වෙබ් ලිපිනය:

Showing posts with label මිල පාලනය. Show all posts
Showing posts with label මිල පාලනය. Show all posts

Saturday, January 25, 2025

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද?


ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්.

"අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ. ඊට පස්සේ ඒ වී තොග සහල් කර එළියට දමන එක පාලනය කිරීම මගින් කෘතීම සහල් හිඟයක් හදනවා. ඒ සහල් හිඟය පෙන්වා එහි උදවුවෙන් සහල් මිල වැඩි කරනවා. ඊට පස්සේ දිගින් දිගටම වැඩි මිලට සහල් එළියට දමනවා. නමුත් එහෙම කරන්නේ සැපයුම පාලනය කරමිනුයි. මේ විදිහට සැපයුම පාලනය කිරීම මගින් සහල් හිඟය පෙන්වමින් මිල තව තව වැඩි කරනවා. එසේ කරමින් ලාබ එකතු කර ගන්නවා. ඔය විදිහට මිල ඉහළ මට්ටමක තියාගෙන ඉඳලා ඊළඟ කන්නේ අස්වනු කැපෙන්න කිට්ටු වෙද්දී අර එකතු කරගත් වී මහා පරිමාණයෙන් සහල් කර අඩු මිලට වෙළඳපොළට දැමීම මගින් සහල් මිල බස්සනවා. එහෙම සහල් මිල බස්සලා එහි උදවුවෙන් නැවතත් වී ටික කුණු කොල්ලෙට ගන්නවා."

මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙනවා කියලා විශ්වාස කරන, නමුත් කතාව හරියට පැහැදිලිව ගලපාගන්න අමාරු අයට ඔය විස්තරය කියෙවුවහම "හරියටම හරි! ඕක තමයි වෙන්නේ" කියලා හිතෙයි. මෙය විස්තරාත්මක සහ බැලූ බැල්මටම තර්කානුකූල සේ පෙනෙන කතාවක්. ඔය දේ ඔය විදිහටම වෙනවා කියන එක කෙනෙකුට ඒත්තු ගන්වන්න අපහසු නැහැ. ඒ වගේම, වරින් වර මහ පොළොවේ පෙනෙන සංයුක්ත නිරීක්ෂණ එක්ක මේ කතාව ගලපන්නත් පුළුවන්. 

මෙහි මම ලියා තිබෙන තරම් සංක්ෂිප්තව සහ නිරවුල්ව විස්තර කරන්න අමාරු විය හැකි වුවත්, මෙය කියවන විශාල පිරිසක් වුවද ඇත්තටම සිදු වන දේ ලෙස හිතන්නේ මීට කිට්ටු දෙයක්. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබෙන අයෙකුට හැර වෙනත් අයෙකුට මේ කතාවේ තිබෙන වැරදි හා අඩුපාඩු පැහැදිලි කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ අවබෝධය තිබෙන බොහෝ දෙනෙකුට වුවත්, මේ කතාවේ අවුලක් තිබෙන බව තේරුණත්, අවුල පහසුවෙන් විස්තර කළ හැකියයි මම හිතන්නේ නැහැ. 

ඇත්තටම වෙන්නේ ඔය වගේ දෙයක් කියන නිගමනයට ආවට පස්සේ ප්‍රශ්නය විසඳිය හැකි ක්‍රමය යෝජනා කරන්න අමාරු නැහැ. පළමු පියවර සහල් වලට පාලන මිලක් නියම කිරීම. මේ ප්‍රවාදය විශ්වාස කරන බොහොමයක් අයට අනුව, සහල් වලට පාලන මිලක් නියම කරපු ගමන්ම වී මෝල්හිමියෝ සහල් සැපයුම තව දුරටත් සීමා කරලා සහල් හිඟයක් ඇති කරනවා. ඒකට විසඳුම රජය මැදිහත් වෙලා වී මෝල්හිමියන් සතු වී තොග සහල් කර පාලන මිලට වෙළඳපොලට නිකුත් කරන බවට වග බලා ගැනීම. 

නමුත්, මේ ප්‍රවාදය විශ්වාස කරන අයට අනුවම, ඔය විදිහේ මැදිහත් වීමක් කළාට පස්සේ ඊළඟ කන්නයේදී වී මෝල්හිමියන් විසින් වී මිලදී නොගෙන ඉන්න පුළුවන්. එහෙම වුනොත්, වී ගොවීන්ට තමන්ගේ වී ටික විකුණගන්න බැරි වෙනවා. ඒකටත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි රජය මැදිහත් වී සහතික මිලකට වී ටික මිල දී ගන්න එක. ඒ වැඩේ මේ වෙලාවේ හදිස්සියේ කළ නොහැක්කේ ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් රජය සතුව නැති නිසා. ගබඩා ප්‍රශ්නය විසඳාගත් විට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඊට පස්සේ වී මිල තීරණය කරන්නේ රජය. සහල් මිල තීරණය කරන්නෙත් රජය. 

තව දුරටත් ඉතිරි වන ප්‍රශ්නයක් වන්නේ රටේ සහල් නිෂ්පාදනය රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක තිබීම. මේකටත් විසඳුම් තිබෙනවා. ඒ තමයි දිගුකාලීනව රටේ සහල් නිෂ්පාදනය වැඩි කර ගන්නා අතර, එම ඉලක්කයට යන තුරු හරියටම ඉල්ලුම හා සැපයුම අතර වෙනසට සමාන සහල් ප්‍රමාණයක් පමණක් ආනයනය කිරීම සහ ඒ විදිහට ආනයනය කරන සහල් රජය විසින් නියම කර ඇති පාලන මිලට විකිණීම. දැන් ඒ ප්‍රශ්නයත් විසඳිලා. එකම දේ මේ වැඩේ කරන්න රටේ සහල් පරිභෝජනය සහ සහල් සැපයුම පිළිබඳ දත්ත හරියටම අවශ්‍ය වෙනවා. නැත්නම් වැඩේ වැරදෙන්න පුළුවන්.

මේ සමස්ත විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් කළ යුතු විශාල කාර්ය භාරයක් තියෙනවා. පළමුව, වී ගොවියාගේ පිරිවැය රජය විසින් හරියට ගණන් හදලා, වී ගොවියාට සාධාරණ ලාබයකුත් තියලා වී මිල තීරණය කරන්න වෙනවා. වී ගොවියාගේ ලාබය කොපමණ විය යුතුද කියන එක තීරණය කරන්නේ රජය. ඊළඟට වී එකතු කර ගබඩා කර තබා ගැනීමේ, සහල් කිරීමේ හා බෙදා හැරීමේ පිරිවැය හරියටම නිවැරදිව ගණනය කරන්න වෙනවා. වෙළෙන්දන්ගේ ලාබය කොපමණ විය යුතුද කියන එකත් තීරණය කරන්න වෙනවා. මේ අනුව තමයි සහල් මිල තීරණය කරන්නේ. ඔය සියල්ලම කරන්නේ රජය විසින්. 

ඕකට තමයි සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය කියා කියන්නේ. මේ ක්‍රමය ඇතුළේ රජයට සෘජු සම්බන්ධයක් නැති වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඉන්න පුළුවන්. එහෙම හිටියා කියලා මෙය මධ්‍යගත සැලසුම් ක්‍රමයක් නොවෙන්නේ නැහැ. මොකද ඔය ක්‍රමය ඇතුළේදී වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඇතුළු සියල්ලන්ම ඉන්නේ රජයේ මධ්‍යගත සැලසුම ඇතුළේ. ඒ අය රජය නොවන්නේ නමට පමණයි. 

වී ගොවියාගේ ලාබය තීරණය කරන්නේ රජය. වී මෝල්හිමියාගේ, තොග හා සිල්ලර වෙළෙන්දාගේ, ආනයනකරුවගේ ලාබය තීරණය කරන්නෙත් රජය. ඒ හැමෝම මධ්‍යම සැලසුම් යාන්ත්‍රණයේ දැති රෝද පමණයි. කිසිවෙකුටත් ස්වාධීනව කටයුතු කර තමන්ගේ ලාබ හොයන්න බැහැ. 

ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියා කියන්නේ වෙළඳසැල් වල ගොඩනැගිලි සහ ඒවායේ අයිතිකරුවන් හා සේවකයින් නෙමෙයි. ඒ භෞතික දේවල් වලින් එහාට ගිය සංකල්පයක්. සමුපකාර හෝ රජයටම අයිති ව්‍යාපාර ක්‍රියාත්මකව තිබුණත්, මූලික ලක්ෂණ අනුව රටක තිබෙන ආර්ථික ක්‍රමය ධනවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ වගේම, පෞද්ගලික අංශය විශාල ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින අතරම සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ආර්ථිකය ක්‍රියාත්මක වන මූලික මූලධර්ම මොනවද කියන එකයි.

ඉහත හේතුව නිසාම, ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් පැවතීම සඳහා රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැති වෙන්න අවශ්‍ය නැහැ. එහෙම තැන් ලෝකයේ නැහැ. වැදගත් වෙන්නේ රජය මැදිහත් වෙන්නේ වෙළඳපොළ කාර්යක්ෂමතාවය වැඩි කරන විදිහටද එහෙම නැත්නම් වෙළඳපොළට බාධා වෙන විදිහටද කියන එකයි. 

නැවත මුලට ගියොත්, දුෂ්ඨ වී මෝල්හිමියාගේ කතාවේ එක කොටසක් මේ වෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තමයි වී මෝල්හිමියන් විසින් සහල් තොග සඟවනවා කියන කතාව. ජනතාව අනුරව ගල් ගුහාවට යැවුවේ එහි සිටින බව විශ්වාස කළ ගිණි මකරාව මරන්න. ගල් ගුහාව ඇතුළේ ඔය කියන විදිහේ ගිණි මකරෙක් නැති බව ඩඩ්ලි සිරිසේන වගේ වී මෝල්හිමියන් විසින් දිගින් දිගටම කිවුවා. නමුත් ගල් ගුහාවට ගිහින් නැති මිනිස්සු ඒ කතා විශ්වාස කරන්නේ නැහැ. 

ගල් ගුහාවට ගිහින් නැති අපි වගේ අය ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැහැ කියන්නේ ලෝකයේ ගිණි මකරු කියා ජාතියක් ඉන්න බවට සාක්ෂි නැති නිසා සහ ඇතැම් මූලික දැනුම් අනුව ඒ කියන විදිහේ සත්තු වර්ගයක් සිටිය නොහැකි නිසා. ඒ හැර ගල් ගුහාවට ගිහින් පරීක්ෂා කර බලලා නෙමෙයි. දැන් අනුර ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කියන්නේ ගල් ගුහාව පරීක්ෂා කරලා. ඒ විදිහට පරීක්ෂා කර තහවුරු කරගත්තට පස්සේ ඔහු ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කීමෙන් නොනැවතී ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැත්තේ ඇයි කියන එකත් පැහැදිලි කරනවා.

එක දෙයක් ගැනනම් ජනාධිපති අනුරව විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඒ මහජනයා ඉදිරියට ඇවිත් මේ විදිහට පැහැදිලි කිරීම් කරන එක ගැන. මේක තමයි මහජන දේශපාලනය. සන්නිවේදන හැකියාවන්ගේ සීමාවන් නිසා හෝ හැම දෙයක්ම මහජනයා දැනගත යුතු නැතැයි සිතපු නිසා මීට කලින් රාජ්‍ය නායකයෝ කවුරුවත් ඔය මට්ටමට ගිහින් පැහැදිලි කිරීම් කළේ නැහැ. ඒ අනුව, පැහැදිලි කිරීම් වල මොන තරම් වැරදි හා අඩුපාඩු තිබිය හැකි වුවත්, මෙය ඉතාම හොඳ පූර්වාදර්ශයක්.

අනුර කියන විදිහට වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ. එහෙම හංගන්න තර්කානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔහු එහෙම කිවුවා කියලා මුලින්ම විස්තර කරපු ජනප්‍රිය ප්‍රවාදය අවලංගු වෙන්නේ නැහැ. වී හැංගුවේ නැතත්, කතාවේ විස්තර කෙරෙන ආකාරයට වී කුණු කොල්ලෙට ගැනීම සහ පසුව වැඩි මිලට විකිණීම කරන්න පුළුවන්නේ.

හැබැයි අනුර බිඳ දමන්නේ වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ කියන මතය පමණක් නෙමෙයි. ඔහු එතැනින් එහාට ගිහින් වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලෙට වී මිල දී ගන්නවා කියන මතයත් බිඳ දමනවා. අනුර කියන විදිහට දැන් වෙන්නේ මී මෝල්හිමියන් විසින් "ඕනෑවට වඩා" වැඩි මිලකට වී මිල දී ගන්න එක.

අනුරට අනුව, වී මෝල්හිමියන් විසින් දැන් වී මිල දී ගන්නේ කිලෝව රුපියල් 140ක පමණ මිලකටයි. ඒ මිලට වී අරගෙන කිලෝව රුපියල් 220ට හාල් විකුණන්න බැහැ. රුපියල් 220ට හාල් විකුණන්නනම් රුපියල් 117ට වී මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ වී සහල් කිරීමේ පිරිවැය පිළිබඳ රජයේ හෝ අනුරගේ ඇස්තමේන්තු සහ ආණ්ඩුවේ මධ්‍යගත සැලසුම අනුව අතරමැදියන් විසින් ලබා ගත යුතු ලාබ එකතු කළාට පස්සේ වී සහ සහල් කිලෝවක මිල ගණන් අතර අනුපාතය 1.88 පමණ වෙනවා. මේ අනුපාතය අනුව, රුපියල් 140ට මිල දී ගන්න වී සහල් කර විකුණන්න වෙන්නේ රුපියල් 263ක පමණ මිලකටයි. 

අනුර කියන විදිහට දැන් රතු කැකුළු සහල් විකිණෙන්නේ රුපියල් 280 වැනි මිලකට. වී මෝල්හිමියන් විසින් වී හංගා නැතත්, වී කුණු කොල්ලයට අරගන්නේද නැතත්, ඔවුන් ඕනෑවට වඩා ලාබයක් ලබනවා කියා තව දුරටත් තර්ක කරන්න පුළුවන්. කොහොම වුවත්, ඒ ලාබය කවර හෝ ක්‍රමයකින් "අවශ්‍ය ප්‍රමාණයට" සීමා කළත්, ආණ්ඩුවට අවශ්‍ය මිලට පාරිභෝගිකයාට සහල් ලබා දීමේ හැකියාවක් නැහැ. එවැන්නක් කළ හැක්කේ වී ගොවියාට ගෙවන මිල අඩු කිරීම මගින් පමණයි. පෙනෙන විදිහට අනුර ඉලක්ක කරන මැදිහත්වීම තුළ සිදු වෙන්නෙත් එයයි. නිශ්චිතව සූත්‍රගත කළොත් අතරමැදියාගේ ලාබ සීමා කිරීමෙන් නොනැවතී "වී ගොවියා විසින් උපයන අසාධාරණ ලාබය සීමා කිරීම". ඒ සඳහා රජය සතු වැඩ පිළිවෙලක් තිබෙන බවයි අනුර කියන්නේ.

සහල් වෙළඳපොළේ ඇති වී තිබෙන ප්‍රශ්නය කුමක්ද? මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ කොහොමද? මේ ප්‍රශ්න වලට පිළිතුරුත් එක්ක විවිධ ආර්ථික ක්‍රම ගැන සන්සන්දනයක්ද කරමින් ඊළඟ ලිපියෙන් හමුවෙමු! 

මේ සමඟ පළ කරන පළමු ඡායාරූපයේ තිබෙන්නේ ඊයේ දිනයේදී අපේ ගෙවල් ළඟ තිබෙන වෙළඳසැලකදී ගත් රතු කැකුළු සහල් කොට්ටයක ඡායාරූපයක්. මා රතු කැකුළු ලෝලියෙකු නෙමෙයි. එහෙත් අවශ්‍යනම් එම වෙළඳසැලෙන් අවශ්‍ය පමණ රතු කැකුළු සහල් මිල දී ගන්න පුළුවන්. තවත් ලංකාවේ සහල් වර්ග ගණනාවක් මිල දී ගන්නත් පුළුවන්. ලෝකයේ වෙනත් රටවල නිපදවන වෙනත් සහල් වර්ග විශාල ප්‍රමාණයක් මිල දී ගන්න වගේම පොල් සහ පොල් නිෂ්පාදනත් කිසිදු හිඟයකින් තොරව මිල දී ගන්න පුළුවන්. ගාපු පොල්, පොල් කිරි ටින්, ලෙලි ගැසූ පොල්, ලෙලි සහිත පොල්, කුරුම්බා, කොට්ට පොල්, පොල් වතුර ආදී බොහෝ දේවල් එම වෙළඳසැලේ ඇති තරම් තිබෙනවා. දෙවන ඡායාරූපයේ තිබෙන්නේ ලෙලි ගැසූ පොල් තොගයක්. අපිනම් අවශ්‍ය වූ විට ආහාර පිසින්න භාවිතා කරන්නේ පොල් කිරි ටින් සහ ගාපු පොල්. පොල් ගාන්න මහන්සි වෙනවාට වඩා මේවා භාවිතා කරන එක පහසුයි. රසේ එහෙමට දැනෙන වෙනසකුත් නැහැ. 

අපට අවශ්‍යනම් ගාපු පොල් වලින් සම්බෝල හදාගන්න පුළුවන්. පොල් මිල දී ගෙන පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. ලෙලි සහිත පොල් මිල දී ගෙන ලෙලි ගහලා, පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. අපට ප්‍රශ්නයක් නැත්නම් සහ අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, පොල් නාස්ති වෙනවද නැද්ද කියන එක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මේ හාල් පොල් හැම දෙයක්ම දුර කතර ගෙවා අපේ අත ලඟට එන්නේ රජයේ කිසිදු මැදිහත් වීමක් නැතිවයි. ඒ තමයි වෙළඳපොළ ක්‍රමයේ අපූර්වත්වය! 


Thursday, July 27, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පස්වන කොටස)


ස්වභාවය අනුවම බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. බිත්තර සඳහා කුකුළන් හදන එක ලෝකයේ ඕනෑම රටක කළ හැකියි. ඒ වගේම, සුළු පරිමාණයෙන් මේ වැඩේ පටන් ගැනීම සඳහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් බිත්තර ගබඩා කර තබා ගැනීම හා ප්‍රවාහනය බිත්තර නිපදවීමට සාපේක්ෂව වියදම් අධික හා වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය කටයුත්තක්. මේ හේතු නිසා, දේශ සීමා ඉක්මවා බිත්තර වෙළඳාම් වන නමුත්, එම පරිමාව රටවල් තුළම සිදුවන බිත්තර නිෂ්පාදනයට සාපේක්ෂව ගොඩක්ම විශාල නැහැ.

ඉහත කතාව ලංකාවටද එලෙසම වලංගුයි. ලංකාවේ බිත්තර කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. පසුගිය වසර ගණනාවක් මුළුල්ලේම ලංකාවට බිත්තර ආනයනය කර තිබෙන්නේ නොගිනිය හැකි තරම් සුළු වශයෙන්. ඊට සාපේක්ෂව යම් තරමකින් හෝ ලංකාවෙන් බිත්තර අපනයනය කර තිබෙනවා. 

ලංකාවේ බිත්තර අපනයන ආදායම (ඩොලර් මිලියන)

2013 - 2.94

2014 - 3.91

2015 - 1.61

2016 - 1.05

2017 - 5.68

2018 - 5.62

2019 - 2.37

2020 - 1.16

2021 - 1.77

ලංකාවේ බිත්තර ආනයන වියදම (ඩොලර් මිලියන)

2013 - 0.00

2014 - 0.00

2015 - 0.03

2016 - 0.26

2017 - 0.02

2018 - 1.00

2019 - 0.32

2020 - 0.05

2021 - 0.00

ඉහත දත්ත වලින් පෙනෙන්නේ ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට ස්වයංපෝෂිත මට්ටමක පැවතී ඇති බවයි. මගේ අදහස වන්නේ මෙය ආනයන පාලන හෝ වෙනත් සීමාවන් හරහා ඇති කරගත් තත්ත්වයක් නොවූ බවයි. පසුගිය කාලය මුළුල්ලේම ලංකාවේ බිත්තර මිල පැවතුණේ ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී මට්ටමකයි. යම් තරමකින් හෝ අපනයන කරන්නට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. අඩු මිලකට රට ඇතුළේම බිත්තර නිපදවා ගත හැකි නම් ආනයන සඳහා විවෘත වීම බාධාවක් වන්නේ නැහැ. අනෙක් අතට ලොකුවට අපනයන සිදු කළ හැකි මට්ටමේ නිෂ්පාදනයක් රට ඇතුළේ සිදු වී නැහැ. 

මේ වෙද්දී මේ සමතුලිතතාවය වෙනස් වී ඇති බව අපි දන්නවා. දැන් ලංකාවේ බිත්තරයක මිල ඇමරිකාවේ එම මිලටද වඩා ගොඩක් වැඩියි. මේ විදිහට මිල ඉහළ යන්නනම් එක්කෝ ඉල්ලුම වැඩි විය යුතුයි. එසේ නැත්නම් සැපයුම අඩු වී තිබිය යුතුයි. බොහෝ දෙනෙකුගේ අදහස දෙවැන්න බවයි. 

දත්ත මගින් තහවුරු කිරීමේ හැකියාවක් නැතත්, මගේ අදහස වන්නේ පසුගිය කාලය තුළ ලංකාවේ බිත්තර ඉල්ලුමේද යම් හෝ වැඩි වීමක් සිදු වී ඇති බවයි. ආදායමට සාපේක්ෂව බඩු මිල සැලකිය යුතු ලෙස ඉහළ යද්දී මස්, මාළු මිල දී ගැනීම සීමා කරන්නට සිදුවන බොහෝ දෙනෙකුට ඒ වෙනුවෙන් බිත්තර ආදේශ කරන්නට සිදු වී ඇති බව මේ හා අදාළ මගේ කල්පිතයයි. කෙසේ වුවද, සැපයුම සීමා වී ඇති බව වඩා පහසුවෙන් පෙන්වා දිය හැකියි. 

පහත තිබෙන්නේ පසුගිය වසර වල ලංකාවේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය පහත වැටී ඇති ආකාරයයි.

2017 - 172,739,190

2018 - 164,350,980

2019 - 173,684,230

2020 - 155,807,870

2021 - 162,809,310

2022 - 154,049,817

බිත්තරයක මිල ඩොලර් ශත 10ක් සේ සැලකුවොත් බිත්තර මිලියන 172.7ක් කියන්නේ ඩොලර් මිලියන 17.27ක්. 2017 වසරේදී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 5.66ක බිත්තර අපනයනය කර තිබෙනවා. ඒ කියන්නේ බිත්තර මිලියන 56.6ක් පමණ. මාසයකටනම් සාමාන්‍ය වශයෙන් බිත්තර මිලියන 4.7ක් පමණ. ඒ කියන්නේ රටේ නිපදවූ බිත්තර ප්‍රමාණයෙන් 3%කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතිරි 97%ම විකිණී තිබෙන්නේ රට තුළයි. මාසයකට බිත්තර මිලියන 168ක පමණ දේශීය බිත්තර ඉල්ලුමක්. 

ඉහත බිත්තර ඉල්ලුම මේ වන විට අඩු වී මිස වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. 2019න් පසු වසර වලදී රටේ බිත්තර පරිභෝජනය මේ මට්ටමට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබෙන්නේ එක්කෝ බිත්තර ආනයනය කිසියම් ආකාරයකින් සීමා කෙරුණු නිසා. එසේ නැත්නම් ආනයනික බිත්තර වල මිල දේශීය බිත්තර මිලට වඩා ඉහළින් පැවතුණු නිසා. එනම් ලංකාවේ මිලට පිටරටින් බිත්තර ගෙන්විය නොහැකි වූ නිසා. 

පසුගිය තෙවසර තුළ බිත්තර නිෂ්පාදනය පහත වැටෙන්නට හේතු හඳුනාගැනීම අපහසු නැහැ. පහත තිබෙන්නේ 2018 වසරෙන් පසුව ලංකාවේ බිත්තර දමන ෆාම් කිකිලියන් ගණන ක්‍රමයෙන් පහත වැටී ඇති ආකාරයයි. මෙම කාලය තුළ මිලියනයකට වඩා වැඩි ගම් කිකිළියන් ප්‍රමාණයේ විශාල වෙනසක් සිදු වී නැති අතර යම් වැඩිවීමක් දැකිය හැකියි.

2018 - 8,054,520

2019 - 6,601,780

2020 - 6,221,620

2021 - 5,879,190

2022 - 5,617,100

කවර හෝ හේතු නිසා මෙම කර්මාන්තය ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබෙන බව පැහැදිලි වන අතර පරිහාණිය ආරම්භ වී තිබෙන්නේ ආර්ථික අර්බුදයට, කෝවිඩ් වසංගතයට මෙන්ම 2020 ආණ්ඩු මාරුවටද පෙරයි. මෙයට එක් හේතුවක් ලෙස බිත්තර නිෂ්පාදකයින් කුකුළු මස් කර්මාන්තය වෙත විතැන් වීම හඳුනා ගත හැකියි. 2018දී 9,450,240ක මට්ටමේ වූ මස් පිණිස හදන කුකුළන් ප්‍රමාණය 2022 වන විට 13,000,140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවැනි විතැන් වීමකින් පෙන්නුම් කරන්නේ බිත්තර කර්මාන්තයේ ලාබ වලට සාපේක්ෂව කුකුළු මස් කර්මාන්තය වඩා ලාබදායී බවයි. 

රසායනික පොහොර තහනම, ඒ හේතුව නිසා බඩ ඉරිඟු අස්වැන්න පහළ යාම, කුකුළු කෑම මිල ඉහළ යාම ආදී හේතු බිත්තර සඳහා කුකුළන් හැදීම අධෛර්යමත් වීමට හේතු ලෙස ඉදිරිපත්ව තිබෙනවා. තර්කානුකූලව මෙම හේතු පිළිගත හැකි වුවත්, ඊට පෙර සිටම සිදුව ඇති යම් දෙයක ලකුණුද මෙහි පෙනෙන්නට තිබෙනවා. ඇතැම් විට තරඟකාරිත්වය හා සැපයුම ඉහළ යාම හමුවේ බිත්තර මිල පහත වැටීම තුළින්ම නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීමට හේතු බිහිවුණා වෙන්න පුළුවන්.

කෙසේ වුවත් බිත්තර මිල විශාල ලෙස ඉහළ යාම සාපේක්ෂව මෑතකාලීන සංසිද්ධියක්. පහත තිබෙන්නේ පසුගිය වසර වල ජනවාරි හා ජූලි මුල් සති වලදී පැවති බිත්තරයක සාමාන්‍ය මිලයි.

2017 ජනවාරි - රුපියල් 14.53

2017 ජූලි - රුපියල් 14.43

2018 ජනවාරි - රුපියල් 13.79

2018 ජූලි - රුපියල් 17.52

2019 ජනවාරි - රුපියල් 20.81

2019 ජූලි - රුපියල් 18.94

2020 ජනවාරි - රුපියල් 20.41

2020 ජූලි - රුපියල් 20.55

2021 ජනවාරි - රුපියල් 17.50

2021 ජූලි - රුපියල් 19.72

2022 ජනවාරි - රුපියල් 26.14

2022 ජූලි - රුපියල් 42.55

2023 ජනවාරි - රුපියල් 61.64

2023 ජූලි - රුපියල් 55.50

මම හිතන විදිහට 2017-2018 වගේ අවුරුදු වලදී වෙන්නේ දේශීය බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ යාම නිසා මිල ඕනෑවටත් වඩා පහත වැටීමක්. මේ තත්ත්වය තුළ නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් විතැන් වෙන්න පටන් ගන්නවා. (හොයා ගන්න පුළුවන් සීමිත, ඒ වගේම ගොඩක්ම විශ්වාසනීය නැති දත්ත මත පදනම්ව කරන මේ වගේ විග්‍රහයන් වැරදෙන්න ඉඩ තිබෙන බව අමතක කරන්නත් එපා!). ඒ වැඩේ දිගටම වෙනවා. මේක වෙන්නේ ආර්ථික අර්බුදය, වසංගතය හා ආණ්ඩු මාරුව එන්න කලින්. හැබැයි මේ විදිහට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වෙන නිෂ්පාදකයෝ නිකම් ඉන්නේ නැහැ. ඒ වෙනුවට කුකුළු මස් හදනවා. (මේ කියන්නේ බිත්තර දමන කිකිළියන් මසට විකිණීමක් ගැන නෙමෙයි. මාරු වෙන අතර යම් අවස්ථාවක එවැන්නක්ද කරන්න ඇති.)

මේ විදිහේ මිල කඩා වැටීම් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටක කෘෂිකර්මය ස්වයංපෝෂිත ආර්ථික ආකෘතියක් ඇතුළේ ක්‍රියාත්මක වෙද්දී ඇති වන ප්‍රශ්නයක්. රටේ වී/ සහල් නිෂ්පාදනය අදාළව දැකිය හැක්කේත් හරියටම මේ වගේ තත්ත්වයක්. කාලගුණ තත්ත්වයන් හා වෙනත් සාධක මත නිෂ්පාදනය විචලනය වන නිසා සැපයුම අඩු වෙන වෙලාවල් වලදීත් ඉල්ලුම සපුරන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් තිබුනොත්. නමුත්, නිෂ්පාදන ධාරිතාව ඉල්ලුමට වඩා ටිකක් වැඩියෙන් පවත්වා ගනිද්දී කාලගුණ තත්ත්වයන් ඇතුළු බාහිර සාධක මත සැපයුම ඉහළ ගිය විට මිල විශාල ලෙස පහත වැටෙනවා. ඒක නිෂ්පාදකයින්ට දරාගන්න අමාරුයි. 

මේ ප්‍රශ්නය තීව්‍ර වන්නේ ලංකාවේ වී වගා කර්මාන්තයේ වගේම බිත්තර නිෂ්පාදනයේත් නියැලී ඉන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකයෝ වීම නිසා. ඔවුන්ට ලොකු සමාගමකට මෙන් වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේ වෘත්තීය හැකියාවක් නැහැ. කළ හැක්කේ පාඩු වෙන විට කර්මාන්තයෙන් ඉවත් වීම සහ වෙනත් අයගේ ලාබ දකින විට කර්මාන්තයට ඇතුළු වීම පමණයි. කර්මාන්තය තිබෙන්නේ තරමක් ලොකු නිෂ්පාදකයින් කිහිප දෙනෙකු අතේනම් ඔවුන් බොහෝ විට සැලසුම්සහගතව නිෂ්පාදනය සීමා කර මිල පහත වැටීම පාලනය කර ගන්නවා. එසේ නැත්නම් නිෂ්පාදනය එලෙසම තිබියදී සැපයුම පාලනය කර මිල පවත්වා ගන්නවා. ඒක කරන්න ගබඩා පහසුකම් වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි. කුඩා නිෂ්පාදකයින්ට එවැනි ආයෝජන කළ නොහැකියි.

නිෂ්පාදකයින් අතින් මිල නියාමනය සිදු නොවන විට එය සිදු විය හැක්කේ අතරමැදියන් අතින්. ඔවුන්ට මිල අඩු වෙද්දී අදාළ භාණ්ඩය මිල දී ගෙන මිල වැඩි වෙද්දී වෙළදපොළට නිකුත් කිරීම මගින් ලාබයක් ගන්න පුළුවන්. මෙවැනි අතරමැදියන්ගෙන් නිෂ්පාදකයින්ට වගේම පාරිභෝගිකයින්ටත් විශාල සේවයක් සැලසෙනවා (නමුත් අතරමැදියන් මේ වැඩේ කරන්නේ ලාබ හොයන්න මිසක් කාටවත් සේවයක් කරන්න නෙමෙයි. සේවය සිදු වෙන්නේ ඒ විදිහට ලාබ හෙවීම තුළයි.)

ලංකාවේ වී කර්මාන්තය තුළ මේ වැඩේ වෙනවා. නමුත් බිත්තර කර්මාන්තය තුළ එවැන්නක් වෙන්නේ නැහැ. එයට හේතුව බිත්තර ගබඩා කර තබා ගැනීමේ පිරිවැය වඩා අධික වීම. බිත්තර ගබඩා කර තබා ගැනීම සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් වැනි මූලික පිරිවැය මෙන්ම විදුලි බලය වැනි විචල්‍ය පිරිවැයද ගොඩක් වැඩියි. එවැනි ආයෝජනයක් කර ලාබ ලැබිය හැකි තරමේ මිල විචලනයන් සිදු නොවනවා විය හැකියි. 

බිත්තර අපනයනය හරියකට සිදු විය හැක්කේ ඔය ආකාරයෙන් බිත්තර ගබඩා කරගෙන පසුව විකුණන අතරමැදියෝ ටිකක් බිහිවීමෙන් පසුව පමණයි. එවැන්නක් වෙන තුරු, රටේ බිත්තර නිෂ්පාදනය වැඩි වුනා කියා, කුඩා නිෂ්පාදකයින්ට එම බිත්තර අපනයනය කිරීමේ ධාරිතාවක් නැහැ. ඒ නිසා වෙන්නේ දේශීය වෙළඳපොළේ බිත්තර ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වී මිල පහත වැටෙන එකයි. එහිදී නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඉවත් වී, සැපයුම පහළ ගොස්, මිල ඉහළ යනවා. අනෙක් අතට සැපයුම් කම්පනයක් ආපු ගමන් මිල ඉහළ යනවා. මොකද අඩු වූ සැපයුම සැපිරිය හැකි අතරමැදි ගබඩාකරුවෝ නැහැ. 

ලංකාවේ බිත්තර මිල පහළ යද්දී පහසුවෙන් බිත්තර අපනයනය කරන්න බැරි වුනත්, මිල ඉහළ යද්දී බිත්තර ආනයනය කරන එක අපහසු නැහැ. මෙය ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටකට තිබෙන වාසියක්. ඇමරිකාවට හෝ ඉන්දියාවට මේ වාසිය නැහැ. මොකද රටේ නිෂ්පාදනය කඩා වැටුනොත් ඒ සඳහා ආදේශ විය හැකි ප්‍රමාණවත් බාහිර වෙළදපොළක් නැහැ. මේ වාසිය තිබෙන්නේ රටේ පාරිභෝගිකයින්ට. නිෂ්පාදකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය අවාසියක්.

කුඩා ආර්ථිකයක් තිබෙන රටක නිෂ්පාදනයේ සිදුවෙන විචලනයන් නිසා සිදුවන මිල විචලනයන් සීමා කරගත හැකි හොඳම ක්‍රමය හැකි පමණ විවෘත වීම. සංවෘත ආර්ථික ආකෘතියකදී මෙන් නොව, මෙහිදී නිෂ්පාදනයේ ඉලක්කය දේශීය වෙළඳපොළ නෙමෙයි. ඒ නිසා, ලංකාව වගේ රටක පැත්තෙන් බැලූ විට ඉල්ලුම සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. ඒ නිසාම, ඉල්ලුමට වඩා සැපයුම වැඩි වී මිල ඕනෑවට වඩා පහළ යාමක් නැහැ. සැපයුම අඩු වූ විටක පහසුවෙන්ම අපනයන අඩු කර හෝ අපනයන කරන අතරම ආනයනද කර අඩුව පුරවා ගන්න පුළුවන්. මෙය සිදු වන්නේ නිෂ්පාදකයින්ට ඉහළින් අතරමැදියන් ගොඩ නැගෙන තරමටයි.

ඉහත කතා කළේ කර්මාන්තය හා අදාළ දිගුකාලීන තත්ත්වයන් ගැන. මෙහි කතා කළ ප්‍රශ්න හමුවේ වුවත්, 2019 වන විටද ලංකාවේ බිත්තර වෙළඳපොළේ කැපී පෙනෙන අවුලක් නැහැ. සැපයුම වැඩි වීම නිසා 2017-2018 පමණ කාලයේදී මිල පහත වැටීම වෙළඳපොළ තුළම විසඳී තිබෙනවා. ඒ, බිත්තර නිෂ්පාදකයින් මස් නිෂ්පාදනය වෙත විතැන් වීම මගින්. අමතර නිෂ්පාදනය අපනයනය කළ හැකි වූවානම් එය වඩා හොඳ තත්ත්වයක් වුවත්, වෙනත් ක්‍රමයකින් හෝ ප්‍රශ්නය විසඳී තිබෙනවා. ඇතැම් විට, ඩොලරයක මිල මීට වඩා උඩින් තිබුණානම් විසඳුම වෙනස් විය හැකිව තිබුණා.

රටේ සාමාන්‍ය ආදායම් මට්ටම ක්‍රමයෙන් ඉහළ යද්දී බිත්තර ඉල්ලුම ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගියා වෙන්න පුළුවන්. රට පුරා හමා ගිය සංස්කෘතික රැළි නිසා යම් තරමකින් හෝ වෙනත් මස් වර්ග වෙනුවට කුකුළු මස් ආදේශ වීමකුත් වෙන්න ඇති. එවැනි තත්ත්වයක් හමුවේ බිත්තර නිපදවා අපනයනය කරන්න මහන්සි වීමට සාපේක්ෂව රට ඇතුළේම තිබෙන කුකුළු මස් ඉල්ලුම සපුරන එක වඩා වාසිදායක තේරීමක්.

ඔය සියලුම තත්ත්වයන් එක්ක, 2021දී පෙර වසරට සාපේක්ෂව බිත්තර මිල පහළ යනවා. 2022 ජනවාරි වන විට බිත්තරයක මිල රුපියල් 26.14ක්. එම වසරේ ජූලි මාසය වන විට මෙම මිල රුපියල් 42.55 දක්වා ඉහළ යනවා. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියෙද්දී රුපියල් 26.14ක් කියන්නේ ඩොලර් ශත 13ක්. ඩොලරය රුපියල් 360 වූ විට එයම රුපියල් 46.80ක් වෙනවා. ඒ වගේම, ඔය මාස හයක කාලය අතරතුර රටේ සාමාන්‍ය මිල මට්ටම (කොළඹ පාරිභෝගික මිල දර්ශකය) 44%කින් ඉහළ යාම සැලකුවොත් බිත්තරයක් රුපියල් 38ක් පමණ විය යුතුයි. මෙම ඉහළ යාම් වලට සාපේක්ෂව බිත්තරයක මිල රුපියල් 42.55ක් වීම ඉතාම සාමාන්‍ය දෙයක් මිසක් අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව සැලකිය යුතු මිල වැඩි වීමක් නෙමෙයි. මිල එවැනි මට්ටමකට නොගියේනම් නිෂ්පාදකයින්ට පවතින්න අසීරු වෙනවා. 

මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් 44ක පාලන මිලක් පනවන්න ඇත්තේ ඔය වගේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන විය යුතුයි. නමුත්, ඒ වන විට බිත්තරයක වෙළඳපොළ මිල රුපියල් 61.64ක්. මෙම මිල ඩොලරයක මිල ඉහළ යාම මෙන්ම රටේ පැවති උද්ධමනයේ බලපෑමද ඉක්මවූ මිල ඉහළ යාමක්. එයට හේතුව කුමක්ද? 

මිල ඉහළ යාමට හේතුවක් ලෙස ඉදිරිපත් වී තිබෙන ප්‍රධාන සාධකයක් වන්නේ බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා ඊට අනුරූපව මිල ඉහළ යාමයි. එය එසේ විය හැකියි. එහෙත්, අදාළ දත්ත සොයා ගත නොහැකි නිසා විග්‍රහයක් කළ නොහැකියි. ඉහත දත්ත අනුව, 2018-2022 කාලය අතරතුර රටේ සිටි බිත්තර දමන කිකිළියන් ප්‍රමාණය 30%කින් අඩු වී තිබෙනවා. මෙය ක්‍රමික අඩුවීමක් මිසක් එකවර සිදු වූ අඩුවීමක් නෙමෙයි. 2023දී මෙම ප්‍රමාණය තවත් අඩුවුනා විය හැකියි. එය පෙර වසර වල වූ අඩුවීමේම දිගුවක්ද නැත්නම් ඊට වඩා වැඩි අමතර අඩුවීමක්ද යන්න හරියටම දැනගන්න වෙන්න දත්ත ඇති විටෙක පමණයි.

පෝර සහනාධාරය ඉවත් වීම කුකුළු ආහාර වල මිල ඉහළ යාම කෙරෙහි දිගුකාලීනව බලපෑවා වෙන්න පුළුවන්. එය එසේනම්, මෙය ඉදිරියේදී ආපසු නොහැරෙන තත්ත්වයක්. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ යාම නිෂ්පාදකයින්ගේ මූල්‍ය පිරිවැය ඉහළ දැම්මා විය යුතුයි. එයනම්, නැවත ආපසු හැරෙන තාවකාලික තත්ත්වයක්. ඒ වගේම, වසංගත සමයේදී හා ඉන්පසු පැවති අර්බුද සමයේදී සැපයුම අඩු වුවද ඊට අනුරූපව ඉල්ලුමද අඩු වූ බව සිතිය හැකියි. වසංගත සමයේදී ලොව පුරා දැකිය හැකි වූයේ මෙවැනි තත්ත්වයක්. ඉල්ලුම හා සැපයුම යන දෙකම අඩු වෙද්දී මිල ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය කෙමෙන් ස්ථාවර වෙද්දී කලින් පහළ ගිය බිත්තර ඉල්ලුමද නැවත පෙර මට්ටමට එනවා වෙන්න පුළුවන්. ඊට අනුරූපව සැපයුම වැඩි නොවුවහොත් මිල ඉහළ යනවා. ඉල්ලුම වෙනස් වන තරම් හදිසියෙන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. ලාබ දැක කර්මාන්තයට පිවිසෙන්නට වගේම පාඩු හමුවේ කර්මාන්තයේ ඉවත් වීමටද යම් කාලයක් ගත වෙනවා. 

ජනවාරි මාසයේදී එක පැත්තකින් බිත්තර ආනයනය වාරණය කරන අතර අනෙක් පැත්තෙන් මිල පාලනය කිරීම ඉතාම අදූරදර්ශී ක්‍රියාවක්. විශේෂයෙන්ම එය කළ නිශ්චිත ආකාරය. බිත්තර මිල ඉහළ මට්ටමක තිබියදී ආනයන වලට ඉඩ ලැබුණානම්, නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීම සිදු වෙද්දී වුවද, පාරිභෝගිකයින්ට අඩු මිලට බිත්තර ලබා ගැනීමට ඉඩ ලැබෙනවා. නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය කෙසේ වෙතත් පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, කළ දෙයින් නිෂ්පාදකයින්ගේ ප්‍රශ්නය හෝ පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳුනේ නැහැ.

බිත්තර මිල ඉහළ යාම හරහා සිදු වුනේ බිත්තර නිෂ්පාදකයින්ට කර්මාන්තයට පිවිසෙන්නට ආරාධනා කරමින් වෙළඳපොළ විසින් සංඥාවක් නිකුත් කිරීමයි. මිල දිගටම ඉහළ මට්ටමක පැවතියේනම් අලුත් නිෂ්පාදකයින් කර්මාන්තයට ආකර්ෂණය වී රටේ බිත්තර නිෂ්පාදනය ඉහළ යනවා. එහිදී නැවත මිල අඩු වෙනවා. එහෙත්, මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. වසරක පමණ කාලයක් විය හැකියි. මිල පාලනය නිසා මෙය සිදු වුනේ නැහැ. ඒ නිසා, සැපයුම ඉහළ නොගොස් ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය තීව්‍ර වුනා. අවසාන වශයෙන් ප්‍රායෝගිකව පාලන මිල පවත්වා ගත නොහැකි වුනා. 

ඒ වගේම, මිල පාලනයක් සිදු නොවුනානම්, ඉහළ මිල යටතේ වුවද ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල පාලනයක් පැවතියද එය දැඩිව ක්‍රියාත්මක නොවූ නිසා රටේ විශාල බිත්තර හිඟයක් ඇති වී නැහැ. මිල පාලනය හමුවේ වුවද බොහෝ දුරට ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා විය හැකියි. මිල පාලනය නිසා බොහෝ දුරට සිදු වුනේ කර්මාන්තයට අලුත් නිෂ්පාදකයින් ඇතුළු වීම අධෛර්යමත් වීම හා ඒ මගින් බිත්තර මිල පහළ යාමේ ස්වභාවික යාන්ත්‍රණයට බාධා පමුණුවනු ලැබීමයි. කළ යුතුව තිබුණේ යම් පාලනයක් ඇතිව බිත්තර ආනයනයට ඉඩ දීමයි. එසේ කළේනම් ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මිල වැඩි වීම පමණක් පාලනය කරමින්, පිරිවැය ඉහළ යාමේ බලපෑමෙන් නිෂ්පාදකයින් ආරක්ෂා කළ හැකිව තිබුණා.

දැන් එක වර ක්ෂණිකව සීමාවකින් තොරව බිත්තර ආනයනයට ඉඩ දීමෙන් තවත් හානි සිදු වෙන්න පුළුවන්. මේ වෙලාවේ ලංකාවේ බිත්තරයක මිල රුපියල් 55ක් පමණ. ඇමරිකාවෙන් වුවද බිත්තර ආනයනය කර රුපියල් 35ක පමණ මුදලකට විකිණිය හැකි විය හැකි බව මගේ අදහසයි. මේ අයුරින් රටේ වෙළඳපොළ ලෝකයට විවෘත කිරීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුවත්, කාලයක් තිස්සේ වෙළඳපොළ ලෝකයට වසා ගෙන සිට එක වර ස්විච් එකක් දැම්මාක් මෙන් විවෘත කළ විට සිදු වෙන්නේ එය සැලසුම්සහගතව කරන විට සිදු වන දෙයම නෙමෙයි.

පසුගිය වසරේ දත්ත අනුව වුවද රටේ සාමාන්‍ය මාසික බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 154ක්. බිත්තරයක් ඩොලර් ශත 10 සේ සැලකුවොත් (ලංකාවේ දැන් මිල අමතක කර) ඩොලර් මිලියන 15.4ක්. වසරකටනම් ඩොලර් මිලියන 185ක් පමණ. මෙය 2019 වසරේදී පැවති ඩොලර් මිලියන 209ක දේශීය බිත්තර කර්මාන්තයට වඩා කුඩා වුවත් අඩුව 12%කට වඩා අඩු නැහැ. රටේ බිත්තර ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම අඩුව 12%කට, එනම් ඩොලර් මිලියන 24කට වඩා නොවැඩි අඩුවක්. 

කෙසේ වුවද, 2019 යනු බිත්තර මිල අඩු වූ වසරක්. ඒ අනුව, ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් පැවති සේ සැලකිය හැකි වසරක්. දැන් පවතින තත්ත්වයන් තුළ ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් වේනම් එම පරතරය 12%කට වඩා අඩු පරතරයක් විය යුතුයි. එසේ නොවන්නේනම්, රටේ විශාල බිත්තර හිඟයක් පැවතිය යුතුයි. ඩොලර් මිලියන 185ක පමණ බිත්තර කර්මාන්තයක් තවමත් රටේ තිබෙනවා. 

දැන් පවතින තත්ත්වයන් තුළ බිත්තර ආනයනයට ඉඩ දීමෙන් දැනටත් ඉතිරිව තිබෙන ඩොලර් මිලියන 185ක බිත්තර කර්මාන්තය මුළුමනින්ම විනාශ වී යයිද? ලෝක බිත්තර කර්මාන්තය එක්ක ගත්තහම (දැනට රටේ බිත්තර හිඟය 8%ක් සේ සලකා) ඩොලර් මිලියන 200ක වගේ බිත්තර ප්‍රමාණයක් පහසුවෙන් රටට එන්න බැරිකමක් නැතත්, මේ ප්‍රමාණය පොඩි ප්‍රමාණයකුත් නෙමෙයි. උදාහරණයක් විදිහට 2021 වසරේදී ඉන්දියාවේ මුළු බිත්තර අපනයන ආදායම ඩොලර් මිලියන 31.1ක්. එම වසරේදී ඇමරිකාවේ බිත්තර අපනයන ආදායම වුනත් ඩොලර් මිලියන 596ක් පමණයි. ඩොලර් මිලියන 200ක් කියන්නේ ලෝක බිත්තර වෙළඳාමෙන් 4%ක්. ඒ වගේ බිත්තර ප්‍රමාණයක් ලංකාව එක පාරටම ආනයනය කළොත් ලෝක බිත්තර මිලේ කම්පනයක් ඇති වෙනවා. මිල ඉහළ යනවා. ඒ නිසාම, බිත්තර ආනයනයෙන් කර්මාන්තයට යම් හානියක් විය හැකි වුවත් ලංකාවේ බිත්තර කර්මාන්තය මුළුමනින්ම කඩා වැටීමේ ඉඩක් නැහැ. 

ලෝකය පුරා ඉන්න බිත්තර නිෂ්පාදකයෝ තමන්ගේ බිත්තර අලෙවි කරන සැපයුම් දාම තිබෙනවා. මේ ගොඩක් අය කලින්ම ගිවිසුම්ගත වෙලයි ඉන්නේ. ඒ නිසා, ලංකාවට හදිසියේ, අඩු මිලට බිත්තර ආනයනය කළ හැකි යම් සීමාවක් තිබෙනවා. ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙද්දී බිත්තර වෙනුවෙන් ගෙවන්න වෙන මිලත් ක්‍රමයෙන් ඉහළ යනවා. 

ඔය තත්ත්වයන් එක්ක ලංකාවේ බිත්තර අවශ්‍යතාවයෙන් 10%ක් පමණ ආනයනය කළත්, ඉල්ලුමෙන් ඉතිරි 90% පිරිමැහෙන්නේ දේශීය නිෂ්පාදන වලින්. ඒ නිසා, අවසාන වශයෙන් රටේ බිත්තර මිල තීරණය වෙන්නේ දේශීය බිත්තර නිෂ්පාදකයාගේ පිරිවැය මත. එම මිල දැන් මිලට වඩා ටිකක් අඩු මිලක් විය හැකි වුවත්, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ බිත්තර මිල තරමට ලංකාවේ බිත්තර මිල පහළ යන එකක් නැහැ. ඒ නිසා, මේ කරපු විවෘත කිරීමෙන් වෙන්නේ සීනි බද්ද ඉවත් කරපු අවස්ථාවේදී මෙන් යම් බිත්තර ආනයනකරුවන් පිරිසකට ක්ෂණික, විශාල ලාබයක් ලබා ගන්න අවස්ථාව ලැබෙන එක. 

ආනයනකරුවෝ ලාබ ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් ප්‍රශ්නය මේ වගේ ලාබ සාමාන්‍ය ලාබ නෙමෙයි. රාජ්‍ය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන ලාබ. මේක අදාළ ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ වෙළෙන්දෝ එකතු වී කරපු "හොරකමක්" කියා මම කියන්නේ නැහැ. නමුත් මේ වගේ තීරණ ගනිද්දී කාට හෝ ඒ වගේ චෝදනාවක් කරන්න ඉඩක් ඉතිරි වෙනවා. ලබන සතියේ කවුරු හෝ කෙනෙක් එකපාරටම විශාල බිත්තර ප්‍රමාණයක් ආනයනය කළොත්, එහෙම කළේ තමන්ගේ මොනවා හෝ ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රයෝජනයට අරගෙනම වුනත්, අදාළ ප්‍රතිපත්ති තීරණය ගැන කලින් දැනගත්තාද කියන සැකය මතු වෙන එක වලක්වන්න බැහැ.

සීනි බද්ද ඉවත් කළ වෙලාවේ වගේ බිත්තර බද්ද ඉවත් කළාට පස්සෙත් බිත්තර මිල අඩු වුනේ නැත්නම් කරන්නේ කුමක්ද? ප්‍රායෝගිකව කරන්න වෙන්නේ නැවත බද්ද යම් මට්ටමක් දක්වා වැඩි කරන එක. එවිට අස්සයා පැනලා ගිහින් ඉවරයි. 

මේ බදු ඉවත් කිරීම සහ ඒ මගින් ආනයන වලට ඉඩ දිය යුතුව තිබුණු හරි ක්‍රමය කුමක්ද? මුලින්ම කළ යුතුව තිබුණේ බිත්තර බද්ද එලෙසම තිබියදී බිත්තර නිෂ්පාදන මත වූ බද්ද ඉවත් කරන එක. ඒ බද්ද තවමත් ඉවත් කරලා නැහැ. එහෙම කළානම් අමුද්‍රව්‍යයක් ලෙස තොග වශයෙන් බිත්තර මිල දී ගන්න මහා පරිමාණ ගැනුම්කරුවන්ට අඩු මිලට ආනයනික බිත්තර සාරු ආදිය ලැබෙනවා. ඒ අය දේශීය නිෂ්පාදකයින්ගෙන් බිත්තර මිල දී ගන්න එක නවතිනවා. එවිට ඒ බිත්තර ටික වෙළඳපොළට ඇවිත් බොහෝ විට සිල්ලර වෙළඳපොළේ බිත්තර ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඊට පස්සෙත් මිල වැඩිනම් ඒ පිරිවැය නිසා ඉහළ ගිය මිල. බිත්තර ආනයනය කළා කියලා ඒ මිල තවත් අඩු වෙන්නේ නැහැ. නිෂ්පාදකයෝ ටිකෙන් ටික කර්මාන්තයෙන් ඉවත් වෙන එක පමණයි වෙන්නේ.

හැබැයි බිත්තර ආනයනය කරන්න පටන් ගත්තත් නිෂ්පාදකයින්ට එක දවසෙන් කර්මාන්තයෙන් ඉවත් වෙන්න බැහැ. රජය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කළා කියලා කිකිළියෝ දන්නේ නැහැ.  උන් දිගටම බිත්තර දමනවා. ඒ බිත්තර ලොකු ලාබයක් නැතිව හෝ විකුණන්න වෙනවා. අඩු වශයෙන් විචල්‍ය පිරිවැය හෝ ආවරණය කර ගන්න වෙනවා. එම මිල හා බිත්තර ආනයනය කළ හැකි මිල අතර පරතරය ආනයනකරුවන්ගේ ක්ෂණික ලාබය. එම කොටස පාරිභෝගිකයින්ට යාමේ ඉඩක් නැහැ. සීනි බද්ද ඉවත් කරපු වෙලාවේ වුනෙත් ඕකමයි.

බිත්තර ආනයනයට ඉඩ දෙනවානම් කළ යුතුව තිබුණේ රුපියල් 50ක බද්ද එකවර ඉවත් නොකර රුපියල් 15-20ක් පමණ දක්වා අඩු කරන එක. එසේ කළානම් ආනයනකරුවන්ට ලැබෙන්නේ සාමාන්‍ය ලාබයක් පමණයි. බිත්තර වල වෙළඳපොළ මිල අඩු වෙන ආකාරය දිහා බලාගෙන අවශ්‍යනම් බද්ද ටිකෙන් ටික අඩු කරන්න පුළුවන්. නමුත් රුපියල් 50ක බද්දක් එක පාරටම අයින් කරනවා කියන්නේ බරපතල මැදිහත් වීමක්.

ආනයන බද්ද කියන්නෙම රාජ්‍ය මැදිහත්වීමක් නිසා එය ඉවත් කරන එකේ වැරැද්ද කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. මේ බද්ද ඉවත් කරන එකේ වැරැද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ කරපු විදිහේ. 

බිත්තර කර්මාන්තය කියන්නේ අවුලක් නැතුව හොඳට තිබුණු කර්මාන්තයක්. පොහොර සහනාධාරය හරහා කුකුළු කෑම වල මිල වක්‍ර ලෙස සුබසාධනය වෙන්න ඇති. ඒ හැර කර්මාන්තයට ලොකු රාජ්‍ය මැදිහත්වීමක් තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීම නිසා (ආනයනික බිත්තර ලාබ වීම නිසා) සිදු වූ අවාසියකුත් තිබුණා. කර්මාන්තය කාලයක් තරඟකාරී ලෙස පැවතුණා.

ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය ඇමරිකාවේ එම කර්මාන්තයට වඩා වෙනස්. ඇමරිකාවේ ශ්‍රමයේ මිල අධික නිසා ඇමරිකාව ප්‍රාග්ධන ආයෝජන මගින් නිෂ්පාදන වියදම අඩු කරගෙන තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ ඉන්නේ ලොකු නිෂ්පාදකයෝ. ඊට සාපේක්ෂව ලංකාවේ ඉන්නේ ලාබ ශ්‍රමයේ වාසිය ගන්න කුඩා නිෂ්පාදකයෝ. ලාබ ශ්‍රමය කියා කිවුවත් කුඩා තේ වතුහිමියන් හා අදාළව කියපු පරිදි බොහෝ විට තමන්ගේම හෝ පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය. 

පසුගිය වසරේ පැවති ඉහළ උද්ධමනය හමුවේ තමන්ගේ ආදායම් වැඩි කරගත හැකි හැම කෙනෙක්ම එසේ කරමින් උද්ධමනයට මුහුණ දී තිබෙනවා. වැටුප් ශ්‍රමිකයින්ට සාපේක්ෂව කිසියම් නිෂ්පාදන කාර්යයක යෙදෙන අයට උද්ධමනයෙන් සිදු වී තිබෙන බලපෑම අඩුයි. පොදුවේ ආහාර උද්ධමනය අඩු වෙමින් ඇතත් මිල අඩු වෙන්නේ ආනයනික ආහාර වල. මාළු, එළවලු මිල අඩු වෙලා නැහැ. බිත්තර මිලත් එහෙමයි. ත්‍රිරෝද රථ ගාස්තු වල සිට වෛද්‍ය, නීතිඥ සේවා ගාස්තු ආදිය දක්වා ශ්‍රමයේ මිල ඉහළ ගිහින් තිබෙනවා. උද්ධමනය අඩු වුනත් මිල අඩු නොවෙන්නේ ඒ නිසා. හැමෝගෙම නොවුනත් බොහෝ දෙනෙකුගේ වියදම් ඉහළ යද්දී ඒ අය තමන්ගේ ආදායම්ද වැඩි කරගෙන. බිත්තර නිෂ්පාදකයින් විසින්ද මේ වැඩේ කරගෙන තිබෙනවා. 

අනෙක් පැත්තෙන් කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ බොහෝ දෙනෙක් බැංකු ණය මත දුවන අය. ඉහළ පොලී අනුපාතික ඔවුන්ගේ පිරිවැය වැඩි කරනවා. මේ සියල්ල තාවකාලික තත්ත්වයන්. ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙද්දී බිත්තර නිෂ්පාදන පිරිවැයෙන් යම් කොටසක් අඩු වෙනවා. එවිට ලංකාවේ බිත්තර මිල සහ ලෝක වෙළඳපොළේ මිල අතර පරතරය නැවතත් නැති වෙලා යයි. එහෙම වෙද්දී දේශීය බිත්තර කර්මාන්තය තරඟයට නිරාවරණය කරන එකේ වැරැද්දක් නැහැ. නමුත්, ඔය වැඩේ එක දවසකින් කරන එක භයානකයි. ඒක ඩොලරයක මිල කාලයක් හිරකරගෙන ඉඳලා එක දවසෙන් අත ඇරියා වගේ වැඩක්.

බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැහැ. හැබැයි ඔම්ලට් එක හදන්න කිසිම සූදානමක් නැතුව හදිස්සියේ බිත්තරේ කඩලා හරියන්නෙත් නැහැ.

Friday, December 10, 2021

රෙගියුලේටර ප්‍රශ්නය


ලංකාවේ ගෑස් සිලින්ඩර වලට සම්බන්ධ කර තිබෙන උපාංග පිපිරෙන්න පටන් ගැනීම නිසා ඇති වූ ප්‍රශ්නය මේ වෙද්දී විසඳිලා වගේ. ගෑස් සිලින්ඩර වල පීඩනය වැඩි කිරීම මේ ප්‍රශ්නයට හේතුව බවයි කියැවුනේ. සමහර විට පීඩනය වැඩි කළත් පුපුරන්නේ නැති තරමට ප්‍රමිතියක් ගෑස් සිලින්ඩර වල තියෙන්න ඇති. එහෙත්, ගෘහස්ථ පාරිභෝගිකයෙක් සැලකුවාම ගෑස් සිලින්ඩරය, ගෑස් උදුන හා ඒ දෙක සම්බන්ධ කෙරෙන උපාංග සියල්ලම එකම පද්ධතියක කොටස්. මේ වගේ පද්ධතියක එක තැනක් බිඳ වැටෙනවා කියා කියන්නේ පද්ධතියම බිඳ වැටීමක්. 

කවර හෝ පද්ධතියක් බිඳ වැටෙද්දී බොහෝ විට මුලින්ම බිඳ වැටෙන්නේ එහි දුර්වලම තැනින්. පහත් තැනින් යයි ගලා ජලේ!

ගණන් හිලවු පැත්තකින් තියලා කතා කළොත්, ගෑස් සිලින්ඩරයක ගෑස් අසුරා තිබෙන්නේ විශාල පීඩනයක් යටතේ. ඒ වගේ පීඩනයක් යටතේ තියෙන දෙයක් එකවර නිදහස් වුනොත් කෙළවර වෙන්නේ විශාල විනාශයකින්. සිලින්ඩරයේ ගෑස් පාවිච්චියට ගැනීමේදී වෙන්නේත් මේ විදිහට විශාල පීඩනයක් යටතේ ගබඩා කර තිබෙන ගෑස් නිදහස් වෙන එක. හැබැයි ඒ වැඩේ වෙන්නේ පාලනයක් යටතේ. 

මේ විදිහට පාලනයක් යටතේ නිදහස් කර ගන්නා ගෑස් දහනය කරලා අපිට විවිධ දේවල් කර ගන්න පුළුවන්. ලංකාවේ වැඩිපුරම වෙන්නේ කෑම උයන එක. කෑම ඉවිල්ල ගින්දර පාලනය කරමින් කරන කලාවක්. ගෑස් වලින් උයද්දී ගින්දර පාලනය කරන්නේ ගෑස් සැපයුම පාලනය කරලා. ගෑස් හරියට පාලනය කරගන්න බැරි වුනොත් ගින්දරත් හරියට පාලනය කර ගන්න බැහැ. රෙගියුලේටරයෙන් කරන්නේ සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් සැපයුම පාලනය කරන එක.

ඇමරිකාවේනම් ගෙවල් වල පාවිච්චියට කඩෙන් ගෑස් ගේන්න අවශ්‍ය නැහැ. ගෑස් සැපයුම් නල ගෙවල් වලට සම්බන්ධ කරලයි තියෙන්නේ. ප්‍රධාන ගෑස් නලයක් දිගේ එන ගෑස් රෙගියුලේටරයක් මගින් පීඩනය අඩු කරලා ගෙවල් වලට සපයනවා. ඒ නිසා, ගෙදර ගෑස් ඉවර වෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ එවැනි යටිතල පහසුකම් නැති නිසා සිලින්ඩරේ ගෑස් ඉවර වෙද්දී කඩෙන් අළුත් ගෑස් සිලින්ඩරයක් ගේන්න වෙනවා. සමහර වෙලාවට ගෑස් ඉවර වෙලා කියලා දැන ගන්න ලැබෙන්නේ හොද්දක් බතක් බාගෙට ඉදී තියෙද්දී ලිප නිවුනාමයි. 

ලංකාවේ පාවිච්චි කරන ආකාරයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක ගෑස් ටිකෙන් ටික ප්‍රයෝජනයට ගනිද්දී සිලින්ඩරයේ පීඩනයත් ටික ටික අඩු වෙනවා මිසක් පීඩනය වැඩි වෙන්නේ නැහැ. මොකද සිලින්ඩරයෙන් ඒකේ තියෙන ගෑස් ඉවත් වෙනවා මිසක් ඇමරිකාවේ වගේ සිලින්ඩරේට ගෑස් එන මාර්ගයක් නැහැනේ. සර්වත්‍ර වායු නියමය අනුව ගෑස් සිලින්ඩරේ පරිමාව වෙනස් වෙන්නෙත් නැත්නම්, උෂ්ණත්වය වෙනස් වෙන්නෙත් නැත්නම්, සිලින්ඩරයේ තිබෙන ගෑස් අණු ගණන අඩු වෙද්දී පීඩනය අඩු විය යුතුයි. 

හැබැයි උෂ්ණත්වය වැඩි වෙද්දී ගේ ලුසැක්ගේ නියමය අනුව පීඩනය වැඩි වෙනවා. ඒ නිසා, සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් නිසා එතුළ පීඩනය අඩු වුනත්, ඒ ගෑස් සිලින්ඩරය ආසන්නයේ දහනය කරද්දී යම් හෙයකින් සිලින්ඩරය ඇතුළේ ගෑස් වල උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගිහින් ඒ හේතුව නිසා පීඩනය ඉහළ යාමේ බලපෑම වඩා වැඩිනම් සිලින්ඩරයෙන් ගෑස් මුදා හරිද්දී වුවත් ඇතුළේ පීඩනය ඉහළ යන්න පුළුවන්. පීඩනය ඔරොත්තු නොදෙන මට්ටමකට ආවොත් සිලින්ඩරේ පුපුරන්න වුනත් පුළුවන්.

ගෑස් සිලින්ඩර් ගැනත්, ඔය කියපු නියම ගැනත් මම වැඩිපුර දන්නේ නැහැ. ඒ නිසා, ඕවා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවානම් ජනාධිපති නියමය වගේ එකක් කියලා හිතන්නකෝ. ඒකනම් කවුරුත් වගේ දන්නවනේ. "සෑම ගැසට්ටුවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ගැසට්ටුවක් ඇත!".

ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නෙත් ටිකක් විතර ඔය ගෑස් සිලින්ඩරේ වගේ. ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වුනාම සිලින්ඩරේ ඇතුළේ පීඩනයක් ඇති වෙනවා. නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය කියන්නේ ඒ පීඩනය වැඩි වෙන්න නොදී මුදා හරින ස්වභාවික යාන්ත්‍රනය. සිලින්ඩරේ ඇතුළේ ලොකු පීඩනයක් හැදෙන්නේ නැත්නම් රෙගියුලේටරයක් අවශ්‍ය වන්නේ නැහැ. සිලින්ඩරේ විශාල වන තරමට යම් නිශ්චිත ගෑස් ප්‍රමාණයක් එහි ගබඩා කර ගැනීමේදී අඩු පීඩනයක් පවත්වා ගත හැකියි. බොයිල්ගේ නියමය!

ලංකාවේ ගෑස් සිලින්ඩර වලට පුරවා තියෙන්නේ ප්‍රොපේන් හා බියුටේන් මිශ්‍රණයක්නේ. මුලින් තිබී ඇත්තේ බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක මිශ්‍රණයක්. උපාංග පුපුරන්න පටන් අරන් තියෙන්නේ ඔය අනුපාතය 50:50 ලෙස වෙනස් කළාට පස්සේ. දැන් නැවතත් 70:30 අනුපාතයට යා යුතුයි කියලා රජය නියෝග කර තිබෙනවා. 

ප්‍රොපේන් හා බියුටේන් දෙවර්ගයම හයිඩ්‍රෝකාබන්. ඒ කියන්නේ මේවා හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් වලින්. ප්‍රොපේන් අණුවක කාබන් පරමාණු 3ක් හා හයිඩ්‍රජන් පරමාණු 8ක් තිබෙනවා. බියුටේන් අණුවක කාබන් පරමාණු 4ක් හා හයිඩ්‍රජන් පරමාණු 10ක් තිබෙනවා. ඒ කියන්නේ බියුටේන් අණුවක් ප්‍රොපේන් අණුවකට වඩා බරයි. ඒ නිසා, බරෙන් සමාන ප්‍රොපේන් හා බියුටේන් ප්‍රමාණ ගත්තොත් ප්‍රොපේන් වල අණු ගණන වැඩියි. සර්වත්‍ර වායු නියමය අනුව, පරිමාව හා උෂ්ණත්වය සමානනම් පීඩනය තීරණය වන්නේ අණු ගණන මත කියලා කලින් කිවුවනේ. ඒ නිසා, වායු මිශ්‍රණයක බියුටේන් අඩු කරලා ප්‍රොපේන් වැඩි කරද්දී පීඩනය වැඩි වෙනවා. උපාංග පිපිරිලා තියන්නේ ඔය හේතුව නිසා.

අයවැය පරතරය නිසා ඇති වෙන පීඩනයත් ඔය ගෑස් සිලින්ඩරයක් ඇතුළේ හැදෙන පීඩනය වගේ තමයි. හැබැයි මේ සිලින්ඩරේට ඇමරිකාවේදී වගේ කෙළින්ම ගෑස් එනවා. කඩේ ගිහින් ගෑස් පුරවන්න අවශ්‍ය නැහැ. ගෑස් එන්නේ ගෑස් පාවිච්චියට ගන්න තරමටනම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය නියතව තියෙනවා මිස අඩු වැඩි වෙන්නේ නැහැ. නමුත් ගෑස් සිලින්ඩරේට එන වේගයෙන්ම පිට වෙන්නේ නැත්නම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම ඉහළ යනවා. ඒකේ අනෙක් පැත්ත වුනොත් පීඩනය අඩු වෙනවා. 

ඔය විදිහටම රාජ්‍ය වියදම් වැඩි වෙද්දී අයවැය මත පීඩනය වැඩි වෙනවා. ආදායම් ඉහළ යද්දී පීඩනය අඩු වෙනවා. අයවැය හිඟය ඉහළ යන තරමට "සිලින්ඩරේ ඇතුළේ" පීඩනය වැඩි වෙනවා. පීඩනය හැදෙන්නේ වායු වර්ග දෙකක් නිසා. "දේශීය ණය" සහ "විදේශීය ණය". ඔය දෙකෙන් දේශීය ණය බියුටේන් වගේ. විදේශීය ණය ප්‍රොපේන් වගේ. විදේශීය ණය නිසා ඇති වන පීඩනය වඩා වැඩියි. හැබැයි ඔය දෙකෙන් කොයි එකෙන් වුනත් පීඩනය වැඩි වෙනවා.

වියදම් තරමට ආදායම් ඉහළ නොයද්දී අයවැය මත ඇති වන පීඩනය අඩු කර ගන්න කරන එක දෙයක් වන්නේ සල්ලි අච්චු ගැසීමයි. සල්ලි අච්චු ගහලා තාවකාලිකව අයවැය මත වන පීඩනය අඩු කර ගන්න පුළුවන්. සිලින්ඩරේ ගෑස් වේගයෙන් එළියට යද්දී ලිප වඩා හොඳින් දැල්වෙනවා. කෑම හොඳින් ඉදෙනවා. මේක තමයි ආර්ථික වර්ධනය.

හැබැයි මේ විදිහට සල්ලි අච්චු ගහලා අයවැය පීඩනය අඩු කරගෙන ආර්ථිකය වර්ධනය කළ හැක්කේ එක සීමාවක් දක්වා පමණයි. ගෑස් සිලින්ඩරයේ පීඩනය අඩු කරන්න වැඩියෙන් ලිපට ගෑස් එවලා ලිපේ ගින්දර වැඩි වුනොත් බත රොස් වෙනවා. කාමරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒක තමයි උද්ධමනය කියන්නේ.

සිලින්ඩරයේ ගෑස් අඩු වෙද්දී ඒ තුළ පීඩනය අඩු වෙන්නේ කාමරයේ උෂ්ණත්වය නියතව තිබුණොත්නේ. හැබැයි ලිපේ දැල්ලේ සැර වැඩි වෙලා කාමරයේ උෂ්ණත්වය ඉහළ ගිහින් සිලින්ඩරයේ ගෑස් වල උෂ්ණත්වයත් ඉහළ ගියොත් සිලින්ඩරයේ ගෑස් පරිමාව අඩු වෙද්දී වුනත් පීඩනය ඉහළ යන්න පුළුවන්. එතකොට ගෑස් සිලින්ඩරය පුපුරන එක වලක්වා ගන්න තව තවත් වැඩි වැඩියෙන් ගෑස් නිදහස් කරන්න වෙනවා. ඒ ගෑස් ලිපේ දැවෙද්දී උෂ්ණත්වය තව තවත් ඉහළ යාම නිසා පීඩනය වැඩි වීමේ විෂම චක්‍රයක් හැදුනොත් මොකද වෙන්නේ? 

ඔය වගේ වෙලාවක මුලින්ම කළ යුත්තේ සිලින්ඩරයට ගෑස් එන සැපයුම සීමා කරන එකයි. ඒ කියන්නේ අයවැය හිඟය. සිලින්ඩරේට ගෑස් එන එක සීමා නොකර සිලින්ඩරෙන් පිට වෙන ගෑස් සැපයුම සීමා කළාම මොකද වෙන්නේ? 

කාමරේ රත් වෙන එක අඩු වෙන නිසා පීඩනය පොඩ්ඩක් අඩු වුනත් පිටවෙන තරමට වඩා වැඩියෙන් දිගින් දිගටම සිලින්ඩරයට ගෑස් එන නිසා සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම වැඩි වෙන එකයි වෙන්නේ. ඔය පීඩනය නිදහස් වෙන්නේ කොයි වෙලාවක හෝ ගෑස් සිලින්ඩරේ පිපිරුවාමයි. දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරමින් මිල පාලනය හා විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කරන්න ගියාම ඇති වෙන්නේ ඔය වගේ තත්ත්වයක්.

සිලින්ඩරය පුපුරන එක වලක්වන්නනම් කොයි වෙලාවක හරි වෑල් ඇරලා ගෑස් නිදහස් කරන්නම වෙනවා. එහෙම කරන්න වෙන වෙලාවට කාමරයේ උෂ්ණත්වය ලොකුවටම වැඩි වෙනවා. කාට කාටත් උෂ්ණත්වය දැනෙන්න ගන්නවා. හැබැයි ඔය වැඩේ පරක්කු කිරීමෙන් වෙන්නේ  වෑල් ඇරලා ගෑස් නිදහස් කිරීමෙන් පස්සෙත් සිලින්ඩරය ඇතුළේ පීඩනය අඩු වෙනවා වෙනුවට වැඩි වෙන තත්වයක් දක්වා තත්ත්වය ඔඩු දුවන එක. මිල පාලනය හා විණිමය පාලනය නිසා දැන් ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඔය වගේ!

Thursday, October 15, 2020

බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය


ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙද්දී "ඔය වැඩෙන් වෙන්නේ ගමක පොල් ගෙඩියක් කඩා ගන්නවත් මනුස්සයෙක් නැති වෙන එක" කියලා සමහර අය විරුද්ධ වුනා කියනවනේ. ඔය පොල් කඩන වැඩේ කාලයක් ලංකාවේ විශාල පිරිසක් නිරතව හිටපු වෙන කරන්න දෙයක් නැති අයට කළ හැකි වූ රැකියාවක්. අපි පොඩි කාලේ විභාගයකදී ලකුණු ටිකක් අඩු වුනොත් වැඩිහිටියෝ කියන්නේ "ඔහොම කරලනම් කවද හරි පොල් කඩන්න තමයි වෙන්නේ" කියලා. මම හිතන විදිහට මේ රස්සාව අද සමාන කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිරෝද රථ රස්සාව වගේ එකකටයි.

ඒ දවස් වල පොල් කඩන රස්සාව කරපු අයට අපි සල්ලි දුන්නේ නැහැ. නගින ගහකට ගෙඩිය ගානේ දෙන එකයි කළේ. ඔයාකාරයට පොල් කැඩීමේ කුලිය විදිහට දුන් ගෙඩියට බැල ගෙඩිය කියලයි කිවුවේ. දැන් කල්පනා කරලා බැලුවහම වචනයේ තේරුම බැලයාගේ එහෙම නැත්නම් සේවකයාගේ පංගුව වගේ එකක් බව පේනවා. ඔය වචනය ගූගල් එකේවත් නැත්තේ සමහර විට අපේ පැත්තේ ප්‍රාදේශීය යෙදුමක් නිසාද දන්නේ නැහැ.

මේ "අපේ පැත්ත" තිබුණේ පොල් ත්‍රිකෝණය ඇතුළේ හෝ මුහුදක් අයිනේ නෙමෙයි. ඒ නිසා අපේ පොල් ගස් වල සාර සොබාවට ගෙඩි හැදුනේ නැහැ. එහෙම හැදුනේ ගේ කිට්ටුව තිබුණු වැඩි සාත්තු සප්පායම් ලැබූ ගස් කිහිපයක පමණයි. වත්තේ ගෙදරින් ඈතට වෙන්න තිබුණු, ඔහේ හැදෙනවට හැදුණු සමහර ගස් වල වල්ලක ගෙඩි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. ඔය වගේ ගෙඩි දෙක තුනක් තියෙන ගහක පොල් කඩවලා බැල ගෙඩිය දීලා ගෙඩියක් හෝ දෙකක් ගන්න එකේ තේරුමක් නැති නිසා ඒ වගේ ගස් වල තියෙන ගෙඩි කීපය කඩවන්නේ නැතුව වේලිලා වැටෙන්න අරින එකයි කළේ. 

සමහර හවුල් ඉඩම් වලට අයිතිකාරයෝ විශාල ගණනක් හිටියා. කඩන පොල් අයිතිකාරයින් අතර බෙදෙනවා. ඒ ඇතැම් අයිතිකාරයින්ගේ පංගුවේ තරමට වාරයකට පොල් ගෙඩියකට දෙකකට වඩා ලැබෙන්නේ නැහැ. සමහර ඉඩම් වල පොල් මුර ක්‍රමයක් තිබුණා. ඉඩමේ පළමු පහෙන් පංගුවේ කොටස් අයිතිකාරයින්ට එක අවුරුද්දක පොල් ලැබෙනවා. ඉන් පසු දෙවන පහෙන් පංගුවේ අයිතිකාරයින්ට. සිංහල අවුරුද්දට පස්සේ පොල් මුරේ මාරු වෙනවා. මුරේ ඉවර වුනාට පස්සේ ආයේ මුරයක් ඉන්නේ අවුරුදු පහකට පස්සේ. ඔය එක පහෙන් පංගුවකටත් අයිතිකාරයෝ සෑහෙන ගණනක් හිටියා. ඉතිං පොල් ටික කඩලා බෙදුවට පස්සේ ලොකුම පොල් ගොඩ අයිතිවෙන්නේ පොල් කඩපු මනුස්සයාටයි.

සාමාන්‍යයෙන් ගහක ගෙඩි ටික කඩලා එකතු කළ ගමන්ම පොල් කඩන මනුස්සයා බැල ගෙඩිය පැත්තකට කර ගන්නවා. ඒ නිසා, ලොකු හෝ පොඩි ගෙඩි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ගහේ පොල් ලොකුනම් බැල ගෙඩියත් ලොකුයි. ගහේ පොල් පොඩිනම් බැල ගෙඩියත් පොඩියි.

පොල් ගහකට නැග්ගට පස්සේ කඩන ගෙඩි ප්‍රමාණය අනුව මහන්සිය ලොකුවට අඩු වැඩි වෙන්නේ නැහැනේ. ගහේ එක පොල් ගෙඩියක් තිබුණත් ගෙඩි විස්සක් තිහක් තිබුණත් ගහට නගින මහන්සිය එකයි. නමුත්, ගහට නැගලා පොල් කැඩීම නිසා නිර්මාණය වන වටිනාකම කඩන පොල් ගෙඩි ගණන අනුව වෙනස් වෙනවා. 

පොල් වත්තේ අයිතිකාරයාට වැදගත් වන්නේ කැඩෙන පොල් ගෙඩි ගණනයි. පොල් ගෙඩි ගණන ඉහළ යන තරමට සමානුපාතිකව ඔහුට හෝ ඇයට ලැබෙන දෙය ඉහළ යනවා. පොල් කඩන ශ්‍රමිකයාගේ පැත්තෙන් බැලුවොත් වැදගත් වන්නේ නගින පොල් ගස් ගණන මිසක් කඩන පොල් ගෙඩි ගණන නෙමෙයි. 

දැන් මේ අනුව බැළුවහම පොල් කැඩීමේ රස්සාව හා අදාළ ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරයේ පැහැදිලි වෙනස්කමක් දෘශ්‍යමාන වෙනවනේ. පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැහැ. ඒ නිසා ඔහු හදන්නේ ගෙඩි අඩුවෙන් තියෙන ගහකට හරි නැගලා තමන්ගේ ගාස්තුව ගන්නයි. නමුත්, පොල් ගස් අයිතිකාරයාට පොල් කඩන්නාගේ ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ගහේ යම් අවම ගෙඩි ප්‍රමාණයක් තියෙනවානම් පමණයි. ඔය දෙපාර්ශවයේ අවශ්‍යතා සමතුලිත වීම අනුව පොල් කැඩෙන ගස් ගණන තීරණය වෙනවා. 

ඒ කියන්නේ පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැත්තේත් නැහැ. කවුරු හරි පොල් කඩන්න කිවුවොත් ගහේ ගෙඩි ගණන ගැන වද නොවී ඔහු ගහට නගින බව ඇත්ත. නමුත්, ඔහුට ඒ විදිහට පොල් කඩන්න අවස්ථාවක් ලැබෙන එක ගහේ තිබෙන පොල් ගෙඩි ගණන අනුව තීරණය වෙනවා. ඒ නිසා, වක්‍රව ගහේ තියෙන ගෙඩි ගණන ඔහුට වැදගත්. 

පොල් කඩන්නාගේ දවසක ආදායම තීරණය වෙන්නේ ඔහු දවසකට නගින පොල් ගස් ගණන අනුව. ඒ නිසා, තමන්ගේ මහන්සියෙන් ආදායම වැඩි කර ගැනීමේ අවස්ථාවක් ඔහුට තිබෙනවා. හැබැයි මේ ආකාරයට මහන්සි වී තමන්ගේ ආදායම වැඩි කර ගන්න පුළුවන් සීමාවක් තිබෙනවා. මොකද ඔහුට නගින්න ලැබෙන ගස් ගණන තීරණය කරන්නේ පොල් ගස් අයිතිකාරයා. 

පොල් ගස් අයිතිකාරයාගේ තීරණයට බලපාන්නේ ගහක තිබෙන පොල් ගෙඩි ගණන පමණක් නෙමෙයි. පොල් ගෙඩියක මිලත් එයට බලපානවා. පොල් ගොඩක් ගණන්නම් සාපේක්ෂව අඩු පොල් ගෙඩි ප්‍රමාණයක් තිබෙන ගහක වුවත් ගෙඩි කඩවන්න ඔහු මැලි වෙන්නේ නැහැ. ඒ වගේම පොල් මිල අඩුනම් ඔහු කෙනෙක්ව ගහට යවලා පොල් කඩවන්නේ වැඩි පොල් ප්‍රමාණයක් ගහේ තිබුණොත් පමණයි.  ඒ නිසා, පොල් කඩන්නාට නගින්න ලැබෙන පොල් ගස් ප්‍රමාණය පොල් මිල මතත් තීරණය වෙනවා. ඒ අනුව, ඔහුට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් පොල් මිල මත තීරණය වෙනවා.

ලැබෙන බැල ගෙඩි ප්‍රමාණය ඉහළ යාම නිසා, පොල් මිල වැඩි වෙද්දී පොල් කඩන්නාගේ ආදායම වක්‍ර ලෙස ඉහළ යනවා. ඒ වගේම, පොල් ගෙඩියක මිල වඩා වැඩි නිසා අර බැල ගෙඩි විකුණා ලැබිය හැකි ආදායම පොල් මිල ඉහළ යද්දී සෘජුවමත් වැඩි වෙනවා. වාසි දෙකයි.

පොල් කඩන්නාට වැඩියෙන් මහන්සි වෙලා වැඩි පොල් ගස් ගණනක් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම, මොන විදිහකින් හරි වඩා කාර්යක්ෂම ලෙස පොල් ගස් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්නත් පුළුවන්. ඒ නිසා, පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය යම් පමණකට ඔහුගේ අතේ තිබෙන දෙයක්. හැබැයි මුළුමනින්ම නෙමෙයි. ඔහුගේ පාලනයට යටත් නැති, වෙනත් බාහිර සාධක මත ඔහුගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. ඒ අනුව, ඔහුගේ ආදායමත් වෙනස් වෙනවා.

පොල් මිල වෙනස් වෙද්දී පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. පොල් මිල වෙනස් වෙන්නේ රටේ පොල් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම අනුව. එය පොල් කඩන්නාගේ පාලනයට යටත් නැති කරුණක්.

ඉඩෝර කාලෙකදී පොල් හැදෙන්නේ අඩුවෙන්. ඒ නිසා, පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන අවස්ථා ගණනත් අඩු වෙනවා. ගස් වල පොල් නැත්නම් කඩන්නේ මොනවාද? ඒ කියන්නේ ඉඩෝර කාලෙකදී පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙනවා.

ඉඩෝර කාලෙකදී පොල් අඩුවෙන් කැඩෙන කොට පොල් සැපයුම පහළ ගිහින් පොල් මිල ඉහළ යනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි වල වෙළඳපොළ වටිනාකමත් ඉහළ ගිහින් ඔහුගේ ආදායම වැඩි වෙනවා. ඒ වගේම, පොල් ගස් අයිතිකාරයාට පොල් අඩු ගස් වලත් ගෙඩි කඩවන්න ඉහළ පොල් මිල නිසා පෙළඹුමක් ඇති වෙනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් යම් තරමකින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඉඩෝරය නිසා පොල් කඩන්නාට වෙන්න ගිය පාඩුව මගහැරෙනවා.

පොල් සරුවට හැදෙන කාල වලදී පොල් කඩන්නෙකුට වැඩ වැඩියි. ලැබෙන බැල ගෙඩි ගණනත් වැඩියි. නමුත්, පොල් මිල අඩු නිසා පොල් කඩන්නාගේ ආදායම මහා ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් වැඩියෙන් හැදුනා කියලා පොල් කඩන්නෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන විශාල ආදායමක් ලබා ගන්න වෙළඳපොළ ඉඩ අරින්නෙත් නැහැ. පොල් හොඳට හැදෙන කාල වලදී වගේම, පොල් අඩුවෙන් හැදෙන කාල වලදීත් පොල් කඩන්නෙකුට ලැබෙන ආදායම විශාල ලෙස උච්ඡාවචනය නොවන පරිදි වෙළඳපොළ යාන්ත්‍රනය විසින් ස්වභාවික ලෙසම නියාමනය කරනවා.

පොල් අස්වැන්න අඩු වැඩි වෙද්දී නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම මත වෙනස් වන පොල් මිල නිසා පොල් කඩන්නාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයත් අනුරූපී ලෙස වෙනස් වෙලා ඔහුගේ ආදායමත් නිසි සේ සකස් වෙනවා. මේ ස්වභාවික නියාමන යාන්ත්‍රනය නිසා පායනා කාලෙකදී පොල් අඩුවෙන් කැඩුනත්, ඊට සමානුපාතිකව පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුගේ දරුවන්ට පොල් අවාරයේදී හාමතේ ඉන්න වෙන්නේ නැහැ.

පොල් අවාරෙකදී රජය මැදිහත් වෙලා පොල් වලට පාලන මිලක් දැම්මහම මොකද වෙන්නේ? ගස් වල පොල් අඩු නිසා පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන්නේ සීමිත ගස් ප්‍රමාණයක පමණයි. මිල අඩු නිසා පොල් ගස් අයිතිකාරයා වැඩි ගස් ප්‍රමාණයක පොල් කඩවන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුට ලැබෙන්නේ බැල ගෙඩි අඩු ප්‍රමාණයක්. අනෙක් අතට මේ බැල ගෙඩි ටික විකුණන්න වෙන්නේ අඩු මිලකට. පොල් කඩන්නාගේ ආදායම දෙයාකාරයකින්ම අඩු වෙලා. පොල් ගහෙන් වැටිච්ච මිනිහට මිල පාලන ගොනා අනින්නේ ඔය විදිහටයි.

රජය වෙළඳපොළට මැදිහත්වීම නිසා බඩේ පාර වදින්නේ පොල් කඩන රස්සාව කරන අයට විතරක් නෙමෙයි. ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට රාජ්‍ය මැදිහත්වීම් නිසා බඩේ පාර වදිනවා. ඒ අතරිනුත්, සුවිශේෂී කුසලතා අවශ්‍ය නොවන, පොල් කැඩීම වැනි රැකියා කරන අයට බලපෑම වැඩියි.

Thursday, May 28, 2020

ඩඩ්ලි සිරිසේනගේ හයේ පාර


තරඟය උණුසුම්. කොරෝනා අස්සේ ගෙවල් වලට හිර වෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ කට ඇරගෙන රූපවාහිණී තිරය දිහා බලා ඉන්නවා. ඉතිරි වී තියෙන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුව පමණයි. "නියාමකයෝ" කණ්ඩායමේ  ජයග්‍රහණය සඳහා "නිදහස්" කණ්ඩායම ලකුණු 90කට සීමා කර ගත යුතුයි. ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට විනිසුරුකරුවන් විසින් නියම කර ඇති ඉලක්කය පසුපස හඹා ගිය "නිදහස්" කණ්ඩායමේ කඩුලු එකින් එක දැවී ගිහින්. සමහර ක්‍රීඩකයෝ දැවී යන්න කලින්ම ක්‍රීඩාගාරයට ආපහු ගිහින්. ඉතිරි වී තියෙන්නේ අන්තිම කඩුල්ල පමණයි.

නියාමකයෝ කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ව යාර තිහේ සීමාව ඇතුළේ ස්ථානගත කරනවා. පන්දුවට පහර දෙන්න නියමිතව සිටින්නේ පොළොන්නරුව අරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිදහස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඩඩ්ලි සිරිසේන. නියාමකයෝ කණ්ඩායමේ නායකයා වගේම ක්‍රීඩකයිනුත් කලින්ම තරඟය දිනලා. ටෝක් කෝටියයි. කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා පාරිභෝගික අධිකාරී අන්තයේ සිට පන්දු එවීම සඳහා දිව එනවා. දැවී ගියාද?

ෆුල්ටොස් පන්දුවක්. ඩඩ්ලි සිරිසේන යාර තිහේ සීමාව ඉහළින් වේගවත් පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක්ද?

නියාමකයෝ කණ්ඩායමේ ක්‍රීඩකයෝ කට ඇරගෙන බලා ඉන්නවා. පන්දුව පසුපස දිව යන්න කවුරුවත් නැහැ. හතරේ සීමාව පසු කර පන්දුව බිම පතිත වෙනවා. හයේ පාරක්! ලකුණු 96යි!!

ලකුණු පුවරුවේ 90 ඉලක්කම ගැලවිලා පොල් ගෙඩි අකුරින් 96 ඉලක්කම සටහන් වෙනවා. රුපවාහිණී කැමරා කාච 96 ඉලක්කම වෙත නාභිගත වෙනවා. රට පුරා ප්‍රේක්ෂකයෝ කටවල් ඇරගෙන බලා ඉන්නවා.

නිදහස් පිල දිනුම්! තරඟයේ වීරයා ඩඩ්ලි සිරිසේන!!

***

ඩඩ්ලි සිරිසේන වීරයෙක් කියා මම කියන්නේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස අද සිටින තැනට ඇවිත් තිබෙන්නේ කාලයක් තිස්සේ රටේ දේශපාලන බලාධිකාරියේ සහයෝගයද ලබමිනුයි. ඉදිරියේදීත් එය එසේම වෙයි. කොහොමටත් දේශපාලනයෙන් මුළුමනින්ම ඈත් වී ලංකාවේ ව්‍යාපාරිකයෙකුට සාර්ථක වෙන්න අමාරුයි. එය වෙනස් විය යුතු දෙයක්. හැබැයි මේ මොහොතේ ඩඩ්ලි සිරිසේන විසින් නියෝජනය කළේ නිදහස් වෙළඳපොළයි.

ඩඩ්ලි සිරිසේන විසින් විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හදාරා නැතුව ඇති. බොහෝ විට ආර්ථික විද්‍යාව හදාරා ඇති අය ඔහුගේ හාල් මෝලේ වැඩ කරන්නෙත් නැතුව ඇති. නමුත්, ඔහු වෙළඳපොළ කියන්නේ කුමක්ද කියා ඉතා නිවැරදිව අවබෝධ කරගෙන තිබෙන බව පේනවා.

ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් 10,123 ඉන්නවා. කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෝ 14,161ක් ඉන්නවා. අමාත්‍යාංශය යටතේ තිබෙන අනෙකුත් ආයතන එකතු කළාම (2018 ජූනි 30 දත්ත අනුව) සේවකයෝ 36,315ක් ඉන්නවා. ඔය ගණන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලිය වගේ තැන් වල ඉන්න පිරිස් නැතුව. මේ අය අතරේ කෘෂිකර්ම උපාධිධාරීන් වගේම පශ්චාත් උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. තව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ පිරිස් බලයෙන් කොටසකුත් යෙදෙවෙන්නේ කෘෂිකර්මය හා අදාළ තොරතුරු එකතු කරන්නයි. ඔය සියලු දෙනාම යොදාගෙන හදන රජයේ සංඛ්‍යාලේඛණ වලට තනි ඩඩ්ලි සිරිසේන අභියෝග කරනවා.

මම මේ රජයේ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අධ්‍යාපනය හෑල්ලු කරන්නේ නැහැ. මෙය එවැනි දෙයක් නෙමෙයි. ඒ වගේම තනි පුද්ගලයින් වශයෙන් ගත්තොත් මේ බොහෝ දෙනෙක් දක්ෂ, කාර්යක්ෂම පුද්ගලයින් වෙන්න පුළුවන්. රජයේ අකාර්යක්ෂමතාවය කියන එක රජයේ සේවකයින් හරියට වැඩ නොකිරීමට ලඝු කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම ඩඩ්ලි සිරිසේන කියන්නේ පට්ට මීටරයක්, මාර මොළයක්  කියලා මම කියන්නේ නැහැ. හැබැයි අර විශාල කණ්ඩායම ඩඩ්ලි සිරිසේනට පරාදයි.

ධම්මික පෙරේරා ළඟ වගේ ඩඩ්ලි සිරිසේන ළඟත් ඉතා දක්ෂ පර්යේෂකයින් කණ්ඩායමක් ඉන්නවද? බොහෝ විට නැතුව ඇති. එහෙමනම්, රජයේ පරිණත විශේෂඥයින් කණ්ඩාමට වඩා වෙළඳපොළ ගැන ඩඩ්ලි සිරිසේන දන්නේ කොහොමද?

මෙතැන තිබෙන්නේ රජයට සම්බන්ධ ආයතන වල සේවය කරන පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමය ක්‍රමයක් විදිහටම අකාර්යක්ෂමයි. අසාර්ථකයි. කොයි තරම් දක්ෂ, උගත් කෙනෙක් දැම්මත් ඒක එහෙමයි.

රට පුරා ලොකු කුඩා වී මෝල් වල, තොග හා සිල්ලර කඩ වල, ගෙවල් වල තිබෙන වී හෝ සහල් තොග හරියටම ඇස්තමේන්තු කරන්න විශාල මිනිස් සම්පත් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත්, මිල සංඥාව තේරුම් ගත හැකි පුද්ගලයෙකුට ඔය දැවැන්ත කාර්යය නොකර පැත්තක සිට ඔය ඇස්තමේන්තුව සෑහෙන්න නිවැරදිව කරන්න පුළුවන්.

තමන්ට පෙනෙන්නට තිබෙන ඉල්ලුම දිහා බලලා ඩඩ්ලි සිරිසේන රටේ හාල් ඉල්ලුම හා සැපයුම නිවැරදිව ඇස්තමේන්තු කරනවා. අනෙක් ලොකු කුඩා ව්‍යාපාරිකයිනුත් ඒ වැඩේ කරනවා. ඔවුන් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඒ වැඩේ හරියට කරන්න ඔවුන්ට පුළුවන් නිසයි. ඒකට කෘෂිකර්ම උපාධි හෝ ආර්ථික විද්‍යා උපාධි අවශ්‍යම නැහැ. අවශ්‍ය වන්නේ මිල සංඥාව නිවැරදිව තේරුම්ගන්න හැකිවීම පමණයි.

මුලින්ම කිවුවා වගේ මම ඩඩ්ලි සිරිසේන මාර පොරක් කියා කියන්නේ නැහැ. ඒකාධිකාර වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. හැබැයි මේ වෙලාවේ ඩඩ්ලි සිරිසේන විසින් මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ඔලු වලට උඩින් දැවැන්ත හයේ පහරක් ගහලා තියෙනවා. ඒක මධ්‍යගත සැලසුම් විශ්වාස කරන අයට රිදෙන්නම ගහපු කණේ පාරක්ද වෙනවා.

වෙබ් ලිපිනය: