වෙබ් ලිපිනය:

Showing posts with label අපනයන. Show all posts
Showing posts with label අපනයන. Show all posts

Thursday, April 16, 2026

ලංකාවේ අපනයන පංගුව


පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 13,581.4ක්. පෙර වසරේ (2024) භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 12,772.0 එක්ක බලද්දී මෙම ආදායමේ 6.34%ක ඉහළ යාමක් තිබෙනවා. 

අපනයන ආදායම් ඉහළ යාම හොඳයි කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයිනේ. නමුත් මේ ඉහළ යාම මගින් පෙන්වන්නේ ලොකුවට සතුටු විය යුතු දෙයක් නෙමෙයි. අපනයන ආදායම නාමිකව ඉහළ යන එක බොහෝ වසර වලදී සිදු වන සාමාන්‍ය දෙයක් පමණයි. 

ඩොලරයේ මිල දී ගැනීමේ හැකියාව වසරින් වසර පහත වැටෙනවා. ඒ නිසා, ඩොලර් වලින් බැලුවත්, භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වසරින් වසර ඉහළ යනවා. එම තත්ත්වය තුළ, එකම භාණ්ඩ ප්‍රමාණය අපනයනය කළත්, එම භාණ්ඩ වල නාමික ඩොලර් වටිනාකම වසරින් වසර ඉහළ යන නිසා අපනයන ආදායම් නාමිකව ඉහළ යනවා. ඊට අමතරව, රට ඇතුළේ කිසිම සාධනීය වෙනසක් සිදු නොවුනත්, ලෝක ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී ආනයන ඉහළ යනවා. 

රටක අපනයන අංශ වල ප්‍රගතියක් ඇත්තටම වෙනවා කියා කියන්න පුළුවන් වෙන්නේ ලෝක වෙළඳාම වර්ධනය වන වේගය ඉක්මවා අපනයන ආදායම් ඉහළ යන්නේනම් පමණයි. එසේ නොවන්නේනම්, නාමිකව අපනයන ආදායම් වැඩි වුනත්, ලෝක වෙළඳපොළ තුළ ලංකාවේ අපනයන පංගුව අඩු වෙන එකයි වෙන්නේ. එය ඉදිරියට නොව පසුපසට යාමක්.

පසුගිය වසරේ වෙලා තියෙන්නේ සුළු වශයෙන් වුවත් ලංකාවේ අපනයන පංගුව අඩු වීමක්. ඒ කියන්නේ පසුපසට යාමක්.

2024:  0.0521%

2025:  0.0517%

කෙසේ වුවත්, ලංකාවේ ආනයන පංගුවනම් ඉහළ ගිහින් තිබෙනවා.

2024:  0.0759%

2025:  0.0809%

ලෝක ආර්ථිකය තුළ ලංකාවේ පංගුව 0.2% දක්වා වැඩි කරන කතාවක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක තිබුණා කියලත් මතකයි. දැනටනම් එවැනි ඉලක්කයක් සිහිනයක් පමණයි. 

දැනට (2025) ලෝක වෙළඳාම තුළ වැඩිම අපනයන පංගුව තිබෙන්නේ චීනයට. ඉන් පසුව ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය. පහත තිබෙන්නේ වැඩිම අපනයන පංගු තිබෙන රටවල් විස්ස. 

චීනය: 14.365%

ඇමරිකා එක්සත් ජනපදය: 8.322%

ජර්මනිය: 6.719%

හොංකොං: 2.870%

ජපානය: 2.812%

ඉතාලිය: 2.767%

දකුණු කොරියාව: 2.701%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය: 2.691%

ප්‍රංශය: 2.602%

මෙක්සිකෝව: 2.532%

තායිවානය: 2.441%

බෙල්ජියම: 2.164%

සිංගප්පූරුව: 2.158%

එක්සත් රාජධානිය: 2.117%

කැනඩාව: 2.112%

ස්විට්සර්ලන්තය: 2.110%

වියට්නාමය: 1.801%

ඉන්දියාව: 1.696%

ස්පාඤ්ඤය: 1.695%

රුසියාව: 1.597%

අපනයන පංගුව සහ රටේ ප්‍රමාණය අතර ගොඩක්ම ලොකු සම්බන්ධයක් නැහැ. සමහර කුඩා, විවෘත රටවල අපනයන පංගුව ලොකු, විවෘත නැති රටවල පංගුවට වඩා වැඩියි.

(මූලාශ්‍රය: https://unctadstat.unctad.org/datacentre/)

Tuesday, August 19, 2025

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව සහ සේවා අපනයන


පෙර ලිපියක ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව ගැන කතා කරද්දී සේවා අපනයන සලකා බැලුවේ නැහැ. මේ ගැන පාඨකයින් ගණනාවක්ම අදහස් දක්වා තිබුණා. එය අත් වැරැද්දක් නෙමෙයි. හේතු ගණනාවක් නිසා හිතාමතාම කළ දෙයක්.

පළමුව, ලංකාවේ දැනට බලයේ ඉන්න කණ්ඩායම වගේම වෙනත් විවිධ කොටස්ද ලංකාවේ නිෂ්පාදනය හෝ නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කරද්දී එයින් අදහස් කළේ භාණ්ඩ නිෂ්පාදනය සහ භාණ්ඩ අපනයනයයි. ඒ නිසා, මේ හා අදාළ වත්මන් තත්ත්වය විමසා බැලීමේ වැදගත්කමක් තිබෙනවා. 

දෙවනුව, ලෝක වෙළඳාම තුළ සේවා වෙළඳාමේ වැදගත්කම ඉහළ ගියේ සාපේක්ෂව පසු කාලයකදී නිසා ලෝකයේ විවිධ රටවල භාණ්ඩ අපනයන හා අදාළ සංඛ්‍යාලේඛණ තිබෙන තරමටම සේවා අපනයන පිළිබඳ විශ්වාසනීය දීර්ඝකාලීන සංඛ්‍යාලේඛණ නැහැ. 

තුන්වනුව, ලංකාවේ සේවා අපනයන හා එහි විභවය ගැන කතා කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස භාණ්ඩ අපනයන  වලින් සාකච්ඡාව පටන් ගන්න අවශ්‍ය වුනා. සේවා අපනයන ගැන කොහොමටත් පසුව වෙනම කතා කරන්නයි හිටියේ. දැන් මේ කරන්නේ ඒ වැඩේ.

කලින් ලිපියෙහි සඳහන් කළ පරිදි,  2024 වන විට ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව 0.00052ක් හෙවත් 0.052%ක් පමණයි. භාණ්ඩ හා සේවා අපනයන කාණ්ඩ දෙකම සැලකූ විට මේ පංගුව මීට වඩා තරමක් වැඩියි. නමුත් ඒ වෙනස ලෝක මට්ටමේදී බලපෑමක් කළ හැකි තරමේ වෙනසක් නෙමෙයි. 2024දී මේ පංගුව 0.00061ක් හෙවත් 0.061%ක් පමණයි. 

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වේගයෙන් පහත වැටුණු නිදහසින් පසු මුල් යුගය පැත්තකින් තිබ්බොත්, මේ පංගුව වැඩිම මට්ටමක තිබී ඇත්තේ 2016 හා 2017 වසර වලදීයි. මෙම උපරිම අගය 0.084%ක් පමණ. නාමික ඩොලර් අගය සැලකුවොත් දැනට ලංකාව වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායමක් උපයා තියෙන්නේ 2018 වර්ෂයේදීයි. එම අගය ඩොලර් බිලියන 20.3ක්. වෙන ආණ්ඩුවක කාලය තුළ මේ දේවල් සිදු වුනානම් ඒවා විශාල ලෙස ප්‍රචාරණය කෙරෙනවා. පාස්කු ප්‍රහාරය සිදු වූ 2019දී පවා ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන පංගුව 0.078% තරම් ඉහළ අගයක පැවතුණා. මෙම පංගුවේ 2015-2019 සාමාන්‍ය අගය 0.081%ක්. එය අනෙකුත් වකවානු එක්ක බලද්දී කැපී පෙනෙනවා.

ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩුව කාලයේ ලංකාවේ අපනයන පංගුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීමට හේතුව ඒ ආණ්ඩුව විසින් කළ දේවල් කියා කියනවාට වඩා නොකළ දේවල් කියා කියන්න පුළුවන්. ඔය කාලයේදී සාපේක්ෂව විණිමය අනුපාතය මත මහ බැංකු මැදිහත්වීම් සිදු වුනේ අඩුවෙන්. රජය මුල් වී රටේ නිෂ්පාදනයේ හා අපනයන වල සංයුතිය හෝ දිශානතිය මත බලපෑම් කළේ අඩුවෙන්. ඒ නිසා, වෙළඳපොළ යාන්ත්‍රනය වඩා හොඳින් ක්‍රියාත්මක වුනා. ඊට අමතරව, ඊට පෙර යුගයේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව, සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණා. එය දිගටම සිදු වුනා. ඔය සේවා අපනයන ආදායම් වලින් විශාල කොටසක් සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විදේශ විණිමය. 

මෙම වසරේදී ලංකාවේ නාමික භාණ්ඩ හා සේවා අපනයන ආදායම 2018 මට්ටම ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. ඒ අනුව, මෙම 2025 වසරේදීද, 2018දී මෙන්, ලංකාවේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායම වාර්තා වෙයි. එහෙත්, ලංකාවේ වෙළඳ පංගුවනම් 2015-2019 මට්ටමට යන එකක් නැහැ. 

කෙසේ වුවත්, ඉහත සඳහන් ලංකාවේ පංගුව වසරක් හෝ දෙකක් ඇතුළත 2015-2019 පැවති මට්ටමට ඔසොවා ගන්න එක අසීරු වැඩක් නෙමෙයි. ඒ සඳහා ලොකු දේවල් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එතැනින් උඩට වුනත්, යම් සීමාවක් දක්වා වැඩි කර ගැනීමේ විභවයක් තිබෙනවා. නමුත් ගොඩක් වැඩි කරගන්න එකනම් ප්‍රායෝගිකව අසීරු වැඩක්. 

මේ ආණ්ඩුව රටේ භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයනය වැඩි කර ගැනීම සඳහා සාපේක්ෂව වැඩි බරක් තබමින් සිටින බව පේනවා. චීනය වගේ රටක වෙළඳපොළට ඇතුළු වෙන්න ව්‍යවසායකත්වය තිබිලා මදි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම් වලින් ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන්. නමුත් ලංකාවේ භාණ්ඩ අපනයන ලොකුවට වර්ධනය නොවීමට හේතු වන මූලික හේතු තිබෙනවා. කලින් ලිපියක විස්තර කළ, මානව සම්පත් වෙනුවෙන් ප්‍රශස්ත මට්ටම ඉක්මවා ආයෝජනය කර තිබීම එක් හේතුවක්. එයටම සම්බන්ධ, ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් තවත් හේතුවක්. මේ වගේ සාර්ව ආර්ථික සාධක නිසා ලංකාවේ නිෂ්පාදන පිරිවැය වඩා වැඩියි. 

ආණ්ඩුව, බලයට පත් වෙන්න පෙර කියපු විදිහටම, "විද්‍යාත්මක ක්‍රමයකට" අපනයන භාණ්ඩ හා අපනයන වෙළඳපොළවල් තෝරා ගෙන ඒවා ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා. මේ මගින් යා හැකි උපරිම සීමාව කාලයක් යද්දී අවබෝධ වෙයි. හැබැයි මේ උත්සාහයන් නරක නැහැ. අවම වශයෙන් භාණ්ඩ අපනයන පංගුව තියෙන මට්ටමේම තියා ගන්න වුනත්, ලෝක වෙළඳාම වර්ධනය වන වේගයෙන් ලංකාවේ භාණ්ඩ අපනයන වර්ධනය කර ගන්න වෙනවා. 

කොහොම වුනත්, මේ ආණ්ඩුව පවා, කෙටිකාලීනව විශ්වාසය තබා තියෙන්නේ සංචාරක ඉපැයීම් මතයි. ප්‍රායෝගිකව දැනට ලංකාවට වැඩිම ශක්‍යතාවයක් තිබෙන තැන මෙයයි. ජූලි මාසය අවසන් වෙද්දී සංචාරකයින් 1,368,288 දෙනෙක් ලංකාවට පැමිණ තිබුණා. අගෝස්තු 18 වන විට මෙම ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවලා කියලා වාර්තා වී තිබෙනවා. කෙසේ වුවත්, 2018දී, ජූලි මාසය අවසන් වන විට සංචාරකයින් 1,382,476 දෙනෙක් ලංකාවට පැමිණ තිබුණා. තවමත් සංචාරක පැමිණීම් 2018 මට්ටමට වඩා අඩුයි. 

පුරෝකථන අනුව, මෙම (2025) වසරේදී ලෝක සංචාරක කර්මාන්තය 3%-5% අතර වර්ධනයක් පෙන්නුම් කිරීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය නිසා 2019දී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පසුබෑමක් සිදු වුනත්, එම වසරේදී ලෝක සංචාරක කර්මාන්තයේ 3.6%ක වර්ධනයක් සිදු වුනා. ඉන් පසුව, කෝවිඩ් නිසා කර්මාන්තය කඩා වැටුණත්, 2024 වන විට නැවතත් 2019දී සිටි තැනට එම කර්මාන්තය පැමිණුනා. නමුත් ලංකාවේ සංචාරක කර්මාන්තය තවමත් 2018 මට්ට්ටමට පැමිණ නැහැ. ඒ නිසා, මෙම වසරේදී 2018 මට්ටමට පැමිණුනත්, එය 2018ට සාපේක්ෂව ලංකාවේ පංගුවේ 7%-9% පමණ අඩු වීමක්. 

එක පැත්තකින් මෙය නරක දෙයක්මත් නෙමෙයි. මෙයින් පැහැදිලි වන්නේ ලංකාවට පහසුවෙන්ම අත්පත් කර ගත හැකි විභවයක් පවතින බවයි. 

රටට විදේශ විණිමය ලැබේනම් එසේ ලැබෙන්නේ භාණ්ඩ අපනයනයෙන්ද නැත්නම් සේවා අපනයනයෙන්ද යන්න වැදගත් නැහැ. මොන විදිහකින් ලැබුණත් ඒ විදේශ විණිමය වලින් රටට අවශ්‍ය ආනයන සිදු කළ හැකියි. ණය ගෙවිය හැකියි. 

සංචාරක කර්මාන්තය වැනි තනි විදේශ විණිමය ප්‍රභව මත යැපීමේ අවදානමක් තිබෙනවා. ඇඟලුම් වැනි නිෂ්පාදනයක් සැලකුවත් ඒ අවදානම තිබෙනවා. අවදානම ආවරණය කර ගැනීම සඳහා කළ යුත්තේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නංවා ගෙන පවත්වා ගෙන යාමයි.

තවත් විශේෂ කරුණක් පැහැදිලිව සටහන් කර තැබිය යුතුයි. එනම් දිගුකාලීනව නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරමින් කෙටිකාලීනව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හරියන උපාය මාර්ගයක් නොවන බවයි. සංචාරක කර්මාන්තයෙන් රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය ලැබෙන තරමට රුපියල වඩ වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපනයන තරඟකාරිත්වය තව තවත් අඩු වීම නොවැලැක්විය හැකියි. ඒ නිසා, මුලින් සංචාරක කර්මාන්තය මගින් විදේශ විණිමය උපයා ගෙන පසුව භාණ්ඩ අපනයන පංගුව වැඩි කර ගැනීම එකිනෙක හා ගැටෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙකක්. දොන් සිමන් දෙකම එකවර ඉලක්ක නොකර සේවා ආර්ථිකය ගැන වැඩි විශ්වාසයක් තබා කටයුතු කර ඇති 2015-2019 කාලයේදී ලෝක ආර්ථිකය තුළ ලංකාවේ පංගුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීමට හේතුව එයයි. 

දත්ත වල මූලාශ්‍රය ලෝක බැංකුව (https://data.worldbank.org/indicator/NE.EXP.GNFS.CD).

Sunday, August 10, 2025

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව

 

අපනයන වල සැබෑ වර්ධනයක් සිදු නොවුනත්, රුපියල් හෝ ඩොලර් වලින් බලද්දී, කිසියම් වසරක් තුළ අපනයන ආදායම් වැඩි වෙනවා. එයට හේතුව උද්ධමනය නිසා ලෝකයේ හැම රටකම මෙන්ම බොහෝ වසර වලදී මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ යාමයි. ඒ නිසා කිසියම් වසරකදී "ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" ලැබී තිබීම ඉතාම සාමාන්‍ය කරුණක් මිසක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. එය කිසියම් වසරක් තුළ වැඩෙන වයසේ දරුවෙකුගේ බර වැඩිවීම වැනි දෙයක්. 

රුපියල් වලින් බැලුවොත්, 2011-2022 කාලය ඇතුළත "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වී නැත්තේ 2015 හා 2020 වසර දෙකේදී පමණයි. ඉන් පසුව, 2023 හා 2024 වසර දෙක තුළද 2022 වාර්තාව ඉක්මවා ගොස් නැත්තේ ඩොලරයක මිල අඩු වූ නිසායි. එසේ නොවන්නට, එම වසර වලදීද රුපියල් වලින්  "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වෙනවා. 

ඇමරිකාවේ උද්ධමනය ලංකාවට සාපේක්ෂව අඩු නිසා ඩොලර් වලින් බලද්දී "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" මේ තරම්ම සුලභ නැති වුනත්, ඒ තරම්ම දුලබත් නැහැ. 2011-2022 අතර වසර හතකදීම ඩොලර් වලින් බැලුවත් "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වී තිබෙනවා. එසේ වාර්තා වී නැත්තේ වසර පහකදී පමණයි. 

ඩොලර් වලින් බැලුවත්, රුපියල් වලින් බැලුවත්, දැනට ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම් වාර්තා වී තිබෙන්නේ 2022 වර්ෂයේදීයි. ඊට හේතුව, දැනට ලෝක වෙළඳාමේ ඩොලර් අගය වැඩිම මට්ටමක තිබී ඇති වර්ෂය 2022 වසර වීමයි. 2023 හා 2024 වසර වලදී ලෝක වෙළඳාම පැවතුණේ 2022 මට්ටමට වඩා පහළින්. 

කිසියම් වසරක "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම" පැවතීම වුවද ඉතාම සාමාන්‍ය දෙයක්. 2011-2022 කාලය ඇතුළත වසර හතකදීම එසේ සිදු වී ඇති අතර එසේ සිදු වී නැත්තේ වසර පහකදී පමණයි. සාමාන්‍ය කරුණක් ලෙස "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම"  වාර්තා වන වසර වලදී ඩොලර් වලින් බැලු විට "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්"  වාර්තා වෙනවා. මීට හේතුව ලංකාවේ අපනයන ආදායම බොහෝ දුරට ලෝක වෙළඳාමට සමානුපාතික වීමයි. මෙයම වෙනත් විදිහකින් කිවුවොත්, ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව බොහෝ දුරට නොවෙනස්ව පැවතීමයි. 

මෙම 2025 වසර තුළ නැවතත් "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම"  වාර්තා වීමට නියමිතව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වීමක්ද සිදු වීමට නියමිතයි. නමුත් එය විශේෂ කරුණක් නෙමෙයි. 50%ක පමණ සම්භාවිතාවක් ඇති දෙයක්. 

අපනයන ආදායම් වල සැබෑ වැඩි වීමක් සේ සැලකිය හැක්කේ එම ආදායම් වල ඩොලර් අගය ඩොලරයක වටිනාකම අඩු වීම ඉක්මවා වර්ධනය වන්නේනම් පමණයි. එහෙත්, රටක් ලෙස බලද්දී එවැනි වර්ධනයක් වුවද සතුටු විය හැකි වර්ධනයක් වන්නේ නැහැ. ඊට හේතුව එම මූර්ත ආදායම සැලකුවද, ලෝක වෙළඳාම වර්ධනය වෙද්දී ලෝකයේ බොහෝ රටවල් විසින් වර්ධනය කර ගනු ලැබීමයි. ඒ නිසා, ලංකාවේ අපනයන ආදායම් මූර්ත පදනමින් ඒ මට්ටමේම පැවතියද, අනෙක් රටවල අපනයන ආදායම් මූර්ත පදනමින් ඉහළ ගියහොත් ලෝක වෙළදපොළ තුළ ලංකාවේ පංගුව පහත වැටෙනවා. 

රටක් ලෙස ලෝකය තුළ ලංකාවේ තත්ත්වය පවත්වා ගැනීමටනම් අවම වශයෙන් ලෝක වෙළඳපොළ තුළ ලංකාවේ පංගුව තිබෙන මට්ටමේ හෝ පවත්වා ගත යුතුයි. ඒ සඳහා අවම වශයෙන් ලෝක වෙළඳාම වර්ධනය වන වේගයෙන් ලංකාවේ අපනයන ආදායම් වර්ධනය විය යුතුයි. ලංකාවට ලෝකය තුළ ඉදිරියට යාමට අවශ්‍යනම් මෙම පංගුව වර්ධනය කරගත යුතුයි. මෙය මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ පවා කතා කර තිබුණු දෙයක්. 

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? සරල, මැජික් පිළිතුරක් මා ළඟ තිබුණානම් මම එය හොරා වගේ හංගාගෙන ඉන්නේ නැහැ. මා ළඟ එවැනි පිළිතුරක් නැහැ. ඒ වගේම, මේ ප්‍රශ්නයට ආර්ථික විද්‍යා න්‍යාය වලින් පමණක් පිළිතුරු හොයන්න බැහැ. එයින් ඔබ්බට ගිය දේශපාලනික හා උපාය මාර්ගික ප්‍රවේශයක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි ප්‍රවේශයන් අනුගමනය කරද්දී රටක් විදිහට කිසියම් මිලක්ද ගෙවන්න වෙනවා. 

උදාහරණයක් විදිහට ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය එක්ක ගැට ගසන එක එක් ප්‍රවේශයක්. නමුත් හරියකට ප්‍රතිඵලයක් ගන්නනම් ලංකාව කියන්නෙත් ඉන්දියාවේම කොටසක් කියලා සාමාන්‍ය ඉන්දියානුවන්ට ඒත්තු යන මට්ටමට ඔය වැඩේ සිදු විය යුතුයි. එහෙම කළාට පස්සේ ලංකාවට ඉන්දියාවෙන් තොර ස්වාධීන පැවැත්මක් නැති වෙනවා. ඔය විදිහේ උපාය මාර්ග මිසක් රැවුලත් කැඳත් බේරා ගත හැකි උපාය මාර්ග නැහැ. සිංගප්පූරුව ලෝක වෙළඳාම තුළ ඔවුන්ගේ පංගුව වැඩි කර ගත්තේ නොබැඳි පිළිවෙත් අත ඇරලා. 

රටක් සතු ලෝක වෙළඳාම තුළ තමන්ගේ පංගුව වැඩි කර ගැනීම එය නැති කර ගන්නවා වගේ පහසු වැඩක් නෙමෙයි. නිදහස ලැබී දශක තුනක් යන්නත් කලින් ලංකාවට තමන් සතු වූ වෙළදපොළ පංගුවෙන් 90%ක්ම පහසුවෙන්ම නැති කරගන්නනම් පුළුවන් වුනා. ඒ ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින්. ඔව්. දැන් ඇමරිකාව අනුගමනය කරන්නෙත් ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති තමයි. ඒක වෙනම දෙයක්. මේ ලංකාවට සිදු වුන දෙය.

නිදහස ලැබෙන විට (1948දී) ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව 0.0052ක් හෙවත් 0.52%ක්. 2024 වන විට මෙම පංගුව 0.00052ක් හෙවත් 0.052%ක්. හරියටම දහයෙන් එකක්. 1976 වන විට, ඒ කියන්නේ නිදහස ලබලා අවුරුදු 28ක් යන විට, ඔය කඩා වැටීම සිදු වෙලා ඉවරයි. එම වසර වන විට ලංකාවේ වෙළඳපොළ පංගුව 0.006 දක්වා පහත වැටිලා. 

හැත්තෑ හතේ ලංකාවේ ආර්ථිකය විවෘත වුනා කියන එක ලංකාවේ ජනප්‍රිය අදහසක් මිසක් පිළිගත් විද්වත් මතයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ ආර්ථිකය විවෘත වූ සේ සැලකෙන්නේ අනූව දශකයේදීයි. පෞද්ගලීකරණය කිරීම් ගොඩක් සිදු වුනේ එම දශකයේදීයි. නමුත් හැත්තෑ හතේදීත් යම් විවෘත වීමක් සිදු වුනා. එහි උදවුවෙන් ලෝක වෙළඳාමේ ලංකාවේ පංගුව තරමක් ඉහළ ගියා. අනූව දශකයේදී තවත් ටිකක් ඉහළ ගියත්, දෙදාහ දශකයේදී නැවතත් ඒ වැඩිවීම ආපසු හැරවුනා. ඒ නැවතත් ආරක්ෂණවාදය හා ආර්ථික ජාතිකවාදය වෙත පසු බැසීමේ ප්‍රතිඵලයක් විදිහටයි. 

ආර්ථික අර්බුදය පසු කර රටේ ආර්ථිකය නැවත හිස ඔසොවමින් තිබෙන පසුබිම තුළ මේ අවුරුද්දේ ලංකාවේ වෙළඳපොළ පංගුවේ යම් වැඩිවීමක් සිදු විය හැකි වුවත් එසේ අපේක්ෂා කළ හැක්කේ ඉතාම සුළු වෙනසක් පමණයි. නිදහස ලබද්දී ලෝක වෙළඳාමේ ඩොලර් සීයකින් ලංකාවේ පංගුව ඩොලර් ශත පණහක් පමණ. නමුත් දැන් පංගුව ඩොලර් ශත පහක් පමණයි. ඇමරිකාව තීරුබදු දමද්දී ලංකාවට කළ හැක්කක් නැති වී තිබෙන්නේ ඔය විදිහට ලංකාව ශත පහට වැටී තිබෙන නිසා. ඒ ඉන්න තැනින් ඉහළට යන්න ස්නේක් ඇන්ඩ් ලැඩර් වර්ගයේ සරල ඉනිමං නැහැ. ෂෝට්කට් නැහැ. රටේ තනි පුද්ගලයින්ට හා ආයතන වලට ලෝකය තුළ තරඟ කරලා වෙළඳපොළ අල්ලගන්න වෙනවා. 

ප්‍රස්ථාරය සකස් කිරීම සඳහා යොදාගත් දත්ත ලෝක බැංකු වෙබ් අඩවියේ තිබෙනවා (https://data.worldbank.org/indicator/TX.VAL.MRCH.CD.WT). 



Wednesday, July 9, 2025

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ

6,600+ Dollar Bills Flying Stock Photos, Pictures & Royalty ...

ජනප්‍රිය අදහසක් සටහන් කරලා මම මේ ලිපිය පටන් ගන්නම්.

"ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා, ඒ පරතරය පියවා ගන්න ලංකාවට ණය ගන්න වෙනවා."

මේ අදහස තුළ ආනයන පාලනය කිරීම ප්‍රශ්නයට විසඳුමක්ය යන ව්‍යංගයද තිබෙනවා. 

කරුණක් ලෙස ගත්තොත් ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. එය නිවැරදියි. නමුත් ඒ නිසා ලංකාවට ණය ගන්න වෙනවා කියන එක වැරදි අදහසක් නොවේනම් අවම වශයෙන් යල් පැන ගිය අදහසක්. ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තීබූ පමණින් ලංකාව විසින් ණය ගත යුතු වන්නේ නැහැ. ඒ වගේම, ණය ගැනීම ආනයන හා අපනයන අතර විශාල පරතරයක් නඩත්තු වීමට හේතුවක් මිසක් ඒ සඳහා විසඳුමක් නෙමෙයි. 

මේ අදහස වත්මන් සන්දර්භයේදී වැරදි අදහසක් වුනත්, කලකට පෙර පදනමක් තිබුණු අදහසක්. ඒ රන් සම්මතය හෝ වෙනත් එවැනි ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් තිබුණු කාලයේදී. 2001 වසරේ සිට ලංකාවේ තිබෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී මේ පැහැදිලි කිරීම වලංගු නැහැ. ඒ නිසා, දැන් මේ අදහස ලංකාවේ සන්දර්භයේදී යල් පැනගිය අදහසක්. 

නිදහස ලබන විට ලංකාවේ රුපියලක වටිනාකම රන් ට්‍රෝයි අවුන්ස 0.00864ක වටිනාකමට සමාන වුනා. ඒ වෙද්දී බ්‍රිතාන්‍ය පවුමක් වටිනාකමෙන් රන් ට්‍රෝයි අවුන්ස 0.11514කටත්, ඇමරිකන් ඩොලරයක් රන් ට්‍රෝයි අවුන්ස 0.02857කටත් සමානයි. මේවා ජාත්‍යන්තර එකඟතා. ඒ අනුව විවිධ රටවල් වල මුදල් ඒකක වල සාපේක්ෂ වටිනාකම් නියතව තිබුණා. බ්‍රිතාන්‍ය පවුමක් ඇමරිකන් ඩොලර් 4.03ක්. රුපියල්නම් 13.33ක්. ඒ අනුව, ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් වුනා. 

ඔය වගේ ක්‍රමයක් තියෙද්දී ආනයන හා අපනයන කවර මුදල් ඒකකයකින් සිදු වුනත් අවසානයේදී මේ ගනුදෙනු රන් වලට හරවන්න පුළුවන්. ලංකාවේ ආනයන වලට වඩා අපනයන වැඩිනම් වෙනස රන් විදිහට ලබා ගන්න පුළුවන්. ඒ ක්‍රමයට රන් සංචිතයක් හදා ගන්න පුළුවන්. කිසියම් වසරක අපනයන වලට වඩා ආනයන වැඩිනම් වෙනස රන් වලින් ගෙවන්න වෙනවා. එවිට රන් සංචිතය පහළ යනවා. පරතරය ගොඩක් වැඩිනම්, ගෙවන්න තරම් සංචිතත් නැත්නම්, වෙනත් රටකින් ණය ගන්න වෙනවා. එහෙම නැත්නම් ආනයන සීමා කරන්න වෙනවා. 

ඔය ක්‍රමය තියෙද්දී සංචිතය රන් වලින්ම තියා නොගෙන ඩොලර් හෝ පවුම් වැනි විදේශ මුදලකින් තියා ගන්නත් පුළුවන්කම තිබුණා. මේ මුදල් වර්ග වල වටිනාකම රන් හා බැඳී තිබුණු නිසා දෙකේ වෙනසක් තිබුණේ නැහැ. වැදගත්ම කාරණය මේ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයේදී සක්‍රිය ලෙස නඩත්තු කරන විදේශ සංචිතයක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වීම. ඊට හේතුව මේ ක්‍රමයේදී විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවීමයි. ඉල්ලුම වැඩිනම් සංචිතයෙන් අරගෙන අඩුව පුරවන්න වෙනවා. සැපයුම වැඩිනම් අමතර ප්‍රමාණය සංචිතයට එකතු කරගන්න වෙනවා. ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් තවමත් තිබෙන මැදපෙරදිග රටවල් ඇතුළු රටවල දැනටත් සිදු වෙන්නේ මේ ක්‍රියාවලිය. 

පාවෙන විණිමය අනුපාත ක්‍රමය මීට වඩා වෙනස්. එම ක්‍රමයේ පදනම වන්නේ විදේශ විණිමය සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඉඩ හැරීමයි. මේ වැඩේ හරියටම වෙන්න ඉඩ හරිනවානම් සංචිතයක් කියා එකක් අවශ්‍ය වන්නේම නැහැ. ඒ කියන්නේ මහ බැංකුව විසින් විණිමය වෙළඳපොළට කිසිදු මැදිහත්වීමක් කළ යුතු නැහැ. 

අපි හිතමු රටට විදේශ විණිමය ලැබෙන සහ රටෙන් විදේශ විණිමය එළියට යන එකම ආකාර වන්නේ ආනයන සහ අපනයන කියලා. එහෙමනම්, පාවෙන විණිමය අනුපාත ක්‍රමය යටතේ කිසිම ආනයන අපනයන පරතරයක් ඉතිරි වෙන්නේ නැහැ. ආනයන හා අපනයන හරියටම තුලනය වෙනවා. නමුත් ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේනම් ඉතා දුලබ අහම්බයක් සිදු නොවුනහොත්, අනිවාර්යයෙන්ම ආනයන අපනයන පරතරයක් ඉතිරි වෙනවා.

මෙහිදී අපි කතා කරන්නේ මහ බැංකුව විසින් කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් ගැන. එවැනි ක්‍රමයකදී ආනයන කළ හැක්කේ රටට ලැබෙන විදේශ විණිමය වැය කරමින් පමණයි. රටේ විදේශ විණිමය අඩු වෙද්දී රටේ මුදල් ඒකකය දුර්වල වෙනවා. ඒ කියන්නේ රුපියලට ඩොලරයක මිල ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ආනයන සීමා වෙනවා. අපනයන ආදායම් වැඩිනම් ලැබෙන ඩොලර් විකුණද්දී ඩොලරයක මිල පහත වැටෙන නිසා ආනයන ඉල්ලුම ඉහළ යනවා. අවසාන වශයෙන් ආනයන සහ අපනයන තුලනය වෙනවා. 

දැන් මේ විදිහට ආනයන අපනයන පරතරයක් නැතිව තුලනය විය හැකි ආර්ථිකයකට ශ්‍රමික ප්‍රේෂණ ලැබුණු විට වෙන්නේ කුමක්ද?

රටට ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් ලැබෙන තරමට ඩොලරයක මිල පහළ යනවා. ආනයන ඉල්ලුම ඉහළ යනවා. ආනයන හා අපනයන අතර පරතරයක් ඇති වෙනවා. මෙය නවතින්නේ රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයේ තරමටම ආනයන අපනයන පරතරයක් ඇති වුනාට පස්සේ. ඒ නිසා, පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් තිබියදී රටට ශ්‍රමික ප්‍රේෂණ එනවානම්, ඒ එන ප්‍රමාණයටම ආනයන අපනයන පරතරයකුත් හැදෙනවා. 

සංචාරක ඉපැයීම් ලෙස රටට ඩොලර් ලැබෙද්දී වෙන්නෙත් මෙයමයි. ඩොලර් ලැබෙන තරමට ආනයන අපනයන පරතරය ඉහළ යනවා. මේ හේතු නිසා ආනයන අපනයන පරතරයක් ඇති වෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේම, මේ හේතු නිසා ආනයන අපනයන පරතරයක් හැදිලා එය දිගටම නඩත්තු වුනා කියලා එහි හානියකුත් නැහැ. විස්තර කිරීමේ අරමුණින් පමණක්, රටේ කිසිම නිෂ්පාදනයක් සිදු නොවී ශ්‍රමික ප්‍රේෂණ වලින් පමණක් අවශ්‍ය තරම් ආනයන කරන්න පුළුවන්නම්, ශ්‍රමික ප්‍රේෂණ අඛණ්ඩව ලැබෙන තුරු රටේ ආර්ථිකය අර්බුදයට යන්නේ නැහැ. 

නමුත් විදේශ ණය ගත් විට සිදු වෙන්නේ වෙනත් දෙයක්. එහිදීත් විදේශ ණය ලෙස ලැබෙන ඩොලර් නිසා රුපියල ශක්තිමත් වෙනවා. ඩොලරයක මිල අඩු වෙලා ආනයන ඉහළ යනවා. මෙහි තිබෙන වෙනස ණය ලෙස ලබා ගන්නා ඩොලර් පොලියත් සමඟ ආපසු ගෙවිය යුතු වීමයි. එසේ ආපසු ගෙවන අවස්ථාවේදී රටේ ආර්ථිකය අර්බුදයකට යන්න පුළුවන්. ලංකාවට වුනේ ඒකයි. නමුත් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් නැවත ආපසු නොගෙවිය යුතු නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. 

ඉහත පැහැදිලි කළ පරිදි, විදෙස් ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන අපනයන පරතරයක් හැදෙනවානම් එය රටට හානිකරයි. නමුත් ශ්‍රමික ප්‍රේෂණ හෝ සංචාරක ආදායම් ලෙස රටට ලැබෙන ඩොලර් නිසා ආනයන අපනයන අතර පරතරයක් හැදෙනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ.

ශ්‍රමික ප්‍රේෂණ නිසා ආනයන අපනයන පරතරය වැඩි වූ ආකාරය සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වුවත් පෙන්වන්න පුළුවන්. ලංකාව පාවෙන විණිමය අනුපාත ක්‍රමයකට ගියේ 2001දී. ඒ අවුරුද්දේ වෙළඳ හිඟය, ඒ කියන්නේ ආනයන අපනයන පරතරය, ඩොලර් මිලියන 1,157ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 1,155ක්. ඒ මුදලින් වෙළඳ හිඟය හරියටම වගේ පියවුනා. 

ඉන් පසු වසර වලදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. 2020දී ඩොලර් මිලියන 7,107ක ශ්‍රමික ප්‍රේෂණ ලැබුණා. ඊට අනුරූපව වෙළඳ හිඟයද ඩොලර් මිලියන 6,008 දක්වා ඉහළ ගියා. පසුගිය 2024 වසරේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 6,069ක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 6,429ක්. 

ශ්‍රමික ප්‍රේෂණ නිසා ඊට සමාන වෙළඳ හිඟයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් වගේම පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් තුළ අනිවාර්යයෙන්ම සිදු වන දෙයක්. එහි බයවෙන්න දෙයක් නැහැ. ඒ වගේම, මේ හේතුව නිසා ඇති වෙන වෙළඳ හිඟය නැති වෙන්නනම් රටට ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එකත් නැති වෙන්න ඕනෑ. ඔය දෙකෙන් එකක් විතරක් වෙන්නේ නැහැ. 

කෙසේ වුවත්, ලංකාවේ වෙළඳ හිඟයට එකම හේතුව ශ්‍රමික ප්‍රේෂණ නෙමෙයි. උදාහරණයක් විදිහට 2011 වැනි වර්ෂයක් පෙන්වන්න පුළුවන්. ඒ අවුරුද්දේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 9,710ක් වුනත් ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබුණු මුදල ඩොලර් මිලියන 5,145ක් පමණයි. ඒ ප්‍රමාණයට වඩා නොවැඩි වෙළඳ හිඟයක් තිබුණානම් ඒකේ අවුලක් නැහැ. නමුත් වෙළඳ හිඟය තිබුණේ ඊට වඩා ගොඩක් ඉහළින්. ඊට හේතුව රජය විසින් විශාල ලෙස ණය ගැනීම. ණය වලින් ආනයන කිරීමේ ප්‍රශ්නය ගත් ණය පසුව ආපසු ගෙවන්න සිදු වීම. ගෙවන්න වෙන්නේ පොලියත් එක්කයි.

දැන් ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව ආනයන අපනයන පරතරය නැති කිරීමේ ඉලක්කයක් නැහැ. එවැනි ඉලක්කයක් තියා ගන්න අවශ්‍යත් නැහැ. නමුත් ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් ඇතුළු අනෙකුත් ක්‍රම වලින් රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල වෙළඳ හිඟයක් තියෙනවානම් පමණක් එය ප්‍රශ්නයක් වෙනවා. වාහන ආනයන කරන්නේ මේ විදිහට උපයන ඩොලර් වලින්. ඒ නිසා වෙළඳ හිඟය සීමාව ඉක්මවා යන්නේ නැහැ. වාහන ආනයන සඳහා සංචිත වැය කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. වාහන ආනයන නිසා රටේ ආර්ථිකය නැවත අස්ථාවර වෙන්නෙත් නැහැ. 

නමුත් මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් නොවෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ පමණයි. ඒ ක්‍රමය යටතේදී වාහන ආනයන ඕනෑවට වඩා ඉහළ ගියොත් ඩොලර් ඉල්ලුම වැඩි වීම නිසා ඩොලරයක මිල ඉහළ යනවා. එවිට වාහන සඳහා තිබෙන ඉල්ලුම අඩු වෙනවා. යම් හෙයකින් මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල ඉහළ යාම වලක්වන්න උත්සාහ කළොත් පමණක් සංචිත නාස්ති වෙන්න පුළුවන්. 

Thursday, July 18, 2024

ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ


ඉස්සර ලංකාවේ ප්‍රධාන අපනයන විදිහට අපි ඉගෙන ගත්තේ තේ, රබර් හා පොල්. දැන් ලංකාව මේ දේවල් ඒ විදිහටම අපනයනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්නේ රට ඇතුළේ අගය එකතු කරලා. 

ලංකාව ලෝකයටම වගේ කොහු ලණු අපනයනය කරනවා. ලංකාවේ කොහු ලණු වලට ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තිබෙනවා. පසු ගිය 2023 වසරේදී ලංකාව ලෝකයේ රටවල් 111කට කිලෝග්‍රෑම් 408,370,302ක කොහු ලණු හා එම කාණ්ඩයේ අනෙකුත් නිෂ්පාදන අපනයනය කර එමගින් ඩොලර් මිලියන 172ක (හරියටම ඩොලර් 171,964,416ක) විදේශ විණිමය ප්‍රමාණයක් උපයාගෙන තිබෙනවා. ලංකාව ලණු දීපු නැති රටක් ලෝකයේම නැති තරම්!

ගිය අවුරුද්දේ ලංකාව වැඩියෙන්ම ලණු දී තිබෙන්නේ චීනයටයි. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 89,301,836ක්. එමගින් උපයා තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 20.4ක් (හරියටම ඩොලර් 20,381,674ක්). මෙක්සිකෝවට ලණු දී තිබෙන්නේ මීට වඩා අඩුවෙන් වුනත් (කිලෝග්‍රෑම් 43,676,320ක්), වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් උපයා තිබෙන්නේ මෙක්සිකෝවට ලණු දීලයි. එම ආදායම ඩොලර් මිලියන 23ක් (ඩොලර් 22,978,180ක්). ජපානයට කිලෝග්‍රෑම් 35,566,195ක ලණු දී ඩොලර් මිලියන 11.1ක (ඩොලර් 11,082,593ක) ආදායමක් උපයාගෙන තිබෙනවා.

උඩ ඡායාරූපයේ දැකිය හැක්කේ ජපානයේ විකුණන්නට තිබෙන ලංකාවේ නිපදවනු ලැබූ ලණු කැරලි. මේවා විකුණන්නට තිබෙන්නේ ජපානය පුරා ව්‍යාප්තව ඇති, යෙන් 100ක මිලකට බඩු විකුණන (ඇමරිකාවේ ඩොලර් කඩ හා එක්සත් රාජධානියේ පවුම් ෂොප් වැනි), දයිසෝ නම් සිල්ලර වෙළඳසැල් ජාලයකයි.

මෙහි නිෂ්පාදකයාගේ නම කියවා ගන්න අසීරුයි. කියවා ගත හැකි පරිදි මෙය නිපදවා තිබෙන්නේ වේයන්ගොඩ, නයිවල, කොළඹ පාරේ, අංක 379/4 දරන ලිපිනයේ ඇති (හෝ ඊට කිට්ටුවෙන් යන නමක් සහිත ලිපිනයක ඇති) කොයිල් ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගම හෝ ඊට කිට්ටු නමක් තිබෙන ආයතනයකයි. බොහෝ විට මුලින් තවත් වචනයක් ඇති.

කොහු ලණු හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් ලණු හැදිය හැක්කේත් සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් වැඩි කොටසක් අපනයනය කළ විට ලංකාවේ අවශ්‍යතා සඳහා ලණු හිඟ වෙනවා. නමුත් කොහු ලණු වලින් කළ හැකි දේ කරන්න හැම විටම කොහු ලණුම අවශ්‍ය නැහැ. අඩු මිලකට ප්ලාස්ටික් ලණු මිල දී ගත හැකිනම් බොහෝ දෙනෙක් කොහු ලණු වෙනුවට ප්ලාස්ටික් ලණු මිල දී ගන්නවා. ඒ ප්ලාස්ටික් ලණු ආනයනය කරනවා වෙන්න පුළුවන්.

කොහු ලණුවක් අවශ්‍ය වැඩේ ප්ලාස්ටික් ලණුවකින් කරගත් විට බොහෝ දෙනෙකු අතේ මුදල් ඉතිරි වෙනවා. එය පාරිභෝගිකයින්ට වාසියක්. අනෙක් පැත්තෙන් කොහු ලණු නිෂ්පාදකයින්ට ඔය ලණු රට ඇතුළේ විකුණලා ගන්න බැරි මුදලක් ඒවා අපනයනය කරලා ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ වැඩෙන් පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් වාසියි. 

කොහු ලණු අපනයනය කරලා උපයා ගන්නා විදේශ විණිමය වැය කරලා ප්ලාස්ටික් ලණු ගේන එකෙන් අවශ්‍ය වැඩෙත් වෙලා තව අමතර විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඕක තමයි ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන වාසිය. එහෙම නැතුව රටට අවශ්‍ය ලණු රටේම හදාගන්න ගියොත් පාරිභෝගිකයින්ට, නිෂ්පාදකයින්ට වගේම අන්තිමේදී රටටත් වෙන්නේ අවාසියක්. එහෙම ලණුනම් කන්න එපා!

Tuesday, January 23, 2024

අපනයන කළ යුත්තේ ඇයි?


කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි. රටක් අපනයන කළ යුත්තේ ඇයි?

දේශ සීමා බාධක ඉතා අඩු හෝ නැති, ජාත්‍යන්තරයට විවෘත, ලිබරල් ආර්ථික ක්‍රමයක් ගැන පෙනී සිටින අය අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින එක තේරුම් ගන්න අපහසු නැහැ. නමුත්, සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින අයත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරන්නේ ඇයි?

මෙහි සඳහන් දෙවන කණ්ඩායම අපනයන ප්‍රවර්ධනය අවශ්‍ය බව හිතන්නේ පළමු කණ්ඩායම එසේ හිතන හේතුව මත පදනම්ව නෙමෙයි. ඉතාම සරලව කිවුවොත් රටට විදේශ විණිමය හොයා ගන්න. රටක් අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයා ගන්න කියන එක ජනප්‍රිය, ප්‍රචලිත, එහෙත් වැරදි අදහසක්. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්.

ඔය අදහස එන්නේ සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ අදහස් පද්ධතියේ කොටසක් විදිහටයි. මේ ක්‍රමයේදී කිසියම් රටක් විසින් උත්සාහ කරන්නේ රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න. එහිදී පිරිවැය, නිෂ්පාදන කාර්යක්ෂමතාවය වගේ දේවල් වලට ලොකු අවධානයක් යෙදවෙන්නේ නැහැ. 

මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් තුළ රටක නිෂ්පාදන ප්‍රතිපත්තිය මේ වගේ තැනකට තල්ලු වීම තේරුම් ගන්න අපහසු නැහැ. සමාජවාදී මධ්‍යගත සැලසුමක් බලාත්මක කළ හැක්කේ කිසියම් රටක දේශ සීමා ඇතුළේ පමණයි. ඒ නිසා, ඒ වගේ සැලසුමක් ආනයන මත පාදක වෙන එකක්නම් ඒ හේතුවෙන්ම එම සැලසුම අවුලට යාමේ ඉඩකඩ ඉහළ යනවා. මොකද රටේ දේශ සීමා වලින් එහා සිදු වන නිෂ්පාදන පිළිබඳව මධ්‍යගත සැලසුම හරහා බලපෑම් කරන්න බැහැ. රට තුළ නිපදවිය හැකි හැම දෙයක්ම රට තුළම නිපදවා ගත් තරමට මධ්‍යගත සැලසුමේ ඉලක්ක සම්බන්ධව රටේ බලාධිකාරියට වැඩි බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසාම, එය සාර්ථක කර ගැනීම වඩා පහසුයි.

හැබැයි රටකට අත්‍යාවශ්‍ය සමහර දේවල් කිසියම් රටක මොන විදිහකින්වත් නිපදවන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස තෙල් නිධි නැති රටක තෙල් නිපදවන්න බැහැ. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න වෙනවා. ඒ සඳහා විදේශ විණිමය අවශ්‍ය වෙනවා. එම විදේශ විණිමය ප්‍රමාණය හොයා ගන්න රටේ නිපදවිය හැකි භාණ්ඩ හා සේවා වලින් කොටසක් අපනයනය කරන්න වෙනවා. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න කියන අදහස එන්නේ ඔය චින්තනය ඇතුළේ. 

ඉහත කී ආර්ථික චින්තනය ඇතුළේ ඉන්න රටකට ප්‍රමාණවත් අපනයන ආදායමක් නොමැති වූ විට ආනයන සීමා කරන්න පෙළඹෙනවා. අනෙක් අතට විදේශ විණිමය වැඩියෙන් එකතු වෙද්දී එම විදේශ විණිමය ආනයන වෙනුවෙන් වැය නොකර ගොඩ ගසා ගැනීමේ පෙළඹුමක් තිබෙනවා. 

රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරනවා කියන අදහසේම ලොකු අවුලක් තිබෙනවා. ඒ අවුල ලොකුවටම තියෙන්නේ ලංකාව වගේ පොඩි රට වලට. දැන් මම ඒ අවුල විස්තර කරන්නම්. 

අපි හිතමු ලෝකයේ හැම රටකම ආර්ථික ප්‍රතිපත්තිය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගෙන එසේ නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කරන එක කියලා. පැරණි සෝවියට් දේශය ඇතුළු කොමිකොන් සංවිධානයේ සාමාජික රටවල ආර්ථික ප්‍රතිපත්තිය වුනේ මෙවැන්නක්. ඔය ක්‍රමය ඇතුළේ පොඩි රටවල් අවුලට යන්නේ මේ විදිහටයි.

පැරණි සෝවියට් දේශය වගේ විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු, විශාල ජනගහණයක් සිටින සහ විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටකට අවශ්‍ය දේවල් බොහොමයක් එරට තුළම නිපදවා ගන්න පුළුවන්. ඇතැම් විට හැම දෙයක්ම වගේ. නමුත්, සෝවියට් දේශයට සාපේක්ෂව කුඩා රටවල් වන වියට්නාමයට හෝ කියුබාවට එහෙම කරන්න බැහැ. එක්කෝ අවශ්‍ය ස්වභාවික සම්පතක් රටේ නැහැ. එහෙම නැත්නම් දේශගුණය බාධාවක්. තවත් හේතු ගණනාවක් නිසා මෙවැන්නක් විය හැකියි.

දැන් මේ වගේ කුඩා රටවල් වලට තමන්ගේ රටේ නිපදවා ගත නොහැකි යම් යම් දේවල් ආනයනය කරන්නම වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන විදේශ විණිමය හොයා ගන්න මොනවා හෝ දේවල් ටිකක් අපනයනය කරන්නත් වෙනවා. නමුත් ප්‍රශ්නය සෝවියට් දේශය වගේ ලොකු රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියක සිටිද්දී, කියුබාව වගේ රටකට සෝවියට් දේශයට මොනවා හෝ අපනයනය කර විදේශ විණිමය හොයා ගැනීමේ අවස්ථාව නැති වී යන එක. මොකද කියුබාවේ නිපදවිය හැකි ඕනෑම දෙයක් සෝවියට් දේශයේත් හදන්න පුළුවන්. (මෙය උදාහරණයක් පමණයි). 

ඉහත හේතුව නිසා රටක් රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්න ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිඵලය වන්නේ කුඩා ආර්ථිකයන් ඇති රටවලට හැමදාම දිගින් දිගටම විදේශ විණිමය අර්බුද වලට මුහුණ දෙන්න වෙන එක. ප්‍රායෝගිකව වුනත් වුනේ මේකයි. සමාජවාදී කඳවුරේ හිටපු පොඩි රටවලට හැම විටම මෙන් තමන්ගේ ආර්ථිකයන් තුලනය කරගන්න පුළුවන් වුනේ ලොකු රටවල අනුකම්පාව මත පදනම්වයි. නිශ්චිත ලෙස කිවුවොත් සෝවියට් ආධාර වල උදවුවෙන්. වියට්නාමය වගේ රටවලට ඒ කාලයේදී සෝවියට් දේශයෙන් වාර්ෂිකව ආධාර මුදල් ලැබුණා.

ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ලිබරල් ප්‍රවේශයේදී මේ වගේ අවුලක් වෙන්නේ නැහැ. මොකද කිසියම් රටක් යම් භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය කරන්නේ එය රට තුළ නිපදවා ගත නොහැකි නිසා නෙමෙයි. "සංසන්දනාත්මක වාසිය" නිසා. (මේ ගැන පෙර ලියූ ලිපි මාලාවක් තිබෙනවා. අවශ්‍යනම් කියවන්න.) උදාහරණයක් විදිහට ලංකාවේ මහලා ඇමරිකාවට යවන ඇඟලුම් ඇමරිකාව ඇතුළේම මහගන්න කිසිම බැරිකමක් නැහැ. 

අනෙක් අතට මතක තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ ඔය ලිබරල් ප්‍රවේශය තුළ අපනයන වර්ධනය වූ පමණින් රටක විදේශ විණිමය සමුච්ඡනය වෙන්නේ නැහැ. රටට එන විදේශ විණිමය අනෙක් අතට ආනයන ලෙස හෝ වෙනත් ක්‍රමයකින් රටෙන් එළියට යනවා. පසුගිය ලිපි හයකම අපි හිටියේ වියට්නාමය ඇතුළේ නිසා අපි නැවතත් වියට්නාමය වෙතම යමු. 

වියට්නාමය කියන්නේ විශාල අපනයන ආර්ථිකයක් තිබෙන රටක් බව ඔබ දැනටමත් දන්නවා. 2022 වසරේදී වියට්නාමය භාණ්ඩ අපනයනයෙන් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 371,304ක්. මීට සාපේක්ෂව ලංකාව ඉපැයුවේ ඩොලර් මිලියන 13,106.4ක් පමණයි. ඒ කියන්නේ 2022 වසරේ වියට්නාමයේ භාණ්ඩ අපනයන ආදායම ලංකාවේ එම ආදායම මෙන් 28 ගුණයක්.

ලංකාවට වඩා විශාල ජනගහණයක් සිටින ලොකු රටක් වන වියට්නාමය ලංකාව සමඟ සංසන්දනය කිරීම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් බව මෙම ලිපි මාලාවේ මුල් ලිපි වල පැහැදිලි කළානේ. ඒ කරුණ අපට අමතක කරන්න බැහැ. නමුත් වියට්නාමයේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් 28 ගුණයක් විශාල නැහැ. එය ඩොලර් බිලියන 408.8ක ආර්ථිකයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 74.4ක් වූ ලංකාවේ ආර්ථිකය මෙන් පස් හය ගුණයක් පමණ ලොකු ආර්ථිකයක්. ඩොලර් බිලියන 371.3ක අපනයන ආදායමක් කියා කියන්නේ ඊට සාපේක්ෂව වුවත් ඉතාම විශාල අගයක්. එරට දදේනියෙන් 90.8%ක්.

ඒ කියන්නේ වියට්නාමයේ සමස්ත නිෂ්පාදිතයෙන් 90.8%ක්ම අපනයනය කරනවාද? මෙම අගය භාණ්ඩ අපනයන පමණයි. මීට අමතරව වියට්නාමය විසින් යම් තරමක සේවා අපනයනද කරනවා. එම ප්‍රමාණය ඩොලර් මිලියන 12,900ක්. ඒ අනුව, භාණ්ඩ හා සේවා අපනයනය රටේ දදේනියෙන් 94.0%ක්.

රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයෙන් 94.0%ක්ම අපනයනය කළොත් එරට සමස්ත පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් මෙන්ම රාජ්‍ය අංශයේ පරිභෝජනය වෙනුවෙන්ද ඉතිරි වන්නේ දදේනියෙන් 6.0%ක කොටසක් පමණයි. නමුත්, 2022 වසරේදී වියට්නාමයේ පරිභෝජනය හා ආයෝජනය එරට දදේනියෙන් 96.29%ක්. මෙහෙම වුනේ කොහොමද?

පිළිතුර සරලයි. මේ වෙනස වියට්නාමයේ ආනයන. 2022 වසර තුළ වියට්නාමය විසින් ඩොලර් මිලියන 345,587ක භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ඊට අමතරව ඩොලර් මිලියන 25,524ක සේවා ආනයනය කර තිබෙනවා. එකතුව එරට දදේනියෙන් 90.8%කට සමානයි. මේ අනුව පැහැදිලි වන්නේ කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති වත්මන් වියට්නාමය රට තුළ නිපදවා ගත හැකි හැම දෙයක්ම කොහොම හරි රට තුළ නිපදවා ගන්නා ප්‍රතිපත්තියක නැති බවයි. ඒ වෙනුවට වියට්නාමය විසින් අනුගමනය කරන්නේ තමන්ට සංසන්දනාත්මක වාසියක් ඇති දේ අපනයනය කරන අතර එවැනි වාසියක් නැති දේ ආනයනය කිරීමේ ලිබරල් ප්‍රවේශයයි.

වියට්නාමය විසින් අපනයනය කරන දේවල් නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලද එරට තුළම නිපදවීමට උත්සාහ කළේනම් වියට්නාමයට මෙම අපනයන ඉලක්කයට යා හැකි වන්නේ නැහැ. නමුත්, ඒ හැම දෙයක්ම රට තුළ නිපදවීමෙහි සංසන්දනාත්මක වාසියක් නොමැති බව වියට්නාමය විසින් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා. වියට්නාමය විසින් කරන්නේ රට තුළ තරඟකාරී ලෙස නිපදවිය නොහැකි දේ ආනයනය කරමින් රට තුළ තරඟකාරී ලෙස කළ හැකි අගය එකතු කිරීම් කරන එක පමණයි.

ඉහත හේතුව නිසා වියට්නාමය විසින් අපනයන වෙළඳපොළ ඉලක්ක කරමින් කොයි තරම් විශාල නිෂ්පාදනයක් රට තුළ සිදු කළත්, ඒ මගින් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රට තුළට අද්දා ගත්තත්, එම විදේශ විණිමය ප්‍රමාණයෙන් වැඩි කොටසක් නැවත රටෙන් එළියට යනවා. රට තුළ මහා පරිමාණයෙන් විදේශ විණිමය සමුච්ඡය වීමක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවත්, භාණ්ඩ වෙළඳාම පමණක් සැලකුවහොත් වියට්නාමයේ විදේශ විණිමය අතිරික්තයක් දැකිය හැකියි.

භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 371,304

භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 345,587

වෙළද ගිණුමේ අතිරික්තය - ඩොලර් මිලියන 25,717


මෙයට සාපේක්ෂව ලංකාවේ වෙළද ගිණුමේ දැකිය හැක්කේ හිඟයක්.

භාණ්ඩ අපනයනය - ඩොලර් මිලියන 13,106.4

භාණ්ඩ ආනයනය - ඩොලර් මිලියන 18,291.0

වෙළද ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 5,184.6

ලංකාවේ මෙම වෙළඳ හිඟයට හේතුවම ලංකාව ප්‍රමාණවත් තරමින් ලෝකයට විවෘත නොවීමයි. කෙසේ වුවත් කරුණක් සේ ගත්තොත්, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් පවතිද්දී වියට්නාමය විසින් අතිරික්තයක් පවත්වා ගන්නවා. ඒ නිසා, වියට්නාමයේ විශාල ලෙස විදේශ විණිමය ගොඩ ගැසෙනවාද?

වියට්නාමය භාණ්ඩ නිෂ්පාදනයේදී ලංකාවට වඩා තරඟකාරී වුවත්, සේවා නිෂ්පාදනයේදී ලංකාව වඩා තරඟකාරීයි. ලිපිය දිගු වන නිසා ඒ ඇයි කියා මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් පහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මේ කරුණ පැහැදිලි විය යුතුයි.

වියට්නාමයේ සේවා ගිණුම:

සේවා අපනයනය - ඩොලර් මිලියන 12,900

සේවා ආනයනය - ඩොලර් මිලියන 25,524

සේවා ගිණුමේ හිඟය - 12,624

සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල අතිරික්තය  - ඩොලර් මිලියන 13,093


ලංකාවේ සේවා ගිණුම:

සේවා අපනයනය - ඩොලර් මිලියන 3,062.3

සේවා ආනයනය - ඩොලර් මිලියන 952.7

සේවා ගිණුමේ අතිරික්තය - 2,109.6

සමස්තයක් ලෙස වෙළඳ හා සේවා ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 3,075.0

වියට්නාමය තරඟකාරී ලෙස රට තුළ භාණ්ඩ නිපදවා වෙළඳ අතිරික්තයක් පවත්වා ගත්තත්, සේවා නිෂ්පාදනයේදී ඒ තරඟකාරිත්වය නැති නිසා සේවා ගිණුමේ තියෙන්නේ හිඟයක්. වෙළඳ ගිණුමේ අතිරික්තයෙන් බාගයක් පමණ ඒ හිඟය පියවීම සඳහා වැය වෙනවා. මෙයින් වෙනස්ව, ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයෙන් කොටසක් සේවා ගිණුමේ අතිරික්තය නිසා පියැවෙනවා.

රටකට ඩොලර් (විදේශ විණිමය) ලැබෙන්නෙත්, රටකින් විදේශ විණිමය පිට වන්නේත් භාණ්ඩ හා සේවා වෙළඳාම හරහා පමණක් නෙමෙයි.

රටකට විදේශ ආයෝජන පැමිණීම අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වුනත් විදේශ ආයෝජකයින් මී කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. තමන්ගේ ආයෝජන වල ප්‍රතිලාභ ඔවුන් වාර්ෂිකව රටෙන් එළියට අරගෙන යනවා. සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් තිබෙන වියට්නාමයෙන් වසරකට මේ විදිහට එළියට යන විදේශ විණිමය ප්‍රමාණය ඉතාම විශාලයි.

ඉහත කී පරිදි විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවිය යුතු පොලී හා ලාභාංශ ලෙස රටින් පිටවන මුදල් හා එලෙසම රටට එන මුදල් සටහන් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමේ. 2022 වසරේදී වියට්නාමයේ ප්‍රාථමික ආදායම් ගෙවීම් ප්‍රමාණය ඩොලර් මිලියන 22,049ක්. ලංකාවේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,123.6ක් පමණයි. 

මෙහිදී සිදු වන්නේ ආයෝජකයින් විසින් වියට්නාමයේ අඩු ශ්‍රමයේ වාසිය ලබා ගනිමින් එරට තුළ භාණ්ඩ නිපදවා ලැබෙන ලාබය රටෙන් රැගෙන යාමක්. ලංකාවේද සිදු වන්නේ මෙයම වුවත් එසේ සිදු වන්නේ අඩු පරිමාණයකින්. 

මේ දෙරටේම රටින් පිටත ඇති ආයෝජන එතරම් විශාල නොවන නිසා ප්‍රාථමික ආදායම් ලැබීම් ප්‍රමාණ එම ගෙවීම් වලට සාපේක්ෂව ඉතාම අඩුයි. වියට්නාමයේ එම ප්‍රමාණය ඩොලර් මිලියන 2,321ක්. ලංකාවේ ඩොලර් මිලියන 249.4ක් පමණයි. කොහොම වුනත් මේ කාරණයේදී පවා වියට්නාමය ලංකාවට සාපේක්ෂව විවෘත බව කැපී පෙනෙනවා. වියට්නාමයේ විදේශ ආයෝජන වලින් ලැබෙන ආදායම ලංකාවේ එම ආදායම මෙන් දහ ගුණයකට ආසන්නයි.

ලංකාවේ වගේම වියට්නාමයේත් ප්‍රාථමික ආදායම් ගිණුම් වල දැකිය හැක්කේ හිඟයක්. එම හිඟය පියවීමෙන් පසුව මේ එක් එක් රටේ විදේශ විණිමය ප්‍රවාහ තුලනය වන්නේ කොහොමද?

සමස්තයක් ලෙස වියට්නාමයේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 6,635

සමස්තයක් ලෙස ලංකාවේ වෙළඳ, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල හිඟය - ඩොලර් මිලියන 4,949.1

පේනවානේ තත්ත්වය. වියට්නාමය විශාල නිෂ්පාදන ආර්ථිකයක් එක්ක විශාල වෙළඳ අතිරික්තයකින් පටන් ගත්තත්, සේවා හා ප්‍රාථමික ආදායම් ගිණුම් වල ශේෂ එකතු කළාට පස්සේ රටේ විදේශ විණිමය හිඟය ලංකාවේ එම හිඟයටත් වඩා වැඩියි. වැඩියෙන් අපනයනය කළ පමණින්ම රටේ වැඩියෙන් ඩොලර් ඉතිරි නොවන බව මෙයින් පැහැදිලිව පේනවා ඇති.

රටකට විදේශ විණිමය එන්නේ ඔය ක්‍රම තුනට පමණක් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ ගැන කවුරුත් දන්නවනේ. ඒවා සටහන් වෙන්නේ ද්වීතියික ආදායම් ගිණුමේ. ලංකාවට වගේම වියට්නාමයටත් ශ්‍රමික ප්‍රේෂණ එනවා. ඒ වගේම, ඊට වඩා අඩු ප්‍රමාණයක් වුවත්, යම් විදේශ විණිමය ප්‍රමාණයක් ශ්‍රමික ප්‍රේෂණ විදිහට රටින් එළියටත් යනවා. ද්වීතියික ආදායම් ගිණුම ඉහත ගිණුම් තුනට එකතු කළාට පස්සේ තත්ත්වය කුමක්ද?

වියට්නාමයේ ද්වීතියික ආදායම් ගිණුම:

ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 12,213

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 6,652

ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 5,561

සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,074


ලංකාවේ ද්වීතියික ආදායම් ගිණුම:

ද්වීතියික ආදායම් ලැබීම් - ඩොලර් මිලියන 3,792.8

ද්වීතියික ආදායම් ගෙවීම් - ඩොලර් මිලියන 296.4

ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය - 3,496.4

සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 1,452.7


දැන් කතාව පැහැදිලි ඇතිනේ! 

සියලුම ඩොලර් ආදායම් හා ඩොලර් වියදම් තුලනය වුනාට පස්සේ ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,452.7ක හිඟයක් ඇති වෙලා. එම මුදල ආයෝජනයක් ලෙස හෝ ණයක් ලෙස රටට පැමිණිය යුතුයි. භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 371ක් උපයලා, ඩොලර් බිලියන 25.7ක වෙළඳ ගිණුම් අතිරික්තයක් එක්ක පටන් ගත්ත වියට්නාමයේ එහෙම වෙලා නැද්ද?

අවසාන ප්‍රතිඵලය දිහා බැලුවහම වියට්නාමයේ කියලත් වෙනසක් නැහැ. වියට්නාමය 2022 අවුරුද්ද අවසන් කරන්නේත් ඩොලර් බිලියනය ඉක්මවන ජංගම ගිණුම් හිඟයක් එක්ක. ඒ කියන්නේ උපයපු විදේශ විණිමය ප්‍රමාණය කොපමණ වුනත් ඊට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් වියදම් වෙලා. 

කොයි තරම් අපනයන කළත් රටක විදේශ විණිමය ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා, මොන විදිහකින් හෝ විදේශ විණිමය හොයන්න මහන්සි වෙන එක විදේශ විණිමය ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. ඒ වගේම, විදේශ විණිමය ප්‍රවාහ තුලනය කරගන්න ලොකුවට දඟලන්න අවශ්‍යත් නැහැ. විණිමය අනුපාතය නියම තැන තියෙනවානම් ඔය වැඩේ නිකම්ම වෙනවා.

අවදානමකට මුහුණ දීම සඳහා යම් විදේශ සංචිත ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, විදේශ විණිමය උපයලා ගොඩ ගහගෙන ඉන්න එකේත් තේරුමක් නැහැ. රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ උපයන විදේශ විණිමය වැය කරන විටයි. ඒ වගේම, විදේශ විණිමය රටට එනවානම් ඒ එන්නේ මොන විදිහටද කියන එකේ ලොකු වෙනසක් නැහැ. භාණ්ඩ අපනයනය කළත්, සේවා අපනයන කළත්, ප්‍රාග්ධනය "අපනයනය" කරලා ලාභ එකතු කළත්, ශ්‍රමය "අපනයනය" කරලා ශ්‍රමික ප්‍රේෂණ එකතු කළත් එන්නේ එකම ඩොලර්. රටකට වඩා පහසුවෙන් ඩොලර් උපයන්න පුළුවන් දේ කරනවා මිසක් මේ එක ක්‍රමයක් වෙනුවට වෙන ක්‍රමයක් යොදා ගන්න අවශ්‍ය නැහැ.

හරි. එතකොට වියට්නාමයේ මහ ලොකු නිෂ්පාදන ආර්ථිකය හෝ අපනයන ආර්ථිකය නිසා රටේ විදේශ විණිමය එකතු වෙන්නේ නැත්නම්, ඔය තරම් ලේසියෙන් විදේශ විණිමය ප්‍රශ්නය විසඳා ගන්නත් පුළුවන්නම්, අපනයන කරන්න ඔය තරම් මහන්සි විය යුත්තේ ඇයි?

ඒක වෙනම කතාවක්. ඒ වගේම වැදගත් කතාවක්. අපනයන කළ යුත්තේ විදේශ විණිමය හොයන්න නෙමෙයි. විදේශ වෙළඳපොළ ඉලක්ක කර රටක නිෂ්පාදනය සිදු කරනවා කියන්නේ ගනුදෙනු හරහා ලෝකයම එක්ක සම්බන්ධ වෙනවා කියන එක. මෙහිදී විශාල අගය එකතු වීමක් වෙනවා. මෙය මුල් කොටසක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ලෝකයට විවෘත නොවී ඒ වගේ මට්ටමක අගය එකතු කිරීමක් කවදාවත් කරන්න බැහැ. 

රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්නේ මේ අගය එකතු වීමත්එක්ක. රටක ඒක පුද්ගල ආදායම වේගයෙන් ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ මේ අගය එකතු වීමත් එක්ක. ලංකාව හා වියට්නාමය වැනි රට වලට කවදා හෝ සංවර්ධිත රටක් විය හැක්කේ මෙවැනි අගය එකතු වීම් වේගයෙන් සිදු වීමත් එක්ක.

විදේශ විණිමය ප්‍රශ්නය කියන්නේ ලොකු අමාරුවක් නැතිව පහසුවෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක්. ඒ සඳහා අපනයන පරිමාව විශාල ලෙස වැඩි කරගන්න අවශ්‍ය නැහැ. නමුත්, රට ඉදිරියට යන්නනම්, එහෙම ගිහින් කවදා හෝ සංවර්ධිත රටක් වෙන්නනම් අපනයන අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ආනයන වැඩි නොකර අපනයන විතරක් වැඩි කරන්න බැහැ. ඔය දෙකම යන්නේ එකට. මේ පාරේ යද්දී රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම රටේ හදන්න උත්සාහ කළ යුතු නැහැ. වඩා තරඟකාරී ලෙස හැදිය හැකි, සංසන්දනාත්මක වාසියක් තියෙන දේවල් වෙත අවධානය යොමු කිරීම ප්‍රමාණවත්. ඒ වගේම රටට ඩොලර් එනවානම් ඒ එන ක්‍රමය එතරම් වැදගත් නැහැ.

Tuesday, December 13, 2022

පීනට් බටර්


ඇමරිකාවේ පාසැල් ගැන පෙර සටහන් වල ලියා තිබෙනවා. ඇමරිකාවේ පොදු පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් කිසිවෙකුගෙන් මුදල් අය කරන්නේ නැහැ. මම හිතන්නේ එය ලෝකයේ හැම රටකම වගේ සිදුවන දෙයක්. එහෙත්, අවශ්‍යනම් යමෙකුට තමන්ගේ දරුවන් මුදල් අය කරන පෞද්ගලික පාසැලකට යවන්න පුළුවන්. එසේ කළත් නොකළත් පොදු පාසැල් අධ්‍යාපන වියදම් සියල්ලන්ටම දරන්න වෙනවා. මේ වියදම් බොහෝ දුරට ආවරණය කර ගන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් අය කරන වරිපනම් බදු වලින්.

පොදු පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ට පාසැල් අධ්‍යාපනය මෙන්ම පාසැලට යාම සඳහා පාසැල් බස් රථද නොමිලේ ලැබෙන එක සාමාන්‍ය තත්ත්වයයි. ලංකාවේ පාසැල් කාලයට සාපේක්ෂව ඇමරිකාවේ දරුවෙකු දවසේ වැඩි පැය ගණනක් පාසැලේ ගත කරනවා. මේ කාලය තුළ දිවා ආහාර කාලය ගෙවෙනවා. 

එක් පාඨක ප්‍රතිචාරයක සඳහන් කර තිබුණු පරිදි, ඇමරිකාවේ ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් දිවා ආහාරය වෙනුවෙන් මුදල් අය කරන්නේ නැහැ. එහෙත්, අපේ පාසැල් දිස්ත්‍රික්කය තුළ පාසැල් දරුවන්ට දිවා ආහාරය නොමිලේ සැපයෙන්නේ පවුලේ ආදායම් මට්ටම මත පදනම්වයි. ආදායම් සීමාව එම මට්ටම ඉක්මවන පවුල් වල දරුවන්ගේ දිවා ආහාර වෙනුවෙන් දෙමවුපියන් විසින් මුදල් ගෙවිය යුතුයි.

ආහාර නොමිලේ ලැබුණත්, මුදල් වලට ලැබුණත්, දරුවන් විසින් නියමිත කාලය තුළ පාසැලේ කැන්ටිම (කැෆටේරියාව) වෙත ගොස් ශිෂ්‍ය අංකය ඇතුළත් කර තමන්ට අවශ්‍ය ආහාර ඇණවුම් කර ලබා ගැනීමයි සිදු වෙන්නේ. මුදල් ගෙවිය යුතු දරුවන්ගේ බිල්පත් ඔවුන්ගේ පෙර ගෙවුම් ගිණුමකින් අඩු වෙනවා. මුදල් නොගෙවන අය වෙනුවෙන් කිසියම් අරමුදලකින් මුදල් ලැබෙනවා. එසේ ලැබෙන්නේ ෆෙඩරල් රජය හෝ ප්‍රාන්ත රජය විසින් මේ වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන විය හැකියි. 

දෙමවුපියන්ට තමන්ගේ දරුවන්ගේ ආහාර සඳහා මුදල් අය කෙරෙන පෙරගෙවුම් ගිණුමේ ශේෂය පරීක්ෂා කර එය අඩු වෙද්දී ගිණුමට මුදල් දමන්නට සිදු වෙනවා. ශේෂය යම් සීමාවක් දක්වා අඩු වූ විට ඒ ගැන දැනුම් දීමක්ද ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. යම් හෙයකින් ගිණුමේ මුදල් ඉවර වුනොත් මොකද වෙන්නේ?

ගිණුමේ මුදල් ඉවර වුනොත් දරුවන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. ඔවුන්ට "ණයට" කෑම ලැබෙනවා. නමුත්, මේ විදිහට ණයට කෑම ගන්නා දරුවන්ට වෙනදා කෑම ගැනීමේදී ලැබෙන තේරීම් නැති වෙනවා. ඔවුන්ට ණයට ලැබෙන්නේ "පීනට් බටර් සහ ජෙලි සැන්ඩ්විච්" පමණයි. එසේ කරන්නේ තමන්ගේ පාසැල් ආහාර ගිණුමට මුදල් එකතු කරන මෙන් දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිය යුතු බව මතක් කිරීමක් ලෙසයි. (මෙය ඇමරිකාවටම පොදු දෙයක් නෙමෙයි). 

මෙහි ජෙලි කියා කියන්නේ ලංකාවේ ජෑම් කියන අර්ථයෙන්. රටකජු බටර් සහ ජෑම් තැවරූ පාන් පෙති ඇමරිකාවේ ගොඩක් ප්‍රචලිත ආහාරයක්. ඇමරිකාවේ වෙනත් බොහෝ ආහාර වර්ග වලද රටකජු බටර් අඩංගුයි. 

මම ලංකාවෙන් පිටවන තුරු රටකජු බටර් ගැන දැනගෙන හිටියේ නැහැ. මුල් කාලයේදී ලංකාවට එන විට මම රටකජු බටර් බෝතල් කිහිපයක් අරගෙන ආවා. මුල් වරට රජකජු බටර් රස විඳි ගොඩක් අය මේ ආහාරයට රුචිකත්වයක් දැක්වූවා. එහෙත් පසුකාලීනව ලංකාවට එන විට රටකජු බටර් ලංකාවට අමුතු දෙයක් නෙමෙයි. ඒ වෙද්දී ගම් දනවු දක්වා ව්‍යාප්ත වී තිබුණු කීල්ස්, කාගීල්ස් වගේ සුපිරි වෙළඳසැල් වල රටකජු බටර් මෙන්ම, හේසල් නට් බටර් වැනි අනෙකුත් බටර් ආදේශකද දැකිය හැකි වුනා. මේවා ආනයනික නිෂ්පාදන විය යුතු බව මගේ අදහසයි. 

අප කුඩා කාලයේ නිවසින් එළියට ගිය විට අපට අරන් දෙන්නට දෙමවුපියන්ට අද ලංකාවේ තිබෙන තරම් තේරීම් තිබුණේ නැහැ. බොහෝ විට අප ඉල්ලූ, අපට ලැබුණු, දෙයක් වුණේ රටකජු ගොට්ටක්. වෙරළු අච්චාරු, නෙල්ලි එහෙමත් ඔය විදිහට විකුණන්න තිබුණා.

රටකජු කාරයින් ලංගම බස් රථ වලට නැග රටකජු විකිණුවා. නගරයේ තැන් තැන් වල "රටකජු කාරයෝ" හිටියා. මේ විදිහට විකුණපු රජ කජු ගොට්ටට ආවේ කොහොමද කියන එක ගැන හොයන්න මට උනන්දුවක් තිබුණේ නැහැ. ගත්තා. පොතු ඇරියා. කෑවා. එච්චරයි. ඒ දවස් වල ජම්බෝ පීනට් එහෙම ලංකාවට ඇවිත් තිබුණේත් නැහැ.

මෑතකදී කෘෂිකර්ම ඇමතිවරයා විසින් කියා ඇති පරිදි ලංකාවේ වාර්ෂික රටකජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000ක් පමණ. මේ වන විට නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 64,000කට වැඩියි. ඒ නිසා දැන් ලංකාවට රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

ජාත්‍යන්තර වෙළඳ සංවිධානයට ලංකාව විසින් වාර්තා කර ඇති තොරතුරු අනුව, ලංකාව පසුගිය කාලයේ වුනත් ඒ තරම්ම රටකජු ආනයනය කරලා නැහැ. පහළින් තියෙන්නේ එම දත්ත අනුව ලංකාවේ රටකජු ආනයන.

2010 - මෙට්‍රික් ටොන් 659

2011 - මෙට්‍රික් ටොන් 682

2012 - මෙට්‍රික් ටොන් 401

2013 - මෙට්‍රික් ටොන් 128

2014 - මෙට්‍රික් ටොන් 239

2015 - මෙට්‍රික් ටොන් 312

2016 - මෙට්‍රික් ටොන් 253

2017 - මෙට්‍රික් ටොන් 419

2018 - දත්ත නැත 

2019 - මෙට්‍රික් ටොන් 466

2020 - මෙට්‍රික් ටොන් 454

2021 - මෙට්‍රික් ටොන් 494

ඔය හැම වසරකදීම සුළු ප්‍රමාණයක් හෝ ලංකාවෙන් රටකජු අපනයනය කරලත් තිබෙනවා. 2021දීනම් මෙට්‍රික් ටොන් 21ක්. 

මේ දත්ත නිවැරදිනම් සහ කෘෂිකර්ම අමාත්‍යංශය කියන විදිහට රටේ රජකජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වෙනවානම්, පහු ගිය කාලය පුරාම බොහෝ දුරට මේ ඉල්ලුම රට ඇතුළෙන්ම සම්පූර්ණ වෙලා තිබෙනවා. ආනයනය කළේ රටකජු බටර් වගේ දේවල් වෙන්න පුළුවන්. මුලදී ජම්බෝ පීනට් ආනයනය කර ඇතත්, දැන් ඒවාත් ලංකාවේ වවනවා.

මේ වෙද්දී නිෂ්පාදනය ඉල්ලුම වගේ දෙගුණයක් වෙලානම් ඒ කියන්නේ දේශීය ඉල්ලුම මෙන් දෙගුණයක් රටකජු රටේ නිෂ්පාදනය වෙලා. එහෙම වෙලානම්, ඒ කියන්නේ ඔය වගේ මට්ටමක නිෂ්පාදනයක් දිගටම වුනත් පවත්වාගෙන යන්න පුළුවන් කියන එක.

ලංකාවේ රටකජු වලට ලොකු අපනයන වෙළඳපොළක් නැහැ. එහෙම එකක් හදිසියේ හදාගන්න එකත් ප්‍රායෝගිකව ලේසි වැඩක් නෙමෙයි. ඔය තත්ත්වය යටතේ රජකජු මිල පහත වැටිලා ගොවීන් රටකජු අත ඇරියොත් ඒක අපරාදයක්. 

රටකජු වලින් රටකජු බටර් හදන එක රොකට් සයන්ස් එකක් නෙමෙයි. 1930 පමණ වන තුරුම ඇමරිකාවේ රටකජු බටර් හදලා තියෙන්නේ බොහෝ දුරට ගෙවල් වලමයි. මේ වැඩේ සරල පියවර කිහිපයකින් කර ගන්න පුළුවන්.

පළමුව රටකජු බැද ගැනීම. දෙවනුව උණු වතුරේ දමා හෝ සුළු වෙලාවක් තම්බා පොතු ඇර ගැනීම. තෙවනුව අඹරා ගැනීම. ඉන් පසු අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක්, එළවළු තෙල් ටිකක් සහ අවශ්‍යනම් සීනි ටිකක් එකතු කිරීම. මේ එකතු කිරීම් අත්‍යාවශ්‍ය නැහැ. සමහර විට එළවළු තෙල් වලට ආදේශකයක් විදිහට පොල් තෙල් වුනත් හරියන්න පුළුවන්. 

ඇමරිකාවේ සමහර වෙළඳසැල් වල තමන්ටම රජකජු බටර් හදාගත හැකි යන්ත්‍ර තිබෙනවා. සුලබ දෙයක්නම් නෙමෙයි. පැත්තක තිබෙන බැද, පොතු ඇර තිබෙන රටකජු යන්ත්‍රයට දමා අතින් කරකවා එයින් ඇඹරී එන රටකජු බටර් එකතු කර ගන්න එකයි කරන්නේ තියෙන්නේ. මේවා අත් යන්ත්‍ර. මේ වැඩේම කරන විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍ර ඩොලර් 60 වැනි මුදලකට ඇමසන් එකේ තිබෙනවා. 

මම හිතන්නේ රටකජු බටර් හදන අත් යන්ත්‍රයක් ලංකාවේ ලියවන පට්ටලයක වුනත් හදාගන්න පුළුවන්. මේ වගේ පොඩි මහන්සියකින් හා අඩු වියදමකින් කළ හැකි අගය එකතු කිරීමකින් රජකජු ගොවියෙක්ට සැලකිය යුතු ලාබයක් උපයන්න පුළුවන්.

ලංකාවේ කිරි නිෂ්පාදන ඉල්ලුම දේශීය වශයෙන් සපුරා ගැනීම කාලයක ඉඳලා උත්සාහ කළත් හරි ගිහින් නැති ඉලක්කයක්. මේ වැඩේ හෙට අනිද්දා හරියන වැඩකුත් නෙමෙයි. රටකජු බටර් ඔය විදිහට හැදිලා වෙළඳපොළට එනවානම් එය සාමාන්‍ය බටර් වලට හොඳ ආදේශකයක්. ඇත්තටම කියනවානම් කරුණු ගණනාවක් නිසා වඩා හොඳ ආදේශකයක්.

ලංකාවේ සම්ප්‍රදායික ආහාර කියන්නේ බොහෝ විට කාබෝහයිඩ්රේට් ගුලි. දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ නිදන්ගත රෝග වලට ප්‍රධානම හේතුව ඔය ආහාර වල සංයුතිය. රටකජු බටර් වල කැලරි ගණන ගොඩක් වැඩියි. වැඩිපුර තියෙන්නේ ලාංකික සම්ප්‍රදායික ආහාර වලින් අඩුවෙන් ලැබෙන මේද සහ ප්‍රෝටීන්. සාමාන්‍ය බටර් වල සංතෘප්ත මේද වලට සාපේක්ෂව මේවා (වැඩි වශයෙන්ම) අසංතෘප්ත මේද. මස්, මාළු වලට වගේ ආගමික හෝ සංස්කෘතික ප්‍රශ්නයකුත් නැහැ. තරමක ආයෝජනයක් කරලා සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවානම්, දේශීය වෙළඳපොළ ජයගෙන, සන්නාමයක් සහිත නිෂ්පාදනයක් විදිහට අපනයන කරන්න වුනත් බැරිකමක් නැහැ. ආර්ථික අර්බුද ඇති වන කාල කියන්නේ අලුත් දේවල් අත්හදා බලන්න හොඳම කාල.

පසු සටහන: "රටකජු ගොවියන්ගේ එකමුතුව සහ රටකජු වෙළෙඳපොල" ෆේස්බුක් පිටුවේ ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මේ දවස් වල වියලි රටකජු කිලෝවක් සඳහා ගොවීන්ට ලැබෙන මුදල රුපියල් 360ක් පමණ හා අමු රටකජු කිලෝවක මිල රුපියල් 160ක් පමණ වන බවයි. කාගිල්ස් ෆුඩ්සිටිහි ග්‍රෑම් 510 පීනට් බටර් බෝතලයක් විකිණෙන්නේ රුපියල් 2,588ක මිලකටයි. මාසයකට පීනට් බටර් බෝතල් 50ක් පමණ හදා විකුණා ගත හැකි අයෙකුට ඇතැම් විට සාඩම්බර ආදායම් බදු ගෙවන්නෙක් විය හැකියි. 

Sunday, December 11, 2022

අපනයන ආදායම් 100%ක්ම රටට ගෙනත් - මහ බැංකු අධිපති


මෑතකදී මහ බැංකුව විසින් ස්ථාපනය කරන ලද අපනයන ආදායම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රනය හරහා එකතු කරගත් දත්ත අනුව පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක තුළ ඉපැයූ අපනයන ආදායම් ප්‍රමාණයෙන් 100%ක්ම අපනයනකරුවන් විසින් රටට රැගෙන විත් ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. ඔහු මෙසේ පවසන්නේ දෙරණ හයිඩ්පාක් වැඩ සටහනේ මාධ්‍යවේදිනියක විසින් අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

(සබැඳිය: https://www.youtube.com/watch?v=66YrYTTNi-Y)

ප්‍රශ්නයට පාදක වන්නේ අධිකරණ ඇමතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයක්. 

"අවුරුදු 12ක් රටින් හැංගු ඩොලර් බිලියන 53ක් ගිය වසරේ පමණක් ඩොලර් බිලියන 3ක් හංගලා - විජයදාස රාජපක්ෂ" - හිරු නිවුස් 

(සබැඳිය: https://www.youtube.com/watch?v=S1BxOZFsEnM)

විජයදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශය අනුව පසුගිය වසර 12ක කාලයක් තුළ මහ බැංකුවේ නියෝග උල්ලංඝනය කරමින් ඩොලර් බිලියන 53.5ක මුදලක් රටින් පිට කර තිබෙනවා. මේ ප්‍රකාශය පදනම් වන්නේ පුවත්පතක පළව ඇති ලිපියක් මතයි. එම ලිපිය සඳහා පාදක කර ගෙන ඇත්තේ (අප විසින් මීට පෙර සාකච්ඡාවට බඳුන් කර ඇති) රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාවක්. විජයදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශය අනුවම පසුගිය වසර තුළ මේ අයුරින් රටට රැගෙන විත් නැති අපනයන ආදායම් ප්‍රමාණය ඩොලර් බිලියන තුනක්. මහ බැංකුව මෙවැන්නක් කියා ඇත්තේ කොතැනකද යන්න පැහැදිලි නැහැ. 

ඉහත සඳහන් "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාව ගැන විස්තරාත්මක ලිපි දෙකක්ම පළ කර ඇති නිසා මම ඒ ගැන තව තව කතා කරන්න යන්නේ නැහැ. මෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ පිළිබඳ මහ බැංකුවේ ස්ථාවරයටයි. පහළින් තියෙන්නේ මහ බැංකු අධිපති වරයාගේ පිළිතුරේ සාරාංශයක්.

- මේ ප්‍රකාශයේ මූලාශ්‍රය වන "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" වාර්තාව මට තවමත් කියවන්නට ලැබී නැහැ. මෙය එම වාර්තාවේ ඇතැයි කියන දෙයක් හා මා කියූ දෙයක් එකට සම්බන්ධ කර වැරදි අර්ථකතනයක් දෙමින් සිදු කර ඇති නොමග යවන සුළු ප්‍රකාශයක්. අදාළ කාලයේ අපනයනකරුවන් විසින් මෙවැනි මුදලක් රටින් පිටකර ඇති බව තහවුරු කළ හැකි  සාක්ෂි හෝ තොරතුරු කිසිවක් අප සතුව නැහැ. 

-1994 සිට 2016 දක්වා කාලය තුළ අපනයනකරුවන් විසින් අපනයන ආදායම් ලංකාවට රැගෙන ඒමේ නීතිමය අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. රටේ විණිමය ප්‍රතිපත්තිය අනුව, ඔවුන්ට එම මුදල් රටින් පිට තබා ගත හැකිව තිබුණා. ඒ නිසා, යම් හෙයකින් එම කාලය තුළ අපනයන ආදායම් රටට ගෙනත් නැතත්, එයින් නීතිය කඩවීමක් සිදු වීමේ හැකියාවක් නැහැ. නීතිය කඩවීමක් සිදු විය හැකිව තිබුණේ එසේ කිරීම නිතී විරෝධී කටයුත්තක් වීනම් පමණයි.

අපගේ එකතු කිරීම: අලුත්ම (2021) "ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට්" වාර්තාවෙහි ඩොලර් බිලියන 53.3ක් රටින් පන්නා ඇති බවට කිසිදු සඳහනක් නැහැ. මෙය අදාළ වාර්තාව ගැන සඳහන් කරමින් ලංකාවේ ඇතැම් අය කියන බොරුවක්. එයින් කියන්නේ රේගුවට පෙන්වා ඇති අපනයන ආදායම් හා එම අපනයන යවනු ලැබූ රටවල රේගු වලට පෙන්වා ඇති ගණන් අතර වෙනසක් ඇති බවයි. කෙසේ වුවද, එම ගණනය කිරීම් කර ඇති ක්‍රමවේදයේද අඩුපාඩු හා දුර්වලතා ගහණයි. එම ආයතනයේම පැරණි (2017) වාර්තාවක මෙවැනි (පැහැදිලි ලෙසම දෝෂ සහගත) සඳහනක් ඇතත්, අළුත් වාර්තාව සකස් කිරීමේදී කලින් කළ වැරැද්ද නොකිරීමට අදාළ ආයතනය ප්‍රවේශම් වී තිබෙනවා.

- අපනයන ආදායම් රටට ගෙන ආ යුතු බවට නියෝගයක් 2016දී පනවනු ලැබුවා. එසේ වුවත්, එසේ රැගෙන එන විදේශ විණිමය රුපියල් බවට හැරවීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. 2021 අග භාගයේදී මහ බැංකුව විසින් මෙවැනි නියෝගයක් පැනවූ අතර එම නියෝගය අනුව රටට ගෙන එන අපනයන ආදායම් වලින් අපනයනකරුවන්ගේ ආනයන වියදම් සඳහා ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන විදේශ විණිමය ප්‍රමාණයෙන් 25%ක් රුපියල් වලට හැරවීම අනිවාර්ය කරනු ලැබුවා. මෙය නිසි පරිදි සිදු වේදැයි පරීක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් මෙම වසරේ ජූලි මාසයේදී ස්ථාපනය කරනු ලැබුවා. ඒ අනුව, රේගු දත්ත හා බැංකු වල විදේශ විණිමය ලැබීම් සංසන්දනය කිරීමෙන් පසු පැහැදිලි වන්නේ පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක තුළ ඉපැයූ අපනයන ආදායම් ප්‍රමාණයෙන් 100%ක්ම අපනයනකරුවන් විසින් රටට රැගෙන විත් ඇති බවයි.

- මගේ [මහ බැංකු අධිපතිගේ] පෙර ප්‍රකාශයක මා සඳහන් කළේ අපනයන ආදායම් වලින් රුපියල් බවට පරිවර්තනය වී ඇති කොටස ගැනයි. එම කොටස ආසන්න වශයෙන් 25%ක් පමණ. නමුත්, අපනයන ආදායම් වලින් අපනයනකරුවන්ගේ ආනයන වියදම් සඳහා ගෙවීමෙන් අනතුරුව ඉතිරි වන කොටස 50%ක් පමණවත් විය යුතුයි. මේ අනුව, ඉතිරි 25%ට කුමක් වුනේද යන්න පැහැදිලි නැහැ. දැනට අපි මේ ගැන සොයා බලමින් සිටිනවා. ඇතැම් විට ඉන්ධන සපයන්නන් වැනි වක්‍ර ආදාන (indirect inputs) සැපයුම්කරුවන්ට ඩොලර් වලින් ගෙවීම් කිරීම සඳහා මෙම මුදල් යොදාගත්තා විය හැකියි. 

අපගේ එකතු කිරීම: මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් ලංකාවේ අපනයන වල දේශීය අගය කිරීම් කොටස 50%ක් විය යුතු බව නිගමනය කරනවා. මෙය ඔහුගේ උපකල්පනයක් පමණයි. ඔහුට, මහ බැංකුවට හෝ වෙනත් කිසිවෙකුට මේ පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ. මෙය අඩු වශයෙන් 2016 පමණ සිට අප විසින් අවධාරණය කර ඇති කරුණක්. 

"අපනයන ආදායමෙන් විශාල කොටසක් නිෂ්පාදන පිරිවැය බැවින් එහි ඇති අතිරික්තය එතරම් විශාල නැත. උදාහරණයක් ලෙස තේ කිලෝවක් විකුණා ඩොලර් තුනක් ලැබෙන විට එහි නිෂ්පාදන වියදම ලෙස ඩොලර් දෙකක් හෝ දෙකයි පණහක් වැය වී තිබිය හැකිය. ඇඟළුම් වල තත්ත්වයද එසේමය." - 2016 මැයි 20, ඉකොනොමැට්ටාගේ සතපහ. 

මේ සාධකය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම නිසා ලංකාවේ වෙළඳ ශේෂය දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණේ එහි වූ භයානක අවදානමෙන් කොටසක් පමණයි. අවදානමෙන් විශාල කොටසක් සැඟවී තිබුණේ ලංකාවේ අපනයන ආදායම් වලින් විශාල කොටසක්ද ශුද්ධ අපනයන ආදායම් නොවීම තුළයි. මෙම ජාතික වශයෙන් ඉතාම වැදගත් පර්යේෂණ කාර්යය වෙත මහ බැංකුවේ පර්යේෂණ අංශ වලින් හෝ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආර්ථික අධ්‍යනාංශ වලින් ප්‍රමාණවත් අවධානයක්‌ යොමු කර නැහැ. 

ලංකාවේ අපනයන වල සාමාන්‍ය දේශීය අගය එකතු කිරීම් අනුපාතය 50% ලෙස සැලකුවොත්, එම ප්‍රමාණයෙන් 25%ක් රුපියල් වී ඇත්නම්, එයින් අදහස් වන්නේ රටට ආ අපනයන ආදායම් වලින් 50%ක් රුපියල් වී ඇති බවයි. එසේනම්, මෙහිදී මහ බැංකුවේ නියෝග කඩවීමක් සිදු වී නැහැ. ඉතිරි කොටස රුපියල් වී නැත්නම් එයින් පෙනෙන්නේ පවතින විණිමය අනුපාතයේ තිරසාර පැවැත්ම පිළිබඳව අපනයනකරුවන් විශ්වාස නොකරන බවයි. තත්ත්වය එවැන්නක්නම්, මහ බැංකුව විසින් කළ යුත්තේ එම විශ්වාසය ඇති කිරීම මිස අපනයනකරුවන්ට චෝදනා කිරීම නෙමෙයි. 

අපනයනකරුවන්ගේ දේශීය අගය එකතු කිරීම් ගැන නිසි අධ්‍යයනයක් කර ඇස්තමේන්තු කරන්නේ නැතිව, ඒ පිළිබඳව තමන්ට හිතෙන දේවල් මත පදනම්ව අපනයනකරුවන්ට චෝදනා කිරීම මහ බැංකු අධිපතිවරයා විසින් නොකළ යුතු දෙයක්. රටට ගෙනාවත්, රටට නොගෙනාවත්, රටට ගෙනත් ඩොලර් වලින් තියා ගත්තත්, රුපියල් කළත්, ඒ ඔවුන් විසින් උපයන ඔවුන්ගේ සල්ලි. 

Thursday, August 4, 2022

හොර පාරෙන් රටින් පන්නන සල්ලි


රටකට විදේශ විණිමය එන හා එළියට යන ක්‍රම ගණනාවක් තිබෙනවා. කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙන නිසා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. මේ මාර්ග බොහොමයක් නීත්‍යනුකූල මාර්ග වුනත්, නීති විරෝධී ලෙසත් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් දේශ සීමා හරහා යනවා. එක පැත්තකට නෙමෙයි දෙපැත්තටම. 

නීත්‍යනුකූල මාර්ග වලින් රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ පිළිබඳ තොරතුරු වලින් විශාල කොටසක් මහ බැංකුවට වාර්තා වෙනවා. ගෙවුම් ශේෂ ගිණුම් වල තියෙන්නේ මේ තොරතුරු. මේ විදිහට රටට එන හා රටින් යන විදේශ විණිමය ප්‍රවාහ ගැන තොරතුරු සියල්ලම මහ බැංකුවට වාර්තා වෙනවානම්, කිසිවක්ම මග හැරෙන්නේ නැත්නම්, යන ප්‍රමාණය හා ආ ප්‍රමාණය අතර වෙනස රටේ සංචිත වල වෙනස් වීමට සමාන වෙන්න ඕනෑ. නමුත්, ලෝකයේ කිසිම රටක ඔය සමතුලිත වීම හරියටම වෙන්නේ නැහැ. ඇතැම් විදේශ විණිමය ගලනයන් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් නීති විරෝධී විදේශ විණිමය ගලනයන් කොහොමටත් මහ බැංකුවට වාර්තා වෙන්නේ නැහැ. නීති විරෝධී නැති ගලනයන් වුවත් හැම එකක්ම වාර්තා වෙන්නේ  නැහැ. උදාහරණයක් විදිහට කවුරු හරි පිටරට සංචාරයක යද්දී ඩොලර් සීයක් බැංකුවකින් අරගෙන ආපහු එද්දී ඉතිරි වුනු ඩොලර් විස්ස ගෙදර ලාච්චුවේ තියා ගත්තොත් ඒ ඩොලර් විස්ස රටට ආපහු ආපු බව වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම, සංචාරකයෙකු විසින් බැංකුවෙන් ඩොලර් මාරු කරද්දී එය වාර්තා වුනත්, ගයිඩ් කෙනෙක්ගේ අතට දෙන ඩොලර් විස්සක් වාර්තා වෙන්නේ නැහැ. දැන් වෙනත් කෙනෙක් පිටරට යද්දී බැංකුවෙන් ඩොලර් මිල දී නොගෙන ඔය වගේ රටේ තිබෙන ඩොලර් එකතු කරගෙන ගිහින් වියදම් කළොත් ඒකත් වාර්තා වෙන්නේ නැහැ. 

මේ වගේ සිල්ලර ගනුදෙනු සහ අනීතික ගනුදෙනු මහ බැංකුවට වාර්තා වෙන්නේ නැතත් රටට පැමිණි හා රටින් ගිය විදේශ විණිමය ප්‍රමාණ අතර වෙනස සංචිත වෙනස් වීමත් එක්ක සංසන්දනය කළාම "වැරදීම් හා මගහැරීම්" සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඕනෑම රටක ගෙවුම් ශේෂ ගිණුම් වල මේ ප්‍රමාණය සටහන්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සැලකිය විශාල යුතු අගයක්. 

පහත තියෙන්නේ පසුගිය වසර 15 තුළ ලංකාවේ මේ වැරදීම් හා මග හැරීම් ප්‍රමාණය ඩොලර් මිලියන වලින්. වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ අගයන්.

2007- (165)

2008- 728

2009- 346

2010- (881)

2011- (707)

2012 - (412)

2013 - (590)

2013- 393

2015- (308)

2016 - (465)

2017- 175

2018 - (593)

2019 - (640)

2020 - 765

2021 - (711)

ඔය වසර 15 සමස්තයක් ලෙස ගත්තොත්, ධන හා සෘණ අගයයන් දෙවර්ගයම තිබුණත්, වැඩිපුර තියෙන්නේ සෘණ අගයයන් කියන එක පේනවනේ. ඒ කියන්නේ රටට ආපු විදේශ විණිමය ප්‍රමාණයෙන් යම් කොටසකට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි නීති විරෝධී ලෙස රටින් පිටට ගියා කියන එක එයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එක්කෝ නීති විරෝධී ලෙස රටින් එළියට ගියා. නැත්නම් රට ඇතුළේම කා අතේ හෝ දැනටත් තියෙනවා. එහෙම රට ඇතුළේ තිබුණත් මේ සල්ලි පහසුවෙන් රටින් පන්නන්න පුළුවන් නිසා ඔය දෙකේ වැඩි වෙනසකුත් නැහැ.

මේ විදිහට පසුගිය වසර 15 තුළ අවිධිමත් වෙළඳපොළ හරහා සම්ප්‍රේෂණය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණයේ ශුද්ධ අගය ඩොලර් බිලියන 3ක් පමණ. ඒ කියන්නේ, ඇස්තමේන්තු නිවැරදිනම්, සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ අවිධිමත් වෙළඳපොළ හරහා රටින් පිට වී තිබෙනවා. එහෙම නැත්නම් ඇස්තමේන්තු වල එපමණ වරදක් තිබෙනවා.

නීති විරෝධී ලෙස රටට එන හා රටෙන් යන සල්ලි මහ බැංකුවට වාර්තා නොවුණත්, එවැනි ගනුදෙනු වල ශුද්ධ ප්‍රතිඵලය මේ සංඛ්‍යාව ඇතුළේ තියෙනවා. මේ සංඛ්‍යාලේඛණයට මග හැරෙන වෙනත් ආකාර වලින් සල්ලි රටින් පන්නන්න බැරිද? 

අපි හිතමු කවුරු හෝ බලවතෙක් ඩොලර් නෝට්ටු ගෝනි වල දාලා පෞද්ගලික ජෙට් යානයකින් මොකක් හරි රටකට පැන්නුවා කියලා. ඔය වගේ කතාවක් මට පෞද්ගලිකව විශ්වාස කරන්න අමාරු වුනත් කතාව එක පාරට ප්‍රතික්ෂේප කළ හැකි සෛද්ධාන්තික පදනමක් නැහැ. විය හැකියාවක් ලෙස ඔය කතාව මට භාර ගන්න වෙනවා. 

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම හිතන්නේ කියවන අය මාත් එක්ක එකඟ වෙයි. 

ඔය විදිහට හෝ වෙන විදිහකින් රටින් පන්නන්නනම් ඊට කලින් රටට ඔය ඩොලර් ටික ඇවිත් තියෙන්න ඕනෑ. රටට ඩොලර් ආවේ නැත්නම් රටෙන් පන්නන්න විදිහකුත් නැහැනේ. ඒ කියන්නේ මේ පන්නපු ප්‍රමාණය කලින් පෙන්වපු "වැරදීම් හා මගහැරීම්" ගොඩේ තියෙන්න ඕනෑ. රටට ආපු ඩොලර් ප්‍රමාණයෙන් වෙච්ච දෙයක් නැත්තේ ඒ ප්‍රමාණය පමණයි. 

ඒ කියන්නේ ඊට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පැන්නුවා වෙන්නම බැරිද? 

පුළුවන්. එහෙමනම්, ඒ වැඩි ප්‍රමාණය හොර පාරකින්ම රටට ඇවිත් තියෙන්න ඕනෑ. රටට හොරෙන් ඩොලර් ආවේ නැත්නම්, ඔය ගණනට වඩා වැඩියෙන් රටෙන් ඩොලර් එළියට යන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ, හොරෙන් ආ ගිය ඩොලර් ගණන් සැලකුවට පස්සෙත්, ශුද්ධ වශයෙන් බැලුවොත් වාර්තා නොවී රටේ ඩොලර් අඩු වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණයම තමයි.

ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දමන එක මේ සංඛ්‍යාලේඛණ වලට බලපාන්නේ කොහොමද? 

ඇමරිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක (GFI) සේවය කරන පර්යේෂකයෙකු (දේව් කර්) විසින්, නෝර්වේ රජයේ ආධාර මත, කනිෂ්ඨ සහායකයෙකුගේ උදවු ඇතිව සකස් කර තිබෙන 2015 වාර්තාවක ඉහත විස්තර කළ ගෙවුම් ශේෂ ගිණුම් වල "වැරදීම් හා මගහැරීම්" වලට ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම මගින් රටින් පිට කළේයයි ඔවුන් දෙදෙනා විසින් ඇස්තමේන්තු කර තිබෙන සංඛ්‍යාවක්ද එකතු කර එම මුදල නීති විරෝධී ලෙස සංවර්ධනය වන රට වලින් පිට කෙරුණු මුදලක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. මේ ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදයේ බැලූ බැල්මටම පෙනෙන වැරදි හා අඩුපාඩු ගණනාවක් තිබෙනවා. විමර්ශිත ජර්නලයක පළව ඇති පර්යේෂණ පත්‍රිකාවක් වැන්නක් නොවන මෙවැනි ලියැවිල්ලක එවැනි වැරදි හා අඩුපාඩු තිබීම අනපේක්ෂිත දෙයක් නෙමෙයි. 

දේව් කර් සේවය කළ රාජ්‍ය නොවන සංවිධානය විසින්ම 2021දී තවත් වාර්තාවක් එළි දක්වා තිබෙනවා. පෙර කී වාර්තාවට සාපේක්ෂව දුර්වලතා අඩු එම වාර්තාවේ ඉලක්ක අරමුණ මෙන්ම ක්‍රමවේදයද මුල් වාර්තාවට වඩා වෙනස්. එහි අවධානය යොමු කර තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේදී වැරදියට ඉන්වොයිස් දැමීම හරහා සිදු කර තිබෙන නීති විරෝධී ගණුදෙනු පරිමාව පිළිබඳවයි. 

මේ 2021 වාර්තාව ගැන මීට පෙරද කතා කර තිබෙන නිසා අපි 2015 වාර්තාව ගැන දැන් කතා කරමු. 2015 වාර්තාවේ ඇස්තමේන්තු පදනම් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර සිදුව ඇති ගනුදෙනු මතයි. 2021 වාර්තාවේ මෙන්ම මේ වාර්තාවේද කරන්නේ දෙපැත්තේ ගණන් සංසන්දනය කිරීමයි. එහිදී දේව් කර් හා ඔහුගේ සහායකයා විසින් සංවර්ධිත රටේ සංඛ්‍යාලේඛණ නිවැරදි සේ සලකනවා. ඉන් පසුව, රක්ෂණ හා නැව් ගාස්තු 10%ක් සේ උපකල්පනය කර සංවර්ධනය වන රටකට භාණ්ඩයක් යන විට හා සංවර්ධනය වන රටකින් භාණ්ඩයක් එන විට පෙන්වා තිබිය යුතු "නියම මිල" ගණනය කරනවා. 

සංවර්ධනය වන රටකින් සංවර්ධිත රටකට භාණ්ඩයක් අපනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා අඩුනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා වැඩිනම් එය නොසලකා හරිනවා.

මේ ආකාරයෙන්ම, සංවර්ධනය වන රටක් සංවර්ධිත රටකින් භාණ්ඩයක් ආනයනය කරන විට පෙන්වා ඇති මිල ඉහත ආකාරයෙන් ගණනය කළ "නියම මිලට" වඩා වැඩිනම් එය ඔවුන් විදේශ විණිමය ගලනයක් සේ සලකනවා. පෙන්වා ඇති මිල "නියම මිලට" වඩා අඩුනම් එය නොසලකා හරිනවා.

මේ පදනම මත, සංවර්ධනය වන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගනුදෙනු වලදී ඔවුන්ගේ ක්‍රමය අනුව රටින් පිටට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල හඳුනා ගැනෙන අතර එම පදනම මතම රට තුළට විදේශ විණිමය ගලනයක් වී ඇතැයි සැක කෙරෙන අවස්ථා සියල්ල නොසලකා හරිමින් ඔවුන් විසින් පළමුව මූලික ඇස්තමේන්තුවක් සකස් කරනවා. ඉන් පසුව, සංවර්ධනය වන රටවල් අතරම සිදු වන ගනුදෙනු වලදීද එම අනුපාතයෙන්ම විදේශ විණිමය ගලනයක් වී ඇතැයි උපකල්පනය කරමින් අවසන් ඇස්තමේන්තුවක් හදනවා. 

දේව් කර්ගේ මූලික උපකල්පනයක් වන්නේම සංවර්ධනය වන රටවල් වල සිට සංවර්ධිත රටවල් වලට ප්‍රාග්ධනය විතැන් කිරීමක් මිස එහි අනෙක් පැත්ත සිදු නොවන බවයි. එහෙත්, ඔහු දෙවනුව සංවර්ධනය වන රටවල් අතර සිදු වන ගනුදෙනු වලදීද ප්‍රාග්ධනය විතැන් වන්නේ එක් දිශාවකට පමණක් බව උපකල්පනය කරනවා. ඒ වගේම, අදාළ අනුපාතයද සමාන සේ සලකනවා. 

ඒ කියන්නේ, ලංකාවෙන් ඉන්දියාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ඉන්දියාවෙන් ලංකාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. ඔය විදිහටම ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් පන්නපු ගණන ඇස්තමේන්තු කරද්දී ලංකාවෙන් ඉන්දියාවට සල්ලි හොරෙන් පන්නන්න කිසිම හේතුවක් නැහැ කියා උපකල්පනය කරනවා. 

ඔය දෙකෙන් එකක්වත් ඇස්තමේන්තු කරන්නේ ලංකාව හා ඉන්දියාව අතර ඇත්තටම සිදු වූ ගනුදෙනු මත පදනම්ව නෙමෙයි. ලංකාව සංවර්ධිත රටවල් සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දී ඩොලර් 200ක් එම රටවලට පන්නලානම්, ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් 1000ක ගනුදෙනු කරද්දීත් ඩොලර් 200ක් ඉන්දියාවට පන්නලා කියලා උපකල්පනය කරලා.  

මේ 2015 වාර්තාවේ ඇස්තමේන්තු කිසිසේත්ම බරපතල ලෙස ගිණිය නොහැකියි. මා හිතන පරිදි, 2021 වාර්තාව සකස් කළ පර්යේෂක කණ්ඩායම විසින් පෙර වාර්තාවේ වැරදි හා අඩුපාඩු බොහොමයක් හඳුනාගෙන තිබෙනවා. එම වාර්තාවේ අනීතික ගනුදෙනු ගැන මිස ප්‍රාග්ධන ගලනයන් ගැන අවධානය යොමු කරවන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් වෙන පරිදි, ලංකාවේ සමහර අය ඔය වාර්තා වල තියෙන දේවල් තමයි උඩින් පල්ලෙන් කියවලා, අදාළ පර්යේෂකයින් විසින් කරලා තියෙන වැරදි ගැන කිසිම අවබෝධයක් නැතුව, අනෙක් පැත්තට වමාරන්නේ. ඒ විතරක් නෙමෙයි. වාර්තා වල වැරදි පැත්තකින් තිබ්බත්, ඒ වාර්තා වල තියෙන දේවල්වත් හරියට ග්‍රහණය කර ගෙන නැහැ. 

ලංකාවේ කට්ටිය වැඩේ අනාගන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 2015 වාර්තාවේ සහ 2021 වාර්තාවේ තියෙන්නේ එකම දෙයක් ගැන කියලා හිතලා. වෙනස දැන ගන්නනම් එක් එක් වාර්තාවේ ක්‍රමවේද තේරුම් ගන්න ඕනෑනේ! 

ලංකාවේ කට්ටිය 2021 වාර්තාවේ තියෙන සංඛ්‍යාලේඛණ අරගෙන ඒවා අර්ථ දක්වන්නේ 2015 වාර්තාවේ අර්ථ දැක්වීම් අනුවයි. නමුත්, මේ දෙකේ කරලා තියෙන්නේ වගේම කියල තියෙන්නෙත් කරුණු දෙකක් ගැන. ඒ වගේම, 2021 වාර්තාවෙත් වැරදි හා අඩුපාඩු තිබුණත්, 2015 වාර්තාවේ ඇස්තමේන්තු වල වැරදි හා අඩුපාඩු ඉතාම ප්‍රාථමික මට්ටමේ ඒවා.

හරි. අපි දැන් ඔය වාර්තා සහ ඒවායේ තිබෙන ගණන් හිලවු පැත්තකින් තියලා වැරදියට ඉන්වොයිස් කිරීම කියන කාරණාවට එමුකෝ. එහෙම දෙයක් ඇත්තටම වෙනවනේ. ඒක අර මුලින් කී ගෙවුම් ශේෂ ගිණුම් ඇස්තමේන්තු වලට බලපාන්නේ කොහොමද? 

ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 1500ක් කියලා පෙන්වනවා. දැන් මේ වැඩෙන් නියාමකයින්ගේ ඇස් වහලා ඩොලර් 500ක් රටින් පිටතට ප්‍රේෂණය කරනවා. ඒ ඩොලර් 500 ලංකාවට අපනයනය කරන සමාගමේ ගිනුමට යනවා. පසුව, එම සමාගම හරහා වෙනත් ගිණුමකට විතැන් වෙනවා වෙන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට ඉන්වොයිස් එක වැඩියෙන් පෙන්නුවත් ඩොලර් 1500 යන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මිසක් හොර පාරකින් නෙමෙයි. ඒ නිසා, ඒ මුළු මුදලම, ඉතා නිවැරදි ලෙස රටින් එළියට ගිය මුදලක් ලෙස ගෙවුම් ශේෂ ගිණුම් වල සටහන් වෙනවා. සිදු වෙන වැරැද්ද ප්‍රේෂණයක් ලෙස (outward remittance) ද්වීතියික ආදායම් ගිණුමේ සටහන් විය යුතු ඩොලර් 500ක් එහි සටහන් නොවී වෙළඳ ගිණුමේ සටහන් වෙන එකයි. ඒ කියන්නේ, මේ වැඩෙන් ජංගම ගිණුමේ ශේෂය වෙනස් වෙන්නේ නැහැ.

අපි හිතමු ඔය විදිහට රටින් එළියට ගෙනයන ඩොලර් 500 රටින් පිට ආයෝජනය කළා කියලා. එහෙමනම්, ඒ මුදල යන්න ඕනෑ මූල්‍ය ගිණුමට. ඒ කියන්නේ, මූල්‍ය ගිණුමට යා යුතු ඩොලර් 500ක් ජංගම ගිණුමේ (වෙළඳ උප ගිණුමේ) සටහන් වෙනවා. නමුත්, මේ ඩොලර් 500 රටින් එළියට ගිය බව නියාමකයින් දන්නවා. ඒ නිසා, එම මුදල "වැරදීම් හා මගහැරීම්" වලට යන කොටසක් නෙමෙයි.

දැන් ඕකෙම අනෙක් පැත්ත වුනා කියා හිතමු. ලංකාවේ කවුරු හෝ කෙනෙක් ඩොලර් 1000ක බඩුවක් ආනයනය කරද්දී ඩොලර් 500ක් කියලා පෙන්වනවා. හැබැයි එහෙම පෙන්නුවත්, අදාල අපනයනකරුවාට මොන ක්‍රමයකින් හෝ ඉතිරි ඩොලර් 500 ගෙවන්න වෙනවා. ඒ මුදල ගෙවන්න වෙන්නේ හොර පාරකින්. 

මේ ඩොලර් 500 ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යවන එක. එහෙම නැත්නම් දැනටමත් රටින් පිට තිබෙන ගිණුමකින් සල්ලි ගෙවන එක. අවිධිමත් විදිහට ලංකාවෙන්ම සල්ලි යැව්වොත් එය ගෙවුම් ශේෂ ඇස්තමේන්තු වල තිබෙන "වැරදීම් හා මගහැරීම්" වලට අහු වෙනවා. "වැරදීම් හා මගහැරීම්" වල එවැනි මුදලක් රටින් ගිය බවක් පෙනෙන්න නැත්නම් ඒ සල්ලි ගෙවලා තියෙන්නේ කලින් රටින් පිට කළ මුදල් යොදා ගෙන. මොකද කොහෙන් හෝ ඔය ඩොලර් 500 ගෙවන්නම වෙනවා. 

ඊළඟට අපි අපනයන පැත්ත බලමු. ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 500ක් කියා පෙන්නුවොත් ඉතිරි ඩොලර් 500 රටින් එළියේ ගිණුමක තියා ගන්න පුළුවන්. "වැරදීම් හා මගහැරීම්" නැහැ. මොකද රටට ආපු ගණන ඩොලර් 500ක් පමණයි. ඒ ගණන ගිණුම් වල හරියට තිබෙනවා. නැත්තේ රටට නොආ කොටස. ඒ කොටස හොර පාරෙන් රටට ගෙනාවොත් " වැරදීම් හා මගහැරීම්" ගොඩට යනවා. නැත්නම් තවමත් රටින් පිට. 

එතකොට ගණන් වැඩියෙන් පෙන්නුවොත්? ඒ කියන්නේ, ඩොලර් 1000ක බඩු අපනයනය කරද්දී ඩොලර් 1500ක් කියා පෙන්නුවොත්? දැන් අමතර ඩොලර් 500ක් නිල වශයෙන්ම රටට එනවා. ඒ සල්ලි එන්නේ කොහෙන්ද? එහෙම වැරදි ඉන්වොයිස් පෙන්නලා සල්ලි ගෙන්වන්නනම් අපනයනකරු සතු, වාර්තා වී නැති, ධනයක් පිටරටක තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අපනයනකරුගේ නමට ප්‍රේෂණයක් කළා වෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුනත් රට ඇතුළට ප්‍රාග්ධන ගලනයක් වෙලා. 

සරලවම කිවුවොත් ඉන්වොයිස් වල නොගැලපීම් වලට හේතුව ප්‍රාග්ධන ගලනය ලෙස සැලකුවොත් එය දෙපැත්තටම සිදු වන බව සලකා වෙනස දෙස බැලිය යුතුයි. එක පැත්තක් දෙස පමණක් බලන එක වැරදියි. එහෙම බැලුවට පස්සේ ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලනයක් වී ඇත්නම් එයින් අදහස් වන්නේ ගෙවුම් ශේෂය තව දුරටත් නිවැරදි වුවත්, මූල්‍ය ගිණුම හෝ ජංගම ගිණුමේම වෙනත් උප ගිණුමක් යටතේ සටහන් විය යුතු කොටසක් වෙළඳ ගිණුම යටතේ සටහන් වී තිබෙන බවයි. 

මෙවැන්නක් සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ බාහිර වත්කම් (බැරකම්) පිළිබඳව තිබෙන ඇස්තමේන්තුවත් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒක තීරණය වන්නේ අදාළ මුදල් යොදා ගැනුණේ කවර කටයුත්තකටද කියන එක මතයි. රටින් මුදලක් පන්නපු පමණින්ම ඒ මුදල් රටින් පිට තිබෙනවා කියන එක අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. මම මේ කියන්නේ කලින් කියපු නැවත රටට ඒ සල්ලි ආපහු ගෙනත් තිබීමේ හැකියාව ගැන නෙමෙයි. ශුද්ධ වශයෙන්ම රටින් පිට කෙරුණු විදේශ විණිමය ගැන.

මේ වගේ මුදලක් වුනත් අදාළ පුද්ගලයා රටින් බැහැර වූ විටක "එන්ජෝයි කරලා" වැය කර අවසන්ව තියෙන්න පුළුවන්. එහෙමනම් එය ජංගම ගිනුමේම වෙන උප ගිනුමක සටහන් විය යුතු මුදලක්. එහෙම නැතුව කොහේ හෝ ආයෝජනය කරලානම් ඒ සල්ලි රටින් පිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එවැනි මුදලක් රටින් පිට ඇත්නම් අදාළ ආයෝජනයේ ප්‍රතිලාභ ගෙවුම් ශේෂ ගිණුමේ සටහන් වෙන්නේ නැති ප්‍රශ්නයත් තියෙනවා. ඒ කියන්නේ මුලින් රටින් සල්ලි යද්දී එය ගෙවුම් ශේෂ ගිණුමේ වැරදි තැනක හෝ සටහන් වෙනවා. හැබැයි ඊට පස්සේ වෙන දේවල් ඒ විදිහට අහු වෙන්නේ නැහැ. 

ඇමරිකාව වගේ රටවල බදු ගොනු කරද්දී ලෝකයේ කොහේ හෝ රටක තිබෙන වත්කම් මත ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට ඇමරිකන් පුරවැසියෙකු සතුව ලංකාවේ තිබෙන ගෙයක් හෝ ඉඩමක් විකිනුවොත් එහි ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස ආදායමක් ලෙස පෙන්වලා ඒ වෙනුවෙන් ඇමරිකාවට බදු ගෙවිය යුතුයි. මම දන්නා තරමින් ලංකාවේ බදු නීතිය අනුවත් එහෙමයි. දැන් මේ විදිහට කා සතුව හෝ රටින් පිට එළිදරවු නොකළ වත්කම් තිබෙනවානම්, එම සල්ලි රටින් පිට කරන විට සිදු වන බදු වංචාවට අමතරව, අදාළ වත්කම් එළි නොකර තිබෙන තුරු දිගින් දිගටම සිදු වන බදු වංචාවක්ද එහි තිබෙනවා.

Wednesday, August 3, 2022

අර්බුදය හා විකල්ප ප්‍රවාද


ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විග්‍රහයන් ගණනාවක් තිබෙනවා. ගොඩක්ම ප්‍රචලිත හා ජනප්‍රිය ප්‍රවාදයක් වන්නේ රටේ මිනිස්සු ඔවුන් විසින් උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රධාන හේතුව බවයි. මේක බොහෝ දුරට ආණ්ඩුවට හා රජයට හිතවත් අයගේ විග්‍රහයක්. මෙහිදී මිනිස්සු කියා කියන එකෙන් අදහස් කෙරෙන්නේ පාරිභෝගිකයින්. ආණ්ඩුව කියා කිවුවේ අලුත් ආණ්ඩුව ගැන නෙමෙයි. අලුත් ආණ්ඩුව මොන වගේ එකක්ද කියන එක තවමත් අපැහැදිලියි. 

උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගන්නා නමුත් මගේ විග්‍රහය මේකම නෙමෙයි. එය මම බොහෝ වර විස්තර කර තිබෙනවා. මේ වෙද්දී කිසියම් සුළුතරයක් අතර හෝ මගේ ප්‍රවාදයටත් යම් පිළිගැනීමක් තිබෙනවා. ඊට අඩු වැඩි වශයෙන් සමාන ප්‍රවාද වෙනත් බොහෝ අය විසින්ද ඉදිරිපත් කර තිබෙනවා. ඔය ප්‍රවාද දෙකටම අමතරව තවත් විකල්ප ප්‍රවාද ගණනාවක් තිබෙනවා. මම මෙවැනි ප්‍රවාද තුනක සරල කරනු ලැබූ වර්ෂන් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නම්.

1. ප්‍රචලිත ප්‍රවාදය - රටේ මිනිස්සු (පාරිභෝගිකයෝ) අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරනවා. ඒ නිසා, රජයට වසරකට ඩොලර් බිලියන දහයක් ණය ගන්න වී තිබෙනවා. වැරැද්ද මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. ප්‍රශ්නය විසඳන්නනම් මිනිස්සු පරිභෝජනය අඩු කරන්න ඕනෑ. ආනයන සීමා කරලා දේශීය නිෂ්පාදන වලට පුරුදු වෙන්න ඕනෑ. ව්‍යාපාරිකයින්ගේ වැරැද්දක් නැහැ. ඔවුන් කරන්නේ මිනිස්සු ඉල්ලන නිසා ඉල්ලන දේ ගෙනත් දෙන එකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුවත් අහිංසකයි. රජය/ආණ්ඩුව විසින් කරන්නේ බොහොම අමාරුවෙන් කොහෙන් හෝ රටකින් ණයට සල්ලි අරගෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ ගෙනත් දීම සඳහා ව්‍යාපාරිකයන්ට සල්ලි හොයලා දෙන එක. ඒ කියන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් නැහැ. වැරැද්ද තනිකරම මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. 

2. මගේ ප්‍රවාදය- රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. හිඟය පියවන්න විදේශ ණය ගන්නවා. සල්ලිත් අච්චු ගහනවා. ණයට ගත්ත ඩොලර් වෙළඳපොළේ විකුණා ලැබෙන රුපියල් ටිකත්, අච්චු ගහපු රුපියල් ටිකත් රට ඇතුළේ වියදම් කරද්දී රුපියල් වැඩි වන නමුත් ඒ තරමට රටේ නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. නමුත් වෙළඳපොළේ ඩොලර් වැඩි වෙනවා. ඩොලර් ලාබ වෙනවා. කිසියම් පිරිසක් මේ ඩොලර් මිල දී ගෙන පිටරටින් බඩු ගෙනත් ලාබෙට විකුණනවා. ඒ බඩු ගන්න අවශ්‍ය රුපියල් ආණ්ඩුව සංසරණයට දැනටමත් එකතු කරලා. ලාබෙට පිටරටින් බඩු එන නිසාත්, ඒ බඩු ගන්න ඇති තරම් රුපියල් අතේ තියෙන නිසාත් කවුරුවත් නිෂ්පාදනය වැඩි කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන්න මිනිස්සුන්ට පුළුවන් වෙනවා. මිනිස්සු ආතල් එකේ ඉන්නවා. 

මගේ මේ ප්‍රවාදයේදීත් ප්‍රචලිත ප්‍රවාදයේදී මෙන්ම වෙළඳ හිඟයක් තිබෙනවා. වෙනස එයට හේතුව මොකක්ද කියන එකයි. මගේ ප්‍රවාදය අනුව, මෙය රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් මිසක් මිනිස්සුන්ගේ (පාරිභෝගිකයින්ගේ) වැරැද්දක් නෙමෙයි. මිනිස්සුන්ගේ වැරැද්ද ඒ ප්‍රතිපත්තිය අනුමත කිරීම පමණයි. 

3. විකල්ප ප්‍රවාදය - මේ නිශ්චිත විකල්ප ප්‍රවාදය අනුව ඉහත ප්‍රවාද දෙකේම කියන විදිහේ වෙළඳ ශේෂ ප්‍රශ්නයක් රටේ නැහැ. ඇත්ත අපනයන ආදායම ඩොලර් බිලියන 15ක්. ඇත්ත ආනයන වියදමත් ඩොලර් බිලියන 15ක් පමණයි. හැබැයි අපනයනකරුවෝ අඩුවෙන් ගණන් පෙන්වලා ඩොලර් බිලියන 10ක් පමණක් රටට ගෙනත් ඉතිරි ඩොලර් 5 රටින් පන්නනවා. ආනයනකරුවෝ වැඩියෙන් ගණන් පෙන්නලා ඩොලර් බිලියන 15 වෙනුවට ඩොලර් බිලියන 20ක්ම රටින් එළියට ගෙනියනවා. දැන් එතැනත් ඩොලර් බිලියන පහක් රටින් පන්නලා. එතකොට ඔක්කොම ඩොලර් බිලියන 10ක් රටින් පන්නලා. ඒ ප්‍රමාණය තමයි රටට ණය වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැරැද්ද මේ ආනයන අපනයන කරන වෙළෙන්දන්ගේ. මිනිස්සු අහිංසකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුව කරන වැරැද්ද මේ ව්‍යාපාරිකයින්ට දඬුවම් නොකර හුරතල් කරන එකයි.

මේ ප්‍රවාද තුනම මම ගොඩක් සරල කරලා තියෙන්නේ. සල්ලි පන්නන කතාව කියන අය ගණන ඩොලර් බිලියන දහයක් කියා කියන්නේ නැහැ. හැබැයි අදහස ඔය වගේ. ඔය ප්‍රවාද තුනට අමතරව කිසියම් පිරිසක් විසින් ණයට ගත් ඩොලර් හොරා කා රටින් පැන්නීම වගේ තවත් ප්‍රවාදත් තියෙනවා. 

දැන් මා ඇතුළු ඕනෑම කෙනෙකුට ඔය වගේ ප්‍රවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රවාදයක් කියා කියන්නේ නිකම්ම නිකම් හිතලුවක් මිසක් ඇත්ත නෙමෙයි. ඒ වුනත්, ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක කාටත් පේන ඇත්තක්. ඇත්තම කතාව ඒ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ඔය ඕනෑම ප්‍රවාදයකට වඩා සංකීර්ණයි. ප්‍රවාදයකින් කරන්නේ ඒ සංකීර්ණ අර්බුදය වඩා පහසුවෙන් තේරුම් ගන්න කරන උත්සාහ කරන එකයි.

යම් කිසි ආකාරයකින් විද්‍යාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන තුරු ඔය වගේ ඕනෑම ප්‍රවාදයකට විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා. එහෙම ප්‍රතික්ෂේප කළ ප්‍රවාදයකට වුනත් ඇතැම් අය අතර පිළිගැනීමක් තියෙන්න පුළුවන්. 

මේ වගේ ප්‍රවාදයක් ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කරන එක ගොඩක් අසීරු වැඩක්. ඒ නිසා, බොහෝ විට වෙන අය මොනවා කිවුවත් තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින කෙනෙකුට ඒ සඳහා යම් හෝ ඉඩක් ඉතිරි වෙනවා. මේ හේතුව නිසාම, තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටින අයෙක් සමඟ තර්ක කරලා දිනන්න අමාරුයි. 

විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා කියන්නේ ඇත්ත කියා කියන එක නෙමෙයි. බොරු බව ඔප්පු වී නැහැ කියන එකයි. ඒ නිසා, අවංකවම තමන්ගේ ප්‍රවාදය ඇත්තද කියා දැන ගන්න අවශ්‍ය කෙනෙක්නම් කළ යුත්තේ එය හැකි තරම් පරීක්ෂාවට ලක් කරන එකයි. තාර්කික තලයේදීම කළ හැකි මූලික පරීක්ෂාවක් වන්නේ ප්‍රවාදයේ අභ්‍යන්තර පරස්පරතා තියෙනවද කියලා බලන එකයි. එහෙම පරස්පර තියෙනවානම් එතැනින්ම වැඩේ අත ඇරලා දමන්න පුළුවන්. 

ගොඩක් වෙලාවට එවැනි අභ්‍යන්තර පරස්පරතා නැති ප්‍රවාද එකකට වඩා ඉතිරි වෙනවා. එතකොට හරි එක හෝ වඩා ගැලපෙන එක හොයා ගන්න වෙන්නේ අනුභූතික දත්ත දිහා බලලා. මුල් වටයේදී ප්‍රතික්ෂේප නොවන ප්‍රවාද සමහරක් මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැත්නම්, අවදානමක් අරගෙන, ඉතිරි වී තිබෙන විකල්ප අතරින් තමන්ට වඩා හොඳයි කියා හිතෙන ප්‍රවාදය තෝරා ගන්න වෙනවා. 

ඉහත තෙවන විකල්ප ප්‍රවාදය කරලියට එන්නේ පළමු ප්‍රචලිත ප්‍රවාදයට එරෙහි ප්‍රවාදයක් ලෙසයි. පළමු ප්‍රවාදයෙන් වැරැද්ද පාරිභෝගිකයින් වෙත දමනවා. දෙවැන්නෙන් වැරැද්ද ව්‍යාපාරිකයින් වෙත දමනවා. මේ දෙකම දේශපාලනිකයි. ඒ විවේචනය මගේ ප්‍රවාදයටත් ඒ විදිහටම වලංගුයි. ප්‍රවාදයක ස්වභාවයෙන්ම ඌණිතවාදී ප්‍රවේශයක් තියෙන නිසා එය ප්‍රවාදය හදන පුද්ගලයාගේ දැක්මට සාපේක්ෂ වීම නොවැලැක්විය හැකියි. 

ප්‍රවාදයක් ඇතුළෙන් මේ විදිහට දේශපාලනික ස්වරූපයක් පෙනෙන්න තිබෙන විට සහ පහසුවෙන් බැහැර කළ නොහැකි විකල්ප ප්‍රවාද එකකට වඩා තිබෙන කොට කවුරු හෝ කෙනෙක් තමන්ගේ දේශපාලන අභිරුචියට වඩා ගැලපෙන ප්‍රවාදයක් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින එකත් වලක්වන්න බැහැ. විශේෂයෙන්ම මේ නිශ්චිත කාරණයේදී ප්‍රශ්නයට විසඳුම් යෝජනා කෙරෙන්නේ ප්‍රවාදයක් ඇතුළේ සිට නිසා.

උදාහරණයක් විදිහට පළමු ප්‍රවාදය පිළිගත් විට පරිභෝජනය සීමා කිරීම සඳහා පාරිභෝගිකයින් මත බදු පැනවීම සාධාරණීකරණය කෙරෙනවා. එයට එරෙහිව තෙවන ප්‍රවාදයෙන් ව්‍යාපාරිකයින්ගේ ලාබ මත බදු පැනවිය යුතුයි කියා යෝජනා කෙරෙනවා. මගේ ප්‍රවාදයට සාපේක්ෂව බැලුවොත්, ඔය කතා දෙකම එකම කාසියේ දෙපැත්ත. මේ දෙකෙන්ම කරන්නේ රජය ආරක්ෂා කරන එක. විශාල රජයක් යුක්තිගරුක කරන එක. වෙළඳපොළට විරුද්ධ වෙන එක. (පාරිභෝගිකයින්ට එරෙහිව ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම හා වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ කරුණු දෙකක්. ධනවාදය කියා කියන්නේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටීම මිසක් ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම නෙමෙයි.)

අනුභූතික දත්ත වලින් සහයෝගයක් නොලැබෙන නමුත් අපි මොහොතකට තෙවන ප්‍රවාදය පිළිගනිමු. මේ ප්‍රවාදය අනුව, ඇත්තටම වෙළඳ හිඟයක් නැහැ. ආනයන හා අපනයන කරන ව්‍යාපාරිකයින් විසින් විදේශ විණිමය රටින් පන්නන නිසා තමයි වෙළඳ හිඟයක් තියෙනවා වගේ පේන්නේ. දැන් යම් හෙයකින් මෙහෙම දෙයක් වෙනවානම් එයින් පැහැදිලිව පේන්නේ ඔවුන්ට විදේශ විණිමය රටින් පන්නන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි. ඔය වැඩේ ඔය විදිහට සිදු නොවී වෙනත් විදිහකට සිදු වුනා කියා අපි හිතමු. ඒ කියන්නේ අපනයනකරුවෝ ඩොලර් බිලියන 15ම රටට ගේනවා. ඊට පස්සේ එයින් ඩොලර් බිලියන 5ක් රටින් එළියට ගෙනියනවා. ඒ වගේම, ආනයනකරුවෝ ආනයන කරද්දී හරියට ගනන් පෙන්නලා, ඩොලර් බිලියන පහක් විධිමත් ලෙස වෙනම රටෙන් එළියට ගෙනියනවා. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් ඔය කතාවේ සහ මුල් කතාවේ විශාල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ සල්ලි ගෙන යන ආකාරයේ පමණයි.

දැන් මම මෙහි කියපු විදිහට ඔය වැඩේ වුනොත් වෙළඳ ශේෂයක් නැහැ. නමුත් ගෙවුම් ශේෂ හිඟය ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ විදේශ විණිමය අර්බුදය හා අදාළව ප්‍රශ්නය මේ ඩොලර් ටික රටෙන් යන එක මිසක් යන ආකාරය නෙමෙයි. හැබැයි හරි පාරේ නොගොස්, නීති විරෝධී ලෙස සල්ලි එළියට යන එකේ රජයේ බදු ආදායම් අහිමි වීම වැනි වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ප්‍රශ්නය විදේශ විණිමය ගලනය කියා හිතුවොත්, ඇත්තටම වෙන්නේ පළමු ප්‍රවාදයේ කියන කතාව නොවී තෙවන ප්‍රවාදයේ කතාව වුනත් මගේ ප්‍රවාදය අනුව විග්‍රහයේ ලොකු වෙනසක් නැහැ. අපි හිතමු ව්‍යාපාරිකයින් විසින් වසරකට ඩොලර් බිලියන දහයක් රටින් පන්නනවා කියලා. යම් හෙයකින් එය එසේ වුවත්, ඔවුන්ට එහෙම කරන්න හැකි වී තිබෙන්නේ රජය ණය වී ඔය ඩොලර් බිලියන දහය වෙළඳපොළට පොම්ප කරන නිසා. රටේ ඩොලර් නැත්නම් රටෙන් ඩොලර් පන්නන්න බැහැ. අවසාන වශයෙන් මගේ ප්‍රවාදය හරහා හඳුනා ගන්නා ප්‍රශ්නයේ මූලික ස්වරූපය එකයි.

ආනයනකරුවෝ වැරදි ඉන්වොයිස් දමා රටෙන් ඩොලර් පන්නනවානම් ඒ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස වෙළඳපොළෙන් මිල දී ගන්න ඩොලර්. ඔවුන් එහෙම කරන්නේ එක පැත්තකින් අතේ රුපියල් තිබෙන නිසා. අනෙක් පැත්තෙන් ඩොලර් ලාබෙට තියෙන නිසා.

අපනයනකරුවන් දිහා බැලුවත් එහෙමයි. ඔවුන් ඩොලර් රටට ගේන්නේ නැත්තේ එක පැත්තකින් මාරු කළාම ලැබෙන රුපියල් ප්‍රමාණය මදි නිසා. අනෙක් පැත්තෙන් ඒ සල්ලි නොගෙනාවත් අතේ ඇති වෙන්න රුපියල් තිබෙන නිසා.

ප්‍රශ්නයට හේතුව ව්‍යාපාරිකයින් විසින් ඩොලර් රටින් පැන්නීම කියන උපකල්පනයේ සිට පටන් ගත්තත්, පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනය සේ සැලකුවත්,  අවසාන වශයෙන් පාදක හේතුව එකමයි. අච්චු ගහන රුපියල් සහ ලාබෙට විකුණන ණයට ගත් ඩොලර්!

ප්‍රශ්නයට විසඳුම පාරිභෝගිකයින් පාලනය කිරීමට හෝ ව්‍යාපාරිකයින් පාලනය කිරීමට රජයට තව තවත් බලතල දෙන එක නෙමෙයි. රජයේ අයවැය හිඟය පියවා ගන්න බල කරන එක. ඒ වැඩේ වුනොත් සල්ලි අච්චු ගහන එක සහ විදේශ ණය අරගෙන රුපියල් කරන එක නවතිනවා. ඒ එක්කම, ඩොලරය විදේශ ණය පොම්ප කරලා ලාබ කරන එක කරන්න බැරි වෙනවා. රුපියල් පොම්ප කරන එකත් නවතිනවා. ප්‍රශ්නය පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනයනම් දැන් ඒ වැඩේ සීමා වෙනවා. ප්‍රශ්නය ව්‍යාපාරිකයින් විසින් සල්ලි පන්නන එකනම් ඒකත් නවතිනවා.

Monday, August 1, 2022

රටින් පන්නපු ඩොලර් බිලියන හතළිහ

සුවිශේෂී හේතුවක් නිසා කලින් ලිපිය ලියා පළ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. එම ලිපිය එසේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කිරීමේ අරමුණ ඉටු වූ නිසාත්, එහි වූ දෑ සිංහලෙන් නොලිවීම පිළිබඳව අභියෝගාත්මක විවේචනයක් ආ නිසාත් මේ ලිපිය සිංහලෙන්ම ලියනවා. 

ලිපිය ලිවුවේ මේ දවස් වල සමාජගත කෙරෙන බොරුවක් පිළිබඳ ඇත්ත එළිදරවු කිරීමටයි. අදාළ ප්‍රබන්ධනාත්මක ව්‍යාජයට අනුව, ඇමරිකාවේ පර්යේෂණ ආයතනයක් විසින් පළ කර තිබෙන වාර්තාවකට අනුව 2009-2017 අතර කාලය තුළ වසරකට ඩොලර් බිලියන 4 ඉක්මවන විදේශ විණිමය ප්‍රමාණයක් ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් විසින් රටින් පන්නා තිබෙනවා. මේ වාර්තාව අපි GFI වාර්තාව ලෙස හඳුන්වමු.  

මේ වෙද්දී ලංකාවේ විදේශ ණය පිළිබඳ නිල ඇස්තමේන්තුව ඩොලර් බිලියන 51ක්. ඉහත කතාව ඇත්තනම්, ප්‍රශ්නයට විසඳුම ලෙස පසුගිය වසර 13ක පමණ කාලය තුළ ඉහත ආකාරයෙන් රටින් පැන්නූ ඩොලර් ටික රටට ගෙන්වා ගත්තොත් වැඩේ ගොඩ නේද කියන එක කතාව අහන ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක්.

මේ වන විට ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. අර්බුදයට හේතු නිවැරදිව හඳුනාගෙන පිළියම් යොදනු වෙනුවට, ප්‍රබන්ධනාත්මක හේතු පසුපස පැන්නීමේ අවසන් ප්‍රතිඵලය අර්බුදය තවත් ඔඩු දුවා රටේ ජනතාවටට දිගින් දිගටම පීඩා විඳින්න වෙන එකයි.

මා පෙර ලිපියෙන් එළිදරවු කළ ව්‍යාජය මෙලෙස සාරාංශගත කළ හැකියි.

- අදාළ ඇමරිකන් වාර්තාවේ, එනම් GFI වාර්තාවේ, කිසිදු තැනක  2009-2017 අතර කාලය තුළ රටින් පැන්නූ මුදල් පිළිබඳව කිසිදු ඇස්තමේන්තුවක් නැහැ. එය එම වාර්තාව පෙන්වමින්, ලංකාවේ ඇතැම් අය විසින් ප්‍රබන්ධ කර ඉදිරිපත් කරන අදාළ වාර්තාවේ සඳහන්ව නැති දෙයක්. 

- අදාළ වාර්තාව මත පදනම්ව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණිය හැකි ශක්තිමත් තාර්කික පදනමක්ද නැහැ. 

ඒ හැර පහත පහත සඳහන් කිසිවක් මම කිවුවේ නැහැ.

- අනීතික ලෙස රටින් මුදල් පිට නොවන බව මම කිවුවේ නැහැ.

- ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් නොකරන බව මම කිවුවේ නැහැ.

- එසේ කිරීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වීම නොසලකා හැරිය හැකි කරුණක්යැයි මම කිවුවේ නැහැ.

- ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීමේදී දේශ සීමා හරහා ප්‍රාග්ධන ගලනයන් සිදු නොවන්නේයැයි මම කිවුවේ නැහැ.

මම කිවුවේ 2009-2017 අතර කාලය තුළ ඩොලර් බිලියන 40කට ආසන්න මුදලක් ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම මගින් රටින් පන්නා ඇතැයි යන්න කිසිදු පදනමක් නැති ප්‍රබන්ධනාත්මක ව්‍යාජයක් බව පමණයි. එහෙත්, මීට වඩා බෙහෙවින්ම අඩු යම් මුදලක් මේ විදිහට රටින් පන්නා තිබෙනවා විය හැකි බවයි.

එහෙමනම් ඔය කියන වාර්තාවේ තියෙන්නේ කුමක්ද?

වාර්තාවේ තිබෙන්නේ ආනයන අපනයන වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයින් විසින් වැරදි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම පිළිබඳ අධ්‍යයනයක්. ව්‍යාපාරිකයින් විසින් මෙවැන්නක් කරන්නේ ප්‍රධාන වශයෙන්ම බදු වංචා කිරීමේ අරමුණින්. වාර්තාව ඉදිරිපත් කරන පර්යේෂකයින් විසින් සන්නිවේදනය කරන්න උත්සාහ කරන අදහසත් ඒකයි. එහෙත් විදේශ විණිමය විතැන් කිරීම වැනි අරමුණු වලින් මෙවැන්නක් කරන අවස්ථාද තිබිය හැකියි. මම එය කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ.

යම් කිසිවෙකු ලංකාවේ සිට යම් භාණ්ඩයක් අපනයනය කළ විට ගණුදෙනුව පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රේගුවේ සටහන් වෙනවා. අදාළ භාණ්ඩය ගමනාන්ත රටට ළඟා වූ පසු අදාළ රටේ රේගුවේද තොරතුරු වාර්තා වෙනවා. මේ ගණන් සැසඳෙන්නේ නැත්නම්, පාර්ශ්ව දෙකෙන් එකක් බොරුවක් කර තිබෙන බව අපට සැක කළ හැකියි. එහෙත්, ඒ කවර පාර්ශ්වයද යන්න හඳුනාගත නොහැකියි. GFI පර්යේෂක කණ්ඩායම විසින් කරන්නේ රටවල් දෙකේ රේගු වාර්තා සංසන්දනය කරමින් මෙවැනි නොගැලපීම් හඳුනා ගැනීමයි. වසරකට බිලියන 4කට ආසන්නව ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ ගනුදෙනුකාර රටවල් වල වාර්තා සැසඳූ විට දැකිය හැකි නොගැලපීම් වල එකතුවයි.

මේ සඳහා උපයෝගී කර ගෙන තිබෙන දත්ත පොදු අවකාශයේ තිබෙන නිසා, අදාළ ක්‍රමවේදය අනුගමනය කරමින් ඇස්තමේන්තුවක් හදන එක අපට වුනත් කරන්න පුළුවන්. කාලය වැය කිරීමේ වියදම මිසක් මහා සංකීර්ණ වැඩක් නෙමෙයි. කැමති අයෙකුට උත්සාහ කර බැලිය හැකියි.

පසුගිය 2021 වසරේ දත්ත තවමත් බොහෝ දුරට අසම්පූර්ණ නිසා අපි 2020 දත්ත දෙස බලමු. එම වසර තුළ, ලංකාව විසින් භාණ්ඩ ආනයනය කළ රටවල් අතරින් රටවල් 106ක් විසින් ඔවුන් ලංකාවට අපනයනය කළ භාණ්ඩ වල විස්තර වාර්තා කර තිබෙනවා. ලෝකයේ රටවල් වලින් බාගයක් පමණම මෙතැන නැති වුනත්, ලංකාවේ ආනයන වලින් 99%ක්ම ඇවිත් තියෙන්නේ දත්ත තිබෙන රටවල් වලින් නිසා ඒ අඩුව නොසලකා හරින්න පුළුවන්. ගැලපිය හැකි අපනයන දත්ත තිබෙන රටවල් ගණන 134ක්. අපි මේ විදිහට ගැලපිය හැකි දත්ත පමණක් අරගෙන අපේ විශ්ලේෂණය කරමු. GFI පර්යේෂක කණ්ඩායම විසින්ද නොගැලපිය හැකි දත්ත ඉවත් කළ බව සටහන් කර තිබෙනවා.

දැන් අපට මේ එක් එක් රටේ සංඛ්‍යාලේඛණ හා ලංකාවේ සංඛ්‍යාලේඛණ සංසන්දනය කර, වෙනස ගණන් බලා එකතු කළ හැකියි. මේ එක් එක් රටේ දත්ත දෙස වෙන වෙනම බැලූ විට කිසිදු රටක සංඛ්‍යාලේඛණ ලංකාවේ සංඛ්‍යාලේඛණ සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ. හේතු ගණනාවක් නිසා මෙවැන්නක් සිදු විය හැකියි. වැරදියට ඉන්වොයිස් කිරීම ඒ අතරින් එක් හේතුවක්. ආනයන දත්ත සැසඳූ විට වෙනස ඩොලර් මිලියන 2,187.4ක් එනවා. අපනයන දත්ත වල නොගැලපීම් එකතුව ඩොලර් මිලියන 2,871.4ක්. ඒ කියන්නේ එකතුව ඩොලර් මිලියන 5,058.8ක්.

මම මේ ඇස්තමේන්තු හැදුවේ රටවල් මට්ටමින් ආනයන හා අපනයන දත්ත සංසන්දනය කරලා වුනත්, GFI පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කර තිබෙන සංසන්දනය මා කළ සංසන්දනයට වඩා පුළුල් එකක්. ඔවුන් එක් එක් රටට ලංකාවෙන් අපනයනය කළ එක් එක් භාණ්ඩය හා අදාළ තොරතුරු එකිනෙක වෙන වෙනම ගෙන සංසන්දනය කර තිබෙනවා. මෙය විශාල කාලයක් යන කටයුත්තක්. මා එවැන්නක් නොකළත්, මගේ සරල විශ්ලේෂණයෙන් ලැබී තිබෙන පිළිතුර ඔවුන්ගේ ඇස්තමේන්තු වලට ආසන්නයි. 

මෙවැනි වෙනසක් දෙආකාරයකින් ඇති විය හැකියි. එක්කෝ ලංකාවේ ගණන් අනෙක් පැත්තේ ගණන් වලට වඩා වැඩි වීමෙන්. එහෙම නැත්නම් අඩු වීමෙන්. GFI වාර්තාවේ මේ කොටස් දෙක වෙන වෙනම පෙන්වන්නේ නැහැ.

මේ ඇස්තමේන්තුව මුළුමනින්ම රටින් සල්ලි පැන්නීමක් පමණක් සේ අර්ථදක්වන අය කියන්නේ අපනයනකරුවන් ගණන් අඩුවෙන් පෙන්වීම මගින් සල්ලි රටෙන් පන්නන බවයි. එය පැහැදිලි ලෙසම සිදු විය හැකි දෙයක්. අපනයන වල ඉන්වොයිස් අගය අඩුවෙන් පෙන්වා වෙනස රටෙන් පිටත තියා ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න පුළුවන් කියන එකෙන් එහෙම කළා කියන එක තහවුරු වෙන්නේ නැහැ. 

මේ තර්කයම අනෙක් පැත්තට ඉදිරිපත් කරන්නත් පුළුවන්. යම් හෙයකින් අපනයන වල ඉන්වොයිස් අගය වැඩියෙන් පෙන්වා ඇත්නම් එයින් පෙන්වන්නේ අනීතික ලෙස රටට විදේශ විණිමය පැමිණ ඇති බව විය හැකියි. උදාහරණයක් ලෙස මේ දවස් වල අපනයනකරුවන් විසින් නිශ්චිත කාලයක් තුළ තමන්ගේ අපනයන ආදායම් රටට ගෙන ආ යුතුයි. ගණන් වැඩියෙන් පෙන්නුවා කියන්නේ මොන විදිහකින් හෝ නැති සල්ලිත් රටට ගේන්න වෙනවා කියන එකයි. 

මා ඉදිරිපත් කළ අදහස වුනේ ඔය දෙකම සිදු වන බවයි. ඒ නිසා, දිගුකාලයක් ගත් විට මේ ආකාරයේ ප්‍රාග්ධන විතැන් වීම් දෙපැත්තටම සිදු වන නිසා බොහෝ දුරට සමතුලිත වන බවයි. මගේ ප්‍රතිවාදීන්ගේ තර්කය වන්නේ මෙය සිදු වන්නේ එක් පැත්තකට පමණක් බවයි. ලංකාවේ සිට නිදහසේ ප්‍රාග්ධනය එළියට ගෙන යන එක අමාරු වැඩක් නිසා, කියන ගණන කෙසේ වුවත්, යම් ප්‍රමාණයක් රටින් එළියට යනවා කියන එකනම් පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ, කොටසක් සමතුලිත වුනත් සම්පූර්ණයෙන්ම සමතුලිත වන්නේ නැහැ කියන එක.

මේ ආකාරයේ ගැටළුවකට තර්කයෙන් පමණක් විසඳුමක් හොයන්න බැහැ. තමන්ගේ මතය නිවැරදියි කියා කියන්න ඕනෑ කෙනෙකුට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. මම කලින් ලිපියෙන් පෙන්වා දුන්නේ GFI වාර්තාවේ ඉහත ප්‍රතිවාදී මතය තහවුරු කළ හැකි දත්ත නැති නිසා එම මතය හිතලුවක් පමණක් බවයි. දැන් යමෙකුට ඒ විවේචනය මටත් කරන්න පුළුවන්. ඒ විවේචනයට පිළිතුර පොදු අවකාශයේ තිබෙන සංඛ්‍යාලේඛණයි.

දත්ත පරීක්ෂා කළ විට පැහැදිලිව පෙනෙන පරිදි ලංකාවෙන් ආනයන කළ රටවල් 134න් රටවල් 67ක් හා අදාළව අඩුවෙන් ගණන් පෙන්වීමේ ප්‍රවාදය නිවැරදි නමුත් ඉතිරි රටවල් 67 හා අදාළව දැකිය හැක්කේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව, මුල් රටවල් 67ට ලංකාවෙන් සල්ලි පැන්නූ බව කවුරු හෝ කියනවානම් ඉතිරි රටවල් 67 ලංකාවට සල්ලි පන්නා තිබෙන බවත් කියන්න පුළුවන් (Table 1). ගණන් සියල්ල එකතු කළ විට පෙනෙන්නේ ඔය කියන කතාව ඇත්තනම් 2020 වසර තුළ ඩොලර් මිලියන 351.4ක් මේ ක්‍රමයට ලංකාවෙන් හොරෙන් පන්නා ඇති බවයි. එහෙත්, වැඩිපුර සොයා නොබලා, GFI ඇස්තමේන්තු සල්ලි පැන්නීම් සේ උපකල්පනය කළොත් මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 2,187.4ක්. 

ඩොලර් මිලියන 351.4ක් මේ ක්‍රමයට ලංකාවෙන් හොරෙන් පන්නා ඇත්නම් එයත් ප්‍රශ්නයක් තමයි. නමුත්, මේ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 2,187.4ට වඩා ගොඩක් අඩුයි. 

මෙහිදී හරියටම රටවල් 67ක් සමඟ ධන වෙනසක් හා අනෙක් රටවල් 67 සමඟ සෘණ වෙනසක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් කියා මම කියන්නේ නැහැ. වෙන අවුරුද්දක් ගත්තොත්, එක පැත්තකට බර වැඩි වෙන්න පුළුවන්. හැබැයි දෙපැත්තක් තියෙනවා කියන එක සාමාන්‍ය තත්ත්වයක්.

මෙහිදී කියැවුණු තවත් කතාවක් වුනේ ඉන්වොයිස් අඩුවෙන් දාලා සල්ලි පන්නන්නේ බටහිර රටවලට කියන එකයි. එහෙමනම්, මේ සෘණ ශේෂ තියෙන ගොඩේ තියෙන්නේ බටහිර රටවල්ද? ධන ශේෂ තියෙන්නේ වෙනත් පොඩි පොඩි රටවල් එක්කද?

නැහැ, බටහිර සේ සැලකෙන රටවල් 18ක් අතරින් සෘණ ශේෂ දැකිය හැක්කේත්  රටවල් 9ක පමණයි. ඉතිරි 9 ධන ශේෂ. අදාළ තර්කය ඇත්තනම්, 2020 වසර තුළ ලංකාවෙන් බටහිර රටවලට ඩොලර් මිලියන 30.0ක් පන්නලා තියෙනවා (Table 1A). මෙය එම රටවලට සිදු කර තිබෙන අපනයන වලින් 0.5%ක් පමණයි. නමුත්, ලංකාවේ අපනයන වලින් 55.4%ක්ම ගිහින් තියෙන්නේ එම රටවල් 18ටයි. ඒ කියන්නේ, මේ විදිහට සල්ලි පන්නන්නේ බටහිර රටවලට කියා කියන්න සාක්ෂි නැහැ. ඩොලර් මිලියන 321.4ක්ම ගිහින් තියෙන්නේ අනෙකුත් රට වලට.

ආනයන මෙන් නොව, අපනයන දත්ත දෙස බැලූ විට ධන හා සෘණ අක්‍රමිකතාවන්හි පැහැදිලි අසමමිතියක් පේනවා. රටවල් 82ක ධන ශේෂ තිබුණත්, සෘණ ශේෂ තිබෙන්නේ රටවල් 20ක් සමඟ පමණයි (Table 2). 

මා ලියන දේ දිගටම කියවන අය දන්නා පරිදි මා මෙවැනි හැදෑරීම් කරන්නේ ඇත්ත සොයා ගැනීමේ අරමුණින් මිස "ඇත්ත කලින්ම දැනගෙන" එය තහවුරු කර පෙන්වීමේ අරමුණින් නෙමෙයි. එයින් කියන්නේ කිසිම අදහසක් නැතිව වැඩේට බහිනවා කියන එක නොවුනත්, ලැබිය හැකි ප්‍රතිඵලය පිළිබඳ විශේෂ බලාපොරොත්තුවක් නැතිව වැඩේට බහිනවා කියන එකයි.  

මා තරමක් විමතියට පත් කළ ඉහත ප්‍රතිඵලයෙන් ඉඟි කෙරෙන්නේ සල්ලි පැන්නීමේ අරමුණ  කලින් හිතාගෙන හිටියාට වඩා පැහැදිලි ලෙස පෙනෙන්නට ඇති බවයි. මිල අඩුවෙන් පෙන්වීම මගින් බදු වාසි පිළිබිඹු කෙරෙන නමුත් මිල වැඩියෙන් පෙන්වා ඇත්නම් එයින් ඉඟි කෙරෙන්නේ සල්ලි පැන්නීමේ අරමුණයි. GFI ක්‍රමවේදය අනුව ඇස්තමේන්තු කළ ඩොලර් මිලියන 2,871.4ට වඩා බොහෝ අඩු වුවත්, ඩොලර් මිලියන 723.6ක් කියා කියන්නේත් සැලකිය යුතු මුදලක්.

කල් වේලා ගතවන කටයුත්තක් නිසා මා විසින් විශ්ලේෂණය කළේ එක් වසරක දත්ත පමණයි. ඒ මත පදනම්ව මම බරපතල ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙත්, කලින් ලිපියේ මගේ මූලික තර්කය වූ, ප්‍රාග්ධන ගලනයක් එකම පැත්තකට පමණක් සිදු නොවන බව මේ දත්ත දෙස බැලූ විට පැහැදිලිව සනාථ වෙනවා. ඒ අනුව, GFI වාර්තාව මත පදනම්ව ලංකාවේ ඇතැම් අය පතුරුවන ඩොලර් බිලියන හතළියක් රටින් එළියට ගිය කතාව බොරුවක් බවද පැහැදිලිව පෙනෙනවා. 

කෙසේ වුවත්, ආනයන හා අපනයන වලට අදාළ ඉහත ඇස්තමේන්තු දෙකේ එකතුව ඩොලර් මිලියන 1,075.0ක්. වසරකට ඩොලර් බිලියන හතරක් හෝ පහක් මේ ක්‍රමයට රටින් එළියට යන්න විදිහක් නැතත්, ඩොලර් බිලියනයක් රටින් එළියට යනවානම් එයත් නොසලකා හැරිය හැකි කරුණක් නෙමෙයි. මේ ගැන හරියටම යමක් කිව හැක්කේ අනෙකුත් වර්ෂ වල දත්තද විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. වසංගතය පැවති 2020 සාමාන්‍ය වසරක් නොවූ නිසා, සාමාන්‍ය වසරක තත්වය මීට වඩා වෙනස් විය හැකියි. පරීක්ෂා කර නොබලා කොයි පැත්තටද කියා කිව නොහැකියි.

මුඛ්‍ය තර්කය නිශේධනය නොකරන පොඩි පොඩි අත්වැරදි අප අතින් සිදු වී තියෙන්න පුළුවන්. හැම දෙයක්ම නැවත පරීක්ෂා කරන්න කාලය යොදවන්න අමාරුයි. සමාජවාදීන් නොවන අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතින් අත් වැරදීම් වෙනවා. 

Thursday, July 28, 2022

ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය


තව දුරටත් ඉතිරිව තිබෙන ණය ගෙවීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියෙන් කතා කළා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම පැත්තකින් තියන්න පුළුවන්කමක් නැතත්, සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, ණය ප්‍රශ්නය පැත්තකින් තියමු. එක ඩොලරයක්වත් ණය ආපසු ගෙවන්නේ නැහැ කියා හිතුවොත් ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය මොනවා හෝ විදිහකින් රටට ලැබෙන ඩොලර් ටික පිරිමහගෙන කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයයි. එය කළ හැකිද?

මෙය කළ නොහැකි තරම් අසීරු කාර්යයයක්. එහෙත්, බාහිර උදවු නොලැබුණොත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ.

අපි සංඛ්‍යාලේඛණ එක්කම ප්‍රශ්නය දිහා බලමු. මේ පසුගිය වසරේ (2021) සංඛ්‍යාලේඛණ.

අපනයන ආදායම - ඩොලර් මිලියන 12,502

ආනයන වියදම - ඩොලර් මිලියන 20,637

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 8,136 

මේ ගාණට ආනයන වියදම් සීමා වී තිබෙන්නේත් නෛසර්ගික ලෙස නෙමෙයි. වාහන ආනයනය ආදිය සම්පූර්ණයෙන්ම නවත්වා තිබියදී. නැවත වාහන ආනයනය වගේ දේවල්නම් දැන් හීන පමණක් නිසා දැන් ඉන්න තැන ඉඳලා කතාව පටන් ගනිමු.

දැන් ඉහත කී පරිදි ඩොලර් මිලියන 8,136ක වෙළඳ ශේෂ හිඟයක් තියෙනවා කියන්නේ ඔය ඩොලර් ප්‍රමාණය වෙන කවර හෝ ආකාරයකින් රටට එන්න ඕනෑ. එහෙම මොන විදිහකින් හෝ ඩොලර් රටට එනවානම් වෙළඳ ශේෂ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. 

පසුගිය වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් රටට ආවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 261ක් ආවා. නමුත්, ඒ දෙකම එකතු කළත් වෙළඳ ශේෂ හිඟය පියැවෙන්නේ නැහැනේ. ඒ වගේම, ණය ගෙවීම පැත්තකින් තිබ්බත්, ඩොලර් අවශ්‍ය වෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පමණක් නෙමෙයි. අනෙක් ඩොලර් අවශ්‍යතා සඳහා වැය වූ කොටසත් එකතු කලාට පස්සේ සමස්තයක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 3,961ක ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. 

හරි. අපි මුල් ප්‍රශ්නයට එමු. ලංකාවට දැනට දශක ගණනාවක් තිස්සේ පවතින වෙළඳ ශේෂ හිඟය ඉතා ඉක්මණින් පියවා ගැනීමේ හැකියාවක් තියෙනවද?

මෙහි පළමු පියවර ලෙස අපි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20,637 විභේදනය කර බලමු.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 3,848.7 (18.6%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 12,308.9 (59.6%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 4,462.7 (21.6%)

එකතුව  - ඩොලර් මිලියන 20,637.4 (100.0%)

මම හිතන්නේ කියන්න හදන දෙය පැහැදිලි විය යුතුයි. ආනයන භාණ්ඩ පරිභෝජනය ගැන, අධිපරිභෝජනය ගැන ලොකුවට කතා කළත් පරිභෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වැය වෙන්නේ මුළු ආනයන වියදමෙන් 18.6%ක් පමණයි. ඔය ටික මුළුමනින්ම නැවතුනත්, වෙළඳ හිඟය පියැවෙන්නේ නැහැ.

ලංකාවේ ආනයන වියදම් වලින් 80%ක් පමණම යන්නේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ ආනයනයටයි. මොනවද මේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ? 

අතරමැදි හා ආයෝජන භාණ්ඩ කියා කියන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක. මේවා එන්නේ නැහැ කියා කියන්නේ බොහෝ දුරට රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැනට ලැබෙන අපනයන ආදායමත් නොලැබී යනවා කියන එකයි.

උදාහරණයක් විදිහට පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් වලින් ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 4,423.1ක්. රටේ අපනයන ආදායමෙන් 35%ක් පමණ. හැබැයි ඔය අපනයන ආදායම ලබා ගන්න රෙදිපිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් ආනයන වියදම ඩොලර් මිලියන 2,335.1ක්. අර ආපු ඩොලර් ටිකෙන් බාගයකටත් වඩා අමුද්‍රව්‍ය වෙනුවෙන් රටෙන් එළියට ගිහින්. 

ඇගලුම් කර්මාන්තය සඳහා ආනයනය කරන්න අවශ්‍ය වන්නේ රෙදිපිළි වැනි දේ පමණක් නෙමෙයිනේ. මහන මැෂින්, අනෙකුත් මැෂින් වගේ නිෂ්පාදන සාධකත් ආනයනය කරන්න වෙනවා. ඒවා තියෙන්නේ ආයෝජන භාණ්ඩ යටතේ. ඒ විතරක්ද? යොදා ගන්න විදුලි බලය හදන්න ඉන්ධන ආනයනය කළ යුතුයි. සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්න වාහන ආනයනය කළ යුතුයි. ඒ අයට දවල් කෑමට දෙන පරිප්පු ටික ආනයනය කළ යුතුයි. හිතල බැලුවොත් ලැයිස්තුව තව ගොඩක් දිගයි.

ඕනෑම අපනයන කර්මාන්තයක් ගත්තොත් තත්ත්වය ඕකයි. පහුගිය දවස් වල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වානේ ආනයනය කළා කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වානේ ආනයනය නොකළොත් බයිසිකල් අපනයන කරන්න වෙන්නේ නැහැ. අපනයන වලින් ඩොලර් මිලියන 12,502ක් ලැබුණත් මෙය ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙනවා වගේ ශුද්ධ ඩොලර් ආදායමක් නෙමෙයි. ඔය ඩොලර් ටික උපයා ගැනීම සඳහාම සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරන්න වෙනවා.

තේ කර්මාන්තය වගේ කෘෂිකාර්මික කර්මාන්තයක් ගත්තත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කර්මාන්තයට අවශ්‍ය පෝර වල ඉඳලා, යන්ත්‍ර සූත්‍ර දක්වා ගොඩක් දේවල් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා, රටට එන ඩොලර් ආදායම ශුද්ධ ආදායමක් නෙමෙයි. ලංකාවේ අපනයන ආදායමෙන් කොපමණ කොටසක් එම අපනයන නිපදවීම සඳහාම ආනයන වෙනුවෙන් වැය කළ යුතුද කියන එක කවුරුවත් ගණන් හදා ඇති බවක් මම දන්නේ නැහැ. මේ ප්‍රමාණය 50% පමණ හෝ ඊටත් වඩා වැඩි විය හැකියි. 

අපි 50%ක් කියලා ගනිමු. ඒ කියන්නේ මාසයකට අපනයන වලින් රටට බිලියනයක් එනවා කියා කිවුවත් ශුද්ධ වශයෙන් එන්නේ මිලියන 500ක් පමණයි. අනෙකුත් හැම දෙයක්ම ආනයනය කරන්න වැය කළ හැක්කේ මේ කොටස පමණයි.

ඔය කිවුවේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයන ගැන. ඊට අමතරව දේශීය නිෂ්පාදන සඳහාත් සැලකිය යුතු ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා නිෂ්පාදන සාධක අවශ්‍යයි. ආනයන නැත්නම් දේශීය නිෂ්පාදනයකුත් නැහැ. වී ගොවිතැන වගේ දෙයක් ගනිමු. පෝර, කෘෂි රසායන, අත්ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ආදී කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, ආනයන වලින් 60%ක් පමණ වන අතරමැදි භාණ්ඩ සීමා කිරීමේ හැකියාවක් නැහැ. බැරි නැහැ. නමුත් එහෙම කරනවා හෝ කරන්න වෙනවා කියා කියන්නේ රටේ සමස්ත ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී රට ඇතැම් විට සියවස් බාගයකින් පමණ  ආපස්සට යනවා කියන එකයි.

ආයෝජන භාණ්ඩ සීමා කිරීමත් ඔය වගේම අහිතකර වුවත් කෙටිකාලීනව ආයෝජන භාණ්ඩ සීමා කිරීමක් කළ හැකියි. පරිභෝජන භාණ්ඩත් යම් තරමකින් සීමා කළ හැකියි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය නොගෙන්වා බැහැ.

ඊළඟට කරන්න යන සංසන්දනය සඳහා මම ඉහත 2021 සංඛ්‍යාලේඛණ දොළහෙන් බෙදා මාසික සාමාන්‍ය අගයයන් ඉදිරිපත් කරන්නම්.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 320.7 

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,025.7 

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 371.9 

එකතුව  - ඩොලර් මිලියන 1,719.8 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,041.8 

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 678.0


දැන් අපට මෙම ගණන් පසුගිය (2022 මැයි) මාසයේ සංඛ්‍යාලේඛණ සමඟ සැසඳිය හැකියි. 

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 177.1 (-44.8%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,036.1 (1.0%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 238.2 (-36.0%)

එකතුව  - ඩොලර් මිලියන 1,451.5 (-15.6%)

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047.3 (0.5%)

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 404.2 (-40.4%)

ආනයන සීමා කිරීමේ බලපෑම පේනවනේ. සමස්තයක් ලෙස මැයි මාසයේ ආනයන වියදම පසුගිය වසරේ සාමාන්‍ය මාසික වියදමට සාපේක්ෂව 15.6%කින් අඩු වී තිබෙනවා. අපනයන ආදායම ආසන්න වශයෙන් සමානයි. ඉතා සුළු (0.5%ක) වැඩි වීමක් පමණක් තිබෙනවා. අපනයන ආදායම් අඩු නොවී ආනයන වියදම් අඩු වීම නිසා වෙළද හිඟය 40.4%කින් අඩු වී තිබෙනවා. පවතින තත්ත්වය තුළ මේ හැම දෙයක්ම සාධනීයයි.

අපනයන වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද? පරිභෝජන භාණ්ඩ සඳහා යන වියදම් 44.8%කින් අඩු වෙලා. මේ වෙද්දී පරිභෝජන භාණ්ඩ කාණ්ඩය යටතේ ආනයනය කෙරෙන්නේ බොහෝ දුරට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වැනි දේ පමණයි. මේ ප්‍රමාණය මීට වඩා අඩු වෙනවා කියා කියන්නේ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. දැනටම වුවත් ඖෂධ ආදිය හිඟයිනේ.

නමුත් අතරමැදි භාණ්ඩ සඳහා යන වියදම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සුළු වශයෙන් (1.0%කින්) වැඩි වෙලා. මේ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කළා කියලා අයහපතක් මිස සිදු වන කිසිදු යහපතකුත් නැහැ. මොකද අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපනයන ආදායම් අඩු වෙනවා කියන එක සහ දේශීය නිෂ්පාදිත අඩු වී ආනයන අවශ්‍යතා ඉහළ යනවා කියන එකයි. උදාහරණ විදිහට රෙදි ආනයනය කරන්න ඉඩ නුදුන්නොත් ඇඟලුම් අපනයනය කර ලැබෙන ඩොලර් ටික ලැබෙන්නේ නැහැ. පෝර ආනයනය නවත්තලා වී නිෂ්පාදනය පහත වැටුනොත් වෙන්නේ හාල් ආනයනය කරන්න. ඔය දෙකෙන්ම අන්තිමට වෙන්නේ වෙළඳ ශේෂය තවත් ඉහළ යන එකයි.

ආයෝජන භාණ්ඩ ආනයනය අඩු කිරීමෙන් වෙන්නෙත් ඔය ටිකම වුනත් පොඩි වෙනසකට තියෙන්නේ කෙටිකාලීනව මෙහි හානි විශාල නොවීමයි. හැබැයි ඔය වැඩේ වුනත් දිගින් දිගටම කරන්න ගියොත් වෙන්නේ අතරමැදි භාණ්ඩ ආනයන නැවතුනු විට වෙන දේම තමයි. මැයි මාසය වෙද්දී, ආයෝජන භාණ්ඩ ආනයනය 36.0%කින් අඩු වෙලා. ඒ කියන්නේ, මෙයත් අඩු කළ හැකි උපරිම සීමාවකට කිට්ටු වෙලා. 

කෙටියෙන් කිවුවොත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ දැවැන්ත කඩා වැටීමක් සිදු නොවී (දැන් තත්ත්වය මාර හොඳ තත්ත්වයක් කියා හිතෙන තරමේ) ඔයිට වඩා ආනයන පාලනය කරන්න බැහැ. ආනයන වැඩි නොකර අපනයන වැඩි කරන්න හෝ දේශීය නිෂ්පාදිත ඉහළ දමන්නත් බැහැ. 

මෙතැන තියෙන්නේ අපනයන කර්මාන්ත අමතක කර දේශීය නිෂ්පාදන දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීමේ ඓතිහාසික වැරැද්ද. මම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වැරැද්දක් කියන එක නෙමෙයි. ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ එයයි. ප්‍රශ්නය කරලා තියෙන විදිහට ඒ වැඩේ සිදු නොවීමයි.

ලංකාව වගේ රටකට ආනයනික යෙදවුම් නැතිව දේශීය නිෂ්පාදිතය ඉහළ දමන්න බැහැ. කවර කර්මාන්තයක් ගත්තත් තත්ත්වය ඕකයි. රටේ පරිභෝජනය සඳහා වුවත්, ආනයන සඳහා වුවත්, ලංකාවේ හදන ඕනෑම දෙයකට සැලකිය යුතු ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ආනයනික යෙදවුම් සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒ අපනයන ටික නිපදවන්නත් ආනයනික යෙදවුම් නැතුව බැහැ. ඒ නිසා, ආනයන වලින් රටට ශුද්ධ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙනෙන ගණනට වඩා ගොඩක් අඩුයි.

මේ කතාව ලංකාවේ ආනයන වලට අදාළ නැහැ. ලෝකයේ අනෙක් රටවල් වලට ලංකාවේ අපනයන තිබුණත් නැතත් මේ දේවල් හදන්න පුළුවන්. ඒ නිසා, ආනයන වෙනුවෙන් රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල තිබෙන ප්‍රමාණයම තමයි. මේ කරුණ සැලකුවහම ලංකාවේ සංඛ්‍යාලේඛණ අනුව ආනයන වියදම අපනයන ආදායම් මෙන් දෙගුණයක් ලෙස පෙනුණත් ඇත්තම අනුපාතය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වෙන්න පුළුවන්.

ලංකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්නනම් කළ යුත්තේ ආනයන වලට හැකි තරම් ඉඩ දෙන එක මිසක් ආනයන පාලනය කරන එක නෙමෙයි. මම මේ කියන්නේ දැන් කළ යුතු දෙයක් ගැන නෙමෙයි. දිගුකාලීනව සිදු විය යුතු දෙය. ලංකාවේ බයිසිකල් හදලා අපනයනය කරන්නේ බයිසිකල් ආනයනය කරන්න දුන් නිසා. මිනිස්සු ඇපල්, මිදි වවන්න උත්සාහ කරන්නේ ඒවා ආනයනය කරන්න ඉඩ දීමෙන් රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඇති නිසා. ආනයන නෑ කියන්නේ අපනයත් නැහැ. දේශීය නිෂ්පාදන වැඩි වෙන්නෙත් නැහැ.

වැරැද්ද ආනයන වලට ඉඩ දීම නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියලා ආනයන ඕනෑවට වඩා ලාබ කිරීම. ඩොලරයක මිල වැඩිනම් ආනයන භාණ්ඩ වෙළඳපොළේ තිබුණත් බොහෝ දෙනෙකුට මිල දී ගන්න බැරි තරමට මිල අධිකයි. අතේ සල්ලි නැති නිසා ගොඩක් අය කඩේ තියෙන බඩු දිහා බල බල යනවා. එතකොට තමයි දේශීය නිෂ්පාදකයෝ වැඩේට බහින්න පෙළඹෙන්නේ. මේ වැඩේ මාසෙකින් වෙන එකක්නම් නැහැ. 

අපි මැයි මාසයට නැවත යමු. ආනයන වියදම ඩොලර් මිලියන 1,451.5ක්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,047.3ක්. වෙළඳ හිඟය ඩොලර් මිලියන 404.2ක්. ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ ඔය වෙළඳ හිඟය නැති කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. දැන් මෙය එහි සීමාවට ඇවිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉතිරි ඩොලර් මිලියන 400 වෙන ක්‍රමයකින් හොයා ගන්නම වෙනවා.

අවුරුද්දකට විතර කලින්නම් ඔය ඩොලර් ප්‍රමාණය ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ආවා. පසුගිය මැයි මාසයේ ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 460ක්. නමුත් මේ මැයි මාසයේ ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 304ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ වැඩිවන ප්‍රවණතාවක් ලොකුවට පේන්න නැහැ. හැබැයි දැනට ලැබෙන මිලියන 300 ඒ විදිහටම ලැබුණත් තව විශාල අඩුවක් නැහැ. මේ කතා කරන්නේ ණය ප්‍රශ්නය පැත්තකින් තියලා. ඒ ප්‍රශ්නය වෙනම තියෙනවා.

සංචාරකයින් යම් ප්‍රමාණයක් ආවත් අඩුපාඩුව හොයා ගන්න අමාරු නැහැ. නමුත්, විදුලිය කැපෙද්දී, ප්‍රවාහනය අඩාල වී තියෙද්දී, ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටළු පේන්න තියෙද්දී සංචාරකයෝ ගෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඔය ඔක්කොම හොඳ විදිහට සිදු වුනත් කෙටිකාලීනව ගෙවිය යුතු ණය පිළිබඳ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා. ඒ නිසා, IMF වැඩේ කෙරෙන තුරු ඉස්සරහට යන්නනම් අසල්වැසි රටකින් කෙටිකාලීන ණය නැතිවම බැහැ. 

වෙබ් ලිපිනය: