වෙබ් ලිපිනය:

Showing posts with label බිත්තර. Show all posts
Showing posts with label බිත්තර. Show all posts

Thursday, July 27, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පස්වන කොටස)


ස්වභාවය අනුවම බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. බිත්තර සඳහා කුකුළන් හදන එක ලෝකයේ ඕනෑම රටක කළ හැකියි. ඒ වගේම, සුළු පරිමාණයෙන් මේ වැඩේ පටන් ගැනීම සඳහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් බිත්තර ගබඩා කර තබා ගැනීම හා ප්‍රවාහනය බිත්තර නිපදවීමට සාපේක්ෂව වියදම් අධික හා වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය කටයුත්තක්. මේ හේතු නිසා, දේශ සීමා ඉක්මවා බිත්තර වෙළඳාම් වන නමුත්, එම පරිමාව රටවල් තුළම සිදුවන බිත්තර නිෂ්පාදනයට සාපේක්ෂව ගොඩක්ම විශාල නැහැ.

ඉහත කතාව ලංකාවටද එලෙසම වලංගුයි. ලංකාවේ බිත්තර කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. පසුගිය වසර ගණනාවක් මුළුල්ලේම ලංකාවට බිත්තර ආනයනය කර තිබෙන්නේ නොගිනිය හැකි තරම් සුළු වශයෙන්. ඊට සාපේක්ෂව යම් තරමකින් හෝ ලංකාවෙන් බිත්තර අපනයනය කර තිබෙනවා. 

ලංකාවේ බිත්තර අපනයන ආදායම (ඩොලර් මිලියන)

2013 - 2.94

2014 - 3.91

2015 - 1.61

2016 - 1.05

2017 - 5.68

2018 - 5.62

2019 - 2.37

2020 - 1.16

2021 - 1.77

ලංකාවේ බිත්තර ආනයන වියදම (ඩොලර් මිලියන)

2013 - 0.00

2014 - 0.00

2015 - 0.03

2016 - 0.26

2017 - 0.02

2018 - 1.00

2019 - 0.32

2020 - 0.05

2021 - 0.00

ඉහත දත්ත වලින් පෙනෙන්නේ ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට ස්වයංපෝෂිත මට්ටමක පැවතී ඇති බවයි. මගේ අදහස වන්නේ මෙය ආනයන පාලන හෝ වෙනත් සීමාවන් හරහා ඇති කරගත් තත්ත්වයක් නොවූ බවයි. පසුගිය කාලය මුළුල්ලේම ලංකාවේ බිත්තර මිල පැවතුණේ ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී මට්ටමකයි. යම් තරමකින් හෝ අපනයන කරන්නට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. අඩු මිලකට රට ඇතුළේම බිත්තර නිපදවා ගත හැකි නම් ආනයන සඳහා විවෘත වීම බාධාවක් වන්නේ නැහැ. අනෙක් අතට ලොකුවට අපනයන සිදු කළ හැකි මට්ටමේ නිෂ්පාදනයක් රට ඇතුළේ සිදු වී නැහැ. 

මේ වෙද්දී මේ සමතුලිතතාවය වෙනස් වී ඇති බව අපි දන්නවා. දැන් ලංකාවේ බිත්තරයක මිල ඇමරිකාවේ එම මිලටද වඩා ගොඩක් වැඩියි. මේ විදිහට මිල ඉහළ යන්නනම් එක්කෝ ඉල්ලුම වැඩි විය යුතුයි. එසේ නැත්නම් සැපයුම අඩු වී තිබිය යුතුයි. බොහෝ දෙනෙකුගේ අදහස දෙවැන්න බවයි. 

දත්ත මගින් තහවුරු කිරීමේ හැකියාවක් නැතත්, මගේ අදහස වන්නේ පසුගිය කාලය තුළ ලංකාවේ බිත්තර ඉල්ලුමේද යම් හෝ වැඩි වීමක් සිදු වී ඇති බවයි. ආදායමට සාපේක්ෂව බඩු මිල සැලකිය යුතු ලෙස ඉහළ යද්දී මස්, මාළු මිල දී ගැනීම සීමා කරන්නට සිදුවන බොහෝ දෙනෙකුට ඒ වෙනුවෙන් බිත්තර ආදේශ කරන්නට සිදු වී ඇති බව මේ හා අදාළ මගේ කල්පිතයයි. කෙසේ වුවද, සැපයුම සීමා වී ඇති බව වඩා පහසුවෙන් පෙන්වා දිය හැකියි. 

පහත තිබෙන්නේ පසුගිය වසර වල ලංකාවේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය පහත වැටී ඇති ආකාරයයි.

2017 - 172,739,190

2018 - 164,350,980

2019 - 173,684,230

2020 - 155,807,870

2021 - 162,809,310

2022 - 154,049,817

බිත්තරයක මිල ඩොලර් ශත 10ක් සේ සැලකුවොත් බිත්තර මිලියන 172.7ක් කියන්නේ ඩොලර් මිලියන 17.27ක්. 2017 වසරේදී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 5.66ක බිත්තර අපනයනය කර තිබෙනවා. ඒ කියන්නේ බිත්තර මිලියන 56.6ක් පමණ. මාසයකටනම් සාමාන්‍ය වශයෙන් බිත්තර මිලියන 4.7ක් පමණ. ඒ කියන්නේ රටේ නිපදවූ බිත්තර ප්‍රමාණයෙන් 3%කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතිරි 97%ම විකිණී තිබෙන්නේ රට තුළයි. මාසයකට බිත්තර මිලියන 168ක පමණ දේශීය බිත්තර ඉල්ලුමක්. 

ඉහත බිත්තර ඉල්ලුම මේ වන විට අඩු වී මිස වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. 2019න් පසු වසර වලදී රටේ බිත්තර පරිභෝජනය මේ මට්ටමට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබෙන්නේ එක්කෝ බිත්තර ආනයනය කිසියම් ආකාරයකින් සීමා කෙරුණු නිසා. එසේ නැත්නම් ආනයනික බිත්තර වල මිල දේශීය බිත්තර මිලට වඩා ඉහළින් පැවතුණු නිසා. එනම් ලංකාවේ මිලට පිටරටින් බිත්තර ගෙන්විය නොහැකි වූ නිසා. 

පසුගිය තෙවසර තුළ බිත්තර නිෂ්පාදනය පහත වැටෙන්නට හේතු හඳුනාගැනීම අපහසු නැහැ. පහත තිබෙන්නේ 2018 වසරෙන් පසුව ලංකාවේ බිත්තර දමන ෆාම් කිකිලියන් ගණන ක්‍රමයෙන් පහත වැටී ඇති ආකාරයයි. මෙම කාලය තුළ මිලියනයකට වඩා වැඩි ගම් කිකිළියන් ප්‍රමාණයේ විශාල වෙනසක් සිදු වී නැති අතර යම් වැඩිවීමක් දැකිය හැකියි.

2018 - 8,054,520

2019 - 6,601,780

2020 - 6,221,620

2021 - 5,879,190

2022 - 5,617,100

කවර හෝ හේතු නිසා මෙම කර්මාන්තය ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබෙන බව පැහැදිලි වන අතර පරිහාණිය ආරම්භ වී තිබෙන්නේ ආර්ථික අර්බුදයට, කෝවිඩ් වසංගතයට මෙන්ම 2020 ආණ්ඩු මාරුවටද පෙරයි. මෙයට එක් හේතුවක් ලෙස බිත්තර නිෂ්පාදකයින් කුකුළු මස් කර්මාන්තය වෙත විතැන් වීම හඳුනා ගත හැකියි. 2018දී 9,450,240ක මට්ටමේ වූ මස් පිණිස හදන කුකුළන් ප්‍රමාණය 2022 වන විට 13,000,140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවැනි විතැන් වීමකින් පෙන්නුම් කරන්නේ බිත්තර කර්මාන්තයේ ලාබ වලට සාපේක්ෂව කුකුළු මස් කර්මාන්තය වඩා ලාබදායී බවයි. 

රසායනික පොහොර තහනම, ඒ හේතුව නිසා බඩ ඉරිඟු අස්වැන්න පහළ යාම, කුකුළු කෑම මිල ඉහළ යාම ආදී හේතු බිත්තර සඳහා කුකුළන් හැදීම අධෛර්යමත් වීමට හේතු ලෙස ඉදිරිපත්ව තිබෙනවා. තර්කානුකූලව මෙම හේතු පිළිගත හැකි වුවත්, ඊට පෙර සිටම සිදුව ඇති යම් දෙයක ලකුණුද මෙහි පෙනෙන්නට තිබෙනවා. ඇතැම් විට තරඟකාරිත්වය හා සැපයුම ඉහළ යාම හමුවේ බිත්තර මිල පහත වැටීම තුළින්ම නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීමට හේතු බිහිවුණා වෙන්න පුළුවන්.

කෙසේ වුවත් බිත්තර මිල විශාල ලෙස ඉහළ යාම සාපේක්ෂව මෑතකාලීන සංසිද්ධියක්. පහත තිබෙන්නේ පසුගිය වසර වල ජනවාරි හා ජූලි මුල් සති වලදී පැවති බිත්තරයක සාමාන්‍ය මිලයි.

2017 ජනවාරි - රුපියල් 14.53

2017 ජූලි - රුපියල් 14.43

2018 ජනවාරි - රුපියල් 13.79

2018 ජූලි - රුපියල් 17.52

2019 ජනවාරි - රුපියල් 20.81

2019 ජූලි - රුපියල් 18.94

2020 ජනවාරි - රුපියල් 20.41

2020 ජූලි - රුපියල් 20.55

2021 ජනවාරි - රුපියල් 17.50

2021 ජූලි - රුපියල් 19.72

2022 ජනවාරි - රුපියල් 26.14

2022 ජූලි - රුපියල් 42.55

2023 ජනවාරි - රුපියල් 61.64

2023 ජූලි - රුපියල් 55.50

මම හිතන විදිහට 2017-2018 වගේ අවුරුදු වලදී වෙන්නේ දේශීය බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ යාම නිසා මිල ඕනෑවටත් වඩා පහත වැටීමක්. මේ තත්ත්වය තුළ නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් විතැන් වෙන්න පටන් ගන්නවා. (හොයා ගන්න පුළුවන් සීමිත, ඒ වගේම ගොඩක්ම විශ්වාසනීය නැති දත්ත මත පදනම්ව කරන මේ වගේ විග්‍රහයන් වැරදෙන්න ඉඩ තිබෙන බව අමතක කරන්නත් එපා!). ඒ වැඩේ දිගටම වෙනවා. මේක වෙන්නේ ආර්ථික අර්බුදය, වසංගතය හා ආණ්ඩු මාරුව එන්න කලින්. හැබැයි මේ විදිහට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වෙන නිෂ්පාදකයෝ නිකම් ඉන්නේ නැහැ. ඒ වෙනුවට කුකුළු මස් හදනවා. (මේ කියන්නේ බිත්තර දමන කිකිළියන් මසට විකිණීමක් ගැන නෙමෙයි. මාරු වෙන අතර යම් අවස්ථාවක එවැන්නක්ද කරන්න ඇති.)

මේ විදිහේ මිල කඩා වැටීම් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටක කෘෂිකර්මය ස්වයංපෝෂිත ආර්ථික ආකෘතියක් ඇතුළේ ක්‍රියාත්මක වෙද්දී ඇති වන ප්‍රශ්නයක්. රටේ වී/ සහල් නිෂ්පාදනය අදාළව දැකිය හැක්කේත් හරියටම මේ වගේ තත්ත්වයක්. කාලගුණ තත්ත්වයන් හා වෙනත් සාධක මත නිෂ්පාදනය විචලනය වන නිසා සැපයුම අඩු වෙන වෙලාවල් වලදීත් ඉල්ලුම සපුරන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් තිබුනොත්. නමුත්, නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් පවත්වා ගනිද්දී කාලගුණ තත්ත්වයන් ඇතුළු බාහිර සාධක මත සැපයුම ඉහළ ගිය විට මිල විශාල ලෙස පහත වැටෙනවා. ඒක නිෂ්පාදකයින්ට දරාගන්න අමාරුයි. 

මේ ප්‍රශ්නය තීව්‍ර වන්නේ ලංකාවේ වී වගා කර්මාන්තයේ වගේම බිත්තර නිෂ්පාදනයේත් නියැලී ඉන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකයෝ වීම නිසා. ඔවුන්ට ලොකු සමාගමකට මෙන් වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේ වෘත්තීය හැකියාවක් නැහැ. කළ හැක්කේ පාඩු වෙන විට කර්මාන්තයෙන් ඉවත් වීම සහ වෙනත් අයගේ ලාබ දකින විට කර්මාන්තයට ඇතුළු වීම පමණයි. කර්මාන්තය තිබෙන්නේ තරමක් ලොකු නිෂ්පාදකයින් කිහිප දෙනෙකු අතේනම් ඔවුන් බොහෝ විට සැලසුම්සහගතව නිෂ්පාදනය සීමා කර මිල පහත වැටීම පාලනය කර ගන්නවා. එසේ නැත්නම් නිෂ්පාදනය එලෙසම තිබියදී සැපයුම පාලනය කර මිල පවත්වා ගන්නවා. ඒක කරන්න ගබඩා පහසුකම් වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි. කුඩා නිෂ්පාදකයින්ට එවැනි ආයෝජන කළ නොහැකියි.

නිෂ්පාදකයින් අතින් මිල නියාමනය සිදු නොවන විට එය සිදු විය හැක්කේ අතරමැදියන් අතින්. ඔවුන්ට මිල අඩු වෙද්දී අදාළ භාණ්ඩය මිල දී ගෙන මිල වැඩි වෙද්දී වෙළදපොළට නිකුත් කිරීම මගින් ලාබයක් ගන්න පුළුවන්. මෙවැනි අතරමැදියන්ගෙන් නිෂ්පාදකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් විශාල සේවයක් සැලසෙනවා (නමුත් අතරමැදියන් මේ වැඩේ කරන්නේ ලාබ හොයන්න මිසක් කාටවත් සේවයක් කරන්න නෙමෙයි. සේවය සිදු වෙන්නේ ඒ විදිහට ලාබ හෙවීම තුළයි.)

ලංකාවේ වී කර්මාන්තය තුළ මේ වැඩේ වෙනවා. නමුත් බිත්තර කර්මාන්තය තුළ එවැන්නක් වෙන්නේ නැහැ. එයට හේතුව බිත්තර ගබඩා කර තබා ගැනීමේ පිරිවැය වඩා අධික වීම. බිත්තර ගබඩා කර තබා ගැනීම සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් වැනි මූලික පිරිවැය මෙන්ම විදුලි බලය වැනි විචල්‍ය පිරිවැයද ගොඩක් වැඩියි. එවැනි ආයෝජනයක් කර ලාබ ලැබිය හැකි තරමේ මිල විචලනයන් සිදු නොවනවා විය හැකියි. 

බිත්තර අපනයනය හරියකට සිදු විය හැක්කේ ඔය ආකාරයෙන් බිත්තර ගබඩා කරගෙන පසුව විකුණන අතරමැදියෝ ටිකක් බිහිවීමෙන් පසුව පමණයි. එවැන්නක් වෙන තුරු, රටේ බිත්තර නිෂ්පාදනය වැඩි වුනා කියා, කුඩා නිෂ්පාදකයින්ට එම බිත්තර අපනයනය කිරීමේ ධාරිතාවක් නැහැ. ඒ නිසා වෙන්නේ දේශීය වෙළඳපොළේ බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වී මිල පහත වැටෙන එකයි. එහිදී නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඉවත් වී, සැපයුම පහළ ගොස්, මිල ඉහළ යනවා. අනෙක් අතට සැපයුම් කම්පනයක් ආපු ගමන් මිල ඉහළ යනවා. මොකද අඩු වූ සැපයුම සැපිරිය හැකි අතරමැදි ගබඩාකරුවෝ නැහැ. 

ලංකාවේ බිත්තර මිල පහළ යද්දී පහසුවෙන් බිත්තර අපනයනය කරන්න බැරි වුනත්, මිල ඉහළ යද්දී බිත්තර ආනයනය කරන එක අපහසු නැහැ. මෙය ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටකට තිබෙන වාසියක්. ඇමරිකාවට හෝ ඉන්දියාවට මේ වාසිය නැහැ. මොකද රටේ නිෂ්පාදනය කඩා වැටුනොත් ඒ සඳහා ආදේශ විය හැකි ප්‍රමාණවත් බාහිර වෙළදපොළක් නැහැ. මේ වාසිය තිබෙන්නේ රටේ පාරිභෝගිකයින්ට. නිෂ්පාදකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය අවාසියක්.

කුඩා ආර්ථිකයක් තිබෙන රටක නිෂ්පාදනයේ සිදුවෙන විචලනයන් නිසා සිදුවන මිල විචලනයන් සීමා කරගත හැකි හොඳම ක්‍රමය හැකි පමණ විවෘත වීම. සංවෘත ආර්ථික ආකෘතියකදී මෙන් නොව, මෙහිදී නිෂ්පාදනයේ ඉලක්කය දේශීය වෙළඳපොළ නෙමෙයි. ඒ නිසා, ලංකාව වගේ රටක පැත්තෙන් බැලූ විට ඉල්ලුම සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. ඒ නිසාම, ඉල්ලුමට වඩා සැපයුම වැඩි වී මිල ඕනෑවට වඩා පහළ යාමක් නැහැ. සැපයුම අඩු වූ විටක පහසුවෙන්ම අපනයන අඩු කර හෝ අපනයන කරන අතරම ආනයනද කර අඩුව පුරවා ගන්න පුළුවන්. මෙය සිදු වන්නේ නිෂ්පාදකයින්ට ඉහළින් අතරමැදියන් ගොඩ නැගෙන තරමටයි.

ඉහත කතා කළේ කර්මාන්තය හා අදාළ දිගුකාලීන තත්ත්වයන් ගැන. මෙහි කතා කළ ප්‍රශ්න හමුවේ වුවත්, 2019 වන විටද ලංකාවේ බිත්තර වෙළඳපොළේ කැපී පෙනෙන අවුලක් නැහැ. සැපයුම වැඩි වීම නිසා 2017-2018 පමණ කාලයේදී මිල පහත වැටීම වෙළඳපොළ තුළම විසඳී තිබෙනවා. ඒ, බිත්තර නිෂ්පාදකයින් මස් නිෂ්පාදනය වෙත විතැන් වීම මගින්. අමතර නිෂ්පාදනය අපනයනය කළ හැකි වූවානම් එය වඩා හොඳ තත්ත්වයක් වුවත්, වෙනත් ක්‍රමයකින් හෝ ප්‍රශ්නය විසඳී තිබෙනවා. ඇතැම් විට, ඩොලරයක මිල මීට වඩා උඩින් තිබුණානම් විසඳුම වෙනස් විය හැකිව තිබුණා.

රටේ සාමාන්‍ය ආදායම් මට්ටම ක්‍රමයෙන් ඉහළ යද්දී බිත්තර ඉල්ලුම ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගියා වෙන්න පුළුවන්. රට පුරා හමා ගිය සංස්කෘතික රැළි නිසා යම් තරමකින් හෝ වෙනත් මස් වර්ග වෙනුවට කුකුළු මස් ආදේශ වීමකුත් වෙන්න ඇති. එවැනි තත්ත්වයක් හමුවේ බිත්තර නිපදවා අපනයනය කරන්න මහන්සි වීමට සාපේක්ෂව රට ඇතුළේම තිබෙන කුකුළු මස් ඉල්ලුම සපුරන එක වඩා වාසිදායක තේරීමක්.

ඔය සියලුම තත්ත්වයන් එක්ක, 2021දී පෙර වසරට සාපේක්ෂව බිත්තර මිල පහළ යනවා. 2022 ජනවාරි වන විට බිත්තරයක මිල රුපියල් 26.14ක්. එම වසරේ ජූලි මාසය වන විට මෙම මිල රුපියල් 42.55 දක්වා ඉහළ යනවා. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියෙද්දී රුපියල් 26.14ක් කියන්නේ ඩොලර් ශත 13ක්. ඩොලරය රුපියල් 360 වූ විට එයම රුපියල් 46.80ක් වෙනවා. ඒ වගේම, ඔය මාස හයක කාලය අතරතුර රටේ සාමාන්‍ය මිල මට්ටම (කොළඹ පාරිභෝගික මිල දර්ශකය) 44%කින් ඉහළ යාම සැලකුවොත් බිත්තරයක් රුපියල් 38ක් පමණ විය යුතුයි. මෙම ඉහළ යාම් වලට සාපේක්ෂව බිත්තරයක මිල රුපියල් 42.55ක් වීම ඉතාම සාමාන්‍ය දෙයක් මිසක් අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව සැලකිය යුතු මිල වැඩි වීමක් නෙමෙයි. මිල එවැනි මට්ටමකට නොගියේනම් නිෂ්පාදකයින්ට පවතින්න අසීරු වෙනවා. 

මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් 44ක පාලන මිලක් පනවන්න ඇත්තේ ඔය වගේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන විය යුතුයි. නමුත්, ඒ වන විට බිත්තරයක වෙළඳපොළ මිල රුපියල් 61.64ක්. මෙම මිල ඩොලරයක මිල ඉහළ යාම මෙන්ම රටේ පැවති උද්ධමනයේ බලපෑමද ඉක්මවූ මිල ඉහළ යාමක්. එයට හේතුව කුමක්ද? 

මිල ඉහළ යාමට හේතුවක් ලෙස ඉදිරිපත් වී තිබෙන ප්‍රධාන සාධකයක් වන්නේ බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා ඊට අනුරූපව මිල ඉහළ යාමයි. එය එසේ විය හැකියි. එහෙත්, අදාළ දත්ත සොයා ගත නොහැකි නිසා විග්‍රහයක් කළ නොහැකියි. ඉහත දත්ත අනුව, 2018-2022 කාලය අතරතුර රටේ සිටි බිත්තර දමන කිකිළියන් ප්‍රමාණය 30%කින් අඩු වී තිබෙනවා. මෙය ක්‍රමික අඩුවීමක් මිසක් එකවර සිදු වූ අඩුවීමක් නෙමෙයි. 2023දී මෙම ප්‍රමාණය තවත් අඩුවුනා විය හැකියි. එය පෙර වසර වල වූ අඩුවීමේම දිගුවක්ද නැත්නම් ඊට වඩා වැඩි අමතර අඩුවීමක්ද යන්න හරියටම දැනගන්න වෙන්න දත්ත ඇති විටෙක පමණයි.

පෝර සහනාධාරය ඉවත් වීම කුකුළු ආහාර වල මිල ඉහළ යාම කෙරෙහි දිගුකාලීනව බලපෑවා වෙන්න පුළුවන්. එය එසේනම්, මෙය ඉදිරියේදී ආපසු නොහැරෙන තත්ත්වයක්. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ යාම නිෂ්පාදකයින්ගේ මූල්‍ය පිරිවැය ඉහළ දැම්මා විය යුතුයි. එයනම්, නැවත ආපසු හැරෙන තාවකාලික තත්ත්වයක්. ඒ වගේම, වසංගත සමයේදී හා ඉන්පසු පැවති අර්බුද සමයේදී සැපයුම අඩු වුවද ඊට අනුරූපව ඉල්ලුමද අඩු වූ බව සිතිය හැකියි. වසංගත සමයේදී ලොව පුරා දැකිය හැකි වූයේ මෙවැනි තත්ත්වයක්. ඉල්ලුම හා සැපයුම යන දෙකම අඩු වෙද්දී මිල ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය කෙමෙන් ස්ථාවර වෙද්දී කලින් පහළ ගිය බිත්තර ඉල්ලුමද නැවත පෙර මට්ටමට එනවා වෙන්න පුළුවන්. ඊට අනුරූපව සැපයුම වැඩි නොවුවහොත් මිල ඉහළ යනවා. ඉල්ලුම වෙනස් වන තරම් හදිසියෙන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. ලාබ දැක කර්මාන්තයට පිවිසෙන්නට වගේම පාඩු හමුවේ කර්මාන්තයේ ඉවත් වීමටද යම් කාලයක් ගත වෙනවා. 

ජනවාරි මාසයේදී එක පැත්තකින් බිත්තර ආනයනය වාරණය කරන අතර අනෙක් පැත්තෙන් මිල පාලනය කිරීම ඉතාම අදූරදර්ශී ක්‍රියාවක්. විශේෂයෙන්ම එය කළ නිශ්චිත ආකාරය. බිත්තර මිල ඉහළ මට්ටමක තිබියදී ආනයන වලට ඉඩ ලැබුණානම්, නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීම සිදු වෙද්දී වුවද, පාරිභෝගිකයින්ට අඩු මිලට බිත්තර ලබා ගැනීමට ඉඩ ලැබෙනවා. නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය කෙසේ වෙතත් පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, කළ දෙයින් නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය හෝ පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳුනේ නැහැ.

බිත්තර මිල ඉහළ යාම හරහා සිදු වුනේ බිත්තර නිෂ්පාදකයින්ට කර්මාන්තයට පිවිසෙන්නට ආරාධනා කරමින් වෙළඳපොළ විසින් සංඥාවක් නිකුත් කිරීමයි. මිල දිගටම ඉහළ මට්ටමක පැවතියේනම් අලුත් නිෂ්පාදකයින් කර්මාන්තයට ආකර්ෂණය වී රටේ බිත්තර නිෂ්පාදනය ඉහළ යනවා. එහිදී නැවත මිල අඩු වෙනවා. එහෙත්, මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. වසරක පමණ කාලයක් විය හැකියි. මිල පාලනය නිසා මෙය සිදු වුනේ නැහැ. ඒ නිසා, සැපයුම ඉහළ නොගොස් ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය තීව්‍ර වුනා. අවසාන වශයෙන් ප්‍රායෝගිකව පාලන මිල පවත්වා ගත නොහැකි වුනා. 

ඒ වගේම, මිල පාලනයක් සිදු නොවුනානම්, ඉහළ මිල යටතේ වුවද ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල පාලනයක් පැවතියද එය දැඩිව ක්‍රියාත්මක නොවූ නිසා රටේ විශාල බිත්තර හිඟයක් ඇති වී නැහැ. මිල පාලනය හමුවේ වුවද බොහෝ දුරට ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා විය හැකියි. මිල පාලනය නිසා බොහෝ දුරට සිදු වුනේ කර්මාන්තයට අලුත් නිෂ්පාදකයින් ඇතුළු වීම අධෛර්යමත් වීම හා ඒ මගින් බිත්තර මිල පහළ යාමේ ස්වභාවික යාන්ත්‍රණයට බාධා පමුණුවනු ලැබීමයි. කළ යුතුව තිබුණේ යම් පාලනයක් ඇතිව බිත්තර ආනයනයට ඉඩ දීමයි. එසේ කළේනම් ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මිල වැඩි වීම පමණක් පාලනය කරමින්, පිරිවැය ඉහළ යාමේ බලපෑමෙන් නිෂ්පාදකයින් ආරක්ෂා කළ හැකිව තිබුණා.

දැන් එක වර ක්ෂණිකව සීමාවකින් තොරව බිත්තර ආනයනයට ඉඩ දීමෙන් තවත් හානි සිදු වෙන්න පුළුවන්. මේ වෙලාවේ ලංකාවේ බිත්තරයක මිල රුපියල් 55ක් පමණ. ඇමරිකාවෙන් වුවද බිත්තර ආනයනය කර රුපියල් 35ක පමණ මුදලකට විකිණිය හැකි විය හැකි බව මගේ අදහසයි. මේ අයුරින් රටේ වෙළඳපොළ ලෝකයට විවෘත කිරීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුවත්, කාලයක් තිස්සේ වෙළඳපොළ ලෝකයට වසා ගෙන සිට එක වර ස්විච් එකක් දැම්මාක් මෙන් විවෘත කළ විට සිදු වෙන්නේ එය සැලසුම්සහගතව කරන විට සිදු වන දෙයම නෙමෙයි.

පසුගිය වසරේ දත්ත අනුව වුවද රටේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 154ක්. බිත්තරයක් ඩොලර් ශත 10 සේ සැලකුවොත් (ලංකාවේ දැන් මිල අමතක කර) ඩොලර් මිලියන 15.4ක්. වසරකටනම් ඩොලර් මිලියන 185ක් පමණ. මෙය 2019 වසරේදී පැවති ඩොලර් මිලියන 209ක දේශීය බිත්තර කර්මාන්තයට වඩා කුඩා වුවත් අඩුව 12%කට වඩා අඩු නැහැ. රටේ බිත්තර ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම අඩුව 12%කට, එනම් ඩොලර් මිලියන 24කට වඩා නොවැඩි අඩුවක්. 

කෙසේ වුවද, 2019 යනු බිත්තර මිල අඩු වූ වසරක්. ඒ අනුව, ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් පැවති සේ සැලකිය හැකි වසරක්. දැන් පවතින තත්ත්වයන් තුළ ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම පරතරය 12%කට වඩා අඩු පරතරයක් විය යුතුයි. එසේ නොවන්නේනම්, රටේ විශාල බිත්තර හිඟයක් පැවතිය යුතුයි. ඩොලර් මිලියන 185ක පමණ බිත්තර කර්මාන්තයක් තවමත් රටේ තිබෙනවා. 

දැන් පවතින තත්ත්වයන් තුළ බිත්තර ආනයනයට ඉඩ දීමෙන් දැනටත් ඉතිරිව තිබෙන ඩොලර් මිලියන 185ක බිත්තර කර්මාන්තය මුළුමනින්ම විනාශ වී යයිද? ලෝක බිත්තර කර්මාන්තය එක්ක ගත්තහම (දැනට රටේ බිත්තර හිඟය 8%ක් සේ සලකා) ඩොලර් මිලියන 200ක වගේ බිත්තර ප්‍රමාණයක් පහසුවෙන් රටට එන්න බැරිකමක් නැතත්, මේ ප්‍රමාණය පොඩි ප්‍රමාණයකුත් නෙමෙයි. උදාහරණයක් විදිහට 2021 වසරේදී ඉන්දියාවේ මුළු බිත්තර අපනයන ආදායම ඩොලර් මිලියන 31.1ක්. එම වසරේදී ඇමරිකාවේ බිත්තර අපනයන ආදායම වුනත් ඩොලර් මිලියන 596ක් පමණයි. ඩොලර් මිලියන 200ක් කියන්නේ ලෝක බිත්තර වෙළඳාමෙන් 4%ක්. ඒ වගේ බිත්තර ප්‍රමාණයක් ලංකාව එක පාරටම ආනයනය කළොත් ලෝක බිත්තර මිලේ කම්පනයක් ඇති වෙනවා. මිල ඉහළ යනවා. ඒ නිසාම, බිත්තර ආනයනයෙන් කර්මාන්තයට යම් හානියක් විය හැකි වුවත් ලංකාවේ බිත්තර කර්මාන්තය මුළුමනින්ම කඩා වැටීමේ ඉඩක් නැහැ. 

ලෝකය පුරා ඉන්න බිත්තර නිෂ්පාදකයෝ තමන්ගේ බිත්තර අලෙවි කරන සැපයුම් දාම තිබෙනවා. මේ ගොඩක් අය කලින්ම ගිවිසුම්ගත වෙලයි ඉන්නේ. ඒ නිසා, ලංකාවට හදිසියේ, අඩු මිලට බිත්තර ආනයනය කළ හැකි යම් සීමාවක් තිබෙනවා. ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙද්දී බිත්තර වෙනුවෙන් ගෙවන්න වෙන මිලත් ක්‍රමයෙන් ඉහළ යනවා. 

ඔය තත්ත්වයන් එක්ක ලංකාවේ බිත්තර අවශ්‍යතාවයෙන් 10%ක් පමණ ආනයනය කළත්, ඉල්ලුමෙන් ඉතිරි 90% පිරිමැහෙන්නේ දේශීය නිෂ්පාදන වලින්. ඒ නිසා, අවසාන වශයෙන් රටේ බිත්තර මිල තීරණය වෙන්නේ දේශීය බිත්තර නිෂ්පාදකයාගේ පිරිවැය මත. එම මිල දැන් මිලට වඩා ටිකක් අඩු මිලක් විය හැකි වුවත්, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ බිත්තර මිල තරමට ලංකාවේ බිත්තර මිල පහළ යන එකක් නැහැ. ඒ නිසා, මේ කරපු විවෘත කිරීමෙන් වෙන්නේ සීනි බද්ද ඉවත් කරපු අවස්ථාවේදී මෙන් යම් බිත්තර ආනයනකරුවන් පිරිසකට ක්ෂණික, විශාල ලාබයක් ලබා ගන්න අවස්ථාව ලැබෙන එක. 

ආනයනකරුවෝ ලාබ ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් ප්‍රශ්නය මේ වගේ ලාබ සාමාන්‍ය ලාබ නෙමෙයි. රාජ්‍ය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන ලාබ. මේක අදාළ ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ වෙළෙන්දෝ එකතු වී කරපු "හොරකමක්" කියා මම කියන්නේ නැහැ. නමුත් මේ වගේ තීරණ ගනිද්දී කාට හෝ ඒ වගේ චෝදනාවක් කරන්න ඉඩක් ඉතිරි වෙනවා. ලබන සතියේ කවුරු හෝ කෙනෙක් එකපාරටම විශාල බිත්තර ප්‍රමාණයක් ආනයනය කළොත්, එහෙම කළේ තමන්ගේ මොනවා හෝ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රයෝජනයට අරගෙනම වුනත්, අදාළ ප්‍රතිපත්ති තීරණය ගැන කලින් දැනගත්තාද කියන සැකය මතු වෙන එක වලක්වන්න බැහැ.

සීනි බද්ද ඉවත් කළ වෙලාවේ වගේ බිත්තර බද්ද ඉවත් කළාට පස්සෙත් බිත්තර මිල අඩු වුනේ නැත්නම් කරන්නේ කුමක්ද? ප්‍රායෝගිකව කරන්න වෙන්නේ නැවත බද්ද යම් මට්ටමක් දක්වා වැඩි කරන එක. එවිට අස්සයා පැනලා ගිහින් ඉවරයි. 

මේ බදු ඉවත් කිරීම සහ ඒ මගින් ආනයන වලට ඉඩ දිය යුතුව තිබුණු හරි ක්‍රමය කුමක්ද? මුලින්ම කළ යුතුව තිබුණේ බිත්තර බද්ද එලෙසම තිබියදී බිත්තර නිෂ්පාදන මත වූ බද්ද ඉවත් කරන එක. ඒ බද්ද තවමත් ඉවත් කරලා නැහැ. එහෙම කළානම් අමුද්‍රව්‍යයක් ලෙස තොග වශයෙන් බිත්තර මිල දී ගන්න මහා පරිමාණ ගැනුම්කරුවන්ට අඩු මිලට ආනයනික බිත්තර සාරු ආදිය ලැබෙනවා. ඒ අය දේශීය නිෂ්පාදකයින්ගෙන් බිත්තර මිල දී ගන්න එක නවතිනවා. එවිට ඒ බිත්තර ටික වෙළඳපොළට ඇවිත් බොහෝ විට සිල්ලර වෙළඳපොළේ බිත්තර ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඊට පස්සෙත් මිල වැඩිනම් ඒ පිරිවැය නිසා ඉහළ ගිය මිල. බිත්තර ආනයනය කළා කියලා ඒ මිල තවත් අඩු වෙන්නේ නැහැ. නිෂ්පාදකයෝ ටිකෙන් ටික කර්මාන්තයෙන් ඉවත් වෙන එක පමණයි වෙන්නේ.

හැබැයි බිත්තර ආනයනය කරන්න පටන් ගත්තත් නිෂ්පාදකයින්ට එක දවසෙන් කර්මාන්තයෙන් ඉවත් වෙන්න බැහැ. රජය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කළා කියලා කිකිළියෝ දන්නේ නැහැ.  උන් දිගටම බිත්තර දමනවා. ඒ බිත්තර ලොකු ලාබයක් නැතිව හෝ විකුණන්න වෙනවා. අඩු වශයෙන් විචල්‍ය පිරිවැය හෝ ආවරණය කර ගන්න වෙනවා. එම මිල හා බිත්තර ආනයනය කළ හැකි මිල අතර පරතරය ආනයනකරුවන්ගේ ක්ෂණික ලාබය. එම කොටස පාරිභෝගිකයින්ට යාමේ ඉඩක් නැහැ. සීනි බද්ද ඉවත් කරපු වෙලාවේ වුනෙත් ඕකමයි.

බිත්තර ආනයනයට ඉඩ දෙනවානම් කළ යුතුව තිබුණේ රුපියල් 50ක බද්ද එකවර ඉවත් නොකර රුපියල් 15-20ක් පමණ දක්වා අඩු කරන එක. එසේ කළානම් ආනයනකරුවන්ට ලැබෙන්නේ සාමාන්‍ය ලාබයක් පමණයි. බිත්තර වල වෙළඳපොළ මිල අඩු වෙන ආකාරය දිහා බලාගෙන අවශ්‍යනම් බද්ද ටිකෙන් ටික අඩු කරන්න පුළුවන්. නමුත් රුපියල් 50ක බද්දක් එක පාරටම අයින් කරනවා කියන්නේ බරපතල මැදිහත් වීමක්.

ආනයන බද්ද කියන්නෙම රාජ්‍ය මැදිහත්වීමක් නිසා එය ඉවත් කරන එකේ වැරැද්ද කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. මේ බද්ද ඉවත් කරන එකේ වැරැද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ කරපු විදිහේ. 

බිත්තර කර්මාන්තය කියන්නේ අවුලක් නැතුව හොඳට තිබුණු කර්මාන්තයක්. පොහොර සහනාධාරය හරහා කුකුළු කෑම වල මිල වක්‍ර ලෙස සුබසාධනය වෙන්න ඇති. ඒ හැර කර්මාන්තයට ලොකු රාජ්‍ය මැදිහත්වීමක් තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීම නිසා (ආනයනික බිත්තර ලාබ වීම නිසා) සිදු වූ අවාසියකුත් තිබුණා. කර්මාන්තය කාලයක් තරඟකාරී ලෙස පැවතුණා.

ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය ඇමරිකාවේ එම කර්මාන්තයට වඩා වෙනස්. ඇමරිකාවේ ශ්‍රමයේ මිල අධික නිසා ඇමරිකාව ප්‍රාග්ධන ආයෝජන මගින් නිෂ්පාදන වියදම අඩු කරගෙන තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ ඉන්නේ ලොකු නිෂ්පාදකයෝ. ඊට සාපේක්ෂව ලංකාවේ ඉන්නේ ලාබ ශ්‍රමයේ වාසිය ගන්න කුඩා නිෂ්පාදකයෝ. ලාබ ශ්‍රමය කියා කිවුවත් කුඩා තේ වතුහිමියන් හා අදාළව කියපු පරිදි බොහෝ විට තමන්ගේම හෝ පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය. 

පසුගිය වසරේ පැවති ඉහළ උද්ධමනය හමුවේ තමන්ගේ ආදායම් වැඩි කරගත හැකි හැම කෙනෙක්ම එසේ කරමින් උද්ධමනයට මුහුණ දී තිබෙනවා. වැටුප් ශ්‍රමිකයින්ට සාපේක්ෂව කිසියම් නිෂ්පාදන කාර්යයක යෙදෙන අයට උද්ධමනයෙන් සිදු වී තිබෙන බලපෑම අඩුයි. පොදුවේ ආහාර උද්ධමනය අඩු වෙමින් ඇතත් මිල අඩු වෙන්නේ ආනයනික ආහාර වල. මාළු, එළවලු මිල අඩු වෙලා නැහැ. බිත්තර මිලත් එහෙමයි. ත්‍රිරෝද රථ ගාස්තු වල සිට වෛද්‍ය, නීතිඥ සේවා ගාස්තු ආදිය දක්වා ශ්‍රමයේ මිල ඉහළ ගිහින් තිබෙනවා. උද්ධමනය අඩු වුනත් මිල අඩු නොවෙන්නේ ඒ නිසා. හැමෝගෙම නොවුනත් බොහෝ දෙනෙකුගේ වියදම් ඉහළ යද්දී ඒ අය තමන්ගේ ආදායම්ද වැඩි කරගෙන. බිත්තර නිෂ්පාදකයින් විසින්ද මේ වැඩේ කරගෙන තිබෙනවා. 

අනෙක් පැත්තෙන් කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ බොහෝ දෙනෙක් බැංකු ණය මත දුවන අය. ඉහළ පොලී අනුපාතික ඔවුන්ගේ පිරිවැය වැඩි කරනවා. මේ සියල්ල තාවකාලික තත්ත්වයන්. ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙද්දී බිත්තර නිෂ්පාදන පිරිවැයෙන් යම් කොටසක් අඩු වෙනවා. එවිට ලංකාවේ බිත්තර මිල සහ ලෝක වෙළඳපොළේ මිල අතර පරතරය නැවතත් නැති වෙලා යයි. එහෙම වෙද්දී දේශීය බිත්තර කර්මාන්තය තරඟයට නිරාවරණය කරන එකේ වැරැද්දක් නැහැ. නමුත්, ඔය වැඩේ එක දවසකින් කරන එක භයානකයි. ඒක ඩොලරයක මිල කාලයක් හිරකරගෙන ඉඳලා එක දවසෙන් අත ඇරියා වගේ වැඩක්.

බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැහැ. හැබැයි ඔම්ලට් එක හදන්න කිසිම සූදානමක් නැතුව හදිස්සියේ බිත්තරේ කඩලා හරියන්නෙත් නැහැ.

Wednesday, July 26, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (හතරවන කොටස)

මෙම ලිපිය හතරවන කොටසක් ලෙස නම් කළේ මෙම මාතෘකාව යටතේම මීට පෙර ලිපි තුනක් ලියා පළ කර තිබෙන නිසා. එම ලිපි කියවා නැති, කැමති අයෙකුට මාස හයකට පෙර පළ කර තිබෙන එම පැරණි ලිපිද කියවිය හැකි වුවත්, එය අවශ්‍යම නැහැ. මෙම ලිපිය වෙනම කියැවිය හැකි ලිපියක්.


මේ වන විට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් ඇමරිකන් ඩොලර් 1.80ක මිලකට ග්‍රේඩ් A, ලොකු, සුදූ බිත්තර 18ක් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ එක බිත්තරයක මිල ඩොලර් ශත 10ක් හෙවත් අද ඩොලරයක සාමාන්‍ය මිල අනුව ශ්‍රී ලංකා රුපියල් 32.94ක්. ඒ වගේම, කීල්ස් සුපිරි වෙළඳසැලක හැපී හෙන් හෝ නෙල් ෆාර්ම් සන්නාමයේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර 10ක මිල රුපියල් 545ක්. මෙය එහි අඩුම මිල වන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව එම මිලටද බිත්තර තොග නැහැ. 

මේ විදිහට එක වෙළඳසැලක මිල ගණන් දෙස බලා රටක බිත්තර මිල ගැන නිගමනයකට එන එක නිවැරදි නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව 2023 ජූලි තුන්වන සතියේදී බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.64ක්. එය විවිධ තැන් වලින් ලබා ගන්නා විවිධ ප්‍රමාණ වල බිත්තර වල මිල ගණන් වල සාමාන්‍ය අගයක්. සුදු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55.27ක්. රතු බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 54.00ක්. 

-මෙම වසරේ ජනවාරි මාසයේදී ලංකාවේ බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම වුනා. ඒ අනුව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක්ද රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක්ද වුනා.

-පෙබරවාරි මාසයේදී ආනයනික බිත්තර මත රුපියල් 50ක බද්දක් පනවනු ලැබුවා. බිත්තරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිලටත් වඩා වැඩි විශාල බද්දක් පැනවීම බිත්තර ආනයනය තහනම් කිරීමකට සමානයි. එහෙත්, රජයට (ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට) පමණක් රුපියලක නාමික බද්දක් ගෙවා බිත්තර ආනයනය කිරීමේ ඉඩකඩ ඉතිරි කරගනු ලැබුවා. (නියාමකයා තරඟකරුවෙකුද වූ විට ඇති වන එක් ප්‍රශ්නයක් වන්නේ මෙයයි)

-මාර්තු මාසයේදී බිත්තර ලෙසම ආනයනය නොකරන බිත්තර ආහාර (බිත්තර සාරු ආදිය) මත කිලෝග්‍රෑමයකට රුපියල් 1,300ක බද්දක් පනවනු ලැබුවා.

-අප්‍රේල් මාසයේදී බිත්තර වල උපරිම සිල්ලර මිල බිත්තරයක මිල අනුව මෙන්ම බර අනුවද සීමා කෙරුණා. ඒ අනුව, බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල බිත්තර 20ක උපරිම සිල්ලර මිලට සමාන කෙරුණා. එහෙත්, මෙම සීමා කිරීමේ බලපෑමක් තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බිත්තර වලට පමණයි. බිත්තර කිලෝග්‍රෑමයකට ලොකු බිත්තර 17-18කට වඩා අල්ලන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයේ බිත්තරනම් 20ක් පමණ. කුඩා බිත්තරනම් 23-24ක් පමණ විය හැකියි. මේ අනුව, කුඩා බිත්තරයක් රුපියල් 37ක පමණ මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ හෝ ලොකු බිත්තරයක් රුපියල් 44ක මිලකටත් වඩා වැඩියෙන් විකිණිය නොහැකි වුනා. රතු බිත්තරනම් මීට වඩා රුපියල් දෙකක් පමණ මිලකට විකිණිය හැකි වුනා. 

-මැයි මාසයේදී බිත්තර ආනයන බද්ද වලංගු කාලය තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ජූනි මාසයේදී අනෙකුත් බිත්තර නිෂ්පාදන ආනයනය මත පනවා තිබුණු බද්ද වලංගු කාලයද තවදුරටත් දීර්ඝ කෙරුණා.

-ඊයේ (ජූලි 25) බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. 

ඉහත පෙන්වා දී ඇති පරිදි බිත්තර වල මිල පාලනය කිරීම සඳහා පමණක් ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාසයකට වරක් ගැසට් ගසා තිබෙනවා. මේවා ශ්‍රී ලංකා රජය විසින් එදිනෙදා කරන සාමාන්‍ය දේවල්. මේ වගේ දේවල් පිරිවැයක් නැති දේවල් නෙමෙයි. ඔය තීරණ ගැනීම සඳහා යෝජනා පිළියෙළ කිරීම, එම යෝජනා සාකච්ඡා කර තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම ආදී හැම දෙයකටම පොදු අරමුදල් වැය කළ යුතුයි. නමුත්, ඒ විදිහට පොදු අරමුදල් වැය කිරීම නිසා එම අරමුදල් වලට දායක වූ අයට ලැබී තිබෙන වාසි මොනවාද?

රජයේම ආයතනයක් වන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන්නේ බිත්තර මිල පාලනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වී නොමැති බවයි. එහෙත් එයින් බලපෑමක් සිදු නොවුනා කියා කියන්න බැහැ. මෙයින් අනිවාර්යයෙන්ම යම් තරමකින් හෝ නිෂ්පාදනය අධෛර්යමත් වීමක් වෙන්න ඇති. එහෙත්, අවසාන වශයෙන් මිල පාලනය අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න රජය සමත් වී නැහැ. 

කීල්ස් මිල ගණන් මෙන්ම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මධ්‍යන්‍ය මිල ගණන් අනුවද පෙනෙන්නේ බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 55ක් පමණ බවයි. මුලින් කී පරිදි මේ දවස් වල රුපියල් 33ක පමණ මිලකට ඇමරිකාවෙන් බිත්තරයක් මිල දී ගන්න පුළුවන්. 

ඉහත වෝල්මාට් මිල කියන්නේ ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල නෙමෙයි. සාමාන්‍ය මිල මීට වඩා වැඩියි. එහෙත්, වෝල්මාට් කියන්නේ ඇමරිකාව පුරා විසිරී තිබෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. ඒ නිසා, ප්‍රායෝගිකව ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට මීට ආසන්න මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. විවිධ නිර්ණායක අනුව ගුණාත්මක භාවයෙන් වැඩි හා/හෝ අගය එකතු කළ බිත්තර වල මිල මීට වඩා වැඩි බැවින් ඇමරිකාවේ බිත්තරයක සාමාන්‍ය මිල මීට වඩා තරමක් වැඩි වුනත්, මේ විදිහට රුපියල් 32කට විකිණෙන බිත්තරයක් වුනත් ගුණාත්මක භාවය අතින් ලංකාවේ සාමාන්‍ය බිත්තරයකට වඩා ඉහළ මට්ටමක තිබෙන බිත්තරයක්. සරල කරුණක් ගත්තොත්, ලංකාවේ රුපියල් 55කට විකිණෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක්. ඉහත වෝල්මාට් බිත්තරය ලොකු බිත්තරයක්. මේ වෙනසම වුනත් සැලකිය යුතු වෙනසක්.

නිල සංඛ්‍යාලේඛණ අනුව (USDA Egg Markets Overview) ජූලි 21 දිනෙන් අවසන් වූ සතියේ ඇමරිකාවේ ලොකු, සුදු, සාමාන්‍ය බිත්තර දුසිමක මිල ඩොලර් 1.38ක්. ලොකු, දුඹුරු, කේජ් ෆ්‍රී බිත්තර දුසිමක් ඩොලර් 3.28ක්. මේවා රටේම සාමාන්‍ය මිල ගණන්. ඕගනික් බිත්තර මීටත් වඩා මිල වැඩි විය යුතුයි. මේ මිල ගණන් තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. 

ජනවාරි මාසයේදී "බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)" ලිපිය පළ කරන විට වෝල්මාට් (ග්‍රේට් වැලියු) ලොකු බිත්තර දුසිමක් ඩොලර් 3.92ක්. මේ වෙද්දී එම මිල ඩොලර් 1.22 දක්වා අඩු වෙලා. පහත ෆෙඩරල් රිසර්ව් ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි, පසුගිය දෙසැම්බර් මාසයේදී ග්‍රේඩ් A, ලොකු බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 4.250 දක්වා ඉහළ ගොස් තිබුණා. එම මිල ඉතිහාසයේ ඉහළම මිල විය යුතුයි. මැයි මාසය වන විට මෙම අගය ඩොලර් 2.666 දක්වා පහත වැටිලා. මේ වන විට, ඉහත වෝල්මාට් මිලට වඩා තරමක් වැඩි මට්ටමකට පහත වැටී තිබිය යුතුයි.


වෝල්මාට් මිල සැලකුවොත් ජනවාරි මාසයේ බිත්තර මිල දැන් මිල මෙන් 321%ක්. ඒ වන විට පොදුවේ ඇමරිකාවේම බිත්තර මිල ඉහළ ගිහිල්ලයි තිබුණේ. නමුත්, ඒ හේතුව මත ඇමරිකාවේ රජය වෙළඳපොලට මැදිහත් වී මිල පාලනය කළේ නැහැ. ආනයන සීමා දැම්මේත් නැහැ.

බිත්තර කියන්නේ මිනිස් ඉතිහාසය තුළ මුලින්ම මෙන් නිෂ්පාදනය කරගන්න පටන් ගත් ආහාරයක්. ලෝකයේ හැම සංස්කෘතියක වගේම මෙය සිදු වී තිබෙනවා. ලෝකයේ බිත්තර නිපදවන්නේ නැති රටවල් ඇත්දැයි මා දන්නේ නැහැ. සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය පවා සැලකිය යුතු බිත්තර නිෂ්පාදනයක් කරනවා. ලෝකයේ විවිධ රටවල බිත්තර නිෂ්පාදන තාක්ෂන සමාන නැතත්, ලොකු තාක්ෂණික දියුණුවක් නැති රටකට වුවත් බිත්තර නිපදවන්න පුළුවන්. ඒ වගේම, මේ වැඩේට අනිවාර්යයෙන්ම විශාල ප්‍රාග්ධන ආයෝජන අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලංකාවට බිත්තර වැනි දෙයක්වත් තරඟකාරී ලෙස නිපදවිය නොහැකිනම් එහි අවධානය යෙදිය යුතු මූලික ප්‍රශ්න මොනවා හෝ තිබෙනවා. 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2020 වසරේදී ලෝක බිත්තර නිෂ්පාදනය ටොන් මිලියන 86.7ක්. එයින්, ටොන් මිලියන 30.2ක්, එනම් 35%ක්ම නිපදවා තිබෙන්නේ චීනයේ. ලෝක බිත්තර නිෂ්පාදනය අතින් දෙවන තැන සිටි ඇමරිකාව බිත්තර ටොන් මිලියන 6.6ක්ද, ඉන්දියාව බිත්තර ටොන් මිලියන 6.3ක්ද නිපදවා තිබෙනවා. එම වසරේදී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ටොන් 104,700ක්. මෙය රටේ ජනගහණයට සාපේක්ෂව නරක ප්‍රමාණයක් නෙමෙයි. 

ලෝක බිත්තර නිෂ්පාදනයෙන් 35%ක්ම සිදුවන්නේ චීනය තුළ වුවත් මෙම බිත්තර මුළුමනින්ම මෙන් පරිභෝජනය කරන්නේද චීනයයි. චීනය විසින් බිත්තර යම් ප්‍රමාණයක් අපනයනය කළත් එසේ අපනයනය කරන බිත්තර වලින්ද 75%ක්ම යන්නේ හොංකොං වෙතයි. ලෝකයේ ප්‍රධානම බිත්තර අපනයනකරු නෙදර්ලන්තය වන අතර දෙවන තැන සිටින්නේ ඇමරිකාවයි. ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනයද බොහෝ දුරටම රට තුළම පරිභෝජනය කෙරෙන නිසා අපනයන සිදු වන්නේ ඉතා සුළු වශයෙනුයි. 

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය බිලියන 110ක් පමණ. බිත්තර දමන කිකිළියන් ගණන මිලියන 380ක් පමණ. 2022 වසර අවසාන වන විට කිකිළියන් මිලියන 2කට වඩා සිටි සමාගම් ප්‍රමාණය 39ක්. 2022 වසරේදී ලංකාවේ කිකිළිගහණය මිලියන 6.8ක් පමණයි. 2018දී මෙම ප්‍රමාණය මිලියන 9.1 මට්ටමේ පැවතී ඇතත්, ඉන්පසු ක්‍රමයෙන් පහත වැටී තිබෙනවා.

ඇමරිකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය රටේ බිත්තර ඉල්ලුමට වඩා වැඩියි. ඇමරිකාව ලෝකයේ දෙවන විශාලතම බිත්තර අපනයනකරුව සිටින්නේ ඒ නිසා. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාව බිත්තර ආනයනයට වැට බැඳ නැහැ. 2021 වසර තුළ ඇමරිකාව විසින් ඩොලර් මිලියන 596ක බිත්තර අපනයනය කර ඇති අතර ඩොලර් මිලියන 79ක බිත්තර ආනයනය කර තිබෙනවා. 

ඇමරිකාව වැඩියෙන්ම බිත්තර ආනයනය කරන්නේ (45%ක්) කැනඩාවෙන්. එහෙත්, ඒ අතරම, කැනඩාවේ බිත්තර ආනයන වලින් 96%ක්ම එන්නේ ඇමරිකාවෙන්. ඇමරිකානු-කැනඩා දේශ සීමාව ආසන්නයේ සිටින පාරිභෝගිකයෙකුට, ඉන්නේ කොයි පැත්තේ වුනත්, තමන්ගේ රටේ නිපදවන බිත්තර මිල දී ගන්නවාට වඩා ලාබදායක වන්නේ ලඟම සිටින නිෂ්පාදකයෙකුගෙන් බිත්තර මිල දී ගන්න එකයි. නිෂ්පාදකයෙකයාගේ පැත්තෙන් වඩා වාසිදායක වන්නේද ලඟම සිටින පාරිභෝගිකයාට බිත්තර විකුණන එකයි. ප්‍රවාහන වියදම් නිසා එකතු වන පිරිවැය නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට නොලැබී අපතේ යන වියදමක්. ආනයන බදු හරහා දේශ සීමා හරහා සිදුවන වෙළඳාම වැළැක්වීමෙන් දෙපැත්තටම වෙන්නේ අවාසියක් පමණයි. 

ලෝක බිත්තර වෙළඳාම ඩොලර් බිලියන 4.73ක් (2021 දත්ත). මෙයින් 14.3%ක පමණම එක පැත්තක ඉන්නේ ඇමරිකාවයි. ඇමරිකාවේ බිත්තර කර්මාන්තය ඩොලර් බිලියන 10ක පමණ කර්මාන්තයක්. ඒ කියන්නේ, ලෝකයේ සෑම රටක් විසින්ම අපනයනය කරන බිත්තර සියල්ල මිල දී ගත්තත්  ඇමරිකාවේ බිත්තර ඉල්ලුමෙන් බාගයක්වත් සපුරන්න බැහැ. 

වෙනත් බොහෝ ආහාර හා අදාළව තත්ත්වයද මෙවැන්නක්. මම හිතන්නේ ඇමරිකාවට ඇමරිකාවේ බිත්තර නිපදවන්නේ නැතිව වෙනත් රටකින් ආනයනය කරන්න බැරි ඇයි කියන එක ඉහත සංසන්දනය දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. 

මෙම වසර මුලදී කුරුළු උණක් පැතිරී ඇමරිකාවේ බිත්තර දමන කිකිළියන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කුරුළු උණ වැනි හේතුවකින් කිකිළිගහණය අඩු වූ විට බිත්තර රක්කවා කිකිළියන් හදාගෙන නැවත බිත්තර දමන තරමට ලොකු කරගන්න මාස කිහිපයක් යනවා. ඒ හේතුව නිසා බිත්තර නිෂ්පාදනය අඩු වී බිත්තර මිල විශාල ලෙස ඉහළ ගියා. බිත්තර වල මිල සංවේදීතාව අඩු නිසා මිල ඉහළ යාමට සාපේක්ෂව ඉල්ලුම පහළ යන්නේ අඩුවෙන්. ඒ නිසා, සැපයුමේ සාපේක්ෂව පොඩි අඩුවීමකින් මිල සැලකිය යුතු ලෙස ඉහළ යන්න පුළුවන්. ජනවාරි මාසයේදී වුනේ එයයි. 

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළේ ප්‍රමාණය අනුව බිත්තර ආනයනය කරන්න ඉඩ තිබුණු පමණින් මිල ක්ෂණිකව පහත වැටෙන්නේ නැහැ. මොකද ඉල්ලුම හා සැපයුම අතර හිඟය පියවන්න ලෝක වෙළඳපොළෙන් වැඩියෙන් බිත්තර ආනයනය කරද්දී ලෝක වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතරද අසමතුලිතතාවයක් ඇති වී එම මිලද ඉහළ යන එකයි වෙන්නේ. කුඩා ආර්ථිකයක් තිබෙන රටකට මෙවැනි ප්‍රශ්නයක් නැහැ. 

මේ හේතුව නිසාම ඇමරිකාව වැනි විශාල ආර්ථිකයක් තිබෙන රටකට ප්‍රමාණවත් දේශීය කෘෂිකර්මයක් නැතිව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න බැහැ. සල්ලි තිබුණට, විදේශ විණිමය තිබුණට, රටෙන් පිටත ප්‍රමාණවත් සැපයුමක් නැහැ. සිංගප්පූරුව වගේ පොඩි රටකට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය සල්ලි පමණයි. සල්ලි තිබෙනවානම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය පහසුවෙන් විසඳගන්න පුළුවන්. 

ඇමරිකාවට තිබෙන ඔය ප්‍රශ්නයම, ඊටත් වඩා වැඩියෙන්, ඉන්දියාවට හා චීනයට තිබෙනවා. විශාල ජනගහණයක් සිටින වෙනත් ඇතැම් රටවලටත් තිබෙනවා. එවැනි රටවලට දේශීය කෘෂිකර්මය මග හැර යන්න බැහැ. 

දේශීය කෘෂිකර්මය වෙත වැඩියෙන් අවධානය යොමු කරද්දී ඊළඟට මතු වන ප්‍රශ්නය තරඟකාරිත්වය හරහා කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම. ඇමරිකාව වගේ රටකට මේකත් ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර දමන කිකිළියන් මිලියන දෙකකට වඩා ඉන්න තරඟකාරී සමාගම් 39කට ඉන්න පුළුවන් තරමේ වෙළඳපොළක් රට ඇතුළේම තිබෙනවා. ඒ නිසා, එක පැත්තකින් ප්‍රමාණයේ වාසිය (economy of scale) ලබා ගන්නා අතරම තරඟකාරිත්වයද අවුලක් නැතිව පවත්වා ගන්න පුළුවන්. 

ලංකාවේ වගේ රටක් හා අදාළව තත්ත්වය වෙනස්. ඇමරිකාවේ තරම් විශාල සමාගම් ප්‍රමාණයක් ලංකාවේ හැදෙනවා කියන්නේ එක සමාගමක් ගොඩක් පොඩි වෙනවා කියන එක. එය තාක්ෂණික කාර්යක්ෂමතාවය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. අනෙක් අතට තාක්ෂණික කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන පරිදි සමාගම් ප්‍රමාණය අඩු වුනොත් තරඟය අඩු වී වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. 

ඇමරිකාවට සාපේක්ෂව කුඩා ජනගහණයක් සිටින, කුඩා ආර්ථිකයක් තිබෙන, කැනඩාව වගේ රටක් මේ ප්‍රශ්න දෙකම එකවර විසඳාගන්නේ ඇමරිකානු ආර්ථිකයට නිරාවරණය වීමෙන්. රටවල් දෙකම එකම වෙළඳපොළක් වූ විට වෙළඳපොළ පරිමාවේ වාසිය වගේම තරඟයේ කාර්යක්ෂමතාවයත් තිබෙනවා. 

කැනඩාවට ඔය වගේ වාසියක් තියෙනවානම් ඇමරිකාවට තියෙන වාසිය කුමක්ද? ප්‍රමාණාත්මකව අඩු වුනත්, ඔය වාසි දෙකම ඇමරිකාවටත් තිබෙනවා. කැනඩා වෙළඳපොළ එකතු වෙනවා කියන්නේ වෙළඳපොළ තවත් විශාල වීම. ඒ වගේම කැනඩා සමාගම්ද සාධාරණ තරඟයකට එකතු වෙනවා කියන්නේ ඇමරිකානු සමාගම් තවදුරටත් කාර්යක්ෂම වීම.

ඔය වාසි දෙකම ලොකු කුඩා භේදයක් නැතිව ඕනෑම රටකට තිබෙනවා. නමුත්, ඇමරිකාව, ඉන්දියාව වගේ රටක් විවෘත වූ පසුවද විශාල දේශීය ආර්ථිකයක් තව දුරටත් ඉතිරි වෙනවා. රට කුඩා වන තරමට විවෘත වෙද්දී ජාතික ආර්ථිකයේ පංගුව අඩු වෙනවා. මේ හේතුව නිසා ලොකු රටකට විවෘත නොවීමේ අවාසිය අඩුයි. පොඩි රටකට එය ගොඩක් වැඩියි. 

Tuesday, January 10, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (තුන්වන කොටස)


බටහිර රටක සුපිරි වෙළඳසැලක විකිණෙන බිත්තර කියා කියන්නේ නිකම්ම ආහාරයක් පමණක් නෙමෙයි. බිත්තර එක්ක තවත් දේවල් ගණනාවක් පැකේජ් වෙලා තිබෙනවා. මිල තීරණය වන්නේ ඒ දේවල් වල වටිනාකමත් එකතු වෙලා. නමුත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක බිත්තර කියා කියන්නේ බොහෝ දුරට බිත්තරම තමයි. කවුරු හෝ බිත්තර මිල දී ගැනීමේදී ගෙවන්නේ බිත්තර වල මිල. මේ වෙනස ගැන ලිපි මාලාවේ පළමු කොටසින් පැහැදිලි කළා. 

බිත්තර නිෂ්පාදකයෙකුට උපරිම වශයෙන් අය කළ හැක්කේ පාරිභෝගිකයින්ට සාපේක්ෂ බිත්තරයක වටිනාකම. නමුත්, නිෂ්පාදකයින් අතර තරඟය නිසා බොහෝ විට ඒ මිල අය කරන්න වෙන්නේ නැහැ. අය කරන්න වෙන්නේ ඊට වඩා අඩු මිලක්. මේ විදිහට අය කළ හැකි මිල සහ නිෂ්පාදන පිරිවැය අතර වෙනස තමයි නිෂ්පාදකයාගේ ලාබය. 

තරඟකාරී වෙළඳපොලක මිල කෙරෙහි එක් නිෂ්පාදකයෙක්ට බලපෑමක් කරන්න බැහැ. ඒ නිසාම, මිල වැඩි කරලා ලාබ වැඩි කර ගන්නත් බැහැ. ලාබ වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය පිරිවැය අඩු කර ගන්න එක. ඒ නිසා, හැම විටම ලාබ සොයන නිෂ්පාදකයෙක් පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන හිතනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිත්තර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. මෑත ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් තියෙන්නෙත් ඕක.

මිනිස්සු බිත්තර ආහාරයට ගැනීමෙන් සතුටු වුනේ අද ඊයේ නෙමෙයි. මේක අවුරුදු දස දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. සමහර විට මිනිස්සු මිනිස්සු වෙන්නත් කලින්ම බිත්තර ආහාරයට ගත්තා වෙන්න පුළුවන්. ඒ කාලයේ සිට මෑතක් වන තුරුම බිත්තරයක වටිනාකම කියා කියන්නේ එහි ආහාරමය වටිනාකම. එම වටිනාකම විශාල ලෙස වෙනස් වෙලා නැහැ. නමුත්, බිත්තරයක නිෂ්පාදන පිරිවැය ඊට සාපේක්ෂව විශාල ලෙස වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ සිදු වූ යුග පෙරළි එක්ක.

මුල්ම කාලයේදී බිත්තර කියා කියන්නේ ස්වභාවයේ පැවතුණු දෙයක්. බිත්තර නිෂ්පාදනය කියා කියන්නේ බිත්තර තියෙන තැන් හොයා ගෙන බිත්තර එකතු කර ගැනීම. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය. ඊට අමතරව ප්‍රාග්ධනයක් කියා දෙයක් අවශ්‍ය වුනේ නැහැ. 

සමහර විට බිත්තර දෙක තුනක් හොයා ගන්න හැතැම්ම බාගයක් විතර ඇවිදින්න වෙනවා. ඊට වඩා බිත්තර හොයා ගන්නනම් තව ඈතට යන්න වෙනවා. නිෂ්පාදනය වැඩි කරද්දී නිෂ්පාදනය ඉහළ යන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් පිරිවැය ඉහළ යනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැය එන්න එන්නම වැඩි වෙනවා.

අනෙක් පැත්තෙන් එකතු වෙන බිත්තර ප්‍රමාණය ඉහළ යද්දී අමතර බිත්තරයකින් ලැබෙන සතුට එන්න එන්නම අඩු වෙනවා. ඒ කියන්නේ බිත්තරයක ආන්තික වටිනාකම අඩු වෙනවා. ඔය විදිහට ආන්තික වටිනාකම අඩු වෙලා ආන්තික පිරිවැය ආන්තික වටිනාකම ඉක්මවන මට්ටමට ආවට පස්සේ බිත්තර එකතු කරන්න යන පුද්ගලයා ආපහු හැරිලා තමන්ගේ නවාතැනට එනවා. ඕක තමයි සමතුලිතතාවය.

මේ වගේ තත්ත්වයකදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. නිෂ්පාදනයක් හා පරිභෝජනයක් තිබුණත් වෙළඳපොළක් කියා දෙයක් නැහැ. නමුත්, ඒ වගේ තත්ත්වයකදී පවා වෙළඳපොළ මූලධර්ම වල ඡායාවක් දකින්න පුළුවන්.

වෙන නිෂ්පාදනයක් ගත්තත් ඔය වගේ. අඹ ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට අඹ ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා.  පොල් ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට පොල් ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා. ඒ වැඩේට අවශ්‍ය ආන්තික ශ්‍රමය අමතර අඹ ගෙඩියක හෝ අමතර පොල් ගෙඩියක ආන්තික වටිනාකමට වඩා අඩු වුන ගමන් අතේ තිබෙන අඹ හෝ පොල් ටික අරගෙන ආපහු හැරිලා එනවා. 

ගෘහස්ථ කෘෂිකර්මය ආරම්භ වෙන්නේ ඔය ආන්තික පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන මිනිස්සු හිතන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. අඹ ගහක් පොල් ගහක් ගේ කිට්ටුව හිටවා ගත්තට පස්සේ කලින් අඹ ගස් පොල් ගස් හොයා ගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. බිත්තර දමන කිකිළියෙක් අල්ලාගෙන ඇවිත් කොටු කර ගත්තට පස්සේ බිත්තර හොයාගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. මේ විදිහට ආන්තික පිරිවැය විශාල ලෙස අඩු වුනත්, ආන්තික වටිනාකම් ලොකුවට වෙනස් නොවන නිසා පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. 

මීට අමතරව මේ අදියර වන විට බිත්තර වල ගුණාත්මක භාවයේත් ලොකු වෙනසක් වෙනවා. මුල් යුගයේදී කැලේ මැද හමුවෙන බිත්තරයක් දැම්මේ මොන සතාද කියන එක හරියටම දන්නේ නැහැ. දැන් ඒ වගේ නෙමෙයි. බිත්තරේ කිකිළිගේ කියන එක පැහැදිලියි. ඒ නිසා බයක් සැකක් නැතුව කන්න පුළුවන්. මේ වෙනස නිසා බිත්තරයක වටිනාකම ඉහළ යනවා. පොදු වශයෙන් බිත්තර වල ආන්තික වටිනාකමත් ඉහළ යනවා. ඒ හේතුව නිසාත් පරිභෝජනය ඉහළ යනවා. 

මේ දෙවන අදියර වෙද්දී ප්‍රාග්ධනය කියා දෙයක් හැදිලා. අඹ ගහට පොල් ගහට අයිතිකාරයෙක් ඉන්නවා. කිකිළියෙක්ට අයිතිකාරයෙක් ඉන්නවා. පොල් අයිති පොල් ගහේ අයිතිකාරයාට. බිත්තර අයිති කිකිළිගේ අයිතිකාරයට. හැබැයි ඒ එක්කම තමන්ගේ පෞද්ගලික දේපොළ, පෞද්ගලික ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමේ අමතර ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවෙන්ද ශ්‍රමය යොදවන්න වෙනවා.

වත්තේ ඉන්න කිකිළියන් නරින්ගේ, උගුඩුවන්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් කාලයක් තිස්සේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය එක රැයින් අහිමි වෙන්න පුළුවන්. කිකිළියෝ ටික ආරක්ෂා කරගන්න කුකුළු කූඩුවක් හදන්න වෙනවා. ඊට පස්සේ කිකිළියන් වගේම කුකුළු කූඩුවත් ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. 

නරින්ගෙන්, උගුඩුවන්ගෙන් බේරා ගත්තා කියලා ප්‍රාග්ධනය විනාශ වෙන එක මුළුමනින්ම නවත්වන්න බැහැ. ප්‍රාග්ධනය කොහොමටත් ක්ෂය වෙනවා. ලෙඩ වෙලා, වයස්ගත වෙලා කිකිළියෝ මැරෙනවා. එහෙම වෙද්දී නිෂ්පාදන මට්ටම තියා ගන්නනම් දිගින් දිගටම ආයෝජන කරන්න වෙනවා. බිත්තරයක් අද කෑමට නොගෙන රක්කවලා කුකුළු පැටවු හදාගන්න එක ආයෝජනයක්. හැබැයි ඒ විදිහට බිත්තරයක් රක්කවද්දී කන්න තිබෙන බිත්තරයක් අඩු වෙනවා. බිත්තරය කාලා ලබන්න තිබුණු සතුට අහිමි වෙනවා. 

ආයෝජන ගැන නොහිතා පරිභෝජනය ගැන පමණක් හිතුවොත් ප්‍රාග්ධනය ක්ෂය වී යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඊට පස්සේ වෙන්නේ පරිභෝජන මට්ටම පහත වැටිලා සතුට විශාල ලෙස අහිමි වීම. ආයෝජනයේදී වෙන්නේ අනාගත සතුට වෙනුවෙන් වර්තමාන සතුට කැප කිරීමක්. කොයි තරමටද කියන එක පෞද්ගලික තේරීමක්. 

බිත්තරයක් රක්කවද්දී බිත්තරය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් කුකුළු පැටියා ලොකු වෙලා බිත්තර දමන්න පටන් ගත්තට පස්සේ ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. පොල් ගෙඩියක් හිටවද්දී පොල් ගෙඩිය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් පොල් ගහ ලොකු වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්තට පස්සේ  ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. ආයෝජන වල ප්‍රතිඵල ලබා ගන්න කාලයක් බලා ඉන්න වෙනවා. ඒකට ඉවසීම අවශ්‍යයි. අවදානමක් ගන්නත් වෙනවා. අවදානමට බයේ ආයෝජන කරන්න බැහැ. 

එහෙමයි කියලා නොකා නොබී ආයෝජන කරන එකෙත් තේරුමක් නැහැනේ. මෝඩ අවදානම් ගන්න එකෙත් තේරුමක් නැහැ. ආයෝජන හා පරිභෝජනය අතර ප්‍රසස්ථ සමතුලනය පෞද්ගලික තේරීමක්. කොහොම වුනත් අද පරිභෝජනය සීමා කරලා හැකි තරම් ආයෝජන කරන තරමට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක්රැස් වෙලා අනාගත පරිභෝජන විභවය ඉහළ යනවා. 

අන්තවාදී පරිසරවාදය ගැනත් යමක් කිව යුතුයි. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේම ස්වභාවික පරිසරය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය වෙනස් කරනවා කියන එක. අනාගතය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය ඒ විදිහටම තිබිය යුතුයි කියා හිතන එක විකාර අදහසක්. පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. 

මිනිස්සු වගේම සත්තුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය වෙනස් කරනවා. එහිදී වැදගත් වෙන්නේ තමන්ගේ පැවැත්ම. අනෙක් දේවල් වැදගත් වෙන්නේ මේ වෙනස් කිරීම් සීමාව පැනලා අවසාන වශයෙන් තමන්ගේම අනාගත පැවැත්මට තර්ජනයක් වෙන මට්ටමකට ආවට පස්සේ. කැලේ තිබෙන බිත්තරයක් එකතු කරගෙන ආවහම ඒ බිත්තරෙන් පැටියෙක් හැදෙන එක නවතිනවා. පරිසරය වෙනස් වෙනවා. පොල් ගෙඩියක් පලාගෙන කෑවහම වෙන්නෙත් ඒකයි. පරිසරය වෙනස් නොකර කාටවත් ජීවත් වෙන්න බැහැ.

ගෘහස්ථ කෘෂිකර්මය හා ගෘහස්ථ සත්ත්ව පාලනය පටන් ගත්තට පස්සේ මිනිස්සු පරිසරය වෙනස් කිරීමෙන් එහාට ගිහින් ස්වභාවික පරිණාමයේ නීතිත් වෙනස් කරන්න පටන් ගන්නවා. මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අඩු වශයෙන් අවුරුදු හත් අට දාහකට කලින් පටන් ගත්ත දෙයක්. 

අලුතෙන් පොල් හිටවද්දී හිටවන්නේ හොඳට ගෙඩි හැදෙන පොල් ගහක ගෙඩියක්. රක්කවන්න ගන්නේ හොඳට බිත්තර දමන කිකිළියෙකුගේ බිත්තර. මරාගෙන කන්නේ අඩුවෙන්ම බිත්තර දමන කිකිළිව. මේ තේරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට පොල් පලදාව ඉහළ යනවා. බිත්තර පලදාව ඉහළ යනවා. 

මේක කැලේ බිත්තර දමපු කාලයේදී සිදු වුනු ස්වභාවික වරණයට වඩා වෙනස්. ඒ කාලයේදීත් ස්වභාවික වරණය සිදු වුනා. නමුත් ස්වභාවික වරණයේදී ඉතිරි වුනේ විලෝපිකයින්ගෙන් බේරී, තමන්ගේ කෑම හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් සත්තු. ගෘහස්ථ වාතාවරණයේදී මේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. විලෝපිකයින්ගෙන් බේරා ගන්න එක කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. පස්සේ පස්සේ කෑම දෙන එක, ලෙඩ රෝග වලක්වන එක වගේ දේවල් කරන්නෙත් අයිතිකාරයා. ඒ නිසා, ස්වභාවික වරණයේදී වුනත් වැදගත්ම සාධකය වෙන්නේ පලදාව. මේක ගෘහස්ථ සත්ත්ව පාලනයට වගේම ගෘහස්ථ කෘෂිකර්මයටත් අදාළයි. 

පලදාව වැඩි වෙනවා කියන්නේ ඒකක පිරිවැය අඩු වෙනවා කියන එක. නමුත් මේ විදිහට පලදාව වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග එක්ක ප්‍රාග්ධන යෙදවුම් අවශ්‍යතාවත් එන්න එන්නම වැඩි වෙනවා. ස්ථිර පිරිවැය ඉහළ යනවා.  ස්ථිර පිරිවැය ඉහළ යද්දී ඒකක පිරිවැය අඩු වෙන්නනම් පරිමාව අනුරූපව ඉහළ යා යුතුයි.

ප්‍රාථමික මට්ටමේ ගෘහස්ථ කෘෂිකර්මයේදී පාරිභෝගිකයා හා නිෂ්පාදකයා එක්කෙනෙක්. වෙළඳපොළක් නැහැ. ඒ නිසාම නිෂ්පාදකයින් අතර තරඟයකුත් නැහැ. ගෘහස්ථ කෘෂිකර්මයේ ද්වීතියික අවදියේදී, ඒ කියන්නේ බිත්තර නිෂ්පාදනයේ තුන්වන යුගයේදී, මේ තත්ත්වය වෙනස් වෙනවා. මේක වෙන්නේ වැඩි වැඩියෙන් මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වීමට සමාන්තරව.

මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වෙන්නේ තමන්ගේ ශ්‍රමය වඩා ඵලදායී ලෙස යෙදවිය හැකි තැන් වලට. එහිදී කෘෂිකාර්මික නොවන නිෂ්පාදන වැඩි වැඩියෙන් බිහි වෙන්න පටන් ගන්නවා. මේවා හැදෙන්නේම වෙළඳපොළ ඉලක්ක කරගෙන. පාරිභෝගිකයින් අතර ලොකුම කණ්ඩායම තව දුරටත් කෘෂිකර්මයේ රැඳී ඉන්න අය. ඒ අයට මේ අලුත් නිෂ්පාදන පරිභෝජනය කරන්න ඉඩ ලැබෙන්නේ තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සමඟ හුවමාරු කර ගැනීම මගින්. මේ එක්ක බිත්තර වගේ දේවල් වලට කලින් නොතිබුණු හුවමාරු වටිනාකමක් ලැබෙනවා.

බිත්තර නිෂ්පාදනයේ පළමු හා දෙවන යුග වලදී නිෂ්පාදකයින්ට බිත්තර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුනේ තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය දක්වා පමණයි. ඒ වැඩේට කිකිළියෝ හතර පස් දෙනෙක් හිටියහම ඇති. වැඩිපුර බිත්තර තිබුණා කියලා කරන්න දෙයක් නැහැ. ඒවායේ ආන්තික වටිනාකමක් නැති තරම්. 

දැන් තත්ත්වය වෙනස්. බිත්තර වලට හුවමාරු වටිනාකමක් තිබෙනවා. වැඩියෙන් බිත්තර නිපදවිය හැකි තරමට වෙන වෙන දේවල් වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කෘෂිකර්මයෙන් ඈත් වෙන අයට තව දුරටත් බිත්තර අවශ්‍යයි. ඒ බිත්තර අවශ්‍යතාවය සපුරන්න වෙන්නෙත් කෘෂිකර්මය තුළ තව දුරටත් රැඳී ඉන්න අයට. 

මේ තත්ත්වය තුළ ගෘහස්ථ කුකුළු කූඩු හැදෙනවා. මේවා පෙර අදියරේදී තිබුණු විදිහේ කුකුළු කූඩු නෙමෙයි. ඒ අදියරේදී කුකුළු කූඩුවකින් බොහෝ විට කෙරුණේ දවල් දවසේ වත්තේ ඇහිඳගෙන කන කිකිළියන්ට (හා කුකුළන්ට) රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයන එක පමණයි. දැන් එහෙම නෙමෙයි. කූඩුව කියන්නේ තනිකරම කිකිළියන්ගේ ජීවිතය.

කිකිළියෝ හතර පස් දෙනෙකුට වත්තේ ඇහිඳගෙන කන්න පුළුවන් වුනත් කිකිළියෝ සීයකට විතර ඒ විදිහට වත්තේ ඇහිඳගෙන කන්න බැහැ. උන්ට කෑම දමන්න වෙනවා. මේ වැඩෙන් බිත්තර නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ යනවා. නමුත්, බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා තියෙන්නේ බිත්තර වල සිදු වී තිබෙන ගුණාත්මක භාවයේ වෙනසක් හෝ වෙනත් භෞතික වෙනසක් නිසා නෙමෙයි. කෘෂිකර්මයෙන් ඈත් වූ අයගේ ශ්‍රමයේ වටිනාකම ඉහළ ගිහින්, ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති නිසා. ඒ අයට තව දුරටත් වත්තේ කිකිළියෝ හදන්න අවශ්‍ය නැහැ. බිත්තර වෙනුවෙන් වියදම් කළ හැකි සල්ලි තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බිත්තර වලට සාපේක්ෂව සල්ලි වල වටිනාකම අඩු වෙලා. බිත්තර ගනිද්දී ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුට අඩු වෙලා. 

බිත්තර නිෂ්පාදනයේ පළමු යුගයේ සිට දෙවන යුගයට එද්දී, ඒ කියන්නේ කැලෙන් බිත්තර එකතු කර ගැනීමේ සිට වත්තෙන් බිත්තර එකතු කර ගැනීම දක්වා එද්දී, බිත්තර වල ගුණාත්මක භාවය පොඩ්ඩක් වැඩි වෙලා පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. වෙනස වෙන්නේ සැපයුම පැත්තෙන්. නමුත්, තෙවන යුගයට එද්දී වෙන්නේ ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් සිදු නොවී, පිරිවැය ඉහළ යන එක. එහෙම වෙද්දීත් මේ යුග පරිවර්තනය වෙන්නේ තනිකරම වාගේ ඉල්ලුම වෙනස් වීම මත පදනම්වයි. පිරිවැය ඉහළ යාමට විචල්‍ය පිරිවැය ඉහළ යාම මෙන්ම ස්ථිර පිරිවැය ඉහළ යාමද බලපානවා. 

බිත්තර නිෂ්පාදනය හා අදාළව ලංකාව තවමත් බොහෝ දුරට ඉන්නේ මේ තෙවන යුගයේ. බොහෝ කුකුළු ගොවිපොළවල් තවදුරටත් ගෘහස්ථයි. කිකිළියෝ ගණන වැඩි වෙලා. එහෙත්, බොහෝ විට එම ප්‍රමාණය දහසකට අඩුයි. පසුගිය (2022) වසරේදී ලංකාවේ සිටි බිත්තර නිෂ්පාදකයින් 29,240 දෙනෙකු අතරින් කිකිළියන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් අයිතිව තිබුණේ නිෂ්පාදකයින් 1,179 දෙනෙකුට පමණයි. ගොවිපොළක සිටින කිකිළියන් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 232ක් පමණයි. ඒ කියන්නේ එයින් එක් කිකිළියකගේ සිදුවන වෙනසක් වුනත් පෞද්ගලිකව නිරීක්ෂණය වන, පවුලේ අයගේ ශ්‍රමයෙන් පහසුවෙන් ගොවිපොළ නඩත්තු කළ හැකි මට්ටමක්. 

මේ ආකෘතිය තුළ බිත්තර නිෂ්පාදකයෙකු විසින් කරන්නේ සුළු අගය එකතු කිරීමක් පමණයි. කුකුළු පැටවුන් මිල දී ගැනීම සහ දිගින් දිගටම කෑම දීම විචල්‍ය පිරිවැයක්. බිත්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සහිත කුකුළු කෑම ලබා දිය යුතුයි. බිත්තර පලදාව අඩු වෙද්දී කිකිළියන් මසට විකිණිය හැකියි. කෙසේ වුවත්, පරිමාව විශාල නොවන නිසා විශාල ලාබයක් ලැබිය නොහැකියි. ලාබයක් සේ පෙනෙන දෙය බොහෝ විට ආර්ථික ලාබයක් නෙමෙයි. මේ වෙනුවෙන් යොදවන පවුලේ අයගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයයි. එම ශ්‍රමය වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගත හැකි විකල්ප අවස්ථා අඩු නිසා මේ ආකෘතිය වැඩ කරනවා. 

ලෝකයේ බිත්තර කර්මාන්තය මේ අදියර පසු කර සිවුවන අදියර දක්වා ගොස් දැන් බොහෝ කලක්. ඇමරිකාව වැනි රටක බිත්තර නිෂ්පාදනය කෘෂිකාර්මික නිෂ්පාදනයකට වඩා බොහෝ දුරට කිට්ටු මහා පරිමාණ ස්වයංක්‍රීය කාර්මික නිෂ්පාදනයකටයි. ලංකාවේ කුකුළු ගොවිපොළ 29,240ක සිටින මුළු කිකිළියන් ප්‍රමාණය මිලියන 6.78ක් පමණයි. ඇමරිකාවේ එක් නිෂ්පාදකයෙකු සතුව පමණක් කිකිළියන් මිලියන 46.78ක් සිටිනවා. නිෂ්පාදකයින් 8 දෙනෙක් සතුව කිකිළියන් මිලියන 10කට වඩා වැඩියෙන් සිටින අතර, නිෂ්පාදකයින් 55 දෙනෙකු සතුව කිකිළියන් මිලියනය ඉක්මවා සිටිනවා. කිකිළියන් ලක්ෂ පහකට වඩා සිටින නිෂ්පාදකයින් ප්‍රමාණය 67ක්. 

මෙවැනි මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් සිටින්නේ ඇමරිකාවේ පමණක් නෙමෙයි. මෙක්සිකෝවේ, බ්‍රසීලයේ, යුක්‍රේනයේ, ජපානයේ මෙන්ම සිරියාවේ හා තායිලන්තයේ පවා බිත්තර දමන කිකිළියන් මිලියන 10කට වඩා සිටින නිෂ්පාදකයින් සිටිනවා. මේ මට්ටමෙන් බිත්තර නිෂ්පාදනය සිදු වෙද්දී, ශ්‍රමය ඒ තරම් වැදගත් නැහැ. වඩා වැදගත් වන්නේ ප්‍රාග්ධනයයි. කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට ඉහත ආකාරයේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකු හා තරඟ කිරීම අසීරුයි. මේ තත්ත්වය හමුවේ ඉන්දියාව පසුගිය කාලය පුරා ඉහත මා විස්තර කළ තෙවන අදියරේ සිට සිවුවන අදියර දක්වා වේගයෙන් පරිවර්තනය වෙමින් සිටිනවා. 

මතු සම්බන්ධයි. 

Monday, January 9, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (දෙවන කොටස)


මෙම ලිපි මාලාවේ පළමු කොටසින් අපි බිත්තර ඉල්ලුම ගැන කතා කළා. බිත්තර ඉල්ලුමට හේතුව පාරිභෝගිකයින් විසින් බිත්තර වලට ලබා දෙන වටිනාකම. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් බිත්තර වලට වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද කියන එක හෝ ඇයි කියන එක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව වාස්තවික නොවන, සාපේක්ෂ වටිනාකමක් තිබෙන බව තේරුම් ගත්තහම ඇති. එකම පාරිභෝගිකයෙක් ගත්තත්, තැන, වෙලාව, දැනට අතේ තිබෙන බිත්තර ප්‍රමාණය වගේ විවිධ සාධක මත මේ වටිනාකම වෙනස් වෙනවා. 

පාරිභෝගිකයෙක්ට බිත්තරයක් යම් මුදලක් වටිනවානම් නිෂ්පාදකයෙකුට ඒ මුදලට හෝ අඩු මුදලකට බිත්තරයක් විකුණන්න පුළුවන්. නමුත්, ඊට වඩා වැඩි මිලකට විකුණන්න බැහැ. නොවටිනා ගාණක් දීලා බිත්තරයක් ගන්න පරිභෝගිකයෙක්ට තියෙන අමාරුව මොකක්ද?

බිත්තරයක් රුපියල් 65ක් කියා කියමු. ගණන් වැඩියි කියලා බැණ බැණ හරි කවුරු හෝ කෙනෙක් ඒ මිල ගෙවලා බිත්තර මිල දී ගන්නවානම් එහෙම කරන්නේ බිත්තරයක් අඩුම වශයෙන් රුපියල් 65ක් වටින නිසා. බිත්තරයක් රුපියල් 65ක් නොවටිනා බව සිතන කෙනෙක් ගණන් ඇහුවට පස්සේ බිත්තරය නොගෙන හැරිලා යනවා. 

හැබැයි කාට හරි බිත්තරයක් රුපියල් 65ක් වටිනවා කියන එකෙන් ඒ පුද්ගලයා බිත්තරයක් මිල දී ගනිද්දී අනිවාර්යයයෙන්ම රුපියල් 65ක් ගෙවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් බලන්නේ පුළුවන්කමක් තියෙනවානම් රුපියලක් හරි අඩුවෙන් ගන්න. රුපියල් 65 ගෙවන්නේ අඩුවෙන් ගන්න කිසිම ක්‍රමයක් නැත්නම් පමණයි. ඒ නිසා, බිත්තරයක මිල සහ බිත්තරයක වටිනාකම අතර සෘජු සම්බන්ධයක් නැහැ. බිත්තරයක මිල තීරණය වෙන හැටි දැන ගන්නනම් අපිට සැපයුම පැත්තත් කතා කරන්න වෙනවා. 

බිත්තර සපයන එක ඒකාධිකාරයක්නම්, නිෂ්පාදකයාට එක් එක් පාරිභෝගිකයාගෙන් එම පාරිභෝගිකයා ගෙවන්න සූදානම් උපරිම මිලම, ඒ කියන්නේ බිත්තරයේ එම පාරිභෝගිකයාට සාපේක්ෂ වටිනාකමම, අය කර ගන්න පුළුවන්. නමුත්, ඒකාධිකාරයක් නැත්නම් ඔය වැඩේ කරන්න බැහැ. තරඟකරුවෙක් ඇවිත් අඩුවට බිත්තර විකුණලා පාරිභෝගිකයාව කඩා ගන්නවා. 

වෙළඳපොළ තරඟයක් තියෙන කොට පාරිභෝගිකයෙකුට තමන්ගේ සාපේක්ෂ වටිනාකමට වඩා අඩුවෙන් බිත්තර මිල දී ගන්න අවස්ථාවක් ලැබෙනවා. එය වාසියක්. ගෙවන මිල සහ බිත්තරයේ වටිනාකම අතර වෙනස. බිත්තරය නිසා ලැබුණු  සතුටෙන් අතින් ගිය සල්ලි නිසා අහිමි වුනු සතුට අඩු කළාට පස්සේ ඉතිරි වන අතිරික්ත සතුට. ඕකට තමයි ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ.

වෙළඳපොළ තරඟය වැඩි වුන තරමට බිත්තරයක් අඩු මිලකට ගන්න ලැබෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. තරඟය අඩුනම් අතිරික්තයත් අඩුයි. 

අපි හිතමු ප්‍රමාණවත් තරඟයක් තිබෙනවා කියා කියලා. කොයි තරම් අඩු මිලකට බිත්තරයක් මිල දී ගන්න පුලුවන්ද? 

බිත්තරයක් මිල දී ගන්න පුළුවන් අවම මිල එහි නිෂ්පාදන පිරිවැය. තරඟය වැඩි වෙද්දී නිෂ්පාදකයෝ රුපියලෙන් රුපියල බිත්තර මිල අඩු කරනවා. නමුත්, මිල නිෂ්පාදන පිරිවැය මට්ටමට පහත වැටුනට පස්සේ තවත් අඩු කරන්න බැහැ. ඊට පස්සේ කරන්න වෙන්නේ නිෂ්පාදනය නවත්තන එක. අතින් කාලා හරක් බලන්නේ කවුද? 

ඔය හේතුව නිසා, බිත්තරයක මිල නිර්ණය වෙන්නේ නිෂ්පාදන පිරිවැය මත. හැබැයි එහෙම වෙන්නේ ප්‍රමාණවත් තරඟයක් තිබෙනවානම් පමණයි. එහෙම ප්‍රමාණවත් තරඟයක් තිබෙන වෙළඳපොළක් තරඟකාරී වෙළඳපොළක් ලෙස හැඳින්වෙනවා. තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට තමන්ගේ මහන්සිය, ගන්න අවදානම ආදිය සඳහා ප්‍රතිලාභයක් මිසක් ලාබයක් කියලා අමතර මුදලක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි කිසියම් රටක, කිසියම් භාණ්ඩයකට අනිවාර්යයෙන්ම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව වගේ කරුණු මත. තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නනම් නිෂ්පාදන තාක්ෂනය සරල වෙන්න ඕනෑ. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනෑ. නියාමනයක් නැති හෝ අවම වෙන්න ඕනෑ. තව ඔය වගේ කාරණා තියෙනවා. 

මේ කාරණා වැදගත් ඇයි කියන එක පැහැදිලියිනේ.  නිෂ්පාදන තාක්ෂනය සරලනම්, වැඩේ පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පොඩි ගාණක්නම්, කර්මාන්තයට ඇතුළු වෙන්න රජයෙන් අවසර ගන්න අවශ්‍ය නැත්නම්, එක්කෙනෙක් ලාබ ගන්නවා පෙනුණු වහාම තව අය වැඩේට බහිනවා. කාලයක් චීන අවන්හල්. තව කාලයක් කමියුනිකේෂන්. මතක ඇතිනේ. 

නමුත්, තාක්ෂනය සංකීර්ණනම් එක්කෙනෙක් ලාබ ලබන බව පැහැදිලිව පෙනුනත්, වෙන කෙනෙක්ට වැඩේ අල්ලගෙන පටන් ගන්න අමාරුයි. සල්ලි ගොඩක් යට කරන්න අවශ්‍යනම් ඒත් එහෙමයි. රජයෙන් අවසර ගන්න අවශ්‍යනම් කොහොමටවත්ම වැඩේ පටන් ගන්න බැහැනේ. හරියට බාර් පර්මිට් වගේ. 

මේ වගේ තත්ත්වයන් තිබෙන විට ඒකාධිකාර හැදෙනවා. හැබැයි වෙළඳපොළ පරිමාව විශාල වෙද්දී, මේ වගේ තත්ත්වයන් යටතේ වුනත් කවුරු හරි වැඩේට අත ගහනවා. මොකද තාක්ෂනය අල්ල ගන්න පුළුවන් කෙනෙක් කොහේ හරි ඉන්නවා. සල්ලි තියෙන කෙනෙක් කොහේ හරි ඉන්නවා. මේ හේතුව නිසා, ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටවල් වලට සාපේක්ෂව ලංකාව වගේ පොඩි රටක ඒකාධිකාර හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

තරඟකාරී වෙළඳපොළක වාසිය තනිකරම වගේ පාරිභෝගිකයාටයි. නිෂ්පාදකයාට ලැබෙන්නේ පිරිවැය පමණයි. හැබැයි එහෙමයි කියලා නිෂ්පාදකයෝ ලාභ අපේක්ෂාව අත අරින්නේ නැහැ. මොන විදිහෙන් හෝ පිරිවැය අඩු කරගෙන ලාබ ලබන්න උත්සාහ කරනවා. තරඟකරුවන්ට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් තරඟකාරී වෙළඳපොළක වුනත් ලාබ ගන්න පුළුවන්. හැබැයි ටික කාලයකට පමණයි. අනෙක් අය වැඩේ අල්ලගත්ත ගමන් මිල අඩු වෙනවා. ඊට පස්සේ නැවත හිටපු තැනමයි. හැබැයි මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එන්න එන්නම වැඩි වෙනවා.

ඒකාධිකාරයක තියෙන ප්‍රශ්නය පාරිභෝගික අතිරික්තය අඩු වෙන එක විතරක් නෙමෙයි. පෙර විස්තර කළ ක්‍රියාවලිය සිදු නොවන නිසා කාර්යක්ෂමතාවය ඉහළ යවන යාන්ත්‍රනයකුත් නවතිනවා. 

ඒකාධිකාරය රාජ්‍ය ඒකාධිකාරයක් වුනහම පාරිභෝගික අතිරික්තය අඩු නොවෙන්න පුළුවන්. මොකද රාජ්‍ය ආයතන ලාබ ගන්න අවශ්‍යම නැහැනේ. ඔය සමහර වෙලාවට පිරිවැයටත් අඩුවෙන් විකුණන්නේ. නමුත්, දෙවනු කී ප්‍රශ්නයනම් එළෙසම තිබෙනවා. ඒ නිසාම, පාරිභෝගිකයාට නිෂ්පාදන පිරිවැයටත් අඩුවෙන් බඩුව ලැබුණත්, තරඟකාරී වෙළඳපොලක ලැබෙන තරම් අඩු මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය ඒකාධිකාරයක් පාඩු ලබද්දී පැත්තක ඉන්න අයට ඒ පාඩුව වෙනුවෙන් සල්ලි ගෙවන්න වීමේ අමතර ප්‍රශ්නයකුත් හැදෙනවා.

බිත්තර නිපදවන එක රොකට් සයන්ස් එකක් නෙමෙයිනේ. කිකිළියෙක් දෙන්නෙක් ගෙනත් දැම්මා. එච්චරයි. ඊට පස්සේ තියෙන්නේ කෙකර ගාණ වෙලාව බලලා බිත්තර ටික එකතු කර ගන්න. මහ ලොකු සල්ලියක් අවශ්‍යත් නැහැ. ඒ නිසාම, අවුලක් නැතුව තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න ඕනෑ. තරඟකාරී වෙළඳපොළක් හැදෙනවා කියන්නේ කාලයත් එක්ක ටිකෙන් ටික නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යන එක. ලංකාවේ එහෙම වෙලාද? වෙලා නැත්නම් ඒ ඇයි? තරඟකාරී ලෙස බිත්තරයක්වත් හදා ගන්න බැරිනම්, ඊට වඩා සංකීර්ණ දේවල් හදන්න පුලුවන්ද? එහෙම බැරි වෙලා තියෙන්නේ ඇයි? වැරැද්ද කොහේද? වැරැද්ද හදාගන්න බැරිද? මේ දේවල් අපි ඉදිරි ලිපියකින් කතා කරමු.

Saturday, January 7, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)


මේ දවස් වල ඇමරිකාවේ බිත්තරයක මිල රුපියල් 108ක් විතර වෙනවා කියලා මම කිවුවනේ. ඇමරිකාවේ බිත්තරයක් ඔය වගේ ගාණකට විකිණෙද්දී ඉන්දියාවේ රුපියල් 26ක් වැනි මිලකට බිත්තර විකිණෙන බවත් කිවුවනේ. ඔය ගණන් දෙකම කියලා තියෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින්.

කොහොම හරි ප්‍රශ්නය මේකයි. දැන් ඇමරිකාව හා ඉන්දියාව අතර ඔය වගේ මිල වෙනසක් තියෙද්දී රටවල් දෙක අතර සිදු වන වෙළඳාම නිසා ඔය මිල ගණන් සමාන විය යුතු නැද්ද? 

සරල, පාඨ ග්‍රන්ථ උදාහරණයකනම් එහෙම වෙනවා. ඒ වගේ පාඨ ග්‍රන්ථ උදාහරණයක උපකල්පන හා ගැලපෙන තත්ත්වයන් යටතේ සැබෑ ලෝකයේදීත් ඔය වැඩේ වෙනවා. නමුත්, මේ නිශ්චිත අවස්ථාව වගේ ඇතැම් අවස්ථා වල පවතින සංකීර්ණ තත්ත්වයන් නිසා ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ.

අපි මේ බිත්තර උදාහරණයෙන් පටන් අරගෙන සැබෑ ලෝකයේ ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන ටිකක් කතා කරමු.

කවුරු හෝ කෙනෙක් බිත්තරයක් මිල දී ගන්නේ ඇයි? 

ඔය ප්‍රශ්නයට "ඔම්ලට් හදන්න", "බිත්තර ආප්ප හදන්න", එහෙමත් නැත්නම් "අකැමැති කෙනෙක්ගේ මූණට දමලා ගහන්න" වගේ විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. නමුත්, ආර්ථික විද්‍යාවට ආවොත්, පොදු වශයෙන් කවුරු හරි බිත්තරයක් මිල දී ගන්නේ බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට නිසා. සතුට ලැබෙන්නේ බිත්තරේ කඩලා ඔම්ලට් හදන එකෙන්ද නැත්නම් බිත්තරය රක්කවලා කුකුළු පැටියෙක් හදා ගන්න එකෙන්ද වගේ දේවල් ද්වීතියික කරුණු. 

බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් කෙනෙකුට ලැබෙන සතුට පුද්ගලබද්ධ කාරණයක්. ඒක බිත්තරයට සම්බන්ධ වාස්තවික කරුණක් නෙමෙයි. ඒ නිසාම, බිත්තරයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එකම පුද්ගලයෙකු හා අදාළව වුනත් අවස්ථාව අනුව වෙනස් වෙනවා. මම හිතන්නේ මේ දවස් වල ලංකාවේ ගොඩක් අයට බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට අවුරුද්දකට දෙකකට කලින් බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබුණු සතුටට වඩා වැඩියි. 

බිත්තරයක් මිල දී ගන්න කෙනෙක් අවසාන වශයෙන් මිල දී ගන්නේ සතුටනම්, බිත්තර විකුණන අය විකුණන්නේ මොනවාද? බිත්තර විකුණන අය බිත්තර විදිහට විකුණන්නේත් සතුට. බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට වැඩි වන තරමට බිත්තරය විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.

බිත්තරයක හිමිකාරයෙක් වෙද්දී සතුට වැඩි වෙනවා වගේම ඒ වෙනුවෙන් සල්ලි ගෙවද්දී සිදු වන අහිමි වීම නිසා සතුට අඩු වෙනවා. කවුරු හෝ බිත්තරයක් මිල දී ගන්නේ ඒ නිසා වැඩි වන සතුට ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුටට වඩා වැඩිනම් පමණයි.

සමහරු කියනවා සල්ලි නෙමෙයි වටින්නේ මනුස්සකම කියලා. ඔහොම කියන ගොඩක් අයගේ මනුස්සකම් ගැන අපට හොඳ අත්දැකීම් තිබුණත්, මනුස්සකම හෝ වෙනත් ඔය වගේ දෙයක් තරම් සල්ලි වටින්නේ නැහැ කියා හිතන කෙනෙක්ව අපි අරගනිමු. ඇත්තටම ඔහොම හිතන කෙනෙකුට ටිකක් වැඩි ගාණකට බිත්තරයක් විකුණන්න පුළුවන්. මොකද එහෙම කෙනෙකුගේ සල්ලි වල සාපේක්ෂ වටිනාකම අඩුයිනේ. සල්ලි ගෙවද්දී අහිමි වන සතුට අඩු වන තරමට කෙනෙකුට බඩුවක් විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් කෙනෙක් අතේ තිබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන තරමට එයින් යම් නිශ්චිත ප්‍රමාණයක් අඩු වෙද්දී අහිමි වන සතුට අඩුයි. අර කියන්නේ මහා සාගරෙන් දිය දෝතක් ගත්තට දැනෙන්නේ නැහැ කියලා. 

ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000කට වඩා වැඩියි. නමුත්, ඉන්දියානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,500ක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා, ඇමරිකානුවෙකුට බිත්තර දුසිමක් මිල දී ගනිද්දී ඩොලර් තුන හතරක් ගෙවන්න වුනත් ඒක දැනෙන්නේ නැහැ. නමුත්, ඉන්දියානුවාට බිත්තර දුසිමට ඩොලර් එකක් ගෙවන්න වුනත් ඒක ඊට වඩා වැඩියෙන් දැනෙනවා. මේ හේතුව නිසා, ඇමරිකානුවෙකුට බිත්තරයක් වැඩි මිලකට විකුණන්න ලේසියි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ඇමරිකාව හා ඉන්දියාව අතර බිත්තර මිලෙහි පහසුවෙන් සමාන නොවෙන වෙනසක් තියෙන්න පුළුවන්. 

හැබැයි අනෙක් පැත්තෙන් මෙහෙම දෙයකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකානුවෙකුට කෑම බීම හිඟයක් නැහැ. කෑම බීම වෙනුවෙන් වියදම් වෙන්නේ මාසික පරිභෝජන වියදම් වලින් 14%ක් පමණයි. ඉන්දියාවේ ඔය ප්‍රතිශතය 46%ක් පමණ. ඒ වගේම ඇමරිකානුවෙක් අවුරුද්දකට බිත්තර 190ක් පමණ පරිභෝජනය කරද්දී, ඉන්දියානුවෙක් පරිභෝජනය කරන්නේ බිත්තර 50කටත් අඩුවෙන්. මේ හේතු නිසා, ඇමරිකානුවෙකුට සාපේක්ෂව ඉන්දියානුවෙකුට වැඩිපුර හිමි කරගත හැකි බිත්තරයක වටිනාකම වැඩියි. 

ඇමරිකානුවෙකුට බිත්තරයක් වෙනුවෙන් සල්ලි ගෙවද්දී අහිමි වන සතුට සාපේක්ෂව අඩු වුනත්, යම් බිත්තර ප්‍රමාණයක් හිමි කර ගැනීමෙන් පසුව තව තවත් බිත්තර හිමි වීමේ සතුටත් සාපේක්ෂව අඩුයි. ඉන්දියානුවෙකුට සල්ලි වල වගේම බිත්තර වලත් වටිනාකම වැඩියි. ඒ නිසාම, ඉන්දියාවේ වගේම ඇමරිකාවෙත් බිත්තර විකිණිය හැකි සීමාවක් තිබෙනවා. 

බිත්තර කියා කියන්නේ සමජාතීය භාණ්ඩයක්ද?

ගෙවල් පිටිපස්සේ කූඩු වල කිකිළියෝ බිත්තර දමපු කාලේනම් බිත්තර කියන්නේ බොහෝ දුරට සමජාතීය භාණ්ඩයක්. නමුත්, දැන් තත්ත්වය වෙනස්. මම කලින් කිවුවා වගේ බිත්තර වෙළෙන්දෙක් ඇත්තටම විකුණන්නේ සතුට. බිත්තර වලින් කරන්නේ සතුට නිෂ්පාදනය කරන එක. මේ හේතුව නිසාම බිත්තර විකිණෙන්නේ සතුට නිපදවන තවත් දේවල් එක්ක පැකේජ් කරලා. එහෙම විකුණන බිත්තර තව දුරටත් සමජාතීය භාණ්ඩයක් නෙමෙයි.

මේ වෙද්දී කීල්ස් සහ කාගීල්ස් සුපිරි වෙළඳසැල් වල හැපී හෙන් ලොකු බිත්තර 10ක් විකිණෙන්නේ රුපියල් 650කට. මේ විදිහට රුපියල් 650කට විකිණෙන්නේ බිත්තර දහයක් පමණක් නෙමෙයි. බිත්තර දහයේ ඇසුරුම සහ හැපී හෙන් සන්නාමයත් බිත්තර දහය එක්ක පැකේජ් වෙලා තිබෙනවා. බිත්තර වලින් වගේම ඔය පැකේජ් එකෙන් සහ සන්නාමයෙනුත් සතුට ජනනය කරවනවා. 

මම හිතන්නේ පොඩි සිල්ලර කඩේකින් බිත්තර දහයක් ගත්තත් මේ වෙලාවෙනම් ඔය ගාණට කිට්ටු ගාණක් යනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය විකිණෙන්නේ ඉතාම අඩු මිලකට. නමුත්, අවුරුද්දකට විතර කලින් ඔය මිල ගණන් සංසන්දනය කළානම් සැලකිය යුතු වෙනසක් පේනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය ඒ දවස් වල වඩා වැඩි මිලකට විකිණුනා කියන එක. අතේ සල්ලි අඩු වෙද්දී, සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී, මිනිස්සුන්ට බිත්තර වලට මිසක් සන්නාම වලට සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් සතුට ජනනය වෙන්නේ නැහැ.

මේ කරුණ තහවුරු කෙරෙන තවත් නිරීක්ෂණයක් තිබෙනවා. කීල්ස් සුපිරි වෙළඳසැලේම අලෙවිවන නෙල් ෆාර්ම් ලොකු බිත්තර 10ක් විකිණෙන්නෙත් හරියටම රුපියල් 650කට. කාගීල්ස් එකෙත් ඒ ගණන. ඒ වගේම, ආරෝග්‍යා සහ මහවැලි සන්නාම යටතේ එන බිත්තර දහයක් විකිණෙන්නේත් හරියටම රුපියල් 650ට. මේකෙන් පෙනෙන්නේ බිත්තර මිසක් සන්නාමය විකිණෙන්නේ නැහැ කියන එකයි. 

මෙහි සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී කියන එකෙන් අදහස් කළේ සල්ලි වල පුද්ගල බද්ධ වටිනාකම වැඩිවීම ගැන මිසක් ක්‍රය ශක්තිය වැඩිවීම ගැන නෙමෙයි. ක්‍රය ශක්තියනම් අඩු වෙලානේ. තවත් තේරෙන්න කිවුවොත් අතේ සතේ නැති වුනාට පස්සේ රුපියල් සීයක් වුනත් කෝටියක් වගේ දැනෙන එක ගැන. 

ඇමරිකාව වගේ රටකදී බිත්තර එක්ක පැකේජ් කරන ඇසුරුමට, ලේබලයට හා සන්නාමයට වගේම තවත් දේවල් වලට සැලකිය යුතු මුදලක් අය කරන්න පුළුවන්. ඒ නිසාම, එකම දවසක වුනත්, වෙනස් ලෙස පැකේජ් කර තිබෙන එක වගේ බිත්තර දුසිමක මිල සැලකිය යුතු ලෙස විචලනය වෙනවා. 


මේ ටාර්ගට් සුපිරි වෙළඳසැලේ මිල ගණන්.

ගුඩ් ඇන්ඩ් ගැදර් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 3.99යි.

ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 4.89යි.

ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 5.39යි.

හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 6.29යි.

ඔය කොයි වර්ගයෙන් ගත්තත්, සුදු දුඹුරු වෙනසක් නැත්නම්, බිත්තර කලවම් වුනොත් වර්ගය හොයා ගන්න බැහැ. කඩලා ඔම්ලට් හැදුවොත් කිසිම වෙනසක් ඇත්තේත් නැහැ. ඒ කියන්නේ මේ විදිහට බිත්තර වල මිල වෙනස් වෙන්නේ පැකේජ් වෙලා තියෙන අනෙක් දේවල් නිසා. 

එළිමහනේ හදන කිකිළියන්ගේ බිත්තර දුසිමක් කූඩු වල හදන කිකිළියන් දමන බිත්තර දුසිමකට වඩා ඩොලර් ඩොලර් ශත 90ක් වැඩියි. ඕගනික්නම් තවත් ඩොලර් ශත පණහක් වැඩියි. 

බැලූ බැල්මට කිසිම වෙනසක් නැති කූඩු කිකිළියන්ගේ බිත්තර දුසිමක් අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී කවුරු හරි කෙනෙක් එළිමහන් කිකිළියන්ගේ බිත්තර ගන්න ඩොලර් ශත අනූවක් වැඩියෙන් ගෙවන්නේ ඇයි? ඔය ගොඩේ ඉන්නේ සල්ලි වලට වඩා මනුස්සකම ලොකුයි කියලා හිතන මිනිස්සු. වැඩිපුර ශත අනූව ගෙවන්නේ මනුස්සකම ප්‍රදර්ශනය කරන්න. සමහර විට තමන්ටම. එහෙම කරන්නේ ඒ වැඩෙන් ලැබෙන සතුට ශත අනූව අහිමි වීම නිසා අඩුවන සතුටට වඩා වැඩි නිසා. විකුණන්නේ වගේම මිල දී ගන්නේත් බිත්තර නෙමෙයි සතුට කියලා තේරුම් ගත්තහම මේ හැසිරීමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. 

ඕගනික් බිත්තර වලට තව ඩොලර් ශත පණහක් එකතු වෙන්නෙත් ඔය ක්‍රමයට. කේජ් ෆ්‍රී ඕගනික් බිත්තරම වුනත්, බ්‍රෑන්ඩ් එක හැපී එග්නම්, ගුඩ් ඇන්ඩ් ගැදර් බ්‍රෑන්ඩ් එකට වඩා තවත් ශත අනූවකින් මිල වැඩියි.  ඒ ශත අනූව අදාළ සන්නාමය විකිණෙන මිල. වටිනාකම කියන්නේ පුද්ගල බද්ධ දෙයක් නිසා මේ වගේ පාරිභෝගික හැසිරීම් ගැන ඕනෑවට වඩා වද වෙන එකේ තේරුමක් නැහැ. ඒවා තේරුම් ගන්න ඕනෑවට වඩා මහන්සි වෙන එකෙත් තේරුමක් නැහැ. එක් එක් පුද්ගලයා සතුටු වෙන්නේ තමන්ටම ආවේණික ක්‍රමයකට කියන එක මතක තියා ගත්තහම ඇති. 

උඩින් දැම්මේ ටාගට් මිල ගණන්නේ. මේ වෝල්මාර්ට් එකේ මිල ගණන්.

ග්‍රේට් වැලියු ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 3.92යි.

හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 6.32යි.

වෝල්මාර්ට් එකේ ලොකු බිත්තර දුසිමක් ටාගට් එකේ ගණනට වඩා ශත තුනක් අඩුයි. නමුත්, හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් ශත තුනක් මිල වැඩියි.

වෝල්මාර්ට් එකෙන් සාමාන්‍යයෙන් බඩු ගන්නේ මිල සංවේදී පාරිභෝගිකයෝ. ඒ අය බිත්තර වලට මිසක් පැකේජ් එකට, මනුස්සකමට හෝ සන්නාමයට ගෙවන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ඒ අයට පුළුවන් තරම් අඩු තරඟකාරී මිලකට බිත්තර විකිණිය යුතුයි. නමුත් ටාගට් එකට සාමාන්‍යයෙන් එන්නේ ඊට වඩා ටිකක් වියදම් කරන්න කැමති අය. එතැනදී ඉලක්කය වෙන්නේ අමතර එකතු කිරීම විකුණන එක. කූඩු කිකිළි බිත්තර සහ කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර අතර මිල පරතරය අඩු වුනු තරමට මිල වැඩි කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර තෝරා ගන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළ ඔය වගේ එකක්. මිල සංවේදී පාරිභෝගිකයින්ට අඩු මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. කූඩු වල හිර වෙලා බිත්තර දමන කිකිළියන් ගැන අනුකම්පා කරන අයට වැඩියෙන් ගාණක් දීලා කේජ් ෆ්‍රී බිත්තර ගන්න පුළුවන්. ඕගනික් බිත්තර අවශ්‍ය අයට ඒවා ගන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා තමන්ට අවශ්‍ය සන්නාමයම හොයන අයට ඒ තේරීම්ද තිබෙනවා. ඒ නිසා, කඩලා ඔම්ලට් හැදුවහම කිසිම වෙනසක් නැතත් බිත්තර වල මිල තරමක් විශාල පරාසයක විචලනය වෙනවා. ඔය මිලෙන් බාගයක් විතරම අගය එකතු කිරීම්. 

ඉන්දියාවෙන් එක පාරටම ඇමරිකාවට බිත්තර ගෙනත් විකුණන්න බැරි ඇයි කියන එකට එක් හේතුවක් මෙයින් විස්තර වෙනවා. ඉන්දියාවේ අඩුවට විකිණෙන බිත්තර බොහෝ දුරට නිකම්ම බිත්තර. ඇමරිකාවේ වෙළඳපොළ තුළ තරඟ කරන්න පුළුවන් විදිහට අගය එකතු කිරීම් කළොත් ඉන්දියානු බිත්තර වලත් මිල ඉහළ යනවා. 

හැබැයි ඉන්දියානු බිත්තර වලට බලපාන මේ ප්‍රශ්නය හැම රටකටම ඒ විදිහටම බලපාන්නේ නැහැ. ගොඩක් බටහිර රටවල බිත්තර විකිණෙන්නේ ඇමරිකාවේ ක්‍රමයට. ඒ නිසා, කැනඩාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය වගේ රටකට පහසුවෙන්ම ඇමරිකාවට බිත්තර අපනයනය කරන්න පුළුවන්. චීනයේ වුනත් ඒ මට්ටමේ බිත්තර නිෂ්පාදකයෝ ඉන්නවා. නමුත් ඉන්දියාව, ලංකාව වගේ අඩු ආදායම් රටවල විකිණෙන බිත්තර කියා කියන්නේ බොහෝ විට ඇමරිකාව, ජපානය හෝ කොරියාව වැනි රටක බිත්තර වලට සෘජු ආදේශක නෙමෙයි. 

වෙළඳපොළ තරඟය කියන්නේ මිල තරඟයක් පමණක් නෙමෙයි. පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා වන තරඟයක්. මිල මත තරඟ කළ හැක්කේ එමගින් පාරිභෝගිකයා සතුටු කළ හැකි සීමාව දක්වා පමණයි. එතැනින් එහාට පාරිභෝගිකයා සතුටු කළ හැකි වෙනත් ක්‍රම ගැන හිතන්න වෙනවා.

මේ කොටසෙන් කතා කළේ බිත්තර ඉල්ලුම ගැන. සැපයුම පැත්ත ගැන දෙවන ලිපියකින් කතා කරමු. වෙනත් ඕනෑම පාරිභෝගික භාණ්ඩයක වගේම බිත්තර වලත් ඉල්ලුම හැදෙන්නේ මේ භාණ්ඩය හිමි කර ගැනීම නිසා වැඩි වන සතුට හේතුවෙන්. නමුත්, බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් සතුටු වන විදිහ පුද්ගල බද්ධ දෙයක් නිසා සංවර්ධික රටක බිත්තර ඉල්ලුමේ සහ අඩු ආදායම් මට්ටමක සිටින රටක පාරිභෝගිකයින්ගේ බිත්තර ඉල්ලුමේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

ලංකාව, ඉන්දියාව වගේ රටක පාරිභෝගිකයින් විසින් ගෙවන්නේ බිත්තරය ආහාරයට ගැනීමෙන් ලැබෙන සතුටේ මිල පමණයි. නමුත්, බටහිර රටක පාරිභෝගිකයෙකු විසින් බිත්තර දමන කිකිළියගේ සතුට වෙනුවෙන්ද මිලක් ගෙවනවා. කිකිළියගේ සතුට කියා කිවුවත්, ඒකත් පාරිභෝගිකයා ළඟම මිස කිකිළිය ළඟ තිබෙන දෙයක් නෙමෙයි. ඊට අමතරව, බටහිර රටවල විකිණෙන පාරිභෝගික භාණ්ඩ එක්ක සමාජ සාධාරණත්වය, පරිසරය ගැන තියෙන කැක්කුම වගේ තව තව දේවල් විකිණෙනවා. ඒ දේවල් වෙනුවෙන් ගෙවන්න පුළුවන් තරමේ අතිරික්ත ධනයක් එම රටවල පාරිභෝගිකයින්ට තිබෙනවා. නමුත්, එදාවේල කන්න බිත්තරයක් ගන්න පාරිභෝගිකයෙක්ට පුළුවන් තරම් අඩුවට බිත්තරේ ගන්නවා මිසක් ඔය වගේ අමතර දේවල් වෙනුවෙන් සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් අහිමි වන සතුට වැඩියි.

Thursday, January 5, 2023

ඇමරිකාවේ බිත්තර මිල


මේ දවස් වල ඇමරිකාවේ බිත්තර මිල ගැන එක් පාඨකයෙකු විසින් විමසා තිබුණා. ඇත්තටම කියනවානම්, මේ දවස් වල ඇමරිකාවේ බිත්තර මිල ඉතිහාසයේ පැවති ඉහළම මිලක් කියා කියන්න පුළුවන්. පසුගිය මාසයේ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය තුළ වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබුණු අයිතමය වූයේ බිත්තරයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ ලොකු කිකිළි බිත්තර දුසිමක සාමාන්‍ය සිල්ලර මිල ඩොලර් 3.589ක් වුනා. ඩොලරයක මිල රුපියල් 363 සේ සැලකුවොත් ඇමරිකාවේ බිත්තරයක මිල රුපියල් 108.57ක් වෙනවා. 

ඇමරිකාවේ බිත්තර මිල පසුගිය දෙවසරක පමණ කාලය තුළ වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2020 අගෝස්තු මාසයේදී බිත්තර දුසිමක සාමාන්‍ය මිල ඩොලර් 1.328ක් පමණයි. සංඛ්‍යාලේඛණ අනුව සාමාන්‍ය මිල එම අගයේ පැවති මේ කාලයේදී ඩොලරයකට අඩුවෙන් (ඩොලර් ශත 99කට) බිත්තර දුසිමක් මිල දී ගත හැකි වූ බව මට හොඳින්ම මතකයි. 

ඩොලරයක මිල රුපියල් 185 සේ සැලකූ විට 2020 අගෝස්තු මාසයේදී ඇමරිකාවේ ලොකු කිකිළි බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 20.47ක්  වී තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2020 අගෝස්තු අවසන් සතියේදී ලංකාවේ සාමාන්‍ය කිකිළි බිත්තරයක සිල්ලර මිල රුපියල් 22.98ක්. එය ඇමරිකාවේ සාමාන්‍ය මිලට වඩා මඳක් වැඩි එහෙත් ආසන්න මිලක්.

ගෙවුණු නොවැම්බර් මාසයේ අවසන් සතියේදී ලංකාවේ සාමාන්‍ය කිකිළි බිත්තරයක සිල්ලර මිල රුපියල් 50.50ක්. එම මිල ඇමරිකාවේ බිත්තරයක මිලෙන් බාගයකටත් වඩා අඩු මිලක්. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, දෙසැම්බර් අවසාන සතියේදී බිත්තරයක සාමාන්‍ය මිල රුපියල් 64.55 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම සතියේදී කීල්ස් සුපිරි වෙළඳසැලකින් මා බිත්තර මිල දී ගත්තේ රුපියල් 68 බැගින්.

පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ කිකිළි බිත්තර නිෂ්පාදකයෙකුට බිත්තර දුසිමක් සඳහා ඩොලර් 3.34ක මිලක් ලැබුණා. 2020 මැදදී මෙම මිල පැවතුණේ ඩොලර් ශත 72කට වඩා පහළින්. බිත්තර දුසිමක් සඳහා ඩොලර් 3.34ක් කියන්නේ බිත්තරයක් රුපියල් 101ක් කියන එකයි.

ලෝකයේ වැඩියෙන්ම බිත්තර නිපදවන රට චීනයයි. දෙවෙනියට වැඩියෙන්ම බිත්තර නිපදවන්නේ ඇමරිකාවයි. මේ දෙරටම බිත්තර අපනයනය කරන රටවල් වුනත්, රට තුළ නිපදවන බිත්තර වැඩි වශයෙන්ම විකිණෙන්නේ රට තුළමයි. ලෝකයේ වැඩියෙන්ම බිත්තර අපනයනය කරන රටවල් වන්නේ පිළිවෙළින් නෙදර්ලන්තය, තුර්කිය සහ පෝලන්තයයි. ඇමරිකාව සිටින්නේ සිවුවන තැන.

ඇමරිකාව තුළ බිත්තර මිල විශාල ලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුව කුරුළු උණක් පැතිරී කිකිළියන් විශාල ලෙස මිය යාමයි. මෙවැනි හේතුවකින් නිෂ්පාදනය පහළ ගොස් සැපයුම අඩු වූ විට, ඉල්ලුම හා සැපයුම තුලනය වන තුරු මිල ඉහළ යනවා. 

ඇමරිකාවේ බිත්තර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබුණත්, ලෝකයේ තෙවන විශාලතම බිත්තර නිෂ්පාදකයා වන ඉන්දියාවේ මේ වන විට බිත්තරයක් විකිණෙන්නේ ඉන්දියානු රුපියල් 6ක පමණ මිලකටයි. එනම්, ශ්‍රී ලංකා රුපියල් 26.50ක පමණ මිලකටයි. 

වෙබ් ලිපිනය: