වෙබ් ලිපිනය:

Showing posts with label බැඳුම්කර. Show all posts
Showing posts with label බැඳුම්කර. Show all posts

Tuesday, September 26, 2023

බැඳුම්කර ගනුදෙනු


භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික හා ඵලදා අනුපාතය අතර වෙනස ගැන කිහිප වරක්ම පැහැදිලි කර ඇතත්, ගොඩක් අයට තවමත් හරි අවබෝධයක් නැති නිසා උදාහරණයක් අරගෙන පුලුවන් තරම් සරලව පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නම්. මේ ලිපිය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන හෝ සේවක අර්ථ සාධක අරමුදල ගැන කතා කරන ලිපියක් නෙමෙයි.

මේ වන විට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග අතරින් වැඩිම කූපන් පොලියක් සහිත බැඳුම්කර නිකුත් කළේ පසුගිය වසර මුල. එම කූපන් පොලිය 22.5%ක්. මෙවැනි එක් කූපන් බැඳුම්කරයක් 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළා. එය කල් පිරෙන්නේ 2026 මැයි 15 දින. 

ප්‍රාථමික වෙන්දේසියෙන් මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට 2023 ජනවාරි 12 දින බැඳුම්කරය කල් පිරෙන තුරු රුපියල් 22.50ක වාර්ෂික පොලියක් ලැබෙනවා. නමුත්, බැඳුම්කරයක් කියන්නේ ස්ථිර තැන්පතුවක් වැනි දෙයක් නොවන නිසා මෙම කූපන් පොලිය 22.5% වාර්ෂික පොලියක් ලැබෙන ස්ථිර තැන්පතුවකට සමාන කරන්න බැහැ. 

රුපියල් 100ක ස්ථිර තැන්පතුවක් දමන කෙනෙක් ඒ වෙනුවෙන් රුපියල් 100ක මුදලක් වැය කළ යුතුයි. ස්ථිර තැන්පතු පොලිය 22.50%නම් වාර්ෂිකව රුපියල් 22.50ක් ලැබෙන්නේ ඒ විදිහට රුපියල් 100ක් යට කළාට පස්සේ. නමුත් බැඳුම්කර ආයෝජන ඊට වඩා වෙනස්. වෙන්දේසියෙන් බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් මිල දී ගැනීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ට සහ බැංකු වලට ලන්සු තියන්න පුළුවන්. මහ බැංකුව විසින් ලංසුව පිළිගත්තොත්, තමන් ලන්සු තැබූ මුදලට බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත වටිනාකමක් මිල දී ගන්න ඉඩ ලැබෙනවා. ඒ ගණන රුපියල් 100ට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 

ඉහත හේතුව නිසා, බැඳුම්කර ආයෝජනයක් කරද්දී එහි කූපන් පොලිය කියන්නේ නිකම්ම අංකයක් පමණයි. තමන්ට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ බැඳුම්කරය මිල දී ගැනීම සඳහා යට කළ මුදල අනුවයි. හරියටම රුපියල් 100ක් ගෙවලා බැඳුම්කරය ගත්තානම් පමණක් ලැබෙන ප්‍රතිලාභය කූපන් පොලියට සමානයි. නමුත් කලාතුරකින් හැර බැඳුම්කරයක මිල හරියටම කූපන් පොලියට සමාන වෙන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවෝ හෝ වෙනත් අය වෙන්දේසියෙන් මිල දී ගන්න බැඳුම්කර කල් පිරෙන තුරු අතේ තියාගෙන ඉන්නේ නැහැ. අනෙක් පැත්තට වෙනත් අයට විකුණනවා. මේ විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කරයක් මිල දී ගනිද්දී වුනත් කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ එය මිල දී ගැනීම සඳහා යෙදවූ මුදල අනුවයි. කූපන් පොලිය කීයද කියන එක වැඩක්ම නැති දෙයක්. 

දැන් මේ 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළ, 2026 මැයි 15 දින කල් පිරෙන, 22.5% කූපන් පොලියක් සහිත, එකම බැඳුම්කරය ප්‍රාථමික වෙන්දේසියෙන් විවිධ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මිල දී ගන්නේ වෙනස් මිල ගණන් වලට. ඒ අනුව, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයද වෙනස් වෙනවා. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් එදින බැඳුම්කරයක් විකිණී තියෙන්නේ රුපියල් 88.10ක් පමණ මිලකට. ඒ මිලට, මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට මාස හයකට වරක් ලැබෙන රුපියල් 11.25ක කූපන් පොලියට අමතරව කල් පිරීමේදී අමතර රුපියල් 11.90ක වාසියකුත් ලැබෙනවා. ඒ බැඳුම්කරය ගත් මිල සහ එහි මුහුණත අගය අතර වෙනස. මේ සියලු ලැබීම් සැලකූ විට එය යට කළ මුදල වෙනුවෙන් කල් පිරෙන තුරු 30.85%ක පොලියක් ලැබෙන එකට සමානයි. සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට වෙන්දේසියෙන් මෙම බැඳුම්කරය මිල දී ගත් කෙනෙකුගේ ප්‍රතිලාභය මීටත් වඩා වැඩියි. සාමාන්‍ය මිලට වඩා වැඩියෙන් ගෙවුවානම් ප්‍රතිලාභය අඩුයි. 

මාස හයකට පස්සේ මේ බැඳුම්කරයේ වටිනාකම රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ, ඒ මිලට ද්වීතියික වෙළඳපොළේ විකිණිය හැකි පරිදි අර්පණ ඉදිරිපත් වෙනවා. ඒ අනුව, මාස හයකට කලින් වෙන්දේසියෙන් මේ බැඳුම්කරය රුපියල් 88.10කට මිල දී ගත් කෙනෙකුට එය රුපියල් 108.63කට විකුණා රුපියල් 20.53ක ප්‍රාග්ධන ලාබයක් ලබන්න පුළුවන්. ඊට අමතරව ඔය කාලය ඇතුළත කූපන් පොලී විදිහට තවත් රුපියල් 11.25ක් ලැබිලා. එකතුව රුපියල් 31.78ක්. 

දැන් මේ රුපියල් 31.78ක මුදල ලැබෙන්නේ රුපියල් 88.10ක ආයෝජනයක් වෙනුවෙන් මාස හයක කාලයකදී. ඒ කියන්නේ මාස හයකට 36.07%ක ප්‍රතිලාභයක්. මෙය 85.16%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි!

වසරකට 85% ඉක්මවන ප්‍රතිලාභයකට සමාන මේ තරම් විශාල ප්‍රතිලාභයක් බැඳුම්කර ආයෝජකයින්ට ලබාගත හැකි වුනේ බැඳුම්කරයේ කූපන් පොලිය 22.5%ක් වූ නිසාද? කොහෙත්ම නැහැ. ආයෝජකයෙකුට ඔය මාස හය ඇතුළත මේ තරම් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වුනේ පොලී අනුපාතික විශාල ලෙස පහළ ගිය නිසා.

අපි හිතමු ඔය 22.5% කූපන් පොලී බැඳුම්කරය වෙනුවට ඔය දවසේම ද්වීතියික වෙළඳපොළෙන් අඩු කූපන් පොලියක් සහිත බැඳුම්කරයක් මිල දී ගත්තා කියලා. 2027 කල් පිරෙන 7.8% කූපන් පොලී බැඳුම්කරයක් ඔය දවසේදී අලෙවි වුනේ රුපියල් 49.91කට. මාස හයක් යද්දී එය රුපියල් 76.36ක් වෙලා. එතකොට මාස හයට ප්‍රාග්ධන ලාබය රුපියල් 26.45ක්. කූපන් පොලිය රුපියල් 3.90ක්. එකතුව රුපියල් 30.35ක්. රුපියල් 49.91ක ආයෝජනයකට මාස හයකට රුපියල් 30.35ක් කියන්නේ 60.88%ක්. එය 158.60%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි. 

මේ උදාහරණ වල තියෙන්නේ ඇත්තම ගණන්. ඒ කියන්නේ ඔය මාස හයක කාලය ඇතුළත බැඳුම්කර ආයෝජකයෙකුගේ ඇත්තම ලාබය. ලාබය තීරණය වී තියෙන්නේ කූපන් පොලිය මත නොවන බව ඔය ගණන් දෙක සංසන්දනය කළත් අනිවාර්යයෙන්ම පැහැදිලි විය යුතුයි. 7.8% කූපන් බැඳුම්කරයෙන් ලබා ගත හැකි වූ ප්‍රතිලාභය 22.5% කූපන් බැඳුම්කරයේ ප්‍රතිලාභය වගේ දෙගුණයකට ආසන්නයි.

ඒ වගේම, ඔය දෙකෙන් කොයි එක ගත්තත්, බැඳුම්කර මිල දී ගනිද්දී පෙනෙන්න තිබුණු ඵලදා අනුපාතික සහ මාස හයකට පසුව ඇත්තටම ලැබුණු ප්‍රතිලාභ අනුපාතික අතරත් සම්බන්ධයක් නැහැ. ජනවාරි මාසයේදී 22.5% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 31%ක් පමණ. 7.8% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 28%කට ආසන්නයි. ඇත්තටම ලැබුණු ප්‍රතිලාභය ඒ වගේ කිහිප ගුණයක්. 

නැවත 22.5% කූපන් බැඳුම්කරය වෙත ගියොත්, රුපියල් 88.10ක් වූ එහි මිල මාස හයකට පසුව රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා කියන්නේ ඒ මිල ගෙවා එය මිල දී ගන්නා අයෙකුගේ ඵලදා අනුපාතිකයද මුල් අනුපාතයට වඩා ගොඩක් අඩු වෙනවා කියන එක. එය 31.25% සිට 16.78%ක් දක්වා පහත වැටෙනවා. 

බැඳුම්කරය අලුතෙන් මිල දී නොගත්, මුල සිටම තමන් සතු වූ අයෙකුගේ ඵලදා අනුපාතය වුවත් ඕකම තමයි. මොකද එහි මිල රුපියල් 108.63 දක්වා ඉහළ යාමේ ලාබය දැනටමත් අතේ තියෙන එකක්. ඉදිරි කාලයේදී ලැබෙන්න තියෙන්නේ ඔය 16.78%. මෙයින් පැහැදිලිව පෙනෙන පරිදි බැඳුම්කරයක් මිල දී ගනිද්දී පෙනෙන ඵලදා අනුපාතිකය බැඳුම්කරය කල් පිරෙන තුරුම දවසින් දවස වෙනස් වෙනවා. එය වෙන්නේ වෙළඳපොළ තත්ත්වයන් අනුව මිසක් ආරම්භයේදී පැවති ඵලදා අනුපාතය හෝ කූපන් පොලී අනුපාතය අනුව නෙමෙයි. 

සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් කළ බැඳුම්කර හුවමාරුවේ ලාබ පාඩු සලකා බැලිය හැක්කේත් ඔය පදනමේ සිටයි. බැඳුම්කර වල කූපන් පොලිය හෝ ආරම්භක ඵලදා අනුපාතය ඒ තරම් අදාළ දෙයක් නෙමෙයි. බැලිය යුත්තේ හුවමාරුව සිදු වූ දින අදාළ බැඳුම්කර වල ඵලදා අනුපාතික කොපමණ වීද කියන එකයි. එහෙම නැත්නම් අලුතෙන් ලැබුණු බැඳුම්කර වල ඵලදා අනුපාතික සමඟ කරන සංසන්දනය නිවැරදි සංසන්දනයක් නෙමෙයි. ඒවායේ කූපන් පොලී අනුපාතික එක්ක ආරම්භක ඵලදා අනුපාතික සංසන්දනය කරන එකනම් කොහොමටවත්ම නිවැරදි නැහැ. 

ඉහත උදාහරණ දෙස බැලූ විට කෙනෙකුට පෙනෙනවා ඇති බැඳුම්කර ආයෝජන කරන අයට කොයි තරම් විශාල ලාබ ගන්න පුලුවන්ද කියන එක. නිකමට හිතන්නකෝ මාස හයකට 61%ක ප්‍රතිලාභයක් කියන්නේ කොයි තරම් විශාල ප්‍රතිලාභයක්ද කියලා. නමුත්, පාඩු වෙද්දී පාඩු වෙන්නෙත් ඔය විදිහටම තමයි. 

මෙතැනින් එහාට මෙය සරල ලෙස පැහැදිලි කිරීම සඳහා පමණක් මම තාක්ෂණික ලෙස සියයට සියයක් නිවැරදි නැති උදාහරණයක් ගන්නම්. අපි හිතමු යම් කෙනෙක් වසර 10කින් කල් පිරෙන බැඳුම්කරයක් මිල දී ගනිද්දී එහි ඵලදා අනුපාතිකය 15%ක් කියලා. දැන් මේ ඵලදා අනුපාතිකය 15% වෙද්දී එහි කූපන් පොලිය 25% හෝ 5% වැනි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. එය අදාළ නැහැ. මොකද කූපන් පොලිය කීය වුනත් ඵලදා අනුපාතිකය වෙළඳපොළ ඵලදා අනුපාතිකයට සමාන වෙන විදිහට මිල සකස් වෙනවා. 

දැන් මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 15%ක් කියන එකෙන් අදහස් වෙන්නේ ස්ථිර තැන්පතුවකට වගේ වාර්ෂිකව 15%ක පොලියක් ලැබෙනවා කියන එක නෙමෙයි. වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලිය අනුව වෙනස් වෙනවා. නමුත් වසර 10ක කාලය අවසානයේදී ලැබෙන මුළු ප්‍රතිලාභය සාමාන්‍ය අගයක් විදිහට ගත්තහම 15%ක ස්ථිර තැන්පතුවකට සමානයි. 

ඔය විදිහේ වසර 10ක බැඳුම්කරයක් කල් පිරෙන තුරු එක් අයෙක් අතේම තියෙන්න අවශ්‍ය නැහැ. බැඳුම්කරය අතින් අත මාරු වෙනවා. එසේ මාරු වෙද්දී එහි ප්‍රතිලාභද පුද්ගලයින් හෝ ආයතන අතර බෙදී යනවා. ඒ සියල්ල එකතු කළ විට සාමාන්‍ය අගයක් ලෙස 15% වුනත් ඇතැම් අයට ඊට වඩා අඩුවෙනුත් තවත් අයට වැඩියෙනුත් ලැබෙනවා. ඒක වෙන්නේ වෙළඳපොළ පොලී අනුපාතික (ඵලදා අනුපාතික) අඩු වැඩි වෙන ආකාරය අනුව.

බැඳුම්කරය මිල දී ගනිද්දී වසර-10 කල් පිරීමක ඵලදා අනුපාතිකය 15%යි. වසරකට පසුව මේ බැඳුම්කරය සමාන වෙන්නේ වසර-9ක කල් පිරීමකට. අපි හිතමු ඒ වෙද්දී වසර-9 කල් පිරීමක ඵලදා අනුපාතය 14% දක්වා අඩු වෙලා කියලා. එහෙම වෙද්දී, මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතයද 14% වෙන විදිහට එහි මිල ඉහළ යනවා. ඒ කියන්නේ, එහි අනාගත ප්‍රතිලාභ වසරකට 1% බැගින් අඩු වෙනවා. මෙම අඩු වීම 9%ක්. (තාක්ෂණිකව මෙය මීට වඩා සංකීර්ණයි. ඒ නිසා මේ ගණන මීට වඩා වෙනස් වෙනවා. මෙහෙම කියන්නේ පැහැදිලි කිරීමේ පහසුවට). මෙසේ වෙද්දී බැඳුම්කරයේ අනාගත ප්‍රතිලාභ වලින් අඩු වෙන කොටස වන 9% එහි වෙළඳපොළ මිලට එකතු වී මිල 9%කින් ඉහළ යනවා. මේ අනුව, පළමු වසර අවසානයේදී බැඳුම්කරය විකුණන කෙනෙකුගේ ප්‍රතිලාභය 15% + 9% = 24%ක් දක්වා ඉහළ යනවා. කල් පිරීමේ කාලය දිගු වෙන තරමට සහ පොලී අනුපාතික අඩු වෙන තරමට මේ ලාබය ඉහළ යනවා. 

ඉහත උදාහරණයෙන් පැහැදිලිව පෙනෙන පරිදි දිගුකාලීන ආයෝජනයක් කරන කෙනෙක් එහි ප්‍රතිලාභ ලබා ගන්න කල් පිරෙන තුරු ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම පොලී අනුපාතික අඩු වෙන කාල වකවානු වලදී, දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් කෙටිකාලයකින් විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්. පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි සමාගම් කෙටි කාලයකින් විශාල ලාබ ලැබුවේ මේ ක්‍රමයට. පැහැදිලි කිරීම සඳහා පමණක් කරන දළ ගණනයක් ලෙස, වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් පහළ යද්දී වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ ඉහළ යනවා. ඔය මිල ඉහළ යාම සතියක් වගේ කාලයක් ඇතුළත වුනත් වෙන්න පුළුවන්. 

හැබැයි මේ ඉහළ ප්‍රතිලාභ වගේම මෙහි ඉහළ අවදානමකුත් තියෙනවා. වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් ඉහළ ගියොත්, ඔය ක්‍රමයටම වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ පහළ යනවා. එවිට, 15% වාර්ෂික ප්‍රතිලාභයෙන් පසුවත් 14%ක් පාඩු වෙලා. ඒ නිසා, මෙය අවදානමක් නැති ලාබයක් නෙමෙයි. 

මේ විදිහට ඵලදා අනුපාතික ඉහළ ගොස් මිල අඩු වෙද්දී ඔය විදිහේ පාඩුවක් වෙන්නේ මිල අඩු වූ වෙලාවේ බැඳුම්කරය විකුණුවොත්නේ. එහෙම නොවිකුණා තියා ගන්න බැරිද?

බැරිකමක් නැහැ. නමුත් එහෙම තියාගත යුතුද නැත්නම් පාඩුවට විකිණිය යුතුද කියන එක තීරණය වෙන්නේ තමන් හිතන විදිහට ඉදිරියේදී පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක මත. අපි හිතමු දැනට පාඩුව 14%ක් කියලා. ඉදිරි සතියේ පොලී අනුපාතික තවත් 1%කින් වැඩි විය හැකි බවයි පේන්න තියෙන්නේ. එහෙම වුනොත් මිල තවත් 29%කින් පහළ ගොස් පාඩුව 43%ක් වෙනවා. දැන්ම බැඳුම්කරය විකිණුවොත් 29%ක පාඩුවක් බේරගන්න පුළුවන්. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී වුනේ ඔය වගේ වැඩක්. වඩා වැඩි පාඩුවක් වලක්වා ගැනීම සඳහා මහ බැංකුව ග්‍රීක බැඳුම්කර පාඩුවට විකිණුවා. මේක ඕනෑම ආයෝජකයෙක් විසින් කරන දෙයක්. 

අනෙක් අතට ඵලදා අනුපාතික පහළ ගිහින් පළමු වසරේ ලාබය විශාල ලෙස ඉහළ ගිය පමණින්ම ආයෝජකයෙක් විසින් එම බැඳුම්කරය විකුණා ලාබය මුදල් කර ගන්නේ නැහැ. ඒක තීරණය කරන්නෙත් අනාගතයේ පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක අනුව. ඵලදා අනුපාතික තවත් පහළ යා හැකි බව පෙනේනම් බැඳුම්කරය විකුණන්නේ නැතිව තියාගෙන ඉන්න එකෙන් දැනටම එකතු වී තිබෙන විශාල ලාබය තවත් වැඩි කරගන්න පුළුවන්. දැනට ලොකු ලාබයක් එකතු වී තිබුණත්, පාඩුවක් එකතු වී තිබුණත්, බැඳුම්කරය විකිණිය යුත්තේ ඒ මත පදනම්ව නෙමෙයි. ඉදිරියේදී ඵලදා අනුපාතික වලට වෙන්න ඉඩ තියෙන දේ අනුව. 

ඵලදා අනුපාතික අඩු වෙන බව පේනවානම් විකුණන එක පාඩුයි. තවත් මිල දී ගන්න එක ලාබයි. ඵලදා අනුපාතික වැඩි වෙන බව පේනවානම් විකුණන එක ලාබයි. මොකද දැන් අතේ තියෙන බැඳුම්කර පාඩුවට හෝ ලාබයට විකුණා මුදල් කර ගත්තොත් ඒ බැඳුම්කරම වුනත් වඩා අඩු මිලකට මිල දී ගන්න පුළුවන්. මේ කිසිම දේකට කූපන් පොලී අනුපාතික හෝ බැඳුම්කර මිල දී ගනිද්දී තිබුණු ඵලදා අනුපාතික අදාළ නැහැ. අදාළ වෙන්නේ ඵලදා අනුපාතික වල අපේක්ෂිත වෙනස. මේ වෙනස නිවැරදිව පුරෝකථනය කර ගන්න පුළුවන් අයට බැඳුම්කර ගනුදෙනු කිරීමෙන් විශාල ලාබ ලබන්න පුළුවන්. හැබැයි අවදානමක් ගන්න වෙනවා. 

මේ අවදානම ගන්න සූදානම් නැති කෙනෙකුට අතරමැද ගනුදෙනු නොකර කල් පිරෙන තුරු බලා සිට මුලින් අපේක්ෂා කළ ඵලදා අනුපාතය ලබා ගන්න පුළුවන්. හැබැයි එවැනි අයෙකුට කල් පිරෙන තුරු වරින් වර මිල ඉහළ පහළ යද්දී ඉවසිල්ලෙන් බලා ඉන්න වෙනවා. එහෙම දිගු කාලයක් බලා සිටිය හැක්කේ විශ්‍රාම වැටුප් අරමුදල් වැනි කිසිම සල්ලි හදිස්සියක් නැති ආයෝජකයෙකුට පමණයි.

Sunday, September 3, 2023

කෙටිකාලීන ආයෝජන හා දිගුකාලීන ආයෝජන

ඊයේ (සැප්තැම්බර් 2) දින පැවති දකුණු ඉවුර විසින් සංවිධානය කළ සජීවී වැඩ සටහනේදී එක්තරා ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් යම් කාලයකට පසුව දෙවැන්නෙකු විසින් ඊට සමාන ප්‍රශ්නයක් නැවත අසනු ලැබුවා. ඒ අනුව, පෙනී ගියේ පළමු වර ලබා දුන් පිළිතුර එතරම් පැහැදිලි වී නැති බවයි. මෙම ප්‍රශ්නයේ ස්වභාවය අනුව, දෙවන වරට කළ පැහැදිලි කිරීම වුවද ප්‍රමාණවත් නොවිය හැකියි. ප්‍රශ්නය සජීවී සංවාදයකදී වචනයෙන් පමණක් පැහැදිලි කිරීම අසීරු, ගණනය කිරීමක් කර පැහැදිලි කළ යුතු තාක්ෂනික ප්‍රශ්නයක්.

ප්‍රශ්නය මේ වගේ එකක්. අපි හිතමු යම් අයෙක් වසර 15ක බැඳුම්කරයක ආයෝජනය කරනවා කියා. මෙම බැඳුම්කරය විකිණෙන්නේ අව මිලට. එනම් මුහුණත අගයට වඩා අඩුවෙන්. ඒ අනුව, වසර 15ක් කූපන් පොලී ලැබෙනවා. කල් පිරීමේදී මිල හා මුහුණත අගය අතර වෙනසද ලැබෙනවා.

දැන් අපි මේ විදිහට වසර 15ක බැඳුම්කරයක ආයෝජනය නොකර තෙවරක් වසර 5ක බැඳුම්කර වල ආයෝජනය කරනවා කියා සිතමු. ඒ තෙවරම මිල දී ගැනීම කරන්නේ අව මිලට කියා සිතමු. මෙසේ කළ විටද පෙර මෙන්ම වසර 15ක් කූපන් පොලී ලැබෙනවා. ඊට අමතරව, කල් පිරෙන අවස්ථා තුනකදීම මිල හා මුහුණත අගය අතර වෙනස ලැබෙනවා.

දැන් පළමු අවස්ථාවේදී මිල හා මුහුණත අගය අතර වෙනස ලැබෙන්නේ වරක් පමණයි. දෙවන අවස්ථාවේදී එම වෙනස තෙවරක්ම ලැබෙනවා. ප්‍රශ්නය වන්නේ ඵලදා අනුපාතය සමානම් දෙවන අවස්ථාවේ වඩා වැඩි ලාබයක් ලැබෙන්නේ නැද්ද කියන එකයි. 

එසේ වෙන්නේ නැහැ. ඊට හේතුව, ඵලදා අනුපාතය තුළ මිල හා මුහුණත අගය අතර වෙනසද අන්තර්ගතව ඇති නිසයි. මෙම පිළිතුර භාර ගනු ලැබුවද එසේ භාර ගත්තේ හරියටම තේරුම් ගිය නිසාද කියා පැහැදිලි නැති නිසා මෙය නිදසුනකින් විස්තර කරන්නම්.

පැහැදිලි කිරීමේ පහසුව සඳහා අවුරුදු-5 බැඳුම්කර තුනක් හා අවුරුදු-15 බැඳුම්කරයක් සසඳනු වෙනුවට අවුරුදු-2 බැඳුම්කර දෙකක් හා අවුරුදු-4 බැඳුම්කරයක් සංසන්දනය කරන්නම්. එසේ කිරීමෙන් ප්‍රශ්නයේ ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. 

අපි හිතමු වසර-2 හා වසර-4 බැඳුම්කර දෙවර්ගයේම වෙළඳපොළ ඵලදා අනුපාතිකය 8% කියා. එමෙන්ම මෙම ඵලදා අනුපාතික ඉදිරි වසර 4ක කාලය තුළ වෙනස් නොවී එලෙසම තිබෙනවා කියාත් උපකල්පනය කරමු. 

ප්‍රශ්නය අසන්නේ බැඳුම්කර අව මිලට විකිණෙන අවස්ථාවන් ගැනයි. එසේ වන්නේ කූපන් පොලී අනුපාතික වෙළඳපොළ ඵලදා අනුපාතිකයට වඩා අඩු වූ විටයි. ඒ අනුව, අපි කූපන් පොලී අනුපාතිකය 7% ලෙස සලකමු.

මේ අනුව, රුපියල් 100ක වසර-2 බැඳුම්කරයක් සඳහා පළමු වසර අවසානයේදී රුපියල් 7ක්ද දෙවන වසර අවසානයේදී රුපියල් 107ක්ද ලැබෙනවා. ඵලදා අනුපාතය 8%ක් නිසා මෙම බැඳුම්කරය විකිණෙන්නේ රුපියල් 98.22ක මුදලකටයි. ඒ අනුව, වසරකට පසුව රුපියල් 7ක ප්‍රතිලාභ මුදලක් සහ වසර දෙකකට පසුව රුපියල් 8.78ක (=1.78 + 7.00) ප්‍රතිලාභ මුදලක් ලැබෙනවා. එමෙන්ම, තුන් වන වසර අවසානයේදී නැවතත් රුපියල් 7ක්ද හතර වන වසර අවසානයේදී රුපියල් 8.78ක්ද ලැබෙනවා. 

ඵලදා අනුපාතය 8%ක්නම්, වසර-4 බැඳුම්කරයක් විකිණෙන්නේ රුපියල් 96.69ක මිලකටයි. එය කල් පිරෙන හතරවන වසර අවසානයේදී රුපියල් 10.31ක ප්‍රතිලාභ මුදලක් ලැබෙනවා. මුල් වසර තුනේදී රුපියල් 7 බැගින් ලැබෙනවා. ඒ අනුව, දෙවන වසර අවසානයේදී ලැබෙන මුදල අඩු වුවත්, හතරවන වසර අවසානයේදී වැඩි මුදලක් ලැබෙනවා. 

මේ අවස්ථා දෙකේදී වසර හතර තුළ ලැබෙන මුදල් සංසන්දනය කළහොත් එය පළමු අවස්ථාවේදී රුපියල් 31.56ක්ද, දෙවන අවස්ථාවේදී රුපියල් 31.31ක් පමණක්ද බව පෙනී යන නමුත් දෙවන අවස්ථාවේදී ආයෝජනය කර තිබෙන්නේද අඩු මුදලක් බව අපට අමතක කරන්න බැහැ. මුදලේ කාල වටිනාකම නොසලකා හැරියොත් පළමු අවස්ථාවේදී 32.13%ක සමස්ත ප්‍රතිලාභයක් ලැබෙද්දී දෙවන අවස්ථාවේදී ලැබෙන සමස්ත ප්‍රතිලාභය 32.38%ක්. කාල වටිනාකම් ගැලපූ විට අවස්ථා දෙකේදීම ප්‍රතිලාභය 36.05%ක්. 

Tuesday, June 27, 2023

සති අන්තයේදී ණය හුවමාරුව අවසන් වෙයිද?


මේ සති අන්තය තුළ සිදු විය හැකි දේ පිළිබඳව අද හෝ හෙට විස්තරාත්මක සටහනක් ලියන්නට මුලින්ම සැලසුම් කර තිබුණත්, නිවාඩු දින ගැන පළ කළ සටහනට ලැබී තිබුණු ප්‍රතිචාර අනුව, තරමක් කෙටි සටහනක් ඊයේ දිනයේදීම ලියා පළ කළා. අද අපි මේ ගැන තවත් ටිකක් කතා කරමු. 

මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ ඉහළම තට්ටුවෙන් පසුව සිදු විය හැකි දේ පිළිබඳව වැඩිම අවබෝධයක් ඇති කණ්ඩායම සේ සැලකිය හැක්කේ වාණිජ බැංකු වල භාණ්ඩාගාර දෙපාර්තුමේන්තු වල සේවය කරන නිලධාරීන් පිරිසයි. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ ඔවුන්ටද මේ පිළිබඳව තොරතුරු කිසිවක් ලැබී නැති බවයි. ඒ කියන්නේ බැංකුකරුවන් හා රජය/ මහ බැංකුව අතර කිසිදු අවිධිමත් මූලික සාකච්ඡාවක් සිදු වී නොමැති බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ මුලින්ම සිදු විය යුතු හා සිදු වීමට නියමිත දෙය රජයේ පාර්ශ්වයෙන් බැංකුකරුවන් ඇතුළු භාණ්ඩාගාර බැඳුම්කරහිමියන් වෙත මූලික යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමයි. ඊට පෙර, ඒ සඳහා කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුව තිබෙනවා. ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගත යුතු වෙනවා. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස කැබිනට් මණ්ඩල සාමාජිකයින් විසින් එහිදී ගන්නා තීරණ හා සාකච්ඡා කරන දේ පිළිබඳව රහස්‍යභාවය සුරැකීමට බැඳී සිටින නමුත් කැබ්නට් මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ඉතිරි කටයුතු පාරදෘශ්‍ය ලෙස කිරීම සාමාන්‍ය ක්‍රමයයි. 

රජයේ මූලික යෝජනා පිළිබඳව බැඳුම්කරහිමියන් දැනුවත් වූ පසුව, වෙළඳපොළ කම්පනයක් ඇති වීම සඳහා යෝජනාවලියට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීම හෝ නොලැබීම අදාළ වන්නේ නැහැ. එම කම්පනය කොහොමටත් ක්ෂණිකව ඇති වෙනවා. ඒ නිසා, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා තවදුරටත් රහසිගතව තබා ගැනීමේ තේරුමක් නැහැ. 

මේ අනුව, කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමට පෙර, අදාළ මූලික යෝජනා ප්‍රසිද්ධ කරනු ලැබීමට ඉඩ තිබෙනවා. ඒ වගේම, වත්මන් පාර්ලිමේන්තුවේ පවතින බලතුලනය අනුව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම බොහෝ දුරට සංදර්ශනාත්මක කටයුත්තක් පමණක් විය හැකියි. 

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ මෙම වෙළඳපොළ කම්පනය සිදුවීමට නියමිතව ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර හා අදාළව පමණක් බවයි. භාණ්ඩාගාර බිල්පත් ආයෝජන හෝ බැංකු වල ඇති ස්ථිර තැන්පතු ආදිය කෙරෙහි මෙයින් සෘජු බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ. 

රජයට බලහත්කාරයෙන් භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාවක් නැහැ. මෙහිදී සිදු වනු ඇත්තේ දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවට වඩා දිගු කාලයකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමයි. මෙය, පෙර ලිපියක විස්තර කර ඇති, ඝානාවේ සිදු වූ දෙයට සමාන දෙයක් වනු ඇති බව මගේ අදහසයි. 

මේ ආකාරයේ වැඩපිලිවෙළක් සාර්ථක වීමටනම් දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වලින් සැලකිය යුතු කොටසක් අදාළ බැඳුම්කරහිමියන් විසින් ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර සමඟ හුවමාරු කරගත යුතුයි. හුවමාරුවෙන් පාඩුවක් සිදුවේනම් එවැනි ස්වේච්ඡා හුවමාරුවක් සිදු වීමේ ඉඩක් නැහැ. 

මෙහිදී රජයේ පාර්ශ්වයට තිබෙන එක් සාපේක්ෂ වාසියක් වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලින් සැලකිය යුතු කොටසක් රජයේම කොටස් සේ සැලකිය හැකි, සේවක අර්ථසාධක අරමුදල හා රාජ්‍ය බැංකු සතුව තිබීමයි. එම බැඳුම්කර අලුත් බැඳුම්කර වර්ගයක් හා හුවමාරු කර ගනු ලැබුවහොත්, ඒ හේතුව නිසාම අලුත් බැඳුම්කර වල ද්‍රවශීලතාව ඉහළ ගොස් පැරණි බැඳුම්කර වල ද්‍රවශීලතාව පහත වැටෙනවා. ඒ හේතුවෙන් අනෙක් ආයතන වල බැඳුම්කරද හුවමාරු කිරීමට පෙළඹුමක් ඇති වෙනවා. ඊට අමතරව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්ද අලුතෙන් නිකුත් කරන දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කරනු ලැබුවහොත් හුවමාරු කිරීම සඳහා වන පෙළඹුම තවත් ඉහළ යනවා. කෙසේ වුවද, මෙය තීරණය වනු ඇත්තේ අලුත් බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට යෝජිත කූපන් පොලී අනුපාතික හා කල් පිරීමේ කාල මතයි.

ඝානාවේ අත්දැකීම් අනුව, මෙවැනි ස්වේච්ඡා හුවමාරුවක් සති අන්තය තුළ සිදු වී අවසන් වීමේ විශාල ඉඩක් පෙනෙන්නට නැහැ. රජය බැඳුම්කර හුවමාරු කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා සති කිහිපයක පමණ කාල රාමුවක් ලබා දෙන්නට වැඩි ඉඩක් තිබෙනවා. හුවමාරුව නිසා එක් එක් බැංකුවට සිදු විය හැකි වාසි අවාසි සලකා බැලීම දින දෙක තුනකින් කළ හැකි දෙයක් නෙමෙයි. එම කාලය තුළ දැකිය හැකි වන ප්‍රගතිය අනුව, රජය විසින් මුල් වටයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා පසුව වරක් හෝ කිහිප වරක් සංශෝධනයට ලක් කරනු ලැබීමේ කිසියම් ඉඩක්ද තිබෙනවා. ඇතැම් විට එසේ නොකර කාලය දිගු කිරීමක් කරන්නත් පුළුවන්. බැඳුම්කරහිමියන්ගෙන් වැඩි පිරිසක් මුල් යෝජනාවලියට ප්‍රතිචාර දක්වනු ලැබුවහොත් එය රජය විසින් ලබාගන්නා විශාල ජයග්‍රහණයක්.

යම් හෙයකින් රජයේ මූලික යෝජනා පසුව වෙනස් වුවද එසේ වෙනස් වන්නේ පළමු යෝජනා වල ආකෘතිය ඔස්සේම බැවින් මෙම ණය හුවමාරු යෝජනාව නිසා ඇති වන වෙළඳපොළ කම්පනය සමනය වීම බැංකු නිවාඩු කාලය තුළ සිදු විය හැකියි. එමෙන්ම, සිදු වන වෙනස්කම් එක් එක් බැංකුවේ ගිණුම් කෙරෙහි බලපාන ආකාරය වෙනස් නිසා මෙම යෝජනා ප්‍රසිද්ධ වීමෙන් පසුව, ඉදිරි සතිය තුළ, වාණිජ බැංකු වල කොටස් මිල ගණන් වල විචලනයන් සිදු විය හැකියි. ඒ හැරුණු විට පාරිභෝගික තැන්පතු වලට බලපාන වෙනසක් සිදු වෙන එකක් නැහැ.

මේ කිසිවක් පුරෝකථන නෙමෙයි. මේ කියූ සියල්ල පැය විසිහතරක් ඇතුළත නිවැරදි නොවන බව පෙනී යා හැකි අනුමාන පමණයි. උද්ධමනය වැනි සාර්ව ආර්ථික විචල්‍ය වල හැසිරීම සෑහෙන තරම් නිවැරදිව පුරෝකථනය කළ හැකි වුවත්, ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ගන්නට ඉඩ තිබෙන තීරණ පිළිබඳව කළ හැක්කේ අනුමාන කිරීමක් පමණයි. කෙසේ වුවත්, අප මෙම අනුමාන සිදු කරන්නේ රජය සතුව දැනට තිබෙන විකල්ප පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. 

කෙටියෙන් කිවුවොත් දැනට ප්‍රකාශිත දේ සහ ජාත්‍යන්තර අත්දැකීම් අනුව මගේ අදහස වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා ණයහිමියන් වෙත විකල්ප ඉදිරිපත් කරමින් හා යම් කාලයක් ලබා දෙමින් රජය විසින් ඉදිරිපත් කරන මූලික යෝජනාවලියක් ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් විය හැකි වුවත්, මෙම කටයුත්ත අවසන් වීම සඳහා අවම වශයෙන් සති කිහිපයක්වත් ගත විය හැකි බවයි. ඒ අතර, ලබන සතියේ බ්‍රහස්පතින්දා (ජූලී 6) මහ බැංකුව විසින් නැවතත් සැලකිය යුතු ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමටද ඉඩ තිබෙනවා.

Tuesday, May 16, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොයි තරම් අමාරුද?


කලින් සටහනෙන් පෙන්වන්න අදහස් කළ ප්‍රධානම කාරණය යම් ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් ඒ හේතුවෙන් බැංකු පද්ධතිය අස්ථාවර නොවන බවයි. ලංකාවේ බැංකු කඩා වැටෙනවානම් එසේ කඩා වැටෙන්න වැඩිම ඉඩක් තිබුණු කාලය දැන් පහු වෙලා. 

පොලී අනුපාතික වේගයෙන් ඉහළ යන කාලයක් කියන්නේ බැඳුම්කර ආයෝජකයින්ට නරක කාලයක්. එවැනි කාලයකදී ඔවුන් කලින් අඩු කූපන් පොලියකට මිල දී ගෙන තිබෙන බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටෙනවා. කල් පිරීමේ කාලය වැඩි වන තරමට සහ පොලී වෙනස වැඩි වන තරමට මිල පහත වැටීමද වැඩියි.

මෙවැනි මිල පහත වැටීම් "සිදු නොවූ/ සිදු විය හැකි අලාභ - unrealized losses" ලෙස අදාළ ආයෝජකයින්ගේ ශේෂ පත්‍ර වල රැඳී තිබෙනවා. මෙවැනි සිදු විය හැකි අලාභයක් ඇත්ත අලාබයක් වෙන්නේ යම් හෙයකින් ඔය වගේ වෙලාවක බැඳුම්කරයක් විකුණන්න සිදු වුනොත්.

මේක මේ වගේ දෙයක්. කවුරු හෝ කෙනෙක් ඉඩමක් මිල දී ගැනීමෙන් පසු ඉඩමේ මිල විශාල ලෙස පහත වැටෙනවා. ඔය වගේ වෙලාවක ඉඩම විකුණුවොත් විශාල පාඩුවක් වෙනවා. නමුත්, කොහොම හරි අල්ලගෙන හිටියොත් පසුව මිල වැඩි වූ වෙලාවක ලාබයක් තියාගෙන විකුණන්න පුළුවන්. හැබැයි සල්ලි හදිස්සියක් වුනොත් බල බල ඉන්න බැහැ. පාඩුවට විකුණන්න වෙනවා.

සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකට මේ වගේ සල්ලි හදිස්සි ඇති වෙන්නේ නැහැ. දායක මුදල් ආපසු ගෙවන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් හැම විටම මෙන් අලුත් දායක මුදල් ලැබෙනවා. ඒ නිසා පරණ වත්කම් විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බැංකු වල තත්ත්වය වෙනස්. සමහර වෙලාවට බැංකුවට එන සල්ලි වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පතුකරුවන් විසින් ඉල්ලා සිටින්න පුළුවන්. 

වාණිජ බැංකු සුරැකුම්පත් ආයෝජන කරන්නේම ඔය වගේ සල්ලි හදිස්සියකදී විකුණන්න බලාගෙන. නමුත්, පෙර කී අයුරින් වෙළඳපොළ මිල ගොඩක් අඩු වී ඇති වෙලාවක සුරැකුම්පත් විකුණන්න වුනොත් ලොකු පාඩුවක් දරාගන්න වෙනවා. මුළු කතාවම ගත්තොත් වඩා සංකීර්ණ වුනත්, මෑතකදී ඇමරිකාවේ බැංකු කිහිපයක් බංකොලොත් වුනේ ඔය විදිහට පාඩුවට සුරැකුම්පත් විකුණන්න වීම නිසා. 

ලංකාව හා අදාළව මේ විදිහට සුරැකුම්පත් වල මිල පහළ ගිය අදියර දැන් ඉවරයි. දැන් තියෙන්නේ මේ චක්‍රයේම අනෙක් පැත්ත. ඒ කියන්නේ කලින් මිල දී ගත් සුරැකුම්පත් වල මිල වේගයෙන් ඉහළ යන අදියර. මේ වගේ කාලයක සුරැකුම්පත් සඳහා ලැබෙන්න තිබෙන මුදලින් යම් කොටසක් නොලැබී ගියත්, බැංකු සිටින්නේ කලින් හිටියාට වඩා වාසිදායක සහ ස්ථායී තැනක. ඒ නිසා, යම් ණය කප්පාදුවක් සිදු වුනත් බැංකු වලට අවුලක් වෙන්නේ නැහැ. කතාව ඕකයි.

මෙයින් අදහස් කළේ අනිවාර්යයෙන්ම ණය හෝ පොලී කප්පාදුවක් වෙයි කියන එක නෙමෙයි. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. ඒ ඇයි කියන එක දැන් තව දුරටත් විස්තර කරන්නම්.

ඔය දේශීය ණය ප්‍රතිව්‍යුහකරණ බිය එක්ක 13% කියන අංකය සම්බන්ධයි. යෝජිත වැඩ පිළිවෙළ අනුව, 2027-2032 කාලයේ දළ ණය අවශ්‍යතාවය (GFN) දදේනියෙන් 13% ඉක්මවන්න බැහැ. එයින් විදේශ ණය සේවාකරණය 4.5% ඉක්මවිය නොහැකියි. විදේශ ණය වලට 4.5%ක් වෙන් කළාට පස්සේ දේශීය ණය සේවාකරණය සඳහා ඉතුරු වෙන්නේ 8.5%ක් පමණයි කියන එකත් එක්ක තමයි ඔය බය ඇවිත් තියෙන්නේ. නමුත්, හේතු කිහිපයක් නිසා තත්ත්වය මේ තරම්ම නරක නැහැ.

පළමුව, 4.5% කියා කියන්නේ උපරිම සීමාවක්. වැඩපිළිවෙළේ ඉලක්ක තිබෙන්නේ ඊට වඩා තරමක් පහළින්. ඒ නිසා, 8.5%ට වඩා ටිකක් උඩට යන්න පුළුවන්. ඊටත් වඩා වැදගත් කරුණ මේ වෙද්දී දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම. එම අතිරික්තයෙන් ණය හා පොලී සියල්ල ගෙවන්න බැරි වුනත් යම් කොටසක් ගෙවන්න පුළුවන්. ඒ නිසා, දේශීය ණය සේවාකරණය වෙනුවෙන් දදේනියෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කරන්න පුළුවන්.

පහළින් තියෙන්නේ දේශීය (රුපියල්) ණය සේවාකරණ වියදම් හා අදාළව අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන ඉලක්ක.

2022 - 21.5%

2023 - 21.3%

2024 - 14.5%

2025 - 13.1%

2026 - 14.9%

2027 - 13.0%

2028 - 11.1%

2029 - 11.9%

2030 - 10.0%

2031 - 10.2%

2032 - 10.2%

2033 -  9.8%

ඔය කාලය තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන ආකාරය පුරෝකථනය කර තිබෙන්නේ පහත ආකාරයටයි.

2023 - 26.0%

2024 - 12.3%

2025 - 8.3%

2026 - 8.4%

2027 - 8.3%

2028 - 8.3%

2029 - 8.3%

2030 - 8.3%

2031 - 8.3%

2032 - 8.3%

2033 - 8.3%

මේ අනුව දදේනි ඇස්තමේන්තු පහත තිබෙනවා.

2022 - රුපියල් බිලියන 24,148

2023 - රුපියල් බිලියන 30,426

2024 - රුපියල් බිලියන 34,169

2025 - රුපියල් බිලියන 37,005

2026 - රුපියල් බිලියන 40,113

2027 - රුපියල් බිලියන 43,443

2028 - රුපියල් බිලියන 47,049

2029 - රුපියල් බිලියන 50,954

2030 - රුපියල් බිලියන 55,183

2031 - රුපියල් බිලියන 59,763

2032 - රුපියල් බිලියන 64,723

2033 - රුපියල් බිලියන 70,095

ඉහත ගණන් ඇසුරෙන් අපට රුපියල් ණය හා පොලී ආපසු ගෙවීම වෙනුවෙන් වෙන් කළ හැකි මුදල් ප්‍රමාණ හොයාගන්න පුළුවන්. 

2022 - රුපියල් බිලියන 5,192

2023 - රුපියල් බිලියන 6,481

2024 - රුපියල් බිලියන 4,954

2025 - රුපියල් බිලියන 4,848

2026 - රුපියල් බිලියන 5,977

2027 - රුපියල් බිලියන 5,648

2028 - රුපියල් බිලියන 5,222

2029 - රුපියල් බිලියන 6,063

2030 - රුපියල් බිලියන 5,518

2031 - රුපියල් බිලියන 6,096

2032 - රුපියල් බිලියන 6,602

2033 - රුපියල් බිලියන 6,869

කලින් ලිපියේ සඳහන් කළ පරිදි, 2023 අප්‍රේල් අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 4,761ක්. රුපියල් බිලියන 9,136ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබුණත් ඒ සියල්ල එක වර කල් පිරෙන්නේ නැහැ. කල් පිරෙන්නේ මේ විදිහට.

2023 මැයි-දෙසැම්බර් අතර - රුපියල් බිලියන 915යි 

2024 - රුපියල් බිලියන 1,195යි 

2025 - රුපියල් බිලියන 1,218යි 

2026 - රුපියල් බිලියන 1,102යි 

2027 - රුපියල් බිලියන 1,454යි 

2028 - රුපියල් බිලියන 950යි 

2029-2032 අතර - රුපියල් බිලියන 1,484යි 

2033-2045 අතර - රුපියල් බිලියන 819යි 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය වඩා විශාල වුනත්, කිසියම් වසරක කාලයක් සැලකුවොත් දේශීය ණය සේවාකරණයෙන් ලොකුම කොටස බිල්පත්. රුපියල් බිලියන 4,761ක් වන බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 2,724ක්ම අරගෙන තියෙන්නේ මහ බැංකුව. ඔය ප්‍රමාණය සමීකරණයෙන් ඉවත් වුන ගමන් ප්‍රශ්නය සෑහෙන්න සරල වෙනවා. ඒ නිසා, මම හිතන විදිහට බැඳුම්කර වල කූපන් පොලී හෝ මුහුණත අගය අඩු කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඊට අමතරව දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර නියම දවසට ගෙවන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. 

බරපතල ප්‍රශ්නය විදේශ ණය. ඒ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්නම් දේශීය ණය ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි මෙය බොහෝ දුරට තිබෙන ණය වැඩි කර නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. 

Monday, November 28, 2022

ඵලදා වක්‍රය, ද්‍රවශීලතාව හා පොලී අනුපාතික


අතේ කීයක් හරි සල්ලි තියෙන අය අහන පොදු ප්‍රශ්නයක් ගැන කලින් සටහනෙනුත් කතා කළානේ. 

"මගේ අතේ අමාරුවෙන් එකතු කර ගත්ත ලක්ෂ දහයක් තියෙනවා. මම මේ කල්පනා කරන්නේ මේ සල්ලි මාස තුනකට FD දානවද නැත්නම් අවුරුද්දකට දානවද කියලා...."

ඕක තමයි ප්‍රශ්නයේ පොදු ආකෘතිය. මේ ප්‍රශ්නය ඇතුළේ තිබෙන සැඟවුණු ප්‍රශ්නය ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වෙයිද කියන එක. 

අද 25% පොලියට අවුරුද්දකට සල්ලි දමලා මාස තුනකින් ඔය පොලී අනුපාතය 30% වුනොත්, අද ගත්ත තීරණය ගැන පසුතැවීමක් ඇති වෙනවනේ. ඔය විදිහටම, අද අද 25% පොලියට අවුරුද්දකට සල්ලි දමන්න පුළුවන්කම තියෙද්දී මාස තුනකට සල්ලි දමලා තව මාස තුනකින් පොලිය 20% වුනොත්, ඒත් හිතෙනවනේ අපරාදේ කියලා. ප්‍රශ්නයේ පසුබිම ඕකයි.

එහෙමනම්, පොලී අනුපාතික වලට කුමක් වෙයිද? ඒ ගැන කාගෙන් හරි දන්න කියන කෙනෙක්ගෙන් අහලා අදහසක් ගත්තොත් පස්සේ ඔය වගේ පසුතැවීම් වෙන එක වලක්වා ගන්න පුළුවන් වෙන එකක් නැද්ද?

සරල හා කෙටි පිළිතුර "නෑ" කියන එකයි. ඒ ඇයි?

පොඩ්ඩක් ඔය ගණුදෙනුවේ අනෙක් පැත්තේ ඉන්න කෙනාගේ සපත්තුවට බැහැලා බලන්න. ඔබ ණය දෙන්නෙක්නම් ගනුදෙනුවේ අනෙක් පැත්තේ ඉන්නේ ණය ගන්නෙක්. පොලී අනුපාතික අඩු වෙන්න යනවානම්, වැඩි කාලයකට වැඩි පොලියකට සල්ලි ණයට දෙන එක (සල්ලි බැංකුවේ දමනවා කියන්නේ බැංකුවට සල්ලි ණයට දීමක්) ඔබට ලාබයි. නමුත් බැංකුවට (ණය ගන්නා පුද්ගලයාට හෝ ආයතනයට) පාඩුයි. ඔබට ලාබ ගන්න ඉඩ දී බැංකුව පාඩු කර ගනියිද?

බැංකුවක් පාඩුවට ණය දෙන්නේ නැහැ වගේම ණය ගන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට ඔබට බැංකුවකින් ලැබෙන පොලී අනුපාතිකය ණය ඉල්ලුම හා ණය සැපයුම සමතුලිත වන පොලී අනුපාතිකයයි. එක් එක් කල් පිරීම් සඳහා ණය ඉල්ලුම හා ණය සැපයුම වෙනස් වෙන ආකාරය අනුව පොලී අනුපාතිකත් වෙනස් වෙන්න පුළුවන්. 

ඉදිරියේදී පොලී අනුපාතික අඩු වෙන්න යන බව ගොඩක් අයට පේනවානම් වැඩි කාලයකට සල්ලි දමන්න යද්දී ලැබෙන පොලී අනුපාතිකත් අඩු වෙනවා. ඒ නිසා, කෙටිකාලීනව සල්ලි දමනවාද නැත්නම් දිගුකාලීනව දමනවාද කියන එකේ විශාල වෙනසක් නැහැ. එය තීරණය වෙන්නේ බොහෝ දුරට ඔබේ පෞද්ගලික අවශ්‍යතා හා රුචිකත්වයන් මතයි.

බැංකු වල පොලී අනුපාතික තීරණය කරන්නේ අදාළ බැංකු වල නිලධාරීන් විසින්. හැබැයි ඔවුන් ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ දිහා බලාගෙන. පොලී අනුපාතික වල දිශානතිය මූලික වශයෙන්ම තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙළඳපොළ තුළයි. 

පහළ තියෙන්නේ පසුගිය (2022) නොවැම්බර් 23 දිනෙන් අවසන් වූ සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ඵලදා (පොලී) අනුපාතික.

මාස 3 31.25%

මාස 6 28.55%

මාස 12 28.36%

වසර 2 26.22%

වසර 3 27.82%

වසර 4 27.18%

වසර 5 27.60%

වසර 6 26.99%

වසර 8 26.87%

වසර 10 27.59%

වසර 15 25.33%

වසර 20 22.83%

වසර 30 21.44%

මේ පොලී අනුපාතික වලින් කියැවෙන්නේ කුමක්ද? පළමුව, දැන් තිබෙන පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු වීමට නියමිත බව. දෙවනුව, පොලී අනුපාතික එසේ අඩු වුනත්, තව දුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පවතිනු ඇති බව.

හැබැයි මතක තියාගන්න මේ තියෙන්නේ පොලී අනුපාතික පිළිබඳව මම කරන පුරෝකථනයක් නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු කරන අය මේ මොහොතේ හිතන විදිහ. මේ ගොඩේ ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩිය මූල්‍ය වෙළඳපොළ ගැන දැනුවත් ලොකු සල්ලි කාරයෝ හෝ ආයතන කියන එකත් අපට අමතක කරන්න බැහැ. 

මේ පොලී අනුපාතික වලින් නිරූපණය වෙන්නේ මූල්‍ය වෙළඳපොළ ගැන දැනුවත් ලොකු සල්ලි කාරයෝ හෝ ආයතන හිතන විදිහ වුනත්, ඒ හේතුව නිසාම මේ හිතන විදිහා සියයට සියයක් නිවැරදි බව අදහස් වෙන්නේ නැහැ. කාට වුනත් නිගමන වලට පැමිණිය හැක්කේ දැනට තිබෙන තොරතුරු මත පදනම්වයි. කලින් දැන නොසිටි අලුත් තොරතුරක් හමු වූ විට පරණ නිගමන වෙනස් වෙනවා.

ඉහත ඉදිරිපත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර කල් පිරීමේ කාලය හා පොලී (ඵලදා) අනුපාතික අතර සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරයකට තමයි ඵලදා වක්‍රය කියා කියන්නේ. අලුත් තොරතුරු ලැබෙද්දී ඵලදා වක්‍රය වෙනස් වෙනවා. මේ අලුත් තොරතුරු මහ බැංකුවේ හෝ රජයේ තීරණයක්, ජාත්‍යන්තර සිදුවීමක් හෝ රට ඇතුළේ සිදුවන දේශපාලන පෙරළියක් වැනි ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. නමුත්, මේ මොහොතේ තිබෙන තොරතුරු මත පදනම්ව විශ්ලේෂණය කළොත්, පොලී අනුපාතික වල දිශානතිය පිළිබඳ හොඳම විශ්ලේෂණය තියෙන්නේ ඵලදා වක්‍රය ඇතුළේ කියා කියන්න පුළුවන්. 

මේ මොහොතේ දැකිය හැකි ඵලදා වක්‍රයෙන් කියැවෙන්නේ කුමක්ද? 

ඔබේ අතේ සල්ලි තිබේනම් ඔබට වසර 30ක කාලයක් යන තුරුම වුවත් 21.44%ක වාර්ෂික පොලියක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බවයි. භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර ඒ මට්ටමේ පොලියක් ලබා ගත හැකිනම් බැංකුවක් කීයටවත් ඊට වඩා අඩු පොලියකට ණය දෙන්නේ නැහැ. 

මේ මොහොතේ දැකිය හැක්කේ පහළට නැඹුරු වූ ඵලදා වක්‍රයක්. එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. බොහෝ විට දැකිය හැක්කේ ඉහළට නැඹුරු වූ ඵලදා වක්‍රයක්. පහළින් තියෙන්නේ 2022 මාර්තු 2 දිනෙන් අවසන් වූ සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රය.

මාස 3 8.50%

මාස 6 8.61%

මාස 12 8.76%

වසර 2 9.58%

වසර 3 10.96%

වසර 4 12.15%

වසර 5 12.34%

වසර 6 12.38%

වසර 8 12.61%

වසර 10 12.73%

වසර 15 12.77%

වසර 20 12.45%

වසර 30 12.08%

මේ විදිහට තිබුණු ඵලදා වක්‍රය සති පහකට පසුව, එනම් 2022 අප්‍රේල් 6 දිනෙන් අවසන් වූ සතිය වෙද්දී වෙනස් වී තිබුණේ මේ විදිහටයි. 

මාස 3 12.25%

මාස 6 12.21%

මාස 12 12.50%

වසර 2 13.16%

වසර 3 14.49%

වසර 4 14.77%

වසර 5 14.88%

වසර 6 15.10%

වසර 8 15.55%

වසර 10 15.46%

වසර 15 15.67%

වසර 20 15.70%

වසර 30 15.74%

මම හිතන්නේ හැම කල් පිරීමේ කාලයක් සඳහාම පොලී අනුපාතික වල 2.50%-3.75% අතර වැඩිවීමක් සිදු වී ඇති බව කාට වුනත් පැහැදිලිව පේනවා. මේ වැඩිවීමට එක් හේතුවක් වුනේ මාර්තු 4 වනදා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 6.5%-7.5% මට්ටම දක්වා 1%කින් වැඩි කිරීම. ඩොලර් පෙග් එක රුපියල් 200 මට්ටමේ තියා ගන්න බැරුව අත අරින්න වුනෙත් ඔය කාලය ඇතුළතයි. ඊට අමතරව අරගලය පටන් ගත්තෙත් ඔය කාලය ඇතුළත. මේ සියල්ල සිදුවුනේ වත්මන් මහ බැංකු අධිපති විසින් ධුරය භාර ගන්න කලින්. 

අලුත් අධිපති විසින් වැඩ භාරගත් වහාම (අප්‍රේල් 8) මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 13.5%-14.5% දක්වා 7%කින් වැඩි කළා. ඒ අප්‍රේල් 8 වනදා. ඊට පස්සේ ජූලි 6 වනදා තවත් 1%කින් වැඩි කළා. ඒ කියන්නේ දැන් තිබෙන 14.5%-15.5% මට්ටම දක්වා. සමහර විට මුල් වැඩි කිරීම කරන්න ඇත්තේ ඒ වෙද්දී තිබුණු ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රය දිහා බලාගෙන. ඒ වෙද්දී වසර 2-3 අතර කල් පිරෙන බැඳුම්කර වල ඵලදා අනුපාතික තිබුණේ ඔය කිට්ටුව. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් ඉලක්ක කරන්නෙත් ඔය වගේ කාලයක්. පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් 20 දිනෙන් අවසන් වූ සතියේ ඵලදා අනුපාතික.

මාස 3 19.71%

මාස 6 20.25%

මාස 12 21.24%

වසර 2 20.41%

වසර 3 20.88%

වසර 4 22.14%

වසර 5 22.41%

වසර 6 22.65%

වසර 8 23.97%

වසර 10 23.78%

වසර 15 22.81%

වසර 20 19.67%

වසර 30 15.78%

වසර 15 දක්වා කල් පිරීම් කාල දිහා බැලුවොත් ඵලදා අනුපාතික වල 7%-8%ක පමණ ඉහළ යාමක් දකින්න පුළුවන්. මේ වැඩිවීම ප්‍රතිපත්ති පොලී අනුපාතික වල ඉහළ යාමට ආසන්නව සමානයි. 

අලුත් අධිපති ඇවිත් ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කළාට පස්සේ මහ බැංකුවේ  ප්‍රතිපත්ති පොලී අනුපාතික හා ද්වීතියික වෙළඳපොළ පොලී අනුපාතික අතර ඒ වෙද්දී හැදී තිබුණු 6%-8% මට්ටමේ පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ, ඒ පරතරය ඒ විදිහටම තියෙද්දී ඵලදා වක්‍රය 7%-8%කින් පමණ ඉස්සුණු එකයි. ඒ කියන්නේ ද්වීතියික වෙළඳපොළ ඵලදා අනුපාතික 7%-8%කින් පමණ ඉහළ ගිය එකයි. එහෙම වුනේ ඇයි?

මෙයට හේතුව අලුත් අධිපති වැඩ භාර ගනිද්දී රුපියල් බිලියන 660.5ක දැවැන්ත ද්‍රවශීලතා හිඟයක් තිබීම. ද්‍රවශීලතා හිඟයක් කියා කියන්නේ කුමක්ද? කෙටියෙන් කිවුවොත් ණය ඉල්ලුම සැපිරීම සඳහා ණය සැපයුම ඉක්මවා ණය සැපයීමේ ප්‍රතිඵලය. වෙනත් විදිහකින් කිවුවොත් බැංකු විසින් නැති සල්ලි ණයට දීම.

ද්‍රවශීලතා හිඟයක් හිඟයක් ඇති වීමට ප්‍රධානම හේතුව පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු වීම. පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු බව කිව හැකි නිර්ණායකය කුමක්ද? 

මේ නිර්ණායකය වෙළඳපොළ අපේක්ෂාවන්. මාර්තු මාසය අවසානයේදී බැංකු වල ණය පොලී අනුපාතිකය (Average Weighted New Lending Rate) 10.73%යි. ස්ථිර තැන්පතු පොලී අනුපාතිකය (Average  Weighted  New Fixed  Deposit  Rate) 8.06%යි. කොපාමිද අනුව මාර්තු මාසයේ උද්ධමනය 21.5%යි. ජාපාමිද අනුව, උද්ධමනය 17.3%යි. 

උද්ධමනය 17% හෝ 21% මට්ටමේ තියෙද්දී, තවත් වැඩි වෙන බව පැහැදිලිව පෙනෙද්දී, 11%කට අඩු පොලියකට ණය ගන්න ලැබෙනවා කියන්නේ ඉතාම වාසිදායක ඩීල් එකක්. මේ වගේ තත්ත්වයක් යටතේ ණය ඉල්ලුම ඉහළ මට්ටමක තිබීම අහන්න දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන්, උද්ධමනය 17% හෝ 21% මට්ටමේ තියෙද්දී, තැන්පතු වෙනුවෙන් 8%ක් ලැබෙනවා කියන්නේ උද්ධමනය නිසා ක්ෂය වන මුදලේ වටිනාකමින් බාගයක්වත් ලැබෙන්නේ නැහැ කියන එක. මේ වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු තවතව ණය ගන්න මිසක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ.

ඔය වගේ තත්ත්වයක් යටතේ, ණය ගන්න ප්‍රමාණය ඉහළ යද්දී බැංකු වල සල්ලි එළියට යනවා. නමුත් තැන්පතු විදිහට ඒ සල්ලි නැවත බැංකු පද්ධතිය ඇතුළට එන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය තමයි කලින් කියපු රුපියල් බිලියන 660.5ක දැවැන්ත ද්‍රවශීලතා හිඟය.

ඔය විදිහට බැංකු "නැති සල්ලි" ණය විදිහට නිකුත් කරන්නේ කොහොමද? මතක තියාගන්න මේ කියන්නේ වාණිජ බැංකු විසින් කරන මුදල් මැවීම ගැන නෙමෙයි. මුදල් මැවීමේදී වෙන්නේ තැන්පතු ලෙස ආපසු බැංකු වෙත එන කලින් දුන් ණයම නැවත ණය විදිහට දෙන එක. මේ කියන්නේ කලින් දුන් ණය නැවත බැංකු වලට ඇවිත් නැති තත්ත්වයක් ගැන.

මේක කළේ මහ බැංකුවෙන් දෛනික පදනම මත ණය අරගනිමිනුයි. මාර්තු අන්තිම වෙද්දී මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබුණේ 6.5%-7.5% මට්ටමේ. 6.5% තැන්පතු පොලිය. 7.5% ණය පොලිය. මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ලැබෙද්දී නැවත එම ණය 11% පමණ පොලියකට දෙන්න බැරිකමක් නැහැනේ. ඒ වගේම, මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ලැබෙද්දී ස්ථිර තැන්පතු වලට 8% වගේ පොලියක් මිසක් ඊට වඩා වැඩි පොලියක් දෙන්න බැංකු පෙළඹෙන්නෙත් නැහැනේ. 

දැන් ඔය වගේ රුපියල් බිලියන 660.5ක විශාල ද්‍රවශීලතා හිඟයක් තියෙද්දී තමයි අලුත් අධිපති පත් වෙලා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කළේ.

පෞද්ගලික අංශයට දුන් ණය වලින් බැංකු විසින් 11%ක පමණ පොලියක් අය කරද්දී, වාණිජ බැංකු විසින් රජයට ණය දීලා 12.5% පමණ පොලියක් ලබා ගත්තා. ඒ විදිහට රජයෙන් 12.5% පමණ පොලියකට මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් අනෙක් අතට මහ බැංකුවේ ඇපයට තියලා 7.5% පොලියට මහ බැංකුවෙන් ණය ගත්තා. ඒ කියන්නේ, බැංකු විසින් මහ බැංකුවේ සල්ලි රජයට ණයට දීලා කෙළින්ම 5%ක පමණ ලාබයක් තියා ගත්තා. රුපියල් බිලියන 660.5ක ද්‍රවශීලතා හිඟයක් කියන්නේ එයින් 5%ක් ඇස් වහගෙන ලාබ වලට එකතු කර ගන්නවා කියන එක.

බැංකු කඩා වැටෙන එක ගැන ලංකාවේ ගොඩක් අය වද වුනත්, ලංකාවේ බැංකු කියා කියන්නේ පට්ට කාර්යක්ෂම ආයතන නෙමෙයි. බැංකු කරන්නේ ලංකාවේ බැංකු පාරිභෝගිකයාගේ අඩු මූල්‍ය සාක්ෂරතාවයෙන් ප්‍රයෝජන අරගෙන ලාබ හොයන එක. එහෙම නැතුව මේ ආයතන සුළු ආන්තික ලාබයකින් දුවන තරඟකාරී ආයතන නෙමෙයි. අනෙක් රාජ්‍ය ආයතන පාඩු ලබද්දී රාජ්‍ය බැංකු වලට ලාබ ලබන්න පුළුවන් වී තියෙන්නෙත් ඒ නිසා. පෞද්ගලික බැංකු වලින් හරියකට තරඟයක් දෙනවානම් රාජ්‍ය බැංකු වලට ඔය විදිහට පවතින්න බැහැ. නමුත් වෙන්නේ ඒක නෙමෙයි. පෞද්ගලික බැංකුත් රාජ්‍ය බැංකු වගේම අකාර්යක්ෂමතා නඩත්තු කරන එක. 

රාජ්‍ය බැංකු තිබීම පෞද්ගලික බැංකු වලටත් අකාර්යක්ෂම වෙන්න විශාල උදවුවක්. පාරිභෝගිකයාගේ අඩු මූල්‍ය සාක්ෂරතාවය එහෙම අකාර්යක්ෂම වෙලත් ලාබ ලබන්න බැංකු වලට ඉඩ සලසනවා. මිනිස්සු කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් ගන්න පෙළඹුනොත් බැංකු වලට අඩු පොලියට ස්ථිර තැන්පතු විදිහට එකතු කරන සල්ලි අනෙක් අතට භාණ්ඩාගාර බිල්පත් වල දාලා අත උඩින් ලාබ ලබන්න බැහැනේ. නමුත් ඒ වැඩේ වෙනවා. 

මහ බැංකුව 7%කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරපු ගමන් බැංකු ටික කළේ රජයට ණය දෙන පොලී අනුපාතිකත් වැඩි කරන එක. කලින් මහ බැංකුවෙන් 7.5%ට අරගෙන රජයට 12.5%ට දුන්නා. දැන් මහා බැංකුවෙන් 14.5%ට ගන්න සල්ලි රජයට 19.5%ට දෙනවා. අර 5% ලාබය එහෙම්මයි. 

කොහොම වුනත් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කරපු නිසා එක වැදගත් දෙයක් වුනා. මාර්තු අන්තිම වෙද්දී 8.06% මට්ටමේ තිබුණු ස්ථිර තැන්පතු පොලී අනුපාතික අප්‍රේල් ඉවර වෙද්දී 15.63% මට්ටම දක්වා ඉහළ ගියා. රජයට 19-20% වගේ පොලියකට සල්ලි ණයට දෙන්න පුළුවන්කම තියෙද්දී. මහ බැංකුවෙන් දෛනික පදනමට ගන්න ණය වලටත් 14.5%ක පොලියක් ගෙවන්න වෙලා තියෙද්දී. ඔය වගේ පොලියක් ගෙවලා ස්ථිර තැන්පතු එකතු කර ගන්න එක බැංකු වලට පාඩු නැහැනේ. 

සැප්තැම්බර් අවසන් වෙද්දී බැංකු වල ස්ථිර තැන්පතු පොලිය 22.55% දක්වා වැඩි වෙලා. ඔය වගේ පොලියක් ගෙවලා ගන්න සල්ලි ඊට වඩා අඩු පොලියකට ණයට දෙන්න බැහැනේ. ණය පොලියත් 24.93% දක්වා ඉහළ ගිහින්. ඔය විදිහට තැන්පතු පොලී වැඩි වෙද්දී බැංකු වලට එන තැන්පතු වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් ණය පොලී ඉහළ යද්දී ණය ඉල්ලුම අඩු වෙන නිසා බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණය අඩුයි. ඒ නිසා, සල්ලි බැංකු වල ඉතුරු වෙනවා.  

බැංකු වල සල්ලි ඉතුරු වෙනවා කිවුවට අලුත් මහ බැංකු අධිපති වැඩ භාර ගනිද්දී බැංකු පද්ධතියේ රුපියල් බිලියන 660.5ක විශාල ද්‍රවශීලතා හිඟයක් තිබුණු බව මම කලින්ම කිවුවනේ. ඒ නිසා, බැංකු වල සල්ලි ඉතුරු වෙද්දී වුනේ ඔය ද්‍රවශීලතා හිඟය ටිකෙන් ටික අඩුවෙන එක. අඩු වුනා වුනත් තවමත් තියෙන්නේ හිඟයක්. 

මේ ද්‍රවශීලතා හිඟය දැන් කාලයක සිටම තියෙන එකක්. කලින් අධිපති කබ්රාල් වැඩ භාර ගන්නකොටත් රුපියල් බිලියන 175ක පමණ ද්‍රවශීලතා හිඟයක් තිබුණා. ඔහුගේ කාලය තුළ වුනේ ඔය හිඟය එන්න එන්නම වැඩි වුනු එකයි. ඔය විදිහට ද්‍රවශීලතා හිඟයක් නඩත්තු කරනවා කියන්නෙත් සල්ලි අච්චු ගහනවා වගේම වැඩක්. ලංකාවේ සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ වලට ද්‍රවශීලතා හිඟය ඇතුළත්ව නැතත් ඇමරිකාව වගේ රටවල සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ පෙන්නද්දී ඔය ගණනත් එකතු කරනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහලා ස්ථිර පදනමකින් එළියට දැම්මේ නැතත්, හැමදාම හවසට සල්ලි එළියට දමලා උදේට එකතු කර ගන්නවා කියන්නෙත් සල්ලි අච්චු ගහලා එළියට දැම්මා වගේම වැඩක්නේ. 

අධිපතිවරුන්ගේ කාල වකවානු වල සල්ලි අච්චු ගැසීම ගැන හරියටම බලනවානම් අදාළ කාල වකවානු වල ද්‍රවශීලතා හිඟය වෙනස් වුනේ කොහොමද කියන එකත් සලකා බැලිය යුතුයි. මහ බංකු අධිපති විදිහට නන්දලාල් වීරසිංහ පත් වුනාට පස්සේ බැංකු පද්ධතියේ තිබුණු විශාල ද්‍රවශීලතා හිඟය ටිකෙන් ටික අඩු කරන්නත් කටයුතු කළා. කොහොම වුනත් මේ වෙද්දීත් (නොවැම්බර් 25) බැංකු පද්ධතියේ රුපියල් බිලියන 400කට ආසන්න ද්‍රවශීලතා හිඟයක් තිබෙනවා. ඔය ද්‍රවශීලතා හිඟය නැති වෙලා ද්‍රවශීලතා අතිරික්තයක් ඇතිවුනොත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල මට්ටමටම, ඒ කියන්නේ 15% පමණ මට්ටමට බහිනවා. හැබැයි රුපියල් බිලියන 400ක ද්‍රවශීලතා හිඟයක් මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිව එහෙම හදිස්සියෙන් නැති වීමේ ඉඩක් පෙනෙන්න නැහැ. 

ද්‍රවශීලතා හිඟය අඩුවීම ගැන මෑතකදී වත්මන් මහ බැංකු අධිපතිවරයා කියනවා ඇහුණා. කතාව ඇත්ත. ද්‍රවශීලතා හිඟය නැති වුනොත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වෙන බවත් ඇත්ත. හැබැයි මහ බැංකුවේ මැදිහත්වීමක් නැතුව ඔය වැඩේ ඉතා ඉක්මණින් වෙන එකක් නැහැ. නමුත්, මහ බැංකුවට අවශ්‍යනම් ඔය හිඟය ක්ෂණිකව නැති කර දමන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න එක. ඒ කියන්නේ එපමණකින් සල්ලි අච්චු ගහන එක. මහ බැංකුව ඔය වැඩේ කළොත් 30% මට්ටමේ තිබෙන පොලී අනුපාතික පටස් ගාලා 15% වගේ මට්ටමකට බහිනවා. නමුත් මේ වෙලාවේ පීඩනයට යට වෙලා මහ බැංකුව එහෙම කළොත් ඒක එක හොඳ වැඩක් නෙමෙයි.

මහ බැංකුව විසින් හොඳ විදිහේ මැදිහත්වීමක් කරලා ද්‍රවශීලතා හිඟය නැති කරන්න අවශ්‍යනම් කළ යුත්තේ ඔය රුපියල් බිලියන 400ක මුදලට හරියන්න ඩොලර් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ, දැන් මිල අනුව, ඩොලර් බිලියන 1.1ක් පමණ. මහ බැංකුවට ඒ තරම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමේ ඉඩක් තවම ළඟ පාතකවත් පේන්නෙත් නැහැනේ. හොදම වැඩේ එක්කෝ එහෙම තත්ත්වයක් ඇති වන තුරු බලා ඉඳලා මැදිහත්වීමක් කරන එක. එහෙම නැත්නම් පොලී අනුපාතික ඉහළින් තිබී ඒ හේතුවෙන් කාලයත් එක්ක ද්‍රවශීලතා හිඟය අඩු වෙන්න අරින එක. 

Tuesday, April 12, 2022

ලංකාව ණය ගෙවීම් අත් හිටුවයි!

 

අද (අප්‍රේල් 12) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු පහෙන් පසුව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු විදේශ ණය හා වාරික ගෙවීම අත් හිටවා තිබෙනවා. මෙය ඒකපාර්ශ්වික තීරණයක්. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

අමුවෙන්ම කිවුවොත් කන්න බොන්නවත් සල්ලි (විදේශ විණිමය) නැති තරමට ලංකාව නැට්ට්ටම හිරවෙලා. ණය වාරික හෝ පොලී ගෙවනවා කියන එක මේ වෙලාවේ හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. මේ තීරණය නිසා පසුව මොන විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනත්, ගෙවන්න අතේ සල්ලි නැත්නම් ඔයිට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැ.

මේ තීරණය බලපාන්නේ මොන ණය වලටද?

ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර ණය, වෙනත් රජයයන්ගෙන් අරගෙන තිබෙන ද්විපාර්ශ්වික ණය, ශ්‍රී ලංකා රජයේ ඇපවීම මත වාණිජ බැංකු හෝ වෙනත් ආයතන විසින් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගෙන තිබෙන ණය ආදියට මෙම තීරණය බලපානවා. එහෙත් මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු ගිවිසුම් වලට මේ තීරණය අදාළ නැහැ. රජයේ රුපියල් ණය වලටත් මේ තීරණය අදාළ නැහැ.

මේ විදිහට ශ්‍රී ලංකා රජයට ඒකපාර්ශ්වික තීරණ ගන්න පුළුවන්ද?

විදේශ ණය ගිවිසුම් වලට බලපාන්නේ ලංකාවේ නීතිය (පමණක්) නෙමෙයි. බොහෝ විට වෙනත් රටක හෝ රටවල් ගණනාවක නීති බලපානවා. විදේශ ණය හා අදාළව ශ්‍රී ලංකා රජය කියන්නේ තවත් එක් පාර්ශ්වකරුවෙක් පමණක් මිස නීති හැදීමේ හෝ නැමීමේ හැකියාවක් තියෙන "ලොක්කෙක්" නෙමෙයි. ඒ නිසා, එක් එක් ණය ගිවිසුමේ කොන්දේසි අනුව, ශ්‍රී ලංකා රජයට ඉදිරි කාලයේදී විවිධ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙයි.

වඩා වැදගත් ප්‍රශ්නය මේ වගේ ඒකපාර්ශ්වික තීරණ ගන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. මෙහෙම නොකර වෙන කළ හැකි දෙයක් තිබුණාද කියන එකයි. ණය ගෙවන්න සල්ලි නැත්නම් කොහොමටත් ගෙවන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඉතිරිව තිබෙන්නේ ණය පැහැර හරින ආකාරය පිළිබඳ විකල්ප පමණයි. ණය පැහැර හැරීම කළ යුතුව තිබුණු විකල්ප ක්‍රම මොනවාද?

(1) ණය හිමියන් සමඟ සාකච්ඡා කර ද්විපාර්ශ්වික එකඟතාවයක් යටතේ ණය ගෙවීම අත් හිටුවා එම ණය පසුව ගෙවන ආකාරය සම්බන්ධව දෙපාර්ශ්වයට එකඟ විය හැකි වැඩ පිලිවෙලක් සකස් කර ගැනීම.

(2) අවසාන මොහොත වන තුරු ණය කෙසේ හෝ ගෙවන බව කියමින් සිට අවසාන මොහොතේ ණය නොගෙවා පැහැර හැරීම 

(3) දැන් කර ඇති ආකාරයෙන් ඒකපාර්ශ්වික පූර්ව දැනුම්දීමක් සහිතව ණය ගෙවීම අත් හිටුවීම 

බොහෝ දෙනෙකු විසින් ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් යෝජනා කරද්දී අදහස් කළේ ඉහත (1) විකල්පය ගැනයි. එහෙත් මෙය යම් කාලයක් ගත වන වැඩක්. මගේ අදහස වන්නේ අඩු වශයෙන් මාස හයකට පෙර අනිවාර්යයෙන්ම ණය පැහැර හරින්නට සිදුවන බව අවබෝධ කර ගෙන අවශ්‍ය කටයුතු පටන් ගත්තානම් මෙය කළ හැකිව තිබුණු බවයි. දැන් මේ සඳහා ප්‍රමාද වැඩියි. මේ වන විට අදාළ ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වී ඇතත් එය සම්පූර්ණ වීමට මාස ගණනාවක් යා හැකියි. එතෙක් අල්ලා ගෙන ඉන්න තරම් විදේශ සංචිත රටේ නැහැ. ඒ නිසා, ඉතිරිව තිබෙන්නේ (2) හා (3) විකල්ප පමණයි. ඒ දෙකෙන් වඩා හොඳ විකල්පය (3)යි. 

මෙය හානි අවම කිරීමේ විකල්පයක් පමණක් බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. (2) විකල්පයේ හානි ඊට වඩා වැඩියි. (1) වඩා හොඳ විකල්පයක් වුවත් දැන් ඒ සඳහා ප්‍රමාද වැඩියි. (3) යනු (1) සිදුවන තුරු ගෙන තිබෙන තාවකාලික පියවරක්. 

කෙසේ වුවත්, (1) කියන්නෙත් හානි අවම කරන විකල්පයක් පමණයි. මේ විකල්ප තුනටම නොගොස් නියම පිළිවෙලට ණය ගෙවන්න පුළුවන් වුනානම් තමයි වඩාත්ම හොඳ. හැබැයි දැන් ඒ ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. මේකත් විණිමය අනුපාතය හා පොලී අනුපාත පාලනය කිරීම වගේම දෙයක්. 

ඩොලරයේ මිල අඩුවෙන් තියෙනවානම් හොඳයි. පොලී අනුපාත අඩුවෙන් තියෙනවානම් ඒත් හොඳයි. හැබැයි මේ ඉලක්ක ලඟා කරගත යුත්තේ "නියම ක්‍රමයට" මිසක් හොර පාරෙන් නෙමෙයි. ඩොලරයේ මිල ඉහළ යාමට බලපාන දේ කරන අතරම ඩොලරයේ මිල පාලනය කිරීමේ ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම පේන්න තිබෙනවා. මතක තියා ගන්න අනාගතය ගැන සැලකූ විට තවමත් ඩොලරයේ මිල තියෙන්නේ සතුටු විය හැකි තැනක බව. පොලී අනුපාතික ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි.

මේ ණය ජනතාවගේ එකඟතාවයෙන් තොරව රජය විසින් ජනතාව උකස් කර ගත් ණය සේ සලකා ඒකපාර්ශ්වීය ලෙස ගෙවීම කල් දැමීම සාධාරණිකරණය කළ හැකිද?

මෙහි "රජය විසින් ජනතාව උකස් කර ගත්" කියන කොටස නිවැරදි වුවත් "ජනතාවගේ එකඟතාවයෙන් තොරව" කියන කොටස නිවැරදි නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක බහුතර ජනතා කැමැත්ත ලබා බලයට පත් වූ ආණ්ඩුවක මෙහෙයවීම යටතේ රජය විසින් ජනතාව උකස් කර ගත් ණය සැලකිය හැක්කේ ජනතාවගේ එකඟතාවයෙන් ලබාගත් ණය ලෙසයි. ඒ වගේම, මෙහිදී ප්‍රායෝගිකව බලපාන්නේ ජාත්‍යන්තර ගිවිසුම් නීති මිසක් සාධාරණත්වය පිළිබඳ මූලධර්ම නෙමෙයි. කලින් විස්තර කළ පරිදි, මෙය සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව විකල්ප නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්.

දැන් ණය හිමියන්ට වෙන්නේ කුමක්ද?

වහාම සිදුවන දෙය ඔවුන්ට ලැබිය යුතු ණය වාරික හා පොලී මුදල් ලංකාවට ලබා දුන් අලුත් ණය බවට පරිවර්තනය වීමයි. එනම් ප්‍රාග්ධනීකරණය වීමයි. උදාහරණයක් ලෙස ජූලි මාසයේදී කිසියම් අයෙකුට ඩොලර් මිලියන 100ක ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජන වෙනුවෙන් එම මුහුණත වටිනාකම හා ඩොලර් මිලියන 2.9375ක කූපන් පොලී මුදලක් ලැබිය යුතු වුවත් දැන් එය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇය එදින ඩොලර් මිලියන 102.9375ක අළුත් ස්වෛරිත්ව බැඳුම්කරයක හිමිකාරියක බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් එම මුදල ආපසු ගෙවන තුරු 5.875%ක පොලියක් ලැබෙනවා. ලැබෙනවා කිවුවත් එම මුදල බැංකු පොලියක් මෙන් ඉහත ආයෝජනයටම එකතු වෙන එකයි වෙන්නේ.

මේ වැඩේට ණය හිමියෝ කැමති වෙයිද?

අනිවාර්යයෙන්ම ඔවුන් කැමති වන එකක් නැහැ. මොකද මේ 5.875% පොලියට (ඉහත උදාහරණයේදී) ඔවුන් කැමති වී තියෙන්නේ වසර 10කට පෙර 2012දී. ඒ දවස්වල ලංකාවට ණය දෙන එකේ දැන් මෙන් අවදානමක් පෙනෙන්න තිබුණේ නැහැ. දැන් ඔවුන් මේ වගේ අඩු පොලියකට තමන්ගේ ණය අළුත් කරන්න කැමති වන්නේ නැහැ. ඉදිරියේදී මේ ණය හිමියන් එක්රැස් කර කරන සාකච්ඡාවකදී බොහෝ විට ඔවුන්ගේ නොගෙවූ ණය හා පොලී ආපසු ගෙවන තුරු මීට වඩා ගොඩක් වැඩි පොලියක් ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජයට එකඟ වෙන්න වෙයි. එවැනි එකඟතාවයක් ඇති කර ගන්න බැරි වුනොත් ඔවුන් නඩු මගට ගොස් ප්‍රමාද ගාස්තු, නඩු ගාස්තු ආදියත් ඉල්ලා සිටියි. කොහොම වුනත් දැනට ඔයිට වඩා වෙන කරන්න කියලා දෙයකුත් නැහැ. 

මීට පස්සේ ලංකාවට ණය ගන්න බැරි වෙයිද?

රටක් ණය පැහැර හැරියා කියලා ආයේ කවදාවත්ම ණය ගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ දැන් පවතින තත්ත්වය යටතේ තව සෑහෙන කාලයකට විදේශ ණය ගන්න ලේසි වෙන එකක් නැහැ. ණය නොගෙවා හිටියා කියලා ණය අහෝසි වෙන්නේ නැහැ. ඒ ණයට දවසින් දවස පොලී එකතු වෙනවා. ඒ එක්ක ලංකාවේ විදේශ ණය බර දැන් තිබෙනවාට වඩා විශාල ලෙස ඉහළ යයි. ඒ විදිහට ණය වැඩිවෙන්නේ අලුත් ණය එක ඩොලරයක් හෝ රටට එන්නේ නැතුවයි. බොහෝ විට ඉදිරි වසර පහ තුළ ගෙවිය යුතු ණය ටික ගෙවන්න පමණක් අඩු වශයෙන් අවුරුදු දහයක් යයි. ගත්ත ණය ටිකවත් ගෙවාගන්න බැරිව දඟලන රටකට සාමාන්‍ය ආයෝජකයෝ ණය දෙන එකක් නැහැ. මම කියන්නේ නුදුරු කාලය ගැනයි. ද්විපාර්ශ්වික ණයනම් තීරණය වන්නේ වෙනත් කරුණු මතනේ. ඒවා ලැබෙයි. 

ණය ප්‍රශ්නය ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

බොහෝ විට ඉදිරි වසර දහයක පමණ කාලය තුළ ලංකාවට ලැබෙන විදේශ විණිමය ටික පිරිමහගෙන වියදම් කරන්න වෙයි. ඒ අතර ණය ගෙවන්නත් විදේශ විණිමය වෙන් කරන්න වෙයි. ඒ කියන්නේ ඩොලරය දිගින් දිගටම විශාල ලෙස ඉහළ යන්න ඉඩ හරින්න වෙනවා කියන එකයි. පොලී අනුපාතිකත් විශාල ලෙස ඉහළ යයි (ඉතිරිකිරීම් තියෙන අයට හොඳ ආරංචියක්!). ගොඩක් ආනයනික භාණ්ඩ ලංකාවේ මධ්‍යම පංතියට පරිභෝජනය කළ නොහැකි සුඛෝපභෝගී භාණ්ඩ බවට පත් වෙයි. අවුරුදු හතළිහකට පමණ පෙර තිබුණු සරල සුන්දර ජීවිතය ගැන ෆේස්බුක් පෝස්ට් දාපු අයට ඒ ජීවිතය විදින්න ඉඩ ලැබෙයි. රජයේ වියදම් විශාල ලෙස කපා හරින්න සිදු වෙයි. රටේ ඒක පුද්ගල ආදායම (ඩොලර් වලින්) දශක ගානකින් පස්සට යන්න පුළුවන්. මේවා අශුභවාදී අදහස් කියා හිතෙන අයට කියන්න තියෙන්නේ මේ ලියන්නේ පුලුවන්ම තරම් ශුභවාදී ලෙස බවයි.

මේක ගොඩදාන්න වෙන විදිහක් නැද්ද?

කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ නැවත මුල සිටම පටන් ගන්නවා හැර වෙන විකල්පයක් නැති බවයි. මේ වෙන්න යන්නේ සිස්ටම් රීසෙට් එකක්. ඕක කවදා හරි අනිවාර්යයෙන්ම වෙන දෙයක්. කලින් වෙන තරමට හොඳයි. වෙච්ච වැරදි වලින් පාඩම් ඉගෙන ගත්තොත්, හදිසියේ නොවුනත්, අළු ගසා දා නැගිටලා ගොඩ යන්න පුළුවන්. 

Monday, April 11, 2022

ඉදිරි මාස කිහිපය කොහොම ගෙවෙයිද?


අධිපති මාරුවෙන් පසුව මහ බැංකුව රටේ පවතින තත්ත්වය ගැන ඇත්ත කතා කරනවා. මහ බැංකුව කියා කිවුවේ එහි ඉහළ ස්ථරය. මේ වන විට මහ බැංකුවට පිටින් සිටි විවේචකයින් විසින් කියූ දේ සහ මහ බැංකුව විසින් කියන දේ අතර විශාල පරතරයක් නැහැ. ඉතා සංක්ෂිප්ත ලෙස කිවුවොත් පවතින තත්ත්වය ගොඩක් අය හිතාගෙන ඉන්නවාට වඩා සෑහෙන්න දරුණු තත්ත්වයක්. මේ වෙලාවේ කවුරු ඇවිත් මොන දේ කළත් මේ විනාශය වලක්වා ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි.

අපි ජූලි මාසයෙන් පටන් ගනිමු. ජූලි 25 ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් හා එහි පොලිය ගෙවන්න තියෙනවා. මෙය එදිනට ගෙවන්න බැරි වීම ආසන්න අනිවාර්යතාවයක්. දැනට තිබෙන එකම තේරීම ඊට පෙර කෙසේ හෝ ණයකරුවන් සමඟ සාකච්ඡාවක් කර සැලසුම්සහගත ලෙස මෙම ණය පැහැර හැරීම සිදු කිරීමයි. මේ නිශ්චිත කාරණය හා අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එකෙන් අදහස් වනු ඇත්තේ එයයි.

අද වන විට ජූලි 25 දින කල් පිරෙන බැඳුම්කරයේ ද්වීතියික වෙළඳපොළ මිල ඩොලර් 47.9 දක්වා පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ අනුපාතයක් ලෙස ගත්තොත් අද ඩොලර් 48ක් ආයෝජනය කරලා තව සති 15කින් ඩොලර් 103ක් ලබා ගත හැකියි කියන එක. මෙය ඉතා ඉහළ ප්‍රතිලාභයක් බව කිව යුතු නැහැ. එවැනි ඉහළ ප්‍රතිලාභයක් හමුවේ කවුරුවත් මේ බැඳුම්කර මිල දී නොගන්නේ සල්ලි ආපසු නොලැබෙන බව ඒ තරම්ම පැහැදිලි නිසයි. අවදානම ඉහළ යද්දී මිල තවතවත් පහත වැටෙමින් තිබෙනවා.

ඉහත ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළව ලංකාව හමුවේ තිබෙන විකල්ප මොනවාද? මේ වන විට රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසියම් උත්සාහයක් දරමින් සිටින බව පෙනුනත්, බොහෝ විට ජූලි 25 දිනට පෙර එය සිදු නොවිය හැකියි. මොන විදිහෙන් හෝ ණයකරුවන් එක්රැස් කරගත්තොත් ඔවුන් අතරෙන් බොහෝ දෙනෙක් ඩොලර් 100ම නොගෙන යම් අඩු මුදලක් ලබා ගන්න කැමති විය හැකියි. එහෙත්, එසේ කැමති නොවන යම් පිරිසක් ඉතිරි වෙයි. ඔවුන් ණය පැහැර හැරීමක් සිදුවීමෙන් පසුව නඩු මගට යා හැකියි.

බොහෝ විට සිදු විය හැකි පරිදි, ඉහත ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කිරීමට ඉඩක් නොලැබී, පූර්ව දැනුම් දීමකින් තොරව ණය පැහැර හැරියොත් වෙන්නෙත් ඒ ටිකම වුනත් එය වඩා භයානක ආකාරයකින් වෙයි. ණයකරුවන් සංවිධානය වී නඩු මගට ගොස් අවසාන වශයෙන් නඩු ගාස්තු හා පොලී අධිභාරයක්ද සමඟ ණය හා පොලිය ගෙවන්න වෙන්න පුළුවන්. මෙය තීරණය වන්නේ ස්වෛරිත්ව බැඳුම්කර ගිවිසුමේ කොන්දේසි මතයි. මම මේ කොන්දේසි පිළිබඳව හදාරා නැහැ. එහෙත්, මෙය සිදු විය හැකි සාමාන්‍ය දෙයයි. 

රටේ දේශපාලනික තත්ත්වය බාධාවක් නොවුනොත් ලබන වසරේ සිට ගෙවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරගන්න අවස්ථාවක් ලැබෙයි. ඒ වගේම, ජූලි බැඳුම්කරය පැහැර හැරීමෙන් පසු ඇතිවන ආතතිය එයට උදවුවක් විය හැකියි. කෙසේ වුවත්, ජූලි බැඳුම්කරය නිසි සේ නොගෙවීමේ අහිතකර ප්‍රතිඵල වලට ලංකාවට මුහුණ දෙන්න වෙයි.

ඇත්තටම කියනවානම් මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව ජූලි මාසයේ වෙන්න තිබෙන දේ ගැන කතා කරන එකෙත් තේරුමක් නැහැ. ඊට කලින්ම ලංකාවට විශාල ප්‍රශ්න ගොඩකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා. 

මහ බැංකුවේ නිල සංඛ්‍යලේඛන අනුව මාර්තු අවසානයේ ඉතිරිව තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,939ක් පමණයි. මෙම සංචිත ප්‍රමාණයෙන් වැඩි කොටසක් චීන විණිමය හුවමාරු පහසුකම හරහා ලැබුණු මුදල් බවත් අපි දන්නවා. ඒ මුදල් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් යෙදවිය නොහැකියි. අප්‍රේල් හා මැයි මාස දෙක තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 1,898ක්. ඊට අමතරව බැංකු පද්ධතිය විසින් දැනටම විකුණා ඇති "නැති ඩොලර්" ප්‍රමාණය ඩොලර් මිලියන 562ක්. කතාව පැහැදිලියිනේ.

ලංකාවට මාසයකට අපනයන ආදායම් ලෙස ඩොලර් බිලියනයක් පමණ ලැබෙනවා. එම අපනයනකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ආනයනය කිරීම සඳහා එයින් අඩු වශයෙන් ඩොලර් මිලියන 300ක් පමණවත් යනවා කියන එක මගේ අදහසයි. ශ්‍රමික ප්‍රේෂණ ලෙස මේ වන විට බැංකු පද්ධතියට ලැබෙන්නේ මසකට ඩොලර් මිලියන 200-250කට ආසන්න මුදලක් පමණයි. රටේ පවතින වාතාවරණය යටතේ සංචාරක කර්මාන්තයෙන් මසකට ඩොලර් මිලියන 150-200කට වඩා හොයා ගැනීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. ඔය විදිහට බැංකු පද්ධතියට මාසයකට එනවා ඇත්තේ ඩොලර් බිලියනයකට මඳක් වැඩි මුදලක් පමණයි. 

බැංකු පද්ධතියට එන ඩොලර් වලින් 50%ක් මහ බැංකුවට විකිණීය යුතුයි. ඒ කියන්නේ මහ බැංකුවට රටට එන ඩොලර් වලින් මසකට ඩොලර් මිලියන 500ක් පමණ මිල දී ගැනීමේ හැකියාවක් තිබෙනවා. මාස දෙකට බිලියනයක් පමණ. ඉන්ධන ආනයනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා එම මුදල් මුදා හැරීමෙන් පසුව ණය ගෙවීම සඳහා මුදල් ඉතිරි වන්නේ නැහැ. ණය ගෙවුවොත් ඉන්ධන ආනයනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් ඉතිරි වන්නේ නැහැ. මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය පමණක්ම වුවත් ඩොලර් බිලියන 1.3-1.5ක් පමණ බව මගේ අදහසයි.

ලංකාවේ සාමාන්‍ය මාසික ආනයන වියදම අඩු වශයෙන් ඩොලර් මිලියන 1,700ක් පමණවත් වෙනවා. අපනයනකරුවන් විසින් ඔවුන්ගේ ආනයන වෙනුවෙන් අවශ්‍ය ඩොලර් ටික වෙන් කරගත්තා කියමු. තව ඩොලර් මිලියන 1,400ක් පමණ අඩුයි. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා ඩොලර් ටික නිකුත් කළොත් ඉන් පසුවත් තව ඩොලර් බිලියනයක පමණ හිඟයක් තිබෙනවා. මාස දෙකට ඩොලර් බිලියන දෙකක්. නමුත් බැංකු පද්ධතියට මාස දෙකට එන ඩොලර් බිලියන දෙකෙන් බිලියනයක් මහ බැංකුවට දුන්නට පස්සේ බැංකු වල ඉතුරු වෙන්නේ තව ඩොලර් බිලියනයක් පමණයි. බැංකු විසින් දැනටම විකුණා ඇති මිලියන 500කට වැඩි නැති ඩොලර් ටික අයින් කර ගන්න වෙන්නෙත් ඒ ලැබෙන ඩොලර් ටිකෙන්.

දැන් මෙයින් කියැවෙන්නේ කුමක්ද? ඉදිරි මාස දෙක තුළ ආනයනකරුවන් විසින් අඩු වශයෙන් ඩොලර් බිලියන දෙකක් පමණ බැංකු වලින් ඉල්ලා සිටිද්දී බැංකු වලට ඔවුන්ට විකුණන්න හැකි වෙන්නේ ඩොලර් මිලියන 500ක් පමණයි. අනාගතයේ දෙන පොරොන්දුවට තවත් "නැති ඩොලර්" මිලියන 500ක් විකිණුවත් ඉල්ලුම සැපයුම මෙන් දෙගුණයක්. මේ තත්ත්වය වෙනස් නොවන තාක් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යාම වැළැක්විය නොහැකියි. හැබැයි එසේ වෙද්දී ආනයන ඉල්ලුමත් යම් තරමකින් අඩු වෙයි.

අනෙක් පැත්තෙන් මහ බැංකුව විසින් බැංකු වලින් එකතු කරගන්නා ඩොලර් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කරන්න වෙනවා කියන්නේ ණය ගෙවන්න ලැබෙන්නේ නැහැ කියන එකයි. හදිසියෙන්ම ගෙවන්න තියෙන්නේ ඉන්දියාවේ ණය. බොහෝ විට ඉන්දියාව නැවත වරක් ණය ගෙවීමේ කාලය දිගු කරලා දෙයි. එහෙම නැත්නම් ඉතින් රටම කළුවරේ තමයි. 

මේ තියෙන තත්ත්වය යටතේ බැංකු පද්ධතිය හරහා රටට එන පොඩි ඩොලර් ප්‍රමාණයක් වුනත් ඇත්තටම ලොකු උදවුවක්. කෙළින්ම තමන්ගේ ගෙදරට යවන සල්ලි කාටවත් හොරකම් කරන්න පුළුවන්කමක් නැහැනේ. කවුරු හරි වංචනික ලෙස එක්රැස් කරගත් සල්ලි තිබේනම් ඒ සල්ලි ඩොලර් කර රටින් පන්නාගන්න උදවු කරන්නේ උන්ඩියල් ක්‍රම වලට සල්ලි එවන අයයි. බැංකු වලට එවන සල්ලි එක පැත්තකින් රුපියල් වෙලා ගෙදරට යනවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවට එම ඩොලර් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවක් ලැබෙනවා.

ඇත්තටම උන්ඩියල් ක්‍රමයට එවුවත් බොහෝ විට ඒ සල්ලි ලංකාවට ලැබෙනවා. ඔය සල්ලි ඔක්කොම කළු සල්ලි රටින් පැන්නීම සඳහා යෙදවෙන්නේ නැහැනේ. නමුත් එයින් ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් එම මුදල් යොදවන්න ඉඩක් නොලැබෙන නිසා ලංකාවේ මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

මම හිතන්නේ මෙය විදේශගත ලාංකිකයින්ට ලංකාවේ දේපොළ මිල දී ගන්නත් හොඳම අවස්ථාවක්. මිලියනය දහයක ඉඩමක් ගන්න කලින් ඩොලර් 50,000ක් ගියත් දැන් යන්නේ ඩොලර් 30,000ක් පමණයි. රජයේ හා/හෝ මහා බැංකුවේ පැත්තෙන් මේ වෙලාවේ රටට ඩොලර් අද්දගන්න කළ හැකි එක් දෙයක් වන්නේ විදේශිකයින් විසින් ඉඩම් මිල දී ගැනීමේදී ගෙවිය යුතු 100% බද්ද තාවකාලිකව 50% හෝ 25% පමණ මට්ටමකට අඩු කිරීමයි. මෙය නිශ්චිත කාලයකට දෙන බදු සහනයක් ලෙස ප්‍රකාශ කිරීම වැදගත්. එම කාලය තීරණය කළ යුත්තේ මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබෙන දවස මත පදනම්වයි. එවැන්නක් කිරීමෙන් බොහෝ විට රටට ඩොලර් වගේම රජයට බදු ආදායම්ද එකතු කරගත හැකියි. මුදල් අමාත්‍යාංශයේ ඉන්න බදු විශේෂඥයින්ට පුළුවන්නේ දත්ත දිහා බලලා යෝග්‍ය මට්ටම හරියටම තීරණය කරන්න.

Sunday, March 20, 2022

තාමත් සල්ලි අච්චු ගහනවද?

 


දෙරණට අනුව පසුගිය අඟහරුවාදා (මාර්තු 15) මහ බැංකුව විසින් අලුතෙන් රුපියල් කෝටි 8,300ක් සල්ලි අච්චු ගහලා තිබෙනවා. මගෙන් එක් හිතවතෙක් මේ ගැන විමසීමක් කරමින් මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රුපියල පාවෙන්න ඇරපු එකේ තේරුමක් තියෙනවද කියලා අහනවා.

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ සඳහා වැඩි මුදලක් ගෙවන එක නවත්වා තියෙනවා. එය හොඳ තීරණයක්. එකම ඩොලරය සඳහා තෝරාගත් පිරිසකට පමණක් වැඩි මිලක් ගෙවීමෙන් වෙන්නේ ඩොලරය පිළිබඳ මිල අපේක්ෂාවන් සීමා කර ගැනීම වඩා අපහසු වීමයි. මේ වෙද්දී ඩොලරය එහි නියම අගය දක්වා අවප්‍රමාණය වී අවසන් නිසා අපේක්ෂාවන් ඉහළ නොයන්නේනම් ඩොලරයේ මිල මේ සතිය තුළ ස්ථායී විය යුතුයි. ඒ සමඟම, තාවකාලිකව වුවත්, ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳෙනවා.

කෙසේ වුවත්, වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ ඩොලරයේ නියම අගය තව තවත් ඉහළ යනවා කියන එකයි. එවිට ඩොලරයේ මිලෙන් එම අගය පිළිබිඹු වීමට ඉඩ හරින්න වෙනවා. මෙය වලක්වා ගත හැක්කේ සල්ලි අච්චු ගහන එක පාලනය කිරීමෙන් පමණයි.

දැන් අපි දෙරණ පුවත වෙත යමු. 

"ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627.00 ක් බව ඊයේ අඟහරුවාදා (15) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඊට පෙර දින එනම් සඳුදා (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ක් බව මීට පෙර සටහන්ව තිබීමයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඊයේ දිනය තුළ දී රු. බිලියන 83.03 කින් වැඩි වී ඇත.

එනම් රු. බිලියන 83.03 ක හෙවත් රු. කෝටි 8,303 ක නව මුදල් ප්‍රමාණයක් ඊයේ දින රටට මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවයි.

මෙලෙස නව මුදල් නිකුත් කිරීම සඳහා මුදල් අච්චු ගැසීම යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ."

මෙහි මුල් කොටසේ සඳහන් සංඛ්‍යාලේඛණ සියල්ල නිවැරදි වුවත් අවසන් වාක්‍ය දෙකෙහි සඳහන් කරුණු නිවැරදි නැහැ. මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක්. පෙර දින එම අගය රුපියල් බිලියන 1,543.97ක්. ඒ අනුව, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 83.03කින් හෙවත් රුපියල් කෝටි 8,303කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා මුදල් ගෙවද්දී අලුත් මුදල් සංසරණයට එකතු වී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යාම සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් එහි මුහුණත වටිනාකම ගෙවන්නේ නැහැ. මුහුණත වටිනාකම කියන්නේ බිල්පත්/ බැඳුම්කර කල් පිරීමේදී ගෙවන මුදලයි. මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් ගෙවන්නේ එහි වෙළඳපොළ වටිනාකමයි.

වැඩිපුර තොරතුරු අවශ්‍යනම් පහත ලිපි කියවන්න.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක් වුවත් එම බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,567,26ක් පමණයි. පෙර දින එම අගය රුපියල් බිලියන 1,492,42ක්. මේ අනුව, මහ බැංකුව සතු වූ බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 74.85කින් හෙවත් රුපියල් කෝටි 7,485කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ කියන්නේ, දවසක් ඇතුළත එපමණ මුදලක් සල්ලි අච්චු ගහලද?

මහ බැංකුව විසින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගත් පමණින්ම සංචිත මුදල් සැපයුම ඉහළ යාමක්, එනම් සල්ලි අච්චු ගැසීමක්, සිදු වන්නේ නැහැ. මහ බැංකුවෙන් එළියට යන සල්ලි නැවත මහ බැංකුව වෙතම එන ක්‍රම ගණනාවක් තිබෙනවා. වත්මන් සන්දර්භය තුළ මේ සඳහා හොඳම උදාහරණය සංචිත විකිණීමයි. 

මහ බැංකුව විසින් ඩොලරයක් විකුණන හැම විටෙකම එහි රුපියල් වටිනාකම මහ බැංකුවට ලැබෙන නිසා යම් මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් වී නැවත මහ බැංකුව වෙත එනවා. එහිදී සංචිත මුදල් සැපයුම පහළ යනවා. සංචිත මුදල් විකුණා උපයන රුපියල් බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා යෙදෙවුවොත්, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඉහළ යන නමුත් සංචිත මුදල් වැඩි වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායක ගණනාවක් අතරින් එකක් පමණයි.

මාර්තු 9 දින සිට මාර්තු 16 දක්වා සතියක කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,357.10 සිට රුපියල් බිලියන 1,370.50 දක්වා රුපියල් බිලියන 13.40 කින් හෙවත් රුපියල් කෝටි 1,340කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අදාළ සතියේ එක් දිනක් තුළ රුපියල් කෝටි 8,303ක් සල්ලි අච්චු ගසා තිබීම විය නොහැක්කක්. එහෙත්, සල්ලි අච්චු ගැසීමේ ප්‍රශ්නයක් තිබෙනවා. 

Wednesday, January 26, 2022

බැඳුම්කරේ ගෙවුවේ යාළුවන් නිසාද?


ජනවාරි මාසයේදී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කරය පියෙවුවේ එහි ආයෝජනය කර තිබුණු බොහෝ දෙනෙක් ආණ්ඩුවේ හිතවතුන් වූ නිසා කියා කතාවක් පැතිර තිබෙනවා. ඇතැම් අය මේ ගැන අපෙන් අදහස් විමසලත් තිබෙනවා. මේ වගේ දෙයක් ගැන අපට කතා කළ හැක්කේ එවැන්නක් සිදු වීමට සෛද්ධාන්තික හැකියාවක් තිබුණේද යන පදනමින් පමණයි. 

මම ආණ්ඩුවේ හිතවතෙක් වුනානම්, මේ වගේ දෙයකට වැය කළ හැකි තරමේ සැලකිය යුතු මුදලක් අතේ තිබුනානම්, මම පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණ මේ බැඳුම්කරය වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒ නිසා, සල්ලි අතේ තිබුණු ආණ්ඩුවේ හිතවතුන් එසේ නොකළා වෙන්න බැහැ. ඒ වගේම, මම ආණ්ඩුවේ හිතවතෙක් නොවුනත්, මේ වගේ දෙයකට වැය කළ හැකි තරමේ සැලකිය යුතු මුදලක් අතේ තිබුනානම්, ඒත් මම ඔය වැඩේම කරනවා.

ගෙවපු බැඳුම්කරය පැත්තකින් තියමු. තව හය මාසයකින් ගෙවන්න නියමිත බැඳුම්කරකුත් තියෙනවනේ. ඔය බැඳුම්කරයත් ආණ්ඩුව නියමිත පරිදි ගෙවයි කියන එක මගේ විශ්වාසයයි.

ජූලි 25 කල් පිරෙන මේ බැඳුම්කරයේ ඩොලර් 200,000ක මුහුණත අගයක් ගන්න අද ගෙවිය යුත්තේ ඩොලර් 154,500ක් පමණයි.  මාස හයකින් ඩොලර් 205,875ක් අතේ. ලාබය කෙළින්ම ඩොලර් 51,375ක්!

අතේ සල්ලි නැත්නම් ගෙයක් ඇපයට තියලා ඔය ගාන ගත්තත් ඕනෑනම් ඩොලර් 1000ක් පොලිය ගෙවන්න වෙයි. ඒත් ඩොලර් 50,000කට වඩා අතේ. ඩොලර් මිලියන 3ක් පමණ ආයෝජනය කළොත් කෙළින්ම ඩොලර් මිලියනයක් ගොඩ දාගන්න පුළුවන්. ඉතිං මම හිතන්නේ අතේ සල්ලි තියෙනවානම් ආණ්ඩුවේ හිතවතුන්ට වගේම ආණ්ඩුවේ තරහ කාරයින්ට වුනත් හොඳ අවස්ථාවක් තවමත් තිබෙනවා. 

ඇතැම් අය අහන්නේ මේ වෙලාවේ මහ බැංකුව විසින් සංචිත මුදල් යොදවා මේ බැඳුම්කර මිල දී නොගන්නේ ඇයි කියලා. මුළු බැඳුම්කරයම මිල දී ගන්නනම් බැහැ. මොකද තමන්ගේ බැඳුම්කර කොටස් විකුණන්නේ සීමිත පිරිසක්. හැබැයි ඩොලර් මිලියන 30ක වගේ මුදලකට බැඳුම්කර කොටස් මිල දී ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. බැඳුම්කරය කොහොමටත් ගෙවනවානම් සංචිත මුදල් යොදවා ඩොලර් මිලියන 40ක මුහුණත අගයක් ඩොලර් මිලියන 30කට පමණ මිල දී ගත්තොත් මාස හයෙන් ඩොලර් මිලියන දහයක් බේරිලා. ලූණු බිකත් බඩට කිවුවා වගේ වෙලාවේ හැටියට ඩොලර් මිලියන දහයක් වුනත් වටිනවනේ. මම හිතන්නේ වාණිජ බැංකු කොහොමටත් ඔය වැඩේ කරනවා ඇති. 

බැඳුම්කර කොටස් යම් ප්‍රමාණයක් මිල දී ගත් වහාම කොටසක මිල ඉහළ යනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කළ යුතු නැහැ. සමහර විට ඩොලර් මිලියන පණහක් හැටක් වුනත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ජනවාරි බැඳුම්කරයේ මිල හදිසියේ ඉහළ ගියේ එවැනි දෙයක් කළ නිසා වෙන්නත් පුළුවන්. ඒ ගැන, දැනගෙන සිටි කෙනෙකුට ඉතාම කෙටි කාලයකින්, සමහර විට දවස් ගාණකින්, විශාල ලාබයක් ලබන්න පුළුවන්කමකුත් තිබුණා. හැබැයි යමක් වෙන්න පුළුවන් කියන එකෙන් වුනා කියන එක අදහස් වෙන්නේ නැහැ.

ජූලි බැඳුම්කරය ගැන උනන්දු ආණ්ඩුවේ හිතවතෙකුට මේ වෙලාවේ පවා තිබෙන විශේෂ වාසිය සල්ලි ආපසු ලැබෙන බවට තිබෙන සහතිකය. ලංකාවට විශේෂ සම්බන්ධයක් නැති විදේශ ආයෝජකයෙකුට මේ සහතිකය නැහැ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ආණ්ඩුවේ හිතවතුන් සල්ලි හම්බ කරනවානම් එහි පෙන්විය හැකි වැරැද්දක් නැහැ. ඒ වගේම, එයින් ආණ්ඩුවට අමුතු පාඩුවක් වෙන්නෙත් නැහැ.

කිහිප දෙනෙක් අහපු තවත් ප්‍රශ්නයක්නම් ඩොලරය 200 මට්ටමේ තියාගෙන ඉන්නේ කළු සල්ලි රටින් එළියට පන්නන්නද කියන එක. මේ වගේ දෙයක් වුනත් සිදු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. සිදුවනවාද නැද්ද කියා මම දන්නේ නැහැ.

මා සතු විශාල කළු සල්ලි ප්‍රමාණයක් රුපියල් වලින් ලංකාවේ තිබෙනවා කියා කියමු. දැන් මට මේ සල්ලි ඩොලර් කර රටින් පිට කර ගන්න ඕනෑ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඔය දෙකෙන් එකක්වත් ලේසි නැහැනේ. රුපියල් ඩොලර් කරන එක වගේම රටින් පන්නන එකත් ගොඩක් අමාරුයි. හැබැයි දැන් තියෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. 

ලංකාවට සල්ලි යවන්න ඕනෑ අය ලෝකය පුරාම ඉන්නවනේ. අපි හිතමු ඇමරිකාවේ, කැනඩාවේ ඉන්න එහෙම අයට ඩොලරයට රුපියල් 220 ගානේ දෙන්න පොරොන්දු වුනා කියලා. දැන් මට ඉතා පහසුවෙන් ඩොලර් එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ තිබෙන රුපියල් වලින් ගෙවන්න පුළුවන්. අන්තිමට ලංකාවේ හිර වෙලා තිබුණු රුපියල් ටික ඩොලර් වෙලා රටෙනුත් එළියට ඇවිත්. මම හිතන විදිහට රටට එන ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමට මේ වගේ දේවල් සිදු වීමත් එක් හේතුවක්.

Tuesday, October 12, 2021

මහ බැංකුව නැවතත් රෝදය සොයා ගනී!

 


මහ බැංකුව විසින් තවත් වරක් රෝදය අලුතෙන් හොයා ගෙන තිබෙනවා. ලංකාවේ ආර්ථික හා මූල්‍ය කේෂේත්‍ර වල පමණක් නොව සෞඛ්‍ය, කෘෂිකර්ම ආදී විවිධ කේෂේත්‍ර වල ප්‍රශ්න වලට විසඳුම් සොයන්නන් විසින් නැවත නැවතත් රෝදය අලුතෙන් සොයා ගනිමින් සිටිනවා. අත්දැකීම් අඩුකම නිසා වෙන්න ඇති!

අධිපති කබ්රාල් බලයට පත් වීමෙන් පසුව සයමසක මාර්ග සිතියමක් ඉදිරිපත් කරද්දී සඳහන් කළ එක් කරුණක් වුනේ ලංකාවේ රජය විසින් නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර අඩු මිලට ආපසු මිල දී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. මේ වන විට මහ බැංකුව විසින් "අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා" මෙය පිළිබඳව සොයා බලා තිබෙනවා. ඔය වැඩේට කොයි තරම් වියදමක් ගියාද කියලානම් කියා නැහැ. 

මෙසේ මහන්සි වී, වියදම් දරා, සොයා බැලීමෙන් පසුව 2022 ජනවාරි මස පරිණත වීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සමස්ත වටිනාකමෙන් අවම වශයෙන් සියයට 5ක ප්‍රමාණයක් හෝ ප්‍රකාශ කළ වට්ටම් සහිත මිල ගණන් යටතේ විකිණීමට නැති බවත්, මෙම තත්ත්වය යටතේ ආපසු මිලට ගැනීමේ ක්‍රියාවලියක් මඟින් රජයට සැලකිය යුතු මට්ටමක මිල හෝ පොලී ප්‍රතිලාභයක් නොලැබෙන බවත් "අලුතෙන්" හොයා ගෙන තිබෙනවා.

ආර්ථික විද්‍යාවේ අයනු ආයනු දන්නා කෙනෙක් වුවත් ඔය ටික දන්නවා. ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ආර්ථික විද්‍යාවේ හෝඩිය කියා කිව හැකියි. මහ බැංකුවේ ඉන්න විශාල පිරිසක් ආර්ථික විද්‍යාවේ අයනු ආයනු වලට වඩා බොහෝ දේ දන්නා අයයි. එහෙත්, ඉල්ලුම් සැපයුම් වක්‍ර හැදෙන ආකාරය ගැන නිසි අවබෝධයක් නැති හෝ විශ්වාසයක් නැති අයත් මහ බැංකුවේ සිටින බව මේ විදිහට රෝදය අලුතෙන් සොයා ගන්න මහන්සි වීමෙන් පෙනී යනවා.

පාඨකයෙකු විසින් "කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?" ලිපියට දැමූ ප්‍රතිචාරයකට අප ලබා දුන් පිළිතුරෙහි කොටසක් පහත තිබෙනවා.

"ඩොලර් 100ක මුහුණත අගයක් දැන් විකිණෙන්නේ ඩොලර් 60ට නම් බැඳුම්කර යම් ප්‍රමාණයක් මිල දී ගනිද්දී මේ මිල ඩොලර් 90 පමණ දක්වා ඉහළ යා හැකියි (උදාහරණයක් ලෙස). එහිදී නැවත ඩොලර් 90 බැගින් මෙම බැඳුම්කර විකිණුවොත් ඩොලර් 30ක ලාබයක් ලංකා බැංකුවට ලැබෙනවා. එහෙත්, එසේ විකුණන්න යද්දී නැවතත් ඩොලර් 60 දක්වා මිල අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව අහම්බයෙන් සිදු වුනොත් මිසක් මේ විදිහට සැලකිය යුතු වාසියක් ලබන්න බැහැ."

නිදහස් වෙළඳපොලක මිල කියා කියන්නේ ආන්තික සැපයුම්කරු විසින් විකුණන්න කැමති මිල (marginal seller's valuation) මිසක් සැපයුම්කරුවෙකු විකුණන්න කැමති සාමාන්‍ය මිල (average seller's valuation) නෙමෙයි. ඕක තේරුම් ගන්න ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් තෑග්ග ගන්න අවශ්‍ය නැහැ. 

ස්වෛරිත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ වෙත පැමිණියහොත් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් දැන් ඩොලර් 60කට විකිණෙනවා කියා කියන එකෙන් අදහස් වෙන්නේ ඩොලර් 100ක මුහුණත අගයක් ඩොලර් 60කට විකුණන්න කැමැති එක් ආන්තික සැපයුම්කරුවෙක් සිටින බව මිසක් හැම කෙනෙක්ම ඒ මිලට විකුණන්න සූදානම්ව සිටින බව නෙමෙයි. මේ ආන්තික සැපයුම්කරුවා හැරුණු විට අනෙක් හැම කෙනෙක්ම තමන් සතු ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ඊට වඩා මිලක් අපේක්ෂා කරන අයයි. මෙය ආර්ථික විද්‍යාවේ ඉතාම මූලික මට්ටමේ හා වැදගත්ම  මූලධර්මයක්.

ඒ වගේම අනෙක් පැත්තෙන් මෙයින් කියැවෙන්නේ කිසිදු ගැනුම්කරුවෙකු විසින් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් සඳහා ඩොලර් 60 ඉක්මවන මිලක් ගෙවන්න සූදානම් නැති බවයි. ඩොලර් 60 කියා කියන්නේ ගැනුම්කරුවෙකු විසින් මේ වෙලාවේ ගෙවන්න කැමති උපරිම මිල. ඒ මිල වුවත් ගෙවන්න කැමැත්තෙන් ඉන්නේ එකම එක ආන්තික ගැණුම්කරුවෙකු පමණයි. ඉතිරි ගැණුම්කරුවන් සියලු දෙනාම ගෙවන්නට කැමතිව සිටින්නේ මීට වඩා අඩු මිලක්. 

මහ බැංකුව විසින් කළ යුත්තේ ගේමක් ගසා වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කරන ආකාරය ගැන හිතන්න මහන්සි නොවී මිල සංඥාව නිවැරදිව ග්‍රහණය කර ගැනීමයි. මිල සංඥාව මගින් පෙන්නුම් කරන්නේ ලංකාව අලුතෙන් නිකුත් කරන ඩොලර් 100ක බැඳුම්කරයක් මේ වෙලාවේ ඩොලර් 60කට විකුණන්නත් අමාරු බවයි. ඒ තත්ත්වය වෙනස් කරන්නම් එහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගෙන අදාළ ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුතුයි. එහෙම නැතුව ටින්කරින් කරලා සාර්ව ආර්ථික ප්‍රශ්න විසඳන්න බැහැ. 

මහ බැංකුව විසින් කවුරු හෝ නියෝජිතයෙකු හරහා ඩොලර් 60 බැගින් ඩොලර් 100ක මුහුණත අගයක් මිල දී ගත් වහාම ඩොලර් 60ට බැඳුම්කර විකුණන්න කැමති විකුණුම්කරුවන් වෙළඳපොළේ නැතිව යනවා. එවිට ඉතිරිවන ආන්තික විකිණුම්කරුවා අවම වශයෙන් ඩොලර් 65ක් වැනි මිලක් බලාපොරොත්තු වෙනවා. ඒ මිලට විකිණෙන බැඳුම්කර ටිකත් මිල දී ගත්තොත් ද්වීතියික වෙළදපොළ මිල ඩොලර් 70ට නගිනවා. ඔය විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගන්නා තරමට මිලද ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. නමුත්, ඔය වැඩෙන් සිදු වන වාසියක් තියෙනවද?

මේ විදිහට අලුතෙන් හදපු කෘතීම ගැනුම්කරුවා බැඳුම්කර වලට වැඩි මිලක් ගෙවුවත් අනෙකුත් බාහිර ගැණුම්කරුවන් විසින් ගෙවන්න කැමති උපරිම මිල වෙනස් වෙන්නේ නැහැ. එම මිල ඩොලර් 60ක් හෝ ඊට අඩු මිලක්. ඒ නිසා මේ විදිහට ඩොලර් 60, 65, 70 හෝ 90 වැනි මිලකට මිල දී ගත් බැඳුම්කර නැවත විකුණනවානම් විකුණන්න වෙන්නේ ඩොලර් 60කට හෝ අඩු මිලකටයි. මිල කියන්නේ ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී වෙනස් වෙන දෙයක් මිසක් නොවෙනස් වන ස්ථිර දෙයක් නෙමෙයි. 

වත්මන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ සිට විගණකාධිපති දක්වා බොහෝ අය "බැඳුම්කර මගඩියේ" පාඩුව ගණන් හැදුවේත් ඔය ක්‍රමයටයි. ඒ කියන්නේ, ඩොලර් බිලියනයක් විකිණිය හැකිව තිබුණු මිලටම ඩොලර් බිලියන 10ක් හෝ ඊට වැඩි ඕනෑම බැඳුම්කර ප්‍රමාණයක් විකිණිය හැකිව තිබුණේයැයි උපකල්පනය කරලා. එහෙම කරන්න බැරි බව ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය පිළිබඳ මූලික අදහසක් තිබෙන කෙනෙක් වුවත් දන්නවා. විකුණන බැඳුම්කර ප්‍රමාණය ඉහළ යද්දී ගෙවිය යුතු පොලී අනුපාතිකයත් ඉහළ යනවා. මිල එක තැන තියාගෙන සැපයුම අසීමිත ලෙස වැඩි කරන්න බැහැ. 

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සෘජු නිකුතු ක්‍රමය පදනම් වී තිබුණේ ඔය විදිහට මිල එසේම තිබියදී බැඳුම්කර ඕනෑ තරම් විකිණිය හැකියි කියන වැරදි උපකල්පනය මතයි. මහ බැංකුවට බලපෑම් කළ හැකි සේවක අර්ථසාධක අරමුදලට හෝ රාජ්‍ය බැංකුවකට ඔය විදිහට තමන්ට අවශ්‍ය මිලකට බැඳුම්කර විකිණිය හැකිව තිබුණත් නිදහස් වෙළඳපොළක එවැන්නක් කළ නොහැකියි. වෝහාරික විගණන වාර්තාවේ ගණන් හදා පෙන්වා දෙන්නේ මෙසේ කළ නොහැකි වූ අවස්ථා වලදී සිදු වූ "පාඩුවයි".

මේ වැරැද්ද මහ බැංකුවේ පමණක් සිදුවන හෝ ලංකාවේ පමණක් සිදු වන වැරැද්දක් නෙමෙයි. ලෝකයේ ලොකුම ධනපතියන්ගේ වත්කම් දුප්පත් රටවල ජාතික ආදායම් සමඟ සසඳන ඇතැම් අයත් මේ වැරැද්දම කරනවා. මේ මොහොත වන විට ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 203.5ක්. ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 189.5ක්. සමහර "දාර්ශනිකයෝ" යෝජනා කරන විදිහට මේ අයගේ වත්කම් වලින් කොටසක් ලෝකයේ දුප්පත් මිනිස්සු අතර බෙදා දෙන්න බැරිද?

මේ වෙද්දී ටෙස්ලා කොටසක මිල ඩොලර් 800ක් පමණ වෙනවා. ඇමසන් කොටසක මිල ඩොලර් 3,246ක්. ඊලෝන් මස්ක්, ජෙෆ් බෙසෝස් වගේ ධනවතුන්ගේ වත්කම් කියා කියන්නේ ඔවුන් සතු මෙවැනි කොටස් හිමිකම්. 

ටෙස්ලා සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය බිලියනයක්. එහෙත් එම කොටස් වලින් වෙළඳපොළේ හුවමාරු කළ හැක්කේ කොටස් මිලියන 800කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එයින් පසුගිය තෙමස තුළ වෙළඳපොළේ ඇත්තටම හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 18ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 1.8%ක් පමණයි. 

ඇමසන් සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය මිලියන 510ක් පමණ වෙනවා. එයින් කොටස් මිලියන 455ක් පමණ වෙළඳපොළේ හුවමාරු කළ හැකි කොටස් වුවත් පසුගිය තෙමස තුළ ඇත්තටම වෙළඳපොළේ හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 3ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 0.6%ක් පමණ.

වෙනත් ඕනෑම මූල්‍ය වත්කමක් සැලකුවත් දැකිය හැක්කේ ඔය වගේ තත්ත්වයක්. අදාළ වත්කම හිමි අයගෙන් විශාල පිරිසක් එය වෙළඳපොළේ විකුණන්නේ නැහැ. වෙළඳපොළ මිල තීරණය කරන්නේ ඉතා සීමිත ආන්තික සැපයුම්කරුවන් හා මිල දී ගන්නන් පිරිසක් විසින්. ඊලෝන් මස්ක් හෝ ජෙෆ් බෙසෝස් විසින් ඔවුන්ගේ වත්කම් වලින් 1%ක් දුප්පත් මිනිසුන් අතර බෙදා හැරියොත් ඔවුන් මේ කොටස් හිමිකම් මුදල් කරන්න යද්දී ක්ෂණිකවම මේ කොටස් වල මිල කඩා වැටෙනවා. ඊලෝන් මස්ක්ගේ හා ජෙෆ් බෙසෝස්ගේ වත්කම්ද විශාල ලෙස පහත වැටෙනවා. ඔවුන්ගේ වත්කම් වලින් 10%ක් පමණ මේ විදිහට බෙදා හැරියොත් කොටස් මිල හොඳටම පහත වැටී ඔවුන් තව දුරටත් ලොකු ධනවතුන් නොවිය හැකියි. ජනහිතකාමය වෙනුවෙන් පෙනී සිටින බිල් ගේට්ස් හා මාක් සකර්බර්ග් වැනි එය එක වරකට තමන්ගේ වත්කම් වලින් ඉතා කුඩා කොටසක් පමණක් නිදහස් කරන්නේ මේ හේතුව නිසයි.

මේ කතාව අදාළ වන්නේ මූල්‍ය වත්කම් වලට පමණක් නෙමෙයි. ලංකාවේ නිවාස වෙළඳපොළ සලකන්න. ලංකාවේ බොහෝ දෙනෙක් තමන් දුක් මහන්සියෙන් හදාගන්නා හෝ උරුමයෙන් ලැබුණු නිවස ලේසියකට විකුණන්නේ නැහැ. එහෙත් එසේ කරන සුළු පිරිසක් ඉන්නවා. වෙළඳපොළේ නොවිකිණෙන නිවාස හා ඉඩම් විශාල ප්‍රමාණයක මිල තීරණය කරන්නේ එම සුළු පිරිසයි. මෙය නිදහස් වෙළඳපොලක මූලික ස්වභාවයයි. වෙනත් ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකටද මේ කරුණ අදාළයි.

මේ හේතුව නිසාම විණිමය අනුපාතය කෘතිමව පාලනය කරමින් ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ හෝ විදේශ විණිමය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඩොලරයක මිල තීරණය කරනවානම් රටට එන ඩොලර් සැපයුම වැඩි කළ නොහැකියි. ඩොලර් සැපයුම වැඩි කරන්න අවශ්‍යනම් මිල එක තැන තියා ගෙන එය කළ නොහැකියි.

Tuesday, July 6, 2021

ලංකාවට ආසියාවෙන් පළමු තැනක්!

පයිසර් එන්නත මිල දී ගත් පළමු දකුණු ආසියානු රට ලංකාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් හරහා ප්‍රචාරය කර අනෙක් පැත්ත හැරෙද්දී එය එසේ නොවන බව වෙනත් අය පෙන්වා දී තිබෙනවා. මාල දිවයින් රජය එරට වැසියන්ට ලබා දී ඇත්තේ නොමිලේ ලැබුණු පයිසර් එන්නත් පමණක්නම් ජනාධිපති රාජපක්ෂගේ ප්‍රකාශය නිවැරදි විය හැකියි. කොහොම වුනත් මේ ප්‍රකාශයෙන්ද පෙනෙන්නේ "අපි තමයි ඉහළින්ම ඉන්නේ" උන්මාදයයි.  

මේ වන විට ඒක පුද්ගල ආදායම වගේම ආයු අපේක්ෂාව අතින්ද දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට මාල දිවයින නිසා ලංකාවට දකුණු ආසියාවේ හෝ පළමු වැනියා වීමට තිබෙන අවස්ථා අඩු වෙමින් තිබුණත් බ්ලූම්බර්ග් විසින් වාර්තා කරන පරිදි ණය ආපසු නොගෙවීමේ අවදානම අතින් මේ වන විට ලංකාව ආසියා-ශාන්තිකර කලාපයේම පළමු තැනට පැමිණ තිබෙනවා. මේ බව සඳහන් කරමින් ඊයේ පළ වූ බ්ලූම්බර්ග් විශ්ලේෂණ වාර්තාව වොෂින්ටන් පෝස්ට් ඇතුළු වෙනත් මාධ්‍ය වලද ප්‍රචාරය වී තිබෙනවා.

දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට තම ආයෝජනය අහිමි වීමේ අවදානමක් තිබෙනවා. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් ලංකාවට සිදු වූ පාඩුවයි. මෙසේ තම ආයෝජනය ආපසු නොලැබීමේ අවදානම අවම කර ගැනීම සඳහා ආයෝජකයෙකුට ස්වොප් ගිවිසුමක් අත්සන් කළ හැකියි. මෙවැනි ගිවිසුමක් ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් (credit default swap) ලෙස හැඳින්වෙනවා. මෙය එක්තරා ආකාරයක රක්ෂණ ගිවිසුමක් ලෙසද හැඳින්විය හැකියි. 

ණය අවදානම අඩු රටක බැඳුම්කරයක් සඳහා ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුත්තේ බැඳුම්කරයේ මුහුණත වටිනාකමෙන් 0.1% නොඉක්මවන සුළු මුදලක් වුවත් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල පස් අවුරුදු ණය අවදානමට එරෙහිව ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල මේ වන විට 15.53% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරම බ්ලූම්බර්ග් ගණන් බැලීම් අනුව ඉදිරි වසර තුළ ලංකාවට ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානම 27.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය 1.5% ඉක්මවීම අධි අවදානමක් ලෙස ඔවුන් සලකනවා. ඒ අනුව, ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අතින් මේ වන විට ආසියා-ශාන්තිකර කලාපයෙන්ම පළමු තැනට පැමිණ සිටිනවා. 

Sri Lanka's 1-year default probability is the highest in the Asia-Pacific

Source: Bloomberg

Note: Bloomberg's debt default probability scale lists any score above 1.5% as an indication of high risk of failure to pay


Saturday, October 3, 2020

ඩොලර් බිලියනයක් හොයාගත්තේ කොහොමද?


හෙට කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයේ මුහුණත අගය හා කූපන් ගෙවීම් මුදල මහ බැංකුව විසින් ඊයේ පියවා තිබෙනවා. ඒ, කල් පිරෙන දිනය ඉරිදා දිනයක් නිසා. 6.25%ක කූපන් පොලියෙන් අඩක්ද ඊයේ පියවූ සේ සැලකුවහොත් මෙය ඩොලර් මිලියන 1031.25ක මුදලක්.

ඉහත මුදල පියවීම සඳහා මහ බැංකුවේ පවත්වා ගෙන යන නිල සංචිත වල ඇති ඩොලර් රජයට විකුණා ඇති බවට සැකයක් නැහැ. ඒ අනුව, මේ වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයකින් පමණ පහළ ගොස් තිබිය යුතුයි.

මෙවැනි විශාල මුදලක් එකවර ගෙවීම සඳහා නිල සංචිත වල ඇති ඩොලර් යොදා ගැනීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එසේ කිරීම වැරැද්දක් කියා කියන්න බැහැ. නිල සංචිත පවත්වා ගෙන යන්නේම ඔය වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්නයි. 

ඇමරිකන් ඩොලරයක විකිණුම් මිල 187.21 සේ සැලකූ විට, රජයට මහ බැංකුවේ ඩොලර් මිලියන 1031.25ක නිල සංචිත (හෝ වෙනත් වාණිජ බැංකුවක තිබෙන ඩොලර්) මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 193ක මුදලක් අවශ්‍ය වෙනවා. වඩා වැදගත් ප්‍රශ්නය රජය ඒ මුදල් හොයා ගත්තේ කොහොමද කියන එකයි.

පෙනෙන ආකාරයට ඉහත මුදලෙන් වැඩි ප්‍රමාණයක් හොයාගෙන තිබෙන්නේ නැවත මහ බැංකුවටම භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙනුයි. පසුගිය සතිය ඇතුළත මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 322 සිට රුපියල් බිලියන  445 දක්වා එකවරම 38%කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ අනුව පෙනෙන පරිදි ණය ගෙවීම සඳහා අවශ්‍ය වූ ඩොලර් මහ බැංකුවෙන් මිල දී ගැනීමට රජයට අවශ්‍ය වූ රුපියල් බිලියන 193ක මුදලින් රුපියල් බිලියන 123ක්ම නැවත රජයට ලබා දී තිබෙන්නේ මහ බැංකුව විසින්මයි. මහ බැංකුව මේ විදිහට සල්ලි රජයට දෙන්නේ කොහොමද කියන එක රහසක් නෙමෙයි.

Friday, October 2, 2020

බැඳුම්කර වංචා දොර ආයෙත් ඇරලද?


වසර පහකට පෙර සිදු වුනු "බැඳුම්කර වංචාව" ගැන ඕනෑ තරම් කතා කරල තියෙනවනේ. අවශේෂ කරුණු පැත්තකින් තිබ්බොත් 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී සිදු වුනේ මහ බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කළ බැඳුම්කර ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 9ක බැඳුම්කර මිල දී ගැනීමයි. මෙය වංචාවක් සේ හැඳින්වූ පාර්ශ්ව වලට අනුව ඒ හේතුව නිසා පොලී අනුපාතික ඉහළ ගිහින් රජයට පාඩුවක් වුනා.

බැඳුම්කර වෙන්දේසියකදී මිල දී ගන්නා බැඳුම්කර ප්‍රමාණය වැඩි කළහම ගෙවිය යුතු පොලී අනුපාතිකත් ඉහළ යනවා කියන එක සරල කරුණක්. ඒ වගේම එම ප්‍රමාණය අඩු කළොත් පොලී අනුපාතික පහළ යනවා. ප්‍රශ්නය එය වැරැද්දක්ද නැද්ද කියන එකයි. එය වැරැද්දක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ නියම පොලී අනුපාතිකය කුමක්ද කියන එක මතයි. "බැඳුම්කර වංචාව" ගැන කතා කළ බොහෝ දෙනෙකුට අනුව මේ නියම පොලී අනුපාතිකය වෙන්දේසියට ඉදිරිපත් කළ බැඳුම්කර ප්‍රමාණයම මිල දී ගත්තානම් ගෙවන්න වෙන පොලී අනුපාතිකයයි. තර්කානුකූලව මේ කතාව හරි.

නමුත්, ප්‍රශ්නය වුනේ කාලයක් තිස්සේම මහ බැංකුව විසින් බැඳුම්කර වෙන්දේසියකදී පිළිගන්නා බැඳුම්කර ප්‍රමාණය හිතු මනාපයට වෙනස් කර තිබීමයි. ඒ අනුව, වෙන්දේසියට ඉදිරිපත් කළ බැඳුම්කර ප්‍රමාණය කියන එක නිකම්ම නිකම් අංකයක් පමණයි. ඒ ප්‍රමාණය නිකම්ම නිකම් අංකයක් වූ විට නියම පොලී අනුපාතිකයක් කියලා එකකුත් නැහැ. මහ බැංකුවට කැමති ආකාරයට පොලී අනුපාතය අඩු වැඩි වෙන්න ඉඩ අරින්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් විසින් "මගඩියක්" කළානම් එය කළේ කාලයක් තිස්සේ සිදු වුනු මේ වැරැද්දේ වාසිය ලබා ගනිමිනුයි.

මේක පැහැදිලි කරන්න අපි ගොඩක් අයට තේරෙන වෙනත් උදාහරණයක් ගනිමු. කවුරු හරි කෙනෙක් විභාගයකින් සමත් වෙන්නේ කොහොමද? විභාගය සාධාරණ එකක්නම් විභාගයට කලින් විභාගයෙන් සමත් විය හැකි ආකාරය නිශ්චිතව සඳහන් කර තිබිය යුතුයි. මෙය කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. 

පළමු ක්‍රමය පැහැදිලි සමත් ලකුණක් දැනුම් දීම. අපි කියමු 40% කියලා. දැන් 40% ගන්න ඕනෑම කෙනෙක් විභාගය සමත්. එම ලකුණු ප්‍රමාණය නොගන්නා අය අසමත්. කවුරුවත් 40% ගත්තේ නැහැ කියලා පස්සේ සමත් ලකුණ පහළ දමන්න බැහැ. ඒ වගේම, හැමෝම 40% ගත්තා කියලා සමත් ලකුණ ඉහළ දමන්නත් බැහැ. කොටින්ම කියනවානම් විභාගය පවත්වන පුද්ගලයාට විභාගය සමත් වන ප්‍රමාණය පාලනය කරන්න විදිහක් නැහැ. 40% ගන්නා කවර හෝ ප්‍රමාණය විභාගය සමත් සේ පිළිගන්න වෙනවා. ඒ හැර තමන් කැමති කෙනෙක්ව සමත් කරන්න හෝ අසමත් කරන්න පුළුවන්කමක් නැහැ.

දෙවන ක්‍රමය සමත් වන ප්‍රමාණය පිළිබඳව කලින් දැනුම් දීම. අපි හිතමු වැඩිම ලකුණු ගන්න 100දෙනා කියලා. මෙහිදී විභාගය පවත්වන පුද්ගලයාට සමත් ලකුණ තීරණය කරන්න බැහැ. එය 100 වෙනියාට ලකුණු ගන්න කවුරු හෝ පුද්ගලයාගේ ලකුණ. ඒ නිසා මෙහිදීත් තමන් කැමති කෙනෙක්ව සමත් කරන්න හෝ අසමත් කරන්න පුළුවන්කමක් නැහැ. මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමය අනුගමනය කළත් එක් විභාග අපේක්ෂකයෙකුට විශේෂයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

නමුත්, සමත් වන නිශ්චිත ප්‍රමාණයකුත් නැත්නම්, නිශ්චිත සමත් ලකුණකුත් නැත්නම්, විභාගය පවත්වන පුද්ගලයාට තමන්ගේ හිතුමනාපයට සමත් ලකුණ තීරණය කරන්න පුළුවන්. ඒ මගින් තමන්ට කැමති කෙනෙකුට වාසියක් හෝ අවාසියක් කරන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි ලකුණු 70ක් ගත්තා කියලා. සමත් ලකුණ 71 කරලා ඇයව අසමත් කරන්න පුළුවන්. ඒ වගේම සමත් ලකුණ අඩු කරලා 25ක් ගත්ත කෙනෙක්ව සමත් කරන්නත් පුළුවන්. 

මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය කාලයක් තිස්සේම සිද්ධ වුනේත්, දැන් නැවත සිද්ධ වෙන්නේත් ඔය තුන් වන ක්‍රමයටයි.

බැඳුම්කර වෙන්දේසියක් පැවැත්විය යුතු නිවැරදි ක්‍රමය සමාන කළ හැක්කේ ඉහත දෙවන ක්‍රමයටයි. මෙහිදී මිල දී ගන්නා බැඳුම්කර ප්‍රමාණය කලින් දැනුම් දෙනවා. ඒ ප්‍රමාණය මිල දී ගන්නවා. පොලී අනුපාතික අඩු වැඩි වෙනවා කියලා එම ප්‍රමාණය වෙනස් කරන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් තමන් කැමති කෙනෙකුට වාසියක් කරන්න අවස්ථාව ලැබෙනවා.

සෘජු නිකුතු ක්‍රමය පැවැත්විය යුතු නිවැරදි ක්‍රමය සමාන කළ හැක්කේ ඉහත පළමු ක්‍රමයටයි. එහිදී මහ බැංකුව විසින් පොලී අනුපාතික තීරණය කිරීමෙන් පසුව ඒ පොලී අනුපාතිකයට කැමති කෙනෙකුට කැමති ප්‍රමාණයක් බැඳුම්කර ලබා දෙනවා. කාටවත් විශේෂයක් කරන්නේ නැහැ.

මහ බැංකුව ඔය දෙකෙන් එකක්වත් නිවැරදි ක්‍රමයට කරලා නැහැ. කරලා තියෙන්නේ තුන් වන ක්‍රමයටයි. විභාග උදාහරණයට ආවොත් පාස් කරන්නේ ලකුණු 40%ක් ගත්තොත් කියා කිවුවත් සමහර වෙලාවට අඩුවෙනුත් සමහර වෙලාවට වැඩියෙනුත් පාස් කරලා තියෙනවා. ඒ කියන්නේ සෘජු නිකුතු යටතේ බැඳුම්කර මිල දී ගන්නේ පසුගිය සතියේ සඵල ඵලදා අනුපාතිකයට කියා කිවුවත්, බොහෝ අවස්ථා වලදී ඊට වඩා අඩුවෙනුත් ඊට වඩා වැඩියෙනුත් මිල දී ගෙන තිබෙනවා.

වෙන්දේසි වලදීත් කරලා තියෙන්නේ ඕකමයි. වැඩිම ලකුණු ගන්න දහ දෙනා පාස් කරනවා කියලා පටන් ගත්තත් සමහර වෙලාවට දහයක් පාස් කරන්නේ නැහැ. සමහර වෙලාවට වැඩියෙන් පාස් කරනවා. කාවවත්ම පාස් කරන්නේ නැති අවස්ථාත් තියෙනවා. 2015 පෙබරවාරි 27 වෙනිදා වුනේ එක්කෙනෙක් පාස් කරනවා කියලා දහ දෙනෙක්වම පාස් කරන එක. එහෙම කරන්න ඉඩකඩ පෑදුනේ ඊට කලිනුත් බොහෝ විට කියපු ගාණම පාස් කරලා නොතිබීමයි.

කොහොම වුනත් 2016 අවසානයේ සිට මහ බැංකුව විසින් එතෙක් කරපු වැරැද්ද හදා ගත්තා. එතැන් සිට මෑතක් වන තුරුම මහ බැංකුව විසින් මිල දී ගත්තේ හරියටම බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් කරපු ප්‍රමාණයයි. වෙන්දේසියේ විවිධ පරිණත කාල යටතේ ඉදිරිපත් කරපු සුරැකුම්පත් ප්‍රමාණ අඩු වැඩි කළත් සමස්තයක් විදිහට මිල දී ගත් මුළු සුරැකුම්පත් ප්‍රමාණය අඩු වැඩි කළේ නැහැ. ඒ නිසා, කාටවත් තමන් කැමති කෙනෙකුට විශේෂ වාසියක් කරන්න ඉඩකඩක් තිබුණේ නැහැ.

දැන් නැවතත් මේ ක්‍රමයේ වෙනසක් කරලා. පසුගිය 29 වෙනිදා වෙන්දේසියට රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළත් මිල දී ගෙන තිබෙන්නේ රුපියල් මිලියන 895ක භාණ්ඩාගාර බිල්පත් පමණයි. 2015 පෙබරවාරි 27 වෙනිදා වුනේ එක්කෙනෙක් පාස් කරනවා කියලා දහ දෙනෙක්වම පාස් කරන එකනම් පසුගිය 29 කරලා තියෙන්නේ 40ක් පාස් කරනවා කියලා එක්කෙනෙක් පාස් කරන එක. 

ඔය දෙකම එකම කාසියේ දෙපැත්ත. මෙහිදී වංචාවක් වුනා කියලා මම කියන්නේ නැහැ. නමුත්, මේ විදිහට යද්දී කරන කෙනෙකුට වංචාවක් කරන්න පැහැදිලි ඉඩක් තිබෙනවා.

වෙන්දේසියට අඩුවෙන් සුරැකුම්පත් ඉදිරිපත් කරලා වැඩියෙන් මිල දී ගත්තහම පොලී අනුපාතික ඉහළ ගියත්, වැඩියෙන් ඉදිරිපත් කරලා අඩුවෙන් මිල දී ගත්තහම වෙන්නේ පොලී අනුපාතික පහළ යන එක කියලා කාට හරි කියන්න පුළුවන්. ප්‍රශ්නය පොලී අනුපාතික ඉහළ යනවද පහළ යනවද කියන එක නෙමෙයි. 

වෙන්දේසියේදී මිල දී ගන්නේ වෙන්දේසියට ඉදිරිපත් කරන සුරැකුම්පත් ප්‍රමාණය නොවූ විට වෙන්දේසියට ඉදිරිපත් කරන සුරැකුම්පත් ප්‍රමාණය කිසිම තේරුමක් නැති නිකම්ම ගණනක් වෙනවා. එවිට, එක ගැනුම්කරුවෙකුට වාසි වෙන ආකාරයට මිල දී ගන්නා සුරැකුම්පත් ප්‍රමාණය තීරණය කරන්න අවස්ථාව ලැබෙනවා. එය දැන් සිදු නොවුනත් කොයි වෙලාවක හෝ සිදු වෙන්න පුළුවන්. එතකොට බොරුවට කෑ ගහලා වැඩක් නැහැ.

තවත් ටිකක් පැහැදිලි කරන්නම්. දැන් 29 වෙනිදා කරලා තියෙන්නේ බිලියන 40ක් වෙන්දේසියට දමලා බිලියනයකටත් අඩුවෙන් මිල දී ගන්න එක. ඔය වැඩේ ටික දවසක් දිගින් දිගටම කරද්දී වෙන්දේසියට ලොකු ගණන් ඉදිරිපත් කළත් මහ බැංකුව විසින් ඇත්තටම මිල දී ගන්නේ පොඩි ප්‍රමාණයක් කියන එක කාටත් තේරෙනවා. එවිට හැමෝම මිල ගණන් ඉදිරිපත් කරන්නේ ඒ පදනම මතයි. 

ඔහොම දිගින් දිගටම 40ක් ඉදිරිපත් කරලා එකක් ගනිමින් ඉන්න අතර හදිසියේ එක දවසක 40ම ගත්තොත් මොකද වෙන්නේ? ඒ 40ම ගත්තේ මහ බැංකුවේ කාට හරි සම්බන්ධයක් තිබෙන එක් සමාගමක් විසින්නම් පස්සේ වැරැද්දක් කියන්න පුලුවන්ද? අපි වෙන්දේසියේදී මිල දී ගත්තේ වෙන්දේසියට දාපු ප්‍රමාණය කියලා හරි ලේසියට කියන්න පුළුවන්. එක හතළිහ වෙනවා කියන්නේ එක දහය වුනාට වඩා විශාල බලපෑමක්.

Saturday, February 22, 2020

බැඳුම්කර පාඩුව

බැඳුම්කර ගනුදෙනුව ගැන අප විසින් ලිපි විශාල ප්‍රමාණයක් ලියා තිබෙනවා. එම ලිපි හරහා අප උත්සාහ කළේ මේ හා අදාළ, බොහෝ දෙනෙක් නොදන්නා තාක්ෂණික කරුණු පිලිබඳව දැනුවත් කිරීමක් කිරීමටයි. මේ ලිපියත් එවැන්නක්.

මැතකදී නිකුත් වූ වෝහාරික විගණන වාර්තා වල පසු ගිය කාලය පුරා පැවති බැඳුම්කර වෙන්දේසි වලදී රජයට සිදු වී තිබෙන පාඩු ගණන් බැලීමක් කර තිබෙනවා. එම ගණන් බැලීම් පිළිබඳව විවිධ පාර්ශ්ව වලට විවිධ විවේචන තිබුණත් මේ විවේචන බොහොමයක් අදාළ වාර්තා වල අන්තර්ගතයට සම්බන්ධ නැහැ.

වඩා වැදගත් වන්නේ විගණනය කළ සමාගමට ඒ සඳහා සුදුසුකම් තිබේද, එම සමාගම විසින් එක් පාර්ශ්වයකට වාසිදායක ලෙස වාර්තාව පිළියෙළ කර තිබේද වැනි කරුණු නෙමෙයි. එවැනි හේතු හෝ වෙනත් හේතු නිසා වාර්තාවේ අන්තර්ගතය පිළිගත නොහැකිද කියන කරුණයි. ඒ සඳහා මුලින්ම වාර්තාවේ අන්තර්ගතය තේරුම් ගත යුතුයි.

වෝහාරික විගණනයේදී සිදු කර තිබෙන එකම දෙය රජයට සිදු වී තිබෙන පාඩු ගණන් බැලීම නොවුනත්, බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ මේ අලාභයයි. ඒ නිසා, අපේ අවධානය යොමු කරන්නේද මේ කරුණ වෙතයි.

මුළු කාලය තුළම සිදු වූ සමස්ත අලාභය ගැන කතා කරන්න පෙර, ප්‍රවේශයක් ලෙස, අපි 2015 පෙබරවාරි 27 දින සිදු වූ බැඳුම්කර වෙන්දේසියේදී සිදු වූ අලාභය ගණනය කර තිබෙන ආකාරය වෙත යොමු වෙමු. සමස්ත බැඳුම්කර වංචා කතිකාවම ආරම්භ වුනේ එම වෙන්දේසියෙන් පසුව බව කවුරුත් දන්නා දෙයක් නිසාත්, අපේ පෙර ලිපි වල වැඩිපුර කතා කර තිබෙන්නේත් මේ වෙන්දේසිය පිළිබඳව නිසාත් කතාව නැවත අලුතෙන් පටන් ගන්න හොඳ තැනක්.

වෝහාරික විගණන වාර්තා අනුව, 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී රජයට සිදුව ඇති අවම පාඩුව රුපියල් මිලියන 1,106.43 ක්ද, උපරිම පාඩුව රුපියල් මිලියන 1,114.63ක්ද වෙනවා. මීට පෙර විගණකාධිපති වාර්තාවේ හා කෝප් වාර්තාවේද මේ වෙන්දේසියේදී රජයට සිදු වූ පාඩු ගණන් බැලීමක් කර තිබුණු නිසා මේ ගණන් අපට සෘජුවම එම ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි.

විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව අනුව රජයට සිදුව ඇති අලාභය රුපියල් 889,358,050ක් (රුපියල් මිලියන 889.36ක්) හෝ රුපියල් 688,538,600ක් (රුපියල් මිලියන 688.54ක්) වෙනවා. මේ අනුව, වෝහාරික විගණන වාර්තාවේ ඇස්තමේන්තු කර ඇති පාඩුව කෝප් වාර්තාවේ ඇස්තමේන්තු දෙකටම වඩා වැඩියි. මේ ලිපියෙන් අප උත්සාහ කරන්නේ මේ වෙනස්කම් වලට හේතු පැහැදිලි කිරීමට පමණයි.

අප දන්නා පරිදි 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී රුපියල් 119.32 සිට රුපියල් 90.17 දක්වා පරාසයක විසිරෙන මුදලකට මුහුණත වටිනාකම රුපියල් 10,058,000,000ක් (රුපියල් මිලියන 10,058ක්) වන බැඳුම්කර ප්‍රමාණයක් මහ බැංකුව විසින් අලෙවි කළා. සමස්තයක් ලෙස ගත් විට, රුපියල් 100ක මුහුණත වටිනාකමක බැඳුම්කර විකිනුණු සාමාන්‍ය මිල රුපියල් 96.02ක්. මුහුණත වටිනාකම වැනි තාක්ෂණික වචන නොතේරෙන අයට මගේ පෙර ලිපි කියවා මූලික කරුණු දැනගත හැකියි.

බැඳුම්කර වෙන්දේසියක අරමුණ රජයට අරමුදල් සපයා ගැනීමයි. පරිණත කාලය, කූපන් පොලී අනුපාතිකය වැනි කරුණු දැනුම් දීමෙන් පසුව බැඳුම්කරයක් වෙනුවෙන් රජයට වැය වන මුදල නිශ්චිත එකක් නිසා වෙන්දේසියේදී රජයේ පැත්තෙන් ඉලක්කය විය යුත්තේ වැඩිම මිලකට බැඳුම්කර අලෙවි කිරීමයි. රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව විසින් එය කළ යුතුයි. රජයට පාඩුවක් වූ ලෙස සැලකිය හැක්කේ මේ බැඳුම්කර විකිණිය හැකිව තිබුණු මුදලට වඩා අඩුවෙන් විකුණා තිබේය යන පදනමිනුයි. විගණකාධිපති වරයා, කෝප් කමිටුව වගේම බීඩීඕ ඉන්දියා සමාගමත් එවැනි මතයක් දරන බව ඔවුන්ගේ වාර්තා අනුව පෙනෙනවා.

මේ වෙන්දේසියේදී බැඳුම්කරයක් කොයි තරම් ඉහළ මිලකට විකිණිය හැකිව තිබුණාද? විගණකාධිපති/ කෝප් කමිටු වාර්තා හා වෝහාරික විගණන වාර්තාව වෙනස් වන්නේ මේ කරුණේදී. විගණකාධිපති/ කෝප් කමිටු වාර්තාව පිළියෙළ කර තිබෙන්නේ රුපියල් 100ක මුහුණත වටිනාකමක් ඇති බැඳුම්කර රුපියල් 104.51 බැගින් හෝ එසේ නොහැකිනම් 102.20 බැගින් විකිණීමේ හැකියාවක් තිබුණේය යන පදනමිනුයි. වෝහාරික විගණන වාර්තාව මේ බැඳුම්කර මීටත් වඩා ඉහළ රුපියල් 106.90ක මිලකට විකිණිමේ හැකියාවක් තිබී ඇති බව උපකල්පනය කර තිබෙනවා. වාර්තා දෙකේම පාඩුව ගණනය කර තිබෙන්නේ විකිණිය හැකිව තිබුණු මිල සහ වෙන්දේසියේදී විකිණූ මිල අතර වෙනස ලෙසයි.

පහත පළමු වගුවේ තිබෙන්නේ එදින වෙන්දේසියේදී ලැබුණු ලන්සු අනුව බැඳුම්කර විකිණූ මිල ගණන්. බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන පොලිය (මෙය හැඳින්වෙන්නේ ඵලදා අනුපාතය ලෙසයි) තීරණය වන්නේ එය මිල දී ගත් මුදල මතයි. මේ හා අදාළ වැඩිමනත් තොරතුරු අවශ්‍යනම් මගේ පෙර ලිපි වල තිබෙනවා. මේ අනුව, එක් එක් ගනුදෙනුවට හා සමස්තයක් ලෙස සියලුම ගනුදෙනු වලට අදාළ ඵලදා අනුපාතිකද මේ වගුවේ තිබෙනවා.


කොහොම වුනත් මේ වෙන්දේසියේදී තැබුණු ලන්සු සියල්ලම පිළිගැනුණේ නැහැ. එසේ පිළිනොගෙන ප්‍රතික්ෂේප කෙරුණු ලන්සු පිළිබඳ තොරතුරු දෙවන වගුවේ පෙන්වා දී තිබෙනවා. එම ලන්සු වල මිල පරාසය රුපියල් 100ක මුහුණත් අගයක් සඳහා රුපියල් 88.43 සිට රුපියල් 62.62 දක්වා වන පරාසයක විහිදෙනවා.

වෙන්දේසියකදී පාඩුවක් සිදු විය හැක්කේ කොහොමද? වෙන්දේසියකදී පාඩුවක් සිදු විය හැක්කේ වැඩි මිලකට ලන්සු තබන ගැනුම්කරුවන් සිටියදී අඩු මිල ලන්සු පිළිගත්තොත් පමණයි. මේ වෙන්දේසියේදී එවැන්නක් සිදු වී නැහැ. මහ බැංකුව විසින් පිලිගෙන තිබෙන්නේ රුපියල් 90.16 ඉක්මවන ලන්සු පමණයි. ඊට වඩා අඩු මිල ලන්සු සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙමනම්, මීට වඩා වැඩි මිලකට මේ බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව විගණකාධිපතිවරයා, කෝප් කමිටුව හා බීඩීඕ ඉන්දියා සමාගම විසින් හිතන්නේ කොහොමද?

මීට වඩා වැඩි මිල ලන්සු කිසිවක් වෙන්දේසියට ඉදිරිපත් වී නැති බව ඇත්ත. එහෙත්, කවර හෝ හේතුවක් නිසා එදින වැඩි මිලකට මේ බැඳුම්කර මිල දී ගන්න ඉඩ තිබුණු නමුත් වෙන්දේසියට ලන්සු නොතැබූ ගැනුම්කරුවන් සිටියානම්?

අවශේෂ කරුණු දැනට වැඩිපුර සාකච්ඡා නොකර සිටිමු. යම් හෙයකින් බැඳුම්කර වැඩි මිලකට මිල දී ගන්න කැමති, එහෙත් වෙන්දේසියට නොපැමිණි ගැනුම්කරුවන් සිටියානම් මහ බැංකුවට වෙන්දේසිය හරහා විකිණිය හැකි මිලට වඩා වැඩි මිලකට ඒ ගැණුම්කරුවන්ට සෘජුවම බැඳුම්කර අලෙවි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ බව පැහැදිලිව පෙනෙන්න තිබේනම් මහ බැංකුව විසින් කළ යුත්තේ වෙන්දේසියේදී වැඩි මිල ලන්සු පමණක් පිළිගෙන, ඉතිරි බැඳුම්කර ප්‍රමාණය සෘජුවම අලෙවි කිරීමයි.

විගණකාධිපති/ කෝප් කමිටු/ බීඩීඕ ඉන්දියා වාර්තා වල රජයට සිදු වූ පාඩු ගණනය කිරීමේ පදනම වී තිබෙන්නේ එදින එවැනි ඉල්ලුමක් රටේ තිබුණු බවයි. ඔවුන් හරියටම එකඟ නොවන්නේ එසේ වැඩි මිලකට විකිණීමේ හැකියාවක් තිබුණානම් ඒ මිල කුමක්ද කියන කාරණයටයි.

විගණකාධිපති/ කෝප් කමිටු වාර්තා වල පදනම් දෙකක් මත අලාභ ගණනය කර තිබෙනවා. මේ ගණනය කිරීම් හා අදාළ තොරතුරු පහත තෙවන හා සිවුවන වගු වල පෙන්වා තිබෙනවා.

පළමු ඇස්තමේන්තුව

සෘජු ක්‍රමයට රුපියල් 104.51 බැගින් බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව උපකල්පනය කරනවා. ඒ අනුව, ඊට වඩා වැඩි මිල ලන්සු හා ඒ මිලට ඇති ලන්සු පමණක් මහ බැංකුව විසින් පිළිගත යුතුව තිබුණා. මේ අනුව වෙන්දේසියේදී විකිණිය යුතුව තිබුණේ රුපියල් මිලියන 1,308ක මුහුණත වටිනාකමැති බැඳුම්කර පමණයි. ඉතිරි රුපියල් මිලියන 8,750ක මුහුණත වටිනාකමැති බැඳුම්කර ප්‍රමාණය රුපියල් 104.51 බැගින් සෘජු ක්‍රමයට විකිණිය යුතුව තිබුණා. එසේ නොකර අඩු මිලට විකිණීම නිසා රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 889.36ක්.


දෙවන ඇස්තමේන්තුව

සෘජු ක්‍රමයට රුපියල් 102.21 බැගින් බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව උපකල්පනය කරනවා. ඒ අනුව, ඊට වඩා වැඩි මිල ලන්සු හා ඒ මිලට ඇති ලන්සු පමණක් මහ බැංකුව විසින් පිළිගත යුතුව තිබුණා. මේ අනුව වෙන්දේසියේදී විකිණිය යුතුව තිබුණේ රුපියල් මිලියන 2,608 ක මුහුණත වටිනාකමැති බැඳුම්කර පමණයි. ඉතිරි රුපියල් මිලියන 7,450ක මුහුණත වටිනාකමැති බැඳුම්කර ප්‍රමාණය රුපියල් 102.21 බැගින් සෘජු ක්‍රමයට විකිණිය යුතුව තිබුණා. එසේ නොකර අඩු මිලට විකිණීම නිසා රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 688.54ක්.


බීඩීඕ ඉන්දියා සමාගම විසින්ද පදනම් දෙකක් මත අලාභ ගණනය කර තිබෙනවා. මේ ගණනය කිරීම් හා අදාළ තොරතුරු පහත පස්වන හා හයවන වගු වල පෙන්වා තිබෙනවා.

උපරිම අලාභය 

සෘජු ක්‍රමයට රුපියල් 106.90 බැගින් බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව උපකල්පනය කරනවා. ඒ අනුව, ඊට වඩා වැඩි මිල ලන්සු පමණක් මහ බැංකුව විසින් පිළිගත යුතුව තිබුණා. මේ අනුව වෙන්දේසියේදී විකිණිය යුතුව තිබුණේ රුපියල් මිලියන 658 ක මුහුණත වටිනාකමැති බැඳුම්කර පමණයි. ඉතිරි රුපියල් මිලියන 9,400ක මුහුණත වටිනාකමැති බැඳුම්කර ප්‍රමාණය රුපියල් 106.90 බැගින් සෘජු ක්‍රමයට විකිණිය යුතුව තිබුණා.එසේ නොකර අඩු මිලට විකිණීම නිසා රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 1,114.63ක්.


අවම අලාභය 

සෘජු ක්‍රමයට රුපියල් 106.90 බැගින් බැඳුම්කර විකිණීමේ හැකියාවක් තිබුණු බව උපකල්පනය කරනවා. ඒ අනුව, ඊට වඩා වැඩි මිල ලන්සු මහ බැංකුව විසින් පිළිගත යුතුව තිබුණා. එසේ විකිණිය හැක්කේ රුපියල් මිලියන 658 ක මුහුණත වටිනාකමැති බැඳුම්කර පමණයි. එසේ රුපියල් 106.90 බැගින් බැඳුම්කර සෘජුව විකිණීමේ හැකියාවක් තිබුණත්, රුපියල් බිලියනයක බැඳුම්කර වෙන්දේසි කරන බව මුලින් දැනුම් දී තිබුණු නිසා එම ප්‍රමාණය දක්වා වන අඩුව, එනම් තවත් රුපියල් මිලියන 342 ක මුහුණත වටිනාකමැති බැඳුම්කර වෙන්දේසියේ ලන්සු මත පදනම්ව අඩු මිලකට විකිණීමේ ප්‍රශ්නයක් නැහැ. එහෙත්, ඉතිරි රුපියල් මිලියන 9,058ක මුහුණත වටිනාකමැති බැඳුම්කර ප්‍රමාණය රුපියල් 106.90 බැගින් සෘජු ක්‍රමයට විකිණිය යුතුව තිබුණා.එසේ නොකර අඩු මිලට විකිණීම නිසා රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 1,106.43ක්.


මේ අනුව, මේ වාර්තා තුනේම අලාභ ගණනය කර තිබෙන්නේ වැඩි මිලකට සෘජු ක්‍රමයට බැඳුම්කර විකිණීමේ විකල්පයක් මහ බැංකුව සතුව තිබුණේය යන උපකල්පනය මත බව ඔබට පෙනෙනු ඇති. එවැනි හැකියාවක් තිබුණේද, එසේනම් ඒ වැඩි මිල කුමක්ද යන කරුණ මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ නැහැ. අප විසින් මෙහි කර තිබෙන්නේ අදාළ වාර්තා වල රජයට සිදු වූ පාඩුව ගණනය කර තිබෙන පදනම පැහැදිලි කිරීමක් පමණයි.

මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකුට මෙම වගු පිළියෙළ කිරීම සඳහා උපයෝගී කරගත් එක්සෙල් වර්ක්ශීට්ස් පහත සබැඳියෙන් බාගත කර ගත හැකියි.

Simulation of loss calculations

වෙබ් ලිපිනය: