වෙබ් ලිපිනය:

Showing posts with label වියට්නාමය. Show all posts
Showing posts with label වියට්නාමය. Show all posts

Wednesday, March 18, 2026

සමාජවාදී රටකින් පාඩමක්!


වියට්නාම් සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති පරිදි, මැද පෙරදිග අර්බුද තත්ත්වය තුළ ලෝක වෙළඳපොළේ තෙල් මිල දිනපතා සැලකිය යුතු ලෙස විචලනය වීම සැලකිල්ලට ගනිමින්, එරට ඉන්ධන මිල ගණන් දිනපතා වෙනස් කිරීම සඳහා එම අමාත්‍යංශය විසින් කර ඇති යෝජනාවක් අගමැතිවරයා විසින් අනුමත කර තිබෙනවා. මීට පෙර වියට්නාමයේ තෙල් මිල සංශෝධනය කරනු ලැබුවේ සතියකට වරක් සතියේ බ්‍රහස්පතින්දා දින වලයි. 

වියට්නාමය ඉහත තීරණය ගෙන තිබෙන්නේ අවම ඉන්ධන සංචිත පවත්වා ගැනීම සහ මිල ස්ථායීකරණ අරමුදලක් පවත්වා ගැනීම ඇතුළු සැලසුම්සහගත දිගුකාලීන ක්‍රියාමාර්ග ගණනාවක්ද කලින්ම ක්‍රියාත්මකව පැවති පසුබිමකයි. 

Tuesday, January 23, 2024

අපනයන කළ යුත්තේ ඇයි?


කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි. රටක් අපනයන කළ යුත්තේ ඇයි?

දේශ සීමා බාධක ඉතා අඩු හෝ නැති, ජාත්‍යන්තරයට විවෘත, ලිබරල් ආර්ථික ක්‍රමයක් ගැන පෙනී සිටින අය අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින එක තේරුම් ගන්න අපහසු නැහැ. නමුත්, සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින අයත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරන්නේ ඇයි?

මෙහි සඳහන් දෙවන කණ්ඩායම අපනයන ප්‍රවර්ධනය අවශ්‍ය බව හිතන්නේ පළමු කණ්ඩායම එසේ හිතන හේතුව මත පදනම්ව නෙමෙයි. ඉතාම සරලව කිවුවොත් රටට විදේශ විණිමය හොයා ගන්න. රටක් අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයා ගන්න කියන එක ජනප්‍රිය, ප්‍රචලිත, එහෙත් වැරදි අදහසක්. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්.

ඔය අදහස එන්නේ සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ අදහස් පද්ධතියේ කොටසක් විදිහටයි. මේ ක්‍රමයේදී කිසියම් රටක් විසින් උත්සාහ කරන්නේ රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න. එහිදී පිරිවැය, නිෂ්පාදන කාර්යක්ෂමතාවය වගේ දේවල් වලට ලොකු අවධානයක් යෙදවෙන්නේ නැහැ. 

මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් තුළ රටක නිෂ්පාදන ප්‍රතිපත්තිය මේ වගේ තැනකට තල්ලු වීම තේරුම් ගන්න අපහසු නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුමක් බලාත්මක කළ හැක්කේ කිසියම් රටක දේශ සීමා ඇතුළේ පමණයි. ඒ නිසා, ඒ වගේ සැලසුමක් ආනයන මත පාදක වෙන එකක්නම් ඒ හේතුවෙන්ම එම සැලසුම අවුලට යාමේ ඉඩකඩ ඉහළ යනවා. මොකද රටේ දේශ සීමා වලින් එහා සිදු වන නිෂ්පාදන පිළිබඳව මධ්‍යගත සැලසුම හරහා බලපෑම් කරන්න බැහැ. රට තුළ නිපදවිය හැකි හැම දෙයක්ම රට තුළම නිපදවා ගත් තරමට මධ්‍යගත සැලසුමේ ඉලක්ක සම්බන්ධව රටේ බලාධිකාරියට වැඩි බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසාම, එය සාර්ථක කර ගැනීම වඩා පහසුයි.

හැබැයි රටකට අත්‍යාවශ්‍ය සමහර දේවල් කිසියම් රටක මොන විදිහකින්වත් නිපදවන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස තෙල් නිධි නැති රටක තෙල් නිපදවන්න බැහැ. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න වෙනවා. ඒ සඳහා විදේශ විණිමය අවශ්‍ය වෙනවා. එම විදේශ විණිමය ප්‍රමාණය හොයා ගන්න රටේ නිපදවිය හැකි භාණ්ඩ හා සේවා වලින් කොටසක් අපනයනය කරන්න වෙනවා. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න කියන අදහස එන්නේ ඔය චින්තනය ඇතුළේ. 

ඉහත කී ආර්ථික චින්තනය ඇතුළේ ඉන්න රටකට ප්‍රමාණවත් අපනයන ආදායමක් නොමැති වූ විට ආනයන සීමා කරන්න පෙළඹෙනවා. අනෙක් අතට විදේශ විණිමය වැඩියෙන් එකතු වෙද්දී එම විදේශ විණිමය ආනයන වෙනුවෙන් වැය නොකර ගොඩ ගසා ගැනීමේ පෙළඹුමක් තිබෙනවා. 

රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරනවා කියන අදහසේම ලොකු අවුලක් තිබෙනවා. ඒ අවුල ලොකුවටම තියෙන්නේ ලංකාව වගේ පොඩි රට වලට. දැන් මම ඒ අවුල විස්තර කරන්නම්. 

අපි හිතමු ලෝකයේ හැම රටකම ආර්ථික ප්‍රතිපත්තිය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරන එක කියලා. පැරණි සෝවියට් දේශය ඇතුළු කොමිකොන් සංවිධානයේ සාමාජික රටවල ආර්ථික ප්‍රතිපත්තිය වුනේ මෙවැන්නක්. ඔය ක්‍රමය ඇතුළේ පොඩි රටවල් අවුලට යන්නේ මේ විදිහටයි.

පැරණි සෝවියට් දේශය වගේ විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු, විශාල ජනගහණයක් සිටින සහ විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටකට අවශ්‍ය දේවල් බොහොමයක් එරට තුළම නිපදවා ගන්න පුළුවන්. ඇතැම් විට හැම දෙයක්ම වගේ. නමුත්, සෝවියට් දේශයට සාපේක්ෂව කුඩා රටවල් වන වියට්නාමයට හෝ කියුබාවට එහෙම කරන්න බැහැ. එක්කෝ අවශ්‍ය ස්වභාවික සම්පතක් රටේ නැහැ. එහෙම නැත්නම් දේශගුණය බාධාවක්. තවත් හේතු ගණනාවක් නිසා මෙවැන්නක් විය හැකියි.

දැන් මේ වගේ කුඩා රටවල් වලට තමන්ගේ රටේ නිපදවා ගත නොහැකි යම් යම් දේවල් ආනයනය කරන්නම වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන විදේශ විණිමය හොයා ගන්න මොනවා හෝ දේවල් ටිකක් අපනයනය කරන්නත් වෙනවා. නමුත් ප්‍රශ්නය සෝවියට් දේශය වගේ ලොකු රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියක සිටිද්දී, කියුබාව වගේ රටකට සෝවියට් දේශයට මොනවා හෝ අපනයනය කර විදේශ විණිමය හොයා ගැනීමේ අවස්ථාව නැති වී යන එක. මොකද කියුබාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් සෝවියට් දේශයේත් හදන්න පුළුවන්. (මෙය උදාහරණයක් පමණයි). 

ඉහත හේතුව නිසා රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිඵලය වන්නේ කුඩා ආර්ථිකයන් ඇති රටවලට හැමදාම දිගින් දිගටම විදේශ විණිමය අර්බුද වලට මුහුණ දෙන්න වෙන එක. ප්‍රායෝගිකව වුනත් වුනේ මේකයි. සමාජවාදී කඳවුරේ හිටපු පොඩි රටවලට හැම විටම මෙන් තමන්ගේ ආර්ථිකයන් තුලනය කරගන්න පුළුවන් වුනේ ලොකු රටවල අනුකම්පාව මත පදනම්වයි. නිශ්චිත ලෙස කිවුවොත් සෝවියට් ආධාර වල උදවුවෙන්. වියට්නාමය වගේ රටවලට ඒ කාලයේදී සෝවියට් දේශයෙන් වාර්ෂිකව ආධාර මුදල් ලැබුණා.

ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ලිබරල් ප්‍රවේශයේදී මේ වගේ අවුලක් වෙන්නේ නැහැ. මොකද කිසියම් රටක් යම් භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය කරන්නේ එය රට තුළ නිපදවා ගත නොහැකි නිසා නෙමෙයි. "සංසන්දනාත්මක වාසිය" නිසා. (මේ ගැන පෙර ලියූ ලිපි මාලාවක් තිබෙනවා. අවශ්‍යනම් කියවන්න.) උදාහරණයක් විදිහට ලංකාවේ මහලා ඇමරිකාවට යවන ඇඟලුම් ඇමරිකාව ඇතුළේම මහගන්න කිසිම බැරිකමක් නැහැ. 

අනෙක් අතට මතක තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ ඔය ලිබරල් ප්‍රවේශය තුළ අපනයන වර්ධනය වූ පමණින් රටක විදේශ විණිමය සමුච්ඡනය වෙන්නේ නැහැ. රටට එන විදේශ විණිමය අනෙක් අතට ආනයන ලෙස හෝ වෙනත් ක්‍රමයකින් රටෙන් එළියට යනවා. පසුගිය ලිපි හයකම අපි හිටියේ වියට්නාමය ඇතුළේ නිසා අපි නැවතත් වියට්නාමය වෙතම යමු. 

වියට්නාමය කියන්නේ විශාල අපනයන ආර්ථිකයක් තිබෙන රටක් බව ඔබ දැනටමත් දන්නවා. 2022 වසරේදී වියට්නාමය භාණ්ඩ අපනයනයෙන් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 371,304ක්. මීට සාපේක්ෂව ලංකාව ඉපැයුවේ ඩොලර් මිලියන 13,106.4ක් පමණයි. ඒ කියන්නේ 2022 වසරේ වියට්නාමයේ භාණ්ඩ අපනයන ආදායම ලංකාවේ එම ආදායම මෙන් 28 ගුණයක්.

ලංකාවට වඩා විශාල ජනගහණයක් සිටින ලොකු රටක් වන වියට්නාමය ලංකාව සමඟ සංසන්දනය කිරීම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් බව මෙම ලිපි මාලාවේ මුල් ලිපි වල පැහැදිලි කළානේ. ඒ කරුණ අපට අමතක කරන්න බැහැ. නමුත් වියට්නාමයේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් 28 ගුණයක් විශාල නැහැ. එය ඩොලර් බිලියන 408.8ක ආර්ථිකයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 74.4ක් වූ ලංකාවේ ආර්ථිකය මෙන් පස් හය ගුණයක් පමණ ලොකු ආර්ථිකයක්. ඩොලර් බිලියන 371.3ක අපනයන ආදායමක් කියා කියන්නේ ඊට සාපේක්ෂව වුවත් ඉතාම විශාල අගයක්. එරට දදේනියෙන් 90.8%ක්.

ඒ කියන්නේ වියට්නාමයේ සමස්ත නිෂ්පාදිතයෙන් 90.8%ක්ම අපනයනය කරනවාද? මෙම අගය භාණ්ඩ අපනයන පමණයි. මීට අමතරව වියට්නාමය විසින් යම් තරමක සේවා අපනයනද කරනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 12,900ක්. ඒ අනුව, භාණ්ඩ හා සේවා අපනයනය රටේ දදේනියෙන් 94.0%ක්.

රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයෙන් 94.0%ක්ම අපනයනය කළොත් එරට සමස්ත පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් මෙන්ම රාජ්‍ය අංශයේ පරිභෝජනය වෙනුවෙන්ද ඉතිරි වන්නේ දදේනියෙන් 6.0%ක කොටසක් පමණයි. නමුත්, 2022 වසරේදී වියට්නාමයේ පරිභෝජනය හා ආයෝජනය එරට දදේනියෙන් 96.29%ක්. මෙහෙම වුනේ කොහොමද?

පිළිතුර සරලයි. මේ වෙනස වියට්නාමයේ ආනයන. 2022 වසර තුළ වියට්නාමය විසින් ඩොලර් මිලියන 345,587ක භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ඊට අමතරව ඩොලර් මිලියන 25,524ක සේවා ආනයනය කර තිබෙනවා. එකතුව එරට දදේනියෙන් 90.8%කට සමානයි. මේ අනුව පැහැදිලි වන්නේ කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වත්මන් වියට්නාමය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්නා ප්‍රතිපත්තියක නැති බවයි. ඒ වෙනුවට වියට්නාමය විසින් අනුගමනය කරන්නේ තමන්ට සංසන්දනාත්මක වාසියක් ඇති දේ අපනයනය කරන අතර එවැනි වාසියක් නැති දේ ආනයනය කිරීමේ ලිබරල් ප්‍රවේශයයි.

වියට්නාමය විසින් අපනයනය කරන දේවල් නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලද එරට තුළම නිපදවීමට උත්සාහ කළේනම් වියට්නාමයට මෙම අපනයන ඉලක්කයට යා හැකි වන්නේ නැහැ. නමුත්, ඒ හැම දෙයක්ම රට තුළ නිපදවීමෙහි සංසන්දනාත්මක වාසියක් නොමැති බව වියට්නාමය විසින් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා. වියට්නාමය විසින් කරන්නේ රට තුළ තරඟකාරී ලෙස නිපදවිය නොහැකි දේ ආනයනය කරමින් රට තුළ තරඟකාරී ලෙස කළ හැකි අගය එකතු කිරීම් කරන එක පමණයි.

ඉහත හේතුව නිසා වියට්නාමය විසින් අපනයන වෙළඳපොළ ඉලක්ක කරමින් කොයි තරම් විශාල නිෂ්පාදනයක් රට තුළ සිදු කළත්, ඒ මගින් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රට තුළට අද්දා ගත්තත්, එම විදේශ විණිමය ප්‍රමාණයෙන් වැඩි කොටසක් නැවත රටෙන් එළියට යනවා. රට තුළ මහා පරිමාණයෙන් විදේශ විණිමය සමුච්ඡය වීමක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවත්, භාණ්ඩ වෙළඳාම පමණක් සැලකුවහොත් වියට්නාමයේ විදේශ විණිමය අතිරික්තයක් දැකිය හැකියි.

භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 371,304

භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 345,587

වෙළද ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 25,717


මෙයට සාපේක්ෂව ලංකාවේ වෙළද ගිණුමේ දැකිය හැක්කේ හිඟයක්.

භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 13,106.4

භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 18,291.0

වෙළද ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 5,184.6

ලංකාවේ මෙම වෙළඳ හිඟයට හේතුවම ලංකාව ප්‍රමාණවත් තරමින් ලෝකයට විවෘත නොවීමයි. කෙසේ වුවත් කරුණක් සේ ගත්තොත්, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් පවතිද්දී වියට්නාමය විසින් අතිරික්තයක් පවත්වා ගන්නවා. ඒ නිසා, වියට්නාමයේ විශාල ලෙස විදේශ විණිමය ගොඩ ගැසෙනවාද?

වියට්නාමය භාණ්ඩ නිෂ්පාදනයේදී ලංකාවට වඩා තරඟකාරී වුවත්, සේවා නිෂ්පාදනයේදී ලංකාව වඩා තරඟකාරීයි. ලිපිය දිගු වන නිසා ඒ ඇයි කියා මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් පහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මේ කරුණ පැහැදිලි විය යුතුයි.

වියට්නාමයේ සේවා ගිණුම:

සේවා අපනයනය - ඩොලර් මිලියන 12,900

සේවා ආනයනය - ඩොලර් මිලියන 25,524

සේවා ගිණුමේ හිඟය - 12,624

සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල අතිරික්තය  - ඩොලර් මිලියන 13,093


ලංකාවේ සේවා ගිණුම:

සේවා අපනයනය - ඩොලර් මිලියන 3,062.3

සේවා ආනයනය - ඩොලර් මිලියන 952.7

සේවා ගිණුමේ අතිරික්තය - 2,109.6

සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 3,075.0

වියට්නාමය තරඟකාරී ලෙස රට තුළ භාණ්ඩ නිපදවා වෙළඳ අතිරික්තයක් පවත්වා ගත්තත්, සේවා නිෂ්පාදනයේදී ඒ තරඟකාරිත්වය නැති නිසා සේවා ගිණුමේ තියෙන්නේ හිඟයක්. වෙළඳ ගිණුමේ අතිරික්තයෙන් බාගයක් පමණ ඒ හිඟය පියවීම සඳහා වැය වෙනවා. මෙයින් වෙනස්ව, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයෙන් කොටසක් සේවා ගිණුමේ අතිරික්තය නිසා පියැවෙනවා.

රටකට ඩොලර් (විදේශ විණිමය) ලැබෙන්නෙත්, රටකින් විදේශ විණිමය පිට වන්නේත් භාණ්ඩ හා සේවා වෙළඳාම හරහා පමණක් නෙමෙයි.

රටකට විදේශ ආයෝජන පැමිණීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුනත් විදේශ ආයෝජකයින් මී කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. තමන්ගේ ආයෝජන වල ප්‍රතිලාභ ඔවුන් වාර්ෂිකව රටෙන් එළියට අරගෙන යනවා. සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් තිබෙන වියට්නාමයෙන් වසරකට මේ විදිහට එළියට යන විදේශ විණිමය ප්‍රමාණය ඉතාම විශාලයි.

ඉහත කී පරිදි විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවිය යුතු පොලී හා ලාභාංශ ලෙස රටින් පිටවන මුදල් හා එලෙසම රටට එන මුදල් සටහන් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමේ. 2022 වසරේදී වියට්නාමයේ ප්‍රාථමික ආදායම් ගෙවීම් ප්‍රමාණය ඩොලර් මිලියන 22,049ක්. ලංකාවේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,123.6ක් පමණයි. 

මෙහිදී සිදු වන්නේ ආයෝජකයින් විසින් වියට්නාමයේ අඩු ශ්‍රමයේ වාසිය ලබා ගනිමින් එරට තුළ භාණ්ඩ නිපදවා ලැබෙන ලාබය රටෙන් රැගෙන යාමක්. ලංකාවේද සිදු වන්නේ මෙයම වුවත් එසේ සිදු වන්නේ අඩු පරිමාණයකින්. 

මේ දෙරටේම රටින් පිටත ඇති ආයෝජන එතරම් විශාල නොවන නිසා ප්‍රාථමික ආදායම් ලැබීම් ප්‍රමාණ එම ගෙවීම් වලට සාපේක්ෂව ඉතාම අඩුයි. වියට්නාමයේ එම ප්‍රමාණය ඩොලර් මිලියන 2,321ක්. ලංකාවේ ඩොලර් මිලියන 249.4ක් පමණයි. කොහොම වුනත් මේ කාරණයේදී පවා වියට්නාමය ලංකාවට සාපේක්ෂව විවෘත බව කැපී පෙනෙනවා. වියට්නාමයේ විදේශ ආයෝජන වලින් ලැබෙන ආදායම ලංකාවේ එම ආදායම මෙන් දහ ගුණයකට ආසන්නයි.

ලංකාවේ වගේම වියට්නාමයේත් ප්‍රාථමික ආදායම් ගිණුම් වල දැකිය හැක්කේ හිඟයක්. එම හිඟය පියවීමෙන් පසුව මේ එක් එක් රටේ විදේශ විණිමය ප්‍රවාහ තුලනය වන්නේ කොහොමද?

සමස්තයක් ලෙස වියට්නාමයේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 6,635

සමස්තයක් ලෙස ලංකාවේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 4,949.1

පේනවානේ තත්ත්වය. වියට්නාමය විශාල නිෂ්පාදන ආර්ථිකයක් එක්ක විශාල වෙළඳ අතිරික්තයකින් පටන් ගත්තත්, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල ශේෂ එකතු කළාට පස්සේ රටේ විදේශ විණිමය හිඟය ලංකාවේ එම හිඟයටත් වඩා වැඩියි. වැඩියෙන් අපනයනය කළ පමණින්ම රටේ වැඩියෙන් ඩොලර් ඉතිරි නොවන බව මෙයින් පැහැදිලිව පේනවා ඇති.

රටකට විදේශ විණිමය එන්නේ ඔය ක්‍රම තුනට පමණක් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ ගැන කවුරුත් දන්නවනේ. ඒවා සටහන් වෙන්නේ ද්වීතියික ආදායම් ගිණුමේ. ලංකාවට වගේම වියට්නාමයටත් ශ්‍රමික ප්‍රේෂණ එනවා. ඒ වගේම, ඊට වඩා අඩු ප්‍රමාණයක් වුවත්, යම් විදේශ විණිමය ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටින් එළියටත් යනවා. ද්වීතියික ආදායම් ගිණුම ඉහත ගිණුම් තුනට එකතු කළාට පස්සේ තත්ත්වය කුමක්ද?

වියට්නාමයේ ද්වීතියික ආදායම් ගිණුම:

ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 12,213

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 6,652

ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 5,561

සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,074


ලංකාවේ ද්වීතියික ආදායම් ගිණුම:

ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 3,792.8

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 296.4

ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 3,496.4

සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,452.7


දැන් කතාව පැහැදිලි ඇතිනේ! 

සියලුම ඩොලර් ආදායම් හා ඩොලර් වියදම් තුලනය වුනාට පස්සේ ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,452.7ක හිඟයක් ඇති වෙලා. එම මුදල ආයෝජනයක් ලෙස හෝ ණයක් ලෙස රටට පැමිණිය යුතුයි. භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 371ක් උපයලා, ඩොලර් බිලියන 25.7ක වෙළඳ ගිණුම් අතිරික්තයක් එක්ක පටන් ගත්ත වියට්නාමයේ එහෙම වෙලා නැද්ද?

අවසාන ප්‍රතිඵලය දිහා බැලුවහම වියට්නාමයේ කියලත් වෙනසක් නැහැ. වියට්නාමය 2022 අවුරුද්ද අවසන් කරන්නේත් ඩොලර් බිලියනය ඉක්මවන ජංගම ගිණුම් හිඟයක් එක්ක. ඒ කියන්නේ උපයපු විදේශ විණිමය ප්‍රමාණය කොපමණ වුනත් ඊට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් වියදම් වෙලා. 

කොයි තරම් අපනයන කළත් රටක විදේශ විණිමය ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා, මොන විදිහකින් හෝ විදේශ විණිමය හොයන්න මහන්සි වෙන එක විදේශ විණිමය ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. ඒ වගේම, විදේශ විණිමය ප්‍රවාහ තුලනය කරගන්න ලොකුවට දඟලන්න අවශ්‍යත් නැහැ. විණිමය අනුපාතය නියම තැන තියෙනවානම් ඔය වැඩේ නිකම්ම වෙනවා.

අවදානමකට මුහුණ දීම සඳහා යම් විදේශ සංචිත ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, විදේශ විණිමය උපයලා ගොඩ ගහගෙන ඉන්න එකේත් තේරුමක් නැහැ. රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ උපයන විදේශ විණිමය වැය කරන විටයි. ඒ වගේම, විදේශ විණිමය රටට එනවානම් ඒ එන්නේ මොන විදිහටද කියන එකේ ලොකු වෙනසක් නැහැ. භාණ්ඩ අපනයනය කළත්, සේවා අපනයන කළත්, ප්‍රාග්ධනය "අපනයනය" කරලා ලාභ එකතු කළත්, ශ්‍රමය "අපනයනය" කරලා ශ්‍රමික ප්‍රේෂණ එකතු කළත් එන්නේ එකම ඩොලර්. රටකට වඩා පහසුවෙන් ඩොලර් උපයන්න පුළුවන් දේ කරනවා මිසක් මේ එක ක්‍රමයක් වෙනුවට වෙන ක්‍රමයක් යොදා ගන්න අවශ්‍ය නැහැ.

හරි. එතකොට වියට්නාමයේ මහ ලොකු නිෂ්පාදන ආර්ථිකය හෝ අපනයන ආර්ථිකය නිසා රටේ විදේශ විණිමය එකතු වෙන්නේ නැත්නම්, ඔය තරම් ලේසියෙන් විදේශ විණිමය ප්‍රශ්නය විසඳා ගන්නත් පුළුවන්නම්, අපනයන කරන්න ඔය තරම් මහන්සි විය යුත්තේ ඇයි?

ඒක වෙනම කතාවක්. ඒ වගේම වැදගත් කතාවක්. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න නෙමෙයි. විදේශ වෙළඳපොළ ඉලක්ක කර රටක නිෂ්පාදනය සිදු කරනවා කියන්නේ ගනුදෙනු හරහා ලෝකයම එක්ක සම්බන්ධ වෙනවා කියන එක. මෙහිදී විශාල අගය එකතු වීමක් වෙනවා. මෙය මුල් කොටසක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ලෝකයට විවෘත නොවී ඒ වගේ මට්ටමක අගය එකතු කිරීමක් කවදාවත් කරන්න බැහැ. 

රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්නේ මේ අගය එකතු වීමත්එක්ක. රටක ඒක පුද්ගල ආදායම වේගයෙන් ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. ලංකාව හා වියට්නාමය වැනි රට වලට කවදා හෝ සංවර්ධිත රටක් විය හැක්කේ මෙවැනි අගය එකතු වීම් වේගයෙන් සිදු වීමත් එක්ක.

විදේශ විණිමය ප්‍රශ්නය කියන්නේ ලොකු අමාරුවක් නැතිව පහසුවෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක්. ඒ සඳහා අපනයන පරිමාව විශාල ලෙස වැඩි කරගන්න අවශ්‍ය නැහැ. නමුත්, රට ඉදිරියට යන්නනම්, එහෙම ගිහින් කවදා හෝ සංවර්ධිත රටක් වෙන්නනම් අපනයන අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ආනයන වැඩි නොකර අපනයන විතරක් වැඩි කරන්න බැහැ. ඔය දෙකම යන්නේ එකට. මේ පාරේ යද්දී රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම රටේ හදන්න උත්සාහ කළ යුතු නැහැ. වඩා තරඟකාරී ලෙස හැදිය හැකි, සංසන්දනාත්මක වාසියක් තියෙන දේවල් වෙත අවධානය යොමු කිරීම ප්‍රමාණවත්. ඒ වගේම රටට ඩොලර් එනවානම් ඒ එන ක්‍රමය එතරම් වැදගත් නැහැ.

Friday, January 19, 2024

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා "කොටස්කරණය"


වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු.

පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වූ රටක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වියට්නාමයේ, කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වුනා. ඒ කියන්නේ 1986 වන තුරු වියට්නාමයේ ව්‍යවසාය කියන්නේ රාජ්‍ය ව්‍යවසායම තමයි.

සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ මෙන්ම ඊට පෙර ඇතැම් වකවානු වලදීද ලංකාව මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් වෙත ටිකෙන් ටික විතැන් වුනත් ලංකාවේ වියට්නාමයේ මෙන් පූර්ණ මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ පැත්තට ටිකෙන් ටික යද්දී රටේ මිනිස්සු ආණ්ඩුව මාරු කළා. 

"ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලට පෙර වියට්නාමයේ රාජ්‍ය අංශය ලංකාවේ රාජ්‍ය අංශය හා සම කළ හැකි මට්ට්මක තිබුණු එකක් නෙමෙයි. ඒ වගේ තැනක ඉඳන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ පටන් ගෙන දශක ගණනක් ගියාට පසුවත් රටක සැලකිය යුතු රාජ්‍ය අංශයක් ඉතිරි වෙනවා. වියට්නාමයේ තරම් විශාල රාජ්‍ය අංශයක් කෙදිනක හෝ නොතිබුණු ලංකාවේ පවා තවමත් සැලකිය යුතු තරමේ විශාල රාජ්‍ය අංශයක් තියෙද්දී කලකට පෙර පූර්ණ රාජ්‍ය අංශයක් පැවති වියට්නාමයේ එය එසේ නොවෙන්න හේතුවක් නැහැනේ.

වැදගත් කරුණ වන්නේ කාලයක සිටම වියට්නාමය විසින් එරට රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරමින් සිටිනවා කියන එකයි. හැබැයි ඔවුන් එසේ කිරීමේදී "පෞද්ගලීකරණය" යන වචනය හැම විටම භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට වියට්නාමය වැඩිපුර භාවිතා කරන්නේ "කොටස්කරණය (equitisation)" යන වචනයයි. ඒක ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී "ප්‍රසස්තකරණය" යන වචනය භාවිතා කළා වගේ දෙයක්. "Equitisation" (වියට්නාම් භාෂාවෙන් Cổ phần hóa) යන වචනය "වියට්නාම් ඉංග්‍රීසි" වචනයක් සේ සැලකෙනවා.

අවශ්‍යනම් කෙනෙකුට කොටස්කරණය කියන්නේ පෞද්ගලීකරණය නෙමෙයි කියා තර්ක කරන්න පුළුවන්. එවැනි තර්ක වලට පිළිතුරු දීම සඳහා කාලය නාස්ති කරන්න අදහසක් නැහැ. නම මොකක් වුනත් වියට්නාමයේ වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය වල අයිතිය කොටස් කර එම කොටස් දේශීය හා විදේශීය පෞද්ගලික අංශයට විකුණන එකයි. 

වියට්නාමයේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය පටන් ගත්තේ කෘෂිකාර්මික අංශයෙන්. එහිදී සමූහ ගොවිපොළ ක්‍රමය වෙනුවට පෞද්ගලික ඉඩම් අයිතිය ආදේශ වුනා. එම ප්‍රතිසංස්කරණය පමණක්ම වුනත් රටේ ආහාර ප්‍රශ්නය හා දරිද්‍රතා ප්‍රශ්නය බොහෝ දුරට විසඳුවා.

පෙර ලිපියේ සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, වියට්නාමයේ පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විශාල වෙනස්කම් තිබෙනවා. 2009දී පළ කළ එක්තරා පර්යේෂණ පත්‍රිකාවකට අනුව [1], කිසියම් පළාතක ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණයේ ඝනත්වය වැඩි වන තරමට එම ප්‍රදේශයේ ඒක පුද්ගල ආදායම අඩුයි. එය සිදු වන යාන්ත්‍රනයද එම පර්යේෂණ පත්‍රිකාවේ විස්තර කරනවා.

[1] Van Thang, N., and N. Freeman, 2009, “State-Owned Enterprises in Vietnam: Are They ‘Crowing Out’ the Private Sector?” Post-Communist Economies, Vol. 21, pp. 227–247.

කිසියම් පළාතක රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය වැඩි තරමට එම රාජ්‍ය ව්‍යවසාය සඳහා රජයෙන් ලැබෙන වැඩි ප්‍රමුඛතාවය නිසා පෞද්ගලික ව්‍යවසාය වලට කුඩම්මාගේ සැලකිලි ලැබීමේ ප්‍රවණතාවද වැඩියි. උදාහරණයක් ලෙස එවැනි පළාත් වල පෞද්ගලික ආයෝජකයෙකුට බැංකු ණයක් ලබා ගැනීම වඩා අසීරුයි. ඒ නිසා, එවැනි පළාත් වල පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාකාරිත්වය අඩුයි. පෞද්ගලික ව්‍යවසාය වල දායකත්වය අඩු නිසා ආර්ථික ක්‍රියාකාරකම් වල කාර්යක්ෂමතාවයද අඩුයි. ඒ නිසා, ඒක පුද්ගල ආදායමද අඩුයි. 

කෙසේ වුවත්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වියට්නාමය පවා මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පෞද්ගලික අංශය වෙත විතැන් කරමින් සිටිනවා. පහත සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව දැකිය හැකි පරිදි වියට්නාම් දදේනිය තුළ ඇති රාජ්‍ය භාගය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වෙනවා.

Year

State share of GDP (%)

2005

37.62

2006

36.69

2007

35.35

2008

35.07

2009

34.72

2010

24.18

2011

23.59

2012

23.56

2013

23.30

2014

23.08

2015

22.84

2016

22.78

2017

22.31

2018

21.34

2019

20.59

2020

20.67

2021

20.81

2022

20.53

පහත තිබෙන්නේ 2000 වසර සිට ගත වූ කාලය තුළ වියට්නාමයේ ව්‍යවසාය හිමිකාරිත්වයේ සංයුතිය වෙනස් වූ ආකාරයයි.

රාජ්‍ය අංශය:
2000- 5,759 (13.62%)
2021- 1,906 (0.27%)

රාජ්‍ය නොවන දේශීය:
2000- 35,004 (82.77%)
2021- 694,121 (96.59%)

විදේශීය:
2000- 1,525 (3.61%)
2021- 22,610 (3.15%)

මෙම කාලය තුළ රාජ්‍ය නොවන දේශීය ව්‍යවසාය ප්‍රමාණය විසි ගුණයකින්ද, විදේශ සමාගම් ප්‍රමාණය පහළොස් ගුණයකින්ද වැඩි වෙද්දී රාජ්‍ය ව්‍යවසාය ගණන තුනෙන් එකක් දක්වා අඩු වී තිබෙනවා. මීටත් වඩා කැපී පෙනෙන්නේ මෙම කාලය තුළ සේවා නියුක්ති සංයුතියේ සිදු වූ වෙනස් වීමයි.

රාජ්‍ය අංශය:
2000- 2,088,531 (59.05%)
2021- 978,200 (6.61%)

රාජ්‍ය නොවන දේශීය:
2000- 1,040,902 (29.43%)
2021- 8,604,400 (58.14%)

විදේශීය:
2000- 407,565 (11.52%)
2021- 1,044,851 (18.11%)

දැනටත් වියට්නාම් රජය සතුව ව්‍යවසාය සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. 2021 වන විට මෙම ප්‍රමාණය 1,906ක්. එහෙත්, එම රාජ්‍ය ව්‍යවසාය වලින්ද වියට්නාම් රජයට පූර්ණ අයිතියක් තිබෙන්නේ ව්‍යවසාය 877ක පමණයි. ඉතිරි ව්‍යවසාය 1,029හිද 50% නොඉක්මවන කොටස් යම් ප්‍රමාණයක් දේශීය හා විදේශීය ආයෝජකයින්ට විකුණා අවසන්. 

වියට්නාම් රජය ඉතිරි රාජ්‍ය ව්‍යවසාය සියල්ල හැකි ඉක්මනින් මොන විදිහකින් හෝ විකුණා දැමීමේ ඉලක්කයක නැහැ. උපාය මාර්ගිකව වැදගත් සේ හඳුනා ගන්නා ක්ෂේත්‍ර වල රාජ්‍ය ව්‍යවසාය වල කළමනාකරණ අයිතිය ඉක්මනින් අත නොහැර 50%ක කොටස් අයිතිය දිගටම තබා ගැනීමේ උත්සාහයක වියට්නාම් රජය නිරතව සිටිනවා. එහෙත්, මෙම ප්‍රවේශය ආයෝජකයින්ට ආකර්ශනීය නැහැ. ප්‍රායෝගිකව මේ වන විට පවතින තත්ත්වය වනුයේ ඉතිරි වී තිබෙන රාජ්‍ය ව්‍යවසාය වල කොටස් පහසුවෙන් විකිණිය නොහැකි වීමයි. 

පහත තිබෙන්නේ පසුගිය කාලයේදී වියට්නාම් රජය විසින් "කොටස්කරණය" කළ, එහෙත් තවමත් රජය සතුව වැඩි හෝ සැලකිය යුතු කොටස් අයිතියක් තිබෙන, රාජ්‍ය ව්‍යවසාය දහයක්.

වියට්කොම් බැංකුව (Vietcombank): ඩොලර් බිලියන 15 ඉක්මවන වටිනාකමක් ඇති, විසි දහසකට වැඩි පිරිසක් සේවය කරන බැංකුවක්.  2008 වසරේදී රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ නියාමක ව්‍යාපෘතියක් ලෙස මෙම බැංකුවේ කොටස් සාර්ථක ලෙස වෙන්දේසි කරනු ලැබුවා.

වියටින් බැංකුව (Vietinbank): ඩොලර් බිලියන 75 ඉක්මවන වත්කම් ඇති වියට්නාමයේ දෙවන විශාලතම බැංකුවයි. තවමත් මෙහි වැඩි කොටස් අයිතිය වියට්නාමයේ මහ බැංකුවට වුවත් මෙම බැංකුවද 2009දී කොටස්කරණය කරනු ලැබුවා. සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ජපානයේ මිට්සුබිෂි සමාගම සතුයි.

බාඕ වියට් (Bao Viet): වියට්නාමයේ ලොකුම රක්ෂණ සමාගමයි. 2007දී "කොටස්කරණය" කළ මෙම සමාගමේ කොටස් HSBC සහ ජපානයේ සුමිටෝමෝ රක්ෂණ සමාගම සතුයි.

වියට්නාම් වානේ සංස්ථාව: වියට්නාමයේ විශාලතම වානේ නිෂ්පාදකයා වන මෙම ආයතනය 2010 වසරේදී කොටස්කරණය කරනු ලැබුවා.

වියට්නාම් ඖෂධ සංස්ථාව (විනාපාර්ම්): වියට්නාමයේ විශාලතම ඖෂධ සමාගමයි. 1971දී ආරම්භ කළ මෙම ආයතනයේ කොටස් 2016දී වෙන්දේසි කෙරුණා.

වියට්නාම් එයාර්ලයින්ස්: වැඩි අයිතිය තවමත් රජයට වුවත් 2014 වසරේදී කොටස්කරණය කළා. 

පෙට්‍රොලිමෙක්ස් (Petrolimex) සමාගම: වියට්නාමයේ ප්‍රධානම ගෑස් හා තෙල් නිෂ්පාදන සමාගමයි. මුලින්ම 2011 වසරේදී කොටස්කරණය කරනු ලැබූ අතර පසුව තවත් කොටස් විකුණා දමනු ලැබුවා.

විනාමිල්ක්: කලකට පෙර 1976 වසරේදී මධ්‍යගත සැලසුම් ආර්ථික ප්‍රතිපත්ති යටතේ නෙස්ලේ සමාගම ඇතුළු පෞද්ගලික කිරි නිෂ්පාදන සමාගම් තුනක් රජයට පවරාගෙන වියට්නාමයේ ප්‍රධානම කිරි නිෂ්පාදන ආයතනය බවට පත් වුනා. මේ වන විට මෙම සමාගමේ වැඩි කොටස් අයිතිය විදේශ සමාගම් සතුයි. රජය සතුව ඇති කොටස් ප්‍රමාණය 36%ක් පමණයි. 

සැබෙකෝ (Sabeco): වියට්නාමයේ ප්‍රධාන බීර නිෂ්පාදන සමාගමයි. 2008 වසරේදී කොටස්කරණය කළ මෙම සමාගමේ කොටස් වලින් 36%ක් තවමත් රජය සතුයි. වැඩි කොටස් අයිතිය තායි සමාගමකටයි. 

හබෙකෝ (Habeco): මෙය වියට්නාමයේ තෙවන විශාලතම බීර නිෂ්පාදන සමාගමයි. තවමත් වැඩි කොටස් අයිතිය රජයට වුවත් කාල්ස්බර්ග් සමාගමට සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් විකුණා දමා තිබෙනවා.

වියට්නාමය ඒක පුද්ගල ආදායම අනුව ලංකාව සිටින මට්ටමට පැමිණ තිබෙන්නේ ලිපියේ ඉහත විස්තර කර ඇති මට්ටමේ පෞද්ගලීකරණයක් කරමිනුයි. කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් මෙම පෞද්ගලීකරණ ක්‍රියාවලිය දිගටම සිදු වෙමින් පවතින්නක්. වියට්නාමයට දැන් සිටින තැනින්, ඒ කියන්නේ ලංකාව සිටින තැනින්, ඉදිරියට යද්දී රාජ්‍ය අංශය තව දුරටත් දිය වෙන බව ඉතාම පැහැදිලියි. ඉගෙනගන්නවානම් "රතු වියට්නාමයෙන්" වුනත් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. 

Wednesday, January 17, 2024

වියට්නාමයේ ආදායම් විෂමතා හා ඉදිරි සැලසුම්

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ධනවාදී ප්‍රවේශය වන්නේ ධනය උත්පාදනය කළ හැකි අයට ඒ සඳහා හැකි පමණින් පහසුකම් සැලසීම මගින් පොදුවේ රටක ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමයි. ධනය උත්පාදනය කළ හැකි අයට එසේ කිරීමේදී ඇති වන බාධක හැකි පමණින් ඉවත් කර දීමයි. මෙයින් වෙනස්ව, සමාජවාදී ප්‍රවේශයේදී ආදායම් විෂමතා අවම කිරීම ප්‍රමුඛතාවයක් ලෙස සලකනවා.

පසු ගිය ලිපි කිහිපයකින්ම අපි වියට්නාමය ගැන කතා කළා. සමාජවාදී පාරේ ගිය කියුබාව, වෙනිසියුලාව වැනි රටවල් ගැන දැන් කවුරුවත් කතා නොකරන තරම්. නමුත් චීනය, වියට්නාමය වැනි රටවල් ගැන යම් සාකච්ඡාවක් සිදු වෙනවා. ඉන්දියාව හා චීනය වැනි විශාල රටක ආර්ථික ප්‍රතිපත්ති ලංකාව සමඟ සංසන්දනය කරන්න අමාරුයි. ඊට සාපේක්ෂව වියට්නාමය කියන්නේ ලංකාව සමඟ සංසන්දනය කළ හැකි ආර්ථිකයක් තිබෙන, එහෙත් කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති රටක්. 

අවසාන වශයෙන් වියට්නාමය විසින් ලබා තිබෙන ජයග්‍රහණය වියට්නාම් ජාතිකයින්ගේ ජීවන තතත්ත්වය ලංකාවේ මට්ටමට ඔසොවා තැබීම වුවත්, එය එරට ආර්ථික ප්‍රතිපත්ති වල සාර්ථකත්වය පිළිබඳ පිළිබිඹුවක් ලෙස අර්ථකථනය කළ හැකියි. මෙය සිදු වන්නේ වෙනස් දේශපාලන ආකෘතියක් ඇතුළතයි. එහි අමතර වාසි තිබේද? එසේ තිබේනම් ඒ මොනවාද?

අප දන්නා පරිදි ලංකාවේ පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විෂමතා තිබෙනවා. ඇතැම් අය මෙය නිවැරදි කළ යුතු වරදක් සේ දකිනවා. අපගේ අදහස වන්නේ ආදායම් විෂමතා අවම කිරීම ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉලක්කයක් නොවිය යුතුය යන්න නොවෙයි. පැහැදිලි ලෙසම අප ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ඉලක්කය තුළ කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ තිබෙන වියට්නාමය ලංකාවට වඩා කොයි තරම් සාර්ථක වී තිබේද?

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ වියට්නාමයේ එක් එක් පළාතේ ඒක පුද්ගල ආදායම. Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායම ඩොන් මිලියන 357ක්. ඒ කියන්නේ ඩොලර් 15,500ක් පමණ. Ha Giang පළාතට යද්දී මෙය ඩොන් මිලියන 33ක් පමණ දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ ඩොලර් 1,450ක් පමණ. මෙය Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායමෙන් 9.4%ක් පමණයි. සුළු පටු විෂමතාවයක් නෙමෙයි.

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ධනය උත්පාදනය වන තැන ධනය උත්පාදනය වීමට ඉඩ සලසන්න මිසක් රටේ හැම පළාතක්ම එක සමානව දියුණු කරන්න නෙමෙයි. වියට්නාමයේ ආර්ථික ජයග්‍රහණ වල රහස එහි විදේශ ආයෝජන. මේ ආයෝජන සිදු කරන ආයෝජකයින් විසින් එසේ ආයෝජන කරන්නේ ඒ සඳහා වඩාත්ම යෝග්‍ය ප්‍රදේශ වල මිසක් වියට්නාම් රජයට අවශ්‍ය තැන් වල නෙමෙයි. වියට්නාමයේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඒ බව නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා.

වියට්නාමයේ ආයෝජකයින් එරටට ආකර්ශනය වී තිබෙන්නේ ලාබ ශ්‍රමය නිසා. වියට්නාම් රජය විසින් කරන්නේ ඔවුන්ට තම රටෙන් ලාබ ශ්‍රමය ලබා ගැනීමට පහසුකම් සලසන එකයි. දේශපාලනිකව හරි වුනත්, වැරදි වුනත් කරුණු සහගතව පෙන්වා දිය හැකි පරිදි වියට්නාමයේ සිදු වන්නේ මෙයයි. එම ආයෝජන නිසා වියට්නාමයට විදේශ විණිමය ලැබෙනවා වගේම එසේ ලැබෙන විදේශ විණිමය වලින් සැලකිය යුතු පංගුවක් එම ආයෝජකයින්ගේ ලාබ ලෙස වාර්ෂිකව රටෙන් එළියට යනවා. මේ හා අදාළ නිශ්චිත සංඛ්‍යාලේඛණ ඉදිරි ලිපියක ඉදිරිපත් කෙරෙනු ඇති. 

වියට්නාමයේ සෘජු ආයෝජන හරහා ඉහළ ගොස් ඇති නිෂ්පාදිතයෙන් රටේ ඉතිරි වන්නේ ශ්‍රමිකයින්ගේ පංගුවයි. එම පංගුවෙන් ඔවුන් ඉතිරි කර ගන්නා කොටස දේශීය ආයෝජන බවට පත් වෙනවා. ඒ හරහා රට තුළ ප්‍රාග්ධනය ගොඩනැගීමක්ද වෙනවා. ඊට අමතරව, වියට්නාමයට වෙනත් ආකාරයකින් පහසුවෙන් ලබා ගත නොහැකි තාක්ෂනය මේ විදේශ ආයෝජන හරහා ඉක්මණින් ලැබෙනවා.

ආයෝජන කලාප ආදිය හරහා රටක රජයකට කිසියම් ආකාරයකින් රට තුළ ආයෝජන සිදු කෙරෙන ආකාරය පාලනය කළ හැකි වුවත්, කවර පහසුකම් ලබා දුන්නත් ඒ හේතුව නිසාම ආයෝජකයින් රටේ ඕනෑම තැනකට එන්නේ නැහැ. ආයෝජකයින් හොයන්නේ ඔවුන්ට සාපේක්ෂව ප්‍රසස්තම තැනක්.  Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායම ඉහල මට්ටමක තිබෙන්නේ එම පළාත වියට්නාමයේ ඉන්ධන හා විදුලිබල නිෂ්පාදන කර්මාන්ත වල කේන්ද්‍රය වීම නිසා වගේම සෘජු විදේශ ආයෝජන වල හා සංචාරක කර්මාන්තයේද දායකත්වය නිසා. මේවා ඉල්ලුම මත තීරණය වන දේ මිසක් රජයට කැමති විදිහට සැලසුම් කළ හැකි දේ නෙමෙයි. මෙයින් වෙනස්ව චීනයට මායිම්ව පිහිටි කඳුකර, කැලෑබද, පළාතක් වන  Ha Giang තවමත් කෘෂිකාර්මික ප්‍රදේශයක්. 

මේ වෙනස්කම් වගේම ඓතිහාසික තත්ත්වයන්ද පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විෂමතා වලට හේතු වෙනවා. උතුරු වියට්නාමය හා දකුණු වියට්නාමය එකතු වෙන්න කලින් Ha Giang පළාත උතුරු වියට්නාමයේ කොටසක්. නමුත්,  Ba Ria - Vung Tau පළාත ඒ කාලයේ බටහිර කඳවුර සමඟ සිටි දකුණු වියට්නාමයේ කොටසක්. මේ වගේ ඓතිහාසික වෙනස්කම් මිනිසුන්ගේ ආකල්ප කෙරෙහිද බලපානවා.

කොහොම වුනත් වැදගත්ම කරුණ වන්නේ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය විසින් මේ වන විට උත්සාහ කරන්නේ ආදායම් ඉපැයිය හැකි තැන් වලින් හැකි තරමින් ආදායම් උපයන්න මිසක්, රටේ ආදායම් විෂමතා අවම වන පරිදි එය කරන්න නෙමෙයි. 2045දී වියට්නාමය සංවර්ධිත රටක් කිරීමේ ඉලක්කය ඔවුන් සාක්ෂාත් කර ගන්න යන්නේ පෞද්ගලික අංශය මුල් වූ ආර්ථික ක්‍රියාකාරකම් හරහා මිසක් රජය සෘජුව ආර්ථික ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම මගින් නෙමෙයි.

පහත කොටස් උපුටා පළ කරන්නේ ඉතා මෑතකදී (2023 ඔක්තෝබර් 10) වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් සම්මත කළ වියට්නාම් ව්‍යවසායකයින් බලගැන්වීම ඉලක්ක කර ඇති ප්‍රතිපත්ති තීරණයකින්.

"Over the past 37 years of free-market reforms, the Vietnamese business community has not only expanded in numbers but has also demonstrated remarkable qualitative advancements. With over 1.3 million newly registered enterprises from 2011 to 2022, constituting 69.11% of total establishments since the introduction of the enterprise law, the current landscape boasts over 900,000 businesses, more than 5 million business households..."

මතක තියාගන්න මෙහි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් කියන්නේ නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ ගැන මිසක් වෙළඳපොළ වෙත රජය මැදිගත්වීමක් ගැන නෙමෙයි. වියට්නාමය යන්නේ ලංකාව සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ ගිය පාරේම තමයි. හැබැයි ඒ ගිය පැත්තට නෙමෙයි. ප්‍රතිවිරුද්ධ පැත්තට!

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන්නේ පෙර නිකුත් කර තිබුණු ප්‍රතිපත්ති ප්‍රකාශයක් අවලංගු කරමිනුයි. එහි අනාගත වියට්නාමය තුළ පෞද්ගලික අංශයේ භූමිකාව ගැන කියවෙන්නේ මෙවැනි දෙයක්.

"The government’s recent resolutions on economic development aimed to foster economic groups, with a particular emphasis on nurturing formidable private economic entities. As Vietnam sets its sights on achieving 1.5 million enterprises by 2025, including 60,000 to 70,000 medium and large-scale enterprises, the goal for 2030 is to establish at least 2 million businesses. The aim is to develop robust private economic groups with the potential for competitiveness in both domestic and international markets."

"In pursuit of creating leading enterprises with global competitiveness, adept at mastering domestic value chains and integrating into the global value chain,... involves fostering a unified awareness and ideology regarding private economic development, acknowledging its pivotal role in driving economic progress. An essential aspect of this initiative involves refining the legal framework for economic group development, including clearly defining the legal nature and model of economic groups, refining the nomenclature for private economic groups, and enhancing legal solutions for capital mobilization, accumulation, and concentration for private economic corporations."

මෙහි කතා කරන්නේ ලෝකය සමඟ තරඟ කළ හැකි පෞද්ගලික සමාගම් ගැනයි. සමාජවාදී පාරේ ගොස් ආපසු එමින් සිටින වියට්නාමය දැන් උත්සාහ කරන්නේ හැකි තරම් ඉක්මණින් එරට ආර්ථික ක්‍රියාකාරකම් පෞද්ගලික අංශය වෙත විතැන් කිරීමටයි. මෙහි පසුබිම විස්තර කරමින් ඔවුන් විස්තර කරන්නේ "රටේ දියුණුව වෙනුවෙන් පෞද්ගලික අංශය මුල් වූ ආර්ථික ක්‍රියාකාරකම් කොයි තරම් වැදගත්ද කියන එක මේ වෙද්දී පක්ෂයේ සාමාජිකයින් හා නායකයින් තේරුම් අරගෙනයි ඉන්නේ" කියන එකයි.

"It recognizes that the Party committees, Party organizations, and political and social systems have improved their awareness of the importance of enterprise and entrepreneur development."

ඇතැම් අය වියට්නාමය විසින් අතහැර දමා ඇති අතීත ප්‍රතිපත්ති වැළඳ ගැනීමේ අනුරාගයකින් පෙළෙද්දී, වියට්නාමය විසින් කරන්නේ තමන්ගේ පරණ ප්‍රතිපත්ති වලින් ටිකෙන් ටික බැහැර වෙමින් වෙළඳපොළ වෙතත්, පෞද්ගලික අංශය මුල් වූ ආර්ථිකයක් වෙතත්, වඩ වඩා නැඹුරු වෙමින් ආර්ථිකය මත රාජ්‍ය අංශයේ බලපෑම් ක්‍රමයෙන් ඉවත් කරන එකයි.

Tuesday, January 16, 2024

ලෝකයට විවෘත වූ වියට්නාමය

වියට්නාම් සමාජවාදී ජනරජය හෙවත් කෙටියෙන් වියට්නාමය කියා කියන්නේ, එරට විසින් කාලයක් තිස්සේ අනුගමනය කළ මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් විදිහට, අර එක්තරා දේශපාලනඥයෙකුගේ වචන වලින් කිවුවොත්, "කුල්ල කුජීත වී" සිටි රටක්. රටේ ජනතාවගෙන් 60%ක් දරිද්‍රතාවයෙන් පෙළුණු, උද්ධමනය 400% ඉක්මවා තිබුණු, විදුලි බලය නැතිව නිරන්තරයෙන් අඳුරේ සිටින්නට සිදුව තිබුණු, සලාක ක්‍රමයට පමණක් හාල් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකි වූ, එවකට ලෝකයේ දිළිඳුතම රටක් වූ වියට්නාමය චීනයේ ආර්ථික වර්ධන වේගයට පමණක් දෙවෙනි වූ වේගයකින් වර්ධනය වී ලංකාවේ තරමටම ඒක පුද්ගල ආදායමක් උපයන රටක් බවට පත් වුනේ කොහොමද? 

මේ වෙනසේ ආරම්භය 1986දී සිදු වූ "ඩොයි මූයි" ලෙස හැඳින්වෙන ප්‍රතිසංස්කරණ හේතුවෙන් රටේ ඇති වූ වෙනසයි. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ හයවෙනි ජාතික කොන්ග්‍රසය තුළ අනුමත වී ක්‍රියාත්මක කෙරුණු මෙම ප්‍රතිසංස්කරණ වල නිල අරමුණ වූයේ වියට්නාමය "සමාජවාදය වෙත නැඹුරු වූ වෙළඳපොළ ආර්ථිකයක්" බවට ක්‍රමයෙන් පරිවර්තනය කිරීමයි. 

අද වන තුරුද වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ තිබෙන වියට්නාම් සමාජවාදී ජනරජය දේශපාලනික වශයෙන් තව දුරටත් සමාජවාදී රටක්. එහෙත්, ඉහත සඳහන් "ඩොයි මූයි" ලෙස හැඳින්වෙන ප්‍රතිසංස්කරණ වලින් පසුව, එරට ආර්ථිකය ක්‍රමයෙන් ලෝකයට විවෘත, වෙළඳපොළ ආර්ථිකයක් කරා පරිවර්තනය වී තිබෙනවා.

සෝවියට් සමාජවාදී ක්‍රමයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ආනයන සම්බන්ධ ප්‍රතිපත්තිය වූයේ රටේ හදා ගත හැකි දේ රට තුළ හදා ගන්නා අතර රටේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කිරීම ලෙස දළ වශයෙන් විස්තර කළ හැකියි. "ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලට පෙර වියට්නාමයේ ක්‍රියාත්මක වූයේද, සමගි පෙරමුණු යුගයේ ලංකාවේ ක්‍රියාත්මක වූයේද, මෙම ප්‍රතිපත්තියයි. 

විශාල රටක් වූ සෝවියට් දේශයට ඉහත ප්‍රතිපත්තිය නිසා විශාල හානියක් වූයේ නැහැ. ආර්ථිකය විවෘතව පැවතියේ වුවද එවැනි විශාල රටකට අවශ්‍ය බොහෝ දේ එරට තුළම නිපදවා ගැනීම සාමාන්‍ය තත්ත්වය විය හැකිව තිබුණා. වත්මන් ඇමරිකාව දෙස බැලූ විට මෙය පැහැදිලි වෙනවා. නමුත්, මේ විදිහේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියකින් වියට්නාමය ඇතුළු වෙනත් ගොඩක් රටවල ආර්ථිකයන් එක තැන පල් වෙමින් අර්බුදයට යන එකයි වුනේ. එවැනි රටවල් "පණ බේරා ගත්තේ" සෝවියට් දේශයෙන් එක දිගටම ලැබුණු ආධාර වලින්. වියට්නාමය "ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලින් පටන් අරගෙන රට ලෝකයට සම්බන්ධ කරන්නේ ඔය වගේ පසුබිමකයි. 

රටක ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරද්දී වැදගත් වෙන්නේ ඒ රටේ නමට "සමාජවාදී" කෑල්ලක් තියෙනවද, පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන්ද වගේ දේවල් වලට වඩා ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඇත්තටම වෙන්නේ කුමක්ද කියන එකයි. රටේ නමේ "සමාජවාදී" කෑල්ල තිබුණත්, කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ තිබුණත්, වියට්නාමය මධ්‍යගත සැලසුම් ක්‍රමයේ සිට, වෙළඳපොළ මූලධර්ම අනුගමනය කරමින් සෑහෙන දුරක් ඇවිත් තිබෙනවා. රට අද තිබෙන තැනට ඇවිත් තියෙන්නේ මේ විදිහට කරපු ප්‍රතිසංස්කරණ නිසා.

"ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වලින් අවුරුදු කීපයක් යද්දී රටට රූපවාහිණී, රෙදි සෝදන යන්ත්‍ර ආදිය එනවා. පෞද්ගලික ව්‍යාපාර ආරම්භ වෙනවා. ඒ එක්කම රටට සෘජු විදේශ ආයෝජන ගලා ගෙන එනවා. 

"ඩොයි මූයි" ප්‍රතිසංස්කරණ වල පළමු ඉලක්කය රටේ සාර්ව ආර්ථිකය ස්ථායී කරන එක. හරියට ලංකාවේ දැන් සිද්ධ වෙනවා වගේ. මේ දේවල් වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතුවයි. ඒ අනුව, මිල පාලනයන් ටිකෙන් ටික ඉවත් වෙනවා. පොලී අනුපාතික ඉහළ දැමෙනවා. අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය වලට ලබා දුන් සහනාධාර ඉවත් කෙරෙනවා. වියට්නාම් මුදල් ඒකකය වන ඩොං එක සැලකිය යුතු ලෙස අවප්‍රමාණය කෙරෙනවා. 

ඔව්. මේක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාන්‍ය ප්‍රතිකාර වට්ටෝරුව. මේ වට්ටෝරුව ක්‍රියාත්මක වෙන්නේ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ. ඒ කරපු දේවල් වල යහපත් ප්‍රතිඵල තමයි වියට්නාමය අද අත් විඳින්නේ. මේ කරපු දේවල් නිසා 300%-400% වගේ මට්ටමක තිබුණු උද්ධමනය 8% මට්ටම දක්වා පහත වැටෙනවා. එය අලුත් පටන් ගැන්මක්.

මුලින්ම කෘෂිකාර්මික අංශයේ ප්‍රතිසංස්කරණ වලට වැඩි අවධානයක් යොමු කෙරෙනවා. සමූහ ගොවිපොළ විසුරුවා හැරලා ඉඩම් ප්‍රතිසංස්කරණ හරහා පෞද්ගලික අයිතිය මත පදනම් වූ ක්‍රමයක් වෙත විතැන් වෙනවා. රාජ්‍ය ව්‍යවසාය වලට මධ්‍යගත සැලසුමෙන් නිදහස් වී නිෂ්පාදනය, මිල හා බඳවා ගැනීම් ගැන තීරණය කරන්න ඉඩ ලැබෙනවා. ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වෙද්දී නිෂ්පාදනය දිරිමත් වී කෘෂිකාර්මික අංශය පණ ගසා නැගිටිනවා.

කෘෂිකාර්මික අංශය ඔලුව උස්සාගෙන එද්දී රටේ ආහාර ප්‍රශ්නය විසඳෙනවා. ඊට පස්සේ දෙවන ඉලක්කය වන්නේ වියට්නාමය ලෝකය එක්ක ඒකාබද්ධ කරන එක. මෙය ඉලක්ක කර ගනිමින් වියට්නාමය විසින් වෙළඳ ගිවිසුම් ගණනාවක් අත්සන් කරනවා. රටට සෘජු විදේශ ආයෝජන ගලා ගෙන එනවා. ඒ වගේම රටේ ඇතැම් ව්‍යාපාර රටෙන් එළියටත් යනවා. අද වන විට වියට්නාමය ලෝකයේ විවෘතම රටවල් වලින් එකක්.

රටක අපනයන වැඩි කර ගන්නනම් ආනයන ප්‍රමාණයද ඉහළ යන්න ඉඩ දෙන්න වෙනවා. ආනයන වලට වැට බඳිමින් අපනයන දියුණු කරන්න බැහැ. 1988දී වියට්නාමයේ භාණ්ඩ හා සේවා ආනයන වියදම එරට දදේනියෙන් 15.0%ක් පමණයි. 2022 වන විට මෙය දදේනියෙන් 91.7%ක් වෙලා. ආනයන වියදම මේ තරම් ඉහළ යද්දී, රටකට විදේශ විණිමය ප්‍රශ්න එන්නේ නැද්ද?

කිසිසේත්ම නැහැ. 1988දී වියට්නාමයේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම එරට දදේනියෙන් 3.9%ක් පමණයි. 2022 වන විට මෙම අගය දදේනියෙන් 94.0%ක් වෙලා. ඒ කියන්නේ, 1988දී දදේනියෙන් 11.1%ක් වූ විදේශ අංශයේ සම්පත් හිඟය, 2022 වන විට දදේනියෙන් 2.3%ක සම්පත් අතිරික්තයක් බවට පත් වෙලා. වියට්නාම් නිදර්ශනයෙන් පැහැදිලිව පෙනෙන්නේ රටක විදේශ අංශය ශක්තිමත් කර ගත හැක්කේ ආනයන පාලනය කිරීමෙන් නොව වඩ වඩා විවෘත වීමෙන් බවයි. 

වියට්නාමය හෝ ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක කවර තත්ත්වයක් යටතේ වුවත් හදාගත නොහැකි දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා. ඉන්ධන නැති රටකට අනිවාර්යයෙන්ම ඉන්ධන ආනයනය කරන්න වෙනවා. මේ වගේ අනිවාර්ය ආනයන සඳහා විදේශ විණිමය අවශ්‍යයි. නමුත් ලංකාව වගේ කුඩා රටකින් වෙනත් රටකට අනිවාර්යයෙන්ම ආනයනය කළ යුතු දේවල් නැති තරම්. ඒ නිසා, "පුළුවන් හැම දෙයක්ම හදා ගෙන බැරි දේවල් පමණක් ආනයනය කිරීමේ" ක්‍රමයෙන් අත් වෙන ප්‍රතිඵලය දිගින් දිගටම පවතින විදේශ සම්පත් හිඟයක්.

ලංකාවට ආනයනය කරන දේවල් වලට ලංකාවෙන් අපනයනය කරන යෙදවුම් අවශ්‍ය වන්නේ නැති තරම්. ඒ කියන්නේ ලංකාවේ ආනයන වල අගය එකතු කිරීමෙන් 100%ක්ම වගේ සිදු වන්නේ රටින් පිටතයි. නමුත් ලංකාවේ අපනයන නිෂ්පාදන කොයි එකක් ගත්තත් යම් ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. 100%ක දේශීය අගය එකතු කිරීමක් සිදු වන අපනයන මේ වෙද්දී නැති තරම්. ඒ නිසා අපනයන වලින් අවශ්‍ය පමණ ශුද්ධ විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැක්කේ ආනයන මෙන්ම අපනයනද ගොඩක් විශාල මට්ටමකට ඉහළ ගියහොත් පමණයි. 

පෙර සටහනේ පෙන්වා දුන් පරිදි වියට්නාමයේ ආයෝජනය හා පරිභෝජනය දදේනියෙන් 96.3%ක් පමණ. අනෙක් පැත්තෙන් රටේ ආනයන දදේනියෙන් 91.7%ක්. ඒ කියන්නේ, රටේ ආයෝජනය හා පරිභෝජනය තනිකරම ආනයන වගේ තත්ත්වයක්. හැබැයි අනෙක් අතට අපනයන රටේ දදේනියෙන් 94.0%ක්. මෙයින් පැහැදිලි වන පරිදි වියට්නාමය විසින් කරන්නේ රටට අවශ්‍ය දේ පිටින් ගේන අතර වෙනත් අයට අවශ්‍ය දේ රටේ හදනවා වගේ වැඩක්. එහෙම නැතුව රටට අවශ්‍ය දේ රටේ හදන එක නෙමෙයි.

සමහර අය නිෂ්පාදන ආර්ථිකයක් කියන එකෙන් අදහස් කරන්නේ රටේ හැදිය හැකි හැම දෙයක්ම රටේම හදා ගන්නා ක්‍රමයක්. ඒ කියන්නේ වියට්නාමය විසින් කාලයකට පෙර අත හැර දමපු ක්‍රමය. වියට්නාමය අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ ඒ විදිහට නෙමෙයි. තරඟකාරීත්වය පවත්වා ගැනීම මගින්.

Sunday, January 14, 2024

වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකය


පෙර ලිපි දෙක වගේම මේ ලිපියත් වියට්නාමයේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය අතර සංසන්දනාත්මක විග්‍රහයක්. අද ලිපියෙන් අපි පහත ප්‍රශ්න තුන මුල් කරගෙන කරුණු විමසා බලමු. 

1. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්ද? එයින් වෙනස්ව, ලංකාවේ ආර්ථිකය සේවා ආර්ථිකයක්ද?

2. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්නම්, එහි හොඳ හා නරක මොනවාද?

3. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්නම් සහ ලංකාවේ ආර්ථිකය සේවා ආර්ථිකයක්නම් එය එසේ වී තිබෙන්නේ ඇයි? මේ වෙනසට හේතුව රාජ්‍ය ප්‍රතිපත්තිද?

පළමු ප්‍රශ්නය ගැන අපි පෙර ලිපි වලින්ද සාකච්ඡා කළා. එහෙත්, වඩා හොඳ පිළිතුරක් හොයා ගැනීම සඳහා අපි තවත් ටිකක් ගැඹුරට අදාළ දත්ත දෙස බලමු.

පහත තිබෙන්නේ වියට්නාමයේ 2022 දදේනිය සඳහා විවිධ ආර්ථික ක්‍රියාකාරකම් වල දායකත්වය. උපුටා ගන්නේ කෙළින්ම වියට්නාමයේ නිල සංඛ්‍යාලේඛණ වලින්.

කෘෂිකර්මය, වනවගා සහ ධීවර කර්මාන්තය - 11.88%

කැණීම් සහ ගල් කැඩීම් - 2.82%

නිෂ්පාදන කර්මාන්ත - 24.76%

විදුලිය, ගෑස්, වායු සමීකරණ ආදිය - 4.00%

ජලය හා අපජලය බැහැර කිරීම - 0.49%

ඉදි කිරීම් - 6.20%

තොග සහ සිල්ලර වෙළඳාම - 9.62%

ප්‍රවාහනය හා ගබඩා පහසුකම් - 4.65%

නවාතැන් හා ආහාරපාන සේවා - 2.27%

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ සේවා - 3.51%

මූල්‍ය හා රක්ෂණ - 4.76%

නිවාස හා දේපොළ - 3.46%

වෘත්තීය සේවාවන් - 2.15%

රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව - 3.15%

අධ්‍යාපනය - 3.74%

සෞඛ්‍යය - 2.69%

අනෙකුත් පෞද්ගලික සේවාවන් - 1.33%

ශුද්ධ බදු - 8.53%


දැන් අපි ලංකාවේ 2022 දදේනියද මේ කාණ්ඩ යටතේම වර්ග කර සංසන්දනය කරමු. 

කෘෂිකර්මය, වනවගා සහ ධීවර කර්මාන්තය - 8.75%

කැණීම් සහ ගල් කැඩීම් - 1.87%

නිෂ්පාදන කර්මාන්ත - 19.59%

විදුලිය, ගෑස්, වායු සමීකරණ ආදිය -0.62%

ජලය හා අපජලය බැහැර කිරීම - 0.22%

ඉදි කිරීම් - 7.96%

තොග සහ සිල්ලර වෙළඳාම - 13.83%

ප්‍රවාහනය හා ගබඩා පහසුකම් - 10.55%

නවාතැන් හා ආහාරපාන සේවා - 1.45%

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ සේවා - 2.17%

මූල්‍ය හා රක්ෂණ - 6.78%

නිවාස හා දේපොළ - 4.11%

වෘත්තීය සේවාවන් - 1.79%

රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව - 4.24%

අධ්‍යාපනය - 1.89%

සෞඛ්‍යය - 1.94%

අනෙකුත් පෞද්ගලික සේවාවන් - 7.09%

ශුද්ධ බදු - 4.87%

මගේ නිරීක්ෂණයනම් මෙම සංයුතීන් අතර අසමානකම් වලට වඩා සමානකම් වැඩි බවයි. ලංකාවේ මෙන්ම වියට්නාම් ආර්ථිකයේද ලොකුම කොටස සේවා ආර්ථිකයයි. එහෙත් ලංකාවේ ආර්ථිකයේ සේවා අංශ වල පංගුව වඩා විශාලයි. විශේෂයෙන්ම බැංකු, රක්ෂණ, තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය ආදී අතරමැදි සේවා වල පංගුවේ පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබෙනවා.

වියට්නාම් රජය විසින් එහි නිෂ්පාදන ආර්ථිකයේ පංගුව ලෙස හඳුනා ගන්නා කොටස දදේනියෙන් 24.76%ක්. ලංකාවේ එම පංගුව ඊට වඩා තරමක් අඩුයි. එය දදේනියෙන් 19.59%ක් පමණයි. මෙම වෙනස මත පදනම්ව, ඔය සංඛ්‍යා දෙක අතර ඉරක් ඇඳ, වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් ලෙසත්, ලංකාවේ ආර්ථිකය එසේ නොවන සේවා ආර්ථිකයක් ලෙසත් වර්ග කිරීම නිවැරදියි කියා මා සිතන්නේ නැහැ. එහෙත්, ලංකාවේ ආර්ථිකයට සාපේක්ෂව බැලුවොත් වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බව කරුණක් ලෙස ඇත්තක්.

මෙවැනි වෙනසක හොඳ හෝ නරක මොනවාද? 

ඒකීය පුද්ගල මට්ටමෙන් බැලුවොත් වඩා වැදගත් වන්නේ මොන විදිහකින් හෝ ලැබෙන ආදායමයි. පුද්ගල ශුභ සිද්ධිය ඉහළ යන්නේ ලැබෙන ආදායම ඉහළ යන තරමටයි. ආදායම ඉහළ යන තරමට පරිභෝජනය වැඩි කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම, අනාගත පරිභෝජනය වෙනුවෙන් වැඩියෙන් ආයෝජනය කිරීමටද ඉඩ ලැබෙනවා. පුද්ගල ආදායම ඔය කොටස් දෙක අතර බෙදී යද්දී, රටේ විදේශ අංශය තුලිතනම්, රටේ දදේනියද ආයෝජනය හා පරිභෝජනය අතර බෙදී යනවා. 

මොන විදිහකින් හෝ වියට්නාමය මෙන්ම ලංකාවද ආසන්නව සමාන ඒකීය පුද්ගල ආදායම් මට්ටමක් කරා පැමිණ තිබෙනවා. ඒ තුළ, වියට්නාමයේදී නිෂ්පාදන ආර්ථිකයේ පංගුව තරමක් වැඩියි. එහෙත්, ලංකාව සේවා ආර්ථිකයේ පංගුව වැඩි කර ගැනීම මගින් එම අඩුව පුරවාගෙන තිබෙනවාක් මෙන්ම ඒක පුද්ගල ආදායම අනුව පසුගිය වසර දක්වාම වියට්නාමයට් වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ අනුව, පසුගිය වසරේදී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම පැත්තකින් තිබ්බොත්, ලංකාවේ ප්‍රවේශය වියට්නාමයේ ප්‍රවේශයට වඩා සාර්ථක වී තිබෙනවා. පූසා මීයන් අල්ලනවානම් ඇඟේ පාට කළු වැඩිද සුදු වැඩිද කියන එක එතරම් වැදගත් නැහැ.

කොහොම වුනත්, 2022 වසරේදී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණා. වියට්නාමයේ එවැන්නක් සිදු වුනේ නැහැ. නියම පාරේ යාම මගින් ලංකාවට වැටුණු වලෙන් ගොඩ පැමිණ නැවතත් වියට්නාමය සමඟ කරට කර ඒක පුද්ගල ආදායම් මට්ටමකට ඉතා ඉක්මණින් ලඟා වීමේ ශක්‍යතාවයක් තිබෙනවා. එහෙත්, වියට්නාම් ආර්ථිකය දිගටම වර්ධනය වෙද්දී ලංකාවේ ආර්ථිකය එසේ වර්ධනය නොවී කඩා වැටුණේ ඇයි කියා විමසා බැලිය යුතුයි.  

සමස්තයක් ලෙස දදේනිය හා ඒක පුද්ගල ආදායම දෙස නොබලා, ආර්ථිකයේ විදේශ අංශය දෙස වැඩි අවධානයක් යොමු කර බැලූ විට, දෙරට ආර්ථිකයන්හි වෙනස්කම් හා අදාළ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි. ලංකාවට සාපේක්ෂව, වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකය අපනයන ඉලක්ක කළ එකක්. 

පළමුව අපි ලංකාවේ ගා වියට්නාමයේ සමස්ත නිෂ්පාදිතය පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී ගොස් තිබුණු ආකාරය පරීක්ෂාවට ලක් කරමු.

වියට්නාමය (2022):

පරිභෝජනය - 63.72%

ආයෝජනය - 32.57%

එකතුව (දේශීය ඉල්ලුම) - 96.29%


ලංකාව (2022):

පරිභෝජනය - 69.16%

ආයෝජනය - 34.39%

එකතුව (දේශීය ඉල්ලුම) - 103.55%

ලංකාවේ දදේනියෙන් පරිභෝජනය කරන කොටස වියට්නාමයේ එම කොටසට වඩා 5.44%කින් වැඩියි. එයින් අදහස් වන්නේ, සමාන ඒක පුද්ගල ආදායමක් ඇති අවස්ථාවක, ලාංකිකයෙකු විසින් වියට්නාම් ජාතිකයෙකුට වඩා හොඳ පරිභෝජන මට්ටමක් පවත්වා ගන්නා බවයි. එනම් සාපේක්ෂව වඩා හොඳ ජීවිතයක් ගෙවන බවයි.

මේ ආකාරයෙන් රටක දදේනියෙන් පරිභෝජනය සඳහා වෙන් වන පංගුව ඉහළ යන විට ජනතාවගේ ශුභ සිද්ධිය ඉහළ යන නමුත් එහිදී ආයෝජන සඳහා වෙන් කරන්නට වන කොටස අඩු වන නිසා ඔවුන්ගේ අනාගත පරිභෝජනය එලෙසම පවත්වා ගැනීම අභියෝගයට ලක් වෙනවා. කෙසේ වුවත්, ඉහත සංසන්දනය අනුව ලංකාව ආයෝජනය වෙනුවෙන්ද වියට්නාමයට වඩා වැඩි ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. මෙවැන්නක් සිදු වුනේ කොහොමද?

ලංකාවේ 2022 දේශීය ඉල්ලුම, එනම් පරිභෝජන ඉල්ලුමේ හා ආයෝජන ඉල්ලුමේ එකතුව දදේනියෙන් 103.55%ක්. ඒ කියන්නේ ඔය අවශ්‍යතා දෙක වෙනුවෙන් දදේනියට වඩා 3.55%ක් අවශ්‍ය වී තිබෙනවා. එයින් වෙනස්ව වියට්නාමයේ දැකිය හැක්කේ පරිභෝජන ඉල්ලුමේ හා ආයෝජන ඉල්ලුමේ එකතුව ඉවත් වූ පසු 3.71%ක අතිරික්තයක්.

මෙය 2022 වසරේදී පැවති සුවිශේෂී තත්ත්වයක් පමණක්ද? 

පහත තිබෙන්නේ 2021 පැවති තත්ත්වයයි.

වියට්නාමය (2021):

පරිභෝජනය - 65.10%

ආයෝජනය - 32.90%

එකතුව (දේශීය ඉල්ලුම) - 98.00%


ලංකාව (2021):

පරිභෝජනය - 70.65%

ආයෝජනය - 36.74%

එකතුව (දේශීය ඉල්ලුම) - 107.39%


ඊටත් පෙර වසර, 2020, දෙස බැලුවත් මේ තත්ත්වය දැකිය හැකියි.

වියට්නාමය (2020):

පරිභෝජනය - 65.45%

ආයෝජනය - 31.92%

එකතුව (දේශීය ඉල්ලුම) - 97.37%


ලංකාව (2020):

පරිභෝජනය - 73.19%

ආයෝජනය - 32.98%

එකතුව (දේශීය ඉල්ලුම) - 106.16%

නැවත මතක් කර දීමක් ලෙස, මෙහි අප කතා කරන්නේ දදේනිහි පංගු ගැනයි. දදේනි යනු රටේ සමස්ත නිෂ්පාදිතයයි. මෙය මුදලින් මැන්නත්, ඇත්තටම මෙහිදී මනින්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිස මුදල් නෙමෙයි. 

කිසියම් රටකට එම රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉක්මවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් යෙදවිය හැක්කේ කෙසේද? මෙය කළ හැකි එකම ක්‍රමය රටෙන් පිටතට යන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉක්මවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමයි. එනම් අපනයන වලට වඩා වැඩියෙන් ආනයනය කිරීමයි. 

ඉහත සඳහන් කර තිබෙන්නේ සාර්ව ආර්ථික සාම්‍යයක්. කිසියම් රටක භාණ්ඩ හා සේවා සඳහා වන දේශීය ඉල්ලුම එම රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉක්මවා යන්නේනම් ඊට සමාන ආනයන හා අපනයන අතර ඊට සමාන පරතරයක් ඇති වීම, එනම් වෙළඳ හිඟයක් ඇති වීම, සාමාන්‍ය තත්ත්වයක් පමණක් නොව අනිවාර්ය තත්ත්වයක්. මෙයින් වෙනස්ව, දේශීය ඉල්ලුම රටේ දදේනියට වඩා අඩුනම් එම අඩුවට සමාන වෙළඳ අතිරික්තයක් ඇති වෙනවා.

ලංකාව දිගින් දිගටම සිය දදේනිය ඉක්මවා ආයෝජන හා පරිභෝජන වෙනුවෙන් වෙන් කළ රටක්. එහි අනිවාර්ය ප්‍රතිඵලය දිගින් දිගටම නඩත්තු වන වෙළඳ ශේෂ හිඟයයි (ජංගම ගිණුමේ අනෙක් උප ගිණුම් වල බලපෑම නිසා මෙය මීට වඩා තරමක් සංකීර්ණ වුවත් දැනට මෙසේ සලකමු.) මෙයින් වෙනස්ව වියට්නාමයේ දදේනියෙන් ආයෝජන හා පරිභෝජන වෙනුවෙන් වෙන් වූ කොටස එරට දදේනියට වඩා අඩු නිසා වියට්නාමයේ දිගින් දිගටම පවතින වෙළඳ අතිරික්තයක් හැකියි. දෙරට ආර්ථිකයන් අතර දැකිය හැකි නිෂ්පාදන හා සේවා අංශ වල පංගු වල වෙනස්කම් වලට වඩා වැඩි අවධානයක් යොමු විය යුත්තේ මෙම කරුණ වෙතයි.

කිසියම් රටක් විසින් දිගින් දිගටම එරට දදේනිය ඉක්මවන දේශීය ඉල්ලුමක් පවත්වා ගනීනම් එම අඩුව පිරවිය හැකි තරමේ විදේශ ප්‍රාග්ධනයක් දිගින් දිගටම රට තුළට ගලා ආ යුතුයි. මෙම විදේශ ප්‍රාග්ධනය සෘජු විදේශ ආයෝජන ලෙස මෙන්ම ණය ලෙසද පැමිණිය හැකියි. අනෙක් අතට රටේ දේශීය ඉල්ලුම දදේනියට වඩා අඩුනම්, එහිදී රටේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යාමක් සිදු වෙනවා. 

වෙනත් කවර අඩුපාඩු තිබුණත්, සාමාන්‍යයෙන් සමාජවාදී රටවල් විදේශ වලට ණය වෙමින් දේශීය ඉල්ලුම ඉහළ මට්ටමක පවත්වා ගන්නේ නැහැ. සමාජවාදී රටවල බොහෝ විට සිදු වන්නේ කිසියම් ක්‍රමයකින් දේශීය පරිභෝජන ඉල්ලුම පාලනය කිරීමයි. දිගින් දිගටම ණය ගනිමින් පරිභෝජන ඉල්ලුම පවත්වා ගැනීම සිදු වන්නේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති තුළයි. මේ තත්ත්වයන් දෙකේදීම සිදු වන්නේ රජය ආර්ථිකයට මැදිහත්වීම වුනත් එය සිදු වන්නේ එකම ආකාරයකින් නෙමෙයි.

සෝවියට් පන්නයේ මධ්‍යගත සැලසුම් වෙනුවෙන් මේ වන විට කලාතුරකින් හැර කෙනෙකු පෙනී සිටින්නේ නැහැ. එම ක්‍රමය පැහැදිලි ලෙසම අසාර්ථක වූ ක්‍රමයක්. එහෙත්, මේ වන විට සමාජවාදී දේශපාලන ආකෘතියක් නඩත්තු කරන චීනය, වියට්නාමය වැනි රටවල් අනුගමනය කරන ආර්ථික ක්‍රමය එලෙස පැහැදිලි ලෙසම අසාර්ථක වී ඇති ක්‍රමයක් නෙමෙයි. මෙම ක්‍රමය හරහා ඇතැම් රටවල් පැහැදිලිව පෙනෙන ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා. 

ඇතැම් අය මේ ක්‍රමය හඳුන්වන්නේ රාජ්‍ය ධනවාදය ලෙසයි. මෙම ක්‍රමයේ මූලික ලක්ෂණයක් වන්නේ රාජ්‍ය මැදිහත්වීම් හරහා වෙළඳපොළ හැසිරවීම මගින් රටේ විදේශ අංශය ශක්තිමත් ලෙස පවත්වා ගැනීමයි. චීනය මෙන්ම වියට්නාමය මේ කාර්යය සාර්ථක ලෙස කරන රටවල් දෙකක්. මේ ක්‍රමය කේන්සියානු ක්‍රමයේ රාජ්‍ය මැදිහත්වීම් වලට වඩා බොහෝ සෙයින් වෙනස් ක්‍රමයක්.

වියට්නාම් ක්‍රමය තුළ දදේනියේ පරිභෝජන පංගුව සාපේක්ෂව පොඩියි. එයින් අදහස් වන්නේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස සාපේක්ෂව කුඩා බවයි. ශ්‍රමය සාපේක්ෂව ලාබ බවයි. ඒ නිසා, එවැනි රටක අඩු පිරිවැයකින් නිෂ්පාදන සිදු කර අපනයන වර්ධනය කර ගත හැකියි. එමෙන්ම, රාජ්‍ය මැදිහත්වීම් හරහා රජය විසින් හඳුනාගත් අංශ වෙත සම්පත් විතැන් කළ හැකියි. මෙය සාර්ථක ප්‍රවේශයක්ද නැද්ද යන්න වෙනම කතා කළ යුතු කරුණක් වුවත්, මේ ආකාරයේ මැදිහත්වීම් හරහා නිෂ්පාදන ආර්ථිකයේ පංගුව වැඩි කරගත හැකියි. 

අනෙක් අතට කේන්සියානු මූලධර්ම මත පදනම් වූ රාජ්‍ය මැදිහත් වීම් වලදී ඉලක්ක කරන්නේ නිෂ්පාදනය නොව ඉල්ලුමයි. මෙහිදී සිදු වන්නේ පරිභෝජනය ඉහළ යාමක්. එසේ පරිභෝජනය ඉහළ යාම දදේනිය තුළ තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය, නිවාස හා දේපොළ වැනි අතරමැදි සේවාවන් වල පංගුව ඉහළ යාමෙහි පිළිබිඹු වෙනවා. ලංකාවේ දැකිය හැක්කේ මෙම තත්ත්වයයි. 

මුලින් කී පරිදි, අවසාන වශයෙන් වැදගත් වන්නේ ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වීම හෝ නොවීම මිස එහි එක් එක් අංශයේ පංගුව නොවන නිසා ඔය ප්‍රවේශ දෙකෙන් එකක් අනෙකට වඩා හොඳ හෝ නරක බව කියන්නට අසීරුයි. කෙසේ වුවද, දිගුකාලීනව ආර්ථිකය වර්ධනය කරගන්නා අතරම කෙටිකාලීනව ආර්ථිකය ස්ථායී ලෙස පවත්වා ගැනීමද අවශ්‍ය වෙනවා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පිළිබිමු වූයේ ලංකාව එසේ කරන්නට අසමත්ව ඇති බවයි. ඒ නිසා, ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රමයේ අවුලක් තිබෙන බවද පැහැදිලියි. 

ඉහත අවුල නිවැරදි කර ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමේදී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම් මොනවාද? මේ ගැන කතා කිරීම පසුවට තබමු.

Friday, January 12, 2024

වියට්නාම ආර්ථිකයේ හැරවුම


යම් රටකින් තවත් රටකට ගත යුතු දෙයක් තියෙනවද කියලා බලන්නනම් පළමුව ඒ රටවල් දෙකේ වෙනස්කම් අධ්‍යයනය කළ යුතුයි. එවැනි පෙනෙන වෙනසක් නැත්නම් එහි ගත යුතු අමුතු දෙයක්ද නැහැ. වෙනසක් ඇත්නම් ඇතැම් විට එහි ගත යුත්තක් තිබෙන්න පුළුවන්. ඒ වගේම, එවැනි වෙනසකින් පෙන්වන්නේ කිසිසේත්ම නොගත යුතු දෙයක් වෙන්නත් පුළුවන්.

අද අපි වියට්නාම් පොතේ දදේනි පිටුව පෙරළමු. වියට්නාමයේ දදේනිය ලංකාවේ එම අගය මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. නමුත් ඒක පුද්ගල දදේනිය දිහා බැලූ විට රටවල් දෙකේ ලොකු වෙනසක් නැහැ. ලොකු රටක හා කුඩා රටක දදේනි සංසන්දනය කරන එක නිවැරදි නැති බව අපි දන්නවා. ඒ නිසා, අපි රටවල් දෙකේ දදේනි අගයයන් සංසන්දනය නොකර ඒවායේ සංයුති දෙස අවධානය යොමු කරමු.

ආර්ථිකයේ අංශ අනුව වෙන් කළ විට, වියට්නාමයේ 2022 දදේනියේ සංයුතිය මේ වගෙයි.

කෘෂිකාර්මික අංශය - 11.96%

කාර්මික අංශය - 38.17%

සේවා අංශය - 41.32%

ශුද්ධ බදු - 8.55%


දැන් අපිට ඉහත සංයුතිය ලංකාවේ එම සංයුතිය සමඟ සංසන්දනය කරන්න පුළුවන්.

කෘෂිකාර්මික අංශය - 8.7%

කාර්මික අංශය - 30.3%

සේවා අංශය - 56.1%

ශුද්ධ බදු - 4.9%

රටවල් දෙකේම දදේනි වල ලොකුම පංගුව සේවා අංශය. එහෙත්, ලංකාවේ එම කොටස වඩා වැඩියි. වියට්නාමයේ සේවා අංශයේ පංගුව අඩු වෙද්දී, එම අඩුව ඉතිරි සංරචක තුන අතර බෙදී ගොස් තිබෙනවා. එම පංගු තුනම ලංකාවේ එම පංගු වලට වඩා විශාලයි.

රටක ඒක පුද්ගල ආදායම ඉහළ යද්දී දදේනියේ කෘෂිකාර්මික අංශයේ පංගුව පහළ යන එක සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය වසරේදී වෙනස් වුනත්, කාලයක් තිස්සේම ලංකාවේ ඒක පුද්ගල දදේනිය තිබුණේ වියට්නාමයට වඩා ඉහළින්. ඒ නිසා, වියට්නාමයේ දදේනියේ කෘෂිකාර්මික අංශයේ පංගුව තවමත් ලංකාවේ එම පංගුව තරම් කුඩා වී නොතිබීම විශේෂ තත්ත්වයක් නෙමෙයි. වියට්නාමයේදී එම පංගුව ක්‍රමයෙන් කුඩා වෙමින් තියෙද්දී ලංකාව ලංකාවේ එම ප්‍රවණතාවය ආපසු හැරවීම සඳහා මහන්සි විය යුතු නැහැ.

හැබැයි මේ පංගු වල පරිණාමයේ එක් වෙනස්කමක් දකින්න පුළුවන්. ලංකාවේ දදේනිය ඇතුළේ කෘෂිකර්මයේ පංගුව අඩු වෙද්දී ඒ වෙනුවට සේවා අංශය වඩා වැඩියෙන් ආදේශ වී තිබෙනවා. ඊට සාපේක්ෂව, වියට්නාමයේ කාර්මික අංශයේ පංගුව ඉහළ ගොස් තිබෙනවා. වඩා ලොකු කෘෂිකාර්මික හා කාර්මික අංශයක් එක්ක සාපේක්ෂව කුඩා සේවා අංශයක් කියා කියන්නේ වියට්නාමයේ ආර්ථිකය ලංකාවට සාපේක්ෂව නිෂ්පාදන ආර්ථිකයක් කියන එක. වියට්නාමයේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදිත වල එකතුව දදේනියෙන් 50%ක් පමණ වෙද්දී, ලංකාවේ එම ප්‍රතිශතය 39%ක් පමණයි. වියට්නාමයේ දදේනිය තුළ රජයේ මැදිහත්වීම් වල බලපෑම වඩා විශාල බවද දැකිය හැකියි.

කාලයක් තිස්සේ දැඩි මධ්‍යගත සැලසුමක් ඇතුළේ ලොකු මහත් වූ වියට්නාම් ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකය පැත්තට බර වීමේ ලොකු පුදුමයක් නැහැ. සමාජවාදී මධ්‍යගත ආර්ථික සැලසුමක් ඇතුළේ රටක සේවා ආර්ථිකයට වෙළඳපොළ ආර්ථිකයකදී ලැබෙන සැලකිල්ල ලැබෙන්නේ නැහැ. එහි හොඳ නරක පසුව කතා කරමු. 

දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ කිසියම් කාලයක් තුළ රටක නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපොළ වටිනාකම. මේ අගය ඇස්තමේන්තු කළ හැක්කේ වෙළඳපොළක් ඇත්නම් පමණයි. ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ කියන සංකල්පයෙන් අදහස් කරන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන යාන්ත්‍රනයක් මිසක් "පොදු වෙළඳපොළ" වැනි බෝඩ් ලෑල්ලක් ගහපු මුදලට බඩු විකුණන තැනක් නෙමෙයි. වෙළඳපොළ කියන සංකල්පය වියුක්ත අදහසක්. 

බෝඩ් ලෑල්ලක් ගහපු, මුදලට බඩු විකුණන තැනක් තිබූ පමණින් එහි වෙළඳපොළක් පවතින්නේ නැහැ. පැරණි සෝවියට් දේශයේ වගේම මධ්‍යගත සැලසුම් ක්‍රමය අනුගමනය කළ වෙනත් තැන් වලත් සමුපකාර හෝ වෙනත් ඒ ආකෘතියේ "මුදලට බඩු විකුණන තැන්" ඕනෑ තරම් තියෙන්න ඇති. නමුත් මේ තැන් හරහා ඉල්ලුම හා සැපයුම තුලනය වීමක් සිදු වුනේ නැහැ. එහෙම වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ මිල වෙනස් වෙන්න ඉඩ ලැබුණොත් පමණයි. නමුත් ඔය තැන් වල වුනේ රජයෙන් නියම කරන මිලට බඩු විකුණන එකයි. ඒ නිසා, ආර්ථික විද්‍යාවේ අර්ථයෙන්, වෙළඳපොළක් කියා එකක් තිබුනේ නැහැ.

රටක වෙළඳපොළක් නැත්නම් භාණ්ඩයක හෝ සේවාවක වෙළඳපොළ වටිනාකම තක්සේරු කළ හැකි යාන්ත්‍රණයක්ද නැහැ. ඒ නිසා, ඒ වගේ රටක දදේනිය ඇස්තමේන්තු කරන්න පුළුවන්කමකුත් නැහැ. මේ හේතුව නිසා ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය ඇතුළේ හිටපු රටවල් දදේනිය කියා එකක් ගණනය කළෙත් නැහැ.

දදේනිය ගණනය නොකර රටක ආර්ථිකයේ දිශානතිය ගැන අදහසක් ගන්න බැහැ. ඒ නිසා, ආර්ථිකය වර්ධනය වන බව සහතික කර ගන්න හෝ එසේ වන පරිදි සැලසුම් හදන්නත් බැහැ. මේ හේතුව නිසා පැරණි සමාජවාදී රටවල් විසින් දදේනිය වෙනුවට ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා මිනුමක් සකස් කරගෙන තිබුණා. මාක්ස්ගේ අදහස් මත පදනම්ව සකස් කර තිබුණු මෙම මිනුම තුළ වෙළඳපොළ වටිනාකාම කියන සාධකය නොසලකා හැර ද්‍රව්‍ය නිෂ්පාදිතයේ සමස්තයක් ගණනය කෙරුණා. 

වියට්නාමයද ඇතුළුව පැරණි සමාජවාදී රටවල් විසින් කාලයක් තිස්සේම රටේ ආර්ථික දියුණුව මැන්නේ මෙම ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය ඇසුරෙනුයි. පසුව, මේ රටවල් විසින් එම ගණනය කිරීම අත හැර අනෙක් රටවල් මෙන්ම දදේනිය ගණනය කරන්න පටන් ගත්තා. දැන් මේ ක්‍රමය තවදුරටත් භාවිතා කරන්නේ උතුරු කොරියාව සහ කියුබාව වැනි රටවල් පමණයි.

ගුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය ගණනය කිරීමේදී සේවාවන් බොහොමයක වටිනාකම මග හැරී යනවා. ඊට හේතුව වෙළඳපොළක් නැති පසුබිමක සේවා හරහා සිදු වන අගය එකතු වීම පහසුවෙන් ගණනය කළ නොහැකි වීමයි. මෙයින් වෙනස්ව වෙළඳපොළ ආර්ථිකයක් තුළ අගය එකතු වීම සිදු වන්නේ භාණ්ඩ නිෂ්පාදනයක් හරහාද නැත්නම් සේවා නිෂ්පාදනයක් හරහාද කියන එක ඒ තරම් වැදගත් නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කරගත හැක්කේ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කර ගැනීමෙන් පමණක් නිසා එම රටවල මධ්‍යගත සැලසුම් තුළ හැම විටම මෙන් ඉලක්ක කළේ රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කර ගැනීමටයි.

වෙළදපොළ ආර්ථික ක්‍රමය තුළ අවසන් ඉලක්කය හැකි පමණ වැඩි අගය එකතු කිරීමක් කිරීමයි. ගනුදෙනු වැඩි වන තරමට මෙම ඉලක්කයට වඩා කිට්ටු වෙනවා. ඒ නිසා, ප්‍රායෝගිකව විවිධ සීමාවන් දැකිය හැකි වුවත්, වෙළදපොළ ආර්ථික ක්‍රමය හා ජාත්‍යන්තර වෙළඳාම ගහට පොත්ත මෙන් එකට යන දෙකක්. 

මෙයින් වෙනස්ව මධ්‍යගත සැලසුමක් සකස් කළ හැක්කේම කිසියම් ප්‍රදේශයක් හා ජනගහණයක් ඉලක්ක කර පමණයි. ඒ නිසාම, සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය සමඟ ආරක්ෂණවාදය එකට යනවා. මෙයින් නෛසර්ගික ලෙසම ජාත්‍යන්තර වෙළඳාම දිරිමත් කරන්නේ නැහැ.

මධ්‍යගත සැලසුම් ක්‍රමය තුල සිටි රටවල් ජාත්‍යන්තර ගනුදෙනු නොකළ බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. එවැනි ගනුදෙනු විශාල ලෙස සිදු වුනා. එහෙත්, බොහෝ විට මෙම ගනුදෙනු සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම මග හැර වෙනත් මූලධර්ම මත පදනම් වූ වෙනත් යාන්ත්‍රන හරහායි. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මාර්ෂල් සැලසුම අනුව බටහිර රටවල් විසින් 1948දී යුරෝපීය ආර්ථික සහයෝගීතා සංවිධානය පිහිටුවා ගැනීමෙන් පසුව සෝවියට් කඳවුර විසින්ද එවැනිම ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවා. මෙය අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතා කවුන්සිලය හෙවත් කොමිකොන් සංවිධානය ලෙස හැඳින්වුනා. යුරෝපීය ආර්ථික සහයෝගීතා සංවිධානයේ මෙන්ම මේ සංවිධානයේද අරමුණ වූයේ සාමාජික රාජ්‍යයන් අතර වෙළඳාම වැඩි දියුණු කර ගැනීමයි. වියනාමය 1978 වසරේදී කොමිකොන් සංවිධානයේ සාමාජිකත්වය ගනිමින් එම සංවිධානයට සම්බන්ධ වූ දහවෙනි හා අවසන් රට බවට පත් වුනා. එම රට කොමිකොන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් එකම ආසියාතික රටයි. චීනය මෙම සංවිධානයේ සාමාජිකයෙක්ව සිටියේ නැහැ. 

සමාජවාදී රටවලට තම කඳවුරේ හා කඳවුරෙන් පිටත අනෙකුත් රටවල් සමඟ ගනුදෙනු කිරීම වෙළඳපොළ ක්‍රමය පිළිගත් රටවල් එකිනෙකා සමඟ ගනුදෙනු කරන තරම් සරල හෝ පහසු වූයේ නැහැ. වෙළඳපොළ ක්‍රමය අනුව භාණ්ඩයක මිල තීරණය වන්නේ එහි ඉල්ලුම හා සැපයුම අනුව නිසා එහි අමුතුවෙන් ගිවිසුම්ගත වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැහැ. නමුත් මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ භාණ්ඩයක මිල නිර්ණය වුනේ එක් එක් රටේ මධ්‍යගත සැලසුම තුළයි. මේ නිසා රට රටවල මිල ගණන් අතර විශාල නොගැලපීම් තිබුණා. එහෙත් වෙළඳපොළ ක්‍රමය තුළ මෙන් ජාත්‍යන්තර වෙළඳාම තුළ මේ නොගැලපීම් ගැලපිය හැකි ස්වභාවික යාන්ත්‍රනයක් තිබුණේ නැහැ.

ඉහත කී නොගැලපීම් මධ්‍යයේ සමාජවාදී කඳවුරේ රටවලට ගනුදෙනු කළ හැකි වූයේ කිසියම් ආකාරයක භාණ්ඩ හුවමාරු පදනමක් මත පමණයි. ලංකාව හා චීනය අතර වූ රබර්-සහල් ගිවිසුම ක්‍රියාත්මක වූයේද මෙවැනි මූලධර්මයක් මත පදනම්වයි. කෙසේ වුවද, මොන විදිහෙන් හෝ මේ රටවල් අතරද සැලකිය යුතු පරිමාණයකින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනා.

සෝවියට් දේශය කඩා වැටීමෙන් පසුව කොමිකොන් සංවිධානයේ ක්‍රියාකාරිත්වයද ක්‍රමයෙන් අක්‍රිය වී ගියා. එයින් පසුව එම කඳවුර සමඟ කාලයක් සිටි වියට්නාමයට අලුතෙන් වෙළඳපොළවල් සොයා ගැනීමේ දැඩි උවමනාවක් ඇති වුනා. ඊට අනුරූපව, වියට්නාමය විසින් සිය සමාජවාදී දේශපාලන ව්‍යුහය එලෙසම තිබියදීම ආර්ථික තලයේදී වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙත යොමු වුනා. වියට්නාමයේ ආර්ථිකය සීග්‍ර පරිවර්තනයකට ලක් වෙන්නේ මෙම ප්‍රතිපත්ති වෙනසින් පසුවයි. වැඩි විස්තර ඉදිරි ලිපියක කතා කරමු. 

Thursday, January 11, 2024

වියට්නාමය - පිටකවරය හා පොත

පිට කවරය දෙස බලලා පොත තේරුම් ගන්න යන්න එපා කියන එක පහුගිය දවස් වල තැන් තැන් වල දැකිය හැකි වූ කියමනක්. ඔය විදිහටම, රටක නම දිහා බලලා රට තේරුම් ගන්න යන්න එපා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්.

අපි කවුරුත් දන්නා පරිදි, 1978න් පසු ලංකාවේ නිල නාමය "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය". නම අනුව මේ රට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්. ඒ වගේම, ලෝකයේ තිබෙන එවැනි එකම රට!

ලංකාවේ කාලයක් තිස්සේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙනවා. මෙය මැතිවරණ වලින් ආණ්ඩු බලය වෙනස් වන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක්. කලාපයේ වෙනත් ඇතැම් රට වල මෙන් විප්ලව, කැරළි හෝ හමුදා කුමන්ත්‍රණ වලින් ලංකාවේ රාජ්‍ය බලය වෙනස් වෙලා නැහැ. ඒ නිසා, අඩුපාඩු තිබුණත්, ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් ලෙස හඳුන්වන එකේ වැරැද්දක් නැහැ.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් අතරින් ලංකාව ඇතුළු රටවල් නවයක නිල නාම වල "ප්‍රජාතාන්ත්‍රික" යන වචනය තිබෙනවා. එහෙත්, "සමාජවාදී" යන වචනය තිබෙන්නේ තවත් එක් රටක නිල නාමයේ පමණයි. ඒ රටේ නිල නාමයේ "ප්‍රජාතාන්ත්‍රික" යන වචනය නැහැ. ඒ නිසා, අවශ්‍යනම්, නම අනුව යමින්, ඒ රට "ප්‍රජාතාන්ත්‍රික නොවන සමාජවාදී රටක්" ලෙස හඳුනා ගන්නත් පුළුවන්. 

මේ අනෙක් රට වියට්නාම් සමාජවාදී ජනරජය හෙවත් කෙටියෙන් සහ කවුරුත් එදිනෙදා භාවිතාවේදී කියන විදිහට වියට්නාමය. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ අධිකාරී බලය යටතේ පාලනය වෙන වියට්නාමයේ ලංකාවේ මෙන් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ අතින් වියට්නාමය පැරණි හා දැනටත් ශේෂ වී තිබෙන අනෙකුත් සමාජවාදී රටවල් වලට සමානයි. ඒ අනුව බැලුවහම වියට්නාමයට එහි නිල නම ගැලපෙනවා.

දේශපාලන ආකෘතිය මේ ආකාරයේ එකක් වුනත්, පසුගිය දශක කිහිපය තුළ වියට්නාම් ආර්ථිකය ගොඩක් වේගයෙන් වර්ධනය වූ බව කරුණක් ලෙස ඇත්තක්. 1990දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 8.03ක්ව තිබියදී වියට්නාමයේ දදේනිය ඩොලර් බිලියන 6.47ක් පමණයි. 2022 වන විට වියට්නාමයේ ආර්ථිකය ඩොලර් බිලියන 408.8ක් වෙලා, නමුත් ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 74.4ක් පමණයි. 

අවුරුදු 32ක කාලයක් ඇතුළත, ලංකාවට වඩා කුඩා ආර්ථිකයක් තිබුණු රටක ආර්ථිකය ලංකාව වගේ පස් ගුණයකටත් වඩා වැඩි වුනේ කොහොමද? 

වියට්නාමයෙන් ලංකාවට ඉගෙන ගන්න දේවල් මොනවා හෝ තිබිය යුතුයි කියන එක පැහැදිලි කරුණක්. නමුත් ප්‍රශ්නය ඒ මොනවාද කියන එකයි. මේ සඳහා අප‍ට ලංකාව හා වියට්නාමය අතර යම් සංසන්දනාත්මක විමසුමක් කරන්න වෙනවා. එය සීරුමාරුවට කළ යුතු වැඩක්. එක ලිපියකින් පමණක් කරලා ඉවර කරන්න බැරි වෙයි.

වියට්නාමය වර්ග කිලෝමීටර 331,212ක රටක්. ඒ කියන්නේ ලංකාව මෙන් පස් ගුණයකට වඩා ලොකු රටක්. ජනගහණය මිලියන 98ක් පමණ. ලංකාවේ ජනගහණය මෙන් හතර ගුණයකට වඩා වැඩියි. කෙටියෙන් කිවුවොත් වියට්නාමය කියන්නේ ලංකාව මෙන් හතර පස් ගුණයක් ලොකු රටක්.

ඔය වගේ ලංකාව මෙන් කිහිප ගුණයක් ලොකු රටක දදේනිය ලංකාවේ දදේනිය එක්ක සංසන්දනය කරන එක නිවැරදි ක්‍රමයක් නෙමෙයි. එක පැත්තකින් වැඩි ඉඩම් ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේ අවස්ථාව තියෙද්දී, වැඩි ශ්‍රමිකයන් පිරිසක් නිෂ්පාදනයට දායක වෙද්දී දදේනිය කොහොමටත් ඉහළ යා යුතුයි. අනෙක් අතින් මේ විදිහට ඉහළ යන දදේනිය වැඩි පිරිසක් අතර බෙදී යනවා. ඒ නිසා, හරි සංසන්දනයක් කළ හැක්කේ ඒක පුද්ගල දදේනිය දිහා බැලීමෙන් පමණයි.

පසුගිය (2022) වසරේදී වියට්නාමයේ ඒක පුද්ගල දදේනිය ඇමරිකන් ඩොලර් 4,164ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 3,354ක් පමණයි. කොහොම වුනත් ලංකාව මේ විදිහට වියට්නාමය හිටපු තැනින් පහළට වැටුණේ 2022 වසර තුළයි. ඒ දක්වා, ලංකාව හිටියේ වියට්නාමයට වඩා ඉදිරියෙන්. ආර්ථික අර්බුදයට පෙර, 2019දී ලංකාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 4,083ක් වෙද්දී වියට්නාමයේ එම අගය ඩොලර් 3,491ක් පමණයි. ඉන් පසු වසර වලදී වගේම 2019දී පවා වියට්නාමය ඉස්සරහට යද්දී ලංකාව පස්සට ගියා. 


වැදගත් කරුණ මේකයි. වියට්නාමයේ දදේනිය ලංකාවේ දදේනිය මෙන් හතර ගුණයක් වන තුරු ප්‍රසාරණය වී ඇතත්, රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පිළිබිඹු කරන ඒක පුද්ගල දදේනිය දිහා බැලුවහම එවැනි ලොකු වෙනසක් නැහැ. වියට්නාමය කරලා තියෙන්නේ අවුරුදු 32ක් මහන්සි වෙලා අන්තිමට ලංකාව ඉන්න තැනට එන එක!

මේකෙන් අදහස් වෙන්නේ වියට්නාමයෙන් ගන්න දෙයක් නැති බවද?

නැහැ. වියට්නාමය ආ ගමනේ අවධානය යොමු කළ යුතු දේ තිබෙනවා. අන්තිමට වියට්නාමය ඇවිත් තියෙන්නේ ලංකාව ඉන්න තැනට වුනත්, වියට්නාමය මේ ගමන පටන් ගන්නේ ලංකාවට වඩා ගොඩක් පසුපස තැනක ඉඳලයි. 1990දී ලංකාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 467ක් වන විට වියට්නාමයේ එම අගය ඩොලර් 97ක් පමණයි. අවුරුදු 32ක් යද්දී ඔය පරතරය නැති වී වියට්නාමය ඉස්සරහට එනවා. ඔය කාලය ඇතුළත වියට්නාම් දදේනිය එක දිගටම ලංකාවට වඩා ඉහළ වර්ධන වේගයක් පවත්වා ගන්නවා. ඒක කළේ හෝ ඒක වුනේ කොහොමද?

වියට්නාමය රටේ නම අනුව වගේම දේශපාලන ක්‍රමය අනුවත් සමාජවාදී රටක් බව ඇත්ත. ඔය ආකෘතියේ අනෙක් රටවල් වගේම වියට්නාමයත් කාලයක් තිස්සේ අනුගමනය කළේ මධ්‍යගත සැලසුමකට අනුව රටේ නිෂ්පාදනය හා බෙදා හැරීම සැලසුම් කරන එකයි. නමුත්, 1990 පමණ සිට වියට්නාමය ක්‍රමයෙන් ඔය ක්‍රමයෙන් විතැන් වෙමින් වෙළඳපොළට ඉඩ දෙන්න පටන් ගත්තා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. 

අහන්න තිබෙන හරි ප්‍රශ්නය මේකයි. 1990 වන විටත් වියට්නාමයේ ඒක පුද්ගල දදේනිය ලංකාවේ එම අගයෙන් හතරෙන් එකකටත් වඩා අඩු මට්ටමක තිබුණේ ඇයි? එවැනි දෙයක් වුනේ මොන විදිහේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරද්දීද? ඊට පස්සේ ඒ තත්ත්වය වෙනස් වී ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න හේතු වුනේ මොන විදිහේ ප්‍රතිපත්ති වෙනස්කම්ද?

ඔය කරුණු අපි පසුව විස්තර සහිතව කතා කරමු. නමුත්, අපිට වඩා වැදගත් වියට්නාමයේ වුනු දේ නෙමෙයිනේ. වියට්නාමය අනුගමනය කරලා ලංකාවට ඒ වගේ වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැරිද? 

වියට්නාමය ඔය විදිහට ගැම්මේ දුවන්න පටන් ගනිද්දී එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 97ක් පමණක් වූ බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ ඒ වෙද්දී එහි ශ්‍රමය ගොඩක්ම ලාබයි. ශ්‍රමයේ මිල ඔය තරම් පහළ මට්ටමක තියෙද්දී කළ හැකි දේ ශ්‍රමයේ මිල ඉහළ ගියාට පස්සේ ඒ විදිහටම කරන්න බැහැ. ලංකාව ඔය මට්ටම පහු කළේ සෑහෙන කාලයකට කලින්.

ඇත්තටම මෙහිදී වුනේ මධ්‍යගත සැලසුම් ක්‍රමය නිසා එක තැන හිර වී තිබුණු වියට්නාමයේ ආර්ථිකය ක්‍රමයෙන් නිදහස් වෙද්දී එය තිබිය යුතු තැන දක්වා වේගයෙන් ගමන් කිරීම. ලංකාවේ ආර්ථිකයද නිදහස්ව නොතිබුණත් ඒ තරමටම හිර වී තිබුණේ නැහැ. 

ඒක පුද්ගල ආදායම ඩොලර් සීයකට අඩුව පැවති කාලයේදී අනුගමනය කළ උපාය මාර්ග හෝ වේගවත් ආර්ථික වර්ධනයකට දායක වූ වෙනත් අහඹු දේවල් ඒක පුද්ගල ආදායම ඩොලර් හාර දාහක මට්ටමට ආවට පස්සේ ඒ විදිහටම උපකාරී වෙන්නේ නැහැ. ඒ නිසා, වියට්නාමයේ අතීතය දිහා බලාගෙන ලංකාව විසින් එයින් ගත යුතු දේ ගන්නවානම් එය පරිස්සමින් කළ යුතුයි. මොකද වියට්නාමය කරපු දේවල් වලින් වියට්නාමයට හැකි වී තිබෙන්නේ හිටපු තැන ඉඳලා දැන් ලංකාව ඉන්න තැනට එන්න පමණයි. ලංකාව දැනටමත් එතැනට ඇවිත් ඉවරයි.

මෙයින් අදහස් වෙන්නේ මෙතැනින් එහාට වියට්නාම් ආර්ථිකයේ වර්ධනය නවතියි කියන එක නෙමෙයි. වියට්නාම් ආර්ථිකය ඉදිරියටත් දිගටම වර්ධනය වෙයි. එහෙම වර්ධනය වෙලා ලංකාව ඉන්න තැනින් ගොඩක් එහාට යන්නත් බැරිකමක් නැහැ. ලංකාව විමසිල්ලෙන් බලා සිටිය යුත්තේ අන්න ඒ වර්තමානය දිහා. 

වියට්නාම් පොතේ කියවිය යුතු පිටු මොනවාද? මේ කියවිය යුතු පිටු ගැන ඉදිරි ලිපියකින් කතා කරමු.

වෙබ් ලිපිනය: