‍රතිකාරකයක් පමණයි. වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වුනොත් සල්ලි නැතත් සෑහෙන තරමකින් තත්ත්වය හොඳ අතට හැරෙනවා. 

මෙවර රජය පැත්තෙන් වෙනදා නොකෙරෙන දේවල් ටිකක් සිදු වුනා. මහ බැංකුව විසින්නම් සාමාන්‍යයෙන් මේ අවශ්‍ය දේවල් ටික කොහොමටත් කරනවා. ඒ නිසා, සල්ලි නැතුවම ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳිලයි තිබුණේ. හැබැයි කළ යුතු දේවල් තව ගොඩක් තිබෙනවා. ඒ දේවල් කරන්න අවුරුදු තුන හතරක් යයි. වසර හතරක් තුළ වාරික ලෙස ලැබෙන IMF අරමුදල් කියා කියන්නේ මේ කළ යුතු දේවල් කර ගැනීම සඳහා අවශ්‍ය දුරස්ථ පාලකයක් පමණයි. 

චීනයේ පරක්කුව නිසා සිදු වූ එකම දෙය සල්ලි ටික ලැබෙන එක ප්‍රමාද වීම පමණයි. අනෙක් දේවල් සියල්ලම හරියට සිදු වුනා. IMF එකේ පළමු වාරිකය ආවා කියලා අමුතුවෙන් ලොකු දෙයක් වෙන්න තිබුණේ නැහැ. එම මුදල පොඩි මුදලක්. මේ පොඩි මුදලේ තිබුණු වාසිය ඒ හරහා ලංකාවට නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ප්‍රවේශ වීමට දොර ඇරෙන එකයි.

බටහිර රටවලට අවශ්‍යනම් අරමුදල සමඟ ගිවිසුම නැතුවම වුවත් මේ ප්‍රවේශය අරන් දෙන්න පුළුවන්කම තිබුණා. එහෙත්, එසේ නොකළේ එවැන්නක් කළේනම් ලංකාව ඉදිරි වසර හතර තුළ ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ රැඳී සිටීම සිදු නොවන නිසයි. IMF එක සමඟ ගිවිසුම අත්සන් කළ පසු එම සහතිකය ලැබෙනවා. පසුව ගිවිසුම කඩ කිරීමේ හැකියාව තවදුරටත් තිබෙනවා තමයි. බටහිර රටවල් සතුව ඒකටත් බෙහෙත් තිබෙනවා. 

චීනය පරක්කු කරද්දී, ලෝක බැංකුවේ ණය පහසුකම විවෘත කිරීම මගින් බටහිර රටවල් විසින් කළේ තමන් සතුව තවත් විකල්ප තිබෙන බව චීනයට පෙන්වන එකයි. සාපේක්ෂව පොඩි මුදලක් වන ඩොලර් මිලියන 400කට ලොකු දුරක් යා හැකි වුනා. ඒ තත්ත්වය තුළ, චීනයට වැඩේ තවත් පරක්කු කිරීමෙන් ලබා ගත හැකි දේශපාලන වාසියක් ඉතිරි වුනේ නැහැ. චීනය පරක්කු කළේ, ලංකාව ඇතුළේ දේශපාලනය දිහා බලාගෙන නෙමෙයිනම්, ලෝක දේශපාලනය ගැන පමණක් සලකමින්නම්, ඔය වැඩේ ඔය විදිහට වෙන්නේ නැහැ. 

ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තිබෙන රටක ආර්ථිකය වගේම දේශපාලනයත් හසුරුවන එක බටහිර රටවල් වලට ලොකු දෙයක් නෙමෙයි. බටහිර රටවල සැලසුම කුමක්ද කියා මම කියන්න යන්නේ නැහැ. නොදන්නා දේවල් කතා කරන්න යන්නේ මොකටද? කොහොම වුනත් රටේ ආර්ථිකය ස්ථායී වීමේදී වෙන්නේ පවතින ආණ්ඩුවේ ගිලිහුණු ජනප්‍රියත්වයෙන් කොටසක් හෝ ආපසු ලැබෙන එක. ඒ ප්‍රමාණය තීරණය වන්නේ කරාමය අරින ප්‍රමාණය අනුවයි. 

කරාමය හොඳටම අරියිද? තද කරයිද? එහෙම නැත්නම් ගාණකට පමණක් අරියිද? තිත් ගොඩක් යා කර ඇතත්, මේ සටහන අතරින් පතර තිත් යා නොකළ සිතුවමක්. යා කර නැති තිත් කැමති විදිහකට යා කරගන්න. 

Thursday, February 23, 2023

චීන කැමැත්ත නැතුව IMF යන්න බැරිද?


අපි කලින් කතා කර තිබෙන, දන්න දේවල් වලින් පටන් ගත්තොත්, IMF අරමුදල් ලබා ගැනීම සඳහා දැනට තිබෙන එකම බාධාව චීනයයි. තව පොඩි පොඩි බාධා තිබිය හැකි වුනත් චීනය පැත්තෙන් තිබෙන බාධාව හා සැසඳූ විට ඒවා බාධා නෙමෙයි. 

අරමුදලේ සල්ලි ලබා ගැනීම පිණිස ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ගොඩක් දේවල් කළා. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන එක නවත්වලා පොලී අනුපාතික ඉහළින් තියා ගත්තා. සල්ලි අච්චු ගැසිය නොහැකි තත්ත්වයක් තුළ රජය විසින් බදු, විදුලි ගාස්තු, ඉන්ධන ගාස්තු වැඩි කළා. වර්තන වියදම් දැඩි ලෙස සීමා කළා. මේ එකක්වත් ජනප්‍රිය තීරණ නෙමෙයි. ඔය හැම දෙයකින්ම වුනේ ජනතාව පීඩාවට පත් වෙන එක බව ඉතාම පැහැදිලි දෙයක්. එහෙම තත්ත්වයක් තුළ මේ දේවල් කරන්න සිදු වුනේ වෙන යා හැකි මගක් නැති නිසා. 

අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය පරිදි අදාළ, කළ යුතු දේවල් දේවල් කිරීමෙන් පසුව, චීනය හැර අනෙක් ණයහිමියන් විසින් අරමුදලේ සල්ලි නිදහස් කිරීම සඳහා අනුමැතිය ලැබෙන පරිදි තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත ලබා දී තිබෙනවා. එහෙත් චීනයේ කැමැත්ත තවමත් ලැබී නැහැ. 

මේ තත්ත්වය තුළ අරමුදලේ සල්ලි නැතිව ලංකාවට ලොකු කාලයක් ඇදගෙන යන්නත් බැහැ. මේ බාධාව හමුවේ අරමුදල විසින් ලංකාවට අලුත් පාරක් පෙන්නා තිබෙනවා. ඒ චීනය අතහැර, චීනය මගහැර ඉදිරියට යාමයි. 

මෙතෙක් කතාව ඕකයි. මේ අනුව, දැන් ලංකාව දෙමං හන්දියකට ඇවිත් තිබෙනවා. හන්දියෙන් පාර බෙදුණත් ඒ විදිහට බෙදී යන පාරවල් දෙකම අවසාන වශයෙන් යන්නේ අරමුදල වෙතයි.

1. චීන පාර - මේ පාරේ යන්නනම් චීනයේ කැමැත්ත අවශ්‍යයි. ගේට්ටුව අරින යතුර තියෙන්නේ චීන ගේට්ටුපල්ලා ළඟ.

2. චීනය නැති පාර - මේ පාරේ යනවානම් නිකම්ම ගේට්ටුව තල්ලු කරගෙන යන්න පුළුවන්. ගේට්ටුව ළඟ ගේට්ටුපල්ලෙක් නැහැ.

බැලූ බැල්මටම පේන්නේ ඉහත දෙවැනි පාර වඩා පහසු, ලේසි පාරක් බවයි. නමුත්, ඇත්තටම ඒක එහෙම නැහැ. එය ඉතාම භයානක පාරක්. මගේ අදහස අවසාන වශයෙන් ලංකාව පළමු පාරේම යයි කියන එකයි. හැබැයි චීන ගේට්ටුව ඇරෙන එක පහුවෙන තරමට ලංකාවට දෙවන පාරට හැරෙන්න වෙන අවදානම ටිකෙන් ටික ඉහළ යනවා. මොකද ඔය පාරවල් දෙකෙන් එකකවත් නොයා දැන් ඉන්න තැන වැඩි කාලයක් ඉන්න බැහැ. 

පළමු පාරේ යන්න චීනය විසින් අවස්ථාව නොදෙන්නේ ඇයි?

මේ පාරේ යන්න චීනය විසින් ලංකාවට පහසුවෙන්ම අවස්ථාව දෙනවා කියන්නේ චීනය පැත්තෙන් ලොකු මිලක් ගෙවන්න සිදු වෙන වැඩක්. මොකද ලංකාවට දෙන සහනයක් පසුකාලීනව තවත් රටවල් වලට දෙන්න චීනයට සිදු වෙනවා. එහෙම දිගටම සහන දෙන එක චීනයේ දිගුකාලීන ආර්ථික හා භූ දේශපාලනික උපාය මාර්ගයට බාධාවක්. 

චීනය විසින් කාලයක සිටම කරමින් සිටින්නේ සංවර්ධිත ලෝකය තුළ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලත් චීන වෙළඳපොළ පුළුල් කර ගැනීමක්. 

පෙර යූටියුබ් වීඩියෝවක පෙන්වා ඇති පරිදි, 2005-2021කාලය තුළ චීන ආනයන වෙනුවෙන් ලංකාව වැය කර ඇති මුදල ඩොලර් මිලියන 45,072ක්. නමුත්, එම කාලය තුළ චීනය විසින් ලංකාවේ ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 2,545ක් පමණයි. ඒ අනුව, මෙම කාලය තුළ ශුද්ධ වශයෙන් ලංකාවෙන් චීනයට ගොස් ඇති විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 42,527ක්.

රටකට මේ තරම්ම අවාසිදායක වෙළඳ හිඟයක් දිගින් දිගටම පවත්වාගෙන යන්නනම් ඒ රටට කොහෙන් හෝ විදේශ විණිමය එන ක්‍රමයකුත් තිබිය යුතුයි. එහෙම නැත්නම් ආනයන සිදුවෙන්න ක්‍රමයක් නැහැ. 

චීනය සමඟ ලංකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය විශාල ලෙස ඉහළ ගියේ 2010 වසරින් පසුවයි. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාවේ වෙළඳ ශේෂ හිඟය විශාල ලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම දායක වුනේ ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමයි. 2010-2021 වසර දහය සැලකුවොත් ලංකාවේ වෙළඳ ශේෂ පරතරය පුළුල් වීමට 100%ක්ම දායක වී තිබෙන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ශේෂ පරතරය විශාල ලෙස පුළුල් වීමයි.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව ද්විපාර්ශ්වික වෙළඳාම කියා කිවුවත්, සංඛ්‍යාලේඛණ දෙස බැලු විට පැහැදිලිව පෙනෙන්නේ චීනය සමඟ ලංකාව කරන වෙළඳාම බොහෝ දුරට ඒකපාර්ශ්වික වෙළඳාමක් බවයි. චීනයට සිදු කෙරෙන ලංකාවේ අපනයන චීන ආනයන වලින් 6%ක් පමණයි. ඉතිරි 94%ම වෙනත් ක්‍රමයකින් උපයන හෝ ණයට ගන්නා විදේශ විණිමය.

වර්ෂය - 2010

චීන ආනයන - ඩොලර් මිලියන 1,240

අපනයන - ඩොලර් මිලියන 72 (6%)

ද්විපාර්ශ්වික වෙළඳ හිඟය - ඩොලර් මිලියන 1,168 (94%)


වර්ෂය - 2021

චීන ආනයන - ඩොලර් මිලියන 4,756

අපනයන - ඩොලර් මිලියන 277 (6%)

ද්විපාර්ශ්වික වෙළඳ හිඟය - ඩොලර් මිලියන 4,479 (94%)


2010-2021 අතර චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය වැඩිවීම - ඩොලර් මිලියන 3,311


වර්ෂය - 2010

සමස්ත ආනයන - ඩොලර් මිලියන 13,451

අපනයන - ඩොලර් මිලියන 8,626

සමස්ත වෙළඳ හිඟය - ඩොලර් මිලියන 4,825


වර්ෂය - 2021

සමස්ත ආනයන - ඩොලර් මිලියන 20,637

අපනයන - ඩොලර් මිලියන 12,499

සමස්ත වෙළඳ හිඟය - ඩොලර් මිලියන 8,139


2010-2021 අතර සමස්ත වෙළඳ හිඟය වැඩිවීම - ඩොලර් මිලියන 3,314

ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට කතාව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. ජාත්‍යන්තර වෙළඳාම තුළ ලංකාවේ වෙළඳ ශේෂය සෘණ පැත්තේ තිබීම අලුත් දෙයක් නෙමෙයි. රටවල් අතර ද්විපාර්ශ්වික වෙළඳ ශේෂයන් පැවතීම අසාමාන්‍ය දෙයකුත් නෙමෙයි. නමුත්, 2004-2014 කාලය තුළ ලංකාවේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,242 සිට ඩොලර් මිලියන 8,287 දක්වා ඉහළ යාම නිදහසින් පසු ලංකාවේ ආර්ථික ඉතිහාසය සැලකූ විට සාපේක්ෂව අලුත් තත්ත්වයක්. මේ අලුත් වැඩිවීම තුළ චීනය සමඟ කළ වෙළඳාමේ බලපෑම කැපී පෙනෙනවා.

විදේශ ණය ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නමුත් චීනයෙන් ණය ගැනීම සාපේක්ෂව අලුත් දෙයක්. 2006දී චීන ණය ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 0.46%ක් පමණයි. ද්විපාර්ශ්වික ණය වලින් 1.1%ක් පමණයි. මේ වෙද්දී ද්විපාර්ශ්වික ණය වලින් 43.3%ක් සහ සමස්ත ණය ප්‍රමාණයෙන් අඩුම වශයෙන් 20%ක් පමණ චීන ණයයි. මේ අනුව, චීන ණය ඉහළ යාම හා චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඉහළ යාම අතර සම්බන්ධය පැහැදිලිව දක ගත හැකියි. 

චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඉහළ යාම සමස්ත වෙළඳ හිඟය ඉහළ යාමට දායක වූ අයුරින්ම, චීන ණය රටේ සමස්ත විදේශ ණය ඉහළ යාමට විශාල ලෙස දායක වී තිබෙනවා. සහනදායී නොවන ව්‍යාපෘති ණය හා වාණිජ ණය ස්වෛරිත්ව බැඳුම්කර වලට වඩා භයානකයි. 

ස්වෛරිත්ව බැඳුම්කර මගින් එකතු කර ගන්නා විදේශ විණිමය පරණ ණය හා පොලී ආපසු ගෙවීම වෙනුවෙන් යොදා ගත හැකියි. එහෙත්, ව්‍යාපෘති ණය හා වාණිජ ණය අදාළ කර්තව්‍යය වෙනුවෙන්ම යොදා ගත යුතු නිසා බොහෝ විට සිදුවන්නේ එම විදේශ විණිමය නැවත ණය දුන් රටටම ආපසු යාමයි. 

මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස රටේ විදේශ ණය ඉහළ යාම නොවැලැක්විය හැකියි. ස්වෛරිත්ව බැඳුම්කර මගින් එකතු කර ගන්නා විදේශ විණිමය වුවද, වෙළඳපොළේ විකුණා රුපියල් කර රජයේ අයවැය හිඟය පියවීම පිණිස වැය කරන්නේනම් අවසාන වශයෙන් සිදු වන්නේ එම විදේශ විණිමය ප්‍රමාණය ආනයන වියදම් ලෙස රටින් පිටව ගොස් වෙළඳ හිඟය පුළුල් වීමයි.

චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට චීන ණය ආපසු ගෙවීම සඳහා තව තවත් ණය දීමට චීනය කැමැත්තෙන්ම ඉදිරිපත් වීම තේරුම් ගන්න අපහසු නැහැ. තවතවත් ණය දීම මගින් චීනයට ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසිය දිගටම පවත්වා ගන්න පුළුවන්. යෝජිත ස්ථායිකරණ වැඩ පිළිවෙළ තුළ දිගුකාලීනව සිදුවීමට නියමිතව තිබෙන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය තවතවත් පුළුල් වීම නැවතීමයි. ඇතැම් විට වෙළඳ හිඟය අඩු වීමයි. 

ස්ථායිකරණ වැඩ පිළිවෙළ තුළ ලංකාවේ ජංගම ගිණුම් ශේෂ හිඟය දදේනියෙන් 1.2% දක්වා අඩු කර ඒ මට්ටමේ තිබා ගත යුතුයි. එයින් අදහස් වන්නේ දැනට ලබා ගෙන තිබෙන විදේශ ණය හා පොලී ආපසු ගෙවන්නට මිස වෙනත් කටයුතු සඳහා අළුතෙන් විදේශ ණය ගැනීමක් සිදු නොවන බවයි. ඒ කියන්නේ ණයට ආනයන සිදු කිරීමේ ඉඩක් තව දුරටත් ලංකාවට නැති බවයි. මේ තත්ත්වය තුළ වුවද චීනයට ලංකාව සමඟ වාසිදායක වෙළද ශේෂයක් පවත්වා ගත හැකි වුවත් එය දිගින් දිගටම පුළුල් වීමේ ඉඩ ඇහිරෙනවා. චීනයේ ප්‍රතිරෝධයට මෙයද හේතුවක්. 

චීනයේ ආර්ථික හා භූ දේශපාලනික ඉලක්ක තුළ චීනයට තමන්ගේ වෙළඳපොළ පුළුල් වනු දකින්නට අවශ්‍යයි. වාසිදායක වෙළඳ ශේෂයක් දිගටම පවත්වා ගැනීමේදී රට තුළ විදේශ විණිමය ගොඩ ගැහෙනවා. ඒ නිසා, ඒ විදේශ විණිමය රටෙන් පිටතට යැවෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. එක්කෝ ණය විදිහට මේ අරමුදල් රටින් පිටතට යා යුතුයි. නැත්නම් රටින් පිටත මූර්ත වත්කම් එක්රැස් විය යුතුයි. ඔය දෙවැන්නට ලංකාව වැනි රටවල තියෙන්නේ විශාල ප්‍රතිරෝධයක්. 

සරලව කියනවානම් දෙවැන්නෙන් අදහස් වන්නේ චීනය විසින් ලංකාව තුළ වත්කම් මිල දී ගන්නවා කියන එකයි. මම දකින විදිහටනම් ණය ගැනීමට සාපේක්ෂව මෙය නරක දෙයක් නෙමෙයි. ලංකාව විසින් චීනයෙන් ණය ගනිද්දී එම අරමුදල් පරිපාලනය කරන්නේ ලංකාවේ රජයයි. ඒ කටයුත්ත තුළ පාඩු සිදු වුනත්, ලාබ සිදුවුනත් චීනයට පොරොන්දු වූ ප්‍රතිලාභ (පොලී) ගෙවිය යුතුයි. චීනය විසින් ලංකාවේ කිසියම් වත්කමක් මිල දී ගත් විට සිදු වන්නේද චීනය විසින් සිය ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලංකාවෙන් පිටතට ගෙනයාමම වුවත්, එහිදී සිදු වන්නේ චීනය විසින්ම අදාළ වත්කම කළමනාකරණය කර උපයා ගන්නා ප්‍රතිලාභ රටින් පිටතට රැගෙන යාමයි. 

පළමු විකල්පයේදී සිදු වන්නේ ලංකාව විසින් නූපයන ආදායමක් චීනයට ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස ගලා යාමයි. දෙවැනි විකල්පයේදී අඩුම වශයෙන් චීනය වෙත ගලා යන ප්‍රතිලාභ චීනය විසින්ම ලංකාව තුළදී උපයා ගන්නවා. සාමාන්‍යයෙන් මෙහිදී ලංකාවටත් යම් හෝ ප්‍රතිලාභයක් ලැබෙනවා. චීනය වෙනුවට ඉන්දියාව හෝ වෙනත් රටක් ආදේශ කළත් තත්ත්වය එයයි. කොහොම වුනත් ලංකාවේ ජනප්‍රිය මානසිකත්වය තුළ "රට විකිණෙන එක" වඩා ලොකු ප්‍රශ්නයක් නිසා ණය එකතු කරගෙන පොලී ගෙව ගෙවා ඉන්න "දේශීය විසඳුම" මගින් තමන්ගේ ප්‍රතිලාභ එකතු කර ගන්න එක චීනයට වඩා පහසු වී තිබෙනවා. 

චීනයට ඔවුන්ගේ පැත්තෙන් බැලුවහම ඔවුන්ට ලැබිය යුතු ප්‍රතිලාභ ලේසියෙන් අතාරින්න බැහැ. චීන සහයෝගය නැතිව ලංකාවට පළමු පාරෙන් ඉස්සරහට යන්නත් බැහැ. පළමු පාරෙන් ඉස්සරහට යන්නනම් චීනයටත් පාඩුවක් නොවී ලංකාවට වාසියක් ලබා ගන්න පුළුවන් විකල්ප ගැන හිතන්න වෙනවා. 

කලින් කිවුවා වගේම, චීනය ලංකාව එක්ක කරන හෙට්ටු කිරීමේදී පාඩුවක් කර ගන්නවා කියන්නේ එතැනින් නවතින දෙයක් නෙමෙයි. ඒ පාඩුවට අමතරව ලෝකය පුරා පෙරමුණු ගණනාවකදී චීනයට පාඩු විඳින්න වෙනවා. අනෙක් අතට ලංකාව හිර වෙලා ඉන්නෙත් ඒ වගේම උගුලක. ලංකාව චීනය වෙනුවෙන් යමක් අත අරිනවා කියන්නේ ඒ වගේ කිහිප ගුණයක පාඩුවක් විඳින්න වෙනවා කියන එක. මොකද පැරිස් සංසදය හා ඉන්දියාව  ලංකාවට සහනයක් දෙන්න කැමැත්තෙන් ඉන්නේ චීනයෙනුත් ඊට සමාන සහනයක් ලැබෙනවානම් පමණයි. ඒ නිසා, චීනයෙන් අඩු දෙයක් ගන්න එකඟ වුනොත් ඒ එක්කම අනෙක් රටවල් වලින් ලැබෙන සහන වලින් විශාල කොටසකුත් නැතුව යනවා. 

පළමු පාරේ චීන ගේට්ටුවෙන් එහාට යාම සඳහා අවශ්‍ය සම්මුතියේදී ලංකාවට වගේම චීනයත් සිදුවන පාඩු සෘජු පාඩු වලින් ඔබ්බට යන නිසා මේ එකඟතාවය ඇතිකර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. එහෙමනම් විකල්පය දෙවන පාරද?

දෙවන පාරේ යනවානම් දැනට මාර්ග බාධක නැහැ. කෙළින්ම ගේට්ටුව අරගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න එන්නේ ඊට පස්සේ. මොකද පිට පාරෙන් යන්න ඇරලා චීනය ඇස් කණ වහගෙන බලා ඉන්නේ නැහැ. එතැනින් එහාට චීනය ලංකාවේ හතුරෙක් වෙනවා. ලංකාවට බටහිර ඉත්තෙක් වෙන එක හැර වෙන විකල්පයක් නැතිව යනවා. 

ඔය දෙවන මාර්ගයේ යාම සරලව පැහැදිලි කළොත් මෙහිදී වෙන්නේ චීන ණය නොගෙවන්න ලංකාව ඒකපාර්ශ්විකව තීරණයක් ගැනීම. ඒකපාර්ශ්විකව කිවුවත් බටහිර රටවල අනුමැතිය එක්ක. නමුත් ඔය වගේ තීරණයකට චීනය කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒකෙන් ලංකාවට සිදුවන පාඩු මොනවාද?

මේ වගේ තත්ත්වයක් තුළ ලංකාවට පැමිණිය හැකි චීන ආයෝජන නවතිනවා. ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමට බාධා පැමිණෙනවා. හැබැයි කලින් කිවුවා වගේම ඔය දේවල් වලින් වැඩි පාඩුව චීනයටමයි. ලංකාවට මේ දෙවන විකල්පය දීලා තියෙන්නෙම ඔය හේතුව නිසා. මොකද දැන් ලංකාවට ඔය දෙවන විකල්පය පෙන්නලා චීනය පළමු විකල්පයට ඉක්මණින් කැමති කරගන්න අවස්ථාවක් තිබෙනවා.

මම හිතන්නේ මේ වැඩේ වෙයි කියලා. මොකද දෙවන විකල්පය අවසාන වශයෙන් චීනයේ පැත්තෙන් බැලුවත්, ලංකාවේ පැත්තෙන් බැලුවත් හොඳ විකල්පයක් නෙමෙයි. රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වලදී ගොඩක් වෙලාවට කියන දේවල් ඇත්තටම කරන්නේ නැහැ. නමුත්, සමහර වෙලාවට නොකරන්න හිතාගෙන කියන දේවල් නොකර ඉන්න බැරි තැනකට තල්ලු වෙනවා. මේ කාරණයේදී වුනත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනොත් ලංකාව හමුවේ තිබෙන්නේ වඩා දුෂ්කර මාර්ගයක්.

Sunday, February 19, 2023

චීන සහාය නැතුවම IMF සල්ලි ලැබෙයිද?


දැන් පෙනෙන විදිහට චීනයේ සහයෝගය නැතිවම ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන්නට ඉඩ ඇති බවක් පේනවා. එහෙම වුනොත් අදාළ ණය වාරිකය ලැබෙන්නට වැඩි කාලයක් යන එකක් නැහැ. මේක වෙන්නේ කොහොමද?

මේ ලංකාව අරමුදල වෙත ගිය 17 වන වාරයයි. අරමුදල වෙත යන රටකට අරමුදල සමඟ සාර්ව ආර්ථික වැඩපිළිවෙළකට එකඟ වෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි වැඩ පිළිවෙලක් ජනප්‍රිය සාහිත්‍යය තුළ අරමුදල විසින් කොන්දේසි දැමීමක් ලෙස හැඳින්වෙනවා.

අරමුදල සමඟ සාර්ව ආර්ථික වැඩපිළිවෙලකට එකඟ වීමේදී අරමුදල විසින් කොන්දේසි දමනවා කියන එක යම් ආකාරයක අර්ධ සත්‍යයක් පමණයි. මෙහිදී ඇත්තටම සිදුවෙන්නේ වැඩසටහන් කාලය තුළ ආර්ථිකයේ මූලික ප්‍රශ්න වලට පිළියම් යොදාගෙන වැඩ සටහන අවසන් වෙද්දී අරමුදලේ ණය ආපසු ගෙවිය හැකි පරිදි ආර්ථිකය පිළිසකර කර ගන්නා ආකාරය අදාළ රට විසින් පැහැදිලි කිරීම සහ අදාළ වැඩ පිළිවෙළෙහි ශක්‍යතාවය පිළිබඳව අරමුදල විසින් සොයා බලා එකඟ වීමයි. 

අරමුදල වෙත නොගොස් ආර්ථිකය ගොඩ දමා ගන්නට බැරි මට්ටමට එන රටක් ඒ වන විට ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට සහ රාජ්‍ය මූල්‍යනය පිළිබඳ ප්‍රශ්න වලට මුහුණ දී තිබීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා, මේ අර්බුද වලින් ගොඩයාම සඳහා බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් කැපීම, විණිමය අනුපාතය නිදහස් කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වීමද සාමාන්‍ය තත්ත්වයක්. අරමුදල වෙත නොගියත් මේ දේවල් කරන්නම වෙනවා. 

අරමුදලේ සහයෝගය නැතිව තනිව අර්බුදයෙන් ගොඩ යාමට සාපේක්ෂව, අරමුදල වෙත යාමේදී අමතර වාසි කිහිපයක් ලැබෙනවා. පළමු හා ප්‍රධානම වාසිය ගොඩ යා හැකි සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් හදා ගැනීම සඳහා අදාළ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලැබෙන තාක්ෂණික සහයෝගයයි.

අරමුදලෙන් ලැබෙන ණය වාරික සැලකිය හැක්කේ දෙවන වාසිය ලෙසයි. එය ප්‍රධානම වාසිය නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ණය වාරික ලැබෙන්නේ රටේ මහ බැංකුවටයි. එම මුදල් සංචිත වලට එකතු වන අතර, රජයට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. එමෙන්ම, අරමුදල සමඟ සාමාන්‍යයෙන් එකඟ වන කොන්දේසි අනුව, මහ බැංකුවට එම අරමුදල් විකුණා නාස්ති කිරීමේ හැකියාවක්ද නැහැ. 

තෙවන හා වැදගත්ම වාසිය මෙසේ අරමුදල සමඟ ඇතිකරන්නා එකඟතාවය හේතුවෙන් රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසනීයත්වය ගොඩ නැගීමයි. ඉහත මුල් වාසි දෙක මෙන් සෘජු වාසියක් නොවුනත්, වඩාත්ම ප්‍රතිඵලදායක දෙය මෙම වක්‍ර වාසියයි.

නැවතත් කිව යුත්තේ ඉහත සාමාන්‍ය තත්ත්වය තුළ සිදු වන දෙය අරමුදල විසින් කොන්දේසි දැමීමක් නොවන බවයි. එහෙත්, අදාළ රට විසින් අරමුදලේ තාක්ෂණික සහයෝගයද ලබාගෙන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සකස් කර එම වැඩ පිළිවෙළ මත පදනම්ව අරමුදලෙන් ණය ලබා ගනිමින් අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව අදාළ එකඟතාවය පිළිපැදීම කොන්දේසියක් බවට පත් වෙනවා.

මෙවර තත්ත්වය ඉහත සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස්. අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා ණය තිරසාරත්වය ඇති කර ගැනීම මූලික කොන්දේසියක්. මෙය නිර්දේශයක් නෙමෙයි. අදාළ කොන්දේසිය නොසපුරා අරමුදලේ මූල්‍ය සහයෝගය ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

මේ වෙනසට හේතුව අරමුදල වෙත යන විටද ලංකාව ණය පැහැර හැර අවසන්ව ඇති, ඊටත් පෙර සිටම ණය තිරසාරත්වය නැති කරගෙන සිටි, රටක් වීමයි. ඒ නිසා, පැවති තත්ත්වය තුළ, පෙර අවස්ථා වලදී මෙන් වැඩසටහන් කාලය අවසන් වන විට ණය ආපසු ගෙවීම සහතික කෙරෙන සාර්වආර්ථික වැඩපිළිවෙළක් පිළියෙළ කිරීමේ කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. 

ප්‍රායෝගිකව, ණය තිරසාරත්වය ඇති කරගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යව තිබුණා. මෙවැන්නක් කිරීම කල් ගත වන, අසීරු දෙයක්. ඒ නිසාම, අරමුදල විසින් ගිවිසුම අත්සන් කර පළමු ණය වාරිකය ලබා දීමේ කොන්දේසියක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ යුතුයැයි ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියේ මුළු ණය ප්‍රමාණයෙන් කොටසක් වූ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූලික එකඟතාවයක් ඇති කරගෙන, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් ගත යුතු බව පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම සඳහා ඉන්පසුවද කාලය වෙන්ව තිබුණා. 

පසුගිය කාලය පුරාම ලංකාවේ අවධානය වැඩි වශයෙන්ම යොමු වී තිබුණේ හැකි ඉක්මනින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙතයි. මේ හා අදාළව පෙර ලිපි කිහිපයකම වැඩි විස්තර ලියා තිබෙනවා. 

පසුගිය (2022) සැප්තැම්බර් අවසානයේදී පැවති තත්ත්වය අනුව, ශ්‍රී ලංකා රජයේ සෘජු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,814ක්. රජය විසින් ඇප වී ඇති රාජ්‍ය ව්‍යවසාය වල ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය මෙයට ඇතුළත් නැහැ. මහ බැංකුවේ ණයද මෙහි නැහැ. මෙම ප්‍රමාණය මධ්‍යම රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 35,347න් 31%ක්. ඉතිරි කොටසින් 27%ක් බහුපාර්ශ්වීය ණය වන අතර 42%ක් වාණිජ ණයයි. 

ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතර රටවල් 22ක් සිටිනවා. මෙම රටවල් අතරින් රටවල් 15ක් පැරිස් සංසදයේ රටවල්. පැරිස් සංසදය තුළ සිටින්නේ සම්ප්‍රදායිකව දිළිඳු රටවල් වලට ණය දුන් සල්ලි තිබෙන රටවල්. ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් මෙන්ම රුසියාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල්ද පැරිස් සංසදය තුළ සිටිනවා. කෙසේ වුවත්, ලංකාවට විශාල ලෙස ණය දී තිබෙන චීනය, ඉන්දියාව හා මැදපෙරදිග රටවල් පැරිස් සංසදය තුළ නැහැ. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සංගමයේ භූමිකාව ඉතා ප්‍රබලයි. ඔවුන් මෙහිදී කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. පැරිස් සංගමයේ රටවල් අතරින් ලංකාවට විශාල ලෙස ණය ලබා දී තිබුණු එකම රට ජපානයයි. ජපානය විසින් ලංකාවට ඩොලර් මිලියන 2,464ක ණය ලබා දී තිබෙනවා. එය සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 22.8%ක්. පැරිස් සංසදයේ අනෙකුත් රටවල් 14ක් විසින් ලබා දී ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,710ක් (ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 15.8%ක්). මුළු එකතුව ඩොලර් මිලියන 4,174ක් හෙවත් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 38.6%ක්.

කෙසේ වුවත්, චීන ණය ප්‍රමාණය ඉහත රටවල් 15කම ණය ප්‍රමාණයට වඩා වැඩියි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 4,678ක් හෙවත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 43.3%ක්. 

ඉතිරි කොටසින් ඩොලර් මිලියන 1,652ක් හෙවත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 15.3%ක් ඉන්දියානු ණයයි. සවුදි අරාබිය, කුවේට්, ඉරානය, හංගේරියාව හා පකිස්ථානය යන රටවල්ද ලංකාවේ ණයහිමියන් අතර සිටිනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් එකඟ වී ඇති ලංකාවේ ණය තිරසාරත්වය නැවත ඇති කරන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක හා අනුගත වන පරිදි සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව මුලින්ම නිල අනුමැතිය ලබා දුන්නා. ඉන් පසුව, පැරිස් සංසදයේ රටවල් වලින්ද මෙම අනුමැතිය ලැබුණා. එම අනුමැතිය ලබා දුන් පැරිස් සංසදයේ ජනවාරි 25 රැස්වීමට ඉන්දියාව මෙන්ම හංගේරියාව, සවුදි අරාබිය හා කුවේට් යන රටවල්ද සහභාගී වුනා. හංගේරියාව සෘජුවම පැරිස් සංසදයේ තීරණය සමඟ රැඳී අතර සවුදි අරාබිය හා කුවේට් රටවල තීරණ හා වලද ලොකු ප්‍රශ්නයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. 

ඉහත තීරණ වලින් පසුව, චීනය හැර ඉතිරි වන අනෙක් රටවල් දෙක ඉරානය හා පකිස්ථානයයි. ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 32.9ක් වන අතර පකිස්ථාන රජයෙන් ලබා දී ඇත්තේ ඩොලර් මිලියන 2.1ක් පමණයි. මේ ගොඩවල් දෙක එකතු කළත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 0.3%ක් පමණයි. ඒ නිසා, ප්‍රායෝගිකව ඉතිරි වී තිබෙන එකම ප්‍රශ්නය චීනයේ කැමැත්තයි. 

ඩොලර් මිලියන 4,678ක් වන චීන ණය වලින් ඩොලර් මිලියන 4,005.8ක්ම චීන එක්සිම් බැංකුව විසින් ලබා දී ඇති අතර, චීන සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 535.2ක ණය මුදලක්ද, චීන රජය විසින් සෘජුවම ඩොලර් මිලියන 14.0ක මුදලක්ද ලංකාවට ණය ලෙස ලබා දී තිබෙනවා. මීට පෙර චීන එක්සිම් බැංකුව විසින් දැනුම් දුන්නේ ඔවුන්ගේ ණය ආපසු ගෙවීම සඳහා දෙවසරක් දක්වා කාලය ලබා දිය හැකි බවයි. එම දෙවසරෙන් වසරකට ආසන්න කාලයක් මේ වන විටද ගෙවී අවසන්. ඉතිරි වසරක කාලය තුළ ඉහත ණය ආපසු ගෙවිය හැකි තරමට රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ හැකියාවක් ලංකාවට නැහැ.

බටහිර රටවල් හා චීනය අතර සීතල යුද්ධයක් පවතින බවත්, ඉන්දියාවද මෙම යුද්ධය තුළ බටහිර රටවල පාර්ශ්වකරුවෙකු බවත් කවුරුත් දන්නා කරුණක්. ලංකාවද කාලයක සිටම මේ සීතල යුද්ධයේ පොර පිටියක්ව තිබෙන අතර, ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය තුළද අඩු වැඩි වශයෙන් ඉහත කඳවුරු වල අවශ්‍යතා නිරූපණය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන තුළ දේශපාලන බලය තිබෙන්නේ බටහිර රටවල් සතුවයි. ඒ නිසා, එම සංවිධාන බොහෝ විට කටයුතු කරන්නේ බටහිර රටවල දේශපාලනික අරමුණු හා අනුගත වන පරිදියි.

ලංකාවේ ආර්ථික අර්බුදය තුළ මුල සිටම ඉහත සීතල යුද්ධයේ පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරිත්වය දැක ගත හැකිව තිබුණා. චීනය විසින් ලංකාව ණය උගුලක පැටලවූ බව ප්‍රචලිත අදහසක්. මෙම අදහස ඇමරිකාව විසින් ජනගත කළ බව කීවොත් එහි ලොකු වැරැද්දක් නැහැ. ට්‍රම්ප් රජයේ උප ජනාධිපති වූ මයික් පෙන්ස් විසින් වසර කිහිපයකට පෙර මේ බව සෘජුවම කිවුවා. ඉහත ප්‍රවාදය පිළිබඳව චීනය මුල සිටම ඔවුන්ගේ නොසතුට නොපැකිළ පෙන්නුවා. ලංකාවේ ණය අර්බුදයට ඇත්ත හේතුව ස්වෛරිත්ව බැඳුම්කර බව චීනය විසින් සැලසුම්සහගතව ජනගත කළ අදහසක්. චීනයට මෙම මතය ලෝක මට්ටමින් ජනගත කළ නොහැකි වුනත්, එම මතය ලංකාව තුළ සාර්ථක ලෙස ජනගත කිරීමට චීනය සමත් වුනා. දැන හෝ නොදැන මේ එක් එක් කඳවුර නියෝජනය කර ඇති ශ්‍රී ලාංකීය දේශපාලනඥයින් හඳුනා ගැනීම අපහසු නැහැ.

ඇත්තම කතාවනම් ලංකාව ණය උගුලක සිර වීමේ වගකීම චීනය වෙත හෝ වෙනත් රටක් වෙත පැටවිය නොහැකි බවයි. මේ කිසිදු රටක් ලංකාවට බලෙන් ණය දුන්නේ නැහැ. අදාල ණය ගිවිසුම් වලට එළැඹුණේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ රටේ නීත්‍යානුකූල පාලකයින්. ඒ අනුව, මෙය අවසාන වශයෙන් රටේ මහජනතාව විසින්ම කරගත් දෙයක්. දැන් ඒ වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදු වී තිබෙනවා. කෙසේ වුවත්, රටේ ආර්ථිකය නැවත ස්ථායී කරගැනීමේ ක්‍රියාවලිය තුළ ලංකාවට ඉදිරියට යාමට සිදුව ඇත්තේ ඉහත සඳහන් චීන-බටහිර සීතල යුද්ධයේ සෙවණැලි අතර සැරිසරමිනුයි. මෙහි බලපෑම රටේ අභ්‍යන්තර දේශපාලනය තුළද දැකිය හැකියි.

පැරිස් සංසදය විසින් මුලින්ම ලංකාව වෙත ඉතා සහනදායී පැකේජයක් යෝජනා කරමින් සිදු කළේ චීනය වෙත පන්දුව දමා ගැසීමක්. මේ ගැන පෙර ලිපි වල ලියා ඇති නිසා නැවත එම විස්තර සියල්ල ලියන්නේ නැහැ. මෙසේ කිරීම මගින් චීනය අකැමැති, චීනයට අවාසිදායක කොන්දේසි වලට චීනය කෙසේ හෝ කැමති කර ගැනීම සඳහා ලංකාවට බල කෙරුණා. 

බටහිර රටවල් හා ඉන්දියාව විසින් නොපැකිළ උදවු කරද්දී, චීනය විසින් ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා නොදුනහොත් දිගු කලකට නැවත ප්‍රකෘතිමත් කරගත නොහැකි පරිදි  චීන-ලංකා මිත්‍රත්වය පලුදු විය හැකි නිසා චීනය විසින් යම් අවාසිදායක තත්ත්වයක් යටතේ වුවද බටහිර කොන්දේසි වලට එකඟ වීමේ හැකියාවට බටහිර රටවල් විසින් ඔට්ටු දැම්මා වෙන්න පුළුවන්. චීනයේ අනාගත භූ දේශපාලනික සැලසුම් තුළ ලංකාව කොයි තරම් වැදගත්ද යන කරුණ මත මෙය තීරණය විය හැකිව තිබුනා. 

චීනය මේ කොන්දේසි වලට එකඟ වූවානම් එය බටහිර හමුවේ දණ නැමීමක් මෙන්ම ලංකාවේ පෙරමුණට අමතරව වෙනත් පෙරමුණු ගණනාවකදී අනාගත පරාජය සලකුණු කර ගැනීමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා බටහිර රටවල් විසින් යෝජනා කළ කොන්දේසි වලට චීනය නැමුනේ නැහැ. මෙම තීරණය ගැනීමේදී ලංකාවේ හොඳහිත පලුදු වීම පිළිබඳව චීනය වැඩි බරක් තැබුවේ නැහැ.

මේ තත්ත්වය තුළ සිදු විය හැකි දේවල් දෙකක් තිබුණා. පළමුවැන්න, චීනයේ සහයෝගය නැති කමින් ලංකාවේ ආර්ථිකය දිගින් දිගටම අස්ථායී තත්ත්වයක පවතින බව ලෝකයට පෙන්වීමට ඉඩ සලස්වමින් බටහිර රටවල් විසින් කල් මැරීමයි. දෙවැන්න, චීනය හමුවේ පරාජය භාර ගනිමින්, චීනයේ සහයෝගය නැතිව බටහිර රටවල් මුල් වී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීමයි. 

දෙවැන්න සිදු වූවානම් එය ලෝක මට්ටමේදී චීනය ලබන ජයග්‍රහණයක්. මෙහිදී චීනයට ඔවුන්ගේ ණය දීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාම සඳහා යම් ආකාරයක ලෝක අනුමැතියක් ව්‍යංගයෙන් ලැබෙනවා. අනෙක් අතට පළමුවැන්න සිදු වූවානම්, ඒ හරහා ලංකාවේ සිදුවන දේශපාලන අස්ථාවරත්වය බටහිරට එරෙහි හා චීනයට වඩා නැඹුරු අභ්‍යන්තර දේශපාලන බල තුලනයක් කරා ලංකාව තල්ලු කරනු ඇතැයි චීනය ගණන් හැදුවා වෙන්න පුළුවන්. 

දැන් මේ අභියෝගය හමුවේ බටහිර රටවල් විසින් චීනයට නැවතත් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙහිදී ඔවුන් ලංකාවේ ආර්ථික ස්ථායීත්වය තුළින් හැදෙන දේශපාලන බලතුලනය තමන්ට වඩා වාසිදායක සේ ගණන් බලා ඇති බව පෙනෙනවා. ඒ අතර, ලෝක මට්ටමේදී චීනයට නොනැමී මේ වැඩේ කරගන්නට තරම් බටහිර රටවල් උපක්‍රමික වී තිබෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස ලංකාවට දිගින් දිගටම චීනය සමඟ ගැටෙන්නට සිදු වීම මග හැර යා නොහැකි එකම විකල්පය බවට පත් කර තිබෙනවා. 

දැනට පවතින තත්ත්වය තුළ සිදුව ඇත්තේ චීනයේ කැමැත්ත නැතිවම චීනය වෙනුවෙන් බටහිර රටවල් විසින් තීන්දුවක් ගැනීම හා සමාන දෙයක්. ලංකාවට සිදුව ඇත්තේ චීනය අරභයා එම බටහිර තීන්දුව ක්‍රියාත්මක කරන්නටයි. මේ අනුව, චීනය හැර අනෙකුත් රටවල ණය ආපසු ගෙවීම සඳහා එම රටවල් විසින් එකඟ වී ඇති සහන කාලය ලංකාවට ලැබෙනු ඇති අතර, අදාළ සහන කාලය තුළ, චීනය කැමති වුනත් නැතත්, ලංකාවට චීන ණය ආපසු ගෙවිය නොහැකියි. එසේ ණය ගෙවීම පැහැර හැරීම මගින් රටේ ණය තිරසාරත්වය ඇති කර ගත හැකි නිසා ලංකාවට අරමුදලේ වාරිකද ලබා ගත හැකියි. 

මේ මුෂ්ඨි ප්‍රහාරයට චීනය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? එම ප්‍රතිචාර කවර ස්වරූපයක් ගත්තත්, කෙරෙන දෙයක් කෙරෙනු ඇත්තේ අභ්‍යන්තර දේශපාලනය තුළ චීනයට කළ හැකි බලපෑම්ද උපරිම වශයෙන් භාවිතයට ගනිමිනුයි. එය සිදුවන ආකාරය ඉදිරි කාලය තුළ නිරීක්ෂණය කරන්නට හැකි වෙයි.

Tuesday, January 31, 2023

ජනවාරි උද්ධමනය


ජනවාරි මාසය අවසන් වෙද්දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 54.2% දක්වා අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 60.1% දක්වා අඩු වී තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 51.0% දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී  කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 69.8% මට්ටමෙහි පැවති අතර, ආහාර උද්ධමනය 94.9% මට්ටමෙහි පැවතුණා. 

අපගේ පුරෝකථනය වනුයේ පෙබරවාරි මාසය තුළ උද්ධමන අගයේ ලොකු වෙනසක් සිදු නොවනු ඇති බවයි. එහෙත්, මාර්තු මාසයේදී මෙම අගය 50% මට්ටමට පැමිණ, අප්‍රේල් මාසය වෙද්දී 40% මට්ටමට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා. උද්ධමනය වේගයෙන් පහත වැටෙනු ඇත්තේ ඉන් පසුවයි. 

බදු හා පොලී අනුපාතික ඉහළ දැමීමේ පීඩාව බොහෝ දෙනෙකුට දරුණුවටම දැනී ඇතත්, බදු හා පොලී වැඩි කර උද්ධමනය පාලනය නොකළේනම්, උද්ධමනය නිසා සිදු විය හැකිව තිබුණු පීඩාව ඊට වඩා බොහෝ වැඩි විය හැකිව තිබුණු බව අපගේ අදහසයි. එය ඇතැම් විට අධි-උද්ධමන තත්ත්වයක් වුවද විය හැකිව තිබුණා. 

කෙසේ වුවත්, මැතිවරණය හේතුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වීමේ යම් ප්‍රමාදයක් සිදු වෙමින් තිබෙන බව අපගේ නිරීක්ෂණයයි. මැතිවරණ ප්‍රතිඵල වලින් පසුවද මෙම තත්ත්වයෙහි දිගුවක් දකින්නට ලැබෙන්නට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ගාස්තු ලංවිම වියදම් හා ගැලපීම ප්‍රමාද වීමට මැතිවරණය හේතු වී ඇති බව අපගේ අදහසයි. විදුලි ගාස්තු ගැලපීමෙන් දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමට පිටිවහලක් ලැබෙන නමුත්, කෙටිකාලීනව උද්ධමනය ඉහළ ගොස් උද්ධමන අපේක්ෂා ඉහළ යා හැකි නිසා මෙවැනි ගාස්තු ගැලපීමේ තීරණයක් වසර මැද දක්වා ප්‍රමාද කිරීම වඩා සුදුසු වෙන්නත් පුළුවන්. 

නිල තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් වී නැතත්, අපට අනුමාන කළ හැක්කේ චීනයේ දෙවසරක ණය පමාවෙන් ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ ප්‍රමාද වීමක් පමණක් බවයි. අවම වශයෙන් මාර්තු මාසය වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. එය සිදු වනු ඇත්තේ චීනය විසින් මීට වඩා වැඩි සහනයක් ලබා දීමට එකඟ වීමෙන් පසුව පමණයි. බොහෝ විට එම තීරණය ලැබෙනු ඇත්තේ මැතිවරණයෙන් පසුවයි.

Monday, January 23, 2023

චීනයෙන් ලියුමක්...


ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා පනින්නට අවශ්‍ය අවසන් කඩුල්ල වන චීනයේ කැමැත්තද ඉතා ඉක්මණින් ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. ඇතැම් විට අදාළ ලිපිය මේ වන විටද නිකුත් වී අවසන්ව ඇති. චීනයේ මේ තීරණය නිසා ලංකාවට ඉතා ඉක්මණින් අරමුදලේ ණය ලැබෙයිද? එසේ නැත්නම් චීනයේ මේ කැමැත්ත ප්‍රායෝගිකව ඒ තරම් වැඩකට නැති ප්‍රදර්ශනාත්මක කටයුත්තක් පමණක්ද?

හරියටම දවස මා නොදන්නා නමුත් මේ සතිය තුළ පැරිස් සංසදය රැස්වීමට නියමිතයි. ඊට පෙර චීන ලිපිය ප්‍රකාශයට පත් වනු ඇතැයි සිතිය හැකියි. එම ලිපිය මත පදනම්ව අරමුදල විසින් ණය ලබා දෙනු ලැබීම කෙසේ වුවත්, කවර හෝ හේතුවක් නිසා සතිය තුළ මේ කටයුත්ත සිදු නොවුවහොත් මැතිවරණයට පෙර අරමුදලේ සහාය ලබා ගැනීමේ ආණ්ඩුවේ අපේක්ෂාවන් කඩ වෙනවා.

පැරිස් සංසදය සාමාන්‍යයෙන් මසකට වරක් රැස්වන නමුත් පෙබරවාරි හා අගෝස්තු මාස තුළ රැස් වන්නේ නැහැ. ඒ නිසා, මේ සතිය තුළ පැරිස් සංසදය චීන තීරණය පිළිනොගත හොත් මාර්තු මාසය දක්වා කිසිවක් කිසිවක් සිදු වන්නේ නැහැ. චීන තීරණය පැරිස් සංසදයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි වනු ඇත්ද?

සම්ප්‍රදායික ණය දෙන රටවල් සියල්ලම සිටින්නේ පැරිස් සංසදය තුළයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ දේශපාලන බලය තිබෙන රටවල් සිටින්නේද පැරිස් සංසදය තුළයි. මේ තත්ත්වය තුළ පැරිස් සංසදයේ තීරණය හා අරමුදලේ තීරණය අතර තිබෙන්නේ ඉතා සමීප සම්බන්ධයක්. 

අරමුදලේ සහාය පතන අවස්ථාව වන විට ලංකාව තල්ලු කර දමනු ලැබ තිබුණේ සාමාන්‍යයෙන් අරමුදල විසින් යෝජනා කරන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් මගින් ස්ථායී කළ හැකි තත්ත්වයකට නෙමෙයි. වෙනත් විදිහකින් කිවුවොත්, අරමුදලේ සහාය ලබා ගැනීමෙන් පසුව වුවද සාමාන්‍ය පරිදි ණය ආපසු ගෙවා ගෙන යාමේ හැකියාවක් ඒ වන විට ලංකාව සතු වූයේ නැහැ. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා යම් කාලයකට ණය ආපසු නොගෙවා සිටීම අත්‍යාවශ්‍ය කරුණක්ව පැවතුණා. 

අරමුදලේ සහාය ලබා දීමටනම් ණය ප්‍රතිව්‍යුහගත කර අරමුදලේ සහායෙන් ආර්ථිකය ස්ථාවර කළ හැකි තත්ත්වයක් ඇති කර ගැනීම අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුනා. මෙයට ඉඩ සලසමින් පැරිස් සංසදයේ රටවල් මූලික එකඟතාවයකට පැමිනුණා. වාර්තා වී ඇති පරිදි, මෙම එකඟතාවය අනුව ලංකාවට ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා වසර දහයක පමා කාලයක් යෝජනා වී තිබුණු අතර ඉන් පසුව ණය කොටස් වශයෙන් ගෙවීම සඳහා තවත් වසර පහළොවක සහන කාලයක් ලබා දී තිබුණා. වසර විසිපහක් වැනි දිගු කාලයක් තුළ ආර්ථිකයේ අඩුපාඩු මකා ගෙන ණය ආපසු ගෙවීම කළ නොහැක්කක් නෙමෙයි. 

කෙසේ වුවද, පැරිස් සංසදයේ රටවලින් මෙවැනි සහනයක් ලැබෙන්නේ සංසදයට අයත් නොවන රටවලින්ද සමාන මට්ටමේ සහනයක් ලංකාවට ලැබෙන්නේනම් පමණයි. මෙම රටවල් අතර සිටි ප්‍රධානම ණය හිමියන් දෙදෙනා චීනය හා ඉන්දියාවයි.

පසුගිය සතියේදී ඉන්දියාවේ එකඟත්වය ලංකාවට ලැබුණා. මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ ඉන්දියාවේ එකඟත්වය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ඉවහල් වන මට්ටමේ එකඟත්වයක් බවයි. එය පැරිස් සංසදයේ යෝජනාව හා සැසඳෙන මට්ටමේ එකක්ද නැත්නම් ඊට වඩා අඩු මට්ටමක එකක්ද යන්න පැහැදිලි නැතත් සැලකිය යුතු මට්ටමක සහනයක් බවට සැකයක් නැහැ.

ඉන්දියාවේ තීරණයත් සමඟ චීනය උණුසුම් පුටුවට පැමිණියා. පෙනෙන්නට ඇති පරිදි, දේශපාලනික හානිය අවම කර ගනිමින් චීනය විසින් ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට යන නමුත් එම ප්‍රතිචාරය ලංකාවට කොපමණ ප්‍රයෝජනවත්ද යන්න පැහැදිලි නැහැ. නිල ප්‍රකාශ නොවුණත්, චීනය විසින් දෙවසරක ණය පමා කාලයක් යෝජනා කර ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.

චීනයෙන් ලැබෙන සහනය දෙවසරක ණය පමා කාලයක් පමණක්නම්, අනෙක් රටවලින් ඊට වඩා සහනයක් ලංකාවට ලැබෙන්නේ නැහැ. එවිට ඉතිරි වන ප්‍රශ්නය දෙවසරක පමාවකින් පමණක් ලංකාවේ ආර්ථිකය ස්ථායී කළ හැකිද යන්නයි. මෙය බොහෝ විට නොකළ හැක්කක් විය හැකියි. දෙවසරක ණය පමාවකින් පමණක් ආර්ථිකය ස්ථායී කළ නොහැකි බව පැරිස් සංසදයේ හෝ අරමුදලේ නිගමනය වුවහොත් අපේක්ෂා කළ පරිදි අරමුදලේ සහාය ඉක්මණින්ම නොලැබෙන්න පුළුවන්. 

චීනය කරන්න හදන්නේ බටහිර රටවලට බෝලය පාස් කිරීමක්ද? 

වෙබ් ලිපිනය: