වෙබ් ලිපිනය:

Showing posts with label ජනමත සමීක්ෂණ. Show all posts
Showing posts with label ජනමත සමීක්ෂණ. Show all posts

Friday, September 12, 2025

ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය

පසුගිය දවස් කිහිපය මුලින්ම නේපාල අරගලයටත්, ඉන් පසුව චාලි කර්ක් ඝාතනය වෙතත් යොමු වෙලා තිබුණු බව දැක්කා. ලංකාවේ බොහෝ දෙනෙක් දෙපැත්තට බෙදිලා අදහස් දක්වලා තිබුණා. ඒ අය අතරින් කවුරු හෝ විසින් අදාළ ගොඩක් දේවල් ගැන කතා කරලා තිබුණු නිසා නැවත ඒ දේවල්ම කතා කරන්න අදහසක් නැහැ.

මෙහි ලියා ඇති දේ කලක සිට කියවන අය දන්නා පරිදි, මා මිනිස් ඝාතන අනුමත කරන අයෙක් නෙමෙයි. එය නේපාලයේ දෙපැත්තෙන්ම සිදු වූ මරණ වලට වගේම චාලි කර්ක් ඝාතනයටත් අදාළයි. ඒ වගේම ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක පමණක් මේ වෙද්දී සිදු වෙන නීත්‍යනුකූල ඝාතන වලටත් අදාළයි. 

මම දකින විදිහටනම් උපත හා මරණය කියා කියන්නෙත් අනෙක් බොහොමයක් දේවල් මගේම සමාජ සම්මුතීන් පමණයි. මරණය සමාජ සම්මුතියක් වුනත්, ඊනියා මරණය දක්වා මිනිස්සු ජීවත් වෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙනවා කියලා හිතනවා. ජීවත් වන මිනිස්සු, ඉඳ හිට හැර, මැරෙන්න කැමති නැහැ. 

මැරෙන්න කැමති නැති ජීවත් වන පුද්ගලයෙක්ට මැරෙන්න සලස්වන එක, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකු විසින් මරන එක, සාධාරණීකරණය කිරීම මටනම් කිසිසේත්ම නොකළ හැකි දෙයක්. කෙනෙකුට තමන්ගේම ජීවිතය නැති කර ගන්න අවශ්‍යනම් ඒක වෙනම දෙයක්. ඒ වගේම, තමන්ගේ ජීවිතය පහසු ආකාරයකින් අවසන් කර ගැනීම සඳහා වෙනත් අයෙකුගේ උපකාර පැතීම සහ එසේ උපකාර කිරීම (euthanasia) වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. නමුත් තමන්ට විනාශයක් ගෙන දෙන මත්ද්‍රව්‍ය භාවිතය වැනි දෙයක් මේ විදිහට සාධාරණීකරණය කළ හැක්කේ එයින් තෙවන පාර්ශ්වයන්ට හානියක් නොවන්නේනම් පමණයි.

මගේ මූලධර්මය වන්නේ ජීවත්වන, සිහියෙන් ඉන්න, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ගේ ශරීරය හා අදාළව තීරණ ගැනීමේ නිදහස තිබිය යුතුයි කියන එක. හානියක් කරගන්න උත්සාහ කරද්දී එවැනි අයෙකුට කරුණු පැහැදිලි කර දීම වෙනම වැඩක්. නමුත් අවසාන වශයෙන් තීරණය පුද්ගලයා සතු විය යුතු එකක්. මේ හේතුව නිසාම, තමන්ගේ සිරුර තුළට වෙනත් අයෙකුට ඇතුළු වෙන්න ඉඩ දිය යුතුද, තමන්ගේ සිරුර ඇතුළේ වෙනත් දෙයකට වර්ධනය වෙන්න ඉඩ දිය යුතුද වගේ දේවලුත් පුද්ගලික නිදහසේම කොටස්. ඒ වගේ දේවල් ගැන වෙනත් අය තීරණ ගන්න එක නිවැරදි නැහැ. කවුරු හෝ එහෙම කියනවානම් එහි තිබෙන්නේ බලහත්කාරයක්. 

චාලි කර්ක් කියන්නේ ඇමරිකාවේ දේශපාලනයේ දක්ෂිණාංශික අන්තය නියෝජනය කළ කෙනෙක්. ඔහු තමන්ගේ දේශපාලන මතවාද වලට ගැලපෙන විදිහට තෝරා බේරාගෙන, පක්ෂග්‍රාහීව කරුණු ඉදිරිපත් කිරීම් කළා. මෙය වාමාංශික අන්තයේ ඉන්න අය වගේම දක්ෂිණාංශික අන්තයේ ඉන්න අයත් කරන වැඩක්. පරීක්ෂණ අවසන්ව නැතත්, චාලි කර්ක් ඝාතනයට හේතුව ඔහු විසින් ප්‍රචාරණය කළ මතවාදය මිසක් වෙනත් පෞද්ගලික කාරණාවක් කියා හිතන්න අමාරුයි. 

දැනට චෝදනා එල්ල වී තිබෙන්නේ සාපේක්ෂව අඩු වයසක සිටින තරුණයෙකුටයි. මෙය කළේ ඔහුනම්, තමන්ගේ මුළු ඉදිරි අනාගතයම පරදුවට තියලා මේ වගේ වැඩක් කළේ ඇයි කියන එකත් සිතා බැලිය යුතු දෙයක්. 

මෙවැනි ඝාතනයක් මේ තරම් පහසුවෙන් කරන්න ඇමරිකාවේ ගිණි අවි ප්‍රතිපත්තියත් උදවු වෙනවා තමයි. නමුත් ගිණි අවි නිදහස වෙනුවෙන් කෙනෙකු පෙනී සිටීම කිසිසේත්ම ඝාතනයක් සාධාරණීකරණය කරන්නේ නැහැ. 

ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය පිළිබඳව මාස කිහිපයකට පෙර චාලි කර්ක් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා බෙදා හැර තිබුණු සමීක්ෂණ ප්‍රතිඵලයක් නැවත උඩට ඇවිත් තිබෙනවා. මෙහි ඔහු අවධාරණය කරන්නේ ඇමරිකාවේ වාමාංශය තුළ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ සංස්කෘතිය ව්‍යාප්ත වෙමින් පවතින බවයි. 

නේපාලයේ සිට ඇමරිකාව දක්වා වරින් වර මතු වන ප්‍රචණ්ඩත්වය මගින් නැවත නැවත තහවුරු කරන්නේ මිනිසා කියන්නේත් තවත් එක් සතෙක්ම බවයි. තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන බව පෙනෙද්දී මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වෙනවා. එය සිදු වන්නේ ආර්ථික හා සමාජයීය වශයෙන් නොදියුණු රටවල පමණක් නෙමෙයි. ඝාතන සංස්කෘතියට අප‍ට කොයි තරම් විරුද්ධ විය හැකි වුවත්, යටපත් කර ගෙන සිටින මේ මිනිස් ස්වභාවය වරින් වර උඩට මතු වෙන එක වලක්වන්න අමාරු දෙයක්. මේ කාරණයේදී අප එකිනෙකා වෙනස් වන්නේ අපට අපේ හැඟීම් පාලනය කර ගත හැකි උපරිම සීමාව කුමක්ද යන්නෙන් පමණයි.

විවිධ අය විවිධ ආකාර වලින් දේශපාලන දක්ෂිණාංශය අර්ථ දක්වනවා. ඒ කොයි විදිහට අර්ථ දැක්වුවත්, සාමාන්‍යයෙන් පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය එලෙසම පවත්වා ගැනීම නියෝජනය කරන්නේ දක්ෂිණාංශයයි. ඒ නිසාම, පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය තුළ වරප්‍රසාද හිමි කරගන්නා පිරිස් දක්ෂිණාංශය වටා එකතු වෙනවා. ඒ තුළ, බැහැර වන අවවරප්‍රසාදිත කොටස් වාමාංශය වටා එකතු වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය කඩා බිඳ දැමීමටයි. 

දේශපාලන අභිලාශ වල තිබෙන මේ වෙනස්කම් නිසාම වාමාංශික දේශපාලන නැඹුරුව තුළ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. දක්ෂිණාංශයට ඒ නැඹුරුව කළමනාකරණය කර ගත හැකි වන්නේ එක්කෝ වැඩිපුර අන්තවාදී නොවීමෙන්. එසේ නැත්නම්, තමන්ද ප්‍රචණ්ඩ වීමෙන්. 

චාලි කර්ක් විසින් උපුටා දක්වා තිබුණු සමීක්ෂණය සිදු කර තිබෙන්නේ රට්ගර්ස් සරසවිය විසින්. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව, ඇමරිකාවේ වාමාංශික මතධාරීන් අතරින් 50.2%ක් ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීම යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කරනවා. එමෙන්ම, ඔවුන් අතරින් 56%ක් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීම යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කරනවා.

මේ සමීක්ෂණය පිළිබඳ ගැටළු අමතක කළහොත්, මෙම ප්‍රතිශත පිලිබඳව කනස්සළු නොවී සිටිය නොහැකියි. කෙසේ වුවද, වඩාත්ම අවධානය යොමු විය යුත්තේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන කතා කරද්දී චාලි කර්ක් විසින් කතා කර නැති කොටසයි. එනම්, දක්ෂිණාංශික මතධාරීන් අතරින් 14.3%ක් විසින් ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීමත්, 20.3%ක් විසින් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීමත් යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කර ඇති බවයි.

මට අනුවනම්, දෙවැන්න පළමුවැන්නට වඩා අවධානය යොමු විය යුතු කරුණක්. දක්ෂිණාංශිකයින්ගෙන් 20.3%ක් තමන්ගේම පිළේ සිටින ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීම අනුමත කරන්නේනම්, විරුද්ධ පිළේ සිටින වාමාංශිකයින් අතරින් 56%ක් එසේ සිතීම අමුතු දෙයක් නෙමෙයි. 

මෙයින් බොහෝ විට පෙන්වන්නේ මෙම සමීක්ෂණයේ දුර්වලතාවය වෙන්න පුළුවන්. එහෙත් එය එසේ නොවේනම්, මෙමගින් පෙන්වන්නේ ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය පිළිබඳ භයානක තත්ත්වයක්. තමන්ගේම පිළේ සිටින ප්‍රබල නායකයෙකුව ඝාතනය කිරීම දක්ෂිණාංශිකයින් අතරෙන් 20.3%ක්ම අනුමත කරන්නේනම්, ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටින වාමාංශික නායකයෙකු පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? එම ප්‍රතිශතය 56%ට අඩු විය හැකිද? සමීක්ෂණය මේ ප්‍රශ්නයට පිළිතුරක් සපයන්නේ නැති නිසා ඇමරිකානුවන්ගේ ඝාතන සංස්කෘතියේ ප්‍රශ්නය වාමාංශිකයින්ට පමණක් බැර කළ නොහැකි එකක්.

දක්ෂිණාංශික මතධාරියෙකුට ජනාධිපති ට්‍රම්ප්ව හෝ ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීම සාධාරණීකරණය කළ හැකි විය හැක්කේ කෙසේද? මීට හේතුව ඔවුන්ට අනුව වුවද, මොවුන් ඕනෑවට වඩා දක්ෂිණාංශික වීමද? එසේ නැත්නම්, ඔවුන්ට අවශ්‍ය තරමට දක්ෂිණාංශික නොවීමද?



Friday, August 23, 2024

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක?


මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි.

ආර්ථිකය/ ආර්ථික අර්බුදය - 59%

ජීවන වියදම/ උද්ධමනය - 55%

රැකියාව/ විරැකියාව - 38%

ඉහළ බදු - 21%

අල්ලස්/ දූෂණ - 6%

සෞඛ්‍ය/ සෞඛ්‍ය සේවා - 6%

මත් ද්‍රව්‍ය/ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම - 5%

අධ්‍යාපනය - 4%

එක් එක් තනි පුද්ගලයින්ට "මහ පොළොවේ තත්ත්වය" විවිධ ආකාරයෙන් පේනවා. එය තීරණය වෙන්නේ තමන් නිතර ඇසුරු කරන්නේ මොන වගේ අයද කියන එක මතයි. ගොඩක් අය වැඩිපුර ඇසුරු කරන්නේ තමන්ගේ අදහස් වලට කිට්ටු අදහස් තිබෙන අයවයි. විශේෂයෙන්ම විරුද්ධ මතධාරීන්ව පේන්නවත් බැරි මානසිකත්වයක ඉන්න අය ඇසුරු කරන්නේම තමන්ගේ අදහස් වලට සමීප අදහස් තිබෙන අයයි. ඒ නිසා එවැනි අයට මහ පොළොවේ තත්ත්වය සේ පෙනෙන්නේ තමන් දකින්නට කැමතිම තත්ත්වයයි. 

මහ පොළොවේ තත්ත්වය හරියට දැනගන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාව නිසි ලෙස නිරූපනය වන නියැදි සමීක්ෂණයක් මගින් පමණයි. අඩුපාඩු රහිත එකක් නොවුනත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය එවැන්නක්.

පසුගිය (2023) වසරට සාපේක්ෂව 69% සිට 59% දක්වා අඩු වී ඇතත්, තවමත් රටේ බොහෝ දෙනෙකු විසින් ආර්ථිකය/ ආර්ථික අර්බුදය ප්‍රධානම ප්‍රශ්න ලෙස හඳුනා ගන්නවා. ඒ වගේම, උද්ධමනය පාලනය වී ඇතත්,  බඩුමිල පෙර මට්ටමට අඩු වී නැති නිසා, ජීවන වියදම තව දුරටත් රටේ ප්‍රධානම ප්‍රශ්න දෙකෙන් එකක් ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නවා. 

වැදගත් නිරීක්ෂණයක් වන්නේ රැකියාව/ විරැකියාව ප්‍රධාන ප්‍රශ්නයක් සේ හඳුනාගන්නා පිරිස 16% සිට 38% දක්වා ඉහළ ගොස් තිබීමයි. ආර්ථිකය හැකිලීමේ බලපෑමට අමතරව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් නැවතී තිබීමද මෙයට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම, ජීවන වියදම ඉහළ ගොස් තිබීම නිසා විරැකියා ප්‍රශ්නයේ බර වැඩියෙන් දැනෙනවා වෙන්නත් පුළුවන්.

ඉහළ බදු ප්‍රශ්නයක් සේ දකින ප්‍රමාණය 21%ක් පමණ වෙනවා. අල්ලස්/ දූෂණ ප්‍රධාන ප්‍රශ්නයක් සේ දකින ප්‍රතිශතය 11% සිට 6% දක්වා පහත වැටී ඇති අතර මත් ද්‍රව්‍ය/ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ප්‍රශ්නයක් සේ දකින අයගේද විශාල අඩුවීමක් දැකිය හැකියි. 

Monday, August 19, 2024

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය


මේ වන විට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කළ සමීක්ෂණයක් පිළිබඳව යම් කතාබහක් ඇති වී තිබෙන අතර කිහිප දෙනෙකු විසින්ම ඒ පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. පළමුව කිව යුත්තේ මේ දින වල සමීක්ෂණ ප්‍රතිඵල ලෙස විවිධ ලේඛණ ගණනාවක් සංසරණය වන බවයි. එවැනි ඇතැම් ලේඛණ ඉතා සැලකිලිමත් ලෙස සකස් කළ ව්‍යාජ ලේඛණ සේ හඳුනාගත හැකියි. එහෙත්, ඒ බව සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනාගත නොහැකි තරම් සූක්ෂ්ම ලෙස පිළියෙල කර තිබෙනු දැකිය හැකියි. 

මෙවැනි සමීක්ෂණයක නිරවද්‍යතාවය පිරික්සීමේදී මා පළමුව කරන්නේ සමීක්ෂණය සිදු කර ඇති ආයතනය හෝ පුද්ගලයින් ගැන සොයා බැලීමයි. යම් කීර්ති නාමයක් ඇති ආයතනයක් විසින් සිදු කර ඇති සමීක්ෂණයක්නම් සහ අදාළ ආයතනය විසින් නිල වශයෙන්ම සමීක්ෂණය පිළිබඳ වගකීම භාරගෙන ඇත්නම් මේ පළමු පරීක්ෂණය සමත් සේ සැලකිය හැකියි.

දෙවන පරීක්ෂණය වන්නේ අදාළ සමීක්ෂණය සිදු කර ඇති හා දත්ත විශ්ලේෂණය කර ඇති ක්‍රමවේදයයි. මෙම දෙවන පරීක්ෂාව සමත්ව ඇති සේ මීට පෙර පහසුවෙන් හඳුනාගත හැකි වූයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අඛණ්ඩව සිදු කරගෙන යන සමීක්ෂණය පමණයි. දැන් මෙම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කර ඇති සමීක්ෂණයද මේ ගොඩට දැමිය හැකියි.

හෙළකුරු මත විමසුම, ඇතැම් යූටියුබ් නාලිකා වලින් සිදු කර ඇති මත විමසුම්, ෆේස්බුක් හා ට්විටර් මත විමසුම් හා සුදත්ත වැනි අයගේ මත විමසුම්ද ඉහත සඳහන් පළමු පරීක්ෂාවේදී යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා නමුත් දෙවන පරීක්ෂාවේදී සෘජු ලෙසම බැහැර වෙනවා. 

ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව විශාල උනන්දුවක් පවතින නිසාත්, මෙතෙක් පිළිගත හැකි ක්‍රමවේදයකට අනුව සමීක්ෂණයක් කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් පමණක් නිසාත්, තවත් ආයතනයක් විසින් එවැනි සමීක්ෂණයක් සිදු කිරීමෙහි විශාල වටිනාකමක් ඇතත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කර ඇති මෙම සමීක්ෂණයෙහි ප්රතිඵල ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව සෘජුව විමසීමක් කර නොමැති බැවින් එය සෘජුවම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණ ප්‍රතිඵලය හා සැසඳිය නොහැකියි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සමීක්ෂණය සඳහා නියැදියක් තෝරාගෙන තිබෙන්නේ කෙසේද?

ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව, මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හා සියලුම ප්‍රධාන ජනවර්ග ප්‍රමාණවත් අයුරින් නියෝජනය වන පරිදි 1,352 දෙනෙකුගේ නියැදියක් තෝරා ගෙන තිබෙනවා. මේ අනුව, මෙම නියැදිය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදියට වඩා ප්‍රමාණයෙන් විශාල හා ලංකාවේ වැඩිහිටි ජනගහණය වඩා හොඳින් නියෝජනය වන නියැදියක්. සමීක්ෂණ නිලධාරීන් 71 දෙනෙකු විසින් ජූලි 1-12 අතර කාලය තුළ මොවුන්ව මුහුණට මුහුණ සමීක්ෂණය කර තිබෙනවා. 

මීට සාපේක්ෂව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදි වල මෙන්ම ක්‍රමවේදයේද අඩුපාඩු තිබෙනවා. ඒවා පෙර විස්තර කර ඇති බැවින් නැවත විස්තර කරන්නේ නැහැ. 

මෙම සමීක්ෂණයෙහි ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා අදාළව අදහසක් ලබා ගත හැකි සේ සැලකෙන ප්‍රශ්නය පහත ප්‍රශ්නයයි.

"ඔබගේ පවුලේ වර්තමාන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමට වඩාත්ම සුදුසු පුද්ගලයා සේ ඔබ සලකන්නේ කවුද?"

"Who do you think is best suited to address the current needs of your immediate family?"

සමීක්ෂණ ප්‍රතිඵලය මෙවැන්නක්.

අදහසක් නැහැ - 12.2%

කවුරුවත් නැහැ - 28.8%

රනිල් වික්‍රමසිංහ - 24.3%

සජිත් ප්‍රේමදාස - 19.3%

අනුර කුමාර දිසානායක - 15.5%

අසා ඇති ප්‍රශ්නයේ ස්වභාවය අනුව මේ ප්‍රතිඵලය නිවැරදියි කියා මා සිතනවා. එහෙත් මෙම ප්‍රතිඵලයෙන් ඉදිරි ජනාධිපතිවරණදී ඡන්දය භාවිතා කිරීමට ඉඩ ඇති ආකාරය ගැන සෘජු අදහසක් ලබා ගත හැකියැයි මා සිතන්නේ නැහැ. 

ප්‍රශ්නයේ ස්වභාවය අනුව කෙනෙකුට එකවර තේරුම් යන්නේ මෙහි අසනු ලබන්නේ පවුලේ ආර්ථික අවශ්‍යතා පිළිබඳව යන්නයි. ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතරින් ආර්ථිකය ගොඩ දැමීම ප්‍රධාන සටන් පාඨයක් කරගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහයි. ඒ අනුව, මේ ප්‍රශ්නයෙන් ඔහුට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන්නට ඉඩ තිබෙන බව පැහැදිලියි. මීට සාපේක්ෂව මාලිමා කඳවුර වටා එක්රැස් වී සිටින බොහෝ දෙනෙකු එසේ එම කඳවුරට එකතු වී සිටින්නේ පවුලේ වර්තමාන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමටම නෙමෙයි. ඒ නිසා, මම මේ ප්‍රතිඵලය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නට ඉඩ ඇති ආකාරයේ සෘජු පිළිබිඹුවක් ලෙස සලකන්නේ නැහැ. 

වෙනත් විවිධ කරුණු හා අදාළව ජනාධිපති අපේක්ෂයින් වෙත දක්වා තිබෙන විශ්වාසය දෙස බැලූ විට ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්කම් වල බලපෑම පැහැදිලිව දකින්න පුළුවන්. ආර්ථිකය ගොඩ ගැනීම, IMF සමඟ ගනුදෙනු කිරීම, විරැකියා ප්‍රශ්නය විසඳීම, නීතිය හා සාමය සුරැකීම වැනි කරුණු හා අදාළව වැඩි දෙනෙක්ගේ විශ්වාසය ලබන්නේ රනිල් වුවත්, දූෂණ වැළැක්වීම, ආර්ථික අර්බුදයට වගකිව යුතු අයට දඬුවම් දීම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම ආදී කරුණු වලදී ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායකයි. සුළු ජාතිකයින්ගේ ප්‍රශ්න විසඳීම හා අදාළව සජිත් රනිල්ට වඩා යාන්තමින් ඉදිරියෙන් ඉන්නවා. 

කෙසේ වුවත්, මෙම සමීක්ෂණයේදී ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව සෘජු ලෙස විමසීම් කර ඇති ප්‍රශ්න දෙකක් දැකගත හැකියි. 

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ කාටද කියා ඔබ මේ වන විට තීරණය කර තිබෙනවාද?

ඔව් - 42.9%

නැහැ - 57.1%

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබ ඡන්දය දෙනවාද?

ඔව් - 81.7%

නැහැ - 10.4%

තවම තීරණය කර නැහැ - 7.9%

මේ අනුව, ඒ වෙද්දී ඡන්දය දීමට තීරණය කර තිබුණු අයගෙන් ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කර තිබුණු ප්‍රතිශතය 52.5%ක් පමණයි. සිංහල ඡන්දදායකයින් අතර මෙම ප්‍රතිශතය 58.3%ක් වූ අතර ඒ අනුව අතීරක කොටස 41.7%ක්. මේ ජූලි 1-12 අතර පැවති තත්ත්වය. ඒ වන විට ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනය කර තිබුණේ නැහැ. යම් වැඩිවීමක් සිදුවී තිබෙනවා විය හැකි වුවත්, මේ බොහෝ දෙනෙකු තවමත් තීරණයක් ගෙන නැතුවා විය හැකියි. 

Monday, August 5, 2024

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු...


සුදත්තගේ අලුත්ම ජනමත විමසුම කරලා තිබුණේ හොරණදී. මේ වගේ මත විමසුම් විධිමත් සමීක්ෂණ ලෙස සැලකිය නොහැකි බව කලින් ලිපි වල පැහැදිලි කර තිබෙනවා. නමුත් හෙළකුරු මත විමසුමේදී හෝ FB මත විමසුමකදී මෙන් මේ වගේ මත විමසුමකට බලෙන් එකතු වෙන්න බැහැ. ඒ අතින් මෙවැන්නක් විධිමත් සමීක්ෂණයකට සමානයි.

සුදත්තගේ සමීක්ෂණයට සහභාගී විය හැක්කේ අදාළ කාලය තුළ, අදාළ තැන සිටින අයට පමණයි. ඒ නිසා, මේ මත විමසුමෙන් ඒ අයගේ ජනමතය බොහෝ දුරට නිවැරදිව පිළිබිඹු වෙනවා. ඒ අනුව, ප්‍රතිඵලය මෙවැන්නක්.

අනුර = 44 (22%)
සජිත් = 57 (29%)
රනිල් = 23 (11%)
ධම්මික පෙරේරා = 12 (6%)
වෙනත් 63 = (32%)

මෙම දත්ත වලින් පෙනෙන වැදගත් කරුණක් වන්නේ "වෙනත්" කොටස තවමත් තුනෙන් එකකට ආසන්න මට්ටමක ඇති බවයි. මේ මත විමසුම හා IHP සමීක්ෂණ අතර තිබෙන තවත් එක් සමානකමක් වන්නේ IHP සමීක්ෂණ මාදිලි දෙකේදීම සමීක්ෂකයා විසින් සෘජුව ජනමතය විමසනු ලැබීමයි. එය මුහුණට මුහුණ හෝ දුරකථනය හරහා සිදු විය හැකියි. මෙහිදී සමීක්ෂකයා විසින් ප්‍රතිචාර දක්වන්නා පිළිබඳ වැදගත් පෞද්ගලික තොරතුරු බොහොමයක්ද එකතු කර ගන්නවා. ප්‍රධානම වෙනස සුදා මෙන් ප්‍රතිචාර දක්වන අයව පොදු අවකාශයක නිරාවරණය නොකිරීමයි. 

"වෙනත්" කාණ්ඩයේ සිටින සියල්ලන්ම "අතීරක" ලෙස වර්ග කළ නොහැකි වුවත්, "අතීරක" සියල්ලන්ම සිටින්නේ "වෙනත්" කාණ්ඩය තුළයි. ඊට අමතරව තවත් පිරිස් මෙම කාණ්ඩය තුළ හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධානම කොටසක් වන්නේ "මුං ඔක්කොම හොරු!" කියන කොටසයි.

බැලූ බැල්මට පෙනෙන්නේ මොවුන් පවතින දේශපාලන ක්‍රමය ගැන කලකිරී සිටින පිරිසක් බව වුවත්, ඔවුන් හා සිදුකෙරෙන අමතර ප්‍රශ්න කිරීම් වලදී ලබා දෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නේ ඔවුන්ගෙන් සැලකිය යුතු කොටසක් මේ ප්‍රතිචාරය හරහා ප්‍රදර්ශනය කරන්නේ "හොරුන්ට දෙන්න එපා" කියන අදහස සමඟ ඔවුන් එකඟ නොවන බව බවයි. තවත් විදිහකින් කිවුවොත් මෙම ප්‍රතිචාරයේ තිබෙන්නේ "ඔය හැම එකාම හොරු නිසා හොරෙක්ද නැද්ද කියන එක අපිට එතරම් වැදගත් නෑ!" වැනි අදහසක් බවයි. ඒ වගේම මේ ගොඩේ ඉන්නේ "හොරුන්ට දෙන්න එපා" කියන අදහස සමඟ අනුගත වී පැත්තකට වූ කණ්ඩායමට එකතු නොවූ පිරිසක් බවත් අමතක කරන්න බැහැ. 

මෙවැනිම තවත් කණ්ඩායමක් වන්නේ "කවුරු ආවත් අපිට වැඩක් නැහැ!" කියන කොටසයි. ඔවුන්ව විනිශ්චය කිරීම වඩා අසීරුයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදය තුළ සිදු වන්නේ ඉහත කී කාණ්ඩ තුන ඇතුළු සියලුම "වෙනත්" අයගේ අභිලාශයන් තමන්ගේ අභිලාශ පවසා ඇති අය හා සසඳමින් ඇස්තමේන්තු කිරීමයි. එම ක්‍රමයේ එක් ප්‍රධාන දුර්වලතාවයක් පිළිබඳව පෙර ලිපියේ සාකච්ඡා කළා. 

පෙර කී පරිදි සුදත්තගේ සමීක්ෂණයට සහභාගී විය හැක්කේ අදාළ කාලය තුළ, අදාළ තැන සිටින අයට පමණයි. නමුත් ඒ ස්ථානය තෝරා ගන්නේ සුදත්ත විසින් නිසා ඔහුට ප්‍රතිඵලය කෙරෙහි බලපෑමක් සිදු වන අයුරින් තමන්ගේ නියැදිය තෝරා ගැනීමේ හැකියාවක් තිබෙනවා. හොරණ නියැදියේ වැඩිපුර දැකිය හැක්කේ මැදි වයස ඉක්මවූ අයයි. එමෙන්ම, කාන්තා නියෝජනය ඉහළ මට්ටමක තිබෙනවා.

මීට සාපේක්ෂව සුදත්තගේම මුල් නියැදි වල, උදාහරණයක් ලෙස නුගේගොඩ මත විමසුමේදී, කාන්තා නියෝජනය අඩු මට්ටමක පැවති අතර, වයසින් අඩු පිරිස් වැඩිපුර සහභාගී වනු දැකිය හැකි වුනා. ඇතැම් අය ඡන්දය දැමීමට පවා සුදුසුකම් නොලැබූ ලාබාල තරුණයින්. ඒ නිසා, මේ පෙර ප්‍රතිඵල හා අලුත් ප්‍රතිඵල සැසඳීමේදී නියැදි වල වෙනස්කම් පිලිබඳව සැලකිලිමත් වන්නට සිදු වෙනවා.

මෙවැනි ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදය තුළත් තිබේද?

පහත තිබෙන්නේ පසුගිය මාස කිහිපයක IHP සමීක්ෂණ නියැදියේ ප්‍රමාණයන්.

ජනවාරි - 649
පෙබරවාරි - 644
මාර්තු - 424
අප්‍රේල් - 473
මැයි - 617
ජූනි - 462

පෙබරවාරි මාසයේදී අනුරගේ ප්‍රතිශතය ඇස්තමේන්තු කර තිබුණේ 53% ලෙසයි. මාර්තු දත්ත ලැබීමෙන් පසුව එය 46% ලෙස සංශෝධනය කෙරෙනවා. මෙය 7%ක අඩු වීමක්. මීට අනුරූපව සජිත්ගේ පෙබරවාරි ඇස්තමේන්තුව වූ 34% මාර්තු මාසයේදී 39% ලෙස සංශෝධනය කෙරෙනවා. 

ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවීනම් මෙහිදී සිදු වූයේ  මාර්තු මාසයේදී සජිත්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් අනුරගේ ජනප්‍රියත්වය අඩු වීම නිසා බව අපට සැකයක් නැතිව තේරුම් ගන්න පුළුවන්. නමුත්, පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී නියැදියේ ප්‍රමාණය විශාල ලෙස අඩු වෙනවා. මෙයින් ප්‍රතිඵලයට බලපෑමක් විය නොහැකිද?

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදිය නියැදි දෙකක මිශ්‍රණයක්. එයින් එක් නියැදියක අලුත් වැඩිහිටියන් නියෝජනය නොවන නිසා සජිත්ට වාසිදායක හා අනුරට අවාසිදායක නැඹුරුවක් සහිත ප්‍රතිඵලයක් ලැබෙන්නට ඉඩ වැඩියි. මෙයින් වෙනස්ව දුරකථන නියැදියේ ප්‍රතිඵලයෙහි අනුරට වාසිදායක හා සජිත්ට අවාසිදායක ප්‍රතිඵලයක් පෙනෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.

මුහුණට මුහුණ සමීක්ෂණ සඳහා යොදා ගන්නේ කලින් තෝරා ගත් පිරිසක් බැවින් එම නියැදිය බොහෝ දුරට ස්ථිර ප්‍රමාණයක නියැදියක් බව මගේ අදහසයි. එය එසේනම් නියැදියේ ප්‍රමාණය අඩු වැඩි වන්නේ ජංගම දුරකථන මත විමසුම් ප්‍රමාණය අනුව විය හැකියි. මේ නියැදියේ ප්‍රමාණය විශාල වෙද්දී ප්‍රතිඵලය අනුරට වාසිදායක පැත්තටත්, කුඩා වෙද්දී සජිත්ට වාසිදායක ලෙසත් වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. මා මෙයින් අදහස් කරන්නේ IHP ආයතනය විසින් හිතාමතා එවැන්නක් කරන බව නෙමෙයි. නමුත් ක්‍රමවේදය අනුව මෙවැන්නක් සිදු වීමේ හැකියාවක් තිබෙනවා.

අප්‍රේල් ප්‍රතිඵල අනුව, සජිත් මෙන්ම අනුරද සිටින්නේ 39% මට්ටමේ. මැයි මාසයේ දත්තය එකතු වීමෙන් පසුව අනුරගේ අප්‍රේල් ප්‍රතිශතය 41% දක්වා ඉහළ ගොස්, සජිත්ගේ ප්‍රතිඵලය 38% දක්වා අඩු වෙනවා. මෙයට හේතු වූයේ මැයි මාසයේදී නියැදියේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාමද?

ජූනි මාසයේදී නියැදියේ ප්‍රමාණය නැවතත් පහත වැටෙනවා. ඊට අනුරූපව අනුරගේ පෙර මාසයේ ඇස්තමේන්තුව 3%කින් පහත වැටී, සජිත්ගේ එම ඇස්තමේන්තුව 1%කින් වැඩි වෙනවා. 

මේ කරුණ වැදගත් වන්නේ ඉදිරි මාසයේදී නියැදියේ ප්‍රමාණය විශාල කරන්නට අපේක්ෂා කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සඳහන් කර තිබුණු නිසයි. බොහෝ විට සිදු විය හැකි පරිදි, මෙසේ වැඩි කෙරෙන්නේ ජංගම දුරකථන නියැදියනම්, මහ පොළොවේ තත්ත්වයන්හි කිසිදු වෙනසක් සිදු නොවුනත්, අනුරගේ ප්‍රතිශතය තරමක් ඉහළ ගොස් සජිත්ගේ ප්‍රතිශතයේ අඩු වීමක් විය හැකියි. ඒ සමඟම, රනිල්ගේ ප්‍රතිශතයේද යම් ඉහළ යාමක් සිදු වෙනවා.

කෙසේ වුවද, මහ පොළොවේ තත්ත්වයන් අනුව සිදු විය හැකි වෙනස්කම් නිසා ඇස්තමේන්තු වල ඉහත තත්ත්වය පැහැදිලිව නොපෙනෙන්න පුළුවන්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මෙතෙක් ඔවුන්ගේ ඇස්තමේන්තු ප්‍රසිද්ධ කළේ මසකට වරක්, මසක කාල පමාවක් ඇතිවයි. මේ රටාව අනුව, සැප්තැම්බර් මාසය මුලදී ජූලි ප්‍රතිඵලය ප්‍රසිද්ධ කෙරෙනු ඇති අතර සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජූලි ප්‍රතිඵලය දැනටමත් ඔවුන් සතුව තිබෙනවා. අලුතෙන් දත්ත එකතු කර ඇස්තමේන්තු කරන්නට සිදු වන්නේ අගෝස්තු ප්‍රතිඵලයයි. ජූලි මාසයේදී නියැදිය කොපමණ විශාල කර ඇත්ද යන්න දැනගන්නට ලැබෙන්නේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කළ පසුවයි.

Sunday, August 4, 2024

ඡන්ද වෙනස් නොවී ඇස්තමේන්තු වෙනස් වන හැටි...


මෙය පෙර ලියූ ලිපි වලම දිගුවක්. පෙර ලිපි කියවා නැත්නම්, කරුණාකර පෙර පළ කළ පහත ලිපි තුන කියවලා මෙය කියවන්න.

1. නියැදි සමීක්ෂණ හා අහඹු නියැදි සමීක්ෂණ

2. අහඹු නියැදි හා තෝරා ගන්නා නියැදි

3. අහඹු නැති නියැදියකින් ඇස්තමේන්තු හදන හැටි...

ඔය තෙවැනි ලිපියෙන් මම විස්තර කළේ අහඹු නැති නියැදියක් යොදා ගෙන ජනගහණ ඇස්තමේන්තුවක් හදන සම්මත ආකාරයේ මූලධර්මය. ඇත්තටම කරන විදිහ මීට වඩා වෙනස් වුනත් එහිදී වෙන්නේ මෙහි පෙන්වා දී තිබෙන දෙයට සමාන දෙයක්.

අහඹු නියැදියක සෑම සාමාජිකයෙකුටම තියෙන්නේ සමාන "වටිනාකමක්". මෙහිදී වටිනාකම කියන එකෙන් අදහස් වන්නේ නියැදියේ සාමාජිකයෙකු විසින් ජනගහණයේ කී දෙනෙක්ව නියෝජනය කරනවාද කියන එක. නමුත් අහඹු නොවන නියැදියක මේ වටිනාකම් සමාන නැති නිසා එසේ සැලකීමෙන් විශාල වරදක් වෙනවා. මම විස්තර කරපු ක්‍රමවේදය ඒ වැරැද්ද නිවැරදි කරන්න සංඛ්‍යානයේදී යොදා ගන්න සම්මත ක්‍රමවේදය. එහිදී කරන්නේ එක් එක් සාමාජිකයාගේ "වටිනාකම" නිවැරදිව තක්සේරු කරලා ඒ අනුව ඔවුන්ට වෙනස් ලෙස "බර තැබීම". 

මේ වගේ "නැවත සකස් කිරීමක්" කරන්න වෙන්නේම ජනගහණයෙන් අහඹු නියැදියක් තෝරා ගන්න එක අමාරු වැඩක් නිසා. එහෙමනම්, අහඹු නියැදියක් හොයා ගන්න උත්සාහ කරන එක තේරුමක් නැති දෙයක්ද?

කිසිසේත්ම නැහැ. මේක පැහැදිලි කිරීම සඳහා මම ජූලි මාසයේ හෙළකුරු මත විමසුම ගන්නම්. එහිදී වෙන්නේ IHP මත විමසුම් වලදී හෝ සුදාගේ මත විමසුම් වලදී මෙන් සමීක්ෂකයා විසින් තෝරා ගත් නියැදියකගේ මතය විමසන එක නෙමෙයි. මත ඉදිරිපත් කරන්නේ කවුද කියන එක පිළිබඳව සමීක්ෂකයාට පාලනයක් නැහැ. ඒ නිසා, කැමති පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ප්‍රතිඵලයට බලපෑම් කරන්න පුළුවන්. හරියට සුපර් ස්ටාර් තරඟ වල SMS ඡන්ද වගේ. නමුත් මම පෙන්වන්න යන කරුණ එවැන්නක් නෙමෙයි. එහෙම දෙයක් වුනේම නැතත් මේ කියන්න යන ප්‍රශ්නය තිබෙනවා.

ජුලි මාසයේ හෙළකුරු මත විමසුමට 50,087 දෙනෙක් සහභාගී වී තිබෙනවා. යම් හෙයකින් මෙය අහඹු නියැදියක් වීනම් රටේ ජනමතය සෑහෙන්න නිවැරදිව දැනගන්න තිබුණා. නමුත් මෙය කිසිසේත්ම අහඹු නියැදියක් නෙමෙයි. හෙළකුරු විසින් එකතු කරගන්නා සීමිත අමතර තොරතුරු වලින්ම ඒ බව තහවුරු වෙනවා. 

හෙළකුරු මත විමසුමේ දී ඡන්දය දැමීමේ අභිප්‍රායට අමතරව වයස් කාණ්ඩය හා පදිංචි දිස්ත්‍රික්කය පිළිබඳ දත්ත එකතු කරනවා. ඉහත සඳහන් ප්‍රතිචාර දැක්වූ පිරිස අතරින් මඩකලපු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් ප්‍රමාණය 14ක් පමණයි. මේ අනුව පැහැදිලි වන්නේ මඩකලපු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ව නියැදිය තුළ ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවන බවයි. ඔවුන්ව නියෝජනය නොවන තරම්. යාපනය දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්කයක් ගත්තත් මේ තත්ත්වයෙහි වෙනසක් නැහැ. 

නියැදිය තුළ හැම දිස්ත්‍රික්කයක්ම නිවැරදිව නියෝජනය නොවන්නේනම් එය නොසලකා හදන ඇස්තමේන්තුවක්  මගින් රටේ ජනමතය ගැන කිසිදු අදහසක් ගත නොහැකි බව ඉතාම පැහැදිලි කරුණක්. දැන් ඉහත ප්‍රශ්නයට විසඳුමක් ලෙස කලින් විස්තර කළ බර තැබීමේ ක්‍රමය යොදා ගන්න බැරිද?

තාක්ෂනිකව එසේ කළ හැකියි. මෙහිදී කළ යුත්තේ නියැදියේ සිටින 18 දෙනාගෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ ජන සංයුතිය පිළිබිඹු වන පරිදි ඔවුන් වෙනුවෙන් බර තැබීම් විශාල කිරීමයි. එවිට මඩකලපුව දිස්ත්‍රික්කය නිවැරදිව නියෝජනය වෙනවා.

නමුත් ප්‍රශ්නය වන්නේ නියැදියෙහි සිටින මේ 18 දෙනාගෙන් ඇත්තටම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය වන්නේද යන්නයි. බොහෝ විට මේ 18 දෙනා අතර සිටින්නේ මඩකලපුවේ හමුදා කඳවුරක හෝ සරසවියක සිටින සිංහලයෙකු විය යුතුයි. නමුත් මඩකලපු දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ඡන්දදායකයා සිංහලයෙකු නෙමෙයි. ඒ නිසා මේ 18 දෙනාගේ බර තැබීම් ඉහළ දමද්දී සිදු වන්නේ මඩකලපුවේ සියලුම ඡන්දදායකයින් සිංහලයින් සේ සැලකීම වැනි දෙයක්.

ඉහත නිදර්ශනයෙන් පැහැදිලි කළ පරිදි අහඹු නොවන නියැදියක් යොදා ගෙන ජනගහන ඇස්තමේන්තුවක් සකස් කිරීම සඳහා යොදා ගන්නා බර තැබීමේ ක්‍රමය "කෝකටත් තෛලයක්" නෙමෙයි. ඒ ක්‍රමය ප්‍රතිඵලදායක වන්නේ අහඹු නියැදියකට ආසන්න ලෙස හෝ සමාන නියැදියක තිබෙන දෝෂ අඩු කර ගැනීමට පමණයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදිය අහඹු නියැදියක් නොවුනත් එය අහඹු නියැදියකට බොහෝ ආසන්න එකක්. එහි එක් කොටසක් අහඹු නියැදියක් නොවන්නේ පසු ගිය වසර කිහිපය තුළ වැඩිහිටියන් වූ අය එහි නියෝජනය නොවන නිසා පමණයි. කෙසේ වුවත් එය නොසලකා හැරිය නොහැකි ප්‍රශ්නයක්. පර්වේශනීය සාක්ෂි අනුව පෙනී යන්නේ ඉතා ලාබාල ඡන්දදායකයින් වැඩි පිරිසක් මාලිමාව වෙත නැඹුරු බවයි.  එම වයස් කාණ්ඩය තුළ අනෙකුත් විකල්ප නියෝජනය වන්නේ අඩුවෙන්. ඒ නිසා, මේ නියැදිය පමණක් සැලකුවහොත්, අනුරගේ ප්‍රතිශතය පෙනෙන්නේ නියම ප්‍රමාණයට වඩා අඩුවෙන්. 

මෙහි දෙවන කොටස ලංකාවේ වැඩිහිටි ජංගම දුරකථන පරිශීලකයන්ගේ අහඹු නියැදියක්. ලංකාවේ ඡන්දදායකයින් ගණන මිලියන 17ක් වුවත් සක්‍රිය ජංගම දුරකථන ප්‍රමාණය (විකිපීඩියා අනුව) මිලියන 39ක් පමණ වෙනවා. මේ 2018 දත්තයි. දැන් මේ ගණන මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. 

ඇමරිකාව, ප්‍රංශය, චීනය, ජපානය, ඉන්දියාව, බංග්ලා දේශය වැනි රටවල ජනගහණයෙන් සියයකට තිබෙන්නේ ජංගම දුරකථන 115කට ආසන්න ගණනක්. මෙවැනි ගණනක් සාමාන්‍ය ගණනක් යන්න මගේ අදහසයි. ලංකාවේ තත්ත්වය දැකිය හැක්කේ විකෘතියක් ලෙසයි. ලංකාවේ සැලකිය යුතු පිරිසක් විසින් ජංගම දුරකථන එකකට වඩා භාවිතා කරනවා. (ඒ ඇයි කියන එකට පිළිතුරක් ක්ලබ් වසන්තගේ වීඩියෝවක තිබුණා).

නමුත් එයින් අදහස් කරන්නේ ලංකාවේ සෑම වැඩිහිටියෙකු සතුවම ජංගම දුරකථනයක් තිබෙන බව නෙමෙයි. ජංගම දුරකථනයක්වත් නැති නිවාස ඒකක අඩු විය හැකි වුවත්, බොහෝ ග්‍රාමීය නිවෙස් වල වැඩිහිටියන්ට තමන්ගේම ජංගම දුරකතනයක් නැහැ. විශේෂයෙන්ම ඉහළ වයස් කාණ්ඩ වල. මෙයින් වෙනස්ව නාගරික ප්‍රදේශ වල ජීවත් වන ඇතැම් අය, දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයින්, ව්‍යාපාරිකයින්, ත්‍රිරෝද රථ රියැදුරන් වැනි අය ජංගම දුරකථන (සිම් කාඩ්) එකකට වඩා පාවිච්චි කරනවා. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදියේ දෙවන කොටස රටේ ජංගම දුරකථන වල නිවැරදි අහඹු නියැදියක් වුවත්, ඡන්දය හිමි රටේ වැඩිහිටියන්ට මිස ඔවුන් සතු ජංගම දුරකථන වලට නෙමෙයි. ඒ නිසා යමෙකු සතුව ජංගම දුරකථන සම්බන්ධතා කොපමණ තිබුණත් ඒ ප්‍රමාණයට ඡන්ද හිමිකාරත්ව ලැබෙන්නේ නැහැ. නමුත් යමෙකු සතු ජංගම දුරකථන සම්බන්ධතා ප්‍රමාණය ඉහළ යද්දී ඊට සමානුපාතිකව නියැදියට ඇතුළු වීමේ ඉඩප්‍රස්ථා ප්‍රමාණය ඉහළ යනවා. 

රටේ සමස්ත ඡන්දදායකයින්ට සාපේක්ෂව ජංගම දුරකථන සම්බන්ධතා හිමිකරුවන් මාලිමාවට හා රනිල්ට ඡන්දය දීමට වැඩි නැඹුරුවක් ඇති බවත් සජිත්ට ඡන්දය දීමට තිබෙන නැඹුරුව බොහෝ අඩු බවත් ෆේස්බුක් හැසිරීම් අනුව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, අහඹු ජංගම දුරකථන නියැදියක ප්‍රතිපලය අනුරට හා රනිල්ට වාසිදායක, සජිත්ට අවාසිදායක එකක්. 

මාලිමාවට වඩා වාසිදායක ජංගම දුරකථන නියැදිය හා මාලිමාවට අවාසිදායක අනෙක් නියැදිය මිශ්‍ර කිරීමෙන් එම නියැදි වල දෝෂ යම් තරමකින් ඉවත් කර ගන්න පුළුවන්. ඉන් පසුව, බර තැබීම් මගින් වඩා නිවැරදි කරගන්න පුළුවන්.

හෙළකුරු මත විමසුමේදී මෙන් නොව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණයේදී ප්‍රතිචාර දක්වන්නන් පිළිබඳ පුළුල් තොරතුරු සමූහයක් එකතු කර ගන්නා බැවින් ඒ සියලුම තොරතුරු උපයෝගී කර ගනිමින් ඇස්තමේන්තු වලට බර තබන්න පුළුවන්. උදාහරණයක් විදිහට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි, සිංහල, වයස අවුරුදු 25-35 වයස් කාණ්ඩයේ, අපොස උසස් පෙළ සමත්, මාසයකට රුපියල් 50,000-60,000 අතර ආදායමක් උපයන, පිරිමි අය ඡන්දය දෙන ආකාරය ඇස්තමේන්තු කර එය අදාළ ජනගහණයේ කැමැත්ත වෙනුවෙන් ආදේශ කරන්න පුළුවන්. ඒ වගේම, මඩකලපුව දිස්ත්‍රික්කයේ, රැකියාවක් නොකරන, අපොස සාමාන්‍ය පෙළ සමත්, වයස අවුරුදු 65ට වැඩි, මුස්ලිම් කාන්තාවන් ඡන්දය දෙන ආකාරය ඇස්තමේන්තු කර එය අදාළ ජනගහණයේ කැමැත්ත වෙනුවෙන් ආදේශ කරන්න පුළුවන්. මේ මට්ටමට යද්දී ජනගහණය සෑහෙන තරම් නිවැරදිව නියෝජනය වෙනවා.

නමුත් ඔය වැඩේ කරන්නනම් සැලකිය යුතු තරම් විශාල නියැදියක් අවශ්‍ය වෙනවා. 500ක පමණ නියැදියක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි, සිංහල, වයස අවුරුදු 25-35 වයස් කාණ්ඩයේ, අපොස උසස් පෙළ සමත්, මාසයකට රුපියල් 50,000-60,000 අතර ආදායමක් උපයන, පිරිමි අය කොපමණ සිටියිද? මඩකලපුව දිස්ත්‍රික්කයේ, රැකියාවක් නොකරන, අපොස සාමාන්‍ය පෙළ සමත්, වයස අවුරුදු 65ට වැඩි, මුස්ලිම් කාන්තාවන් කොපමණ සිටියිද?

සමහර විට එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. එහෙම වුනොත් ඒ කණ්ඩායම නියෝජනය කරන්න වෙන්නේ ආසන්නව සමාන අයෙකුට. ඇතැම් විට එක් අයෙක් ඉන්න පුළුවන්. එවිට, ඒ නියෝජිතයා ඡන්දය දෙන්නේ කාටද කියන එක මත අදාළ මුළු ජනගහණයේම කැමැත්ත ඇස්තමේන්තු කරන්න වෙනවා. ඒ නිසා, වේ වැඩේ කරන්න විශාල නියැදියක් අවශ්‍යයි. නමුත් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මාසයක කාලයක් තුළ දත්ත එකතු කරගන්නේ 500ක පමණ පිරිසකගෙන්. 

මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් කරන්නේ පසුගිය මුළු කාලය පුරාම එකතු කරගත් දත්ත සියල්ල එක ගොඩකට දමා ලොකු නියැදියක් හදා ගන්න එක. අර කියනවනේ "එකක් කඩතොළු මකා ගන්නට ගිහින් මට වුනු කාරියා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා" කියලා. මේකෙන් ඔය වගේ වැඩක් වෙන්නේ නැතත් එක ප්‍රශ්නයක් විසඳන්න යද්දී තව ප්‍රශ්නයක් මතු වෙනවා. නමුත් ඒ ප්‍රශ්නය මිරිස් දීලා ඉඟුරු ගත්තා වගේ ප්‍රශ්නයක් මිසක් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ ප්‍රශ්නයක් නෙමෙයි.

පසුගිය වසර කිහිපය තුල රටේ ජනමතය එකම විදිහට තිබුණේ නැහැනේ. ඒක මාසයෙන් මාසයට වෙනස් වෙනවා. එහෙමනම් මේ විවිධ මාස වල දත්ත එක ගොඩකට දමපු ගමන් ඔය ඔක්කොම මිශ්‍ර වෙනවනේ. එතකොට අපිට ලැබෙන්නේ ඒ මුළු කාලයේම සාමාන්‍ය ජනමතය මිසක් පසුගිය මාසයේ තිබුණු ජනමතය නෙමෙයි. දැන් ඔය ප්‍රශ්නයත් විසඳන්න වෙනවා.

මේ ප්‍රශ්නය විසඳන්නේ ගණිත ආකෘතියක් යොදා ගෙන. එහිදී රටේ ජනමතය මාසයෙන් මාසයට වෙනස් වෙනවා කියලා උපකල්පනය කරනවා. ඒක වෙන්නේ කිසියම් සුමට රටාවකට කියලත් උපකල්පනය කරනවා. එහෙම උපකල්පනය කරලා ඒ රටාව සහ රටේ ජනමතය යන දෙකම එකපාර ඇස්තමේන්තු කරනවා. දැන් වැඩේ ගොඩනේ. 

මේ සමඟ පළ කරන රූප සටහනේ දැකිය හැකි පරිදි, අපේක්ෂකයෙකු චිසින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිඵලය මාසයෙන් මාසය වෙනස් වී තිබෙන්නේ සුමට රටාවකට කියන එක පැහැදිලි වෙනවා ඇති. එහෙම වෙලා තියෙන්නේ ආකෘතිය ගොඩ නගද්දී ඒ විදිහේ උපකල්පනයක් කර තිබෙන නිසා. 

දැන් මේ රටා දිහා බලලා, ඒ අනුව, ඊලඟ මාසයේ එක් එක් අපේක්ෂකයාට වෙන්න යන දේ ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. නමුත් මේ මාසයේ රූප සටහන දිහා බලලා ඊළඟ මාසයේ ප්‍රතිශත හරියටම දැනගන්න පුළුවන්නම් නැවත ඊළඟ මාසයේ දත්ත එකතු කරන්න අවශ්‍ය නැහැනේ. එහෙම කරන්න බැහැ. 

අලුත් මාසයක දත්ත ලැබෙන බොහෝ විට දැකිය හැකි වන්නේ ඔය රටාව අනුව තිබිය යුතු ඊළඟ අගයට වඩා වෙනස් අගයක්. එය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. එහෙමයි කියලා අලුත් දත්ත නොසලකා හරින්න බෑනේ. ඒ නිසා කරන්නේ අලුත් දත්ත වලට ගැලපෙන විදිහට රටාව වඩා නිවැරදි කරන එක. හැම මාසයකදීම කලින් මාසයේ ඉදිරිපත් කළ ඇස්තමේන්තු වෙනස් වෙන්නේ ඒ නිසා. වැඩි වැඩියෙන් දත්ත එකතු වෙද්දී ආකෘතිය වඩ වඩා නිවැරදි වෙනවා.

මේ සියලු නිවැරදි කිරීම් කළත් මේ වගේ ඇස්තමේන්තුවක් වැරදෙන්න හේතු වන කරුණු තිබෙනවා. දැන් මම ඒ කරුණු වලින් ප්‍රධානම එකක් විස්තර කරන්නම්.

මඩකලපුව දිස්ත්‍රික්කයේ, රැකියාවක් නොකරන, අපොස සාමාන්‍ය පෙළ සමත්, වයස අවුරුදු 65ට වැඩි, මුස්ලිම් කාන්තාවන් ගැන සිතන්න. අපි මේ කුලකයට අයිති සියලුම කාන්තාවන් එක ගොඩකට දමමු. ඊට පස්සේ ඒ අයව "තමන්ගේම ජංගම දුරකථනයක් තිබෙන අය" සහ "තමන්ගේම ජංගම දුරකථනයක් නැති අය" ලෙස කොටස් දෙකකට වර්ග කරමු. ඔය කොටස් දෙකේ ජනාධිපතිවරණයේදී ඡන්දය හාවිතා කිරීමේ අභිප්‍රායයන් සමානයි කියා ඔබ හිතනවද?

ඔය විදිහටම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි, සිංහල, වයස අවුරුදු 25-35 වයස් කාණ්ඩයේ, අපොස උසස් පෙළ සමත්, මාසයකට රුපියල් 50,000-60,000 අතර ආදායමක් උපයන, පිරිමි අයත් ගොඩවල් දෙකකට දමමු. ඒ අතරින් "තමන්ගේම ජංගම දුරකථනයක් තිබෙන අය" සහ "තමන්ගේම ජංගම දුරකථනයක් නැති අය" එකම විදිහට ඡන්දය භාවිතා කරයි කියා ඔබ හිතනවද? 

අනෙක් බොහෝ කරුණු අතින් සමාන වුනත් "තමන්ගේම ජංගම දුරකථනයක් තිබෙන අය" සහ "තමන්ගේම ජංගම දුරකථනයක් නැති අය" අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා, ඒ කණ්ඩායම් දෙකේ ඡන්දය හාවිතා කිරීමේ අභිප්‍රායයන් අසමාන වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමයේදී කරන්නේ තමන්ගේම ජංගම දුරකථනයක් තිබෙන අයගේ කැමැත්ත මත පදනම්ව අනෙක් කණ්ඩායමේ කැමැත්ත ඇස්තමේන්තු කරන එක. ලෝකයේම ප්‍රචලිත ක්‍රමයක් වුනත්, අහඹු දුරකථන අංක ක්‍රමයේදී මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ගොඩක් අයගේ ඇස්තමේන්තු වැරදුනේ ඔය හේතුව නිසා. මේ ගැන ඒ දවස් වලම (2016 නොවැම්බර්) සටහනක් ලියා තිබෙනවා. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් තවත් නියදියක දත්ත එක්ක මිශ්‍ර කරන නිසා මේ වැරැද්ද සිදු වෙන්නේ තනිකරම අහඹු දුරකථන අංක මත පදනම් වූ ඇස්තමේන්තුවක් යොදා ගන්නවාට වඩා අඩුවෙන් වුවත් වැරැද්ද තියෙනවා. ඒ වැරැද්ද නිවැරදි කරන්න අමාරු වැරැද්දක්.

නියැදියේ ප්‍රමාණය කුඩා නිසා පසුගිය කාලයේම දත්ත එකට දමන එකෙනුත් යම් වැරැද්දක් වෙනවා. නියැදිය ගොඩක් ලොකු එකක්නම් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයට දත්ත එකතු කරන්න වෙන්නේ ඔවුන්ට අරමුදල් තිබෙන ප්‍රමාණයටනේ. මොකද මේ වැඩේට මුදල් ගෙවා පිරිස් යොදවන්න වෙනවා. ඒ නිසා, අපි එම ආයතනයට සල්ලි දෙන්නෙත් නැත්නම්, නියැදියේ ප්‍රමාණය විශාල ලෙස වැඩි කිරීමක් අපට ඔවුන්ගෙන් අපේක්ෂා කරන්න බැහැ. තියෙන දේ භාර ගන්න වෙනවා.

ඔය ප්‍රමාණයේ නියැදියක දත්ත වලින් වෙන කෙනෙකුට වුනත් ඇස්තමෙන්තුවක් හදන්න වෙන්නේ ඔය විස්තර කළ ක්‍රමයට ආසන්න ක්‍රමයකටයි. එවැන්නක් වැරදෙන්න පුළුවන් වුනත්, ඒ සම්බන්ධව ලොකුවට කළ හැකි දෙයක් නැහැ. මේවා මේ ආකාරයේ සමීක්ෂණ බොහොමයක තිබෙන පොදු ප්‍රශ්න.

ඔය පොදු ප්‍රශ්න වලට අමතරව මේ ඇස්තමේන්තු වල මට හඳුනාගන්න පුළුවන් විශේෂ ප්‍රශ්නත් තිබෙනවා. ඒවා ගැන මගේ අදහස "අනපේක්ෂිත වැරදි" කියන එකයි. ඒ කියන්නේ ඇස්තමේන්තු වඩා නිවැරදි කරන්න කරන දෙයක් නිසා හරියටම එහි අනෙක් පැත්ත වීම. ලිපියේ මේ කොටස පදනම් වෙන්නේ මගේ පෞද්ගලික නිරීක්ෂණ මතයි. කලින් විස්තර කළ බොහොමයක් දේවල් සම්මත විෂය කරුණු. ඒ නිසා, මේ කොටස් එක්ක එකඟ වෙන්න බැරි කෙනෙක් ඉන්නවානම් අඩු වශයෙන් පෙර ලියපු දේවල් වලින් ගන්න තියෙන දෙයක් ගන්න. 

දැන් මට ලංකාවේ සන්දර්භයට එන්න වෙනවා. මම මුලින්ම විස්තර කළේ නියැදිය අහඹු නොවීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස බර තැබීම් යොදා ගන්නා බවනේ. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මේ විදිහට බර තැබීම් කරද්දී වයස, ලිංගභේදය, ජනවර්ගය, සමාජ ආර්ථික මට්ටම, අධ්‍යාපන මට්ටම, පදිංචි ස්ථානය, 2019 ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් ආකාරය හා 2020 මහ මැතිවරණයේදී ඡන්දය දුන් ආකාරය අනුව බර තැබීම් කරමින් එම විචල්‍යයන් ජනගහණය තුළ නිවැරදිව නිරූපණය වන පරිදී ඇස්තමේන්තු නැවත සකස් කරනවා. 

මේ විදිහට ජනගහණය තුළ වයස, ලිංගභේදය, ජනවර්ගය, සමාජ ආර්ථික මට්ටම, අධ්‍යාපන මට්ටම හා පදිංචි ස්ථානය යන කරුණු අනුව එහි සංයුතිය නිවැරදිව නිරූපණය වන පරිදි නියැදිය තුළ බර තැබීම මගින් ඇස්තමේන්තු වඩා නිවැරදි වුනා කියලා මම හිතනවා. නමුත් මේ වැඩේට 2019 ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් ආකාරය හා 2020 මහ මැතිවරණයේදී ඡන්දය දුන් ආකාරය යොදා ගැනීම නිසා ලොකු වැරැද්දක් වුනා කියලයි මම හිතන්නේ. දැන් ඒ ගැන පැහැදිලි කරන්නම්. 

දැන් අපි 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට යමු. මම මේ සංඛ්‍යා යොදා ගන්නේ අවශ්‍ය කරුණ පැහැදිලි කිරීම සඳහා උදාහරණයක් ලෙස පමණයි.

පොහොට්ටුව = ලක්ෂ 69 (52%)

සජිත් = ලක්ෂ 56 (42%)

අනුර = ලක්ෂ 4 (3%)

වෙනත් = ලක්ෂ 4 (3%)

දැන් අපි මේ එක් එක් කණ්ඩායම වෙන වෙනම අරගෙන දැන් මේ අය ඡන්දය දෙන්නේ කාටද කියන එක ගැන යම් උපකල්පනයක් කරමු. මගේ උපකල්පන එක්ක එකඟ වෙන්න බැරිනම් ඔබේ උපකල්පන යොදාගෙන මේ ක්‍රමවේදයටම ගණන් හදාගෙන බලන්න.

අනුරගේ 2019 ඡන්ද - 100%ක්ම අනුරට. මේවා සජිත්ට, රනිල්ට හෝ පොහොට්ටුවට නොයන බව මගේ උපකල්පනයයි. 

සජිත්ගේ ඡන්ද - මේ ඡන්ද වලින් ලක්ෂ 50ක්ම (90%ක් පමණ) සජිත්ට බවත් ඉතිරි ලක්ෂ 6 රනිල්ට කියාත් හිතමු. මා මේ ඇස්තමේන්තු හදන්නේ මාස හයකට පමණ පෙර පැවති තත්ත්වය පැහැදිලි කරන්නයි. 

වෙනත් ඡන්ද - මෙවරද කුඩා පිරිසක් නියෝජනය කරන අපේක්ෂකයින් විශාල ගණනක් ඉදිරිපත් වන නිසා කලින් වගේම ඔවුන් අතර බෙදී යන සේ සලකමු.

පොහොට්ටු ඡන්ද - තරමක් සංකීර්ණ ලෙස අනුර, රනිල් හා පොහොට්ටුව අතර බෙදී යයි. තවත් කොටසක් අතීරක ඡන්ද ලෙස පවතී. පහත තිබෙන්නේ මේ ඡන්ද බෙදී ගොස් තිබුණු ආකාරය පිළිබඳ උපකල්පිත උදාහරණයක්. අවධාරණය කරන කරුණ ගැන මිසක් සංඛ්‍යා ගැන බරපතල ලෙස හිතන්න එපා. ඒවා කිසිසේත්ම ඇස්තමේන්තු නෙමෙයි. 

අතීරක = ලක්ෂ 33 (48%)

රනිල් = ලක්ෂ 4 (7%)

පොහොට්ටුව = 6 (7%)

අනුර = ලක්ෂ 26  (38%)

මේ උදාහරණය අනුව, ජනගහණයේ ඡන්ද බෙදී ගොස් තිබෙන්නේ පහත ආකාරයයි.

අතීරක = ලක්ෂ 33 (25%)

සජිත් = ලක්ෂ 50 (37%)

අනුර = ලක්ෂ 4 + 26 = 30 (23%)

රනිල් = ලක්ෂ 6 + 4 = 10 (8%)

පොහොට්ටුව = ලක්ෂ 6 (4%)

වෙනත් = ලක්ෂ 4 (3%)

නමුත් පොහොට්ටුවේ 2019 ඡන්ද ලක්ෂ 69ක ප්‍රමාණයෙන් අතීරක කොටස නියැදිය තුළ නියෝජනය නොවන නිසා ඡන්ද ප්‍රතිශත පෙනෙන්නේ පහත ආකාරයටයි.

රනිල් = ලක්ෂ 4 (11%)

පොහොට්ටුව = 6 (17%)

අනුර = ලක්ෂ 26  (72%)

මේ අනුව, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදය තුළ ඉහත සඳහන් ලක්ෂ 69ක ඡන්ද ප්‍රමාණය ඇස්තමේන්තු කෙරෙන්නේ පහත ආකාරයයි.

රනිල්ගේ කොටස  = ලක්ෂ 69*11% = ලක්ෂ 7

පොහොට්ටුවේ කොටස  = ලක්ෂ 69*23% = ලක්ෂ 12

අනුරගේ කොටස  = ලක්ෂ 69*72% = ලක්ෂ 50

මේ අනුව ජනගහණ ඇස්තමේන්තුව සකස් වන්නේ පහත ආකාරයටයි.

සජිත් = ලක්ෂ 50 (38%)

අනුර = ලක්ෂ 4 + 50 = 54 (41%)

රනිල් = ලක්ෂ 6 + 7 = 13 (10%)

පොහොට්ටුව = ලක්ෂ 12 (9%)

වෙනත් = ලක්ෂ 4 (3%)

මේ සංඛ්‍යා ගැන එතරම් බරපතල ලෙස සිතිය යුතු නැහැ. නමුත් පොහොට්ටුවේ ඡන්ද වලින් කොටසක් අතීරක ඡන්ද ලෙස පවතින බවත්, ඉතිරි ඡන්ද වලින් වැඩි කොටස මාලිමාව සතුව පැවති බවත් පමණක් උපකල්පනය කිරීමෙන් පමණක් වුවත්, අදාළ ප්‍රතිශත කවර ඒවා වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදය තුළ සජිත්ගේ ඡන්ද ප්‍රතිශතය අඩුවෙන් සහ අනුරගේ ප්‍රතිශතය වැඩියෙන් පෙනෙන බව මෙහි අප පෙන්වා දෙන මූලික කරුණයි. 

දැන් මේ අතීරක ඡන්දදායකයින් ලක්ෂ 33ක ප්‍රමාණයෙන් ලක්ෂ 20ක් රනිල්ට ඡන්දය දීමට තීරණය කළහොත් සිදු වන්නේ කුමක්ද? මෙහිදී අපගේ උපකල්පනය වන්නේ අනුරගේ, සජිත්ගේ හා පොහොට්ටුවේ අනෙකුත් ඡන්ද එකක්වත් අඩු වී නැති බවයි. මෙයද උදාහරණයක් පමණයි. 

දැන් 2019 පොහොට්ටු ඡන්ද බෙදී යන්නේ පහත ආකාරයටයි. 

අතීරක = ලක්ෂ 13 (19%)

රනිල් = ලක්ෂ 24 (35%)

පොහොට්ටුව = 6 (8%)

අනුර = ලක්ෂ 26  (38%)

නමුත් නියැදිය තුළ අතීරක ඡන්ද නැති නිසා ප්‍රතිශත පෙනෙන්නේ පහත පරිදියි. 

රනිල් = ලක්ෂ 24 (43%)

පොහොට්ටුව = 6 (11%)

අනුර = ලක්ෂ 26  (46%)

මේ අනුව, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදය තුළ ඉහත සඳහන් ලක්ෂ 69ක ඡන්ද ප්‍රමාණය ඇස්තමේන්තු කෙරෙන්නේ පහත ආකාරයයි.

රනිල්ගේ කොටස  = ලක්ෂ 69*43% = ලක්ෂ 30

පොහොට්ටුවේ කොටස  = ලක්ෂ 69*11% = ලක්ෂ 7

අනුරගේ කොටස  = ලක්ෂ 69*46% = ලක්ෂ 32

මේ අනුව ජනගහණ ඇස්තමේන්තුව සකස් වන්නේ පහත ආකාරයටයි.

සජිත් = ලක්ෂ 50 (38%)

අනුර = ලක්ෂ 4 + 32 = 36 (27%)

රනිල් = ලක්ෂ 6 + 30 = 36 (27%)

පොහොට්ටුව = ලක්ෂ 7 (5%)

වෙනත් = ලක්ෂ 4 (3%)

ඇත්තටම ජනගහණයේ ඡන්ද ප්‍රතිශත වෙනස් වී තිබෙන්නේ පහත ආකාරයටයි.

අතීරක = ලක්ෂ 13 (10%)

සජිත් = ලක්ෂ 50 (37%)

අනුර = ලක්ෂ 4 + 26 = 30 (23%)

රනිල් = ලක්ෂ 6 + 20 = 30 (23%)

පොහොට්ටුව = ලක්ෂ 6 (4%)

වෙනත් = ලක්ෂ 4 (3%)

මේ උදාහරණයේදී අතීරක ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් රනිල් වෙත ආකර්ෂණය වන්නට පෙර අනුරගේ ඡන්ද ප්‍රමාණය වූ ලක්ෂ 30න් එකක්වත් අඩු නොවී එළෙසම තිබෙනවා. 23% ඡන්ද ප්‍රතිශතයේද කිසිදු වෙනසක් සිදු වී නැහැ. නමුත් මා විස්තර කළ ක්‍රමවේදය අනුව මෙම ප්‍රතිශතය 41% සිට 27% දක්වා විශාල ලෙස අඩු වී ඇති බවකුයි පෙනෙන්නේ. 

නැවතත් මතක් කරන්නේ මෙම ඇස්තමේන්තු උදාහරණ පමණක් නිසා ඒවා බරපතල ලෙස සැලකිය යුතු නැති බවයි. පෙන්වන්නට අවශ්‍ය කරුණ වන්නේ අතීරක ඡන්ද රනිල් වෙත හෝ පොහොට්ටුව වෙත ක්‍රමයෙන් විතැන් වද්දී සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු තුළ ඊට වඩා විශාල ප්‍රතිශතයකින් අනුරගේ ඡන්ද ප්‍රතිශතය පහළ යන ආකාරයයි. මෙහිදී සිදු වන්නේ සියල්ලන්ගේම ඇස්තමේන්තු වඩා නිවැරදි වීමයි.

සංඛ්‍යානය හදාරා තිබෙන අයට ඉතා කෙටි සාරාංශයක් අවශ්‍යනම්, මෙහිදී උපයෝගී කරගන්නේ imputation කියන ක්‍රමය. ඒ ක්‍රමයේදී උපකල්පනය කෙරෙන්නේ කිසියම් කුලකයක ඉන්න නිරීක්ෂණය කළ නොහැකි අය හැසිරෙන්නේ ඒ කුලකයේම නිරීක්ෂණය කළ හැකි අය හැසිරෙන විදිහට කියලා. සංඛ්‍යානයෙන් එළියේ දේවල් ආකෘතිය ඇතුළට ගන්නේ නැත්නම් ඒක තමයි කරන්න පුළුවන් උපකල්පනය.

මෙහි කතා කළ සන්දර්භයේදී, ගෝඨාභයට ඡන්දය දුන් ලක්ෂ 69ක පිරිසකගෙන් ලක්ෂ 2ක් A කියන අපේක්ෂකයාටත්, තවත් ලක්ෂයක් B කියන අපේක්ෂකයාත් ඡන්දය දෙන බව කියනවානම් සහ අනෙක් ලක්ෂ 66 කිසිම දෙයක් හරියට කියන්නේ නැත්නම්, ඇස්තමේන්තුව හැදෙන්නේ Aට ලක්ෂ 46ක් සහ Bට ලක්ෂ 23ක් ලැබෙන සේ සලකලා. දැන් ඔහොම තියෙද්දී Aගේ ලක්ෂ දෙකෙන් ලක්ෂයක් Bට ගියොත් ඇස්තමේන්තු වල ඡන්ද ලක්ෂ 23ක් එහා මෙහා වෙනවා. මහ පොළොවේ තත්ත්වයන් අනුව ඉතිරි ලක්ෂ 66ම Aට හෝ Bට නොලැබී Cට ලැබෙන්න පුළුවන්. එවිට එය පේන්නේ අනපේක්ෂිත ප්‍රතිඵලයක් විදිහට.

Friday, August 2, 2024

අහඹු නැති නියැදියකින් ඇස්තමේන්තු හදන හැටි...


කලින් සටහනින් පැහැදිලි කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය ලංකාවේ වැඩිහිටි ජනගහණය නියෝජනය වන පරිදි තෝරා ගැනීම පිණිස සෑහෙන උත්සාහයක් දරා ඇතත්, එය එවැන්නක් නොවන බවයි. 

මේ නියැදිය නියැදි දෙකක මිශ්‍රණයක්. එයින් එක නියැදියක් තෝරා ගන්නේ අහඹු ලෙස ජංගම දුරකථන අංක ඩයල් කරලා. අනෙක් එක කලකට පෙර වෙනත් වැඩකට රටම නියෝජනය වන පරිදි තෝරා ගත් අහඹු නියැදියක්. IHP එක ඒ අයගෙන් මාස්පතා ඔවුන්ගේ මතය විමසනවා. 

වැදගත් කාරණය වන්නේ මේ මිශ්‍ර නියැදිය ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයේ හෝ ඉදිරි මැතිවරණයේදී ඡන්දය දීමට ඉඩ තිබෙන ජනගහණයේ අහඹු නියැදියක් නොවන බවයි. ඒ නිසාම, එම නියැදියේ මතයෙන් රටේ මතය නිවැරදිව නිරූපණය වන්නේ නැහැ.

කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඒ නියැදියේ මතය ඒ විදිහටම රටට ඉදිරිපත් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඒ අනුසාරයෙන් රටේ මතය ඇස්තමේන්තු කිරීමයි. එවැන්නක් කරන්නේ කොහොමද?

අපි පහසුව තකා රටේ වැඩිහිටි ජනගහණය ලක්ෂ 100ක් (මිලියන 10ක්) ලෙසත් නියැදියේ ප්‍රමාණය 100ක් ලෙසත් හිතමු. දැන් මේ නියැදිය අහඹු නියැදියක්නම් එහි එක් සාමාජිකයෙකුගෙන් ජනගහණයේ ලක්ෂයක් නිරූපණය වන සේ සලකන්න පුළුවන්. ඒ අනුව, නියැදියෙන් එක් අයෙකු කිසියම් අපේක්ෂයෙකු වෙනුවෙන් ඡන්දය දෙනවා කියන්නේ ඒ අපේක්ෂකයාට රටෙන් ඡන්ද ලක්ෂයක් පමණ ලැබෙන සේ සලකන්න පුළුවන්. 

රටේ වැඩිහිටි ජනගහණය තුළ ගැහැණු ප්‍රතිශතය 50%ක් ලෙස සලකමු. දැන් අපේ නියැදිය අහඹු නියැදියක්නම් එහි ගැහැණුන් 50කට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතුයි. නමුත් පරීක්ෂා කරද්දී තත්ත්වය වෙනස්. එහි ඉන්නේ ගැහැණු 20ක් පමණයි. අසූවක්ම පිරිමි. ඒ කියන්නේ මේ නියැදිය අහඹු නියැදියක් ලෙස සලකන්න අමාරුයි. 

දැන් ප්‍රශ්නය තියෙන්නේ මෙය අපට අවශ්‍ය ඇස්තමේන්තුවට බලපාන්නේ කොහොමද කියන එකයි. ඡන්දය දෙන ආකාරය ගැහැණු පිරිමි භාවය මත වෙනස් වෙන්නේ නැත්නම් මේකේ අවුලක් නැහැ. මොකද ගැහැණු 50ක් හා පිරිමි 50ක් හිටියත් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය. නමුත් ගැහැණු හා පිරිමි ඡන්දය දෙන්නේ එකම විදිහට නෙමෙයිනම් මේ නියැදියේ ගැහැණු අඩු වී පිරිමි වැඩි වූ නිසා ඇස්තමේන්තුව වරදිනවා.

අපි හිතමු ගැහැණු හා පිරිමි ඡන්දය දෙන්නේ වෙනස් විදිහට කියලා. උදාහරණයක් විදිහට ගැහැණු 20න් 15ක්ම එක මිටට අනුරට ඡන්දය දෙනවා. ඒ කියන්නේ 75%ක්. නමුත් පිරිමි 80න් අනුරට ඡන්දය දෙන ප්‍රමාණය 20ක් පමණයි. ඒ කියන්නේ 25%ක් පමණයි. දැන් මේ ගොඩවල් දෙකම එකට දැම්මහම අනුරගේ ඡන්ද ප්‍රමාණය 35ක් පමණයි. ඒ කියන්නේ 35%යි.

හෙළකුරු සමීක්ෂණයේ හා සුදාගේ වීඩියෝ වල තියෙන්නේ ඔය වගේ "අමු" ප්‍රතිඵල. නමුත් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය ඒ විදිහට ඔවුන් එකතු කරගන්නා අමු ප්‍රතිඵල එළියට දමන්නේ නැහැ. මොකද තමන්ගේ නියැදිය අවශ්‍ය ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි කියන එක ඔවුන් දන්නවා. ඒ නිසා, මේ 35% කියන ප්‍රතිඵලය නිවැරදි එකක් නෙමෙයි. එහෙමනම් වැරැද්ද හදන්නේ කොහොමද?

නියැදිය අහඹු එකක්නම් එහි එක් අයෙකුගෙන් ලක්ෂයක් නිරුපණය වෙනවා. ඒ අනුව ලක්ෂ 100ක මුළු ජනගහණයම නිරූපනය වෙනවා. නමුත් ජනගහණයේ ලක්ෂ 50ක්ම ගැහැණු. නියැදියේ ඉන්නේ ගැහැණු 20ක් පමණයි. එක් අයෙක් ලක්ෂය බැගින් නියෝජනය කළොත් ගැහැණු ලක්ෂ 50 නියෝජනය කරන්න 50ක් අවශ්‍යයි. නමුත් එපමණ ගැහැණු නියැදියේ නැහැ.

ජනගහණයේ ගැහැණුන්ව නියෝජනය කරන්න නියැදියේ ඉන්න පිරිමි යොදා ගන්න එක නිවැරදිද? ගැහැණු හා පිරිමි ඡන්දය දමන රටාව එකමනම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ උදාහරණයේ ගැහැණු එක මිටට මාලිමාවට වුනත් පිරිමි එහෙම නැති නිසා ජනගහණයේ ගැහැණුන් නියෝජනය කරන්න නියැදියේ පිරිමි යොදා ගන්න එක නිවැරදි නැහැ. වඩා නිවැරදි ක්‍රමය ගැහැණු නියෝජනය කරන්න ගැහැණුත්, පිරිමි නියෝජනය කරන්න පිරිමිත් යොදා ගන්න එක.

දැන් අපි කලින් වගේ නියැදියේ හැම කෙනෙක්ම ජනගහණයේ ලක්ෂයක් විදිහට නොසලකා වෙනස් උපකල්පනයක් කරමු. 

-නියැදියේ එක් ගැහැණියක් ජනගහණයේ ගැහැණු 250,000ක් නියෝජනය කරනවා. ඒ අනුව, නියැදියේ ඉන්න ගැහැණු 20 ජනගහණයේ ගැහැණු ලක්ෂ 50 නියෝජනය කරනවා.

-නියැදියේ එක් පිරිමියෙක් ජනගහණයේ පිරිමි 62,500ක් නියෝජනය කරනවා. ඒ අනුව, නියැදියේ ඉන්න පිරිමි 80 ජනගහණයේ පිරිමි ලක්ෂ 50 නියෝජනය කරනවා.

දැන් ප්‍රශ්නය විසඳිලා. නියැදියේ ඉන්නේ ගැහැණු 20%ක් පමණක් වුනත්, ඔවුන්ගෙන් නියෝජනය වන ජනගහණයේ ගැහැණු 50%ක් හරියට ඉන්නවා!

ඊලඟට තියෙන්නේ නියැදියේ ජනමතය ඇසුරෙන් ජනගහණයේ මතය ඇස්තමේන්තු කරන එක. ඒක මේ විදිහට කරන්න පුළුවන්.

නියැදියේ දත්ත අනුව ගැහැණුන්ගෙන් 75%ක් හා පිරිමින්ගෙන් 25%ක් ඡන්දය දෙන්නේ අනුරට. ඒ අනුව, ගැහැණු ලක්ෂ 50න් 75%ක් හා පිරිමි ලක්ෂ 50න් 25%ක් අනුරට ඡන්දය දෙන බව ඇස්තමේන්තු කරන්න පුළුවන්. 

මුළු ඡන්ද ප්‍රමාණය = ලක්ෂ 50*75% + ලක්ෂ 50*25% = ලක්ෂ 50යි. ඒ කියන්නේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%ක්!

ඔය විදිහේ නිවැරදි කිරීමක් නොකර "අමු දත්ත" ගත්තානම් පේන්නේ මේ ගණන 35%ක් විදිහටයි. නමුත් නියැදියේ ගැහැණු පිරිමි සංයුතිය බලලා නිවැරදි කිරීමක් කළාට පස්සේ මේ ගණන 50% දක්වා ඉහළ ගිහින්.

මේ සංශෝධනය කළා කියලා ප්‍රශ්නය සමපූර්ණයෙන් විසඳෙන්නේ නැහැ. දැන් ජනගහණයේ ස්ත්‍රී පුරුෂ අනුපාතය නිවැරදිව නිරූපණය වෙනවා තමයි. නමුත් වයස් කාණ්ඩ හරියට නිරූපණය වෙනවද?

අපි හිතමු ගැහැණු ජනගහණයේ වයස අවුරුදු 35ට අඩු ප්‍රමාණය ලක්ෂ 15ක් (30%ක්) හා 35ට වැඩි ප්‍රමාණය ලක්ෂ 70ක් (70%ක්) කියලා. නමුත් නියැදියේ ඉන්න 20න් බාගයක්ම ඒ කියන්නේ 10ක්ම 35ට අඩු අය. ඔය වගේම වෙනසක් පිරිමි ජනගහණයේ වයස් සංයුතියේත් තියෙනවා. ඒ නිසා, ජනගහණයේ ස්ත්‍රී පුරුෂ අනුපාතය ගැලපුනාට වයස් කාණ්ඩ අනුපාත ගැලපෙන්නේ නැහැ. 

තවත් පියවරක් ඉස්සරහට ගිහින් අපිට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්.

- නියැදියේ වයස 35ට අඩු ගැහැණියක් ජනගහණයේ 150,000 දෙනෙකු නියෝජනය කරයි.

- නියැදියේ වයස 35ට වැඩි ගැහැණියක් ජනගහණයේ 350,000 දෙනෙකු නියෝජනය කරයි.

දැන් මේ එක් එක් කාණ්ඩය වෙන වෙනම අරගෙන ඒ කාණ්ඩ ඇතුළේ නියැදියේ ජනමතය ජනගහණයේ ඔවුන් නියෝජනය කරන අයගේ මතය විදිහට සැලකුවහම ඒ ප්‍රශ්නයත් විසඳා ගන්න පුළුවන්.

ඔයාකාරයට ස්ත්‍රී පුරුෂ භාවය, වයස, අධ්‍යාපන හා ආදායම් මට්ටම්, ජාතිය, ආගම වගේ නිර්ණායක ගණනාවක් අනුව නියැදිය කොටස් කරලා ඒ කණ්ඩායම් වල ජනමතයන් වෙන වෙනම පරීක්ෂා කරලා ජනගහණයේ අදාළ කණ්ඩායමට එය ආදේශ කළාට පස්සේ ජනගහණයේ මතය වඩා නිවැරදිව ඇස්තමේන්තු කර ගන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් එළියට දමන්නේ ඒ විදිහට සකස් කළ ඇස්තමේන්තු. 

දැන් අර මුලින් කියපු නියැදිය අහඹු නියැදියක් නොවීමේ ප්‍රශ්නය විසඳිලා කියලා පේනවද? (පෙනුනට තවමත් සම්පූර්ණයෙන්ම විසඳිලා නැති බව පසුව පැහැදිලි කරන්නම්.)

හෙළකුරු ප්‍රතිඵල අනුව වුනත් ඔය විදිහේ ක්‍රමයකින් වඩා නිවැරදි ජනගහණ ඇස්තමේන්තුවක් හදාගන්න පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ එක් එක් දිස්ත්‍රික්කය වෙන වෙනම අරගෙන ඒ එක් එක් දිස්ත්‍රික්කය ඇතුළේ වයස් කාණ්ඩත් වෙන වෙනම අරගෙන අදාළ කොටස් ඇතුළේ ජනමතය වෙන වෙනම පරීක්ෂා කරන එක සහ එම ජනමතය දිස්ත්‍රික්කය හා වයස් කාණ්ඩය බලලා ජනගහණයට ආදේශ කරන එක. එහෙම කළා කියලා ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැ. මොකද ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේවල් නිසා වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් සාපේක්ෂව යම් තරමක නිවැරදි වීමක් වෙනවා.

දැන් ඔය ක්‍රමයට IHP ඇස්තමේන්තු නිවැරදි කරනවානම් ඒවායේ තවත් වැරදි තියෙනවා කියලා කියන්නේ ඇයි? මේ ගැන ඊළඟ කොටසින් කතා කරමු.

අහඹු නියැදි හා තෝරා ගන්නා නියැදි


පාට පමණක් වෙනස්, ඒ හැර හැම අතින්ම එක සමාන, බෝල 100ක් අඩංගු භාජනයක් ගැන සිතන්න. මෙහි සුදු පාට බෝල 50ක්, කළු පාට බෝල 30ක් හා කහ පාට බෝල 20ක් තිබෙනවා. බෝල සියල්ල හොඳින් කලවම් වෙලයි තියෙන්නේ. ඔය භාජනයෙන් ඇස් පියාගෙන බෝල 10ක් ගත්තොත් එහි සුදු පාට බෝල කීයක් තියෙයිද?

අනිවාර්යයක් නොවුනත්, වැඩිම ඉඩක් තිබෙන්නේ සුදු පාට බෝල ගණන 5ක් වෙන්නයි. මොකද මෙහිදී වෙන්නේ අහඹු තේරීමක්. මුළු බෝල ගණන අපේ නියැදිය මෙන් දහ ගුණයක් බැවින් නියැදියේ එක බෝලයකින් බෝල දහයක් නියෝජනය වන බව සලකා අප‍ට මුළු සුදු බෝල ප්‍රමාණය 50ක් කියා ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඒ විදිහටම, කළු හා කහ පාට බෝල ප්‍රමාණත් ඇස්තමේන්තු කරලා වැඩියෙන්ම තියෙන්නේ සුදු බෝල කියන නිගමනයට එන්න පුළුවන්. 

මේ විදිහට භාජනයෙන් අහඹු ලෙස ගන්න බෝල දහයක සුදු බෝල 10ක් තිබෙන එක අනිවාර්යයක් නෙමෙයි. එම ප්‍රමාණය 0 හා 10 අතර ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. නමුත් 0 හෝ 10 වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. වැඩිම ඉඩක් තියෙන්නේ 5ක් වෙන්න. ඊළඟට 4ක් හෝ 6ක් වෙන්න. 

භාජනයෙන් ගන්නේ එක නියැදියක් පමණක්නම් එහි තිබෙන සුදු බෝල ගණන 4ක් වෙන්න පුළුවන්. ඒ අනුව කළ හැකි නිගමනය භාජනයේ තිබෙන බෝල ගණන 40ක් බවයි. එය නිවැරදි නැහැ. එම බෝල ගණන 50ක්. මෙහි ඇස්තමේන්තු වරදක් තිබෙනවා. නමුත් අපි නියැදිය තෝරා ගන්නේ අහඹු ලෙස නිසා එසේ තිබිය හැකි ඇස්තමේන්තු වරදත් අපට ඇස්තමේන්තු කරන්න පුළුවන්. 

මේ පරීක්ෂණය නැවත නැවත කිරීමෙන්, ඒ කියන්නේ වරකට බෝල දහය බැගින් නැවත නැවත ගැනීමෙන්, අපට භාජනයේ තිබෙන බෝල ගණන ගැන වඩා නිවැරදි අදහසක් ගන්න පුළුවන්. මොකද එක වරකදී සුදු බෝල 4ක් ආවොත් තවත් වරකදී සුදු බෝල 6ක් එනවා. ඒ අනුව, භාජනයේ බෝල ගණන 40ක් වෙන්නත් පුළුවන් 60ක් වෙන්නත් පුළුවන්. නමුත් ඔය දෙකම එකවර වෙන්න බැරි නිසා මැද ගණන ගත් විට ඇස්තමේන්තුව 50 වෙනවා. 

ඔය විදිහට නියැදි විශාල ප්‍රමාණයක් ගත්තොත් ඒ සියලුම නියැදි වල සාමාන්‍ය අගය සුදු බෝල 5ක්, කළු බෝල 3ක් හා කහ බෝල 2ක් යන ප්‍රතිඵලයට ආසන්න එකක් වෙනවා. නියැදි ප්‍රමාණය වැඩි කරද්දී වගේම නියැදියේ ප්‍රමාණය වැඩි කරද්දීත් ඇස්තමේන්තුව 5:3:2 අනුපාතයට වඩ වඩා ආසන්න වෙනවා. හැබැයි ඔය හැම දෙයක්ම වෙන්නේ අහඹු නියැදි ගත්තොත් පමණයි.

ඔය විදිහට අහඹු නියැදි ගන්නේ නැතිව කවුරු හෝ කෙනෙක්ට තමන්ගේ රුචිකත්වය අනුව බෝල දහයක් තෝරා ගෙන එන්න කිවුවොත් වෙන්නේ කුමක්ද?

කහ පාටට ගොඩක් කැමති කෙනෙක් කහ පාට බෝලම 10ක් තෝරාගෙන එන්න පුළුවන්. කහ පාටට අකැමැති කෙනෙක් සුදු හා කළු පාට බෝල පමණක් තෝරා ගෙන එන්න පුළුවන්. සරලවම කිවුවොත් නියැදියේ සංයුතිය හා භාජනයේ සංයුතිය අතර කිසිම හඳුනාගත හැකි නිශ්චිත සම්බන්ධයක් නැහැ. නියැදියෙන් පෙන්නුම් කරන්නේ නියැදිය තෝරා ගත් තැනැත්තාගේ රුචිකත්වය පමණයි. ඒ දිහා බලලා භාජනයේ සංයුතිය ගැන කිසිම දෙයක් නිවැරදිව හිතාගන්න බැහැ. ඔය වගේ පරීක්ෂණයක් සිය වාරයක් කළත් භාජනයේ සංයුතිය ගැන නිවැරදි ඇස්තමේන්තුවක් හදාගන්න අමාරුයි.

සමහර විට කෙනෙක් හිතා මතාම කහ පාට බෝල තෝරනවා හෝ මග හරිනවා නොවෙන්න පුළුවන්. එහෙම නොවුනත් අවිඥානිකව හෝ ඔය වගේ දේවල් වෙනවා. ඒ නිසා, නියැදියකින් එය තෝරා ගත් ජනගහණය ගැන නිවැරදි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නියැදිය අහඹු එකක්නම් පමණයි. 

අහඹු නියැදි තෝරා ගත හැකි ක්‍රම ගැන මම කලින් සටහනේ උදාහරණ දෙකක් ඉදිරිපත් කළා. එයින් පළමුවැනි එක ජාතික හැඳුනුම්පත් අංක උදාහරණය. ජාතික හැඳුනුම්පත් අංකයේ අවසන් ඉලක්කම් හතර අනුව අප‍ට ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 0.01%ක් නියෝජනය වෙන 1,700ක පමණ නියැදියක් තෝරා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ පිරිස රට පුරා විසිරී සිටීම. ගොඩක් වෙලාවට ගම් ප්‍රදේශ 1,700ක. නියැදියේ දෙන්නෙක් එකම ගමක සිටින එක සෑහෙන්න කලාතුරකින් සිදු විය හැකි දෙයක්. ඒ නිසා ඒ වගේ නියැදියක සාමාජිකයින් සියල්ලම සම්බන්ධ කරගෙන මත විමසුමක් කරන එක ප්‍රායෝගිකව අසීරු හා වියදම් අධික වැඩක්.

ඉහත ප්‍රශ්නයට විසඳුමක් විදිහට අපට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මතක විදිහට ලංකාවේ ග්‍රාමසේවා වසම් 14,000ක් පමණ තියෙනවනේ. අපි හිතමු අහඹු ලෙස මේ අතරින් 1%ක් තෝරා ගන්නවා. ඒ කියන්නේ වසම් 140ක්. ඊට පස්සේ අහඹු ලෙස ඔය එක ග්‍රාම සේවා වසමකින් 12 දෙනා බැගින් තෝරා ගන්නවා. දැන් 1,680ක නියැදියක් ඉන්නවා. පියවර දෙකකින් වුනත් මේ අය තෝරාගෙන තියෙන්නේ අහඹු ලෙස. කලින් වගේ දැන් රටේ ස්ථාන 1,700කට යන්න අවශ්‍ය නැහැ. ස්ථාන 140කට යාම ප්‍රමාණවත්. මේකත් අහඹු නියැදි තෝරන සම්මත හා ප්‍රචලිත ක්‍රමවේදයක්.

සුදාගේ ඊනියා ජනමත විමසුම් කිසිසේත්ම විද්‍යාත්මක ක්‍රමයකට සිදු නොවුනත්, යාන්තමට වගේ මේ ක්‍රමයේ ලක්ෂණ ටිකක් තිබෙනවා. ඔහු තෝරා ගත් ස්ථාන වලට යනවා. ඒ තැන් වල සිටින අයගෙන්, මග හැර යන්න නොදී, ඔවුන්ගේ මතය විමසනවා. පළමු අදියර කිසිසේත්ම අහඹු නැහැ. නමුත් දෙවන අදියරේදී කාවවත් අත අරින්නේ නැති නිසා එය අදාළ ජනගහණයේ 100%ක නියැදියකට ආසන්නව සමානයි. අදාළ ජනගහණයේ කිවුවේ රටේ ජනගහණයේ නෙමෙයි. ඒ ස්ථානයේ ඉන්න අයගේ. 

පළමු අදියර අහඹු නැති වුනත් සුදා මේ ක්‍රමය දිගින් දිගටම කළ නිසා වැඩි නියැදි ප්‍රමාණයක් ලැබීමේ වාසිය තියෙනවා. ඒ නියැදි සියල්ලම ගත්තත් රටේ ජනගහණය නියෝජනය වෙන්නේ නැහැ. නමුත් ඒ නියැදි වල පොදු ලක්ෂණ තිබෙන වඩා විශාල ජනගහණයක් එයින් නියෝජනය වෙනවා. ත්‍රිරෝද හිමියන්, සුළු ව්‍යාපාරිකයින් වගේ අය. ඒ නිසා, ඒ වගේ සමාජ ස්ථර වල ජනමතය ගැන මෙයින් අදහසක් ගන්න පුළුවන්. 

ගුණේගේ මත විමසුම් වලදී හමුවන පුද්ගලයින්ගෙන් කෙළින්ම ප්‍රශ්නය අහන්නේ නැතිව ඔවුන්ට "ඡන්ද කොළයක්" දෙනවා. එය සාර්ථක ප්‍රවේශයක් වුනත් ගුණේගේ සමීක්ෂණ නියැදි සියල්ලක්ම එකම පොදු ලක්ෂණ තිබෙන නියැදි නෙමෙයි. ඒ නිසා, නියැදියෙන් එහාට ජනමතය තේරුම් ගන්න ලොකුවට උදවු වෙන්නේ නැහැ. 

කොහොම වුනත් ඔය මත විමසුම් වර්ග දෙකේදීම නියැදිය තෝරන්නේ සමීක්ෂකයා විසින් මිසක් ප්‍රතිචාර දක්වන පුද්ගලයින් විසින් නෙමෙයි. හෙළකුරු එකේදී හා ෆේස්බුක් සමීක්ෂණ වලදී නියැදියට ඇතුළු වෙන්නේ එයට ඇතුළු වෙන්න අවශ්‍ය අය. ඒ නිසා, එය රටේ තියා රටේ යම් ජනගහණයක (උදාහරණයක් ලෙස වයස් කාණ්ඩයක) ජනමතය නිවැරදිව පිළිබිඹු කරන්නේ නැහැ. ගුණේ ටියුෂන් පන්තියකට ගියාම අඩු වශයෙන් ඒ ටියුෂන් පන්තියේ සිසුන්ගේ ජනමතය පිළිබිඹු වෙනවා. සුදා හන්දියකට ගිහින් මතය විමසුවාම ඒ හන්දියේ ඒ වෙලාවේ හිටපු අයහේ ජනමතය පිළිබිඹු වෙනවා. 

දැන් අපි IHP නියැදියට එමු. නියැදිය කිවුවත් මේ නියැදිය නියැදි දෙකක මිශ්‍රණයක්. එයින් එක නියැදියක් තෝරා ගන්නේ අහඹු ලෙස ජංගම දුරකථන අංක ඩයල් කරලා. අනෙක් එක කලකට පෙර වෙනත් වැඩකට රටම නියෝජනය වන පරිදි තෝරා ගත් අහඹු නියැදියක්. IHP එක ඒ අයගෙන් මාස්පතා ඔවුන්ගේ මතය විමසනවා. 

අහඹු ලෙස ජංගම දුරකථන අංක ඩයල් කරලා මතය විමසද්දී එයට අහු වෙන්නේ රටේ ඉන්න ජංගම දුරකථන පරිශීලකයින් මිසක් මුළු වැඩිහිටි ජනගහණයම නෙමෙයි. වඩා තරුණ හා නාගරික කොටස් මේ ගොඩේ හිටියත් වයස්ගත හා ග්‍රාමීය කොටස් හරියට නියෝජනය වෙන්නේ නැහැ. ඒ නිසාම, මෙහිදී ලැබෙන්නේ රටේ ඉන්න ජංගම දුරකථන පරිශීලකයින්ගේ ජනමතය මිසක් රටේ ඉන්න ඡන්දායකයින්ගේ ජනමතය නෙමෙයි. 

මෙයින් වෙනස්ව අනෙක් නියැදිය රටම නියෝජනය වන විදිහට තෝරා ගත් නියැදියක්. හැබැයි වසර කිහිපයකට කලින්. මේ විදිහට කාලය යද්දී රටේ ජනගහණය වගේම නියැදියේ ලක්ෂණත් වෙනස් වෙනවා. එවිට එය තව දුරටත් අහඹු නියැදියක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අවුරුදු තුනකට කලින් වයස අවුරුදු 18 ඉක්මවූ අයගේ නියැදියක දැන් ඉන්නේ වයස අවුරුදු 21 ඉක්මවූ අය පමණයි. අවුරුදු 18-21 වයසේ කවුරුවත් නැහැ. IHP එකේ අදහස ඔය නියැදි දෙක කලවම් කිරීමෙන් ඒවායේ අඩුපාඩු තරමක් දුරට කැපී යනවා කියන එක. ඒ උපකල්පනයේ යම් ඇත්තක් තියෙනවා. 

කොහොම වුනත් ඔය නියැදි දෙක කලවම් කරලා හදන නියැදියක් වුනත් රටේ වැඩිහිටි ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි. එහෙත්, අනෙක් ඊනියා සමීක්ෂණ ප්‍රතිඵල වලට සාපේක්ෂව IHP එක කරන වැඩේ වෙනස් වෙන්නේ ඔවුන් ප්‍රසිද්ධ කරන්නේ සෘජු සමීක්ෂණ ප්‍රතිඵල නොවීමෙනුයි. ඒවා නිවැරදි නොවන බව ඔවුන් දන්නවා. එසේ නිවැරදි නොවෙන්න ප්‍රධාන හේතුත් ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් කරන්නේ එම සමීක්ෂණ ප්‍රතිඵල යොදා ගෙන, සංඛ්‍යානමය ක්‍රමවේද ඇසුරෙන්, රටේ ජනමතය ඇස්තමේන්තු කරන එක. ඒක කරන්නේ කොහොමද කියලා ඉදිරි කොටසකින් කතා කරමු. 

කලින් පළ කළ පහත ලිපියෙහිත් මේ ගැන කතා කර තිබෙනවා. ඒ දවස් වල මේ ඇස්තමේන්තු උස්සාගෙන ගෙන ගිය අයට දැන් මේ ඇස්තමේන්තු ප්‍රශ්නයක් වෙලා. 

https://economatta.blogspot.com/2024/02/blog-post_17.html

Monday, March 25, 2024

සුදාගේ ජනමත සමීක්ෂණ


සුදත්ත තිලකසිරි, එහෙමත් නැත්නම් සුදා, විසින් නගරයන් නගරයට යමින් "ජනමත සමීක්ෂණ" මාලාවක් පවත්වා ගෙන යනවා. මේ වැඩේ කරන්නේ "විද්‍යාත්මක ක්‍රමවේදයකට" නෙමෙයි. ඔහුට එවැනි පුහුණුවකුත් නැතුව ඇති. හැබැයි විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන ජනමත සමීක්ෂණයකදී වගේම මේ වගේ අවිධිමත් ජනමත සමීක්ෂණයකිනුත් අප වැනි අයට ලංකාවේ ජනමතය ගැන අදහසක් ගන්න ඉඩක් ලැබෙනවා. 

සුදත්ත තිලකසිරිගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මම මේ කාරණයේදී ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. එවැනි පක්ෂපාතීත්වයන් නැති අය හොයන එක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගත්ත සමාජවාදියෙක් හොයනවා වගේ අමාරු වැඩක්. සුදත්ත පැහැදිලිව කියන්නේ ඔහුගේ ජනමත සමීක්ෂණ වීඩියෝ එඩිට් නොකර එලෙසම ප්‍රසිද්ධ කරන බවයි. ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝ දෙස බැලූ විට ඒවා එඩිට් කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.

මේ වන විට සුදත්ත විසින් පිටකොටුවේ, නුගේගොඩ, මහරගම, හම්බන්තොට හා තිස්සමහාරාමයේ ඔහුගේ සමීක්ෂණය සිදු කර තිබෙනවා. මේ එක් තැනකින්වත් ලංකාවේ ජනමතය හරියටම නියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම මේ තැන් අහඹු ලෙස තෝරා ගත් තැන් නෙමෙයි. එහෙත්, මෙවැනි තැන් කිහිපයක ජනමතයේ පොදු රටාවන් යම් දුරකට සාධාරණීකරණය (generalize) කරන්න පුළුවන්. වැදගත්ම කාරණය සුදත්ත තිලකසිරි විසින් "අමු දත්ත" එකතු කර ඒවා එලෙසම ප්‍රසිද්ධ කිරීමයි.

මේ වගේ අමු දත්ත වලින් යම් විශ්ලේෂණයක් නොකර සෘජුව ජනමතය ඇස්තමේන්තු කරන්න බැහැ. එසේ වුවත්, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු වලට වඩා මම මේ වගේ අමු දත්ත වලට පෞද්ගලිකව කැමතියි. 

අමු දත්ත පරිශීලනය කරද්දී විශ්වාසය තියන්න වෙන්නේ එම අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන පමණයි. මෙහිදී එය සියයට සියයක්ම මෙන් පාරදෘශ්‍ය ලෙස සිදු වී තිබෙනවා. එයින් වෙනස්ව, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු විශ්වාස කරද්දී අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන වගේම ඒවා විග්‍රහ කර ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදය ගැනත් අන්ධ ලෙස විශ්වාස කරන්න සිදු වෙනවා. මම පෞද්ගලිකව මේ වගේ අමු දත්ත වලට වඩා කැමති ඒ නිසා.

සුදත්ත මෙහිදී ප්‍රතිචාර දක්වන්නන්ගෙන් අහන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ තිබෙන අපේක්ෂකයින් හතර දෙනෙකුට තිබෙන කැමැත්ත පිළිබඳවයි. අපේක්ෂකයින් හතර දෙනා අනුර, සජිත්, රනිල් සහ නාමල්. ආකෘතිය අනුව මෙය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (Institute for Health Policy හෙවත් IHP) අනුරූපී සමීක්ෂණයට බොහෝ දුරට සමානයි. ඒ නිසාම, මෙම සමීක්ෂණ ප්‍රතිඵල එම ආයතනයේ සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වූ ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි. ප්‍රධානම වෙනස සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නාමල් වෙනුවට ඔහුගේ පක්ෂයේ "කවර හෝ අපේක්ෂකයෙක්" විකල්පය ලෙස ඉදිරිපත් කරමින් වඩා විවෘත ලෙස ප්‍රශ්නය ඇසීමයි.

පහත තිබෙන්නේ සුදත්තගේ මහරගම හා හම්බන්තොට සමීක්ෂණ ප්‍රතිඵල. මම මේ ස්ථාන දෙක තෝරා ගත්තේ එම ස්ථාන දෙක හා අදාළ සමීක්ෂණ ප්‍රතිඵල වීඩියෝවේම සාරාංශගත කර ඉදිරිපත් කර තිබෙන නිසා. මුල් සමීක්ෂණ තුන දිහා බැලුවත් ප්‍රධාන රටාවන්ගේ ලොකු වෙනසක් පේන්න නැහැ. 

හම්බන්තොට ප්‍රතිඵලය 

අනුර - 67 (34%)

සජිත් - 38 (19%)

රනිල් - 2 (1%)

නාමල් - 1 (1%)

වෙනත් - 91 (46%)

එකතුව - 199 (100%)


මහරගම ප්‍රතිඵලය 

අනුර - 93 (33%)

සජිත් - 38 (14%)

රනිල් - 17 (6%)

නාමල් - 5 (2%)

වෙනත් - 125 (45%)

එකතුව - 278 (100%)


ඉහත "අමු දත්ත" අපට සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සමඟ සංසන්දනය කළ හැකියි. 

අනුර - 50%

සජිත් - 33%

රනිල් - 9%

පොහොට්ටු අපේක්ෂකයා - 8%

එකතුව - 100%


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර සමානතා කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්.

- ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්නවා. එය ඉතාම පැහැදිලියි. 

- අනුර කුමාර දිසානායක ඉන්න තැනට කිට්ටුවක නැතත්, දෙවැනි තැන ඉන්නේ සජිත්.

- රනිල් හෝ පොහොට්ටු අපේක්ෂකයෙක් කිට්ටුව පාතක නැහැ.


කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර කැපී පෙනෙන වෙනස් කමක් තිබෙනවා. ඒ තමයි සුදාගේ "අමු දත්ත" අනුව, විශාල පිරිසක් ඉහත කිසිවකු වෙනුවෙන් තවමත් සෘජු  කැමැත්තක් පළ කරන්නේ නැති බව. හම්බන්තොට හා මහරගම නියදි අනුව එම ප්‍රමාණය 45%ක් තරම් විශාලයි.

මෙහිදී වැදගත්ම කාරණය "වෙනත්" කියා විකල්පයක් සුදා විසින් ඉදිරිපත් නොකිරීමයි. වෙනත් පිළිතුරු ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ එවැනි පසුබිමක. ඒ තත්වය තුළ, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයටද මේ ආකාරයේ "වෙනත් පිළිතුරු" ප්‍රතිචාර ලෙස නොලැබෙන්නට හේතුවක් නැහැ. අහඹු දුරකථන අංක වලට ඇමතීමෙන් පසුව ඔවුන් විසින් ජනමතය විමසන්නේද සුදා අසන ආකාරයේ ප්‍රශ්නයක් අසමිනුයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඔවුන් විසින් එකතු කරගත් අමු දත්ත ප්‍රසිද්ධ කර නැහැ. ඔවුන් ඔවුන්ගේ "සකස් කළ ඇස්තමේන්තු" ඉදිරිපත් කර තිබෙන්නේ එකතු කරගත් අමු දත්ත වල "හිස්තැන් පිරවීමෙන්" පසුවයි. හරියටම කිවුවොත්, ප්‍රතිචාර දක්වන්නන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු මත පදනම්ව ඔවුන්ගේ "ලබා නොදුන් ප්‍රතිචාරය" ඇස්තමේන්තු කිරීමෙන් පසුවයි. එම "සකස් කළ ඇස්තමේන්තු" වල "වෙනත්" ගොඩක් නැත්තේ ඒ නිසා. ඒ කොටස අපේක්ෂකයින් හතර දෙනා අතර බෙදී ගිහින්. සුදාගේ "අමු දත්ත" අනුසාරයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" පිළිබඳවද අදහසක් ගන්න පුළුවන්.

මේ ආකාරයේ "හිස් තැන් පිරවීමකදී" වෙන්නේ අපේක්ෂකයෙකු වෙනුවෙන් කැමැත්ත පළ කළ කණ්ඩායමේ රුචිකත්වයන් එසේ නොකළ කණ්ඩායම මතද ආදේශ වීමයි. එහිදී උපකල්පනය කෙරෙන්නේ  වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු සමාන වේනම් රුචිකත්වයන්ද සමාන විය යුතු බවයි. ප්‍රස්තුත සන්දර්භය තුළ මෙම උපකල්පනයේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. 

සුදාගේ වීඩියෝ වලින් "වෙනත්" කණ්ඩායම සිටින තැන පැහැදිලිව දැන ගන්න පුළුවන්. එම කණ්ඩායමේ වැඩි පිරිසක් සෘජු ලෙසම ඉහත අපේක්ෂකයින් සියලු දෙනාවම ප්‍රතික්ෂේප කරනවා. එම තත්ත්වය තුළ ඔවුන් කිසියම් අපේක්ෂකයෙකුට කැමැත්ත පළ කරන කණ්ඩායමෙන් වෙනස් වෙනම පිරිසක්. 

සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් අරගලය තුළ සිටි පිරිස් අතරද පැහැදිලි ලෙස කණ්ඩායම් දෙකක් හඳුනා ගත හැකි වුනා. එයින් එක් කණ්ඩායමක් මෙතෙක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කළ, එහෙත් ජවිපෙ සම්බන්ධව එවැනි විරෝධයක් නොතිබුණු පිරිසක්. අනෙක් කණ්ඩායම, විකල්පයක් ගැන අදහසක් නොමැතිව වුවත්, ජවිපෙද ඇතුළුව සියලුම පැරණි දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් "225ම එපා" කියූ පිරිසක්. මගේ විග්‍රහය අනුව සුදාගේ අමු දත්ත වල "වෙනත්" ගොඩේ ඉන්නේ මේ මොහොතේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන, එහෙත් ජවිපෙ ගොඩට එකතු වීමටද හිත හදාගෙන නැති පිරිසක් බවයි. ඒ නිසා, එම ප්‍රතිශතය අනුර, සජිත්, රනිල් හා පොහොට්ටුව අතර අනුපාතිකව බෙදා දැමීම නිවැරදි උපකල්පනයක්යැයි මා සිතන්නේ නැහැ. 

එක පැත්තකින් මේ 45% විසින් පෙන්නුම් කරන්නේ දැනට නැති විකල්පයකට තිබෙන දේශපාලන අවකාශය. එහෙත්, වෙනත් ප්‍රබල විකල්පයක් ඉදිරි ජාතික මැතිවරණ වලට පෙර අලුතෙන් ගොඩ නැගීමේ ඉඩක් පෙනෙන්නට නැති නිසා එම ගොඩ දැනට තිබෙන විකල්ප අතර බෙදී යා යුතුයි. එය මොන විදිහට වෙයිද?

සිදු විය හැකි එක් දෙයක් වන්නේ මේ කණ්ඩායම කිසිවෙකුට ඡන්දය නොදී සිටීමයි. එසේ වුවහොත්, පවතින විකල්ප සතු ප්‍රතිශත ඉහළ ගොස් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සකස් කළ ඇස්තමේන්තු වලට කිට්ටු ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙත්, ජාතික මැතිවරණයකදී 45%ක පිරිසක් ඡන්දය නොදීමේ ඉඩක් නැහැ. එම ප්‍රමාණය, සුළු පක්ෂ අපේක්ෂකයින්ගේ ඡන්ද හා අවලංගු ඡන්දද ඇතුළත්ව, වැඩිම වුනොත් 20%ක් වෙයි. ඉතිරි 25%කට නොඅඩු කොටස ඉදිරියේදී ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් අතර බෙදී යාමට නියමිතයි.

මේ ගොඩේ බොහෝ දුරට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දී බලාපොරොත්තු කඩ කරගත් අයයි. එම කඳවුරට ආකර්ශනීය සේ පෙනෙන අලුත් මූණකට මෙම ප්‍රතිශතයෙන් යම් කොටසක් ආකර්ශනය විය හැකියි. එම ගොඩෙන් තවත් කොටසක් රැල්ල තිබෙන පැත්තට ගසා ගෙන යන්න පුළුවන්. වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. 

පසුගිය ජනාධිපතිවරණයේදී මහරගම ආසනයේ ඡන්ද වලින් 66%ක් පමණ ගෝඨාභය විසින් ලබා ගනිද්දී අනුර කුමාර 5%ක් පමණ ලබා ගත්තා. එම මැතිවරණ ප්‍රතිඵලය අනුව යමින්, වලංගු ඡන්ද ප්‍රමාණය 83%ක් සේ සැලකුවහොත්, සුදාගේ අමු දත්ත අනුව, මේ වන විට අනුර කුමාර විසින් ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ගෝඨාභය ලබාගත් 66% ප්‍රතිශතයෙන් 35%ක් පමණයි. නාමල්ගේ 2% ඉවත් කළ විට, එයින් 29%ක්ම තවමත් තිබෙන්නේ "වෙනත්" ගොඩේ. සජිත් විසින් ලබා ගත් 27% ප්‍රතිශතයෙන් 10%ක් පමණද දැන් එම ගොඩේ නැහැ. එයින් 7%ක් පමණ රනිල්ගේ ගොඩේ තිබෙනවා. ඒ අනුව, අවසාන වශයෙන් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට (ජවිපෙද ඇතුළු) ලැබිය හැකි ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ අවිනිශ්චිත අවකාශයකයි.

සමස්ත චිත්‍රය දෙස බැලූ විට අනුර කුමාර තවමත් සිටින්නේ 50% සීමාවට පහළින්. එහෙත් වෙනත් කිසිවකු ඔහුගේ ළඟපාතකවත් නැහැ. 

සමීක්ෂණ ප්‍රතිඵල වලින් ඔබ්බට ගියොත්, ජවිපෙ හැමදාම මෙන් ඔවුන් ගැන අධි තක්සේරුවක සිටියා. ඒ නිසා, ජවිපෙ ප්‍රකාශ පැත්තකින් තිබ්බත්, බැසිල් හා රනිල් වැනි ප්‍රතිපක්ෂයේ නායකයින්ගේ ප්‍රකාශ වලින් ජවිපෙ සම්බන්ධව ඔවුන්ගේ තක්සේරුව කුමක්දැයි පැහැදිලි වෙනවා. දැනට පවතින තත්ත්වය තුළ ජවිපෙ ගොඩ ඉක්මවීමටනම් අනෙකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මෙන් එකතු වෙන්නට සිදු වෙනවා. එක පැත්තකින් එය සිදු වීමේ ප්‍රායෝගික ඉඩකඩ ගොඩක් අඩුයි. අනෙක් පැත්තෙන් එවැන්නක් සිදු වුවහොත් එයින්ද ජවිපෙට වක්‍ර වාසි කිහිපයක්ම ලැබෙනවා. 

අනෙක් ප්‍රධාන පක්ෂ සියල්ල එකතු වී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත්, ජවිපෙට ඔවුන්ගේ ජනප්‍රිය "හොරු ඔක්කොම එකගොඩේ" තර්කය ඉදිරියට ගෙන යාම පහසු වෙනවා. ඒ වගේම, අනෙක් සියලු කණ්ඩායම් වලට එකතු වෙන්නට සිදු වන තරමට ජවිපෙ ශක්තිමත්ය යන අදහස ඉස්මතු වෙනවා. අඩු වශයෙන් මේ හේතු දෙක නිසා දැනට පිටිය සකස් වී තිබෙන්නේ කවර තත්ත්වයක් යටතේ වුවද ජවිපෙට වාසිදායක ලෙසයි.

කෙසේ වුවත්, උතුරු නැගෙනහිර හා කඳුකර දෙමළ ඡන්ද වල හැසිරීම වැනි වෙනත් සාධක නිසා ජනාධිපතිවරණයකදී අනුර කුමාර ඉදිරියට ආවත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 50% නොඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත් දෙවන මනාපය ගණන් කරන්නට සිදු වෙනවා. දැනට පවතින ජවිපෙ හා ජවිපෙට එරෙහි බෙදීම අනුව, ජවිපෙට දෙවන මනාප ලොකුවට ලැබෙන්න ඉඩක් නැහැ. කෙසේ වුවත්, එවැනි තත්ත්වයකදී වුවද ඉදිරියෙන් සිටීමට බැරිකමක් නැති පරතරයක් දැනට ජවිපෙ විසින් පවත්වා ගෙන යනවා. 

ප්‍රසිද්ධ කර නොමැති, එහෙත් නිසි ක්‍රමවේදයකට එකතු කර ගෙන ඇති සේ උපකල්පනය කළ හැකි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" නිවැරදි බවත්, එහෙත් ඔවුන් විසින් ප්‍රසිද්ධ කර තිබෙන "සකස් කළ ඇස්තමේන්තු" සඳහා පාදක කරගෙන තිබෙන උපකල්පන නිවැරදි නොවන බවත් සලකා, එම ඇස්තමේන්තු වල කිසියම් අපේක්ෂකයෙකුගේ ගොඩට එකතු කර තිබෙන ඡන්ද වලින් 30%ක් "වෙනත්" ගොඩට දැම්මොත් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිඵලයක්.

අනුර - 35%

සජිත් - 23%

රනිල් + පොහොට්ටුව  - 12%

වෙනත් - 30%

එකතුව - 100%

මේ අනුව, අනුරට පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගැනීමටනම් "වෙනත්" ගොඩේ ඡන්ද වලින් 15%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. සජිත්ටනම් 27%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. එජාප/ පොහොට්ටු කඳවුරේ අපේක්ෂකයෙකුද සිටියදී එවැන්නක් ප්‍රායෝගිකව ඉතාම අසීරු ඉලක්කයක්. රනිල්ට, පොහොට්ටු කඳවුරේ පූර්ණ සහයෝගය ඇතුව වුවද, එවැනි ඡන්ද ප්‍රතිශතයක් ඉලක්ක කිරීමේ ඉඩකඩක් දැනට පෙනෙන්නට නැහැ. 

රනිල්ට තිබෙන එක් වාසියක් වන්නේ සජිත්ගේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක "දෙවන මනාපය" ලබා ගත හැකි වීමයි. එහෙත්, එය වාසියක් වන්නේ සජිත් අභිබවා දෙවන ස්ථානයට පැමිණිය හැකිනම් පමණයි. දැනට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැහැ. රනිල් + පොහොට්ටු කඳවුරේ දෙවන මනාප වලින් යම් කොටසක් සජිත්ට ලබා ගත හැකි වුවත්, එම ප්‍රමාණයේ උදවුවෙන් අනුර කුමාර සමඟ දැනට තිබෙන පරතරය ඉක්මවිය හැකිද යන්න සැක සහිතයි. දෙවන මනාපයක් ලබා ගත හැකි තරමට සජබ ඡන්දදායකයින්ට රනිල්ව ආකර්ශනීය වුවත්, පොහොට්ටු ඡන්දදායකයින්ට සජිත් ඒ ආකාරයෙන් ආකර්ශනීය නැහැ. 

මේ තත්ත්වය තුළ ආණ්ඩුව මුලින් ජනාධිපතිවරණයක් පවත්වයිද? එසේ නැත්නම් මහ මැතිවරණයකට යයිද?

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සම්බන්ධව රටේ විශාල පිරිසකගේ ප්‍රසාදයක් ඇති බව හෝ අඩු වශයෙන් විරුද්ධත්වක් නැති බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, ඉතා සීමිත පිරිසක් හැර, ඒ ගොඩෙන් වැඩි පිරිසක් මෙම වැඩ පිළිවෙළ වෙනුවෙන් විවෘතව පෙනී සිටීමට සූදානම් බවක් පෙනෙන්නට නැහැ. මීට ප්‍රධානම හේතුව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන දේශපාලන කඳවුරේ පරමාදර්ශ සහ වැඩ පිළිවෙළේ පරමාදර්ශ අතර තිබෙන ප්‍රතිවිරෝධයයි. 

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය විසින්  කාලයක සිටම පෙනී සිටි වැඩ පිළිවෙලයි. නමුත් පොහොට්ටු කඳවුර සමඟ සිටියේ එවැනි වැඩ පිළිවෙලකට ප්‍රතිපක්ෂව කාලයක් තිස්සේ මොළ ශෝධනය කරනු ලැබූ පිරිසක්. ඒ නිසා, දැන් ඔවුන් මෙම වැඩ පිළිවෙලට කැමැත්තක් දක්වන්නේ හෝ අකැමැත්තක් නොදක්වන්නේ "වෙන කළ හැකි හැකි දෙයක් නැති නිසා" මිස ඇඟෙන්ම නෙමෙයි.

අනෙක් පැත්තෙන් සජබ විසින් දිගටම පෙනී සිටියේ මෙම වැඩ පිළිවෙලට බොහෝ දුරට සමාන වැඩ පිළිවෙලක් වෙනුවෙන් වුවත් දැන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට ප්‍රතිවිරුද්ධ කඳවුර විසින් නිසා ඔවුන් කරන්නේ මෙම වැඩ පිළිවෙළේ අඩුපාඩු උලුප්පන එකයි. 

ඉහත තත්ත්වය තුළ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ලංකාවේ දේශපාලනය තුළ, හරියකට අම්මෙක් අප්පෙක් නැති, "අවජාතක" වැඩ පිළිවෙලක් බවට පත් වී තිබෙනවා. එම වැඩ පිළිවෙළ ගැන ස්වාධීනව විමසා බලා නිගමනයකට පැමිණිය හැකි නාගරික මධ්‍යම පාන්තිකයින් සුළු පිරිසක් හැරුණු විට, එය වැඩ කරන බව "ඇඟෙන් දැනෙන" බොහෝ දෙනෙකු සිටින්නේ කාලයක් තමන් සිර වී සිටි දේශපාලන සිර කූඩු වල සීමාවෙන් බැහැර වී එම වැඩ පිළිවෙළ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි තත්ත්වයකයි. මෙය කණගාටුදායක සිරකරුවාගේ උභතෝකෝටිකයක් (prisoner's dilemma). 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි "අයිතියට" උරුම කිව හැකි රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයක් ජයගැනීමේ ඉඩක් දැනටනම් පෙනෙන්නට නැහැ. ජවිපෙට ප්‍රතිපක්ෂ කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින සජබ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය හැකි සජිත් ප්‍රේමදාසට අවස්ථාව දී එජාප-පොහොට්ටු කඳවුර පැත්තකට වීමේ ඉඩක්ද නැහැ. එසේ වුවද, එම කඳවුරේ ඡන්ද සියල්ල සජිත්ට ආකර්ශනය කරගත නොහැකියි. සජිත්ට සාපේක්ෂව අනුර කුමාරට එම ඡන්ද ආකර්ෂණය කර ගැනීම පහසුයි. 

කෙසේ වුවත්, සරත් ෆොන්සේකා හෝ පාඨලී වැනි, සජබ හා එජාප/පොහොට්ටු කඳවුරු දෙකටම මැදින් සිටින අපේක්ෂකයෙකුට අනුර කුමාරට තරඟයක් දෙන්න පුළුවන්. එසේ නැත්නම් අලුත්ම මුහුණක් කරලියට එන්න පුළුවන්. ජවිපෙ විරෝධී කඳවුර එවැනි තේරීමක් කරයිද?

ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් මෙවැනි ක්‍රියා මාර්ගයක අවදානම් දෙකක් තිබෙනවා. පළමුව, යම් හෙයකින් මෙසේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් පසුවද ජවිපෙ ජය ගතහොත්, ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී ජවිපෙ විශාල ජයග්‍රහණයක් ලැබීම නොවැලැක්විය හැකියි. කෙසේ වුවත්, එසේ නොකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයද මෙයම නිසා එම කඳවුරේ පැත්තෙන් බැලූ විට මෙවැන්නක් නරක අදහසක් වන්නේ නැහැ. 

මහ මැතිවරණයක් මුලින්ම පැවැත්වීමෙන් ඉහත අවදානම ඉවත් කරගත හැකියි. බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය බව පෙනෙන්නේ එයයි. මෙය පොදුවේ පොහොට්ටුවේ ස්ථාවරය විය හැකියි. මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයක්නම්, එජාප, පොහොට්ටු හා සජබ කණ්ඩායම් වෙනම තරඟ කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජවිපෙ තනි කණ්ඩායමක් ලෙස මුල් තැනට පැමිණියද මන්ත්‍රී ධුර වලින් බහුතරය නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා, ජවිපෙ විරෝධී කණ්ඩායම් වලට පශ්චාත් මැතිවරණ සන්ධානයක් සදා ගැනීමේ අවස්ථාව තිබෙනවා. නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්නේ මේ ස්ථාවරයේද?

මෙහිදී ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් දැකිය හැකි දෙවන අවදානම සැලකිල්ලට ගන්න වෙනවා. කවර ක්‍රමයකින් හෝ ජවිපෙ විරෝධී කණ්ඩායම් වල ආණ්ඩුවක් පිහිටුවන්නේනම්, එම ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුවටත් වඩා කැඳ හැලියක් වීම නොවැලැක්විය හැකියි. එවැනි ආණ්ඩුවකට නොකරම බැරි ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් වැඩි කාලයක් පවතින්නට බැහැ. ඒ, ජවිපෙ විසින් ආණ්ඩුවක් නොපිහිටුවද, ජවිපෙ අනිවාර්යයෙන්ම ඉතා ප්‍රබල විපක්ෂයක් බවට පත් වන නිසයි. ඒ නිසා, අවසාන වශයෙන් සිදු වන්නේ යම් කාල පමාවකින් පසුව ජවිපෙ ජයග්‍රහණයකට පාර කැපෙන එක පමණයි.

මෙවැන්නක් වුවද, බැසිල් රාජපක්ෂ වැනි අයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් නරක තත්ත්වයක් නොවන්නට පුළුවන්. ඒ මගින් යම් කාලයක් හෝ බලය රඳවා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එහෙත්, ස්වකීය පෞද්ගලික අභිලාශ වලට වඩා දෘෂ්ඨිවාදී අභිලාශ වෙනුවෙන් පෙනී සිටින අයෙකු සේ හඳුනා ගත හැකි රනිල් වික්‍රමසිංහ හිතන්නේ මේ විදිහටද?

පමා වී හෝ ජවිපෙ බලයට පැමිණීම නොවැලැක්විය හැකි සේ පෙනේනම් එය කලින්ම සිදු වන්නට ඉඩ හැරීම ඇතැම් විට රනිල් වික්‍රමසිංහ වැනි අයෙකුගේ තේරීම වන්නට ඉඩ තිබෙනවා. එය එසේනම්, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නට අවශ්‍යතාවයක් නැහැ.

තුන් වන විකල්පයක් විය හැක්කේ මැතිවරණ සාමාන්‍ය පරිදි නොපවත්වා "ජිල්මාට් එකක්" දැමීමයි. පළාත් පාලන මැතිවරණ අත්දැකීම අනුව එවැන්නක් සිදු නොවිය හැකි දෙයක් නෙමෙයි. කෙසේ වුවත්, එවැන්නක් කෙරෙහි යොමු වීම දේශපාලනික ලෙස ප්‍රතිඵලදායක වන්නේ ජනමතය පසුව ආණ්ඩුව වෙත නැඹුරු වීමේ ශක්‍යතාවක් ඇත්නම් පමණයි. ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකියි. 

මේ හේතු නිසා, ජනමතය තිබෙන්නේ මාලිමාව පැත්තේනම්, එම ජනමතයට ඉඩ දීමට රනිල් වික්‍රමසිංහ විසින් ඉඩ හරින්නට ඉඩකඩ වැඩියි. එවිට තමන් හා එකතු වෙන ජනතාව දිගටම තමන් සමඟ රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ මාලිමාවටයි. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය දිගටම පවත්වා ගත යුතු වෙනවා. 

මාලිමාව මේ අභියෝගය යම් දුරකට හඳුනාගෙන ඇති බව පෙනෙනවා. ඔවුන් මේ අභියෝගයට මුහුණ දෙන එක් ආකාරයක් වන්නේ නාමික විරෝධයක් පමණක් පෙන්වමින් පවතින ආණ්ඩුවට ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කලින්ම සිදු කිරීමට ඉඩ හැරීමයි. එය අත පුච්චා නොගෙන කොස් ඇට පුච්චා ගත හැකි ක්‍රමයක්. එහෙත්, එය ප්‍රමාණවත් උපාය මාර්ගයක් නෙමෙයි. ඉදිරි ජාතික මැතිවරණ ජය ගෙන ආණ්ඩුවක් හදන්නේ කවර පාර්ශ්වයක් වුවත්, තමන් පැළඳ ගත් ඔටුන්න කටු ඔටුන්නක් බව පෙනී යන්නට වැඩි කාලයක් ගත වන එකක් නැහැ. 

Sunday, July 16, 2017

නිර්ධන පංතියේ හාල්මැස්සා සහ ධනපති කුකුළා


කුකුළුමස් යනු අප කුඩා කාලයේ අපට හිතේ හැටියට කන්නට ලැබුණු කෑමක් නොවේ. ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් වූ අපේ ගෙදරට බොහෝ විට කුකුළුමස් ගෙනාවේ පියාගේ පඩි දවසේ හෝ නිවසට අමුත්තෙකු පැමිණෙන අවස්ථාවක වැනි විශේෂ දවසකය. ඊට වඩා වැඩිපුර කුකුළුමස් කෑම අපේ ආර්ථිකයට ඔරොත්තු නුදුන්නා පමණක් නොව ඒ තරමට කුකුළුමස් කෑම, අඩු වශයෙන් ඒ කාලයේ අපේ ගෙදර පැවති සංස්කෘතිය තුළ, අවශ්‍ය හෝ සාමාන්‍ය දෙයක් ලෙස සැලකුනේද නැත. කුකුළුමස් සැලකුනේ අවුරුද්දට හදන හත්මාළුව හෝ කිරිදානයකට හදන කිරියා මෙන් මඟුල් ගෙදරක් වැනි උත්සව අවස්ථා වලට ගැලපෙන ආහාරයක් මිස දිනපතා ආහාරයට ගත යුතු දෙයක් ලෙස නොවේ.

කුකුළුමස් ආහාරයට ගැනීමෙන් සංකේතවත් වුනේ සතුටයි. ඒ නිසා, සතුට පෙන්වීම නුසුදුසු අවස්ථාවක් ලෙස සැලකෙන අවමංගල අවස්ථාවක ඉදෙන කෑමකට කුකුළුමස් හෝ වෙනත් මස් වර්ගයක් පමණක් නොව අළුත් මාළු හෝ එකතු වුනේ නැත. මුහුදුබඩ පළාත් වල සංස්කෘතිය මීට වඩා වෙනස් වූවා විය හැකිය. මළ ගෙදරක සාමාන්‍යයෙන් පිළියෙල කළ ආහාර වේලක වූ සත්ත්ව ප්‍රෝටීන් සංරචකය වූයේ කරවල හෝ හාල්මැස්සන් හොද්දකි. කුකුළුමස් සතුටේ සංකේතයක් වූවාක් මෙන් හාල්මැස්සා දුකේ සංකේතයක් වූවා විය හැකිය.

රට වටකර රට මෙන් කිහිප ගුණයක් විශාල අනන්‍ය මුහුදු කලාපයක් තිබුණත්, මුහුදට සැතපුම් පණහක පමණ දුරින් රට මැදට වෙන්නට සිටි අපට කුකුළුමස් මෙන්ම අළුත් මාළුද සුඛෝපභෝගී ආහාර විය. අපේ ආහාර වේලට දිනපතා සාමාන්‍යයෙන් එකතු වුනු සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභවය වූයේ එක්කෝ කරවල හෝ වියලි හාල්මැස්සන්ය. එසේ නැත්නම් බිත්තරයි. බිත්තර එතරම් දුලබ ආහාරයක් නොවූයේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ හෝ ඇතැම් විට ඊටත් පෙර අපේ ගෙදර කුකුළු පාලනය ඇරඹී තිබුණු නිසාය. මෙසේ ගෙදර හැදූ කිකිළියන්ගේ බිත්තර සීමිත ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මා ඇතුළු කුඩා දරුවන් වෙනුවෙන් වෙන් වෙන්නට ඇතැයි දැන් මට හිතේ.

බිත්තරයක් කඩන්නට අයෙක් සොයා ගැනීම ඇතැම් විට ප්‍රශ්නයක් වුවත් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ඒ පවට කර ගහන්නට කවුරු හෝ වැඩිහිටියෙකු ඉදිරිපත් විය. එහෙත්, ගෙදර කුකුළු පට්ටියේ කුකුළෙකු මස් කරන්නට තරම් ධෛර්යයක් අපේ ගෙදර වැඩිහිටියන් කිසිවකුටත් නොතිබුණේය. වරක් කුකුළු කූඩුවට කලවැද්දන් පැන කුකුළන් විශාල ගණනක් මරා දමනු ලැබ තිබුණු විටකද, ලොකු වලක් කපා ඒ කුකුළන් වල දැම්මා මිස සුද්ද කර ආහාරයට ගැනුණේ නැත. කුකුළුමස් හැමවිටම වාගේ සම්පාදනය කර ගැනුණේ නගරයේ වූ මස් කඩයෙන් මිල දී ගැනීම මඟිනි.

ඉඳහිට අතරින් පතර කාගෙන් හෝ ලැබුණු වල් ඌරු මස් ගාතයක් හැර ගම් ඌරු මස් හෝ හරක් මස් මුල් කාලයේදී අපේ ගෙදර ඉදුනේම නැත. එහෙත්, එයට හේතු වූයේ සංස්කෘතික හේතු මිස ආර්ථික හේතුම නොවේ.

දශක හතර පහකට පෙර අපේ ගෙදර ආහාර රටාවේ තිබුණු ආර්ථික හා සංස්කෘතික සීමාවන් ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ තවමත් විශාල ලෙස වෙනස් නොවී දකින්නට පුළුවන. රටේ සාමාන්‍ය ආදායම් මට්ටම පසුගිය දශක හතර තුළ සැලකිය යුතු ලෙස වැඩි වී ඇතත් කුකුළුමස් වලින් තවමත් සංකේතවත් වන්නේ ධනපතියෙකුගේ පරිභෝජන රටාවයි. කාටුන් චරිත වල දැකිය හැකි බඩ තඩි දේශපාලනඥයාගේ පිඟානේ තවමත් දකින්නට ලැබෙන්නේ රෝස් කළ ලොකු කුකුළෙකි.

කුකුළුමස් පරිභෝජනය හරහා සංකේතවත් කෙරෙන ලංකාවේ ආදායම් විෂමතාවය කාටුන් වලට සීමා වූවක් නොවේ. එය ලංකාවේ සැබෑ ආහාර පරිභෝජන රටා තුළ තවමත් දකින්නට හැකි දෙයකි. ආර්ථික සාධක හේතුවෙන් කුකුළුමස් හා අළුත් මාළු පමණක් නොව බිත්තරද ලංකාවේ අති මහත් බහුතරයකට තවමත් හිතේ හැටියට පරිභෝජනය කරන්නට ලැබෙන්නේ නැත. මෙයින් වෙනස්ව, හරක් මස් පරිභෝජනය සීමා වී ඇත්තේ සංස්කෘතික සාධක හේතුවෙනි.


අදටත් ලංකාවේ දුප්පත්ම නිවාස ඒකක සියයට විස්ස තුළ වියලි හාල්මැස්සන් පරිභෝජනය කුකුළුමස් පරිභෝජනය ඉක්මවයි. දුප්පත්ම නිවාස ඒකක 10% තුළ ජීවත් වන පවුලක් වසරකට වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 3.2ක් ආහාරයට ගන්නා අතර ආදායම අනුව දෙවන හා තෙවන පහළ මට්ටම් වල ඉන්නා අය පිලිවෙලින් වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 5.1ක් හා 5.6ක් ආහාරයට ගනිති. මේ කණ්ඩායම් වලට හාල්මැස්සන් ආහාරයට ගැනීම කෙරෙහිද සිය ආදායම් මට්ටම බාධාවක් වන නමුත්, ආදායම අතින් උඩින් සිටින 70%ට එය එතරම් බාධාවක් නොවේ. ආදායම බාධාවක් නොවූවද ලංකාවේ පවුලක් හාල්මැස්සන් කිලෝග්රෑම් 6-7කට වඩා ආහාරයට ගන්නේ නැත. එය ලංකාවේ සාමාන්‍ය පවුලකට වියලි හාල්මැස්සන් පරිභෝජනය කිරීම සඳහා ඇති රුචිකත්වයේ සීමාවයි.

හරක්මස් ආහාරයට ගැනීම ආදායම අනුව පහළින් සිටින 50%කටම ප්‍රශ්නයක් වුවත්, උඩින් සිටින 50%ට එයද බාධාවක් නොවේ. පහළම 10%ට අයත් පවුලක සිට හයවන 10% දක්වා පැමිණෙද්දී වාර්ෂික හරක්මස් පරිභෝජනය ග්‍රෑම් 744 සිට කිලෝග්‍රෑම් 4.8 දක්වා ක්‍රමයෙන් වැඩි වන නමුත් එතැන් සිට ආදායම වැඩිවන විට සිදුවන්නේ වාර්ෂික හරක්මස් පරිභෝජනය අඩු වීමයි. මෙයින් පෙනෙන්නේ සංස්කෘතික හා වෙනත් ආර්ථික නොවන සාධක වල බලපෑම ආර්ථික සාධක ඉක්මවා යාමයි. රටේ ආදායම් අනුව පහළින් සිටින 50%ට සංස්කෘතික සාධක ප්‍රශ්නයක් නොවූවත් ඉහළින් සිටින 50%ට එය ප්‍රශ්නයකි. සංස්කෘතික සාධක වලට අමතරව සෞඛ්‍යමය හේතුද මේ නිරීක්ෂණයට සැලකිය යුතු තරමින් දායක වනවා විය යුතුය.

කුකුළුමස් හා බිත්තර පමණක් නොව කෙලවල්ලා මාළු පරිභෝජනය හා අදාළවද පෙනෙන රටාව ඉහත රටාවන්ට වඩා වෙනස්ය. මේ ආහාර වර්ග පරිභෝජනය ආදායම වැඩිවන විට දිගින් දිගටම ඉහළ යයි. එයින් පෙන්නුම් කරන්නේ ආදායම අනුව ඉහළින්ම සිටින නිවාස ඒකක වලට පවා මේ ආහාර වර්ග පරිභෝජනය තවදුරටත් ඉහළ දැමීමට ඇති බාධාව ආදායම් සීමාවන් බවයි. ඒ අනුව පෙනී යන්නේ රටේ ආදායම් මට්ටම් වැඩි වීම හෝ මිල පහළ යාම නිසා කුකුළුමස්, බිත්තර හා අළුත් මාළු මිලදී ගැනීමේ හැකියාව වැඩි වන තරමට එම ආහාර වර්ග පරිභෝජනයද තව දුරටත් දිගින් දිගටම ඉහළ යන්නට ඉඩ ඇති බවයි. කුකුළු මස්, බිත්තර හා කෙලවල්ලන් (අලුත් මාළු) හා අදාළව ලංකාවේ පාරිභෝගිකයින්ගේ සීමාකාරී සාධකය වී තිබෙන්නේ ක්‍රය ශක්ති සීමාවන් මිස හාල් මැස්සන්ට මෙන් රුචිකත්වයේ සීමාවන් හෝ හරක්මස් වලට මෙන් සංස්කෘතික සීමාවන් නොවේ.

රටේ පහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වසරකට ඉදෙන්නේ කුකුළුමස් කිලෝ ග්‍රෑම් 1.37ක් පමණි. බිත්තර 39කි. ඉහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වාර්ෂික කුකුළුමස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 33.8ක්ද, බිත්තර පරිභෝජනය 210ක්ද වෙයි. දුප්පත් නිවසක එක් කුකුළෙකු ඉදෙන විට ධනවත් නිවසක් කුකුළන් 25ක් පමණ ඉදෙයි. එහෙත්, හාල්මැස්සන් හා අදාළව මේ අනුපාතය දෙගුණයක් පමණි.

මස් පිණිස හෝ බිත්තර පිණිස කුකුළන් හදන කුඩා (කුකුලන් 1000 නොඉක්මවන) ගොවිපොළවල් 39,209ක් ලංකාවේ තිබේ. මේවායේ අයිතිකරුවෝ රටට බරක් නැතිව ජීවත්වන කුඩා පරිමාණ ව්‍යවසායකයෝ වෙති. බිත්තර මිල අඩු වීමට හේතු වන, කර්මාන්තයේ සිදුවන සුළු ආකෘතිමය වෙනසක් නිසා වුවද මේ ව්‍යවසායයන් පවත්වා ගෙන යාම අසීරු වී ඒවායින් කොටසක් බිඳ වැටෙන්නට පුළුවන.

මේ කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ "ධනපතියෝ" නොවෙති. එහෙත්, අඩු මිලට බිත්තරයක් කන්නට ලැබීමෙන් වාසි ලබන අය අතර සිටින අවුරුද්දකට වරකට වඩා කුකුළුමස් කන්නට හැකියාවක් නැති, මාසයකට වරකට වඩා බිත්තරයක් කන්නට හැකියාවක් නැති පුද්ගලයෝ ඔවුන්ටද වඩා අසරණයෝ වෙති. එවැනි පවුල් වල සිටින ප්‍රමාණය අඩු වශයෙන් මිලියන දෙකකි. කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් හතළිස් දහසකට නොවැඩි පිරිසකට සහන සලසන්නට වෙන්නේ රටේ අඩුම ආදායම් ලබන 10%ට අයත් මිලියන දෙක ඉක්මවන පුද්ගලයින් ඇතුළු රටේ මාංශමය ආහාර කන සෑම අයෙකුගේම කෑම වේලෙන් බිත්තර කිහිපයක් හා කුකුළුමස් ග්‍රෑම් කිහිපයක් ඉවත් කර ගැනීම මඟින් පමණි. එය කොතරම් උචිතද යන්න විමසා බැලිය හැක්කේ ඒ නිසා සමාජ අතිරික්තය වෙනස්වන ආකාරය පරීක්ෂා කිරීම මඟිනි.

Thursday, November 10, 2016

හිලරි ක්ලින්ටන්ට නොලැබී ගිය ඡන්ද


ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඒ ඇමරිකානු පුරවැසියන්ගේ ඡන්දයෙනි. ඇමරිකානු ජනාධිපතිවරණයකදී ඡන්දය භාවිතා කළ හැක්කේ ඇමරිකානු පුරවැසියන්ට පමණි.

කෙසේවුවද, ඇමරිකානු ජනාධිපති සටන ගැන උනන්දුවක් දැක්වූයේ ඇමරිකානුවන් පමණක් නොවේ. හිලරි ක්ලින්ටන්ගේ මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද ජයග්‍රහණය පැතූ ඇමරිකන් පුරවැසියන් නොවූ, බොහෝ විට කිසිදා ඇමරිකාවට පැමිණ හෝ නැති විශාල පිරිසක් ලොව වටා විසිර සිටියහ. මේ අයට ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීමේදී ඡන්දය දීමට ඉඩ ලැබුනේනම් කුමක් විය හැකිව තිබුණේද?

ජනමත සමීක්ෂණ ආයතනයක් වන  YouGov විසින් රටවල් 19 ක සිදුකළ ජනමත සමීක්ෂණ අනුව පෙනී ගියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි සහයෝගයක් ඇත්තේ ඇමරිකාවේ පමණක් බවයි. ඇමරිකාවෙන් පිටත සමීක්ෂණය සිදුකළ සෑම රටකම වාගේ අතිමහත් බහුතරයකගේ ජනප්‍රිය අපේක්ෂකයා වූයේ හිලරි ක්ලින්ටන්ය. එම රටවල ජනතාවට ඡන්ද අයිතිය තිබුනේනම් ඩොනල්ඩ් ට්‍රම්ප් පැත්ත පළාතකවත් නැත.

'දී ඉකොනොමිස්ට්' සඟරාවේ පළවූ මේ සමීක්ෂණ ප්‍රතිඵල  අනුව, ඉන්දියානුවන් අතර ට්‍රම්ප්ට තිබුණේ 20%ක සහයෝගයක් පමණි. වියට්නාමයේදී මේ සහයෝගය 12%ක්ද, මැලේසියාවේදී 9%ක්ද වූ අතර ඩෙන්මාර්කයේදී 4%ක් පමණක් විය.



මේ රටවල් 19 අතරට ලංකාව අයත්ව තිබුණේ නැත. ඇතැම් විට ලංකාවේදී ට්‍රම්ප්ට අනෙක් රටවලදීට වඩා කැමැත්තක් ලැබෙන්නට ඉඩ තිබුණි.

(Image: http://abcnews.go.com/US/stories-missed-weekend/story?id=39293473)

Saturday, February 20, 2016

අන්නාසි වලින් ප්‍රවේශම් වනු!


මා මුලින්ම පෞද්ගලික ඊමේල් ලිපිනයක හිමිකරුවකු වූයේ 1995දීය. එවකට මා සේවය කළ ආයතනය සතු වූ, සෙලින්කෝ ආයතනයෙන් ලබාගත් අන්තර්ජාල සම්බන්ධතා පැකේජය සමඟ නොමිලේ ccom.lk ඊමේල් ලිපින තුනක් ලැබෙන බවත්, ඒ තුනෙන් ආයතනයේ නමට සාදාගෙන තිබුණු කාටත් පොදු ලිපිනය පමණක් ප්‍රයෝජනයට ගෙන තිබුණු බවත් දැනගත් මම ඉතිරි දෙකෙන් එකක් මගේ නමට හදාගත්තෙමි. ඒ නිසා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාටද නොතිබුණු සුවිශේෂී වරප්‍රසාදයක් භුක්ති විඳීමට මට හැකි විය. එවකට ටෙලිකොම් ආයතනය අන්තර්ජාල සේවා සැපයීමේ පුරෝගාමියා වී නොසිටි බව මගේ අනුමානයයි.

කෙසේවුවද, එම වසර අවසානයේදී මට මගේ නමට හොට්මේල් ඊමේල් ලිපිනයක්ද සාදා ගැනීමට හැකි විය. ඊමේල් භාවිතයේ පෙරළියක් ඇති කරමින් සබීර් සහ ජැක් විසින් නොමිලේ පෞද්ගලික ඊමේල් ලිපින ලබාදීමේ පුරෝගාමී කාර්යය නිල වශයෙන් දියත් කෙරුවේ 1996 ඇමරිකානු නිදහස් දවසේදී වුවත් ඊට මාස හත අටකට පෙර සිටම ඔවුන්ගේ පරීක්ෂණ සේවාවන් යටතේ ඊමේල් ලිපින නිකුත් කෙරුණේය. එවකට මා මයික්‍රොසොෆ්ට් සමාගමේ බීටා ටෙස්ටර් කෙනෙකු ලෙස ලියාපදිංචි වී සිටි නිසා ඒ හා අදාළ ෆෝරමයක සාකච්ඡාවකින් හොට්මේල් ගැන දැනගෙන මුලින්ම ලිපිනයක් ලබා ගත හැකි විය. හොට්මේල් ගිණුම සේවා ආයතනයකට සම්බන්ධ නොවූ නිසා රැකියා මාරු කරද්දී මේ ලිපිනය සෑහෙන කලක් අඛණ්ඩව භාවිතා කළ හැකි විය. මේ ඊමේල් සම්බන්ධතාව නිසා රටින් පිටත සිටි, පෞද්ගලිකව නොදන්නා 'යතුරු පුවරුවේ මිතුරි මිතුරියන්' කිහිප දෙනෙකුව ඇසුරු කිරීමේ අවස්ථාවද හිමි විය.

පදනමක් නැති වයිරල් ඊමේල් හතර අතට ෆෝර්වඩ් කිරීමේ ඉතිහාසය කෙතරම් පැරණිදැයි මා නොදන්නා නමුත් අද දක්වාත් සංසරණය වන එවැනි ඇතැම් ඊමේල් බොහොමයක්ම මා මුලින්ම කියවූයේ 1995/96 කාලයේදී බව මට හොඳින් මතක තිබේ. ඒ කාලයේදී බොහෝවිට මේ කතන්දර වල පසුබිම වූයේ ඇමරිකාවේ යම් ආයතනයක් හෝ ප්‍රදේශයකි.

ඉහත ආකාරයේ එක් ඊමේලයකින් කියවුනේ පැසිෆික් සාගරය මැද පිහිටි දූපතක් සහ මහාද්වීපික ඇමරිකාවෙන් පිටත පිහිටි ඇමරිකාවේ ප්‍රාන්තයක් වන හවායිහි සංචාරය කළ කැලිෆෝර්නියානුවෙකුට සිදුවූ බරපතල අකරතැබ්බයක් ගැනය. සිය සංචාරය අතරතුරදී ඔහු හවායි මුහුදු වෙරළක් යාබදව පිහිටි සංචාරකයින් ඉලක්ක කරගත් කුඩා වෙළඳසැලකින් අන්නාසි කෑල්ලක් මිලදී ගෙන ඇත. අන්නාසි කපද්දී වෙළෙන්දාගේ අතේ සුළු කැපුමක් ඇතිවූ බව මේ කැලිෆෝර්නියානුවා දැක්කත් ඔහු එය එතරම් ගණනකට ගෙන නැත. මේ වෙළෙන්දාට ඒඩ්ස් තිබී ඇති බවත් අන්නාසි යුෂ සමඟ මුසු වූ ඔහුගේ රුධිරය බිඳක් හේතුවෙන් තමන්ටද එච්අයිවී වයිරසය ශරීරගත වී ඇති බවත් කැලිෆෝර්නියානුවා දැනගන්නා විට ඔහු ප්‍රමාද වැඩිය.



පසුගිය වසර විස්ස තුළ මේ කතාවේ ඉන්දියානු, මැලේසියානු, ඉන්දුනීසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු ආදී විවිධ වර්ෂන්  වරින් වර ඊමේල් හරහා සංසරණය වනු මා දැක තිබේ. මේ කතාව මට යළි සිහිපත් වූයේ එච්අයිවී ආසාදිතයෙකු බවට සමාජයේ පැතිර පවත්නා මතය හේතුවෙන් අධ්‍යාපන ඇමතිවරයාගේ ගම්පළාතේම දරුවෙකුට කලාපයේ පාසැලක් ලබා දිය නොහැකි බව නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂවරයා පවසා ඇති බව දැකීමෙනි.

දරුවාගේ මව පවසන පරිදි දරුවා එච්අයිවී ආසාදිතයෙකු නොවේ. ඒ බව රුධිර පරීක්ෂණයකින්ද තහවුරු කරගෙන තිබේ. මවගේ ප්‍රකාශය අනුව පෙනෙන්නේ දරුවා ඇත්තටම එච්අයිවී ආසාදිතයෙකු වීනම් මේ තීරණය ඇය විසින් අපහසුවකින් තොරව පිළිගනු ඇති බවයි.

එච්අයිවී පිලිබඳ දැනුම අතින් ලංකාව තවමත් සිටින්නේ ඉතා පිටුපසිනි. පහතින් ඇත්තේ, 15-49 වයස් කාණ්ඩයේ විවාහක හෝ පෙර විවාහකව සිට ඇති කාන්තාවන් 14,692ක නියැදියක් යොදාගෙන සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයක ප්‍රතිඵල අනුව සක්‍රිය ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකි එම වයස් කාණ්ඩයේ කාන්තාවන්ගේ එච්අයිවී සම්බන්ධ දැනුම හා ආකල්ප පිලිබඳ සාරාංශයකි.


-එච්අයිවී ගැන අසාවත් නැති 8.2%ක් සිටී.
-බැලූ බැල්මටම නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු ලෙස පෙනෙන අයෙකු එච්අයිවී ආසාදිතයෙකු විය හැකිය. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 61.0%ක් පමණි.
-මදුරුවන් දෂ්ඨ කිරීමෙන් එච්අයිවී වෛරසය ශරීරගත නොවේ. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 47.1%ක් පමණි.
-කිසියම් අද්භූත බලවේගයක් එච්අයිවී ආසාදනයට හේතුවක් විය හැකි බව 21.3%ක් සිතති.
-එච්අයිවී ආසාදිතයෙකු සමඟ කෑම බෙදාහදාගැනීම නිසා වෛරසය ශරීරගත නොවේ. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 59.9%ක් පමණි.
-මවුකිරි මඟින් මවකගෙන් දරුවෙකුට එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 62.1%ක් පමණි. ඖෂධ භාවිතයෙන් මේ අවදානම පාලනය කළ හැකි බව දන්නේ 13.9%ක් පමණි.
-එච්අයිවී ආසාදිත පවුලේ සාමාජිකයෙකුට සාත්තු සප්පායම් කිරීමට සූදානමින් සිටින්නේ කාන්තාවන්ගෙන් 45.9%ක් පමණි.
-එච්අයිවී ආසාදිත වෙළෙන්දෙකුගෙන් එළවළු මිල දී ගැනීමට කාන්තාවන්ගෙන් 70.6%ක් සූදානම් නැත.
-එච්අයිවී ආසාදිත, එහෙත් නිරෝගී ගුරුවරියකට තවදුරටත් ඉගැන්වීමට ඉඩදියයුතුයැයි සිතන්නේ කාන්තාවන්ගෙන් 37.2%ක් පමණි.

මේ සමීක්ෂණය ඇමරිකානු ආධාර යටතේ දියුණු වෙමින් පවතින රටවල සිදුකෙරෙන සමීක්ෂණ මාලාවක ලංකාවේ පැවැත්වුණු මෑතකාලීනම සමීක්ෂණයයි. එය පැවැත්වුණු 2006/07 කාලයේ සිට ගතවුණු වසර කිහිපය තුළ දැනුමේ හා ආකල්ප වල කිසියම් වර්ධනයක් සිදුවී තිබීමේ ඉඩකඩක් ඇතත්, තත්ත්වයේ විශාල වෙනසක් සිදුවී ඇතැයි මා සිතන්නේ නැත. එච්අයිවී සම්බන්ධ දැනුම හා ආකල්ප අධ්‍යාපන මට්ටම සමඟ විශාල ලෙස වෙනස් වුවද, කොළඹ වැනි නාගරික දිස්ත්‍රික්ක වල හා උසස්පෙළ සමත් කොටස් අතර වුවද දැනුමේ හා ආකල්ප වල විශාල හිස්තැන් තිබේ.

ආප්ප කෑමෙන් පසු ආණ්ඩු පෙරලී ඇති බව වාර්තා වී ඇතත්, අන්නාසි කෑමෙන් පසු කිසිවෙකුට එච්අයිවී වයිරසය ශරීරගත වූ බවක් වාර්තා වී නැත. මෙවැනි "පොෂ්" ලෙස පෙනෙන අවිද්යාවන් පැතිරවීමට හිතාමතාම හෝ නොදැනුවත්ව බොහෝ විට වැඩි වශයෙන්ම දායක වන්නේ සාපේක්ෂව යම් උගත්කමක් ඇති අයයි.


(Images:www.onallcylinders.com, www.top10homeremedies.com)

Wednesday, January 13, 2016

ලංකාවේ ආදායම් විෂමතාවය

සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලංකාවේ ගෘහස්ත ආදායම් හා වියදම් පිලිබඳ සමීක්ෂණය දැන් තෙවසරකට වරක් පැවැත්වේ. අවසන් වරට 2012/13දී සිදු කළ මේ සමීක්ෂණයේ අවසන් වාර්තාව අනුව ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878කි. පෙර සමීක්ෂණය සිදුකළ 2009/10දී මෙය රුපියල් 36,451ක් විය.

ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍යයෙන් 3.9 දෙනෙකු වාසය කරයි. මේ අනුව, මේ සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව ගණනය කර ඇති ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819කි. 2009/10දී මෙය රුපියල් 9,104ක් විය.

බැලූ බැල්මට පෙනෙන්නේ ඒක පුද්ගල ගෘහස්ථ ආදායම 29.8%කින් වැඩි වී ඇති බවයි. එහෙත්, මේ වසර තුන තුල 22.9%කින් මිල මට්ටම වැඩිවීම නිසා රුපියලේ දේශීය වටිනාකමේ සිදුවූ පිරිහීම සැලකූ විට ආදායම සැබෑ ලෙසම වර්ධනය වී ඇත්තේ 5.6%කිනි.

මේ අයුරින්ම, 2006/07 සමීක්ෂණය අනුව ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 6,462ක් වූ නිසා 2009/10 දක්වා වසර තුන තුළ ආදායමේ සිදුවූ නාමික වර්ධනය 40.9%ක් වුවත්, මිල මට්ටමේ වැඩි වීම 42.4%ක් වූ නිසා සැබෑවටම සිදුවී ඇත්තේ ආදායමේ අඩු වීමකි.

වසර හය තුළම නාමික ආදායම 82.9%කින් වැඩි වී ඇතත් මිල මට්ටමද 75.0% කින් වැඩි වී ඇති නිසා, වසර හයටම මූර්ත ආදායම වර්ධනය වී ඇත්තේ 4.0%කින් පමණි. එනම් වසරකට 0.6%කින් පමණි.

සමස්තයක් ලෙස ගත් විට රටේ සාමාන්‍ය ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819ක් වුවත් ආදායම් විෂමතාවය ඉතා විශාලය. නාගරික ගෘහස්ථ ඒකක වල ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 17,262ක් වෙද්දී, ග්‍රාමීය ගෘහස්ථ ඒකක වල එය රුපියල් 10,843කි. වතු ගෘහස්ථ ඒකක වල මෙය රුපියල් 7,100ක් පමණි. කොළඹ දිස්ත්‍රික්කයේ මෙම සාමාන්‍යය රුපියල් 19,346ක් වුවත් මාතලේ, නුවරඑළිය, යාපනය, මන්නාරම, මුලතිවු, කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක එකොළහේ එම අගය කොළඹ අගයෙන් අඩකටත් අඩුය. මේ දිස්ත්‍රික්ක සියල්ලම වාගේ සුළුතර-බහුතර හෝ සැලකිය යුතු සුළුතර ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක වීම සැලකිල්ලට ගතයුතු කරුණකි.

රටේ ගෘහස්ථ ආදායමෙන් 52.9%ක් රැඳෙන්නේ වැඩිම ආදායම් ලබන 20% අතේය. ඉතා විශාල ආදායම් විෂමතාවක් ඇති ඇමරිකාවේද මේ ප්‍රතිශතය (2012දී) 49.9%ක් පමණි. පහළම ආදායම් ලබන 40% වෙත සම්ප්‍රේෂණය වන්නේ මුළු ආදායමින් 13.7%ක් පමණි. මැදි ආදායම් ලබන 40% වෙත 33.3%ක් රැඳේ.

නාගරික අංශය තුළ ආදායම් විෂමතාවය මෙයටත් වඩා වැඩිය. එහි ඉහළම 20% විසින් 71.2%ක් ලබා ගනිද්දී පහළම 40% වෙත ලැබෙන්නේ 5.9%ක් පමණි. මැද 40%ට 23.0%කි. ග්‍රාමීය අංශයේ ඉහළ 20%, මැද 40% හා පහළ 40% අතර 47.2%, 36.8% සහ 16.0% ලෙස ආදායම් බෙදේ. වතු අංශයේ මේ බෙදීම 28.5%, 44.1% සහ 27.5% ලෙසිනි. වතු අංශයේ ආදායම් විෂමතාව අඩුවෙන් ඇත්තේ එම අංශයේ ඉහළ ආදායම් ලාභීන්ගේ ආදායමද එතරම් ඉහළ නැති නිසාය.

මේ සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය වන රටාවයි. ඉහළ යන ඒක පුද්ගල ආදායම නිසා මුලින්ම සිදුවන්නේ ඉහළ ආදායම් ලබන ස්ථර වල ආදායම තවත් වැඩි වීමයි. නාගරික මැදි ආදායම් ලබන කණ්ඩායම් සහ ඉහළ ආදායම් ලබන ග්‍රාමීය කොටස් වෙත දෙවනුව ආදායම සම්ප්‍රේෂණය වේ. වතු ගෘහස්ථ ඒකක වෙත මේ ආදායම් වර්ධනය දැනී ඇත්තේ ඉතා සුළුවෙනි.

රටක ආදායම් විෂමතාවය ප්‍රශ්නයකි. එයට විසඳුම් සෙවිය යුතුය. එහෙත්, එය කළ යුත්තේ වැඩි ආදායම් ලබන කොටස් පීඩාවට පත්කර ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත හෙලීමෙන් නොවේ. අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට අවස්ථා සැලසීමෙනි.

මෙය සිදු කළ හැක්කේ ව්‍යවසායකත්වයට දිරි දෙන මූල්‍ය පරිසරයක් සකස් කිරීමෙනි. කෙසේවුවද, පහලම සමාජ ස්ථර හා අදාළවනම් ආහාර සුරක්ෂිතතාව සහ මූලික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෑ පළමුව තහවුරු විය යුතු බව මේ සමීක්ෂණයේ අනෙකුත් තොරතුරු අනුව පෙනේ.

(Image: www.skai.gr)

මුල් පලකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_9.html
 

වෙබ් ලිපිනය: