කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි. රටක් අපනයන කළ යුත්තේ ඇයි?
දේශ සීමා බාධක ඉතා අඩු හෝ නැති, ජාත්‍යන්තරයට විවෘත, ලිබරල් ආර්ථික ක්‍රමයක් ගැන පෙනී සිටින අය අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින එක තේරුම් ගන්න අපහසු නැහැ. නමුත්, සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින අයත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරන්නේ ඇයි?
මෙහි සඳහන් දෙවන කණ්ඩායම අපනයන ප්‍රවර්ධනය අවශ්‍ය බව හිතන්නේ පළමු කණ්ඩායම එසේ හිතන හේතුව මත පදනම්ව නෙමෙයි. ඉතාම සරලව කිවුවොත් රටට විදේශ විණිමය හොයා ගන්න. රටක් අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයා ගන්න කියන එක ජනප්‍රිය, ප්‍රචලිත, එහෙත් වැරදි අදහසක්. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්.
ඔය අදහස එන්නේ සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ අදහස් පද්ධතියේ කොටසක් විදිහටයි. මේ ක්‍රමයේදී කිසියම් රටක් විසින් උත්සාහ කරන්නේ රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න. එහිදී පිරිවැය, නිෂ්පාදන කාර්යක්ෂමතාවය වගේ දේවල් වලට ලොකු අවධානයක් යෙදවෙන්නේ නැහැ.
මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් තුළ රටක නිෂ්පාදන ප්‍රතිපත්තිය මේ වගේ තැනකට තල්ලු වීම තේරුම් ගන්න අපහසු නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුමක් බලාත්මක කළ හැක්කේ කිසියම් රටක දේශ සීමා ඇතුළේ පමණයි. ඒ නිසා, ඒ වගේ සැලසුමක් ආනයන මත පාදක වෙන එකක්නම් ඒ හේතුවෙන්ම එම සැලසුම අවුලට යාමේ ඉඩකඩ ඉහළ යනවා. මොකද රටේ දේශ සීමා වලින් එහා සිදු වන නිෂ්පාදන පිළිබඳව මධ්‍යගත සැලසුම හරහා බලපෑම් කරන්න බැහැ. රට තුළ නිපදවිය හැකි හැම දෙයක්ම රට තුළම නිපදවා ගත් තරමට මධ්‍යගත සැලසුමේ ඉලක්ක සම්බන්ධව රටේ බලාධිකාරියට වැඩි බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසාම, එය සාර්ථක කර ගැනීම වඩා පහසුයි.
හැබැයි රටකට අත්‍යාවශ්‍ය සමහර දේවල් කිසියම් රටක මොන විදිහකින්වත් නිපදවන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස තෙල් නිධි නැති රටක තෙල් නිපදවන්න බැහැ. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න වෙනවා. ඒ සඳහා විදේශ විණිමය අවශ්‍ය වෙනවා. එම විදේශ විණිමය ප්‍රමාණය හොයා ගන්න රටේ නිපදවිය හැකි භාණ්ඩ හා සේවා වලින් කොටසක් අපනයනය කරන්න වෙනවා. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න කියන අදහස එන්නේ ඔය චින්තනය ඇතුළේ.
ඉහත කී ආර්ථික චින්තනය ඇතුළේ ඉන්න රටකට ප්‍රමාණවත් අපනයන ආදායමක් නොමැති වූ විට ආනයන සීමා කරන්න පෙළඹෙනවා. අනෙක් අතට විදේශ විණිමය වැඩියෙන් එකතු වෙද්දී එම විදේශ විණිමය ආනයන වෙනුවෙන් වැය නොකර ගොඩ ගසා ගැනීමේ පෙළඹුමක් තිබෙනවා.
රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරනවා කියන අදහසේම ලොකු අවුලක් තිබෙනවා. ඒ අවුල ලොකුවටම තියෙන්නේ ලංකාව වගේ පොඩි රට වලට. දැන් මම ඒ අවුල විස්තර කරන්නම්.
අපි හිතමු ලෝකයේ හැම රටකම ආර්ථික ප්‍රතිපත්තිය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරන එක කියලා. පැරණි සෝවියට් දේශය ඇතුළු කොමිකොන් සංවිධානයේ සාමාජික රටවල ආර්ථික ප්‍රතිපත්තිය වුනේ මෙවැන්නක්. ඔය ක්‍රමය ඇතුළේ පොඩි රටවල් අවුලට යන්නේ මේ විදිහටයි.
පැරණි සෝවියට් දේශය වගේ විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු, විශාල ජනගහණයක් සිටින සහ විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටකට අවශ්‍ය දේවල් බොහොමයක් එරට තුළම නිපදවා ගන්න පුළුවන්. ඇතැම් විට හැම දෙයක්ම වගේ. නමුත්, සෝවියට් දේශයට සාපේක්ෂව කුඩා රටවල් වන වියට්නාමයට හෝ කියුබාවට එහෙම කරන්න බැහැ. එක්කෝ අවශ්‍ය ස්වභාවික සම්පතක් රටේ නැහැ. එහෙම නැත්නම් දේශගුණය බාධාවක්. තවත් හේතු ගණනාවක් නිසා මෙවැන්නක් විය හැකියි.
දැන් මේ වගේ කුඩා රටවල් වලට තමන්ගේ රටේ නිපදවා ගත නොහැකි යම් යම් දේවල් ආනයනය කරන්නම වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන විදේශ විණිමය හොයා ගන්න මොනවා හෝ දේවල් ටිකක් අපනයනය කරන්නත් වෙනවා. නමුත් ප්‍රශ්නය සෝවියට් දේශය වගේ ලොකු රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියක සිටිද්දී, කියුබාව වගේ රටකට සෝවියට් දේශයට මොනවා හෝ අපනයනය කර විදේශ විණිමය හොයා ගැනීමේ අවස්ථාව නැති වී යන එක. මොකද කියුබාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් සෝවියට් දේශයේත් හදන්න පුළුවන්. (මෙය උදාහරණයක් පමණයි).
ඉහත හේතුව නිසා රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිඵලය වන්නේ කුඩා ආර්ථිකයන් ඇති රටවලට හැමදාම දිගින් දිගටම විදේශ විණිමය අර්බුද වලට මුහුණ දෙන්න වෙන එක. ප්‍රායෝගිකව වුනත් වුනේ මේකයි. සමාජවාදී කඳවුරේ හිටපු පොඩි රටවලට හැම විටම මෙන් තමන්ගේ ආර්ථිකයන් තුලනය කරගන්න පුළුවන් වුනේ ලොකු රටවල අනුකම්පාව මත පදනම්වයි. නිශ්චිත ලෙස කිවුවොත් සෝවියට් ආධාර වල උදවුවෙන්. වියට්නාමය වගේ රටවලට ඒ කාලයේදී සෝවියට් දේශයෙන් වාර්ෂිකව ආධාර මුදල් ලැබුණා.
ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ලිබරල් ප්‍රවේශයේදී මේ වගේ අවුලක් වෙන්නේ නැහැ. මොකද කිසියම් රටක් යම් භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය කරන්නේ එය රට තුළ නිපදවා ගත නොහැකි නිසා නෙමෙයි. "සංසන්දනාත්මක වාසිය" නිසා. (මේ ගැන පෙර ලියූ ලිපි මාලාවක් තිබෙනවා. අවශ්‍යනම් කියවන්න.) උදාහරණයක් විදිහට ලංකාවේ මහලා ඇමරිකාවට යවන ඇඟලුම් ඇමරිකාව ඇතුළේම මහගන්න කිසිම බැරිකමක් නැහැ.
අනෙක් අතට මතක තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ ඔය ලිබරල් ප්‍රවේශය තුළ අපනයන වර්ධනය වූ පමණින් රටක විදේශ විණිමය සමුච්ඡනය වෙන්නේ නැහැ. රටට එන විදේශ විණිමය අනෙක් අතට ආනයන ලෙස හෝ වෙනත් ක්‍රමයකින් රටෙන් එළියට යනවා. පසුගිය ලිපි හයකම අපි හිටියේ වියට්නාමය ඇතුළේ නිසා අපි නැවතත් වියට්නාමය වෙතම යමු.
වියට්නාමය කියන්නේ විශාල අපනයන ආර්ථිකයක් තිබෙන රටක් බව ඔබ දැනටමත් දන්නවා. 2022 වසරේදී වියට්නාමය භාණ්ඩ අපනයනයෙන් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 371,304ක්. මීට සාපේක්ෂව ලංකාව ඉපැයුවේ ඩොලර් මිලියන 13,106.4ක් පමණයි. ඒ කියන්නේ 2022 වසරේ වියට්නාමයේ භාණ්ඩ අපනයන ආදායම ලංකාවේ එම ආදායම මෙන් 28 ගුණයක්.
ලංකාවට වඩා විශාල ජනගහණයක් සිටින ලොකු රටක් වන වියට්නාමය ලංකාව සමඟ සංසන්දනය කිරීම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් බව මෙම ලිපි මාලාවේ මුල් ලිපි වල පැහැදිලි කළානේ. ඒ කරුණ අපට අමතක කරන්න බැහැ. නමුත් වියට්නාමයේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් 28 ගුණයක් විශාල නැහැ. එය ඩොලර් බිලියන 408.8ක ආර්ථිකයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 74.4ක් වූ ලංකාවේ ආර්ථිකය මෙන් පස් හය ගුණයක් පමණ ලොකු ආර්ථිකයක්. ඩොලර් බිලියන 371.3ක අපනයන ආදායමක් කියා කියන්නේ ඊට සාපේක්ෂව වුවත් ඉතාම විශාල අගයක්. එරට දදේනියෙන් 90.8%ක්.
ඒ කියන්නේ වියට්නාමයේ සමස්ත නිෂ්පාදිතයෙන් 90.8%ක්ම අපනයනය කරනවාද? මෙම අගය භාණ්ඩ අපනයන පමණයි. මීට අමතරව වියට්නාමය විසින් යම් තරමක සේවා අපනයනද කරනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 12,900ක්. ඒ අනුව, භාණ්ඩ හා සේවා අපනයනය රටේ දදේනියෙන් 94.0%ක්.
රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයෙන් 94.0%ක්ම අපනයනය කළොත් එරට සමස්ත පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් මෙන්ම රාජ්‍ය අංශයේ පරිභෝජනය වෙනුවෙන්ද ඉතිරි වන්නේ දදේනියෙන් 6.0%ක කොටසක් පමණයි. නමුත්, 2022 වසරේදී වියට්නාමයේ පරිභෝජනය හා ආයෝජනය එරට දදේනියෙන් 96.29%ක්. මෙහෙම වුනේ කොහොමද?
පිළිතුර සරලයි. මේ වෙනස වියට්නාමයේ ආනයන. 2022 වසර තුළ වියට්නාමය විසින් ඩොලර් මිලියන 345,587ක භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ඊට අමතරව ඩොලර් මිලියන 25,524ක සේවා ආනයනය කර තිබෙනවා. එකතුව එරට දදේනියෙන් 90.8%කට සමානයි. මේ අනුව පැහැදිලි වන්නේ කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වත්මන් වියට්නාමය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්නා ප්‍රතිපත්තියක නැති බවයි. ඒ වෙනුවට වියට්නාමය විසින් අනුගමනය කරන්නේ තමන්ට සංසන්දනාත්මක වාසියක් ඇති දේ අපනයනය කරන අතර එවැනි වාසියක් නැති දේ ආනයනය කිරීමේ ලිබරල් ප්‍රවේශයයි.
වියට්නාමය විසින් අපනයනය කරන දේවල් නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලද එරට තුළම නිපදවීමට උත්සාහ කළේනම් වියට්නාමයට මෙම අපනයන ඉලක්කයට යා හැකි වන්නේ නැහැ. නමුත්, ඒ හැම දෙයක්ම රට තුළ නිපදවීමෙහි සංසන්දනාත්මක වාසියක් නොමැති බව වියට්නාමය විසින් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා. වියට්නාමය විසින් කරන්නේ රට තුළ තරඟකාරී ලෙස නිපදවිය නොහැකි දේ ආනයනය කරමින් රට තුළ තරඟකාරී ලෙස කළ හැකි අගය එකතු කිරීම් කරන එක පමණයි.
ඉහත හේතුව නිසා වියට්නාමය විසින් අපනයන වෙළඳපොළ ඉලක්ක කරමින් කොයි තරම් විශාල නිෂ්පාදනයක් රට තුළ සිදු කළත්, ඒ මගින් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රට තුළට අද්දා ගත්තත්, එම විදේශ විණිමය ප්‍රමාණයෙන් වැඩි කොටසක් නැවත රටෙන් එළියට යනවා. රට තුළ මහා පරිමාණයෙන් විදේශ විණිමය සමුච්ඡය වීමක් සිදු වන්නේ නැහැ.
කෙසේ වුවත්, භාණ්ඩ වෙළඳාම පමණක් සැලකුවහොත් වියට්නාමයේ විදේශ විණිමය අතිරික්තයක් දැකිය හැකියි.
භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 371,304
භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 345,587
වෙළද ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 25,717
මෙයට සාපේක්ෂව ලංකාවේ වෙළද ගිණුමේ දැකිය හැක්කේ හිඟයක්.
භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 13,106.4
භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 18,291.0
වෙළද ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 5,184.6
ලංකාවේ මෙම වෙළඳ හිඟයට හේතුවම ලංකාව ප්‍රමාණවත් තරමින් ලෝකයට විවෘත නොවීමයි. කෙසේ වුවත් කරුණක් සේ ගත්තොත්, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් පවතිද්දී වියට්නාමය විසින් අතිරික්තයක් පවත්වා ගන්නවා. ඒ නිසා, වියට්නාමයේ විශාල ලෙස විදේශ විණිමය ගොඩ ගැසෙනවාද?
වියට්නාමය භාණ්ඩ නිෂ්පාදනයේදී ලංකාවට වඩා තරඟකාරී වුවත්, සේවා නිෂ්පාදනයේදී ලංකාව වඩා තරඟකාරීයි. ලිපිය දිගු වන නිසා ඒ ඇයි කියා මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් පහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මේ කරුණ පැහැදිලි විය යුතුයි.
වියට්නාමයේ සේවා ගිණුම:
සේවා අපනයනය - ඩොලර් මිලියන 12,900
සේවා ආනයනය - ඩොලර් මිලියන 25,524
සේවා ගිණුමේ හිඟය - 12,624
සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල අතිරික්තය - ඩොලර් මිලියන 13,093
ලංකාවේ සේවා ගිණුම:
සේවා අපනයනය - ඩොලර් මිලියන 3,062.3
සේවා ආනයනය - ඩොලර් මිලියන 952.7
සේවා ගිණුමේ අතිරික්තය - 2,109.6
සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 3,075.0
වියට්නාමය තරඟකාරී ලෙස රට තුළ භාණ්ඩ නිපදවා වෙළඳ අතිරික්තයක් පවත්වා ගත්තත්, සේවා නිෂ්පාදනයේදී ඒ තරඟකාරිත්වය නැති නිසා සේවා ගිණුමේ තියෙන්නේ හිඟයක්. වෙළඳ ගිණුමේ අතිරික්තයෙන් බාගයක් පමණ ඒ හිඟය පියවීම සඳහා වැය වෙනවා. මෙයින් වෙනස්ව, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයෙන් කොටසක් සේවා ගිණුමේ අතිරික්තය නිසා පියැවෙනවා.
රටකට ඩොලර් (විදේශ විණිමය) ලැබෙන්නෙත්, රටකින් විදේශ විණිමය පිට වන්නේත් භාණ්ඩ හා සේවා වෙළඳාම හරහා පමණක් නෙමෙයි.
රටකට විදේශ ආයෝජන පැමිණීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුනත් විදේශ ආයෝජකයින් මී කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. තමන්ගේ ආයෝජන වල ප්‍රතිලාභ ඔවුන් වාර්ෂිකව රටෙන් එළියට අරගෙන යනවා. සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් තිබෙන වියට්නාමයෙන් වසරකට මේ විදිහට එළියට යන විදේශ විණිමය ප්‍රමාණය ඉතාම විශාලයි.
ඉහත කී පරිදි විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවිය යුතු පොලී හා ලාභාංශ ලෙස රටින් පිටවන මුදල් හා එලෙසම රටට එන මුදල් සටහන් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමේ. 2022 වසරේදී වියට්නාමයේ ප්‍රාථමික ආදායම් ගෙවීම් ප්‍රමාණය ඩොලර් මිලියන 22,049ක්. ලංකාවේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,123.6ක් පමණයි.
මෙහිදී සිදු වන්නේ ආයෝජකයින් විසින් වියට්නාමයේ අඩු ශ්‍රමයේ වාසිය ලබා ගනිමින් එරට තුළ භාණ්ඩ නිපදවා ලැබෙන ලාබය රටෙන් රැගෙන යාමක්. ලංකාවේද සිදු වන්නේ මෙයම වුවත් එසේ සිදු වන්නේ අඩු පරිමාණයකින්.
මේ දෙරටේම රටින් පිටත ඇති ආයෝජන එතරම් විශාල නොවන නිසා ප්‍රාථමික ආදායම් ලැබීම් ප්‍රමාණ එම ගෙවීම් වලට සාපේක්ෂව ඉතාම අඩුයි. වියට්නාමයේ එම ප්‍රමාණය ඩොලර් මිලියන 2,321ක්. ලංකාවේ ඩොලර් මිලියන 249.4ක් පමණයි. කොහොම වුනත් මේ කාරණයේදී පවා වියට්නාමය ලංකාවට සාපේක්ෂව විවෘත බව කැපී පෙනෙනවා. වියට්නාමයේ විදේශ ආයෝජන වලින් ලැබෙන ආදායම ලංකාවේ එම ආදායම මෙන් දහ ගුණයකට ආසන්නයි.
ලංකාවේ වගේම වියට්නාමයේත් ප්‍රාථමික ආදායම් ගිණුම් වල දැකිය හැක්කේ හිඟයක්. එම හිඟය පියවීමෙන් පසුව මේ එක් එක් රටේ විදේශ විණිමය ප්‍රවාහ තුලනය වන්නේ කොහොමද?
සමස්තයක් ලෙස වියට්නාමයේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 6,635
සමස්තයක් ලෙස ලංකාවේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 4,949.1
පේනවානේ තත්ත්වය. වියට්නාමය විශාල නිෂ්පාදන ආර්ථිකයක් එක්ක විශාල වෙළඳ අතිරික්තයකින් පටන් ගත්තත්, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල ශේෂ එකතු කළාට පස්සේ රටේ විදේශ විණිමය හිඟය ලංකාවේ එම හිඟයටත් වඩා වැඩියි. වැඩියෙන් අපනයනය කළ පමණින්ම රටේ වැඩියෙන් ඩොලර් ඉතිරි නොවන බව මෙයින් පැහැදිලිව පේනවා ඇති.
රටකට විදේශ විණිමය එන්නේ ඔය ක්‍රම තුනට පමණක් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ ගැන කවුරුත් දන්නවනේ. ඒවා සටහන් වෙන්නේ ද්වීතියික ආදායම් ගිණුමේ. ලංකාවට වගේම වියට්නාමයටත් ශ්‍රමික ප්‍රේෂණ එනවා. ඒ වගේම, ඊට වඩා අඩු ප්‍රමාණයක් වුවත්, යම් විදේශ විණිමය ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටින් එළියටත් යනවා. ද්වීතියික ආදායම් ගිණුම ඉහත ගිණුම් තුනට එකතු කළාට පස්සේ තත්ත්වය කුමක්ද?
වියට්නාමයේ ද්වීතියික ආදායම් ගිණුම:
ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 12,213
ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 6,652
ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 5,561
සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,074
ලංකාවේ ද්වීතියික ආදායම් ගිණුම:
ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 3,792.8
ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 296.4
ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 3,496.4
සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,452.7
දැන් කතාව පැහැදිලි ඇතිනේ!
සියලුම ඩොලර් ආදායම් හා ඩොලර් වියදම් තුලනය වුනාට පස්සේ ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,452.7ක හිඟයක් ඇති වෙලා. එම මුදල ආයෝජනයක් ලෙස හෝ ණයක් ලෙස රටට පැමිණිය යුතුයි. භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 371ක් උපයලා, ඩොලර් බිලියන 25.7ක වෙළඳ ගිණුම් අතිරික්තයක් එක්ක පටන් ගත්ත වියට්නාමයේ එහෙම වෙලා නැද්ද?
අවසාන ප්‍රතිඵලය දිහා බැලුවහම වියට්නාමයේ කියලත් වෙනසක් නැහැ. වියට්නාමය 2022 අවුරුද්ද අවසන් කරන්නේත් ඩොලර් බිලියනය ඉක්මවන ජංගම ගිණුම් හිඟයක් එක්ක. ඒ කියන්නේ උපයපු විදේශ විණිමය ප්‍රමාණය කොපමණ වුනත් ඊට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් වියදම් වෙලා.
කොයි තරම් අපනයන කළත් රටක විදේශ විණිමය ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා, මොන විදිහකින් හෝ විදේශ විණිමය හොයන්න මහන්සි වෙන එක විදේශ විණිමය ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. ඒ වගේම, විදේශ විණිමය ප්‍රවාහ තුලනය කරගන්න ලොකුවට දඟලන්න අවශ්‍යත් නැහැ. විණිමය අනුපාතය නියම තැන තියෙනවානම් ඔය වැඩේ නිකම්ම වෙනවා.
අවදානමකට මුහුණ දීම සඳහා යම් විදේශ සංචිත ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, විදේශ විණිමය උපයලා ගොඩ ගහගෙන ඉන්න එකේත් තේරුමක් නැහැ. රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ උපයන විදේශ විණිමය වැය කරන විටයි. ඒ වගේම, විදේශ විණිමය රටට එනවානම් ඒ එන්නේ මොන විදිහටද කියන එකේ ලොකු වෙනසක් නැහැ. භාණ්ඩ අපනයනය කළත්, සේවා අපනයන කළත්, ප්‍රාග්ධනය "අපනයනය" කරලා ලාභ එකතු කළත්, ශ්‍රමය "අපනයනය" කරලා ශ්‍රමික ප්‍රේෂණ එකතු කළත් එන්නේ එකම ඩොලර්. රටකට වඩා පහසුවෙන් ඩොලර් උපයන්න පුළුවන් දේ කරනවා මිසක් මේ එක ක්‍රමයක් වෙනුවට වෙන ක්‍රමයක් යොදා ගන්න අවශ්‍ය නැහැ.
හරි. එතකොට වියට්නාමයේ මහ ලොකු නිෂ්පාදන ආර්ථිකය හෝ අපනයන ආර්ථිකය නිසා රටේ විදේශ විණිමය එකතු වෙන්නේ නැත්නම්, ඔය තරම් ලේසියෙන් විදේශ විණිමය ප්‍රශ්නය විසඳා ගන්නත් පුළුවන්නම්, අපනයන කරන්න ඔය තරම් මහන්සි විය යුත්තේ ඇයි?
ඒක වෙනම කතාවක්. ඒ වගේම වැදගත් කතාවක්. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න නෙමෙයි. විදේශ වෙළඳපොළ ඉලක්ක කර රටක නිෂ්පාදනය සිදු කරනවා කියන්නේ ගනුදෙනු හරහා ලෝකයම එක්ක සම්බන්ධ වෙනවා කියන එක. මෙහිදී විශාල අගය එකතු වීමක් වෙනවා. මෙය මුල් කොටසක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ලෝකයට විවෘත නොවී ඒ වගේ මට්ටමක අගය එකතු කිරීමක් කවදාවත් කරන්න බැහැ.
රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්නේ මේ අගය එකතු වීමත්එක්ක. රටක ඒක පුද්ගල ආදායම වේගයෙන් ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. ලංකාව හා වියට්නාමය වැනි රට වලට කවදා හෝ සංවර්ධිත රටක් විය හැක්කේ මෙවැනි අගය එකතු වීම් වේගයෙන් සිදු වීමත් එක්ක.
විදේශ විණිමය ප්‍රශ්නය කියන්නේ ලොකු අමාරුවක් නැතිව පහසුවෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක්. ඒ සඳහා අපනයන පරිමාව විශාල ලෙස වැඩි කරගන්න අවශ්‍ය නැහැ. නමුත්, රට ඉදිරියට යන්නනම්, එහෙම ගිහින් කවදා හෝ සංවර්ධිත රටක් වෙන්නනම් අපනයන අනිවාර්යයෙන්ම අවශ්‍යයි.
ආනයන වැඩි නොකර අපනයන විතරක් වැඩි කරන්න බැහැ. ඔය දෙකම යන්නේ එකට. මේ පාරේ යද්දී රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම රටේ හදන්න උත්සාහ කළ යුතු නැහැ. වඩා තරඟකාරී ලෙස හැදිය හැකි, සංසන්දනාත්මක වාසියක් තියෙන දේවල් වෙත අවධානය යොමු කිරීම ප්‍රමාණවත්. ඒ වගේම රටට ඩොලර් එනවානම් ඒ එන ක්‍රමය එතරම් වැදගත් නැහැ.
ආදි යුගේ අපි උන්නේ එක තැනක
ReplyDeleteකන-බොන වසන දේවල් තිබ්බෙත් ටිකක
පැතිරෙන විටදී ඕනෑකම් ටිකෙන් ටික
ගනුදෙනු කරන්නත් වෙනවා ලොකු ඉඩක
අපනයන් වැඩි කරන්න කන කට්ට නිසා ජීවන තත්වය පහත යන්නෙ නැද්ද? ඔටී වැඩිවෙනව වගෙ ඒව නිසා
ReplyDeleteලෝකයේ කිසිම රටක් බඩුවක් හදන්න හැම දේම රට ඇතුලේ හදන්නේ නෑ... කාර් හදන රටක එහි කොටස් එන්නේ ලෝකයේ විවිධ තැන් වලින්...
ReplyDeleteඇත්තටම වෙන්නේ භාණ්ඩයට අගය එකතු කිරීමක්. ඒ අගය එකතු කරන්න ඒකට අවශ්‍ය භාණ්ඩ් හා සේවා රට ඇතුලට ගෙන්න නිදහස තියෙන්න ඕනේ. ඕක ආන්ඩුව මැදිහත් වෙලා රට ඇතුලට ගෙන්න පුලුවන් මොනවද කියන තීරණය කරන එක අකාර්‍යක්ශම ක්‍රමයක්.රටට ඇතුලට ගේන්න පුලුවන් මොනාද,, ඒ වා පාවිච්චි කරලා ලෝකේට විකුණන්න පුලුවන් මොනදා කියලා තීරණය කරන්න පුලුවන් ඒ ඒ ක්ශේත්‍රයේ නියැලී ඉන්න අයටම තමයි..ඒ කියන්න ව්‍යවසායකයන්ට...ඉතින් රට ඇතුලට තමන්ට කැමති දෙයක් ගේන්න, ඒ වගේම රටෙන් එලියට යවන භාණ්ඩය මොකක්ද කියන එක ඒ ව්‍යවාසායකයා අතටම යන්න ඕනේ. එතැනිදි තමයි නිදහස් වෙලදපොල කියන එක වැදගත් වෙන්නේ.. රජය මෙතැනට මැදිහත් වෙලා කෘතීම තත්වයක් ඇති කරන එකෙන් වෙන්නෙ ලෝක මට්ටමේදී ඒ භාණ්ඩය හෝ සේව්වා තවදුරටත් තරඟකාරී නොවෙන එක.
ඉකොනොමැට්ටාගේ වියට්නාම් ආර්ථික ගැන ලිපි මාලාවේ මා දැක්ක දේ ඒකම තමයි
මම හිතන්නේ පැරණි සෝවියට් දේශය ඇතුළේ ඔය වැඩේ වෙන්න ඇති. 100%ක් කෙසේ වෙතත් ඒ කිට්ටුවට. ලෝහ වර්ග වල ඉඳලා තාක්ෂනය දක්වා හැම දෙයක්ම රට ඇතුළේම තිබුණනේ. නමුත් සෝවියට් වාහන වලට කවදාවත් ජපන් වාහන වලට වගේ රටෙන් පිටත තරඟ කරන්න පුළුවන් තත්ත්වයක් හැදුනේ නැහැ.
Delete