වෙබ් ලිපිනය:

Showing posts with label සේවා ආදායම්. Show all posts
Showing posts with label සේවා ආදායම්. Show all posts

Tuesday, March 4, 2025

සේවා අපනයන ආදායම් මත අලුත් බද්ද


කාලයක් තිස්සේ ආදායම් බදු සහනයකට යටත්ව පැවති සේවා අපනයන ආදායම් මතද ආදායම් බදු අය කිරීමේ තීරණයත් එක්ක පැතිරෙන විවිධ දුර්මත අතරින් එකක් වන්නේ ශ්‍රමික ප්‍රේෂණ මත බද්දක් පනවා ඇති බවයි. නමුත් ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ මත කිසිදු බද්දක් පනවා නැහැ. සේවා අපනයන ආදායම් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ නෙමෙයි. 

කිසියම් කාලයක් තුළ රටට ලැබෙන, ආපසු නොයන විදේශ විණිමය ලැබීම් වාර්තා කරන්නේ ජංගම ගිණුමේ. මේ අයුරින් ජංගම ගිණුමේ වාර්තා වන ලැබීම් රටේ කවුරු හෝ විසින් ඉපැයූ විදේශ විණිමය ලෙස හඳුන්වන්න පුළුවන්. ණය, ආයෝජන වැනි ආපසු යන හෝ යා හැකි විදේශ විණිමය ලැබීම් වාර්තා කරන්නේ මූල්‍ය ගිණුමේ. ඒවා රටේ කවුරු හෝ විසින් ඉපැයූ විදේශ විණිමය නෙමෙයි. ලංකාවේ තිබෙන විදේශිකයින්ට අයිති වත්කම්. ලංකාවේ විදේශ බැරකම්.

ජංගම ගිණුමේ උප ගිණුම් හතරක් තිබෙනවා. මේ උප ගිණුම් ගැන පෙර සටහන් ගණනාවක විස්තර කර තිබෙනවා. ඒ එක් එක් ගිණුමේ ලැබීම් පැත්තක් සහ ගෙවීම් පැත්තක් තිබෙනවා. ගෙවීම් පැත්තේ තිබෙන්නේ නැවත ආපසු නොපැමිණෙන ලෙස රටෙන් එළියට යන විදේශ විණිමය. නැවත ආපසු පැමිණෙන ලෙස හෝ පැමිණිය හැකි ලෙස රටෙන් එළියට යන විදේශ විණිමය ඇත්නම් ඒවා මූල්‍ය ගිණුමේ ගෙවීම් පැත්තේ වාර්තා වෙනවා. 

මේ සටහනෙහි අවධානය යොමු කරන්නේ ජංගම ගිණුමේ ලැබීම් පැත්තට පමණයි. එම ලැබීම් කොටස ඒවා වාර්තා වන උප ගිණුම් අනුව මෙලෙස වර්ග කළ හැකියි.

1. භාණ්ඩ ගිණුමේ ලැබීම්: මෙහි සටහන් වන්නේ කිසියම් භාණ්ඩයක් රට තුළ නිපදවා අපනයනය කිරීමෙන් ලැබෙන විදේශ විණිමය ආදායම්.

2. සේවා ගිණුමේ ලැබීම්: මෙහි සටහන් වන්නේ විදේශිකයෙකුට කිසියම් සේවාවක් සැපයීමෙන්, එනම් සේවා අපනයනය මගින් ලැබෙන විදේශ විණිමය ආදායම්. මේ කොටස පසුව තව දුරටත් විස්තර කරන්නම්.

3. ප්‍රාථමික ආදායම් ගිණුමේ ලැබීම්: මෙහි ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් සතු වත්කම් විදේශ රටවල ආයෝජනය කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ. උදාහරණයක් ලෙස ලංකාවේ නිල විදේශ සංචිත ආයෝජනය කර ලබා ගන්නා ආදායම්. 

4. ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම්: "ශ්‍රමික ප්‍රේෂණ" ලෙස ලංකාවේ වැරදියට හඳුන්වන්නේ මෙම ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම්. එම ලැබීම් වලින් වැඩි කොටසක් ඇත්තටම "ශ්‍රමික ප්‍රේෂණ" කියා කියන්න පුළුවන් වුනත් මුළු ප්‍රමාණයම ශ්‍රමික ප්‍රේෂණ කියා කියන්න බැහැ. මේ කොටසේ වාර්තා වෙන්නේ විදේශිකයෙකු හෝ විදේශයක පදිංචි අයෙකු විසින් ආපසු ලබා ගැනීමේ අරමුණක් නොමැතිව ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකුට එවන මුදල්. 

පහත තිබෙන්නේ 2024 පළමු මාස නවය ඇතුළත මේ එක් එක් උප ගිණුමට ලැබුණු විදේශ විණිමය ලැබීම් ප්‍රමාණය.

භාණ්ඩ ගිණුම - ඩොලර් මිලියන 9,518

සේවා ගිණුම - ඩොලර් මිලියන 5,115

ප්‍රාථමික ආදායම් ගිණුම - ඩොලර් මිලියන 427

ද්වීතියික ආදායම් ගිණුම - ඩොලර් මිලියන 4,851

එකතුව (ජංගම ගිණුමේ ලැබීම්) - ඩොලර් මිලියන 19,901

මේ අනුව පෙනෙන්නේ ජංගම ගිණුමේ මුළු විදේශ විණිමය ලැබීම් වලින් 26%ක් පමණම සේවා අපනයන ආදායම් බවයි.

සේවා අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන ඩොලර් මිලියන 5,115ක මුදලෙන් ඩොලර් මිලියන 2,348ක්ම ලැබී තිබෙන්නේ සංචාරක සේවා සැපයීම මගින්. නාවුක සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 821ක් හා ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 478ක් ඇතුළුව ප්‍රවාහන සේවා වලින් ඩොලර් මිලියන 1,300ක් ලැබී තිබෙනවා. මෙම ආදායම් මත සෘජුව හා වක්‍රව බදු අය කෙරෙනවා. මීට අමතරව, පරිගණක සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 636ක් ලැබී තිබෙනවා. ඉදිකිරීම්, විදුලි සංදේශ, මූල්‍ය, රක්ෂණ ඇතුළු අනෙකුත් සේවා අපනයන වලින් ඉතිරි කොටස ලැබී තිබෙනවා. 

ඇතැම් භාණ්ඩ අපනයන මත සෙස් බද්දක් අය කෙරෙනවා. ඊට අමතරව භාණ්ඩ අපනයනය කරන අයගේ ශුද්ධ ආදායම් මත ආදායම් බදු අය කෙරෙනවා. එහෙත් කලින් කලට විවිධ ක්ෂේත්‍ර වල අපනයනකරුවන්ට ආදායම් බදු සහන ලබා දී තිබෙනවා. මේවා සහන බදු (අඩු බදු අනුපාතික) හෝ බදු විරාම කාල (යම් කාලයක් යන තෙක් බදු නොගෙවීම) යන ආකාර වලින් ලබා දී තිබුණු බව නිරීක්ෂණය කළ හැකියි. මෙම සහන මේ වන විට බොහෝ දුරට ඉවත් කර තිබෙනවා. 

ශ්‍රමික ප්‍රේෂණ ඇතුළු ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම් මත මෙතෙක් බදු අය කර නැති අතර ඉදිරියේදී එවැන්නක් සිදු වීමට නියමිතවද නැහැ. 

දැන් වෙනසක් සිදු වී තිබෙන්නේ සේවා අපනයන ආදායම් වෙනුවෙන් ගෙවිය යුතු බදු සම්බන්ධවයි. සේවා අපනයන ආදායම් සේ සැලකෙන ඇතැම් ආදායම් සඳහා මෙතෙක් කල් බදු නිදහසක් හිමි වුනා. එම ආදායම් මත මෙතෙක් කල් ආදායම් බදු  අය කෙරුනේ නැහැ. අප්‍රේල් 1 දින සිට මෙම බදු සහනය අහෝසි වීමට නියමිතව ඇති අතර, එදින සිට සේවා අපනයන සිදු කරන පුද්ගලයින්ට සහ සමාගම් වලටද ආදායම් බදු ගෙවීමට සිදු වෙනවා. 

භාණ්ඩ හෝ සේවා අපනයනය කරන ආයතනයක ලාබය කියන්නේ ලැබෙන ආදායමෙන් වියදම් අඩු කළ පසු ඉතිරි වන කොටසයි. එම කොටස මත ආදායම් බදු අය කිරීම සාමාන්‍ය තත්ත්වයක්. දැනට ලංකාවේ පුද්ගල ආදායම් බදු අය කෙරෙන්නේ මසකට රුපියල් 150,000 සීමාවෙන් ඔබ්බටයි. අය කෙරෙන බදු අනුපාතිකය 36% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සමාගම් ආදායම් බදු අනුපාතිකය 30% වන අතර පළමු සතයේ සිටම එම බද්ද අය කෙරෙනවා. 

සේවා අපනයන සඳහා මෙතෙක් ලබා දී තිබුණු බදු නිදහස ඉවත් වීමෙන් පසුව, සේවා අපනයන සිදු කර ආදායම් උපයන පුද්ගලයින්ට සහ සමාගම් වලටද සාමාන්‍ය පරිදි ආදායම් බදු ගෙවන්නට සිදු වෙනවා. කෙසේ වුවත්, මෙම පුද්ගලයින් හෝ සමාගම් විසින් බැංකුවක් හරහා අදාළ ආදායම් ලංකාවට ගෙන්වා ගන්නේනම් තව දුරටත් යම් බදු සහනයක් ලැබෙනවා. ඒ අනුව, ආයතනයකටනම් 30% සමාගම් බද්ද වෙනුවට 15% බද්දක් ගෙවිය හැකි අතර පුද්ගල ආදායම් බදු 36% සීමාවට නොගොස් 15% සීමාවේ නතර වෙනවා. බැංකුවක් හරහා ආදායම රැගෙන නොඑන්නේනම්, 30%ක් වන සාමාන්‍ය සමාගම් බද්ද හෝ 36% දක්වා වන පුද්ගල ආදායම් බද්ද ගෙවන්නට සිදු වෙනවා. 

වැඩිපුර කතාබහට ලක් වී තිබෙන්නේ සේවා අපනයන ආදායම් වුවත්, ප්‍රාථමික ආදායම් ගිණුමේ සටහන් වන විදේශ ආයෝජන වලින් ලැබෙන ආදායම් හා අදාළව මෙතෙක් පැවති බදු සහනද අහෝසි වී එම ආදායම් ලබන්නන්ටද ඉහත පරිදිම බදු ගෙවන්නට සිදු වන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ වුවත්, මේ කාණ්ඩ දෙකේම ආදායම් ලබන්නන්ට ඔවුන් විදේශ වලදී එම ආදායම් මත බදු ගෙවා ඇත්නම්, එම බදු මුදල් ලංකාවට ගෙවිය යුතු බදු වලින් අඩු කිරීමට ඉඩ සලසා තිබෙනවා.

පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූයේ බදු ගෙවන ටික දෙනෙකු මත පමණක් මුළු බදු බරම පටවා තිබීමේ වැරැද්ද සහ බදු ගෙවිය යුතු සියලු දෙනාගෙන්ම බදු අය කර ගැනීමේ වැදගත්කමයි. දැන් සිදු කෙරෙමින් පවතින්නේ එම වැරැද්ද නිවැරදි කරමින් බදු පදනම පුළුල් කිරීමයි. ඒ අනුව, සෑම ආදායම් උපයන්නෙකුට මෙන්ම ආසන්න වශයෙන් හෝ එකම පදනමකින් බදු ගෙවන්නට සිදු වෙනවා. බදු අය කළ යුතු සාධාරණ ක්‍රමය මෙන්ම බොහෝ රටවල බදු අය කරන සාමාන්‍ය ක්‍රමයද මෙයයි. 

මෙම බදු ක්‍රමය සම්බන්ධව අනිසි බියක් ඇති වීමට හේතු වී තිබෙන්නේ බැංකු වලට ලැබෙන ප්‍රේෂණ වලින් මෙම බදු මුදල කපා ගනිතැයි යන බියයි. මගේ අදහස වන්නේ එය එසේ සිදු නොකෙරෙනු ඇති බවයි. බැංකු වලින් කෙළින්ම කපා ගනිද්දී ආදායම් ලැබෙන මූලාශ්‍ර නිවැරදිව සෙවීම හෝ බදු ගෙවිය යුතු සීමාව පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා බදු නොගෙවිය යුතු බොහෝ දෙනෙකුටද බදු ගෙවන්නට වීමේ අවදානමක් තිබෙනවා. එහෙත්, බැංකු වලින් අදාළ තොරතුරු ලබාගැනීම පමණක් සිදු වේනම් මෙවැන්නක් සිදු වන්නේ නැහැ. 

වෙබ් ලිපිනය: